Author: Editor

  • ‘ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග‘ රෝහල් පද්ධතිය බරපතළ අර්බුදයක

    ‘ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග‘ රෝහල් පද්ධතිය බරපතළ අර්බුදයක

    ලෝකය පුරා කොවිඩ් වසංගතයේ බරපතළ තත්ත්වයක් ඇති කළ ‘සැර වෛරස් ප්‍රභේදයක්‘ වශයෙන් සැලකෙන ඉන්දියානු වෛරසය හෙවත් ‘ඩෙල්ටා ප්‍රභේදය වැළඳුන රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අසීරුතාවයකට මුහුණදී ඇතැයි ඩේලිමිරර් ඊ පුවත්පත ඊයේ වාර්තා කළා.

    එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වුණේ ජාතික රෝහල් පද්ධතිය තම උපරිම ධාරිතාවට පැමිණ ඇති බවත් ඉඩකඩ නොමැතිවිම හේතුවෙන් රෝගීන් මූලික රෝහල් වලට මාරුකර යැවීමට උත්සාහ කළ ද මුලික රෝහල්ද තම උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි.

    රෝහල් තුළ ඔක්සිජන් අවශ්‍යතාවය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් වේවිද යන සැකය පවතින බවද එම වාර්තාව වැඩි දුරටත් සදහන් කළා.

    මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ කොවිඩ් රෝගීන්ගේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ ද ඉන් රෝහල් ධාරිතාවට බලපෑමක් එල්ල වී නොමැති බවයි.

    ‘‘ මේ දක්වා මෙරටින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගෙන ඇත්තේ 66 දෙනෙකු පමණයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොළඹ මහනගර සභාව ආශ්‍රිත සෞඛ්‍ය බලප්‍රදේශයෙන් වාර්තාවී තිබෙන්නේ. දැනට අපිට රෝහල් ධාරිතාවය ගැන ප්‍රශ්නයක් නැහැ. රෝගීන්ගේ සුළු වැඩිවීමක් තියෙනවා ඇත්තටම. නමුත් අපිට දැනට ඇඳන් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. 66 දෙනා ඇරෙන්න අනිත් අයගේ තියෙන්නේ කලින් තිබ්බ බ්‍රිතාන්‍ය ප්‍රභේදයම තමයි‘ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැහැදිලි කරමින් සදහන් කළා

  • ‘අවුරුදු 16න් පසු ලිංගික සම්බන්ධතා පුළුවන් – ඒත් විවාහා වෙන්න බෑ‘

    ‘අවුරුදු 16න් පසු ලිංගික සම්බන්ධතා පුළුවන් – ඒත් විවාහා වෙන්න බෑ‘

    ශ්‍රී ලංකාවේ නීතිගත විවාහ වයස් සීමාව අවුරුදු 18 වන අතර අවුරුදු 16 ඉක්මවූ පසු තරුණියකට හෝ තරුණයෙකුට රිසි අයෙකු සමග ලිංගිකව එක්වීමට නීතියෙන් බාධාවක් නොමැත. නමුත් එසේ ගැබ් ගන්නා වයස අවුරුදු 16 ඉක්මවූ තරුණියකට අවුරුදු 18 වන තෙක් විවාහ විය නොහැක.

    යෞවන වියට පා තබන දියණියක හෝ පුතෙකු සිටින දෙමව්පියන්ගෙන් අති බහුතරය සිය දරුවන් ප්‍රේම සබඳතා කෙරෙහි යොමුවන්නේ ද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවෙති.

    විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල නව යෞවනයේ පසුවන දියණියක් ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීම සැලකෙන්නේ සමාජයීය අපවාදයකට ලක් වන්නක් ලෙසය.

    වයස අවුරුදු 16 ඉක්මවූ නව යෞවන වියේ පසුවන පෙම්වතුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ද බොහෝ විට අනුගමනය කරන්නේ දැඩි ප්‍රතිපත්තියකි.

    ප්‍රසිද්ධ ස්ථානයක පෙම් කළ “වරදට” ඉහත කී වයස් සීමාවේ පසුවන පෙම්වතුන් “රංචු පිටින්” අත්අඩංගුවට පත්වන අවස්ථා ද ඇතැම්විට වාර්තා වේ.

    ශ්‍රී ලංකාවේ නීතිගත විවාහ වයස් සීමාව අවුරුදු 18 වන අතර අවුරුදු 16 ඉක්මවූ පසු තරුණියකට හෝ තරුණයෙකුට රිසි අයෙකු සමග ලිංගිකව එක්වීමට නීතියෙන් බාධාවක් නොමැත.

    නමුත් එසේ ගැබ් ගන්නා වයස අවුරුදු 16 ඉක්මවූ තරුණියකට අවුරුදු 18 වන තෙක් විවාහ විය නොහැක.

    එවැනි අවස්ථාවකට මුහුණ දුන් තරුණියකට සමාජයීය වශයෙන් සහ මානසික වශයෙන් මුහුණ දීමට සිදුවන පීඩා අපමණය. ඇතැම් විට එය ජීවිත හානි කර ගැනීමෙන් පවා කෙලවර විය හැකිය.

    ඉහත කී ආකාරයේ සමාජයීය ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහා පොලිසිය කළ යුත්තේ යෞවන වියේ පසුවන පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම නොව ඉහත කී නීතිමය පසුබිම පිළිබඳ තරුණ පරපුර දැනුවත් කිරීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ධනුෂිකා අබේරත්න පවසයි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරියක වශයෙන් කටයුතු කරන ධනුෂිකා අබේරත්න
    නීතිවේදිනී ධනුෂිකා අබේරත්න

    “නීතිය යටතේ එය වරදක් වෙන්නේ දෙදෙනෙක් ‘අශෝභන ආකාරයෙන්’ ඒ ස්ථානයේ හැසිරෙනවා නම් පමණයි. නමුත් එතනත් ප්‍රශ්නයක් තිබෙනවා ‘අශෝභන’ කියන්නේ මොකක්ද කියන නිර්වචනය සම්බන්ධයෙන්,” යනුවෙන් ඇය කියා සිටියාය.

    පෙම්වතුන්ට එළිමහනේ අදහස් හුවමාරු කරගැනීමට ඇති නිදහස “අහුරා දැමීමේ ප්‍රතිඵලය කාමරයකින් අවසන් විය හැකි” බැවින් පවතින නීතිමය තත්ත්වය සහ ඉන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳ දැනුවත් කිරීම තරුණ පරපුරේ ඉදිරි ගමනට අතිශය වැදගත්වනු ඇති බව ඇය පෙන්වා දෙයි.

    “පවුලේ අය මේ ගැන දරුවන් එක්ක කතා කළ යුතුයි. පොලිසිය, පාසල සහ සමාජ සේවකයන් අතින් මේ දැනුවත් වීමයි සිදු විය යුත්තේ.”

    එසේ දැනුවත් නොකරන අවස්ථාවක යෞවන වියේ පසුවන තරුණ තරුණියන්ට ඉහත කී ආකාරයේ සමාජීය සහ මානසික ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් කථිකාචාරිනී ධනුෂිකා අබේරත්න කියා සිටියාය.

    “මොකද ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන වචනය ඇහුන ගමන් ඒක දකින්නේ ලිංගික අපරාධයක් විදිහට.

    “ලිංගික කැමැත්ත දෙන වයස අවුරුදු දාසය වශයෙන් දක්වලා තියෙන්නෙ ඒ වයසෙදි ලිංගිකව මුහුකුරා (sexual maturity) ගොස් තිබෙනවා කියන පිළිගැනීම නිසා. ඊට වැඩි වයස් සීමාවක් පැනවීමෙන් එය නිරර්ථක නීතියක් විය හැකියි. නමුත් ලංකාවේ පවතින විශම සමාජ ආර්ථික තත්ත්වයත් එක්ක මේ වයසෙ සෑම දරුවෙකුටම එවැනි තීරණයක් ගන්න දැනීමක් තිබේද යන්න ප්‍රශ්නයක්. මොකද දරුවන්ට ප්‍රමාණවත් නෛතික හෝ ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන නිසා.

    “අවුරුදු 16 පස්සේ ලිංගිකව එක්වෙලා 18 වන තුරු විවාහ වීමට නොහැකි බැවින් ගැහැණු ළමුන් විශාල පිරිසක් ගැටලුවලට මුහුණ දෙනවා. මොකද දෙන්නෙක් ලිංගිකව එක්වුවත් ඇය නීත්‍යනුකූලව බිරිඳ වශයෙන් පිළිගැනෙන්නේ නැහැ. ඒ නිසා බිරිඳකට නීතියෙන් හිමි වෙන අයිතිවාසිකම් ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම සුජාතභාවය කියන කාරණයත් එක්ක, ලැබෙන දරුවටත් විවිධ ගැටලුවලට මුහුණ දෙන්න වෙන්න පුලුවන්.

    “මේ නිසයි දැනුවත් කිරීම අවශ්‍ය.

    මේ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා සහ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ අවුරුදු 16 ට වැඩි (ලිංගික කැමැත්ත දිය හැකි) නමුත් අවුරුදු 18 ට අඩු (විවාහ විය නොහැකි) වයස් සීමාවේ පසුවන ළමා මව්වරුන්ගේ සංඛ්‍යාව සමාජීය ගැටලුවක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

    “අවුරුදු 16 යි 18 යි අතර දරුවෝ ප්‍රෙග්නන්ට් වෙනවා. උපදින දරුවට තාත්තා නැති වෙනවා. මොක ද ඒ ළමයා බාලවයසක නම් ඔහුට පරිවාසෙට යන්න වෙනවා. මේ අය පොලිසිය ඉදිරියේ පොරොන්දු වෙනවා අනාගතයේ කසාද බඳිනවා කියලා. හැබැයි අනාගතයේදී ඒ තරුණයා හොයා ගන්න බැරි වෙනවා. උපදින දරුවට තාත්තා කෙනෙක් නැති වෙනවා,” ආචාර්ය අනූෂා එදිරිසිංහ විස්තර කළාය.

    “එක්කෝ ලිංගික කැමැත්ත දෙන වයස අවුරුදු 18 කරන්න ඕනි. එහෙම නැතිනම් විවාහ වෙන වයස අවුරුදු 16 කළ යුතුයි,”

    ඉහත කී වයස් සීමාවන් සම්බන්ධ නීතිය වෙනස් විය යුතුවා සේ ම ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ විවෘතව කතා කළ යුතු බවත් අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දුන්නාය.

    බී.බී.සී සන්දේශය වාර්තාවකි – අන්තර්ගතයට හානියක් නොවන ලෙස ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත. – ප්‍රධාන සංස්කාරක

  • ශ්‍රී ලංකාවේ ලිංගික අල්ලස් : ‘මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා‘

    ශ්‍රී ලංකාවේ ලිංගික අල්ලස් : ‘මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා‘

    “ඔයා එක දවසක් මාත් එක්ක එන්න මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්. මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා.”

    “රස්සාව ඕනේ නම් මාත් එක්ක සෙක්ස් කරන්නම වෙනවා. හස්බන්ඩ් දැනගන්න ඕනේ නැහැ.”

    “ඔයා මගේ මුල්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ. මට ඔයාට උසස්වීමක් දෙන්න පුළුවන් මාත් එක්ක දවසක් ගත කරන්න එන්න පුළුවන් නම්.”

    මේ සියල්ල විවිධ ආයතනවල රැකියාවේ යෙදෙන, රැකියා අපේක්ෂිත සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාන්තාවන්ට ‘ඉහළ පුටුවල’ සිටින සමහර පුද්ගලයන්ගෙන් ලැබුණු කෙටි පණිවිඩ කීපයකි.

    උසස් අධ්‍යාපනය හෝ රැකියාවක් සඳහා නිර්දේශ කර ලිපියක් ලබා ගැනීමේ සිට ආයතනයක් තුළ උසස් වීමක්, වැටුප් වැඩි වීමක් දක්වා ලිංගික අල්ලස් ලබා දීමට විවිධ ප්‍රධානීන්ගෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් කාන්තාවන් කීපදෙනෙකු සිය අත්දැකීම් බීබීසී සිංහල සේවයට හෙළි කළහ.

    ‘තදින් වැටුණු හුස්ම සහ කාමුක ඇස්..’

    අප ඇය දුල්මිණී ලෙසින් හඳුන්වමු. ඉහළ අධ්‍යාපනයක් ලැබූ දුල්මිණි කොළඹ පිහිටි කාර්යාලයක රැකියාවකට බැඳුණේ ආධුනික පුහුණුවීම් සඳහාය. සය මසක පුහුණු කාලය අවසන් වූ පසු එම රැකියාව ස්ථීර කරගැනීම පිණිස ඇයට කාර්යාල ප්‍රධානියාගෙන් නිර්දේශ ලිපියක් අවශ්‍යය.

    Sex Bribes in Sri lanka

    “පුහුණු කාලය ඉවර වෙන්න ලං වෙනකොට ලියුම ගැන ඔෆිස් එකේ මගේ බොස්ට මතක් කළා. ඒක වෙලාවට දෙන්නම් කියලා ඒ මොහොතේ කිව්වා. හැබැයි දවස් දෙකකට පස්සේ මට එක දිගට වැඩ වගයක් දීලා රෑ වෙනකම් ඔෆිස් එකේ තියාගත්තා.

    “ගැහැණු සම්බන්ධයෙන් සර්ගේ ක්‍රියාකලාපය ගැන නම් මට සෑහෙන දේවල් ඇහිලා තිබුණා. ඒත් මට ඒ වෙනකම් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. එදා`රෑ ඔෆිස් එකේ හැමෝම යනකම් මට වැඩේ ඉවර කරගන්න බැරි වුණා. ඒක ඉවර කරන්න මට බල කරපු නිසා මැදදී දාලා යන්න බැරි වුණා.

    “ඔක්කොම යනකම් ඉඳලා සර් මට කතා කළා. වැඩ ඉවර වෙලා ඔෆිස් පාටියකට යන්න තියෙනවා කියලා ගෙදරට කියන්න, අද රෑ එයා එක්ක ගත කරන්න කියලා සර් කිව්වා. එහෙම කළොත් මගේ ලියුම හොඳටම ලියලා දෙන්නම් කිව්වා.

    “මම දුප්පත් පවුලක කොළඹින් පිට ජීවත් වුණ කෙනෙක්. මට මේ වගේ තැනක ස්ථීර රස්සාවක් ලේසියෙන් ගන්න බැහැ. සර් හැදුවේ ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න. මම එවෙලේම ඔෆිස් එකෙන් එළියට දුවගෙන ගියා. ලැජ්ජාව නිසා මේ ගැන පොලිසියටවත්, ගෙදරටවත් කිව්වේ නැහැ.

    “නමුත් එදා ඇති වුණ අප්‍රසන්න හැඟීම, අර මනුස්සයාගේ තදින් වැටුණු හුස්ම සහ කාමුක ඇස් දැකලා ඇති වුණ බය මගේ ඔළුවට තදින් කා වැදුනා. මට අපේ වගේ ජීවිත ගැන ඇති වෙලා තියෙන්නේ කලකිරීමක්,” දුල්මිණී තවදුරටත් පැවසුවාය.

    ‘ප්‍රසිද්ධ රහසක්’

    ලිංගික අල්ලස් ඉල්ලීම ‘ප්‍රසිද්ධ රහසක්’ වන නමුත්, එවැනි සිදුවීමකට පසු කාන්තාවන් දැඩි මානසික පීඩනයකට ලක් වන බව මෙම කාන්තාවන් සියලුදෙනා පැවසූ පොදු කතාවයි.

    Sex Bribes in Sri lanka

    ශ්‍රී ලංකාවේ කාන්තාවන් කොපමණ ප්‍රමාණයකට මෙවැනි බලපෑම් එල්ල වන්නේ ද ගැන නිශ්චිත තොරතුරු නොමැත. කෙසේනමුත්, සමානාත්මතාව සහ සාධාරණත්වය මධ්‍යස්ථානය (CEJ) නම් සංවිධානය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිසා අසරණ වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් කාන්තාවන්ට එල්ලවන ලිංගික අල්ලස් බලපෑම් ගැන 2020 මැයි මස අධ්‍යයනයක් ආරම්භ කර තිබේ. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගිය වසරේ දී වාර්තා කීපයක් නිකුත් කර තිබිණි.

    කෙසේවෙතත්, කොවිඩ් 19 වසංගතය නිසා මේ සියල්ල තාවකාලිකව ඇන හිට ඇත.

    “මෙවැනි සිද්ධි ගැන තොරතුරු එකතු කිරීම අසීරු කටයුත්තක් වී තිබෙනවා. මෙයින් ලැබෙන අපකීර්තිය හා කම්පනය නිසා කාන්තාවන් මේ දේවල් හෙළි කරන්නේ කරන්නේ ඉතා අපහසුවෙන්. විවිධ පොදු සේවාවන් ලබා ගැනීමේ දී ලිංගික අල්ලස් දීමට සිදු වූ බව පිළිගැනීම දුෂ්කර දෙයක් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙවැනි අධ්‍යයනයක් කළ පළමු අවස්ථාව ද මෙයයි,” සමානාත්මතාව සහ සාධාරණත්වය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ ශ්‍යාමලා ගෝමස් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටළුව සම්බන්ධයෙන් 2020 මැයි මස නිකුත් කළ වාර්තාවකට කරැණු දක්වමින් පවසා තිබේ.

    ලිංගික අල්ලස් ඉල්ලීම් බොහෝ විට සිදු කරන්නේ බලතල සහිත පුද්ගලයන්ය. එවැනි ඉල්ලීමකට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමග අදාළ පුද්ගලයන් ‘පළි ගැනීමේ’ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බව සමහර කාන්තාවෝ පැවසූහ.

    අපි ඇය නවෝද්‍යා නමින් හඳුන්වමු. රැකියාවේ ගැටළුවලට මුහුණ දීමට මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය නිර්දේශ කිසිවක් ඇයට නොලැබුණේ ලිංගික අල්ලසක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

    “රජයේ ආයතනයක රැකියාව කරන මට එහි ප්‍රධානියෙක් අහගෙන ඉන්න බැරි තරමේ ලිංගික දේවල් දිගින් දිගටම කියන්න ගත්තා. ඊට පස්සේ එයත් එක්ක ලිංගිකව එක්වෙන්න කියලා මට යෝජනා කළා. මේ දේවල් ඉවසන්න බැරි තැන මගේ පවුලේ අය ඇවිත් මේ ගැන අදාළ පුද්ගලයා එක්ක කතා කළා.

    “නමුත් ඊට පස්සේ තමයි මට සෑහෙන විඳවන්න වුණේ. මේ ලිංගික අල්ලස ඉල්ලපු පුද්ගලයා සෑහෙන බලයක් තියෙන කෙනෙක්. එයා ඒ බලය පාවිච්චි කරලා මම වැඩ කළ තැන සෑහෙන ප්‍රශ්න ඇති කළා. මම ගණිකාවක් කියලා කට කතා පැතුරුවා.

    “මට උසස් අධ්‍යාපනයට අවශ්‍ය නිර්දේශ ලබා නොදුන්නා විතරක් නෙමෙයි, වෙනත් විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලැබුණු ශිෂ්‍යත්වය පවා නතර කෙරෙව්වා. වැඩ කරන තැන අනෙක් අයව මට එරෙහිව එයා යොදා ගත්තා. හැබැයි මම මේ ගැන රැකියා ස්ථානයට වගේම කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කළා.

    “රැකියා ස්ථානයේ දිගින් දිගටම පැමිණිලි විභාග කළත්, ඒවායේදී මගෙන් ප්‍රශ්න ඇහුවේ මම වැරදිකාරයා විදිහට. තවත් ගැහැණු ළමයින්ට එයා මේ විදිහට කරදර කළත් බලයට තියෙන බයට ඒ කිසි කෙනෙක් එයාට විරුද්ධව යන්නේ නැහැ.

    “නමුත් පිටත දී දැඩි මානසික පීඩනයකින් ජීවත් වෙනවා.

    “මගෙන් වුණ වැරැද්ද තමයි ලිංගික අල්ලස ඉල්ලපු වෙලාවෙම පොලිසියට පැමිණිලි නොකරපු එක. කාන්තා හා ළමා කාර්යංශයත් මට ඒ බව කිව්වා.

    “මේ සිද්ධීන් නිසා මම දැඩි මානසික පීඩනයක ඉන්නේ. ඒක මගේ ශාරීරික සෞඛ්‍යයටත් තදින් බලපාලා තියෙනවා. හැබැයි මම සටන අත්හරින්නේ නැහැ. වරදේ පැටලෙන්නේ නැතිවම මම වින්දිතයෙක් වෙලා, සෑහෙන දේවල් නැති වෙලා. අවාසනාවට මේ සම්බන්ධයෙන් අපේ රටේ පැහැදිලි නීතියක්වත් නැහැ,” නවෝද්‍යා තවදුරටත් පැවසුවාය.

    නීතිය අපැහැදිලි ද?

    මුදල් අල්ලස් හා වෙනත් ආකාරයේ දූෂණ මෙන්ම ලිංගික අල්ලස් ද දෛනික ගනුදෙනුවල දී සිදුවන අපරාධයක් ලෙස හැඳින්විය හැකි නමුත් නීතියේ නොපැහැදිලි අර්ථ නිරූපණය හේතුවෙන් මෙය සාකච්ඡාවට බඳුන් වන්නේ කලාතුරකිනි.

    Sex Bribes in Sri lanka

    මෙවැනි සිද්ධීන් නීතියට වාර්තා වී ඇත්තේ ද ඉතා අවම ප්‍රමාණයකි. 2010 සිට 2019 දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට වාර්තා වී ඇත්තේ මෙවැනි සිද්ධීන් 13 ක් පමණි.

    සිය අයිතිවාසිකම් සහ මෙම වරදෙහි නීතිමය තත්වය ගැන අවබෝධය අල්ප බව මෙවැනි සිද්ධීන්වලට මුහුණ දුන් කාන්තාවන් පළ කළ අදහස් අනුව පෙනී යයි.

    අල්ලස් පනතේ ලිංගික අල්ලස් ගැන සෘජුව සඳහන් කර නොමැති වුව ද එය අල්ලස් වරදක් ලෙස නීතිය ඉදිරියට ගෙන ආ හැකිය. මුදල්, ණය, තෑගි වැනි දේවලින් අල්ලස් ලබා ගැනීම වරදක් ලෙස පැහැදිලිව සඳහන් කර ඇතත්, නීතියෙන් ‘අල්ලස’ අර්ථ දැක්වීම ලිංගික ස්වභාවයක් දක්වා විහිදුවා නොමැත.

    කෙසේනමුත්, අල්ලස් පනතට ලිංගික අල්ලස් වරද ඇතුළත් කිරීමට මෑත වසරවලදී යෝජනා ඉදිරිපත් වී තිබිණි.

    සමානාත්මතාව සහ සාධාරණත්වය මධ්‍යස්ථානය ද (CEJ) මේ වෙනුවෙන් යෝජනා කීපයක් ඉදිරිපත් කර තිබූ අතර, ඒවා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව පිළිගෙන 2019 අල්ලස් හා දූෂණයට එරෙහිව සටන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මට එකතු කර ඇත.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද ලිංගිකත්වය පදනම්ව සිදු කරන ඕනෑම ආකාරයක වෙනස්කමක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වයි.

    කෙසේනමුත්, ලිංගික අල්ලස් වරදක් ලෙස නීතියට පැහැදිළිව ඇතුළත් කර, වින්දිතයන්ට එම යාන්ත්‍රණය කෙරෙහි විශ්වාසය ඇති කිරීමට මෙවැනි සංවේදී සිද්ධීන් හැසිරවීමට නිලධාරීන් පුහුණු කිරීම ද සිදු විය යුතු බව නීතීඥ ප්‍රියංකා ලක්මාලි බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    “නීතියේ අපැහැදිලි බව වගේම, මේ වගේ සිද්ධියක් නීතිය ඉදිරියට ගෙන ආවාම එතනදී වින්දිතයන්ට ලැබෙන ප්‍රතිචාර ගැන බොහොම දුක හිතෙන කතා අපි දන්නවා. මේ තියෙන සිස්ටම් එක අනුව හැම පැත්තෙන්ම තැලෙන්නේ වින්දිතයන්. ඉතින් බොහෝ අය නීතිය ඉදිරියට මේ දේවල් ගේන්නේ නැහැ. නිහඬව සෑහෙන විඳවනවා.”

    1954 යන කෙටි දුරකථන අංකයට ඇමතීමෙන් හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

    Sex Bribes in Sri lanka

    ‘සියල්ලන් ඉස්සරහ නිරුවත් වෙනවා වගේ හැඟීමක්’

    “මමත් මේ වගේ සිද්ධියකට මුහුණ දුන් කෙනෙක්. ඒ හිරිහැර වුණේ මගේ බොස්ගෙන්. මම මේකට ඔෆිස් එක ඇතුළේ ඉඳන් සටන් කරන්න ගිහින් වුණේ රස්සාව නැති වුණ එක විතරයි. ඇත්තටම මම ඉල්ලා අස් වුණා.

    “නීතිය ඉදිරියට ගිය නැති එක මගේ වරදක්. හැබැයි දරුවෝ ඉන්න මම මේ වගේ දෙයකට නීතිය ඉදිරියට යනවා කියන්නේ සියල්ලන් ඉස්සරහ නිරුවත් වෙනවා වගේ හැඟීමක් මට දැනෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව සංවේදී ප්‍රශ්නයක් අහගෙන ඒකෙ රහස්‍ය බව රැකගන්න තරම් අපේ නීති පද්ධතිය, මාධ්‍ය ඇතුළු කිසිදෙයක් දියුණු වෙලා නැති වීම,” රාධිකා නම් තවත් කාන්තාවක පැවසීය.

    උපකාර කළ හැකි වෙනත් ආයතන තිබේ ද?

    කාන්තා හිංසන, ලිංගික අඩන්තේට්ටම්, ළමා අපචාර සහ ගෘහස්ථ හිංසනවලට ලක් වූවන්ට උපකාර කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන බොහොමයක් තිබේ.

    • කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන්ට ලක් වූවන්ට සහන සැපයීමට 1938 නම් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
    • ‘කාන්තා පිහිට (WIN)’ නම් රාජ්‍ය නොවන සංවිධානය කාන්තා අයිතීන් පිළිබඳ දැනුවත් කරන අතර, නොමිලේ නීති උපදෙස් සහ සේවා ලබා දීමට ද කටයුතු කරයි. මෙම සංවිධානය 011 4718585 නම් ක්ෂණික දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ කර ගත හැකිය.
    • නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම මුල්‍යමය හැකියාව නොමැති පුද්ගලයන් සඳහා නීති ආධාර කොමිසම මගින් නොමිලේ නීති උපදෙස් ලබාගැනීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ දුරකථන අංකය: 011 2433618.
    • මානසික සෞඛ්‍ය ආයතනය අංගොඩ ක්ෂණික දුරකතන අංකය 1926
    • ශ්‍රී ලංකා පොලිසිය ක්ෂණික දුරකතන අංකය 119
    Sex Bribes in Sri lanka

    ඉහත සඳහන් සිද්ධීන්වලට මුහුණ දුන් කාන්තාවන්ගේ රහස්‍යභාවය සුරැකීම පිණිස ඔවුන්ගේ නම් වෙනස්කර තිබේ.

    දැහැමි රණවීර විසින් ජූලි 22 වැනි දින බී.බී.සී සන්දේශය වෙත සම්පාදිත ලිපියකි. ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • රටේ උවමනාව සාධාරණ සමාජයක්

    රටේ උවමනාව සාධාරණ සමාජයක්

    පසුගිය ජූලි 17 වෙනි සෙනසුරාදා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය,  විපක්‍ෂ කණ්ඩායම් සමග එක් මේසයකදී හමුවිය. එදින විද්යුත් මාධ්‍ය නාලිකාවන්ට  එය තවත් සිද්ධියක් පමණක් විය. හේතුව රටේ වර්තමානයේ  ප්‍රමුඛතාවය තෝරාගත නොහැකි වීමය.  

    හැම දිනකම, සංඛ්‍යාවෙන් ඉහළ යන, කොවිඩ් මරණ, වසංගතයට ගොදුරුවූ රෝගින් ප්‍රමාණය, වන අලි පහරදීම් සහ මරණ,  පොහොර හිඟයෙන් පා`ථ වූ ගොවිබිම්වලට  රැස්ව ආණ්ඩුවට සාප කරන ජනතාව  ආදි බොහෝ අනුවේදනීය සිද්ධින් එක් දවසක් තුළ වාර්තාවන නිසාය.

    43 කණ්ඩායම වෙනුවෙන් කතා කළ පාඨලී චම්පික එහිදී කීවේ,  ආණ්ඩුවට පමණක් නොව, විපක්‍ෂයට පවා ජනතාව දොස් නගන බවය. පාඨලී පවත්නා තත්වය මැනවින්  තේරුම් ගෙන ඇත.  එහි විලෝමය විපක්‍ෂ කාර්ය භාරය අසාර්ථක බවය. සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරය මූලිකවූ මේ පෙළගැස්ම කොතරම් ප්‍රබලවීද යත්  ජනධිපති ගෝඨාභයට තමන් ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා බව කියන්නට සිදුවිය.

    අනෙක් හාස්‍ය ජනක ප්‍රතික්‍රියාව, රනිල් මංගල දෙදෙනාත් තවත් බලවේගයක් සැලසුම් කරන බවය. අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා, අධිකරණයට භාර දෙන තෙක් රනිල් වෙන කිසිදු ව්‍යාපාරයකට සුදුසු විය හැකිද? එසේ කියන්නේ බැඳුම්කර නඩුවේ එක් විත්තිකරුවෙකු රනිගේ කැබිනට් සගයෙකු නිසාය. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළි කිරීම සිරිසේන කළ යුතුවේ. එසේ කියන්නේ ජනාධිපති වාර්තාවේ නිර්දේශ අනුවය.

    රටම  බිඳ වැටී ගම් දනව් මළ ගෙයක්වී ඇති මේ නිමේෂයෙහි විපක්‍ෂයේ වගවීම  බිංදුවය.  ආණ්ඩු විරෝධයට රාජපක්‍ෂලා  කොඩිඩ් වසංගතයට මුවා වී මුහුණ දෙති.  සිවිල් පාලනය සිර කොට, ජනාධිපති ගෝඨාභය යාමට සැලසුම් කළ ගමනට ආණ්ඩුවේ බහුතරයත් විරුද්ධය.  බැසිල් පැමිණීමෙන් පෑ හැකි අමුතු ප්‍රාතිහාර්යක් නැත. බැසිල් පැමිණියේ ආණ්ඩුවේ අසාර්ථකත්වය තදින් දැනුණ නිසාය. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර ලවා පොලිස් මර්ධනය ගැන සරත් වීරසේකරට යම් ප්‍රමාණයක තරවට්ටුවක් කරවීය. සාගර කාරියවසම් ලවා දල්වා,  විසි කළ  ගුණ්ඩුව ගෝඨාභයට මිස, ගම්මන්පිල එල්ල කළ එකක්  නොවේ. මේ නිරූපනය වෙන්නේ ආණ්ඩුවේ බෙදිල්ල සහ කැළඹීම මිස නව ආර්ථීක ක්‍රමෝපායන් නොවේ. රාජපක්‍ෂලාට ඉවසිය නොහැකි මේ දේශපාලන බඩරිදිල්ල 2014ට පෙර නම් අයියා මළෝ  එකතුව දරා ගත්හ. වර්තමානයේ  රාජපක්‍ෂ පැටවුන්  මේ බඩේ ගායෙන් නගන කෙඳිරියට  උන්ගේ අම්මලාත් ගෝරි අදිනු පෙනේ.

    වැලේ වැල් නැතිව සිටි ආණ්ඩුව සිටින්නේ ජනාධිපති සටන ගැන නොව, සැඟවී පන බේරා ගන්නා නිමේෂයකය.  ඊළඟ පාරත් එන්නේ මම යනුවෙන් ගිය සඳදා ගෝඨා කීවේ  රාජපක්‍ෂ පැටවුන්ට ඇහෙන්නටය.  සරත් වීරසේකර වැනි පිස්සන්ගේ රංගනය හරහා වැටෙන අඹ කොට්ට ලේන් කොට්ට අහුලා ගැනීමට තම සරම් කඩම`ථ අල්ලන තරමටවත් විපක්‍ෂය ශක්තිමත් නැත.

    ආණ්ඩුවේ අනාගැනිල්ල නිවැරදිව තේරුම් නොගෙන විශ්වාසය භංගය හරහා විපක්‍ෂය කළ සරම ඇල්ලීමෙන්  ආණ්ඩුව තම අර්බුදය තුනෙන් දෙකෙන් වසා ගත්හ. කුඩා අවදියේ කුඩා එවුන් මුහුණ දුන් ආකාරයට විපක්‍ෂයේත් සරම් කැඩී බිම හැළිණ.  මේ කරන්නේ විහි`ථවක් නොවේ. රට වැටෙන ප්‍රමාණය, රටේ ප්‍රශ්න ගොඩ ගැසෙන ප්‍රමාණය උකහා ගැනීමට, කළමනාකරණය කිරීමට තැන තැන විසිරී සිටින වර්තමාන  විපක්‍ෂය අසමත් බව සිහි කිරීමය.   සාධාරණ සමජයක් පෙළ ගැසෙන්නේ ඒ නිමේෂයෙහිය. ඊට එරෙහිව  රනිල් මංගලගේ  කස්තිරම පුහුණු කරන්නේද රාජපක්‍ෂලා බවට ප්‍රාදේශීය සභා පෙරළි සාක්ෂි දරති. සජිත්ලා විශ්වාස භංගය හරහා ආණ්ඩුව කොඩිය ඉස්සූ බව මරික්කාර්ලා නොදනිති.  බැසිල්ගේ  සැලැස්ම  පළාත් සභා ඡන්දය දිනා ජනතාව තමන් සමග බවත් ජාත්‍යන්තර ප්‍රජාවට දැන්වීමට සහ බෙදුණ විපක්‍ෂයේ වාසිය ගෙන රනිල් වික්‍රමසිංහ 2024 පොදු අපේක්‍ෂකයා කිරීමටය.

    එක දිගට, රනිල් කළ ජනතාවාදි වැඩ ඉහළින් තක්සේරු වන මොහොතක, රනිල් උස්සා තැබීමට බැසිල්ට පිස්සුදැයි ඇසිය හැකිය.  රනිල් කළ හොඳ සියල්ල ඇමති ලෙස කාගේ හෝ පාලන කාලයට අයත්ය. තරුණ සේවා සභාව යනු 1967 අංක 11 දරණ පනතේ දිගුවකි.  කරු ජයසුරිය හෝ පොන්සේකා 2015 ජනාධිපති වුණා නම්, අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ සෙල්ලම් දාන්නේ නැත.   සිරිසේනට රනිල් මෙහෙයවීමේ හයියක් නොතිබිණ. විධායක ජනාධිපති වී පළමු රාත්‍රියේම ගෝඨාභය හමුවන තරමට කොඳු ඇටය බිඳුණ සිරිසේන, පාස්කු ප්‍රහාරය නොදැන සිටියා නොවේ. විශ්වාස භංගයේදී සිරිසේන කළ කතාවෙන් ඔහු සිටින්නේ කාට මුවාවීදැයි තේරුම්ගත හැකිය. තිලක් මාරපන වජිර අබේවර්ධන දෙදෙනාම ඇවන්ගාර්ඩ් සමාගම වෙනුවෙන් යහ පාලන ආණ්ඩුව කඩේ යැවූහ. රනිල්ගේ නායකත්වයේ  බුද්ධිමහිමයේ දිල පළල එසේය. මානවම්ම ගැන දන්නේදැයි ඇසූ විට, ආන්න රනිල් කියා සමහරු චූන් වූහ. එහෙත් පස්දුන් කෝරළයට නම ලැබුණ හැටි කියන්නට ගොස් රනිල්ගේ යට ඇඳුම් තෙමී ගිය හැටි රටටු දනිති. ඉතිහාස දැනුම කෙසේ වෙතත් රනිල්ගේ දේශපාලන ඉතිහාසය එහෙමය.

    රනිල් කළ සාර්ථක වැඩ පිළිබඳ ඔහු බුහුමන් ලැබුවාට පව් නැත. එය හරියටම 2005 මහින්ද ජනාධිපති කරවීමට ප්‍රභාකරන් කළ උදව් වාගේය. අදත් මහින්දලා තුනෙන් දෙක හදා ගන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැක කරුවන්ගේ උදව්වෙනි. දමිළ මුස්ලිම් කණ්ඩායම් ලවා බලය තහවුරු කර ගත්තාට සිංහල බෞද්ධ නාමයෙන් වාසි ගන්නා රාජපක්‍ෂලා දන ගැස්වීමට රනිල් පින් කරලාම නැත. රනිල් යනු මැතිවරණයක් අතර, එක් දිනකින් බිම දමා මහ පොළොවට සමතලා කළ  හැකි පඬරැලකි. පෙරේත පාදයෙන් හෝ දිනුවොත් රාජපක්‍ෂලාට ආරක්‍ෂාවකි. බැසිල්,  රනිල් ගේන්න ගේම් ගහන්නේ ඒ නිසාය.

    සාධාරණ සමාජයක් ව්‍යාපාරය ඒකරාශී කළ හමුව තීරණාත්මක වන්නේ මේ හේතු කාරණා අනුවය. කරු ජයසූරිය නායකයා නොවේ.  එහි කැඳවන්නා පමණකි. කිසිවෙකු කලබල විය යුතු නැත. ඒ කියන්නේ 2024 පොදු අපේක්‍ෂකත්වය සැබෙවින්ම විවෘත බවය. කාට කාටත් වෙන්වූ මහා කාර්ය භාරයක් ඇත. කරු ජයසුරිය කැඳවූ මේ සංධානය පොදුවේ  තේරුම් ගත යුතු යමක් ඇත. රට වැටී ඇති මේ ප්‍රපාතයට, උද්ගතව පවත්නා ගැට`ථවලට හේතුව කොවිඩ් වසංගතය නොවේ. වියත් මග  නොවේ. රාජපක්‍ෂ පවුලද නොවේ. මේවා  ඉදිමුම් පිප්පුම් රුදා මිස රෝග නිධානය  නොවේ. ආධාර මානසිකත්වයෙන් පිස්සු වට්ටා ඡන්ද කඩා ගැනීමේ ප්‍රවනතාව පරාජය කරන තෙක් මේ රට ගොඩගත නොහැකිය. සජිත් ප්‍රේමදාස, මේ විපක්‍ෂ එකමුතුවට එකඟව පැමිණීම හේතු දෙකක් නිසා වැදගත්වේ. පළමුවැන්න මෙතෙක් දෙකට බෙදී සිටි එජාපය සහ සජබය එක තැනකදී හමුවීමය. දෙවැන්න සහනාධාර මානසිකත්වය රජයේ මුදලින් දහස් ගණනින් පූජ්‍යස්ථාන තනමින් සිය ගොඩ ලොකු කර ගන්නා රටට ඔරෙත්තු නොදෙන රාපපක්‍ෂ ක්‍රමයෙන් බැහැරව  අ`ථතින් හිතන්නට අවස්ථාවක් උදාවීමය.

    රටේ  විශ්‍රාමිකයන් හය ලක්‍ෂ හැට දහස් පන්සීයකි. රජයේ සෙවකයන් දහනව ලක්‍ෂයකි. සමෘධිලාභින් විසි ලක්‍ෂයකි. මේ සංඛ්‍යා ලේඛන පසුගිය ජූනි 23 දන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය. එකතුව හතලිස් පන් ලක්‍ෂ හැට දහසකි. දෙකෝටි විසි ලක්‍ෂයක් වන ජනගහනයෙන් හතරෙන් එකක් මාසිකව රජයේ වැය බරෙන් ජීවත් වන්නෝ වෙති. එහෙව් රටක ඍජු බදු අඩුකර අත්‍යාවශ්‍ය භාණ්ඩවලින් ආදායම් ඉපයීම ගැන නව සංධානය කල්පනා කළ යුතුවේ. රටේ බලය ඇල්ලීම පිණිස සුභ සාධනය උගුල 1953 හර්තාලය හරහා මුලින්ම පාවිච්චි කළේ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාට හිමිවේ. ඒ හරහා , ආණ්ඩුව දන ගස්වා අගමැති ඩඩ්ලි ගෙදර යැවීය.  එහෙත් 56 පෙරළිය හර්තාලයේ ප්‍රතිපලය නොවේ. නැවත ඇන්.ඇම්.ද එක්ව තුනෙන් දෙකක් දිනාගත් 1970 මැතිවරණයේ ආකර්ශණීය පොරොන්දුව ජනතා බඩගින්නට හඳෙන් හාල් ගෙන ඒමය.  1970-77 කාලයේ  ජනතාව බස් නැවතුම්පොළවල සාගින්නේ මිය ගියහ.  1977ට පසුව, ජේ.ආර්. හාල් පොත් ක්‍රමය ඉවත් කිරිමෙන් යම් පෙරළියක් විය. එහෙත් ආර්.ප්‍රේමදාස ජන සවිය පෙන්වා ජනාධිපති විය. බැසිල් රාජපක්‍ෂ ඒ ජනසවිය, සමෘධිය නමින් බෞතිස්ම කොට පවත්වා ගෙන යති. වර්තමානයේ විසි ලක්‍ෂයක් සමෘධි පවුල් යනු අසූ ලක්‍ෂයක ඡන්ද ප්‍රමාණයකට වැඩි දෙයක් නොවේ.  ඊට වැය කිරීමට ණය ගැනිමෙන් පිට උපායක් නැත. ශ්‍රී ලංකාව දිනෙන් දින හිඟමනට වැටෙන හේතුව නව සංධාන පුරෝගාමීන් තේරුම් ගත යුතුවේ.  

    2024දීත්  බ්‍රෙස්ලට් දෙන්න කතා කරයි නම් රස්සා දෙන්න කතා කරයි නම් අපට මේ වලෙන් ගොඩ ඒමක් නැත.  සත්‍ය ලෙසම පෙරමුණක් ලෙස සංධානයක් ලෙස පවත්නා සැබෑව රටට අවබෝධ කර දීමට ව්‍යාපරයක් උවමනාවේ. එය පුද්ගලවාදි නොවේ. වාසි හානි දෙකම ව්‍යාපාරයකට මිස, පුද්ගලයෙකුට ආරෝපනය නොවේ. සාධාරණ සමාජ ව්‍යාපාරය යනු පනස් නව වසරකට පසුව, රටේ යහ පාලනය ඇති කළ මහා ශක්තිය වේ. සමහර සමෘධිලාභි ගම්වල වසර විසි තිස් ගණනක් පැරණි වැල් පාලම් දිරාපත්ව එල්ලී ඇති බව මාධ්‍ය වාර්තා කරති.  සමෘධිය සඳහා සුදුසු පවුල් තේරීමට,  උත්සාහ කරන ග්‍රාම නිලධාරින්  ප්‍රාදේශීය සභා කාරයන්ගෙන් පහර කා රෝහල් ගත කළ වාර්තා බොහෝය. බුලත් විටි තිහකට සරිලන මුදලක් සමෘධි නමින් බෙදා දී ජනතාව ගොනාට ඇන්දවීම, ගමේ පොදු පහසුකම්  වැඩි කරනවාට වඩා වාසි දායක බව තේරුම් ගත් දේශපාලනය පරාජය කිරීමේ වගකීම නව සංධානය භාරගත යුතුවේ.  දිය කඩිති තරණය කිරීමට දෙවතාවක්  සපත්තු මේස් ගලවන ගම්බද පාසල් දරුවන් වැල්  පාලමක් හදනවාද සමෘධිය දෙනවාද තීරණය කරන තැනකට රටේ දේශපාලනය වෙනස් විය යුතුවේ.  දරුවන් අනාගතය දරුවන් නම් සංවාදය ආරම්භ කළ යුත්තේ ඔවුන් සමගය. ඒ දරුවන් දෙමාපියන් දැනුවත් කරනු ඇත. ටැබ් දීමට සැලසුම් කරන විට, දරුවන් වඳවේ යයි කියා මාපියන් මුලාකොට ඡන්ද ලබාගත් දේශපාලනඥයන් අද බලයේ සිටිති.  ටැබ් ලැබුණා නම් නොමිලේ වයිෆයි ලැබුණා නම් ඔවුන්ට කොරෝනා වසංගතය අනාගත පරපුරට අභියෝගයක් වන්නේ නැත.

    අපට සමෘධිය එපා වැව හදා දෙන්න කී ගම්වැසියන් මේ රටේ ජීවත් වෙති. මේ කසිප්පු මුදලාලිලා ප්‍රාදේශීය සභාවල බලය ඇල්ලීමට  සමෘධිය පාවිච්චි කරති. කොළඹ විපක්‍ෂයේ සගයන් බලය ලැබුණත් ඒ ක්‍රම වේදයම පාවිච්චි කරති. වෙනස් කළ යුත්තේ මෙය බව නව  සංධානය තේරුම්ගත යුතුවේ. කුඩා දැරියන් 200ක් අපයෝජනය කොට පාටි දැමූ අකුරැස්සේ සාරුව සුනිල් මෙන්ම, පළාතක් බිය වැද්දූ නූරියේ අතකොටාත් රාජපක්‍ෂලා නියෝජනය කළ  ප්‍රාදේශීය සභා සභාපතිවරු වෙති. නවගත්තේගම ගුරුවරිය දන ගැස්වූ එකාත් රාජපක්‍ෂ නිර්මාණයකි. සාරුව සුනිල් සහ අතකොටා යන දෙදෙනාම උ`ථ ගෙදරය. අදත් ඒ පුරුද්දට අපයෝජනයට කුඩා දැරියන් විකිණෙති. ඒවා  මාධ්‍ය උත්කර්ෂයෙන් වාර්තා කරමින් ජනතා මානසිකත්වය විකෘති කරති. 2005දී ආරම්භවූ කාඩ රාජපක්‍ෂ සංස්කෘතියට 2015දී සාධාරණ සමාජයක් ව්‍යාපාරය තැබූ අඩය රනිල් සිරිසේන දෙදෙනා එක්ව බුරුල්  කළහ. මාදු`ථවාවේ ගරුතර හාමුදුරුවන් වහන්සේ නිස්සරණාධ්‍යාසයෙන් ආරම්භ කළ ඒ සමාජ මෙහෙවර  අවසන් කිරීමේ  වගකීම යහපාලනයෙන් සුරක්‍ෂිත රටේ බහුතර ජනතාව සතු ඓතිහාසික කාර්යභාරයකි.

    2012දී මාදු`ථවාවේ සෝබිත හිමියන් සාධාරණ සමාජයක් ව්‍යාපාරය  තුළ සිල්ලර දේශපාලන පොරොන්දු තිබුණේම නැත. ඍජු තේමාව යහ පාලනය විය.  මහින්ද පරම්පරාවට එකක් කරගත් ජනාධිපති ධුර කාලය යළි දෙවතාවකට සීමා කළේ යහ පාලනය විසිනි. යහ පාලනය යනු සෝල්බරි ව්‍යවස්ථාවෙක් ජනතාව අත් විඳි අයිතිවාසිකමකි. මිහිරකි. ඒ අයිතිවාසිකම රැකීමට 1970න් මෙපිට කිසිදු දේශපානඥයෙකු ක්‍රියා කළේ නැත. එදා ජේ.ආර්. වර්ජකයන් ගෙදර යැවීය. අද උද්ඝෝෂකයන් නිරෝධායනය  කරවති. ආර්. ප්‍රේමදාස, රිචඩ් සොයිසා මරා මුහුදට විසි කළේද ආණඩුවේ වියදමිනි. මාංචු දැමූ සැක කරුවන් පොලිසියෙන් වෙඩි කන්නේ  88-89 කාලයේ ජිනීවා ගිය දේශපාලුවන් භාර ගත් රටෙහිය. මේ ඓතිහාසික බිඳ වැටීම මාදු`ථවාවේ හාමුදුරුවන් වහන්සේ යථාවත් කළහ. ඒ හරහා බලයට පත්  සිරිසේන රනිල් දෙදෙනාටම ඒ තේමාව  අමතක විය. තනතුරු ලබා මාසයක් ගෙවීමට පෙර, එකෙක් මල්ලීට රස්සාවක් දීමෙන්ද, අනෙකා සිංගප්පුරු චාලි කෙනෙකු ගෙන්වීමෙන්ද  සකල ජයග්‍රහණය කෙළෙසූහ. යහ පාලන කාලයේ  සජිත් තනි නොකළා කියන්නේද ඒ සිරිසේනමය.

    රාජපක්‍ෂලා 2010දී පොන්සේකාට දුන් දසවද නතර කිරීමට, මහා සංඝායා වහන්සේටවත් නොහැකි විය. සෝබිත හාමුදුරුවන් වහන්සේ ඒ සිද්ධිය යහ පාලනය ලෙස විග්‍රහ කළහ. රාජපක්‍ෂ පවුල  නැවතත් රට  එතැනට තල්ලු කරමින් සිටිති. බැසිල් පාර්ලිමේන්තු ආ දවසේ හන්දි ගානේ රැස් කකා කිරිබත් පිසූ රතිඤ්ඤා පත්තු  කළ කිසිවෙකුට නිරෝධායන නීති නැත. අධිකරණයෙන් ඇප දුන් ආණ්ඩු විරෝධි  උද්ඝෝෂයන් නිරෝධායනයට යැවූහ. එකිනෙකට පරස්පර මේ සිද්ධි දෙකම දේශපාලනික නොවේ. රටවැසියාගේ අයිතිය සම්බන්ධ කාරණාවකි. 2012 සිට 2015 තෙක් සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරයට කිසිදු දේශපාලනයක් තිබුණේ නැත. මුල්ම සභාව රැස්වූ දවසේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයට, කරු ජයසුරියත් සරත් පොන්සේකාත්, වාසුදේවත් හිරුනිකා ප්‍රේමචන්ද්‍රත් පැමිණි සිටියහ. විශිෂ්ඨ විදේශ සේවා නිලධාරි ජයන්ත ධනපාලත්, සුදු කොඩි නඩුවේ තීන්දුව විසම්මතික කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පී.බි.වරාවැවත් පැමිණ සිටියහ. පැමිණ සිටි දේශපාලනඥයන් කීවේ තමන් පැමිණීයේ පුරවැසියන් හැටියට බවය. හෙවත් තම දේශපාලන පක්‍ෂ වෙනුවෙන් නොවන බවය. ඒ ගොඩනැගුණේ සමාජ ක්‍රියාකාරිත්වයකි.  එයින් වසර නවයකට පසුව, ජූලි මාසයේම (2021-07-17) දිනයක සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරය, (ජනතා විමුක්ති පෙරමුණ හැර) සකල බලවේගයන් රැස් කරවූහ. ජවිපෙය 2015 සටනේදී  පවා පොදු වේදිකාවට හෝ ගොඩ වුණේ නැත. ගිය සෙනසුරාදා  එහි  මුලසුන දැරූ කෙනෙක් නැත. එහි ඉස්මතුවුණේ නායකත්වයක් නොවේ. සමාජ බලවේගයකි. සක්‍රිය දේශපාලනයෙන් සමුගත් කරු ජයසුරිය කැඳවුම්කරු විය. කැඳවීම සමග නිකුත් කළ පණිවිඩය විවෘත සංදේශයකි.

    2012ට වඩා 2021 වෙනස්ය. අතර කාලය වසර නවයකි. කතා කළ යුත්තේ අ`ථත් පරම්පරාවකටය. අ`ථත් ආකාරයකටය. එකතැන පල්වූ අර`ථ බැස්ස නායකයන්ට මේ අභියෝගයට මුහුණ දිය හැකිද? ප්‍රශ්නය අභියෝගය වන්නේ එයයි. ලංකා පාර්ලිමේන්තුවේ මුල් වරට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරිමේ අදහස පළ කළ කරු ජයසුරිය යහ පාලන කාලයේ එය පළ ගැන්වීය. සිරිසේන යහ පාලනය තුළට මහින්ද රාජපක්‍ෂ කැඳවා කළ කුමන්ත්‍රණය පාර්ලිමේන්වේ පරාජය කිරිමට හැත්තෑ අට  හැවිරිදි කරු ජයසුරිය ක්‍රියා කළ ආකාරයගිය සෙනසුරාදා මනෝ ගනේෂන් ලෝබ නැතිව සිහිපත් කළේය. 2024 තෙක් මේ  සමගිය බැඳගෙන යාමේ වගකීම මාදු`ථවේ සෝබිත හිමියන් වෙනුවෙන් කරු ජයදුරිය දැරිය යුතුවේ. මේ සංධානය ගැන ඇසූ පමණින් ගෝඨා කීවේ ආයෙත් මං එනවා කියාය. රනිල් මංගලත් සංධානයක් ගැන කතා කරති. මිසටර් ක්ලීන් මිස්ටර් බීන් කොට, 2005 ප්‍රභාකරන්ට පගා දී මහින්ද සමග එක්ව රනිල් විනාශ කළ මංගල, මේ හදන්නේ චන්ද්‍රිකාත් කුමාර වෙල්ගමත් එකට බැඳ රනිල්ට විකිණීමට නොවේද?

    2015දී රටේ ස්ථාපනය කළ යහ පාලනය අදත් රට තුළ සක්‍රිය වෙමින් පවතී. ෂානි අබේසේකරලා නිර්දෝෂී විය. නිරෝධායනය කළ නායකයන් මුදා හරින තෙක් කළ උද්ඝෝෂණවලට පොලිසිය ළං වුණේ නැත. අධිකරණය පිළිබඳ ජනතාව විශ්වාස කරන්නේ ඒ නිසාය. 20 වෙනි සංශෝධනය ගෙනාවාට රාජපක්‍ෂලාට පරණ සෙල්ලම් දමන්ට නොහැකි බව තහවුරු වී හමාරය. සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ යහ පාලන තේමාවේ රැඳී සිය සටන කරත් නම්, ඒ අභ්‍යාසය 2024ට පාදමක් වනු ඇත. ඒ දෙපිරිමට ඊට කැමති නොවනු ඇත. එජාපයත් සජබයත් අද එක් වේ නම් හෙට පනස් ලක්‍ෂයක මිනිස් පවුරකි. ඒ ජයග්‍රහණ යහ පාලන සංකල්ප පාවා දුන් රනිල්ලා  සිරිසේනලා නන්නත්තාර වෙලාය. ආයෙත් දේශපාලන පෙරළියකට සාධාරණ සමාජයක් අවශ්‍ය ඒ නිසාය.

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

  • අවිෂ්ක වීරයා වෙමින් වසර 9කට පසු ශ්‍රී ලංකාව මව්බිමේදී ඉන්දියාව පරදවයි

    අවිෂ්ක වීරයා වෙමින් වසර 9කට පසු ශ්‍රී ලංකාව මව්බිමේදී ඉන්දියාව පරදවයි

    අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු යැවීමත් අවිෂ්ක ප්‍රනාන්දුගේ අගනා පිතිහරඹයත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23 දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරග ජයග්‍රහණය ඉන්දියානු පිලකට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් සිය මව්බිමේදී වසර 9 කට පසු ලද පළමු ජයග්‍රහණය ලෙසින්ද සනිටුහන් විය.

    ශ්‍රී ලංකාව අවසන් වතාවට ඉන්දියාවට එරෙහිව මව්බිමේදී එක්දින තරගයක් ජය ගෙන ඇත්තේ හරියටම මීට වසර 9 කට පෙර එනම් 2012 වසරේ ජූලි 24 වැනිදා හම්බන්තොටදී පැවැති තරගය වේ. මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුව පැවැති එම තරගයේ තරගයේ වීරයා ලෙසින් තිසර පෙරේරා සම්මාන දිනා ගත්තේය.

    කණ්ඩායම සතු නවකයින්ගේ ශක්තිය උරගා බැලීම සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකුට එක්දින වරම් හිමිකර දෙමින් අද තරගයට අවතීර්ණ වුණු ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම ලබා දුන් ලකුණු 227 ක ඉලක්කය (ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව) හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දු 48 ක් ඉතිරිව තිබියදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 7 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

    හඹා යෑමේදී පෙරමුණ ගත් අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 98 කදී ලකුණු 76 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පෙරමුණ ගෙන කටයුතු කළේය.එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද අවිෂ්ක ප්‍රනාන්දු පිදුම් ලැබීය. අවිෂ්කට අනගි සහායක් ලබා දුන් භානුක රාජපක්ෂ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවීමට දායකත්වය ලබා දුන්නේය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවුණු භානුක පන්දු 56 කදී ලකුණු 65 ක් ලබා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය.

    එම සම්බන්ධතාවය ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායම විටෙක කඩුලු 3 කට ලකුණු 194 ක් වශයෙන් ප්‍රබල තත්ත්වයක පසු වුවත් හර්දික් පාණ්ඩ්‍යා විසින් චරිත් අසලංකව ලකුණු 24 කට දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිල තරමක් පසුබැස්මක් පෙන්නුම් කළේය. එය තම වාසියට හරවා ගත් මංගල තරගයට ක්‍රීඩා කළ රාහුල් චහර්, මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දසුන් ශානකවද, ඉනිමේ විශ්වාසනීයම පිතිකරුවා බවට පත් වුණු අවිෂ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නගේ කඩුලු දවා ගනිමින් සත්කාරකයින්ට කිසියමක් පීඩනයක් එල්ල කළේය.

    එහෙත් රමේෂ් මෙන්ඩිස්ට එක්වුණු පසු පෙළ පිතිකරු අකිල ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ කළහ. මෙම හඹා යෑමේදී ඉන්දීය කණ්ඩායමේ පන්දු රකිනන් අතින් දිස් වුණු දුර්වල පන්දු රැකීමත් උඩ පන්දු 3 ක් අත හැර දැමීමත් ශ්‍රී ලංකාවේ වාසියට හිටියේය. එමෙන්ම අතිරේක ලකුණු ලබා දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට වඩා ගවු ගාණක් ඉදිරියෙන් සිටි අතර එය සංසන්දනාත්මක බැලීමේදී ශ්‍රී ලංකාව ලකුණු 10 ක් ලබා දෙද්දී ඉන්දීය පිල අතින් ලකුණු 30 ක් ලබා දී තිබිණ.

    පළමු පන්දුවාර 4 ඇතුළත ලකුණු 35 ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගනිමින්ද ප්‍රිතිව් ෂෝ සහ සංජු සැම්සන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක් ලෙසින් සාර්ථක කඩුලු සම්බන්ධතාවයක් පවත්වමින් පහසුවෙන්ම ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට අවශ්‍ය මූලික අඩිතාලම ඔවුන් එක් කළහ. එහෙයින් 23 වැනි පන්දුවාරය අවසන් වන විට තරගය වර්ෂාව හේතුවෙන් අවසන් කරන විටත් ඉන්දීය ඉනිම කඩුලු 3 කට ලකුණු 147 ක් ලෙසින් සටහන්ව තිබිණ.

    මිනිත්තු 100 කට ආසන්න ප්‍රමාදවීමකින් පසු පන්දුවාර 47 කට සීමාව ඇරැඹි මෙම ඉනිමේදී  ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජයගේ පන්දු යැවීම කැපී පෙනිණ. ඉන්දීය ඉනිම ලකුණු 225 කදී නිමාවට පත් වන විට වමත් සහ දකුණත් දඟ පන්දු යවන්නන් දෙදෙනා කඩුලු 3 බැගින් දවාගත්හ.

    සංජු සැම්සන්ව දවා ගත් ජයවික්‍රම, ඉන්දීය පිල අසීරුතාවයට ඇද දැමීමේ ප්‍රධාන දැළ එළීය. ඉන් නොනැවතුණු ඔහු කණ්ඩායම සතු ප්‍රධානතම පිතිකරුවන් යුගලයක් වන මනීෂ් පාන්ඩේ සහ හර්දික් පාණ්ඩ්‍යාගේ කඩුලුද දවා ගත්තේය. මනීෂ් පාණ්ඩේගේ කඩුල්ල දැවී යෑමත් සමඟ ඉන්දීය ඉනිමට කණකොකා හැඬීම ඇරැඹිණ. පාන්ඩේ දැවී යෑමට ප්‍රථම ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 157 ක් ලෙස සටහන්ව තිබූ නමුත් ඉතිරි සියල්ලන්ටම රැස් කරගත හැකි වූයේ ලකුණු 68 ක් පමණි.

    ජයවික්‍රමට නොදැවෙනි පන්දු යැවීමක නිරත වුණු අකිල ධනංජය සූර්යකුමාර් යාදව්ගේ කඩුල්ලද දවා ගනු ලැබුවේ සියලු වාසීන් ශ්‍රී ලංකාව වෙත හරවා දෙමිනි. අනතුරුව ක්‍රිෂ්නප්පා ගෞතම් සහ නිතීෂ් රානාවද දවා ගත් අකිල පන්දු වාර 10 දී ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගනිමින් ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූවේය. මංගල තරගයේදී පන්දුවාර 10 ම සම්පූර්ණ කළ වමත් දඟ පන්දු යවන්නා ජයවික්‍රම ලකුණු 59 කට කඩුලු 3 ක් ලෙසින් සිය මංගල පන්දු යැවීම සටහන් කරගත්තේය.

    ඊට පෙර ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ යාදව් කඩුල්ල මුවා කර වරදට හසුව දැවී ගිය පිතිකරුවකු බවට ප්‍රධාන විනිසුරු සංඥා කළ අතර එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී ඒ සඳහා වැඩි කාලයක් ගතවිය. තමා දැවී ගිය පිතිකරුවකු ලෙස සිතා යාදව් ක්‍රීඩාගාරය වෙත යමින් සිටි අතර තෙවැනි විනිසුරු එය දැවී නොයෑමක් ලෙස සටහන් කිරීම නිසා නැවතත් පන්දුවට පහර දීමේ වාසනාව ඔහුට උදාවිය.

    ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන් කෙතරම් හොඳින් පාලනය කළේද කිවහොත් යවන ලද පන්දු වලින් 140 ක්ම නිලකුණු පන්දු ලෙසින් යවනු ලැබීය. 78 වතාවක් එක් ලකුණ බැගින්ද, 12 වතාවක් ලකුණු දෙක බැගින්ද එක් වතාවක් ලකුණු 3 බැගින්ද රැස් කරගත් ඉන්දීය ඉනිම, හයේ පහරකින් සහ හතරේ පහර 26 ක් පමණක් ඇතුළත්ව තිබිණ.

    අද තරගයේදී වූ සුවිශේෂී සිදුවීම වූයේ ඉන්දීය එකම පිතිකරුවකුට හෝ ලකුණු 50 සීමාව ඉක්මවා ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ කඩ ලබා නොදීමය. ඉන්දියාව වෙනුවෙන් ප්‍රිතිව් ෂෝ (49), සංජු සැම්සන් (46) සහ සූර්යකුමාර් යාදව් (40)  පමණක් ලකුණු 40 සීමාව ඉක්මවා ලබා ගනිද්දී සෙසු පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට දැඩි වෙහෙසක් ගත්හ.

    තරගාවලියේ වීරයා සම්මානයන ඉන්දීය කණ්ඩායමේ සූර්යකුමාර් යාදව් විසින් දිනා ගනු ලැබීය. දෙරට අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ පළමු තරගය මෙම ඉරිදා (25 වැනිදා) ප.ව. 8.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පැවැත්වෙනු ඇත.

  • මිත්‍යාව හා විද්‍යාව අතර වෙනස කුමක්ද ?

    මිත්‍යාව හා විද්‍යාව අතර වෙනස කුමක්ද ?

    විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව අතිශයින්ම සංකීර්ණයි. ලොව විවිධ දාර්ශනිකයින් මෙම මාතෘකාව ගැන විවිධ මත පලකොට තිබෙනවා. මෙම කරුණ ගැන සාකච්ඡා කිරීමේදී මම එම මත උපයෝගී කරගත්තත් මෙහිදී මම මට ආවේනික වූ මතයන්ද මෙහිදී පල කරනවා. මෙය මා බොහෝ උගතුන් සමඟ සාකච්චා කොට සකස් කරගත්තක් වුවත්, එම අදහස් වලට එකඟ නොවීමට ඔබට අයිතියක් තිබෙනවා .

    විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව සංකීර්ණ වන්නේ මේ වචන දෙකෙන් එක් එක් අය අදහස් කරන්නේ වෙනස් වෙනස් සංකල්පයන් නිසයි. ඒ ඒ සංකල්පයන්ට අනුව විද්‍යාව යන්න කුමක්ද, මිත්‍යාව යන්න කුමක් දැයි එක් එක් අය වෙන වෙන දේ හඳුන්වා දෙනවා. එනිසා අයෙක් මිත්‍යාව යයි සඳහන් කරනදේ තවත් අයෙක් විද්‍යාව යයිද, අයෙක් විද්‍යාව යයි සඳහන් කරනදේ තවත් අයෙක් මිත්‍යාව යයිද පවසනවා. එමනිසා මේ මාතෘකාව ආරම්භයේදීම මෙම වචන ගැන මා දෙන විග්‍රහය කියන්නම්.

    සයන්ස් යනු විද්‍යාවද?

    විද්‍යාව යන වචනයෙහි අරුත විග්‍රහ කිරීමෙහිදි මුලික ගැටලුවක් මතුවෙනවා. අද සිංහල බසින් පොදුවේ “විද්‍යාව” යයි හඳුන්වන්නේ ඉංග්‍රීසියෙන් “සයන්ස්” යන අරුත දෙන වචනයයි. සයන්ස් යනු යමක් අවබෝධ කරගැනීමේ ක්‍රමවේදයක්. “සයන්ස්” යන ක්‍රමවේදය ඇතිවුයේ බටහිරයි. එය හා බැඳුනු “සයෙන්ටිෆික් මෙතඩ්” නම් වචනයක් තිබෙනවා. මෙය සයන්ස් වල සඳහන් යමක සත්‍ය අසත්‍ය භාවය මැන ගැනීමේ ක්‍රම වේදයයි. මෙයට අපි සිංහල බසින් විද්‍යාත්මක ක්‍රමය කියා කියනවා. මෙහිදී පළමුව යම් උපකල්පනයක් කෙරනවා. ඉන්පසු එම උපකල්පනය සත්‍යය දැයි සෙවීමට පර්යේෂණයන් සිදුකොට නිරීක්ෂණයන් කරනවා. ඉන් පසු ලැබුණු තොරතුරු විග්‍රහයක් කෙරෙනවා. එම විග්‍රහය අනුව මුලින් ඇතිවූ මතය හෝ උපකල්පනය සත්‍යය හෝ අසත්‍යයි සොයා බලනවා. ඉන්පසුව නිගමනයන්ට එනවා. මෙම නිගමනය තුලින් බොහෝවිට අලුත් උපකල්පනයක් කරනවා. නැවත විද්‍යාත්මක ක්‍රමය ඇරඹෙනවා.මෙය නොනැවතෙන ක්‍රියාවලියක්.

    විවිධාකාර විද්‍යාවන් තිබෙනවා. රසායන විද්‍යාව,භෞතික විද්‍යාව,මානව විද්‍යාව,වාග් විද්‍යාව,පුරා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ආදී සිය ගණන් විද්‍යා තිබෙනවා. මෙම විද්‍යාවන් බටහිරට පමණක් සීමාවුවන් නොවේ. දැන් ආයුර්වේදයටද විද්‍යාව යන වචනය යොදනවා. අප පුරාණ පෙරදිග විද්‍යාවන් ගැන කියනවා. චීනයට ආවේනික විද්‍යාවක් තිබුන බව සඳහන් කරනවා. පොදුවේ මේ විද්‍යාවන්හි ඇති ලක්ෂණයන් මොනවාද?

    මේ සියලු විද්‍යාවන්ගේ පළමු ලක්ෂණය නම් මේවායේ පංචේන්ද්‍රියන් (ඇස,කණ ,නාසය,සම,දිව) ඇසුරෙන් නිරීක්ෂණය කරන “දෙයක්” තිබෙනවා. මේ දේ වලට අපි භෞතික දේ හෝ ප්‍රපංචයන් යැයි පවසනවා. ඇතැම්විට මෙම නිරීක්ෂණයන් සිදු කිරීමට උපකරණ පාවිච්චි කරනවා. පංචේන්ද්‍රියන්ට කෙලින්ම හසු නොවන දේ පංචේන්ද්‍රියන්ට හසු කර ගැනීම තමයි මේ උපකරණ වලින් කරන්නේ. මෙවන් උපකරණ තැනීමත් නවීන විද්‍යාවන්හි කාර්යයක්. ඇතැම්විට වෙනස් වෙනස් උපකරණ වලින්,වෙනස් වෙනස් පුද්ගලයන් කරන නිරීක්ෂණයන්හි වෙනස්කම් තිබිය හැකියි. නමුත් හැමවිටම විද්‍යාවේ යම් නිගමනයක් කෙරෙන්නේ නිරීක්ෂණයන් ඇසුරෙනුයි.ඊළඟට මෙම නිරීක්ෂණයන් ගැන විමසා බැලීමක් කෙරෙනවා. මෙම විමසා බැලීම සඳහා යම් අයෙකුට හෝ යම් පිරිසකට බුද්ධියක්,නුවණක් සහ පෙර ඇති දැනුමක් අවශ්‍යවෙනවා. මෙම විමසා බැලීමටද විවිධ ක්‍රමවේදයන් යොදනවා. ගණනය කිරීම්, සංඛ්‍යාන ක්‍රමවේද, පරිගණක පමණක් නොව විමසා බලන කරුණ පිළිබඳව මේ දක්වා ඇති දැනුමද මෙම විමසා බැලීමේදී වැදගත් වනවා. පෙර ඇති අත්දැකීම්, නිරීක්ෂණයන් මෙම විමසා බැලීමට ප්‍රයෝජනවත් විය හැකියි.මෙම විමසා බැලීමට කෙටිකලක් හෝ දිගු කලක් ගතවිය හැකියි. මෙම විමසා බැලීමෙන් අනතුරුව යම් නිගමනයන්ට, මතයන්ට එනවා.

    දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව වැනි වැනි “කලා ධාරාවේ” විද්‍යාවන්හි දීද නිරීක්ෂණයන් කෙරෙනවා. එහිදී නිරීක්ෂණය කෙරෙන දේ මනුෂ්‍ය සමාජයයි. මෙම කලා ධාරාවේ විද්‍යාවන් හිදී නිගමනයන්ට පැමිණීමේදී නිරීක්ශණ සිදුකලත්, විමසා බැලීම හා විග්‍රහය එයට වඩා ප්‍රධාන තැනක් ගන්නවා.

    මේ විද්‍යාවන් හිදී එළඹෙන නිගමනය බොහෝවිට සෙමෙන් වන්නක් විය හැකි නමුත් ඇතැම්විට මෙම නිගමනය සියලු කරුණු මත පදනම්ව හදිසියේ යමෙකුගේ මනස තුල ඇතිවන්නක් විය හැකියි. මෙම ක්‍රියාවලිය ඇරඹෙන මුලික උපකල්පනය හෝ එළඹෙන නිගමන හදිසියේ ඇතිවුවහොත් එය අදෘශමාන බලවේගයන් විසින් ඇති කරන්නේ යැයි සමහරු වැරදි ලෙස සිතනවා. එනමුත් උපකල්පනය, පරීක්ෂණය, නිරීක්ෂණය, විග්‍රහය සහ නිගමනය යන ක්‍රියාවලිය යමක් තුල සිදුවන්නේ නම් එය විද්‍යාත්මක ක්‍රමයයි. “සයන්ස්” නමින් හැඳින්වෙන ක්‍රියාවලියේදී දැනුම ඇතිවන්නේ මෙම විද්‍යාත්මක ක්‍රමය තුලයි.

    පංචේන්ද්‍රියන් මත පදනම්ව පමණක් විද්‍යාත්මක ක්‍රියාවලිය සිදුවන්නේ යැයි විශ්වාස කිරීම “එම්පිරිසම්” ලෙස හදුන්වනවා. මුලින් යම් මතයක් ඇතිකර ගෙන එය තර්කානුකුලව විග්‍රහ කිරීම “රැශනලිසම්” ලෙස හදුන්වනවා.මෙහිදී සංකල්පය ඇතිවන්නේ මනසිනුයි. රැශනලිස්ම් වලදී පළමු නිරීක්ෂණය කෙරෙන්නේ මනසිනුයි.මනසින් කෙරෙන එම නිරීක්ෂණය උපකල්පනයක් බවට පත්වෙනවා. මා සිතන අකාරයට මෙහිදී මනස සයවෙනි ඉන්ද්‍රිය ලෙස ක්‍රියා කරනවා. ඉන් පසුව කරුණ විග්‍රහ කෙරෙනවා. ඉන් පසු නිගමනයන්ට එනවා. එවැන් අවස්ථාවක පවා පෙර දැනුම මත පදනම්ව එම මතයට එළඹි අයුරු අන් අයට වටහා ගත හැක. එසේම මෙම මතය නිසැකවම සත්‍යදැයි සොයාගැනීමට විද්‍යාත්මක ක්‍රමයට භාජනය කලයුතුයි. මෙම “එම්පිරිසම්” හා “රැශනලිසම්” ලෙස හදුන්වනවා දෙන වචන දෙකට හරියටම ගැලපෙන සිංහල වචන නැහැ. නමුත් මේ ක්‍රම දෙකම විද්‍යාව (සයන්ස් ) විසින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

    මෙම විද්‍යාත්මක (සයන්ටෆික්) ක්‍රමවේදයේ ඇති අනෙක් වැදගත් ලක්ෂණය නම් එය අන් අයට වටහා ගැනීමට, ඇතැම් විට තමන්ම සිදුකර බැලීමට ඇති හැකියාවයි. නිගමනයට එළඹී ක්‍රියාව අතීතයේ සිදුවූවක් නම් එය නැවත සිදුකර බැලීමේ හැකියාවක් නැහැ. මෙවැනි අවස්ථාවක දී වැදගත් වන්නේ පිළිගත හැකි සාක්ෂියි. මෙම සාක්ෂිද පංචේන්ද්‍රියන්ට ගෝචර වන ඒවායි. පුරාවිද්‍යාව හා ඉතිහාසය මෙවන් විද්‍යාවන්ට උදාහරණයි. කෙසේ නමුත් මෙම සාක්ෂිද දෙදෙනෙකුට හෝ වැඩි පිරිසකට නිරීක්ෂණය කල හැකියි.

    සයන්ස් සහ විද්‍යාව අතර ඇති වෙනස කුමක්ද?

    මීළඟට අප පෙරදිග භාෂාවන්හි විද්‍යාව යන වචනය යෙදී ඇති අයුරුත්, අද අප විද්‍යාව(සයන්ස්) යන්න භාවිතා කරන සංකල්පයත් අතර වෙනස වටහා ගත යුතුයි ඉන්දු ආර්ය භාෂාවන්හි විද්‍යාව හෝ “විජ්ජා” යන්නෙන් සත්‍යය හා සත්‍ය අවබෝධයද අදහස් වෙනවා. බොහෝවිට මෙයින් අදහස් වන්නේ පරම සත්‍යයද වියහැකියි පෙරදිග ආගම හෝ දර්ශනයන්ට අනුව මෙම විද්‍යාව යමෙකුගේ සිත තුල පහල වන්නක්.මෙම විද්‍යාව අවබෝධකර ගැනීමදී අද පවතින විද්‍යාත්මක ක්‍රමය භාවිතා නොවේ. එසේම මෙම විද්‍යාවේදී අවබෝධකර ගන්නා “දෙය” භෞතික දේ නොවේ. නිර්වාණය, කර්මය, පුනුරුත්පත්තිය, බ්‍රහ්මන්, ආත්මන් මෙවන් විද්‍යා යන වචනයෙන් හඳුන්වන සංකල්පයන්. සයන්ස් වලදී එක් විටක විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කරන්නේ එක් ප්‍රශ්නයකටයි. එනමුත් පෙරදිග විද්‍යාව යන සංකල්පයෙන් එයට වඩා පුළුල් පරාසයක දේ ගැන කෙරෙන විග්‍රහයක් තිබෙනවා.

    ඊළඟට මතුවන ප්‍රශ්නය මේ කියන දැනට අප විද්‍යාවන් ලෙස හදුන්වන එනම් සයන්ස්වල නිගමනයන් අවසාන,පරම සත්‍යයද යන්නයි. විද්‍යාව (සයන්ස්) ගැන හොදින් දන්නා කිසිදු විද්‍යාඥයෙක් එසේ කියන්නේ නැහැ. එසේ සිතන්නේ නැහැ. එසේ සිතනවානම් නැවත නැවත පරීක්ෂණයන් සිදු කරන්නේ කුමටද? ඔවුන් යම් කරුණක් ගැන අවසාන,පරම සත්‍යය සොයා ගත්තේ යයි කියා ඉදිරි පර්යේෂණයන් නවත්වනු ඇත. තමන් යම් කරුණක් ගැන පරම සත්‍යය සොයාගත්තේ යයි කියන්නේ මොන විද්‍යාඥයාද? එසේ පවසන්නෙක් අනෙක් විද්‍යාඥයන් විසින් සලකනු ඇත්තේ උන්මත්තකයෙකු ලෙසිනි. විද්‍යාත්මක ක්‍රමය තුලින් අප සොයන්නේ එය ක්‍රියාත්මක කිරීම තුලින් අප බලාපොරොත්තු වන ප්‍රතිපලය ලබාගත හැකිද යන්නයි. සැබෑ විද්‍යාඥයන් තමන්ට එම ප්‍රතිපලය ලබා ගත නොහැකි වුයේ නම් ඒ බව පවසනවා.

    පෙරදිග ආගම් හා දර්ශනයන්හිදී යමකු තුල විද්‍යාව ඇතිවුයේයයි පවසන විට සත්‍යය පසක් කරගෙන අවසන්. බුදුදහමේ පැවසෙන විජ්ජා යන වචනයේ අරුතත් සයන්ස් යන වචනයේ එකක් නොවේ යැයි ඔබ‍ට තේරුම් යන්නට ඇති. මෙම අරුත් පටලැවිල්ල හඳුනා නොගෙන බුදුදහමේ විද්‍යාව මෙන් නොව අනෙක් විද්‍යාවන් සදාතනික නොවන බවත්, විටින්විට මතයන් වෙනස් කරන බවත්, එමනිසා ප්‍රවාදයන් බවත්, පවසන අය සිටිනවා.

    මතයන් වෙනස් කිරීම එම සයන්ස් නම් විද්‍යාවන්ගේ ස්වභාවයයි. ඒ මත වෙනස් කෙරෙන්නේ අලුතින් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව,අලුත් දැනුම ලබා ගෙන, ඒ අලුත් දැනුම අවබෝධ කරගෙන, ඒ පිළිබඳව තම බුද්ධිය මෙහෙයවා ගෙනය. මෙම ක්‍රමවේදයේ කිසිම ගුප්ත ස්වභාවයක් නොමැත. තමන් සොයාගත් දේ සදාතනික සත්‍යයක් නොවීම ගැන සැබෑ විද්‍යාඥයන් මනා අවබෝධයකින් සිටී. සයන්ස් යන විද්‍යාව මිනිසුන්ට සහ ලොවට බලපාන විවිධ දේ ගැන සැමදා සොයමින් සිටියි. මෙම සොයාගැනීම් බොහෝ විට ලොවට හිතකර වන අතර ඇතැම්විට අහිතකර වේ. පරමාණු බෝම්බය මෙයට උදාහරනයක්. එනමුත් බොහෝ සොයාගැනීම් ලොවට හිතකරයි. විද්‍යාවේ මෙම අලුත්වන ස්වභාවය සහ හොඳ නරක දෙකම ඇති ස්වභාවය ගැන බුද්ධියක් ඇති සියලු දෙනා අවබෝධයෙන් සිටියි.මෙම ස්වභාවය සයන්ස් ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවේ. එය එසේ නොවේයැයි කිසිවෙකුට කිව නොහැකියි. එම අවබෝධය නැත්තේ කරුණු සහ වචන පටලවා ගත් අයටයි. මෙම පටලැවිල්ල ලිහීමට නම් අප සයන්ස් වලට විද්‍යාව යැයි නොකියා වෙනත් වචනයක් සොයා ගත යුතුයි.

    පෙරදිග පැවති විද්‍යාවන්ගෙන් අද ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්පයකි. එයින් ආයුර්වේදය අදටත් ජීවමානව පවතින විද්‍යාවකි. චීන වෛද්‍ය ක්‍රමයද එවැන්නකි මේවායේ රෝගීන්ට ප්‍රතිකාර කෙරන්නේ රෝග ලක්ෂණ නිරීක්ෂනයෙනි. බෙහෙත් තෝරන්නේද ඖෂධ වල ලක්ෂණයන් ගැන කල නිරීක්ෂණයන් ගෙනි. ආයුර්වේදයද අප විද්‍යාවක් ලෙස හදුන්වන්නේ මේ නිසාය. මෙම ක්‍රමයන් අන් අයට ඉගැන්විය හැකිය. අන් අයටද අනුගමනය කර ප්‍රතිඵල අත්කර ගත හැකිය.මෙහි කිසිදු ගුප්ත ස්වභාවයක් නැත.

    මිත්‍යාව යනු කුමක්ද?

    මීළඟට අප මිත්‍යාව දෙසට හැරෙමු. “මිත්” යන බටහිර වචනයත් මිත්‍යාව යන වචනයත් අතර වෙනසක් තිබේ. ඉන්දු ආර්ය භාෂාවල මිත්‍යා, මිච්චා යන වචනයෙන් අසත්‍යයන් පමණක් නොව සෑම ආකාරයක වැරදි ක්‍රියාවන් අදහසවේ. මිච්චා ආජිව යනු වැරදි දිවි පැවැත්මයි. මෙතැනදී එම වචනයෙන් යමක් සත්‍යය හෝ අසත්‍යදැයි අදහස් නොවේ. ඉංග්‍රීසි බසින් මිත් යන්නෙන් අසත්‍යය පමණක් නොව වැරදි විශ්වාස, දේවකතා ආදියද හැදින්වේ. මෙම වචන වල අරුත් වෙනසද බොහෝ පැටලවිලි වලට මග පාදා තිබේ. මෙම ප්‍රශ්නය සම්බන්ධව ඇති අවුල් ලිහා ගැනීමට නම් පළමුව වචන අතර ඇති අවුල් ලිහාගත යුතුවේ.

    ඉන්ද්‍රියයන් ඇසුරෙන් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව සිදුකිරීමට නිගමනය කල නොහැකි සියලු දේ මිත්‍යාවන් යයි පවසන අය බොහෝය.මම එම මතය ප්‍රතික්ෂේප කරනවා. එය ඇත්තක් නම් පංචේන්ද්‍රියන් ඇසුරින් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව සිදුකිරීමට නිගමනය කල නොහැකි, මැනිය නොහැකි, තවත් අයෙකුට ඒ අයුරින්ම වටහා ගත නොහැකි දෙදෙනක් අතර ඇතිවන ආදරයද මිත්‍යාවක් . ආදරය, ගෞරවය, කෝපය වැනි දේ අපගේ මනස තුල සිදුවන සංසිද්ධීන්ය.අප තුල හා සමාජය තුල ඇති විශ්වාසයන් ද එවැනිය. ආගමික සංකල්ප, මානසික අවස්ථා, විශ්වාසයන් හා ඇදහිලි ඇත්තේ අප මනස තුලයි. ඒවා අන් අයට නිරීක්ෂනය කල නොහැකි අතර නිරීක්ෂණය කල හැක්කේ විශ්වාස මත පදනම්වූ වතාවත් පමණයි. අන් අයට ඉන්ද්‍රියයන් ඇසුරෙන් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව සිදුකිරීමට නිගමනය කල නොහැකිවූ පමණින් මෙවැනි දේ මිත්‍යා ගණයට අයත් වනවා නම් ආදරය යන සංකල්පයත් මිත්‍යාවක්. එය එසේ වන්නේ නැහැ.මානසික සංකල්පයන් වන ආගමික විශ්වාසයන් මත පදනම්වූ ආගමික පුද පූජා හා වතාවත් වලට මිත්‍යා ක්‍රියා යැයි පවසන්නේ නම් මානසික සංකල්පයක් වන ආදරය මත පදනම්ව තෑග්ගක් දීමත් මිත්‍යා ක්‍රියාවක්. එය එසේ නොවන බව පැහැදිලියි.

    විශ්වාසයන් අතර පුද්ගලයන්ට, සමාජයට සහ පොදුවේ ලොවට හිතකර,අහිතකර හා හිතකර හෝ අහිතකර ගනයට නොවැටෙන විශ්වාසයන් හා ඇදහිලි තිබෙනවා. මිනිසකු මරාදමුවහොත් අපාගත වේ යැයි යන විශ්වාසය යහපත් විශ්වාසයක්. මෙම විශ්වාසයේ සත්‍ය අසත්‍ය බව විද්‍යාවෙන් (සයන්ස් ) මගින් තහවුරු කල නොහැකියි. එසේ කිරිමට යාම උමතු ක්‍රියාවක්. එහෙත් එම විශ්වාසය සමාජයේ මිනීමැරුම් අඩු කරයි. යහපත් විශ්වාසයන් ගැන උදාහරණ දහස් ගණනකි.ඇතැම් විශ්වාසයන්ගේ ප්‍රතිපල ඍජුව නොපෙනේ. තම වෙළඳසැලට දිනපතා කහවතුර ඉසුවහොත් වෙළඳාම වැඩිවේ යයි යන විශ්වාසය එවැන්නක්. එයින් වෙළඳ මහතාට ආත්ම ශක්තියක් ලැබෙයි. එම ක්‍රියාවෙන් කිසිවෙකුට හානියක් සිදු නොවේ. එසේම ඇතැම් විශ්වාසයන් පුද්ගලයන්ට, සමාජයට සහ පොදුවේ ලොවට අහිතකර වේ. තමන් අදහන ආගම හැරුණු කොට අන් ආගම් අදහන්නන් අදහන්නන් මරා දැමුවහොත් දෙව්ලොව යාහැකි යයි යන විශ්වාසය එබන්දකි.මෙවන් අයහපත් විශ්වාසයන් ගැනද උදාහරණ දහස් ගණනකි. ඇතැම් විට හිතකර හා හිතකර හෝ අහිතකර ගනයට නොවැටෙන විශ්වාසයන්ද අයහපත් ප්‍රතිපල ලබාදෙන අවස්ථා තිබේ. ඒ බොහෝවිට යම් විශ්වාසයකට ඇබ්බැහිවී ඒ සඳහාම කාලය මරමින් ගත කිරීම නිසාය. ධනය ඒවාට වියදම් කිරීම නිසාය.

    මිත්‍යාවන් ඇති වන්නේ කෙසේද ?

    මේ මානසික සංකල්පයන්, විශ්වාසයන් හා ඇදහිලි මිත්‍යාවන් බවට පත් වන්නේ කුමන විටද? මෙය කිහිප අයුරකින් සිදුවිය හකියි. පලමුව ඇදහිලි හා විශ්වාසයන් ඇසුරින් මැනිය හැකි, නිරීක්ෂණය කල හැකි භෞතික සංසිද්ධියක් වුයේ හෝ වන්නේ යයි, එය අදහන්නන් පවසන අවස්ථාවකදීය. එවැනි අවස්ථාවක “විද්‍යාව” එනම් සයන්ස් ඉදිරියට පැමිණ එහි ක්‍රමවේදයන් යොදා එම සංසිද්ධිය වුයේ හෝ වන්නේ යයි කීම සත්‍යයක්ද, අසත්‍යයක්ද යැයි පවසනු ඇත. අසත්‍යයන් වන එවැන් සංසිද්ධීන් මිත්‍යාවන් ලෙස සැමවිටම හැදින්වේ. A ට වඩා B ට යමෙක් ආදරෙයි කිවහොත් එය මැනිය නොහැකි නිසා අසත්‍යයක් හෝ මිත්‍යාවක් යැයි කියන්නා උන්මත්තකයෙකි. එනමුත් එම ආදරයේ වෙනස ශරීරයේ ඇති එන්ඩොෆින් ප්‍රමාණයෙන් මැනිය හැකියැයි කිවහොත් විද්‍යාව ඉදිරියට පැමිණ එම උපකල්පනය හරි හෝ වැරදි යැයි පවසනු ඇත.

    යමක් වැරදි යයි සයන්ටිෆික් ක්‍රමය මගින් සොයාගත් පසුවද තම මතය අතනොහරින්නා මිත්‍යා මතයක එල්බ සිටින්නේ යැයි අපි පවසමු. අයුරින්ම විද්‍යාව මගින් නිරීක්ෂණය කොට, විග්‍රහ කොට නිගමනයන්ට එළඹුණු කරුණු පසකට දමා විශ්වාසයන් මත පමණක් පදනම්ව ක්‍රියා කිරීම මිත්‍යා ගනයට වැවෙනවා. පෘතුවිය වටා සුර්යයා බ්‍රමණය වේ යැයි පැවසීම එවැනි දෙයක්. එසේම යම් ක්‍රියාමාර්ගයක් තුලින් අප බලාපොරොත්තු වන ප්‍රතිපලය ලැබී නැතිවිටදී එය ලැබී ඇතැයි පැවසීමද, එවන් විශ්වාසයක එලබගෙන සිටීමද මිත්‍යාවක්. එපමණක් නොව එය අසත්‍යයක් බවටද පත් වනවා.එසේම යම් ක්‍රියාවක් තුලින් අප බලාපොරොත්තුවන ප්‍රතිපලය ලබාගත නොහැකියැයි සක්සුදක් සේ පෙනෙන විටදී එහි නිවැරදි භාවය ගැන විශ්වාසයක් තිබීමද, මිත්‍යාවක් වනවා.

    අවසාන වශයෙන් යමක් සම්බන්ධයෙන් විද්‍යාත්මක ක්‍රමවේදයක් යෙදිය හැකි විටදී එසේ නොයොදා නොපෙනන දේ පසුපස යාමද මිත්‍යවක්. උදාහරනයක් ලෙස යම් දේශපාලන තීරණයකට එළඹීමට ප්‍රථම දේශපාලන විද්‍යාව පමණක් නොව ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව වැනි විවිධ විද්‍යා එක්කොට විද්‍යාත්මක විග්‍රහයක් කල යුතුයි. ඇතැමුන්ට මෙම විවිධ දේ එක්ව විග්‍රහ කිරීමේ ශක්තිය මැනවින් පිහිටා තිබෙනවා. මේ සියල්ල පසෙක තබා ගුප්ත විද්‍යා උපදෙස් අනුව දේශපාලන තීරණ ගැණීම මිත්‍යාවට අනුව කටයුතු කිරීමක්. එය අවිද්‍යාත්මකයි. වඩාත් නිවැරදිව පවසන්නේනම් එවැන්නක් “සයන්ටිෆික්” නොවේ.

    විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

    (සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ ආරාධනයෙන් කරන ලද දේශණයක් ඇසුරින් සකස් කරණ ලද්දේ සුජීව සෙනරත් විසිනි)

  • සියලු බලවේග KDU පනතට එරෙහිව ‘කොන්දේසි විරහිතව’ එක්විය යුතුයි – චම්පික රණවක

    සියලු බලවේග KDU පනතට එරෙහිව ‘කොන්දේසි විරහිතව’ එක්විය යුතුයි – චම්පික රණවක

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා සිදුවන්නේ රටේ අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ඇතිකරගෙන යමින් පවතින ආකාරයටම, මිලිටරීකරණය අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටද පැතිරීම බවත් එනිසා, නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකර්ණයට එරෙහි සෑම බලවේගයක්ම මේ මොහොතේ එකට එක්ව ඊට විරුද්ධව නැගී සිටිය යුතු බවත්‘ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු නියෝජිත පිරිසක් සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත්, 43 සේනාංකයේ නියෝජිතයින් කීපදෙනෙකුත් යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව අද (23) දින පැවති සාකච්ඡාවකදී චම්පික රණවක මහතා මේ බව පැවසුවේය.

    මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු පැවසූයේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමත්, මුදලට අධ්‍යාපනය විකුණන වැඩපිළිවෙලක් දියත් කිරීම හරහා, විශ්වවිද්‍යාල ප්‍රථිපාදන කොමිශන් සභාවත් 1978  විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන පනතත් අභිබවායන මිලිටරි අධ්‍යාපන පද්ධතියක් ඇති කිරීමටත් ඔවුන් විරුද්ධ වන බවය.

    මෙහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ 1988 දී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් එවකට පැවති ජේ .ආර්  ජයවර්ධන ආණ්ඩුව සමග සාකච්ඡා කළ නියෝජිතයකු වශයෙන්, විශේෂිත විශ්වවිද්‍යාලයක් වශයෙන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ඉහළට නංවා, ආරක්ෂක අංශවලට බැඳුණු කැඩෙට් නිලධාරීන් රජයේ විශ්ව විද්‍යාලවලට අන්තර්ග්‍රහනය කිරීම වෙනුවට ඔවුන්ට විශේෂිත විශ්ව විද්‍යාලයක් නිර්මාණය කිරීමට එකඟ වූ බවයි. නමුත්, යෝජිත පණත හරහා, ආරක්ෂක අංශ වල අයවලුන්ට අමතරව සිවිල් පුද්ගලයින්හට මුදලට අධ්‍යාපනය ලබා දීම සඳහා අවස්ථාව ඇති කර තිබීම හරහා තවදුරටත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විශේෂිත විශ්ව විද්‍යාලයක් නොවනු ඇති බව රණවක මහතා පැවසීය.

    ‘‘මේ හරහා සිදුවන්නේ රටේ අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ඇතිකරගෙන යමින් පවතින ආකාරයටම, මිලිටරීකරණය අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටද පැතිරවීමයි. එනිසා, නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකර්ණයට එරෙහි සෑම බලවේගයක්ම මේ මොහොතේ එකට එක්ව ඊට විරුද්ධව නැගී සිටිය යුතු බව‘‘ ද චම්පික රණවක මහතා පැවසීය.

  • අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ‘අලුත් ප්‍රතිපත්තියක්’ වහාම ඕනෑ

    අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ‘අලුත් ප්‍රතිපත්තියක්’ වහාම ඕනෑ

    වැඩි වශයෙන් සිදුවන මිනිස් හා අලි මරණ මෙන්ම දේපළ හානි සමග අලි මිනිස් ගැටුම දශකයක කිහිපයක් තිස්සේ  දිනෙන් දින අයහපත් තත්ත්වයකට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් එබැවින් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් වීමකට භාජනය කළ යුතු බවත් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) නිර්දේශ කොට ඇත.

    පසුගිය දා මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට අදාළ රජයේ ගිණුම් කාරක සභා වාර්තාවේ මීට අදාළ  නිර්දේශයන් ඉදිරිපත් කොට ඇත.

    අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් පසුගිය 2020 දෙසැම්බර් 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය.

    ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද  2019 වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව ගිණුම් කාරක සභාවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන  මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ  මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බවද හෙළි විය. එබැවින් මෙම ගැටලුව සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.

    මේ අනුව මෙතෙක් කාලයක් අසාර්ථක වී ඇති පැරණි ප්‍රතිපත්තිය අතහැර දමා ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් සකස් කර ඇති ප්‍රතිපත්තිය ක්‍රියාවේ යොදවන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව තම වාර්තාව මගින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට  නිර්දේශ කර ඇත.

    විදුලි වැටක් ඉදිකොට අලි ඇතුන් කොටු කිරීමේ ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවත් සත්‍ය වශයෙන්ම මෙහිදී කොටු කිරීමට ලක්වන්නේ අහිංසක ගැහැණු සතුන් හා අලි පැටවුන්  පමණක් බවත් වාර්තාවේ සදහන්වේ. එසේම  මිනිසුන්ට හා ගම්බිම්වලට හානි කිරීමට වග කිව යුතු වන්නේ විශාල පිරිමි සතුන් බව අනාවරණය වී ඇති බවද මෙහි වැඩිදුරටත් සදහන් වේ.

    ගලිගමුව ප්‍රදේශයේ සිදු කරන ලද ප්‍රායෝගික අත්හදා බැලීමකින් පසු වසර 7 කට වැඩි කාලයක් මුළුල්ලේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් සකස් කර ඇති ප්‍රතිපත්තිය මගින් මෙතෙක්  පැවති ගැටුම් සමනය වී ඇති බවත් ඒ සදහා වැය වූ වියදම ඉතා අඩු මට්ටමක පවතින බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

    මහාචාර්ය තිස්ස විතාරණ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට මෙම වාර්තාව ඉදිරිපත් කරමින් පවසා සිටියේ රජය විශාල වශයෙන් වාර්ෂික අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කොට අලි මිනිස් ගැටුම වැළැක්වීමට මුදල් වියදම් කර තිබුණද මෙම ගැටුම වැඩිවීමක් මිස අඩුවීමක් සිදුව නැති බවයි. එබැවින් රජයට මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වන මෙම පැරණි  ප්‍රතිපත්තිය කඩිනමින් වෙනස් විය යුතු බවත් කෝපා කමිටු  සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා ක්‍රියාකාරී සැලැස්ම සැකසීම වනජීවි දෙපාර්තමේන්තුවේ රාජකාරියක් බවත් අලි රක්ෂිත ඉදිකිරීම සදහා එම ඉඩම් ලබා ගැනීමේදී මහවැලි අධිකාරිය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතවල එකගතාව නිසි පරිදි ලබා ගැනීම ද වැදගත් බවත් වාර්තාවේ පෙන්වා දී තිබේ.

    තවද අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා යොදා ගන්නා  අලි වැට, අලි අගල් වැනි උපක්‍රම ඉදි කිරීමේදී හා පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකා යුධ  හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ගොවිජන සංවිධානවල සහ ගම්වාසීන්ගේ ඒකාබද්ධ සහය අවශ්‍ය බැවින් මෙම සියලු ආයතන සහ පුද්ගලයන්ගේ මනා සම්බන්ධීකරණ ද අතිශය වැදගත් බව මෙම වාර්තාව මගින් කාරක සභාව අවධාරණය කොට ඇත.

  • චීන – රුසියානු එන්නත් ගැහුවොත් ‘විදේශ රැකියාවලට‘ ගිහින් හමාරයි

    චීන – රුසියානු එන්නත් ගැහුවොත් ‘විදේශ රැකියාවලට‘ ගිහින් හමාරයි

    වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    මේ වන විට රටවල් පහළොවකට පමණ (15) රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික  ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා  කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

    ඒ අනුව ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදිඅරාබිය. සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු කොරියාව, මාලදිවයින, මැලේසියාව, ඊශ්‍රායලය, සයිප්‍රස්, යන රටවලට මෙම ශ්‍රමිකයන් රැකියා සඳහා යාමට නියමිතය.

    මෙම සෑම රටක් ම පිළිගන්නා කොවිඩ්  මර්දන එන්නත වන්නේ ෆයිසර් එන්නත බැවින් එම ෆයිසර්  එන්නත එම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත සියලු දෙනාට ලබාදීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ  බලධාරීන්  මෙහි දී සිය  එකඟ පළ කළේය.ඒ අනුවඉදිරි සතියේ දී කොළඹ මධ්‍යස්ථානයකදී මෙම සියලුම දෙනාට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමටත්  නියමිත පරිදි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී ඔවුන්ට ඉදිරි මාස දෙකක් ඇතුළතදී විදේශගත වීමට  අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙහි දී සාකච්ඡා කෙරිණ.

    එසේම මෙම විදේශ රැකියා සඳහා යාමට රැකියා අවස්ථා ලැබ සිටින බොහෝ දෙනෙකු වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්  නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බලා ඔවුන්ට මෙම එන්නත ලබා දීමට මෙහි දී සාකච්ඡා කෙරිණ.

  • අර්ථසාධක අරමුදලෙන් බදු ගැනීම ගැන ‘බැසිල් රාජපක්ෂ‘ කළ හෙළිදරව්ව !

    අර්ථසාධක අරමුදලෙන් බදු ගැනීම ගැන ‘බැසිල් රාජපක්ෂ‘ කළ හෙළිදරව්ව !

    වසංගතය හමුවේ රට යම් අසීරුතාවකට පත්ව තිබෙන මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී මහජන නියෝජිතයන්,  ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු පිරිසක් හමු වූ අවස්ථාවේදී ය.

    එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ  ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මූලිකත්වය දෙමින් එන්නත් මිල දී ගැනීම සඳහා කිසිදු කොන්දේසියකින් තොරව  මුදල් වෙන් කිරීමට  අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

    එසේම එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසමින් රට පූර්ණ වශයෙන් විවෘත කිරීමට රජයේ ප්‍රමුඛතාවය දී ඇති හෙයින් කඩිනමින් රටේ ආර්ථික අංශ ක්‍රියාවට නැංවිය හැකි බවට ද අමාත්‍යවරයා මෙහිදි විශ්වාසය පළ කළේය.

    හරිත ශ්‍රී ලංකාවක් වැඩපිළිවෙළ යටතේ රටේ අනාගත පරපුරට බලපාන ප්‍රධාන කරුණු විසි හතක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතර  එම  යෝජනා සාර්ථක කර ගැනීම සඳහා සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද රාජපක්ෂ මහතා මෙහි දි සඳහන් කළේය.

    තාක්ෂණය ආශ්‍රිත රැකියා මගින් මේ වන විටත් බිලියන 1.2 ක පමණ ආදායමක්  මෙරටට ලැබෙන අතර, විදේශ රටවල් පවා මෙරට තාක්ෂණවේදීන්ගේ සහාය ලබා ගන්නා ප්‍රවණතාවයක් ඇති හෙයින් එවැනි ආදායම් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද අමාත්‍යවරයා මෙම හමුවේදී සඳහන් කළේය.

    ඉදිරි ආර්ථික වැඩපිළි‍වෙළ සහ එය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා ඒ අනුව ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා වූ යෝජනාවලට මූලිකත්වය දෙන ඉදිරි මාස 6ක කාලය තුළ  වඩාත් අවධානයෙන් සහ පසු විපරමින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව මෙහි දී පෙන්වා දුන්නේය.

    ආයෝජකයින් අපහසුතාවයට පත්වන අවස්ථා විධිමත්ව හඳුනාගෙන එවැනි අවස්ථා අවම කරමින් ආයෝජකයින් දිරිමත් කිරීමේ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බව ද  මුදල් අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියේය.

    තමා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව අර්ථ සාධක අරමුදලෙන් 14% ක බද්දක් අය කරන බවට  සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ද මෙහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින්,  අනවශ්‍යය වියදම්, නාස්තිය දූෂණය අවම කරමින්  මනා මහජන සේවයක් සැපයීම සඳහා මේ අවස්ථාවේ සියලුම මහජන නියෝජිතයන්ගේ ආණ්ඩුකාරවරුන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේත් සහාය බලාපොරොත්තු වන බව ද මුදල් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට මැති ඇමතිවරු ඇතුලු පිරිසක් සහභාගී වූහ.

  • මහා භාණ්ඩාගාරය හිස්කරන ලොකුම බහිරවයෝ මෙන්න – තිස්ස විතාරණ කරන හෙළිදරව්ව !

    මහා භාණ්ඩාගාරය හිස්කරන ලොකුම බහිරවයෝ මෙන්න – තිස්ස විතාරණ කරන හෙළිදරව්ව !

    ප්‍රතිපත්තීන් යාවත්කාලීන නොවීම හා රජයේ ආයතන ගණනාවක අවභාවිතාවන් හේතුවෙන් රජයට හා රටට වාර්ෂිකව ඉතා විශාල මුදලක් අහිමි වන බව රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසීය.

    මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා මේ බව සඳහන් කළේ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

    ගිණුම් කාරක සභාව ඉදිරිපත් කරන මෙම වාර්තාව ඉතා සවිස්තරාත්මක වාර්තාවක් බවත්, එමඟින් මෙලෙස රජයට අහිමිවන මුදල් අයකර ගැනීමට ගත යුතු පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් ඒ මහතා කීවේය.

    රටේ පවතින ඇතැම් ප්‍රතිපත්ති යාවත්කාලීන නොවීම හේතුවෙන් රටට විශාල මුදලක් අහිමි වන බවත්, අලි මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව වැය වන මුදල ඊට හොඳම උදාහරණයක් බවත් ඒමහතා පෙන්වා දුන්නේය.  

    “දැනට පවතින ප්‍රතිපත්තීන්ට අනුව වසරක් පාසා අලි වැට ඉදිකිරිම ඇතුළු කාර්යයන්ට අයවැය මඟින් විශාල මුදලක් වෙන් කරනු ලබනවා. මෙහිදී සිදු කරන්නේ අලි ඇතුන් එකම සීමා වූ ප්‍රදේශයකට කොටු කර ඒ වටා අලි වැට බැඳීමයි. මෙහිදී සිදුවන්නේ බොහෝ විට අලි පැටව සහ කෙනර එම ප්‍රදේශයට ගාල් කිරීමයි. අලි දැවැන්තයන් ඊට ගාල් කර තැබීමක් සිදු වන්නේ නැහැ. එතනදී කාලයක් යනකොට ඒ සීමා වූ ප්‍රදේශයේ  ආහාර මදිවන විට අලි පැටව් මෙන්ම කෙනෙර මිය යන්න පටන් ගන්නවා. ඒ අතර දැවැන්ත අලි ගම් වදිනවා” යැයිද සභාපතිවරයා පැවසීය.

    එබැවින් මේ ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු බවත් ඒ සඳහා වන යෝජනා වාර්තාවට ඇතුළත් කර තිබෙන බවත් විතාරණ මහතා කීය. ජනතාව ජීවත්වන ප්‍රදේශය වටා මෙන්ම ගොවි බිම් වටා පමණක් අලි වැට ඉදිකර ඉතිරි ප්‍රදේශයේ අලින්ට නිදහසේ සැරි සැරීමට පරිසරයක් සැකසිය යුතු බවත් පැවසු ඒ මහතා ආචාර්‍ය පෘතුවිරාජ් මහතා මෙම ක්‍රමවේදය අනුරාධපුරය හා ගල්ගමුව ප්‍රදේශයේ දී අත් හඳා බලා ඉතා උසස් ප්‍රතිඵල ලබා තිබෙන බවත්  සඳහන් කළේය .

    මෙම ප්‍රදේශවලට ගොස් තමන් ගම්වාසීන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් ඔවුන් එම ක්‍රමවේදය අනුමත කරන අතරම මේ වන විට ස්භාවිකවම මිනිසුන් හා අලින් අතර ගැටුම් අවම වී ඇති බවත් මහාචාර්ය විතාරණ මහතා කීය. මේ හේතුවෙන් ප්‍රතිපත්තීන් සංශෝධනය සඳහා ද ඉතා සවිස්තරාත්මකව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව විතාරණ මහතා පැවසීය.

    එමෙන්ම මෙරට තිබෙන විගණන කටයුතු පවා ඉතා හොඳින් පවත්වාගෙන යන බලවත් ආයතන රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර ගණනාවකින් බදු ගෙවා නොමැති බවත් මෙමඟින් අහිමිවී ඇති බදු මුදල ඉතා විශාල බවත්, මහාචාර්‍ය විතාරණ මහතා පැවසීය.

    මෙයට හේතුවක් වී ඇත්තේ එම ආයතන විසින් ගෙවිය යුතු බදු මුදල් සම්බන්ධව තෙවරක් අභියාචනා කිරීමට ඔවුන්ට අවස්ථාව සැළසී තිබීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    එකම ආයතනයකට තුන්වරක් අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දීම සිදු නොවිය යුතු බවත්, මේ හේතුවෙන් බදු ගෙවීම වසර ගණනාවක් ප්‍රමාද වීම පමණක් නොව ඉන්පසු ඊට එරෙහිව අධිකරණය වෙත යාමට කටයුතු කිරීමත් නිසා විශාල කාලයක් බදු ගෙවීමට ගත වී තිබෙන බවත්, විතාරණ මහතා කීවේය.

    එමෙන්ම අභියාචනය කිරීම සඳහා මාස 06 ක් ලබා දී තිබෙන බව පැවසූ සභාපතිවරයා එම කාළය සීමා කිරීමට මෙන්ම අභියාචනා සඳහා ලබා දෙන අවස්ථා එකකට පමණක් අඩු කිරීමටද නිර්දේශ කර තිබෙන බව සඳහන් කළේය.

  • ස්මාර්ට් කැබ් රථ ආනයනයේදී ‘රේගුව අඩුබදු ගහලා’ ආණ්ඩුවට කෝටි 300ක් පාඩුකරලා

    ස්මාර්ට් කැබ් රථ ආනයනයේදී ‘රේගුව අඩුබදු ගහලා’ ආණ්ඩුවට කෝටි 300ක් පාඩුකරලා

    ඩබල් කැබ් මාදිලි‍යේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකා රේගුව විසින් සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණයන් අය කර ඇති බවත්, එමගින් පසුගිය කාලය තුළ එක වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) නිරීක්ෂණය කොට තිබේ.

    මෙම නිරීක්ෂණ අන්තර්ගතව ඇත්තේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නව වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයට අදාළ පළමුවැනි වාර්තාවේය.

    ශ්‍රි ලංකා රේගුව විසින් වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවන බවත් එමගින් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවත් අදාල වාර්තාවේ නිරීක්ෂණ තුළ අන්තර්ගතව තිබේ.

    වාර්තාවේ නිරීක්ෂණ වලට අනුව රේගුව විසින් විශේෂ කාර්යයන් සඳහා අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබේ.

    මෙයට අමතරව 2010-2019 කාල පරිච්ඡේදය තුළ වෑන් රථ 44ක් අඩු බදු ප්‍රමාණයක් ගවිය යුතු විශේෂිත කාර්යය වෑන් රථ ලෙස ආනයනය කර, මගී හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණෙන් එම වාහන පසුව ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීම නිසා අවම වශයෙන් රුපියල් මිලියන 1300කට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමි වී තිබේ.

    මහජන ඇමතුම් උපකරණ සවිකර විශේෂ කාර්යය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ වාහනය රේගුව විසින් නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට අහිමිව ඇති බදු මුදල රුපියල් මිලියන 56ක් බව වාර්තාවේ තවදුරටත් නිරීක්ෂණය කොට තිබේ.

    මෙලෙස සිදුවන අක්‍රමිකතා වලක්වා ගැනීම සඳහා කාරක සභාව විසින් විශේෂ කාර්යය වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ භාන්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 8705 යටතේ (Harmonized System Code – HS Code) නිෂ්කාශනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශේෂිත අංකයක් යටතේ (PZA) ලියාපදිංචි කළ යුතු බව නිරීක්ෂණය කර තිබේ.

  • කාලකන්නි ගුරුවරුන්ද ? දේශපාලනඥයින් ද ? – චම්පික ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

    කාලකන්නි ගුරුවරුන්ද ? දේශපාලනඥයින් ද ? – චම්පික ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

    වාර්තා වෙලා තියෙන අන්දමට ඉතාමත් අඩුවෙන් තමයි ගුරුවරු මේ එන්නත් කරණයට යටත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයට ප්‍රතිපත්තියක් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක්

    මේ වනවිට දැඩි ගැටලුකාරී ප්‍රශ්නයක් වී ඇති ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයට නිසි විසදුමක් ලබානොදී ආණ්ඩුව තම කටකාර අනුවණ දේශපාලඥයන් ලවා දෙවිවරුන් වැනි ගුරුවරුන්ට “කාලකන්නි” යනුවෙන් හැදින්වීමට තරම් පහත් තැනට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

    ආණ්ඩුව “තමන් වසංගතය ජය ගත්තා. දැන් වසංගතය ජය ගත්තා කිය කිය” තම දේශපාලන ගෝල බාලයන් ලවා බොරු කියමින් සිටින බවත් එන්නත් කරණයේදී ගුරුවරුන්ට ප්‍රමුඛතාවක් නොදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අගෝස්තු මාසයේ පාසල් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද චම්පික රණවක හිටපු අමාත්‍යවරයා පවසයි.

    මෙම මාධ්‍ය හමුවේදී චම්පික රණවක මහතා පළ කළ සම්පූර්ණ අදහස් පහත පළ වේ.

    වර්තමාන ආණ්ඩුවේ නිසි ආර්ථික ප්‍රතිඵත්තියක් නොමැතිවීම නිසාවෙන් රටේ අධ්‍යාපනයට, සිසු දරුවන්, ගුරුභවතුන්ට හා  උසස් අධ්‍යාපනයට සිදුව ඇති ඛේදවාචකය පිළිබඳව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ සාකච්ජාවක් සිදුකරනු ලැබිණි.

    එහිදී 1943 සිට ලාංකිකයන් වශයෙන් අප සියලු දෙන භුක්ති විඳි නිදහස් අධ්‍යාපනය පසුගිය අවුරුදු එකහමාරක පමණ කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මේ අනුහසින් සම්පූර්ණයෙන්ම වැනසි ගොස් ඇති බව කණගාටුවෙන් උවද ප්‍රකාශ කිරීමට සිදුව ඇති බව ඒ මහතා පවසයි.

    කොවිඩ් වසංගතය සමඟ දරුවන්ට හා ගුරුවරුන්ට එක විටම හිස මතට කඩා වැටුණු ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ආණ්ඩුව මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයද කිසිදු සුදානමක් නොතිබූ බව මේ වනවිටත් ඔප්පු වී ඇති බව චම්පික රණවක මහතා පවසයි.

    ඒ නමුදු 2010 සිට ලොව පුරා ප්‍රවණතාවයක් සේ නැගී ආ මෙම මාර්ගගත අධ්‍යාපනය ක්‍රමයට යහපාලන රජය පය තබමින් සුහුරු පන්ති කාමර සංකල්පය ඒ සඳහා අවශ්‍ය උපකරණ, නොමිලේ ලබාදෙන ටැබ් පරිගණක පන්ති කාමරයට අවශ්‍ය අධිවේගී අන්තර්ජාල පහසුකම් යනාදිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කලද නව රජය පත් වීමත් සමඟ ඒ සියලු ක්‍රියාමාර්ගයන් අවලංගු කරනු ලැබූ බව ඒ මහතා පවසා සිටියේය.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා අවදාරණය කර සිටියේ ” අධ්‍යාපන අමත්යන්ශයෙන්ම ප්‍රකාශ වුණා නාගරික ප්‍රදේශ වල මේ අන්තර්ජාල අධ්‍යාපනය ලබන්නේ 60% ක් පමණ. ග්‍රාමීය ප්‍රදේශ වල 40% ක් පමණ කියලා.

    මේකේ තේරුම තමයි මේ වනවිට නාගරික ප්‍රදේශවල ඉතිරි දරුවෝ 40%ත් අද ඔන්ලයින් අධ්‍යාපනයට හැරිලා ඉවරයි. ග්‍රාමීය ප්‍රදේශ වල ඉතිරි 60%ත් ඔන්ලයින් අධ්‍යාපනයට හැරිලා ඉවරයි.මේ නිසා ගුරුවරු තමන්ගේ ස්වෙච්ඡාවෙන් මේ කටයුත්තට බැස්සා.

    මේ රටේ පාසල් යන වයස ඇති නමුත් පාසල් යන්නේ නැති සාමාන්‍ය පෙළ ළමුන්ගේ ප්‍රතිශතය තිබුනේ 40%යි. නමුත් දැන් අධ්‍යාපන අමාත්‍යංශය එම ප්‍රමාණය හරි අඩකටත් වඩා සිටින සේ ළමුන් පාසල් අධ්‍යාපනයෙන් එලියට ඇද දමා අවසන්.

    සම්පත් තිබෙන පාසල් වල දෙමව්පියෝ, ගුරුවරු ආදි ශිෂ්‍ය සංගම් යම් යම් වැඩ පිළිවෙලවල් දියත් කළා මිසක් අධ්‍යාපන අමාත්‍යංශය මේ සම්පත් ලබාදීම ගැන හෝ ඒ වගේම මේ අධ්‍යාපනය නියාමනය කිරීම ගැන හෝ කිසිදු ප්‍රතිඵත්තියක් ඉදිරිපත් කලේ නෑ.

    එම නිසා ගුරුවරු තම තමන්ගේ ස්වේච්ඡාවෙන් ඔන්ලයින් අධ්‍යාපනය සිදුකරගෙන යනවිට රජය විසින් ගුරුවරුන්ගෙන් ප්‍රගති වාර්තා ලබා ගත්තා.රජය කිවේ කුමක්ද? “අපි ඔබට පඩි වැටුප් ගෙවනවා. ඔබ මේක කළ යුතුයි කියලා.” යනුවෙන් ඒ මහතා පවසා සිටියේය.”

    එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයට සහයට ලබාගත හැකි අමාත්‍යංශ හතරක් පැවතියද ඩිජිටල් අමාත්‍යංශය තරුණ තරුණ කටයුතු අමාත්‍යංශයට පැවරීම තුලින් එම සහයද විනාශ කල බවත් අධ්‍යාපන ක්‍රමයට සම්පත් ලබා නොදීම හා නියාමනය නොකිරීම නිසා අද ඒ අන්තර්ජාල පහසුකම් මත නිදහස් අධ්‍යාපනය වනසන ඇති හැකි අයට පමණක් සීමා වූ දරුවන් පාසලෙන් පන්නා දමන අධ්‍යාපන ක්‍රමයක් බවට පත්ව ඇති බව චම්පික රණවක මහතා පවසයි.

    තවද ආණ්ඩුව “තමන් වසංගතය ජය ගත්තා. දැන් වසංගතය ජය ගත්තා කිය කිය” තම දේශපාලන ගෝල බාලයන් ලවා බොරු කියමින් සිටින බවත් එන්නත් කරණයේදී ගුරුවරුන්ට ප්‍රමුඛ තාවයක්වත් නොදී අධ්‍යාපන අමත්‍යවරයා විසින් අගෝස්තු මාසයේ පාසල් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පවසයි.

    නමුදු ආණ්ඩුවට එන්නත්කරණයේදී කිසිදු ප්‍රතිඵත්තියක් නොතිබුණු බවත් ආණ්ඩුවට අවශ්‍යව තිබුනේ සිදුවන මරණ සංඛ්‍යාත්මකව අඩුකොට පෙන්වීම පමණක් බවත් ඒ මහතා වධාරණය කරයි.

    ආණ්ඩුව මිනිස් ජිවිත බිල්ලට දෙමින් ධම්මික පැණියා පස්සේ ගිය බවත් කළගෙඩි සෙල්ලම් සිදුකළ බවත් අවසානයේ එන්නත් කරණයට පැමිණෙන විට හාරදහසකට ආසන්න පිරිසක් කොරෝනා බිලිගෙන අවසන් බවත් මේ සියලු මරණයන් ආණ්ඩුව සිදුකල ඝාතන බවත් ඒවාට ඔවුන් වගකිවයුතු බවත් චම්පික රණවක මහතා අවධාරණය කරයි.

    “මේක සාහසික අපරාධයක්. ජාතික අපරාධයක්. ඊළඟට අද මේ එන්නත පිළිබඳවත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ එන්නත ලබා ගත්ත රටවල් විශේෂයෙන්ම තායිලන්තය ඉන්දුනීසියාව රටවල පිරිස් මිය යමින් ඉන්නවා. නිසා මේ එන්නතේ සාර්ථකභාවය පිළිබඳ බරපතළ ගැටලු පැන නැගිලා තියෙනවා. මේ එන්නත අනුමත කිරීම රට පිළිගත්ත විද්‍යාඥයෝ, වෛද්‍ය විශේෂඥයෝ ප්‍රතිෂේප කළහම, ඒගොල්ලෝ මේ වෛද්‍ය නියාමන මණ්ඩලයෙන්, එහෙම නැත්නම් NMR එකෙන් ඉවත් වෙලා යනවා. හැබැයි ව්‍යාපාරික අරමුණු මුල් කරගත්ත ඇමතිවරු, ඒ වගේම නිලධාරීන්, අද මේ එන්නත ඉදිරියට ගෙන යන්න උත්සාහ කරමින් ඉන්න බව කණගාටුවෙන් කියන්න ඕන.

    ඒ නිසා එන්නත් ලබා දීමේ ප්‍රතිපත්තියක් තිබුනේ නෑ ආණ්ඩුවට. රටේ ජනතාවගේ ජීවිත ගලවා ගන්නවද? එහෙම නැත්නම් ආර්ථිකය ගලෝගන්නවද? කියන කාරණා ගැන රජයට ප්‍රතිපත්තියක් තිබුනේ නෑ. රජය මුලින්ම කළ යුතුව තිබුණේ පාසල් දරුවන්ට එන්නත ලබා දීම. එතෙන්දිත් වැඩිහිටි ගුරුවරුන්ට මුලින් එන්නත ලබා දීලා, ඊළඟට තරුණ ගුරුවරුන්ට එන්නත ලබා දීමට කටයුතු කිරීම. ඒ නිසා ඔය දැන් විවෘත කරලා තියෙන මධ්‍යස්ථාන වල දින කිහිපයක් ඇතුළත මේ එන්නත ගුරුවරුන්ට ලබාදීමේ ප්‍රතිපත්තියක් ඇති කිරීමයි කළ යුතුව තිබුණේ.

    වාර්තා වෙලා තියෙන අන්දමට ඉතාමත් අඩුවෙන් තමයි ගුරුවරු මේ එන්නත් කරණයට යටත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයට ප්‍රතිපත්තියක් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක්. වැදගත්ම දේ එන්නතට මේ සීග්‍රයෙන් පැතිරීගෙන යන ප්‍රභේදය ඔරොත්තු දෙන්නෑ කියන එක දැන් ලෝකය පුරාම වැඩි වැඩියෙන් ඔප්පු වෙමින් තියෙනවා.

    එම එන්නත මෙහෙ ගෙනත් ප්‍රචලිත කිරීමට දරන උත්සාහයම ඇත්ත වශයෙන්ම ඉතාමත්ම භයානක ප්‍රතිඵල දෙන එකක් බව    වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි. එමනිසා එම එන්නතට අවසර දීම හා විශේෂඥයන් ඉවත් වීම ගැන රජය වහාම ජනතාවට කරුණු පැවසිය යුතු බව ඒ මහතා පවසා සිටියේය.”

    එහිදී අගෝස්තු මාසය වනවිට පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවානම්  ලක්ෂ දෙකහමාරක ගුරුභවතුන් සහ විශ්වවිද්‍යාල ගුරුවරු එන්නත් කර අවසන් කලයුතු බවත් එය ධම්මික පැණිය සේ හුරතල් කල නොහැකි කාරණයක් බව චම්පික රණවක මහතා පවසන ලදී.

    එමෙන්ම මේ වනවිට දැඩි ගැටලුකාරී ප්‍රශ්නයක් වී ඇති ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයට නිසි විසදුමක් ලබානොදී ආණ්ඩුව තම කටකාර අනුවණ දේශපාලඥයන් ලවා දෙවිවරුන් වැනි ගුරුවරුන්ට “කාලකන්නි” යනුවෙන් හැදින්වීමට තරම් පහත් තැනට පත්ව ඇති බව ඒ මහතා පවසයි.

    1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපදේශිකාවක් ලෙස කටයුතු කල තාරා දි මෙල් මහත්මිය හා විදුහල්පතිවරයෙක් වූ රිචඩ් පතිරණ මැතිතුමා විසින් හඳුන්වා දුන් ගුරුවරුන්ගේ සුවිශේෂී වැටුප් තලය ඉන් පසුව කිසිදු රජයකින් ක්‍රියාත්මක නොකිරීම මේ ගැටලු වලට හේතුවක් වූ බවත් එම වැටුප් තලයට අනෙක් රාජ්‍ය සේවකයන් අකමැති වීම හේතු කොටගෙන “බී. සී. පෙරේරා නැමති වාර්තාවක්” නිකුත් වීමත් සමග අද වනතෙක් එනම් දශක දෙකක් ගෙවී ගියත් තවමත් ගුරුවරුන්ට වැටුප් විෂමතාවයක් පැමිණ නොමැති බව චම්පික රණවක මහතා අවදාරණය කරයි.

    “ඒ වගේම අපේ යහපාලන රජය මේ පිළිබඳව වැටුප් වැඩි කිරීමක් කළා රජය සේවකයින්ට. රුපියල් දහදාහක. ඊළඟට වසර හතරක් ඇතුළත ඒක මූලික වැටුපට ඇතුලත් කරලා තිබුණේ. ඒ වගේම රනුක්ගේ කොමිසම දාලා මේ ගුරුවරු සහ අනෙකුත් වෘත්තීය මට්ටමේ පිරිස් වලට ඇතිවෙලා තියෙන වැටුප් විෂමතාවය මුල් කරගෙන ඒ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ සියල්ලම 2020 ජනවාරි මාසේ ඉඳන් ක්‍රියාත්මක කරන්න තිබුණේ. හැබැයි 2020 ජනවාරි මාසේ ඉඳන් අවසාන වැටුප් වර්ධකය රාජ්‍ය සේවයේ දාහතර ලක්ෂයකට අහිමි කළා ගුරුවරුන්ද ඇතුළුව. ඊළඟට රනුක්ගේ කොමිසමේ වාර්තාවේ ඒ ලබාදීපු සියලුම නිර්දේශ ඉවත දැම්මා.ඒ විදිහට අද ගුරුවරුන්ට සටන් මගට පිවිසෙන්න වාතාවරණය හදලා දුන්නා. මේ ගැන කොමිටි වාර්තා ගණනාවක් දීලා තියෙනවා.

    ඊයේ සහ පෙරේදා ගුරු වෘත්තීය සමිතිත් එක්ක අධ්‍යාපන ඇමතිතුමා සාකච්ඡා කළා. එතුමා ඒ තමන්ගේ වැටුප් විෂමතාවය තුරන් කරන ඒ සුත්‍රය ගුරුවරුන්ට ඉදිරිපත් කළේ නෑ. ඒ කැබිනට් මණ්ඩලයට දානවා කිව්වා. ඇත්ත වශයෙන්ම කළ යුතුව තිබුණේ කුමක්ද? එතුමා කළ යුතුව තිබුණේ ගුරුවරු එක්ක සාකච්ඡා කරලා, ගුරුවරු එකඟතාවයක් ඇතිකරගන්න, දෙපිරිස එකඟතාවයක් ඇතිකරගන්නා දෙයක් මුදල් අමාත්‍යංශයත් එක්ක කතා කරලා කැබිනට් එකට යන එක. දැන් කැබිනට් එකට ගියා කියලා වැඩක් වෙන්නේ නෑ.

    2020 ජනවාරි මාසේ ඉඳන් අහිමි කළ වැටුප් වර්ධක, ගුරුවරුන්ටත්, රාජ්‍ය සේවයටත් ලබා දෙන්න කියන එක අපි අවධාරණය කරනවා. මේ ගැන ඔවුන් ජාතියෙන් සමාව ගන්නැතුව මේ ආණ්ඩුවට ඉදිරි ගමනක් නෑ.

    ඒ විතරක් නෙවෙයි, අපි අමතක කරන්න හොඳ නෑ. අපේ රුපියල අද බාල්දු කරලා තියෙනවා. බිලියන දාහක් අච්චු ගහලා ලෝක වාර්තාවක් තියලා, සිම්බාබ්වේ මගට යාම නිසා, බඩු මිල සීග්‍රයෙන් ඉහළ යාම නිසා, ඇත්තටම වැටුපේ වටිනාකම මේ වෙනකොට සියයට පනහකින් පමණ අවප්‍රමාණය වෙලා තියෙනවා. ගුරුවරු, රාජ්‍ය සේවකයෝ ඇතුළු සියලුම සමාජ පිරිස් වලට මේක අද තදින් බලපාලා තියෙනවා.

    යහපාලන ආණ්ඩුව විසින් ඇති කරපු වැටුප් වර්ධක, ගුරුවරු ඇතුළු සියලුම අයට 2020 ජනවාරි මාසේ ඉඳන් ලබා දිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අවදාරණය කර සිටියේය.

  • ‘මර්දනය අස්සේ’ පොලිසිය ලිංගික හිංසනයත් කරනවාද ? – කාන්තාවන්ගේ ඇඳුම් පමණක් ඉරුණේ කොහොමද ?

    ‘මර්දනය අස්සේ’ පොලිසිය ලිංගික හිංසනයත් කරනවාද ? – කාන්තාවන්ගේ ඇඳුම් පමණක් ඉරුණේ කොහොමද ?

    බඩු මිල ඉහළ යාම, තෙල් මිල ඉහළ යාම, පොහොර අර්බුදය වැනි ජන ජීවිතයට බලපාන බොහෝ කාරණා හේතුකොටගෙන මහජනතාව වීදිබැස සිය විරෝධය ආණ්ඩුවට දක්වන මොහොතක එම උද්ඝෝෂණවලට සම්බන්ධ වූ දේශපාලන නායකයෝ පොලිසිය විසින් නිරෝධායන නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා ලදහ. එම ක්‍රියාකාරීන්ට උසාවියෙන් ඇප ලබා දී තිබියදීත් ඔවුන් පොලිසිය බලහත්කාරීව නිරෝධායනයට යොමු කිරීම පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක පුවතක් විය.

    එම උද්ඝෝෂණවලට සම්බන්ධ වී සිටි කාන්තා ක්‍රියාකාරිනියන් අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය ගැන සමාජය තුළ කතාබහක් නිර්මාණ වී ඇති මොහොතක මෙම ලිපියෙන් අප එසේ අඩන්තේට්ටම්වලට ලක් වූ කාන්තාවන්ගේ අත්දැකීම් හා ඒ සම්බන්ධ නීතිමය පසුබිම ගැන කතාකිරීමට බලාපොරොත්තු වෙමු.මේ සම්බන්ධයෙන් අවධානය යොමුවුණේ ජුලි 07 වැනි දින ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ වැටුප් සම්බන්ධ අරගලයට සහාය දැක්වීමට පැමිණි කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග ය. උසාවියෙන් ඇප ලබා සිටි එම පිරිස පොලිසිය විසින් නිරෝධායනය සඳහා රැගෙන යාමට වාහනවලට දමා ගනිමින් සිටිය දී, එහි සිටි කාන්තා ක්‍රියාකාරිනියකට ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් පා පහරක් එල්ල කිරීමේ දර්ශන මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය.

    ලංකාවේ දැනට පවතින නීතිවලට අනුකූලව කාන්තාවක පරීක්ෂා කරන්නේ නම් හෝ ස්පර්ශ කරන්නේ නම් එය අනිවාර්යයෙන් ම කළ යුතු වන්නේ කාන්තා පොලිස් නිලධාරිනියන් විසින් ය. සැකකරුවන්ට පහර දීමේ අයිතියක් ද පොලිසියට නොමැත. දඬුවම් කිරීමේ බලය ඇති ආයතනය වන්නේ අධිකරණයයි. කාන්තාවකගේ අකමැත්තෙන් කිසිදු පිරිමියකුට ඇගේ ශරීරය ස්පර්ශ කළ නොහැකි අතර එය පිරිමි පොලිස් නිලධාරීන්ට ද වලංගු ය. එසේ බලහත්කාරීව කාන්තාවක ස්පර්ශ කරන්නේ නම් එය හිංසනයකි. ඇතැම් විට එය ලිංගික හිංසනයක් ලෙසද අර්ථ දැක්විය හැකි ය.

    පසුගිය වසරේ දී ද මෙවැනි ම සිදුවීමක් වාර්තා වූ අතර, ඒ ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති නිරායුධ කළුජාතිකයෙකු ගෙල සිරකර මරා දැමීමට විරෝධය පළ කරමින් 2020 ජුනි 09වන දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කර තිබූ විරෝධතාවට සම්බන්ධ වී සිටි පිරිස් අත්අඩංගුවට ගැනීමේ දී ය. එහි දී පොලිසිය අත්අඩංගුවට ගත් පිරිස කුඩා ලොරියකට දමා ගත් අතර, අත් අඩංගුවට ගනු ලැබූ එම පක්ෂයේ ක්‍රියාකාරිනියක පොලිස් නිලධාරීන් විසින් ඔසවා ලොරිය තුළට විසි කළ ආකාරය මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන්ව තිබිණි. එම සිදුවීම නිසා එම ක්‍රියාකාරිනියට රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවිය.

    ජුලි 07 වන දින පොලිස් නිලධාරියාගේ පා පහරට ලක් වූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ක්‍රියකාරිනී නයනා රංගනී ජයවර්ණ මහත්මිය ඇයගේ එම අත්දැකීම සම්බන්ධයෙන් ‘අනිද්දා’ වෙත මෙලෙස අදහස් පළකළා ය. ‘ඉංජිනේරු සංස්ථා පරිශ්‍රයේ දී මා ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ පිරිමි පොලිස් නිලධාරීන් විසින්. එක් කාන්තා නිලධාරිනියක් සිටියත් මාව අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයට දමාගත්තේ පිරිමි පොලිස් නිලධාරීන් විසින්. අපව බලෙන් නිරෝධායනයට රැගෙන යාමේදී විරෝධය පළ කළ නිසා එතැන සිටි ඉහළ පොලිස් නිලධාරියෙක් උසාවි භූමිය තුළ දී ම මට පා පහරක් එල්ල කළා. මාධ්‍යයට වසං වී ඔහු එය කිරීමට හැදුවත් එය මාධ්‍යවේදීන්ගේ කැමරාවලට හසු වී තිබුණා.’

    අප කළ විමසීමකදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය වෙනුවෙන් හේමමාලි අබේරත්න මහත්මිය ප්‍රකාශ කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කළ බවයි. ඊට අමතර ව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් යොමු කර ඇත.

    ඉන්පසු අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමට ගෙන එන කොතලාවල පනතට විරෝධය දක්වමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය විසින් පසුගිය 08 වන දින සංවිධානය කළ විරෝධතාවට සම්බන්ධ වූ පිරිස් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එහි දී ද කාන්තා ක්‍රියාකාරිනියන් අත්අඩංගුවට ගැනීමට පිරිමි පොලිස් නිලධාරීන් ද මැදිහත් වී තිබුණි. එදින උද්ඝෝෂණයට සම්බන්ධ වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ‘අනිද්දා’ වෙත පැවසුවේ එම විරෝධතාවට සම්බන්ධ වූ ඇතැම් කාන්තා ක්‍රියාකාරිනියන් පිරිමි පොලිස් නිලධාරීන් විසින් බිම දිගේ ඇදගෙන යනු ලැබූ බවයි.

    එදින විරෝධතාවේදී අත්අඩංගුවට ගෙන පසුව මුදා හරින ලද හැත්තෑ දෙහැවිරිදි නැණසීලි ලියනගේ මහත්මිය ජුලි 12 වැනි දින ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් වී තිබුණි.

    කොතලාවල පනතතට එරෙහි උද්ඝෝෂණයේ දී තමාට විඳීමට සිදු වූ අත්දැකීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක, නිර්නාමිකව සිටිනු කැමතිව තම අත්දැකීම මෙලෙස විස්තර කළා ය.

    ‘අපි උද්ඝෝෂණය ආරම්භ කරලා ටික වෙලාවකින් පොලිසිය ඇවිල්ලා උද්ඝෝෂණයට සම්බන්ධ වෙලා හිටපු පිරිසක් අත්අඩංගුවට ගත්තා. එතැන දී පොලිසිය හා අපි අතර යම් කලබලකාරී තත්වයක් ඇති වෙලා තිබුණේ. ඒ වෙලාවෙ දී ඉහළ පොලිස් නිලධාරියෙක් මගේ ළඟට පැමිණ ‘මැඩම් ඔයත් දැන් යන්න’ කියමින් මගේ ශරීරයේ පසුපස අනිසි ලෙස ස්පර්ශ කළා.’ ඇය තවදුරටත් පැවසුවේ එම පොලිස් නිලධාරියාට තමා එම ක්‍රියාවට බැණ වැදුණු බවත් එයින් කෝපයට පත් වූ පොලිස් නිලධාරියා ඇයගේ අතේ තිබූ සටන් පාඨ ලියන ලද කුඩා බැනරය උදුරාගෙන විසි කළ බවත්ය.

    පොදුවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවට හා උද්ඝෝෂණ මර්දනය කිරීමට මුහුණ දෙනවා මෙන් ම, උද්ඝෝෂණවලට සම්බන්ධ වන කාන්තාවන්ට ඔවුන් කාන්තාවන් වීම නිසාම විශේෂ වූ පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන්නේ එවැනි සිදුවීම් වළක්වාලමින් නීති රාමු පවා පවතින වටපිටාවක දී ය.
    පොලිසිය අත්අඩංගුවට ගැනීමේ දී අත් අඩංගුවට පත් වූ කාන්තාවන් හැඳ සිටි ඇඳුම් අසාමාන්‍ය ලෙස ඉරී ගොස් තිබුණි. ඒවා චේතනාන්විතව ම පොලිසිය විසින් ඉරා දැමුවේ ද යනුවෙන් සැකයක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සමාජ මාධ්‍ය වෙත සටහනක් තබා තිබුණි. 08 වැනි දින මෙම ගැටුමට මැදි වූ කිසිදු පිරිමියකුගේ ඇඳුමකට හානි නොවී අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් හැඳ සිටි ඇඳුම් පමණක් අසාමාන්‍ය ප්‍රමාණයකින් ඉරී ගොස් තිබුණේ කෙසේ ද යන්න ප්‍රශ්න සහගත ය.

    පොලිසිය දිගින් දිගටම මෙවැනි නීති විරෝධී අපචාරී ක්‍රියාවල නිරත වීමෙන් හැඟවෙන්නේ, එක්කෝ ඔවුන් මෙමඟින් ඔවුන්ගේ පහත් ලිංගික ආශාවන් ඉෂ්ට කරගන්නා බවයි. නැතිනම් කාන්තාවන් අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම හා ඇඳුම් ඉරා දැමීම නිසා ඔවුන් ලැජ්ජාවට හා අපහසුතාවට පත් වී නැවත විරෝධතාවලට සම්බන්ධ නොවී සිටිනු ඇතැයි යන අමනෝඥ අදහසක් මත සිට කටයුතු කරන බවයි. එසේත් නැතිනම් පොලිස් නිලධාරීන් මෙම කරුණු දෙක ම ඉෂ්ට කරගන්නවා වන්නට ද පුළුවන. අනෙක් අතට බොහෝ අවස්ථාවල මෙලෙස කාන්තාවන්ට හිංසනය කර ඇත්තේ සාමාන්‍ය පොලිස් නිලධාරීන් නොව ඉහළ පොලිස් නිලධාරීන් විසින් ය. එනිසා මෙම කටයුත්ත චේතනාන්විතව සැලසුම්සහගතව සිදු කරන ක්‍රියාවක් බවට සැක කළ හැකි ය.

    මෙම සිදුවීම් පෙළ සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව පිළිබඳ අපි නීතිඥ නුවන් බෝපගේ මහතාගෙන් විමසීමක් සිදු කළෙමු.

    ඔහු සඳහන් කළ ආකාරයට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 30 වන වගන්තියට අනුකූලව කාන්තාවක පරීක්ෂා කරන්නේ නම් අනිවාර්යයෙන්ම එය කළ යුතු වන්නේ කාන්තා පොලිස් නිලධාරිනියන් විසින් විය යුතු අතර එහි දී ඉතාම දැඩි විනයක් පවත්වාගත යුතු ය. එමෙන් ම පොලිස් දෙපාර්තමේන්තු නියෝගවලට අදාළව උද්ඝෝෂණ විසුරුවා හැරීමේ දී කාන්තා පොලිස් නිලධාරිනියන් ඒ සඳහා කලින් ම සූදානම් කරගෙන සිටිය යුතුය. එහිදී ඉහත කී 30 වන වගන්තිය දැඩිව ආරක්ෂා කළ යුතු ය. එහෙත් පසුගිය දිනවල දී කාන්තා ක්‍රියාකාරිනියන් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය ඉහත සියලුම නෛතික රාමුවලට පටහැණි බව ඔහු සඳහන් කළේ ය.

    උද්ඝෝෂණ ස්ථානයක් යනු අපරාධ ස්ථානයක් නොවන බැවින් ඉහත කී වගන්තිවලට අනුකූලව හා නිරෝධායන පනතට අනුව, පසුගිය දිනවල කරන ලද අත්අඩංගුවට ගැනීම් නීතියට පටහැනි බව ද කාන්තාවන්ව අනිසි ලෙස ස්පර්ශ කිරීම් ආදිය දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව ලිංගික අඩන්තේට්ටම් යටතේ අපරාධමය වරදක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. මෙහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇති අතර භාෂණයේ නිදහස, ක්‍රෑර අමානුෂික වධබන්ධනයන්ට ලක් නොවී සිටීමේ අයිතිය වැනි අයිතීන් කඩ වීම නිසා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හැකි බවද, ඊට අමතර එම කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් සිදු වී ඇත්නම් දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව අපරාධ නඩුවක් ගොනු කළ හැකි බවද නීතිඥ නුවන් බෝපගේ කියා සිටියේ ය.

    මෙම සිදුවීම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්දැයි දැනගැනීමට අප ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය නිමල් කරුණාසිරි සම්බන්ධ කරගත්තෙමු.

    ඔහු ප්‍රකාශ කළේ උසාවි භූමිය තුළ කාන්තාවකට පොලිස් නිලධාරියෙකු පා පහරක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කළ අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් වහාම පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවයි.

    ලෝක ඉතිහාසය තුළ ද අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ කාන්තාවන්ට විවිධාකාර පීඩාවන්ට ලක් වන්නට සිදු විය. කාන්තාවන්ට ඡන්ද අයිතිය ඉල්ලා සටන් කළ ඇලිස් පෝල් වැනි කාන්තා ක්‍රියාකාරිනියන්ට ද විවිධ අඩන්තේට්ටම්වලට ලක් වෙමින් මාස ගණන් සිරගත වීමට පවා සිදු වූ අතර එයින් කාන්තාවන්ට ඡන්ද බලය දිනාගැනීමේ අරගලය වඩ වඩාත් ශක්තිමත් වූවා මිස පාලකයන් සිතූ පරිදි එය මර්දනයට ලක් වීම සිදු නොවී ය. එනිසා මෙලෙස විරෝධතාවලට සම්බන්ධ වන කාන්තාවන් අඩම්න්තේට්ටම්වලට ලක් කිරීමෙන් සිදුවන්නේ එම අරගල වඩ වඩාත් ශක්තිමත් වීම මිස ඒවා මර්දනය වීම නොවේ.

    ජූලි 19 වැනි දින අන්ද්දා පුවත්පතට අමන්දිකා කුරේ විසින් සම්පාදිත ලිපියක සම්පූර්ණ උපුටා ගැනීම – ප්‍රධාන සංස්කාරක

  • SL vs India One Day: ශ්‍රී ලංකාවේ අවාසනාව දිගටම !

    SL vs India One Day: ශ්‍රී ලංකාවේ අවාසනාව දිගටම !

    ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 8 ස්ථානයෙන්පන්දුවට පහර දුන් පිතිකරුවන් අතර දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් දීපාක් චහාර් නොදැවී රැස් කරන ලකුණු 69 ක ඉනිම හේතුවෙන් මුලු මනින්ම ශ්‍රී ලංකාව සතුව තිබූ දෙවැනි තරගයේ ජයග්‍රහණය උදුරා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (20 දා) රාත්‍රියේදී සමත්විය.

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ධෛර්යවන්තව පිත්ත හැසිරවූ චහාර් කඩුලු 3 ක ජයක් කරා ඉන්දීය පිල රැගෙන ගියා පමණක් නොව තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජයග්‍රහණයද තම කණ්ඩායමට ලබා දුන්නේය.

    ඉන්දීය පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් සියල්ල නරඹන්නන් බවට පත්ව සිටිද්දී ඉන්දීය ඉනිමේ වගකීම භාරගත් දකුණතින් පිත්ත හසුරුවන තුන් ඉරියව් ක්‍රීඩකයා භූවනේෂ්වර් කුමාර් සමඟ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89 කදී ලකුණු 83 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් ඉන්දීය පිල ජය ටැඹ කරා රැගෙන ගියහ.

    ඉනිමේ අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය මෙම තරගයේ ශ්‍රී ලංකාවේ පවත්වා ඇති එක්දින තරග අතර තෙවැනි ඉහළතම ලකුණු හඹා යෑම වශයෙන් සටහන්වීමද කැපී පෙනිණ. වනිඳු හසරංග සහ දසුන් ශානකගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය පළමු කඩුලු 5 ම ලකුණු 116 කදී බිඳ දැමීමට ශ්‍රී ලංකා පිල සමත්විය. දීපාක් චහර් පන්දුවට පහර දීමට පැමිණෙන විටත් තරගයේ සියළුම වාසීන් ශ්‍රී ලංකා පිලට දෙසට හැරී තිබූ නමුත් එතැන් පටන් පන්දු යවන්නන් කැඳවීමේ සිට ඔවුන් පිළිබඳව තැබූ විශ්වාසය රකිමින් පන්දු යැවීමට ඔවුන් අසමත්වීම මත ඈතට ගොස් තිබූ ජයග්‍රහණයට ඉන්දීය පිල කෙමෙන් කෙමෙන් ළඟා කර දීමට චහර් සමත්විය. එහිදී ලක්ෂාන් සඳකැන්ගෙන්ද වැඩි දායකත්යක් නොලැබුණා නොවේ.

    තරගයේ පාලනය අතට ගැනීමට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම වූ සූර්යකුමාර් යාදව්ගේ කඩුල්ල දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් වුවද අනතුරුව යවන ලද පන්දුවාරවලදී රිද්මය ගිලිහී යෑමේ වාසිය ඉන්දීය පිල සතු විය. සඳකැන්ව දැඩි ප්‍රහාරයකට ලක් කළ දීපාක් චහර් පන්දු පරතරයට වඩා ලකුණු පරතරය වැඩිව තිබූ පරතය අවම කරගත්තේය. කෙසේ වෙතත් සඳකැන් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10 දී ලකුණු 71 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්ව සිටියහ.

    අද වාර්තා කරගන්නා ලද අර්ධ ශතකයට පෙර පළමු පෙළ එක්දින තරගවලදී එක් අර්ධ ශතකයට පමණක් හිමිකම් කියා තිබූ දීපාක් චහර් සිය ලකුණු 69 සදහා පන්දු 82 කට මුහුණ දුන්නේය. හයේ පහරක් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම වර්ණවත් කරගනිද්දී උපනායක භූවනේෂ්වර්ගේ දායකත්වය ලකුණු 19 කිනි.

    පළමු තරගයේ වූ අතපසුවීම් නිවැරදි කර ගනිමින් අවතීර්ණ වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිෂ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක අර්ධ ශතක රැස් කිරීමට සමත්වීම නිසා නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 275 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

    එහිදී කැපී පෙනුණු චරිත් අසලංක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ සිය මංගල අර්ධ ශතකයටද හිමිකම් කියමිනි. පන්දු 68 කදී හතරේ පහර 6 ක් සමඟින් අසලංක ලකුණු 65 ක් ලබා ගත්තේය. එහිදී වඩාත්ම වැදගත් වූයේ ඉනිමේ අවසන් පන්දුවාර 3 එළඹෙන තෙක්ම අසලංක කඩුල්ලේ රැඳී සිටීමය. ඔහුට අමතරව අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 71 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 50 ක් ලබාගත්තේ එක්දින තරග දිවියේ සිව්වැනි අර්ධ ශතකයට හිමිකම් කියමිනි.

    පෙර තරගයේ පරිදිම පසු පෙළින් පැමිණි චාමික කරුණාරත්න ඉනිමේ අවසන් පන්දුවාරය යැවූ භුවනේෂ්වර් කුමාර්ට එරෙහිව අවසන් පන්දු දෙක තුළදී පිට පිටම හතරේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු 44 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. අවසන් පන්දුවට මනරම් වූ හෙලිකොප්ටර් පහරක් එල්ල කරමින් එල්ල කරන ලද හතරේ පහරත් ඇතුළුව හතරේ පහර 5 කින් චාමික තම ඉනිම වර්ණවත් කරගත්තේ යන්තම් පන්දු 33 කට මුහුණ දීමෙනි. අංක 8 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි චාමික පළමු තරගයේදීද පන්දු 35 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 43 ක් ලබා ශ්‍රී ලංකා පසු පෙළ ශක්තිමත් කළේය.

    පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් චාමික කණ්ඩායමට එක් වුවත් ඔහුගේ පළමු එක්දින තරග 5 ඇතුළත ඔහු ලකුණු 138 ක් රැස් කරගැනීමට සමත්ව සිටින්නේය. මේ සෑම අවස්ථාවකදීම ඔහු අංක 8 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණ රැස් කරන ලද ලකුණු වේ. ඒ අනුව සිය ජාත්‍යන්තර තරග දිවිය ආරම්භයේ අංක 8 පිතිකරණ ස්ථානයෙන් හෝ ඊට පහළින් පැමිණ පළමු තරග 5 දී වැඩිම ලකුණු රැස් කිරීමට සමත් පිතිකරුවන් අතර චාමිකට හිමිවන්නේ තෙවැනි ස්ථානය වේ. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙපළක් වන ඇන්ඩ්‍රෙ රසල් (147) සහ ඩිනේෂ් රාම්ඩීන් (143) චාමිකට ඉදිරියෙන් පසුවෙන පිතිකරුවෝ වෙති. සමස්ථයක් ගත් විට පළමු පන්දුවාර 40 වන තුරු ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට සමත් වීම නිසා තෙවැනි පවර් ප්ලේ අවස්ථාවට හිමි අවසන් පන්දුවාර 10 තුළදී කඩුලු දැවී ගියද ලකුණු 80 ක් රැස් කර ගැනීමට පිතිකරුවෝ සමත්වූහ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඇසුරිණි

  • ‘වසවිෂ නැති ගොවිතැන ගැන‘ ජපනුන් කියන්නේ මොනවාද ?

    ‘වසවිෂ නැති ගොවිතැන ගැන‘ ජපනුන් කියන්නේ මොනවාද ?

    මං දැන් අවුරුදු පහළොවකට වැඩිය ජපානයේ ජීවත් වෙනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේම නියැලෙමින්. මගේ අත්දැකීම අනුව එහෙම එකක් නෑ. මොකද යම් පොහොරක් හරි වෙනත් කෘෂි රසායන ද්‍රව්‍යයක් හරි භාවිත කරන්න මේ රටේ වෙනම නීතියක් තියෙනවා. මෙහෙ ගොවියෝ ඒ නීතිය අකුරට පිළිපදිනවා. ඒ නිසා ඒ විදිහේ දෙයක් ඇතිවෙන්න තියා එහෙම මතයක් සමාජගත වෙන්න ඉඩකුත් නෑ

    රසායනික පොහොර භාවිතය තහනම් කරමින් කාබනික වගාව වෙත රට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගත් තීන්දුව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අතර වී ගොවීන් ඇතුළු ගොවිජනතාව රටපුරා උද්ඝෝෂණය කරමින් තම වගාවන්ට පොහොර ඉල්ලා සිටිති. කෘෂි විද්වතුන්, පර්යේෂකයින් සහ දේශපාලනඥයින් දෙපිල බෙදී වාද විවාද කරමින් සිටී. එහෙත් මේ දෙස සියුම්ව නිරීක්ෂණය කරන විට පැහැදිලිව පෙනී යන්නේ මේ සියල්ල ඒකපාර්ශ්වීය බවය.

    රසායනික පොහොර තහනම් කර කාබනික වගාවට යොමුවීමට ගත් මේ අභියෝගාත්මක තීන්දුව සම්බන්ධයෙන් වඩාත් පුළුල් හා ප්‍රා යෝගිකත්වය හා බැදී සංවාදයක් අවශ්‍ය බව අපගේ අදහසය. මෙහිදී ජාත්‍යන්තර අත්දැකීම් සේම මෙරට ගොවීන්ගේ සහ විද්වතුන්ගේ අත්දැකීම් සමාජගත කිරීම ජනමාධ්‍යවල වගකීමකි.

    රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර භාවිතයට යොමු වීම සම්බන්ධ වැඩපිළිවෙළ හමුවේ ‘මධ්‍යස්ථ‘ සංවාද මණ්ඩපයක් නිර්මාණය කරමින් සිටින අප අද ඔබ වෙත ඉදිරිපත් කරන්නේ වසර 15ක් පමණ ජපානයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන ජපානයේ ස්ථාපිත, ‘හරිතාගාර කළමනාකරණ ටොමිටා ටෙක්නොලොජීස් ලිමිටඩ් හි සාමාන්‍යාධිකාරී නිලන්ත දිසානායක මහතා ජපානයේ කෘෂිකර්මාන්තය සහ ලංකාවේ කෘෂිකර්මාන්තය සසදමින් ඉදිරිපත් කරන අදහස් කිහිපයකි.

    කාබනික පොහොර භාවිතයට ජපානය වගේ රටක අවධානය ලැබෙන්නේ කොහොමද?

    යම් කෙනෙක්ට කාබනික පොහොරද රසායනික පොහොරද කියලා වෙන්කරලා ගන්න රසායනික පොහොර භාවිත කළ ආහාර පරිභෝජනය කළොත් අපේ ශරීරයට අහිතකරයි වගේ හේතුවක් තියෙන්න ඕනෑනෙ. නමුත් ඒ වගේ මතයක් ජපානේ මිනිස්සු තුළ නෑ. පොහොර විකුණන තැන්වල යම් මට්ටමට කාබනික පොහොර විකුණන්න තියෙනවා. හැබැයි ඒ ප්‍රමාණය සියයට පහක් හයක්වත් නෑ. ගොවියෝ බහුතරය පාවිච්චි කරන්නේ රසායනික පොහොර. වෙළඳපොළේ පවා කාබනික පොහොර භාවිත කළ අස්වැන්න සහ රසායනික පොහොර භාවිත කළ අස්වැන්න ලෙස එළවළු පළතුරු ආදිය වෙනම විකුණන ප්‍රවණතාවකුත් මෙහේ නෑ.

    ලංකාවේ කාලෙන් කාලෙට දකින්නට තියෙන දෙයක් තමයි, හාල්වල විස තියෙනවා, පොල්තෙල්වල විස තියෙනවා, කිරිපිටිවල විස තියෙනවා, වැව් මාළුවල විස තියෙනවා වගේ සංවාද. ජපානයේ මේ තත්ත්වය වෙනස්ද?

    ජපානයේ ඒ විදිහේ අධිරසායන ද්‍රව්‍ය ගැන සංවාද ඉතාම අඩුයි. ඉඳලා හිටලා හරි එහෙම දෙයක් අහන්න ලැබුණොත් ඒ චීනය වගේ රටවලින් ආනයනය කරන ආහාර ගැන තමයි. හැබැයි ඒ සංවාද යන්නේ ලංකාව වගේ, අදාළ ආහාරය අවුරුදු ගණන් පරිභෝජනය කරමින් ඉද්දී නෙමෙයි. රටට ඒවා ගෙනෙද්දීම එම ආහාර ද්‍රව්‍යවල පිළිකාකාරක ආදි ශරීරයට අහිතකර දේවල් මොනවා හරි අඩංගු වෙලා තියෙනවාද කියලා පරීක්ෂා කරනවා. හැබැයි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය ගැන නම් එහෙම ගැටලු මතුවෙන්නෙම නෑ.

    ජපානය විතරක් නොමෙයි තවත් ගොඩක් දියුණු රටවල් කෘෂිකර්මය කර්මාන්තයක් විදිහට ගොඩනැගිලා තියෙනවා. නමුත් ලංකාව වගේ රටක තත්ත්වය ඊට වෙනස්. යම් දෙයක් ඉතා වැදගත් කර්මාන්තයක් ලෙස ගොඩනැගෙද්දී ඒකට අවශ්‍ය නීති රීති රජය මගින් ගොඩනගනවා. නැතිනම් ඒ කර්මාන්තයේ යෙදෙන අයම යම් යම් සම්ප්‍රදායන් ගොඩනගාගන්නවා.

     レタスを収穫する「トップリバー」の明官直人さん=長野県御代田町

    විශාල වශයෙන් කෘෂිකර්මය ව්‍යාප්ත වුණු ප්‍රදේශවල, කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා සැදුණු බවට විශ්වාස කරන වකුගඩු රෝග හෝ වෙනත් එවැනි රෝග ගොවියන් අතර තියනවාද?

    මං දැන් අවුරුදු පහළොවකට වැඩිය ජපානයේ ජීවත් වෙනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේම නියැලෙමින්. මගේ අත්දැකීම අනුව එහෙම එකක් නෑ. මොකද යම් පොහොරක් හරි වෙනත් කෘෂි රසායන ද්‍රව්‍යයක් හරි භාවිත කරන්න මේ රටේ වෙනම නීතියක් තියෙනවා. මෙහෙ ගොවියෝ ඒ නීතිය අකුරට පිළිපදිනවා. ඒ නිසා ඒ විදිහේ දෙයක් ඇතිවෙන්න තියා එහෙම මතයක් සමාජගත වෙන්න ඉඩකුත් නෑ. හැම රටකම මිනිස්සු ජීවත්වෙන්න සිදුකරන කර්මාන්ත තියෙනවා. වාහන නිෂ්පාදනය, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය, රෙදිපිළි නිෂ්පාදනය ඒ වගේ කර්මාන්ත කිහිපයක්. වැදගත්ම දේ තමයි, කෘෂිකර්මය කියන්නෙත් ජපානය තුළ තවත් වැදගත් කර්මාන්තයක්. ජපානය විතරක් නොමෙයි තවත් ගොඩක් දියුණු රටවල් කෘෂිකර්මය කර්මාන්තයක් විදිහට ගොඩනැගිලා තියෙනවා. නමුත් ලංකාව වගේ රටක තත්ත්වය ඊට වෙනස්. යම් දෙයක් ඉතා වැදගත් කර්මාන්තයක් ලෙස ගොඩනැගෙද්දී ඒකට අවශ්‍ය නීති රීති රජය මගින් ගොඩනගනවා. නැතිනම් ඒ කර්මාන්තයේ යෙදෙන අයම යම් යම් සම්ප්‍රදායන් ගොඩනගාගන්නවා. ජපානයේ ඒ වගේ නීති හා සම්ප්‍රදායන් බිහිවෙලා තියෙන්නේ මිනිස් පරිභෝජනයට ගන්නා එළවළු, පලතුරු වගේ භෝග වගා කරද්දී විතරක් නෙමෙයි විසිතුරු මල් වගේ දේවල් වගා කරද්දී පවා ඒවා නිවැරදිව භාවිත වෙනවා.

    ඒ වගේම ඒ ගොවියාට වෙනත් වෙළඳසැලකට ගොස් අදාළ පොහොර හෝ කෘෂි රසායනය ගන්න බෑ. යම් ගොවිතැනක් පටන්ගන්න දවසේම ගොවියා ලියාපදිංචි කරනවා. ඒ වගේම එදාම ඔහු රසායන ද්‍රව්‍ය ලබාගන්න තැන ලියාපදිංචි වෙනවා. ඒ ආයතනය ගොවියා ළඟට ඇවිත් ඔහු මොනවාද වගා කරන්නේ, කොච්චර ප්‍රමාණයක්ද වගා කරන්නේ, කොයි ප්‍රදේශයේද වගා කරන්නේ වගේ හැම දෙයක්ම ඒ අය ගන්නවා

    කෘෂි රසායන ද්‍රව්‍ය නියාමනය කිරීම ජපානයේදී සිදුවන්නේ කොහොමද?

    වෙළඳපොළට ගිහින් තමන්ට හිතුණු පරිදි කෘෂි රසායන හා පොහොර ගන්න ජපානයේ ගොවියාට බෑ. අපි හෙක්ටයාරයක අල වගා කරන ගොවියෙක් උදාහරණයකට ගනිමු. ඔහු අවුරුද්දක් තුළ භාවිත කරන්න ඕනෑ පොහොර හා කෘෂි රසායන ප්‍රමාණය නියතයක්. ඒ වගේම ඒ ගොවියාගේ වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය හා වෙනත් කෘෂි රසායන පිළිබඳ වාර්තාවක් ඒවා විකුණන වෙළඳසලේ තියෙනවා. ඉතිං ඔහුට අත්‍යවශ්‍ය ප්‍රමාණයට වඩා ඒ වෙළඳසැල්වලින් ඒවා නිකුත් කරන්නේ නෑ. අල වගාව සඳහා යම් කෘෂි රසායන වර්ගයක් භාවිත කරන්න ඕනෑ අවුරුද්දට එකපාරක් විතරක් කියලා හිතමු. මේ ගොවියා වැරදිලා හරි ගිහින් මාස හත අටකට පස්සේ ඒ කෘෂි රසායනය ඉල්ලුවොත් සිල්ලර වෙළෙන්දා කියනවා ඔබේ බිම් ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට අදාල කෘෂි රසායනය අපි දීලා තියෙනවා, ඒක පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දට එකපාරයි කියලා. ඒ අනුව ඔහු ඒවා ගොවියාට ලබා දෙන්නේ නෑ.

    ඒ වගේම ඒ ගොවියාට වෙනත් වෙළඳසැලකට ගොස් අදාළ පොහොර හෝ කෘෂි රසායනය ගන්න බෑ. යම් ගොවිතැනක් පටන්ගන්න දවසේම ගොවියා ලියාපදිංචි කරනවා. ඒ වගේම එදාම ඔහු රසායන ද්‍රව්‍ය ලබාගන්න තැන ලියාපදිංචි වෙනවා. ඒ ආයතනය ගොවියා ළඟට ඇවිත් ඔහු මොනවාද වගා කරන්නේ, කොච්චර ප්‍රමාණයක්ද වගා කරන්නේ, කොයි ප්‍රදේශයේද වගා කරන්නේ වගේ හැම දෙයක්ම ඒ අය ගන්නවා. මේ විදිහේ වෙළඳ ආයතන අතර ද යම් සම්බන්ධීකරණයක් සිදුවනවා. ඉතිං ගොවියාට ඒ ජාලය මගහරින්න බෑ වගේම ජපානයේ ගොවියන් එහෙම ගන්න උත්සාහ කරන්නෙත් නෑ. මොකද ජපානේ මිනිස්සු හිතන විදිහක් තියෙනවා. ඉතිං තමන් ලියාපදිංචි කළ ස්ථානයෙන් හැර වෙන තැනකින් රසායන ද්‍රව්‍ය ගන්න ඒ අය පෙළඹෙන්නෙත් නෑ.

    කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මේ වන විට ලංකාවේ තියෙන විශාලම සංවාදය රසායනික පොහොර තහනම් කරලා ඒ වෙනුවට කාබනික පොහොර භාවිත කිරීමට ගන්නා වෑයම. මේ කාරණය ලාංකීය කෘෂිකර්මයට සාපේක්ෂව ඔබ දකින්නේ කොහොමද?

    මං මුලිනුත් කිව්වා වගේ ලංකාව මුලින්ම කරන්න ඕනෑ කෘෂිකර්මය කර්මාන්තයක් කිරීම. ඇග්රිකල්චර් කියන ඉන්ඩස්ටි්‍රය ගොඩ නොනගා මේ කිසි දෙයක් කරන්න බෑ. මෙහෙම එකක් හදලා එකල ලංකාවේ ඉන්න ගොවියෝ ඔක්කොම අනුගත කරලා, ඊට අදාළ නීති පද්ධතියක් ගොඩනැගීමයි මුලින්ම කළ යුත්තේ. කෘෂි ව්‍යාප්ති සේවය කියලා ලංකාවේ ගොඩනැඟුණු එක දැන් ඇත්තේම නැති තරම්නෙ. ඒ වගේ දේවල් හරහා තමයි හරි නම් මේ විදිහේ දෙයක් ගොඩනැගෙන්න ඕනෑ. ඒ නිලධාරීන් හා ගොවියන් අතර විශාල සම්බන්ධයක් ගොඩනගන්න ඕනෑ. හැබැයි එහෙම කරන්න ඕනෑ අර කියූ නීති රාමුවක් හදාගත්තාට පස්සේ.

    කොහොම වුණත් මේ කාබනික පොහොර වැඩපිළිවෙළ තව මාස දෙක තුනක්වත් ඇදගෙන යන්න පුළුවන් එකක් වෙයි කියලා මට හිතෙන්නේ නෑ. කාබනික පොහොරවලින් විතරක් ලංකාවේ කෘෂි ආර්ථිකය ගොඩනගනවා කියන එක කරන්න අමාරු දෙයක්. මම හොඳින් දන්න ජපානය, නෙදර්ලන්තය වගේ රටවල් සියයට අනූනවයක්ම භාවිත කරන්නේ රසායනික පොහොර. එහෙම භාවිත කළා කියලා ඒ මිනිසුන්ට සෞඛ්‍ය ප්‍රශ්න ඇවිත් නෑ. ඒ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා නෑ. ජීවත්වන කාලය අවුරුදු අසූවට වැඩියි. මේ වගේ රටවල තියෙන්නේ වයසක ජනගහනය වැඩිවෙන ගැටලුවක්. අනික් පැත්තට මේ රටේ වයසක මිනිස්සු තමයි හරි හරියට ගොවිතැන් කරන්නේ තාමත්. මොකද ඒ අයගේ දරුමුණුබුරන් නගරයට සංක්‍රමණය වෙලා විවිධ රැකියාවන් සඳහා. අනික ලංකාවේ වුණත් තනිකරම කාබනික වගාව කළ කාලේ මිනිස්සුන් ජීවත් වුණ වයසට වඩා විශාල ආයු කාලයක් අද ජීවත් වෙනවා.

    රසායනික පොහොර හා කෘෂි රසායන සම්බන්ධ ගැටලුව මතුවෙලා තියෙන්නේ ලංකාවේ ඒවා අධිමාත්‍රාවට භාවිත කිරීම නිසාද?

    ඒක සැලකිය යුතු ගැටලුවක් තමයි. විශේෂයෙන් මිනිස්සු අනවශ්‍ය විදිහට පළිබෝධනාශක ආදිය භාවිත කරනවා දකින්න පුළුවන්. නමුත් ජපානේ එහෙම කරන්නේ නෑ. උදාහරණයක් විදිහට අපි හිතමු හෙක්ටයාරයක අල වගාකරන ගොවියෙකුගේ වගා බිමේ පොඩි කොටසකට කෘමි උවදුරක් ආවා කියලා. ලංකාවේ ගොවියෝ නම් එහෙම වෙලාවට කරන්නේ ඒ කුඩා තැනට විතරක් යම් කෘමිනාශකයක් යොදනවා. මොකද ඔහු හිතනවා එතනට විතරක් අදාළ රසායනික ද්‍රව්‍යය යෙදුවාම ඇති කියලා. නමුත් ජපානයේදී ගොවියෝ කරන්නේ මුළු වගා භූමියටම කෘමිනාශකය යොදන එක. අපි හිතමු ඒ කෘමිනාශකය ඔහුගේ වගාවට යෙදිය හැක්කේ වර්ෂයට දෙවරක් පමණයි කියලා නිර්දේශ වෙලා තියෙනවා කියලා.

    අර කිව්වා වාගේ, කෘමීන් හිටි කුඩා තැනට විතරක් කෘමිනාශකය යෙදුවත් ඔහු ඒක ගන්නේ ඒ කෘමිනාශකය තම වගාවට යෙදිය හැකියැ’යි නිර්දේශ වෙලා තියෙන වාර දෙකෙන් එකක් ඒ මගින් ඉවර වෙනවා කියලා. බැරිවෙලාවත් එයා ඒ කෘමිනාශකය යෙදුවේ අදාළ කුඩා තැනට විතර නම් ඔහු තම වගාවටම කෘමිනාශකය යෙදිය හැකි එක වාරයක් එමගින් අයින් කරලා දානවා. නමුත් ලංකාවේ එහෙම නෑනෙ. පොඩි තැනක උවදුරක් තිබුණොත් එතෙන්ටත් කෘමිනාශක ගහනවා. ආයෙ තව තැනක තිබ්බොත් එතනටත් ගහනවා. ඒ තැන්වලින් ආයෙ මුල් තැනට ආවොත් ආයෙ ආයෙ ගහනවා. ඒ විදිහේ විනයක් ජපානේ ගොවියන්ට ඒ අයගේ ඇඟෙන්ම එන්නේ.

    ගොවියන් තුළ තමන් කරන කාර්යය ගැන අවංක අදහසක් තියෙන්න ඕනෑ. මගේ පලදාව වැඩිකරගෙන, මං වගා කරන ගෙඩිය ලොකු වෙලා, කොළ ටික ලස්සන කරගෙන විතරක් හරියන්නේ නෑ තව කෙනෙක්ට කන්න පුළුවන් විදිහට දෙන්න ඕනෑ කියන ආකල්පය තියෙන්න ඕනෑ. සමහර විට ගොවියන් විශාල වශයෙන් දුප්පත් වීම වගේ කාරණා මේ සඳහා බලපාන්න පුළුවන්. ඒ නිසා තමයි අපි නීතියක් ගොඩනගලා නිලධාරීන් මගින් ඒ දේ ගොවියන්ට ගෙනියන්න ඕනෑ. හැබැයි ඒකට ගොවියා විතරක් අනුගත වෙලාත් බෑ. පොහොර විකුණන සිල්ලර වෙළෙන්දාගේ ඉඳන් පොහොර ගෙන්වන සමාගම දක්වා ඒ සඳහා අනුගත වෙන්න ඕනෑ.

    මෙහෙ ඇතැම් විට අස්වැන්න ගොවියාගෙන් පාරිභෝගිකයාට යන්න පෙර අතරමැදි අවස්ථාවල සසම්භාවී ලෙස පරීක්ෂා කෙරෙනවා. ඒ අස්වැන්න ගොවියාගෙන් මිලදීගන්න පෞද්ගලික සමාගම් විසින්. ගොවියා අද එයාගේ තක්කාලි වගාවේ අස්වැන්න නෙලනවා නම් ඒ අස්වැන්න මිලදීගන්න සමාගම ගොවියාට දැනුම් දෙනවා තක්කාලි කිලෝ දෙකක් විතර පරීක්ෂණාගාරයට එවන්න කියලා. ඒ අය පරීක්ෂා කරනවා භෝගයක තිබිය හැකි උපරිම රසායන ද්‍රව්‍යයන් ඉක්මවා ඒවායේ තියෙනවාද කියලා. තිබුණොත් ගොවියාගේ අස්වැන්න ප්‍රතික්ෂේප වෙනවා. මේ රටවල විශේෂත්වය මේවා කරන්නේ රජයෙන් නෙමෙයි ගොවියාගේ අස්වැන්න මිලදී ගන්නා පෞද්ගලික සමාගම් මගින්ම වීම.

    අපිටත් පුළුවන් නම් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වගේ තැනකදීවත් මෙහෙම පරීක්ෂා කරන්න. එතකොට ගොවියන් ඉබේම පුරුදු වෙනවා තමන්ගේ අස්වැන්න ප්‍රතික්ෂේප නොවන විදිහට නිසි ප්‍රමිතියට කෘෂි රසායන භාවිත කරලා වගා කටයුතු කරන්න.

    කෘෂි රසායන භාවිතය සම්බන්ධ මේ සැකය දුරු කිරීමට අපිට ගත හැකි වෙන විකල්ප ලෙස ඔබ දකින්නේ මොනවාද?

    නිර්පාංශු වගාව එහෙමත් නැතිනම් ග්‍රීන් හවුස්වල වගා කිරීම ලංකාව වගේ රටකට ඉතාමත් හොඳින් ගැළපෙන ක්‍රමයක්. ඒ සඳහා බොහෝවිට යොදාගන්නේ කොහුබත් වගේ මාධ්‍යයක්නේ. අපි ඒවාට යොදන්නේ දියර පොහොර. වතුරත් එක්ක කලවං කරලා අවශ්‍ය පොහොර දුන්නාට පස්සේ ඒකෙන් ගහ කොටසක් උරාගෙන තව කොටසක් ඉවත් වෙනවා. ඒ ගලා යන වතුරෙන් සාම්පල් එකක් ගත්තාම අපිට දැනගන්න පුළුවන් පොහොරවලින් ගහ උරාගත්ත ප්‍රමාණය මොකද්ද කියලා. ඒ ඒ බෝගය ඒ ඒ වයසෙදී ලබාගත යුතු ඒ ඒ පෝෂණ සංඝටක ගැන නියතයක් ගොඩනගලා තියෙන නිසා අපිට නිශ්චිතව මැනගන්න පුළුවන් ගහට තව කොච්චර පොහොර අවශ්‍යද කියලා. ඒ අනුව අපි නැවත එකතු කරන්නේ මදි ප්‍රමාණය විතරයි.

    ඒ විතරක් නෙමෙයි ගහේ මුල් උරාගෙන ඉවත යන වතුර පවා පසට එකතු වෙන්නේ නෑ. ඒවා වෙනම එකතු කරලා නැවත භාවිතයට ගන්න පුළුවනි. අපි මෙහේ කරන්නේ පොහොර අඩංගු ඒ වතුර එකතු කරලා එහි බැක්ටීරියා වගේ දේවල් තියෙනවා නම් ඒවා නැතිවෙන්න පොඩි යූවී ප්‍රතිකාරයක් කරලා නැවත භාවිතයට ගන්න එක. ඒක ඉතා සරල තාක්ෂණයක්.

    අනික් වැදගත් කාරණය තමයි ජපානය වගේ රටවල ශීත කාලයට අපි ග්‍රීන් හවුස් වෙනම උණුසුම් කරන්න ඕනෑ. ඒකට විශාල වියදමක් යනවා. නමුත් ලංකාවේ ගොඩක් ප්‍රදේශවල දවල් සහ රාත්‍රී තියෙන ස්වාභාවික උණුසුම ම භාවිත කරලා මේ වැඩේ කරන්න පුළුවන්.

    සාමාන්‍යයෙන් හරිතාගාරයක් නිවැරදිව පවත්වාගෙන යද්දී එය බාහිර පරිසරයෙන් බොහෝ සේ වහලා තියෙන නිසා ස්වාභාවිකවම කෘමීන් ආදි සතුන් පාලනය වෙනවා. බැරිවෙලාවත් පළිබෝධකයින් ඇතුළට ආවොත් අද ගොඩක් රටවල කරන්නේ ඒ සඳහා කෘමිනාශක යෙදීම නෙමෙයි, ඒ පළිබෝධකයන්ව ආහාරයට ගන්න වෙනත් කෘමීන් ඇතිකිරීම. ඒ කෘමියා වගාවේ ව්‍යාප්ත වෙලා අපේ වගාවට හානි කරන පළිබෝධකයාව ආහාරයට ගන්නවා. නැතිනම් උගේ බිත්තර වගේ දේවල් ආහාරයට අරගෙන පලිබෝධකයා පාලනය කරනවා. මේක හරිතාගාර ඇතුළේ වගා කිරීම්වලදී විතරක් නෙමෙයි එළිමහන් වගාවේදී පවා දියුණු රටවල විශාල වශයෙන් යොදාගන්නවා. හැබැයි ඒ වගේ අවස්ථාවල වගාවට කෘෂි රසායන යොදද්දී අර කෘමියාට හානි නොවන මෘදු රසායන යොදන්න වගබලාගන්න ඕනෑ. ඒ නිසා අධිරසායන භාවිත කිරීමට ගොවියා තුළ ස්වයංවාරණයකුත් ඇති වෙනවා. නමුත් ලංකාව මේ වගේ දේවල් හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ නැති එක ගැටලුවක්.

    නමුත් කෘමි පාලනය සඳහා ජාත්‍යන්තරව ගොඩනගලා තියෙන ෂඡඵ වගේ ක්‍රමවේද ලංකාවේ නිවැරදිව භාවිත වෙන්නේ නෑ.

    මේ කාබනික පොහොර ප්‍රශ්නය නිසා ලංකාවේ දැනටමත් හරිතාගාර පවත්වාගෙන යන ගොවියන්ට විශාල හානියක් වෙලා. මොකද දැන් ඊට අවශ්‍ය දියර ගෙන්නන්නේ නෑ. අනික තිබුණත් ඒවායේ මිල ඉතාම වැඩි බව ලංකාවේ නිර්පාංශු වගාව කරන අය කියනවා.■

    පසුගිය ජූලි 19 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතට ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර විසින් කළ සංවාදය සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි. ශීර්ෂපාඨය පමණක් සංශෝධනය කර ඇත. – ප්‍රධාන සංස්කාරක