මුදල් ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභා වාර්තාවෙන් මුදල් අමාත්‍යාංශයට එල්ල කර ඇති චෝදනා සහ සත්‍ය කරුණු වසන්කර ව්‍යාජ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම යන චෝදනා මත මෙම විශ්වාසභංග යෝජනාව විෂය භාර ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව ගෙන එන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ සිංහල අලුත් අවුරුද්දේ වැඩ අල්ලන නැකතේදී විශ්වාසභංග යෝජනාව සකස් කරන බවය.
ආණ්‌ඩුවේ නොහැකියාව වසා ගනිමින් සත්‍ය කරුණු සගවා ව්‍යාජ අයවැයක් මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පසුගිය මාර්තු 05 වැනිදා ඉදිරිපත් කළ බවද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
අයවැය නොවැම්බර් කියෑවීමේ විවාදයට පෙර මෙම මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව කී බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික දත්ත සගවමින් පාර්ලිමේන්තුවට තොරතුරු සපයා ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇතැයිද කීය.
අයවැය පිළිබඳ අපක්‍ෂපාතී විග්‍රහයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගන්නා ලෙසටද අදාළ වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි කී මන්ත්‍රීවරයා මේ අනුව පසුගිය කාලයේ සිදුකර තිබෙන්නේ ව්‍යාජ අයවැය ලේඛනයකට අදාළ විවාදයක් බවද කීය.
මෙම කරුණු සලකා විෂයභාර ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒකාබද්ධයෙන් මංගලට විශ්වාසභංගයක්
