Author: Editor[N]

  • ජැක්ලින් රිය අනතුරකට ලක්වේ

    ජැක්ලින් රිය අනතුරකට ලක්වේ

    ජැකලින් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වන රේස් තෙවැන්න මෙම මස 15 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති අතර මෙම චිත්‍රපටය හේතුවෙන් පැවැත්වූ සාදය අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු සමග තම මෝටර් රථයේ නිවස බලා පිටත්ව යාමේදී මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම  අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.
    මෙම අනතුරු අලුයම 2.45 පමණ සිදුවී ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණ නීතිමය කටයුතු සිදුකර තිබූ අතර, එම ත්‍රීරෝද රථ රියදුරු බීමත්ව සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • වලවේ ග‍ඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල වෙරළින් අල්ලයි

    වලවේ ග‍ඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල වෙරළින් අල්ලයි

    අම්බලන්තොට වලවේ ග‍ඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල ආසන්න වෙරළේදී අල්ලා ගෙන ඇති අතර එලෙස අල්ලාගත් දැවැන්තයා බුන්දල ජාතික උද්‍යානය මුදාහැරීමට පියවර ගෙන ඇත.
    වලවේ ගගේ කිඹුල් ගහනය වැඩිවිම නිසා ගඟ දෙපස ජීවත්වන අය මෙන්ම ග‍ඟෙන්  ජලය ප්‍රයෝජනයට ගන්නා ජනතාව දැඩි බියකින්ද පසුවන බවත් පසුගිය දිනවල ග‍ඟේ  ජලය වැඩියෙන් ගලා යෑම හේතුවෙන් මෙම කිඹුලා සැඩ පහරට හසු වි මහ මුහුදට ගසාගෙන ගොස් ඇති බවත් වනජිවී නිළධාරීහු සැකකරන බව සඳහන් වේ.

    මිරිජ්ජවිල ආසන්න වෙරළේ කිඹුලා සිටිනු දැක පසුව වනජීවී නිළධාරින්ට දැනුම් දීමෙන් පසු වෙරළ ආසන්න මුහුදේ සිටි කිඹුලා දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩට ගෙන බුන්දල  ජාතික උද්‍යානයට මුදාහැරීමට  පියවර ගෙන තිබූ බව වාර්ථා වේ.

    ඡායාරූපය හිරු ගොසිප් වෙතින්

  • මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි…

    මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි…

    මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ආදරණීය පියාණන් වූ ලේඛන ශුරී විමලසිරි ජයසුමන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

    අභාවප්‍රාප්ත වන විට අසූ වන වියෙහි පසු වූ ඒ මහතා දරුවන් පස් දෙනකුගේ පියෙකු වේ. ජයසුමන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකයකු ද වේ.

    අසූව දශකයේ කලක් ඒ මහතා පක්ෂයේ නිල පුවත්පත වූ “දිනකර” හි කතුවරයකු ලෙස ද කටයුතු කළේය.

    දේහය මතුගම නවුත්තුඩුවේ ඒ මහතාගේ මුල් නිවසේ තැන්පත් කර ඇති අතර 21 බ්‍රහස්පතින්දා සවස මතුගම පාන්තිය ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදු කරයි.

  • නම කියල කතා කරා කියල ජනපතිට මල පනී

    නම කියල කතා කරා කියල ජනපතිට මල පනී

    තමාට ජනාධිපති ලෙස ආමන්ත‍්‍රණය නොකිරීම නිසා කෝපයට පත් ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් එරට ශිෂ්‍යයෙකු හට දොස් නගන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය නිකුත් කර ඇත.

    ප‍්‍රංශයේ පාසලක පැවැති කී‍්‍රඩා උලෙලකට ජනාධිපති මැක්රන් සහභාගී වී ඇති අතර එම අවස්ථාවේදී ශීෂ්‍යයෙකු විසින් ජනාධිපතිවරයා හට ‘‘මානු’’ කියා ආමන්ත‍්‍රණය කිරීමෙන් ඔහු කෝපයට පත්වන අයුරු එම වීඩියෝවේ  දැක්වෙනවෙන අතර අවස්ථාව තෙරුම් ගෙන කතා බහ කරන ලෙසත්, විප්ලවකරුවෙකු ලෙස නොව ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කරන ලෙසත් එහිදී ජනාධිපති මැක්රන් අදාළ සිසුවාට පවසා ඇත.

  • අද සේවයට වාර්ථා නොකරන තැපැල් සේවකයින්ට වැඩ වරදින ලකුණු

    අද සේවයට වාර්ථා නොකරන තැපැල් සේවකයින්ට වැඩ වරදින ලකුණු

    අද (19) දිනය තුළ සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් තනතුර හැරගියා සේ සැලකෙන බව නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.

    සියලුම කාර්යාල විවෘත කර රාජකාරීයට පැමිණෙන කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් හා ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතු වන අතර ඒ සඳහා අදාළ ප්‍රදේශයේ පොලීසියේ සහය ලබාගත හැකි බවත් අද දිනය තුළ සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන හා පත්වීම් ස්ථීර නොකරන ලද කාර්යය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය සදහා තවදුරටත් තැපැල් පරිපාලනය වගනොකියන බවත්  තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    ඒ අතර ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් තවදුරටත් අඛන්ඩව වැඩවර්ජනය ඉදිරියට ගෙන යන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

    තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ.කාරියවසම් මහතා සදහන් කළේ කුමන් බලපෑම් එල්ල කළ ද සිය ඉල්ලිම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

  • කොළඹ වරාය මහජනතාවට විවෘත කරයි

    කොළඹ වරාය මහජනතාවට විවෘත කරයි

    යුද්ධය පැවැති කාලය තුළ ආරක්ෂක හේතූන් මත කොළඹ වරාය අධි ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන ගියත් දැනට රටේ පවතින සාමකාමී තත්ත්වය හේතු කොටගෙන මහජන දේපළක් ලෙස සළකා කොළඹ වරාය නැරඹීම සඳහා මහජනයාට විවෘත කිරීමට ජනාධිපතිවරායගේ උපදෙස් පරිදි ඉදිරියේදී කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ කොළඹ වරයේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ දී සඳහන් කරන ලදී.
    ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත ලෙස සැළකෙන කොළඹ වරාය මේ වසරේ බිලයන 13.2 ක ලාභයක් ලබාගෙන ඇති අතර එය රටේ ආර්ථික වර්ධනයට විශාල පිටුවහලක් වන අතර කොළඹ වරාය සමස්ත ජනතාවටම අයිති දේපළක් ලෙස සළකා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කල අතර පුහුණුවෙන් පසු ආරක්ෂක නිලධාරීන් 150 දෙනෙකු විසිරයාමේ උත්සවය මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවති අතර එම අවස්ථාවට වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක, ආරක්ෂ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.
  • සිර දඬුවම් ලැබූ හිමිවරුන් 15නමක් ‘ජම්පරයෙන්’ බන්ධනාගාරවල

    සිර දඬුවම් ලැබූ හිමිවරුන් 15නමක් ‘ජම්පරයෙන්’ බන්ධනාගාරවල

    මිනී මැරුම් ඇතුළු විවිධ හේතූන් යටතේ අධිකරණවලින් වැරැදිකරුවන් බවට පත්වී දඬුවම් ලැබූ චීවරධාරීන් 15 දෙනකු මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය ඇතුළුව බන්ධනාගාර කිහිපයක සිරගත කර තිබෙන බවත්, එකී සියලු දෙනා සෙසු සැකකරුවන් මෙන් බන්ධනාගාර සිර ඇඳුම (ජම්පරය) ඇඳ සිටින බවත්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
    මෙම පිරිස අතර මාස 06 සිට වසර 6-7 දක්වා වූ කාල පරාසයක සිර දඬුවම් ලැබූවන් සිටින බවද, වැලිකඩ බන්ධනාගාරයේ පමණක් එසේ දඬුවම් ලැබූ චීවරධාරීන් 08 දෙනකු සිටින බවද ඒ මහතා පැවැසීය.
    මෙම සිරගත පිරිසට අමතරව විවිධ හේතූන් මත සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීන් 10ක් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක රඳවා ඇති බවත් ඒ මහතා පැවැසීය.
    මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ සිරගත කර සිටින පූජ්‍ය හෝ පූජක පක්ෂයේ කිසිදු සිරකරුවකුට විශේෂත්වයක් දක්වා නොමැති බවත්, ඔවුන් සෙසු සිරකරුවන් මෙන්ම බන්ධනාගාර නීති රීතිවලට යටත්ව කටයුතු කරන බවත්ය.
  • ඒකාබද්ධ විපක්‍ෂය හෝ පොදුජන පෙරමුණ දෙකඩවී නැහැ

    ඒකාබද්ධ විපක්‍ෂය හෝ පොදුජන පෙරමුණ දෙකඩවී නැහැ

    ඒකාබද්ධ විපක්‍ෂය ප‍්‍රමුඛ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව ජනතාව තබා තිබෙන විශ්වාසය අබමල් රොනක තරමින්වත් පළුඳුවීමට කිසිඳු ඉඩක් නොතබන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (18) පැවසීය.

    එබැවින් ඒකාබද්ධ විපක්‍ෂය හා පොදුජන පෙරමුණ දෙකඩවී ඇති බවට පළවන ආරංචිවල කිසිඳු සත්‍යතාවයක්  නොමැති බව බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

  • ජනපති පොලිස්පතිට ජාතිය අමතයි

    ජනපති පොලිස්පතිට ජාතිය අමතයි

     මේ දිනවල පොලිස්පතිවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක්ම තමාට පැමිණිලි කර තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයන් සිදුනොකළ යුතු බවත්, දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානියා ලෙස පෞද්ගලික කරුණු කාරණා ප‍්‍රසිද්ධ වේදිකාවන්ට ගෙන ඒම, පොලිස්පති තනතුරට නුසුදුසු බවත්, ජනපතිවරයා දැඩිව  පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත අවධාරණය කර ඇත.

    පදනම් විරහිත චෝදනා නඟමින් තමන්ව අපහසුතාවට පත් කැරෙමින් තිබෙන බව එම ඇතැම් පොලිස් නිලධාරීන් ජනපතිවරයා හමුවේ පවසා තිබිණ. එවැනි දේ වහාම නැවැතිය යුතුව තිබෙන බව අවධාරණය කළ ජනපතිවරයා, වසර අවසානය වන විට ප‍්‍රමුඛ පෙලේ විමර්ශනයන් සියල්ල අවසාන විය යුතු බවට පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

    පන්සලක පැවැත් උත්සවයක දී සුදු ඇඳගත් පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිස්පති ජයසුන්දර කර තිබූ ප‍්‍රකාශයක් ජනපතිවරයා මෙහිදී විමසුමට ලක් කල අතරතමා කිසිදු පුද්ගලයකු ඉලක්ක නොකළ බව කියා සිටි පොලිස්පතිවරයා පැරණි ජනකතාවක් ආදර්ශයට ගනිමින් එවැනි සඳහනක් කළ බව පැහැදිලි කළේය.

    එය එසේ වන්නට හැකිවෙතත්, එවැනි ප‍්‍රකාශයක් හමුවේ යම් වැදගත් පුද්ගලයකු ඉලක්ක වීමට ඉඩ ඇති බව පොලිස්පති වරයාට පැහැදිලි කර දෙනු ලැබීය.

  • යාපනය මහ මුහදේ අතහැර දැමූ නැවක් ගිනිගනී

    යාපනය මහ මුහදේ අතහැර දැමූ නැවක් ගිනිගනී

    යාපනය, මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ අතහැර දැමූ නෞකාවක ගින්නක් හට ගෙන ඇත.

    නාවික හමුදාව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් ක්‍රියා කරමින් සිටින බවයි.ඊයේ රාත්‍රියේ ඇතිවු ගින්න මැඩ පැවැත්වුව ද, අද පෙරවරුවේ යළිත් නෞකාවේ ගින්න හටගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය.

    කිංඩම් නැමති මෙම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න ඇති බවට සැක කෙරෙයි.පෞද්ගලික සමාගමකට අයත් මෙම නෞකාව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කළ එකකි.මෙම නෞකාව පසුගිය ජනවාරි මාසයේදී වැලිපරයක ගැටීමෙන් සිරවීම නිසා එය අතහැර දමා තිබේ.මේවන විටත් ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.

  • තැපැල් වර්ජනයට සතියයි… – මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි

    තැපැල් වර්ජනයට සතියයි… – මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි

    වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවක ගැටලු විසඳීමේ අරමුණින් විෂය භාර අමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන් අද දිනයේ සාකච්ඡාවක් කැඳවා ඇතැයි තැපැල්පති රෝහණ අබේරත්න පවසයි.
    තම වැඩවර්ජනය ආරම්භ කර අදට සතියක් ගතවී ඇති බවත් සිය වර්ජනයෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ පිට පළාත් තැපැල් ස්ථානවල ලක්ෂ 15 කට අධික ලිපි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසා සිටි අතර තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ, ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන අයුරින් මෙම ගැටලුව අද දිනයේ විසඳීමට අපේක්ෂා කරන බවයි.
  • “කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන”- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

    “කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන”- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

    භික්ෂුවක් සිරදඬුවම් ලැබුවොත් සිරකරුවන්ගේ ඇඳුම ඇඳිය යුතුමද යනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු දඬුවම නිසා මේ වෙද්දී රටේ තවත් නීති ප්‍රශ්නයක් ඇති වී අැත. 

    උපසම්පදා භික්ෂුවකගේ සිවුර එසේ ගලවා ඉවත් කරන්න නොහැකි බව බොදු සේනාවේ හිමිවරු සඳහන් කරන අතර තම සංඝ සභාවේ අනුමැතියකින් තොරව ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන බලවත් අප්‍රසාදය පළකරන බව කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව අධිකරණ ඇමැතිවරයාට ලිපියක්‌ යොමු කර ඇත.

    කෙසේ වුනත් රටේ නීතිය අනුව කවුරු සිරදඬුවම් ලබලා ආවත් සිරකරුවන්ගේ ඇඳුම අැඳිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. රටේ නීතිය අනුව සිරකරුවෙක්ට බන්ධනාගාරය ඇතුලේදී වෙනත් කිසිම ඇඳුමක් අඳින්න බෑ. ඒ නිසා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජම්පරය ඇඳීම නිත්‍යනුකූල බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

    මේ අතර ඥනසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන බොදුබල සේනා සංවිධානයේ හා සිංහල රාවය සංවිධානයේ හිමිවරු ඊයේ මහානායක හිමිවරුන් දැනුවත් කරන ලද අතර මේ ගැන ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරි දින කිහිපය තුළ ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කිරීමට නියමිත බව අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කරන ලදී.

  • අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට අධිකරණය රංජන්ගෙන් හේතු ඉල්ලයි

    අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට අධිකරණය රංජන්ගෙන් හේතු ඉල්ලයි

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා ආඥාවක් කෙටුම්පත් කර අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.

    අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි දෙකක් අද(18) අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , සහ මුර්දූ  ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝගය කෙරුණි.

    පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් සිදු කළේ යැයි කියන  අපහාසාත්මක ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නිරීක්ෂණය කර ඒ තුලින්  බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් තීන්දු කර ඇතැයි සඳහන් කර සිටියේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදායට අනුව මීළඟට පැවරී ඇත්තේ වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසීමේ  ආඥාව කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම බවද දන්වා සිටියේය.

    එම ඉල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ..සුමන්දිරන් මහතා කියා සිටියේ නීතිපතිවරයා අදාළ ආඥාව කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.

    එම ආඥාව කෙටුම්පත් කරවිය යුත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහය පැවරී ඇති ප්‍රතිපාදනවලට අනුව බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා දන්වා සිටියේය.

    කෙසේවතත් අදාළ ආඥාව කෙටුම්පත් කරන මෙන් නීතිපතිවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල නැවත ජුලි මස තිස් වනදා කැඳවන මෙන් ද නියම කළේය.

    පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

    පැමිණිලිකරුවන් කියා සිටින්නේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවයි.

    මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය හීන වන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිලිකරුවන් පවසයි.

    මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

  • අගමැති යළි දිවයිනට

    අගමැති යළි දිවයිනට

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සිය දින 08 ක විදේශ සංචාරය නිමා කර අද(18) දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්-668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

    එතුමා ඇතුළු දූත පිරිස ඉකුත් පසුගිය 10 වන දින අලුයම 3.15 ට කටාර් ගුවන් සේවයේ යානයකින් දෝහා වෙත පිටත්ව ගොස් තිබුණි.

  • වාහන මිල යළි ඉහලට

    වාහන මිල යළි ඉහලට

    මෙරට පෞද්ගලික වාහන භාවිතාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ලෝක බැංකුවේ ඉල්ලීමක් මත වාහන මිල ඉදිරියේදී ඉහල දැමීමේ සැලැසුමක් ඇතැයි වාහන අලෙවිකරුවන්ගේ කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    ඒ අනුව 1000 සී සී  ප්‍රමාණයේ ඇංජින් ධාරිතාවයෙන් යුත් වාහන වල මිල බොහෝදුරට ඉහළ යාමට ඉඩ ඇති බව පැවසේ.
    මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් හා වාහන ආනයන කරුවන් අතර සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
  • බැසිල් කල්ලියෙන් විමල්ට දැඩි විරෝධයක්

    බැසිල් කල්ලියෙන් විමල්ට දැඩි විරෝධයක්

    ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පැවැත්වුණේ විජේරාම නිල නිවසේදීය. මෙවර පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම සමග කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටය.  
    “දහසය දෙනාගේ කණ්ඩායමක් නිර්මාණය වීම අපි ලබපු ජයග්‍රහණයක්. ඒ නිසා අපි ඒ අයට ඉහළ පිළිගැනීමක් දෙන්න ඕන කියමින් විමල් දහසයේ කණ්ඩායම පිළිගත්තේය. එහෙත් විමල්ගේ කතාවට ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් කල්ලියේ මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.
    “දහසය දෙනාගේ කණ්ඩායමේ ඉන්න ඩිලාන් පෙරේරා කියලා තිබුණා හිටපු පක්ෂ ‍ලේකම් අයින් වෙලා අලුත් පක්ෂ ‍ලේකම් කෙනෙක් පත්වීම හොදයි කියලා. ඒත් අලුත් ‍ලේකම් කියන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී කියලයි. ඒ වගේ තත්ත්වයක් යටතේ් දහසයේ කණ්ඩායම එක්ක වැඩ කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. 
    “මේ අදහස් නිසා ඒකාබද්ධය බෙදිලා කියලා කතා වෙනවා. අපි කවුරුත් අපේ මතවාද ප්‍රකාශ කරනකොට ප්‍රවේශම් වෙන්න ඕන. අපිට මොන මතවාද තිබුණත් සාකච්ඡා කරලා තීන්දු ගන්න ඕන”මහින්ද කීවේය.
    “ආණ්ඩුවෙන් එළියට බැස්ස දහසය දෙනාගේ කණ්ඩායම විවිධ මත ප්‍රකාශ කරමින් යනවා. සමහරු කියන්නේ මහින්ද මහත්තයාට උදව් කරනවා කියලයි. තවත් සමහරු ‍පොහොට්ටුවේ ඡන්ද ටිකත් අරගෙන මහින්ද මහත්තයා ළඟට යනවා කියනවා. විපක්ෂයට ඇවිත් ජනාධිපතිතුමා එක්ක දේශපාලනය කරනවා නම් අපිට එකඟ වෙන්න බෑ”රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවැසුවේය.
    “කවුරුහරි ආණ්ඩුවෙන් අයින් වෙනවා නම් ඒ අය ශ්‍රී ලංකා ‍පො.පෙ. එන්න ඕන”කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කතාවට ‍පොහොර දැම්මේය.
    “දහසය දෙනාගේ කණ්ඩායමත් මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි”මහින්ද කීවේය.
    “අපි මේ බලවේගය හදාගත්තේ අමාරුවෙන්. ඒක විනාශ වෙන්න දෙන්න බෑ”රෝහිත කීවේය.
    “ඒ කියන්නේ දහසය දෙනා අපි පිළිගන්න ඕන නෑ කියන එකද”විමල් වීරවංශ විමසුවේ තරමක ආවේගයෙන් යුතුවය.
    “ඒ අය ප්‍රතික්ෂේප කරන්න කියලා අපි කියන්නේ නෑ”රෝහිත එයට උත්තර දුන්නේය. 
    මේ සමග තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය.