ගවයින් 5800ක් චීන මුහුදේ…

ගවයින් 5800ක් චීන මුහුදේ…
Spread the love

ගවයින් 5800 ක් නවසීලන්තයේ සිග චීනය වෙත රැගෙන යමින් සිටි Gulf Livestock 1 නෞකාව මේ දිනවල නැගෙනහිර ආසියාවේ හමායන මයිසක් සුළි කුණාටුවට මැදිව අනතුරට ලක්ව ඇතැයි විශ්වාස කෙරෙනවා.

කාර්යය මණ්ඩලය 43 දෙනකු සිටි මෙම නෞකාව ජපානයට අයත් අමාමි ඔෂීමා දූපතට කිලෝමීටර් 160 ක් පමණ බටහිරින් තිබියදී අතුරුදහන් වී තිබෙනවා.

පිලිපීන ජාතික කාර්යය මණ්ඩල සාමාජිකයකු වූ සරේනෝ එඩොවොරෝඩෝ නමැත්තාව මුහුදේදී ගලවාගෙන තිබෙනවා. එහෙත් තවත් පිලිපීන ජාතිකයන් 38 ක්, නවසීලන්ත ජාතිකයන් දෙදෙනෙක් හා ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙක් ආගිය අතක් නැහැ.

එඩොවොරෝඩෝ ජපන් වෙරළාරක්ෂක භටයින්ට පවසා සිටියේ නෞකාවේ ඇන්ජිමක් ක්‍රියා විරහිත වූ බවයි. ඉන්පසු විශාල රැල්ලක් එහි ගැටීමෙන් එය පෙරළී ගිය බව ඔහු කියා සිටියා.

නැව පෙරළීම සිදුවන විට ජීවිතාරක්ෂක කබා පැළඳ මුහුදට පනින ලෙස ඔවුන්ට උපදෙස් ලැබී තිබුණා. තම සගයින් කිසිවකු තමන් මුහුදේදී නුදුටු බවද එඩොවොරෝඩෝ පවසා තිබුණා.