Author: Editor

  • ලෝකයට ආදර්ශයක් දුන් රටවල් හතරකට ‘කොවිඩ් මර්දන සීමා ඉවත්කළ පසු‘ සිදුවූ දේ මෙන්න !

    ලෝකයට ආදර්ශයක් දුන් රටවල් හතරකට ‘කොවිඩ් මර්දන සීමා ඉවත්කළ පසු‘ සිදුවූ දේ මෙන්න !

    ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා සහ මරණ සංඛ්‍යාව ගැන බරපතළ විවේචන පැවතින අතරතුර වඩාත් බිහිසුණු බව කියන (සැර) ඩෙල්ටා ප්‍රභේදය ද ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ අතර සංචරණ සීමා ලිහිල් කිරීම ඇතුළු පියවර රැසකට ආණ්ඩුව යොමු වෙමින් තිබෙන අතර වසංගතයෙන් ආරක්ෂා වීමේ ‘වගකීම‘ ජනතාව වෙත පැවරීමට බලධාරීන් සුපුරුදු ලෙස පියවර ගෙන තිබෙනවා. ඔවුන් කියන්නේ ‘ජනතාව සැලකිලිමත් වුණොත්, ආරක්ෂා වුණොත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පියවර ගතහොත් වංසගතය සමග ජීවත් වීම“ පහසු වනු ඇති බවයි.

    එහෙත් පොදු ප්‍රවාහන සේවා ඇතුළු සාමාන්‍ය ජනතාව දෛනිකව ගැටෙන පද්ධති තුළ බලධාරීන් කියන ‘මාර්ගෝපදේශ‘ කිසිසේත් පිළිපැදිය නොහැකි බව යථාර්ථයයි. මේ තත්ත්වය ගැන කිසිම අවධානයක් යොමු නොකරන සෞඛ්‍ය බලධාරීන් ‘රට යළි නිදහස් කිරීම‘ ගැන පුරසාරම් දොඩවන්නේ ‘එන්නත්කරණය‘ පුළුල්ව සිදුවන බව ද ප්‍රකාශ කරමින්.

    එහෙත් එන්නත්කරණය උපරිමයෙන් සිදු වූ, ආරම්භක යුගයේදී කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් ලෝකයට ආදර්ශයක් වූ රාජ්‍ය ‘ලිහිල්කරණය‘ හමුවේ යළිත් වසංගත අවධානමට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සාක්ෂි සහිතව වාර්තා කරනවා.

    ජාත්‍යන්තර ප්‍රවණතා තම ‘වාසියට‘ පමණක් අර්ථකථනය කරමින් ඒවාට සාවද්‍ය වටිනාකම් දෙන බලධාරීන් අද ඊශ්‍රායලය, නෙදර්ලන්තය, දකුණු කොරියාව සහ ඔස්ට්‍රේලියාව මුහුණ දෙමින් සිටින තත්ත්වය ගැන නිසි අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

    මේ ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විමර්ශනාත්මක වාර්තාවක්…

    කොරෝනා වසංගතය විසින් ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත බිලිගැනීම හේතුවෙන් වරින්වර විවිධ සීමාවන් පැනවූ බොහෝ රටවල් පසුව සමාජ දුරස්ථභාවය, සංචරණ සීමා සහ මුඛ ආවරණ පැළඳීම ඇතුළු සියලු සීමාවන් ඉවත් කළහ.

    එහෙත් ශීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය මතුවීමත් සමඟ එසේ ඉවත්කරනු ලැබූ පියවර යළි හඳුන්වාදීමට ඇතැම් රටවල් පියවර ගෙන තිබේ.

    පහත දැක්වෙන්නේ එවැනි රටවල හතරක මතු වූ තත්වය ගැන සංක්ෂිප්ත වාර්තාවකි.

    ඊශ්‍රායලය

    එන්නත්කරණ ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටි ඊශ්‍රායලය, එන්නත්කරණය සාර්ථකවීමත් සමඟ පසුගිය පෙබරවාරි මාසයේ ක්‍රමයෙන් සීමාවන් ඉවත් කිරීමට පියවර ගත්තේය.

    ජුනි මාසය වනවිට ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමත් සමඟ මුඛ ආවරණ පැළඳීම පවා අත්හළ ඊශ්‍රායල වැසියෝ, සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ සමාන්‍ය දිවි පෙවෙත යළි ආරම්භ කළහ.

    Israel reopened bars and restaurants in March
    පසුගිය මාර්තු මාසයේ සිට ඊශ්‍රායලයේ තැබෑරුම් සහ ආපනශාලා විවෘත කිරීමට අවසර ලැබිණ

    එහෙත් එවක් පටන් රටේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළයාමට පටන්ගත්තේය. මාස හතරක් තුළ වැඩිම ආසාදිතයන් පිරිස පසුගිය අඟහරුවාදා වාර්තා වූ නමුත් බලධාරීන් පවසන්නේ, රෝහල්ගත්කෙරෙන සහ අසාධ්‍ය තත්වයට පත්වන පිරිස සාපේක්ෂව ඉතා අඩු බවය.

    කෙසේ වුවත් ආසාදිතයන් ඉහළයාම හමුවේ ඇතැම් සීමා යළි පැනවීමට අගමැති නෆ්ටාලි බෙනට්ගේ නව ආණ්ඩුව පියවර ගෙන තිබේ.

    ජනතාව කොවිඩ් රෝගය සමඟ ජීවත්වීමට හුරුවිය යුතු බව පවසන ආණ්ඩුව, ගොඩනැගිලි තුළ පවා මුඛ ආවරණ පැළඳීය යුතු බවත් දැන් නිර්දේශ කරයි.

    නෙදර්ලන්තය

    රටවැසියන් වැඩි, වැඩියෙන් එන්නත ලබාගැනීමත්, ආසාදිතයන් සංඛ්‍යාව පහළ යාමත් හමුවේ, නෙදර්ලන්තය ජුනි මාසය අගභාගයේ බොහෝ සීමා ඉවත් කළේය.

    සියලුම ස්ථානවලට පාහේ මුඛ ආවරණ පැළඳීම ද අවශ්‍ය නොවන බව තීරණය කළ ආණ්ඩුව, යළි සුපුරුදු ජීවන රටාව අරඹන මෙන් තරුණ පරපුර ද දිරිමත් කළේය.

    The Netherlands has been forced to backtrack on its easing
    සීමා ඉවත්කිරීමේ පියවර ආපසු හැරවීමට නෙදර්ලන්තයට බල කෙරිණ

    එහෙත් ඒ සමඟම ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගිය නමුත් රෝහල්ගත කිරීමේ වර්ධනයක් දක්නට නොලැබිණ.

    විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගෙන් එල්ල වූ කර්කශ විවේචන හමුවේ, මුලින් නිවේදනය කළ සියලු පියවර ආපසු හැරවීමට අගමැති මාර්ක් රටී ගේ ආණ්ඩුවට සිදුවිය.

    ඒ අනුව සීමා ඉවත්කිරීමෙන් සති කිහිපයකට පසුව, පසුගිය සිකුරාදා සිට නෙදර්ලන්තයේ බොහෝ සීමා යළි පනවනු ලැබ තිබේ.

    සිය “වැරදි තීන්දුව” ගැන අගමැති මාර්ක් රටී (Mark Rutty) සමාව ඉල්ලා සිටි අතර, අලුතෙන් පනවන ලද සීමාවන් අගෝස්තු 13 වෙනි දින දක්වා බලපැවැත්වෙන බව ආණ්ඩුවේ නිල වෙබ් අඩවිය පවසයි.

    දකුණු කොරියාව

    කොවිඩ්-19 රෝගය පාලනය කිරීම සම්බන්ධ ආදර්ශමත් රටක් ලෙසින් දකුණු කොරියාව ලොව පුරා ප්‍රසාදයට පත්විය.

    ඒ අනුව සීමාවන් ඉවත්කරමින් සුපුරුදු ජනජීවිතයට පිවිසුණ පළමු නැගෙනහිර ආසියානු රටක් බවට පත්වෙමින් දකුණු කොරියාව, එන්නත් ලබාගත් පුද්ගලයන්ට මුඛ ආවරණවලින් තොරව නිදහසේ හැසිරීමට සහ කුඩා පිරිසකට මුණගැසීමට පසුගිය ජුනි මාසයේ අවසර දුන් අතර, ආපනශාලා විවෘත කිරීමේ වේලාවන් ද ලිහිල් කළේය.

    South Koreans have been asked to wear masks again
    යළි මුඛ ආවරණ පළඳින මෙන් දකුණු කොරියාවේ ආණ්ඩුව ජනතාවට උපදෙස් දුන්නේය

    එහෙත් විශේෂයෙන්ම රටෙන් වැඩි පිරිසක් එන්නත ලබා නොමැති තත්වය තුළ, ආණ්ඩුව නිසි කලට පෙරාතුව සීමා ලිහිල් කරන බවට විශේෂඥයෝ අනතුරු ඇඟවූහ.

    දැන් දකුණු කොරියාව එරටට බලපෑ දරුණුම කොවිඩ් වසංගතයට මුහුණ දී සිටී.

    ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙසින් ඉහළයාමත් සමඟ රට පුරාම බොහෝ සීමාවන් යළි පැනවීමට ආණ්ඩුවට සිදුවිය.

    ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරයාමත්, එන්නත ලබාදීමේ වේගය අඩාල වීමත් හමුවේ, වසංගතයට මුහුණදීමේ ආණ්ඩුවේ හැකියාව පිළිබඳ ජනතා විශ්වාසය දැඩිව බිඳ වැටී තිබේ.

    ඔස්ට්‍රේලියාව

    ලොව පුරා බොහෝ රටවල දැඩි සීමා පැනවෙද්දී, පසුගිය වසරේ වැඩි කාලයක් ඕස්ට්‍රේලියානු වාසීන් ගතකළේ එවැනි සීමාවලින් තොරවය.

    නිරන්තරයෙන් කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ දින පැවති බැවින් මුඛ ආවරණ පවා අත්‍යවශ්‍ය නොවීය.

    කිසියම් ප්‍රදේශයක කොරෝනාවෛරසය පැතිරෙන බව වාර්තා වූ වහාම බලධාරීහු එම ප්‍රදේශය ලොක්ඩවුන් කළහ. උදාහරණයක් ලෙස, එක් ආසාදිතයෙක් වාර්තාවීමත් සමඟ පසුගිය ජනවාරි මාසයේ පර්ත් නගරය දින පහකට වසා දැමිණ.

    එහෙත් පසුගිය ජුනි මාසයේ ඩෙල්ටා ප්‍රභේදය සිඩ්නි පළාතේ පැතිරයාමත් සමඟ, රටේ විශාලම නගරය යළිත් ලොක්ඩවුන් කිරීමට ආණ්ඩුවට සිදුවිය. එය ජුලි මාසය අග දක්වාවත් පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.

    ලොක්ඩවුන් කාලය තුළ පවා වෛරසය වේගයෙන් පැතිරයාම හේතුවෙන් පැනවූ සීමා තවත් දැඩි කිරීමට ආණ්ඩුවට සිදුවිය.

    විශේෂයෙන්ම රටේ ජනගහනයෙන් 90% කට වැඩි පිරිසකට එන්නත නොලැබීම හමුවේ, සාමාන්‍ය ජනජීවිතය යළි ඇරඹීමට තවත් කලක් ගතවනු ඇති බව බලධාරීහු පවසති.

    ජූලි 15 වැනි දින බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – ශීර්ෂපාඨය වෙනස්කර ඇත.

  • ’20 න් තටු කැපූ මැතිවරණ කොමිසම කැමැත්තෙන්ම පඹයෙකු බවට පත්වෙමින් සිටිනවා’

    ’20 න් තටු කැපූ මැතිවරණ කොමිසම කැමැත්තෙන්ම පඹයෙකු බවට පත්වෙමින් සිටිනවා’

    මැතිවරණ කොමිෂම සහ එහි කාර්යභාරය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමාජමාධ්‍ය උපයෝගී කර ගනිමින් අනිසි බලපෑම් කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇති බව ප්‍රකාශ කරමින් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය ජූලි 16 වැනිදා නිකුත් කළ නිවේදනයට හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් පිළිතුරු සපයමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ තත්ත්වය ගැන නිවැරදි – සමබර සහ නිරවුල් අවබෝධයක් අප පාඨකයින් වෙත ලබාදීම සදහා අප එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය සහ අදාළ ඇමුණුම් මේ සමග ඉදිරිපත් කරනවා. ඒ හරහා ඔබට විශ්වාසනීය තොරතුරු ලබාගත හැකි බව අපගේ විශ්වාසයයි – ප්‍රධාන සංස්කාරක

    මැතිවරණ කොමිෂන් සභාව විසින්  ˝දේශපාලන පක්ෂ, සංවිධාන හා පුද්ගලයන් විසින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් කරනු ලැබූ ප්‍රකාශ පිළිබඳ ˝ නිවේදනයක් 2021 ජූලි 16 දින නිකුත් කර ඇත. කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ  ˝පරිපාලන කටයුතු සම්බන්ධව අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ˝ ඒවායේ පළ කර ඇති බවයි.

    මැතිවරණ කොමිසම වටින් පිටින් මේ කියන්නේ ˝කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකු මාරු කිරීම හා පිළිගත් ක්‍රමවේදයට පිටින් පිරිසක් බඳවා ගැනීම˝ පිළිබඳව මම ත්, කරූ ජයසූරිය මහතාත් පළ කළ අදහස් පිළිබඳව ය. 2021 ජූලි 7 සහ 15 දිනවල මම මේ ගැන අදහස් දැක්වීමි.   හිටපු කථානායක හා ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ජූලි 11 දින සාධාරණ සමාජයක් සඳහා වු ව්‍යාපාරයේ පුවත්පත් සාකච්ඡාවේ දී මේ ගැන අදහස් දක්වා තිබුණි.    

    අපගේ අදහස්, ප්‍රකාශ හා ඉල්ලීම් ගැන මැතිවරණ කොමිසම දැඩි කැලඹීමට හා කෝපයට පත්ව නිවේදනය නිකුත් කර ඇත. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා පුද්ගලයින් විවේචනය කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට ය.

    එහි පහත කරුණු 6 දැක්වේ.  

    1.      නිදහස් හා සාධාරණ මැතිවරණ ගැන කොමිසම කරනු ලැබූ කාර්යයන් හා ප්‍රයත්නයන් ගැන (කීර්ති)  නිහඬව සිටී.

    2.      (කීර්ති) ස්වකීය දේශපාලන හා පටු අරමුණු උදෙසා ස්වාධීන කොමිෂන් සභා යොදා ගනී.

    3.      ජනතාව විසින් ගොඩ නගා ගත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් දුර්වල කිරීම හා ජනතා විශ්වාසය බිඳ දැමීමට (කීර්ති) ප්‍රයන්ත දරයි.  

    4.      (කීර්ති විසින් මතුකළ)  ස්ථාන මාරුවීම් ගැන ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමට හැකියාවක් ඇති නමුත්, එසේ කිරීම සදාචාරාත්මක නොවන බැවින් කොමිසම එය නොකරයි. අවශ්‍ය අයට කොමසාරිස් ජෙනරාල් අමතා එම තොරතුරු දැනගත හැකිය.

    5.      පසුගිය කාල වකවානුවල කොමිෂන් සභා අවශ්‍ය නොවන බවට ජනමතයක් ගොඩනැංවීමට තරම් පසුගිය කොමිෂන් සභාවල ඇති වූ බලපෑම හේතු විය.  දැන් ඒවා ගැන කථා කිරීම යම් පාර්ශවයකට අගතියක් හෝ තවත් පාර්ශවයකට ප්‍රවර්ධනයක් වන්නේය.

    6.      විවේචන අගයන නමුත් (කීර්ති ගේ හා කරු ජයසූරියගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ) ඕනෑ එපාකම්වලට නතුවීමට කොමිසම සුදානම් නැත.  

    නිවේදනය මාගේ පුවත්පත් නිවේදනය ගැන බැවින්, ඉහත අදහස් හා තර්ජන 6 ට පැහැදිලි පිළිතුරු ලබාදීම මාගේ වගකීමකි.

    1.      17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහි කළ, 19 සංශෝධනයෙන් පසු ක්‍රියාත්මක වූ ˝මැතිවරණ කොමිසම˝ සහ 20 මගින් අඩු කඩා දමා ඇති කොමිසම එකක් නොව දෙකකි.  20 සංශෝධනය මගින් පාර්ලිමේන්තුව සතු බලතල, විධායකය විසින් උදුරා ගැනීම නිසා බිහිවී ඇත්තේ ˝තටු කැපූ කොමිසම˝ කි. ඒ කොමිසම දැනට ක්‍රියාත්මක වෙමින් තිබූ  තරුණ, කාන්තා, ඡන්දදායකයින් දැනුවත් කිරීම, ඡන්දදායකයින්ගේ දිනය සැමරීම, සිවිල් සංවිධාන වැඩසටහන්, ප්‍රජා කණ්ඩායම් වැඩසටහන් පවා නවතා දමා ඇත. 

    2020 මහා මැතිවරණයේ, ජනාධිපතිවරණයේ ප්‍රධාන පැමිණිලි සම්බන්ධයෙන් වන සියළු පසු විපරම් නවතා දමා ඇත.

    පසුගිය මැතිවරණ තුන සම්බන්ධයෙන්ම (පලාත් පාලන, ජනාධිපතිවරණ, මහා මැතිවරණ) වාර්තා නිකුත් කර නැත. පසු විපරම් හා උගත් පාඩම් රැස්වීම් පවත්වා ද නැත. පක්ෂ නායක, නිත්‍ය නියෝජිත, මැතිවරණ නිරීක්ෂක රැස්වීම් පවත්වා ද නැත.

    (පසුගිය කොමිසම විසින් කෙටුම්පත් කළ) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය සඳහා වූ කෙටුම්පත වත්මන් කොමිසම, නියමිත පරිදි තාක්ෂණික දෝෂ සකස් කිරීමකින් තොරව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට, න්‍යාය පත්‍රයට ඇතුලත් කරනු ලැබීය. ජූලි 6 දින පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමට තිබූ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැකි බව දක්වමින් ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ආණ්ඩු පක්ෂ කාර්යාලය ආපසු එවා තිබුණි. වත්මන් කොමිසමේ කාර්යයන් හා ප්‍රයත්නයන් ඒ ආකාරය.   

    පසුගිය මාස 7 ට නව කොමිෂන් සභාව කළ සාධනීය කාර්යයන් පිළිබඳ කිසිදු සටහනක් ඔවුන්ගේ වෙබ් අඩවියේ, සමාජ මාධ්‍යයේ හෝ පුවත්පත් නිවේදනවල හමුවන්නේ ද නැත.  එබැවින්, කියන්නට එකම හොඳක් හෝ මා නම් දන්නේ ද නැත.    

    2.      අද වන විට මම කිසිදු දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක සාමාජිකයෙකු නොවෙමි. මා හට ˝පටු අරමුණ˝ ක් ඇතැයි නිවේදනය කියයි.  එය කුමක්දැයි නොකියයි.  මේ ˝පටු අරමුණ˝ පුරවැසියාට පැහැදිලි කිරීම නිවේදනය ලියූ පුද්ගලයාගේ වගකීමකි. 

    3.      ජනතාව විසින් ගොඩනගා ගත් ˝ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය˝17  වන හා 19 වන ව්‍යවස්ථා සංශෝධන යි.  කරු ජයසූරිය ‘ස්වාධීන කොමිසන් සභා‘ අදහස විධිමත්ව ඉදිරිපත් කළ ප්‍රමුඛ දේශපාලනඥයා ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පදනම් වූ ˝සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ˝ පළමු 12 වැදෑරුම් ප්‍රතිපත්තිය ද, දෙවන 10 වැදෑරුම් ප්‍රකාශනය ද ලිව්වේ මා ද ඇතුලත් කමිටුවකිනි. එහි කෙටුම්පත සකස් කළේ මගේ අතින් මාගේ පරිගණකයේ ය.   ජනතාව විසින් ගොඩනගා ගත් 17 හා 19 ව්‍යවස්ථා සංශෝධනයන් මගින් බිහි වූ  ˝ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ˝ මළගම 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි.  එයට සම්බන්ධ වූ කිසිදු පක්ෂයකට, සංවිධානයකට මාගේ කිසිදු සම්බන්ධතාවක් නැත. අපට අලුතෙන් බිඳ දැමීමට තරම් ජනතා විශ්වාසයක් 20 වන සංශෝධනය විසින් මැතිවරණ කොමිසමට තබා අනෙකුත් කිසිදු කොමිසමකට ඉතිරි කොට නැත. අවශ්‍ය නම්, මැතිවරණ කොමිසමට ඒ බිඳවැටුණු විශ්වාසය ක්‍රියාවෙන් නැවත ගොඩ නංවා ගත හැකිය.

    4.      //ස්ථාන මාරුවීම් ගැන ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමට හැකියාවක් ඇති නමුත් එසේ කිරීම සදාචාරාත්මක නොවන බැවින්//  යැයි නිවේදනයේ දැක්වේ.  එක් ජනාධිපතිවරයෙක් වරක් ˝මගේ ලඟ ඔබ කාගෙත් ෆයිල් තියෙනවා.  හැබැයි එළියට දාන්නේ නෑ˝ යැයි සිදු කළ ප්‍රකාශය, නිවේදනයේ වචන හා අර්ථ සම වේ.  මේ කථා කරන්නේ පසුගිය මාස 7 තුල ස්ථාන මාරුවීම් සිදු කළ ටී. හෙන්ස්මන්, සුරංග රණසිංහ, නාලක රත්නායක, ධරණී වීරසේකර, රාජේන්ද්‍රන් සසීලන්, තිලිණ වික්‍රමරත්න, දිලිප් ගම්ලත්, නාමල් තලංගම, ගයාන් පතිරණ, පරිපාලන නිලධාරි ජේ.යු. ප්‍රියනාත්, ගණකාධිකාරි තිලක් කුමාර, ශානික රූපසිංහ, රිසාන් මන්සිල්, බන්දුල රණතුංග, සහ පී.ආර්.බී.සුමංගලී යන අය 15 දෙනා සම්බන්ධයෙනි.  ඔවුන් සියළු දෙනා රාජකාරි මට්ටමින් මා දන්නා අයයි.  නිවේදනය ඉගි කරන ආකාරයේ ප්‍රසිද්ධියේ කථා කළ නොහැකි වරදක්, දුෂණයක්, අගතියක් නිලධාරි සිදු කර ඇතැයි මම නොදන්නෙමි.  එසේ කර ඇති නම් ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගත යුතුය.  එසේ නොමැතිව ˝මගේ ලඟ ෆයිල් තියෙනවා. ආවොත් පෙන්නන්නම්˝ කතා පළක් නැත.  ස්ථාන මාරුවී ගිය නිලධාරීන් 15 දෙනා තමාගේ ˝සදාචාරාත්මක නොවන කරුණු˝ මොනවාදැයි  පැහැදිලි කර ගත යුතුය.         

    5.      //පසුගිය කාල වකවානුවල කොමිෂන් සභා අවශ්‍ය නොවන බවට ජනමතයක් ගොඩනැංවීමට තරම් පසුගිය කොමිෂන් සභාවල ඇති වූ බලපෑම හේතු වූ බව// නිවේදනයේ දැක්වේ. මහින්ද දේශප්‍රිය හා නිමල් පුංචිහේවා කොමිෂන් සභා දෙකේම කොමසාරිස් ජෙනරාල්වරයා සමන් ශ්‍රී රත්නායක ම ය. ඔහු නිවේදනයක් මගින් ලිඛිතව හා පැහැදිලිව පවසන්නේ පසුගිය (මහින්ද දේශප්‍රියගේ )  කොමිෂන් සභාවට බලපෑම් එල්ල වූ බව ය.  ඒ බලපැම් කොමිෂන් සභා එපා යැයි කියා ජනමතයක් ගොඩනැගීමට තරම් ප්‍රබල වූ බවය.  මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් හෝ කැක්කුමක් ඇති අයෙකු ඔය කියන බලපෑම් කාගෙන්?, කාට?,කොතැනදී? කෙලෙස? කවදා? එල්ලවූවාදැයි යන්න හෙළිකළ යුතුය.  මැතිවරණ කොමිසමට නිල වශයෙන් බලපෑමක් කළ හැක්කේ ජනාධිපති, අගමැති හෝ කථානායකට පමණී. බලපෑම් කළ ජනාධිපති, අගමැති, කථානායක කවුදැයි කොමසාරිස් ජෙනරාල් රටට කිව යුතුය. දේශපාලන පක්ෂයක් හෝ පාතාල/මැර/විදේශ කණ්ඩායමක් බලපෑම් කරන්නේ නම් එය ද ප්‍රසිද්ධියේ කිව යුතුය. මැතිවරණ කොමිසමට කරන මේ බලපෑම් මොනවාදැයි සොයා බැලීමට දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය යුහුසුළු විය යුතුය.  

    නිවේදනයේ කියන පරිදි, මැතිවරණ කොමිසමට එල්ල කළ බලපෑම් හෙළිදරව් වීමෙන් අගතියට පත් වන්නේ කවුද? ප්‍රවර්ධනය වන්නේ කවුදැයි? රටට වැදගත් වන්නේ නැත. ˝මම කතාව දන්නවා. කියන්නේ නෑ˝ යැයි නිල නිවේදනයක ඇතුලත් කරමින් වහසි බස් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති ක්‍රියාවෙහි යෙදවීම පැවරී ඇති කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් ය.  ‘බලපෑම් තියෙනවා. කියන්නේ නෑ.‘ මේ මොන ලැජ්ජා නැති වැඩක් ද? 

    6.      කොමිසම අපගේ හෝ කාගේ හෝ උවමනා එපාකම්වලට නතුවිය යුතු නැත. නමුත්, එහි වෙබ් අඩවියේ අගයන් එනම්,  1. අවංකබව (සෘජු බව) 2. පාරදෘෂ්‍ය භාවය 3. විවෘතභාවය 4. කැපවීම 5. වගකීමට ඇති බැඳීම 6. වගවීම  7. අපක්ෂපාතීභාවය  8.  කණ්ඩායම් හැඟීම හා එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම කොමිසමේ වගකීමකි. නැතිනම්, ක්‍රියාවෙන් මේ අගයන් නැති ආයතනයක් බවට කොමිසම පත්වන්නේය.

    වත්මන් කොමිසම, අවංක (සෘජු බව) නැත.  පක්ෂ නායක රැස්වීම, නීත්‍ය නියෝජිතයින්ගේ රැස්වීම, මැතිවරණ නිරීක්ෂකයින්ගේ රැස්වීම තබා සහකාර කොමසාරිවරුන්ට ප්‍රශ්න කථා කරන්නට රැස්වීමක් නොදෙන්නේ ඒ නිසාය.

    වත්මන් කොමිසම, පාරදෘෂ්‍ය භාවයක්, විවෘත භාවයක්, වගවීමක් පෙන්නුම් කරන්නේනැත.  මාරුවීම් ගැන ˝හේතු තියෙනවා. එළිපිට කියන්නේ නෑ.  කතා කළොත් ෆයිල් එක අදින්නම්˝ කියන්නේ ඒ නිසාය.

    වත්මන් කොමිසම, අපක්ෂපාතීභාවයක් පෙන්නුම් කරන්නේ ද නැත.  ලිපි ගොනු අරගෙන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සවසට දේශපාලනඥයින්ගේ නිවෙස්වලට රිංගන්නේ ඒ නිසාය.

    වත්මන් කොමිසම, අතුරලියේ රතන හිමි සහ බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අධි වේගයෙන් ගැසට් ගැසුවේය.  ඒ කාර්යක්ෂමතාව ‘නිදහස් හා සාධාරණ මැතිවරණ‘ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ද යෙදවිය යුතුව ඇත.  කොමිසමට විශ්වාසයක් ගොඩ නගා ගත හැක්කේ එමගින්ම පමණී.

    රජිත් කීර්ති තෙන්නකෝන් – හිටපු ආණ්ඩුකාර

    ඇමුණුම්

    මැතිවරණ කොමිෂන් සභාවේ නිවේදනය – https://www.facebook.com/SriLankaElectionCommission/photos/a.675555132581200/2221929807943717/

    කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදන – https://www.facebook.com/Keerthi.tennakoon/posts/10223208133205185

    https://www.facebook.com/Keerthi.tennakoon/posts/10223187774696235

    සාධාරණ සමාජයක් සඳහා වු ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ගේ ප්‍රකාශයhttps://www.facebook.com/lankaenews/posts/4417748501623614

  • නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

    නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

    ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු පත්වීම් ලිපිය පසුගිය ජූලි 16 වැනිදා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී තිබෙනවා..

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වූ දුමින්ද සිල්වා මහතා ජනපති සමාව යටතේ පසුගිය 25 වැනිදා නිදහස් වුණා.

    එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි දුමින්ද සිල්වා මහතා පසුව මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වුණා. භාරත ලක්ෂ්මන් ඝාතනයට පෙර ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කළා.

  • දැන් මක්කටයි හතිලන්න නතර වන්නේ ?

    දැන් මක්කටයි හතිලන්න නතර වන්නේ ?

    ගුරු සංගම් නායකයින් සහ විශේෂයෙන් ගුරුවරුන් තේරුම් ගත යුතු වැදගත්  කාරණාවක් ඇත. ආණ්ඩුව පසු බැස්සේ මාර්ග ගත ඉගැන්වීම් වර්ජනයට බහුතර ගුරු සංඛ්‍යාවක් හවුල් වූ නිසාම නොවේ. ආණ්ඩුව පසු බැස්සේ (1) ගුරු සංගම් හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් බලහත්කාර ලෙස අනීතික නිරෝධායනයකට ලක් කිරීම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉතා නිර්ලජ්ජී ලෙස විවෘතව මර්දනය කිරීමක් යැයි ඊට එරෙහිව සමාජය හමුවේ ඉතා පුළුල් ආණ්ඩු විරෝධයක් මතුවීමත් (2) එයට විදේශ වෘත්තීය සමිති සම්මේලන හා මානව හිමිකම් සංවිධාන සහාය දෙමින් ආණ්ඩුවට ඒ බැව් දැන්වීමත් නිසාය. 

    එවැනි ජාත්‍යන්තර විරෝධයක් සමග ලංකාවට 2012 දී නැවත ලැබුණු යුරෝපා ජී.එස්.පී අධිසහන සඳහා වන සම්මුතීන් මත දෙනු ලබන වෙළඳ වාසි දැනටත් ප්‍රශ්න කරන යුරෝපා සංගමය, ඒවා අහෝසි කිරීමට මේ මර්දනය හේතුවන්නට ඉඩ ඇති බැවින්ය.

    එහෙත් මේ මොහොතේ ආණ්ඩුව එළෙස පසු බැසීම, තම යුක්ති සහගත ඉල්ලීම් ලබා ගැනීමට වාසිදායක ලෙස යොදා ගන්නේ කෙසේදැයි ගුරු සේවාවේ නායකයින් ගණන් බැලිය යුත්තකි. ඒ සඳහා වැදගත්ම සාධකය දෙමපියන් ඇතුළු සමාජ සහාය දිනා ගැනීමය.

    මාර්ග ගත ඉගැන්වීම සතු අගතීන් ඒ වෙනුවෙන් විවෘතව සමාජය හමුවේ තැබිය යුතුය.

    1. මාර්ග ගත ඉගෙනීම සඳහා අති බහුතරයකට, අවශ්‍ය මූලික සේවා හා පහසුකම් නොමැතිවීම සහ මාසිකව, නොකඩවා ඒවා සපයා ගැනීමට දෙමාපියන්ට ඇති නොහැකියාව

    2. මාර්ග ගත ඉගැන්වීමට පංතිකාමරයේ ඉගැන්වීමට වඩා බෙහෙවින් වෙනස් ඉගැන්වීමේ ක්‍රම භාවිත විය යුතු අතර, ඒ සඳහා අලුතින් ගුරු අත්පොත් ලිවිය යුතු වීම

    3. එවගේම මාර්ග ගත ඉගැන්වීම් ක්‍රම හඳුන්වා දීමක් හා ඒ සඳහා පුහුණුවක් ගුරුවරුන්ට ලබා දී නොමැති වීම

    4.  පසුගිය වසරේත් මේ වසරේ අඩකුත් කෙරුණු අසාර්ථක, නාම මාත්‍රික ඉගැන්වීම් හෝ සියල්ලන්ට නොකෙරුණු හෙයින් 2022 හා 2023 දක්වා විෂය මාලා සංශෝධනය විය යුතුව තිබීම

    5. මාර්ග ගත ඉගැන්වීමට ගුරුවරුන්ද දෛනිකව අමතර වියදමක් මාසය පුරා දැරිය යුතු අතර එය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දැරිය යුතුවීම

    වැනි කාරණා සමාජයේ විවෘතව කතා කළ යුතු අතර, ඒවාට ගුරුවර ගුරුවරියන් සක්‍රීයව හවුල් වීම අනිවාර්ය වන්නකි. තම පාසලේ ළමුන්ගේ දෙමාපියන් ඒ සංවාදයට හවුල් කර ගැනීම අනිවාර්ය වන්නකි.

    මේ කතාව සමාජයේ ආරම්භ කළ යුතු මූලිකම පදනම විය යුත්තේ, අතිකාල සේවය සඳහා අතිකාල වැටුපක් අනිවාර්ය සහ බාහිර ගමන් සඳහා කිසිදු ගෙවීමක් නොලබන එකම රජයේ සේවකයා ගුරුවරයා බැව් ආණ්ඩුවටත් දෙමාපියන්ටත් මතක් කිරීමෙනි. 

    • පාසලේ බාහිර කටයුතු සඳහා ගුරුවරුන් සහභාගි විය යුතු නමුත් ඒ සඳහා කිසිදු ගෙවීමක් ගුරුවරුන් ලබන්නේ නැත. අභාග්‍ය එවැනි දේ සඳහා අතින් වියදම් කරන්නට වීමය.
    • අමතර අධ්‍යාපනික හා ක්‍රීඩා කටයුතු සඳහා ළමුන් රැගෙන පාසලෙන් බැහැරව යාමට ගුරුවරුන්ට සිදුවන නමුත් වෙනත් රජයේ සේවකයින්ට මෙන් ඒ සඳහා ගමන් ගාස්තු, බටා කිසිවක් ගුරුවරුන්ට හිමි නැත. ගුරුවරුන් ඒ වියදම් තම අතින් දැරිය යුතුය
    • පංතියේ ඉගැන්වීම් කටයුතු හා විභාග කටයුතු සම්පූර්ණ කිරීමට අවශ්‍ය වැඩ කොටස් ගෙදර රැගෙන ගොස් සම්පූර්ණ කරගත යුතුය. ඒවාට වැයවන කාලය තමන්ගෙ පෞද්ගලික කාලය බැව් ගුරුවරුන් දන්නේද නැති තරමට එය නියත ලෙස විය යුත්තක් බවට සාමාන්‍යකරණය වී ඇත.
    • කිසිදු ගෙවීමකින් තොරව, විශේෂ ඉල්ලීම්ද නැතිව ගුරුවරුන්ගෙන් ලැබෙන මේ “සමාජ දායකත්වය” ආණ්ඩුව පමණක් නොව, අධ්‍යාපනඥයින් හා අධ්‍යාපන බලධාරීන් ගණන් බලන්නේද නැත.

    මෙහි ඇති බලවත්ම අසාධාරණය නම්, කිසිදු අතිකාල ගෙවීමක් හිමි නැති, කිසි විටක සේවයට පැමිණීම හා සේවයෙන් පිටව යෑමේ ලේඛනයකට අත්සන් නොතබන මාණ්ඩලික මට්ටමේ සේවා වෘත්තිකයින් වන රජයේ වෛද්‍යවරුන්ට පවා අතිකාල ගෙවීමය. එවගේම ඔවුන්ට කිසිදු ආකාරයකින් සාධාරණය කළ නොහැකි “ඩැට්” (Disturbance, Availability and Transport) නම් විශේෂ දීමනාවක්ද ගෙවනු ලැබේ. එය මසකට රු.35,000 සිට රු.50,000 දක්වා වැඩි කරන්නට කලින් පැවති යහපාලන ආණ්ඩුව 2018 ජුලි මාසයේ තීන්දු කළේය. ඔවුන්ට තවත් එවැනි දීමනා රැසක් ඇත.

    එවැනි විට, ගුරුවරුන්ට කොපමණ නම් අතිකාල හා ගමන් වියදම් ගෙවිය යුතුද?

    ගුරුවරුන්ට සැළකෙන එවැනි බරපතල අසාධාරණ හා රාජ්‍ය සේවාවේ විෂමතා හමුවේ, මාර්ග ගත ඉගැන්වීම් පටන් ගැනීමට ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත කිසිදු සාධාරණ ගෙවීමකින් තොරව ළමුන් හා ගුරුවරුන් කැඳවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් අධ්‍යාපන බලධාරීන්ට නැති අතර, එවැනි ඉගැන්වීම් යෝජනා කිරීමට ගුරු සමිති නායකයින්ටද අයිතියක් නැත. ඒ හේතු කාරණා සියල්ල සළකා මාර්ග ගත ඉගැන්වීම් යළි ආරම්භ කිරීම සඳහා ගුරුවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු යැයි යෝජනා කෙරෙන්නේ,

    1. සියලු පාසල් ළමුන්ට අවශ්‍ය පහසුකම් හා උපකරණ නොඅඩුව හා නොකඩවා ලබා දීම සහතික කිරීමත්

    2.  ගුරුවරුන්ට ආරම්භයක් ලෙස දිස්ත්‍රික් මට්ටමින් මාර්ග ගත අධ්‍යාපනය ගැන අවම සතියක පුහුණුවක් ලබා දීමත්

    3. මාර්ග ගත ඉගැන්වීම් සඳහා ගුරුවරුන්ට මාසිකව රු.10,000 ක විශේෂ සම්පත් දීමනාවක් ගෙවීමත්ය. (එය වෛද්‍යවරුන්ට ගියත් නොගියත් ලැබෙන DAT දීමනාවෙන් පහෙන් පංගුවකටත් වඩා අඩු බැව් මතක් කළ යුතුය) එතෙක් මාර්ග ගත ඉගැන්වීම් දෙමාපියන්ගේ සහායද ඇතිව නවතා තැබිය යුතුය.

    අවධාරණයක් මීට පෙර මේ ගැන මා කතා කළ විට ඊට විරුද්ධ තර්කය වූයේ, වෛද්‍ය වෘත්තිය හා ගුරුවරුන් සැසඳිය නොහැකි බවත් වෛද්‍යවරුන් අවුරුදු 05ක විශේෂ වෘත්තීය අධ්‍යාපනයක් ලබන බවත් ගුරුවරුන්ට එවැනි විශේෂඥතාවක් නොමැති බවත්ය. සියල්ලන් අමතක කරන්නේ අවු. 05ක එවැනි විශේෂ පුහුණුවක් ලබන්න සුදුසුකම් හැදීමේ අවු.13ක පාසල් අධ්‍යාපනය අනේක විධ දුෂ්කරතා විඳින ගුරුවරුන්ගෙන් කෙරෙන බවය.

    එවගේම ළමුන්ට මේ කඩා වැටෙන අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් හරියාකාරව නොලැබෙන බවත් සළකා දුර දිග යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා සංවාදයත් මේ මාර්ග ගත ඉගැන්වීම් ගැන සංවාදය සමග එකතු කර ගත යුතුය. වෛද්‍ය වෘත්තිය හා අනෙක් එවැනි වෘත්තීන් මෙන්ම ගුරු වෘත්තිය නැවත නම්බුකාර වෘත්තියක් ලෙස නඟා සිටුවීමත් ඒ ප්‍රතිසංස්කරණ සමගින් විය යුත්තකි.

    කුසල් පෙරේරා

  • කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන ‘ජනපති දුන් සහතිකය‘

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන ‘ජනපති දුන් සහතිකය‘

    කොවිඩ් මර්දනයට එන්නත්කරණය ඇතුළුව රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය දැනුවත් කරයි.

    ජනවාරි මස 28 වන දින ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් තොගය ලැබීමේ සිට මේ දක්වා ලද සියලුම එන්නත් ලැබීම් සහ දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළින් අගෝස්තු මාසය අවසන් වීමට පෙර වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කළ හැකි බවට ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. එමෙන්ම දළදා පෙරහර මංගල්‍යයට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඇගයීමට ලක්කර ඇති අතර එන්නත්කරණයෙන් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    බෞද්ධ උපදේශක සභාව ඊයේ (16) පස්වරුවේ 11 වෙනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.

    උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    කොවිඩ් මර්දනය සඳහා ආරම්භයේ සිටම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙනගිය වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ මහා සංඝරත්නය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්හ.

    බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරීහු  බෞද්ධ උපදේශක සභා රැස්වීමට සහභාගී වූහ.

  • කොවිඩ් ආසාදිතයින් සොයා ගන්න ‘සනත් නිශාන්තගේ‘ සුපිරි සොයා ගැනීම රටට හෙළි කරන්න

    කොවිඩ් ආසාදිතයින් සොයා ගන්න ‘සනත් නිශාන්තගේ‘ සුපිරි සොයා ගැනීම රටට හෙළි කරන්න

    කොවිඩ් ප්‍රභේද හදුනා ගැනීමට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවා හැකියාවක් නොමැතිව තිබියදී, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අනීතිකව නිරෝධායනයට ලක්කර සිටින වෘත්තීය සමිති ක්‍රියාකාරිකයිගේ ඩෙල්ටා ප්‍රභේදය ඇති බව හොයා ගනු ලැබූ පරීක්ෂාව කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බව‍ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රවි කුමුදේශ් මහතා කියන්නේ වසංගත විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනි විදිහට, නිරෝධායන නීතීයට පාවිච්චි කරලා මර්ධනය ගේන්න ආණ්ඩුවට ලණු දීපු සමහර දේශපාලකයින්, වැරැද්ද නිවැරදි කිරීම වෙනුවට රටට විහිළු සපයමින් සිටීම ඛේදජනක බවයි.

    ජෝසප් ස්ටාර්ලිං ඇතුලු කණ්ඩායමේ සියළු PCR පරීක්ෂණ යාපනය ශික්ෂණ රෝහලේ අණුකජීවී රසායනාගාරය මගින් සිදු කරන ලද අතර, ඒ සියළු  පරීක්ෂණ මගින් කිසිවෙක් හෝ ආසාධිත නොවන බව තහවුරු කර දින හතරකට පසුව සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අර අදින්නේ කුමකට යන්න පැහැදිළි නැත. නමුත් මෙම විහිළු සැපයීම දිගින් දිගට සිදුවීම මඟින්  වසංගත පාලනය අයාලේ යෑම නොවැලැක්විය හැකි බැවින්,  කිසිදු ආසාධනයක් නොමැති පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවල හිර කර තබමින් සිදුකරන ලද වරද ආණ්ඩුව වහා නිවැරදි කල යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • කාබනික ගොවිතැන දේශපාලන තීරණයක් ද ? විද්‍යාත්මක තීරණයක් ද ?

    කාබනික ගොවිතැන දේශපාලන තීරණයක් ද ? විද්‍යාත්මක තීරණයක් ද ?

    කොරෝනා වසංගතයෙන් මුළු රටම බැටකන අවධියක ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය ඒ ගැන අවධානය යොමු කිරීම ස්වාභාවිකය. ඒ අතරේ රජය පිටරටින් පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ගත් තීරණය ගැන එතරම් සංවාදයක් නැත. මෙම තීරණය හුදෙක් දේශපාලන තීරණයක් මිස මේ ගැන ඍජුවම වගකිය යුතු කෘෂි විද්‍යෘඥයන්ගේ තීරණයක් නොවන බව නම් පැහැදිලිය. මෙවැනි තීරණ ගැනීමට පෙර බොහෝ කටයුතු කළ යුතුව තිබුණි.

    ආනයනය කළ පොහොර කොම්පෝස්ට් වලින් ආදේශ කිරීම ක්ෂේත්‍ර පරීක්ෂණවලින් තහවුරු කළ යුතුව තිබුණා මෙන්ම මෙරට කෘෂිකර්මය සඳහා අවශ්‍ය කොම්පෝස්ට් ප්‍රමාණය රට තුළ නිපදවා ගැනීමේ ක්‍රම කිසිවක් ස්ථාපිත කිරීම කළ යුතුය. මේ කිසිවක් නොමැතිව ඇතැම් ඊනියා උපදේශකවරුන්ගේ උපදෙස් නිසා ගත් මෙම තීරණය නිසා කෘෂිකර්මයට සිදුවන අහිතකර ප්‍රතිඵල නිසා කෘෂිකර්මයට සිදුවන අහිතකර ප්‍රතිඵල ගැන පළපුරුදු විද්‍යාඥයෝ දැනටමත් අනතුරු අඟවා ඇත්තාහ. මෙම තහනමෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි දරුණු ආර්ථක පසුබෑම ගැන විමසා බැලීම මෙම ලිපියෙහි පරමාර්ථය වේ.

    කෘෂි බෝග දෙවර්ගයකි. ඒවා නම් වී, එළවළු වැනි කෙටි කාලීන බෝග සහ තේ රබර් වැනි දීර්ඝ කාලීන බෝග වේ. කෙටි කාලීන බෝග වර්ධනය සඳහා ද්‍රව්‍ය නයිට්‍රජන් සහ පොස්පරස් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ.  එහෙත් කොම්පෝස්ට් යනු මන්දගාමීව පෝෂක මුදාහරින පොහොරකි. කොම්පොස්ට්වල ඇති නයිට්‍රජන් ප්‍රතිශතය සියයට 1 ක් පමණ වන අතර ශාඛයක් පැළ කරන අවස්ථාවේ ලැබෙන්නේ සියයට 0.03 ක් වැනි අල්ප මාත්‍රයකි. ඉතිරි නයිට්‍රජන් ප්‍රමාණය සම්පූර්ණයෙන් දියවීමට වසර 3-5 දක්වා කාලයක් යන බව පර්යේෂණවලින් සනාථ  කර ඇත.

    එමෙන්ම කොම්පෝස්ට්වල ඇති පොස්පරස් ප්‍රතිශතය සියයට 1.0-1.5 ක් පමණ වන අතර ඒවාද සෙමෙන් ජීර්ණය වන නිසා පැළෑටියක් වර්ධනය වීමට මෙම ප්‍රමාණයන් නොසෑහේ. ගොම පොහොර සැලකුවහොත් එහි ඇති නයිට්‍රජන් ප්‍රමාණය සියයට 2 ක් පමණය. යූරියා කිලෝ ග්‍රෑම් 100 කින් ලබාදෙන නයිට්‍රජන් ප්‍රමාණය ලබා ගැනීමට කොම්පෝස්ට් ටොන් දෙකක් පමණ අවශ්‍ය වේ. මෙතරම් කොම්පෝස්ට් ප්‍රමාණයක් ලබා ගැනීමට කර්මාන්තශාලා ඉදිකිරීම අසීරු ඉලක්කයකි.

    මා කුඩා අවධියේ අපේ සීයා වී වගාව සඳහා පොහොර වශයෙන් භාවිත කළේ ගෙරි කටු සහ කොළ පොහොර පමණි. එවකට භාවිත කරන ලද පාරම්පරික වී ප්‍රභේදවලින් ලැබුණේ එකට දහය වැනි අඩු අස්වැන්නකි. එහෙත් එම සහල් අස්වැන්න ගෘහස්ථ පරිබෝජනයට සෑහෙන තරමට පැවතුනි. 1960 දී ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 9.8 ක් වූ අතර ජනතාවට අවශ්‍ය සහල් ආනයනය කිරීමට සිදුවිය. ශ්‍රී ලංකාවේ ජනගහණය වර්තමානයේ මිලියන 22 ක් පමණ වන අතර කෘෂි තාක්ෂණයට පින්සිදු වන්නට අපි සහල්වලින් ස්වයංපෝෂිතව සිටින්නෙමු. මෙයට ප්‍රධානතම හේතුව ලෙස රසායනික පොහොර භාවිතය සැලකිය හැකිය. එවැනි පොහොර සියල්ල දැනට ආනයනය කිරීම නැවැත්වීමෙන් අනිවාර්යයෙන්ම පිටරටින් සහල් ආනයනය කිරීමට සිදුවේ.

    ලොව පුරා රසායනික පොහොර භාවිතය ශීඝ්‍රයෙන් වැඩි වන්නේ අධික ජනගහණ වර්ධනය හේතුවෙනි. 1960 දී ලොව ජනගහණය බිලියන තුනක් පමණ වූ අතර වර්තමානයේ එය බිලියන 7.8 ක් දක්වා ඉහළ ගොස් ඇත. ජනගහණයේ ශීඝ්‍ර වර්ධනය උදෙසා බලපෑ ප්‍රධාන සාධක නම් හේබර් ක්‍රමයෙන් නයිට්‍රජන් තිර කිරීම, ඩී.ඩී.ටී. වැනි පළිබෝධ නාශක සොයා ගැනීම සහ පෙනිසිලින් වැනි ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීම යන මේවාය. ලොව මුහුණ දෙන උග්‍ර ප්‍රශ්නය නම් අධි ජනගහණයයි. කාලගුණික වෙනස්කම්, ගෝලීය උණුසුම්කරණය, ජලය වාතය සහ පස දූෂිත වීම, නොදිරන කසළ එකතු වීම වැනි සියලු පාරිසරික ප්‍රශ්න ඇතිවන්නේ අධි ජනගහණය නිසා බව නම් පැහැදිලිය.

    1960 දශකයේ දියත් කෙරුණු හරිත විප්ලවයේ අරමුණ වූයේ වැඩි වෙමින් පවතින ලොව ජනගහණයට අවශ්‍ය ආහාර සැපයීමයි. ඒ සඳහා වැඩි දියුණු කරන ලද ශාඛ ප්‍රභේද ඉදිරිපත් කරන ලදී. මේවාට රසායනික පොහොර වැඩි වශයෙන් අවශ්‍ය වූ අතර ඒවාට ලෙඩ රෝග වැළඳීමේ ප්‍රවණතාව ද ඉහළ නිසා කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීමටද අවශ්‍ය විය. මේවා පරිසරයට හානිකර ප්‍රතිඵල ගෙන දෙන බව අවිවාදයෙන් පිළිගත යුතුය.

    එහෙත් ජනතාවට අවශ්‍ය ආහාර නොලැබුණහොත් සාගින්නෙන් මිය යන ජනතාව සුළුපටු නොවේ. එබැවින් කෘෂි රසායන භාවිතය සහ ආහාර සුරක්ෂිතතාව මනාව සමතුලනය කිරීම ලොව සියලු රටවල වගකීම වේ.

    කොම්පෝස්ට් භාවිත කරමින් බොහෝ දියුණු රටවල වස විසෙන් තොර කෘෂි කර්මාන්තය සිදු කෙරෙන්නේ සියයට 1.5 ක් වැනි සුළු ප්‍රමාණයකය. මෙයින් සියයට 60 ක් පමණ තණකොළ වගාව සඳහාය. ඒ මගින් ධන කුවේරයන්ට වස විසෙන් තොර හරක් මස් ලබාදීම සිදු වේ. කොම්පෝස්ට් එකතු කිරීමෙන් ඇතිවන ධනාත්මක කරුණු අතර පසෙහි වයනය දියුණු කිරීම සහ රසායනික පොහොර මගින් නොලැබෙන සමහර ක්ෂුද්‍ර පෝෂක ලබා දීමත් වේ. එනමුත් ශ්‍රී ලංකාවේ දැනට භාවිත කෙරෙන ඉහළ ඵලදාවක් ලබා දෙන වී සඳහා අවශ්‍ය පෝෂක මුළු ප්‍රමාණයම ලබා නොදේ.

    මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ගොවියාගේ ආදායම පහළ වැටීමත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහල් පිටරටවලින් ආනයනය කිරීමට සිදුවීමය. බංග්ලාදේශයෙන් වරෙක ශ්‍රී ලංකාවට සහල් අපනයනය කළේය. මෙම සහල්වල ඇති ආසනික් ප්‍රමාණය අහිතකර මට්ටමක පවතින බව ජාත්‍යන්තරව පිළිගෙන ඇති කරුණකි.

    පොහොර ආනයනය අත්හිටුවීමට තීරණය කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා ඇත්තේ රජරට ප්‍රචලිතව පවතින වකුගඩු රෝගය ඇතිවන්නේ ආනයනික පොහොර නිසා බවය. මෙය සම්පූර්ණ අසත්‍යයකි. මෙම වකුගඩු රෝගය රජරට ඇතැම් ප්‍රදේශවල පමණක් දක්නට ඇති රෝගයක් විනා කෘෂිකර්මය බහුලව සිදුවන සියලු පෙදෙස්වල ව්‍යාප්ත වී නොමැත. යාපනය හා පුත්තලම වැනි පෙදෙස්වල කෘෂිකර්මය සඳහා මෙම පොහොර විශාල ලෙස යොදා ගන්නා මුත් මෙම රෝගය එම පෙදෙස්වලින් වාර්තා වන්නේ නැත. එමෙන්ම අධික ලෙස කෘත්‍රීම පොහොර භාවිත කෙරෙන නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද මෙම රෝගය වාර්තා නොවේ.

    මෙම ලියුම්කරු 2003 සිට මෙම රෝගය ගැන කරන ලද පර් යේෂණවලින් තහවරු වූයේ බොන ජලයේ ඇති අධික ෆ්ලුවෝරයිඩ් සාන්ද්‍රණය මෙම රෝගය ඇති කරන බවයි. වෙනත් පර් යේෂණ කණ්‍ඩායම් මෙම කරුණ සනාථ කොට ඇත.

    කෘෂි රසායනවලින් මෙම රෝගය ඇතිවන බව ඉදිරිපත් කළේ නාථ දෙවි අනුහසින් හේතුව සොයාගත් බව පැවසූ කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්‍ඩායමකි. ජලයේ ඇති ආසනික් කැඩ්මියම් සහ ග්ලයිපොසේට් නිසා මෙම රෝගය ඇතිවන බව කලින් කලට ඔවුහු ප්‍රකාශ කර ඇත්තාහ. එහෙත් මේ කිසිවක් විද්‍යාත්මකව නිදහස් පර් යේෂණවලින් සනාථ කොට නොමැත. එසේ වුවත් විවිධ දේශපාලන බලපෑම් නිසා මාධ්‍ය ඔස්සේ මෙවැනි මිත්‍යා මත ස්ථාපිත කිරීමට මෙම කණ්ඩායම සමත් විය.

    ආනයනය කෙරෙන පොහොර ලෙස යූරියා, ට්‍රිපල් සුපර්පොස්පේට් සහ පොටෑෂ් සැලකිය හැකිය. මේවායින් සුපර් පොස්පේට් පොහොර එප්පාවල ඇපටයිට් නිධියෙන් නිෂ්‍පාදනය කළ හැකි වන අතර එමගින් රටට විදේශ විනිමය අතින් සෑහෙන වාසියක් ලබා ගත හැකිය. එමෙන්ම ආනයනික පොස්පේට් පොහොරෙහි ආසනික් කැඩ්මියම් සහ ඊයම් වැනි බැරලෝහ ඇති මුත් එප්පාවල පොස්පේට්වල මේවා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මෙම නිධියෙන් පොස්පේට් පොහොර සාදාගත හැකි බව ශ්‍රී ලංකා විද්‍යාඥයන් පර් යේෂණ කොට වාර්තා කොට ඇති මුත් 1990 සිටම දේශපාලනඥයන් උත්සාහ කළේ එම නිධිය බහු ජාතික සමාගමකට විකුණා එමගින් සිය මඩිය තරකර ගැනීමටය. මැක්මොරන් සමාගමට මෙය විකුණා දැමීමට 1996 දී පැවැති රජය ගත් උත්සාහය වැළකුනේ ශ්‍රේෂ්‍ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුවක් නිසාය.

    කෙසේ හෝ 2018 දී මාද සහභාගි වූ කමිටු වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යවරයාට පිළිගන්වන ලදී. එවැනිම වාර්තාවක් වර්තමාන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට 2020 දී බාර දෙන ලදී. ශ්‍රේෂ්‍ඨාධිකරණ තීන්දුව අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුත්තේ රජයේ ආයතනයක් වන ලංකා පොස්පේට් සමාගමට පමනි. මෙම ව්‍යාපෘතියට බාලගිරි දෝෂය ඇති වී තිබෙන බව පෙනේ. කලකට පෙර ලංකා පොස්පේට් සමාගමේ සභාපතිව සිටි එප්පාවල පොස්පේට් ගැන ආචාර්ය උපාධියක් ඇති විද්‍යාඥයෙක් තනි සුපර් පොස්පේට් නිපදවීම සඳහා ව්‍යාපෘතියක් සැළසුම් කර තිබුණි. මේ සඳහා රාජ්‍ය බැංකුවක් එම කර්මාන්තශාලාව සඳහා වැයවෙන මුළු පිරිවැය ලබාදීමට ද එකඟ විය. එහෙත් මෙම සභාපතිවරයා එම තනතුරෙන් වහාම ඉවත් කරන ලදී.

    එම යෝජනාව ක්‍රියාත්මක වූවා නම් රටට අවශ්‍ය සියලු පොස්පේට් පොහොර ප්‍රමාණය මෙරටම නිපදවා ගැනීමට හැකියාව තිබිණි. වර්තමානයේ පොස්පේට් පොහොර සඳහා වසරකට රුපියල් බිලියන 10 ක් පමණ වැය කරයි. මෙවැනි කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහා වැයවන මුදල රුපියල් බිලියන පහක් පමණ වේ.

    1980 ගණන්වල ශ්‍රී ලංකාවේ යූරියා කම්හලක් තිබුණු බව බොහෝ දෙනා නොදනිති. එවකට සිටි කර්මාන්ත ඇමැතිවරයා ඔහුගේ තනි කැමැත්තට යල් පැන ගිය ක්‍රමයක් යොදා ගැනීමෙන් ඉදි කළ මෙම කර්මාන්තශාලාව ක්‍රියාත්මක වූයේ මාස කිහිපයක් පමණි. එහි නිෂ්‍පාදන වියදමට වඩා අඩු මිලකට යූරියා ආනයනය කිරීමට හැකියාව ඇති නිසා සපුගස්කන්දේ ගොඩ නැංවූ එම කර්මාන්තශාලාව වසා දමා එහි තිබුණි. වටිනා සුදු යකඩ, අබලි ද්‍රව්‍ය ලෙස පකිස්ථානයට යවනු ලැබීය. මෙවැනි අමනෝඥ ක්‍රියාවලින් දේශපාලනඥයන් සිය මඩිය තර කර ගැනීම විනා රටට වූ යහපතක් නැත.

    එප්පාවල ඇති පොස්පේට් පාෂාණය කුඩු කර පොල්, රබර් වැනි දිගු කාලීන බෝග සඳහා යොදන මුත් එය වී හා එළවළු වැනි කෙටි කාලීන බෝග සඳහා යෝග්‍ය නොවේ. මෙවැනි බෝගවල වර්ධනය සඳහා මුල් අවස්ථාවේදී නයිට්‍රජන් හා පොස්පේට් සෑහෙන සාන්ද්‍රණයක් පසෙහි ද්‍රාවණයේ තිබිය යුතුය.

    රසායනික පොහොර භාවිතය එකවරම සම්පූර්ණයෙන්ම නවත්වන්නේ නැතිව එය වැඩිපුර භාවිත කිරීම ගැනද රජය අවධානය යොමු කළ යුතුය. පොහොර සහනාධාරය නිසා අඩු මිලකට ඒවා ලබා ගැනීමෙන් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ගොවීහු ඒවා වගාවලට එකතු කරති. නුවරඑළියේ එළවළු ගොවීහු අවශ්‍ය ප්‍රමාණ මෙන් තුන් හතර ගුණයක් වැඩිපුර රසායනික පොහොර යොදති. එමෙන්ම කෘමි නාශක අධි මාත්‍රා වගාවට යෙදීමෙන් වැඩි අස්වනු අපේක්ෂා කරති. කෘමි නාශක භාවිතය ගැන ගොවීන් උපදෙස් ගන්නේ ඒවා විකුණන වෙළෙන්දන් ගෙනි. කලකට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තු අනුයුක්ත කෘෂි උපදේශවරු වගාව ගැන උපදෙස් දුන්හ. එහෙත් ප්‍රේමදාස යුගයේ මෙම සේවය විසුරුවා හැර ඔවුන් වගා නිලධාරී නමින් නව සේවාවකට අනුයුක්ත කොට එම සේවය විනාශ කර දැමීය. ඔවුන්ගෙන් වර්තමානයේ කිසිදු සේවාවක් ඉටු නොවේ. මාගේ ගෙවතු වගාව ගැන උපදෙස් ලබාගැනීමට කොතරම් වෙර දැරුවද අදාළ වගා නිලධාරියා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

    රසායනික පොහොර සහ අනෙකුත් කෘෂි රසායනික ආනයනය  කිරීම සීමා කොට කාබනික පොහොර සමග සංයෝජිත නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම වඩා කාලෝචිතය. පනවා ඇති තහනම විවේචනය කරන සියල්ලන් පොහොර සමාගම්වලින් යැපෙන්නන් බවට හංවඩු ගැසීම ජනප්‍රිය මාධ්‍ය කලාවක් වී ඇත. වකුගඩු රෝගය සෑදීමට හේතු වශයෙන් ආසනික් සහ ග්ලයිපොසේට් සැලකිය නොහැකි බව පැවසීම නිසා නාථ දෙවි කණ්ඩායමේ උදහසට මෙම ලියුම්කරු පත් විය. බහු ජාතික සමාගම්වලින් යැපෙන්නකු බවට චෝදනා එල්ල වූවද සත්‍යය මෙන්ම ප්‍රායෝගිකව කළ හැකි දේ ප්‍රකාශ කිරීමට මැලි නොවෙමි.

    1960 ගණන්වල ශ්‍රී ලංකාවේ ගොවීන් නිපදවූ සහල් ඔවුන්ගේ ගෘහ පරිභෝජනයෙන් පසු අලෙවි කළ හැකි වූයේ සීමිත ප්‍රමාණයකි. එබැවින් එකල සහල් ආනයනය කිරීමට සිදුවිය. කාබනික වගාව ගැන කතා කරන බොහෝ දෙනා අතීත අත්දැකීම්වලින් පමණක් කතා කරති. මෑතදී රූපවාහිනී මාධ්‍යයක වැඩ සටහනදී එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ රජරට ප්‍රදේශයේ ජල මූලාශ්‍රවල ආසනික් සාන්ද්‍රණය බිලියනයකට කොටස් 100 වැනි ඉහළ අගයක් ඇති බවයි. මෙය සම්පූර්ණ අසත්‍යයකි. ජාත්‍යන්තර ප්‍රකාශනවලින් පිළිගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ එය බොහෝ විට බිලියනයකට කොටස් එකටත් වඩා අඩු බවයි.

    ජපානයේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ජලයේ ආසනික් මට්ටම අනුරාධපුරයේ සාමාන්‍ය අගය බිලියනයකට කොටස් 0.3 ක් බවත්, පුත්තලමේ එම අගය 3.7 සහ යාපනයේ 1.7 ක් ද වන බවය. යාපනයේ සහ පුත්තලමේ මෙම වකුගඩු රෝගය නොමැති වීමෙන් පෙන්වන්නේ අධික ලෙස ආනයනික පොහොර භාවිත කෙරෙන මෙවැනි පළාත්වල රසායනික පොහොර මගින් හෝ ආසනික්වලින් වකුගඩු රෝගය ඇති නොවන බවය.

    ශ්‍රී ලංකාවේ දැනට භාවිත කෙරෙන යූරියා ප්‍රමාණය ආදේශ කිරීම සඳහා කොම්පෝස්ට් ටොන් මිලියන 120ක් පමණ අවශ්‍යවේ.  මෙය ප්‍රායෝගිකව කළ නොහැකි අතර ඇතැමුන් කියන පරිදි මෙය පිටරටින් ගෙන ඒම දේශපාලන විජ්ජාවක් විනා ප්‍රායෝගික නොවන බව මෙරට ජනතාව දැන ගත යුතුය.

    කෘෂිරසායනික නොමැතිව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය පවත්වා ගතහොත් එය ඉතා අගනේය. එහෙත් ශ්‍රී ලංකාවේ නම් මේ ගැන සිදු කළ ඇති පර් යේෂණවල ප්‍රතිඵල බොහෝ දෙනා නොදනී.

    වසර 20 ක් පමණ පුරා බතලගොඩ වී පර්යේෂණ මධ්‍යස්ථානයෙහි සිදු කෙරෙන පර් යේෂණවලට අනුව කොම්පෝස්ට් පමණක් භාවිත කළ විට ලැබෙන අස්වැන්න රසායනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්නට වඩා සියයට 33 කින් අඩුවේ. මෙහි යොදාගත් ගොම පොහොර වෙනුවට කොල රොඩුවලින් ලබාගන්නා කොම්පෝස්ට් භාවිත කළ හොත් එම අස්වැන්න තවදුරටත් අඩු වේ.

    එළවළු හා බඩ ඉරිඟු සඳහා ද මෙම පරීක්ෂණය කර ඇති අතර එහිදීද දක්නට ලැබෙන්නේ කාබනික පොහොරවලින් ලැබෙන අඩු ඵලදාවයි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ දැනට සහලින් ස්වයංපෝෂිතව ඇති රටේ කාබනික කෘෂිකර්මයෙන් ලැබෙන සහල් ප්‍රමාණය මාස 9 කට පමණක් ප්‍රමාණවත් වීමයි.

    කාබනික කෘෂිකර්මයෙන් මෙරට සියලු බෝග නිපදවා ගැනීමට හැකි නම් අප කාහටත් සතුටු විය හැකිය. එහෙත් වැවිලි භෝග නිෂ්‍පාදන ධාරිතාව අඩුවන්නේ නම් ශ්‍රී ලංකාවට මෙය උග්‍ර ප්‍රශ්නයක් වන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එබැවින් පොහොර ආනයනය අත්හිටුවීම ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග නිසි සංවාදයක් ඇති කොට මෙවන් තීරණ ගැනීම වඩා යෝග්‍ය වේ.

    ලංකාදී පුවත්පතේ ‘සදුදා හමුව‘ ඇසුරින් සම්පූර්ණයෙන් උපුටා ගත් ලිපියකි.

  • දරුවාට සුවබර නින්දක් ලබා ගැනීමට ගත යුතු වැදගත්ම පියවර

    දරුවාට සුවබර නින්දක් ලබා ගැනීමට ගත යුතු වැදගත්ම පියවර

    නිදා සිටින ළදරුවෙකුට වඩා සුන්දර කිසිවක් මේ ලොව නැත’ යැයි මා කියන විට ඔබ මා සමඟ එකඟ වනු ඇතැයි මට විශ්වාසයි.

    දරුවන් රැකබලා ගන්නවා

    අප දන්නා පරිදි, ශාරීරිකව හා මානසිකව වර්ධනය වන සෑම දරුවෙකුටම, විශේෂයෙන් ළදරුවෙකුට සාමකාමී නින්දක් අත්‍යවශ්‍ය වේ. ඔබේ ළදරුවන්ට හොඳ නින්දක් ලබා ගැනීමට උපකාරී වන නිර්දේශ කිහිපයක් පහත දැක්වේ.

    රටාවක් සකසන්න

    දරුවන් රැකබලා ගන්නවා

    ඔබේ දරුවාගේ නින්ද ස්ථාවර හා ස්ථාවර නින්දක් සහිත පරිසරයක තිබීම ඉතා වැදගත් වේ. හොඳම නින්ද සිදුවන්නේ ළදරුවාගේ තොටිල්ලේ වන අතර එය අඳුරු සිසිල් කාමරයක ස්ථානගත කළ යුතුය. එහිදී දරුවාගේ නින්දට බාධාකාරී වන අවනශ්‍ය ශබ්ද සහ ආලෝකය පතිත වීමට ඉඩ නොදිය යුතුය.

    ඒ හැරුණු විට, නින්දට යාමට පෙර තම දරුවා හොඳින් පෝෂණය වන බවට දෙමාපියන් වගබලා ගත යුතු අතර, එය සාමකාමී නින්දේ ක්‍රියාවලියට තවදුරටත් උපකාරී වේ. කිරි නිෂ්පාදන, කෙසෙල්, බිත්තර සහ කුකුල් මස් වැනි ඇතැම් ආහාර ද්‍රව්‍යවල ට්‍රිප්ටෝෆාන් tryptophan අඩංගු වන අතර එය ‘නින්ද හෝමෝනය -sleep hormone (melatonin) මුදා හැරීමට මොළය උත්තේජනය කරයි.

    ළදරු සම්බාහනය සහ උණුසුම් ස්නානය

    දරුවන් රැකබලා ගන්නවා

    වැඩිහිටියන් වශයෙන් වුවද අපි ප්‍රබෝධමත් සහ සැහැල්ලුවක් දැනීම සඳහා සම්බාහනයන්ට කැමතියි! ළදරු සම්බාහනයක සමස්ත අංගය ළදරුවන්ට වඩාත් සැහැල්ලුවෙන් දැනීම ප්‍රයෝජනවත් වන අතර එමඟින් ඔවුන්ට වඩාත් සුව නින්දක් ලැබීමට අවස්ථාව උදා වේ. ළදරු සම්බාහනය ඕනෑම වේලාවක සිදු කළ හැකිය; කෙසේ වෙතත්, එය දරුවාගේ නින්දේ පුරුද්දක් ලෙස විශේෂයෙන් ඵලදායී වේ.

    ඊට අමතරව, උණුසුම් ස්නානය මගින් ඔවුන් ඉතා සන්සුන් විය හැකිය, විශේෂයෙන්  ළදරුවා උණුසුම් ස්නානයකින් (warm bath) පසු එළියට එන විට, ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සිසිල් වීමට පටන් ගනී, එමඟින් ළදරුවන්ට පහසුවෙන් නිදිබර ගතිය ඇති වේ. 

    ඩිජිටල් තිර කාලය සීමා කරන්න

    දරුවන් රැකබලා ගන්නවා

    රුපවාහිනිය, පරිගණකය හා ජංගම දුරකථනය වැනි ඩිජිටල් තිර වලින් නිකුත් වන නිල් ආලෝකය ඕනෑම කෙනෙකුගේ නින්දට හානිදායක විය හැකිය, විශේෂයෙන් ළමයින්ට එය අතිෂයින්ම හානිකරය. ඔවුන්ගේ ඇස් සහ මොළය තවමත් වර්ධනය වෙමින් පවතී. ළමා රෝග  පිළිබඳ 2017 නොවැම්බරයේ නිකුත් කරන ලද අධ්‍යයනයකට අනුව , ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් විශේෂයෙන් ඩිජිටල් තිර නිසා ඇති වන නින්දට බාධා වලට ගොදුරු වේ. රූපවාහිනිය නැරඹීම සහ ජංගම දුරකථන ක්‍රියාත්මක කිරීම දරුවන්ගේ නින්ද වේලාව ප්‍රමාද කළ හැකි අතර, අඩු පැය නින්දක් හෝ අඩු ගුණාත්මක නින්දක් ලබා ගැනීමට බාධා කළ හැකිය. 

    නියම වේලාව සකසන්න

    දරුවන් රැකබලා ගන්නවා

    සාමාන්‍යයෙන්, මාස හයක් දක්වා වූ ළදරුවන්ට සෑම දිනකම නින්ද තුනක් අවශ්‍ය වේ: උදෑසන එකක්, දහවල් එකක් සහ සවස් කාලයේදී එකක් වශයෙනි.  මාස හතක් හෝ අටක් වන විට, දහවල් නින්ද සාමාන්‍යයෙන් අතුරුදහන් වන අතර, ළදරුවන්ට දිවා හා සවස ආරම්භය සඳහා පැයක් හෝ මිනිත්තු 90 ක් සඳහා හොඳ දිගු නින්දක් ගත හැකිය. ළදරුවන් සාමාන්‍යයෙන් සවස 5.30 සහ 6.30 අතර නින්දට ගොස් උදෑසන 6 සහ 7 අතර අවදි විය යුතු යැයි යෝජනා කෙරේ. උදේ 8 සිට 9 දක්වා ඔවුන්ගේ පළමු නින්දට යවන්න.

    ඔබේ ළදරුවන්ට අවස්ථාවක් දෙන්න

    දරුවන් රැකබලා ගන්නවා

    හොඳ රාත්‍රී නින්දක සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා කාලය ගතවේ. එය දරුවා ඉගෙන ගත යුතු කුසලතාවකි. එමනිසා, ඔබ අපේක්ෂා කළ දේ ඔබට නොලැබෙන බවක් ඔබට හැඟේ නම් යටත් නොවන්න. ඔබේ දරුවාට දිනක් ඇදහිය නොහැකි නින්දක් තිබිය හැකි නමුත් එය පහත සඳහන් දෑ නොවේ.

    එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයකි. ඔබේ දරුවාට එක අවස්ථාවක් ලබා දීමට සැමවිටම මතක තබා ගන්න. ඔබ අනිවාර්යයෙන්ම යම් ප්‍රගතියක් දකිනු ඇත. එපමණක්ද නොව, දෙමව්පියන් තම දරුවා අසල්වැසියා සමඟ සංසන්දනය කිරීම නතර කිරීම ඉතා වැදගත් වේ. සියලුම ළදරුවන් අද්විතීය වන අතර, ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ වේගයෙන් ඔවුන්ගේ නින්දේ සන්ධිස්ථානය අත්කර ගනු ඇත.

    ෆෙමිනා ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • එළ හරකා ගෙයි – මී හරකාගෙයි වෙනස පළ කළ මැනවි

    එළ හරකා ගෙයි – මී හරකාගෙයි වෙනස පළ කළ මැනවි

    ඇසළ පෙරහැර අගෝස්තුවේ පැවැත්විය යුතුවේ. එය සම්ප්‍රදායකි. ඓතිහාසික සංසිද්ධියකි. නුහුගුලුවා පුරාලිය යුත්තකි.  
                       සෙංකඩගල           නුවර
                       ඇසළට කරන     පෙරහැර
                       දෙවියන්ට         කැප කර
                       පැවත ආවේ කලක සිට පෙර යනුවෙන්  පැරණි පොතපතක  දැක්වේ.  

    ඇසළ පෙරහැර යනු රටට සැරසිල්ලකි. සතුටකි. නුවර මිනිසුන්ට ආඩම්බරයකි. පෙරහැර සමයේ හවස් මානයේ නිවෙස්වල සිටින සමහරු පෙරහැර පිටත්වන වෙඩිල්ලේත්, පෙරහැර ගෙවදින වෙඩිල්ලේ සද්දය  අසන්නේත්  ආසාවෙනි.  වන්දනා ගමනක් අතර, දෙවුන්දර තුඩුවේදීත් ඇසූ කෙනෙකුට අපි නුවර කියා  කියන්නේත් ආඩම්බරයෙකි. ඒ ආඩම්බරයට ශ්‍රී දළදා වහන්සේත්, ඇසළ පෙරහැරත්  හේතු වෙනවාමය. කවුරු මොනවා කීවත් හිරු නොබසින අධිරාජ්‍යයට ගිවිසුම් එකඟතාවකින් මිස, අවි බලයෙන් උඩරට රාජධානිය යටත් කළ නොහැකි විය. ඊට ශක්තිය දුන් වාරියපොල සුමංගල පරපුරේ ශක්තීන් රටට නැවත අවශ්‍යව තිබේ.

    මේ මාරාන්තික නිමේෂයෙහි මහනුවර, ඇසළ  පෙරහැරට සූදානම් වෙති යයි ආරංචි සැලවූ වූ සැණින් මහනුවර ජනතාව බයෙන් බිරාන්තව වෙව්ලා ගියහ.  හේතුව  රාජපක්‍ෂ ආණ්ඩුව අත ගසන හැමදේම කෙළවා ගැනීමකින් කෙළවර කර ගැනීමය.  ඒ හැම බිඳ වැටීමක් හරහා කීයක් කීයක් හරි ඩොලර් කාසි වලින් ආණ්ඩුවේ සාක්කු පිරෙනවාත් සැබෙවි. ඒත් ඒ හිලව්වට, උනුන් බදාගෙන අඬන්න වැළපෙන්න වැළලෙන්න. වළලන්න සිද්ධ  වෙන්නේ රටේ මිනිසුන්ටය. එක් සරල උදාහරණයකට පමණක් නම්, එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර ගත හැකිය. දැන් ඒ සිද්ධිය රහසක් කිරීමට කොම්පැනියේ  තොරතුරු ද,  මකලාය.  කලතර රත්තරන්  ඇමති කී ආකාරයට ඒ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා, කාට හරි ඩොලර් මලු පිටින්  ලැබෙනවා නියතය. ඒ ආනුභාවයෙන් ඉදිරි පරම්පරා කිහිපයකට   රටේ වටේ මුහුදේ මාලුන්ට කැස්බෑවන්ට ජීවත්විමේ අයිතිය අහිමි වී ගොස්ය.  

    මෙවර ඇසළ පෙරහර නිසා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවක් මෙන් සීතල මහනුවරත්   ගිනි ගැනීමට බැරි නැත.  අවාසනාවකි. බුදුන් දෙවියන් වෙනුවෙන් කරන ඇසළ පෙරහැර පවා, රටට,  ගමට, රටේ ගමේ මිනිසුන්ට සාපයක් පාපයක් නොවුණොත් ඒක මහ පුදුමයකි. නිලධාරින් නම් එක පයින් කියන්නේ පෙරහැර නොකළ යුතු  බවය. ලැබෙන ආරංචි අනුව, මහ පන්සල් දෙකත් පෙරහැර ගැන හිතන්නත් බයෙන් පසුවෙති. මල්වතු අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හාමුදුරුවන් වහන්සේ “ලොවම කොවිඩ්  වසංගතයට ගොදුරු වී කිබෙන අවස්ථාවක සෞඛ්‍ය ආරක්‍ෂිත උපදේශ ඉහළින්ම පිළිපදිමින් මෙවරත්  දළදා පෙරහැර පැවැත්වීමට අපට සිදුව තිබෙනවා.  මිනිස්සු පාරේ මැරිලා වැටෙන යුගයක අපි කොහොමද ලෝකයට පේන්න පෙරහර කරන්නේ ..” කියා විමසති. (ලංකාදීප 2021-0713 දින) ඉතිහාසයේ  මින් පෙර, ජාතික අවදානම් අවස්ථාවලද  පෙරහැර පැවැත්වූ ආකාරය  මහනුවර අය දනිති.  එහෙත් මෙවර පෙරහැර වීදි බස්වා කොරෝනා රැල්ලක් ඇති කිරීමට පාලකයන්ට ඇතිවෙලා තියෙන ගාය ගැන ජනතාව සාප කරති. ඇසළ  පෙරහැර හෙණ ගෙඩියන් පාත්වීමකැයි කියන්නට කන්ද උඩරට වාසය කරන අබෞද්ධයෙකුවත්  කැමති  නැත. එහෙත් බ්‍රැන්ඩික් මුදලාලිට බිස්නස් කරන්න ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන ඒමට ඉඩ දීමෙන්  සිදුවූ වින්නැහිය දන්නා නුවර මිනිසුන්ට දැනෙන්නේ වසංගතයේ ආදීනව මිස, පෙරහැරේ හැඩරුව හෝ බුද්ධාලම්බන ප්‍රීතිය  නම් නොවේ.

    වසර ගණනාවක සිට නුවර මිනිසුන් බොහෝ ආතානාත්තු නිසා තැවෙති. දුක්වෙති. විඳවති. ලෝකයේ ලස්සනම නගර අතුරෙන් එකක් මහනුවරය.  ලෝකයේ වැඩිම විෂ වාතය පිරී පවතින නගර අතරට මහනුවර නගරයද අයත්වේ. හේතුව ඉඩකඩ අඩුකම සහ අධික ජනගහනයයි. මැරෙන්නට දඟලන රෝගින් ගෙන එන ගිලන් රථ මහ රොහල දැක දැක කිලෝ මීටර් ගණනක්  වැව රවුමේ  කරකවන්නේද මහනුවරය. විනාඩි තුනෙන් නගරයෙන් පිටමං විය හැකි ඒ 26 පාර වසා මාළිගාවට ආරක්‍ෂාව සැපයීමට එරෙහිව මහනුවර පිරිස් දිගු කලක් පුරා සටන් කරති. ඒ එක් සටනකදී මහයියාවෙන් කුලියට ගැහැනුන් ගෙනැවිත් උද්ඝෝෂකයන්ට මිරිස්කුඩු ගස්වන ලද්දේ වර්තමාන 43 බලකායේ නායකයන්ය. මේ සාරාංශ කොට දක්වා සිටින්නේ  මහනුවර ජනතාව විඳින හැම ආතානාත්තුවක් වසංගතයක්ම කාලකන්නි පාලකයන් නිර්මානය කළ ඒවා මිස, ස්වාභාවික විපත් කරදර නොවන බව සිහිපත් කිරීමටය. මහනුවර ශ්‍රී දළදා නගරයේ මත්පැන්හල් මස්මඩු මස් කඩ වසන්නට පාලකයන් අසමත්ය. එහෙත් යක්‍ෂ ප්‍රේත භූත ආත්ම බැඳ ගත් ඕලාරික නූගත් ගැහැනුන් පිරිමින් දුන් උපදේශ  නිර්f්ද්ශ අනුව, තම පවුලේ පරම්පරාවේ ආරක්ෂාවට මේ මරණ වසංගතය අස්සේ පෙරහැර කරන්නට නම් අර ඇඳීම නම් අවිචි මහා නරකයේ ඉපදීලාත් පඩිසන් දී කෙළවර නොවන සහාසික අපරාධයකි.

    වසංගතය මහනුවර පැතිරී ඇති ආකාරය, තරම දන්නෝ එහි ජිවත්වන්නනෝ වෙති. මේ වසංගත අවදානමත් පංගු පේරුවකි. ලංකාවෙන් අඩකට හෝ එකවර  ඇනවුම් කර එන්නත ගෙන ඒමට ආණ්ඩුවට හයිය තිබුණේ නැත. මේ රටට ගෙන්නුවේ  ටික ටිකය. ඒ ප්‍රමාණයෙන් වැඩි කොටසක් බස්නාහිර පළාතට වෙන් කෙරිණ. ඒ වංසගත තර්ජනය අනුව ගත් තීරණයක් නිසා  ඊට කිසිවෙකු විරුද්ධ වුණේ හෝ විරුද්ධ වන්නේ නැත. දුර්ලභ දේ කඩිනමින් ලැබෙන්නටද වාසනාවක් පිනක් තිබිය යුතු වේ. මෙහෙව් පාලකයන් අතට පත් මේ කාලකන්නි රටේ  ඉපදුණ මිනිස්සු මෙහෙම අවදානමකදි මැරෙණවා හැර වෙන කුමක් කරන්නද?  පවුල් පිටින් කොවිඩ් වැළඳී නිවෙස් තුළම මිය යන්නේ ඒ කතාව යථාර්ථයක්ව ඇති නිසාය. මෙවර පාලකයන්ට උවමනා ලෙස පෙරහැර සිදු කළොත් මහා සංඝයා වහන්සේට කියවන්ට සිදුවන්නේ සතිපට්ඨාන සූත්‍රය නොවේ. බුදුගුණාලංකාරයේ “ගෙහි ගෙහි මිනී බෙර….” අමු සොහොන් වර්ණනා පරිච්ඡේදයෙන් පිළිකුල උපදවා ගත හැකිය.

    අ`ථත්ම සංඛ්‍යා ලේඛන අනුව, දිවයිනේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27303කි. වසංගතයෙන් මිය ගිය ප්‍රමාණය 3467කි. බැසිල් පාර්ලිමේන්තු එනවා කියා රට පුරා රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑවේ බැසිල්   කොවිඩ් වසංගතයට මහෞෂධය අරන්  එන නිසා නොවේ.  දීනකමටය. අරක්කු බෝතලයටය. දොර දොර මිනී බෙර හැඬවෙන මේ දේශය එකම  මළ ගෙදරකි.  සොහොන් පිටියකි. මේ සතුට කාගේද? කා වෙනුවෙන්ද?  තක්කඩි පවුල් පාලනයක්  ශ්‍රී දළදා හාමුදුරුවන් පෙළහර පෑවත් එකාපිට එකා වැටුණත් ඇසළ පෙරහර නවත්වන්නේ නම් නැත. මුන් මහනුවරටවත් ශ්‍රී දළදා හාමුදුරුවන්ටවත් ආදරයක් ගෞරවයක් නැත. උන් උපන් රුහුණට  ආඩම්බරයක්ව   පවත්නා තිස්සමහාරාම වැව චීනුන් ලවා හාරා ඛණිජ සම්පත් ගොඩ දාන්න ඉඩ දුන් වර්ගයකි.

    රාජපක්‍ෂකරණය අනුව මේ රට, වසර දෙදහස් පන්සියක් පරණ නැත. මුන්ගේ සෞභාග්‍ය අනුව ලංකාව යනු අගක් මුලක් ආතක් පාතක් නැති සිරිපිනා මුඩුක්කුවකි. ගෆූර් බිල්ඩිම, මහ තැපැල් හළ දිරා ගිය ගෙවල්ය. ශ්‍රී දළදා නුවර පරණ කක්කුස්සියකි. නැතිනම් මුන්ගේ දරුවන්නේ ජොලියක රුසියන් ගණිකාවන් ගෙනැවිත් නටවන කෙළි මඬලකි. එසේ නොවේ නම් මල්වතු අස්ගිරි මහ පන්සල් දෙකම විරුද්ධ වෙද්දී මහනුවර නගරයේ කාර් රේස් පවත්වන්නේ නැත. මහනුවර කාර් රේස් දොළදුක තිබුණේ නාමල් රාජපක්‍ෂටය. හෙවත් ලංකාවේ ඩියුක්ටය. ආදිපාදටය.

    මිහිඳු මහ රහතන් වහන්සේගේ ආශීර්වාදයෙන් දේවානම්පියතිස්ස මහරජු රන් නගුලෙන් ලකුණු කොට ශාසනයට පූජා කළ වසර දෙදහසක් පුරා අඛණ්ඩව සාධුකාරයෙන් ගිඟුම් දෙන, මහ මෙවුනා උයනේ වන්දනීය අටමස්ථාන සංඛ්‍යාවට නවයේ නපුරු ඉලක්කම එකතුී කළෝ මහ සෑයක් ඉදි කිරීමට සැලසුම් කළෝ මේ කාලකන්නි පාලකයෝම  වෙති. ඒ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණීස නොවේ. දුටුගැමුණු රජ්ජුරවන්ට ඉහළින් ඉතිහාසයේ නම ලියවා ගන්නටය. මේ සිය`ථ පව්කාරකම් නිසා, 2015 නිකම්ම නිකම් සිරිසේන කෙනෙකුගේ දෙපා මුල ඇද වැටුණ මහින්ද රාජපක්‍ෂ තවමත් නැගිටලා නැත. ඒ දළදා හාස්කම්ය. ස්වභාව ධර්මයේ ශාපය එන්නේ පෙරහැරෙන් නොවේ. සමහර විට පිණි වැස්සක් වාගේය. එය ධාරානිපාතයක් වන්නේ  හෙමිහිටය. මහ රෑකය. සුළියක් වන්නේ මරු කපොල්ලකදීය. දළදා ඉතිහාසය අනුව එක් රජ කෙනෙකු ශ්‍රී දළදා වහන්සේගේ සත්ත බැලීමට කිණිහිරක තබා තලන්නට නියම කළේය. සිදුවුණේ කුමක්දැයි දාඨා වංශය නම් පොතේ සවිස්තර දැක්වෙන බව මහා සංඝයා වහන්සේ දන්නාහ.  විශිෂ්ට චිත්‍ර  ශීල්පි ඇම්. සාර්ලිස් මාස්ටර් ඒ ශ්‍රී දළදා ප්‍රාතිහාර්ය ප්‍රති නිර්මානය කොට වර්ණ ගැන්වූ චිත්‍රය තවමත් පරණ බෞද්ධ ගෙවල්වල දක්නට ඇත.

    මේ සියල්ල මෙසේ සටහන් කරන්නේ දෙවියන්ගේ අමු කැවිලාවත් නැගෙන විරෝධය නොතකා ඇසළ පෙරහැර පැවැත්වීමට මේ අව-රාජ පරම්පරාව උත්සාහ කළොත් ඊට සම්බන්ධවන හත වරිගයට, හත් මුතු පරම්පරාවන්ට දෙස් දොවොල් තියෙනවා,  සාප කරනවා මිස, ශ්‍රී දළදා හාමුදුරුවන්ට සතර මහා දේවාලයන්ට අධිගෘහිත දෙවි දේවතාවුන් වහන්සේලාට මහනුවර මිනිස්සු දෙස් දෙවොල් නොතියන්නාහ. කළ හැක්කේද කළ යුත්තේද, ඓතිහාසිකව තමන්ට පැවරුණ බලය, අධිකාරය පාවිච්චි කර පව්කාරයන්ගෙන් සිදුවන අපරාධයෙන් රට බේරා ගැනිම පමණක් බව  මහනුවර ශ්‍රී දළදා මාලිගාවට හතර මහා දේවාලයට අරක් ගත් ජ්ීවමාන කාට කාටත්  මතක් කර දීම පමණකි. මෙවැනි කස්තිරම් කාරයන් අමුඩෙටත් අහිමිව වැලි ගම් බලා ගිය බව ඉතිහාසයේ ලියැවි ඇත. මධුරාපුර පෙනුමට මේ ඓතිහාසික මහනුවර මධ්‍යයේ වැවක් තැනීමට නැකත් හෝරා විමසීම පිණිස කොත්මලේ සුප්‍රකට බරණ ගණිතාචාර්ය ගෙන්වීය. මේ සුද්ධ කාර්ය භාර ගත් භරණ ගණිතාචාර්ය පෙහෙවන් සමාදන්ව නාත දේවාලයේ භාවනා යෝගීව සිටියේය. එක් නිමේෂයක මායාවකට මැදිවූ භරණ ගණිතාචාර්යට ක`ථ දෙමර ගමන් පොදියක්  ටික්ගොල්ල වැව දෙසින් පියඹා විත් රජ මාළිගාව මුදුණේ කැරකීලා කැරකී ගොස් අතුරුදන් වනු දර්ශණය විය. එය අනතුරක සේයාවක් හෝ අසුභ නිමිත්තක් නොවීය. තනිකරම තර්ජනයක් විය. සහලඟ දහදියෙන් තෙත්වූ බරණ ගණිතාචාර්ය මු`ථ රැයම නොනිදා පහන් කළේ බයෙන් බිරාන්ත වෙලාය.  පසු දින මහ වාසලට ගොස් වැව් කර්මාන්තය අතනුරුදායක හෙයින් අතහැර දමන්නැයි බිම දිගාවි රජ්ජුරුවන්ගෙන් අයැද සිටියේය. කට හොල්ලනවා නොවෙයි. ලැබුණේ එවැනි තර්ජනයකි. තෑගිබෝග ලබා  වාසලෙන් පිටත්වූ බරණ ගණිතාතාචාර්ය කවදාවත් ගමට ගියේ හෝ කිසිවෙකු පන පිටින් දුටුවේ හෝ නැත. ටික්ගොල්ල වෙල් යාය පුරවා කිරි මුහුද හෙවත් වර්තමාන නුවර වැව පිළිබඳ මේ කතාන්තය තව අනසන් නැත. එය අවසන් වන්නේ සිංහලේ රජු බල්ලෙකු සේ බැඳ රටේ මිනිසුන් විසින්ම පාවාදී රට පැටවීමෙනි. බලය එහෙමය. ඉතිහාසයද  එහෙමය.  

    මෙවැනි තීරණාත්මක අවස්තාවන්හිදී මහනුවර මහා සංඝයා වහන්සේ රජුන් තනන්සේ හැසිරිය යුතුවේ.  ශ්‍රී දළදා වහන්සේගේ ගෞරවය අධිකාරිත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතුවේ. එවැනි  අවස්ථාවන්  ඉතිහාසය පුරා ලියැවී ඇත.  මෙයට පෙර නිදහස් ලංකාවේ අපේ පාලකයෝ වරක්  මේ ආකාරයටම චීනාට ආරූඪවී  අන්ධව, විකාරව, කුජීතව, පිස්සු වැටී,ගණදෙවි හෑල්ලේවත් නොදැක්වෙන දළදාවක් ලංකාවට වඩම්මවූහ. ඒ දළදාව අපේ ශ්‍රී දළදා හාමුදුරුවන් සමග එක් මණ්ඩප්පයක සම සමව වඩා හිඳුවා තබා පුද පූජා ලබා දීමට  තැත් කළ අවස්තාවක එවකට මල්වතු අස්ගිරි හාමුදුරුවන් වහන්සේලා තමන් වහන්සේගේ බල පරාක්‍රමය, අධිකාරය රටටම මුදා හැර  තම විරෝධය, මැදිහත්වීම, කෝපය, පිළිකුළ අනුදැන වදාළේ තිත්ත කුණුහරුපයෙන් බව අසා ඇත්තෙමි.  එසේම පළමුවෙනි ජන රජ ව්‍යවස්ථාව  රටේ නීතිගත කොට, කොළඹ මහ කන්තෝරුවකදී ජනරජ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට තීන්දු කළහ. ඒ මහා කර්තව්‍යය හතර අතේ අණබෙර යවා මහනුවර පුරා තොරණ ඉදි කොට ධජ පතාක ඉස්සවූහ. එහෙත් ශ්‍රී දළදා ප්‍රදර්ශනය නම් ඒ තුනෙන් දෙකේ ආණ්ඩුවට පැවැත්විය නොහැකි විය. ඒ අවස්ථාවේ මල්වතු විහාරයෙන් කියැවුණේ කුමක්ද? ශ්‍රී දළදා භාරය තවමත් රටේ කිරීටය දරති. ඒ මිස ඡන්ද පෙට්ටියෙන් පත්වන ආණ්ඩුවලට ශාසනය පාලනය කළ නොහැකිය යන්නය. මේවා විශිෂ්ට පූර්වාදර්ශ වෙති.

    රටක් බිලි ගත් වසංගතයට එරෙහිව රටේ ජනතාවට බෙදා දෙන එන්නත දේශපාලනය අනුව තීන්දු කොට ප්‍රමුඛතා ලේඛන අනුව දෙන රටේ ඉලිප්පෙන කෝකාත්,  මේ රටේ කිසිවෙකු දැක නැති කිරිටය හිමි මහා බලයක් පවත්නා බව සිහි තබා ගත යුත්තාහ. පාර වැසුවාට, මල්වතු පාර්ශ්වය අදත් එකඟ නැත. ඒ පිළිබඳ එවකට වැඩ සිටි අස්ගිරි නා හිමියන් හමුවූ මහනුවර පුරවැසි පිරිසකට උන්වහන්සේ අනුදැන වදාළ දේ රටම දැනගත යුත්තාහ.

    “පාර වැහුවේ උන්නැහේ. ඒ නිසා පාර අරින්න දෙන්න නම් බැහැ.  යහ පාලන කාලයේ මහා වංචාවක් ගැන දියවඩන නිළමේ ප්‍රදීප් නිංග දෑලට එරෙහි පරීක්‍ෂණය සම්බනධව අපවත්වී වදාළ ඒ අස්ගිරි මහ නා හිමියන් වහන්සේම පුවත්පත්වලට ප්‍රසිද්ධියේ වදාළේ කුමක්ද? ශ්‍රී දළදා භාරකාරයා පොලිසි ගෙන යාම වැරදි බවය. පිනට රජවූ පොළොන්නරුවේ සිරිසේන ශාසන ගෞරවයෙන් රටේ නීතිය යටපත් කර නවා දැමීය. මහ නා හිමියන්ගේ ඒ ඉල්ලීම අපේ මාධ්‍ය වාර්තා කළහ. ඒ සිද්ධිය සහ දුමින්ද සිල්වාට සමාව ලැබීම දෙකකි. එහෙත් මහ නා හිමිවරුන්ද, එකඟ නොවී සිටින මේ ඇසළ පෙරහර වීදි බැස්වීමට කවුරු මුල් වුවද, ඔහුන් අනාගතයේ අනියම් මිනි මැරීමේ චෝදනා නොලැබුවද, ඉතිහාසයේ වරෙන්තු කාරයන් වෙනවාමය. නිලංග දෑල ශ්‍රී දළදා මාළිගාවට
    පැමිණීයේ කතරගම තම බස්නායක තනතුර රාජපක්‍ෂ පවුලට පවරලාය. රාජපක්‍ෂ පවුල ඒ නිධානය රැක ගැනීමට ශෂීන්ද්‍ර රාජපක්‍ෂට පමණක් වලංගු වන ලෙස විහාර දේවාලගම් පනත පවා සංශෝධනය කළ බව සිහිපත් කළ යුතුවේ. මහනුවර මහා සංඝයා වහන්සේට දෙපා වැඳ සැලකර සිටින්නේ  මෙය අයහපත් බලහුවමාරුව පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසය. තවත් වරක් මේ ඓතිහාසික තනතුර කන්ද උඩරටින් පිටතට නොයා යුතුවේ.

    2005දී ඒකාධිපති ව්‍යවස්තාව අහෝසි කරන බවට ශ්‍රී දළදා හිමියන් අබියස ජාතියට ප්‍රතිඥා දී අද රාජපක්‍ෂලා ළඟ දනින් වැටී සිටින,  අතුරලියේ රතන නැවත වඳපෙති වඳ අම්මලා වෙනුවෙන් ඓතිහාසික මහ ම`ථව අමු සොහොනක් කිරීමට, තැත් කළේය. මේ භූමිය එක එකාට කිළිටි කිරීමට ඉඩදීමේ සිමාවක් තිරිත්තුවක් අඇති බව අප අවධාරණය කර සිටිමු. වන්නාටය.  සියල්ල අතීතයටය.  මේ අවසාවන්ත මොහොතේ මහ ජනතාව රැස් කරවා ඇසළ පෙරහර පැවැත්වීමෙන් සිදුවන මහා විනාසය අවධාණය කර සිටින අප තමන් වහන්සේ අතුරලියේ රතනලාගේ ගලගොඩඅත්තේලාගේ සංස පරම්පරාවේ නොවන බව රටටත් පාලකයන්ටත් ප්‍රකාශ කර සිටීමට, කාලය උදාව ඇති බව  ශාසන ගෞරවයෙන් කියා සිටිමු.

    මට මෙහිදී උපනන්ද බටුගෙදර නම් කොළඹ යුගයේ ප්‍රකට  කවියාගේ වැස්ස නම් කවිපෙළ සිහිපත් වේ. එහි එක් කවියක අවසාන පදය මෙසේය. “මී හරකගෙයි එළ හරකාගෙයි වෙනස පළ කළ මැන වැස්ස ලෝකෙට වැඩ පිණිස.” සමාවෙන්න. හරක් උපමාව බටුගෙදරගේ මිස මගේ  නොවේ.

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

  • කුසල්ට සහ බිනුරට ඉන්දීය තරගාවලිය මඟහැරෙයි

    කුසල්ට සහ බිනුරට ඉන්දීය තරගාවලිය මඟහැරෙයි

    උරහිසේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය තවදුරටත් සුව අතට පත්නොවීම හේතුවෙන් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහිව තවත් දින දෙකකින් ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව තිබේ.

    එංගලන්ත තරග සංචාරය අතරතුරදී හටගත් එම උරහිසේ ආබාධය හේතුවෙන් තෙවැනි තරගයට කුසල් ක්‍රීඩා කරන ලද්දේද වේදනා නාෂක ලබා ගැනීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් එම ආබාධිත තත්ත්වය හේතුවෙන් ඔහු ඊයේ වන තෙක් පැවැති පුහුණු සැසිවලදී ක්‍රීඩාංගණයට හෝ පැමිණීමෙන් වැළකී සිටියේය.

    මේ අතර ඊයේ (15 වැනිදා) සිදුකරන පුහුණුවීම් අතරතුරදී වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුද වළලුකර ආශ්‍රිතව ආබාධයකට ගොදුරුවිය. පරීක්ෂණ වලට අනුව ඔහුගේ වළලුකර ආශ්‍රිතව අස්ථි බිඳීමකට ලක්ව තිබෙන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔහුටද ලබන 18 වැනිදා සිට ආරම්භ වන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත.PREVIOUS POST

  • පොලිස් ඇමැති ‘පරණ බෙරය‘ යළි ගහයි !

    පොලිස් ඇමැති ‘පරණ බෙරය‘ යළි ගහයි !

    රටේ විනය මෑතදී පිරිහී ඇති බවත්, විනයගරුක සමාජයක් ඇති කිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි අයට හමුදා කඳවුරුවල පුහුණුවක් ලබා දිය යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ පණදුර අළුබොමුල්ල සහ හිරාන පොලිස් ස්ථාන විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

    රටේ විනය වඩාත් නරක අතට හැරෙමින් පවතින අතර එවැනි සමාජයක කප්පම්කරුවන්, ස්ත්‍රී දූෂකයින්, පාතාල අපරාධකරුවන් නිසා කිසිවෙකුටත් බියෙන් හා සැකයකින් තොරව ජීවත් විය නොහැකි බව අමාත්‍යවරයා පැවසීය. 

    “වයස අවුරුදු 18 ට වැඩි අයට හමුදා පුහුණුව ලබා දිය යුතු යැයි මම පාර්ලිමේන්තුවේදී පැවසූ විට මට අපහාස කළා. හමුදා පුහුණුව සටන්කාමියෙකු බවට පත්වීම යැයි සමහරු විවේචනය කළා. වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන්ට කිසියම් පුහුණුවක් ලබා දිය හැකි නම්, එම පුහුණුව ලබා දීමට හොඳම ස්ථානය හමුදා කඳවුරක් බව වගේ විශ්වාසයයි. එහි අදාළ පුහුණුවට අවශ්‍ය සියලු පහසුකම් තිබෙනවා. පෞරුෂත්වය ඉහළ නංවන ඕනෑම පාඨ මාලාවක් හෝ පුහුණුවක් මගින් ක්‍රමයෙන් සමාජය විනයගරුක ආයතනයක් බවට පත් කළ හැකියි” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

    මේ අදහස සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ විශාල පිරිසක් කියා සිටියේ රටේ පවතින බරපතළ ගැටලුව ගැන කිසිම වැටහීමක් නැති දේශපාලකයින්ගේ මෙවැනි ඊනියා ප්‍රකාශවලට කිසිදු ප්‍රචාරයක් ලබා නොදිය යුතු බවයි.

    ‘රටේ විනය පිරිහුණේ හමුදා පුහුණුව නැති නිසා නෙමෙයි. දේශපාලනඥයින්ගේ අවනීතික වැඩ නිසා. ඔවුන් තමයි මේ සියලුම අපරාධකරුවන්, ස්ත්‍රී දූෂකයින්, පාතාල අපරාධකරුවන් නඩත්තු කරන්නේ. ඔවුන්ට රැකවරණය දෙන්නේ. අනික් අතින් මේ හැම අපරාධයක් පිටිපස්සේම හමුදා හෝ පොලිස් නිලධාරීන් ඉන්නවා. මේ දවස්වල ආන්දෝලනයට ලක්ව ඇති 15 හැවිරිදි දැරිය දූෂණය කළ අය අතර ආරක්ෂක අංශවල, පොලිසියේ නිලධාරීන් ඉන්නවා. කප්පම්කරුවන් අතර බහුතර හමුවේ හිටපු සොල්දාදුවන්. මේ වාගේ තත්ත්වයක් තියෙන රටක අදුරු 18ට වැඩි අයට හමුදා පුහුණුව දෙන්න යෝජනා කරන්න පුළුවන් මොලේ අමාරුවක් තියෙන අයෙකුට විතරයි‘ අප සමග අදහස් දැක්වූ සමාජ විද්‍යාඥයෙක් සදහන් කළා.

  • ලංකාවේ විවාහ වීම් 750,000ක් සිදුනොවීමෙන් ‘දරු උපත් 250,000ක් අහිමි වෙලා‘

    ලංකාවේ විවාහ වීම් 750,000ක් සිදුනොවීමෙන් ‘දරු උපත් 250,000ක් අහිමි වෙලා‘

    COVID වසංගතය හේතුවෙන් රටේ දරු උපත් සංඛ්‍යාව වේගයෙන් පහළ යමින් පවතින බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

    ශ්‍රී ලංකාව තුළ වසරකට දරු උපත් 350,000 ක් පමණ සිදුවන නමුත් පසුගිය වසර දෙක තුළ කිසිදු විවාහයක් සිදු නොවූ හෙයින්, දරු උපත් සංඛ්‍යාව ද 100,000 දක්වා විශාල ලෙස පහත බැස ඇති බව අමාත්‍යවරයා හෙළිකළා.

    COVID වසංගතය, ගර්භනී කාන්තාවන් තුළ COVID ආසාදන සහ ඔවුන්ගේ මරණ මෙසේ දරු ප්‍රසූතිය අඩුවීමට හේතු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

    COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමාවන් හේතුවෙන් විවාහ උත්සව පැවැත්වීම අඩුවීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

    “COVID-19 වසංගතය සහ රජය විසින් පනවා ඇති සීමාවන් හේතුවෙන් පසුගිය දෙවසර තුළ විවාහ උත්සව 750,000 ක් සිදුවී නැහැ. රටේ ජනගහන වර්ධනය සලකා බැලීමේදී මෙය අනාගතයට ප්‍රශ්නයක් වේවි” රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

    “කොරෝනා වසංගතයෙන් පුද්ගලයින් 3,600 ක් පමණ මියගොස් තිබෙන අතර නූපන් දරුවන් 350,000 කට පමණ එම අවස්ථාව අහිමි වී තිබෙනවා‘

    මෙම ගැටලුවේ ප්‍රතිවිපාක 2025 සහ 2026 යන වසර වලදී රට මුහුණ දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

  • ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමට රු. මිලියන 46.2ක් වැය කරයි

    ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමට රු. මිලියන 46.2ක් වැය කරයි

    ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අයෝජනය සිදුකරමින්  තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 46.2ක පිරිවැයක් දරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා සභාව හා උසස් දක්ෂතා කමිටුවෙන් නිර්දේශිත මුදල් චෙක්පත ලබාදෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ දී ඊයේ (15) මේ බව සඳහන් කළේය.

    ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනුවෙන් දරණ පිරිවැය සහ ලබාදෙන පහසුකම් විස්තර කළ අමල් එදිරිසුරිය මහතා ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම ඔවුන් වෙත හිමිකරදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්ව ගත් බව පෙන්වා දුන්නේය.

    ඒ අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික්  ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා ලබාදෙන දීමනාවන් සහ පහසුකම් පහත සඳහන් පරිදි වේ.

    1. තරග ඉසව් සඳහා දක්‍ෂතා මත සෘජුවම සුදුසුකම් ලැබු ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් තිදෙනෙකු වෙත       අමරිකානු ඩොලර් 15,000 බැගින් ලබා දීම.
    2. තරග ඉසව් සඳහා වෙනත් පදනමකින් (Bipartite/ Tripartite සහ වෙනත්) සුදුසුකම් ලැබු ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් සයදෙනෙකු සඳහා අමරිකානු ඩොලර් 10,000 බැගින් ලබාදීම.
    3. සුදුසුකම් ලබාගත් ක්‍රීඩක/ ක්‍රිඩිකාවන්ගේ පුහුණුකරුවන් සයදෙනෙකු සඳහා අමරිකානු ඩොලර් 5,000 බැගින් ලබාදීම.‍
    4. සහභාගී වන සියලුම ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් සඳහා ව්‍යාපාරික පන්තියේ  (Business Class)  ගුවන් ගමන් පහසුකම් ලබා දීම.
    5. සියලුම ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා දෛනික දීමනාවක් ලෙස ඇමරිකානු ඩොලර් 40  බැගින්  තරගාවලියට සහභාගී වනු ලබන කාල සීමාව සඳහා ලබා දීම.
    6. තරගාවලියට සහභාගීවීමට පෙර සියලුම ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන්  ප්‍රධාන පෙළේ තරු පන්තියේ සංචාරක හෝටලයක් වන සිනමන් ග්‍රෑන්ඩ් හි (Cinnamon Grand)  ජෛව බුබුලකට ඇතුළත් කර පූර්ව නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සපයාදිම.

    මීට අමතරව 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් නිර්දේශ කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සිනමන් ලයිෆ් ශ්‍රී ලංකා (Cinnamon Life Sri Lanka) සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන කණ්ඩායම සඳහා ජපානයේ ටෝකියෝ නුවර  ‘‘ෆ‘‘ තරු පහේ හෝටලයේ සම්පූර්ණ මහලක සියලු පහසුකම් ද සමගින් නවාතැන් ලබාදීමට ද කටයුතු සූදානම් කර ඇත.

  • ක්‍රියාකාරකම් 10කට අදාළ ‘සංචරණ සීමා තව දුරටල් ලිහිල් කරයි‘

    ක්‍රියාකාරකම් 10කට අදාළ ‘සංචරණ සීමා තව දුරටල් ලිහිල් කරයි‘

    දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංචරණ සීමා තව දුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආගමි ස්ථාන සහ ආගමික උත්සව, සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ක්‍රීඩා තරග ඇතුළු ක්‍රියාකාරකම් 10ක් යටතේ සංචරණ සීමා ලිහිල් කිරීම් ගැන එම නිවේදනයේ සදහන්. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

  • 15 හැවිරිදි දැරිය දූෂණය කළ මාලදිවයිනේ හිටපු මුදල් ඇමැතිට ඇප

    15 හැවිරිදි දැරිය දූෂණය කළ මාලදිවයිනේ හිටපු මුදල් ඇමැතිට ඇප

    ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන දූෂණය කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එම දැරිය විසින් අද (16) සැකකරුවන් සිව් දෙනකුව හඳුනා ගත්තාය.

    දැරිය විසින් හඳුනාගත් සැකරුවන් වූයේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මොහොමඩ් අෂ්මලි, බම්බලපිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු සහ හෝටල් සේවකයෙකි.

    මාලදිවයන් හිටපු මුදල් ඇමැතිවරයාට සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් වී තිබූ හෙයින් මහෙස්ත්‍රාත්වරිය ඔහුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ අතර අනෙක් සැකකරුවන් තිදෙනාගේ විමර්ශන අවසන් නොමැති හෙයින් ඔවුන්ව ජුලි 29 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.

    මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 41 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය වාර්තා කළේ.

  • නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ‘ජංගම එන්නතකරණ‘ සේවාවක්

    නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ‘ජංගම එන්නතකරණ‘ සේවාවක්

    රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබේ. එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කළේය. මේ නිසා එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුළ එන්නත්කරණය කළ හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන මහත්වරු පෙන්වා දුන්හ. ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ක්ෂේත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන් වී තිබේ.  එම නිසා අදාළ ක්ෂේත්‍රවල විශේෂ පිබිදීමක් දක්නට ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින්, පහසුවෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය. එහිදී ප්‍රතිකාර ගත් කිසිවෙකු මරණයට පත් වී නොමැති අතර, ඉක්මණින් සුවය ලැබීම පිළිබඳව විශේෂ පර්යේෂණයකට යොමුවීමේ අවශ්‍යතාවය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙනු ලැබීය. පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තීකරණ වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.