Category: සුපිරි News

  • පොහොර රාජ්‍ය ඇමති කාබනික පොහොර හදන අය සොයා යයි…

    පොහොර රාජ්‍ය ඇමති කාබනික පොහොර හදන අය සොයා යයි…

    ජනාධිපති තුමා විසින් 2021 අප්‍රේල් මස 21 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව අනුමත කර ඇති “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා” යන මැයෙන් යුතු අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සියළුම වර්ගවල රසායනික පොහොර හා පලිබෝධ නාශක ආනයනය කිරීම තහනම් කර ඇත.

    ඒ අනුව මෙම අමාත්‍යංශය වෙත කාබනික පොහොර නිෂ්පාදනය, සැපයුම හා නියාමනය සම්බන්ධව වගකීම් පැවරී ඇති අතර දැනට දිස්ත්‍රික් මට්ටමෙන් මධ්‍යම හා කුඩා පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන ව්‍යවසායකයින් ව නිසි පරිදි නගා සිටුවා ඔවුන්ගේ නිෂ්පාදනයන් ජාතික අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා භාවිත කිරීමට වැඩපිළිවලක් සකසා ඇත. එකී වැඩපිළිවෙල යටතේ ඔවුන් හට අවශ්‍ය තාක්ෂණය ලබා දීම ,වෙනත් පහසුකම් සැපයීම හා නිෂ්පාදන ජාලයක් සමඟ සම්බන්ධ කිරීම සිදු කරනු ලැබේ.

    ඒ අනුව 2021.06.11 දින සිට 2021.06.30 දින දක්වා දිවයින පුරා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල  වෙත ගොස් කාබනික පොහොර නිෂ්පාදකයින් හමුවීමට කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතා සූදානමින් සිටින අතර එම අවස්ථාවන් සඳහා අමාත්‍යංශ නිලධාරීන්ද සහභාගී වනු ඇත.

    එකී වැඩපිළිවෙලෙහි පළමු අදියර ලෙසින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කොළඹ දිස්ත්‍රික් කාබනික පොහොර නිෂ්පාදයින් සමග සැසිය අද උදෑසන පැවැත්විණි. මේ සඳහා කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර රොශාන් ගුණතිලක, බස්නාහිර පළාත් කමිටු සභාපති ප්‍රියන්ත උදුගොඩ, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සහ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ ඇතුලු පිරිසක් සහභාගී විය.

  • ජනතාව කබලෙන් ලිපට දමමින් ආණ්ඩුව සංශෝධනයට මුවා වී ‘ඉන්ධන මිල ඉහළ දමයි‘

    ජනතාව කබලෙන් ලිපට දමමින් ආණ්ඩුව සංශෝධනයට මුවා වී ‘ඉන්ධන මිල ඉහළ දමයි‘

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ.

    මාධ්_ය-නිවේදනය-බලශක්ති-අමාත්_යංශය

    ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවේදීය.

    මිල සංශෝධනය සිදුකරන දිනය දැන්ම ප්‍රකාශ නොකරන්නේ තෙල් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වුවහොත් එය කොවිඩ් පාලනයට අහිතකර ලෙස බලපාන නිසා බව කී ඇමැතිවරයා මිල සංශෝධනය නුදුරේදීම සිදුවන බව කීවේය.

    ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණය සාධාරණීකරණය කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ යද්දීත් අපි මාස 21කට අධික කාලයක් මිල සංශෝධනය නොකර සිටියේ ජීවන වියදම ඉහළ යාම හා ආදායම් අහිමිවීම හේතුවෙන් ජනතාව අතිශය දුෂ්කර තත්වයක සිටින බව දන්නා නිසයි. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යන විට මෙතරම් දිගු කලක් මිල වැඩි නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත්ම තිබුණේ නැහැ. නමුත් තවදුරටත් එම දැවැන්ත අලාභය දරාගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැහැ.

    වියදමට වඩා අඩු මිලකට ඉන්ධන විකිණීම නිසා 2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක් බවට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ණය ගෙවා ගත නොහැකි බංකොලොත් ආයතනයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම තමයි ඉන්ධන ආනයනය සඳහා වසරකට රුපියල් කෝටි 300ක් වැය වෙනවා. පවතින විදේශ විනිමය අර්බුදය මැද එම මුදල වැය කිරීම ද අභියෝගයක් බවට පත්ව තිබෙනවා‘‘

    ඉන්ධන මිල සංශෝධනය රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආර්ථික විශේෂඥයින් කිහිප දෙනකුම පැවසුවේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා ඉන්ධන ආනයනයේදී විශාල මිලක් ගෙවීමට සිදුව ඇති බවයි. වත්මන් රජය බලයට පත්වන අවස්ථාව වන විට ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල වාර්තාගත ලෙස පහළම අගයක තිබූ බව සදහන් කළ ඔවුන් කියා සිටියේ ඒ අවස්ථාවේ එකී මිල වාසිය ජනතාවට ලබාදීමට රජය පියවර නොගත් බවයි.

    ‘ඒ අවස්ථාවේ රජය කිව්වේ අදාළ මිල වාසිය ගිනුමකට බැර කර මිල ඉහළ යන අවස්ථාවක එම සහනය ජනතාවට ලබා දෙන බවයි. ඒත් අපි හොදාකාරවම දන්නවා ආණ්ඩුවට එවැනි ගිනුමක් තිබුණේ නැහැ. ඒ වාසිය ජනතාවට දුන්නෙත් නැහැ.‘

    මේ සම්බන්ධයෙන් ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණයෙන් කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථව අඛණ්ඩව පාඩු ලබන්නේ ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දුන් නිසා නොවන බවයි.

    ‘‘ජනතාව ණයට ඉන්ධන ගත්තේ නැහැ. මේ පාඩුව ලබන්නේ ආණ්ඩුවේම ආයතන, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආදියට ඉන්ධන විකුණලා. ඒ අලාභය ජනතාව පිටින් දාන එක වැරදියි. කළමනාකරණ නොහැකියාව, නාස්තිය හා දූෂණය නිසයි තෙල් සංස්ථාව පාඩු ලබන්නේ‘ යැයි ඔහු සදහන් කළේය.

  • ශ්‍රී ලංකාවට හිමිවන ‘දකුණු කොරියානු රැකියා‘ අනතුරේ !

    ශ්‍රී ලංකාවට හිමිවන ‘දකුණු කොරියානු රැකියා‘ අනතුරේ !

    දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවී තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2000කට ආසන්න පිරිසක් නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියානු රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි.

    රට පමණක් නොව තමන් ද අනතුරේ දමමින් සිටින මෙම ශ්‍රමිකයන් වහාම මව්බිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් සභාපතිවරයා අදාළ ශ්‍රමිකයින්ගේ පවුල් වල සාමාජිකයින්ගෙන් ද ඉල්ලා සිටිනවා.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වූ ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා, ‘‘දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවි තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නීති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වහාම ගෙන්වා ගන්නා ලෙස දකුණු කොරියානු රජය විසින් මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජයට දන්වා සිටියා.

    මේ වන විටත් 2000කට අධික ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසක් අනවසරයෙන් සිය රටේ රැදි සිටිමින් රැකියාවල නිරත වෙන බවයි දකුණු කොරියානු රජය කියන්නේ. මෙම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව, ගිවිසුම් ගත කාලය තුල රැකියාවල නිරත වී, තම සේවා ගිවිසුම් කාලය ඉක්මවු පසු නීති විරෝධි අන්දමින් රැදි සිටින අයයි. ඔවුන් නීති විරෝධි අන්දමින් රැඳී සිටින කාලය තුළ, නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව දකුණු කොරියානු රජය විසින් දන්වා තිබෙනවා. දකුණු කොරියානු රජයේ මෙම තීරණය දැනට දකුණු කොරියානු රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයටද බලපානවා. මේ නිසා රටට ඉදිරියේදී රැකියා විශාල ප්‍රමාණයක් අහිමි විමේ අවදානමක් පැන නැගී තිබෙනවා.

    නීති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රමිකයන් ගෙන්වා නොගත හොත් ඔවුන් වෙනුවෙන් ඇපකර ගිවිසුම් අත්සන් කළ අයට සහ අදාළ ශ්‍රමිකයාට ද එරෙහිව වහාම නඩු පැවරීමට අපි තීරණය කර තිබෙනවා. ඒ නිසා අපි ඉතාම කාරුණිකව අදාළ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිනනේ තමන් පමණක් නොව රටත් අනතුරේ නොදා වහාම ලංකාවට පැමිණෙන්න.

    ඒ වගේම මම ඉතාම කාරුණිකව අදාළ පුද්ගලයින්ගෙන් පවුල්වලින් ද ඉල්ලන්නේ මේ අනීතික කටයුත්ත කරන ඔබේ පවුලේ සාමාජිකයාව වහාම මවුබිමට ගෙන්න ගන්න. එසේ නොවුණහොත් ඔබ රටට මහත් විනාශයක් කළ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් දහස් ගණනකගේ ජීවිත අදුරු කළ පුද්ගලයෙක් බවට පත් වෙනවා‘‘

  • ‘මෛත්‍රීට’ චීනෙන් දුන් වකුගඩු රෝහල ජනපති ‘ගෝඨාභය අතින්‘ ජනතා අයිතියට

    ‘මෛත්‍රීට’ චීනෙන් දුන් වකුගඩු රෝහල ජනපති ‘ගෝඨාභය අතින්‘ ජනතා අයිතියට

    පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්අෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය.  

    චීන සහශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. ඒ සඳහා වැය කෙරුණු  මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි.

    වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ.  දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ.  වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කර රෝහල් සංකීර්ණය විවෘත කෙරිණ.

    රෝහලේ කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා විස්තර කළේය.

    ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත පිරිස රුධිර කාන්දුකරණ ඒකකය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඇතුළු රෝහල් සංකීර්ණය නිරීක්ෂණය කළහ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ශ්‍රී ලංකාවට ලබා දුන් GSP+ අත්හිටුවනු – යුරෝපා සංගම් පාර්ලිමේන්තුවෙන් යෝජනාවක්

    ශ්‍රී ලංකාවට ලබා දුන් GSP+ අත්හිටුවනු – යුරෝපා සංගම් පාර්ලිමේන්තුවෙන් යෝජනාවක්

    ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය තාවකාලිකව අත්හිටුවීම  සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ 705/628ක අති බහුතර ඡන්දයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඊයේ (10) සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග කියනවා.

    යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 705 දෙනකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් 628 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය දී තිබෙනවා. යෝජනාවට විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබන අතර තවත් 40ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවයි වාර්තා වන්නේ.

    2017 වසරේදී යුරෝපා කොමිසම විසින්  ශ්‍රී ලංකාවට යළි ලබා දුන්  ජී.එස්.පී.ප්ලස් බදු සහනය  හා  එහි ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීමට යුරෝපා කොමිසම සලකා බැලිය යුතු බව  යූරෝපා පාර්ලිමේන්තුව සම්මත කර ගත් එම යෝජනවේ සදහන් වෙනවා.

    ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පැහැදිලි කර ඇති පරිදි, බරපතළ මානව හිමිකම් උල්ලංඝණය වීම් නැවත සිදුවීමක් සඳහා රටතුළ ඇති භයානක පසුබෑමක් ඇති බවට ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අදාළ යෝජනාවේ සදහන් කර තිබෙනවා.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සුළු ජාතීන් සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම, ආණ්ඩුව විටින් විට ප්‍රකාශ කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට අසමත් වීම, සමාජ ක්‍රියාකාරීන්, ලේඛකයන්, නීතිඥයන් වැනි අය රඳවා ගැනීමට මෙම පනත යොදා ගැනීම යුරෝපා පාර්ලිමේන්තුවේ දැඩි අවධානයට ලක් වී තිබෙනවා.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර, නීතිඥ හිජාස් හිස්බුල්ලා, අහ්නෆ් ජාසිම් වැනි අයට චෝදනා ගොනු කර අධිකරණ ඉදිරිපත් කරන ලෙස හෝ චෝදනා නැත්නම් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසද යුරෝපා පාර්ලිමේන්තුව සිය යෝජනාව මගින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා

    ශ්‍රී ලංකාවේ තෙවන ප්‍රධාන අපනයනකරුවා වන යුරෝපා සංගමය විසින් යළිත් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය අත්හිටුවීමට ක්‍රියා කළහොත් එමගින් ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික හා සමාජයීය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ආර්ථික විශේෂඥයින් කියනවා.

    පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේ අත්හිටුවන ලැබූ ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු 2017 වසරේදී යළි ලබා දුන්නා.

  • Covid-10 Local Hot: සංචරණ සීමා යළි දීර්ඝ කරයි

    Covid-10 Local Hot: සංචරණ සීමා යළි දීර්ඝ කරයි

    දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කරන බව ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ ද එම තීරණය වෙනස් කර දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00  තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙහිදී ලබාදී ඇති සහන ගැන අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා කර්මානත ශාලා, වැඩබිම් සහ සති පොළවල්වලට කොන්දේසි මත ගමන් කිරීමට ඉඩ ලබා දෙන බවයි.

  • Covid-19 Local hot: මරණ ගණන ඉලක්කම් තුනක් වෙයි

    Covid-19 Local hot: මරණ ගණන ඉලක්කම් තුනක් වෙයි

    මෙරට වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද (11) වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රකාශයට පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මෙසේ මියගොස් ඇති පිරිස 101ක් බවයි එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.

    වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලබන කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තුළ දැඩි විවේචනයක් පවතින අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදනවලට දැඩි අවුල් සහගත බවක් පෙනී යනවා. කෙසේ වෙතත් රජය විසින් අද (11) දින නිකුත් කළ කොවිඩ්-19 ආසාදිත මරණ සම්බන්ධ සම්පූර්ණ නිල වාර්තාව අප ඔබට ඉදිරිපත් කරනවා.

    covid-death-jun-10

  • සංචරණ සීමා ඉවත් කිරීම: ‘යුද හමුදාපති‘ අවසන් තීන්දුව දෙයි

    සංචරණ සීමා ඉවත් කිරීම: ‘යුද හමුදාපති‘ අවසන් තීන්දුව දෙයි

    කොවිඩ්- 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා අලුයම 4.00ට ඉවත් කරන බවත් වෛද්‍ය විශේෂඥයන් සහ අදාළ අංශවල නිලධාරින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවත් යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

    අද (10) කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළිකළ යුද හමුදාපතිවරයා රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත් සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් කීවේය.

    මේ සම්බන්ධ අවසන් තීන්දුව ගැනීම සදහා හෙට (11) සාකච්ඡාවක් පැවැත්වෙන බව ද කී යුද හමුදාපතිවරයා සංචරණ සීමා සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය යැයි ද ඒවා විශ්වාස නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද පැවසුවේය .

  • ලංකාවේ කොවිඩ් වසංගතය ගැන සුභවාදී බලාපොරොත්තුවක්

    ලංකාවේ කොවිඩ් වසංගතය ගැන සුභවාදී බලාපොරොත්තුවක්

    ඉදිරි මාස කීපයේදී මෙරටින් ආසාදිතයන් හමුවීම සහ කොවිඩ් මරණ අඩුවේ යැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    කොවිඩ් වසංගත ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ නව සැර වෛරස් ප්‍රභේදයේ නව සොයා ගැනීම් ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවලින් සාර්ථක ප්‍රතිඵල පෙනෙන්නට තිබෙන බවයි.

    ‘‘ අපට පරීක්ෂණ සඳහා ලැබෙන නියැදිවලින් ආසාදිතයන් හමුවීමද අඩුවී ඇති බවක් පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. ඒ කියන්නේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන සංචරණ සීමාවලින් ප්‍රතිඵල ලැබෙන බවයි‘

    මෙහිදී නව සැර වෛරසය ගැන කරුණු හෙළිකළ ජීවන්දර මහතා, ‘‘ අප විසින් සිදුකරනු ලබන නව පරීක්ෂණවලින් අලුත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. නව සැර කොරෝනා වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ ගණනාවකින් හමුවුණා. ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයා හමුවී ඇත්තේ සමාජයෙන් නොවෙයි. ඔහු හමුවෙලා තියෙන්නෙ වස්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් .ඒ නිසා ඔහුගෙන් සමාජයට බලපෑමක් නැහැ. මීට පෙරත් ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයකු හමුවුණා. ශ්‍රී ලංකාවේ රෝගය දැනට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ ප්‍රභේදය පදනම් කරගෙනයි‘

  • Covid-19: ආසාදිත හා මරණ ප්‍රතිශතය හමුවේ ඉන්දියාව ලංකාවට දෙවැනි වෙයි – GMOA

    Covid-19: ආසාදිත හා මරණ ප්‍රතිශතය හමුවේ ඉන්දියාව ලංකාවට දෙවැනි වෙයි – GMOA

    වසංගත රෝග විද්‍යා අංශයට දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවවත් නිවැරදිව වාර්තා කිරීමට නොහැකි වී ඇති බවත්, එය තීන්දු තීරණ ගන්නේ පරණ වාර්තා අනුවවීමෙන් රට අගාධයකට යමින් තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති, වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කළේය.

    කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව ද මෙහි භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකමට ඉඩහැරීම බව ද නවීන් සොයිසා මහතා වැඩි දුරටත් කීවේය.

    කොවිඩ්-19 වසංගතයේ වත්මන් තත්ත්වය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය හෙළිකරමින් ඔහු මේ බව සදහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘‘ රටේ ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ 136.68ක් බවත් එය ඉන්දියාවට වඩා එක හමාරන් බවත් අපි අමතක නොකළ යුතුයි.

    ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනයකට 1.91ක් බව කීවත් දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉක්මවා යනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ එම අගය මිලියනයකට 7.01ක් වන අතර මහනුවර 4.49යි. කොළඹ 2.43, ගම්පහ 2.46ක්, කළුතර 3.34ක් වන අතර කෑගල්ල නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවල ද ඉන්දියවේ අගය ඉක්මවා මරණ වාර්තා වෙනවා.

    රටේ සංචරණ සීමා පනවා ඇති බව කීවත් මාර්ගවල පවතින තත්වය අනුව එවැන්නක් අපිට දැකගත නොහැකියි. මේ වන විට දැඩිව සංචරණ සීමා පනවා තිබුණත් එය කොතරම් ක්‍රියාත්මක දැයි අපට ගැටලුවක්. සංචරණ සීමා කඩකරන හැම මොහොතකම අපට නැතිවන්නේ අපේ හෝ ආදරණීයයන්ගේ ජීවිත බව සියලු දෙනා මතක තබාගත යුතුයි. ඒ වගේම තමයි වසංගතයේ භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකමට ඉඩහැරීමයි‘‘

    එන්නත්කරණයේදී වූ අක්‍රමිතතාවන් සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියා ගැන තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබියදීත් තීන්දුවක් නොගැනීම අපට පුදුමයක්. ජනාධිපතිවරයාගේ තීන්දු ක්‍රියාත්මක නොකරන අයෙක් ඉන්නවාදැයි අපට සැකයක් තිබෙනවා‘‘ යැයි ද වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.

  • ‘මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ් ආසාදිත මරණය‘ තහවුරු කරයි

    ‘මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ් ආසාදිත මරණය‘ තහවුරු කරයි

    මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ්-19 මරණය අද (10) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ දින අටක බිළඳකු බවයි එම වාර්තාව කියන්නේ. මෙම බිළිඳ මරණයට පත්ව ඇත්තේ ඉකුත් මැයි මස 27 වැනිදායි.

  • කොවිඩ්-19 එන්නත්කරණය සම්බන්ධයෙන් ‘ජනපතිගෙන් සුපිරි තීන්දු රැසක්‘

    කොවිඩ්-19 එන්නත්කරණය සම්බන්ධයෙන් ‘ජනපතිගෙන් සුපිරි තීන්දු රැසක්‘

    සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබේ. ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතී. එම තරගකාරී තත්ත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡා කර සහාය ඉල්ලා සිටි බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිද භාවයකින් හා විධිමත්ව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

    මේ වන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙලෙන සියලු දෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    වැඩි පිරිසකට එන්නත් ලබාදීමෙන් කොවිඩ් වසංගතය පැතිර යාම සහ ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා පැවසීය.

    විධිමත් එන්නත්කරණයට සහ එන්නත් ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ දත්ත එක්රැස් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කර තිබේ. එමඟින් ග්‍රාමසේවා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එන්නත ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන් කර ගැනීමට හැකි වේ.  

    මේ වන විට එන්නත් ලබා ගෙන ඇති සහ ඉදිරියට ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් කිරීමටත් එන්නත්කරණය පිළිබඳ ජාත්‍යන්තරය පිළිගන්නා සහතිකයක් නිකුත් කිරීමටත් රජය අපේක්ෂා කරයි.

    කොවිඩ් නොවන මරණ, පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එය සැලකිල්ලට ගෙන වෙනත් හේතූන් මත මිය යන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට පියවර ගැනීමට කොවිඩ් විශේෂ කමිටුව තීරණය කළහ. 

  • GMOA ලිපියෙන් ‘කොළඹ එන්නත්කරණයට අවුලක්’

    GMOA ලිපියෙන් ‘කොළඹ එන්නත්කරණයට අවුලක්’

    කොවිඩ්-19 එන්නත්කරණ රාජකාරීවලින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත්වීමට තීරණය කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියයි.

    හදිසියේ මෙවැනි තීරණයක් ගැනීමට හේතු පැහැදිලි කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි සහ සංවර්ධන නිලධාරීන් මෙන්ම ග්‍රාමසේවා නිලධාරීන් ද එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධවීම අනවශ්‍ය අතපෙවිමක් ලෙස ආර්ථ දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යවා තිබෙන බවයි.

    ‘‘ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි සහ සංවර්ධන නිලධාරීන් මෙන්ම ග්‍රාමසේවා නිලධාරීන් ද කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධවීම අනවශ්‍ය අතපෙවිමක් ලෙස ආර්ථ දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යවා තිබීම නිසයි අපි අසීරුවෙන් හෝ මෙම තීරණය ගත්තේ‘ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කීවේය.

  • Covid-19 Today hot: මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව

    Covid-19 Today hot: මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව

    ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම කොවිඩ්-19 ආසාදිත මරණ පිළිබද දෛනික වාර්තාව ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම වාර්තාව අනුව පසුගිය මැයි මස 17 වැනි දින සිට ජූනි මස 08 වැනි දින දක්වා කොවිඩ් ආසාදිත මරණ 67ක් වාර්තා වී තිබෙනවා. එම සම්පූර්ණ වාර්තාව පහත පළ වෙනවා.

    covid-death-jun-09

  • පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ‘පය බරවාට බෙහෙත් බදින පන්නයේ‘ ගැසට් පත්‍රයක්

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ‘පය බරවාට බෙහෙත් බදින පන්නයේ‘ ගැසට් පත්‍රයක්

    පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක් ඊයේ (09) දින නිකුත් කොට ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් අද (10) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් චෝදනා කරයි.

    මෙම ගැසට් පත්‍රයේ සදහන් වගන්ති වලින් හැගෙන කරුණු දෙකම 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනතේ සදහන්ව තිබියදී මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පෙනී යන්නේ පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට තම ආයතනය පාලනය වනු ලබන 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත පිළිබදව කිසිදු දැනුමක් නොමැති බව ද එම නිවේදනයේ සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

    පාරිභෝගික කටයුතු අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක්!

    බර අඩු ගෑස් අලෙවි කරනු ලබන බවට වන පාරිභෝගිකයින්ගේ පැමිණිලි පසෙකලා පාරිභෝගික අධිකාරිය විසින් ගෑස් අලෙවි කිරීම සදහා වන අමුතුම පන්නයේ ගැසට් පත්‍රයක්  2021/06/09 දින  දින නිකුත් කොට ඇත.

    අංක 2231/8 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාරිභෝගික අධිකාරිය විසින් විධාන අංක 78 යටතේ සදහන් කරන්නේ ගෑස් අලෙවි කිරීම සිදුකරනු ලබන වෙළදසැල් තුළ මිලදී ගැනීම සදහා 12.5 කිලෝ ග්‍රෑම් ගෑස් සිලින්ඩර තිබිය යුතු බවට ගෘහස්ත ගෑස් සිලින්ඩර නිෂ්පාදකයින්ට හා වෙළදුන්ට අදාල විධානය  සිදුකරන කරන බවයි. තවදුරටත් එම විධානයේ සදහන් වන්නේ ගෘහස්ත ගෑස් සිලින්ඩර සන්තකයේ හෝ භාරයෙහි හෝ තම පාලනයේ තිබෙන වෙළෙන්දෙකු විසින් 12.5 බරැති ගෑස් සිලින්ඩර විකිණිම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම නොකළයුතු බවයි.

    මෙම ගැසට් පත්‍රයේ සදහන් වගන්ති වලින් හැගෙන කරුණු දෙකම 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනතේ සදහන්ව තිබියදී මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පෙනී යන්නේ පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට තම ආයතනය පාලනය වනු ලබන 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත පිළිබදව කිසිදු දැනුමක් නොමැති බවයි. ඒ අනුව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට හා නිළධාරීන්ට අපට කීමට ඇත්තේ 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනතේ 15(1) වගන්තිය හා 16(ආ) වගන්තිය මේ මාසයේ වැටුප ගැනීමට පෙර හොදින් කියවන ලෙසය. මක්නිසාද යත් අදාල වගන්ති යටතේ ගෑස් සමාගම් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමට පනතේ නීති ප්‍රතිපාදන තිබියදී නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරමින් තවත් ගැසට් ගසමින් පාරිභෝගිකයා ගොනාට ඇන්දවීමට කටයුතු කරන බැවිනි. එසේ වන්නේ මෙම විධානයේ පළමු ඡේදය හා දෙවැනි ඡේදය එකිනෙකට පරස්පරවීම නිසාය.

    අදාල ගෑස් සමාගම් සදහා නීතිය ක්‍රියාත්මක නොකරමින් ගෑස් අලෙවි කරනු ලබන වෙළෙන්දන් සදහා නීතීය ක්‍රියාත්මක කිරීමට ගැසට්පත් නිකුත් කිරීම පිළිකුලෙන් යුක්තව හෙල‌ාදැකිය යුතු අතර මෙම ගැසට් පත්‍රයට අනුව හැගීයන්නේ කිලෝ ගෑම් 12.5 ගෑස් සිලින්ඩර නිෂ්පාදකයා විසින් කුමන හේතුවක් නිසා හෝ වෙළදසැල් වෙත ලබා නොදුන්න හොත් එම වෙළදසැල වසා දැමිය යුතුය යන්නයි. එසේ නොවුන හොත් පාරිභෝගික අධිකාරිය විසින් අදාල වෙළදසැලට එරෙහිව නඩු පැවරිය හැක. සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ ගෑස් සිලින්ඩර අලෙවි කරනු ලබන්නේ සිල්ලර වෙළදසැල් වල නිසා කිලෝ ගෑම් 12.5 ගෑස් සිලින්ඩර නොමැති නම් එම සිල්ලර වෙළෙදසැල් වසා දැමිය යුතුය. එම සිල්ලර වෙළදසැල් වසා දැමීම නිසා පාඩු සිදුවන්නේ පාරිභෝගිකයින්ට මිස පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට හෝ ගෑස් සමාගම් වල නිළධාරීන්ට නොවේ.

    නිළධාරීන් විසින් ගන්නා මෙවැනි අදූර්දර්ශී ක්‍රියාමාර්ග නිසා රජය අපහසුතාවයට පත්වන අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන් විසින් රජය අපහසුතාවයට පත් කිරීම සදහා මෙසේ කටයුතු කරන වාද යන්න පිළිබදව නිසි පරීක්ෂණයක්  පැවැත්විය යුතු බව  අපගේ හැගීමයි.

    අප විසින් එසේ සදහන් කිරීමට කරුණු අප සතුව ඇති අතර ඉන් එක කරුණක් මෙසේ සදහන් කරමු.

    මේ වනවිට වෙළදපොලේ විවිධ බර ප්‍රමාණයකින් යුත් ගෑස් සිලින්ඩර අලෙවි කරනු ලබයි. එනම් කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර ඒ අතර වෙයි. එපමණක් නොව මෑතකදී හදුන්වාදුන් ලීටර 18 සිලින්ඩරද වේ. කිසියම් ආකාරයට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර විකුණා අවසාන වුවහොත් හෝ නිෂ්පාදන සමාගම විසින් එම ගෑස් සිලින්ඩර කිසියම් හේතුවක් නිසා  වෙළදසැල් වෙත ලබා නොදුන හොත් අදාල ගැසට් පත්‍රයට අනුව අදාල වෙළදසැලට විරුද්ධව කටයුතු කල හැක. එම නිසා එම වෙළදසැල් හිමියන්ට ඉන් බේරීම සදහා සිදුවන්නේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර ලැබෙනතුරු අදාල වෙළදසැල වසා දැමීමටය. ඒ අවස්ථාවේදී අනෙක් ගෑස් සිලින්ඩර වලට කරනු ලබන්නේ කුමක්ද යන්න දන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ ගැසට් පත්‍රය සකස් කල නිළධාරීන් පමණි.

    මහා පරිමාණ සමාගම් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වන පාරිභෝගික කටයුතු අධිකාරිය කුඩා වෙළදසැල් සදහා නීතිය ක්‍රියාත්මක කිරීම තැලෙන යකඩයට උඩ පැන පැන තැලීමක් වන අතර පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිතුක් කොට ඇති අංක 2231/8 දරණ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මුහුණ සමග තිබෙන තරහට නහය කපා ගැනීමක් වන බවත් තවත් විදියකට කිවහොත් පය බරුවාට බෙහෙත් බැදීමක් වන බවද කිවහැක.

    ඉදිරියේදී සෑම හෝටලයකම පරිප්පු හොදි  තිබිය යුතු අතර පරිප්පු හොදි නැති හෝටල් වලට නීතිය ක්‍රියාත්මක කරන බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ මහජන මුත්තා හා ගෝලයෝ රොත්ත විසින් වන විධානයක්  පැනවුවහොත් අප පුදුම විය යුතු නැත.

  • ජනාධිපතිවරයාට වෙන්නෙත් ඉඳුරුවේ ආචාරියාට වූ දේමයි – චම්පික

    ජනාධිපතිවරයාට වෙන්නෙත් ඉඳුරුවේ ආචාරියාට වූ දේමයි – චම්පික

    අද(09) මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පාඨළී චම්පික රණවක විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතාම අවිචාරවත් ක්‍රියාදාමයක් බව ප්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ කිසිසේත් ප්‍රායෝගික නොවන තර්කනයන් මත හදිසියේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණය පිටුපස විශාල ජාවරමක් ක්‍රියාත්මක වන බවට සැකයක් මතුව ඇති බවයි.

    රජය සිදු කල යුතුව තිබුණේ රසායනික පොහොර වල ප්‍රමිතිය වැඩි දියුණු කරමින් එහි අක්‍රමවත් භාවිතාවන් නිසා වන හානිය පාලනය කිරීම සඳහා නියාමන වැඩසටහනක් ක්‍රියාවට නංවමින් පිදුරු වැනි කාබනික ද්‍රව්‍ය භාවිතයට ගොවියන් පුහුණු කරමින් ක්‍රමිකව කාබනික පොහොර සඳහා යොමුවිය හැකි කෘෂි ක්ෂේත්‍ර ඒ සඳහා යොමු කරවීම බවයි. එහෙත් ඊට හාත්පසින් වෙනස් විනාශකාරී තීන්දුවකට ජනාධිපතිවරයා එළඹ තිබීම අතිශය කනගාටුවට කරුණක් බව ද ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

    මේ නිසා තේ වගාව වැනි වසර 150 ක් පමණ පැරණි අපනයන ක්ෂේත්‍රයක් සම්පූර්ණයෙන් විනාශ වී යාමේ අවධානමක් ඇති බව පෙන්වා දෙන ලද ඒ මහතා තේ හෙක්ටයාරයක් සඳහා වර්තමාන වියදම වන ආසන්න වශයෙන් රුපියල් 31000 ක මිල මේ හේතුවෙන් රුපියල් 400000 කට පමණ වැඩිවන බවත් නිෂ්පාදන වියදම අසීමාන්තික ලෙස ඉහළ ගොස් තේ වල අපනයන ආදායම බිඳ වැටීම තුළින් සිලෝන් ටී සන්නාමය විනාශ වී යා හැකි බවත් ප්‍රකාශ කරන ලදී.

    රජය මෙම අවිචාරවත් පොහොර තහනම ගෙන ඒමට සමගාමීව දැනටමත් කාබනික පොහොර නැව් ගෙන්වීමට ඇතැම් පිරිස් සහ සමාගම් කටයුතු කරමින් තිබීම තුළින් මේ පිටුපස විශාල ජාවාරමක් පැවතිය හැකි බවට සැකයක් මතුවන බවත් මෙකී ප්‍රායෝගික නොවන තීන්දුව නිසා එළඹෙන කන්නයේ වී, එලවලු ඇතුළු අනෙකුත් බෝග වල අස්වැන්න හරි අඩකින් අඩුවීමෙන් ශ්‍රීලංකාව ආහාර සුරක්ෂිත තාව පිළිබඳව බරපතල අර්බුදයකට ලක්විය හැකිබවත් පෙන්වා දෙන චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වසංගත තත්ත්වයක් මැද රට ඒ සා විශාල අර්බුදයකට ලක්කල නොකල යුතු බවත් පෙන්වා දෙන ලදී.