Category: සුපිරි Cases

  • 1971 ඉන්දු – පාකිස්ථාන් යුද ජයග්‍රහණයේ රිදී ජුබිලිය සමරයි

    1971 ඉන්දු – පාකිස්ථාන් යුද ජයග්‍රහණයේ රිදී ජුබිලිය සමරයි

    ෂෙයික් මුජිබර් රහ්මාන් රාවල්පින්ඩි හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද්ධය පිළිබඳ භීතිය ඇති විය.

    1971 වසරේදී සියලු දුෂ්කරතාවලට මුහුණ දෙමින් පකිස්තානයට එරෙහිව ඉන්දියාව ලැබූ ජයග්‍රහණයේ 50 වැනි වසර බ්‍රහස්පතින්දා ‘විජය දිවාස්‘ ලෙස සමරනු ලැබීය. යුද ප්‍රවීණයන් සිය ප්‍රතිරාවය කරන අත්දැකීම් විස්තර කළේය.

    කමාන්ඩර් (විශ්‍රාමික) අජේ කුමාර් රේ, එවකට ගුජරාටයේ බටහිර වෙරළ තීරයේ ඉන්දීය නාවික නෞකාවක් වන ක්‍රිෂ්ණා හි සේවයේ යොදවා සිටි 23 හැවිරිදි ෆ්ලයිට් ලුතිනන්වරයෙකු මෙසේ පැවසීය, “යුද්ධය පිළිබඳ භීතිය මාර්තු මාසයේ සිට අවාමි ලීගය ආරම්භ වූ සමස්ථ කාල පරිච්ඡේදයේ සිටම වර්ධනය වෙමින් පැවතුනි. නායක ෂෙයික් මුජිබර් රහ්මාන් රාවල්පින්ඩිහිදී අත්අඩංගුවට ගනු ලැබීය.

    “සියලු සූදානම සකස් කර, ඉන්දීය හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සීරුවෙන් සිටි අතර ඔක්තෝම්බර් මාසයේ මෝසම් වැසි අවසන් වී ටික කලකට පසු පාකිස්තානය සමඟ යුද්ධයට සූදානම් විය,” ඔහු සිහිපත් කළේය.

    “දෙසැම්බර් 3 වෙනිදා පකිස්තාන ගුවන් හමුදාව බටහිර අංශයේ ඉන්දියානු ගුවන් ක්ෂේත්‍ර 10-12 කට පමණ බෝම්බ හෙලීමට පටන් ගත් විට යුද්ධය ආරම්භ විය,” ඔහු පැවසීය.

    “දෙසැම්බර් 4-5 රාත්‍රියේ දරුණු සටන් ඇවිළුණු අතර ගුජරාට් වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය යුද නෞකා තුනක් පකිස්තාන යුද නැව් 3ක් ගිල්වා තවත් ආශ්‍රිත නෞකා කිහිපයකට හානි කළා,” කමාන්ඩර් රේ ප්‍රකාශ කළේය.

    “නැවතත් දෙසැම්බර් 9-10 දිනවල අපේ නැව මිසයිල ප්‍රහාර එල්ල කළ අතර එය කරච්චි තෙල් පිරිපහදුවට පවා හානි කළ අතර පකිස්තානයේ මුළු වරාය නගරයම මහ දවල් දුමෙන් වැසී ගියේය,” ඔහු සිහිපත් කළේය.

    “සම්පූර්ණ සටන් විරාමය ප්‍රකාශ කිරීමෙන් පසු දෙසැම්බර් 16 වන දින, ප්‍රධාන යුද නැව් මුම්බායි වෙත ආපසු පැමිණි අතර අපගේ නෞකාව දෙසැම්බර් 20 වන දින ආපසු පැමිණියේය,” යුද ප්‍රවීණයා පැවසීය.

    “අපේ නැවේ බීමට ජලය තිබුණේ නැහැ, කෑම හිඟයි, අපි චපාති සහ කිචුඩි පමණක් අනුභව කළෙමු, දින ගණනාවක් ස්නානය නැතිව සිටියෙමු, නමුත් මුළු මාස හය පුරාම අපගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පැවතුනි,” ඔහු පැවසීය.

    “යුද්ධය අපේ සිත් තුළ සිදුවෙමින් පැවතුනි,” රේ සඳහන් කළේය.

    තවත් යුද ප්‍රවීණයෙකු වන වින්ග් කමාන්ඩර් ආනන්දමෝයි බග්චි, ගුවන්විදුලි සන්නිවේදන කටයුතු පිළිබඳ තාක්ෂණික සහාය ඉංජිනේරුවෙකු ලෙස පතන්කොට් ගුවන් හමුදා ස්ථානයේ ස්ථානගත කර සිටියේ දෙසැම්බර් 3 සිට 16 දක්වා කාලය තුළ ඔහුගේ අත්දැකීම් විස්තර කළේය.

    “මාස ගනනාවක් තිස්සේ යුද්ධය අපේක්ෂාවෙන් ඉහළ අවදියෙන් සිටි අතර අපි සූදානම් වීම ගැන බොහෝ දුරට වෙහෙසට පත්ව සිටියෙමු. නමුත් දෙසැම්බර් 3 වැනිදා තමයි ගුවන් හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වුණේ, අවසානයේ යුද්ධය ආරම්භ වීම ගැන අපට සහනයක් ලැබුණා,” ඔහු පැවසීය.

    “පකිස්තානයේ ප්‍රහාරයක් එල්ල වූ සෑම අවස්ථාවකම, මම සහ මගේ සගයන් බංකර්වල නවාතැන් ගත් අතර, බොහෝ ප්‍රහාර එල්ල වූ දිනවල, අපට රැකවරණය ලබා ගැනීමට පවා කාලය නොමැති විය. ”විංග් කමාන්ඩර් බග්චි සිහිපත් කළේය.

    හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් (විශ්‍රාමික) ශංකර් රෝයි චෞද්රි, එවකට ඉන්දීය හමුදාවේ මේජර්වරයකුව සිටි අතර, ඉන්දියාව විසින් පිහිටුවන ලද විමුක්ති බලවේග තුළ සේවය කිරීමේ අත්දැකීම් පිළිබඳව මීට පෙර අපට පවසා තිබුණි.

    එවකට පැවති තත්වය අතිශයින් සංකීර්ණ සහ ව්‍යාකූල වූවක් ලෙස විස්තර කරමින් ජෙනරාල් රෝයි චෞද්රි පැවසුවේ මුක්ති බහිනි සහ ඉන්දීය හමුදාව යන දෙකම එකම බලකායේ කොටස් බවයි.

    “ගරිල්ලා යුද්ධයේ හරය වන චිත්ත ධෛර්යය බිඳවැටීම වන පකිස්තාන හමුදාවට දිගින් දිගටම හිරිහැර කිරීමටත් උපරිම හානියක් කිරීමටත් අපට නියෝග තිබුණි. රට තුළ හෝනට් කූඩුවක් ඇවිස්සීම දුෂ්කර කාර්යයකි. බංගලිදේශයේ ජනතාව අපිට ගොඩක් පක්ෂ වුණා. එබැවින්, එය මහජන පසුබිමක මහජන යුද්ධයක සම්භාව්‍ය අවස්ථාවයි, ”ඔහු පැවසීය.

    “මුක්ති බහිනියේ ඉන්නකම් අපි සිවිල් ඇඳුමින් යාම අනිවාර්යයි, මොකද එදා යුද්ධය ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. යුද්ධය ප්‍රකාශ කළ පසු අපි අපේ නිල ඇඳුම් හාරගෙන නැවත ඒවාට නැග්ගා. අපි නිල ඇඳුමට මාරු වුණා නම්, අපට රසාකාර්වරුන්ගේ කැපී පෙනෙන ඉලක්ක බවට පත්වීමට ඉඩ තිබුණි,” ජෙනරාල් රෝයි චෞද්රි සිහිපත් කළේය.

    දෙසැම්බර් 16 සටන් විරාමය ප්‍රකාශයට පත් කරන විට, ඔහු මුක්ති බහිනියේ සිට ඔහුගේ සගයන් සමඟ ජෙසෝර් හි සිටියේය.

    “දෙසැම්බර් 16 වැනිදා ඉන්දීය හමුදාව ඩකා වෙත ගිය පසු විශාල පෙළපාලියක් පැවැත්විණි. අපි විමුක්ති බලවේග සමඟ වැඩ කරමින් සිටි අතර මම විමුක්ති බලවේගහි මගේ සහචරයන් සමඟ ජෙසෝර්හි තදාසන්න තැනක ගසක් යට වාඩි වී සිටියෙමි, ”විශ්‍රාමික හමුදා ප්‍රධානියා පැවසීය.

    “මම හිටියේ සාමාන්‍ය ඇඳුමෙන්. මම ගුවන්විදුලියට සම්බන්ධ වී සිටියෙමි, එය නිසි ලෙස ක්‍රියා නොකරයි, නමුත් අපි ඉන්දියානු හමුදාවේ අපගේ සහෝදරයින්ට සහ ඔවුන්ගේ හොඳ ප්‍රචාරණ ව්‍යාපාරයට, විශේෂයෙන් ප්‍රචාරක ව්‍යාපාරයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ ඉන්දීය හමුදාවේ 16 වන පැරෂුට් බළකායට අපගේ කන් පුහුණු කර ඇත්තෙමු. එකතු කළා.

    indianewsnetwork

  • දඹුල්ල ආර්ථිකේ තවත් කැත ජාවාරමක් අතේ මාට්ටු

    දඹුල්ල ආර්ථිකේ තවත් කැත ජාවාරමක් අතේ මාට්ටු

    මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වා තිබූ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම ලෙස නැවත ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට පෙනෙන පරිදි ඇසුරුම් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ඊයේ (13) පස්වරුවේ සොයාගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉදිරිපස දොර වසා කම්කරුවන් යොදාගෙන ගබඩාව තුළ මෙම  ක්‍රියාවලිය දින කිහිපයක සිට සිදුවෙමින් පවතින බවට නගරාධිපති ජාලිය ඕපාත මහතාට නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු විසින් ලබා දුන් තොරතුරක් මත එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවව මෙම සීනි තොගය සහ වෙළඳසැල් හිමිකරු පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලි කිරිමට පියවර ගෙන තිබේ.

    ඉදිරි නත්තල හා උත්සව සමයේ මෙම සිනි තොග රට පුරා පාරිභෝගික ජනතාවට අලෙවි කිරීම මෙම ව්‍යාපාරිකයින්ගේ සැලසුම වී තිබේ.

    රටේ සිනි හිඟයක් පැවති වකවානුවේ සඟවා තිබූ මෙම සීනි මීයන් සහ වෙනත් සතුන් විසින් විනාශ කොට ඇති අතර මේවායේ  ඇසුරුම් සියල්ල දිරා  ගොස් තෙත බරිත හා අව පැහැ ගැන්වී ඇත. ඇතැම් තෝග මිටි මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට ම පත්ව තිබූ බව දඹුල්ල නගරාධිපති  ජාලිය ඕපාත මහතා පැවසීය.

    තමන් ඇතුළු කණ්ඩායම එම ස්ථානයට යන විටත් සේවකයන් කිහිප දෙනෙකු ඉන්දියාවෙන් ගෙන්වා තිබු මෙම සීනි තොග බිම දමාගෙන කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව වෙන්කොට කල් ඉකුත්වීමේ දින සහිත නිෂ්පාදන දින වෙනස් කොට ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට පත් කරමින් නැවත ඇසුරු කරමින් සිටි බව නගරාධිපතිවරයා පැවසීය.

    මේ ගැන ප්‍රශ්න කළ විට මෙම ක්‍රියාවලිය සිදු කරමින් සිටී ව්‍යාපාරිකයන් කියා සිටියේ ආහාරයට සුදුසු ප්‍රමාණය පමණක් ලබාගෙන ඉතිරි  සීනි තොග ඉවත් කිරීම් සඳහා සකසමින් සිටි බවය.

    කෙසේ වෙතත් මෙම ගබඩාව පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී  ආහාර ද්‍රව්‍ය රැසක් ද දැඩි ලෙස අපවිත්‍ර තිබූ බවත් රෙදි සෝදන සබන් කුඩු වර්ග, දියලුණු,  කොත්තමල්ලි, සහල් ආදිය එකම ගබඩාවක එකම ගොඩේ ඇසුරුම් කර ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව ද නගරාධිපතිවරයා කීය.

    නගරාධිපති ජාලිය ඕපාත මහතා සේවකයන්ට අවවාද කරන අයුරු

    මෙම ව්‍යාපාරිකයාට මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනතාව පරිභෝජනය කිරීමට නුසුදුසු තත්ත්වයේ පවතින පාරිභෝගික භාණ්ඩ ගබඩා කිරීම, අලෙවි කිරීම ආදී සිදු නොකරන ලෙස අවවාද කිරීම් සහ අධිකරණ කටයුතු ක්‍රියා මාර්ග පවා රැගෙන තිබෙන බවත් එහෙත් දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදු කරන නිසා දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතාට  දැනුම් දී පොලිසියේද සහය ලබාගෙන මෙම සීනි තොගය මහජනතාවට අලෙවි කිරීමට සූදානම් කිරීම සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කොට නීතිය ක්‍රියාත්මක කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    නගරාධිපතිවරයා විසින් මෙම වංචාව ගැන දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ව්‍යාපාරිකයා කියා සිටියේ ඉන්දියාවෙන් ගෙන්වූ  මෙම සීනි ගබඩාව තුළ තිබියදී දිය වී ඇති බව ය. එම නිසා ඇසුරුම් ඉවත් කොට වෙනත් රටක ඇසුරුම් වලට යෙදුවේ ඉන්දියාවේ ඇසුරුම් නොමැති නිසාවෙන් බවය. මෙම සීනි තොගයෙන් ආහාරයට ගැනීමට සුදුසු වේවා පමණක් අලෙවි කරන බව ද මෙම ගබඩාවේ එවැනි සීනි කිලෝ දස දහසක් පමණ තිබෙන බව ද ඔහු කීවේය.

    නගරාධිපතිවරයාගේ දැනුම් දීමට අනුව සහ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පොලිස්  නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ගබඩාව පරීක්ෂා කිරීම් කටයුතු සිදු සිදුකරන්නට විය.

    ගබඩා හිමිකරුවන් නැවත මෙම වරද සිදු නොකරන බවත් එම නිසා සමාවක් ලබා දෙන ලෙස එහි සේවකයෝ පොලිසියෙන් කළ ඉල්ලීම පොලිසිය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ සීනි ආහාරයට ගනිද්දී  සෝදා පරිභෝජනය නොකරන බවය. වෙළදාම කිරීමේදී වගකීමකින් යුතුව කටයුතු කිරීම ව්‍යාපාරිකයන් සතු වගකීමක් බව ද පොලීසිය මෙම ව්‍යාපාරිකයාගේ සේවකයන්ට  පෙන්වා දුන්නේය.ෙ

    මෙහිදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ ව්‍යාපාරිකයන් අපහසුතාවයකට පත් කිරීම් නොව රටේ මහජනතාව ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳව තීන්දු තීරණ ගැනීම් දඹුල්ල ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය බලධාරීයා  ලෙස තමාගේ වගකීම් බවය.

    මෙම ගබඩාවට මුද්‍රා තබා 14 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට අධිකරණය ලබාදෙන තීරණය ක්‍රියාත්මක කරන බව පොලිසිය පැවසිය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • කාබනික දියර පොහොර පුපුරන හේතු සොයා නිෂ්පාදනාගාරයට ගිය ගමන

    කාබනික දියර පොහොර පුපුරන හේතු සොයා නිෂ්පාදනාගාරයට ගිය ගමන

    කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමට  ප්‍රධානතම හේතුව ඇසුරුම් සහා උසස්  තත්ත්වයේ ප්ලාස්ටික් කෑන් හා බෝතල් නොමැතිවීම බවත් ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේ දී මෙම කාබනික දියර පොහොර ප්‍රතිවිරුද්ධ ලෙස ගබඩා කිරීම් බවත් දේශීය දියර පොහොර නිෂ්පාදකයෝ පවසති.

    දිවයිනේ තැන තැන රජය විසින් ගොවීන්ට නොමිලේ ලබාදෙන දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමේ සිද්ධීන් රැසක් වාර්තාවිය.   පොළොන්නරුව දිස්ත්‍රික්කයට වී  සහ අතිරේක බෝග සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට නොමිලේ ලබාදෙන කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ස්ථානය සොයා ගිය අවස්ථාවේදී එහි නිෂ්පාදකයින් මේ බව සඳහන් කළහ.

    හබරණ  තරැස්කොටුව ප්‍රදේශයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය දියර පොහොර නිෂ්පාදනය  කරනු ලබයි. මෙම ස්ථානයේ සිදු කෙරෙන ක්‍රියාදාමය පිළිබඳව මෙන්ම ජනතාව නගන චෝදනා  පිළිබඳව එහි හිමිකරු, කළමනාකරුවන්ගෙන් සහ සේවකයන්ගෙන් කරුණු විමසීමට අප උත්සාහ කළෙමු.

    සි .බි.නාගොල්ලේ ගෙදර මහතා

    රජයේ සහනාධාර යටතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ බෙදාහරින කාබනික දියර පොහොර ආයතනයේ හිමි හිමිකරු සි. පී. නාගොල්ලේ ගෙදර මහතාගෙන් මේ ගැන විමසීමේදී ඔහු කියා සිටියේ තමන්  පොළොන්නරුව දිස්ත්‍රික් ගොවීන් සඳහා මෙම දියර පොහොර රජයට ලබා දීම සිදු කරන බවය. ඉතා වගකීමෙන් මහත් පරිශ්‍රමයක් දරමින් සීයට සීයක් කාබනිකව දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මෙම උසස් තත්ත්වයේ  කාබනික දියර පොහොර ය නිෂ්පාදනය කරන බවද ඒ මහතා පැවසීය.

    එමෙන්ම එහි ව්‍යාපෘති නිලධාරී ප්‍රේමරත්න ගමගෙදර මහතා කියා සිටියේ දේශීය වගාවන් සදහා  ඉතා සාර්ථක  නිෂ්පාදනයක් මෙහි  සිදුකෙරෙන බවයි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මෙම ආයතනයේ කළමනාකරු අසංක සමරසේකර මහතා, ‘ අපි මේ කාබනික දියර පොහොර නිෂ්පාදනය සඳහා දිවයිනේ විවිධ  ප්‍රදේශවලින් ඉවත ලන මුහුදු මාළු  කොටස් තමයි මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන්නේ. ඒවා  හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේ පිහිටි මෙම  නිෂ්පාදනාගාරයට රැගෙනවිත් සියුම්ව කුඩුකර දියර බවට පත්කරමින් මාසයක පමණ කාලයක් මෙම ස්ථානයේ විශාල ප්ලාස්ටික් බැරල් වල තබා තවත් අමු ද්‍රව්‍ය කිහිපයක් එක් කරමින් මෙම දියර පොහොර නිපදවනවා. එමෙන්ම ඒවා සියලු තත්ත්ව පරික්ෂා කිරීම් සිදු කොට වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව තමයි ගොවි සංවිධාන වෙත නිකුත් කිරීම සිදුවන්නේ‘ සමරසේකර මහතා අප සමඟ පැවසීය.

    කළමනාකාර අසංක සමරසේකර මහතා

    මෙම  දියර පොහොර සම්බන්ධයෙන් ජනතාව නගන ප්‍රබලතම චෝදනාව වන ඒවා පිපිරී යාම සහ ඉන් වහනය වන අධික දුර්ගන්ධය පිළිබඳව අප ප්‍රශ්න කළ විට ඒ සම්බන්ධයෙන් සිය අදහස් දැක් වූ අසංක සමරසේකර මහතා කියා සිටියේ ප්‍රමිතියෙන් යුතු ප්ලාස්ටික් කෑන් බෝතල්  නොමැති වීම  මෙම ක්‍රියාවලියට බරපතලව බලපා තිබෙන බවය. මෙම මසුන්ගේ කොටස් දින  ගණනාවක් පල් කිරීමෙන් අනතුරුව ලබා ගන්නා පොහොර දියරය යම්කිසි පළුද්දක් ඇති ඇසුරුමක් තිබුණහොත් ඒවා පුපුරා එළියට ගලා යෑම සිදුවන බව පෙන්වා දුන්නේය.

    ‘‘මේ වන විටත් ලංකාවේ ප්ලාස්ටික් කෑන් වල ගුණාත්මකභාවය සහ ඒවායේ නිෂ්පාදන අවම වීම නිසයි මෙම  තත්ත්වය උදා වී තිබෙන්නේ. එසේ නොමැති නම් මෙම ස්ථානයේ සේවය කරන 60කට අධික සේවක පිරිස් ඉදිරියේ විශාල බැරල් පුපුරා  යෑමක් සිදුවිය යුතුයි. එහෙත් මේ දක්වා එවැනි සිදුවීමක් වුණේ නැහැ. ඒ වගේම මම අවධාරණයෙන් කියන්න කැමැතියි එවැනි කිසිදු අනතුරක් මෙම කාබනික දියර පොහොර තුළ නැති බව‘‘

    මත්ස්‍ය කොටස් වෙන් කරන හැටි

    අසංක සමරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට තම ආයතනය මගින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවී සංවිධාන වෙත දියර පොහොර  ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් ලබාදී තිබෙන බවයි.

    ‘ප්‍රමිතියෙන් තොර ඇසුරුම් කිහිපයක් හසුවීමෙන් ස්ථාන කිහිපයකදී දියර කාබනික පොහොර බෝතල් පුපුරා යෑම සිදු වෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා‘‘ ඔහු පෙන්වා දුන්නේය.

    සියලු පරීක්ෂණ වාර්තා ලබාගෙන නියම  ප්‍රමිතියෙන් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මෙම කාබනික දියර පොහොර  නිෂ්පාදනය කරන බවත් ඕනෑම අයෙකුට හතරැස් කොටුව මෙම කම්මලට පැමිණ නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

    ‘‘අපේ නිෂ්පාදනාගාරය තිබෙන්නේ අතිෂය දුෂ්කර ස්ථානයක. මෙම ස්ථානයේ විදුලි බලය හෝ නැහැ. ඒ නිසා අපි ජෙනරේටර් වලින් තමයි වැඩ කරන්නේ. ඒ වගේම මේ සඳහා අපි ප්‍රදේශවාසීන්ගේ තාක්ෂණය ඥානයත් ලබා ගත්තා. මෙහි යන්ත්‍ර සුත්‍ර නිර්මාණය සිදුකළේ ඒ අනුවයි‘‘ තත්ව  කළමනාකරු ප්‍රදීප් නුවන් මහතා පෙන්වා දුන්නේය.

    ප්‍රදීප් නුවන් මහතා

    කාබනික දියර පොහොර යොදාගෙන සාර්ථක වගාවන් සිදු කර ඇති ගොවීන් දහස් ගණනකගේ හඬ කිසිදු ආකාරයෙන් ජනමාධ්‍ය තුළින් වාර්තා නොවන බවට ද ඔහු චෝදනා කළේය.

    ‘මෙහි සාර්ථක කතා දස දහස් ගණනක් තිබෙනවා. ඒත් කිසිම මාධ්‍යයක් ඒ ගැන වාර්තා කරන්නේ නැහැ. එහෙත්  ඇසුරුම් වල පවතින දුර්වලතාවයක් හා ගබඩා කිරීමේ දී  නිසි පරිදි ගබඩා නොකොට උඩ යට මාරු කොට ඇසුරුම් ගබඩා කිරීම නිසා සිදුවන ගැටලු කිහිපයක් පමණක් මාධ්‍ය මහත් ඉහළින් වාර්තා කරනවා. අපි කියන්නේ මෙවැනි හුදකලා සිදුවීම් කිහිපයක් පමණක් යොදා ගෙන  ගොවියා අපහසුතාවයකට පත් නොකළ යුතු බවයි‘‘

    තම ආයතනය විසින් නිෂ්පාදනය කරන කාබනික දියවර පොහොරවල සාර්ථකත්වය ඕනෑම පරීක්ෂණාගාරයකට ගොස් පරික්ෂා කරන ලෙසත් කිසිදු ආකාරයෙන්  රසායනික හෝ මිනිස් සිරුරට අහිතකර කිසිවක්  නොමැති බවද නුවන් ප්‍රදීප් මහතා පෙන්වා දුන්නේය.

    මෙම කාබනික දියර පොහොරවල දැඩි දුර්ගන්ධයක් පවතින බවට ගොවීන් නගන චෝදනා ගැන අප විමසූ විට ඔහු කියා සිටියේ,

    ‘මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන්නේ මසුන්ගේ කොටස් වලින්. ඒ නිසා එයින් දුර්ගන්ධයක් වහනය වීම ස්වභාවික තත්ත්වයක්. එම ගඳ වහනය වීම වගාවේ කෘමි  පාලනයට සුවිශාල වූ දායකත්වයක් ලබාදෙනවා‘ යැයි ඔහු කීවේය.

    චන්දිමා උදයංගනී මහත්මිය

    මෙහි සේවය කරන හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේ පදිංචි  චන්දිමා උදයංගනී නැමැති සේවිකාව කියා සිටියේ තම ප්‍රදේශයට කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ආයතනය පැමිණීම නිසා ප්‍රදේශයේ කාන්තාවන් සහ පිරිමි 60 දෙනකුට පමණ දිනපතා රැකියා ලැබුණු බවය.

    ‘‘අපේ වගේ දුෂ්කර ප්‍රදේශයකට මෙවැනි කර්මාන්ත ශාලාවක් පැමිණීම ආශිර්වාදයක්. අපි මේ ස්ථානයේ ඉතා සතුටින්  සේවය කරනවා. අපේ සහෝදර ගොවි ජනතාව වෙනුවෙන් සේවය කරන්න ලැබීම ඇත්තෙන්ම සතුටක්. මේ බෝතල් පුපුරා යන බව සමහරු කියනවා. ඒත් අපි කාලයක් තිස්සේ මෙතැන සේවය කරනවා. ඒත් එවැනි අනතුරක් අද දක්වා සිදු වුණේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ගැටලුවක් තිබෙනවා නම් ඒක අපිටත් සිදුවිය යුතුයිනේ. ඒත් අපි ඉතාම ආරක්ෂිතව සේවය කරනවා‘ යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ‘ඩොලර් අවුල’: ඇත්තම කතාව කුමක් ද ?

    ‘ඩොලර් අවුල’: ඇත්තම කතාව කුමක් ද ?

    පසුගිය දෙවසරක කාලය තුළ විදේශ විනිමය සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියෙදී ආණ්ඩුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලා ගෙන ආකාරය පිළිබඳව සුබදායී සිතුවම් අඳිමින් සිටියත් මේ වන විට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බව සියලු දෙනාට වටහා ගැනීමට අසීරු නැහැ.

    රසයනික පොහොර වල සූත්‍ර, ගෑස් සූත්‍ර අතර දැන් ජනතාවට ආර්ථික විද්‍යාවේ බරපතළ මාතෘතා වන ‘විදේශ සංචිත‘ ගෙවුම් ශේෂ අර්බුද, විදේශ සංක්‍රාම / ප්‍රේෂණ ගැන ද අලුතින් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වී තිබෙන්නේය. ඒ මේ වන විට ලංකාවේම අවධානය යොමුව ඇති ප්‍රමුඛම ගැටලුව බවට ජී.ආර්. ආණ්ඩුව සතු ‘විදේශ සංචිත කොපමණ ද? එය කොපමණ කාලයකට ප්‍රමාණවත් වන්නේ ද ආදි ගැටලු‘ බවට පත්ව ඇති නිසාය.

    විදේශ විනියම සංචිත යනු

    මෙහිදී හතර අතේ කතා කරන ‘විදේශ විනියමය සංචිත – Foreign exchange reserves හෙවත් බොහෝ දෙනෙක් කියන ආකාරයට ‘නිල විනිමය සංචිත‘ යනු කුමක් දැයි අප සරල අවබෝධයක් ලබාගත යුතුය. මන්ද දේශපාලනඥයින් සහ තවත් අය ගිරවුන් සේ මේ ගැන කතා කළ ද සාමාන්‍ය පුරවැසියන්ට ඒ ගැන නිවැරදි දැනුවත්භාවයක් ලබාගත හැකි බවක් අපට දැකගත නොහැකිය.

    විදේශ විනිමය සංචිත යනු (Foreign exchange reserves) රටේ ගෙවීම් සමතුලිත කිරීමට, එහි මුදල්වල විදේශ විනිමය අනුපාතිකයට බලපෑම් කිරීමට සහ මූල්‍ය වෙලඳපොළවල විශ්වාසය පවත්වා ගැනීමට මූලික වශයෙන් ලබා ගත හැකි මහ බැංකුවක් හෝ වෙනත් මූල්‍ය අධිකාරියක් සතු රන් වැනි මුදල් සහ අනෙකුත් සංචිත වත්කම්‘ වශයෙන් සරලව නිර්වචනය කළ හැකිය.

    ලෝ ප්‍රකට වෙබ් අඩවියක් වන investopedia.com අනුව, විදේශ විනිමය සංචිත යනු විදේශ මුදල් වලින් මහ බැංකුවක් විසින් සංචිතයේ තබා ඇති වත්කම් වේ. මෙම සංචිත වගකීම් සඳහා සහ මුදල් ප්‍රතිපත්තියට බලපෑම් කිරීමට භාවිතා කරයි. එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුව වැනි මහ බැංකුවක් සතු ඕනෑම විදේශීය මුදල් එයට ඇතුළත් වේ.

    • විදේශ විනිමය සංචිත යනු මහ බැංකුවක් විසින් පවත්වාගෙන යනු ලබන විදේශ මුදල් ඒකකයක් ලෙස නම් කරන ලද වත්කම් වේ.
    • මේවාට විදේශ මුදල්, බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් සහ වෙනත් රජයේ සුරැකුම්පත් ඇතුළත් විය හැකිය.
    • බොහෝ විදේශ විනිමය සංචිත එක්සත් ජනපද ඩොලර් වලින් පවතින අතර චීනය ලෝකයේ විශාලතම විදේශ මුදල් සංචිත හිමියා වේ.
    • රටේ මුදල් ඒකකයට සෘජුව සම්බන්ධ නොවන මුදල් ඒකකයකින් විදේශ විනිමය සංචිත තබා ගැනීම වඩාත් සුදුසු බව ආර්ථික විද්‍යාඥයෝ යෝජනා කරති.

    විදේශ සංචිත වැදගත් වන්නේ ඇයි?

    විදේශ විනිමය සංචිත යනු එහි මුදල් සීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම වැනි හදිසි අවස්ථාවකදී ජාතියේ උපස්ථ අරමුදල් වේ. ස්ථාවර විදේශ විනියම අනුපාත අගයක් තබා ගැනීමට, තරඟකාරී මිල ගණන් සහිත අපනයන පවත්වා ගැනීමට, අර්බුදයකදී ද්‍රවශීලව සිටීමට සහ ආයෝජකයින්ට විශ්වාසය ලබා දීමට රටවල් විදේශ මුදල් සංචිත භාවිතා කරයි.

    රටක විදේශ සංචිත අවසන් වූ විට කුමක් සිදුවේද?

    සංචිත අවසන් වූ පසු, මහ බැංකුවට එහි මුදල් අවප්‍රමාණය කිරීමට බල කෙරෙනු ඇති  අතර රටට කළ හැකි ආනයන දැඩිව පාලනය කිරීමට සිදුවිම අනිවාර්ය කරුණුකි. එසේම රට ලබා ගෙන ඇති විදේශ ණය ආදිය ගෙවීමට නොහැකි වනු ඇති අතර එහි අවසන් ප්‍රතිඵලය ‘බංකලොත්භාවය‘යි.

    ශ්‍රී ලංකාව සතු විදේශ නිල සංචිත කොපමණද ?

    මේ දිනවල 2022 අයවැය ලේඛනය ගැන පාර්ලිමේන්තු කාරක සභා විවාදය සිදුවන නිසා රජය සතු නිල විදේශ සංචිත ගැන වඩාත් පුළුල් සහ ගැඹුරු සංවාදයක් සිදුවේ. එසේම විපක්ෂය ද ජනමාධ්‍ය ද වෙන කවරදාවත් මේ ගැන නොදැක්වූ තරම් උනන්දුවක් ද දක්වන අතර එනිසාම ආණ්ඩුව ද මේ ගැන සංවාදයෙන් ගැළවී යා නොහැකි වාතාවරණයක් නිර්මාණය වී තිබෙන්නේය.

    මේ තත්ත්වය හමුවේ  ජවිපෙ නායකයා පසුගිය 03 වෙනිදා ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න හතරකට පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

    1. පසුගිය නොවැම්බර් මාසයේ 30වැනිදා වන විට විදෙස් විනිමය සංචිතයේ සත්‍ය වටිනාකම ශීර්ෂ අනුව වෙන්වෙන්ව කොපමණද? මහ බැංකුව සතු ක්ෂණිකව ගෙවීම් සඳහා භාවිත කළ හැකි විදෙස් විනිමය ප්‍රමාණය කොපමණද?
    2. රටේ විදෙස් විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද? ඒ සඳහා වන කාලරාමුව කවරේද?
    3. 2021 වසරේ ජංගම ගිණුමේ හිඟය පියවීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන්නේ කවර ක්‍රියාමාර්ගයක්ද?
    4. කොළඹ වරායේ ගොඩගැසී ඇති ආනයනය කරන ලද අත්‍යාවශ්‍ය භාණ්ඩ බහාලුම් නිදහස් කිරීම සඳහා බැංකුවලට ඩොලර් ලබා දීමට පියවර ගන්නේද? ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද? ඒ සඳහා වන කාලරාමුව කවරේද?

    අනුර කුමාර දිසානායක තම කඩඉම් ප්‍රශ්න හතර ඉදිරිපත් කරමින් මේ ප්‍රශ්න සඳහා මූල හේතු ද පැහැදිලිව විස්තර කළේය.

    ‘‘ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මෑත වසර දෙකක කාලය තුළ වේගයෙන් කඩාවැටෙමින් ඇති බව නිරීක්ෂණය වන අතර එය තවදුරටත් හුදු ආර්ථික දත්ත හා තොරතුරු පිළිබඳ විද්වත් සාකච්ඡාවකට පමණක් සීමා වී නැහැ. මෙම විදෙස් සංචිත හිඟය මේ වන විට රටේ ජනතාවගේ ජීවිතවලට බලපෑම් කරන මට්ටමකට තීව්‍ර වී තිබෙනවා.

    අද වන විට බහාලුම් 1000කට වඩා අධික සංඛ්‍යාවක ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ කොළඹ වරායේ සිර වී ඇති බවටත් එම භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා බැංකුවලින් ආනයනකරුවන්ට ඩොලර් නිකුත් නොකරන තත්වයක් ඇතිවී තිබෙන බවටත් වාර්තා වනවා. විශේෂයෙන් බොර තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වීම නිසා දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වූ ඛනිජතෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ වන විට වසා දමා තිබෙනවා.

    මෙරට විදෙස් සංචිත හිඟය හුදු කොවිඞ් වසංගත තත්වය හේතුවෙන් සිදු වූවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඞ් වසංගතය ගෝලීය තත්වයක්ව තිබියෙදීත් පොදුවේ ලෝකය තුළත් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල්වලත් විදෙස් සංචිත ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ ඉහළ ගොස් තිබෙනවා.

    2020 වසරේ දෙවන කාර්තුව හා 2021 වසරේ දෙවන කාර්තුව සලකා බැලුවහොත් ලෝකයේම විදෙස් සංචිතවල වටිනාකම පිළිවෙලින් ඩොලර් බිලියන 12,016.6ක සිට ඩොලර් බිලියන 12,817.19ක් දක්වා ඉහළ නැග තිබෙනවා. දකුණු ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින පවා මේ වසංගත තත්වය තුළ තමන්ගේ විදෙස් සංචිත ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා.

    නමුත් ඊට පරස්පරව යමින් ශ්‍රී ලංකාව වසර දෙකක කාලය තුළ තමන්ගේ විදෙස් සංචිත වේගයෙන් අහිමි කරගනිමින් සිටිනවා. නිදසුනක් ලෙස 2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදෙශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක අගයක් සටහන් කළ අතර එය මාස 4.5ක කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. එම සංචිත ක්‍රමයෙන් හීනවෙමින් පැමිණ 2021 ජනවාරි වන විට ඩොලර් බිලියන 4.8ක අගයක් සටහන් කරන ලද අතර එය මාස 3.7ක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් අවසන් වන විට එම සංචිත අගයන් තවදුරටත් කඩා වැටී ඩොලර් බිලියන 2.3ක අගයක් සටහන් කර තිබෙනවා. එම සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 1.5ක කාලයක් වෙනුවෙන් ආනයන සිදුකිරීම සඳහා පමණයි.

    මේ අගයන් සටහන් වන්නේ 2021 අගෝස්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙරටට ඩො.මි. 554.8ක විශේෂ මූල්‍ය පහසුකමක් ලැබී තිබියෙදීයි. මහ බැංකුවේ නොවැම්බර් 26 දින නිකුත් කළ සති මූල්‍ය තත්ව වාර්තාවේ විදෙස් සංචිතයන්හි එම ශීර්ෂය යටතේ ඩොලර් මිලියන 128.5ක අගයක් පමණක් සටහන් වීමෙන් එයින් වැඩි කොටසක් දැනටමත් ඩොලර්වලට පරිවර්තනය කර තිබෙනවා විය හැකියි.

    2021 ජනවාරි සිට සැප්තැම්බර් කාලය අතරතුර රටේ වෙළඳ ශේෂ හිඟය ඩොලර් මිලියන 6003.2ක් ලෙස සටහන් වෙනවා. මෙය ඔක්තෝබර් – දෙසැම්බර් කාලය අතරතුර තවත් ඉහළ යා හැකියි. එසේම මෙම අවදානම් තත්වය මෑත ඉතිහාසයේ රටේ ගෙවුම් ශේෂයේ හිඟයක් නිර්මාණය කිරීමට තුඩු දිය හැකියි.

    2022 වසර තුළ ශ්‍රී ලංකාව විසින් විදේශ ණය පියවීම සඳහා පමණක් ඩොලර් මිලියන 6500ක් වෙන් කළ යුතුව තිබෙනවා. යම් යම් මාසයන්හි අඩු වැඩි වීම් ඇති වන නමුදු දළ වශයෙන් එක් මාසයකට විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 550ක් වෙන් කිරීමට රටට සිදු වනවා. 2021 වසරේ ජංගම ගිණුමේ හිඟය සහ විදෙස් ණය පියවීමේ බැඳීම්ද 2022 වසරේ මුල් භාගයේ ඇති විදෙස් ණය පියවීමේ බැඳීම්ද සමගින් දැනටත් අවදානම් මට්ටමක ඇති රටේ ගෙවුම් ශේෂය මෙමගින් තවත් අර්බුදයට ඇද දැමිය හැකියි.

    පසුගිය දෙවසරක කාලය තුළ විදේශ විනිමය සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියෙදී ආණ්ඩුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලා ගෙන ආකාරය පිළිබඳව සුබදායී සිතුවම් අඳිමින් සිටියත් මේ වන විට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බව සියලු දෙනාට වටහා ගැනීමට අසීරු නැහැ.

    එසේම මේ වන විට රටට ඩොලර් ලැබෙන ප්‍රධානම මූලාශ්‍රවලින් එකක් වන විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු සංක්‍රාම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාස 05ක කාලයක් පුරා වේගයෙන් පහළ යමින් තිබෙනවා. නිදසුනක් ලෙස 2020 ජුනි – ඔක්තෝබර් කාලයේ සමස්ත සංක්‍රාම වටිනාකම ඩොලර් මිලියන 3274ක් වූ නමුත් මේ වසරේ ජුනි – ඔක්තෝබර් කාලයේ ඔවුන්ගේ සංක්‍රාම ප්‍රමාණය ඩොලර් මිලියන 2048ක් පමණයි. එය ප්‍රතිශතාත්මකව ගතහොත් 37.5%ක් පමණ කඩා වැටීමක්. මෙම අඩුවීමේ ප්‍රවණතාව නිරීක්ෂණය කළහොත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සංක්‍රාම මගින් ලැබීමට නියමිත මුදල 50%ට වඩා අඩුවිය හැකියි.

    මේ තත්වය තුළ මහ බැංකුව විසින් බලහත්කාරයෙන් බැංකුවල ඩොලර් අනුපාතිකය රුපියල් 202 ආසන්නයේ රඳවා තබාගෙන සිටියද එම මුදලට ආනයනකරුවන්ට ලබා දීමට වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් ඩොලර් නැහැ. ඩොලරයක් බැංකුවලට පිටින් එළියේ අලෙවි වන්නේ රුපියල් 240-260 අතර වටිනාකමකටයි. මෙවැනි ඉහළ වටිනාකමකට ඩොලර් මිලදී ගෙන භාණ්ඩ අනයනය කිරීමට ආනයනකරුවන් ඉදිරිපත් නොවන නිසාත්, විශේෂයෙන්ම බැංකු මගින් නිකුත් කළ ණයවර ලිපි අනුව මේ වන විටත් ආනයනය කර ඇති භාණ්ඩවලට අදාළ ඩොලර් ලබා දීමට බැංකු අසමත් වී ඇති නිසාත් බරපතළ භාණ්ඩ හිඟයක් රට තුළ නිර්මාණය වෙමින් තිබෙනවා‘‘

    විදේශ නිල සංචිත ප්‍රමාණය ගැන ආණ්ඩුව කියන නිල කතාව

    ජවිපෙ නායකයා මේ ආකාරයෙන් ආණ්ඩුව හමුවේ තැබුවේ මේ අවස්ථවේ සමස්ත ජාතියේම පමණක් නොව ලංකාව ගැන අවධානයක් දක්වන තවත් රටවල් සහ ආයෝජකයින් හමුවේ ද අති වැදගත් ප්‍රශ්නයකි.

    ඒ අනුව  ආර්ථික හා මූල්‍ය රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පසුගිය 09 වැනිදා ලබා දුන් පිළිතුර අනුව පසුගිය නොවැම්බර් මාසය වෙන විට රට සතුව තිබූ නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1587කි !

    මෙයින් ඩොලර් මිලියන 382.2 ක් රත්රන් ලෙසද, විනිමය සංචිත ලෙස ඩොලර් මිලියන 1009.5ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තැන්පත්කර තිබෙන සංචිත ලෙස ඩොලර් මිලියන 67ක් මෙන්ම විශේෂ ගැනුම් හිමිකම් ඩොලර් මිලියන 127.2ක් තිබී ඇත. ඊට අමතරව අනෙකුත් විවිධ සංචිත ඩොලර් මිලියන 1.1කි.

    මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය. “ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2014 අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 8.6ක් වූ අතර 2019 වසර අවසන් වන විට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 දක්වා පහත වැටී ඇත. මෙය විදේශ ණය සේවා ඉහළ යාමට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ ණය 2014 වසරේ මුළු ණය සේවාවලින් 42.4%ක් වූ අතර 2019 අවසන් වන විට එය 46.4% දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් අපේ රජයේ අරමුණ මුළු විදේශ ණය සේවාව මුළු ණය සේවාවලින් 40%කට සීමා කිරීමයි‘

    COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා රජයට විදේශ සංචිත භාවිතා කිරීමට සිදු වූ බව ඔහු පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වසරේ වසංගතය ආශ්‍රිත වියදම් සඳහා රුපියල් බිලියන 221ක් වැය කර ඇත. ජනගහනයෙන් 76.2% කට එන්නත් දෙකම ලබා දීමට  සමත් වී ඇත. මෙය ගෝලීය ප්‍රමිතීන්ට වඩා ඉහළ අගයක් වන්නේ මේ වන විට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා ඇති ගෝලීය ජනගහනයෙන් 55.3%ක් පමණක් වීම නිසාය.

    “ශ්‍රී ලංකාව කටාර් මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක් සහ ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 400ක ලබා ගැනීමට නියමිතයි. මීට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදල් හුවමාරු වැඩසටහනකට යාමට දේශීය වාණිජ බැංකු දිරිමත් කර තිබෙනවා. මීට අමතරව වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක සමස්ත අපනයන ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සහ ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ගිවිසුම්වලට එළඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමත් වී තිබුණා. ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක විදේශ ප්‍රේෂණ සුරක්ෂිත කිරීමට රජය බලාපොරොත්තු වෙනවා,” රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

    “මෙම ක්‍රියාකාරකම් වත්මන් අර්බුදයට ඵලදායි විසඳුම් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා වගේම විපක්ෂයේ සහයෝගයත් ලබාගන්නවා. මේ පිළිබඳව ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට විපක්ෂය සාදරයෙන් පිළිගනිමු,” ඔහු වැඩි දුරටත් පැවසීය.

    මුදල් ඇමැති බැසිල් කියන කතාව

    මුදල් රාජ්‍ය ඇමැතිවරයා මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කරද්දී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ද පසුගිය 09 වැනිදා රජය සතු විදේශ නිල සංචිත ප්‍රමාණය සහ ඒහා නිර්මාණය වී ඇති අර්බුදය ගැන කතා කළේය.

    ‘ලබන වසරේ මුල් මාස කිහිපයේදීත් විදේශ මුදල්වල අමාරුකම් ඇතිවිය හැකියි. විදේශ විනිමය ප්‍රශ්නයට රට බැරෑරුම් ලෙස මුහුණදී සිටිනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්ධන ගෙන්වීමට සහ ණය වාරික හා පොලිය ගෙවීමට ඩොලර් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය වසර දෙකේදී ලැබුණු මුදල් අහිමි වුණා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු මුදල ද මේ වසරේදී අඩු වුණා. කුමන ආර්ථික ප්‍රශ්න තිබුණත් රටේ ආහාර සුරක්ෂිතතාව රැකගැනීම ඉතා වැදගත්‘‘

    මේ අතර ආචාර්ය හර්ෂ ද සිල්වා ද පසුගිය දා නිල විදේශ සංචිත ඍණ තත්ත්වයට පත්වීම හා එහි ආදීනව ගැන හෙළි කළේය.

    ‘‘ජනවාරි මාසය වන විට මෙරට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ගෙවූ පසු ඉතිරි වන්නේ ඩොලර් මිලියන 140 ක් පමණයි. නමුත් වියදම් කිරීමට හැකියාවක් ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන සෘණ 437යි.  පෙබරවාරි මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4843ක් වන නමුත් මේ මාසය අවසන් වන විට අැත්තේ ඩොලර් මිලියන එකසිය හතලිහක් නිසා ඉතිරිය ඩොලර් මිලියන සෘණ 4700ක්. එනම් එවිට රට බංකොලොත් තත්වයට බවට පත්වීම කිසිවෙකුට නතර කළ නොහැකියි‘ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් හර්ෂ ද සිල්වා මේ බව පැවසුවේය.

    රට මුහුණ දී සිටින අර්බුදය ගැන විපක්ෂ නායක සජිත්ගේ අවධාරණය ද අතිෂයින් වැදගත්ය. පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සජිත් මේ ගැන හෙළි කළේය.

    ‘අද වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඩොලර් ණය ගැනීමට හැකියාවක් නැතිව ගොස් තිබෙනවා. ගන්නා ඩොලර් ණයවලට අසීමිත පොලයක් ගෙවීමට සිදුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාවක් පහළට වැටීමයි. ශ්‍රේණිගත කිරීම් වල පහළට නොවැටී සිටියේ නම් අඩු පොලියකට ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ඩොලර් ණය ලබා ගැනීමට තිබුණා.

    විදේශ විනියම රැක ගන්න ගන්න තැත

    මේ ආකාරයෙන් බරපතළ විදේශ විනිමය අර්බුදයක රටට ලැබිය යුතු විදේශ විනිමය රැක ගැනීමට විවිධ පියවර ගනිමින් සිටින්නේය. ඒ අතර ජනතාවගේ බලවත් විවේචනයට හා විරෝධයට හේතුවන අත්තනෝමතික පියවර රැසක් ද තිබෙන්නේය. විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව මේ අතර පසුගිය 08 වැනිදා නිවේදනය කළේය.

    මේ සම්බන්ධවෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සදහන් වූයේ ‘2017 අංක 12 දරන විදේශ විනිමය පනත (පනත) යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම් වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට ලද පැමිණිලි කිහිපයකට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර ස්ථාන සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ මාලාවක් පවත්වමින් සිටින අතර එමගින් බලයලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.

    නිවේදන හරහා සන්නිවේදනය කරන ලද ගැටලු නිවැරදි කිරීමට, අදාල විධානයන්ට අනුගත නොවූ බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට සහ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇත.

    බැංකු විසින් මුදල් හුවමාරුකරුවන් හට ලබා දෙන අනුපාත වලට වඩා වැඩි අනුපාතයන්ට විදේශ විනිමය ගනුදෙනු කිරීමට බලයලත් මුදල් හුවමාරුකරුවන් හට බලයක් නොමැති බව තවදුරටත් මහජනතාවට දන්වා සිටිනු ලැබේ‘

    මේ අතර හේතුවක් නොමැතිව යම් අයෙකු තවත් අයෙකුගේ ගිණුමකට මුදල් බැර කරන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බවත් අවශ්‍ය නම් එවැනි බැංකු ගිණුම් තහනම් කිරීමට හැකියාව පවතින බවටත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය ගැන ද ජනතාව අතර බලවත් විරෝධයක් නිර්මාණය වී තිබෙන්නේය.

    මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ මහ බැංකුව විසින් එලෙස සොයා බැලීම සිදු කරන බව පැවසූ මහ බැංකු අධිපතිවරයා ෙ “මනි ලොන්ඩරින් නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක් මුදල් හේතුවක් නැතුව වෙනත් කෙනෙකුගේ ගිණුමකට දානවා නම්, මුදල්වලින් ලබා දෙනවා නම්, ඒ පිළිබඳ අපි සොයලා බලනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහ බැංකුවට පුළුවන්” යැයි ද කීවේය.

    එම මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පැවසූවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට මුදල් එවන්නේ නම් ඒ සඳහා නිල බැංකු සේවා පමණක් භාවිත කරන ලෙසට විදෙස්ගත ශ්‍රමිකයන්ට උපදෙස් ලබා දෙන බව යි. එසේව විදෙස් රටවල්වල සිට පැමිණෙන මුදල් පිළිබඳව මේවන විට ඉතා සුපරීක්ෂාකාරීව විමර්ශනය කිරීම සිදුවන බව ද ඔහු පැවසුවේය.

    මේ සියලු කරුණු කාරණාවලින් අපට පැහැදිලි වන්නේ ආණ්ඩුව අර්බුදයේ සැබෑ තත්ත්වය වටහා ගැනීමකින් හෝ එහි බිහිසුණුකම නිසි පිරිදි තක්සේරු කිරීමකින් තොරව පයබරවායට පිටිකර බෙහෙත් බදින පන්නයේ හෝ අතීසාරයට අමුඩ ගසන පන්නයේ වැඩ කරමින් රටේ නිල විදේශ විනියම අර්බුදය තව දුරටත් අවුල් කරමින් සිටින බවය.

    සටහන – චින්තක බණ්ඩාර කරල්ලියැද්ද

  • කණු කසළ සොයා ආ දැවැන්තයින් නිසා දඹුල්ල – මහියංගනය පාරේ දැඩි අවදානමක් !

    කණු කසළ සොයා ආ දැවැන්තයින් නිසා දඹුල්ල – මහියංගනය පාරේ දැඩි අවදානමක් !

    දඹුල්ල –  මහියංගනය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල සහ බකමූණ පොලිස් වසම් ආසන්නයේ රිදීඇල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස ජනතාව විසින් දමා යන කුණු කසළ ආහාරයට ගැනීමට පුරුදුරුදුව සිටින වන අලින් කීපදෙනෙකු මේ දිනවල දිනපතා ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නිසා මගී ජනතාව මෙන්ම වන අලින්ගේ ජිවිත දැඩි අවදානමකට ලක්ව තිබේ.

     බකමූණ දඹුල්ල ප්‍රධාන මාර්ගය දෙපස දිනපතාම  කුණු කළල තැන තැන දමා යෑම සිදු කරන බවත් එම කුණු කසළ ආහාරයට ගැනීම සඳහා මෙම වන අලින් පුරුදුව සිටින බව ජනතාව පෙන්වා දෙති.

    මෙම හේතුව නිසා වන සතුන් ගේ ජීවිත මෙන්ම මාර්ගයේ ගමන් කරන මගී ජනතාවගේ ජීවිත ද දැඩි අවදානමකට ලක්ව තිබේ. ඊයේ (11) දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ පැය දෙකක පමණ කාලයක් ජනතාවට සිදුවූ අපහසුතාවය අප කැමරාවේ සටහන් කර ගැනීමට හැකි විය.

    රිදී ඇල්ල  ප්‍රදේශයෙන් මහා මාර්ගයට පිවිසි දැවැන්ත වන අලියෙකු මාර්ගය දෙපස ඇති ජනතාව ගෙනැවිත් දමා තිබූ කුණු කසළ සොයා ඒවා ආහාරයට ගනිමින් කිලෝමීටර් දෙකක පමණ දුරක් එක දිගට ප්‍රධාන මාර්ගයේ ගමන් කරන්නට විය.

    ඇතැම් වාහන මෙම අලියා ආසන්නයෙන්  අවධානම නොතකා ගමන් කරන ආකාරයත් තවත් වාහන හිමියන් නැවත හරවා ගෙන විදුලි වේගයෙන් ආපස්සට බියවී ගමන් කරන ආකාරයත් තවත් වාහන වන අලියා ගමන් කරනද්දී සෙමින් සෙමින්  ආපස්සට මෙන්ම ඉදිරියට ගමන් කරන දසුන් ද ප්‍රධාන මාර්ගයේදී දැකගැනීමට හැකියාව තිබිණි.

    ඇතැම් මගින් සිය  රාජකාරී ගමන් බිමන් යෑම සඳහා ජීවිතය පරදුවට තබා වන අලියා අසලින් ගමන් කරන්නට ද විය.

    ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ අලියාගේ ජීවිතයට පොලිතීන් සහ අනෙකුත් ද්‍රව්‍ය ඇතුළු වීම නිසා සිදුවන හානිය මෙන්ම වන අලියා වාහන හිමියකෙකුට පහර දීමක් හෝ බියවීමෙන් ඇදවැටීම අනතුරට ලක් වූයේ නම් ඉන් මහා විනාශයක් සිදුවන බවය.

    මෙනිසා දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගය දෙපසට කුණු කසළ බැහැර නොකරන ලෙස ප්‍රදේශවාසී ජනතාව මෙම කටයුත්ත කරන සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

    සටහන – කංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • කාබනික දියර පොහොර කෑන් පුපුරයි

    කාබනික දියර පොහොර කෑන් පුපුරයි

    ඇළහැර බකමූණ අතරගල්ලෑව උතුර ගොවිජන බල ප්‍රදේශයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති කාබනික දියර පොහොර කෑන් පුපුරා දැඩි දුර්ගන්ධයක් හමා යන බවත් මේ වන විට වී වගාව ආරම්භ වී ඇති වෙලාවක බණ්ඩි පොහොර නොමිලේ ලබා  දීම සිදු කරන බවට ගොවි සංවිධාන චෝදනා කරයි.

    මීට දින කිහිපයකට ඉහත දී  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වි වගාව සඳහා කාබනික දියර පොහොර සහ රසායනික  බණ්ඩි පොහොර ගොවි සංවිධාන වෙත එවා තිබුණු බවත් ඒ අනුව ගොවි සංවිධානයට අයත් ගබඩාවක මේවා ගබඩා කර තිබියදී දියර පොහොර කෑන් පුපුරා එම ප්‍රදේශයේම දැඩි දුර්ගන්ධයක් පවතින බව ගොවීහු පෙන්වා දෙති.

    ගොවීන් කියා සිටියේ මෙම දියර පොහොර කෑන් නිවසක තබා ගැනීමට නොහැකි තත්වයක් පසුවන බවත් අවස්ථාවෙන් අවස්ථාව මේවා උතුරා යෑම නිසා ගොවීන්ගේ ජීවිතවලට බරපතළ ගැටලු තත්වත්වයක් මතු වන බවයි.

    එමෙන්ම ගබඩා කොට ඇති දියර පෝර කෑන් ඇතැම් ඒවා බැලුම් බෝල මෙන් ඉදිමි  පිපිරී යාමට ආසන්නව ඇති බව ගොවීන් පෙන්වා දුන්හ. මෙම දියර පොහොර දේශීය ආයතනයකින් නිෂ්පාදනය කොට රජයට ලබා දී  ඇති බවත් ඒවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට නොමිලේ ලබා දෙන බව ද ගොවීහූ පවසති‍ෙ

    ඇතැම් ගොවීන් කියා සිටියේ මෙම කාබනික දියර පොහොර රැගෙන ගොස් වගාවට යොදා අත්දැකීම් ලැබෙන තුරු කිසිවක් ප්‍රකාශ කිරීමට  නොහැකි බවය. කෙසේ  වෙතත් ඇතැම් ගොවීන් දැඩි ලෙස කියා සිටියේ ගොවිතැන් විනාශ කිරීම් සඳහා මේවා ලබා දුන්නේ ද යන්න සැකයක් පවතින බව යි.

    මේ දින වල වී වගාව සඳහා ආරම්භක කාලය බවත් එහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ දිනවල බණ්ඩි ගොයම සඳහා යොදන බණ්ඩි පොහොර ගොවි  සංවිධාන වෙත ලබාදීම සිදුකරන බවද ගොවීහූ පවසති.

    කෙසේ වෙතත් ඇලහැර, කුමාරඇල්ල, බකමූණ, දියබෙදුම, අතරගල්ලෑවආදී ප්‍රදේශවල ගොවීන් සිය වී වගාව ආරම්භ කොට තිබේ.

    මෙම දියර පොහොර පුපුරා යෑම පිළිබඳව දැනගැනීමට එම දියර පොහොර ඇසුරුම්වල ඇති දුරකතන අංක වලට ඇමතුම් ලබා ගත්ත ද එම ඇමතුම් වලට කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නොලැබෙන බව  ද ගොවියෝ පවසති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • බර ඔසවා මවුබිම රනින් සැරසූ ‘ශ්‍රීමාලිගේ මව සහ පියා හෙළිකළ‘ සංවේදී කතාව

    බර ඔසවා මවුබිම රනින් සැරසූ ‘ශ්‍රීමාලිගේ මව සහ පියා හෙළිකළ‘ සංවේදී කතාව

    උස්බෙකිස්තානයේ පැවැත්වෙන ලෝක ශුරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී  දී කාන්තා කිලෝග්‍රෑම් 45ට අඩු බර පන්තියේ රන් පදක්කම හිමිකර ගත් ශ්‍රීමාලී සමරකෝන්  ක්‍රීඩිකාවගේ  මව පියා සහ නිවස සොයා අද (10) පෙරවරුවේ අප හබරණ තිබලව ගමට ගියමු.

    මේ වන විටත් උස්බෙකිස්ථානය සිටින ශ්‍රීමාලී සමරකෝන් රන් පදක්කම්ලාභී ක්‍රීඩිකාවගේ  මව සහ පියා කිරි ගවයන්ගෙන් ජීවිතය ගැටගසා ගන්නා පවුලකි.

    ඔවුන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය අතර පිහිටි ‘තිඹලව‘ නැමැති ගමේ පදිංචිව සිටිති.

    තම දියණියගේ ජයග්‍රහණය පිළිබඳව ප්‍රවෘත්ති  නාලිකා වලින් දැන ගත් බව ශ්‍රීමාලිගේ දෙමාපියෝ කියති.

    අප එම නිවසට යන විට ‍ ශ්‍රීමාලි සමරකෝන් ක්‍රීඩිකාව ගේ පියා සමරකෝන් (55) මහතාත් මව වන ආර්.එම්. ඩබ්ලිව්. සුනේත්‍රා කුමාරි  (53)  කිරි ගවයන්ගේ  කටයුතුවල නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි විය.

    අතේ ඇති ගොම  ඇඳිවතන්  පිහදා ගත් සුනේත්‍රා කුමාරි තම දියණියගේ ජයග්‍රහණය ගැනත් අය ඒ දක්වා පැමිණි ගමන් මග පිළිබඳවත් අප සමග මෙසේ පැවසුවාය.

    ‘ශ්‍රීමාලි දුව කුඩා අවධියේ සිටම බර ඉසිලීමේ ක්‍රීඩාවට දක්ෂයි. දුව 2015 වසරේ දී මේ තරගාවලියෙන්ම ලංකාවට රිදී පදක්කමක් ලබා දුන්නා. අපි දුවට උගන්වන්න බොහොම දුක්කරදර වින්ඳා‘ ඇය අප සමග පැවසුවාය.

    මේ වන විටත් තම කුඹුරක් උගසට තබා කිරි ගවයන් දෙදෙනකු මිලදී ගෙන ශ්‍රීමාලි දියණියටත් කුඩා දියණියටත් ඉගැන්වීම් කටයුතු සිදු කරන බවද තම දියණිය බර ඉසිලීම් සිදු කොට දිනාගත් රන් පදක්කමේ ගෞරවය සහ සතුට මෙම කිරි  දෙනුන්ට  හිමිවන බව ඇය  නිරහංකාරයෙන් යුතුව පැවසුවාය

    ශ්‍රීමාලි දියණිය හත්වන වසරේ අධ්‍යාපනය ලබද්දී හබරණ පාසලේ දී ලැබූ ජයග්‍රහණ පිළිබඳවත් ඇය දැඩි ආර්ථික දුෂ්කරතා මැද බර ඉසිලීමේ ඉසව්ව කරන බව ප්‍රවෘත්ති මගින් විකාශනය කොට ඇයට එකල විවිධ අයගේ උදව් උපකාර ලබා දීමට ජනමාධ්‍යවේදීන් පියවර ගත් බව ද  ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

    ශ්‍රීමාලීගේ පියා ඩී.එම්. සමරකෝන් මහතා කියා සිටියේ තම දියණියගේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බවත්  එමෙන්ම තම දියණිය ගේ ක්‍රීඩා ගුරුවරයා වූ නදීක බණ්ඩාර මහතා නිසා මෙම සියලු ජයග්‍රහණ ලැබුණු බවත්ය.

    ‘නදීක සර් තමයි දුවගේ ජයග්‍රහණය පිටුපස සිටින යෝධ ශක්තිය. එතුමා තමයි දුවගේ දක්ෂතා හඳුනා ගෙන ඇයව මේ තත්ත්වයට ගෙන ආවේ‘ සමරකෝන් මහතා කීවේය.

    ලංකාව රනින් සැරසූ ශ්‍රීමාලී සමරකෝන් හබරණ  මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය සහ බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමු වී පසුව උසස් අධ්‍යාපනය සඳහා මහනුවර මහමායා බාලිකා විදුහලට ඇතුළත්ව මේ වන විට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය.

    දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබූ මෙම සිසුවිය කුඩා අවධියේ ලැබූ ජයග්‍රහණ එකල අප වාර්තා කළ අතර අදාළ වීඩියෝ දර්ශන ද තවමත් අප සතුව ඇත.

    අප මේ නිවසට යද්දී තම මිනිබිරියගේ ජයග්‍රහණයට 110 හැවිරිදි කිරි අම්මා සුබ පැතුම් එක් කළාය.

    ශ්‍රී මාලී සමරකෝන්ගේ දහම් පාසල් ගුරුවරයෙකු වූ නන්දන සෙනවිරත්න මහතා ද ජයග්‍රහණය පිළිබඳ පුවත ලද විගස උදෑසන එම නිවසට පැමිණ සිටියේය.

    නන්දන මහතා කියා සිටියේ ආර්ථික  දුෂ්කරතාවයන් සහිතව මෙම ගම්මානයේ ජීවත් වන අසරණ පවුලක දියණියක් ලෝකය ජය ගන්නට දැඩි වෙහෙසක් දැරූ බව ය.

    ‘ඇය මේ ජයග්‍රහණය ලබා ගත්තේ අසීමිත කැප කිරීම් කරලා, ඒ වගේම දැඩි දුෂ්කරතා මැද. දැන් බලධාරීන් කළ යුත්තේ මේ ජයග්‍රහණය සමග ඇයව ඔසවා තබනවාට වඩා මීටත් වඩා ඉහළ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඇයට උදව් පදව් කිරීමයි. මොකද ශ්‍රීමාලි දියණියගේ ක්‍රීඩා ජීවිතය රැක ගන්න ඇයගේ මව සහ ප්‍රදේශවාසීන් නගර පුරා ඇවිද මුදල් එක්තු කරමින් බොහෝ දුක් වින්ඳා. ඒනිසා ඇයට තව දුර ගමනක් යාමට අවශ්‍ය ආර්ථික ශක්තිය ලබාදීමයි බලධාරීන් කළ යුත්තේ‘‘ නන්දන මහතා දැඩි සංවේදීව පැවසීය.

    අප එම නිවසේ සිටම ශ්‍රීමාලී සමරකෝන් ක්‍රීඩිකාව මාර්ගත ඔස්සේ සම්බන්ධ කරගෙන ලැබූ ජයග්‍රහණයේ සතුට විමසු අතර ඇය එවිට කියා සිටියේ තමන් සහ පුහුණු ගුරුවරයා වූ නදීක බණ්ඩාර මහතා ජයග්‍රහණය ගැන දැඩි විශ්වාශයකින් සිටි බවය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ‘රැවුල කපන්නේ කෝටියක මැණිකක් ලැබුණොත් විතරයි‘

    ‘රැවුල කපන්නේ කෝටියක මැණිකක් ලැබුණොත් විතරයි‘

    මට ලොකු විශ්වාසයක් තියෙනවා කිරිඅම්මා උල්පතට  බාර  වෙනකොට ඒවා ඉටු වෙනවා කියල මම උදේ දවල් රෑ මහන්සි වෙන්නේ ඒ අරමුණට .  මිනිස්සු කියලා තියෙනවා අපි අහලා තියෙනවා එකම අරමුණක හිටියහම ඒක සාර්ථක වෙනවා කියලා හැබැයි ඇඳ උඩ නිදාගෙන හිටියට අරමුණු සාර්ථක වෙන්නේ නැහැ  ඒ නිසා උදේ දවල් රෑ මහන්සි වෙන්න ඕන මහන්සියේ ප්‍රතිඵල අපට ලැබෙනවා

    තනි හවුලකින් රුපියල් කෝටියක මැණික් ගලක් හමුවෙන තුරු  සිය රැවුල නොකපා සිටිමේ තීරණයකට එළඹී පතල් කර්මාන්ත කම්කරුවෙකු පිළිබඳ පුවතක් මාතලේ ලග්ගල ප්‍රදේශයෙන්  වාර්තා විය.

    ලග්ගල හත්තොටඅමුණ ප්‍රදේශයේ පදිංචි ජි. එච්. ජයදාස (45) මහතා මෙම  තීරණයට එළැඹ වසරක පමණ කාලයක් ගතවී තවමත් දිවා රාත්‍රී වෙහෙසෙමින් තම සිහිනය සැබෑ කර ගැනීම ගැනීම සඳහා ලග්ගල මහ පොළොව සමඟ ගැටෙමින් නිල් මැණික් සෙවීමේ කටයුතුවල නිරතව සිටී.

    මෙම අධිෂ්ඨානය  සහිත සිටින පතල් කම්කරුවා මීට වසර ගණනාවක්ට ඉහත ද මේ ආකාරයෙන්ම කිරි අම්මා උල්පතට භාරයක් වී රුපියල් කෝටියක මැණික් ගලක් හමුවන තුරු තම රැවුල කැපීම සිදු නො නොකර සිටියේය.

    ‘ වසර කිහිපයක් ගත වෙද්දී මගේ අරමුණු ඉටු කර ගැනීමට හැකි වුණා’ ජයදාස මහතා සඳහන් කර සිටියේය.

    ‘මගේ දැන් අරමුණ ටිකක් වෙනස්. මම මේ පාර සැලසුම්කර අපේ ගම් ප්‍රදේශයේ නිවාස අහිමි අසරණ පවුල් දෙකකට නිවාස දෙකක් තනා දීමයි. ඒ සඳහා රුපියල් කෝටියක තනි හවුලක් මැණික් ගල්ක් ලැබෙනතුරු රැවුල නොකපා මම මැණික ගරනවා’

    තම උත්සාහය පිළිබඳව අප සමග අදහස් දක්වමින් ජයදාස මහතා මෙසේද පැවසුවේය.

    ” මම අවුරුදු දහයේ  ඉඳලා තමයි පතල් බැස්සේ. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා කූඩ උස්ස ගන්නවත් බැරි කාලේ ඉඳල මේ රස්සාව තමයි කළේ. ඉගෙන ගන්නත් බැරි වුණේ පතල් හින්දා. පුංචි කාලේ ඉඳලා කරපු රස්සාවට ආදරෙයි. මේ වනකොට කොච්චර පතල් ප්‍රමාණයක් කපල තියෙනවද කියලා මතකයක් නෑ අත්වල කකුල්වල කරගැට නම් ඕනෑ තරම් තියෙනවා මැණික් ගල් වලට වැඩිය.”

    “මම පසුගිය වසර කීපයකට ඉස්සරලා රැවුල වවලා ප්‍රාර්ථනාවක් කලා මම කවදාහරි රැවුල කපන්නේ රුපියල් කෝටියක මැණික් හවුලක් මට ලැබිලා මගේ දරුවන්ට බිරිඳට ඉන්න නිවසක් හදන්න මුල්ගල තියෙනකං රැවුල කපන්නේ නෑ කියලා. වසර කිහිපයක් ගත වෙලා යද්දී මට බලා බලාපොරොත්තු ඉටුකර කරගන්න පුළුවන් වුණා “

    ලක්ගල පැත්තෙම තියෙන කිරි අම්මා උල්පත ට ගිහිල්ලා මම බාරයක් වුණා නැවත වරක් මම රැවුල් කැපීම නවත්වනව කියල කවදාහරි මේ පතල් වලින් මට රුපියල් කෝටියක මැණික් හවුලක් ලැබෙනකම් මම රැවුල කපන්නේ නැහැ .එහෙම මුදල ලැබුණොත් මම කරන්නේ අසරණ පවුල් දෙකකට ගෙවල් දෙකක් හදලා දෙන එක

    “එදා මගේ අලුත් ගෙදරට මුල්ගල තියෙන දවසේ මම අඩියක්ට වඩා වැඩුණු රැවුල  කැපුවා මගේ බිරිඳ තවමත් ඒ රැවුල් ගස් ආරක්ෂා කරලා තියෙනවා

    එදා ඉදල  පුංචි පුංචි වාසි ලැබුණා ඒවගෙන් තමයි දරුවෝ ජීවත් කරවන්නේ හැබැයි ලොකු වාසියක් අපට ලැබුණේ නැහැ අපි අමාරුවෙන් හරි මහපොළොවට පින් සිද්ධ වෙන්ඩ ගේදොර හදාගත්තා හැබැයි  ගේදොර  හදාගත්තෙ නැති අසරණ මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා මම  කල්පනා කළා මේ අසරණ පවුල් දෙකකට ගෙවල් දෙකක් හදලා දෙනවා කියලා.”

    “ලක්ගල පැත්තෙම තියෙන කිරි අම්මා උල්පත ට ගිහිල්ලා මම බාරයක් වුණා නැවත වරක් මම රැවුල් කැපීම නවත්වනව කියල කවදාහරි මේ පතල් වලින් මට රුපියල් කෝටියක මැණික් හවුලක් ලැබෙනකම් මම රැවුල කපන්නේ නැහැ .එහෙම මුදල ලැබුණොත් මම කරන්නේ අසරණ පවුල් දෙකකට ගෙවල් දෙකක් හදලා දෙන එක.”

    “මට ලොකු විශ්වාසයක් තියෙනවා කිරිඅම්මා උල්පතට  බාර  වෙනකොට ඒවා ඉටු වෙනවා කියල මම උදේ දවල් රෑ මහන්සි වෙන්නේ ඒ අරමුණට .  මිනිස්සු කියලා තියෙනවා අපි අහලා තියෙනවා එකම අරමුණක හිටියහම ඒක සාර්ථක වෙනවා කියලා හැබැයි ඇඳ උඩ නිදාගෙන හිටියට අරමුණු සාර්ථක වෙන්නේ නැහැ  ඒ නිසා උදේ දවල් රෑ මහන්සි වෙන්න ඕන මහන්සියේ ප්‍රතිඵල අපට ලැබෙනවා.”

    “උදේ පාන්දර පතල් රස්සාවට එන අපි නැවත රෑ වෙලා තමයි ගෙදර යන්නේ මුළු ඇඟ පත  සියල්ල රිදෙනවා ඒත් ඉතින් දැන් ඒවා හුරු වෙලා වෙන රස්සාවක් කරන්න බැරි තරම් මොකද ඒ තරම්ම අපි මේ රස්සාවට කැමතියි .”

    “මහපොළොව කියන්නේ අපට අම්මා වගේ හැම දුකක්ම ඉවසලා ඉවසලා ඉන්නවා අපිව ජීවත් කරවන්න අපේ බලා බලාපොරොත්තු ඉටු කරන්න මහපොළොව අම්මා නිල් මැණික් ගල්ක් දෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා විශ්වාසය මත මම තවදුරටත් ජීවත් වෙනවා මේ වගේ බලාපොරොත්තුව ඉටු වෙච්ච දවසට රැවුල කපන කොට මම ඔයාලටත් කියන්නම් එන්න කියලා.”

    සටහන – කාංචන කුමාර ආරියදාස (දඹුල්ල)

  • ප්‍රියන්තගේ දේහය මෙරටට එවීම ගැන සමාජ මාධ්‍ය කියන කතා ඇත්ත ද ?

    ප්‍රියන්තගේ දේහය මෙරටට එවීම ගැන සමාජ මාධ්‍ය කියන කතා ඇත්ත ද ?

    “අපි සියල්ලෝම මෙහි පැමිණ සිටින්නේ අගමැතිතුමාගේ උපදෙස් මත. මෙතුමාගේ මිනී පෙට්ටිය ආවරණයකින් ඔතා තිබෙනවා. නමුත් වෙනත් ආකාරයක ගෞරවයක් ප්‍රකාශ කළ යුතුව තිබේ නම්, එය ද ඉටුකරන්නට අගමැතිතුමා සූදානම්.”

    ලාහෝර් ගුවන්තොටුපොළට පැමිණ සිටි ආගමික සහජීවනය සඳහා වූ විශේෂ නියෝජිත මවුලානා තහීර් අෂ්රෆි, කලහකාරීන් පිරිසක් විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලාංකිකයාගේ දේහය ශ්‍රී ලංකාවට එවීමේ අවස්ථාවට එක්වෙමින් පැවසී ය.

    ලාහෝර් ගුවන්තොටුපොළට ගෙනවිත් තිබූ දියවඩනගේ ප්‍රියන්ත කුමාරගේ දේහය රැගත් මිනී පෙට්ටිය සුදු කොළවලින් ඔතා තිබූ අතර, කහ සහ සුදු මල් ඒ මත අතුරා තිබුණි.

    ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර සියල්කෝට් ප්‍රදේශයේ කම්හලක සාමාන්‍යධිකාරීවරයෙකු ලෙස සේවය කළ අතර, ඔහු දෙවියන්ට අපහාස කළේයැ යි විශ්වාස කිරීම නිසා කෝපයට පත් පිරිසක් දෙසැම්බර් 03 වැනි දින ඔහුට වධ දී මරාදමා, අනතුරුව සිරුරට ගිනි තැබූහ.

    ප්‍රියන්ත කුමාරගේ මිනී පෙට්ටියේ ඡායාරූපයක් ඊයේ රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ගියේ ය.

    میت
    මිනී පෙට්ටියේ ඡායාරූපය සමාජ මාධ්‍යවල හුවමාරු විය

    ‘ශ්‍රී ලංකා පුරවැසි ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය’ යන විස්තරය යටතේ පළකර ඇති එම පින්තූරයේ දැක්වෙන්නේ බිම තබා ඇති ලී මිනී පෙට්ටියකි.

    සමාජ මාධ්‍යවල ප්‍රචලිත වූ පින්තූරය ගැන කතා කරමින් තහීර් අෂ්රෆි පැවසුවේ, “අපි ඔහුව එවැනි මිනී පෙට්ටියක යවා ඇති බවට ප්‍රචාරය වෙනවා. එහෙම දෙයක් නෑ. මේ ඔහුගේ මිනී පෙට්ටිය ගුවන් තොටුපලේ රෙදි කඩකින් ඔතා තිබියදී ගත් ඡායාරූපයක්,” යනුවෙනි.

    “ශ්‍රී ලාංකිකයෙකු අමානුෂිකව ඝාතනය කිරීමෙන් පසු ඔහු සිය රටට එවන්නේ මේ ආකාරයෙන්දැ”යි, මේ පින්තූරය පෙන්වමින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ප්‍රශ්න කරන්නට විය.

    ඇතැමුන් ප්‍රකාශ කළේ, “මේ සාහසික ක්‍රියාවෙන් පසු ප්‍රියන්තගේ සිරුර රජයෙන් නිල අවමංගල්‍ය ගෞරව දක්වා පිටත්කර හැරිය යුතු බවත්, ජාතියක් ලෙස අප ලැජ්ජාවට පත්වන බව ඔහුගේ පවුලේ අයට පැවසිය හැකි වන්නේ එවිට බවත්” ය.

    ශ්‍රී ලාංකික පුරවැසියාගේ සිරුර ආපසු එවූයේ කෙසේද?

    සමාජ මාධ්‍යවල පැතිර ගිය මිනී පෙට්ටියේ ඡායාරූපයේ සත්‍යතාව කුමක් ද යන්නත්, ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ දේහය ඔහුගේ රටට එවූයේ කෙසේ ද යන්නත් සොයා බැලීමට BBC උත්සාහ කළේ ය.

    මේ පිළිබඳව BBC සමග අදහස් දැක්වූ පන්ජාබ් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, ශ්‍රී ලාංකික පුරවැසියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සියල්කෝට්හි දීම සිදුකර, පසුව ඔහුගේ දේහය මිනී පෙට්ටියක දමා මෘත ශරීරාගාරයේ තබා ඇති බව යි.

    “මියගිය අය ශීත ගබඩාවේ දී හඳුනා ගැනීම පහසු වීමට පෙට්ටිය මතුපිට නම ලියලා තියෙනවා,” ඔහු ප්‍රකාශ කළේ ය.

    පින්තූරයේ පෙනෙන මිනී පෙට්ටිය ඉරිදා රාත්‍රියේ ලාහෝර් ගුවන්තොටුපොළට රැගෙන ආ බවත්, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය එහිදී එම පින්තූරය ගන්නට ඇති බවත් නිලධාරියා පැවසීය.

    میت

    “අපි දේහය සහිත දෙණ ශ්‍රී ලංකා කොඩියේ ඔතා එවන්නට යි අදහස් කළේ. නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කිව්වා එහෙම කරන්න එපා, ඔබ එය සුදු කඩදාසියක ඔතන්න කියලා,” ඔහු කියා සිටියේ ය.

    “අපිත් මිනී පෙට්ටියට රෝස මල් තියලා දේහයට ගෞරව කරන්න අපි අවසර ඉල්ලුවා. තානාපති කාර්යාලය කිව්වා මංගල කටයුතු සඳහා පාවිච්චි කරන නිසා රතු රෝස මල් දාන්න එපා, කහ මල් දාන්න පුළුවන් කියලා,” ඔහු වැඩිදුරටත් පැවසීය. “ඊට පස්සේ අපි හැම දෙයක්ම ඒ කියපු විදිහට කළා.”

    දෙසැම්බර් 06 දා දහවල් 12.30ට පාකිස්ථානයෙන් පිටත් වූ ශ්‍රීලංකන් එයාලයින්ස් ගුවන් යානයකින් ශ්‍රී ලාංකිකයාගේ දේහය ප්‍රවාහනය කෙරෙන බව නිලධාරියා සඳහන් කළේ ය.

    BBC වෙත අදහස් දක්වමින්, ආගමික සහජීවනය සඳහා වූ අගමැතිගේ විශේෂ නියෝජිත තහීර් අෂ්රෆි පැවසුවේ පන්ජාබයේ මානව හිමිකම් සහ සුළුතර අයිතිවාසිකම් පිළිබඳ අමාත්‍ය ඉජාස් මසීහ් ද තමා සමග ගුවන්තොටුපොළට පැමිණ සිටින බව යි.

    “ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද මෙහි පැමිණ සිටින බව” උලෙමාවරයා ප්‍රකාශ කළේ ය.

    එමෙන්ම, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද තමා සමග සිටින ද, ඔවුන් මෙම සිදුවීම ඉතා කණගාටුදායක සිදුවීමක් බව තමා සමග පවසා ඇති බව ද, ඒ සම්බන්ධයෙන් පාකිස්ථාන ජනතාව සහ රජය සිය කෝපය පළ කළ ඇති බව ද පවසන උලෙමා තහීර් අෂ්රෆි, පොරොන්දු වූ පරිදි මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අගමැති ඉම්රාන් ඛාන් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැ යි තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.

    ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති කාර්යයාලය ද ප්‍රියන්ත කුමාරගේ පවුල සම්බන්ධකර ගෙන ඇති බව උලෙමාවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    تابوت

    සමාජ මාධ්‍යවල ප්‍රතිචාර

    ප්‍රියන්ත දියවඩනගේගේයැ යි කියැවුණු මිනී පෙට්ටියේ ඡායාරූපය බෙදාගනිමින් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයෝ සිය අදහස් දක්වා තිබුණෝ ය.

    මිනී පෙට්ටියේ පින්තූරය බෙදා ගනිමින් ට්විටර් පරිශීලක තහීර් ඉම්රාන් ලියා තිබුණේ එය “හැත්තෑ වසරක රාජ්‍ය ප්‍රතිපත්තිවල අවමංගල්‍යය” බව යි.

    “ගෙවීම් ලබන බ්ලොග්කරුවෙකු අනාගතයේ දී පාකිස්ථානයේ ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රශංසා කරන විට, ප්‍රතිචාර වශයෙන් මම මෙම පින්තූරය බෙදා හරිනවා,” තහීර් ඉම්රාන් පළකළ පින්තූරය ෂෙයා කරමින් නුද්රත් කවාජා ලියයි.

    මාධ්‍යවේදිනියක සහ නිවේදිකාවක වන ගරීදා ෆාරුකී මෙසේ ලිවීය: “පාකිස්ථානය ප්‍රියන්ත කුමාරගේ දේහය ඔහුගේ පවුලේ අයට භාර දෙන්නේ මේ ආකාරයෙන් නම්, එය ලැජ්ජාවක්. මේ අසරණ මනුස්සයාගේ ජීවිතය බේරගන්න ඔවුන්ට බැරි වුණා, ගෞරවනීය මරණයක් ලබාගැනීමේ ඉඩකඩ ඔහුගෙන් උදුරා ගත්තා, දැන් අඩුම තරමේ ඔවුන්ට මැරුණ කෙනාව ගෞරවයෙන් යවන්නවත් පුළුවන්. මේ භූමිය මත යම් මනුෂ්‍යත්වයක් ඉතුරු වේවා

    ට්විටර් පරිශීලක ඉම්රාන් බේග් උපහාසාත්මක ට්වීට් එකක් ලියා තිබුණි. “එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට මළ සිරුරක් යවනවා. අවාසනාවකට වගේ, මිනී පෙට්ටියේ ගුණාත්මකභාවය ද රාජ්‍ය ආයතනවල ප්‍රමිතීන්ට අනුකූල යි. මිනී පෙට්ටිය සියුම්ව ඔප දැමූ ලීවලින් හදලා, මුද්‍රා තියලා තියෙන්නේ. මුහුණට උඩින් වීදුරුවක් සවි කරලා. පරිගණකයෙන් ටයිප් කරපු විස්තර ඊට උඩින් තියලා.”

    බී.බී.සී සන්දේශය වාර්තාවක් ඇසුරිනි

  • මිනිසුන් තවමත් ව්‍යාකූල කරවන, ඩයිනොසෝරයන් පිළිබඳ මිථ්‍යා මත 6ක්

    මිනිසුන් තවමත් ව්‍යාකූල කරවන, ඩයිනොසෝරයන් පිළිබඳ මිථ්‍යා මත 6ක්

    19 වන සියවසේ දී, විද්‍යාත්මක සාහිත්‍යයේ ඩයිනෝසරයන් පිළිබඳව සඳහන් වූ තැන් සිට මේ දක්වා ඩයිනෝසෝරයන් පිළිබඳ අපගේ දැනුම බොහෝ දුරක් පැමිණ ඇත.

    නමුත් අද දක්වාම පාෂාණීය ධාතු විද්‍යාඥයින් අප ග්‍රහලෝකයේ මෙම මුල් පදිංචිකරුවන් පිළිබඳ මිථ්‍යාවන් දුරු කිරීමට උත්සාහ කරමින් සිටියි.

    එම කාර්යය දුෂ්කර කර ඇත්තේ, අති සාර්ථක වූ ජුරාසික් පාක් චිත්‍රපට මාලාව ද ඇතුළුව, ජනප්‍රිය සංස්කෘතිය විසින් ඩයිනෝසරයන් නිරූපණයන් කර ඇති සාවද්‍ය ආකාරය මඟිනි.

    ඩයිනොසෝරයින් පිළිබඳව තවමත් පවතින වැරදි මත කිහිපයක් මෙන්න.

    සියලුම ඩයිනෝසරයන් මියගියේ කුප්‍රකට ග්‍රහකය නිසා ද?

    Artistic representation of dinosaurs witnessing the impact of an asteroid
    ග්‍රහකයක් වැදුන දවසට ඩයිනෝසරයන් ඔක්කොම ඉවරයි ද?

    මීට වසර මිලියන 66කට පමණ පෙර, ඩයිනෝසෝරයන්ට ඉතාමත් නරක දිනයක් උදා විණි. විෂ්කම්භය කිලෝමීටර 10ක් පමණ බවට මේ වන විට ඇස්තමේන්තුකර ඇති විශාල ග්‍රහකයක් කෙලින්ම පෘථිවියට පතිත විය. මෙම ග්‍රහකය ගැටීමෙන්, මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයට යටින් දැවැන්ත ආවාටයක් නිර්මාණය වූ අතර, ‘මහා නෂ්ටවීමක්’ ද සිදු විණි.

    කෙසේ වෙතත්, විද්‍යාඥයින් පවසන්නේ පෘථිවියේ සතුන්ගෙන් 75%ක් ‘පමණක්’ මෙම සිදුවීමෙන් මියගිය බව යි. දිවි ගලවාගත් සත්ත්වයන් අතර සමහර ඩයිනෝසෝරයෝ ද වූහ.

    “ග්‍රහකය වැදී බොහෝ ඩයිනෝසරයන් මියගියා වුණත්, ඉතා කුඩා හා පිහාටු සහිත වැදගත් ඩයිනෝසරයන් සමූහයක් දිගටම ජීවත් වුණා. ඔවුන් අදටත් අපිට දකින්නට ලැබෙනවා” යි, ලන්ඩනයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ පාෂාණ ධාතු විද්‍යාඥයෙකු වන මහාචාර්ය පෝල් බැරට් බීබීසීයට පැවසුවේ ය.

    A woodpecker carving out a nest
    කුරුල්ලන් බවට පරිණාමය වූ කුරුළු ඩයිනෝසෝරයන් මීට වසර මිලියන 66 කට පෙර පෘථිවියේ ඇති කළ විනාශකාරී ග්‍රහක බලපෑමෙන් බේරී ඇත.

    “පක්ෂීන් යනු ඩයිනෝසෝරයන් අයත් වූ කණ්ඩායමෙන් සෘජුව පැවතෙන සාමාජිකයින්.”

    “ඔවුන් ජීවමාන ඩයිනෝසෝරයන් වනවා වගේම, වර්තමානයේ ජීවත් වන පක්ෂීන් විශේෂ ගණන අනුව බැලුවම මීට වසර මිලියන 66කට පෙර හිටපු ඩයිනෝසෝර විශේෂවලට වඩා වැඩි සංඛ්‍යාවක් ඩයිනෝසෝර විශේෂ‍යන් වර්තමානයේ ඉන්නවා.”

    නොසෙල්වී සිටීම මඟින් ටිරනොසෝරස් රෙක්ස් ඩයිනෝසරයෙකුගෙන් සැඟවිය හැකි ද?

    ‘ටිරොනොසෝරස් රෙක්ස්’ (T-Rex) යනු 1993 දී නිකුත්ව අති සාර්ථක වූ ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයේ තාරකාව යි. ඌ එහි ප්‍රධාන මිනිස් චරිත භීතියට පත් කරනු දැක්වෙන අමතක නොවන අන්දමේ දර්ශන රැසක් ද වේ.

    Scene from the 1993 movie Jurassic Park shows a T-Rex looking at a man
    ඔබට කවදාවත් ටී-රෙක්ස් කෙනෙකු හමු වීමට නොහැකි වෙයි එහෙත් මතක තබා ගන්න ටී-රෙක්ස්ට ඔබව හොඳට පෙනෙන බව

    නමුත් චිත්‍රපටයේ T-Rex නිරූපණය කර තිබුණේ දුර්වල දෘෂ්ටියක් ඇති සත්ත්වයෙකු ලෙසට ය. චිත්‍රපටයට අනුව ඌට ගොදුර හඳුනාගත හැක්කේ, ගොදුර චලනය වුවහොත් පමණි.

    ඇත්ත වශයෙන්ම එවැනි ලක්ෂණ උභයජීවීන් වැනි සතුන් තුළ පවතින නමුත්, මහාචාර්ය බැරට් පවසන්නේ මෙම විලෝපිකයන් සම්බන්ධයෙන් එය එසේ නොවූ බව යි.

    “ඩයිනෝසරයන් බොහෝ දුරට ඉතා හොඳ දෘශ්‍ය තීව්‍රතාවයක් තියෙන්නට ඇති. මීට වසර 15කට කලින් කරපු එක් අධ්‍යයනයකින් පෙන්වන්නේ, මෙතෙක් ජීවත් වූ සතුන් අතුරින් හොඳම ඇස් පෙනීම තිබුණේ ටී-රෙක්ස්ට විය හැකි බව යි.”

    “ටී-රෙක්ස් එකෙක් ඉස්සරහා නිශ්චල ව සිටගෙන ඉන්න එක ඔබට කළ හැකි මෝඩම වැඩලින් එකක් වෙන්න පුළුවන්.”

    ටිරනොසෝරස් රෙක්ස්ට ගමන් කරන වාහනයක් පසුකර දිවිය හැකි ද?

    Illustration of a T-Rex chasing prey
    ටී-රෙක්ස් ට හොඳට හයියෙන් දුවන්න පුලුවන් බව ඇත්ත එහෙත් චිත්‍රපට වල පෙන්වන තරම් වේගෙයෙන් නම් නෙමෙයි

    එමෙන් ම, චිත්‍රපටයේ සිටින ටී-රෙක්ස් ධාවනය වන වාහනයක් පසුකර දුවන දර්ශනයක් ද ඇතුළත් වේ.

    සත්‍යවශයෙන්ම මින් පෙර සිදුකළ අධ්‍යනයයන්ට අනුව, මෙම ප්‍රබල විලෝපිකයාට පැයට කිලෝමීටර 50ක වේගයෙන් දිව යා හැකි බව ඇස්තමේන්තුකර තිබිණි.

    මෑතකාලීන, වඩාත් දියුණු අධ්‍යයනයන් පෙන්නුම් කරන්නේ, පැයට කිලෝමීටර් 20 සිට 29 දක්වා වූ වඩාත් මන්දගාමී වේගයකි.

    “ඔබට දුවන්නට හැකි ඉහළම වේගය එකක්, ඔබට වැඩි කාලයක් දුවන්නට හැකි සුවපහසු වේගය තවත් එකක්බව මතක තියාගන්න එක වැදගත්,” යේල් විශ්වවිද්‍යාලයයේ පීබොඩි ජාතික ඉතිහාස කෞතුකාගාරයේ සංරක්ෂණ නිලධාරිනියක වන ආචාර්ය මරියානා ඩි ජියාකොමෝ පවසයි.

    “මැරතන් ධාවකයන් කෙටි දුර ධාවකයන් තරම් වේගයෙන් දුවන්නේ නැහැ. අනික කෙටිදුර ධාවන තරග ඉතාමත් කෙටියි. මොකද, එවැනි අධික වේගයක් දිගු කාලයක් පවත්වා ගැනීම අපේ ශරීරයට අපහසු යි.”

    “ටී-රෙක්ස්ට වේගයෙන් කෙටි දුරක් දිවීමේ හැකියාව තිබුණා වෙන්නට හැකියි. නමුත් ඒ වේගය ධාවනය වන මෝටර් රථයක් අභිබවා යාමට ප්‍රමාණවත් වන එකක් නැහැ” යි ඇය වැඩිදුරටත් පවසන්නී ය.

    අපට ඩයිනසෝරයෙකු ක්ලෝන කළ හැකි ද?

    "Do not feed the dinosaurs" sign
    ඩයිනෝසෝරයන් ක්ලෝනීකරණය කිරීම වළක්වන ප්‍රායෝගික බාධක කිහිපයක් තිබේ

    ටී-රෙක්ස් මෙලොවින් වඳ වී යන්නේ මානව සංහතිය ඇතිවීමට ද වසර මිලියන ගණනකට පෙර වනවා සේම, ටී-රෙක්ස් සහ අප නුදුරු අනාගතයේ හමුවීමට ඉඩක් ද නැත. ජුරාසික් පාක් චිත්‍රපටය කෙසේ කීව ද, තවමත් ඩයිනෝසෝරයන් ක්ලෝන කළ නොහැකි බව විද්‍යාඥයන් දැඩිව ප්‍රකාශ කර සිටියි.

    එයට ප්‍රධානතම හේතුව වන්නේ ඩයිනසෝර DNA කාලයත් සමග හොඳින් සුරක්ෂිත වී නො තිබීම යි.

    “අප දන්නා පරිදි ඒවා [ඩයිනොසෝර DNA] දිගු කලක් නොනැසී පවතින්නේ නැහැ,” මහාචාර්ය බැරට් පැහැදිලි කරයි.

    “ෆොසිලවලින් හමුවූ, අපි දන්නා පැරණිතම DNA අවුරුදු මිලියන දෙකක් පමණ පැරණි යි. ඒ වගේම ඒ DNA බැක්ටීරියාවල කොටස්, පස, දිලීර කොටස් වැනි ඒවා…”

    සතුන් සඳහා පවතින පැරණිතම ජාන දත්ත ඇත්තේ, වසර 50,000කට පෙර මියගිය ජීවීන් සඳහා බව මහාචාර්ය බැරට් පවසයි.

    “අප අපගේ කාලයට වඩා සමීප සත්ත්වයන්ගේ හැර, වඳ වී ගිය වෙනත් කිසිදු සතෙකුගේ හෝ ශාකයක DNA අප සතුව නැහැ.”

    “ඉතින්, ඒ ගැන මම බලන්නෙ තරමක් සැකෙන්” ඔහු අවසන් වශයෙන් කියා සිටියේ ය.

    ආචාර්ය ඩි ජියාකොමෝ මේ අදහසට එකඟ වෙමින් පවසන්නේ, ඩයිනොසෝර ජාන සම්බන්ධයෙන් විද්‍යාත්මක පෙරළියක් සිදුවුව ද, ක්ලෝනකරණය සාර්ථකව සිදුකළ නොහැකි වීමේ ඉඩක් ඇති බව යි.

    “අපට වඩා ඉතාමත්ම ඈත භූ විද්‍යාත්මක කාලයකට අයත් ජීවී විශේෂ ක්ලෝනීකරණය ඉතාමත් සංකීර්ණ යි. මොකද ඒ කාලය පිළිබඳව අපි නොදන්නා විචල්‍යයන් වැඩි යි.”

    එමෙන් ම ඇය ඇති විය හැකි සදාචාරාත්මක ගැටලු ද සඳහන් කරයි.:

    “ජුරාසික් පාර්ක් සහ ජුරාසික් වර්ල්ඩ් වැනි චිත්‍රපට මිනිසුන්ට ඇති වන පීඩා සහ ප්‍රතිවිපාක පෙන්වා දෙමින්, අපට එවැන්නක් නොකිරීමට සියලු හේතු ලබා දෙනවා. ඒ වගේම මේ සත්ත්වයන්ගේ කාලය තුළ ඔවුන් නො දුටු, ඔවුන්ට නුහුරු ලෝකයකට ඔවුන්ව ගෙනඒම කුරිරුබව ගැන එතරම් සාකච්ඡා කෙරෙන්නේ නැහැ.”

    ඩයිනෝසෝරයන් “අඥානජීවීන්” ද?

    Drawing of a Troodon skeleton
    Troodon වැනි, මස් කන, කුඩා ඩයිනෝසෝරයන් තරමක් බුද්ධිමත් යැයි සැලකේ.

    තාක්ෂණික දියුණුවත් සමග, ඩයිනෝසෝරයන් ජීවත් වූ ආකාරය සහ හැසිරුණු ආකාරය පිළිබඳව වටහා ගැනීමට විද්‍යාඥයින්ට වැඩි සම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බව ආචාර්ය ඩි ජියාකොමෝ පැහැදිලි කරයි.

    “ඔක්කොම ඩයිනෝසෝරයන් ඉතාමත්ම බුද්ධිමත් නොවුණා වගේම, ඩයිනෝසෝරයන් සියලුදෙනාම බුද්ධියෙන් හීන වූවන් වුණේත් නැහැ.”

    “ඔවුන් ජීවත් වූ ලෝකය සඳහා අවශ්‍ය තරමේ තරම් බුද්ධියක් ඔවුන් සතු වුණා.”

    සමහර ඩයිනෝසෝරයන් “ඇත්ත වශයෙන්ම සැලකිය යුතු තරම් බුද්ධිමත්” බව මහාචාර්ය බැරට් වැඩිදුරටත් පවසයි. විශේෂයෙන්ම, ප්‍රමාණයෙන් කුඩා, මාංශභක්ෂක ඩයිනෝසරයන් ඒ ගොඩට වැටේ.

    “ඔවුන්ගෙන් සමහරක් විශේෂයන් විශාල සතුන් සමග තරග කරන්නට සිදුවීමෙන් වැළකෙන්නට රාත්‍රියේ දඩයම් කරන්නට ඇති. එසේ කිරීමට නම්, වඩා හොඳින් තොරතුරු ග්‍රහණය කරගත හැකි මොළයක් මෙන්ම, වඩා හොඳ ශ්‍රවණ හැකියාවක්, පෙනීමක් සහ ඉවක් තිබිය යුතු යි.”

    ඩයිනෝසෝරයන් නරක මව්පියන් ද?

    Illustration of a Maiasaura and its offspring
    Maiasaura යන නම් යොදා ඇත්තේ ඔවුන් “හොඳ මාපියන්” ලෙසට හැසිරී ඇතැයි ඇති සාක්ෂි නිසාය

    ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ පිළිගැනුණේ, ඩයිනෝසෝරයන් යනු සැබවින්ම යහපත් දෙමව්පියන් ලෙස කටයුතු නො කළ හුදෙකලා සතුන් ලෙසට ය.

    නමුත්, 1970 සහ 1980 ගණනවල දී සිදුකළ සොයාගැනීම් මඟින්, ඔවුන්ට වඩාත් සංකීර්ණ සමාජ හැසිරීම් තිබූ බව අනාවරණය විය.

    “මයසෝරා” යනු මීට වසර මිලියන 77 කට පෙර ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ශාක භක්ෂක ඩයිනෝසෝරයෙකි. මයසෝරා යනු ග්‍රීක සහ ලතින් භාෂාවෙන් “හොඳ කටුසු මව” යන්න යි.

    පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී Scientific Reports සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද වඩාත් මෑත අධ්‍යයනයක් හෙළිදරව් කළේ, වසර මිලියන 193කට පෙර ජීවත් වූ ඩයිනෝසෝරයන් රංචු වශයෙන් සංවිධානය වී ඔවුන්ගේ පැටවුන් පෝෂණය කර ඇති බව යි.

    “වර්ථමානය වන විට අපට ඩයිනෝසෝරයන් ගැන හොඳ අවබෝධයක් ලැබී තිබෙනවා. අවම වශයෙන් සමහර ඩයිනෝසෝරයන් හොඳ මව්පියන් බව අපි දැන් දන්නවා,” යි මහාචාර්ය බැරට් පවසයි.

    “එහෙම නැති අය හිටි බවත් සත්‍යයක්.”

    ආචාර්ය ඩි ජියාකොමෝ පවසන්නේ “තමන්ගේ දරුවන් බලාගත්” ඩයිනෝසෝරයන් පිළිබඳව ද වාර්තා වී ඇති බව යි.

    “මව්පියන් ලෙස කටයුතු කළ වෙනත් විශේෂයන් ද සිටිනවා. ඇලෝසෝරස් වැනි විලෝපිකයන් ද ඊට ඇතුළත්,” ඇය පවසන්නී ය.

    “ඇත්ත වශයෙන්ම, සිටිපටි ඔස්මෝල්ස්කේ නම් ඩයිනෝසෝරයා “බිග් මමා” යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙනවා. ඌ හමුවුණේ උගේ බිත්තරවලට උඩින් හිඳගෙන ඒවා ආරක්ෂා කරමින් සිටින ඉරියව්වෙන්.”

    bbc sandesaya

  • ආබාධිත රණවිරුවා වසර 13ක් තිස්සේ ‘රෝගී බිරිඳ ජීවත් කරවන්න කරන මහා සටන‘

    ආබාධිත රණවිරුවා වසර 13ක් තිස්සේ ‘රෝගී බිරිඳ ජීවත් කරවන්න කරන මහා සටන‘

    තම බිරිඳ සුදුසු වෛද්‍ය වරයෙකුට හෝ වෙනත් රටකට හෝ රැගෙන ගොස් ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා සිටින විජේරත්න මහතා බිරිඳගේ ලේ  මාරු කිරීම් සඳහා යන වියදම හෝ සොයා ගැනීම අපහසු නිසා මේ පිළිබඳව ජනමාධ්‍ය හරහා වර්තමාන හමුදාපතිතුමාට  කරුණා සිත් ඇති ධනපතියන්ට ආරාධනා කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

    වසර 22ක් රට වෙනුවෙන් කැපකිරීම් කර යුද  හමුදාවෙන් විශ්‍රාම ගිය ආබාධිත සෙබළෙකු වසර  13ක් පුරා වකුගඩු රෝගයෙන් පීඩා විඳින තම ආදරණීය බිරිඳගේ  දිවි රැක ගැනීමේ සටනක නිර්තව සිටින පුවතක් ගලේවෙල අළුත්වැව බඹරගස්වැව ප්‍රදේශයෙන් වාර්තා විය.

    දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන එච්. එම්. සී. ටී. විජේරත්න නම් රණවිරුවා වසර  හතක කාලයක් දැඩිව යුද්ධය පැවති අවස්ථාවේදී රට වෙනුවෙන් එක් පාදයක කොටසක්,  හිස සහ ශරීරයේ ස්ථාන රැසක මස් ලේ පූජා කළ අයෙකි.

    යුද හමුදාවේ නම වෙනි  සිංහ රෙජිමේන්තුවේ සේවය කළ ඔහු එකල යුද හමුදාවේ තුළ “අලි පැටියා “නමින් සියලු නිලයන් අතර ජනප්‍රිය ක්‍රියාශීලී අයෙකි. යාපනයේ පැවති යුද්ධය උණුසුම් අවස්ථාවක දී ඔහුගේ පාදය මෙන්ම හිසට ද වෙඩි වැදී මේ වන විට ආබාධිත තත්ත්වයේ පසුවේ.

    වසර   විසි දෙකක සේවා කාලයෙන් පසුව දරු තිදෙනා සහ බිරිඳ සමඟ සතුටෙන් ජීවත් වීමට  වීශ්‍රාම ගිය මෙම යුධ හමුදා සෙබලාට නොසිතූ දෙයකට මුහුණ පාන්නට  සිදුව තිබේ. එනම් තම ආදරණීය බිරිඳ කේ.ජී. ශ්‍රියානි කුමාරි (40) යන අය තුන්වැනි දරුවා  බිහි කිරීමට සූදානම් වෙද්දී වකුගඩු රෝගියෙකු බව හඳුනා ගැනීම නිසාවෙනි.

    දැනට  වසර  දහ තුනක කාලයක් වකුගඩු රෝගයෙන් පෙළෙන ඇය වසර පහක පමණ කාලයක සිට සතියට දෙවතාවක් ලේ මාරු කර ගැනීම් මෙන් ජීවිතය බේරා ගෙන සිටින බව ආබාධිත රණවිරු විජේරත්න මහතා අප සමඟ පැවසීය.

    තමන් මුහුණ දී සිටින අභියෝගාත්මක තත්ත්වය ගැන අප හමුවේ කරුණු පැහැදිලි කළ ඔහු මෙසේ පැවසුවේය.

    ‘අපි ජීවත් වන ගලේවෙල, අළුත්වැව, බඹරගස්වැව ප්‍රදේශයේ සිට බිරිදව මහනුවර මහ රෝහලට සතියකට අවස්ථා දෙකක් ලේ මාරු කිරීම සඳහා  රැගෙන යා යුතුයි. ඒ සඳහා එක් අවස්ථාවකට රුපියල් 5000 ක පමණ මුදලක් වැයවන වෙනවා. මගේ විශ්‍රාම වැටුපෙන් මේ වියදම් දරා ගැනීමට බැහැ. ඒ නිසා මම මේ වන විට ගමේ බොහෝ දෙනකුට ණය වී අවසානයේ මා සන්තකව තිබූ ත්‍රිරෝද රථයද උකසට තබා තිබෙනවා. මම වසර පහක පමණ කාලයක් එක දිගටම මේ ආකාරයෙන් අති විශාල මුදලක් වියදම් කරමින් බිරිඳ ජීවත් කරවීමට උත්සාහ කරනවා. ඒ නිසා දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සමග තව දුරටත් එය සිදු කර ගැනීම්ට නොහැකි තරම් අසරණ තත්ත්වයකටයි මා පත්ව සිටින්නේ. එනිසාම කළ හැකි අන් යමක් නැති නිසයි මම අද මහජනතාවගෙන් සහ යුද හමුදාවෙන් සහයෝගයක් ඉල්ලා සිටින්නේ‘‘දැඩි වේදනාවෙන් යුතුව විජේරත්න මහතා පැවසීය.

    පසුගිය යුධ සමයේ තමා මුහුණ දුන් අත්දැකීම් රැසක් හෙළි කරමින් ඔහු කියා සිටියේ තමා සමග එකට යුද හමුදාවේ සිටි මිතුරා තමන් ඉදිරියේම ‍ ත්‍රස්තවාදී  ප්‍රහාරයකට ලක්ව මිය ගිය බවය.

    ‘‘ඒක හරිම අනුවේදනීය අවස්ථාවක්. ඊට පස්සේ මම මගේ මිතුරාගේ නිවසට ගියා. ඒ අවස්ථාවක මිතුරාගේ මව කරන ලද ඉල්ලීමකටයි ඇයගේ දියණිය, ඒ කියන්නේ මගේ මිතුරාගේ නැගණිය මම විවාහා කර ගත්තේ. මම විවාහ වන තෙක් ශ්‍රියානිව දැකලා තිබුණෙත් නැහැ. මගේ මිතුරාට තිබුණු ආදරය නිසා ඔහුගේ නැගණිය පණ මෙන් ආරක්ෂා කරමින් රැක ගත්තා‘‘ ඔහු දැඩි සංවේගයෙන් යුතුව අප සමග පැවසීය.

    තමන් යුද හමුදාවෙන් ගත් ආභාෂය නිසාම මෙම බරපතළ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටින බවත් එසේ නොවන්නට මේ වන විට වෙනත් අයකු නම් තම බිරිඳ ජීවත්  කරවීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

    තම බිරිඳ සුදුසු වෛද්‍ය වරයෙකුට හෝ වෙනත් රටකට හෝ රැගෙන ගොස් ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා සිටින විජේරත්න මහතා බිරිඳගේ ලේ  මාරු කිරීම් සඳහා යන වියදම හෝ සොයා ගැනීම අපහසු නිසා මේ පිළිබඳව ජනමාධ්‍ය හරහා වර්තමාන හමුදාපතිතුමාට  කරුණා සිත් ඇති ධනපතියන්ට ආරාධනා කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

    මෙම දෙපළගේ වැඩිමහල්මහල් දියණිය උසස් පෙළ දෙවැනි වර පෙනී සිටීම සඳහා  සූදානම් වන අතර දෙවැනි පුතා දහ වැනි වසරේ ඉගෙනුම ලබයි. තුන්වෙනි දියණිය තවමත් හත්වැනි වසරේ අධ්‍යාපනය ලබන දියණියකි.

    මෙම ආබාධිත රණවිරු පවුල පවතින ජීවිත අවදානම පිළිබඳව සොයා බලා හැකි ආකාරයෙන් උදව් කරන්නැයි  ඔහු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

    ඔවුන්ගේ ලිපිනය එච්. එම්. සි. ටි. විජේරත්න, අලුත්වැව ,බඹරගස්වැව, ගලේවෙල, දුරකථන අංකය  076 1263 394- බැංකු ගිණුම් අංකය 00000 21 88 602

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

  • මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ සැබෑ අරමුණ කුමක්ද ?

    මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ සැබෑ අරමුණ කුමක්ද ?

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේඑක්  පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ .

    ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්‍රිත තෙත් බිම් මේ ආකාරයෙන් විනාශ කිරීමට ලක් කෙරින. වගුරු බිම් පද්ධතියක පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අවබෝධයක් නොමැති මෙම ආයතන විසින් වගුරු බිම්වලට සිදු කළ විනාශය හේතුවෙන් අද වන විට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කර ගංවතුර පාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිදු වී ඇත. වගුරු බිම් ගොඩ කිරීම, වගුරු බිම් පද්ධති ඛණ්ඩනය කිරීම, වගුරු පද්ධති ජලාශ බවට පත් කිරීම මෙන්ම වගුරු බිම් හා ඇළ මාර්ග පද්ධති දෙපස කළු ගල් ඇතිරීම හේතුවෙන් බොහෝ තෙත් බිම් ආශ්‍රිත ජීවීන්ට වාසස්ථාන හා බෝවීමේ ප්‍රදේශ අහිමි වී ඇත.

    නාගරික සංවර්ධනය හා නගර අලංකරණය යන වචන භාවිත කර සිදු කළ මෙම තෙත් බිම් පද්ධති විනාශය හේතුවෙන් අද වන විට තෙත් බිම් ආශ්‍රිත ජෛව ප්‍රජාවට දරුණු බලපෑම් එල්ල වී ඇත. කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන තෙත් බිම් ආශ්‍රිත සංක්‍රමණික පක්ෂි විශේෂවලට ද මේ හේතුවෙන් වාසස්ථාන අහිමි වී තිබේ. එපමණක් නොව වගුරු පද්ධති කැණීම් කර විශාල ගැඹුරු ජලාශ ඉදි කිරීම හේතුවෙන් අනාගතයේ දී මුහුදු ජලය රට අභ්‍යන්තර ප්‍රදේශවලට කාන්දු වීම වර්ධනය හේතුවෙන් පස ලවණීකරණයට ලක් වී ගැටළු බොහොමයක් උද්ගත විය හැකි ය.

    නගර අලංකරණයේ නාමයෙන් වගුරු බිම් පද්ධති විනාශ කිරීම සිදු කරන අතරතුර කොළඹ ආශ්‍රිත ව සංවර්ධනය කරන නගර සියල්ල ක්‍රොන්ක්‍රීට් වනාන්තර ලෙස ගොඩනගමින් පවතී. අලුතින් ඉදි කරන හා පුළුල් කරන මාර්ග සියල්ල ශාක ආවරණවලින් තොර විවෘත නිරුවත් මාර්ග ලෙස ඉදිකර තිබේ. නගර සියල්ල ම ශාක ආවරණයන්ගෙන් තොර විවෘත ප්‍රදේශ ලෙස නාගරික සංවර්ධන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදි කර ඇත. මේ නිසා සූර්යය තාපය සෘජුව භූමියට පතිත වීම හේතුවෙන් සන්නයනය, සංවහනය හා විකිරණයෙන් අවට ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යාම ඇතුළු ගැටළු ගණනාවක් නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මුහුණ දීමට සිදු වී ඇත. එපමණක් නොව වර්ෂා කාලයේ දී නාගරික ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය පසට උරා ගැනීමට ක්‍රමවේදයක් නොපැවතීම හා එම ජලය ක්‍රොන්ක්‍රීට් ආවරණ මතුපිටින් ගලා ගොස් තෙත් බිම්වලට වැඩි ප්‍රමාණයක් යොමු වීම හේතුවෙන් කෙටි කාලීනව ගංවතුර තර්ජන ඇති වේ. මේ නිසා විශාල මුදලක් වැය කර වැසි ජලය භූගත උමං පද්ධතියක් තුළින් මුහුදට යොමු කිරීමට හා වැසි ජලය පොම්ප මගින් කැළණි ගඟට යොමු කිරීමට සිදු වී ඇත.

    මේ සියල්ලට ම හේතුව නාගරික සංවර්ධන අධිකාරියට හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට 1971 වසරේ තෙත් බිම් සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර රැම්සාර් ප්‍රඥප්තිය හෝ 2006 ඔක්තොම්බර් මස ප්‍රකාශිත ජාතික තෙත් බිම් ප්‍රතිපත්තිය හා උපායමාර්ගික සැලැසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව කිසිදු අවබෝධයක් නොමැති වීම ය. එපමණක් නොව තෙත් බිම්වල ජෛව පද්ධති කළමනාකරණය පිළිබඳ ව නිවැරදි දැක්මක් හා තාක්ෂණික අවබෝධයක් මෙම ආයතනවලට නොතිබීම විශාල අඩුපාඩුවකි. එවන් තත්ත්වයක් තුළ මෙරට සුවිශේෂී තෙත් බිමක් වන මුතුරාජවෙල කළමනාකරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම යනු දැවැන්ත විනාශයකට මඟපාදා දීමකි. කොළඹ ආශ්‍රිත තෙත් බිම්වල පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම් විනාශ කළ ආකාරයෙන් ම මුතුරාජවෙල තෙත් බිම සහ ඒ හා සම්බන්ධ මීගමුව කලපුව ද මෙම අධිකාරියෙන් කෙටි කාලයක දී විනාශ කර දමනු ඇත. මෙය නිවැරදි ව තේරුම් ගත යුතු ය. මාදිවෙල පිහිටි තෙත් බිම් කුරුලු උද්‍යානයක් සඳහා නීති විරෝධී ලෙස සමාගමකට ලබා දුන් ආකාරයෙන් ම මුතුරාජවෙල තෙත් බිම ද මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගමට ලබා දීමට මෙම සැලැසුම සකස් කර ඇති බව අද වන විට තහවුරු වී ඇත.

    මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ විනාශකාරී සැලැසුම

    මීගමුව කලපුව හා සම්බන්ධ ව ඇති සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් වන මුතුරාජවෙල මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කර ඇත්තේ 1980 අංක 2 දරන නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතට අනුව ය. මෙම පනතේ 2 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පවරා ඇති බලතල මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 15 ක පිහිටි හෙක්ටයාර 1926.6 ක භූමි ප්‍රදේශයක් 2021 ඔක්තොම්බර් මස 7 වන දින අංක 2248/44 දරන ගැසට් නිවේදනය මගින් නාගරික සංවර්ධන ව්‍යාපෘති ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    මෙලෙස ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලා ගැනීම වැළැක්වීම, මෙම තෙත් බිම සංරක්ෂණය හා තිරසර භාවිතය මෙන් ම රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ය.

    නමුත් නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇත්තේ නාගරික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් ඉඩම් ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමට ය. එවන් පනතක් මගින් මුතුරාජවෙල ප්‍රකාශයට පත් කර නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් සංරක්ෂණ කාර්යයක් සිදු කරනු ඇතැයි කිසිදු ආකාරයකින් විශ්වාස කළ නොහැකි ය. වත්මන් ආණ්ඩුව විසින් වනාන්තර සමාගම්වලට පවරාදෙමින් සිදු කරන දැවැන්ත විනාශය හා ඒ සඳහා ගත් ප්‍රතිපත්තිමය තීරණවලට අනුව පෙනී යන්නේ සංරක්ෂණයේ මුවාවෙන් තෙත් බිම් පද්ධති ද සමාගම්වලට ලබා දී විනාශ කිරීමට පිඹුරුපත් සකස් කරන බව ය. ඊට හොඳ ම සාක්ෂිය මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයට ම අනවසර පිරවීම් හා අනවසර අල්ලා ගැනීම් වැළැක්වීම සඳහා මෙම තෙත් බිම් ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට පවරන බව ය. එහි යටි අරුත වන්නේ අවසර මත මෙම තෙත් බිම පිරවීම් කර සංවර්ධනය කිරීමට අවස්ථාව ලබා දෙන බව ය. එසේ නොමැති ව මුතුරාජවෙල තෙත් බිම ගොඩ කිරීම වළක්වා සංරක්ෂණය කිරීමට පියවර ගැනීම නොවන බව ගැසට් නිවේදනයේ සඳහන් කරුණු මත ඉතා ම හොඳින් පෙනී යයි.

    එපමණක් නොව ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ මෙම තෙත් බිම තිරසර භාවිතය සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව ය. නමුත් ඒ සඳහා වන සැලැසුම සකස් කෙරුනේ මීට වසර 27 කට ප්‍රථම 1994 වසරේ දී ය. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිම කොටස් තුනකට වෙන් කර තිරසර කළමනාකරණය සඳහා සැලැසුමක් සකස් කෙරින. එම සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන ගැටළු මතු වූයේ දේශපාලන බලපෑම් මත රාජ්‍ය ආයතනවලට මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා ය. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය වන්නේ අදාළ ආයතනවලට බලපෑමකින් තොරව නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් රට තුළ ඇති කිරීම හා නීතියේ ආධිපත්‍යය මෙන් ම අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම ය. එසේ සිදු නොකර දැනට පවතින ව්‍යුහය තුළ ම මෙම තෙත් බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීම යනු සංරක්ෂණය වෙනුවට සංවර්ධනය සඳහා මෙම තෙත් බිම යොදා ගැනීමට පිඹුරුපත් සැකැසීමකි.

    මෙම ගැසට් නිවේදනයේ මුතුරාජවෙල තෙත් බිම රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කරන බවට සාවද්‍ය කරුණු සඳහන් කර තිබේ. මුතුරාජවෙල තෙත් බිම අන්තර්ජාතික රැම්සාර් සම්මුතියට අනුව රැම්සාර් තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති අතර ඒ සඳහා යෝජනාවලියක් ද ඉදිරිපත් කර නොමැත. එවන් තත්ත්වයක් තුළ මුතුරාජවෙල රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කරන බවට සාවද්‍ය කරුණු ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් ජනතාව මුලා කිරීමට උත්සාහ දරන බව පෙනී යයි.

    සංරක්ෂණය කළ තෙත් බිම් සංවර්ධනය කිරීමට පිඹුරුපත් සැකැසීම

    හෙක්ටයාර 3068 ක් පමණ වන මුතුරාජවෙල තෙත් බිමේ කොටසක් පළමුව සංරක්ෂණය කෙරුනේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව ය. මෙම පනතේ ප්‍රධාන අරමුණ වන සතුන් හා වෘක්ෂලතා සහ ඒවායේ වාසභූමි වාණිජ ලෙස ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම හා ජෛව විවිධත්ව සංරක්ෂණය කිරීම ය. මෙම පනතේ 2(2) උප වගන්තියට අනුව 1996 ඔක්තෝම්බර් මස 31 වන දින අංක 947/13 දරන අති විශෙෂ ගැසට් පත්‍රයට අනුව තෙත් බිමේ හෙක්ටයාර 1028.62 කක භූමි ප්‍රදේශයක් මුතුරාජවෙල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කෙරිනි.

    දෙවනුව මුතුරාජවෙල තෙත් බිමට ආරක්ෂාව හිමි වූයේ ජාතික පාරිසරික පනතෙනි. මෙම පනතේ ප්‍රධාන අරමුණ වන්නේ පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ අභිවර්ධනය කිරීම සඳහා පාරිසරික තත්ත්වය විධිමත් කිරීම, පවත්වාගෙන යාම සහ එය පාලනය කිරීම සඳහා පරිසර දූෂණය වැළැක්වීම, නතර කිරීම සහ පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වීම ය. මෙම පනතේ 24ඇ හා 24ඈ උප වගන්ති වලට අනුව 2006 ඔක්තෝම්බර් මස 13 වන දින අංක 1466/26 දරන ගැසට් නිවේදනයෙන් මුතුරාජවෙල තෙත් බිමේ හෙක්ටයාර 206.678 ක තෙත් බිම් ප්‍රදේශයක් ලංකාවේ ප්‍රථම පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් පසුව 2018 සැප්තැම්බර් 25 වන දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය මඟින් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හෙක්ටයාර 162.10 ක් දක්වා අඩු කර තිබේ.

    මුතුරාජවෙල තෙත් බිමට අයත් ඉතිරි භූමි ප්‍රදේශ මෙම පනත් දෙක යටතේ ප්‍රකාශයට පත් කර සංරක්ෂණය කිරීම වෙනුවට මෙම තෙත් බිම් පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් පෙනී යන්නේ සංරක්ෂණය වෙනුවට සංවර්ධනය සඳහා සැලැසුම් කරන බව ය.

    මුතුරාජවෙල අභය භූමියට හා පාරිසරික ආරක්ෂක ප්රදේශයට ඇති ආරක්ෂාව

    වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත මුතුරාජවෙල අභය භූමියේ වනජීවීන්ගේ පැවැත්මට හා තෙත් බිම් පද්ධතියේ පැවැත්මට බලපෑම් වන ඕනෑ ම හානි කර ක්‍රියාවක නිරත වීම 7(1)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී වේ. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු පනතේ 63 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමෙන් පසුව වරදකරුවකු කරණු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. එම වැරදි පනතේ 67ආ1 උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි සංඥ්ය වැරදි ලෙස ද දක්වා ඇත. මෙම නීති ක්‍රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිමට අයත් අභය භූමි සීමාව තුළ කිසිදු සංවර්ධන ක්‍රියාකාරකමක් සිදු කළ නොහැකි ය.

    ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් තොර ව කිසිදු රාජ්‍ය ආයතනයකට අභය භූමියකට අයත් හෝ මායිමේ සිට මීටර 100 ක් ඇතුළත පිහිටන තෙත් බිම් සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට අවසර ලබාදිය නොහැකි ය. මෙම පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව මුතුරාජවෙල අභය භූමියේ මායිමේ සිට මීටර 100 ක් ඇතුළත නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24 ඈ වගන්තිවලට අනුව ප්‍රකාශයට පත් කර ඇති මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක කලාපයක් තුළ පනතේ 24ඈ(4) උප වගන්තියට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමකින් තොරව කිසිදු පුද්ගලයකු විසින් සංවර්ධන සැලැසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම නොකළ යුතු වේ. එවන් ක්‍රියාවක යෙදෙන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මෙම නීති ක්‍රියාත්මක කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත.

    නමුත් මෙම තෙත් බිම් පද්ධතිය නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතෙන් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් එම අධිකාරියට මුතුරාජවෙල තෙත් බිමට හෝ එහි ජෛව ප්‍රජාවට ඇති කරන බලපෑම් වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු නීිතිමය ප්‍රතිපාදනයක් මෙම පනතට අනුව නොමැත. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් සිදු වන්නේ සංරක්ෂණය වෙනුවට දැවැන්ත විනාශයකට ගොදුරු කිරීම ය. මෙය ජනාධිපතිවරයා විසින් ගත් ඉතා ම අඥාන තීරණයක් වන අතර එය පිටුපස මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය අත්පත් කර ගැනීමට පිඹුරුපත් සකසමින් සිටින මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගම සිටින බව ඉතා ම හොඳින් තහවුරු වේ.

    මුතුරාජවෙල තෙත් බිම අත්පත් කර ගැනීමේ මැල්වත්ත සමාගමේ සැලැසුම්

    පසුගිය 2018 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක භූමි ප්‍රදේශයක් ගොඩ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබුණි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්, සහකාර කොමසාරිස් එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ සහයෝගය හා මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා ගොවිජන සේවා කොමසාරිස් වරයාගේ අනුමැතිය ලබා ගෙන ඇත. ඒ අනුව වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 165ඒ තුඩුව – බෝපිටිය හා 166ඒ කුංජවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි ව්‍යාප්තව ඇති අභය භූමියට අයත් පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින තෙත් බිම් ගොඩ කිරීම සඳහා ඉඩම් මැනීමට පර්චසයකට රුපියල් පන්සියය බැගින් පර්චස් 65102 ක් සඳහා රුපියල් 3,25,51000 ක මුදලක් මෙම සමාගමෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබුණි. මේ සියල්ල සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස ය.

    මැල්වත්ත සමාගමේ අජිත් පණ්ඩිතරත්න මහතාගේ හා එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ බලපෑම මත ගොවිජන සේවා කොමසාරිස් තුමා විසින් ගොඩකිරීම සඳහා අනුමැතිය ලබා දී තිබුණේ පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් ය.

    ඉන් පසුව 2020 වසරේ ජුනි මාසයේ දී මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට අයත් ජා – ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, වෑවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අට්ටික්කගහවත්ත කුඹුරට හා වැටකෙයාගහ කුඹුරට යාව පිහිටි තෙත් බිම් අක්කර 50 ක් ගොඩ කිරීම සඳහා මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගම සූදානම් විය. එලෙස සැලැසුම් කෙරුනේ ඕලන්ද ඇල, බලි ඇල හා වෑවල පල්ලි ඇලට මායිම් ව පිහිටන මෙම තෙත් බිමේ අක්කර 50 ක භූමියකි. එම භූමිය මායිම් කණු යොදා සලකුණු කර තිබුණි. ඒ සඳහා ජා – ඇල, ගොවිජන සේවා දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ද සහයෝගය ලැබී තිබේ. මෙම ඉඩම් වෙන් කිරීමෙන් අනතුරු ව ගොඩ කර ලොරි රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදි කිරීමට සැලැසුම් කර ඇති බවට වාර්තා විය.

    මේ අතරතුර 2020 වසරේ දී ම මෙම තෙත් බිම් පද්ධතියේ අක්කර 700 ක භූමියක ගොල්ෆ් ක්‍රිඩා පිටියක් හා හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට අභය භූමියට අයත් පුවරු ඉවත් කර ඉඩම් වෙන් කිරීම සිදු කෙරින. මේ ආකාරයෙන් මැල්වත්ත සමාගම මුතුරාජවෙල තෙත් බිම් අත්පත් කර ගැනීමට අඛණ්ඩ උත්සාහයක නිරත වේ. දේශපාලන හා ආර්ථික බලය භාවිතා කර මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ කරමින් සිටී.

    නාගරික සංවර්ධන අධිකාරිය අනතුරේ හෙළන මුතුරාජවෙලේ ජෛව ප්රජාව

    මෙම සියළු ආයතන හා සමාගම් එක්ව විනාශ කිරීමට සැලැසුම් කරන්නේ සුවිශේෂී තෙත් බිම් සංකීර්ණයකි. මුතුරාජවෙල වගුරු බිම, මීගමුව කලපුව, ඕලන්ද ඇළ, හැමිල්ටන් ඇළ හා මුතුරාජවෙල වගුරු බිම තුළින් ගලා ගොස් මීගමුව කලපුව හා එක් වන දඬුගම් ඔය ඇතුළු තෙත් බිම් ගණනාවකින් මෙම පද්ධතිය සමන්විත ය. මේ නිසා ම මෙම තෙත් බිම් පද්ධතිය නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන සාගර මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂ වල ප්‍රධාන බෝවීමේ ප්‍රදේශයකි. මේ නිසා මීගමුව කලපුවේ මත්ස්‍ය විශේෂ වල පැවැත්ම මෙන්ම සුළු පන්න ධීවරයින්ගේ පැවැත්ම ද මෙම තෙත් බිම මත රදා පවතී.

    දැනට සිදු කර ඇති අධ්‍යයන වලට අනුව ජෛව විද්‍යාත්මක ව ඉතා වටිනා තෙත් බිම් පරිසරයක් වන මෙහි විවිධ පරිසර පද්ධති රාශියක් දැක ගත හැකි ය. එනම් කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදිය ජලය සහිත ඇළ මාර්ග, තෘණ භූමි, පදුරු වනාන්තර, ගංගාශ්‍රීත වනාන්තර ඒ අතර වේ. මීට අමතර ව වසරේ විවිධ කාල වල දී ලවණ ජලයෙන් පිරී යාම නිසා විශේෂිත පරිසර පද්ධති නිර්මාණය වී ඇත. මෙම විවිධ වූ පරිසර පද්ධති වලට අනුවර්තනය වූ ජීවී විශේෂ ගණනාවක් තෙත් බිම් පද්ධතියේ ජීවත් වේ. මෙම විවිධ වූ පරිසර පද්ධති වල ශාක කුල 66 කට අයත් ශාක විශේෂ 194 ක් වාර්තා වේ.

    අති විශාල සත්ත්ව ප්‍රජාවකට වාසස්ථාන සපයන මේ තෙත් බිමේ සිදු කර ඇති අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ සමනළුන්, බත්කූරන්, මත්ස්‍යයන්, උභයජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ 7 ට අයත් විශේෂ 449 ක් පමණ වාර්තා වී ඇති බව ය. ඉන් විශේෂ 27 ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වේ. පක්ෂීන්ගේ සුවිශේෂී ගොදුරු බිමක් හා ලැගුම් පොළක් වන මුතුරාජවෙළ තෙත් බිමේ නේවාසික පක්ෂි විශේෂ 86 ක් පමණ ජීවත් වන අතර සංක්‍රමණික පක්ෂි විශේෂ 43 ක් පමණ වාර්තා වී තිබේ. විශේෂයෙන් බටහිර සංක්‍රමණික මාර්ගයෙන් ලංකාවට පැමිණෙන පක්ෂි විශේෂ බහුල ව මෙම තෙත් බිමෙන් වාර්තා වේ. දුර්ලභ සංක්‍රමණික පක්ෂීන් වන දම් සිළුටු දෑතුඩුවා (Glossy Ibis), දම් පිළිහුඩුවා (Black – capped Purple Kingfisher) හා පළගැටි හම්බු කුරුල්ලා (Pallas`s Grasshopper Warbler) වැනි පක්ෂීන් මෙහි වාර්තා වී තිබීම සුවිශේෂත්වයකි. මෙවන් වටිනා තෙත් බිම් පද්ධතියක් සමාගමක අවශ්‍යතා මත විනාශ කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට ඉඩදිය යුතු නැත.

    මුතුරාජවෙල තෙත් බිමෙහි වාර්තා වන සත්ත්ව විශේෂවල විවිධත්වය

    සත්ත්ව කාණ්ඩය විශේෂ ගණන ආවේණික විශේෂ ගණන
    සමනළුන් 67 1
    බත්කූරන් 34 8
    මත්ස්‍යයන් 133 4
    උභයජීවීන් 15 5
    උරගයන් 37 5
    පක්ෂීන් 129 2
    ක්ෂීරපායීන් 34 2
    එකතුව 449 26

    මැල්වත්ත සමාගම අනතුරේ හෙළන මුතුරාජවෙල තෙත් බිමේ සංරක්ෂණ ඉතිහාසය

    මෙරට විශාලත ම වෙරළාශ්‍රිත ලවණ වගුරු බිම වන මුතුරාජවෙල තෙත් බිම කැළණි ගගේ සිට මීගමුව කලපුව දක්වා විහිදී ඇත. මෙහි බටහිර මායිම මුහුදු තීරය වන අතර නැගෙනහිර මායිම මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයයි. නාගරික හා කාර්මික ප්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්ත ව ඇති මෙම තෙත් බිම වගුරු පරිසර හා කඩොලාන පරිසර වලින් සමන්විත වේ. අතීතයේ සශ්‍රීක කුඹුරු යායක් ලෙස ප්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙල නම් වූ බව ජනශැති වල සඳහන් වේ.

    ඕලන්ද යුගයේ දී කැළණි ගගේ සිට භාණ්ඩ ප්‍රවාහනය සඳහා මීගමුව – කොළඹ මාර්ගයට සමාන්තර ව මීගමු කලපුව දක්වා මුතුරාජවෙල වෙල් යාය හරහා ඇළ මාර්ගයක් සකස් කර ඇත. එය ඕලන්ද ඇළ ලෙස හැදින්වේ. පසුව ඉංග්‍රීසීන් විසින් භාණ්ඩ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා කැළණි ගගේ සිට මුහුදු වෙරළට සමාන්තරව මුතුරාජවෙල වෙල් යාය හරහා මීගමුව කලපුව දක්වාත් එතැන් සිට පුත්තලම දක්වාත් හැමිල්ටන් ඇළ සකසන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලවණ ජලය මුතුරාජවෙලට ගලා ඒම සිදු වීම නිසා වී වගාවට නුසුදුසු තත්ත්වයක් උද්ගතවී ගොවිතැන අභාවයට පත් වී ඇත. වඩදිය අවස්ථාවේ දී ලවණ ජලය ගලා ඒම පාලනය කිරීම සඳහා හැමිල්ටන් ඇළ හා ඕලන්ද ඇළ යා කරමින් දොරටු සහිත කුඩා ඇළ මාර්ග 20 කට අධික ප්‍රමාණයක් සකස් කළ ද ඉන් ප්‍රතිඵලයක් ලැබී නැත. මේ නිසා මෙම තෙත් බිම් පද්ධතිය ලවණ වගුරු පද්ධතියක් බවට ක්‍රමයෙන් පරිවර්ථනය වී ඇත.

    මේ හේතුව නිසා බොහෝ දෙනෙකු හෙක්ටයාර 3068 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති මුතුරාජවෙල වගුරු බිම වැඩකට නොමැති හිස් භූමියක් ලෙස සලකයි. මේ නිසා පසුගිය ඉතිහාසය තුළ සමහරුන් මෙම ප්‍රදේශය ගොඩ කර නිවාස යෝජනාක්‍රම ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සැකසූහ. තවත් සමහරු කර්මාන්තපුරයක් බවට පරිවර්තනය කිරීමට ව්‍යාපෘති වාර්තා සකස් කළහ. 1965 වසරේ දී පැවති රජයේ සැලැසුම වූයේ මුතුරාජවෙල තෙත් බිම ගොඩ කර කොළඹ පැල්පත්වාසීන් මේ ප්‍රදේශයේ පදිංචි කිරීමට ය. නමුත් පරිසරය පිළිබඳ ව අවබෝධයක් ඇති සුළු පිරිසකගේ මඟපෙන්වීම යටතේ මෙම තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කර ගෙන එය තිරසර ලෙස භාවිතයට ගත යුතු ආකාරය පිළිබඳ ව සැලැසුම් සකස් කෙරිනි. 1991 වසරේ දී මහ කොළඹ ආර්ථික කොමිසම මඟින් සකස් කළ මෙම සැලැසුම 1992 වසරේ දී රජයේ අනුමැතියට යටත් ව ක්‍රියාත්මක කිරීමේ අවකාශය හිමි විය. මෙය මුතුරාජවෙල හා මීගමුව කලපු මහ සැලැසුම නම් වේ. 1994 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරියේ, තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් මුතුරාජවෙල හා මීගමුව කලපුව සඳහා සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුමක් ද සකස් කෙරිනි.

    මෙම සැලැසුම් වලට අනුව මුතුරාජවෙල කොටස් තුනකට වෙන් කරන ලදී. එනම් කොළඹ ආශ්‍රිත දැඩි නාගරික සීමාවේ පිහිටි තෙත් බිම් ප්‍රදේශය උප කාර්මික කලාපය ලෙසත්, මීගමුව කලපුව ආශ්‍රිත ව පිහිටි කොටස මුතුරාජවෙල අභය භූමිය ලෙසත්, ඒ අතර කොටස ස්වාරක්ෂක කලාපය හෙවත් ප්‍රේරක කලාපය ලෙසත් වෙන් කෙරිනි. ස්වාරක්ෂක කලාපය වෙන් කිරීමේ අරමුණ වූයේ උප කාර්මික කලාපය හා අභය භූමිය අතර ඝට්ටනයන් අවම කිරීමට ය.

    මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය සඳහා සැලැසුම් සකස් කිරීමට ප්‍රථම 1989 වසරේ දී සකස් කෙරුනු ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත් බිම් 41 අතුරෙන් එකක් ලෙස ද මුතුරාජවෙල වගුරු බිම නම් කෙරිනි. එපමණක් නොව මෙය ලංකාවේ ප්‍රමුඛ තෙත් බිම් පද්ධති 12 න් එකක් ලෙස ද හඳුනාගෙන තිබේ.

    මුතුරාජවෙල වැනසීමේ අදුරු ඉතිහාසය

    මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට දේශපාලකයන් හා නිලධාරීන් මින් පෙර ද අවස්ථා බොහොමයක කටයුතු කර ඇත. පසුගිය කාලයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීල් රූපසිංහ මහතා විසින් මුතුරාජවෙල තෙත් බිමේ විශාල භූමි ප්‍රදේශයක් ගොඩකර නිල්සිරිගම නමින් ගම්මානයක් බිහි කළේ ය. මෙහි අහිතකර ප්‍රතිඵල බුක්ති විඳින්නේ එහි වත්මන් පදිංචි ජනතාවයි. වර්ෂා කාලයේ දී ගොඩ කළ තෙත් බිම් මත ගොඩනැඟූ නිවාස දින ගණනාවක් ජලයෙන් යට වී පවතී. එම කාලයට වසංගත රෝග බෝවීම ප්‍රදේශයේ උග්‍ර මට්ටකට පත් වේ. දේශපාලනඥයින් ගේ අඥාන තීරණවල අහිතකර ප්‍රතිඵල අවසානයේ බුක්ති විඳින්නේ මෙහි පදිංචි වූ අහිංසක, අසරණ ජනතාව ය.

    2003 වසරේ දී මෙවැනි ම ඉඩම් බෙදා දීමක් ප්‍රදේශයේ දේශපාලඥයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඕලිත ප්‍රේමතිරත්න මහතා විසින් සිදු කෙරින. ඔහු විසින් මුතුරාජවෙල තෙත්බිමේ කිදිගොඩ ප්‍රදේශයේ අක්කර 100 ක පමණ තෙත්බිම් ප්‍රමාණයක් ජනතාව අතර බෙදා දී විශාල මුදලක් උපයා ගත්තේ ය.

    2009 වසරේ දී හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ගේ සොහොයුරු ටෙනිසන් පෙරේරා මහතා විසින් මුතුරාජවෙල අභය භූමිය තුළ පිහිටි දඩුගම් ඔය මීගමුව කලපුව හා සම්බන්ධ වන මෝය ආශ්‍රිත ව පිහිටි අක්කර 10 ක් පමණ වන විශාල කඩොලාන දූපතේ අක්කර පහක මහ පරිමාණ හෝටලයක් ඉදිකිරීම සඳහා ක්‍රියාත්මක විය. ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියකින් ද සහයෝගය ලබා ගැණිනි.

    2012 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ, නිල්සිරිගම ආශ්‍රිත ව පිහිටි තෙත්බිම් අක්කර 50 ක් වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ජේ.එම්.ඩී. රූබන් මහතා විසින් පර්චස් දහයේ ඉඩම් කුට්ටිවලට වෙන්කර විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කෙරිනි. ඒ සඳහා අනුග්‍රහය ලබා දුන්නේ එවකට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා විසිනි.

    අභය භූමියේ පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් වෙන්කර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අය කර එම භූමිය මැනීම් කර ඔප්පු සැකසීමට හා ශාක ඉවත් කර භූමිය සැකසීම සඳහා රුපියල් 40,000 ක පමණ මුදල ක් ලබා ගන්නා ලදී. මේ ඉඩම් බෙදා දීමෙන් අනතුරු ව බෙදා දුන් තෙත් බිම්, අභය භූමියෙන් ඉවත් කර ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීමට ද යෝජනා වී තිබුණි.

    මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට සිදු කළ සමහර හානි කර ක්‍රියා අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි වුව ද සමහර නීති විරෝධී ක්‍රියා තව ම ඒ ආකාරයෙන් ම සිදු වෙමින් පවතී. ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දඩුගම ග්‍රාම නිලධාරි වසමේ බණ්ඩත්තරවෙල ප්‍රදේශයේ මුතුරාජවෙල අභය භූමිය තුළ තෙත් බිම් ගොඩ කරමින් මාර්ගයක් ඉදි කර තිබේ. දඩුගම් ඔයේ වම් ඉවුරේ සිට මීටර් දෙකක් තුනක් පමණ දුරින් තනා ඇති මෙම මාර්ගයේ පළල මීටර් 5 ක් හා දිග කිලෝමීටර් 1.2 ක් වේ. මෙම මාර්ගය ඉදිකර ඇත්තේ අභය භූමිය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් දෙකක් වන දැනට අතහැර දමා ඇති පොල් වත්තකට හා සත්ත්ව ගොවිපළකට ළඟාවීම සඳහා ය. මෙම ගොඩ කිරීම සිදු කළ පුද්ගලයන් ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ ද මුදල් ප්‍රතිපාදන වෙන් කර ගෙන මෙම මාර්ගය ඉදි කරන ලද්දේ නීති විරෝධී ලෙස ය. මෙම මාර්ගය ආසන්නයේ අභය භූමිය තුළ ගුරුගේ වත්ත ලෙස හැඳින්වෙන අක්කර 30ක තෙත් බිමක් ඇතුළු ව අක්කර 99ක භූමියක් වෙන් කර ගෙන සිටින ප්‍රදේශයේ ප්‍රබල පුද්ගලයෙකු විසින් එම ඉඩම එළිපෙහෙලි කිරීම් වල වරින් වර නිරත වේ.

    එපමණක් නොව ජා-ඇළ හා හැමිල්ටන් ඇළ අතර දැලතුර, තාරකුලිය ප්‍රදේශයේ අභය භූමියේ විශාල තෙත් බිම් ප්‍රදේශයක් ගොඩකර කන්ටේනර් බහාලුම් අංගනයක් ඉදි කර තිබේ. වල්ඩ් එක්ප්‍රස් සමාගම මගින් සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට අක්කර ගණනාවක තෙත් බිම් ගොඩ කර ඇති අතර ජා-ඇළ හා සම්බන්ධ කිරීමට නව ඇළ මාර්ගයක් ද අභය භූමිය තුළ සකස් කර තිබේ. මේ නීති විරෝධී ක්‍රියා තව ම පාලනය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන රාජ්‍ය නිලධාරීන් තම වගකීම නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බව ය. එවන් රාජ්‍ය ආයතන අපගේ මුදල් වලින් නඩත්තු කිරීමෙන් ඵලක් තිබේ ද යන්න ජනතාව තේරුම් ගත යුතු ය.

    මේ අතරතුර මුතුරාජවෙල තෙත් බිමේ ස්ථාන ගණනාවක විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මේ වන විට රාජ්‍ය ආයතන විසින් ම ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මෙම තෙත් බිමේ අක්කර 5 ක භූමියක් ගොඩ කර දිනකට කසළ මෙටි්‍රක්ටොන් 400 ක් බැහැරලන සනීපාරක්ෂණ කසළ රැඳවුමක් ස්ථාපිත කිරීමට 2017 අප්‍රේල් මස 25 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි. මීට අමතර ව මෙම තෙත් බිමේ අක්කර 10 ක භූමියක ඝන අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2016 අගෝස්තු මස 30 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    පසුගිය දින වල මීතොටමුල්ල කසළ රැඳවුම කඩා වැටීමත් සමඟ ම කොළඹ නාගරික බල ප්‍රදේශයෙන් එක් රැස් කරන කසළ රැඳවීම සඳහා භාවිතා කළේ ද මුතුරාජවෙළ තෙත් බිම ය. මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය හා කළමනාකරණය සඳහා විශාල මුදලක් වැය කර සැලසුම් සකස් කළ ද ඒ සියල්ල අතහැර දමා කටයුතු කරන බව ය.

    රැම්සාර් සම්මුතිය උල්ලංඝනය කිරීම

    මුතුරාජවෙල රැම්සාර් තෙත් බිමක් ලෙස නම් කර නොතිබුණ ද 1971 වසරේ දී ඉරානයේ රැම්සාර් නුවර දී සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ රැම්සාර් ප්‍රඥප්තියට 1987 වසරේ ශ්‍රී ලංකාව අත්සන් තබන ලද අතර 1990 ඔක්තෝබර් මස 15 වන දින සිට එය බලාත්මක වූ රටක් වශයෙන් මෙන් ම හෙක්ටයාර 1,98,172 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ ජාත්‍යන්තරව පිළිගත් රැම්සාර් තෙත් බිම් 6 ක් හිමි රටක් වශයෙන් හා 2018 වසරේ දී කොළඹ රැම්සාර් තෙත් බිම් නගරය ලෙස රටේ ප්‍රධාන වාණිජ නගරය ජාත්‍යන්තර ව පිළිගත් තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති රටක් වශයෙන් තෙත් බිම් ආරක්ෂා කිරීමට අප අන්තර්ජාතිකව ද බැදී සිටී.

    1990 ජුනි 15 වන දින ලංකාවේ ප්‍රථම රැම්සාර් තෙත් බිම ලෙස දකුණු පළාතේ බුන්දල ජාතික වනෝද්‍යානය (6210 ha) නම් කරන ලදී. ලංකාවේ දෙවන රැම්සාර් තෙත් බිම වයඹ පළාතේ ආනවිලුන්දාව අභය භූමිය (1397 ha) යි. එය 2001 අගෝස්තු මස 03 වන දින ප්‍රකාශයට පත් කළ අතර, දකුණු පළාතේ මාදුගඟ අභය භූමිය (915 ha) 2003 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තුන් වන රැම්සාර් තෙත් බිම ලෙස නම් කරන ලදී. ලංකාවේ සිවු වන රැම්සාර් තෙත් බිම ලෙස 2010 ජූලි 12 වන දින මන්නාරම දිස්ත්‍රික්කයේ වාන්කාලේ අභය භූමිය (4839 ha) ද ලංකාවේ පස් වන රැම්සාර් තෙත් බිම ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ කුමන ජාතික වනෝද්‍යානය (19011 ha) 2010 ඔක්තෝබර් 29 වන දින ප්‍රකාශයට පත් කර ඇත. 2012 පෙබරවාරි 2 වන දින ලංකාවේ රැම්සාර් තෙත් බිම් අතරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ද (165,800 ha) එක් විය. ඒ අනුව ලංකාවේ හෙක්ටයාර් 198,172 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු රැම්සාර් තෙත් බිම් 6 ක් පිහිටා ඇති අතර එය ලෝකයේ සමස්ත රැම්සාර් තෙත් බිම් අතුරින් 1% ක ප්‍රමාණයකි. කුඩා දිවයිනක් වන අප රට මෙවන් තත්ත්වයකට පත් වීම පිළිබඳ ව අප ආඩම්බර විය යුතු අතර ම ඒවා සංරක්ෂණය සඳහා ද සැබෑ දායකත්වයක් ලබාදිය යුතු ය.

    ක්රියාත්මක කළ යුතු මුතුරාජවෙල සංරක්ෂණ සැලැසුම

    මීගමුව කලපුව හා මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය කළ යුතු වන්නේ සමස්ත පද්ධතියක් ලෙස ය. ගංවතුර පාලනය, ජෛව විවිධත්ව සංරක්ෂණය, සුළුපන්න ධීවරයන්ගේ සුරක්ෂිතතාව, තෙත් බිම අවට ජීවත් වන ජනතාවගේ යහපත් දිවි පැවැත්ම රැදී ඇත්තේ මෙම සමස්ත තෙත් බිම් පද්ධතිය මත ය. එය විනාශ කිරීමට සමාගම්වලට හෝ කිසිදු රාජ්‍ය ආයතනයකට අයිතියක් නොමැත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්‍ෂා කර සුරක්‍ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. මේ අනුව කිසිදු රාජ්‍ය ආයතනයකට සමාගමක වුවමනාවන් වෙනුවෙන් මුතුරාජවෙල තෙත් බිම විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වීමට හැකියාවක් නොමැත.

    එපමණක් නොව රාජ්‍ය ආයතන හෝ සමාගම් විසින් සිදු කරන මුතුරාජවෙල තෙත් බිම් විනාශය නතර කිරීමට මැදිහත් වීමේ බලය සෑම පුරවැසියකුට ම ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිමේ සියලූ ම විනාශකාරී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමේ බලය අප වෙත ලබා දී ඇත. එම බලය භාවිත කර සංවර්ධනයේ නාමයෙන් ජනාධිපතිවරයා විසින් මුතුරාජවෙල විනාශ කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය.

  • නීත්‍යානුකූල අන්තර්-ආගමික විවාහවලට ඉන්දිය රජයෙන් අවසර

    නීත්‍යානුකූල අන්තර්-ආගමික විවාහවලට ඉන්දිය රජයෙන් අවසර

    “ලව් ජිහාද්” වැනි ප්‍රශ්න බටහිර මාධ්‍ය විසින් පුන පුනා වාදනය කර ඇති අතර ඔවුන් එය කර ඇත්තේ ඉන්දියාවේ වත්මන් දේශපාලන ව්‍යාප්තිය ඉලක්ක කර ගැනීම සඳහා පමණි.

    ‘ඉන්දියාවේ හින්දු ජාතිකවාදී නැඟීම මධ්‍යයේ අන්තර් ආගමික ප්‍රේමය අවදානමක්’ යන මෑත ලිපියක, එක්සත් ජනපද මාධ්‍ය ආයතනයක් වන ඇසෝසියේටඩ් ප්‍රෙස් මෙසේ පැවසීය: “ලව් ජිහාද්” ප්‍රශ්නය, ආගමික නිදහස පිළිබඳ ව්‍යවස්ථාපිත සහතිකවලට වලකන බවට අනතුරු අඟවන ලෞකික ක්‍රියාකාරීන්ට එරෙහිව භාරතීය ජනතා පක්ෂය තල්ලු කර ඇත. 2014 දී ප්‍රථම වරට තේරී පත් වූ දා සිට මුස්ලිම්වරුන්ට එරෙහිව නැඟී එන ප්‍රහාර ගැන වැඩි වශයෙන් මුනිවත රකින අගමැතිවරයකු විසින් ධෛර්යමත් වූ හින්දු ජාතිකවාදීන්ගේ හරස්කඩේ සිටින මුස්ලිම්වරු.”

    ඇසෝසියේටඩ් ප්‍රෙස් එවැනි කථා ගෙන යන අතරතුර විනිශ්චයකාර ලෙස පෙනී සිටියි; එය ප්‍රවෘත්ති විශ්වසනීයත්වය සඳහා භූමියේ ඇති කරුණු පරීක්ෂා කළ යුතුව තිබුණි.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සුළු ජාතික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කිහිප වතාවක්ම කතා කර ඇත.

    හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට අනුව, අග්‍රාමාත්‍ය මෝදි සෑම පුද්ගලයෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමට සහ රඳවා ගැනීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට තම රජය කැපවී සිටින බව කිහිප වතාවක්ම ප්‍රකාශ කර ඇත. 2015 දී ඔහු සුළුතර ප්‍රජාව කෙරෙහි තම රජයේ ප්‍රවේශය ගැන දීර්ඝ ලෙස කතා කළේය. “මගේ රජය විශ්වාසයේ සම්පූර්ණ නිදහස ඇති බව සහතික කරන අතර බලහත්කාරයෙන් හෝ අනිසි බලපෑමකින් තොරව තමා කැමති ආගම රඳවා ගැනීමට හෝ පිළිගැනීමට සෑම කෙනෙකුටම ප්‍රතික්ෂේප කළ නොහැකි අයිතියක් ඇති බව සහතික කරයි,” අගමැති මෝදි පැවසීය.

    මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර පසුබිමේ, ඔහු 2015 හි හින්දුස්ථාන් ටයිම්ස් විසින් උපුටා දක්වන ලදී: “බහුතරයට හෝ සුළුතරයට අයත් කිසිදු ආගමික කණ්ඩායමකට, අන් අයට එරෙහිව විවෘතව හෝ රහසිගතව වෛරය ඇති කිරීමට මගේ රජය ඉඩ නොදේ. මගේ රජය සියලු ආගම්වලට සමාන ගෞරවයක් දෙන රජයක් වනු ඇත.

    එහෙයින්, ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව නැඟී එන ප්‍රහාර ගැන අගමැති මෝදි බොහෝ දුරට මුනිවත රකින බව පැවසීම සත්‍යය බොරු කිරීම හා සමාන වනු ඇත. ආගමික නිදහස පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අගමැති මෝදිගේ මෙතෙක් ප්‍රබලම ප්‍රකාශය එක්සත් ජනපද මාධ්‍ය ආයතනයට හමු වන්නට ඇත. අවිනිශ්චිත වචන වලින් ඔහු පැවසුවේ, “අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑම පුරවැසියෙකුටම ආගමික නිදහස සහතික කරන අතර එය සාකච්ඡා කළ නොහැක. මම මෙය කලින් පවසා ඇති අතර මම එය නැවත කියමි: ඕනෑම ප්‍රජාවකට එරෙහි ඕනෑම වෙනස් කොට සැලකීමක් හෝ ප්‍රචණ්ඩත්වයක් නොඉවසන්නේ ය.

    හින්දු, සීක් හෝ ක්‍රිස්තියානි ගැහැණු ළමයින් ඉස්ලාම් ආගමට හරවා ගැනීමේ රැවටිලිකාර මාධ්‍යයක් ලෙස බොහෝ දුරට සැලකෙන “ලව් ජිහාඩ්” සම්බන්ධයෙන් අගමැතිවරයා ඊට එරෙහිව කතා කර ඇත. කෙසේ වෙතත්, බීබීසී වැනි බටහිර මාධ්‍ය හෝ පිව් පර්යේෂණ මධ්‍යස්ථානය වැනි ජාත්‍යන්තර චින්තන හිතන්න ඔවුන්ගේ සමීක්ෂණවලින් සොයාගෙන ඇත්තේ ඉන්දියානුවන් විශාල වශයෙන් ආගමික ඉවසිලිවන්ත අය බවයි. එහෙත් ඔවුන්ට අවශ්‍ය වන්නේ තම ප්‍රජාවෙන් පිටත විවාහ වීමේ උවදුරට තිත තැබීමටය.

    ජූනි 29 වැනි දින BBC විසින් ප්‍රකාශයට පත් කරන ලද පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ සමීක්ෂණයට අනුව, ඉන්දියාව පුරා භාෂා 17 කින් සම්මුඛ සාකච්ඡා කළ මුළු 30,000ක් දෙනාගෙන් සියයට 80 ක් මුස්ලිම්වරුන් තම ප්‍රජාවේ පුද්ගලයින් වෙනත් ආගමකට විවාහ වීම වැළැක්වීම වැදගත් බව හැඟී ය. හින්දු භක්තිකයන්ගෙන් සියයට 65 කට පමණ එයම දැනුනි. අධ්‍යයනය තවදුරටත් මෙසේ පැවසීය: “ඉන්දියානුවන් එකවර ආගමික ඉවසීම සඳහා උද්‍යෝගය ප්‍රකාශ කරන අතර ඔවුන්ගේ ආගමික ප්‍රජාවන් වෙන් වූ ක්ෂේත්‍රවල තබා ගැනීමට නිරන්තර කැමැත්තක් දක්වයි – ඔවුන් වෙනම එකට ජීවත් වෙති.”

    ඇසෝසියේටඩ් ප්‍රෙස් වැඩිදුරටත් පැවසුවේ එවැනි සබඳතා නැවැත්වීමට අවශ්‍ය දැඩි මතධාරී හින්දු ජාතිකවාදීන් විසින් ඉන්දියාවේ අන්තර් ආගමික විවහක යුවලවලට එරෙහි ප්‍රචණ්ඩත්වය මෑත වසරවලදී ඉහළ ගොස් ඇති බවයි. සිය ගණනක් මුස්ලිම් පිරිමින්ට පහර දී ඇති අතර බොහෝ විවහක යුවලවලට සැඟවී සිටීමට බල කෙරී ඇත. සමහරු මරා දමා ඇත.

    අවාසනාවකට මෙන්, එක්සත් ජනපද මාධ්‍ය ආයතනය සත්‍ය පින්තූරය ඉදිරිපත් කර නැත. ඉන්දියාවේ අන්තර් ආගමික විවහක යුවලවලට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඔක්තෝම්බර් මාසයේදී, දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වන කර්නාටක ප්‍රාන්තයේ බෙලගාවි ප්‍රදේශයේ අන්තර් ආගමික යුවලකට පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රහාරයේ අපරාධකරුවන් හින්දු නොවන ප්‍රජාවට අයත් විය.

    ඉන්දියාවේ, ඇසෝසියේටඩ් ප්‍රෙස් ලියා ඇති පරිදි අන්තර් ආගමික ජෝඩුවලට පහර දීම භයානක නොවේ. එහෙම තිබුණා නම් මේ තරම් අන්තර් ආගමික විවාහ රටේ ඇති වෙන්නේ නැහැ. 2020 ඔක්තෝබර් 22 වන දින, ඉන්දියන් එක්ස්ප්‍රස් ඉන්දියාවේ අන්තර් ආගමික විවාහයන් පිළිබඳ දර්ශනයක් ඉදිරිපත් කළ අධ්‍යයනයක් සමඟින් එළියට ආවේය. මෙම අධ්‍යයනයට අනුව වයස අවුරුදු 15-49 අතර විවාහක කාන්තාවන්ගෙන් සියයට 2.21ක් තම ආගමෙන් බැහැරව විවාහ වී ඇත.

    අන්තර් ආගමික විවාහයන් නාගරික ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් අතර ග්‍රාමීය ප්‍රදේශවලින් සියයට 1.8 ට සාපේක්ෂව සියයට 2.9 ක් වැඩි ය. එම අධ්‍යයනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ තම ආගමට පිටින් විවාහ වන කාන්තාවන්ගේ ප්‍රවණතාවය කිතුනුවන් අතර ඉහළම අගයක් ගන්නා අතර කාන්තාවන්ගෙන් සියයට 3.5ක් මිශ්‍ර විවාහ සිදු කරන බවයි. සික් ජාතිකයින් සියයට 3.2 ක්, හින්දු ජාතිකයින් සියයට 1.5 ක් සහ මුස්ලිම්වරුන් සියයට 0.6 ක් ලෙස දෙවන ස්ථානයට පත්වේ. එවැනි දත්ත මගින් අන්තර්-ආගමික විවාහයන් බහුලව පවතින බව පෙන්නුම් කරන අතර, ඇසෝසියේටඩ් ප්‍රෙස් සිය වාර්තාවේ දක්වා ඇති පරිදි භීතියේ වාතාවරණය තුළ එය සිදු නොවනු ඇත.

    indianewsnetworrk

  • ‘සෝටීස් වලට කුණු අල විකුණන‘ මහා පරිමාණ ජාවාරමක්

    ‘සෝටීස් වලට කුණු අල විකුණන‘ මහා පරිමාණ ජාවාරමක්

    • කාන්තාවෝ 25 ක් දිනපතා වැඩ
    • කිලෝ 45 000ක් පමණ ගබඩාවේ
    • වරායෙන් නිදහස් කල විදිහක් නෑ
    • රට පුරා හෝටල් වලට අඩු මිලට

    ඉන්දියාවෙන්  ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම ) නිෂ්පාදනය සඳහා රට පුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති  ජාලිය ඕපාත මහතාට පසුගිය 28 වැනි දින පස්වරුවේ හැකි වී තිබේ.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සංවිධානාත්මක කණ්ඩායමක් කාලයක් තිස්සේ ඉන්දියාව, පාකිස්ථානය සහ වෙනත් රටවලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින වරායෙන් ඉවත් කරන අර්තාපල් අල කන්ටේනර් රථ පිටින් දඹුල්ලට රැගෙන විත් ඒවා  නැවත කාන්තාවන් යොදා සුද්ධ පවිත්‍ර කරමින් සූක්ෂම ලෙස  රට පුරා මහා පරිමාණ සහ කුඩා හෝටල් වල කෑම  නිෂ්පාදනයට අලෙවි කිරීම සිදුවන බවට  ලද තොරතුරක් මත මෙය අනාවරණයය කර ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා  පැවසීය.

    ඒ අනුව තමන් පසුගිය 28 දින පස්වරුවේ  ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක් පරික්ෂා කිරීමෙන් මෙය හෙළිදරව් කර ගැනීමට හැකිවූ බව දඹුල්ල නගරාධිපතිවරයා සඳහන් කළේය.

    එදින නිවාඩු දිනයක් නිසා නගරාධිපතිවරයා සහ දඹුල්ල පහළවැව  ග්‍රාම සේවා වසමේ නාගරික මන්ත්‍රී චරිත විජේරත්න යන දෙදෙනා සමඟ මෙම අනාවරණය සිදු කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වූහ.

    ගබඩාවේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම වසා පිටුපස කොටසේ කාන්තාවන් 25ක් පමණ  යොදවාගෙන ඉන්දියාවෙන් ගෙනා තිබූ මෙම අර්තාපල් අල මුල් බැස ගෝනිවලින් ගලවා  එහි ඇති මුල් සහ අලවල හටගෙන ඇති තවත් කුඩා අල ඉවත් කරමින් සිටින අයුරු අනාවරණය කර ගැනීමට හැකි විය.

    නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරයා එම ස්ථානයට ගමන් කරනවාත් සමග සේවයේ යොදවා සිටි කාන්තාවෝ හිස් ලූ ලූ අත දිව යන්නට වූහ. කෙසේ වෙතත් නගරාධිපතිවරයා එම සේවයේ යෙදෙමින් සිටි කාන්තාවන්ට කියා සිටියේ තමන්ට ගැටලුවක් නොවන නිසා දිව යෑමෙන් වළකින ලෙස ය.

    ොවිශාල ගබඩාව තුළ අර්තාපල් අල කිලෝ 45,000ක පමණ ප්‍රමාණයක් ගොඩගසා ඇති අයුරු තිබෙන බවත් ඒවා සියල්ල බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.‍

    මෙම අර්තාපල් අල ගෙන් වූ බව කියන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක් බදු පදනම මත පවත්වාගෙන යන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී ගෙන්වා ගැනීමට නාගරික මන්ත්‍රී  චරිත විජේරත්න  මහතා පියවර ගත්තේය.

    ඒ අනුව එම ස්ථානයට පැමිණි  ව්‍යාපාරිකයාගෙන් නගරාධිපති ජාලිය ඕපාත මහතා   ප්‍රශ්න කිරීම් වලදී මේවා ඉන්දියාවේ සිට රැගෙන ආ බවත් දඹුල්ලට සහ වරායෙන් පිට කළ කිසිදු ලියකියවිල්ලක් තමන් සතුව නොමැති බවද ව්‍යාපාරිකයා පැවසීය.

    එමෙන්ම මෙම අර්තාපල් අල හෝටල් සඳහා ලබා දෙන බව පිළිගත් මෙම ජාවරම්වරු තමන් ඇතුළු කණ්ඩායම කිසිසේත් මෙම අර්තාපල් ආහාරයට නොගන්නා බවද පිළිගැනීම් විශේෂත්වයකි.

    පසුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා වහාම මෙම සිද්ධිය පිළිබඳවව දුරකථනය හරහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දැනුවත් කළේය.

    ඒ අනුව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල පොලිසියට මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව  දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායම්ක් එම ස්ථානයටට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.

    එම ව්‍යාපාරිකයාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම අර්තාපල් මෙරටට ගෙන්වූ කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.

    නාගරාධිපතිවරයා ව්‍යාපාරිකයාට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ මින් ඉදිරියට දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ විදේශ  රටවලින් ගෙන්වා අලෙවි කරන සෑම ආහාර ද්‍රව්‍යයකට ම  මෙරටට ගෙන්වූ දිනය වරාය පිටත් කළ දිනය සහ ආහාරයට සුදුසු බවට වරාය මහජන සෞඛ්‍යය පරීක්ෂක අංශයෙන් ලබා දුන්  ලියකියවිල්ලක් නොමැතිවව අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවය.

    එමෙන්ම මෙම මහා පරිමාණ නරක් වූ කුණු අල ජාවාරම් සඳහා නගර සභාවක් ලෙස තමන්ට පමණක් වගකීම් බාරගැනීමට නොහැකි බවත් මේවා ඉන්දියාවේ සිට නැව් මගින් වරායට ලැබීමෙන් අනතුරුව වරායේ පවතින නීති පද්ධතියෙන් එළියට පැමිණ රට මැදට එන්නේ කෙසේදැයි වෙනම පරික්ෂා කළ යුතු බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා පැවසීය.

    රට පුරාම ජනතාව දැඩි  සෞඛ්‍ය ප්‍රශ්නයකට  මුහුණ දෙන බවත් මේවා දඹුල්ලට ගෙන ඉන්නේ කෙසේදැයි සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවත් පාකිස්තානය, ඉන්දියාව ඇතුළු කණ්ඩායම් වල නියෝජිතයන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා රට පුරා අලෙවි කර ගැනීම සිදුකරන බවද මෙම අර්තාපල්, ලොකු ළූණු ආදී සියල්ල මෙරටට ගෙනවිත් වියදමට වඩා අඩු  මුදලක් යටතේ අලෙවි කරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

    දඹුල්ල පොලීසිය සහ මහ නගර සභාව එක්ව මෙම අර්තාපල් අල ගබඩාව සම්පූර්ණයෙන්ම සීල් තබා 29 දින ඉතිරි  රාජකාරි කටයුතු සිදු කරන බව දඹුල්ල පොලීසිය පැවසීය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ‘ඔමික්‍රොන්’ සමග සටන් කරන්නේ කොහොමද?

    ‘ඔමික්‍රොන්’ සමග සටන් කරන්නේ කොහොමද?

    ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණුයැ යි කියැවෙන නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට ලොව පුරා පැතිරෙමින් පවතියි. එය එහි උපත සිදුවූ අප්‍රිකාවෙන් පිටතට පැමිණ ඇති අතර, ඊශ්‍රායලය, එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, සහ නෙදර්ලන්තය වැනි රටවලට ද පැතිරගොස් තිබේ.

    මෙය ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත් ද, එය පැමිණීම වැලැක්වීමට හැකි ද, ශ්‍රී ලාංකිකයින් ලැබූ කොවිඩ් එන්නතෙන් මෙයට එරෙහිව ආරක්ෂාව සපයනු ඇත් ද ආදී ගැටලු මේ වන විට මතුව ඇත.

    කෙසේ නමුත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී, ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කරන මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ, ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳව වැඩි යමක් තවමත් නොදන්නා බව යි.

    “වෛරස් එක මෙහෙට එන එක පරක්කු කරන්න පුළුවන්. නමුත් ඒක නවත්තන්න පුළුවන් කිසිම විදියක් නැහැ… මූලික වාර්තාවලින් පෙන්නුම් කරන්නේ මේක ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගවත්ව පැතිරෙන්න පුළුවන් බව යි. නමුත් අප ඒ ගැන වැඩි දෙයක් තවම දන්නේ නැහැ,” ඇය ප්‍රකාශ කළා ය.

    “අපි ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ වගේ රටවල් දිහා බැලුවොත් අපට පේනවා, දේශසීමා වහලා කොච්චර දැඩි ලෙස පාලනය කළත් ඩෙල්ටා පැතිරීම වළක්වන්න බැරිවුණා, මොකද ඩෙල්ටා ඉතාම වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක් නිසා. ඉතින් දැන් අපට ඩෙල්ටාවලටත් වඩා පහසුවෙන් පැතිරෙන ප්‍රභේදයක් තියෙනවා නම්, ඒක ශ්‍රී ලංකාවට පැමිණීම වලක්වන්න පුළුවන් කියලා හිතන්නවත් දෙයක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම එනවා.”

    “ඒ නිසා, මේක ලංකාවට එනවා කියන සත්‍යය අපට පිළිගන්න වෙනවා.”

    මහාචාර්ය නීලිකා මලවිගේ
    මහාචාර්ය නීලිකා මලවිගේ

    ලංකාවට ආවොත් මොකද කරන්නේ?

    මේ වන විට ලොව පුරා සංසරණය වන විවිධ කොවිඩ් ප්‍රභේද දහස් ගණනකි. වෛරස සෑම විටම විකෘතීන්ට ලක්වන බැවින් මෙය අමුත්තක් නොවේ.

    “ඔමික්‍රොන්” යනුවෙන් නම්කර ඇති නව කොවිඩ් ප්‍රභේදය පෙර ප්‍රභේදයන් පෙන්නුම් කළ ඇතැම් විකෘතීන්ගෙන් ද, පෙර නුදුටු නව විකෘතීන් බොහොමයකින් ද සමන්විත ය.

    මෙනිසා, කොවිඩ්හි මුල් ප්‍රභේදයන්ට එරෙහිව සටන් කිරීමට සවිගන්වා නිමැවූ එන්නත් මේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථක වේ ද යන බිය මතුව තිබේ.

    මහාචාර්ය මලවිගේ සඳහන් කරන්නේ මෙහිදී අපට කළ හැකි හොඳම දෙය නම් නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කිරීම සහ එයින් සිදුවිය හැකි හානිය පාලනය කිරීමබව යි.

    නව ප්‍රභේදයෙන් සිදුවිය හැකි හානිය අවම කළ හැකි වන්නේ එන්නත්කරණයෙන්බව ඇය පවසයි.

    “වැඩිමහලු පුද්ගලයින් සහ දියවැඩියාව, වකුගඩු රෝග ආදී නිධන්ගත ආබාධවලින් පෙළෙන අය වගේ කොවිඩ් රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති අයට ඉක්මනින්ම බූස්ටර් එන්නත් මාත්‍රාවක් දුන්නොත් ලෙඩේ පාලනය කරගන්න පුළුවන් වෙයි,” මහාචාර්යවරිය සඳහන් කරයි.

    ඔවුනට නැවත වරක් කොවිඩ් වැළඳුණත්, ඔවුන්ගේ රෝග ලක්ෂණ එතරම් දරුණු අතට හැරීමට ඉඩකඩ අවමබව ඇය පවසන්නී ය.

    “අපට ආරක්ෂාව සලසාගන්න යම් කාලයක් ලැබිලා තියෙනවා. ඒ කාලය ඇතුළත අපි නිසි පියවර ගත්තොත්, අපට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙන එකක් නැහැ.”

    ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් සියලුදෙනා PCR පරීක්ෂණවලට ලක්කළ යුතුදැ යි අප මහාචාර්ය මලවිගේගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ එය ඉතා දූරදර්ශී ක්‍රියාවක් වනු ඇතිබව යි.

    මේ නව කොරෝනාවෛරස ප්‍රභේදය PCR පරීක්ෂණයකින් හඳුනාගැනීමට හැකියාව පවතියි. ඇල්ෆා ප්‍රභේදය ද මෙසේ එක්තරා PCR කට්ටල වර්ගයක් යොදාගෙන සිදුකරන පරීක්ෂණයේ දී හඳුනාගැනීමට හැකි විය.

    ඔමික්‍රොන් ප්‍රභේදය ද ඇල්ෆා ප්‍රභේදය පෙන්වූ ඇතැම් විකෘතීන් පෙන්වන නිසා, PCR පරීක්ෂණ හරහා එය ද හඳුනාගත හැකිබව මහාචාර්ය මලවිගේ BBC වෙත පැහැදිලි කළා ය.

    “දැනට ලෝකය පුරා පැතිරී ඇති කොවිඩ් රෝගීන්ගෙන් 99.5%කටත් වැඩි ප්‍රමාණයකට ආසාදනය වෙලා තියෙන්නේ ඩෙල්ටා. ඒ නිසා යමෙකුට ඔමික්‍රොන් ප්‍රභේදය වැළඳිලා ද කියන එක PCR පරීක්ෂාවක් හරහා හඳුනාගන්න පුළුවන්, මොකද ඇල්ෆා ප්‍රභේදය දැන් එතරම් හොයාගන්න නැහැ,” ඇය කියා සිටියා ය.

    ශ්‍රී ලංකාවට මේ වන විට ඔමික්‍රොන් ප්‍රභේදය ඇතුළුවී ඇත්දැ යි සොයාගැනීම සඳහා ජාන අනුක්‍රමණ පරීක්ෂණ සිදුකෙරෙනු ඇතිබව ද මහාචාර්යවරිය ප්‍රකාශ කරයි.

    පාසැල් ඇරඹිලා – දරුවන්ට හානියක් වෙයි ද?

    මේ වන විට බොහෝ පාසැල් ඇරඹී ඇති හෙයින්, අලුත් වෛරස ප්‍රභේදය පැතිරුණහොත් දරුවන්ට විය හැකි බලපෑම කුමන ආකාරයේදැ යි අපි මහාචාර්යවරියගෙන් විමසූයෙමු.

    ඇය පවසන්නේ හොඳින් වාතාශ්‍රය සහිත පරිසරවල දී ශ්වසන පද්ධතියට බලපෑම් කරන වෛරසවල පැතිරීම මඳබව යි.

    “ලංකාවේ ඉස්කෝල ගොඩනැගිලිවල තියෙන්නේ කොට බිත්ති. මේ නිසා පන්ති කාමරවලට ඉතා හොඳින් වාතාශ්‍රය ලැබෙනවා. අපි එංගලන්තේ ඉස්කෝලයක් දිහා බැලුවොත්, පන්ති කාමර ඔක්කොම සීල් කරලා, වායු හුවමාරුව ඉතාම අවම වෙන්න හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පරිසරයක දී ඕනෑම ලෙඩක් පහසුවෙන් පැතිරෙන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ අපට ඉතාම හොඳින් වෙන්ටිලේට් වෙන පන්ති කාමර තියෙනවා. ඉතින් ඒ වගේ පරිසරයක රෝගය පැතිරීම අවම වෙන්න ඕනෑ,” ඇය පැවසුවා ය.

    “මේක සිදුවුණේ ආත්මාර්ථකාමීකම නිසා”

    නව ඔමික්‍රොන් ප්‍රභේදය බිහිවූයේ දකුණු අප්‍රිකාවෙනි. මෙම ප්‍රභේදයට බොහෝ දුරට මේ තත්ත්වයේ විකෘතිතා ඇතිවන්නට ඇත්තේ, වෛරසය පැරදවීමට අපොහොසත් වූ එක් රෝගියෙකුගේ සිරුර තුළ දී විය හැකි ය.

    මේ වන විට දකුණු අප්‍රිකාව තුළ සම්පූර්ණයෙන්ම එන්නත්කර ඇති ජනගහණය ප්‍රතිශතයක් වශයෙන් 24%කි. අප්‍රිකානු මහාද්වීපයේ වෙසෙන ජනතාවගෙන් එන්නත් ලබා ඇත්තේ 3%ක් තරම් අඩු ප්‍රතිශතයකි.

    ධනවත් රටවල් එන්නත් මාත්‍රා තොග පිටින් අත්පත්කර ගැනීමත්, සැමට සාධාරණව එන්නත් බෙදාදීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආධාරය ද ඇතිව පිහිටුවන ලද Covax වැඩසටහනට ගෝලීය අපනයන තහනම, නිෂ්පාදනයේ දී මුහුණපානා අභියෝග, සහ නියාමන ක්‍රියාවලීන්ගේ මන්දගාමීත්වය නිසා බාධා පැමිණීමත් හේතුවෙන් අප්‍රිකානු රටවල එන්නත්කරණය මෙසේ අඩාල වී තිබේ.

    දුප්පත් රටවලට අවශ්‍ය තරම් එන්නත් නොලැබෙන බැවින් කොවිඩ් වසංගතය “ඕනෑවටත් වඩා වසරක් දිගට ඇදීයනු ඇතැ”යි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූයේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී ය.

    “මේ වගේ දෙයක් සිදුවෙන්න යනවා කියන එක ඉතාම පැහැදිලිව දකින්න තිබුණා. අප්‍රිකාවට එන්නත් ලැබුණේ නැහැ. ඒ නිසා කොවිඩ් එහෙ බහුලව පැතිරුණා – ඒක වළක්වාගන්න පුළුවන්කම තිබුණු දෙයක්. මෙහෙම වුණේ පොහොසත් රටවල ආත්මාර්ථකාමීකම නිසා,” මහාචාර්ය මලවිගේ පවසයි.

    “ඔබට හිතෙන්නේ පුළුවන් ඔබ පමණක් එන්නත ගත්තම ඔබ ආරක්‍ෂිත යි කියලා. නමුත් මේ දේවල් සිදුවෙන්නේ ඒ විදියට නෙවෙයි.”

    text by bbc sandesaya

  • රසායනික පොහොර තහනම ඉවත් කළ විටම ‘දඹුල්ලට සුපිරි එළවළු තොග‘ ආවේ කොහොමද ?

    රසායනික පොහොර තහනම ඉවත් කළ විටම ‘දඹුල්ලට සුපිරි එළවළු තොග‘ ආවේ කොහොමද ?

    එළවළු මිල ගණන් ඉහළ යාම, සැපයුම සීමා වීම සහ නිෂ්පාදනවල ගුණත්වය පහළ යාම පසුගිය සති කිහිපය පුරාම ජනමාධ්‍යවල, සමාජමාධ්‍යවල මෙන්ම දේශපාලන වේදිකාවේ, පාර්ලිමේන්තුවේ පමණක් නොව ජනතාව එක්වන සෑම තැනකම සුලභ ප්‍රශ්නයක් බවට පත්ව තිබුණා. ඒ අතරේ අවස්ථාවාදී වූ ආපනශාලා හිමියන්ගේ සංගමයත් බත් පැකැට්ටුවේ, කොත්තු රොටියේ මිල ඉහළ දැම්මා.

    මේ මිල ඉහළ යාම සාධාරණීකරණය කරමින් ඔවුන් පෙන්වා දුන්නේ ‘එළවළු ගිනි ගන්න නිසා මිල ඉහළ නොදා බෑ‘ යන්නයි.

    නොවැම්බර් – දෙසැම්බර් මාසයේ සිදුවන මේ මිල ඉහළ යාම සෑම වර්ෂයකම සිදුවන සාමාන්‍ය දෙයක් බව මේ ආර්ථික මධ්‍යස්ථාන පාලනාධිකාරිය, විශේෂඥයින් සහ විෂයභාර ඇමැතිවරයා කොපමණ පැහැදිලි කළත් කිසිවෙක් ඊට කන් දුන්නේ නැහැ. ඔවුන් එක හඩින් කියා සිටියේ ‘ආණ්ඩුවේ රසායනික පොහොර තහනම නිසා ගොවීන්ගේ නිෂ්පාදන දැවැන්ත ලෙස පහළ ගොස් ඇති අතර ඒවායේ ගුණත්වය (ප්‍රමාණය) විශාල ලෙස පහළ ගොස් ඇති බවයි.

    මේ මිල ඉහළ යාම ගැන දශක හතරක පමණ කාලයක සිට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල තොරතුරු එක්රැස් කිරීම හා විශ්ලේෂණය කරන ප්‍රමුඛ රාජ්‍ය ආයතනය වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මෙසේ සදහන් කළා.

    ‘හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දත්තවලට අනුව, මේ වසරේ ජනවාරි මාසයට සාපෙක්ෂව නොවැම්බර් මාසයේ දී සහල් හා එළවළු වර්ගවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. යල කන්නයේ අස්වනු නෙලීම අවසන් වීමෙන් පසුව ද එළවළු සැපයුම සීමිතවීම, සහ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එළවළු වර්ග බොහෝමයක් මිල ගණන් කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණු බවට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි‘ යනුවෙන් බී.බී.සී සන්දේශය  වෙබ් අඩවිය පසුගියනොවැම්බර් 23 වැනිදා දීර්ඝ විශ්ලේෂණයක් කරමින් සදහන් කළා.

    මේ සියලු විද්‍යාත්මක විශ්ලේෂණ පහසුවෙන් බැහැර කළ ව්‍යාපාරිකයින් සහ විපක්ෂ ගැති මාධ්‍ය ‘දෙසැම්බර් වන විට එළවළු කිලෝවක් රුපියල් 500කටත් ගන්න බැරි වෙයි‘ පසුගිය දිනවල ව්‍යාපාරිකයින් අනාවැකි පළ කළා.

    මේ පුවත සනාථ වන පැහැදිලි වාර්තාවක් පසුගිය 22 වැනි දා ජනමාධ්‍ය මේ ආකාරයෙන් වාර්තා කළා.

    ‘‘නුවරඑළිය ඇතුළු උඩරට ප්‍රදේශවලින් අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු   තොග ලැබීමේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වුව ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (22) දින අළුයම කැරට්, ලීක්ස්, බෝංචි, අර්තාපල් වැනි එළවළු සීමිත ප්‍රමාණයක් ලැබී තිබුණු බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. ලැබී තිබුණු සීමිත තොග සඳහා ඉහළ මිලක් පැවති නමුත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙඳුන්ගේ පැමිණීම අඩු වී ඇතැයි නුවරඑළියේ සිට එළවළු දඹුල්ලට රැගෙන ආ අතර මැදි වෙළෙන්දෝ පවසති.අද දින අළුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලීක්ස්  කිලෝව රුපියල් 390-420ත් අතර මිලක් පැවති අතර කැරට් කිලෝවක් රුපියල් 240 සිට රුපියල් 300 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි විය. ඇතැම් ගොවීන් කියා සිටියේ නුවරඑළිය  දීස්ත්‍රික්කයේ  එළවළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන වලට  ප්‍රවාහනය කිරීම සීමා කොට තිබුණද ඒවා නිෂ්පාදනය  කළ ගොවීන්ගේ ඉල්ලීම් මත  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වලට රැගෙන ආ බවය. නුවරඑළිය ප්‍රදේශයේ වගා කෙරෙන ලීක්ස් සහ කැරට් ආදී එළවළු වල ගුණාත්මක භාවය අඩු වී ඇතැයි එම ගොවීන් පෙන්වා දුන් අතර ඔවුන් කියා සිටියේ වෙනදා මෙන් නොව ලීක්ස්, කැරට් හා අර්තාපල්  ප්‍රමාණයෙන් ඉතා කුඩා බවය. එමෙන්ම  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටී ගොවීන් රැසක්  කියා සිටියේ එළවළු වගාව සඳහා අවශ්‍ය තෙල් පොහොර නොමැතිවකම මෙන්ම වර්ෂ අවසානයේ දී පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා එළවළු හිඟ වීම සාමාන්‍යයෙන් සිදුවන බවය‘

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිත වාර්තාකරණයේ යෙදෙන ප්‍රමුඛ මාධ්‍යවේදියෙක් වන කාංචන කුමාර ආරියදාස මහතා විසින් ලබා දුන් වාර්තාව අදාළ ජාතික මාධ්‍යවලින් උපුටා ගෙන බොහෝ මාධ්‍ය විශේෂයෙන් අන්තර්ජාල අඩවි මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා. එහි දී ගුණත්වයෙන් අඩු එළවළු වල ඡායාරූප පළ කිරීමට ද මෙම මාධ්‍ය පියවර ගත්තා.

    නොවැම්බර් 22 වැනිදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ලැබුණු ගුණත්වයෙන් තොර එළවළු තොග පෙන්වන ගොවි මහතුන්

    මේ කතා සහ ඡායාරූප දුටු විගය ඕනෑම අයෙකු භීතියට පත්වීම නිසැකව සිදුවන්නක් බව බැලූ බැල්මට  පැහැදිලි වුණා.

    දඹුල්ල සහ සෙසු ආර්ථික මධ්‍යස්ථාන ඇසුරින් සිදු වූ මෙම වාර්තාකරණය සමග දිවයින පුරා තොග සහ සිල්ලර වෙළෙද සැල්වල එළවළු හිතූ හිතූ ගණන්වලට අලෙවි කිරීම සිදු වුණා.

    බොරදියේ මාළු බෑම

    මේ අතර බොරදියේ මාළු බෑමට සූදානම් වෙමින් ආපනශාලා හිමියන්ගේ සංගමය ද පසුගිය 22 වැනිදා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අඛණ්ඩව ඉහළ යන එළවළු මිල ගණන් හමුවේ බත් පාර්සලයේ, කොත්තු රොටියේ සහ ප්‍රයිඩ් රයිස්වල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව නිවේදනය කළා.

    තම මිල ඉහළ දැමීම සාධාරණීකරණය කරමින් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මෙසේ ප්‍රකාශ කළ බව එදින (22) ජනමාධ්‍ය වාර්තා කළා.

    ‘‘එළවළු සහ ඒ ආශ්‍රිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ (AICOA) ප්‍රධානී අසේල සම්පත් මහතා පවසයි. ඒ අනුව එළවලු බත්වල සිට ෆ්‍රයිඩ් රයිස් දක්වා මිල රුපියල් 20කින් ඉහළ යනු ඇති අතර ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ප්ලේන්ටි කෝප්පයක මිල රුපියල් 05කින් ඉහළ යාමට නියමිතය.අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ආපනශාලා හිමියන්, හෝටල් කර්මාන්තය සහ පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

    “එළවළු දවල් කෑම පැකට්ටුවක් රුපියල් 160යි, මාලු දවල් කෑම පැකට්ටුවක් රුපියල් 200යි, කුකුල් මස් මිල වැඩි නිසා කුකුල් මස් සහිත දිවා ආහාර පැකට් එකක් රුපියල් 250ක උපරිමයකට විකුණනවා. කොත්තු රොටිවල මිලත් වැඩි කරනවා.වෙළෙඳපොළේ කැරට්, ලීක්ස් වැනි ප්‍රධාන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා ෆ්‍රයිඩ් රයිස් මිල ඉහළ දැමීමට සිදු වුණා. මිල වැඩි නොකළහොත් අපේ කර්මාන්තය කඩා වැටෙනවා. එසේ වුවහොත් රට පුරා තිබෙන සියලුම හෝටල් ඉතා ඉක්මනින් බංකලොත් වී ව්‍යාපාරිකයින් දස දහස් ගණනක් මහ පාරට වැටේවි‘ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවා.

    එළවළු මිල පහළට – සැපයුම ඉහළට

    මේ ආකාරයෙන් එළවළු මිල ඉහළ යාමට රසායනික පොහොර තහනම ඍජුව සම්බන්ධ කරමින් බිල්ලෙක් මවමින් දැවැන්ත ප්‍රචාරයක් ගෙන යාම හේතුවෙන් සමාජය තුළ ඇති වූ කම්පනය සහ ගැටලු නිමක් නැහැ. විශේෂයෙන් පාරිභෝගික ජනතාව සහ ගොවි ජනතාව මේ ප්‍රචාරණය හමුවේ දැඩිව පීඩාවට පත් වුණ අතර රජය සහ විෂයභර අමාත්‍යවරයා ද දැඩි පීඩනයකට ලක් වුණා.

    මේ අතර ආර්ථික සහ වෙළෙදපොළ විශේෂඥයින් පසුගිය සතියේ පළ කළ අනාවැනි සැබෑ කරමින් ඊයේ (27) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සැපයුම ඉහළ ගිය අතර ඉහළ ගුණත්වයෙන් යුතු එළවළු තොග ඒ වෙත ලැබුණා. ඒ සමග එළවළු මිල ගණන් විශාල ලෙස (රුපියල් 100-150) පහළ ගියා.

    මේ ගැන ඊයේ (27) විශේෂ වාර්තාවක් නිකුත් කරමින් කාංචන කුමාර ආරියදාස (දඹුල්ල වාර්තාකරු) මෙසේ ප්‍රකාශ කළා.

    ‘දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින ගණනාවකින් පසුව වැඩි වශයෙන් එළවළු ලැබීමත් සමඟ අද (27) දින එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහත වැටී ඇතැයි වෙළඳ ව්‍යාපාරිකයෝ පවසති. කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන මෙන්ම පහතරට ප්‍රදේශ ප්‍රදේශ වලින් ලැබෙන එළවළු  ප්‍රමාණය ද දිනෙන් දින වැඩි වීම්ත් සමඟ එළවළු කිලෝ එකක මිල රු රුපියල් 100 ත් 150 ත් අතර ඉහළ අගයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි. ඉකුත්  සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, ලීස්, බෝංචි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල්  450, 500 අතර ඉහළ අගයක් ගෙන තිබුණද අද දින උදෑසන වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එම එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 150 ත් 200 ත් අතර පහත වැටී ඇති බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

    එමෙන්ම පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ඇතැම් කැරට් අල විශාල වශයෙන් පෙනුමක් ඇති බවත් එළවළු වර්ග ද  බොහොමයක් ඉතා අනර්ඝ තත්ත්වයේ එළවළු බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන අතර එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමත් සමග එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන බොහෝ වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවීමක් දක්නට තිබෙන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති‘‘

    මාෆියාවක් ද ? කඩාකප්පල්කාරී වැඩක් ද ?

    දීර්ඝ කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇසුරින් වාර්තාකරණයේ යෙදෙන කාංචන කුමාර ආරියදාස මෙහිදී වැදගත් සටහනක් ද තබා තිබෙනවා. ඒ, ‘‘..පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ඇතැම් කැරට් අල විශාල වශයෙන් පෙනුමක් ඇති බවත් එළවළු වර්ග ද  බොහොමයක් ඉතා අනර්ඝ තත්ත්වයේ එළවළු බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති‘ යන සටහනයි !

    මාස 07ක ආසන්න කාලයක් පුරා පැවැති රසායනික පොහොර තහනමට එරෙහිව ඉතාම සංවිධානාත්මක ව්‍යාපාරයක් සහ කුමන්ත්‍රණයක් ගෙනගිය බව අප කිසිවෙකුට රහසක් නොවෙයි. ඒ ව්‍යාපාරය පිටුපස රසායනික පොහොර ගෙවන්වන දැවැන්ත බහුජාතික සමාගම් සහ ඔවුන්ගෙන් යැපෙන විද්වතුන්, පර්යේෂකයින් සහ මාධ්‍යෙව්දීන් සේම විපක්ෂ දේශපාලනඥයින් ද නොඅඩුව සිටියා. ඔවුන් ගොවි උද්ඝෝෂණ සංවිධානය කරමින් 2021/22 මහ කන්නයට සැරසෙන වී ගොවීන් අධෛර්යමත් කරන ගමන් එළවළු ගොවීන් ද අධෛර්යමත් කිරීමට නොකළ දෙයක් නැති තරම්. ඒ අතර එළවළු හිගයක්, ගුණවත්වයෙන් තොර එළවළු සැපයුමක් කරමින් පාරිභෝගික ජනතාව අතර ද කම්පනයක් ඇති කිරීමට මේ සංවිධානාත්මක මාෆියාව පියවර ගත්තා. ඒ සියලු සැලසුම්වල ඒකායන අරමුණ වුණේ රජයේ කාබනික පොහොර වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සහ ආණ්ඩුව බිද දැමීම හෝ ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය තීව්‍රර කිරීමයි.

    ඊයේ (27) දඹුල්ලට ලැබුණු කැරට් අල

    මාෆියාව මෙතැනින් කොතැනටද ?

    ඊයේ (27) සහ අද (28) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ලැබෙන වාර්තා පැහැදිලිව සදහන් කරන්නේ එළවළු මිල සැලකිය යුතු පහළ ගොස් ඇති අතර එළවළු වල ගුණත්වය ද පෙර සේ පවතින බවයි. මෙය යහපත් පුවතක් වුවත් අපට පැනනගින ප්‍රශ්නය වන්නේ මෙවැනි අස්වැන්නක් රසායනික පොහොර තහනම සංශෝධනය සමග දඹුල්ලට පැමිණියේ කෙසේද ? යන්නයි.

    මීට දින කිහිපයකට පෙර දකින්නට ලැබුණු මන්දපෝෂිත කැරට්, ලීක්ස් සහ ගෝවා, අර්තාපල් වෙනුවට අද අපට හුරු පුරුදු ආකර්ෂණීය එළවළු දඹුල්ලට ලැබුණේ කෙසේද ? යන්නයි.

    මේ අතර අද (28) දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස තවත් සුවිශේෂ පුවතක් හෙළි කර තිබෙනවා.

    ‘…දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  එළවළු මිල අඩුවීම පිළිබඳව මාධ්‍ය වලින් ප්‍රචාරය වීමත් සමග තමන්ට විශාල අසාධාරණයක් සිදු වූ බව පවසමින් අද  (28) උදෑසන එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක් ගොවීන්ට සහ ජනමාධ්‍යවේදීන්ට ද බලපෑම් එල්ල කරන්නට වූහ. පසුගිය සතියට සාපේක්ෂව විශාල වශයෙන් එළවළු තොග මිල අඩුවීම සහ එළවළු මිල දී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගෙ අඩුවීම පිළිබඳව මාධ්‍යවේදීන් උදෑසන ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් විමසීමක් සිදු කරමින් සිටියදී  සංවිධානාත්මක පැමිණි මෙම කණ්ඩායම ගොවි මහතුන්ට සහ එළවළු රැගෙන එන පිරිසට දැඩි ලෙස චෝදනා කරමින් කියා සිටියේ එළවලළු මිල අඩු වූ බව ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කිරීමත් සමග තමන්ට එළවලු  අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවය‘‘

    ‘‘….එම පිරිස ඉතා   සංවිධානාත්මකව එළවළු මිල  පහත වැටීම  සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාරයන් නවත්වා ගැනීම අරමුණ බවට පත්ව තිබේ .කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන භාරය  මඟින් දිනපතා නිකුත්කරන එළවළු කිලෝවක තොග මිල පිළිබඳව  අප අවධානය යොමු කළෙමු .එහෙත් මෙම වෙළෙඳ ව්‍යාපාරිකයන් බව පැවසූ පිරිස කියා සිටින්නේ ආර්ථික මධ්‍යස්ථාන කළමණානාකරණ භාරය නිකුත් කරන මිල දර්ශනය ද නිකුත් නොකළ යුතු බවත් එම  මිල දර්ශනය ද  පිළිගැනීම්ට නොහැකි බවත් තවත් පිරිසක් කැෑකෝ ගසමින් කියන්නට විය. කෙසේ වෙතත් ගොවීන් සහ තවත් කණ්ඩායම් පැමිණ මෙයාකාරයෙන් කෑ කෝ  ගැසීමෙන් පලක් නැති බව පැවසීමත්   සමග එම පිරිස ගොවි මහත්තුරුන්ට සහ ජනමාධ්‍යවේදීන්ට බැන වදිමින් එම ස්ථානයෙන් පිටව යන්නට වූයේ තමන්ගේ අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වීම නිසාවෙනි‘‘

    ජනමාධ්‍යෙව්දීන්ට හා ගොවීන්ට තර්ජන කරන ව්‍යාපාරිකයින්

    පසු සටහන

    මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කතාව පමණයි. ඒත් මේ කතාව රට පුරාම එළවළුවලට පමණක් නොව සෙසු භාණ්ඩවලට ද සිදුවන බව ඉතාම පැහැදිලි කරුණක්. ඒ නිසා ජනතාව දැන් ආපනශාලා හිමියන්ගේ සංගමයට දැනුම් දිය යුත්තේ එළවළු මිල ගණන් ඉහළ යාම දඩමීමා කර ගනිමින් පසුගිය 22 වැනි දා ඉහළ දැමූ මිල ගණන් වහාම පහළ දමන ලෙසයි.

    එසේම එළවළු ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අදිසි මාෆියාව සහ කුමන්ත්‍රණය ගැන ද ජනතාව මීට වඩා සංවේදී විය යුතු බව අපගේ අදහසයි.

    සටහන – තුෂාර වල්ගම – ඡායාරූප – කාංචන කුමාර ආරියදාස