Category: සුපිරි Cases

  • ඔබ සමීප පින්තූර හුවමාරු කර ගැනීමට පෙර මතක තබා ගත යුතු කරුණු 8ක්

    ඔබ සමීප පින්තූර හුවමාරු කර ගැනීමට පෙර මතක තබා ගත යුතු කරුණු 8ක්

    ඔබේ ශරීරය, ඔබේ තේරීම! ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ කිසිවෙකු ඔබට පැවසිය යුතු නැත. අද ඔන්ලයින් ආලය වඩාත් සුලභ වී ඇති අතර, ඒ සමඟම, පින්තූර බෙදාගැනීම ද සුලභ වී ඇත. 

    නැවතත්, ඔබට සමීප පින්තූර යැවීමට අවශ්‍ය වුවත් නැතත්, තීරණය සම්පූර්ණයෙන්ම ඔබගේ ය. එහෙත් එක ක්ලික් කිරීමකින් සියල්ල ඔබට අහිමි විය හැකිය… නැතහොත් ඔබ බරපතළ අර්බුදයකට ගොදුරු විය හැකිය.

    ඔබට ඕනෑම දෙයක් කළ හැකි අන්තර්ජාලයේ යථාර්ථයන් සලකා බැලිය යුතුය.-(පින්තූර කාන්දු වීමේ සිට විවෘත වේදිකාවල බෙදාගැනීම දක්වා) ඔබ ඔබගේ දුරකථනයේ ‘send’ ක්ලික් කළ මොහොතේදී, එම ඡායාරූපයේ පාලනය ඔබට අහිමි වේ.

    නැත, බිය නොවන්න, ඒ වෙනුවට, ඔබට වඩා හොඳින් මඟ පෙන්විය හැකි ක්‍රම දෙස බලන්න. අපි ඉන්නේ ඔබට උදව් කරන්න.

    ඔබම පරීක්ෂා කරන්න

    පින්තූර

    ඔබේ බුද්ධිය සෑම දෙයකටම පිළිතුරයි! ඔබටම ඇහුම්කන් දීම වැදගත්ය. සමීප පින්තූරයක් යැවීම ඔබට පහසුද නැද්ද යන්න ඔබෙන්ම අසන්න? එය කිරීමෙන් ඔබට ආරක්ෂිත බවක් දැනෙනවාද? මෙම තීරණය සත්‍ය, අව්‍යාජ සහ ඔබටම පමණක්ද? ඔබ ඔබ සමඟ එකඟ වී සූදානම්ද? ඔබේ හැඟීම් සහ අවශ්‍යතා සමඟ සම්බන්ධ වීම වැදගත් වන අතර ඔබට පින්තූර යැවීමට අවශ්‍ය වන්නේ මන්දැයි යන්න විමසන්න. ඔබ එය සිතා බැලිය යුතුය. ඔබ ඔබේ ශරීරයට ආදරය කරන්නේ නම් සහ එය ලේඛනගත කිරීමට සහ ඔබේ සහකරු සමඟ එය බෙදා ගැනීමට අවශ්‍ය නම්, එය කමක් නැත. නමුත් ඔබ එය කරන්නේ පිළිගැනීමේ අවශ්‍යතාවය, සම වයසේ මිතුරන්ගේ පීඩනය හෝ වලංගු භාවය වැනි සෞඛ්‍යයට අහිතකර හේතූන් මත නම්, පළමුව ආරක්ෂිතව සහ විශ්වාසයෙන් සිටීම කෙරෙහි අවධානය යොමු කිරීම වඩා හොඳය.

    විශ්වාසය අතිශයින් වැදගත් ය 

    පින්තූර

    ඔබ ඔබේ සහකරු විශ්වාස කරනවාද? ඔබ අනාගතයේදී වෙන්වීමට තීරණය කළත් ඔබේ පෞද්ගලිකත්වය සහ පින්තූර සුරක්ෂිතව තබා ගැනීමට ඔබේ සහකරු විශ්වාස කරනවාද? ඔබේ සහකරු ඔබ කොතරම් හොඳින් දන්නවාද යන්න ඉතා වැදගත් වේ. ඔබ සති කිහිපයක් හෝ මාස කිහිපයක් පමණක් ඔබේ සහකරු හඳුනන්නේ නම්, ඔබේ තීරණය ගැන බැරෑරුම් ලෙස සිතන්න. ඔබ ඔවුන්ගේ මිතුරන් ද දැන ගැනීමට වග බලා ගන්න. ඔබ ඔබේ සහකරු විශ්වාස කළත්, ඔවුන්ගේ මිතුරන් ඔබේ ඡායාරූප වෙත අනවසරයෙන් ඇතුළු විය හැකිය‍ෙ

    ඔබ පීඩනයට ලක් වෙනවාද?

    පින්තූර

    ඔබේ සහකරු ඔබව හසුරුවනවාද නැතිනම් ඔබට බලපෑම් කරනවාද? පින්තූර ලබා දෙන ලෙස ඉල්ලන විට ඔහු කලබල වී ක්‍රියා කරනවාද? ඔබ එය ප්‍රතික්ෂේප කළහොත් ඔහු ඔබව හැර යන බවට තර්ජනය කරනවාද? මෙයින් එකක් හෝ තිබේ නම්, එය ඉතා අහිතකර ය. ඔබේ සහකරු සමඟ ඔබේ සම්බන්ධතාවය නැවත සිතා බලන්න. ඔබට අපහසු යැයි හැඟෙන කිසිවක් ඔබ නොකළ යුතු අතර, ඔබේ තේරීම් ගැන කිසිවෙකු ඔබ හා අමනාප නොවිය යුතුය. විශේෂයෙන්ම ඔබේ සහකරු.

    වෙනත් විකල්පයක් තිබේද?

    විකල්ප

    සමීප පින්තූර යැවීම සම්බන්ධව සිටීමට හෝ සමීපත්වය ගොඩනැගීමට ඇති එකම මාර්ගය නොවේ. ඔබ ඔන්ලයින් හෝ දුරස්ථ සම්බන්ධතාවයක සිටී නම් සහ ඔබේ සහකරු හමුවීමට නොහැකි නම්, ඔබට ඔබේ සම්බන්ධය රසවත් කළ හැකි වෙනත් ක්‍රම ඕනෑ තරම් තිබේ. ඔබට යෙදිය හැකි විවිධ විකල්ප ගැන පර්යේෂණ කරන්න. පින්තූර යැවීමේදී ඔබට එතරම් පහසු නොවන්නේ නම්, විකල්ප දැන ගන්න.

    ඔබේ මුහුණ පෙන්වන්න එපා 

    ඔබේ මුහුණ නොපෙන්වන්න

    පින්තූර ගැනීම පිළිබඳ ඔබේ තීරණය පිළිබඳව පෙර කරුණු සියල්ල ඔබව ස්ථිර කළේ නම්, ඉදිරියට යාමට පෙර නීති කිහිපයක් සැලකිල්ලට ගන්න. ඉතින්, සමීප පින්තූර යැවීමේ පළමු සහ ප්‍රධාන රීතිය; ඔබේ මුහුණේ කැළැල් සහ උපන් ලප ද සඟවන්න. ඒ ආකාරයෙන්, ඔබේ පෞද්ගලිකත්වය සහ ඔබේ හඳුනාගැනීම සුරක්ෂිතව පවතී. ඉතින්, ඡායාරූපයේ සිටින්නේ කවුදැයි හඳුනා ගැනීම දුෂ්කර වනු ඇත. ඒ ආකාරයෙන්, ඔබේ සහකරු හැර වෙනත් අයෙකු එම පින්තූර අල්ලා ගත්තද, ඔබේ අනන්‍යතාවය සහ පෞද්ගලිකත්වය සුරක්ෂිතව පවතිනු ඇත.

    පසුබිම බොඳ කරන්න

    ඔබේ මුහුණ නොපෙන්වන්න

    ඔබේ පින්තූරවල එක සාක්ෂියක්වත් ඉතිරි නොකළ යුතුය. ඔබගේ ඡායාරූපය ඔබගේ කාමරය, නිවස හෝ වෙනත් කිසිදු තොරතුරක් ලබා නොදිය යුතුය. එක්කෝ පසුබිම සම්පූර්ණයෙන්ම බොඳ කරන්න හෝ වෙනස් එකක් සකසන්න. ඔබේ බිත්තිය සඟවා තබා ගැනීමට කඩදාසි හෝ වෙනත් ඕනෑම දෙයකින් ආවරණය කරන්න.

    ඔබගේ ස්ථානය අක්‍රිය කරන්න

    ඔබ ඔබගේ දුරකථනයෙන් පින්තූර ගන්නේ නම්, ස්ථානය අක්‍රිය කිරීම ඉතා වැදගත් වේ. ඔබ පින්තූර යවන විට, ඔබේ ස්ථානය සහ තොරතුරු ඒ සමඟ යන අතර, ඔබේ ලිපිනය සොයා ගැනීම පහසු කරයි. මේ නිසා ඔබේ ස්ථානය ක්‍රියා විරහිත කිරීම ඔබේ මුහුණ සඟවාගෙන පසුබිම බොඳ කිරීම තරම්ම වැදගත් වේ.

    ෆෙමිනා ඇසුරිනි – සැකසුම – තනුජා හසිිනි

  • ‘මේදා පාර අපි වගා කරන්නේ අපිට කන්න‘ – කාබනික ගොවීන්

    ‘මේදා පාර අපි වගා කරන්නේ අපිට කන්න‘ – කාබනික ගොවීන්

    දඹුල්ල ගොවිතජන සේවා බල ප්‍රදේශයයට අයත් පහලවැව වැවේ  මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම් අද (06) දින  උදෑසන ගොවි  සංවිධාන නියෝජිතයන් විසින් සිදු කරනු ලැබූහ.

    රජය මගින් ලබාදී ඇති කාබනික පොහොර යොදා ගෙන මෙම වැව යටතේ පවතින සෑම කුඹුරුක් ම වගා කිරීම් සඳහා පහලවැව පාදෙණිය ගොවි සංවිධානය තීරණය කළ බව එහි සභාපති එම්.ජී. කරුණාදාස මහතා පැවසීය.

    ගොවීන් පිරිසක් වැව් බැම්ම අසල පහන් දල්වා ආගමික වතාවත් ඉෂ්ඨ සිද්ධ කිරීමෙන් පසුව මහ කන්නය සඳහා මංගල දියවර නිකුත් කිරීම් සිදුකරනු ලැබූ අතර මේ වනවිටත් එම පහලවැව වෙල්යාය අහස් දියෙන් පළමු  හීය  සීසෑම  සිදුකර ඇති බවද ගොවීහු පවසති.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පහලවැව ගොවි සංවිධානයේ වෙල් මුලාදෑනි තැන වන වි. ජි. දයාරත්න මහතා මෙසේ පැවසුවේය. ‘‘රජය ලබාදුන්  කාබනික පොහොර 50%ක් මේ වන විට ගොවි සංවිධානය සතුව තිබෙනවා. අපි මේ වන විටත් අහස් දියෙන් පළමුව කුඹුරු මුලික  වැඩ ආරම්භ කරලා තිබෙනවා. අද සිට වැව් දියවරින් ඉදිරි වැඩ ඉතා පරිස්සමෙන් සිදුකර ගනිමින් ලබන කන්නයට ද වැව් ජලය ආරක්ෂා කරගනිමින් කළමනාකරණය කරමින් වැඩ කිරීමට අපි කටයුතු කරනවා.

    ‘‘රසායනික පොහොර නොමැති බව ප්‍රකාශ කරමින් ගොවීන් වන අපිට නිවසට වී සිටීමට නොහැකියි. වෙළඳසැල්වලින් සහල් මිලදී ගෙන කන්න අපි සූදානම් නැහැ. ඒ නිසා ගොවි සංවිධානයක් ලෙස අපි අපේ ආහාර ටික හෝ නිෂ්පාදනය කර ගැනීමට පියවර ගන්නවා‘‘

    එම ගොවි සංවිධානයේ සභාපති එම්.ජී. කරුණාදාස මහතා කියා සිටියේ කාබනික පොහොර වලින් වගා කිරීම් සඳහා උත්සාහ කර  බැලිය යුතු බව ය.

    ‘කිසිම උත්සාහයක් නොකොට රසායනික පොහොර ඉල්ලා කෑ ගසලා කුඹුරු වැඩ වලින් ඉවත්වීම නොකළ යුතු දෙයක් කියලයි අපි හිතන්නේ. ඒ නිසා කාබනික වගාව ගැන අත්දැකීම් ලබා ගන්නත් එක්ක අපි වගා කටයුතු ආරම්භ කරනවා‘ යැයි කරුණාදාස මහතා පැවසුවේය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ‘මම මුස්ලිම්, එත් වළගම්බා රජුගේ වාසස්ථානය කඩන්න දෙන්නේ නැහැ’

    ‘මම මුස්ලිම්, එත් වළගම්බා රජුගේ වාසස්ථානය කඩන්න දෙන්නේ නැහැ’

    ගලේවෙල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් පුවක්පිටිය වේරගල වත්ත  ග්‍රාම සේවා  වසමේ පිහිටා ඇති වළගම්බා  රජු දවසේ සිට පැවත එන බව කියන කැති  ගාන ගල සහ වන  සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක්  පිරිසක්  විනාශ කිරීමේ උත්සාහයක නිරතවන බව ප්‍රදේශවාසීහු පවසති.

    මෙම ප්‍රදේශය සිංහල සහ මුස්ලිම් ජාතික වර්ග දෙකම ජීවත් වන ප්‍රදේශයක් බවත් මුස්ලිම් ජනතාව මෙන්ම  සිංහල ජනතාව ද මෙම ඓතිහාසික බෞද්ධ නටඹුන් සහ රක්ෂිතය කාලයක් තිස්සේ ආරක්ෂා කර ගෙන එන බව ඔවුහු පවසති.

    එවැනි පරිසරයක පසුගිය 28 දින පස්වරුවේ  දිවයිනේ නමගිය  කොන්ත්‍රාත් සමාගමක යන්ත්‍ර සූත්‍ර යොදාගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම කැති ගාන ගල ආසන්නයේ මහා පරිසර විනාශයක් කරන  බවට ප්‍රදේශවාසීන්ට  ලැබුණු තොරතුරක් මත ඔවුහු එම ස්ථානයට ගොස් තිබේ.

    පසුව ඔවුන් තම ජංගම දුරකථන වලින් මෙම ස්ථානයට ගෙනවිත් තිබූ යන්ත්‍ර උපකරණ සහ පැමිණි වාහන නිලධාරීන් පටිගත කරගෙන ඔවුන් සමග කෑකෝ ගසමින් මෙම පරිසර විනාශය සිදු කිරීමට මෙන්ම බෞද්ධ නටඹුන් සහිත කැති ගාන ගල ගල්කොරිවලට කිසිදු ආකාරයකින් ලබා නොදෙන බව පැවසූහ.

    පසුව ප්‍රදේශ්වාසීන් විසින් අදාළ ග්‍රාම නිලධාරි වරිය මෙන්ම ගලේවෙල වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කළ බව ද ගම්මුන් පවසති.

    ග්‍රාම නිලධාරි වරිය මෙන්ම වන සංරක්ෂණ නිලධාරීන් පැමිණ මෙම රක්ෂිතය ඩෝසර් කරමින් සිටී රියදුරු සහ  ඩෝසර් රථය ඔවුන් භාරයට ගෙන තිබිණි.

    පසුව  ප්‍රදේශවාසීන් කියා සිටියේ විසින් 29 දින පස්වරුවේ ද තවත් කණ්ඩායමක් ඉඩමක් මනින මුවාවෙන් එම ස්ථානයට පැමිණ නැවත වරක් එතට ඇතුළු වන බවය. ඒ අනුව ප්‍රදේශවාසීන් ජනමාධ්‍යවේදීන්ට ද මේ බව දැනුවත් කරමින් එම ස්ථානයට ගොස් ඩෝසර් රථවලින් රක්ෂිතයට සිදුකර ඇති විනාශය පෙන්වන්නට වූහ.

    තම ගම් ගම්මානයේ  ජනතාව මුස්ලිම් ජාතිකයන් වුවද වළගම්බා රජු දවසේ සිට පැවත එන ඉපැරණි නටඹුන් සහිත මෙම කැති ගාන ගල ඉතා සූක්ෂම ලෙස ගල් කොරියකට ලබා  ගැනීමට  සැලසුමක් පවතින බවත් එම සැලසුම දියත් කර ගැනීම් සඳහා රජයේ රක්ෂිතය මේ ආකාරයෙන් විනාශ කිරීම් සිදුකරන බව ඔවුහු චෝදනා කරන්නට විය.

    කිසිදු ආකාරයකින් මෙම වන විනාශසයට හෝ  පෞරාණික  ගලට හානි වීමට ඉඩ ලබා නොදෙන බවද  මුස්ලිම් සහ සිංහල ජනතාව අප සමග පැවසූහ.

    අප එම් ස්ථානයට යන විට මිනින්දෝරුවරුන්   බව පවසන පිරිසක් සහ මෙම ඉඩම බදු  පදනම මත ලබාගත් බව කියන පිරිසක් එහි සිටියහ. මෙම ගල ආසන්නයේ රක්ෂිතය ආසන්නයේ ඇති ඉඩම යම්කිසි කට කටයුත්තක් සඳහා අයිති අයිතිකරුවන්ගෙන්  ලබා ගෙන ඇති බව ය.ඒ අනුව ඉඩම මිනුම් කර ගැනීම සඳහා මායිමක් සෙවීමට යන්ත්‍රසූත්‍ර දමා මේ ආකාරයෙන් කැලෑව හෙළි පෙහෙළි කළ බව ඔවුහු පැවසූහ.

    කෙසේ වෙතත් ගම්මුන් දැඩි ලෙස කියා සිටියේ එවැන්නක් මේ ස්ථානයේ සිදුවී නැති බවය. මෙම රක්ෂිතයේ මායිම් ඉඩම ආසන්නයේ ගලක පෙර මිනින්දෝරුවන් විසින් සලකුණු කොට ඇති ඇයි ගම්මු පෙන්වා  දෙන්න ද විය.

    කෙසේ වෙතත් ඊට යාබද ඉඩමේ අයිතිකරු බව කියන අයෙකු ද එම ස්ථානයට පැමිණ කියා සිටියේ තමා ගෙන් ද කිසිදු අවසරයක් හෝ දැනුම්  දීමකින් තොරව මෙම පිරිස තමන්ගේ ඉඩම ඉළින් පිහිටි කොටස යන්ත්‍රසූත්‍ර දමා විනාශ කොට ඇති බව ය. එසේ විනාශ කර ඇත්තේ කුමක් අරමුණු කරගෙනද යන්න තමන් ද  නොදන්නා බව ඒ මහතා සඳහන් කළේය.

    එවිට මෙම ඉඩම මැනුම් කටයුතු සඳහා බව පවසමින් පැමිණ සිටි පිරිස කියා සිටියේ එම ඉඩම් හිමියා තමන්ගේ ඥාතියෙකු නිසා එවැන්නක් අවසරයක්  ලබා නොගත් බවය.

    කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ බව පැවසූ නිලධාරියාගෙන් ද අප විමසීමක් කිරීමේ දී කියා සිටියේ පෙර දිනයේ ගම්මුන්ගෙන් ලද තොර තොරතුර මත පරික්ෂා කොට පෞද්ගලික ආයතනයකට අයත්  රථයක් තමන් භාරයට ගත් බවය. කෙසේ වෙතත් ඉඩම මැන රජයේ කොටස් වේනම් රක්ෂිතයට හානි සිදුකර ඇත්නම් වහාම එම පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • යූරියාවලට මේ තරම් බය ඇයි ?

    යූරියාවලට මේ තරම් බය ඇයි ?

    යූරියා  යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්‍ම’ අණුවකි.  ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත  කිරීමය. ඒ නිසා, යූරියා ඉතා විශාල ප්‍රමාණයක් ලෝකය පුරා කෘත්‍රිමව නිපදවේ. මෑතක් දක්වා, ගෝලීය නිෂ්පාදනයෙන් 0.1% ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙමින් පැවතුණි. ඉතිරි 99.9% ක් භාවිත කළ කිසිම රටකින් යූරියා විසවීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නැත.’

    යූරියා හි කාබන් අඩංගුවේ. එබැවින් එය ‘කාබනික’ සංයෝගයකි. යූරියාවල රසායනික සූත්‍රය CH4 N2 O ය. එනම්, යූරියා අණුවක, කාබන් පරමාණුවක්, හයිඩ්‍රජන් හතරක්, නයිට්‍රජන් දෙකක් සහ ඔක්සිජන් එකක් බැගින් ඇත. යූරියා අණුවේ බරෙන් දළ වශයෙන් 20%ක් කාබන් අඩංගු වේ. නයිට්‍රජන් අන්තර්ගතය බර අනුව 46%කි.

    හදිසියේම කෘත්‍රිම රසායනික’ පොහොර ආනයනය තහනම් කිරීමත්, ඒ පිළිබඳව රටපුරා ඇතිවුණ විද්වත් සාකච්ඡා සහ ගොවීන්ගේ විරෝධතා සමූහයක් රටේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා බහුලව ප්‍රචාරය වෙමින් පවතී. එහෙත්, මේ වන තුරු ඒ සියලු‍ දේ ‘බීරි අලින්ට වීනා වාදනය කිරීමක්’ බවට පත්වී ඇත. මෙම ලිපියත් එවැනි නිෂ්ප්‍රභ උත්සාහයක් විය හැකි වුවත්, තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාව ගොදුරුවන අවාසනාවන්ත ඉරණම පිළිබඳව අනතුරු ඇඟවීමක් කිරීම අප සතු වගකීමක් මෙන්ම යුතු කමක්ද නිසා, යූරියා පිළිබද රසායන විද්‍යාත්මක කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම උචිතය.

    ඉතා වැදගත් වචන, කිසිම අවබෝධයකින් තොරව ‘නිදැල්ලේ’ භාවිත කිරීම අඥායන්ගේ ලකුණකි. එය ඉතා භයානක කාරණයකි. මන්ද, රටේ ආහාර සුරක්ෂිතභාවය පමණක් නොව මුළු මහත් ජනතාවගේ අනාගතයම බිඳ වැටීමට හේතුවිය හැකිය.

    රසායනික’ සහ ‘කාබනික’ යන වචන මෙසේ වැරැදි ලෙස භාවිත කරන දෙකකි.

    ‘රසායනික පොහොර’ ආනයනය මුළුමනින්ම තහනම් කරන බව ප්‍රකාශ කෙරුණි. මෙලොව ඇති සියලු‍ පොහොර සෑදී ඇත්තේ රසායනික මූල ද්‍රව්‍ය වලිනි. එමනිසා, රසායනික නොවන කිසිම පොහොරක් නැත! ‘කෘත්‍රිම’ යන වචනය වෙනුවට රසායනික’ යන වචනය යෙදීමෙන් වැළකිය යුතුය.

    ‘කාබනික’ යන්නෙහි අර්ථය ‘කාබන් අඩංගු’ යන්නය. ඉහත සඳහන් කළ පරිදි යූරියා අණුවක කාබන් 20%ක් අඩංගුය. ඒ නිසා එය සැබැවින්ම කාබනික ද්‍රව්‍යකි. එහෙත්, යූරියා පොහොර, කෘත්‍රිමව නිපදවන නිසා එය කෘත්‍රිම පොහොරක් කියාත්, ‘කොම්පොස්ට්’ ක්‍රමයට නිපදවන පොහොර ස්වාභාවික පොහොර’ කියාත් නම් කිරීම නිවැරදිය.

    අත්තනෝමතික අතළොස්සක් විසින් රට වනසාලන තුරු පැත්තකට වී බලා සිටීම නිවැරැදි විකල්පයක් ලෙස සිතන විද්වත්හු දහස් ගණනක් රට තුළ සිටිති. එහෙත්, කාගේත් වාසනාවකට මෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය මණ්ඩලය විසින් මේ කාරණය බලධාරීන්ට වටහා දීම සඳහා ඉමහත් වෙහෙසක් දරා ඇත.

    එලැඹෙන ‘මහ’ කන්නයට කල් වේලා ඇතිව යූරියා නොලැබුණ හොත්, ලබන අලු‍ත් අවුරුද්ද සමයේ දී රටේ ආහාර සුරක්ෂිත භාව සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇත.

    කොරෝනා වයිරසයේ දැඩි පීඩනයට හසුව දිගු කාලයක් තෙරපුණු රටවැසියන්ට, ආහාර හිඟයක දුෂ්කරතාවකට මුහුණ දීම ඉතා අපහසු වනු ඇත.

    යූරියා යනු ඉතා සරල, පරිසරයේ බොහෝ සුලභව පැතිර ඇති දෙයකි. සෑම මිනිසකුම දිනකට යූරියා ග්‍රෑම් 25-30 අතර ප්‍රමාණයක් මුත්‍ර මගින් පිට කරයි. එම යූරියා ශරීරය තුළ නිපදවෙන්නේ අප ආහාරයට ගන්නා ප්‍රෝටීන දිරවීමේදීය. මව්කිරි, රුධිරය සහ දහඩියවල ද යූරියා අඩංගුය. තව ද, යූරියා සියයට 40 ක් දක්වා අඩංගු මුහුණු සහ ශරීර ආලේප ද වෙළෙඳ පොළේ බහුලය. මෙයින් පෙනී යන්නේ, යූරියා යනු ශරීරයට විශකාරී දෙයක් නොවන බවයි. එහෙත්, වෙනත් බොහෝ දෑ මෙන්ම අධික ලෙස යූරියා ශරීරගතවීම අහිතකරය.

    යූරියා යනු ස්වභාවිකව ජනිත වන කාබනික සංයෝගයකි. එය ප්‍රථම වරට 1777වසරේ දී මුත්‍ර වලින් වෙන් කොට හඳුනා ගන්නා ලද අතර මේ වන විට පොහොර සඳහා වසරකට මෙට්‍රික් ටොන් මිලියන 220ක් පමණ කෘතිම ලෙස ලෝකය පුරා නිෂ්පාදනය කෙරේ. එයින්, දල වශයෙන් මෙට්‍රික් ටොන් 250,000ක්, එනම් ලෝක ධාරිතාවෙන් 0.1%ක් පමණ ලංකාවට ආනයනය කෙරේ.

    නිසිලෙස භාවිත කිරීමෙන් යූරියා විෂවීමක් පිළිබඳව ලෝකයේ කිසිම රටකින් මෙතෙක් වාර්තා වී නැත. එසේ නම්, 0.1%ක් භාවිත කළ අපේ රටට පමණක් යූරියා විෂකාරකයක් වූයේ කෙලෙස දැයි අදහාගත නොහැකිය.

    මෙම සියලු කාරණ කෙටියෙන් සඳහන් කළොත් එය මෙසේය.

    යූරියා යනු ‘විශ්වකර්ම’ අණුවකි! හෙට ලෝකය පුරාම යූරියා තහනම් කළොත්, තව වසරක් ඇතුළත ලෝකයේ ජනග්‍රහණයෙන් අඩක් හාමතේ මියයනු ඇති බව විද්වත් මතයයි. එනම්, ලංකාවේ ජනගහනය මිලියන 10කට බසිනු ඇත.

    පිරිසුදු යූරියාවල බැර ලෝහ අඩංගු වීමට කිසි ඉඩක් නැත. මන්ද, යූරියා නිපදවනු ලබන්නේ වායු දෙකක් ප්‍රතික්‍රියා කිරීම නිසාය.

    යූරියාවල ඇති නයිට්‍රජන් සියයට 46 ප්‍රමාණයම ඉතා පහසුවෙන් ශාකවලට උරා ගත හැකිය. වෙනත් කිසිම පොහොරක (ඇමෝනියා වායුව හැර) මෙතරම් නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු නැත. බොහෝ කොම්පෝස්ට් පොහොරවල නයිට්‍රජන් ඇත්තේ 4-6% කි. එයද, පසට කාන්දුවන්නේ ඉතා සෙමින්ය.

    යූරියා කැට, වගාවලට යෙදීම ඉතා පහසුය. ඇමෝනියා දියර වැනි දෑ පාවිච්චිය ඉතා අසීරුය.

    ලංකාවේ දැනට භාවිත කරන්නේ ‘සරල’ (බාල) යූරියාය. එම යූරියා, වගාවකට යෙදූ විගස එයින් සියයට 40-50 පමණ පොළොවේ ඇති බැක්ටීරියා මගින් විනාශ කරයි. මෙය වැලැක්වීමට, බොහෝ රටවල ප්‍රතිකාර කරන ලද’ (treated) යූරියා යොදනු ලැබේ. මෙම නව යූරියා යෙදිය යුත්තේ පැරණි යූරියා මාත්‍රාවෙන් සියයට 30-40 ක් පමණි. එම නිසා මේ දෙකටම යන වියදම ආසන්න වශයෙන් සමානය.

    ලංකාවේ ගොවියා පොහොර සහ වල් පැලෑටි/කෘමි නාශක ඉතා වගකීමකින් යුතුව භාවිත කිරීමට නැඹුරු විය යුතුය.

    යූරියා භාවිතයෙන් පොළොව නිසරු වෙන බව කියන වැරැදි අදහසක් ජනගතවී ඇත. එය මුසාවකි. නිතරම එක දිගට එකම දෙය වගා කිරීමෙන් පස නිසරුවේ. ඒ නිසා, බෝග මාරු කිරීම හෝ කොම්පෝස්ට් ද්‍රව්‍ය විටින් විට යෙදීම කළ යුතුය.

    යූරියා භාවිතයෙන් තොරව, බොහෝ භෝග සාර්ථකව වැවිය නොහැක. ගොයම්, තේ, බුලත්, මල් වර්ග, එළවළු, පලා වර්ග, හරිතාගාර වගා ආදිය මෙයින් සමහරකි.

    ස්වාභාවික සහ කෘත්‍රිම පොහොර යන දෙකෙන් ශාකවලට ඇති ප්‍රයෝජන එක සමාන නොවේ. මේ දෙකම විද්‍යාත්මක සම්මිශ්‍රනයක් ලෙස භාවිත කළ යුතු බව විද්වතුන්ගේ අදහසයි.

    ආචාර්ය නිමල් රාජපක්ෂ – එඩ්මන්ටන්, කැනඩාව. (ලංකාදීප පුවත්පත ඇසුරිනි)

  • චීන කාබනික පොහොර නැව හොර පාරෙන් ලංකාවට ඇතුළු වුණා ද ?

    චීන කාබනික පොහොර නැව හොර පාරෙන් ලංකාවට ඇතුළු වුණා ද ?

    චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමුකර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද (26) කොළඹ පැවැති වැඩසටහනකදී ප්‍රකාශ කළේ ය.

    ඒ අනුව පොහොර අධ්‍යනය කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    චීනයේ චින්දාවෝ සිවින්ග් බයෝ ටෙක් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය තහවුරු කළේ ය. එම පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වීමට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රකාශ කර තිබියදී මෙට්‍රික් ටොන් 20,000 ක පොහොර තොගයක් රැගත් නැවක් මේ වන විට මෙරට මුහුදු සීමාවට සමීප වී තිබේ.

    චීන කාබනික පොහොර නැව කොළඹට ළඟා වන බවට වාර්තා පළවෙද්දී දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනකට යොමු කර එම පොහොර නැවත පරීක්ෂා කිරීමට මෙරට බලධාරීන් එකඟතාව පළ කර තිබේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ඊයේ චීන තානාපතිවරයා සහ සමාගම් නියෝජිතයින් හමුවූ අවස්ථාවේ මෙම එකඟතාව පළ කළ බවයි.

    චීනයේ චින්දාඕ සීවින්ග් බයොන්ටෙක් සමාගමට මෙවර කන්නය සඳහා කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන තිබිණ. ඒ අනුව චීන සමාගමෙන් මිලදී ගැනීමට නියමිත කාබනික පොහොර සාම්පල අවස්ථා දෙකකදී ජාතික ශාක නිරෝධායන සේවය විසින් පරීක්ෂාකරනු ලැබූ අතර එම අවස්ථා දෙකේම අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු විය. නමුත් පසුගිය දා මෙරට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිපියක් යවමින් චීන සමාගම පැවසුවේ, දෙපාර්ශ්වයට පිළිගත හැකි පාර්ශ්වයකින් නැවතත් සාම්පල පරීක්ෂා කළ යුතු බවයි. ඔවුන් මේ ලිපිය යවා තිබුණේ, කාබනික පොහොර රැගත් නැව මෙරටට සමීප වෙමින් තිබියදීයි.

    කෙසේවෙතත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ස්ථාවරයවී තිබුණේ, නැවට ඇතුළුවීමට හෝ පොහොර රට තුළට ගෙනඒමට ඉඩ නොදිය යුතු බවයි. නමුත් ඊයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සමග අමාත්‍යාංශ ලේකම්වරයා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා චීන නියෝජිතයින් හමුවී සාකච්ඡාකර තිබේ.

    ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ චීන සමාගමේ නියෝජිතයින් සහභාගිවූ මෙම සාකච්ඡාවේදී අවසානයේ එකඟතාව පළවී ඇත්තේ දෙපාර්ශ්වය එකගවන පාර්ශ්වයකින් යළිත් පොහොර සාම්පල පරීක්ෂා කිරීමටයි.

    ”ඒ ගොල්ලන් ඉල්ලිමක් කළේ, අපේ රටේ තියන විද්‍යාගාරවල කරන පර්යේෂණ කරපු දේවල් පිළිගන්න බැහැ මොකද ඇක්ක්‍රෙඩිටට් ඒවා නෙවෙයි එතකොට අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙවෙයි. ඉල්ලීමක් කළේ, නැව හරවලා යවනවා මෙහේ බාන්නත් එපා මේහේ ගේන්නත් බෑ කියලා ඉල්ලීමක් කළා මේක ලෝකයේ රටවල් ප්‍රධාන ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව කැනඩාව වගේ ප්‍රධාන රටවල් 16 කට පොහොර ගෙනියන පොහොර නිෂ්පාදනය කරන ආයතනයක් ඒ නිසා මේකේ ප්‍රමිතිය පිළිබඳව අපට අවබෝධයක් ගන්න කියලා. අපි කිව්වා. අපි දෙගොල්ලොම කැමති වෙන තුන් වෙනි පාර්ශ්වකට දෙමු මේ පොහොර අධ්‍යයනය කරන්න කියලා ඊට පස්සේ අපි තීරණයක් ගමු කියලා”

    මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ, තුන්වන සාම්පලය ලබා ගන්නේ, පොහොර ගෙන එන බව කියන නැවෙන්ම ද යන්නයි. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එය සිදුකරන ආකරය පිළිබඳව අදහසක් නොමැති බවත් තවම එය තීරණය කර නාමැති බවත් ය.

    ”තවම අපි ඒක තීරණය කළේ නැහැ. අපට අදහසක් නැහැ. මේක කරන විදිහ චීන මහකොමසාරිස් තුමාට මම ඊයේ ඒක පැහැදිලි කරලා දුන්නා අපිට තරහට කරපු දෙයක් නෙවෙයි. මට ඕන වුණත් ගෙන්වන්න බෑනේ මේ රටේ කොරන්ටයින් නිතීයක් තියනවා. ඒ අය ලෑස්ති ඒ පාඩුව විඳ දරාගෙන නැවත ප්‍රෝසස් කරලා අපට පෙන්වන්න. අපි කිව්වා එතනදී අපි බලමු කියලා ගැටලුවක් නෑ කියලා. අපි ඇත්තටම ගියේ මේක ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වලට හානියක් වේවි පාඩුවක් වෙයි කියන එක පිළිබඳව අපි නෙවෙයි මොකද? වෙලාවට මේ චීන එක එපා කියලා ගත්තේ ඉන්දියාවේ එකනේ එතකොට ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක් විසඳන්න තමයි මම ගියේ අපේ ප්‍රශ්නයක් විසඳන්න නෙවෙයි මොකද අපි කරේ වෙළඳාමක්”

    චීනයේ චින්දාඕ වරායෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 රැගෙන පිටත්වූ හිපෝ ස්පිරිට් නැව පිහිටි ස්ථානය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිවැරදිව සොයා ගැනීමට නොහැකි වන අයුරින් කොළඹට යාත්‍රා කරමින් ඇතැයි, පසුගිය දින කිහිපයේම වාර්තා විය. නැව පිහිටි ස්ථානය පිළිඹිබු නොවුණ ද නාවික ගමනාගමන දත්ත පද්ධතිවල අවසන්වරට සටහන්ව තිබුණේ, මෙම නැවේ ගමනාන්තය කොළඹ ලෙසත් එය ඊයේ පස්වරුව වනවිට කොළඹට ළඟා වන බවත් ය.

    මේ අතර ෂිප් ඉන්ෆෝ නමැති ජාත්‍යන්තර නාවික දත්ත සටහන් අනුව හිපෝ ස්ප්‍රිට් නෞකාව පෙර භාවිතා කළ වෙනත් නමකින් ශ්‍රී ලංකා මුහුදට ඇතුළුවී ඇතැයි අනාවරණය වේ. අන්තර් ජාතික දත්තවලට අනුව එම නම දැක්වෙන්නේ සෙයියෝ එක්ස්ප්ලෝර් ලෙසයි.

    නෞකාවක නම හෝ ධජය හෝ හිමිකරු වෙනස් වුවද එහි හඳුනා ගැනීමේ අංකය වෙනස් කළ නොහැකි අතර මෙම නම් දෙකෙන්ම දැක්වෙන නෞකා දෙකම එකම හඳුනා ගැනීම් අංකයක් යටතේ දැක්වේ. එම තොරතුරුවලට අනුව නම වෙනස් කළ නෞකාව පොහොර තොගය ද සමග ශ්‍රී ලංකාවට පැමිණ අවසන් ය. ඊයේ එම නෞකාව ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ පැවතිණ.

    මේ පිළිබඳව අප කළ විමසීමකදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසුවේ, නෞකාව ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 12 ක් ආසන්නයේ තිබෙන බවට තමන්ට තොරතුරු වාර්තා වූ බවයි.

    පෙරේදා ගිනිකොණදිග මුහුදු තීරයේ එනම් කුඩා රාවණා කොටුව සහ මහා රාවණා කොටුව යන ප්‍රදීපාගාරවලට ආසන්නව මෙම නෞකාව ජී.පී.එස්. දත්ත පද්දතිවල දැක්වෙන බවට තමන්ට තොරතුරු වාර්තාවුව ද එය මේ වන විට දක්නට නැතැයි කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා ද ප්‍රකාශ කළේ ය. හාබර් මාස්ටර්වරයා අද දහවල් පැවසුවේ, තවමත් නෞකාව කොළඹ වරායට ඇතුළුවීමට අවසර ඉල්ලා නොමැති බවටයි.

    මේ අතර අද පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, ප්‍රමිතියෙන් අඩු පොහොර භාරගැනීමට රජය සූදානම් නොමැති බව පැහැදිලිව දැනුම් දී ඇති බවයි.

    ”ප්‍රමිතියෙන් අඩු මෙම තාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල් කිරීම වලක්වන ලෙස දැනටමත් වරාය අධිකාරියේ සභාපතිතුමා නිහාල් කැප්පිටිපොල මහතා දැනුම්දීලා තියෙනවා. ඒ නිසා එම නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුලත් කිරීම දැනට නවත්වලා තියෙනවා. මෙම ප්‍රමිතියෙන් අඩු පොහොර භාරගැනීමට ශ්‍රී ලංකා රජය සුදානම් නොමැති බව පැහැදිලිව මේ වන විට අපි දැනුම් දීලා තියෙනවා”

    මේ අතර චින්දාඕ සීවින්ග් බයෝ ටෙක් චීන සමාගම අද නිවේදනය කළේ, තම පොහොරවල අර්වීනියා ඇත්දැයි නැවත පරීක්ෂා කිරීමට ලෝකයේ පිළිගත් තුන්වන පාර්ශ්වයේ පරීක්ෂණ සමාගමක් වන ස්විස් එස්ජීඑස් සමූහයට මෙම සාම්පල යොමුකරන්නැයි ඉල්ලීමක් කරන බවයි. ඔවුන් ලබාදෙන පරීක්ෂණ ප්‍රතිඵලය දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව පිලිගත යුතු බව ද චීන සමාගම අවධාරණය කරයි. ඔවුන් පවසන්නේ එම සාම්පලවලත් අර්වීනියා ඇතැයි තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව පොහොර තොගය සැපයුම්කරු ආපසු රැගෙන යන බවයි.

    අර්වීනියා නැතැයි, තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව මුදල් ගෙවා මෙම පොහොර තොගය ලබාගැනීමට පියවර ගත යුතු බව ද චින්දාඕ සීවින්ග් බයෝටෙක් සමාගම පවසයි. තම සමාගම විසින් මේ පිළිබඳව මාධ්‍ය හරහා පළ වී ඇති අසත්‍ය හා අපහාසාත්මක වාර්තා හා විවේචන විමර්ශනය කිරීමටත් ඒවාගේ නීතිමය වගකීම සොයා බැලීමටත් සැපයුම්කරු ලෙස තමන්ට හිමිකමක් ඇති බවයි.

    මේ අතර චින්දාඕ සී වින් බයෝටෙක් සමාගමට එරෙහිව වාණිජ මහාධිකරණය විසින් අද (26) තවත් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ. අදාළ වාරණ නියෝගය නිකුත් කෙරුණේ චින්දාඕ බයෝ ටෙක් වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් කළ නොහැකි වන පරිදියි.

    මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා , කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරුවලින් ඉවත් කළ බව කාෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය නිවේදනය කළේ, ඒ අනුව බුද්ධි මාරඹේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් සහ කුඩා ව්‍යාපාර කෘෂි සහභාගිත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් ඉවත් කළ බවයි.

    කෙසේ වෙතත් මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ, එවැනි ඉවත් කිරීමක් සම්බන්ධයෙන් තමා ලිඛිතව දැනුවත් කර නොමැති බවයි.

    ”මම කෘෂිකර්ම අමාත්‍යංශය හා සම්බන්ධ කිසිදු ආයතනයක රැකියාවක නිරත වන නිලධාරියෙක් නෙවෙයි. ගිය වසරේ දෙසැම්බර් මාසය වනකොට වර්තමාන කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ආරාධනයෙන් මට ආරාධනයක් ලැබුණා ඇත්තටම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් නිර්මාණයක් කරලා තියෙන වෙලාවේ ඒ කමිටුවේ සාමාජිකයෙක් හැටියට සේවය කරන්න කියලා. ඉතින් අපිට භාර දීලා තියෙන රාජකාරිය වන්නේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවශ්‍යය කරන කෙටුම්පත සම්පාදනය කරලා ගරු අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීම. ඇත්තටම කිව්වොත් මට මේ දක්වා කිසිදු ලිඛිත ලියවිල්ලක් ලැබිලා. ඒ සම්බන්ධව මාව කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කළා කියලා. ඇත්තටම මේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදන කමිටුව ගිය මාසයෙන් ඉවරයි. එතකොට මේ මාසේ මාව ඉවත් කරනවාද ? නැද්ද කියන එකත් ප්‍රශ්නාර්ථයක් වෙන්න විදියක් නෑ. කියන එක තමයි මං නම් දකින්නේ”

    නිවුස් ෆස්ට් ඇසුරිනි

  • ප්‍රථම වරට මිනිසෙකුට ඌරු වකුගඩුවක් සාර්ථකව බද්ධ කෙරේ

    ප්‍රථම වරට මිනිසෙකුට ඌරු වකුගඩුවක් සාර්ථකව බද්ධ කෙරේ

    මිනිසෙකුට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කරන්නට තමන් සමර්ථ වූබව එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරයි. මෙමඟින් මෙතෙක් පැවැති පරිත්‍යාගදායක ඉන්ද්‍රිය හිඟය විසඳීමට හැකිවේයැ යි ඔවුහු අපේක්ෂා කරති.

    වකුගඩුව ලැබූ පුද්ගලයා මොළය මියගිය තැනැත්තෙකු වන අතර, නැවත සුවය ලැබීමට කිසිදු ඉඩකඩක් නොමැතිව ඒ වන විටත් යන්ත්‍රවල ආධාරයෙන් ජීවත් වෙමින් සිටි අයෙකි. වකුගඩුව ලබාගනු ලැබුවේ, බද්ධ කළ ඉන්ද්‍රියය අවයවලාභියාගේ සිරුරේ දී “ආගන්තුක” පටකයක් ලෙස හඳුනා නොගැනෙනු පිණිස ජානමය වෙනස්කිරීමකට භාජනය කළ ඌරෙකුගෙනි.

    මෙම ක්‍රියාවලිය තවමත් විද්වතුන් විසින් සමාලෝචනයට ලක් වී හෝ පර්යේෂණ පත්‍රිකාවක් ලෙස පළවී නැතත්, ඒ සඳහා සැලසුම්කර ඇතැ යි කියැවේ. විශේෂඥයින් සඳහන් කරන්නේ මෙය මෙතෙක් එම ක්ෂේත්‍රයේ සිදුවූ දියුණුම අත්හදාබැලීම බව යි.

    මින් පෙර මනුෂ්‍ය නොවන ප්‍රයිමේටාවන් (වානරයන් වැනි සතුන්) යොදාගෙන මේ හා සමාන පර්යේෂණ සිදුකර ඇතිමුත්, මිනිසෙකු යොදාගත් පළමු අවස්ථාව වන්නේ ද මෙය යි.

    අවයව බද්ධයන් සඳහා ඌරන් භාවිතා කිරීම නව්‍ය අදහසක් නොවේ. ඌරන්ගේ හදවත් කපාට දැනටමත් මිනිසුන් වෙත බහුලව බද්ධ කෙරේ.

    ප්‍රමාණය අතින් ගත්කල ද ඌරන්ගේ අවයව මිනිසාට හොඳින්ම ගැලපෙයි.

    නිව් යෝක් විශ්වවිද්‍යාලයයේ ලැන්ගෝන් හෙල්ත් නම් වෛද්‍ය මධ්‍යස්ථානයේ දී සිදුකෙරුණු පැය දෙකක සැත්කමක් හරහා ශල්‍ය වෛද්‍යවරුන් ඌරු වකුගඩුව මොළය මියගිය පුද්ගලයාගේ රුධිර නාලවලට සම්බන්ධකර ඇත. එවිට එය සාමාන්‍ය පරිදි ක්‍රියා කරයි ද, නැතහොත් සිරුර විසින් ප්‍රතික්ෂේප කරනු ඇත් ද යන්න පරීක්ෂා කිරීම සඳහා එසේ සිදුකළබව කියැවේ.

    ඉන් අනතුරුව දින දෙකහමාරක් තිස්සේ බොහෝ පරීක්ෂණ සහ පරීක්ෂා කිරීම් සිදුකළ ඔවුහු වකුගඩුව සමීපව නිරීක්ෂණ කළහ.

    “සාමාන්‍ය මිනිස් වකුගඩුවක් සිදුකරන සෑම කෘත්‍යයක්ම ඉටුකළ, සෑම ආකාරයෙන්ම [මිනිස් සිරුරට] ගැලපෙන, මිනිස් වකුගඩුවක් බද්ධ කළ විටෙක දී මෙන්ම ක්‍රියා කළ වකුගඩුවක් අපි නිරීක්ෂණය කළා,” යනුවෙන් මෙහි ප්‍රධාන පර්යේෂක වෛද්‍ය රොබර්ට් මොන්ට්ගොමරි BBCය සමග පැවසීය.

    “ඒක සාමාන්‍ය පරිදි ක්‍රියා කළා වගේම, සිරුරෙන් ප්‍රතික්ෂේප වෙනබවක් පෙනෙන්නට තිබුණේත් නැහැ.”

    ශල්‍ය වෛද්‍යවරු ඌරු වකුගඩුව බද්ධ කළ අවස්ථාවේ දී ඌරාගේ තයිමස් ග්‍රන්ථියෙන් කොටසක් ද බද්ධ කළෝ ය. එය, ඌරු පටකයට පහරදීමට ඉඩ ඇති මුක්ත ප්‍රතිශක්තීකරණ සෛල ඉවත් කිරීම මඟින් මිනිස් සිරුරෙන් වකුගඩුව ප්‍රතික්ෂේප වීම වැලැක්වීමට උපකාර වනු ඇතැ යි ඔවුන් සිතයි.

    තමා ද හෘදයවස්තු බද්ධයකට භාජනය වී ඇත්තෙකු වන වෛද්‍ය මොන්ට්ගොමරි පවසන්නේ සිය පර්යේෂණ කටයුතු මතභේදාත්මකයැ යි තමා පිළිගන්නා නමුත්, අවයව බද්ධයක් අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින් සඳහා ඉන්ද්‍රියයන් සෙවීම හදිසි අවශ්‍යතාවක්බව යි.

    “යමෙකුට ජීවත් වීමට නම් තවත් කෙනෙකු මිය යායුතු යි කියන සාම්ප්‍රදායික සම්මතය ඉදිරියේ දී කිසිම අයුරකින් ප්‍රයෝගික වෙන්නේ නැහැ.”

    “මට මේ සම්බන්ධයෙන් පැනනැගිලා තියෙන ගැටලු ඇත්තෙන්ම තේරෙනවා. ඒ ගැන මට කියන්න තියෙන්නේ, වර්තමානයේ දී අවයව බද්ධයක් බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්ගෙන් 40%ක් දායක අවයවයක් ලබන්නට පෙර මියයනබව යි.

    “අපි ඌරන්ව ආහාර ප්‍රභවයක් විදියට භාවිතා කරනවා. අපි ඌරන්ව ඖෂධ සහ හදවත් කපාට ලබාගැනීම වැනි වෛද්‍ය විද්‍යාත්මක කටයුතු සඳහා යොදාගන්නවා. මම හිතන්නේ මේකෙත් ඊට වඩා වැඩි වෙනසක් නැහැ.”

    මෙය තවමත් මූලික මට්ටමේ පවතින පර්යේෂණයක්බව ද, වැඩිදුර අද්‍යයන කටයුතු සිදුකිරීම අත්‍යාවශ්‍ය බව ද පැවසූ වෛද්‍ය මොන්ට්ගොමරි මෙසේ ද සඳහන් කළේ ය: “මම හිතන්නේ, මෙවැනි පර්යේෂණ සායනික මට්ටමට ගෙනියන්නට නව විශ්වාසයක් මෙමඟින් අප තුළ ඇතිකරවනවා.”

    මෙම පර්යේෂණයට භාජනය වූ තැනැත්තා අවයව පරිත්‍යාගශීලියෙකුබවට පත්වීමේ කැමැත්තෙන් සිටි අයෙකු වන අතර, මෙම සැත්කම සිදුකිරීම සඳහා අවසර ලබා දී තිබුණේ එම තැනැත්තාගේ පවුලේ අයයි.

    The team behind the surgery
    සැත්කම සිදුකළ කණ්ඩායම

    එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය මෙවැනි පර්යේෂණ කටයුතු සඳහා ජානමය වෙනස්කිරීම්වලට භාජනය කෙරුණු ඌරන්ගේ අවයව යොදාගැනීමට අවසරය ලබා දී ඇත.

    ඉදිරි දශකය තුළ දී ඌරන්ගේ හදවත්, පෙනහැලි, සහ අක්මා වැනි අනෙකුත් අවයවයන් ද, අවයව බද්ධයන් බලාපොරොත්තුවෙන් හිඳිනා මිනිසුන් සඳහා භාවිතා කළ හැකි වනු ඇතැ යි වෛද්‍ය මොන්ට්ගොමරි විශ්වාස කරයි.

    වකුගඩු සහ දැඩි සත්කාර ඒකක වෛද්‍යවරියක ලෙස එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයට (NHS) සේවය කරන වෛද්‍ය මරියම් කෝස්රාවි මේ පිළිබඳව මෙසේ පැවසුවා ය: “සත්ත්ව ඉන්ද්‍රියයක් මිනිසෙකුට බද්ධ කිරීම කියන්නේ අපි දැනට දශක ගණනාවක් තිස්සේ අධ්‍යයනය කරමින් සිටි දෙයක්. මේ කණ්ඩායම එහි ඉදිරි පියවරක් ගන්නවා දැකීම ඇත්තෙන්ම සිත්ගන්නා සුළු කාරණයක්.”

    මෙහි ආචාර ධර්මයන් සම්බන්ධයෙන් ඇය පැවසුවේ මෙවැන්නකි: “අපට යමක් කරන්න පුළුවන් කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ අපි එය කළ යුතුම යි කියලා. මම හිතන්නේ මුළු ප්‍රජාවක් වශයෙන් මෙම ගැටලුවලට පිළිතුරු දීම අත්‍යවශ්‍ය යි.”

    NHSහි රුධිර සහ බද්ධ කිරීම් සේවයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙතෙක් ප්‍රමුඛතාව වූයේ [අවයව බද්ධයන් සඳහා] වැඩි වැඩියෙන් මානව පරිත්‍යාගශීලීන් ගලපා ගැනීමබව යි. “මේ ආකාරයේ බද්ධ කිරීම් එදිනෙදා යතාර්ථයක්බවට පත්වෙන්නට පෙර යා යුතු බොහෝ දුරක් තිබෙනවා යනුවෙනි.

    “පර්යේෂකයනුත්, වෛද්‍ය වෘත්තිකයනුත් අවයව බද්ධයක් බලාපොරොත්තු වන රෝගීන් සඳහා තමන්ට කළ හැකි සියලු දේ කරනවා. නමුත් ඒ අතරේ අපිට අවශ්‍යව තිබෙන්නේ සියලු දෙනාම තමන්ගේ අවයව පරිත්‍යාග කිරීම ගැන තීරණයක් ගැනීමත්, අවයව බද්ධයක් සිදුකිරීම ප්‍රයෝගික වුවහොත්, එහිදී ක්‍රියාකළ යුතු ආකාරය ගැන තමන්ගේ පවුල දැනුවත්කර තැබීමත් ය.”

    බී.බී.සී සන්දේශය ඇසුරිනි

  • සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසන්න ශිරන්ති රාජපක්ෂත් යයි

    සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසන්න ශිරන්ති රාජපක්ෂත් යයි

    අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25) පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය.

    පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අලුයම සය නිවුන් දරුවන් මෙලොව එළිය දුටු අතර ඔවුන් අතර පිරිමි දරුවන් තිදෙනෙකු හා ගැහැණු දරුවෝ තිදෙනෙක් සිටිති.

    දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග මරවනාගොඩ දෙමාපියන්දාව උපන් මෙම සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා බැලීමට ගිය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය නයින්වේල්ස් රෝහලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමණාකරු සුසන්ත පීරිස් මහතා ඇතුළු කාර්යය මණ්ඩලය විසින් පළමුව පිළිගනු ලැබූහ.

    අනතුරුව අග්‍රාමාත්‍ය ආර්යාව සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා බලා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය.

    දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමූ අග්‍රාමාත්‍ය ආර්යාව ඉදිරියේ දී ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මැදිහත් වන බව දැනුම් දුන්නාය.

    මෙම අවස්ථාවට නයින්වේල්ස් රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂ තියෝ ෆනෑන්ඩො මහතා ද එක්ව සිටි බව සඳහන් කරයි.

  • දඹුල්ල ආර්ථිකේ දේශීය ලොකු ලූණු ගැනුම් මිල රු. 200 පනී

    දඹුල්ල ආර්ථිකේ දේශීය ලොකු ලූණු ගැනුම් මිල රු. 200 පනී

    අද (25) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වූ දේශීය ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ගිය බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.

    ලබන මාසයේ සිට පාකිස්තථානයෙන් ලොකු ලූණු ආනයනය කරන බැවින් දේශීය ලොකු ලූණු  මිල පහත  යා හැකි නිසා ඉහළ මිල ගණන් පවතිද්දී තමන් සතු දේශීය ලොකු ලූණු අස්වනු වහාම අලෙවි කර ගන්නැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ දේශීය ලොකු ලූනු ගොවීන්ගෙන් ඉල්ලා සිටිති.

    මේ දිනවල ලොකු ලූණු වගා කළ ගොවීහූ සිය අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන ඒම සිදු කරති.

    ලොකු ළූණු කිලෝවක් සඳහා රුපියල්  170 සිට 200 දක්වා ඉහළ මිලක්  ලැබෙන බවත් බහුතරයක් ලොකු ලූනු රුපියල් 190 බැගින් මේ වන විටත් අලෙවි වන බව ගොවීහූ පවසති.

    බොහෝ ගොවීන් කියා සිටියේ කලකට පසු දේශීය ලොකු ලූණු ගොවියාට ලැබෙන මෙම මුදල ප්‍රමාණවත් බවය‍ ඇතැම් ලොකු ලූනු ගොවීන් කියා සිටියේ රුපියල් 200ක මිල තමන්ට ප්‍රමාණවත් නොවන බව ය. කෙසේ වෙතත් මෙවර  මාතලේ  දිස්ත්‍රික්කය, අනුරාධපුර දිස්ත්‍රික්කය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීහු වැඩි වශයෙන් දේශීය ලොකු ලූනු වගා කර තිබේ.

    බොහෝ ගොවීන් තම අස්වැන්න අලෙවලෙවි කිරීම සඳහා ගෙන එනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීම විශේෂත්වයකි. ඇතැම් ගොවීන්ගේ වගා බිම් වලට ගොස් ලොකු ලූනු අස්වැන්න මිලදී ගැනීම සිදුවන බව ව්‍යාපාරිකයෝ පවසති.

    දේශීය ලොකු ලූනු බීජ වගා කළ ගොවීන්ට ඉහළ අස්වැන්නක් මෙන්ම ඉහළ මිලක් ලැබෙන බවද පෙන්වා දෙන ගොවීන් ඉන්දීය බීජ වගා කළ ගොවීන්ට එතරම් ඉහළ ඉල්ලුමක් සහ මිලක් නොලැබෙන බව ද පෙන්වා දෙති.

    දේශීය බීජ මගින් වගා කළ නිෂ්පාදනය කළ ලොකු ලූණු වලට රුපියල් 200ක මිලක් ලැබෙන බව ඇතැම් ව්‍යාපාරිකයෝ කියා සිටිති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වූ සී. එස්. සිරිවර්ධන මහතා ගොවීන්ගෙන් සිටියේ පාකිස්තානයෙන් ලුණු ලැබෙන්නට පෙර  දේශීය ලොකුළූණු  වෙළඳපළට ගෙනැවිත් අලෙවි කොට අතතමිට සරු කර ගන්නා ලෙසය.

    පසුගිය කන්න කිහිපයකම දේශීය ලොකු ලූනු ගොවියාට වැස්ස සහ විවිධ හඳුනා නොගත් රෝග නිසා ලොකු ලූනු වගාවෙන් පාඩු සිදුවිය. කෙසේ වෙතත් මෙවර සාර්ථක දේශීය ලොකු ලූණු අස්වැන්නක් ලැබී තිබීම විශේෂත්වයකි. ඒ අනුව අස්වැන්නට සාධාරණ මිලක් ලැබීම ද තව තවත් සතුටට කරුණක් බව ගොවීහු කියා සිටිති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • බටහිර ජැටියේ වානිජ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි ?

    බටහිර ජැටියේ වානිජ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි ?

    මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

    රාජ්‍යභාග (Royalty) ප‍්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප‍්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සමාගම්වලට පැවරීමේ ගනුදෙනුවක් පසුගිය දා සිදු විය.

    ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සහ WCT සමාගම් අතර ඉදිකිරීම මෙහෙයවීම සහ පැවරීම (BOT) ගිවිසුම වසර 35 ක බදු කාලයක් සඳහා අත්සන් තබා ලබා දුනි. JKH යනු ඉන්දියාවේ අදානි වරායන්හි සහ විශේෂ ආර්ථික කලාපීය සමාගම (APSEZ) හි දේශීය හවුල්කරුවා වේ. මෙය මෑත කාලයේ සිදු වූ විශාලතම විදේශ ආයෝජන වලින් එකකි. සමස්ථ ව්‍යාපෘති පිරිවැය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් ලෙස අපේක්ෂා කරයි. JKH සමාගමට බටහිර පර්යන්තයේ කොටස් වලින් සියයට 34 ක කොටස් හිමි වන අතර අදානි සමාගමට සියයට 51ක් සහ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට  සියයට 15ක කොටස් ප‍්‍රමාණයක් හිමි වේ.

    2021 මාර්තු 16 දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් ඉදිකිරීම මෙහෙයවීම සහ පැවරීම ගිවිසුම (BOT) පිළිබඳ ගැටලූ මැයෙන් 2021 සැප්තැම්බර් 17 දාතමින් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියෙහි සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල විසින් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියෙහි කළමනාකාර අධ්‍යක්ෂකවරයාට සහ ජනාධිපති ලේකම්වරයාට ද පිටපත් යොමු කරමින් වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම්වරයා අමාන්ත‍්‍රණය කරන ලද ලිපියක් මගින් උක්ත ගනුදෙනුව නිසා සිදුවිය හැකි මුල්‍යමය පාඩු පිළිබදව කරුණු දක්වා ඇත. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය ඉල්ලා සිටිනුයේ බටහිර පර්යන්තයට අදාළ ගිවිසුම යළි සමාලෝචනය කිරීම සඳහා සම්පූර්ණයෙන්ම ස්වාධීන කමිටුවක් පත් කළ යුතු බවයි.

    විශේෂයෙන්ම මෙම ලිපිය මගින් අවධාරණය කර දක්වා ඇත්තේ බටහිර පර්යන්තය විසින් වසර 35 ක් සඳහා යෝජිත මුලූ වාර්ෂික සහතික කරන ලද රාජ්‍යයභාග (Royalty) ගෙවීම CICT වසර 35ක් සඳහා සහතික කළ මුදලට වඩා අඩු බවයි. වසර 21 ක් සඳහා බටහිර පර්යන්තය විසින් යෝජනා කරන ලද අනුපාතයන් ද CICT හි අනුපාතයට වඩා අඩු බවයි.

    සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය විසින් යෝජනා කරන ලද ඇමරිකානු ඩොලර් 7 ක රාජ්‍යය භාගය (Royalty) එක්සත් ජනපද ඩොලර් 4 දක්වා අඩු කර ඇති බවයි. 2013 දී CICT මෙහෙයුම් ආරම්භ කිරීමත් 2023 දී බටහිර පර්යන්තය ආරම්භ කිරිමටත් සැලසුම් කර තිබීමත්, මෙම කාලය තුළ උද්ධමනය, විනිමය අනුපාතිකයේ අවප‍්‍රමාණය ආදි අනෙකුත් සාධක සැළකිල්ලට ගනිමින්, රාජ්‍යය භාගය (Royalty) CICTට වඩා වැඩි විම අනිවාර්ය තත්ත්වයකි.

    පසුගිය දා ඇතැම් මාධ්‍ය වාර්තා කලේ, 2010 දී CICT ඩොලර් මිලියන 150 ක සහතික කළ මුල්‍ය ප‍්‍රවාහ වල ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දුන් අතර 2021 දී යෝජිත බටහිර පර්යන්තයට ඩොලර් මිලියන 155 ක පමණක් ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දී ඇති බවයි. ඩොලරයේ උච්ඡාවචනයන් සහ රටේ දැනට පවතින සහ අනාගත උද්ධමනීය ප‍්‍රවනතා මෙන්ම WCT හි අතිරේක ඉඩ ප‍්‍රමාණය සැළකිල්ලට ගනිමින් ඉහත වට්ටම් කිරීම සිදුකලේ නම් WCT විසින් ශී‍්‍ර ලංකා රජය / ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය වෙත ඩොලර් මිලියන 200 ක ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දිය යුතුව තිබුණ බවයි.

    මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ කලක් උප සභාපති ලෙස කටයුතු කල දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබද මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ප‍්‍රසන්න පෙරේරා මහතාගෙන් කල විමසුමකදි ප‍්‍රකාශ කලේ භු දේශපාලනයේ හැසිරිම අනුව ශී‍්‍ර ලංකාව යම් උගුලක හිර වි ඇති බවයි. ඒ අනුව බටහිර පර්යන්තය ඉංදිය සමාගමකට ලබාදිම එම භු දේශපාලනය මගින් විස්තර කල හැකි නමුත් වානිජමය කොන්දේසි වෙනස් විම නම් මේ රටේ මුල් බැස ගිය අත යට ගනුදෙනු නැත්නම් අල්ලස් සහ දුෂණ මගින් විස්තර කිරිමට සිදුවන බවයි.

    (පසුගියදා පැවැති රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරින් සූජීව සෙරනරත් විසින් සකස් කළ ලිපියකි)

  • පොල් වගේ අල බැස්ස වැලිමඩ අද දෙහි වගේ අල ඇයි ?

    පොල් වගේ අල බැස්ස වැලිමඩ අද දෙහි වගේ අල ඇයි ?

    අර්තාපල් ලංකාවට හදුන්වා දී ස්ථාපනය කිරීමෙන් පසුව ගෙවුණු අවුරුදු 50 ක කාලය තුළ වැලිමඩ – ඌව පරණගම ඉතිහාසයේ අඩුම අර්තාපල් අස්වැන්න මේ කන්නයේ කුඹුරුවලින් මේ දිනවල වාර්තා වේ.  බොහෝ කුඹුරු (අල) වගාවේ ගෙඩි 6 කට වඩා නැත.  ඇත්තේ කුඩා අල ගෙඩිය.

    මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ වැලිමඩ රත්කරව්ව – බොරලන්ද ලංකාවේ හොඳම අල හැදෙන නිම්නයේ අල ගලවන තැනක දසුන්ය.  ලංකාවේ අල වගාව ස්ථාපනය කල රහංගල ගොවිපලට ආසන්නයේ ය.  නෝමන් ගුණතිලක  ‘අල මහත්තයාගේ‘ ගල් පිළිමය නෙලා ඇති හීන්නාරගොල්ල පන්සල ආසන්නයේ රත්කරව්ව කුඹුරකය.

    මෙවර වගා කන්නයට වල් බෙහෙත් (වල් නාශක) නැත.  කුඹුර වල් වලින් වැසිලාය.  දිලීර නාශක තිබුණේ නැත. බ්ලයිට් රෝගය වගාව විනාශ කර ඇත.  කෘමි හානිය (කුඩුස්සෝ, කලු පනුවෝ) සිදුවන විට දවස් තුනක්ම කෘමි නාශක තිබුණේ නැත. කෘමීන් ගසේ සාරය උරා බී ගස බාල කර ඇත.

    වෙනදා හැදෙන රවුම් බෝල අල ගෙඩි නැත. පදුරකට රඹුටන්, වගේ ගෙඩි 5-6 කි. පුවක් ගෙඩි වගේ තවත් දෙක තුනකි.  වෙනදා වගේ අල ගෙඩි 10-15 නැත. අස්වැන්නක් ඇත්තේම නැත.

    ‘‘වෙනදා මේ කුඹුරෙන් අල ගෝනි 40 ක් ගලවනවා. දැන් යන්තම් 7 -8 ක් ආවොත් පුදුමයි.  අපි විනාශයි මහත්තයෝ‘‘ මේ වැලිමඩ අල ගොවියාගේ පොදු කතාවය.

    වෙනදා කුඹරක අල ගලවනවා කියන්නේ සතුටු සාගරයකි.  කන්න බොන්න, තැබ්බෙන අල හට්ටියකි.  දවල් වෙනකොට හපුතලෙන් ගේන ගල් අරක්කු බෝතලයකි. අද ඒ මොකවත් නැත. මිනිස්සු කුණුහරුපෙන් ආණ්ඩුවට බනිමින් අල ගලවති. මේ ගොවියන්ට යන – එන මං නැත. හෙට අනිද්දාට රටටම එහෙම වනු ඇත.

    මට කියන්නට ඇත්තේ එකම එක දෙයකි. කාබනික වගාව වැලිමඩ – ඌව පරණගම – හපුතලේ – බණ්ඩාරවෙල – හාළි ඇළ ගොවියා විනාශ කර අවසන්ය.

    වැලිමඩ මේ කුඹුර වගා කර ඇත්තේ පොහොර ටිකක් කෘෂි රසායන ටිකක් තිබුණ යුගයකය.  ආණ්ඩුවේ පොහොර තහනම – කෘෂි රසායන තහනම ඉවත් කළේ නැතිනම්, ඊලඟ කන්නයට පොහොර බෙහෙත් දෙකම නැත.

    අල හැදුවොත් ලැබෙන්නේ එළබටු ගෙඩි තරම් අල බව ගොවියා දැන් සහසුද්දයෙන්ම දන්නේය. කැරට් හැදුවොත් අල එරෙන්නේ නැති බව සහසුද්දයෙන්ම දන්නේය.

    ගෙවල්වල, කොන්ක්‍රීට් වහල උඩ, ඔය කැමති කැමති තාලයට කාබනික වගාවක් කර ගන්නවා නම් හොඳය. නැතිනම්, බඩගින්නේ ඉන්න වෙන එක නම් ස්ථීරය.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • දඹුල්ල ආර්ථිකේට ප්‍රමාණවත් එළවළු සැපයුමක් නෑ – මිල 100%කින් නැගලා

    දඹුල්ල ආර්ථිකේට ප්‍රමාණවත් එළවළු සැපයුමක් නෑ – මිල 100%කින් නැගලා

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  දිනපතා ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් දින දෙකක පමණ  කාලයක සිට සෑම එළවළුවක්ම 100% කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද  (22) දින පැවසීය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ බෙදා හරින තොග වෙළෙඳ  මධ්‍යස්ථානය  වෙයි. පසුගිය විසි එක් වන දින සිට එක වරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙන්දෝ පවසති.

    ඇතැම් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානය තුළ දී කියා සිටියේ ත්‍රිවිධ කෘමිනාශක ද්‍රව්‍ය නොමැති වීම පොහොර හිගය නිසා දැනට පවතින වගාවන් පවත්වාගෙන යෑමට නොහැකි බවයි.

    ඒ අනුව පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් 200 සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

    පෙරදා කිසිදු දිනක ඉහළ නොගිය පතෝල, වැටකොළු, බණ්ඩක්කා, ආදී එළවළු කිලෝ එකක  තොග මිල රුපියල් 150 ත්  180ත්  අතර ඉහළ මිලකට අලෙවි වීම විශේෂ කරුණක් බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

    ඒ අන් අනුව වම්බටු, මෑ කරල්, පතෝල, කැරට්, ලීක්ස්, මාළු මිරිස්, දඹල, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් 120-220 දක්වා වූ විවිධ මිල පරාසයක්න් යටතේ අලෙවි වීම විශේෂත්වයකි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වම්බටු කිලෝ එකක තොග මිල  රුපියල් 220කි. බෝංචි කිලෝවක තොග මිල ද රුපියල් 220කි. එමෙන්ම දේශීය ලොකු ලූනු මිල ද ඉහළ ගොස් කිලෝවක්  රුපියල්  170කට  මිලදී ගැනීම සිදු වෙන බව වෙළෙන්දෝ  පෙන්වා දෙති.

    ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න

    ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ 21 දින සිට  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව ය.

    ඊට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ ඉල්ලීම අනුව සැපයුමක් නොමැති වීමයි. එළවළු ඉතා අඩු ප්‍රමාණයක් වෙළඳපොළට ලැබෙන නිසා ඉල්ලුම සැපයුම න්‍යාය අනුව ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල ඉහළ යෑම සිදු වන බවත් පෙන්වා දෙන අතර එළවළු නිෂ්පාදනය අවම වශයෙන් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

    ඇතැම් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානය තුළ දී කියා සිටියේ ත්‍රිවිධ කෘමිනාශක ද්‍රව්‍ය නොමැති වීම පොහොර හිගය නිසා දැනට පවතින වගාවන් පවත්වාගෙන යෑමට නොහැකි බවයි. එම නිසා තමන් නිෂ්පාදනය කළ ඉතා සීමිත එළවළු සඳහා ඉහළ මිලක් ලැබෙන බවත් විශාල එළවළු ප්‍රමාණයක් කෘමි සතුන්ගේ හානිය නිසා ඉවත් වන බව ඔවුහු පෙන්වා දෙති.

    එමෙන්ම ගොවීන් කියා සිටියේ රුපියල් 1500කට අලෙවි වූ රසායනික පොහොර මිටියක් රුපියල් දදහදාහක ඉහළ මිල ගණන් යටතේ මේ වන විට රහසිගතව අලෙවි කිරීම් සිදුවන බවය. එම වැඩි මිලක් ලබා දී වගාවන් සිදු කරමින් යම් මට්ටමකින් එළවළු වෙළෙඳ පොළට රැගෙන එන බව ගොවීන් පවසති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • පියයුරු පිළිකා වලට ගුණදායක ආහාර ගැන සුපිරි හෙළිදරව්වක්

    පියයුරු පිළිකා වලට ගුණදායක ආහාර ගැන සුපිරි හෙළිදරව්වක්

    පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුල ම පිළිකාවක් වගේම කාන්තාවන් අඩුවෙන්ම අවධානය යොමු කරන රෝගයක්. ඊට ඔවුන් සතු අඩු දැනුම, සමාජ – සංස්කෘති කරුණු වගේම ආර්ථික කරුණුත් තිබිය හැකියි. ඒත් මේ මොන කරුණු ඉදිරිපත් කරමින් පියයුරු පිළිකාව ගැන අවධානය අඩු කිරීම මාරාන්තික කරුණක්. නැතිනම් මාරයාට අත වැනීමයි !

    පියයුරු පිළිකා සදහා හේතු විය හැකි කරුණු රැසක් මේ වන විට හදුනා ගෙන තිබෙනවා. ඒ අතර ජානමය බලපෑම, වයස, ආතතිය වැනි බොහෝ සාධක සංකීර්ණ රෝගයක් වන පියයුරු පිළිකාවට හේතු වෙනවා.

    පියයුරු පිළිකා වළක්වා ගැනීම සඳහා ප්‍රවීණයන් ආහාර වර්ගීකරණයක් කරන්නේ නැහැ. නමුත් ජීවන රටාවේ වෙනස්කම් පියයුරු පිළිකාවට පමණක් නොව මෙම සියළුම ආකාරයේ මාරාන්තික රෝගවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා.

    පිළිකා වලින් 40% ක් සඳහා පරිභෝජනය කරන ආහාර වේල වගකිව යුතු යැයි සමහර අධ්‍යයනයන් පෙන්වා දී තිබෙනවා. වර්ණවත් ආහාර ගැනීම අපේ සෞඛ්‍යයට සහ පිළිකා වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා. ඒ හා සමාන ආහාර වේලක් ඔබට පිළිකාවට එරෙහිව සටන් කිරීමට සහ රෝග විනිශ්චය කිරීමෙන් පසු ජීවත් වීමට උපකාරී වෙනවා.

    පහත සඳහන් ආහාර මඟින් ශරීරයට පෝෂ්‍ය පදාර්ථ එකතු කරන අතර එමඟින් පියයුරු වල යහපත් සෞඛ්‍යය ප්‍රවර්‍ධනය කළ හැකියි.

    ආහාර

    බ්‍රොකොලි – පර්යේෂණ මඟින් පෙන්නුම් කර ඇත්තේ ගෙඩි වර්ධන අවහිර කිරීමට සහ පිළිකාව තවදුරටත් බෝවීම වැළැක්වීමට බ්‍රොෙකාලිවලට හැකියාව ඇති බවයි. වට්ටක්කා සහ ගෝවා බ්‍රොකොලිවලට සමාන ගුණාංග ඇති වෙනත් එළවළු ය.

    කහ
     – කහවල අඩංගු කර්කුමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. පියයුරු පිළිකා ගැටිති වලට එරෙහිව සටන් කිරීමේදී කර්කුමින් අතිරේක කාර්යභාරයක් ද ඉටු කරයි.

    කහ වල ඇති ප්‍රති-ගිනි අවුලුවන ගුණාංග සමස්ත සෞඛ්‍යයට උපකාරී වේ. සුප්, පරිප්පු සහ කොළ වලට කහ මද ස්වල්පයක් ඇතුළත් කර දිනපතා ආහාර පිසීමේ අංගයක් බවට පත් කර ගන්න.

    සුදුළූණු සහ ළූණු
     – සුදුළූණු සහ ළූණු වල අඩංගු ඇලිල් සල්ෆයිඩ් සෞඛ්‍ය සම්පන්න සෛල වල ක්‍රියාකාරිත්වයට සහ විශේෂයෙන් පියයුරු පිළිකා වැළැක්වීමට උපකාරී වේ. රුධිර නාලිකා සිහින් වී සිටින පුද්ගලයින්ට ළූණු සහ සුදුළූණු අතිරේකයක් ගැනීම ආරම්භ කිරීමට පෙර තම වෛද්‍යවරයා සමඟ කතා කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

    ආහාර

    බෙරි – ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරීස්, මල්බෙරි, රාස්ප්බෙරි වැනි වර්‍ග පිළිකා වැළැක්වීමේ ආහාර වේලට පෝෂ්‍ය පදාර්ථ එක් කරයි. බෙරි ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ගිනි අවුලුවන ගුණ වලින් පොහොසත් ය. බෙරි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් විය හැකි අතර එමඟින් පිළිකා වර්ධනය හා පියයුරු පිළිකා සෛල අඩු කළ හැකිය.

    දෙළුම් – 2015 ජුනි මාසයේදී journal Oxidative Medicine සහ Cellular Longevity  සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ දෙළුම්වල පිළිකාවට එරෙහිව සටන් කිරීමට (විශේෂයෙන් ඊස්ට්‍රජන් මත යැපෙන පිළිකා) උපකාරී වන සංයෝගයක් ඇති බවයි.

    විශේෂඥයින්ගෙන් උපදෙස්

    1. නිතර කුඩා ආහාර වේලක් ගන්න.
    2. විටමින් සී බහුල ආහාර වන නෙල්ලි, දෙහි වැනි පැඟිරි පලතුරු අනුභව කරන්න. 3. විටමින් A ලබා ගැනීම සදහා රතු, කහ සහ තැඹිලි පැහැයෙන් යුත් පලතුරු සහ එළවළු අනුභව කරන්න.
    4. විටමින් E ලබා ගැනීම වෙනුවෙන් හොඳ තත්ත්වයේ මේද සහිත ආහාර ගන්න. (බිත්තර, මාළු, ඇට වර්ග)
    5. සකස් කරන ලද ආහාර ගැනීමෙන් වළකින්න, (බේකරි නිෂ්පාදන, සෝස්, ඇසුරුම් කළ ආහාර සහ සීනි අධික ආහාර) 6. පැය 8ක හොඳ නින්දක් ලබා ගන්න. විශේෂයෙන් දීර්ඝ නින්දක් සහතික කරන්න.
    7. මුළුතැන්ගෙයෙහි ඇති ස්වාභාවික පැළෑටි සහ කුළුබඩු‍ එනම්, කුරුඳු, එනසාල්, වියළි ඉඟුරු කුඩු, සාදික්කා, ගම්මිරිස් කුඩු, කේසර් වැනි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වේ. ඒවා නිතර නිතර ප්‍රමාණවත් පරිදි ආහාරයට එක්කර ගන්න.
    8. විශේෂයෙන් පිළිකා මර්දන ප්‍රතිකාරයෙන් පසු යළි ප්‍රකෘතිමත් වීම සහතික කිරීම සඳහා ප්‍රෝටීන් අධික ආහාර ගැනීම වැදගත් වේ. බිත්තර, මස්, කිරි සහ කිරි නිෂ්පාදන, ඇට වර්ග හා මේදය මේ අතර ප්‍රමුඛ වේ.
    9. Multivitamin (B-, සංකීර්ණ, සින්ක්) සහ විටමින් ඩී ස්වරූපයෙන් පෝෂණ අතිරේක සිරුරේ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ.
    10. ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි පෝෂ්‍ය පදාර්ථ බහුල සහ සමබල ආහාර වේලක් සහතික කර ගන්න.

    ෆෙමිනා ඇසුරිනි – සැකසුම – තුෂාධවි

  • ‘රසායනික පොහොර තහනම වැරදි තීන්දුවක්‘ – කෘෂිකර්ම ලේකම් කරන සුපිරි හෙළිදරව්ව

    ‘රසායනික පොහොර තහනම වැරදි තීන්දුවක්‘ – කෘෂිකර්ම ලේකම් කරන සුපිරි හෙළිදරව්ව

    ජනාධිපතිවරයා, මැති ඇමතිවරුන්, පර්යේෂකයින් සහ පරිපාලකයින් සමඟ අප කළ සාකච්ඡාවේදී පවා අපි මෙම ගැටලුව මඟහරවා ගැනීමට සැලසුම් කර ඇති බව ඉතා පැහැදිලිව සඳහන් කළා. අපට එම අනවශ්‍ය විෂ සහිත පොහොර වෙනුවට සම්මත ජෛව පොහොර යෙදිය හැකියි. යූරියා ද විෂ සහිත ද්‍රව්‍යයක් නොවෙයි. එය වෙනත් බොහෝ කර්මාන්ත වල භාවිතා වෙනවා. අපි ඕනෑම දෙයක් ඕනෑවට වඩා භාවිතා කරන විට එය හානිකර විය හැකියි.

    ශ්‍රී ලංකාවේ බලවත්ම හා වඩාත් අවධානය දිනාගත් අමාත්‍යාංශ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය ඉහළින්ම සිටින අතර වර්තමානයේ එම අමාත්‍යාංශය වඩාත් අවධානයට ලක්ව ඇත. මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා කෘෂිකාර්මික අංශයේ ප්‍රවීනයෙකු වන අතර වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ද වෙයි. කෘෂිකාර්මික අංශයේ වර්තමාන අර්බුද සහ ගැටළු මෙන්ම අමාත්‍යාංශයේ නව සැලසුම් පිළිබදව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ‘ඩේලි මිරර්‘ පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය පහත පළ වේ.

    Q පොහොර හිඟය ගැන ගොවීන් උද්ඝෝෂණය කිරීමත් සමඟ කෘෂිකාර්මික අංශයේ අර්බුදයක් තිබෙනවා. ඔබ එයට ආමන්ත්‍රණය කිරීමට යන්නේ කෙසේද?   

    කෙටි කාලීනව එය ගැටළුවක් වන්නේ මිනිසුන්-ගොවීන් සහ අනෙකුත් ව්‍යවසායකයින් රසායනික පොහොර යෙදීමට පුරුදු වී සිටි නිසයි. පසුගිය දශක තුන හතර තුළදී සිදු වූයේ රසායනික පොහොර ඔවුන්ගේ දොරකඩට ලබා දීමයි. ඔවුන් කැමති පරිදි පොහොර තම වගාවන්ට යෙදුවා. රජය පොහොර සහනාධාරයක් පවා දුන්නා. ඒ කියන්නේ ගොවීන් තමන් වගාවන්ට යොදන රසායනික පොහොරවල සැබෑ වෙළෙපොළ මිල පවා ගෙවන්නේ නැහැ. එය දැරුවේ රජයයි. ගොවීන්ගේ උද්ඝෝෂණ ගැන අපට දොස් පැවරිය නොහැකියි. එසේ කිරීමට ඔවුන් පුරුදු වී සිටිනවා. ඔවුන්ට වැදගත් වන්නේ නිර්දේශය හෝ ගුණාත්මකභාවය නොවෙයි. ඔබ පැලෑටි වගා කළ පසු එයට NPK අවශ්‍යයෙ වෙනවා. ශාකය ඒ කිසිවක් දන්නේ නැහැ. ඒවා මේ ගැන සංවේදී නැහැ. ශාකයට අවශ්‍ය පෝෂණය පමණයි. ලංකාවේ ශාකවලට පෝෂණය ලබා දෙන බාහිර යෙදවුම් (පෝෂක) පොහොර ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් භාවිත කරන පොහොර වර්ග කිහිපය යූරියා, TSP සහ MOP ලෙස නම් කර තිබෙනවා. වී ගොවීන්ට යූරියා අවශ්‍යයි. ළූණු හෝ අර්තාපල් වගා කරන උඩරට ගොවියෙකුට ඔබ කතා කරන්නේ නම් ඔවුන්ට අවශ්‍ය පොහොර ඒවායේ වර්‍ණයෙන් හඳුනා ගන්න ඔවුන්ට පුළුවන්. ඔවුන් ඒවාට කියන්නේ ‘දම්කැට’ හෝ ‘නිල්කැට ‘ කියලයි. ඒ ඔවුන්ගේ ප්‍රාදේශීය ව්‍යවහාරය අනුවයි. මේ අහිංසක ගොවීන් වගා කරන විට ඔවුන්ට එයින් නිමැවුම් අවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ට ශාක පෝෂ්‍ය පදාර්ථ තිබිය යුතුයි. තමන්ට පුරුදු ආකාරයට එය නොලැබෙන විට ඔවුන් කලබලයට පත් වෙනවා. ඒ සමඟම, අපි මෙම ගැටළුව විසඳිය යුතුයි. අපට කෘෂිකර්මාන්තය රැක ගැනීමට අවශ්‍යයි.

    ඇතැම් විට කාබනික කෘෂිකර්මාන්තයේ වටිනාකම අධිතක්සේරු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පෙර පැවති කෘෂිකාර්මික ක්‍රමය විනාශ වුණා. දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති කෘෂිකාර්මිකයෙකු වශයෙන් මම විශ්වාස කරන්නේ මේ ආකාරයෙන් වැරදි උපදෙස් ලබා දී ඇති බවයි.

    Q ඔබ මේ හා සම්බන්ධ ප්‍රායෝගික ගැටලු උපුටා දැක්වූවා. නමුත් රජය මහ කන්නයට මාස තුන හතරකට පෙර කාබනික ගොවිතැන හඳුන්වා දීම ආරම්භ කළා. ඔබ එය කළේ ඇයි?

    අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කළ විට, අපි පැහැදිලිව සඳහන් කළේ පරිසර හිතකාමී ශාක පෝෂ්‍ය පදාර්ථ භාවිතා කළ යුතු ක්‍රමයක් හරහා යාමට අපට අවශ්‍ය බව යි. ඒ විෂ සහිත, අඩු ගුණාත්මක බවින් යුතු කෘතීම පොහොර වෙනුවට යි. එහි තේරුම නම් අපට විෂ පොහොර භාවිතා කිරීමේ සංස්කෘතියක සිට පරිසර හිතකාමී, වස විස නොවන, ස්වාභාවික, හොඳ තත්ත්වයේ සහ උසස් උත්පාදන පොහොර භාවිතා කිරීමේ සංස්කෘතියක් බවට පරිවර්‍තනය කිරීම අවශ්‍ය බවයි. මේවා ස්වාභාවිකව කාබනික යි. අපි කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්‍ධනය කරනවා. කෘෂිකර්මාන්තය සහ පොහොර යනු කරුණු දෙකක්. ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කාබනික කෘෂිකර්මාන්තය යෝජනා වුණා. එය කෙටුම්පත් කිරීමට මමත් සම්බන්ධ වුණා. එය දශකයකට වැඩි කාලයක් තුළ සාක්‍ෂාත් කර ගත යුතු ක්‍රියාවලියක්. රසායනික පොහොර භාවිතය අවලංගු කිරීම ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළා. මම හිතන්නේ එය වැරදි උපදෙස් මත පදනම් වූවක්. මම ඒකට වගකියන්නේ නැහැ. ජනාධිපතිවරයාත් එයට වග කිව යුතු නැහැ. අපි ඉහළම දේශපාලන තලයේ තීරණ ගන්නන්ට උපදෙස් දෙන විට එය නිසි පරිදි සිදුවිය යුතුයි. මෙය සිදු නොවිය යුතුව තිබූ බව මම විශ්වාස කරනවා. දැන් අපි එය සංශෝධනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා. අපි ආණ්ඩුවට දොස් කියන්නේ නැහැ. සමහර විට, කාබනික කෘෂිකර්මාන්තයේ අලංකාරය අධිතක්සේරු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පෙර පැවති කෘෂිකාර්මික ක්‍රමය බිඳ වැටුණා. දශක තුනකටත් වැඩි පළපුරුද්දක් ඇති කෘෂිකාර්මිකයෙකු වශයෙන් මම විශ්වාස කරන්නේ මේ ආකාරයෙන් වැරදි උපදෙස් ලබා දී ඇති බවයි. එය රසායනික පොහොර අවලංගු කිරීමක් විය නොහැකියි. එය පරිසර හිතකාමී ශාක පෝෂ්‍ය පදාර්ථ ආනයනය කිරීමට ඉඩ සලසා දිය යුතුව තිබුණා. එම ගැසට් පත්‍රය ඒ අයුරින් ප්‍රකාශ කළා නම් අද රටේ හොඳ තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබුණා. ඉන්පසු, අපිට ඒ ගැන ලස්සනට වැඩ කරන්න තිබුණා. වැරදි වැඩ කරන ප්‍රතිපත්තියක් සමඟ වැඩ කිරීමට අපට සිදු වුණා. අපි දැන් උත්සාහ කරන්නේ දේශපාලන ක්‍රමයේ හා පරිපාලන ක්‍රමයේ ආශිර්වාදය ඇතිව එය නිවැරදි කිරීමටයි.

    Q ඔබ දැන් මෙම තීරණය නැවත සලකා බැලීමට යන්නේ කෙසේද?

    ජනාධිපතිවරයා, මැති ඇමතිවරුන්, පර්යේෂකයින් සහ පරිපාලකයින් සමඟ අප කළ සාකච්ඡාවේදී පවා අපි මෙම ගැටලුව මඟහරවා ගැනීමට සැලසුම් කර ඇති බව ඉතා පැහැදිලිව සඳහන් කළා. අපට එම අනවශ්‍ය විෂ සහිත පොහොර වෙනුවට සම්මත ජෛව පොහොර යෙදිය හැකියි. යූරියා ද විෂ සහිත ද්‍රව්‍යයක් නොවෙයි. එය වෙනත් බොහෝ කර්මාන්ත වල භාවිතා වෙනවා. අපි ඕනෑම දෙයක් ඕනෑවට වඩා භාවිතා කරන විට එය හානිකර විය හැකියි. අපි දැන් ගොවීන් සඳහා ප්‍රමිති, අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය සහ පුහුණු සැසි සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා. එය සමස්ථ රාමුවක්. ඒ සඳහා අපට යම් කාලයක් අවශ්‍යයි. මහ කන්නය දැන් ආරම්භ වී තිබෙනවා. අපට ආහාර සුරක්‍ෂිතතාවය අවශ්‍යයි. අපේ ප්‍රතිපත්තියේ සම්මුතියක් අවශ්‍යයි. වරදක් සිදු වී ඇත්නම් එය නිවැරදි කිරීම මගේ යුතුකමක්. අපි කැමති රජයේ ප්‍රතිපත්ති අනුව යන්න. ඒ සමඟම අපට අපේ කෘෂිකර්මාන්තය රැක ගැනීමට අවශ්‍යයි.

    ඕනෑම ප්‍රතිශතයක බැක්ටීරියා තිබේ නම් එය ගැටලුවක්. සමාගම පවසන්නේ එහි නිෂ්පාදනය මුළුමනින්ම ආරක්‍ෂිත බවත් වන්ධ්‍යාකරණය කළ බවයි. එවැනි සංඝටක මෙහි ගෙන නොඑන ලෙස අපි සංඥාවක් ලබා දී තිබෙනවා.

    Q දැනට පවතින ගැටලුව ජය ගැනීම කෙතරම් අභියෝගාත්මකද?

    එය අභියෝගයක්. මම මෙතැනට ඇවිත් මාස හතරක් පමණයි. මුලදී මමත් ව්‍යාකූල වුණා. මම මගේ මිතුරන් සමඟ අභියෝගයට මුහුණ දීමට කැමතියි. මම දන්නවා සිස්ටම් එකේ ඉන්න අය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මගේ ගුරුවරු. අනෙක් අය මගේ මිතුරන්, ඔවුන්ගේ මිතුරන් යනාදී වශයෙන් මට මේ අයගේ සහයෝගය තිබෙනවා. ඒ සමඟම මට බොහෝ අවවාද හා විවේචන ලැබෙනවා. රජයේ ප්‍රතිපත්තියට අනුකූලව, අපට අවශ්‍ය වන්නේ ඓන්ද්‍රීයව නැඹුරු, පැලෑටි පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට යි. මෙය ඊළඟ පියවරට පැමිණෙන විට ඔබට වෙනත් රටවලින් ඉතා උසස් පිළිගත් තෙවන පරම්පරාවේ පොහොර ලැබේවි. මේවා ඉතා නව්‍ය නිෂ්පාදනයි. අපි එම පොහොර ලංකාවට ආනයනය කරන්නේ වී සහ අනෙකුත් අංශ ආවරණය වන පරිදි අපගේ කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසයි. අප කාබනික පොහොර නිෂ්පාදනය දියුණු කර ඇත්තේ සියයට 30ක් පමණයි. ඉතිරි ටික අපි ආනයනය කළ යුතුයි. අපි ඉන්දියාවෙන් ආනයනය කරන්න යනවා. අපි මේ සියලු නිෂ්පාදන පරීක්‍ෂා කර තිබෙනවා. ඒවා ඉතා හොඳයි. අපි ඒවා මෙතැනට ගෙන ඒමේ කටයුතු කරගෙන යනවා. එය දුටු විට ගොවීන් සතුටු වන බව මට විශ්වාසයි. අපි පොහොර දෙනවා. ඒ සමඟම අපි අපේ ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක කරනවා. අපි මෙහි ගෙන එන නිෂ්පාදනය නැනෝ තාක්‍ෂණය පදනම් කරගත් නිෂ්පාදනයක්. එය ඉන්දියාවේ බහුලව භාවිතා වෙනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා එය ප්‍රවර්‍ධනය කරමින් සිටිනවා. සෑම අවස්ථාවකදීම නැනෝ පොහොර ආනයනය කිරීමට අපට අවශ්‍ය නැහැ. අපට එවැනි නිෂ්පාදන මෙහි නිෂ්පාදනය කිරීමට අවශ්‍යයි. ලබන වසරේදී, අපේම නිෂ්පාදන දියුණු කර ගැනීමට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.

    ප්‍රශ්නය: මේ වන විටත් සමහර ගොවීන් බඩ ඉරිඟු වැනි වගාවන් අත්හැර දමා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බෝග අඩු වීමක් සිදුවුවහොත් ඔබ කුමක් කරන්නේද?

    අපි ඇත්තෙන්ම කලබල විය යුතු කාරණය එයයි. කෙතට යාමට පෙර ගොවීන්ගේ ඇස්තමේන්තුවක් තිබෙනවා. පොහොර සහ අනෙකුත් යෙදවුම් නොදැක ඔවුන් කුඹුරට පැමිණ වැඩ කිරීමට තරමක් මැලි වෙනවා. ඉදිරි දින දහය තුළදී එය හොඳින් සිදු වේවි. ගොවීන් තුළ ධනාත්මක මානසිකත්වයක් ඇති වේවි. අපි පරිපාලකයින් බව ඇත්ත. සියලුම පරිපාලකයින් ශ්‍රී ලාංකිකයන්. කෘෂිකර්මාන්තය කෙසේ හෝ විනාශ කිරීමට ඔවුන්ට අවශ්‍ය නැහැ. ආහාර සුරක්‍ෂිතතාවය තහවුරු කරන බව ජනාධිපතිවරයා නිවැරදිව ප්‍රකාශ කළා. ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට අපි හැකි සෑම දෙයක්ම කරනවා. අපේ ආහාර සුරක්‍ෂිතතාව ගැන සැලකිලිමත් වීමට අපට හැකියි. බඩඉරිඟු වගාව යම් ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. මේ බඩඉරිඟු වගාව ආරම්භ කරන කාලයයි. පොහොර නැති විට එය ප්‍රශ්නයක්. සති දෙකකින් මේ ගැටලුව විසඳිය හැකි බව මට විශ්වාසයි.

    කිසිවෙකුට භාර ගැනීමට අවශ්‍ය නැති අවස්ථාවක මම මෙම තනතුර භාර ගත්තා. මම උපකුලපතිව සිටියා. මට සියලු වරප්‍රසාද තිබුණා. මට සතුටින් ඉන්න තිබුණා. මට අවශ්‍ය වූයේ මෙම අභියෝගය ජය ගැනීමටයි. මට විශ්වාසයි මට එය කළ හැකි බව.

    Q බඩඉරිඟු අපි සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා. සත්ව ආහාර හිඟයක් ඇති වූ විට එය සත්ව නිෂ්පාදන, විශේෂයෙන් කුකුළු නිෂ්පාදන කෙරෙහි බලපානවා. ඔබ එයට ආමන්ත්‍රණය කිරීමට යන්නේ කෙසේද?

    මේ සම්බන්ධයෙන් අපි මුදල් අමාත්‍යවරයා සහ කෘෂිකර්ම පරිපාලකයින් සහ අමාත්‍යවරුන් දෙදෙනා සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වුවා. බඩඉරිඟු හිඟයක් ඇත්නම් එය සත්ත්ව නිෂ්පාදනයට බලපානවා. බඩඉරිඟු නිෂ්පාදනයේ යම් ගැටළුවක් ඇත්නම් එය අතිරේකව ලබා දීමට අවශ්‍යයි. අපේ පශු සම්පත් කර්මාන්තයට බලපෑමක් කරනවාට අපි කැමති නැහැ. මම විශ්වාස කරනවා මිනිස්සු ඉක්මනින් වගා කටයුතු ආරම්භ කරයි කියලා. වසංගතය අපේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද බලපෑම් කළා. පහසුකම් සැකසීමේදී අපි සිටියේ අවාසිදායක තත්ත්වයක යි. දැන් පද්ධතිය එන්නත් කිරීමේ යන්ත්‍රය සමඟ ක්‍රියා කරනවා. අපි ටිකක් වේගයෙන් යන්න ඕන. බඩඉරිඟු වගාව යළි පෙර පැවැති ස්ථාවර තත්ත්වයට පැමිණෙනු ඇතැයි මම සිතනවා. හෙක්ටයාර් ලක්ෂයක බඩඉරිඟු වගා කිරීමට අපි සැලසුම් කළා. මම හිතන්නේ මේ වන විට හෙක්ටයාර් 80,000 ක් වගා කර තිබෙනවා. ඉතිරි අක්කර 20,000 පොහොර ලැබීමත් සමග වගාවට සූදානම් කරයි.

    Q කාබනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කළ බව ඔබ පැවසුවා. හානිකර බැක්ටීරියා හඳුනා ගැනීම සඳහා රසායනාගාර පරීක්ෂණ සඳහා ප්‍රමාණවත් පහසුකම් අප සතුව තිබෙනවාද ?

    එය ඉතා හොඳ ප්‍රශ්නයක්. අපේ පැලෑටි නිරෝධායන විද්‍යාගාර මේවා පළමුවරට පරීක්‍ෂා කරන්නේ නැහැ. ශාක ආරක්‍ෂාව සඳහා අපට ඉතා හොඳ ඉතිහාසයක් තිබෙනවා. අනවශ්‍ය රෝග කාරක මෙරටට ගෙන ඒමේදී එම වෘත්තියේ නියුතු අය කිසි දිනෙක වග කිව යුතු නැහැ. ඔවුන් තමන්ගේ රාජකාරිය කරනවා. මම ඔවුන්ට ඇත්තෙන්ම ස්තූතිවන්ත වෙනවා. කිසියම් රෝග කාරකයක් පැමිණියහොත් එය ව්‍යසනයක්. ඒ සඳහා ඔවුන්ට පහසුකම් තිබෙනවා. අනෙක් රටවල පහසුකම් සමඟ එම පහසුකම් සියයට සියයක්ම ගැලපෙනවා යැයි මින් අදහස් වන්නේ නැහැ. අපට තවත් උපකරණ, නවීන උපකරණ ලබා ගැනීමට අවශ්‍යයි. අපට අරමුදල් ලැබී තිබෙනවා. මට විශ්වාසයි මේ පහසුකම් හරි යයි කියලා. නමුත්, ඔවුන් හොඳ රැකියාවක් කරනවා. දැනට තිබෙන පහසුකම් සහිතව ඔවුන්ට ඉතා නිවැරදි වාර්තා ලබා ගත හැකියි. අපේ රටේ ශාක හා සත්‍ව ආරක්‍ෂක පද්ධතිය කාර්‍යක්‍ෂමයි. ඔවුන් කිසිදු අයුතු ක්‍රියාවකට සම්බන්ධ වන්නේ නැහැ.

    ගොවීන් තුළ ධනාත්මක මානසිකත්වයක් ඇති වෙිවි. අපි පරිපාලකයින් බව ඇත්ත. සියලුම පරිපාලකයින් ශ්‍රී ලාංකිකයන්. කෙසේ හෝ කෘෂිකර්මාන්තය විනාශ කිරීමට ඔවුන්ට අවශ්‍ය නැහැ. 

    Q චීනයෙන් ආනයනය කරන ලද කාබනික නයිට්‍රජන් නිස්සාරක සාම්පල ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අර්බුදයක් හටගෙන තිබෙනවා. එවැනි කාරණා වල අඩංගු අහිතකර බැක්ටීරියා පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට අවම වශයෙන් දින 67 ක් ගත වන බව චීන තානාපති කාර්යාලය පැවසුවා. එහෙත්, අපි දින තුනක් තුළ එය කර තිබෙනවා. චීන සමාගම එයට විරුද්ධ වුණා. ඔබ එයට ආමන්ත්‍රණය කිරීමට යන්නේ කෙසේද?

    මගේ මට්ටමට අනුව, මා සතුව ඇති තොරතුරු සමඟ මෙය පැලෑටි ආරක්‍ෂක විශේෂඥයින් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කණ්ඩායම විසින් ගනු ලැබූ කාර්මික ගැටලුවක්. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපට වෙනම අතිරේක ලේකම්වරුන් සිටිනවා. ඔවුන් ඉතා නිවැරදිව ඒ සමඟ කටයුතු කර මට වාර්තා කරනවා. අපට මුලින්ම ලැබුණු සාම්පල එවැනි බැක්ටීරියා ඇති බව සොයා ගත්තා. එය සිදු වූයේ ඇයිද යන්න සැකයක් ඇති වුණා. එය සිදු විය හැකි යැයි අපි විශ්වාස කළේ නැහැ. අපි ඉතා පැහැදිලි, විනිවිද පෙනෙන, ප්‍රසම්පාදන පටිපාටි අනුගමනය කර තිබෙනවා. අපි සියලු ප්‍රමිතීන් අනුගමනය කර තිබෙනවා. ඊට පස්සේ, අපි දෙවන සාම්පලය ගෙනාවා. එය විවිධ ස්ථාන තුනකදී පරීක්‍ෂා කළා. අපි එයම සොයා ගත්තා. ඕනෑම ප්‍රතිශතයක බැක්ටීරියා තිබේ නම් එය ගැටලුවක්. සමාගම පවසන්නේ එහි නිෂ්පාදනය මුළුමනින්ම ආරක්‍ෂිත බවත් වන්ධ්‍යාකරණය කළ බවයි. අපේ පර්යේෂකයින් තමන් කළ දේවල ප්‍රතිඵල පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා. එය දින තුනක් හෝ දින හතරක් වුවත් ඔවුන් එය ආරක්ෂා කරනවා. සම්පූර්ණ වාර්තාවක් දීමට දින 6 ක් ගත විය හැකියි. එවැනි සංඝටක මෙහි ගෙන නොඑන ලෙස අපි සංඥාවක් ලබා දී තිබෙනවා.  ප්‍රමුඛ සමාගමක් වශයෙන් එය තානාපති කාර්යාලයට වාර්තා කර තිබෙනවා. එය ලොකු ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවක් නොවෙයි. අප සතුව සාක්ෂි තිබෙනවා. අපි එය ඔප්පු කිරීමට යනවා. එය ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවෙයි. චීනය අපට විවිධාකාරයෙන් උදව් කරන රටක්. එම පොහොර නැව්ගත කිරීම දැනට නතර කර ඇතත් ක්‍රියාවලිය තවමත් වසා නැහැ. මෙය ජාත්‍යන්තර ප්‍රසම්පාදනයක්. අදාළ සමාගම අපෙන් කිසිදු මූල්‍ය ඉල්ලීමක් නොකරන බව මට විශ්වාසයි. සමාගම එය අවබෝධ කර ගනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරනවා

    Q මේ සම්බන්ධයෙන් ඔබ චීන සමාගම සමඟ සම්බන්ධව සිටිනවාද ?

    ඇත්ත වශයෙන්ම, මට එවැනි සම්බන්ධයක් නැහැ. ඒ සඳහා අපට වෙනම ලේකම්වරයෙක් සිටිනවා.

    Q දේශීයව වගා කළ හැකි ආහාර බෝග සඳහා රජය ආනයන සීමා පනවා තිබෙනවා. එහෙත් වසර දෙකකින් දේශීය අස්වැන්න තවමත් ප්‍රමාණවත් නැහැ. මෙම අයිතමයන්ගේ මිල ගණන් ඉහළට ගොස් තිබෙනවා. ඔබ ස්වයංපෝෂිත භාවයක් ලබා ගැනීමට යන්නේ කවදාද?

    ඔබ 2019 සංඛ්‍යා දෙස බලන විට තත්වය යහපත් විය හැකියි. කොවිඩ් තත්ත්වයත් සමඟ ක්ෂේත්‍ර චාරිකා, සම්බන්ධීකරණය හා බීජ බෙදා හැරීම අඩාල වුණා. අපට විශාල මෙගා ව්‍යාපෘති හයක් තිබෙනවා. අපිට ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. අමාත්‍යාංශය ද යම් ගැටලුවකට මුහුණ දුන්නා. ප්‍රාදේශීය මට්ටමින් සමහර නිලධාරීන්ට වැඩ කිරීමට නොහැකි වුණා. මේ සියල්ල යම් ප්‍රමාදයකට තුඩු දුන්නා. අපි දැන් එය අල්ලාගෙන යනවා. පසුගිය මාස තුන තුළ අපි වැඩට බැස්සා. ව්‍යාපෘති කළමනාකරණය මගේ විෂයයක්. එය මගේ ප්‍රවීණතා ක්ෂේත්‍රයයි. පසුගිය අවුරුදු 20 තුළ මම එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය සඳහා සම්බන්ධ වී සිටියා. මගේ කාර්යභාරය ඉටු කිරීමට මට මෙය හොඳ අවස්ථාවක්. කිසිවෙකුට භාර ගැනීමට අවශ්‍ය නැති අවස්ථාවක මම මෙම තනතුර භාර ගත්තා. මම උපකුලපතිව සිටියා. මට සියලු වරප්‍රසාද තිබුණා. මට සතුටින් ඉන්න තිබුණා. මට අවශ්‍ය වූයේ මෙහි වැඩ භාරගෙන භාර ගත් කටයුත්ත ජය ගැනීමටයි. මට එය කළ හැකි බව මට විශ්වාසයි. කෘෂිකර්මාන්තය කියන්නේ පොහොර පමණක් නොවෙයි. පොහොර කියන්නේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ වෙනත් සිය ගණනක් දේවල් වලින් එකක් පමණයි. මගේ කණ්ඩායම සහ අනෙකුත් පාර්ශවකරුවන් මේ අභියෝග ජයගත හැකිවනු ඇති බව මට විශ්වාසයි.

    Q ස්වයංපෝෂිත භාවයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි යැයි ඔබට විශ්වාසද ? 

    මම විශ්වාස කරනවා. යෙදවුම් ලබා දී ඇත්නම් එය කළ හැකියි. පසුගිය දශක කිහිපය තුළ කෘෂිකර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අපට තිබුණේ නැහැ. එය දියුණු කිරීම සඳහා මම පෞද්ගලිකවම සම්බන්ධ වුණා.  මම එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

    ඔක්තෝබර් 19 වැනි දා ඩේලි මිරර් පුවත්පතේ පළ වූ ලිපියක පරිවර්තනයකි

  • ආනයනික කුණු ලොකු ලූණු ‘හොඳ ලූණු කරන ජාවාරමක්‘ දඹුල්ල ආර්ථිකේදී අතේ මාට්ටු

    ආනයනික කුණු ලොකු ලූණු ‘හොඳ ලූණු කරන ජාවාරමක්‘ දඹුල්ල ආර්ථිකේදී අතේ මාට්ටු

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් කාන්තාවන් යොදා තෝරා ඒවා කලවම් කොට වෙළඳපොළට යැවීමේ ක්‍රියාවලිය සිදුවන බව දඹුල්ල නගරාධිපති ජාලිය  ඕපාත මහතාට අද (16) දින තොරතුරක් ලැබී තිබිණි

    නගරාධිපතිවරයා  වීශේෂ රාජකාරියක් සඳහා වෙනත් ප්‍රදේශයකට පිටව ගොස් සිටීම නිසා නගර සභාවේ වෙනත් නියෝජිතයන් පිරිසක් අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි මෙම ගබඩා පරික්ෂා කිරීම් සිදු කරනු ලැබූයේ  නගරාධිපතිවරයා  ජංගම දුරකථනයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ  සම්බන්ධ කරගෙන වීම  විශේෂත්වයකි.

    නිවාඩු දිනයක් නිසා නගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් නොමැති වීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශේෂ  රාජකාරි කටයුත්තක් සඳහා පිටව ගිය  අවස්ථාවක මෙම ජාවාරම සිදු කර ගෙන යන බවට තොරතුරු ලැබී තිබීම ද විශේෂත්වයක් බව නගරාධිපත් ජාලිය ඕපාත මහතා පැවසීය.

    පසුව සොයා බැලීමේදී ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා දෙකක පාකිස්ථානයෙන් ආනයනය කරන ලද මෙම අහාරයට නුසුදුසු ලොකු ලූනු තොග කාන්තාවන් යොදා ගෙන සුද්ධ කරන ආකාරය දැකගත හැකි විය. එම කාන්තාවන් විසින් සිදු කළේ පැළ වී ඇති ළූණු ගෙඩි වල පත්‍ර සහ කිරි මුල් කපා  ඉවත් කිරීමයි.

    මෙම කාන්තාවන් පිරිස ගෙන් ලැබුණු  තොරතුරු මත ලොකු ලූනු කන්ටේනර් ගෙනා තිබූ ව්‍යාපාරිකයන්ගෙන් විමසීමේ දී කි ඔහුයා සිටියේ කන්ටේනර් රථයකින් මෙම ලූනු ගෙනැවිත් තම ගබඩා වලට ලබා දී එම කන්ටේනර් රථය නැවත ගිය බවය.

    එම ලූණු සහිත කන්ටේනර් රථය කොහේ ගියාද යන්න නොදන්නා බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාර වලට සම්බන්ධ ලූණු ගෙන්වූ ව්‍යාපාරිකයාගේ ගෝලයින්  නගරාධිපති ජාලිය ඕපාත මහතාට දැනුම් දුන්නේය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ඉදිරිපිට ලංගම ඩිපෝව ආසන්නයේ පිහිටි ගබඩාවක කාන්තාවන් පිරිසක් ලොකු ලූණු සුද්ද  කරන සිටින ආකාරය දැක එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීම්ට නගර සභා සේවකයින් කිහිප දෙනකු උත්සාහ කරද්දී එම  ව්‍යාපාරිකයන් කාන්තාවන් ගබඩා කාමරයට දමා දොරවල් වසා එළියේ රැඳී සිට ඇත.

    පසුව නගර සභා නිලධාරීන් තම රාජකාරී හැඳුනුම්පත එම ව්‍යාපාරිකයින්ට පෙන්වා දොර විවෘත කරන ලෙස ඉල්ලීම් කළද ඊට එම වෙළෙඳුන් අවනත නොවූහ. විනාඩි 30ක පමණ කාලයක් දොර වසා දමා තිබීමින් පසුව නැවත තවත් ව්‍යාපාරිකයෙකුගේ හිතවතෙක් පැමිණ මෙම ලොකු ලූනුළූණු තොගය ඉවත් කිරීම සඳහා සූදානම් කරන බව පවසා දොර විවෘත කළේය. එම ගබඩාව  විවෘත කරන අවස්ථාවේදී ද පැළ වුණු ලොකු  ලූනු විශාල වශයෙන් කාන්තාවන් යොදා සුද්ධ පවිත්‍ර කරන අයුරු දැක ගැනීමට හැකි වූ අතර කාන්තාවන් එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබිණි.

    මෙම නරක් වූ ලොකු ලුණු සහිත කන්ටේනර් රථය 16 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ස්ථාන කීපයකම ගබඩාවලට මේවා ලබා දෙමින් සිටින බව නගරාධිපතිවරයාට ලැබුණු තොරතුරු වල සඳහන්ව තිබුණු නිසා නගර සභා නිලධාරීන් තවත් පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය ඇතිව දඹුල්ල නගරයේ ස්ථාන රැසක මෙම ලොකු ලුණු  කන්ටේනර් රථය  සොයන්නට වූහ.‍

    එහිදී නිලධාරී කණ්ඩායමකට  ලැබුණු තොරතුරක  සදහන්  වුයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 5ක් පමණ දුරකින් පිහිටි  දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ මෙම කන්ටේනර් රථය ධාවනය වෙමින් පවතින බවය. ඒ අනුව නගර සභා නිලධාරීන් වහාම යතුරුපැදි වල ගොස්  කන්දලම  පාර  සිසිරවත්ත ප්‍රදේශයේ දී මෙම කන්ටේනර් රථය නවතා ගෙන පරීක්ෂාවට ලක් කරන්නට වූහ.

    එහිදී කන්ටේනර් රියදුරු කියා සිටියේ මෙම කන්ටේනර් රථයේ ලොකු ළූණු කිලෝ 10,000ක් පමණ ඉතිරිව ඇති බවත් අර්තාපල් තොගයක් ද  පවතින බවය. වරායෙන් නිකුත් කරන කිසිදු ලියකියවිල්ලක් තමන් සතුව නොමැති බවද ඔහු සඳහන් කළේය.

    කෙසේ වෙතත් එම කන්ටේනර් රථය විවෘත කිරීම් සඳහා නගර සභා සේවකයින් උපදෙස් ලබා දුන්නද විනාඩි 45ක පමණ කාලයක් එය විවෘත කිරීමකින් තොරව යතුර නැති බව පවසමින් ඔවුන් නිලධාරින් රස්තියාදු කරන්නට විය.

    එම ස්ථානයට පැමිණි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු කියා සිටියේ පාකිස්තථානයෙන් ගෙන්වන ලද මෙම ලොකු ලූනු තොගය විනාශ කිරීමට කැමැත්ත පළ කරන බව ය. මෙම ලොකු ලුණු වරායෙන් නිදහස් කර ගැනීමේ ප්‍රමාදය නිසා පැළවී ඇති බව ද ඔහු කීවේය.

    ඒ අනුව  අදාළ ලොකු ලූණු තොගය දඹුල්ල මහ නගර සභාව භාරයට ගැනීමට පියවර ගනු ලැබිණි.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ජැකොලින්ට වුණ දේම යොහානිටත් සිදු වේවිද ?

    ජැකොලින්ට වුණ දේම යොහානිටත් සිදු වේවිද ?

    දැන් ජැකලින්ට සිදු වූ දෙය පුනරාවර්තනය වීමක් යොහානි හරහා ද සිදුවනු පෙනේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර දක්වා ගිය ඇගේ කීර්තිය සහ ඉන්දියාව වැනි මෙගා වෙළඳපොළකට ලබා දිය හැකි දැවැන්ත මූල්‍ය අපේක්ෂාවන් සමඟ යොහානි යළි ශ්‍රී ලංකාවේ පාලනයට ගැනීම කිසිසේත් පහසු කාර්යයක් නොවේ. 

    සත්‍යයට මුහුණ දෙමු: පසුගිය මාස කිහිපය තුළ යොහානි ද සිල්වාට ලැබුණු ජාත්‍යන්තර කීර්තිය හා පිළිගැනීම කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට ලැබී නැත. ‘මැණිකේ මගේ හිතේ‘ ගීතය යූටියුබ් ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟම ඇය ජනප්‍රියත්වයේ උච්චතම ස්ථානයට පැමිණියාය.

    මෙම ගීතය සෑම විටම ලොව පුරා ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ආකර්ෂණීය නාදය, ආදරණීය හඩ සහ සිනහව හා නිහතමානී පෞරුෂය සමඟ බැඳී ඇත.

    මේ මොහොතේ මුළු රටම ආර්ථික වශයෙන් බංකොලොත්භාවයේ සහ සමාජීය වශයෙන් බිඳවැටීමේ අද්දර සිටින අතර, යොහානි තනිවම ධනාත්මක ප්‍රසිද්ධියක් ගෙන එයි‍. නොදැනුවත්වම වුවත්, ජාත්‍යන්තරව රටට ලැබෙමින් පවතින නරක ප්‍රතිචාර සඳහා වන්දි ගෙවයි.

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් ගායකයින් හෝ ගායිකාවන් බිහි කර නැත. ඉන්දියාවේ සංගීත විශාරදයින් විසින් එච්ආර් ජෝතිපාල වැනි ශ්‍රේෂ්ඨ ගායකයින් ඇගයීමට ලක් කළ ද, සුජාතා අත්තනායක ඉන්දියාවේ රසිකයින් අතරට පැමිණිය ද, කිසිදු අදහසක් නොමැතිව, දහඩිය නොහෙලාම යොහානි ලබා ඇති දේ විශ්මය ජනක ය.

    ජිප්සීස් නායක සුනිල් පෙරේරා වරක් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසූ දෙයක් මට සිහිපත් වෙයි. ඔහු ජාත්‍යන්තරව ප්‍රසිද්ධ නැත.

    ‘‘අපි විදේශයන්හි සංගීත සංදර්ශන පැවැත්වූ විට අපි මුණ ගැසීමට පැමිණියේ ශ්‍රී ලාංකිකයින් පමණයි. යම් කිසි අවස්ථාවක විදේශිකයෙකු පැමිණියේ නම් ඔහු හෝ ඇය ශ්‍රී ලාංකිකයෙකු සමග විවාහා වූ අයෙක්. නැති නම් ශ්‍රී ලාංකික මිතුරෙක් සමග පැමිණි අයෙක්‘ සුනිල් පෙරේරා කීවේය.

    සුනිල් පෙරේරා සෑම විටම සත්‍යය පැවසූ අතර, මේ කාරණයේදී ද ඔහු නිවැරදි විය. යොහානි පැමිණෙන තෙක් ජාත්‍යන්තර කීර්තියක් මෙතෙක් ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට නොතිබුණි.

    කුහකකම 

    බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන් යොහානිට සුබ පැතීම පවා නොකළ අතර ඇය විසින් ලබා ඇති අතිවිශිෂ්ට කීර්තියට ප්‍රතිචාර දැක්වූයේ සාමාන්‍ය කුහකකමෙනි. (ඔවුන් එසේ කළ යුතු යැයි නියමයක් නැති බව සැබෑය) නමුත් යොහානිගේ ගායන හැකියාව පමණක් නොව නිහතමානීකම නිසා ඇයව අගය කරමින් ලාංකික මෙන්ම ජාත්‍යන්තර ජනතාව යොහානි හදවතින්ම වැළඳ ගත්හ.

    අනෙක් අතට, ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මුහුණමින් දෙපා සෙලවෙමින් සිටින මිලියන සිය ගණනක් වූ රසිකයන් ඊනියා සංගීත ලොක්කන් අමතක කර දමති. ඉදිරි දශක කිහිපය තුළ දේශීය සීමාවන්ගෙන් ඔබ්බට ජනප්‍රියත්වය ගෙන ඒමේදී යොහානි තරම් විශාල කිසිවෙකු නොසිටින බව පැහැදිලිය.

    යොහානිට ප්‍රධාන ධාරාව ප්‍රතිචාර දැක්වූ ආකාරය අනුව, ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රය පුරා පැතිරී ඇති කුලල් කා ගැනීම්, කුහකකම්, බෙල්ල කැපීමේ එදිරිවාදිකම්, ඥාති සංග්‍රහය පැහැදිලිව දැකගත හැකි විය. නමුත් දැන් යොහානි ඒ නින්දා කරන්නන්ගෙන් කරදර වීමට නොහැකි තරම් විශාල ය. බිලියන ගණනක සංගීත කර්මාන්තයක කලාකරුවෙකු ලෙස ජනප්‍රියතාවයෙන් සහ වාණිජ ශක්‍යතාවයෙන් ඇය ඔවුන්ට වඩා වසර ගණනාවක් ඉදිරියට ගොස් ඇත.

    සරල ගීතයක් සහ ආදරණීය ගායිකාවක්

    මේ සියල්ල කියමින් අපි තවත් සත්‍යයකට මුහුණ දෙමු. යොහානි ඉතාමත් දක්ෂ ගායිකාවක් නොවන අතර ඇයට වඩාත් සංකීර්ණ හෝ සියුම් කටහඩක් ද නැත, එසේම මැණිකේ මගේ හිතේ ගීතය සංගීතය අතින් විශිෂ්ට ගීතයක් ද නොවේ. එය ඉතාමත් ආකර්ෂණීය, සරල හා තරමක් පුන පුනා කියවන ප්‍රිය උපදවන ගායකයෙකු විසින් ගායනය කරන ගීතයකි.

    ජේසන් ඩොනවන්, රික් ඇස්ට්ලි, බිලී රේ සිරස්, කයිලි මිනොග් යනාදීන් කිසි විටෙකත් ඉහළ පෙළේ ගායකයින් නොවීය, සුවිශේෂී සංගීත හැකියාවක් ද ඔවුනට නොතිබුණි. නැතහොත් ඔවුන් ගායනය කළ ගීත අද්විතීය යැයි කිව නොහැකිය. නමුත් රසිකයන් ඔවුන්ට ඇලුම් කළ අතර ඒවා ඩොලර් බිලියන ගණනක් උපයා ගත් ක්ෂණික ජනප්‍රිය ඒවා විය.

    සංගීතය මෙන්ම සංචාරක ව්‍යාපාරය සහ සමාගම් වැනි වෙනත් කර්මාන්ත ද එම රටවල සිහිවටන නිෂ්පාදකයින් ද එම සියළුම ජයග්‍රහණ වලින් ප්‍රයෝජන ලැබීය. ජනප්‍රියත්වය හාස්‍ය ජනක දෙයකි. ‘‘ඔබේ තරුව නැගී එන විට කිසිවෙකුට ඔබව වළක්වන්න බැරි බව‘ ඔවුන් කියන්නේ එබැවිනි. යොහානිගේ තාරකාව නැගී එන බව කීම ඉතා පහත් තැකීමකි. ඇය ඉහළට යන වෙඩි තැබීමේ තරුවකි. (අවම වශයෙන් මොහොතකටවත්) සෑම පිස්සුවක්ම මෙන්, මැණිකේ මගේ හිතේ සංවේදනය අවසානයේදී පහව යනු ඇත.

    ඇත්ත වශයෙන්ම, සති කිහිපයකට පෙර බීබීසී හි ආසියානු ගීත ලැයිස්තුවේ අංක 09 ස්ථානයේ සිටි යොහානිගේ ගීතය‍ දැන් 13 වැනි ස්ථානය දක්වා පහළට ගොස් ඇත. කිසිඳු ගීතයක් එහි ජනප්‍රියත්වයේ සදහටම පවතින්නේ නැත. ඇය මේ වන විටත් උච්චතම ස්ථානයට ගොස් නැතිනම් ගීතයේ ජනප්‍රියතාවය හීන වෙමින් පවතී නම් ඉදිරි සති කිහිපය තුළදී එය එසේ වනු ඇත.

    ගෝලීය සංගීත ක්‍ෂේත්‍රය තුළ ‘වන් හිට් වොන්ඩර්ස් – ‘One hit wonders’දුර්ලභ දෙයක් නොවේ. යූටියුබ් හි ජනප්‍රියතාව පමණක් දිගු කාලීනව වෘත්තීයමය සාර්ථකත්වයක් සහතික කිරීමට ප්‍රමාණවත් නොවේ. නමුත් යොහානි ඉතා පොහොසත් කලාකරුවෙකු කිරීමට ඇයගේ වර්තමාන ජනප්‍රියත්වයම ප්‍රමාණවත්ය.

    Bigg Boss 15: Manike Mage Hithe singer Yohani makes Salman Khan sing her viral song (Watch)-SYT
    යොහානි සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සමග

    ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වීම 

    අපේ යොහානිගේ නොසිතූ ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගෙන එය ශ්‍රී ලංකාවට වාසිදායක දෙයකට යොමු කිරීමට අප සමත් වී තිබේද? විශේෂයෙන්, විදේශ මුදල් සඳහා අප දැඩි ලෙස පීඩාවට පත් වී සිටින අවස්ථාවක, කොරෝනා ව්‍යසනයෙන් පසු ඇයව සංචාරක ව්‍යාපාරයේ සන්නාම තානාපති කිරීමට අපි පියවර ගෙන තිබේද? යොහානි විසින් ශ්‍රී ලාංකික කලාකරුවන් සඳහා විවර කර දෙන නව ජාත්‍යන්තර වෙළඳපොලවල් හඳුනා ගැනීමට අපට හැකි වන අතර එමඟින් ඔවුන්ට ජයග්‍රහණ ලබා ගත හැකිද? නමුත්  එය එසේ නොවන බව පෙනේ.

    පාර්ලිමේන්තුවේදී යොහානිගේ ගීතය වාදනය කිරීමට හෝ ඇයට සම්මානයක් යෝජනා කිරීමට වඩා ඇයගේ ජනප්‍රියතාවයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීම ප්‍රධාන ප්‍රමුඛතාවක් විය යුතුව තිබුණි. නමුත් මේ අතර කාලය තුළ ඉන්දියාව යොහානි ආදරයෙන් වැළඳ ගත්තාය. බොලිවුඩයේ ජනප්‍රිය නිරූපිකාවක් වන අමිතාබ් බච්චන් මැණිකේ මගේ හිතේ ගීතයට නර්තනය කරන වීඩියෝවක් යොහානි ජාත්‍යන්තර අනුගාමිකයින් අතරට ගෙන ඒම පිළිගත හැකි කරුණකි. එය මේ වන විට යූටියුබ් හි මිලියන 150 ක නරඹා ඇත. ඉන්පසුව, යොහානිට ඉන්දියාවේ ප්‍රසංගයක් සඳහා ආරාධනා කිරීමට ඉන්දියානු සංගීත ක්‍ෂේත්‍රය ඉක්මන් වූ අතර, ඇයට ඉන්දියාවෙන් ලැබුණු ප්‍රසංග පෙර නොවූ විරූ ය. ජැකලින් ෆර්නැන්ඩස් සම්බන්ධ වූවා සේම ‘යොහානි’ ද ලංකාවට වඩා ඉන්දියාව සමඟ සම්බන්ධ වුවහොත් කිසිවෙකු පුදුම විය යුතු නැත. දක්ෂතා සම්බන්ධයෙන් ගත් කල ඉන්දියානුවන් ප්‍රධාන දඩයම්කරුවන් ය. නමුත් ඔවුන් කුහකයන් නොවේ.

    යොහානි සහ ජැකලින්

    වින්ග්මන් ඉන්දියාව

    ඇත්තෙන්ම යොහානි මේ වන විටත් ඉන්දියාවේ ප්‍රධාන ටැලන්ට් සමාගම වන‘ වින්ග්මන්‘ (Talent Company Wingman) සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර ඇයව කළමනාකරණය කරනු ලබන්නේ ඉන්දියාවේ සෝනු ලක්වානි විසිනි. එවැනි කළමනාකරණ ගිවිසුම් යටතේ යොහානිට ශ්‍රී ලාංකික අවශ්‍යතාවන්ට මුල් තැන දීම සඳහා තනිවම තීරණය කිරීමේ නිදහස තිබීමට ඇති ඉඩකඩ බොහෝ අඩු ය. ශ්‍රී ලංකාවට අහිමි වූ සහ ඉන්දියාවට හිමි වූ තවත් ශ්‍රේෂ්ඨ කුසලතාවයෙන් යුත් ශ්‍රී ලාංකික නිළි ජැකලින් ෆර්නැන්ඩස් ද එම සමාගම විසින් කළමනාකරණය කරන බව වාර්තා වේ.

    දැන් ජැකලින්ට සිදු වූ දෙය පුනරාවර්තනය වීමක් යොහානි හරහා ද සිදුවනු පෙනේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර දක්වා ගිය ඇගේ කීර්තිය සහ ඉන්දියාව වැනි මෙගා වෙළඳපොළකට ලබා දිය හැකි දැවැන්ත මූල්‍ය අපේක්ෂාවන් සමඟ යොහානි යළි ශ්‍රී ලංකාවේ පාලනයට ගැනීම කිසිසේත් පහසු කාර්යයක් නොවේ.

    යොහානි සහ ඇගේ ගීතය, බොහෝ කාලයක සිට ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට සිදු වූ හොඳම දෙයයි. නමුත් ඇය ඉදිරිපත් කරන දේ අපි ප්‍රයෝජනයට නොගන්නේ නම්, ජැකී මෙන් ඉන්දියාව ඇයව ද ගොදුරු කර ගනු ඇත.

    මැණිකේ, කරුණාකර, අපේ හදවත් බිඳ නොදමන්න!

    සංජීව ප්‍රනාන්දු විසින් ඩේලි මිරර් පුවත්පතට සම්පාදිත ලිපියක දළ පරිවර්තනයකිව

  • මේක අවසන් කන්නය නොවේවා ! දේශය ලොකු ලූණු ගොවීන්ගේ කතාව

    මේක අවසන් කන්නය නොවේවා ! දේශය ලොකු ලූණු ගොවීන්ගේ කතාව

    දේශීය ලොකු ළූණු වගාකරුවන්ට මේ කන්නේ ඉහළ  ආදායමක් ලැබෙන නිසා  ඉදිරි කන්නට සූදානම් කිරීම ඒ අයට තෙල් පොහොර ටික ලබා දීම රජයේ වගකීමක්”

    දේශීය ලොකු ළූණු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් 150ක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි සති කිහිපය වන විට දේශීය ලොකු ළූණු කිලෝව රුපියල් 200 ඉක්මවන  වන  මිලක්  ඉහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා අද (12) පැවසීය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අනුරාධපුර, පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල දේශීය ලොකු ළූණු ගොවීන් සිය අස්වැන්න මේ දිනවල රැගෙන ඒම සිදු කරති.

    දේශීය ලොකු ළූණු කිලෝවක  ගැණුම් මිල රුපියල්  130 සිට  150 දක්වා වූ මිල ගණන් යටතේ මිලදී ගැනීම් සිදු වෙන බව ගොවීහූ පවසති.

    විදේශීය  රට වලින් ලොකුළුණු  ගෙන්වීමේදී  කිලෝවකට රුපියල් 40ක බදු මුදලක් අයකිරීමට රජය පසුගියදා තීරණය කිරීමත් සමඟ දේශීය ලොකු ළූණු ගැනුම් මිල ඉහළ ගිය බව ව්‍යාපාරිකයන් පෙන්වා දෙති.

    විදේශීය රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු කිලෝවක් ද මේ දිනවල රුපියල් 140 ත් 150 ත් අතර  මිලයකට අලෙවි වන බව ලොකු ළූණු ගෙන්වන වෙළෙන්දෝ  පවසති.

    තම  අස්වැන්න සදහා  හොද මිලක් ලැබීම සම්බන්ධයෙන් ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයන් ද සිය අදහස් ප්‍රකාශ කළහ.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ  සභාපති යූ. බී. ඒකනායක මහතා. – “දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අලෙවි කිරීම් සඳහා රැගෙන එන දේශීය ලොකු ළූණු සඳහා හොඳ මිලක් මේ දිනවල ලැබෙනවා. උපරිම රුපියල් 150ක  මිලටත් අලෙවි වෙනවා. ලොකු ළූණු වල තත්ත්වය අනුව තමයි එහෙම මිල තීරණය වෙන්නේ. කෙසේ වෙතත් හොඳ මිලක් මේ දවස්වල ගොවීන්ට ලැබෙමින් පවතින බව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඩොලරය හිග වීමත් එක්ක විදේශ රටවලින් ලොකු ළූණු ආනයනය කිරීමත් ප්‍රමාද වෙලා තියෙනවා. ඉදිරි සති කිහිපය අනිවාර්යෙන්ම දේශීය  ලොකු ළූණු කිලෝව රුපියල් 220 ත් අතර ඉහළ මිලයක් පවතී කියලා විශ්වාස කරනවා. දේශීය ලොකු ළූණු වගාකරුවන්ට මේ කන්නේ ඉහළ  ආදායමක් ලැබෙන නිසා  ඉදිරි කන්නට සූදානම් කිරීම ඒ අයට තෙල් පොහොර ටික ලබා දීම රජයේ වගකීමක්”

    දේශීය ලොකු ළූණු  ගොවියෙකු වන ආර්. කේ. ගුණසේකර මහතා -“මම  ගලෙන්බිඳුනුවැව ඉඳලා තමයි ලොකු ළූණු ගෙනාවේ. මගෙම දේශීය  බීජ අරගෙන මම වගා කළේ. අද මගේ ළූණු සඳහා රුපියල් 150ක මිලක් මම කියනවා. ඒ තරම්ම හොඳ සාර්ථක අස්වැන්නක් මට ලැබිලා තියෙනවා. ලුණුත්  ප්‍රමාණයත් ඉතා ලොකු. ඒ නිසා අපි හිතනවා ළූණු සඳහා ඉදිරියේදී හොඳ මිලක් ලැබෙයි කියලා. අපේ  ළඟ තියාගෙන හිටපු රසායනික පොහොර යොදලා මේ වගා කළේ. හැබැයි ඉදිරි කන්නයේදී වගා කරන්න හැකියාවක් නැති වේවි. මොකද රසායනික පොහොර සහ කෘමිනාශක නැහැ. එනිසා සාර්ථක අස්වැන්නක් ලැබිලා අතමිට සරු වුණත් මේ මුදල් ටික අපිට තියාගෙන ඉන්න වෙයි වගාවක් නොකරන නිසා ජීවත් වෙන්න.”

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල