Author: Editor

  • මංගල හා අවමංගල උත්සව සදහා යළිත් සීමා

    මංගල හා අවමංගල උත්සව සදහා යළිත් සීමා

    කෝවිඩ් 19 වසංගතයේ වත්මන් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන විවාහ මංගල උත්සව සහ වෙනත් එවැනි අවස්ථාවන්ට සහභාගී වන ජන සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

    නව තීරණය අනුව,

    • ආසන සංඛ්‍යාව 500කට වැඩි උත්සව ශාලාවක පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහාභාගී විය හැකි උපරිම මට්ටම 150කි.
    • උත්සව ශාලාවේ ආසන සංඛ්‍යාව 500ට අඩුනම්  උපරිමය 100 දෙනකුට සීමා කෙරේ.
    • අවමංගල්‍යයකට වරකට සහභාගීවීමට අවසර ලැබෙනුයේ 25 දෙනකුට පමණී. 
    • සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 දක්වා කල් දැමේ. රජයේ සේවකයන්ගේ පැමිණිම ආයතනයේ ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.
  • රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන්න සංශෝධිත නව චක්‍රෙල්ඛයක්

    රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන්න සංශෝධිත නව චක්‍රෙල්ඛයක්

    රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද (06) දින නව චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා. එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.

  • SLIIT ආයතනය පිහිටුවීමේ අරමුණුවලට පොල්ල තියලා

    SLIIT ආයතනය පිහිටුවීමේ අරමුණුවලට පොල්ල තියලා

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් නමවන පාර්ලිමේන්තුවට  අදාළව මෙතෙක් සභාගත කර ඇති වාර්තා ද්වය සම්බන්ධව දෙදින විවාදයක්   පැවැත්වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ට යෝජනා කිරිමට පසුගියදා (04) මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී  ඒකමතිකව එකඟත්වය පළ විණි.

    2021 අප්‍රේල් 06 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මගින් ආයෝජනය කර පිහිටුවන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ඉදිරිපත් කළ විශේෂ වාර්තාවකි. මෙම දෙවැනි විශේෂ වාර්තාව විවාදයට ගැනීමෙන් , ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) ආයතනයේ වර්තමාන තත්ත්වය සහ එම ආයතනයට අදාළව ගනු ලබන මීළඟ පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙහි  සහ රට අභ්‍යන්තරයෙහි පුළුල් සංවාදයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

    විගණකාධිපති දෙපාර්තමේන්තුවේ  විමර්ශනයක් ඇසුරෙන් සැකසුණු  උක්ත වාර්තාව  මඟින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රජයට අයත් නොවන ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව සහිත ආයතනයක් ලෙස පිළිගැනීමට හා එම ආයතනය කිසිදු අමාත්‍යංශ විෂය පථයක් යටතට නොගැණෙන පරිදි 2017.05.24 දින ගනු ලැබූ අමාත්‍ය මණ්ඩලය තීරණය නැවත සමාලෝචනය කිරීමටද එම ආයතනයට අදාළ සෙසු අමාත්‍ය මණ්ඩල සන්දේශයන්හි ඇතුළත් කරුණු සලකා බැලීමටත් ඉන් අනතුරුව ස්ලිට් ආයතනය අමාත්‍යාංශයක් යටතට පවරා ගැනීමටත් පියවර ගැනීමට නිර්දේශ කර තිබේ .

    තවද මහපොළ අරමුදලෙහි  ව්‍යාපෘතියක් ලෙස එම  අරමුදලෙන් ප්‍රාග්ධනය ලෙස මිලියන 500 ක මුදලක් යොදවා, අරමුදලට අයත් මාලඹේ  පිහිටි ඉඩමක ඇරඹුණු  අදාළ ආයතනය මේ වන විට අරමුදලෙහි පාලනයෙන් සහ ආරම්භ කරන ලද මූලික අරමුණෙන් බැහැරව වාණිජ ව්‍යාපාරයක් ලෙස අධික ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට විවිධ පාර්ශව විසින් කටයුතු කර ඇති බවට එමඟින් නිරීක්ෂිතය.  එම තත්ත්වය වෙනස් කර නැවතත් ආයතනය අරමුදලට පවරාගෙන සාධාරණ ගාස්තු ගෙවීමකට යටත් ව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාවක් ලබාදීමට ද  පාර්ලිමේන්තුවට සභාගත කර ඇති මෙම  වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

    එසේම විධිමත් අධිකාරි බලයකින් තොරව, 2015.05.12 දින අත්සන් කළ ගිවිසුමක් මඟින් ස්ලිට් ආයතනය පිළිබඳව රජයට තිබු අයිතිය හා  එහි පාලනය අහිමි කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධව අදාළ සියලු පාර්ශවයන්ට  එරෙහිව පොදු දේපළ පනත යටතේ පියවර ගැනීමටත් පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරිපත් කර ඇති මෙම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ .

    ස්ලිට් ආයතනය පෞද්ගලීකරණය කෙරුණු  සංකීර්ණ සහ ගැටලු සහගත ක්‍රියාදාමය සංවිධානාත්මක වංචාවක් බවට පෙනී යන බව ද, රජයේ මුදල් ආයෝජනය කර ආරම්භ කෙරෙන ඕනෑම ආයතනයක්  පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැදවීමට ඇති නෛතික හැකියාවත් මෙහිදී කාරක සභා සාමාජිකයින්ගේ දැඩි  අවධානයට ලක්විය.

    අද පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීම සඳහා ගරු  අමාත්‍ය සරත් වීරසේකර  රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර ,එරාන් වික්‍රමරත්න ,ආචාර්ය හර්ෂ ද සිල්වා, නලින් බණ්ඩාර සහ ශ‍ානක්කියන් රාසමානික්කම් යන මහත්වරුන් ද විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා ද සහභාගි වූහ .

  • සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර කිරීමට යයි

    සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර කිරීමට යයි

    දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය කිරීම සදහා ජනාධිපතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි රෝගීන් රෝහල් ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ඒ අනුව, සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු,  අඩු අවදානම්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ වෛද්‍ය අධීක්ෂණය මත රැකබලා ගැනීමට පියවර ගැනීමටත් අවධානම් තත්ත්වයේ පසුවන පිරිස් රෝහල්ගත කිරිමටත් අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මාර්ගෝපදේශ පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුලු  සියළුම සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇත.

    පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් (Call Center – 1390)  හරහා රෝගීන් කළමණාකරණ කටයුතු (PHIMS – Patient Home Isolation and Management System) සිදු කරනු ලැබේ. මෙමගින් රෝගියාට පහසුවෙන් තම නිවසේ සිට  දින 14 ක් වෛද්‍ය අධීක්ෂණය (Call – Center and the Medical Care Team) යටතේ ප්‍රතිකාර ලබාගත හැක. යම් හෙයකින් රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් කඩිනමින් එම රෝගීන් පිළිබද තොරතුරු දුරකථන ඔස්සේ ලබාගෙන රෝහල්ගත කිරිමට පියවර ගනු ලබන අතර, මෙම ක්‍රමවේදය මගින් අනවශ්‍ය ලෙස රෝගීන් රෝහල් ගත කිරීමෙන් රෝහල් වාට්ටු තුල ධාරිතාවය පිළිබද ගැටළු සහගත තත්ත්වයන් අවම වනු ඇත.

    පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරික්ෂාවෙන් පසු ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගන්නා ලද්දේ නම් ප්‍රාදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හට ලබාදී ඇති මාර්ගෝපදේශ නිර්ණායකයන්ට අනුකූලව එම රෝගීයා පරික්ෂා කර නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම හෝ රෝහල් ගත කිරීමට පියවර ගැනිම සිදු කරනු ලබයි. මෙහිදී රෝගියා නිවෙස් තුල ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සදහා තම කැමැත්ත ද පළ කළ යුතුය. නිවෙස් තුල රඳවන රෝගීන් කළමණාකරණය කළ යුතු ආකාරය ද මාර්ගෝපදේශ මාලාවෙන් පෙන්වා දී ඇත. අනතුරුව පරිගණක තාක්ෂණය ක්‍රමවේදය ඔස්සේ රෝගීන් ලියාපදිංචිය සිදු කෙරේ. ඒ අනුව එම තොරතුරු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් හා සම්බන්ධ වේ.

    දුරකථන මධ්‍යස්ථානය ඔස්සේ රෝගීයාගේ තොරතුරු ලබාගෙන තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට රෝගියා ලක්වේ.  රෝගීයාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ද මෙහිදී ලබාදෙන අතර, රෝගියාගෙන් ලබාගන්නා තොරතුරු ද පරිගණක ගත කරනු ලැබේ.

    එම අධීක්ෂණ කටයුතු වල දී රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කිරීමට අවශ්‍ය වන්නේ නම් රෝගී තත්ත්වය අනුව රෝගියා යොමු කළ යුතු රෝහල් ඇතුලු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ක්ෂණිකව යොමු කිරීමට පියවර ගනු ලබන අතර, ඒ සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හරහා වැඩපිළිවෙළක් ද සකස් කොට ඇත. දින 14 කින් පසු රෝගියා මුදා හැරීමෙන් පසු රෝගීන් අධීක්ෂණ කටයුතු එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා අඛණ්ඩව සිදු කිරීමට ද පියවර ගෙන ඇත.

  • කොව්ඩ් වසංගතය මැද ‘ඩෙංගු අවදානමක්‘

    කොව්ඩ් වසංගතය මැද ‘ඩෙංගු අවදානමක්‘

    කොවිඩ් වසංගතය නිසා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරු පවසති.

    මෙම අවදානමෙන් මිදීමට නිවාස සහ කාර්යාල පරිශ්‍ර, ඉදිකරීම් වැඩබිම් ආදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදුව තබා ගන්නා ලෙස වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

    මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිණිස “ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස වර්ධනය වීම හා එය මැඩ පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද” යන මැයෙන් අද (06) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී  වෛද්‍යවරු මේ අදහස් පල කළහ. ප්‍රවෘත්ති සාකච්ඡාව දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    මහජනතාවගේ නොදැනුවත් බව සහ වගකීම් විරහිත ක්‍රියාකාරිත්වය රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වී ඇත. මෙහිදී රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.ඩෙංගු රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණවල මිළ ගණන් අඩු කිරීම, රෝගීන් සුවපත් කර නිවෙස් කරා යැවීමට ක්‍රමවේදයක් සකස් කර තිබීම, රෝගීන් හඳුනාගතහොත් ඒ පරිසරය පරීක්ෂාවට ලක්කිරීම ඊට අයත්ය. මේ සඳහා පැමිණෙන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය දෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    රෝගය ව්‍යාප්තිය පාලනය කිරීමේදී පළාත් පාලන ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෙසු කාර්ය මණ්ඩල ඒකාබද්ධව ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පිරිසිදු කිරීම රෝග ව්‍යාප්තිය පාලනයට කිරීමට මනා පිටුවහලක් වේ. තමන්ගේ නිවසේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන් මෙම වැඩපිළිවෙලට දායක වීමට මහජනතාවට විශේෂ වගකීමක් තිබේ.

    කොවිඩ් සහ ඩෙංගු යන රෝග දෙකම වෛරසයකින් බෝවන අතර රෝග දෙකෙහිම රෝග ලක්ෂණ සමාන බැවින් උණ ගැනීමක් වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී නිසි ප්‍රතිකාර ගත යුතුයි.  PCR පරීක්ෂණය සහ ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමෙන් රෝගය හඳුනා ගත හැකිවන අතර රුධිර පරීක්ෂාව තව දුරටත් තහවුරු කර ගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම තුළින් මෙම රෝගය නිට්ටාවට සුව කළ හැක.

    ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එම්. අර්නෝල්ඩ්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි, ද සොයිසා කාන්තා රෝහලේ කායික රෝග විශේෂඥ ප්‍රියංකර ජයවර්ධන යන මහත්ම මහත්මීහූ මේ සාකච්ඡාවට සහභාගී වූහ.

  • ගත වූ මාසය තුළ උද්ඝෝෂණ 120ක් !

    ගත වූ මාසය තුළ උද්ඝෝෂණ 120ක් !

    කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙයි.

    කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබේ. එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මීට මාස කිහිපයකට පෙර සිටම සූදානම් කර ඇත. හදිසි ඕනෑම අවස්ථාවක ආසාදිතයන් අපහසුතාවන්ට පත්වීම වැළැක්වීමට එම මධ්‍යස්ථාන සැලසුම් කෙරිණ. එම නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කර රෝහල් වෙතත් යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    රෝහල් මට්ටමෙන් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන් සෘජුව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් මාධ්‍ය මගින් ජනතාවට නිරන්තරයෙන් ලබාදීම සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණ.

    වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මසට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර තිබේ. තෙවන මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම්ය. එහෙත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සහාය අවම වීම කණගාටුදායක බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේය.

    ගත වූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා තිබේ. මේ සෑම එකකටම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇත. සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇතැයි බුද්ධි අංශ පෙන්වා දෙයි.

    කොවිඩ් මර්දන මෙහෙයුම් කාර්යයන්හි නිරත බොහෝ දෙනෙක් දේශීය ඖෂධ දෛනිකව ලබාගනිති. එය ප්‍රතිශක්තීකරණයට බෙහෙවින් ඉවහල් වී තිබේ. එන්නත ලබාගත්ත ද දේශීය ඖෂධ දෛනිකව ලබාගැනීම හා ධූමායනය රෝගය වැළදීම අවම කිරීමට ඉවහල් වනු ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පෙන්වා දුන්නේය.

  • පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08ක් තහනම් කිරීමට යයි

    පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08ක් තහනම් කිරීමට යයි

    පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (05) පැවසීය.

    ඊට පොලිතීන් බෑග්, ප්ලාස්ටික් ඉදි ආප්ප වට්ටි, ප්ලාස්ටික් පිගන් ,ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි වැනිදෑ ඇතුළත් වන බව අද පැවති එම කාරක සභාවේ රැස්වීමේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

    ලන්ච්ෂීට් තහනම් කිරීමේ නීතිය ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට දැඩිව ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාරක සභාවේදී අවධාරණය කළේය. ඊට අදාළ වැටලීම් ඉහළ නංවන ලෙසද හෙතෙම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    වර්තමානයේ උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය සමඟ භාවිත කරන මුව ආවරණ නිසි පරිදි බැහැර නොකිරීම හේතුවෙන් සමාජය තුල පාරිසරික ගැටලු රැසක් උද්ගතව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    මුව ආවරණ නිසි පරිදි බැහැර කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වාදී ඇති බවත්, එය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, මධ්‍යම පරිසර අධිකාරිය සභාවට දැන්වීය.

    මුව ආවරණ බැහැර කිරීමේදී ජනතාව වඩාත් සැළකිලිමත් විය යුතු බව කාරක සභාවේ සභාපතිවරයාද මෙහිදී කීවේය.

    මෙම කාරණයේදී පළාත් පාලන ආයතන වෙත විශාල වගකීමක් පැවරෙන බව පරිසර කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    ගන්නොරුව ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව අනවසරයෙන් හෝටලයක් ඉදිකර තිබීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු මෙය ඉදිකර ඇති බවත්, මේ හේතුවෙන් පරිසර ගැටළු රැසක් නිර්මාණය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බංඩාර මහතා මෙහිදී අවධාරණය කළේය. මේ සම්බන්ධව අදාළ ආයතන නිසි ක්‍රියාමාර්ග නොගෙනීම බරපතළ ගැටලුවක් බවද මන්ත්‍රීවරයා කීවේය.

    මේ පිළිබඳව විශේෂ සාකච්ජාවක් කඩිනමින් පැවැත්විය යුතු බවත්,එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීම යෝග්‍ය බවත් කාරක සභාව මෙහිදී නිර්දේශ කළේය.

    මහවැලි ගඟ දෙපස අනවසර ඉදිකිරීම් රැසක් පවතින බවත්, ඒවා ඉවත් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවත් වසන්ත යාපා බංඩාර මන්ත්‍රීවරයා කාරක සභාවේදී පැවසීය. බොහෝ විට දීර්ඝ සති අන්තවල අනවසර ඉදිකිරීම් සිදු කරන බවත්, ඒවා නැවැත්වීමට පළාත් පාලන ආයතන වලට පවතින නෛතික ප්‍රතිපාදන අවම බවත් ඔහු කීවේය.

    පරිසර පනත සංශෝධනය කිරීමේදී මෙවැනි කාරණා පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    මිනිස් ක්‍රියාකාරකම් නිසා මහවැලි ගඟ ආශ්‍රිතව දූපත් නිර්මාණය වීම හේතුවෙන් සිදුවන හානිය සුළුපටු නොවන බවද වසන්ත යාපා බංඩාර මන්ත්‍රීවරයා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    රටපුරා පවතින ගංගා 103 ක් සං‍රක්ෂණය කිරීමට “සුරකිමු ගංගා” ජාතික වැඩසටහන යටතේ විශේෂ වැඩසටහනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ වන විටත් ක්‍රියාත්මකබව පැවසූ කාරක සභාවේ සභාපති මහින්ද අමරවීර මහතා ගංගාවල රක්ෂිතය ලකුණු නොකිරීම ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති බවද කීවේය. ඒ අනුව කැලණි ගඟේ රක්ෂිතය ලකුණු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

    දිවයිනේ සෑම ප්‍රධාන නගරයක්ම ආවරණය වන පරිදි පරිසර විගණනයක් සිදු කිරීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී සාකච්ජා විය.

    මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගුණතිලක රාජපක්ෂ, අමරකීර්ති අතුකෝරළ,කිංස් නෙල්සන්,වීරසුමන වීරසිංහ,උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුද, රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද සහභාගී වූහ.

  • කොළඹ ඩෙල්ටා සුනාමියක් – ආචාර්ය චන්දිම ජීවන්දර හෙළිකරයි

    කොළඹ ඩෙල්ටා සුනාමියක් – ආචාර්ය චන්දිම ජීවන්දර හෙළිකරයි

    කොළඹ නගරය තුළ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත් භයානක ලෙස පැතිර ගොස් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    තම ට්විටර් ගිණුම හරහා ප්‍රස්ථාරයක් අනුසාරයෙන් කොළඹ නගරයේ පැතිරීම පෙන්වා දෙන ආචාර්ය ජීවන්දර, ජූලි මස පළමු සතියේ 19.3% ක් වූ ඩෙල්ටා ආසාදිතයන් හමුවීමේ ප්‍රතිශතය ජූලි මස අවසන් සතිය වන විට 75% කට වඩා වර්ධනය වී ඇතැයි ද මෙම දත්තයන් විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර වෙත ලැබුණු PCR පරික්ෂණ විශ්ලේශණය කිරීමෙන් ලබාගත් බව ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසයි.

  • දරුවන් 45,831කට කොවිඩ් – පවිත්‍රා

    දරුවන් 45,831කට කොවිඩ් – පවිත්‍රා

    ලක්ෂ තුනකට අධික කොවිඩ් ආසාදිතයින් අතරින් කොවිඩ්  ආසාදනයවූ දරුවන්  45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි ද ඉන් 14 දෙනකු මරණයට පත්ව ඇතැයි ද සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

    මියගිය දරුවන්ගෙන් බහුතරය වසය 0-5 අතර දරුවන් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය  වයස 6-10 අතර දරුවන් තිදෙනෙකුද වයස 11-15 අතර දරුවන් දෙදෙනෙකුද වයස 16-18 අතර දරුවන්  දෙදෙනෙකු ද මියගිය අතර සිටින බව පැවසු අමාත්‍යවරිය කොවිඩ් 19 ආසාදිත  දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවද  ප්‍රකාශ කළාය.

  • රාජ්‍ය සේවයට කැඳවීමට අලුත් චක්‍රලේඛයක්

    රාජ්‍ය සේවයට කැඳවීමට අලුත් චක්‍රලේඛයක්

    වත්මන් කොවිඩ් වසංගත අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙසේ පැවැසුවේ කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව අද (05) පැවති විවාදයේදීය.

    රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි සේවිකාවන්ට නිවසේ සිට රාජකාරිය කිරීම සඳහා අවස්ථාව සලසා දීමටද එහිදී තීරණය කෙරුණු බව ද මෙම තීරණ වලට අදාල චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අද හෙටම නිකුත් කෙරෙනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    නව තීරණය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ රාජ්‍ය අමාත්‍යවරයා ‘‘රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා, සිකුරාදා සෙනසුරාදා වශයෙන් මුර දෙකකට සේවයට කැඳවීමට පියවර ගැනීමට නියමිතයි. මේ සම්බන්ධ සෞඛ්‍ය නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා සෑම ආයතනයකම නිසි බලධාරියකු බැගින් පත් කිරීමටද තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මේ සම්බන්ධ කටයුතු කරන බවයි සාකච්ඡා වුණේ‘‘

  • දිස්ත්‍රික්ක හයක් අනතුරේ ! – PHI සංගමය

    දිස්ත්‍රික්ක හයක් අනතුරේ ! – PHI සංගමය

    බස්නාහිර සහ වයඹ පළාත් දෙක සහ ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් ධාරිතාව ඉක්මවා වාර්තාවන බව ද එම දිස්ත්‍රික්කවල රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේය.

    කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ බාලසූරිය මහතා මෙසේ ද පැවසුවේය. ‘‘දිනපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින තත්ත්වය හමුවේ රට ඉතාම නරක තත්ත්වයට ගමන් කරමින් තිබෙනවා. මේ පිළිබදව සියලූ දෙනාගේ අවධානය ඉක්මනින් යොමු කළ යුතුයි. රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. එනිසා රෝගීන් නිවාසවල තබාගෙන බලාගැනීමට සිදුවිය හැකියි.

    ‘‘වාර්තා වන රෝගීන්ගේ රෝග ලක්ෂණ බැලූවිට ඔවුන්ට වැළදී ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදය බව පැහැදිලියි. පවුලේ එක් අයෙකුට වැළදුණු විගස අනෙක් සියලූ දෙනාට ද බෝවීම එම ප‍්‍රභේදයේ ලක්ෂණයක් නිසා මේ ගැන අපි වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

    ‘‘මේ වනවිට සංචරණ සීමා ලිහිල් කර තිබෙන්නේ. නමුත් වගකිව යුතු පුරවැසියන් ලෙස අප සියලු දෙනා ස්වයං වාරණයක් පනවාගත යුතුයි. හැකිතාක් ගමන් බිමන් සීමා කළ යුතුයි. මේ අවස්ථාවේ රට පවතින්නේ ඉතා දරුණු හා භයානක අවස්ථාවක බැවින් කොටහළු මගුල් උත්සව, විවාහ මංගල උත්සව, සම්භාෂණ හෝ ප‍්‍රියසාද නවතාලන්නැයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ‘‘කොවිඩ් එන්නතෙන් සිදුවන ආරක්ෂාව ලබා ගැනීමට එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගෙන සති කිහිපයක් ගතවිය යුතු බවයි වෛද්‍ය නිර්දේශය වන්නේ. ඒ වගේම කොවිඩ් එන්නත ගෙන ඇති අයටත් රෝගය වැළදීමට හැකියාවක් තිබෙනවා. මේ එන්නතෙන් සිදුවන්නේ මරණීය තර්ජනය අවම පමණයි.

    ‘රජයට හෝ සෞඛ්‍ය බලධාරින්ට පමණක් නොවෙයි. මෙම විනාශයෙන් ගැලවිමේ වගකීමක් ජනතාවට ද තිබෙනවා‘ යැයි ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේය.

  • කොවිඩ් මරණ 92ක් තහවුරු කරයි

    කොවිඩ් මරණ 92ක් තහවුරු කරයි

    ඊයේ (04) කොවිඩ් ආසාදිතයින් 92 දෙදෙනකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (05) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    මියගිය පුද්ගලයින්ගෙන් 73 දෙනකු වයස අවුරුදු 60 සහ හැටට වැඩි පුද්ගලයින් වන අතර පුරුෂයින් 49 දෙනකු සහ කාන්තාවන් 45 දෙනකු මියගිය අය අතර සිටී.

  • රසායනික පොහොර තහනම ඉවත් කළා ද ? – රාජ්‍ය නිලධාරීන්ගෙන් පිළිතුරු

    රසායනික පොහොර තහනම ඉවත් කළා ද ? – රාජ්‍ය නිලධාරීන්ගෙන් පිළිතුරු

    විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි.

     “රසායනික පොහොර තහනම ඉවත් කළා ද” යන්න මැයෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ලලිත් වීරතුංග මහතා මේ බව සඳහන් කළේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සතිපතා සංවිධානය කරන මාධ්‍ය හමු මාලාවේ දෙවන මාධ්‍ය හමුව අද පැවැත්විණ.

    මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ දශක ගණනාවක් රසායනික පොහොර භාවිතයට හුරුව සිටි රටක් කාබනික පොහොර භාවිතයට යොමු කිරීම අභියෝගාත්මක කරුණක් බැවින් එහිදී විවිධ මතවාද ඉදිරිපත්වීම සාධාරණ බවයි.

    ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක පමණක් ආනයනයට කටයුතු කරන අතර, පස ජෛව විද්‍යාත්මකව පරිපූර්ණ කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය සාධකයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. කාබනික පොහොර භාවිතය බොහෝ ගොවීන්ට නව අත්දැකීමක් බැවින් මෙම කටයුතු සතිපතා නිරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් සකසා ඇති බවත්, ඒ සඳහා තාක්ෂණික සහ නව ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය විශ්වවිද්‍යාල, කෘෂි පීඨ සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් සහ සහාය මේ සඳහා ලබා ගැනීම සිදු කෙරෙන අතර සියලු මාධ්‍ය ආයතනවල සහාය ද අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා

    ආනයන සීමා පනවා තිබුණද ජාතික අවශ්‍යතාව මත යම් තීන්දු තීරණවලට එළැඹීමට සිදුවන අතර ප්‍රතිපත්තිමය කරුණුවලින් බාහිරව ඒ කිසිවක් සිදු නොකෙරෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අවධාරණය කළේය.

    ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනයට ගෙන ඇති තීරණය පිළිබද අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් ආයතනවල දැඩි අධීක්ෂණය සහ නිර්දේශ යටතේ එම කටයුතු සිදු කෙරෙන බවයි.

    පාංශු පරීක්ෂණයකින් අනතුරුව ගොවීන්ට ලබාදෙන ඛේතාංක මත පදනම්ව ඒ ඒ ප්‍රදේශවල අවශ්‍ය ප්‍රමාණයෙන් කාබනික පොහොර ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන පාංශු පරීක්ෂණ ඉදිරි සතියේ ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.

    කාබනික වගාවට යොමුවීම සමග අස්වනු අඩුවුවහොත් ගොවි ගැටලු විසඳන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා “වැඩසටහන ආරම්භයේ දී ගැටලු ඇතිවිය හැක. එහෙත් තිරසර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම පමා කළ යුතු නැත. මතුවන ගැටලුවලට නිවැරදි විසදුම් හඳුනාගත යුතුය. රසායනික පොහොර භාවිතය අත්හැරීමෙන් නිෂ්පාදනය අඩුවනු ඇතැයි ගොවීන් කල්පනා කිරීමට පිළිවන. එසේ වන්නේ නම් රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් බිලියන 50කට වැඩි මුදලින් අඩුවන ආදායම ගෙවන බවට” හානිපූර්ණය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කළ ප්‍රකාශය උපුටා දැක්වීය.

  • ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන්ට ඕනෑ –  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

    ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන්ට ඕනෑ – පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

    ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනාවක්

    ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඊයේ(04) යෝජනා කළේය.

    ඒ සංසදය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් දැක්වූ එහි සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 30 දක්වා වර්ධනය කළ යුතු බවයි.

    රාජ්‍ය මණ්ඩල සහ කොමිෂන් සභාවල කාන්තා නියෝජනය සියයට 33 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද ඇය කාරක සභාවේදී යෝජනා කළාය.

    සියලු මැතිවරණ සඳහා එකම නීතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය මෙහිදී පෙන්වා දුන්නේය. වර්තමානයේදී කාන්තාවන්ට අපේක්ෂකත්වය ලබා ගැනීමද ගැටලුවකි. කාන්තාවන් පිළිබඳව සමාජයේ ආකල්ප වෙනසක්ද ඇතිවිය යුතුය. දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය කාන්තාවන්ට එතරම් හිතකර නොවන බවද ඇය සඳහන් කළාය. රට තුළ දේශපාලන ප්‍රචන්ඩත්වය ඇතිවීම ද දේශපාලනයේ කාන්තා නියෝජනය අවම වීමට හේතුවී තිබෙන බව ඇය අවධාරණය කළාය.

    දේශපාලන පක්ෂ තුල කාන්තාවන්ට ඉහළ මට්ටමේ නිලතල නොලැබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා විය.

    පළාත් පාලන ක්‍රමයේදී මෙන්ම, මීට පෙර යෝජිත පළාත් සභා ජන්ද ක්‍රමය තුළ කාන්තා නීයෝජනයට ඉහළ ඉඩක් වෙන්ව තිබූ බව  කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

    රටතුල දැනට පවතින මනාප ක්‍රමය අහෝසි නොකර කාන්තාවන්ට දේශපාලනයේ වැඩි අවස්ථාවක් ලබා දිය නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී කීවේය. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවද අමාත්‍යවරයා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    වර්තමාන මැතිවරණ ක්‍රමය කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් ගැලපිය නොහැකි බව අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා කීවේය.

    මැතිවරණවලට ඉදිරිපත් කරන අපේක්ෂිකාවන්ගේ සංඛ්‍යාව  නිශ්චිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කාරක සභාවේදී සඳහන් කළේය.

    කාන්තාවන්ට විශාල සංවිධාන ශක්තියක් ග්‍රාමිය මට්ටමේ සිට පවතින බවත්,කාන්තාවන් දේශපාලනීකරණය නොවීම සංස්කෘතික ප්‍රශ්නයක් බවත් කාරක සභාවේදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

    දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය  දැනුවත් කිරීම් සිදු කිරීම සඳහා සිවිල් සංවිධානවලට විශාල කාර්‍යභාරයක් ඉටුකළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර මහතා කාරක සභාවේදී කීවේය.

    පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ දැනට පවතින සියයට 25 ක් කෝටාව ස්ථාවරව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බව කාරක සභාවේදී අදහස් දැක් වූ කාන්තා දේශපාලන පීඨයේ ප්‍රධානී නීතිඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

    කාන්තාවන්ට නායකත්ව පුහුණුව ලබා දීම වෙනුවෙන් දේශපාලන පක්ෂ කටයුතු කළ යුතු බවත්, පාර්ලිමේන්තුව සහ පළාත් සභා තුළ කාන්තා නියෝජනය සියයට 30 දක්වා ඉහළ නැංවිය යුතු බවත් ඇය මෙහිදී යෝජනා කළාය. ජාතික ලැයිස්තුවෙන් සියයට 30ක් කාන්තාවන්ට ලැබෙන පරිදි නව ක්‍රමවේදයක් සැකසිය යුතු බවද නිමල්කා ප්‍රනාන්දු මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

    පෞද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන්ට ද තැපැල් ජන්දය භාවිත කළ හැකි වන පරිදි නව ක්‍රමවේදයක් සැකසිය යුතු බව කාරක සභාව හමුවේ අදහස් දැක් වූ වීල් සමාජය පැවසීය.

    මැතිවරණ වියදම අවම කිරීම කෙරෙහි නව ප්‍රතිසංස්කරණ වලදී විශේෂ අවධානයක් යොමු විය යුතු බවත්, මැතිවරණ වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍ය වෙනුවෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසිය යුතු බවත් කාරක සභාව හමුවේ අදහස් දැක් වූ යෙහෙළිය පදනම සඳහන් කළේය.

    මැතිවරණ වලට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම අත්‍යාවශ්‍ය බව ගංගොඩවිල එක්සත් සමාජ සේවා කාන්තා සමාජය කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් අවධාරණය කළේය.

    මෙම කාරක සභා රැස්වීමේදී කාන්තා සංවිධාන 05 ක් සිය යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

    එමෙන්ම මීළඟ කාරක සභා රැස්වීම අගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය පැවසුවාය.

    මෙම කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්‍ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, කබීර් හෂීම්,  රංජිත් මද්දුම බණ්ඩාර, එම්.ඒ.සුමන්තිරන්, මනෝ ගනේෂන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම්, යන මහත්වරුද සහභාගි වූහ.

    මේ අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද සභභාගී වූහ.

  • දරුවන්ගේ ආරක්ෂාව ගම් මට්ටමින් ශක්තිමත් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    දරුවන්ගේ ආරක්ෂාව ගම් මට්ටමින් ශක්තිමත් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන්ය. මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතුය. යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ළමා හා කාන්තා සංවර්ධනය සඳහා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂ අවධානය යොමු කර තිබේ. එය යථාර්තයක් බවට පත් කරගැනීමට වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ද ස්ථාපිත කෙරිණ.

    ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට රාජ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ ඇගයීමට ලක්කළ ජනාධිපතිවරයා වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා කර ඇති පර්යේෂණය අධ්‍යයනය කර, නාගරිකව හා ග්‍රාමීයව එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පෙන්වා දුන්නේය.

    අනිවාර්යය කර ඇති පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලු දරුවන් යොමු කරවීමත්, ළමුන් පාසල් නොයැවීමට හේතු සොයා ඊට පිළියම් යෙදීමත් ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. සියලු ආගම්වලට අයත් ළමුන් දහම් පාසල් වෙත යොමු කිරීමෙන් ලැබෙන අධ්‍යාත්මික ගුණ වගාව තුළින් දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැකි බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදා ගත යුතු අතර ඊට සමගාමීව ඔවුන් ඒ සඳහා පෙළඹීමට බලපෑ සාධක අධ්‍යයනය කර පිළියම් දීමේ අවශ්‍යතාව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.සේවා ස්ථාන වශයෙන් ගෙන කාන්තා හිංසනය පිළිබඳව දැනුවත් කිරීම, මව්වරුන් විදේශගත පවුල්වල දරුවන් පිළිබඳ විශේෂ සැලකිල්ලට ලක්කිරීම, හිංසනයට ලක්විය හැකි බවට සැක සහිත පවුල්වල දරුවන් පිළිබඳ පෙර හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය එළිදැක්වීමට අවශ්‍ය සියලු කටයුතු නිම වෙමින් පවතින බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සීමට ලක් වී මිය ගිය දැරිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත්, සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදාකර දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

    ළමා හා ස්ත්‍රී අපයෝජන වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ඒ හා සම්බන්ධ අධිකරණ කටයුතු කඩිනම් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව  ද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතනවල කාර්ය සාධනය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබීය.

  • වාර්තාගත කොවිඩ් මරණ සංඛ්‍යාවක් – ආසාදිතයින් අඛණ්ඩව ඉහළට

    වාර්තාගත කොවිඩ් මරණ සංඛ්‍යාවක් – ආසාදිතයින් අඛණ්ඩව ඉහළට

    කොවිඩ් ආසාදිතවූ තවත් 82දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.

    ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 41 දෙනෙක් සහ කාන්තාවෝ 41 දෙනෙක් වෙති. මියගිය අයගෙන් 60 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 22 දෙනෙක්ද වෙති.

    මේ අතර කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 2543 දෙනකු අද (04) දින හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.