Category: සුපිරි News

  • X-PRESS PEARL නෞකාවෙන් වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රට තුළම විනාශ කිරීමට යයි

    X-PRESS PEARL නෞකාවෙන් වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රට තුළම විනාශ කිරීමට යයි

    කොළඹ වරායටට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ X-PRESS PEARL නෞකාවෙන් ශ්‍රී ලංකා වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රටතුළම විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇතැයි මධ්‍යම අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පවසනවා.

    මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වීරසුන්දර මහතා අද (31) මේ බව ප්‍රකාශ කළා.

    මේ පිළිබද වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වීරසුන්දර මහතා, ‘‘කොළඹ වරායටට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ X-PRESS PEARL නෞකාවෙන් ශ්‍රී ලංකා වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රටතුළම විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා. මේ වන විට පුත්තලම සිට ගාල්ල දක්වා වෙරළෙන් අපද්‍රව්‍ය කන්ටේනර් 12ක් එකතුකර තිබෙනවා. වෙරළ පිරිසිදු කිරීම අවසානයේ එම අපද්‍රව්‍ය පිරවූ කන්ටේනර් 40ක් පමණ එකතු වේවි යැයි අපි සිතනවා. මේ අප ද්‍රව්‍ය සමග විශාල වශයෙන් වැලිත් තිබෙනවා. ඒ වැලි සමග තමයි මේ අපද්‍රව්‍ය එකතු කිරීම සිදුවෙන්නේ. මේ අපද්‍රව්‍ය විනාශ කිරීමට අදාළ තාක්ෂණය අප රට තුළ තිබෙනවා‘‘

    මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදී පරිසර විද්‍යාඥ අජන්තා පෙරේරා මහත්මිය සදහන් කළේ නැව තුළ වූ බහාලුම්වලින් නිකුත් වූ නයිට්‍රික් අම්ලය මුහුදට වැටීම සමග ඒ අසල සිටි සියලුම මුහුදු ජීවීන් සහ කොරල්පර දියවී විනාශයට පත් වූ බවයි.

    ‘‘නයිට්‍රික් අම්ලය මුහුදට වැටුණු ගමන් ඒ අසල සිටි සියලුම කුඩා මසුන් දියවී මිය ගියා. ඒ වගේම කොරවල් පර දියවී විනාශයට පත් වුණා. කොරල්පරයක අගල් තුනක් නිර්මාණය වීමට වසරක් ගත වෙනවා. මේ තත්ත්වය තුළ අපේ මුහුදු තීරයේ කොරල් පරවලට දැවැන්ත විනාශයක් සිදුවෙලා තිබෙනවා‘‘ යැයි පරිසර විද්‍යාවරිය පැවසුවාය.

    අද මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය සදහන් කළේ නෞකාවෙන් සිදුවන පරිසර විනාශය වැළැක්වීම සදහා පියවර තුනකින් යුතු සැලසුම් සකස් කර ඇති බවයි.

    ‘‘එහි පළමු පියවර තමයි කඩිනම් හා විධිමත් පවිත්‍ර කිරීම. දෙවැනි පියවර තමයි මේ එකතු කරන අපද්‍රව්‍ය විධිමත් පරිදි විනාශ කිරීම. තෙවැනි පියවර ලෙස විනාශයට පත් පරිසර පද්ධතියට ප්‍රතිෂ්ඨාපනය කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

    විනාශයට පත් නෞකාවෙන් මුහුදට එකතු වූ විෂ අපද්‍රව්‍ය පුත්තලම සිට ගාල්ල දක්වා වෙරළ තීරයේ විසිරි පවතිනවා.

    මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (31) දින නැවේ කපිතන්වරයාගෙන් සහ ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

  • කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

    කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරයි. ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ,

    • මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා
    • ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා
    • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා
    • ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා
    • මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂ  
      ජෙරාඩ් ඔන්ඩච්චි මහතා
    • මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතා
  • කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ‘එළවළු අලෙවිකරන’ ජංගම වෙළෙදුන්ගෙන් කළ ඉල්ලීම

    කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ‘එළවළු අලෙවිකරන’ ජංගම වෙළෙදුන්ගෙන් කළ ඉල්ලීම

    විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින්ඉතාම  සාධාරණ මිලට ලබා ගන්නා එළවළු අධික ලාභයක් තබා ගනිමින් ජනතාවට අලෙවි නොකරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා එළවළු අලෙවිකරන ජංගම වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී.

    අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදී ගන්නා එළවළු ජංගම වෙළෙදුන් විසින් තුන් ගුණයකින් වැඩි මිලට අලෙවිකරන බවට තමාට පැමිණිලි ලැබී ඇති බවයි.

    ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට එක් ග්‍රාම නිලධාරී වසමකට එක් සිල්ලර වෙළෙද සැලක් බැගින් විවෘතව තැබීමට අවසර ලබා දී ඇති බව කී අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කයේ එළවළු අලෙවිය සදහා ජංගම වෙළෙදුන් 8500 කින් පමණ ඉල්ලීම් ලැබී ඇති බව ද සදහන් කළේය.

    කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කළේ අද (30) නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

    එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් සමග ඔවුන් මුහුණ දෙන දෛනික ගැටලු සහ ඒවා විසදා ගත හැකි තිරසාර වැඩපිළිවෙළක් ගැන ද සාකච්ඡා කළේය.

    මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ලැබී ඇති එළවළු තොග සහ ඒවා බෙදා හැරීමට යොදා ඇති වැඩපිළිවෙළ ගැන ප්‍රශ්න කළේය.

    එහිදී මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ අද දින (30) දඹුල්ල, කැප්පෙටිපොළ සහ බණ්ඩාරවෙල වැනි විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග විශාල වශයෙන් ලැබී ඇති බවයි. එම එළවළු තොග බෙදා හැරීම සදහා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විසින් යොදා ඇති වැඩපිළිවෙළ ගැන ඔවුන් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

    මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මෙසේ සදහන් කළේය.

    ‘‘අපි අද මුළු රටේම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළේ  ප්‍රධාන වශයෙන්ම තොග වෙළෙද කටයුතු සදහා පමණයි. හෙට සිට තමයි සිල්ලර වෙළෙද කටයුතු සිදුවෙන්නේ. මේ වන විට අපේ අමාත්‍යාංශයේ මෙහෙයවීම මත දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවසරය මත රටේ සෑම නගරයක්ම ගමක්ම ආවරණය වන පරිදි ජනතාව ළගටම ගොස් එළවළු සහ පලතුරු අලෙවි කිරීම සදහා දීප ව්‍යාප්ත ජංගම සේවයක් ආරම්භ කරලා තිබෙනවා. එය අද සිටම ආරම්භ වුණා.

    අපට ප්‍රධාන වශයෙන්ම අභියෝගයක් ආවොත් එන්නේ බස්නාහිර පළාතෙන් තමයි. මේ තත්ත්වය මත අපි හෙට දින නරාහේන්පිට, වැලිසර, මීගොඩ, රත්මලාන ඇතුළු බස්නාහිර පළාතේ තිබෙන සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා. කොළඹ දිස්ත්‍රික්කය උදාහරණයට ගතහොත් මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙදාම සදහා 8500 කට වැඩි පිරිසක් අවසර ඉල්ලා තිබෙනවා. මේ අනුව අපි හිතනවා බස්නාහිර පළාතේ එළවළු බෙදා හැරීම අපි අපේක්ෂා කළ ආකාරයටම සාර්ථක වේවි කියලා.

    ඒ වගේම තමයි යම් කිසි ස්ථානයක එළවළු සැයපුමේ යම් කිසි අඩුවක් සිදු වුණොත් ඒ ගැන අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් අවශ්‍ය පියවර කඩිනමින් ගන්න පුළුවන්. අපි මෙවැනි ඉල්ලීම්වලට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සදහා විශේෂ දුරකථන අංකයක් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා.

    මෙහිදී මාධ්‍යවේදීන් රාජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේ රටේ සෙසු දිස්ත්‍රික්කවල එළවළු බෙදා හැරීම සදහා යොදා ඇති වැඩපිළිවෙළ කුමක්ද යන්නයි.

    එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අද දින මෙන්ම හෙට (31) දින ද දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, බණ්ඩාරවෙළ ඇතුළු රටේ සෙසු පළාත්වල ක්‍රියාත්මක වන සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන බවත් එම පළාත්වල තොග ව්‍යාපාරිකයින්ට අදාළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින් එළවළු මිලදී ගැනීමට සියලු පහසුකම් සපයා ඇති බවත්ය. ඒ අනුව ජංගම වෙළෙදුන් හරහා අදාළ පළාත්වල එළවළු බෙදා හැරීම විධිමත්ව සිදුවනු ඇති බවත් ආර්ථික මධ්‍යස්ථාන හරහා එළවළු තොග වෙළෙදාම ද ජංගම වෙළෙදුන් හරහා සිල්ලර වෙළෙදාම ද විධිමත් පරිදි සිදුවනු ඇතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී මාධ්‍ය වේදීන් ඇමැතිවරයාගෙන් ග්‍රාමීය වශයෙන් සිදුවන සිල්ලර වෙළදාම සිදුවන ආකාරය ගැන ද ප්‍රශ්න කළේය.

    ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ ග්‍රාමසේවක වසමකට එක් සිල්ලර කඩයක් බැගින් විවෘතව තැබීමට පියවර ගන්නා බවයි. ඒ සදහා ආදාළ ග්‍රාම නිලධාරී වසම භාර ග්‍රාම නිලධාරීවරයා ඇතුළු  කමිටුව විසින් අවශ්‍ය පියවර ගනු ඇති බව ද ඇමතිවරයා කියා සිටියේය.

    මෙහිදී දඹුල්ලට විශාල වශයෙන් ලැබුණ් එළවළු තොග සහ ඇඹිලිපිටියට ලැබුණු කෙසෙල් තොග විධිමත් පරිදි බෙදාහැර ඇත්දැයි මාධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් විමසා සිටියේය.

    ඊට පිළිතුරු දුන් කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා, ‘‘ මේ වන විට දඹුල්ලට වාහන 2537 කින් එළවළු කිලෝ ලක්ෂ 31ක් පමණ ලැබිලා තිබෙනවා. එම එළවළු තොගයෙන් විශාල ප්‍රමාණයක් මේ වන විට අලෙවි කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ සියල්ල අද දිනය තුළ අලෙවි කිරීමට අපට හැකිවෙයි කියලා හිතනවා. ඒ වගේම තමයි අපි ආර්ථික මධ්‍යස්ථාන පාලනාධිකාරියට විශේෂ දැනුම් දීමක් කරලා තිබෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරමින් මේ ආර්ථික මධ්‍යස්ථාන පැය 24 පුරාම හෝ විවෘතව තබා සියලු එළවළු තොග අලෙවි කරන්න කියලා‘”

    මෙහිදී ජංගම වෙළෙදුන් විසින් පරිභෝගිකයින්ගෙන් අධික මිලක් අය කිරීමට ඇති හැකියාව සහ එය වැළැක්වීමට අමාත්‍යාංශය මගින් ගෙන ඇති පියවර පිළිබදව ද මාධ්‍යවේදීන්  ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළහ.

    ඊට පිළිතරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ තමාට ද එවැනි පැමිණිලි ලැබී ඇති බවයි. ඉතාම සාධාරණ මිලකට ජංගම වෙළෙදුන්  ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදී ගන්නා එළවළු පරිභෝගිකයා අතට පත්වන විට එය තුන් ගුණයකින් වැඩි වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

    මෙම අක්‍රමිකතාව වැළැක්වීමට අද දිනම කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. “අපි රූපවාහිනී මාධ්‍ය හරහා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග මිල ගණන් පිළිබද සියලු තොරතුරු ජනතාවට දැනුම්දීමට පියවර ගෙන තිබෙනවා. එමගින් ජංගම වෙළෙදුන් අතින් සිදුවන මේ ඉහළ මිල ගණන් අය කිරීම වැළැක්වීමට අපට හැකියාව ලැබෙයි”

    නීති මගින් හෝ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මගින් ජංගම වෙළෙදුන් විසින් සිදුකරන අක්‍රමිකතා පාලනය කිරීමට හැකියාව ඇතත් එවැනි පියවරකට යාමට අපේක්ෂා නොකරන බව කී කෘෂිකර්ම රාජ්‍ය ආමාත්‍යවරයා සාධාරණ ලාභයක් තබා ගනිමින් මේ අසීරු අවස්ථාවේ ජනතාවට සේවය සපයන මෙන් ජංගම වෙළෙදුන්ගෙන්  කාරුණික ආයාචනයක් ද කළේය.

  • අපට දෙවැනි මාත්‍රාව දෙන්න ‘ඇස්ට්‍රාසෙනිකා නොලැබුණ හේතු’ නිල වශයෙන් එළියට !

    අපට දෙවැනි මාත්‍රාව දෙන්න ‘ඇස්ට්‍රාසෙනිකා නොලැබුණ හේතු’ නිල වශයෙන් එළියට !

    ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබා දීම සදහා අදාළ එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජය පැවසුව ද ඉන්දියාව විසින් පසුගිය ජනවාරී මස 21 වැනිදා සිට අප්‍රේල් මස 16 වැනිදා වන විට කොවිශීල්ඩ් එන්නත් ලක්ෂ 663.698ක් ලෝකය පුරා බෙදා හැර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් පසුගිය මැයි 29 වැනිදා නිකුත් කළ වාර්තාවක සදහන් වෙයි. https://www.mea.gov.in/vaccine-supply.htm?fbclid=IwAR0aIMdyfoscRW12xedUtCQvDI6CdvSUd3IAjeyIOExG428jIZw-vhHmwDw

    එම වාර්තාව අනුව ඉන්දියාව විසින් 2021 වසරේ ජනවාරී 21 වැනිදා (බංග්ලාදේශයට) සිට අප්‍රේල් මස 16 වැනිදා (සිරියාවට) දක්වා අසල්වැසි බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 95කට සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන රැසකට කාණ්ඩ තුනක් යටතේ එන්නත ලබාදී තිබෙනවා. එය පහත දැක්වෙනවා.

    • පරිත්‍යාග, Grant එන්නත් මාත්‍රා ලක්ෂ 107.15
    • වෙළෙද Commercial – එන්නත් මාත්‍රා ලක්ෂ 357.92
    • COVAX – එන්නත් මාත්‍රා ලක්ෂ 198.628
    • එකතුව – 663.698

    ඒ අනුව 2021 ජනවාරී 28 වැනිදා පරිත්‍යාග වශයෙන් ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂ 05ක්, පෙබරවාරි 24 වැනිදා ව්‍යාපාරික වශයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් සහ මාර්තු 06 වැනිදා COVAX වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ 2.64ක් වශයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 12.64ක් ලබාදී තිබෙනවා.

    මෙම වාර්තාව අනුව එන්නත් කලින් ඇණවුම් කළ රටවලට ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මස අවසානය දක්වා මුදලට එන්නත් ලබාදීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශය එන්නත් ලක්ෂ 70ක්, මියන්මාරය එන්නත් ලක්ෂ 20ක්, නේපාලය ලක්ෂ 10ක්, බ්‍රසීලය ලක්ෂ 40ක් සහ මොරොක්කෝව ලක්ෂ 70ක් ඉන්දියාවෙන් එන්නත් මිලදී ගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරී මස 24 වැනිදා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මිලදී ගත්ත ද ඊට පසුව ශ්‍රී ලංකාව විසින් ඇනවුම් ලබා නොදීම නිසා දෙවැනි මාත්‍රාව ලබා දීමට එන්නත් මිලදී ගැනීමට නොහැකි වූ බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ වාර්තාව අනුව පැහැදිලි වෙනවා.

    ඊට හේතුව වන්නේ, මාර්තු 02 වැනිදා කැනඩාව (එන්නත් ලක්ෂ 5ක්), මාර්තු 5 වැනිදා මහා බ්‍රිතාන්‍ය (එන්නත් ලක්ෂ 50ක්) මාර්තු 10 ඝනාව, මාර්තු මස 24 වැනිදා සෞදි අරාබිය (එන්නත් ලක්ෂ 15ක්) මාර්තු 10 ඉරානය, මාර්තු 29 වැනිදා මාලදිවයින හා පලස්තීනය යන රටවල් විසින් ඉන්දියාවෙන් එන්නත් මිලදී ගෙන තිබීමයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විශේෂඥයින් කිහිප දෙනකුම සදහන් කළේ කොවිඩ් වසංගතය ගැන ආණ්ඩුවට තිබූ අධි තක්සේරුව හෝ විවිධ ආයතනික අර්බුද නිසා ඉන්දියාවෙන් එන්නත් ඇනවුම් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම නිසා එහි දෙවැනි මාත්‍රාව මෙරට ජනතාවට ලබාදීම අර්බුදයට ගිය බවයි.

    මෙම වාර්තාව ගැන අප කළ විමසීමකදී අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රබලයෙක් සදහන් කළේ, ‘‘ඉන්දියාවට බලපෑ ව්‍යසනකාරී දෙවැනි රැල්ල නිසා අප්‍රේල් 16 වැනිදායි පසු ඔවුන් එන්නත අපනයනය නතර කළා. ඒක අපි දන්නවා. ඒත් අපිට ඇති ප්‍රශ්නය තමයි පෙබරවාරී 24 වැනිදා සිට අප්‍රේල් 16 වැනිදා දක්වා අපේ ආණ්ඩුව තමන්ගේ පුරවැසියන්ට ඉන්දීය එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමට කිසිම සැලකිල්ලක් නොදැක්වීම. මෙය සතිවලින් ගණන් බැලූ විට සති 08කට ආසන්න කාලයක්. ඒ නිසා ඉන්දීය එන්නත යළි ලබා ගැනීම ගැන ආණ්ඩුව සහ සෞඛ්‍ය අංශ දැන් කියන කතා සම්පූර්ණයෙන් අසත්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් පසුගිය දා නිකුත් කළ වාර්තාව මගින් පැහැදිලිව සනාථ වෙනවා. අපි මේ වාර්තාව ගැන රජයේ ස්ථාවරය ගැන ප්‍රශ්න කරන්න කැමැත්තෙන් සිටිනවා‘‘

    මේ ගැන වැඩි තොරතුරු අවශ්‍ය අයට අදාළ සම්පූර්ණ වාර්තාව https://www.mea.gov.in/vaccine-supply.htm?fbclid=IwAR0aIMdyfoscRW12xedUtCQvDI6CdvSUd3IAjeyIOExG428jIZw-vhHmwDw ඔස්සේ පරිශීලනය කළ හැකියි.

  • ‘කොවිඩ් ආසාදිතයින් අඩුවීමේ සුපිරි රහස’ නලින්ද ජයතිස්ස පැහැදිලි කරයි

    ‘කොවිඩ් ආසාදිතයින් අඩුවීමේ සුපිරි රහස’ නලින්ද ජයතිස්ස පැහැදිලි කරයි

    කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම අඩු කර පෙන්වීම සඳහා ආණ්ඩුව මේ වනවිට දෛනිකව සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 6000කින් පමණ අඩු කර ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, “3500 ඉක්මවලා තිබුණු ආසාදිතයින් ප්‍රමාණය අද 2000 – 2200 සීමාවට අඩුවෙමින් යනවා කියන සිග්නල් එක දෙන්න ආණ්ඩුවට වුවමනා වෙලා තියෙනවා. එතකොට මේක කරන්නෙ කොහොමද ? මේක කරන්නෙ එන්න එන්නම කරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩුකරලා. මැයි මාසෙ 20 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරනවා PCR පරීක්ෂණ 25713ක් කළා කියලා. ඒක මැයි 22 වෙනිදා වෙනකොට 22824ට අඩුවෙනවා. ඒක 24 වෙනිදා වෙනකොට 17000ට බහිනවා. ඊයෙ, 27 වෙනිදා මේ රටේ PCR පරීක්ෂණ කරන්නෙ 18156 යි. එතකොට ඒ 18000න් 17000න් තමයි මේ 2200ක් විතර ආසාදිතයින් වාර්තා වෙන්නෙ. ප්‍රතිශතයක් හැටියට අපි තාමත් ඉහළ තැනක ඉන්නෙ. එතකොට ආණ්ඩුව මොකක්ද මේ කරන්න හදන්නෙ ? ආණ්ඩුව කියන්න හදනවා ඔන්න දැන් ආසාදිතයින් අඩුවෙලා කියලා”

  • ‘හෙද වෘත්තීය සමිති’ මැයි 31 දා ලෙඩ නිවාඩු දමයි

    ‘හෙද වෘත්තීය සමිති’ මැයි 31 දා ලෙඩ නිවාඩු දමයි

    රට පුරා සියලුම රෝහල්වල සේවය කරනු ලබන හෙද හෙදියන් මැයි මස 31 වැනි දින සේවයට වාර්තා නොකර අසනීප නිවාඩු ගැනීමට පියවර ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත මහතා පවසයි.

    කොවිඩ්-19 වසංගතය මෙරට ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ වනවිට වසරකට වැඩ කාලයක් ගතවී ඇතත් ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන සියලුම රෝහල්වල සේවය කරන හෙද හෙදියන්ට බලපා ඇති ගැටලු ඉදිරිපත් කරනු ලැබුවත් මේ දක්වා එම ගැටලු විසඳීමට ආණ්ඩුව ක්‍රියාමාර්ග නොගැනීම නිසා මෙලෙස අසනීප නිවාඩු ගැනීමට සැරසෙන බවයි මැදිවත්ත මහතා පැවසුවේ.

    ලබන 31 වැනිදා ගැනීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ මැදිවත්ත මහතා, ” මේ මොහොත වනවිට කොරෝනා ව්‍යාප්තිය ඉතාමත්ම බරපතල ලෙස වැඩිවෙමින් තිබෙන අතර, කොරෝනා රෝගීන්ට අදාළ ප‍්‍රතිකාර කටයුතුවල නියුතු හෙද හෙදියන් ඉතා විශාල පිරිසක් කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති බවද තවත් විශාල පිරිසක් නිරෝධානයට ලක්කර තිබෙනවා. මේ සියළු තත්වයන් හමුවේ වුවද විවිධ දුෂ්කරතා හා ගැටළු ගණනාවක් දරා ගනිමින් අති බහුතරයක් රාජකාරියට පැමිණෙමින් සිටිනවා. එසේ සේවයට පැමිණෙන හෙද කාර්ය මණ්ඩලයට බලපා තිබෙන ගැටළු විසඳා ගැනීමට හා ආරක්ෂිතව ප‍්‍රතිකාර කටයුතුවල නිරත වීම සඳහාත් සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු සෞඛ්‍ය බලධාරින්ගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළා. පසුගිය 19 වැනිදා සෞඛ්‍ය ඇමතිතුමියගේ උපදෙස් මත හෙද වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යාශංයට කැඳවා හෙද හෙදියන්ට මේ මොහොතේ බලපා තිබෙන ගැටළු පිළිබඳ සිදු කළ සාකච්ඡාවේදී සෞඛ්‍ය බලධාරීන්ට ගැටළු අටක් ඉදිරිපත් කර ඉතා කඩිනමින් එවාට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.‘‘

    සමස්ත ලංකා හෙද සංගමය විසින් ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති සිය ඉල්ලීම් මෙසේය.

    1. අවිධිමත්ව රෝහල් පුරා ඇතිකර තිබෙන කොරෝනා වාට්ටු විධිමත් ලෙස ස්ථාපිත කර ඒවාට අවශ්‍ය සියළු පහසුකම් ලබාදෙන ලෙසත් බලහත්කාරී ලෙස කොතලාවල ආරක්ෂිත විද්‍යා පීඨයේ දැඩි සත්කාර ඒකකවලට අනුයුක්ත කළ හෙද නිලධාරීන් 19 දෙනෙකුටත් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට අනුයුක්ත කළ හෙදියන් නිලධාරීන් 03 දෙනෙකුටත් කොවිඩ් ආසාදිත වීම සම්බන්ධව සොයාබලා එම නිලධාරීන්ගේ ආරක්ෂාවට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම,
    2. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ ලිපියකින් සියළු හෙද හෙදියන්ට 2021.05.31 දක්වා ලබාදී තිබෙන දින 08ක විශේෂ නිවාඩුව ඉදිරියටත් ලබාදෙන ලෙස,
    3. ගර්භනී හෙද නිලධාරින්ගේ ආරක්ෂාව හා නිවාඩු සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ යුතු චක‍්‍රලේඛය වහා නිකුත් කිරීම,
    4. සියළුම හෙද හෙදියන් සඳහා රු. 5000 ක අනතුරු දීමනාවක් ලබාදීම,
    5. හෙද හෙදියන්ගේ පවුල්වල මව, පියා, කලත‍්‍රයා ඇතුළු පවුලේ ආසන්නතම සාමාජිකයින් සඳහා එන්නත් ලබාදීම,
    6. මැයි මස 24, 25 දින රජය ප‍්‍රකාශයට පත්කර ඇති ප‍්‍රසිද්ධ නිවාඩු දිනයන්හි වැඩ කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව හෙද හෙදියන්ට ලබාදීමට අනුමැතිය ලබාදීම,
    7. 2021.05.21 දින සිට සංචරණ සීමා පැනවීම හමුවේ නැවත වරක් හෙද හෙදියන්ට ඇතිවන ප‍්‍රවාහන දුෂ්කරතා විසඳීම වෙනුවෙන් විධිමත් ප‍්‍රවාහන ක‍්‍රමවේදයක් සැලසීම,
    8. කොවිඩ් ආසාදනය වන හා නිරෝධායනයට ලක්කරන හෙද කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් නිසිලෙස ලබා නොදීම.

    එම ගැටලූ සම්බන්ධයෙන් 2021.05.31 දිනට පෙර විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් මේ වනවිට හෙද කාර්ය මණ්ඩලය මත පටවා තිබෙන ඔවුන්ට අදාළ නොවන සියළු රාජකාරිවලින් ඉවත් වීමට තම සංගමය තීරණය කර ඇති බවද එස්.බී. මැදිවත්ත මහතා පවසයි.

  • එක්ස්ප්‍රස් පර්ල් ගින්න: දෛනික ධීවරයන්ටත් සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

    එක්ස්ප්‍රස් පර්ල් ගින්න: දෛනික ධීවරයන්ටත් සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

    නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි අග්‍රාමාත්‍යවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට මෙහි දී උපදෙස් ලබා දුන් අතර මෙවැනි ආපදාවන්වලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට කටයුතු කරන්නැයි ද කියා සිටියේය.

    ගිනිගත් නෞකාවේ බලපෑමට ලක්වන මුහුදු තීරයේ දෛනික ධීවර කටයුතු නවතා දැමීම හේතුවෙන් පීඩාවට පත් ධීවරයන් වෙනුවෙන් සැලැස්මකට අනුව සහන සැලසිය යුතු බව ද අග්‍රාමාත්‍යවරටා මෙහි දී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාට දැනුම් දුන්නේය.

    සමුද්‍රීය දූෂණය වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින නාවික හමුදාව ඇතුළු සියලුම දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

  • X-PRESS PEARL ගින්නෙන් ලංකාවේ වෙරළ තීරය අනතුරේ !

    X-PRESS PEARL ගින්නෙන් ලංකාවේ වෙරළ තීරය අනතුරේ !

    කොළඹ වරාය ආසන්නයේ ගිනි ගමිනින් තිබෙන රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් රැගත් X-PRESS PEARL නෞකාව දෙකඩ වීමේ අවදානමක් ඇති බැවින් එමගින් සිදුවිය හැකි පරිසර හානිය වලක්වා ගැනීම සඳහා නැව ගැඹුරු මුහුද වෙතට ඇදගෙන යාමට තීරණය කර තිබෙන බව නාවික හමුදාව පවසනවා.

    මේ අතර නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම්වල අන්තරායකර රසායනික අඩංගු විය හැකි බැවින්, වෙරළට පාවී එන ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙරළබඩ ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.

    අද (25) සවස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ (ICG) වෛභව් නෞකාව ICG ඩෝනියර් ගුවන්යානය සහ වෝටර් ලිලී බෝට්ටුව පිටත් කර එවූ බවයි.

    සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කර ඇති මීටර් 186ක් දිගින් යුතු මෙම බහාලුම් නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබුණා. එසේම එහි තෙල් ටොන් 3000ක් පමණ ඇති බවයි වාර්තා වන්නේ.

    පිලිපීන, චීන, ඉන්දීය සහ රුසියානු ජාතිකයින් නෞකාවේ සේවය කරන බවයි වාර්තා වන්නේ.

    2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී ගින්න හටගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

    අද (මැයි 25) උදෑසන නෞකාවේ පිපිරීමක් සිදුවූ අතර ඉන් කාර්යමණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා. අද උදැසන කළ මෙහෙයුමකින් කාර්යමණ්ඩලයේ 25 දෙනාම නෞකාවෙන් ඉවත් කළ බවත් තුවාල වූ දෙදෙනා රෝහල් ගත කළ බවත් නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මාධ්‍ය සමග පැවසුවා.

    සමුද්‍ර දූෂණය ගැන තීන්දුව

    මෙම අනතුර සහ එහි ප්‍රතිවිපාක ගැන මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ‘‘කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් තිබෙන මෙම නෞකාවේ ගින්නේ ස්වභාවය අනුව නැව කොටස් දෙකකට කැඩීයාමේ අනතුරක් තිබෙනවා. එසේ වුවහොත් අවට සමුද්‍රීය පරිසරට සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා නැව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට තීරණය කර තිබෙනවා.

    “ගින්න තවමත් පැතිරෙමින් පවතිනවා. ගින්නේ ස්වභාවය නිසා අනෙකුත් ටග් බෝට්ටු එහෙම ලංවෙලා නෑ. ගින්න නිසා බහාලුම් මුහුදට වැටෙමින් තියෙනවා. උදේ වෙනකොට 10ක් විතර ගිනි ගැනීමෙන් වැටුණා. තවමත් ඒවා ඒ විදිහට වැටෙමින් පවතිනවා, නැවේ පිපිරීම් කිහිපයකුත් වාර්තා වුණා. ඒ නිසා නැවේ හිටපු නාවුකයන් කිහිප දෙනෙකු තුවාල වුණා. මේ නිසා නැවේ සියලුම දෙනාව ඉවත් කරන්න වුණා. මෙහිදී නැව නාවුක සැතපුම් 50ක් මුහුද දෙසට ඇදගෙන යන්න මේ වෙනකොට යෝජනා කරලා තියෙන්නේ. ඒත් මුහුදේ රළු ස්වභාවය හා පවතින අධික වර්ෂාව නිසා එම කාර්යයට බාධා එල්ලවී තිබෙනවා‘‘

    “ගිනි ගන්නා නැවෙන් ඉවතට තෙල් විසිරීමක් වෙන්න පුළුවන්, නැවේ ගින්න නිවීමට පාවිච්චි කරන ජලය නිසා රසායන ද්‍රව්‍ය ජලයට එකතු වීමෙන් ජලය දුෂණය වෙනවා. දුම නිසා වායු දුෂණයක් වෙනවා ධීවර කර්මාන්තයට වන බලපෑම් තවම කියන්න බෑ. ධීවර දෙපාර්තමේන්තුව එක්ක එය ඇගයීමට කටයුතු කරනවා. එසේම අදාළ රක්ෂණ ආවරණ ලබාගැනීමට අපි මේ වන විට පියවර ගනිමින් සිටිනවා‘‘

  • ගංඟා පහක් ආශ්‍රිත පහත්බිම්වලට ‘ගං වතුර අවදානමක්’

    ගංඟා පහක් ආශ්‍රිත පහත්බිම්වලට ‘ගං වතුර අවදානමක්’

    නිරිත දිග මෝසම සක්‍රීය වීම සහ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිව අති අඩුපීඩන තත්ත්වය හේතුවෙන් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගං වතුර අවදානමක් මතුව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා කියයි.

    • වැසි තත්වය ඉදිරියටත් පැවතියහොත් කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ,
    • කළු ගඟ ද්‍රෝණියේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අබේගම, ඇහැලියගොඩ, ඉංගිරිය, හොරණ, කලවාන, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩන්ගොඩ, මිල්ලනිය, කළුතර, මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ,
    • ගිං ගඟ ද්‍රෝණියේ නෙළුව, තවලම, නාගොඩ, ඇල්පිටිය, නියාගම, බද්දේගම, වැලිපිටිය, දිවිතුර, බෝපේ පෝද්දල සහ ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ,
    • නිල්වලා ද්‍රෝණියේ කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
    • අත්තනගලු ඔය ද්‍රෝණියේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, ගම්පහ, ජාඇල, මහර, කටාන, මිනුවන්ගොඩ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇතුළු පහත්බිම්වල ගං වතුර ඇතිවිය හැකි බවද සුගීෂ්වර මහතා කියයි.
  • ජලනි ප්‍රේමදාස වගකීම් විරහිත හැසිරීම නිසා පාර්ලිමේන්තුවටම කොරෝනා හැදෙන ලකුණු

    ජලනි ප්‍රේමදාස වගකීම් විරහිත හැසිරීම නිසා පාර්ලිමේන්තුවටම කොරෝනා හැදෙන ලකුණු

    විපක්ෂ නායකවරයාගේ ගරු ආර්යා තනතුර හොබවන ජලනි ප්‍රේමදාස කොළඹ ෂැංග්‍රීලා හෝටලය තුළ vvip සැලූන් සහ ස්පා එකක් පවත්වාගෙන යන බව බොහෝදෙනා නොදන්නා කරුණකි. එහි නම ‘Jalspa’ යන්නයි. සැලුන් එක සහ ස්පා එක ජලනිගේ වෘත්තීය ආදායම් මාර්ගයයි. රජය විසින් නිරෝධායන නීති යටතේ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන සහ ස්පා වසා දමන ලෙස පවසා තිබියදීත් ජලනි ප්‍රේමදාස ගේ vvip ස්පා එක විවෘතව තබාගෙන සිය සේවාදායකයන්ට සේවා සපයන ලදී. සජිත්ගේ අතිජාත මිත්‍ර ටිරාන් අලස් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීය. ඔහුගේ සමීප හිතවත්කම මත මේ වනවිට ජලනි බැසිල් රාජපක්ෂගේ සුවච කීකරු දේශපාලන ඩීල් කාරියක් වී සිටින බව සමගි ජනබලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් සැලවේ. එමනිසා ජලනිට නිරෝධායන නීතියට පිටින් ස්පා එක පවත්වාගෙන යාම ගැටලුවක් නොවන්නට ඇත.

    කෙසේ වෙතත් පසුගිය 14 වනදා එහි සේවය කල සියලු දෙනා කෝවිඩ් පොසිටිව් වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණ වලින් තහවුරු විය. ඒ අනුව 15 වනදා ආයතනය වසා දැමීමට ජලනි ප්‍රේමදාස කටයුතු කරන ලදී. එහෙත් එදින සිට ස්වයං නිරෝධායනය විය යුතු ප්‍රේමදාස යුවළ එසේ නොකර එය රහසක්ව තබා ගනිමින් වගකීම් විරහිත ලෙස හැසිරී ඇත.

    ජලනි සමගිය අනතුරේ හෙලීම

    ජලනි ප්‍රේමදාස නිල නොවන පක්ෂ නායිකාව ලෙස ක්‍රියා කරන බව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ සියළුදෙනාම දන්නා කරුණක් බවට පත්ව ඇත. පක්ෂයේ කාන්තා අංශය වන සමගි වනිතා බලවේගයේ නායිකාව වන්නේද ජලනිය. පක්ෂයේ නිල නොවන තීරණ ගන්නා කමිටුව (Kitchen Working Committee) රැස් වන්නේද ජලනිගේ ස්පා එක තුළය. ඒ සඳහා නිරූපා කරුණාරත්න, සුලක්ඛනා වැන්නියන් නිරන්තරව සහභාගීවේ. පක්ෂයේ නිල නොවන රැස්වීම් සිය ස්පා එක තුළ පවත්වද්දීත් ජලනිට වගකීම් සහගතව හැසිරී ස්පා එක මගින් පක්ෂයට කොරෝනා බෝ නොකිරීමට යුතුකමක් තිබිණි. එහෙත් ඇය එය පැහැර හැර ඇත.

    සජිත් නිරෝධායන නීති කඩමින් රණවිරු සැමරුමට එක්වෙයි.

    තත්ත්වය එසේ තිබියදී මේ සියල්ල රහසක් ලෙස තබා ගනිමින් වගකීම විරහිත ලෙස මැයි 22 රණවිරු සැමරුමට ද සජිත් සහභාගීවී තිබේ. ජනාධිපති, අගමැති ඇතුලු මැති ඇමතිවරුද ත්‍රිවිධ හමුදාපතිවරු ද සහභාගී විය.

    එලෙස මුලු රටක්ම වගකීම් විරහිත ලෙස ක්‍රියාකරමින් අනතුරේ හෙළීම නිරෝධායන නීතිය යටතේ බරපතල වරදකි. මේ නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 262 සහ 264 වගන්ති යටතේ සජිත් සහ ජලනි යුවලට නඩු පැවරිය හැක.

    එහෙත් රාජපක්ෂලා සජිත්ට කෙසේ වෙතත් ජලනිට එසේ නොකර බව පෙනෙන්නට තිබේ. සජිත් නිවාස ඇමති කාලයේ රටපුරා සෑදූ නිවාස වලට සිමෙන්ති සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ ජලනිගේ මව බව මේ වනවිට දැනගන්නට ඇත. ඒ තුළින් ඇය විශාල මුදලක් හම්බකරගෙන ඇති බව ආරංචිය. එහෙත් රාජපක්ෂලා ඒවා සොයන්නේ නැත. මධ්‍යම සංස්කෘතික අරමුදේ සිදුවූ වංචා පිළිබඳව ද කිසිඳු හාවක් හූවක් නැත. ඩීල් එක යන්නේ එහෙමය. මීට පෙර සජිත් ගේ අක්කා දුලාංජලී හොර නෝට්ටු මුද්‍රණය කර හසුවූ විට ඇයව බේරාගත්තේ ද මහින්ද රාජපක්ෂය.

    කෙසේ වෙතත් සාමන්‍ය ජනතාව නිකටෙන් පහලට මාස්ක් එක දැමූවිට එය හේතුකොටගෙන කුදලාගෙන යන පොලිසිය හෝ ඒවා වීඩීයෝ කරමින් ඒ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය කෙලෙසන මාධ්‍ය සජිත් සහ ජලනිගේ නිරෝධායන නීති උල්ලංඝනය ගැන මීක් කියන්නේ නැත. අපේ රටේ මාධ්‍ය, විපක්ෂය සහ ආණ්ඩුව යන සැමට පුරවැසියාට වඩා ඩීල් එක ලොකුවී ඇති බව පෙනෙන්නට තිබේ. එහෙව් රටක ඉපදීමේ පව ගෙවිය යුතු වන්නේ පුරවැසියාය.

    -සමගි ජන බලවේගය සුරකීමේ ව්‍යාපාරය-

  • අත්‍යවශ්‍ය සේවා මහජන විමසීම් සඳහා “1965” කෙටි දුරකථන අංකයක්

    අත්‍යවශ්‍ය සේවා මහජන විමසීම් සඳහා “1965” කෙටි දුරකථන අංකයක්

    සංචරණ කාල සීමාව හා ඉන් ඉදිරියටත් රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධවෙමින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම පැය 24 පුරා ක්‍රියාත්මක “1965” කෙටි දුරකථන අංකය හඳුන්වාදීම සහ එම මධ්‍යස්ථානය විවෘත කිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    “1965” කෙටි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

    ‘’අද දින අග්‍රාමාත්‍ය කාර්යාලයත් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකායත් එකතු කරමින් අතිගරු ජනාධිපතිතුමාගේත්, අග්‍රාමාත්‍යතුමාගේත් උපදෙස් පරිදි 1965 කෙටි දුරකථන ඇමතුම හරහා අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ ජනතා ගැටලු විසඳීම අරලියගහ මන්දිරය කේන්ද්‍රකරගනිමින් අපි අද ආරම්භ කරනවා.

    මේ දිනවල සහ ඉදිරි කාල සීමාවල ජනතාව මුහුණපාන ගැටලු විශේෂයෙන් සංචරණ සීමා කාල සීමාව තුළත් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමේ දීත් පැන නගින ගැටලු ඒ ඒ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම හා ජනතාවට වඩා කාර්යක්ෂමව එම කාර්යය ඉටු කරගැනීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස 1965 දුරකථන මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා.

    සංචරණ සීමා කාලය තුළත් මෙම ව්‍යවසනයෙන් මේ රට මුදාගන්නා තුරුත් ඊට පසුවත් රටේ මහජනතාවත් රාජ්‍ය යාන්ත්‍රණයත් තවත් සමීප කරවන තාක්ෂණය භාවිතා කරන ගමන් ඔවුන්ගේ අදහස් හා ඔවුන්ට අවශ්‍යතා තිබේ නම් අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කර ඒවා ඉටු කරගැනීමට අවශ්‍ය පරිසරය හදන එක තමයි මේ මධ්‍යස්ථානයෙන් අපි බලාපොරොත්තු වන්නෙ.

    අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා ඔබට මේ කාල සීමාව තුළත් සංචරණ සීමා පැනවුණු කාල සීමාව තුළත් අත්‍යවශ්‍ය සේවා හා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ දීත් කොරෝනා ව්‍යවසනය නිසා තමන්ගෙ ජන ජීවිතය අඩාල වුණ අවස්ථා තිබෙනවා නම් හෝ රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධීකරණ ගැටලු තිබෙනවා නම් ඒ වගේම ඒ කටයුතු කාර්යක්ෂම කරගන්න අවශ්‍යතාවක් තිබෙනවා නම් ඔබ 1965 දුරකථන අංකයට කතා කරන්න.

    ගරු අග්‍රාමාත්‍යතුමාගේත් ජනාධිපතිතුමාගේත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත් උපදෙස් පරිදි අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වීමෙන් ඒ හරහා අපට ඔබව අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා.

    විශේෂයෙන්ම අපි බලාපොරොත්තුවෙනවා ග්‍රාමීය කමිටු හරහා ප්‍රාදේශිය මට්ටමෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව, ප්‍රජා පොලිසිය එක් කරමින් ඒ ඒ ප්‍රදේශයේ ගැටලු සම්බන්ධීකරණය කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර පවත්වාගෙන යන්න.

    ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය තවත් ඉදිරියට ගෙනයමින් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශ සමඟ ජනතාව සම්බන්ධීකරණය කිරීමත් 1965 මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

    විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලන්නෙ අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කරගැනීම සඳහා සංචරණ සීමා පවතින කාලය තුළ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් 1965 අංකය භාවිතා කරන්න.

    ඒ එක්කම මේ අංකය භාවිතා කිරීමේ දී අපි බලාපොරොත්තු වෙන්නෙ ඔබව ඒ අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම. එහිදී ප්‍රාදේශීය මට්ටමෙන් අපේ මධ්‍යස්ථාන තියෙනවා. ඒ ප්‍රාදේශිය සභාව නැතිනම් ප්‍රාදේශිය කමිටුව විසින් ඔබව දැනුවත් කරයි. එසේ සම්බන්ධ විය නොහැකි වුණොත් 1965 සමඟ සම්බන්ධ වෙන්න.

    මේ මධ්‍යස්ථානය පවතින්නෙ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා රජයට හා රාජ්‍ය ආයතනවලට සහයෝගයක් දෙන්න. එම සහය ලබාදීම සඳහා අපට උදව් කරන්න කියන ඉල්ලීමත් කරනවා. ඔබේ ජන ජීවිතය පහසුකරවන්න පිහිටවූ මෙම මධ්‍යස්ථානය සඳහා අවශ්‍යතාව අනුව පමණක් ඇමතුම් දෙන්න.

    1965 මෙම මධ්‍යස්ථානය සංචරණ සීමා තිබුණත් නැතත් කොරෝනා වසංගතය තිබුණත් නැතත් අත්‍යවශ්‍ය සේවා සහ රටේ ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙල හරහා ඉදිරියට යනවිට දිගින් දිගටම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක, කංචන විජේසේකර, රොෂාන් රණසිංහ, සනත් නිශාන්ත, ජානක වක්කුඹුර මහත්වරු සහ රාජ්‍ය නිලධාරින් හා 1965 කෙටි දුරකථන මධ්‍යස්ථානයේ නිලධාරී මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

  • සංචරණ සීමා දීර්ඝ කිරීම – රජය විසින් නිකුත් කළ ‘සම්පූර්ණ නිල නිවේදනය‘ මෙන්න

    සංචරණ සීමා දීර්ඝ කිරීම – රජය විසින් නිකුත් කළ ‘සම්පූර්ණ නිල නිවේදනය‘ මෙන්න

    සංචරණ සීමා ජූනි 07 දක්වා   මැයි 25, 31 සහ ජූනි 04 තෙදින සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කෙරේ

    • ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට
      එක් නිවසකින් එක් අයෙකුට ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර
    • ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින්
      ජංගම වෙළෙඳ රථ
    • ජූනි 07 දක්වා සුරාසල් සම්පූර්ණයෙන් වසා තැබේ
    • සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඩ්‍රෝන යානා මෙහෙයුම්

    පවතින තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණයට එළැඹිණි.

    හෙට (25) අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරේ. ඒ අනුව හෙට (25) දින විවෘතව තැබිය හැක්කේ තෝරාගත් සිල්ලර වෙළෙඳ සැල්, ඖෂධ සැල්, මාළු, මස්, එළවළු, බේකරි නිෂ්පාදන වෙළෙඳ සැල් හා ඉන්ධන පිරවුම් හල් පමණි.

    සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට පමණක් ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර හිමි වේ.

    සංචරණ සීමා බල පැවැත්වෙන සහ ලිහිල් කෙරෙන කාල සීමාව තුළ සුරා සැල් සම්පූර්ණයෙන් වසා තැබිය යුතුය.

    හෙට (25)  දිනයේ දී නිවසින් බැහැර වීමේදී හැඳුනුම්පතේ අවසන් අංකය පිළිබඳ ක්‍රමය ක්‍රියාත්මක නොවේ. කිසිදු හේතුවක් මත වාහනවලින් පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳ සැල් වෙත ගමන් කළ නොහැකිය.

    • හෙට (25) රාත්‍රී 11.00 සිට මැයි 31 අළුයම 4.00 දක්වා නැවතත් පෙර පරිදි සංචරණ සීමා පැනවේ.
    • මැයි 31 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.
    • මැයි 31 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 04  අළුයම 4.00 දක්වා බල පැවැත් වේ.
    • ජූනි 04 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.
    • ජූනි 04 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 7 වන දින අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

    යුද හමුදාව සහ ගුවන් හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු දිනපතා නිරීක්ෂණය කරයි.

    සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ යෙදවේ.

    ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳ දැනුම් දීමට සහ සම්බන්ධීකරණ තොරතුරු සේවාවක් ලෙස 1965 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකය.

    ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ට අළෙවි කරගත නොහැකි එළවළු අස්වනු රජය මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    සංචරණ සීමා කාලය තුළ මාර්ගවල ධාවනය වන වාහන සැබවින්ම අත්‍යාවශ්‍ය සේවාද යන්න සෝදිසි මෙහෙයුම් පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

    අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතන නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කරයි

    දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කරයි

    දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව හෙළි කළේය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඇමැතිවරයා, “හෙට දිනයේ යම් ළිහිල් කිරීමක් කරනවා. ඒ නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට. එහිදී වාහන පාවිච්චි කරන්න බෑ”.එසේම මැයි 31 වනදා සහ ජුනි 4 වනදා ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනීමට එක් අයෙකුට පමණක් නිවෙස් ආසන්නයේ ඇති වෙළෙඳසැළ ට යෑමට අවස්ථාව ලබාදෙනවා‘‘.

  • ජනතාව කොවිඩ් වලින් නිවෙස් වල මැරෙද්දී, ගෝඨාණ්ඩුව බිලියන 3.5ක අතිසුඛෝපභෝගී වාහන ගෙන්වයි!

    ජනතාව කොවිඩ් වලින් නිවෙස් වල මැරෙද්දී, ගෝඨාණ්ඩුව බිලියන 3.5ක අතිසුඛෝපභෝගී වාහන ගෙන්වයි!

    ආණ්ඩුව විසින් වාහන ආනයනය නතර කර ඇති බව ජනතාවට පවසද්දී හොර රහසේම සිදු කරන මහා අකටයුතු කමක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තාවනවා.

    කොරෝනා වසංගතයට මුහුණ දීමට බව පවසමින් ගිලන්රථ 50ක් ගෙන්වීමට මුවා වී අධිසුඛෝපභෝගී වාහන 349ක් ආනයනය කිරීමට යි මේ වන විට සැලසුම් කර තිබෙන්නේ.

    ශ්‍රී ලංකාවට විදේශ රටවලින් වාහන ආනයනය කිරීම තහනම් කර තිබියදී ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5 ක ලීසිං පහසුකම් යටතේ අධිසුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේ වාහන 228 ක් ඇතුළු වාහන 399ක් ගෙන්වීම සදහා පියවර ගනිමින් තිබෙන බව වාර්තා වනවා.

    පසුගිය අප්‍රේල් මාසයේ 29 වනදා මෙම වාහන ආනයනය සදහා වන ණයවර ලිපිය විවෘත කර ඇත.

    ජපන් යෙන් වලින් ගෙවිය යුතු 2755 සීසී ආසන 07 ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ 227ක්, 6403 සීසී හිනෝ කැබ් 52, හයි ඒස් ඇම්බියුලන්ස් 50 සහ ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවිය යුතු ටොයෝටා ලෑන්ඩ් කෘසර් 1, හයිලක්ස් වර්ගයේ ඩබල් කැබ් 69ක් මෙසේ ආනයනය කිරීම සදහා මූල්‍ය පහසුකම් සළසා තිබේ.

    මෙම වාහන රජයේ භාවිතය සදහා ආනයනය කෙරෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කලද එහි වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත.

    රට තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් මර්දන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආණ්ඩුවෙන් වෙන් කිරීම් ප්‍රමාණවත් නොවන බැවින් මෙරට ධානපතියන්ගෙන් සහ විදේශගත ලාංකිකයන්ගෙන් ආධාර ඉල්ලීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින පසුබිමක මෙම අධිසුඛෝපභෝගී වාහන ‍තොගය ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම පුදුමය දනවන්නක්.

    උපුටා ගැනීම: මීමැස්සෝ ඩොට් එල්කේ

  • ආයුර්වේද රෝහල් 50ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කෙරේ

    ආයුර්වේද රෝහල් 50ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කෙරේ

    දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් පරිදි ආයුර්වේද රෝහල් 50 ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද දින (23) තීරණය කරන ලදි.

    මෙම තීරණය ගන්නා ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති විශේෂ සාකච්ජාවකදී ය.

    දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා අයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ  ද සහභාගීත්වයෙන් යුතු ව පැවති මෙම සාකච්ජා‌වේ දී ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරීමට තීරණය කිරීමත් සමග ඇඳන් 3500 ක ප්‍රමාණයක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා එක් වේ.

    මෙම සාකච්ඡාවේ දී කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කරන ලද ආයුර්වේද රෝහල්වල සේවය කරන සියළු සෞඛ්‍ය මණ්ඩල වලට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් පිළිබදව විධිමත් පුහුණුවක් ලබාදීමටත්, සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් එන්නත් කිරීමටත් තීරණය කරන ලදි.

    එමෙන්ම ප්‍රතිකාර සේවාවන් සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය  උපකරණ, ඖෂධ, පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල කඩිනමින් ලබාදීමටත්, කොවිඩ් ප්‍රතිකාර සේවාවන්ට අදාලව රෝහල්වල සිදු විය යුතු භෞතික වෙනස්කම් කඩිනමින් සිදු කිරීමටත්, ඒ් සදහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශ හා මුදල් අමාත්‍යාංශය එක්ව ලබාදීමට ද එකඟතාව පළ කරන ලදි.

    තව ද ප්‍රතිකාර සදහා යොමු කරන රෝගීන් ඇතුලු  සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ආහාරපාන ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, ප්‍රණීත පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් එම කටයුතු නිසි අයුරින් සිදු වන බවට විමර්ශනය කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. 

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය, සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය, නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සේනක පිලපිටිය මහතා, පළාත් ආයුර්වේද කොමසාරිස්රු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, නියෝජ්‍ය අධක්ෂ ජනරාල්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

  • සති දෙකක් රටම Lockdown කළ යුතු ඇයි ? – මහාචාර්ය මලික් පීරිස් විද්‍යාත්මක හේතුව කියයි

    සති දෙකක් රටම Lockdown කළ යුතු ඇයි ? – මහාචාර්ය මලික් පීරිස් විද්‍යාත්මක හේතුව කියයි

    කඩින් කඩ සංචරණ සීමා පැනවීම කිසිසේත් විද්‍යාත්මක හා ඵලදායී නොවන බවත් අඛණ්ඩව දින 14ක් දිවයිනටම බලපාන ආකාරයට සංචරණ සීමා (වසා දැමීම) පැනවීම කළ යුතු බව පසුගිය දා මෙරට ප්‍රමුඛ වෛද්‍ය සංගම් හතරක් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටියා. එහිදී ඔවුන් අවධාරණය කළේ පළාත් අතර සංචරණ සීමා පැනවීම කිසිසේත් ඵලදායී නොවන බවයි.

    මේ වන විට වේගයෙන් ඉහළ යන ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ හමුවේ ‘රට වසා දැමීම‘ ගැන ජනතාව අතර ද විශාල උනන්දුවක් තිබෙනවා. විපක්ෂය ද ඒ ගැන රජයට බලකරනවා.

    මේ තත්ත්වය තුළ රජය වත්මන් සංචරණ සීමා මැයි 28 වැනිදා දක්වා තවත් දින කිහිපයකින් දීර්ඝ කිරීමට පියවර ගත්තා. ඒත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවට චෝදනා තිබෙනවා.

    මේ අතර ලොව පළමුවරට විද්‍යාගාර පරීක්ෂණ තුළින් සාර්ස් වෛරසය හඳුනාගැනීමේ ගෞරවය හිමිවන, (හොංකොං ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික විද්වතෙකු වන) මහාචාර්ය මලික් පීරිස් මහතා මීට දින කිහිපයකට පෙර වෘත්තීයවේදීන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබූ සාකච්ඡාවට එක් වෙමින් කළ ප්‍රකාශයක් වෛද්‍ය වෘත්තිකයින් අතර සේම සාමාන්‍ය ජනතාව අතර ද දැඩි උනන්දුවක් ඇතිකර තිබෙනවා.

    එම සාකච්ඡාවේදී මලික් පීරිස් මහතා විසින් සංචරණ සීමා පැනවීමේදී එය දින 14ක් සඳහා පැනවීමේ විද්‍යාත්මක පදනම සහ අවශ්‍යතාව මනාව පැහැදිලි කළා. මේ එම පැහැදිලි කිරීමේ සිංහල පරිවර්තනයක්.

    “ශ්‍රී ලංකා රජය කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පසුගිය දිනවල ගත් ඇතැම් ක්‍රියාමාර්ග අපි දැක්කා. උදාහරණයක් ලෙස පළාත් අතර සංචරණය සීමා කර තිබෙනවා. ඒත් දැන් රටේ සෑම පළාතකම ආසාදිතයින් සිටිනවා. ඒ වගේම ඔබට පෙනෙනවා සෑම පළාතකම ආසාදිතයින් විශාල ලෙස වැඩි වෙන බව. පළාතකින් තවත් පළාතකයකට ජනතාව ගමන් කිරීම නැවැත්වීම මගින් කොවිඩ් වෛරසය ආසාදනය වන සංඛ්‍යාව මේ අවස්ථාවේ අඩුකිරීමට සමත් වෙන්නේ නෑ. නමුත් සමහර විට පසුිය අප්‍රේල් මාසයේ මැද භාගයේ එසේ කළා නම් එය යම් ආකාරයකට බලපාන්න තිබුණා. හැබැයි දැන් එය ප්‍රතිඵල දායක නැහැ.

    ඒ වගේම මේ වන විට රට වසා දැමීම (ලොක්ඩවුන්) ගැන කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. රට වසා දැමීමකින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව නිවස තුළම රැඳී සිටීමට සැලැස්වීමයි. එවිට යම් පුද්ගලයෙක් ආසාදිතයෙක් වුණොත්, වෛරසය එක් නිවසක් තුළට පමණක් සීමා වීම තුළ වෛරසයට ඉන් එහා පැතිරෙන්න අවස්ථාවක් නැහැ. වෛරසය ආසාදනය කිරීම සඳහා පුද්ගලයින් නැතිවුණාම වෛරසය බලරහිත වෙනවා. එය මැරෙනවා. මොකද එයට දින ගණනාවක් වාතයේ නොනැසී රැඳී සිටින්න බැහැ.

    ඒවගේම තමයි ලොක්ඩවුන් එකක් කොච්චර දින ගණනකට සිදුකළ යුතු ද කියන කරුණ පිටුපස විද්‍යාවක් තියෙනවා. අපි කියමු යම් පුද්ගලයෙක් ලොක්ඩවුන් එක ආරම්භක දිනයේ රෝග වාහකයෙක් කියලා. අපි දැනටමත් දන්නවා රෝගියෙකු තවත් රෝගියෙකු තවත් අයෙකුට වෛරසය බෝ කළ හැකි කාලය දින 5 -7 දක්වා වෙනවා. ඉතින් මේ රෝගියා දින තුනක ලොක්ඩවුන් එකක් පළමු දිනයේ දී රෝග වාහකයෙක් නම් ඔහු ලොක්ඩවුන් එක අවසන් වන විටත් රෝග වාහකයෙක් ම වෙනවා. ඔහු රෝග පතුරවමින් හතරවන සහ පස්වන දිනයේ දි සමාජයට යනවා. 

    ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබ ආසාදනය වු දිනයේ සිට රෝග ලක්ෂණ පෙන්වලා බෝ කිරීම ආරම්භ කිරීම දක්වා කාලසීමාව ගැන. ඒ සඳහා ගතවන සාමාන්‍ය කාලය දින පහක් පමණ වෙනවා. අපි හිතමු නිවසක එක් පුද්ගලයෙක් රෝග වාහකයෙක් වෙලා ඔහු පවුලේ අනිත් සාමාජිකයින්ට රෝගය බෝකරනවා. පවුලේ සාමාජිකයින් රෝග ලක්ෂණ පෙන්වලා බෝ කරන්න පටන් ගන්න දින පහක් යනවා. එසේ නම් දැන් ඔවුන් රෝගය බෝනොකරන අය බවට පත්කර ගතයුතුයි. දින පහකට තවත් දින පහක් හෝ හතක් එකතු කරගත්තහම දින 12ත්, 13ක්, 14ක් පමණ තිබිය යුතුයි.  අන්න ඒ නිසා තමයි දින තුනක ලොක්ඩවුන්වලට කළ හැක්කේ ඉතා අඩු බලපෑමක් වෙන්නේ.

    මට ඇහෙන සෑම කරුණකින්ම තේරෙන්නේ සෞඛ්‍ය පද්ධතිය බිඳුම් අවස්ථාවක තියෙන්නේ. සෞඛ්‍ය කාර්යමණ්ඩල, හෙද කාර්යමණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන සියලු අය දැඩි ලෙස වෙහෙසට පත්වෙලා. මම හිතන්නේ අපි මේ සම්පුර්ණ ක්‍රියාදාමයේ යන්න පුළුවන් උච්චතම අවස්ථාවේ ඉන්නේ. අපිට ඉතාම ඉක්මනින් මේ වසංගත ව්‍යාප්තිය කණ්ඩනය කිරීමට අවශ්‍ය වෙලා තිබෙනවා. මොකද අපි අපේ සෞඛ්‍ය පද්ධතියට යම් අස්වැසිල්ලක් ලබාදිය යුතුයි‘‘

    මේ අතර මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා ද ඊයේ (22) මාධ්‍ය හමුවේ කියා සිටියේ සති දෙකක් රට වසා දැමීම මගින් මිස වත්මන් වසංගත ව්‍යාප්තිය පාලනය කළ නොහැකි බවයි.