යුක්තියෙන් ඊයෙත් බඩුත් එක්ක 1,000ක් අල්ලලා..! අල්ලන කුඩ්ඩන් ගමේම රැදවීමේ තිරණයක්…!

යුක්තියෙන් ඊයෙත් බඩුත් එක්ක 1,000ක් අල්ලලා..! අල්ලන කුඩ්ඩන් ගමේම රැදවීමේ තිරණයක්…!
Spread the love

‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,038 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 67 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය අද (4) පෙරවරුවේ පැවසීය.
එම පිරිසෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 43 ක් පුනුරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 84 ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බවත් එම අමාත්‍යංශය කීය.
හෙරොයින් ග්‍රෑම් 417 ක්, අයිස් ග්‍රෑම් 205 ක්, ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 886 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය සමඟ විශාල මත්ද්‍රව්‍ය තොගයක් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

යුක්තිය මෙහෙයුම ඇතුළු මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගන්නා මත්ලෝලීන් පුනරුත්ථාපනය කිරීම සඳහා පොලිස් වසම් මට්ටමින් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

දැනට ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක වන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලින් වර්ෂයකට පුනරුත්ථාපනය කලහැකි මත්ලෝලීන් සංඛ්‍යාව අල්ප බැවින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සිටින පුහුණු සාමාජිකයින් පොලිස් ස්ථාන සමඟ සම්බන්ධ කර මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.

යුක්තිය මෙහෙයුමට සමගාමිව මෙම වැඩපිළිවෙලෙහි සැලසුම් සකස් කර ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස අවසන් සතිය වන විට දිවයින පුරා පොලිස් ස්ථාන මට්ටමින් තෝරාගන්නා ස්ථානවල පුනරුත්ථාපන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය අපේක්ෂා කරයි.

මෙම වැඩපිළිවෙල සකස් කිරීම පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් පොලිස් මුලස්ථානයේ දී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේ මෙම තීරණයන්ට එළඹී බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

මෙම සාකච්ඡාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් සහ දැනටමත් මෙවැනි පුනරුත්ථාපන වැඩසටහන් වල නියැලෙන මිත්‍රා ශ්‍රි කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

-ජයරත්න ඉඳුරුවගේ