ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ත්‍රිකුණාමලයෙන් ගලවන්න හදන්නේ – සුනිල් හඳුන්නෙත්ති

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ත්‍රිකුණාමලයෙන් ගලවන්න හදන්නේ – සුනිල් හඳුන්නෙත්ති
Spread the love

මුදලට බලයට කෑදර පාලකයින් විසින් අපේ රට අද ඉන්දියාවේ බල දේශපාලනය ඉදිරිපිට දණගස්වා අපේ රටේ අනාගතය සුරක්ෂිත කිරීමට තිබෙන ජාතික සම්පතක් වෙච්ච ත්‍රීකුණාමල තෙල්ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකුණා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ලෝකයේ පොසිල ඉන්ධන අවසන් වූ පසුවත් තබා ගැනීමට හැකිවන පරිදි 2072 දක්වා වසර 50ක කාලයකට මෙලෙස පැවරීම හරහා ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ත්‍රීකුණාමලයෙන් ගලවා දැමීමේ සූදානමක් ඇතැයිද අද (12) එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.

එම මාධ්‍ය හමුවේදී සුනිල් හඳුන්නෙත්ති මහතා පළකළ සම්පූර්ණ අදහස් මෙසේය….

“ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව ඉතාමත් රහසිගත ආකාරයෙන්, ජනතාවට ඉදිරිපත් නොකර කැබිනට් සංදේශයක් මගින් ත්‍රිකණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමේ ගිවිසුමක් අත්සන් කළා. අක්කර 845ක පිහිටි දැවැන්ත තෙල් ටැංකි සංකීර්ණයක් ඉන්දියාවට නතුකර දෙන්න සූදානම් වෙනවා. ටැංකි 14ක් ඉන්දියාවට, ලංකාවට 24ක් වගේම ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධව හදන සමාගමට 61ක් ආදී වශයෙන් ලබා දෙනවා. තෙල් ටැංකි 61 අයිති ඒකාබද්ධ සමාගමේ 49%ක් අයිති වෙන්නේ ඉන්දියාවට. ඒ අනුව තෙල් ටැංකි 30ක් ඉන්දියාවට ලැබෙනවා. ඊට කලින් තිබෙන 14ත් එක්ක තෙල් ටැංකි 44ක් ඉන්දියාවට යනවා. ඉතිරි ටැංකි ටික අලුත්වැඩියා කරන්න අපිට ඩොලර් නැති නිසා බදු පදනමෙන් හෝ මේ ටිකත් ඉන්දියාවට දෙනවා කියලා අපි විශ්වාස කරනවා.

මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ 2072 දක්වා ක්‍රියාත්මක වෙන්න. නමුත් ඒ අතර 2050 වෙනකොට ලෝකයේ පොසිල ඉන්ධන භාවිතය අවසන් කරන්න තීරණය අරගෙන තිබෙනවා. එහෙම නම් 2072 දක්වා අවුරුදු 50කට මේ ගිවිසුම අත්සන් කළේ මොකටද? මේ ගිවිසුම අත්සන් කරන්න කලින් ඛනිජ තෙල් ඇමතිවරයා ඉන්දියාව සමග සාකච්ඡා වට කීයක් කළාද? ඉන්දියානු පාර්ශ්වයෙන් සම්බන්ධ වූණේ කවුද? ඔවුන් ලංකාව සමග කළ සාකච්ඡා ගැන ලිඛිත වාර්තා තිබෙනවාද? මේ සම්බන්ධයෙන් හදපු ශක්‍යතා අධ්‍යයන වාර්තාව කෝ? ඩොලර් මිලියන 550කට තක්සේරු කළ වාර්තාව කෝ? මේ ආදී තොරතුරු අපේ රටේ ජනතාව දන්නේ නැහැ. මේක සරල ගනුදෙනුවක් නෙවෙයි. දෙවන ලෝක යුද්ධයේදී මේ තෙල් ටැංකි සංකීර්ණය ස්ථාපිත කළේ භූ දේශපාලනික වැදගත්කම නිසා. නැව් හංගන්න පුළුවන් වරායක් හැටියට හඳුන්වන ත්‍රීකුණාමලය වරාය සමග ඒකාබද්ධ කර තෙල් ටැංකි සංකීර්ණය පිහිටුවා තිබෙනවා. තෙල් නිෂ්පාදන ගබඩා කිරීමට පහළ කොටසේ ටැංකි ඉදිකර තිබෙනවා. ඉහළ කොටසේ පිරිපහදු කිරීම සඳහා බොරතෙල් ගබඩා කරන්න. ඒ වගේම ඉතිරි ටැංකි ප්‍රමාණය පිරිපහදු ක්‍රියාවලියට අවශ්‍ය අමුද්‍රව්‍ය ගබඩා කරන්න. පහළම ටැංකි නිෂ්පාදන ගබඩා කිරීමෙන් බෙදාහැරීමේ පහසුව සැලසෙනවා. මේ හැටියට පිහිටුවා තිබෙන්නේ තෙල් ටැංකි සංකීර්ණයම එක පද්ධතියක් හැටියට ක්‍රියා කරන්නයි.

මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ ඉන්දියාව ඉස්සරහ සම්පූර්ණයෙන්ම දණ ගහලා. අපිට මතක් වෙන්නේ 1987 ජූලි 29වැනිදා ඉන්දියාවෙන් පරිප්පු දාලා, ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ අත අඹරවලා අපකීර්තිමත් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමයි. අපිට මතක් වෙන්නේ ඒ ඉතිහාසය. ලංකාවේ හමුදාව හිටියේ 72,000ක් විතර. නමුත් ඉන්දියාවෙන් 150,000ක හමුදාවක් ගොඩබැස්සුවා. එදා මේ රටේ හිටි ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත් විශ්‍රාම ගිහින් කොළඹ භූමිකාව කියලා ඒ අපකීර්තිමත් ඉතිහාසය ගැන පොතක් ලිව්වා. දැන් කොළඹ භූමිකාව පොතේ රාජපක්‍ෂ යුගයේ කතාව ලියන්න සිද්ධ වෙනවා. එදා ජේ.ආර්. ජයවර්ධන යුගයේ කතාව වගේමයි අද රාජපක්‍ෂ යුගයේ කතාවත්.

ඉන්දියාව ලෝකයේ බරපතළ තෙල් ආධිපත්‍යයක් දරනවා. 2022දී මේ සමාගම් වර්ග කිහිපයකින් ලයිස්තුගත කර තිබෙනවා. මහා රත්න කියලා එක සමාගම් වර්ගයක් තිබෙනවා. නව රත්න සහ මිනි රත්න කියලා සමාගම් වර්ග තිබෙනවා. මහා රත්න කියල නම් කළ කොටසට සමාගම් 10ක් තිබෙනවා. භාරත හෙවි ඉලෙක්ටි්‍රකල්ස් ලිමිටඞ්, භාරත් පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඞ්, කෝල් ඉන්දියා ලිමිටඞ්, හින්දුස්ථාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඞ්, ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ලිමිටඞ් ආදී වශයෙන් මේ සමාගම් තිබෙනවා. එයින් ප්‍රධානම සමාගම් 9ක්ම තිබෙන්නේ ඛනිජ තෙල් සම්බන්ධයෙන්. මහා රත්න, නව රත්න සහ මිනි රත්න කියන විශාල සමාගම් වර්ග තුන යටතේ ලියාපදිංචි සමාගම් 343ක් තියෙනවා. නමුත් ලංකාවට තිබෙන්නේ හැම අතින්ම බංකොලොත් වුණු රාජ්‍ය සමාගම්.

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය, ආරක්‍ෂාව, අනාගත පැවැත්ම තීරණය කිරීමේ අයිතිය ලබාගෙන තිබෙන්නේ ඉන්දියාව. අපිට ඉන්දියානු ජනතාව එක්ක ප්‍රශ්නයක් නැහැ. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඓතිහාසික මහා සම්බන්ධයක් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට පැවතගෙන එනවා. නමුත් අද ඉන්දියාවේ බල දේශපාලනය ඉස්සරහ ලංකාව දණ ගස්වන්නේ අපේ රටේ කෑදර පාලකයින් විසින්. 1956 මැයි මස 26වැනිදා එවකට ඉන්දියාවේ අගමැති ජවහල්ලාල් නේරු මහත්මයා වැදගත් කතාවක් පාර්ලිමේන්තුවේදී කියා තිබෙනවා. “තමන්ගේ තෙල් නිපදවන්නේ නැති රටක් ඉතාම දුර්වල රාජ්‍යයක් බවට පත්වෙනවා.” ජවහල්ලාල් නේරු මතු කරන්නේ රටක ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉන්ධන ප්‍රධාන තැනක් ගන්නා බවයි. ඉන්ධන කියන්නේ දේශපාලනයත් එක්ක, බලයත් එක්ක ගැට ගැහුණු දෙයක්. ලෝකය පාලනය කරන මෙවලම්වලින් එකක් බල ශක්තිය. ඩැනියල් ගර්කින් බලශක්තිය ගැන පොතක් ලියලා තියෙනවා. ඉන්ධන කර්මාන්තයේ ඉන්න අය මේ පොත සලකන්නේ ඉන්ධනවල මහා වංශය හැටියටයි. ද ප්‍රයිස්, ද එපික් ක්වෙස්ට් ෆො ඔයිල් ඇන්ඞ් පවර්ඳා වරින් වර මේ පොතේ අලුත් සංස්කරණයන් ඉදිරිපත් කරනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාව ඉන්ධන කර්මාන්තය ඉස්සරහා දණ ගැස්වීම පිළිබඳව පරිච්ඡේදයක් එන්නත් ඉඩ තියෙනවා. දැනටමත් ඉන්දියාව ලෝකයේ දැවැන්තම ඉන්ධන පිරිපහදු සමාගම්වලින් එකක් පිහිටුවා තිබෙන රටක්. එලයන්ස් සමාගම දවසකට බැරල් ලක්‍ෂ 12ක් පිරිපහදු කරනවා. සිංගප්පූරුවත් ඉන්ධන පිරිපහදු කිරීමේ විශාලම මධ්‍යස්ථානයක් වී තිබෙනවා.

අපි කව්රුත් අහලා තියෙන ෂෙල් සමාගමට මුළු ඉන්ධන පිරිපහදු කර්මාන්තයටම තිබෙන්නේ හෙක්ටයාර් 145ක භූමි ප්‍රමාණයක්. ත්‍රිකුණාමලයේ හෙක්ටයාර් 345ක් තියෙනවා. අපි දෝත පුදලා මේ අපට අයිති තෙල් ටැංකි සංකීර්ණය පවරා දෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමේදී ත්‍රිකුණාමලය අග නගරය බවට පත් කිරීමේ සැලසුමක් තිබුණා. පුල්මුඬේ ඛනිජ වැලි, ස්වභාවික වරාය මූලික කරගත්ත විශාල ආර්ථික සම්පත් පිහිටා තිබීම නිසා එම සැලසුම තිබුණා. දැනටත් අපේ රටේ ක්‍රියාත්මක වන අයි.ඕ.සී. සමාගමේ ඉදිරි සැලැස්ම අනුව 2022දී ගබඩා සංකීර්ණයක් පිහිටුවනවා. 2025දී පිරිපහදු කර්මාන්තයක් ඉදි කරනවා. 2030දී රටවල් ගණනාවක තවත් ඉන්ධන කර්මාන්ත ශාලා ගණනාවක් පිහිටුවන්න සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මේ ආණ්ඩුවලට ඒ වගේ සැලසුම් නැහැ. ඒ සමාගම්වලට සූර්ය බල ශක්තිය සුළං බල ශක්තිය වගේම උදම් රළ ආශ්‍රයෙන් බල ශක්තිය ලබා ගැනීමේ සැලසුම් තිබෙනවා. එදා වේලට විකුණං කන ආණ්ඩුවක් මේ වගේ සැලසුම්සහගත සමාගමක් එක්ක කටයුතු කිරීමේ භයානක ප්‍රතිඵල අපි අත්විඳිමින් ඉන්නවා. ඉන්දියාව සහ ලංකාව ආසන්න පිහිටීම නිසා තවත් භයානක අනතුරක් තිබෙනවා. ලෝක සිතියම අනෙක් පැත්තට හැරෙව්වොත් ලංකාව පිහිටා තිබෙන්නේ ආසියාවට ඉහළින්ම. ඉන්දියාවට ඇතුල් වීමේ දොරටුව ශ්‍රී ලංකාවයි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගේ සිට වර්තමාන ඉන්දියාව, චීනය, ඇමරිකාව දක්වා අපිව යටත් කරන්න බලාගෙන ඉන්න අයට අපේ රටේ වැදගත්කම මේ සිතියමෙන් පැහැදිලි වෙනවා.
තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය, හම්බන්තොට වරාය ප්‍රශ්නය, කොළඹ පෝට් සිටිය පිළිබඳ ප්‍රශ්නය ඇතුළු ආර්ථික මර්මස්ථානවලට ඔවුන් ඇතුල් වීම සලකා බැලිය යුත්තේ භූ දේශපාලනික කරුණු මත ඉඳලයි. 2002 ඉඳලා ඔවුන් උත්සාහ කරනවා, ධනුෂ්කොඩි ඉඳලා තලෙයි මන්නාරමට පාලමක් ඉදි කරන්න. 2015 සැප්තැම්බර් මාසයේදී මේ පාලම ඉදි කිරීම පිළිබඳ වාර්තාවක් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්දීය ප්‍රවාහන ඇමතිවරයාට ඉදිරිපත් කළා. මේ පාලම ඉදි කිරීමෙන් තලෙයිමන්නාරම, මන්නාරම, පෙරියන්කුලම ඒ30 පාර. වව්නියාව, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, ඒ39 පාර, ත්‍රිකුණාමලය ඒ12 පාර යා කරන්න සැලසුමක් තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව ගත්තාම දකුණු පැත්තෙන් වටේ නොගිහින් තලෙයිමන්නාරමේ ඉඳලා යන්න පාරක් හැදෙනවා. ධනුෂ්කොඩි ඉඳලා ත්‍රිකුණාමලයට ඉතාම කෙටි පාරක් සැලසුම් කර තිබෙන බව අපි මේ රටේ ජනතාවට අවධාරණය කරනවා. කෝප් සමුද්‍ර සන්ධියේ සිට ආදම්ගේ පාලම ඔස්සේ ඉන්දියාවෙන් ලංකාවට කෙටිම පාරකින් පැමිණ ත්‍රිකුණාමලය දක්වා ගමන් කිරීමේ අභිලාෂයක් ඉන්දියාවට තිබෙනවා. අපේ රටේ ස්වෛරීත්වය, ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නය අනාගතයේදී මතුවිය හැකි අපේ රටේ මහානායක ස්වාමින් වහන්සේලාට, සිවිල් සංවිධානවලට අපි අවධාරණය කරනවා. මේ ගැන සිහි බුද්ධියෙන් ඉන්න සියලු දෙනාට අපි ආරාධනා කරනවා, මේ කටයුත්තට මැදිහත් වෙන්න කියලා.

අපිට ඩොලර් ඕනෑ නිසා මේ දේවල් විකුණන්න සිද්ධ වෙලා තිබෙන බව ආණ්ඩුව කියනවා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වහලා තිබෙන වෙලාවේ කරන මේ දේවල් අතිශයින්ම බරපතළයි. මේ ගනුදෙනුව තුළ මූලිකයන් වෙලා ඉන්න අය ගැනත් හොයා බලන්න ඕනෑ. කෙරවලපිටිය යුගදනවි ගිවිසුම රෑ 12.06ට අත්සන් කිරීම පිටුපස සිටියේ කවුද කියලා අපි දැක්කා. මේ ගිවිසුම පිටුපස ඛනිජ සම්පත් සංවර්ධන අධිකාරියේ ප්‍රධානියා ඉන්නවා. මේ ගනුදෙනුව පිටුපස අධිකාරියේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය ඉන්නවා. ඔහු තමයි කාල්ටන් නිවාසයේ අයිතිකරු. ඔහු ඛනිජ තෙල් ඇමතිවරයාගේ උපදේශකයෙක් හැටියටත් වර්තමානයේ ඒ අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ලයේත් ඉන්නවා. මේ ගනුදෙනුවේදී සාලිය වික්‍රමසූරියගේ කාර්යභාරය හොයලා බලන්න කියලා අපි මේ රටේ මාධ්‍යයටත් ජනතාවටත් අවධාරණය කරනවා. ඛනිජ තෙල් සම්පත් අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඕවිටිගම කියන්නේ කවුද? ලෝකයේ ඛනිජ තෙල් මූලස්ථානය හැටියට සැලකෙන ඇබර්ඩින්වල පිහිටි සමාගමක වැඩ කළ මේ පුද්ගලයා පසුව වියට්නාමයේ වැඩ කරන අතරේ වියත්මගට සම්බන්ධ වුණා. මෙන්න මේ දෙන්නා ගැන හොඳින් හොයලා බලන්න කියලා අපි සියලු දෙනාගෙන් විවෘතව ඉල්ලා සිටිනවා. මේ අය ජන වරමක් නැති පුද්ගලයෝ. අපේ රටේ අනාගතය තීරණය කරන්නේ මේ පුද්ගලයන්. රාජපක්‍ෂ පවුලට ඉන්දියාව එක්ක වෙනම ඥාතිත්වයක් තියෙනවා. ඒ අතර සෘජුවම තෙල් ක්‍රියාවලියට සම්බන්ධ මේ පුද්ගලයින් දෙදෙනා සුවිශාල කාර්යභාරයක් කරනවා.

මේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව පත්තර දැන්වීමක් පළ කර තිබුණා. මේ ගිවිසුම අත්සන් කිරීම සාධාරණීකරණය කරන්න විවිධ කරුණු දැන්වීමේ ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි යළි රටට ගෙන ඇති බව කියන්න අපූරු පින්තූරයක් යොදා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ත්‍රිකුණාමලයෙන් ගලවන බව ඒකෙන් පේනවා. ඔවුන් කියන්න උත්සාහ කරන්නේ ජාතික කොඩිය ත්‍රිකුණාමලයේ සිටුවන බව පෙන්වීමටයි. නමුත් මුළු ක්‍රියාවලිය අධ්‍යයනය කළාම පැහැදිලි වෙන්නේ ජාතික කොඩිය ත්‍රිකුණාමලයෙන් ගලවන බවයි. අපිට ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්න තිබෙනවා. ඊළඟ වේල කන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දරුවන්ට පොත් ටික ගැනීම ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රශ්න රාශියකින් හැම කෙනෙක්ම වෙළිලා ඉන්නවා. හැබැයි ඒ ඔක්කොම ප්‍රශ්න විසඳා ගන්න අපිට රටක් තියෙන්න ඕනෑ. ජනතාවට තිබෙන අමාරුකම්, බැරිකම් පිට දාලා අපේ රටට විදේශ විනිමය ගේන්න තියෙන, අනාගත සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කරන්න තියෙන ජාතික සම්පත් විකුණන්න දෙන්න එපා. තුන්වැනි ලෝක යුද්ධයක් ඉස්සරහා භූ දේශපාලනික තර්ජනයක් අපේ රටට තිබෙනවා. ආසියාවේ අභිමානයක් ඇතිව ජීවත් වෙන්න ඕනෑ රටක් නිරුවත් කරන මේ ක්‍රියාවලිය තීරණාත්මක ලෙස පරාජය කළ යුතුයි. අපේ රටේ මහා සංඝරත්නය සහ අනෙකුත් සියලුම ආගමික නායකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා, මේ තත්වය පරාජය කරන්න එකතු වෙන්න කියලා. මේ රටට ආදරය කරන දේශප්‍රේමීන් සියලු දෙනාගෙන් අපි ඒ ඉල්ලීම කරනවා.
මේක තෙල් සංස්ථාවේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක වෘත්තීය සමිති පිළිඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ රට දිහා ආදරයෙන් බලා ඉන්න, මේ රට යළි ගොඩනගන්න දියුණු රටක් බවට පත්කරන්න දෑස් දල්වාගෙන ඉන්න සියලු දෙනාගෙම ප්‍රශ්නයක් මේක. විදේශගත ශ්‍රී ලාංකිකයින් කවදා හරිමේ රටට එනවා නම් ඔවුන්ටත් අදාළ ප්‍රශ්නයක්. මේ රට බේරා ගැනීමට බලාගෙන ඉන්න සියලුම දෙනාගේ ප්‍රශ්නයක්. මේ මහා ආර්ථික සම්පත උදුරා ගන්න ඉඩ නොදෙන්න. අපේ ජාතික කොඩිය ගලවනවා වගේ මේ ආර්ථික සම්පත විකුණා දමන්න ඉඩ නොදෙන්න කියලා සියලපු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

තෙල් ටැංකි ටික හදාගෙන තිබුණා නම් අද තිබෙන පෝලිම් එන්නේ නැහැ. ලෝකය පුරා කොරෝනා අර්බුදය ආපු වෙලාවේ තෙල් මිල ඉතාමත් පහත වැටුණා. තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ ඉංජිනේරුවන් සැලසුමක් සකස්කර තිබුණා. ඩොලර් මිලියන 45ක් වගේ මුදලකින් මේ ටික ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් බව ඔවුන් පෙන්වා දී තිබුණා. අධියර දෙකකින් ප්‍රතිසංස්කරණය කළ යුතු ටැංකි පිළිබඳව සම්පූර්ණ සැලැස්මක් තිබෙනවා. ඩොලර් නැතනම් ණයක් අරගෙන ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. එහෙම කළා නම් බොර තෙල් නැති බව කියමින් තෙල් පිරිපහදුව වහලා දාන්න ඕනෑ නැහැ. අද ඉන්දියාව ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් හදන්න උත්සාහ කරනවා. නමුත් මේ ටැංකි ටික තිබෙනවා නම් අපිට පුළුවන් මාලදිවයිනටත් තෙල් විකුණන්න. අපිට අයිති මුහුදු කලාපයේ තෙල් සහ ගෑස් තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේ සම්පත් ගොඩගන්න කොට අපිට ත්‍රිකුණෘමලයේ තෙල් පිරිපහදුවත් වැදගත් වෙනවා. මේ ටැංකි ටික ප්‍රතිසංස්කරණය කර ගත්තා නම් අද පෝලිමේ ඉන්න ඕනෑ නැහැ. දෙවැනි ලෝක යුද්ධය නිසා ඉංග්‍රීසින් ඉදිකළ මේ ටැංකි අද රත්තරං නිධානයක් වගේ තියෙනවා. මේවායෙන් ප්‍රයෝජන අරගෙන අපේ පාලනයක් යටතේ ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් ණය ගන්න රටක් වෙනුවට විදේශයන්ට ණය දෙන රටක් බවට පරිවර්තනය කරනවා. එහෙම නොකළොත් 2072 වෙනකොටත් තෙල් පෝලිමේ ඉන්න වෙනවා.

විදුලි බල මණ්ඩලය ණය වෙලා තියෙන්නේ පාරිභෝගිකයන් ලයිට්බිල නොගෙවූ නිසා නොවෙයි. හදිසි මිලදීී ගැනීම් නිසයි. විදුලිය බිඳ වැටීමට සලස්වා හදිසි මිලදීගැනීම් කරනවා. නමුත් අපේ රටට ජාතික විදුලි ජනන සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්මට අනුව ක්‍රියා කරනවා නම් හදිසි මිලදී ගැනීම් සිදු වෙන්නේ නැහැ. නමුත් අද මහජන උපයෝගීතා කොමිසම විදුලිය කැපීමට අනුමැතිය දෙන තැනට පත්වෙලා. ඔවුන් කැමැත්තෙන් නෙවෙයි අනුමැතිය දුන්නේ. දැන් සිදුවී තිබෙන්නේ නහයට උඩින් වතුර පිරී තිබීමයි. ඩොලර් නැති නිසා පොහොර ගේන්න බැහැ. ඒ වගේම ඩොලර් නැති නිසා විදුලිය දෙන්නත් බැහැ. ඒ වගේම ගෑස් නැහැ කියලත් කියනවා. මෙතනට රට වැටුණේ කොහොමද? ඉබේ වැටුණා නෙවෙයි ඩොලර් අරබුදයට වැට්ටුවා. රටේ සම්පත් මංකොල්ල කන ටිකදෙනෙකුට මේ ප්‍රශ්න නැහැ. ඔවුන්ට යන්න වෙන රටවල් තිබෙනවා. ඒ නිසා රටේ ජනතාව එකතු වෙලා මේ සියලුම ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕනෑ.