Category: සුපිරි News

  • සෞඛ්‍ය අමාත්‍යාංශයේෙ තැන් දෙකකින් නිකුත් කරන ආසාදිතයින් ගැන දත්ත පරස්පරයි

    සෞඛ්‍ය අමාත්‍යාංශයේෙ තැන් දෙකකින් නිකුත් කරන ආසාදිතයින් ගැන දත්ත පරස්පරයි

    “සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අංශය හදුනා ගන්නා රෝගීන් හය දහසක් (6000) පමණ, වසංගත අංශයට හඳුනා ගැනීමට නොහැකිවී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

    පසුගිය 12 වැනිදා එම සංගමය විසින් සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තොරතුරු හෙළිවිය.

    එහිදී වැඩි දුරටත් කරුණු හෙළි කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාධිතයින්  ප්‍රමාණය ගැන  සෞඛ්‍ය අමාත්‍යාංශයේ තැන් දෙකකින් නිකුත් වන  සංඛ්‍යා ලේඛන  පරස්පර බවයි.

    කුමුදේශ් මහතා මෙසේ ද සදහන් කළේය.

    මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාධිතයින්  ප්‍රමාණය ගැන   සෞඛ්‍ය අමාත්‍යාංශයේ තැන් දෙකකින් නිකුත් වන  සංඛ්‍යා ලේඛන  පරස්පරයි. 2021.02. 11 දින, වසංගත රෝග අංශය නිල නිවේදන වලට අනූව, දැනට හදුනාගෙන ඇති අසාධිතයින්  සංඛ්‍යාව 73, 116 කි. රසායනාගාර සේවාවේ වාර්ථාවලට අනුව, පළමු වරට තහවුරු කරන ලද  ආසාදිතයන්ගේ සංඛ්‍යාව 77, 775 ක්. ඒ අනුව ඊයේ (11) දවස වනවිට පමණක් රෝගීන් 4659ක් ආගිය අතක් නැහැ.

    ️රසායනාගාර සේවාවේ දත්තයන්ට අනුව 2021.02.11 වෙනි දිනට නිදර්ශක 19,12,000ක් පමණ ලැබී තිබෙනවා. නමුත් ප්‍රතිඵලය අතට ලැබුණු රෝගීන් ගණන 18,96,000 පමණ වෙනවා. නිදර්ශක ලබාදී, තවදුරටත් පරීක්ෂණ වාර්තාවක් අපේක්ෂාවෙන් සිටින සංඛ්‍යාව සංඛ්‍යාව 15,000කට වැඩියි. නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හැර, වෙනත් කිසිදු රසායනාගාරයක, පැය විසි හතරකට වඩා ප්‍රමාදවූ නිදර්ශක නැහැ.

  • වෙළඳ හිඟය 2020 වසරේ දී ඩොලර් බිලියන 2කින් අඩු වුණේ කොහොමද ?

    වෙළඳ හිඟය 2020 වසරේ දී ඩොලර් බිලියන 2කින් අඩු වුණේ කොහොමද ?

    රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව අඛණ්ඩව අඩු විය.

    සමස්තයක් ලෙස, 2019 වසර සමඟ සැසඳීමේ දී වෙළඳ හිඟය 2020 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 2.0කින් සැලකිය යුතු ලෙස අඩු විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඉතිහාසයේ ඉහලම මාසික ලැබීම වාර්තා කරමින් 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ද විදේශීය අංශය ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායක විය.

    මූල්‍ය ගිණුමේ, රාජ්ය සුරැකුම්පත් වෙළදපොළෙහි සහ කොළඹ කොටස් වෙළදපොළෙහි විදේශීය ආයෝජන 2020 වසරේ දෙසැම්බර් මාසයේදී සුළු ශුද්ධ ගෙවීම් වාර්තා කර ඇත. වර්ෂය අවසානයේදී දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.7ක් විය.

    2020 වසරේ දී ශ්රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 2.6කින් අවප්‍රමාණය විය. විනිමය අනුපාතිකය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මෙන්ම 2021 වසරේ මේ දක්වා වූ කාලපරිච්ඡේදයේදී ද යම් විචලනයක් දැක්වීය.

  • නව කොවිඩ් ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වේ – එංගලන්ත ප්‍රභේදය බවට සැක ?

    නව කොවිඩ් ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වේ – එංගලන්ත ප්‍රභේදය බවට සැක ?

    ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හතරක නව කොවිඩ් ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වන බවත් එය එංගලන්ත ප්‍රභේදය බවට අනුමාන කළ හැකි බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

    අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම ප්‍රභේදයේ පැතිර යාමේදී එංගලන්තය ලොක් ඩවුන් කළ බවත් ලංකාව එසේ නොකරනවා නම්, තීරණ ගන්නා අය එහි වගකීම දැරිය යුතු බවත්ය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් කුමුදේශ් මහතා මෙසේද පැවසීය.

    ‘ප්‍රභේද හඳුනා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ජාතික වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා දිස්ත්‍රික් හතරක පමණක් බව කිසිසේත් තහවුරු කල නොහැකියි.  ප්‍රභේද හඳුනා ගැනීමට අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර ස්ථාපිත නොකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අදාල ඊනියා විශේෂඥයින්  නොහැකියාව වසා ගනීමට උත්සහ කරනවා. මහජන බදු මුදලින් ඔවුන්ව නඩත්තු කිරීම අපරාධයක්. මහියංගනය ඇතුළු සැක සහිත  සෑම ස්ථානයකම ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලිය මීට වඩා විධිමත්ව සිදු කළ යුතු වෙනවා.️ ප්‍රභේද හඳුනා ගැනීමේ “ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම” ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයට වගකීමක් නොවේ‘‘

  • ‘රට පාලන කළ යුතු ආකාරය’ බෞද්ධ උපදේශක සභාව ජනපතිට කියා දෙයි

    ‘රට පාලන කළ යුතු ආකාරය’ බෞද්ධ උපදේශක සභාව ජනපතිට කියා දෙයි

    සියලු අදහස්වලට උත්තර දීමට යාමෙන් වැඩ කිරීමට ඇති කාලය අපතේ …විවේචන සාධාරණව සලකා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවන්න ….තැබූ විශ්වාසයේ අඩුවක් නැහැ,සෑමවිටම ආශිර්වාද කරනවා 

    සියලුදෙනාගේ, සියලු අදහස්වලට උත්තර දීමට යාමෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යයි. අවශ්‍ය වන්නේ විවේචන සාධාරණව සලකා බලා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවීම බව බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දෙයි.

    ඇතමුන් කුමක් ප්‍රකාශ කළද මහා සංඝරත්නය සහ ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි නොමඳ විශ්වාසයක් තබා ඇති බව මහා සංඝරත්නය සඳහන් කරති.

    අද (12) පස්වරුවේ 08 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ බෞද්ධ උපදේශක සභාවේ දී මේ බව සඳහන් කෙරිණ.

    තාන්‍න, මාන්න නොලැබුණ අයගේ වෛරී අදහස්වලින් ජනතාව පීඩාවට පත්ව සිටිති. ආණ්ඩුව පිළිබඳව නොයෙකුත් පාර්ශ්ව එල්ල කරන පදනම් විරහිත චෝදනා සහ අපහාසවලින් අධෛර්මත් නොවිය යුතුය. ඉතිරිව ඇති වසර තුන හමාරකට අධික ධූර කාලය තුළ ද ප්‍රතිපත්තිගරුකව රට පාලනය කරන ලෙස මහා සංඝරත්නය ජනාධිපතිවරයාට කියා සිටියහ.

    මූලධර්මවාදීන්ගේ වත්මන් ක්‍රියාකලාපය බෞද්ධ උපදේශක සභාවේ විශේෂ අවධානයට ලක් විය. එදා ඔවුන්ගේ  ග්‍රහණයට හසු කරගනු ලැබුවේ අසරණ දුප්පත් ජනතාවයි.  වර්තමානයේ ධනවතුන්, බලවතුන්, ප්‍රසිද්ධ කලාකරුවන් සහ දේශපාලන නායකයන් පවා මූලධර්මවාදීන්ගේ ගොදුරු බවට පත්ව සිටීම දැඩි කණස්සලයට කරුණක් බව මහා සංඝරත්නය සඳහන් කළහ. කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරියක් ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු පිරිස් බලහත්කාරයෙන් මොවුන්ගේ ග්‍රහණයට ගොදුරු කිරීමේ ප්‍රයත්නයක් සිදුව ඇති බව පෙන්වා දෙනු ලැබිණ.

    තානාපති සේවය ඇතුළු තනතුරුවලට පත්කීරිමේදී ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාදාමයට පැසසුම් කළ මහා සංඝරත්නය විශ්‍රාම යන අයට විවේක ගන්නා ස්ථානයක් බවට තානාපති සේවය පත් නොවිය යුතු බව පෙන්වා දුන්හ. මියන්මාරය, තායිලන්තය වැනි රටවලට පත් කෙරෙන තානාපතිවරු පන්සිල් රකින, දර්ශනයක් සහිත පුද්ගලයන් විය යුතු බව උන්වහන්සේ කියා සිටියහ.

    බුද්ධ චරිතය, බෞද්ධ දර්ශනය, පුරාවිද්‍යාත්මක හා පෞරාණික ස්ථානවලට දෙන වැරදි අර්ථ කථන නතර කිරීමේ අවශ්‍යතාව ද මහා සංඝරත්නය අවධාරණය කළහ. ඒ සඳහා බෞද්ධ ග්‍රන්ථ සහ ප්‍රකාශන නියාමන පනත සක්‍රීය කළයුතුය. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය සක්‍රීය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙනු ලැබිණ.

    බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මීට එක්ව සිටියහ.

    ඡායාරූප : රොෂාන්ත කිරිවත්තුඩුව ඩී. සමරකෝන් – ජනාධිපති මාධ්‍ය අංශය 

  • ජනපතිගේ රුව යොදාගනිමින් සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමේ තැතක්

    ජනපතිගේ රුව යොදාගනිමින් සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමේ තැතක්

    සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩයක් අද (12) වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා සංසරණය වන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී තිබේ.

    මෙම පණිවිඩය ක්ලික් කිරීමේදී covidfreeinternet.blogspot.com නම් වෙබ් අඩවියකට පිවිසීමක් සිදුවන අතර එහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව දැක්වෙන ඡාරූපයක්ද දැකගැනීමට හැකිවිය.

    මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීම, ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට ලක්වීම සිදුවියහැකි බව අප  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට පෙන්වා දෙමු.

  • Crudia Zeylanica ශාක සෙවීමට ජනතා සහය පතයි

    Crudia Zeylanica ශාක සෙවීමට ජනතා සහය පතයි

    පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි.

    ‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී.

    ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහාම පහත ලිපිනයට හෝ දුරකථන අංකයට දැනුම් දීමෙන් ගස සංරක්ෂණය කිරීමට දායක වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ගස් හඳුනා ගැනීම සඳහා මේ සමඟ ඇති පිංතූර බලන ලෙසද කාරුණිකව දන්වමි.

    හඳුනාගත් ශාකය

    කෲඩියා සිලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය 1868දී මුලින් ම සොයාගෙන ඇති අතර එම ශාකයේ නියැදියක් යළිත් 1911 වසරේදී හමුවී ඇතැයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

    කෲඩියා සිලනිකා

    කෙසේ වෙතත්, මෙම ශාක විශේෂය 1998 වසරේ සිට යළි හමුවී නැතැයි, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක සම්බන්ධ දත්ත ඇතුළත් ලෝක රතු දත්ත නාමාවලියේ සඳහන් වේ.

    ඒ අනුව, එම ශාකය ලෝකයෙන් වඳ වී ගිය (Extinct) ශාකයක් ලෙස එහි හඳුන්වා තිබේ.

    එම ශාකය තෙත් කලාපයේ පහත් බිම්වල විශාලව වැඩෙන ශාකයක් ලෙස එහි විස්තර කර ඇත.

    එම ශාක විශේෂය 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) ලොවින් වඳ වී ගිය (Extinct) ශාක විශේෂයක් ලෙස දක්වා ඇති අතර, 2012 ජාතික රතු දත්ත නාමාවලිය ද (National Red Data list) මෙය වඳ වී ගිය ශාකයක් ලෙස (Extinct) දක්වා තිබේ.

    කෲඩියා සිලනිකා
  • මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව ‘කොමිෂන් සභාවක්’ කිරීමට නිර්දේශ

    මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව ‘කොමිෂන් සභාවක්’ කිරීමට නිර්දේශ

    ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව එහි ධාරිතාව වැඩිකොට වඩාත් ශක්තිමත් කරනු පිණිස කොමිෂන් සභාවක් බවට පත් කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව)  ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (10) නිර්දේශ කළේය.

    මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කෝපා කමිටුව  ඊයේ (10) රැස්වූ අතර  ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනවල කාර්යභාරය පිළිබද වූ කාර්යසාධන විගණන වාර්තාව සලකා බැලීම එහිදී සිදුවිය.

    සැමට ආරක්ෂිත මාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්   පිහිටුවා ඇති ‘’මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව’’ කොමිෂන් සභාවක් ලෙස ස්ථාපනය කිරීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2019 වසරේ ලැබී තිබුණද නැවතත් එම අනුමැතිය ඉල්ලා සිටීම හේතුවෙන් දීර්ඝ කාලයක් ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය විය.රාජ්‍ය ආයතන 16 ක නියෝජිතයන්ගෙන් සහ එක් රාජ්‍ය නොවන ආයතනයක නියෝජිතයෙකුගෙන්   සැදුම්ලත් මෙම ආයතනය වඩාත් විධිමත් සහ ශක්තිමත් නොවීම නිසා මාර්ග අනතුරු පිළිබද  පර්යේෂණ කටයුතු මෙහෙයවීම ,මාර්ග අනතුරු වළක්වා ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇතුළු මාර්ග ආරක්ෂණ කටයුතු ප්‍රමාද වී ඇති බව හෙළි විය.ඒඅනුව කොමිෂන් සභාව කඩිනමින් ස්ථාපිතකොට සේවකයන් බදවාගෙන ආයතනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

    මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 6-8 අතර ප්‍රමාණයක් මිය යන බවත් 2007 සිට 2016 දක්වා මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 25,607ක් මියගොස් ඇති බවත් මෙවැනි පසුබිමක මාර්ග අනතුරු වළක්වා ගැනීම සදහා ජාතික කර්තව්‍යක් සේ සලකා   අදාළ සියලු පාර්ශවයන්  සිය වගකීම ඉටුකිරීමේ වැදගත්කම මෙහිදී  කමිටුව අවධාරණය කරන ලදී

    මාර්ග අනතුරු අවම කිරීම සදහා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සාමාජිකයන් වන  ,ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව , මාර්ග සංවර්ධන අධිකාරිය,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවකට මීට පෙරද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මගින් මාර්ග අනතුරු අවම කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කර තිබුණද ඒවා ක්‍රියාත්මක වී නොතිබීම පිළිබද කාරක සභාවේ අවධානය යොමුවූ අතර ඒ සෑම ආයතනයකටම අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පවතින බාධා මොනවාද යන්න මාසයක් තුළ දැනුම් දීමට පියවර ගන්නා ලෙසද කමිටුව උපදෙස් ලබා දුන්නේය.

    දැනට ලංකාවේ අතිවිශාල වශයෙන්  ව්‍යාජ රියදුරු බලපත්‍ර ඇති බව මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති   දේශබන්දු තෙන්නකෝන් මහතා  පෙන්වා දෙන ලදී. සැබෑ රියදුරු බලපත්‍රවලට 100% සමාන අයුරින් සකසන මෙම ව්‍යාජ රියදුරු බලපත්‍ර හදුනා ගැනීමට කිසිදු ක්‍රමවේදයක් හෝ මෙවලමක් මේවන තෙක් නොමැතිවීම බරපතල ගැටලුවක් බවද ඒ මහතා පෙන්වා දෙන ලදී. විශාල වියදමක් දරා සංගෘහිත පරිපථයක් (චිප් එකක්) අන්තර්ගත කොට නව රියදුරු බලපත්‍ර‍ නිකුත් කළද  ඉන් මේවන තෙක් කිසිදු ප්‍රයෝජනයක් නොලැබීම කණගාටුවට කරුණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    එසේම කොළඹ අධිකරණවල පමණක් රියැදුරන් නැවත ලබා නොගත් රියදුරු බලපත්‍ර 20,000කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත් එයට හේතුව රියැදුරන් දඩමුදල් ගෙවා රියදුරු බලපත්‍රය ලබා ගැනීම වෙනුවට ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස් කර භාවිතා කිරීම බව තෙන්නකෝන් මහතා පැවසීය.එබැවින් මෙවැනි ගැටලු නැවැත්වීම සදහා ශ්‍රී ලංකා පොලිසිය ,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ අධිකරණය අතර  පරිගණක මාර්ගගත (ඔන්ලයින්) සම්බන්ධතාවක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.

    තවද මෙම සබදතාව ඇති කොට රියදුරු අකුසලතා ක්‍රමය සහ දඩ මුදල් පරිගණක මාර්ගගත (ඔන්ලයින්)  ක්‍රමයට  ගෙවීමට හැකියාව ලැබෙන ක්‍රියාවලිය ස්ථාපිත කිරීම මේවන විට වසර ගණනක් පමාවීම පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට මේවන විට මේ සදහා ගෙන ඇති පියවරවල ප්‍රගතිය සහ ස්ථාපිත කිරීමට ගතවන කාලය පිළිබද වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව උපදෙස් ලබාදෙන ලදී. 

    එසේම රියදුරු පාසැල් නියාමනය පිළිබද කාරක සභාවේ අවධානය යොමුවිය.දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රියදුරු පාසැල් 568 ක් පවතින බව මෙහිදී අනාවරණය වු අතර එම රියදුරු පාසැල්වල ප්‍රමිතිය මෙන්ම පුහුණුව පිළිබද ගුණාත්මක බව ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව කමිටුව අවධාරණය කළේය.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන  දයාසිරි ජයසේකර,ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක,වීරසුමන වීරසිංහ,අශෝක් අබේසිංහ,වෛද්‍ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජි රත්නසේකර කොළඹ පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය මෙන්ම  ප්‍රවාහන අමාත්‍යාංශය,‍මහාමාර්ග අමාත්‍යාංශය ,සෞඛ්‍ය අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ,ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක නිළධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • අපරාධ නීතිය – සිවිල් නීතිය සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට සූදානමක්

    අපරාධ නීතිය – සිවිල් නීතිය සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට සූදානමක්

    ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ නීතිය, සිවිල් නීතිය, සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට  අදාළ පූර්ණ කාලීන අනු කමිටු 3 ක් මේවන විට  ක්‍රියාත්මක වන බවත් තවත් විශේෂඥ කමිටුවක් මගින් නව ව්‍යවස්ථාව කෙටුම්පත්කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාවේදී පැවසීය.

    මේඅනුව සමස්ත අධිකරණ පද්ධතියේම විශාල ප්‍රතිසංස්කරණයක් සිදු වෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කමිටුව අමතමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ හිටපු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා  කියා සිටියේ පුද්ගලයෙකු අපරාධකරුවකු  ලෙස නම් කිරීම වෙනුවට වගකිවයුතු පුරවැසියෙකු ලෙස සමාජගත කිරීම සදහා අපරාධ නීතිය සහ යුක්තිය පිළිබඳ සංකල්පය සමග  බැඳී ඇති  ප්‍රජා මූලික විශෝධනය වැදගත්වන බවයි.

    මෙම පරමාර්ථය උපදේශක කමිටුවට ස්ථර දෙකක් හරහා කළ හැකි බව සහකාර මහලේකම්වරයා පෙන්වා දුන්නේය. පළමුවැන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹවීම සඳහා දේශපාලන නායකත්වය ඇතුළත් දේශපාලන ස්ථරය බවත්  දෙවන ස්ථරයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් සහ වෘත්තිකයන් ඇතුළත් වන අතර අදාළ ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙහිදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වඩාත් අර්ථාන්විත ප්‍රතිළුලයක් උදෙසා තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමට කැමති සියලු දෙනා සම්බන්ධ කර ගැනීම අමාත්‍යාංශයේ අරමුණ බවයි.

    බන්ධනාගාරවල රැදවුවන් සදහා ධාරිතාව 11,000 ක් පමණ වුවද   කොවිඩ් වසංගතය ඇතිවීමට පෙර සහ සාමාන්‍ය තත්වයන් යටතේ දළ වශයෙන් 30,000 – 33,000 අතර සංඛ්‍යාවක් දක්වා බන්ධනාගාරවල සිටි බවත් බහුතරය රිමාන්ඩ් සිරකරුවන් පමණක් වන අතර, වැරදිකරුවන් වන්නේ ආසන්න වශයෙන් 8000 ක් පමණක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

    එසේම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින 90% ක් හෝ ඊට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධකරුවන් නොවන බවත්  ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    රජයේ රස පරීක්ෂක  දෙපාර්තමේන්තුවේ 2018-2019 සංඛ්‍යාලේඛන අනුව මත්ද්‍රව්‍ය  සන්තකයේ  තබා ගැනීම සම්බන්ධව ඇත්තේ නඩු 114 ක් පමණක් බව මෙහිදී අනාවරණය විය. එසේම අත්අඩංගුවට ගත් අයගෙන් 99% ක් එනම්  ආසන්න වශයෙන් 3300 ක රැදවූවන්   සතුව  තිබී ඇත්තේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2-5 අතර ප්‍රමාණයක්  පමණක් බවත් මෙහිදී හෙළිවිය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ ඇමතිවරයා ඉහත සඳහන් වූ නඩු ප්‍රමාණය නිසා මත්ද්‍රව්‍ය වලට අදාළ මහා පරිමාණ අපරාධ නඩු දික්ගැස්සෙමින් තිබෙන බව පැහැදිලි වන්නේ යැයි පැවසීය. එවැනි කුඩා චෝදනා මත රිමාන්ඩ් භාරයට පත්ව සිටින පුද්ගලයන් වගකිවයුතු පුරවැසියන් ලෙස ප්‍රජා විශෝධනය යටතේ සමාජ ගත කිරීම, එම පුද්ගලයන් දරුණු ගනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සිර ගෙවල් වලදී සම්බන්ධ වීමට ඉඩ තැබීමට වඩා වැදගත් වන බවද ඇමතිවරයා පැවසීය.

    වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට ගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අක්කර 250 ක් ලබා දී ඇති බව පැවසූ බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ ඇති භූමි ප්‍රමාණය වන අක්කර 38 මෙන් දහ ගුණයකින් විශාල භූමියක් බවද සඳහන් කළේය.

    මෙහිදී කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා රස පරීක්ෂක වාර්තාව නිකුත් වීම සැළකිය යුතු අන්දමකින් ප්‍රමාද වන බැවින් නඩු කටයුතු වල ප්‍රමාදයටද එය බලපා ඇති බවත් පෙන්වා දුන්නේය. එය පිළිගත් අධිකරණ අමාත්‍යවරයා මෙම තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගෙන තිබෙන බව පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා අදහස් දක්වමින් මෙරට ශිෂ්‍ය පරම්පරාවට ද නීතිය පිළිබඳව කුඩා වයසේ සිටම අවබෝධයක් ලබා ගැනීම‍ සඳහා නීතියට සම්බන්ධ විෂයයන් පාසල් විෂය ධාරාවට එක් කිරීමට පියවර ගන්නා ලෙස යෝජනා කළේය.

    අධ්‍යපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  මෙන්ම අධිකරණ ඇමතිවරයාද මෙම යෝජනාව පිළිබඳව අවධානය යොමු කර නීතිය පිළිබඳ කරුණු පාසල් විෂය මාලාවලට එක් කිරීමට පියවර ගන්නා බව සඳහන් කළහ.

    නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බව අනිවාර්ය කර තිබීම පිළිබඳව කරුණු දැක්වූ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රිවරයා ජපානය වැනි රටවල් නීතිය පිළිබඳ අධ්‍යාපනය එම රටවල මව් භාෂාවෙන්ද සිදු කරන බව උදාහරණ ලෙස පෙන්වා දුන්නේය. කෙසේ නමුත් මේ සම්බන්ධව තීරණ ගත යුත්තේ නීති අධ්‍යාපනය පිළිබඳව කවුන්සිලය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම රැස්වීමට නීතිඥ සාගර කාරියවසම්, උදයන කිරිඳි‍ගොඩ, මධුර විතානගේ, ජී.ජී. පොන්ම්බලම්, චාර්ල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

  • ‘ලීසිං සමාගම්වලට තරු විසිවෙන කතාවක්’ රාජ්‍ය ඇමැති කබ්රාල් කියයි

    ‘ලීසිං සමාගම්වලට තරු විසිවෙන කතාවක්’ රාජ්‍ය ඇමැති කබ්රාල් කියයි

    ණය වාරික සහ රථ වාහන කල්බදු ගෙවීමේදී දඩ මුදල්, ප්‍රමාද ගාස්තු සහ දඩ පොලී අය කරගැනීම නතර කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තම පුවත්පත සමග පැවසූ බව ලංකාදීප පුවත්පත ඊයේ (10) වාර්තා කළේය.

    එම පුවතේ වැඩි දුරටත් මෙසේ සදහන් විය.

    ”ණය වාරික, පොලී සහ රථ වාහන කල්බදු ගෙවීම් ප්‍රමාද වූ විට මූල්‍ය ආයතන සහ බැංකු පොලී අය කිරීම්, දඩ පොලී හෝ ප්‍රමාද ගාස්තු අය කරන බවත් එය නතර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

    ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පසු ඇති වූ තත්ත්වය හේතුවෙන් මෙවැනි අය කිරීම් සාධාරණ නොවන බවත් ජනතාවටද දඩ මුදල්, ප්‍රමාද සහ දඩ පොලී ගෙවීම පහසු නොවන බවත් ඔහු කීය.

    ඊට අමතරව මූල්‍ය ආයතන සහ බැංකු ගනුදෙනුකරුවන් දැනුවත් නොකර විවිධ අය ගාස්තු අය කරන බවත් ඒවාද නතර කිරීම සඳහා පියවර ගන්නා බවත් ඔහු කීවේය.

    මේ අතර ණය වාරික සහ ලීසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් දී ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් පැවැසීය.

  • රසායනාගාරවල අතිරික්ත PCR පරීක්ෂණ 10,000ක් පමණ හිර වෙලා

    රසායනාගාරවල අතිරික්ත PCR පරීක්ෂණ 10,000ක් පමණ හිර වෙලා

    මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින රසායනාගාරවල සාමාන්‍ය ධාරිතාවය දිනකට පරීක්ෂණ 25000 ක පමණ ප්‍රමාණයක් බව තහවුරු කළ හැකියි. මේ වන විට, PCR නිදර්ශක ගොඩගසාගෙන ඇති රසායනාගාර ඇතුළු රජයේ බොහෝ රසායනාගාර වල සිදුකල හැකි ධාරිතාවෙන් අඩක ප්‍රමාණයක් වත් තවම අපි සිදුකරන්නේ නැහැ. එය,  රසායනාගාර කළමණාකරන දුර්වලතාවයක්.

    කොවිඩ් වසංගතයේ තීරණාත්මක අවධියකට රට පත්ව තිබෙනවා. පසුගිය කාලයේ දෛනිකව 500-600 අතර වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 950 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අතර මරණ සංඛ්‍යායේ වැඩි වීමක් සමග රට පුරා වසංගතයේ ව්‍යාප්තියක් ද සිදුව තිබෙනවා.

    මේ අතර පී.සී.ආර් රසායනාගාරවල අතිරික්ත PCR පරීක්ෂණ දහදාහක් පමණ හිර වී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළා. මේ එම මාධ්‍ය සාකච්ඡාවේදී රවී කුමුදේශ් මහතා දැක්වූ අදහස්.

    පසුගිය කාලය පුරාම අවශ්‍ය ප්‍රතික්‍රීයක ලබාදෙන්නට කියලා ඉල්ලීම් කලත්, අමාත්‍යාංශය ඒ පිළිබඳව ඇහුම්කන් දීමක් කළේ නැහැ. රසායනාගාරයක් පවත්වාගෙන යාම සදහා  අවශ්‍ය සැපයුම් පද්ධතිය නිසි පරිදි යථාවත් විය යුතුයි.  රසායනාගාර වල අවශ්‍යතා සාකච්ඡා කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අදාළ වෘත්තිකයන්ට ඉඩක් ලබාදීලා නෑ.  මේ වනවිට රසායනාගාර කළමනාකරණය වෙමින් තියෙන්නේ, ඒ පිළිබඳව නිවැරදි දැනුමක් ඇති අයගේ  සහභාගීත්වයෙන්  නෙවෙයි. ඒ හින්දම මේ මට්ටමෙන් හෝ රසායනාගාර පවත්වාගෙන යන්නේ විශාල වෑයමක් යොදලා, තමන්ගේ පෞද්ගලික වැඩක් කරගන්නවා වගේ. 

    වෛද්‍ය සැපයුම් ගැලපෙන්නේ නැහැ

    වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලදී ගන්න සමහර ප්‍රතික්‍රියක රසායනාගාරයේ දී නිවැරදිව වැඩ කරන්නේ නැහැ. රසායනාගාර වලට ලබා දෙන PCR ප්‍රතික්‍රීයක ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබෙනවා ද? ඖෂධ නියාමන අධිකාරිය වලංගු කිරිමේ පරීක්ෂණ කරල තියෙනවද?  සුදුසු ප්‍රතික්‍රියක බවට ඇගයුම් කමිටු වල සහතික ලබාදීලා තියෙන්නේ මොන විශේෂඥ වෛද්‍යවරයා ද? ඒවා ඉල්ලලා තියෙන්නේ කොයි රසායනාගාරයෙන් ද? වැනි කරුණු පිළිබඳව කිසිදු පැහැදිලි අවබෝධය කාටවත් නැහැ.

    සමහර අය තමන්ගේ සන්නාමය මිලදී ගැනීම සඳහා විශාල ව්‍යාපාරික අරගලයක් කරනවා. තවත් සමහරු වැරදි සහගත මිලදී ගැනීම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරමින් තිබෙන පරීක්ෂණයට බලපෑම් කිරීම සඳහා, PCR රසායනාගාර අඩපණ කරන්නට උත්සාහ කරනවා. තවත් අය, තමන්ට හිතවත් වලට නිදර්ශක ටික යැවීම සඳහා ප්‍රතිපත්ති වෙනස් කිරීමට කටයුතු කරමින් සිටිනවා. රටේ මහජනතාව වෙනුවෙන්  අමාරුවෙනි ස්ථාපිත කරවාගෙන තියෙන PCR රසායනාගාර වලට අවශ්‍ය සැපයුම් ලබාදෙන්න, ඒවායේ වැඩ කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් කවුරුත් හොයල බලන්නෙ නෑ. 

    ️බිලියන ගණන් පිල්ලි ගහමින්, අතිකාල කපලා ඉතුරු කරන්න හදනවා

    සමහර අධ්‍යක්ෂවරු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මිලියන ගණන් නාස්ති කරන ගමන්, බිලියන ගණන් වංචා කරන්නට ඉඩ හරින ගමන්, සල්ලි ඉතුරු කරන්න යන්නේ රසායනාගාරවල දිවා රෑ වැඩ කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ අතිකාල කප්පාදු කරලා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ PCR රසායනාගාර 18ක් තියනවා. ඒ එකක්වත් පැය විසිහතර දුවවන්න අවශ්‍යතාවයක් ඔවුනට නැහැ. හදිසියට විවේක ගන්න, කෑම වේලක් සපයන්න, නවාතැන් පහසුකමක් හදලා දෙන්න තබා, අවුරුද්දකට වැඩි කාලයක් එක දිගට, දිවා රෑ නොබලා මේ රාජකාරියේ යෙදෙන කාර්‍යමණ්ඩලයෙ ධිරිමත් කිරීමටවත් ඔවුනට නොහැකි වෙලා තියනවා.

    ️වසර පහලොවක් පැරණි තාක්ෂණය

    අපි තාම මේ රසායනාගාරවල  භාවිත කරන්නේ වසර 15 කට වඩා පැරණි තාක්ෂණය. එක PCR පරීක්ෂණයක් කරන්න පැය 8 කට වඩා කාලයක් ගත වෙනවා.  රසායනාගාරයේ වේගය වැඩි කිරීම එහි ඉන්න කාර්යමණ්ඩලයට හිතෙන ආකාරයට කරන්නට බැහැ. ඒ සඳහා අවශ්‍ය දියුණු තාක්ෂණය ගැන රසායනාගාර සේවාවේ ඉහල පුටු රත් කරන අය දන්නේ නැහැ. එහෙම නැත්නම් පවතින ක්‍රමය තුළ ඔවුන් විසින් ලබාගනු ලබන වාසි අත හරින්නට කැමති නැහැ. පැය එකහමාරක වගේ කාලයකින් පරීක්ෂණ වාර්ථා  නිකුත් කරන්නට පුළුවන් තාක්ෂණය පිළිබදව මාස ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා දක්වා දැනුවත් කරලා තියෙනවා. ඉල්ලීම් කරලා තියනවා. ඒ මොනවාද කියලාවත් හොයලා බැළුවේ නෑ. අළුත්ම තාක්ෂණයට අදාල ලබා ගන්න PCR  යන්ත්‍රයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රසායනාගාරයට ආධාර වශයෙන් ලබාදීලා මාස තුනක් විතර වෙනවා. අඩු ගානේ ඒක රසායනාගාරය ඇතුලේ හයි කරලා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට තවම බැරිවෙලා තියෙනවා.

    ️පරීක්ෂණ කරනවාට වඩා විශාල කාලයක්, වාර්ථාව අතර මැදතැන් වල ප්‍රමාද වෙනවා

    PCR නිදර්ශක රසායනාගාරයට එන්නෙ හවස වරුවේ. රසායනාගාර පැය විසිහතර පුරා පවත්වා ගෙන යන්න ආයතන ප්‍රධානීන්ට බැරිවෙලා තියන නිසා, පරික්ෂණ  කරන්න පටන් ගන්නෙ පසුවදා. එදිනම වාර්තාව නිකුත් කරනවා. සමහර වෛරසවේදීන්  වාර්තා නිකුත් නොකර තමන් ලග ගොඩ ගසා ගන්නවා.  එම වාර්තාව නැවත යන්නේ වසංගත ප්‍රාදේශීය වසංගත  ප්‍රධානියාට. මෙම සාම්ප්‍රදායික ක්‍රම වේදය අනුව රසායනාගාරය තුළ PCR පරීක්ෂණය සිදු කරන්නට යන කාලයට වඩා, තුන් හතර ගුණයක කාලයක්, වාර්තාව අදාල පුද්ගලයා වෙත යොමුකරන ගන්න ගත වෙනවා. 

    ජංගම රසායනාගාර කිහිපයක් හදන්න තාම බැරිවෙලා තියනවා

    ක්ෂේත්‍රයේ එකතුවන විශාල නිදර්ෂක ප්‍රමාණයක් රසායනාගාර වලට පැමිනීම පහසුවෙන් වැලැක්වීමට ස්ථානීය PCR යන්ත්‍ර සහිත, ජංගම වෛද්‍ය රසායනාගාරයකට පුළුවං. ජංගම වෛද්‍ය  රසායනාගාර දහයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය බස්රථ දහයක් ඉල්ලලා අවුරුද්දකට වැඩියි. ජනාධිපතිතුමා තමන්ට හිතවත් සංගම් වලට පවා බස්රථ බෙදනවා අපි දැක්කා. සෞඛ්‍ය අමාත්‍යාංශයට ජංගම බස්රථ දහයක් අරගෙන, ජංගම රසායනාගාර දහයක් හදාගන්න අපිට තවම බැරිවෙලා තියෙනවා. ජංගම රසායනාගාරයක් තුළ ප්‍රතිදේහ පරීක්ෂණ සහ ස්ථානීය PCR පරීක්ෂණ එකවර සිදු කරන්නේ නම් ක්ෂේත්‍රයේ සියලු PCR පරීක්ෂණ රසායනාගාර වලට බරක් නොවී ක්ෂේත්‍රය තුළ ම අවසන් කිරීමට හැකියාව තිබෙනවා. 

    රසායනාගාර කළමණාකරණය අයාලේ යන්නට ඉඩ හැරලා, හොද ප්‍රතිඵල ලබා ගන්නට බැහැ

    රසායනාගාර සේවාවේ අවශ්‍යතා ගැන, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ හෝ ජනාධිපති කාර්ය සාධනය බළකාය තුළ හෝ  නිරන්තර සාකච්ඡාවකට ලක් වෙන්නේ නැහැ. සාකච්චා සිදු වුවද, PCR  පරීක්ෂණ සිදුකරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්, ඊට සහභාගී කරවා ගන්න ස්වභාවයක් නැහැ. අදාළ වෘත්තීයවේදීන් සමග හොද ගණුදෙණුවක් ඇති කර ගැනීම, වෛද්‍ය පරිපාලනයට ගැටලුවක් වෙලා තිබෙන බව තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා රසායනාගාරයේ තියන ඇත්ත ප්‍රශ්නය සෞඛ්‍යය ලේකම්වරයා හෝ ඇමතිවරු හෝ ජනාධිපතිවරයා හරියටම දන්නේ නැහැ. ඒ වෙනුවට විවිධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සන්නාම අරගල සඳහාත් නොහැකියාවන් වසා ගැනීම සඳහාත්, වෘත්තීය කුහක බවේ විලි වසා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ විශාල පරිපාළණ ඉඩක් ලබාදී තිබෙනවා. මේ පිළිබඳව ජනාධිපති වරයා පවා දැනුවත් කර ඇති නමුත්,  මැදිහත් වීමේ හැකියාවක් ඔහුට පවා නැති බව තමයි පෙනෙන්නට තියෙන්නේ.

    ️රසායනාගාර ධාරිතාවේ නොහැකියාවට වඩා, පවතින්නේ පරිපාළණ නොහැකියාවක්

    මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින රසායනාගාරවල සාමාන්‍ය ධාරිතාවය දිනකට පරීක්ෂණ 25000 ක පමණ ප්‍රමාණයක් බව තහවුරු කළ හැකියි. මේ වන විට, PCR නිදර්ශක ගොඩගසාගෙන ඇති රසායනාගාර ඇතුළු රජයේ බොහෝ රසායනාගාර වල සිදුකල හැකි ධාරිතාවෙන් අඩක ප්‍රමාණයක් වත් තවම අපි සිදුකරන්නේ නැහැ. එය,  රසායනාගාර කළමණාකරන දුර්වලතාවයක්.

    රවී කුමුදේශ් –  සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 

  • Covid-19 මරණ 05ක් – නව ආසාදිතයින් 955ක්

    Covid-19 මරණ 05ක් – නව ආසාදිතයින් 955ක්

    මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද (10) දිනයේදී නව ආසාදිතයින් 955 දෙනකු හඳුනාගත් බවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (10 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (10) දින ප.ව 21.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 375 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පිරිස අතර පිරිමි තිදෙනෙක් සහ කාන්තාවෝ දෙදෙනෙක් වෙති.

  • යළි අවුලක් – බස්නාහිර පාසල් ආරම්භය මාර්තු 15ට කල් දමයි

    යළි අවුලක් – බස්නාහිර පාසල් ආරම්භය මාර්තු 15ට කල් දමයි

    පළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු  15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (10) වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “අපි මේ සම්බන්ධ ව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලින් නිර්දේශ ලබා ගත්තා. පාසලෙන් පාසලට තත්ත්වය වෙනස් වන නිසා පොදුවේ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් තීරණයක් ගැනීම සුදුසු නැති බව අපි තීරණය කළා. ඒ අනුව පාසල්වල කමිටු මඟින් විදුහල්පතිවරු ප්‍රමුඛ කමිටුවල අදහස් ලබා ගත්තා. ඒ කමිටුවල තීරණය අනුව පෙබරවාරි 15වැනි දින බස්නාහිර පළාතේ පාසල්වල බහුතරය විවෘත කිරීමට හැකි වේවි යැයි අපි අපේක්ෂා කළා.

    කෙසේනමුත් අපි ස්ථාවරයක සිටියා, එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නට හැකි වන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශවලට යටත් ව බව. අද උදෑසන අපිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නිර්දේශ ලැබුණා. ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මාර් තු 01වෙනි දින සිට 11වන දින දක්වා පැවැත්වෙන නිසා ඒ විභාගය අවසන් වූ වහා ම එනම් මාර්තු 15වන දින බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේ ම සියලු පාසල් ආරම්භ කිරීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අපට දැනුම් දුන්නා.

    අපි අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් සියලු දෙනා එකතු ව පාසල් ආරම්භ කිරීමට සුදුසු වටපිටාවක් සකස් කළා. දිගින් දිගට ම රැස් වෙලා එම තීන්දු තීරණ ගැනීමෙන් අනතුරු ව පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් සකසන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා” යැයි ද පැවසීය.

    බස්නාහිර පළාතේ කලාප 11ක් සහ ‍කොට්ඨාස 38ක් පවතින අතර, මේ සියල්ලේ ම සාකච්ඡා දිගින් දිගට ම පසුගිය දිනවල පවත්වන ලද අතර, විදුහල්පතිවරුන්, පාසල් කමිටු සියල්ල එක්ව මේ සඳහා වෙහෙසුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මණින් පාසල් ආරම්භ කිරීමට හැකි වටපිටාවක් සහ පදනමක් මේ වනවිට සකස්ව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය වන්නේ  බස්නාහිර පළාතේ සියලු ම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 15 වැනි දා සිට ආරම්භ කිරීම සුදුසු වන බවයි.  2021 වර්ෂයේ 1වන ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ට ද මාර්තු 15 වෙනිදා සිට පාසල් ආරම්භ වේ.

    මෙම තීරණය බස්නාහිර පළාතේ ජාත්‍යන්තර පාසල්වලටත්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වලටත් වලංගු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම පාසල්වලට මේ තීරණය අදාළ නොවේ.

    මේ වනවිට බස්නාහිර පළාතේ අධ්‍යයන කටයුතු ආරම්භකර තිබෙන 11 වන ශ්‍රේණියේ පන්ති සුපුරුදු ලෙස ක්‍රියාත්මක වන අතර, සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට සති දෙකකට පෙර එම ශ්‍රේණිය සඳහා මේ වනවිට සිදු කෙරෙන අධ්‍යයන කටයුතු නතර කෙරේ.

    දිවයිනේ මේ වනවිට ආරම්භ කර ඇති පාසල්වල සිසුන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය 72% ක් සහ සහ ගුරුවරුන්ගේ පැමිණීම 88% ක් දක්වා වර්ධනය වී පවතින බව ද,  පාසල් සෞඛ්‍යාරක්ෂිතව පවත්වන බවට දෙමව්පියන් සහ සිසුන් තුළ විශ්වාසයක් පවතින බව එයින් තහවුරු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ද සහභාගී විය.

  • නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්

    නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්

    නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය           කලින් හෙබ වූ පදවිය

    01-  එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය  –           දිසා විනිසුරු

    02- ආර්.එල්. ගොඩවෙල මහතා                            –           දිසා විනිසුරු

    03- වී. රාමකමලන් මහතා                                     –          දිසා විනිසුරු

    04- යු.ආර්.වී.බී. රණතුංග මහතා                             –          දිසා විනිසුරු

    05- එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය                 –          අතිරේක දිසා විනිසුරු

    06- ඩී.ජී.එන්.ආර්. ප්‍රේමරත්න මහතා                     –           දිසා විනිසුරු

    07- ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය                          –           අතිරේක දිසා විනිසුරු

    08- එම්.එම්.එම්. මිහාල් මහතා                              –           ප්‍රධාන මහෙස්ත්‍රාත්

    09- මහී විජේවීර මහතා                                        –           දිසා විනිසුරු

    10- අයි.පී.ඩී. ලියනගේ මහතා                              –           අතිරේක දිසා විනිසුරු

    11- ජේ. ට්‍රොට්ස්කි මහතා                                    –           දිසා විනිසුරු

    12- එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය                   –           රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

  • Covid-19 ආසාදිතයින් 975ක් – මරණත් 05ක්

    Covid-19 ආසාදිතයින් 975ක් – මරණත් 05ක්

    ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම කොඩිව්-19 ආසාදිතයින් පිරිස අද (09) වාර්තා වී තිබෙනවා. අද ප.ව 21.40ට රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ දිවුලපිටිය, පෑලිගයගොඩ හා බන්ධනාගාර කොවිඩ පොකුරුවලින් ආසාදිතයින් 975 දෙනකු වාර්තා වූ බවයි.

    මෙ සමග ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව (දෙවැනි රැල්ල) 67,200ක් බවට පත්ව තිබෙනවා.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (09) දින නිකුත් කළ තවත් නිවේදනයක සදහන් වුණේ කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (9 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බවයි.
     
    ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 370 ක් දක්වා ඉහළ ගියා.

    This image has an empty alt attribute; its file name is image_bc862a6815.jpg

    Sharing is caring!

  • සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් යළි ඇරඹීම ගැන තීන්දුව ගනී

    සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් යළි ඇරඹීම ගැන තීන්දුව ගනී

    දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා (15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන  අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

    බස්නාහිර සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් මේ වන විටත්  විවෘත කර ඇති අතර, බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර  දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්  දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා  පියවර ගන්නා ලදී.

     මේ වන විට කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්  එම නිර්දේශ ලැබී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන්  වෙත යොමුකර ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා බස්නාහිර පළාතේ බොහෝ  පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

    කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසල් සංඛ්‍යාව 492 ක් වන අතර, ඉන් 412ක් පෙබරවාරි 15 සිට ආරම්භ කිරීමට කිසිදු ගැටළුවක් නොවන බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු විසින් නිර්දේශ කොට ඇත . ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පාසල් 76 න් 73 ක්, ශ්‍රී ජයවර්ධනපුර පාසල් 31 න් 29 ක්, කඩුවෙල පාසල් 49 න් 17ක්,  පාදුක්ක පාසල් 26 න් 11 ක්, මහරගම පාසල් 32 න් 7ක්, රත්මලාන පාසල් 27 න් 24 ක්ද , කොලොන්නාව, හෝමාගම කැස්බෑව, දෙහිවල ,මොරටුව, සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙහි සියලුම පාසල් ද ඒ අනුව පෙබරවාරි 15 වනදා වන විට විවෘත කිරීමට කමිටු නිර්දේශ ලැබී ඇත . 

    ඒ අනුව , කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 80ක් පමණක් පෙබරවාරි 15 වනදා විවෘත කිරීමට නොහැකි තත්ත්වයක පවතින බව  දිස්ත්‍රික් කමිටු සඳහන් කරයි.

    එළඹෙන මාර්තු පලමුවන දා සිට එකොළොස් වන දා තෙක්   අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ඉන් අනතුරුව, මාර්තු 15 වැනි සඳුදා සිට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව දිවයිනේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බව  අධ්‍යාපන  අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

  • ඇමති බන්දුලගේ ලාබ බඩු 27: සහනය ජනතාවට ද ? ව්‍යාපාරික මාෆියාවට ද ?

    ඇමති බන්දුලගේ ලාබ බඩු 27: සහනය ජනතාවට ද ? ව්‍යාපාරික මාෆියාවට ද ?

    ජනතාවට සහන මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩු ලබා දීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ව්‍යාපාරිකයින් පිරිසක් සමග ඇතිකරගෙන තිබෙන එකඟතාවයට අනුව සිදුව ඇත්තේ රජයේ පාලන මිලටත් වඩා වැඩියෙන් එම භාණ්ඩ අලෙවි කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදීමක් බවත් එය නීතිවිරෝධී බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අද (09) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙයි.

    අමාත්‍යවරයා සහ ව්‍යාපාරිකයින් අතර ඇතිකර ගත් එකඟතාවක් අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් පසුගිය සඳුදා සිට සතොස, සමූපකාරය හරහා පමණක් අලෙවි කිරීමට පියවර ගෙන තිබුණි.

    එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග අංක 71 අනුව සීනි අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 85කි. අමාත්‍යවරයා හා ව්‍යාපාරිකයින් අතර ඇතිව තිබෙන එකගතාවයට අනුව සීනි අලෙවි කරනු ලබන මිල රුපියල් 99කි. මේ අනුව මෙම මිලට සීනි අලෙවි කිරීම ශ්‍රී ලංකාවේ වලංගු නීතිය උල්ලංඝණය කිරීමකි. සහල් සඳහාද පාලන මිලක් නියම කර ඇත. ඒ අනුව පාලන මිලක් පනවා ඇති භාණ්ඩ අනීතික ලෙස වැඩි මිලට අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින්ට ආරක්ෂාවක් ලබා දීම වෙළද අමත්‍යවරයා විසින් සිදු කිරීම දූෂණයකි.

    මෙම දූෂණයට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කරයි.