දිල්ලි නගරය ගෑස් කුටියකි

Spread the love

ඝන මීදුමක් හට ගැනීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නුවර ජන ජීවිතය මේ වන විට අඩාලව ඇත. මීදුම ඇති වී තිබෙන්නේ දිල්ලි නගරය කේන්ද්‍ර කරගත් වායු ගෝලයෙහි ඇති දූෂ්‍ය අංශු හේතුවෙන් බව තහවුරු කරගෙන තිබේ. මේ නිසා දිල්ලි නගරය ආශ්‍රිත වායුගෝලයේ ගුණාත්මකභාවය බෙහෙවින්ම පහත වැටී ඇති බව මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥයෝ පෙන්වා දෙති. ඒ නිසාම මහජන සෞඛ්‍යය ආපදා තත්ත්වයක ද එහි ප්‍රකාශයට පත් කර තිබේ. දිල්ලි නගරයේ ජීවත් වන ජනයාට තම නිවෙස්වලින් බැහැරට නොඑන ලෙස සෞඛ්‍යය බලධාරීහු පසුගියදා උපදෙස් ලබා දුන්හ. එකී වාතාවරණය යටතේ පාසල් ආදිය වසා දමන්නට ද තීරණය කෙරිණ. මීදුම දිගින් දිගටම පැවතියහොත් දිල්ලි නගරයේ ජන ජීවිතය අන්තරාදායක තත්ත්වයකට පත් වනු ඇති බව දිල්ලි ප්‍රධාන අමාත්‍යය අරවින්ද් කෙජ්රිවාල් පසුගියදා ප්‍රකාශ කළේය. මේ වනවිට දිල්ලි නගරය “ගෑස් කුටියක්”බවට පත්ව ඇති බවත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබිණ.

දිල්ලි නගරය තුළ දැනට පවතින්නේ සෙමෙන් හමා යන සුළං සහිත ශීතල කාලගුණ තත්ත්වයකි. එනිසා වායු ගෝලයේ ඉහළ ස්ථරවල පවත්නා දූෂ්‍ය අංශු පොළොව ආසන්නයට පැමිණේ. එම කාලගුණ තත්ත්වය තුළ මීදුම තවත් කොපමණ කාලයක් එහි පවතිනු ඇත්දැයි කියා කිව නොහැකිය. දිල්ලිය ආශ්‍රිත වායුගෝලයෙහි පවත්නා දූෂ්‍ය කොටස් ප්‍රමාණය සම්බන්ධයෙන් පරික්ෂා කර බැලීම් මේ වන විටත් නිරන්තරයෙන් සිදු කෙරේ. දැනට කර ඇති පරික්ෂා කර බැලීම්වලින් තහවුරුව තිබෙන්නේ දිල්ලි වායු ගෝලයේ ඝන මීටරයක සරියක් තුළ දූෂ්‍යය අංශු මයික්‍රෝග්‍රෑම් 710ක් අඩංගු බවකි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වායු ඝන මීටරයක් තුළ මයික්‍රෝන 2.5ක විශ්කම්භය සහිත අංශු මයික්‍රෝග්‍රෑම් 35ක් අන්තර්ගත වීම පවා බරපතල සෞඛ්‍යය ගැටලු ඇති කරවන්නට හේතුවක් වන බවකි. එනිසා වායු ඝන මීටරයක අඩංගු එම අංශු ප්‍රමාණය සාමාන්‍යයෙන් මයික්‍රෝග්‍රෑම් 10ක මට්ටමෙන් පැවතිය යුතුය යන්න එම සංවිධානයේ නිර්දේශයයි. හිතකර මට්ටමට වඩා කොපමණ ගුණයක් දූෂ්‍ය අංශු දිල්ලි වායු ගෝලයේ මේ වන විට අඩංගුද යන්න ඔබට ගණනය කරගන්නට අපහසුවක් නැත.

වායුගෝලයක අඩංගු මයික්‍රෝන 2.5හෝ එයට වඩා කුඩා ප්‍රමාණයේ හෝ අංශුවල සාන්ද්‍රණය මිනිස් සෞඛ්‍ය කෙරෙහි තීරණාත්මක සාධකයක් බැව් විද්‍යාඥයෝ පවසති. ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා එම අංශු මනුෂ්‍යය ශරීරය තුළට ඇතුළු වී ශරීරයේ පවත්නා ස්වභාවික පෙරීමේ යාන්ත්‍රණයට හසු නොවී සිරුර තුළ සංසරණය වන්නට පටන් ගනී. මේ තත්ත්වය මොළය ආදී වැදගත් ඉන්ද්‍රියයන්ට රුධිරය සංසරණය වීමේ ක්‍රියාවලියට බාධාවක් වනු නිසැක බව විද්‍යාඥයෝ පවසති. අනෙක් භයානක තත්ත්වය මතු වන්නේ එවැනි ක්ෂුද්‍ර අංශුවල පිළිකාකාරක රසායනිකයන් අඩංගුව පැවතීමට බෙහෙවින්ම ඉඩකඩ තිබීමය. එවැනි රසායනිකයන් අතර ඊයම්, ආසනික්, කැඩ්මියම් සහ රසදිය ඇත.

පවත්නා වාතාවරණය තුළ ක්ෂණිකවම දිල්ලි වැසියන් පිළිකාවලට ගොදුරු වන්නේ නැත. එසේ වුවත් කාලයත් සමඟ පිළිකා සහ වෙනත් බරපතල සෞඛ්‍ය ගැටලුවලට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවට තර්කයක් නැත. දිල්ලියේ ශ්‍රීමත් ගංඟා රාම් රෝහලේ ළය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යය අරවින්ද් කුමාර් පවසන්නේ දිල්ලියේ දැනට පවත්නා වායුගෝලීය තත්ත්වය මනුෂ්‍ය ශරීරයේ සෑම කොටසකටම දැඩි අයහපත් බලපෑම් එල්ල කරනු ඇති බවකි. මෙය පුද්ගලයකු දිනකට දුම්වැටි 50ක් භාවිතයට ගන්න තත්ත්වයකට සමාන බව හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි.

“… මේ දවස්වල මෙහි සෑම රෝහලකම දැඩි සත්කාර ඒකක නියුමෝනියා රෝගීන්ගෙන් පිරි ඉතිරී ගොස් තිබෙනවා. ප්‍රතිකාර සඳහා පැමිණෙන හුඟක් රෝගීන්ට කැස්ස සහ ශ්වසන අපහසුතා තිබෙනවා. මේ පාරිසරික තත්ත්ව දිගින් දිගටම පැවතියහොත් මිනිසුන්ට ඇදුම ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම අනාගතයේදී ඔවුන් පෙනහළු පිළිකාවලට ගොදුරු වීමේ අවදානමකුත් තියෙනවා. …” යැයි කියා හෙතෙම පවසයි.

වෛද්‍යය අරවින්ද් කුමාර් පවසන අන්දමට මීදුම නිසා වඩාත්ම පීඩාවට පත්වන්නේ එළිමහනේ රැකියාවල නියුතු පිරිසයි. ඒ අතර කම්කරුවෝත් රික්ෂා පදවන්නෝත් සිටිති. දූෂ්‍යය කොටස් සහිත වාතය ආඝ්‍රාණය කිරීම වයස්ගත උදවියටත්, කුඩා දරුවන්ටත් රෝගී අයවලුන්ටත් අයහපත් ප්‍රතිඵල අත් කර දෙනු ඇති බව මේ වන විට එහි ප්‍රචාරය කර හැර තිබේ. එනිසා එවැනි අයට නිවෙස් තුළටම වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇත. ඒ හැරුණු විට අනෙක් අය වුව මුහුණු ආවරණයක් රහිතව එළිමහනේ ගැවසීම හිතකර නොවන බව ප්‍රකාශයට පත් කර තිබේ. දූෂ්‍යය වාතය ආඝ්‍රාණය කිරීමෙන් ශරීරයට ඇතුළුවන කරදරකාරී අංශු ශරීරයෙන් යළි ඉවත් කරගැනීමට ක්‍රමයක් නැත. එම අංශු ශරීයෙන් පහ වේයැයි සිතා වැඩියෙන් ජලය පානය කිරීම මිථ්‍යාවක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. කෙනෙකුට දිනකට ජලය ලීටර 2ත් 4 ත් අතර ප්‍රමාණයකට වඩා පානය කරන්නට පුළුවන්කමක් නැත. නමුත් දිල්ලියේ දවසක් සිටින කෙනෙකු ආශ්වාස ක්‍රියාවලිය හරහා සිරුරට ඇතුළු කරගන්නා විෂ සහිත වායු ප්‍රමාණය ලීටර 16,000ක් පමණ වන බව ගණන් බලා ඇත. මේ අනුව පැන නැඟී ඇති තත්ත්වය සිතා ගැනීම ඔබට අපහසු නොවනු නිසැකය.

විෂ්කම්භය මයික්‍රෝන 2.5 හෝ එයට වඩා කුඩා අංශු ප්‍රමාණය දිල්ලි නගරය කේන්ද්‍ර කරගෙන මේ සා ඉහළ යෑමක් සිදු වුෙය් හදිසියේම ය. එසේ නොවූවත් දිල්ලි නගරයේ වායුගෝලය පිරිසිදු එකක් හැටියට හඳුන්වන්නට ඉඩක් නැත. නමුත් ලොව වායු දූෂණය ඉහළම නගරය හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙන්නේ ඉරානයේ සබෝල් නගරයයි. මේ නගරය එසේ නම් කර තිබෙන්නේ මුළු මහත් වසර පුරාම එහි වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ යටකී ප්‍රමාණයේ ක්ෂුද්‍ර අංශූන් මයික්‍රෝග්‍රෑම් 217ක පමණ සාමාන්‍යයක් පවතින බැවිනි. දිල්ලි වායු ගෝලයේ දූෂ්‍යය අංශු ප්‍රමාණය දැනට මේ අන්දමට ඉහළ ගොස් තිබුණ ද වසර පුරාම එහි වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ යටකී ප්‍රමාණයේ ක්ෂුද්‍ර අංශූන් සාමාන්‍යයෙන් පවතින්නේ මයික්‍රෝග්‍රෑම් 122ක පමණ ප්‍රමාණයකි. අද මේ වනවිට දිල්ලිය නම් කෙරෙන්නේ වායු දූෂණය අතින් ඉහළම තැනට පත් නගරය හැටියටය. එසේ වුවත් වායු ගෝලයේ වසර පුරා දැකිය හැකි ක්ෂුද්‍ර අංශුවල සාමාන්‍ය අනුව දිල්ලි නගරය දූෂණය අතින් ලොව 11 ස්ථානයේ පසුවන නගරයයි. කෙසේ වුවත්, දිල්ලිය වායු ගෝලීය දූෂණය අතින් දිගින් දිගටම අවදානම් මට්ටමක ඇති නගරයක් ලෙස නම් කරන්නට පුළුවන. ගල් අඟුරු බලාගාර, කර්මාන්ත පුර, රථවාහන ආදියෙන් නිකුත් වන දූෂ්‍ය අංශු නිසා දිල්ලි වායු ගෝලය එලෙස අපවිත්‍ර වී තිබේ. වගා බිම්වල කෙරෙන පුළුස්සා දැමීම්, උත්සව සමයේදී දල්වන රතිඥ්ඥා සහ ගිනිකෙළි නිෂ්පාදන ආදිය නිසාත් දිල්ලි වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළ වැටේ.

දූෂණය සහ සෞඛ්‍ය පිළිබඳ ලන්සෙට් කොමිසම් වාර්තාව පසුගිය මාසයේදී නිකුත් කෙරිණ. මේ වාර්තාව පෙන්වා දෙන කරුණු අනුව පරිසර දූෂණය නිසා ඉන්දියාවේ පමණක් වසරකට ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 2.5ක් පමණ වේ. එය ලොව සෙසු රාජ්‍යයන් අභිබවා යන තත්ත්වයක් බැව් එහි වැඩි දුරටත් සඳහන් වේ.

[rns_reactions]