Category: සුපිරි News

  • රැග් කරලා අහු වුණොත් මහපොළ නෑ

    රැග් කරලා අහු වුණොත් මහපොළ නෑ

    ‘නවකවධය’ හා සම්බන්ධව චෝදනා ලැබ විශ්වවිද්‍යාලවලින් සිදු කරන විනය පරීක්‍ෂණවලදී වැරැදිකරුවන් බවට පත්වූ ශිෂ්‍යයන්ට මින් ඉදිරියට ‘මහපොළ’ ශිෂ්‍යාධාරය අහිමි වන බව ‘මහපොළ’ ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්‍යක්‍ෂ පරාක්‍රම බණ්ඩාර මහතා පවසයි.

    ‘මහපොළ’ ශිෂ්‍යාධාර අහිමි වන අවස්ථා සහිත කොන්දේසි මාලාවක් සෑම ‘මහපොළ’ ශිෂ්‍යාධාර හිමි ශිෂ්‍යත්වලාභියකුටම ඉදිරිපත් කළද මේ වන විට ඒ කොන්දේසිවලට පිටින් යමින් විනය විරෝධී ක්‍රියා සඳහා සිසුන් එළැඹෙන බවත් අවසානයේදී විශ්වවිද්‍යාල මඟින් එම ශිෂ්‍යයන් ගැන සිතා ඔවුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට හැකි පරිදි ලිහිල් දඬුවම් ලබා දෙමින් නැවතත් එම නිර්දේශ ‘මහපොළ’ භාර අරමුදලට ලබාදී ශිෂ්‍යයන්ට නැවත ‘මහපොළ’ ශිෂ්‍යත්වය ලබාදීමේ ලිහිල් ප්‍රතිපත්තියක පිහිටා මෙතෙක් ක්‍රියා කළ බවද ඔහු පැහැදිලි කළේය.

    කොන්දේසි කඩ කරන අවස්ථාවන්වලදී වුවද මෙතෙක් ‘මහපොළ’ භාර අරමුදල ‘මහපොළ’ ශිෂ්‍යත්වය අහෝසි නොකළ බවද, තාවකාලිකව ශිෂ්‍යත්වය ලබාදීම නතර කළ බවද මින් ඉදිරියට දැඩි තීන්දුවක පිහිටා කොන්දේසි කඩ කරන්නන්ට මහපොළ නම් දෙන්නේම නැතැයි යන දැඩි තීන්දුවේ පිහිටා ක්‍රියා කරන බවද හෙතෙම පැවැසීය.

    ‘මහපොළ’ ශිෂ්‍යත්වය පිරිනමන අවස්ථාවේදී ශිෂ්‍යත්වලාභීන්ට ඉදිරිපත් කරන කොන්දේසි අතර විනය විරෝධී ‘නවකවධය’ වැනි කටයුතුවලට සම්බන්ධ වූවන්ට විශ්වවිද්‍යාල මඟින් දඬුවම් ලබාදෙන අවස්ථාවන්හිදී, රාජ්‍ය දේපොළවලට හෝ විශ්වවිද්‍යාලයේ දේපොළවලට හානි කළ අවස්ථාවන්හිදී මෙන්ම අපචාර සිද්ධීන්ට, සම්බන්ධ අවස්ථාවන්වලදීද ශිෂ්‍යත්වය අහෝසි කිරීම පැවැති නීතිය වුවද මෙතෙක් සිය අරමුදල සහ විශ්වවිද්‍යාල පද්ධතිය දරුවන් ගැන සිතා ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කළ බවද ඔහු ප්‍රකාශ කෙළේය.

    පෙර සිටම මෙසේ කොන්දේසි පැවැතියද විශ්වවිද්‍යාල හරහා එවැනි වාර්තා වීමේ අඩුවක් පැවැති බවද බොහෝ විට එවැනි අවස්ථාවලදී දඬුවම් කාලය නිමා වූ බවට විශ්වවිද්‍යාලයේ නිර්දේශයන් ලැබුණු විට ඒ ගැන සලකා බලා යළි ශිෂ්‍යත්වය ලබාදීම මෙතෙක් සිදුවූ ක්‍රමවේදය බවද හෙතෙම පැවැසීය. මෙම දැඩි තීන්දුවට එළැඹීම ‘මහපොළ’ භාරකාර අරමුදලේ භාරකාර මණ්ඩලය ගත් තීරණයක් අනුව ඉදිරියේදී ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

    ජනපතිත් නවකවදයට මැදිවෙයි

    මේ අතර නවකවධය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස ක්‍රියාත්මක කරමින් නවකවධයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද කියා සිටී.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ඉදිකිරීමට යෝජිත පොළොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.

  • මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරුව අද කොළඹදී

    මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරුව අද කොළඹදී

    මෙය සංවිධානය කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය වසර 45 කට පසු ක්‍රියාත්මක කිරීමට වත්මන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත.

    ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල මේ වන විට අඩු කර ඇත. තව ද ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් සමග ගිවිසුම් 46 ක් අත්සන් කර තිබේ. ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 03 ක නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය බිලියන 2 සිට බිලියන 04 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත. ඒ සදහා ඉදිකරන ලද නව කර්මාන්ත ශාලාව ලබන මාසයේ දී විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

    තවද ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ සමාගම ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කරයි. මේ වනවිට ශාඛා 39 ක් සහ නියෝජිත ඔසුසැල් 102 ක් ක්‍රියාත්මකය. අද(10) දින පැවැත්වෙන සේනක බිබිලේ ගුණසමරු උත්සවයේ දී අනෙකුත් ඖෂධ මිල අඩු කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

  • නියඟයෙන් දිස්ත්‍රික්ක 11ක ලක්ෂ 6කට පීඩා

    නියඟයෙන් දිස්ත්‍රික්ක 11ක ලක්ෂ 6කට පීඩා

    දිවයින පුරා දිස්ත්‍රික්ක එකොළහකට මාස ගණනාවක් තිස්සේ බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් එක්ලක්ෂ හැත්තෑ නවදහස් හයසිය තිස්පහකට අයත් පුද්ගලයන් හයලක්ෂ නවසියයකට අධික පිරිසක් පීඩා විඳිති.

    යාපනය, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, කුරුණෑගල, ‍පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක එකොළහකට මෙලෙස දැඩි නියං තත්ත්වය බලපා ඇත.

    ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටය. එහි පවුල් 30408 කට අයත් පුද්ගලයන් එක්ලක්ෂ දසදහසකට අධික පිරිසක් පීඩාවට පත්වී සිටිති.

    නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පානීය ජලය වැනි ජල අවශ්‍යතා සපුරා දීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම ප්‍රදේශවලට ජල බවුසර, ජල ටැංකි අඛණ්ඩව ලබාදෙමින් සිටින බව  එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.

    මේ අතර අද (10) දිනයේ සිට පළාත් කිහිපයකට වැසි ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වල සවස 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දොපර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

  • නියමිත දිනට පෙර ජනපතිවරණයක් නෑ

    නියමිත දිනට පෙර ජනපතිවරණයක් නෑ

    එළැඹෙන ජනාධිපතිවරණය නියමිත දිනට පෙර නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. නිවිතිගල මහජන ‍පොළ භූමියේ පැවැති නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.

    අද බොහෝ දෙනා ජනාධිපතිධුරය ගැන කතා කළ සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ ඊළඟ අගමැතිවරයා කවුද කියන කාරණය පිළිබඳව බවද ජනාධිපතිවරයා පැවැසීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මින් ඉදිරියට රටේ ප්‍රධාන වන්නේ අගමැතිධුරය බවද ඔහු පැවැසීය.

    රටට ආදරය කරන දේශීයත්වය අගයන නාස්තිය දූෂණය නැති නිවැරදි අගමැතිවරයකු රටට පත්කරගත යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ‍පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් දේශපාලන වශයෙන් අධි තක්සේරුවකට පත්ව ඇත්නම් එය ඔවුන් වරද්දා ගන්නා තැනක් බවයි. තමන් ගැන තමන් විසින්ම කුමන තක්සේරුවකට පැමිණියද ඔවුන් කිසිවකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව තනිව ආණ්ඩුවක් ගොඩනැගිය නොහැකි බව සිහි තබා ගත යුතුබවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    පුද්ගලයන් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලික වන අතර රටට අවශ්‍ය වන්නේ දර්ශනයක් සහ දැක්මත් සහිත දේශපාලන ව්‍යාපාරයක් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මාතෘ භූමිය පිළිබඳ නිසි දැක්මත් සහ දර්ශනයත් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන ශක්තිය වැඩිකරගනිමින් අද සාර්ථක ඉදිරි ගමනක නිරතව සිටින බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

    තමන් පිළිබඳ කුමන විවේචන ඉදිරිපත් කරමින්, දේශපාලන වශයෙන් ප්‍රතිවාදීන් කුමන අන්දමින් පහර දුන්නද එම කිසිවකු ඉටු නොකළ වැඩකොටසක් තමා රට වෙනුවෙන් ඉටුකර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ලොව කිසිදු නායකයකු නොකළ අන්දමින් විධායක ජනාධිපති ධුරය සතු අසීමිත බලතල පාර්ලිමේන්තුවට පවරාදෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ‍පොඩි මිනිසාටද ඉහළට යා හැකි පසුබිම තමා විසින් නිර්මාණය කරදුන් බව කියා සිටියේය.

    සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිය එය බව සඳහන් කළ ජනාධිපතිතුමා මේ රටට සැමදා ගැළපෙන්නේ එම දර්ශනය සහ ප්‍රතිපත්ති බවද සඳහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින බව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති ප්‍රධාන චෝදනාව වුවද එසේ සිදුකළේ පසුගිය රජයට කළ නොහැකි වූ දේ ඉටුකිරීමට බවත් රටට අහිමිව තිබූ ජාත්‍යන්තර සහයෝගය නැවත දිනාගනිමින් අද රටේ සංවර්ධනයට විශාල වශයෙන් එම සියලුදෙනාගේ සහය ලබාගැනීමට හැකියාව ලැබි තිබෙන බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය. එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම 24 වනදා තමන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමැතීමට නියමිතව තිබෙන බවත් ආරක්ෂක හමුදාවන්ට එරෙහි චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනීම පිළිබඳව එහිදී ජගත් සංවිධානය හමුවේ නව ප්‍රකාශයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත්ය. රට හමුවේ ඇති අභියෝග රැසකට ඒ තුළින් විසඳුම් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

    එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදී ඇති ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් එහි ජනතාවට ප්‍රදේශයේ ගංගා සහ ඇළ මාර්ගවලින් කූඩ යොදා ගනිමින් මැණික් ගැරීමට මෙම සතියේ සිට අවස්ථාව ලබාදීමට ‍පොලීසිය ඇතුළු අදාළ අංශවලට උපදෙස් ලබාදෙන බවද සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා කැපවූ රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 10 දෙනෙකු ඇගයීමට ලක් කරමින් තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.

    අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජිත් විජයමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මියුරු භාෂිත ලියනගේ, ජගත් පුෂ්පකුමාර, අතුල කුමාර රාහුබද්ධ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීහු රැසක් මීට එක්ව සිටියහ.

    මේ අතර නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කෙරුණේද ජනාධිපතිවරයා අතිනි.

  • අපි ජනතා මුදල් වලින් සාර්ථක ව්‍යාපෘති කරන ආණ්ඩුවක්….

    අපි ජනතා මුදල් වලින් සාර්ථක ව්‍යාපෘති කරන ආණ්ඩුවක්….

    “අපි ජනතා මුදල් වලින් සාර්ථක ව්‍යාපෘති කරන ආණ්ඩුවක්. ඉස්සර ඒ වගේ සාර්ථක ව්‍යාපෘති සිදුවුනේ නැහැ. විශාල ධන සම්භාරයක් ප්‍රචාරණයට වැය කරලා, ප්‍රශස්ති ගී කියල සුලු මුදලකින් ව්‍යාපෘතිය සිදුකලා.

    මේ රජය රුපියල් 100 වැඩෙන් රුපියල් 99 ක් යොදවලා වැඩ කරලා ඒ ව්‍යාපෘතිය රුපියලක් විදයම් කරලා ප්‍රචාරණය කරන්නේ. නමුත් පසුගිය රජය එහෙම කලේ නෑ එයාලා කලේ රුපියල් 100 වියදම් වෙන වැඩේට රුපියල් 99 ක් දීලා ප්‍රචාරණය කරලා රුපියලක් විදයම් කරලා ව්‍යාපෘතිය කරනවා. මත්තල ගුවන්තොටුපල වගේ ව්‍යාපෘති වලට ඇත්තටම කියන්න ඕන සුදු අලියෙක් කියල විතරයි. ඩොලර් මිලියන ගණන් ජනතා මුදල් නාස්ති කරල ඊටත් වඩා ලොකු පිරිවැයක් ප්‍රචාරණයට යොදවලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබුනෙ නෑ.

    ඒ නිසා අපි කියන්නෙ මේ යහපාලන රජය කවදාවත් ජනතා මුදල් නාස්ති කරන ව්‍යාපෘති සිදුකරල නැහැ. යහපාලන රජය කරන ව්‍යාපෘති අද රටේ ජනතාව අතරට නොයන්නෙ ප්‍රචාරණ වියදම් අවම නිසා. රටට වැඩක් වෙනවා නම් ඇති. කලේ කවුද කියල ජනතාව පසුවට දැනගනීවි. ජනතාවගේ සල්ලි වලින්ම ජනතාවට ප්‍රචාරණය කරල පෙන්වන්න තරම් අපි ජනතා මුදල් නාස්ති කරන්නෙ නෑ.”

    හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දිනකදී මාධ්‍ය අමතමින් මෙසේ කියා සිටින ලදී.

  • මාළුන්ට වාඩිවෙන්න දී මන්නාරමේ මගීන් හිටගෙන යන්න වෙයි

    මාළුන්ට වාඩිවෙන්න දී මන්නාරමේ මගීන් හිටගෙන යන්න වෙයි

    මන්නාරමේ සිට කොළඹ බලා ගමන් කරන බස් රථවලට මාළු පෙට්ටි පැටවීම නිසා මඟීන්ට කොළඹ දක්වාම හිටගෙන ගමන් කිරීමට සිදුවීමෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව වාර්තාවේ.
    දිවා රාත්‍රී දෙකේදීම මන්නාරමේ සිට කොළඹ බලා යන බස් රථවලට මාළු පෙට්ටි පටවන අතර රාත්‍රි කාලයේ බස් රථවලට මාළු පෙට්ටි වැඩි වශයෙන් පටවන බව මෙහි ගමන් ගන්නා මඟීහු පවසති.
    බස් රථවල ආසන මත මාළු පෙට්ටි පටවා එම ආසන සඳහා වූ ගාස්තු ගෙවීමෙන් මාළු පෙට්ටි කොළඹට රැගෙන යෑම නිසා මෙම තත්ත්වය උදාවී ඇත.
    ඉන්දියාවේ සිට මුහුද ඔස්සේ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මන්නාරමට ගොඩ ගැසීමෙන් පසුව පිටස්තර ව්‍යාපාරිකයන් මාළු තොග මිලට ගැනීම සඳහා මන්නාරමට නොපැමිණීමත් සමඟම විශාල ගැටලුවකට මුහුණ පා සිටින මන්නාරමේ ධීවරයෝ තම මාළු තොග කොළඹට රැගෙන යෑම සඳහා බස් රථ භාවිත කිරීම නිසා මෙසේ සිදුව ඇති බව මගීන් කියා සිටී.
  • නවක වදය නිසා දුව දිවි නසා ගත්තා…. අවුරුදු 3 1/2 ක් ගියත් පරීක්ෂණයක් නෑ…

    නවක වදය නිසා දුව දිවි නසා ගත්තා…. අවුරුදු 3 1/2 ක් ගියත් පරීක්ෂණයක් නෑ…

    සබරගමුව විශ්වවිද්‍යාලයේදී නවකවදයට ලක්වීම නිසා තම දියණිය සියදිවි නසාගත් බවත් ඊට සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් සරසවි සිසුවියකගේ මවක් වසර තුනහමාරකට පසු ‍පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. මෙසේ පැමිණිල්ල කර ඇත්තේ වසන්තා පද්මිණි ඇල්විටිගල මහත්මියයි.

    ඇගේ එකම දියණිය වූ එස්.එච්. අමාලි චතුරිකා කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ 2014 වසරේදී සරසවි වරම් ලබා තිබේ.

    ඒ අනුව 2014-02 මස සබරගමු විශ්වවිද්‍යාලයට ඇය ඇතුළත් වී ඇති අතර එහිදී ‍ජ්‍ය‍ෂේ්ඨ සිසුන්ගෙන් හිරිහැරයට ලක්ව ඇති බව ඇය මවට පවසා තිබේ.

    මෙම නවක වදය නිසා ඇය විශාදය රෝගයට ලක්වීම හේතුවෙන් සරසවියෙන් ඇයට මාස 6ක නිවාඩු කාලයක් ලබාදී තිබුණි. එම කාලය අවසන් වන මොහොතේ ඇය ලිපියක් ලියා තබා නිවසේදී සියදිවි නසාගෙන තිබුණේ 2015/02/16 වන දිනය.

    ඇය ලිපියෙන් ඇයට හිරිහැර කළ පුද්ගලයන්ගේ නම් සටහන් කර තිබූ අතර අවසන් වශයෙන් ඉල්ලා තිබුණේ සරසවියේ කිසිවකුටත් අවමංගල්‍යට සහභාගි කර නොගන්නා ලෙසය.

    ඇය මියගොස් වසර තුන හමාරක් ගත වුවද ඇගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුනොවූ බැවින් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා වසන්තා මහත්මිය නීතිඥ දසුන් නාගසේන මහතා සමග ‍පොලිස් මූලස්ථානය වෙත පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

  • අධිකරණය හමුවේ පෙනී නොසිටි හිමිවරුන් සිව්නමක් අත්අඩංගුවට ගන්න නියෝග

    අධිකරණය හමුවේ පෙනී නොසිටි හිමිවරුන් සිව්නමක් අත්අඩංගුවට ගන්න නියෝග

    පොදු දේපළවලට අලාභහානි කිරීමේ චෝදනා යටතේ නඩු පවරා තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සිහල රාවය සංවිධානයේ ජාතික සංවිධායක මාගල්කන්දේ සුදත්ත, බෙංගමුවේ නාලක, ඉත්තෑපානේ සද්ධාතිස්ස, හා මැඩිල්ලේ පඤ්`ක්‍දාලෝක යන ස්වාමීන් වහන්සේ සිව්නම වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (31) නියෝග කළාය.

    පෙර නඩු දිනයේ දී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කොට තිබියදී පෙරේදා (31) නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවූ එම නඩුවේ සැකකරුවකු වන අහුන්ගල්ලේ ජිනානන්ද හිමියන්ට ඊළඟ නඩු දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කොට මුදාහැරීමටද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය. පෙර කී සැකකාර හිමිවරුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තම අධිකරණය විසින් පෙර නිකුත්කොට තිබූ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් එහිදී කොටුව පොලිසියට දැඩිව අවවාද කළ මහෙස්‌ත්‍රාත්වරිය ඉදිරි නඩු දිනයට පෙර එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් නොකළහොත් ඒ සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්‌ නිකුත් කිරීමට තම අධිකරණයට සිදුවන බවද සඳහන් කළාය. 

    ආබාධිත රණවිරු සංවිධානය විසින් ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකදී පොලිස්‌ ගිනි නිවන රථ කිහිපයකට අලාභහානි කිරීම, නීති විරෝධී ජන රාශිය ඇතුළු චෝදනා යටතේ කොටුව පොලිසිය විසින් එම නඩුව පවරා තිබුණි. එම නඩුව ලබන දෙසැම්බර් 

    07 වැනිදා යළි කැඳවීමටද එහිදී නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පෙනි සිටි සෙසු සැකකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළාය.

  • අයවැයෙන් සියලු රාජ්‍ය සේවාවන්හි වැටුප් වැඩි කරනවා

    අයවැයෙන් සියලු රාජ්‍ය සේවාවන්හි වැටුප් වැඩි කරනවා

    ලබන නොවැම්බර් මස ඉදිරිපත් කරන අයවැය ‍ලේඛනය මගින් සියලු රාජ්‍ය සේවාවන්හි වැටුප් වැඩි කිරීමක් සිදුවිය හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය සඳහා පත් කර ඇති කොමිසමේ නිර්දේශවලට අනුවය.

    එදා මෙදා තුර සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් එකවර සමාලෝචනය කරන අවස්ථාව මෙය බව පෙන්වා දෙන මුදල් අමාත්‍යාංශය මෙම විශේෂ වැටුප් කොමිසමේ වාර්තාව ඔක්තෝබර් මස මැදදී ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතව ඇති බවද මුදල් අමාත්‍යාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

    එමෙන්ම නව වැටුප් කොමිසම සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය සඳහා රාජ්‍ය සේවා වෘත්තීය සංගම්, රාජ්‍ය සංස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය සේවාවන්හි සියලු අංශ නියෝජනය කරන කණ්ඩායම් වලින් ඔවුන්ගේ අදහස් යෝජනා ලබාගැනීමට පියවර ගෙන ඇති බවද එමගින් සමස්ත රාජ්‍ය සේවයටම සාධාරණ වැටුප් සංශෝධනයක් සිදු කෙරෙනු ඇති බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය. මෙම වැටුප් කොමිසම මගින් දුම්රිය සේවාවේ හා තැපැල් සේවයේ පවතින වැටුප් විෂමතා පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කිරීමට නියමිත බවද ඉහත ආරංචි මාර්ග තවදුරටත් පවසයි. මේ අනුව දුම්රිය සේවක වැටුප් වැඩි කිරීමක් සිදුවුවහොත් ඒ අනුව ඒකාබද්ධ රාජ්‍යය සේවාවන්හි සියලු අංශවල වැටුප් වැඩි කිරීමට සිදුවන බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

  • ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට

    ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට

    ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නියෝජනය කරන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය අද (31) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට පිරිනැමෙනවා. ඒ, නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 04වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සමාප්තිය සටහන් කරමින්.
    රටවල් 07ක් බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරනවා. ශී‍්‍ර ලංකාව හැරුණු විට එහි සෙසු සාමාජික රටවල් වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, මියන්මාරය, භූතානය සහ නේපාලයයි. මෙම රටවල් ලෝක ආර්ථිකයට සපයන දායකත්වය වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 750ක් පමණ වනවා.
  • මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කරන්න උදර්පන නීතිය යටතේ සියලූ පියවර ගත් බව නීතිපති උසාවියට දන්වයි

    මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කරන්න උදර්පන නීතිය යටතේ සියලූ පියවර ගත් බව නීතිපති උසාවියට දන්වයි

    මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී අයුතු ලෙස මුල්‍ය ලාභයක් ලබා ගැනීම සඳහා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට මහ බැංකුව සතු රහස්‍ය තොරතුරු ලබාදීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ පළමුවැනි සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා (පිටුවහල් කර ගැනීම සඳහා) උදර්පන නීතිය යටතේ සියලූ පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ (30) කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

    අර්ජුන ඇලෝසියස්‌ මහතා ඇතුළු තිදෙනකුට හා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට එරෙහිව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ නඩුව කැඳවූ අවස්‌ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නාය.

    අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කරන ලද දැනුම්දීම නොතකා කටයුතු කිරීම නිසා පසුගිය අප්‍රේල් 19 වැනිදා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කළ සැකකරු මේ වනවිට සිංගප්පූරුවේ සිටින බවත් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රටවල් 192 ක බලාත්මක කර ඇති උධර්පන නීතිය අනුව කටයුතු කර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.

    එම සැකකරු අධිකරණය හමුවට ගෙන්වා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව කරුණු දක්‌වන ලෙසට පෙර නඩු දිනයේදී (පසුගිය 23 වැනිදා) අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව නීතිපති දෙපාර්තමේන්තුව එම කරුණු අධිකරණයට පෙන්වා දුන්නේය.

    එමෙන්ම සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා ඉල්ලා තිබූ සියලු ලේඛන ඔහු වෙත යෑවීමට අවශ්‍ය නෛතික උපදෙස්‌ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය. එම නඩුවේ දෙවන හා සිවුවන සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්‌ හා කසුන් පලිසේන යන දෙදෙනා 13 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

    එමෙන්ම එම සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තු නියෝග ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය. සැකකරු ඉල්ලා ඇති ඔහුට එරෙහිව ගොනු වී ඇති චෝදනා ඒවා සනාථ කිරීමට අධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සාක්‌ෂි වරෙන්තු පිටපත් ඇතුළු ලේඛන සැකකරු වෙත මුදාහැරීමේ නීතිමය බාධාවක්‌ නොමැති බව පෙරේදා (29දා) ජාත්‍යන්තර පොලිසිය වෙත දන්වා යෑවීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි ද ඇය පෙන්වා දුන්නාය.

    ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇති විගණන වාර්තා සකස්‌ කිරීමට අවශ්‍ය අනුමැතිය හා එම වාර්තා සඳහා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමේ අධ්‍යක්‌ෂවරයකු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතාගේ අත්සන් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස නීතිඥ චන්දන පෙරේරා මහතා එහිදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. 

    ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

    රජයේ අධිනීතිඥ සහන්‍යා නාරංජනාත් මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැමිණිල්ල නියෝජනය කළාය.

    නීතිඥ සජිත් ජයවර්ධන, නීතිඥ ජීවන්ත ජයතිලක ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළේය.

  • විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
    එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.
  • ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට නියෝග

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට නියෝග

    තරුණයන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 10 වන සැකකාර ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර යාමට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආධාර අනුබල දී හෝ යම් සහනයක් දක්වා ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් වහාම එම නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

    ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් නියෝග කළාය.

    එකවට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා මෙම නඩුවේ 10 වන සැකකාර ලුතිනන් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් මගහැර සිටීමට උපදෙස් ලබාදී ඇති බවට පැහැදිලිව සාක්ෂි ඉදිරිපත් වී ඇති බව පෙන්වා දෙමින් ‍පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා කරුණු දැක්වීය.

    ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති සැකකරුට රටින් පලායාමට නාවික හමුදාවට අයත් යැයි කියන ගිණුමකින් මුදල් ලබාදී ඇති බවට හා ඒ සඳහා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මැදිහත්වීමක් ඇති බවට පෙර නඩු දිනයේදී කළ කරුණු දැක්වීමට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මහේස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටියාය.

    එහිදී විමර්ශන භාරව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පෙන්වා දුන්නේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සැකකාර ලුතිනන් කමාන්ඩර්වරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටු නොවී සිටින ලෙසට අවවාද කළ බවටද සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි.

    සැකකරු භාරයේ තිබියදී අත්අඩංගුවට ගත් ජාතික හැඳුනුම්පත් දෙක කන්ත‍ලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක සෙබළකුට හා තල්දූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් බව මතෛක් සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි ද ‍පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

    සිවිල් ආරක්ෂක සෙබළා 2004 වසරේදී විශේෂ රාජකාරියකට කොළඹ පැමිණි අවස්ථාවකදී ජාතික හැඳුනුම්පත නැතිවී ඇති බව ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ යැයිද එහිදී පෙන්වා දුන් ‍පොලිස් පරීක්ෂකවරයා තල්දුව ප්‍රදේශයේ පදිංචිකරු ඔහුට අයත් ජාතික හැඳුනුම්පත මේ දක්වා භාවිත කරන බව අනාවරණය වී ඇතැයිද පෙන්වා දුන්නේය.

    සැකකරුට අයත් යැයි කියන මුදල් විවිධ බැංකු ආයතන කිහිපයක තැන්පත් කර ඇති බව තොරතුරු අනාවරණය වී ඇති බව පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන 22කට නියෝග කළාය. එම අපරාධ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ සැකකරුගෙන් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සලසන ලෙසටද මහේස්ත්‍රාත්වරිය එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

    විමර්ශනවලදී හෙළිවන තොරතුරු අනුව සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබාගැනීමට විමර්ශන නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය පෙර නඩු දිනයේදීද අවසර ලබාදී තිබුණි. හෙළිවන තොරතුරු අනුව සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගත් නමුත් මතක නෑ. දන්නේ නෑ යන අදහස් පමණක් සැකකරු ප්‍රකාශ කිරීම නිසා විමර්ශන ප්‍රමාද වන බවද ‍පොලිස් පරීක්ෂකවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

    එහිදී එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කල්ප පෙරේරා මහතා කරුණු දක්වමින් පසුගිය 15 වැනිදා එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිඥ අජිත් ප්‍රසන්න මහතා එම සැකකරු වෙනුවෙන් පෙනී සිට කරුණු දක්වා ඇත්තේ සැකකරුගේ උපදෙස් ලබාගැනීමකින් තොරව බව පෙන්වා දුන්නේය. එම නීතිඥවරයාට සැකකරු වෙනුවෙන් පෙනී සිටීමට සිය සේවාදායකයා උපදෙස් ලබාදී නොමැති බවද සැකකරුගේ නීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

    එම නීතිඥවරයා එදින එලෙස කටයුතු කර ඇතිනම් එය ඉතා බරපතළ කරුණක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය එම කරුණු නැවත විත්ති කූඩුවේ සිටින සැකකරුගෙන් විමසා බලන ලෙස නීතිඥ කල්ප පෙරේරා මහතාට දැනුම් දුන්නේය. අධිකරණයේ අවසරය ඇතිව සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී සැකකාර ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ‘මම වෙනුවෙන් පෙනී සිටින්න කියලා මම ඒ නීතිඥ මහත්තයාට කීවේ නෑ. මම වෙනුනේ පෙනී සිටින්නද කියලා එයා මගෙන් ඇසුවෙත් නෑ. යනුවෙන් ප්‍රකාශ කළේය.

  • යුද හමුදාව දුම්රිය රියදුරු පුහුණුව ඉල්ලයි

    යුද හමුදාව දුම්රිය රියදුරු පුහුණුව ඉල්ලයි

    දුම්රිය එන්ජින් රියදුරු පුහුණුව ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස යුද හමුදාව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

    රටේ ඇති වන හදිසි තත්ත්වයකට මුහුණ දීමට යුද හමුදාව ඕනෑම අවස්‌ථාවක සූදානමින් සිටින බවත්, එහි එක්‌ පියවරක්‌ ලෙස මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ඊයේ (29 )  පැවසීය.

    වැඩවර්ජන පමණක්‌ ඉලක්‌ක කරගෙන මෙම ඉල්ලීම සිදුකර නොමැති බවත්, දුම්රිය එන්ජින් රියෑදුරු පුහුණුවට අමතරව නියාමක පුහුණුව ලබාදෙන ලෙසට ද ඉල්ලීමක්‌ කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ පිළිබඳව කළ විමසීමකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේ යුද හමුදාවේ එම ඉල්ලීම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවය.

  • දළදා සමිඳුන්ට නමස්‌කාර කළ නැඳුන්ගමුවේ රාජා ගමට එන්න පිටත් වෙයි

    දළදා සමිඳුන්ට නමස්‌කාර කළ නැඳුන්ගමුවේ රාජා ගමට එන්න පිටත් වෙයි

    මහනුවර වාර්ෂික ඇසළ මංගල්‍යයේ අවසන් රන්දොaලි පෙරහැරට සහභාගි වෙමින් සිය පින්බර කාර්යභාරය නිමා කළ නැඳුන්ගමුවේ රාජා ඇතා ඊයේ (28 ) පෙරවරුවේ දළදා සමිඳුන්ට නමස්‌කාර කිරීමෙන් පසුව යුද හමුදා ආරක්‍ෂාව ඇතිව පෙරළා ගම්පහ හාම්පුතු කරා ගමන් ආරම්භ කළේය.
     
     නැඳුන්ගමුවේ රාජා ශ්‍රී දළදා මාළිගාව අසලින් පිටත්වීම සහ මහනුවරින් ගමන් ආරම්භ කරන අයුරු දැක බලා ගැනීමට විශාල පිරිසක්‌ පැමිණ සිටියහ.
     
     නැඳුන්ගමුවේ රාජා ඇතාට සුබ පැතීමට එක්‌වූ පිරිස්‌ අතර දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතාද විය.

  • රෝසිගේ නිල නිවස පිරිසිදු කිරීමට ලක්‍ෂ 85 ක්

    රෝසිගේ නිල නිවස පිරිසිදු කිරීමට ලක්‍ෂ 85 ක්

    නගරාධිපති නිල නිවසේ පවිත‍්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.

    නගර සභාවේ මුදල් පිළිබඳ ස්‌ථාවර කමිටුව හා මහා සභාව මෙම මුදල් වෙන් කිරීමට අනුමැතිය ලබාදී තිබේ.

    කොළඹ නගරසභාවේ පමණ ඉක්‌මවා කම්කරුවන් ඇතුළු කනිෂ්ඨ සේවකයන් සිටියදී නිල නිවසේ පවිත්‍රතා කටයුතු පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳව සේවකයෝ විමතිය පළ කරති. කොළඹ මහනගර සභාවට රුපියල් මිලියන 2000 ක ස්‌ථාවර තැන්පතුවක්‌ පවතින අතරම රුපියල් මිලියන 750 ක බැංකු අයිරාවක්‌ද පවතී.

    නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට අදාළ මීට පෙර කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මාසයකට රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසක මුදලකටය. ඒ යටතේ සේවකයන් 7 දෙනකු සේවයෙහි යොදවා තිබූ අතර නව ටෙන්ඩරයට අනුව සේවකයන් 9 දෙනකු යොදවනු ඇත.

    කොන්ත්‍රාත්තුවට අදාළ ගිවිසුම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතය.