Category: සුපිරි News

  • කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..

    කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් පසුගිය දා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ, නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙනය. 

    ඒ අනුව ටොන් 1,200,000 වන ජාතික පොහොර අවශ්‍යතාවය රටතුලම නිෂ්පාදනය කළ යුතු අතර ඒ සඳහා මේ වනවිටත් එම කර්මාන්තයේ යෙදී සිටින හා එම කර්මාන්තයට පිවිසීමට බලාපොරොත්තු වන දේශීය ව්යසවසායකයන්ව දිරි ගැන්වීමේ අරමුණින් යුතුව “සශ්‍රීක” නමින් නව ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීම ඊයේ දින( 2021.06.03) ලංකා බැංකු මූලස්ථාන පරිශ්‍රයේදී සිදුවිය. කාබනික පොහොර නිෂ්පාදකයන්ට ඔවුන්ගේ කර්මාන්ත වැඩි දියුණු කරගැනීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන අතර වසර 10 ක් හා රුපියල් මිලියන 200 ක් දක්වා මෙම ණය පහසුකම් ලබාගත හැක.

    ශ්‍රී ලාංකික ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී සුරක්ෂිත රටක් ගොඩ නැගීම වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ජනාධිපතිතුමන් ගත් තීරණය අද නොව හෙට දිනය ගැන සිතා ගත් තීරණයක් බැවින් ජාතික වගකීමක් සේ සිතා අප සියලුම දෙනා මේ මොහොතේ එක්ව කටයුතු කළයුතු බව කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාව සඳහ රජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්.රණසිංහ මහතා, ලංකා බැංකු සභාපති නීතීඥ කාංචන රත්වත්තේ මහතා , ලංකා බැංකු ප්‍රධාන කළමණාකරු සුගත් ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

  • ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි 05කට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

    ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි 05කට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

    ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකි වූ බව එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා විසින් අද (04) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කරගෙන මෙවැනි සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා  දුන් අතර ඒ සම්බන්ධයෙන් රජයෙහි අවධානය යොමු නොවීම මත මෙම තත්වය උදාවී ඇති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

  • ඇස්ට්‍රාසෙනිකා ආනයනයට අවසර ඉල්ලූ දේශීය සමාගම් ගැන රාජ්‍ය ඇමැති චන්න කළ සුපිරි හෙළිදරව්ව !

    ඇස්ට්‍රාසෙනිකා ආනයනයට අවසර ඉල්ලූ දේශීය සමාගම් ගැන රාජ්‍ය ඇමැති චන්න කළ සුපිරි හෙළිදරව්ව !

    මෙරට ලක්ෂ හයකට දෙවන මාත්‍රාව ලබාදිය යුතුව තිබෙන අස්ට්‍රාසෙනිකා එන්නත්  නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත්  මෙතෙක් ඔවුන්ගෙන්  සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

    අද (03) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විදේශ රටවලින් මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීමට  අතරමැදියන් සේ ඉදිරිපත් වුණු  ඇතැම් පෞද්ගලික අංශයේ  සමාගම් ෆලයිවුඩ් තුනීලෑලි ගෙන්වන, කන්ටේනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

    මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීවේය. ‘‘ මෙවැනි තත්ත්වයක් තිබුණත් අපි එම එන්නත්  ලබාගැනීමේ උත්සාහය කිසිසේත් අතහැර දමා නැහැ. කොවිඩ් දෙවැනි රැල්ල හරහා ඉන්දියාව මුහුණ දී ඇති තත්වය නිසා  එරට සමාගමෙන් අස්ට්‍රාසෙනිකා එන්නත්  ලබා ගැනීම කළ නොහැකි බව අපි තේරුම් ගත යුතුයි. මීට මුහුණ දීමට ඇති හොදම විකල්පය තමයි අපි එන්නත් නිෂ්පාදනය කිරීම. ඊට අවශ්‍ය මූලික පියවර අපි ගෙන තිබෙනවා.

    ඒවගේම තමයි මේ වන විට කොරෝනා  එන්නත්  සඳහා ලෝකය පුරා කළු කඩ වෙළඳ  පොළක් නිර්මාණය වී තිබෙනවා. අපි එයින් ද ප්‍රවේශම් විය යුතුයි. අස්ට්‍රාසෙනිකා එන්නත්  ඩුබායි , අබුඩාබි සාජා , කැනඩාව , ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව යනාදි රටවල පෞද්ගලික සමාගම් සතුව ද තිබෙනවා. එම සමාගම්වලින් එන්නත් ගෙන්වීමට මෙරට පෞද්ගලික  සමාගම් ගණනාවක් අතරමැදියන් ලෙස සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒත් අදාළ එන්නත් ආනයනය කරන   මවු සමාගමේ ඒවාදැයි තහවුරු කර ගැනීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි  දැනුම් දුන් අවස්ථාවේ දී ඇතැම් සමාගම්  ඉන් එහාට කටයුතු කරන්නේ නැහැ. එන්නත් ගෙන්වීමේදී  ඒවා නිවැරදි ඒවාදැයි තහවුරු කරගැනීම  රජයක් ලෙස අපේ වගකීමයි. මොකද විදේශ රටවලින් මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීමට  අතරමැදියන් සේ ඉදිරිපත් වුණු  ඇතැම් පෞද්ගලික අංශයේ  සමාගම් ෆලයිවුඩ් තුනීලෑලි ගෙන්වන, කන්ටේනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු ලැබී තිබෙනවා‘‘

  • අගමැති මහින්දගේ නිල වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට

    අගමැති මහින්දගේ නිල වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ දින (2) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ. එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන් වන අන්තර්ගතයක් පැවති අතර එම අන්තර්ගතය හරහා තවත් වෙබ් පිටුවකට පිවිසිය හැකි අතර එහිදී සයිබර් ප්‍රහාරකයන් විසින් යොදාගනු ලබන මෘදුකාංග කිහිපයක් ස්වයංක්‍රීයව පරිගණකයට හෝ ජංගම දුරකතනයට භාගත වීමක් සිදුවූ බවක් හදුනාගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.

  • කොවිඩ් මරණ සගවන්න ආණ්ඩුව යළිත් අලුත් ගේමක් ගහයි – ඊයේ මරණ වාර්තා වී නෑ

    කොවිඩ් මරණ සගවන්න ආණ්ඩුව යළිත් අලුත් ගේමක් ගහයි – ඊයේ මරණ වාර්තා වී නෑ

    ජූනි මස 02 වැනි දිනට අදාළව කොවිඩ්-19 මරණ පිළිබද නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) රාත්‍රී 22.30ට නිකුත් කළා. එම නිවේදනය අනුව මැයි 17 වැනි දින සිට ජූනි 01 දින දක්වා කොවිඩ් ආසාදිත මරණ 39ක් වාර්තා වී ඇති අතර ජූනි 02 වැනිදා එක් මරණයක් හෝ වාර්තා වී නැහැ.

    මෙදින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ විශේෂත්වයක් දැකගත හැකියි. ඒ ගැන පහත නිල නිවේදනය මගින් ඔබට ම අදහසක් ලබා ගත හැකියි.

    covid-death-jun-2

    මේ අතර පත්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී, හිටපු ඇමැති මහචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (02) පැවසුවේ ‘කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තා කරන ප්‍රමාණයට වඩා වැඩි බවයි.

    මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ බව පැවසූයේ මාධ්‍යවේදී චතුර දිසානායක සමඟ සිදුකළ Q5 with CHATHURA වැඩසටහනට එක්වෙමිනුයි. එහිදී මාධ්‍යවේදී චතුර දිසානායක මහාචාර්යවරයාගෙන් “පසුගිය දවස්වල අහන්න ලැබිච්ච දෙයක් තමයි මේ වාර්තාවන මරණවලට වඩා මරණ සිදුවෙනවා කියලා… මේ මරණ වාර්තා නිවැරදි නැහැ කියලා… ඒක ඇත්තක්ද?” යැයි විමසුවා.

    චතුරගේ එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ සදහන් කළා, “ඒකේ ඇත්තක් තියෙනවා. හේතු කිහිපයක් උඩ. එකක් රෝගීන් සංඛ්‍යාව ඉදිරිපත්කරන ඒ ගාන නියම මැනීමක් නෙමෙයි. PCR පරීක්ෂණ පැවැත්වීමේ මදි කම එක පැත්තකින් තියෙනවා. අනික් පැත්තෙන් රෝගීන් සෑහෙන්න පිරිසක් රෝහල්ගතවෙන්නෙත් නැහැ. මරණ සම්බන්ධවත් සමහර අය ගෙවල්වල රැඳී ඉඳලා ඉස්පිරිතාලවලට යන්නේ නැහැ. අනිත් පැත්තෙන් විවිධ හේතූන් නිසා මැරෙන්න පුළුවන් කොවිඩ් වෛරසය බෝවෙලා තියෙන්නත් පුළුවන්. මැරුණේ කොවිඩ් 19න් වුනාට ඒවා සඳහන් කරන්නේ කොවිඩ් මරණ හැටියට නෙවෙයි.

    කනගාටුයි කියන්න, හරියට මදිකමක් වාගේ කලින් තිබුන තත්වයෙන් වෙනස් වෙලා මේක වැඩිවේගන යාම දකින්නේ. අපිට කරන්න තියෙන්නේ ඇත්ත තත්වෙ මොකද්ද කියලා දැනගෙන ඒකට උපරිම ලෙස ක්‍රියාකාරීමයි.” යනුවෙනි.

  • ආසාදිතයින් යළි ඉහළට – ‘ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ‘ 120%ක වර්ධනයක්

    ආසාදිතයින් යළි ඉහළට – ‘ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ‘ 120%ක වර්ධනයක්

    අද (02) පස්වරු 08.00 වන කොවිඩ්-19 ආසාදිතයින් 3306 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය 160,714 ලෙස වාර්තා වුණා.

    මේ අතර දැනට රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 තුළ 120% කින් ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියනවා.

    එම මධ්‍යස්ථානය විසින් පවත්වා ගෙන යන වාර්තාවලට අනුව පසුගිය මැයි 27 වනදා වන විට රෝහල්වල සිටි ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149 දෙනකු වූ අතර මැයි 28 වනදා වනවිට එය 230 දක්වාත්, මැයි 29 වනදා වනවිට එම රෝගීන් ගණන 237 දක්වාත්, මැයි 30 වනදා වනවිට 310 දක්වාත් මැයි 31 වනදා වනවිට 330 දක්වාත් වර්ධනය වී තිබෙනවා.

  • ‘වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා‘  මහාචාර්ය අර්ජුන ද සිල්වා

    ‘වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා‘ මහාචාර්ය අර්ජුන ද සිල්වා

    ”වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා‘ සංචාරක ඇමැතිවරයාගෙන් මේ ආයාචනය කළේ මෙරට ප්‍රමුඛ මහාචාර්යවරයෙක් වන අර්ජුන ද සිල්වා මහතායි.

    අද (02) දහවල් දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වු “BIG FOCUS”වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙම බැගෑපත් ඉල්ලීම කළා.

    වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා,“ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් එකට දාලා නෑ. ඇත්ත වශයෙන් ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට. ඒ ලිස්ට් එකම අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් එක තමයි උදාහරණයක් වශයෙන් එංගලන්තය, චීනයේ රටවල මිනිස්සුන්ට මේක නෑ. එංගලන්තේ ඔක්කෝම එන්නත් කරලා තියෙන්නේ. ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න දැනට. අනෙක් රටවලින් ගේන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා.”

  • ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතැබිය යුතුයි – ජනපතිගෙන් විශේෂ නියෝග

    ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතැබිය යුතුයි – ජනපතිගෙන් විශේෂ නියෝග

    කර්මාන්ත සහ සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව
    පවත්වාගෙන යාමට සහාය වන්න  
     – ජනපති ආණ්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියයි …

    ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති  අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවසීය.

    පළාත් ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති මාසික හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    කර්මාන්තශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් ආශ්‍රිතව ආසාධිතයෙකු හඳුනාගත් විට එම කර්මාන්තශාලාව හෝ ව්‍යාපෘතිය එක්වරම වසා දමනු වෙනුවට සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් අඛණ්ඩව පවත්වාගෙන යා හැකි පරිසරය විමසීමේ වැදගත්කම  ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    සංචරණ සීමා හමුවේ ජන ජීවිතයට එල්ල වී ඇති අභියෝග සහ ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

    නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් කර්මාන්ත සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට රජය උපදෙස් දී තිබුණ ද ප්‍රාදේශීයව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මකවීමේ දී අඩු පාඩු පැවති බවට කරුණු වාර්තා වී ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

    ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ගේ එළවළු සහ පළතුරු අතිරික්ත මිලට ගෙන බෙදාහැරීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා  ගොවි ආර්ථිකය බිඳ වැටීමට ඉඩ නොතැබීම අදාළ සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව කියා සිටියේය.

    දේශීය අරමුදල් සහ විදේශීය ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අදාළ ඉලක්ක නිසි ලෙස පූර්ණය කළ යුතුය. රජය විසින් ක්‍රියාත්මක කොට ඇති වැව් දස දහසේ වැඩසටහන, මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම, ජාතික පාසල් දහස, නිවාස, ප්‍රාදේශීය රෝහල්, පානීය ජලය, පුනර්ජනනීය බලශක්තිය වැනි ව්‍යපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට රාජ්‍ය අමාත්‍යවරුන් සහ එම ලේකම්වරු සමග සෘජු සබඳතා පවත්වා ගනිමින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට සහ දිසාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

    එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරටට අවශ්‍ය සම්පූර්ණ එන්නත් ප්‍රමාණය මේ වන විට ලැබෙමින් පවතී. විද්‍යානුකූලව හා නිසි සැලැස්මකට අනුව එම ක්‍රියාවලිය සිදු කෙරෙන බව පැවසූ ජනාධිපතිතුමා එහිදී ජනතාව අසීරුතාවයට පත් නොවන අන්දමින් සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීම දේශපාලන අධිකාරියේ මෙන්ම ආණ්ඩුකාරවරුන් ප්‍රමුඛ සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් තමා අපේක්ෂා කරන බව ද පැවසීය.

    ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බව  සඳහන් කළ ජනාධිපතිතුමා කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ අභියෝගය ජයගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ද ආණ්ඩුකාරවරුන්ට කීය. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා  කුඩා ව්‍යාපාරිකයන්ට සහ ගොවි සමිති වලට අවශ්‍ය ආධාර හා රාජ්‍ය බැංකු හරහා සහන පොළියට ණය ලබාදීමට  රජය සැලසුම් කර ඇති බව ද  සඳහන් කෙරිණ.

    පවතින වසංගතය පාලනය කරමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සහ අභියෝග හමුවේ වුවද රටේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ කැපවීම ආණ්ඩුකාරවරුන්ගේ පැසසුමට ලක් විය.

    වරාය, දුම්රිය, රේගු, ඉන්ධන සැපයුම්, පොදු ප්‍රවාහන සේවා, බැංකු, පළාත් පාලන ආයතන අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම තම කටයුතු පවත්වාගෙන යාමට විශාල සහනයක් වූ බව දිස්ත්‍රික් ලේකම්වරු පෙන්වා දුන්හ.

    පළාත් ආණ්ඩුකාරවරු,  ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • සංචරණ සීමා ජූනි 14 දක්වා යළි දීර්ඝ කරයි

    සංචරණ සීමා ජූනි 14 දක්වා යළි දීර්ඝ කරයි

    දැනට බල පැවැත්වෙන සංචරණ සීමා ජූනි 14 වැනිදා අළුයම 04.00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (02) දින නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.

  • පාරිසරික ව්‍යසනය පිළිබඳ භීතිය මධ්‍යයේ X-Press Pearl ගිලී යයි

    පාරිසරික ව්‍යසනය පිළිබඳ භීතිය මධ්‍යයේ X-Press Pearl ගිලී යයි

    විශාල පාරිසරික ව්‍යසනයක භීතිය මධ්‍යයේ රසායනික ද්‍රව්‍ය පටවන ලද X-Press Pearl නෞකාව ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් ගිලී යමින් තිබෙන බව ලෝ ප්‍රකට බී.බී.සී ජාත්‍යන්තර වෙබ් අඩවිය අද (02) වාර්තා කළේය.

    සිංගප්පූරුවේ ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන X-Press Pearl සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගිනිගනිමින් තිබෙන බවයි එම වාර්තාව සදහන් කරයි.

    නැව ගිලුණහොත් සමුද්‍ර ජීවීන්ට සහ කොරල්පරවලට දැවැන්ත හානියක් සිදුවිය හැකි අතර එන්ජින් තෙල් ටොන් සිය ගණනක් මුහුදට කාන්දු වීම මගින් සිදුවන පරිසර විනාශය තව දුරටත් තීව්‍රර විය හැකිය. ශ්‍රී ලංකාව සහ ඉන්දීය නාවික හමුදාව පසුගිය දින කිහිපය තුළ ඒකාබද්ධව කටයුතු කර ඇත්තේ ගින්න නිවා දැමීමට සහ නැව කැඩී ගිලී යාම වැළැක්වීමට ය. නමුත් රළු මුහුද සහ මෝසම් සුළං මෙම මෙහෙයුමට බාධා ඇති කළේය.

    සාගර දූෂණය අවම කිරීම සඳහා නැව ගිලෙන්නට පෙර ගැඹුරු මුහුදට ඇද දැමීමට උත්සාහ කරන නමුත් නෞකාවේ පසුපස ප්‍රදේශය ගිලී ගොස් ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසීයට පැවසීය.

    එක්ස්-ප්‍රෙස් පර්ල්
    එක්ස්-ප්‍රෙස් පර්ල්

    රටේ වඩාත් සුන්දර වෙරළ තීරයන්හි නිවහන වන මීගමුව නගරය අසල වෙරළබඩ ප්‍රදේශය දැනටමත් දින ගණනාවක් තිස්සේ තෙල් හා සුන්බුන්වලින් දූෂණය වී තිබේ.

    මේ අතර, ධීවර රාජ්‍ය අමාත්‍යවරයා විසින් මීගමුව කලපුවේ සහ පානදුර සිට මීගමුව දක්වා මසුන් ඇල්ලීම වහාම අත්හිටුවා තිබේ. කලපුව සහ අවට ප්‍රදේශ සුන්බුන් වලින් සිදුවන හානිය අවම කිරීම සඳහා හෝ තෙල් කාන්දුවක් සිදුවුවහොත් ඒවා වළක්වා ගැනීම සඳහා හදිසි වැළැක්වීමේ පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

    X-Press Pearl නෞකාවේ හිමිකාරීත්වය දරන සමාගම නිවේදනයක් නිකුත් කරමින් රසායනික ද්‍රව්‍ය කාන්දුව පිළිබඳව නෞකාවේ කාර්ය මණ්ඩලය දැන සිටි බව සනාථ කළ නමුත් ගින්න හට ගැනීමට පෙර නෞකාවට කටාර් හෝ ඉන්දියාවට ොයාමට අවසර නොලැබුණු බව පැවසීය.

    වෙනත් රටවල් දෙකක් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව විසින් මෙම නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ හැරීම මහජන කෝපයට හේතු වී තිබේ. පසුගිය සතියේ බේරාගත් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නිලධාරීන් විසින් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

    නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ඉංජිනේරුවරයාගෙන් පැය 14 කට වැඩි කාලයක් ප්‍රශ්න කළ බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. කපිතාන්, ප්‍රධාන ඉංජිනේරු සහ අතිරේක ඉංජිනේරුවරයා රට හැර යාම වළක්වන ලෙස අධිකරණය නියෝගයක් ද නිකුත් කළේය.

    කොළඹ වරායට ඇතුළු වීම සදහා ඔබ ඔබ්වෙන් නැංගුරම් සිටි සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවේ එහි එක් බහාලුමක රසායනික කාන්දුවක් හේතුවෙන් ගින්නක් හටගත් බව මුලින්ම වාර්තා විය.

    ලොව විශාලතම නාවික මෙහෙයුම් සමාගමක් විසින් මෙහෙයවන ලද මීටර් 186 ක් දිග මෙම බහාලුම් නෞකාව 2021 මැයි 15 වන දින ඉන්දියාවේ හසිරා වරායෙන් නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, තවත් රසායනික ද්‍රව්‍ය හා ආලේපන කිහිපයක් සහිත බහාලුම් 1486 ක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී මෙම විනාශයට මුහුණ පෑවේය.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • X-PRESS PEARL නෞකාව ගිලී යයි !

    X-PRESS PEARL නෞකාව ගිලී යයි !

    X-PRESS PEARL නෞකාව ඈත මුහුදට ඇදගෙන යාමේ කටයුතු අද (02) දින පෙරවරුවේදී ආරම්භ වුවත් එය අසාර්ථක බව වාර්තා වෙනවා. ඒ නෞකාව මුහුදුබත් වීමට පටන් ගෙන ඇති නිසයි. අදාළ කටයුතුවලට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කළ පහත ඡායාරූපවලින් ඒ බව පැහැදිලිව දැකගත හැකියි.

  • එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව වහාම ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝග

    එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව වහාම ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝග

    කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී තීරණය කෙරිණ.

    මැයි මස 09 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 19 වනදා කොළඹ වරාය ආසන්නයට නෞකාව පැමිණීම දක්වා සියලු තොරතුරු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අනාවරණය කළේය.

    ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන්හ. එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන්ගේ යෝජනාව විය.

    ඒ අනුව තාක්ෂණික කාරණා පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ ද උපදෙස් මත, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    ගනු ලබන තීරණය තාක්ෂණික කරුණු මත පමණක් පදනම් විය යුතු බව සහ දේශපාලන කාරණා ඒ සඳහා අදාළ කර නොගත යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, නාලක ගොඩහේවා, නීතිපති සංජය රාජරත්නම්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු, නාවුක හා ගුවන් හමුදාපතිවරු, වරාය, සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය, නාරා ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ. 

  • සගවාගෙන සිටින රසායන පොහොර වහාම වෙළෙදපොළට නිකුත් කරනු – රජය කියයි

    සගවාගෙන සිටින රසායන පොහොර වහාම වෙළෙදපොළට නිකුත් කරනු – රජය කියයි

    රජය විසින් රසායනික පොහොර ආයනයනය තහනම් කිරීමෙන් පසු ඇතැම් වෙළෙදුන් තමන් සතුව තිබූ රසායන පොහොර තොග සගවා ගෙන සිටින බවත් වහාම එම පොහොර තොග වෙළෙද පොළට නිකුත් කරන ලෙසත් රජය වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (01) දින නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ. අදාළ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

    රසායනික-පොහොර

  • රට තුළ ලුණු හිඟයක් ඇතිවෙයිද ? – ප‍්‍රධාන ලුණු නිෂ්පාදන සමාගම් දෙකකින් ඒ්කාබද්ධ ප්‍රකාශයක්

    රට තුළ ලුණු හිඟයක් ඇතිවෙයිද ? – ප‍්‍රධාන ලුණු නිෂ්පාදන සමාගම් දෙකකින් ඒ්කාබද්ධ ප්‍රකාශයක්

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීම සමග දේශීය ලුණු නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. ඉදිරි දිනවල ලුණු හිගයක් ඇතිවේය යන බියෙන් ජනතාව ලුණු තොග වශයෙන් මිලදී ගනිමින් සිටින අතර ඇතැම් ප්‍ර දේශවල ලුණු හිගයක් ද වාර්තා වෙනවා.

    මේ තත්ත්වය තුළ දේශීය ලුණු කර්මාන්තය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබඳව මෙරට ප්‍රධානතම ලුණු නිෂ්පාදකයින් දෙදෙනෙකු වන රයිගම් සමූහ ව්‍යාපාරය සහ සීමාසහිත ලංකා සෝල්ට් සමාගම ඒ්කාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඒම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    දේශීය ලූණු අවශ්‍යතාවයෙන් 80% ක පමණ ප‍්‍රමාණයක් සඳහා නිෂ්පාදනයෙන් දායකවන ප‍්‍රධාන සමාගම් වන රයිගම් සමූහ ව්‍යාපාර සහ එහි අනුබද්ධ ලූණු සමාගම් ද සීමාසහිත ලංකා සෝල්ට් සමාගමද වෙනුවෙන් රයිගම් සමුහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ සහ සී/ස ලංකා සෝල්ට් සමාගමේ සභාපති නීතීඥ නිශාන්ත සඳබරණ යන අප විසින්, කොළඹ වරාය ආසන්නයේ ගිනිගත් නැවේ අඩංගුව පැවති රසායන ද්‍රව්‍ය මුහුදු ජලය ඔස්සේ දේශීය ලූණු හා මිශ‍්‍ර විය හැකි බවට පලවන අසත්‍ය ප‍්‍රවෘත්තියට පිළිතුරු වශයෙන් හා ඒ සම්බන්ධයෙන් දේශීය ලූණු පාරිභෝගිකයන් වෙත පැවතිය හැකි අනියත බිය දුර කිරීම උදෙසා මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත්කරනු ලැබේ.

    මුහුදු හෝ කලපු ජලය මගින් ලූණු නිපදවීම එම ජලය ලබාගත් අවස්ථාවේ සිට මාස 6 කට අධික කාලයක් ගතවන දීර්ඝ කි‍්‍රියාවලියකි. ඒ අනුව ඉදිරි කන්න කිහිපය සඳහාම අවශ්‍ය තරම් කාරම් ජලය අප ආයතන සතු ජලාශවල ඉතා විශාල වශයෙන් රැුස්කර ඇති අතර, මේ දිනවල කිසිදු ආකාරයකින් මුහුදු හෝ කළපු ජලය රැුස්කිරීමක් අවශ්‍ය නොවේ. විශේෂයෙන් මෙය යල කන්නයේ අවසානය මෙන්ම පැවති වැසි සහිත කාලගුණය හේතුවෙන් අපගේ තඩාග තුළට කරදිය රැුස්කිරීම සිදුනොවන කාල සිමාවකි.

    තවද පසුගිය වර්ෂය පුරාවට පැවති යහපත් කාලගුණය හේතුවෙන් අති විශාල ලූණු අස්වැන්නක් නෙලා ඇති අතර එම ලූණු ප‍්‍රමාණය වර්ෂයකට වැඩි දේශීය ඉල්ලූම ඉක්මවන අති විශාල තොගයකි.

    මේ අනුව අවම වශයෙන් තවත් මාස 12 ක් ගතවන තෙක්ම වෙළඳපොලට නිකුත් වන්නේ දැනට පවතින තොග වලින් වන අතර එයින් පසුවද දැනට අපගේ අභ්‍යන්තර ජලාශවල පවතින කාරම් ජලය මගින් නිපදවෙන ලූණු නිකුත් කරනු ඇත.

    මේ නිසා අපගේ පාරිභෝගික ජනතාවට කිසිදු ආකාරයකින් ලූණු සැපයුම සම්බන්ධ අනියත බියක් ඇතිකර ගැනීම හෝ අනවශ්‍ය ලෙස තොග රැුස්කර ගැනීම කිසිසේත් අවශ්‍ය නොවන බවද ඉතා වගකීමෙන් ප‍්‍රකාශකර සිටිමු.

    යම් ඉදිරි දිනයක වූවද අපගේ අභ්‍යන්තර ජලාශවලට මුහුදු ජලය ලබාගැනීම ආරම්භ කරන්නේ එම ජලයේ සෞඛ්‍යාරක්‍ෂිතභාවය තහවුරු කරගැනීමෙන් පසුව බව ඉතා ඔනෑකමින් අවධාරණය කරමු. ලූණු කර්මාන්තය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති පිරිස් විසින් තම පටු අරමුණු සඳහා පතුරවන අතාර්කික කටකතාවලට නොරැුවටෙන ලෙස ඉතා ලෙන්ගතුව ඉල්ලා සිටින අතර ඔබේ දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය ලූණු ප‍්‍රමාණය පමණක් මිලදී ගන්නා ලෙසද සමස්ථ ලෝකයාම කොවිඞ් උවදුර හමුවේ දැඩි පීඩනයකට ලක්වී ඇති මේ මොහොතේ වඩාත් ආරක්‍ෂිතව දෛනික කටයුතු පෙලගස්වා ගන්නා ලෙසද ඉල්ලා සිටිමු.

    රයිගම් හා ලක්ලූණු වෙළඳනාමයන් යටතේ ඔබ වෙත ලැබෙන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති යටතේ නිපදවූ ඉස්තරම්ම ලූණු නිෂ්පාදන වන අතර ඔබගේ අවශ්‍යතාවය මෙන් දෙගුණයක තොගයක් දැනට අප සතුව පවතින බව නැවත වාරයක් අවධාරණය කරමු.

  • කොවිඩ් එන්නත්කරණයේදී ‘සෞඛ්‍ය නිලධාරීන්ට පාට් දැමූ’ මොරටුව පුරපතිගේ ඇප ඉල්ලීම ඉවතට

    කොවිඩ් එන්නත්කරණයේදී ‘සෞඛ්‍ය නිලධාරීන්ට පාට් දැමූ’ මොරටුව පුරපතිගේ ඇප ඉල්ලීම ඉවතට

    පසුගිය මැයි මස 27 වැනිදා මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්11 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ නීතිඥයින් මාර්ගයෙන් කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා විසින් අද (01) ප්‍රතික්ෂේප කළේය.

    ඇප ලබාදීමට තරම් ප්‍රමාණයත් කරුණු එම ඉල්ලීමෙහි ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

    පසුගිය 27 වැනිදා මොරටුව මෝල්පේ හි පැවති එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා පසුගිය 28 වනිදා නීතිඥයින් මාර්ගයෙන් ගල්කිස්ස පොලිසියට භාර වූ අතර පසුව ඔහුව ජූනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

    මෙම සිදුවීම සමාජමාධ්‍යවල දැඩි විවේචනයට ලක් වූ අතර ජනපතිවරයා විසින් ද අදාළ සිදුවීම ලැජ්ජාසහගත සිදුවීමක් ලෙස සැලකීය.

  • කොවිඩ් ආසාදිත මරණ 43ක් සහ නව ආසාදිතයින් 2882ක් – සම්පූර්ණ වාර්තාව මෙන්න

    කොවිඩ් ආසාදිත මරණ 43ක් සහ නව ආසාදිතයින් 2882ක් – සම්පූර්ණ වාර්තාව මෙන්න

    කොවිඩ් -19 ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (31) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1484 ක් දක්වා ඉහළ ගිය බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ්‍.

    මෙම මරණ අතරින් 4 ක් ඊයේ (31) දිනයේත් සෙසු ඒවා මැයි 20 සිට 30 වැනිදා දක්වා සිදු වූ ඒවා බවත් මින් හත් දෙනකු නිවසේදී මියගොස් ඇති අතර තවත් හත් දෙනකු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ. නිවසේ දී මිය ගිය අතර 24 හැවිරිදි තරුණියක ද වේ.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ එදින කොවිඩ් ආසාදිතයින් 2882ක් වාර්තා වූ බවයි.

    අදාළ මරණ පිළිබද රජය විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

    covid-death-may-31