Author: Editor

  • ජනපති කැඳවූ පක්ෂ නායක හමුව අවසන්

    ජනපති කැඳවූ පක්ෂ නායක හමුව අවසන්

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 44%ක ආනයන තීරු බදු හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් වූ බව නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී අද (10) පැවැත්විණි.

    44%ක නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ මෙම කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කර ඇත.

    අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

    එසේම අමෙරිකානු රජය සමග සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරීම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

    පක්ෂ නායකයන් සමග පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කරගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී  තීරණය කර තිබේ.

    සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා, ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් එස්. රාසමාණික්කම්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් රවී කරුණානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩී.වී. චානක, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරමින් මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් රිෂාඩ් බදුර්දීන්, සර්වජන බලය පක්ෂය නියෝජනය කරමින් දිලිත් ජයවීර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, ස්වාධීන කණ්ඩායම් 17 නියෝජනය කරමින් සහභාගි වූ ඒ. අර්චුනා යන මහත්වරුද අදහස් දක්වා තිබේ.

  • සිරි දළදා දැක්මේදී ප්‍රභූන්ට විශේෂ ප්‍රවේශපත් නැහැ- අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාහිමි

    සිරි දළදා දැක්මේදී ප්‍රභූන්ට විශේෂ ප්‍රවේශපත් නැහැ- අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාහිමි

    පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන සිරි දළදා දැක්මේදී ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් විශේෂ පෝලිම් හෝ විශේ ප්‍රවේශපත් නොමැති බවත්, පවතින පෝලිම් භාවිතයෙන් දළදා වන්දනාවට පැමිණිය යුතු බවත් ශාස්ත්‍රපති . පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.

    උන්වහන්සේ මේ බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්කුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
    මහා සංඝරත්නයට , විදේශ තානාපතිවරුන්ට, විශේෂ අමුත්තන්ට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පමණක් ඒ වෙනුවෙන් පහසුකම් සළසා ඇති අතර වෙනත් වර්ෂවල මෙන් විශේෂ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බව උන්වහන්සේ අවධාරණය කළහ.
    එසේම විශේෂිත ගේට්ටුවක් මහා සංඝරත්නය වෙනුවෙන් වෙන් කර ඇති බව සඳහන් කළ උන්වහන්සේ පෙරවරු 10 ට පෙර දළදා මාළිගය පරිශ්‍රයට වැඩම කළ යුතු අතර එහිදී උන්වහන්සේලා උදෙසා දහවල් දානය පිරිනැමීමෙන් අනතුරුව දළදා වන්දනාව සඳහා සහභාගී විය හැකි බව උන්වහන්සේ සඳහන් කළහ.
    වර්ෂ 16කට පසුව පැවැත්වෙන මෙම සිරි දළදා ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි මල්වතු අස්ගි

  • වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට” සියලු කටයුතු සූදානම් – බුද්ධශාසන ඇමති

    වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට” සියලු කටයුතු සූදානම් – බුද්ධශාසන ඇමති

    වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට”  සියල්ල සූදානම් බව බුද්ධශාසනආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා  පැවසීය. 

    2025 සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය  හමුවකට එක්වෙමින් බුද්ධශාසන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 සිට 27 දක්වා  දින 10ක කාලයක්  පැවැත්වෙන අතර, එම කාලයේ  දේශීය සහ විදේශීය බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහනුවරට ළඟාවීමට නියමිත බවද පැවසුවේය.  ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනය සහ දියවඩන නිලමේතුමාගේ අනුමැතිය සහිතව  ඒ සඳහා සියලු කටයුතු  මේවන විට සංවිධානය වෙමින් පවතින බවද අමාත්‍යවරයා කීය.

    විදුලිය, ජලය, සෞඛ්‍ය, ප්‍රවාහන යන සියලු අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත්වී සිටින බවද අමාත්‍යවරයා පැවසීය. එසේ වුවද  විශාල ජනකායක් දළදා වන්දනාවට පැමිණෙන නිසා ,  පුද්ගල බද්ධව විශාල ඉවසීමක් සහ කැපවීමක් සහිතව මෙම උතුම් කටයුත්තට දායක වන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    දළදා වහන්සේ වන්දනයට අවස්ථාව හිමිවීම ජීවිත කාලය තුළ අපට හිමිවන විරලතම සහ දුලබ අවස්ථාවක් බව සිහිපත් කළ අමාත්‍යවරයා රජයක් හැටියටද මෙය හිමිව ඇති දුලබම අවස්ථාවක් බව පෙන්වා දුන්නේය.

    පෝලිම්වල  රැඳීසිටන බැතිමතුන්ගේ මානසික විඩාව නිවීමට හා  බුද්ධාලම්භන ප්‍රීතිය වැඩිකිරීමට ගුවන්විදුලි නාලිකාවක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද පැවසුවේය.

    විවිධ ක්ෂේත්‍රවල නියුතු රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක්  මේ සඳහා දායකත්වය ලබාදෙන බවද කිය

    ශ්‍රී ලංකාවේ ජනතාව සතුව තිබෙන අති උත්කෘෂ්ටතම , සංස්කෘතික දායාදය වන ශ්‍රී දළදා වහන්සේ දිවමන් බුදුරජාණන් වහන්සේ හා සමව සලකන බවද, මුළු මහත් ලංකාවාසීන් මෙන්ම, තානාපතිවරුන්, විදේශ වලින් පැමිණෙන බැතිමතුන් ඇතුළුව ලෝකවාසී  සියලුදෙනා මෙම කටයුත්තට සම්බන්ධ වන ලෙසද  ඉල්ලා සිටියේය.

  • ට්‍රම්ප්ගේ 44%ක තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් ලංකාවට විය හැකි හානිය ගැන ADB අනතුරු අඟවයි

    ට්‍රම්ප්ගේ 44%ක තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් ලංකාවට විය හැකි හානිය ගැන ADB අනතුරු අඟවයි

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා පනවන ලද නවතම ආනයන තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි ආර්ථික බලපෑම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව (ADB) බරපතළ අනතුරු ඇවීමක් කර ඇත.

    භාණ්ඩ අපනයනයේ දැවැන්ත පහළ යාමක් වාර්තා වීම, අපනයන අභිමුඛ කර්මාන්ත අංශය මන්දගාමී වීම, ආයෝජක විශ්වාසය පහළ වැටීම හේතුවෙන් සෘජු විදෙස් ආයෝජන ගලාඒම හා දේශීය ප්‍රාග්ධන ප්‍රසාරණය පහළ යාම, රැකියා වියුක්තිය ඉහළ යාම, වැටුප් වර්ධක පහළ යාම, පුද්ගලික පරිභෝනය පහළ යාම, ඉහළ රැකියා වියුක්තිය හා ආඩු බදු ආදයම නිසා රාජ්‍ය මූල්‍යයට එල්ලවිය හැකි පීඩනය යනාදිය, ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට අත්විඳීමට සිදුවිය හැකි අහිතකර ප්‍රතිඵල ලෙස ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.

    තව ද ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ ඇණවුම් අවලංගු වීම් හමුවේ අඩු තීරුබදු අනුපාතයන් පනවා ඇති මැලේසියාව, ඉන්දියාව හා මෙක්සිකෝව වැනි රටවලට අදාළ ඇණවුම් විතැන්වීමට ඉඩක් ඇති බවයි.

    ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛ ආර්ථික ප්‍රකාශනය වන 2025 අප්‍රේල් මාසයේ ආසියානු සංවර්ධන දැක්ම (ADO) ප්‍රකාශයට පත්කිරීම දැනුම් දීම සඳහා අද (09) පෙරවරුවේ කොළඹ දී මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ විය.

    එහිදී ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන් කියා සිටියේ 2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය අත්පත් කර ගත් ශක්තිමත් ප්‍රකෘතිමත් වීමෙන් පසු, 2025 වසරේ දී 3.9%ක හා 2026 වසරේ දී 3.4% ක ක මධ්‍යස්ථ වර්ධනයක් අත්පත් කර ගනු ඇති බවට පුරෝකථනය කරන බවයි. නමුත් එක්සත් ජනපද තීරුබදු ප්‍රතිපත්තිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මත් වුවහොත්, තමන් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන සම්බන්ධයෙන් කර ඇති වර්ධන පුරෝකථනයන් පහළ දැමීමට සිදුවනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව මෙහිදී සඳහන් කළේය.

     

  • පරාටේ නීතිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

    පරාටේ නීතිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

    පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබුණු සහන කාලය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කැපවී සිටින බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය 2025 මාර්තු 31 දිනෙන් අවසන් විිය.

    ඒ අනුව 2025 මාර්තු 31 දින හෝ ඊට පෙර සහන පියවර සාකච්ඡා කළ රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 දෙසැම්බර් 31 වන දා දක්වා මෙම සහනය හිමිවනු ඇත.

    මේ අතර, රුපියල් මිලියන 25ත් 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමක් ලබා දුන් අතර, රුපියල් මිලියන 50 ඉක්මවන අයට ආධාර ලබා ගැනීම සඳහා 2025 ජුනි 30 දක්වා අවසාන දින දීර්ඝ කිරීමක් ලැබුණි.

    මෙම ප්‍රතිලාභ 2025 මාර්තු 31 වන දිනට පෙර බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

  • අලුත් අවුරුදු සමයේ ‘ගිනිකෙළි අනතුරුවලින්’ දෙනෙත් රැක ගන්නේ කෙසේ ද ?

    අලුත් අවුරුදු සමයේ ‘ගිනිකෙළි අනතුරුවලින්’ දෙනෙත් රැක ගන්නේ කෙසේ ද ?

    සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ බාල තරුණ වැඩිහිටි බොහෝ දෙනා ගිනිකෙළි සමග අවුරුදු සතුට භුක්ති විඳීමට හුරුවී සිටිනවා.අනාරක්ෂිත ලෙස රතිඤ්ඤා භාවිතය හේතුවෙන් අවුරුදු සමයේ බොහෝ දෙනා සිය දෙනෙත් අනතුරට පත්කර ගන්නවා.

    මෙලෙස සිදුවන අනතුරු නිසා නව අවුරුද්දේ ආරම්භය රෝහල්ගත කිරීමේ සිට ජීවිතාන්තය දක්වා දෑස් අහිමි වීම හෝ ස්ථිර පෙනීම අඩුවීමක් සිදුවිය හැකියි. සමීක්ෂණ දත්ත අනූව ගිණිකෙලි ද්‍රව්‍ය නිසා ඇතිවන අනතුරු අතරින් වඩාත්ම බහුල වන්නේ  එනම් 46%ක්ම අත් සහ ඇඟිලි වලට සිදුවන අනතුරුයි. මෙම අනතුරු තුවාල වලින් 17%ක් ඇස් වලටද, තවත් 17%ක් මුහුණ සහ හිස ආශ්‍රිත ප්‍රදේශයටද සිදුවෙනවා.

    රතිඤ්ඤා වැනි ගිනිකෙලි වලින් ඇසකට යම් අනතුරක් වුණොත් ගලාගෙන යන පිරිසිදු වතුර හෝ සේලයින් වැනි දෙයක් ඇසට දැමීම සිදුකළ යුතුයි. එමෙන්ම ඇසට යම් අනතුරක් සිදුවූ විට ඇස ට ඇතුල් වූ ද්‍රව්‍ය ඉවත් කිරීමට නොයා යුතුය. පිරිසිදු රෙදි කඩකින් ඇස ආවරණය කර ළඟම ඇති රෝහල කරා යා යුතුය.

    හදිසි අනතුරු වලදී කලබල වී නොගැලපෙන ප්‍රතිකාර සිදුකිරීමෙන් තත්ත්වය දරුණු විය හැක. විශේෂයෙන්ම උත්සව සමයේ රතිඤ්ඤා පත්තු කිරීමේදී ආරක්ෂිතව එය සිදුකළ යුතු අතර ඒ සඳහා නිසි ප්‍රමිතියකට අනූව නිපදවන ලද රතිඤ්ඤා මිලදීගැනීම සිදුකළ යුතුයි.

    එළඹෙන අවුරුදු සමයේ ගිණිකෙලි අනතුරු වලින් ඔබගේ දෑස් ආරක්ෂා කරගැනීමටත් එම අනතුරු අවම කරගැනීමටත් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල පහත උපදෙස් පිළිපදිනා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    • සෑම විටම වැඩිහිටියෙකුගේ අනුදැනුම යටතේ ගිණිකෙලි ද්‍රව්‍ය භාවිතා කරන්න. කිසි විටෙක කුඩා ළමුන් විසින් දැල්වීම නොකළ යුතුයි.
    • දැල්වීම කළ යුත්තේ විවෘත ස්ථාන වල වන අතර කිසි විටෙක ගොඩනැගිලි තුළ, රථවාහන අසල හෝ ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය ඇති ස්ථාන වල මේවා භාවිතා නොකළ යුතුයි.
    • රතිඤ්ඤා වරකට එක බැගින් දැල්විය යුතු අතර දැල්වූ වහාම අසලින් ඉවත් විය යුතුයි.
    • රැස්ව සිටින අය රතිඤ්ඤා දල්වන ස්ථානයට සැලකිය යුතු දුරකින් සිටිය යුතුයි.
    •  කිසි විටෙක දැල්වූ රතිඤ්ඤා කෙනෙකු දෙසට හෝ සතුන් දෙසට විසි නොකළ යුතුයි.
    • කිසිවිටක මෙම රතිඤ්ඤා හෝ ගිණිකෙලි වල ඇති සේවා නූල හෝ ඇතුලත කොටස් කඩා වෙනස් නොකළ යුතුයි.
    •  නොදැල්වූ රතිඤ්ඤා නැවත දැල්වීම සිදු නොකරන්න.
    •  ගිණිකෙලි දල්වන අවස්ථාවේ වතුර බාල්දියක් තබාගත යුතු අතර පිළිස්සුම් සඳහා ප්‍රථමාධාර පිණිස මෙන්ම නොදැල්වූ රතිඤ්ඤා ආදිය ගිල්වීම සඳහා එය භාවිතා කළ හැක.
    • නොවැලැක්විය හැකි අනතුරකට ලක්වූ විට කල් පසු නොකර වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ අත්බෙහෙත් වලින් වැළකීම ඉතා වැදගත් වේ.

    ඉතා කුඩා අත්වැරදීමකින් ඔබට හෝ ඔබේ දරුවාට නිවැරදි කළ නොහැකි අනතුරක් සිදුවිය හැකියි. ගිණිකෙලි භාවිතයේදී ආරක්ෂිත පියවර අනුගමනය කරන්න. දැනුවත් වී කටයුතු කිරීමෙන් අවුරුදු සතුට අහිමි නොකරගමු.

    විශේෂාංගය සඳහා කරුණු අවුරුදු සමයේ රතිඤ්ඤා හේතුවෙන් ඇසට සිදුවන හානි වළක්වා ගැනීම සම්බන්ධයෙන් අද (09) ජාතික අක්ෂි රෝහලේ පැවති මාධ්‍ය හමුව ඇසුරෙනි.

    සටහන – පූර්ණා පුණ්‍යමලී නානායක්කාර 

    මූලාශ්‍රය – NEWS.LK

  • ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ අභියාචනා කැඳවයි

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ අභියාචනා කැඳවයි

    2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09 දින සිට 2025.04.30 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතී. මේ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ලබා ගත හැක.

  • ඇමරිකානු බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා EDB මඟින් විශේෂ සාකච්ඡාවක්

    ඇමරිකානු බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා EDB මඟින් විශේෂ සාකච්ඡාවක්

    අමෙරිකානු රජය ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවලට පැනවූ 44% වාණිජ බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි රුණු බලපෑම් අවම කිරීමේ උත්සාහයන් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් විශේෂ රැස්වීමක් පසුගිය දින අපනයන සංවර්ධන මන්ඩලයේ  ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ප්‍රමුඛ වෙළඳ සංගම් සහ අපනයන සංගම් නියෝජිතයින් සහභාගී විය.

    මෙහිදී සභාපතිවරයා ශ්‍රී ලංකා රජය මේ වනවිට ගෙන ඇති ප්‍රධාන පියවරයන් පිළිබඳව ද සවිස්තරව ඉදිරිපත් කළ අතර ඇමරිකානු බලධාරීන් සමඟ රාජතාන්ත්‍රික සාකච්ඡා, නිල ඉල්ලීම් ඉදිරිපත් කිරීම සහ අමතර රාජතාන්ත්‍රික නියෝජිත කණ්ඩායමක් යැවීම සදහා ගන්නා කටයුතු විශේෂයෙන් අවධාරණය කළේය.

    අපනයන ක්ෂේත්‍ර නියෝජිතයින් විසින් ඇමරිකානු බදු වැඩිවීම් හේතුවෙන් විශේෂයෙන් නිමි ඇඳුම්, රබර්, පොල් නිෂ්පාදන, කුළුබඩු, මැණික් හා ස්වර්ණාභරණ, තේ, විසිතුරු මසුන් වැනි අපනයන ක්ෂේත්‍රවලට ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ දැඩි සැළකිල්ලක් දක්වන ලදී.

    මෙහිදී ඉදිරිපත් වූ ප්‍රධාන යෝජනා ලෙස රාජ්‍යයන් අතර සාකච්ඡා ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවයෙන් අපනයනකරුවන් සඳහා කෙටි කාලීන සහන ලබාදීම, නව වෙළඳපොළ සෙවීම සහ විවිධාංගීකරණය, භාණ්ඩ ප්‍රවාහන පිරිවැය අඩු කිරීම සහ ඇමරිකානු පාර්ශවකරුවන් සමඟ සෘජු සම්බන්ධතා ඇති කිරීම ආදී කරුණු සාකච්ඡා විය. මෙම සාකච්ඡාවේදී අපනයනකරුවන් ඉදිරිපත් කළ යෝජනා ඉදිරියේදී රජයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

    ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම සඳහා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සියලුම පාර්ශවකරුවන් එකඟතාවයකට පැමිණි අතර, මෙම අභියෝගාත්මක තත්වය ජය ගැනීමට එක්සත් ව කටයුතු කරන බවද සදහන් විය.

     

  • ඇමරිකාව පැන වූ තීරු බදු පිළිබඳ සාකච්ඡා කිරීමට විදේශ  ඇමරිකානු තානාපති හමුවෙයි

    ඇමරිකාව පැන වූ තීරු බදු පිළිබඳ සාකච්ඡා කිරීමට විදේශ ඇමරිකානු තානාපති හමුවෙයි

    ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් වශයෙන් ‍මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්වි‍ණි.

    මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්ති‍ය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානයට යොමු විය. 2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිනි.

    මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය, ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා මහතා සහ යුරෝපා හා උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ‍ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා ද සහභාගී විය.

  • කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 6ක ඡන්ද විමසීමට අදාළ කටයුතු වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 6ක ඡන්ද විමසීමට අදාළ කටයුතු වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (අප්‍රේල් 7 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

    ඊට අමතරව අමතරව හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින්ද අධිකරණ නියෝග නිකුත් කර තිබේ.

    සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදි.

    මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් එය කල්දැමීම තුළින් රජයට මූල්‍යමය වශයෙන් විශාල හානියක් සිදුවන බව පෙන්වා දුන්නේ ය.

    එම අවස්ථාවේදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් සඳහන් කළේ මෙම පෙත්සම කඩිනමින් විභාග කොට තීන්දුවක් ලබාදීමට සූදානම් බවයි.

    මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ඔබ හෙට දින ගොනු කරන්නේ නම් මෙම නිවාඩු කාලය තුළ පෙත්සම විභාග කොට තීන්දුව ලබාදීමට අධිකරණය සූදානම් බවත් ඔහු පැවසීය.

    එම අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ විරෝධතා ගොනු කිරීම සඳහා තමන්ට සති තුනක කාලයක් ලබාදන ලෙසයි.

    ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි 05 වැනිදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළේය.

    ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස 07 වැනිදාට පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කරන ලදි.

    ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වැනිදා පැවැත්වීමටද නියම කෙරුණි.

    නියමිත කාල සීමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

    මේ අතර උප්පැන්න සහතික සාම විනිසුරුවරයා විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උප ලේඛනය යටතේ සිදු කළ යුතු දිවුරුම විධිමත්ව සිදු නොකිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 53 ක් යලි භාරගන්නා ලෙස අදාළ තේරීම් භාර නිලධාරින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අලුතින් ගොනු කෙරුණු පෙත්සම් ද සලකා බැලීම සඳහා අභියාචනාධීකරණය හමුවේ අද කැඳවනු ලැබිණි.

  • IMF  සිව් වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකයි

    IMF සිව් වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) සිව් වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළගා කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

    එමෙන්ම ඇමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරිණි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පන්ත් (Sanjaya Panth), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන පීටර් බෘවර් (Peter Breuer), ඊවාන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) යන මහත්වරු ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු එක්ව සිටියහ.

  • “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනපති ට පිළිගන්වයි

    “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනපති ට පිළිගන්වයි

    ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ සිදු කෙරිණි.

    2024 ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින්, මෙම සංගණන මූලික වාර්තාව සකස් කර ඇත.

    ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහන ව්‍යාප්තිය පිළිබඳව මෙම සංගණන වාර්තාවේ සඳහන්වේ.

    සංගණනයෙන් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට රජයට මෙන්ම අනෙකුත් ආයතන සඳහාද ඉතා වැදගත් වේ. සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට දත්ත රැස් කිරීම සඳහා ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකථන භාවිත කිරීමද මෙවර සංගණනයේ විශේෂත්වයකි.

    මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනවිරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට

    මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

    මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේදී වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.

    වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024, සාර්ව-ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විතය.

    මෙම සමාලෝචනයට අනුව, වසර දෙකකට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව, 2024 වසරේදී සැලකිය යුතු ලෙස යළි යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකය, අභියෝග මධ්‍යයේ වුවද, ණය බරින් පීඩාවට පත් අනෙකුත් බොහෝ රටවලට වඩා වැඩි වේගයකින් යළි යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස ඇත. මෙම වාර්තාවේ සඳහන් ප්‍රධාන ධනාත්මක දර්ශක අතර ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු වීම, ක්‍රය ශක්තිය පාර්ශ්විකව හෝ ප්‍රතිෂ්ඨාපනය වීම සහ අවිනිශ්චිතතාවෙහි අඩුවීම යනාදිය වේ.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ. එම්. ඒ. එන්. දවුලගල, සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය එස්. ජෙගජීවන් සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය සහ ආචාර්ය වී. ඩී. වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

  • මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම මට මහත් ගෞරවයක් – ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි

    මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම මට මහත් ගෞරවයක් – ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි

    ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞරවයක් බවත්, එය හුදෙක් තමාගේ නොව කෝටි 140ක් වූ ඉන්දියානු ජනතාවට ලැබුණු සම්මානයක් බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට, ශ්‍රී ලංකා රජයට හා ජනතාවට තම ආචාරය පුද කරන බවත් ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

    ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් අනතුරුව පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේදීය.

    භාරතය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතාවයක් සහ ගැඹුරු මිත්‍රත්වයක් ඇති බවත්, 2019 වසරේදී ගියවර සිදුවූ සංචාරය අතිශය සංවේදී කාලයක සිදුවූ බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, අගමැති ලෙස මෙය තමාගේ 04 වන ශ්‍රී ලංකා සංචාරය බව ද සිහිපත් ක‍ළේය.

    ජනතාව‌ගේ නිර්භීතභාවය හා ධෛර්යය පිළිබඳව තමා දැන සිටි හෙයින් ශ්‍රී ලංකාව වඩා ශක්තිමත්ව යළි ගොඩනැඟෙනු ඇතැයි කියා තමා විශ්වාස කළ බවත් එහිදී ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාව නැවත ප්‍රගතියේ මාවතට ප්‍රවිශ්ට වී සිටිනු දැක තමා සතුටට පත්වන බවද ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පෙන්වා දුන්නේය.

    භාරතයට සාඩම්බරයට කාරණයක් වනුයේ ගෞරවාන්විත මිත්‍රයෙකුගේ ස්වරූපයෙන් ඉටු කළ යුතු යුතුකම ඉටු කිරීමට හැකි වීම බවද, 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය හ පසුව පැමිණි ආර්ථික අර්බුදය යන සියලු අවස්ථාවන්හි තම රජය ශ්‍රී ලංකා ජනතාව සමඟ එකට එක්ව සිට කටයුතු කළ බව ද ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    ‘තිරුවලුවර්’ නම් කවියාගේ වදනක් උපුටා දක්වමින් ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පෙන්වා දුන්නේ සත්‍ය මිතුරෙකු සහ ඔහුගේ මිත්‍රත්වයට වඩා වෙනත් සුරක්ෂාවක් නොමැති බවයි.

    ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ පළමූ විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ පිළිබිඹුවක් බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පළමු විදෙස් මිතුරා වන්නට තමන්ට අවස්ථාව ලැබුණු බවත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    භාරතයේ අසල්වැසියා පළමු ප්‍රතිපත්තිය තුළ හා මහාසාගර් දැක්ම තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන බවත් පැවසූ මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයෙන් පසු පසුගිය මාස 04ක කාලය තුළ දෙරට අතර සහයෝගිතාවයේ ඉහළ ප්‍රගතියක් ඇතිවූ බවද පැවසීය.

    සාම්පූර් සූර්ය බලාගාර ව්‍යාපෘතියේ සිට ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම දක්වා දෙදෙරට අතර ඇතිවූ සහයෝගිතාවල ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට ලැබෙනු ඇතැයිද ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    අධිවෝල්ටීය ජාල සබඳතාව පිළිබඳ සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට අවස්ථාවක් උදාවනු ඇති බවද, ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානවල සූර්ය පැනල 5000ක් ස්ථාපනය කිරීමට ලැබීම මහත් සතුටක් බව ද ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට ද ඉන්දියාවේ සහාය ලබාදෙන බවද, ජනතාවගේ ආර්ථික හා සමාජයීය දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.4ක ප්‍රදානයක් ලබාදීමටත් තමා කටයුතු කළ බව පැවසූ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා, ගොවීන්ගේ යහපත උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම කෘෂි ගබඩා සංකීර්ණය ඉදිකිරීමට ඉන්දියානු රජය සහාය ලබා දුන් බව ද පෙන්වා දුන්නේය.

    හෙට දිනයේදී තමා නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය මෙන්ම මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමට සහභාගි වන බවද, ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දමිළ ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීමට සහ ශ්‍රී ලංකාවේ විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරන යොවුන් නායකයන් 700කට යහපාලන පුහුණු වැඩසටහන් සඳහා ඉන්දීය රජයේ සහාය ලබා දෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    භාරතයේ (සබ්බා සාත් – සබ්බා විකාස්) දැක්ම අනුව, තමන් අසල්වැසි දේශයන්වල ප්‍රගතියට සහාය ලබාදෙන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී පොලී අනුපාත අඩු කිරීමට තීරණය කර ඇති බවත් පැවසූ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා, එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට සහායක් සහ මාර්ගයක් ලැබෙනු ඇති බවද ප්‍රකාශ කළේය.

    භාරතය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනක ආධ්‍යාත්මික සහ ආත්මීය සබඳතාවයක් ඇති බව ද, එය තහවුරු කරමින් 1960දී ගුජ්රාත්වලින් හමුවූ බුදුන් වහන්සේගේ ධාතු බැතුමතුන්ට වැඳපුදා ගැනීමට සැලැස්වීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    එසේම ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම්, අනුරාධපුර පූජනීය නගරය, සීතාඑළිය කෝවිල යන ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට ඉන්දියාවේ සහාය ලබා දෙන බව ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අතරතුර ඉහළ රාජ්‍ය ගෞරව සහිතව හරසරින් පිළිගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය ස්තුතිය පුද කර සිටින බව ද ශ්‍රී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  • Gram flour: දීප්තිමත් මුහුණක් හිමිකර ගැනීමට අවශ්‍ය ද ?

    Gram flour: දීප්තිමත් මුහුණක් හිමිකර ගැනීමට අවශ්‍ය ද ?

    සියවස් ගණනාවක් තිස්සේ මුහුණේ  පැහැපත් බව සඳහා කඩල පිටි භාවිතා කර ඇත. එය මැජික් එකක් මෙන් ක්‍රියා කරයි.

    ඇත්ත වශයෙන්ම කඩල පිටි යනු පිටකිරීමේ ද්‍රව්‍යයක් වන අතර එය මුහුණේ ආලේප කළ විට, දූවිලි, තෙල් සහ කුණු ඉවත් කරනවා පමණක් නොව, කළු ලප හෝ සුදු ලප, මැරුණු සම ​​සහ සැහැල්ලු රෝම ඉවත් කරයි. එම නිසා, බොහෝ අය භාවිතා කරන මුහුණට දීප්තියක් ගෙන ඒමට කඩල පිටි හොඳම ෆේස් පැක් / face pack එකයි. ඔබේ සමත් අඳුරු වීමට පටන් ගෙන තිබේ නම්, මේ ආකාරයෙන් කඩල පිටි භාවිතා කරන්න.

    හොඳම ෆේස් පැක් එක මොකක්ද?

    කඩල පිටි වෙනත් බොහෝ නිෂ්පාදන සමඟ මිශ්‍ර කිරීමෙන් භාවිතා කළ හැකි නමුත් ඊට පෙර, ඔබේ සම සඳහා කඩල පිටි වල මිශ්‍ර කළ යුතු අමුද්‍රව්‍ය මොනවාදැයි දැන ගැනීම වැදගත්ය. එවිට එය ප්‍රයෝජනවත් වේ. විවිධ සම වර්ග / skin types සඳහා කුමන මුහුණු පැක් භාවිතා කළ යුතුදැයි අපි ඔබට කියමු.

    සම පරීක්ෂණය

    මුලින්ම ඔබේ සම වර්ගය කුමක්දැයි සොයා බලන්න. උදෑසන අවදි වූ පසු, ඔබේ මුහුණ පිරිසිදු ජලයෙන් සෝදා පිස දමන්න. මිනිත්තු 2-3කට පසු සම සාමාන්‍ය බවක් දැනේ නම්, ඔබට සාමාන්‍ය සමක් / normal skin ඇත. ඔබට සුළු වියළි බවක් දැනෙන අතර ඕනෑම ක්‍රීම් හෝ මොයිස්චරයිසර් ආලේප කිරීමට අවශ්‍ය නම්  සම වියළි / skin is dry වේ. මිනිත්තු 5-10කට පසු මුහුණ තෙතමනය හෝ තෙල් සහිත බවක් දැනේ නම්, සම තෙල් සහිත / skin is oily වේ.

    සාමාන්‍ය සම සඳහා ෆේස් පැක් එකක්

    කහ ස්වල්පයක්, කිරි හෝ මිකිරි තේ හැන්දක් සහ කඩල පිටි මේස හැන්දක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එය මුහුණ පුරා ආලේප කර තරමක් වියළීමට ඉඩ දෙන්න. එය සම්පූර්ණයෙන්ම වියළීමට පෙර, සැහැල්ලු අත් මගින් මුහුණ සම්බාහනය කිරීමෙන් සහ ජලයෙන් මුහුණ සේදීමෙන් මෙම පේස්ට් ඉවත් කරන්න.

    වියළි සම සඳහා ෆේස් පැක් එකක්

    කඩල පිටි මේස හැන්දකට කහ ස්වල්පයක්, ක්‍රීම් තේ හැන්දක් හෝ ආමන්ඩ් තෙල් බින්දු කිහිපයක් එකතු කළ හැකිය. මෙම මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර මුළු මුහුණේම ආලේප කර තරමක් වියළීමට ඉඩ දෙන්න. එය සම්පූර්ණයෙන්ම වියළීමට පෙර, සැහැල්ලු අත්වලින් මුහුණ සම්බාහනය කිරීමෙන් සහ ජලයෙන් මුහුණ සේදීමෙන් මෙම පේස්ට් ඉවත් කරන්න.

    තෙල් සහිත සම සඳහා ෆේස් පැක් එකක්

    කඩල පිටි මේස හැන්දකට කහ ස්වල්පයක් සහ කෝමාරිකා ජෙල් ස්වල්පයක් එකතු කරන්න. නැතිනම් කඩල පිටි පිරිසිදු ජලය සමඟ මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර මුළු මුහුණේම ආලේප කර තරමක් වියළීමට ඉඩ දෙන්න. එය සම්පූර්ණයෙන්ම වියළීමට පෙර, සැහැල්ලු අත්වලින් මුහුණ සම්බාහනය කිරීමෙන් සහ ජලයෙන් මුහුණ සේදීමෙන් මෙම පේස්ට් ඉවත් කරන්න.

    මේ ක්‍රියාවලියෙන් පසු ඔබට අවශ්‍ය නම් හුමාලය මඟින් මුහුණ සම්භාහනය කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාගේ සමට ගැලපෙන ක්‍රීම් එකකින් ඔයාගේ මුහුණ සම්බාහනය කරන්න… ඊට පස්සේ ප්‍රතිඵලය බලන්න.

    ඔව්, තව දෙයක් මතක තියාගන්න, මෙය හැමදාම කරන්න එපා. ඒක ස්ක්‍රබ් එකක් වගේ වැඩ කරන නිසා, සතියකට 2-3 වතාවක් ආලේප කිරීම වඩා හොඳයි.

    මූලාශ්‍රය – femina.in

     

  • දේශගුණික විපර්යාස මාතෘ සහ අලුත උපන් දරුවන්ගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද ?

    දේශගුණික විපර්යාස මාතෘ සහ අලුත උපන් දරුවන්ගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද ?

    දේශගුණික විපර්යාස යනු අපගේ ශිෂ්ටාචාරය පුරා දිගු කලක් තිස්සේ පැතිරී ඇති අර්බුදයක් වන අතර දැන් එය සැලකිය යුතු අනුපාතයකට ළඟා වී ඇත. එය මිනිසුන්ට සහ අනෙකුත් සතුන්ට පමණක් නොව සමස්ත පාරිසරික සමතුලිතතාවයටම බාධා කළ හැකිය. විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ජනගහනයට එය අවදානමක් ඇති කරයි

    ගර්භනී කාන්තාවන් සහ අලුත උපන් බිළිඳුන් ඔවුන්ගේ විවිධ කායික  සහ දුර්වල අනුවර්තනය හේතුවෙන් ඔවුන්ට ආවේණික අභියෝගවලට මුහුණ දෙයි. ලෝකය මාතෘ සහ නවජ මරණ අනුපාත පහත හෙළීමට අරගල කරමින් සිටින අතර, දේශගුණික අවදානම එය තවදුරටත් අනතුරේ හෙළීමට තර්ජනය කරයි. සම්පත් සහ යටිතල පහසුකම් අසමාන ලෙස බෙදා හැරීම ආන්තික කාලගුණික සිදුවීම්වලට ඔරොත්තු දීමේ හැකියාවට තවදුරටත් බලපායි.

    ප්‍රසව හා නාරිවේද අධ්‍යක්ෂ වෛද්‍ය ත්‍රිප්ති ෂරන් පැහැදිලි කරන්නේ දේශගුණික විපර්යාස සෘජුව මෙන්ම වක්‍රව අවදානම වැඩි කරන බවයි. තාප තරංග වැඩිවීම, ආන්තික කාලගුණය, වායු දූෂණය, ගංවතුර වැනි ආපදා තත්වයන් සහ බෝවන රෝග, පාචන රෝග, ආහාර විෂ වීම සහ මන්දපෝෂණය වැනි අවදානම වැඩි කිරීමෙන් ඒවාට සෘජුවම බලපෑම් කළ හැකිය.

    ගර්භනී කාන්තාවන්ට තාප ආඝාතය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති අතර එය විජලනය වීමට හේතු වන අතර එමඟින් කුස තුළ සිටින කළලයට අනතුරක් සිදුවේ. ශරීර උෂ්ණත්වය නියාමනය කිරීමේ සීමිත හැකියාව නිසා, අලුත උපන් බිළිඳුන්ට පවා තාප ආඝාතය හොඳින් ඉවසා සිටිය නොහැකිය. ඔවුන්ට විජලනය ඇති විය හැකි අතර එය වකුගඩු අකර්මණ්‍ය වීමට හා මරණයට පවා හේතු විය හැකිය.

    උෂ්ණත්වය ඉහළ යාම මැලේරියාව, ඩෙංගු වැනි වාහක මගින් බෝවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව වැඩි කරයි. නමුත් සනීපාරක්ෂාව පිළිබඳ ගැටළු ඇති කළ හැකි අතර බෝවන රෝග තවදුරටත් පැතිර යා හැකිය. ගර්භනී කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ප්‍රතිශක්තිය අඩු බැවින් ඕනෑම වසංගතයකදී ඔවුන් ආසාදනය වීමේ ප්‍රවණතාව වැඩි වේ. තව ද, බොහෝ ඖෂධ ගර්භණී සමයේදී ආරක්ෂිත නොවන අතර තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරයි.

    වාතයේ සහ ජලයේ ඇති අධික දූෂක මට්ටම් නූපන් කළලයේ සංජානනීය දෝෂ ඇති කරනවා පමණක් නොව, ගර්භණී සමයේදී අධි රුධිර පීඩනය (ප්‍රීක්ලැම්ප්සියා සහ එක්ලැම්ප්සියා) සහ දියවැඩියාව වැනි වෛද්‍ය සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි කරන අතර නොමේරූ දරු උපත්, මළ දරු උපත් සහ අඩු බර දරු උපත් අවදානම වැඩි කරයි.

    ගංවතුර, නියඟ, කුණාටු සහ භූමිකම්පා වලදී (වක්‍රව පවා) ගැබිනි කාන්තාවන් සහ කුඩා දරුවන් අනෙක් අයට වඩා බලපෑමට ලක් වේ. ඒවා සෞඛ්‍ය සේවා පද්ධති පමණක් නොව, ආහාර සහ පිරිසිදු ජලය ලබා ගැනීමේ හැකියාව සහ පිරිසිදු නවාතැන් නොමැතිකම ද කඩාකප්පල් කළ හැකිය. ඔවුන් වැටීම් හා තුවාල වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. ඔවුන් තමන්ව ආරක්ෂා කර ගැනීමට දුර්වල ලෙස සන්නද්ධ වී ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාවට බලපාන ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වේ.

    සෞඛ්‍යයට දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් අවම කිරීම සඳහා උපාය මාර්ග සහ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම හඳුනා ගැනීම සඳහා අපට තවදුරටත් පර්යේෂණ අවශ්‍ය වේ. දරිද්‍රතාවය, ආහාර අනාරක්ෂිතභාවය සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය නොමැතිකම වැනි සෞඛ්‍යයේ සමාජ නිර්ණායක ආමන්ත්‍රණය කිරීම සහ ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සඳහා ආයෝජනය කිරීම අදාළ වේ. ගර්භනී කාන්තාවන්ගේ සහ අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛතාවය දෙන සහ සමාජවල සමස්ත ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කරන දේශගුණික අනුවර්තන උපාය මාර්ග සංවර්ධනය කිරීමට අපට අවශ්‍ය වේ.

    සියල්ලටත් වඩා, දේශගුණික විපර්යාස සහ මාතෘ හා නවජ සෞඛ්‍යය අතර සම්බන්ධය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පුද්ගලයින්, ප්‍රජාවන් සහ රජය එක්විය යුතුය. ලොව පුරා රටවල් අපගේ පරිසර විද්‍යාව ආරක්ෂා කිරීමට සහ දේශගුණික අර්බුදය ගෝලීය වශයෙන් පිරිහීම වැළැක්වීමට ස්ථිර පියවර ගත යුතුය.