“මට අලුත් අක්මාවක් සමගම අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තූතියි” සුවය ලද දැරිවිය පවසයි

“මට අලුත් අක්මාවක් සමගම අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තූතියි” සුවය ලද දැරිවිය පවසයි
Spread the love

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඉතා සාර්ථකව  සිදු කරයි

දිවයින පුරා සේවය කරන බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සක්‍රීය දායකත්වය ද සමග උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය මගින් ජීවී දායකයෙකුගේ අක්මාවකින් කොටසක් උපයෝගී කරගනිමින් වයස අවුරුදු 09 ක් වන සිරෝසීස් රෝගයෙන් දීර්ඝකාලීනව අපහසුතා විඳී දරුවෙකුගේ අක්මා බද්ධයක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රධාන ශල්‍ය වෛද්‍ය කණ්ඩායම විසින් 2020 ජුලි 14 වන දින සාර්ථකව සිදු කරන ලදි. කුඩා දරුවෙකුගේ අක්මා බද්ධ කිරීමක් ශ්‍රි ලංකාවේ දී  සාර්ථකව සිදුකල ප්‍රථම අවස්ථාව මෙය වන අතර, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ සාර්ථක 50 වැනි වැඩිහිටි අක්මා බද්ධ කිරීම ද මේ සමගම සුවිශේෂි ලෙසින් සනිටුහන් වෙයි.

මෙරට පළමු වරට සිදුකරන ලද කුඩා දරුවෙකුගේ අක්මා බද්ධ කිරීමේ සැත්කම සහ එහි ප්‍රගතිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම සදහා විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, එහිදී අක්මා බද්ධ සැත්කමට දායක වූ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සැත්කම පිළිබද කරුණු දක්වන ලදි.

දුර්ලභ ලෙස හමුවන ජානමය පසුබිමක් සහිත අක්මාව ආශ්‍රිත රෝගී තත්වයකින් කුඩා කල සිටම පෙලෙන මෙම කිශානු  නමැති දැරිවිය යාපනය ප්‍රදේශයේ දුෂ්කර ග්‍රාමයක උපත ලද ඇති අතර, සාර්ථක ශල්‍ය කර්මයකින් පසු එම කුඩා දැරියත්, අක්මා දායක කල ඇගේ 38 හැවිරිදි මවත් මේ වනවිට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ඉතා  ඉක්මන් සුවය ලබමින් සිටියි.

පසුගිය වසරක කාලයක් පුරාවට කිශානු නමැති දැරිවියගේ අක්මාවේ ක්‍රියාකාරිත්වය දැඩිලෙස දුර්වල තත්වයට පත්ව තිබු හෙයින්, ඇයට ශෝචනීය ලෙස දීර්ඝ කාලයක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත. ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ ඇයගේ ජීවිතය බේරාගැනීමට ඉක්මනින් අක්මා බද්ධ කිරීමක් අවශ්‍ය බවටය. නමුත් ඇයට සහනයක් සැලසීමට තිබු ප්‍රධානතම බාධකය වී ඇත්තේ ඒ වනවිට ලංකාව තුළ ළමා අක්මා බද්ධ කිරීමේ ක්‍රමවේදයක්‌ සකස් නොවී තිබීමයි. එම නිසා එම දෙමාපියන්ට තිබු එකම විසදුම වී ඇත්තේ විදේශ රටකට ගොස් එම ශල්‍ය කර්මය සිදු කර ගැනීම වන අතර ඔවුන්ගේ ආර්ථික තත්වය හමුවේ එය ඔවුන්ට සිහිනයක් පමණක් වී ඇත. එබදු පසුබිමක වෛද්‍ය වී.තුෂාන්තන් සහ වෛද්‍ය කේ.අරුල්මොලි යන විශේෂඥ වෛද්‍යවරුන් මෙම දරුවා රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකයට යොමු කොට ඇත. දරුවාගේ රෝගී තත්ත්වය අධ්‍යනය කල උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමට අවබෝධ වී ඇත්තේ 38 හැවිරිදි ඇගේ මව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන  බවත්, ඇය දරුවාගේ ජීවිතය බේරා ගැනීමට තම අක්මාවෙන් කොටසක් ලබාදීමට ඉතා සතුටින් දායක වීමට කැමැත්තෙන් සිටින බවත්ය. ඒ අනුව විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ඇතුලු ප්‍රධාන ශල්‍ය වෛද්‍ය කණ්ඩායම විසින් 2020 ජුලි 14 වන දින මෙම දරුවාට නව ජීවිතයක් ලබා දීමේ සංකීර්ණ ශල්‍ය කර්මය සිදු කොට ඇති අතර, ඉතා සංකීර්ණ වූ මෙම ශල්‍ය කර්මය සදහා පැය 12 කට වඩා වැඩි කාලයක් ගත වී ඇත. මෙම ශල්‍යකර්මය සදහා දිවයින පුරා වෙසෙන බොහෝ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් සහය දක්වා ඇත.  

ඉතා සාර්ථක ශල්‍යකර්මයකින් පසු දරුවා දැඩි සත්කාර ප්‍රතිකාර සදහා යොමු කොට ඇති අතර, ඒ වන විට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ඒ සදහා විශේෂ දැඩි සත්කාර ඒකකවල තිබු අඩුපාඩුව හේතුවෙන්, දරුවා දැඩි සත්කාර ප්‍රතිකාර සදහා වත්තල හේමාස් රෝහල වෙත යැවීමට තීරණය කොට ඇත. එහිදී දින 7 ක්‌ තුළ සිදුකල දැඩි සත්කාර ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට එම රෝහල සියළු කටයුතු යොදා ඇත. මේ වනවිට දරුවා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සුවය ලබමින් ඇයගේ මව සමග සතුටින් කාලය ගත කරන අතර ඇයගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් දරුවාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ වෙත අතිශය කෘතඥතාව පල කරයි.

මෙම අක්මා බද්ධ සැත්කම සදහා විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රමුඛ 07 කගෙන් යුත් ප්‍රධාන ශල්‍ය වෛද්‍ය කණ්ඩායම වෙත විශේෂඥ වෛද්‍යවරු,  නිර්වින්දන කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය. ළමා රෝග අංශයේ වෛද්‍ය හා හෙද කණ්ඩායම්, විකිරණවේදී වෛද්‍ය කාර්ය මණ්ඩලය, ශල්‍යගාර  හෙද කාර්ය මණ්ඩලය සහ  හේමාස් රෝහලේ කාර්ය මණ්ඩලය  ද සහයෝගය ලබාදී ඇති අතර ඔවුන්ගේ සේවය අගයමින් සමරු සිහිවටන ලබාදීම ද මෙහිදී සිදු විය.

වසරකට ලොව පුරා අක්මා බද්ධ සැත්කම් 30,000 පමණ සිදු කෙරෙන අතර, අසල්වැසි ඉන්දියාවේ වසරකට අක්මා බද්ධ සැත්කම් 3000-4000 ක් පමණ සිදු කෙරේ. සිරෝසීස් රෝගය සහ අක්මාවේ දැඩි අකර්මන්‍යතාවයන් දරුවන්ගේ ජීවිතවලට ඉතා භයානක ලෙස බලපාන අතර ඒ සදහා එකම ප්‍රතිකර්මය වනුයේ සාර්ථක අක්මා බද්ධය වන අතර, ඉන් පසු ඔවුන්ට සාමාන්‍ය පරිදි වැඩිහිටි අවධිය තෙක් ජීවිතය ගත කිරීමට අවස්ථාව ලැබේ. අක්මා බද්ධ කිරීමේ ශල්‍ය කර්මය ඉතා සංකීර්ණ ශල්‍ය කර්මයක් වන අතර, ජීවී දායකයෙකුගේ අක්මාවක් යොදාගෙන සිදුකරන බද්ධ කිරීමේ දී දායකයා හා ප්‍රතිග්‍රාහකයා යන ජීවිත දෙක පිළිබදවම දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය.වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ගේ ශල්‍ය කර්මයන් සංකීර්ණ හා අවදානම් සහගත වන අතර ළමයින්ගේ අක්මා බද්ධ කිරීම ඒ හා සසදන විට ඉතා අවදානම් සහගත වේ. වැඩිහිටි දායකයෙකුගෙන් (ආසන්න වශයෙන් 40%) ලබාගත් පසු එම පුද්ගලයාගේ ඉතිරි අක්මා කොටස වර්ධනය වන අතර එය සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සදහා  ප්‍රමාණවත් වේ. දරුවාගේ ද ප්‍රතිග්‍රහණය වන අක්මා කොටස ඉතා හොදින් වැඩී දරුවාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සදහා හැකියාව ලැබීම ද සුවිශේෂිතාවයකි. මේ දක්වා අක්මාවේ දැඩි රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන දරුවන් සදහා ශල්‍ය කර්මයක් සිදුකිරීමට විදේශ රටවලට යාමට සිදුවු අතර ඒ සදහා රුපියල් මිලියන 10 කට වඩා වැඩි මුදලක් වැයවේ.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් වෛද්‍යවරුන් කියා සිටියේ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය වශයෙන් ඔවුන් තුළ ශල්‍ය කර්ම සිදුකිරීම හා පසු ප්‍රතිකාර කිරීම පිළිබද ඔවුන්ගේ ඇති විශේෂඥ දැනුම හා අත්දැකීම් සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් පවතින බවයි. අවශ්‍ය යටිතල පහසුකම් සහ නවීන උපකරණ වන්නේ නම් විශේෂයෙන්ම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය වශයෙන් ඔවුන් සිදු කරගෙන යන මේ කර්තව්‍ය තවත් මල්ඵල ගැන්වෙන බවත්,  බලදාරීන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ නොමද සහයෝගය ලදුව අංග සම්පූර්ණ, පහසුකම් සහිත අක්මා බද්ධ කිරීමේ ඒකකයක් නුදුරු අනාගතයේ දී  රටට දායක කිරීමට ඔවුන්යුහුසුලුව බලා සිටින බවත් ප්‍රකාශ කරන ලදි.  

මට අලුත් අක්මාවක් සමගම අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තූතියි. ඔබ මට ඉටු කලා මෙන් හොදම දෙයක් ලෝකයට සිදු කිරීමට මම පොරොන්දු වෙමි. කරුණාකර  අනෙක් යාළුවන්ටත් උදව් කරන්න. අපට ජීවත් වෙන්න තව එක අවස්ථාවක් උදා කර දෙන්න.”  යැයි සුවය ලද කිශානු දැරිය පවසා ඇත.

මෙම මාධ්‍ය හමුව සදහා රාගම වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අංශ ප්‍රධානී මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය රනිල් ප්‍රනාන්දු මහතා, රාගම වෛද්‍ය පීඨයේ පිඨාධිපති කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත විඡේසිංහ මහතා, රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා, රාගම වෛද්‍ය පීඨයේ ළමා රෝග අධ්‍යයන අංශයේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මෙරන්ති ප්‍රනාන්දු මහත්මිය, රාගම වෛද්‍ය පීඨයේ නිර්වින්දනය පිළිබද විශේෂඥ වෛද්‍ය ඡ්‍යෙෂ්ඨ කථීකාචාර්ය භාග්‍ය ගුණතිලක මහතා, රාගම වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අක්මාව, අග්න්‍යාසය, අවයව බද්ධ කිරීම පිළිබද විශේෂඥ වෛද්‍ය රෝහාන් සිරිවර්ධන මහතා ඇතුලු වෛද්‍ය, හෙද සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.