Author: Editor

  • කාන්තාවන්ට ‘ඔසප් නැවතීම’ දැනෙන්නේ කෙසේ ද?

    කාන්තාවන්ට ‘ඔසප් නැවතීම’ දැනෙන්නේ කෙසේ ද?

    ඕනෑ ම කාන්තාවක සිය තරුණ විය ඉක්මවා යද්දී මුහුණ දීමට සිදුවන පොදු ශාරීරික තත්ත්වයක් වුවද, එකිනෙකාට දැනෙන සංකුලතා විවිධය.

    “අවුරුදු 50 ලබන කාලයේ දී මට නිතර තද ඔලුවේ කැක්කුමක් එන්න ගත්තා. ඒ වගේම මගේ හිත එක දෙයකට යොමු කරළා තියාගන්න බැරි වුණා. හැමවෙලාවෙම මුත්‍රා පිට කිරීමට අවශ්‍ය ගතියකුත් තිබුණා,” පිළියන්දල පදිංචි කාන්ති ජයවර්ධන සිය අත්දැකීම පැහැදිලි කරන අතරේ එසේ පැවසුවාය.

    “53 දී විතර මගේ ඔසප්වීම නතර වුණා. නමුත් මට කිසිම වෙනසක් දැනුනේ නැහැ. වෙනදා වගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටියා. නමුත් මම දන්න බොහෝ දෙනෙකුට නොයෙකුත් අපහසුතාවලට මුහුණ දෙන්න වුණා” කිරිබත්ගොඩ පදිංචි රමණි නානායක්කාර සඳහන් කළාය.

    කාන්තාවකගේ ඔසප් වීම නතර වීම (ආර්තවහරණය) සහ තවදුරටත් ස්වභාවික ලෙස දරුවන් වැදීම කළ නොහැකි වීම ‘ආර්තවහරණය’ (Menopause) යනුවෙන් හැඳින්වේ.

    එය වයස්ගත වීමත් සමග කාන්තාවකගේ ශරීරයේ සිදුවන ස්වභාවික වෙනස්කම්වලින් එකකි. කාන්තාවකගේ ඔසප් වීම නතර වීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 45ත් 55ත් අතර සිදු වේ.

    ශ්‍රී ලංකාව තුළ ආර්තවහරණය සිදුවන වයස දළ වශයෙන් 51ක් බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පැවසීය.

    ඇතැම් කාන්තාවන්ට ආර්තවහරණය එකවර සිදු විය හැකි නමුත්, බොහෝ විට සිදුවන්නේ ඔසප් වීම ක්‍රමයෙන් අවම වී අවසානයේ දී නතර වීමය.

    ආර්තවහරණයට ප්‍රධාන ලෙස බලපාන්නේ කාන්තා ශරීරය තුළ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන ප්‍රධාන හෝමෝනය වන ‘ඊස්ට්‍රජන්’ නිෂ්පාදනයේ අඩු වීමය

    බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන් දස දෙනෙකුගෙන් ආර්තවහරණය ගැන විමසූ විට ඉන් හත්දෙනෙකු ශාරීරික සහ මානසික වේදනාවන්ට මුහුණ දුන් බව පැවසූ අතර, තිදෙනෙක් කිසිදු ගැටලුවකට මුහුණ නොදුන් බව පැවසූහ.

    වෙනත් හේතු

    වයස්ගතවීමට අමතරව ආර්තවහරණයට වෙනත් හේතු ඇති අතර, එබැවින් ඇතැම් කාන්තාවන් අදාළ වයස් සීමාවට පෙර ආර්තවහරණයට මුහුණ දෙන බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය.

    එයට පහත සඳහන් හේතු බලපෑ හැකිය:

    • ගර්භාෂ විච්ඡේදනය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සැත්කමකට මුහුණ දීම
    • ජානමය තත්ත්ව
    • ඩිම්බ කෝෂ අකර්මණ්‍ය වීම හෝ හානි වීම
    • ප්‍රතිශක්තිය අඩු වීම
    • පාරිසරික බලපෑම්

    මේ වෙනස සිදුවන්නේ ඇයි?

    මෙයට ප්‍රධාන ලෙස බලපාන්නේ කාන්තා ශරීරය තුළ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන ප්‍රධාන හෝමෝනය වන ‘ඊස්ට්‍රජන්’ නිෂ්පාදනයේ අඩු වීමය.

    වයස්ගතවීමත් සමග ප්‍රජනන පද්ධතිය තුළ ඩිම්බ නිපදවීම නතර වන බැවින් ඔසප් වීම සහ දරු පළ හටගැනීම නතර වේ.

    ඒ සමගම ප්‍රජනන ක්‍රියාවලිය පාලනය කරන ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම ද ක්‍රමයෙන් අඩු වෙයි.

    නමුත් මෙය එක රැයකින් සිදුවන දෙයක් නොවේ.

    මෙම වැදගත් හෝමෝනය ශරීරය තුළ නිපදවීම අඩු වීමට වසර ගණනාවක් ගත විය හැකි අතර, අවසානයේ දී එය සම්පූර්ණයෙන් නතර වේ.

    ඊස්ට්‍රජන් වැදගත් ඇයි?

    “ඊස්ට්‍රජන් කියන්නේ කාන්තාවන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණවලට බලපාන හෝමෝනයයි. දැරියක් කාන්තාවක් ලෙස විකසිත වෙන්නේ මෙම හෝමෝනයේ ක්‍රියාකාරීත්වයෙන්. ඊස්ට්‍රජන් හෝමෝනය ප්‍රධාන වශයෙන් ශ්‍රාවය වන්නේ ඩිම්බ කෝෂවලින්.”

    “ආර්තව චක්‍රය මනාව පවත්වාගෙන යාම සහ පිළිසිඳ ගැනීමක් සඳහා සිරුර සකස් කිරීම. ඊට පසු දරුවෙක් ලබා මව් කිරි ලබා දීමේ ක්‍රියාවලියට ද ඊස්ට්‍රජන් ඉතා වැදගත් වෙනවා”

    දැරියක් වැඩි වියට පත් වීමෙන් පසු ඩිම්බ කෝෂ වර්ධනය වී ඊස්ට්‍රජන් ශරීරයට ඇතුළු වී ආර්තව චක්‍රයේ ආරම්භය සිදුවන බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැහැදිලි කළේය.

    “ඉන් පසු මේ ඊස්ට්‍රජන්වල කාර්යය තමයි ආර්තව චක්‍රය මනාව පවත්වාගෙන යාම සහ පිළිසිඳ ගැනීමක් සඳහා සිරුර සකස් කිරීම. ඊට පසු දරුවෙක් ලබා මව් කිරි ලබා දීමේ ක්‍රියාවලියට ද ඊස්ට්‍රජන් ඉතා වැදගත් වෙනවා.”

    “කාන්තා ශරීරයේ අනෙක් පද්ධතිවල සුමට ක්‍රියාකාරිත්වයටත් ඊස්ට්‍රජන් හෝමෝනය වැදගත් වෙනවා. මොළය, රුධිර වාහිණී පද්ධතිය, සම, අස්ථි, බඩවැල්, අක්මාව, මුත්‍රා පද්ධතිය, ලිංගික අවයව මේ සියල්ලටම ඊස්ට්‍රජන්වලින් යම්කිසි බලපෑමක් තිබෙනවා,” වෛද්‍යවරයා පැවසුවේය.

    ආර්තවහරණයේ ලක්ෂණ කිහිපයක්

    • ඔසප් වීම අක්‍රමවත් වීම
    • අධික ලෙස දහදිය දැමීම.
    • ශරීර උෂ්ණත්වය දැඩි ලෙස දැනීම
    • ශරීරයේ යම් කොටස්වල දැවිල්ලක් ඇති වීම
    • ශරීරයේ බර වැඩිවීම
    • ලිංගික සංසර්ගයේ දී වේදනාවක් ඇතිවීම
    • යෝනි මාර්ගයේ වියලි බවක් ඇතිවීම
    • නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම
    • සම තුනී වීම
    • අලස ගතිය
    • ඉක්මනින් කේන්ති යෑම ඇතුළු මානසික ව්‍යාකූලතා
    • අත් පා හිරිවැටීම
    • සන්ධි සහ අස්ථි වේදනාකාරී වීම
    • අස්ථි දුර්වල වීම (osteoporosis)
    • හෝමෝනවල බලපෑම් නිසා වැඩිපුර හිසකෙස් හැලී යාම
    “මොළය, රුධිර වාහිණී පද්ධතිය, සම, අස්ථි, බඩවැල්, අක්මාව, මුත්‍රා පද්ධතිය, ලිංගික අවයව මේ සියල්ලටම ඊස්ට්‍රජන්වලින් යම්කිසි බලපෑමක් තිබෙනවා”

    “මට තරුණ කාලයේ දී ගර්භාෂයේ ගෙඩි හටගත්ත නිසා සැත්කමක් සිදු කරන්න වුණා. ඒක නිසා වයස 47 පහු වෙද්දීම ආර්තවහරණයට මුහුණ දෙන්න වුණා. මගේ මුළු ඇඟම රිදෙන්න ගත්තා. අත පය හිරිවැටෙන ගතියක් තිබුණා. උදේ නැගිටිනකොට දහදියෙන් තෙමිලා,” යැයි නම හෙළි කිරීමට අකමැති කාන්තාවක බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළාය.

    පවුල් ජීවිතය

    ඕනෑම කාන්තාවක් සිය දිවිගමනේ වැඩිහිටි වියට පත් වීමේ දී ආර්තවහරණයට මුහුණ දේ. මෙය තවත් එක් ස්වාභාවික සිද්ධියක් වුවත්, සමහර අවස්ථාවල දී ආර්තවහරණයේ අතුරු ප්‍රතිඵල හේතුවෙන් සිදුවන මානසික ව්‍යාකූලතා නිසා පවුල් දිවිය තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වීමට ද ඉඩ තිබේ.

    “මට අවුරුදු 51 වෙනකොට පීරියඩ්ස් හැදෙන එක නතර වුණා. හැබැයි මට ඒ කාලේ පුදුම විදියට කේන්ති යන්න ගත්තා. කිසිම කෙනෙක් නොරුස්සන ස්වභාවයක් ආවා. හැබැයි මට මේ වෙන්නේ මොකක්ද කියලා මට හෝ මගේ පවුලේ අයට දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට පවුල් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා,” වැලිවේරියේ පදිංචි ජයන්තා කුලසූරිය පැවසුවාය.

    බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කාන්තාවන් දස දෙනාගෙන් හය දෙනෙකුට ආර්තවහරණය ගැන නිවැරදි අවබෝධයක් නොතිබිණි

    “මට ඒ කාලේ පුදුම විදියට කේන්ති යන්න ගත්තා”

    එමෙන්ම, පුරුෂයන් බොහෝ දෙනෙකුට ද ආර්තවහරණය සිදු වන්නේ කෙසේ ද යැයි අදහසක් නොතිබිණි.

    ආර්තවහරණය යන්න තේරුම් ගෙන එම කාලය ඇතුළත වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින්, කල්පනාකාරීව සහ ඉවසීමෙන් කටයුතු කිරීම වෙනුවට නොයෙකුත් ගැටලු ඇති වීමේ තත්වයක් මෙම නොදැනුවත්කම නිසා ඇති වී තිබේ.

    “55දී මට මේ තත්වයට මුහුණ දෙන්න වුණා. සමහර වෙලාවට ඇඟ පිච්චෙනවා වගේ දැනෙන්න ගත්තා. ඒ වගේම දැඩි මානසික ආතතියක් දැනෙන්න ගත්තා. සමහර වෙලාවට ගෙදරින් එළියට දුවන්න වගේ හිතෙන හැගීමක් ආවා. අවසානයේ වෛද්‍යවරයෙක් හමුවෙලා මානසික ව්‍යාකූලතාවට බෙහෙත් ගත්තා,” එංගලන්තයේ ලන්ඩන් නුවර දිවි ගෙවන ශ්‍රී ලාංකික කාන්තාවක් වන මාලිනි විතාරණ පැවසුවාය.

    මේ අතර, තවත් කාන්තාවන් දෙදෙනෙකු පැවසුවේ සිය සැමියන්ට ආර්තවහරණය ගැන කිසිදු අවබෝධයක් නොතිබුණු නිසා තමන් දැඩි අපහසුතාවලට මුහුණ දුන් බවය. නමුත් සිය සැමියා ද කැටුව වෛද්‍යවරයෙකු හමුවීමට යාමෙන් තත්වය පැහැදිලි කරගත් බව ඔවුහු පැවසූහ.

    ආර්තවහරණයේ අතුරු ප්‍රතිඵල හේතුවෙන් සිදුවන මානසික ව්‍යාකූලතා නිසා පවුල් දිවිය තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වීමට ද ඉඩ තිබේ

    “මට වයස 48යි. දැන් පීරියඩ්ස් හැදෙන්නේම නැති තරම්. ලිංගික සංසර්ගයේ දී වේදනාවක් දැනෙනවා වගේම ඉස්සර වගේ මනස එක දෙයකට යොමු කරගෙන ඉන්න අපහසු බවක් දැනෙනවා,” නම හෙළි කිරීමට අකමැති කාන්තාවක පැවසුවාය.

    ආර්තවහරණයට ප්‍රතිකාර ගත යුතු ද?

    “ආර්තවහරණය කියන්නේ ලොකු ක්‍රියාවලියක එක් කොටසක් පමණයි. කාන්තාවකගේ හෝමෝන පද්ධතියේ වෙනස්කම් මෙයට බලපාන මූලිකම කාරණයයි. මේ නිසා ශරීරයේ වෙනත් පද්ධතිවලට ඇතිවන බලපෑමට තමයි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන්නේ,” යැයි වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසීය.

    මින් වසර දහයකට පමණ පෙර ආර්තවහරණය හේතුවෙන් මතුවන සංකූලතාවලට ‘හෝමෝන නැවත තැන්පත් කිරීමේ (HRT)’ ක්‍රමයක් අනුගමනය කර තිබේ. සමහර කාන්තාවන් තරුණ බව රැකගැනීමේ ක්‍රමයක් ලෙස ද මෙම ප්‍රතිකාර ක්‍රමයට යොමුවී තිබිණි.

    නමුත්, වෛද්‍ය විද්‍යාවේ නවතම සොයාගැනීම් අනුව, HRT ක්‍රමය දීර්ඝ කාලයක් අනුගමනය කිරීම තුළින් හදවත් රෝග සහ පිළිකා ඇතිවීමේ අවදානමක් පවතී.

    නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න

    මේ හේතුවෙන්, වර්තමානයේ දී ආර්තවහරණය නිසා ඇතිවන සංකූලතාවලට සිදු කරන පළමු ප්‍රතිකර්මය HRT නොවන අතර, සිය ජීවන රටාවේ යම් වෙනස්කම් සිදු කිරීම මගින් නිරෝගීව සිටීමට හැකි බව වෛද්‍යවරයා පැවසුවේය.

    ජීවන රටාවේ සිදුවිය යුතු වෙනස්කම් මොනවාද?

    • තමන් දිවිගෙවන පරිසරය ප්‍රියජනක ලෙස සකසා ගැනීම
    • පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරුවීම
    • ව්‍යායාමවල නිරත වීම
    • මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් එළිමහනේ ව්‍යායාමවල නිරත වීම
    • තමන් දිවිගෙවන නිවසේ වාතාශ්‍රය වැඩිකර ගැනීම
    • කෝපි වැනි ‘කැෆේන්’ අඩංගු පාන වර්ග අවම කිරීම
    • උණුසුම් දියර වර්ග පානය කිරීම අවම කිරීම
    • මත්පැන්, දුම්වැටි භාවිතය අවම කිරීම
    • ශරීරය සිසිල් වීම සහ වාතාශ්‍රය ලැබීම සඳහා එළිමහන් ක්‍රියාකාරකම්වල වැඩිපුර නිරත වීම

    ආර්තවහරණය නිසා ඇතිවන සංකූලතාවලට වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි ලබාගත හැකි විවිධ පෙතිවර්ග සහ හෝමෝන වඩවන ශාකවර්ග ද ආහාරයට ගත හැකි බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය.

    ජීවන රටාවේ යම් වෙනස්කම් සිදු කිරීම මගින් නිරෝගීව සිටිය හැකිය

    “නමුත් තමන්ට දැනෙන සියලු අපහසුතා ආර්තවහරණය නිසා සිදුවන බව නොසිතා ශරීරයේ වෙනත් පද්ධතිවල ඇති වෙනස්කම් ගැන අවධානය යොමු කර සිටීම වැදගත්. උදාහරණයක් ලෙස, තයිරොක්සීන් වැඩි කෙනෙක්ට වැඩිපුර දහදිය දමන ගතියක් එන්න පුළුවන්.”

    “මේ ක්‍රමවලට අමතරව, මාස තුනකට හෝ හයකට තාවකාලිකව ශරීරයට අවශ්‍ය හෝමෝන ලබා දෙන්න පුළුවන්. ඒ වගේම හෝමෝන අත්‍යවශ්‍ය අවස්ථාවල දී තමන්ට තිබෙන අවදානම තේරුම් අරගෙන එය ලබා ගත්තාට කමක් නැහැ,” වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය.

    මෙම සම්පූර්ණ ලිපියම BBC සන්දේශය අන්තර්ජාල අඩිවයේ 2019 ජූලි 26 වැනි දින පළ වූ ලිපියක් බව සලකන්න. සිංහල භාෂීය පාඨක කාන්තාවන්ගේ හා තරුණියන්ගේ සෞඛ්‍ය විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම උදෙසා මෙම ලිපිය උපුටා ගෙන lankaepress හි පළ කිරීමට තීරණය කළෙමු. ප‍්‍රධාන සංස්කාරක

  • පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ සභා වාර්තාව ලබන 10 වැනිදා විවාදයට

    පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ සභා වාර්තාව ලබන 10 වැනිදා විවාදයට

    පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය  පිළිබඳ සොයා බැලූ  ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින බදාදා ආරම්භ කිරීමට  ගරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

    ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    මාර්තු 9 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ කරන අතර පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.

    ඉන්පසුව පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි පිළිබඳ විවාදය, විදේශ විනිමය පනත යටතේ වන රෙගුලාසියක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2ක් පිළිබඳ විවාදය ද පෙ.ව 11.00 සිට ප.ව 03.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයන් තීරණය කළ බව ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    මෙරට කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉදිරිපත්කර ඇති යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙදින සිදුවන බව මහලේකම්වරයා පැවැසුවේය.

    පාර්ලිමේන්තුව මාර්තු 09 වැනි දින ප.ව 3.30ට කල් තැබීමෙන් පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය විසින් ඉදිරිපත් කරනු ලබන කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම පිළිබඳව ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගනු ඇත. එම විවාදය පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

    මාර්තු 10 වැනි බදාදා අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න මෙවර ක්‍රියාත්මක නොවුවද පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.

    ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගනු ලබන බව ධම්මික දසනායක මහතා පැවසුවේය.

    මාර්තු 12 වැනි සිකුරාදා දින පාර්ලිමේන්තුව රැස් නොවේ

  • ‘සනත් ජයසූරියට Covid එන්නත දුන්න’ අමාත්‍යාංශ ලේකම් ගෙදර යවයි

    ‘සනත් ජයසූරියට Covid එන්නත දුන්න’ අමාත්‍යාංශ ලේකම් ගෙදර යවයි

    ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා මහතා ඊයේ (3) සිට එම තනතුරින් ඉවත් කර එම තනතුරට සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය පත්කර ඇත.

    ලේකම්වරයා මේ ආකාරයෙන් හදිසියේ ඉවත් කිරීමට හේතු වශයෙන් සඳහන් වන්නේ සනත් ජයසූරියට කොරෝනා එන්නත ලබා දීම බවයි වාර්තා වන්නේ.

    ඊයේ (03) මාධ්‍ය හමුවකදී ද මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වුණා. එහිදී වත්මන් රජයට බලයට පත් කිරීමට දැඩි වෙහෙසක් දැරූ බලවත් භික්ෂුවක වන අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අභයාරාම විහාරස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදාළ සිදුවීම හා අමාත්‍යාංශ ලේකම්වරයා දැඩිව විවේචනය කළා.

    හිමියෝ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විට අවුල්ජාලාවක් වී ඇති බවයි.

    මේ අතර බී.බී.සී සන්දේශය අන්තර්ජාල අඩවිය ද වත්මන් කොවිඞ් එන්නත්කරණ වැඩසටහනේ අවුල් සහගත තත්ත්වය ගැන අද (4) විශේෂ වාර්තාවක් පළ කළා. එහි සඳහන් වුණේ VIPලාට කොවිඞ් එන්නත ලබා දෙන බවයි.

  • කොදෙව් පිළට කඩුළු 4ක පහසු ජයක්

    කොදෙව් පිළට කඩුළු 4ක පහසු ජයක්

    විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කරන ලද ලොව තෙවැනි පිතිකරුවා බවට පත්වුණු කිරන් පොලාර්ඩ්ගේ සුවිශේෂී ඉනිම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (04 දා) අළුයම අවසන් වුණු පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒසමඟම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයින්ට අවස්ථාව උදාවිය.

    ඇන්ටිගුවාහි පැවැති මෙම තරගයේදී ලකුණු 132 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සත්කාරක කණ්ඩායමේ වැඩි හරියක්ම වාර්තා වූයේ හයේ පහර හෝ කඩුලු වැටී යෑම් විය. පන්දු 41 ක් සහ කඩුලු 4 ක් ඉතිරිව තිබියදී කොදෙව් පිල ජය ගන්නා විට ඉනිමේ වාර්තා කරන ලද ලකුණු 134 න් ලකුණු 78 ක් හයේ පහර වලින් (6×13) වාර්තා වීම කැපී පෙනුණි. හතරේ පහර 6 ක්ද වාර්තා වුණු කොදෙව් ඉනිමේ අතිරේක ලකුණු 09 හැරුණු විට ලකුණු 23 ක් පමණක් කඩුලු අතර දිව යමින් ලබාගෙන තිබුණි.

    ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී වේගවත් ලකුණු 52 ක් රැස් කිරීමට එවින් ලුවිස් සහ ලෙන්ඩ්ල් සීමන්ස් සමත්විය. එහෙත් සිව්වැනි පන්දුවාරය යැවූ අකිල ධනංජය විසින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වීමත් සමඟ කොදෙව් හඹා යෑම තරමක් තැතිගන්වන ස්වභාවයක් ඉසිලීය.

    ප්‍රථමයෙන්ම එවන් ලුවිස් දවා ගත් අකිල, අනතුරුව පැමිණි ක්‍රිස් ගේල්ව කඩුල්ල මුවා කිරීමේ වරදකටද, නිරෝෂන් දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙන් උප නායක නිකලස් පූරාන්ව දවා ගැනීමට සමත්වීම හේතුවෙන් පළමු වතාවට කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීවේය. පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැන නැගුණු ගැටළුව නිරාකරණය කිරීමෙන් පසු අකිල සහභාගිවුණු පළමු ජාත්‍යන්තර තරගය බවට පත් වුණු මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනෙයි.

    ඊට පන්දු 8 කට පසු නිකොලොස් පූරාන්ව දවා ගැනීමට වනිඳු හසරංග සමත්වීමත් සමඟ තරගයේ පාලනය ශ්‍රී ලංකා පිල වෙත නතු වුණු නමුත් අනතුරුව පිටියට පිවිසි කිරන් පොලාර්ඩ්ගේ ප්‍රවේගකාරී ඉනිම හේතුවෙන් සියල්ල කොදෙව් පිලේ වාසියට හැරවිණ. තරගයේ හය වැනි පන්දුවාරය යැවූ කඩුලු ත්‍රිත්ව ලාභී අකිල ධනංජයට එරෙහිව හයේ පහර 6 ක් එල්ල කළ පොලාර්ඩ් විස්සයි-20 තරග අංශයේ එවැනි හපන්කමක් කළ ලොව තෙවැනි පිතිකරුවා බවට පත්විය. පොලාර්ඩ් පෙර දකුණු අප්‍රිකානු පිතිකරු හර්ෂල් ගිබ්ස් සහ ඉන්දීය පිතිකරු යුවරාජ් සිං පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කර ඇති පිතිකරුවෝ බවට පත්ව සිටිති.

    පොලාර්ඩ්ගේ එම අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 අවසනදී ලකුණු 98 ක් රැස් කිරීමට කොදෙව් පිලට අවස්ථාව උදා වූ අතර එය නව විස්සයි-20 වාර්තාවක් ලෙසින් සටහන් විය. හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව පොලාර්ඩ් දැවී යන විට පන්දු 11 කදී ලකුණු 38 ක් රැස් කරගෙන සිටියේය. එම දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ෆේබියන් ඇලන්ව පළමු පන්දුවෙන්ම දවා ගත් හසරංග ද කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ ආසන්න අවස්ථාවක් නිර්මාණය කරගත් නමුත් ඊළඟ පන්දුව සඳහා මුහුණ දුන් ඩ්වේන් බ්‍රාවෝ ආරක්ෂා වූවේය.

    නුවන් ප්‍රදීප් විසින් යවන ලද 14 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට ජේසන් හෝල්ඩර් එල්ල කරන ලද හයේ පහරත් සමඟ ජයග්‍රහණය සනාථ වන විට කඩුලු 6 ක් දැවී ගොස් තිබුණි. තරගය හමාර වන විට පන්දු 24 කට මුහුණ දී සිටි හෝල්ඩර් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක් ස ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 04 ක් රැස් කරගෙන සිටියහ.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 එක් කිරීමට නිරෝෂන් දික්වැල්ල සහ පළමු ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සමත්විය. දේශීය තරග පිටියේ මෙන්ම සංවර්ධන සහ ඒ තරග සංචාරයන්හි හොඳින් ලකුණු අතර සිටි පැතුම් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් ලකුණු 39 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 34 කදී ගොඩනැංවුණු පැතුම්ගේ ඉනිම හැරුණු කොට වැඩිම ලකුණු ලාභියා වූයේ නිරෝෂන් දික්වැල්ල (33) පමණි. ඒ හැරුණු විට සෙසු එකම පිතිකරුවකු ලකුණු 12 සීමාව ඉක්මවාලීමට අපොහොසත් වූහ.

    ශ්‍රී ලංකා පිල මෙල්ල කිරීම සඳහා කොදෙව් නායකයා පන්දු යවන්නන් 6 දෙනෙකු උපයෝගී කරගත් නමුත් තමන් පන්දු යැවීමෙන් වැළකී සිටියේය. නායකයා තැබූ විශ්වාසය අකුරටම ඉටු කළ කොදෙව් පන්දු යව්නන්න අතරින් ඔබෙඩ් මැකෝයි ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගනිද්දී සෙස්සෝ සියල්ල එක් කඩුල්ල බැගින් දවා ගත්හ. කොදෙව් පන්දු යවන්නන් තරගයේ පාලනය කෙසේ රඳවා ගත්තේද කිවහොත් අවසන් පන්දුවාර 10 ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල කර තිබුණේ හතරේ පහර 3 ක් පමණි.

    පැතුම් නිස්සංකට අමතරව මෙම තරගයේදී අෂේන් බණ්ඩාරද ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත්වූ අතර ඔහු ලකුණු 10 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවූවේය. වැඩිම අත්දැකීම් සම්භායක් ඇති නායක මැත්ව්ස් සහ දිනේෂ් චන්දිමාල්ට නිසි ලෙන පන්දුව ස්ථානගත කිරීමට නොහැකිවීම මත අඩු ලකුණුවලට දැවී යෑම ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් බවට පත්විය. දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය මෙම මස 06 වැනිදා කූලිජ්හිදීම පැවැත්වේ.

    Text by – sri lanka cricket
  • අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක්

    අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක්

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට අකිල ධනංජය අද (04 දා) සමත්විය.

    ලකුණු 132 ක ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුලු 3 ම දවා ගනිමින් අකිල මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූවේය. සිව්වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී අර්වින් ලුවිස් දවා ගත් අකිල ඊළඟ පන්දුවේදී ක්‍රිස් ගේල්වද තෙවැනි පන්දුවේදී කොදෙව් පිලේ උප නායක නිකොලොස් පූරාන්වද දවා ගනිමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත්විය.

    ඒ අනුව මෙය විස්සයි-20 ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු සිව්වැනි කඩුලු ත්‍රිත්වය ලෙසින් සටහන් විය. අකිලට ප්‍රථම ලසිත් මාලිංග අවස්ථා 2 කදී සහ තිසර පෙරේරා එක් අවස්ථාවකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්ව දවාගැනීමට සමත්ව සිටිති. ලොව විස්සයි-20 තරග අංශය යටතේ කඩුලු ත්‍රිත්වයක් වාර්තාවුණු 14 වැනි වතාව ලෙසින් අකිලගේ දක්ෂාතව සටහන් විය.

  • කොවිඩ් එන්නත්කරණය අයාලේ –  VIPලාට වැඩි සැලකිලි – ඇත්ත කතාව දැන ගන්න

    කොවිඩ් එන්නත්කරණය අයාලේ – VIPලාට වැඩි සැලකිලි – ඇත්ත කතාව දැන ගන්න

    ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත් කිරීමේ වැඩසටහන ‘සැලැස්මකට’ අනුව ක්‍රියාත්මක නොවන්නේයැයි විවිධ පාර්ශව වෙතින් තවදුරටත් චෝදනා එල්ල වන ආකාරය බීබීසී සිංහල සේවය කළ විමසුමක දී පෙනෙන්නට විය.

    එක්සත් රාජධානිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත මුම්බායිහි ‘සීරම් ඉන්ස්ටිටියුට්’ ආයතනය නිෂ්පාදනය කර තිබෙන අතර, එයින් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ද ලැබිණි. තවත් එන්නත් තොගයක් පෙබරවාරි මස ගෙන්වීය.

    නමුත් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ගැන රජයේ නිවේදන විටින් විට වෙනස් වී ඇති අතර, සමහර ස්ථානවල සිදුවූ අක්‍රමිකතාවලට එරෙහිව විරෝධතා ද පැවැත්විණි.

    නාරාහේන්පිට ප්‍රදේශයේ එන්නත් ලබා දීමේ අවස්ථාවක දී එය නිසි සැලැස්මකට අනුව සිදු නොවන බව එම මධ්‍යස්ථානයේ රැස්ව සිටි පිරිස චෝදනා කළ අතර, එහි නොසන්සුන්තාවක් ද ඇතිවිය.

    “මම එළවළු ගන්න පිටකොටුවට ගියා. ඒ හරියේ එන්නත් දෙන මධ්‍යස්ථානයක් තිබුණා. ඒ සෙනඟ පෝලිමට මමත් එකතුවෙලා ගිහින් එන්නත විදගත්තා. නැත්නම් පිළිවෙලකට ඕක හැමෝටම ලැබෙයි කියලා අපිට විශ්වාසයක් නැහැ,” 75 හැවිදිරි පුද්ගලයෙකු බීබීසී සිංහල සේවයට පැවසීය. සිය නම හෙළිනොකරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

    ජනවාරි මස එන්නත ශ්‍රී ලංකාවට ලැබුණු විට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත ලබා දීමට ක්‍රියා කරන බවය.

    Vaccine rollout in Sri Lanka
    ඡායාරූප ශීර්ෂ වැකිය,කොළඹ: එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට පෝලිමේ සිටින පුද්ගලයන්

    එය එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිකුත් කළ පළමු නිවේදනය විණි.

    ඒ අනුව, බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් හයක සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන ජනවාරි 29 වෙනි දින ආරම්භ විය.

    නමුත්, කෙටි කාලයක් ඇතුළත දේශපාලනඥයන්, ක්‍රීඩකයන් ඇතුළු විවිධ පුද්ගලයන් එන්නත ලබා ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යජාලවල සංසරණය විය.

    මින්පසු පෙබරවාරි මස සෞඛ්‍ය අමාත්‍යාංශය නැවතත් පැවසුවේ, වයස 30ත් 60ත් අතර සියලුම පුද්ගලයන්ට එන්නත ලබා දෙන බවය. නමුත් එය 60ට වැඩි පුද්ගලයන්ට ද එන්නත ලබා දෙන බව නැවතත් නිවේදනය කළේය.

    ‘VIP සෙන්ටර්’

    මේ අතර, කොළඹ ස්ථාන කීපයක ප්‍රභූන් (VIP) සඳහා වෙන් වූ එන්නත් මධ්‍යස්ථාන ගැන තොරතුරු ද බීබීසී සිංහල සේවයට ලැබිණි.

    “මම හෙදියක්, VIP වැක්සීන් සෙන්ටර් එකක වැඩ කරනවා. මට ඇත්තටම මහා කලකිරීමක් තියෙන්නේ මේ වැඩපිළිවෙල ගැන. අපේ පවුලේ වයසක අම්මට, තාත්තට තියා කිසි කෙනෙකුට එන්නත ලැබුණේ නැහැ. නමුත් VIP සෙන්ටර් එකට දේශපාලඥයන්, ඒ අයගේ නෑයෝ, යාළුවෝ සහ ප්‍රභූන් කියන අය ඔක්කොම ඇවිත් එන්නත විදගෙන යනවා.”

    “මේක ඇත්තටම ලොකු අසාධාරණයක්,” යැයි ‘ප්‍රභූ එන්නත් මධ්‍යස්ථානයක’ සේවය කරන හෙදියක පැවසුවාය. ඇය ද සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළාය.

    දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිවීම සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක දී පැවසීය.

    ප්‍රමුඛතා කණ්ඩායමට අයත් වූයේ වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් වන නමුත් එම ක්‍රියාවලිය වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුව තීරණය කළ බව එම සංගමය පැවසීය.

    Vaccine rollout in Sri Lanka
    ඡායාරූප ශීර්ෂ වැකිය,එන්නත සඳහා පුද්ගලයන් ලියාපදිංචි කරන ස්ථානයක්

    එන්නත්කරණය ගැන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය.

    “හැටට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදෙනවා ආණ්ඩුව මුලින් කිව්වා. ඊට ටික කාලයකට පස්සේ 30-60ත් අතර අයටයි එන්නත දෙන්නේ කියලා පුවතක් ගියා. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ කීපදෙනෙකුට එන්නත දුන්නා. හැබැයි මේ අස්සේ වරායේ, මහජන පුස්තකාලයේ VIP මධ්‍යස්ථාන පිහිටුවලා දේශපාලඥයන් සහ හිතවතුන්ට එන්නත ලබා දෙනවා.

    මහජන පුස්තකාලයේ, වරායේ සේවකයන් අපිට කතා කරලා කියනවා ඔවුන්ට එන්නත ලැබෙන්නේ නැහැ, හැබැයි VIP අයට ලැබෙනවා කියලා.

    සමාජයෙන් එන විරෝධය වළක්වා ගන්න කොළඹ, මට්ටක්කුලිය, ගම්පහ, නාරාහෙන්පිට වගේ ප්‍රදේශවල එන්නත් දීගෙන යනවා. නමුත් පිළිවෙලකට ලිස්ට් එකකට නෙමෙයි. සෑහෙන දෙනෙක් හොර පාරෙන් එන්නත විදගන්නවා.

    කොරෝනා පාලනය කරන්න නම් එන්නත් ලක්ෂ 140ක් ලංකාවට අවශ්‍ය වෙනවා. ඒ වගේම, නිසි ක්‍රියාදාමයකට එන්නත්කරණය සිදු කළ යුතු වෙනවා,” මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

    ‘දරුවන්ට නැහැ, ඒත් ගත්තා’

    කිරිබත්ගොඩ පදිංචි 28 හැවිදිරි කාන්තාවක බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ, දරුවන්ට එන්නත ලබා දීමට රජයෙන් තවමත් වැඩපිළිවෙලක් නොමැති නමුත් තමන් මෙන්ම දෙහැවිදිරි දරුවා ද එන්නත ලබා ගත් බවය.

    “මම දන්නවා මේක වැරැද්දක් කියලා. නමුත් මම අසනීපවලින් පෙළෙන කෙනෙක්. මගේ එකම දරුවා ගැන තිබුණේ ලොකු බයක්. ඉතින් මම දන්න කෙනෙකු හරහා කොහොමහරි වැක්සීන් ගත්තා.

    වැක්සීන් දෙන පැහැදිලි ක්‍රමවේදයක් ගැන ආණ්ඩුවෙන් කියන්නේ නැහැ. එක එක දවසට හිතුන දේවල් කියනවා මාධ්‍ය හරහා. අපි කොහොම ද මේ රට ගැන විශ්වාසයක් තියෙන්නේ.

    දේශපාලඥයෝ සියල්ල ඩැහැගෙන ගියාම, අපි වගේ මිනිස්සුන්ට අවසානයේ ඉතිරි වෙන්නේ දුක විතරමයි. දියුණු රටවල වගේ වයසක සහ අසනීප අයට පිළිවෙලට වැක්සීන් එක දුන්නා නම් මේ කිසිදෙයක් වෙන්නේ නැහැ. නමුත් දේශපාලඥයන්ගේ ලැයිස්තු ටික කවර් කරන්න ඕන නිසා වැඩසටහන හිතේ හැටියට අවුල් කරලා,” ඇය තවදුරටත් පැවසුවාය.

    මෙසේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙය ඇතැම් හුදෙකලා සිද්ධි මත පදනම් වූ ප්‍රකාශ විය හැකි බවය.

    “මට කියන්න පුළුවන් මම ගැන. මම එන්නත ගත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන අවස්ථාවේදී. ඒත් මගේ පවුලේ කිසිකෙනෙකුට එය ලබාදීලා නෑ. ඒ වාරය එනකන් ඒ අය ඉන්නවා ඔය කියන දේ isolated incidents, තනිවේච්ච එක සිදුවීමක් හෝ දෙකක් අරගෙන generalise (සාමාන්‍යකරණය) කරන්න යනවද දන්නේ නෑ” යැයි අමාත්‍යවරයා කීය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ, “එන්නත් කරණය දේශපාලනිකරණය වෙලා කියලා නොයෙකුත් අය චෝදනා නගනවා අපි දක්කා. ක්‍රීඩකයෙකුත් එන්නත්කරණය කළා කියලා චෝදනා කළා. ලෝකයේ අපි දැක්ක විවිධ ප්‍රසිද්ධ චරිත මේ එන්නත භාවිතය කිරීමට සුදුසුයි කියන එක කියන්න නැතිනම් මිනිස්සු බය වෙන එක නැති කරන්න එන්නත් කරනගෙන පෙන්නලා තියෙනවා.” යනුවෙනි.

    ‘අවුරුදු තිහට වැඩි හැමෝටම’

    පෙබරවාරි 24 වෙනි දින කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ වයස අවුරුදු තිහට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබාදෙන බවය.

    Vaccine rollout in Sri Lanka

    එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සහායද ලබාගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවසීය.

    “අපි තීන්දුවක් ගත්තා වයස අවුරුදු 30 සිට සියලු දෙනාටම මේ එන්නත ලබාදෙන්න. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණ කොමිසමත් සමඟ සම්බන්ධවෙලා සෑම ග්‍රාම නිලධාරි වසමකම ලියාපදිංචි ඡන්ද නාමලේඛනය අරගෙන එයින් තිහට වැඩි අය හඳුනාගැනීමක් කරලා ඔවුන් ලියාපදිංචි කරන්න අවශ්‍ය සියලු කටයුතු සිදු කර තිබෙනවා. සල්ලි තිබුණත් අද එන්නත මිලදී ගැනීමේ ලොකු තරගකාරීත්වයක් ඇතිවී තිබෙනවා,” අමාත්‍යවරිය පැවසුවාය.

    විවිධ කණ්ඩායම් ගන්නා ලද තීරණ හේතුවෙන් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්ව උද්ගත වූ නමුත්, මේ වන විට එය වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ට ද ලබාදීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරිය සඳහන් කළාය.

    එන්නත්කරණය සිදු වන්නේ කෙසේද?

    එන්නත ලබා ගැනීමෙන් පසු කාඩ්පතක් ලැබෙන අතර, එය සුරැකිව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දෙවෙනි එන්නත ලබාදීමේදී ඒ සඳහා අවශ්‍ය අනුක්‍රමික අංකය මෙම කාඩ්පතේ සඳහන් වන අතර ඉදිරියේදී විදෙස් ගතවීමේදී එන්නත්කරණය සිදුකරගත් බවට සාක්ෂි වශයෙන් ද මෙම කාඩ්පත අවශ්‍ය වන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් නිවේදනය කර ඇත.

    Vaccine rollout in Sri Lanka
    ඡායාරූප ශීර්ෂ වැකිය,එන්නත ලබා ගැනීමෙන් පසු ලැබෙන කාඩ්පත

    මෙම එන්නතත ලබා ගැනීමෙන් පසු මද උණ ගතියක්, ශරීරයේ වේදනාව වැනි සුළු සංකූලතා ඇති විය හැකිය. මේ හේතුවෙන්, ආසාත්මිකතා ඇති පුද්ගලයින් එන්නත ලබාගැනීමෙන් පසු අදාළ මධ්‍යස්ථානය තුළ පැය භාගයක කාලයක් රඳවා තබාගෙන නිරීක්ෂණය කරන ලෙසට සෞඛ්‍ය අංශවලට උපදෙස් ලැබී තිබේ.

    එන්නත ලබා ගැනීමට පෙර තමන්ට ඇති ආසාත්මිකතා ගැන අනිවාර්යයෙන් හෙළි කළ යුතුය.

    “පුද්ගලයෙකුට මෙම එන්නතෙන් මාත්‍රා 02ක් ලබාදෙනවා. පළමු මාත්‍රාව දීලා සති හතරකට පසු දෙවෙනි මාත්‍රාව ලබාදෙනවා,” වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය.

    Vaccine rollout in Sri Lanka
    ඡායාරූප ශීර්ෂ වැකිය,එන්නත ලබා ගැනීමට පෙර තමන්ට ඇති ආසාත්මිකතා ගැන අනිවාර්යයෙන් හෙළි කළ යුතුය

    එන්නත වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට, ගර්භනී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ දැඩි ආසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්ට ලබාදෙන්නේ නැහැ. ඊට අමතරව සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්‍යතාව සලකා බැලීමෙන් පසුවයි සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එන්නත ලබා දෙන්නේ.

    එන්නත ලබාදීමට පෙර ආසාදිතයෙක්ද යන්න පරීක්ෂා කිරීමක් සිදුකරන්නේ නැහැ. රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත්කරණය සඳහා බාධාවක් නෙමෙයි. මෙම එන්නත්කරණය සෞඛ්‍ය අංශ විසින් ඉතාම සද්භාවයෙන් යුතුව විද්‍යානුකූලව සිදුකරන දෙයක්,” වෛද්‍යවරයා පැවසීය.

    බී.බී.සී. සන්දේශය වාර්තාවකි – වඩාත් වැඩි පුළුල් මහජන අවධානයක් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි – ප‍්‍රධාන සංස්කාරක

  • ප්ලාස්ටික් ආනයනය – භාවිතය කෝප් කමිටුවේදී සාකච්ඡාවට

    ප්ලාස්ටික් ආනයනය – භාවිතය කෝප් කමිටුවේදී සාකච්ඡාවට

    ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසු භාවිතය  කළමනාකරණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ලබන මාර් තු 09 දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර් ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මාර් තු මාසයේදීත් අප්‍රේල් මාසයේදීත් රාජ්‍ය ආයතන 08ක් කමිටුව හමුවට කැඳවා තිබේ.

    මාර් තු 23 වන දින ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගම කෝප් කමිටුව හමුවට කැදවා ඇති අතර මාර්තු 24 වන දින නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලිය ඇගයීම පිළිබඳ කාර්ය සාධන වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    මාර්තු 26 වන දින විමර්ශනයට ලක් කිරීමට නියමිතව ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය යි.

    අප්‍රේල් 06 වන දින භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කෝප් කමිටුවට කැඳවා ඇති අතර අප්‍රේල් 07 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවීමට නියමිතය. අප්‍රේල් 20 වැනිදා කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා විමර් ශනය කරනු ඇත.

     මෙයට අමතරව අප්‍රේල් 21 සහ 23 යන දින වලදී පිළිවෙලින් මහජන බැංකුව සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැදවීමට නියමිතව තිබේ

  • WHO පරිත්‍යාග කරන පළමු එන්නත් තොගය මාර්තු 07 ලංකාවට

    WHO පරිත්‍යාග කරන පළමු එන්නත් තොගය මාර්තු 07 ලංකාවට

    කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන 20%ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පලමු කොටස වූ 264000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු 7 දින ලංකාවට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

    අමාත්‍යවරිය මේබව සදහන් කලේ හලාවත මහ රෝහලෙහි පැවැති උත්සවයකදීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කළේ ලංකාව ඇතුලුව ගෝලීය වශයෙන් කොවිඩ් පැතිරයාමේ යම් අඩුවීමක් පවතින බවත් ලෝකයේ එන්නත්කරණය ආරම්භ කල පලමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබීම සතුටට කරුණක් බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මේවන විට ලෝකය පුරා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 280ක ප්‍රමාණයක් ලබාදී ඇති අතර ඉන් 75%ක පමණ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ රටවල් 10කට පමණක් බවත් තවත් රටවල් 150ක පමණ ප්‍රමාණයක් කිසිදු එන්නතක් ලබාදීමට නොහැකිව සිටින බව අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.

    ලංකාවේ එන්නත්කරණය ආරම්භ කිරීම සදහා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය කැපවීම මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු අතර එතුමාගේ සුවිශේෂී මැදිහත්වීම මත ජනවාරි මාසයේදී එන්නත්කරණය ආරම්භ කිරීමට හැකිවූ බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

  • කල්දෙරම් බත්වල රස බලන ‘ප්‍රංශයේ හිටපු ජනපති’

    කල්දෙරම් බත්වල රස බලන ‘ප්‍රංශයේ හිටපු ජනපති’

    ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සර්කෝෂි (Nicolas Sarkozy) දේශපාලන ජීවිතයේ ලද මහා පරාජය දෙවෙනි වතාවටත් පදවිය දිනාගැනීම සඳහා සිදුකළ දේශපාලන සටනින් පරාජයට පත්වීමය.

    බලාපොරොත්තු වූ කාලයට පෙරම ප්‍රංශ ජනාධිපති මාලිගය අහිමි වූ හිටපු ජනාධිපතිවරයා අවුරුදු තුනක සිරදඬුවමකට යටත්කරනු ලැබ ඇති අතර ඉන් අවුරුදු දෙකක් අත්හිටවන ලද සිරදඬුවම් බවට පත්කරනු ලැබ ඇත.

    ප්‍රංශ අධිකරණය සර්කෝෂි වරදකරු කරන ලද්දේ ඔහු ජනාධිපති සටනින් පරාජයට පත්වීමෙන් අනතුරුව 2014දී විනිසකරුවකුට අල්ලස් දීමට තැත් කිරීමක් සම්බන්ධයෙනි. වෙනත් නඩුවකට අදාළ තොරතුරු ලබාදීමට හිලව් වශයෙන් එම විනිසකරුට කීර්තිය සහ ප්‍රතිලාභ සහිත රැකියාවක් සහතික කිරීමට තමාට හැකිබව සර්කෝෂි පවසා ඇත.

    මෙම නඩුවේ දී සර්කෝෂිට අමතරව තවත් චූදිතයන් දෙදෙනෙක් වූහ. ඉන් එක් තැනැත්තෙක් ඔහුගේ නීතිවේදී තියරි හර්ෂෝග් (Thierry Herzog) වූ අතර දෙවැන්නා ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයකු වූ ගිල්බර්ට් අශිබර්ට් (Gilbert Azibert) ය. ඔවුන් තිදෙනාම අදාළ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් වැරදිකරුවන් ලෙස තීන්දුකරනු ලැබුණි.

    මෙම නඩුව කේන්ද්‍රගත වූයේ සර්කෝෂි සහ හර්ෂොග් අතර 2014 වසරේ සිදුව ඇති දුරකථන සංවාදයක් පදනම් කරගෙනය. ප්‍රංශ පොලිසිය විසින් එම දුරකථන සංවාදය රහසින් පටිගත කරනු ලැබ තිබුණි.

    එම අවධිය වන විට ප්‍රංශ රහස් පරීක්ෂකයෝ සර්කෝෂිට අදාළ වෙනත් චෝදනා සම්බන්ධයෙන් ගවේෂණය කරමින් සිටියහ. සර්කෝෂි 2017 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවධියේ ‘L’Oreal’ නම් රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමේ උරුමක්කාරිය වූ ලිලියන් බෙටන්කෝට් ගෙන් (Liliane Bettencourt) නීතිවිරෝධී මට්ටමින් මුදල් ලබාගත් බව එම චෝදනා මගින් කියැවුණි.

    එම පරීක්ෂණවල තොරතුරු ලබාදෙන්නේනම්, ඊට හිලව් වශයෙන් විනිසුරු අශිබර්ට් සඳහා ‘මොනාකෝ’හි කීර්තිමත් මෙන්ම මූල්‍ය ප්‍රතිලාභ සහිත රැකියාවක් ලබාදීමට කටයුතු කරන බවට සර්කෝෂි සහ හර්ෂොග් කතාකරගත් බව අධිකරණයට ඒත්තු ගැන්වීමට නඩුවේ පැමිණිලි පාර්ශ්වය සමත් විය.

    සර්කෝෂි
    ප්‍රංශ පොලිසිය විසින් සර්කෝෂි 2014 වසරේ තාවකාලිකව රඳවාගත් අවස්ථාව

    බී.බී.සී. සන්දේශය

    හිටපු ජනාධිපතිවරයා සිය නීතිවේදී හර්ෂොග් අමතමින් කළ ප්‍රකාශය ප්‍රංශ මාධ්‍ය විසින් වාර්තාකරණ ලද්දේ මෙපරිද්දෙනි.

    ”මම ඔහුට උසස්වීමක් ලබා දෙනවා. මම ඔහුට උදව් කරනවා”

    සර්කෝෂි හැරුනුවිට සෙසු චූදිතයන් දෙදෙනාට ද අධිකරණය විසින් වසර තුන බැගින් සිරදඬුවම් නියමකරන ලද නමුත් එම දඬුවම් අත්හිටවනු ලැබුණි.

    එම නඩු තීන්දුවට එරෙහිව සිය සේවාදායකයා අභියාචනයක් ඉදිරිපත්කරනු ඇතැයි සර්කෝෂිගේ නීතිවේදියා පවසයි. එහෙත් එම අභියාචනය ප්‍රතික්‍ෂේප කෙරුණහොත් හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරගත නොකරමින් ඔහුගේ එක් පාදයක විද්‍යුත් බලය සහිත වළල්ලක් සවිකොට නිවාස අඩස්සියේ තබනු ඇත. එම විද්‍යුත් වළල්ල මගින් ප්‍රංශ පොලිසියට ඔහු සිටින ස්ථානය සහ නිවසින් පිටවුවහොත් එම ගමන්බිමන් සියල්ල අධීක්‍ෂණය කළ හැකිය.ෙ

    සර්කෝෂි ගේ බිරිඳ මෝස්‌තර නිරූපන ක්‍ෂේත්‍රයේ තාරකාවක් මෙන්ම ගායිකාවක් ද වන කාර්ලා බෘනි (Carla Bruni), සිය සැමියාට එරෙහි නඩු තීන්දුව බැහැර කරන්නීය. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව ඇය මෙසේ ප්‍රකාශ කළාය.

    ”මෙය තේරුමක් නැති පීඩා කිරීමක්. අපේ සටන නතරවෙන්නේ නැහැ. අන්තිමේ දී සත්‍යය ජයගනීවී”

    සර්කෝෂි ප්‍රංශයේ අධිකරණ ක්‍ෂේත්‍රයට ආගන්තුකයෙන් නොවේ. ජනාධිපති පදවිය අහිමිව යාමෙන් පසු නඩුකර ගණනාවකට මාතෘකාවක් විය. එය දුසිම් භාගයක් තරම් නඩු සංඛ්‍යාවකි. එහෙත් මෙම නඩු තීන්දුව තෙක් ඔහුගේ වාර්තාව පිරිසිදු තත්ත්වයක පැවතුණි. මඩ ගෑවුණු තැන් රාශියක් ඇති නමුත් ඔහු ඒ කිසිවක සිරනොවීමට මෙතෙක් සමත්ව සිටියේය. .

    එහෙත් ප්‍රංශයේ අධිකරණ මන්දිරයේ (Palais de Justice-Palace of Justice) විනිසුරු ක්‍රිස්තීන් මී (Judge Christine Mée)සිය නඩු තීන්දුව මගින් එකී සියල්ල වෙනස් කළාය.

    විනිසුරුවරිය ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් කිසිවකුට සැඟවිය නොහැකි බව දැක්වෙන නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කළාය. සර්කෝෂි, ඔහුගේ නීතිවේදී තියරි හර්ෂෝග් (Thierry Herzog) සහ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයකු වූ ගිල්බර්ට් අශිබර්ට් (Gilbert Azibert) යන තිදෙනාම ඔවුන් සිදුකරමින් සිටි දෙය කුමක්ද යන්න පැහැදිළිව දැනසිට ඇතැයි විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

    චූදිතයන් ඔවුන්ගේ වෘත්තීය ලාභය සඳහා රහස්‍ය තොරතුරු විකුණමින් කටයුතු කරමින් ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය එය ඕනෑම මට්ටමක අර්ථ විග්‍රහයක් අනුව ”දූෂණ අපරාධයක්” බවත් සඳහන් කළාය.

    මෙය මෙම ක්‍රියාදාමයේ අවසානය නොවනු ඇත. සර්කෝෂිගේ අභියාචනය පිළිගනු ලැබුවහොත් එය තවත් වසර ගණනාවක් දිග්ගැස්සෙන නඩු විභාගයකි. ඔහුගේ නීතිවේදී මඩුල්ල මෙය සාවද්‍ය චෝදනා අනුව ගොනු කරන ලද නඩුවක් යැයි තර්ක කරනු ඇත. මිනිසකු ඔහුගේ නීතිවේදියා සමඟ සිදුකළ රහස්‍ය දුරකථන සංවාදයකට රහසින් සවන්දී නිර්මාණය කරන ලද දුර්වල නඩුකරයකැයි විත්තියේ නීතිවේදීහු තර්ක කරනු ඇත.

    එහෙත් මේවනවිට, ප්‍රංශයේ හිටපු ජනාධිපති සර්කෝෂි පසුගිය සඳුදා (මාර්තු 01) පටන් වෙනත් රූපකායකි. දැන් ඔහු වැරදිකරුවකු ලෙස අධිකරණය විසින් තීන්දුකරනු ලැබ ඇත.

    සර්කෝෂි කාර්ලා බ්රුනි සමග
    පළමු කසාදයෙන් දික්කසාද වී ඉතාලි ජාතික කාර්ලා බෘනි (Carla Bruni)සමඟ විවාහවීමෙන් පසු සර්කෝෂි මාධ්‍යයට ප්‍රධාන මාතෘකාවක් විය.

    බී.බී.සී වාර්තාවකි

  • ඖෂධ භාවිතයෙන් තොරව HIV ‘සුවකිරීමේ හැකියාවක්’ – සුපිරි සොයා ගැනීමේ කතාව

    ඖෂධ භාවිතයෙන් තොරව HIV ‘සුවකිරීමේ හැකියාවක්’ – සුපිරි සොයා ගැනීමේ කතාව

    ඖෂධ භාවිතයකින් තොරව, ස්වභාවිකව ඒඩ්ස් රෝග කාරක එච්අයිවී (HIV) නම් වෛරසය තම ශරීරය තුළ පාලනය කිරීමට තරම් සමත් විශාල ජන කණ්ඩායමක් සොයා ගැනීම එම රෝගය සුව කිරීම පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීම දෙසට ගෙන යන බව විද්‍යාඥයෝ පවසති.

    අප්‍රිකාවේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ එච්අයිවී වාහකයින්ගෙන් 4% ක් තරම්වන ප්‍රමාණයකට වෛරසය සහජයෙන්ම මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇති බව අධ්‍යයනයෙන් හෙළිවී තිබේ.

    සාමාන්‍යයෙන් එච්අයිවී ශරීරගතව ඇති පුද්ගලයින්ගෙන් 1% ට අඩු පිරිසකට මෙම හැකියාව ලැබී ඇත.

    මෙය, ඒඩ්ස් රෝග කාරක වෛරසය කරගැනීම සඳහා අලුත් ප්‍රතිකාර හෝ එන්නතක් නිර්මාණය කිරීමේ ඉදිරි පර්යේෂණවලට පිටිවහලක් සපයන බව පර්යේෂකයෝ පවසති.

    “අධ්‍යයනයෙන් අප වෙත ලැබෙන දත්ත මුලින් දුටු විට අප පුදුමයට පත් වුණා. නමුත් ඒ වගේම ප්‍රමුදිත වුණා,” යැයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ මේරි රොජර්ස් බීබීසී සමග පැවසුවාය.

    “මෙහි තේරුම, මෙය සැබවින්ම අපට සුව කළ හැක්කක් යන්නයි,” ඇය කීවාය.

    ‘ලාන්සෙට්’ නම් වෛද්‍යමය සඟරා පවුලේ ම කොටසක් වන ‘ඊබයෝමෙඩිසින්’ (eBioMedicine) හි පළකරන ලද තොරතුරු අනුව, 1987 සහ 2019 අතර කාලය තුළ එච්අයිවී සමග දිවි ගෙවූ පුද්ගලයන්ගෙන් ගන්නා ලද නියැදි පරීක්ෂාවට ලක් කර තිබිණි.

    ඇබට් (Abbott) නම් වූ ඖෂධ සමාගම, කොංගෝ හි Université Protestante au Congo විශ්ව විද්‍යාලය, ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය, ඇමෙරිකාවේ ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය මෙන්ම ඇමෙරිකාවේ කැන්සාස් නගරයේ පිහිටි මිසූරි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මෙම අධ්‍යයන කණ්ඩායමට ඇතුළත් වූහ.

    අචාර්ය මේරි රොජර්ස්
    ආචාර්ය මේරි රොජර්ස්

    ඇබට් සමාගමේ ගෝලීය වෛරස ආවේක්ෂණ වැඩසටහනේ ප්‍රධානී ආචාර්ය රොජර්ස් පැවසූ පරිදි, කොංගෝ ජනරජයෙන් හමුවී තිබෙන 2.7% ක් සහ 4.3% ක් අතර පුද්ගලයින් ප්‍රමාණය එක් රටක් තුළින් හමුවූ විශාලතම ජන කණ්ඩායම වේ. තවත් එච්අයිවී සහිත 1% ක පිරිසක් කැමරූන් හි හමුවී ඇති අතර ඔවුන් ද ඖෂධ භාවිතයකින් තොරව වෛරසය ඉතා හොඳින් පාලනය කරගෙන ඇති බව හඳුනාගෙන තිබේ.

    “සාමාන්‍යයෙන් එච්අයිවී සමග ජීවත්වන සියලු ජනතාව අතරින් 1% ට අඩු ප්‍රමාණයකට ස්වභාවිකව ම වෛරසය මැඩ පවත්වාගන්න හැකියි, ඒත් මේක කවදාවත් අප දැක තිබුණේ නැහැ.”

    Waiting For An HIV Diagnosis In The Democratic Republic Of The Congo

    මේ වනවිට, එච්අයිවී සමග ජීවත්වන පුද්ගලයින් හට වෛරසය මැඩපැවැත්වීම සඳහා මෙන්ම වෛරස ප්‍රමාණය අඩු කරගැනීම සඳහා ප්‍රති වෛරස ඖෂධ දෛනිකව භාවිත කිරීමට සිදුවී තිබේ.

    ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙන් හමුවූ “ඉහළ තලයේ පාලකයින්” ලෙස නම් කෙරී ඇති මෙම පිරිසට සිය එච්අයිවී ආසාදනය මැඩ පැවැත්වීමට හැකිවී තිබෙන්නේ කෙසේද යන්න තවමත් නොදනී.

    මෙම කණ්ඩායමට, අඩු නොඑසේනම් හඳුනාගත නොහැකි තරමේ වෛරස ප්‍රමාණයක් ශරීරය තුළ පවත්වා ගැනීමට හැකිවී තිබෙන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම වෛරසය පාලනය සඳහා ඉතා වැදගත් වනු ඇති බව ආචාර්ය රොජර්ස් සඳහන් කළාය.

    කෙසේවෙතත් මේ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කිරීම අවශ්‍ය බව ඇය අවධාරණය කළේ, රෝගය වැඩි වර්ධනය වෙද්දී මෙම ජනතාවගේ ආරක්ෂාව අඩු වී යාමේ විභවතාවක් ඇති බව මීට පෙර කළ අධ්‍යයන මගින් කෙරුණු අනාවරණයන් ද පෙන්වා දෙමිනි.

    එච්අයිවී මුලින්ම ලෝක අවධානයට ලක්වූයේ 1980 ගණන්වලදී ය. එතැන් සිට මේ දක්වා මිලියන 76 ක පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර මේ වනවිට මිලියන 38 ක පිරිසක් වෛරසය ශරීරගතව දිවි ගෙවන බව ඇබට් සමාගම පවසයි.

    දැන් ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය ලෙස හැඳින්වෙන භූමිය තුළ, මින් සියවසකට ඉහතදී එය පැන නගින්නට ඇති බව විශ්වාස කෙරෙන අතර අද වනවිට උප සහරානු අප්‍රිකාව තුළ කාන්තාවන්ට විෂම ලෙස එච්අයිවී බලපා තිබේ.

    Text by bbc sandesaya

  • ‘ටිනීයා – චර්ම රෝගය’ උතුරුමැද  සීඝ්‍ර ලෙස පැතිරෙයි

    ‘ටිනීයා – චර්ම රෝගය’ උතුරුමැද සීඝ්‍ර ලෙස පැතිරෙයි

    උතුරුමැද පළාතේ ප්‍රදේශ ගණනාවක ‘ටිනීයා’ නම් දිලීර අසාදනයක් හේතුවෙන් ඇති වන සමේ රෝගයක් ස්ත්‍රී පුරුෂ, හෝ වයස් භේදයක් නොමැතිව සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍යය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පවසයි.

    Atypical extensive tinea corporis caused by Trichophyton tonsurans -  International Journal of Infectious Diseases

    Tinea corporis යනු අත් සහ පාද, හිස්කබල, මුහුණ හැර ශරීරයේ ඕනෑම කොටසකට බලපාන සමේ මතුපිට දිලීර ආසාදනයකි

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හේමා වීරකෝන් මහත්මිය මෙසේද පැවසීය.

    “දිලීර රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමේදී නියමිත ඖෂධය, නියමිත මාත්‍රාව, නියමිත කාලය තුළ ලබාගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. යම් හෙයකින් නියමිත මාත්‍රාවට, නියමිත කාලය තුළ ඖෂධ ලබා නොගතහොත් දිලීර රෝගය සුව නොවීමට පුළුවන්. නිසි කළට නිසි ලෙස ප්‍රතිකාර නොකළ හොත් විශාල මුදලක් වියදම් කර මිල අධික ඖෂධ ලබා ගැනීමට සිදුවනවා.

    මෙම දිලීරය ස්පර්ශය මගින් හෝ ආසාදිත රෝගියකුගේ ඇදුම් මගින් කෙනෙකුට බෝ විය හැකියි. මෙම ආසාදන සම මතුපිට තෙතමනය රැදෙන දහදිය දමන ස්ථානවල බහුලව දක්නට ලැබේ. විශේෂයෙන් ඉකිලි, කිහිලි හා පියයුරුවලට යටින් මුහුණ ආශ්‍රිතව බහුලව ඇතිවේ. එයට අමතරව ශරීරයේ ඕනෑම ස්ථානයක මතුවිය හැකිය. දිලීර නාශක ඖෂධ පමණක් නියමිත කාලය තුළ භාවිත කිරීමෙන් මෙම රෝගය සමාජය තුළ පැතිරවීම අවම කිරීමට දායක විය හැකියි.

    මේ වනවිට ටිනියා ආසාදනය රජරට පුරා පැතිර යමින් පවතී. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ප්‍රජාව විසින් වෛද්‍ය අවවාදවලින් තොරව ඖෂධ භාවිතා කිරීමයි.
    බොහෝ විට රෝගීන් තම හිතූ මතේට විවිධ ඖෂධ, බොන බෙහෙත් හෝ ආලේපන ඖෂධ හල්වලින් මුදලට ලබා ගෙන භාවිතා කිරීමට පෙළඹී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. එමගින් දිලීර ආසාදන සුව නොවී විශාල ලෙස පැතිර යමින් පවතී. දිලීර රෝග සදහා නියමිත දිලීර නාශක ඖෂධය සති 06කට ආසන්න කාලයක් භාවිතා කළ යුතුයි.

    අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ මාසයකට ආසන්න කාලයක දී මෙම රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් 100 දෙනෙකු පිළිබඳව කරන ලද අධ්‍යයනයකදී තහවුරු වී ඇත්තේ, ඉන් 62%කට පමණ සුදුසු නොවන දිලීර නාශක ප්‍රතිකාර වශයෙන් ලබාගෙන සිටි අය බවයි. තවද එම රෝගීන්ගෙන් 89% පමණ නැවත ප්‍රතිකාර සදහා යොමුවී තිබේ. එකම පවුලේ කිහිපදෙනෙකුටම දිලීරය ආසාදනය වි තිබූ අවස්ථාද බහුලයි.” යනුවෙනි.

    මෙම පුවත ගැන වඩාත් පුළුල් අවධානයක් අවශ්‍ය හෙයින් lankatruth.com ඇසුරින් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • ‘ඇත්තටම අපි මෙහෙ එනකොට අසීරුතාවයන් වලට මුහුණ දුන්නා’

    ‘ඇත්තටම අපි මෙහෙ එනකොට අසීරුතාවයන් වලට මුහුණ දුන්නා’

    කූලිජ්හි ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු විස්සයි-20 තරගය සඳහා තම කණ්ඩායම පූර්ණ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සඳහන් කරයි.

    දෙරට අතර තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන මෙම පළමු විස්සයි-20 තරගය කොදෙව් වේලාවෙන් ප.ව. 8 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (04 දා) අළුයම 3.30 ට ආරම්භ වනු ඇත.

    තරග 3 කින් සමන්විත මෙම විස්සයි-20 තරගාවලිය එළැඹෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණ ඇතිව තරග වදිනු ඇත. ලොව වැඩිම වාර ගණනකදී විස්සයි-20 ලෝක කුසලාන දිනා සිටින කණ්ඩායම බවට කොදෙව් කණ්ඩායම පත්ව සිටියද මෙම තරගාවලිය සඳහා ඔවුන් අවතීර්ණ වන්නේ ජගත් ශ්‍රේණිගත කිරීමෙහි 10 වැනි ස්ථානයේ සිටය.ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි ස්ථානයේ සිට මෙම තරගයට අවතීර්ණ වනු ඇත‍.

    “දීර්ඝ ගුවන් ගමනකින් පසු මෙහි පැමිණි අපි දින 3 ක නීරෝධායනයෙන් පසු පුහුණුවීම් ආරම්භ කළා. ඇත්තටම ඒ සැසිය ඉතාමත් හොඳ සැසියක් වුණා”යි මිකී ආතර් පවසයි.

    “ඇත්තටම අපි මෙහෙ එනකොට අසීරුතාවයන් වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ප්‍රධාන ක්‍රීඩකයින් නොමැතිවීම, නායකයා අහිමිවීම වගේම වේග පන්දු පුහුණුකරු අවසාන මොහොතේ අහිමිවීම අවාසනාවකට සිද්ධ වුණු දේවල්. නමුත් මම හිතන්නේ අපේ ළමයින්ට ඒ හැමදේටම වඩා වැදගත් ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක කර ගන්න” යැයි අන්තර්ජාල පහසුකම් ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු පවසා සිටියේය.

    සංචාරයට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වඩා සත්කාරක කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් සතුව වැඩි අත්දැකීම් සම්භාරයක් ඇති බව පිළිගත යුතු කරුණක් නමුත්, දෙරට අතර ඉතිහාසය සංසන්දනය කිරීමේදී වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටියි.

    දෙරට අතර මෙතෙක් පවත්වා ඇති විස්සයි-20 තරග 11 දී අවස්ථා 6 කදී ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වද්දී කොදෙව් පිල තරග 5 ක් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකා පිල අවසන් වරට විස්සයි-20 තරගයකට ක්‍රීඩා කර ඇත්තේද මීට වසරකට ඉහතදී වන අතර එයද කොදෙව් පිලට එරෙහිව පවත්වා තිබීම කැපී පෙනෙයි. තරග 2 කින් සමන්විතව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති එම තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට කිරන් පොලාර්ඩ්ගේ නායකත්වයෙන් යුතු කොදෙව් පිල සමත්විය. එම තරගාවලියට පෙර දෙපිළ මුණ ගැසී ඇති අවස්ථා දෙකේදීද ජය අත්කර ගැනීමට කොදෙව් පිල සමත්ව ඇති බැවින් පිට පිටම පස්වැනි පරාජයෙන් බේරී සිටීමට නම් ශ්‍රී ලංකා පිලට මෙම තරගයේ ජය අනිවාර්යය වනු ඇත.

    විස්සයි-20 අංශයේ නායකත්වයට පත් දසුන් ශානකට වීසා බලපත්‍රය ලැබීම සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව හේතුවෙන් මෙම තරගාවලිය තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙය වනු ඇත. දසුන්ගේ අඩුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තියට කිසියම් බලපෑමක් එල්ල නොකරනවා ම නොවේ.

    “ඇත්තටම කියනවා නම් අපි ඇද හිය නොහැකි තරමට මහන්සි වෙලා පුහුණුවීම් ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන ගියා. අප කණ්ඩායම සතු නිත්‍ය ක්‍රීඩකයින්ට වඩා තරුණ ක්‍රීඩකයින්ගේ ඉදිරියට ඒමට ගන්න උණන්දුව අති විශිෂ්ඨයි” යැයි පවසන ආතර්, “සියල්ලන්ගේම චිත්ත ධෛර්යය අති විශිෂ්ඨයි” යනුවෙන්ද සඳහන් කර සිටියේය.

    ශ්‍රී ලංකාවට එරෙහි සටනට කොදෙව් කණ්ඩායම ඔවුන් සතු සිය බර අවි මෙම තරගාවලිය සඳහා නැවත කැඳවා තිබේ. එහිදී වසර 2 ක කාලයකට පසු ක්‍රිස් ගේල් ද වසර 9 කට පසු  ෆිඩෙල් එඩ්වර්ඩ්වද කැඳවමින් කොදෙව් පිල මෙම තරගාවලියට අවතීර්ණ වී සිටියි. ඊට අමතරව ඩ්වේන් බ්‍රාවෝ, කිරන් පොලාර්ඩ්, ජේසන් හෝල්ඩර් සහ ලෙන්ඩ්ල් සීමන්ස් අත්දැකීම් සපුරා සිටින ක්‍රීඩකයින් වේ. මෑතකදී කණ්ඩායමට එක් වුණු නිකලස් පූරාන්, ෆේබියන් ඇලන් සහ කෙවින් සින්ක්ලෙයාර් වැනි ක්‍රීඩකයන්ටද කොදෙව් පිලට වැඩි බලාපොරොත්තු ලබා දෙන්නෝ වෙති.

    මූලික සංචිතය සඳහා නම් කරන ලද රොස්ටන් චේස්, ෂෙල්ඩන් කෝට්‍රල්, ශිම්රොන් හෙට්මියර් සහ ඔෂේන් තෝමස්ට කණ්ඩායමට එක්වීමේ අවස්ථාව මඟ හැරී තිබෙන්නේ පවත්වාගෙන යා යුතු අවම යෝග්‍යතාවය හෝ නොමැතිවීම හේතුවෙනි.

    ඉකුත් තරගාවලි කීපයේදී කණ්ඩායම නියෝජනය කරන ලද පළපුරුදු ක්‍රීඩකයින් වන කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, අවිෂ්ක ප්‍රනාන්දු, දසන් ශානක සහ කසුන් රජිතට කණ්ඩායමට එකතුවීමේ අවස්ථාව මඟ හැරී තිබෙන අතර ඒ වෙනුවට පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ඩිල්ෂාන් මදුශංක සහ කමිඳු මෙන්ඩිස් යන නවකයින් කණ්ඩායමට එක් කර තිබේ.

    “පළපුරුද්ද අතින් කණ්ඩායමේ සිටින ඉහළ ක්‍රීඩකයින්ට ලෝක කුසලාන සංචිතයට ඇතුළත්වීම සඳහා මේ තරගාවලිය හොඳ වේදිකාවක් නිර්මාණය කරනවා. ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරන කණ්ඩායමට නම් කළ යුතු හොඳම ක්‍රීඩකයින් 15 දෙනා කවුරුන්ද යන්න පිළිබඳව අදහසක් ලබා ගැනීමට මේ අවස්ථාවේදී මට හැකියාව ලැබෙනවා” යි පවසන මිකී ආතර්, “කණ්ඩායමට පැමිණිලා ඉන්න නවක ක්‍රීඩකයින් කිසිම බයක් සැකක් නැතුව ඔවුන්ගේ දක්ෂතා පෙන්වයි කියලා මම බලාපොරොත්තු වෙනවා. පැවැති පුහුණු සැසියේදී මේ තරුණ ක්‍රීඩකයින් ඉතා හොඳින් ඔවුන්ගේ පුහුණුවීම් සිදු කළා. ඇත්තම කියනවා නම් මම ඔවුන්ගේ දක්ෂතා ගැන පුදුමයට පත් වුණා කිව්වොත් නිවැරදියි. ඒ වගේම තමයි කණ්ඩායම් තුළ හැඟීම” යි පවසයි.

    ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, වනිඳු හසරංග, නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඕෂධ ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, ඩිල්ෂාන් මදුශංක, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්.

    බටහිර ඉන්දීය කොදෙව් විස්සයි-20 සංචිතය – කිරන් පොලාර්ඩ් (නායක), නිකලස් පූරාන් , ෆේබියන් ඇලන්, ඩ්වෙන් බ්‍රාවෝ, ෆිඩෙල් එඩ්වර්ඩ්ස්, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, අකීල් හොසේන්, එවින් ලුවිස්, ඔබේඩ් මැකෝයි, රෝමන් පවෙල්, ලෙන්ඩ්ල් සිමන්ස්, කෙවින් සින්ක්ලෙයාර්.

    Text by sl cricket

  • ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ අධ්‍යක්ෂක තනතුර ටොම් මුඩිට

    ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ අධ්‍යක්ෂක තනතුර ටොම් මුඩිට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ඔස්ට්‍රේලියානු පුහුණුකරුවකු වන ටොම් මූඩිව මාර්තු 01 වැනිදා සිට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

    ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මෙහෙයුම් සහ තීරණ ගැනීම වෙනුවෙන් පත්කරනු ලැබ සිටින තාක්ෂණික උපදේශන කමිටුව විසින් කරන ලද නිර්දේශනයකට අනුව මූඩි මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

    උපදේශන පදනම මත මූඩි වසර 3 ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම් ගෙන සිටින අතර ගිවිසුම් ගත දිනයේ සිට දින 300 ක කාලයක් ඔහුට අනිවාර්යය පැවැරුම් ඉටු කිරීමට සිදුවනු ඇත.

    මූඩිගේ රාජකාරි අතරට අනාගත සංචාරක වැඩසටහන් විශ්ලේෂණය කිරීම, දේශීය තරගාවලියේ ව්‍යුහය, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්යය මණ්ඩලයේ ව්‍යුහය මෙන්ම ඉහළ කාර්යය සාධන සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

    මේ වන විටත් 55 වැනි වියේ පසුවන මූඩි මහතා 2005 වසරේ සිට 2007 වසර දක්වා වූ කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2007 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දක්වා ශ්‍රී ලංකා පිල රැගෙන යෑමට සමත්වූවේය.

    “ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මීට පෙරත් කටයුතු කළ ටොම් සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට සමත්ව සිටිනවා. වර්තමාන ගෝලීය ක්‍රීඩාව සම්බන්ධව ඔහු තුළ ඇති දැනුම භාවිතයෙන් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි වටිනාකමක් එක් කරනු ඇති බව මට විශ්වාසයි” යැයි මූඩිගේ පත්වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

    1999 වසරේදී අවසන් වතාවට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ මූඩිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීමට ප්‍රථම ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව බොහෝ අත්දැකීම් සම්භාරයක් ලබා තිබේ. ඒ අතර කැරිබියානු ප්‍රිමියර් ලීග් (සී.පී.එල්.) තරගාවලියේ ජාත්‍යන්තර ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කිරීම කැපී පෙනෙයි. මීට අමතරව ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලිය නියෝජනය කරනු ලබන මෙල්බර්න් රෙනගේඩ්ස් සහ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන වෝර්ක්ෂයර් ප්‍රාන්තයේත් ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කර තිබේ.

  • ‘Dual-purpose vehicles ලියාපදිංචි කිරීමේදී සිදුවන අක්‍රමිකතා’ සොයා බැලීමට කමිටුවක්

    ‘Dual-purpose vehicles ලියාපදිංචි කිරීමේදී සිදුවන අක්‍රමිකතා’ සොයා බැලීමට කමිටුවක්

    විශේෂ කාර්යයන් සඳහා ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස ලියාපදිංචි කිරීමෙන් රජයට අදායම් අහිමි වීම පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ උප කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පියවර ගෙන තිබේ.

    ඒ් මහතා මෙම පියවර ගනු ලැබුවේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.මෙම රැස්වීම ශ්‍රී ලංකා රේගුවේ 2017-2018 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කැඳවා තිබිණි.

    ඒ් අනුව උප කමිටුවේ සභාපති ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්වූ අතර සෙසු සාමාජිකයන් ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, මන්ත්‍රීවරයන් වන අශෝක් අබේසිංහ, හරිනි අමරසූරිය සහ වීරසුමන වීරසිංහ පත් කෙරිණි.

    මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ කාර්යයන් සඳහා වන වාහන හඳුනා ගන්නා අනුකූලතා සංකේත (HS Code) භාවිත කරන ආකාරය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් විශේෂ කාර්යයන් සඳහා වන වාහන හඳුනා ගැනීමේදී දක්නට ලැබෙන නීතිමය වෙනස්කම් පිළිබඳ කමිටුවේ අවධානය යොමු විය.

    මෙහිදී අවධාරණය වූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුව වාහන ලියාපදිංචි කිරීමේදී රේගු දෙපාර්තමේනතුව විසින් නිකුත් කරනු ලබන අනුකූලතා සංකේත (HS Code) අදාල කර නොගැනීම  නිසා මෙලෙස අදාල වාහන වෙනත් ස්වරූපයකින් ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වන බවයි.

    2019 වසරේ සැප්තැම්බර් 20 වැනිදා පැවති  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම  ගැටළුව විසඳීමට පත් කළ කමිටුවේ වාර්තාවට අනුව මෙවැනි වාහන ආනයනය කිරීමේදී ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් සහතිකයක් ලබා ගතයුතු බවට ඉදිරිපත් කොට ඇති නිර්දේශය පිළිබඳව ද කෝපා කමිටුවේ අවධානය යොමු විය. එයට අමතරව මෙම කමිටු වාර්තාව නීතියක් බවට පත් කර ගැනීමේ වැදගත්කම සහ අදාල කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාල පනත් සංශෝධනයේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා කෙරිනි.

    මෙහිදී කමිටු සභාපතිවරයා විමසා සිටියේ රේගු දෙපාර්තමේන්තුව විසින් ආනයනය කරන වාහන වෙනුවෙන් හඳුන්වා දෙන අනුකූලතා සංකේත (HS Code) ඒ ආකාරයට ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාල වාහනය ලියාපදිංචි කිරීස සඳහා භාවිත කිරීමේ නොහැකියාව කුමක්ද යන්නයි.

    ශ්‍රී ලංකා රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර ක්‍රියාත්මක ස්වයංක්‍රීය පරිගණක සැසඳුම් පද්ධතියේ කටයුතු කඩිනම් නොවීම පිළිබඳව ද කෝපා කමිටුවේ අවධානය යොමු විය. මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒක්ව මෙම පද්ධතිය කඩිනමින් ස්ථාපනය කිරීම මගින් සිදුවන බොහෝ අක්‍රමිකතා මගහරවා ගත හැකි වනු ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සේවයට පැමිණීම හා පිටවීම සඳහා ඇඟිලි සළකුණ භාවිත කිරීමේ ක්‍රවේදය භාවිතයට ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳවද කෝපා කමිටුව මෙහිදී සිය අවධානය යොමු කළේය. මෙහිදී රේගු නිලධාරීන් පෙන්වා දුන්නේ ඇඟිලි සළකුණු යන්ත්‍රය භාවිතය ප්‍රායෝගිකව භාවිත කළ හැකි අංශ සහ ඇඟිලි සළකුණු යන්ත්‍රය භාවිතය ප්‍රායෝගිකව භාවිත කළ නොහැකි අංශ රේගුව තුළ පවතින බවයි. මෙහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දන්වා සිටියේ ඒම අංශ වෙන වෙනම කමිටුව වෙත දන්වා ඒවන ලෙසයි.

  • ‘ලාභයම පසුපස’ නොදුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නිර්දේශ

    ‘ලාභයම පසුපස’ නොදුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නිර්දේශ

    ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් අලුතෙන් සිතා රට දියුණු කිරීමට  නව්‍ය උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු යැයි   රජයේ මුදල් කාරක සභාවට පැමිණි ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ට එම කාරක සභාව විසින් දැනුම් දුන්නේය.

    ශීඝ්‍ර ලෙස  වාණිජකරණයට ලක් වූ සිය ශේෂ පත්‍රයේ ලාභය  සහ ශ්‍රේණිගත කිරීම් පසුපස දිවයන  රාජ්‍ය හෝ වාණිජ බැංකු මෙන් කටයුතු නොකරන ලෙසද  රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහ බැංකු නිලධාරීන්ට නිර්දේශ කළේය .

    මෙහිදී රජයේ මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රදර්ශන යාපා මහතා සඳහන් කළේ මුදල් මණ්ඩලය සිය වගකීම නිවැරදිව ඉෂ්ට කළ යුතු බවත් , ඕනෑම රටකට මූල්‍ය ශික්ෂණය පවත්වාගෙන යාම අතිමූලික සාධකයක් බවත් ය .

    ඒ අනුව, විශේෂයෙන්ම මෙරට ව්‍යවසායකයින් නගා සිටුවීම පිණිස නව සංවර්ධන මූලෝපායන් රජයේ මූදල් කාරක සභාවට ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට සභාපතිවරයා නියෝග කළේ පසුගියදා(25) පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳව කාරක සභාව හමුවූ අවස්ථාවේදීය.

     කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ  දේශීය වශයෙන් මුදල් සංචිත ආරක්ෂා කර ගැනීම පිණිස  විශේෂ තැන්පතු ගිණුමක් ආරම්භ කිරීමට  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද යෝජනා ක්‍රමය යටතේ  2021 පෙබරවාරි 19 වැනිදා වනවිට ඩොලර් මිලියන 323 ක විශාල ඉතුරුම් ශේෂයක් පවත්වාගෙන යාමට සමත්ව ඇතැයි පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වීමෙන් පසු මෙම උපදෙස් ලබාදීම සිදු කරන ලදි.

    මෙම ඉතුරු කිරීමේ විශේෂ තැන්පතු ගිණුම සඳහා වාර්ෂිකව 2% ක තැන්පතු පොලියක් ලැබෙන අතර එය රටට මෙන්ම විදේශගත  ලාංකිකයන්ටද  වාසිදායක තත්ත්වයක් බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදෙන මෙබඳු යහපත් යෝජනා ක්‍රම වඩා වැඩි ප්‍රචාරණයකින් යුතුව ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවට කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය .

    එමෙන්ම,සීනි සම්බන්ධව මෙතෙක් රජය ගත්  බදු සංශෝධන ක්‍රියාමාර්ග නිසා වර්තමානය වන තෙක්ම රජයට සහ රටට පාඩු සිදු වී ඇති බවට එල්ලවෙන දැඩි විවේචන රජයට කළු පැල්ලමක් බවත් ,එයින් අපේක්ෂා කළ පරිදි පාරිභෝගිකයාටද වාසියක් සිදු නොවුණු වන බවත් මෙහිදී රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු යන මහත්වරු විශේෂයෙන් පෙන්වා දුන්හ .

    රජයේ මුදල් කාරක සභාව විසින් ඒ සම්බන්ධව කැඳවූ වාර්තාව  තවමත් තමන් වෙත ලැබී නොමැති බව සඳහන් කළ සභාපතිවරයා  මේ ගැසට් සංශෝධන පිළිබඳව දත්ත සහිත විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කිරීමට ආනයන පාලක දෙපාර්තමේන්තුවට හැකිවිය යුතු බවද කියා සිටියේය .දුඹුරු  සීනි බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් එදින ඉදිරිපත් වූ රෙගුලාසි රජයේ පිිළිබඳව මුදල් කාරක සභාව විසින් අනුමත කළ අතර මාර්තු 09 වන දින අදාළ  සියලු අමාත්‍යංශවල සහ ආයතනවල සහභාගීත්වය සහිතව මේ පිළිබඳව සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවට නිර්දේශ කළේය .

    ඊට අමතරව, මුදල් අමාත්‍යංශය විසින් 2008 අංක 14 දරන  ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ වන ව්‍යාපෘති දෙකක කාලය දීර්ඝ කිරීම පිළිබඳව අති විශේෂ ගැසට් නිවේදන දෙකක් මෙහිදී අනුමත කරන ලදී .එම එක් ව්‍යාපෘතියක්  කොළඹ 3 , ගාලු පාරේ අංක එකසිය දාසය(116) ස්ථානයේ පිහිටි සේවා මහල් නිවාස 90කින් යුත් කාමර 75ක් සහිත නගර හෝටලයකි. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් පෙන්වා දුන්නේ, මහජන මුදල් යොදා ඇති  එම ව්‍යාපෘතිය ආරම්භයේදී අසාර්ථක තත්ත්වයට පත්ව ඇති බවයි .

    දැනට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රො ගෑස් ආයතනය , සේවා අර්ථසාධක අරමුදල එක්ව ඒ සඳහා බිලියන විස්සක් පමණ වැයකර ඇති අතර ඉන් බිලියන හතරක් මැලේසියානු ආයතනයකට බේරුම්කරණ ගෙවීම් සඳහා වැයවී ඇත .දැනට මහල්  දහසයක් පමණක් තනා ඇති මෙම හෝටලය භාවිතයට ගැනීමට අවම වශයෙන් තවත් බිලියන හතළිහක් පමණ වැය වන අතර එයද සාර්ථක වනු ඇතැයි සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු තබාගත නොහැකියි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අතිරික්ත වැය දරන්නට හේතුවුණු සයිනෝලංකා  ස්පා හෝටලයේ ඉදිකිරීම් කටයුතු වසර 4-5 ක කාලයක්  ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ එවකට කළමනාකරණය සෘජුවම වගකිවයුතු බව සඳහන් කළ රජයේ මුදල් පිළිබඳව කාරක සභාව මේ පිළිබඳව  ආයෝජන මණ්ඩලයේද අවධානය යොමු විය යුතුව තිබූ බව පෙන්වා දුන් අතර කඩිනමින් මෙම හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව  ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් කමිටුව හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටි සභාපතිවරයා ඇතුළු කාරක සභාව අලාභය පියවාගතහැකි ආකාරය දුෂ්කර බවද සිය අවධානයට ලක් කළහ .

    පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් පිළිබඳව කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත,රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගි වූහ. 

  • ෆේස්බුකියේ දැන්වීම් දමා ඇමේසන් වානාන්තරය විකුණන ජාවාරමක්

    ෆේස්බුකියේ දැන්වීම් දමා ඇමේසන් වානාන්තරය විකුණන ජාවාරමක්

    බ්‍රසීලයේ වන සම්පත වන ඇමසන් වැසි වනාන්තරය ෆේස්බුක් ජාලය ඔස්සේ විකිණීමේ ජාවාරමක් BBC ය විසින් අනාවරණය කරගනු ලැබ ඇත.

    එම වනයේ සංරක්‍ෂිත කලාපයන්ට ජාතික වනෝද්‍යාන සහ ආදිවාසීන් වෙනුවෙන් වෙනකරණ ලද භූමියත් ඇතුළත් වෙයි.

    ෆේස්බුක් ජාලයේ පළකරනු ලැබ ඇති දැන්වීම්වල දැක්වෙන ඇතැම් බිම්කොටස් පාපන්දු ක්‍රීඩාංගන දහසක් තරම් විශාල ඒවා වෙති.

    මෙම කාරණය සම්බන්ධයෙන් බ්‍රසීල බලධාරීන් සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් නමුත් එම වෙළෙඳාම නතර කිරීම සඳහා තමන්ගේම ස්වාධීන වූ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ෆේස්බුක් ආයතනය පවසයි.

    ”අලෙවිකරන්නන් සහ ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වයම නීතිය සහ අදාළ රෙගුලාසිවලට අනුකූලව ක්‍රියා කළයුතුය” යන්න සිය වෙළෙඳ ප්‍රතිපත්තිය බව කැලිෆෝනියා මූලස්ථානය කරගත් ෆේස්බුක් තාක්ෂණික ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.

    brasil
    මහපොළොවේ පෙනහැල්ල ලෙස හඳුන්වනු ලබන ඇමසන් වනගැබ විනාශ කෙරෙමින් පවතී

    ඉහත කී ඉඩම් ජාවාරම බලපා ඇති එක් ආසිවාසී ජන කණ්ඩායමක නායකයා අදහස් දක්වමින්, එම ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලා සිටියේය.

    මේ අතර එම ජාවාරමට එරෙහි ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ බ්‍රසීල ආණ්ඩුවට එකී ඉඩම් ජාවාරම නතර කිරීමේ උවමනාවක් නැති බවය.

    ”ඉඩම් කොල්ලකරුවන් නීතියට පටහැනි ඉඩම් ගනුදෙනු සඳහා ෆේස්බුක් ජාලයට නිර්ලජ්ජිතව පිවිසීමට තරම් අධික බලයක් ආරෝපණය කරගනු ලැබ ඇතැයි” ‘Kanindé’ නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානී ඉවනෙයිඩ් බන්දෙයිරා (Ivaneide Bandeira) ප්‍රකාශ කළාය..

    සහතිකපත් නැහැ

    ඕනෑම පුද්ගලයකුට ”වනාන්තරය”හෝ ”ස්වදේශීය වනාන්තරය” එසේත් නැත්නම් ”දැව” යන තේරුම දෙන පෘතුගීසි වචන යතුරු ලියනය මගින් සටහන් කරමින් ෆේස්බුක් ජාලයේ වෙළෙඳපොල පිවිසුම් මෙවලමට පිවිසීමේ දී එක් ඇමසන් ප්‍රාන්තයක පිහිටා ඇති, ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධීව අලෙවිකරනු ලබන ඉඩම් කැබැල්ලක් සොයාගත හැකිය.

    ඇතැම් ලැයිස්තුගත කිරීම්වල චන්ද්‍රිකා දර්ශන සහ ඒවා පිහිටි ස්ථාන සටහන් GPS තොරතුරුත් ඇතුළත් වෙයි.

    ඇමසන්
    ගවයන්ට තණ කෑමට මෙවැනි බිම්කඩවල් යොදාගනී. එහි තේරුම ඒවා රැකගත යුතු බවය

    මෙම ඇමසන් ඉඩම් විකුණන්නන් තමන්ට එම ඉඩම්වල අයිතියක් නැති බව විවෘත ලෙසම පිළිගනිති. බ්‍රසීලයේ නීතිය අනුව ඉඩම් අයිතිය ඔප්පු කිරීම සඳහා වලංගු එකම ලේඛනය ඉඩම් අයිතිය තහවුරු කෙරෙන ඔප්පුවයි. ඉහත කී නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් බ්‍රසීලයේ ගව ගොවිපොළ කර්මාන්තය කෙරෙන් ද විරෝධය එල්ලවෙමින් පවතී.

    ”අනතුරක් නැහැ”

    මෙය වසර දහයක කාලයක් ඇතුළත බ්‍රසීලියානු ඇමසන් වනාන්තර විනාශයේ දරුණුම අවධියයි. එසේම ෆේස්බුක් ජාලයේ ‘වෙළෙඳපොළ’ දැන්වීම් අඩවිය ෆැබ්රීසියෝ ගුයිමරීස් (Fabricio Guimarães) වැනි වෙළෙන්දන්ට පිවිසිය හැකි ස්ථානයක් වී ඇත. වෙළෙන්දෙකු වන ෆැබ්රීසියෝ ඇතුළත් දර්ශන රහසිගත කැමරාවක් මගින් වීඩියෝගත කරනු ලැබ ඇත.

    ”ආණ්ඩුවේ නියෝජිතයන් විසින් පරීක්ෂාකරනු ලැබීමේ අනතුරක් මෙතැන නැහැ” තමා විසින් සහමුලින්ම පුළුස්සා අළුකර දමන ලද වැහි වනාන්තර බිම්කඩක ඇවිද යමින් සිටින අතරවාරයේ ෆැබ්රීසියෝ පැවසීය.

    BRASIL
    ”ආණ්ඩුවේ නියෝජිතයන් විසින් පරීක්ෂාකරනු ලැබීමේ අනතුරක් මෙතැන නැහැ”ෆැබ්රීසියෝ පැවසීය.

    නීතියට පටහැනිව වනය වනසා වගාවට සුදුසු පරිදි සකස්කර ඇති බිම් කැබැල්ලක් සඳහා ඔහු දැන් ආරම්භක මිලට වඩා තුන් ගුණයක මුදලක් ඉල්ලා සිටියි. එය ඇමෙරිකානු ඩොලර් 35,000කි.

    ෆැබ්රීසියෝ ගොවියකු නොවේ. ඔහු එක්තරා නගරයක මැද ශ්‍රේණියේ රැකියාවක නිරතවෙයි. ඔහු ගේ දර්ශනය වැහි වනාන්තරය හොඳ ආයෝජන අවස්ථාවක් වන බවය..

    BBC ය අදාළ ගවේෂණයේ දී ෆැබ්රීසියෝ ගේ ප්‍රතිචාරය ලබාගනු සඳහා ඔහු විමසන ලද නමුත් අදහසක් දැක්වීම බැහැරකරනු ලැබුණි.

    රහසිගත විපරම් කිරීමක්

    ඉඩම් විකිණීමට අදාළ දැන්වීම්වලින් වැඩි හරියක් පළකරනු ලැබ තිබෙන්නේ බ්‍රසීලයේ වැඩිම වනාන්තර විනාශයක් වාර්තාවෙන ‘රොන්ඩෝ’නියා’ (Rondônia) ප්‍රාන්තයෙනි.

    BBC ගවේෂණයේ දී එම ප්‍රාන්තයේ ඉඩම් ජාවාරම්කරුවන් හතරදෙනකු සහ පොහොසත් ආයෝජකයන් නියෝජනය කරනු ලබන නීතිවේදියකු ලෙස පෙනීසිටි තැනැත්තකු අතර ව්‍යාජ හමුවක් පිළියෙළ කරනු ලැබුණි.

    බ්‍රසීල සිතියම
    ඉඩම් විකිණීමට අදාළ දැන්වීම්වලින් වැඩිහරියක් පළකරනු ලැබ තිබෙන්නේ බ්‍රසීලයේ වැඩිම වනාන්තර විනාශයක් වාර්තාවෙන ‘රොන්ඩෝ’නියා’ (Rondônia) ප්‍රාන්තයෙනි.

    අල්විම් සෞසා අල්වෙස් (Alvim Souza Alves) නම් තැනැත්තෙක් ආදිවාසීන් නිවැසි ‘Uru Eu Wau Wau’ නම් සංරක්ෂිත වන කලාපය අභ්‍යන්තරයේ පිහිටි බිම්කඩක් ස්ටර්ලින් පවුම් 16,400කට සමාන මට්ටමේ බ්‍රසීලයේ ව්‍යවහාර මුදලට විකිණීමට උත්සාහ කරමින් සිටියේය.

    එම වන කලාපය දෙසීයකට අධික ‘Uru Eu Wau Wau’ ආදිවාසී ජනයාගේ නිවහනයි. එපමණක් නොව, බ්‍රසීල ආණ්ඩුව පවසන පරිදි බාහිර ලෝකය සමඟ සම්බන්ධකම් නොපවත්වන තවත් ආදිවාසී ජනකොටස් අඩුතරමින් පහක්වත් එම වනගැබ ජීවත්වෙති.

    ”ඉන්දියන් මිනිස්සු ඒ පැත්තේ නැහැ. මගේ ඉඩම තියෙන්නේ ඔවුන්ගෙන් කිලෝමීටර් පනහක් ඈතින්. මම කියන්නේ නැහැ-ඔවුන් ඒ පැත්තේ එකවරක් හෝ තවත් වරක් එහි ඇවිදලා නැහැයි කියල” අල්වෙස් සාකච්ඡාවක දී සඳහන් කළේය.

    BBC මාධ්‍යවේදීහු ‘Uru Eu Wau Wau’ වනගැබෙහි ගෝත්‍රික ප්‍රජානායක ‘Bitaté’ ඉදිරියේ ෆේස්බුක් වෙළෙඳ දැන්වීම පෙන්වූහ.

    BRASIL
    ‘Uru Eu Wau Wau’ ආදිවාසී ප්‍රජාව තම වනගැබ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂාකර ගැනීමේ උත්සාහයක නිරතව සිටිති

    ”එම බිම්කඩ සිය ජනතාව දඩයමට,මසුන් අල්ලා ගැනීමට සහ පලවැල නෙලා ගැනීමට උපයෝගී කරගන්නා කලාපයක් බව ගෝත්‍රික නායකයා කියා සිටියේය.

    ”මේක අපට සිදුකරන අගෞරවයක්” ඔහු සඳහන් කළේය.

    ”මම මේ මිනිස්සු ගැන දන්නේ නැහැ. මට පෙනෙන හැටියට ඔවුන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ ආදිවාසීන්ගේ වනගැබ වනසා දැමීම. අපේ ජීවිත විනාශ කිරීම”

    මේ කාරණයේ දී බලධාරීන් ප්‍රශ්නයට මැදිහත්විය යුතුව ඇති බවත් ආදිවාසී නායකයා පවසයි. එසේම ඔහු ෆේස්බුක් සමාගමෙන් ද ඉල්ලීමක් කළේය.

    ”වැඩිම ජනකායක් පිවිසෙන සමාජ මාධ්‍ය ජාලය ඔවුන්ගේ පැත්තෙන් පියවරක් ගත යුතුයි”

    අයිතියේ වෙනසක්

    නීතියට පටහැනිව යමින් සිදුකරනු ලබන ඉඩම් ජාවාරමට බලපාන තවත් කාරණයක් වන්නේ සමාවක් පිළිබඳව ඇති අපේක්ෂාවයි

    සොරකම් කරගන්නා ලද අන්සතු ඉඩකඩම් නෛතික මට්ටමින් තමන් සතුකර ගැනීම සඳහා තමා දේශපාලනඥයන්ට බලපෑම් කළ බව ඇලවීම් සෞසා අල්වේස් (Alvim Souza Alves) අනාවරණය කළේය.

    ”මම ඔබට ඇත්ත කියන්නම්. මේ ප්‍රශ්නය ජනාධිපති බෝල්සොනාරෝත් එක්ක විසඳාගත්තේ නැත්නම්, කවදාවත් එය නිරාකරණය වෙන්නේ නැහැ” අල්වේස් සඳහන් කළේ වත්මන් බ්‍රසීල ආණ්ඩුව ගැන සඳහන් කරමිනි.

    මෙහිදී ඉඩම් කොල්ලකරුවන් විසින් වනාන්තර විනාශය සඳහා භාවිත කරනු ලබන පොදු උපායමාර්ගයක් වන්නේ දැනට බලපැවැත්වෙන සංරක්ෂණ නීති වෙනස්කර ගැනීමට දේශපාලකයන්ගේ පිහිටා පැතීමය.

    ඉන් අනතුරුව ඉඩම් කොල්ලකරුවන්ට නෛතික මට්ටමින් අයිතිය කියාපාමින් ආණ්ඩුවෙන් නීතියට අනුකූල ලෙස ඉඩම් කැබැලි මිලට ගැනීමට හැකියාව ලැබෙයි.

    අල්වේස්, වෙස්වලාගත් BBC වාර්තාකරු ‘කුරුපිරා සංවිධානය’ (Curupira Association) නම් කණ්ඩායමක නායකයා ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලද තැනැත්තකු කරා රැගෙන ගියේය. බ්‍රසීල පොලිසිය විසින් එකී කණ්ඩායම හඳුන්වාදෙන ලද්දේ ආදීවාසීන් වෙසෙන වනගැබ ආක්‍රමණය කරමින් නීතියට පටහැනිව ඉඩම් කොල්ලකෑම ඉලක්ක කරගත් සංවිධානයක් ලෙසිනි.

    BRASIL
    තමා ආදීවාසීන් සතු ඉඩම් විකුණන බව අල්විම් සෞසා අල්වේස් BBCය විසින් යොදවන ලද නියෝජිතයාට ප්‍රකාශකළ නමුත් එම ඉඩම්වල අයිතිය දැක්වෙන ලිපි ලේඛන ඉදිරිපත් නොකළේය

    එම පුද්ගලයන් දෙදෙනාම BBC වාර්තාකරුට කියාසිටියේ ‘බ්‍රසීලියා’ අගනුවර ආණ්ඩුවේ ආයතන සමඟ හමුවීම් යොදාගැනීම සඳහා ඉහළ මට්ටමේ දේශපාලනඥයන්ගෙන් තමන්ට උපකාර ලැබෙන බවය.

    කොංග්‍රස් සභිකයකු වන කර්නල් ක්‍රිසෝස්ටෝමෝ (Colonel Chrisóstomo) සිය ප්‍රධාන සගයා බව ඔවුහු සඳහන් කළහ. කර්නල් ක්‍රිසෝස්ටෝමෝ සමාජ ලිබරල් පක්ෂයේ සාමාජිකයෙකි. ජනාධිපති බොල්සොනාරෝ 2019 වසරේ දී අලුත් දේශපාලන පක්ෂයකට මුලපුරන තෙක් එම පක්‍ෂයේ සාමාජිකයකු විය.

    BBCය විසින් කර්නල් ක්‍රිසෝස්ටෝමෝ සම්බන්ධකර ගනු ලැබුණි. තමා ඉහත කී පුද්ගලයන් සඳහා සාකච්ඡා සඳහා උදව් කළත් එම කණ්ඩායම ඉඩම් ආක්‍රමණයක යෙදෙන බවක් තමා දැන නොසිටි බව ඔහු සඳහන් කළේය.

    ”ඔවුන් මට කිව්වේ නැහැ” කර්නල් ක්‍රිසෝස්ටෝමෝ පවසයි.

    ”ඔවුන් ඉඩම් ආක්‍රමණය කරනවානම්, ඔවුන්ට මගෙන් තවත් කිසිම උදව්වක් ලැබෙන්නේ නැහැ’

    මුලින් ඔවුන් සඳහා සාකච්ඡා සංවිධානය කරදීමට උදව්කරනු ලැබීම සම්බන්ධයෙන් කණගාටුවන්නේදැයි BBC වාර්තාකරු විමසන විට කර්නල් ක්‍රිසෝස්ටෝමෝගෙන් ලැබුණේ ”නැහැ” යන පිළිතුරයි.

    අනතුරුව BBCය අල්වේස්ගේ ප්‍රතිචාරය විමසීමට ඔහු සම්බන්ධ කරගත් නමුත් ඔහු අදහස් දැක්වීම ප්‍රතික්‍ෂේප කළේය.

    ඇමසන් වනය
    ඇමසන් වැසි වනාන්තරය මිහිතලයේ දැනට හමුවී ඇති ජීවීන්වර්ග සෑම දහයකින්ම එක ජීවීන් වර්ගයක නිවහනයි

    BBC ය බ්‍රසීලයේ පරිසර ඇමති රිකාඩෝ සාලෙස් (Ricardo Salles) කරාත් ළඟා විය.

    ”ජනාධිපති බොල්සොනාරෝගේ ආණ්ඩුව පරිසර ප්‍රශ්නයත් ඇතුළුව කිසිදු ආකාරයක අපරාධයක් සම්බන්ධයෙන් කිසිම සමාවක් නොදෙන බව පැහැදිලිව කියල තියෙනව” ඇමතිවරයා පැවසීය.

    බ්‍රසීල ආණ්ඩුව වන්නන්තර විනාශය සම්බන්ධයෙන් කටයුතු කරන ෆෙඩරල් ප්‍රධාන රාජ්‍ය ආයතනය වන ‘ඉබාමා’ (Ibama) ආයතනයේ අධීක්ෂණ කටයුතු සඳහා සපයන අරමුදලෙන් 40%ක් කප්පාදු කර ඇත.

    එහෙත් පරිසර ඇමති සාලේස් පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් ඇමසන් වනගැබ කලාපයේ නීතිය ක්‍රියාවට නැංවීම අඩාල වූ බවය. තවද, එම කලාපය භාර ප්‍රාන්ත පාලනයට වන විනාශය සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරෙන බව ඇමතිවරයා පවසයි.

    බ්‍රසීල ආණ්ඩුව විසින් මේවසරේ ”වර්ඩි බ්‍රසීල්-2′ (Verde Brasil 2) යන නමින් මෙහෙයුමක් නිර්මාණය කරන ලදී. එහි අරමුණ නීති විරෝධීව වනය කපාදැමීම සහ වනය ගිනිතබා විනාශකිරීම අධීක්ෂණය සඳහා ෆෙඩරල් ආණ්ඩුව සහ ප්‍රාන්ත අතර ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරීමය.

    ඒ කෙසේවෙතත්,වර්තමාන බ්‍රසීල පාලනය යටතේ තත්ත්වය ඉතාම නරක අතට හැරී ඇතැයි රෝන්ඩෝනියා (Rondônia) ප්‍රාන්තයේ කටයුතු කරන ෆෙඩරල් ආණ්ඩුවේ නීති නිලධාරී රෆායෙල් බෙවිලක්වියා (Raphael Bevilaquia) පෙන්වාදෙයි.

    ”පවතින තත් ත්වය ඇත්තෙන්ම,කොහෙත්ම දරාගන්න බැරි තරම්!” නීති නිලධාරියා පෙන්වා දෙයි.

    ”විධායක බලය අපට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තියෙනව. එමගින් අප අධෛර්යට පත්කෙරෙමින් පවතිනවා”

    මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලය පවසන්නේ කුමක්ද? කුමන විකුණුම් නීතියට පටහැනිද යන්න තක්සේරු කිරීම තමන්ට අසීරු සංකීර්ණ කාරණයක් වන බව ෆේස්බුක් සමාගම පවසයි. එබැවින් එය ප්‍රශ්නයට අදාළ රටේ බලධාරීන්ගේ සහ එහි අධිකරණ සංවිධානයට පැවරෙන බවත් ඔවුහු පවසති. ඇමසන් කලාපය ඔස්සේ සිදුකෙරෙන සියලු වෙළෙඳපොළ ඉඩම් විකුණුම් අත්හිටවනු ලැබීමට තරම් මෙම ප්‍රශ්නය බරපතල බවක් පෙනීනොයන බවත් ෆේස්බුක් ජාලය සඳහන් කරයි.

    වසර තිහක පමණ කාලයක් තිස්සේ ‘රොන්ඩෝනියා’ ප්‍රාන්තයේ වනාන්තර විනාශයට එරෙහිව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින ඉවනෙයිඩ් බන්දෙයිරා (Ivaneide Bandeira) ප්‍රකාශයක් කරමින් සිය බලාපොරොත්තු දියවී යමින් ඇතැයි සඳහන් කළාය.

    ”මට දැනෙන විධියට මෙය ඉතා දුෂ්කර සටනක්. වනය විනාශ කරමින් පවතින ආකාරය දකින්නට ලැබීම ඇත්තෙන්ම වේදනාකාරී දුකක්. වනාන්තරය වේගයෙන් හැකිලීයමින් තියෙනව” ඇය පවසන්නීය.

    ”වනගැබ ආරක්ෂා කරගැනීම අතින් ඉතිහාසයේ කවර කාලයකවත් මෙතරම් දුෂ්කර අවස්ථාවක් තිබිල නැහැ”

    (BBC බ්‍රසීලියානු අංශයේ ජෝආඕ ෆෙලට්(Joao Fellet ) සහ චාලට් පැමෙන්ට්(Charlotte Pamment) විසින් ඉදිරිපත් කරන මාධ්‍ය ගවේෂණාත්මක ලිපියක් ඇසුරෙනි. – copied by bbc sinhala)