Author: Editor(T)

  • සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක්

    සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක්

    මෙරට සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය හා මෙරට ජර්මානු තානාපති කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ මෙරට ජර්මානු තානාපති ජෝර්න් රොහේඩ් (Jorn Rohde) මහතා අතර පසුගිය දා (10) පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවයට එළඹිණ.

    ජර්මනිය මෙරට සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රයන්ට වැඩි දායකත්වයක් දැක්වීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සදහා එරට සංචාරක නියෝජිත ආයතන හා ආයෝජකයන් සහ මෙරට බළධාරින් අතර ද්විපාර්ශවික සාකච්ඡා ඇරඹීමට සුදානම් බවත් ජර්මානු තානාපතිවරයා මෙහි දී කියා සිටියේ ය. ජර්මානු සංචාරකයන් මෙරට සුන්දර වෙරළ ආශ්‍රිත සංචාරයට මෙන්ම මෙරට සංස්කෘතික හා පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන නැරඹීමට ද වැඩි කැමැත්තක් දක්වයි. එමෙන් ම එරට ආයෝජකයන් ද මෙරට නව කර්මාන්තශාලා ඇරඹීමේ අපේක්ෂාවෙන් සිටින බව ද ජර්මානු තාතාපතිවරයා කීවේය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව  සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන බවයි. මේ සදහා ලොව පුරා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. නවීන ඩිජිටල් තාක්ෂණය හා නව සන්නිවේදන ප්‍රවණතා හදුන ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේය. මුලින්ම ජර්මනිය, ප්‍රංශය, රුසියාව, චීනය හා ඉන්දියාව වැනි රටවල් කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

    සංචාරකයන් හා ආයෝජකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන් මුහුණ දෙන ගැටළු කීපයක් ද ජර්මානු තානාපතිවරයා මෙහි දී විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානයට ලක් කළේය. 2025 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 07කට ඉහළ නංවා ගැනීමේ රජයේ ඉලක්කය සපුරාලීමට නම් සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් නංවාලීමට මෙන් ම සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු වීම ද සිදු විය යුතු බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා තම රජය දැනටමත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි කීවේය.

    මෙම සාකච්ඡාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මරීනා මොහොමඩ්, කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ , ආයෝජන  මණ්ඩලයේ සභාපති චම්පිකා මලල්ගොඩ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • ඉතිහාසයේ කුණු බක්කියට වැටුණු ශ‍්‍රීලනිපය සමග ගමනක් නෑ – පොහොට්ටුව

    ඉතිහාසයේ කුණු බක්කියට වැටුණු ශ‍්‍රීලනිපය සමග ගමනක් නෑ – පොහොට්ටුව

    ඔවුන් ජනාධිපතිකම් දරමින්, ඇමතිකම් දරමින් රාජ්‍ය බලය අභ්‍යාස කරමින් ඉන්න කොට අපිි අපේ නායකයින් හිරේ ඉන්න කොට, රිමාන්ඞ් එකේ ඉන්න කොට, දවස ගානේ උසාවි ගානේ යමින් තමයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළේ. ශක්තිමත් කළේ. ඒ

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අත්සන් කළ අවබෝධගා ගිවිසුම් ප‍්‍රසිද්ධියට පත් කිරීමට ඊයේ (10) ගත් පියවර සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ඇමැතිවරුන් කිහිප දෙනකුම සඳහන් කළේ වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික වශයෙන් සියයට එකකවත් ඡන්ද පදමක් නැති බවයි.

    ‘2018 පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත ඡන්ද ප‍්‍රතිශතය අනුව අද ගණනය කිරීම විහිළුවක්. එදා ජනාධිපතිවරයාට යම් ජනප‍්‍රසාදයක් තිබුණා. ඡන්ද පදනමක් තිබුණා. ඒ වගේම එජාපය ගැන කළකිරීමට පත්ව සිටි එක්සත් ජාතික පාක්ෂියන් පවා එදා ජනපතිවරයා ගැන තිබූ විශ්වාසයෙන් ශ‍්‍රීලනිපයට ඡන්දය දුන්නා. විශේෂයෙන් සුළුජාතීන, මුස්ලිම් ජනතාව. උදාහරණයක් විදිහට බියගම ප‍්‍රාදේශීය සභාවේ මල්වාන ඡන්ද කොට්ඨාශය ජයග‍්‍රහණය කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එය සියයට සියයක් මුස්ලිම් ජනතාවක් ජීවත් වන ප‍්‍රදේශයක්. ශ‍්‍රීලමුකෝ සහාය එජාපයට ලැබුණත් ඔවුන්ට එය ජයග‍්‍රහණය කළ නොහැකි වුණා.

    මේ වගේ තත්ත්වයක් රටපුරාම තිබුණා. පොළොන්නරුවේ ලංකාපුර වාගේ තැන්වල එය සිදු වුණා. ඒත් මෛත‍්‍රීපාල සිිරිසේන මහතාට ඊට පසුව තම ජනප‍්‍රියභාවය රැක ගන්න බැරි වුණා. පාස්කු ප‍්‍රහාරය ඔහුව දේශපාලනිකව අනාථ කළා. ඒ නිසා අද ඔහුට ජාතික තලයේ කිසිදු බලපෑමක් කළ නොහැකියි.

    අනෙක ශ‍්‍රීලනිපයේ ඡන්ද පදනමක් තිබුණ සියලූ දෙනා අද ඉන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අද අතීතයට හිමි පක්ෂයක්. එයට දැන් අනාගතයක් නැහැ. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හිතනවා නම් තමන්ට සියයට 15ක පමණ ඡන්ද ප‍්‍රතිශතයක් තිබෙනවා කියලා පැහැදිලිව තනිවම මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවේදී අපට සහාය දෙන්න. බැඳලා ගැහුවත් එකයි, ගහලා බැන්දත් එකයි කියලා කියන්නා වාගේ.

    ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ අතිෂය දුර්වල ශ‍්‍රීලනිපය සමග අපිට කිසිදු ආකාරයක සම අසුන් ගැනීමක් නැහැ. එය සිදුකළ නොහැකියි. ඔවුන් ජනාධිපතිකම් දරමින්, ඇමතිකම් දරමින් රාජ්‍ය බලය අභ්‍යාස කරමින් ඉන්න කොට අපිි අපේ නායකයින් හිරේ ඉන්න කොට, රිමාන්ඞ් එකේ ඉන්න කොට, දවස ගානේ උසාවි ගානේ යමින් තමයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළේ. ශක්තිමත් කළේ. ඒ ඉතිහාසය මතක කිිසිවෙක් 2015 දී මහා පාවාදීම කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයෝ එක්ක එකට හිට ගන්නේ නැහැ’ ඔහු අවධාරණාත්මකව සඳහන් කළේය.

  • ගරුත්වය රැක ගන්න ශ‍්‍රීලනිපය ‘අවබෝධතා ගිවිසුම්’ දෙක එළියට දමයි

    ගරුත්වය රැක ගන්න ශ‍්‍රීලනිපය ‘අවබෝධතා ගිවිසුම්’ දෙක එළියට දමයි

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග ඇත්කර ගත් අවබෝධතා ගිවිසුම සහ එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමත් ඊයේ (10) ප‍්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තා.

    තම පක්ෂය විසින් ගත් මේ තීරණයට හේතු පැහැදිලි කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අවබෝධතා ගිිවිසුමක් නැති බවට ඇතැම් පිරිස් නගන චෝදනාවලට පිළිතුරු වශයෙන් තම පක්ෂය විසින් අදාළ අවබෝධතා ගිවිසුම් දෙක ප‍්‍රසිද්ධියට පත්කළ බවයි.

    මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් මෙසේ සඳහන් කළා.

    ‘අපි මේ තීරණය ගත්තේ බොහෝ දුරට කරුණු කාරණා ගැන විමසා බැලීමකින් පසුවයි. ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවිය යුතු අපේක්ෂක සංඛ්‍යාව, නැතිනම් ප‍්‍රතිශතය පිළිබඳව වගේම ජාතික ලැයිස්තුවේ කෝටාව පිළිබඳවත් අපට ගැටලූ තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් අපි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් සහාය ලඝු කරලා, නැතිනම් අවතක්සේරු කරලා කතා කරනවා.

    අපි පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා දකුණෙන් ලබාගත් සියයට 60කට ආසන්න ඡුන්ද ප‍්‍රතිශතය තුළ අපේ ඡුන්ද සැලකිය යුතු ප‍්‍රතිශතයක් තිබෙනවා. එය එසේ නොවුණා නම් එතුමාගේ ජයග‍්‍රහණය මීට වඩා අඩු වෙන්න, ඇතැම් විට අතිෂය තියුණු වෙන්න තිබුණා. ඒ ගැන අපි සැලකිලිමත් වෙනවා. ඒ වගේම ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපතිතුමාට 3/2ක බලයක් ලබා ගන්න නම් අපේ සහාය අත්‍යවශයි. එය නැතිව සරල බහුතරයක් තමයි එතුමාට ගන්න වෙන්නේ.

    ඒත් අපි මේ දෙන, ලබා දුන් සහායට නිසි පිළිගැනීමක් ලැබෙන බවක් පේන්න නැහැ. අපි හඳෙන් පාත් වුණ පක්ෂයක් විදිහටයි ඇතැමුන් කතා කරන්නේ. ඒත් ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පසුගිය 2019 ඔක්තෝබර් 10 වැනිදාත්, එවකට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේ්ක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඔක්තෝබර් 19 වැනිදාත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවබෝධතා ගිවිසුම් අත්සන් කළා.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මේ ගිවිසුම් අත්සන් කළේ ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතායි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ගිවිසුම්වලට අත්සන් කළා. මේ ගිවිසුම කරුණු 22කින් යුත් අවබෝධතා ගිවිසුමක්.

    ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කළ අවබෝධතා ගිවිසුම තුළ කරුණු 17ක් ඇතුළත් බවත් අපි සිතේ තබාගත යුතුයි.
    මෙහිදී වැදගත් කරුණක් සඳහන් කළ යුතුයි. ඒ තමයි මේ ගිවිසුම් දෙකට ද අදාළවයි නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්පාදනය කරලා තියෙන්නේ. එය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ද අනුමතර කරලා තිබෙනවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්නේ දෙපාර්ශ්වය අතර ඇති වුණ එකඟතා අනුව ඉදිරි කටයුතු සිදුවිය යුතුයි’

  • ‘වියළි කාලගුණය දරුවන්ට හානිකරයි – සෞඛ්‍ය අංශ

    ‘වියළි කාලගුණය දරුවන්ට හානිකරයි – සෞඛ්‍ය අංශ

    මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් දරුවන් විජලයට පත්විය හැකි බැවින් වෙනදාට වඩා ජලය පානය කිරීමට උපදෙස් දෙන ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඇතුළු වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කරයි.

    කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ විශේෂයෙන් මේ දිනවල පාසල්වල ක‍්‍රීඩා උත්සව පවත්වන බැවින් දරුවන් වැඩි වේලාවක් අව්වේ සිටීම විජලනයට හේතුවක් විය හැකි බවත් එමගින් ‘තාපකම්පන’ තත්ත්වයක් ඇති විය හැකි බවයි.

    ‘මේ තත්ත්වය සෑම වසරකම මේ කාලය තුළ සුලභව සිදුවන දෙයක්. මොකද සියලූම පාසල්වල මේ කාලයේ නිවාසාන්තර ක‍්‍රීඩා උත්සව තිබෙනවා. ළමුන් සිටිනේනේ එළියේ. ඔවුන් අධික ලෙස වෙහෙසෙනවා. ඒ නිසා දෙමාපියන් වගේම ගුරුවරුන් ද මේ ගැන දැඩි අවධානය යොමු කළ යුතුයි’

    මේ සඳහා වන විකල්පයක් ලෙස විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ වෙනත් දිනවල දරුවන් ස්නානය කිරීමට යොදවන කාලයට වඩා වැඩි කාලයක් ඒ සඳහා යෙදවිය යුතු බවයි.
    ‘මේ වියළි කාලගුණය සමග දුවිල්ලත් වැඩියෙන් තිබෙනවා. ඒ නිසා ඇදුම හො ශ්වසන අපහසුතා ඇති දරුවන් ගැන වැඩියෙන් සැලකිලිමත් විය යුතුයි. ඔවුන්ට මේ තත්ත්වය පැහැදිලිව ඔරොත්තු දෙන්නේ නැහැ’ යැයි ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

  • එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ‘කචල්

    එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ‘කචල්

    එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්‍ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොගෙන අද (10) සවස සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකරී මණ්ඩලය අවසන් වුණා.

    මෙම විශේෂ රැුස්වීම සදහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුඵ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සේම පසුගිය දා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නෙරපා හරනු ලැබූ සරත් ෆොන්සේකා සහ අජිත් පී. පෙරේරා ද පැමිණ සිටීම විශේෂත්වයක්.

    එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකත්වයට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

    එහෙත් සජිත් පාර්ශ්වය බලාපොරොත්තු නොවූ ලෙස අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බහුතර මතය වුණේ ඉදිරි මහ මැතිවරණය සදහා අලියා ලකුණින් තරග වැදීමටයි. ඊට සිය බලවත් විරෝධය දැක්වූ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එම අවස්ථාවේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පිටව ගියා.

  • ‘සජිත් පිළ ඉල්ලු හදවත’ මැකො නොදෙන හැඩ

    ‘සජිත් පිළ ඉල්ලු හදවත’ මැකො නොදෙන හැඩ

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මහා මැතිවරණයට ‘හදවත’ ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කළ බව එම පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨයෙක් ප‍්‍රකාශ කළා.

    එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු සදහන් කළේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ සලකුණ වෙනස් කර දෙන්නැයි සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සිකුරාදා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවයි.

    එම පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය ඉවත්කර ඒ වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීම පිළිගන්වන ලෙස මැතිවරණ කොමිසන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව කී සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයා එම පක්ෂයේ දැනට භාවිතා කරන ටෙලිෆෝනය ලකුණ වෙනස්කර ඒ වෙනුවට ‘හදවත’ ලකුණ ලබාදෙන්නැයිද ඉල්ලීමක් ද කළ බව සදහන් කළා.

    එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සදහන් කරනනේ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ‘හදවත’ ලකුණ ලබාදීමට සිය අකමැත්ත ප‍්‍රකාශ කළ බවයි.

    එක්සත් ජාතික පක්ෂය සහ නව සන්ධානය ගොඩනැගීමේ අර්බුදය හමුවේ වෙනස් පක්ෂයකින් තරග කිරීම හැර සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු කණ්ඩායමට වෙනත් විකල්පයක් නැති බව ද ඔහු සදහන් කළා.

    ‘ඒ බව අද සවස පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඔප්පු වුණා. අපි වෙනම ගමනක් යනවා’ ඔහු වැඩි දුරටත් සදහන් කළා.

    ‘අපේ ජාතික පෙරමුණ’ මැතිවරණ කොමිසන් සභාව පිළිගත් දේශපාලන ලක්ෂයක් වන අතර එහි සභාපතිවරයා ලෙස සේනක ද සිල්වා මහතාත් ලේකම් ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මියත් දැනට කටයුතු කරන අතර එම පක්ෂය ඉකුත් ජනාධිපතිවරණයේදී සහ ඊට පෙර පැවැති මැතිවරණ කිහිපයකදීම තරඟ කළ පක්ෂයක් බව ද සදහන්.

  • දේශීයත්වය රකින්න ඇවිත් ‘කලා විෂයන් හෑල්ලු කළාට’ ජනපතිට විරෝධය

    දේශීයත්වය රකින්න ඇවිත් ‘කලා විෂයන් හෑල්ලු කළාට’ ජනපතිට විරෝධය

    පසුගිය දින අමාත්‍යාංශ සභාපති වරුන් හා අධ්‍යක්ෂකවරුන් පත් කිරිමේ හමුවේ දි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ කතාවේ දි මාධ්‍ය තුළින් අනාවරණය කළ පරිදි සිංහල, පාලි, ඉතිහාසය හා පුරා විද්‍යා විෂයයන් හැදැරිම රටේ ආර්ථිකයට, සංවර්ධනයට පලදායි නොවන බවට හැගවෙන අදහසට බලවත් සේ සිංහල භාෂා පෙරමුණ විරෝධය පළකර සිටී.

    කලා විෂය ධාරාවන්ගෙන් රටකට වන පලදායිත්වය කිසිදා කිරා මැනබැලිය නොහැකිය. “ඇසට නොපෙ‍නෙන සිතට වැටහෙන පුදුම බලයක් ඇත කලාවට“යන කියමන කදිම සාක්ෂියකි. මානව දයාව, සාරධර්ම, සිරිත් විරිත් සියල්ල රදා පැවැත්ම තිරණය වන්නේත් රටක උරුම අනන්‍යතාව ඔප්පු වන්නේත් කලා විෂය ධාරාවෙන් යැයි එම පෙරමුණේ සභාපති ශාස්ත්‍රපති බෝසෙත් කළහේපතිරණ මහතා පැවැසිය.

    නව රජය හැට නව ලක්ෂයක් ජනතාව බලයට පත් කලේ දේශියත්වය, ජාතික උරුමය, අපේකම, සුරක්ෂිත කිරිමේ අධිටනිනි.එහෙත් රටේ නායකත්වය තුළින් සිංහල භාෂාව හැදෑරිම, පාලි භාෂාව හැදැරිම, පුරා විද්‍යව හැදෑරීම එකී විෂයයන්හි උපාධිධාරින් බිහිවීම පලක් නැති බව ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණකි. වෘත්තිය පුහුණුවක අවශ්‍යතාව කර්මාන්ත කරණයට බද්ධ විමේ අවශ්‍යතාය පිළිබදව කතා කරයි. මෙයින් හැගෙන්නේ ශ්‍රමිකයන්, සෝල්දාදුවන් වැනි පිරිසක් පමණක් රටට අවශ්‍ය බවයි.

    කලා විෂය ධාරාවේ නිසිපල ලබන්නනම් එකී විෂයීය පුහුණුව ලැබූවන් නිසිතැන ස්ථාන ගත කළ යුතුය. ගොවියන් ගොවිබිම් වලට සේම වෛද්‍යවරුන් රෝහල් වලටද යොමු කළ යුතුය. කලාකරුවන්ට, නිර්මාණශීලි කලා විෂය ක්ෂේතුය ලබාදිය යුතුය. එහෙත් සිදු වී ඇත්තේ වෛද්‍යවරුන්ට ආණ්ඩුකාරධූර, රූපවාහිනී සංස්ථා සභාපතිකම් ලබාදීමය. මේ තුළින් කලාවට දොස් කීම හා සමාජයේ කඩා වැටීමට බැණ වැදීමෙන් පලක් නැත.

    අධ්‍යාපනයේ මුලික අරමුණ වන්නේ රැකියා වෙළෙදපොළට ශ්‍රමිකයක් බිහි කිරිම නොවන බව අවබෝධ කරගත යුතුය. නැණවතුන්, බුද්ධිමතුන්, පර්යේෂකයන් ගවේෂකයන් බිහි කිරිම අධ්‍යපනය තුළින් අඛණ්ඩව සිදුවන්නකි. ගුණ ගරුක පුරවැසි පරම්පාරවක් බිහි කිරිමට දායක වෙයි. එහෙත් මේ සම්බන්ධව විශ්ව විද්‍යාල මට්ටමින්  කිසිදු හඩක් නොනැගීම කණගාටුවට කරුණකි. පාලි භාෂාව පලක් නැහැ කියන විට ත්‍රිපිටකයට අත් වන්නේ කුමන ඉරනමක් ද? පිරිත් දේශනාව පත්වන්නේ කුමකට ද? යන්න ප්‍රශ්න කෙරෙයි. මේ පිළිබදව මහනායක හිමිවරුනගේ අදහස් දැක්විමක් රටේ ජනතාව බලාපොරොත්තු වෙයි. බළධාරින් මේ තුළින් බලාපොරොත්තු වන්නේ කිසිවක් නොව පෞද්ගලක විශ්ව විද්‍යාලවල අවශ්‍යතාව ඉටු කිරිමකි. ඔහුන්ගේ වාණිජ පාඨමාලාවලට දරුවන්ව උසස් පෙළින් පසුව පෙළඹවීමකි. රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් කලා විෂය පාඨමාලා කප්පාදු කිරිමේ අවශ්‍යතාව සදහා දියත් කළ පළමු වෙඩිමුරය බව අවබෝධ කරගත යුතුය.

    ලෝකයේ අභිමානවත් ජාතියක් වුයේ ශ්‍රි ලංකාව සතු වු ඓතිහාසික උරුමය හේතුවෙන් මිස වාණිජ වෘත්තිය තනතුරු හා ව්‍යාපාර නොවන බැව් සිහි තබා ගත යුතුය. සිංහලයා සතු ඔප්පු වන්නේ සිංහල භාෂාව අරිසෙන් අහුබුදු ලොවට කියා සිටියේ එහෙයිනි. වසර දහස් ගණනක අපේ උරුමය මහචාර්ය රාජ් සෝමදේවයන් අද ලොවටම පෙන්වා දෙමින් සිටියි. අපේ දේශප්‍රේමීයත්වය, අපේ දේශාභිමානය හදවත් තුළ ලියලන්නේ මෙවන් විෂයෙහි කාර්ය භාරයෙන් මිස වාණිජ ව්‍යාපෘති වලින් නොවන බැව් ද අවබෝධ කරගත යුතුය. එදා තිස් වසරක යුද්ධය සොල්දාදුවා අත ආයුධය රැදුනත් ජයග්‍රහණය කරන්නට රණවිරුවා තුළ සහ ස්වදේශිකයා තුළ වීරත්වය ඇති කළේ සාහිත්‍යයීක වීර රසයෙන් හා ධාර්මික ආධ්‍යාත්මික ශක්තියෙන් මිස වාණිජ ව්‍යාපෘති වල පදනමින්  නොවන බවද වැඩිදුරටත් බෝසෙත් කළහේපතිරණ මහතා පැවසීය.

     අප රජයට බල කර සිටිනවා ආනගත දරු පරම්පාරවට මෙවැනි හරවත් මිල කළ නොහැකි කලා විෂය ධාරාවන් කප්පාදු නොකට නිසි පිළිගැනිමට හා ගෞරවයකටපත් කර දෙන ලෙස.

    මෙම අවස්ථාවට ලසන්ත බණ්ඩාර ශ්‍රිමාල් දැඩිගම යනප්‍රවීණ පුරාවිද්‍යාව හා ඉතිහාසය  දේශකවරුද සහභාගී වූහ.

  • එජාපය එක්ක තවත් දීග කෑවොත් මීළග පාර්ලිමේන්තුව ‘ජවිපෙන් තොර කලාපයක්’

    එජාපය එක්ක තවත් දීග කෑවොත් මීළග පාර්ලිමේන්තුව ‘ජවිපෙන් තොර කලාපයක්’

    ජනතාවට උහුලා ගත නොහැකි තරමට බදු බර පැටවූ විපක්ෂය, වත්මන් රජය බදු බර අඩු කරන විට එය විවේචනය කිරීම හාස්‍යයට කරුණක් බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    පාලන බලය හෙබ වූ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව එවකට බදු බර වෙනුවෙන් කිසිවක් කතා නොකළ ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩුවේ බදු සංශෝධන විවේචනයට ලක් කරමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    වත්මන් රජය බලයට පත්ව පැවැති පළමු කැබිනට් හමුවේදීම ජනතාවට සහන සැලසීම උදෙසා අනුමත කර  ගැසට් කරන ලද වැට් බද්ද 8% දක්වා පහත හෙලීම ඇතුළු තීරණ කිහිපයක් පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහි දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් සේමසිංහ අමාත්‍යවරයා සඳහන් කළේ  විපක්ෂය කිසිදු අවස්ථාවක ජනතාව සමග සිට ගැනීමට අපොහොසත් වූ බවයි.

    රජය වැට් බද්ද 8% දක්වා අඩු කිරීමට තීරණය කළේ භාණ්ඩ මිල පහත හෙලීමට ය. එසේම සෙසු බදු සහනවලින් ද සිදු වන්නේ ජනතාව අත මුදල් ඉතිරිවී ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යාමයි.

    කෙසේ වෙතත් බදු සහන ක්‍රියාත්මක වීම පිළිබඳ රජය නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වැට් ඇතුළු බදු සහන ජනතාවට ලබා නොදෙන ව්‍යාපාර සහ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

    රට පාලනය කරන සමයේ දී ද ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා නොගෙන පීඩාකාරී බදු ක්‍රමවේදයන් ඔස්සේ යමින් රජයේ ආදායම පමණක් වැඩි කර ගැනීමට උත්සහ දැරූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බලවේග අද විපක්ෂයේ සිටිය දීත් උත්සහ දරන්නේ ජනතාවට එරෙහිවීමට බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    බදු අඩු කිරීම හේතුවෙන් රටට අහිමි වන ආදායම ගැන පමණක් විමසන විපක්ෂයට දීමට ඇති පිළිතුර වන්නේ ජනතාව සතු සෑම මුදලක් ම බදු වශයෙන් අය කර ගෙන රජය ශක්තිමත් වීම වත්මන් රජයේ අරමුණ නොවන බවයි. නාස්තිය හා දූෂණය අවම කරමින් රටේ අනවශ්‍ය වියදම් කප්පාදුව හා ජනතාව අත මුදල් ඉතිරිවීමෙන් ඒවා නැවත රටේ ආර්ථික ක්‍රියාදාමයට ඇතුළත් කර ගැනීම රජයේ ඉලක්කය බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

    පක්ෂයක් කිසියම් පසුබෑමකට ලක් වූ පසු සිදු කළ යුත්තේ සිය වැරැදි අඩුපාඩු සකස් කරගෙන නැවත ජනතාව අතරට යාම මිස පාලන බලයේ සිටිය දී කළ වැරැදි විපක්ෂයේ සිටිය දීත් කරමින් තව තවත් ජනතාවගෙන් ඈත්වීම නොව බව සේමසිංහ මහතා කියා සිටියි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එහෙත් එක්සත් ජාතික පක්ෂය කිසි දා පාඩම් ඉගෙන නොගන්නා බව ඔවුන්ගේ වත්මන් ක්‍රියාකාරකම් හමුවේ පැහැදිලි වෙමින් ඇති බවයි.

    එපමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ම මාර්ගයේ ගමන් කරමින් ජනතාවට එරෙහිවීමේ පාපයට ජනතාව ජනතා විමුක්ති පෙරමුණට පසුගිය ඡන්දයේ දී නිසි පාඩම් ඉගැනුවේ 3% ඡන්ද ප්‍රතිශතයකට ඇද දමමිනි. ඔවුන් ද තව දුරටත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කිරීමට සූදානම් වන්නේ නම් සිදු වන්නේ මීළග මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව ජනතා විමුක්ති පෙරමුණෙන් තොර කලාපයක් බවට පත්වීම බව ද සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් රට තුළ ගෙන යන ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට තව දුරටත් ජනතා ප්‍රසාදය හිමි වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණ එක්ව ඉදිරි මහ මැතිවරණයේ දී ආණ්ඩුවේ ලක්ෂ 69 ජන්ද ප්‍රමාණය තවත් ඉහළ නැංවීමට සහය දක්වමින් සිටින බවයි.

  • යෝජිත පිදුරුතලාගල රෙඩාර් ටෙන්ඩරයට ප‍්‍රංශ බලපෑම්: ඇමති නියෝගයෙන් පරීක්ෂණ

    යෝජිත පිදුරුතලාගල රෙඩාර් ටෙන්ඩරයට ප‍්‍රංශ බලපෑම්: ඇමති නියෝගයෙන් පරීක්ෂණ

    ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සදහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැදවයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය විසින් මෙම වාර්තාව කැදවා තිබේ.

    මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සති 02 ක් තුළ මෙම වාර්තාව ලබා දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරිය විසින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාට ලිඛිතවම දැනුම් දී ඇත.

    පිදුරුතලාගල රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කර ඇති ප්‍රංශ සමාගමක නිළධාරින් දෙදෙනෙකු  මෙම ටෙන්ඩරය ලබා ගැනීමට විවිධ බලපෑම් සිදු කරන බවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙත පැමිණිලි ලැබී තිබිණි.

    ප්‍රංශ සමාගමට අමතරව තවත් රටවල් 02 ක සමාගම් 02 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම ලංසු ප්‍රංශ සමාගමේ ලංසුවට වඩා අඩු බවත් අදාළ පැමිණිල්ලේ සදහන්ව තිබිණ.

  • විශ්වවිද්‍යාල පාඨමාලා යාවත්කාලීන කිරීමේදී ‘සුළු පිරිසකගේ විරෝධතා වැදගත් නෑ – ජනපති

    විශ්වවිද්‍යාල පාඨමාලා යාවත්කාලීන කිරීමේදී ‘සුළු පිරිසකගේ විරෝධතා වැදගත් නෑ – ජනපති

    විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එනවිරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න – ජනාධිපති

    ”විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එනවිරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න” ජනාධිපතිතුමා උපකුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේ ය.

    උසස් බුද්ධියකින් යුත් නවීන තාක්ෂණය සමග පෙරට යා හැකි ශ්‍රම බලකායක් අපේ රටේ සිටිති. සරල ක්‍රම තුළින් රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් ඔවුන් හැඩ ගැස්වීමේ හැකියාව අප සතු  බව තමා තරයේ විශ්වාස කරන්නේ යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

    සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්ත හා වැවිලි සහ තාක්ෂණය මුල්කරගත් රැකියා උත්පාදනයෙන් රටට වේගවත් ආර්ථික වර්ධනයක් ලඟාකරගත හැකිය. වෛද්‍ය, ඉංජිනේරු, හෙද සහ  තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා විශාල ප්‍රමාණයක් ඇත.  ඊට සුදුසු පිරිසක් විශ්ව විද්‍යාල තුළින් බිහි නොවීම බරපතල ගැටලුවකැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මේ සියල්ල සැලකිල්ලට ගනිමින් උසස් පෙළ සමත් වන දරුවන්ට තෘතීයික අධ්‍යාපනය ලබාදිය යුතුය. කලා උපාධි පාඨමාලා සමග තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාතික භාෂාවක් හැදෑරීමට සැලැස්වීමෙන් ඉදිරි තෙවසර තුළ කඩිනම් ප්‍රගතියක් අත්කරගත හැකි බව ද ජනාධිපතිතුමා පැවසීය.

    “පාසලේ සිට උපාධිය දක්වා සෑම දරුවෙකුටම නායකත්වය පිළිබද පරිචයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව ලබාදීම වැදගත්. ඒ සඳහා විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එනවිරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න” ජනාධිපතිතුමා උපකුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජනමත විමසුමකට හෝ යා යුතු බවත්, එවිට ආණ්ඩු හෝ ඇමතිවරු මාරු වන විට  ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇති බවත් පෙන්වා දුන්නේය.

    “පාඨමාලා අනුව සිසුන් බඳවා ගැනීමේ අයිතිය විශ්ව විද්‍යාලවලට තිබෙන්න ඕන. නව විශ්ව විද්‍යාල බිහි කිරීම සහ පවතින අඩු පාඩු විසඳීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයක්. නව පාඨාමාලා සදහා සිසුන් යොමු කිරීමේ මාර්ගෝපදේශනයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි පරිශ්‍ර  යොදා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයට පිළිවන්”. ජනාධිපතිතුමා පැවසීය.

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී පාඨමාලාව හදාරන සිසුන්ට නීති විද්‍යාලය පනවා ඇති ඇතැම් රෙගුලාසි ඉවත් කරන්නැයි ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්ව විද්‍යාල පරිපාලනයට සීමා නොවී සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට වගකියන සහ සොයා බලන ආයතනය බවට පත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    විශ්ව විද්‍යාල සදහා වෙන් කරන ප්‍රතිපාදන විශාල ගොඩනැගිලි ඉදිකිරීමට වැය කරනු වෙනුවට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන පර්යේෂණ සහ අධ්‍යයන මෙන්ම තාක්ෂණික මෙවලම් වෙනුවෙන් වැය කිරීමේ වැදගත්කම එතුමා පැහැදිළි කළේය.

    විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සදහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු සහ සියලු විශ්ව විද්‍යාලවල කුලපතිවරු සහ උපකුලපතිවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • සමාජ මාධ්‍යවල ‘වෛරී ප්‍රකාශන’ ඉහළට

    සමාජ මාධ්‍යවල ‘වෛරී ප්‍රකාශන’ ඉහළට

    සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් ‘බුර්කාව’ සම්බන්ධ කරගනිමින් වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ඇතිවී ඇත.

    මෙම අවස්තාව ප්‍රයෝජනයට අරගනිමින් යම් කණ්ඩායම් විසින් තම වාසිය උදෙසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරමින් කටයුතු කරන බවක් සමාජ මාධ්‍ය අඩවි තුල විශේෂයෙන්ම ෆේස්බුක් වෙබ් අඩවිය තුල නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය.

    පටු දේශපාලන වාසි තකා ඉස්මතුවන මෙවැනි වෛරී ප්‍රකාශන හා අන්තර්ගතයන් සමාජ මාධ්‍ය අඩවි වල හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙස අප සංගමය ශ්‍රී  ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙමු.

  • සජිත් ජනපතිවරණ ව්‍යාපාරයට ‘මධ්‍යම සංස්කෘතික අරමුදලෙන’ මිලියන 3800ක් ඇදලා

    සජිත් ජනපතිවරණ ව්‍යාපාරයට ‘මධ්‍යම සංස්කෘතික අරමුදලෙන’ මිලියන 3800ක් ඇදලා

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවති රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුව හා රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා විසින් අරමුදලේ අරමුණුවලට පටහැනි කටයුතු සදහා වියදම් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා පෙන්වා දෙයි. ඔහු අවධාරණය කරන්නේ  මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 1600 ක් ණයකරුවෙකු වී ඇති බවයි.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ යහපාලන රජයේ මධ්‍යම සංස්කෘතික අරමුදල භාර ව සිටි  ඇමතිවරයා මෙම මුදල් සිය මැතිවරණ කටයුතු සදහා අනිසි ලෙස යොදවා ඇති බවයි. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බව ද ඇමති රණතුංග මහතා අවධාරණය කරයි.

    රඹුක්කන, දැලිවල, කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනාරල්වරයා මෙම කරුණු අනාවරණය කළහ. නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතාගේ මැදිහත්වීමෙනි.

    ඓතිහාසික දැලිවල කොටවල රජමහා විහාරස්ථානයේ තිබී බුදුන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ සිරුර වෙලු බව කියන සිවුරු කොටසක් හමු ව තිබේ. එය වසර 2200 කට වඩා පැරණි බව අනාවරණය වි ඇත.

    නව වෙබ් අඩවිය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    අපේ රටට එන සංචාරකයෝවර්ග කීපයක් ඉන්නවා. එක කණ්ඩායමක් එන්නේ අපේ රටේ ලස්සන බලන්න . තවත් කණ්ඩායමක් එන්නේ මුහුදු වෙරළ ආශ්‍රිතව සංචාරය කරන්න. තුන්වෙනි පාර්ශවය තමයි ඉතා වැදගත්. ඔවුන් එන්නේ මේ රටේ සංස්කෘතිය විදින්න. පුරාවිද්‍යා ස්ථාන බලන්න. ඒ නිසා  මෙරට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති සිද්ධස්ථාන ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් අපි  ආරම්භ කරනවා. සංචාරක සංවර්ධන අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

    පුරාවිද්‍යා වටිනාකමක් ඇති ආගමික සිද්ධස්ථාන වල වටිනාකම නැති නොවන ආකාරයෙන් මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. මේ අනුව සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන අප හදුනාගනිමින් තියෙනවා. එම ස්ථාන සදහා අප විසින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

    පහුගිය ආණ්ඩුව අපේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය ගැන නොසලකා හැරියා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3000 ක තැන්පතුව සහ රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා භාවිතා කළේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඒ වගේම අනවශ්‍ය ලෙස පුද්ගලයන් රැකියාවට බදවා ගනිමින් ඔවුන්ට වැටුප් ගෙවීමට මේ අරමුදලේ මුදල් භාවිතා කළ බව වාර්තා වෙනවා. මේ අරමුදල ගොඩ නගලා තිබුණේ අපේ රටේ පුරාවිද්‍යා ස්ථන රැක ගැනීම සදහායි. අපේ ආණ්ඩුව මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා.

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා

    2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළෙන කොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුවක් තිබුණා. ඒ වගේම සංචිතයේ රුපියල් මිලියන 800 ක් තිබුණා. මේ මුදල් අරමුදලේ අරමුණු වලට පටහැනි කරුණු සදහා හිටපු ආණ්ඩුව යොදවා තිබෙනවා. ඒ වගේම තවත් රුපියල් මිලියන 1600 ක් දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල ණයයි. අප මේ සංචිතය ගොඩ නගා තිබුණේ සංචාරක කර්මාන්තයෙන් උපයා ගත් මුදලින්. විදේශීය හා දේශීය සංචාරකයන් මේ පුරාවිද්‍ය ස්ථාන නැරඹීමට යාමෙන් අපිට ලැබුණු මුදලින් නව රජය යටතේ අපිට මේ ණය මුදල වසරක් තුළ ගෙවා දැමීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරනවා. සංචාරක සංවර්ධන අධිකාරියත්, පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවත් අපත් එකතු වී පුරා විද්‍යා ආශ්‍රිත සංචාරක කර්මාන්තය දියුණු කිරීමට පියවර ගන්නවා.

  • නිමල් සිරිපාලට ‘ලකුණ’ ප‍්‍රශ්නයක් නැති වුණත් ‘නාමල්ට’ ලකුණ හරිම වැදගත්ලු

    නිමල් සිරිපාලට ‘ලකුණ’ ප‍්‍රශ්නයක් නැති වුණත් ‘නාමල්ට’ ලකුණ හරිම වැදගත්ලු

    මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන අරමුණ වන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් බලවේග එකතු කොට මැතිවරණයට ඉදිරිපත්වීම බව අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රත්සංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

    ඊයේ මහියංගණයේ පැවැති ජන හමුවකදී මේ බව සඳහන් කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන ලකුණ පිළිබදව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිඳු ගැටලුවක් නොමැති බවයි.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා,

    ‘දැනට තිබෙන දේශපාලන වාතාවරණ අනුව බොහෝ අය ප්‍රකාශ කරනවා අතෙන් එනවාද ? පුටුවෙන් එනවාද, පොහොට්ටුවෙන් එනවාද කියලා. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමගත්, පොදුජන පෙරමුණ සමගත් ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ නිසා ලකුණ මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ.

    අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ එක්ව සන්ධාන ගත වෙලා එක්සත් ජාතික පක්ෂ විරෝධී සියළු දේශපාලන පක්ෂ එකතු කරගෙන ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නයි. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාට මම ස්තූති වන්ත වෙනවා එතුමා සඳහන් කරලා තිබුණා සද්ධාන ගත වීමක් අවශ්‍යයි කියලා. ඒ බව පුවත් පත් වාර්තා කරලා තිබුණා. ඒ නිසා කවුරුත් කලබල විය යුතු නැහැ. ඉහළ දේශපාලන නායකත්වය විසින් ඔබ සියලූ දෙනාටම එක්ව එකට එකතු වෙලා ගමේ දේශපාලනය කරන්න පුළුවන් පරිසරයක් හදනවා’

    මේ අතර ඊයේ පුත්තල ප‍්‍රදේශයේ පැවැති ජන හමුකදී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ ඉදිරි මහ මැතිවරණයට යන්නේ අනිවාර්යයෙන්ම පොහොට්ටුව ලකුණින් පමණක් බවයි.

    ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් සමහර අය කියනවා එකතු වෙලා යන්න ඕන කියලා. සමහර අය කියනවා නෑ වෙන්වෙලා යමු කියලා. බහුතර මතයට අපි යන්න ඕන. අනිවාර්යයෙන්ම ඡන්දයට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුව ලකුණින්. සන්ධානය පාර්ලිමේන්තුවට ගිහින් හදනවද ? නැන්තම් පාර්ලිමේන්තුවට යන්න කලින් හදනවද කියලා තීරණය කළ යුතුයි’ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

  • ආණ්ඩුවේ චංචා දුෂණ මර්ධනයට ‘පී.බී.ගෙන් නව නියෝග ’

    ආණ්ඩුවේ චංචා දුෂණ මර්ධනයට ‘පී.බී.ගෙන් නව නියෝග ’

    අගමැති, ඇමැති හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයන් හා වෙනත් අවශේෂ නිලධාරින් සංවර්ධන ව්‍යාපෘති හා රජයේ කටයුතු සම්බන්ධයෙන් ලියුම් නිකුත් කරමින් හා දුරකතන ඇමතුම් දෙමින් කරන ඉල්ලීම්, උපදෙස් දීම් හා නියෝග නොපිළිගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය 7 වැනිදා දාතමින් යුතුව චක්‍රලේඛය නිකුත් කරමින් අග‍්‍රාමාන්‍ය ලේකම්වරයාට ඇතුළු සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග කර ඇත.

    මේ නියෝගය දැඩිව ක්‍රියාත්මක කරන්නැයිද අගමැති ලේකම්වරයාට හා අමාත්‍යංශ ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

    දූෂණ, වංචා, අක්‍රමිකතා හා බලය අනිසි ලෙස පරිහරණය කිරීම වැළැක්වීමේ අරමුණින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

  • දිනපතා ශ‍්‍රී ලංකාවේ 38ක් පිළිකාවට බිලිවෙයි

    දිනපතා ශ‍්‍රී ලංකාවේ 38ක් පිළිකාවට බිලිවෙයි

    ශ‍්‍රී ලංකාවෙන් වසරකට පිළිකා රෝගීන් 23,530 දෙනෙකු පමණ වාර්තා වන බවත් දෛනිකව පිළිකා රෝගය හේතුවෙන් පුද්ගලයින් 38 දෙනකු මිය යන බවත් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි. ඔහු පවසන්නේ ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 64 දෙනකු වාර්තා වන බවයි.

    ලෝකයේ බෝ නොවන රෝග හේතුවෙන් වාර්තා වන මරණවලින් දෙවැනි තැන හිමිවන්නේ පිළිකාවට බව කී විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා එයින් 3/1ක් වළක්වා ගත හැකි බව ද සදහන් කළේය. ශ‍්‍රී ලංකාව තුළ පිළිකාව හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 14, 013ක් පමණ වන බව ද සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේය.

  • 26 දෙනෙකු ඝාතනය කළ තායිලන්ත හමුදා භටයා මරා දැමේ

    26 දෙනෙකු ඝාතනය කළ තායිලන්ත හමුදා භටයා මරා දැමේ

    Thai police and security forces move into the Nakhon Ratchasima shopping centre, 9 February 2020
    වෙඩි ප්‍රහාරයෙන් පනස් හත් දෙනෙකු තුවාල ලැබීය

    තායිලන්තයේ නකොන් රචසිමා නගරයේදී පුද්ගලයන් විසි හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හමුදා භටයා ආරක්ෂක අංශ විසින් මරා දමනු ලැබ ඇති බව එරට පොලිසිය පවසයි.

    සෙනසුරාද (පෙබරවාරි 08) හමුදා කඳවුරකින් ගිනි අවි සොරා ගැනීමට ප්‍රථම ජක්‍රපාන්ත් තොම්මා නමැති හමුදා භටයා ඔහුගේ අණදෙන නිලධාරියා මරා දමා තිබිණි.

    ඉන් නොනැවතුණු සැකකරු නකොන් රචසිමා හි වීදිවල සහ වෙළෙඳ සංකීර්ණයක සිටි පුද්ගලයන්ට වෙඩි තැබීය.

    සමාජ ජාල වෙත වීඩියෝ මුදා හල හමුදා භටයා ගොඩනැගිල්ල තුළට කොටු කිරීමෙන් පසු වෙඩි තබා මරා දමනු ලැබිණි.

    වෙඩි ප්‍රහාරයෙන් විසි දෙනෙකු මරණයට පත්ව ඇති බව මුලින් ලැබුණු වාර්තාවලින් කියවිණි. පනස් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

    “මෙය තායිලන්තයේ පෙර නොදුටුවිරූ දෙයක්. මෙය එවැනි අවදානම් තත්ත්වයක් ඇති වූ අවසන් වතාව විය යුතුයි,” යනුවෙන් නකොන් රචසිමා හි රෝහලක ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ සුවදුක් විමසීමට ගිය තායිලන්තයේ අගමැති ප්‍රයූත් චන්-ඔචා පැවසීය.

    දේපල වෙළෙඳාමකදී තමන් රවටා ඇතැයි සිතා ඒ හේතුවෙන් හටගත් එදිරිවාදිකමක් ප්‍රහාරයට හේතු වී ඇතැයි පෙනෙන්නට ඇති බව අගමැතිවරයා කියා සිටියේය.

    ඉරිදා උදෑසන සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පිළිබඳ ඇමති අනුතින් චාර්න්විරකුල් ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය පිළිබඳ ආරක්ෂක අංශ වෙත ස්තූතිය පළ කළේය.

    වෙළෙඳ සංකීර්ණයේදී සිදු වූයේ කුමක්ද?

    Thai police and security forces move into the Nakhon Ratchasima shopping centre, 9 February 2020
    වෙළෙඳ සංකීර්ණය තුළදීම හමුදා භටයා කොටු කර ගැනීමට ආරක්ෂක අංශ සමත් විය

    තායිලන්ත වේලාවෙන් ඉරිදා උදෑසන 03:00 පසු වී මදකට පසු, ගොඩනැගිල්ල වටලා හමුදා භටයා ආරක්ෂිත ස්ථානයකට පළවා හැරීමට හමුදා අංශ උත්සාහ ගැනීමත් සමග වෙඩි හඬ ඇසිණි.

    පුද්ගලයන් ගණනාවක් වෙළෙඳ සංකීර්ණයෙන් පිටතට දුව ආ අතර තවත් පුද්ගලයන් ප්‍රාණ ඇපයේ තබා ගෙන ඇති බවට බිය පළ විය.

    ඉරිදා 09:30 වන විට හමුදා භටයා වෙඩි තබා මරා දමන ලද බව පොලිසිය තහවුරු කළේය. මෙහෙයුම සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් සවිස්තරාත්මකව තොරතුරු වාර්තා වී නොමැත.

    තිස් දෙහැවිරිදි හමුදා භටයා ගොඩනැගිල්ලේ පිටුපසින් පැන යාමට උත්සාහ ගෙන ඇතැයි කලින් ලැබුණු වාර්තාවලින් කියවිණි.

    ප්‍රහාරය නවතා ආරක්ෂක අංශ වෙත භාර වීමට නම්මවා ගැනීමේ අරමුණින් සැකකාර හමුදා භටයාගේ මව ද වෙළෙඳ සංකීර්ණය වෙත ගෙන එනු ලැබිණි.

    Thai security forces evacuate people from the Terminal 21 shopping centre in Nakhon Ratchasima. Photo: 9 February 2020
    ‘ටර්මිනල් 21’ වෙළෙඳ සංකීර්ණයේ සිටි ජනයා පිටතට ගෙන යමින්
    People fleeing the shopping centre
    ප්‍රහාරයෙන් බේරී සිටීමට මේස යට සැඟව සිටි අයුරු ඇතැම් පුද්ගලයෝ විතර කළහ

    නිරුපද්‍රිතව ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි පුද්ගලයන් අතර සිටි කාන්තාවක් ඇය සහ තවත් පිරිසක් සිව් වෙනි මහලේ පිහිටි නාන කාමරයක සැඟවී සිටි ආකාරය විස්තර කළාය. පසුව දෙවන මහලට පැන ගොස් අවන්හලක මේසයක් යට පැය තුනක කාලයක් සැඟව සිට ඇති ඇය හමුදා සාමාජිකයන් පැමිණ ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යාමට පෙර වෙඩි හඬ හතරක්වත් ඇසුණු බව සඳහන් කළාය.

    නකොන් රචසිමා හි වෙසෙන ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙකු වන චාලි ක්‍රෝසන් බීබීසී වෙත කියා සිටියේ සාමාන්‍යයෙන් සාමකාමී නගරයක් වන එහි “වීදි මත මළසිරුරු”තිබුණු බවය.

    පැය ගණනාවක් පුරා පැවති ප්‍රහාරයෙන් මරණයට පත් පිරිස අතර සිය පෙම්වතියගෙන් කලක් ඉගෙනුම ලැබූ සිසුවකු ද සිටි බව ඔහු සඳහන් කළේය.

    ප්‍රහාරයේ ගමන් මග

    තායිලන්ත වෙඩි තැබීම

    සෙනසුරාදා සවස 03:30 ට පමණ සුවාතම් පිතක් හි හමුදා කඳවුරේදී අණදෙන නිලධාරියා මරා දමමින් ප්‍රහාරය ආරම්භ විය.

    ‘බැංකොක් පෝස්ට්’ වාර්තා කළේ අණදෙන නිලධාරියාගේ නැන්දනිය සහ තවත් හමුදා භටයෙකු ද ඝාතනය කර ඇති බවය.

    ජීප් රථයකට ගොඩ වූ සැකකාර හමුදා භටයා ඊට පෙර ගිනිඅවි සහ ජීව උණ්ඩවලින් සන්නද්ධ වී තිබේ.

    සවස 06:00 ට පමණ ‘ටර්මිනල් 21’ වෙළෙඳ සංකීර්ණය වෙත ළඟා වීමට පෙර ස්ථාන ගණනාවක දී ඔහු විවෘත වෙඩි තැබීම් කර ඇත.

    සැකකරු ජීප් රථයෙන් පිටතට පැමිණ වෙඩි තබන ආකාරයත් ජනතාව දුව යන අයුරුත් දැක්වෙන වීඩියෝ දර්ශන එරට මාධ්‍ය විසින් පළ කරනු ලැබීය.

    වෙළෙඳ සංකීර්ණය තුළ ඔහු රයිෆලයක් ඉහළට ඔසවාගෙන සිටින අයුරු CCTV දර්ශන ඔස්සේ දැක ගන්නට ලැබිණි.

    සැකකරු සමාජ මධ්‍යයේ පළ කළේ මොනවාද?

    ප්‍රහාරය අතරතුර ඔහු සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ අදහස් පළ කළේය. තමන් යටත් විය යුතුදැයි ෆේස්බුක් ඔස්සේ අදහස් පළ කරමින් ඔහු අසා තිබිණි.

    ජීව උණ්ඩ සමග පිස්තෝලයක ඡායාරූපයක් ඔහු ඊට පෙර පළ කර තිබූ අතර “මරණය වැලැක්වීමට කාටවත් බැහැ” යනුවෙන් එහි සඳහන් කර ඇත.

    ෆේස්බුක් ආයතනය විසින් මේ වන විට ඔහුගේ ගිණුම ඉවත් කරනු ලැබ තිබේ.

    විපතට පත් තායිලන්ත වැසියන් වෙත කණගාටුව පළ කරන ෆේස්බුක් ආයතනය “මෙවැනි කෘර ක්‍රියාවල යෙදෙන මිනිස්සුන්ට ෆේස්බුක් හි තැනක් නැහැ වගේම මේ ප්‍රහාරය අගය කරන්න හෝ ඊට සහාය දෙන්නත් අපි කාටවත් ඉඩ තබන්නේ නැහැ” යනුවෙන් සඳහන් කර ඇත.

    Full text copied by bbc