Author: Editor

  • ඉන්දීය ගොවීන් ලෝකයට දෙන පණිවුඩය කුමක් ද ?

    ඉන්දීය ගොවීන් ලෝකයට දෙන පණිවුඩය කුමක් ද ?

    2020 සැප්තැම්බර් මස, අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව, ඉන්දියාවේ කෘෂිකර්මය පිළිබඳ පනත් තුනක් පාර්ලිමේන්තුවේ අනුමත කළේය. ඒ පනත් තුන පහත සඳහන් වේ.

    1. ගොවි නිෂ්පාදන අලෙවි කිරිම සහ වාණිජකරණය (දිරිගැන්වීම සහ පහසුකරණය) පනත 2020.
    2. මිල සහතික කිරිම සහ ගොවිපළ සේවා පිළිබඳ ගොවි ගිවිසුම් (බලසතුකරණය සහ ආරක්ෂාව) පනත 2020.
    3. අත්‍යවශ්‍ය භාණ්ඩ (සංශෝධනය) පනත 2020.

    මේ අතරින් පළමු පනත කිසිම බද්දක් නොගෙවා, මෙතෙක් ප්‍රාන්ත ආණ්ඩුවලින් පාලිත කෘෂිකර්මාන්ත වෙළඳපොළ කමිටුවලින් :්ඡඵක්‍* බාහිරව නිෂ්පාදන විකිණීමට ගොවීන්ට අවස්ථාව ලබාදෙයි. දෙවෙනි පනත කෘෂි නිෂ්පාදන සමාගම්වලට හෙවත් ඇග්‍රි බිස්නස් සමාගම්වලට තම නිෂ්පාදන කලින් නියම කරන ලද මිලකට විකිණීමට ගොවීන්ට ඉඩ ලබාදෙයි.

    තුන්වන පනත කෘෂිභාණ්ඩ, නිෂ්පාදනය සහ අලෙවිය පිළිබඳ මධ්‍යම රජයේ පාලනය ලිහිල් කරයි.
    මෙම පනත්, අතරමැදියන්ගේ ග්‍රහණයෙන්, ගොවීන් නිදහස් කරන බව අගමැති නරේන්ද්‍ර මෝඩි කියයි. එපමණක් නොව, පනත් ජනප්‍රිය කිරිම සඳහා. ‘එක රටක් එක කෘෂි වෙළඳපළක්’ යන දේශපාලන සටන් පාඨයද ඔහු යොදාගනී. බැලූබැල්මට මෙම පනත්වලට විරුද්ධ වීමට කරුණක් නොපෙනේ. දේශපාලනික වශයෙන් ආකර්ෂණීය, දිරිගැන්වීම, බලසතුකරණනය, ආරක්ෂාව වැනි වචනද පනත්වල ඇත.

    විරෝධයට හේතු

    එසේ වුවත්, 2020 නොවැම්බර්වල සිටම පනත්වලට දැඩි විරෝධතාවක් ඉන්දියාව තුළද, ඉන් පිටතද, පැනනැගී ඇත. විරෝධයට හේතු වී ඇතතේ, පනත්වල අන්තර්ගතය සහ පනත් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ආකාරයයි. විරුද්ධ පාර්ශ්වයන් ප්‍රධාන වශයෙන් පහකි.

    1. ඉන්දීය ගොවි සංවිධාන සහ ගොවීන්
    2. ඉන්දීය ප්‍රාන්ත රාජ්‍යය
    3. ප්‍රාන්ත දේශපාලන පක්ෂ සහ කොන්ග්‍රස් පක්ෂය ප්‍රධාන සමස්ත ඉන්දියා දේශපාලන පක්ෂ
    4. ඉන්දීය විද්වතුන්, බුද්ධිමතුන්, සමාජ, දේශපාලන ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන
    5. ජාත්‍යන්තර දේශපාලන, සමාජ ක්‍රියාකාරීන්

    2 වෙනි 3 වෙනි පනත් ගොවි නිෂ්පාදන සඳහා ගොවීන්ට ලැබෙන මිලට සහ අලෙවියට බලපායි. සහතික මිල පිළිබඳව බරපතළ ව්‍යාකුලත්වයක් සහ සැකයක් පවතී. දැවැන්ත ඇග්‍රි බිස්නස් සමාගම්වලට, (කලින් තීරණය කරන ලද මිලකට) සිය නිෂ්පාදන විකිණීමේදී, ගොවීහු දුෂ්කරතා රාශියකට මුහුණ දෙති. ඇග්‍රි බිස්නස් සමග සසඳන විට ඉන්දීය ගොවීන්ගේ කේවල් කිරීමේ ආර්ථික සහ දේශපාලන ශක්තිය ඉතා දුර්වලය. අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගැනීමට ගොවීන්ට ඇග්‍රි බිස්නස් ජාවාරම්කරුවන්ට මෙන් මුදල් නොමැත. පනත්වලින් තම තමාම වෙළඳපළ ව්‍යාප්ත කරගත යුතු බවට ගොවීන්ට බලකළත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන වියදම් සහ යටිතල පහසුකම් ගොවීන්ට නැත.

    ගොවි ජීවිත පිළිබඳ ඇත්ත

    ඉන්දීය ගොවිගහනයෙන් අඩක් පමණ ගොවි කාන්තාවෝය. ගොවීන්ගෙන්, අතිවිශාල බහුතරයකගේ ඉඩම්වල විශාලත්වය අක්කර 1/2ට අඩුය. ඉන්දියාවේ මු`ඵ ඉඩම්වලින් 85%ක් පමණ අයත්වන්නේ දිළිඳු සහ අන්ත දිළිඳු ගොවීන්ටය. කන්නයක් සඳහා එනම් මාස 04ක පමණ කාලයක් සඳහා ගොවි ගෘහස්ථ ආදායම ඉන්දියන් රුපියල් 6425කි. ගොවි ප්‍රජාව සහමුලින්ම දරුණු ණයගැතිභාවයක පසුවෙති. දැඩි කායික මානසික ආතතිය, රක්තහීනතාව, මන්දපෝෂණය, පහළ සෞඛ්‍ය තත්වය සහ සියදිවි හානිය ඔවුන්ගේ ජීවිත කතාවයි. ගොවිතැන එකම ජීවනෝපාය කරගත් හර්යානා, පන්ජාබ්, උත්තර ප්‍රදේශ් (බටහිර), කර්ණාටක, කේරලය ආදි ප්‍රාන්තවල ගොවීහු මෙම පනත් නිසා වැඩි පීඩනයකට ගොදුරු වී සිටිති.

    පාවාදීම

    උක්ත පනත් ඉන්දීය ගොවිතැන කෙරෙහි ඇග්‍රි බිස්නස් සමාගම්වල බලය වැඩිකරන බව ගොවීහු පවසති. ආහාර තොග රැස්කර ගබඩාකර, ආහාර මිල කෙරෙහි බලපෑම් කරමින්, ඔවුන්ට විශාල ලාභ උපයා ගැනීමට පනත් ඉඩ සලසා ඇත. ජීවත්වීමට ඇති එකම සම්පත වන ඉඩම් පවා ගොවීන්ට අහිමි කිරීමේ වෑයමක මෙම සමාගම් යෙදී සිටියි. දිගු කාලයක් තිස්සේ, ආණ්ඩුව ගොවි දුක්ගැනවිලි මගහරිමින් සිට දැන් ඔවුන් ආම් අදානි වැනි මහා පරිමාණ ජාවාරම් සමාගම් වෙත තල්ලු කර ඇති බව ගොවීහු කියති.

    ගොවි උද්ඝෝෂණ

    තම ජීවන පදනමේ මුදුන් මුල වෙත, මෝඩි රජය එල්ල කර ඇති ප්‍රහාරයෙන් ඉදිරී වැටීමට ඉන්දීය ගොවීන් සූදානම් නැත. 2020 නොවැම්බර් 26 දින සිට ඉන්දියාවේ ප්‍රාන්ත 28ක ගොවීහු එක පොදියට නවදිල්ලිය අවට කඳවුරු බැඳගෙන සාධාරණය ඉල්ලා උද්ඝෝෂණය ඇරඹූහ. ගොවි සංවිධාන 23ක් මෙම අරගලයට එකතු වී ඇත. සංවිධාන 23 තුළ ඇති ජාල සමිතිද සමග, මුළු සංවිධාන ගණන 400කි. කාන්තාවෝ අරගලයේ ඉදිරියෙන්ම සිටිති. උද්ඝෝෂණයට උරදෙන ගොවීන් සංඛ්‍යාව ලක්ෂ 03ක් පමණ වේ. ගොවීහු විවිධ ආකාරයට සිය විරෝධය දක්වති.

    පාගමන්, ට්‍රැක්ටර් පෙළපාලි, රැස්වීම්, මහාමාර්ග සහ දුම්රිය මාර්ග අවහිර කිරීම, අගනගරය වැටලීම ආදිය අරගලයේ ක්‍රමෝපායන් වේ. 2020 නොවැම්බර් මාසයේ සිට උතුරේ පවතින ශීතල දැරිය නොහැකිව මේ වන විට මියගිය ගොවීන් ගණන, කාන්තාවන්ද ඇතුඵව 80ට ආසන්නය. ‘මෙම ගොවි නීති නිසා අපේ ඉඩම් අහිමිවී අපගේ දුප්පත්කම වැඩි වෙනවා. මේ නීති නිෂ්ප්‍රභ කරන ලෙස අපි ඉල්ලනවා. ටික කාලයකට පමණක් නීති ලිහිල් කිරීම අපේ අරගලය කඩාකප්පල් කිරීමක්. අපිට පුඵවන්ද බහුජාතික සමාගම් එක්ක හැප්පෙන්න?’ ගොවීහු එක හඬින් කියා සිටිති.

    ප්‍රාන්තවලට තර්ජනයක්

    මෙතෙක්, ප්‍රාන්තවල ගොවි නිෂ්පාදන සඳහා ගොවීන්ට අසාධාරණයක් සිදු නොවන මිලකට අලෙවිය සඳහා වෙළඳපළ පහසුකම්ද සපයමින්, ඒවා පාලනය කරන ලද්දේ ප්‍රාන්ත ආණ්ඩු විසිනි. ඒ ඒ සඳහා පිහිටුවන ලද මන්ඩි නමැති කමිටු හරහාය. කමිටු විසින් සපයන ලද වෙළඳපළ සේවා සඳහා ප්‍රාන්ත ආණ්ඩු ගොවීන්ගෙන් බද්දක් අය කළේය.

    අලුත් නීති මන්ඩි මඟ හැර බඩු විකිණීමට සැලසීම නිසා, ප්‍රාන්ත ආණ්ඩුවලට ආදායම් මාර්ගයක් අහිමි විය. කෘෂි නිෂ්පාදනවලින් කිසිම ගෙවීමක් අයකිරීමටද, නව නීති ප්‍රාන්තවලට ඉඩ නොදෙයි. මෙසේ ප්‍රාන්ත ආණ්ඩු මෙතෙක් ලබාගත් සීමිත ආදායමට බලවත් පහරක් නව නීති මගින් එල්ලකර ඇත. අලුත් පනත්වලට අමතරව මධ්‍යම ආණ්ඩුව, කෘෂි නිෂ්පාදන වෙනුවෙන් භාණ්ඩ හා සේවා බද්දද පැනවීය. මෙම බද්දේ ආදායමද මධ්‍යම ආණ්ඩුවටය. අහිමිවූ ආදායම වෙනුවෙන්, මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්තවලට කිසිම වන්දි ගෙවීමක් නොකරයි.

    මෙම තත්වයන් තුළ, ප්‍රාන්ත ආණ්ඩුවලට, වැඩි වැඩියෙන් මධ්‍යම ආණ්ඩුව මත යැපීමට සිදුවේ. අලුත් නීති, ප්‍රාන්ත ආණ්ඩු දුර්වල කර මධ්‍යගත පාලනය වැඩිකිරීමේ, මෝඩි රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිළිවෙළක් බව පැහැදිලිය. නව කෘෂි නිෂ්පාදන පනත් ගොවිතැන ප්‍රධාන ආදායම් මාර්ගය වන, හර්යානා, පංජාබ් ඇතුළු ප්‍රාන්ත කීපයක ආණ්ඩු සහ ජන සමූහයන් කෙරෙහි වැඩි පීඩනයක් එල්ල කරයි. ඉහළ කාර්මික ආදායමක් ලබන කර්මාන්ත දියුණු, ගුජරාට් හා මහාරාෂ්ට්‍ර වැනි ප්‍රාන්තවලට ඇග්‍රි බිස්නස්වලින් ආර්ථිකය තවත් තර කරගත හැකිය.

    එපමණක් නොව. ආහාර හා කෘෂි උපකරණ මිලදී ගැනීමේදීද ඔවුහු වරප්‍රසාද භුක්ති විඳිති. මෙම තත්ත්වය නිසා ප්‍රාන්ත – ප්‍රාන්ත අතරද, ඒ ඒ ප්‍රාන්තවල ජනසමූහ අතරද අසමානත්වය වැඩිවේ. මෙවැනි වාතාවරණයක් තුළ අන්තර් ප්‍රාන්ත නොසන්සුන්කම සහ අන්තර් ජනසමූහ නොසන්සුන්කම වැඩිවීමට ඉඩ තිබේ. එසේම ජනසමූහ අතරද ආර්ථික හා සමාජ අසමානකම් වැඩිවනු ඇත. මෙම තත්වයන් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉදිරියේදී බලවත් තර්ජනයක් වනු ඇත. මේ වන විට ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත ආණ්ඩු, දේශපාලන පක්ෂ සහ ගොවීන්, එක පොකුරට අලුත් පනත්වලට එරෙහිව උද්ඝෝෂණය කරන්නේ ඉතා සාධාරණ හේතු නිසා බව පැහැදිලි ය.

    පනත් අනුමත කළ ආකාරය

    ගොවි පනත් අනුමත කළ ආකාරයද ප්‍රශ්න කිරීමට සිදුවේ. බී.ජේ.පී. ආණ්ඩුව, පනත් පිළිබඳව, මධ්‍යම දේශපාලන පක්ෂ හෝ ප්‍රාන්ත දේශපාලන පක්ෂ සමග කිසිම සාකච්ඡාවක් කළේ නැත. අගමැති මෝඩි කළේ, පාර්ලිමේන්තුවේ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයේ බහුතරය පොළඹවාගෙන, ඔවුන්ගේ වැඩි ඡන්දයෙන් ඉතා ඉක්මණින් පනත් අනුමතකර ගැනීමයි.

    මෙම ගොවි පනත්, මෙසේ, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් මගහැර යමින් අනුමත කිරීමට ඇති හදිසිය කුමක්දැයි විපක්ෂ දේශපාලන පක්ෂ සහ දේශපාලන විචාරකයෝ අසති. ආහාර පිළිබඳ හදිසි තත්වයක්ද ඉන්දියාවේ නොවීය. දක්ෂිණාංශිකයකු වන අගමැති මෝඩි අදානි වැනි මහා පරිමාණ ජාවාරම්කරුවන්ට සමීපබවත්, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ජාවාරම්කාර බිස්නස්කරුවන් අරමුදල් සැපයූ බවත්, මෙම පනත් ඔවුන් තරකිරීමට ගත් වෑයමක් බවත්, ඉන්දීය දේශපාලන විචාරකයෝ පවසති.

    පෙඩරල් ව්‍යුහය දුර්වල කිරීම

    කෘෂිකර්මය, ප්‍රාන්ත රාජ්‍යවලට අයත් විෂයකි. ප්‍රාන්ත රාජ්‍ය විෂයකට අත පොවා මෝඩි ආණ්ඩුව ඉන්දීය රාජ්‍යයේ පෙඩරල් ව්‍යුහය දුර්වල කර ඇත. පෙඩරල් ව්‍යුහය කඩාකප්පල් කර, මධ්‍යගත පාලනය දැඩි කිරීමට මෝඩි මෙයට පෙරද කීප අවස්ථාවකම උත්සාහ කළේය. 2019 වසරේ හෝ එයට ආසන්න කාලයක අගමැති මෝඩි ජම්මු කාශ්මීර ප්‍රාන්ත මධ්‍ය රජයට පවරා ගත්තේය.

    එමෙන්ම ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය ඉවත් කළේය. දක්ෂිණාංශික, අන්තවාදියෙකු සහ ජාතිවාදියෙකු වන අගමැති නරේද්‍ර මෝඩි, ඔහුගේ මු`ඵ පාලන සමග තුළම මුස්ලිම් විරෝධයක් ඉන්දීය සමාජය තුළ ඇති කිරීමට පෙරමුණ ගත්තේය. අද අප කතා කරන ගොවි පනත් පමණක් නොව, වෙනත් බොහෝ උදාහරණ මගින්ද, අගමැති මෝඩි ඉන්දියාවේ නිර්ආගමික, ස්වෛරී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය කඩාකප්පල් කරන්නට වෑයම් කරන අදූරදර්ශී දේශපාලකයෙකු බව පෙනේ.

    මෙවන් දේශපාලන සන්දර්භයන් තුළ ඉන්දීය ගොවීන්, අගමැති මෝඩිගේ පාලනයට එරෙහිව එක පොකුරට නැගී සිටීම ඓතිහාසික සිදුවීමකි. ආණ්ඩුව නොකඩවා, ගොවීන්ට එරෙහි මර්දනයක් දියත් කරමින් සිටියත්, ගොවීහු එම මර්දනයෙන් මුවහත්වී මහත් කැපවීමකින්, එඩිතරව, අධිෂ්ඨෘනසහගතව එක හඬින් සාධාරණය ඉල්ලා සිටිති.

    ඉන්දීය ගොවීන්ගෙන් පාඩමක්

    ඉන්දීය ගොවීන් ඒ රටේ බිලියන 1.3ක් පමණ වන ජනතාව පෝෂණය කරති. අගමැති මෝඩි, මෙසේ අදානි වැනි දැවැන්ත සමාගම්වලට බිලිදී ඇත්තේ ඉන්දියාවේ ජීවනාලියයි. ගොවීන්ට, මෙතෙක් නීතිමය හා වෙළඳපළ උපායමාර්ග මගින් සලසා තිබූ සියලු පහසුකම්, නව ලිබරල් ප්‍රතිපත්ති අනුව ඔහු අහෝසි කළේය.

    මෙම නව ලිබරල් වැඩපිළිවෙළේ හිංසනය සහ පීඩනය අවසන් කිරීමට ඇති ඒකායන මාර්ගය සංවිධානාත්මක ගොවිජන / මහජන ව්‍යාපාරක්ය යන පාඩම ඉන්දීය ගොවීහු ලොවට දන්වති.

    ජාත්‍යන්තර සහයෝගය

    පාඩම හරි බව වටහාගනිමින් ඉන්දීය වෘත්තීය සමිති සහ ජනතා සංවිධාන, 2020 නොවැම්බර් මස ඉන්දියාව පුරා වැඩ වර්ජනයක් දියත් කළේය. ඉන්දියාවේ මෙන්ම, ලොව පුරා ප්‍රගතිශීලීහු, සමාජවාදීහු සහ පුරවැසි සංවිධාන ඉන්දීය ගොවීන්ට එක දිගටම සහාය පළකරති.

    පසුගිය අවුරුදු 44 පුරා, ශ්‍රී ලංකාවේද අඳ, බිහිරි, මන්දබුද්ධික පාලකයන්, නව ලිබරල්වාදය වැළඳගනිමින්, රට ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික පරිහානියේ, පතුලටම තල්ලුකර ඇත. මෙම සන්දර්භය තුළ, ලාංකීය වමේ සමහර දේශපාලන පක්ෂද බහුජන සංවිධානද, ඉන්දීය ගොවි අරගලය වෙත සහෝදරත්වය ප්‍රකාශ කිරීම සතුටට කාරණයකි.

    අද ලංකාවේ අපද, පාඩම් ඉගෙන ගන්නේ නම්, අපට ඉතිරිවී ඇති එකම බලාපොරොත්තුව හුදෙක් මැතිවරණ තරග කිරීමෙන් ඔබ්බට ගිය, ප්‍රජාතාන්ත්‍රීය, ජනතාවාදී ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ අරමුණු කරගත් පුඵල් මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම පමණි.■

    රෝහිණී ඩෙප් වීරසිංහ – අනිද්දා පුවත්පතින් කළ උපුටා ගැනීමකි

  • උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පිළිබඳ ‘කොළඹ ප්‍රකාශනය’ නිකුත් කෙරේ

    උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පිළිබඳ ‘කොළඹ ප්‍රකාශනය’ නිකුත් කෙරේ

    ලෝක උපත් අබාධ දිනය අද (03) දිනට යෙදී තිබුණා. මේ ලිපිය ඒ වෙනුවෙනි.

    ලෝකය පුරා මිලියන 8ක් පමණ පුද්ගලයින් උපත් ආබාධ නිසා පීඩා විඳින අතර බිළිඳු මරණ වලින් 11% කට ද, කුස තුළ මියයන දරුවන්ගෙන් 10% කට ද හේතු වේ. මෙම දරුවන්ගෙන් 90% කටත් වඩා සිටිනුයේ අඩු සහ මධ්‍යම ආදායම් රටවලය. 

    සෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16ක් උපදින අතර ඉන් දෙදෙනෙක් සෑම දිනකම තම පළමු උපන් දිනයට පෙර මියයති. එලෙසම වසරකට 500 – 600 ත් අතර ප්‍රමාණයක් උපත් අබාධ නිසා කුස තුළම මිය යති. උපත් අබාධ ඇතිව ජීවත්වන්නන් ද ජීවිත කාලය පුරාම අබධිතව කල් ගෙවති.

    උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පුද්ගලයිනට, පවුල් වලට සහ පුළුල් ලෙස ගත් කළ, සමාජයේ ද සෞඛ්‍යය උදෙසා වැදගත් කාර්ය භාරයක් කරයි. 2030 වසරේ දී තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට සැළසුම් ක්‍රියාත්මක කරන අවස්ථාවක, උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම අරමුණු කර ගත් සේවා සැපැයීම, ලොව පුරා සෑම ආණ්ඩුවකම සැළකිල්ලට භාජනය විය යුතුය.

    2010 වසරේ දී 63 වන ලෝක සෞඛ්‍ය රැස්වීමේදී උපත් අබාධ පිළිබඳව යෝජනාවක් (63.17 න්‍යාය පත්‍ර අංක 11.7) සම්මත කර වසර 10 ක් ගතව තිබේ. ඉන් පසු උපත් අබාධ පිළිබඳ දැනුවත් කිරීමේත්, අවේක්ෂණය ප්‍රවර්ධනය කිරීමේත් ක්‍රියාමාර්ග ගෙන ඇතත් සෑහෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කිරීමට ඉතුරුව තිබේ. උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම කඩිනම් කිරීම සඳහා දායක වීමට, සියලුම පාර්ශ්වකරුවන් 2010 ලෝක සෞඛ්‍ය රැස්වීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය ය.

    ලොව පුරා රටවල් 36 ක 400 ක් පමණ වූ ප්‍රමුඛ පෙලේ සෞඛ්‍ය වෘත්තිකයින්, පර්යේෂකයින් සහ අධ්‍යයන, පර්යේෂක, රාජ්‍ය තාන්ත්‍රික, ජාත්‍යන්තර සංවර්ධක සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයෝ, 2020 වසරේ දී කොළඹ දී පැවැත්වුණු සංවර්ධනය වෙමින් පවතින රටවල උපත්  අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ දී උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට කැප වුහ.

    උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම සඳහා උපදේශනයේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සහ 63 වන ලෝක සෞඛ්‍ය රැස්වීමේදී උපත් අබාධ පිළිබඳ යෝජනා සමග අනුගත වෙමින් 2020 නව වන සංවර්ධනය වෙමින් පවතින රටවල උපත්  අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ සහභාගී වූවන් “උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය” ට අදහස් හා යෝජනා සපයමින් දායක වුහ.

    ලෝක උපත් අබාධ දිනය යෙදෙන 2021 මාර්තු 3 වෙනි දින මෙම ප්‍රකාශනය  ප්‍රාථමික සෞඛ්‍ය සේවා, කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ  මැතිනියට පිළිගැන්වීමට නියමිතය. මෙම ප්‍රකාශනය ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානය වෙත යොමු කෙරේ. කොළඹ ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මියටද පිළිගන්වනු ඇත .

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපත් ආබාධ පිලිබඳ විද්වත් කමිටුව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය එක්ව මෙම වැඩ පිළිවෙල සංවිධානය කෙරේ.

  • පරිසරයට ආදරය කරපු කොල්ලන්ට කෙල්ලන්ට සර් බූට් එක තිබ්බා !

    පරිසරයට ආදරය කරපු කොල්ලන්ට කෙල්ලන්ට සර් බූට් එක තිබ්බා !

    ”පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා‘‘ යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කරයි.

    ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    මෙහිදී වත්මන් පරිසර විනාශය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ එරංග ගුණසේකර මහතා,

    “පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා. ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා මේ වෙනකොට. මිනිසුන්ගේ වන සතුන්ගේ ජීවිත අහිමි කරන තැනට පත්වෙලා. අනාගතයේදී අපිට ඔක්ෂිජන් පැකට් එක කඩෙන් ගන්න තැනට පත්කරන්නද හදන්නේ. මේ ජනාධිපතිවරයා පරිසරයට ආදරෙත් නැහැ. ඔහුට පරිසරය රකින්නත් බැහැ. සර්ලාගේ සිස්ටම් එකට පරිසරය රකින්නත් බැරි බව අපි පැහැදිලිව කියනවා. ගහක කොලක වටිනාකම් නොදන්න පුද්ගලයින්ට, සිස්ටම් එකකට මේ දේවල් කියලා වැඩකුත් නැහැ. නමුත් අපේ හුස්ම පොද වෙනුවෙන් අරගල කරන්න අපි සූදානම්. සර්ගේ ඩෝසරයට එරෙහිව පේෂ් ටු පේෂ් සටනකට අපි සූදානම්. අපි මේ රටේ සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා මේ සටනත් එක්ක එකතු වෙන්න කියලා.”

    “මේ වනවිට ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳර කියලා ගම්පුරා යන්න පටන් අරගෙන තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ ඩෝසරයත් රට වටා යන්න පටන් අරගෙන; රට පුරා පරිසර පද්ධති විනාශ කරන්න පටන් අරගෙන.

    ජනවාරි 30වෙනිදා තණමල්විල කුකුල්කටුව ගම්මානයේ කරපු පිළිසඳරත් එක්කම රටේ සංවාදයක් ආවා දහයියාගල අභයභූමිය විනාශ කරන්න පටන් අරගෙන කියලා. සමාජවාදී තරුණ සංගමය විදියට අපි ඒ පිළිබඳ සොයා බලන්න පෙබ. 20 සහ 21 දෙදින දහයියාගලට ගියා. ජනවාරි 30 සිට මාර්තු 01 දක්වා මාසයක් ඇතුළත දැවැන්ත විනාශයකට දහයියාගල රක්ෂිතය පත්වෙලා. දහයියාගල අභයභූමිය අක්කර 6635ක භූමියක් තිබෙනවා. 2002 ජූලි මාසයේ 07 වෙනිදා තමයි මෙය අභ්‍යභූමියක් ලෙස නම් කරලා තිබෙන්නේ. දහයියාගල අලිමංකඩ හරහා දිනකට වන අලියන් 30ක් පමණ එහා මෙහා ගමන් කරන බව පරිසරවේදීන් කියනවා. අභයභූමිය පිටතින් ගම්මාන 30ක් පමණ තිබෙනවා. සමනළ වැවේ සිට කුමන ජාතික වනෝද්‍යානය දක්වා අලි ගමන් කරන බිම්තීරුවේ තමයි දහයියාගල අභයභූමිය මුණ ගැසෙන්නේ.

    දහයියාගල අභයභූමිය විශාල විනාශයකට ලක්වෙලා තියෙන බව අපි ඇස් දෙකෙන් දුටුවා. ඡායාරූප විඩියෝ අප සතුව තිබෙනවා. අක්කර ගණනාවක් ජනාධිපතිගේ ඩෝසරයට යටකරගෙන ගිහින් තිබෙනවා. අවුරුදු 75ක් 100ක් පැරණි ගස් කපා දමා තිබෙනවා. ජනාධිපතිවරයා කිව්වේ පාරම්පරික ඉඩම් ගොවියන්ට වගා කරන්න ඉඩ දෙන්න කියලා. නමුත් අක්කර සිය දහස් ප්‍රමාණයක් අලුතින් විනාශ කරලා වගාබිම් බවට පත්කරලා තිබෙනවා. නමුත් ගමේ මිනිස්සු නෙවෙයි මේ ඉඩම් හෙළිපෙහෙළි කරන්නේ. ගමේ මිනිස්සුන්ට ඩෝසර් දාලා කැලෑ කපන්න වත්කමක් නැහැ. ඩෝසරයකට දවසක කුලිය ලක්ෂ තුන හතර වෙනවා. පිටින් පැමිණි කූඨ ව්‍යාපාරිකයින් පිරිසක් තමයි මේ දහයියාගල වන විනාශය කරන්නේ.

    ඒ වගේම අපි දැක්කා අඩි විස්ස තිහ උස යකඩ වැටවලින් අලිවැටවල් නිර්මාණය කරලා තිබෙනවා. යෝධ අලි වැටවල් තමයි මේ ව්‍යාපාරිකයින් විසින් හදල තිබෙන්නේ. නමුත් ගමට අලි එනවට ගහන අලිවැට ලාඩප්පා කෝටුවලින් ගහපු මැස්සක් වගේ. අලින් ඉන්න භූමිය අත්පත් කරගෙන දැවැන්ත අලිවැටවල් නිර්මාණය කර තිබෙනවා. ව්‍යාපාරිකයෝ ලක්ෂ තිහ, හතලිහ, පනහ විදයම් කරනවා අලිවැටවල් ගහන්න. මෙවැනි අලිවැටවල් ගහන්නේ ගමේ මිනිස්සු නෙවෙයි කියලා පැහැදිලියි. ගමේ මිනිස්සුන්ගේ ජීවිත ගමේ මිනිස්සුන්ගේ වගා ආරක්ෂා කරන්න මෙවැනි අලිවැටවල් නිර්මාණය නොවෙන බවත් ඉතාම පැහැදිලියි.

    තේක්ක සහ බුරුත ගස් කපා දමා විශාල දිග වැටවල් නිර්මාණය කරලා තිබෙනවා. එක ව්‍යාපාරිකයෙක් හෝටලයක් ගොඩනගන්න ආරම්භ කර තිබෙන බව ගමේ වැසියන් කියනවා. කැලේ ඇතුලට යන්න අක්කරය දෙක හෙළිකරලා තිබෙනවා. ඇතැම් ස්ථාන අක්කර සීය දෙසීය හෙළිකරලා තිබෙනවා. අපි පසුගිය පෙබරවාරි 20 සහ 21 දහයියාගලට යනකොට ඒ දින දෙකෙත් කැලෑ කපපු ස්ථාන දැක්කා. මේ වනවිට රාත්‍රී කාලයේ අලි වෙඩි දමා අලි එළවා දමමින් කැලෑ සුද්ද කරන්න පටන් අරගෙන තිබෙනවා.

    ජනාධිපතිවරයා විසින් කරන අමනෝඥ වැඩ නිසා කැලෑවල ඉන්න ඉන්න අලි කැලෑවලින් ගම්වදින්න පටන් අරගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ ජීවිත, වගා, ගෙවල් දොරවල් විනාශ වෙන අලිමිනිස් ගැටුමක් නිර්මාණය වෙමින් තිබෙනවා. මීට පෙර 2008 වර්ෂයේදීත් දහයියාගල අභයභූමිය විනාශ කරන්න සූදානම් වුනා. මේ වනවිටත් එම විනාශය යළි ආරම්භ වෙලා. ගමේ වැසියන් බයෙන් ඉන්නවා. මේ වනවිනාශයට එරෙහිව ගම්වාසීන්ට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවෙලා තිබෙනවා. අපි සමාජවාදී තරුණ සංගමය ලෙස කියනවා මේ පරිසර විනාශයට එරෙහි වීම තනි පුද්ගල ක්‍රියාවක් නෙවෙයි කියලා. සර්ගේ ඩෝසරයට එරෙහිව අපි පෙරමුණ ගත යුතුයි.

    මේ වනවිට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට ඉඩමක් වෙන් කරන්න කියලා හම්බන්තොට, වල්සපුගල ගොවියෝ උද්ඝෝෂණයක් කරනවා. මේ ප්‍රශ්නය ආවේ 2011දී. එදා හිටපු රාජපක්ෂ ආණ්ඩුව අක්කර 25000කට වැඩි ප්‍රමාණයක් එළිපෙහෙලි කළා වරාය ගුවන්තොටුපල, සම්මන්ත්‍රණ ශාලා හදන්න කියලා. අලි ඉන්න කැලෑ තමයි ඒ විදියට විනාශ කළේ. ඊටපසුව අලි රක්ෂිතයට කියලා දැවැන්ත භූමියක් වෙන් කළා. නමුත් තවමත් ගැසට් කරලා නැහැ. ඒ භූමියත් තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයින්ට වෙන් කරලා දෙන්න පටන් අරගෙන. අද ගොවියන්ට මාරාන්තික උපවාස කරන්න වෙලා අලියන්ට ඉඩමක් දීපල්ලා කියලා. මේ පාලකයින්ට ඒ ප්‍රශ්න විසඳන්න වුවමනාවක් නැහැ. දැන් දහයියාගල ජනතාවටත් තියෙන්නේ එවැනි බියක්. ජනාධිපතිගේ මෝඩ තීරණ නිසා කැලෑ කපපුවාම අලි ගම්වදියි කියලා දහයියාගල මිනිස්සු බයෙන් ඉන්නේ. අලි දන්නේ නැහැ ජනාධිපති කැලෑ කපන්න අවසර දුන්නා කියලා.

    මේ වනවිට ලෝකයේ අලිමිනිස් ගැටුම් පවතින රටවල් අතර ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන බව වාර්තා වෙනවා. අපි අවධාරණය කරනවා මේක ජනාධිපතිවරයා නොදැන කරන ක්‍රියාවක් නෙවෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වෙන්න කලින් පරිසරය ගැන විශාල පුරාජේරු කිව්වා. නමුත් බලයට පැමිණ ඉතාම සුළු කාලයකින් පස්, වැලි කපන්න තිබුණ බලපත්‍ර අහෝසි කරලා දැම්මා. හිතේ හැටියට පස් වැලි කපන්න, ප්‍රවාහනය කරන්න අවසර දුන්නා. චක්‍රලේඛ අහෝසි කරලා දැම්මා. ගම සමඟ පිළිසඳර කියලා ගමට ගිහින් කිව්වා ‘මගේ වචනය තමයි ගැසට් එක, මම කියන දේ ක්‍රියාත්මක කරන්න’ කියලා. නිලධාරීන්ට බලපෑම් කලා නඩු ඉවත් කරගන්න කියලා. දැන් රට පුරා පරිසරය විනාශ කිරීමේ රැල්ලක් පටන් අරගෙන තිබෙනවා. ලංකාවේ ඉන්න කූඨ ව්‍යාපාරිකයින් තමන්ගේ කළු සල්ලි වියදම් කරමින් ජනාධිපතිගේ අනුදැනුම ඇතිව කෑලෑ කපමින් ඉඩම් අල්ල ගන්න පටන් අරගෙන තිබෙනවා.

    පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා. ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා මේ වෙනකොට. මිනිසුන්ගේ වන සතුන්ගේ ජීවිත අහිමි කරන තැනට පත්වෙලා. අනාගතයේදී අපිට ඔක්ෂිජන් පැකට් එක කඩෙන් ගන්න තැනට පත්කරන්නද හදන්නේ. මේ ජනාධිපතිවරයා පරිසරයට ආදරෙත් නැහැ. ඔහුට පරිසරය රකින්නත් බැහැ. සර්ලාගේ සිස්ටම් එකට පරිසරය රකින්නත් බැරි බව අපි පැහැදිලිව කියනවා. ගහක කොලක වටිනාකම් නොදන්න පුද්ගලයින්ට, සිස්ටම් එකකට මේ දේවල් කියලා වැඩකුත් නැහැ. නමුත් අපේ හුස්ම පොද වෙනුවෙන් අරගල කරන්න අපි සූදානම්. සර්ගේ ඩෝසරයට එරෙහිව පේෂ් ටු පේෂ් සටනකට අපි සූදානම්. අපි මේ රටේ සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා මේ සටනත් එක්ක එකතු වෙන්න කියලා.

  • හැමදේම තීන්දු වන්නේ තණතිල්ලට ගිය පසුවයි – දිමුත් කරුණාරත්න

    හැමදේම තීන්දු වන්නේ තණතිල්ලට ගිය පසුවයි – දිමුත් කරුණාරත්න

    ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණු ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න පූර්ණ සුවය ලබමින් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්වී සිටියි.

    ඉදිරි තරග සංචාරය පිළිබඳව අදහස් දක්වා සිටින ටෙස්ට් සහ එක්දින නායකයා බටහිර ඉන්දීය කොදෙව් වල ක්‍රීඩා කිරීමේදී අත්දැකීම් නොමැති වුවත් තරගාවලියේදී හොඳිල් ලකුණු රැස් කිරීමට තමන්ට හැකියාව පවතින බව විශ්වාස කරන බව පැවැසීය.

    කොදෙව් සංචාරයට පෙර ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමඟ පැවති සාකච්ඡාවක අදහස් දක්වා සිටි කරුණාරත්න, “නවක ක්‍රීඩකයින් කීප දෙනෙකු කොදෙව් කණ්ඩායම සතු වුවත් ඔවුන් ඉතා දක්ෂ ක්‍රීඩකයින්. විශේෂයෙන්ම ඔවුන්ගේ වේග පන්දු යවන්නන් සහ පිතිකරුවන් හොඳින් දක්ෂතා අතර පසුවනවා. ඒ වගේම කූලිජ් ක්‍රීඩාංගණයේ තණතීරුවත් වේගවත්. කොහොම වුණත් අපිට පුහුණුවීම් සඳහා සතියක පමණ කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත එහෙ තණතීරුවලට සහ දේශගුණික තත්ත්වයන්ට ඉක්මනට හුරුවීමට අපේක්ෂා කරනවා” යැයි පැවැසීය.

    මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල අවසන් වරට එතෙරදී තරගාවලියකට සහභාගිවන ලද්දේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියට වේ. වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු වල පැවැති එම තරගාවලිය 2-0 ක් ලෙස ප්‍රතිවාදී පිල හමුවේ ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය. එහෙත් එම තරගාවලියේදී පිතිකරුවකු ලෙස දක්ෂතා අතරට පැමිණෙමින් ශතකයක් වාර්තා කිරීමට දිමුත් සමත්වූවේය.

    එම දෙවැනි තරගය අතරතුරදී දිමුත්ගේ මහපටැඟිල්ල ප්‍රදේශයට පන්දුව වැදීමෙන් ආබාධයකට ලක්වූ බැවින් එංගලන්තයට එරෙහි තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද දිමුත්ට අහිමිවිය. එම තරගාවලියද ශ්‍රී ලංකා පිල 2-0 ක් ලෙස එංගලන්තය හමුවේ පරාජයට පත්වූ නමුත්, ඒ පිළිබඳව අදහස් දක්වන දිමුත්, එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවූයේ නම්  කණ්ඩායමේ සාර්ථකත්වයට කිසියම් බලපෑමක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබූ බව විශ්වාස කරන බවයි.

    “විශේෂයෙන්ම එම ටෙස්ට තරග දෙකේ ඉනිම දෙකක දී අප අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී ගියා. එය වැළැක්වීමට තිබුණානම් හොඳයි. මට කියන්න පුළුවන් ශතකයක් කරා යාමට උත්සහා ගන්න තිබුණා කියා.  එහෙත් එය සිදුවන්නේ තණතිල්ලට ගිය පසුවයි” යැයි දිමුත් පවසයි.

  • ශිෂ්‍ය සංඛ්‍යාව අවම පාසල් සංවර්ධනයට මාස 4න් සැලසුම් ඉල්ලයි

    ශිෂ්‍ය සංඛ්‍යාව අවම පාසල් සංවර්ධනයට මාස 4න් සැලසුම් ඉල්ලයි

    ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම  වූ රජයේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සැලැස්මක් මාස 04 ඇතුළත සකසන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා මහතාට දැනුම් දුන්නේය.

    ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල් 5161 ක් මෙරට තුළ පවතින අතර, එම පාසල් රැසක ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු රැසක් මතුව ඇති බවත්, ඒම තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අධ්‍යනයක් කළ යුතු බවත්, ඊට අදාළ  සම්පත්දායකයන් ස්වේච්ජා පදනමින් සභභාගී කරගන්නා ලෙසත්, කාරක සභාව මහාචාර්‍ය කපිල පෙරේරා මහතාට දැනුම් දුන්නේය.

    ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම  වූ රජයේ පාසල්වල කාර්‍ය සාධනය විමසා බැලීම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන්  කාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වු අවස්ථාවෙිදීය.

    මෙම පාසල්වල පවතින ජල ගැටලුව මෙන්ම වැසිකිලි ගැටලුව විසඳීම සඳහා කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාවේදී මතුවිය. පාසල් සඳහා නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් සම්පත් විෂමතාවක් මතුව තිබෙන බවද කාරක සභාව කීවේය.

    පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ උපදෙස් සංග්‍රහය, අධ්‍යාපන පරිපාලන විද්වතුන්ගේ අධික්ෂණය යටතේ කාලීනව සංශෝධන කළ යුතු බව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අධ්‍යාපන බලධාරින්ට පැවසීය.

    දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී දෙමාපියන්ගේ පාසල් සම්බන්ධයෙන් ඇති ආකල්ප වෙනස්වන පරිදි පාසල් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව කාරක සභාව පෙන්වා දුන්නේය.

    පාසල් ආරම්භ කිරීම, වසා දැමීම හා නියාමනය සිදු කිරීම පාසල්  ව්‍යුහ කටයුතු පිළිබඳ උපදෙස් සංග්‍රහයට අනුගතව සිදු කළ යුතු බව කාරක සභාව මෙහිදී පැවසීය. ජනප්‍රිය නොවන පාසල්වලට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීමේදී එම මාරු නියෝග ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.

    පාසලක විභාග ප්‍රතිඵල ශිෂ්‍යයින් ආකර්ශනය කර ගැනීමේ ප්‍රධාන නිර්ණායකයක් වන බැවින් මෙම පාසල්වල විභාග ප්‍රතිඵල වර්ධනය කර ගැනීමට අදාළ විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද කාරක සභාව පෙන්වා දුන්නේය.

    සියලු පාසල් සඳහා අධ්‍යාපන පරිපාලන වාර්තාවක් තබාගත යුතු අතර, විවිධ ව්‍යාපෘති  යටතේ මුදල් වෙන් කිරීමේදී එම වාර්තාව පදනම් කර ගැනීම යෝග්‍ය බවද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පෙන්වා දුන්නේය.

    2013 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ පාසල් 93 ක් සිසුන් නොමැතිවීම, රටේ පැවැති වතාවරණය හා වෙනත් හේතු මත වසා දමා තිබූ බව  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. 2018 වසර තුළදී පමණක් වසා දමා තිබු පාසල් සංඛ්‍යාව 101 කි.

    ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම  වූ රජයේ පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යයින්ගේ කැමැත්ත පරිදි ද්විතියික අංශයේ කාණ්ඩ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව නොමැති වීම හේතුවෙන් ඔවුන් පීඩාවට පත්ව සිටින බවද කාරක සභාවේදී සාකච්ජා විය. මෙම පාසල් බොහොමයක එම විෂයන් උගන්වන ගුරුවරුන් නොමැති වීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ. ප්‍රාථමික අංශය සඳහා ගුරුවරුන් නොමැතිවීම ද  ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම  වූ රජයේ පාසල් මුහුණ දෙන්නා වූ තවත් ගැටලුවක් බවද කාරක සභාවේදී  අනාවරණය විය.

    පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 64,930 ක් වෙන් කර තිබූ අතර (2016-2020 කාලය සඳහා) 2018 වසරේ දෙසැම්බර් 31 වැනි දින වනවිට රුපියල් මිලියන 31,234.77 ක් වැයකර තිබූ බවත්,  එම ව්‍යාපෘතිය යටතේ ඇතැම් අවස්ථාවලදී අවශ්‍යතාවයන් නිසිලෙස අධ්‍යයනය නොකර පාසල්වලට සම්පත් ලබා දී තිබූ බවත් කාරක සභාවේදී සාකච්ජා විය.

    නව පාසලක් පිහිටුවීම සඳහා අවම වශයෙන් අක්කර 02 ක භූමි ප්‍රමාණයක් අවශ්‍ය වුවද එම ඉඩ ප්‍රමාණය නොමැති සිසුන් 200 ට අඩු පාසල් 25ක් පමණ නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පමණක්  පවතින බව කාරක සභාවේදී අද අනාවරණය විය.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන බී.වයි.ජි රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, තිස්ස අත්තනායක, ආචාර්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාහු පිරිසක් සභභාගි වූහ.

  • ඩොනල්ඩ් ට්‍රම්ප් හිරේ යයි ද ?

    ඩොනල්ඩ් ට්‍රම්ප් හිරේ යයි ද ?

    හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මුල්‍ය කටයුතු සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර පිළිබඳව ආරම්භ වන අපරාධ පරීක්ෂණය වැඩි කතාබහට ලක් විය.

    තමන්ගේ බදු වාර්තා සහ අනෙකුත් මූල්‍ය වාර්තා නිව්යෝර්ක් නුවර නීති බලධාරීන්ට භාරදෙන ලෙසට එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (පෙබරවාරි 22) නියෝග කළේය.

    තමන්ගේ වාර්තා නීති බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වීම වලක්වාගැනීම සඳහා මාස කීපයක් තිස්සේ උත්සාහයක නියැලුණු ට්‍රම්ප් මෙම නියෝගයෙන් පසුබෑමකට ලක්වී තිබේ.

    මෙම වාර්තා අපරාධ පරීක්ෂණයකට කේන්ද්‍ර වනු ඇති බව සැලකේ.

    එක්සත් ජනපදයේ ෆෙඩරල් සහ නිව්යෝර්ක් නුවර හිටපු රාජ්‍ය නීති බලධරයා වන ඩැනියෙල් ආර් අලොන්සෝ, බීබීසීයට කියා සිටියේ ඉහත කී වාර්තා “ප්‍රහේලිකාවේ ඉතා වැදගත් කොටසක්” විය හැකි බවය.

    අපරාධ පරීක්ෂණයක් යනු කුමක්ද? හිටපු ජනපති ට්‍රම්ප්ගේ වාර්තා වල ඇති විශේෂත්වය හෝ වැදගත්කම කුමක්ද? යන්න ඔබ විමසිය හැකිය.

    එය අපි මෙසේ පැහැදිලි කරමු.

    පරීක්ෂණය කුමක්ද?

    මූලික දෙයින් පටන් ගනිමු.

    මෙය නිව්යෝර්ක් ප්‍රාන්තයේ නීති බලධාරීන් විසින් ආරම්භ කරන ලද අපරාධ පරීක්ෂණයකි.

    මෙහි ප්‍රධාන නීති බලධරයා මැන්හැටන් හි ඩිමොක්‍රටික් පාක්ෂික දිස්ත්‍රික් නීතිවේදියා වන සයිරස් වෑන්ස් ය.

    මේ වනවිට ඔහු සහ ඔහුගේ නීතිවේදී කණ්ඩායම හුදෙක් සොයමින් සිටින්නේ යම්කිසි අපරාධමය වරදක් සිදු වී ඇත්දැයි යන්න පිළිබඳවය.

    තමන් කිසිදු වරදක් සිදුකර නොමැති බව දිගින් දිගටම කියා සිටින රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරන්නේ මෙම පරීක්ෂණය දේශපාලන හේතු මත සිදුවන්නක් බවය.

    Getty Images
    මෙහි ප්‍රධාන නීති බලධරයා සයිරස් වෑන්ස් ය

    මෙම පරීක්ෂණයේ කොටසක් වශයෙන් සයිරස් වෑන්ස් පරීක්ෂා කරමින් සිටින්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඔහුගේ පවුලේ ව්‍යාපාරය වන ට්‍රම්ප් සංවිධානයට අයත් මූල්‍ය සහ බදු කටයුතු පිළිබඳව ය.

    මෙය, ට්‍රම්ප්ට එරෙහිව දැනට පවතින අපරාධ පරීක්ෂණ දෙකින් එක් පරීක්ෂණයකි. අනෙක් පරීක්ෂණය නම්, පසුගිය නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ දී ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීමට උත්සාහ කළ බවට පවතින චෝදනාව පිළිබඳව ය.

    මේ දක්වා පැමිණියේ කෙසේද?

    පරීක්ෂණය ආරම්භ වූයේ 2018 දීය. එවකට ට්‍රම්ප් ජනාධිපති ධුරය දරමින් සිටියේය.

    මුලදී පරීක්ෂා කෙරුණේ, 2016 ජනාධිපතිවරණ සමයේ දී කාන්තාවන් දෙදෙනෙකුට ‘රහස් රැකගැනීම වෙනුවෙන්’ කර ඇතැයි පැවසෙන මුදල් ගෙවීමකට ට්‍රම්ප් සංවිධානයේ ඇති සම්බන්ධතාවය පිළිබඳව ය. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තමන් අතර සම්බන්ධතාවයක් පැවතුනු බව මෙම කාන්තාවන් දෙදෙනා පවසා තිබුණි.

    මෙම ගෙවීම් සම්බන්ධයෙන් ට්‍රම්ප් ගේ පෞද්ගලික නීතිඥයාව සිටි මයිකල් කෝවෙන්, නීතිය ඉදිරියේ වරදකරු වූ අතර ඔහු 2018 දී සිරගත කෙරුණි.

    මේ අතරතුර, ගෙවීම්වලින් නිදහස් වීම සඳහා ට්‍රම්ප් සංවිධානය විසින් නිව්යෝර්ක් නුවර නීති හෝ වෙනත් රාජ්‍ය නීති කඩකරනු ලැබ ඇත්දැයි නීති බලධරයෝ සොයා බලමින් සිටිති.

    Reuters
    ට්‍රම්ප් ගේ ලේඛන පිරික්සීමට නීතිපති කාර්යාලයට අවසරය ලබා දෙමින් පසුගිය ජූලි මාසයේ දී ශ්‍ර්ෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන්නේය

    එපමණක් ද? නැත!

    සයිරස් වෑන්ස් නීති බලධරයා තම පරීක්ෂණ තවත් පුළුල් කරමින්, සිදුවිය හැකියැයි අනුමාන කෙරෙන තවත් අපරාධ කීපයක් ලැයිස්තුවට එකතු කර ඇත.

    “අනෙකුත් අපරාධ අතර ට්‍රම්ප්, ඔහුගේ සමාගම හෝ එහි සේවකයන් රක්ෂණ, බදු සහ බැංකු වංචා” සිදු කර ඇත්දැයි සයිරස් වෑන්ස් සොයා බලමින් සිටි බව, නම සඳහන් නොකළ නිලධාරියෙකු පැවසු බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණි.

    බදු සහ මූල්‍ය ලේඛන කරලියට එන්නේ මෙතැනදී ය.

    යම් අපරාධයක් සිදුකර ඇත්තේ නම් එය සනාථ කිරීම සඳහා මෙම ලේඛන අවශ්‍ය වනු ඇත.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පෞද්ගලික සහ සමාගම් බදු ගෙවීම් පිළිබඳ වසර අටක සටහන් ලබා ගැනීමට මාස කීපයක් තිස්සේ වෑන්ස් උත්සාහ කරමින් සිටී.

    ට්‍රම්ප් ගේ ලේඛන පිරික්සීමට නීතිපති කාර්යාලයට අවසරය ලබා දෙමින් පසුගිය ජූලි මාසයේ දී ශ්‍ර්ෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන්නේය.

    නමුත් ට්‍රම්ප්ගේ නීතිඥයෝ මෙම නියෝගයට අභියෝග කළහ. ඔවුන් යෝජනා කළේ මෙම නියෝගය සද්භාවයකින් තොරව නිකුත් කර ඇති බවය.

    පසුගිය සඳුදා උසාවිය එම තර්කය ප්‍රතික්ෂේප කළේය.

    Getty Images

    එහි තේරුම, ට්‍රම්ප් ගේ මූල්‍ය වාර්තා සහ ලේඛනවලට එබී බලන්නට වෑන්ස් ට හැකියාව ලැබීමයි.

    එම නියෝගය ගැන අදහස් දක්වමින් අලොන්සෝ කියා සිටියේ එහි “සුවිශේෂිතාව ඉතා ඉහළයි” යනුවෙනි.

    “මම ඉන් අදහස් කරන්නේ එය ඉතා සැලකිය යුතු ප්‍රමාණයක්. ලේඛන විශාල ප්‍රමාණයක්. මේ ලේඛන මිලියන ගණනක් විය හැකියි.”

    ඉතා සංක්ෂිප්ත නිවේදනයකින් වෑන්ස් කියා සිටියේ “වැඩ දිගටම” කෙරෙන බවය.

    ඊට විරෝධය පාමින් ට්‍රම්ප් මෙය හඳුන්වන්නේ “දේශපාලන දඩයමක්” ලෙසිනි.

    බදු ලේඛනවලින් නීති බලධාරීන් දැනගන්නේ මොනවාද?

    මෙම වාර්තා පරීක්ෂාවට ලක් කිරීමෙන්, ට්‍රම්ප්ගේ මූල්‍ය කටයුතු පිළිබඳව සම්පුර්ණ චිත්‍රයක් නීති බලධාරීන්ට ලැබෙනු ඇත.

    උදාහරණයක් හැටියට, නීති බලධාරීන්ට ඇතැම් පරීක්ෂණ න්‍යායන් ගවේෂණය කළ හැකි වනු ඇත. සාක්ෂිකරුවන් සමඟ සාකච්ඡා කළ හැකිය. අනතුරුව රාජ්‍ය නීති උල්ලංඝනය කර ඇත්දැයි තහවුරු කළ හැකිය.

    “පවතින චෝදනා අනුව මේ හැම දෙයක්ම ඉතා වැදගත් වෙනවා.” අලොන්සෝ පැවසීය.

    බොහෝ ධනවත් ඇමරිකානුවෝ තම බදු ගෙවීම් අඩු කර ගැනීම සඳහා නීතියේ කඩතොළු භාවිත කරති.

    නමුත් ට්‍රම්ප් සහ ඔහුගේ සමාගම භාවිත කර ඇති ගිණුම් විධික්‍රමවල ඇති නීතිමයභාවය නිශ්චය කර ගැනීම සඳහා ලේඛන තීරණාත්මක විය හැකිය.

    මෙම ලේඛන විමර්ශනය කිරීම සඳහා පරීක්ෂකයන්ට කලක් ගතවනු ඇත. ඒ අනුව බලන කල, මේ සඳහා ගතවන කාලය වෑන්ස් ගේ ධූර කාලය ඉක්මවා යා හැකිය. තේරී පත්වූ දිස්ත්‍රික් නීති බලධරයා වශයෙන් කටයුතු කරන ඔහුගේ ධුර කාලය මෙම වසර අග දී අවසන් වීමට නියමිතය.

    ඉතින්, බොහෝ දේ අපැහැදිලිව ඉතිරි වන බව ඔබ පැවසිය හැකිය.

    මෙය ට්‍රම්ප්ට කෙතරම් බරපතල විය හැකිද?

    “මෙය සුළුකොට ගැනිය යුතු දෙයක් නොවෙයි. පැහැදිලිවම මෙය තරමක් විශාල විමර්ශනයක්.” අලෝන්සෝ පැවසීය.

    නීති බලධාරීන් විසින් ට්‍රම්ප්ට එරෙහිව, ඔහුගේ සමාගමට හෝ ව්‍යාපාර හවුල්කරුවන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරනු ලැබේ දැයි මේ වනවිට පැහැදිලි නැත.

    දීර්ඝ කාලීන සිර දඬුවම්

    මෙම විමර්ශනයෙන් කිසිවක් සිදු නොවීමට ද ඉඩ තිබේ.

    කෙසේ නමුත්, කසියම් ආකාරයක වරදක් සිදු කර ඇති බව සොයා ගතහොත් අපරාධ නඩුවක් ගොනුවීමේ හැකියාව පවතී.

    නිව්යෝක් නුවර ඇතැම් බදු වංචා සාහසික අපරාධ වශයෙන් සැලකෙන අතර දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබිය හැකි වරදකි.

    එවැනි තත්ත්වයක දී, චෝදනා ගොනු කළහොත් අපරාධ නඩු විභාගයක් සඳහා පෙනී සිටින ලෙස ට්‍රම්ප්ට සිතාසි නිකුත් කෙරෙනු ඇත.

    අවසාන තීරණය කුමක් වුවත්, නැවතත් දේශපාලන ආගමනයක් සඳහා ට්‍රම්ප්ට පවතින ඉඩ ප්‍රස්ථාවට දැඩි ලෙස පීඩා පමුණුවනු ඇත.

    මේ මොහොත වන විට ට්‍රම්ප් ගේ බදු ලේඛනවලින් සිදුවන්නේ හුදෙක් වෑන්ස් ගේ කණ්ඩායමට සිය විමර්ශනය පුළුල් කිරීම සඳහා අවස්ථාවක් ලැබීම හැරෙන්නට වෙනත් දෙයක් නොවේ.

    Text by bbc

  • පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ‘අගරදගුරු හිමිපාණන්ට’

    පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ‘අගරදගුරු හිමිපාණන්ට’

    ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.

  • කෘෂිකර්ම සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන්

    කෘෂිකර්ම සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන්

    කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු පත් කෙරෙති.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම්  පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගත්හ.

  • සෞඛ්‍ය සේවයේ අනාගතය තීන්දුයි

    සෞඛ්‍ය සේවයේ අනාගතය තීන්දුයි

    සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පස්වරුවේ දැනුම් දුන්නේය.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා මෙලෙස එකඟත්වය පළ කළේය.

    සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා එම ගැටලු විසඳා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා මෙම හමුවේ දී සාකච්ඡාවට ගැණිනි.

    රජයේ වෛද්‍ය පීඨයකින් මේ වනවිට බිහිවන වෛද්‍යවරුන්ගේ වයස් සීමාව බොහෝවිට අවුරුදු 28 හෝ 30කට ආසන්න වන බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දුන්නේය.

    මේ පිළිබඳව වූ යෝජනා සළකා බැලූ අග්‍රාමාත්‍යතුමා රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන වෛද්‍යවරයෙකුගේ වයස් සීමාව අවුරුදු 22 හෝ 23 දක්වා අඩුකර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකාබද්ධව වැඩපිළිවෙලක් සකස් කරන්නැයි දැනුම් දුන්නේය.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් පළ කරමින් සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පවත්වන නව යෝජනාවක් අමාත්‍යමණ්ඩල අනුමැතියට ලබන සතියේ යොමුකරන බව කියා සිටියේය. ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර ගතවූ මාස 9යක කාලයක් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බව හෙතම පැවසීය.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය විමසා බැලූ අග්‍රාමාත්‍යතුමා, වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.

    විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියලුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62/63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු විය. ඒ අනුව ඉදිරියේ දී අවශ්‍ය සංශෝධන සඳහා සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

    පාසල් දරුවන්ගේ හා වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවන් සෞඛ්‍ය ආරක්ෂිත කිරීම, පාසල් දරුවන් අතරට වේගයෙන් පැතිරයන බෝ නොවන රෝග වසංගතය මැඩලීම හා ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට දුන් යෝජනා පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යතුමා දැනුම්වත් විය.

  • ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළම රට ශ්‍රී ලංකාව බවට පත් වෙයි !

    ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළම රට ශ්‍රී ලංකාව බවට පත් වෙයි !

    ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාධාවක් ලෙස අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට වසරකට පෙර “ශ්‍රී ලංකාව ඩිජිටල් ලෝකය ජයගන්න පවතින ඩේටා මාෆියාව විශාල බාදාවක්” යන සිරස්තලය යටතේ 2020 වසරේ පෙබරවාරි 21ක් වනදා නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් හෙළිදරව් කිරීමට හැකිවිය.

    අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සපයන අන්තර්ජාල පහසුකම් වලට ගුණාත්මක සේවාවක් ලබාදීම, පාරිභෝගික අදහස් වලට සවන්දීම පසෙකලා තම අන්තර්ජාල සමාගම් වලට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් හැසිරවීමක් සිදුකරන අතර මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිසි අවධානයක් යොමු නොකරන බවක් දැකගත හැකිය.

    විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් සැපයීම ආයතන කිහිපයක ඒකාධිකාරයක් බවට පත් කරගැනීමට මෙම ආයතන කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිවම අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැකගන්නට ලැබේ.

    තවද ශ්‍රී ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්මයක් වන Net neutrality සංකල්පයෙන් බැහැර වී තම සේවා සැපයීම පරිශීලකයන්, අන්තර්ගතයන්, වෙබ් අඩවි, වේදිකාවන්, යෙදුම්, උපකරණ වර්ග, ප්‍රභව ලිපින, ගමනාන්ත ලිපින හෝ සන්නිවේදන ක්‍රම මත පදනම්ව වෙනස් ලෙස සිදුකරමින් ඇති බව ඉතා කනගාටුවෙන් පෙන්වාදිය හැකිය.

    මෙසේ අන්තර්ජාල සේවා සපයන සමාගම් සිදුකරගෙන යනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් රටවල් 85ක් ඇසුරෙන් කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකින් ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානය ලබාගෙන ඇති අතර මෙම තත්වය ශ්‍රී ලංකාවෙහි ඉදිරි ඩිජිටල් ආර්ථිකයේ ප්‍රගමනයට විශාල බාදාවක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් හදුනාගනිමු. 

    ඔබට මෙම වෙබ් ලිපිනය මගින් අදාළ සම්පූර්ණ වාර්තාව කියවිය හැකිය. https://www.statista.com/chart/24261/internet-quality-ranking/

  • අසූව දශකයේ උගුල, ජිනීවා සහ වම

    අසූව දශකයේ උගුල, ජිනීවා සහ වම

    තමන් ජාතිකමය සංධර්භයක් තුළ දේවල් තේරුම් ගන්නා ආකාරය ජාත්‍යන්තර ප්‍රජාව විසින්ද ඒ ආකාරයෙන්ම ඒත්තු ගනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේදී කෙසේවත් අපේක්ෂා කළ හැක්කක් නොවේ. නිදහසින් පසු මෙරට බලයට පත් බොහෝ නායකයින් අඩු තරමින් විදේශ සබඳතා හැසිරවීම සඳහා පුද්ගලයින් තෝරා ගත්තේ මේ කාරණය ගැන කිසියම් අවබෝධයක් සහිතවය.

    “රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතැයි” ජනප්‍රිය සිංහල කියමනක් තිබේ. නමුත්, අපගේ නිදහසින් පසු දේශපාලන ඉතිහාසය පුරාම අප නොයෙක් වර එකම වලේ කිහිපවරක්ම ඇද වැටී නොමැතිද? යමෙකු අතීතයේ හසු වූ උගුලක් වෙත උඩඟු ලෙස යළිත් පිය මැන යාමේ දර්ශනයක් මදක් සිහියට නගන්න.

    දැන් ලාංකීය ජාතික තලයේ දේශපාලනයේ නව හැඩ ගැසීම් වටහා ගැනීමට වඩා උචිත වන්නේ එවන් අසාර දර්ශනයක් බව මගේ අදහසයි. අප මෙවර වැටෙන්නට යන උගුල වනාහී අසූව දශකයේදී මහා සමාජ ව්‍යසනයකට හේතු වූ දේශපාලන උගුලටද වඩා අතිශයින් භයානක සහ තීව්‍ර වූවකි. ඒ උගුලට මෙරට ප්‍රධාන ධාරාවේ සිංහල දේශපාලන සමාජය දැන් ගමන් කරමින් සිටින්නේ ඇදහිය නොහැකි තරමේ ආත්ම විශ්වාසයකින්ද යුක්තවය. පසුගිය සති කිහිපයේ සිදු වූ වැදගත් සංසිද්ධීන් කිහිපයක්ම මේ සඳහා සාක්ෂි සපයයි.

    අසූව දශකයේ උගුල, ජිනීවා සහ වම 

    පැහැදිලිවම වඩා ආසන්න සිද්ධිය වන්නේ මෙරට විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලය ඉදිරියේ පවත්වන ලද දේශනයයි. සිය වැදගත්ම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාන්විතය ඉටු කිරීමට පිටත්ව යාමට පෙර සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප්‍රමුඛ පෙළේ දෘෂ්ටිවාදී නියමුවන් කිහිප දෙනෙකුගේ ආශීර්වාදය ලබා ගත් විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන් ඉදිරියේ පෙනී සිටියේ දකුණු ලංකාවේ ජන්දදායකයින් ආමන්ත්‍රණය කිරීමට උචිත ආකාරයේ පණිවිඩයක් අතැතිවය. ඒ කොතෙක්ද යත්, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කළ හමුදාව හැඳින්වීමේදී “වීරෝධාර” යන විශේෂණය එක් කිරීමට ඔහු අමතක නොකළේය. 

    නමුත්, තමන් ජාතිකමය සංධර්භයක් තුළ දේවල් තේරුම් ගන්නා ආකාරය ජාත්‍යන්තර ප්‍රජාව විසින්ද ඒ ආකාරයෙන්ම ඒත්තු ගනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේදී කෙසේවත් අපේක්ෂා කළ හැක්කක් නොවේ. නිදහසින් පසු මෙරට බලයට පත් බොහෝ නායකයින් අඩු තරමින් විදේශ සබඳතා හැසිරවීම සඳහා පුද්ගලයින් තෝරා ගත්තේ මේ කාරණය ගැන කිසියම් අවබෝධයක් සහිතවය.

    සිංහල ජාතිකවාදියෙකු වූ ජේ.ආර් ජයවර්ධන පවා විදේශ අමාත්‍ය ධූරය සඳහා තෝරා ගත්තේ සුළුතර ජන වර්ගයක් නියෝජනය කළ ඒ.සී.එස් හමීඩ්වය. ජේ.ආර් කලාපීය සබඳතා (විශේෂයෙන්ම ඉන්දියාව සමග) කළමනාකරණය කිරීමේදී අසමත්භාවයක් ප්‍රකට කළ බැව් සැබෑය. නමුත්, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයක් ගොඩ නැගීමට පවා උත්සාහ කළ ඔහුට අඩු තරමින් මැද පෙරදිග රටවල් සමග යහපත් ආර්ථික සබඳතා පවත්වා ගැනීමට ඔහුගේ මුස්ලිම් ජාතික විදේශ ඇමතිවරයාගේ දායකත්වය ප්‍රයෝජනවත් විය.

    මහින්ද රාජපක්ෂගේ පාලනයේ පළමු දෙවසර තුළ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ බටහිර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමේ භාෂාව දැන සිටි මංගල සමරවීරය. නමුත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට මුහුණ දීමට සිදු වී තිබෙන අසීරුතම රාජ්‍ය තාන්ත්‍රික අභියෝගය ජය ගැනීම සඳහා සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප්‍රමුඛ නියෝජිතයෙකු තෝරා ගැනීමෙන් කිසියම් වැදගත් දේශපාලන සංඥාවක් ලබා දී තිබේ. එම සංඥාව ඔහුගේ සිංහල ජන්දදායකයින් තේරුම් ගන්නා ආකාරයත් බාහිර ලෝකය තේරුම් ගන්නා ආකාරයත් කොතරම් එකිනෙකට පරස්පරදැයි ඉදිරියේදී වඩාත් හොඳින් පැහැදිලි වනු ඇත. 

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ජිනීවා ප්‍රයානය පිළිබඳව ඉදිරිපත් වන බෙදුණු-ප්‍රතිචාරවල ස්වරූපයෙන්ම පෙනී යන්නේ ගැටුම්කාරී බලවේග රාජ්‍ය තාන්ත්‍රිකව කළමනාකරණය කිරීමෙහිලා වත්මන් ආණ්ඩුව දක්වා ඇති අසමත්භාවයයි. (මෙය අපට සිහි ගන්වන්නේ 1955 දී පැවති ප්‍රාග්-නොබැඳි සම්මේලනය නොහොත් සුප්‍රසිද්ධ බැන්ඩුන් සම්මේලනයේදී සෝවියට් දේශය විවේචනය කරමින් කතා කළ ජෝන් කොතලාවල මහතා “බැන්ඩුන් වීරයා” ලෙස ආණ්ඩු-හිතවාදී පුවත්පත්වලින් ප්‍රශංසා ලබන විට “බැන්ඩුන් බූරුවා” ලෙස වාමාංශයේ “ඇත්ත” පුවත්පතින් ගැරහුම් ලැබීමේ සිද්ධියයි.)                       

    ඉන්දීය සාධකය

    ජිනීවා මානව අයිතීන් සැසිය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවල නව හැඩ ගැසීම් සම්බන්ධයෙන් මතභේදාත්මක වූ පරිසරයක් තුළය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ සිද්ධිදාමය ඉන්දීය රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ බුද්ධි මණ්ඩලයන් විසින් තේරුම් ගනු ලබන්නේ රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාව වඩ වඩාත් චීනය වෙත හැරීමේ ප්‍රවණතාවට සමාන්තරව ගනිමින්ය.

    ඉන්දීය, එක්සත් ජනපද සහ යුරෝපීය බලවතුන් සම්බන්ධයෙන් දෘඪ විරෝධයක් දක්වන සිංහල-බෞද්ධ ජාතිකවාදීන් චීනය මත ආර්ථිකව පරායත්ත වීම කෙරෙහි දක්වන්නා වූ මෘදු ප්‍රතිචාරය තවදුරටත් රහසක් නොවේ.

    ගෝලීය දේශපාලනයේ විශාල චිත්‍රය තුළ චීනය සහ එක්සත් ජනපදය අතර පවත්නා පරස්පර අභිලාෂයන් අතර ගැටුම දැන් කේන්ද්‍රයට පැමිණ අවසන්ය. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දැන් බරක් ඔබාමාගේ “ආසියාව වෙත හැරීමේ” විදේශ ප්‍රතිපත්ති රාමුව යළි ක්‍රියාවට නැගීමට උත්සුක වෙමින් සිටී.

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හිතවාදී සහයෝගීතා හවුලක් ගොඩ නැගීමට අසමත් විණැයි බයිඩන්ගේ උපදේශකයෝ චෝදනා කරති. නිසැකවම දැන් ඔවුන් ප්‍රයත්න දරන්නේ එම අරමුණ සඵල කර ගැනීම පිණිසය. “නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක්” පිළිබඳ එක්සත් ජනපද සටන් පාඨය ඔවුනගේ භූ-දේශපාලනික අභිලාෂයන් සමග බැඳී ඇති බව නොරහසකි. මේ නව පෙළ ගැසීම් ශ්‍රී ලංකාව කෙරෙහි වඩා බරපතලව බලපානු ඇති බව වටහා ගැනීමට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පෘථුල දැනුමක් අවශ්‍ය වන්නේ නැත. 

    මීට අදාළ ප්‍රධාන සාධක දෙකක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට මම කැමැත්තෙමි.

    පළමුව, අප රට පිහිටා තිබෙන්නේ ගෝලීය හෙජමොනික අරගලයේ නව සංග්‍රාම භූමිය බවට පත්ව තිබෙන ඉන්දු-පැසිෆික් කලාපයේ මධ්‍යයෙහිම ය. අප දැන් සිටින්නේ එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර 1991 දක්වා පැවති ශීත යුද්ධයේදී මෙන් “ෂේප් එකේ සිටිය හැකි” ස්ථානයක නොවේ; එකල හංගේරියාව, පෝලන්තය, රුමේනියාව, කොරියාව වැනි රටවල් ස්ථානගතව තිබූ ආකාරයේ ස්ථානයකය. (මෙහි අදහස කිසිසේත්ම පළමු ශීත යුද්ධය සමයේ වූ සිදුවීම් පුනරාවර්තනය වීමට නියමිතය යන්න නොවේ. අප සිටින්නේ නව ඓතිහාසික තත්ත්වයක් තුළය).

    දෙවන සාධකය වන්නේ නියතවම ඉන්දියාවය. තමන්ට ආසන්නයේ සිටින දූපත් රාජ්‍යය තම භූ-දේශපාලනික වුවමනාකම්වලට තර්ජනයක් වන ආකාරයෙන් හැසිරෙන්නේදැයි සොයා බැලීම දකුණු ආසියාතික කලාපීය බලවතාට කිසිදාක මග හැරී ගොස් නොමැත. හම්බන්තොට වරාය (පාකිස්තානයේ ග්වදාර් වරාය මෙන්ම) චීනයේ තීරු සහ මාර්ග ව්‍යාපෘතියේ වැදගත් තොටුපලක් බව ඔවුන්ට කෙසේවත් නොතකා සිටිය නොහැකිය. උතුරේ දූපත් තුනක බල ශක්ති ගවේෂණ කටයුතු චීන සමාගම්වලට පැවරීමක් ගැන දැන් ඉන්දීය මාධ්‍ය කතා කරන්නට පටන්ගෙන තිබේ. ඒ මදිවාට ජිනීවා ජරමරය අස්සේම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. මේ සියල්ල එක්ව ගත් කල වත්මන් පාලනය යටතේ ක්‍රමයෙන් මෝරමින් තිබෙන ඉන්දු-ශ්‍රී ලංකා විරසකභාවය පිළිබඳ කාරණය වටහා ගැනීම කිසිසේත් අසීරු වන්නේ නැත.         

    අසූවේ උගුල 

    ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග විරසකභාවයක් ඇති වන ඕනෑම විටෙකදී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වීමට ඉඩ සලසන අභ්‍යන්තර සාධකයක් මේ දිවයින තුළ පවතී. ඒ තමන් දැනටමත් යුදමය ලෙස විසඳා ඇතැයි මෙරට වත්මන් පාලකයින් කල්පනා කරන ජනවාර්ගික ගැටුමයි. මෙරට දේශපාලනිකව සංවිධානය වූ සිංහල ප්‍රජාවේ බහුතරයක් ඉන්දීය මැදිහත්වීම් ගැනත් එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලයේ යෝජනා ගැනත් දක්වන්නේ පසමිතුරු නැතහොත් විවේචනාත්මක ස්ථාවරයකි.

    නමුත්, දේශපාලනිකව සංවිධානය වූ දෙමළ (සහ වත්මනෙහි කිසියම් දුරකට මුස්ලිම්) ප්‍රජාවන් ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මිත්‍රශීලී ස්ථාවරයකි. පැහැදිලි පසමිතුරුතා අක්ෂයක් මේ ප්‍රතිචාර දෙක අතර ඇඳේ. අඩු තරමින් අසූව දශකයේ සිට අපට නිරීක්ෂණය කළ හැකි තත්ත්වය එයයි.

    අසූව දශකයේදී, විශේෂයෙන්ම 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, ලාංකීය ප්‍රධාන ධාරාවේ දේශපාලන පසමිතුරුතා අක්ෂය නිමැවුණේ ඉන්දීය විරෝධී ඊනියා දේශප්‍රේමී කඳවුරත් ජනවාර්ගික ගැටුමට බලය බෙදීමේ දේශපාලන විසඳුමකට පක්ෂ කඳවුරත් අතරය.

    සිංහල සමාජය තුළ දෘෂ්ටිවාදී ආධිපත්‍ය තහවුරු කර ගත් පළමු කඳවුර විසින් දෙවන කඳවුරේ අයවලුන්ව නම් කරන ලද්දේ දේශද්‍රෝහීන් ලෙසයි. ජවිපෙ ඇතුළු සිංහල වාමාංශයේ බලගතු කොටසක් දේශප්‍රේමී සටන් පාඨ අතැතිව සිංහල ජාතිකවාදීන් සමග සන්ධානගත වූහ. ඔවුන් තම අරගලය දෘෂ්ටිවාදීව හුවා දැක්වීමට ප්‍රිය කළේ අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්ති අරගලයක් ලෙසයි.

    “ජාතික විමුක්ති අරගලය තුළින් සමාජවාදයට” යන විජේවීරගේ සූත්‍රය සමග එය කදිමට ගැලපුණු බැව් පෙනී ගියේය. වියට් කොං ගරිල්ලන්ගේ ජනප්‍රිය සටන් පාඨ තාප්ප මත සිංහලෙන් ලියවිණ. නමුත්, ඒ සමගම දෙමළ ජාතිකවාදී ව්‍යාපාරය අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණයක් බවද බලය බෙදීමේ විසඳුමක් යනු රට බෙදීමක් බවද කියා පෑ සිංහල වාමාංශය සිංහල-බෞද්ධ ජාතිකවාදයේ කතිකාමය සැකැස්ම තුළ තමාව ස්ථානගත කර ගත්තේය. 

    අනෙක් අතින්, බලය බෙදීමේ දේශපාලන විසඳුමක් සමග ප්‍රතිපත්තිමය ලෙස එකඟ වූ වාමාංශික කණ්ඩායම්වලට නියමින් හෝ අනියමින් ජේ.ආර්ගේ පාලනාධිකාරය සමග එක්ව ගමන් කරන්නට සිදු විය. ජවිපෙ දේශප්‍රේමී අරගලයේ පරාජයෙන් පසුවද සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සිංහල ජාතිකවාදීන් විසින් හඳුනාගනු ලබන්නේ බටහිර හිතවාදීන් ලෙසයි. 

    දැන් අප හමුවේ ඇති උභතෝකෝටිකය වන්නේ ඉහත කී තෝරා ගැනීම් දෙකට වෙනස් මාවතක් නිර්මාණය කර ගැනීමට වත්මන් ලාංකීය වාමාංශයේ කවර හෝ ධාරාවක් සමත් වනු ඇත්ද යන්නයි. නොඑසේනම්, අපට නියමින් හෝ අනියමින් තෝරා ගන්නට සිදු වන්නේ විමල් වීරවංශගේ මග හෝ මංගල සමරවීරගේ මග යන දෙකින් එකක් පමණක්ද? සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ දේශපාලන අභිලාෂයන්ද ඇතුළත් කරගන්නා අතර ශ්‍රී ලංකාව ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ සංග්‍රාම භූමියක් වීමටද එරෙහි වන වාම ජනතාවාදී දේශපාලනයක් ගැන අපට කිසියම් අපේක්ෂාවක් රඳවාගත නොහැකිද?                                 

    සුමිත් චාමින්ද

  • ඍණාත්මක සිතුවිලි සමග පෙරට එන ‘විෂාදය ගැන’ නිවැරදිව දැන ගනිමු !

    ඍණාත්මක සිතුවිලි සමග පෙරට එන ‘විෂාදය ගැන’ නිවැරදිව දැන ගනිමු !

    විෂාදය හෙවත් ‘ඩිප්රෙෂන්’ (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි.

    එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි.

    විෂාදයෙන් පෙළෙන්නෙකු බොහෝ අවස්ථාවල ‘ඇන්සයටි’ (Anxiety) නැතහොත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීමේ හෝ සාංකාවෙන් පෙළීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

    ඇතැම් අවස්ථාවල දී සිතට වේදනාවක් දැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන හැඟීමක් වුවත් විෂාදය යනු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු රෝගී තත්වයකි.

    පසුගිය දා සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි සුප්‍රසිද්ධ බටහිර ගායිකාවෝ තමන් විෂාදයෙන් පෙළුණු බවත් එයින් මිදීම පිණිස ප්‍රබල අරගලයක යෙදුණු බවත් ප්‍රසිද්ධියේ හෙළි කළහ.

    “මට සිද්ධ උනා ඒකෙන් මිදෙන්න. මට අවශ්‍ය හැම දේම මට තිබුණත් මම ඇතුළතින් සම්පූර්ණයෙන්ම කඩාවැටිලයි හිටියේ. මම කිසි දෙයක් නොවුණු විදිහට හැම දේම කරන්න උත්සාහ කළත් ඒක දීර්ඝ කාලයක් තිස්සේ සඟවන්න උත්සාහ කරනකොට තේරුණා මම මටම හානියක් කරගන්නේ කියලා,” ඇමරිකානු සංගීත සම්මාන උළෙළේ දී ජනප්‍රිය ගායිකා සෙලීනා ගෝමස් සිය අත්දැකීම් මාධ්‍ය හමුවේ විස්තර කළාය.

    විෂාදයෙන් මිදෙන්නේ කොහොමද?

    වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි

    ‘ඇන්සයටි’ නැතහොත් කාංසාව හෙවත් වියහැකි අනතුරක්, අපහසුවක් ගැන දිගින් දිගටම කනස්සල්ලට හා බියට පත්වීම සහ විෂාදය යන මානසික රෝගී තත්ත්ව පිළිබඳව බීබීසී ‘නිව්ස් රවුන්ඩ්’ වැඩසටහන මානසික වෛද්‍ය විශේෂඥවරියකගෙන් කරුණු විමසීය.

    “විෂාදය ‘ඇන්සයටි’ කියන තත්වයෙන් වෙනස්. විෂාදයෙන් පෙළෙන්නෙක් සෑම විටම දැඩි වේදනාවකින් දුකකින් පසු වෙනවා,” මානසික වෛද්‍ය විශේෂඥ ස්ටීවන් බක්ලි විෂාදය ගැන පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියාය.

    “අපි හැමෝම ජීවිතයේ ඇතැම් අවස්ථාවල දුක් වෙනවා ඒක සාමාන්‍යයයි. නමුත් විෂාදය නිසා යමෙක් මුළු දවසක් පුරා සති කීපයක්, මාසයක් වැනි දීර්ඝ කාලයක් දුකෙන් පසු වෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ එදිදෙනා ජීවිතයට දැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. තනිකම කාන්සිය ඇතිවෙන්නේ ඒ එක්කමයි.”

    විෂාදය හටගන්නේ ඇයි?

    ඒ ප්‍රශ්නයට නිසැක පිළිතුරක් සොයාගැනීමට තවමත් විද්‍යාඥයන් සමත් වී නැත.

    යමකුට විෂාදය වැළඳීමට හේතුවන කරුණු නිසැක වශයෙන්ම හඳුනා ගැනීම අපහසුය.

    යම් පුද්ගලයෙකු අධික ලෙස දුකට පත්වන අවස්ථාවක ඔහු හෝ ඇය මුහුණ දුන් ඒ හැඟීම් පහව නොයා දීර්ඝ කාලීනව පැවතීම විෂාදයට හේතු විය හැකිය.

    විෂාදය වැළඳීමට එවැනි එක් සිද්ධියක් හෝ හේතු කිහිපයක් වුවත් බලපැවැත්වෙන අවස්ථා තිබෙන බව විශේෂඥ වෛද්‍ය ස්ටීවන් බක්ලි පැහැදිළි කළාය.

    විෂාදයෙන් මිදෙන්නේ කොහොමද?

    “විවිධ හේතු මත පුද්ගලයෙකුට විෂාදයට වැළඳීමේ අවස්ථාව තියනවා. උදාහරණයක් ලෙස එදිනෙදා ඔහු හෝ ඇය මුහුණ දෙන ගෙදරදොර ප්‍රශ්න එහෙමත් නැත්නම් පාසලේ දී මුහුණ දෙන ප්‍රශ්න. හිරිහැරවලට ලක්වීම වැනි හේතු නිසා තමන් ගැනම නිශේධනීය ආකල්ප ඇතිවෙන්න පුළුවන්.”

    එදිනෙදා ජීවිතයට විෂාදය බලපාන්නේ කොහොමද?

    විෂාදය එක් එක් පුද්ගලයන්ට බලපාන්නේ විවිධ මට්ටම්වලිනි.

    කිසිවකු කොතෙක් දුරට විෂාදය හේතුවෙන් පීඩා විඳිනවාද යන්න හරිහැටි විනිශ්චය කළ හැක්කේ ඔවුන්ට දැනෙන හැඟීම්වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙනි.

    කිසිවෙකු දිගු කලක් ශෝකයෙන් කල් ගෙවීමටත්, තවත් රෝගියෙකුට තමන් ගැනම ඉතා දැඩි නිශේධනීය ආකල්ප ඇතිවීමටත් තමන් වටිනාකමක් නොමැති පුද්ගලයෙක්ය යන හැඟීමෙන් පීඩා විඳීමටත් විෂාදය හේතු විය හැකිය.

    නිතර දැඩි මහන්සියක් දැනීම, නින්ද යාමේ අපහසුතා ඇති වීම සහ ඇතැම් විට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගැනීම වැනි රෝග ලක්ෂණ විෂාදයෙන් පෙළෙන්නකුගේ රෝග ලක්ෂණ විය හැකිය.

    එමෙන්ම ආහාර ගැනීමේ රටාව අක්‍රමවත් වීම හේතුවෙන් ඇතැම් විට ආහාර රුචිය අඩුවීම, අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීම සහ සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු ඇතිකර ගැනීමත් එහි රෝග ලක්ෂණ වියහැකිය.

    අවධානය යොමු කිරීමේ අපහසුතා

    යමක් කෙරෙහි අවධානය යොමු කිරීමේ අපහසුතා මෙන්ම දිගින් දිගටම නො සන්සුන් ස්වභාවයක් ඇතිවීමත් විෂාදයේ රෝග ලක්ෂණ වියහැකි බව වෛද්‍යවරු පෙන්වාදෙති.

    විෂාදයෙන් මිදෙන්නේ කොහොමද?

    දීර්ඝ කාලීනව විෂාදයෙන් පීඩා විඳින්නෙකුට සතුටින් කල්ගෙවීමේ අවස්ථාව අහිමිවීම මෙන්ම රෝගාතුර වීමට පෙර තමන් ආශා කළ විනෝදාංශ පවා අප්‍රිය වීමේ ස්වභාවයක් සහ ශරීර ශක්තිය හීන වී ඇතැයි හැඟීමක්ද පහළවිය හැකිය.

    ආත්ම විශ්වාසය හීන වීම, යම් කටයුත්තක නිරත වීමට උනන්දුවක් නොමැති වීම එහි තවත් රෝග ලක්ෂණ වේ.

    නිසි ප්‍රතිකාර

    විෂාදයෙන් මිදෙන්නේ කොහොමද?
    සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි සුප්‍රසිද්ධ ගායිකාවන් තමන් විෂාදයෙන් පෙළුණු බවත් ඒ හේතුවෙන් විශාල ජීවිත අරගලයක යෙදුණු බවත් ප්‍රසිද්ධ මාධ්‍යයට හෙළි කළහ.

    “කවුරු හරි ‘ඇන්සයටි’ තත්වයෙන් හෝ විෂාදයෙන් පෙළෙනවා නම් තමන්ගේ හැසිරීමේ යම් වෙනසක් තියෙනවා, දුකක් දැනෙනවා කියලා දැනගත්ත ගමන්ම තමන්ට විශ්වාස කෙනෙක් එක්ක ඒ ගැන කතා කිරීම වැදගත්,” මානසික වෛද්‍ය විශේෂඥ ස්ටීවන් බක්ලි විස්තර කළාය.

    “එදිනෙදා කරන වැඩකටයුතු වලින් විවේකයක් අරගෙන අවශ්‍ය උපදෙස් උපකාර ලබාගන්න. ඔබ විෂාදයේ රෝග ලක්ෂණ හඳුනා ගත්තොත් පැකිළෙන්න එපා. ඉක්මනින්ම ඉන් ගැලවෙන්න අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න.”

    විෂාදය යනු සාමාන්‍ය රෝගී තත්වයක්වන අතර, නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් එම රෝගය සුව කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.

    “ඕනෑම සුළු ප්‍රශ්නයක් වුවත් ඔබට හිතවත් කෙනකු සමග බෙදා ගැනීමට පැකිළෙන්න එපා. විෂාදයෙන් ගැලවීමේ ප්‍රථම පියවර එය විය හැකියි.”

  • කුරුලෑ ගැන භීතියෙන් ද ? එසේ නම් මේ ලිපිය ඔබටමයි

    කුරුලෑ ගැන භීතියෙන් ද ? එසේ නම් මේ ලිපිය ඔබටමයි

    වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට ‘කුරුලෑ’ කියන්නේ බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් නොවෙයි. තරුණ වයසේදී කුරුලෑ ඇතිවීම ස්වභාවික තත්ත්වයක් වශයෙනුයි සැලකෙන්නේ.

    කවියෝ ගැහැනුන්ගේ මුහුණ උපමා කරන්නේ ‘පුර හඳට’ ‘සිසිවන වුවන’ කියලා පුරාණ කවියා කියන කොට වත්මන් කවියා ‘පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ ’ කියලා රචනා කළේ ඒකයි.

    පුර හඳ සෞම්‍යයි. සුන්දරයි. බලන්න, බලාගෙන ඉන්න ප‍්‍රියයි. ඒ නිසා වෙන්න ඇති ගැහැනු මුහුණත් හඳට උපමා කළේ.

    කොහොම වුණත් හඳේ ලප තියෙනවා කියලා කවුරුත් දන්නවා. ඒ හඳේ තිබෙන කඳු, ආවාට නිසා. අපිට හඳේ ඉන්න හාවා වගේ පේන්නේ ඒ කඳු.

    මේ කතාව කොහොමද ඔබට අදාළ වෙන්නේ. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි තරුණ ඔබේ මුහුණත් හඳ වාගේ ලස්සනට තියා ගන්න ඔබ අපමණ වෙහෙසක් ගන්න බව මම දන්න නිසයි.

    ඒත් හඳ වගේ තියෙන ඔබේ ලස්සන මුහුණ ක‍්‍රමයෙන් අවලස්සන වෙන්න පටන් ගන්නවා. හරියට හඳේ ලප වාගේ මුහුණෙත් ආවාට, කඳු හැදෙනවා. ඒක වෙන්නේ ඔබටත් හිතාගන්න බැරි තරම් ඉක්මනින්. මෙහෙම වෙන්නේ තරුණ ඔබට අමිහිරි අත්දැකීමක් එක් කරන ‘කුරුලෑ’ නිසානේ.
    ‘රුව ගුණ වරුණ’ තුළින් මා කියන්න යන්නේ මේ කරදරකාරී කුරුලෑ වලට වැට බැඳලා මුහුණ පුර හඳ වාගේ හැමදාම තියා ගන්න පුළුවන් ක‍්‍රම ගැන.

    කුරුළෑ බිය විය යුතු දෙයක් ද ?

    කුරුලෑ කියන්නේ ඔබ යොවුන් වියට පිවිසුණ බව පෙන්නුම් කරන පණිවුඩකරුවෙක් කියලා කිවුවොත් හරි. පිරිමි දරුවෙක්ගේ දැලි රැුවුල වැවෙන කොට, උඟුරු ඇටේ පනින කොට, කටහඬ රළු වෙන කොට ඔන්න එක පාරට කුරුලෑ එන්න පටන් ගන්නවා.

    ගැහැනු ළමයෙකු සම්බන්ධයෙනුත් ඒක ඒ ආකාරයෙන්ම සිදුවෙනවා. වැඩිවියට පත් වූ පසු ක‍්‍රමයෙන් ඇඟපත වැඩෙන කොට, මුහුණ පිරෙන කොට ඔන්න එක පාරටම උදේ පාන්දර මුණේ කුරුලෑවක් ඇවිත්.
    ඒක මුල් කාලේ ටිකක් සුන්දර අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ කුරුලෑව මිරික මිරික ඉන්න එක, ඒක මිරිකලා ඒකේ තියෙන පීය අතට ගන්න එක ඔබට අලූත් අත්දැකීමක් වෙන්න ඇති.

    වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට ‘කුරුලෑ’ කියන්නේ බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් නොවෙයි. තරුණ වයසේදී කුරුලෑ ඇතිවීම ස්වභාවික තත්ත්වයක් වශයෙනුයි සැලකෙන්නේ.

    කුරුලෑ ඇති වූ විට ඒවා පාලනය කිරීම නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් ඉතා හොඳින් කළ හැකියි. එහෙම නැතිව කුරුලෑ උරුලෑවෙකුගේ තත්ත්වයට ආවොත් වෛද්‍ය ප‍්‍රතිකාර මගින් ඒවා පාලනය කළ හැකියි.

    කුරුලෑ හැදෙන හැටි

    මිනිස් සිරුරේ හැම දෙයක්ම හැදෙන්න යම් කිසි නිශ්චිත හේතුවක් හෝ හේතු කිහිපයක් බලපානවා. ඒ නිසා කුරුලෑ ඇතිවීමටත් බලපාන හේතු තිබෙනවා.

    මිනිසාගේ බාහිර සම සකස් වී තිබෙන්නේ ‘අජීවී ෙසෙල වලින්. ඒ නිසා අප නොදැනුවත්ව ම මේ අජීවී ෙසෙල සහිත බාහිර සම ගැළවී යනවා. ඒ වෙනුවට නව ෙසෙල මේ ගැළවී යන ෙසෙල වල තැන ගන්නවා.
    අපේ සම තුළ ඇසට නොපෙනෙන සිදුරු තිබෙනවා. ඔබට දහඩිය දමන විට ඒවා සම මතු පිටට එන්නේ මෙන්න මේ සිදුරු වලින්. ඒවා හඳුන්වන්නේ ‘රෝම කූප’ කියලා.

    ඇතුල් සමෙහි තිබෙන ‘ස්නේහස‍්‍රාවී’ නමින් හඳුන්වන ග‍්‍රන්ථිවලින් වෑස්සෙන ‘සීබම්’ කියන දියරය නොකඩවා මේ රෝම කූප තුළට ගමන් කරනවා.

    මෙහිදී ඉතා වැදගත් කරුණක් ගැන ඔබ දැනුවත් විය යුතුයි. ඒ ‘සිබම්’ සමෙන් ඉවත් වීමට නම් රෝම කූප අවහිර නොවිය යුතුයි.

    ඒත් ඇතැම් විට, ඇතැම් පුද්ගලයින්ගේ මේ ක‍්‍රියාවට අවහිර වෙනවා. ඒ කියන්නේ සිබම් සිරුර මතුපිටට පැමිණෙන රෝම කූප අවහිර වීම සිදුවෙනවා. එවිට සිදුවන්නේ ඒවා ස්නේහාස‍්‍රාවී ග‍්‍රන්ථි තුළම ගොඩගැසීමයි.
    කුරුලෑවක ආරම්භය සිදුවන්නේ මේ අවස්ථාවේදීයි. ඉහත සඳහන් කළ ආකාරයට රෝම කූප අවහිර වීමට හේතු වෙන්නේ රෝප කූප ආස්ථරණය කරන ෙසෙල මිය ගියාට පස්සේ ඒවා ගැළවී ඉවත් වෙනවා වෙනුවට ඒ තුළම තැන්පත් වීමයි.

    විවිධ කුරුලෑ වර්ග

    ඔබ මොහොතක් කල්පනා කරලා බැලූවොත් ඔබට විවිධ කුරුලෑ ඔබේ මුහුණේ මතු වූ බව මතක් වේවි. ඒ කියන්නේ විවිධ කුරුලෑ වර්ග තිබෙනවා. මේ ආකාරයට විවිධ කුරුලෑ වර්ග හටගන්නේ රෝම කූපය අවහිර වන ආකාරය අනුව.

    1. බ්ලැක් හෙඞ්ස් : රෝම කූප විවරය සම මතුපිටින් අවහිර වූ විට ඇති වන කුරුලෑ හඳුන්වන්නේ ‘බ්ලැක් හෙඞ්ස්’ කියලා. මේ කුරුලෑ වර්ගය ‘ ඕපන් කොමිඩෝ ’ කියලත් හඳුන්වනවා. කළු පැහැති තිත් ආකාරයේ කුරුලෑ තමයි මේ බ්ලැක් හෙඞ්ස් කියලා කියන්නේ.
    2. වයිට් හෙඞ් / ක්ලෝස්ඞ් කොමිඩෝ : රෝම කූපයේ ගෙලෙහි ඇතිවන අවහිරතා නිසා හැදෙන කුරුලෑ වලට තමයි වයිට් හෙඞ් කියලා කියන්නේ.

    යොවුන් විය සහ කුරුලෑ

    කුරුලෑ එන්නේ යොවුන් වියට පත් වූ පසු බව අපි දන්නවා. ඒත් යොවුන් වියේදී කුරුලෑ හට ගන්නේ ඇයි ? මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට ඔබ කැමැති ෙවිවි.

    යොවුන් වයසෙදී ඔවුන්ගෙන් ලිංගික හෝමෝන ස‍්‍රාවය වෙන්න පටන් ගන්නවා. මේ ලිංගික හෝමෝන තමයි කුරුලෑ ඇති වීමට බලපෑම් කරන්නේ.

    කුරුලෑ ඇතිවීමට බලපාන හෝමෝනය හඳුන්වන පොදු නම තමයි ‘ඇන්ඩ‍්‍රජන’ කියලා කියන්නේ. මේ හෝමෝනය ‘අධිවෘක්ක ග‍්‍රන්ථියෙන් ’ ස‍්‍රාවය වන දෙයක්.

    ඒ වගේම පිරිමින්ගේ වෘෂණ කෝෂ ආශ‍්‍රිතව ද ගැහැනුන්ගේ ඩිම්බ කෝෂ ආශ‍්‍රිතව ද මේ හෝමෝනය ශ‍්‍රාවය වෙනවා.

    ඇන්ඩ‍්‍රජන් හෝමෝනය ඕනෑම තරුණ තරුණියකගෙන් ස‍්‍රාවය වෙනවා. මේක පොදු තත්ත්වයක්. ඒත් කුරුලෑ හැමෝටම පොදු වුණත් එහි විවිධතා තිබෙනවා. සමහරුන්ගේ මුහුණේ කුරුලෑ එන්නේ කිහිපයක් පමණයි. ඒත් ඇතැමුන්ගේ මුහුණ විකෘති වන තත්ත්වය දක්වා කුරුලෑ හට ගන්නවා. මේක වෙන්නේ රෝම කූප අවහිර වීම අනුවයි. ඇතැමුන්ගේ රෝම කුප අවහිර වීම සුළුවෙනුත්, තවත් අයෙකුගේ වැඩියෙනුත් සිදුවිය හැකියි. ඒ අනුව කුරුලෑ හට ගැනීමත් අඩුවැඩි වශයෙන් සිදුවෙනවා. ඒ වගේම තමයි කුරුලෑ හට නොගන්නා තරුණ තරුණයින් ද ඇතැම් විට අපට දැකගත හැකියි.

    කුරුලෑ වැඩිවන විවිධ හේතු

    ඉහත විස්තර කළ ආකාරයට ඇන්ඩ‍්‍රජන් හෝමෝනයට අමතරව කැරුලෑ වැඩියෙන් හට ගැනීම කෙරෙහි තවත් කරුණු කිහිපයක් බලපානවා.

    1. විවිධ ගැටලූ මුල්කර ගෙන තැවෙන, පීඩාවට පත්වෙන අයට කුරුලෑ වැඩිවීමට හැකියි.
    2. ඇතැම් සැර සබන් වර්ග, පුයර වර්ග හා ආලේපන නිසා ද කුරුලෑ වැඩිවිය හැකියි.
    3. Corticeteroids සහ Bromide අඩංගු ඖෂධ මෙන්ම මීමැසිමොරය රෝගයට දෙන බෙහෙත් වර්ග නිසා ද කුරුලෑ වැඩි වෙනවා.

    කුරුලෑ සහ මිත්‍යා මත

    කුරුලෑ ඇතිවීම සම්බන්ධයෙන් අප අතර පවතින ජනප‍්‍රිය මිත්‍යා මත කිහිපයක් ද තිබෙනවා.

    1. තෙල් සහිත ආහාර කුරුලෑ වැඩි කරන බව කියන මතය අසත්‍යයි. කුරුලෑ සහ තෙල් සහිත ආහාර අතර සම්බන්ධයක් නැහැ.
    2. චොක්ලට්, පැණිරස ආහාර සහ කුරුලෑ අතර සම්බන්ධයක් නැහැ.
    3. ඉස්හොරි නිසා කුරුලෑ මතුවන කතාව සත්‍යයෙන් තොරයි.

    නරක විනෝදාංශය

    කුරුලෑවක් හටගත් විට අපි බොහෝ දෙනෙකුට එය ස්වභාවිකව වියලෙන තෙක් සිටීමට හැකියාවක් නැහැ. අපි බොහෝ දෙනෙක් කරන්නේ ඒක මිරිකලා දාන එක. ඒත් වෛද්‍ය විද්‍යාත්මකව නම් එය නොකළ යුතු දෙයක්. මොකද කුරුලෑව මිරිකීමෙන් ස්නේහස‍්‍රාවී ග‍්‍රන්ථි හානියට පත් වෙනවා. ඒවා තුවාල වීමෙන් සම මතුපිට කැලැල් ඇතිවිය හැකියි.

    විශේෂයෙන් දෙඇසි මධ්‍යයේ සිට මුව දෙපස දක්වා ප‍්‍රදේශයේ කුරුලෑ මිරිකීම ඉතාම හානිකරයි.

    කුරුලෑවට තිත තියන්නේ කොහොමද ?

    කුරුලෑ හටගත් විට ඒවා පාලනය කිරීම මෙන්ම කුරුලෑ හට ගැනීම අවම කිරීමත් අපට ඉතා පහසුවෙන් කළ හැකියි. ඒ සඳහා ඉතාම හොඳ හා පහසු, ලාභදායි ක‍්‍රමයක් වන්නේ ‘හුමාලයට මුහුණ ඇල්ලීමයි.

    හුමාලයට මුහුණ ඇල්ලීම නිසා රෝම කූපවල විවර ප‍්‍රසාරණය වෙලා රෝම කූප වල ඇති බාධා ඉවත් වෙනවා. එවිට සීබම්වලට පිටතට පැමිණීම පහසු වෙනවා.

    ඔබ සබන් වර්ගයක් පාවිච්චි කිරීමට කැමැති නම් ළදරු සබන් වැනි මෘදු සබන් වර්ගයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම හොඳින් මතක තියා ගන්න මුහුණ පිස දැමීම සඳහා පිරිසිදු තුුවායක් භාවිත කළ යුතුමයි.

    වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය ද ?

    ඉහත සඳහන් කළ ක‍්‍රම මගින් අපහසුවකින් තොරව ඔබට කුරුලෑ පාලනය කරගත හැකියි. එහෙත් ඇතැම් අයගේ කුරුලෑ ආසාදන තත්ත්වයට පත්වන බවක් දැකිය හැකියි. එවිට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවිය හැකියි. එහිදී කුරුලෑවේ ස්වභාවය හඳුනා ගැනීම ඉතා ම වැදගත් වෙනවා. එය කළ හැක්කේ පළපුරුදු වෛද්‍යවරයෙකුට පමණයි.

    ඇතැම් සරල ආපේනවලින් කුරුලෑ සුව කළ හැකියි. තවත් අයෙකුට ඒ සඳහා ඖෂධ මාත‍්‍රා වශයෙන් පාවිච්චි කරන්න සිදුවිය හැකියි. ඒ නිසා වෛද්‍යවරයාගේ මග පෙන්වීම මත ඉවසීමෙන් යුතුව අඛණ්ඩව ප‍්‍රතිකාර කිරීම සිදුවිය යුතුයි. එසේ නැතිව දවසකින් දෙකකින් ප‍්‍රතිකාර නතර කළහොත් අවශ්‍ය සුවය ලැබෙන එකක් නැහැ.

    මෙහිදී ඔබ දැඩිසේ සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. ඒ වෙළෙඳ පොළේ ඇති ඕනෑම ආලේපනයක් මගින් කුරුලෑ සුවකළ නොහැකියි. තමන්ට ආසාදනය වී ඇති කුරුලෑ විශේෂයට අදාළ නියම ප‍්‍රතිකාර ඔබ විසින් ලබාගත යුතුයි. ඒ සඳහා පුහුණු වෛද්‍යවරයෙකුගේ හෝ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පිනියකගේ / ශිල්පියෙකුගේ මග පෙන්වීම ලබාගත යුතුයි.■

    චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක විසින් රූපලාවන්‍ය වැඩමුළුවකදී සිදුකළ විශේෂ දේශනයක් ඇසුරින් සකස් කරන ලදි.

  • ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ පාවිච්චියට පෙර ඔබ දැන සිටිය යුතු සුපිරි කතාව

    ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ පාවිච්චියට පෙර ඔබ දැන සිටිය යුතු සුපිරි කතාව

    ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරනු ලබන ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ ශාරීරික උත්තේජක පෙති ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීම සඳහා එක්සත් රාජධානිය අවසර දී ඇත.

    එක්සත් රාජධානියේ සෑම පුරුෂයන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් සමස්ත ජනගහනයෙන් ලක්ෂ 43ක් යයි ඇස්තමේන්තු කෙරෙයි.

    වෙනත් ඖෂධ භාවිතා කිරීමේදී මෙන්ම නිසි මාත්‍රාව ඉක්මවා ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ උත්තේජකය භාවිත කිරීම අතුරු ආබාධ ඇතිවීමට බල පෑ හැකිය යන්න වෛද්‍ය උපදේශයයි.

    නිල් පැහැති මෙම කුඩා පෙති භාවිත කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද?

    භාවිත කළ යුත්තේ කවුරුන් විසින්ද?

    ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ භාවිත කළ යුත්තේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පුරුෂයන් පමණකි.

    ලිංගික කටයුතුවල යෙදීමට තරම් ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමේ පසු නොවන පුද්ගලයන් එම උත්තේජකය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව වෛද්‍ය උපදේශයයි. එසේම හෘද හෝ රුධිර නාලිකාවල දරුණු මට්ටමේ ගැටලු පවතින පුරුෂයන් ද ඊට ඇතුලත් වෙයි.

    පඩි පේලි දෙකක් නැගීම වැනි සැහැල්ලු ව්‍යායාමයක යෙදෙන විටදී අධික මහන්සියක් හෝ පපුවේ වේදනාවක් දැනෙන පුද්ගලයන් ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’භාවිත නොකළ යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙති.

    මිලදී ගැනීමට පෙර කුමක් කළ යුතුද?

    තමාට ඇති රෝග ලක්ෂණ, සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය සහ පාවිච්චි කරනු ලබන වෙනත් ඖෂධ වේනම් ඒ පිළිබඳව ඖෂධවේදියෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් කරුණු විමසීම වැදගත් වෙයි.

    ඒ සඳහා කායික පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවේ.

    ‘ව්‍යඝ්‍රා’ ක්‍රියාකාරිත්වය?

    බොහෝ දෙනෙකුට බලාපොරොත්තු ප්‍රතිඵල ලැබෙන නමුත් ඇතැමෙකුට එය එසේ නොවිය හැක.

    පුරුෂ ලිංගයේ රුධිර වාහිනී සැහැල්ලු කර හොඳින් රුධිරය ගලා යාමට සැලැස්වීම ‘ව්‍යඝ්‍රා’ මගින් සිදු කෙරෙයි .එය ලිංගික උත්තේජනයකට ප්‍රතිචාර වශයෙන් ලිඟුව ප්‍රාණවත් වීමට ඉවහල් වනු ඇත.

    ‘ව්‍යඝ්‍රා’ ආහාර ගෙන හෝ නොගෙන භාවිත කළ හැක. කෙසේ නමුත් විශාල ආහාර වේලකින් පසු එහි ක්‍රියාකාරිත්වය අරම්භවීම සඳහා කෙටි වේලාවක් ගතවිය හැක.

    ලිංගික සංසර්ගයට පැයකට පමණ පෙර එය භාවිත කළ යුතුය යන්න උපදේශය වී ඇත.

    මිදී හෝ මිදී යුෂ සමග ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’භාවිත නොකළ යුතුය. ඖෂධයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි එය බල පෑමට ඉඩ ඇති හෙයිනි.

    දිනකට මිලිග්‍රෑම් 50 ට වඩා භාවිත නොකළ යුතු බවත් වෛද්‍ය උපදේශයයි.

    අධික ලෙස මත්පැන් පානය කිරීම ද ලිඟුව ප්‍රාණවත් වීම කෙරෙහි බල පෑමට ඉඩකඩ ඇත.

    බලපෑම ප්‍රබල නම් කුමක් කළ යුතුද?

    ‘ව්‍යඝ්‍රා’ බලපෑම දීර්ඝ වේලාවක් බල පැවැත්වෙන්නේ නම් නම් හෝ ප්‍රබල නම් ඖෂධවේදියෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය හැක.

    සාමාන්‍ය කාලය ඉක්මවා හෝ පැය හතරකට වැඩි වේදනාකාරී ප්‍රාණවත් වීමක් පවතින අවස්ථා ද ඇතැම්විට වාර්තා වී ඇත. එසේ වූ විට වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

    ඇතිවිය හැකි වෙනත් අතුරු බලපෑම් මොනවාද?

    • හිසරදය ඇති වීම සුලබ තත්ත්වයකි (සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට හිසරදය ඇති විය හැක)

    සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇති විය හැකි සුලබ තත්ත්වයන්;

    • කැරකිල්ල
    • පෙනීම අපැහැදිලි වීම
    • දැඩි උණුසුමක් දැනීම
    • නාසය බරවීම
    • ඔක්කාරය

    ඖෂධය ලබා ගැනීම නවතා වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතුරු බලපෑම්

    • පපුවේ වේදනාව
    • එකවර පෙනීම අඩුවීම හෝ නැති වීම
    • ආසාත්මිකතා (හුස්ම ගැනීම අපහසුවීම, හතිය හෝ තොල්, ඇසිපිය හෝ මුහුණ ඉදිමීම)
    • සිහි මුර්ඡා වීම

    වෙනත් ඖෂධ පාවිච්චි කරන්නෙක් ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ භාවිත කිරීමට අදහස් කරන්නේ නම් ඔහු ඊට පෙර, ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් පැතිය යුතුය.

  • කාන්තාවන් සහ ගැහැනු ළමයි ‘සයිබර් අපරාධවලින්’ ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

    කාන්තාවන් සහ ගැහැනු ළමයි ‘සයිබර් අපරාධවලින්’ ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

    සයිබර් අපරාධ යනු වර්තමානයේ ලෝකය පුරාම කාන්තාවන් සහ ගැහැනු ළමුන් මුහුණ පාන සුලභ සහ අති බිහිසුණු අපරාධය බවට පත්ව ඇත. මේ සයිබර් අපරාධ හඳුනා ගැනීම, එයින් වැළකීමට ගත හැකි ප‍්‍රවේශ සහ සයිබර් අපරාධ සම්බන්ධ නීතිය පිළිබඳ දැනුවත් කෙරෙන ලිපි මාලාවේ දෙවැනි කොටසයි

    සයිබර් අපරාධවලින් දැඩි සේ වින්දිතභාවයට හෝ අපයෝජනයට ලක්වන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමුන් බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ විට කාන්තාවන් සමාජ සම්බන්ධතා ජාල මගින් සිය පවුලේ සමීපතමයින් සහ මිතුරු මිතුරියන් සමග විවිධාකාරයේ සම්බන්ධතා පැවැත්වීමට දැඩි නැඹුරුවක් සහ රුචියක් දක්වන බැවින් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් බවට පත්වන බවයි. විශේෂයෙන් කාන්තාවන් සිය ඡුායාරූප සහ අතිෂය පෞද්ගලික තොරතුරු පවා සමාජජාලා තුුුළ හුවමාරු කර ගැනීම, තෑගි බෝග යැවීම ඇතුළු නිරන්තරයෙන් සිදුකරන ක‍්‍රියාකාරකම් සයිබර් අපරාධවලට ගොදුරු වීමට පහසු අවස්ථාවක් නිර්මාණය වන බව සමාජ විද්‍යාඥයින්ගේ විසින් හඳුනා ගෙන ඇත.

    මේ තත්ත්වය තුළ සයිබර් අපරාධකරුවෝ වඩාත් සක‍්‍රීයභාවට පත් වන අතර විශේෂයෙන් කාන්තාවන් සයිබර් අවකාශය තුළ වඩාත් නිරාවරණය වූ කොටස බවට පත් වෙති. උදාහරණයක් ලෙස බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය ජාල හරහා හඳුනා ගන්නා පුද්ගලයින් සමග පේ‍්‍රම සම්බන්ධතා ආරම්භ කර ගැනීම හෝ තම පෙම්වතා සමග සමාජ මාධ්‍ය තුළ සංවාදය, ඡුායාරූප හෝ වීඩියෝ හුවමාරු කර ගැනීම නිරන්තර පුරුද්දක් වශයෙන් කරති. මෙවැනි අවස්ථාවක සයිබර් අපරාධකරුවන්ට අදාළ කාන්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ. විශේෂයෙන් සමාජමාධ්‍ය හරහා තම ඡුායාරූප ඇතුළු අතිෂයින් පුද්ගලික තොරතුරු හුවමාරු කර ගන්නා පෙම්වතියන් අදාළ පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටුණු විට සයිබර් අපරාධවල පහසු ගොදුරක් බවට පත් වන අවස්ථා නිරීක්ෂණය කළ හැකිය.

    මේ අතර සයිබර් විශේෂඥයින් සහ සමාජ විද්‍යාඥයින් විසින් සයිබර් අවකාශය තුළ සිදුවන තවත් දැවැන්ත සයිබර් අපරාධයක් දෙය සමාජයේ අවධානය යොමු කරති. ඒ අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික වෙළෙඳාම සහ ලිංගික සූරාකෑමයි. මෙය සයිබර් අවකාශය කාන්තාවන්ට එරෙහිව ක‍්‍රියාත්මක වන දරුණුතම අවස්ථාව වශයෙන් ඔවුහු හඳුන්වා දෙති.

    සයිබර් අවකාශයට නිරාවරණය වන දරුවන්, විශේෂයෙන් ගැහැනු දරුවන් සම්බන්ධ තත්ත්වය ද කාන්තාවට නොදෙවෙනි බව හඳුනා ගෙන ඇත. තම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ක‍්‍රීඩාවක් වශයෙන් ද මිතුරු – මිතුරියන් සමග වඩාත් සමීප සම්බන්ධතා පවත්වා ගෙන යාමේ මාධ්‍යයක් වශයෙන් ද සමාජජාලා භාවිත කරන ගැහැනු ළමුන් සේම පිරිමි දරුවන් ද සයිබර් අවකාශය හරහා බහුල වශයෙන් හුවමාරු වන ලිංගික ප‍්‍රකාශන, නිරුවත් ඡයාරූප හෝ ලිංගික ක‍්‍රියා ඇතුළත් ඡුායාරූප හෝ වීඩියෝ පට සඳහා යොමු වීමේ සුලභ අවදානමක් ඇත. ඒ අතර ඉතාමත් සංවිධානාත්මක ආකාරයෙන් විවිධ විෂම පුද්ගලයින් සයිබර් අවකාශය හරහා දරුවන් සමග නොමනා සම්බන්ධතා ඇති කර ගැනීමේ ප‍්‍රවණතාවක් මේ වන විට පවතින අතර දරුවන් එහි ගොදුරු බවට පත්වීම ද සුලභ බව හඳුනා ගෙන ඇත. මේ තත්ත්වය තුළ දරුවන් ද සයිබර් අවකාශය තුළ වින්දිතයින් බවට පත්ව හුදකලාව සිටිනු දැකිය හැකි වන්නේ බොහෝ දරුවන් මේ පිළිබඳව තම වැඩිහිටියන් දැනුවත් කිරීමට තබා තමන්් සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව සිටින බව පවා නොදන්නා නිසාය. මේ තත්ත්වය සයිබර් අපරාධරුවන්ට පහසු ගොදුරු බිමක් නිර්මාණය කරන බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි.

    සයිබර් අපරාධවලට පෙළඹීම

    සයිබර් අපරාධවලට පුද්ගලයින් පෙළඹෙන හේතු මොනවාදැයි සමාජ විද්‍යාඥයින් සහ අපරාධ විද්‍යාඥයින් විසින් මේ වන විට නිවැරදි ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව ප‍්‍රමුඛතාව අනුව එවැනි හේතු හතරක් ඔවුුහු ඉදිරිපත් කරති.
    1 මූල්‍යමය වාසි
    2 සයිබර් අවකාශය තුළ නිර්ණාමිකව සහ අතථ්‍ය ලෙස පෙනී සිටීම
    3 අත්හදා බැලීම
    4 පළිගැනීම

    සයිබර් අපරාධවලට පුද්ගලයින් පෙළඹවන ප‍්‍රමුඛ හේතුව, එසේ නැතහොත් සයිබර් අපරාධවලින් සියයට 98ක් ම සිදු කිරීමට පුද්ගලයින් පෙළඹවන්නේ මූල්‍යමය වාසි බව හඳුනා ගෙන ඇත. විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුවන කාන්තාවන් සහ දරුවන් පිළිබඳ ලිංගික වෙළෙඳාම සහ සූරාකෑම මූල්‍යමය වාසි සඳහාම සිදු වේ.

    නිර්ණාමිකව සහ අතථ්‍ය ලෙස පෙනී සිටීමට සයිබර් අවකාශය තුළ ඉඩ සැලසන බැවින් එය ප‍්‍රයෝජනයට ගනිමින් සයිබර් අපරාධ සිදු කිරීමට පුද්ගලයින් දිරිමත් වන බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. මේ නිර්නාමික / අතථ්‍ය ලෙස පෙනී සිටීම තුළ ඇතැම් විට තම අතිෂය සමීපතමයින් පවා සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වූ සිදුවීම් ලංකාව ඇතුළු බොහෝ රටවල්වලින් වාර්තා වීම මේ වන විට සුලභ තත්ත්වයක් බවට පත්ව ඇත.

    සයිබර් අපරාධවලින් සුළු ප‍්‍රතිශතයක් අත්හදා බැලීමක් වශයෙන් සයිබර් අපරාධවල නිරත වන බව හඳුනා ගෙන ඇත. අධ්‍යාපනය ලබාදීමෙන් සහ උපදේශනය මගින් මේ තත්ත්වය වළක්වා ගත හැකි බව පෙන්වා දෙන සමාජ විද්‍යාඥයෝ දරුවෝ ඇතැම් විට ස්වභාවික කුතුහලය නිසා තම ඡුායාරූප හෝ වීඩියෝ අන් අය සමග බෙදා ගැනීමට තැත් කිරීමෙන් ඔවුන් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් වන බව පෙන්වා දෙති.

    සයිබර් අපරාධවල තවත් බිහිසුණු සහ සුලභ පැතිකඩක් පළිගැනීම හේතුවෙන් සිදු කරන සයිබර් අපරාධ මගින් හෙළි වේ. පෙම් සබඳතා බිඳ වැටීම සිදු වූ විට බහුල වශයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන්ගේ ඡුායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කිරීම හෝ සැබවින්ම ඒවා මුදා හැරීම මුළු ලෝකය පුරාම සයිබර් අවකාශය තුළ සිදුවන සුලභ අපරාධයක් බවට පත්ව ඇත.

    සුලභ සයිබර් අපරාධ වර්ග

    කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහිව සුලභ වශයෙන් සිදුවන සයිබර් අපරාධ වර්ග 07ක් සමාජ විද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇත.

    1 ඉලෙක්ට්‍රොනික තැපෑල මගින් කෙරෙන අඩන්තේට්ටම්
    2 සයිබර් අවකාශය හරහා රහසේ ලූහුබැඳීම
    3 සයිබර් ආශ‍්‍රිත කාමෝද්දීපන නිරුවක් ප‍්‍රකාශන
    4 සයිබර් අවකාශය ආශ‍්‍රිත නොමනා ක‍්‍රියා
    5 අපහාස කිරීම
    6 මෝෆිං
    7 විද්‍යුත් ලිපි ස්පූෆිං

    1 ඊමේල් මගින් කෙරෙන අඩන්තේට්ටම් නව සංකල්පයක් වශයෙන් සැලකිය නොහැකි බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට එය දීර්ඝ කාලයක් පුරා සිදු වූ සාමාන්‍ය තැපැල් ලිපි මගින් ද සිදුවිය හැකි හිරිහැර හෝ අඩන්තේට්ටම් කිරීම්වලට අතිෂය සමීපය. මෙහිදී අවමාන, තර්ජන, අයුතු බලපෑම් සහ වංචා කිරීම් යනාදිය සුලභ වශයෙන් සිදුවන බව හඳුනා ගෙන ඇත. සයිබර් අතවර / අඩන්තේට්ටම් ලිපි මගින් කෙරෙන අතවරවලට සමාන වුව ද ව්‍යාජ හැඳුනුම්පත් යොදා කෙරෙන සටහන් හේතුවෙන් බොහෝ විට ප‍්‍රශ්න රැුසකට මුහුණපෑමට සිදුවේ.

    2 සයිබර් අවකාශය හරහා රහසේ ලූහුබැඳීම යන්නෙන් අදහස් වන්නේ වින්දිතයා නිතර නිතර පරිහරණය කරන අන්තර්ජාල දැන්වීම් පුවරු, චැට් කාමර යනාදියෙහි බොහෝ විට තර්ජනාත්මක පණිඩුඩ සටහන් කිරීම සහ වින්දිතයා ඉලෙක්ට්‍රොනික හසුන් මාලා මගින් වෙහෙසට පත් කිරීම වැනි ක‍්‍රියා මගින් අන්තර්ජාලය පුරා කෙනෙකු යන එන ස්ථාන අනුව පසුපස යාමයි. පුරුෂයින් සෝදිසියෙන් කාන්තාවන් පසුපස යෑමෙන් ද වැඩිහිටි ගොදුරු සොයන්න වුන් හෝ ලාබාල දරුවන් කෙරේ කාමාශාවෙන් පෙළෙන්නවුන් විසින් ද දරුවන් පසුපස යෑමෙන් හෝ මෙම තත්ත්වය නිර්මාණය වේ. මෙහිදී වැඩි වශයෙන් මෙම අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට පත් වන්නේ කාන්තාවන්, ළමුන් සහ චිත්තවේගී දුබලකම් ඇති අය හෝ අස්ථාවර අය බව හඳුනා ගෙන ඇත.

    3 සයිබර් අපරාධවල පහසු සහ වඩාත් පුළුල් ව්‍යාප්තියක් ඇති ප‍්‍රභේදය වශයෙන් සයිබර් අවකාශය ආශ‍්‍රිත කාමොද්දීපන නිරුවත් ප‍්‍රකාශන සැලකිය හැකිය. කාමෝද්දීපන නිරුවත් ප‍්‍රකාශන සහිත වෙබ් අඩවි මීට අයත් වන අතර පරිගණක සහ අන්තර් ජාල යොදා ගනිමින් නිෂ්පාදනය කරන ල කාමෝද්දීපන නිරුවත් ප‍්‍රකාශන අඩංගු සඟරා ආදිය මේ අතර වේ. මෙම ප‍්‍රකාශන බාගත කිරීමේදී එමගින් සිදුවන ඍජු හානියට අමතර වශයෙන් මැල්වෙයාර් වෛරස් යනාදිය ද පහසුවෙන් අදාළ ප‍්‍රකාශන සමග බාගත වීමට වැඩි අවකාශයක් ඇති බව හඳුනා ගෙන ඇත.

    4 සයිබර් ආශ‍්‍රිත නොමනා ක‍්‍රියා වශයෙන් හඳුන්වන්නේ දරුවෙකු, පෙර යොවුන් වියේ කෙනෙකු තවත් එවැනිම කෙනෙකු විසින් අන්තර්ජාලය ඔස්සේ අන්තර් ක‍්‍රියා හෝ ඩිජිටල් තාක්ෂණය ඇසුරෙන් වද දීම, තර්ජනය කිරීම, හිරිහැර කිරීම, අවමන් කිරීම, අපහසුතාවට පත් කිරීම හෝ වෙනත් අතවරවලට භාජනය කිරීම සයිබර් අයුතු බලපෑමක් කිරීමයි.

    5 පරිගණකය හෝ අන්තර්ජලය මගින් අපහාස කිරීම ද සයිබර් අපරාධ අතර සුලභ අපරාධ වර්ගයක් වශයෙන් හඳුනා ගෙන ඇත.

    6 ‘‘මෝෆිං’’ යනුවෙන් හැඳින්වෙන්කේ අසම්මත පරිහරණය කරන්නකු හෝ ව්‍යාජ අනන්‍යතාවක් ඇති අයෙකු හෝ ඡුායාරූපයක් සංස්කරණය කිරීමයි. කාන්තාවන්ගේ ඡුායාරූප මෙහිදී බහුල වශයෙන් මෝෆිං කිරීමට ලක්වේ. පරිගණක භාවිත කරන ව්‍යාජ පුද්ගලයින් විසින් කාන්තාවන්ගේ ඡයාරූප සංස්කරණය කිරීමෙන් පසු (බොහෝ විට නිරුවත් ඡයාරූප ලෙස සංස්කරණය කර ) වෙනත් අය සේ ව්‍යාජ තොරතුරු සමග වෙනත් වෙබ් අඩවිවල සටහන් කෙරෙන බව හඳුනා ගෙන ඇත. වර්තමානයේදී කාන්තාවන් බහුල වශයෙන් මෙම සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වන අතර ඇතැම් ජනප‍්‍රිය හා බලවත් පුද්ගලයින් ද මෝෆිං ගොදුරු බවට පත්වන බවක් හඳුනා ගත හැකිය.

    7 කාන්තාවන් වින්දිතයින් බවට පත්වන තවත් සුලභ සයිබර් අපරාධයක් වශයෙන් විද්‍යුත් ලිපි ස්පූෆිං හඳුනා ගෙන ඇත. මෙනමින් අදහස් වන්නේ විද්‍යුත් ලිපියක මූලාරම්භය වරදවා විස්තර කිරීමය. එහි නියම ආරම්භයට වෙනස් වූ ආරම්භයක් පෙන්වීම සුලභම තත්ත්වය වේ. නිදසුනක් ලෙස තමා ‘‘සී’’ බව හඟවමින් ‘‘ඒ’’ විසින් ‘‘බී’’ට විද්‍යුත් තැපෑලක් යවනු ලැබේ. මෙහිදී විද්‍යුත් තැපෑල යවන්නා තමාගේ නියම අනන්‍යතාව සඟවන අතර වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවක් ආරෝපණය කර ගැනීම සිදුවේ.

    කාන්තාවන් මෙහිදී වින්දිතයින් බවට පත්වන සුලභ අවස්ථාවක් වන්නේ ඇතැම් පිරිමින් විසින් තමාගේ අසභ්‍ය ඡුායාරූපයක් ඊමේල් ඔස්සේ කාන්තාවකට යවා ඇයගේ රුව වර්ණනා කොට ඇයගෙන් හමුවීමට දිනයක් හෝ ඇයගේ සේවාවන් සඳහා කොපමණ මුදලක් අය කරන්නේ ද යන්න විමසීමයි.

    අක‍්‍රිය සහ සක‍්‍රිය සයිබර් අපරාධ

    ඉහතින් සඳහන් කළ සුලභ සයිබර් අපරාධවලට අමතරව සයිබර් අපරාධකරුවන් විසින් කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව අක‍්‍රිය හෝ සකී‍්‍රය ප‍්‍රහාරයන් එල්ල කිරීමට ද ඉඩ ඇතැයි හඳුනා ගෙන ඇත.

    මෙහිදී අක‍්‍රිය සයිබර් ප‍්‍රහාර වශයෙන් නිර්වචනය වන්නේ නීති විරෝධී ක‍්‍රියාවකට සහාය වීමට හෝ වැඩි දියුණු කිරීමට පරිගණකයක් යොදා ගැනීමට යමෙක් උත්සාහ කිරීමයි. අක‍්‍රිය පහරදීම් බහුල වශයෙන් දත්ත සොරකම් කිරීම කෙරෙහි යොමු වන අතර ‘‘ස්ටෝකිංවලට’’ සමාන අක‍්‍රිය පහරදීම් පරිගණක හෝ අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ තොරතුරු එක් රැුස් කිරීමෙන් ආරම්භ වේ. තොරතුරු එක්රැුස් කිරීමෙන් පු නියම පහරදීම ඩිජිටල් කේෂ්ත‍්‍රය තුළ හෝ ඉන් බැහැරව සිදුවිය හැකිය. ඍජු අන්තර් ක‍්‍රියාවෙන් තොරව හිංසා කිරීමේ අරමුණින් තොරතුරු යොදා ගන්නා හෙයින් එය අපරාධයක ප‍්‍රාරම්භක අවස්ථාවක් සේ සයිබර් අපරාධ විශේෂඥයින් විසින් හඳුන්වනු ලැබේ.

    සක‍්‍රිය ප‍්‍රහාරයක් හෝ අපරාධයක් වන්නේ යමෙකු අපරාධ කිරීමට පරිගණකයක් උපයෝගී කර ගැනීමෙන්, එනම් ආරක්ෂිත පරිගණක පරිශ‍්‍රයකට හෝ විද්‍යුත් සංදේශ උපකරණයකට අනවසරයෙන් ප‍්‍රවේශයක් ලබා ගැනීමයි. සක‍්‍රීය ප‍්‍රහාර පද්ධතියෙහි දෝෂ හෝ හුදු ශක්තිය මගින් හානි කිරීමට උත්සාහ ගැනීම මගින් සිදුවේ. වින්දිතයාගේ පරිගණකයෙහි වේගය හීන වන පරිදි, නවතින පරිදි හෝ සම්පූර්ණයෙන්ම කඩා වැටෙන සේ දැරිය නොහැකි තරම් වැඩි බර පැටවීමට ද සක‍්‍රීය ප‍්‍රහාර මගින් උත්සාහ දරනු දැකිය හැකියි.

    සක‍්‍රීය ප‍්‍රහාර හෙවත් අපරාධ තවත් අංශ රැසක් තුළ ක‍්‍රියාත්මක වේ.

    උදාහරණයක් ලෙස යමෙකුට විශාල මුදලක් දිනා ඇති බව හෝ ශිෂ්‍යත්වයක් දිනා ඇති බව දන්වමින් තවත් කෙනෙකු විසින් විද්‍යුත් ලිපියක් එවීම වැනි ව්‍යාජ පරිගණක කාර්යයක් හෝ විය හැකිය. මෙවැනි දැන්වීමක් මගින් අපරාධකරු විසින් අදාළ පුද්ගලයාගේ පුද්ගලික තොරතුරු ද සපයන මෙන් ඉල්ලීමක් කරයි නම් එය සක‍්‍රීය ප‍්‍රහාරයක් හෙවත් සක‍්‍රිය සයිබර් අපරාධයක් වශයෙන් සැලකිය හැකිය. පරිගණක අපරාධවල මෙම අංශය සමාජ සම්බන්ධතා ජාලගත කිරීම් යටතට අයත් වේ. ඇතැම් විටෙක පරිගණක අපරාධ සඳහා ව්‍යාජ තොරතුරු සත්‍ය තොරතුරු සමග මුසු කර භාවිතා කරනු ද දැකිය හැකිය. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන්ගේ ව්‍යාජ පුද්ගලික තොරතුරු සත්‍ය ඒවා සේ ඉදිරිපත් කරනු සුලභව දැකිය හැකිය. එවැනි අවස්ථාවලදී අපරාධයක් කිරීමට පරිගණකය සක‍්‍රිය ලෙස භාවිත වේ. මේ තත්ත්වය නිදසුනක් මගින් පැහැදිලි කරන්නේ නම්, පිරිමියෙකු ගැහැනු දරුවෙකු සේ පෙනී සිටි වෙනත් ගැහැනු දරුවෙකු හා මිත‍්‍රත්වයක් ගොඩනගා ගෙන ඇය පිළිබඳ සියලූ පුද්ගලික තොරතුරු ලබා ගැනීම දැක්විය හැකිය. ඔහු මේ අවස්ථාවේදී සක‍්‍රිය කායික ක‍්‍රියාවක් මගින් පරිගණක අපරාධයක් කරනු බව සැලකිය හැකිය.

    සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් නොවීමට නම්

    ඉහත සඳහන් කළ සියලූ ආකාරයේ සයිබර් අපරාධවලට කාන්තාවන් සහ ළමුන් ලක් වන්නේ ඔවුන් තුළ ම පවතින නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා බව පැහැදිලි කරුණකි. මේ තත්ත්වය තුළ කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අපරාධවල වින්දිතයින් බවට පත්වීම වැළැක්වීම සඳහා ගත හැකි සක‍්‍රීය හා ඵලදායී පියවර රැසකි.

    Facebook වැනි සමාජ ජාල සම්බන්ධතා තුළ ආරක්ෂාව

    කාන්තාවන් සහ ගැහැනු ළමුන් වැඩි වශයෙන් සයිබර් අපරාධවලට ගොදුරු වන්නේ මුහුණුපොත වැනි සමාජ ජාලා තුළ බව හඳුනා ගෙන ඇත. එවැනි අවස්ථාවකදී තම ආරක්ෂාව සඳහා ගත හැකි පියවර රැසකි.

    1 ආරක්ෂාකාරී ලෙස මුහුණුපොතට සේන්දුවීම. එමගින් ඔබගේ රහස් වචනය (මුරපදය) සොයා ගෙන ඔබේ ජාලයේ සිදුවන දේ රහසින් දැන ගැනීමට ඇති පහසු අවකාශය වළකා ගත හැකි වේ.
    2 උපන් දිනය, ජීවත් වන ස්ථානය හා සම්බන්ධවීමට අදාළ තොරතුරු වැනි පුද්ගලික තොරතුරු මුහුණුපොතේ සටහන් කිරීම සීමාකර ගැනීම.
    3 පෞද්ගලිකත්වය රැුක ගැනීමේ උපක‍්‍රම භාවිත කරමින් තොරතුරු ලබා ගැනීමේ ඉඩකඩ මිතුරන්ට පමණක් සීමා කිරීම.
    4 සීමිත තොරතුරු ලැයිස්තු සකසා සැක සහිත මිතුරන් ලැයිස්තුව වෙන් කොට ඔවුන් ගැන සුපරික්ෂාකාරීව සොයා බලා පසුව ඔබ ගැන වැඩි විස්රතර ලබා ගත හැකි ලැයිස්තුවට ඇතුළත් කිරීම.
    5 සෙසු අයට ගවේෂක යන්ත‍්‍රවලට හෙළිවන තොරතුරු පාලනය කිරීම සඳහා පෞද්ගලිකත්වය රැුක ගැනීමේ උපක‍්‍රම භාවිත කිරීම.
    6 මුහුණුපොතේ ව්‍යාජයෙන් හෝ වෙනත් සැක සහිත සම්බන්ධතා මගින් ලැබෙන ව්‍යාජ ඉලෙක්ට්‍රොනික ලිපිවලින් ප‍්‍රවේශම් වීම.
    7 ඔබ මිතුරෙකු ලෙස කෙනෙකු පිළිගැනීමට පෙර දෙවරක් සිතන්න. එසේ පිළිගැනීමට පෙර ඉල්ලීම කළ අය සමග හැකි නම් ඊමේල් මගින් හෝ දුරකථනය මගින් සම්බන්ධ වී සත්‍යතාව විමසා බලන්න.
    8 චැට් කිරීමේ සම්ප‍්‍රයෝගයක් මුහුණුපොතේ අන්තර්ගත වේ. නොදන්නා අය එා චැට් කිරීමෙන් හෝ ඔවුන්ට ඔබ හඳුනා ගැනීමට හැකි වන තොරතුරු ලබාදීමෙන් වළකින්න.
    9 කිසිවෙකු අනුමාන නොකළහැකි හරස් වචනයක් තෝරා ගන්න. එය නිතර වෙනස් කරන්න.
    10 විශ්වාසය තැබිය හැකි පරිගණක පමණක් භාවිත කොට මුහුණුපොතට එක්වන්න. පරිගණක පද්ධතියක ඔබ භාවිත කරන සෑම යතුරු සලකුණක්ම සටහන් කරන කී ලොගාර්ස් නම් මෘදුකාංගය එහි තිබෙන්න පුළුවන.
    11 භාවිත කරන රහස් වචනය වෙනත් අය අතට පත් කිරීමේදී පරීක්ෂාකාරී වන්න. එය දුර්වල ආකාරයෙන් භාවිත කළහොත් එය ඔබ අමාරුවේ වැටීමට පහසු මඟක් විය හැකිය.

    Email භාවිතයේදී ආරක්ෂාකාරී වීම

    වර්තමානයේ බහුලම සන්නිවේදන මාධ්‍ය විද්‍යුත් තැපෑල හෙවත් ඊමේල් බවට පත්ව ඇතත් කාන්තාවන් හා ළමුන් සයිබර් අපරාධවලට ලක් කරනු සුලභම මාධ්‍යයක් වශයෙන් ද එය ඉහළ ස්ථානයක් හිමිකර ගෙන ඇත. එහෙත් පහත සඳහන් ආරක්ෂක පියවර මගින් ඔබට මේ සුවිශේෂ සන්නිවේදන මාධ්‍ය යහපත් මිතුරෙක් බවට පත්කර ගත හැකිය.

    1 අවම වශයෙන් සංකේත අටකින් යුත් මුරපදයක් නිර්මාණය කළ යුතු අතර එම මුරපදය සඳහා නම් හෝ පහසුවෙන් අනුමාන කළ හැකි වචන ඇතුළත් නොකළ යුතුය. කැපිටල් අකුරු, සිම්පල් අකුරු, සංඛ්‍යා සහ වෙනත් සංකේතාත්මක අකුරු (උදාහරණයක් ලෙස * @ # මුරපදයක් ලෙස භාවිත කළ යුතුය.
    2 වෙබ් ආශ‍්‍රිත සේවාවන් භාවිත කිරීමේදී https: // www.hotmail.com භාවිත කරන්න.
    3 ඩිජිටල් සහතික දෝෂ පණිවුඩයක් ලැබුණහොත් එම වෙබ් පිටුවට ඇතුළු වීමෙන් වළකින්න.
    4 මුරපදය වෙනත් අය සමග බෙදා ගැනීමෙන් වළකින්න.
    5 අන්තර්ජාලයට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික් පණිවිඩ සඳහා තමා භාවිත කරන සාමාන්‍ය මුරපදය භාවිත නොකළ යුතුය.
    6 නූතනම වෛරස් විරෝධී ස්කෑනරයක් පාව්චිචි කරන්න.
    7 අන්තර්ජාල සේවා සපයන ස්ථානවල පරිගණක පාවිච්චි කිරීමේදී සුපරික්ෂාකාරී වන්න. පාවිච්චි කරන සෑම පරිගණක යතුරක්ම සටහන් කර ගන්නා පරිගණක යතුරු කපනයක් KEY LOGGER සාමාන්‍යයෙන් මෙම ස්ථානවල පරිගණකවලට ඇතුළත් කර ඇත.
    8 හැකි සෑම අවස්ථාවකදීම ක්ෂණික පණිවිඩ මගින් නැති වූ මුරපදය නැවත ලබා ගැනීමට උත්සාහ කරන්න.
    9 මුරපදය යළි ලබා ගැනීමට උත්සාහ කිරීමේදී අසන රහස් ප‍්‍රශ්න අනුමාන කිරීම දුෂ්කරය.
    10 නොදන්න අය විසින් එවන ලද ඉලෙක්ට්‍රොනික පණිවිඩවල ඇමුණුම් attachments විවෘත කිරීමෙන් සහ සන්ධාන Link බොත්තම් තද කිරීමෙන් වළකින්න.

    Chatroom වැට් කාමරයේ ආරක්ෂාව

    වර්තමානයේ බහුලවම භාවිත වන සන්නිවේදන ක‍්‍රමයක් වන ‘‘චැට්’’ කිරීමේදී එහි ආරක්ෂාව වෙනුවෙන් දැඩි සේ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. එහිදී චැට් කාමරයේදී යම් හිංසනයක් පිළිබඳ සැකයක් ඇති වුවහොත් එම චැට් සැසියේ පිටපතක් ලඝු ගණකය ජය්එ එර්බාජරසචඑසදබ කදට තුළ සුරක්ෂිත කර ගන්න.

    වීඩියෝ බාගත කිරීමේදී ආරක්ෂා සහිත වීම

    වීඩියෝ බාගත කර ගැනීම සඳහා වෙබ් අඩවියට පිවිසීමට පෙර අශ්ශීල නිරුවත් ඡුායාරූප පමණක් නොව, හිංසනය, ජාතිවාදය, ත‍්‍රස්තවාදී බෝම්බ සකස් කිරීම ප‍්‍රචලිත කිරීම හෝ ප‍්‍රවර්ධනය කරන තොරතුරු සහ වෙනත් අයුතු තොරතුරු ඇතුළත් අනිසි අන්තර්ගතවලට අවසර නොදීමට පුද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් පරිගණක පාලන රාමුව සකස් කර ගන්න.

    සෙවුම් අඩවිවල ආරක්ෂාව

    ගූගල් Google සහ ‘‘බිංග් Bing වැනි සෙවුම් අඩවි පාවිච්චි කිරීමේදී අයුතු අන්තර්ගතයන් වැළැක්වීම සඳහා පාරිගණක පාලන රාමුව සකස් කර ගන්න.

    ඉහතින් සඳහන් කළ ආරක්ෂක පියවර අනුගමනය කිරීම මගින් විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට පත්වීමෙන් වළක්වා ගත හැකිය.

    මෙම ලිපිය අවසන් කිරීමට පෙර වර්තමානයේ බහුල වශයෙන් සයිබර් අපරාධවලට ගොදුරු බවට පත්වන ගැහැනු ළමුන් අන්තර්ජාලය තුළ අපරාධවල ගොදුරු බවට (වින්දිතයින් බවට) පත් වීම වළක්වා ගත හැකි ආරක්ෂක පියවර ගැන ද දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

    ගැහැනු දරුවන් සයිබර් අපරාධවලින් ආරක්ෂා කර ගැනීම

    1 දරුවන් භාවිත කරන පරිගණකවලට ෆයර් වොල් හෝ දෙමාපිය පාලනය සලසන මෘදුකාංග ඇතුළත් කිරීම. මෙම මෘදුකාංග මගින් අදාළ ක‍්‍රියාකාරකම්වල ඉතිහාසය සහ වෙබ් අන්තර්ගතයන්ට ප‍්‍රවේශ වීම සීමා කිරීම ද දෙමාපියන්ට කළ හැකිය.

    2 දරුවන් නිතර පරිහරණය කරන සියලූ වෙබ් අඩවි පිළිබඳ සොයා බැලීම හා ඔවුන්ගේ පරිගණක ක‍්‍රියා අධීක්ෂණය කිරීම.

    3 අන්තර්ජාල කටයුතුවලදී ආරක්ෂාව සලසා ගන්නා ආකාරයත්, වින්දිතයෙකු වීමේ අවදානමත් පිළිබඳ දරුවන් දැනුවත් කිරීම සඳහා දරුවන් සමග සන්නිවේදනය වැඩි දියුණු කර ගැනීම.

    4 සෑම දෙනාටම දරුවාගේ ඉරියව් පෙනෙන පරිදි පරිගණකය විවෘත ස්ථානයක තැබීම. ( වැඩිහිටියෙකු කාමරයට ඇතුළු වන විට දරුවා කලබල වීම අන්තර්ජාල අඩවි වෙනස් කිරීම වැනි ක‍්‍රියාවක යෙදෙන්නේ නම් එය විමසිලිමත් වීමට සලකුණකි)

    5 දරුවන් අධීක්ෂණයෙන් තොර පරිගණක භාවිතයෙන් වළක්වාලීම.

    6 දරුවන් අන්තර්ජාලයේ වැඩ කරන විට කල්පනාකාරී වීම.

    7 දරුවා නොදන්නා අය සමග ඉලෙක්ට්‍රොනික ලිපි හුවමාරු කර ගැනීමෙන්, චැට් කිරීමෙන් සහ දුරකථනයෙන් සම්බන්ධ වීමෙන් වළක්වාලීම.

    8 දරුවා නොදන්නා ද්‍රව්‍යයන් අන්තර්ජාලයෙන් ලබා ගැනීමෙන් දරුවාට විය හැකි හානි සහ පරිගණකයට විය හැකි හානි පිළිබඳව දරුවා දැනුවත් කිරීම.

    9 දරුවා වෙනත් අයගේ අන්තර්ජාල ප‍්‍රවේශ මාර්ග භාවිත කිරීමෙන් වැළැක්වීම.

    10 දරුවන් පරිගණක භාවිත කරන විට තනිව සිටීමට වැඩි කැමැත්තක් දක්වන විට විශේෂයෙන් පරීක්ෂා කාරී වීම.

    11 දරුවාගේ පරිගණකයෙහි අසභ්‍ය රචනා නොමැති බවට සහතික කිරීම.

    12නොහඳුනන අය සමග දරුවා කරන සංවාද අධීක්ෂණය කිරීම.

    13 දරුවන් අවසර නැතිව ක්‍රෙඩිට් කාඞ්පත් භාවිත කිරීමෙන් වළක්වාලීම.
    ඉහත සඳහන් ක‍්‍රමෝපායන් අනුගමනය කිරීම මගින් කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අවකාශය තුළදී අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීම පහසුවෙන් සහ ඵලදායී ආකාරයෙන් වළක්වා ගත හැකිය.

    සැකසුම
    තුෂාල් විතානගේ
    (ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ‘‘කාන්තා සහ ගැහැනු දරු ආරක්ෂණය පිළිබඳ ශ‍්‍රී ලංකා නීති නාමාවලිය ඇසුරිණින් සකස් කරන ලදි)

  • සෞභාග්‍යයේ දැක්ම හාස්‍යයට: ‘දෙල්ගොඩ රක්ෂිතයේ’ මහා වන විනාශයක්

    සෞභාග්‍යයේ දැක්ම හාස්‍යයට: ‘දෙල්ගොඩ රක්ෂිතයේ’ මහා වන විනාශයක්

    කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත් පිරිසක් විසින් මහ පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම සිදු කරමින් පවතී.

    මේ වන විට අක්කර 10 කට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත. මෙලෙස එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත්තේ කුකුළේ ගඟ හා සම්බන්ධ කුඩව ගගේ ප‍්‍රධාන අතු ගංගා වල ජලපෝෂක වනාන්තර පද්ධතියයි.

    කලවාන ප‍්‍රදේශයේ පදිංචි දෙල්ගොඩ අප්පු ලෙස හඳුන්වන පුද්ගලයකු සහ පානදුර, මතුගම, නුවර හා කොළඹ යන ප‍්‍රදේශ වල ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙම වනාන්තර කොටසේ ව්‍යාජ ඔප්පු මගින් වනාන්තර ඉඩම් අත්පත් කර ගෙන එළි කිරීම සිදු කරයි.

    මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ කිරීමේ සැලැසුම් ක්‍රියාත්මක වන අතරතුර එම කටයුතු වැළැක්වීම සඳහා කඩිනමින් මෙම වනාන්තර එළිපෙහෙළි කර තේ වගාව ව්‍යාප්ත කර සංවර්ධනය කර ඇති බවට සනාථ කර ඉඩම් අයිතිය ලබා ගැනීමට සූදානම් වේ.

    සිංහරාජ අඩවියේ නීතිමය ආරක්ෂාව

    1988 අංක 3 දරණ ජාතික උරුම වන භූමි පනතේ 2 වන වගන්තියට අනුව 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරණ ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 11,187 ක වනාන්තර ප‍්‍රදේශයක් සිංහරාජ ජාතික උරුම වන භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

    2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2019 නොවැම්බර් 20 දින අංක 2150/31 දරණ ගැසට් නිවේදනය මඟින් සිංහරාජ ජාතික උරුම වන භූමිය හා ඒ වටා පිහිටි වනාන්තර හෙක්ටයාර 36,475 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර විශාල වනාන්තර පද්ධතියකට ආරක්ෂාව ලබා දී ඇත.

    මීට අමතර ව මෙම රක්ෂිත ප‍්‍රදේශ ආවරණය වන භූමි ප‍්‍රදේශ හා ඒ වටා කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. ඊට හේතු ව මේ කලාපය කඳුවැටි සහිත නායයාමේ අවධානමක් පවතින කලාපයක් වීම ය.

    මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදු කරන  ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතු ව යම් සංවර්ධන ක්‍රියාවලියක් මඟින් රක්ෂිත වනාන්තර පද්ධතියේ පැවැත්මට හා එහි ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට මෙන් ම ජල පෝෂක වනාන්තර පද්ධතියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල විය හැකි බැවිනි.

    පාරිසරික අණ පනත් උල්ලංඝනය කිරීම

    සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් විශාල වනාන්තර පද්ධතියක් එළි කර සිදු කරන තේ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් සිදු කරමින් පවතී. ඒ සඳහා ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් මැදිහත් වී නොමැත.

    එපමණක් නොව එම ගැසට් නිවේදනයේ ම දැක්වෙන ලෙස ජාතික උරුම වන භූමියක් ලෙස ප‍්‍රකාශිත ප‍්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශයට පත් කළ යම් ප‍්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. ඒ අනුව මෙම සියලූ වනාන්තර එළි කිරීම් මෙම නීතිමය ප‍්‍රතිපාදනයන් සියල්ලට ම ඇතුළත් වන බැවින් මේ සියලූ වනාන්තර එළි කිරීම සිදු කරන්නේ නීති විරෝධී අයුරින් බව තහවුරු වේ.

    අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලූ ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ එවන් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඩස වන පරිච්ඡේදයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් අද වන විට සිදු කරන සියලූ පරිසර විනාශයන් හමුවේ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන මධ්‍යම පරිසර අධිකාරියේ සියලූ නිලධාරීන් මුණිවත රකින ආකාරයෙන් ම මෙම විනාශය හමුවේ ද නිද්‍රාශීලීව පසු වීම කණගාටුවට කරුණකි.

    සෞභාග්‍යයේ දැක්ම හාස්‍යයට ලක් කිරීම

    මෙවර ජනාධිපතිවරණයේ දී ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ ‘‘මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය.’’ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිරසර පරිසර ප‍්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ ‘‘වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ” යනුවෙනි. එපමණක් නොව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ භූමිය භාවිතාව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ ‘‘ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය” යනුවෙන් හා ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ය.

    නමුත් මේ සියල්ල උල්ලංඝනය කරමින් ව්‍යාපාරිකයන් සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර විනාශ කරද්දී නිහඬ ව සිටීමෙන් සිදු වන්නේ සියලූ ම ජීවීන්ට භූමියට ඇති අයිතිය ව්‍යාපාරිකයින්ට පැවරීම ය. මේ සියල්ලට ම එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව අපට බලය ඇත. එම උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකි යාව ද සෑම පුරවැසියෙකුට ම තිබේ. ඒ අනුව ව්‍යාපාරිකයන් විසින් සිදු කරන ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. එම බලය පුරවැසියන් වන අප භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් සිංහරාජ අඩවියේ තේ වගා කර ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන සියලූ ජෛව ප‍්‍රජාවට අහිමි කරනු ඇත. ඒ මගින් සිදු වන්නේ දැනට සුළු පරිමාණ තේ වගාවන් සිදු කරන ජනතාවගේ වගා බිම්වල ජල සුරක්ෂිතතාව බිඳ දැමීමයි.

    සුවිශේෂී වනාන්තර සංහරාජයට අහිමි කිරීම

    “ගම සමඟ පිළිසදරක්” වැනි වැඩසටහන් මගින් විධායකය විසින් රක්ෂිත වනාන්තරවල වගා බිම් ව්‍යාප්ත කිරීමට අනුබල ලබා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවන් තත්ත්වයන් වර්ධනය වෙමින් පවතී. එපමණක් නොව 2004 වසරේ දී ජනාධිපති කාර්යය සාධක බලකාය විසින් රටේ අනාගතය ගැන සිතා සැකසූ ඉතා හොද තීරණ ක්‍රියාත්මක නොවීම ද මෙම වන විනාශයන්ට ප‍්‍රධාන හේතුව වී ඇත. එම සැලසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියලුම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (එ්) වගන්ති ප‍්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දේශ ලබා දෙන ලෙස ය. ඒ සඳහා නිර්දේශ ලැබුණමුත් ඊට අදාළ ලිපි ගොනු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ වසර ගණනාවක කාලයක් තිස්සේ ගොඩ ගසා තිබේ. මේ කැබිනට් පත‍්‍රිකාව අනුව හෙක්ටයාර 2508.4 ක නොයිඳුල් වනාන්තර ඉඩම් ප‍්‍රමාණයක් සිංහරාජයට අළුතින් එක් කිරීමට නියමිත ව තිබේ. නමුත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ ක්‍රියාවලිය සීමා වී ඇත. අද දක්වා ම එම වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කිරීමට නොහැකි වී ඇත. මේ නිසා මෙම වනාන්තර දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් එක් ව ව්‍යාජ ඔප්පු සකස් කර රටට අහිමි කරමින් පවතී.

    වර්ෂ 2010 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව සමස්ත තෙත් කලාපීය ස්වාභාවික වනාන්තර ආවරණය සියයට 3 ක් බව හඳුනාගෙන තිබේ. මේ තත්ත්වය තුළ රක්ෂිත ආශ්‍රිත ව පිහිටන තෙත් වනාන්තර මේ ආකාරයෙන් විනාශ කිරීමෙන් තෙත් කලාපය දැවැන්ත පාරිසරික බිඳ වැටීමකට ඉදිරි කාලය තුළ දී මුහුණ දීමට සිදු වනු ඇත. මේ තත්ත්වය වැළැක්වීම සඳහා තෙත් කලාපයේ සියලූ වනාන්තර රක්ෂිත බවට පත් කිරීම මෙන් ම එම වනාන්තර ජාල ගත කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ව ඇත.

    සජීව චාමිකර