Author: Editor[N]
-

ප්‍රසන්නට මහින්ද ළඟට යන්න බැරිවේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ගම්පහ, කිරිල්ලවල බලා පිටත්ව ගියේ දිවංගත එස්. ඩී. බණ්ඩාරනායකගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. මෙම උත්සවයට සහභාගි වීමට ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු කණ්ඩායමද පැමිණ සිටියේ මහින්ද එහි පැමිණෙන නිසාය.“ආ.. එන්න මන්ත්‍රීතුමා ඉස්සරහට. දැන් ඉතිං යහපාලනේ කට්ටිය ඉස්සරහට එන කාලෙනේ. එයාලට දැන් තමයි අපි මතක් වෙලා තියෙන්නේ” එවැනි කතාවක් ඇති වුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මන්ත්‍රීවරිය එහි පැමිණ සිටි නිසාය.“මේ අය එනවාට අපි අකමැති නෑ. හැබැයි එන අය කෙළින් එන්න ඕන” ප්‍රසන්න කීවේ සුදර්ශනීට ඇනුම් පදයක් කියමිනි. සුදර්ශනී මහින්ද සමග සමීපව කටයුතු කරනවාට ප්‍රසන්නගේ වැඩි කැමැත්තක් නැත.මේ අතර උත්සව භූමියට පැමිණි මහින්ද පිළිරුව විවෘත කරන්න පෙර ප්‍රසන්න කොහිදැයි බැලුවේය. ඒ වන විටත් බොහෝ දෙනා මහින්ද වටකරගෙන සිටි නිසා ප්‍රසන්න සිටියේ මඳක් පසුපසට වන්නටය.“මන්ත්‍රීතුමා සර් හොයනවා” මහින්දගේ ආරක්ෂක නිලධාරියෙක් ප්‍රසන්න අසලට පැමිණ කීවේය. එතැන තිබූ තදබදය නිසා ප්‍රසන්නට ඒ අසලට යාමටවත් නොහැකි විය. -

කිරිවෙහෙර නාහිමිගේ ප්‍රතිකාර රජයේ වියදමින්
වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් වැයවන සියලු වියදම් රජය මගින් දැරීමට තීරණය කළ බව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට පවසයි.
උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ගුවනින් රැගෙන ඒම වෙනුවෙන් වියදම් වූ මුදල ද රජය මගින් ගෙවීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් ලක්‌ෂ 5 1/2 ක් වැයවී ඇතැයිද ඇමැතිවරයා කීවේය.
-

දැරියන් රැසකට අතවර කළ යාපනයේ අමන ගුරා අත්අඩංගුවට
යාපනය වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ උපකාරක පන්තියකට ගිය සිසුවියක් අපයෝජනයට ලක්‌කළ සහ තවත් දැරියන් කීපදෙනෙකුට අතවර සිදුකළා යෑයි පවසන ගුරුවරයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියකට යන සිසුවියන් හට අතවර සිදුකරන බවට ලද පැමිණිල්ලක් අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු පිළිබඳව සිසුවියන් තිදෙනකු පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව පසුගිය බදාදා අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරයා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
මේ අතර මෙම ගුරුවරයා උගන්වන පාසලෙන් මොහුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මවුපියන් හා පාසල් සමිති බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ අනුව ඔහුව පාසලෙන් ඉවත් කිරීමට අදාළ පාසලේ විදුහල්පතිවරයා පියවර ගෙන ඇත.වැටීමෙන් පිළිස්‌සුම් තුවාල ලබා ඇත.
-

රජීව් ගාන්ධි ඝාතකයින් ඉල්ලූ ජනපති සමාවට ලැබුණු ප්‍රතිචාරය
හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ‘‘ද හින්දු’’ පුවත්පත පවසයි.
එම පුවත්පතට අනුව අදාළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මධ්‍යම රජයට එවැනි තීරණයකට එළඹිය නොහැකි බවයි. මෙවැනි සංකීර්ණ සිද්ධීන් වලදී අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවන බවද ජනාධිපති රාම් නාද් කෝවින්ද් පවසා ඇතැයි ‘‘ද හින්දු’’ පුවත්පත පවසන අතර එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ මානුෂීය කරුණු සලකා බලා හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ඝාතනයේ වරදකරුවන් හට සමාව දී නිදහස් කරන ලෙසට තමිල්නාඩු රජය ඉකුත් වසර 04 තුළදි දෙවරක් රජයට ලිපි මගින් ඉල්ලීම් කර ඇති බවයි.
-

නොරොච්චෝල බලාගාරය පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නවා
නොරොච්චෝල බලාගාරය ජාතික අවශ්‍යතාවක් නිසා ඉදිරියේදී පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය තුළින් පරිසරයට සහ ඒ අවට ජනතාවට සිදුවෙතැයි හානි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ රටේ විදුලිබල අවශ්‍යතාව සපුරාලීම පිණිස විශාල දායකත්වයක් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සපයන බවයි.නොරොච්චෝල බලාගාරයෙන් පිටවන අළු හේතුවෙන් පරිසරයට සිදුවෙතැයි පවසන හානිය වලක්වා ගැනිම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග බොහෝමයක් මේ වනවිට ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව පරිසර අධිකාරිය යහපත් ප්‍රතිචාර දක්වා ඇත.
ඉදිරියේදී නොරොච්චෝල බලාගාරය පරිසර අධිකාරියේ නිර්දේශ මත වඩාත් පරිසර හිතකාමී ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ ක‍්‍රම අනුගමනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය සියඹලාපිටිය මහතා ප‍්‍රකශ කළේය.
ඒ අනුව ඉදිරියේදී සුළං බාධක භාවිත කිරීම, බලාගාරයෙන් පිටවන අළු සෑම විටම ආවරණය කර තැබීම සහ වඩාත් ඉහළ ප‍්‍රමිතියකින් යුත් ගල් අඟුරු භාවිත කිරීම ආදිය සිදුකරන බව විෂයභාර අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව අදාළ සුළං බාධක මේ මස 22 දින ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී එම් එස් බටගොඩ, වයඹ පළාත් මහ ඇමති ධර්මසේන දසනායක යන මහත්වරුන් ඇතුළු මධ්‍යම පරිසර අධිකාරිය, ශ‍්‍රී ලංකා ගල් අඟුරු සමාගම සහ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යන ආයතනයන්හි ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.
-

ලක්ෂ දහයකට නව ඉඩම් දෙන වැඩසටහන අති සාර්ථකයි
දසලක්ෂයක පිරිසකට ඉඩම් ලබාදීමේ වැඩසටහන සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බව ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පවසයි.
වතුකරයේ ජනතාවට ද ඉඩම් ලබාදීම කඩිනමින් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.
-

වෙල්ලමුල්ලිවයික්‌කාල් සැමරුම ගිය වියදම විමසුවාට උරණවී විපක්‌ෂ නායකයාගේ ගේට්‌ටුවේ සල්ලි මල්ලක් ගැටගහලා
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් 12 දා සවස යාපනයට පැමිණ උතුරු පළාත් සභාවේ විපක්‌ෂනායක එස්.තවරාසා මහතාගේ නිවසේ ගේට්‌ටුවේ සල්ලි මල්ලක් ගැටගසා තිබේ.
විශ්වවිද්‍යාල සිසුන් මේ අන්දමට සල්ලි මල්ලක් ගැට ගසා ඇත්තේ යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට මැයි මස 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලිවයික්‌කාල් පළාතේ පැවති උත්සවය සඳහා ගිය වියදම් හා අයවැය පිළිබඳව විපක්‌ෂනායකවරයා පළාත් සභා සැසිවාරයේදී දිගින් දිගටම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධය පළ කිරීමටය.
මෙම උත්සවය සඳහා උතුරු පළාත් සභාවේ එක් දෙමළ මන්ත්‍රීවරයකුගෙන් රුපියල් 7000 බැගින් එකතු කළ අවස්‌ථාවේදී විපක්‌ෂනායක තවරාසා මහතාද රුපියල් 7000 ගෙවා තිබේ.
උත්සවයෙන් පසුව එම මුදල් සම්බන්ධයෙන් විපක්‌ෂනායකවරයා දිගින් දිගටම කරුණු විමසීමෙන් උරණ වූ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් එක් සිසුවකුගෙන් රුපියල බැගින් එකතු කොට උතුරු පළාත් සභාවේ විපක්‌ෂනායකවරයා ලබාදුන් රුපියල් 7000 පියවා තිබේ.
මෙම රුපියල් 7000 මුදල ද රැගෙන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසී විපක්‌ෂනායකවරයාගේ මුදල බාරගෙන එය ඔහුට ආපසු ලබා දෙන මෙන් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
පසුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් එම මුදල ද රැගෙන විපක්‌ෂනායකවරයා හමුවීමට ගිය අවස්‌ථාවේදී එම මුදල බාර ගැනීම ප්‍රතික්‌ෂේප කරමින් විපක්‌ෂනායකවරයා පලාගොස් ඇත.
ඉන් අනතුරුව සිසුන් විපක්‌ෂනායකවරයාගේ නිවසේ ගේට්‌ටුවේ මුදල් පසුම්බිය ගැට ගසා ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී පිටව ගොස් ඇත.
යුද්ධයේදී මියගිය වැසියන් සිහිපත් කිරීම පිණිස පැවති උත්සවයට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් විශාල මුදල් පරිත්‍යාගයක් කළ බව පවසන සිසුන් තවරාසා විපක්‌ෂනායකවරයාට ඔහුගේ රුපියල් 7000 ක මුදල එතරම් වටින්නේ නම් එය ඔහුට ආපසු බාරදීම උචිතම ක්‍රියාව බවද කියා ඇත..
-

පොලිසියට හා සිවිල් ආරක්‍ෂකයන්ට පහරදී ආරුගම්බේදී ඇල්ලූ බීමත් සැකකරුව මුදාගනී
පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයන් ගැවසෙන හෝටලයක් අසල බීමත්ව අශෝභනව හැසිරුණු පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එම පුද්ගලයාගේ කණ්‌ඩායමේ පිරිසක් පැමිණ පොලිස් නිලධාරීන්ට සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තුන් දෙනකුට පහරදී අත්අඩංගුවට ගත් සැකකරුට පැනයාමට ඉඩ සලසා ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි.
ඉකුත් 12 වැනිදා සවස 6.30 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ. එම අවස්‌ථාවේ ඒ අවට සිටි මුස්‌ලිම් ජනතාව 50 ක් පමණ ඒකරාශී වූ බවත් සැකකරුගේ කණ්‌ඩායමේ හත්දෙනකු ආරක්‍ෂක නිලධාරීන්ට හෙල්මට්‌වලින් සහ අතින් පයින් පහර දුන් බව සිද්ධිය දුටුවෝ පැවසූහ. ප්‍රහාරයට ලක්‌වූ පොලිස් නිලධාරියා සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තිදෙනා පොතුවිල් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මෙසේ ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ පොතුවිල් උල්ල පොලිස් මුරපළේ සේවය කරන පො. කො. (8216) වැදිවෙල මුදියන්සේලාගේ නුවන් චාමර, සිවිල් ආරක්‍ෂක බළකායේ එම්. ඕ. (27625) ඥනරත්න චමින්ද එම්. ඕ. (27395) සුදුබණ්‌ඩා ප්‍රේමසිරි එම්. ඕ. (13720), හීන්නිළමේ වික්‍රමරත්න, ගාමිණි වික්‍රමරත්න යන නිලධාරීන් ය.
පහරදුන් සැකකරුවන් ගෙන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉතිරි සැකකරුවන් සොයා පොතුවිල් සහකාර පොලිස් අධිකාරී වැලිසරගේ මහතාගේ උපදෙස් පරිදි පොතුවිල් පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත කුමාර මහතාගේ මූලිකත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.
එම ප්‍රහාරයට ලක්‌වූ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරියෙකු සඳහන් කළේ බීමත්ව සිටි සැකකරු පාලනය කළ නොහැකි වූ හෙයින් මාංචු දමා පෞද්ගලික ත්‍රී රෝද රථයකින් පොලිසියට රැගෙන යන අවස්‌ථාවේ මග හරස් කර ත්‍රී රෝද රථය නවතා අපේ කොල්ලා බේරගන්න එන්න කියා පිරිසක් කෑ ගැසූ බවයි. ඉන්පසු 100 ක් පමණ එකතු වූ බවද සැකකරු පොලිසියේ රාළහාමි ළඟ සිටි බවද පිරිස රාළහාමි වෙනම කොටු කරගත් බවද ආරක්‍ෂකයින් වෙනම කොටු කරලා බිම දමා ගැසු බවද හෙතෙම පැවසීය.
රාළහාමිගේ අත් දෙකට ගැහුවම සැකකරු අතහැරුණා. ඉන් පසු ඔවුන් සැකකරු උස්‌සන් ගියා යෑයි සිවිල් ආරක්‍ෂක නිලධාරියා කියා සිටියේය.
-

කෑගල්ල සමුපකාර උප කොමසාරිස්‌ට ඇසිඩ් ප්‍රහාරයක්
කෑගල්ල සමුපකාර උප කොමසාරිස් ඩබ්ලිව්. කරුණාතිලක මහතාට ඔහුගේ කාර්යාලය තුළදී ඊයේ (13) කිසියම් පුද්ගලයකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් ඊයේ (13) සවස 3.30 ට පමණ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත.ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කරුණාතිලක මහතා කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසූ අතර 302කෑගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරයි.
-

වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කරල බැඳුම්කරේ ගැන තව පොතක් ලියනවා….
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව ගැන ඉදිරියේදී තවත් හොදින් විශ්ලේශණය කර පොතක් ලියන්නට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
බැදුම්කරය ගැන තමන් විසින් ලියන ලද මුල් කෘතිය ඇතැමුන් විවේචනය කලද එහි කිසිදු වරදක් නිශ්චිතව පෙන්වන්නේ නැති බවත් බීබීසී සේවය සමග පැවැති ෆේස්බුක් සංවාදයකදී ඔහු සඳහන් කලේය.
-

වර්ජනය නිසා රට පුරා තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්‌ෂ 15 ක් ගොඩගැහිලා
තැපැල් සේවකයන් ආරම්භ කර ඇති අඛණ්‌ඩ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාලවල මේ වනවිට ලිපි සහ පාර්සල් ලක්‌ෂ 15 කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි.
විදේශ තැපෑල හරහා පැමිණි ලිපි සහ පාර්සල් ඇතුළත් තැපැල් මලු පන්දහසකට අධික ප්‍රමාණයක් ද කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තැපැල් කාර්යාලයේ ගොඩගැසී තිබෙන බව පැවසූ ඒ මහතා සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට රජය පියවර නොගැනීම නිසා තමුනට අකැමැත්තෙන් වුවද වැඩවර්ජනයකට යැමට සිදුවූ බව සඳහන් කළේය.
මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් තැපැල් අමාත්‍යංශය සඳහන් කළේ තැපැල් සේවකයන්ගේ ඉල්ලීම්වලින් සියයට අසූවක් ලබාදී ඇති බවත් තව විසඳුම් ලබාදිය යුතුව ඇත්තේ සියයට විස්‌සක ප්‍රමාණයකට බවත්ය.
ඒ සඳහා සාකච්ඡා කිරීමට වැඩවර්ජනය අත්හැර දමා එන ලෙස ද තැපැල් අමාත්‍යංශය තැපැල් සේවක වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටියි.
-

නේපාලයේ ජාතික පාපැදි ශූරයා මිනිපේ ඇළට වැටී මරුට
පෞද්ගලික ආයතනයක් විසින් සංවිධානය කරනු ලැබූ රන්බල් ඉන්ද ජංගල් නමැති පාපැදි තරගයට සහභාගී වී සිටි නේපාලයේ ජාතික පාපැදි ශූරයා ඊයේ (13 ) දහවල් රන්දෙණිගල ජලාශයේ ජලය බැසයන මිනිපේ ඇළට වැටී මියගොස් ඇත.
මෙම පාපැදි තරගයට රටවල් 20 ක පමණ පිරිසක් සහභාගී වී සිටි අතර පාපැදි තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ මවුන්ටන් පාපැදි මගින් මිනිපේ ඇළ ඉවුර මතින් තරගකරුවන් තිදෙනකු ධාවනයේ යෙදී සිටියදී මෙම නේපාල ජාතික තරගකරු ඇළට වැටී තිබේ.
කඳු තරණය ඇතුළු ඉසව් ගණනාවක් ඔස්‌සේ මෙම තරගය පවත්වා අදින් (14) අවසන් වීමට නියමිතව තිබුණු මෙම තරඟයේ තරගකරුවන්ට ඇළ ඉවුර මතින් පා පැදිය ධාවනය නොකරන ලෙසට සංවිධායකයින් උපදෙස් ලබාදී තිබුණත් ඔවුන් එය පිළිනොපැද පාපැදි ධාවනය කර ඇතැයි වාර්තාවේ. එම සිද්ධියෙන් පසු තරගය ඊයේ අවසන් කරන ලදී.
-

බස් රථ හා ලොරිවලට භූමිතෙල් දීම වැළැක්‌වීමට රෙගුලාසි
බස් රථ හා ලොරිවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට ඉන්ධන පිරවුම්හල්වලට රෙගුලාසි පනවන ලෙස ඇමැති මණ්‌ඩලය ඛනිජ තෙල් ඇමැතිවරයාට උපදෙස් දුන් බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.බස් රථවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට භූමිතෙල් මිල ඉහළ දැමූ නමුත් ධීවර ගැටලු නිසා යළිත් එහි මිල පහත හෙළීමට සිදුවූ බවද හෙතෙම කීය.
මිල ඉහළ දැමීම නිසා භූමිතෙල් නිකුත් කිරීම සියයට 50 කින් පමණ අඩු වූ බවද ඇමැතිවරයා සඳහන් කල අතර භූමිතෙල් මිල රුපියල් 70 දක්‌වා අඩු කළද ධීවරයින්ට පරණ මිල වන රුපියල් 44 දක්‌වා අඩුකිරීමට සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඊයේ (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේය.
-

බන්දු සමරසිංහගේ පුතාගේ වැඩ
අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි බන්දු සමරසිංහ කියලා කියන්නේ.ඉතිං බන්දු සමරසිංහගේ ආදරණීය පුතා තමයි කාංචන සමරසිංහ.රූපවාහිනී මාධ්‍ය තුළ ජනප්‍රියම චරිතයක් නොවුනත් සමාජ මාධ්‍ය තුළනම් කාංචන ජනප්‍රියයි.කාංචන විතරක් නෙවෙයි කාංචනගේ පෙම්වතිය ප්‍රමෝදි කෞෂල්‍යාත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් වෙලා තියෙනවා.ඒකට හේතුව තමයි මේ දෙන්නා එකතු වෙලා කරපු වීඩියෝ ක්ලිප් කිහිපයක් නිසා.ඒ අනුව කාංචනයි, ප්‍රමෝදී එකතු වෙලා චිත්‍රපටවල තිබෙන විකට ජවනිකා කිහිපයකට රංගනයන් ඉදිරිපත් කරනවා.ඉතින් මේ වීඩියෝවලට මේ දිනවල ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. -

කොටපිය කොටපිය කියලා කිව්ව නිසා තුන් වතාවක්ම ඔළුවට කෙටුවා..
අම්මා හයියෙන් කෑගැව්වා කොටන්න එපා කියලා…
අම්මේ අම්මේ ඇස් අරින්න අම්මේ…
මම ගෑනිගේ අතින් ඇදලා අරගෙන ඇඳයට තිබුණ වක්පිහිය අරගත්තා…
අඹුසැමි ආරවුල් ළිපේ බත ඉදෙනකල් විතරයි යැයි පැරණි කියමනක් ඇත.
එහි යටි අරුත නම් අඹු සැමි ආරවුල් මොහොතකින් නිමා වී යළි ඔවුන් සතුටින් සමගියෙන් සිටින බවය.
එවන් කාලයක් ඇත්තෙන්ම තිබිණි. ඒත් අද ඒ තත්ත්වය බොහෝ වෙනස් වී ඇත. අද අඹුසැමි ආරවුලක් නිමාවෙන්නේ බොහෝ විට පහරදීමකින් නැත්තම් ඝාතනයකින්ය. ඊට හේතු බොහෝය.
බීමත්කම, නූගත්කම,දරිද්‍රතාවය, අනියම් ඇසුර වගේම සැකය වැනි හේතු ද මෙවන් ඝාතනවලට බෙහෙවින් බලපා ඇත.
මෙය ද එවැන්නකි. සිද්ධිය වාර්තා වනුයේ දවුලුගල පොලිස් වසමෙනි.
ගමට පොලිසියේ සංකල්පය යටතේ ගම්වැසියන් ගේ අවශ්‍යතා ඉටු කිරීමේ අරමුණින් දවුලුගල පොලිසිය මගින් සංවිධානය කරන ලද පොලිස් මුරපොළක් පසුගිය දා හඳපාන ගමේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යමින් තිබිණි.
මුරපළ බාරව කටයුතු කළේ උපපොලිස් පරීක්ෂක හරිශ්චන්ද්‍රය.
වේලාව දහවල් දොළහට පමණ ඇත. ගමේ පිරිස් පොලිස් ජංගම මුරපළට පැමිණ තම අවශ්‍යතා ඉටුකර ගනිමින් සිටියහ.
රැස්ව සිටි පිරිස අතරින් මතුවූ උඩුකය නිරුවත් අයකු එකවරම පොලිස් මුරපළට ඇතුළු වුයේ තියුණු පිහියක් ද අතැතිවය.
ඔහු කෙළින්ම ගියේ උප පොලිස් පරීක්ෂකවරයා වෙතටය. “ඇයි මොකද ?”
උපපොලිස් පරික්ෂකවරයා විමසුවේය. අත තිබු පිහිය මේසය මත තැබු ඔහු දෑත් එක්කොට පොලිස් නිලධාරියාට වැන්දේය. “අනේ බුදු සර් මම මගේ ගෑනිට කෙටුවා. සමහරවිට මැරෙන්න ඇති. මම පොලිසියට බාර වෙන්නයි මම ආවේ.” ඔහුගේ ප්‍රකාශයත් සමඟ උප පරීක්ෂකවරයා ඇසි පිය නොගගා ඔහු දෙස බලා සිටියේය. “මොකක්ද කිව්වේ තමුන්…” “ඔව් සර්. මම ගෑනිට කෙටුවා. ගෑනි ගේ ළඟ වැටිලා ඇති.” “ඇයි මොකද ඒ…” “අනේ සර් ගොඩාක් ප්‍රශ්න අහන්න එපා. මාව ඉක්මනට පොලිසියට එක්කරගෙන යන්න.” පැමිණි පුද්ගලයා උපපොලිස් පරීක්ෂකවරයා හමුවේ කියා සිටියේය. උප පරීක්ෂකවරයා වහා මේ බව සිය ප්‍රධානියා වූ දවුලුගල පොලිස් ස්ථානාධිපතිවරයාට දන්වා සිටියේය. ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් වහා පිළිමතලාව හලාදිවල ප්‍රදේශයේ පිහිටි එම පුද්ගලයාගේ නිවෙසට ගියේය.
දවුලුගල පොලිසියේ සිට හැවාලකඩ නගරයට ගිය පසු හමුවන ඇම්බැක්ක හරහා ඇති පොල්වත්ත තැන්න පාරේ මද දුරක් ගොස් ඈපාන සිට කිලෝමීටර හයක් විතර ගිය තැන ඈපාන හලාදිවල විහාරයට හැරෙන හන්දියට ආසන්නව කන්ද උඩ සැකකරුගේ නිවෙස පිහිටා ඇත. ඊට යාබදව ඇති හලාදිවල පන්සලට හැරෙන හංදියේ මියගිය කාන්තාවගේ මහගෙදර පිහිටියේය. නිවෙසට යන අතරතුර නිලධාරීන්ට ඉදිරියෙන් එන ත්‍රිරෝද රියක් මුණ ගැසිණි. එහි වුයේ තුවාලකාරියකි. විමසීමේදී දැන ගන්නට ලැබුණේ පොලිස් මුරපළට පැමිණි පුද්ගලයා පිහියෙන් කොටා ඇත්තේ ඇයට බවය. සිද්ධිය වූ නිවෙස ඉදිරිපිට විශාල ලෙස රුධිරය ගලා ගොසිනි. අහල පහළ දෙතුන් දෙනා ඒ වන විටත් ඒ නිවෙස අසලට පැමිණ හිටියහ. එතැනට ගිය නිලධාරීන් ඔවුන්ගෙන් කරුණු විමසන්නට විය.
“සර් මේ දෙන්නා නිතරම රණ්ඩු වෙනවා. අදත් ඔය රණ්ඩු වෙලා තමයි කොටලා තියෙන්නේ.” අසල්වාසීහු කීහ. තොරතුරු සටහන් කරගත් නිලධාරීන් ඊළඟට ගියේ රෝහලටය. එහෙත් ඒ අතරතුර ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු දුරකථන පණිවිඩයකින් කියැවුණේ රෝහලට ඇතුළත් කළ තුවාල ලත් තැනැත්තිය මිය ගිය බවය. ඒ අනුව ඉදිරි විමර්ශන ඇරඹුණේ මිනී මැරුමක් ලෙසය. සැකකරු පොලිස් මුරපළේ සිට දවුලුගල පොලිසිය වෙත රැගෙන ගියේ දැඩි රැකවරණ මධ්‍යයේ ය. ඊට හේතු වුයේ සැකකරුට බිරියගේ පාර්ශ්වයෙන් කිසියම් තර්ජනයක් එල්ල වනු ඇතැයි සැකයක් තිබු නිසාය. සිදුවීම සහකාර පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දෙනු ලැබු අතර මහනුවර අධිකරණයට ද කරුණු වාර්තා කරන ලදි. ඒ අනුව මහේස්ත්‍රාත් පරීක්ෂණය වැඩ බලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා විසින් සිදුකරන ලදි.
ඔහුගේ නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ඒ.එස්. බී. විජේසිංහ මහතා විසින් සිදු කළේය. මරා දැමුණු ඇය සේවාවිස්ස විද්‍යා ආරච්චිලාගේ පි‍්‍රතිකා යමුනා විදානආරච්චි නැමැති තිස් හැවිරිදි කාන්තාවකි. දරු තිදෙනකුගේ මවකි. ඇය ඝාතනය කිරීමේ වරදට පොලිසියට පැමිණ බාර වී අත්අඩංගුවට පත්වුයේ ඇගේ සැමියා වන ගාමිණි නමැත්තෙකි. පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර එහිදී අනාවරණය වුයේ සිද්ධිය ඇසින් දුටු දෙදෙනකු ද ඒ මොහොතේ නිවසේ සිටි බවය. ඒ ඇගේ දරු දෙදෙනාය. ඉන් එක් දරුවකු ගේ වයස අවුරුදු හතකි. ඔහු දෙවෙනි වසරේ ඉගෙනුම ලබයි. අනෙක් දරුවා සිඟිත්තෙකි. ඔහුට වසර දෙකකි. මවුව්පියන්ගේ අඩදබරය සිදු වන මොහොතේ සිඟිත්තා නිවසේ ඇඳක් මත නිදාගෙන සිට ඇත.
ඒත් මවගේ ළතෝනිය ඇසී ඔහු ද නින්දෙන් අවදි වී මහ හඬින් හඬන්නට විය. එහෙත් ඔහුට යමක් කියන්නට තේරුම් කරදෙන්නට අපහසුය. ඒ ඔහු තවමත් වසර දෙකක දරුවකු නිසාය. ඒ නිසා පොලිසියේ ඇස යොමු වුයේ ඇගේ දෙවෙනි දරුවා දෙසටය. ඔහු හත් හැවිරිදි නිසා යමක් කමක් තේරුම් ඇති අයෙකි. “එදා උදේ අම්මා මාව ඉස්කෝලේට ඇරලුවා. දවල් මම ඉස්කෝලේ ගිහින් ඇවිත් බස් එකෙන් බහින කොටම අම්මා ඇවිත් හිටියා. අපි ගෙදර ගියා. මම පොත් බෑග් එක ගලවලා මේස උඩ තියලා බෑග් එකේ තිබුණු බයිට් පැකට් එක කන්න ගත්තා. එතකොට මල්ලී ඇඳේ නිදාගෙන හිටියේ. ඒ වේලාවේ තාත්තා අම්මට ආච්චිගේ ගෙදර යන්න එපා කියලා රණ්ඩු වුණා. ඒ රණ්ඩුව මැද්දේ තාත්තා ඇඳයට තිබුණා පිහිය ඇදලා අරගෙන අම්මගේ අතට පිහියෙන් කෙටුවා. ඔළුව පැත්තට තුන් පාරක් කෙටුවා.
අම්මා හයියෙන් කෑගැව්වා කොටන්න එපා කියලා. අම්මා කෑ ගහන සද්දෙට මල්ලිත් ඇහැරිලා හයියෙන් ඇඬුවා. මමත් හයියෙන් කෑගැව්වා අම්මට ගහන්න එපා කියලා.” හත් හැවිරිදි ශ්‍රී මාල් පුතු එසේ සිය ඇසින් දුටු දේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ විස්තර කරන්නට විය. එය ප්‍රබල සාක්ෂියක් බව ස්ථානාධිපතිවරයාට වැටහිණි. ඒ නිසා පුංචි ශ්‍රී මාල් බියට පත්නොකොට පියෙකුසේ ඔහුගෙන් දුටු දේ දැනගැනීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
“ඉතින් පුතේ ඊට පස්සේ මොකද වුණේ ?” ස්ථානාධිපතිවරයා ශ්‍රී මාල්ගෙන් විමසුවේ ඔහුගේ හිස අතගාමින්ය. “ඒත් එක්කම අම්මා වැටුණා. පස්සේ මම අම්මා ළඟට ගිහින් “අම්මේ අම්මේ ඇස් අරින්න අම්මේ” කියලා කතා කළා. ඒත් අම්මා කතා කළේ නැහැ. ඇස් බාගෙට ඇරගෙන හිටියා. පස්සේ මම කෑගහගෙන එළියට දිව්වා.” ලේ පෙරාගෙන මව වැටි සිටිනු දුටු පුංචි ශ්‍රී මාල් මහත් බියට පත්ව එළියට දිවගියේ ඊට පහළින් ඇති මහගෙදර සිටින සිය නුවන්ත අයියාට ඒ බව කියන්නටය. “අයියෙ… තාත්තා අම්මට…”
ඔහු හති දමමින් වුදේ හෙළි කරන්නට විය. ඒ සැණින් ශ්‍රී මාල් ගේ වැඩිමහල් සොහොයුරු නුවන්ත වහා මවගේ නිවෙසට දිව ගියේය. ඒ වන විටත් ඇය නිසොල්මනව ලේ විල මැද වැටි සිටියාය. මව වැටි සිටි අයුරු දුටු ලොකු පුතාට මහත් වේදනාවක් ඇතිවිය. ඔහු වහා සිය මව ව තම තුරුළට හොවා ගත්තේය. මවද දොතින් ගෙන ඔහු උඩහ සිට පහළට දිව ආවේය. ඒ සමඟ ඔහුගේ මාමා ද එතැනට පැමිණියේය. ඔවුහූ තුවාල ලත් පි‍්‍රතිකා රෝහලට රැගෙන ගියහ. “අම්මේ…. අම්මේ…” ත්‍රිවිලරයේ යන අතරතුර ද ලොකු පුතා බාගෙට දෙනෙත් වසාගෙන රුධිරයෙන් නැහැවි සිටින සිය මවට කතා කළේය. ඒත් මවගේ මුවින් කිසිවක් පිට නොවිය. ඒත් ඔහු උත්සාහය නතර කළේ නැත. “අම්මේ… අම්මේ කතා කරන්න කෝ අම්මේ..”
ඔහුගේ වචනය ඇසි දෝ මඳක් දෙනෙත් විවර කරන්නට උත්සාහ කළ පී‍්‍රතිකා ගේ හිස මොහොතකින් ලොකු පුතාගේ දෝත මතම පැත්තකට කඩා වැටිණි. “අම්මේ… අම්මේ… අම්මේ…” ප්‍රීතිකා ත්‍රිවිලරය රෝහලට ඇතුළත් කළ අතර වෛද්‍යවරුන් තුවාල ලත් ඇය පරීක්ෂා කොට බලා බාගෙට විවර වී තිබු දෙනෙත් සම්පුර්ණයෙන් වසා දැමුවේ ප්‍රීතිකා මිය ගොස් ඇති බව සනිටුහන් කරගෙනය. ප්‍රීතිකා රෝහලට රැගෙන ගිය ඇගේ වැඩිමහල් පුතාගෙන් ද ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය තීරණය කළේය. ප්‍රීතිකා හා ඇගේ සැමියා අතර ඇති වන ආරවුල් නිසා ලොකු පුතා මවුපියන්ගෙන් වෙන් වී මවගේ මහගෙදර ජීවත්වෙයි. එම නිවසේ පිහිටියේ ඔවුන්ගේ ගෙදරට පහළිනී. පි‍්‍රතිකාගේ නිවස පිහිටියේ කන්ද උඩය. ප්‍රීතිකා එහි සිය සැමියා හා හත් හැවිරිදි හා තුන් හැවිරිදි දරුවන් සමඟ ජිවත් වුවාය.
ලොකු පුතාගේ වයස අවුරුදු දහනවයකි. ගෙදර ඇති වන ආරවුල් නිසා ඔහු ද මහගෙදර රැඳුණේ පියා සමඟ තරහිනි. ඒ සිය පියා නිතරම බීමත්ව පැමිණි මවට මෙන්ම ඔහුට ද පහර දෙන නිසාය. සමහර දාට පියා පැමිණ තමාත් මවත් මරන බවට තර්ජනය කරන බවද ඔහු පොලිසිය හමුවේ කියා සිටියේය. “මම පිළිමතලාව ඉස්කෝලයට යන්නේ. කලා අංශයෙන් තමයි අධ්‍යාපනය හදාරන්නේ. ලොකු මල්ලි දෙවෙනි වසරේ ඉගෙනුම ලබන්නේ පොඩි මල්ලි ගෙදරට වෙලා ඉන්නේ. මගේ අම්මයි තාත්තයි නිතරම වගේ ගෙදර ආරවුල් ඇති කර ගන්නවා. ඒ නිසා අම්මට ගහලා තුවාල වෙලා පොලිසියටත් කිහිප වතාවක්ම ගිහින් තියෙනවා.”
පොලිසිය මේ සම්බන්ධයෙන් සැකකාර ගාමිණිගෙන් ද ප්‍රශ්න කරන්නට විය. ඔහු පොලිසිය හමුවේ මෙසේ ප්‍රකාශ කළේය. “මම වරද පිළිගන්නවා සර්..” ඔහු මුලින්ම කීවේය. “ඒත් මම මෙයා මරන්නම කියලා මෙහෙම දෙයක් කළේ නැහැ.” “හරි දැන් ඉතින් වැඩේ වෙලා ඉවරයිනේ. ඇයි තමන් පවුලව මැරුවේ. දැන් බලනවා ළමයි ඔක්කොම අනාථයි නේ.” පොලිස් නිලධාරියා ප්‍රකාශය සටහන් කරගන්නට කලින් ඔහුට කීවේය. ඔහු කිසිවක් නොදොඩා බිම බලාගෙන සිටියේය. “මගේ බිරිඳ පි‍්‍රතිකායි මගේ දෙවෙනි පුතා ශ්‍රී මාලුයි අවුරුදු තුනක් විතර පොඩි පුතත් එක්ක තමයි මම මේ ගෙදර ඉන්නේ. මම විවාහ වුණේ 1996 දී. මගේ වැඩිමහල් පුතාට වයස අවුරුදු 19ක්. එයා මාත් එක්ක අමනාප වෙලා අවුරුදු එකහමාරක් විතර ගෑනිගේ අම්මගේ ගෙදර ජීවත් වෙන්නේ.“ “දවසක් අපි අතර ආරවුලක් ඇති වුණා. ඒකට පොලිසි ගියා. අන්තිමට මට ඇප දුන්නා. මම ගෙදර ගියාට පස්සේ ලොකු පුතා මට ෆෝන් කරලා බැන්නා. ඉන් පස්සේ අපි දෙන්නා අතර තරහ වැඩි වුණා. “ “සිද්ධිය වුණු දවසේ මොකක්ද වුණේ ? ” කට උත්තරය ලියාගාන්නා නිලධාරියා ගාමිණිගෙන් ඇසුවේය. “එදා මාත් ගෑනිත් ගෙදර හිටියේ. පොඩි පුතා ඉස්කෝලේ ගිහින් හිටියේ. දවල් දොළහට විතර දෙවෙනි පුතා ඉස්කෝලේ ඇරිලා වෑන් එකේ එන නිසා ගෑනි පුතා ගිහින් පුතාව අරගෙන ආවා.
මමත් චුටි පුතාත් ගෙදර හිටියේ. “ “මම හිටියේ ඇඳට වෙලා. පොඩි පුතා ඇදේ නිදාගෙන හිටියේ. දෙවෙනි පුතා කියනවා ඇහුණා හෙට ඉස්කෝලේ රැස්වීමකට එන්න කියලා ලියුමක් දුන්නා. ඒ ලියුම නැහැ කියලා. මම කිව්වා එතකොට කිව්වා ලියුම නැති නිසා ඉස්කෝලේ යන්න ඕන නැහැ කියලා. එතකොට ගෑනි කිව්වා පි‍්‍රන්සිපල් හම්බ වෙන්නත් ඕන නිසා කොහොම හරි යන්න ඕන කියලා. මම කිව්වා ඕන නැහැ කියලා. ඒත් ගෑනි මට කිව්වා මම යනවා කියලා. එහෙම කියලා එයා මහගෙදරට යන්න සුදානම් වුණා. මම කිව්වා මහගෙදරට යන්න එපා කියලා. එතකොට දෙවෙනි පුතා අපේ ළඟ හිටියේ. ගෑනි පොඩි පුතාගේ කකුල් දෙකෙන් ඇඳලා එයාවත් ගෙනියන්න හැදුවා.“ “මම කිව්වා යන්න එපා කියලා. ආයෙත් එයා පොඩි පුතා උස්සලා ගන්න යනකොට මම ගෑනිගේ අතින් ඇදලා අරගෙන ඇඳයට තිබුණ වක්පිහිය අරගත්තා. ඒත් එක්කම ගෑනි කිව්වා. කොටපිය කොටපිය මැරෙන්නම කොටපිය කියලා. මම ගෑනිගේ ඔළුවට කෙටුවා දෙවෙනි පුතා එපා එපා කියලා කෑගහලා මගේ අතින් ඇද්දා පස්සේ පුතා මාව අතහැරලා දිව්වා.” “පිහියෙන් කොටන කොටම ගෑනි බිම වැටුණා ගෑනි එපා එපා කිව්වා. එතකොට මම කොටලා ඉවරයි. පස්සේ මම එළියට පැනලා පහළ තියෙන පුංචි අම්මගේ ගෙදරට ගිහින් කිව්වා මම ගෑනිට කෙටුවා පොඩි කට්ටිය බලාගන්න කියලා.
පස්සේ තමයි පිහියත් අරන් පන්සලේ මුරපළට ආවේ.“ “ගෑනි මැරෙයි කියලා මම හිතුවේ නැහැ සර්. කොටපිය කොටපිය කියලා කිහිප වතාවක්ම කියපු නිසායි මම කෙටුවේ.” සැකකරුගේ ප්‍රකාශය සටහන් කරගත් නිලධාරීන් ඔහු රැගෙන ආ තියුණු පිහිය ද අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩු භාණ්ඩ ලෙස එක්කර ගත්තේය. එය අඟල් නවයක් දිග තියුණු වක් පිහියකි. ඔහු එම පිහිය පාවිච්චි කර ඇත්තේ වත්තේ ගස්වල අතු කැපීමටත් ගස් කප්පාදු කිරීමටත්ය. වත්තේ වැඩ කටයුතු නිම කිරීමෙන් පසු එම වක් පිහිය ගෙදර ඇඳයට තැබීම ඔහු පුරුද්දක් කරගෙන සිටියේය. සැකකරු හා බිරිය අතර නිතර නිතර ආරවුල් ඇතිවන බවත් ඊට හුඟාක්ම හේතුවී ඇත්තේ බිරිය සැකකරුට නොසැලකීමත් බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දවුලුගල පොලිස් ස්ථානාධිපතිවරයා මාංචුවට කීවේය. “ගෑනු කෙනා මිනිහට හරියට සලකන්නේ නැහැ. උයලා පිහලා එයාට කෑම තියන්නේ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්නත් තියෙනවා. “ “මේ දෙන්නාගේ පැමිණිලි පොලිසියට ඇවිත් ඒවා සමදාන කරලා යවලා තියෙනවා. දෙන්නාගේ ආරවුල් පළාතේ ග්‍රාම නිලධාරියා විසින් විසඳලා තියෙනවා.
පවුලේ ඥාතීන් එකතු වෙලා ඒවා සමථයකට පත්කරලත් තියෙනවා. ““මේ දෙන්නගේ වයස අනුව පිරිමියා වයස අවුරුදු 10ක් බිරියට වඩා වැඩිමල් පළමු දරුවා ඉපදුණු දවසේ ඉඳලම ආරවුල් තිබිලා තියෙනවා. නොගැළපීම නිසා දික්කසාද වෙන්න සැකකරු තීරණය කරලා හිටියත් ගෑනු කෙනා ඒකට කැමති වෙලා නැහැ. ඒත් සැකකරු නීතිඥයකු මාර්ගයෙන් දික්කසාද වෙන්න තමයි හිටියේ. නීතිඥවරයා හම්බවෙන්න යන්නත් ඉඳලා තියෙනවා. ඒ අතරේ තමයි මේ මිනී මැරුම සිද්ධ වෙන්නේ” “ලොකු පුතයි තාත්තයි අතර ආරවුලක් තියෙනවා. එක පාරක් හලාදිවල ඉස්කෝලේ උත්සවයක් තියෙන වෙලාවේ ළමයි කට්ටියක් ගංජා බොනවා කියලා ආරංචි වෙලා ඔය මනුස්සයා එතැනට ගිහින් ලොකු දරුවා ගෙදර ගෙනත් තරවටු කරලා තියෙනවා. ඒකට ලොකු පුතා තාත්තා එක්ක තරහෙන් ඉඳලා. තාත්තා පහර දීපු බවට රාවයකුත් තියෙනවා.”
“දවසක් ඉස්කෝලේ ට්‍රිප් එකක් යන්න පොඩි පුතාට පාන් ටෝස්ට් කරලා ගේන්න කියලා තියෙනවා. ගෙදර ටෝස්ටරයක් තිබිලා නැහැ. ගෑනු කෙනා මිනිහට කියලා තියෙනවා ටෝස්ටරයක් හොයලා දෙන්න කියලා මිනිහා කියලා තියෙනවා වෙන මොනවහරි හදලා දෙන්න කියලා. ඒත් ගෑනු කෙනා කොහොමහරි ටෝස්ටර් එකක් ගෙනත් පාන් හදලා දීලා. ඒක තමයි ප්‍රබලම හේතුව වෙලා තියෙන්නේ දෙන්නගේ රංඩුවට. ඔය වගේ සිද්ධි ගොඩාක් තියෙනවා. මේ වගේ ඝාතන වෙන්නේ එක්කෝ මිනිහා ගෑනි ගැන සැකයක් ඇති කරගෙන නේ. ඒත් මේ සිද්ධියේ එහෙම දෙයක් දැනගන්නට නැහැ.“ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුරුව සැකකරු නඩු භාණ්ඩ සමඟ මහනුවර මහෙස්ත්‍රාන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අතර මරණ පරීක්ෂණය පසුවට සිදු කිරීමට තීරණය කෙරිණි. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මිය ගිය යමුනා පි‍්‍රතිනාගේ අවසන් කටයුතු ඥාති හිතවතුන්ගේ සෝ සුසුම් මැද හලාදිවල දී සිදු කෙරිණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක හා එස්.එම් වික්‍රමසිංහ, මහනුවර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර, සහකාර පොලිස් අධිකාරී එස්.බී. දියකොලිනවල යන මහත්වරුන්ගේ උපදෙස් දවුලුගල පොලිස් ස්ථානාධිපති ජයම්පත් බණ්ඩාර ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වයි.ජී.සී වල්ගම්පාය ඇතුළු උපපොලිස් පරීක්ෂක හරිශ්චන්ද්‍ර, කොස්තාපල්වරුන් වූ ඉන්දික (32870) රත්නායක (52092) හා කපිල (75291) යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ වලට එක්වුහ.

