Category: සුපිරි News

  • ‘මට ෆයිසර් ගැන සැකයි‘ – මහාචාර්ය තිස්ස විතාරණ

    ‘මට ෆයිසර් ගැන සැකයි‘ – මහාචාර්ය තිස්ස විතාරණ

    ෆයිසර් එන්නත මිනිසුන්ට අහිතකර විය හැකි බව පවසමින් ෆයිසර් එන්නත ආනයනය කිරීම අවම කර අනෙකුත් එන්නත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස වෛරස් විද්‍යාඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

    Pfizer Covid-19 එන්නත මැසෙන්ජර් RNA එන්නතක් බවත්, ජානයක් මිනිස් සිරුරට සෘජුවම එන්නත් කළ පසු එය ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි කිසිවෙකුට අනාවැකි කිව නොහැකි බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වෛද්‍ය නිලධාරියෙකු ලෙස තමාට ෆයිසර් එන්නත පිළිබඳව සැකයක් ඇති බව ද විතාරණ මහතා පැවසීය.

    “මට විද්‍යාත්මකව Pfizer ගැන සැකයක් තියෙනවා. ඒක අලුත් එන්නත් ප්‍රභේදයක්. ඒක RNA එන්නතක්. RNA භාවිතයෙන් නිපදවන එන්නත් පළමු වතාවට මිනිසුන්ට Covid-19 සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කර තිබෙනවා. එය කවදා ප්‍රතික්‍රියා කරයිද යන්න කිසිවෙකුට අනාවැකි කිව නොහැකියි. ජානයක් සෘජුවම මිනිස් සිරුරට එන්නත් කරනවා. එයින් අහිතකර අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. එවැනි දේවල් සිදුවෙන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් හැකියාවක් තියෙනවා, ඒ නිසා ෆයිසර් එන්නත වෙනුවට වෙනත් විකල්ප එන්නත් භාවිතා කරන ලෙස මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    සිනෝෆාම් වැනි සම්පූර්ණයෙන් අක්‍රිය වූ වෛරස් භාවිතයෙන් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නිපදවන එන්නත් තිබෙන බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය

  • ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

    ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

    ඩෙල්ටා ප්‍රභේදයේ තවත් උප ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් අනාවරණය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා අද (19) ප්‍රකාශ කළේය. ඒ අනුව නව උප ප්‍රභේදය B.1.617.2.104 ලෙස නම් කර ඇති බව ඔහු පැවසීය.

    මෙය මීට පෙර රට තුළ අනාවරණය වූ B.1.617.2.28 උප පෙළපතට අමතරව කළ වර්ගීකරණයක් බව වෛද්‍ය ජීවන්දර පැවසුවේය.

    ” ශ්‍රී ලංකාවේ ඩෙල්ටා ප්‍රභේදවලට දැන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ අනන්‍ය උප ප්‍රභේද දෙකක් ඇත,” ඔහු වැඩිදුරටත් පැවසීය.

    මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ B.1.617.2.104 උප ප්‍රභේදය උතුරු, උතුරු මැද පළාත්වල සහ දකුණු පළාතේ සමහර ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන අතර B.1.617.2.28 උප පරම්පරාව බස්නාහිර පළාතේ දක්නට ලැබෙන බවයි.

    මෙම උප ප්‍රභේද වල සම්ප්‍රේෂණය සහ සායනික රෝග ලක්ෂණ ගැන කතා කරමින් වෛද්‍ය ජීවන්දර පැවසුවේ මව් ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඒවා වැඩි වෙනසක් අපේක්ෂා නොකරන බවයි.

    “මව්පිය විකෘතියට වඩා වෙනස් විකෘති කිහිපයක් තිබුණද, සම්ප්‍රේෂණය වීමේ සහ සායනික රෝග ලක්ෂණවල විශාල වෙනසක් අපි බලාපොරොත්තු නොවෙමු,” ඔහු අවධාරණය කළේය.

    “මෙම පෙළපත්වල හැසිරීම් තවදුරටත් පරීක්‍ෂා කිරීමට අපට රසායනාගාර පහසුකම් නොමැති බැවින්, වැඩිදුර පරීක්‍ෂණ සඳහා B.1.617.2.28 පරම්පරාවේ වෛරසය හොංකොං වෙත යවා තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකාවෙන් මේ වන විට බී.1.617.2.28 පරම්පරාවේ රෝගීන් 479 ක් වාර්තා වී ඇති අතර බී.1.617.2.104 පරම්පරාවේ රෝගීන් 288 ක් මේ වන විට අනාවරණය වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

  • ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමේ රෙදි ගැළවෙයි

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමේ රෙදි ගැළවෙයි

    • කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සේවකයන් 214ක් ස්ථිර කරලා
    • වසර 50ක් තුළ අත්පත් කරගත් සහ බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීම බරපතල ගැටලුවක්
    • පවරාගත් ඉඩම්වලට අදාළ ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයිද හෙළිවෙයි.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු දශලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බදවා ගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කොට ඇති බව පසුගිය දා පැවති පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී අනාවරණය විය.

    කැබිනට් අනුමැතියක් යටතේ ‍කොන්ත්‍රාත් පදනම මත මෙම බදවා ගැනීම් සිදු කර ඇති බවත් ඉන්පසු, 2014 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛයක් පදනම් කර ගනිමින් මෙම පිරිස ස්ථිර කිරීමට ද කටයුතු කර ඇති බවත් මෙහිදි හෙළි විය.

    ව්‍යාපෘතියක් සදහා බදවා ගත් පිරිසක් මෙලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කිරීමේදී බලවත් වරදක් සිදුවී ඇති බවත් මෙම තත්ත්වය අනෙකුත් රාජ්‍ය ආයතනවලටද වැරදි පූර්වාදර්ශයක් සපයන බවත් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය. එබැවින් මේ පිළිබදව අමාත්‍යාංශ මට්ටමින් විධිමත් විමර්ශනයක් සිදුකොට පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් මෙම තත්ත්වය නිවැරදි කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙසත් ඉඩම් අමාත්‍ය ලේකම් ආර්.ඒ.ඒ.කේ රණවක මහතාට කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2017, 2018 සහ 2019 වර්ෂයන් සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සදහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා (17) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු  අනාවරණය විය.

    1972  අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පිහිටවූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් පවරා ගැනීමේදී අත්පත් කර ගත් ඉඩම් ප්‍රමාණය සහ ඒ ඒ රජයන් කාලවලදී බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීම බරපතල තත්ත්වයක් බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේවන විට ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයක් කොමිෂන් සභාව සතු වන බවත් එම අගය නිවැරදිම අගය නොවන බවත් මෙහිදී අනාවරණය විය. ඉඩම් අත්පත් කරගැනීමේදී සහ විවිධ රජයන් යටතේ පවරාදීමේදී නිසියාකාරව මැනීමක් සිදුනොකිරීම එයට හේතුවී ඇති බව ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    කොමිෂන් සභාව සතු ප්‍රධාන වත්කම වන මෙම ඉඩම් පිළිබද නිවැරදි දත්ත මෙන්ම තක්සේරුවක්  කොමිෂන් සභාව සතුවීම අත්‍යවශ්‍ය බැවින් ඉඩම් නිවැරදිව මැන තක්සේරු කිරීමත් ඒ පිළිබදව නිශ්චිත පදනම් ලියවිල්ලක් සෑදීමත් අත්‍යවශ්‍ය  බව කමිටුව පෙන්වා දුන්නේය. නවීන ඩ්‍රෝන තාක්ෂණය වැනි දෑ ඒ සදහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද අවධානය යොමු කරමින්  ඒ පිළිබද කඩිනම් වැඩපිළිවෙලක් සකස් කොට කෝප් කමිටුවට දන්වන ලෙස  අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදි කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

    නවීණ තාක්ෂණය භාවිතා කරමින් මෙම ඉඩම්වල දත්ත ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය. මේ වන සිදුවන විවිධ අක්‍රමිකතා ඇතුළු ගැටලු රැසකට එමගින් විසදුම් ලැබෙන බව කමිටුව පෙන්වා දුන් අතර ඒ සදහා කඩිනමින් මැදිහත්වන ලෙස ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

    පවරා ගැනීමට අදාළ ඇතැම් ගොනු අස්ථානගතවී ඇති බවද ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. මෙවැනි ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය. මේ පිළිබදවද වහාම සොයාබැලීමක් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. ජනතාවගෙන් පවරාගත් ඉඩම් වඩාත් ඵලදායිව යොදා ගැනීම වෙනුවට විවිධ පුද්ගලයන් අතට පත්වීම බරපතල ගැටලුවක් බැවින් මෙම තත්ත්වය නිවැරදි කර ගැනීම අතිශය වැදගත් බව කමිටුව අවධාරණය කළේය.

    එසේම 1972 -1974 කාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පවරාගත් ඉඩම්වලින් පිඹුරුපත්  හා ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම මත  අක්කර 50 ක ප්‍රමාණය නිදහස් නොකළ ඉඩම් 260ක් පවතින බවද මෙහිදී අනාවරණය විය.  මේ අනුව වසර 50ක් තුළ ප්‍රමාද වූ මෙම ක්‍රියාවලිය ‍ඓතිහාසික ගැටලුවක්ව ඇති බැවින් විශේෂ කවුළුවක් විවෘත කොට ඉදිරි මාස 06 තුළ  මෙම ප්‍රශ්නය විසදීම සදහා මැදිහත් වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ  ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට කමිටුව උපදෙස් ලබා දුන්නේය.

    කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයේ වටිනාකම ලෙස වසර ගණනාවකට පෙර සිදු කරන ලද තක්සේරුව රු. මිලියන 676 ක් ලෙස සදහන්ව තිබුණද එම අගය වර්තමානයේ  නිවැරදිවිය යුතු බවද  කමිටුව පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය අනුව අක්කරයක වටිනාකම රු.500 ක් පමණ වන බැවින් මෙම ගැටලුව වහාම නිවැරදි කරගැනීම සදහා මාස 06 ක් තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් සභාපතිවරයා ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

    එසේම කොමිෂන් සභාවේ ඉඩම් බදු දුන් පසු එම ඉඩම් බැංකුවලට උකස් කොට ණය ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවද මෙහිදී අනාවරණය විය. ව්‍යාපාරිකයන් තමා ලබා ගත් ඉඩම පවරා දීමේ කොන්දේසිවල සදහන් පරිදි  කොමිෂන් සභාවේ අවසරය මත උකස් කොට ණය ලබා ගැනීමට ඇති හැකියාව මත මෙය සිදු වන බවත් මෙහිදී හෙළිවිය.  එසේම ඇතැම් ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමෙන් පසු ඒවා ඵලදායි ලෙස යොදා ගන්නේ ද යන්නත් ගැටලුවක් බව සාකච්ඡා විය.

    ‍මෙහිදී අදහස් දක්වමින් කෝප් සභාපතිවරයා පැවසුවේ කොමිෂන් සභාව සතු වත්කම් ඉඩම් ප්‍රමාණය හදුනාගෙන  එය ඵලදායි ලෙස සංවිධානය කර ගැනීම පිළිබද ආකෘතියක් පිළියෙල කිරීම මේ මොහොතේ කළ යුතු ප්‍රධාන කාර්යභාර්ය බවයි. මෙය ජාතික අවශ්‍යතාවක් බැවින්  මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවයන් එක්කරමින් නිශ්චිත වැඩපිළිවෙලක් සැලසුම් කිරීම සදහා ඉදිරියේදී කමිටුව නැවත කැදවීමට අපේක්ෂා කරන බව ද මහාචාර්ය හේරත් මහතා පැවසීය.

  • ‘සඳහිරු සෑ රඳුන්‘ ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කෙරේ

    ‘සඳහිරු සෑ රඳුන්‘ ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කෙරේ

    අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ රණවිරුවන් සිහි කොට පිං පැමිණවීම, ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ට ආශිර්වාද කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් පස්වන විධායක ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් ලෙස එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් “සඳහිරු සෑය” ඉදිකරනු ලැබීය. ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ගිහි පැවිදි සැදැහැවත්හු ඊට මූල්‍ය හා ශ්‍රම පරිත්‍යාග ලබා දුන්හ.

    ක්‍රි.ව. 301 දී මහසෙන් මහරජු අනුරාධපුරයේ, ජේතවනාරාමය ඉදි කළ පසු ලක්දිව ඉදි වූ විශාලතම චෛත්‍ය මෙයයි. 2010.11.22 දින “සඳහිරු සෑ චෛත්‍යයේ” ඉදිකිරීම් ඇරඹුණු අතර 2014.11.22 දින ධාතු නිධානෝත්සවය කිරීම සිදුවිය.

    උස අඩි 282යි අගල් හයක් වන මෙහි වට ප්‍රමාණය අඩි 800කි. බුබ්බුලාකාර හැඩයකින් යුත් මෙම චෛත්‍යයෙහි කපිලවස්තු ධාතූන් වහන්සේ ඇතුළු සර්වඥ ධාතු තැන්පත් කොට ඇත. චෛත්‍යයේ තැන්පත් කොට ඇති චූඩා මාණික්‍යයේ උස අඩි 3යි අඟල් 6කි. මෙහි මැණික් ගල් 1895ක්, රත්‍රන් මෙන්ම මුතු ද ඔබ්බවා තිබේ.

    ජය පිරිත් සජ්ඣායනා, දේව ආරාධනා, හේවිසි හඬ මධ්‍යයේ “සඳහිරු සෑ රඳුන්ගේ” ඵලකය සහ කොත් වහන්සේ නිරාවරණය ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අතින් සිදුවිය.

    මහා සංඝරත්නය සහ ප්‍රධාන ආරාධිතයෝ ප්‍රධාන වාහල්කඩ පිළිමවහන්සේ අභියස හා විහාර මන්දිරයේ දී මල් සහ සුවඳ දුම් පූජා කළහ.

    රටට සාමය උදා කිරීමට කැපකිරීම් කළ සියලු රණවිරුවන්ටත්, යුද්ධයේදී මියගිය සියලු පාර්ශවයන්ටත් සෑය නමදින සෑම මොහොතකම පිං අනුමෝදන් වන බව මෙහිදී උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    රටේ ජනතාවගේ දරුවන්ගෙන් හැඳුණු ආරක්ෂක හමුදාව ගැන තමාට විශාල විශ්වාසයක් තිබිණ. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ ද සහාය ඇතිව එම දරුවන්ගෙන් සැඳුම්ලත් ආරක්ෂක අංශ නිවැරදිව මෙහෙයවමින් රටට සාමය උරුම කිරීමේ වගකීම ඉටු කළේය.

    ලේ ගංගා නතර කර, මරණය බිය තුරන් කර රට අභය භූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ “සඳහිරු සෑය” සමස්ත ලෝකවාසීන්ටම වන්දනමානයට දායාද කර ප්‍රාර්ථනා කරනුයේ අනාගතයේ කිසි දිනෙක එවැනි සිදුවීම් යළි සිදු නොවේවායි බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    අප රට කොතරම් කුඩා වුවත් අපට අපේ රටේ ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕන. අපේ රටේ නිදහස වෙනුවෙන් කැපවූ රණවිරුවන්ගේ ආරක්ෂාවත් ජීවිත පරිත්‍යාගයෙන් රණවිරුවන් අපට උරුම කළ නිදහසත් රැකගැනීම වර්තමානයේත්, අනාගතයේත් බිහිවන නායකයන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනු ලැබීය.

    “සඳහිරු සෑ රඳුන්” ඉදිකිරීමේදී සිදුකළ මෙහෙය ඇගයීමට ලක් කරමින් ත්‍රිවිධ හමුදා සේනාංක වෙත ජනාධිපතිතුමා අතින් තිළිණ සහ සහතිකපත් පිරිනැමිණ.

    ත්‍රෛනිකායික මහා නායක, අනු නායක නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කථානායකතුමා, විපක්ෂ නායකතුමා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • කොවිඩ් -19 ආසාදිතයින්ගේ 20%ක වර්ධනයක්

    කොවිඩ් -19 ආසාදිතයින්ගේ 20%ක වර්ධනයක්

    දෛනිකව වාර්තාව වන කොවිඩ්  ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි  කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හම්දානි මහතා, ‘‘ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දෛනිකව සියයට 15-20 අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ තත්වය නිසා ජනතාව මේ මොහොතේදී අයුතු ලෙස ඒකරාශීවීමෙන්  වැළකී  බුද්ධිමත්ව  කටයුතු කිරීම ඉතාම වැදගත්. මේ වන විට රෝහල්වල රෝගීන් සංඛ්‍යාව  7010ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටිනවා. එසේම ඔක්සිජන් මත යැපෙන රෝගීන්  105ෙක් සිටින අතර දැඩි සත්කාර ඒකකයන්හි 55 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සහ  දැඩි සත්කාර ඒකකයන්හි  ප්‍රතිකාර ලබන  රෝගින් සංඛ්‍යාව මේ වනවිට  යම් පහළ  මට්ටමක පවත්වාගෙන යෑමට හැකිවී  ඇත්තේ එන්නත්කරණයේ බලපෑම නිසයි. ඒ නිසා   එන්නත්කරණයට  වැඩි වැඩියෙන් යොමු  වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා‘ යැයි ද  අන්වර් හම්දානි මහතා  ප්‍රකාශ කළේය.

  • සපුගස්කන්ද තෙල් පිරිපහසුවට අනිච්ඡාවත සංකාරා කියන්න වෙයිද ?

    සපුගස්කන්ද තෙල් පිරිපහසුවට අනිච්ඡාවත සංකාරා කියන්න වෙයිද ?

    ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹදී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, ‘‘බොරතෙල් පිරිපහදුවේදී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් ලැබෙනවා. නමුත් ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුයි. ඒ හේතුවෙන් අපි පිරිපහදු කළ ඉන්ධන ආනයනය කළහොත් රුපියල් 15ක පමණ ලාභයක් ලබාගත හැකියි. පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනයේදී බැරයකට ඩොලර් 93.65ක් ගෙවිය යුතුයි. නමුත් එම ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට බොරතෙල් ආනයනයට ඩොලර් 197ක් වැය වෙනවා.

    ඒ වගේම පිරිපහදුවෙන් ඉතිරි වන දැවි තෙල් සහ නැප්තා වර්තමානයේ භාවිතයට නොගන්නා නිසා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය වඩාත් ලාභදායකයි. ඊට හේතුව වන්නේ බොරතෙල් පිරිපහදුවේදී දැවි තෙල් සහ නැප්තා සියයට 37 ක් ඉතිරි වීමයි. පවතින අධික වර්ෂාව නිසා විදුලිබල මණ්ඩලය දැවි තෙල් සහ නැප්තා මිලදී නොගැනීම නිසා ටොන් 13,500 ක් ටැංකිවල එකතු වී තිබෙනවා.

    සපුගස්කන්ද පිරිපහදුව යල්පැන ගිය එකක් වීම නිසා බොරතෙල් බැරලයකින් පෙට්‍රල් සියයට 14 ක් සහ ඩීසල් සියයට 29 ක් පමණයි නිෂ්පාදනය කළ හැකි වන්නේ. පෙට්‍රල් සහ ඩීසල් බැරලයක් නිෂ්පාදනයට බොරතෙල් බැරල් 2.32 අවශ්‍ය වෙනවා. ඩීසල් බැරලයක් ඩොලර් 93ක් සහ පෙට්‍රල් බැරලයක් ඩොලර් 95ක් වෙනවා‘

    අප මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් විශේෂඥයින්ගෙන් කළ විමසීමකදී ඔවුන් කිහිප දෙනකුම හෙළිකළේ අමාත්‍යවරයා කියන කතාව සාවද්‍ය බවයි. එසේම ඔහු මේ අවස්ථාවේ සිය ගැළවීමට නන්දොඩවන බව කී ඔවුහු සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදු වුවහොත් එහි සේවය කරන දහස් ගණනකගේ රැකියා අහිමි වන බව ද කීවේය.

  • අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනයක්

    අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනයක්

    අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) සිට ක්‍රියාත්මකවන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර ඇති බවයි. 

    මීට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනයට ලක් කර ඇත. ජනමාධ්‍ය අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශවලද ආයතිනක හා නෛතික රාමුවද ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සංශෝධනයට ලක් කර තිබේ.

    අදාළ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක්

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක්

    2021 ඔක්තෝම්බර් 01 දින වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය විය.

    මෙම අනාවරණය සිදුවූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 16 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

    මෙහිදී ජ්‍යේෂ්ඨ මට්ටමේ තනතුරු 18 ක්, තෘතියික මට්ටමේ තනතුරු 113 ක්, ද්විතියික මට්ටමේ තනතුරු 121 ක්,  ප්‍රාථමික මට්ටමේ තනතුරු 19 ක් සහ  වෙනත් එක් තනතුරක පුරප්පාඩු පවතින බව සඳහන් විය. මෙම පුරප්පාඩු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්යසාධනයට යම් යම් බාධා ඇතිවන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ. මේ වන විටත් මෙම පුරප්පාඩු පිරවීමට ඉල්ලීම් කොට ඇති බව එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ. මේ අනුව මෙම තනතුරු ඉක්මනින් පුරවා ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව  නිර්දේශ කළේය.

    2012 වර්ෂයේ සිට මොබිටෙල් ආයතනය සමග එක්ව ‍ක්‍රියාත්මක කරන “ විද්‍යුත් සංචරණ අනුමැතිය ” ලබා ගැනීමේ පද්ධතිය සංචාරකයින්ට වඩාත් මිත්‍රශීලී හා ආකර්ෂණීය පුළුල් සේවාවක් ලබාදීමේ අරමුණෙන් යාවත්කාලීන කොට නොමැති බවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එබැවින් මෙම පද්ධතිය නවීකරණය කිරීම පිළිබඳව සහ නූතන ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳ  ‌මෙහිදී කමිටුව විසින් ප්‍රශ්න කරන ලදි. මේ අනුව දැනටමත් මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇති බවත් ඉදිරියේ දී එය සිදු කරන බවත් නිලධාරීහු පැවසූහ. මේ සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දීමට කෝපා කමිටුවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා නිර්දේශ කළේය.

    එසේම දෙපාර්තමේන්තුව සතු 2012 වර්ෂයේ දී සහ 2015 වර්ෂයේ දී මිලදී ගත් වාහන දෙකක් වසර කිහිපයකට පෙර අනතුරට ලක් වී ඇති බවත් එම වාහන තවමත් අලුත්වැඩියා කොට භාවිතයට නොගන්නා බවත් මෙහිදී අනාවරණය විය. රක්ෂණ සමාගම සමඟ ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් මේ වනවිට රක්ෂණ සමාගම සමඟ අලුත්වැඩියා කිරීම පිළිබඳ යම්  එකඟතාවකට පැමිණ ඇති බවත් නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.

    එසේම දෙපාර්තමේන්තුව සතු වෙබ් පිටුවක පලවන පෞද්ගලික දුරකතන සමාගමක නිල ලාංඡනය ප්‍රදර්ශනය කිරීම පිළිබඳව, පුද්ගලයින්ගේ ද්විත්ව පුරවැසිභාවය ලියාපදිංචි කිරීම පිළිබඳව, නීත්‍යානුකූල නොවන ලෙස ලංකාවේ රැඳී සිටින විදේශිකයින් පිළිබඳව ඇතුලූ තවත් කරුණු කිහිපයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

  • 65 විශ්‍රාම යෝජනාව’ සමග රාජ්‍ය සේවයට කුමක් සිදුවේ ද ? විමර්ශනාත්මක හෙළිදරව්ව

    65 විශ්‍රාම යෝජනාව’ සමග රාජ්‍ය සේවයට කුමක් සිදුවේ ද ? විමර්ශනාත්මක හෙළිදරව්ව

    රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව පෙනේ. ශ්‍රමය මත යැපෙන රටක ශ්‍රම බලකාය වැඩිවීම යහපත්ය. දැනටමත් ලොකු පුටුවල ඇත්තෝ ප්‍රීතියෙන් පිනා ගොසිනි.  විශ්‍රාමිකයින්ට මුදල් ගෙවීම වෙනුවට මරණය තෙක්ම වැඩ ගැනීම රටේ ආර්ථිකයට හොඳය.  සමාජය වෙනසකට බය ය.  මේ විරෝධය වෙනසට ඇති බිය ඉක්මවා ඇත.

    සුද්දාගේ ආණ්ඩුවේ මහා මාර්ග අධ්‍යක්ෂ මේජර් ස්කිනර් වසර 50 ක් රාජ්‍ය සේවයේ සිට ඇත්තේ එදා උපරිම වයසක් නොතිබූ නිසාය. රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ අනිවාර්ය වයස අවු 60 කළේ 1949 ගැසට් පත්‍රයකිනි. එදා ලංකාවේ ආයු අපේක්ෂාව වසර 57 කි. මැරුණේ නැත්තම් තවත් අවුරුදු 3 ක් රාජ්‍ය සේවයේ සිටීම අදින් වසර 70 ක ට පෙර අවස්ථාව තිබුණි.  බොහෝ දෙනා අවුරුදු 55 න් විශ්‍රාම යති.  යා යුතු යැයි ව්‍යවහාරයක් ද විය.  අද ජීවිත අපේක්ෂාව 75 කි. 55 න් 60 විශ්‍රාම යා යුතු නැති බව සාධාරණ තර්කයකි.

    ලංකාවේ වසර 20 කින් විශ්‍රාම වැටුප් ලැබිය හැකිය. සාමාන්‍යයෙන් ලංකාවේ අයෙක් වසර 22 ක් විශ්‍රාම වැටුප් ලබයි.  ඇමරිකාව ඇතුළු රටවල් 110 කට වඩා විශ්‍රාම වයස 65 හෝ එයට වැඩිය.  ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබන සාමාන්‍ය කාලය වසර 17 ක් බව කියවේ. ලංකාවේ විශ්‍රාම වයස වැඩි කිරීම අහම්බයක් නොවේ. පදනමක් – තර්කයක් සහිත කටයුත්තකි.

    මේ සංශෝධනයෙන් එකවරම තනතුරු හා උසස්වීම් අහිමිවන දහසකට වැඩි පිරිසක් විවිධ සේවාවල වෙති.   එයටත් වඩා රාජ්‍ය සේවයේ ඉහළ සිට මැද දක්වා තමන්ට කැමති සුවච කීකරු එහෙයියන් පිරිසක් පත් කර ගැනීමේ ‘දේශපාලන උපක්‍රමය‘ ක් නිර්මාණය කර ගැනීම සුදුසු නම් නැත.

    පරිපාලන සේවය හා සමාන්තර ශ්‍රේණි

    මේ ලිපිය පුරාම පරිපාලන සේවය යැයි පහසුවට ලියන්නේ, එය  සමගාමී අනෙකුත් සේවාවන්ට ද අදාල වන ලෙසය. පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියට නිර්බාධක උසස්වීම් ලැබෙන නිසා කාටවත් අගතියක් වන්නේ නැත. නමුත්, තනතුරු අහිමිවීමක් සිදුවන්නේ පරණ අය දිගටම තනතුරුවල රැදෙන නිසාය.  වැටුපට අමතර අනෙකුත් වරප්‍රසාද (වාහන බලපත්‍රය, ඉන්ධන දීමනා වැනි) ඔවුනට ලැබෙන්නේ පළමු ශ්‍රේණියේ තනතුරක් දරන්නේ නම් පමණී.  දෙවෙන ශ්‍රේණියේ සිටින අතරම, පළමු ශ්‍රේණියේ තනතුරුවල වැඩ බලන (හංගාගත් තනතුරු) රාජ්‍ය සේවයේ තිබේ.

    මේ වැඩෙන් වහාම සිදුවන්නේ රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින් පසුපස ගොස් තනතුරු ලබා ගැනීම දිරි ගැන්වීමයි. එහි ප්‍රතිඑලය නිලධාරීන් කැමැත්තෙන් දේශපාලනඥයින්ගේ උවමනා එපාකම් ඉටු කිරීම (හා ආණ්ඩුවෙනසකින් පසුව හිරේ විලංගුවේ වැටීම) යි. එනයින් මෙය දේශපාලන උපක්‍රමයකි.

    පළමු ශ්‍රේණියෙන් විශේෂ ශ්‍රේණියට යාමේ දී නිර්බාධක උසස්වීම් නැත.  විශේෂ ශ්‍රේණියට සුදුකම් ලබන නමුත් තනතුරු පුරප්පාඩුවක් සිදුවන තුරු එම තනතුරේ සිටින්නට පරිපාලන (සහ සමාන්ත ශ්‍රේණි)  නිලධාරීන්ට සිදු වේ.  දැන් මේ විශේෂ ශ්‍රේණියේ අය 55 න් 60 නොව 65 දක්වාම විශ්‍රාම යන්නේ නැත. ඉතින් අලුත් තනතුරු ද නැත. දැනට සිටිින විශේෂ ශ්‍රේණියේ 387 දෙනාට ද, අලුතෙන් එක්වන 13 දෙනාට ද එහි උපරිම වාසිය ලැබේ.

    දැන් පරිපාලන සේවයේ 2000 කණ්ඩායමේ නිලධාරිනියකට ද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධූරයක් ලැබී ඇත.  නමුත්, එම තනතුරු නොලැබූණු 1991 කණ්ඩායමේ නිලධාරීන් ද වේ. ඔවුන්ට ‘අබ සරණ‘ ය.  2003 පරිපාලන සේවා කණ්ඩයම, උතුරු නැගෙනහිර කණ්ඩායම, 2006 සහ 2007 කණ්ඩායම්වලට උසස්වීමක් හිතාගන්නට හෝ නොහැකි වනු ඇත.  දැනට මේ පීඩාවේ දොරකඩ 650 කට වඩා සිටී.

    ජනාධිපතිවරයාට අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස කැමති ඕනෑම අයෙකු පත් කළ හැකිය.  එම නිසා මේ අර්බුදය අමාත්‍යාංශ ලේකම් ධූරයන්ට බලපාන්නේ නැත. නමුත්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙකු ගේ අපේක්ෂා භංගත්වය මතුවන්නේ මෙතැන දී ය.

    අද නීතිය අනුව 55 න් යායුතුය.  60 දී අනිවාර්යෙන්ම විශ්‍රම යා යුතුය.  ‘එක රටක් – එක නීතියක්‘ රටක අවශ්‍ය නැති නිසා, විශ්‍රාම නීතියේ ද වෙනස් කම් කිහිපයකි.  වෛද්‍යවරුන් හා හෙදියන් 63 නි.  ඉංජිනේරුවන් 61 නි.  මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පොලීසියේ නිලධාරීන් 63 දක්වා තබා ගැනීමට මෑතක දී කැබිනට් පත්‍රිකාවක් දැම්මේය.  මේ අය වැය යෝජනාව එන නිසා එය එදා සම්මත වූවේ නැත.  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 65 න් ද, අභියාචනාධිකරණයේ විනිසුරන් 63 න් (ව්‍යවස්ථාව) ද,  මහාධිකරණ  විනිසුරන් 61 (අධිකරණ සේවා) ද විශ්‍රාම යයි. නමුත්, ඔම්බඩ්ස්මන්ට 70 දක්වා සිටිය හැකිය. හමුදා නිලධාරීන් 55 න් (ආරක්ෂක සේවා) යා යුතුය. කොමිෂන් නොලත් අය වසර 22 න් ද, කොමිෂන් ලත් නිලයන් වසර 20 කින් ද, ඉහළම අය (මේජර්) තනතුරු නැති විට ද, විශ්‍රාම යා යුතුය.

    විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලයට 65 දක්වා සිටිය හැකිය.  නීතිපති ධූරයට, (සී.ආර්. ද සිල්වාට අදාළව)  60 න් පසුව සේවය කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ මැදිහත්වීමක් සරත් එන් සිල්වා සිදු කර ඇත. ලොකුම අවුල අතිවන අනෙක් තැන පොලිස්පති ය. ඔහු 60 දක්වා ඉවත් කළ නොහැකි බවත් 60 න් යා යුතු බවත් පූජිත ජයසුන්දර ඔප්පු කර ඇත.  කොස්තාපල්/සාජන් 65 දක්වා හොරු අල්ලන්න, බූරුවා පිටි වටලන්න, ට්‍රැෆික් රස්සාව කළ යුතුය. අවශ්‍ය නම්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පොලිස්පති නොවී, 65 න් යා හැකිය. පොලිස්පති වී 60 න් ද යා හැකිය.

    20 සංශෝධනයෙන් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනාරාල් ගේ සීමාව ද වසර 65 සිට 60 ට අඩු කළේය. වත්මන් තනතුර දරණ අපේ මිත්‍ර සමන් රත්නායකට දැම්ම ලේකම් ධූරයක් හදාගෙන 65 වෙනකල් වැඩ කළ හැකිය. කොමසාරිස් ජෙනරාල් ධූරය 60 දක්වා දරා විශ්‍රාම යා හැකිය. 60 න් කොමසාරිස් ධුරයෙන් ඉවත් ව අතිරේක ලේකම් තනතුරකට පත්වී 65 න් විශ්‍රාම යන සංකීර්ණයක් ද නිර්මාණය වන්නේය.

    හමුදාවේ මේජර් ජෙනරාල් (සහ සමාන්තර ශ්‍රේණි) මාණ්ඩලික ප්‍රධානී 55 න් විශ්‍රාම යා යුතුය.  ඔවුන්ගේ සිවිල් නිලධාරීන් ට 65 වන තුරු සිටිය හැකිය.  ඔවුන්ටත් 57 – 60 දක්වා හෝ දීර්ඝයක් දෙන්නේ ද? නැද්ද? ප්‍රතිපත්ති තීරණයකි.

    මේ උදාහරණ දැක්වීමෙන් අදහස් කළේ, අය වැය යෝජනාවට අනුව ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයක්, අධිකරණ සේවා පනත් සංශෝධනයක්, ආරක්ෂක හමුදා (යුධ, නාවික, ගුවන්) සංශෝධන සිදු විය යුතු බවය. අය වැය යෝජනාව 65 සිට 63 ට රිවස් කිරීමට ද, අවස්ථාව නැතිවා නොවේ.

    රාජ්‍ය නිලධාරීන් බහුතරයක් දැන් සමාජ මාධ්‍ය යේ සටහනක් තියන්නේ හෝ නැත. මේ සිමිත ගෘෘප්වල මිස විවෘතව කතා කරන්නේම නැත. මට වඩා හොදින් දන්නා රාජ්‍ය නිලධාරීන් කිසිවෙකු කථා කරන්නේ නැත. අය වැය යෝජනාව ඇසූ විගස එහි බැරැරුම්කම නිසා ෆෙස් බුකියේ සටහන් කළෙමි.  මේ ප්‍රශ්නය ගැන උඩින් පල්ලෙන් අල්ලාගෙන පෝසට් පළවේ. මගේ සටහන ශෙයා වූ තැනක සුනිල් අශ්රොෆ් තැබූ සටහනින් හැගෙන්නේ ද, මෙයින් පරිපාලන ( හා සමාන්තර)  සේවයේ පළමු හා දෙවන ශ්‍රේණියේ  කිසිවෙකුට අගතියක් නොවන බවය.

    රාජ්‍ය සේවයේ ‘සුනිල් අශ්රෝෆ් ක්‍රමය‘ උසස්වීම්, සේවා දිගු ලබාගන්නා පිටුපස නව යෝජනාව ගෙඩිය පිටින්ම ශෝක් ය. දැනට විශ්‍රාම ගොස් සිටින 65 ට අඩු පිරිසට නැවත සේවයට එක්වීමට බැරිනම්, කොන්ත්‍රාත් පදනමින් රාජ්‍ය සේවයට එකතු වීමට ඉඩ දෙන්නේ නම් ශෝක් ය.

    එයට ශක්තිමත් පදනම් තර්කයක් අවශ්‍යය. 1970 පරිපාලන සේවයට පැමිණි දයානන්ද දිශානායක විශ්‍රාම ගියේ වයස 69 දී නඩුවක් ද දමා ආතතිය ද හදාගෙන ය.  යාපනයේ දිසාපති ගනේෂ්  18 න් රාජ්‍ය සේවයට පැමිණ වැඩිම කලක් සිටි අයෙකි.  18 න් මධ්‍ය ලිපිකාර සේවයට පැමිණ ලැයිස්තුව දිගය. ලයනල් ප්‍රනාන්දු, ඔස්ටින් ප්‍රනාන්දු, මා මිත්‍ර මැතිවරණ කොමිසමේ මැදවැව 70 දී ත් වැඩ කළ උදවියයි.  විශ්‍රාම වැටුප් විශේෂඥ තිලකරත්න, මැතිවරණ විශේෂඥයින් මහින්ද දේශප්‍රිය ආදී වශයෙන් ලැයිස්තුව දිග ය.

    තවත් පැත්තක් ඇත.  අද ( නොවැ. 17) දිනමිණ ට අනුව 1984 කණ්ඩායමේ හිටියා කියන සන්ධ්‍යා අඹන්වල තවමත් ඌවේ අධ්‍යාපන ලේකම් පුටුවේය. තවත් අවුරුදු 5 ක් බුදු අම්මෝ යැයි මට කියවුණි. ඒ කණ්ඩායමේ වසන්ත දේශප්‍රිය කුඹුරු කොටන බව බුකියේ දකිමි.

    නුවරඑළිය හිටපු දිසාපති කුමාරසිරි විශ්‍රාම ලබා බසයෙන් ගෙදර ගිය හැටි මම දිවයිනට ලිව්වෙමි.  ජනාධිපතිතුමා ඔහුට සේවා දිගුවක් දුන්නේය. සේවා දිගු ලබාදීම මම දිරි ගන්වා ඇත.  කුමාරසිරි සහ නිමල් අබේසිරි (කවි) විශ්වවිද්‍යාලයේ එක කාමරයේ ගජයන්ය.   නිමල් අබේසිරි ට බදුල්ලේ ග්‍රාම නිලධාරි වසම් 24 ක් සහන ප්‍රශ්නය කලමනාකරණය කර ගත නොහැකි වුනේ ඔහුගේ දැඩි රෝගී තත්වය නිසා පමණක් නොව, අලුතෙන් පත් කළ අතිරේක දිසාපති ට වැඩ බාර ගන්නට ඉඩ නොදුන් නිසාය. 65 විශ්‍රාම යෝජනාව මා ඉදිරිපිට මවන්නේ උමාඔය නිසා නිවස අහිමි වූ ‘සුදු අම්මා‘ ගේ මුහුණය.  ඇති තරම් අරමුදල් තිබිය දී, අඟුපිලක වැටී මිය යන තුරුම ඉඩමක්, ගෙයක්, තබා රු. 15.000 ක නිවාස කුලිය ගෙවන්නට අසමත් වූ විශ්‍රාමික සේවා දිගු ලැබූ රාජ්‍ය සේවය (දිසාපති/උමාඔය සහන අධ්‍යක්ෂ) යි.

    මේ සංශෝධනයේ අරමුණ කුමක්ද?

    ජනගහනය වයස්ගත වන විට එයට ලෝක නිර්ණායක අනුව හැඩගැසීමට ගැන ප්‍රශ්ණයක් නැත. ජනගහන පිරමිඩයේ උඩු යටිකුරුවීමෙන් පැන නගින තත්වය  ගැන රාජ්‍ය සේවය, ලංකා ආණ්ඩුව දැන් වසර 20 ක් මොකවත් කළේ නැත.

    2021 ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප් ලැබූ සංඛ්‍යාව 667,394 කි.  වසරකට 30,000 ක් පමණ විශ්‍රාම ගනී.  මේ තීරණය ගෙඩිය පිටින් ක්‍රියාත්මක වන්නේ නම්, රාජ්‍ය සේවයෙන් 12%කට විශ්‍රාම වැටුප් ගෙවීම වසර 5 කින් කල් දමා ගත හැකිය. වෛද්‍යවරුන් හා හෙදියන්ගේ විශ්‍රාම වයස 63 දක්වා දීර්ඝ කිරීම නිසා පරිතෝෂික මගින් ඉතිරි වූ මුදල මිලියන 800 කි.  සම්පූර්ණ ඉතිරිය මිලියන 1000 ක් යැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගණන් බලා තිබුණි.  රජයේ විශ්‍රාම වයස අවු. 63 දක්වා වැඩි කළ විට රු. මිලියන 19,000 ක ඉතිරියක් සිදු වේ.  65 දක්වා වැඩි කිරීම ගැන එයින් දළ අදහසක් ලැබිය හැකිය. දැන් පුද්ගලික අංශයට ද මේ අනුව හැඩ ගැසීමට සිදුවේ.  සේවක අර්ථසාධක, සේවක භාරකාර අරමුදල් වලට මෙය දැන් ‘කබ්රාල් සිස්ටම්‘ බිස්නල් එකක් කළ හැකිය. (විස්තර සඳහා මහ බැංකු විගණන වාර්තා කියවන්න)

    බැසිල් රාජපක්ෂ දේශපාලන ගේම් මේ සංශෝධනයේ ඇත. මෙයට අදාල චක්‍ර ලේඛනයේ මොනවා ඒ දැයි කියන්නට තවම කල් වැඩිය. බොහෝ විට මෙය අනිවාර්ය විශ්‍රාම වයස නොව, ඉල්ලා සේවය කිරීමක් ද විය හැකිය. සේවා දිගුව ලබාගන්නට දේශපාලනඥයින් පස්සේ යැවීම බොහෝ විට සිදුවිය හැකිය. ඇතිවිය හැකි තත්වය අප බොහෝ දෙනා දන්නා හෙට්ටිආරච්චි හෝ රත්නසිරි ලේකම්තුමන්ලා ඇසුරෙන් පරිකල්පනය කළ හැකිය.

    අන්තර් කාලීන සහනය කුමක් ද?

    2003, 2006, 2007 කණ්ඩායම්වල (සමාන්තර සේවා ද ඇතුළුව) නිලධාරීන්ගේ වෘත්තීය බලාපොරොත්තු දැන් බිඳවැටී ඇත.  පිරිසක් විදේශගතවීමට සැලසුම් කරන බව මම දනිමි. ඒ අතර අදම අමාත්‍යාංශ ලේකම්වරුන්,  දිසාපතිවරුන් වන්නට සුදුසු අති දක්ෂයෝ වෙති.

    විශ්‍රාම වයස 65 කිරීම නිසා අගතියට පත් වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිළධාරීන් ට සහන සැලසීම අනිවාර්යයෙන්ම වහා සිදු කළ යුතුය.  විශේෂ ශ්‍රේණියට සුදුසුකම් ලබන දිනට අනිකුත් සුදුසුකම් සපුරා ඇත්නම් පුරප්පාඩු නොසලකා විශේෂ ශ්‍රේණියට පත් කිරීම අය වැය සම්මත වූ පසුව නික්තුවන චක්‍ර ලේඛනය මගින්ම සිදු කළ යුතුය. ඔවුන්ට නියමිත වැටුප් පරිමාණයේ (SL 3) පිහිටුවීම ද වහා කළ යුතුය.  සාමාන්‍ය යෙන් සිදුවන්නේ 2022 ජනවාරි 1 දිනට බල පැවැත්වෙන පරිදි අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමය. හැන්ද ඇති නිසා 2021 දෙසැම්බර් 1 දිනටම මෙය කර ගැනීම ද සහනයකි.

    දැනට තිබෙන තනතුරු තරඟකාරී ක්‍රමයට ( performance base) ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තකි. එවිට දක්ෂතා නොමැති අයට,  සැනසිල්ලේ පළමු ශ්‍රේණියේම තවදුරටත් සිටිය හැකිය.

    අය වැය යෝජනාවල නැතත් දැන් ශ්‍රී ලංකා පරිපාලන සේවය ‘සිංහල පරිපාලන සේවය‘ බවට ක්‍රමිකව පත්වෙමින් ඇත.  උතුරු පලාතේ ප්‍රධාන ලේකම් තනතුරට සිංහල ජාතිකයෙකු පත් කිරීම සහ එහි දැනටමත් සිටින උතුරේ උපතින් දෙමළ ජාතික විහේෂ ශ්‍රේණියේ නිලධාරීන්ගේ ලේඛනය මෙහි කමෙන්ට් එකක් ලෙස ඇතුලත් කරමි. දැනට මුස්ලිම් දිසාපතිවරයෙකු නැත.  එය තවදුරටත් දුරස්ථ අත්දැකීමක් බවට 65 වයස් සීමාව විසින් පත් කරනු ඇත. ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ උඩ පහලට යන විට පරිපාලන (හෝ සමාන්තර සේවා) හි දෙමළ මුස්ලිම් ජාතිකයෙකු වීම කුමන නම් පාපයක් දැයි හැඟීමක් ඇති කර ගත හැක.

    නිද්‍රාගත රාජ්‍ය සේවයේ බහුතරයක් පශ්චාත්තාපයෙන් මුදවා සංවාදයක් ඇති කරන තැනකට ගෙනයන්නට ඇති කැමැත්ත නිසාම මෙය ලිව්වෙමි.  ප්‍රසිද්ධියේ ලියන්නට/කියන්නට බය උදවියට මෙය තමන්ගේ ගෘෘප්වල දමා ගුණ දොස් විමසිය හැකිය.  ඒවා මැසේජ් එකකින් වත් මටත් කියවන්නට ලැබෙනවා නම් හොඳය.

    විශ්‍රාම ගැන්වීම 65 කිරීම තනිකරම පොලිටිකල් ගේමකි. එහි ආර්ථික ප්‍රතිලාභයක් රජයට ඇත. පොලිටිකල් ගේමක් වෘත්තීය සටහනකින් පරාජය කළ හැකි බව ගුරු විදුහල්පතිවරු පෙන්වා ඇත.  65 වෙනුවට 60 නම් හොඳටම ඇතිය.  කිසි ලෙසකින් හෝ 62 ට වැඩිය නම් දීර්ඝ නොවනවා නම් කදිමය.

    රජිත් කීර්ති තෙන්නකෝන් 

  • තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වංචා – දූෂණ ගැන සුපිර හෙළිදරව්ව

    තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වංචා – දූෂණ ගැන සුපිර හෙළිදරව්ව

    අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන්න – කෝප් කමිටු සභාපතිවරයා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට  සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට දැනුම් දෙයි.

    යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු ගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ඉක්මවා රුපියල් 80,560,914 ක් වැය කිරීම සම්බන්ධයෙන් කෝප්  කමිටුවේදී අනාවරණයක්

    ආයතන අතර සහයෝගිතාව රාජ්‍යයේ ඉදිරි ප්‍රගමනයට ප්‍රමුඛ සාධකයක් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා අවධාරණය කරයි.

    තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා සහයෝගයෙන් කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් එය රාජ්‍යයේ පැවැත්මට ප්‍රබල බාධාවක් බව ඊයේ(16) පැවැති කෝප් කාරක සභා රැස්වීමේදී හෙතෙම අවධාරණය කළේය.අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන ලෙසද කෝප් කමිටුවේ සභාපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.

    වගකීම් පැහැරහරින සහ විනය විරෝධීව හැසිරෙන නිලධාරින් සමබන්ධයෙන් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කෝප් කමිටු සභාපතිවරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.

    ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 2017 වසරේ සිට සං‍යුක්ත සැලැස්මක් සකසා නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.එම සමාගම ක්‍රියාකාරි සැලැස්මක් පිළියෙළ නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව ප්‍රශ්න කළේය.

    ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව පැවසූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා, 2015 වසරේ සිට ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද ප්‍රශ්න කළේය. එම සියලු වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද කාරක සභාව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

    අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් මාතර නිල්වලා යොවුන් උද්‍යානය ඉදිකිරීමට තීරණය කර තිබුණද ඒ සමබන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නොතිබීම සමබන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය විසින් අදාළ ඉඩම් හිමිකරුවන්ට වන්දි හා පොලිය වශයෙන් එකතුව රුපියල් 142,810,543 ක්ද, 2014 දෙසැම්බර් 31 වැනි දින වන විට ජාතික තරුණ සේවා සභාව උපදේශක ගාස්තු වශයෙන් රුපියල් 7,657,349 ක් ද ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා විය.

    2018 සහ 2019 වර්ෂවල පැවැත්වූ යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු ගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ක් වුවද,එය ද ඉක්මවා රුපියල් 80,560,914 ක් වැය කර තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී අනාවරණය විය. තවද 2019 වසරේ වැඩසටහනට අවශ්‍ය ගබඩා 02 ක් කුලි පදනම මත ලබා ගැනීමේදී වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පරිබාහිරව, ඇණවුම් කළ දින ප්‍රමාණය ඉක්මවා භාවිත කළ බව සඳහන් කරමින් එකතුව රුපියල් 2,227,400ක් වැඩිපුර ගෙවා තිබුණි. එමෙන්ම 2016 වර්ෂයේ පවත්වන ලද යොවුන්පුර ජාතික වැඩසටහනට සභභාගි වූ තරුණ තරුණියන් වෙත බෙදා හැරීම සඳහා තාක්ෂණික කමිටු නිර්දේශයකින් තොරව , වැඩසටහන පවත්වන ලද දිනට පසුව ටී ෂර්ට් 1773 ක් සඳහා රුපියල් 1,932,500 ක් ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.

    සමික්ෂණ මණ්ඩල වාර්තාව අනුව 2017 වර්ෂය තුළ මුද්‍රණය කරන ලද පිරිවැය රුපියල් 1,822,400 ක් වූ තොරතුරු පත්‍රිකා 268,000 ක් ඉවත් කිරීමට නිර්දේශ කර තිබූ බවද මෙම කාරක සභා රැස්වීමේදී අනාවරණය විය.

    ජාතික තරුණ සේවා සභාවේ සියයට 98 කට වැඩි කොටස් හිමිකාරිත්වයක් සහිතව ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 1981 වසරේදී ආරම්භ කර තිබුණද ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර නොතිබීම සමබන්ධයෙන්ද කාරක සභාවේදී හෙළි විය.

    එමෙන්ම ජාතික තරුණ සේවා සභාව විසින් 2018,2019 හා 2020 වර්ෂවල මිලියන 417 ක් වටිනා කාර්‍යයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම තුළින් සිදු කර ගෙන තිබූණි.

    ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා විසින් අංශ ප්‍රධානීන් වෙත 2021 වසරේ ඔක්තොම්බර් මස 08 වැනි දින නිකුත් කර තිබූ අභ්‍යන්තර චක්‍රලේඛයක් මඟින් ආයතනය සම්බන්ධ තොරතුරු බාහිර පාර්ශ්ව වෙත ලබා ලබා දීම සිදුනොකළ යුතු බවට උපදෙස් ලබා දී තිබු බවද කාරක සභාවේදී අනාවරණය විය. එය ජාතික විගණන කාර්‍යාලයේ සහ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු වලට එය බාධාවක් වූ බවද එම ආයතනවල නිලධාරිහු කාරක සභාවේදී පෙන්වා දුන්හ.

    ජාතික තරුණ සේවා සභාව විසින් ආරම්භ කිරීමට නියමිත සිස්කෝ පරිගණක ජාලගත පාඨමාලාව ආරම්භ කිරීම සඳහා මූලික පහසුකම් සපුරා ගැනීමටත් පෙර ,2021 ජූලි 29 දින රුපියල් 15,708,178 ක් වැය කර උපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාව එම ආයතනයේ නිලධාරින්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

  • රට පුරා පාසල්වල 6,7,8, සහ 9 ශ්‍රේණි 22 අරැඹෙයි

    රට පුරා පාසල්වල 6,7,8, සහ 9 ශ්‍රේණි 22 අරැඹෙයි

    රජයේ සහ රජයේ අනුමත පාසල් හි 6,7,8, සහ 9 ශ්‍රේණිවල අධ්‍යාපන  කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

    එම ශ්‍රේණි ආරම්භ කිරීමත් සමඟ පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි  සිදු කරන බව ද දුරස්ථභාවය සහ සෞඛ්‍ය නිර්දේශ අනුව එක් පන්තියකට එක් දිනකදී කැඳවිය යුතු සිසුන්  සංඛ්‍යාව තීරණය කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙන බව ද ලේකම්වරයා කීය.

  • රථවාහන වැරැදි දඩ ගෙවන අලුත් ක්‍රමයක්

    රථවාහන වැරැදි දඩ ගෙවන අලුත් ක්‍රමයක්

    රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවීමේදී ‘ඔන්ලයින් තාක්ෂණයෙන්’ ගනුදෙනු කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

    රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල්, වරද සිදුකළ ස්ථානයේදීම ගෙවීම සිදුකළ හැකි වන පරිදි නිති සම්පාදනය කිරීම සහ ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණ්‍ය යොදා ගන්නා ආකාරය පිළිබදව සාකච්ඡාවක් අද (16) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වි තිබේ.

    මෙම නව ක්‍රමවේදය ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අයුරින් සකස් කිරීමට මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ද අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි. මෙය පළමුව, අධිවේගී මාර්ගයේ සිදුවන රථවාහන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමටත් අනෙකුත් මාර්ග සඳහා පසුව සලකා බැලීමටත් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ද නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

  • ඉන්දියාව ඇන්ටාක්ටිකාවහි 41 වැනි විද්‍යාත්මක ගවේෂණය දියත් කරයි

    ඉන්දියාව ඇන්ටාක්ටිකාවහි 41 වැනි විද්‍යාත්මක ගවේෂණය දියත් කරයි

    1981 දී ආරම්භ වූ ඉන්දියානු ඇන්ටාක්ටික් වැඩසටහන ඇන්ටාක්ටිකාවේ ස්ථිර පර්යේෂණ කඳවුරු 3 ක් ඉදිකර ඇත.

    ඉන්දියාව ඇන්ටාක්ටිකාව වෙත 41 වන විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව දියත් කර ඇත. විද්‍යාඥයින් 23 දෙනෙකුගෙන් සහ සහායක කාර්ය මණ්ඩලයකින් සමන්විත පළමු කණ්ඩායම පසුගිය සතියේ ඉන්දීය ඇන්ටාක්ටික් දුම්රිය ස්ථානය වන මෛත්‍රී වෙත ළඟා විය.

    පසුගිය වසර 10,000 පුරා තනි දේශගුණික ලේඛනාගාරයකින් ඇන්ටාක්ටික් දේශගුණය, බටහිර සුළං, මුහුදු-අයිස් සහ හරිතාගාර වායු පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීමට උපකාරී වන ප්‍රධාන වැඩසටහන් දෙකක් 41 වැනි ගවේෂණයට ඇතුළත් බව ඉන්දීය පෘථිවි විද්‍යා අමාත්‍යාංශයේ ප්‍රකාශයක් සඳුදා ප්‍රකාශ කළ බැව් ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි.

    පළමු වැඩසටහන භාරතී දුම්රිය ස්ථානයේ ඇමරි අයිස් තට්ටුවේ භූ විද්‍යාත්මක ගවේෂණය ඇතුළත් වේ. මෙය අතීතයේ ඉන්දියාව සහ ඇන්ටාක්ටිකාව අතර සම්බන්ධය ගවේෂණය කිරීමට උපකාරී වනු ඇත.

    දෙවන වැඩසටහනට ඔත්තු බැලීමේ සමීක්ෂණ සහ මෛත්‍රී අසල අයිස් හරයේ මීටර් 500 ක් කැණීම සඳහා සූදානම් වීමේ කටයුතු ඇතුළත් වේ.

    බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණය සහ නෝර්වේජියානු ධ්‍රැවීය ආයතනය සමඟ එක්ව අයිස් කඳු කැණීම සිදු කෙරේ.

    විද්‍යාත්මක වැඩසටහන් ඉටු කිරීමට අමතරව, එය මෛත්‍රී සහ භාරතී හි මෙහෙයුම් සහ ජීවිත ආධාරක පද්ධති නඩත්තු කිරීම සඳහා වාර්ෂික ආහාර, ඉන්ධන, ප්‍රතිපාදන සහ අමතර කොටස් නැවත පුරවීමද සිදුකරනු ලබන බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් පවසයි

    2022 ජනවාරි මැද වන විට තවත් කණ්ඩායම් හතරක් ඩ්‍රෝම්ලෑන්(DROMLAN) පහසුකම සහ ඇම්. වී වෙසිලි ගොලොව්නින්(MV Vasiliy Golovnin) හි කුලියට ගත් අයිස් පන්තියේ යාත්‍රාව ආධාරයෙන් ගුවනින් ඇන්ටාක්ටිකාවට ගොඩබසිනු ඇත.

    1981 දී ආරම්භ වූ ඉන්දියානු ඇන්ටාක්ටික් වැඩසටහන, විද්‍යාත්මක ගවේෂණ 40 ක් සම්පූර්ණ කර ඇති අතර, ඇන්ටාක්ටිකාවේ ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථාන තුනක් ඉදිකර ඇත, ඒවා නම් දක්ෂිං ගංගෝත්‍රි(Dakshin Gangotri) (1983), මෛත්‍රී(Maitri) (1988) සහ භාරතී(Bharati) (2012).

    අද වන විට මෛත්‍රී සහ භාරතී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි. පෘථිවි විද්‍යා අමාත්‍යාංශය යටතේ ඇති ස්වයං පාලන ආයතනයක් වන ගෝවා හි ධ්‍රැවීය සහ සාගර පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සමස්ත ඉන්දියානු ඇන්ටාක්ටික් වැඩසටහන කළමනාකරණය කරයි.

    ඇන්ටාක්ටිකාව මහාද්වීපය කොවිඩ්-19 ‍නොමැතිව සහ ඉහළම ආරක්‍ෂිත ප්‍රමිතීන් යටතේ පවත්වාගෙන යාමට ඉන්දියාව කැපවී සිටින බැවින්, නවදිල්ලියේ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ දැඩි වෛද්‍ය පරීක්ෂණයකින් පසුව ඉන්දීය කණ්ඩායම ඇන්ටාක්ටිකාවට ළඟා වී තිබේ.

    ඉන්දියානු කණ්ඩායම හිම-අයිස් හුරුවීම සහ පැවැත්ම සඳහා ද පුහුණු කර ඇත, කඳු නැගීමේ සහ ස්කීං ආයතනය, අයි.ටි.බි.පි. අවුලි(ITBP Auli), උත්තරකාන්ද්; සහ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි දින 14ක නිරෝධායනය ඇතුළු දැඩි සනීපාරක්ෂක ප්‍රොටෝකෝලයක් ක්‍රියාත්මක කර ඇත

    කාර්ය මණ්ඩලය 2022 මාර්තු අග හෝ අප්‍රේල් මුලදී නැවත කේප් ටවුන් වෙත පැමිණීමට අපේක්ෂා කරන අතර, ශීත ඍතුව සඳහා සාමාජිකයින් 48 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි ඉතිරි වේ.

    එය පෙර 40 වැනි ගවේෂණවල ශීත ඍතුවේ වැඩි කණ්ඩායම ආපසු ගෙන එනු ඇත. 41 වැනි ගවේෂණය මෙහෙයවනු ලබන්නේ ධ්‍රැවීය සහ සාගර පර්යේෂණ සඳහා වූ විද්‍යා ජාතික මධ්‍යස්ථානයේ ශෛලේන්ද්‍ර සයිනි (ගමන නායකයා-Voyage Leader), ඉන්දියාවේ මිනුම් විද්‍යා දෙපාර්තමේන්තුවේ මිනුම් විද්‍යාඥ හුයිඩ්‍රොම් නාගේෂ්වර් සිං (නායක, මෛත්‍රී ස්ථානය) සහ අනූප් කලයිල් සෝමන්, ඉන්දීය භූ චුම්භක විද්‍යා ආයතනය (නායක,භාරතී ස්ථානය). විසිනි.

  • අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචියට

    අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචියට

    අවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගත් පවුල් 12,000 ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද  (16) දින උපදෙස් දුන්නේය.

    අයහපත් කාලගුණය හේතුවෙන්  ආපදාවන්ට  ලක්වූ ජනතාවට  සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා  මේ බව අවධාරණය කළේය.

    විපතට පත්වූවන් සඳහා සහන සැලසීම හා වන්දි ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව  අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු විමසා සිටියේය.

    පවතින වසංගත තත්ත්වය හේතුවෙන් කඳවුරුවල රඳවා ගැනීමකින් තොරව ආපදාවට ලක්වූ පුද්ගලයින් 31,475 දෙනෙක් දැනටමත් ඔවුන්ගේම ඥාති හිතමිතුරන්ගේ නිවෙස්වල රඳවා සිටින බවද මෙහිදී  අනාවරණය විය.

    හදිසි ආපදාවන්ට ලක්වූවන්ට සහන සැළසීම සඳහා රජය දිස්ත්‍රික් 21 ක් සඳහා දැනටමත් රුපියල් මිලියනය බැගින් මුදල් ලබා දී තිබේ. මූලික වන්දි ලබාදීම ද ප්‍රමාදයකින් තොරව අවසන් කර ඇත.

    දීර්ඝ කාලයක පටන් අවදානම් කලාපවල පවුල් 15,000 ක් පමණ පදිංචිව සිටින බව හඳුනාගෙන ඇතත් මේ දක්වා එම ස්ථානවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකර ඇත්තේ පවුල් 3000ක් පමණක් බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව  අවදානම් කලාපවල දැනට ජීවත්වන පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකරන්නැයි  අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    අවදානම් තත්ත්වය හඳුනාගනිමින් ඒ අනුව ප්‍රමුඛතාව දෙමින් එම ජනතාව අවදානමෙන් මුදා ගැනීමට සැළසුම් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    නැවත පදිංචි කිරීම් සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේදී  ඇතිවන ගැටලු සම්බන්ධයෙන් මෙහි දී චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය අවධානය යොමු කළේය. ඊට විසඳුමක් ලෙස අදාළ අමාත්‍යාංශ ඒකාබද්ධව එම ගැටලු නිරාකරණය කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.

    අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් පස්කඳු කඩාවැටීම, දැඩි සුළං, ගංවතුර, ක්ෂණික ගංවතුර හා අකුණු අනතුරු වලින් මේ දක්වා දිස්ත්‍රික් 21 ක පුද්ගලයින්  26 දෙනෙක් මියගොස්  262,831  ක්  ආපදාවට ලක්ව තිබේ.

    බදුල්ල , මහනුවර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, අනුරාධපුරය, කොළඹ, ගම්පහ, කළුතර, දිස්ත්‍රික්කවල පවතින නායයෑම් හා ජල ගැලීම් නිරන්තරයෙන් සිදුවන බැවින් ඒ තුළින් සිදුවන අවදානම් අවම කිරීමට  නිෂ්චිත පිළියම් යෙදීමටද මෙහිදී අවධානයට යොමු විය.

    දේශගුණ විපර්යාස බලපෑමට ලක්ව සිදුවන ආපදා තත්ත්වයන් දිගු කාලයක සිට හඳුනාගෙන ඇති බැවින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන නිෂ්චිත පිළියම් යෙදීම සුදුසු බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් වසා දැමීම සම්බන්දයෙන් ද මෙහිදී අවධානය යොමු විය. පවතින තත්ත්වයට විසඳුමක් ලෙස එම  ස්ථානයේ එක් මංතීරුවක් වාහන ධාවනයට විවෘත කිරීමට අවධානය යොමු කරන ලෙසත් එසේ නොමැති නම් දැනට හඳුනාගෙන තිබෙන විකල්ප මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහි දී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.

  • ‘මේක මංඤඤං අයවැයක්‘

    ‘මේක මංඤඤං අයවැයක්‘

    දැවැන්ත ආර්ථික අර්බුදයක් රට මුහුණ දී  ඇති මොහොතක ජනතාවට කිසිඳු සහනයක් නොදෙමින් ඉදිරිපත් කරනු ලැබූ අයවැයෙන් තහවුරු වන්නේ ජනතාව බරපතළ ලෙස රවට්ටමින් අර්බුදය එකපාරකත් අයවැය තව පාරකත් ගමන් කිරීමක් බව ජවිපෙ දේශාපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

    පසුගියදා පාර්ලිමේන්තුව හමුවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (16) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළකරනු ලැබූ අතර එම මාධ්‍ය හමුවේදී ඔහු පළකළ සම්පූර්ණ අදහස් මෙසේය…

    “අයවැයක් කියන්නේ රාජපක්‍ෂ වංශ කතාවේ පැටිකිරිය කියවීමවත්, ආණ්ඩුවේ බැරිකමේ අඳෝනාව කියන එකවත් නෙවෙයි. නමුත් අපි දැක්කේ ඒ වගේ කතාවක්. ආදායමට වඩා වියදම වැඩිනම් හිඟය පියවන ආකාරය මූලික වශයෙන්ම කියන්න ඕනෑ. රටේ ජනතාව අද මුහුණදීලා තියෙන අර්බුදයට, මහපාරේ ගෑස් පෝලිමට, පොහොර හිඟයට, අහස උසට නැගෙන බඩුමිලට, විදේශ විනිමය හිඟයට උත්තර කිසිවක් නැහැ. කොටින්ම ගත්තොත් ආණ්ඩුවේ අයවැයෙන් අර්බුදය පේන්නෙත් නැහැ. උත්තර පේන්නෙත් නැහැ. ඉතාම කෙටියෙන් මේ අයවැය ගැන කාටුන් එකක් ඇඳල තිබුණා. අයවැය යන්නේ එක පාරක, අර්බුදය යන්නේ තව පාරක. රට මුහුණදී තිබෙන අර්බුදයත් අයවැයත් මොන තරම් පරස්පර මාර්ගයක යනවාද කියලා ඒ කාටුන් එකෙන් පෙන්වනවා.

    2022දී රජයේ ආදායම රු. කෝටි 222,100ක් බලාපොරොත්තු වෙනවා. වියදම කෝටි 524,500ක්. ණය ගෙවීම කෝටි 153,100යි. රටේ ආදායම වගේ එක හමාරක හිඟයක් තිබෙනවා. මේ හිඟය පියවන්නේ කොහොමද? රු. කෝටි 320,000ක් ණය ගන්න යෝජනා කර තිබෙනවා. ආණ්ඩුවට ණය දෙන්නේ කවුද? ණය අරගෙන පියවනවා කිව්වට ණය දෙන්නේ කවුද? මේ අවුරුද්දට වඩා 2022දී මුළු ආදායම කෝටි 71,800ක් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. හැබැයි යෝජනාවලින් ලැබෙන්නේ කෝටි 33,100යි. ඉතිරි කෝටි 40,000කට ආසන්න ප්‍රමාණය හොයාගන්නේ කොහෙන්ද? මේ අයවැයෙන් ඒකට උත්තර කියලා නැහැ. මහජනතාව මුහුණ දෙන අර්බුද ලබන අවුරුද්දේ තවත් වැඩි වෙනවා. අඩුම තරමේ ගොවි ජනතාව පොහොර ප්‍රශ්නයට උත්තරයක් බලාපොරොත්තු වුණා. මේ මහ කන්නයේ හාල් නිෂ්පාදනය අඩු වෙනවා. ඒකට උත්තර හැටියට හාල් ආනයනය කරන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් හොයන්නේ කොහොමද? ජනතාව මහ පොළොවේ අත්විඳින ප්‍රශ්න කිසිවකට උත්තර නැහැ.

    අද ටේලර් ෂොප් එකේ මහපු ඇඳුම් ටික ගෙනියන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. ලිී බඩු සාප්පුවේ ගෘහ භාණ්ඩ විකිණෙන්නේ නැහැ. රෙපයාර් කරපු රේඩියෝ, ටීවී ගෙනියන්නේ නැහැ. හාඩ්වෙයාර් වැහෙන තත්වයට පත්වෙලා. සැලුන් එකටත් ආදායම් නැහැ. ආර්ථිකය එක තැන නතර වෙලා. විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදයට උත්තරයක් ජනතාව බලාපොරොත්තු වුණා. අද පාස්පෝට් හදන්න පොටෝ ගහන අයට විතරයි වැඩ තියෙන්නේ. අපේ රටේ තරුණ පරපුර විදේශ විනිමය ගේන්න පුහුණු කර විදේශ රැකියාවලට යවනවා වෙනුවට රට දාලා යන තත්වයට පත්වෙලා. ඉහළ යන ජීවන වියදමේ බර අඩු කරන්න සැලැස්ම මොකක්ද කියලා ජනතාව බලාපොරොත්තු වුණා. ඔවුන් බලාපොරොත්තු වුණු අවම දේවල්වත් මේ අයවැයේ නැහැ.

    ආණ්ඩුව ආදායම් හොයන මාර්ග මොනවාද? බැසිල් රාජපක්‍ෂ මාධ්‍ය හමුවකදී කියා තිබුණා, තව රහස් තියෙනවා කියලා. මේ කියන්නේ බදු අය කරන එක ගැන. අයවැයට කලින් බදු ගැහුවත් පස්සේ බදු ගැහුවත් ඒ පීඩනය ජනතාවටමයි. ජනතාවගේ බෙල්ල ටික ටික මිරිකමින් ආදායම් හොයන්න බලාපොරොත්තු වෙනවා. සමාජ ආරක්‍ෂණ බද්දක් හැටියට හඳුන්වමින් ව්‍යාපාර පිරිවැටුම මත බද්දක් ගහලා තියෙනවා. මිලියන 120ක පිරිවැටුමක් තියෙන ව්‍යාපාරවලට 2.5%ක බද්දක් ගහලා තියෙනවා. පිරුවැටුම කියන්නේ වෙළඳාම සිද්ධ වෙන ප්‍රමාණය. වාහන අලෙවි කරන තැනක් ගත්තොත් වාහන 3ක් විකිණීමේ මුදල. ඒක ශුද්ධ ලාභය නෙවෙයි. සමහර විට මේ ආයතනයට තිබෙන්නේ අලාභයක් වෙන්න පුළුවන්. මේ ආයතනය නිෂ්පාදන සමාගමක් නම් ඒ පිරිවැටුම මත බද්දක් ගෙවන්න ඕනෑ. ඒ භාණ්ඩය විකුණන තැන පිරිවැටුමටත් බදු ගෙවන්න ඕනෑ. එකම භාණ්ඩයට ක්‍රියාවලිය තුළ අවස්ථා කිහිපයකදී බදු වදිනවා. අවසානයේ මේ බද්ද ගෙවන්නේ ජනතාවයි. අද නිෂ්පාදන කර්මාන්තකරුවාට තමන්ගේ කටයුතු පවත්වාගෙන යන්න ඩොලර් හොයාගන්න බැරිවී තිබෙනවා. සමහර ව්‍යාපාරිකයෝ ඩොලර් ප්‍රශ්නය නිසාම රට දාලා යන්න ලැහැස්ති වෙලා ඉන්නවා. මේ ආර්ථිකය පතුරුවන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ.

    අද මහා පරිමාණ ජාවාරම් කරන අයට කිසිම දඩයක් නැහැ. හැබැයි නීත්‍යානුකූල ව්‍යාපාර, බදු ගෙවන, බැංකු හරහා ගනුදෙනු කරන ව්‍යාපාරවලට දඩ ගහලා තියෙනවා. බැසිල් මහත්තයා ව්‍යාපාරිකයන්ව මේ පොළඹවන්නේ “අපිත් කරන්නේ කළු ව්‍යාපාර, උඹලත් හංගලා ව්‍යාපාර කරපල්ලා” කියන තත්වයට. රටේ අර්බුදය පෙන්වා දීලා සාමූහික ප්‍රයත්නයක් හැටියට උත්තර හොයනවා වෙනුවට හැමදෙනාගේම බෙල්ල මිරිකලා ආදායම් හොයන්න උත්සාහ කරන්නේ. මේ නිසාම වාහන ආනයනය නතර වී තිබෙනවා. අමතර කොටස් විශාල හිඟයක් තිබෙනවා. මේ නිසා රැකියා 10,000ක් පමණ අර්බුදයට ගිහින් තිබෙනවා. වාහන සහ අමතර කොටස් ආනයනකරුවන් මේ අයවැයෙන් කෝටා එකක්වත් දෙයි කියලා බලාපොරොත්තු වුණා. වාහන ආනයනකරුවන් සහ අමතර කොටස් ආනයනකරුවන් අයවැය යෝජනා ඉදිරිපත් කළා. හැබැයි ආණ්ඩුව කළේ නීත්‍යානුකූලව වාහන ගෙන්වන ආනයනකරුවන්ගේ යෝජනා කුණු බක්කියට දාලා කෑලි ගෙනල්ලා එකතු කරන කට්ටියට නීතිමය භාරයක් ලබාදෙන්න යෝජනා ගෙනාපු එක. රේගුවේ හිරවෙලා තිබෙන වාහන නිදහස් කරන්නත් සැලැස්මක් හදලා තිබෙනවා. එයින් කෝටි 400ක ආදායමක් බලාපොරොත්තු වන බව කියනවා. කෝටි 400ක් බදු ගන්න නම් කොච්චර වාහන හොරට ගෙනත් ඇතිද? මුදල් ඇමතිවරයා තමන්ගේ කල්ක්‍රියාවට අනුව රටේ ආර්ථිකය හදන්න යනවා. නීත්‍යානුකූලව ක්‍රියා කරන අය අධෛර්යමත් කරලා නීතිවිරෝධී වැඩ කරන අය ධෛර්යමත් කරන අයවැයක් මේක.

    රක්‍ෂණ ප්‍රතිපත්තියක් වාහන අනතුරු වෙනුවෙන් හඳුන්වා දෙන්න යන්නෙත් එහෙම. රක්‍ෂිතයාගෙන් අමතර මුදලක් අය කරන ක්‍රියාමාර්ගයකට යන්නේ. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට මුදල් වෙන් කරන එක බරක් හැටියට පෙන්වා දී තිබෙනවා. මේ අය සහ සමෘද්ධි ඇතුලු සුභසාධන වෙනුවෙන් රු. කෝටි 60,000ක් වෙන්කරන බව කියලා පොලී ගෙවන්න වියදම් කරන කෝටි 70,000ක මාස 08ක ණය පොලිය ගැන හංගනවා. පැවති ආණ්ඩු වංචා-දූෂණ සිදුකර හොරකම් කර රටේ ණය විශාල වශයෙන් ඉහළ දමා විශාල පොලියක් ගෙවීම ගැන කතා කරන්නේ නැහැ. නමුත් මහජන මුදල් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වියදම් කරන්න බැරිලු. හැබැයි ඒ අතර පළාත් පාලන කොට්ඨාස, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ මන්ත්‍රීවරුන්ට ආන්ඩුවේ ගම සමග පිළිසඳර වෙනුවෙන් කෝටි 8,500ක් වෙන්කර තිබෙනවා. ඊළඟ ඡන්දය කරන්න සූදානමින් හරි ගමට වැඩක් වෙනවා කියලා අපි හිතමු. නමුත් මේ වැඩවලට පිටරටින් බඩු ගේන්න කොච්චර මුදලක් ඕනෑ වෙනවාද? සල්ලි අච්චු ගහලා රු. 1000ක් එළියට දැම්මත් ඒකෙන් රු. 700ක් විතර ඩොලර් කරන්න ඕනෑ. කම්බි, සිමෙන්ති, යකඩ කියන මූලික අවශ්‍යතා පිටරටින් ගේන්න ඕනෑ. අච්චු ගහලා දාන හැම රුපියල් 1000කටම රුපියල් 700ක් විතර ඩොලර් ගේන්නේ කොහෙන්ද? ඡන්ද කරන්න සල්ලි බෙදුවත් ඒ වැඩවලට අන්තිමේ ඩොලර් හොයන්න ඕනෑ.

    අපේ රටේ දැන් තිබෙන ප්‍රධාන අර්බුදය විදේශ විනිමය අර්බුදය. ඊට විසඳුම් සොයන්න අයවැයෙන් යෝජනා නැහැ. ගොවියා පොහොර හොයනකොට ආණ්ඩුව බයිලා කීවාට වැඩක් නැහැ. මුලු පොහොර ආනයනයට යන වියදම වගේ නව ගුණයක් කෘෂිකාර්මික අපනයනවලින් විදේශ විනිමය උපයා තිබෙනවා. තේවලට පොහොර නැතිවුණොත් ඒ අපනයන ආදායම සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. වැවිලි කර්මාන්තයත් එක්ක වැහිලා යන්න ඉඩ තිබෙනවා. නමුත් වැවිලිකරුවන්ගේ සංගමය බැසිල් මහත්තයා හම්බවෙලා යෝජනා දුන්නා. නමුත් අයවැයෙන් උත්තරයක් නැහැ. ඔවුන්ටත් මහපාරට බහින්න සිදුවෙලා තියෙනවා. කොතරම් අර්බුදයක්ද කියනවා නම් අද වෙනකොට තෙල් පිරිපහදුව වහන්න සිදුවී තිබෙනවා. ගම්මන්පිල ඇමතිවරයා මාධ්‍ය හමුවකදී එක අවස්ථාවක කියනවා අවුරුදු 50කින් අලුත්වැඩියා කර නැති නිසා ඒ වෙනුවෙන් වහනවා කියලා. තවත් තැනක කියනවා, විදේශ විනිමය අර්බුදය විසඳාගත් වහාම සක්‍රිය කරනවා කියලා. තවත් අවස්ථාවක කියනවා, තෙල් පිරිපහදුවේ අභ්‍යන්තර කාරණා රටට කියන්න ඕනෑ නැහැ කියලා. කියන්නේ මොනවාද කියලාවත් ඒ අයට තේරෙන්නේ නැහැ. ඇත්ත කාරණාව විදේශ විනිමය එක්ක ගැට ගැහිලා තියෙන තෙල් පිරිපහදුව වහන්න යන්නේ. අලුත්වැඩියා කිරීමේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. බොරතෙල් ටෙන්ඩරයට ඉල්ලුම් කළේ විටෝල් කියන සමාගම විතරයි. ලබන මාසේ මේ සමාගමෙන් බොරතෙල් නැවක් ගේන්න තිබුණත් ඒ වෙනුවෙන් ගෙවන්නත් ඩොලර් නැහැ. මේ නිසාම ගුවන් යානා තෙල් සැපයීම නතර වීමෙන් එයා ලංකා සමාගම වහන්න වෙනවා.
    ඊළග ප්‍රශ්නය දෙසැම්බර් මාසය වනවිට ගල් අඟුරු ඉවර වෙනවා. මේ නිසා විදුලි බල සැපයුමටත් ප්‍රශ්නයක් වී රටේ මිනිසුන්ට ඉන්න වෙන්නෙ කළුවරේ. විදුලි බල මණ්ඩලයට ඩීසල් බලාගාර දුවවන්න තෙල් ගේන්න විදිහකත් නැහැ. ඒ පතුලේ තිබෙන්නේ ඩොලර් අර්බුදය. මේ තරම් අර්බුදයක් තිබෙද්දී බැසිල් රාජජපක්‍ෂ මහත්තයාගේ පවුලේ අයගේ පැටිකිරිය කියල මිනිස්සුන්ට වැඩක් නැහැ. රාජපක්‍ෂ පරම්පරාවේ පැටිකිරියෙන් රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවෙන්නේ නැහැ. ඇත්ත ප්‍රශ්නයට උත්තර හොයන්න ඕනෑ. ඇත්ත ප්‍රශ්න කිසිම දේකට මේ අයවැයෙන් උත්තර හොයලා නැහැ. අර්බුදය එක පාරක, අයවැය තව පාරක යන්නේ. උත්තර හොයන පැත්තට හැරිලවත් නැහැ.

    අයවැයෙන් පස්සේ මාධ්‍ය හමුවකදී බැසිල් මහත්තයා රාජ්‍ය සේවය බරක් කියලා තිබුණා. නමුත් මේ කොවිඩ් වසංගතය මැද්දේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් ඇතුලු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වගේම හමුදාවේ පොලීසියේ මහත්තුරුත් බරක්ද? ඒ වගේම මැතිවරණයක් වෙලාවක, ආපදා සිදුවුණු වෙලාවක කටයුතු කරන වගේම මැතිවරණ කාලවල රාජකාරී නිවාඩු අනුමත කරගෙන පොදුජන පෙරමුණු කාර්යාලවලට අනුයුක්ත කළ අය දැන් පේන්නේ බරක් කියලාද? රාජ්‍ය සේවකයින්ට තමන් කළ ගොංකං ටික මතක් කිරීම පිළිබඳව බැසිල් මහත්තයාට අපි ස්තුතිවන්ත වෙනවා. තැපැල් ඡන්දවලින් වැඩියෙන්ම දීලා පත්කළ ආණ්ඩුවේ බැසිල් ඇමති දැන් කියනවා බරක් කියලා. අපට කියන්න තියෙන්නේ රටට උහුලන්න බැරි රාජ්‍ය පවුලේ බර දැන් තියෙන්නේ කියලා. රාජ්‍ය සේවකයින්ට විතරක් නෙවෙයි ගොවි ජනතාවටත් මුලු රටේම ජනතාවටත් දැන් මේ බර දැනෙනවා. රාජපක්‍ෂ පවුලත් ඒ වටේ ඉන්න හොර නඩයත් ව්‍යාපාරික නඩයත් නිසා මේරටේ සමස්ත කර්මාන්තකරුවන්ට සහ ව්‍යාපාරිකයින්ට බදු ගෙවන්න සිදුවී තිබෙනවා. රාජ්‍ය සේවකයන් නඩත්තු කිරීම නෙවෙයි අපේ රටේ ජනතාවට බර. මේ රාජපක්‍ෂ පවුලේ සහ සමීපතමයන්ගේ හොරකං, වංචා-දූෂණ එක්ක මේ සියලු දෙනා නඩත්තු කරන එකයි දරාගන්න බැරි බර.

    මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අවුරුදු 5 ඉඳලා 10 දක්වා දීර්ඝ කරලා. අපි හැමදාම යෝජනා කළේ මන්තීරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න කියලයි. 2001 අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ බව ඉදිරිපත් කළා. ඒ යෝජනාව පැරැද්දුවේ ඔය දෙගොල්ලම එකතු වෙලා. විශ්‍රාම වැටුපක්, වෙනම රක්‍ෂණ ක්‍රමයක් මන්ත්‍රීවරුන්ට තියෙද්දී ජනාධිපති අරමුදලෙන් සෞඛ්‍ය වෙනුවෙන් වෙනම සල්ලි ගන්නේ ඇයි? ඒවා අහෝසි කරන්න ඕනෑ. වාහන පර්මිට් දෙන එක අයින් කරන්න ඕනෑ. යුද්ධයක් නැති කාලේ පිරිවරාගෙන යන ආරක්‍ෂකයින් නවත්වලා පෙන්වන්න ඕනෑ.

    බැසිල් රාජපක්‍ෂ මහත්තයා මේ අයවැය කතාව අවසන් කළේ අපේරාටේ ජනතාවාදී විශිෂ්ඨතම සාහිත්‍යකරුවෙකු වූ මහගම සේකරයිනුත් මේකට ඈඳාගෙනයි. ඒ නිසා අයවැය ගැන අපේ අදහස් දැක්වීමත් මම අවසන් කරන්නේ ඒ ඈඳා ගැනීමෙන්ම. මහගම සේකරයන්ට උපරිම ගරුත්වයෙන් ඒ කවිය මම වෙනස් කරනවා. මහගම සේකරයන් එදා මේ හාදයෝ මෙහෙම දේකට පාවිච්චි කරයි කියලා හිතලා නැහැ. ඒ නිසා එතුමන්ට නිසි ගරුත්වය සහිතව පුංචි එකතු කිරීමක් කරනවා. ධර්මේ, කාසිම්, රාජසුන්දරම්, මෙහෙ වරෙල්ලා… අපි ඔක්කොම එකතු වෙලා, මේ පල් හොරු ටික පන්නලා මේ ලෝකය යහපත් තැනක් කරමු මීට වැඩිය.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

    ගුරුවරුන්ට ලැබෙන්නේ බැසිල් රාජපක්‍ෂ මහත්තයලා දීපු දෙයක් නෙවෙයි. ඔවුන් නොදී ඉන්න හදපු හැබැයි, ගුරුවරු අරගල කරලා දිනාගත් දෙයක්. මේ අයවැයෙන් ජනතාවට දෙයක් ලැබුණා නම් ඒ එකම දෙය ගුරුවරු අරගල කරලා දිනාගත් දේ විතරයි. මේ ගොල්ලන්ගෙන් බලෙන් ගත්තොත් මිස එහෙම නැතිව ගන්න බැහැ. අපේ රටේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සහ ඊට උදව් දුන් දෙමව්පියන් ඇතුළු හැම දෙනාම ඔප්පු කළේ උත්සාහ කළොත් ඉබ්බන්ගෙන් පිහාටු ගලවන්න පුළුවන් කියලා. ඒකත් ප්‍රමාණවත් නැහැ. තුනෙන් පංගුවකට බෙදලා ඒ එක පංගුවක් නැවත තුනකට බෙදලා නමයෙන් එකක් දෙන්න හදපු දේ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට තුනෙන් පංගුවක් දිනාගත්තා. ඔවුන් මුලදී කීවේ මේ වෙලාවේ මේ ඉල්ලීම කරන එක වැරදියි, උද්ඝෝෂණය කරන එක වැරදියි, අසාධාරණයි කියලා. සල්ලි කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. හැබැයි නැති සල්ලි ගත්තේ දින 122ක් මහපාරේ උද්ඝෝෂණ කරලා. මේක ආණ්ඩුව දුන්න දෙයක් නෙවෙයි ජනතාව දිනාගත් දෙයක්. මේක ක්‍රියාත්මක නොකළොත් ගුරුවරුන්ටත් කලින් දෙමාපියන් පාරට බහියි කියලා හිතනවා.

  • සපුගස්කන්ද වසා දැමීම ගැන බලශක්ති ඇමැතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

    සපුගස්කන්ද වසා දැමීම ගැන බලශක්ති ඇමැතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

    බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට  දින 50 ක් වසා තැබෙනු ඇති බවත් ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා තෙල් පිරිපහදුව නැවත පණගන්වන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා කිවේය.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (15) බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

    මෙහිදී වැඩි දුරටත් තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

    ‘ බොර තෙල්වලින් ඉන්ධන නිෂ්පාදනය කළ හැක්කේ බොර තෙල් ප‍්‍රමාණයෙන් සියයට 43ක් පමණයි. ඩොලර් හිඟයක් පවතින මේ අවස්ථාවේ බොරතෙල් වෙනුවට ඉන්ධන ගෙන්වීමට තීරණය කළේ විනිමය කළමණාකරණය කළ යුතු නිසයි. කෙසේ වෙතත් සපුගස්කන්ද පිරිපහදුව වසා දමන බව රටට නොකිව්වේ එය රටේ තෙල් සැපයුමට බලනොපාන අභ්‍යන්තර කාරණයක් වන නිසයි.

    රටේ ඇති සීමිත විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් යොදා ගැනීමට අවශ්‍යයි. වසර 51ක් පැරණි තෙල් පිරිපහදුවෙන් බොර තෙල්වලින් සියයට 37 ක් නිපදවන්නේ දැවිතෙල් හා නැප්තායි. සියයට 19 ක් ගුවන් යානා තෙල් නිපදවනවා. මේ දිනවල වැස්ස ඇති බැවින් විදුලිය නිපදවීම ජලවිදුලියෙන් සිදුවන නිසා දැවිතෙල් අවශ්‍ය නැති බව විදුලි බල මණ්ඩලය පවසා තිබෙනවා, ගුවන් යානා තෙල් ගුවන් ගමන අරඹන රටෙන් ලබා ගත හැකියි. දිගු ගමන් සඳහා පමණයි ගුවන් යානා තෙල් ලබා ගන්නේ. ඒ නිසා බොරතෙල් අවශ්‍ය නොවන බවට තීරණය කළා.

    ඉන්ධන මිල දී ගැනීමේ ණය පහසුකම් ලබා ගැනීමට මේ වනවිට රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. දිගින් දිගටම පාඩු ලබමින් සිටින නිසා තෙල් සංස්ථාවට ණය ගැනීම දුෂ්කරයි. ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉතා පහළ මට්ටමක ඇති බැවින් ණය ලබා ගැනීම වඩාත් දුෂ්කර වී තිබෙනවා. බොරතෙල් ගෙන්වීම නැවැත්වීමෙන් පැට‍්‍රල් හෝ ඞීසල් හිඟයක් ඇති වන්නේ නැහැ. වෘත්තිය සමිති නායකයකු මාධ්‍යයට කී කතාවක් හේතුවෙනුයි මෙසේ ඉන්ධන සඳහා පෝලිම් ඇති වුණේ දින හතලිහකට අවශ්‍ය ඉන්ධන මේ මොහොතේ රට තුළ තිබෙනවා‘‘ යැයි ද අමාත්‍යවරයා පැවසුවේය.