Author: Editor

  • චිකන්ගුන්යා රෝගය වසංගත තත්ත්වයකට පැමිණ නැහැ – සෞඛ්‍ය ඇමති

    චිකන්ගුන්යා රෝගය වසංගත තත්ත්වයකට පැමිණ නැහැ – සෞඛ්‍ය ඇමති

    චිකන්ගුන්යා රෝගය තවමත් වසංගත තත්ත්වයකට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශ පිළිනොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිල වශයෙන් පවතින දත්ත පදනම් කරගෙන ඉදිරි දින කිහිපය තුළදී ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයිද, රෝගයේ යම් වර්ධනයක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුව, ඉන්දියාව වැනි තදාසන්න රටවල කොවිඩ් රෝගය යම් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද, ඒ ඵිළිබඳව සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බවද පැවසුවේය. පසුගිය කාලයේ  පැවති ආකාරයේ අනතුරකට තවමත් තොරතුරු ලැබී නැතැයිද රජය මේ සම්බන්ධයෙන් ගුවන් තොටුපොලේ සිටම අවශ්‍ය මැදිහත්වීම් සිදුකරමින් කටයුතු කරන අතරම ඒ පිළිබඳව සෞඛ්‍ය  ලේකම්වරයා පසුගිය දිනක වාර්තාවක් නිකුත් කළ බවද සඳහන් කළේය.

  • 2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා වර්ධනය වෙයි

    2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා වර්ධනය වෙයි

    2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී ඇති අතර එය  2024 දී එම කාලසීමාවට සාපේක්ෂව 6.9%ක වර්ධනයකි. මෙම ඉහළ යාම වර්ධනය වන ගෝලීය වෙළඳ පරිසරයට අප අනුකූල වීමේ හැකියාවත් පිළිබිඹු කරයි.

    2025 අප්‍රේල් මාසයේදී පමණක් භාණ්ඩ සහ සේවා අපනයන මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,292.63ක් ලෙස සටහන්වී ඇත. මෙය 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව 8.74%ක වාර්ෂික වර්ධනයකි.

    අපනයන කාර්ය සාධනය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසූවේ:”මෙම ශක්තිමත් වර්ධනය මගින් පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳ ජාලයට වඩාත් සමීපව එකතුවෙමින් ඇති ආකාරයත්, අපනයන තරඟකාරීත්වය වර්ධනය කරමින් වෙළඳ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අප ගත් දිගුකාලීන උත්සාහයන්ගේ සාර්ථකත්වයත් බවයි. අප අපනයකරුවන් ඔවුන්ගේ හැකියාව හා දැනුම භාවිතයෙන් ගෝලීය වෙළඳ පරිසරයේ වෙනස්කම්වලට හැඩගැසීමට හැකි බව  ද පෙන්වා දී ඇත.”

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තාවකාලික දත්ත අනුව, 2025 අප්‍රේල් මාසය තුළ පමණක් භාණ්ඩ අපනයනය වාර්ෂිකව 12.05%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 983.33ක් දක්වා ළඟා වී ඇත. මෙයට මැණික් සහ ස්වර්ණාභරණ සහ පෙට්‍රොලියම් නිෂ්පාදන සඳහා වූ දත්තද ඇතුළත් වේ. 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාවේ භාණ්ඩ අපනයන මුළුමනින්ම ඇමරිකානු ඩොලර් මිලියන 4,334.22ක් වන අතර, එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 6.86%ක වර්ධනයකි.

    සේවා අපනයන අංශය මුළු අපනයන වර්ධනයට වැදගත් දායකත්වයක් ලබාදී තිබේ. 2025 අප්‍රේල් මාසයේදී සේවා අපනයන ආදායම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 309.3ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. වසරේ පළමු මාස හතර තුළ සේවා අපනයන ආදායම 7.06%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,189.63ක් දක්වා ළඟා වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වෙමින් පවතින ආකාරයත්, ජාතික අපනයන ආදායමට එය කරන දායකත්වයත් පැහැදිලිව පෙන්වයි.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), ව්‍යාපාර ක්‍රියාවලිය කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම් (Transport & Logistics) යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය ශ්‍රී ලංකාවේ අපනයන ව්‍යාප්තිය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කරනු ලබයි.

    වගුව 1: අංශය අනුව අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම ( we’ fvd’ මි )

    භාණ්ඩ සහ සේවා අපනයනය ජන–   අප්‍රේල්

    2024

    ජන–   අප්‍රේල්

    2025

    % වර්ධනය

    (24-25)

    අප්‍රේල් 2024 අප්‍රේල් 2025 % වර්ධනය

    (24-25)

    ඇඟලුම් සහ රෙදිපිළි 1,566.39 1,747.91 11.59 321.06 364.47 13.52
    තේ 450.23 478.29 6.23 95.46 107.34 12.45
    රබර්  ආශ්‍රිත නිෂ්පාදන 335.00 312.43 -6.74 66.58 61.15 -8.16
    පොල් ආශ්‍රිත නිෂ්පාදන 264.40 331.30 25.30 60.76 73.85 21.54
    දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ 142.70 120.13 -15.82 29.76 27.91 -6.19
    ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක 137.93 129.26 -6.29 30.78 30.75 -0.10
    කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන 87.48 142.98 63.44 18.03 23.95 32.83
    සැකසූ ආහාර පාන වර්ග 158.72 181.98 14.65 32.35 43.52 34.53
    මුහුදු ආහාර 90.68 74.96 -17.34 26.79 26.70 -0.34
    විසිතුරු මසුන් 8.52 7.16 -15.96 2.77 3.11 12.27
    එළවළු 9.68 10.12 4.55 3.59 4.63 28.97
    පළතුරු 13.25 13.94 5.21 3.25 4.89 50.46
    වෙනත් අපනයන බෝග 23.28 20.05 -13.87 5.35 7.39 38.13
    මල් සහ ශාක පත්‍ර 4.94 4.70 -4.86 1.69 1.75 3.55
    බෝට්ටු නිෂ්පාදන 11.06 20.73 87.43 0.10 15.05 14950.00
    ඛනිජ තෙල් නිෂ්පාදන 369.75 342.10 -7.48 90.58 83.09 -8.27
    වෙනත් 382.05 396.19 3.70 88.68 103.78 17.03
    මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 4,056.06 4,334.22 6.86 877.58 983.33 12.05
    තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය 469.65 492.71 4.91 151.47 144.04 -4.91
    ඉදිකිරීම් 80.20 42.08 -47.53 19.84 15.71 -20.79
    මූල්‍යමය සේවා 23.81 6.12 -74.30 8.76 1.89 -78.40
    ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා 537.51 648.71 20.69 131.06 147.65 12.66
    සම්පූර්ණ සේවා අපනයන 1,111.17 1,189.63 7.06 311.14 309.30 -0.59
    මුළු අපනයන 5,167.23 5,523.85 6.90 1,188.72 1,292.63 8.74

     

    වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

    රට ජන-අප්‍රේල් 2024 ජන-අප්‍රේල් 2025 % වර්ධනය

    (24-25)

    අප්‍රේල්

    2024

    අප්‍රේල්

    2025

    % වර්ධනය

    (24-25)

    1 එක්සත් ජනපදය 894.94 965.97 7.94 183.37 190.38 3.82
    2 ඉන්දියාව 239.39 334.40 39.69 56.93 77.76 36.59
    3 එක්සත් රාජධානිය 305.16 323.91 6.14 66.14 73.57 11.23
    4 ඉතාලිය 198.59 205.72 3.59 40.77 52.92 29.80
    5 ජර්මනිය 205.01 227.44 10.94 41.07 45.91 11.78
    6 එක්සත් අරාබි එමීර් රාජ්‍යය 114.74 102.89 -10.33 22.27 20.78 -6.69
    7 නෙදර්ලන්තය 114.08 142.50 24.91 26.26 29.30 11.58
    8 ප්‍රංශය 84.94 84.81 -0.15 24.32 19.67 -19.12
    9 කැනඩාව 103.57 101.13 -2.36 19.31 23.17 19.99
    10 චීනය 83.10 88.78 6.84 21.24 19.66 -7.44
    11 ඕස්ට්‍රේලියාව 78.35 80.44 2.67 17.40 16.25 -6.61
    12 බෙල්ජියම 72.06 77.19 7.12 16.64 18.00 8.17
    13 තුර්කිය 42.40 35.97 -15.17 9.48 7.13 -24.79
    14 ජපානය 56.83 58.21 2.43 12.57 14.12 12.33
    15 ස්විට්සර්ලන්තය 55.58 65.41 17.69 12.45 21.83 75.34
      වෙනත් වෙළඳපොළ 1407.32 1439.45 2.28 307.36 352.88 14.81
    එකතුව 4,056.06 4,334.22 6.86 877.58 983.33 12.05

    වගුව 3: කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

    කලාපය ජන-අප්‍රේල්

    2024

    ජන-අප්‍රේල්

    2025

    % වර්ධනය

    (24-25)

    අප්‍රේල්

    2024

    අප්‍රේල්

    2025

    % වර්ධනය

    (24-25)

    උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම

    (NAFTA)

     

    1,057.98 1,118.71 5.74 213.95 222.92 4.19
    යුරෝපා සංගමය (EU) එක්සත් රාජධානිය හැර 864.96 949.51 9.78 193.50 214.50 10.85
    දකුණු ආසියාව 366.91 441.22 20.25 86.00 104.24 21.21
    මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර) 329.00 334.21 1.58 60.39 74.64 23.60
    අප්‍රිකානු රටවල් 93.85 124.86 33.04 28.52 32.80 15.01
    අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) 109.98 113.65 3.34 23.50 24.78 5.45
    CIS කලාපීය රටවල් 87.47 86.45 -1.17 22.20 16.07 -27.61
    වෙනත් 1,145.91 1,165.61 1.72 249.52 293.38 17.58
    මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 3,178.48 3,325.09 4.61 1,148.48 1,215.90 5.87

    ප්‍ර‍තිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය – ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

  • එංගලන්ත රූ රැජිණ ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත් වුණේ ඇයි? ඇය කවුද?

    එංගලන්ත රූ රැජිණ ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත් වුණේ ඇයි? ඇය කවුද?

    එංගලන්ත රූ රැජිණ මීලා මැගී 72 වන ලෝක රූ රැජිණ තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. ඒ, ඇය එම තරගාවලියෙන් ඉවත් වීමට හේතු ලෙස ඉන්දීය මාධ්‍ය මෙන් ම, බ්‍රිතාන්‍ය මාධ්‍ය ද පළ කර ඇති වාර්තා නිසා ය.

    මෙවර ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ද නියෝජනය කරමින් අනුදි ගුණසේකර ඊට සහභාහී වී ඇති බැවින් එම තරගාවලිය කෙරෙහි ශ්‍රී ලංකාවේ ද වැඩි අවධානයක් යොමු වී තිබේ.

    “පෞද්ගලික හේතු මත” 24 හැවිරිදි මීලා මැගී තරගාවලියෙන් ඉවත් වූ බවට මුලදී වාර්තා වුව ද දැන් එම තීරණය පිටුපස ඇති “සත්‍යය” හෙළිදරව් වෙමින් පවතින බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    72 වන ලෝක රූ රැජිණ තේරීමේ තරගය ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේදී පැවැත්වෙමින් තිබේ. මැයි 7 වන දා ආරම්භ වූ මෙම තරගාවලිය මැයි 31 වන දා දක්වා පැවැත්වේ. තෙලංගනා ප්‍රාන්ත රජය විසින් සංවිධානය කරන ලද දැවැන්ත සමාරම්භක උත්සවයක් මැයි 10 වන දින එහි කචිබෝව්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    මීලා මැගී එල්ල කළ බව කියන චෝදනා මොනවා ද?

    Milla Magee

    “මම එහේ ගියේ වෙනසක් කරන්න, නමුත් අපට සිද්ධ වුණේ රඟපෑම් කරන වඳුරෝ වගේ වාඩි වෙලා ඉන්න.”

    රූ රැජිණ තරග ඉතිහාසයේ ඉන් ඉවත් වූ පළමු එංගලන්ත රූ රැජිණ බව සැලකෙන මීලා මැගී එසේ පැවසූ බව බ්‍රිතාන්‍යයේ The Sun වෙබ් අඩවිය මෙන් ම ඉන්දියාවේ ද මාධ්‍ය රැසක් වාර්තා කර තිබිණි. බීබීසී තෙළිඟු සේවය ද මේ පිළිබඳව වාර්තා කර තිබිණි.

    “මේ තරගය තියෙන්නේ අතීතයේ හිරවෙලා. සදාචාරාත්මකව මට ඒකේ කොටසක් වෙන්න බෑ,” ඇය සඳහන් කළ බවට වාර්තා පළ වී තිබේ.

    තරගාවලිය අතරතුර තමන් “ගණිකාවක් මෙන්” තමාට දැනුණු බවත්, එහි සංවිධායකයින් තමන් “අන් අය සතුටු කිරීම සඳහා යොදා ගත් බවත්,” ඇය චෝදනා කළ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

    ධනවත් පිරිමි අනුග්‍රාහකයන් ඉදිරියේ ගමන් කරවීමට සැලැස්වීමෙන් පසු තරගයෙන් ඉවත් වීමට තමා තීරණය කළ බව මීලා පවසා තිබේ.

    ඇය මෙම තරගාවලිය “යල් පැන ගිය” එකක් ලෙස හැඳින්වූ බවත් එහි අවසන් තරගකරුවන් 109 දෙනාගෙන් සමහරෙකු “නීරස ස්වභාවයක්” පෙන්වීම නිසා දෝෂාරෝපණයට ලක්වූ බවත් මාධ්‍ය වාර්තා පළ අර තිබේ.

    “ලෝකයේ තියෙන කිරුළු සහ ගරු නාම ඔබ ඕබේ කටහඬ භාවිත කර ලෝකය තුළ වෙනසක් ඇති කිරීම තරම් වටින්නේ නැහැ,” ඇය පැවසූ බව සඳහන් වේ.

    තරගාවලියේදී තමන් මුහුණ දුන් බව කියන “අමිහිරි” අත්දැකීම් ගැන ඇය තවදුරටත් මෙලෙස ප්‍රකාශ කළ බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    “අමුත්තන් හය දෙනෙකුගෙන් යුත් සෑම මේසයකට ම ගැහැනු ළමයි දෙදෙනෙක් හිටියා.”

    “අපෙන් බලාපොරොත්තු වුණේ මුළු හවස්වරුව ම එයාල එක්ක වාඩි වෙලා ඉඳන් එයාලට කෘතගුණ සැලකීමක් විදිහට එයාලව සතුටු කරන්න.”

    “මට ඒක විශ්වාස කරන්න බැරි දෙයක් කියලා හිතුණා. ‘මේක හරි ම වැරදියි’ කියලා, මම හිතුවා. මම මෙහෙට ආවේ මිනිස්සුන්ගේ විනෝදාස්වාදය සඳහා අතින් අතට යන්න නෙවෙයි. ලෝක රූ රැජිණ තරගයටත් ඒ වගේ වටිනාකම් තියෙන්න ඕනේ. ඒත් ඒක යල් පැන ගියපු අතීතයේ හිර වෙලා තියෙන්නේ. ඔවුන් මාව ගණිකාවක් ලෙස දැනෙන්න සැලැස්වූවා.”

    මීලා තවදුරටත් මෙලෙස පැවසූ බව ද මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ ඇත: “එක් අවස්ථාවක මම වැදගත්කමක් තියෙන දේවල් ගැන කතා කරන්න උත්සහ කළත් මේසයේ සිටි පිරිමින් උනන්දුවක් දැක්වූවේ නැහැ කියලා පැහැදිලි වුණා. ඒ වෙනුවට එතන වුණේ, මට අපහසුතාවක් දැනුණු අමුතු පොඩි පොඩි කතා.

    මීට අමතරව, තරගාවලිය සම්බන්ධයෙන් මීලා තවත් චෝදනා නගා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

    ලෝක රූ රැජිණ සංවිධානයේ සභාපති ප්‍රතිචාර දක්වයි

    ලෝක රූ රැජිණ සංවිධානයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජූලියා මෝර්ලි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, මෙම මස මුලදී, මීලා මැගී ඇගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට ඉල්ලා සිටි බව ය.

    ඒ අනුව, ඇගේ සහ ඇගේ පවුලේ සාමාජිකයින්ගේ යහපැවැත්මට මුල් තැන දෙමින් වහා ම ඇයව එංගලන්තයට නැවත යැවීමට අවශ්‍ය කටයුතු සලසා දුන් බව ඇය තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

    ඇයගේ නික්ම යාමෙන් පසු, එංගලන්ත රූ රැජිණ තරගයේ පළමු අනුශූරිය වූ චාලට් ග්‍රාන්ට්, තම රට නියෝජනය කිරීමට ඉදිරිපත් වූ බව ඇය පවසයි. ඒ අනුව, ඇය ඉන්දියාවට පැමිණ තිබිණි.

    එම නිවේදනයේ මෙලෙස ද සඳහන් වෙයි: “අවාසනාවකට මෙන්, ඉන්දියාවේදී ඇයට ලැබුණු අත්දැකීම් සම්බන්ධයෙන් මීලා මැගී විසින් කරන ලදැයි කියන අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ එක්සත් රාජධානියේ ඇතැම් මාධ්‍ය ආයතන විසින් පළ කරනු ඇති බව අපගේ අවධානයට ලක්ව තිබේ. මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන් ම පදනම් විරහිත වන අතර ඇය අප සමග ගත කළ කාලයේ සිදු වූ සැබෑ සිදුවීම් සමග එය නොගැලපේ.”

    ඊට ප්‍රතිචාර වශයෙන්, ලෝක රූ රැජිණ සංවිධානය, මීලා ඉන්දියාවේ රැඳී සිටි කාලය තුළ පටිගත කරන ලද සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන නිකුත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    මීලා මැගී යනු කවුද?

    Milla Magee

    24 වන වියේ පසුවන මීලා මැගී ඉකුත් වසරේ Miss World England කිරුළ දිනා ගත්තා ය.

    මුලින් ලන්ඩනයේ මෝර් හවුස්හි අධ්‍යාපනය ලැබූ ඇය, අධ්‍යයන කටයුතුවල දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර අවසානයේ කෝන්වෝල් වෙත ගියා ය. ඇය කෝන්වෝල්හි නිව්කේහි ජීවත් වූ නමුත් හැදී වැඩුණේ ලන්ඩනයේ ය.

    කෝන්වෝල්හිදී ඇය රළ මත ලිස්සා යාම ඉගෙන ගනිමින් වෙරළ ජීවිතාරක්ෂකයෙකු බවට පත් වූවා ය.

    සාම්ප්‍රදායික සිහින් සිරුරක් නොව ප්‍රමාණයෙන් තරමක් විශාල සිරුරක් (plus-size / size 16) ඇතිව එංගලන්ත රූ රැජිණ බවට පත් වූ තරුණිය ද ඇය යි. තම අධික බර හේතුවෙන් ඇය පාසලේදී විවිධ හිංසාවලට ලක් වූ අයෙකි.

    ජයග්‍රහණය කිරීමෙන් පසු ඇය ඉකුත් වසරේ බීබීසීය වෙත ප්‍රකාශ කළේ, “මේ ඊනියා රූ රැජිණ තරග පිළිබඳ දෘෂ්ටිකෝණය වෙනස් කිරීමේ කර්තව්‍යයේ කොටසක් වීමට මට අවශ්‍ය වුණා,” යනුවෙනි.

    රට පුරා පාසල්වලට CPR පුහුණුව අනිවාර්ය කිරීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් වන GoFarwithCPR සඳහා ඇය නායකත්වය දෙයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලික හේතු වන්නේ, ඇගේ ජීවිතයේ අත්විඳින්නට වූ ඛේදවාචකයකි. මීලාගේ මුත්තණුවන් දෙදෙනා ම මියගොස් ඇත්තේ හෘදයාබාධවලිනි.

    source: bbc.com/sinhala

  • මෙරට කුටුම්භවලින් 55%ක් ණය අර්බුදය – ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

    මෙරට කුටුම්භවලින් 55%ක් ණය අර්බුදය – ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

    මෙරට සමස්ථ කුටුම්භයන්ගෙන් 54.9%ක් පමණ මේ වන විට ණය බරින් පීඩාවට පත්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයක් පවසයි.

    මෙම ණයගැතිභාවයට වැඩියෙන්ම හේතු වී ඇත්තේ 31%ක උකස් කටයුතු හරහා සිදුව ඇති ණයවීම් වන අතර දෙවනුවට විධිමත් ආකාරයට බැංකු හරහා ණය ලබා ගැනීම් 21.9%කි.

    මීට අමතරව පොලියට මුදල් ලබාදෙන්නන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ලබා ගන්නා ණය ගැනීම් පිළිවෙළින් 9.7%ක් සහ 8.7% ක් වාර්තා වන අතර, එමඟින් රටේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ අවිධිමත් ණය ප්‍රභවයන් බහුලව පවතින බව ද පෙන්නුම් කෙරේ.

    තවද, සමෘද්ධි බැංකු හරහා ලබා ගන්නා ණය 7.1%ක්, සිය රැකියා ස්ථානයෙන් ලබා ගන්නා ණය 5.2%ක් සහ ක්‍රෙඩිට් කාඩ් හරහා ලබා ගන්නා ණය 1.8%ක් ලෙස කුඩා පරිමාණයෙන් ණය ගැනීමේ ද මීට ඇතුළත් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

     

  • ඉන්දීය ඉතිහාසයේ අගවිනිසුරුවරයෙකු වූ පළමු බෞද්ධයා

    ඉන්දීය ඉතිහාසයේ අගවිනිසුරුවරයෙකු වූ පළමු බෞද්ධයා

    භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බී.ආර්. ගවයි) ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස අද (මැයි 14 වැනිදා) දිවුරුම් දුන්නේය. ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා බවට පත්වූ ඔහු විනිසුරු බාලක්‍රිෂ්ණන්ගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දාලිත් කුලයේ දෙවැන්නා බවට ද පත්විය.

    64 හැවිරිදි ගවයි ඉන්දියාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති ද්‍රෞපදී මුර්මු ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හි පැවති චාම් උත්සවයකදී දිවුරුම් දෙන ලදී.

    ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 කි.

    මෙතෙක් එම ධූරය දරූ අගවිනිසුරු සංජීව් ඛන්නාගේ ධූර කාලය මැයි 13 වැනිදා අවසන් විය.

    මීළඟ අගවිනිසුරුවරයා ලෙස විනිසුරු භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බීආර් ගවයි) ගේ නම නිර්දේශ කරනු ලැබුවේ විනිසුරු ඛන්නා විසිනි.

    ඉන්දීය දලිත් කුලයේ දෙවන අගවිනිසුරු

    විනිසුරු බී.ආර්. ගවයි ඉන්දියාවේ දෙවන දලිත් අගවිනිසුරුවරයා බවට පත්වූ අතර විනිසුරු ගවයිට පෙර, විනිසුරු කේ.ජී. බාලක්‍රිෂ්ණන් 2007 දී පළමු දලිත් අගවිනිසුරුවරයා බවට පත්විය.

    ඡායාරූප මූලාශ්‍රය,ANI

    ඡායාරූප ශීර්ෂ වැකිය,බී.ආර්. ගවයි ඉන්දියාවේ දෙවන දලිත් අගවිනිසුරුවරයා වන අතර පළමු බෞද්ධ අගවිනිසුරුවරයා ය

    විනිසුරු බී.ආර්. ගවයි ඉන්දියාවේ දෙවන දලිත් අගවිනිසුරුවරයා බවට පත්වූ අතර විනිසුරු ගවයිට පෙර, විනිසුරු කේ.ජී. බාලක්‍රිෂ්ණන් 2007 දී පළමු දලිත් අගවිනිසුරුවරයා බවට පත්විය.

    බී.ආර්. ගවයි 1960 නොවැම්බර් 24 වන දින මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්රාවතී හි උපත ලැබූ අතර 1985 දී සිය නීති ජීවිතය ආරම්භ කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුවේ විනිසුරු ගවයිගේ නම ඉහළින්ම තිබිණි.

    2025 නොවැම්බර් 23 දක්වා විනිසුරු ගවයි ධුරය දරනු ඇත, එනම්, ඔහු මාස ​​හතකින් පමණ ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

    නීතිඥ වෘත්තිය ආරම්භ කිරීම

    මහාරාෂ්ට්‍රයේ අමරාවතී හි පදිංචි විනිසුරු බී.ආර්. ගවයි 1985 මාර්තු 16 වන දින නීතිඥ වෘත්තිය ආරම්භ කළේය.

    1987 දක්වා ඔහු බොම්බේ මහාධිකරණයේ හිටපු නීතිපති සහ විනිසුරු රාජා එස් බෝසාලේ සමඟ කටයුතු කළේය.

    1990 න් පසු, ඔහු බොම්බේ මහාධිකරණයේ නාග්පූර් විනිසුරු මඩුල්ල හමුවේ, ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාමය සහ පරිපාලන නීතිය පිළිබඳ නඩු කටයුතු සඳහා පෙනී සිටියේ ය.

    මෙම කාලය තුළ ඔහු නාග්පූර් මහ නගර සංස්ථාව, අමරාවතී මහ නගර සංස්ථාව සහ අමරාවතී විශ්වවිද්‍යාලයේ ස්ථිර නීතිඥවරයා ද විය.

    1992 අගෝස්තු සිට 1993 ජූලි දක්වා කාලය තුල, ගවයි බොම්බේ මහාධිකරණයේ නාග්පූර් විනිසුරු මඩුල්ලේ සහකාර රජයේ නීතිඥවරයා සහ රජයේ අතිරේක නීතිඥවරයා ලෙස පත් කරන ලදී.

    2000 ජනවාරි 17 වන දින සිට ඔහු රජයේ අභිචෝදක සහ රජයේ නීතිඥවරයා ලෙස පත් කරන ලදී.

    2003 නොවැම්බර් 14 වන දින ඔහු බොම්බේ මහාධිකරණයේ අතිරේක විනිසුරුවරයෙකු ලෙස උසස් වීම් ලැබීය.

    2005 නොවැම්බර් 12 වන දින, විනිසුරු බී.ආර්. ගවයි ස්ථිර මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන ලදී.

    2019 මැයි 24 වන දින ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කෙරුණි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිසුරු මඩුල්ලේ ප්‍රධාන තීන්දුවලට සම්බන්ධ වීම

    විනිසුරු බී.ආර්. ගවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය විනිසුරු මඩුලු රැසක සාමාජිකයෙකු විය. මෙම කාලය තුළ ඔහු ඓතිහාසික තීන්දු රැසකටම දායක විය.

    2019 දී ජම්මු සහ කාශ්මීරයට විශේෂ තත්ත්වය ලබා දුන් 370 වන වගන්තිය ඉන්දීය මධ්‍යම රජය විසින් අවලංගු කරන ලදී. ඔහු මධ්‍යම රජයේ එම තීරණය ඒකමතිකව තහවුරු කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු විය.

    දේශපාලන කටයුතු සඳහා අරමුදල් සැපයීම සඳහා භාවිතා කරන ලද මැතිවරණ බැඳුම්කර යෝජනා ක්‍රමය අහෝසි කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ද විනිසුරු ගවයි සාමාජිකයෙකු විය.

    රුපියල් 1,000 සහ රුපියල් 500 නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය මධ්‍යම රජය 2016 වසරේදී ගත් තීරණය හතරට එකක බහුතරයකින් තහවුරු කළ විනිසුරු මඩුල්ල ද විනිසුරු ගවයි නියෝජනය කළේය.

    උපලේඛනගත කුල තුළ උප වර්ගීකරණයන් සිදු කිරීමට ප්‍රාන්තවලට ව්‍යවස්ථාපිත අයිතිය ඇති බවට හයට එකක් ලෙස බහුතරයකින් තීන්දු කළ සත් පුද්ගල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිසුරු මඩුල්ලේ ද විනිසුරු ගවයි සාමාජිකත්වය දරුවේ ය.

    2024 නොවැම්බර් මාසයේදී, විනිසුරු බී.ආර්. ගවයිගේ ප්‍රධානත්වයෙන් යුත් ද්වි පුද්ගල-විනිසුරු මඩුල්ලක් විත්තිකරුවන්ගේ දේපළ බුල්ඩෝසර් යොදා විනාශ කිරීම විවේචනය කළේය.

    මෙම නඩුවේදී ඔහු තීන්දු කළේ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර කිසිවෙකුගේ දේපළ කඩා දැමීම නීතියට පටහැනි බවයි.

    රාහුල් ගාන්ධිගේ අපහාස නඩුව විභාග කිරීමෙන් ඉවත් වීමට යෝජනා කිරීම

    මෙම නඩුව රාහුල් ගාන්ධිට එරෙහි සාපරාධී අපහාස චෝදනා සම්බන්ධ නඩුවක් විය. නඩු විභාගය අතරතුර, 2023 ජූලි 21 වන දින විනිසුරු මඩුල්ල ගුජරාට් ප්‍රාන්ත රජයට නොතීසි නිකුත් කළේය.

    මෙම නඩුව විභාගය අතරතුර, විනිසුරු ගවයි නඩුවෙන් ඉවත් වීමට ඉදිරිපත් විය.

    “මේ කාරණය සම්බන්ධයෙන් මගේ පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ තාත්තා අවුරුදු 40ක් කොංග්‍රස් පක්ෂයට සම්බන්ධ වෙලා හිටියා. එයා කොංග්‍රස් පක්ෂයේ සාමාජිකයෙක් නෙමෙයි, ඒත් එයාලගේ උදව්වෙන් එයා රාජ්‍ය සභාවට සහ ලෝක් සභාවට සම්බන්ධ වුණා. මගේ සහෝදරයාත් කොංග්‍රසයටත් සම්බන්ධයි.” ඒ නිසා, දැන් ඔයාලා හැමෝම තීරණය කරන්න ඕනේ මම මේ නඩුව අහන්න ඕනේද කියලා? ඔහු පැවසීය.

    මෙම කාරණය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම එකඟතාවයෙන් පසුව, විනිසුරු ගවයි, විනිසුරු පී.කේ. මිශ්‍රා සමඟ නඩුව විභාග කළේය.

    විනිසුරු බී.ආර්. ගවයිගේ පියා වන රාමක්‍රිෂ්ණ සූර්යභන් ගවයි, ඉන්දීය ජනරජ පක්ෂයේ (ආර්පීඅයි) නිර්මාතෘවරයා විය.

    2006 සහ 2011 අතර කාලය තුළ ඔහු බිහාර්, සිකිම් සහ කේරළ ආණ්ඩුකාරවරයා ලෙසද සේවය කළේය.

    ඔහු ගවායි නාග්පූර්හි දීක්ෂභූමි අනුස්මරණ කමිටුවේ සභාපතිවරයා ද විය.

    source: bbc.com/sinhala

  • තරුණයින් අතර අධි රුධිර පීඩනය වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය පියවර 5

    තරුණයින් අතර අධි රුධිර පීඩනය වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය පියවර 5

    අධි රුධිර පීඩනය (High blood pressure, or hypertension) සාමාන්‍යයෙන් වැඩිහිටි වයස් කාණ්ඩවල රෝගයක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, මෑත වසරවල කරන ලද අධ්‍යයනවලින් පෙනී යන්නේ වයස අවුරුදු 20 සහ 30 අතර තරුණ වැඩිහිටියන් අතර අධි රුධිර පීඩනයෙහි භයානක ව්‍යාප්තියක් ඇති බවයි.

    බැංගලෝරයේ ඇපලෝ රෝහලේ අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය සුනිල් එස් බෝරා පැහැදිලි කරන්නේ අධි රුධිර පීඩනය හදවත, මොළය සහ වකුගඩු වලට නිහඬව හානි කළ හැකි බවත්, එබැවින් එය “නිහඬ ඝාතකයා” ලෙස හඳුන්වන බවත්ය.

    2024 දී ප්‍රකාශයට පත් කරන ලද ICMR හි මෑත කාලීන අධ්‍යයනයකින් අවධාරණය කරන්නේ වයස අවුරුදු 40 ට අඩු වැඩිහිටියන්ගෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රධාන වශයෙන් ආතතිය, ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම සහ නින්ද නොලැබීම ඇතුළු සාධක කිහිපයක් හේතුවෙන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවයි.

    2025 වර්ෂය සඳහා ඇපලෝ සෞඛ්‍ය වාර්තාවට අනුව, අධි රුධිර පීඩනය ඇති රෝගීන්ගෙන් හතරෙන් තුනක් පමණ මේද අක්මා රෝගයට සම්බන්ධ වුව                    ද, උසස් පාසල් සිසුන්ගෙන් සියයට නවයක් සහ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් සියයට 19ක් දැනටමත් අවදානමට ලක්ව ඇත.

    ස්මාර්ට් ෆෝන් සහ ලැප්ටොප් පරිගණක ඇතුළුව ඩිජිටල් උපාංග නිරන්තරයෙන් භාවිතා කිරීම – නින්දේ රටාවන්ට බාධා කරන අතරම ආතති මට්ටම් එකතු කිරීමෙන් මෙම අවදානම් වැඩි කරයි.

    තරුණ වැඩිහිටියන්ට දිගු කලක් තම සෞඛ්‍යය හොඳ තත්ත්වයේ තබා ගැනීම සඳහා අධි රුධිර පීඩනය නිරීක්ෂණය කිරීමට සහ වළක්වා ගැනීමට පවා සරල පියවර කිහිපයක් පහසුවෙන් ගත හැකිය. එසේ කිරීමට පහසු ක්‍රම පහක් මෙන්න.

    1. රුධිර පීඩනය නිතර නිරීක්ෂණය කරන්න.

    තරුණ වැඩිහිටියන් සෞඛ්‍ය පරීක්ෂණ මග හැරීමට ඉඩ ඇති අතර, ඔවුන් තවමත් බරපතල තත්වයන්ට ගොදුරු නොවන බව විශ්වාස කරයි. කෙසේ වෙතත් නව යොවුන් වියේදී සහ විශේෂයෙන් අධි රුධිර පීඩනය පිළිබඳ පවුලේ ඉතිහාසයක් ඇති අය තුළ අධි රුධිර පීඩනය වර්ධනය විය හැකිය.

    ඔබේ රුධිර පීඩනය දීර්ඝ කාලයක සිට සාමාන්‍ය තත්ත්වයක පවතින්නේ නම් අවම වශයෙන් වසරකට වරක්වත් රුධිර පීඩනය මැනිය යුතුය. (එනම්, 120/80 mmHg ට අඩු.) කියවීම් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ නම් (120-129/<80 mmHg) හෝ අධි රුධිර පීඩනය (130/80 mmHg හෝ ඊට වැඩි) නිතර නිතර මිනුම් අවශ්‍ය වේ.

    නිවසේ සිට රුධිර පීඩනය මැනීමට හැකි උපකරණ තරමක් දැරිය හැකි මිලකට ලබා ගත හැකි අතර භාවිතා කිරීමට පහසුය. එවැනි අවස්ථාවක නිවැරදි ප්‍රතිඵල ලබා සඳහා කලින් විවේක ගන්න; කෝපි හෝ තේ පානය නොකළ යුතු අතර සෑම උදෑසනකම එකම වේලාවක මැනීම වඩාත් සුදුසුය. එවැනි වාර්තාවක් පවත්වා ගැනීම වෙනස්කම් කලින් හඳුනා ගැනීමට උපකාරී වන අතර එමඟින් හෘද රෝග, ආඝාතය හෝ වකුගඩු අකර්මණ්‍ය වීම වැනි සංකූලතා වලට එරෙහිව වැළැක්වීමේ පියවර ගත හැකිය.

    1. සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ගන්න.

    දිනපතා සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම රුධිර පීඩනය තීරණය කරන තවත් වැදගත් නිර්ණායකයකි. ලුණු සහිත කෙටි ආහාර, සීනි සහිත පාන වර්ග සහ ක්ෂණික ආහාර දිගු කාලීනව පරිභෝජනය කිරීම රුධිර පීඩනය වැඩි කිරීමට ඉඩ ඇත. සෞඛ්‍ය සම්පන්න ප්‍රවේශයකට පලතුරු, එළවළු සහ සම්පූර්ණ ධාන්‍ය වර්ග (උදා: ඕට්ස් හෝ දුඹුරු සහල්); කුකුළු මස් වැනි සරල ප්‍රෝටීන් සහ කිරි සහ යෝගට් වැනි අඩු මේද සහිත කිරි නිෂ්පාදන සපයන ආහාර වේල් ඇතුළත් වේ. ඔබට වැඩි අවදානමක් ඇත්නම්, දිනකට තේ හැන්දකට සීමා වූ ආහාර වේලක ලුණු පරිභෝජනය කිරීම වඩාත් සුදුසුය. එය 2,300 mg ට සමාන හෝ ඊටත් වඩා අඩු 1,500 mg වේ.

    චිප්ස් සහ ඇසුරුම් කළ කෙටි ආහාර වලින් වළකින්න; මේවායේ බොහෝ විට සැඟවුණු සෝඩියම් සහ සීනි අඩංගු වේ. එවැනි ආහාර පොටෑසියම් අන්තර්ගතය වැඩි කිරීම සඳහා ඉතා හොඳයි. මෙම සෞඛ්‍ය සම්පන්න ආහාර ප්‍රවේශය රුධිර පීඩනය පාලනය කිරීමට පමණක් නොව, දියවැඩියාව හා සම්බන්ධ බර වැඩිවීමේ අවස්ථා අවම කිරීමට ද උපකාරී වේ.

    1. සෑම දිනකම ක්‍රියාශීලීව සිටින්න.

    ශාරීරික ක්‍රියාකාරකම් මගින් හදවත නිරෝගීව පවතින අතර රුධිර වාහිනී නිසි ලෙස ක්‍රියාත්මක වන බව සහතික කෙරේ. සෑම සතියකම මිනිත්තු 150ක් වේගවත් ඇවිදීම, බයිසිකල් පැදීම හෝ පිහිනීම වැනි මධ්‍යස්ථ ක්‍රියාකාරකම් කිරීමට උත්සාහ කරන්න. බර ඉසිලීම වැනි ශක්ති පුහුණු අභ්‍යාස සතියකට දෙවරක් ඇතුළත් කිරීම ද ප්‍රයෝජනවත් වේ. ආහාර ගැනීමෙන් පසු මිනිත්තු 10ක ඇවිදීම වැනි කුඩා උත්සාහයන් පවා ගණන් ගනී.

    නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් මගින් රුධිර පීඩනය 5 සිට 8 mmHg දක්වා අඩු කළ හැකි අතර, එය හෘද සෞඛ්‍යයට ලබා දෙන ප්‍රතිලාභවලට බෙහෙවින් අදාළ වන අතර ඒ සමඟම දිගු වේලාවක් වාඩි වී සිටීමේ අහිතකර බලපෑම් සමනය කිරීමට උපකාරී වේ. බොහෝ විට ඩිජිටල් උපාංග භාවිතා කිරීම සමඟ සම්බන්ධ වේ.

    1. ආතතිය සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන් හසුරුවන්න

    රැකියාව, අධ්‍යයන කටයුතු හෝ නිරන්තර ස්මාර්ට්ෆෝන් භාවිතය නිසා ඇතිවන ආතතිය රුධිර පීඩනය තාවකාලිකව ඉහළ යාමට හේතු විය හැකි අතර අධික ලෙස ආහාර ගැනීම හෝ දුම්පානය වැනි හැසිරීම් රටා ද ඇති කළ හැකිය. දිනපතා මිනිත්තු කිහිපයක් ගැඹුරු හුස්ම ගැනීම, භාවනා කිරීම හෝ යෝග වැනි සරල ව්‍යායාම මගින් සමබරතාවය පවත්වා ගත හැකිය.

    සෑම රාත්‍රියකම පැය 7-9 ක නින්දක් තිබීම අත්‍යවශ්‍ය වේ; උපාංග මගින් නිකුත් කරන ආලෝකය නින්දට බාධා කරන බැවින් නින්දට යාමට පෙර තිර නැරඹීමෙන් වැළකී සිටීම උපකාරී වේ.

    කියවීම හෝ මිතුරන් සමඟ සමාජගත වීම සහ රැකියාවෙන් හෝ සමාජ මාධ්‍ය සම්බන්ධතාවයෙන් යටපත් නොවී සිටීම වැනි විවේකී ක්‍රියාකාරකම්වල යෙදීම ද වැදගත් වේ. මෙම ක්‍රියාකාරකම් ආතතිය හේතුවෙන් රුධිර පීඩනයේ උල්පත් අඩු කිරීමට සහ සාමාන්‍ය යහපැවැත්ම වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

    1. හානිකර ද්‍රව්‍ය හා පුරුදු වලින් වළකින්න.

    සමහර ක්‍රියාකාරකම් හදවතට හානිකර වන අතර රුධිර පීඩනය ද වැඩි කරයි. නිදසුනක් වශයෙන්, දුම්පානය කොතරම් කලාතුරකින් සිදු වුව ද රුධිර නාල වලට හානි කරයි; එබැවින්, එය සම්පූර්ණයෙන්ම වළක්වා ගත යුතුය.

    රුධිර පීඩනයේ දැඩි උච්චාවචනයන් ඇති කළ හැකි කොකේන් සහ නියාමනය නොකළ ආහාර පෙති වැනි විනෝදාත්මක ඖෂධ වළක්වා ගත යුතුය.

    නින්ද පහසු කිරීම සඳහා රාත්‍රියේ ප්‍රමාද වී අනුචලනය නොවන පරිදි නිදන කාමරයෙන් උපාංග ඉවත් කරන්න. මෙම පුරුදු වළක්වා ගැනීමෙන් රුධිර පීඩනය පමණක් නොව හදවත, පෙනහළු සහ මොළය ද ආරක්ෂා වේ.

    තරුණ වැඩිහිටි වියේදී අධි රුධිර පීඩනය වර්ධනය වීම වැළැක්වීම සඳහා කුඩා, සමුච්චිත තේරීම් කිහිපයක් ඇතුළත් වේ. නිවසේ උපකරණයක් භාවිතයෙන් රුධිර පීඩනය නිතිපතා නිරීක්ෂණය කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර විකල්ප පරිභෝජනය, ශාරීරික ක්‍රියාකාරකම්, ආතති කළමනාකරණය සහ හානිකර ද්‍රව්‍ය වළක්වා ගැනීම සාමූහිකව තරුණ වැඩිහිටියන්ට හෘද සෞඛ්‍යය සඳහා ශක්තිමත් පදනමක් ස්ථාපිත කිරීමට සහාය වේ.

    මෙම පියවර මගින් ඩිජිටල් උපාංග අධික ලෙස භාවිතා කිරීම වැනි සමකාලීන අභියෝගවලටද මුහුණ දෙන අතර එමඟින් ආතති මට්ටම් වැඩි වන අතර පසුව නින්දේ ගුණාත්මකභාවය දුර්වල වේ.

    අධි රුධිර පීඩනය, දියවැඩියාව හෝ තරබාරුකම පිළිබඳ පවුලේ ඉතිහාසයක් තිබේ නම්, පුද්ගලාරෝපිත උපදෙස් සඳහා වෛද්‍යවරයා හමුවීම ඥානවන්ත වනු ඇත. මෙම අදියරේදී හඳුන්වා දෙන මෙම පුරුදු සෞඛ්‍ය සම්පන්න සහ දිගු ආයු කාලයක් සහතික කරනු ඇත.

     

    සංස්කාරක සටහන – ලිපියේ සඳහන් උපදෙස් සහ යෝජනා සාමාන්‍ය තොරතුරු සඳහා පමණක් වන අතර වෘත්තීය වෛද්‍ය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම යෝග්‍යතා වැඩසටහනක් ආරම්භ කිරීමට හෝ ඔබේ ආහාර වේලෙහි යම් වෙනසක් කිරීමට පෙර සෑම විටම ඔබේ වෛද්‍යවරයා හෝ ආහාරවේදියෙකු හමුවන්න.

     

  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා බ්‍රිතාන්‍යය වීසා ලබා දීම සීමා කරන්නේ ඇයි?

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා බ්‍රිතාන්‍යය වීසා ලබා දීම සීමා කරන්නේ ඇයි?

    බ්‍රිතාන්‍යයේ වැඩි කාලයක් රැඳී සිටීමට සහ සරණාගතභාවය ඉල්ලා සිටීමට ඉඩ ඇති බවට සැලකෙන රටවල පුරවැසියන්ගෙන් ලැබෙන වීසා අයදුම්පත් නව රජයේ යටතේ සීමා කළ හැකිය.

    ටයිම්ස් පුවත්පතේ පළමුව වාර්තා කළ පරිදි, ස්වදේශ කටයුතු කාර්යාල සැලසුම් යටතේ පකිස්ථානය, නයිජීරියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයේ රැකියා කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට පැමිණීම වඩාත් අපහසු විය හැකිය.

    ඇතැම් පුද්ගලයින් රැකියා හෝ අධ්‍යයන වීසා මත එක්සත් රාජධානියට පැමිණ, පසුව ස්ථිරවම රැඳී සිටීමට සරණාගතභාවය සඳහා අයදුම් කිරීම විශේෂ ගැටලුවක් බව අමාත්‍යවරු පවසති. එය ලබා දෙන්නේ නම්, ඔවුන්ට ස්ථිරවම රට තුළ රැඳී සිටීමට ඉඩ සැලසෙනු ඇත.

    “අපගේ බිඳ වැටුණු ආගමන පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි ආගමන ධවල පත්‍රිකාව ඔස්සේ පුළුල් සැලැස්මක් සකස් කරනවා ඇති” යනුවෙන් ස්වදේශ කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    2020 සිට එහි නිරවද්‍යතාවය පිළිබඳ සමාලෝචනයක් හේතුවෙන්, ස්වදේශ කටයුතු කාර්යාලය පිටවීමේ ක්‍රියා පටිපාටියේ දත්ත නිකුත් කර නොමැති බැවින්, වීසා කාලය ඉක්මවා රැඳී සිටින්නේ කුමන ජාතිකයන්ද යන්න පැහැදිලි නොවේ.

    බ්‍රිතාන්‍යයෙන් පිටව යන බොහෝ පුද්ගලයින් ගැන නිල වශයෙන් වාර්තා නොමැති නමුත් පිටවීමේ වාර්තාවක් නොමැති අය තවමත් රට තුළ සිටින බව එයින් නොකියවේ.

    වෙනස්වන යුරෝපය පිලිබඳ බ්‍රිතාන්‍යය බුද්ධි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන මහාචාර්ය ජොනතන් පෝර්ටෙස් පැවසුවේ වීසා සීමා කිරීමෙන් සරණාගත අයදුම්පත් සංඛ්‍යාවට ඇති විය හැකි බලපෑම “ඉතා කුඩා වීමට ඉඩ ඇති” බවයි.

    “ප්‍රධාන ඉලක්කය වන්නේ සමස්ත සංඛ්‍යාව අඩු කිරීම නොව, අපයෝජන ලෙස පෙනෙන සරණාගත හිමිකම් අඩු කිරීමයි” ඔහු බීබීසී රේඩියෝ 4 හි Today වැඩසටහනට පැවසීය.

    “ශිෂ්‍යයෙකු ලෙස පෙනී සිටිමින් මෙහි පැමිණෙන කෙනෙකු ඉක්මනින් සරණාගත ක්‍රමයට මාරු වන විට… එය පද්ධතිය අනිසි ලෙස භාවිතා කිරීමක්. රජය එය අඩු කිරීමට උත්සාහ කරයි.”

    නවතම ස්වදේශ කටයුතු කාර්යාල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලා සිටි පුද්ගලයින් ගණන 108,000 කට වැඩි බවත් එය 1979 දී වාර්තා ආරම්භ වූ දා සිට ඉල්ලුම් කළ ඉහළම මට්ටම බව ය.

    මෙම කාලය තුළ පාකිස්තාන ජාතිකයින් 9,560 ක් සරණාගතභාවය ඉල්ලා සිටි අතර එය වැඩි ම පිරිසක් වාර්තා වූ රට වන අතර එය පෙර වසරේ සංඛ්‍යාව මෙන් දෙගුණයකට ආසන්නය.

    2023/24 සඳහා වූ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර සිසුන් 732,285 ක් සිටි අතර, වැඩි දෙනෙක් ඉන්දියාවෙන් (107,480) සහ චීනයෙන් (98,400) පැමිණි පිරිසකි.

    2024 දී බ්‍රිතාන්‍යයේ රැකියා සහ අධ්‍යයන වීසා සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව පහත වැටී ඇත.

    පසුගිය වසරේ අගමැති ධුරයට පත්වීමෙන් පසු, ශ්‍රීමත් කියර් ස්ටාමර් නීති විරෝධී සහ නීත්‍යානුකූල සංක්‍රමණ දෙක ම අඩු කරන බවට පොරොන්දු වී ඇති නමුත් මීට පෙර ශුද්ධ සංක්‍රමණ ඉලක්කයක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ, “අත්තනෝමතික සීමාවක්” අතීතයේ දී කිසිදු බලපෑමක් ඇති කර නොමැති බව පවසමින් ය.

    කම්කරු පක්ෂයේ සංක්‍රමණ සැලසුම් අතරට මුහුදේදී ජීවිත අනතුරේ හෙළීම අපරාධයක් බවට පත් කිරීම, කුඩා බෝට්ටු යොදා ගනිමින් පැමිණෙන සංක්‍රමණිකයින් ඉලක්ක කිරීම සහ දැනට සංක්‍රමණික සේවකයින් මත යැපෙන අංශ සඳහා පුහුණු සැලසුම් සංවර්ධනය කිරීමෙන් විදේශීය සේවකයින් සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම ඇතුළත් වේ.

    “අහම්බෙන් නොව, සැලසුම් කිරීමෙන්” අඩු කිරීමට හිතාමතාම අසමත් වූ බව පවසමින්, ශ්‍රීමත් කියර් ස්ටාමර් මීට පෙර පැවැති කොන්සර්වේටිව් රජය විවේචනය කර තිබේ.

    2023 ජුනි මාසය වන විට එක්සත් රාජධානියේ ශුද්ධ සංක්‍රමණ වාර්තාගත ලෙස 906,000 ක් වූ අතර පසුව 2024 ජුනි මාසය වන විට 728,000 දක්වා පහත වැටිණි.

    සංක්‍රමණ මට්ටම් අඩු කිරීමේ උත්සාහයක් ලෙස හිටපු අගමැති රිෂි සුනක් විසින් හඳුන්වා දුන් නව නීති මෙම පහත වැටීමට දායක වී ඇති බව පෙනෙන්නට තිබේ.

    පෙර පැවති කොන්සර්වේටිව් රජය බ්‍රිතාන්‍යයට පැමිණීමට කැමති දක්ෂ විදේශීය සේවකයින් සඳහා අවම වැටුප පවුම් 26,200 සිට 38,700 දක්වා වැඩි කළ අතර රැකවරණ සේවකයින්ට පවුලේ යැපෙන්නන් බ්‍රිතාන්‍යයට රැගෙන ඒම තහනම් කර තිබිණි.

    ආගමන නීති වෙනස් කිරීම සඳහා කම්කරු පක්ෂයට දැනටමත් පීඩනයක් එල්ල වී තිබෙන නමුත් පසුගිය සතියේ ප්‍රාදේශීය මැතිවරණවලදී ප්‍රතිසංස්කරණ ගැන බ්‍රිතාන්‍යය ලද සාර්ථකත්වයෙන් පසුව එම පීඩනය වර්ධනය වන්නට ඇත.

    බ්‍රහස්පතින්දා පැවති ප්‍රාදේශීය මැතිවරණයේදී ආසන 1,600 න් 677 ක් කම්කරු පක්ෂය දිනා ගත් අතර, බොහෝ දුරට ඒ 2021 දී අවසන් වරට පැවැති ඡන්දයේදී කන්සර්වේටිව් පාලනය යටතේ පැවති ප්‍රදේශ ද සමඟ ය.

    අත්‍යවශ්‍ය නොවන සංක්‍රමණ අත්හිටුවීමක් ක්‍රියාත්මක කරන බව කම්කරු පක්ෂය සිය මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබිණි. ඇතැම් කුසලතා ඇති අයට; සෞඛ්‍ය සේවා වැනි ඒවාට තවමත් බ්‍රිතාන්‍යයට පැමිණීමට අවසර දෙනු ලැබේ.

    ප්‍රතිඵලවලට ප්‍රතිචාර දක්වමින්, අගමැති ශ්‍රීමත් කියර් පැවසුවේ ඡන්දදායකයින්ගේ කලකිරීම තමා තේරුම් ගෙන ඇති බවත්, ආගමන සහ පොදු සේවාවන් පිළිබඳ කම්කරු පක්ෂයේ සැලසුම් වේගවත් කරන බවට පොරොන්දු වන බවයි.

    “රැකියා හෝ අධ්‍යයන වීසා මත සිටින සමහරුන්ට තම මව් රටේ පවතින දේශපාලන තත්ත්වය වෙනස් වුවහොත් අවදානමට ලක් විය හැකි බවත්, ඔවුන්ට ආරක්ෂාව සහ සාධාරණ සරණාගත ක්‍රියාවලියක් ලැබිය යුතු බවත්” සරණාගත කවුන්සිලයේ එන්වර් සොලමන් පැවසීය.

    ප්‍රාදේශීය මැතිවරණයට පෙර සිට ම, සීමාව ඉක්මවා රැඳී සිටීම වැළැක්වීම සඳහා සැලසුම් සකස් කරමින් පැවතුණි.

    රජයේ සැලසුම් පිළිබඳ සම්පූර්ණ තොරතුරු මැයි මාසයේ අග භාගයේදී නව ආගමන ධවල පත්‍රිකාවක ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

    “රැකියා සහ අධ්‍යයන වීසා මත පැමිණෙන සහ සරණාගතභාවය ඉල්ලා සිටින විදේශීය ජාතිකයන් විසින් සිදු කරනු ලබන අපයෝජන මැඩපැවැත්වීම සඳහා, එම පුද්ගලයින් ඉක්මනින් හඳුනා ගැනීම සඳහා අපි ඔවුන් පිළිබඳ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම කඩිනම් කරනවා” යනුවෙන් ස්වදේශ කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    ” අපි වීසා පද්ධතිය නිරන්තර සමාලෝචනයට ලක් කරමින් සිටින අතර අපගේ ආගමන නීතිරීතිවලට හානි කළ හැකි ප්‍රවණතා හඳුනාගත් විට, ඊට අදාළ පියවර ගැනීමට ඉක්මනින් කටයුතු කරනවා.”

    “වෙනසක් සඳහා වූ සැලැස්ම යටතේ, අපගේ ඉදිරි ආගමන ධවල පත්‍රිකාව හරහා අඩාල වී ඇති ආගමන පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කෙරෙනවා.”

    source: bbc.com/sinahala

  • රටපුර වෙඩි තැබීම් ගැන මහජන ආරක්ෂ ඇමැති මැති සබේදී කට අරී

    රටපුර වෙඩි තැබීම් ගැන මහජන ආරක්ෂ ඇමැති මැති සබේදී කට අරී

    ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

    පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින සිට ඊයේ (08) දක්වා වූ කාලය තුළ සිදුව ඇති එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 35ක් තුවාල ලබා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම වෙඩිතැබීම්වලින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර ඇති අතර, වෙඩිතැබීම් 17ක් අනෙකුත් ඒවා වේ. කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇති අතර, පසුගිය 2022, 2023 සහ 2024 යන කාලය දෙස බැලීමේ දී අපරාධවල කැපීපෙනෙන වර්ධනයක් සිදුව නොමැති බව ද පැවසු අමාත්‍යවරයා, කුමන තත්ත්වයක් තුළ ද අහිමිව යන්නේ මනුස්ස ජීවිතයක් බව ද සඳහන් කළේය.

    රජය විසින් මේ සම්බන්ධයෙන් ඉහළ තීන්දු ගෙන ඇති අතර, නව රජය බලයට පත්වීමෙන් අනතුරුව වෙඩි තැබීම්වල බරපතළ වර්ධනයක් ඇතැයි පිළිගත නොහැකි බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

  • ජැකලින් ෆර්නැන්ඩස් ගැන සුපිරි හෙළිදරව්වක් – ලංකාවේ අපි දැන ගත යුතුමයි

    ජැකලින් ෆර්නැන්ඩස් ගැන සුපිරි හෙළිදරව්වක් – ලංකාවේ අපි දැන ගත යුතුමයි

    බොලිවුඩ් තරු ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන් සඳහා සුප්‍රසිද්ධය. ඔවුහු බොහෝ විට පෞද්ගලික ජෙට් යානා, සුඛෝපභෝගී මෝටර් රථ සහ සුපිරි බංගලා ප්‍රදර්ශනය කරති. එහෙත්, එක් බොලිවුඩ් නිළියක් සුවිශේෂී දුර්ලභ වත්කමක් නිසා කැපී පෙනේ. විශ්වාස කරන්න… ඇයට පෞද්ගලික දූපතක් තිබේ !

    දශක දෙකකට වැඩි කාලයක් බොලිවුඩ් නිළියක ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජැකලින් ෆර්නැන්ඩස් යනු පෞද්ගලික දූපතක් හිමි බවට වාර්තා වී ඇති එකම බොලිවුඩ් නිළියයි.

    ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති මෙම අක්කර හතරක දූපත 2012 දී ජැකලින් විසින් ඩොලර් 600,000 කට පමණ මිලදී ගත් අතර එය එකල රුපියල් කෝටි 3ක් පමණ වූ බව ඉන්දීය ජාතික මාධ්‍ය පවසයි.

    ඇගේ සම වයසේ මිතුරන් බොහෝ දෙනෙක් සුඛෝපභෝගී නිවාස හෝ ජාත්‍යන්තර දේපළවල ආයෝජනය කරන අතර, ජැකලින් දූපතක් අත්පත් කර ගැනීමට ගත් තීරණය සුවිශේෂ වේ.

    වාර්තාවලින් පෙනී ගියේ ඇය එම දේපළෙහි සුඛෝපභෝගී විලා එකක් ඉදිකිරීමට අදහස් කළ බවයි. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය ඇගේ පෞද්ගලික නිවාඩු නිකේතනය සඳහා ද නැතහොත් සංචාරක කටයුතු සඳහා බදු දීම වැනි වාණිජමය භාවිතය සඳහා ද යන්න තවමත් පැහැදිලි නැත.

    දූපතේ සංවර්ධනය පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති වුව ද, ජැකලින් තවමත් එහි හිමිකරු ලෙස සැලකේ.

    ඉන්දීය මාධ්‍ය වාර්තා ඇසුරිනි.

  • රෝගී දරුවන්ගේ සීග්‍ර වර්ධනයක් – සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි

    රෝගී දරුවන්ගේ සීග්‍ර වර්ධනයක් – සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි

    ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන් වර්ධනය වීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. දහස් ගණනක් ළමුන් මෙම රෝගයට ගොදුරු වී ඇති අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නොදැනුවත්වම මෙම ආබාධයේ ජානය රැගෙන යන බවයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

    තැලසීමියාව යනු පාරම්පරික රුධිර ආබාධයක් වන අතර එය ශරීරයේ නිරෝගී රතු රුධිර සෛල නිපදවීමේ හැකියාවට බලපායි.

    ලෝක තැලසීමියා දිනයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් පැවසුවේ, ශ්‍රී ලංකාවේ සෑම වසරකම අලුත උපන් බිළිඳුන් 40 ත් 50 ත් අතර සංඛ්‍යාවක් තැලසීමියා රෝගයෙන් පෙළෙන බවයි.

    රටේ ආසන්න වශයෙන් 500,000 ක් පමණ ජනතාව මෙම ආබාධයට වගකිව යුතු දෝෂ සහිත ජානයක වාහකයන් බව වෛද්‍ය සමරකෝන් අනාවරණය කළ අතර, දැනුවත්භාවය සහ වැළැක්වීමේ උපාය මාර්ග වැඩි කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කළේය.

    වාර්ෂිකව මැයි 8 වන දින සමරනු ලබන ලෝක තැලසීමියා දිනය, මෙම වසරේ “තැලසීමියාව සඳහා එක්ව: ප්‍රජාවන් එක්සත් කිරීම, රෝගීන්ට ප්‍රමුඛතාවය දීම” යන තේමාව යටතේ සමරනු ලැබේ.

  • ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

    ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

    මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි.

    ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

    ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

    නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

    ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්(Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury), ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan) යන මහත්වරුද මීට එක්ව සිටියහ.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • බංග්ලාදේශ කණ්ඩායම ජුනි සහ ජූලි මසදී ශ්‍රී ලංකාවේ සංචාරයක

    බංග්ලාදේශ කණ්ඩායම ජුනි සහ ජූලි මසදී ශ්‍රී ලංකාවේ සංචාරයක

    එළැඹණ ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ද්වී පාර්ශ්වික ටෙස්ට්, එක්දින සහ විස්සයි-20, තෙවැදෑරුම් තරගාවලියකට සහභාගිවීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම තරගාවලිය යටතේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 2 ක් එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට ශ්‍රී ලංකාවේදී සහභාගිවීමට නියමිතය.

    මෙම තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජූනි මස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ජූනි මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් දෙරට අතර තරගාවලිය ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය ජූනි මස 25 වැනිදා සිට 29 දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

    අනතුරුව ජූලි මස 02 වැනිදා එක්දින තරගාවලියද ජූලි මස 10 වැනිදා පන්දුවාර විස්සයි-20 තරගාවලියද ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ තරග ක්‍රීඩාංගණ 5 කදී පැවත්වෙන අතර, ගාල්ල ජාත්‍යන්තර, කොළඹ එස්. එස්.සී. ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ ජාත්‍යන්තර සහ රංගිරි දඹුල්ල තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙති.

    දිනය තරගය දිවා/රාත්‍රී ක්‍රීඩාංගණය
    ජූනි 17-21 පළමු ටෙස්ට් තරගය දිවා ගාල්ල
    ජූනි 25-29 දෙවැනි ටෙස්ට් තරගය දිවා කොළඹ එස්.එස්.සී.
    ජූලි 02 පළමු එක්දින තරගය දිවා/රාත්‍රී ආර්. ප්‍රේමදාස
    ජූලි 05 දෙවැනි එක්දින තරගය දිවා/රාත්‍රී ආර්. ප්‍රේමදාස
    ජූලි 08 තෙවැනි එක්දි තරගය දිවා/රාත්‍රී පල්ලේකැලේ
    ජූලි 10 පළමු විස්සයි-20 තරගය රාත්‍රී පල්ලෙකැලේ
    ජූලි 13 දෙවැනි විස්සයි-20 තරගය රාත්‍රී රංගිරි දඹුල්ල
    ජූලි 16 තෙවැනි විස්සයි-20 තරගය රාත්‍රී ආර්. ප්‍රේමදාස
  • බංග්ලාදේශ කණ්ඩායම ජුනි සහ ජූලි මසදී ශ්‍රී ලංකාවේ සංචාරයක

    බංග්ලාදේශ කණ්ඩායම ජුනි සහ ජූලි මසදී ශ්‍රී ලංකාවේ සංචාරයක

    එළැඹණ ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ද්වී පාර්ශ්වික ටෙස්ට්, එක්දින සහ විස්සයි-20, තෙවැදෑරුම් තරගාවලියකට සහභාගිවීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම තරගාවලිය යටතේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 2 ක් එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට ශ්‍රී ලංකාවේදී සහභාගිවීමට නියමිතය.

    මෙම තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජූනි මස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ජූනි මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් දෙරට අතර තරගාවලිය ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය ජූනි මස 25 වැනිදා සිට 29 දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

    අනතුරුව ජූලි මස 02 වැනිදා එක්දින තරගාවලියද ජූලි මස 10 වැනිදා පන්දුවාර විස්සයි-20 තරගාවලියද ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ තරග ක්‍රීඩාංගණ 5 කදී පැවත්වෙන අතර, ගාල්ල ජාත්‍යන්තර, කොළඹ එස්. එස්.සී. ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ ජාත්‍යන්තර සහ රංගිරි දඹුල්ල තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙති.

    දිනය තරගය දිවා/රාත්‍රී ක්‍රීඩාංගණය
    ජූනි 17-21 පළමු ටෙස්ට් තරගය දිවා ගාල්ල
    ජූනි 25-29 දෙවැනි ටෙස්ට් තරගය දිවා කොළඹ එස්.එස්.සී.
    ජූලි 02 පළමු එක්දින තරගය දිවා/රාත්‍රී ආර්. ප්‍රේමදාස
    ජූලි 05 දෙවැනි එක්දින තරගය දිවා/රාත්‍රී ආර්. ප්‍රේමදාස
    ජූලි 08 තෙවැනි එක්දි තරගය දිවා/රාත්‍රී පල්ලේකැලේ
    ජූලි 10 පළමු විස්සයි-20 තරගය රාත්‍රී පල්ලෙකැලේ
    ජූලි 13 දෙවැනි විස්සයි-20 තරගය රාත්‍රී රංගිරි දඹුල්ල
    ජූලි 16 තෙවැනි විස්සයි-20 තරගය රාත්‍රී ආර්. ප්‍රේමදාස
  • Skype අද සිට මෙහෙයුම් නවතයි

    Skype අද සිට මෙහෙයුම් නවතයි

    ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම අද (05) සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ.

    පසුගිය මාර්තු මස ස්කයිප් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවය.

    එම මෙහෙයුම් නැවැත්වීමෙන් පසුව ස්කයිප් ගිණුම් හිමියන්ට එම මුරපද සමග Microsoft Teams Free වෙත සම්බන්ධව වීමට හැකියාව ලැබෙන බවත් එම සමාගම පැවසීය.

    2003දී ප්‍රථම වරට නිකුත් කරන ලද ස්කයිප් 2011දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලදී ගන්නා ලද අතර එය එකල එහි විශාලතම අත්පත් කර ගැනීම බවද වාර්තා විය.

    ස්කයිප් කලක් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි වලින් එකක් වූ අතර ලොව පුරා සිටින මිතුරන්ට සහ පවුලේ අයට තම පරිගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබා ගැනීමට මිනිසුන්ට අවකාශය සැලසීය.

    ස්කයිප් මෙම සේවාව ලබා දුන් පළමු හෝ එකම සමාගම නොවූවත්, පරිශීලකයින්ට පරිගණකයෙන් පරිගණකයට නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ඉඩ දීමෙන් එය ජනප්‍රිය කිරීමට ද උපකාරී විය.

  • ජනපති වියට්නාම ජනපති හමුවෙයි

    ජනපති වියට්නාම ජනපති හමුවෙයි

    වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය.

    වියට්නාම ජනාධිපති මන්දිරය වෙත අද (05) උදෑසන ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර, ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක්විය.

    පිළිගැනීමේ උත්සවයේදී දෙරට නායකයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ ජාතික ගීවලට ‍ගෞරව දැක්වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් හඳුන්වා දෙනු ලැබිණි.

    ඉන් අනතුරුව ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය. මෙහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය,අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කරන ලද අතර, අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණි.

    මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

    1970 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු වියට්නාමය සහ ශ්‍රී ලංකාව ශක්තිමත් හා අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන ගොස් ඇත.

    ශ්‍රී ලංකාව සහ වියට්නාම වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම, ප්‍රධාන වශයෙන් අපනයන, ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා ළඟා වී ඇත. ඉදිරි වසරවලදී ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම ඉලක්ක කරයි.

    මේ වසරේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55 වන වසර සමරන බැවින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ බෙදාගත් සංවර්ධන ඉලක්ක උපයෝගී කරගනිමින් සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට දෙරට සූදානමින් සිටී.

    ජනාධිපති දිසානායකගේ සංචාරය වියට්නාමය සමඟ ඇති සාම්ප්‍රදායික මිත්‍රත්වයට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම අවධාරණය කරන අතර ඩිජිටල් පරිවර්තනය, ඩිජිටල් ආර්ථිකය, බලශක්ති සංක්‍රාන්තිය, කෘත්‍රිම බුද්ධිය සහ සම්බන්ධතාවයේ නව මංපෙත් විවෘත කරන අතරම සාම්ප්‍රදායික ක්ෂේත්‍ර මඟින් සහයෝගීතාව පුළුල් කිරීමේ බෙදාගත් අධිෂ්ඨානය පිළිබිඹු කරයි.

  • ජනපතිට එරෙහි අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව CIDයට පැමිණිල්ලක්

    ජනපතිට එරෙහි අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව CIDයට පැමිණිල්ලක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ඔලුව යන අයට එරෙහිව ඊයේ (04) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම යොදා ගනිමින් සිදු කරන ලද ඉහත ප්‍රකාශය හරහා ඔහුගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බැවින් තුසිත හල්ඔලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

    ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබෙන අතර ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාද ඊට එක් විය.