Category: සුපිරි News

  • ඇමෙරිකාවෙන් පරිත්‍යාග කළ Moderna එන්නත් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට

    ඇමෙරිකාවෙන් පරිත්‍යාග කළ Moderna එන්නත් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට

    කොවැක්ස් පදනම හරහා ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොගය අද දින (16) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ගෙන එන ලදි.

    කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR 0664 ගුවන් යානයෙන් අද පෙරවරු 9.00 ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් මෙරටට ගෙන එන ලද මෙම මොඩර්නා එන්නත් තොඟය බාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියාය.

    ඇමරිකානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය සහ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද ආයතනය (USAIDS) අධ්‍යක්ෂ රීඩ් ඇච්ලිමන් මහතා (Mr. Reed Aeschliman), ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූසන් වෝක් (Mr. Susan Walke) යන මහත්වරුන් පැමිණ සිටියහ.

    මෙහිදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් එන්නත් තොඟය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත බාරදුන් අතර, මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය අලාකා සිං මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ද සහභාගි විය.

    මෙම අවස්ථාවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “කොවිඩ් – 19 වසංගතය පාලනය කිරිමට වැදගත්වන එක් ක්‍රියාමාර්ගයක් ලෙස එන්නත් ලබාදීම අප රටට මහගු අවස්ථාවක්. ලෝකයේ තිබෙන ඕනෑම එන්නතක් ලංකාවේ සුළබ කර ගැනීමට හැකියාව ලැබුනා. ලෝකයේ තිබෙන සෑම එන්නතක්ම අද ලංකාවේ ජනතාවට ලබාදෙන්න පුළුවන්කම ලැබුනේ අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් කටයුතු කළ නිසා. අප විශ්වාස කරනවා මාස දෙක තුනක් ඇතුලත මෙරට ජනතාව සම්පූර්ණයෙන් එන්නත් කරලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. කොවිඩ් පදනම හරහා ඇමරිකානු රජයෙන් ලබාදුන් මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට කටයුතු කරනවා”

  • රසායනික පොහොර තහනම: නුවරඑළියේ අල ගොවියෝ ගොඩයයි

    රසායනික පොහොර තහනම: නුවරඑළියේ අල ගොවියෝ ගොඩයයි

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට මෙම කන්නයට අවශ්‍ය රසායනික අල පොහොර ටොන් 4600ක් ලබාදීමට පොරොන්දු වී ඇති බව වනජීවී හා වන රක්‍ෂණ අමාත්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය.

    අල පොහොර ටොන් 350 ක් ඊයේ දිනයේත් නුවරඑළියට ලැබුණු බවත් අල ගොවීන්ට පොහොර නොමැති වුවහොත් ඔවුන් දැඩි අපහසුතාවට පත්වන බවත් අමාත්‍යවරයා පැවසීය.

    ”අල ගොවීන් හෙක්ටයාර් 20, 25 ක් වගා කරනවා. කාබනික පොහොර යෙදාගත හොත් ඔවුන්ට කිසිවක් ලැබෙන්නේ නැහැ‘‘

    සී.බී. රත්නායක මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්විය.

  • ස්ටාලින්ලා පටලවා ගනිමින් ‘රටට විහිළු සපයන්න එපා‘

    ස්ටාලින්ලා පටලවා ගනිමින් ‘රටට විහිළු සපයන්න එපා‘

    රුසියාවේ ස්ටාලින් සහ ලංකාවේ ජෝසෆ් ස්ටාලින් පටලවාගනිමින් මෙවැනි බැරූරුම් අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යවරිය රටට විහිළු සැපයීම නොකළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මාහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    නිරෝධායන අත්අඩංගුව පිළිබඳව පොලිස් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුකරන සෘජු හෝ චෝදනාව පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහත තීරණ වසංගත විද්‍යාවට අදාලවම ගණු ලැබූ ඒවාද යන්න පිළිබදව බරපතල සැකයක් පවතින බැවින්, ඒවා පිළිබද නිසි විමර්ශනක් සිදු කර රටට කරුණු වාර්ථා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් බවයි එම නිවේදනයේ වැඩි දුරුටත් සදහන් වන්නේ්‍

    1. උක්ත අත්අඩංගුවට ගැනීම් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට ලියන ලද ලිපියක් පාදක කරගෙන ඇති බව වාර්තා වන අතර එම ලිපියෙහි අභිලාශය වසංගතය පාලනය කිරීමද? එසේ නොමැති නම් වසංගතය මුවාවෙන් උත්ඝෝෂණ  හා විරෝධතා පාලනය කිරීමද? යන්න පිළිබඳවත්, එම ලිපියෙහි අභිලාශය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර තිබෙන්නේද? යන වග,

    2. පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති උද්ඝෝෂණයකදී වසංගතය පැතිරීමට ඉවහල් වන අයුරින් කටයුතු සිදු වූයේද? නැද්ද? යන්න වග හා එම කණ්ඩායම් නිරෝධායනය කල යුතුද? නැද්ද? යන්න පිළිබඳව වසංගත විද්‍යානුකූලව තීන්දු ගනු ලැබිය යුත්තේ එම ප්‍රදේශයට අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ප්‍රමුඛ කොට ගනිමින් වන අතර උක්ත කණ්ඩායම බලහත්කාරයෙන් කඳවුරු නිරෝධායනයට යොමු කල යුතු බවත් ඊට අදාල සුදුසුම නිරෝධායන මධ්‍යස්ථානය මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වන බවත් නිවෙස් නිරෝධායනය වැනි විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කල නොහැකි බවත් අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා විසින් නිර් දේශ  කර තිබෙන්නේද? එසේ නිර් දේශ කර ඇත්නම් එම නිර් දේශයේ අභිලාශය වසංගත පාලනයට පමණක් අදාල වන්නේද? යන වග.
    3.       අදාල “නිරෝධායන රැඳවියන්ගේ” පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථාන වල සිදුවන ක්‍රියාවලියට සමාන අයුරෙන් සිදුවූයේද? එසේ නොමැතිනම් අනෙකුත් මධ්‍යස්ථාන වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ කිසිඳු පීසීආර් පරීක්ෂණයක් සිදු නොකරන තත්ත්වයක් යටතේ මෙකී කණ්ඩායමෙහි පමණක් පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට වෙනත් අභිලාශයක් පැවතියේද? යන්න හා එලෙස සුවිශේෂී ලෙස පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා වසංගතය පාලනය කිරීමේ අභිලාශයෙන්ම පමණක් අදාල සෞඛ්‍ය නිළධාරියා කටයුතු කලේද? යන වග
    4.       අදාල කණ්ඩායමෙහි පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල 2021.07.10 දින නිකුත් වී ඇති අතර එම කණ්ඩායම අසාධිතයන් නොවන බව එම පරීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරුව තිබියදී තවදුරටත් ඔවුන්ව කඳවුර තුල රඳවා තබා ගන්නේ සෞඛ්‍යමය උවමනාවක් වෙනුවෙන්ද? යන වග හා අවම වශයෙන් ඔවුන්ව නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට නිර් දේශ නොවන්නේ කිනම් හේතුවක් නිසාද? යන වග.
    5.       මෙම ක්‍රියාවලියේදී අඩු වැඩි වශයෙන් පොලිස් නිළධාරීන්ද නිරෝධායන නීති කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උල්ලංඝණය කර ඇති බැවින් ඔවුන් හරහා වසංගතය පැතිරීමට ඇති ඉඩ කඩ පිළිබඳව වසංගත රෝග විද්‍යාව වෙනස් ආකාරයකට ක්‍රියාත්මක කර තිබෙන්නේ කෙසේද? යන වග

    ශ්‍රී ලංකාවේ සිට කෝවිඩ් ආසාදිතයන්, ආසාදිත නොවන වාර්තා රැගෙන පැමිණීම හේතුවෙන් පෞද්ගලික රසායනාගාරයක වාර්තා පිළි නොගන්නා බව චීනය නිවේදනය කර ඇත. ආගමනිකයන්ගේ, සංචාරකයන්ගේ හා විදේශිකයින්ගේ මුදල් ගෙවා සිදුකරන PCR පරීක්ෂණ වලින් 90%ක් පමණ සිදු කළ එම රසායනාගාරය  මගින් වැරදි වාර්තා නිකුත් වීම, ලංකාවේ ප්‍රභේද කාන්දු වීමට ප්‍රධාන හේතුවක්. PCR පරීක්ෂණය සිදු කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ   වෘත්තිකයාගේ අත්සන නොමැතිව, වෛරස වේදියකුගේ අත්සනෙහි ඡායාරූපයක් මගින් වාර්තා නිකුත් කිරීමට ඉඩ සැලසීම හේතුවෙන් පෞද්ගලික අංශය හරහා වැරදි වාර්තා නිකුත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුබල දී ඇත.

    එක් එක් පුද්ගලයන්ගේ මුදල් හම්බකර ගැනීමේ කූඨ උපායන් සෞඛ්‍ය අමාත්‍යාංශය උගුලක හිරකර ඇත. එකී කූඨ උපායන් හඳුනා නොගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේත් අත්වැරැද්දක්ද? උවමනාවක්ද?

  • කොවිඩ් එන්නත් ලබා දුන් 300,000කගේ දත්ත වල බරපතළ අඩුපාඩු – සෞඛ්‍ය අංශ වැඩේ අවුල් කරලා

    කොවිඩ් එන්නත් ලබා දුන් 300,000කගේ දත්ත වල බරපතළ අඩුපාඩු – සෞඛ්‍ය අංශ වැඩේ අවුල් කරලා

    කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මුල් දිනවල අදාළ එන්නත් ලබා ගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගෙන් සෞඛ්‍ය අංශ ලබාගත් දත්තවල බරපතළ ගැටලු සහ අඩුපාඩු පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

    ඊයේ (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළිකළ යුද හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ මුල් අවස්ථාවේ ලක්ෂ 10කට එන්නත ලබා දුන් බවයි.

    “මේ වනවිටත් ලක්ෂ තුනක විතර දත්ත ප්‍රමාණයක් ඇතුළත් කරන්න තියෙනවා. සෞඛ්‍ය අංශවලින් තමයි ඒ ටික එන්න තියෙන්නේ. පළවෙනි එන්නත් මිලියනයේ තමයි ඔය ගැටලුව තියෙන්නේ. සමහර දත්තවල අඩුපාඩු තියෙනවා, අපහැදිලි තැන් තියෙනවා. දැන් ඉස්සරහට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව පන් ලක්ෂ හැට හය දහසකට විතර දෙන්න තියෙනවා. ඒ වෙද්දි ඒ අය එළියට එනවනේ. ඒ අවස්ථාව වෙද්දි මේ තත්ත්වය සමථයකට පත්වෙයි කියලා අපි හිතනවා.”

    ‘ යුද හමුදාව පළවෙනි දවසේ ඉඳලම දත්ත පරිගණක ගත කරලා එකතු කරගත්තා. නමුත් සෞඛ්‍ය අංශවල අපි දැක්කා පොත්පත්වල ලියාගෙන යන ක්‍රමවේදයක් . ඒ හින්දා ගුවන් හමුදාව ඒ මුල්ම එන්නත්කරණ දත්ත එකතු කරන්න අපි යෙදෙව්වා. විවිධ තැන්වලදි ගුවන් හමුදාවට ප්‍රශ්න ආවා. ඒ විස්තර දුන්නැති තැන් තිබුණා. කවුද ගන්න කිව්වේ කියලා අහලා තිබුණා. දත්ත දෙන්න බෑ කියලා තිබුණා‘ යැයි ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

  • මුදල් ඇමැති බැසිල් තානාපතිවරු 07ක් හමුවෙයි

    මුදල් ඇමැති බැසිල් තානාපතිවරු 07ක් හමුවෙයි

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (14) ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය ඇතුළු මෙරට තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන් හත් දෙනකු හමුවී සාකච්ඡා කළා.

    ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කී ෂෙන්හොන්ග්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් ලෝතර් සෙවුබර්ට්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මැටරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හූල්ටන් යන මහත්ම මහත්මීන් සමගයි මුදල් අමාත්‍යවරයාගේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත් වුණේ.

    මුදල් අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණි.

  • යූරියා නැව ගැන විශේෂ විමර්ෂණයකට රේගුව සූදානම් !

    යූරියා නැව ගැන විශේෂ විමර්ෂණයකට රේගුව සූදානම් !

    ඉන්දුනීසියාවේ සිට යූරියා පොහොර මෙට්‍රික්ටොන් 9795ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණිම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පවසයි.

    පසුගිය මැසි මස 06 වැනි දින සිට රසායනික පොහොර මෙරටට ආනයනය කිරීම තහනම්කර ඇති පසුබිමක මෙලෙස යූරියා පොහොර රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණීම දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් රේග්‍ර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මෙම යූරියා තොගය නැව්ගත කළ දිනය සහ අදාළ නෞකාව මෙරටට පැමිණීමට ගමන් ආරම්භකළ දිනය පිළිබඳව ද කරුණු සොයාබලන බවයි.

    ‘‘ඉන්දුනීසියාවේ සිට පැමිණ ඇති මෙම නෞකාවේ යූරියා මෙට්‍රික් ටොන් 9795ක් තිබෙන බව වාර්තා වෙනවා. මෙම යූරියා තොග නැව්ගත කර ඇත්තේ මෙරට රසායනික පොහොර තහනම පැනවීමට පෙර ද එසේත් නැතිනම් පසුව ද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් විමර්ශන සිදුකරනවා. ඒ අනුව විමර්ශන අවසන් වන තෙක් අදාළ නෞකාව රේගු භාරයේ රඳවා තබාගන්නවා‘‘

  • බරපතළ සිදුවීමක් නොවුනොත් මාස දෙකකින් රට සම්පූර්ණයෙන්ම විවෘත කරනවා – යුද හමුදාපති

    බරපතළ සිදුවීමක් නොවුනොත් මාස දෙකකින් රට සම්පූර්ණයෙන්ම විවෘත කරනවා – යුද හමුදාපති

    කොවිඩ් වසංගත තත්ත්වයේ බරපතළ සිදුවීමක් සිදු නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    අද (14) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ සමස්ත ජනගහනම ආවරණය වන පරිදි ලබන සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

    යුද හමුදාපතිවරයා මෙසේද පැවසුවේය, ‘‘ හැමදාම රට වසාගෙන සිටීමට හැකියාවක් නැහැ. වසංගතය පාලනය කිරීම සදහා අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන රට විවෘත කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට නිතර උපදෙස් ලබාදෙනවා. ඒ වගේම තමයි විදේශ සංචාරකයින් වෙනුවෙන් රට විවෘත කිරීමටද සාකච්ඡා සිදුවෙනවා. ඒ ගැන සංචාරක අමාත්‍යවරයා කටයුතු කරමින් සිිනවා. ඒ අනුව කොරෝනා එන්නත් දෙකම ලබාගෙන පැමිණෙන විදේශිකයන්ට පී.සී.ආර් පරීක්ෂණයකින් පසු මෙරටට ඇතුල්වීමට අවස්ථාව ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට රටපුරා එන්නත්කරණ වැඩසටහන වේගවත් කර තිබෙනවා. ඒ අනුව අනපේක්ෂිත දෙයක් සිදු නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා‘

  • මහින්දානන්ද – ශෂීන්ද්‍ර පෞද්ගලික පොහොර සමාගම්වලට කඩාපනී !

    මහින්දානන්ද – ශෂීන්ද්‍ර පෞද්ගලික පොහොර සමාගම්වලට කඩාපනී !

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු අද (14) පෙරවරුවේ පැලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහාර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ හදිසියේ නිරීක්ෂණය කළා.

    රටේ පෙහොර හිඟයක් පැවතියද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පෙහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය  මෙහිදි අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක් වූණා. දෛනිකව නිකුත් කළ හැකි පෙහොර ප්‍රමාණයන් නිකුත් නොකොට අඩු වශයෙන් පොහාර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධව අමාත්‍යවරුන් මෙහිදී ප්‍රශ්න කළා.

    පොරාන්දු වු දින වකවානු වලට අවශ්‍ය පොහොර නිකුත් නොකරන්නේනම් රාජ්‍ය පොහොර සමාගම් මඟින් ඒවා බෙදා හැරීමට පියවර ගැනීමට සිදුවන බවයි. අදාළ සමාගම්වලට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේ,  ඇතැම් පෞද්ගලික සමාගම් දිනකට පෙහොර මෙට්‍රික් ටොන් 600 නිකුත් කිරීමට හැකියාව තිබියදී 300ක් වැනි අඩු ප්‍රමාණයක් නිකුත් කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදි අදාල නිළධාරින්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා.

    පොහොර පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකාච්ජාවේදී පෞද්ගලික පොහාර සමාගම් දිනකට මෙට්‍රික් ටොන් 1000ක් නිකුත් කිරීමට පොරොන්දු වුවත් දින ගණනක් ගතවී ඇතත් එම පොහාර ප්‍රමාණය නිකුත් කර නැති බව අමාත්‍යවරු මෙහිදී පෙන්වා දුන්නා. පොහාර නොමැති බවට ජනතාව රට පුරා විවිධ ක්‍රියාමාර්ග ගනිද්දි ගබඩාවල මෙසේ රජයේ සනාධාර පොහොර තබාගෙන සිටින්නේ මන්දැයි අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සමාගම් නිළධාරින්ගෙන් ප්‍රශ්න කළා.

    අදාළ තීරණ අනුව දින 03ක් ඇතුළත ජනතාවට අවශ්‍ය සියලු පොහොර නිකුත් කරන ලෙස සමාගම් නිළධාරින්ට අමාත්‍යවරුන් දන්වා සිටියා. එසේ නොමැති වුව හොත් පෞද්ගලික සමාගම් හරහා සිදුවෙන පොහොර බෙදා හැරිම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරණ ලෙසයි.  පොහොර ලේකම් කාර්යාලයේ නිළධාරින්ට හා ගොවිජන සේවා නිලධාරින්ට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා දැනුම් දුන්නේ.

    ගබඩාවල ඇති පොහොර නිකුත් කිරීමට දින ගණන් ප්‍රමාද කරන්නේ කුමන කරුණක් නිසා දැයි රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද මෙහිදී ප්‍රශ්න කළා. ප්‍රවාහන හා කම්කරු ගැටලු පවතින බවයි අදාළ සමාගම් නිළධාරීන් මෙහිදී අමාත්‍යවරුන්ට කරුණු ඉදිරිපත් කළේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් කම්කරුවන්ගේ ශ්‍රමදායකත්වයන් ලබා දීමට රජයට හැකි බවත් දිවයින පුරා  පොහොර බෙදා හැරීම විවිධ කරුණු කියමින් ප්‍රමාද කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් අමාත්‍යවරුන් අදාළ සමගම්වල නිරීක්ෂණ චාරිකාවේදී අවධාරණය කළා.

    අදාළ පොහොර සමාගම්වල ගබඩාවන් හි පොහාර තොග විශාල වශයෙන් ගොඩ ගසා තිබෙන අයුරු දක්නට ලැබුණා.

    AGC MEDIA NEWS (2)
    AGC MEDIA NEWS (3)
    AGC MEDIA NEWS (4)
    AGC MEDIA NEWS (5)
    AGC MEDIA NEWS (6)
    AGC MEDIA NEWS (7)
    AGC MEDIA NEWS (8)
    AGC MEDIA NEWS (9)
    AGC MEDIA NEWS (11)
    AGC MEDIA NEWS (10)
    AGC MEDIA NEWS (13)
    AGC MEDIA NEWS (12)
    AGC MEDIA NEWS (14)
    AGC MEDIA NEWS (15)
    AGC MEDIA NEWS (16)
    AGC MEDIA NEWS (17)
    AGC MEDIA NEWS (18)
    AGC MEDIA NEWS (19)
    AGC MEDIA NEWS (20)
    AGC MEDIA NEWS (21)
    AGC MEDIA NEWS (22)
  • රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාවට නීති කෙටුම්පත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාවට නීති කෙටුම්පත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේ දී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ග වලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දුන්නේය.

    “දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී අද (13) දින පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

    ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට සහය දීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු කමිටුවක් පත්කරමින් එම නිර්දේශ මසක් ඇතුළත ලබාදෙන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී නියෝග කළේය.

    දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීමට අදාළ අරමුණ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි  සෙනරත් මහතා විසින් මෙහි දී පැහැදිලි කරන ලදි.

    2019 නොවැම්බර් 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර මහත්මිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහි දී කරුණු පැහැදිලි කළහ.

    නිලධරයන්ට තිබෙන නෛතික රාමුව ඉක්මවා සද්භාවයෙන් යුතුව රාජකාරි ඉටු කිරීමට ඉඩදිය හැකි සීමාවන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළව සකස් කළ කෙටුම්පතක්ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා මෙහි දී කියා සිටියේය.

    යහපාලන ආණ්ඩුව නෛතික නොවන ක්‍රියාවලියක් ඔස්සේ ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ සේවයකයන්ට මුහුණ පෑමට සිදු වූ ගැටලු අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා  පැහැදිලි කළේය.

  • කොළඹින් අහඹු ලෙස ගත් ජෛව පටල සාම්පල 25/14ක් ‘සැක සහිතයි‘

    කොළඹින් අහඹු ලෙස ගත් ජෛව පටල සාම්පල 25/14ක් ‘සැක සහිතයි‘

    කොළඹ නාගරික සීමාවෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල  25ක  සාම්පල 14ක් සැකකටයුතු බව ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (13) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

    මෙම සැක සැකකටයුතු සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් මෙම  පරීක්ෂණවල අවසන් වාර්තාව  ඉදිරි සතියේදී  ලබා දෙනු ඇති බවත්  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළේය.

  • ගද නිසා දැරිය දුෂණය නොකල බව කියු නේවි දොස්තර ගැන තවත් සුපිරි හෙලිදරව්වක්..!

    ගද නිසා දැරිය දුෂණය නොකල බව කියු නේවි දොස්තර ගැන තවත් සුපිරි හෙලිදරව්වක්..!

    ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විිද්‍යාතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට පත් කිරීමේ සිද්ධිය ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය සංගමය වන අපි තරයේ හෙලා දකිනු ලබන්නෙමු.

    මෙම අපරාධයට සම්බන්ධ වු සියලුම දෙනාට නිසි අයුරින් නීතිය කි‍්‍රයාත්මක විය යුුතුුු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

    උක්ත කි‍්‍රයාවට අදාලව චෝදනා ලබා සිටින වෛද්‍යවරයා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මාධ්‍ය මගින් කරන ලද වගකීම් විරහිත ප‍්‍රකාශය පිළිබඳව අපගේ අප‍්‍රසාදය පල කරන අතර මෙම චෝදනාව ලබන අවස්ථාව වන විට ඔහු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වීම සඳහා පුහුණුව ලබන අවධිියේ පසු වු අතර හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් සම්පූර්ණ කර නොතිබුණ බව දන්වා සිටිමු.

    තවද හෘද රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය වෛද්‍ය විද්‍යා සාරධර්ම සහ මානුෂිය ගුණ ධර්ම සුරැකීම ඉතා ඉහලින් අගයන විද්වත් සංගමයක් වන අතර එවැන්නකට පටහැනි වු කි‍්‍රයාවක් කුමන මට්ටමකදී වුවද අනුමත නොකරන බවද ප‍්‍රුකාශ කර සිටිමු.

    වෛද්‍ය අනිදු පතිරණ
    සභාපති
    ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය

    උපුටා ගැනීම: ලංකා සී නිව්ස්

  • ඉදිරියේදීත් අත්අඩංගුවට ගන්නවා නම් අපි ලෑස්තියි එකට මුහුණ දෙන්න – ලංකා ගුරු සේවා සංගමය

    ඉදිරියේදීත් අත්අඩංගුවට ගන්නවා නම් අපි ලෑස්තියි එකට මුහුණ දෙන්න – ලංකා ගුරු සේවා සංගමය

    ආණ්ඩුවේ තීන්දු වලට එරෙහිව සිදු කරනු ලබන විරෝධතාවයන්ට සම්බන්ධ වන පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට මුහුණ දීම සඳහා සූදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

    ඔහු මේ අදහස් පළ කරනු ලැබූවේ අද (11) දින කැඳවා තිබූ ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. කොතලාවල පනතට එරෙහිව විරෝධතාවයට සම්බන්ධවූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස් අධිකරණයෙන් ඇප ලබා දී තිබියදී දඬුවමක් සේ නිරෝධායනට යොමු කිරීමට විරෝධය පළකරමින් හෙට (12) දින සිට මාර්ග ගත ක්‍රමයට (online) සිදු කරනු ලබන ඉගැන්වීමේ කටයුතු වලින් ගුරුවරුන් ඉවත් වීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව එම මාධ්‍ය හමුවට සහභාගී වූ  ගුරු වෘත්තීය සමිති පවසනවා.

    එම වෘත්තීය සමිති සදහන් කළේ විරෝධතාවයේ නිරත වූ සිය වෘත්තීය නියෝජිතයින් අනීතිකව රදවාගෙන සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කළ බවයි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් එක්ව සිටින බව ඔවුන් පවසයි.

  • උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම ගැන ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය‘ පොලිස්පතිට නීතිය කියා දෙයි

    උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම ගැන ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය‘ පොලිස්පතිට නීතිය කියා දෙයි

    අධිකරණයෙන් ඇප මත නිදහස් කරන ලද පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමට ගන්නා ක්‍රියාකාරකම් බලහත්කාරී, නීතිවිරෝධී හා අධිකරණයට කරන අපහාසයක් යැයි  ශ්‍රී ලංකා නීතීඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  සහ පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මහජන විරෝධතා හෝ එළිමහන් රැස්වීම් තහනම් ක්‍රියාකාරකම් ලෙස ලැයිස්තුගත කර නොමැති බව ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිසි ලෙස භාවිතා කිරීමට පොලිසියට ඉඩ නොදෙන ලෙස එම ලිපිය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සහ එහි ලේකම් රජීව් අමරසුරියගේ අත්සනින් එම ලිපිය නිකුත් කර ඇත.

    COVID-19 ට අදාළ සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝන කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව සිය සංගමයේ දැඩි කනස්සල්ල පළ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම් නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

    විරෝධතා දැක්වීමට ඔවුන්ගේ සාමකාමී අයිතිය ක්‍රියාත්මක කරන බවත්, නිරෝධායනය සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් බවත් එය දඩුවමක් හෝ රැඳවුම් ක්‍රමයක් ලෙස භාවිතා නොකළ යුතු බවත් එම ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.

    අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇත්තේ පොලිස් මාධ්‍ය අංශය විසින් විමර්ශන අංක PMD/PR/845/21 දරණ 6-07-2021 දිනැති මාධ්‍ය නිවේදනයකින් පසුව බව සඳහන් කරන නීතිඥ සංගමය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ), (ආ) සහ (ඇ) වගන්ති මගින් සහතික කර ඇති මහජන විරෝධතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වැදගත් මූලික අයිතිවාසිකම් තුනක් බව ද පෙන්වා දෙයි.  

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තිය මගින් මූලික අයිතිවාසිකමක් ලෙස බැඳී ඇති චින්තනයේ නිදහස ද මහජන විරෝධතා ශක්තිමත් කරන වැඩි දුරටත් බවත් සදහන් කරයි. 

    ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 14 (1) වගන්තිය යටතේ ඇති අයිතිවාසිකම් මහජන සෞඛ්‍යය සඳහා නීතියෙන් සීමා කළ හැකි වුවත් එවැනි සීමා කිරීම් නීතියෙන් කළ යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි. 

    මේ අතර, ඕනෑම සංවිධානාත්මක විරෝධතා මහජන සෞඛ්‍යයට අවදානමක් නොවන අයුරින් සිදු කළ යුතු බවත්, විරෝධතා හෝ පෙළපාලි හෝ ඒ හා සමාන අභ්‍යාසවලට සහභාගී වීමට අදහස් කරන පුද්ගලයින් ඒවාට අනුකූල වන බවට සහතික විය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහන් කරයි.

  • Covid මර්දන නීති අවභාවිතා කරන්න එපා – එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක

    Covid මර්දන නීති අවභාවිතා කරන්න එපා – එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක

    සාමකාමී පෙලපාලි පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති එක්රැස් කිරීමේ අයිතියට ඇතුළත් වන බවත් කොරෝනා වසංගතයට එරෙහි පියවර ලෙස පනවා ඇති සීමාවන් මහජන සෞඛ්‍යයේ නීත්‍යානුකූල ආරක්‍ෂාවෙන් ඔබ්බට නොයා යුතු බවත් එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය පවසයි.

    එක්රැස් වීමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීම වැනි වෙනත් අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට උපකාරී වන බව ද ඇය විසින් අද (11) නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

    “එක්රැස්වීමේ අයිතියට සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතියට ඇතුළත් වේ. එය වෙනත් අයිතිවාසිකම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීමට උපකාරී වේ. වසංගතයට එරෙහි පියවර ලෙස පනවා ඇති සීමාවන් මහජන සෞඛ්‍යයේ නීත්‍යානුකූල ආරක්ෂාවෙන් ඔබ්බට නොයා යුතුය‘ යැයි එහි වැඩි දුරටත් සදහන් වේ. .

  • දැරිය දූෂණය කාමතුරයින් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පොලිස් ලොක්කෙක්

    දැරිය දූෂණය කාමතුරයින් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පොලිස් ලොක්කෙක්

    ලිංගික සේවා සැපයීම පිණිස අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ 15 වියැති බාලවයස්කාර දැරිය දූෂණ්‍ය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    දැරියගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනයට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 29 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිසිය සදහන් කළා.

    මේ අතර අද පුවත්පත් කිහිපයක් වාර්තා කළේ මෙම සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්, ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ද ඇතුළු තවත් ප්‍රබලයින් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

    මෙම දැරිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලදී දැරියන් සහ කාන්තාවන් මුදලට අලෙවි කිරීමට අදාළ වෙබ් අඩවි රැසක් හඳුනාගෙන තිබෙන අතර එහි ප්‍රධාන වෙබ් අඩවිය තුළ පමණක් විවිධාකාර ගැනුම්කරුවන් 5000ක් ආසන්න පිරිසක් ඇතුළත් වී සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා්‍

    මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම දැරිය පැයකට රුපියල් 10000කට, 15000කට, රාත්‍රියකට රුපියල් 30,000කට 60,000කට පවා අලෙවි වී ඇති බවයි.

    ‘‘අපිට කුකුළන්, ඌරන් විකුණන්න පුළුවන්. මාළු විකුණන්න පුළුවන්. නමුත් මිනිස්සු මේ විදියට දැන්වීම් දාලා විකුණන්න බැහැ. ලිංගික ක්‍රියාවලට කොහොමත් විකුණන්න බැහැ. ඒ නිසා මේ වනවිට 35දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැබැයි 34දෙනාගෙන් මේක නවතින්නේ නැහැ. දැරියගේ ජංගම දුරකථනය, වයිබර්, වට්ස්ඇප් ගිණුම් පරීක්ෂා කරනවිට තවත් නම් ගණනාවක් අනාවරණය වී තිබෙනවා. එම දුරකථනයේ දත්තවලට පරිබාහිරව තවත් කොපමණ පුද්ගලයන් සංඛ්‍යාවකට මෙම දැරිය අලෙවි වෙලා තිබෙනවාද කියලා‘ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

  • Full Story: සංචරණ සීමා රැසක් ලිහිල් කරමින් ‘නව නියෝග නිකුත් කරයි‘

    Full Story: සංචරණ සීමා රැසක් ලිහිල් කරමින් ‘නව නියෝග නිකුත් කරයි‘

    මේ වන විට පනවා ඇති සංචරණ සීමාවන් කිහිපයක් තව දුරටත් ලිහිල් කරමින් සහ පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකක් දීර්ඝ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (09) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    නව නියෝග අනුව පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන නමුත් එය පැවැත්විය යුත්තේ මංගල උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 25%කට හෝ උපරි 150කට නොවැඩි වන ලෙස බව සදහන්.

    උපයෝගීතා සේවා සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා අවම කාර්ය මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක කළ හැකි අතර පොදු ප්‍රවාහන සේවා ආසන ධාරිතාවෙන් 50%ක් විය යුතු අතර බස්නාහිර පළාත තුළ එය ආසන ධාරිතාවයෙන් 30%කට සීමාකර තිබෙනවා.

    එසේම ඇවිදීමේ මංතීරු , ආහාර පිටතට ගෙන යන අවන්හල් හා පිහිනුම් තටාක යනාදී ස්ථාන විවෘත කිරීමටද අවසර හිමි වී ඇති නමුත් කැසිනෝ ,රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.

    මෙම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.