බාබඩෝස් රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටය අතහරී

බාබඩෝස් රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටය අතහරී
Spread the love

බාබඩෝස් රාජ්‍යය මෙතෙක් සිය නායිකාව වූ දෙවැනි එළිසබෙත් රැජින එම තනතුරෙන් නිල වශයෙන් ඉවත්කර, ලොව නවතම ජනරජයබවට පත් විය. බ්‍රිජ්ටවුන් අගනුවර දී රාත්‍රිය පුරා පැවති උත්සවයක් අතරතුරේ සැන්ඩ්‍රා මේසන් ආර්යාව එරට ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා ය.

රටේ 55 වැනි නිදහස් සංවත්සරයට සමගාමීව පැවති මෙම උත්සවයට වේල්ස් කුමරු මෙන්ම බාබඩියානු ගායිකාවක වන රිහානා ද සහභාගී වූහ.

එහිදී දෙසුමක් පැවැත්වූ චාල්ස් කුමරු, මේ කැරිබියානු දූපත “වහල්භාවයේ කුරිරුකම” නිසා පීඩාවට පත්ව සිටිබව පිළිගත්තේ ය.

බාබඩෝස්වලට එළඹෙන මේ නව යුගය, එම රාජ්‍යය අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳ මධ්‍යස්ථානය ලෙස වසර 200කට වැඩි කාලයක් පැවතීම ද ඇතුළු සියවස් ගණනක බ්‍රිතාන්‍ය බලපෑම අවසන් කිරීමක් වේ.

උත්සවයේ දී, නිල බලය වෙනස් කිරීම සනිටුහන් කරමින් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවට අවසන් ආචාරය පුද කරන ලද අතර, රාජකීය ධජය පහත්කර බාබඩෝස් ධජය එසවීම ද සිදු කෙරිණි.

උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස කතාවක් පැවැත්වූ චාල්ස් කුමරු, රටේ පාලනය වෙනස් වූවත්, දේශයන් දෙක අතර සබඳතාවයන් අඛණ්ඩව පවත්වා ගැනෙනු ඇතිබව පුනර්වාචනය කළේ ය.

එම මොහොත නව ආරම්භයක් ලෙසට විස්තර කළ චාල්ස් කුමරා, ඉන්පසු බාබඩෝස්හි නව ජනපතිනිය අතින් ‘ඕඩර් ඔෆ් ෆ්‍රීඩම් ඔෆ් බාබඩෝස්’ නම් ගෞරවාන්විත නම්බු නාමය ලබාගත්තේ ය.

මහ රැජින ද නව රාජ්‍යයට “අනාගත සතුට, සාමය සහ සමෘද්ධිය” වෙනුවෙන් සිය උණුසුම් සුභාශිංසන එවා තිබූ අතර, බාබඩෝසය සිය හදේ ‘විශේෂ ස්ථානයක්’ දරන බව ද පවසා තිබුණි.

2018 වසරේ සිට බාබඩෝස් දිවයිනේ ආණ්ඩුකාරවරියව සිටි හැත්තෑ දෙහැවිරිදි සැන්ඩ්‍රා මේසන් ආර්යාව, පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේ දී පැවති ඡන්දයකින් පසු බාබඩෝස් ජනාධිපති බවට තේරී පත්විය. ඇය දැන් රැජින වෙනුවට නව රාජ්‍ය නායකයා ලෙස පත්ව සිටින්නී ය.

Dame Sandra Mason, governor general of Barbados, after she was made a Dame Grand Cross of the Order of St Michael and St George on 23 March 2018
2018 වසරේ සිට බාබඩෝස් දිවයිනේ ආණ්ඩුකාරවරියව සිටි සැන්ඩ්‍රා මේසන් ආර්යාව එරට නව ජනපතිනිය ලෙස දිවුරුම් දුන්නා ය

“බාබඩෝස් ජනරජ නෞකාව ඇගේ මංගල ගමන සඳහා දියත්ව සිටින්නී ය. ඈ සියලු කුණාටුවලට හොඳින් මුහුණ දෙමින්, අපේ රටත්, පුරවැසියනුත් අපට ඈතින් පිහිටි ක්ෂිතිජය සහ වෙරළ වෙත ආරක්ෂිතව ගෙන යේවා”යි දිවුරුම් දීමෙන් පසු ඇය පැවසුවා ය.

බාර්බඩෝස් ජනරජයක් බවට පත්වීමේ සිය සැලැස්ම පසුගිය වසරේ නිවේදනය කළේ ය. නමුත් එය තවදුරටත් පොදු රාජ්‍ය මණ්ඩලය තුළ පවතිනු ඇත.

කලින් බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය ලෙස හැඳින්වුණු, පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ සංවිධානය යනු පැරණි බ්‍රිතාන්‍ය යටත්විජිත සහ වර්තමායේ බ්‍රිතාන්‍යය යටතේ පාලනය වන රටවල් ද, බ්‍රිතාන්‍යයට ඓතිහාසික සබඳතා නොමැති සමහර රටවල් ද එකතුවෙන් සැදුණු සංගමයකි.

නිදහස් දින සැමරුම අතරතුරේ රිහානා ජාතික වීරවරියක් වශයෙන් නම් කෙරිණි

පැය කිහිපයක් පුරා පැවති උත්සවයේ දී, අගමැතිනි මියා මොට්ලි ඇතුළු නව රජයේ ප්‍රධාන පුද්ගලයෝ බාර්බඩෝස් වෙත සිය පක්ෂපාතීත්වය දක්වමින් නව ජනපතිවරිය ඉදිරියේ දිවුරුම් දුන්හ.

පොප් ගායිකා රිහානා ජාතික වීරවරියක් ලෙස නම් කරන බව ද ජනපති මේසන් පසුව නිවේදනය කරන්නට යෙදුණි. රොබින් රිහානා ෆෙන්ටි යන සම්පූර්ණ නම දරන ගායිකාව 2018 වසරේ දී ඇගේ මව් රට විසින් තානාපතිවරියක් ලෙස ද නම් කරන ලදී.

“දියමන්තියක් සේ බබළමින්, දිගින් දිගටම ඔබේ ජාතියට ගෞරවයක් ගෙන දේමට ඔබට හැකි වේවා”යි රිහානාගේ එක් ගීතයක සඳහනක් (රිහානාගේ ‘ෂයින් බ්‍රයිට් ලයික් අ ඩයමන්ඩ්’ ගීය) උපුටමින් අගමැති මොට්ලි පැවසුවා ය.

2px presentational grey line

ධනාත්මක මෙන්ම ප්‍රායෝගික භාරදීමක්

බාබඩෝස්හි උණුසුම් රැයක දී පැවැත්වුණු භාරදීමේ උත්සවය, විභූතිය සහ උත්සවශ්‍රීය එකට එක්වුණු මහා සාදයකින් සමන්විත විණි.

ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සහ ගායිකා රිහානා ඇතුළු ඔවුන්ගේ ජාතිය අභිමානයට පත්කළ ප්‍රකට පුද්ගලයන් රැසක් ප්‍රභූ අමුත්තන් ලෙස සහභාගී වූ මෙම උත්සවයට ජාතික අභිමානය විදහා දක්වන්නක් විය.

ඔවුන් දෙදෙනා අතර වේල්සයේ කුමරු අසුන්ගෙන සිටියේ ය. එය ඔහුට මිශ්‍ර හැඟීම් දැනවූ මොහොතක් වන්නට ඇත. ඔහු සිය අවසන් ආචාරය ලබා ගෙන, සිය මව රාජ්‍ය නායක තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුව රාජකීය ධජය අවසන් වරට පහත හෙළන ආකාරය බලා සිටියේ ය.

ඔහු සභාව අමතා කළ කතාව, වහල්භාවයේ වේදනාව සහ ජාතීන් දෙක අතර කල් පවතින මිත්‍රත්වය අවධාරණය කරන්නට යොදාගත්තේ ය.

රාජකීය මාළිගයෙන් සැපයූ මනෝභාවයන් කුළු ගන්වන සංගීතය, උත්සවයට සුබවාදී හැඟීම් මුසු කරන්නට සමත් විය.

ව්‍යවස්ථාමය වෙනසක් සිදුවීම නැවැත්වීමට ඔවුනට නොහැකි මුත්, දෙරට අතර ධනාත්මක සබඳතා පැවැතෙනු ඇතිබවට වගබලා ගැනීමට ඔවුනට හැකි ය.

2px presentational grey line

බාබඩෝස් ජනරජයක් බවට පත්වීම රටේ අගමැතිනිය විසින් විස්තර කෙරුණේ බාබඩෝස් සිය යටත් විජිත අතීතය සම්පූර්ණයෙන්ම අත්හැර දමන, “නව ආරම්භයක මොහොතක්” ලෙසිනි.

බාබඩෝස් එංගලන්තයේ පළමු වහල් ජනපදවලින් එකකි. ඉංග්‍රීසින් 1627 දී ප්‍රථම වරට දිවයින අත්පත්කර ගත් අතර, බ්‍රිතාන්‍ය පාලනය යටතේ එය අප්‍රිකාවෙන් ගෙන එන ලද වහලුන් යොදා සීනි සඳහා උක් වගා කළ ආර්ථිකයක් බවට පත් විය.

1834 දී බාබඩෝස්හි වහල්භාවය අහෝසි කරන ලදී. 1966 දී රට සම්පූර්ණයෙන්ම නිදහස ලැබුවේ ය.

අඟහරුවාදා සිය කතාවේ දී චාල්ස් කුමරු “වහල්භාවයේ කුරිරුකම” ගැන සඳහන් කළ අතර, “එය අපේ ඉතිහාසය සදහටම කැළැල් කළා” යි ද පැවසුවේ ය.

බාබඩෝසයට පෙර, සිය රාජ්‍ය නායකයා වූ රැජින ඉවත් කළ අවසන් රට වූයේ මුරුසිය යි. ඒ 1992 දී ය.

285 000ක පමණ ජනගහනයක් වෙසෙන බාර්බඩෝසය, කැරිබියානු දූපත් අතරින් වඩාත්ම ජනාකීර්ණ හා සමෘද්ධිමත් දිවයිනකි.

කලක් සීනි අපනයනය මත දැඩිව යැපුණු එරට ආර්ථිකය මේ වන විට විවිධාංගීකරණය වී ඇතත්, කොවිඩ්-19 වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරයට ඇති වූ අහිතකර බලපෑම් හා සැපයුම් දාමවලට බාධා එල්ලවීමෙන් මිල ඉහළ යාමෙන් ද දැඩි බලපෑමට ලක්ව ඇත.

text by bbc sandesaya