Category: සුපිරි News

  • ශිෂ්‍යත්ව විභාගය: පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්

    ශිෂ්‍යත්ව විභාගය: පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්

    හෙට (11) දින පැවැත්වෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

    මෙම විශේෂ නිවේදනය මගින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

    ‘තම දරුවන්ගේ විභාග මධ්‍යස්ථානය නිසි ලෙස හදුනාගෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් අදාළ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දෙමාපියන් කටයුතු කළ යුතුයි.

    දරුවා සමග දෙමාපියන්ට හෝ භාරකරුවෙකුට ගමන් කළ හැකියි. මෙහිදී මා විශේෂයෙන් ඉල්ලා සිටින්නේ විභාගය අවසන් වූ වහාම අදාළ ස්ථානවලින් ඉවත්ව නිවෙස්වලට යාමට පියවර ගන්නා ලෙසයි. තැන තැන රැස්ව කතාකරමින් නොසිටින ලෙස මා ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා‘

  • උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියල්ල සූදානම්

    උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියල්ල සූදානම්

    රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සියලු සෞඛ්‍ය බලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන බලධාරීන් ඇතුළු සියලු සමාජ කණ්ඩායම් ලබාදෙන සහයෝගය ද අධ්‍යාපන ලේකම්වරයා මෙහි දී අගය කළේය.

    අ.පො.ස. උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන ආකාරය සහ සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයෙන ආකාරයත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව විභාගය පැවැත්වීමට කටයුතු යොදන ආකාරයත් පැහැදිලි කිරීම සඳහා (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී මේ අදහස් පළ කෙරිණි.

    මෙම විශේෂ මාධ්‍ය හමුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ බී ජී සෙනෙවිරත්න, විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) හේමන්ත ප්‍රේමතිලක, අතිරේක ලේකම් (පාසල් කටයුතු)  එම්. එල්. ඩී ධර්මසේන, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

      එක් විභාග මධ්‍යස්ථානයක සිසුන් 160ක් වන පරිදි පැවැත්වීමට නියමිත මෙවර විභාග සඳහා කොවිඩ් හේතුවෙන් දැනට නිරෝධායන ඇඳිරිනීතිය බලපවත්නා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළත විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට ද කටයුතු යොදා තිබේ. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවල දී විභාගය සඳහා පෙනී සිටීමට නියමිත ව සිටි සිසුන් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අදාළ පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි විශේෂ විභාග මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බව මෙහි දී විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා  පැවසීය.  

    ඒ අනුව, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා  මෙන්ම උසස් පෙළ විභාගය සඳහා ඒ අයුරින් පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන සම්බන්ධ තොරතුරු මේ සමඟ යොමු කර ඇත.

    සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන විශේෂ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහි දී අදහස් පළ කළ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.බී.ජී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, නිරෝධායන ඇඳිරිනීතිය බලපවත්නා ප්‍රදේශ තුළ සිටින සිසුන්ට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත ගමන්කිරීම සඳහා පහසු වන අයුරින් සිසුන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන්ට පමණක් අවසර ලැබෙන පරිදි විශේෂ දුම්රිය මැදිරි සහිත දුම්රිය දෙකක් කොළඹ සහ පොල්ගහවෙල අතර ධාවනය කිරීමට කටයුතු යොදන බවයි. එමෙන්ම අදාළ පොලිස් බල ප්‍රදේශ තුළ දරුවන් සහ දරුවන්ගේ දෙමව්පියන් ප්‍රවාහනයට පමණක් සීමාකරමින් විශේෂ බස්රථ පහසුකම් සැලසීමට ද කටයුතු යොදා ඇත.

    සියලු විභාග මධ්‍යස්ථාන තුළ මේ වනවිටත් විශබීජහරණ කටයුතු සිදුකර ඇති අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව මුඛ ආවරණ පැළඳ විභාග ශාලා පරිශ්‍රයන් වෙත පැමිණීමට දෙමව්පියන්, සිසුන් සහ සියලු කාර්ය මණ්ඩල දැනුවත් කර ඇත.

    රට තුළ දැනට පවත්නා කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්වය  හමුවේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව අනතුරේ නොදමා ඔවුන්ට යහපත් මානසික තත්වයකින් විභාගයට මුහුණදීමට හැකි උපරිම ඉඩප්‍රස්ථා සැලසීම සමාජ වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මෙහි දී අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.​​​​

  • සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

    සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

    Covid -19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස විදේශ මත්පැන් තැබෑරුම්, කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, බියර් සහ වයින් ස්ථානීය පාරිභෝජනය සඳහා අලෙවිකෙරෙන ස්ථාන ඔක්තෝබර් 31 වැනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා නිවේදනය කරයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවියෙහි දැක්වෙන “මහජන ක්‍රියාකාරකම් සඳහා වු සංශෝධිත කාල රාමුව – 2020 ඔක්තොම්බර් 04 සිට 2020 ඔක්තොම්බර් 31”  මැයෙන් යුතු වු නිවේදනය හා සමගාමීව මෙම තීරණය ගෙන ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා සිය නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරන්නේ.

  • අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින්න

    අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින්න

    අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

    රිජ්වේ ආර්යා ළමා රෝහලට  ප්‍රතිකාර සදහා පැමිණි දරුවෙකුට සහ තවත් නේවාසික දරුවෙකුගේ පියෙකුට වෛරසය වැළදී ඇති බව එම රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කරයි. 

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණි දරුවෙකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබේ. එසේම තම දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් නුවර ප්‍රදේශයේ සිට පැමිණ කොළොන්නාව ප්‍රදේශයේ නැවතී සිටින පියෙකුට ද වයිරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසයි.

    කෙසේ වෙතත් එම රෝගී දරුවාට සහ මවට රෝගය වැළදී නැති බව තහවුරු වී ඇත. රෝගය වැළදී ඇති දරුවා අයිඩීඑච් රෝහලට යොමු කර තිබේ. මෙහිදී රෝහල් කාර්යමණ්ඩලය නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ බැවින් ඔවුන්ට අවදානමක් නොමැති වුවද මෙම තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

  • 2020 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ලියන සිසුන්ට ‘වැදගත් නිල නිවේදන’ දෙකක්

    2020 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ලියන සිසුන්ට ‘වැදගත් නිල නිවේදන’ දෙකක්

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව නිවේදනයක් නිතුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

    උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් විභාග මාධ්‍යස්ථානයන් හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ වී විභාග මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ විශබීජහරණ කටයුතු හා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපති (ස්ථානභාර) ලෙස පත් කර ඇති බවයි.

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඔක්තොබර් මස 12 වන දින සිට 2020 නොවැම්බර් මස 06 වන දා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2684ක දී පැවැත්වීමට සියලු කයුතු සූදානම් කර ඇති බවත් ඒ සඳහා අයදුම්කරුවන් 362,824 දෙනෙකු අයදුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පහ ශ්‍රේණිය ශිෂත්වය සහ අ.පො.ස උසස් පෙළ සිසුන්ට විභාග ප්‍රවේශපත්‍රය ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙන බවයි.

  • චීන නියෝජිතයින්ට අගමැතිගෙන් විශේෂ ඉල්ලීමක්

    චීන නියෝජිතයින්ට අගමැතිගෙන් විශේෂ ඉල්ලීමක්

    හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද (09) දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ.

    ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

    කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා  – චීන සහයෝගිතාවය තවත් ශක්තිමත් කිරීම උදෙසා මෙම හමුව පැවැත්විණි.

    හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මහතා ඇතුළු දූත පිරිස, පිළිගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

    “යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ගැන ඉතා සතුටුයි. මම හිතනවා ඔබ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉතා හොඳ සාකච්ඡාවකට එක්වන්නට ඇති කියා. අප සෑම විටම දෙරට අතර සමීප සහයෝගීතාවය ඉදිරියට පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වනවා”  යැයි අග්‍රාමාත්‍යරයා පෙන්වා දුන්නේය.

    අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය,

    ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම සංචාරය තුළින් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට හා චීනයට හැකිවීම ගැන මම සතුටු වෙනවා.කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නොමසුරුව සහයෝගය දැක්වීම පිළිබඳව චීන රජයට මම කෘතඥතාව පළ කරනවා.

    කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා පරිත්‍යාග කරන ලද ආරක්ෂක උපකරණ සහ වෛද්‍ය සැපයුම්වලට චීන රජයට ස්තූතිවන්ත විය යුතුයි.කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව රට තුළ ඇති වූ ආර්ථික බලපෑමෙන් ගොඩ ඒමට බොහෝ දේ කළ යුතුයි.

    අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කටයුතු කිරීමේදී  ආයෝජකයින් අතර විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට චීන රජය අතර පවත්නා අපගේ දිගුකාලීන මිත්‍රත්වය භාවිතා කිරීමට හැකි වනු ඇතැයි මා  බලාපොරොත්තු වෙනවා.

    කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව, රජය ලොව පුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාවය වන්නේ කොළඹ වරාය නගරය බවත් අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන කිරීමට චීන සමාගම් දිරිමත් කිරීමට චීන රජයට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව කී අග්‍රාමාත්‍යතුමා,  එය අපනයන ආදායමක් ඇති කිරීමට මෙන්ම ශ්‍රී ලාංකිකයින්ට, විශේෂයෙන් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

    මේ තත්ත්වය හමුවේ, සංචාරක ක්ෂේත්‍රයට ගෝලීය වශයෙන් දැඩි ලෙස බලපෑම් ඇති වී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමට සහ ලොව පුරා සංචාරකයින් සඳහා ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් සැපයීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවද පැවසීය.

    මෙම ගෝලීය වසංගතය අවසන් කිරීමේ සටන සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතා වර්ධනය කිරීම ඇතුළු වසංගතයෙන් මතු වන පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා සාමූහික විසඳුම් සෙවීමට චීන රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

    මෙහිදී හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික  යැංග් ජියේචී (Yang Jiechi) මහතා ද අදහස් පළ කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරන බව පැවසූ යැංග් ජියේචී (Yang Jiechi) මහතා මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතිනුයේ ඵෙතිහාසික දැඩි මිත්‍රත්වයක් බව පෙන්වා දුන්නේය.

    දෙරට අතර එම මිත්‍රත්වයේ බැඳීම මේ දක්වා යාවත්කාලීන වෙමින් පවතින  බව සඳහන් කළ යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා කොවිඩ් -19 වසංගත තත්ත්වය පරාජය කිරීම වෙනුවෙන් රටවල් දෙකම එකට අත්වැල් බැද කටයුතු කරමින් සිටින බව සිහිපත් කළේය.

    චීනය කොවිඩ්-19 පරාජය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලෝක සෞඛ්‍ය සංවිධානයට නොමදව ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව කොවිඩ්-19 තත්ත්වය ඉතා විශිෂ්ට අයුරින් පාලනය කර ඇති බවත් යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා පැවසීය.

    දෙරට අතර ආර්ථික සහයෝගීතාවයේදී ලැබූ ජයග්‍රහණ චීනයට මෙන්ම ශ්‍රී ලංකාවටද ඇති බව පෙන්වා දුන් යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා සෑම විටම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන සමාගම්වලට අවශ්‍ය දිරිමත් කිරීම චීන රජය විසින්  ඇති කර තිබෙන බවට විශ්වාසය පළ කළේය.

    යැංග් ජියේචී (Yang Jiechi) මහතා මෙසේ ද පැවසීය.

    කොළඹ වරාය නගරය ඇතුළු අනෙකුත් ව්‍යාපෘතිවලට අදාළව සංවර්ධන ක්‍රියාදාමයට අපගේ දායකත්වය ශ්‍රී ලංකාවට දැනටමත් හිමිව තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය දෙරට අතර සබඳතාවට ඉතා වැදගත්. කොවිඩ්-19 තත්ත්වය පාලනය වු වහාම එම සබඳතා නැවත අඛණ්ඩව පවතිනු ඇතැයි අප විශ්වාස කරනවා. චීනය ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදන ආනයනය කිරීම ඉහළ දමා තිබෙනවා.

    අපගේ මෙම සංචාරය ඔස්සේ දෙරට අතර සබඳතාව තවත් පුළුල් වනු ඇතැයි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා හා චීන ජනාධිපති ෂී ජිං පිං මැතිතුමා එක්ව ද්විපාර්ශවීය සබඳතා තවත් වර්ධනය කිරීම ඔස්සේ ආර්ථික සහයෝගීතාව මත දෙරටේම සංවර්ධන කටයුතු තවත් පුළුල් වනු ඇතැයි මා විශ්වාස කරනවා. යැයි යැංග් ජියේචී මැතිතුමා පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, චීනයේ ශ්‍රී ලංකා තානාපති  ආචාර්ය පාලිත කොහොන මහත්ම මහත්මීන් ඇතුළු චීන දූත පිරිස එක්ව සිටියහ.

  • ශ්‍රීලංකාවේ සංවර්ධනයට දිගටම උදව් : චීනය ජනපතිට සහතික වෙයි

    ශ්‍රීලංකාවේ සංවර්ධනයට දිගටම උදව් : චීනය ජනපතිට සහතික වෙයි

    ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වෙයි.

    චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතී. මේ මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගේ ප්‍රමුඛතාවකි. චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව ද චීන දූත පිරිසේ ප්‍රධානියා කියා සිටී.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි මහතා (Yang Jiechi) ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිස අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මහතා හමු වූහ.

    දිගු කලක සිට චීන විදේශ අමාත්‍යාංශයේ විවිධ තනතුරුවල සේවය කළ යං ජියෙෂි මහතා  2001-2005 කාලයේ අමෙරිකා එක්සත් ජනපදයේ චීන තානාපති ධූරයත්, 2007- 2013 කාලයේ විදේශ අමාත්‍ය ධූරයත් හෙබවීය. චීන පාලන තන්ත්‍රය තුළ ඔහු උප අගමැතිවරයෙකු ( Vice Premier) හා සමානය.

    පසුගිය මහා මැතිවරණයේ දී අත්කරගත් විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව ෂී ජින් පිං මැතිතුමාගේ සුබ පැතුම් රාජපක්ෂ මැතිතුමා වෙත පුද කළ යං මහතා තමා වසර 35කට පෙර භාෂා පරිවර්තකයෙකු ලෙස චීන දූත පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි බව සිහිපත් කළේය. රටවල් 04ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ ඔහු චීන ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි පැවසීය.

    චීන – ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් අවධිය ගැන සතුට පළ කරමින් සංවාදය ආරම්භ කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා චීනය බලයේ සිටින ආණ්ඩු ගැන වෙනසක් නැතිව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගුකාලීන මිතුරෙකැයි හැඳින්වීය. ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනයෙන් ඉමහත් සහයෝගයක් ලැබිණ. යුද්ධය අවසන් වීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා තවත් ඉහළ මට්ටමකට ළඟා විය.  දිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වය එතුමා විසින් විශේෂයෙන් සිහිපත් කරනු ලැබීය.

    “මහ පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනය දායක වුණා. හම්බන්තොට වරාය, වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. හම්බන්තොට වරායක් ඉදිකිරීම චීනයේ නොව ශ්‍රී ලංකාවේ අදහසක්. එය ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව අප තේරුම් ගත්තා.  ඊට අරමුදල් සම්පාදනය කිරීමට චීනය ඉදිරිපත් වුණා. බොහෝ භූ දේශපාලන විශ්ලේෂණවල මේ ව්‍යාපෘති අර්ථ කතනය කරන්නේ ශ්‍රී ලංකාව චීනය ඇටවූ ‘ණය උගුලක’ සිරවීමක් ලෙස. එය එසේ නොවන බවත්, මේ මහා පරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජිවන මට්ටම වර්ධනය කිරිමට ඉවහල් වන බවත්, සනාථ කරන්න මට අවශ්‍යයයි. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිවරයා චීන දූත පිරිසට පැවසීය.

    ජනාධිපති ධූරයට පැමිණීමට පෙර 13 වරක් චීනයේ චාරිකා කළ තමාට චීනය අත්කරගෙන ඇති සංවර්ධනය ප්‍රගතිය සියැසින් දැකගැනීමට හැකි විණැයි ජනාධිපතිතුමා කීය. “ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විශාල සංවර්ධනයක් මා දුටුවා. මගේ ඉලක්කය ඊට සමාන සංවර්ධනයක් අපේ රටේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඇති කරන්න;  ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම දියුණු කරන්න. ඉදිරි සිව් වසර ඇතුළත වරාය නගර ව්‍යාපෘතියේ දෘශ්‍යමාන ප්‍රගතියක් දකින්න මම අපේක්ෂා කරනවා”, ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    චීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කළේය.

    “ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය ශක්තිමත්. ඔවුන් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ සඳහා චීන වෙළෙඳපොළ විවෘත කරන්න. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් චීන ව්‍යාපාරිකයින් දිරිමත් කරන්න. ශ්‍රී  ලංකාවේ සංචාරය සදහා චීන වැසියන් උනන්දු කරවන්න. ශ්‍රී ලංකාවේ තේ වෙන්දීසියට සහභාගිවීමට චීනයට හැකිනම් එය ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක්”, ජනාධිපතිවරයා පැවසීය.

    උසස් පෙළ සමත්වන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විවෘතව ඇති උසස් අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා සීමාසහිත බව පැහැදිළි කළ ජනාධිපතිතුමා ඔවුන් උදෙසා තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම චීනයට ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වා දුන්නේය.

    ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත සංවර්ධන අරමුණු සපුරා ගැනීමට වචනයෙන් නොව ක්‍රියාවෙන්ම උදව් කිරීමට චීනය සුදානම් යැයි යං ජියෙෂි මහතා පැවසීය.

    ශ්‍රි ලංකාව සමග බහුපාර්ශ්වික සහයෝගිතා වර්ධනයට සුදුසු ක්ෂේත්‍ර ගණනාවක් චීනය හඳුනාගෙන ඇත. දැනටමත් ආරම්භ කර ඇති මහා පරිමාණ ව්‍යාපෘති නිම කිරීමට අමරතව කෘෂිකර්මය, අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, ජල සම්පාදනය, සෞඛ්‍යය, වෛද්‍ය සැපයුම්, නූතන තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය, නිල් ආර්ථිකය ( Blue Economy) සහ ශ්‍රමික පුහුණුව ඉන් කිහිපයකි. චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි පටන් ගැනීමටත්, හම්බන්තොට කර්මාන්තපුර යෝජනා ක්‍රමය ඉක්මණින් නිම කිරීමටත් සැලසුම් කර ඇතැයි ද චීන දූත පිරිසේ ප්‍රධානියා පැවසීය.

    කොවිඩ් 19 උවදුර සාර්ථක ලෙස පාලනය කළ පසු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නිල චාරිකාවක් සඳහා චීනයට එනු ඇතැයි ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින බවද යං ජියේෂි මහතා සඳහන් කළේය.

    චීන අන්තර්ජාතික සහයෝගීතා සංවර්ධන අධ්‍යක්ෂ වෑං ෂියාඕ තාවෝ, චීන විදේශ අමාත්‍යාංශයේ සහාය අමාත්‍ය ඩෙං ලි, කොළඹ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානී හූ වෙයි, චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චෙං සොං, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබ සිටින ආචාර්ය පාලිත කොහොන යන මහත්වරු  සාකච්ඡාවට එක්ව සිටියහ.

    (ඡායාරූප : සාගර ලක්මාල් ද මෙල් – ජනාධිපති මාධ්‍ය අංශය)

  • කොරෝනා රැල්ල මැද ‘ඩෙංගු මාරයත්’ වැඩ අරඹලා – දැනටමත් 33ක් බිලි

    කොරෝනා රැල්ල මැද ‘ඩෙංගු මාරයත්’ වැඩ අරඹලා – දැනටමත් 33ක් බිලි

    ශ්‍රී ලංකාවේ දැනට උද්ගතවී ඇති කොරෝනා පැතිර යාමේ උවදුර මැද ඩෙංගු රෝගය හිස එසවීම වැළැක්වීම සදහා ඔක්තෝබර් 14වනදා සිට 21වනදා දක්වා සතිය ජාතික මදුරු මර්දන සතිය ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. 

    පසුගිය වසර 05ක කාලසීමාවට සාපේක්‍ෂව බලන විට මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීම අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. 2018 වසරේ ඩෙංගු රෝගීන් 51,659ක් වාර්තා වී ඇති අතර 2019 වසරේ එම සංඛ්‍යාව 105,049කි. ඩෙංගු රෝගය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 158කි. මෙම වසරේ වාර්තා වී ඇති රෝගීන් ගණන 27,870ක් වන අතර මරණ 33ක් වාර්තා වී ඇත. 

    දිවයිනේ කොළඹ, මහනුවර, ගම්පහ, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, රත්නපුර, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක මෙම වසරේ වැඩි වශයෙන් රෝගීන් වාර්තා වූ දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන තිබේ. ඩෙංගු උවදුර නිවාරණය කිරීම සදහා අවම වශයෙන් සතියකට විනාඩි 30ක් වත් වටාපිටාව පිරිසිදු කිරීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් සෞඛ්‍ය අමාතයංශය ඉල්ලීමක් කර සිටියි.

  • Covid-19: මිනුවන්ගොඩ පොකුර ගැන Brandix ආයතනය කරුණු පැහැදිලි කරයි

    Covid-19: මිනුවන්ගොඩ පොකුර ගැන Brandix ආයතනය කරුණු පැහැදිලි කරයි

    ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශවයක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට පිවිස නැති බව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රැන්ඩික්ස් ආයතනය පවසයි.

    විශේෂ ගුවන් යානා මගින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ගත් සියලු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සියලුදෙනාම රජයේ නිර්දේශ මත දින 28ක නිරෝධායනයට ලක් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

    එම සම්පූර්ණ නිවේදනය මෙසේය:

    2020 ඔක්තෝබර් 7: අපගේ සමාගමට අයත් මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ COVID-19 වෛරසය ආසාදන තත්ත්වයක් නිසා ඇති වී තිබෙන ආපදා තත්ත්වය පාලනය කිරීමේ අභියෝගයට අපි මුහුණදෙමින් සිටිමු. මෙම ක්‍රියාවලිය පුරා, විනිවිදභාවය උපරිම අයුරින් ආරක්ෂා කිරීම සඳහා මහජනතාවට ඇතිවන ඕනෑම ගැටලුවක් පැහැදිලි කිරීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරමු.

    අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ විදෙස් ජාතිකයන් සේවය කළ බවට යම් ගැටලුවක් මතුවී ඇති අතර ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. මෙම කාලය තුළ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිදු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළත් නොවූ බව දන්වා සිටිමු. අපගේ කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් ගෙන්වන ලද රෙදිපිළි භාවිත නොකළ බවත්, අපගේ ඉන්දියාවේ පිහිටි කර්මාන්තශාලාවෙන් කිසිදු ඇනවුමක් භාරනොගත් බවත් පැහැදිලි කරමු.

    විශේෂ ගුවන්යානා යොදවා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට කාර්යමණ්ඩල සාමාජිකයන් ගෙන්වා ගැනීම පිළිබඳ ද මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. ඉන්දියාවේ විශාකාපට්නම්හි පිහිටි අපගේ කාර්මාන්තශාලාවේ සේවය කළ කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අප විසින් විශේෂ ගුවන්යානා තුනක් යොමු කරන ලදි. COVID-19 වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා, PCR පරීක්ෂණ සිදුකිරීම, අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් නිරෝධායනයට ලක්වීම, එතැන් සිට තවත් දින 14 ක් ස්වයං-නිරෝධායනයට ලක්වීම ඇතුළු ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරන ලද සියලු පියවර එම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනුගමනය කළ බව අපි සහතික වන්නෙමු. තවද, මෙම ශ්‍රී ලාංකිකයන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිසිවෙකු මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළු නොවූ බව ද සහතික වන්නෙමු.

    මිනුවන්ගොඩ කර්මාන්තශාලාවෙන් වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාවක හමුවීමෙන් අනතුරුව, අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන්ට රැකියාවට වාර්තා කරන ලෙස අප බලකර සිටි බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් සංසරණය විය. එම වීඩියෝවේ කැපීපෙනෙන කාන්තාව නේවාසිකාගාරයක් පවත්වාගෙන යන තැනැත්තියකවන අතර, ඇගේ නේවාසිකාගාරයේ නවාතැන්ගෙන ඇතැයි එහි සඳහන් කරන සේවිකාවන් සහ අධීක්ෂණ නිලධාරිනිය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව විසින් කොන්ත්‍රාත් පදනම මත ලබාගත් තුන්වන පාර්ශ්වයේ පිරිසිදු කිරීමේ සේවා සම්පාදක ආයතනයකට අනුබද්ධිත සේවිකාවන් තිදෙනෙකි. එම වීඩියෝවේ සඳහන්වන කිසිවෙකු බ්‍රැන්ඩික්ස් සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයන් නොවන බව මෙයින් තහවුරු කරමු.

    අපගේ රට මෙම ආපදා තත්ත්වයෙන් නැගී සිටීම සඳහා සාමූහික ප්‍රයත්නයක නිරතවන මෙවන් මොහොතක, වෛරසයෙන් ප්‍රජාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට දායකත්වය ලබාදෙන අතරම අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් සුබසෙත තහවුරු කිරීමට අපි අඛණ්ඩව කැපවෙමු.

  • Covid-19: මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින්ගේ වෛරස් ප්‍රමාණය වැඩියි

    Covid-19: මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින්ගේ වෛරස් ප්‍රමාණය වැඩියි

    මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හමුවන ආසාදිතයින්ගේ ශරීරයේ අන්තර්ගත වෛරස් ප්‍රමාණය මීට පෙර වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ශරීරයේ අන්තර්ගත වූ වෛරස් ප්‍රමාණයට වඩා වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

    අද (07) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර මහතා මේ බව හෙළි කළේය.

    එහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියා මෙසේ ද ප්‍රකාශ කළේය.

    “මෙරටින් මීට පෙර හමු වූ කොවිඩ් පොකුරුවල PCR පරීක්ෂණ සිදු කිරීමේදී ඔවුන්ගේ තිබුණු වෛරස් ප්‍රමාණය තිබුණේ පහළ මට්ටමක. නමුත් මෙතනදී හමුවන රෝගීන්ගේ වෛරස් ප්‍රමාණය වැඩියි. එතන තියෙන අවධානම තමයි මේ වෛරස් ප්‍රමාණය වැඩි නම් තවත් කෙනෙකුට පැතිරෙන්න තියෙන අවධානමත් වැඩිවීමයි. බස් එකේ ගිහින් තවත් අයට බෝ වුණාද කියන එක අපි දන්නේ නෑ.” 

    මෙහිදී මිනුවන්ගොඩ පොකුරේ මුල් රෝගී කාන්තාව ගැන අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා,

    “සැප්තැම්බර් 20 වනද සිටම ස්වසන රෝග, මෙවැනි සමාන රෝග ලක්ෂණ තිබුණු අය හිටියයි කියල වාර්තා වෙනවා. සමහර විට ඊටත් සතියකට දෙකකට කලින් වෙන්න පුළුවන්, මේ රෝග ව්‍යාප්තිය පටන් අරගෙන තියෙන්නේ. මේ කාන්තාව පළමුවන රෝගියා විදියට අපි හදුනාගත්තට රෝගය හැදුනු පළමු රෝගියා එයා නෙමෙයි. රෝගය හැදිච්ච පිරිසක් ඉන්නවා ඒ ආයතනයේ. මුළු පොකුරේම තොරතුරු හොයාගෙන තමයි මේකේ මුලාශ්‍රය හොයාගන්න පුළුවන් වෙන්නේ. එක පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.

    මෙහිදී ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට ද වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියා පියවර ගත්තේය.

    ‘ මේ අවස්ථාවේදී ජනතාවට විශාල වගකීමක් තිබෙන ආරක්ෂාව සම්බන්ධයෙන්. ඔවුන් සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් නිසි පරිදි අනුගමනය කළ යුතුයි. ඒ වගේම තමයි බලධාරීන් අතින් ද මෙය ගිලිහි ගියහොත් ඉන්දියාව මෙන් මෙය ඉතාමත් බරපතල තත්ත්වයකට මුහුණ දීමට අපට සිදුවන එක නතර කිරීමට හැකියාවක් නැහැ‘

  • FCID ලොක්කන්ට ‘රට සවාරි යන්න’ වැය කළ මුදල ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක්

    FCID ලොක්කන්ට ‘රට සවාරි යන්න’ වැය කළ මුදල ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක්

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වී ඇති අතර, එම සංචාර සඳහා සභභාගී වූ නිලධාරීන් 20 දෙනෙකුට,  එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක පමණ මුදලක් වැය වී ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍ර‍ශ්න ඇසීමේ අවස්ථාව යටතේ අද (07) දින පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා වැඩිදුරටත් පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා,

    ගරු කථානායකතුමනි,

    “වංචා හා දූෂණ විමර්ශනය සඳහා ඒකකයක් ස්ථාපිත කිරීම” යනුවෙන් එවකට සිටි අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා හා “පසුගිය කාලයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම” යනුවෙන් එවකට සිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූ ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයන්ට අදාළව 2015 ජනවාරි මස 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ තීරණයන්ට අනුව “දූෂණ විරෝධී කමිටුව” ස්ථාපිත කොට ඇත.

    එහි සාමාජිකයන් වූයේ,

    01.         හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (සභාපති)

    02.         හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා

    03.         හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා

    04.         හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා

    05.         හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා

    06.         ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නායක,සරත් ෆොන්සේකා මහතා

    07.         දෙමළ ජාතික සන්ධානය (TNA) නායක,  ආර්. සම්බන්ධන් මහතා

    08.         පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා

    09.         ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා

    10.         නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා

    11.         ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා

    12.         මලික් සමරවික්‍රම මහතා

    13.         කමිටු ලේකම්වරයෙක්

    ඉහත 2015 ජනවාරි 21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ස්ථාපිත කරන ලද එම දූෂණ විරෝධී කමිටුවෙහි සාමාජිකයින් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් වැටුපක් හෝ දීමනාවක් අදාළ කාලය තුළ ගෙවා නොමැත. 

    එමෙන්ම, 2015 ජනවාරි 21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිරි කටයුතු කිරීම සඳහා එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2015 පෙබරවාරි 06 දිනැති “දූෂණ වැළැක්වීමේ කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම හා සුදුසු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම” යන මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2015 පෙබරවාරි 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම කමිටු ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමටත්, අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමටත් අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව, නිලධාරීන් 44 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඇති කර ඔවුන් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් වැටුප් හා දීමනා ද ගෙවා ඇත.

    උදාහරණ වශයෙන් එහි අධ්‍යක්ෂක, ආනන්ද විජේපාල මහතාට රුපියල් දොළොස් ලක්ෂ අසු පන්දහස් එකසිය හැට හතයි සත තිස්තුනක් (රු.1,285,167.33) – වසර තුන සඳහා ද,

    උපදේශක, ඒ.පී.ඒ. ගුණසේකර මහතාට රුපියල් අනූ තුන් දහස් හත්සිය පනහක් (රු. 93,750.00) – මාස දෙකක් සඳහා ද,

    උපදේශක, ටී. කේ. වර්ණසූරිය මහතාට රුපියල් හය ලක්ෂ හැට දහසක් (රු. 660,000.00) – 2015 වර්ෂය සඳහා ද,

    උපදේශක, එම්.ඒ. සතාර් මහතාට රුපියල් දෙලක්ෂ හතළිස් තුන් දහස් හත්සිය පනහක් (රු.243,750.00) – මාස හතරක් සඳහා ද, 

    උපදේශක, එස්. මැදවැව මහතාට රුපියල් විසි ලක්ෂ හැට අටදහස් එකසිය විසි පහක් (රු. 2,068,125.00) – වසර තුන සඳහා ද,

    උපදේශක, එම්. බී. එච්. එම්. දයාරත්න මහතාට රුපියල් දහනම ලක්ෂ හැත්තෑ දහසක් (රු.1,970,000.00) – වසර තුන සඳහා ද හා

    උපදේශක, තුසිත් මුදලිගේ මහතාට රුපියල් හයලක්ෂ විසි හයදහස් අසූවක් (රු.6,26,080.00) – වසර තුන සඳහා ද වශයෙන් ගෙවා ඇත.

    එමෙන්ම,  2015 පෙබරවාරි මස සිට 2017 ජුනි මස දක්වා කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අනෙකුත් වියදම් සඳහා රුපියල් මිලියන තිස් තුනයි දශම හතයි එකක පමණ මුදලක් (රු.33,714,807.59) අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ගෙවා ඇත. 

    “දූෂණ විරෝධී කමිටුව” හා “දූෂණ වැළැක්වීමේ කමිටුව ස්ථාපිත කිරීම” ට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ හා තීරණයන් හි පිටපත් පිටු අංක 01 සිට 24 දක්වා ද, දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ 2015 පෙබරවාරි මස සිට 2017 ජූනි මාසය දක්වා දරන ලද වියදම් වාර්තාව, එක් එක් නිලධාරීන්ට ගෙවා ඇති  වැටුප් හා දීමනා පිළිබඳ සාරාංශය හා එක් එක් මාණ්ඩලික නිලධාරීන් වෙත අදාළ කාල සීමාව තුළ ගෙවනු ලැබූ වැටුප්, වේතන හා දීමනා පිළිබඳ විස්තර ඇතුළත් ලේඛන පිටු අංක  25 සිට 58 දක්වා ද, මේ සමඟ ඉදිරිපත් කරමි.

    මා විසින් ඉදිරිපත් කරන ලද මෙම ලේඛන හා ලියකියවිලි මාගේ කතාවට ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටිමි.  

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වී ඇත. එම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් 20 දෙනෙකු පමණ වරින් වර විදෙස් සංචාර 19කට සහභාගි වී ඇති අතර, ඔවුන් සඳහා එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක පමණ මුදලක් වියදම් වී ඇත.  

    එසේ විදේශ සංචාරවලට සහභාගි වූ නිලධාරීන්ගේ නම් හා තනතුරු වෙන් වෙන් වශයෙන් ද, ඔවුන් ඒ සඳහා යෙදවීමට අපේක්ෂිත වූ අරමුණු ද, සංචාරය කරන ලද රටවල් හා එම රටවල් වල ගත කළ දින වකවානු ද, එසේ සංචාරය කරන ලද කමිටු සාමාජික සාමාජිකාවන්ගේ ගුවන් ගමන්, නවාතැන් පහසුකම් හා වෙනත් පහසුකම් වෙනුවෙන් දරන ලද වියදම් පිළිබඳ සවිස්තරාත්මක විස්තර පිටු අංක 59 සිට 61 ලෙස අමුණා ඇත.

    මා විසින් ඉදිරිපත් කරන ලද මෙම ලේඛන හා ලියකියවිලි ද මාගේ කතාවට ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටිමි’ යැයි අග්‍රාමාත්‍යතුමා පිළිතුරු ලබා දුන්නේය.

  • කොරෝනා රෝගීන්ගේ පෞද්ගලික දත්ත සුරැකීමට අවධානය යොමු කරන්න

    කොරෝනා රෝගීන්ගේ පෞද්ගලික දත්ත සුරැකීමට අවධානය යොමු කරන්න

    කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් පොකුරක් ප්‍රසිද්ධ ආයතනයක සේවකයන් තුලින් සොයාගැනීමත් සමගම එම කොවිඩ් ආසාදිත සේවකයන්ගේ නම, ජාතික හැදුනුම්පත් අංක, දුරකතන අංක, ඔවුන් පදිංචි ලිපින වැනි ඔවුන්ව පහුවෙන්ම අනෙක් පිරිස් වෙත හදුනාගත හැකි පෞද්ගලික දත්ත ඇතුලත් ලැයිස්තුවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා පරිශීලකයන් අතර හුවමාරුවමින් පවතින බවට අප ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සමාජ මාධ්‍ය වෙබ් අඩවි නිරීක්ෂණය කිරීම මගින් හදුනාගැනීමට හැකිවී ඇත. 

    කොරෝනා රෝගය ආසාධිත රෝගීන්ගේ පෞද්ගලික දත්ත මෙසේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීම සම්බන්ධයෙන් රජය තම අවධානය යොමුකල යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු.

    තවද කොරෝනා රෝගීන්ගේ පෞද්ගලික තොරතුරු අඩංගු ගොනු සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ලැබුනහොත් එවා සමාජ මාධ්‍ය හරහා තවදුරටත් හුවමාරු කරගැනීමට නොයා වගකීමෙන් සමාජ මාධ්‍ය අඩවි භාවිතා කිරීමට කටයුතු කිරීමට වගබලාගන්නා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සමජ මාධ්‍ය පරිශීලකයන්ට අවධාරනය කරමු.

    තවද ඉරිදියේදී මෙවැනි සිදුවීම් සිදු නොවීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවලියෙන් පෞද්ගලිකත්වය මුලික මානව අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ලබාගැනීමට කටයුතු කරන ලෙස අප සංගමය වැඩිදුරටත් රජයට පෙන්වා දෙමු.

  • ‘මිනුවන්ගොඩ Covid-19 පොකුර තවත් පැතිරෙයි – අද ආසාදිතයින් 605ක්

    ‘මිනුවන්ගොඩ Covid-19 පොකුර තවත් පැතිරෙයි – අද ආසාදිතයින් 605ක්

    මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ දක්වා කාලය තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද (06) වාර්තා වුණා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය අද දින පස්වරු 19.10ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව අද දිනය තුළ වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 605ක්.

    මේ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4118ක් දක්වාත් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 839 දක්වාත් වර්ධනය වී තිබෙනවා. දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 56ක් වන අතර සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3266ක්. මරණ සංඛ්‍යාව 13ක්.

  • ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් ඇති ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළක්

    ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් ඇති ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළක්

    ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන්  විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

     එමගින් රටට මෙන්ම ශ්‍රමිකයින්ට ද ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි අතර රැකියා සුරක්ෂිතතාව තහවුරුවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    පුහුණු ශ්‍රමිකයින් සඳහා ලෝක රැකියා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතී. කොරියාව, ජපානය වැනි රටවල රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධව සැලසුම් සකස් කරන්නැයි උපදෙස් දුන්නේය. පෝලන්තය, රුමේනියාව වැනි නැගෙනහිර යුරෝපීය රටවල රැකියා වෙළෙඳ පොළ දැන් ශ්‍රී ලංකාවට විවෘතව පවතී. ඊට සරිලන ශ්‍රම බලකායක් නිර්මාණය කළයුතු යයි ජනාධිපතිතුමා පැවසීය.

    උපාධිධාරීන් සඳහා ඇති විදේශ රැකියා  අවස්ථා හඳුනාගැනිමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මේ දක්වා ඒ පිළිබඳ නිසි අවධානය යොමු වී නැත. කලා උපාධිධාරීන්ට වුවද මේ අවස්ථා හිමිකරගත හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

    රැකියා සඳහා විගමනය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයෙහි ප්‍රධාන සංරචකයක් වන අතර ශ්‍රී ලංකාවේ සමස්ත විගමනික ප්‍රජාව මිලියන 1.2කි. වාර්ෂිකව ලක්ෂ 02 ක් පමණ විදේශ රැකියා සඳහා යන අතර කොවිඩ් වසංගතය නිසා මේ වසරේ  එම පිරිස 40,000කට සීමාවී ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණ. කොවිඩ් 19 වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් පිටරට ගුවන් තොටුපල හා ගුවන් අවකාශය විවෘත කළ වහාම  පුහුණු ශ්‍රමිකයන් වැඩි සංඛ්‍යාවක් පිටරටවල සේවයට යොමු කිරිම සඳහා මෙම කාලය තුළදී ඔවුන්ට භාෂා දැනුම ලබාදීම හා පුහුණු කිරීම පුළුල් කර විදේශ ශ්‍රම වෙළෙඳපොළ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින්ගේ සංචිතයක් ස්ථාපනය  උදෙසා දැනටමත් පුහුණු මධ්‍යස්ථානයක 17 ක පංති ආරම්භ කර ඇතැයි  සඳහන් කෙරිණ.

    රැකියා ගිවිසුම් අවසන් වුවද කොවිඩ් 19 නිසා සියරට පැමිණිය නොහැකිව සිටින ශ්‍රමිකයන්ගේ රැකියා ගිවිසුම් දීර්ඝ කිරීම සඳහා අදාළ ආයතන සහ අංශ සමග සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දුන්නේය.

    විදේශ ශ්‍රමිකයින් උපයන විනිමය රටට ගෙන්වා ගැනීමට රාජ්‍ය බැංකු, ශ්‍රමිකයාගේ පැත්තේ සිට කටයුතු කළ යුතුය. වඩා ආකර්ශණිය සහ නිර්මාණශිලී වැඩසටහන් හඳුන්වාදීම මගින් එය ප්‍රවර්ධනය කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ මහතා කීය. විදේශගත ශ්‍රමිකයින් සියරට එවන විදේශ විනිමය ඔවුන්ගේ නිවසටම ගෙන ගොස් භාරදීමේ යාන්ත්‍රණයක් රාජ්‍ය බැංකු මගින් ක්‍රියාත්මක කළ හැකි බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා එමගින් ඔන්ඩියල් වැනි අවිධිමත් ලෙස සිදුවන මුදල් සංසරණය වළක්වා ගත හැකි බව පෙන්වා දුන්නේය.

    ශ්‍රමිකයින් විදෙස්ගත කරන රැකියා නියෝජිතායතන වඩාත් වගකීමෙන් කටයුතු කළයුතුය. ශ්‍රමිකයන්ට විදේශන්හි දී සිදුවන හිරිහැරවලදි මේ ආයතනවල මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට චෝදනා ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ශ්‍රමිකයින් විදේශගත කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාව  විදේශ විනිමය ඉපැයීම නොව ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීම බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : රොෂාන් බොතේජු – ජනාධිපති මාධ්‍ය අංශය )

  • මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්

    මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්

    පවතින තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත. සමාගම විසින් නිකුත් කරන ලද එම නිල නිවේදනය පහතින් දැක්වේ.

    2020 ඔක්තෝබර් මස 6: පවත්නා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාව සහ අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම සඳහා, අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ පළමු COVID-19 වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාව හඳුනාගැනීමේ සිට මේ දක්වා අප සතු තොරතුරු ලබාදීමට කැමැත්තෙමු. ඊයේ දිනයේදී මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සාමාජික-සාමාජිකාවන් 1,394 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කෙරිණි. විශාල පිරිසක් පරික්ෂාවට ලක්කෙරුණු බැවින් සාමාජික-සාමාජිකාවන් හට යම් කාලයක් රැඳී සිටීමට සිදු විය. දැනට කාර්යමණ්ඩල සාමාජිකයන් 567 දෙනෙක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

    අපට මුහුණදීමට සිදුවූ ප්‍රධානත ම අභියෝගයක් වූයේ, ආසාදිතයින් අතරින් වැඩි පිරිසකගෙන් රෝගී ලක්ෂණ පෙන්නුම් නොවීමය.

    අදාළ බලධාරීන් හට උපරිම සහයෝගය ලබාදෙමින් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරමු. කාර්යමණ්ඩල සාමාජිකයන් නිරෝධායනයට ලක්වන කාලය තුළ ඔවුන්ට සුවපහසුව ගත කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට ද අපි කටයුතු කරන්නෙමු.

    අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, ප්‍රජාවගේත්, අපගේ රටේත් සුබසිද්ධිය අපගේ ප්‍රමුඛතාවයි. එමෙන්ම, ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මේ මොහොතේ අප වෙත ලබාදුන් සහයෝගය සහ මගපෙන්වීම වෙනුවෙන් ඔවුන්ට ද අපගේ කෘතඥතාව පළකර සිටිමු.

  • සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්

    සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්

    ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා.

    රටේ දැනට පවතින තත්ත්වය අනුව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතා වගකීමෙන් යුතුව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.