Category: සුපිරි Cases

  • ජ.පුර සරසවි සිසුවෙක් ඇතුළු ඩෙල්ටා ආසාදිතයින් 19ක් අලුතින් හදුනා ගනී

    ජ.පුර සරසවි සිසුවෙක් ඇතුළු ඩෙල්ටා ආසාදිතයින් 19ක් අලුතින් හදුනා ගනී

    ඩෙල්ටා‘ නමින් හැඳින්වෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 19 දෙනෙකු මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයාගෙන ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

    කොළඹ, යාපනය සහ කිලිනොච්චි වැනි ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවත් එක් ආසාදිතයෙකු පිළියන්දල පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු බවත් වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළා.

    අලුතින් හදුනාගත් ආසාදිතයින් 19 දෙනා සමග මෙරටින් වාර්තා වූ ඩෙල්ටා ආසාදිතයින් ආසාදිතයින් සංඛ්‍යාව 38 දෙනකු බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

    මෙම ප්‍රදේශවලින් වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් සිටින බව ද ඔහු තවදුරටත් පැවසීය.

    රෝගීන්ගෙන් එක් අයෙකු 22 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔහු පිලියන්දල පදිංචිකරුවෙකි.

  • අධිවේගී මහා මංකොල්ලයක් ගැන ‘චම්පික රණවකගෙන්‘ සුපිරි හෙළිදරව්වක් !

    අධිවේගී මහා මංකොල්ලයක් ගැන ‘චම්පික රණවකගෙන්‘ සුපිරි හෙළිදරව්වක් !

    කාගේත් කතා බහට ලක්ව ඇති මහ බැංකු වංචාව ජනතාවට පෙන්වමින් පවතින රාජපක්ෂ රජය එම මහ බැංකු වංචාවටත් වඩා “විසි ගුණයක” අධිවේගී මහා මංකොල්ලයකට කෙටුම්පත් සකසා ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් ප්‍රකාශ කරයි.

    එහිදී රාජපක්ෂවරුන් 2005 පටන්ගත් නාඩගම යලි අරඹා ඇති බවත් ජපන් රජය මගින් සහන ණය ක්‍රමයට ලබාදුන් LRT ව්‍යාපෘතිය නවතා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරිම තුලින් අධිවේගී මහා මංකොල්ලයට අත ගසා ඇති බව ඒ මහතා පවසයි.

    එහිදී යහපාලන රජය සමයේ වසර තුනක සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස ජපන් ආධාර යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ලැබුණ බවත් තවත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති තුනක් සදහා ශක්‍යතා අද්‍යනයක් සිදුකොට තිබු බවත් එම වකවානුව තුල නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කල චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

    නමුදු විදේශීය ජාවාරම් කාරයන්ට කත් අදින දේශීය ජාවාරම්කාර පවුලක් නව රජයක් ලෙස පත්වීමත් සමඟ ඩොලර් බිලියන ගණන් තම සාක්කුව පුරවා ගෙන අහිංසක ජනතාව ණයකාරයන් බවට පත් කරමින් සිටීම නොවැලැක්විය හැකි බව ඒ මහතා පවසයි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා දුෂිත රාජ්‍ය නිලධාරියෙකු ලෙස නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත බන්දු වික්‍රම මහතා “මෙම ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අධික වියදමක් යන බවත්” ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා “මෙම ව්‍යාපෘතියෙන් ලංකික ජනතාව තවත් ණයකාරයන් වන බවත්” පවසා ජනතාවට බොරු බිල්ලෙකු මවා පාමින් කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් සකසමින් තම හිත මිතුරු ජාවාරම්කාර පවුලට මහා මංකොල්ලයකට ඉඩහසර ලබාදුන් බව හෙළි කරයි.

    තවද යහපාලන රජය සමයේ ජපන් රජයේ ආධාර ඇතිව ඉදිවීමට තිබු මෙම LRT ව්‍යාපෘතිය සඳහා වැයකිරීමට තිබු මුළු වියදම ඩොලර් මිලියන 1374ක් උවද මෙම ජාවාරම්කාර පන්තිය විසින් එය නවතා දමා ඩොලර් මිලියන 1620ක් වියදම් කරමින් මෙම නව කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිකරමින් මහා මංකොල්ලයක් සිදුකොට තිබේ.

    ඉදිවීමට පැවති LRT ව්‍යාපෘතිය නිකන්ම ගුවනින් යන දුම්රියක් පණක් නොව එම ඩොලර් මිලියන 1374ක් යටතේ මේ සඳහා අවශ්‍ය දුම්රිය කට්ටල,ඒවා ගාල් කිරීම සඳහා අවශ්‍ය ස්ථාන,අලුත්වැඩියා කටයුතු සඳහා කර්මාන්ත ශාලා සහ ස්ථාන 17ක් නියෝජනය වෙමින් ඉදිවන නැවතුම්පොළවල් වලින්ද සමන්විත වූ බව චම්පික රණවක මහතා අවදාරණය කරයි.

    තවද මෙම ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යනයට උපදේශකවරුන්ගේ හා ඉංජිනේරුවරුන්ගේ උපදෙස් ගැනීම් ඉඩම් අත්පත් කරගැනීම වැනි අතිරේක වියදම් වශයෙන් ඩොලර් මිලියන 848ක් වෙනකොට තිබු බවත් එත් සමඟ වූ සමස්ත වියදම ඩොලර් මිලියන 2222ක් උවද ඉංජිනේරුවරුන්ගේ හා උපදේශකවරුන්ගේ අධ්‍යනයෙන් අනතුරුව මෙම මුදල 15%කින් අඩු කොට ඩොලර් මිලියන 1900කට අඩු කර ගත හැකිවූ බවත් වැට් බද්ද අඩුවීමෙන් එම මුදල තවත් අඩුවීමට තිබු බවත් ඒ මහතා පවසයි.

    නමුදු මෙම ව්‍යාපෘතිය නවතාලමින් ඔරුගොඩවත්තේ සිට අතුරුගිරියට කිලෝමීටර් 19ක දුරකින් ඉදිකිරීමට කැබිනට් අනුමැතියද හිමිවීමට පවතින කණුමතින් මතින් දිවෙන අධිවේගී මාර්ගය කිලෝමීටරයක් ඩොලර් මිලියන 25ට ඉදිකරමින් සමස්ත ව්‍යාපෘතිය ඩොලර් මිලියන 475ක මුදලකින් අවසන් කිරීමට හැකියාව තිබියදී මෙම ජාවාරම්කාර පැලැන්තිය එය ඩොලර් මිලියන 1620කට ඉදිකිරීමට සැලසුම් කොට ඇති බව චම්පික රණවක මහතා හෙළිකරයි.

    එමෙන්ම ජපන් රජයේ ආධාර හා ජපන් දැනුම භාවිතා කරමින් ඉදිවීමට තිබු LRT ව්‍යාපෘතිය සඳහා වසර 15ක් යනතුරු කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය නොවූ බවත් එම වසර 15ක කාලය තුල උපයන සියලු මුදල් ශ්‍රී ලංකා රජය සතුවන බවත් වසර 15කින් පසුව ගෙවා දමන ණය සදහාද 0.1% පොලියක් ගෙවීමට එකඟව සිටි බවත් ඒ මහතා පවසයි.

    පවතින ඩොලර් හිඟයට මේ මොහොතේ මහඟු පිටුබලයක් වීමට තිබු ව්‍යාපෘතිය නවතා දමා වසර 15ක් තුල එක් වසරකට ඩොලර් මිලියන 108ක් 23%ක පොලියක් යටතේ ගෙවීමට සිදුවන ණයක් ලබා ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම මල්ඵල ගන්නවමින් ජනතාව ණයකරුවන් කොට මහා අධිවේගී මංකොල්ලයක් සිදුකර ඇති බව අමාත්‍යවරයා හෙළිකරයි.

    එමෙන්ම මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා තවත් අනාවරණයක් කරමින් පවසා සිටියේ මෙම ඉදිකිරීමට සැලසුම් කර ඇති කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයේ නිසි පරිසර අද්‍යනයක් සිදුකොට නොමැති බවත් එහි අතුරුගිරියේ සිට රාජගිරිය දක්වා කොටස දිවෙන තලංගම තෙත්බිම් වල පරිසර අධ්‍යනයක් නොකොට එම තෙත්බිම ගැසට් කොට ඇති ගැසට් පත්‍රය අහෝසි කිරීමේ සැලසුමක රජය සිටින බවත්ය.

    තවද මෙම මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීමට ලබාදී ඇති විදේශීය කොන්ත්‍රාත් සමාගමට චෛත්‍ය පාරේ සිට කොල්ලු පිටියට ගෝල්පේස් එක යටින් ඉදිකිරීමට සැලසුම් කොට තිබු මාර්ගයද ලබාදීමට සැරසෙන බවත් එය ඩොලර් මිලියන 456ක ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා හෙළි කරයි.

    නමුදු එම මාර්ගය යහපාලන රජය සමයේ ඉදිකිරීමට සැලසුම් කොට තිබු එකක් බවත් එය ඩොලර් මිලියන 150ට ආසන්න ගණනකට ඉදිකිරීමට සැලසුම් කොට තිබු බවත් චම්පික රණවක මහතා අනාවරණය කරයි.

    මෙහිදී මෙම ජාවාරම්කාර පවුල අදාල විදේශීය සමාගමට මෙම මාර්ග දෙකම ලබාදීමෙන් ඔවුන්ට ශුද්ධ ලාබය ලෙස ඩොලර් මිලියන 1500කට අධික මුදලක් හිමිකර දී ඇති බව හෙළිවේ.

    මෙම අනාවරණය සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසා සිටියේ නිවැරදි දුරදර්ශි ඉංජිනේරුවරුන් මෙම මහා මංකොල්ලයට එරෙහිව නැගී සිටිය යතු බවත් තමන් ණයකාරයන් කරන මෙම ජාවාරම්කාර පවුලට එරෙහිව ජනතාවද නැගී සිටිය යුතු බවයි.

  • “පුස් ආණ්ඩු විරෝධය” ඇත්ත අර්බූදය අත හැර දැමීමක්

    “පුස් ආණ්ඩු විරෝධය” ඇත්ත අර්බූදය අත හැර දැමීමක්

    ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය” පනත් කෙටුම්පතට විරෝධය පෑමට එක් වූ ගුරු සංගම් ක්‍රියාකාරීන් ඇතුලු කණ්ඩායම් අත්අඩංගුවට ගනු ලැබ නීති විරෝධි ලෙස නිරෝධායනයට ලක් කර ඇත. 

    ඒ අත් අඩංගුවට ගැනීම් වලට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකාරණයෙහි ගොනු කළහ. ජ.වි.පෙ විසින් වෘත්තීය සමිති හවුලක් නමින් පසුගිය ජූලි 12 වන සඳුදා අත් අඩංගුවට ගැනීමට එරෙහිව ලිප්ටන් වට රවුමේ විරෝධයක් පැවැත් වූහ. ගුරු සංගම් හා විදුහල්පති සංගම් විසින් අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිව ඉකුත් සඳුදා සිට “මාර්ග ගත” (On Line) ඉගැන්වීම් හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග කෙරෙන සියලු “මාර්ග ගත” ගනුදෙනු අත්හිටුවන ලදී.

    එළෙස උණුසුම්ව ඇති පසුබිමක මේ සටහන සඳහා පළමුව තැබිය යුතු ඉතාම කෙටි පූර්විකාව වන්නේ ස්ථාවර ආරක්ෂක සේවා පවත්වා ගන්නා හැම රටකම වාගේ ඒ සඳහා අවශ්‍ය යැයි තීන්දු කරන්නාවූ විවිධ පුහුණු කිරීම් සඳහා විශේෂ ආයතන පිහිටුවා නඩත්තු කරනු ලබන බවය. ඒවා බොහෝ විට ජාතික ආරක්ෂාව සඳහා යැයි ඉතා දියුණු හා නවීන සම්පත් සමගින් නිරන්තරව වර්ධනය කරනු ලැබේ. කවර නමකින් හැඳින් වූවත් එවැනි හමුදා පුහුණු ආයතනවල ඉතා දැඩි විනයක් සහ සුපරීක්ෂාවක් පවත්වා ගැනීමද සාමාන්‍ය තත්ත්වයකි. ඒ “අවශ්‍යතාව” වෙනම සාකච්ඡා කළ යුත්තකි. එහෙත් කොතලාවල ආරක්ෂක ඇකඩෙමිය ලෙස ඇරඹි, පසුව කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය බවට පත් කෙරුණු සහ දැන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය ලෙසින් නම් කෙරෙන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති මේ පුහුණු විශ්ව විද්‍යාලය පිළිබඳ කතාව ඉන් ඔබ්බට ගොසින් තිබෙන්නකි.

    ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලු කිරීම සඳහා ගැසට් පත්‍රය නිකුත්කර ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් 2018 අප්‍රේල් 11 වන දිනය. ඔවුන්ට මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි වූයේ එයට කිසිවකු විරුද්ධවූ නිසා නොවේ. ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ අතර සීඝ්‍රයෙන් වර්ධනය වූ ගැටුම, ඒ වනවිට යහපාලන ආණ්ඩුව දෙබෑ කර තිබුණි. එනිසා වික්‍රමසිංහ ආණ්ඩුවට මෙවැනි පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමේ දැඩි අවිනිශ්චිතභවක් තිබිණ. 

    යහපාලන ආණ්ඩුවේ එවැනි දේශපාලන අර්බූද නිසා පැත්තකින් තැබුණු මේ පනත් කෙටුම්පත වත්මන් ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් අකුරක්වත් වෙනස් නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූයේ පසුගිය මාර්තු 26 වන දිනය. එබැවින් මේ පනත මගින් “අධ්‍යාපනය හමුදාකරණය කරනවා” යැයි සහ “නිදහස් අධ්‍යාපනය විනාශ කරනවා” යැයි අද කෑ ගසන සහ එදා යහපාලන ආණ්ඩුවේ හවුල් කරුවන් වූ රාජපක්ෂ විරොධී සියල්ලන් දැන සිටිය යුත්තේ මෙය “යහපාලන-රාජපක්ෂ” හවුල් ව්‍යාපෘතියක් වන හෙයින් ඔවුන්ද ඒ චෝදනා බාර ගත යුතු බව ය. 

    “අධ්‍යාපනය හමුදාකරණය කරනවා” යැයි සහ “නිදහස් අධ්‍යාපනය අහෝසි කරනවා” යැයි යන චෝදනා දෙකට අදාලව ආරම්භයේදීම කිව යුත්තේ 1981 දී ජයවර්ධන ජනාධිපතිගේ කාලයේ මහජන මුදලින් ඇකඩෙමියක් ලෙස ආරම්භ කළ සහ දැන් එය “ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය” ලෙස ස්ථාපිත කිරීම දක්වා එහි විකාශනය ආණ්ඩුවල හා පක්ෂවල වෙනසක් නොමැතිව 1988 සිට රැගෙන එන්නක් බවය. ඒ පනත 1988 අංක 72 දරණ පනතින් සංශෝධනය කර උපාධි හා පශ්චාත් උපාධි ලබා දෙන ආයතනයක් බවට පත් කෙරුණේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට බාහිර ආයතනයක් වශයෙනි. 
    නැවත කොතලාවල ආරක්ෂක ඇකඩෙමිය පනත සංශෝධනය කෙරුණේ රාජපක්ෂ යුගයේ 2007 අංක 50 දරණ පනතින් ය. එමගින් එය විශ්ව විද්‍යාලයක් බවට පත් කෙරිණ. එවිටද එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් කරනු ලැබුවේ නැත. එහෙත් එයට උපාධි පිරිනැමිය හැකි විශ්ව විද්‍යාල තත්ත්වය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පිරිනමනු ලැබිණ. පසුව සාමාන්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මුදල් අය කරන උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා විවෘත කරනු ලැබුණේ 2012 දීය. ඒ අවස්ථාවේ “අධ්‍යාපනය හමුදාකරණය කිරීමට” සහ “නිදහස් අධ්‍යාපනය අලෙවියට” කිසිවකුගේ විරෝධයක් නොතිබුණි.
    ඒ සම්මතය මත “සයිටම්” වෛද්‍ය පීඨයට විරුද්ධ වූවන්ගේද පූර්ණ එකඟත්වය ඇතිව එහි ළමුන්ට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට ඉඩ සළසනු ලැබූයේ මුදලට ය. ඒ සඳහා 2018 ජූනියේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට සංශෝධනයක් ගෙනෙනු ලැබූයේ සයිටම් වෛද්‍ය පීඨය සම්බන්ධ අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු දෙකක් වූයෙනි.    
    මේ යෝජිත පනතින් ඒ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට කෙරෙන වෙනස්කම් සැළකූ කල දැකිය හැක්කේ (1) ආරක්ෂක අමාත්‍යාංශයට අයත් එය එතෙක් පැවති ආකාරයටම 05 දෙනෙකුගෙන් පාලනය වූ මණ්ඩලයක් වෙනුවට 09 දෙනෙකුගෙන් පාලනය වන සභාවක් යටතට පත්කර ඇති බවය. (2) පැහැදිලි ව්‍යුහගත වීමක් නොවුනු එය සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල ව්‍යුහයක් සමගින් නවීකරණය කිරීමය. (3) මෙතෙක් එහි ව්‍යාප්තිය සඳහා නිශ්චිත නෛතික බලයක් නොමැතිව සිදු කෙරුණු (සූරියවැව දක්ෂිණ මණ්ඩපය, පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීම වැනි) කටයුතු වෙනුවෙන් නීතිමය අවසරයක් ලබා දීමය.   
    මේ පනත් කෙටුම් පතෙහි 05(ඒ) වගන්තියට අනුව උපාධි, ඩිප්ලෝමා හා වෙනත් සහතික ලබා දිය හැක්කේ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 128 වන වගන්තියට යටත්ව පමණි. එහෙත් එහි විශ්ව විද්‍යාලයක තිබිය යුතු නිදහස් විසම්මුතිවාදී පරිසරයට ඉඩක් නොදෙන්නේය. තාර්කානුකූල දැනුමකට එහි ඉඩක් නැත. එහි ඇත්තේ ඉහළ විධානයන්ට යටත් කෙරෙන හමුදාමය විනයකි. එබැවින් ලබා දෙන උපාධි සහතික සහ එහි පවත්වා ගන්නා හමුදා විනය අතර ඇත්තේ බරපතල ප්‍රතිවිරෝධයකි. 
    ඒ හා රජයේ විශ්ව විද්‍යාල වල ඇති ගුණාත්මක වෙනසක්ද නැත. රජයේ විශ්ව විද්‍යාල වල දැනුම සඳහාවන නිදහසක්, විසම්මුතික අභ්‍යාසයක් දැන් නැත. ඒවායේද දැන් ඇත්තේ උපාධි සහතිකය වෙනුවෙන් කට පාඩම් කිරීමේ සංස්කෘතියකි. වෙනස ඇත්තේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි ඇති විධානයන් මත සැකසෙන දැඩි විනය වෙනුවට රජයේ විශ්ව විද්‍යාල වල වගා වන නිවට පාලනයක් සමග වන අරාජිකත්වයෙහිය. නාගරික මැදපංතිකයින් විනය වෙනුවෙන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය වැනි පෞද්ගලික ආයතන තෝරා ගැනීමට කැමති වන්නේ රජයේ විශ්ව විද්‍යාලවල දෝරේ ගලන අරාජිකත්වය පිළිකුල් සහගත බැවිනි. 
    ඒ කිසිවක් ගැන කතා නොවී ෆේස්බුක් විරෝධයන්හි මතු කෙරෙන්නේ පනත් කෙටුම්පතට අනුව මණ්ඩප, පීඨ, අධ්‍යන ආයතන සහ පාසල් ආදිය පිහිටුවීමෙන් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව පිඹුරු පත් අඳින බවය. ඒවාට අලුතින් පිඹුරු පත් අවශ්‍ය නැත. දැනටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පිටතින් විශ්ව විද්‍යාල මට්ටමින් වන උපාධි පිරිනමන ස්වාධීන රජයේ ආයතන 05 ක් ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිල වශයෙන් පිළිගත් උපාධි අලෙවි කරන එවැනි පෞද්ගලික ආයතනද ඇත. එවැනි පිළිගැනීමක් නොමැති විදේශ උපාධි අලෙවි කරන පෞද්ගලික ආයතන ගණනාවක්ද ඇත. පනත් කෙටුම්පතේ 05(ච) වගන්තිය යටතේ යෝජනා කෙරෙන්නේ ඒ අයිතිය කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයට ලබා දීමය. 
    පාසල් පිහිටුවීමද එවැනිම කතාවකි. පෞද්ගලික සමාගම් විසින් ලාභ සඳහා පවත්වා ගෙන යන ජාත්‍යන්තර පාසල් රට පුරා කොපමණ ඇති දැයි අධ්‍යාපන අමාත්‍යාංශයද නොදන්නවා විය යුතුය. ඒවායේ අය කිරීම් හා තත්ත්ව ප්‍රමිතීන් පිළිබඳ කිසිදු වගකීමක් රජයට නැත. නොමිලේ තිබිය යුතු නිදහස් අධ්‍යාපනයක් ගැන කතා කරනවුන් ජාත්‍යන්තර පාසල් දෙස බලන්නේවත් නැත. 
    එවැනි අනීතික තත්ත්වයක් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් පිහිටුවිය හැකි මණ්ඩප, පීඨ, අධ්‍යන ආයතන සහ පාසල් ආදියෙහි නැත. ඒ පිළිබඳව පනතෙහි 06(4) වගන්තියේ සඳහන් වන්නේ විෂය භාර ඇමතිවරයාගේ විධානය යටතේ ඒවා ගැසට් කළ යුතු බවය. පනතෙහි 08 වන වගන්තිය යටතේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි විගණනය කෙරුණු පූර්ණ වාර්ෂික වාර්තාවක් ඇමතිවරයා මගින් පාර්ලිමේන්තුවට ලබා දිය යුතු වන්නේය. 
    නිදහස් අධ්‍යාපනය මුදලට අලෙවි කිරීමේ කතාවත් එවැනිමය. සියලු රජයේ විශ්ව විද්‍යාල මුදල් අය කරන ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා පවත්වා ගෙන යන්නාහ. විවෘත විශ්ව විද්‍යාලයයේ 2018 වාර්ෂික වාර්තාවට අනුව ඔවුන් ලැබූ මුළු ආදායම රුපියල් මිලියන 812.51 කි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බසින කිසිවකු ඒ අය කිරීම් ගැන කතා නැත.
    පාසල් අධ්‍යාපනයත් අද පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලු කිරීමේ සිට සියල්ල මුදලට තීන්දු වන්නකි. ප්‍රධාන නගරවල “ටියුෂන් සර්ලා” වාහන හත අට තියාගෙන සුපර්මාකට් ජාල වැනි පෞද්ගලික පංති කර ගෙන යන්නේද නිදහස් අධ්‍යාපනයේ කර්මාන්ත හිමියන් ලෙසින් ය. ඉතාම කෙටියෙන් හා සරළව කිවහොත් නිදහස් අධ්‍යාපනයක් මේ රටේ නැත. පෙර පාසලේ සිට විශ්ව විධ්‍යාල උපාධිය දක්වා අධ්‍යාපනය දැන් විවිධාකාරයෙන් අලෙවි වන්නකි. එය සෘජුව හා විවෘතව මෙන්ම වක්‍රවද අලෙවි වන්නකි. එවගේම අධ්‍යාපනයෙහි ඇති සමබිමක්ද නැත. ජාතික අධ්‍යාපනය රජයේ පාසල්වලද සුළු කොටසකට පමණක් අත ගැසිය හැකි ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සමග කැබලිකර තිබියදී ඉන් බැහැරව ජාත්‍යන්තර පාසල් සරුව වැඩෙද්දී අධ්‍යාපනයෙහි පැවතිය හැකි සමබිමක් නැත.               එබැවින් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් එහාට ගොසින් මේ නැගෙන චෝදනා මඳක් විමසුවහොත් කතාව බෙහෙවින් වෙනස් ය. ඉදිරියේදී “අධ්‍යාපන හමුදාකරණය කිරීම” සහ “නිදහස් අධ්‍යාපනයේ සමබිම විනාශ කිරීම” ඉස්මතු කෙරෙන්නේ රටේ පළාත් 09 න් පළාත් 07 ට පමණක් අදාල කරමින් ය. හමුදා සහ පොලීසියේ ප්‍රචණ්ඩ මැදිහත්වීම් නැගෙනහිර සහ විශේෂයෙන් උතුරේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දසකයකට වැඩි කාලයක් අත් විඳින්නක් වූවත් ඒ ගැන මේ කිසිවකු “හමුදාකරණය” යැයි කතා කරන්නේ නැත. 
    ඒ වැනි සිදුවීම් කොළඹ කේන්ද්‍රීය ප්‍රධාන මාධ්‍යයන්ගේ පමණක් නොව, විකල්ප මාධ්‍ය ලෙස පෙනී සිටින අන්තර්ජාල පුවත් අඩවි පවා වාර්තා කරන්නේ යන-එන ගමන් ය. බොහෝවිට එවැනි මර්දනයකට හසුවන සිසු සිසුවියන්ට “එල්.ටී.ටී.ඊ සම්බන්ධකම් ඇතැයි සැක කෙරෙන” වැනි විශේෂනද යොදමින් ය.
    ගුරු සංගම්, සහ දකුණේ විශ්ව විද්‍යාලයන්හි ශිෂ්‍ය හා ඇදුරු සංවිධාන උතුරේ හා නැගෙනහිර අධ්‍යාපනය හමුදාකරණය කිරීම “රටේ ප්‍රශ්නයක් ලෙස” ගෙන කතා කර නැත. එහි පෙර පාසල්වල සිට විශ්ව විද්‍යාල දක්වා ගුරුවරුන් හා සිසු සිසුවියන් ආරක්ෂක සේවා හා පොලිස් අධීක්ෂනයට යටත්ව ඇත. ඒ අතර පෙර පාසල් ගුරුවරියන් පුහුණු කිරීම, පාසල් ගොඩනැගිලි ඉදි කිරීම, ළමුන්ට විශේෂ විනෝද සංචාර සංවිධානය කරදීම, සා.පෙළ වැනි පංතිවල සිසු සිසුවියන්ට නොමිලේ අමතර සම්මන්ත්‍රණ පැවැත්වීම වැනි බොහෝ දේ නැගෙනහිර හා උතුරේ විශේෂයෙන් සිදු වන්නේය. 
    ඒ සමග ඉතා කෙටියෙන් මෙයද සටහන් කළ යුතුය. හරිනි අමරසූරිය මන්ත්‍රීනියගේ එක් තර්කයක් වන්නේ විශ්ව විද්‍යාල පරිපාලනය තිබිය යුත්තේ ප්‍රතිපාදන කොමිසම වැනි සිවිල් නියෝජනයක් සමගින් මිස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි මෙන් හමුදා පාලක සභාවක් යටතේ නොවන බවය. ඇය ඉතා පහසුවෙන් අමතක කර ඇත්තේ පූර්ණ සිවිල් නියෝජනයක් සහිත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේද උතුරු නැගෙනහිර විශ්ව විද්‍යාල හමුදාකරණයට යටත්වන බවය. 
    ඇය කියන පූර්ණ සිවිල් නියෝජනයක් සහිත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමද හමුදා අවශ්‍යතාවන් අනුව කටයුතු කරන බව දැන් අමතක වූවත් ඇය ඉතා හොඳින් දන්නා කාරණයකි. යාපනය විශ්ව විද්‍යාලයයෙහි නීති පීඨයේ ප්‍රධානී ආචාර්ය කුමාරගුරුපරන්ගේ සමාජ සේවා නීති කටයුතු තහනම් කිරීමට 2019 දෙසැම්බරයේදී පූර්ණ සිවිල් නියෝජනයක් සහිත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ලිඛිතව නියෝග කරනු ලැබූයේ හමුදා විමසීමක් අනුවය. එයට විරුද්ධ විරෝධතා ලියැවිල්ලට අත්සන් කළ දෙමළ හා යාපනය විශ්ව විද්‍යාලයෙහි නොවන විශ්ව විද්‍යාල ඇදුරන් 08 දෙනාගෙන් එක් අයකු ඇය වූ බවත් ඇයට අමතකව ඇත. දැන් කිසිවකු උතුරු නැගෙනහිර එවැනි මැදිහත්වීම් ගැන කතා නොකරන්නේ ඒවා හමුදාකරණයට අයත් නොවන නිසා නම්, දකුණේ “හමුදාකරණය” යැයි කියන්නේ කවර ආකාරයේ මැදිහත්වීම්දැයි මේ යෝජිත පනත් කෙටුම්පතට විරුද්ධ වනවුන් පැහැදිලි කළ යුතු ය.
    අපගේ දේශපාලන වුවමනාවන් කුමක් වූවත් අප පිළිගත යුතු වැදගත්ම හා ප්‍රධානම කාරණාව මේ රට මුහුණ දෙන දැවැන්තම අර්බූද වන්නේ ආර්ථිකයේ දෙකොණ ගැට ගසා ගැනීමට ආණ්ඩුවට ඇති අසීරුවත් කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ අසංවිධානාත්මක පිළිවෙත හමුවේ සමාජ පැවැත්ම බිඳ වැටීමත්ය. ඒ සමග සමාජය පුරා වැඩිමනත් ප්‍රදර්ශනය වන අර්බූදය වන්නේ දිගින් දිගටම පාසල් වසා තැබීමය. එය එතෙක් වර්ධනය වූ අධ්‍යාපන බිඳ වැටීම උපරිමයට රැගෙන ආවකි.
    මේ අධ්‍යාපන බිඳ වැටීම හමුවේ අපට අවශ්‍ය වන්නේ දුර දිග යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ය. පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපනය දක්වා සියල්ල අලුතින් තහවුරු කරන්නාවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ය. විෂය මාලා, පාඨමාලා, ගුරු පුහුණුව, පාසල් පරිපාලනය, විශ්ව විද්‍යාල නවීකරණය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය, වැඩිහිටි අධ්‍යාපනය වැනි සියල්ල ඇතුළත් කෙරෙන සමාජගත කතිකාවක් ඔස්සේ කෙරෙන ප්‍රතිසංස්කරණ සඳහාවන අධ්‍යාපන ධවල පත්‍රිකාවකි. එවැන්නකින් තොරව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට එරෙහි වීමෙන් පමණක් ලැබිය හැකි වැදගත් කිසිවක් නැත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, පෞද්ගලික විශ්ව විද්‍යාල, ජාත්‍යන්තර පාසල් ආදී සියල්ල ජාතික අධ්‍යාපනයෙහි ස්ථානගත කෙරෙන්නේ කෙසේදැයි තීන්දු කළ යුත්තේ ඒ සමාජ කතිකාව ඇතුළෙහිය.           අවසන් වශයෙන් රාජපක්ෂ විරෝධීන්ට කිව යුත්තේ සමස්ථ අධ්‍යාපන අර්බූදයට විසඳුම් ඉල්ලීමෙන් මෙපිට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුළා ගැනීමට බලකර පමණින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය අහෝසි නොවන බවය. උපාධි සඳහා මුදල් අය කිරීම්ද නතර නොවන බවය. පාසල් අධ්‍යාපනය අලෙවි වීමද නතර නොවනු ඇත. ඒ සියල්ල සමග බිඳ වැටෙන සමස්ථ අධ්‍යාපනයට විසඳුම් ලැබෙන්නේද නැත. කෙටියෙන් කිව යුත්තේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධවීමෙන් සියල්ලන්ට ඔබින, රටට ප්‍රයෝජනවත් ජාතික අධ්‍යාපනයක් ස්ථාපිත කළ නොහැකි යැයි කියාය. එනිසා මේ දරණ මහන්සිය, මේ කෙරෙන කැප කිරීම හා ගන්නා අවදානම ගත යුත්තේ අධ්‍යාපන ධවල පත්‍රිකාවක් මගින් සමස්ථ අධ්‍යාපනය ගොඩ දා ගැනීමට ය. 
    කුසල් පෙරේරා

  • පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ප්‍රබලයින්ගේ නාම ලේඛනය ජනපතිට – සම්පූර්ණ කතාව මෙන්න !

    පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ප්‍රබලයින්ගේ නාම ලේඛනය ජනපතිට – සම්පූර්ණ කතාව මෙන්න !

    දේශපාලනඥයින් තිදෙනකුට සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි පිරිසකට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වී තිබේ

    2019 පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමාන තත්ත්වය පිළිබඳ ලිපියක් සහ ඒ හා සම්බන්ධ විමර්ශන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන බව කොළඹ අගරදගුරු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලනඥයන් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගක් ගෙන නොමැති බව මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.

    පාස්කු ප්‍රහාරය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අගරදගුරු තුමා අද (13) කොළඹ රදගුරුගේ නිවසේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

    යුක්තිය ලබාගෙන ප්‍රහාරයන්ට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු වන තුරු තමා මෙම අරගලය දිගටම කරගෙන යන බව ප්‍රකාශ කළ කාදිනල්තුමා ජනතාව රවටා නොගෙන සත්‍යය හෙළි කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    පාස්කු ප්‍රහාරයේදී සැකකරු සාරා ජස්මින්ගේ භූමිකාව සහ ඇය සිටින ස්ථානය ගැනද කාදිනල්තුමා ප්‍රශ්න කළේය.

    යුද හමුදා බුද්ධි අංශයේ ඇතැම් නිලධාරීන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සමඟ ඇති සම්බන්ධතා පිළිබඳව කාදිනල්තුමා තවදුරටත් විමසීය.

    පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව විසින් ඊයේ (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කළ දීර්ඝ ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

  • වරාය නගරය නගරයට සහ කොළඹට විදුලිය දෙන්න මුතුරාජවෙල ගොඩකරයි – සම්පූර්ණ හෙළිදරව්ව !

    වරාය නගරය නගරයට සහ කොළඹට විදුලිය දෙන්න මුතුරාජවෙල ගොඩකරයි – සම්පූර්ණ හෙළිදරව්ව !

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන ගත කළ යුතු ප්‍රදේශ හඳුනා ගැනීම ද එමගින් සිදු වේ.

    එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පිළිබඳ ව පූර්ව අවධානයට ලක් කර හඳුනාගත් බලපෑම් වැළැක්වීමට හෝ පාලනය කිරීමට හෝ අවම කිරීමට වැදගත් වන උපායමාර්ග යෙදීම ද පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් සිදු කෙරේ. මේ නිසා මෙම වාර්තාව පූර්ව නිගමන මත නොව විද්‍යාත්මක පර්යේෂණ සහ ව්‍යාපෘතියට යෝග්‍ය ස්ථානය හඳුනා ගැනීමට පුලුල් විකල්ප අධ්‍යයනයන් මත පදනම් ව සැකසීම සිදු කළ යුතු ය.

    ජාත්‍යන්තරව පිළිගත් පාරිසරික මූලධර්ම දෙකක් මත පදනම් ව පාරිසරික අණ පනත් මගින් පරිසර බලපෑම් තක්සේරුකරන ක්‍රියාවලිය නියාමනය වේ. ඉන් පළමු මූලධර්මය තිරසර සංවර්ධන මූලධර්මයයි. 1987 වසරේ දී බෲඩ්ලන් කොමිසම මගින් සකස් කළ “අපේ පොදු අනාගතය” (Our Common Future) නම් වාර්තාවේ වර්තමාන හා අනාගත පරපුරට සමාන ව සම්පත් බුක්ති විදීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම සඳහා වන තිරසර සංවර්ධන සංකල්පය හඳුන්වා දී තිබේ. 1992 වසරේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ රියෝ ප්‍රකාශනයේ 4 වන මූලධර්මය ලෙස මෙය විග්‍රහ කර ඇත.

    පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය පදනම් වන දෙවන මූලධර්මය නම් සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පුරෝකථනය කර ඊට පිළියම් සෙවීමට වැදගත් වන පූර්ව ආරක්ෂණ (Precautionary Principle) නැතහොත් නිවාරණ මූලධර්මයයි. 1970 දශකයේ දී ජර්මන් පරිසර නීතියට එක් වූ මෙය රියෝ ප්‍රකාශනයේ 15 වන මූලධර්මය ලෙස දීර්ඝ ව සාකච්ඡාවට ලක් කර තිබේ.

    මෙම මූලධර්ම, සංකල්ප හා නීති සියල්ල ගොඩ නංවා ඇත්තේ රටේ ජනතාවගේ පමණක් නොව සියලු ජීවීන්ගේ වර්තමාන හා අනාගත පැවැත්ම සුරක්ෂිත කිරීම උදෙසා ය. මේ සියල්ල උල්ලංඝනය කරමින් සිදු කරන සෑම සංවර්ධන ක්‍රියාවලියකින්ම සිදු වන්නේ සමාජ, ආර්ථික හා පාරිසරික යන සෑම ක්ෂේත්‍රයකම බිඳ වැටීමකි.

    මෙවන් දීර්ඝ හැදින්වීමකින් මෙම ලිපිය ආරම්භ කළේ මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 110 ක් ගොඩකර ස්ථාපිත කිරීමට යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාර ව්‍යාපෘතියෙන් මේ සියල්ල උල්ලංඝනය කරමින් ආරම්භ කිරීමට උත්සාහ දරන නිසා ය.

    පසුගිය මැයි මස 21 වන දා සිට ජූලි මස 8 වන දා දක්වා රජයේ වැඩ කරන දින 30 ක කාලයක් මහජන අදහස් සඳහා විවෘත කර තැබූ “ලංවිම සඳහා මුතුරාජවෙල පිහිටි ඉඩම සංවර්ධනය කිරීම” නම් පරිසර බලපෑම් තක්සේරු වාර්තාව විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී ගියේ පාරිසරික මූලධර්ම, පාරිසරික අණ පනත් හා පාරිසරික ප්‍රතිපත්ති යන සියල්ල උල්ලංඝනය කරමින් සැකසූ වාර්තාවක් බව ය.

    ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාරය ඉදි කිරීමට ගොඩ කිරීම සඳහා යෝජිත මුතුරාජවෙල පරිසර ආරක්ෂක කලාපය. (රතු පැහැ ඕවලාකාර සලකුණෙන් දක්වා ඇත.)

    නීතිවිරෝධීවාර්තාවකින්ව්යාපෘතියක්රියාත්මකකිරීමටසැරසෙයි

    ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක ප්‍රධාන අංගයක් ලෙස අන්තර්ගත විය යුතු ප්‍රමාණවත් විකල්ප අධ්‍යයනය මෙම වාර්තාවට ඇතුළත් කර නොමැත. විකල්ප අධ්‍යයනය මගින් බලාපොරොත්තු වන්නේ යම් ව්‍යාපෘතියකට යෝග්‍ය විකල්ප 3 ක් අතුරෙන් ඉතා ම යෝග්‍ය විකල්පය සාධාරනීකරණය කිරීමට කරුණු ගොණු කිරීමයි. එමගින් ව්‍යාපෘතියකට සුදුසු ම භූමිය හෝ ක්‍රමවේදය හඳුනා ගැනීමට හැකියාව ලැබේ. නමුත් එම ප්‍රධාන නෛතික අංගය ම මෙම වාර්තාවට ඇතුළත් කර නොමැත. ඊට හේතුව මීට වසර තුනකට ප්‍රථම මෙම ව්‍යාපෘතිය සඳහා මුතුරාජවෙල තෙත් බිමෙන් වෙන් කළ භූමිය සාධාරනීකරණය කිරීමට මෙම වාර්තාවෙන් කරුණු ගොණු කර තිබීම ය. ඒ අනුව පෙනී යන්නේ පූර්ව නිගමන මත මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව ය. එපමණක් නොව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් තොර ව මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ සුවිශේෂී තෙත් බිම් අක්කර 110 ක් මෙලෙස වෙන් කර ඇත. එම තෙත් බිම් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පට්ටියවෙල ග්‍රාම නිලධාරී වසමට අයත් වේ. බලාගාර සඳහා ගොඩ කිරීමට මෙලෙස සැලැසුම් කර ඇත්තේ ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ සුවිශේෂී තෙත් බිම් ප්‍රදේශයකි.

    2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ හා ඈ වගන්තිවලට අනුව ප්‍රකාශිත 2006.10.13 වන දින අංක 1466/26 දරන අති විශෙෂ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 206.678 ක් ලෙස ප්‍රකාශයට පත් කළ මුතුරාජවෙල පරිසර ආරක්ෂක ප්‍රදේශය 2018.09.25 වන දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 162.10 ක් වන මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර හෙක්ටයාර 44.578 ක (අක්කර 110 ක්) වන තෙත් බිම් ප්‍රමාණයක් මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයෙන් ඉවත් කර මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් වෙන් කිරීම සිදු කර තිබේ.

    ඒ අනුව තහවුරු වන්නේ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මත පදනම් ව ව්‍යාපෘතිය සැලැසුම් කිරීම වෙනුවට, පළමු ව වෙන් කළ භූමි ප්‍රදේශයක් මත පදනම් ව පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව යි. මේ නිසා විකල්ප අධ්‍යයනයන් මත පදනම් ව යෝජිත ව්‍යාපෘතිය සඳහා යෝග්‍ය ව්‍යාපෘති ප්‍රදේශය හඳුනා ගැනීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කර නොමැත. මේ මගින් ජාතික පාරිසරික පනත හා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාපටිපාටියේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කර මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව තහවුරු වේ. මෙවන් දැවැන්ත විදුලි බලාගාර ව්‍යාපෘතියක් අක්‍රමවත් වාර්තාවක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීමෙන් සිදු වන්නේ කෙටි කාලයකින් ම බිඳ වැටීමට ලක් වීමයි.

    පරිසරතක්සේරුවකින්තොරකැබිනට්අනුමැතීන්මතඉඩම්වෙන්කිරීම

    යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර ඉදි කිරීම සඳහා පළමු කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ 2017.07.12 වන දින ය. පසුගිය රජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සංදේශය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ලබා ගෙන ඇත්තේ ඉන්දියානු හා ජපන් රජයන්ගේ සහයෝගයෙන් මෙගා වොට් 500 ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ය.

    දෙවන කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ 2018.02.27 වන දින ය. පසුගිය රජයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යවරයා සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ කැබිනට් සංදේශය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එහි සඳහන් වන්නේ ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දියා හා ජපන් ආයතන අතර ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම ය. එහි දී ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සහ ජපාන රජය සමග ඒකාබද්ධව කොළඹ, කෙරවලපිටිය ප්‍රදේශයේ ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් හා පාවෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමත්, විදුලි ජනන කටයුතු සඳහා ස්වාභාවික වායු බෙදා හැරීමේ යටිතල පහසුකම් ස්ථාපිත කිරීමටත්, අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන හවුල් ව්‍යාපෘතියෙහි 15% ක කොටස් හිමිකාරීත්වයක් ශ්‍රී ලංකා රජයට අයත් සීමාසහිත ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගම වෙත ද, 47.5% ක කොටස් හිමිකාරීත්වයක් ඉන්දියානු රජය විසින් නම් කරනු ලැබ ඇති පෙට්ට්‍රොනෙට් එල්. එන්. ජී. සමාගම වෙත ද, 37.5% ක කොටස් හිමිකාරීත්වයක් ජපන් රජය විසින් නම් කර ඇති සෙජිට්ස් සමාගම සහ මිට්සුබිෂී සමාගම අතර වන හවුල්කාරීත්වය වෙත ද පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අරමුණින් අදාළ පාර්ශව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත්, යෝජිත හවුල් ව්‍යාපාරය ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු හා ජපාන පාර්ශව සමග ගිවිසුම්වලට එළැඹීමට ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගමට බලය පැවරීමටත් කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    පසුගිය රජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුව කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීමට 2018.07.10 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙගාවෙට් 500 බැගින් වූ ද්‍රවීකෘත ස්වාභාවික වායු විදුලි බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. වැඩි ම විදුලි ඉල්ලුම පවතින කොළඹ වරාය නගරය හා තදාසන්න ප්‍රදේශවලට ආසන්නව පිහිටීම, ආනයනය කරනු ලබන ද්‍රවීකෘත ස්වාභාවික වායු ගොඩබෑමේ පර්යන්ත ඉදි කිරීමට සුදුසු පිහිටීමක් සහිත වීම, සිසිලනය සඳහා ජලය ලබා ගැනීමට ඇති හැකියාව සහ බලාගාරය ඉදි කිරීමට යොදා ගත හැකි සුදුසු ම ප්‍රදේශය ලෙස කෙරවලපිටිය ප්‍රදේශය හඳුනාගෙන ලැබ ඇත. ඒ අනුව කෙරවලපිටිය ප්‍රදේශයේ රජය සතු අක්කර 110 ක භූමි භාගයක් නිසි පාරිසරික ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව, යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරය ඉදි කිරීම සඳහා මෙම කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    මෙම කැබිනට් අනුමැතීන් විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ යෝජිත ව්‍යාපෘති භූමි ප්‍රදේශය හඳුනා ගැනීම සඳහා මූලික ශක්‍යතා ඇගයීමක් හෝ උපායමාර්ගික පරිසර බලපෑම් ඇගයීමක් හෝ මූලික ව්‍යාපෘති වාර්තාවක් හෝ සකස් කර නොමැති බව යි. එවන් තත්ත්වයක් තුළ මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් යෝජිත ව්‍යාපෘතිය තිරසර ව්‍යාපෘතියක් ලෙස ස්ථාපිත කිරීම සඳහා වන ශක්‍යතාවය හඳුනා ගැනීමට සිදු කළ වාර්තාවක් බව පිළිගත නොහැකි ය. මෙය පූර්ව නිගමන මත සකස් කළ වාර්තාවක් බව තහවුරු කිරීමට මෙය තවත් සාධකයකි. ඒ අනුව ජාතික පාරිසරික පනතේ පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කරමින් සකස් කළ වාර්තාවක් බව නිගමනය කිරීමට මේ මගින් ද හැකියාව ඇත.

    මෙහි නීති විරෝධී තත්ත්වයන් එපමණකින් සීමා නොවේ. මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය කලාපනය කර සංරක්ෂණ උපායමාර්ග සකස් කිරීම සිදු කෙරුනේ 1991 මුතුරාජවෙල මහ සැලැස්මට අනුව ය. ඒ අනුව උප කාර්මික කලාපය, ස්වාරක්ෂක කලාපය (ප්‍රේරක කලාපය) හා අභය භූමිය ලෙස මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය කලාපනය කෙරින. ස්වාරක්ෂක කලාපය ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂක ප්‍රදේශයක් ලෙසත්, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව 1996.10.31 වන දින අංක 947/13 දරන ගැසට් නිවේදනය මගින් අභය භූමිය ලෙසත් ප්‍රකාශයට පත් කර තිබේ. නමුත් යෝජිත ව්‍යාපෘතිය සඳහා අක්කර 110 ක භූමිය නැතහොත් පරිසර ආරක්ෂණ ප්‍රදේශයට අයත් මුළු භූමි ප්‍රමාණයෙන් 22% කක ප්‍රතිශතයක් ඉවත් කිරීම කිසිදු තාක්ෂණික වාර්තාවක් පදනම් කර ගෙන සිදු කර නොමැත. 1991 මුතුරාජවෙල මහ සැලැස්මට අනුව ස්වාරක්ෂක කලාපය ප්‍රකාශයට පත් කිරීමෙන් බලාපොරොත්තු වූ අරමුණ වන උප කාර්මික කලාපයෙන් අභය භූමි කලාපයට ඇති වන බලපෑම් පාලනය කිරීම යෝජිත බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇත.

    ව්යාපෘතියකොටස්කරඅනුමැතියලබාගැනීමේඋත්සාහය

    මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇත්තේ ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා බව මෙම වාර්තාව හා කැබිනට් සංදේශ විශ්ලේෂණය කර බැලීමේ දී පැහැදිලි වේ. එපමණක් නොව මෙම ව්‍යාපෘතිය ප්‍රධාන කොටස් 5 කින් සමන්විත වන බවත් පැහැදිලි කරුණකි. එනම්, ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන තාප බලාගාරය ඉදි කරන තෙත් බිම් භූමිය ගොඩ කිරීමට යෝජිත ප්‍රදේශය, තෙත් බිම ගොඩ කිරීම සඳහා වැලි ලබා ගන්නා සාගර ප්‍රදේශය, ගොඩ කළ භූමිය මත ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන තාප බලාගාර ස්ථාපිත කිරීම, ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන පාවෙන පර්යන්තය ස්ථාපිත කරන සාගර කලාපය හා බලාගාරය දක්වා ඉන්දන පරිවහනය කරන සාගර කලාපය සහ බලාගාරයෙන් බැහැර කරන උණුසුම් ජලය මුදාහරින සාගර කලාපය වශයෙනි.

    මේ ආකාරයෙන් ප්‍රධාන කොටස් 5 කින් යුත් ව්‍යාපෘතියේ බලාගාරය ඉදි කිරීමට යෝජිත භූමිය සකස් කිරීම සඳහා පමණක් මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇත. මේ නිසා මෙම සමස්ත ව්‍යාපෘතියෙන් සිදු වන පාරිසරික බලපෑම් තක්සේරු කිරීමට හා එම බලපෑම් පාලනය කිරීම සඳහා උපායමාර්ග යෙදීමට මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් නොහැකි වී ඇත. එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියක් කොටස්වලට වෙන් කර පරිසර බලපෑම් තක්සේරු වාර්තා කිහිපයක් මගින් අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ජාතික පාරිසරික පනතේ දක්වා නොමැත. ඒ අනුව මෙය ද නීති විරෝධී ක්‍රියාවක් මෙන් ම ව්‍යාපෘතියෙන් සිදු වන සමස්ත බලපෑම් පෙන්වා දීම වෙනුවට ඇති විය හැකි බලපෑම් අවම මට්ටමින් පෙන්වා දී ජනතාව නෙමඟ යැවීමට දරන උත්සාහයක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය.

    ජාතිකප්රතිපත්තිහාජාත්යන්තරසම්මුතිඋල්ලංඝනයකිරීම

    මෙරට පිහිටි තෙත් බිම් ආණ්ඩුවකට උවමනා පරිදි භාවිතා කළ නොහැකිය. ජාත්‍යන්තර සම්මුතීන් හා ජාතික ප්‍රතිපත්ති තුළින් තෙත් බිම් ආරක්ෂා කිරීමට අප බැදී සිටී. තෙත් බිම් සංරක්ෂණය සඳහා වන රැම්සාර් සම්මුතිය 1971 පෙබරවාරි 2 වන දින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 18 ක ගේ සහභාගීත්වයෙන් අත්සන් තැබූ අතර 1975 වසරේ සිට බලාත්මක විය. 1987 වසරේ දී ශ්‍රී ලංකාව රැම්සාර් සම්මුතියට අත්සන් තැබූ අතර 1990 ඔක්තෝම්බර් මස 15 වන දින සිට බලාත්මක විය. ඒ අනුව 2021 වසර වන විට හෙක්ටයාර 1,98,172 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු රැම්සාර් තෙත් බිම් 6 ක් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කර තිබේ. එපමණක් නොව 2018 ඔක්තෝම්බර් 25 වන දින ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර රැම්සාර් තෙත් බිම් නගර 18 අතුරෙන් එකක් ලෙස කොළඹ නගරය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙරට තෙත් බිම් පිළිබඳ ව විශේෂ අවධානයක් ජාත්‍යන්තරව ද යොමු වී ඇති බව පෙනී යයි. එපමණක් නොව 1989 වසරේ දී සකස් කළ ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තර ව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත් බිම් 41 ක් හඳුනාගෙන ඇති අතර මුතුරාජවෙල තෙත් බිම ද ඒ අතර වේ. ජාත්‍යන්තරව වැදගත් තෙත් බිම් හා ශ්‍රී ලංකාවේ සමස්ත තෙත් බිම් සංරක්ෂණය හා කළමනාකරණය කිරීමට ජාතික තෙත් බිම් ප්‍රතිපත්තියක් හා උපායමාර්ගික සැලැස්මක් 2006 වසරේ දී සකස් කර ඇති අතර එම සියලු තත්ත්වයන් උල්ලංඝනය කර පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත ආරක්ෂිත තෙත් බිමක් ආරක්ෂිත තත්ත්වයෙන් ඉවත් කර යෝජිත ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමෙන් රැම්සාර් සම්මුතිය හා තෙත් බිම් සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කර තිබේ.

    තෙත් බිම් ප්‍රතිපත්තියට අනුව පමණක් නොව 2019 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා උපායමාර්ගවලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථමික බලශක්ති සැපයුම තුළ ඛණිජ ඉන්දන දායකත්වය 50% කට අඩු කිරීම සඳහා මෙන් ම වර්ෂ 2030 වන විට සියලු බලශක්ති යෙදවුම්වල විශිෂ්ඨ බලශක්ති භාවිතය 2015 පැවති මට්ටමින් 20% කින් අඩු කිරීමට ද 2050 වසර වන විට කාබන් තුලනය මෙන් ම සියලු බලශක්ති සැපයුම් ජාලයෙන් පූර්ණ සංක්‍රාන්තිය වෙත පිවිසීම මෙන් ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17 අතුරෙන් 7 වන ඉලක්කය වන පිරිසිදු බලශක්තිය වෙත ප්‍රවේෂ වීම සඳහා පුනර්ජනනීය බලශක්ති තාක්ෂණ දේශීය වෙළදපොලට සපයමින් ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත පිහිටුවීම සඳහා අවශ්‍ය අවකාශය ගොඩ නැංවීමට කටයුතු කරන බව ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ දක්වා තිබේ. මෙම ප්‍රතිපත්තිමය කරුණු වෙත ලගා වීමට ඇති සියලු ඉඩකඩ ඇහිරී යාමක් යෝජිත ව්‍යාපෘතියෙන් සිදු වනු ඇත.



    මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ ගොඩ කිරීමට යෝජිත ප්‍රදේශය. (රතු පැහැ රවුමෙන් සලකුණු කර ඇත.)

    මුතුරාජවෙලසංරක්ෂණයකරනබවටජනතාවමුලාකිරීම

    ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාරයේ භූමිය ගොඩ කිරීමට අදාළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මහජන අදහස් සඳහා විවෘත කිරීමට පෙර 2021.05.10 වන දින මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. එම අනුමැතියට අනුව මුතුරාජවෙල තෙත් බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම, එම සැලැස්මට අනුව හඳුනා ගත් ප්‍රදේශ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ මුතුරාජවෙල තෙත් බිම් කලාපය රැම්සාර් තෙත් බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම කැබිනට් අනුමැතියෙන් සිදු කර ඇත.

    මෙම කැබිනට් අනුමැතියට අනුව මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය සහ තිරසර භාවිත සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා තෙත් බිම් අක්කර 110 ක් ගොඩ කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම අතර එකිනෙකට පරස්පරවිරෝධී සැලැසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වන අභිමතාර්ථ අත්පත් කර ගැනීමට නොහැකි වේ. ඒ මගින් සිදු කර ඇත්තේ ජනතාව මුලා කිරීම පමණි.

    ගංවතුරතර්ජනඋග්කිරීමතඹගලවැලිනිධියවැනසීමහාධීවරජනතාවඅවතැන්කිරීම

    මේ වසරේ මැයි හා ජුනි මාසවල ඇති වූ වර්ෂාව හේතුවෙන් මුතුරාජවෙල ප්‍රදේශයේ ගංවතුර තර්ජන වලින් පවුල් 5000 ක් පමණ සම්පූර්ණයෙන් ම අවතැන්වීම සිදු විය. ඒ අතරතුර මුතුරාජවෙල තෙත් බිමේ තවත් අක්කර 110 ක් ගොඩ කිරීම සිදු කළ හොත් මෙම ගංවතුර තත්ත්වය තවත් දරුණු මට්ටමකට පරිවර්තනය වනු ඇත.

    තෙත් බිම ගොඩ කිරීම සඳහා මුහුදු වැලි ඝන මීටර මිලියන 1.5 ක් පමණ ලබා ගැනීමට සැලැසුම් කර ඇත්තේ මීගමුව කලපුවට බටහිරින් පිහිටි තඹ ගල ප්‍රදේශයේ වැලි නිධියෙනි. මෙම වැලි නිධිය සැකසීම සිදු වනුයේ කැළණි ගඟෙන් ගලා ගෙන එන වැලි මෝදර ප්‍රදේශයෙන් සාගරයට එක් වූ පසුව දකුණු කලාපයේ සිට උතුරු කලාපය දක්වා විහිදෙන දියවැල් ඔස්සේ ගමන් කර තඹගල ප්‍රදේශයේ නිධිගත වීමෙනි. නමුත් පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් හා කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් හේතුවෙන් මෙම දියවැල් ගමන් කිරීමේ රටාව වෙනස් වී ඇත. මේ නිසා කැළණි ගඟෙන් මුහුදට එක් වන වැලි මෝදර මෝය ආශ්‍රිත ව නිධි ගත වන නමුත් එම වැලි තඹගල ප්‍රදේශයේ නිධිගත වීම ඉතා සුළු වශයෙන් සිදු වේ. වර්තමානය වන විට වැලි නිධිය සක්‍රිය ව ගොඩනැගීම සිදු නොවේ. මෙම වැලි නිධියෙන් පෝර්ට් සිටි ඉදිකිරීම් සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් වැලි ලබා ගැනීම හේතුවෙන් ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතී. මෙම වැලි ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් බොහොමයක් ඇති විය හැකි ය.

    අඛණ්ඩව වැලි ලබා ගැනීම හේතුවෙන් වැලි නිධිය ආශ්‍රිත හා ඒ අවට කලාපයේ පරිසර පද්ධතිවලට සිදු වන බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස සාගරයේ ජෛව ප්‍රජාවට සිදු වන අහිතකර බලපෑම ඒ අතුරෙන් ප්‍රධාන වේ. වැලි ලබා ගැනීමේ දී විශාල රොන්මඩ ප්‍රමාණයක් කැලතීමට ලක් වීමෙන් සාගරයේ විශාල ප්‍රදේශයක රොන්මඩ විසිරීමේ ප්‍රතිඵලයක් ලෙස සාගර ජීවී විශේෂවල පැවැත්මට බලපෑම් එල්ල වේ. මීට අමතර ව වැලි නිධිය අඛණ්ඩව ඉවත් කිරීම හා වැලි නිධිය ගොඩ නැංවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මීගමුව කලපුවේ ස්ථාවර භාවයට අවශ්‍ය සාගර භූ තෙරපුම අහිමි වීමෙන් මීගමුව කලපුවේ පැවැත්ම සම්පූර්ණයෙන් ම බිඳ වැටී යනු ඇත.

    තෙත් බිම ගොඩකර ඒ මත ඉදිකෙරෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාර ක්‍රියාත්මක කිරීමේ දී අඛණ්ඩ ව උණුසුම් ජලය සාගරයට බැහැර කිරීමට සිදු වේ. කොළඹ වරාය සංවර්ධනය කිරීම හා පෝර්ට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී සිදු කළ ගොඩකිරීම් හේතුවෙන් විශාල වෙරළාශ්‍රිත සාගර කලාපයක් ආවරණය වීම නිසා කෙරවලපිටිය හා උස්වැටකෙයියාව ආශ්‍රිත මුහුදු තීරය, දකුණු කලාපයේ සිට උතුරු කලාපය දක්වා විහිදෙන දියවැල්වලට ආවරණය වූ කලාපයක් ලෙස පිහිටයි. මේ නිසා බලාගාරයෙන් පිට කරන උණුසුම් ජලය මෙම සාගර කලාපයට බැහැර කිරීමෙන් පසුව සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හා සාගර ජලයේ උෂ්ණත්වය යථාතත්ත්වයට පත් වීමට ගත වන කාලය පිළිබඳ ව අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය දත්ත හා මොඩලයන් සැකසීම මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් සිදු කර නොමැත. බලාගාරයෙන් ඉවත් කරන උණුසුම් ජලය අඛණ්ඩව සාගරයට බැහැර කිරීම හේතුවෙන් සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම එහි ජීවීන්ගේ පැවැත්මට ඉතා ම හානිකර බලපෑම් ඇති කරයි.

    මීට අමතර ව ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන ප්‍රවාහනය කරන නැව් රැඳවුම් අංගනය හා සම්බන්ධ සාගරයේ ඉදි කෙරෙන පාවෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තය ඉදි කිරීම හා එම වායු ඉන්දන විදුලි බලාගාරය දක්වා ප්‍රවාහනය කරන සාගර කලාපය පිළිබඳ ව කිසිදු අධ්‍යයනයක් මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් සිදු කර නොමැත. මේ සියල්ලේ ම ප්‍රතිඵල ලෙස සාගර ජෛව ප්‍රජාවට ඇති වන බලපෑම හා ඒ තුළින් ධීවර කර්මාන්තයට ඇති වන බලපෑම ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනී යයි.


    මුතුරාජවෙල තෙත් බිම ගොඩ කිරීමට වැලි ලබා ගැනීමට යෝජිත සාගර කලාපය. (දුඹුරු පැහැයෙන් සලකුණු කර ඇත.)

    මෙතෙක්ඉතිහාසයේදුර්වලපරිසරබලපෑම්තක්සේරුවාර්තාව

    ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාර ව්‍යාපෘතියේ සමස්තය ආවරණය වන පරිදි නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් නොකර ව්‍යාපෘතියේ එක් කොටසක් වන තෙත් බිම ගොඩ කිරීම සඳහා පමණක් නිවැරදි හා අත්‍යවශ්‍ය දත්ත ඇතුළත් නොකර කෙටි කාලයක් තුළ සකස් කර ඇති මෙම වාර්තාව පරිසර බලපෑම් තක්සේරු වාර්තා ඉතිහාසයේ මෙතෙක් ප්‍රකාශයට පත් කළ දුර්වල ම වාර්තාව බව තහවුරු වේ. මෙම අසම්පූර්ණ වාර්තාව පදනම් කර ගෙන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හොත් කෙටි කාලසීමාවක් තුළ මෙම සමස්ත ව්‍යාපෘතිය ම බිඳ වැටීමට ලක් වනු ඇත.

    මෙරට බලශක්ති අවශ්‍යතාවයට විසදුම් ලබා දීම බලයට පත් වන රජයක වගකීමකි. සැමට සමාන ව බලශක්ති භාවිත කිරීමට අයිතියක් ද ඇත. නමුත් ස්වාභාවික සම්පත් හා ජන ජීවිතය විනාශ කර ආපදාවන් බොහොමයකට රටත් ජනතාවත් ගොදුරු කර පෝර්ට් සිටි ව්‍යාපෘතියට හා කොළඹ නගරය ආශ්‍රිත බලශක්ති අවශ්‍යතාව සපුරා ලීමට බලාගාර ඉදි කිරීමෙන් පලක් නොමැත.

    පසුගිය කාලය පුරා ම ගල් අගුරු බලාගාර ඉදි කිරීම සඳහා බලයට පත් වූ ආණ්ඩු උත්සාහ දැරීය. එහි දී ඉතා ම ලාභදායී බලශක්ති ප්‍රභවය ලෙස ගල් අගුරු හැඳින්වීය. නමුත් අද වන විට ලෝකයේ බොහෝ දියුණු රටවල් ගල් අගුරු බලාගාර ඉවත් කරමින් තිබේ. අද වන විට ස්වාභාවික වායු ඉන්දන බලාගාර ඉදි කිරීම ඉතා ම ලාභදායී බව රජය සඳහන් කරයි. නමුත් ඒ සඳහා නිවැරදි දත්ත විශ්ලේෂණයක් ඉදිරිපත් නොකරයි.

    විකල්පක්රියාත්මකනොකිරීම

    අලුතින් බලාගාර ඉදි කිරීම වෙනුවට මෙරට ජල විදුලි බලාගාරවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරයි. මෙරට ක්‍රියාත්මක සියලු මහ පරිමාණ ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වන්නේ 1970 සිට 1990 දශකය අතර කාලයේ තාක්ෂණයන් පදනම් කර ගෙන ය. එම බලාගාර සියල්ල යාවත්කාලීන කිරීම හා කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට කිසිදු පියවරක් මේ වන තුරු ගෙන නොමැත. එපමණක් නොව විදුලි බලාගාර හා සම්බන්ධ ජලාශවල ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජල පෝෂක සුරක්ෂිත කිරීමට සහ ජලාශවල ජල රැඳවුම් ධාරිතාව අඩාල කරන රොන්මඩින් පිරීයාම වැළැක්වීමට හා රොන්මඩ ඉවත් කිරීමට කිසිදු වැඩපිළිවෙලක් මේ වන තුරු ක්‍රියාත්මක කර නොමැත. එපමණක් නොව විදුලිය බෙදාහැරීම් ජාලය කාර්යක්ෂම කිරීමට හෝ විදුලිය අපතේයාම වැළැක්වීමට හෝ කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතය සඳහා ජනතාව යොමු කිරීමට හා ඒ සඳහා බදු සහන ලබා දීමේ කිසිදු වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක නොවේ.

    මෙම තත්ත්වයන්ට අමතර ව සූර්යය හා සුළං බලශක්ති ප්‍රභව මෙන් ම හඳුනාගත් යෝග්‍ය ස්ථානවල සාගර රළ තරංග භාවිත කිරීමට ප්‍රමාණවත් යොමුවක් ද ලබා ගෙන නොමැත. විශේෂයෙන් සූර්ය බලශක්ති භාවිත කිරීමේ ක්‍රියාවලිය රට තුළ වර්ධනය කිරීමට ගනු ලබන උපායමාර්ග ද වරින් වර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් අක්‍රිය කරමින් තිබේ. ඒ වෙනුවට මහ පරිමාණ බලාගාර ඉදි කිරීමට වැඩි අවධානයක් යොමු කරයි. රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීමට තීන්දු තීරණ ගනු ලබන නමුත් ක්‍රියාත්මක යාන්ත්‍රණයේ දී ගල් අගුරු, ඩීසල් හා ස්වාභාවික වායු ඉන්දන බලාගාර ඉදි කිරීමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් තිබේ.

    ලෝකයේ බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට හුවමාරු වන විට ගලවා ඉවත් කරන ගල් අගුරු, ඩීසල් හා ස්වාභාවික වායු ඉන්දන බලාගාරවලට අප වැනි රටවල් ගොදුරු වෙමින් තිබේ. අනාගතයට ගැලපෙන බලශක්ති ප්‍රභවයන්ට නොව අතීතයේ දී භාවිත කළ බලශක්ති ප්‍රභවයන්ට අප යොමු වෙමින් සිටිමු. එපමණක් නොව අපගේ පාලනයෙන් තොර ආනයන මත පදනම් වූ බලශක්ති ප්‍රභවයන්ට වැඩි අවධානයක් යොමු කිරීමෙන් රටේ ආර්ථිකයට එල්ලවන බලපෑම ගැන සිතීම වෙනුවට නිලධාරීන්ට හා ඇමතිවරුන්ට අඛණ්ඩව කොමිස් මුදල් ලැබෙන ක්‍රමවේදයන්ට අනුව බලශක්ති නිෂ්පාදනය කිරීමට යොමු වීම හේතුවෙන් ගැටළු මතු වෙමින් තිබේ. මේ තත්ත්වයන්ට පිළිතුරු ලබා දෙන තුරු බලශක්ති අර්බුදයට විසදුම් ලබා දීමට නොහැකි ය.

  • පොහොර හා කෘෂි රසායන තහනමෙන් ‘ගුණාත්මක තේ කර්මාන්තය වළපල්ලට‘

    පොහොර හා කෘෂි රසායන තහනමෙන් ‘ගුණාත්මක තේ කර්මාන්තය වළපල්ලට‘

    ‘ලංකා තේ‘ අපනයන මිල අඛණ්ඩව පහත වැටෙනවා. තේ පොහොර දැන්වත් නිදහස් කරන්න

    තත්වයෙන් බාල තේ නිෂ්පාදනය කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ අපනයන තේ කිලෝ ග්රූමයක් සඳහා ලැබෙන මිල තුන්වන අඛණ්ඩව මාසයටත් පහත බැස ඇත.  ජූලි මාසයේ දී අපනයන තේ මිල තවත් පහත වැටෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 75% ක් නිෂ්පාදනය කරන කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පොහොර, කෘෂි රසායන නොලැබීම නිසා ගුණාත්මක භාවයෙන් ඉහළ තේ දළු නිෂ්පාදනය කළ නොහැකිව ඇත.  අපනයන මට්ටමේ තේ නිෂ්පාදනවල පැවතිය යුතු ගුණාත්මක භාවය තත්වයෙන් බාල තේ දළු වලින් ලබා ගත නොහැකිව ඇත. තේ සඳහා ලැබෙන මිල අඛණ්ඩව පහත වැටීමට වැලැක්වීමට නම් තේ වගාව සඳහා හෝ රජය රදවාගෙන තිබෙන පොහොර වහා නිදහස් කළ යුතු ය. ‘‘අපනයන ආදායමේ හදවත බදු තේ වගාව රැක ගැනීම සඳහා පොහොර හා කෘෂි රසායන ආනයන තහනම පිළිබඳ වහා නැවත ඇගයීමක් සිදු කළ යුතුව ඇතැයි‘‘ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

    පොහොර හා කෘෂි රසානයන නොමැතිවීමෙන් මේ වන විට තේ වගාව දැඩි පරිහානියක ලක්ව තිබේ.  පහත රට තේ වගාවේ අස්වැන්න හා දළුවල ගුණාත්මක බව පහත වැටීම සුවිශේෂී වේ.  කඳුකර තේ වගාවට පොහොර නොමැතිවීමට අමතරව බ්ලයිට් රෝග ආසාදනයට ලක්වී ඇත. මේ රෝග සඳහා නිර්දේශිත කෘෂි රසායන නොමැතිවීම හේතුවෙන් දළු අඩුවීම පමණක් නොව, ගස් විනාශවීම ද ඇරඹී ඇත.

    වතු සමාගම් සතුව පොහොර හා කෘෂි රසායන තොග පවතින නමුත් කුඩා තේ වතු හිමියන්ට පොහොර  නොලැබේ.  වතු සමාගම් හා කුඩා වතු හිමියන්ට ඇත්තේ එකම වෙළෙඳපොලකි.  තත්වයෙන් බාල තේ නිෂ්පාදන වැඩි වශයෙන් වෙළෙඳපොලට පැමිණීමත් සමඟම තේ මිල පහත යාම ඇරඹී තිබේ.

    අත්තනෝමතික කෘෂි රසායන තහනම් හේතුවෙන් කෘෂි නිෂ්පාදනවල තත්වය පවත්වාගෙන යාමේ ගැටළුවකට කෘෂි නිෂ්පාදන කේෂ්ත්‍රෙයේ සෑම කණ්ඩායමක්ම මුහුණ දී සිටී.  ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයන ආදායමේන් 15% ක් ලැබෙන්නේ තේ නිෂ්පාදනයෙනි.  කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අපනයන ආදායමෙන් 62% ක් ලැබෙන්නේ තේ වගාවෙනි.

    කෘෂිකර්ම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොහොර හා කෘෂි රසායන තහනම හේතුවෙන් මෙරට කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ සෑම අංශයක්ම කඩා වැටෙමින් තිබෙන අතර අස්වැන්න අඩුවෙමින් පවතී.  එළවළු, පළතුරු හා මල්වර්ග නිෂ්පාදනය ට එයින් දැවැන්ත බලපෑමක් එල්ලවී ඇත.  කුරුඳු ඇතුළු අපනයන බෝග රැසක නිෂ්පාදනය තත්වය මේ වන විට පහත වැටී ඇතැයි ද තෙන්නකෝන් ගේ නිවේදනයේ දැක්වේ.

    හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

  • ‘කාන්තාවන්ගේ නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීමේ ප්‍රවණතාවක්

    ‘කාන්තාවන්ගේ නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීමේ ප්‍රවණතාවක්

    වෙබ් අඩවි සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල අසභ්‍ය වීඩියෝ සහ පින්තූර පළ කිරීම සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ අජිත් රෝහණ මහතා පැවසුවා.

    පොලිස් පරිගණක අපරාධ අංශය විසින් සිදුකළ විමර්ශන මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර දණ්ඩ නීති සංග්‍රහයේ සහ අසභ්‍ය ප්‍රකාශන පනතේ අදාළ විධිවිධාන යටතේ මෙවැනි සිදුවීම්වලට එරෙහිව පොලිස් පරිගණක අපරාධ අංශය දැඩි පියවර ගන්නා බව ඔහු වැඩි දුරටත් පැවසුවේ.

    ‘කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල පළ කිරීමේ ප්‍රවණතාවක් දැන් පවතිනවා. විශේෂයෙන් ඔවුන් පෙම් සබඳතාවක් පවත්වන විට පින්තූර සහ වීඩියෝ ලබාගෙන ඇති අතර එම සබඳතා බිඳ දැමීමෙන් පසු අදාළ සමාජ මාධ්‍ය වේදිකාවලට උඩුගත කරන බව අනාවරණය වී තිබෙනවා‘‘

    පසුගිය දා අත්අඩංගුවට ගත් සැකකරුවන් පිටකෝට්ටේ, රාජගිරිය, මහනුවර, පිලියන්දල සහ ගම්පහ යන ප්‍රදේශවල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර වයස අවුරුදු 23 ත් 39 ත් අතර සිව් දෙනෙකු සිටිනවා. ඒ වගේම මුරපදය වෙනස් කිරීමෙන් නීතිවිරෝධී ලෙස පිවිසීමෙන් පසු පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක නිරුවත් රූප සහ වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා‘‘

  • කොවිඩ් එන්නත් ‘කොක්ටේල් කිරීම‘ භයානකයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

    කොවිඩ් එන්නත් ‘කොක්ටේල් කිරීම‘ භයානකයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

    කොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීමෙන් සහ සැසඳීමෙන් සිදුවන සෞඛ්‍ය බලපෑම සම්බන්ධයෙන් තවමත් ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයක් බවත් එබැවින් විවිධ නිෂ්පාදකයන්ගේ ‘කොවිඩ්-19’ එන්නත් සැසඳීම සහ මිශ්‍ර කිරීම “භයානක ප්‍රවණතාවක්” බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඊයේ (12) පැවැසුවා ය.

    ගෝලීය ‘කොවිඩ්-19’ වසංගත තත්තත්වය සම්බන්ධයෙන් දින කිහිපයකට වරක් පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් මේ බව අවධාරණය කළ ඇය වැඩි දුරටත් කියා සිටියේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි එන්නත් මාත්‍රා ගන්නේ කවදාද ? , කවුද ? යන්න පුරවැසියන් තීරණයට කිරීමට පටන් ගත්තොත් ව්‍යාකූල තත්ත්වයක් ඇති වනු ඇති බවයි.

    “මේක තරමක භයානක ප්‍රවණතාවක්. එන්නත් මිශ්‍ර කිරීම සහ සැසඳීම සම්බන්ධයෙන් අපි ඉන්නේ දත්ත සහ සාක්ෂිවලින් නිදහස් ලෝකයක. අපට ප්‍රමාණවත් තරම් දත්ත නැහැ” යැයි ඇය කීවාය.

  • නිමක් නැති ප්‍රවෘත්ති වලින් ඔබේ දරුවාගේ ‘සිත‘ අවුල් වෙන බව ඔබ දැන සිටියාද ?

    නිමක් නැති ප්‍රවෘත්ති වලින් ඔබේ දරුවාගේ ‘සිත‘ අවුල් වෙන බව ඔබ දැන සිටියාද ?

    බය හිතෙන, ඔළුව අවුල් කරන ප්‍රවෘත්ති අද ටීවී එකෙන්, ෆෝන් එකෙන්, ටැබ් එකෙන් සහ කොම්පියුටර් එකෙන් ඕන වෙලාවක බලන්න පුළුවන්. හුඟක් වෙලාවට ඒ ප්‍රවෘත්තිවලට සංවේදී දර්ශනත් ඇතුළත් වෙලා තියෙනවා. දරුවනුත් ඒවා බලනවා. ඉතිං ප්‍රවෘත්තිවලින් පුංචි හිත් අවුල් කරගන්නේ නැතුව ඉන්න අපේ දරුවන්ට උදව් කරන්නේ කොහොමද?

    ප්‍රවෘත්තියක් දරුවාට බලපාන්න පුළුවන් කොහොමද?

    • ප්‍රවෘත්තිවල පෙන්වන භයානක සිද්ධීන් දැකලා හුඟක් දරුවන් බය වෙනවා. ඒ වගේ ප්‍රවෘත්ති නිසා මනසට ලොකු බලපෑමක් වුණත් සමහර දරුවන් එයාලට හැඟෙන විදිහ කා එක්කවත් කියන්නේ නැහැ. * දෙමව්පියන් ඒවා බලලා බය වුණොත් දරුවන්ගේ බය තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා.
    • ප්‍රවෘත්තිවල පෙන්වන දේවල් දරුවන් වැරදි විදිහට තේරුම්ගන්න ඉඩ තියෙනවා. උදාහරණයකට එයාලා දැක්ක දේ පවුලේ කෙනෙක්ටත් වෙයි කියලා සමහර දරුවන්ට හිතෙන්න පුළුවන්. ඒ වගේම යම් සිද්ධියක් ගැන තියෙන වීඩියෝ දර්ශනයක් ආයේ ආයේ බලද්දී දරුවන්ට හිතෙන්න පුළුවන් ඒක බලන හැම වතාවකම ඒ සිද්ධිය ඇත්තටම වෙනවා කියලා.
    • සමහර සිද්ධි ප්‍රවෘත්තිවල පෙන්වන තරම්ම බරපතළ නැහැ කියලා තේරුම්ගන්න දරුවන්ට අමාරු වෙන්න පුළුවන්. ප්‍රවෘත්ති ආයතනවලට ඕනෙ පුළුවන් තරම් සල්ලි හම්බ කරන්න. ප්‍රවෘත්තියක් වැඩිදෙනෙක් බලන තරමටයි එයාලට ලාභ. ඒ නිසා පුළුවන් තරම් දෙනෙක්ගේ අවධානය ඇදගන්න එයාලා වෙච්ච සිද්ධියක් දෙගුණ තෙගුණ කරලා පෙන්වනවා. ඒත් ඒක අපේ දරුවන්ට තේරෙන්නේ නැහැ.

     ප්‍රවෘත්තියක් බලලා දරුවා ඉන්නේ බයෙන් නම් . . .

    • බය හිතෙන ප්‍රවෘත්ති බලන්න දෙන එක සීමා කරන්න. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දරුවා ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ වෙන්න ඕනෙ කියලා. රටේ ලෝකේ වෙන දේවල් දරුවෝ දැනගන්න ඕනේ. ඒත් බය හිතෙන ප්‍රවෘත්ති ආයේ ආයේ බලන්න දෙන එකෙන් දරුවාට කිසි හොඳක් වෙන්නේ නැහැ.“සමහර වෙලාවට මායි, මහත්තයායි බලපු ප්‍රවෘත්තියක් ගැන හුඟක් වෙලා කතා කරකර ඉන්නවා. ඒ වෙලාවට අපිට නිකමටවත් හිතන්නේ නෑ ඒක අහං ඉන්න අපේ දරුවන්ට ඒක කොහොම බලපායිද කියලා.”—මරියා .බයිබල් ප්‍රතිපත්තිය: “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි.”—හිතෝපදේශ 12:25.
    • ඉවසීමෙන් ඇහුම්කන් දීලා දරුවාව තේරුම්ගන්න. යම් සිද්ධියක් ගැන කියාගන්න දරුවාට අමාරුයි නම් පින්තූරයක් ඇඳලා පෙන්වන්න කියලා එයාට කියන්න. සිද්ධිය ගැන කතා කරද්දී දරුවා ඉන්න තත්වයට බහින්න. එයාව හොඳට තේරුම්ගන්න. ඊටපස්සේ කතා කරන්න. හැබැයි දරුවා දැනගන්න ඕනෙ නැති තොරතුරු එයාට කියන්න යන්න එපා.“දුවත් එක්ක ටිකක් නිවාඩු පාඩුවේ කතා කළාට පස්සේ එයාට ලොකු සහනයක් දැනුණා කියලා අපිට තේරුණා. හැබැයි ‘දැන් ලෝකේ හැටි ඔහොම තමයි. ඔයා ඕවාට හුරු වෙන්න ඕනේ’ කියලා අපි කිව්වා නම් එයාට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ.”—සාරයි.බයිබල් ප්‍රතිපත්තිය: “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.”—යාකොබ් 1:19.
    • ප්‍රවෘත්තිවල පෙන්වන තරම් සමහර සිද්ධි බරපතළ නැහැ කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. උදාහරණයකට පැහැරගැනීමක් ඇත්තටම වුණාට වඩා හුඟක් දරුණු අපරාධයක් විදිහට ප්‍රවෘත්තිවල පෙන්වන්න පුළුවන්. යම් සිද්ධියක් ප්‍රවෘත්තිවල කියන්නේ ඒක නිතරම සිද්ධ වෙන්නේ නැති දෙයක් නිසයි කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. ඒ වගේම දරුවාව ආරක්ෂා කරන්න ඔයාලා දැනටමත් කරලා තියෙන දේවල් ගැන කියලා එයාගේ බය සැක දුරු කරන්න.“බයෙන්, කනස්සල්ලෙන් ගොඩ එන්න දරුවන්ට උදව් කරන්න. සාමාන්‍යයෙන් අපේ හැඟීම් තමයි අපි හිතන දේවල්වලට බලපාන්නේ. ඉතිං අපි එයාලට හොඳ දේවල් ගැන හිතන්න උදව් කළොත් එයාලගේ හිතට සහනයක් දැනෙයි.”—ලූඩ්ස්.බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රඥාවන්තයා තම වචන හසුරුවන්නේ වටහාගැනීමේ හැකියාව යොදාගෙනයි. අන් අයගේ සිත් දිනාගැනීමටද එය උපකාරවත් වෙයි.”—හිතෝපදේශ 16:23.

     බය හිතෙන සිද්ධියකට දරුවා මුහුණ දීලා තියෙනවා නම්

    ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ හයිලන්ඩ්ස් රෑන්ච්වල පාසලක වෙඩි තැබීමක් සිද්ධ වුණා. 2019 මැයි හත්වෙනිදා යෞවනයන් දෙන්නෙක් කරපු ඒ වෙඩි තැබීමෙන් එක දරුවෙක් මැරුණා. තව අටදෙනෙක්ට තුවාල වුණා. ඒ සිද්ධිය වුණ වෙලාවේ අවුරුදු නවයක් වයස ජැක් හිටියෙත් ඒ පාසලේමයි. ජැක්ට දැනුණ බයෙන් ගොඩ එන්න එයාගේ දෙමව්පියන් වන බෙන් සහ කේසි උදව් කරපු විදිහ ගැන අපි එයාලගෙන් අහලා බලමු.

    බෙන් සහ කේසි.

    ඉස්කෝලේ වෙච්ච සිද්ධිය පුතාට බලපෑවේ කොහොමද?

    කේසි: මාස ගාණක් යන කල් ජැක් හරිම කනස්සල්ලෙන් හිටියේ. එයා පොඩි දේටත් බය වුණා.

    බෙන්: ජැක් වෙලාවකට හොඳට ඉන්නවා. ඒත් එකපාරටම එයාට එදා වෙච්ච දේ මතක් වෙනවා. ඒ වෙලාවට එයා කොච්චර බය වෙනවාද කියනවා නං අපේ ළඟින් හෙල්ලෙන්නෙවත් නෑ. එයා හැම තිස්සේම හිතුවේ එදා වුණා වගේ දෙයක් ආයෙත් වෙයි කියලා.

    ඒ සිද්ධිය ගැන පෙන්නපු ප්‍රවෘත්ති ඔයාලා බැලුවාද?

    කේසි: ඔව්. සතියක් විතර යන කල් අපි තුන්දෙනා ඒ ගැන ගිය ප්‍රවෘත්ති බැලුවා. ඒත් මහත්තයාටයි, මටයි පස්සේ තේරුණා ඒ ප්‍රවෘත්තිය ආයේ ආයේ බලන එකෙන් ජැක්ටවත් අපිටවත් කිසි හොඳක් වෙන්නේ නෑ කියලා. ඇති වුණ බයෙන් ගොඩ එන්න දේවල් කරන්නේ නැතුව ප්‍රවෘත්ති බලබල හිටපු එකෙන් වුණේ අපේ බය තවත් වැඩි වුණ එක විතරයි.

    ජැක්ට වැඩියෙන්ම උදව් වුණේ මොන දේවල්ද?

    කේසි: ගේ ඇතුළටම වෙලා ඉන්නේ නැතුව ටිකක් එළියට බැහැලා සෙල්ලම් කරන එකෙන් ජැක්ගේ හිතේ තිබුණ කනස්සල්ල අඩු වුණා. ඒ නිසා හැමදාම අපි එයාට සෙල්ලම් කරන්න වෙලාවක් දුන්නා. හැබැයි වැදගත්ම දේ වුණේ ජැක් කතා කරද්දී හොඳට අහගෙන හිටපු එකයි. රෑට ඇඳට ගියාම ජැක් එයාගේ හිතේ තිබුණ දේවල් කියාගෙන කියාගෙන යනවා කියලා මට තේරුණා. මොකද ඒ වෙලාවට එළියේ කිසි සද්දයක් බද්දයක් නෑනේ. සමහර දවස්වලට අපි පැයක් විතර කතා කර කර හිටියා. ජැක්ට තේරුණා එයා තනි වෙලා නෑ, අපි එයාත් එක්ක ඉන්නවා කියලා.

    බය හිතෙන දේකට මුහුණ දුන්න දරුවන් ඉන්න දෙමව්පියන්ට කියන්න තියෙන්නේ මොනවාද?

    බෙන්: ඒ වගේ දේකට මුහුණ දෙන්න කලින් ඉඳන්ම දරුවන්ට දැනෙන්න ඕනෙ පවුල ඇතුලේ එයාලට ලොකු ආරක්ෂාවක් තියෙනවා කියලා. එතකොට කවදා හරි දවසක ඒ වගේ දෙයක් වුණොත් දරුවන්ට උදව් කරන්න ඔයාලට ලේසියි.

    කේසි: හැම දරුවෙක්ම එක වගේ නෑ. සමහර දරුවෝ අනිත් දරුවන්ට වඩා සංවේදියි. ඔයාලා දරුවන්ව ඕනෑවට වඩා පරෙස්සම් කරනවා කියලා සමහර අය කියයි. එහෙම කිව්වා කියලා ඔයා දරුවෝ වෙනුවෙන් කරන දේවල් නවත්වන්න එපා. පවුලේ එකිනෙකා අතර තියෙන බැඳීම පුළුවන් තරම් ශක්තිමත් කරගන්න. එතකොට මේ ලෝකේ කොච්චර භයානක තැනක් වුණත් පවුල ඇතුලේ ආරක්ෂාව තියෙනවා කියලා දරුවන්ට දැනෙයි.

    සාරාංශය: ප්‍රවෘත්ති බලලා පුංචි හිත අවුල් වෙලාද?

    • බය හිතෙන ප්‍රවෘත්ති බලන්න දෙන එක සීමා කරන්න.
    • ඉවසීමෙන් ඇහුම්කන් දීලා දරුවාව තේරුම්ගන්න.
    • ප්‍රවෘත්තිවල පෙන්වන තරම් සමහර සිද්ධි බරපතළ නැහැ කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න.

    jw.org ඇසුරින් කළ උපුටා ගැනීමකි

  • කොරෝනා වසංගතය: ‘ළමුන් තුළ මතුවන මානසික ගැටලු’

    කොරෝනා වසංගතය: ‘ළමුන් තුළ මතුවන මානසික ගැටලු’

    ජීවිතයේ නොයෙකුත් හේතුන් නිසා අපට තෙහෙට්ටුව ඇතිවන නමුත් වයිරස් උණ වසංගතයක් නිසා ඇතිවන  තෙහෙට්ටුව ඊට වඩා විශේෂත්වයක් ගනී. එහි ලක්ෂණ මෙසේය.

    • මන්දෝත්සාහි බව
    • ආහාර ලබාගැනීමේ සහ නිදා ගැනීමේ රටාව වෙනස් වීම
    • නුරුස්සන ස්වභාවය
    • යාමකට අවධානය යොමු කිරීමේ අපහසුව
    • බලාපොරොත්තු සුන්වීම
    (more…)
  • ගද නිසා දැරිය දුෂණය නොකල බව කියු නේවි දොස්තර ගැන තවත් සුපිරි හෙලිදරව්වක්..!

    ගද නිසා දැරිය දුෂණය නොකල බව කියු නේවි දොස්තර ගැන තවත් සුපිරි හෙලිදරව්වක්..!

    ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විිද්‍යාතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට පත් කිරීමේ සිද්ධිය ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය සංගමය වන අපි තරයේ හෙලා දකිනු ලබන්නෙමු.

    මෙම අපරාධයට සම්බන්ධ වු සියලුම දෙනාට නිසි අයුරින් නීතිය කි‍්‍රයාත්මක විය යුුතුුු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

    උක්ත කි‍්‍රයාවට අදාලව චෝදනා ලබා සිටින වෛද්‍යවරයා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මාධ්‍ය මගින් කරන ලද වගකීම් විරහිත ප‍්‍රකාශය පිළිබඳව අපගේ අප‍්‍රසාදය පල කරන අතර මෙම චෝදනාව ලබන අවස්ථාව වන විට ඔහු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වීම සඳහා පුහුණුව ලබන අවධිියේ පසු වු අතර හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් සම්පූර්ණ කර නොතිබුණ බව දන්වා සිටිමු.

    තවද හෘද රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය වෛද්‍ය විද්‍යා සාරධර්ම සහ මානුෂිය ගුණ ධර්ම සුරැකීම ඉතා ඉහලින් අගයන විද්වත් සංගමයක් වන අතර එවැන්නකට පටහැනි වු කි‍්‍රයාවක් කුමන මට්ටමකදී වුවද අනුමත නොකරන බවද ප‍්‍රුකාශ කර සිටිමු.

    වෛද්‍ය අනිදු පතිරණ
    සභාපති
    ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය

    උපුටා ගැනීම: ලංකා සී නිව්ස්

  • විවිධ ආකාරයේ සිප ගැනීම්‘ සහ ඒවායින් අදහස් කරන්නේ කුමක්ද ? – සියල්ල දැන ගන්න

    විවිධ ආකාරයේ සිප ගැනීම්‘ සහ ඒවායින් අදහස් කරන්නේ කුමක්ද ? – සියල්ල දැන ගන්න

    සිප ගැනීම යනු සෙනෙහස හා චිත්තවේගයන් ප්‍රකාශ කිරීමේ සමීප ස්වරූපයකි, නමුත් එය බොහෝ දෙනෙකුට අතිශයින්ම ස්නායු ආබාධයක් විය හැකිය, විශේෂයෙන් යමෙකුට එතරම් අත්දැකීම් නොමැති නම්. ඒ ගැන වැඩි යමක් නොදැන සිටීම හවුල්කරුවන් දෙදෙනාට ඇතැම් හමුවීම් තරමක් අවුල් සහගත විය හැකිය. 

    යමෙකු සිපගැනීමෙන් සෑම විටම ඒකීය අර්ථයක් නොමැති බව කවුරුත් දනිති, සෑම විටම සන්දර්භය ඉතා වැදගත් වන අතර, ‘කොහේද’, ‘කවදාද’ සහ ‘කාටද’ සිපගැනීමේ අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැක්කේ කෙසේද, එය දැනෙන්නේ කෙසේද සහ කුමක් ද? එය දැනුම් දෙයි. ඔබට මිනිසුන් සිප ගත හැකි විවිධ ක්‍රම තිබේ. ඒ සියල්ලම තත්වය අනුව වෙනස් දෙයක් අදහස් කරයි. ඒවා මොනවාද සහ ඒවායේ තේරුම කුමක්දැයි දැන ගැනීමට කියවන්න:

    1. ඉක්මන් හා සරල සැහැල්ලු හාදුව Peck Kiss

    පෙක් හාදුව

    ඔබේ සහකරු හෝ ඔබේ දරුවා සිප ගැනීමට ඇති සරලම ක්‍රමය මෙයයි. එය සෙනෙහස පෙන්වීමේ සරලම ආකාරයයි. ඔබ ඔබේ හවුල්කරුවන්ගේ තොල් ඔබේම තොල් වලින් ස්පර්ශ කරන්න. මෙහිදී හවුල්කරුවන් දෙදෙනාගේ තොල් සාමාන්‍යයෙන් වසා ඇති අතර තරමක් තදින් ඇදී යයි. 

    ඔබ කැමති හෝ පිටතට යන කෙනෙකු සමඟ පළමු හාදුවක්  ලබා ගැනීමට මෙය හොඳ ක්‍රමයක් වන අතර එය ප්‍රමාණවත් තරම් සමීප නමුත් ඔවුන් සමඟ එළියට එන තරම් තීව්‍ර නොවේ. ඔබට කිසිදු තාක්ෂණයක් හෝ පුහුණුවක් අවශ්‍ය නොවන බැවින් ඔබට එය වැරදියට තේරුම් ගත හැකි ක්‍රමයක් නොමැත.

    2. ඇමරිකානු හාදුව American Kiss

    ඇමරිකානු හාදුව

    මෙය ආදරණීය හැඟීමක් වන අතර ඔබේ තොල් එකිනෙකාට විවෘත කිරීමෙන් ඔබේ සහකරු සිප ගැනීම ඇතුළත් වේ. ඇමරිකානු හාදුව දිව භාවිතා කරීම හා  සම්බන්ධ නොවන අතර ඔබ සාමාන්‍යයෙන් PG-13 චිත්‍රපට හෝ රූපවාහිනී වැඩසටහන් වල දක්නට ලැබෙන හාදුවකි. ඔබේ සහකරුවා අන් අය ඉදිරියේ සිප ගැනීමට ඔබ කවදා හෝ කැමති නම් මෙය කිසිසේත් සුදුසු නොවේ.

    ඉඟිය: ඔබේ දෑත් භාවිතා කරමින් සහකරුවන්ගේ මුහුණු අල්ලාගෙන හෝ ඔවුගේ ගෙල වටා ඔතාගෙන මොහොත වඩාත් ආදරණීය වන්න.

    3. ප්‍රංශ හාදුව French Kiss

    ප්රංශ හාදුව

    ප්‍රංශ සිප ගැනීම සමහර විට ඔබේ සහකරු සිප ගැනීමේ වඩාත් උද්යෝගිමත් වර්ගයකි. යොමු දැක්වීම සඳහා, මෙය ඇමරිකානු හාදුවකට සමාන ය, ඒ හැර, ඔබේ දිවට විශාල කාර්යභාරයක් ඇත. මේ ආකාරයේ සිපගැනීම් සඳහා යම් පුහුණුවක් අවශ්‍ය විය හැකිය, එබැවින් පළමු වරට එය එතරම් විශාල යැයි හැඟෙන්නේ නැත්නම් එය හරි ය.

    ඉඟිය: විවිධ පුද්ගලයින්ට තම දිව කොපමණ ප්‍රමාණයක් භාවිතා කිරීමට අවශ්‍යද යන්න සහ සාමාන්‍යයෙන් හාදුව දැනෙන්නේකෙසේද යන්න පිළිබඳව විවිධ මනාපයන් ඇත , එබැවින් කාලයත් සමඟ ඔබේ සහකරු සමඟ එය හඳුනා ගැනීම වඩාත් සුදුසුය.

    4. කම්මුල හාදුව Cheek Kiss

    කම්මුල හාදුව

    කම්මුල හාදුව යනු සුබපැතුම් හෝ සෙනෙහස පිළිබඳ සරල අභිනයකි, එහි ඔබ බෙදාගන්නා පුද්ගලයා මත පදනම්ව පුළුල් අර්ථ රාශියක් තිබිය හැකිය. මේ ආකාරයේ හාදුවක් මිතුරන් හෝ පවුලේ අය සමඟ සම්පුර්ණයෙන්ම අර්ථවත් ලෙස හුවමාරු කර ගැනීම හෝ විධිමත් අර්ථයකින් මිතුරන්ට ආචාර කිරීම අතිශයින්ම සාමාන්‍ය දෙයකි. 

    තොල් මත සිප ගැනීම ගැන ඔබට තවමත් විශ්වාස නැත්නම් එය ඔබ කැමති කෙනෙකු කෙරෙහි සෙනෙහස දැක්වීමේ මිහිරි ක්‍රමයක් විය හැකිය. සෙනෙහස, කෘතඥතාව, ආදරය යනාදිය පෙන්වීමට ඔබට ඔබේ සහකරුගේ කම්මුල් සිප ගත හැකිය.

    ඉඟිය: ඔබ ලිප්ස්ටික් ගැල්වීම ප්‍රිය කරන කෙනෙක් නම්, කම්මුල මත සිපගැනීමේදී නිතරම සලකුණක් තැබිය හැකි බැවින් නිතරම ප්‍රවේශම් වන්න. විශේෂයෙන් එය පොදු ස්ථානයක් නම් !

    5. නළල හාදුව Forehead Kiss

    නළල හාදුව

    මෙවැනි සරල හාදුවකින් කිසිවක් නොකියා බොහෝ දේ පැවසිය හැකි අතර එය ලබන පුද්ගලයාට බොහෝ දේ අදහස් කරන අභිනයකි. නළලත හාදුවක් සමීප විය හැකි නමුත් එය ආදර හැඟීමකට වඩා මිහිරි ක්‍රියාවකි. අපේක්ෂිත පුද්ගලයාට සෙනෙහස, අවබෝධය, විශ්වාසය සහ සැලකිල්ල දැක්වීමට එය වඩාත් සුදුසුය.  ඔබේ සහකරු, මිතුරන්, දෙමාපියන් හෝ දරුවන් වැනි ඔබට සමීප යැයි හැඟෙන ඕනෑම අයෙකු සමඟ ඔබට එය බෙදා ගත හැකිය.

    ඉඟිය: ඔබේ සහකරු යම් දෙයක් ගැන කරදරයට පත්විය හැකි යැයි ඔබට හැඟේ නම්, ඔබ ඔහුගේ හෝ ඇයගේ නළලත සිපගැනීමෙන් ඔවුන්ට සැනසීමක් ලැබෙනු ඇත.

    6. එස්කිමෝ හාදුව Eskimo Kiss

    එස්කිමෝ හාදුව

    මෙම හාදුව යනු ඔබේ නාසයේ තුඩ වෙනත් පුද්ගලයෙකුගේ නාසයේ තුඩේ අතුල්ලීමයි. එය සංස්කෘතීන් කිහිපයක මිත්‍රශීලී සුබ පැතුම් ඉඟියක් ලෙස භාවිතා කරයි. (එනම් එස්කිමෝස් ජාතිකයින් මෙය භාවිතා කරන නිසා එයට නම ලැබී ඇත) සාමාන්‍යයෙන් සෙල්ලක්කාරකම සහ සෙනෙහස විදහා දක්වන බැවින් ඔබට මෙම හාදුව ඔබේ සහකරු සමඟ සැහැල්ලු මොහොතක බෙදා ගත හැකිය. මෙම හාදුව ඔබේ දරුවා සමඟ බෙදා ගැනීම ද අතිශයින්ම අලංකාරය.

    ඉඟිය: ක්‍රියාව අතරතුර ඔබේ හිස ගැන නිතරම සැලකිලිමත් වන්න, මන්ද ඔබේ හිස එකිනෙකාගේ හිසේ වැදීමට ඇති ඉඩ වැඩිය. එය ඔබට හෝ අනෙක් පුද්ගලයාට හානියක් විය හැකිය.

    7. බෙල්ලේ හාදුව  Neck Kiss

    බෙල්ලේ හාදුව

    බෙල්ල යනු ශරීරයේ වඩාත් සංවේදී කොටස් වලින් එකක් වන අතර බෙල්ල සිප ගැනීම සාමාන්‍යයෙන් ඉතා සමීප හා කාමුක ඉරියව්වක් ලෙස දැකිය හැකිය. මෙම වර්ගයේ සිපගැනීම් ගැන කිසිසේත්ම පැහැදිලිව පෙනෙන කිසිවක් නොමැති අතර එය ආලවන්ත හැඟීම් පෑමේ ලකුණක් ලෙස දැකිය හැකිය.

    8. සමනල හාදුව Butterfly Kiss

    සමනල හාදුව

    සමනල හාදුව යනු නම පරිදිම ලස්සනම හාදුවකි. එය  මිහිරි හා මුදු මොළොක් වන ආදරය, සෙනෙහස හා සෙල්ලක්කාරකම ප්‍රකාශ කරයි. යමෙකුට සමනල හාදුවක් ලබා දීම සඳහා, ඔබ ඔබේ මුහුණ ඔහුගේ මුහුණට සමීප කර ගත යුතු අතර, ඔබේ දෑස් ඔහුගේ ඇස්වලට ස්පර්ශ වන අතර පසුව ඔබේ ඇහිබැම සමීප කළ යුතුය. මෙය ලබන්නාට සමනල තටුවකින් සිප ගන්නා බවක් දැනේ. සමනල හාදුවක් අනිවාර්යයෙන්ම ආදර හැඟීමක් නොවන අතර බොහෝ විට දෙමව්පියන් විසින් ඔවුන්ගේ කුඩා දරුවන් සඳහා භාවිතා කරයි.

    ඉඟිය: ඔබේ සහකරුගේ ශරීරයේ අනෙකුත් කොටස් වලට සමනල හාදුවක් ලබා දිය හැකිය, නිදසුනක් වශයෙන්, ඔවුන්ගේ කම්මුල, අත්, බඩ ආදිය.

    9. අත් හාදුව Hand Kiss

    අත් හාදුව

    අත් සිපගැනීම් මිනිසුන් අතර වඩාත්ම ආදර හැඟීම් සහිත ඉරියව්වක් ලෙස නොපෙනෙන අතර අවිධිමත් සිදුවීම්වලට සුබ පැතීමේ ඉරියව්වක් ලෙස එය බහුලව දැකිය හැකිය. වැඩිහිටියන්ට ගෞරව දැක්වීමේ සලකුණක් ලෙස හෝ විවිධ සංස්කෘතීන්හි ඔබේ නිලයට වඩා ඉහළ පුද්ගලයින් වෙත කෘතඥතාව දැක්වීමක් ලෙස එය භාවිත කළ හැකිය. කෙසේ වෙතත්, ඔබ එය අල්ලාගෙන සිටියදී ඔබේ සහකරුගේ අත සිප ගන්නේ නම් එය අතිශයින් මුදු මොළොක් හා උණුසුම් අවස්ථාවක් විය හැකිය. එමගින් සෙනෙහස, විශ්වාසය, සහ ආදරය ප්‍රකාශ කළ හැකිය.

    ඉඟිය: ගැඹුරු සංවාද මධ්‍යයේ ඔබේ සහකරුගේ දෑත් සිප ගත හැකිය. එවිට ඔබ ඇය වෙනුවෙන් සිටින බව ඇය දැන ගනී.

    10. හිස් මුදුන / නළලත සිප ගැනීම Top-Of-The-Head Kiss

    ඉහළට හිස සිප ගැනීම

    හිස මුදුනේ සිපගැනීමක් සාමාන්‍යයෙන් එය ලබා ගන්නා පුද්ගලයාට සහතිකයක් ලබා දෙයි. එය සාමාන්‍යයෙන් පැමිණිය හැක්කේ ඔබේ පවුලේ වැඩිහිටියන්ගෙන්, බොහෝ දුරට ඔබේ දෙමාපියන්ගෙනි. එය ඔබට ආරක්ෂිත බවක්, සැනසීමක් සහ හුරුපුරුදු හැඟීමක් ඇති කරවන අභිනයකි. කෙසේ වෙතත්, එය හවුල්කරුවෙකුගෙන් පැමිණීම මෙන්ම ඵලදායී වන අතර ඔබට පවුලේ අයෙකුගෙන් ඔබට ලැබෙන සැනසීම සහ ආරක්ෂාව ඔබට ලබා දේ.

    ඉඟිය: ඔබේ සහකරුවා පිටුපසින් බදාගෙන ඔවුන්ගේ හිස මුදුනේ සිපගන්න. එය මිහිරි හා මුදු මොළොක් මොහොතක් බවට පත් කරන්න.

    නිතර අසනු ලබන ප්‍රශ්න

    සිපගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

    ප්‍රශ්නය – සිපගැනීමෙන් යම් ප්‍රයෝජනයක් තිබේද?

    පිළිතුර –  ඔව්. සිපගැනීමෙන් විවිධ වාසි ඇති බව අධ්‍යයනවලින් ඔප්පු වී ඇත. එය කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන බැවින් සමේ සෞඛ්‍යය වැඩි දියුණු කරයි. එය ඔබට කැලරි දහනය කිරීමට උපකාරී වන අතර, එය ඔබගේ රුධිර නාල විවෘත කරන අතර ඔබේ රුධිර පීඩනය අඩු කළ හැකිය.

    ප්‍රශ්නය – ඔබේ සහකරු සිපගැනීමෙන් ඔහු / ඇය සමඟ ඇති සම්බන්ධය වැඩි දියුණු වේද?

    පිළිතුර –  ඔව්. ඔබේ සහකරු සිපගැනීමෙන් ඔබ ඔවුන් සමඟ බෙදා ගන්නා බැඳීම සැලකිය යුතු ලෙස ගැඹුරු කළ හැකිය, මන්දයත් එය ඔබ දෙදෙනාම ශාරීරික මට්ටමින් පමණක් නොව චිත්තවේගීය මට්ටමින්ද සමීප කරවයි. එය ඔබේ සහකරු වඩාත් සමීප ආකාරයකින් දැන හදුනා ගැනීමට ද උපකාරී වේ. 

    තම හවුල්කරුවන් සමඟ ලිංගික ක්‍රියාවල යෙදීමට අකමැති බොහෝ දෙනෙක් සිටින අතර, ඒ නිසා ඔවුන්ට අත, නළල සිඹීම වැනි අඩු ශාරීරික සැප ගනීම් සඳහා යා හැකිය .

    ප්‍රශ්නය – හාදුවක් සඳහා සූදානම් වන්නේ කෙසේද?

    පිළිතුර –  සමහර විට ඔබ දිනයකට හෝ කෙනෙකුව මුණගැසෙනවා විය හැකියි. මෙම අවස්ථාවේ දී, ප්‍රථමයෙන් හා ප්‍රධාන වශයෙන්, ඒ සඳහා මානසිකව සූදානම් වන්න. මේ මොහොතේ ඔබ එය අධිතක්සේරු නොකිරීමට එය සිදුවීම ගැන ඔබට පහසුවක් ඇති බවට වග බලා ගන්න. තොල් බාම් සහ / හෝ මින්ට් පැකට්ටුවක් නිතර ළග තිබීම හොඳ අදහසක් විය හැකි අතර එමඟින් ඔබේ තොල් වියළී නොයන අතර ඔබේ හුස්ම නැවුම් විය හැකිය. අවසාන වශයෙන්, ඔබ හාදුවක් සඳහා සුදානම් වුවද, සෑම විටම ඔබ ඒ සඳහා අනෙක් පුද්ගලයාගේ කැමැත්ත ඇති බවට වග බලා ගන්න.

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන ‘චර්යා ආබාධ’ සහ ඒවා සමඟ කටයුතු කළ හැකි ක්‍රම පහසු ක්‍රම

    ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන ‘චර්යා ආබාධ’ සහ ඒවා සමඟ කටයුතු කළ හැකි ක්‍රම පහසු ක්‍රම

    චර්යා ආබාධ‘ (Common Behaviour Disorders) විශේෂයෙන් ළමා වියේදී අපි තක්සේරු කරනවාට වඩා බහුලව දක්නට ලැබේ. අවට ඇති සෑම උත්තේජකයක් ගැනම ඇති කුතුහලය නිසා ළමයින්ට ඇති විවිධාකාර අත්දැකීම් මෙයට ප්‍රධාන හේතුවයි. මෙම හැසිරීම් ආබාධ බොහෝමයක් ළමා වියේ කොටසක් වන අතර දරුවා වැඩෙන විට ක්‍රමයෙන් අඩු වේ. සමහර ඒවාට වෛද්‍ය සහාය අවශ්‍ය විය හැකිය. මෙම අවස්ථා දෙකෙහිම, දෙමව්පියන්ගෙන් ඉමහත් අවබෝධයක් සහ ඉවසීමක් අපේක්ෂා කරනුයේ එය ළමයින් සඳහා වන ඕනෑම හැසිරීම් ආබාධයකට ප්‍රතිකාර කිරීමේ වැදගත්ම සාධකය වන බැවිනි.

    පුනරුත්ථාපන හා සුවතාව පිළිබඳ මනෝ විද්‍යාඥ ශයිලි මේතා සොනානි විසින් තේරුම් ගත් පරිදි ක්‍රියාවන් හෝ හැසිරීම හා සම්බන්ධ දරුවන්ගේ වඩාත් පොදු ගැටළු කිහිපයක් අපි සාකච්ඡා කරමු.

    1.විරුද්ධ ප්‍රතිරෝධක ආබාධය Common Behaviour Disorders (ODD)

    දෙමාපිය රැකවරණය

    රෝග ලක්ෂණ

    • නීති අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කිරීම
    • නිතර නිතර කෝපයට පත්වීම
    • අතිශය උද්වේගීකරභාවය (නැවත නැවතත්)
    • අන් අය කුපිත කිරීමට හිතාමතා උත්සාහ කිරීම
    • නිතර නිතර පළිගැනීමට යාම
    • සාකච්ඡා කිරීමට කිසිදු කැමැත්ත හෝ සම්මුතියක් නොදැක්වීම
    • වෛරක්කාරී, හෝ අකාරුණික ලෙස හැසිරීම

    සැලකීම
    ඔබේ දරුවා තුළ ඉහත සදහන් ODD රෝග ලක්ෂණ ඇත්නම් ඔබ ඔබේ දරුවා කෙරෙහි අතිශයින් ඉවසිලිවන්තව හා සංවේදී විය යුතුය. දරුවාට අඩු පාලනයක් දැනීම සහ ඔවුන්ට තමන්ම තෝරා ගැනීමේ අවස්ථාව ලබා දීම ප්‍රයෝජනවත් වේ. මීට අමතරව, මනෝ චිකිත්සාව සම්බන්ධයෙන් වෘත්තීයමය උපකාරය දෙමව්පියන්ට මෙන්ම දරුවන්ටද ODD රෝග ලක්ෂණ සමඟ කටයුතු කිරීමට බෙහෙවින් උපකාරී වේ.

    2. අවධානය ඌන අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය Attention-Deficit Hyperactivity Disorder (ADHD)

    දෙමාපිය රැකවරණය

    මෙහි ප්‍රධාන වර්ග තුනක් ඇත, එනම් අවධානය අඩුකිරීමේ ආබාධය Attention Deficit Disorder (ADD) , අධි ක්‍රියාකාරී-ආවේගශීලී වර්ගය Hyperactive-Impulsive type සහ ඒකාබද්ධ වර්ගය combined type. කෙසේ වෙතත්, පහත දැක්වෙන්නේ ආබාධයේ වඩාත් පොදු රෝග ලක්ෂණ වේ.

    රෝග ලක්ෂණ

    • කාර්යයන් සම්පුර්ණ කිරීම සඳහා මතකය අඩුවීම
    • පහසුවෙන් අවධානය වෙනතකට යොමුවීම
    • එක් ස්ථානයක සිටීම දුෂ්කර වීම
    • කරදරකාරී ගති ලක්ෂණ
    • කෙටි අවධානය

    ප්‍රතිකාර

    ඔවුන් නරක ලෙස හැසිරෙන දරුවන් ලෙස ලේබල් කරනු ලැබේ. එබැවින්, මෙම දරුවන් කළමනාකරණය කිරීමේදී මනෝචිකිත්සාව සහ ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේ. මීට අමතරව, පවුල මෙන්ම ගුරුවරුන් සහ වැඩිහිටියන් ද ADHD රෝගයට ගොදුරු වූ දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සංවේදීව, වඩාත් සැලකිල්ලෙන් අවධානයෙන් යුතුව කටයුතු කළ යුතුය.

    3. කාංසාව Anxiety Disorder

    දෙමාපිය රැකවරණය

    රෝග ලක්ෂණ
    බඩේ කැක්කුම
    හෘද ස්පන්දන වේගය වෙනස්වීම
    දහඩිය දැමීම
    කැරකවිල්ල
    නිදන්ගත වේදනාව හෝ දරුණු හිසරදය
    අහේතුක කෝපය හෝ නුරුස්නා බව
    අවිවේකී බවක් දැනීම
    විහිළුකාරකම
    මස්පිඩු වේදනාව
    කලබල ස්වභාවය
    නොසංසුන් කම
    නින්ද නොයෑම

    ප්‍රතිකාර

    ළමා කාලය තුළ, දරුවෙකු කනස්සල්ලට පත්ව සිටීද සහ කාංසාවේ ආබාධයක් ඇත්දැයි හඳුනා ගැනීම දුෂ්කර විය හැකිය, මන්ද ඔහුට / ඇයට ඔවුන්ගේ රෝග ලක්ෂණ සහ සිතුවිලි පැහැදිලිව ලැයිස්තුගත කළ නොහැකි බැවිනි. වෙන්වීමේ කාංසාව යනු ළමා කාලයේ දී අත්විඳින වඩාත් සුලභ කාංසාවකි. පාසැල් වෙනස් කිරීම, දෙමව්පියන් වෙන් කිරීම, පවුලෙන් ඈත් වීම වැනි විවිධ හේතු නිසා මෙය සිදුවිය හැකිය. කාංසාව පිළිබඳ ආබාධය කුමක් වුවත්, එය සමඟ ජීවත් වීම දරුවාට ඉතා අපහසු වන අතර එබැවින් දෙමාපියන් මනෝචිකිත්සාව සහ වෘත්තීය උපකාර සලකා බැලිය යුතුය.අ

    4. ළමා වියේ මානසික අවපීඩනය Depression In Childhood

    දෙමාපිය රැකවරණය

    රෝග ලක්ෂණ

    ළමා වියේ මානසික අවපීඩනය සැබෑවක් ලෙස පෙනෙන්නට නොතිබුණද එය ළමුන් තුළ ඇති වන මානසික ආබාධයකි. මේවා මනෝභාවය හා සම්බන්ධ රෝග ලක්ෂණ, ශාරීරික රෝග ලක්ෂණ, හැසිරීම් ආශ්‍රිත රෝග ලක්ෂණ සහ සංජානන රෝග ලක්ෂණ ලෙස බෙදා ඇත.

    • නුරුස්නා බව, කෝපය, මනෝභාවය වෙනස් වීම
    • අකාර්යක්ෂමතාව,
    • බලාපොරොත්තු රහිතබව සහ වැදගැම්මකට නැති බව හැඟීම (උදා: “මට කිසිවක් නිවැරදිව කළ නොහැක”) හෝ බලාපොරොත්තු සුන්වීම.
    • හැසිරීම: පාසැලේදී කරදරයට පත්වීම හෝ පාසැල් යාම ප්‍රතික්ෂේප කිරීම,
    • මිතුරන් හෝ සහෝදර සහෝදරියන් මග හැරීම,
    • සියදිවි නසාගැනීමේ අදහස.
    • සංජානනය: පාසල් කාර්ය සාධනය අඩුවීම.
    • නින්දේ රටා: ඕනෑවට වඩා නිදා ගැනීමට හෝ නිදා ගැනීමට අපහසු වීම.
    • භෞතික: ශක්තිය නැති වීම, ආහාර රුචිය වෙනස් වීම, බර අඩු වීම හෝ වැඩිවීම.

    ප්‍රතිකාර

    ළමා වියේ මානසික අවපීඩනය බොහෝ විට දරුවන්ගේ අවධානයට ලක්වන හැසිරීමක් ලෙස දකින අතර ඔවුන් ලැජ්ජාශීලී හෝ උනන්දුවක් නොදක්වන අය ලෙස හැඳින්වේ. මෙම අකමැත්ත පිටුපස ඇති හේතු දැන ගැනීම ඉතා වැදගත් වන අතර එබැවින් මානසික අවපීඩනය සැක කිරීමේදී දෙමාපියන් රෝග ලක්ෂණ පරීක්ෂා කළ යුතුය. ඖෂධ සහ මනෝචිකිත්සාව යන දෙකටම වෘත්තීය සහාය ලබා ගැනීම නිර්දේශ කරනු ලැබේ.

    5. චර්යා ආබාධ Conduct Disorder

    දෙමාපිය රැකවරණය


    රෝග ලක්ෂණ

    • ආක්‍රමණශීලී හැසිරීම: අරමුණක් මත සතුන්ට ශාරීරිකව හානි කිරීම, අන් අයට හිරිහැර කිරීම
    • රැවටිලිකාර හැසිරීම: බොරු කීම, සොරකම් කිරීම, කැඩීම සහ ඇතුල් වීම.
    • විනාශකාරී හැසිරීම: අරමුණක් මත දේපල වලට හානි කිරීම.
    • නීති උල්ලංඝනය කිරීම: හිතාමතාම පාසල මඟ හැරීම, අධිකාරිය නොසලකා හැරීම.

    ප්‍රතිකාර

    චර්යා ආබාධය මෘදු, මධ්‍යස්ථ හා දැඩි ලෙස විවිධ තීව්‍රතා ශ්‍රේණිගත කිරීම් ඇත; ඉහත රෝග ලක්ෂණ වල තීව්‍රතාවය අනුව එය දැඩි ලෙස සැලකේ. මෙම දුෂ්කර රෝග ලක්ෂණ සමඟ කටයුතු කිරීමේදී දෙමාපියන් තම දරුවන් සඳහා මනෝචිකිත්සාව සලකා බැලීම වඩාත් සුදුසුය. චිකිත්සකයා විසින් පවුල් රටා විශ්ලේෂණය කළ හැකි අතර පවුල් චිකිත්සාව හෝ දෙමාපියන්ගේ මග පෙන්වීම සමස්ත පවුල් ඒකකයක් ලෙස වඩා හොඳින් ක්‍රියාත්මක විය හැකිය. මනෝචිකිත්සාව සමඟ සංයෝජනය වන විට දරුණු අවස්ථාවන්හිදී ඖෂධ ගැනීම වඩාත් සුදුසු වන්නේ ආවේගශීලී හැසිරීම සහ සංජානනය මෙන්ම ආබාධයේ චිත්තවේගීය කරුණු පිළිබඳව සැලකිලිමත් වන බැවිනි.

    femina ඇසුරිනි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ත්‍රිපිටක සං‍රක්ෂණ පනත ථේරවාදී සම්ප්‍රදායට එකඟ ද ?

    ත්‍රිපිටක සං‍රක්ෂණ පනත ථේරවාදී සම්ප්‍රදායට එකඟ ද ?

    බැරි වෙලාවත් මෙම පනත සම්මත වුවහොත් ථෙරවාදී සම්ප්‍රදායට අනුගත නොවීමේ වරදට අන් අයට පෙර එහි මුල්ම දඬුවම උන්වහසේලාටම ලැබිය යුතුය.

    අත්තනෝමතය හිස තුළ පුරවාගත් අදූරදර්ශී මෝඝ භික්ෂු කණ්ඩායමක්‌ විසින් සැකසූ මෙම පනත බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් මෑත ඉතිහාසයේ සිදුකළ විශේෂතම කාර්යභාරය ලෙස ඇගයීම කෙසේ වෙතත්, චින්තන නිදහස ගරු කරන බුදු දහමටත්, මානව හිමිකම් අගයන ලෝක රාජ්‍යයන්ගෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රජයට ඇති පිළිගැනීමටත්, විදේශයන්ගෙන් මෙරට භික්ෂුව කෙරේ ඇති ප්‍රසාදයටත්, කළු පැල්ලම් ඇති කිරීමටත් මෙම අධර්මානුකූල ත්‍රිපිටක සං‍රක්ෂණ පනත රුකුලක්‌ වන බව නම් නොඅනුමානය.

    වර්තමානයේ බුදු සසුන වෙනුවෙන් සිදුකරනු ලබන විශිෂ්ටතම කාර්යභාරයක් ලෙස නම් කරමින් ත්‍රිපිටක සංරක්ෂණ පනතක් දැනට නීති කෙටුම්පත් අංශයේ කෙටුම්පත් වෙමින් පවතින බවට පුවත්පත් ලිපියක දුටිමි.

    අනාගත පරපුර වෙනුවෙන් ත්‍රිපිටකය, අට්ඨකථා හා ටීකා ආරක්ෂා කොට තැබීම සඳහා නෛතික රැකවරණය සැලසීමත් ත්‍රිපිටක මූලාශ්‍ර වෙනස් කිරීමට නොදී ආරක්ෂා කොට තැබීමත් එහි මූලික අරමුණු ලෙස පෙන්වා ඇත. මෙම ක්‍රියාව අතීතය හා සම කරමින් එකල ධර්මධර විනයධර මහා යතිවරු සහ සැදැහැවත් බොදුනුවන් යුද කෝලාහල, දුර්භික්ෂ ආදී සියලු‍‍ බාධක මැද ත්‍රිපිටකය රැක ගැනීම සඳහා සිදුකළ අප්‍රමාණ කැපකිරීම පෙන්වා දෙයි.

    එකල ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය විනය රකිමින්, තථාගතයාණන් වහන්සේගේ අණ පිළිපදිමින් නිවන් මඟ ගිය භික්ෂූන්ගේ අප්‍රමාණ ශාසනික මෙහෙය මෙකල ත්‍රිපිටක පනත ගෙන එන මණ්ඩලයේ සාමාජිකයනට අතිශයෝක්තියෙන් ආරෝපණය කිරීමක් එම ලිපියෙන් පෙන්නුම් කරන නමුත්, එකල මෙන් ත්‍රිපිටක ග්‍රන්ථ රැක ගැනීමට ඉතා වෙහෙසක් මෙකල ගත යුතු ද? මුඛ පරම්පරාවෙන් ගෙන ආ ධර්මය මනාව දත් සිවිපිළි සිඹියාපත් අරිහතුන් වහන්සේලා සාගතයනට ගොදුරු වීම, විවිධ විදේශීය ආක්‍රමණ, පුස්කොළ පොත්වල ලියූ ත්‍රිපිටක ධර්මය ජරාජීර්ණය වීමෙන් නිරතුරුව නැවත නැවත ලිවීමට ඕනෑ වීම ධර්මය හැදෑරීමට සියලු‍ පිටපත් එක් තැනක නොතිබීම වැනි කරුණු හේතුවෙන් ධර්මය හැදෑරීමට සහ ආරක්ෂා කිරීමට මහත් වෙහෙසක් ඕනෑ විය. එහෙත් මෙකල තාක්ෂණය දියුණුය.

    උදාහරණයක් ලෙස බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථවල මූල පිටපත් ඕනෑම අවස්ථාවක බෞද්ධ පොත් සාප්පුවකින් හෝ අන්තර්ජාලයෙන් ඉතා සුළු වේලාවකින් ඕනෑම අයකුට භාවිත කිරීමට, ලබාගැනීමට හැකිය. එබැවින් ත්‍රිපිටකය ආරක්ෂා කිරීම පිණිස මේ කියනා තරමේ මහ ලොකු මහන්සියක් අනවශ්‍යය. එකම අවශ්‍යතාව මහජනයා හට ධර්මය හැදෑරීම පිණිස ඒවා බාගත කළ හැකි නිල වෙබ් අඩවියක් සහ ත්‍රිපිටක ග්‍රන්ථවල නාමයන් ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් දැනුම්වත් කිරීම පමණි. අවශ්‍ය නම් ඒ පොත් හැර අනෙක්වා ථේර බුද්ධ භාෂිතය ලෙස පරිහරණය නොකරන ලෙස ඉල්ලීමක් කළ හැක.

    රහතන් වහන්සේලා සජ්ඣායනා කළ ධර්මය අඩංගු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ භාවිත කරන්නේ ද නොකරන්නේ ද යන්න ජනතාව විසින් ගත යුතු ස්වාධීන තීරණයකි. මන්ද තම තමන්ගේ නිවන පිළිබඳව තීරණ ගැනීම තමන් සතු අයිතියක් මිස එය මණ්ඩලයකින් තීරණ ගත යුත්තක් නොවේ.

    කරුණු එසේ වුව ද ඉහත සඳහන් කළ ආකාරයේ නිල නිවේදනයක් මෙතෙක් ත්‍රිපිටක මණඩලයෙන් සිදු වී නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය වන, “බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.”‍ කියනා කරුණ ගෙනහැර පෑමෙන් ත්‍රිපිටක මණ්ඩලය, රාජ්‍ය පාලකයන්ව ඒ සඳහා නම්මවා ගන්නට ඇත.

    මහා පරිනිබ්බාන සූත්‍රය: භික්ෂු අපරිහානී ධර්ම

    මහණෙනි, යම් තාක් මහණහු නොපැනවූවක් නොපනවන්නාහු ද, පැනවූ දෑ නොසිඳින්නාහු ද, පැනවූ තාක් සිකපද සමාදන්ව ගෙන පවත්නාහු ද, ඒ තාක් මහණුනට වැඩීමම බලාපොරොත්තු විය යුතුයි, පිරිහීම නොම බලාපොරොත්තු විය යුතුයි.

    යාවකීවඤ‍්ච භික්ඛවේ, භික්‍ඛු අපඤ‍්ඤත‍්තං න පඤ්ඤපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථාපඤ්ඤතේතසු සික්ඛාපදේසු සමාදාය වත්තිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ, භික්‍ඛූනං පාටිකංඛා නෝ පරිහානි http://(https://bit.ly/3wEUqqT)

    තුන් කල් නියත සම්බුදු වදනේ අදහසට අනුව මේ පනත ගෙන ඒමෙන්, භික්ෂූන්ගේ අධිගමනයන්ට පත්වීමේ පරිහානියක්‌ සිදුවේ. ඒ වාගේම, බුද්ධ සාසනයෙත් පිරිහීමක් මෙයින් බලාපොරොත්තු විය යුතුය. එහෙම නම්, ත්‍රිපිටක සං‍රක්ෂණ මණ්ඩලයේ මූල ඉලක්කය මෙම පනත ගෙන ඒමෙන් ඉටු නොවෙන බව බුදු වදනට අනුව පැහැදිලිය.

    රජය පැත්තෙන් බැලු‍වත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් “බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම”‍ කියන කාරණය පනත සම්මත වීම නිසා සිද්ධ නොවෙන බව මේ අනුව කීමට හැකිය.

    වෙනත් විදිහකට කියනවා නම් රජය මෙම පනත ගෙන ඒමෙන් බුද්ධ ශාසනය අනාරක්ෂිත බවට සහ පිරිහීමකට බඳුන් වීමක්‌ සිද්ධ වේ. රාජ්‍ය මට්ටමේ සිට පහළම යාන්ත්‍රණය තෙක් පනත ක්‍රියාත්මක කළ අය, අණ දුන් අය, උදව් කළ අය සහ වර්ණනා කළ සියලු‍ දෙනා බුදු අණ කැඩීමේ වරදට හවුල්කාරයෝ වෙති. එහි ප්‍රතිඵල නම් බොහොම දරුණු විපාක වේවි.

    අරිහතුන් වහන්සේලාගෙන් පැවත එන ත්‍රිපිටක ග්‍රන්ථ බොදුනු සැමගේ මුදුන් මල්කඩ බව සියලු‍ දෙනා අවිවාදයෙන් පිළිගන්නකි. “ථේරවාද සම්ප්‍රදාය තුළ පිහිටා සිටිව්!”‍ යැයි කියමින් ත්‍රිපිටක මණ්ඩලයේ භික්ෂුන් වහන්සේලාම පනත් ගෙනෙමින් දණ්ඩන පනවමින්, ඒවාට රුකුල් දෙමින් දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ භික්ෂු අපරිහානි ධර්මයනට වක්‍රාකාරයෙන් නිග්‍රහ කිරීම, අවමන් කිරීම, අයථා භාවිතය, සාවද්‍ය ලෙස අර්ථ නිරූපණය කිරීම සිදුකරයි. එය ථෙරවාද සම්ප්‍රදාය අතික්‍රමණය කිරීමකි. මේ කරන්නට යන්නේ කක්කුට්ටන්ගේ වැඩකි. එබැවින් උන්වහන්සේලා මනා නිග්‍රහයට සුදුසු බව කිව යුතුය.

    බැරි වෙලාවත් මෙම පනත සම්මත වුවහොත් ථෙරවාදී සම්ප්‍රදායට අනුගත නොවීමේ වරදට අන් අයට පෙර එහි මුල්ම දඬුවම උන්වහසේලාටම ලැබිය යුතුය.

    රාජ්‍ය නීතියට අනුව, මේ පනත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ: සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස යටතේ, 10. සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ හෝ ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය යන්නද, භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස යටතේ 14. (1) සෑම පුරවැසියකුට ම – (අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට; (ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට; (ඊ) එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස ආදී මූලික මානව ආයිතිවාසිකම් මෙම ත්‍රිපිටක සං‍රක්ෂණ පනතෙන් කඩවෙන්න බොහෝ දුර‍ට ඉඩකඩ තිබිය හැකිය.

    අත්තනෝමතය හිස තුළ පුරවාගත් අදූරදර්ශී මෝඝ භික්ෂු කණ්ඩායමක්‌ විසින් සැකසූ මෙම පනත බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් මෑත ඉතිහාසයේ සිදුකළ විශේෂතම කාර්යභාරය ලෙස ඇගයීම කෙසේ වෙතත්, චින්තන නිදහස ගරු කරන බුදු දහමටත්, මානව හිමිකම් අගයන ලෝක රාජ්‍යයන්ගෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රජයට ඇති පිළිගැනීමටත්, විදේශයන්ගෙන් මෙරට භික්ෂුව කෙරේ ඇති ප්‍රසාදයටත්, කළු පැල්ලම් ඇති කිරීමටත් මෙම අධර්මානුකූල ත්‍රිපිටක සං‍රක්ෂණ පනත රුකුලක්‌ වන බව නම් නොඅනුමානය.

    ලංකාදීප ඊ පුවත්පතින් කළ උපුටා ගැනීමකි

    ත්‍රිපිටක ධර්ම ගවේෂී – එරංග ලියනගේ

  • කොවිඩ් වසංගතය හමුවේ ළමුන්ගේ අනාගතය වළපල්ලට යා යුතුද ?

    කොවිඩ් වසංගතය හමුවේ ළමුන්ගේ අනාගතය වළපල්ලට යා යුතුද ?

    කෝවිඩ් වසංගතය පැතිර යෑමත් සමඟ ලොවෙහි විවිධ ක්ෂේත්‍ර වලට එය ඇති කළ බලපෑම පිළිබඳ විශාල කතිකාවතක් ඇතිවී තිබේ . එය එසේ වුවද කෝවිඩ් වසංගතය ළමුන්ට බලපා ඇති අයුරු පිළිබඳ ව එවැනි සංවාදයක් ගොඩනැගී නැත.

    මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ළමුන් පිළිබඳව කතා කිරීමට තිබෙන ආයතන හා පුද්ගලයන් ඇත්තේ ඉතාම සුළුතරයක් වන නිසාය. එසේම ළමුන්ට ඡන්ද බලයද නොමැත. මැතිවරණ හා ඡන්ද ක්‍රමය ප්‍රධාන කොට ඇති රටක ඉතා පහසුවෙන් ළමුන්ව සියලු දෙනාට අමතක වීම ස්වභාවයකි.

    2020 මාර්තු මස සිට 2021 ජුනි මාසය දක්වා අවුරුදු 1 මාස 3 ක පමණ කාලයක් තුළ මෙරට පාසල් විවෘත ව තිබුණේ මාස දෙකකටත් වඩා අඩු කාලයකි. මෙම වසර ළමුන් අධ්‍යාපනය අතින් අඳුරේ සිටි වර්ෂයක් ලෙස හැඳින්වීම නිවැරදිය.

    කෝවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීම සඳහා පාසල් වසා තැබීමට සිදුවීම ස්වභාවිකය. මෙයට විකල්ප ඉගෙනුම් මාර්ගයක් ලෙස ඔන්ලයින් අධ්‍යාපනය හඳුන්වා දී ඇත. නමුත් මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩු පාඩු අද විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වී ඇති කරුණක් වී තිබේ.

    ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය දුරකථන හෝ ටැබ් යන්ත්‍ර ලබා ගැනීමට මුදල් නොමැති ව ළතැවෙන දරුවනුත්, සංඥා නොලැබෙන ස්ථානවල ජීවත් වන දරුවනුත්, ඒ සඳහා වැය කළ යුතු සංඛ්‍යාතයන් ලබා ගැනීමට මුදල් නොමැති දරුවනුත් මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය නිසා විශාල වශයෙන් පසුපසට යාම ස්වභාවික ය . මේ නිසා නිදහස් අධ්‍යාපනයේ මූලික සංකල්පයක් වන ” සැමට සමාන අධ්‍යාපනයක් ” ලබාදීම යන්න ඉබේම උල්ලංඝනය වී යයි .

    එසේම ඔන්ලයින් පාඩම් සඳහා ළමයාගේ අවධානය රඳවා ගැනීම අපහසු වීම ද ගැටලුවකි. මෙම ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන කාලය තුළ දෙමව්පියන්ට ද දරුවා අසල සිටීමට සිදුවේ. ළමයාගේ දැනුමේ ඇති අඩුපාඩු පරික්ෂා කිරීමේ ක්‍රමයක්ද නොමැත. එනිසා ඔන්ලයින් අධ්‍යාපනය කිසිසේත්ම පාසල් අධ්‍යාපනය හා සැසඳිය හැකි නොවේ.

    මෙයට විකල්පයක් ලෙස රූපවාහිනි මාධ්‍ය තුළින් අධ්‍යාපන පාඩම් ලබාදීම සිදුකළ යුතු බවට යෝජනාවක් පැමිණ ඇත. එම යෝජනාව ඔන්ලයින් අධ්‍යාපනයට වඩා කාලෝචිත වන අතර පාඩම් දිනය පුරාම බෙදී යන පරිදි විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ සංවිධානාත්මකව සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවනු ඇත. මෙය ඉතා කෙටි කාලයක් තුළ සිදුකළ හැකි කාරණයකි. අවශ්‍ය වන්නේ පාඩම් හඳුනා ගැනීමත් , ඒ ඒ පාඩම් සඳහා අවශ්‍ය ක්‍රම හඳුනා ගැනීමත් පමණි. ඉන්පසු සෑම ළමයකුටම දැකිය හැකි වන පරිදි කාල සටහනක් සකස් කොට විවිධ දරුවන්ට මෙම අධ්‍යාපනය ලබා දිය යුතුය.

    මේ සියල්ලන් විසින් අමතක කරනු ලබන කරුණක් වන්නේ පාසල යනු දැනුම ලබා දෙන ස්ථානයක් පමණක් නොව අධ්‍යාපනයද ලබා දෙන ආයතනයක් යන්න යි. මෙම අධ්‍යාපනය ශාස්ත්‍රීය දැනුමෙන් පමණක් නොනැවතී ශාරීරික අධ්‍යාපනය, සමාජීය අධ්‍යාපනය, සෞන්දර්ය අධ්‍යාපනය හා ආධ්‍යාත්මික අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් ලෙස පාසල හඳුන්වා හඳුන්වා දිය හැකිය. ඔන්ලයින් හෝ රූපවාහිනිය මගින් ලබාදිය හැක්කේ ශාස්ත්‍රීය අධ්‍යාපනය පමණි. අන් සියලු අංශ ළමයාගෙන් ගිලිහී යාම මෙවන් ක්‍රමවලදී සිදු වනු ඇත.

    කෝවිඩ් වසංගතය ආරම්භ වූ කාලයට වඩා අද පවතින තත්වය වෙනස්ය. මේ වන විට ලොවෙ හි විවිධ එන්නත් මේ සඳහා හඳුන්වා දී තිබේ. කෝවිඩ් මර්දනය හෝ කෝවිඩ් රෝගයේ බරපතළ සංකූලතාවයන් අවම කිරීම මෙම එන්නත් මගින් සිදු වෙයි. තවමත් වයස අවුරුදු 18න් පහළ දරුවන්ට කෝවිඩ් එන්නත ලබාදෙන්නේ රටවල් කීපයක පමණි.

    පාසල් නැවත විවෘත කරන්නේ නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ. පාසල් විවෘත කිරීමේ ගැටලුව වන්නේ එසේ පාසල් විවෘත වූ පසු එයට පැමිණෙන දරුවන්ට කෝවිඩ් ආසාදනය වීමට ඇති අවදානම ය. එසේ වුව ද ලෝකයේ විවිධ රටවල ඇති අත්දැකීම් මගින් සොයාගෙන තිබෙන කරුණක් වන්නේ දරුවන්ට වැළඳෙන කෝවිඩ් රෝගය ඉතා සුළු සංකූලතා සහිත තත්ත්වයක් පමණක් බව ය. බරපතළ රෝගාතුර බවට පත්වන දරුවන් ඉතා අඩු ය.

    මෙසේ බරපතළ රෝගාතුර තත්ත්වයකට පත් දරුවන් කිහිප දෙනෙකු ගේ කරුණු පැවසීම නිසා සමාජය මහත් භීතියට පත්ව ඇත. එසේ නමුත් මෙම මරණ සංඛ්‍යාව ඉතාමත්ම සුළු ය. එදිනෙදා පාසලට යන ළමුන් අතරින් රිය අනතුරුවලින් මිය යන දරුවන්ගේ සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින්ම වැඩි ය. එනිසා මෙවන් ඉතාම සුළු මරණ සංඛ්‍යාවක් සිදු වීම පාසල් විවෘත නොකර තැබීමට හේතුවක් විය යුතු නැත.

    පාසල් විවෘත කරන්නේ නම් පාසලේ පන්ති කාමර වල ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කළ යුතු ය. රෝගය පැතිරී යාම වැළැක්වීම සඳහා මේස අතර පරතරය වැඩි කළ යුතුය. දරුවන් අතර රෝගය පැතිරී පැතිරී යාම වැළැක්වීමට කළ යුතු මුඛ ආවරණ පැළඳීම, අත් සේදීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි දේවල් දරුවන්ට පුහුණු කළ යුතුය. මෙසේ කිරීමේ දී පාසල දෙකට කඩා වරු දෙකකට පැවැත්වීම ද සිදු කළ හැකි දෙයකි. විවිධ අර්බුදකාරී අවස්ථාවල ලංකාවේ පවා මෙසේ වරු දෙකකට පාසල් පැවැත්වීම සිදු කර ඇත. එම නිසා මෙය අමුතු ක්‍රියා මාර්ගයක් නොවේ. ඇතැම් විට පැය හයක ඉගෙනුම් කාලය පැය පහකට අඩු කිරීමට සිදුවිය හැකිය . අධ්‍යාපනය නොලැබීමට වඩා එය වැදගත් වේ.

    එසේම පාසල් විවෘත කරන්නේ නම් පාසල් ගුරුවරුන්ට රෝගය ආසාදනය විය හැකි නිසා ගුරුවරුන්ට එන්නත් ලබාදීම අතිශයින් වැදගත් වේ. ලංකාවේ අද වන විට සේවය කරන්නේ පාසල් ගුරුවරුන් දෙලක්ෂ විසිපන් දහසක් පමණි. අමතර සුළු සේවකයන් සමග සියලු පිරිස දෙලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිර්ණය කොට තිබේ. ශ්‍රේණි වශයෙන් ගත් කල ලංකාවේ පාසල්වල 1 – 5 ශ්‍රේණිය දක්වා දාසයලක්ෂයක් ශිෂ්‍යයන්ද, 5 – 10 ශ්‍රේණිය දක්වා දහතුන් ලක්ෂයක් ශිෂ්‍යයන්ද , 10 – 11 ශ්‍රේණි වල හය ලක්ෂයක් ශිෂ්‍යයන්ද , 12 – 13 ශ්‍රේණි දක්වා හාරලක්ෂයක් ශිෂ්‍යයන්ද ඉගෙනුම ලබයි. මෙය සමස්ත ජනගහනයෙන් 30% ක පමණ ප්‍රමාණයකි.

    එසේම දරුවන් පාසල්වලට යන විට එම දරුවන්ගේ නිවෙස්වල අයට රෝගය බෝ වන්නට ඉඩ තිබේ. එම නිසා රෝගය ඉතා ඉක්මනින් හඳුනා ගැනීමේ ලක්ෂණ පිළිබඳව සමාජය පුහුණු කිරීම අතිශයින් වැදගත්ය. එමෙන් ම නිවෙස් වල වාසය කරන, දරුවන්ගේ සීයලා සහ ආච්චිලා, එනම් වයස 60ට වැඩි අය එන්නත් කිරීම වැදගත් වේ.

    එසේ වන්නේ රෝගයෙන් වැඩිපුරම සංකූලතාවයන් ඇති වීමට සහ මියයාමට ඉඩක් තිබෙන්නේ ඒ අය නිසාය.
    වසරකට ආසන්න කාලයක් දරුවන් පාසල් නොයාම නිසා ඇතිවී ඇති කායික සහ මානසික ගැටලු අතිමහත් ය. ළමයි නිවෙස් තුළ කිසිම ව්‍යායාමයක් නැතිව සිටීම නිසා ඇතැම් විට ස්ථුල භාවයට පත්ව හිඳිති. එසේම පාසල් යන දරුවකුට වඩා නිවසේ සිටින දරුවකු හට ක්‍රීඩා කිරීමේ අවස්ථා, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් ඇති කර ගැනීමේ අවස්ථා අතිශයින්ම අඩු ය. මේ නිසා ළමයින්ගේ හැසිරීම් රටාවල විශේෂ වෙනස්කම් ඇතිවී තිබේ. ඔවුන්ගේ දඟකාර බව ද මුරණ්ඩු බව ද වැඩි වී ඇත.

    ඇතැමුන් මානසික රෝගවල ප්‍රකාශනයක් ලෙස එළි දකින කායික රෝගයන් සහිතව අපට හමුවේ. හිස කැක්කුම, බඩ රිදීම වැනි දෑ මේ අතරින් ප්‍රධාන ය. එපමණක් නොව කෝවිඩ් රෝගය නිසා අතිශය භීතියට පත්වූ දරුවන් හුස්ම ගැනීමට අපහසු වීම වැනි දේවල් සමඟ වෛද්‍යවරුන්ට හමුවෙයි. පාසැල් විවෘත කිරීම වැදගත් වන්නේ පාසලකට යන දරුවා සමාජය සමඟ ආශ්‍රය කරන නිසාය.

    ශාස්ත්‍රීය දැනුමට අමතරව ළමුන් සමඟ සෙල්ලම් කිරීම හැසිරීම තුළින් සාමූහික ක්‍රියාවන් කිරීමෙන් සමාජීය අධ්‍යාපනයත්, එසේම සෞන්දර්ය අධ්‍යාපනයත් දරුවකු පාසල තුළින් ලැබිය යුතුය. එසේ ම ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කරගැනීමටද පාසැල ඉතා වැදගත් වේ. එම නිසා මෙහි සඳහන් අවශ්‍ය පියවර ගෙන පාසැල් විවෘත කිරීම අතිශයින්ම වැදගත්ය.

    වෛද්‍ය අජිත් අමරසිංහ

  • ලබන මාර්තු වන විට තේ කර්මාන්තය හාන්සි !

    ලබන මාර්තු වන විට තේ කර්මාන්තය හාන්සි !

    සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න

    මතභේදාත්මක රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මතුව තිබෙන දැඩි පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නොමැති අවස්ථාවක පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා 2022 මාර්තු මස වන විට සමස්ත තේ නිෂ්පාදනය අඩකින් පමණ අඩු වනු ඇතැයි ශ්‍රී ලංකාවේ කුඩා තේ වතුහිමියන් ඇස්තමේන්තු කරයි.

    ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 70%කට වැඩි දායකත්වයක් ලබා දෙන කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රය වතුහිමියන් පන්ලක්ෂයකින් සමන්විත වන අතර හෙක්ටයාර 138,900ක්, දිස්ත‍්‍රික්ක 14ක්, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල 123ක් හා ග‍්‍රාම නිලධාරී වසම් 3692ක් පුරා පැතිර පවතී. එමෙන්ම එම ක්ෂේත‍්‍රය මෙරට ග‍්‍රාමීය ජනගහනයෙන් ආසන්න වශයෙන් 20%ක් වන ගම් පන්දහසකට වැඩි සංඛ්‍යාවක ග‍්‍රාමීය ආර්ථිකයන් සමඟ ගැඹුරින් සම්බන්ධ වී ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වන සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මහතා ‘‘රජයේ දැක්ම සඳහා සහයෝගය ලබා දීමට අප ඉතා උනන්දුවෙන් සිටිනවා. නමුත් එය සාක්ෂාත් කරගැනීම උදෙසා සියලූ කුඩා තේ වතුහිමියන්ගේ සුබසාධනය හා ක්ෂේත‍්‍රයේ උන්නතිය සහතික කරනු ලබන ප‍්‍රායෝගික සැලසුමක් අපට අවශ්‍යයි. කුඩා තේ වතුහිමියන් බොහෝ දෙනෙක් මාස දෙකකට ආසන්න කාලයක් පොහොර අහිමි වීමෙන් පීඩා විඳිනවා. තවත් පිරිසක් මේ වන විටත් පොහොර ආනයනය කිරීමේ තහනම පැනවීමට පෙර සිටම පොහොර ලබා ගැනීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන අතර ඒ හේතුවෙන් 2021 වසර පුරාවට තේ වගාවන් සඳහා හරියාකාරව පොහොර යොදා නෑ.’’ යනුවෙන් සඳහන් කළේය.

    ‘‘අපගේ ක්ෂේත‍්‍රයේ සිටින බොහෝ දෙනෙකුට තේ යනු ඔවුන්ගේ සැලකිය යුතු එකම ආදායම් මාර්ගයයි. කොවිඞ්-19 වසංගතයේ බලපෑමේ ප‍්‍රතිඵලයක් ලෙස ජීවන වියදම ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙම ප‍්‍රජාවන් මේ වන විට දැඩි පීඩනයට ලක් වී සිටිනවා. තම දරුවන්ගේ ආහාර, ඖෂධ හා අධ්‍යාපනය වෙනුවෙන් වියදම් දැරීම සඳහා මෙම ක්ෂේත‍්‍රය මත යැපෙන පවුල්වලට අයත් පුද්ගලයින් මිලියන 1.5ක් පමණ අපට සිටිනවා. දැනට පවතින පොහොර නොමැති වීමේ තත්වයත් සමඟ කුඩා තේ වතුහිමියන් දැඩි අර්බුදයකට ලක් වී සිටින අතර මෙයට විසඳුමක් ලබා ගැනීම සඳහා උද්ඝෝෂණ කිරීමට පවා පෙළඹී සිටිනවා. මේ සඳහා ඉක්මනින්ම විසඳුම් ලැබෙන බවට ඔවුන්ට සහතික කිරීමක් අවශ්‍යයි.’’

    තේ නිෂ්පාදනය අඩු වීමට වැඩි සම්භාවිතාවක් ඇති බැවින් කුඩා තේ වතුහිමියන්ගේ ආදායම අඩු වීම ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    ‘‘ප‍්‍රවාහනයේ සිට තේ මිලදී ගනු ලබන මුදලාලි දක්වා වූ දෙවන හා තුන්වන මට්ටමේ බොහෝ අංශ මේ ක්ෂේත‍්‍රය තුළ සිටිනවා. තේ කර්මාන්තය බිඳ වැටීම මෙම සියලූම අංශවලට බලපානු ඇත. මෙම තත්වය කළමනාකරණය කිරීමට නිසි ක‍්‍රමවේදයක් හෝ සැලසුමක් නොමැති නම් ග‍්‍රාමීය ආර්ථිකය නිසැකවම බිඳ වැටේවි.’’ යනුවෙන් ගුණරත්න මහතා පෙන්වා දුන්නේය.

    අකාබනික පොහොර ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීම පිළිබඳව ප‍්‍රකාශ කිරීමෙන් පසුව පොහොර හිඟය හා දැනට තිබෙන පොහොර තොගවල මිල අධික ලෙස ඉහළ යාම් පිළිබඳව රට පුරා වාර්තා වී තිබේ. මෙරට සමස්ත කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත‍්‍රවල ආර්ථිකය සම්පූර්ණයෙන් කාබනික වගාවෙන් යුතු ආරථිකයක් බවට වේගයෙන් පරිවර්තනය කිරීමේ තීරණයේ කොටසක් ලෙස මෙම තහනම ප‍්‍රකාශයට පත් කෙරිනි.

    එවැනි දැක්මක් සාක්ෂාත් කරගත හැකි ආකාරය පිළිබඳව කිසිඳු සිද්ධාන්තයක් නොමැති විට, ආහාර සුරක්ෂිතතාව යන කරුණ පිළිබඳව උණුසුම් කතාබහක් ඇති වී තිබෙන අතර අපනයන බෝග පරිමාව අඩු වීම මගින් දැනටමත් විශාල ආර්ථික අර්බුදයක් ඇති වීමේ ඉඩකඩක් පවතී.

    තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත පදනම්ව තේ පැළය වර්ධනය වීමේ අවධිය අනුව විවිධාකාරයේ විශේෂිත පොහොර වර්ග යොදන ආකාරය ගුණරත්න මහතා පැහැදිලි කළේය. අස්වැන්න නෙළීමට පෙර මුල් පද්ධතිය ශක්තිමත් කිරීමට සහ වර්ධනය කිරීමටත්, තේ ගසේ කඳ ශක්තිමත් කිරීමටත් ඒවාට විශේෂිත වූ පොහොර වර්ග භාවිතා කරනු ලබයි. සාමාන්‍යයෙන් කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රය තුළ තේ පඳුරුවලින් මසකට 3-4 වතාවක් අස්වැන්න නෙළා ගන්නා අතර පසුව ඊළඟ අස්වැන්න වන තෙක් යථා තත්ත්වයට පත්වීමට තේ ගසට අතිරේක පෝෂක අවශ්‍ය වේ.

    ‘‘පොහොර නොමැති වීමෙන් තේ දළු කහ පැහැයට හැරෙන අතර ඒවායේ ගුණාත්මකභාවය නැති වී යනවා. එමෙන්ම දළු නෙලීමට අපහසු වන පරිදි ඒවා දැඩි බවින් ද යුක්ත වනවා. අප කාබනික පොහොර වෙත මාරු වන්නේ නම්, මෙම ක‍්‍රමෝපායන් පිළිබඳව කුඩා තේ වතුහිමියන් දැනුවත් කිරීම සඳහා විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා. තවදුරටත් තේ කර්මාන්තයේ ආදායම අඩු නොවන පරිදි කාබනික පොහොර යෙදීමේ ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කිරීමට වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට ද අවශ්‍ය වෙනවා. තවද රසායනික පොහොර තහනමෙන් බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ලබා දීමට නම්, ඊට කුඩා තේ වතුහිමියන් ද ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය වනවා.

    ‘‘මීට පෙර ඔවුන් කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රයට පවා කාබනික වගාව හඳුන්වා දීමට උත්සාහයක් ගෙන ඇතත් ඔවුන්ට කිසි විටෙකත් එම අස්වැන්නම ලබා ගැනීමට නොහැකි වුනා. රජයේ විශේෂඥයින් පවසන දේ සත්‍යයක් නම්, කාබනික කෘෂිකර්මාන්තය තුළින් අපට දිගු කාලීන සෞඛ්‍යමත් ජිවිතයක් සහතික කිරීම ඇත්තෙන්ම වැදගත්ය. නමුත් නිසි අස්වැන්නක් නොමැතිව අද වන විට මෙම පවුල්වලට ආහාර ද නොමැති වී තිබෙනවා. එයින් අදහස් වන්නේ ඔවුන්ගේ සෞඛ්‍යය දැනටමත් තර්ජනයට ලක් වී ඇති බවයි.’’ යනුවෙන් ගුණරත්න මහතා පැවසුවේය.