ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පවත්වයි
Spread the love

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් ලබාදීම සඳහා පවත්වනු ලබන විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන ඊයේ (25)  දින අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව පවත්වන ලදී.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් එම්. එම්.නයිමුදීන් මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) අනෝමා ප්‍රේමතිලත මහත්මිය, අපනයන උපදේශක කමිටු නියෝජිතයින්, අපනයනකරුවන්ගේ සංගම්, වාණිජ මණ්ඩල නියෝජිතයින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, පුද්ගලික අංශයේ සමාගම්වල නියෝජිතයින් ඇතුළු රාජ්‍ය  ආයතනවල නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදි අදහස්  දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අපනයනකරුවන්ගේ සංසදය අපනයනකරුවන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීමේ සුවිශේෂී ප්‍රගතියක් ලබා ඇති බවයි.තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය තුළ නව කොට්ඨාසයක් ස්ථාපිත කර  ආයෝජකයින් සහ අපනයනකරුවන් මුහුණ දෙන නීතිමය ගැටලු විසඳීමට සහ ඔවුන්ට අමතර ආරක්ෂාවක් ලබා දීමට  ඉදිරියේදී අපේක්ෂා කරන බවයි. තවද අපනයන වටිනාකම් දාමයේ ඇති බාධක හඳුනා ගැනීම, විශ්ලේෂණය කිරීම සහ ඒවාට පිළියම් යෙදීම සඳහා අදාළ රාජ්‍ය අංශයේ ආයතනවලින් නම් කරන ලද කේන්ද්‍රස්ථාන සහිත වෙළඳ පහසුකම් කාර්ය සාධක බලකායක් අපනයන සංවර්ධන මණ්ඩල තුල පිහිටුවීමට යෝජනා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳ පහසුකම් සහ වෙළඳ තොරතුරු අංශය මඟින් මෙම අපනයන කරුවන්ගේ සංසදය සංවිධානය කරන අතර ඉදිරි සංසදයන්හි දී සාකච්ඡාවට ගැනීම සඳහා, අපනයනකරුවන්ට තම ගැටලු පහත ක්‍රම ඔස්සේ අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකිය. තැපැල් මාර්ගයෙන්; අධ්‍යක්ෂ, වෙළඳ පහසුකම් සහ වෙළඳ තොරතුරු අංශය, EDB/NDB ටවර්ස්, අංක 42, නවම් මාවත, කොළඹ 02 යනුවෙන් ද, විද්‍යුත් තැපෑලෙන් forum@edb.gov.lk යනුවෙන් ද, විශේෂිත මාර්ගගත වේදිකාවක් වන OATO http://www.forum.edb.gov.lk/ (වෙළඳ බාධක සඳහා මාර්ගගත දැනුම්දීම) ඔස්සේ ද අපනයනකරුවන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකිය.