Author: Editor

  • සුදර්ශනී ජේ.ආර් පාරේ යයි – ‘ තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න‘

    සුදර්ශනී ජේ.ආර් පාරේ යයි – ‘ තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න‘

    රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න

    හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ කුප්‍රකට කියමනක් යළි සිහි ගන්වමින් මේ ප්‍රකාශය කළේ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි.

    අද (10) පැවැතිගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ඒ බව කීවාය.

    මේ වනවිට මෙරට රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

    ‘‘මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී. නමුත් අවදානමක ඉන්නේ. රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න. කිව්ව විදියට සෞඛ්‍ය උපදෙස් ටික පිළිපඳින්න. අනවශ්‍ය ගමන් සියල්ල නවත්වන්න. අනවශ්‍ය සාද ටික නවත්වන්න. අනවශ්‍ය විදියට නෑදෑයෝ බලන්න යන එක නවත්වන්න. මේ කියන්නේ තමා ආරක්ෂා වෙන්න. මේක තමන්ගේ ජීවිතයත් එකක් තියෙන ප්‍රශ්නයක්. කොවිඩ් මර්දනය සඳහා ඇති එකම ප්‍රතිකර්මය රෝගය වැලඳී ම වළක්වා ගැනීම. මේ මාසය හරි අවදානම්. ගෙදරට ම වෙලා ඉන්න‘‘

  • විකල්පයක් නැති වුණොත් රට වසා දමනවා – ජනමාධ්‍ය ඇමති කෙහෙළිය

    විකල්පයක් නැති වුණොත් රට වසා දමනවා – ජනමාධ්‍ය ඇමති කෙහෙළිය

    කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    ජනමාධ්‍ය අමාත්‍යවරයා බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

    මෙහිදී වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශකවරයා, ‘සෞඛ්‍ය අංශවලින් සිදුකරන කොරෝනා පාලන කටයුතුවලට අවශ්‍ය සියලු සහය රජය සහ අදාළ අංශ වලින් ලබා දෙනවා. නමුත් ජනතාව ද ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම තමයි කොරෝනා පාලනයට ඇති හොඳම විසඳුම එන්නත්කරණයයි. මෙරට 18ට වැඩි සියලු දෙනාට එන්නත්දීමේ ඉලක්කයක් රජයට තිබෙනවා. වසංගතය පාලනය කිරීම සදහා රට වසා දමා ඇදිරි නීතිය පනවන ලෙස ඉල්ලීමක් තිබෙනවා. ඒත් එවැනි තීන්දුවක් ගන්නේ අත්‍යවශ්‍යම තත්ත්වයක් ඇති වුණොත් පමණයි‘

    සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ සංචරණ සීමා ආදී කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන නිර්දේශ පිළිගැනීමට රජය නිරතුරුව සූදානමින් සිටින බවයි.

    ‘‘රට වැසීම අවස්ථා කිහිපයක සිදු කළා. නමුත් ඒ අවස්ථාවලින් පසු රෝගය වර්ධනයවීම සිදු වුණා. අද ලෝකයේ ප්‍රවණතාව රටවල් වසා දැමීම නොවෙයි. රටවල් වසා දැමීමට එරෙහිව බොහෝ තැන් වල උද්ඝෝෂණ පවා ඇති වුණා‘

    මහජන ඒකරාශීවීම් වළකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ සූදානමක් ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් රමේෂ් පතිරණ ඇමතිවරයා පැවසුවේ එසේ කරන්නේ නම් එහි අරමුණ කොරෝනා වසංගතය පාලනය කිරීම බවයි.

    ‘‘ගැසට් නිවේදන කාලීන අවශ්‍යතා මත වෙනස් වෙනවා. කොහොම වුණත් රජය එවැනි පියවරක් ගන්නේ සෞඛ්‍ය හේතු මත පමණයි‘ යනුවෙන් ද පැවසීය.

  • මංගල උත්සව හා ආගමික උත්සව පාලනයට තවත් ගැසට් එකක් එයි

    මංගල උත්සව හා ආගමික උත්සව පාලනයට තවත් ගැසට් එකක් එයි

    මංගල උත්සවයකට සහභාගී විය හැකි පිරිස සීමා කිරීම හා ආගමික උත්සව තාවකාලිකව තහනම් කිරීම ඇතුළු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) රාත්‍රියේ නිකුත් කරනු ලැබීමට නියමිත බව වාර්තා වේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් අතර ජනාධිපති කාර්යාලයේ අද (10) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම නව තීරණ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර සංචරණ සිමා රජය විසින් ඊයේ (10) යළි පනවනු ලැබුවේය.

  • සුපිරි හෙළිදරව්ව ! ‘කොළඹ පිහිටි වටිනා පෞරාණික ගොඩනැගිලිවලට මොකද වෙන්නේ ?‘

    සුපිරි හෙළිදරව්ව ! ‘කොළඹ පිහිටි වටිනා පෞරාණික ගොඩනැගිලිවලට මොකද වෙන්නේ ?‘

    කොළඹ නගරයේ ඇති රජය සතු ඉතා වටිනා ඉඩම් චීනය ඇතුලු විවිධ විදේශීය සමාගම් වලට විකිණීමට රජය සැරසෙන බව මේ දිනවල මහත් කතාබහකට ලක්වී ඇති මාතෘකාවකි.

    මුලින්ම වාර්තා වූයේ කොළඹ වරාය නගරය ආසන්නයේ ඇති මෙම වටිනා ඉඩම් චීනයට විකිණීමට සැරසෙන බවකි. එහෙත් මේ වන විට එයින් සමහර ඉඩම් වලට වෙනත් විදේශ ආයෝජකයන්ගේ ද අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

    මෙයින් නවතම වාර්තාවලින් පැවසෙන්නේ කොළඹ වරායේ හෙක්ටයාර පහකට අධික භුමි ප්‍රදේශයක් කොළඹ වරාය දකුණු ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය ලෙස සමාගමකට පවරා එහි කොටස්වලින් සියයට 85ක ප්‍රමාණයක් චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින් නම් සමාගමට පැවරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරපත් කර ඇති බවයි.

    ගුවන් හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල
    ගුවන් හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල

    මෙයට අමතරව කොළඹ පිහිටි ගුවන් හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල පිහිටි භුමිය හා කොළඹ කොටුවේ චාමර්ස් ධාන්‍යාගාරය පිහිටි ඉඩම දිගුකාලීන බදු පදනම මත විදේශ සමාගමකට බදු දීමට අවශ්‍ය මුලික පියවර ගෙන ඇති බවටත් වාර්තා පළවිය.

    පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුනේ කොළඹ 2 හි පිහිටි ගුවන් හමුදා මූලස්ථාන දේපල සහ නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ කොටුවේ පිහිටි චාමර්ස් ධාන්‍යාගාර ඉඩම සඳහා ඕමාන රජයේ ආයෝජන අංශයක් විසින් මූලික උනන්දුවක් දක්වා ඇතැයි නිල ආරංචි මාර්ග පැවසූ බවයි.

    කොළඹ ගෆුර් ගොඩනැගිල්ල
    කොළඹ ගෆුර් ගොඩනැගිල්ල

    එහි මුලික පියවර ලෙස එම දේපල තුළ ගොඩනැගීමට අපේක්ෂා කරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූලික පියවර ඉටුකිරීම සඳහා එම ආයෝජන සමාගමෙන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ බැඳීම් රහිත ගිවිසුමකට අත්සන් කර තිබේ යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් විය.නාගරික සංවර්ධන අධිකාරිය ඩී ආර් විජයවර්ධන මාවතෙහි බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශ සඳහා සිය ඉඩම් වලින් බොහොමයක් අවුරුදු 30 සිට 99 දක්වා බදු දීමට ක්‍රියාශීලීව ආයෝජන කළ හැකි ආයෝඡකයින් සොයමින් සිටින්නේ යයි නිලධාරීන් පැවසූ අතර ඒ සඳහා කටාර් පාර්ශවය යම් උනන්දුවක් දක්වා ඇතැයි ඔවුන් පැවසූ බව ද පුවත්පත වැඩිදුරටත් වාර්තාකර තිබිණ.

    චාමර්ස් ධාන්‍යාගාර ඉඩම බදු දීමට නාගරික සංවර්ධන අධිකාරිය අවම වශයෙන් 2010 වසරේ සිට ආයෝජකයෙකු සොයමින් සිටියි.කොළඹ නගරය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රධාන සැලැස්මක් සකස් කර ඇති අතර එමඟින් පෞරාණික නගරය, ප්‍රවාහන කේන්ද්‍රස්ථානය, මුල්‍ය නගරය සහ වාණිජ නගරය යන ප්‍රදේශ වෙන් කිරීමට අපේක්ෂා කෙරේ.

    Colombo landmark buildings

    ආගන්තුක සත්කාරය සහ විවේකය, නේවාසික සහ කාර්යාල කුළුණු, තොරතුරු තාක්‍ෂණය පදනම් කරගත් සංවර්ධන ව්‍යපෘති, සැපයුම් මධ්‍යස්ථානය සහ ව්‍යාපාර උද්‍යාන සංවර්ධනය; සහ බහු මහල් රථ ගාල් ඇතුලු ඉහළ, මධ්‍යම ඇතුළු විවිධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති වැනි නිශ්චිත අරමුණු සඳහා රට පුරා ඉඩම් කොටස් හතලිස් දෙකක් ද හඳුනාගෙන ඇත. මේ අතර බේරේ වැව සංවර්ධනය සඳහා බිම් කොටස් පහක් ලබා දීමේ සැලසුමක්ද සකස්කර ඇත.බස්නාහිර පළාතේ බදු දීමට ඇති දේපල වන්නේ බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාර ඉඩම; නාරාහේන්පිට පිහිටි ට්‍රැක්ටර් සංස්ථාව පිහිටි ඉඩම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මිල්කෝ ඉඩම; ඩී ආර් විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, සී ඩබ්ලිව් මැකී පී එල් සී සතු ඉඩම, සතොස දේපල දෙකක් සහ මහජන බැංකු පුහුණු මධ්‍යස්ථානය යි. යූනියන් පෙදෙසේ විසුම්පාය, ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි එයිටි ක්ලබ් සහ කොළඹ 1 ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ ඉඩමක් ද ආගන්තුක සත්කාරය සහ විවේක ව්‍යාපෘති සඳහා වෙන්කර ඇත.කොළඹ 7 නොරිස් කැනල් පාරේ සහ බත්තරමුල්ල යන ස්ථාන වල බහු මහල් රථ ගාල් සඳහා ඉඩම් පවරාගෙන ඇත.කොළඹ හිල්ටන් හෝටල් ගොඩනැගිල්ලකොළඹ හිල්ටන් හෝටල් ගොඩනැගිල්ල

    මෙයට අමතරව කොළඹ පිහිටි තවත් ඉතා වැදහත් කමක් ඇති ඉතා වටිනා ඉඩම් කිහපයක් ද විශේෂ ව්‍යාපෘතියක් සඳහා වෙන්කර ඇති අතර මෙම ඉඩම් හිස් ඉඩම් නොව ඓතිහාසික වටිනාකම් ඇති කොළඹ නගරයේ ඇති ඉතා වටිනා ඉඩම් වීමත් විශේෂයකි.

    මෙම ගොඩනැගිලි ව්‍යුහය හා නිර්මාණාත්මක භාවය අතින්, වාස්තු විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික සංරක්ෂණ වටිනාකමක් ඇති, කොළඹ නගරයෙහි ඉංග්‍රීසි පාලන සමය පිලිබඳව තතු සපයන මූලාශ්‍ර වශයෙන් හදුන්වාදිය හැකි ඉතාමත් ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිලි වීම විශේෂ කරුණකි.

    මෙසේ විකිනීමට සැරසෙන්නේ කොළඹ වරාය නගරය අවට පිහිටි රජය සතු ඉඩම් සහ ගොඩනැගිලි රැසකි. මේ සම්බන්ද සකච්චාව කරලියට එන්නේ එයට අදාළව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පදනම මත ආයෝජන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට මැයි 05 වන දා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කිරීමත් සමගය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වන සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ආයෝජන ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති රාමුව නමින් ඉදිරිපත් වූ එම කැබිනට් පත්‍රිකාවට මැයි මස 17 වනදා අනුමැතිය හිමිවී ඇත.

    කොළඹ නගරයේ දේපොළ කීපයක අයිතිය පැවරීමට යන බව කියන සෙලන්දිවා ආයතනය ගැන කරුණු කිසිවක් රටට හෙළි කර නැති හෙයින් ඒ පිළිබඳව අගමැතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකශයක් කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විදේශ කටයුතු අමාත්‍යංශය
    විදේශ කටයුතු අමාත්‍යංශය

    මේ අතර විශේෂඥයන් පවසන්නේ බොහෝ වටිනාකමක් ඇති මෙම ගොඩනැගිලිවල අද වන විට පවතින බාහිර පෙනුම මෙන්ම අභ්‍යන්තර භාවිතාවන් සැලකීමෙහිදී, දැනට එම පරිශ්‍රයන් භාරකාරත්වය දරන ආයතන වලට ඒ සියලු වටිනාකම් රැකෙන අයුරින් ගොඩනගිලි පවත්වාගෙන යාම ප්‍රශ්නකාරී වී ඇති බව නොරහසක් බවයි.

    නඩත්තුව සඳහා යෙදිය යුතු අධික වැය, රාජ්‍ය ආයතන වශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ගැනීමෙහි අපහසුතාවන්, යොදවන මුදලට සෘජු ආයතනිකමය ප්‍රතිලාභ නොලැබීම, ආයතනමය කටයුතු වලට ගොඩනැගිල්ල යොදවා ගැනීමේ ප්‍රායෝගික ගැටළු ආදී තවත් හේතූන් මෙම තත්වයන්ට තුඩු දී ඇති බව ඔවුන් පෙන්වාදෙන ප්‍රධාන කරුණුවේ.

    විපක්ෂ මතවාදී ක්‍රියාකාරී කණ්ඩායමක් වන 43 වන සේනාංකය පවසන්නේ එවැනි අවස්ථාවන්හිදී ඓතිහාසික උරුමයන් ලෙස සැළකෙන ගොඩනැගිලි රැක ගැනීම පිණිස ලොව පුරා බහුලව යොදාගන්නා සංරක්ෂණ ක්‍රම වේදයක් වන “අනුගත ප්‍රති භාවිතය” කොළඔ නගර මධ්‍යයෙහි පවතින වටිනා පැරණි ගොඩනැගිලි පවත්වාගෙන යෑම සඳහාද යොදා ගත හැකි බවයි.

    “දැනටමත් කොළඹ මෙන්ම සෙසු නගර රාශියකම මෙවන් විශිෂ්ට ප්‍රතිභාවිතයන් පිළිබඳ උදාහරණ බොහොමයෙකි. ඒ සඳහා අවශ්‍ය වන සුදුසු භාවිතයන්ද, එවන් සුදුසු භාවිතයන්ට ගොඩනැගිලි ප්‍රතිනිර්මාණය කොට යොදා ගැනීම සඳහා ආයෝජනයන් කිරීමට සූදානම් ආයෝජකයින්ද සොයා ගැනීම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු දෙයකි. එසේම රජයට ඒ සඳහා මූදල් යෙදවිය නොහැකි නම් සුදුසු ලෙස පෞද්ගලික අංශයේ සහයෝගය සහ සහභාගිත්වය ලබා ගැනීමෙහිද ගැටළුවක් නොපෙනේ,” යනුවන් එම සංවිධානය පැවසීය.

    එහෙත් ඔවුන් පෙන්වාදෙන්නේ ඉහත සඳහන් කළ ගොඩනැගිලි සෙලෙන්දිවා නම් රාජ්‍ය ආයතනයක් භාරයට පත් කොට ඒ හරහා පෞද්ගලික පාර්ශවයන් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය මෙතරම් විවාදයකට ලක්ව ඇත්තේ මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණය කොට ප්‍රතිභාවිතයන් සඳහා යෙදවීමෙහි හා බදු දීමෙහි මීට පෙරත් කටයුතු කොට පලපුරැදු ඇති නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත් කොට මෙම කටයුත්ත වෙනත් ආයතනයක් වෙත යොමුකිරීමත් සමග බවයි.

    “නාගරික සංවර්ධන අධිකාරියට තවදුරටත් මෙවන් ව්‍යාපෘති කිරීමෙහි ධාරිතාවක් නොමැතිද? නොඑසේ නම් රාජ්‍ය ව්‍යාපාරයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය අනුගමනය කළ යුතු ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වුවහොත් වත්මන් දේශපාලන අධිකාරියට ඇවැසි පාර්ශවයන්ට මෙම වටිනා දේපල ලබාදීමට බාධාවන් වන නිසා විය හැකි නිසාද,” යනුවෙන් 43 වන සේනාංකය ප්‍රශ්නකරයි.

    යෝර්ක් ගොඩනැගිල්ල
    යෝර්ක් ගොඩනැගිල්ල

    “එසේත් නැතිනම් කිසියම් පාර්ශවයන්ට තොගයක් වශයෙන් හෝ තනි තනි වශයෙන් මෙවා ලබා දීමට දැනටමත් එකඟ වී ඇති නිසා විය හැකිය. වත්මන් රජය කොළඹ වරාය නගර පනත ලහි ලහියේ සම්මත කොටගත් ආකාරය, කොළඹ අවට ඉඩම් කිසිදු තරඟකාරී පදනමකින් තොරව විකුණා දැමූ ආකාරය, ආපදා අවස්ථාවන් පවා තම හිතවතුනට ව්‍යපාර කොට ගැනීමට අවස්ථාවක් කර දුන් ආකාරය පිළිබඳව සළකා බැළීමෙහිදී මෙවන් සැකයන් මතුවීම නොවැළැක්විය හැක.”

    “දෙවැනුව, කොළඹ කොටුව ප්‍රදේශයෙහි ඉතා ඉහල යන ඉඩම් වටිනාකම සළකා බැලූ විට පුරාවිද්‍යා පනත අනුව බිඳ දැමිය නොහැකිවාක් මෙන්ම බාහිර ආකෘතිය වෙනස් නොකර සංරක්ෂණය කළ යුතු මෙම ගොඩනැගිලි රජය කරවන පිරිස දකින ආකාරයට නාගරික සංවර්ධනයට බාධාවක් වී ඇතිද,” යනුවෙන් ද ඔවුහු වැඩිදුරටත් ප්‍රශ්නකරති.

    මොකක්ද මේ සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම?

    සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමේ කොටස් සියයට සියක්ම මහා භාණ්ඩාගාරයට හිමිකාරිත්වය ඇති දැනටමත් ආරම්භකර ඇති සමාගමකි.

    නාගරික සංවර්ධන අධිකාරිය සතු ඕනෑම දේපලකට අදාළව ආයෝජන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට මෙම සමාගමට හැකියාව ලබා දී තිබේ.

    සෙලෙන්දිවා සමාගමට පැවරෙන වගකීම් මොනවාද ?

    සුදුසු ආයෝජන හඳුනාගනිමින් ඒ සදහා පහසුකම් සැලසීම. යම් රජයේ වත්කමක දිගුකාලීන බදු අයිතිය හෝ කලමනාකරණ අයිතිය පෞද්ගලික ආයෝජකයෙකුට පැවරීම, නාගරික සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති ඕනෑම ඉඩමක් සඳහා වානිජමය කොන්දේසි මත දිගුකාලීන බදු ගිවිසුම් ඇතිකරගැනීම, පෞද්ගලික ආයෝජන සඳහා අවශ්‍ය අනුමැතීන් සහ නිශ්කාශන ලබාගැනීමේදී ආයෝජකයාගේ කාර්ය පහසු කිරීම, වෙළෙඳපොල මිල ගනන් යටතේ ගිවිසුමට පෙර හා පසුව ආයෝජකයින්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම, ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අදාළ ප්‍රවර්ධන කටයුතු සඳහා පිළිගත් අලෙවිකරණ සමාගමක් යොදවා ගැනීම, සමාගමට අදාල සේවා සහ ආයෝජන ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවළියක් ගොඩ නැංවීම යන කරුණු මෙහි ප්‍රධාන වගකීම් ලෙස දැක්විය හැකියි.

    ප්‍රධාන තැපැල් කාර්යාලය කොළඹ
    ප්‍රධාන තැපැල් කාර්යාලය කොළඹ
    සෙලෙන්දිවා සමාගම මගින් ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ කෙසේද?

    කැබිනට් පත්‍රිකාවේ සදහන් වන ආකාරයට සෙලෙන්දිවා සමාගම යටතේ පරිපාලන අනුබද්ධ සමාගමක් හෙවත් විශේෂිත අවශ්‍යතා ආයතනයක් (එස්පීවී) හරහා එම ආයතන රදවාගැනීමේ සමාගමක් පිහිටුවා පවත්වාගැනීම.

    ස්පෙෂල් පර්පර්ස් වෙහිකල් එකක් (එස්පීවී), කියන්නේ ආයෝජන කටයුතුවලදී අදාල නිශ්චිත ආයෝජන කාර්යය සඳහාම ආරම්භ කරන සමාගමකි.

    නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇති යම් දේපොලක් ආයෝජන ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කරන්නේ නම් මේ හෝල්ඩින් එස්පීවී යටතේ ඇති තවත් විශේෂිත අවශ්‍යතා ආයතනයක් බවට පත්කළ යුතුය.

    ආයෝජකයින් හඳුනාගෙන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ මෙම විශේෂිත අවශ්‍යතා ආයතනය යටතේයි.

    ආයෝජන සදහා දැනට හඳුනාගෙන තිබෙන දේපල මොනවාද?

    මැයි 5 වෙනිදා අගමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාවට අනුව විශේෂිත අවශ්‍යතා ආයතනයන් තුනක් දැනට ප්‍රකාශයට පත්කර ඇත.

    කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර්, නිශ්චල දේපොල සංවර්ධන පහසුකම් සැලසීම සහ රජයට අයත් සත්කාරක අංශය මේ විශේෂිත අවශ්‍යතා ආයතනයන් තුනයි.

    සෙලෙන්දිවා හෝල්ඩින් එස්පීවී යටතේ ඇති විශේෂිත අවශ්‍යතා ආයතනයන් තුනක් මගින් කොළඹ නගරයේ හා ඉන් පිටත පිහිටි ඉතා වටිනා රජයට මෙතෙක් අයිතිව තිබු දේපල රැසක් පෞද්ගලික බොහෝවිට විදේශීය ආයෝජකයින්ට ලබාදීමට යෝජිතයි.

    කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර් ව්‍යපෘතියට අයිති දේපල:

    අක්කර 1.57 ක භූමි ප්‍රමාණයක පිහිටි ග්‍රෑන්ට් ඔරියන්ටල් හෝටලය හා යෝක් ගොඩනැගිල්ල.අක්කර 0.75 ක භූමි ප්‍රමාණයක පිහිටි ගෆූර් ගොඩනැගිල්ල.අක්කර 1.5 ක පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල.සහ අක්කර 0.81 ක් භූමි ප්‍රමාණයක පිහිටි මහ තැපැල් කාර්යාලය.

    නිශ්චල දේපොල සංවර්ධනය යටතේ ඇති දේපල:

    කොළඹ නෙලුම් කුලුන ආසන්නයේ අක්කර 1.37 ක භූමියක පිහිටි සීනෝර් අවන්හල.අක්කර 5 ක භූමියක පිහිටි වෝටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය සහ යාපනය කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය.

    රජයට අයත් සත්කාරක අංශය ලෙස හදුන්වන දේපල

    හිල්ටන් කලම්බු ඇන්ඩ් ස්පෝට් සෙන්ටර්.ග්රෑන්ඩ් හයට් කලම්බු.

    මේ සියලුම දේපල සෙලෙන්දිවා හෝල්ඩින් එස්පීවී යටතේ ඇති විශේෂ කාර්ය සමාගම් තුනක් මගින් ආයෝජකයින් වෙත පවරාදීමට සැලසුම් කර ඇත.

    එහිදී ආදළ ව්‍යපෘතිවල දැනට කොටස් හිමියන් සදහා ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක්ද අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇති අතර කොටස් වෙළඳපොල හරහාද ව්‍යපෘතිවල ආයෝජනය කිරීමේ අවස්ථා පිළිබඳව අවධානය යොමුකර ඇත.

    මේ අතර කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල බෙල්ලන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 14 ක භූමි ප්‍රදේශයට රැගෙනයාම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පොලිස් මූලස්ථානය ඉවත් කිරීමත් සමග කොළඹ යෝර්ක් වීදිය හා චෛත්‍ය පාර සම්බන්ධ වන මාර්ගය මැදි කොට ඇති ඉපැරණි ගොඩනැගිලි හා භූමියද හිස්වනු ඇත.

    මීට අමතරව බේරේ වැවට මුහුණලා තිබූ වසර 44ක් පැරණි කොළඹ කොටුවේ පිහිටි මහජන බැංකු මූලස්ථානය කොළඹ දෙක හයිඩ් පාර්ක් ප්‍රදේශයට රැගෙනයාමේ ව්‍යාපෘතියක්ද දැන් ආරම්භවී තිබේ. රජය පවසන්නේ කොළඹ කොටුවේ පිහිටි ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල ද බත්තරමුල්ල ප්‍රදේශයට ගෙනයාමට කටයුතු කරමින් සිටින බවයි.

    මේ අනුව පෙනී යන්නේ කොළඹ වරාය නගරයට ආසන්නයේ පිහිටි රජයේ ගොඩනැගිලි බොහොමයක් මේ වන විට එම ප්‍රදේශ වලින් ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

    බී.බී.සී සන්දේශය ඇසුරිණි

  • මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව තහවුරු කරයි

    මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව තහවුරු කරයි

    අද (09) දින වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 111කි. මෙසේ මියගිය අයගෙන් 90 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 21 දෙනකු වයස අවුරුදු 30-59 අතර වේ. පිරිමි පුද්ගලයින් 56 දෙනකු සහ කාන්තාවන් 55 දෙනකු මියගිය අය අතර සිටී.

    [googlepdf url = “http://supirigossip.com/wp-content/uploads/2021/08/news-release-797.pdf”]

  • ඇමෙරිකාව සහ චීනය අධිපත්‍ය පැතිරූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වෙයි

    ඇමෙරිකාව සහ චීනය අධිපත්‍ය පැතිරූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වෙයි

    ගෝලීය කොවිඩ් වසංගත අවදානම හමුවේ ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත් වූ 2020 ඔලිම්පික් උළෙල අද (08) අවසන් වුණා. පෙර වසරවල මෙන් දැවැන්ත ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව උළෙල අවසන් නොවූවත් එහි අභිමානවත් බවට එයින් කිසිම බාධාවක් නොවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

    මෙවර ටෝකියෝ ඔලිම්පික් උළලේදී ද සුපුරුදු ලෙස රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 33 සමග පදක්කම් 113ක් දිනා එක්සත් ජනපදය ප්‍රථම ස්ථානය දිනා ගත්තත් චීනය ඔවුන්ට කරට කර සටනක් ලබා දුන්නා. ඒ අනුව ඇමෙරිකාවට වඩා එක් රන් පදක්කමක් පසුපසින් සිටින මහජන චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝක පදක්කම් 18ක් සමග පදක්කම් 88ක් දිනා ගෙන දෙවැනි තැනට පත් වුණා.

    සත්කාරක ජපානය පදක්කම් සටහනේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ රන් පදක්කම් 27ක් ද සමග පදක්කම් 58ක් ජයග්‍රහණය කරමින්. සිවුවැනි ස්ථානය මහා බ්‍රිතාන්‍ය විසින් දිනා ගත්තේ රන් පදක්කම් 22ක් ද සමග පදක්කම් 65ක් දිනා ගනිමින්.

    තහනම් උත්තේජක චෝදනාවලට දඩුවමක් වශයෙන් ඔලිම්පික් උළෙල තහනම් කර සිටින රුසියාව ‘රුසියානු ඔලිම්පික් කමිටුව‘ යන නම යටතේ තරග කර රන් පදක්කම් 20ක් සමග පදක්කම් 71ක් දිනා ගැනීම විශේෂත්වයක්. එය රුසියාව මෑත කාලයේ වාර්තා කළ ඉහළම පදක්කම් ගණන බවට පත් වුණා.

    සමස්තයක් ලෙස රටවල් 63ක් එක් රන් පදක්කමක් හෝ දිනා ගෙන ඇති අතර කුමන හෝ පදක්කමක් දිනාගත් රටවල් ගණන 86ක්.

    ඒ අනුව ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 100කට අධික ප්‍රමාණයක් කිසිම පදක්කමක් දිනා නොගැනීම ද විශේෂත්වයක්.

  • ‘එන්නත් දෙකම ලබා ගත් අය හරහා’ වසංගතය දරුණු ලෙස පැතිරෙනවා ?

    ‘එන්නත් දෙකම ලබා ගත් අය හරහා’ වසංගතය දරුණු ලෙස පැතිරෙනවා ?

    ප්‍රතිපත්ති සම්පාදකයන් සිතා සිටියා එන්නත්කරණය මගින් වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. එන්නත්කරණයෙන් මරණ යම්තාක් දුරකට අඩු කළ හැකි වුවත් ඉන් වසංගතය පාලනය කරන්න බැහැ. එන්නත් දෙකම ලබා ගත් අය හරහා වසංගතය දරුණු ලෙස පැතිරෙනවා.

    ඉදිරි සති දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇති බවට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙක් අනතුරු අඟවයි.

    එවැනි තත්ත්වයක් ඇති වීමට 90% ක පමණ ඉඩක් ඇතැයි දත්ත මගින් පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

    එහෙත් එම මරණ සංඛ්‍යාව 200-300 දක්වා ඉහළ යාම වළකා ගැනීමට අප තවමත් ප්‍රමාද නැති බව යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි පෙන්වා දෙයි.

    “නමුත් පසුගිය කාලයේ අපේ ප්‍රමාදයන් නිසා, අපිට සෑහෙන ජීවිත ප්‍රමාණයක් නැති වුණා” යනුවෙන් ඔහු කියා සිටියේ BBC සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

    දවසකට මරණ 200, 300 ක්?

    සීග්‍ර සහ සාර්ථක එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක වුවත්, වත්මන් තත්ත්වය දිගටම පැවතියොත් අගෝස්තු 10 වෙනිදා වන විට ශ්‍රී ලංකාවෙන් දිනකට මරණ 80 -90 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවට මහාචාර්ය සුනෙත් අගම්පොඩි අගෝස්තු 01 වෙනිදා අනතුරු අඟවා තිබිණි.

    වහා සාමාන්‍ය ජනතාවගේ හැසිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු විය යුතු බවත් තවදුරටත් වසංගතය පිළිබඳ බොරු සහතික ලබා නොදිය යුතු බවත් සතියකට පෙර ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

    “හැබැයි අපි දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා ඉහළ යන්න පුළුවන්.”

    මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි ඉදිරි සති දෙක තුළ මරණ අඩු කිරීමට නම්:

    පැමිණෙන සියලුම රෝගීන් රෝහල්වලට ඇතුලත් කර ගැනීම සහ නිවසේ සිට ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීම මෙන්ම රෝගීන් ප්‍රවාහනය සහ හදිසි සේවා ලබා දීමට නිසි යාන්ත්‍රණයක් සැකසීම කඩිනමින් සිදු විය යුතුය.

    “මහාචාර්ය චන්න ජයසුමන කී ආකාරයටම අපිට තිබෙන බරපතලම ගැටලුව වෙන්නේ ඉන්දියාවේ වුණා වගේ ඔක්සිජන් ප්‍රමාණය මදි වුණු ගමන් අපි වෙනදා බේරගන්න ලෙඩ්ඩු මැරෙන්න තිබෙන අවදානම වැඩි වීම.”

    “ඒ දේ නවත්ත ගන්න නම් අපි ආපසු මුලට යා යුතුයි. රෝගය තවදුරටත් පැතිරීම වළක්වන්න අවශ්‍යයි.”

    “රටකට මේක කරන්න පුලුවන්ද බැරිද කියන දේ සිතන්නේ නැතුව මම මේ දේ කියන්නේ. මේ වෙලාවේ අපිට තව මරණ එන එක නවත්ත ගන්න කරන්න පුළුවන් දේ තමයි 100% ඇඳිරි නීතිය දාලා මිනිස්සුන්ව සති දෙකක් ගෙදර තියන එක. අපිට අඩුම තරමේ රෝහල්වලට හුස්මක් ගන්න, සූදානමක් ඇති කර ගන්න ඉන් අවස්ථාවක් ලැබෙනවා.”

    “ආර්ථිකය ද? ජීවිතය ද?”

    Covid deaths

    ආර්ථික ගැටළු දෙස බැලීමේදී එය කළ නොහැකි දෙයක් විය හැකිමුත් එවැනි පියවරකට නොගියොත් මරණ අඩු කර ගැනීම අතිශය දුෂ්කර වනු ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි පෙන්වා දෙයි.

    කෙසේ වුවත් යම් කිසි අවස්ථාවක “ආර්ථිකය ද ජීවිතය ද” යන්න තෝරා ගැනීමට බල කෙරෙනු ඇති බව ද මහාචාර්යවරයා පවසයි.

    “ඒක, ආර්ථිකය ද ජීවිතය ද කියන තෝරා ගැනීම අපි තව ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙන්න ඇරලා ගන්නවද? දැන් ඒ තීන්දුව අරගෙන ජීවිත බේරා ගන්නවද කියන තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.”

    “අද සති දෙකක් වැහුවත්, තව සති දෙකකින් සති දෙකක් වැහුවත් ආර්ථිකයට එන බලපෑම එකයි. හැබැයි අද සති දෙකක් වැසීම සහ තව සති දෙකකින් රට වැසීම හරහා අපිට නැති වෙන ජීවිත ප්‍රමාණය දෙතුන් දාහක් වෙන්න පුළුවන්, සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්.”

    “අපිට රට එකපාරක් ඇරලා, ආපහු වහන්න උනොත් මේක අපේ ෆේලියර් එකක්, මේක අපේ වැරද්දක් වෙනවා වගේ හැඟීමක් නිසා අවශ්‍ය දේ නොකරන ගතියක් පේනවා.”

    “අපිට යම් තීරණයක් ගන්න වෙනවා, ඊට පස්සේ තවත් තීරණයක් ගන්න වෙනවා කියන එක කාගේවත් වැරද්දක් නෙමෙයි. මේක තමයි ගෝලීය වසංගතයක යතාර්ථය.”

    මහාචාර්ය සුනෙත් අගම්පොඩි වෙත BBC සිංහල සේවය යොමු කළ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරැ පහත දැක්වේ.

    Suneth Agampodi
    ඡායාරූප ශීර්ෂ වැකිය,මහාචාර්ය සුනෙත් අගම්පොඩි

    ලංකාව අද සිටින තැන?

    වසංගතය ආරම්භයේ සිට මේ දක්වා පැවති භයානකම කාලයට දැන් අප මුහුණ දී සිටිනවා.

    මේ අද පවතින භයානකම තත්ත්වය, හෙට මීට වඩා භයානක තත්ත්වයක් වෙනවා. අනිද්දා ඊටත් වඩා භයානක තත්ත්වයක් වෙනවා.

    මෙතෙක් සෑම රටකම පැවති භායනකම තත්ත්ව දක්නට ලැබුනේ ඩෙල්ටා ප්‍රභේදය එම රටවලට ඇතුළු වී එය පැතිර ගිය පසුවයි.

    අසල්වැසි ඉන්දියාවේ, ඇමරිකාවේ, යුරෝපා රටවල අපට එම තත්ත්වය දැකිය හැකි වුණා.

    මෙවැනි තත්ත්වයක් ඇති වුණේ ඇයි?

    මේ මොහොත වන විටත් අප ඉන්දියාවෙන් හෝ ඇමරිකාවෙන් හෝ යුරෝපයෙන් හෝ ඔස්ට්‍රේලියාවෙන් එසේත් නොමැති නම් ලංකාවේ අප්‍රේල්, මැයි, ජුනි මාසවල සිදු වූ දේවලින් පාඩමක් ඉගනගෙන නැති ස්වභාවයක් තමයි දක්නට තිබෙන්නේ.

    අපි මේ ඉන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම අභියස නෙමෙයි. මම දකින විදිහට දැන් එහි කඩා වැටීම ආරම්භ වෙලා තිබෙනවා.

    වසංගතයකදි අපි යමක ධාරිතාව ඉක්මවා ගිය පසු පියවර ගන්න පටන් ගත්තොත් අපිට දැකිය හැකිවන මරණ සංඛ්‍යාව සහ අප පත්වෙන තත්ත්වය ඉතාම භයානකයි.

    අපට මේ මොහොතේ කළ හැක්කේ කුමක්ද?

    අපිට කළ හැකි සියල්ල හෙට උදේ වන විට සිදු කළත් මේ පවතින තත්ත්වය අනුව මරණ ක්‍රමයෙන් වැඩි වෙනවා. අපට පාලනය කරන්න බැරි වෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයන් සිතා සිටියා එන්නත්කරණය මගින් වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. එන්නත්කරණයෙන් මරණ යම්තාක් දුරකට අඩු කළ හැකි වුවත් ඉන් වසංගතය පාලනය කරන්න බැහැ. එන්නත් දෙකම ලබා ගත් අය හරහා වසංගතය දරුණු ලෙස පැතිරෙනවා. දැනට එන්නත් දෙකම ලබා දී තිබෙන්නේ 15% කට පමණයි. ඒ නිසා දැන් පවතින වසංගත තත්ත්වය ඉදිරි මාස දෙක තුන තෙක් පාලනය කිරීම අපට කිසිසේත් කරන්න බැහැ.

    එන්නත්කරණය වේගවත් කිරීම පමණක් සෑහේද?

    දැන් එන්නත්කරණය ඉතාම වේගයෙන් කරගෙන යනවා. එය ඉතාම ප්‍රශස්ත මට්ටමක පවතිනවා. හැබැයි එය කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට ද කියන දේ ගැන බරපතල ගැටළුවක් පවතිනවා. මරණ නවත්ත ගන්න නම් ඒ අවදානම වැඩිපුරම තිබෙන්නේ කාටද කියන දේ අපි අඳුර ගත යුතුයි. ඒ කියන්නේ වැඩිමහල් සහ වෙනත් රෝග තත්ත්වයන් සහිත අයට තමයි අවදානම වැඩි.

    සයිනොෆාම් පළමු මාත්‍රාව දුන්නට කිසිම ආරක්ෂාවක් හම්බ වෙන්නේ නැහැ. දෙවෙනි මාත්‍රාවත් දීලා සති දෙකක්වත් ගත වෙන්න ඕනි ආරක්ෂාවක් ලැබෙන්න. ඇස්ට්‍රාසෙනෙකා හෝ ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත්වල පළමු මාත්‍රාවෙන්ම යම් ආරක්ෂාවක් ලැබෙනවා. ෆයිසර් සහ මොඩර්නා එන්නත්වලත් පළමු මාත්‍රාවෙන් යම් ආරක්ෂාවක් ලැබෙනවා.

    අපි මේ භයානක අවස්ථාවේ කළ යුතු දේ වන්නේ, මේ අධි අවදානම් කාණ්ඩවලට අයත් මහළු, සංකූලතා සහ ලෙඩරෝග තිබෙන අයට පළමු මාත්‍රාවෙන් යම් ආරක්ෂාවක් ලැබෙන එන්නතක් ලබා දීම සහ අනෙක් අයට සයිනොෆාම් එන්නත ලබා දීම. එමගින් යම් තාක් දුරකට මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම කරන්න පුළුවන්. ඒ පළවෙනි දේ. දෙවෙනි කාරණය සංචරණ සීමා.

    අපි මරණයට පත් වෙන සංඛ්‍යාව අඩු කරන්න කෙතරම් උත්සාහ කළත්, රෝහල් සේවා කෙතරම් වැඩි දියුණු කළත් අපි එතනදී කරන්නේ කරාමයක් ඇරලා වතුර ඉහිනවා වගේ වැඩක්. කරාමය වහන්න දේවල් කරන්නේ නැතිනම් මේ දේ කරගන්න අමාරුයි. කරාමය වහනවා කියන්නේ රෝගය පැතිරීම වළක්වා ගැනීමට කළ යුතු දේවල්.

    පැතිරීම වළක්වා ගන්නේ කොහොමද?

    ඒ සඳහා කළ යුතු දේවල් අලුත් දේවල් නෙවෙයි. වසංගතය ආරම්භයේ පටන් අපි දන්නවා, අංක එක: මේක කෙනෙකුගෙන් කෙනෙකුට පැතිරෙන රෝගයක්. පැතිරීම නවත්වන්න නම් පළමු කාරණය, අපි සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතුයි. තනි තනි පුද්ගලයන්ට වගේම ප්‍රතිපත්ති සැකසීම කියන දේ හරහාත් මේ දේ කළ හැකියි. 20%-30% අතර සංඛ්‍යාවකින් පහළ බැස තිබුණු සංචරණය ආපසු 90% ට පමණ ළං වුණා. මිනිස්සු සංචරණය කරන තාක් අපිට මේ රෝගය පැතිර යාම වළක්වා ගන්න බැහැ.

    රෝගය පැතිර යාම වළක්වා ගන්නේ නැතුව මේ අවස්ථාවේ මරණ අඩු කර ගන්න හොඳටම අමාරුයි. මොකද රෝගීන්ට රෝහල්වලට ඇතුලත් වෙන්න බැරි ස්වභාවයක් දැන් තිබෙන්නේ. සංචරණ සීමා ඉවත් කළ යුතුව තිබුණා, මොකද අඩු ආදායම් ලබන රටක් හැටියට හැමදාම අපිට රට වහගෙන ඉන්න බැහැ. නමුත් මේ තත්ත්වය එන බව අප කිව්වත් ඒ වෙලාවේ සංචරණ සීමා ඇති කළේ නැහැ. ඒ වෙනුවට මේ සතියේ මුල වෙනකොට සියලුම රජයේ සේවකයන්ට සේවයට එන්න කියන දේ තමයි අපේ ප්‍රතිපත්තිමය තීන්දුව වුණේ.

    මංගල උත්සව සහ වෙනත් උත්සව ඇතුළු සියලුම ඒකරාශීවීම්වලට ඉඩ හැරීම තුළින් රෝගයේ පැතිර යාමට ඉතා බරපතල තත්ත්වයක් ඇති කළා. ඒ නිසා මිනිස්සුන්ගේ සංචරණය සහ මිනිසුන් ඒකරාශී වීම අනිවාර්යයෙන් නතර කළ යුතුමයි.

    අනෙක් කාරණය තමයි අපිට තිබෙන ප්‍රශ්න ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අනතුරු අඟවනවා. හැබැයි මේ රටේ ලක්ෂ පනහක් හැටක ජනතාවක් විශ්වාස කරන්නේ අපි කවුරුත් කියන එක නෙමෙයි තමන්ගේ දේශපාලන නායකයන් කියන දේ.

    දේශපාලන නායකත්වය සහ රජය පැහැදිලිවම මිනිස්සුන්ට කියන්න ඕනි, “අපි ඉන්න තත්ත්වය මේකයි. එන්නත් ලබා ගත් අයත් ඇතුළුව හැම කෙනාගෙම ජීවිතය අනතුරේ තිබෙනවා. අන්න ඒ නිසා අපි මේ දේ කළ යුතුයි” කියන පණිවිඩය දිය යුතුයි. එහෙම නැතුව බොරුවට අපි කිව්වොත් “නෑ, අපි මේක පාලනය කරනවා” කියලා, ඉන් මිනිස්සුන්ගේ හැසිරීමේ වෙනසක් සිදුවෙනවා.

    මෙතනදී සමහර කෙනෙක් කියනවා “බොරුවට බය ඇති කරන්න එපා” කියලා. හැබැයි මේ වෙලාවේ අපි බිය ඇති කළේ නැතිනම් මිනිස්සුන්ගේ හැසිරීම් රටාව වෙනස් කරන්න අමාරුයි. ඒ තත්ත්වය ඉතිහාසය පුරා වෙනත් රටවලත් ගෝලීය වසංගත යනකොට දැක තිබෙන දෙයක්. ඒ හැරුණු කොට ඊට එහා ගිහින් රෝහල්වල අපිට ලොකු වෙනසක් කළ යුතු වෙනවා.

    ප්‍රජා සෞඛ්‍ය සේවා හරහා නතර කර ගත හැකිව තිබුණු දේ දැන් සම්පූර්ණයෙන් ගිලිහිලා රෝහල් වෙත ගිහින්. රෝහල්වල පිරිස් බලය ගැන යළි සිතා බැලීම අවශ්‍යයි. අපි මොන වාට්ටුවලට ද වැඩිපුර වෛද්‍ය සේවාවන් ලබා දෙන්නේ, වෙනත් වාට්ටුවල ඉන්න හෙදියන්, වෛද්‍යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලය කොරෝනා රෝගීන් සඳහා යොමු කරන්නේ කොහොමද කියන දේවල්.

    සෘජු තීරණ ගන්න ඕනි. දැඩි තීරණ ගන්න ඕනි. එහෙම නැතුව මේක කරන්න අමාරුයි. මිනිස්සු ඒ දේවල්වලට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් නොකොළොත් රෝහල් වෙත එන මිනිස්සු මරණයෙන් ගලවා ගැනීම අමාරු වෙනවා.

    එන්නත්කරණය සහ සංචරණ සීමා හැරුණු කොට වසංගත රෝග පාලනයේදී ජනතාවට තොරතුරු ලබා දීම කෙතරම් වැදගත්ද?

    වසංගත රෝග පාලනයකදී තොරතුරු, දත්ත කියන දේ අංක එක. ඒ කියන්නේ අපට නිවැරදි දත්ත නැතුව රටේ කොපමණ රෝගීන් ඉන්නවද? පරීක්ෂණ කෙතරම් කර තිබෙනවද? මේ රෝගීන් මොන මොන තැන්වලින්ද එන්නේ? කියලා කියන්න බැහැ.

    මෙන්න මේ මූලික දත්ත නැතුව වසංගතයකට මුහුණ දෙනවා කියන්නේ අඳුරේ අතපත ගෑමක් වගේ දෙයක්. මුල් කාලයේ වසංගත පාලනය අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම වගේ තමයි සිටියේ. නමුත් මේ ගෝලීය වසංගතයේ මීළඟට එන රැල්ලේදී අපට ලොකු මරණ ප්‍රමාණයක් සිදු වෙනවා කියන දේට අපේ සූදානමක් තිබුණේ නැහැ.

    මේ අවුරුද්ද ආරම්භයේ වගේ ඉඳන් අපි දිගින් දිගටම දැක්ක දෙයක් තමයි මේ දත්තවල පැහැදිලි ගලා යාමක්, නිවැරදි දත්ත ලබා ගැනීමක් සහ වසංගත පාලනය සඳහා අවශ්‍ය දත්ත නිසි ලෙස යොදා ගැනීමක් අපි දැක්කේ නැහැ. මාධ්‍යවේදීන්ට පමණක් නොවෙයි, වසංගතය පාලනයට උපදෙස් දෙන, ක්ෂේත්‍රයේ වැඩ කරන අයට පවා මේ දත්ත තිබුණේ නැහැ. දැනට වුණත් අපි සියලුම දෙනා දැක්කා සමහර මරණ තහවුරු කිරීම් සිදු වුණේ සති හතරක් පහක් පහු වෙලා.

    මේ පවතින භයානක වසංගත තත්ත්වය ඉදිරියේ අපගේ සූදානම කෙබඳු විය යුතුද?

    පාලකයන්, ජනතාව සහ වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාම තේරුම් ගත යුතු දෙයක් තමයි අපි මේ කතා කරන්නේ ගෝලීය වසංගතයක් ගැන. අපි යුද්ධයක් එක පාරට ගහලා දිනනවා වගේ, එන්නත් ටික එක පාර ගහලා හෝ රැල්ලක් පාලනය කරලා මේක ඉවරයි කියලා අපිට අත පිස දාගන්න බැහැ.

    අපි අකමැත්තෙන් හෝ පිළිගත යුතු දෙයක් තමයි මේ ගෝලීය වසංගතය එක්ක අපිට තව බොහෝ කාලයක් ජීවත් වෙන්න සිදුවෙන බව.

    එතකොට මේක කෙටි කාලීන සටනනක් නෙමෙයි, දිගු කාලීන සටනකට යන කොට මානසිකව අපි ඒ සඳහා සුදානම් විය යුතුයි. මේක අපි කිසිදාක අත්විඳපු නැති දෙයක්. ඒත් අපිට මේ තත්ත්වෙන් තව මාස 6 ක්, මාස 8 ක් හෝ අවුරුද්දක් යන්න වෙනවා.

    “ලබන මාසේ එන්නත් ටික ගහලා අපිට සන්තෝසෙන් ඉන්න පුළුවන්” කියලා මානසික රැවටීමක හිටියොත් වෙන්නේ ආපහු රැල්ලක් එනකොට අපි විශාල මානසික බිඳ වැටීමකට ලක් වෙනවා.

    ආපහු ලොක්ඩවුන් එකක් එනකොට, සංචරණ සීමා පැනවෙන කොට මානසික ආතතියක් එනවා. මිනිස්සුන්ට ඇත්ත කීම සහ වටහා දීම වැදගත් වෙන්නේ මේ නිසයි.

    “මේක ඇති වෙමින්, නැති වෙමින් යන දෙයක්. තව ඉස්සරහටත් මේක එන්න පුළුවන්” කියන දේ මිනිස්සුන්ට වටහා දිය යුතුයි. අපි ඒක පසුබෑමක් විදිහට දකින්න හොඳ නැහැ. රටක් වහනවා, කඩ ටික වහනවා, ආපහු අරින්න වෙනවා… මේක වසංගතයක ස්වභාවය. මිනිස්සුන්ට අන්න ඒ පණිවිඩය පැහැදිලිවම දෙන්න ඕනි.

    ඒ වගේම දිගින් දිගටම ගෙවල්වලට වෙලා සිරවී සිටීම, මරණ බිය ඇති වීම සහ ආර්ථික ප්‍රශ්න හරහා ලොකු මානසික ආතතියක් දැනෙන්න පුළුවන්. ඇත්තටම අපිට වසංගතයේ මානසික ගැටළු නිරාකරණය කිරීම සඳහා අපිට තවමත් ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ.

    බී.බී.සී සන්දේශය ඇසුරිණි – සැකසුම – සුනෙත් පෙරේරා

    ශීර්ෂ පාඨය සංශෝධනය කර ඇත.

  • ජීවිතයේ සැබෑ අරත දැන්වත් වටහා ගනිමුද ?

    ජීවිතයේ සැබෑ අරත දැන්වත් වටහා ගනිමුද ?

    අපි කිසියෙකු අපේක්ෂා නොකළ දේ දැන් අපේ ඇස් පනාපිට සිදුවෙමින් තිබෙනවා. කොවිඩ් වසංගතයේ ආරම්භ රැල්ලේ දී ඉතාලියේ, ස්පාඤ්ඤයේ මළ සිරුරු ගැන අපිට කිසිම සංවේදීකමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට අපි කළේ ඒ රටවලට සමච්චල් කරමින්, ඒ රටවල රැකියාව කළ අපේම උන්ට ගරහන එක.

    ඊට පස්සේ ඇමෙරිකාව… බ්‍රසීලය ආවා. අපි ඒත් ඒ ගැන සංවේදී වුණේ නැහැ. අපේ ප්‍රතිශක්තිකරණය, ක්‍රම ගැන පම්පෝරි ගැසුවා.

    ඊට පස්සේ අපේ අසල්වැසියා ඉන්දියාව. අපි කළ කී දේ අපි කවුරුත් දන්නවා. ඉන්දියාව ‘විසාලාව‘ ලෙස හදුන්වන්න අපි කවුරුත් කැමැති වුණා.

    දැන් පිළිගන්න අකමැති වුණත් අපේ වාරය පැමිණ තිබෙනවා. දවසකට 100ක් පමණ මිය යමින් තිබෙනවා. රෝහල් පද්ධති පිරී ඉතිරි ගිහින්. මරණ බිය දැනෙමින් තිබෙනවා.

    මේ අති සංවේදී ඡායාරූප දෙස බලන්න තරම් ධෛර්යයක් ඔබට තිබේ නම් ඔබ ඇත්තටම වෙනස් මිනිසෙක් වෙනවාට සැකයක් නැහැ. අනෙකාට ආදරය කරන, තමනුත් කවදා හරි මැරෙන බව දන්න මිනිසෙක් වෙනවාට සැකයක් නැහැ.

    පහත දැක්වෙන ඡායාරූප පසුගිය දිනවල කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂ විද්‍යා ආයතනය වෙත ගෙන එන ලද මළ සිරුරු. ඒවායේ කොවිඩ් ආසාදිතයින්ගේ ද යන්න ගැනයි මේ සොයා බලන්නේ. මේ අතර ඔබේ මගේ ඥාතියා, මිතුරා … අස්වැසියා වගේම කිසිම දාක නොදන්න නොහදුනන අයත් සිටිය හැකියි. ඒත් මේ ඡායාරූප අපට කියා දෙන පාඩම නම් කිසිමදාක අමතක කළ නොහැකියි .

    අගෝස්තු 08 වැනි දින ඩේලි මිරර් වෙබ් අඩවියට  කිත්සිරි ද මෙල් විසින් ගත් සංවේදී ඡායාරූප පෙළක්

  • කාන්තාවන් තනපටය ඇඳීම අත්‍යවශ්‍ය ද? සෞඛ්‍ය උපදෙස් මොනවා ද?

    කාන්තාවන් තනපටය ඇඳීම අත්‍යවශ්‍ය ද? සෞඛ්‍ය උපදෙස් මොනවා ද?

    ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ”

    දවසේ පැය ගණනාවක් ඇඟලා සිටි හම පසාරු කරගෙන යන තරමේ තද තනපටය නින්දට යන මොහොතේ ගලවා දැමීම අන් කිසිවකටත් වඩා සහනයක් ගෙන දෙයි.

    සියවස් ගණනාවක සිට කාන්තාවන් මේ අපහසු නමුත් අත්‍යවශ්‍ය යැයි සැළකෙන ඇඳුම් ඇඳගෙන සිටියද, වර්ථමාන ලෝකයේ බොහෝ කාන්තාවෝ තනපටය ඇඳීම අත්හැරීමට හෝ අවම කිරීමට ක්‍රියා කරමින් සිටිති.

    ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ක්‍රියාත්මක වන කාන්තා පිටුවල ද මේ පිළිබඳ දීර්ඝ සංවාද නිරන්තරයෙන් දක්නට ලැබේ.

    “බ්‍රා එකක් අඳින්නේ නැතුව ඉන්න එක ගැන මට නම් හිතන්නවත් බැහැ. ඒක මට අත්‍යවශ්‍ය දෙයක්. අනික එහෙම ඇන්දේ නැති වුණාම පියයුරු එල්ලෙනවා කියලා මම අහලා තියෙනවා. එකේ හරි වැරැද්ද මම දන්නේ නැහැ. හැබැයි බ්‍රා එක මගේ ඇඟේ කොටසක්,” මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක පැවසුවාය.

    වසංගත කාලය තුළ සතියේ වැඩි කාලයක් නිවසට වී සිටීම හේතුවෙන් තනපටය ඇඳීම අවම කළ බොහෝ පිරිසක් ද සිටිති.

    “බ්‍රා එක කියන්නේ පුදුම අපහසු ඇඳුමක්. ගෙදර ඉන්නකොට ඇයි ඇඟ ඔය තරම් තද කරගෙන ඉන්නේ. ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. බ්‍රා එක ඇන්දේ නැති වුණාම පියයුරු එල්ලා වැටෙනවා කියන එක මම කොහෙත්ම පිළිගන්නේ නැහැ,” ගල්කිස්ස දිවි ගෙවන කාන්තාවක පැවසුවාය.

    මේ මාතෘකාව සම්බන්ධයෙන් කාන්තාවන් අතර ඇත්තේ පරස්පර අදහස්ය.

    Sri Lanka: Pros & Cons of wearing bra
    “පුෂ් අප් බ්‍රා වගේ දේවල් නිතර ඇඳීම සුදුසු නැහැ”

    කෙසේනමුත්, තනපටය ඇඳීම හෝ නොඇඳීම නිසා පියයුරුවලට බලපෑම් එල්ල වන බවට තවමත් කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති අතර, එය පෞද්ගලික තෝරා ගැනීමක් බව ලොව පුරා විශේෂඥයෝ පවසති.

    “මෙය එක් එක් කාන්තාවගේ කැමැත්ත. වැදගත්ම දේ තමයි පිරිසිදුව සිටිමින් නිතරම තමන්ට පහසු යට ඇඳුම් ඇඳීම” යැයි පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    ‘බ්‍රා’ ඉතිහාසය

    ‘බ්‍රෙසියර්’ යන නෝමන්-ප්‍රංශ වචනයෙන් මුලින් හැඳින්වූයේ දරුවන්ගේ බැනියම් නමුත්, පසුව එය බ්‍රා ලෙස කෙටි වී කාන්තාවන්ගේ තනපටය නැතිනම් තිසරපටය හඳුන්වන නම බවට පත් විය.

    තනපටය මුලින්ම කරළියට පැමිණියේ 20 වන සියවස ආරම්භයේදී නමුත් විලාසිතා ලෝකය තුළ කාන්තාවකගේ ශරීරයේ හැඩය ලබා දෙන ‘උපකරණයක්’ ලෙස මෙය දිගු කලක් තිස්සේ භාවිත කර තිබේ.

    වර්තමාන ඇඳුමේ ආරම්භය 1893 දක්වා විහිදෙන අතර, “පියයුරු ආධාරකයක්” සඳහා නිව්යෝර්ක්හි පේටන්ට් බලපත්‍රයක් ද ලබා ගෙන තිබේ.

    1904 දී ‘බ්‍රෙසියර්’ ඇමරිකානු වෙළෙඳපොළට ඇතුළු වූ නමුත් වචනය බ්‍රා ලෙස කෙටි කිරීමේ ප්‍රවණතාව ඇරඹුනේ 1930 වසර වලදීය.

    එංගලන්තයේ එම් ඇන්ඩ් එස් සමාගම 1926 දී සිය පළමු තනපටය නැතිනම් බ්‍රා එක විකුණූ අතර, මේ වන විට වසරකට මිලියන 20 කට වඩා අලෙවි කරනු ලබයි.

    ඩොලර් මිලියන 12.5ක් වන ලොව මිල අධිකම තිසරපටය ‘වික්ටෝරියා සීක්‍රට්’ සමාගම 2001 දී නිර්මාණය කරන ලද අතර එය ‘හෙවන්ලි ස්ටාර් බ්‍රා’ ලෙස හැඳින්වේ. මෙය නිමවා තිබෙන මැණික් 1,200 සහ කැරට් 90 දියමන්තිය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙනි.

    බ්‍රා සහ පියයුරු ගැන වෛද්‍ය මතය

    තනපට ඇඳීම පෞද්ගලික මතයක් වුව ද විශාල පියයුරු පිහිටා ඇති කාන්තාවක් ගැලපෙන තනපටයක් ඇඳීමෙන් ශරීරයේ කොඳු ප්‍රදේශයට ඇතිවන පීඩාව අවම කර ගත හැකි බව වෛද්‍යවරු පවසති.

    Sri Lanka: Pros & Cons of wearing bra
    තමන්ගේ පපුවේ ප්‍රමාණය සහ බ්‍රා කප් එකේ ප්‍රමාණය දැනගෙන පහසු දෙයක් අඳින්න”

    “සෑම කෙනෙකුගේම පියයුරු වෙනස්. සමහර අයට කුඩා පියයුරුත් තවත් අයට විශාල පියයුරුත් පිහිටනවා. ඒවා තද හෝ මෘදු වෙන්න පුළුවන්. තමන්ගේ පියයුරුවල පිහිටීම අනුව කෙනෙකුට බ්‍රා එකක් අඳිනවාද නැද්ද යන්න තීරණය කරන්න පුළුවන්. පියයුරු එල්ලා වැටීමක් සිදුවන්නේ හෝමෝනවල බලපෑම් සහ වයස් ගත වීම වැනි කාරණා හේතුවෙන්,” වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පැවසීය.

    “පියයුරු සෑදී තිබෙන්නේ මේදය, ග්‍රන්ථි, රුධිර නාල සහ සංවේදක ස්නායුවලින්. මේවා සම සහ මාංශ පේශීන් මගින් රඳවා තබා ගන්නවා. පියයුරු ලොකු වෙන්නේ මේදය වැඩි වීමෙන්. ගැහැණු දරුවෙක් වැඩිවියට පත් වීමත් සමග පියයුරු වැඩෙන්නේ. එය සාමාන්‍යයෙන් සිදු වන්නේ වයස 12-16ත් අතර.”

    “පියයුරු සම්බන්ධයෙන් වැදගත්ම දේ තමයි පියයුරු පිළිකා සම්බන්ධයෙන් අවදානයෙන් සිටීම. කාන්තාවන්ට විතරක් නෙමෙයි පියයුරු පිළිකා පිරිමි අයටත් වැළඳෙනවා. පියයුරුවල එන යම් ගැටිත්තක්, තෙල් ගෙඩියක්, රිදීමක් ගැන අවදානය යොමු කරලා ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි,” යැයි වෛද්‍යවරිය පැවසීය.

    එමෙන්ම, ශරීරයට තද තනපට ඇඳීම නොසුදුසු අතර තමන්ට පහසු, ගැලපෙන ප්‍රමාණයේ තනපටයක් තෝරා ගැනීම අත්‍යවශය බව ද වෛද්‍යවරිය පැවසුවාය.

    “තමන්ගේ පපුවේ ප්‍රමාණය සහ බ්‍රා කප් එකේ ප්‍රමාණය දැනගෙන පහසු දෙයක් අඳින්න. පුෂ් අප් බ්‍රා වගේ දේවල් නිතර ඇඳීම සුදුසු නැහැ. ඒ වගේම යට ඇඳුම් දිනපතා සෝදා පිරිසිදුව තබා ගැනීම වැදගත්.”

    Sri Lanka: Pros & Cons of wearing bra
    ඡායාරූප ශීර්ෂ වැකිය,බ්‍රා වර්ග

    වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයේ ‘Breast Research Australia’ වැඩසටහනේ සම අධ්‍යක්ෂ හා භෞතචිකිත්සකවරියක් වන වෛද්‍ය ඩෙයිද්රේ මක් ඝී පවසන පරිදි,

    “මම හිතන විදිහට තමන්ට කැමති දෙයක් කිරීමේ අයිතිය කාන්තාවන්ට තිබෙනවා. නමුත් ඔබට සැලකිය යුතු තරමේ විශාල පියයුරු තිබේ නම් එම ප්‍රමාණයට හරියන තරමේ ආධාරකයක් නැති විට, ශරීරයේ විවිධ ඉරියව්වලදී බෙල්ල සහ පසුපස ප්‍රදේශවලට බලපෑම් එල්ල වෙනවා.”

    “ආධාරකයක් නැතිව කාන්තාවන් ව්‍යායාමවල යෙදීමෙන් පියයුරු චලනය වෙනවා. ක්‍රීඩාවේ දී ආධාරක තනපට ඇඳීමෙන් පියයුරුවල වේදනාව අඩු කරන අතරම බෙල්ලේ හා පිටුපස වේදනාව ඇතිවීම වළක්වනවා.”

    බ්‍රා එපා!

    ග්ලෝරියා ස්ටීනම්, රිහානා, කෙන්ඩල් ජෙනර් සහ කේට් මොස්, ගිලියන් ඇන්ඩර්සන් වැනි ලොව ප්‍රසිද්ධ කාන්තාවන් තනපටය නොමැතිව සිටීමේ ‘නිදහස’ ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කතා කිරීම සහ එය නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවලට යාමත් සමගම බොහෝ කාලයක් පෞද්ගලික සංවාදයක් පමණක් වූ මෙම කරුණ නැවතත් ප්‍රසිද්ධියේ කතා බහට ලක් වී තිබේ.

    “මට බ්‍රා එකක් අඳිනවා කියන්නේ එපා වෙන දෙයක්. නිපල්ස් වහගන්න විතරක් පියයුරුවලට අලවන කප්ස් දෙකක් දාගෙන මම ඕනෑම ගමනක් යනවා. මගේ ශරීරය අයිති මට. දරුවා ලැබෙන්න ඉන්න කාලයේ පියයුරු මහත් වුණාට, දැන් ආයෙත් ඒවා අවුරුදු 16දී වගේම තියෙනවා. ඉතින් ඇයි මම අපහසු ඇඳුමක් එක්ක දුක් විඳින්නේ?,” කොළඹ දිවිගෙවන කාන්තාවක පැවසීය.

    Kendall Jenner
    සැහැල්ලු තනපටයක් ඇඟලා ගෙන ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණි කෙන්ඩල් ජෙනර්

    කෙසේනමුත්, මේ අතර නින්දට යන විට පවා තනපටය අඳින කාන්තාවෝ ද සිටිති.

    “මම මේ කල්පනා කරන්නේ බ්‍රා එක නැති අය කොහොම ඉන්නවා ද කියලා. මට ගෙදරට විතරක් නෙමෙයි, නින්දට යද්දිත් බ්‍රා එක ඕනේ. නැත්තම් මට හරි අපහසුවක් දැනෙනවා. මම පුෂ් අප්ස් වගේ තද ඒවා ගෙදරට අඳින්නේ නැහැ. හැබැයි පහසු එකක් අඳිනවා. නිපල්ස් එළියට පෙනීම සහ ඇවිදිනකොට පියයුරු සෙලවීම මටනම් ලැජ්ජාවක්,” තවත් කාන්තාවක සිය අදහස් දක්වමින් පැවසුවාය.

    බ්‍රා හා සම්බන්ධ උද්ඝෝෂණ

    මීට වසර පනහකට පෙර, නිව් ජර්සි හි පැවති ‘මිස් ඇමරිකා’ රූපලාවණ්‍ය තරඟාවලියට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැතිවිණි. උස සපත්තු, ශරීරයට තද ඇඳුම් ඇතුළු කාන්තාවන්ට පීඩා කරන දේවල් සංකේතාත්මකව ඉවත දැමීම මෙහි අරමුණ විය.

    එහි දී කාන්තාවන් පිරිසක් තනපට, ලිප්ස්ටික් සහ උස සපත්තු කුණු කූඩයකට සංකේතාත්මකව විසි කිරීමට ක්‍රියා කළ අතර, මෙය “නිදහස් කුණු කූඩය” ලෙස නම් කළහ.

    මෙහි දී කුණු කූඩයේ තිබෙන දේ ගිනි තැබුවේ නැතත්, විරෝධතාකරුවන් ලොව ප්‍රසිද්ධ වූයේ “බ්‍රා දැවූ ස්ත්‍රීවාදීන්” ලෙසිනි.

    එය ලොව පුරා සිරස්තල බවට පත් කරමින්, විරෝධතාකරුවන්ට ලෝක ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමි විය.

    2019 වසරේ දී ස්විට්සර්ලන්තයේ කාන්තාවන් දහස් ගණනක් සියලු සේවාවලින් බැහැරව, සාධාරණ වැටුප්, සමානාත්මතාව මෙන්ම ලිංගික අඩන්තේට්ටම් හා ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස ඉල්ලා තනපට ගිනි තබමින්, රථවාහන ධාවනයට බාධා පමුණුවමින් ද උද්ඝෝෂණයේ යෙදුණහ.

    Bra burning feminist
    “බ්‍රා දැවූ ස්ත්‍රීවාදීන්”

    ඔක්තෝබර් 13 වෙනිදා තනපටින් තොර දිනය ලෙස හැඳින්වීම ඇරඹුණේ පියයුරු පිළිකා පිළිබඳ ලොව පුරා අවබෝධය නැංවීමේ පියවරක් ලෙසිනි.

    නමුත් පිලිපීනයේ කාන්තාවන් විසින් 2018 වසරේ අදාළ දිනය වෙන්කරනු ලැබුවේ පුළුල් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවක් ඉල්ලීම සඳහාය.

    “තනපටින් තොර දිනයෙන් “කාන්තාවාදය මෙන්ම කාන්තාවන් ලෙස අප කවුදැයි යන්න ස්ථිරව ප්‍රකාශ කෙරෙනවා. කාන්තාවන් වහල් බවක රඳවා ඇත්තේ කෙසේද යන්න තනපටින් සංකේතවත් කෙරෙනවා” යැයි ජනමාධ්‍යවේදිනියක වන වැනේසා අල්මේදා සඳහන් කළාය.

    පුරුෂයන්ගේ හා කාන්තාවන්ගේ තනපුඩු නිරාවරණය කිරීමේදී අනුගමනය කෙරෙන දෙබිඩි පිළිවෙත් පෙන්වා දෙමින් මෑත වසරවලදී ක්‍රියාකාරීහු තවත් පියවරක් ඉදිරියට ගියහ.

    කාන්තා පියයුරු සාපරාධී හා වාරණය කිරීමට එරෙහි තරුණ කාන්තාවන් පිරිසක් නිව් යෝර්ක් නගරයේ ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයක් පසුබිම්කරගත් ‘Free the Nipple’ (තනපුඩුව නිදහස් කරනු) නම් වූ වාර්තාමය වැඩසටහන නෙට්ෆ්ලික්ස් (Netflix) ඔස්සේ 2014 දෙසැම්බර් මාසයේදී නිකුත් කළේය.

    මෙය “Free the Nipple” (තනපුඩුව නිදහස් කරනු) නම් වූ ව්‍යාපාරය ගෝලීය සංසිද්ධියක් වීමේ මුලාරම්භය විය.

    #NoBra

    මේ අතර, දකුණු කොරියාවේ කාන්තාවන්, සිය ඇඳුම්වලට යටින් තනපට නොඅඳින බව දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමේ ව්‍යාපාරයක් 2019 අග භාගයේ දී සිදු විය.

    #NoBra නම්වූ හෑෂ් ටැගයෙන් යුතු එම පළකිරීම් සිදු වූ අතර, එය කාන්තා සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් බවට පත් විය.

    දකුණු කොරියානු නිළියක මෙන්ම ගායිකාවකද වන සුල්ලි (Sulli), මිලියන ගණනක ග්‍රාහකයින් පිරිසක් සිටින සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි තනපට රහිත තමන්ගේ ඡායාරූප පළකිරීමෙන් අනතුරුව එම අදහස පැතිරීම ආරම්භ විය.

    Sri Lanka: Pros & Cons of wearing bra

    තනපටවලින් තොරවීම පිළිබඳ ව්‍යාපාරයේ නිරත බොහෝ දෙනෙකුට ඇය ‘සංකේතයක්’ වන අතර, තනපට ඇඟලීම හෝ එසේ නොකිරීම “පෞද්ගලික නිදහස” ට අදාළ කාරණයක් යන පණිවිඩය ඉන් දුන්නාය.

    මෙම ව්‍යාපාරයෙන්, කාන්තා සිරුර සම්බන්ධයෙන් ලෝකයේ පවතින තහංචි ගැන ඉහළ අවධානයක් යොමු විය.

    එමෙන්ම, මීට එක්වූ කාන්තාවන් දෝෂ දර්ශනයට ලක්වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ලෝකයේ බොහෝ කොටස් තවමත් සංස්කෘතික අපේක්ෂා මත පදනම්ව පවතින බවය.

    එසේවුවත්, දකුණු කොරියාවේ සිටින බොහෝ කාන්තාවන්ට නම් මෙය “පෞද්ගලික නිදහස” පිළිබඳ මූලික කරුණක් බවට පත් විය.

    දැහැමි රණවීර විසින් බී.බී.සී සන්දේශයට සම්පාදිත ලිපියකි

  • කොවිඩ් මරණ 5000 පනී

    කොවිඩ් මරණ 5000 පනී

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 2792 දෙදෙනෙක් අද (07) දින හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ සමග කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 327,019ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මේ අතර ඊයේ (06) කොවිඩ් මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දින තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,017ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • කිරි දෙන මව්වරුන්ට කොවිඩ් -19 එන්නත ලබා ගැනීමේ කිසිම අවදානමක් නෑ – WHO

    කිරි දෙන මව්වරුන්ට කොවිඩ් -19 එන්නත ලබා ගැනීමේ කිසිම අවදානමක් නෑ – WHO

    කිරි දෙන මවුවරුන්ට COVID-19 එන්නත ලබා ගැනීමේ කිසිදු අවදානමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය පැවසුවාය‍

    සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය කියා සිටියේ දරුවන් බිහි කළ සහ කිරි දෙන කාන්තාවන්ට එන්නත් ලබා ගත හැකි බවයි.

    “කිසිඳු අවදානමක් නැහැ. දැනට භාවිතා කරන සියලුම එන්නත් වල සජීවී වෛරසයක් නැහැ. ඒ වගේම කොවිඩ් වෛරසය මව්කිරි හරහා සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නැහැ. ඇත්ත වශයෙන්ම මව්වරුන්ගේ ප්‍රතිදේහ මව්කිරි තුළින් දරුවන්ට යා හැකියි, ”ඇය පැවසුවාය.

  • තත්ත්වය භයානකයි ! ගෙවල් වලින් එළියට බහින්නවත් එපා – රජය ජනතාවට කියයි

    තත්ත්වය භයානකයි ! ගෙවල් වලින් එළියට බහින්නවත් එපා – රජය ජනතාවට කියයි

    අධි සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ලැව් ගින්නක් මෙන් රට පුරා පැතිර යන හෙයින් හැකි ඉක්මනින් තමන්ට හිමි කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස රජය පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    අද (07) නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් හා භාවිතයන් දැඩි ලෙස පිළිපදින ලෙසයි.

    වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව විසින් අනුගමනය කළ යුතු පහත දැක්වෙන උපදෙස් මෙම මාධ්‍ය නිවේදනය මගින් යළි අවධාරණය කර ඇත.

    1. අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් බැහැර වන්න.
    2. මංගල උත්සව, අවමංගල්‍ය උත්සව සහ මිනිසුන් විශාල වශයෙන් එකතු වන උත්සව වලට සහභාගී නොවීම හැකිතාක් සීමා කරන්න.
    3. පොදු ස්ථාන නැරඹීමට සහ එළිමහනේ සංචාරය කිරීමේදී සැම විටම මුඛ ආවරණයක් පළඳින්න.
    4. වාතාශ්‍රය නොමැති කාමර, ශාලා, විදුලි සෝපාන සහ වාහන සඳහා විශාල වශයෙන් එකතු වීමෙන් වළකින්න.
    5. නිතරම සබන් යොදා අත් හොඳින් සෝදන්න.
    6. අන් අය සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී මීටර් දෙකක සමාජ දුරස්ථභාවයක් පවත්වා ගන්න.
    7. ඔබට නිදන්ගත රෝග තිබේ නම් රැකියාවට නොයන්න.
  • නිවසේ සිටම ප්‍රතිකාර කරන කොවිඩ් රෝගීන් සඳහා මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    නිවසේ සිටම ප්‍රතිකාර කරන කොවිඩ් රෝගීන් සඳහා මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    කොවිඩ්-19 ආසාදිත රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ලක්‍ෂණ සහිත රෝගීන් සඳහා නිවසේ සිටම ප්‍රතිකාර ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

    මාර්ගෝපදේශයන්ට අනුව, නිවාස පදනම් කරගත් සත්කාර සහ ආයතනික සෞඛ්‍ය සේවා අවශ්‍ය වෛරස් ආසාදිත පුද්ගලයින් පරීක්‍ෂා කිරීම සඳහා ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය අදාළ ප්‍රදේශයට වගකිව යුතුය.

    නිවසේ සිට රැකවරණය සඳහා සුදුසුකම් ලබන රෝගීන්;

    • වයස අවුරුදු 02 – 65 අතර විය යුතුය
    • ඔවුන් සනීපාරක්‍ෂක පහසුකම් සහ ප්‍රමාණවත් වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක හුදෙකලා විය යුතුය
    • රෝගීන්ට අධික තරබාරුව (BMI> 30), දියවැඩියාව, අධි රුධිර පීඩනය, නිදන්ගත හෘදය/පෙනහළු/වකුගඩු රෝග හෝ වෙනත් රෝගී තත්වයන් වැනි පාලනය නොකළ රෝග නොතිබිය යුතුය.
    • නිවසේදී ප්‍රමාණවත් ස්වයං රැකවරණයක් හෝ රැකවරණ ආධාරකයක් තිබිය යුතුය
    • නිසි සන්නිවේදන පහසුකම් සහ සන්නිවේදන හැකියාව තිබිය යුතුය (රෝගියා හෝ භාරකරු)
    • දැනුවත් එකඟතාවක් ලබා දිය යුතුව තිබුණි
    • ගැබිනි මවකගේ නම් ගර්භණී කාලය සති 24 ට අඩු විය යුතුය.

    තවද, නිවසේ නිරෝධායනය කළ රෝගියෙකු අසනීප වූ දින 14 දී නිදහස් කළ හැකිය. රෝග ලක්‍ෂණ පවතී නම් රෝග ලක්‍ෂණ නිරාකරණය වන තුරු රෝගියා නිරීක්ෂණය කෙරේ.

  • ප්‍රමාද වීමට කාලයක් නෑ: ‘දැඩි සංචරණ සීමා ඕනෑ‘ – PHI සංගමය

    ප්‍රමාද වීමට කාලයක් නෑ: ‘දැඩි සංචරණ සීමා ඕනෑ‘ – PHI සංගමය

    COVID-19 ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය සමග රට විශාල ව්‍යසනයකට ඇද වැටීම වැළැක්වීම සඳහා රජය දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHIU) අවධාරණය කළේය.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ භූමියේ තත්වය අතිශයින්ම තීරණාත්මක හා අවදානම් සහගත බවයි.

    “ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදයක් රට තුළ ව්‍යාප්ත වෙමින් තිබුණත් රජයේ වගකිව යුතු ප්‍රබලයින් නිසි පියවර ගන්න බවක් අපට පෙනී යන්නේ නැහැ. ඒ අනුව අපට පැහැදිලි වෙන්නේ මේ වසංගත ව්‍යාප්තිය පාලනයට රජයට පැහැදිලි උපාය මාර්ගයක් නැති බවයි. දෛනික රෝගීන් සංඛ්‍යාව 3,500 ඉක්මවා ගියහොත් සෞඛ්‍ය අංශ දැඩි ලෙස අර්බුදකාරී තත්ත්වයට පත්වෙනවා. ඒ සමග වසංගත පාලනය ගිලිහී යනවා. මේ අනුව, තත්වය ආපසු හැරවීම අපහසු වීමට පෙර දැඩි සංචරණ සීමා පැනවීම ඉතාමත් වැදගත් වෙනවා‘‘ යැයි උපුල් රෝහණ මහතා පැවසීය.

    සුපිරි වෙළඳසැල්, උද්‍යාන සහ පොදු ස්ථාන වල සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ භාවිතයන් නොසලකා හරින ජනතාව තවමත් දක්නට ලැබෙන බව ද ඔහු පැවසීය.

    පසුගිය දින කිහිපය තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අට දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව පැවසූ ඔහු, සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට ද දිනපතා වෛරසය වැළඳෙන බව කීවේය.

  • දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

    දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

    කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව බවයි වාර්තා වන්නේ.

    මියගිය අයගෙන් 70 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 27 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක්ද වන අතර මියගිය අය අතර පිරිමි අය 54 දෙනෙක් සහ කාන්තාවෝ 44 දෙනෙක් වෙති.

    ඊයේ සිදු වූ මරණ 98ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ ගොස් ඇත.

  • ලාෆ්ස් පාරිභෝගිකයෝ අනාථයි

    ලාෆ්ස් පාරිභෝගිකයෝ අනාථයි

    හිස් ගෑස් සිලින්ඩර් ලක්ෂ 29 ක් බයිසිකල්, ත්‍රීවීල්, කාර්වල පටවාගෙන පාරිභෝගිකයෝ හන්දියක් හන්දියක් ගානේ යමින් සිටින බවත්, ගෑස් හිඟය දිනෙන් දිනම උත්සන්න වන අතරම ගෑස් අර්බුදය රටේ ආර්ථිකයට දැරිය නොහැකි බරක් වන බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

    ලංකාවේ දෛනික ගෑස් අවශ්‍යතාව මෙ.ටො. 1600 කි.  ඒයින් ලාෆ්ස් මෙ.ටො. 350 ක් බෙදාහරින්නේ ලාෆ්ස් සමාගමයි. සපුගස්කන්ද රජයේ තෙල් පිරිපහදුවෙන් ලැබනෙ ගෑස් මෙ.ටො. 25 පමණක් දැනට සමාගම නිකුත් කරයි.  

    2015 – 2019 වකවානුවේ ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර ලක්ෂ 32 ක් ද, ලාෆ්ස් සමාගම සිලින්ඩර ලක්ෂ 8 ක් ලෙස ලක්ෂ 40 ක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත. 2020 – 2021 සමයේ තවත් සිලින්ඩර මිලියන 1.2 ක් අලෙවි කර ඇත. මෙරට පවුල් ලක්ෂ 55 කි. ගෑස් සිලින්ඩර මිලියන 11.5 කි. එයින් මිලියන 2.9 ක ට දැන් ගෑස් නැත.

    ණයවර ලිපි විවෘත කිරීම සඳහා ඩොලර් නොමැතිවීම, ආනයන මිල හා අලෙවි මිල අතර පරතරය හේතුවෙන් ලාෆ්ස් ආයතනය දැන් විකුණනු ලබන්නේ සපුගස්කන්දෙන් ලැබෙන ගෑස් පමණී. ලිට්රෝ සමාගම වසරේ මුල් මාස 3 තුල රු. බිලියන 3.8 ක් පාඩු ලැබීය.  මේ මාසයේ ලිට්රෝ පාඩුව රු. බිලියන 1.6 ක් පමණ විය හැකිය.  2021 වසරේ ලිට්රෝ සමාගම රු. බිලියන 16 ඉක්මවන පාඩුවක් ලබනු ඇත.

    අන්ත දිළින්දන් ඇතුළු මිලියන 22 ක ජනතාවගේ බදු මුදලින් රටේ ජනගහනයෙන් 1/5 කට රජට අඩු මිලට ගෑස් සපයයි.  ශ්‍රී ලංකන් ආකාරයේ දැවැන්ත පාඩු ලබන රාජ්‍ය අයතනයක් ඒමගින් බිහිවෙමින් ඇත. එහි ප්‍රතිඑලය ලෙස රටේ ආර්ථික හා බැංකු පද්ධතිය මුළුමනින්ම කඩා වැටීය හැකිය. 

    ලක්ෂ 29 ක් වන පාරිභෝගිකයින්ට ගෑස් ලබාදීමේ වැඩපිළිවෙලක් රජය වහා ඇරඹිය යුතුව ඇත.