යෝධ පැන්ඩා සංරක්ෂණය හිම දිවියන් ඇතුළු දුර්ලභ සතුන්ට මාරකයක් වෙලා !

යෝධ පැන්ඩා සංරක්ෂණය හිම දිවියන් ඇතුළු දුර්ලභ සතුන්ට මාරකයක් වෙලා !
Spread the love

දශක ගණනාවක සංරක්ෂණ ප්‍රයත්නයන් යෝධ පැන්ඩා ගණන යළිත් වර්ධනය වීමට හේතු වී තිබේ

යෝධ පැන්ඩා සුරැකීම සංරක්ෂණයේ විශාල සාර්ථක කතාවකි. යෝධ පැන්ඩාවුන් සංරක්ෂණය සදහා ආරක්ෂිත වාසස්ථාන නිර්මාණය කිරීමට දශක ගණනාවක් තිස්සේ දැරූ උත්සාහයන් සාර්ථක වී ඇති අතර දැන් ඔවුන් වඳවීමේ තර්ජනයෙන් ගැළවී ඇත.

එහෙත්, නව අධ්‍යයනයකට අනුව, එකම භූ දර්ශනයේ සිටින තවත් බොහෝ සතුන් මෙම සංරක්ෂණ කටයුතුවලින් ප්‍රයෝජන ලබා ඇති අතර සමහර සතුන් තර්ජනයට ලක්ව ඇති අතර දිවියන්, හිම දිවියන්, වෘකයන් සහ ආසියානු වල් බල්ලන් බොහෝ ආරක්ෂිත ප්‍රදේශවලින් අතුරුදහන් වී ඇත.

සතුන් දඩයම් කිරීම හා රෝග නිසා මෙම සතුන් ආසන්න වශයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර, මේ තත්ත්වය මත “පරිසර පද්ධතිවල විශාල වෙනස්කම්, බිඳවැටීම් පවා” සිදුවිය හැකි බව චීනයේ පර්යේෂකයෝ පවසති.

දිවියන් හා වෘකයන් වැනි සතුන් නොමැතිව මුවන් ඇතුළු ක්ෂිරපායින්ට පාලනයකින් තොරව සැරිසැරීමට හැකි වන අතර එය ස්වභාවික පරිසරයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

පැන්ඩා වනාන්තර ආරක්ෂා කිරීමෙන් සංරක්ෂණඥයින් විශ්වාස කළේ පැන්ඩාවුන් පමණක් නොව එකම වාසස්ථානයක සැරිසරන තවත් බොහෝ විශේෂයන් ආරක්ෂා කරනු ඇති බවයි. නමුත් එය වෙනත් වන ජීවීන් සඳහා ධනාත්මක බලපෑමක් කර ඇති අතර, දිවියන් සහ වෘකයා වැනි විශාල මාංශ භක්ෂකයින් සඳහා උත්සාහයන් දැරූ බවක් නොපෙනේ.

පැන්ඩා ජීවත්වන පරිසර පද්ධතිය කළමනාකරණය කිරීම සඳහා පුළුල් – පරිපූර්ණ – ප්‍රවේශයක් අවශ්‍ය බව පර්යේෂකයන් කණ්ඩායමක් දැන් පවසයි. (ප්‍රධාන විශේෂයන් නැති නොවන බවට සහතික වන)

හිම දිවියා
ලෝකයේ විශාලතම හිම දිවියන්ගේ ජනගහනයට චීනය හිමිකම් කියයි

“යෝධ පැන්ඩා සඳහා පමණක් නොව අනෙකුත් වන ජීවීන් සඳහා ද පරිසර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර බව වැඩි දියුණු කිරීම සඳහා විවේචනාත්මකව අවශ්‍යවේ” යැයි බීජිංහි පීකිං විශ්ව විද්‍යාලයේ සම කර්තෘ ආචාර්ය ෂෙන්ග් ලී පැවසීය.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පර්යේෂකයන් විශාල මාංශ භක්ෂකයින් ආහාරයට ගන්නා සතුන් සඳහා දඩයම් කිරීම සහ වාසස්ථාන ප්‍රතිෂ්ථාපනය කිරීම ඇතුළු පියවර ගණනාවක් ගෙනහැර දක්වයි.

යෝධ පැන්ඩා සංරක්ෂණය ක්‍රියාත්මක වන බවට ජීවමාන සාක්ෂියක් ලෙස සැලකේ. වසර ගණනාවක පසුබෑමෙන් පසු ඔවුන්ගේ සංඛ්‍යාව අවසානයේදී යළිත් වර්ධනය වන අතර, 2016 දී නිල වඳ වී යාමේ රතු ලැයිස්තුවේ “වඳවීමේ තර්ජනයට ලක්වූ” සිට “අවදානමට” ලක්විය දක්වා ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇත.

පැන්ඩා සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ජීවත් වන වනාන්තර ආරක්ෂා කිරීම කුරුල්ලන් හා කුඩා මාංශ භක්ෂකයින් ඇතුළු තවත් බොහෝ සතුන් හා ශාක සඳහා ධනාත්මක වී ඇත.

එහෙත්, දිවියන්, වෘකයන් සහ එතරම් ප්‍රසිද්ධ නැති ආසියානු වල් බල්ලා හෝ ඩොල් වැනි විශාල විලෝපිකයන් දුර ඈත ප්‍රදේශවලට නැඹුරු වී ඇති බව පෙනේ.

පැන්ඩා සංචිත 1960 ගණන්වලදී පිහිටුවන ලද බැවින්, විශේෂ හතරම විශාල සංචිතයකින් අහිමි වී ඇත. දිවියන් සංචිතවලින් 81% ක් ද හිම දිවියන් 38% ක් ද වෘකයන් 77% ක් ද ආසියානු වල් බල්ලන් 95% ක් ද අතුරුදහන් වී ඇත.

ආසියානු වල් බල්ලා
ආසියානු වල් බල්ලා: ඉහළ සමාජ සත්වයා වාසස්ථාන අහිමිවීම හා රෝග වලින් පීඩාවට පත්ව ඇත

ආසියානු වල් බල්ලා නොබෝ දිනකින් මිහිමතින් තුරන් වනු ඇත. නිදසුනක් වශයෙන්, සමීක්ෂණ මධ්‍යස්ථාන 8,000 කට ආසන්න සංඛ්‍යාවක කැමරා දින මිලියන 1.5කට වඩා වැඩි සංඛ්‍යාවකින්ආසියානු වල් බල්ලා වාර්තා වී ඇත්තේ දර්ශන හතරක් පමණි.

මෙම අධ්‍යයනයට සම්බන්ධ නැති ZSL (ලන්ඩනයේ සත්ව විද්‍යා සංගමය) හි මහාචාර්ය සැමුවෙල් ටර්වී පැවසුවේ චීනයේ සහ ලෝකයේ වෙනත් තැන්වල සංරක්ෂණය බොහෝ විට නිශ්චිත “ප්‍රමුඛ විශේෂ” සඳහා භූ දර්ශන ආරක්ෂාව මත පදනම් වී ඇති බවත්, කලාපීය ජෛව විවිධත්වයට අනුමාන පුළුල් ප්‍රතිලාභ ලබා දෙන බවත්ය.

“මෙය සමහර වැදගත් විශේෂයන් යථා තත්ත්වයට පත් කිරීමට හේතු වී ඇත. නමුත් තර්ජනයට ලක් වූ ජෛව විවිධත්වය පවත්වා ගැනීමට දරන උත්සාහයන් පුළුල් පරිසර පද්ධති මට්ටමින් මානව ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එසේ නොවුවහොත් ඉලක්ක නොවන විශේෂයන් නොදැනුවත්වම ගිලිහී යනු ඇත” යනුවෙන් මහාචාර්ය ටර්වී පැවසීය.

අධ්‍යනයේදී පර්යේෂකයන් යෝධ පැන්ඩා ස්වභාවික සංචිත 66 ක් ඇතුළුව ආරක්ෂිත ප්‍රදේශ 73ෙක දත්ත විශ්ලේෂණය කළ අතර ඓතිහාසික සමීක්ෂණ දත්ත දශකයක් වටිනා විස්තීර්ණ කැමරා-උගුල් සමීක්ෂණ සමඟ සසඳා බලා ඇත.

බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ