Category: සුපිරි News

  • ‘රබර්වලට’ වාර්තාගත මිලක්

    ‘රබර්වලට’ වාර්තාගත මිලක්

    වසර 2011 න් පසුව දිගින් දිගටම වෙළඳපලේ රබර් මිළ ගණන් පහත වැටීමක් සිදු වූ අතර වසර 2011 දී රබර් කිලෝවක මිළ රුපියල් 650/- ක මට්ටමක පැවතුණි. වසර දහයකට පසුව නැවතත් රබර් කිලෝ එකක මිළ රු.650/- දක්වා ඉහළ ගොස් ඇත.

    මෙය ඉතා වාසිදායක තත්ත්වයක් වුවද නිර්දේශිත කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගු කාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා භයානක බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න මහත්මිය පවසයි.

    2011 වසරේදී ද අධික මිළ හමුවේ වැඩි වාසි ලබා ගැනීමට දිනපතා කිරි කැපීම නිසා ඉතා හොඳ ඵලදාවක් ලබා දුන් නිරෝගී රබර් ගස් වුවද දිගින් දිගටම රබර් කැපීම නිසා ක්‍රමයෙන් වියළි තත්ත්වයට පත් විය. ඒ සමගම රබර් මිළද ක්‍රමයෙන් පහත වැටුණ අතර රබර් වගාවන් දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයට පත්විය. රබර් මිළ අඩුවීමට වඩා ඵලදාව ලබා දුන් ගස් ගණන අඩුවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව විය.

    වර්තමානයේ රබර් මිළ වැඩිවීම හේතුවෙන් වැඩිපුර කිරි කැපීම වියළි ගස් හෙවත් පොත්ත තැම්බුණ ගස් ඇති වීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවත්, මෑත භාගයේ වඩාත් ප්‍රචලිත කෙරුණු අඩු තීව්‍රතා කිරි කැපීමේ ක්‍රම සඳහා ඵලදා උත්තේජක හෙවත් එතරල් භාවිත කරන බැවින් එම වගාවන් කිසිම විටෙක තීව්‍රතාවය ඉක්මවා කිරි කැපීම නොකළ යුතු බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පවසයි.

    දින තුනකට වරක් හෝ හතරකට වරක් කිරි කැපීමට නිර්දේශිත රබර් වගාවන් කිසිම අයුරකින් දිනපතා හෝ දිනක් හැර දිනක් කිරි කැපීම සිදු නොකල යුතු අතර ඉදිරියේදී රබර් මිළ තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඔබගේ වගාව ප්‍රවේසම් කර ගැනීමට කටයුතු කළ යුතු වේ.

    තවද ඔබගේ වගාවේ එක්වරම කිරි ප්‍රමාණයේ වැඩිවීමක්, කිරිවල වතුර ගතිය වැඩිවීමක්, කිරි වෑස්සීමේ කාලය වැඩිවිමක් හෝ කැපුම් කට්ටයේ කිරි නොමැති ස්ථාන වැනි ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ  ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය අවධාරණය කරයි.

  • රට තුළ කොරෝනා ආසාදිතයින් අඩුවට පේන්නේ PCR නොකිරීම නිසයි

    රට තුළ කොරෝනා ආසාදිතයින් අඩුවට පේන්නේ PCR නොකිරීම නිසයි

    එන්නත් කරණය සිදුවන්නේ විද්‍යත්මක අනුපිළිවෙල නොසලකා හැරලා. හැදුණුම්කම්, බලය හෝ මුදල් යොදමින් නියමිත පටිපාටියෙන් තොරව එන්නත් විද ගනු ලබන අයට නිසි සෞඛ්‍ය සුපරීක්ෂාව නොලැබෙන බැවින්, ඔවුන් අවධානමකට ලක් විය හැකියි.

    රට තුළ හමුවන රෝගීන් ප්‍රමාණය අඩුවීමට හේතුව PCR පරීක්ෂණ පිළිබඳව අවධානය අත්හැර දැමීම බවත් එන්නත්කරණය නිසා රෝගය මර්දනය වෙමින් පවතින බවට ව්‍යාජ මතවාදයක් ඇති කිරීමට එය හේතුවක් වුවද, මේ මොහොතට අදාලව ශ්‍රි ලංකාව තුල එන්නත නිසා රෝගීන් අඩු වීමට කිසිදු කිසිදු විද්‍යාත්මක හැකියාවක් නැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.

    අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කුමුදේශ් මහතා මේ බව හෙළි කළේය.

    මෙහිදී වැඩි දුරටත කරුණු පැහැදිලි කළ රවී කුමුදේශ් මහතා, ‘‘රට තුළ හමුවන රෝගීන් ප්‍රමාණය අඩුවීමට හේතුව PCR පරීක්ෂණ පිළිබඳව අවධානය අත්හැර දැමීමයි. එන්නත්කරණය නිසා රෝගය මර්දනය වෙමින් පවතින බවට ව්‍යාජ මතවාදයක් ඇති කිරීමට එය හේතුවක් වුවද, මේ මොහොතට අදාලව ශ්‍රි ලංකාව තුල එන්නත නිසා රෝගීන් අඩු වීමට කිසිදු කිසිදු විද්‍යාත්මක හැකියාවක් නැහැ.  

    ️එන්නත් කරණය සිදුවන්නේ විද්‍යත්මක අනුපිළිවෙල නොසලකා හැරලා. හැදුණුම්කම්, බලය හෝ මුදල් යොදමින් නියමිත පටිපාටියෙන් තොරව එන්නත් විද ගනු ලබන අයට නිසි සෞඛ්‍ය සුපරීක්ෂාව නොලැබෙන බැවින්, ඔවුන් අවධානමකට ලක් විය හැකියි.

    ඉන්දියාව තුල   නව ප්‍රභේද විශාල සංඛ්‍යාවක් පැතිරෙමින් පවතී. වෙරළබඩ තීරයේ අහඹු පරීක්ෂණ සිදු කිරීම සැලසුම් සහගතව සිදු කළ යුතුයි. 

    කොවිෂීල්ඩ්  එන්නතෙහි නව ප්‍රභේද වලට එරෙහි ක්‍රියාකාරිත්වය සැක කටයුතු බැවින්දකුණු අප්‍රිකාව, ප්‍රංශය වැනි රටවල් එම එන්නත භාවිතය අත හර දමලා. විවිධ ප්‍රභේද මෙන්ම දෙමුහුම් ප්‍රභේද වලට අදාළව වාහක වර්ගයේ කොවිෂීල්ඩ් වැනි එන්නත් වල ක්‍රියාකාරීත්වය ප්‍රශ්ණකාරීයි. එන්නතෙහි ක්‍රියාකාරිත්වය පිළිබදවත්, ප්‍රභේධ හදුනා ගැනීම පිළිබදවත් ජාතික මට්ටමේ පර්‍යේෂණ  නොකරීම හේතුවෙන්, ප්‍රභේද පිලිබඳවත් එන්නත් රට අදුරේ අතපත ගාමින් සිටි.

    සෞඛ්‍ය කාර්ය සහායකයන් අනවශ්‍ය වර්ජනයකට ඇද දැමීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගත යුතුයි. සෞඛ්‍ය සේවාවට කිසිසේත්ම අදාල  නැති නිල නාම කිහිපයක් යොදමින්,  නිශචිත රාජකාරියක් හෝ පත්වීමේ බලධාරියෙකු නැති, අවම අධ්‍යාපන සුදුසුකමක් අදාල නොවන, කණ්ඩායම් ගණනාවක් සෞඛ්‍ය සේවාවේ විවිධ පුහුණු කිරීම් වලට බලහත්කාරයෙන් ඇතුළු සමස්ථ සෞඛ්‍ය සේවාවටම ගැටළුවක්. 

    සෞඛ්‍ය පුහුණුවක් ලබා දී, ඔවුන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත නොකරන බව පැවසීම විහිළු සහගතයි.

  • රේගුව විධිමත් කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂමක්

    රේගුව විධිමත් කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂමක්

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි.

    රේගුවට එරෙහිව නැගෙන  විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂමට පැවරේ.

    තොරතුරු තාක්ෂණ උපයෝගීතාව තුළ ආරක්ෂාව හා නිරෝධායන නීති රීති අවධානයට ගනිමින් රේගුවේ කාර්යයන් විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂමට පැවරෙන තවත් වගකීමකි.

    මහජනතාවගේ සහ වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් කැඳවීමට ද, රේගු වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනයට ලක් කිරීමට ද ජනාධිපතිවරයා කොමිෂමට නියෝග කර ඇත.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි ගුණරත්න මහතා කොමිෂමේ සභාපති ධූරයට පත් කරනු ලැබ සිටී.

    අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ඩයස් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.Sharing is caring!

  • වී මිලදී ගැනීමේදී ආණ්ඩුවේ අවුල වසා ගන්න ‘ගොවීන්ට තර්ජනය කරන්න එපා’

    වී මිලදී ගැනීමේදී ආණ්ඩුවේ අවුල වසා ගන්න ‘ගොවීන්ට තර්ජනය කරන්න එපා’

    දේශීය වී ගොවියාට බලපෑම් කරමින් පොහොර නොමිලේ ලබාදීම නවතා දමන බවට තර්ජනය කොට වී අස්වැන්න ලබා ගැනීමේ ක්‍රමවේදය වහාම වෙනස් කොට සාධාර ක්‍රමවේදයක් සැකසිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි.

    එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් කැ‍ඳවමින් කියා සිටියේ ගොවියා රජයට වී ලබාදීමට අකමැත්තක් දැක්වීම යටතේ ප්‍රශ්නයක් පවතින බවය.

    එම ප්‍රශ්නය වී ගොවියාට පැනනැගී ඇත්තේ මීට පෙර රජය විසින් වී මිලදී ගැනීමේදී සිදුව ඇති විවිධ අක්‍රමිකතා හේතුවෙන් බව ඒ මහතා පෙන්වා දුන්නේය. වහාම එම ප්‍රශ්නයට ගොවියාට පිළිතුරක් ලබාදී වී මිලදී ගැනීම ආරම්භ කළ යුතු බව නාමල් කරුණාාරත්න පෙන්වා දුන්නේය.

    ප්‍රජාතන්ත්‍රවාදී රටක ගොවියාට බලපෑම් කිරීමට, බලහත්කාරකම් කිරීමට අයිතියක් නොමැති බවත් මේ වනවිට නාඩු වී කිලෝවක් රැපියල් 50කටත් සම්බා කිලෝවක් රැපියල් 52කටත්, තෙත බර ඉවත් කළ වී මිල පවතින බවත් කීරි සම්බා සඳහා මිලක් පනවා නොමැති බවද පෙන්වා දුන් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ තෙත බර ඉවත් නොකළ වී සඳහා රුපියල් 44ක මිලක් සඳහන් කොට තිබෙන බවය.

    මේ වනවිට පෞද්ගලික වෙළෙන්දන් තෙත බර ඉවත් නොකළ වී සඳහා රුපියල් 46.87ක මුදලකට ගෙවිම් සිදුකරන බවද ගොවියාට රුපියල් 2.87ක පාඩුවක් සිදුවන බවද පෙන්වා දුන්නේය.

    මෙයද රජයට වී ලබා නොදෙන හේතුවක් බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පෙන්වා දුන්නේය.

    මෙහිදී සමස්ත ලංකා ගොවිජින සම්මේලනයේ ලේකම් ටී.බී සරත්ද අදහස් දැක්වීය.

  • පවිත්‍රා යළි කරළියට

    පවිත්‍රා යළි කරළියට

    කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

    කොවිඩ් වෛරසය පාලනය හා මැඩපැවැත්වීම මූලික කරගනිමින්, පසුගිය කාලය තුල ක්‍රීයාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙල, පී.සී.ආර් පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රිියාත්මක කිරීම, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය පිළිබදව ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය අවධානය යොමු කරන ලදි.  

    මෙම සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය කියා සිටියේ තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන කාලය තුල ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබූ බවත්, එලෙස ආශිර්වාද පුද පූජා පවත්වමින් ශක්තිය ලබාදුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුලු සියළු දෙනාට සිය ස්තූතිය පුද කරන බවයි.

    කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු කාර්ය මණ්ඩලය සහෝදරත්වයෙන්, එකමුතුව එක පවුලක අය මෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැටළුකාරි තත්ත්වයන්ගෙන් තොරව කොවිඩ් මර්දන වැඩපිළිවෙල ඉදිරියට ගෙනඒමට හැකි වූ බවත්, ඉදිරියටත් එම වැඩපිළිවෙල එලෙසින්ම ශක්තිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දෙන ලදි.

  • රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවාගත් පිරිස් ‘සෞඛ්‍ය සේවයට’ අන්තර්ග්‍රහණය කිරීමක් නෑ

    රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවාගත් පිරිස් ‘සෞඛ්‍ය සේවයට’ අන්තර්ග්‍රහණය කිරීමක් නෑ

    රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

    මේ රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බව ජනපතිවරා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) සවස ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති        ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුවේදී මෙබඳු මතයක් සෞඛ්‍ය සේවකයන් අතර ප්‍රචලිත කර ඇති බවට සමිති නියෝජිතයන් කළ සඳහනට ප්‍රතිචාර වශයෙනි.

    රැකියා ලක්ෂයේ වැඩසටහන පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා පිරිස් රැකියා නියුක්ත කොට ඔවුන් දිළිඳුකමින් මුදා ගැනීම අරමුණු කොටගත් එකකි. ඊට බඳවා ගනු ලබන්නේ විධිමත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් හෝ නිපුණතා හෝ නැති අය පමණි. තෝරාගත් පිරිස්වලට රෝහල්, පාසල් සහ විවිධ රාජ්‍ය ආයතනවල ශ්‍රමිකයන්, පවිත්‍රතා කම්කරුවන් සහ යන්ත්‍රෝපකරණ හසුරුවන්නන්  ආදී වශයෙන් පුහුණුවක් දෙනු ලැබේ.

    පුහුණුවෙන් පසු ඔවුනට ඒ ඒ ආයතනවල ස්ථීර පත්වීම් ප්‍රදානය කෙරේ. එසේ වුවද ඔවුන් සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමක් සිදු නොවන බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

  • සාමාන්‍ය පෙළ ප්‍රථිපල එන දිනය හා උපෙළ පන්ති ආරම්භය ගැන ඉඟියක්

    සාමාන්‍ය පෙළ ප්‍රථිපල එන දිනය හා උපෙළ පන්ති ආරම්භය ගැන ඉඟියක්

    මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.

    අද (22) පැවති කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ‘‘මාර්තු 01 සිට 10 වෙනිදා දක්වා පැවැත්වෙන විභාගය සඳහා දිවයින පුරා අපේක්ෂකයන් 622,305ක් ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4,513ක එය පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර විභාගය සඳහා පාසල් අපේක්ෂකයන් 423,746ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 198,606ක් පෙනී සිටීමට නියමිතයි.

    ‘‘කෝවිඩ් 19 ආසාධිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන 02 බැගින් ස්ථාපිත කර ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබෙන නිසා ඊට වි‍ශේෂ විධිවිධාන සකසා තිබෙනවා‘

    ‘‘මේ වනවිටත් සියලු ම පාසල්වලට අයදුම්පත්‍ර සියල්ල තැපැල් කර තිබෙනවා. පෞද්ගලික අපේක්ෂකයන්ට ඒවා ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා එම ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට හැකියාව ලබාදී තිබෙනවා‘‘ යැයි ද අධ්‍යාපන ඇමතිවරයා සදහන් කළා.

  • ලෝකයේ වැඩියෙන්ම ‘අලි මරා දමන රට’ ශ්‍රී ලංකාව

    ලෝකයේ වැඩියෙන්ම ‘අලි මරා දමන රට’ ශ්‍රී ලංකාව

    ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද  පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව ගිණුම් කාරක සභාවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන  මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ  මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බවද හෙළි විය.

    ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම පිළිබඳ විශේෂ විගණන වාර්තාව පෙබරවාරි 23 වැනිදා නැවතත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) වෙත කැඳවා තිබේ.

    අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පසුගිය දෙසැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති කෝපා කමිටුවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවද එහිදී අවධාරණය විය.

    මෙම කරුණු ඉදිරිපත් කරන ලද්දේ අලි මිනිස් ගැටුම සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා විසිනි.

    ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද  පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව ගිණුම් කාරක සභාවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන  මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ  මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බවද හෙළි විය.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධව ඉදිරිපත්ව ඇති නිර්දේශ කෝපා කමිටුවේදී අවධානයට ලක් කෙරෙනු ඇත.

    මේ අතර, එළඹෙන පෙබරවාරි 24 වැනිදා කෝපා කමිටුව හමුවේ ශ්‍රී ලංකාවේ සිසුන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අවම වී ඇති රජයේ පාසල්වල කාර්ය සාධනය සලකා බැලෙන අතර පෙබරවාරි 24 වැනිදා ශ්‍රී ලංකා රේගු දේපාර්තමේන්තුවේ කාර්ය සාධනය විමර්ශනය කිරීමට නියමිතය.

  • පාස්කු ඉරිදා ප්‍රහාරය’ පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක්

    පාස්කු ඉරිදා ප්‍රහාරය’ පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක්

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබේ.

    මෙවන් මහා පරිමාණ ජාතික ව්‍යසනයක් නැවත ඇතිවීම වළක්වාගනු සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රමුඛ විවිධ ආයතන සහ බලධාරීන් ගතයුතු පියවර ඇතුළු සමස්ත ක්‍රියාදාමය හඳුනා ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන ස්ථානය ගනී. මෙකී නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට නොපිළිවන.

    පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂම 2019දී පත් කරන ලද්දේ පසුගිය රජය විසිනි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ආරක්ෂාවට හා ස්ථාවරත්වයට, ආර්ථිකයට, ආගමික සහජිවනයට හා සමාජ ජීවිතයට අතිශය අනර්ථකාරී බලපෑමක් කළ සිදුවීමක් බව වත්මන් රජය නිගමනය කර තිබේ. ඊට මුල් වූ පසුබිම රටේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට හානිකර බාහිර මැදිහත්වීම්වලට ද ඉඩ ප්‍රස්ථාව විවෘත කරයි. ශ්‍රී ලංකා රාජ්‍යය ඇතුළත සාමය සහ ආරක්ෂාව මෙන්ම ආර්ථික සමෘද්ධිය සහතික කිරීමට නම් මෙවැනි අන්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත ඇතිවීමට තිබෙන සියලු ඉඩ කඩ අවුරාලිය යුතුය. ඒ සඳහා ආගමික අන්තවාදය සහ ඒ හා බැඳුණු ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය, ජන කොටස් අතර වෛරය අවුලුවන ප්‍රකාශ, මෙබඳු කණ්ඩායම්වලට විදේශ අරමුදල් ලැබීම මුළුමනින්ම නතර කිරීම අවශ්‍ය වේ.

    මෙකී පළල් පරමාර්ථ සපුරා ගැනීමට ඒ ඒ රාජ්‍ය ආයතන සහ බලධාරීන් කළයුතු දේ සහ එකිනෙක කාර්යයට දිය යුතු ප්‍රමුඛත්වය ජනාධිපති පරීක්ෂණ කොමිෂම හඳුනාගෙන ඇත. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපාලන යාන්ත්‍රණයෙහි අවශ්‍ය වෙනස්කම් කළයුතුව තිබේ. ජනාධිපතිතුමා පත් කළ පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂම් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමය.  

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයනට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පරිපාටිය ප්‍රකාර සිදුවනු ඇත. ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරේ. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ එක් කිරීම ද කමිටුවට අයත් නැත. සත්‍යය එසේ වුවද පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරමින් සිටිති.

    සය පුද්ගල කමිටුවේ සාමාජිකයන් තෝරා ගනු ලැබූයේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද, විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමිනි.

  • ඕස්ට්‍රේලියාවට මෙන් ශ්‍රී ලංකාවටත් නොදුරේදීම ෆේස්බුක් පහසුකම් සීමා වීමක් ?

    ඕස්ට්‍රේලියාවට මෙන් ශ්‍රී ලංකාවටත් නොදුරේදීම ෆේස්බුක් පහසුකම් සීමා වීමක් ?

    ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙතට ඕස්ට්‍රේලියානු පුවත් අන්තර්ගතයන් එක් කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන වලට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ෆේස්බුක් අඩවිය වෙතට පුවත් අන්තර්ගතයන් එක් කිරීමේ අවස්ථාව ෆේස්බුක් සමාගම විසින් මේවනවිට අවහිර කොට ඇත.

    ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් අන්තර්ගතයන් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට මුදාහැරිම යම් නියාමනයකට ලක් කිරීමක් සිදුකිරිම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වූ අතර සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් අන්තර්ගතයන් ප්‍රචලිත කිරීමට නම් ජනමාධ්‍ය අමාත්‍යංශයෙහි ලියාපදිංචි වියයුතු බව විෂයභාර අමාත්‍යවරයා විසින්ද මිට පෙර ප්‍රකාශකොට තිබිණි. පුවත්පත් මණ්ඩලය විසින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි නව මාධ්‍ය ලෙස ආවරණය කරගනිමින් 1973 අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය සදහා වන කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවක් දැනගන්නට ලැබේ.

    මෙම තත්වයන් යටතේ නොදුරු අනාගතයේදී ඕස්ට්‍රේලියාවේ මෙන් ශ්‍රී ලංකාවටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙතට පුවත් අන්තර්ගතයන් එක් කිරීමේ පහසුකම් අහෝසි වීමක් සිදුවිය හැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු.

  • පිරිමින්ට වඩා කාන්තාවන් අතර ‘මානසික අවපීඩනය’ ඉහළ ඇයි?

    පිරිමින්ට වඩා කාන්තාවන් අතර ‘මානසික අවපීඩනය’ ඉහළ ඇයි?

    වත්මන් කොවිඞ් අර්බුදය සමග වර්ධනය වී ඇති සෞඛ්‍ය ගැටලූ අතර මානසික අවපීඩනයට ඉහළ තැනක් හිමිවෙනවා. ආර්ථික හා සමාජයීය ගැටලූ හා දුෂ්කරතා නිසා පොදුවේ මානසික අවපීඩනය සියලූ පිරිස් අතර ඉහළ මට්ටමක තිබුණත් එයින් වැඩියෙන්ම බැටකන්නේ, පීඩාවට පත් වන්නේ කාන්තාවන් බවයි මානසික සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ.

    මෙය කිසිසේත් පහසුවෙන් බැහැර කළ හැකි හෝ නොතකා හැරිය හැකි ගැටලූවක් නොවෙයි. මොකද මානසික අවපීඩනය හරහා තවත් ඍණාත්මකතා රැුසක් ඇති වෙනවා.

    ඉන්දියානු රජය විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව, කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු මානසික අවපීඩනයෙන් පෙළෙන අතර පිරිමින් හත් දෙනෙකුගෙන් එක් අයෙකු මානසික අවපීඩනයෙන් Depression පෙළෙනවා. 

    කනගාටුවට කරුණ වන්නේ ලංකාවේ මෙවැනි සමීක්ෂණ හෝ ඒවා සිදු වුණත් තොරතුරු, දත්ත බෙදා ගැනීමක් නැහැ. ඒත් ලංකාවේ තත්ත්වය මීට සමාන හෝ මීට වඩා වැඩි බව අපගේ විශ්වාසයයි.

    මානසික අවපීඩනයේ දී මෙම ස්ත්‍රී පුරුෂ පරතරය ඉහළ මට්ටමක පවතින්නේ මන්දැයි දැන් ඔබට ඇසිය හැකියි.

    අපගේ සායනයේදී, මානසික අවපීඩනයෙන් පෙළෙන කාන්තාවන් වැඩි ප්‍රමාණයක් අපට දැකගත හැකි අතර, පිරිමින් ආත්ම අභිමානය, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ පාලනය කළ නොහැකි කෝපය වැනි ගැටළු වලින් පීඩා විඳිති. 

    මේවා සාමාන්‍ය ස්ත්‍රී පුරුෂ ඒකාකෘති ලෙස පෙනුනද ඒවා කිසි විටෙකත් සත්‍ය නොවේ. ඇතැම් ආකාරයේ මානසික අවපීඩන ‘පශ්චාත් මානසික අවපීඩනය – Postpartum depression ‘ වැනි ස්ත්‍රීන්ට විශේෂිත වූවක් වන අතර එය දරු උපතෙන් පසු කාන්තාවන්ට පීඩා කරයි, කලාතුරකින් පියා ද පශ්චාත්-පාර්ටම් මානසික අවපීඩනයෙන් Post-Partum depression පෙළෙන්නට පුළුවන, නමුත් එය අතිශයින් දුර්ලභ ය.

    පිරිමින් සහ කාන්තාවන් අතර මානසික අවපීඩන විෂමතාව සඳහා අපයෝජනය, අඩු අධ්‍යාපනය සහ ආදායම ඇතුළු සමාජ ආර්ථික හේතු පර්යේෂකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. 

    එක්සත් ජනපදය, කැනඩාව සහ බටහිර යුරෝපය වැනි දියුණු ආර්ථිකයන්හි, ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් හා උප සහරා අප්‍රිකානු රටවල් වැනි අව සංවර්ධිත රටවලට සාපේක්ෂව මානසික අවපීඩනයෙන් පෙළෙන කාන්තාවන්ගේ ප්‍රතිශතය පිරිමින්ට වඩා ඉහළ ය. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් තුළ මානසික අවපීඩනය බහුලව පැවතීමට ජීව විද්‍යාත්මක සාධක හේතු විය හැකි බව මෙයින් ඇඟවෙයි. ම

    ෙය තේරුම් ගැනීමෙන් වඩා හොඳ ප්‍රතිකාර ලබා ගත හැකිය.

    මානසික අවපීඩනය

    සහෝදර නිවුන් දරුවන් පිළිබඳව කරන ලද අධ්‍යයනයක දී කාන්තාවන් අන්තර් පුද්ගල සම්බන්ධතා කෙරෙහි වැඩි සංවේදීතාවයක් පෙන්නුම් කරන අතර පිරිමින් බාහිර වෘත්තීන් හා ඉලක්ක ඉලක්ක කරගත් සාධක කෙරෙහි වැඩි සංවේදීතාවයක් පෙන්නුම් කරයි. 

    වැඩිවිය පැමිණීමට පෙර පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් මානසික අවපීඩනයට සමාන අවදානමක් ඇති අතර වැඩිවිය පැමිණීමේදී ගැහැනු ළමයින් මානසික අවපීඩනය කෙරෙහි වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. 

    පර්යේෂකයන්ට අනුව මෙයට හෝමෝන වෙනස් වීම් ද හේතු වේ.

    කාන්තාවන්ට ඔවුන්ගේ හෝමෝන ජීවන චක්‍රයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයකදී, එනම් වැඩිවිය පැමිණීමේදී, ඔසප් වීමට පෙර, ගර්භනීභාවයෙන් පසුව සහ පෙර-ඔසප් වීමේදී මානසික අවපීඩනයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. 

    මෙයින් ගම්‍ය වන්නේ ගැහැණු හෝමෝන වෙනස්කම් මානසික අවපීඩනයට හේතු විය හැකි බවයි. මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ”උපත් පාලන පෙති – Oral contraceptive භාවිතා කරන කාන්තාවන්ට මානසික අවපීඩනය හා කාංසාව අඩු මට්ටමක පවතින බවත් එය භාවිතා කරන්නන් නොවන අය සමඟ සසඳන විට එස්ටජන් අධීක්ෂණය කිරීම ප්‍රයෝජනවත් විය හැකි බවත්ය. 

    කාන්තාවන්ගේ මානසික අවපීඩනය මැඩපැවැත්වීම සඳහා මම ‘උපත් පාලන පෙති – Oral contraceptive ලබා නොදෙන අතර, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය අතර මානසික අවපීඩනය වෙන්කර හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට පළපුරුදු මනෝ විද්‍යාඥයෙකුගේ උපදෙස් ලබා ගැනීමට මම උපදෙස් දෙමි.

  • COPE කමිටුව හමුවේ හෙළි වුණ ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ’ තිත්ත කතාව

    COPE කමිටුව හමුවේ හෙළි වුණ ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ’ තිත්ත කතාව

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු  අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    ළමා   අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරුවූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අරමුණු කරගනිමින්  ජාතික ළමා ආරක්ෂා අධිකාරිය 1998 දී පිහිටුවා ඇතත් වසර 21 ක් මුළුල්ලේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම පමා වී ඇති බව මෙහිදී අනාවරණය විය. මේවන විට සකස්කොට ඇති ජාතික ප්‍රතිපත්තිය සදහා අනුමැතිය ලැබී  ඇති බැවින් එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කමිටුව අවධාරණය කරන ලදී.

    එම අධිකාරියේ 2016 ,2017, 2018 සහ 2019 වසරවලට අදාළ වාර්ෂික වාර්තා කිසිවක් පාර්ලිමේන්තුවට මේවන තෙක් ඉදිරිපත්කර නොමැති බව ද මෙහිදී අනාවරණය විය. මේ පිළිබද සිය දැඩි අප්‍රසාදය පළ කළ කෝප් කමිටු සභාපතිවරයා වහාම මේපිළිබද සොයා බලා අදාළ වාර්ෂික වාර්තා මාස 2ක් ඇතුළත අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුවට ලැබීමට සලස්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ  ලේකම්වරයාට සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට  උපදෙස් ලබා දුන්නේය.

    තවද අධිකාරියට අදාළ දත්ත පද්ධතියක් සකස් කිරීම වෙනුවෙන් 2016, 2017 වසරවලදී  උපදේශිකාවක් සදහා  රු. ලක්ෂ 9ක මුදලක්ද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය මගින් මෘදුකාංගයක් සංවර්ධනය කිරීමට ප්‍රදානයක් ලෙස ලැබුණු රු.මිලියන 1.2 ක මුදලක්ද වැයකොට ඇතත් ඉන් මේවන විට නිසි ප්‍රයෝජන ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද මෙහිදි හෙළිවිය.මෙවැනි දත්ත පද්ධතියක් සකස් කිරීම වැදගත් වුවද රජයේ මුදල් පරිහරණයේදී නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බැවින් මේ පිළිබදව වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස  කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

    ළමා අපයෝජන වැළැක්වීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස පාසැල් සිසුන් ප්‍රවාහන සේවය විධිමත් කිරීම සදහා නෛතික රාමුවක් සකස් කිරීමත් නියාමනයත් හදුනාගෙන තිබුණද එය මේවන තෙක් ඉටුනොවීම පිළිබද කමිටුව සිය අවධානය යොමු කරන ලදී. මේ සදහා අවශ්‍ය ප්‍රමිතීන් සකස් කර ඇති බවත් නියාමනය අධිකාරිය විසින් සිදු කිරීමට සේවක පුරප්පාඩු පිරවීම සදහා කටයුතු කළ යුතු බවත් අධිකාරයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.දැනට අලුතින් පත්වීම් ලද උපාධිධාරීන්ගේ සුදුසුකම් අනුව ඔවුන් සේවයේ යොදවා ගෙන මෙම වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස මෙහිදී කමිටුව උපදෙස් ලබාදෙන ලදී.

    තවද ළමා අපයෝජන සම්බන්ධ නඩු සදහා ගතවන කාලය දීර්ඝ වීම නිසා බොහෝ අපහසුතාවලට වින්දිතයන්ට මුහුණදීමට සිදුවන බව කමිටුව පෙන්වා දෙන ලදී.අපයෝජනවලට ගොදුරුවූ ළමුන් වැඩිහිටියන් බවට පත්වීමට පෙර එනම් නඩු සදහා ගතවන කාලය අවම කිරීමට ක්‍රමවේදයක් සැකසීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

    ළමා අපයෝජන වැළැක්වීම සදහා පාසල් ළමා ආරක්ෂක කමිටු  3165 ක් පිහිටුවා තිබුණද මේවන විට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින්නේ කමිටු 2392ක් පමණක් බවත් මෙහිදී හෙළිවිය. පාසල් ළමුන් අතර මෙය ජනප්‍රිය කරවීමට වඩාත් ආකර්ෂණීය ප්‍රවේශයකින් නැවත පණ ගැන්විය යුතු බවත් ඒඅනුව ආයතනයේ ක්‍රියාකාරී වැඩපිළිවෙලට මෙය ඇතුළත් කළයුතු බවත් කමිටුව නිර්දේශ කරන ලදී.

    අධිකාරියේ නීති අංශයේ සේවය කිරීමට දෙදෙනෙක් පමණක් සිටින බැවින් එය ආයතනයේ කටයුතුවලට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මෙහිදී අනාවරණය විය.එබැවින් නීති අංශය වඩාත් ශක්තිමක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

    තවද 2011 -2020 කාලයේ අධිකාරියට  පැමිණිලි 89,405 ක් ලැබී ඇති බවත් 2021.01.31 වන විට ආයතනයේ නොවිසදී ඉදිරියට ගෙනා  පැමිණිලි සංඛ්‍යාව 40,668 ක බවටත් කරුණු හෙළිවිය.

    පැමිණිලි පිළිබද මෙහෙයවීමේ කටයුතු සිදුකරන නීති බලාත්මක කිරීමේ අංශයෙහි    සේවය කිරීමට ඇත්තේ  එක් පුද්ගලයෙක් පමණක් වීම කනගාටුව කරුණක් බවත් ඒ අනුව අවශ්‍ය පරිදි නීති බලාත්මක කිරීමේ අංශය ශක්තිමත් කොට පැමිණිලි මෙහෙයවීමේ කටයුතු කඩිනම් කරන ලෙස කමිටුව උපදෙස් ලබා දුන්නේය.

    තවද  ලංකාව තුළ සියලු ළමා නිවාස නිසි පරිදි නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබදවද දීර්ඝ ලෙස සාකච්ඡා විය.ඒ සදහා නව වැඩපිළිවෙලක් සකස් කොට සියලු මූලික දත්ත ලබා ගැනීමට කඩිනමින්  කටයුතු කරන ලෙස අධිකාරියට නිර්දේශ කළේය.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතුව පැමිණිලි සම්බන්ධ දත්ත තිබුණත් ළමා අපචාර පිළිබද ජාතික දත්ත පදනමක් නොමැතිවීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය.ළමා අපයෝජන වළක්වා ගැනීමේ ඉදිරි වැඩපිළිවෙල සදහා විධිමත් දත්ත  අත්‍යවශ්‍ය බැවින් වඩාත් විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව දැනුම් දුන්නේය.

    ආයතනයේ අනුමත තනතුරු සංඛ්‍යාව 548ක් බවත් මින් 206ක් පුරප්පාඩු පවතින පවතින බවත් මෙහිදී අනාවරණය විය. අනුමත තනතුරු සදහා බදවා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියෙන් සිදුකළ හැකි බැවින් ඒ සදහා වහාම පියවර ගන්නා ලෙස කෝප් සභාපතිවරයා බලධාරීන්හට දැනුම් දුන්නේය.

    අපයෝජනයට ලක්වන දරුවන්ගේ හඬ බවට පත්වන  රටේ අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ මෙම ගැටලු කඩිනමින් විසදා ආයතනය ශක්තිමත් ආයතනයක් බවට පත් කිරීමේ වැදගත්කම මෙහිදී මහාචාර්ය හේරත් මහතා අවධාරණය කළ අතර නැවත මෙම වසර අගදී කෝප් කමිටුව හමුවට මෙම අධිකාරිය කැදවීමට කටයුතුකරන බවද දැනුම් දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජගත් පුෂ්පකුමාර,ඉරාන් වික්‍රමරත්න,ප්‍රේම්නාත් සී දොලවත්ත,එස් රාසමානික්කම් යන මහත්වරුද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ඇතුළු  එම ආයතනයේ නිලධාරිහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • විභාග කොමසාරිස්ගෙන් O/L විභාගයට අදාළ නියෝග කිහිපයක්

    විභාග කොමසාරිස්ගෙන් O/L විභාගයට අදාළ නියෝග කිහිපයක්

    ලබන මාර්තු 01 වැනිදා ආරම්භ වන අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වනදා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට තීරණයකර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 10 තෙක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

    එමෙන්ම, විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක්කර නොගත යුතු බවද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා තිබේ.

    එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ 2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව එළඹෙන 23වනදා මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරඇති බවයි.

  • ලංකාවේ එළවළු බීජ ගැන විගණකාධිපතිගේ සුපිරි හෙළිදරව්ව !

    ලංකාවේ එළවළු බීජ ගැන විගණකාධිපතිගේ සුපිරි හෙළිදරව්ව !

    2015 දී රුපියල් මිලියන 962.7ක් වූ එළවළු බීජ ආනයන වියදම 2019 වර්ෂයේදී රුපියල් මිලියන 1491.6 දක්වා 35% කින් වැඩිවී ඇතැයි 2021 පෙබරවාරි 01 දින දරණ ‘‘විගණකාධිපතිවරයාගේ එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය වාර්තාව“ සදහන් කරයි.

    එම වාර්තාව අනුව,

    1. 2015 දී බීජ ක්‍රිලෝ ග්‍රෑම් 226,152ක් ආනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 963කි.
    2. 2016 දී ක්‍රිලෝ ග්‍රෑම් 312,246ක් ආනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 1,400කි.
    3. 2017 දී ක්‍රිලෝ ග්‍රෑම් 227,255ක් ආනයනය කර ඇති අතර වටිනාකම රුපියල් මිලියන 1,195කි.
    4. 2018 දී ක්‍රිලෝ ග්‍රෑම් 229,559ක් ආනයනය කර ඇති අතර වටිනාකම රුපියල් මිලියන 1,519කි.
    5. 2019 දී කිලෝ ග්‍රෑම් 198,595ක් ආනයනය කර ඇති අතර වටිනාකම රු මි 1,491කි.
    6. එම කාලයේ ආනයනය කර ඇති මුළු කිලෝ ග්‍රෑම් ප්‍රමාණය 6,567ක් වන අතර මුළු වියදම රුපියල් මිලියන 1,193,807කි.

    ඉහත දත්ත අනුව 2015ට සාපේක්ෂව 2019 වනවිට ආනයනය කළ බීජ කිලෝ ග්‍රෑම් ප්‍රමාණය 13% කින් අඩුවී ඇතත් බීජ ආනයන වියදම 35% කින් වැඩිවී ඇත.

    එළවළු බීජ ආනයන බලපත්‍ර ලබාදීමේදී උපරිම ආනයන සීමා පැනවීමක් සිදුකර නැති අතර බෝංචි බීජ සඳහා පමණක් ආනයන සීමාවක් පනවා තිබී ඇත.

    එසේ වුවද වාර්ෂික පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු ප්‍රමාණය කොපමණද යන්න ගණනය කිරීමක් සිදුවී නැති අතර එමෙන්ම බීජ අවශ්‍යතාව ගණනය කිරීමක් සිදුකර නැත. ඒ නිසාම දේශීය බීජ හා රෝපණ ද්‍රවය මධ්‍යස්ථානවල බීජ නිෂ්පාදනය හා මිලදී ගැනීම 2017 දී කිලෝ ග්‍රෑම් 13,865ක් වන විට ආනයනය ක්‍රිලෝ ග්‍රෑම් 227,255ක් වී ඇත.

    2018 දී දේශීය නිෂ්පාදන හා මිලදී ගැනීම් ප්‍රමාණය ක්‍රිලෝ ග්‍රෑම් 22,189ක් වනවිට ආනයනය ක්‍රිලෝ ග්‍රෑම් 229.559ක් වී ඇත. 2019 දී දේශීය නිෂ්පාදන හා මිලදී ගැනීම් ප්‍රමාණය ක්‍රිලෝ ග්‍රෑම් 37042ක් වනවිට ආනයනය ක්‍රිලෝ ග්‍රෑම් 19859ක් වී ඇත.

    තවද දේශීය බීජ අවශ්‍යතාව හඳුනාගෙන රජයේ බීජ ගොවිපල මඟින් නිෂ්පාදනය කළ නොහැකි ප්‍රමාණය පමණක් කොන්ත්‍රාත් වැඩසටහන යටතේ නිෂ්පාදනය කරගත යුතු වූවත් ඒ අනුව කටයුත කරන්නේද යන්න විගණනයේදී නිරීක්ෂණය වී නැත. ඒ යටතේ ගොවීන්ගෙන් මිලදී ගත් බීජ ප්‍රමාණය 2017 දී ක්‍රිලෝ ග්‍රෑම් 4,496.07ක් වී ඇති අතර වටිනාකම රුපියල් 6,853,549ක් වී ඇත.

    2018 දී බීජ ක්‍රිලෝ ග්‍රෑම් 11,745.65ක් මිලදී ගෙන තිබෙන අතර වටිනාකම රුපියල් 16,573,090කි. 2019 දී බීජ ක්‍රිලෝ ග්‍රෑම් 25,654.7ක් මිලදී ගෙන තිබෙන අතර වටිනාකම රුපියල් 39,512,225කි.

    දේශීය එළවළු බීජවලට වඩා ආනයනික බීජ වල මිල වැඩි වුවද වැඩි මිලකට ගොවීන් ආනයනික බීජ ලබා ගැනීමට පෙළඹී ඇත්තේ දේශීය බීජ සැපයුම ප්‍රමාණවත් නොවන නිසාය.■

    අනිද්දා පුවත්පත ඇසුරිණි

  • රටම අගුළු දාන්නේ නෑ

    රටම අගුළු දාන්නේ නෑ

    කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීමේ සූදානමක් නැතැයි කොරෝනා වසංගතය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (14) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    නව ප්‍රභේදය හේතුවෙන් රටම අගුළු දැමිය හැකිද යන්න පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සහ කටකතා ප්‍රතික්ෂේප කරමින් යුද හමුදාපතිවරයා එසේ පැවසීය. කෙසේ වෙතත් කොරෝනා වයිරසය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව අවශ්‍ය පියවර ගන්නා බවද ජෙනරාල් සිල්වා මහතා පැවසීය.

    පසුගිය සතියේ එක්සත් රාජධානියේ ව්‍යාප්තව ඇති නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද හමුවි ඇති බව සෞඛ්‍ය බලධාරීහු කියති. එය ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති වයිරසයක් බවට සෞඛ්‍ය නිලධාරීහු අනතුරු ඇඟවති.

  • පූර්ව නිර්දේශ නැති බලවතුන් කල්ලියක් කොවිෂීල්ඩ් එන්නත් ලබාගෙන

    පූර්ව නිර්දේශ නැති බලවතුන් කල්ලියක් කොවිෂීල්ඩ් එන්නත් ලබාගෙන

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ යාවත්කාලීන නොවූ චක්‍ර ලේඛ හේතුවෙන් මේ වන විට කොවිෂීල්ඩ් එන්නත් 40,000කට ආසන්න ප්‍රමාණයක් අපතේ දැමීමට සිදුවී ඇති බවත් මේ වනවිටත් එන්නත් ලබාදීම සඳහා පූර්ව නිර්දේශයක් නොමැති විදුහල්පතිවරුන්, ඇමතිවරුන් හා සෞඛ්‍ය කාර්‍යමණ්ඩල හිතවතුන් කිහිප දෙනෙකු එන්නත් ලබාගෙන ඇති බව වාර්ථා වී ඇති බැවින්, එන්නත ආල්ලස සදහා පාර කැපීම වැලැක්වීම සදහාද සෞඛ්‍ය අමාත්‍යංශ නීතී ප්‍රායෝගික විය යුතු බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

    අද (14) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව සදහන් කළේය.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ.

    මේ වන විට කොවිෂීල්ඩ් එන්නත, 180,000ක පමණ සංඛ්‍යාවකට ලබා දී අවසන්‍ ය. සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාරව එම එන්නත් කුප්පියක්, භාවිත කළ හැකි වන්නේ දස දෙනෙකුට පමණක් වන අතර දස වැන්නාගෙන් පසුව ඉතිරි වන ප්‍රමාණය ඉවත දැමිය යුතුය.

    එක් පුද්ගලයෙකු සදහා 0.5ml ප්‍රමාණයක එන්නත් ලබා දිය යුතු අතර දස දෙනෙකු සදහා එය 5ml වේ. නමුත් එන්නත් කුප්පියක ඊට වැඩි ප්‍රමාණයක් එන්නත් අඩංගු බැවින්, ඉතා කාර්යක්ෂම කටයුතු කරන්නේනම් තවත් එක් අයෙකු (එකොලොස් වැනියා) සදහා එම ප්‍රමාණය සලකා බැලීමට හැකි බව නිරීක්ෂණය වී තිබේ.

    නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේකයට පිටින් කටයුතු කිරීමට නොහැකි බැවින් එසේ වුවද, එම ප්‍රමාණය ඉවත දැමීමට සිදුවේ. 

    එම තොරතුරු නිවැරදිනම්, මෙරට මේ වනවිට නාස්තියට ලක්ව ඇති එන්නත් ප්‍රමාණය 40,000කට ආසන්න විය හැකි අතර, නාස්තියේ අනුපාතය ලබාදෙන එන්නත් ප්‍රමාණයෙන් 5:1කි. මුලු ලෝකයටම එන්නත් හිගයක් පවතින මොහොතක, එසේ වුවහොත් එය ජාතික අපරාධයකටත් වඩා, ලෝක අපරාධයකි.

    එසේම ගණනය කිරීම් වලට හසු නොවන පරිදි එන්නත් ප්‍රමාණයක් පැවතීම දූෂිත තත්වයක් ඇතිවීමටද පාර කපන බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල තත්වයන් සොයා බලා, බිම් මට්ටමේ සෞඛ්‍ය කාර්‍ය මණඩලය බලාතමක වන පරිදි අදාල චක්‍රලේඛය සහ ගණන් තබා ගන්නා ක්‍රමය වහා සංශෝධනය කල යුතුය.

    මේ වනවිටත් එන්නත් ලබාදීම සඳහා පූර්ව නිර්දේශයක් නොමැති විදුහල්පතිවරුන්, ඇමතිවරුන් හා සෞඛ්‍ය කාර්‍යමණ්ඩල හිතවතුන් කිහිප දෙනෙකු එන්නත් ලබාගෙන ඇති බව අපට වාර්ථා වී ඇති බැවින්, එන්නත ආල්ලස සදහා පාර කැපීම වැලැක්වීම සදහාද සෞඛ්‍ය අමාත්‍යංශ නීතී ප්‍රායෝගික විය යුතුය.