Category: සුපිරි News

  • පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ‘අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවෙන්’ නිවේදනයක්

    පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ‘අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවෙන්’ නිවේදනයක්

    පාස්කු ප්‍රහාරයට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද වරද කරුවන්ට දඬුවම් නොදීම පුදුම සහගත බව අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව අද (29) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්, මැක්ස්වෙල් සිල්වා, ජේ.ඩී ඇන්තනී ප්‍රනාන්දු, ඇන්ටන් රංජිත් කොළඹ සහායක රදගුරුතුමන්ලා සහ ෆ්‍රීලි මුතුකුඩආරච්චි, ෆ්‍රැන්සිස් සේනානායක, ඩිලාන් ප්‍රනාන්දු, සිරිල් ගාමිණී ප්‍රනාන්දු, සිසිල් ජෝයි පෙරේරා, කැමිලස් ප්‍රනාන්දු, ශාන්ත සාගර හෙට්ටිආරච්චි, ලෝරන්ස් රාමනායක, ඩෙනින්ටන් සුබසිංහ යන පියතුමන්ලාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සදහන් වේ.

    රටේ සිදුවන සෙසු අපරාධ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් බුද්ධි තෙරතුරු සෙවීමට සම්බන්ධ රජයේ ආයතන කඩිනමින් එම අපරාධවල කතුවරුන් සොයා යන තත්ත්වයක් තිබියදී, 269 දෙනෙකු අමු අමුවේ ඝාතනය කර හා 300කට වැඩි පිරිසක් ආබාධිතයින් සහ සදහටම ආරෝග්‍ය ශාලාවලට යන්නන් බවට පත් කළ ඒ මහා විනාශය සිදු කළ අය සොයන්නට සහ දඬුවම් දීමට වසර 2ක් ගත වී ඇතත් එය නොහැකි වීම ඇත්තෙන්ම පුදුමය දනවන ප්‍රහේලිකාවකි.

    මෙම පරීක්‍ෂණ සිදුකරන ආයතනවල කාර්යක්‍ෂමතාවයට යම් බලපෑම් කිරීමක් ඇත්දැයි සාධාරණ සැකයක් මතුවන බවත් මෙවැනි මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවන් සැලසුම් කරන, සිදුකරන සහ අනුබල දෙන කිසිවකුට නීතියේ රැහැනින් මිදීයාමට කිසිඳු ඉඩක් නොමැති බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීම සාමය ආරක්‍ෂා කිරීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් බැඳී සිටින සියලු නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් බව‘‘ ද නිවේදනයේ සඳහන් වේ.

  • දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලු විසදා දෙන ඉල්ලා උපවාසයක්

    දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලු විසදා දෙන ඉල්ලා උපවාසයක්

    යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ගේ හා බිරින්දෑවරුන්ගේ වැටුප් ගැටලුව විසදාදෙන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිට අද (29) දින උපවාසයක් ආරම්භ කළේය. ජඹුරේවල චන්දරතන හිමියන් හා මියගිය රණවිරු බිරින්දෑවරු හා දෙමාපියන් පිරිසක් මේ සදහා එක්ව සිටිති.

  • ධර්මපාලතුමාගේ මග යන බව කීවත් නලින්වාදීන් යන්නේ දොන් ජුවන්ගේ පාරේ

    ධර්මපාලතුමාගේ මග යන බව කීවත් නලින්වාදීන් යන්නේ දොන් ජුවන්ගේ පාරේ

    අනගාරික ධර්මපාලතුමා ‘ස්වරාජ්‍ය පාලනය’ යන මැයින් 1911 සැප්තැම්බර් 09 දින ‘සිංහල බෞද්ධයා’‍ පුවත්පතට ලියූ ලිපියේ මෙසේ සඳහන් කළේය.

    ‘ශිල්ප කර්මාන්ත ඉගෙනීමට වීර්යය කළ යුතුයි. ලංකාවේ දිසාපාමොක් ආචාරීන් දැනට නැත. ශිල්ප ශාලාද නැත. මේ ශිල්ප ශාලා ඇති රටවලට ගොස් ශිල්ප කර්මාන්ත ඉගෙන ගත යුතුයි. ශිල්ප කර්මාන්ත විද්‍යා දැන සිටින ජාතීන් වර්ධනය සිටින බව අපට පෙනෙන්නට තිබේ. වර්ෂ 1870 දී ජපන් ජාතිකයන් ගැන යුරෝපීය ජාතිකයෝ කිසිත් දැනගෙන නොසිටියෝය. ඒ වර්ෂයේදී කුලීන ජපන් ජාතික මහතුන් හැත්තෑ දෙනකු පමණ දේශ සංචාර පිණිස ජපන් රටින් පිටත්ව අමරිකා, එංගලන්ත, ප්‍රංශ, ජර්මනිය, ආස්ත්‍රියාව හා රුසියානු රටවල් බලා ඒ රටවල ඇති මනුස්ස ජාතීන්ගේ ශීලාචාර ධර්ම ශිල්ප විද්‍යාව පවතින හැටි විභාග කර බලා ජපන් රටට සම්ප්‍රාප්තව මේ මේ හැටි කටයුතුයි යෝජනා කොට යුරෝපීය ශිල්ප ශාස්ත්‍ර බාල පරම්පරාවට ඉගැන්වීමට ආරම්භ කළෝය. වර්ෂයක් පාසා ජපන් ශිෂ්‍යයෝ පනහ හැට බැගින් යුරෝපීය රටවලට යවනු ලැබූහ. මේ ශිෂ්‍ය සමූහයා නා නා භාෂා ඉගෙනගෙන නා නා ශිල්ප කර්මාන්ත දැනගෙන ජාත භූමියට පැමිණ ස්වජාතිකයින් දියුණු කිරීමට ආරම්භ කළෝය. යුරෝපීය කර්මාන්ත ශාලාවල සාදන ද්‍රව්‍ය සෑදීමට ජපන්වරු පටන් ගත්තෝය. වර්ෂයක් පාසා ස්වකීය රටින් ධනය පිටරටට යවනු ලැබීම ස්වජාතිකයින්ට අලාභයකි. රටක් දිළිඳු වීමට හේතු වන්නේය. රටවාසීන් ශිල්ප කර්මාන්ත නොදැන තමන්ට ඕනෑ ද්‍රව්‍ය පිටරවලින් ගෙන්වා ගැනිම තමන් දිළිඳු විමට හේතු වන්නේය.’‍

    නලින්වාදී අනුගාමිකයන් මේ රටෙහි ජනතාවගෙන් සඟවා තබන්නේ අනගාරික ධර්මපාලතුමාගේ මේ සැබෑ චින්තනයයි. තමන් උපන් භූමිය දියුණු කිරීම සඳහා පෙරදිග හෝ බටහිර හෝ විද්‍යාවන් හෝ ශිල්ප ශාස්ත්‍ර යොදාගැනීම එතුමාගේ දැක්ම විය. අනගාරික ධර්මපාලතුමා තමන් උපන් භූමියට සැබැවින්ම ආදරය කළේය. තමාගේ මනස්ගාත මතවාදයක් ඔප්පු කිරීම සඳහා එතුමා රටක් නොමඟ නොයැවීය. ගෞරවනීය ධර්මපාලතුමාගේ නමට මුවාවී නලින්වාදීන් පතුරවන්නේ අනගාරික ධර්මපාල තුමාගේ දුරදක්නා දර්ශනයට පටහැනි දෙයකි. ඔවුහු අනගාරික ධර්මපාලතුමා ජාතිවාදී, ආගම්වාදී උන්මන්තකයෙකු ලෙස ජනතාවට ඉදිරිපත් කරති. ඉන්පසු තමන් එතුමාගේ අද දින සිටින එකම නියෝජිතයන් ලෙස පෙනී සිටිති.

    මේ නලින්වාදීන් බොහෝවිට නොදන්නා තවත් කරුණක් ඇත. එනම් අනගාරික ධර්මපාලතුමාගේ සී.ඒ. (චාල්ස්) හේවාවිතාරණ නම් සොහොයුරා එල්.එම්.එස්. එෆ්.ආර්.සී.එස්. උපාධිධාරී, බටහිර වෛද්‍යවරයෙකු බවයි. වර්ෂ 1929 අප්‍රේල් මස 03 දින එතුමා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී, ඇහැළියගොඩදී දුම්රිය අනතුරකට ලක්වී මියගියේය. ඒ වනවිට වෛද්‍ය කර්මයට අමතරව, අනගාරික ධර්මපාලතුමාගේ ජාතික මෙහෙවරට උරදෙමින් සිටි එතුමාගේ වියෝවෙන්, ධර්මපාලතුමා බලවත්සේ කම්පාවට පත්විය. තම සොහොයුරාගේ මෘතදේහය නිවසට ගෙන ආ වේලාවේ අනගාරික ධර්මපාලතුමා ‘අනේ දොස්තර, අනේ දොස්තර, දැන් ඉතින් අපේ කාගෙත් කෙරුම් ඉවරයි’ කියමින් කෑගසා ඇඬූ බව කිහිප තැනක ලියැවී තිබේ.

    එම මරණින් පසු තම සොහොයුරා ගැන අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියක මෙසේ සඳහන් වේ. ‘පුරා දශවසරක් ලන්ඩන් නුවර සමස්ත ශාස්ත්‍රාලයේ වෛද්‍ය කර්මය ඉගෙනගෙන වර්ෂ 1905 දී කොළඹට පැමිණ තැන් පටන් 1929 අප්‍රේල් 03 දින දක්වා ලෝක ශාසනයන්ගේ දියුණුව සඳහා පරාර්ථකාමීව තමාගේ ධනයත් කාලයත් සාර්ථක ලෙස යොදෙව්වේය.’ ..‍ ‘එංගලන්තයේ ශ්‍රේෂ්ඨ වෛද්‍ය විශාරදයන් ආශ්‍රය කිරීම නිසා දොස්තර හේවාවිතාරණ මහතාට විශේෂ ඥානයක් ඇතිව තිබුණේය. කළ යුතු දේ අප්‍රමාදව කිරීම වෛද්‍යවරුන්ගේ සිරිතය. අනුන් කියන ආරංචි විශ්වාස නොකිරීම දොස්තර මහතාගේ අංගයකි. තමන් නොදුටු දේ ඇසූ පමණින් අනුන්ට දොස් කියන්නට යුතු නැතැයි මට කිහිපවාරයක්ම කිවේය. හීනාධිමුක්තික කිසිදෙයක් දොස්තර මහතා කළේ නැත. ප්‍රනීතාධිමුක්තිකව සැම දෙයක්ම කළේය.’

    ධර්මපාලතුමන්ගේ අනුගාමිකයන් යැයි පවසන යම් බටහිර වෛද්‍යවරයෙක් සිටී නම් ඔහුට චාල්ස් හේවාවිතාරණ චරිතය හදාරා එතුමාගේ ගුණාංග වඩන ලෙස ඉල්ලමු. චාල්ස් හේවාවිතාරණ විශේෂඥ වෛද්‍යතුමාගේ සුවිශේෂ ලක්ෂණ අගය කළ යුතුය. ප්‍රසිද්ධ රැස්වීම්වලදී ‘‍මේ ඉන්නේ අපේ දොස්තර අලියා’‍ යැයි අනගාරික ධර්මපාලතුමා ආදරයෙන් පවසන විට ඔහු නිහතමානීව, සිනාමුසු මුහුණින් සිටි බව වාර්තා වේ.

    තම සොහොයුරාගේ සෙවණැල්ලක් මෙන් සිටි නමුත්; කැපී පෙනීමට හෝ පදවි තානාන්තර ලැබීමට එතුමාට උවමනාවක් නොතිබිණි. එතුමා තම නමට පිටුපසින් පය නොගැසූ රටක උපාධි හෝ නමට ඉදිරියෙන් නොලැබූ මහාචාර්ය පදවි ප්‍රදර්ශනය නොකළේය. අනගාරික ධර්මපාලතුමාගේ වචනවලින්ම පවසන අයුරින් එවැනි ‘‍හීනාධිමුක්තික’‍ බවක් එතුමාට නොතිබිණි. එසේම ලාබයට ජනප්‍රිය වීමේ අරමුණින්, තමන් බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරීම ගැන ලජ්ජා වන බව එතුමා නොපැවසීය. මේ ලිපි ලියන අපි තවමත් දොස්තර චාල්ස් මැතිතුමා මෙන්ම ටයි පළඳින, ඇතැම් විට කෝට්ද අඳින, සිංහල බෞද්ධ, ‘බටහිර වෙද නැට්ටෝ’ වෙමු.

    අනගාරික ධර්මපාලතුමාගේ ලියැවිලිවලින් වැටහෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර අධ්‍යාපන ක්‍රම පිළිබඳව කිසිම චකිතයක් එතුමාට නොතිබි බවයි. එතුමා තම රටෙහි සංස්කෘතිය විනාශ කරන බටහිර ජාතිකයන්ට හා බටහිර සංස්කෘතියට දිවාරෑ නොබලා පහරදුන් නමුත්, බටහිර දැනුමට කිසි විටෙකත් අපහාස නොකළේය. එය අගය කළ එතුමා එම දැනුම ලංකාවේ දියුණුව සඳහා යොදාගත හැක්කේ කෙසේදැයි සැමවිට කල්පනා කළේය. එම දැනුම ලබාගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් උද්යෝගිමත් කළේය. එය සැබෑ දේශප්‍රේමියකුගේ ලක්ෂණයකි. අනගාරික ධර්මපාලයන්ගේ අනුගාමිකයින් යයි පවසන නලින්වාදී අනුගාමිකයන් හැසිරෙන්නේ කෙසේද? ඔවුන්ට ලංකාවේ උන්නතිය පිළිබඳ කිසිඳු හැඟීමක් නොමැත. බටහිර දැනුම මෙරටෙහි පතුරවා, එයින් දරුවන්ගේ දැනුම වැඩිකර, ඔවුන් ලොව සමඟ තරඟ කරන්නන් බවට පත්කිරීමට නලින්වාදීහු විරුද්ධය.

    ඇත්ත වශයෙන්ම මේ නලින්වාදීන් අනගාරික ධර්මපාලතුමන්ගේ අනුගාමිකයන්ද එසේත් නැත්නම් දොන් ජුවන් ධර්මපාලගේ අනුගාමිකයන්ද කියා සැකයක් මතුවේ. දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ රාජධානියේ අවසාන සිංහල රජුය. ඔහු කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවකින් ප්‍රාණ භුක්තිය තබාගෙන, පෘතුගාලයට පවරා දුන්නේය. ඉන් අනතුරුව පෘතුගාලය හැසිරුණේ කෝට්ටේ රාජධානිය තමන්ට අයිති ලෙසටය. දොන් ජුවන් ධර්මපාල ජීවිතයේ අවසන් කාලයේදී යැපුණේ පෘතුගාලයෙන් ලැබුණු පිං පඩියකිනි.

    අනගාරික ධර්මපාලතුමා පැවසූ අන්දමට බටහිර දැනුම මත පදනම්ව රටේ උන්නතිය උදෙසා ක්‍රියා නොකළ නිසා, අද අපට සිදුව ඇත්තේ ලෝකයාට අතපෑමටයි. ඒ අතරතුර නලින්වාදී ළිංමැඬියන් බටහිර දැනුම එපා, එපා යයි කෑ මොර ගසති. අවසානයේදී අපට අත්විය හැක්කේ කෝට්ටේ රාජධානියට අයත් වූ ඉරණම විය නොහැකිද? සැබවින්ම මොවුහු අනගාරික ධර්මපාලතුමාගේ අනුගාමිකයන් නොව, දොන් ජුවන් ධර්මපාලගේ අනුගාමිකයෝය.

    විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
    විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
    විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර

  • නව අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන අදහස් විමසන ‘ඩිජිටල් වේදිකාවක්’

    නව අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන අදහස් විමසන ‘ඩිජිටල් වේදිකාවක්’

    ඩිජිටල් වේදිකාව” අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර “තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්” සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

    “රටක චින්තනය සහ දර්ශනය ගොඩනැගෙන්නේ එරට අධ්‍යාපන ක්‍රමය තුළින්. යල් පැනපු අධ්‍යාපන ක්‍රමයකින් බිහි වන්නේ නූතන ලෝකය සමග ඉදිරියට ගමන් කළ නොහැකි සමාජයක්. පුළුල් මහජන නියෝජනයකින් සැකසෙන ප්‍රතිපත්තියක් ආණ්ඩු පෙරළියකදී වෙනස් කරන්න බැහැ.  ” ජනපතිවරයා පවසයි.

    21 වැනි ශතවර්ෂයට ගැළපෙන අයුරින් දැනුම පාදක කොටගත් මානව ප්‍රාග්ධනය සැලසුම් කොට පෝෂණය කිරීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛ පරමාර්ථයක් බව ජනාධිපතිතුමා සඳහන් කරයි. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කළයුතුය. රටේ අනාගත පරපුර දැනුමෙන්, කුසලතාවෙන් පිරිපුන් පරපුරක් ලෙස ලෝකය හමුවට ගෙන යාම “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන්” තමා අපේක්ෂා කරන බව රාජපක්ෂ මහතා කියා සිටී.

    යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා වන “ඩිජිටල් වේදිකාව” දියත් කිරීම පිණිස  අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

     “නැණසත් මනසත් පොහොසත් කරන පිරිපුන් අධ්‍යාපනයක් කරා” යන්න “ඩිජිටල් වේදිකාවේ” තේමාවයි.

    “ඩිජිටල් වේදිකාව” නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ. 

    අද සිට ඉදිරි මාස 03 ක කාලයක් පුරා  egenuma.moe.gov.lk  වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා සහ අදහස්  “ඩිජිටල් වේදිකාවට” යොමු කිරීමට පිළිවන. පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනය, වෘත්තීය සහ තෘතීයික අධ්‍යාපනය සහ උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ලෙස ප්‍රධාන උප ක්ෂේත්‍ර 04ක් යටතේ  ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. තිරසර අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා වඩාත් පුළුල්ව මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට “ඩිජිටල් වේදිකාව” විවෘතව පවතී.

    උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීමට වැඩි අවස්ථාවක් සැලසීම ප්‍රතිසංස්කරණවල තවත් අරමුණකි. විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක විෂය නිර්දේශ නවීකරණය සහ ප්‍රතිව්‍යුහකරණය මගින් රැකියා නිපුණතා වර්ධනය අපේක්ෂා කෙරේ.

    රැකියාවක නිරතවන අතර තම අධ්‍යාපන සුදුසුකම් වැඩිදියුණු කර ගැනීම සඳහා විවෘත විශ්ව විද්‍යාල පද්ධතිය පූර්ණ වෙනසකට ලක්විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

    සියලුම ශ්‍රී ලාංකික දරුවන්ට පෙර පාසලේ සිට අංග සම්පූර්ණ අධ්‍යාපනයක් දීම තම අපේක්ෂාව බව කී ජනපතිවරයා දැනට පවතින අන්තර්ජාල සහ තාක්ෂණික අඩු පාඩු 2023 වර්ෂය වන විට සම්පූර්ණයෙන් ඉවත් කරන බව පැවසීය.

    ප්‍රෞඩ අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට ඊට වඩා ප්‍රෞඩ අනාගතයක් උරුමකරදීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

  • ආදායම් බදු ගෙවන්නත් රුපියල් මිලියන 245ක අඟරු චෙක්පත්  දීලා

    ආදායම් බදු ගෙවන්නත් රුපියල් මිලියන 245ක අඟරු චෙක්පත් දීලා

    2020 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අඟරු වූ චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 24ක් (රුපියල් 2,451,465,383) බව පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

    කඩිනමින් එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දැන්වීය.

    කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු රුපියල් මිලියන 2670ක් අයකර ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වන  විට නඩු පවරා ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.

    මේ අතර 2010 අංක 16 දරන ගෙවීම් පැහැර හරින ලද බදු පියවීමේ(විශේෂ විධිවිධාන) පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව 2020 දෙසැම්බර් 31 වැනි දිනට ලබා දී ඇති හිඟ බදු විස්තරය අනුව අය කල හැකි හිඟ බදු මුදල රුපියල් කෝටි 14,450 ක්  පමණ ( රු.144,537,364,916 ) වූ බවද කාරක සභාවේදී හෙළිවිය.

    මෙම කරුණු හෙළිවූයේ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.

    එම අවස්ථාවට දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ , යන ගරු රාජ්‍ය අමාත්‍යවරු ද , තිස්ස අත්තනායක , මොහොමඩ් මුසම්මිල්, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති , හරිනි අමරසූරීය,කාදර් මස්තාර්, එස්.ශ්‍රීතරන්, වීරසුමන වීරසිංහ යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝද සභභාගී වූහ.

    දේශිය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය  (RAMIS) ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොදු ක්‍රමවේදයක් ඊට අදාළ සියලු පාර්ශව සමඟ එක්ව කඩිනමින් සකසන ලෙස  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

    ආයතන 29 ක් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ගැනීමට කටයුතු කෙරේ. ඉන් ආයතන 06 ක් මේ වන විටත් මෙම පද්ධතියට එක්ව සිටින බවද කාරක සභාවේදී අනාවරණය විය. මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට තවත් ආයතන 06 ක් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ගැනෙන බවද මෙහිදී හෙළි විය.

    මෙරට ක්‍රියාත්මක සියලුම බැංකු ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබා දිය යුතු  බවටද කාරක සභාව නිර්දේශ කළේය. ලංකා බැංකුව සහ මහජන බැංකුව තවත් මසකින් මෙම පද්ධතියට එකතු වීමට සූදානම් බවද කාරක සභාවේදී කීවේය.

    පද්ධතියට ඇතුළත් වීමට  අදාළව ආයතන වලට පවතින ගැටලු විසඳා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධ ද   කාරක සභාවේදී අවධානය යොමු විය.

    මෙම කාරක සභාවට මුදල් අමාත්‍යාංශය , දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ජාතික විගණන කාර්‍යාලය, මහාභාණ්ඩාගාරය ඇතුළු ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් වන ආයතනවල නිලධාරිහු සහභාගි වූහ.

  • නාඩු – කැකුළු සහ සම්බා ගැන ඇත්ත කතාව: අවුරුද්දටත් නාඩුම කන්න වෙයි ද ?

    නාඩු – කැකුළු සහ සම්බා ගැන ඇත්ත කතාව: අවුරුද්දටත් නාඩුම කන්න වෙයි ද ?

    එලබෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු සුපිරි වෙළදසැල්, සතොස, සමුපකාර වෙළදසැල්වලට අප්‍රේල් පළමුවනදා සිට රජයේ මිලට සහල් ලබාදිමට පියවරගෙන තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (25) ප‍්‍රකාශ කළා. ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 97කට ද සුදු හා රතු කැකුළු කිලෝවක් රුපියල් 95කට ද අලෙවි කිරිමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග පැවැති සාකච්ඡුාවකදීයි මේ තීරණය ගෙන තිබෙන්නේ. එහිදි අදාල මිල ගණන් යටතේ වි අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමට ඔවුන් එකඟ වී තිබෙනවා. මාස තුනකට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශිය වෙළදසැල් 4000 ක ජාලය හරහා දිවයින පුරා මිලට ගැනිමට ලබන පළමු වනදා සිට අවස්තාව හිමිවන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ.

    එහෙත් මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ පාරිභෝගිකයින් පැවසුවේ මේ තීරණය ගැන තමන් කිසිසේත් සෑහීමට පත් නොවන බවයි.

    ‘අපිට තියෙන ප‍්‍රශ්නේ නාඩු ගැන නෙමෙයි. සම්බා සහල් ගැන. ආණ්ඩුවට කියන්න පුළුවන් සම්බා කන්නේ මේච්චරයි මෙච්චරයි කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි. අද සම්බා ඇටයක් දකින්න නැහැ. පොඩි දරුවෝ නාඩු සහල් වල බත් කන්න කැමැති නැහැ. ඒ හාල්වලින් බත් බඳින්න බැහැ. පසුවෙලා කන්න බැහැ. අද සම්බා කිලෝවක් අපිට දරා ගන්න බැරි මිලකටයි අලෙවි වෙන්නේ. අනික අලූත් අවුරුද්ද කියන්නේ උත්සව සමයක්. ඒ කාලේ කිසිම ගේක නාඩු උයන්නේ නැහැ. නෑයෙකුට, යාළුවෙකුට බත් ටිකක් දෙන්න නාඩු හාල් වලින් බැහැ. පසුගිය කාලේ පුරාම සිද්ධ වුණේ ඒකයි. අනික් අතින් කීරි සම්බා වාගේ සහල් ගැන කතා කරලා පළක් නැහැ. ඒවායේ මිල අහස උසට. මේ කතා කරන්නේ වෙන අවුලක කියලා අපිට හොඳට තේරෙණවා’

    අප සමග අදහස් දැක්වූ කඩවත ප‍්‍රදේශයේ කාන්තාවක් කියා සිටියා. ඇය එහිදී පෙන්වා දුන්නේ උත්සව සමයේ වැඩියෙන් අලෙවි වෙන්නේ සම්බා සහල් සහ කීරි සම්බා වැනි සහල් බවයි. නාඩු සහ කැකුළු සහල් මිල අඩු කිරීම නිෂ්ප‍්‍රයෝජන බවයි ඇය පැවසුවේ.

    මෙහිදී අප කළ විමසීමකට පිළිතුරු දෙමින් කලූතර ප‍්‍රදේශයේ කාන්තාවක පැවසුවේ සතොස, සමූපකාර හෝ සුපිරි වෙළෙඳසැල් හරහා රටටම කන්න දෙන්න පුළුවන් යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය විහිළුවක් බවයි. ‘මේක ඇත්තටම විකාර කතාවක්. සතොස වෙළෙඳසැල් තියෙන්නේ කීය ද? සමූපකාර ගැන අපි කතා කරන්නවත් කැමැති නැහැ. ඒවා හරහා රටකට කන්න දෙන්න පුළුවන් කියලා හිතන එකම තක්කඩිකමක් කියලයි අපි කියන්නේ. ලංකාවේ සිල්ලර වෙළෙඳාමෙන් සතොසට සියයට එකක්වත් නැහැ. අනික නගරෙකට එකක් තමයි සතොස තියෙන්නේ. සමූපකාරේ කියන්නේ ඇත්තටම යල්පැනගිය තැනක්. ඒත් සාමාන්‍ය ජනතාව ගනුදෙනු කරන්නේ ගමේ හෝ නගරයේ සිල්ලර වෙළෙඳ සැල සමග. ඒවායේ තමයි බඩුමිල අහස උසට තියෙන්නේ. අපි කියන්නේ සතොස – සමූපකාරේ හරහා කරන මේ විහිළුව නතර කරන්න කියලා. අද මුංඇට කිලෝවක් රුපියල් 800යි. පොල්තෙල් ලීටරේ රුපිටල් 800යි. කහ සීය රුපියල් 360යි. මේවා මීට වසරකට පෙර දරාගත හැකි මිලකට තිබුණේ. මේ සිංහල අවුරුද්දට දරුවන්ට මුංඇට කැවුමක් හදලා දෙන්න බැරි වෙයි. නෑයෙක්ට කෑම වේලක් දෙන්න බැරි වෙයි’

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීම්වලට පිළිතුරු දුන් ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා කියා සිටියේ සතොස – සමූපකාරය හරහා ආහාර මිල පාලනයට යාම දේශපාලනඥයින් නිතර නිතර කියන කතාවක් වුවත් එය කිසිදු වැදගත්කමක් නැති නිෂ්ප‍්‍රයෝජන වැඩක් බවයි.

    ‘‘ලංකාවේ සිල්ලර වෙළදාමෙන් සියයට එකකටත් අඩු ප‍්‍රතිශතයක් තමයි සතොස – සමූපකාරය නියෝජනය කරන්නේ. ඒවායේ භාණ්ඩවල ප‍්‍රමිතිය, පාරිභෝගික සත්කාර ගැන කිසිම පාරිභෝගිකයෙක් තුළ තෘප්තිමත්භාවයක් නැහැ. අනික ග‍්‍රාමීය ජනතාව, නාගරික හා අර්ධනාගරික ජනතාව මෙන්ම අදායම් මට්ටම අනුව ද භාණ්ඩ මිලදී ගැනීමේ රටාවක් තිබෙනවා. ඇතැම් පිරිස් බොහෝ විට භාණ්ඩ මිලදී ගන්නේ ගමේ හෝ නගරයේ සිල්ලර කඩයෙන්. ඒ මාසය අන්තිමට ගෙවන පදනමට. ‘පොතට ගන්නවා’ කියන්නේ ඒකට. මේ පිරිසට කඩහිමියා නියම කරන මිලට භාණ්ඩ මිලදී ගැනීමට සිදුවෙනවා. මාසික වැටුප් ලබන අඩු ආදායම්ලාභීන් මේ පොතට බඩු ගැනීමට වැඩි වැඩියෙන් යොමුවෙලා සිටිනවා. ඒ වගේම දෛනික ආදායම් උපයන පිරිස් භාණ්ඩ මිලදී ගැනීමේ රටාව වෙනස්. මේ ගැන කිසිම සොයා බැලීමක් රට තුළ සිදුව නැහැ. ඒ ගැන කිසිම සංවේදීකමක් නැති දේශපාලනඥයින් සහ නිලධාරීන් ගන්නා ඊනියා තීන්දු නිසා අවසානයේ පීඩාවට පත්වන්නේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභීන්’

    මේ අතර කෘෂිකර්ම ඇමැතිවරයා සම්බා ගැන කතා නොකිරීම ගැන තමන් පුදුම නොවන බවයි වී මිලදී ගැනීමේ යාන්ත‍්‍රණය ගැන වැටහීමක් ඇති බොහෝ දෙනකු පැවසුවේ. ‘ආණ්ඩුව කියන විදිහට වත්මන් වී මිලදී ගැනීම තුළ නාඩු සහ සම්බා මිලදී ගැනීම සිදුවෙන්නේ එකම මිලකට. ඒ කියන්නේ රුපියල් 56.50කට. ඒ කියන්නේ දැන් ගොවියට නාඩු වවන එක සම්බා වවනවාට වඩා වාසියි. මොකද සම්බා වලට වඩා වැඩි අස්වැන්නක් නාඩුවලට ගන්න පුළුවන්. අපි මොන කතා කිව්වත් වී වගාකරුවා බලන්නේ තමන්ගේ පුද්ගලික වාසිය විතරයි. පොහොර සහනාධාරය, වතුර සියල්ල නොමිලේ ලැබුණත්, ඉහළම මිලකට වී මිලදී ගත්තත් වී වගාකරුවා බලන්නේ පුද්ගලික වාසිය. ඒ නිසා ඊළඟ කන්නේ වෙන කොට අපිට සම්බා සහල් ඇහැට දකින්නවත් බැරි වෙයි’

  • විගමනික ශ්‍රමිකයින් ‘කඩිනමින් ගෙන්වා ගැනීමට’ හෝටල් වෙන් කර ගැනීම අරඹයි

    විගමනික ශ්‍රමිකයින් ‘කඩිනමින් ගෙන්වා ගැනීමට’ හෝටල් වෙන් කර ගැනීම අරඹයි

    covid 19 වසංගත තත්ත්වය මත මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි  නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඉතා කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වූ නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පසුගිය දා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට  උපදෙස් දෙන ලදි.

    එම උපදෙස් හා මගපෙන්වීම යටතේ පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක්(10) එකී නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ජාතික කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ  අනුමැතිය සහිතව තෝරාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය  පවසයි.

    ඒ අනුව වැලිගම ජගාබේ රිසෝර්ට්, පැරඩයිස් බීච් සහ නෙප්චූන්  රිසෝර්ට්,හික්කඩුව හික්කා එෆ්.එන්.ආර් සහ කොරල් රීෆ් ගෙස්ට්,වාද්දුව බ්ලූ ස්ප්‍රින්ග්,දික්වැල්ල විලා ජයනන්ද,මීගමුව කැටමරාන්,අහංගම ජයන්ති සර්ෆ් සහ තංගල්ල සැන්ටන් රිසෝර්ටි යන හෝටල් සහ නිවාඩු නිකේතන මේ විගමනික ශ්‍රමික නිරෝධායන  මධ්‍යස්ථාන සඳහා  තෝරාගෙන ඇත.

    මෙම හෝටල් දහය (10) මගින් එක් වරකට (571) පන්සිය හැත්තෑ එක් දෙනෙකුට නිරෝධායන පහසුකම් සැපයිය හැකි වේ. මෙහි දී  හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ  විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.

    මේ නිරෝධායන පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතියකට රුපියල් මිලියන 18 ක් වැය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.ඒ අනුව එක් පුද්ගලයෙකු මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ  රැඳවීම සඳහා එක් දිනකට රුපියල් 4500 ක මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැය කරයි.එක් පුද්ගලයෙකු මෙම මධ්‍යස්ථානය තුළ සතියක පමණ කාලයක් රඳවා ගනු ලබයි.

    ඒ අනුව මේ වන විට විදේශ රටවල රැකියා සඳහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් මේ පිළිබඳ දැනුවත් කර,ඔවුන් කණ්ඩායම් වශයෙන් මෙකී  නිරෝධායන  මධ්‍යස්ථාන සඳහා යොමු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ තානාපති කාර්යාල දැනුවත් කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.

    මෙම ව්‍යාපෘතියේ සාර්ථකභාවය පිළිබඳ පසු විපරම් කිරීමෙන් අනතුරුව අනෙක් නිරෝධායන මධ්‍යස්ථාන  ස්ථාපිත කිරීමට  කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී ඇත.

  • රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්

    රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්

    පුද්ගල දූරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද ඇතුළත්කොට තිබේ. ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනක ම පැවැත්විය යුතු වේ. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වේ. සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු ය.

    2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 2021/03/29වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් පලාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොටඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් ආමන්ත්‍රණය කරමින් නිකුත් කර ඇත.

    ඒ අනුව මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ සියලු ම පාසල් 2021/03/ 29වන දින ආරම්භ කෙරෙන අතර යම් ප්‍රදේශයක් හුදෙකලා කළ හොත් අදාළ කාල සීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බව සඳහන්කොට තිබේ.

    සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් ලෙස, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීම හෙට දින එනම් 2021/03/26 දින සිට 2021/03/28 දක්වා දින 03 වෙන්කොට තිබේ. නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් කිරීමට මූලිකත්වය ලබා දෙමින් පාසල ආරම්භ කළ වහා ම විභාග කටයුතු සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බැව් වැඩිදුරටත් අවධාරණයකොට තිබේ.

    එමෙන් ම පුද්ගල දූරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද ඇතුළත්කොට තිබේ. ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනක ම පැවැත්විය යුතු වේ. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වේ. සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු ය.

    අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල පාසලට කැඳවීම සම්බන්ධයෙන් එම චක්‍රලේඛයට අනුව ශිෂ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නැවත යථා පරිදි ආරම්භ වන බැවින් ඔවුන් සියලු දෙනා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කල යුතු බැව් සඳහන් ය.

    අදාළ මාර්ගෝපදේශයන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ (www.moe.gov.lk) පළකොට ඇති බව ද එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබේ.

    ඒ අනුව සමස්ත දිවයිනේ ම පළමු වාරය සඳහා පාසල් අධ්‍යයන කටයුතු අවසන් කෙරෙනුයේ 2021/04/09 වන දින වන අතර දෙවන වාරය සඳහා නැවත ආරම්භ කිරීම 2021/04/19වන දින සිදු කෙරේ.

  • පිළිකාකාරක පොල්තෙල් නිදහස් කිරීම ගැන ඇමති බන්දුල කියන කතාව

    පිළිකාකාරක පොල්තෙල් නිදහස් කිරීම ගැන ඇමති බන්දුල කියන කතාව

    වෙළෙඳපොළේ අහිතකර පොල්තෙල් ඇත්නම් පාරිභෝගිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකළ හැකි යැයි වෙළෙද ඇමති බන්දුල ගුණවර්ධන අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

    ඇමතිවරයා මේ බව පැවසුවේ පිළිකා කාරක අඩංගුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් තොගයක් නිදහස් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්ද යන්න ගැනත් විපක්ෂය ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

    සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණ බවට විපක්ෂය පෙන්වා දුන්නේය.

    එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී ඊයේ (23) රේගුව ඒවා නිදහස් කර ඇත.

  • කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට

    කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට

    කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සිදු කරන ආකාරයට අදාළ කැබිනට් පත්‍රිකාව සහ එහි වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුවේදි පැවති වාරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේදිය.

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙල සඳහා අවශ්‍ය පසුබිම සකසා ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන අවසන් බවත්, බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳව වන වැඩපිළිවෙල කඩිනමින් සිදු කරන බවද අමාත්‍යවරය‍ා අවධාරණය කරන ලදි.

    ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා (ස.ජ.බ) විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    එමෙන්ම ශ්‍රි ලංකාවට දොඹකර ගෙන්වීමේදි වරාය අධිකාරිය විසින් ශ්‍රි ලංකා රේගුව වෙත ගෙවිය යුතු බදු මුදල් නොගෙවීමට අදාළව ගොනු කොට ඇති නඩුව පිළිබඳවද මෙම කාරක සභාවේදි සාකච්ඡාවට ලක් කරන ලදි.

    ඊට අදාළව රේගුව වෙත  ගෙවනු ලබන දඩ මුදලින් 50% නිලධාරින් වෙත ගෙවනු ලබන දීමනාවක් ලෙස ගෙවීමට සිදු වීම විශාල ගැටලුවක් වන බැවින් එම මුදල රජය වෙත ගෙවනු ලබන මුදලක් ලෙස අය කර ගැනීමට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු පාර්ශව සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීමටද උපදේශන කාරක සභාවේ අවධානය යොමු විය.

    තවද ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළව තීරණයක් ගැනීමේදි ගිණුම් කාරක සභාව සමගද මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ යුතු බවයි.

    තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ රාමේෂ්වරන් දක්වා නාවික ප්‍රවාහන සේවා ක්‍රියාක්මක කිරීම පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට ලක් කළ අතර, එය නැවත ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශිය උපදේශක කාරක සභාව සමගද සාකච්ඡා කොට පියවර ගැනිමටද අවධානය යොමු කරන ලදි.

    මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩබ්.ඩී වීරසිංහ මහතා, තිස්ස අත්තනායක මහතා, චාල්ස් නිර්මලනාදන් මහතා, එස්.එම්.එම් මුෂාරෆ් මහතා සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහු එක්ව සිටියහ.

  • නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ COPA අවධානය

    නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ COPA අවධානය

    කෙටුම්පත් කෙරෙන නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ  ලබන මැයි මාසයේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශවයන්ට ඊයේ (23) දැනුම් දුන්නේය. අධ්‍යාපන කොමිෂන් සභාව මෙම ප්‍රතිපත්තිය සැකසීමේදී අදාළ අමාත්‍යාංශ ඇතුළු සියලු පාර්ශ්වයන්හි සහයෝගය ලබා ගත යුතු බවද හෙතෙම කීවේය.

    විශ්වවිද්‍යාලයන්හි සිදුවන නවක වදය තුරන් කිරීම සම්බන්ධයෙන් නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සැකසීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව විශ්වවිද්‍යාල උපකුලපතිවරු මෙහිදී පැවසූහ.

    සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය සියලු ශ්‍රී ලාංකිකයන් ජීවිත කෙරෙහි බලපෑම් ඇති කරවන ජාතික සංවර්ධන ක්‍රියාදාමයේ අත්‍යාවශ්‍ය කොටසක් වන බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වේගවත් විය යුතු මෙවන් මොහොතක පාසල් අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තීන් කඩිනමින් සංශෝධනය වී ක්‍රියාත්මක විය යුතු බවත් කාරක සභාව ඊයේ නිර්දේශ කළේය.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම 2018 වසරේදී  කලා මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන උපාධි පාඨමාලා වෙනුවෙන් රුපියල් මිලියන 5,396,952 ක් වියදම් කර ඇති බව කෝපා කාරක සභාවේදී අද අනාවරණය විය. එය විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වියදම් කර ඇති මුදල වැඩිම මුදල බවද  කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසීය.

    කලා උපාධිධාරින්ගේ සේවා වියුක්තිය සියයට 50 ඉක්මවා තිබීම ගැටළු සහගත බවත්, ඒ සඳහා නිසි පිළියම් සෙවිය යුතු බවත් කාරක සභාව පෙන්වා දුන්නේය.

    කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව  සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අද (23) සිදු විය.

    කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කාරක සභාවට දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ , ප්‍රසන්න රණවීර, යන ගරු රාජ්‍ය අමාත්‍යවරු ද , තිස්ස අත්තනායක , අශෝක් අබේසිංහ , මොහොමඩ් මුසම්මිල්, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මහාචාර්‍ය රංජිත් බංඩාර , හරිනි අමරසූරීය, එස්.ශ්‍රීතරන්, බී.වයි.ජී රත්නසේකර  යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝද සභභාගී වූහ.

    තාක්ෂණ විෂය ධාරාව ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ සියලු පළාත්වල අවශ්‍යතාව පරිදි මානව හා භෞතික පහසුකම් සපයා දීමේ අවශ්‍යතාවද කාරක සභාව අවධාරණය කළේය.සිසුන් ද්විතියීක පාසලේ ඉගෙනුම ලබන කාලයේදීම ඔවුන්ට තෝරා ගැනීම සඳහා විකල්ප මාවත් සහ විෂය ධාරා ලබාදීමේ සිදු කළ යුතුය. එමඟින් ගැටළු රැසක් නිරාකරණය කළ හැකි බව සභාපතිවරයා කීවේය.

    පාසල් තුළ හා විශ්වවිද්‍යාල තුළ සන්නිවේදන කුසලතා වර්ධනයට පහසුකම් සැලසීම සඳහා ඉංග්‍රීසි ඉගැන්වීම තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද කාරක සභාව අධ්‍යාපන බලධාරින්ට පෙන්වා දුන්නේය.

    විශ්වවිද්‍යාල තුළ පවතින මානව හා භෞතික සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනිම සඳහා උපාධි පාඨමාලා හැදෑරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් වෙනස් වී සිසුන් වැඩි සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත්වීමට අවස්ථාව සැලසෙන පරිදි එම ආයතනවලින් සැපයෙන උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කළ යුතු බවට ද කාරක සභාව නිලධාරින්ට දැනුම් දුන්නේය. මෙහි දී දුරස්ථ අධ්‍යාපන ක්‍රමය මෙන්ම මාර්ග ගත ක්‍රමය මඟින් සැපයෙන උසස් අධ්‍යාපන අවස්ථා යොදා ගත හැකි අතර ,විවිධ ක්‍රමවලින් උසස් අධ්‍යාපන පාඨමාලා සැපයීම ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කමද මෙහි දී සාකච්ජා විය.

    විශ්වවිද්‍යාල තුලින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා රැකියා වෙළඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සැලසුම් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන අතර සම්බන්ධිකරණයක් සහ නියාමනයක් සිදු කිරීම වෙනුවෙන් බලයලත් අධිකාරියක් ඇති කිරීමේ ඉඩකඩ සළකා බැලීම සම්බන්දව ද අවධානය යොමු කළ යුතු බව කාරක සභාව පෙන්වා දුන්නේය.

    රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සමස්ත මිනිස් බල අවශ්‍යතාව රජය විසින් පූර්ණ අධික්ෂණය යටතේ තක්සේරු කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම කාලින වැදගත්කමකින් යුක්ත වූවක් බව කාරක සභාවේ සභාපතිවරයා කීවේය.

    මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා,තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්,  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්‍ය සම්පත් අමරතුංග යන මහත්වරු මෙන්ම උපකුලපතිවරු ඇතුළු නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.

  • දිවයිනේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි යළි විවෘත කිරීම ගැන නිල තීන්දුව

    දිවයිනේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි යළි විවෘත කිරීම ගැන නිල තීන්දුව

    මේ මස 29වන දින එනම් 2021/03/29 වන සඳුදා දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විවෘත කරන බවත් ඒ සමඟ ම සියලු ම පෙරපාසල් ද විවෘත කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (24) දින පොල්හේන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    දැනට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනේ ම පාසල්වල පන්ති පැවැත්වෙන්නේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණි සඳහා පමණි. නමුත් දැන් අපි විශ්වාස කරනවා අනෙකුත් ශ්‍රේණිවල පන්ති ආරම්භ කිරීමට පුළුවන් තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා කියලා. මේ සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ නිර්දේශය මේ වනවිට අපට ලැබී තිබෙනවා.

    දිවයිනේ සෙසු සියලු ම ප්‍රදේශවල සියලු ම පන්තිවල අධ්‍යයන කටයුතු සඳහා පාසල් මේ වනවිටත් විවෘතකොට තිබෙනවා. දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ලොකු උවමනාවක් තිබෙනවා පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සම්බන්ධ ව. ඒකට හේතුව තමයි දරුවන් විශාල ආතතියකට පත්වෙලා තිබෙනවා නිවෙස්වලට සිර වී සිටීමට සිදුවීම නිසා. ඒවගේ ම අධ්‍යයන කටයුතු මඟහැරීම නිසා. මේ තත්ත්වය නිමා කරලා පාසල් කටයුතු යථා තත්ත්වයට පත් කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්. ඒ නිසා ‍මාර්තු 29වන දින මුළු රටේ ම පාසල් අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරනවා. යනුවෙන් ද පැවසී ය.

  • පුරන් කුඹුරු අස්වද්දන ‘ජාතික සංග්‍රාමය’ ඇරඹේ !

    පුරන් කුඹුරු අස්වද්දන ‘ජාතික සංග්‍රාමය’ ඇරඹේ !

    කෘෂිකර්ම අමාත්‍යංශය මෙහෙයවීමෙන් ‍හෙට (25) පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අරඹන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අදාළ වැඩසටහන පිළිබදව ජනමාධ්‍ය දැනුවත් කිරීම සදහා අද (24) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය. 

    අක්කර ලක්ෂයක් වන ලංකාවේ මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් යල කන්නය වෙනුවෙන් හෙට දින ගොවිජන සේවා මධ්‍යස්ථාන 320ක පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. 

    මේ අනූව ජාතික උත්සවය යටතේ දොම්පේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පහුරුවෙල ප්‍රදේශයේ අක්කර 140ක කුඹුරු යාය අස්වැද්දීම සිදුකරන බවද පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීමෙන් යල කන්නයේ මෙට්‍රික් ටොන් 35,000ක් වී අස්වැන්නට එකතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. 

    සියලු පුරන් කුඹුරු වල ඇළ මාර්ග සුද්ද පවිත්‍ර කර පිළිසකර කර දෙන බවද ගොවි මහතුන් හට අක්කරයකට රුපියල් 25,000 බැගින් පොළී රහිත ණය ලබාදෙන බවද ඇමතිවරයා පැවසීය. 

    මේ සදහා පොහොර, තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර පහසුකම් රජයෙන් නොමිලේ ලබාදීමට නියමිත වන අතර එක් ගොවිජන සේවා බල ප්‍රදේශයක අක්කර 10 බැගින් මේ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීම අනිවාර්යය කොට ඇත. 

    පළමු අදියර වශයෙන් අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බවද, ඉන්පසු 22,000ක් ද දෙවන අදියර යටතේ අක්කර 50,000ක්ද පුරන් කුඹුරු අස්වැද්දීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා පැවසුවේය.

    මෙම වසරේ සියලු පුරන් කුඹුරු අස්වද්දා පුරන් කුඹුරු කියන එක කෘෂිකර්මාන්තයේ ශබ්දකෝෂයෙන් ඉවත් කිරීමට මෙන්ම සියලුම කුඹුරු ගොවීන් විසින් අස්වැද්දීමේ වැඩසටහනකට යාමට බලාපොරොත්තු වන බවද කියා ඇමතිවරයා සිටියේය. 

    උපුටා ගැනීම – කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය.
  • දෛනිකව 20,000ක් කළ PCR පරීක්ෂණ 5000ට අඩුකරලා PHI සංගමය

    දෛනිකව 20,000ක් කළ PCR පරීක්ෂණ 5000ට අඩුකරලා PHI සංගමය

    පසුගිය කාලයේදී දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 20,000ක් පමණ සිදුකළ නමුත් මේ වන විට සිදුවන්නේ පී.සී.ආර් පරික්ෂණ 5000කට ආසන්න ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

    ඔහු පවසන්නේ පසුගිය කාලයේ රට තුළ PCR පරික්ෂණ 20,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ බවත් ඉන් කොවිඩ් ආසාදිතයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

    ‘‘ මේ ආකාරයෙන් PCR පරික්ෂණ ප්‍රමාණය අවම කර ඇත්තේ පළමු පෙළ ආශ්‍රීතයන් අවමවීම නිසා බවයි බලධාරීන් කියන්නේ. නමුත් රටේ පවතින තත්වය නිසි ලෙස අවබෝධ කර ගැනීම සඳහා අහඹු PCR පරික්ෂණ වැඩි වැඩියෙන් කළ යුතු බවයි අපේ ස්ථාවරය වෙන්නේ‘ රෝහණ මහතා වැඩි දුරටත් පැවසුවේය.

  • ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් වීසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක්ද විපක්ෂව ඡන්ද 11ක්ද ලැබිණි. රටවල් 14ක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ.

    සාමාජික රටවල් චන්දය පාවිච්චි කළ ආකාරය
    සාමාජික රටවල් ඡන්දය භාවිත කළ ආකාරය

    2021 වසර මුලදී ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් සකස් කළාය. එම වාර්තාව කියා සිටියේ මෙයට වසර 12 කට පමණ පෙර නිමාවූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇති බවය.

    වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ “පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම වර්තමානයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ අවධානය වැඩි කරන අතර ඒවා නැවත නැවත සිදු වීමට අනුබලයක් ලැබේ” යැයි පෙන්වා දී ඇත.

    වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ “පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම මානව හිමිකම් කඩවීම් නැවත නැවතත් සිදුවීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ නංවයි” යනුවෙනි.

    එය තවදුරටත් පවසන්නේ, “දඩුවම් නොලැබ ගැලවී යාම මෙන්ම රජයේ කටයුතු හමුදාකරණයවීම, වාර්ගික-ජාතිකවාදී ප්‍රකාශ හා සිවිල් සමාජය බිය වැද්දවීම වැනි කනස්සලු සහගත ප්‍රවණතා පසුගිය වසර පුරා” තිබූ බවය.

    ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කරන එම වාර්තාව පවසන්නේ “හිතාමතා විමර්ශන හා නඩු කටයුතු වලට බාධා පමුණුවන බවත්, පසුගිය කාලය තුළ ලබාගත් සීමිත වර්ධනය පසුබෑමට ලක්වන අයුරින්” ක්‍රියා කරන බවය.

    කෙසේවෙතත්, මහ කොමසාරිස් බැචලේ ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහ කොමසාරිස්වරිය “මහපොළොවේ තත්ත්වය නොදැන පදනම් විරහිත චෝදනා” එල්ල කරන බවත්, “විදේශීය නඩුකාරවරු ගෙනැවිත් පරීක්ෂණ පැවැත්වීමට” කිසි ලෙසකින් ඉඩ නොතබන බව කියා සිටියේය.

    ඔහු මේ බව සඳහන් කළේ බීබීසී සිංහල සේවය සමඟ Zoom තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමිනි.

    “ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ඇතුළට තවත් රටවල් කීපයක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා.” යනුවෙන් ද විදේශ අමාත්‍යවරයා එහිදී පැවසීය.

    බී.බී.සී ඇසුරිණි

  • MCC රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට

    MCC රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට

    ශ්‍රි ලංකා රජය සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුකර ඇතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 

    MCC ගිවිසුමට එළඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම අද (22) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

    මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ අමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් එළඹීමට තීරණයක් ගෙන නොමැති බවත් එවැනි ගිවිසුමක් ඇතිකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගුකර ඇති බව අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම් මණ්ඩලය විසින්ද ප්‍රකාශයට පත්කර ඇති බවත් ඇමෙරිකානු හමුදා ස්ථානගත කිරීම්වලට අදාළ “සෝෆා” ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නොමැති බව ඇය අධිකරණයට දැන්වූවාය.