Category: සුපිරි Politics

  • ආබාධිත ප්‍රජාවට සතුටුදායක ආරංචියක්..!

    ආබාධිත ප්‍රජාවට සතුටුදායක ආරංචියක්..!

    ආබාධිත ජනතාවට   සාමාන්‍ය රියදුරු බලපත්‍රය මේ මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්  ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා  තීරණය කර ඇත.

    මේ අනුව අස්ථි,මස්පිඩු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහනයක් පැදවිය හැකි  නම්  එම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත  සාමාන්‍ය රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙනු ඇත.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආබාධිත අයට රියදුරු බලපත්‍රය දීමට ඇති  බාධා ඉවත් කිරීමේ කමිටුව   දුන් නිර්දේශයක් අනුවය.

    ආබාධිත අයට සාමාන්‍ය රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙන මෙරට පළමු අවස්ථාව මෙය බව  මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

    ආබාධිතයන් සඳහා මීට පෙර රියදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසුණු වාහන සඳහා පමණි. එම වාහනවල අංකය ඇතුළත් කර රියදුරු බලපත්‍රය නිකුත් කෙරිණ.

  • එක්සත් ජාතින්ගේ ලොකු සමුළුවක සත්කාරකත්වය ලංකාවට..!

    එක්සත් ජාතින්ගේ ලොකු සමුළුවක සත්කාරකත්වය ලංකාවට..!

    එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.

    ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි 19 දින සිට 22 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි.

    ශ්‍රී ලංකාව පසුගිය වසර තුනේ මුහුණ දුන් දැවැන්ත අභියෝග වන පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදයෙන් පසු වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එකවර සහභාගී වන නිල සමුළුව ද මෙම ආසියා පැසිෆික් සමුළුවයි.

    දින හතරක් තිස්සේ පැවැත්වෙන මෙම සමුළුවේ දී නව කෘෂි තාක්ෂණික හුවමාරුව, කෘෂි සංචාරක වැඩ පිළිවෙළක් සැකසීම, අත්දැකීම් හා තාක්ෂණික හුවමාරු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම හා කලාපීය වශයෙන් පැන නැගී ඇති ගැටළු සාමුහිකව විසඳා ගැනීම යන කරුණුවලට අදාලව සාකච්ඡා හා සම්මන්ත්‍රණ රැසක් ද පැවැත්වේ.

    ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

  • විද්‍යාත්මක හා තාක්ෂණ කටයුතු සදහා ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන්..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

    විද්‍යාත්මක හා තාක්ෂණ කටයුතු සදහා ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන්..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

    කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    රටක් ලෙස ඉදිරියට යාමේදී විද්‍යාත්මක හා පර්යේෂණ ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය ආයතන පද්ධතිය නිර්මාණය කිරීමට ද මේ වන විට රජය පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ විද්‍යා අංශය තුළින් මෙරටට මහඟු සේවයක් ඉටුකළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සිය වන ජන්ම දිනය වෙනුවෙන් (10)අරලියගහ මන්දිරයේ පැවති ජන්ම දින සැමරුම් උත්සවය අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මහා විද්වතෙකු වූ ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් මහඟු සහායක් ලබාදිය හැකි මානව සම්පතක් රටට අහිමි වූ බවයි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය (AI Corner) විවෘත කිරීමද මේ හා සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය

    උත්සව ස්ථානයේ තැන්පත් කර තිබු ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පිළිරුව විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසු‍න්දර මහතාගේ සියවන ගුණ සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

    එසේම ජන්ම දින සැමරම් උත්සවය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දුන් අය වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර පවුලෙන් පිරිනැමුණු උපහාර පත්‍රය පිළිගැන්වීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා අතිනි.

    “උසස් අධ්‍යාපනය සහ සංවර්ධනයේ කාර්යභාරය” මැයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක් සිදු කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    ”මම ස්ටැන්ලි විජේසුන්දර මහතා හඳුනාගෙන සිටියේ කුඩා කාලයේ සිටයි. එතුමා විවාහ වුණේ අනෝජා විජේවර්ධන මැතිණිය සමගයි. වෝල්ටර් විජේවර්ධන මැතිතුමාගේ පවුලත් අපේ පවුලත් අතර ඉතා සමීප සබඳතාවයක් තිබුණා.

    එසේම 1968 මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියා. මම නීති අංශයේ අධ්‍යාපනය ලැබූ අතර එතුමා විද්‍යා අංශයේ කටයුතු කළා.

    ඉන් පසුව එතුමා විටින් විට මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් 1977 වර්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ බිහි වූ ආණ්ඩුවේ ස්ටැන්ලි විජේසුන්දර මහතා, ස්ටැන්ලි කල්පගේ මහතා සමඟ සමීපව කටයුතු කළා. නව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සකස් කිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කළා.

    මේ අතර ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කිරීමට තීරණය කෙරුණා. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිශ්ශංක විජේරත්න අමාත්‍යවරයාත් ඊට එකඟ වුණා. එතැන් සිට කොළඹ විශ්වවිද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර මහතා විශාල වැඩකොටසක් සිදු කළා.

    මටත් අවශ්‍ය වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ විශාල දියුණුවක් දකින්නයි. කෙසේ හෝ එම කටයුතු ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා ඉදිරියට ගෙන ආවා. විශේෂයෙන් එහි විද්‍යා අංශයේ දියුණුවට ආචාර්ය සමරනායක මහත්මයා සමග එතුමා විශාල වැඩකොටසක් සිදුකළා වගේම පරිගණක මධ්‍යස්ථානය ද ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම විද්‍යා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳ එතුමා දැඩි ලැදියාවක් දැක්වුවා.

    උපාලි විජේසුන්දර මහත්මයාගේ මරණයෙන් පසු කැළණිය රජමහා විහාරයේ නිළමේවරයා ලෙස ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා පත්වුණා. මම එහි දායක සභාවේ සාමාජිකයෙක් ලෙස එතුමා සමග වැඩ කටයුතු කළා.

    ස්ටැන්ලි විජේසුන්දර මහතා පමණක් නොවෙයි දැනුම තිබෙන සහ අධ්‍යාපනට මහත් සේවයක් කළ විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙකුම මෙම සමයේදී ඝාතනයට ලක් වුණා. ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කළා වගේම මොරටුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් විශාල සේවයක් කළ බටුවත්තවිතාන මහතා ද ඝාතනය කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් ආචාර්යවරයෙක් ඝාතනය කරනු ලැබුවා.

    කොළඹ විශ්වවිද්‍යාලයේ වමේ සංවිධානවල කටයුතු කළ දයා පතිරණ ශිෂ්‍යයා රැගෙන ගොස් ඝාතනය කිරීමත් සමඟ මෙම පසුබිම නිර්මාණය වුණා. මෙම සමයේදි ශිෂ්‍යයන් ගණනාවක් ඝාතනයට ලක් වුණා. පොලිසියෙන් නෙවෙයි මේවා කළේ. පොලිසියෙන් කරන්නේ පෙළපාලි ගිහින් නීති කැඩු විට අද මෙන් ඊට අදාළ පියවර ගැනිම පමණයි. ඒ මිස වෙන දෙයක් කළේ නැහැ. මෙම ඝාතන කළේ පොලිසියෙන් නොවන බව අප මතක තබා ගත යුතුයි.

    ආචාර්යවරු ගණනාවක් ඝාතනය කළා. ඒ වගේම කොළොන්නාවේ සද්ධාතිස්ස හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා ගණනාවක් ඝාතනය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ ශිෂ්‍යයා ඝාතනය කළ සමයේ එහි උපකුලපති ලෙස කටයුතු කළේ ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා.

    පොලිසියට අවශ්‍ය වුණා එහි ශිෂ්‍යයන් අරගෙන ගොස් ප්‍රශ්න කරන්න. නමුත් එතුමා ඊට ඉඩ දුන්නේ නැහැ. එතුමා මටත් කථා කළා. මම කිව්වා මේක ශිෂ්‍ය වැඩකටයුත්තක්, ඒකට අත ගහන්න ගියොත් ප්‍රශ්න ඇති වෙයි කියලා.

    ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් සහයෝගය දිය හැකි හොද දැනුම ඇති මානව සම්පතක් රටට අහිමි වුණා. එතුමාගේ සියවන ජන්ම දිනය වෙනුවෙන් තමයි අද අප මෙතැනට රැස්වී සිටින්නේ. එතුමාගේ ගුණ සැමරීම වෙනුවෙන් මීට පෙර උත්සව ගණනාවක් පැවතුණා. නමුත් අද එය වෙනස් අන්දමින් සමරනු ලබනවා. අද කොළඹ විශ්වවිද්‍යාලයේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ මාධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබුවා.

    අද ලෝකය ඉදිරියට යන්නේ කෘත්‍රීම බුද්ධිය සමඟයි. දැනට මාස කිහිපයකට පෙර කෘත්‍රීම බුද්ධිය ඉදිරිපත් කළ ප්‍රධාන සමාගමේ අධ්‍යක්ෂවරු අතර විශාල අර්බුදයක් ඇති වුණා. මොකද සීමාවක් නැතිව මෙය භාවිත කරයිද කියන ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ මීට මාස දෙකකට පමණ පෙර එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන රටවල නායකයන් සියලු දෙනා කැඳවා එකඟතාවකට එළැඹුනා මෙය පාලනය කළ යුතුයි කියා. ඒ වගේම යුරෝපා සංගමයෙන් ඒ සඳහා පළමු නීතිය ඉදිරිපත් කරනවා කියලා ප්‍රවෘත්ති වාර්තාවක් පළවී තිබෙනවා මම දුටුවා. නමුත් මෙයින් අපට ඈත් වෙන්න බැහැ. මෙම තාක්ෂණය සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

    ඒ අනුව කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය වෙනුවෙන් ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කර තිබෙනවා. මම ඒ පිළිබඳ එම ක්ෂේත්‍රයේ පිරිසක් සමග සාකච්ඡා කළා. ඒ වගේම අනෙක් පිරිසත් සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටිනවා. මේ අනුව ලංකාවේ පළමු වතාවට AI තාක්ෂණය ඉදිරියට ගෙන යාමේ වැඩකටයුතු අප ආරම්භ කර තිබෙනවා.

    එපමණක් නොවෙයි තවත් රුපියල් බිලියන 08ක් වෙන් කර තිබෙනවා විද්‍යා සහ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට. කිසි දිනක මෙලෙස මුදල් වෙන් කර තිබුණේ නැහැ. අප ඉදිරියට යනවා නම් විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

    ඒ වගේම දේශගුණික විපර්යාස, හරිත බලශක්තිය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව විශාල ආයෝජන දෙකක් දැනට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා.

    සූර්ය බලය, තාප විදුලි බලය සහ සුළං බලය යන පුනර්ජනනිය බලශක්තිය සමග අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. නමුත් එකම ප්‍රශ්නය වී තිබෙන්නේ තවමත් බොහෝ අය පුරුදුව සිටින්නේ ගල් අගුරු ගෙන ඒමට සහ තාප විදුලි බලාගාර ඇති කිරීමට. මෙය නතර කිරීම තමයි විශාලම ගැටලුව වී තිබෙන්නේ. මොකද ඒකට හේතුව සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගන්න බැහැ. නමුත් මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ඊට බාධා ඇතිවිය හැකියි. නමුත් අප ඉදිරියට යා යුතුයි.

    හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම අපේ අරමුණයි. දකුණු ඉන්දියාවේ තෙලංගනා, ආන්ද්‍රා ප්‍රදේශයේ සහ බැංග්ලෝ වල විශාල ඩිජිටල් ආර්ථිකයක් තිබෙනවා. අපේ රටටත් එය ගෙන ආ යුතු නිසා නව ආයතන කිහිපයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. පළමුව මෙම විද්‍යා හා පර්යේෂණ කටයුතු සඳහා වෙන් කර ඇති බිලියන 08ක මුදල වියදම් කිරීම සඳහා Technology and Innovation Council නමින් ආයතනයක් ඇති කරනවා. තාක්ෂණයෙන් වාණිජ්‍ය ප්‍රයෝජන ලබාගැනීම එයින් සිදු කෙරෙනවා. මෙම වෙන් කර ඇති රුපියල් බිලියන 08 එක් එක් අංශවල දියුණුවට යෙදවීම එම ආයතනයට පැවරෙනවා.

    ඒ සමග ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාමට ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එහි කොටසක් ලෙස AI කේන්ද්‍රය ඇති කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු නව විද්‍යාත්මක ආර්ථිකයක් සහ හරිත ආර්ථිකයක් ඇති කර ගැනීමට අවශ්‍ය ආයතන පද්ධතිය ඇති වෙනවා.

    නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, අනුප පැස්කුවල්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, රාජිත සේනාරත්න, යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන, තැපැල්පති ආර්. සත්කුමාර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහ ශාලිත විජේසුන්දර, වෛද්‍ය රොහාන් විජේසුන්දර රුචිනි විජේසුන්දර, දනූ විජේසුන්දර යන මහත්ම මහත්මීහු ඇතුළු ස්ටැන්ලි විජේසුන්දර පවුලේ ඥාතීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • මතක තියාගන්නවා තව අවුරුද්දයි ඔහෙලා ඉන්නේ..! පුතානෝගේ ලණු කාපු මිහින්තලේ හිමිගෙන් චන්ඩි පාට්..!

    මතක තියාගන්නවා තව අවුරුද්දයි ඔහෙලා ඉන්නේ..! පුතානෝගේ ලණු කාපු මිහින්තලේ හිමිගෙන් චන්ඩි පාට්..!

    තමන් වහන්සේ ගැන ඔත්තු බැලීම සඳහා නොචියාගම යුද හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙක් මිහින්තලා පූජා භූමිය වෙත යොදා යොදවා තිබූ බව එම විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුණු වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

    මිහින්තලා පූජා භූමියට යොදා තිබූ ආරක්ෂාව ඉවත් හමුදා ආරක්ෂාව ඉවත් කිරීමෙන් අනතුරුව ම විහාරස්ථානයේදී මාධ්‍ය කැඳවමින් උන්වහන්සේ මෙසේ අදහස් පළ කළහ.

    යුද හමුදාවේ සෙබලුන් දෙන්නෙක් නොකියාගම කෑම්ප් එකේ අණදෙන නිලධාරී තමයි මෙහෙට එවලා තියෙන්නේ. අපි ඒ බටයාගෙන් ඇහුවා මොකක්ද ඔයා කරන ඩියුටිය.

    හාමුදුරුවෝ ගැන හොයන්න අපි දාලා ඉන්නවා කියල තමයි කිවුවෙ.

    එතකොට අපිට සැකයක් ඇතිවෙන්නෙ නැද්ද මේ දෙන්නට තිබුණා ඕනම අකටයුත්තක් කරලා මරලා ඝාතනය කරලා වස දීලා යන්න පුළුවන් මට්ටම තියෙනවා.

    කිසි ප්‍රශ්නයක් නැහැ අරන් යන්න පොලිසියත් අරන් යන්න. අපි ඔයාලට සුබ පතනවා ඉස්සරහට යන්න.

    මතක තියාගන්න තව අවුරුද්දයි හමාරයි ඔහෙලා රට පාලනය කරන්නේ’

  • වද කොත්තු, වද යටඇදුම් වගේ ඉදිරියේ කරලියට එන අලුත් උපායක් ගැන ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්..!

    වද කොත්තු, වද යටඇදුම් වගේ ඉදිරියේ කරලියට එන අලුත් උපායක් ගැන ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්..!

    රටේ තරුණ තරුණියන්ට ඊශ්‍රායල රැකියා අවස්ථා හිමිවන විට, එරට සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නතර කරන ලෙසට පාර්ලිමේන්තුවට ඇතැම් දේශපාලඥයින් යෝජනා කරන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් වන තරුණයින් රජයේ රස්සාවට, ටකරම් කොලයට හෝ වැසිකිලි වලට රවටා ගැනීමට නොහැකි නිසා බවත්, එදා වද යට ඇදුම්, වද කොත්තු පෙන්වා ජාතිවාදී ලෙස ඡන්දය ලබාගත් ආකාරයට මෙදා මුස්ලිම් ජනතාව රවටා ඡන්දය ලබාගැනීමට මොවුන් කටයුතු කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

    එදා ආර්ථික ඝාතකයින් ලෙස නම් පටබැදුන මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර අද නිදහසේ සිටින බවත්, දේශපාලඥයින් පමණක් ප්‍රශ්ණවලට මුහුණදෙන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංක්‍රමණිකයින් පිළිබදව වන ජාත්‍යන්තර ආයතනයේ සහාය ඇතිව ගාල්ලේදී පැවති මනුසවි දිරිය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

    රට අර්බුදයට ලක්වුන අවස්ථාවේදී, තමන්ගේ ආර්මාර්ථය වෙනුවෙන් හිතලා වගකීම් භාරගන්න බැහැ කියපු අය සිටියදී කොන්ද තියෙන නායකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාරගත්තා. අද තියෙන තැනට රට අරගෙන ආවාට එතුමාට අපි කෘතවේදිත්වය පළ කරන්න ඕන.

    එදා තිබුණ රට අද තිබෙන තැනට අරගෙන එන්න අපි නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කළා. නිවරදි ක්‍රමයට රටට සල්ලි එව්නන කියලා ඉල්ලුවා. විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන බලපත්‍ර අරගෙන ආවා. අපි නොවැමිබර් මාසයේදී ඩොලර් මිලියන 573ක් මේ රටට ගෙනත් තියෙනවා. මේ අවුරුද්දේදී විතරක් ඩොලර් බිලියන 5.4ක මුදලක් රට ඇතුළට අරගෙන ඇවිත් තියෙනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. විදේශ ගත ශ්‍රමිකයින් හරි විදිටය රට ඇතුළට සල්ලි අරගෙන ආපු නිසා තමයි පෝලිම් නැති කරන්න පුලුවන් වුනේ. මිල වැඩි වුනත් තෙල් ටික රටට ගේනනේ මේ අය නිසා. රජයක් විදියට අපිට කෙලෙහිගුණය දක්වන්න මනුස්සකමක් තියෙන්න ඕන.

    විදේශ ගත ශ්‍රමිකයින්ට තමන්ගේ කෙලෙහිගුණය ඉටු කිරීමේ වගකීමක් තියෙනවා. ගොඩක් අයට කෙලෙහිගුණ මතක නෑ. එතැනට එන්න උදව් කළ විදේශ ගත ශ්‍රමකයින් වෙනුවෙන් තමයි මනුසවි දිරිය වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.

    රටට වැඩියෙන්ම ඩොලර් එන්නේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම. විදේශ ගත ශ්‍රමිකයන් රටට ඩොලර් එව්වාට, එක ඩොලරයක්වත් එළියට යන්නේ නෑ. මේ ඩොලර් ආදායම සියයට 100ක්ම රට ඇතුලේ රැදෙනවා.

    එදා මිනිස් බෝම්බ ලංකාවට ගේන්න එපා කියලා, හෝටල් නිරෝධායනයෙන් මුදල් ගසා කෑවා. ඒ යුගය අවසන් කරලා අපි ගුවන්තොටුපොලේදී හෝප් ගේට් නමින් විශේෂ ද්වාරයක් හදුන්වා දුන්නා. විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. ශ්‍රමිකයාට විශ්‍රාම වැටුපක් හදුන්වා දුන්නා. ගුවන්තොටුපොලේදී තීරු බදු සහනය ඉහළ දැමීමට අපි ගැසට් ගැහුවා. ඒත් ඇතැම් නිලධාරීන් නිසා ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. රටට ඩොලර් එවපු ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදුන්නා. වාහන නමසීයක් අපි ගෙන්වා තිබෙනවා. ඒ සදහා වන කාලය දිර්ඝ කිරීමට ජනාධිපතිතුමා නියෝග කළත් ඇතැම් නිලධාරීන් ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ ඔවුන් කෙලෙහිගුණ දන්නේ නැති නිසා.

    මේ රට කඩාගෙන වැටුන එකට පී.බී.ජයසුන්දරට ආර්ථික ඝාතකයා කියලා කිව්වා. විමල් වීරවංශ තමයි ඒක කියන්න පටන් ගත්තේ. හැබැයි එතුමා අද හොදට ඉන්නවා. උසාවියෙන් නඩු දාලා, ප්‍රශ්ණ වෙලා තියෙන්නේ කාටද? ඒ ප්‍රශ්ණ වෙලා තියෙන්නේ දේශපාලඥයින්ට. හැබැයි ඔය කියපු ආර්ථික ඝාතකයා කිසිම ප්‍රශ්ණයක් නැතිව ඉන්නවා.

    මේ රට ගොඩ නගන්න නම් අපි හැමෝම එකට එකතුවෙන්න ඕන. හැමෝම රට ගොඩ නගන්න උදව් කරපු විදේශ ගත ශ්‍රමිකයින්ට අපි ව්‍යවසායකත්වය ගොඩ නගලා කෙලෙහි ගුණ සලකනවා. අපේ රටේ බදු ගෙවන ප්‍රතිශතය ඉතාම අඩුයි. සේවක භාරකාර අරමුදල් ගෙවන පිරිස ඉතාම අඩුයි. ඒ කියන්නේ රටේ ව්‍යවසායකයෝ ඉන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. රටක් දියුණු වෙන්න ඕන නම් ව්‍යවසායකයින්ගේ සංඛ්‍යාව ඉහළ දාගන්න ඕන.

    88- – 89 කාලයේදී කොරියාව ආර්ථික වශයෙන් කඩාගෙන වැටුනා. ඒ රටේ ජනතාව රස්සා හොයාගෙන මැදපෙරදිග රටවලට ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්න ඕන තැනට ගියා. පිටරටවලට ගියපු අය මූලික ධනයක් අරගෙන ඇවිත් තමන්ගේ රටට ආවා. ධනයත් එක්ක දැනුම අරගෙන ආවා. ඇවිත් නිෂ්පාදන ආරම්භ කළා. අද කොරියාව මහා විශාල කර්මාන්ත පුරයක් බවට පත් වෙලා තියෙන්නේ විදේශ රටවලට ගිය අය තමන්ගේ රටට ඇවිත් ආරම්භ කළ ව්‍යාපාරවලින්.

    කොරියාවු අවුරුදු 30කට කලින් මුහුණ දුන්න වගේ තත්වයකට තමයි ලංකාව අද මුහුණ දෙන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුව ව්‍යවසායකත්වය වැඩි කිරීම සදහා කටයුතු කරන්නේ. ඵලදායිතා ලේකම් කාර්යාලය හරහා හැම ඵලදායිතා නිලධාරියෙක්ම, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම එක ව්‍යවසායකයෙක් නිර්මාණය කිරීමේ වැඩකටයුත්ත සිදුවෙනවා. ගාල්ලේ දිසාපතිතුමා දිස්ත්‍රික්කය ඇතුලේ ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට කටයුතු කරමින් යනවා. දේශපාලන මත පැත්තකට දාලා රට ගොඩ නැගීමට එකතුවෙලා වැඩ කරන්න ඕන. ආර්ථික ඝාතකයෝ නොවී ආර්ථිකයකට ශක්තියක් වන නිලධාරීනුත් අපිට ඉන්නවා. ඒක සතුටුයි. ඒ අය එක්ක මේ රට ගොඩ නගන්න පුලුවන්.

    හයිවේ එකේ මම එනකොට ටිකට් එකෙ දුන්නේ තරුණයෙක්. මේ අය බදවා ගන්න විට ගණිතය, විද්‍යාව, සිංහල විශිෂ්ඨ සාමාර්ථ ඉල්ලුවා. වැඩ අටම සමත් වෙලා උසස් පෙළ සමත්වෙන්න ඕන කිව්වා. ටිකට් එකක් කඩලා මාරු සල්ලි දෙන්න මේ තරම් සුදුසුකම් තියෙන අය අවශ්‍යද? රාජ්‍ය සේවයට දාහත් ලක්ෂයක් බදවා ගන්නම් ඒවාට ඉඩ දුන්නේ දේශපාලඥයින් විතරද? ඒවට අනුමැතිය දීලා අත්සන් ගැහුවේ කවුද? දැන් මේ ආකාරයට බදවා ගනිපු තරුණයෝ වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලලා විරෝධතා කරනවා. මේ අය හොද රස්සාවක් කරලා රජයේ රැකියාවලට ආවේ. වෙන රටවල අවුරුදු හතලිහ හතලිස් පහ පැනපු අය තමයි ටිකට් කවුන්ටරවලට දාලා ඉන්නේ. හැබැයි අපේ රටේ තරුණයෝ තමයි මේවාට දැම්මේ. මේවා කළේ දේශපාලඥයින් කියලා වරදවා හිතන්න එපා. මේවා වෙනස් කිරීමට මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව තියෙනවා. රාජ්‍ය සේවකයින් ලක්ෂ දාහතක් වෙනකම් බදවා ගත්තේ ඔය මුදල් අමාත්‍යාංශයේ තියෙන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අරගෙන තමයි. අද මේ අපේ මානව සම්පත නිවරදි ලෙස කළමනාකරණය නොකිරීමේ සම්පූර් වගකීම, ශ්‍රම සම්පත විනාශ කිරීමේ වගකීම උපන්දා සිට එම ආයතනවල ඉන්න නිලධාරීන් භාරගන්න ඕන. හැබැයි කාගේ ගෙවල්ද ගිනි තියන්නේ? කාටද බනින්නේ? දේශපාලඥයින්ට. මේ ක්‍රමය රට වෙනුවෙන් වෙනස් කරගන්න ඕන වෙලාව ඇවිත් තියෙන්නේ.

  • තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක්

    තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක්

    නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්  අද (19) පත් කරනු ලැබීය.

    පාර්ලිමේන්තුවේ  කමිටු පත් කිරීම ඇතුළු බොහෝ කටයුතු තීරණය කරනු ලබන්නේ තේරීම් කාරක සභාව විසිනි. මේ අනුව එම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

    නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් පුනාන්දු,  ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ,  ප්‍රසන්න රණතුංග ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක ,රවුෆ් හකීම්, විජිත හේරත් සහ  සෙල්වම් අඩෙක්කලනාදන්  එම සාමාජික මන්ත්‍රීවරු වෙති.

    මෙම තේරීම් කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් 12  දෙනා පත් කිරීම සඳහාවූ යෝජනාව  පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සම්මත විය.

  • ‘අභියෝගය ජයගැනීමට පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්න’

    ‘අභියෝගය ජයගැනීමට පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්න’

    රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.

    පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනඥයන් දැන්වත් එය නතර කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් පිළිගනු ලැබිණ.

    සාම්ප්‍රදායිකව සිදු කෙරෙන කටයුතු වලට පමණක් ප්‍රමුඛතාවය දෙමින් පාර්ලිමේන්තු නව සැසි වාරය ආරම්භ කෙරුණු අතර ආචාර පෙළපාලි, රථ වාහන හෝ අශ්වාරෝහක සංදර්ශන කිසිවක් ඊට ඇතුළත්  නොවීය.

    ප්‍රධාන දොරටුව අභියස දී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයා පිළිගත්හ.

    ගෝලීය ව්‍යසනයකින් පිඩාවට පත්ව සිටින මෙම දුෂ්කර අවස්ථාවේදී, රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමේ ජාතික වගකීම සියලු මහජන නියෝජිතයන්ට පැවරේ. වසර 05 ක් තුළ නිශ්චිත වැඩ කොටසක් ඉටුකිරීමට ජනතාවට පොරොන්දු වුවද ගෝලීය වසංගතය හේතුවෙන් විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදු විය. එහෙත් රජයේ මූලික වගකීම් ඉටු කිරීමට කිසිවිටෙකත් අමතක නොකළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    කෙතරම් ආර්ථික දුෂ්කරතා මතු වුවද ජනතාවගේ සෞඛ්‍යය ප්‍රමුඛතාව සේ සලකා අවශ්‍ය සියලු පිරිවැය දැරීමට රජය කටයුතු කළ බව ද ජනාධිපතිවරයා සිහිපත් කරනු ලැබීය.

    මත්ද්‍රව්‍ය උවදුර මුලුමනින් තුරන් කිරීමට ආරම්භ කළ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නංවන බව පැවසූ ජනාධිපතිවරයා රටේ බරපතළ ලෙස ව්‍යාප්තව තිබූ පාතාලය මර්ධනයට පසුගිය වසර දෙක තුළ  රජය ක්‍රියා කළ බව ද කියා සිටියේය.

    ශ්‍රී ලංකාව නිරතුරුවම ජාත්‍යන්තර නීතිවලට සහ සම්මුතීන්ට ගරු කරන රටකි. තම පාලන කාලය තුළ ද කිසිඳු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල නොදුන් බව ද ජනාධිපතිවරයා පැවසීය.

    ජාතිවාදය තමන් ප්‍රතික්ෂේප කරන බවත් වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා අයිතිවාසිකම් එකසේ ආරක්ෂා කිරීම බවත් පැවසූ ජනාධිපතිවරයා සංහිදියාව සහ රජයේ මූලික වගකීම ලෙස සලකන්නේ කිසිඳු වෙනස්කමින් තොරව සියලු ජනතාවට පහසුකම් සැපයීම බව ද සඳහන් කළේය.

    විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව පසෙකලා තම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය වන ලෙස පාර්ලිමේන්තුව තුළ සිටින උතුරු නැගෙනහිර නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලීය.

    වැරදි අර්ථකථන ලබාදෙමින් විදේශ ආයෝජනවලට එරෙහිව ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට දේශපාලන අරමුණු මුල් කරගෙන යමෙක් කටයුතු කරනවානම් එය රටට කරන අයහපතකි. රටේ සංවර්ධනය සඳහා නව ආයෝජනවල අවශ්‍යතාව මේ මොහොතේ තදින්ම පැන නැගී තිබේ. තෝරගත් ක්ෂේත්‍රවල නව ආයෝජන ආකර්ශණය කර ගැනිමට ඉදිරි කාලයේ දී වැඩි පරිශ්‍රමයක් දැරිය යුතු බව ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරනු ලැබීය.

    රාජ්‍ය විශ්වවිද්‍යාල ධාරිතාව වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති අතර ඉහළ ප්‍රමිතියෙන් යුත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රට තුළ ආරම්භ කිරීම සඳහා අවසර දිය යුතු ද යන්න කෙරෙහි පුළුල් සංවාදයකට තමා පාර්ලිමේන්තුවට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    මේ රට අයිති වර්තමානයේ ජීවත්වන මෙන්ම අනාගතයේ ජිවත්වන ජනතාවටයි. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරන ආකාරය මත මේ රටේ අනාගතය තීරණය වන බව පැවසූ ජනාධිපතිවරයා අප සියලු දෙනා අනාගත පරම්පරාවට වගකිව යුතු වන බව අවධාරණය කළේය.

  • කොවිඩ් එන්නත නොගත් ‘සුපිරි ටෙනිස් තරුව‘ ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි !

    කොවිඩ් එන්නත නොගත් ‘සුපිරි ටෙනිස් තරුව‘ ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි !

    ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන Novak Djokovic ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලියට පෙර ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන බව ඕස්ට්‍රේලියානු අධිකරණය ප්‍රකාශ කළේය.

    ඔහු එසේ පිටුවහල් කරනු ලබන්නේ ඔහුගේ වීසා බලපත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට කළ ඉල්ලීම ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.

    ජොකොවික් ඕස්ට්‍රේලියාවේ සිටීම “සිවිල් නොසන්සුන්තාව” අවදානමට ලක්විය හැකි පදනම මත ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක් විසින් වීසා අවලංගු කිරීමට ගත් තීරණයට එරෙහිව කළ අභියාචනය ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

    අගවිනිසුරු ජේම්ස් ඇල්සොප්, වියදම් සහිතව ජොකොවික්ගේ අයදුම්පත ඒකමතිකව ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ කළේය, නමුත් උසාවියේ තීරණය “තීරණයේ කුසලතා හෝ ප්‍රඥාව” පිළිබිඹු නොකරන බව පැහැදිලි කළේය. සම්පූර්ණ හේතු පසු දිනකදී අනුගමනය කරනු ඇත,

    10 වැනි ඔස්ට්‍රේලියානු විවෘත කුසලාන සහ වාර්තාගත 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනා ගැනීමට ජොකොවිච්ගේ උත්සාහයට මෙම තීරණය විශාල පසුබෑමකි.

    ජෝකොවික්ගේ නීතීඥයින් තර්ක කළේ මෙම නිගමනය හෝක්ට විවෘත නොවන බව එය “තර්ක විරෝධී, අතාර්කික හෝ අසාධාරණ” නිසා වන අතර ඇමතිවරයා ඔහුගේ අදහස් ඇත්ත වශයෙන්ම නොසොයා එන්නත් කිරීම පිළිබඳ ජොකොවික්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ මත පදනම්ව තීරණය කළේය.

    ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කළහොත් එන්නත් විරෝධී මනෝභාවයට ඇති බලපෑම සලකා බැලීමට හෝක් අපොහොසත් වූ බව එක රැයකින් නව ඉදිරිපත් කිරීම්වලදී ජොකොවික්ගේ නීතීඥයෝ වැඩිදුරටත් පැවසූහ.

    දයානුකම්පිත හෝ ඕස්ට්‍රේලියානු ජාතික අවශ්‍යතා වැනි බලගතු අවස්ථාවන්හිදී හැර, වීසා බලපත්‍රයක් අවලංගු කිරීම සඳහා අමාත්‍යවරයාගේ බලය භාවිතා කිරීම ඕස්ට්‍රේලියාවට නැවත ඇතුළුවීම වසර තුනක තහනමක් සමඟ පැමිණේ.

    ජනවාරි 5 සවස Djokovic ඕස්ට්රේලියාවට පැමිණියේය. ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට නොවැම්බර් 18 වන දින ලබා දුන් වීසා බලපත්‍රයක් සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් විසින් අනුමත කරන ලද වෛද්‍ය නිදහසක් ප්‍රමාණවත් බව ඔහු විශ්වාස කළේය.

    Djokovic ගේ වීසා බලපත්‍රය ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් ප්‍රථම වරට අවලංගු කරන ලද්දේ ඔහු මෙල්බර්න් ගුවන් තොටුපළට පැමිණ පැය කිහිපයකට පසුවය. පසුව ඔහු ඔහුව රැඳවුම් හෝටලයකට ගෙන යන ලදී.

    සඳුදා ෆෙඩරල් සංචාරක උසාවියේ විනිසුරුවරයෙකු ජොකොවික්ගේ වීසා බලපත්‍රය ප්‍රතිෂ්ඨාපනය කළේය, නිදහස් කිරීමේ ප්‍රශ්නය විසඳීම සඳහා ඔහුට ගුවන් තොටුපළේදී වැඩි කාලයක් ලබා දීම සඳහා ABF ගිවිසුමක් ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බව නිගමනය කළේය.

    සතියක සාකච්ඡාවකින් පසුව, හෝක් සිකුරාදා නැවතත් ජොකොවික්ගේ වීසා අවලංගු කළේ ඔහුගේ පැමිණීම “සෞඛ්‍යයට සහ යහපත් පිළිවෙළට” අවදානමක් විය හැකි බවට වූ නව පදනම මතය.

    ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ද වීසා අවලංගු කිරීමේ තීරණයට සහාය පළ කරමින් තර්ක කළේ ඕස්ට්‍රේලියානුවන් “මෙම වසංගතය තුළ බොහෝ කැපකිරීම් කර ඇති අතර එම කැපකිරීම්වල ප්‍රතිඵලය ආරක්ෂා වනු ඇතැයි ඔවුන් නිවැරදිව අපේක්ෂා කරන බවයි‘

  • ‘වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය’ ඇමති සුදර්ශිනීට

    ‘වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය’ ඇමති සුදර්ශිනීට

    ව්‍යවස්ථාදායක ක්‍රියාදාමය ශක්තිමත් කිරීම උදෙසා ව්‍යවස්ථාදායකය තුළ කාන්තා නියෝජිතවරියක් ලෙස සිය ජනතා නියෝජිත කාර්යභාරය මැනවින් ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඩ අවදිකරමින් නීති සම්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දක්වන දායකත්වය ඇගයීම උදෙසා කාන්තා දේශපාලන පීඨය (Women’s Political Academy) විසින් වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විශේෂ ඇගයීම් සම්මානය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පිරිනමන ලදි.

    දේශපාලන ආයතනය (Institute of Politics) විසින් සංවිධානය කළ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී එම සම්මානය පිරිනමනු ලැබුවේ කාන්තා දේශපාලන පීඨයේ සභාපති ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසින් වූ අතර එම සම්මානය අමාත්‍යවරිය වෙනුවෙන් ලබාගනු ලැබුවේ අමාත්‍යතුමියගේ මාධ්‍ය ලේකම් තුසිත ජයවර්ධන මහතා විසිනි.

    ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ ඩිප්ලෝමාධාරීන් 50 දෙනෙකු සදහා ඩිප්ලෝමා ප්‍රදානය Institute of Politics ආයතනය විසින් මෙහිදී සංවිධානය කර තිබූ අතර එහිදී දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතුරින් වඩාත් කාර්යක්ෂමව පාර්ලිමේන්තු ක්‍රියාදාමයට සම්බන්ධවන මන්ත්‍රීවරුන් ඇගයීමක් සිදුකර විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේ විශේෂ සම්මානයට පාත්‍ර කරන ලදි.

  • ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ත්‍රිකුණාමලයෙන් ගලවන්න හදන්නේ – සුනිල් හඳුන්නෙත්ති

    ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ත්‍රිකුණාමලයෙන් ගලවන්න හදන්නේ – සුනිල් හඳුන්නෙත්ති

    මුදලට බලයට කෑදර පාලකයින් විසින් අපේ රට අද ඉන්දියාවේ බල දේශපාලනය ඉදිරිපිට දණගස්වා අපේ රටේ අනාගතය සුරක්ෂිත කිරීමට තිබෙන ජාතික සම්පතක් වෙච්ච ත්‍රීකුණාමල තෙල්ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකුණා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

    ලෝකයේ පොසිල ඉන්ධන අවසන් වූ පසුවත් තබා ගැනීමට හැකිවන පරිදි 2072 දක්වා වසර 50ක කාලයකට මෙලෙස පැවරීම හරහා ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ත්‍රීකුණාමලයෙන් ගලවා දැමීමේ සූදානමක් ඇතැයිද අද (12) එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.

    එම මාධ්‍ය හමුවේදී සුනිල් හඳුන්නෙත්ති මහතා පළකළ සම්පූර්ණ අදහස් මෙසේය….

    “ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව ඉතාමත් රහසිගත ආකාරයෙන්, ජනතාවට ඉදිරිපත් නොකර කැබිනට් සංදේශයක් මගින් ත්‍රිකණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමේ ගිවිසුමක් අත්සන් කළා. අක්කර 845ක පිහිටි දැවැන්ත තෙල් ටැංකි සංකීර්ණයක් ඉන්දියාවට නතුකර දෙන්න සූදානම් වෙනවා. ටැංකි 14ක් ඉන්දියාවට, ලංකාවට 24ක් වගේම ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධව හදන සමාගමට 61ක් ආදී වශයෙන් ලබා දෙනවා. තෙල් ටැංකි 61 අයිති ඒකාබද්ධ සමාගමේ 49%ක් අයිති වෙන්නේ ඉන්දියාවට. ඒ අනුව තෙල් ටැංකි 30ක් ඉන්දියාවට ලැබෙනවා. ඊට කලින් තිබෙන 14ත් එක්ක තෙල් ටැංකි 44ක් ඉන්දියාවට යනවා. ඉතිරි ටැංකි ටික අලුත්වැඩියා කරන්න අපිට ඩොලර් නැති නිසා බදු පදනමෙන් හෝ මේ ටිකත් ඉන්දියාවට දෙනවා කියලා අපි විශ්වාස කරනවා.

    මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ 2072 දක්වා ක්‍රියාත්මක වෙන්න. නමුත් ඒ අතර 2050 වෙනකොට ලෝකයේ පොසිල ඉන්ධන භාවිතය අවසන් කරන්න තීරණය අරගෙන තිබෙනවා. එහෙම නම් 2072 දක්වා අවුරුදු 50කට මේ ගිවිසුම අත්සන් කළේ මොකටද? මේ ගිවිසුම අත්සන් කරන්න කලින් ඛනිජ තෙල් ඇමතිවරයා ඉන්දියාව සමග සාකච්ඡා වට කීයක් කළාද? ඉන්දියානු පාර්ශ්වයෙන් සම්බන්ධ වූණේ කවුද? ඔවුන් ලංකාව සමග කළ සාකච්ඡා ගැන ලිඛිත වාර්තා තිබෙනවාද? මේ සම්බන්ධයෙන් හදපු ශක්‍යතා අධ්‍යයන වාර්තාව කෝ? ඩොලර් මිලියන 550කට තක්සේරු කළ වාර්තාව කෝ? මේ ආදී තොරතුරු අපේ රටේ ජනතාව දන්නේ නැහැ. මේක සරල ගනුදෙනුවක් නෙවෙයි. දෙවන ලෝක යුද්ධයේදී මේ තෙල් ටැංකි සංකීර්ණය ස්ථාපිත කළේ භූ දේශපාලනික වැදගත්කම නිසා. නැව් හංගන්න පුළුවන් වරායක් හැටියට හඳුන්වන ත්‍රීකුණාමලය වරාය සමග ඒකාබද්ධ කර තෙල් ටැංකි සංකීර්ණය පිහිටුවා තිබෙනවා. තෙල් නිෂ්පාදන ගබඩා කිරීමට පහළ කොටසේ ටැංකි ඉදිකර තිබෙනවා. ඉහළ කොටසේ පිරිපහදු කිරීම සඳහා බොරතෙල් ගබඩා කරන්න. ඒ වගේම ඉතිරි ටැංකි ප්‍රමාණය පිරිපහදු ක්‍රියාවලියට අවශ්‍ය අමුද්‍රව්‍ය ගබඩා කරන්න. පහළම ටැංකි නිෂ්පාදන ගබඩා කිරීමෙන් බෙදාහැරීමේ පහසුව සැලසෙනවා. මේ හැටියට පිහිටුවා තිබෙන්නේ තෙල් ටැංකි සංකීර්ණයම එක පද්ධතියක් හැටියට ක්‍රියා කරන්නයි.

    මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ ඉන්දියාව ඉස්සරහ සම්පූර්ණයෙන්ම දණ ගහලා. අපිට මතක් වෙන්නේ 1987 ජූලි 29වැනිදා ඉන්දියාවෙන් පරිප්පු දාලා, ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ අත අඹරවලා අපකීර්තිමත් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමයි. අපිට මතක් වෙන්නේ ඒ ඉතිහාසය. ලංකාවේ හමුදාව හිටියේ 72,000ක් විතර. නමුත් ඉන්දියාවෙන් 150,000ක හමුදාවක් ගොඩබැස්සුවා. එදා මේ රටේ හිටි ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත් විශ්‍රාම ගිහින් කොළඹ භූමිකාව කියලා ඒ අපකීර්තිමත් ඉතිහාසය ගැන පොතක් ලිව්වා. දැන් කොළඹ භූමිකාව පොතේ රාජපක්‍ෂ යුගයේ කතාව ලියන්න සිද්ධ වෙනවා. එදා ජේ.ආර්. ජයවර්ධන යුගයේ කතාව වගේමයි අද රාජපක්‍ෂ යුගයේ කතාවත්.

    ඉන්දියාව ලෝකයේ බරපතළ තෙල් ආධිපත්‍යයක් දරනවා. 2022දී මේ සමාගම් වර්ග කිහිපයකින් ලයිස්තුගත කර තිබෙනවා. මහා රත්න කියලා එක සමාගම් වර්ගයක් තිබෙනවා. නව රත්න සහ මිනි රත්න කියලා සමාගම් වර්ග තිබෙනවා. මහා රත්න කියල නම් කළ කොටසට සමාගම් 10ක් තිබෙනවා. භාරත හෙවි ඉලෙක්ටි්‍රකල්ස් ලිමිටඞ්, භාරත් පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඞ්, කෝල් ඉන්දියා ලිමිටඞ්, හින්දුස්ථාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඞ්, ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ලිමිටඞ් ආදී වශයෙන් මේ සමාගම් තිබෙනවා. එයින් ප්‍රධානම සමාගම් 9ක්ම තිබෙන්නේ ඛනිජ තෙල් සම්බන්ධයෙන්. මහා රත්න, නව රත්න සහ මිනි රත්න කියන විශාල සමාගම් වර්ග තුන යටතේ ලියාපදිංචි සමාගම් 343ක් තියෙනවා. නමුත් ලංකාවට තිබෙන්නේ හැම අතින්ම බංකොලොත් වුණු රාජ්‍ය සමාගම්.

    ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය, ආරක්‍ෂාව, අනාගත පැවැත්ම තීරණය කිරීමේ අයිතිය ලබාගෙන තිබෙන්නේ ඉන්දියාව. අපිට ඉන්දියානු ජනතාව එක්ක ප්‍රශ්නයක් නැහැ. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඓතිහාසික මහා සම්බන්ධයක් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට පැවතගෙන එනවා. නමුත් අද ඉන්දියාවේ බල දේශපාලනය ඉස්සරහ ලංකාව දණ ගස්වන්නේ අපේ රටේ කෑදර පාලකයින් විසින්. 1956 මැයි මස 26වැනිදා එවකට ඉන්දියාවේ අගමැති ජවහල්ලාල් නේරු මහත්මයා වැදගත් කතාවක් පාර්ලිමේන්තුවේදී කියා තිබෙනවා. “තමන්ගේ තෙල් නිපදවන්නේ නැති රටක් ඉතාම දුර්වල රාජ්‍යයක් බවට පත්වෙනවා.” ජවහල්ලාල් නේරු මතු කරන්නේ රටක ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉන්ධන ප්‍රධාන තැනක් ගන්නා බවයි. ඉන්ධන කියන්නේ දේශපාලනයත් එක්ක, බලයත් එක්ක ගැට ගැහුණු දෙයක්. ලෝකය පාලනය කරන මෙවලම්වලින් එකක් බල ශක්තිය. ඩැනියල් ගර්කින් බලශක්තිය ගැන පොතක් ලියලා තියෙනවා. ඉන්ධන කර්මාන්තයේ ඉන්න අය මේ පොත සලකන්නේ ඉන්ධනවල මහා වංශය හැටියටයි. ද ප්‍රයිස්, ද එපික් ක්වෙස්ට් ෆො ඔයිල් ඇන්ඞ් පවර්ඳා වරින් වර මේ පොතේ අලුත් සංස්කරණයන් ඉදිරිපත් කරනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාව ඉන්ධන කර්මාන්තය ඉස්සරහා දණ ගැස්වීම පිළිබඳව පරිච්ඡේදයක් එන්නත් ඉඩ තියෙනවා. දැනටමත් ඉන්දියාව ලෝකයේ දැවැන්තම ඉන්ධන පිරිපහදු සමාගම්වලින් එකක් පිහිටුවා තිබෙන රටක්. එලයන්ස් සමාගම දවසකට බැරල් ලක්‍ෂ 12ක් පිරිපහදු කරනවා. සිංගප්පූරුවත් ඉන්ධන පිරිපහදු කිරීමේ විශාලම මධ්‍යස්ථානයක් වී තිබෙනවා.

    අපි කව්රුත් අහලා තියෙන ෂෙල් සමාගමට මුළු ඉන්ධන පිරිපහදු කර්මාන්තයටම තිබෙන්නේ හෙක්ටයාර් 145ක භූමි ප්‍රමාණයක්. ත්‍රිකුණාමලයේ හෙක්ටයාර් 345ක් තියෙනවා. අපි දෝත පුදලා මේ අපට අයිති තෙල් ටැංකි සංකීර්ණය පවරා දෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමේදී ත්‍රිකුණාමලය අග නගරය බවට පත් කිරීමේ සැලසුමක් තිබුණා. පුල්මුඬේ ඛනිජ වැලි, ස්වභාවික වරාය මූලික කරගත්ත විශාල ආර්ථික සම්පත් පිහිටා තිබීම නිසා එම සැලසුම තිබුණා. දැනටත් අපේ රටේ ක්‍රියාත්මක වන අයි.ඕ.සී. සමාගමේ ඉදිරි සැලැස්ම අනුව 2022දී ගබඩා සංකීර්ණයක් පිහිටුවනවා. 2025දී පිරිපහදු කර්මාන්තයක් ඉදි කරනවා. 2030දී රටවල් ගණනාවක තවත් ඉන්ධන කර්මාන්ත ශාලා ගණනාවක් පිහිටුවන්න සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මේ ආණ්ඩුවලට ඒ වගේ සැලසුම් නැහැ. ඒ සමාගම්වලට සූර්ය බල ශක්තිය සුළං බල ශක්තිය වගේම උදම් රළ ආශ්‍රයෙන් බල ශක්තිය ලබා ගැනීමේ සැලසුම් තිබෙනවා. එදා වේලට විකුණං කන ආණ්ඩුවක් මේ වගේ සැලසුම්සහගත සමාගමක් එක්ක කටයුතු කිරීමේ භයානක ප්‍රතිඵල අපි අත්විඳිමින් ඉන්නවා. ඉන්දියාව සහ ලංකාව ආසන්න පිහිටීම නිසා තවත් භයානක අනතුරක් තිබෙනවා. ලෝක සිතියම අනෙක් පැත්තට හැරෙව්වොත් ලංකාව පිහිටා තිබෙන්නේ ආසියාවට ඉහළින්ම. ඉන්දියාවට ඇතුල් වීමේ දොරටුව ශ්‍රී ලංකාවයි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගේ සිට වර්තමාන ඉන්දියාව, චීනය, ඇමරිකාව දක්වා අපිව යටත් කරන්න බලාගෙන ඉන්න අයට අපේ රටේ වැදගත්කම මේ සිතියමෙන් පැහැදිලි වෙනවා.
    තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය, හම්බන්තොට වරාය ප්‍රශ්නය, කොළඹ පෝට් සිටිය පිළිබඳ ප්‍රශ්නය ඇතුළු ආර්ථික මර්මස්ථානවලට ඔවුන් ඇතුල් වීම සලකා බැලිය යුත්තේ භූ දේශපාලනික කරුණු මත ඉඳලයි. 2002 ඉඳලා ඔවුන් උත්සාහ කරනවා, ධනුෂ්කොඩි ඉඳලා තලෙයි මන්නාරමට පාලමක් ඉදි කරන්න. 2015 සැප්තැම්බර් මාසයේදී මේ පාලම ඉදි කිරීම පිළිබඳ වාර්තාවක් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්දීය ප්‍රවාහන ඇමතිවරයාට ඉදිරිපත් කළා. මේ පාලම ඉදි කිරීමෙන් තලෙයිමන්නාරම, මන්නාරම, පෙරියන්කුලම ඒ30 පාර. වව්නියාව, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, ඒ39 පාර, ත්‍රිකුණාමලය ඒ12 පාර යා කරන්න සැලසුමක් තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව ගත්තාම දකුණු පැත්තෙන් වටේ නොගිහින් තලෙයිමන්නාරමේ ඉඳලා යන්න පාරක් හැදෙනවා. ධනුෂ්කොඩි ඉඳලා ත්‍රිකුණාමලයට ඉතාම කෙටි පාරක් සැලසුම් කර තිබෙන බව අපි මේ රටේ ජනතාවට අවධාරණය කරනවා. කෝප් සමුද්‍ර සන්ධියේ සිට ආදම්ගේ පාලම ඔස්සේ ඉන්දියාවෙන් ලංකාවට කෙටිම පාරකින් පැමිණ ත්‍රිකුණාමලය දක්වා ගමන් කිරීමේ අභිලාෂයක් ඉන්දියාවට තිබෙනවා. අපේ රටේ ස්වෛරීත්වය, ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නය අනාගතයේදී මතුවිය හැකි අපේ රටේ මහානායක ස්වාමින් වහන්සේලාට, සිවිල් සංවිධානවලට අපි අවධාරණය කරනවා. මේ ගැන සිහි බුද්ධියෙන් ඉන්න සියලු දෙනාට අපි ආරාධනා කරනවා, මේ කටයුත්තට මැදිහත් වෙන්න කියලා.

    අපිට ඩොලර් ඕනෑ නිසා මේ දේවල් විකුණන්න සිද්ධ වෙලා තිබෙන බව ආණ්ඩුව කියනවා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වහලා තිබෙන වෙලාවේ කරන මේ දේවල් අතිශයින්ම බරපතළයි. මේ ගනුදෙනුව තුළ මූලිකයන් වෙලා ඉන්න අය ගැනත් හොයා බලන්න ඕනෑ. කෙරවලපිටිය යුගදනවි ගිවිසුම රෑ 12.06ට අත්සන් කිරීම පිටුපස සිටියේ කවුද කියලා අපි දැක්කා. මේ ගිවිසුම පිටුපස ඛනිජ සම්පත් සංවර්ධන අධිකාරියේ ප්‍රධානියා ඉන්නවා. මේ ගනුදෙනුව පිටුපස අධිකාරියේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය ඉන්නවා. ඔහු තමයි කාල්ටන් නිවාසයේ අයිතිකරු. ඔහු ඛනිජ තෙල් ඇමතිවරයාගේ උපදේශකයෙක් හැටියටත් වර්තමානයේ ඒ අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ලයේත් ඉන්නවා. මේ ගනුදෙනුවේදී සාලිය වික්‍රමසූරියගේ කාර්යභාරය හොයලා බලන්න කියලා අපි මේ රටේ මාධ්‍යයටත් ජනතාවටත් අවධාරණය කරනවා. ඛනිජ තෙල් සම්පත් අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඕවිටිගම කියන්නේ කවුද? ලෝකයේ ඛනිජ තෙල් මූලස්ථානය හැටියට සැලකෙන ඇබර්ඩින්වල පිහිටි සමාගමක වැඩ කළ මේ පුද්ගලයා පසුව වියට්නාමයේ වැඩ කරන අතරේ වියත්මගට සම්බන්ධ වුණා. මෙන්න මේ දෙන්නා ගැන හොඳින් හොයලා බලන්න කියලා අපි සියලු දෙනාගෙන් විවෘතව ඉල්ලා සිටිනවා. මේ අය ජන වරමක් නැති පුද්ගලයෝ. අපේ රටේ අනාගතය තීරණය කරන්නේ මේ පුද්ගලයන්. රාජපක්‍ෂ පවුලට ඉන්දියාව එක්ක වෙනම ඥාතිත්වයක් තියෙනවා. ඒ අතර සෘජුවම තෙල් ක්‍රියාවලියට සම්බන්ධ මේ පුද්ගලයින් දෙදෙනා සුවිශාල කාර්යභාරයක් කරනවා.

    මේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව පත්තර දැන්වීමක් පළ කර තිබුණා. මේ ගිවිසුම අත්සන් කිරීම සාධාරණීකරණය කරන්න විවිධ කරුණු දැන්වීමේ ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි යළි රටට ගෙන ඇති බව කියන්න අපූරු පින්තූරයක් යොදා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ත්‍රිකුණාමලයෙන් ගලවන බව ඒකෙන් පේනවා. ඔවුන් කියන්න උත්සාහ කරන්නේ ජාතික කොඩිය ත්‍රිකුණාමලයේ සිටුවන බව පෙන්වීමටයි. නමුත් මුළු ක්‍රියාවලිය අධ්‍යයනය කළාම පැහැදිලි වෙන්නේ ජාතික කොඩිය ත්‍රිකුණාමලයෙන් ගලවන බවයි. අපිට ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්න තිබෙනවා. ඊළඟ වේල කන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දරුවන්ට පොත් ටික ගැනීම ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රශ්න රාශියකින් හැම කෙනෙක්ම වෙළිලා ඉන්නවා. හැබැයි ඒ ඔක්කොම ප්‍රශ්න විසඳා ගන්න අපිට රටක් තියෙන්න ඕනෑ. ජනතාවට තිබෙන අමාරුකම්, බැරිකම් පිට දාලා අපේ රටට විදේශ විනිමය ගේන්න තියෙන, අනාගත සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කරන්න තියෙන ජාතික සම්පත් විකුණන්න දෙන්න එපා. තුන්වැනි ලෝක යුද්ධයක් ඉස්සරහා භූ දේශපාලනික තර්ජනයක් අපේ රටට තිබෙනවා. ආසියාවේ අභිමානයක් ඇතිව ජීවත් වෙන්න ඕනෑ රටක් නිරුවත් කරන මේ ක්‍රියාවලිය තීරණාත්මක ලෙස පරාජය කළ යුතුයි. අපේ රටේ මහා සංඝරත්නය සහ අනෙකුත් සියලුම ආගමික නායකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා, මේ තත්වය පරාජය කරන්න එකතු වෙන්න කියලා. මේ රටට ආදරය කරන දේශප්‍රේමීන් සියලු දෙනාගෙන් අපි ඒ ඉල්ලීම කරනවා.
    මේක තෙල් සංස්ථාවේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක වෘත්තීය සමිති පිළිඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ රට දිහා ආදරයෙන් බලා ඉන්න, මේ රට යළි ගොඩනගන්න දියුණු රටක් බවට පත්කරන්න දෑස් දල්වාගෙන ඉන්න සියලු දෙනාගෙම ප්‍රශ්නයක් මේක. විදේශගත ශ්‍රී ලාංකිකයින් කවදා හරිමේ රටට එනවා නම් ඔවුන්ටත් අදාළ ප්‍රශ්නයක්. මේ රට බේරා ගැනීමට බලාගෙන ඉන්න සියලුම දෙනාගේ ප්‍රශ්නයක්. මේ මහා ආර්ථික සම්පත උදුරා ගන්න ඉඩ නොදෙන්න. අපේ ජාතික කොඩිය ගලවනවා වගේ මේ ආර්ථික සම්පත විකුණා දමන්න ඉඩ නොදෙන්න කියලා සියලපු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

    තෙල් ටැංකි ටික හදාගෙන තිබුණා නම් අද තිබෙන පෝලිම් එන්නේ නැහැ. ලෝකය පුරා කොරෝනා අර්බුදය ආපු වෙලාවේ තෙල් මිල ඉතාමත් පහත වැටුණා. තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ ඉංජිනේරුවන් සැලසුමක් සකස්කර තිබුණා. ඩොලර් මිලියන 45ක් වගේ මුදලකින් මේ ටික ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් බව ඔවුන් පෙන්වා දී තිබුණා. අධියර දෙකකින් ප්‍රතිසංස්කරණය කළ යුතු ටැංකි පිළිබඳව සම්පූර්ණ සැලැස්මක් තිබෙනවා. ඩොලර් නැතනම් ණයක් අරගෙන ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. එහෙම කළා නම් බොර තෙල් නැති බව කියමින් තෙල් පිරිපහදුව වහලා දාන්න ඕනෑ නැහැ. අද ඉන්දියාව ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් හදන්න උත්සාහ කරනවා. නමුත් මේ ටැංකි ටික තිබෙනවා නම් අපිට පුළුවන් මාලදිවයිනටත් තෙල් විකුණන්න. අපිට අයිති මුහුදු කලාපයේ තෙල් සහ ගෑස් තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේ සම්පත් ගොඩගන්න කොට අපිට ත්‍රිකුණෘමලයේ තෙල් පිරිපහදුවත් වැදගත් වෙනවා. මේ ටැංකි ටික ප්‍රතිසංස්කරණය කර ගත්තා නම් අද පෝලිමේ ඉන්න ඕනෑ නැහැ. දෙවැනි ලෝක යුද්ධය නිසා ඉංග්‍රීසින් ඉදිකළ මේ ටැංකි අද රත්තරං නිධානයක් වගේ තියෙනවා. මේවායෙන් ප්‍රයෝජන අරගෙන අපේ පාලනයක් යටතේ ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් ණය ගන්න රටක් වෙනුවට විදේශයන්ට ණය දෙන රටක් බවට පරිවර්තනය කරනවා. එහෙම නොකළොත් 2072 වෙනකොටත් තෙල් පෝලිමේ ඉන්න වෙනවා.

    විදුලි බල මණ්ඩලය ණය වෙලා තියෙන්නේ පාරිභෝගිකයන් ලයිට්බිල නොගෙවූ නිසා නොවෙයි. හදිසි මිලදීී ගැනීම් නිසයි. විදුලිය බිඳ වැටීමට සලස්වා හදිසි මිලදීගැනීම් කරනවා. නමුත් අපේ රටට ජාතික විදුලි ජනන සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්මට අනුව ක්‍රියා කරනවා නම් හදිසි මිලදී ගැනීම් සිදු වෙන්නේ නැහැ. නමුත් අද මහජන උපයෝගීතා කොමිසම විදුලිය කැපීමට අනුමැතිය දෙන තැනට පත්වෙලා. ඔවුන් කැමැත්තෙන් නෙවෙයි අනුමැතිය දුන්නේ. දැන් සිදුවී තිබෙන්නේ නහයට උඩින් වතුර පිරී තිබීමයි. ඩොලර් නැති නිසා පොහොර ගේන්න බැහැ. ඒ වගේම ඩොලර් නැති නිසා විදුලිය දෙන්නත් බැහැ. ඒ වගේම ගෑස් නැහැ කියලත් කියනවා. මෙතනට රට වැටුණේ කොහොමද? ඉබේ වැටුණා නෙවෙයි ඩොලර් අරබුදයට වැට්ටුවා. රටේ සම්පත් මංකොල්ල කන ටිකදෙනෙකුට මේ ප්‍රශ්න නැහැ. ඔවුන්ට යන්න වෙන රටවල් තිබෙනවා. ඒ නිසා රටේ ජනතාව එකතු වෙලා මේ සියලුම ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕනෑ.

  • ඉදිරි තෙවසර පිළිබඳ බලාපොරොත්තු තබා ගන්න – අග්‍රාමාත්‍යවරයා කියයි

    ඉදිරි තෙවසර පිළිබඳ බලාපොරොත්තු තබා ගන්න – අග්‍රාමාත්‍යවරයා කියයි

    කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

    පර්යන්තයේ වැඩ ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඵලකය නිරාවරණය කළහ.

    අදියර තුනක් යටතේ සිදු කෙරෙන පර්යන්තයේ ඉදිකිරීම් 2024 වසරේ දී අවසන් කිරීමට නියමිතය. හෙක්ටයාර 75ක භූමි ප්‍රමාණයක විහිදී ඇති මෙහි දිග මීටර් 1,320කි. වැඩ නිම වීමෙන් පසු නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන දොඹකර (STC) 12ක් සහ රේල් පීලි මත දිවෙන ග්‍රැන්ටි දොඹකර (RMG) 40ක් සමග අංගසම්පූර්ණ පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 510ක් වන අතර වරාය අධිකාරිය ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වැය කරයි.

    ඇක්සස් ඉංජිනේරු පී.එල්.සී. (Access Engineering PLC) සහ චයිනා හාබර් ඉංජිනේරු (China Harbour Engineering Company LTD) සමාගම්  එක්ව ඉදිකිරීම් සිදු කරයි.

    කොරෝනා වංසගතය හේතුවෙන්  අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උත්සව සභාව අමතමින් සඳහන් කළේය. ගෙවීගිය කාලය වැදගත් වන්නේ විපක්ෂයටයි. අප සෑමවිටම භාරගත යුත්තේ අතීතය නොව අනාගතය යි.

    රට පිළිබඳ තිබෙන සුබවාදී බලාපොරොත්තු කිසිවෙකු අතහැරිය යුතු නොවන අතර ගෙවුණු වසර දෙක කරගසාගෙන යාමට විවේචකයන්ට භාරදී, අප අනාගතය භාරගනිමු යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    ලෝකයේ වරාය ශ්‍රේණිගත කිරීමේ ඇල්ෆලයිනර් නිර්නායකයට අනුව මේ වන විට කොළඹ වරාය 23 වන ස්ථානයේ පසුවේ. නව සංවර්ධන කටයුතු නිමා වීමෙන් පසු එය 13 වන ස්ථානයට පත්වනු ඇති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

  • මෛත්‍රී හෙළි කළ සුපිරි රහස සහ අනැවකිය

    මෛත්‍රී හෙළි කළ සුපිරි රහස සහ අනැවකිය

    ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගෙන වත්මන් ආණ්ඩුවේ කාලය දීර්ඝ කිරීම කිසිවකුට සිතීම යථාර්ථවාදී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ආණ්ඩුව විවේචනය කරන සහ තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යායාමයක යෙදී සිටින හිටපු ජනපතිවරයා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රථමයෙන් පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසීය.

    “අපේ පක්ෂය රට පුරා සිටින අපගේ නියෝජිතයින් දැනුවත් කිරීමට පටන් ගෙන තිබෙනවා. ආණ්ඩුවේ පසුපෙළ අපව විවේචනය කරනවා. ඔවුන්ට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණේ ශ්‍රීලනිපයේ ක්‍රියාකාරී දායකත්වය නිසා බව ඔවුන් දන්නේ නැහැ. එය ඔවුන්ට අවබෝධ කර දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ගේ යුතුකමයි,”

    “රටම අවුල්. මේ ලෝකෙ දෙයක් දන්නේ නැති අය කියනවා මැතිනියගේ කාලේ වගේලු දැනුත් කන්න නෑ පෝලිම් කියලා. මම මැතිනියගේ කාලේ සතොසෙන් බඩු බෙදාහැරිය සැපයීම් නිලධාරියෙක්. මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම පෝලිම්වල කවුරුත් කුණුහරුප කිව්වේ නෑ. තනියෙන් රටක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ. අවුරුදු 5ක් මම තනියම ආණ්ඩු කරපු කෙනෙක්. මං වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් හිටියේ නෑ. ආණ්ඩුවෙත් නෑ. විපක්ෂයෙත් නෑ. එහෙම අගමැති, ඇමති මණ්ඩලයක් නැතුවත් මම අද තියෙන අර්බුදයට රට දැම්මේ නෑ.

    2015ටත් වඩා අඩුවෙන් බඩු මිල තිබුණේ අපේ කාලේ. අමාරුවෙන් රුපියල් 2කින් තෙල් මිල වැඩි කළාම පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. ඒ අතර දන්නවානේ පොල් බෑය, ලූනු ගෙඩිය පෙන්නලා අහපුවා. දැන් සනීපද.. සැපද.. ඇහුවා. දැන් රටම අසනීපයි. ජනාධිපති ඡන්දයට කලින් ශ්‍රීලනිපය ගැන පුදුම වටිනාකමක් තිබ්බේ. පොදු ජන පෙරමුණේ ඉහළම නායකයෝ මාව කී සැරයක් හමුවුණා ද. වන්, ටූ, ත්‍රී තුන්දෙනා වෙනවෙනම මාව හමුවුණා. ශ්‍රීලනිපය නැතිව දිනන්න බෑ කියපු අය ඡන්දෙන් පසු පළමු සතියේම සන්ධාන ගිවිසුම කඩකළා. ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකල් ඉටු කරලා නෑ. කරපිංචා වගේ අරගෙන විසි කෙරුවා. ජනාධිපති ඡන්දයක් ළඟදි එන්නේ නෑ. ජාතික මැතිවරණයකට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. සමහරු කියනවා ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා කල් දික් කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්”

    වංචාව, දූෂණය, පාදඩකම්, දූෂිත දේශපාලනය නිසා රට අර්බුදයකට ලක්වෙලා. නිදහසින් පසු මේ දක්වා කිසිම දූෂිත දේශපාලකයෙක් හිරේ ගියේ නැහැ. චීනය, සිංගප්පූරුව වැනි රටවල මාස තුනකට නොවැඩි කාලයක් තුළ නඩු අවසන් කර පොදු දේපළ සොරකම් කිරීමේ තත්ත්වය නොසලකා දඬුවම් ලබා දෙනවා.

    ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ආණ්ඩු දෙකක් හැර අනෙක් සියල්ල දේශපාලන සන්ධාන වන අතර රට නඟා සිටුවීමේ නව වැඩපිළිවෙළක් සමඟින් පිහිටුවන මීළඟ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානයක් ලෙස පත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රීලනිප මාතර දිස්ත්‍රික් නායක හේමාල් ගුණසේකර මහතා ඇතුළු ශ්‍රීලනිප ආසන සංවිධායකවරු මෙම රැස්වීම සංවිධානය කළහ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා, හිටපු ප්‍රධාන අමාත්‍ය එච්.ජී.සිරිසේන, දෙවිනුවර ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ යන මහත්වරු මෙම රැස්වීමට සහභාගි වූහ.

  • ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගැන ‘නාමල් කළ සුපිරි හෙළිදරව්ව‘

    ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගැන ‘නාමල් කළ සුපිරි හෙළිදරව්ව‘

    රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ප්‍රබල තීරණයක් බවත් එහෙත් විෂය භාර නිලධාරීන් එය සාර්ථකව ක්‍රියාත්මක නොකළ බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඩේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ 2019 ජනාධිපති ධුරයට පත් වූ වහාම රසායනික නොවන පොහොරවලට මාරුවීමට තීරණය කළ බව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළ නමුත් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ඉදිරියට නොයෑම නිසා එය අසාර්ථක වූ බවයි.

    “රසායනික පොහොරවලට මාරුවීමේ ක්‍රියාවලියක් තිබෙන බව ඇත්ත. එය වසර 10ක් ව්‍යුහගත කළ යුතුව තිබුණත් අපි දන්නා පරිදි ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඒ විෂයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත් කළා. ඔහු පත්කර මාස හයක් ගතවී තිබෙනවා. විෂය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් කටයුතු කළේ නැහැ. අවසානයේ ජනාධිපතිවරයාට දැඩි තීරණයක් ගැනීමට සිදු වුණා. නායකයින් තම ජාතියේ අභිවෘද්ධිය සඳහා මෙය කළ යුතුයි” නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    තවද, දැනට රට තුළ පවතින දැවෙන අර්බුද හමුවේ, රාජපක්ෂ පාලනයේ වත්මන් ජනප්‍රියත්වය අඩු වී ඇති බව පිළිගත් නාමල් රාජපක්ෂ මහතා මෙය තාවකාලික බවත්, මේ වසරේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ප්‍රකාශ කළේය.

  • අපි හදපු උද්‍යානය අද වරාය නගරයේ දී ජනාධිපති තමන් හැදුවා වගේ විවෘත කරනවා

    අපි හදපු උද්‍යානය අද වරාය නගරයේ දී ජනාධිපති තමන් හැදුවා වගේ විවෘත කරනවා

    තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිරයා විසින් කළ වැඩක් සේ හුවා දක්වමින් අද (09) එය විවෘත කරන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. කුරුණෑගල 43 සේනාංක ජනහමුවකින් පසු මාධ්‍ය අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,

    “ජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමා සමග වරාය නගරයේ ඉදිකරන ලද මං පෙත විවෘත කරනවයි කියලා තියෙනවා. ඇත්තටම ඔය වරාය නගරයේ තිබුණා ෆෝමියුලා වන් කාර් රේස් යන්න හදපු සැලසුම. ඒ සැලසුම අවලංගු කරලා වරාය නගරයේ අපේ ජනතාවට යන්න පුළුවන් උද් යානයක් නිර්මාණය කළේ අපේ අමාත් යාංශය යටතේ තමයි, 2016 වර්ෂයේ තමයි ඒක පටන් ගත්තේ. අද තමන්ගේ වගේ ඒවා විවෘත කරනවා වගේ ගිහින් විවෘත කරනවා.

    මහනුවර නගරෙත් විශාල සංවර්ධන යෝජනා ක්රම ගණනාවක් විවෘත කරේ අපේ කාලේ. අපේ අමාත්යාංශයෙන් හදපුවා. ගෝඨාභය කාලේ හදපු එක මහා පරිමාණ ව්යාපෘතියක්වත් නැහැ. ඒ වගේම මම දැක්කා මේ ලංකාවේ උමං කනින්න චීනයෙන් යන්ත්‍රයක් ගේනවා කියලා.

    ඇත්තටම අද මේ උතුරු මැද ඇළ එහෙම නැත්නම් සෙන්ට්රල් කැනෑල් එක, කඩිනම් කිරීමේ මුවාවෙන් අති විශාල වංචාවක් සිදු කරන්න යනවා. ඒක වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවොත් සියලු දෙනාම කරලා තියෙනවා. නමුත් ඒ අමාත්යාංශ ලේකම්වරයාත් එක්ක එකතුවෙලා ඩොලර් මිලියන තිස්පහක විශාල වංචාවක් මේ උතුරු මැද ඇල හරහා සිද්ධ කරන්න යනවා. මේ උමග තැනීමට මුවා වෙලා. ඒ බවත් කියන්න ඕනේ. මේවා මේ පුදුම වෙන්න දේවල් එහෙම නෙවෙයි. මේවා පිටිපස්සේ තියෙන්නේ විශාල ජාවාරම්.

    අපිට කියන්න තියෙන්නේ ඉතා කණගාටුවෙන්, ඒ කාලේ කරපු ජාවාරම් වල ප්රතිඵල තමයි දැන් අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. මේ තත්වය වෙනස් කරන්න. වහාම පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ වල නියෝජිතයෝ මැදිහත් වෙන්න ඕනේ. මොකද මේ රට බංකොලොත් වුණොත් මේ රට අවුරුදු දහයකටවත් නැවත ගොඩගන්න හම්බවෙන්නේ නැහැ.”

  • ජනපති සහ චීන විදේශ ඇමති අතර හමුවක්

    ජනපති සහ චීන විදේශ ඇමති අතර හමුවක්

    චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිතුමා දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා සිහිපත් කරනු ලැබීය. කොවිඩ් වසංගතයට මුහුණදීමේ දී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍ය ආධාර  වෙනුවෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ස්තුතිය විදේශ අමාත්‍යවරයා වෙත පිරිනැමීය.

    දෙරට අතර මිතුදම ආවර්ජනය කළ වැන්ග් යී මහතා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත්වන අතර සමීප මිත්‍රයෙකු ලෙස චීනයේ සහාය සෑම විටම ලබාදෙන බව පැවසීය.

    කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා  ශ්‍රී ලංකාවට අඛණ්ඩව සයිනොෆාම් එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිතුමා චීන රජයට තම කෘතවේදීත්වය පළ කළේය.

    නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කර තිබේ.  ජෛව බුබුළක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා වැන්ග් යී මහතාගෙන් ඉල්ලා සිටියේය.

    කොවිඩ් වසංගතය හමුවේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    එමෙන්ම චීනයෙන් සිදු කරන ආනයනවලදී සහනදායී වෙළෙඳ ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකි වෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යාමට එය ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිතුමාට ආරාධනා කළ වැන්ග් යී මහතා එය ඉතා නුදුරු දිනකදීම සිදුවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

  • සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පන්නා දමයි

    සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පන්නා දමයි

    වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ධුරයෙන් ඉවත් කෙරේ. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබේ.  සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය.