මේ මාසයෙන් පසු පළාත් සභා ප‍්‍රා.සභාවලට මුදල් නැහැ

මේ මාසයෙන් පසු පළාත් සභා ප‍්‍රා.සභාවලට මුදල් නැහැ
Spread the love

පළාත් සභා, නගර සභා හා ප‍්‍රාදේශීය සභා පවත්වාගෙන යෑමට විපක්‍ෂයට සැබෑ වුවමනාවක් නොමැති නිසා පසුගිය 28 වැනිදා විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට විරුද්ධව ඡුන්දය පාවිච්චි කර එය පරාජයට පත්කළ බව පෙන්වා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ නිසා අපේ‍්‍රල් මාසයෙන් පසු එම ආයතන පවත්වාගෙන යෑමට මුදල් නොමැති බව පෙරේදා (30) හම්බන්තොටදී පැවසීය. 

පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයවැයෙන් මුදල් වෙන් කරන අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට පක්‍ෂව ඡුන්දය ලබාදී එය සම්මත කර ගැනීමට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ක‍්‍රියාකළ ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඊට විරුද්ධව ඡුන්දය පාවිච්චි කරමින් තමන් විසින්ම තමන්ගේ නාසය කපාගෙන ඇති බව රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙම වැය ශීර්ෂය පරාජයට පත්කිරීම නිසා පළාත් සභා හා පළාත් පාලනවලට මෙන්ම ආණ්ඩුකාරවරුන්ගේ කටයුතු සඳහා ද මුදල් නොමැති බව අගමැතිවරයා පැවසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ පෙරේදා (30 දා* වීරවිල පැවැති හම්බන්තොට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට එක්වීමට පෙර අගමැතිවරයා පෙරේදා පෙරවරුවේ හම්බන්තොට වරාය භූමියේ පිහිටුවා තිබෙන ලාෆ් ගෑස් සංකීර්ණය හා වරායේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡුා කරමින් වරායේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය. එම නිරීක්‍ෂණ චාරිකාවට අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන, අමාත්‍ය සාගල රත්නායක, වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක යන මහත්වරු සහ ලාෆ් ගෑස් ආයතනයේ හා වරාය අධිකාරියේ නිලධාරීහු රැුසක් සහභාගි වී සිටියහ.

රුපියල් ලක්‍ෂ 3500 ක වියදමින් ඉදිකිරීමට යෝජිත හම්බන්තොට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණයට වීරවිලදී මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

පසුගිය 28 වැනිදා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයවැයෙන් මුදල් වෙන් කෙරෙන යෝජනාව පරාජයට පත්කළා. මේ නිසා එම ආයතනවලට ලබාදීමට සතයක්වත් ඉතුරු වී නැහැ. විපක්‍ෂය මේ ආයතන සඳහා මුදල් එපා කියනවා නම් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ.

මේ ආයතනය සඳහා මුදල් වෙන් කර ඒවායෙහි කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා වන යෝජනාවට පක්‍ෂව අපි පාර්ලිමේන්තුවේදී ඡුන්දය ලබාදුන්නා. නමුත් විපක්‍ෂය තමන්ගේ පළාත් පාලන ආයතනවලට මුදල් එපා කියමින් ඊට විරුද්ධ වූ නිසා ආණ්ඩුකාරවරුන්ට ද මුදල් ලබාදීමට හැකියාවක් නැහැ.

කෙසේ වෙතත් ආණ්ඩුවට අවශ්‍ය ආයතනවලට ප‍්‍රාදේශීය ලේකම්වරුන් හරහා මුදල් ලබාදීමට අපි පියවර ගන්නවා. නමුත් අනෙක් ආයතනවලට හා ආණ්ඩුකාරවරුන්ට අපේ‍්‍රල් 30 වැනිදායින් පසු මුදල් ලබාදීමට හැකියාවක් නැති බව කිව යුතුයි.