Category: සුපිරි News

  • වල්ඌරු මස් සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කරයි

    වල්ඌරු මස් සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කරයි

    වල් ඌරු මස් ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    ඒ සඳහා කෘෂිකර්මාන්ත අමාත්‍යංශය විසින් සකස් කළ කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    දැනට පවතින නීතියට අනුව වල්ඌරන් මරණයට පත් කිරීම තහනම් නොවූවද ප්‍රවාහනය කිරීම සහ අළෙවි කිරීම තහනම් වනවා.
     
    වල්ඌරන්ගෙන් කෘෂි බෝගවලට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් අදාළ නීතිය සංශෝධනය කිරීමට සැළසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

    වන සතුන්ගෙන් සිදුවන වගා හානියෙන් වැඩිම වගා හානියක් සිදුවන්නේ වල්ඌරන්ගෙන් බවට, සිදුකරන ලද සමීක්ෂණයකින් ද අනාවරණය වී තිබීම මෙම තත්ත්වයට හේතුවයි. 

  • ගාස්තු වැඩි නොකළොත් දීප ව්‍යාප්ත වර්ජනයක්

    ගාස්තු වැඩි නොකළොත් දීප ව්‍යාප්ත වර්ජනයක්

    සමස්ත බස් ගාස්තුව සියයට දහයකින් ඉහළ දැමීමට රජය නොදුනහොත් එළැඹෙන 24 දා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ බස්වර්ජනයක් දිවයින පුරා ක්‍රියාත්මකකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා ඊයේ (17) පැවැසීය.

    රජය විසින් ඉහළ දමනු ලැබූ ඉන්ධන මිල සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ ස්ථාවරය පැහැදිළි කිරීම සඳහා කොළඹ නාරහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා එම අදහස් පැවැසීය.

    වත්මන් රජය පෞද්ගලික බස් කර්මාන්තය පිළිබඳව සැලකිල්ලක් දැක්වන්නැහැ. මෙහෙම හිතුණු හිතුණු විදිහට ඉන්ධන මිල ඉහළ දැමීමට රජයකට බැහැ. ඉන්ධන මිල ඉහළ යන විට රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. ඒ නිසා බස් ගාස්තුව වැඩිකිරීමටද රජය ඉඩදිය යුතු බව ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවැසීය.

    රජය බස්ගාස්තු වැඩිවීමකට ඉඩනොදුනහොත් සමස්ත බස් හිමියන්වම ඒකරාශීකරගෙන සියයට 10ක බස් ගාස්තු වැඩිවීමක් 25දායින් පසුව ක්‍රියාත්මක කරන බවත් එහිදී ආණ්ඩුවට හැකිනම් බස්හිමියන්ගේ මාර්ග බලපත්‍ර අවලංගු කර පෙන්වන ලෙසද ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා රජයට අභියෝගයක් එල්ල කළේය.

    රජය විසින් මේ වන විට ඩීසල් මිල අවස්ථා දෙකකදී රුපියල් 14ක් වැඩිකර ඇති බවත් ඒ නිසා බස් රථ හිමියන්ට කිසිදු ගැටලුවකින් තොරව ගාස්තු වැඩිවීමකට යා හැකි බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.

    මෙම බස්ගාස්තු වැඩිවීමේදී දැනට රුපියල් 12ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 15ක් දක්වා වැඩිකළ යුතු බවද හෙතෙම කීවේය.
    ඇස් නොපෙනෙන කන් නොඇසෙන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට 25දාට ඇස් පෙනෙන, කන් ඇසෙන වර්ජනයක් දිවයිනපුරා ක්‍රියාත්මක කරන බව ඒ මහතා පැවැසීය.
    වර්තමාන ආණ්ඩුව විසින් බැඳුම්කර මගඩිය සිදුකර එයින් සිදුවූ අලාභය වසාගැණීමට ඉන්ධන මිල මාසයකට වතාවක් වැඩිකරන බවත් ආණ්ඩුව ජනතාවගේ යහපත ගැන සිනතවානම් බස් හිමියන් වෙත ඉන්ධන සහනාධාරයක් ලබාදී මෙම ගැටලුව විසඳිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති සම්පත් රණසිංහ මහතා පැවැසීය.

    ඉන්ධන මිල ඉහළ දැමීම නිසා කෙටි දුර ධාවන බස් රථ දිනකට රුපියල් 1200ක් පමණ සහ දුර ගමන් සේවා බස් රථ දිනකට රුපියල් 1800ක් පමණ පාඩු ලබන බවද ඔහු පැවැසීය.

    බස් හිමියන් විසින් ක්‍රියාත්මක කරන මෙම වර්ජනය සඳහා බස් රථ සේවක සංගම්ද සහය ලබාදෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සභාපති යූ.කේ. කුමාර රත්න මහතා මෙහිදී පැවැසීය.

  • මෙගාපොලිස් ඇමතිගේ මෙගා ෆූලිෂ් වැඩ

    මෙගාපොලිස් ඇමතිගේ මෙගා ෆූලිෂ් වැඩ

    2015 වර්ෂයේ ආණ්ඩු වෙනස් කල ලක්ෂ 62ක අහිංසක ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව වූ දූෂණයෙන් තොර අතිමහත් සංවර්ධනයක් නව ආණ්ඩුව විසින් රටට උදාකර දේවි යන්නයි.ඒ බලාපොරොත්තුව ඉටුකිරීම වස් ජනපති අගමැති ප්‍රමුඛ රජය විසින් මෙගාපොලිස් ඇමති ලෙස ප.ච. රණවක පත්කලේ සුපිරි වැඩ ගොඩක් රටට කරන්න බව අමුතුවෙන් කිව යුතු නැත.

    අසීමාන්තික ලෙස රුපියල් කෝටි ගනන් වැය කලද මෙම අමාත්‍යාංශයෙන් මේ වනතුරුත් කිසිදු වැඩක් වී නොමැති බව පෙනී යන අතර සිදුකරන එකම වැඩය වන්නේ බස් මංතීරු ඇති කිරීමයි. ඒ නිසා මාර්ග තදබදයේ වැඩිවීමක් මිස අඩු වීමක් දක්නට නොලැබේ.

    එයට හේතුව ලෙස තතු දන්නෝ පවසන්නේ ඇමති සහ පිරිවර විසින් මුදල් ගැරීමේ පරමාර්ථයෙන් මොනයම්ම හෝ ව්‍යාපෘතියක් කිරීම ගැන පමණක් අවධානය යොදන බවයි.ඒසේ සිදුකරන ව්‍යාපෘති වලින් කිසිදු සුභදායක ප්‍රතිඵලයක් නොලැබෙන බවට කදිම උදාහරණයක් ලෙස මහජන මුදල් කෝටි ගනනින් ගෙවා උපදේශකයින්ගෙන් ගන්නා උපදෙස් අනුව දැනට සති දෙකකට පමණ පෙර බත්තරමුල්ල – බොරැල්ල මාර්ගයේ එක් පැත්තක ඇති මංතීරු තුනෙන් එක් මංතීරුවක් බස් මංතීරුවක් කිරීම නිසා බත්තරමුල්ල සිට බොරැල්ලට මාර්ග තදබදය වැඩිවී ඇති බවත් වෙනදා පැය බාගයකින් බත්තරමුල්ල හන්දියේ සිට බොරැල්ල හන්දියට ගියත් මේ වන විට එයට පැය එකහමාරක පමණ කාලයක් ගතවීම සැලකිය හැක.

    මෙම තදබදයට ආසන්නම හේතුව ලෙස කලින් කොටාපාරේ ගිය බස් මෙම බස් මංතීරුව නිසා පාර්ලිමේන්තු පාරේ ගියත් මිනිසුන් ඉන්නේ කොටා පාරේ බැවින් ඒසේ කොටා පාරේ සිට පාර්ලිමේන්තු පාරටත්,පාර්ලිමේන්තු පාරේ සිට කොටා පාරටත් මිනිසුන්ට දෙපැත්තට මාරු වීමට සිදුවීමත් නිසා බව කිව හැකිය.මෙවන් සරල කාරනා වෙනුවෙන් මහජන මුදල් කෝටි ගනන් වියදම් කරන මෙගා පොලිස් ඇමති ප්‍රමුඛ නඩයට සරල සාමාන්‍ය බුද්ධියක් නොමැති වීම පුදුමයට කරුණකි.

    කෙටියෙන්ම පවසනවානම් මෙගාපොලිස් යනු ජනතාවගේ සල්ලි හිතුමතේ වියදම් කර සුළු පිරිසක් අතර එම මුදල් බෙදා ගැනීම සඳහා ජනතා මුදලින් නඩත්තු කරන සුදු අලියෙකි.ඉතිං ජනතාවනි ඔබ දහඩිය මහන්සියෙන් හම්බකරන මුදල් වලින් මෙවන් සුදු අලින් නඩත්තු කරනවාද ඒහෙමත් නැත්නම් එයට එදිරිව සිටගන්නවාද? තීරණය ඔබ සතුයි….

  • එකට හමුදාවට බැදී එකම දිනක මේජර් ජෙනරාල් තනතුරු ලැබූ නිවුන් සොහොයුරෝ

    එකට හමුදාවට බැදී එකම දිනක මේජර් ජෙනරාල් තනතුරු ලැබූ නිවුන් සොහොයුරෝ

    රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න හා පූරක සෙනෙවිරත්න යනු නිවුන් සොහොයුරන්ය. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඉකුත් 06 දා ඔවුන්ව එම තනතුරුවලට පත් කරන අතර එම තනතුරු ප‍්‍රදානයේ පැවැති තවත් සුවිශේෂී බවක් වන්නේ තම උපන් දින යෙදී තිබූ දිනම ඔවුන් දෙදෙනාට රාජකාරී උසස්වීම් හිමිවීමය. තිස් වසරක් පැවැති යුද්ධය තුළ සිය වාසගමට ගැළපෙන අයුරින් සැබෑ ‘‘සෙනෙවියන්’’ දෙදෙනෙකු ලෙස කටයුතු කර ඇති මෙම නිවුන් සහෝදරයන් දෙදෙනා එකම දිනක ශ‍්‍රී ලංකා යුද හමුදාවට එකතු වන අතර මේජර් ජෙනරාල් තනතුරු ලබා ගන්නේ එකම දිනයකය. එය මෙරට හමුදා ඉතිහාසය හා ගත් කල දැනටමත් ඉතිහාසයට එක්ව ඇති සුවිශේෂී සිදුවීමක්ය.

     

    majeraya12

     

    මේ වන විට මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න මාදුරුඔය පිහිටි යුද හමුදා පුහුණු පාසලේ සේනා විධායක ලෙසින් කටයුතු කරන අතර ඔහුගේ මලණුවන් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න රාජකාරී කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදා තත්ත්ව ආරක්‍ෂක හා පිරික්සුම් අධ්‍යක්‍ෂ ධුරයේය.

    මේජර් ජෙනරාල් තනතුරෙහි රාජකාරි භාර ගෙන දින කීපයක ඇවෑමෙන් එම අසිරිමත් සිදුවීමේ සැබෑ හිමිකරුවන් දෙදෙනා එකවර මුණ ගැසීමේ අවස්ථාවක් අපට උදාවිය.

    නිවුන් සොහොයුරන් වූ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා පවසන පරිදි එයද තරමක් විරල සිදුවීමක්ය. එයට හේතුව බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ රාජකාරියේ ස්වභාවය හා ස්ථානීය දුරස්ථභාවය තුළ ඔවුනොවුන් එකට මුණ ගැසීම පවා දැන් දැන් සිදුවන්නේ කලාතුරකින් වීම හේතුවෙන්ය. එය නිමිති කරගනිමින් අපගේ කතා බහ ඉදිරියට ගිය අතර එම කතා බහ තුළ අපුරු සහෝදරත්වයක් සහිත නිවුන් සොයුරන් දෙදෙනෙකුගේ ළමා විය, පාසල් සමය හා ඉන් අනතුරුව උදා වූ යුද හමුදා ජීවිතය පිළිබඳ බොහෝ තොරතුරු විය. පළමුව සිය ළමා වියේ ඈතම ඉම මෙනෙහි කරමින් මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න කතා බහට එක්විය.

     

    majeraya1

     

    ‘‘අපි දෙන්නගෙ ළමාවිය ගත්තොත් ඇත්තටම ඒක ඉතාමත් සුන්දර අතීතයක්. ඒකට එක හේතුවක් තමයි අපි උපන් ගම සහ එහි පැවැති වටපිටාව. ඒ වටපිටාව තුළ අපිට දුව පැන ඇවිදින්න නිදහස තිබුණා. ගෙවල්වලින් අද වගේ තදබල නීතිරීති දැම්මේ නෑ. කොහේ ගියත් අපි දෙන්න ගියේ එකට. ගමේ අනිකුත් ළමයි එක්ක අපි උසමහත් වුණේ එකම පවුලක දරුවො විදිහට. අපේ ගම රතනපුර දිස්ත‍්‍රික්කයේ තිරිවානකැටිය. අදත් ඒ ගම තුළ අපි කුඩා කාලයේ වින්ද සුන්දරත්වය තිබෙනව.’’

    mejor3සිය ළමා විය පිළිබඳ ස්මරණයන් මේජර් ජෙනරාල්වරුන් දෙදෙනාගෙන් තවමත් පලාගොස් නැත. මතක අඩිපාර මත හදවතින් සක්මන් කළ මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න එහි රසමුසු තැන් යළිත් මෙනෙහි කරන්නට වූ අතර එම කතා බහ අතරට මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්නද වරින්වර එක් විය.

    ‘‘අපි දෙන්න මුලින්ම ඉස්කෝලෙ යන්නෙ රත්නපුර සීවලී විද්‍යාලයට. සාමාන්‍ය පෙළ විභාගය ලියනකම් සෑම අවුරුද්දකම අපි පන්තියෙන් පන්තියට ඉහළ යද්දීත් අපි දෙන්න ඉන්නෙ එකම පන්තියේ. එහෙම ගිහින් සාමාන්‍ය පෙළ සමත් වෙනවා. ඊළඟට උසස් පෙළ සඳහා විෂයන් තෝරා ගනිද්දී අපි දෙන්නම තීරණය කරනවා ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න. එතනදීත් අපි දෙන්න ඉන්නෙ එකම පන්තියේ, ඒ විතරක් නෙවෙයි විදුහලේ පාපන්දු කණ්ඩායමෙත් අපි දෙන්න ඉන්නවා. 13 පහළ කණ්ඩායමෙන් ආරම්භ කළ ඒ ගමන අපි දෙන්න නිමා කරන්නේ 19 පහළ කණ්ඩායමත් නියෝජනය කරලා. ඔය අතරේ විදුහලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයන් විදිහටත් අපිට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. එතනදි මට (මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න) ප‍්‍රධාන ශිෂ්‍ය නායකකම හිමිවෙනවා. අධ්‍යාපන කටයුතුවලට අමතරව විෂය බාහිර ක‍්‍රියාකාරකම් බොහොමයක් කරන අතරේ අපි උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා.’’

    වර්ෂ 1965 සැප්තැම්බර් මස 06 වැනි දින උපත ලබන නිවුන් සොහොයුරන් වූ ඔවුන් උසස් පෙළ කඩඉමද ඉහළින් සමත් වන්නේය. එකල මෙරට පැවැති තිස් වසරක යුද්ධයේ ආරම්භක අවදිය විය. කලක් රාජකීය හමුදාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ජනසීහ සෙනෙවිරත්න සහ ලීලා සෙනෙවිරත්න යුවළගේ දෙවැනි පුතුන් යුගලය ලෙස මෙලොව දිනන ජයන්ත සහ පූරක උසස් පෙළ සමත්වීමත් සමග තම පියාණන් ගත් මග යමින් යුද හමුදාවට එක්වීමට තීරණය කරන්නේය. රට තුළ යුද්ධයක් ආරම්භ වී තිබීමත් ඒ සඳහා සක‍්‍රීයව මැදිහත්වීමට තම පුතුන් තිදෙනාගෙන් දෙදෙනෙක් එක්වරම තීරණය කිරීම ජයන්ත සහ පූරකගේ පියාණන් හට කොයි හැටි වෙතත් ඔවුන්ගේ මවට ඉවසුම් නොදෙන සුලූ කරුණක් වී ඇත. එහෙත් දිවි ගමන යනු කලින් කරන ලද සැලසුමක ඵලයක් නොවන බැවින් තම පියාණන්ගේ පූර්ණ ආශිර්වාදය මැද දෙසොහොයුරන් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ කැඩෙට් නිලධාරී තනතුරු සඳහා ඉල්ලූම් කර ඇත.

    ‘‘අපේ අප්පච්චි දෙවැනි ලෝක යුද්ධය වෙලාවේ රාජකීය හමුදාවේ සේවය කළ කෙනෙක්. ඒ හින්ද අපි හමුදාවට බැඳෙන්න ගත්ත තීරණයට ඔහු අකැමැත්ත ප‍්‍රකාශ කරන්නෙ නැහැ. නමුත් අම්ම මුලින් විරුද්ධ වෙනවා. කොහොම හරි අන්තිමට අපි දෙන්නව සම්මුඛ පරීක්‍ෂණයට එක්ක එන්නෙත් අපේ අප්පච්චි’’

    ඉන් අනතුරුව වර්ෂ 1985 නොවැම්බර් පළමු වන දින පාඨමාලා අංක 21 යටතේ කැඩෙට් නිලධාරීන් වශයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාවට එක්වන නිවුන් සොහොයුරන් දෙදෙනා දියතලාව යුද හමුදා පීඨයේ දින 30 ක පුහුණුවක් ලබන අතර ඉන් අනතුරුව වැඩිදුර පුහුණුව පිණිස පාකිස්තානය බලා නික්ම යන්නේය. එහිිදී සාමාජිකයන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම කොටස් තුනකට වෙන් කොට පුහුණුවීම් ආරම්භ කර ඇත. ඒ පිළිබඳ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනාගේ මතකයෙහි යම් ඉඩක් විය.

    ‘‘ඇත්තටම පුංචි කාලෙ ඉඳල උසස් පෙළ වෙනකම් එකට හිටිය අපි හමුදාවට බැඳුණට පස්සේ යම් හෝ දුරස්වීමක් වෙයි කියලා මුලින් මුලින් හිතුණා. නමුත් පාකිස්තානයේ පුහුණුවට ගියාට පස්සෙත් අපි දෙන්නම හිටියෙ එකම කණ්ඩායමක. ඊට පසුව තරුණ නිලධාරී පාඨමාලාවක් කරනවා එතැනදිත් අපි දෙන්නම එකට ඉන්නවා. ඒ පුහුණුවීම් නිමා කරලා නැවත අපි ලංකාවට එන්නෙ 1986 ජුලි මාසෙ 24 වැනිදා. ඒ ඇවිත් මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ කැලෑ සටන් පිළිබඳ පාඨමාලාවක් කරනවා. එතැනදීත් අපි දෙන්නට එකට ඉන්න අවස්ථාව හිමිවෙනවා. ඇත්තටම මේ හැම දෙයක්ම අහම්බෙන් සිදු වූ සිදුවීම්. මේ සියලූ පුහුණු කටයුතු නිමා කරලා 1987 ජනවාරි මාසෙ 20 වැනිදා තමයි වෙන වෙනම ඒකක දෙකකට අපි දෙන්නව අනුයුක්ත කරන්නෙ.’’

    උපන්දා සිට එතෙක් දිනක් එක මග එකට පැමිණි ගමන අභිමුව දෙමංසලක් මුණ ගැසෙන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව තරුණ යුද හමුදා නිලධාරීන් ලෙස පූරක සෙනෙවිරත්න සංඥා බළකායත් ජයන්ත සෙනෙවිරත්න පාබල හමුදාවත් නියෝජනය කරමින් වෙන වෙනම රාජකාරී කොට ඇත. රාජකාරී හේතූන් මත සිදු වූ ඔවුනොවුන්ගේ දුරස් වීම ගතින් පමණක් සිදු වූ දුරස්වීමක් පමණය. දහසක් රාජකාරී මැද වූවද හැකි සෑම අවස්ථාවකම එකිනෙකාගේ සුවදුක් විමසා ගැනීම ඔවුන්ගේ පුරුද්දක් බවට පත්ව ඇත.

    ‘‘ඇත්තටම එදා තරමක් සංවේදී දවසක් මොකද අවුරුදු 20 ක් අපි දෙන්න එකටමනෙ හිටියේ. නමුත් අපි වෙන වෙනම ඒකකවලට අනුයුක්ත උනාට පස්සෙ එකට මුණ ගැසෙන එක ටික ටික අඩුවෙලා යනවා. විශේෂයෙන් ගෙදරදී මුණ ගැසීම සිද්ධ වුණේ ඉතාමත් අඩුවෙන්. මොකද එකවර නිවාඩු අරගෙන අපිට ගෙදර එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑනෙ. යුද්ධය පැවැති අවදියෙත් අපි දෙන්න වැඩි වශයෙන් රාජකාරි කළේ උතුරු නැගෙනහිර. සටන් බිමේදී අපි වරක් දෙවරක් විතර මුණ ගැහිලා තියෙනවා. විශේෂයෙන් බලවේගය ෂ මෙහෙයුම, වන්නි වික‍්‍රම මෙහෙයුම ඇතුළු ක‍්‍රියාන්විත රාශියකට විශේෂයෙන්ම මගේ අයිය (මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න) සහභාගී වෙලා තියෙනවා. බලවේගය ෂ මෙහෙයුම වෙලාවෙ අපි දෙන්නම එක සටන් පෙරමුණක හිටියා. එතනදී නිතරම සිද්ධ වුණ දෙයක් තමයි අපේ ඉහළ නිලධාරීන්ට අපි දෙන්නව වෙන් කරලා හඳුනගන්න බැරි වීම. එතනදී මට කියන්න ඕන එක සමහර වෙලාවට අයියට කියනවා. අයියට කියන්න ඕන එක මට කියනවා. ඔය වගේ පොඩි පොඩි පැටලිලි ඒ කාලෙ ඕන තරම් සිද්ධ වුණා. අද උනත් අපි දෙන්නව වෙන වෙනම හඳුනගන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඉතාමත් සීමිත පිරිසකට පමණයි. අපේ ඒකකවල නිලධාරීන් හා පාසල් සමයේ මිතුරන් දන්නව පූරක කවුද ජයන්ත කවුද කියලා. ඒ හැරුණු කොට අදටත් ඒ ගැටලූව තියෙනවා.’’

    යුද හමුදා ජීවිතයට පිවිසීමෙන් අනතුරුවද ඔවුන් ලූතිනන් කර්නල් ධුරයන් දක්වා උසස්වීම් ලබාගෙන ඇත්තේ එකවරය. ඉන් අනතුරුව ඒකකවල පවතින පුරප්පාඩු හේතුවෙන් එහි යම් වෙනසක් සිදුවන අතර එහිදී පූරක සෙනෙවිරත්න පසු කරමින් ජයන්ත සෙනෙවිරත්න පියවරක් දෙකක් පෙරට ගොස් ඇත. කල්යත්ම නැවතත් ඔවුන්ගේ යුද හමුදා ජීවිතයේ සම තනතුරුවලට පත්වන අතර එම සුවිශේෂී සිදුවීම සිදුවන්නේ ඉකුත් 6 වැනිදාය. එකම දිනක් තුළ යුද හමුදා සේවයට එක්වීමත් ඉන් දශක තුනක පමණ කාලයකින් අනතුරුව නැවතත් එකම දිනක මේජර් ජෙනරාල් තනතුරු හිමිවීමත් පිළිබඳ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනාගෙන් කළ විමසීමට පිළිතුරු සපයන්නට වූවේ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින්ය.

    ‘‘ ඇත්තටම සතුටක්. ඒ වගේම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. විශේෂයෙන්ම මේ තනතුරු සඳහා අපිව නිර්දේශ කරල ඒ සඳහා අදාළ කටයුතු කළ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට අපේ ගෞරවනීය ආචාරය මේ වේලාවෙ පුදකර සිටිනවා.

    ‘‘ඒ වගේම කුඩා කාලයේ පටන් අපට යහමග පෙන්වා දුන්න රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට හා අපට අධ්‍යාපනය ලබාදුන් ගුරු මණ්ඩලයට අපේ ආචාරය මේ වෙලාවෙ පුදකර සිටිනවා.’’

    මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා සමග තවත් බොහෝ දේ කතා කිරීමට ඇතත් ඊට කාලය හරස්වී ඇත. එළඹෙමින් පැවතියේ ඔවුන්ගෙන් සමුඅරන් යා යුතු මොහොතය. කැඩෙට් නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාවට එකතු වූ ඔවුන් මේ වන විට මේජර් ජෙනරාල් ධුරයන් සඳහා උසස්වීම් ලබා ඇත. ඒ පිළිබඳව ඔවුන් තුළ පවතින්නේ නිහතමානී සතුටක්ය. මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා සමග ගත කළ කෙටි වේලාව තුළ පවා දැක ගත හැකි වූවේ කොතරම් ඉහළ තනතුරු දරන්නන් වූවද ඔවුන් දෙදෙනා තුළ තවමත් අඩු නැතිව පවතින සහෝදරත්වයේ තරම සහ ඔවුන්ගෙන් වහනය වන සහෝදරත්වයේ සුවඳය.

  • තෙල් නලය පිපිරීමෙන් වෙරළට වූ හානිය අවුරුදු 5කින් මෙහා විසඳන්න බැරිලු

    තෙල් නලය පිපිරීමෙන් වෙරළට වූ හානිය අවුරුදු 5කින් මෙහා විසඳන්න බැරිලු

    මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ගෙනයන නළයක් පුපුරායාමෙන් මුහුදු ජලයට මිශ‍්‍ර වූ තෙල් තට්ටු ඉවත් කිරීමේ කටයුතු 
    මේ වනවිට අවසන් කර තිබෙනවා. කෙසේවෙතත් උස්වැටකෙයියාව අවට වෙරළ තීරය පෙර තිබූ තත්ත්වයට පත් කිරීමට තවත් වසර 5 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පැවසුවේ.
  • යාපනයේ නීතිඥවරියක්‌ බුදුරුව සහිත සාරියක්‌ ඇඳන් උසාවි ඇවිත්

    යාපනයේ නීතිඥවරියක්‌ බුදුරුව සහිත සාරියක්‌ ඇඳන් උසාවි ඇවිත්

    යාපනය දිසා අධිකරණයේ නීතිඥවරියක්‌ බුදුරුව සහිත සාරියක්‌ ඇඳගෙන අධිකරණයට පැමිණීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස්‌ ඉල්ලා තිබේ. 
     
     මේ නීතිඥවරිය අධිකරණයේ රාජකාරි සඳහා 12 දා පැමිණ ඇත්තේ මෙම සාරිය ඇඳගෙනය. 
     
     ඒ බව අධිකරණයේ සේවයේ නියුතු පොලිස්‌ නිලධාරීන් විසින් යාපනය මූලස්‌ථාන පොලිසිය වෙත දැනුම් දීමෙන් පසුව එම නීතිඥවරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට කතාබහක්‌ යාපනය පොලිසිය තුළ ඇතිව තිබේ. 
     
     මේ ක්‍රියාව සම්බන්ධයෙන් ගත යුතු පොලිස්‌ ක්‍රියාපටිපාටිය පිළිබඳව යාපනය පොලිසිය ඉහළ පොලිස්‌ නිලධාරීන්ගෙන් උපදෙස්‌ ඉල්ලා තිබේ. 
     
     යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‌ෂණ පවත්වාගෙන යයි

  • කොළඹ නගර සීමාව තුළ නිදහසේ සැරිසැරූ සුනඛයින්ගේ සංඛ්‍යාව 20% කින් පමණ අඩුවේ

    කොළඹ නගර සීමාව තුළ නිදහසේ සැරිසැරූ සුනඛයින්ගේ සංඛ්‍යාව 20% කින් පමණ අඩුවේ

    කොළඹ නගර සීමාව තුළ නිදහසේ සැරිසැරූ සුනඛයින්ගේ සංඛ්‍යාව 20% කින් පමණ අඩු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශූ වෛද්‍ය නිළධාරී විපුල ධර්මවර්ධන  මහතා කියයි. ඔහු පවසනුයේ 2015 වසරේ සිදුකළ සුනඛ සමීක්ෂණයකට සාපේක්ෂව ‍මෙම අඩු වීම වාර්තා වී ඇති බවයි. පසුගිය කාලයේ කොළඹ මහ නගර සභා සීමාවේ සුනඛයින් වන්ධ්‍යාකරණයට ලක් කිරිම මත මෙම අඩුවීම සිදුව ඇතැයි ඔහු පවසයි.

    2013 වසරේ කොළඹ පැවති චෝගම්සමුළුව මුල් කොට මහ නගර සීමාවේ සිටි සුනඛයින් විශාල පිරිසක් මරා දැමුණු බවට සත්ව හිමිකම් සංවිධාන මඟින් රජයට චෝදනා එල්ල කළ අතර  ඉන්පසුව එවැනි සිදුවීමක්  වාර්තා වී නොතිබිණ.

  • අගමැති ආසියාන් ලෝක ආර්ථික සමුළුව අමතයි

    අගමැති ආසියාන් ලෝක ආර්ථික සමුළුව අමතයි

    ආසියාව කේන්ද්‍ර කොට ගෙන ඉදිරි දශක කීපය තුළ නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වන බැවින්, ආසියාන් සංවිධානයට හා ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට ආසියානු භු දේශපාලනික ස්වරූපය සම්බන්ධව සුවිශේෂී කාර්ය භාරයක් පැවරෙන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
    හැනොයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ අද (13)  ‘ආසියානු භූ දේශපාලනික ස්වරූපය’ මැයෙන් පැවති සාකච්ඡා මණ්ඩපයට එක් වෙමින් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසූයේ ආසියානු ආර්ථිකයේ අනාගතය රදා පවතින්නේ ඉන්දු ශාන්තිකර සාගර නිදහස් නාවුක ගමනාගමනය මත බවය. 
    ඒ නිසා කලාපීය බලවතුන්, සාගරය භාවිත කරන්නවුන්, කලාපීය සමුද්‍රාසන්න රටවල් හා සියළු පාර්ශවයන් එක්ව, පිළිගත් සම්මතයන්ට අනුකූල නිදහස් සාගර ප්‍රතිපත්තියක් අනුගමනය කරලීමේ වැදගත්කම ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
    වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍ය ෆාම් බින් මින් දකුණු කොරියාවේ  විදේශ ඇමතිනී කං ක්‍යුං වා , ජපාන විදේශ අමාත්‍ය තරො කොනො සහ කේමිබ්‍රිජ් විශ්ව විද්‍යාලයේ හා ආසියානු උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ලින් කුක්  යන මහත්ම මහත්මීහු සාකච්ඡා මණ්ඩපයේදී අදහස් දැක්වූහ.
    නව ආර්ථික ප්‍රවණතාවන් හමුවේ ආසියානු කලාපය මුහුණ දෙන අභියෝග, තර්ජන පිළිබඳව සහ ඒවා ජය ගැනීමේ සාමූහික ක්‍රියා පිළිවෙත් පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරිණි.
    සාකච්ඡාව මෙහෙයවන ලද්දේ සිංගප්පූරුවේ චැනල් නිව්ස් ඒෂියා ආයතනයේ සත්කාරිකා ජුලී යෝ විසිනි.
  • මේ මස අවසාන වන විට නියං සමය අඩුවන ලකුණු

    මේ මස අවසාන වන විට නියං සමය අඩුවන ලකුණු

    දිවයින පුරා ප්‍රදේශ රැසකට බලපා තිබෙන දැඩි නියං කාලගුණික තත්ත්වය මේ මස අග පමණ වන විට අඩු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ මස අග පමණ වන විට වැසි ඇති වන ලකුණු ඇති බවත්, ලබන ඔක්තෝබර් හා නොවැම්බර් කාලය තුළ දෙවන අන්තර් වැසි මෝසම ආරම්භ වූ පසුව නියං තත්ත්වය පහව යනු ඇති බවත්, කාලගුණ විද්‍යා අනාවැකිකරණ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවා ය.

    දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක එකොළහක හයලක්ෂයකට අධික පිරිසකට බලපෑම් එල්ල වී ඇති අතර බොහෝ ප්‍රදේශවල ගංගා සහ වැව් ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බැස ඇත. පානීය ජල අවශ්‍යතා සහ වගා සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැකි වීම මත එම පිරිස් දැඩි පීඩාවට පත්වී තිබේ.

    මේ අතර මේ දිනවල නුවරඑළිය ඇතුළු බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය අනෙක් දිනවලට සාපේක්ෂව, අංශක දෙක තුනකින් ඉහළ ගොස් ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. විශේෂයෙන් ම උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, නුවරඑළිය, රත්නපුරය, මහනුවර වැනි දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි ය.

  • ශ්‍රී ලංකන් – වයා කැපිටල් ගිවිසුම අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කළේ නෑ -ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලේකම් කොමිසමට කියයි

    ශ්‍රී ලංකන් – වයා කැපිටල් ගිවිසුම අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කළේ නෑ -ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලේකම් කොමිසමට කියයි

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වයා කැපිටල් පාර්ට්‌නර්ස්‌ සමාගමත් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් නොකළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර් මහත්මිය ඊයේ (12) ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය.

    එම ගිවිසුම අධ්‍යක්‍ෂ මණ්‌ඩලය හමුවට ඉදිරිපත් නොවූවත් එම සමාගම පසුව ඉදිරි පත් කළ ව්‍යාපාරික සැලැස්‌මට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනුමැතිය ලැබුණු බව ද තිරුකුමාර් මහත්මිය කීවාය.

    කොමිසමේ ඊයේ (12) පැවති සාක්‍ෂි විභාගයේදී රජයේ නීතිඥයා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වයා කැපිටල් පාර්ට්‌නර්ස්‌ සමාගම අතර අත්සන් කළ ගිවිසුම ඊයේ කොමිසම හමුවට ඉදිරිපත් කළ අතර එය උපදේශක සේවා ලබාගැනීමට අත්සන් කළ ගිවිසුමක්‌ බව ද තිරුකුමාර් මහත්මිය කීවාය.

    ඉන්ට විස්‌ටා නම් සමාගම මේ ගිවිසුමේ පාර්ශ්වකරුවකු නොවන බව ද අදාළ ගිවිසුම සාක්‍ෂිකාරියට ඉදිරිපත් කරමින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඩැලරීන් තිරුකුමාර් මහත්මිය පැවසුවාය.

    එම ව්‍යාපාරික සැලැස්‌ම සකස්‌ කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 450,000 ක්‌ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් වයා කැපිටල් පාට්‌නර්ස්‌ සමාගමට ගෙවා ඇති බව ද එසේම ඊට පෙර එස්‌. ඒ. චන්ද්‍රසේකර මහතා සකස්‌ කළ ව්‍යාපාරික සැලසුම වෙනුවෙන් ගෙවන ලද්දේ මසකට රු. 250,000 බැගින් මාස තුනක්‌ සඳහා රු. 750,000 ක මුදලක්‌ බව ද සාක්‍ෂිකාරිය කීවාය.

    එම කාර්යය සඳහා එස්‌. ඒ. චන්ද්‍රසේකර මහතා මුලින් පත්කර ඒ සඳහා අධ්‍යක්‍ෂ මණ්‌ඩල අනුමැතිය ලබාගෙන තිබුණේ පසුව බව ද කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‍ෂිකාරිය පිළිගත්තාය.

  • ළමුන් ඇතුළත් කිරීමේදී අක්‍රමිකතා වීනම් තොරතුරු පනතින් විස්තර ගන්න පුළුවන්

    ළමුන් ඇතුළත් කිරීමේදී අක්‍රමිකතා වීනම් තොරතුරු පනතින් විස්තර ගන්න පුළුවන්

    පාසල්වල පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේදී යම් අසාධරණයක් සිදුවී ඇතැයි පෙනීයන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාදී ඇති අවස්ථාව උපරිම ප්‍රයෝජනයට ගනිමින් ඒ පිළිබඳව අදාළ නිලධාරින් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කරයි.

    එමෙන්ම ව්‍යාජ ‍ලේඛන ඉදිරිපත් කරමින් යම් දරුවකු පාසලකට ඇතුළත් කළ හොත් 2019 වර්ෂය සඳහා රජයේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍ර‍ලේඛයට අදාළව එම දරුවා එම පාසලින් ඉවත් කිරීමට සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එම නිවේදනයේ දක්වා ඇත.

    වත්මන් රජය සියලු කටයුතු විනිවිදභාවයෙන් සිදුකරන බව පැවැසූ අමාත්‍යවරයා එම තොරතුරු බාධාවකින් තොරව මහජනතාවට ලබාදීමටත් තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වාදුන් බවද හෙතෙම සඳහන් කරයි.

    පාසල්වල පළමු වසරට ඇතළත් කරගන්නා සිසුන්ගේ නාම‍ලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් පසු තමන් ඉල්ලා සිටි පාසලට තේරී නොමැති සිසුන් වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ඉල්ලා සිටීමේ හැකියාව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි. එමෙන්ම පාසල්වලට නවක සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති චක්‍ර‍ලේඛ සහ උපදෙස් අනූව සියලු විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි. දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීමට අදාළ ‍ලේඛන ප්‍රසිද්ධියට පත්කිරීමේ දී ඉල්ලුම්කර ඇති ගණනය, ඊට අදාළව ලබාගත් ලකුණු මෙන්ම අදාළ අනෙකුත් තොරතුරුද ප්‍රසිද්ධියට පත්කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා එමගින් කියා සිටී.

    පුරවැසියන්ගේ සක්‍රීය ක්‍රියාකාරිත්වය පෙන්වන මෙවැනි ක්‍රියා මඟින් තොරතුරු දැනගැනීමේ පනත බලගැන්වීම මෙන්ම රාජ්‍ය සේවය සාධාරණ මහජන හිතකාමී සේවයක් බවට පත්කරලිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

  • නීතියට පිටුපෑවේ නෑ: රාජකාරියට රට ගියා – මෙක්සිකෝවේ සිට අද්මිරාල් රවීන්ද්‍ර කියයි

    නීතියට පිටුපෑවේ නෑ: රාජකාරියට රට ගියා – මෙක්සිකෝවේ සිට අද්මිරාල් රවීන්ද්‍ර කියයි

    තමා නීතියට පිටු නොපෑ බවත් රාජකාරිය සම්බන්ධයෙන් විදේශගත වූ අතර ඉතා ඉක්මනින් ශී‍්‍ර ලංකාවට පැමිණෙන බවත් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙක්සිකෝවේ සිට ඊයේ (12) පැවසීය.

    තමා විදෙස්‌ගත වූ බව රහස්‌ පොලිසියට දැනුම් දුන් බව කී රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා නීතියට පිටුපා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීමට තමාට අනවශ්‍ය බවද කීවේය. 

    පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් කිරීමට සම්බන්ධ බව කියන ”නේවි” සම්පත් නමැත්තාට රටින් පැන යැමට ආධාර කිරීමේ චෝදනාව මත රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියදී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා මෙසේ විදේශගත විය. 

    මේ පිළිබඳව ”දිවයින” නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා කියා සිටියේ තමා විදේශගත වීම පිළිබඳව ඇතැමුන් වරදවා තේරුම් ගැනීමට ඉඩ තිබෙන බවයි.

  • පුටු අස්සේ හැංගුන බස්නාහිර නොදත් පැත්ත

    පුටු අස්සේ හැංගුන බස්නාහිර නොදත් පැත්ත

    බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා අනවශ්‍ය ලෙස මුදල් වැය කරන  බවට එල්ල වන චෝදනා, දේශපාලන අවශ්‍යතා මත එල්ල කරන ඒවා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය  ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.
     
    මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරැ දෙමින් (12) අද පෙරවරුවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ චෝදනා එල්ල කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනාගෙන් තමන් මේ පිළිබඳව විමසා සිටි බවයි.
     
    මාධ්‍යවේදීන් කැමරාව යොමු කරමින් මේ සම්බන්ධයෙන් ඇසූ නිසා පුවත් පළ කර ගැනීමේ අවශ්‍යතාව මත තමන් එලෙස ප්‍රකාශ කළ බව එම මන්ත්‍රීවරුන් සඳහන් කර සිටි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
     
    බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන් මැදිහත්වී පළාත් සභාවට පුටු ගෙන ඒම නවත්වා ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද අදහස් දක්වමින්   බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය  ඉසුර දේවප්‍රිය මහතා සඳහන්  සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමන්  රහසේ එවැනි ප්‍රකාශ කරන බවට තමන් නොසිතන බවයි.
     
    තමන් සහ අමාත්‍යවරු අතර පැවති සාකච්ඡාව පිළිබඳව ආණ්ඩුකාරතුමන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ඇති බවයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය  ඉසුර දේවප්‍රිය මහතා මෙහිදී සඳහන් කළේ.
  • සුද්දගේ කාලෙන් පස්සෙ කොළඹට වතුර දුන්න මිනිසා කියල රවීව හඳුන්වන්නෙ ඇයි ?

    සුද්දගේ කාලෙන් පස්සෙ කොළඹට වතුර දුන්න මිනිසා කියල රවීව හඳුන්වන්නෙ ඇයි ?

    කොළඹ වරාය ව්‍යාපෘතියට ජලය සැපයූ මෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පසු පානීය ජලය ඉලක්ක කොට ගෙන විශාලම සංවර්ධන ව්‍යාපෘතිය දියත් කල හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා හෙට රට පේජය කල සම්මුඛ සාකච්චාවෙන් උපුටා ගන්නා ලදී…..

    https://www.facebook.com/FutureSriLanka1/videos/2159638034259521/

  • අට්ටවිල්ලුව රක්ෂිතය හදිසියේ ගිනිගනී

    අට්ටවිල්ලුව රක්ෂිතය හදිසියේ ගිනිගනී

    හදිසියේ ඇතිවූ ගින්නකින් පුත්තලම අට්ටවිල්ලුව රක්ෂිත වනාන්තරයේ අක්කර ගනනාවක් විනාශයට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

    ඉකුත් 10 වැනිදා සවස මෙම ගින්න පැතිර ගොස් ඇත.

    ගින්න හේතුවෙන් අට්ටවිල්ලුව රක්ෂිත වනාන්තරයේ අක්කර 15 කට ආසන්න ප්‍රමාණයක් සහ ඒ ආසන්නයේ ඇති නිවාස සංවර්ධන අධිකරියකට අයත් ඉඩමකටද හානි සිදුවී ඇත.

    මේ දිනවල පවතින දැඩි නියගය නිසා රක්ෂිත වනාන්තරයේ සහ නිවාස අධිකාරියට අයත් ඉඩමේ ගහ කොල වියලී ගොස් තිබීම හේතුවෙන් කෙටි කාලයකදී ගින්න පැතිර ගොස් ඇත.ගින්න නිවා දැමීම සදහා පුත්තලම නගර සභාවේ ගිනි නිවන රථය සහ පොලීසිය විසින් ජල බව්සර් ගෙන්වා තිබුනත් ඒවාට වනාන්තරය තුළට පිවිසීමට නොහැකි තත්ත්වයක් තිබුණි.

    පසුව තම්බපණ්ණි නාවුක හමුදාවේ නිලධාරීන්,ප්‍රදේශවාසීන්,පොලීසිය,වන සංරක්ෂණ නිලධාරීන්  සහ ආපදා කළමණාකරන ඒකකයේ නිලධාරීන් විසින් පැතිර යමින් තිබූ ගින්න නිවා දමන ලදි.

    කිසියම් අයෙකු විසින් ගිනි තැබීම හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

  • ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දෙන කජු මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ…..දේශපාලකයන්ට සහ ජාවාරම්කරුවන්ට ඕනෑ විදිහට පිටරටවලින් පලතුරු ගේන්න දෙන්න එපා  …..

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දෙන කජු මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ…..දේශපාලකයන්ට සහ ජාවාරම්කරුවන්ට ඕනෑ විදිහට පිටරටවලින් පලතුරු ගේන්න දෙන්න එපා …..

    ජාවාරම්කරුවන්ට සහ දේශපාලනඥයන්ට ඕන විදිහට පිටරටින් පලතුරු ගේන්න ඉඩ දෙන්න එපා යෑයි ඒ සඳහා අවසර දෙන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) පැවසීය.

    ජාතික සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූ පුරන් කුඹුරු අස්‌වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමට දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහනට හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එක්‌වෙමින් ජනාධිපතිවරයා එසේ කීය. එහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

    අප රට පුරා ආරම්භ කර ඇති පුරන් කුඹුරු අස්‌වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳව හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ගොවි ජනතාව දැනුවත් කිරීමට එක්‌වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා. පුරන් කුඹුරු පිළිබඳව අපේ රටේ ගොවි ජනතාවට තිබෙන්නේ දීර්ඝ කාලීන අත්දැකීමක්‌. ඒ වගේමයි කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටත් විශාල අත්දැකීම් තිබෙනවා.

    අප කතා කරන මහා පැරකුම් යුගයේ ආර්ථික සමෘද්ධිය අධි තාක්‌ෂණික ලෝකයේ අනාගත සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීමට යාමේ දී අපට බාධාවන් තිබෙනවා. රටේ විවිධ ක්‌ෂේත්‍රවල වාර්ෂික සංවර්ධන ඉලක්‌ක, සංවර්ධන සැලසුම් ගත්විට සම්පූර්ණ කිරීමට අපහසුවන කරුණු කිහිපයක්‌ තිබෙනවා. 

    ඒ කරුණු අපට පමණක්‌ නෙවෙයි, ලෝකයේ සියලුම රටවල්වලට අදාළයි. ජාතික සැලසුම්වලට අපි වාර්ෂිකව මුදල් වෙන් කරනවා. ඒ වගේම විවිධ ක්‍ෂේත්‍රවලට ජාතික සැලසුම් හදනවා. සෞඛ්‍ය, අධ්‍යාපන සහ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ සැලසුම් බොහෝ විට අපේක්‌ෂිත ඉලක්‌ක කරා යන්නේ නැහැ. එම සැලසුම් ඉදිරියට නොයන්න සෑම රටකටම අපේක්‌ෂා නොකළ සිදුවීම් වෙනවා. ඒ තමයි ස්‌වභාව ධර්මයාගෙන් ඇතිවන අභියෝග.

    අපේ රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවාවට 2019 වසරට රුපියල් කෝටි 5000 ක්‌ වෙන් කළා. බෙහෙත්වලට මෙච්චරයි, යන්ත්‍ර සූත්‍රවලට මෙච්චරයි, ගොඩනැඟිලිවලට මෙච්චරයි, පරිපාලන වියදම්වලට මෙච්චරයි කියලා වෙන් කරනවා. නමුත් අපේක්‌ෂා නොකළ ලෙසට ලෙඩ රෝග මතුවෙනවා. ඩෙංගු, වසංගත, ගංවතුර හානි තුළ ඇතිවන ලෙඩ වෙන්න පුළුවන්, නියඟය නිසා ඇතිවන තත්ත්වයන් වෙන්න පුළුවන්. එතනදී වාර්ෂික සෞඛ්‍ය සැලසුම් වෙනස්‌ වෙනවා. කෘෂිකර්මාන්තයත් එහෙමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සැලසුම් හදනවා. මුදල් අමාත්‍යාංශයෙන් මුදල් දෙනවා. නමුත් මුදල් මෙච්චරයි මේ වසරට, මෙන්න සැලසුම්, මෙන්න නිෂ්පාදන ඉලක්‌ක කියලා බලාපොරොත්තු වෙනවා අපේක්‌ෂිත ඉලක්‌ක ළඟාකරගන්න පුළුවන් කියලා. නමුත් බලාපොරොත්තු නොවන විදියට නියඟයක්‌ එනවා. එවිට ඔක්‌කොම ඉවරයි. බලාපොරොත්තු නොවන විදියට ගංවතුරක්‌ එනවා. එවිටත් ඔක්‌කොම ඉවරයි. 

    පුරන් කුඹුරු ඇතිවෙන්නේ කුමන කාරණයක්‌ නිසාද කියා සිතා බැලුවොත් ඒවා ඇතිවන කරුණු කිහිපයක්‌ තිබෙනවා. එකක්‌ තමයි අති විශාල වශයෙන් ඉඩම් තිබෙන අය වෙනත් ආර්ථික ශක්‌තීන් ඇතිවිට කු=ඹුරු අත්හැර දැමීම සිදුකරනවා. ඔවුන් සිතනවා තමන්ගේ අනෙක්‌ ව්‍යාපාර දියුණු කර ගන්න එක හොඳයි මේ සඳහා කාලය ගත කරන්න ඕන නැහැ කියලා. මෙයින් පොඩි ආදායමක්‌ තිබෙන්නේ කියා සිතනවා. ඒ එක කාරණයක්‌. අඩු ආදායම්ලාභී සාමාන්‍ය ගොවි ජනතාවට තිබෙන ඉඩම්වලින් කාලගුණික සහ දේශගුණික බලපෑම් නිසා කුඹුරු වැඩ කරගන්න බැරිව අත්හරිනවා. ඒවා පුරන් කුඹුරු වෙනවා. 

    ජාතික සංවර්ධන ව්‍යාපෘති සෑදීමේ දී නිසි පරිදි ශක්‍යතා අධ්‍යයනයන් නොමැතිව කිරීම නිසා ඇතැම් වෙලාවට කුඹුරු ගොඩවෙනවා. ජල මාර්ග හරස්‌ වී කුඹුරු වැඩ කිරීමට අවශ්‍ය ජල ප්‍රමාණය නොමැති වීමෙන් කුඹුරු පුරන් වෙනවා. මෙවැනි කරුණු ගණනාවක්‌ කුඹුරු පුරන් වීමට හේතු වෙනාවා. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේත් පුරන් කුඹුරු තිබෙනවා නම් ඔය කරුණු තුනටම ඇතුළත් කුඹුරු ඇති. ලංකාවේ පුරන් කුඹුරු වැඩිම පළාත බස්‌නාහිර පළාත. මම කෘෂිකර්ම ඇමැතිවරයා විදියට අවුරුදු හයක්‌ සිටි නිසා මම දන්නවා. මේ පිළිබඳව මට අත්දැකීම් තිබෙනවා. පසුගිය අවුරුදු කිහිපයේ දී පිටරටින් සහල් ගෙන්වන්න සිදු වුණා නියඟය නිසා. පසුගිය මාස හත, අටේ ගෙන්නුවේ නැහැ. මේ අවුරුද්දේ වර්ෂාව ඇතිවීම නිසා නියඟය පැවැති ප්‍රදේශවල එම තත්ත්වය අඩු වුණා. හම්බන්තොට ඇතැම් ප්‍රදේශවල නියඟය තිබෙනවා. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ විශාල වශයෙන් නියඟය තවමත් තිබෙනවා. මෙහි තිබෙන තත්ත්වයන් අපි හඳුනාගෙන මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. ඇමැතිතුමා පිටරටින් ගෙන්වන ආහාර ලැයිස්‌තුවක්‌ සඳහන් කළා. දොඩම්, බඩ ඉරි`ගු, මිරිස්‌, කජු වැනි දේවල් සඳහා යන වියදමත් සඳහන් කළා. මේවා ගේන්න අවසර දෙන්නේ කවුද? අවසර දෙන අයත් මෙතන ඉන්නවානේ. කජු ගේන්න කවුද අවසර දෙන්නේ? බඩ ඉරිඟු ගෙන්වීමට කවුද අවසර දෙන්නේ? දොඩම් ගේන්න කවුද අවසර දෙන්නේ? ඒ සඳහා අත්සන් කරන මහත්වරු මෙහි සිටිනවා. අපි ලැයිස්‌තුවක්‌ කියනවා මේවා ගේනවා කියලා. එක එක ජාවාරම්කාර මුදලාලිලාට ඕන විදියට ජාවාරම්කරුවන් එක්‌ක හවුල් වී සිටින දේශපාලනඥයන්ට ඕන විදියට, මේවා ගේන්න දෙන්න එපා. ඇමැතිතුමා සඳහන් කළා අවුරුද්දකට රු. කෝටි 96 ක වැඩිය වටිනාකමක දොඩම් ගේනවා කියලා. තමුන්නාන්සේලා අත්සන් නොකර හිටියානම් හරි පිටරටින් ගෙන්වන දේවල්වලට. 

    මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක්‌ කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගේන මේ කජුවලට අත්සන් කරලා අනුමත කරන්නේ කවුද? බඩ ඉරිඟු මේ රටට ගෙන්වීම පිළිබඳව ප්‍රතිපත්තියක්‌ ලෙස මම හැමදාම විරුද්ධයි. මම මහවැලි ඇමැතිවරයා විදියට අවුරුදු 16 ක්‌ වැඩ කරලා තිබෙනවා. ලංකාවේ මහවැලි ඇමැතිවරයා විදියට වැඩිම කාලයක්‌ වැඩ කර තිබෙන්නේ මම. කෘෂිකර්ම ඇමැතිවරයා විදියට අවුරුදු 6 ක්‌ සිටියා. මේ ක්‍ෂේත්‍ර පිළිබඳව දන්න නිසායි මම කියන්නේ. මේ රටේ වගා කිරීමට හැකි දේවල් එක එක ජාවාරම්කාරයන්ට ඕන විදියට පාරිභෝගිකයාගේ තත්ත්වය පිළිබඳ වාර්තාව ඉස්‌සරහට දාලා ගෙන්වන එක නතර කළ යුතුයි. මේ පුරන් කුඹුරු අස්‌වැද්දවීමේ වැඩසටහන සාර්ථක කරන්න තමුන්නාන්සේලාගේ සහයෝගය ලබා දෙන්න. මේ ආණ්‌ඩුවෙනුත් ගිං-නිල්වලා ගැන නැවත පරීක්‌ෂණයක්‌ කරන්න වෙයි කියා මට හිතෙනවා, ඇයි මේ ප්‍රමාදය. මම ඒ කාරණයත් දන්නවා. ඒ නිසා ගිං – නිල්වලා ව්‍යාපෘතියේ වගකීම තිබෙන අය කවුරුන් හෝ වේවා තමන්ගේ දේශපාලන වටිනාකම් පරිස්‌සම් කරගෙන කටයුතු කරන්න. මෙහි කැබිනට්‌ පත්‍රය මාස තුනක්‌ ප්‍රමාද වුණා. ඒ ඇයි කියාත් මම දන්නවා. ඉතිරි ටික මගෙන් රටට ප්‍රකාශ කරගන්නේ නැතුව එම කටයුත්ත කරන්න කියා මම ඔවුන්ට ප්‍රසිද්ධියේම කියනවා.