Author: Editor

  • චම්පික ගේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත මැතිසබයට

    චම්පික ගේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත මැතිසබයට

    නීති ප්‍රතිසංස්කරණය ජාතික ව්‍යාපාරය විසින් සකස් කර ඉදිරිපත් කරන ලද අධිකරණයට අපහාස කිරීමේ නීතිය සම්බන්ධ නව පනත් කෙටුම්පත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එය 2021.07.12 වන දින ගැසට් පත්‍රයේ පළ කර තිබේ. 

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙත ලබා දුන් අධිකරණ තීන්දුව පිළිබඳව විවිධ පාර්ශවයන් අදහස් දක්වද්දී ඒ පිළිබඳව නීතිය විෂයයෙහි ප්‍රාමාණික වියතුන්ගෙන් සැදුම්ලත් නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරයේ මතය වූයේ අප රටේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව විධිමත් ව්‍යවස්ථාපිත නීතියක් නොවීම බරපතල අඩුපාඩුවක් වන බවයි. එකී අඩුව පිරවීම සඳහා නිසි අධ්‍යයන ක්‍රියාවලියකින් පසු සකස් කරන ලද කෙටුම්පත 43 සේනාංක මූලස්ථානයේ දී පසුගිය පෙබරවාරි මස හිටපු අමාත්‍ය පාඨලී චම්පික වෙත භාරදෙන ලදී. ඒ අනුව එතුමන් විසින් අදාළ කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. 

    අප රටේ යල් පැන ගිය නීති ප්‍රතිසංස්කරණය තුළින් වඩා ජනතාවාදී නීති පද්ධතියක් ස්ථාපනය කල යුතුබව පාඨලී චම්පික රණවක මහතා 43 සේනාංකය ස්ථාපනය කිරීමේදීද පැහැදිලිව ප්‍රකාශ කරන ලද කරුණකි. ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා 43 සේනාංකය යටතේ ජනරජ කමිටුව විශේෂ අවධානයකින් යුතුව නීතිඥ ශිරාල් ලක්තිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඉදිරියේදී දූෂණ විරෝධී නීතිය ශක්තිමත් කිරීම සඳහා ද ඔවුන් විසින් මේ ආකරයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

  • ‘සීනෝෆාර්ම්‘ සාර්ථකත්වය ගැන ඉහළම සහතිකයක්

    ‘සීනෝෆාර්ම්‘ සාර්ථකත්වය ගැන ඉහළම සහතිකයක්

    සීනෝෆාර්ම් කොවිඩ් -19 එන්නත එන්නත් කළ පුද්ගලයින්ගෙන් සියයට 95 ක් තුළ ප්‍රතිදේහ නිපදවන බවත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එය ඉතා ඵලදායී බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.    

    මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පැවසුවේ, සීනෝෆාම් එන්නත සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පිළිබඳව සොයා බැලූ බවත්, එන්නත මගින් 95% කට වඩා වැඩි පිරිසකගේ ප්‍රතිදේහ ප්‍රතිචාර දක්වන බව සොයා ගන්නා ලද බවත්ය. එම ප්‍රතිශතය ස්වාභාවික COVID-19 ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටම බව ද ඔවුහු පැවසූහ.

    “මෙම එන්නත ඩෙල්ටා ප්‍රභේදයටද ඉතා ඵලදායී බව සොයා ගන්නා ලදී. ඩෙල්ටා ප්‍රභේදයට ප්‍රතිදේහ ප්‍රතිචාර දැක්වීම සහ උදාසීන කරන ප්‍රතිදේහ ස්වාභාවික ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටමට සමාන වේ.

  • ඉන්ධන මිල ඉහළ දැමීම 3/2ක ඡන්දයෙන් සම්මතයි

    ඉන්ධන මිල ඉහළ දැමීම 3/2ක ඡන්දයෙන් සම්මතයි

    ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව 3/2කට වඩා වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය. යෝජනාවට විපක්ෂව පක්ෂව ඡන්ද 152ක් ලැබුණු අතර එයට පක්ෂව හිමිවූයේ ඡන්ද 61ක් පමණි.

    සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

  • ජයන්ත කැටගොඩ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධුරය ප්‍රතික්ෂේප කරයි

    ජයන්ත කැටගොඩ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධුරය ප්‍රතික්ෂේප කරයි

    ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස පත්කිරීමේ යෝජනාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ජයන්ත කැටගොඩ ප්‍රකාශ කර ඇත්තේ ‘‘මම ඒ ඉල්ලීම ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කළ‘ බවයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත කැටගොඩ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට අවස්ථාව ලබාදීම සදහා ඉල්ලා අස්වූවේය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ තමාට ජනාධිපති, අගමැති සහ නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් යෝජනා ගණනාවක් ලැබී ඇති බවයි. කෙසේ වෙතත්, තමා එම යෝජනා ප්‍රතික්ෂේප කළ බවත්, බැසිල් රාජපක්ෂට සහාය දෙමින් සිය දේශපාලන ගමන දිගටම කරගෙන යන බවත් ඔහු පැවසුවේය.

    “මම ඉල්ලා අස්වීමට හේතුව බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවස්ථාව ලබා දීමයි. මම ආපසු කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ අරමුණ වුණේ රට වෙනුවෙන් හරි දේ කිරීම මිස පුද්ගලික වාසි ලබා ගැනීම නොවෙයි‘‘ ඔහු පැවසුවේය.

  • උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි කල් යයි

    උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි කල් යයි

    2021 අ.පො.ස. උසස් පෙළ විභාගය සහ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

    ඒ අනුව උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වාත්, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදාත් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.

    මීට පෙර, අමාත්‍යාංශය විසින් උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 සිට 30 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

    අ.පො.ස. සාපෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ද තවත් ගැටළුවක් පැන නැගී ඇත. සෞන්දර්ය විෂයන් හැදෑරූ සිසුන් සඳහා ප්‍රායෝගික විභාගය පැවැත්වීම පිළිබඳ ගැටළුවක් පවතී. එබැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙමින් පවතී.

    “සෞන්දර්යය විෂයයන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විය නොහැකි නම්, පාසල පදනම් කරගෙන ලකුණු ලබා ගැනීමෙන් පසු ප්‍රතිඵල නිකුත් කළ හැකිද යන ප්‍රශ්නයට අප මුහුණ දී සිටිමු‘‘ යැයි අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.

    සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික විභාගය අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා පැවැත්වීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇත.

  • ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය  හඳුන්වාදෙයි

    ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය හඳුන්වාදෙයි

    තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය  (Smart Face Mask) BreathTech-S3 සන්නාමයෙන් ලොවට හඳුන්වාදීම අද (19) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රයේ දී සිදුවිය.

    හයිඩ්‍රාමනී (Hirdaramani) සමූහය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ  Technolagies ආයතන ත්‍රිත්වය එක්ව මෙම පරිසර හිතකාමි ස්මාර්ට් මුව ආවරණයේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙයි.

    මෙම නව smart මුව ආවරණයේ ඇති සුවිශේෂිතා මෙසේය.

    • BreathTech – S 3  යනු ස්වාභාවිකව දිරාපත්වන සෙලියුලෝස් මත පදනම් වූ අමුද්‍රව්‍ය යොදා නිශ්පාදනය කරන ලද Smart සංවේදකයක් සහිත මුව ආවරණයකි.
    • නව තාක්ෂණය මුසු දේශීය නිෂ්පාදනයක් වන මෙහි ඇති proprietary graphene sensor සංවේදකය හරහා හුස්ම ගැනීනම් වේගය, එය ශරීරය සමඟ සම්බන්ධවී ඇති ආකාරය සහ CO2 එක්රැස්ව ඇති ප්‍රමාණය ගණනය කරන අතර, අවදානම් තත්වයකට ළඟා වේ නම් ඒ සම්බන්ධයෙන් ජංගම දුරකතනයට ඇතුළු කළ හැකි App එකක් වෙත දැනුම් දීම සිදු කරනු ලබයි.
    • ශ්වසන සංවේදක තාක්ෂණය ඇතුළත් කර තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ නිපදවන ලද Breathtech – S³ ලොව ප්‍රථම Smart මුව ආවරණය මෙයයි.
    • BreathTech – S³ පැළඳ සිටින පුද්ගලයාගේ ශ්වසන වේගය නිරීක්ෂණය කරන අතර එම පුද්ගලයාගේ මුහුණට නිසි ආකාරයෙන් සවිව අවම කාන්දුවක් ඇතිවන බවට fit assessment තාක්ෂණය හරහා තත්කාලීනව නිරීක්ෂණය කරයි.
    •  BreathTech – S 3 හි සංවේදක අමුද්‍රව්‍ය (සංවේදක මූලද්‍රව්‍ය) ප්‍රශ්වාස වාතයේ ඇති සංඝටක සමඟ ප්‍රතික්‍රියා කිරීම තුළින් එහි විද්‍යුත් සන්නායක ගුණය වෙනස් කරයි.
    • එම වෙනස්වීම් සංවේදකයේ සන්නිවේදන මොඩියුලයේ ඇති විද්‍යුත් පරිපරිපථය මඟින් හදුනාගන්නා අතර එය Bluetooth හරහා ජංගම දුරකතනයේ ඇති විශේෂිත යෙදුම (App) වෙත ලබා දේ.
    • ඉන් අනතුරුව ඒ තොරතුරු එම යෙදුම  (App) සතුව ඇති අති නවීන තාක්ෂණයේ තොරතුරු සකස් කිරීමේ  machine learning algorithms හරහා තේරුම්ගෙන පරිශීලකයාට ලබාදීමට කටයුතු කරයි.
    •  BreathTech – S 3 හි පෙරන ස්ථරය සංතෘප්තවීම නිසා මුව ආවරණය ලිහිල්වීම ගැන දැනුවත් කිරීමේ හැකියාව පවතී.
    • එමෙන්ම මුව ආවරණය තුළ ඇති සංවේදකය තුළින් ඒ තුළ CO2 එක්රැස්වීම නිරීක්ෂණය කරන අතර, පළඳින පුද්ගලයාට අළුත් හුස්ම ගත යුතු අවස්ථාව දැනුම් දීමට ද එයට හැකියාව පවතී.
    • BreathTech – S 3 හි විලාසිතානුකූල නිමැවුම සහ සුමට සැකැස්ම හේතුවෙන් එය විලාසිතානුකූල සහ සුවපහසු උසස් තාක්ෂණයෙන් යුතු මුව ආවරණයක් වන අතර එමගින් පළඳින පුද්ගලයාගේ ආරක්ෂාව තහවුරුවීම සිදුවේ.
    • මේ සඳහා අතිනවීන සහ අනන්‍ය සංවේදකය නිර්මාණය කිරීමට SLINTEC ආයතනයේ විද්‍යාඥයන් විසින් වසර ගණනාවක පර්යේෂණ කටයුතු හරහා ශ්‍රී ලංකාවේ මිනිරන් භාවිතා කර නිපදවන ලද මුද්‍රණය කළ හැකි Graphene යොදා සිදුකරන ඉතාමත් සංවේදී සහ අඩු පිරිවැයක් සහිත සංවේදක නිෂ්පාදන තාක්ෂණයක් භාවිතා කරනු ලබයි.
    • 100% සෙලියුලෝස් සහ දිරාපත්වන අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙය පරිසර හිතකාමී තිරසාර නිෂ්පාදනයක් වන අතර එහි යෙදුම (App) තුළ මෙම මුව ආවරණය නිසි පරිදි වගකීම්සහගතව බැහැර කිරීමට අදාළ උපදදෙස් ද ඇතුළත් වේ.
    • පරිසර හිතකාමී කර්මාන්තශාලා තුළ නිපදවන මෙම පරිසර හිතකාමී Smart මුව ආවරණයේ ඇසුරුම් ස්වාභාවිකව දිරාපත්වන ලෙස සකස් කර තිබීමෙන්  මුව ආවරණ  හේතුවෙන් පරිසරයට එක්රැස් වන කසල ප්‍රමාණය අවම කළ හැකියි. 
    • මේ තුළ ඉහළ කාර්යාක්ෂමතාවකින් යුත් පෙරහන් ස්ථරයක් අඩංගුවන අතර, වැඩි ආරක්ෂාව සඳහා බැක්ටීරියා විනාශ කරන තරල අඩංගු ස්ථරයක් ද  ඇතුළත් වේ.
    • BreathTech-S³, තත්කාලීන fit assessment හරහා කුඩා අංශු සහ බිඳිති වලට නිරාවරණය වීම අවම කරන අතරම කාන්දු වීම වැළැක්වීම හරහා වැඩි ආරක්ෂාවක් ලබාදෙයි.
    • මෙම අති නවීන Smart මුඛාවරණය 2021 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට  සහභාගී වන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ලබාදීමට SLINTEC,, Hirdaramani සමූහය සහ CirQ Technologies ආයතන කටයුතු කර තිබේ.
  • පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙළ කඩිනම් කළ යුතුයි

    පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙළ කඩිනම් කළ යුතුයි

    සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ මාතර දිස්ත්‍රික්කයේ පිළිකා කළින් හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක් වන “පැලියේටිව් කෙයාර්” සත්කාරක භාරය අතර  අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද දින (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු වූ අතර, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ පැලියේටිව් කෙයාර් භාරයේ ප්‍රධානී වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා එම සංවිධානය වෙනුවෙන් ගිවිසුම් ලේඛණයට අත්සන් තැබීය.

    මෙරට ජනතාව අතරින් සෑම පැයකටම 04 දෙනෙකු පිළිකා රෝගීන් බවට පත්වනු ඇතැයි හදුනාගෙන ඇති අතර, දිනකට බෝනොවන රෝග වලින් මියයන පිරිස අතරින් දෙදෙනෙකු පිළිකා රෝගී තත්ත්වය නිසා මියයන බව  ද සෞඛ්‍ය අංශ හදුනාගෙන ඇත.

    එම තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීමට සහ රෝගීන් කලින් හදුනාගෙන ප්‍රතිකාර කටයුතු සදහා යොමු කිරිමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

    එම වැඩපිළිවෙලට අනුව රට තුල පිළිකා වැළැක්වීම, පාලනය, ප්‍රතිකාර සේවා සහ රෝගීන් කල්තියා හදුනා ගැනීමේ සේවාවන් ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය කටයුතු විධිමත් කළ යුතු බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පෙන්වා දෙන ලදි. ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක ම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනමින් සිදු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.  

  • භාණ්ඩාගාරයෙන් ‘අමතර ප්‍රතිපාදන නොදෙන බව‘ බැසිල් ඇමැතිවරුන්ට කියයි

    භාණ්ඩාගාරයෙන් ‘අමතර ප්‍රතිපාදන නොදෙන බව‘ බැසිල් ඇමැතිවරුන්ට කියයි

    මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කළා.

    ඊයේ (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ  පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම ඉල්ලීම කළ මුදල් අමාත්‍යවරයා සහල් මිල රුපියල් 20කින් පමණ අඩු කිරීමට හැකියාව තිබියදී ව්‍යාපාරිකයන් හතරදෙනකු සහල් වලින් අධික ලාභයක් ලබන බවද සඳහන් කළා.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ගතවූ කාලයේදී රාජ්‍ය අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බැවින් අලුතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ අවශ්‍යතාවක් ද නැති බවයි.

    ‘‘අපි පසුගිය කාලයේ රජයේ රැකියා විශාල ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ නිසා මේ වන විට සේවය කරමින් සිටින කාර්ය මණ්ඩල යොදාගෙන කටයුතු කර යන්න කියලා තමයි මට ඉල්ලීම් කරන්න වෙන්නේ‘‘

    මෙහිදී රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය ගැන විශේෂයෙන් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යවරයා විදේශ සංචිතවල යම් අඩුවීමක් තිබෙන නමුත් එය කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින බව ද පැවසුවා.

    ‘මේක ඒ හැටි අර්බුදයක් නොවෙයි. යුද්ධය කාලේ විදේශ සංචිත තිබුණේ ඩොලර් බිලියන 1.2යි‘ මුදල් අමාත්‍යවරයා පැවසුවා.

    ‘මහ බැංකුවේ හා පෞද්ගලික බැංකු වල කිහිප දෙනකු එක් වී ඩොලර් මගඩියක් කරගෙන යනවා. මේ නිසා ඩොලර් වෙනුවෙන් කළුකඩයක් නිර්මාණය වී තිබෙනවා. කළු කඩේ ඩොලරයක මිල රුපියල් 235 ක් දක්වා ඉහළ ගියත් එය මේ වන විට 220 දක්වා පහළ වැටී තිබෙනවා‘ යැයි ද සදහන් කළා.

  • කොළඹ කොවිඩ් ආසාදිතයින්ගෙන් 30%කටම ඩෙල්ටා –  විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

    කොළඹ කොවිඩ් ආසාදිතයින්ගෙන් 30%කටම ඩෙල්ටා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

    කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 20% 30% අතර ප්‍රතිශතයක් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන්  විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

    කොළඹ සාම්පල 10ක ඩෙල්ටා  ආසාදනය වූ දෙදෙනකු හෝ හෝ තිදෙනකු සිටිනවා නම් එය 30%ක ප්‍රතිශතයක් ලෙස එය ගෙනහැර දැක්විය හැකි බවයි හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

    මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද ඊයේ බරපතළ ලෙස අනතුරු අගවමින් කියා සිටියේ ඩෙල්ටා ආසාදිතයින් වර්ධනය වීමේ හමුවේ රට යළි අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවයි.

  • ජනපති ගෝඨට තවත් පහක් ඕනැලු

    ජනපති ගෝඨට තවත් පහක් ඕනැලු

    ජනාධිපතිවරණයට නැවතත්  ඉදිරිපත් වීමට තමා බලාපොරොන්තුව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති  සාකච්ඡාවේ පැවසීය. තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වසර තුනක් නොව ඉන් පසුව ද තවත් වසර පහක් තිබෙන බව ජනාධිපතිවරයා  සඳහන් කළේය.

  • වැඩිහිටියන් එන්නත්කරණයට ස්වේච්ඡාවෙන් සහාය වීමට ‘තරුණයින් ප්‍රජාවට අවස්ථාව‘

    වැඩිහිටියන් එන්නත්කරණයට ස්වේච්ඡාවෙන් සහාය වීමට ‘තරුණයින් ප්‍රජාවට අවස්ථාව‘

    මෙතෙක් එන්නත නොගත් දෙමාපිය, වැඩිහිටියන් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් එන්නත්කරණයට රැගෙන ඒමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රටේ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි.

    මෙතෙක් එන්නත් නොකළ දෙමාපියන්, වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන ඒමට මෙරට යෞවන සමාජ ව්‍යාපාරය ප්‍රමුඛ තරුණ සංවිධාන නියෝජනය කරන තරුණ තරුණියන්ට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම මත සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡාකොට එම සෞඛ්‍ය නිලධාරින් වැඩිහිටියන් හෝ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින නිවස්වලට ගොස් එන්නත්කරණය සාර්ථකව අවසන් කිරීමට රජයට  සහය වන්නැයි ද අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

    මෙතෙක් එන්නත් නොකළ දෙමාපිය, වැඩිහිටි හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට එන්නත් ලබාදීම කඩිනම් කිරීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (18) දින මේ බව සඳහන් කළේය.

    එහි දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    එන්නත්කරණ වැඩසටහන ඉතාමත් සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වෙනවා. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද සියලුම එන්නත් අපේ රටට ගෙන එන්න අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවෙලා තියෙනවා. සියලුම එන්නත් කිරීමේ වැඩසටහන් මේ වනවිට දීප ව්‍යාප්තව සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

    ඒ අතර අපි දන්නවා තවමත් එන්නත්කරණය කරගන්න බැරිවුණ දෙමව්පියො ඉන්නවා නම් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එන්නත්කරණය කරන මධ්‍යස්ථානවලට ඇවිල්ලා එන්නත ලබාගන්න.

    ඒ වගේම නිවෙස්වල වැඩිහිටියො ඉන්නවා නම් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයො ඉන්නවා නම් එන්නත්කරණය සඳහා මෙතෙක් පැමිණීමට නොහැකි වුණ අයට අපි ආරාධනා කරනවා මේ රටේ තරුණ පරම්පරාවට විශේෂයෙන්ම යෞවන සමාජ ව්‍යාපාරයට, තරුණ සංවිධානය මේ අයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වෙලා මේ වැඩිහිටියන්ට, දෙමාපියන්ව එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන එන්න.

    අතිගරු ජනාධිපතිතුමාගෙත් ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම මත සෞඛ්‍ය අංශ එක්ක සාකච්ඡාකොට ඒ සෞඛ්‍ය නිලධාරින් අවශ්‍ය තැන්වල නිවස්වලට හෝ රැගෙන ගොස් එන්නත්කරණ සාර්ථකව අවසන් කරන්න අපට දායකත්වය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා.

    ඒ අනුව මේ රටේ තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නෙ ඔබ ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙන්න. ඔබේ ප්‍රදේශයේ වැඩිහිටියන්, දෙමාපියන් සැමගේ ජීවිත ආරක්ෂා කරන්න. මේ එන්නත්කරණය තවත් සාර්ථක කරගන්න ඒ අයව එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන එන්නත්, මධ්‍යස්ථාන වෙත පැමිණිය නොහැකි අයවලුන්ගේ නිවෙස් වෙත ගොස් එන්නත්කරණය කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙසත් අමාත්‍යතුමා පැවසීය.

  • ඉන්දියාව ශ්‍රී ලංකාවේ සිහින සුන්කරමින් එක්දින ජයග්‍රහණය වාර්තා කරයි

    ඉන්දියාව ශ්‍රී ලංකාවේ සිහින සුන්කරමින් එක්දින ජයග්‍රහණය වාර්තා කරයි

    ලකුණු 263 ක ඉලක්කයක් හඹා යෑමේදී ඉන්දීය නායක ශිකර් ධවාන් ඇතුළු නවක ජවයකින් යුතු ඉන්දීය පිතිකරුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම මත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (18 දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගැනීමටද සමත්විය.

    ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට රඳවාගත යුතු ලකුණු 5.24 ක වේගය වෙනුවට 7.17 ක වේගයක් රඳවා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව වූ ජයග්‍රහණය ඉන්දීය පිල සනිටුහන් කරගන්නා විට පන්දු 80 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

    වැඩිම ලකුණු ලාභියා වුණු නායක ධවාන් කෙටි ලකුණක් ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන විට ඔහුගේ නම ඉදිරියෙන් පන්දු 95 කදී ලකුණු 86 ක් සටහන්ව තිබිණ. සෙසු පිතිකරුවන් වේගවත්ව ලකුණු සොයා යමින් පන්දුවට පහර දෙද්දී කලබල නොවුණු ධවාන් තරගය නිමා කරන විට හයේ පහරක් සහ හතරේ පහර 6 කින් ඉනිම සරසාගෙන සිටියේය.

    ධවාන් සමඟ ඉනිම ඇරැඹි ප්‍රිතිව් ෂා ප්‍රවේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දු 24 කදී ලකුණු 43 ක් ලබාගත්තේය. ධනංජය ද සිල්වාගේ ගොදුරක් වෙමින් ප්‍රිතිව් දැවී යන විට ශ්‍රී ලංකාවට සැලකිය යුතු හානියක් සිදුකර තිබුණු අතර එබැවින් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය. ප්‍රිතිව්ගේ ඉනිම හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 ඇතුළත ලකුණු 91 ක් තරම් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට ඉන්දීය කණ්ඩායමට අවස්ථාව උදාවිය. පන්දු රැකීමේදී උඩ පන්දු කීපයක් ගිලිහී යෑමත් ඉලක්කගත පන්දු යැවීමක නිරත වීමට නොහැකිවීමත් මෙතරම් දැවැන්ත පරාජයක් ලැබීමට හේතුවූ කරුණු විය.

    ධවාන්ට අමතරව ඉෂාන් කිශාන් පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමඟින් ලකුණු 59 ක් රැස් කළේය. ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ ඉෂාන් කිෂාන් දැවී යෑමත් සමඟ ඉනිමේ ගොඩ නැංවුණු ඉහළම ලකුණු සම්බන්ධතාවය වූ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවයද ලකුණු 85 දී හමාර විය. ධනංජයගේ දෙවැනි ගොදුර බවට මනීෂා පාන්ඩේ ලකුණු 26 ක් ලබා සිටියදී දැවී යෑමෙන් පසු පිටියට පිවිසි සූර්යකුමාර් යාදව් ඉන්දීය ජයග්‍රහණය වාර්තා වන විට පන්දු 20 කට මුහුණ දී ලකුණු 31 ක් ලබා සිටියේය.

    නිරන්තරයෙන්ම දැවැන්ත පහර එල්ල කිරීමේ හැකියාව අහිමි වුවත් ආරම්භක පිතිකරුවන්ගේ සිට පසු පෙළ දක්වා වූ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹය හේතුවෙන් ලකුණු 263 ක අභියෝගයක් ඉන්දීය පිල හමුවේ ශ්‍රී ලංකාව ලබා දුන්නේය.

    ලකුණු 250 සීමාව ඉක්මවා ලීම වෙනුවෙන් පසු පෙළින් පැමිණි චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර එක්ව අවසන් පන්දුවාර 3 දී එක් කරන ලද ලකුණු 40 ශ්‍රී ලංකා පිලේ විශ්වාසය තවත් වැඩි කිරීමට මහත් දායකත්වයක් ලබා දුන්නේය. මේ අතරින් කැපී පෙනුණු චාමික කරුණාරත්න අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ වේග පන්දු යවන භුවනේෂ්වර කුමාර්ට එරෙහිව පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 40 සීමාවට පැමිණි එකම පිතිකරුවා බවට පත්විය.  හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සිය ඉනිමට ඇතුළත් කර චාමික පන්දු 35 කදී ලකුණු 43 ක් ලබා ගත්තේ ඉනිමද බිඳ නොදැවී තබා ගනිමිනි.

    ජ්‍යෙෂ්ඨයින් රහිතව තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අර්ධ ශතකයක් හෝ වාර්තා නොවුණත් සෑම දෙනාම හැකි පමණින් කණ්ඩායමට දායකත්වය ලබා දුන්හ. එබැවින් අද රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව අර්ධ ශතකයක් හෝ වාර්තා නොවී කණ්ඩායමක් රැස් කරන ලද දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්වීම කැපී පෙනුණි.

    භුවනේෂ්වර් කුමාර්, යුස්වේන්ද්‍ර චෙහල් සහ කුල්දීප් යාදව් යන නම් දැරූ ප්‍රධාන පන්දු යවන්නන් සහිතවූ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකා ඉනිම විටින් විට අවහිර කරනු ලැබුවද ලකුණු ලබා ගැනීමට හැකී සෑම අවස්ථාවකදීම ඒ සඳහා යෑමට පිතිකරුවන් පෙළැඹීම නිසා සටනක් ලබා දී රැක ගත හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්විය. පන්දුවට පහරදීමට පැමිණි පිතිකරුවන් අතරින් පිතිකරුවන් හය දෙනෙකු ලකුණු 20 සීමාව පසු කළ අතර තිදෙනකු පමණක් ලකුණු 10 සීමාවේ රැදී සිටියහ.

    පන්දු යවන්නන් අතර වැඩිපුරම ප්‍රහාරයකට ලක්වූයේ පළමු කඩුල්ල දවා ගත් යුස්වේන්ද්‍ර චෙහල්ය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අවිෂ්ක ප්‍රනාන්දුව දවාගත් චෙහල් ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට පන්දුවාර 10 ම අවසන් කරමින් ලකුණු 52 ක් ලබා දී කඩුලු 2 ක් දවාගෙන සිටියේය. ඔහුට අමතරව දීපාක් චහර් සහ කුල්දීප් යාදව් ද කඩුලු 2 බැගින් බිඳ හෙළූ සාමාජිකයින් බවට පත්වූහ.

    අද දිනයේදී මංගල ඉනිම ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ චෙහල්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් වඩා විශ්වාසයකින් ලකුණු රැස් කිරීම ආරම්භ කළද පිට ඉන්නට වඩාත් ඈතින් ගිය පන්දුව මිඩ් විකට් කළාපය වෙත යැවීමට කරන ලද උත්සාහය වැරදී යෑම නිසා අවාසනාවන්ත ලෙස ලකුණු 24 කදී පිටියෙන් ඉවත් විය. ඒ වන විටත් ඔහු මුහුණ දී සිටි පන්දු 22 න් දෙවතාවක් හතරේ සීමාවට ඉහළින්ද දෙවතාවක් හතරේ සීමාවද පන්දුව පසුකර යැවීමට සලස්වා තිබුණි.

    එම ලකුණු ලබා ගැනීම අතරතුරදී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවූයේ යැයි කුල්දිප් යාදවු විසින් කරන ලද ඉල්ලීමද තෙවැනි විනිසුරු තීරණය දක්වා දිග් ගැස්සුනද පිටියේ විනිසුරුවරයාගේ තීරණය භානුකට වාසිවන අයුරින් ලබා දී තිබීම නිසා තවදුරටත් පිටියේ රැදී සිටීමට ඔහුට අවස්ථාව උදාවිය. එහෙත් අනවශ්‍ය කලබලය භානුකට කඩුල්ල අහිමි කළේය.

    එම දැවී යෑමෙන් පසු මිනෝද් භානුකද දැවී ගිය බැවින් ලකුණු 85 කට එක් කඩුල්ලක්ව සටහන් වුණු ශ්‍රී ලංකා ඉනිම එක වරම ලකුණු 89 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය. එංගලන්ත සංචාරයේදී මෙන් නොව සටන අත් නොහළ මැද පෙළ පිතිකරුවන් නිරන්තරයෙන්ම ශක්තිමත් සම්බන්ධතා පැවැත්වීමට දරන ලද උත්සාය මෙම තරගයේදී වැඩ කළ බැවින් එකා පිට එකා දැවී යෑම වෙනුවට වැඩි ලකුණු සංඛ්‍යාවක් පුවරුවේ රැඳවීමට හැකියාව උදාවිය.

    ධනංජය ද සිල්වා ඉක්මනින් දැවී ගියද චරිත් අසලංකට එක්වූ නායක දසුන් ශානක පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක් එක් කරන ලද්දේ පිළිවෙළින් ලකුණු 38 සහ 39 වශයෙන් රැස් කරගනිමිනි.

    දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය ලබන 20 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 3.00 ට ආරම්භ වනු ඇත.

    Text by sl cricket
  • මැතිවරණ හා ජන්ද විමසීම් නීතී රීති ප්‍රතිසංස්කරණයට දේශපාලන පක්ෂ 21 කින් යෝජනා

    මැතිවරණ හා ජන්ද විමසීම් නීතී රීති ප්‍රතිසංස්කරණයට දේශපාලන පක්ෂ 21 කින් යෝජනා

    මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කර ඇති සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ලැබී තිබේ.

    මෙයට අමතරව, මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් යෝජනා හා අදහස් 155ක් ඉදිරිපත් වී ඇති බව මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසීය.

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදහස් හා යෝජනා ඉදිරිපත්කිරීම සඳහා ලබා දී තිබූ කාලය ජූලි 15 වැනිදා අවසන් විය.

    ඒ අනුව, යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (උඩු නුවර ශාඛාව) ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලිබරල් පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජනතා පෙරමුණ, සමස්ත ලංකා දමිල සභාව, එක්සත් සාම පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, දමිල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සමාජවාදී සංධානය, සිංහලදීප ජාතික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, සමත්තුව කච්චි සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන දේශපාලන පක්ෂයි.

    ඉදිරිපත්ව ඇති යෝජනා ඉදිරියේදී පැවැත්වෙන විශේෂ කාරක සභා රැස්වීම් වලදී අවධානයට ලක් කිරීමට නියමිතය.

    මේ අතර පසුගිය 14 වැනිදා විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටි මෙරට ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය සිය යෝජනා දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කාරක සභාවේ සාජිකයන් වෙත ඉදිරිපත් කළේය.

    විශේෂ කාරක සභාවේ මීලඟ රැස්වීම ලබන ජූලි 28 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

  • ‘ලංවිම රාජපක්ෂලාගේ අප්පගේ බූදලයක් නෙමෙයි‘ – ලංකා විදුලි සේවක සංගමය

    ‘ලංවිම රාජපක්ෂලාගේ අප්පගේ බූදලයක් නෙමෙයි‘ – ලංකා විදුලි සේවක සංගමය

    විදුලි බල මණඩල විකිණීමේ පියවරක් ලෙස කෙරවලපිටිය ලක්දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති ආණ්ඩුවේ තීරණය මුට්ටිය දමා බැලීමක් බවත් ආණ්ඩුවේ මුටිටි කුඩුවෙන්න පහර දෙන බවත් ලබන 20 වෙනිදායින් පසු කෙරවලපිටිය යුද පිටියක් බවට පත්කරන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරයි.

    ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා බව පැවසූවේ අද (18) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    එම මාධ්‍ය හමුව සඳහා ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපතිවරුන් වන අර්ජුන රණජීව, සුරෙස් අත්තනායක, උප ලේකම් එම්. උගාස්, භාණ්ඩාගාරික එ.එම් පත්මසිරි, සංවිධායක ලේකම් මනෝජ් ප්‍රියංකර යන අයද සහභාගී වී සිටියහ.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා, “විදුලි බල මණ්ඩලය බැසිල්ලාගේ, මහින්දලාගේ, ගෝටලාගේ අප්පගේ බූදලේ” නොවන බව සඳහන් කළ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ලබන 20වන අඟහරුවාදා විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නායකයින් කොළඹට කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි. එමෙන්ම සෑම ගමකම පන්සල් මූලික කර ගෙන පාරිභෝගික කමිටු පිහිටුවන බවත් ඒ හරහා ඇමරිකාවට විදුලි බල මණ්ඩලය විකිණීමේ ආණ්ඩුවේ කූඨ උත්සාහය පිළිබඳව ජනතාව දැනුවත් කරන බව ද ඔහු සදහන් කළේය.

  • ඩෙල්ටා ව්‍යාප්තිය ගැන PHI සංගමය ‘රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ට’ අනතුරු අඟවයි !

    ඩෙල්ටා ව්‍යාප්තිය ගැන PHI සංගමය ‘රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ට’ අනතුරු අඟවයි !

    කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වසංගත තත්ත්වයක් ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඉදිරියේදී පත්විය හැකි බවත් ඉදිරියේ දී රටේ ඇති වෙන ව්‍යවසනකාරී තත්ත්වය වළක්වා ගැනීමට මේ මොහොතේ සිට හෝ කටයුතු කළේ නැතිනම් රට ඉතා අවාසනාවන්ත තැනකට තල්ලු වීම නොවැළැක්විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

    මෙහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කරමින් උපුල් රෝහණ මහතා කියා සිටියේ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කළ බොහෝ රටවල් ද ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් යළි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උපුල් රෝහණ මහතා මෙසේද පැවසුවේය.

    “ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ අද අප ඉන්න මේ තත්ත්වය කිසිසේත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නෙමෙයි. එය ඉතාම භයානක අවධානම් තත්ත්වයක්. ලෝකයේ අපට වඩා කොවිඩ් එන්නත්කරණය සිදුකළ බොහෝ රටවල් මේ වන විට අඩපණ වෙලා තියෙනවා. එම රටවල් මේ වන විට දරුණුම කොවිඩ් -19 වසංගත තත්ත්වයන්ට මුහුණදෙමින් ඉන්නවා. ඒ වගේම ඊශ්‍රායලය, දකුණු කොරියාව ආදි බොහෝ රටවල් නැවත වරක් අගුළු දමමින් ඉන්නවා. ජනතාවගේ සංචරණය සීමා කරමින් ඉන්නවා.

    ‘‘නමුත් දිගින් දිගටම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඩෙල්ටා ආසාදිතයින් හමුවෙද්දි රජය හා ප්‍රතිපත්ති තීරකයෝ තියෙන සංචරණ සීමා ලිහිල් කරමින් ඉන්නවා. පාලකයෝ වගේම මහජනතාවත් සියල්ල අමතක කරමින් කටයුතු කරමින් සිටින බව අපිට පෙනී යනවා.

    ‘මේ නොසැලකිලිමත් තත්ත්වයේ ආදීනව‘ඉදිරි දින කිහිපයේ දී දකින්න ලැබෙයි. කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වසංගත තත්ත්වයක් ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වෙයි. වසංගතයේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්වුවහොත් ලංකාවට මීට කලින් මුහුණ දුන්න වසංගත තත්ත්වයට වඩා අවදානම් තත්ත්වයක මුහුණ දෙන්න සිදුවෙයි.

    ‘‘අනිවාර්යයෙන් ම මේ තත්ත්වය බැරෑරුම් ලෙස රජය හා ජනතාව වටහාගත යුතුයි. ඉදිරියේ දී රටේ ඇති වෙන ව්‍යවසනකාරී තත්ත්වය වළක්වා ගැනීමට මේ මොහොතේ සිට හෝ කටයුතු කළේ නැතිනම් ඉතා අවාසනාවන්ත තැනකට තල්ලුවෙයි. ඒක නතර කරන්න හැකියාවක් නැහැ‘‘ උපුල් රෝහණ මහතා වැඩි දුරටත් කීවේය.

  • ආණ්ඩුවට ඡන්දේ දුන් පිරිසට තුන්වේලම කන්න නෑ – මුදල් ඇමැති බැසිල්

    ආණ්ඩුවට ඡන්දේ දුන් පිරිසට තුන්වේලම කන්න නෑ – මුදල් ඇමැති බැසිල්

    තුන්වේලම කන්න නැතිව ඉන්න පිරිස වත්මන් රජයට ඡන්දෙ දුන් බවත් කන්න නැතුව අපහසුතාවට පත්ව සිටින පිරිසට පළමුවෙන්ම කන්න දියයුතු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    හාල් කිලෝවත් මිලදී ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් බඩගින්නේ සිටින බව කී බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස තම මූලික ඉලක්කය සහල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම බවත් එයට සියලු දෙනාගේ සහයෝග අවශ්‍ය බවත් සදහන් කළේය.

    අද (18) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සතුව තිබෙන ඩොලර් බිලියන හතරක විදේශ සංචිතය නිවැරදිව කළමනාකරණයෙන් ආර්ථික අර්බුදය විසදාගත හැකි බව ද කීවේය.

    ‘‘ යුද්ධය පැවැති අවස්ථාවේදී ද රට සතුව පැවැතියේ ඩොලර් කෝටි 120 ක් පමණයි. අද ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වීමට බොරු ප්‍රචාර ද සැලකිය යුතු ලෙස බලපා තිබෙනවා‘‘ යැයි ද බැසිල් රාජපක්ෂ මහතා කීවේය.