Category: සුපිරි Politics

  • ‘මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා’

    ‘මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා’

    මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්.
    අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ.
    අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා.
    හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා.
    මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මේ බව ප්‍රකාශ කළේය.

    අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    ‘‘මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි’’ යැයි කී අග්‍රාමාත්‍යතුමා, ‘‘ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා’’ යැයි ද පැවසීය.

    රක්ෂණලාභී මාධ්‍යවේදීන් පස් දෙනෙකු සඳහා අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණු අතර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ඇමතිවරු ද රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානයට එක්වූහ.

    “ඇසිදිසි රක්ෂණාවරණය” ඔස්සේ ජනමාධ්‍යවේදීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට රක්ෂණාවරණය ලබාදීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇති අතර රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ඒ සඳහා ඉදිරිපත්ව සිටියි.

    “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ උත්සවයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    අද මේ රටේ මාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණ ආවරණය ලබා දෙන දවස. ඇසිදිසි රක්ෂණ ආවරණය වාගේ දෙයක් දෙන්න මේ තරම් ප්‍රමාද වුණේ ඇයි කියන්න මම දන්නේ නෑ. මම හිතනවා අපි සුදුස්සාට සුදුසු දේ දීලා තියෙන නිසයි අද මාධ්‍ය ඇසිදිසි රක්ෂණය ඔබට ලැබුණේ කියලා. ඩලස්ට මාධ්‍ය භාර ගන්න කියලා මීට කාලෙකට කලින් අපි ඉල්ලා සිටියා. මාධ්‍යවේදිනුත්, රටත් ඉල්ලා සිටියා. අපි දෙන්න හදපු කාලේ භාර ගත්තා නම් මේ රක්ෂණය මීට කලින් ලැබෙන්න තිබුණා කියලා මම කියන්න ඕනෑ. මේ අපි සුදුස්සාට සුදුසු දේ දීලා තියෙන බව දැන් ඔබට තේරෙනවා ඇති.

    මිත්‍රවරුනි, වෘත්තීය වශයෙන් නීතිඥවරු ඇරුණාම මම වැඩිපුරම සමීප උනේ මාධ්‍යවේදීන්ට. මට මතකයි එදා, මම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට එනකොට එදා ජනාධිපතිතුමිය කිව්වා ඔන්න රිපෝටර් එනවා කියලා. මම කිව්වා මම රිපෝටර් නෙවෙයි, එඩිටර් කියලා. මම පත්තරවලට තොරතුරු දුන්නේ සංස්කරණය කරලා. පක්ෂයටවත්, මටවත් හානි නොවන විදියට. ඒ නිසායි මම කිව්වේ මම එඩිටර් කියලා.

    මිත්‍රවරුනි, මාධ්‍යයට භීෂණය එල්ල වුණ හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. සමහර කාලවල මාධ්‍යවේදීන්ගෙ අතේ කහ නූල් බැඳලා අපි ඔවුන් එක්ක ඉන්න බව කිව්වා. දේශපාලන මැරයෝ ගහලා, මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ කඩා දැම්මාම, අපි මාධ්‍යවේදීන්ට ඒවා අරන් දුන්නා. 88/89 භීෂණ යුගයේ රිචඩ් ද සොයිසා දකුණට ඇවිත් දකුණේ අපිත් එක්ක වැඩ කළා.

    මිත්‍රවරුනි, මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි මාධ්‍යයට ශක්තියක් වුණොත් මාධ්‍යය අපිව ශක්තිමත් කරනවා. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ.

    මාධ්‍යයට යමක් හංගන්න හංගන්න රටේ ජනතාව ඒ ගැන තියෙන උනන්දුව වැඩියි. හංගන්න හංගන්න හැදෙන බොරු කතා වැඩියි. අද පාර්ලිමේන්තු සංවාද රූපවාහිනියෙන් විකාශය වෙනවා. හැබැයි කවුරුවත් ඒවා බලන්නේ නෑ. මොකද ඒක විවෘත නිසා. අද කැබිනට් එකට විතරයි මාධ්‍යවේදීන් යන්නේ නැත්තේ. ඒ නිසාම කැබිනට්ටුවේ වුණ දේවල් කියලා අමුතු අමුතු කතා ගොඩ නැගෙනවා. ඒක තමයි මාධ්‍යයේ හැටි.

    මිත්‍රවරුනි, අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා. අපිව බලයට ගේන්න මාධ්‍යවේදීන් ලොකු සේවයක් කළා. නමුත් දැන් අපි චෝදනා කරනවා මාධ්‍ය දැන් අපිත් එක්ක නෑ කියලා. මේක අමුතු දෙයක් නෙවෙයි. අපේ ජීවිත කාලය තුළ අපි අත්දුටු දෙයක්. මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා.

    මිත්‍රවරුනි, හැමදාම ආණ්ඩු මාධ්‍යයට කළ චෝදනාවක් තමයි ආණ්ඩුවේ සංවර්ධන කටයුතු මාධ්‍යයේ දාන්නේ නෑ කියලා. රටේ වෙන හොඳ දේවල් පත්තරවල දාන්නේ නෑ කියන චෝදනාව හැමදාම තිබුණා. අපිට නෙවෙයි අනගාරික ධර්මපාලතුමාටත් ඒ ප්‍රශ්නෙ තිබුණා. එතුමා වතාවක් කිව්වා “රටේ කොපමණ හොඳ දේ වුණත් ඒවා පත්තරවල පල වෙන්නේ නෑ. කරොංචි හාමි නොන්නො හාමිට පිහියෙන් ඇන්නොත් මේකා ඒක පත්තරේ මුල් පිටුවේම දමාපි” කියලා. ධර්මපාලතුමා එහෙම චෝදනා කළා. ඒ නිසා මාධ්‍යවේදීන්ට දොස් කියලා වැඩක් නෑ. ඒ කාලෙ ඉඳලාම මාධ්‍යවල හැටි තමයි ඒ.

    ජනතාවත් එහෙමයි. රූපවාහිනි ප්‍රවෘත්තිවල සංවර්ධන පුවත් කියලා හෙඩිම කියපු ගමන් ප්‍රේක්ෂකයො නාට්‍යයක් බලන්න වෙන චැනල් එකකට මාරු වෙනවා. මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට, මේක තේරෙනවා. අපිට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.

    මිත්‍රවරුනි, මේවා ඉතාම සාමාන්‍ය දේවල් හැටියට අපි භාර ගන්න ඕනෑ. අපිට විතරක් නොවෙයි, ලෝකයත් අද මාධ්‍ය නිසා කැලඹිලා.

    මට මතකයි කොරෝනා වසංගතය ආව දවස්වල සමාජ මාධ්‍යවල ගිය දේවල්. මේක රටක ලැබ් එකක හදාපු වයිරසයක් කිව්වා. බලවත්ම රටවල් ඒ ඒ රටවලට චෝදනා කර ගන්න තරමට සමාජ මාධ්‍යවල මේ ප්‍රචාර බලවත් වුණා. ඊට පස්සේ කොරෝනාවලට අලුතින් සොයා ගත්ත එන්නත ගැන නොයෙක් ප්‍රචාර ගෙනිච්චා.

    අපේ රටේ විතරක් නෙවෙයි දියුණු රටවලත් තරුණයෝ ඉන්ජෙක්ෂන් ගහගන්න ආවේ නෑ. ඒවා සමාජ මාධ්‍යවලින් යවාපු ප්‍රචාර නිසා ලෝකෙ මුහුණ දීපු දේවල්. අන්තිමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥයෝ කිව්වා වසංගතයට වඩා දරුණුයි කියලා තොරතුරු වසංගතය.

    ඒගොල්ලො මේකට කිව්වා Intro Demic (ඉන්ට්‍රො ඩෙමික්) කියලා. මේ තොරතුරු වසංගතේ ලෝකෙ යටවෙලා කියලා ඒගොල්ලන්ටත් පිළිගන්න වුණා.

    මිත්‍රවරුනි, අපේ රටටත් මේ ඉන්ට්‍රො ඩොමික් එක ආවා. කොරෝනාවලට එන්නත ගන්න අපි උත්සාහ කරනකොට එන්නත වේලපහ ගෙන්නා ගත්තේ නැත්තේ අපේ වරදයි කිව්වා. එන්නත ගෙන්නුවහම ෆයිසර් ගෙන්වන්න පුළුවන්කම තියෙද්දී අපි ලාභෙට චීන එන්නත ගෙනාවා කීවා. චීන එන්නත ගහල වැඩක් නෑ කිව්වා. සමහරු කිව්වා මොඩර්නා තමයි හොඳ, ඒකම ගේන්න කියලා. මේ සෙල්ලම් කළේ රටේ ජීවිතත් එක්ක.

    ඊට පස්සේ ගෙයක් ගානේ කොරෝනා මරණ වෙනවා කියලා විශාල භීතියක් ඇති කළා. දොස්තරලා කියන ගාණට වඩා මැරෙන ගාණ වැඩියි කිව්වා. අන්තිමට රට වහන්න, විසඳුම ඒකයි කියලා බල කළා. රට වැහුවේ නැතොත් ස්වයං ලොක්ඩවුන් කරගන්නවා කිව්වා. රට වහලා අපි ඇඟලුම් කර්මාන්තශාලා විවෘත කරලා තිබ්බා. ඒක වැහුවේ නැතොත් ඇඟලුම් පොකුරක් එයි කිව්වා. ඒ තරමට රට වහන්න බලකරපු උදවිය ඊළඟට දහස් ගණන් අරගෙන පාරේ පෙළපාලි ගියා. ඒ මහා ආර්ථික විනාසෙ කරලා දැන් රට ඇරියාම කියනවා රට බංකොළොත් කියලා. මේ තමයි තොරතුරු වාර්තා වුන විදිය.

    මාධ්‍යට මේවා නොපෙන්වා බෑ. වාර්තා නොකර ඉන්න බෑ. හැබැයි මාධ්‍යයට නොතේරී මාධ්‍යයෙන් ප්‍රයෝජන ගන්නත් රටට එරෙහි බලවේගවලට පුළුවන් වෙලා තියෙනවා. මේවා රටට ආදරේ, වගකීමක් ඇති මාධ්‍ය තේරුම් ගන්න ඕනෑ.

    මිත්‍රවරුනි, මේ රටේ මාධ්‍යවේදීන් තේරුම්ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා. යුද්ධ කරන කාලේ ඉඳන්ම අපිට ඒ අත්දැකීම් තියෙනවා. අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා.

    එදා යුද්දෙදි මැරුන සන්නද්ධ ත්‍රස්තවාදීන්ව ජාත්‍යන්තරයට පෙන්නුවේ අහිංසක දෙමළ ජනතාව කියලයි. ඒ දේවල් යොදාගෙන යුද මෙහෙයුම් නතර කරන්න උත්සාහ කළා.

    තමුන්නාන්සේලාට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුන ගමන්ම මේ රටේ එක්තරා තානාපති කාර්යාලයක රස්සාව කළ කාන්තාවක් තමන්ව පැහැරගෙන ගියා කියලා ලොකු සිද්ධියක් මැව්වා. ආරක්ෂක අංශවලින් පැහැරගෙන ගියා කියලා මහා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. ජනාධිපති වුණ ගමන්ම මෙහෙම වුණාම මේ රටේ තානාපති කාර්යාල හැම එකක්ම ලොකුවට කලබල වුණා. සමහර රටවල් ඇයගේ ආරක්ෂාව තහවුරු කරනු කියලා නිවේදන පවා නිකුත් කළා. අපිට ලෝකෙට උත්තර දෙන්න සිද්ධ වෙන සිද්ධියක් මැව්වා.

    නමුත් රටේ හොඳ වෙලාවට ඒ කාන්තාව ඒ දවසේ ආගිය හැම තැනක් ගැනම සීසීටීවී (CCTV) කැමරාවල තිබුණා. සී.අයි.ඩී. (CID) එක අපක්ෂපාතීව පරීක්ෂණය කළා. අන්තිමට ඒ සිද්ධිය බොරු මවාපෑමක් බව ලෝකෙටම ඔප්පු කරගන්න අපිට පුළුවන් වුණා. හැබැයි ඒක බොරුවක් බව ඔප්පු වුණාම අපිට විරුද්ධව චෝදනා කළ අය කනගාටුවවත් පළ කළේ නෑ.

    මිත්‍රවරුනි, මේවායින් අපි තේරුම් ගන්න ඕනෑ මොකක්ද? මේ රටේ ජනතාවගේ නිදහස, රටේ අයිතිය උදුරා ගන්න ඉතාම සූක්ෂමව කටයුතු කරන බලවේග මාධ්‍ය වාසියට ගන්නවා.

    ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු, අසීරු තීන්දු ගන්න වෙන යුගයකට තමයි අපේ ආණ්ඩුව දැන් පත්වෙලා ඉන්නේ. ඒ අමාරු තීන්දු ගන්න අපි සූදානම්. රට වෙනුවෙන් ඒ තීන්දු ගන්න වෙන්නේ දේශපාලන අනාගතය උකස් තියලා. එහෙම තීන්දු ගන්නකොට රට වෙනුවෙන් මේ රටේ මාධ්‍ය ඉතාම වගකීමෙන් ක්‍රියා කරයි කියලා අපි හිතනවා.

    මේ වාගේ වැඩපිළිවෙළවල් අපි කරන්නේ ඔබගේ අනාගතය ගැන හිතලා. ඔබේ අනාගතය අපි සුරක්ෂිත කරනකොට මාධ්‍යවේදීන් වන ඔබ රටේ සුරක්ෂිත අනාගතයකට කැප වෙයි කියලා අපි විශ්වාස කරනවා.

    ඔබ සැමට තෙරුවන්සරණයි! යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

  • මංජු ලලිත් වර්ණ කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    මංජු ලලිත් වර්ණ කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ අද (01) දිවුරුම් දුන්නේය.

    නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

    කළුතර මැතිවරණ කොට්ඨාශයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා මෙලෙස පත් කර තිබේ. බුලත්සිංහල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන හෙතෙම 2020 මහ මැතිවරණයේදී මනාප ඡන්ද 46,361ක් ලබා ගත්තේය

  • සෑබෑ සංවර්ධනයට අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි – අගමැති

    සෑබෑ සංවර්ධනයට අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි – අගමැති

    රටක සැබෑ සංවර්ධනයක් ඇති වීමට නම් ආර්ථික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 

    අය-වැය 2022, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

    ගරු කථානායකතුමනි, රටක සැබෑ සංවර්ධනයක් ඇති වීමට නම් ආර්ථික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි. පුද්ගලයින් ගුණගරුක, විනයගරුක කිරීමේ කාර්යභාරය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරි තිබෙන බව ඔබතුමාට මතක් කරනවා.  මෙම කාර්යය භාරය අප විසින් මනාව ඉටු කළ යුතුව තිබෙනවා.

    ගරු කථානායකතුමනි, දෙදහස් පන්සිය වසරක් පුරා සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කළ අප, අනාගත ශාසනයේ උන්නතිය උදෙසා ද කටයුතු කළ යුතු බවයි අප විශ්වාස කරන්නේ.  ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා සභ්‍යත්වය, දහමින් දැනුමෙන් හා විනයෙන් පෝෂණය කළ සම්බුද්ධ ශාසනය, අතීතයේ ආරක්ෂා කර ගත් පරිදිම ආරක්ෂා කර ගැනීම අප හැම දෙනාගේම ජාතික වගකීමක් ලෙසයි මා සළකන්නේ. එහිදී බෞද්ධ ධර්මය විකෘති නොකර ආරක්ෂා කර ගැනීම, සංඝ ශාසනය ආරක්ෂා කර ගැනීම, බෞද්ධ සිද්ධස්ථාන දියුණු කිරීම හා ආරක්ෂා කිරීම, සාරධර්ම පිරි සමාජයක් ඇති කිරීම උදෙසා වූ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අප අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

    ගරු කථානායකතුමනි, අනෙකුත් සියලු ආගම් සම්බන්ධව කටයුතු කිරීමත් අප අමාත්‍යාංශය විෂය පථයට අයත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි සියලුම ආගම්වලට ආරක්ෂාව දීම අපගේ වගකීම වෙනවා.  ඒ අනුව අප විසින් සියලුම අන්‍ය ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ද එම ආගමික පූජකතුමන්ලාගේ අධ්‍යාපනය හා සුභ සාධනය වෙනුවෙන්ද කටයුතු කරලා තිබෙනවා.  ආගමික හරයන් සමාජගත කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන්ද වාර්ෂිකව විශාල මුදලක් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු හරහා වැය කරනවා. ආගම් අතර සහජීවනය වැඩි දියුණු කරමින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව ජීවත් වන ජන සමාජයක් බිහි කිරීම වෙනුවෙනුයි අපි මේ සියල්ල කරන්නේ.

    ගරු කථානායකතුමනි, සංස්කෘතිය, සාහිත්‍යය හා කලාව උසස් මට්ටමකට පත් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය හරහා උසස් කලා නිර්මාණයන් බිහි කිරීමට අවශ්‍ය පරිසරය ඇති කිරීමට අවධානය යොමු කරලා තිබෙනවා.  ඒ වගේම කලා ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන්ගේ සුභ සාධනය ඇති කිරීමේ වැඩසටහන් 2022 වර්ෂය තුළ ද අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.  ඉතිහාසය, පුරා විද්‍යාව හා ජාතික උරුමයන් යනු රටක අනන්‍යතාවයයි. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරමින් ජාතික අනන්‍යතාව මතු පරපුරට උරුම කර දීමේ අපගේ වගකීම ඉටුකරමින් සිටින බව ප්‍රකාශ කරන්න ඕනේ.

    ගරු කථානායකතුමනි, විනයගරුක පුද්ගලයෙකු බිහි කිරීමට බාධාවක් ලෙස මත් ද්‍රව්‍ය භාවිතය හා විවිධ දුරාචාරවලට යොමු වීම සඳහන් කරන්න පුළුවන්. එවැනි පුද්ගලයින් හඳුනා ගනිමින් ආගමික පසුබිමක් යටතේ ඔවුන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමේ වැඩසටහනක් අප අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙනවා. එය 2022 වර්ෂයේ ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මුළු ලොවටම බලපෑ කොවිඩ් තත්ත්වය නිසා සැලසුම් කළ කටයුතු නියමිත ඉලක්ක කරා යාමේ දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා. එහෙත් 2022 වසරේ දී අප අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන වගේම ජාතික උරුම, ප්‍රාසාංගික කලා රාජ්‍ය අමාත්‍යාංශයේ ද උපරිම දායකත්වයෙන් ආවේණික හා අපේක්ෂිත  ඉලක්කවලට ළඟා වීමට උපායමාර්ග ක්‍රමවේද අනුගමනය කිරීමට අප සැලසුම් කරලා තියෙනවා.  ඒ නිසා අපේ අමාත්‍යාංශය මේ කාර්යයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවෙලා කටයුතු කරන  බව ඔබ තුමාට මතක් කරනවා.යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය

  • නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට

    නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කොට සාකච්ඡාවට ලක්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අය-වැය කාරක සභා අවස්ථාවේ ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතනවල වැය ශිර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන බවත් රහසිගතව සිදුවන යමක් එහි නැතිබවත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

    ගරු කථානායකතුමනි, ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අපි රජයක් ලෙස මූලිකත්වය ගත්තේ ජනතාව ආරක්ෂා කරන්න. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න ඕන හැම තීරණයක්ම අපි නිසි වෙලාවට ගත්ත කියල අපි තමුන්නාන්සේලට මතක් කරන්න ඕන.

    ගරු කථානායකතුමනි, මම මේ දේවල් කියන්නේ එම කටයුතු කළමනාකරණය කරන්න අග්‍රාමාත්‍ය කාර්යාලය කළ කාර්යය භාරයත් සිහිපත් කරන්න.

    කොවිඩ් වසංගතය ආරම්භයේදී අපේ රජය අතවශ්‍ය සේවා කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළා එම ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට අප‌‌ගේ අධීක්ෂණය යටතේ කටයුතු කළා ජනතාවගේ අතවශ්‍ය සේවා ඉටු කිරීමටත් ජනතාවගේ ගැටළු විසඳීමටත් දවසේ පැය 24 පුරාම අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු කළ බව අපි තමුන්නාන්සේලට මතක් කරන්න ඕන. ඒ වගේම අපි පක්ෂ නායකයන් සමඟ අදහස් හුවමාරු කර ගත්තා. ජනතාවගේ අතවශ්‍ය සේවා සහ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට  අපි හැම අවස්ථාවකදීම මැදිහත් වුණා. වෛද්‍යවරුන් ආරක්ෂක හමුදාවන් ඒ වෙනුවෙන් තමන්ගේ කටයුතු යුතුකම් ඉටු කළා.

    ගරු කථානායකතුමනි, අපි දන්නවා කොවිඩ් වංසගතයෙන් ඇතිවූ ආර්ථික අවපාතය තදින්ම රටට බලපාල තියෙන බව. ව්‍යාපාර ‌බොහෝමයක් කඩා වැටිලා. රජය මේ අවස්ථාවේ සැලසුම් කරන්නේ කොවිඩ් වංසගතයෙන් වැටුණු ආර්ථිකය ගොඩනගන්න. ඒ අනුව තමයි මුදල් ඇමතිතුමා කෙටි කාලීන සහ දිගු කාලීන සැළසුම් ඇතුළත් අයවැයක් මෙවර ඉදිරිපත් කළේ. ජනතාවගේ පැත්තෙන් සිදුවන ආර්ථීක හා සමාජයීය සංවර්ධනය රටට අවශ්‍යයයි. මේ අසීරු අවස්ථාවේදී ඒ අයට නැගිටින්න පුළුවන් ආර්ථිකයක් ගොඩනඟන එක තමයි අපේ බලාපොරොත්තුව.

    ගරු කථානායකතුමනි, 2019 අපි බාරගත්තේ කඩා වැටුණු ආර්ථීකයක් ඒක මතක් කරන්න ඕන. ඒ ආර්ථිකය ඔසවා තබන්න අපේක්ෂාව මෙවර අය වැය යෝජනාවල තියෙනවා. සුපුරුදු පරිදි තම තමන්ගේ දේශපාලනය වෙනුවෙන් කරන වාද විවාද කරනවා අපි දැක්කා. ඒ වුණත් විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන ‍යම් සාධනීය අදහස්වලටත් අපි සවන් දෙනවා ඔබතුමන්ලා සාධනීය අදහස් ඉදිරිපත් කළොත් අපි එයට සවන් දෙන්න සූදානම්. අපි මේ වෙලාවේ සාමූහිකව රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි. ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා.

    ගරු කථානායකතුමනි, 2022 වසර සදහා නව ව්‍යාපාර ලියාපදිංචිකරන ව්‍යවසායකයන්ගෙන් කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අපි අය කරන්නේ නැහැ. අපේ රටේ තරුණ තරුණයින්ට  ආරාධනා කරනවා නව ව්‍යාපාරික අදහස්වලින් රටේ ආර්ථික සංවර්ධනය ගොඩනගන්න එකතු වෙන්න කියලා. ඒ වගේම විදේශීය විනිමය රටට ගෙන ඒමටත් දායක වෙන්න කිලා.

    ගරු කථානායකතුමනි, අපි ජනතාවට පොරොන්දුවක් දුන්නොත් ඒ පොරොන්දු ඉටුකළ යුතුයි. වසර 25කට ආසන්න කාලයක් නොවිසඳුනු ගුරු විදුහල්පති වැටුප් විෂමතාව මෙවර අය-වැයෙන් විසඳන්න අපි කටයුතු කරමින් පවතිනවා.මෙවර අය වැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණය වෙන් කරලා තියෙනවා. අපි මේ හැම දේම කරන්නේ රටේ අනාගතය වෙනුවෙන්.අභියෝග හමුවේ රට ගොඩගැනීමට අප දරන වෙහෙසට ඔබ සියලු දෙනාගේම සහය ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

    ගරු කථානායකතුමනි, අපි විපක්ෂයේ කරන යෝජනා ඒ වගේම විවේචන සාවදානව අහගෙන හිටියා.   සමහර විවේචන අසාධාරණයි. සමහර විවේචනවල සාධාරණයක් තියේනම් ඒ විවේචන අපි පිළිඅරගෙන ඒවා නිවැරදි කරන්න ඕනෑම වේලාවක අප සූදානම් බව මේ අවස්ථාවේදි මතක් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කථා කළා අපි දැන් කෙටුම් පතක් සකස් කරගෙන යනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කරලා එය සාකච්ඡාවට ලක් කරන බව මතක් කරනවා. ඒ නිසා ඒ පිළිබඳව රහසිගතව  අපි කිසි දෙයක් කටයුතු නොකරන බව තමුන්නාසේලාට මතක් කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

  • මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසනය ගැන කතානායකට පැමිණිල්ලක්

    මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසනය ගැන කතානායකට පැමිණිල්ලක්

    අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ.

    පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින්  සිය ලිපිය යොමු කර ඇති සභාපතිනිය සදහන් කර ඇත්තේ මීට පෙර අවස්ථාවලද වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සිදුවී ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක යහපත් පූර්වාදර්ශයක් නොවන බවයි.

    නීති සම්පාදනයට දායක වන මහජන නියෝජිතවරියන් කාන්තාවක් වීම තුළ එම ස්ථානය තුළදීම හිංසනයට ලක්වන්නේ නම් එමගින් පෙන්නුම් කරනුයේ සමස්ථ සමාජයක පරිහාණිය බව පෙන්වාදී ඇති එතුමිය, ගෘහස්ථ, පොදු මගී සේවා, මහමග සහ වෘත්තීය ස්ථානයේ දී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන හිංසනයන් පිළිබදව සාකච්ඡා කෙරෙන, එවැනි දෑ වැළැක්වීමට කටයුතු කරන උත්තරීතර ආයතනයක මන්ත්‍රීවරියන්ට එරෙහි වාචික හිංසනය සිදුවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සභ්‍යත්වය අගයන කිසිවෙකු අනුමත නොකරන්නක් බවද පෙන්වා දී ඇත.

    සිය ලිපිය මගින් ඇය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙවැනි තත්වයක් තුළ ජනගහනයෙන් 52%ක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැන බැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යයි තමන් නොසිතන බවත් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුනම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යන් කොටසක් ලෙස සමාජීය වශයෙන් මෙන්ම ආගමික, සහ නීතිමය රාමු තුළත් අර්ථ දැක්වීමට උත්සාහ කිරීම තුළින් හදුනාගත හැකි බවයි. එබැවින් එය පැහැදිලිවම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම් වල නිරත වීම අධෛර්යය කරන්නක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

    කාන්තාවන්ට දේශපාලනයේ යෙදීමට තිබෙන හිමිකම පිළිගැනීම, කාන්තාවන් වීම හේතුවෙන් දේශපාලන කාර්යයේදී අවමානයට ලක් නොකිරීම, කාන්තාවන්ගේ දේශපාලන හිමිකම් උල්ලංඝනය නොකිරීම සහ සමාන පාර්ශවකරුවන් ලෙසින් කාන්තාවන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය ස්ථාපිත කිරීම, ප්‍රවර්ධනය කිරීම දියුණු දේශපාලන සංස්කෘතියක් අගයන සමාජයක අපේක්ෂාව විය යුතු බව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කථානායකවරයා වෙත යවන ලද ලිපිය මගින් පෙන්වා දී ඇත.

    කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සංකීර්ණ සමාජීය ගැටලුවක් මෙන්ම මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් බවට අද පත්ව ඇති බවත් කායික, වාචික හෝ මානසික හානියක් සිදු කරන ඕනෑම ක්‍රියාවක් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලෙස නිර්වචනය කළ හැකි බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. මෙහිදී කථානායකවරයාගේ විශේෂ අවධානයට ලක්කරමින් සදහන් කර ඇත්තේ වාචික අපයෝජන, තර්ජනය කිරීම, අපහාස කිරීම, විවේචනය කිරීම, හාස්‍යයට උපහාසයට ලක් කිරීම බහුල වශයෙන් දැකිය හැකි අතර එය උත්තරීතර පාර්ලිමේන්තුව තුළද සිදුවීම කණගාටුදායක තත්වයක් බවයි.

    කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය අවම මට්ටමක පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවට ‌තේරී පත්වූ මන්ත්‍රීවරියන් 12 දෙනාගේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ නිකුත් කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමට කථානායකතුමාගේ කාරුණික අවධානය යොමුකරන ලෙස පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

  • අවශ්‍ය වුවහොත් තනතුරු අත්හැර එළියට බසින්නට වුවත් අපි දෙවරක් සිතන්නේ නැහැ

    අවශ්‍ය වුවහොත් තනතුරු අත්හැර එළියට බසින්නට වුවත් අපි දෙවරක් සිතන්නේ නැහැ

    පළාත් පාලන ආයතනවල ඉදිරි  අය-වැයවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවති සාකච්ජාවකදී, එම මන්ත්‍රීවරුන් ඉදිරි අයවැයවලදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය. අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (19) මෙම සාකච්ඡාව පැවත්විණි.

    ‘අපේ කරමතින් ගිහින් ඒ අයට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ. ඒ අයිතිය ඔබට තියෙනවා. ඒකට පක්ෂයෙන් කිසිම බාධාවක් නෑ. ප්‍රාදේශීය සභාවල අයවැය ලේඛනවලට මෙන්ම ප්‍රාදේශීය සභාවේ බලය පවත්වාගෙන යාමට ආණ්ඩුවෙන් සිදුවන වැරදි හමුවේ නිහඬ විය යුතු නැහැ. අවශ්‍ය වුවහොත් තනතුරු අත්හැර එළියට බසින්නට වුවත් අපි දෙවරක් සිතන්නේ නැහැ.

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී පැවසුවේ ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවේ සිටින්නේ ඇමතිකම් හෝ වරප්‍රසාද බලාගෙන නොවන බවත්, නිසි වෙලාවේදී නිසි තීන්දුව ගත යුතු බවත්ය.

  • විදේශ විනිමය හොයන හැටි ඩයනා ආණ්ඩුවට යළි කියා දෙයි

    විදේශ විනිමය හොයන හැටි ඩයනා ආණ්ඩුවට යළි කියා දෙයි

    විදේශ විනිමය උපයන ව්‍යාපාරයක් බව පවසමින් ගංජා නීතිගත කර රාජ්‍ය අනුග්‍රහය මත වගා කරන ලෙස රජයට සහාය දක්වන සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද (16) රජයට යෝජනා කළා.

    චීනය සහ කෙන්යාව වැනි අනෙකුත් රටවල් තේ වගා කිරීම ආරම්භ කර වෙළඳපළ කොටසෙන් වැඩි කොටසක් අත්පත් කර ගෙන ඇති බැවින් තේ වාණිජ වගාවක් ලෙස තවදුරටත් වගා කළ නොහැකි බව ඇය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    ශ්‍රී ලංකාවේ ගංජා වාණිජ වගාවක් ලෙස සැලකිය හැකි බවත් විදේශ විනිමය උපයා ගැනීම සඳහා ප්‍රධාන අපනයන භෝගයක් ලෙස භාවිත කළ හැකි බවත් පවසන ඇය අනෙකුත් රටවල් අපනයනය කිරීමෙන් විශාල ආදායමක් උපයන බව පැවසුවාය.

    “තේ තවදුරටත් ශ්‍රී ලංකාවට වාණිජ වගාවක් නොවේ. ගංජා ශාකය අපට ස්වභාවධර්මයේත් දෙවියන්ගේත් ආශිර්වාදය ලැබී තිබෙනවා. එය වාණිජ වගාවක් ලෙස රාජ්‍ය අනුග්‍රහය ඇතිව වගා කළ යුතුයි. වසර දෙක තුනක් ඇතුළත ණය ගෙවා ගැනීමට විදේශ විනිමය උපයා ගත හැකියි. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් රටකට මුදල් හිඟාකන්න අවශ්‍ය නැහැ,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

    1800 ගණන්වල බ්‍රිතාන්‍යයන් විසින් ගංජා සම්බන්ධයෙන් ගෙන ආ ආඥාපනත රජය විසින් අහෝසි කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරිය ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීමේ නීති සම්මත කරන ලෙස අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියාය.

    යුරෝපීය ආයෝජන බැංකුවේ (EIB) අනාවැකිවලට අනුව ඉදිරි දශකය තුළ ගෝලීය ගංජා වෙළෙඳපොළ කොටස 1000% කින් ඉහළ යනු ඇති බවත් එය 2027 වන විට ඩොලර් බිලියන 140 ක් වනු ඇති බවත් ඇය පැවසුවාය

  • “ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු වෙන්නේ නෑ

    “ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු වෙන්නේ නෑ

    “ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු වෙන්නේ නෑ. ඒ වෙනුවට කුසලතාවයට, දක්ෂතාවයට, හැකියාවට තැන ලබාදී රටත් ජනතාවත් දිනවන යුගය බිහිකරනවා.” යැයි අද (16)  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

    වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව කොළඹ ගාල්මුවදොර වටරවුමේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

    මෙම විරෝධතාව කොළඹ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වී ගාලු පාර ඔස්සේ පැමිණ ගාල්මුවදොර වටරවුම දක්වා පැමිණ රැස්වීමක් පවත්වනු ලැබීය.

    රටේ වගකීම භාරගෙන නව දැක්මක් තුලින් නව යුගයක් බිහිකිරීමට රටේ සියලුම ජනතාවට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

    “අද පෝලිම් යුගය බිහිවෙලා. ගෑස් පොලිම්, තෙල් පොලිම්, කිරිපිටි පොල්ම්, හාල් සීනි පෝලිම් ඒක්ක පෝලිම් යුගයක් අද මේ රජය බිහිකරලා හමාරයි. රටට බත් දුන් පියා ඩඩ්ලි සේනානායක මහතායි. එතුමා 1967 මුල්ගල් තියලා 1969 විවෘත කරපු අපේ තෙල් පිරිපහදුව වසර පනස් ගණනකට පස්සේ ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් නැතුව වහලා තියෙනවා.

    බොරතෙල් ගන්න සල්ලි නැති ආණ්ඩුවට පිරිපහදු කරපු තෙල් ගන්න ඩොලර් තියෙනවා. මේ හදන්නේ හදිසි මිලදී ගැනීම් මගින් දූෂිත ක්‍රමවේදයන් මගින් රටත් ජන ජීවිතත් කඩා වැටී ඇති මොහොතක කොමිස් ගැසීමටයි. මිනිස්සු කුසගින්නේ සිටින මොහොතක මේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භණේඩ හිඟයක් තිබෙන මොහොතක මේ ආණ්ඩුව ජනතාවගේ බදු මුදල් වංචා කරමින් සිටිනවා. අද පොලිස් ක්‍රියාදාමයන් තුලින්, පගාවෙන් අල්ලසින් තමන්ගේ බඩ වඩා ගන්න මේ ආණ්ඩුවේ උදවිය කටයුතු කරමින් සිටිනවා.

    මේ අතර සමගි බලවේගය අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවයට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි පිරිස හරවා යැවීමට පොලිසිය ස්ථාන රැසකදී ක්‍රියා කළේය.

    එහිදී සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. අනුරධපුරය, කලාඔයදී පොලිසිය බාධා කළ අවස්ථාවදී පැමිණි පිරිස සඳහන් කළේ තමන් කැලණිය විහාරස්ථානය වැඳපුදා ගැනීමට යන බවයි.

  • මහින්දානන්දගේ CID පැමිණිල්ලට චම්පික දුන් සුපිරි පිළිතුර

    මහින්දානන්දගේ CID පැමිණිල්ලට චම්පික දුන් සුපිරි පිළිතුර

    ජනතාවගේ දුක් ගින්නේ  බඩගින්නේ පැමිණිල්ල හා මේ පත් කරලා තියෙන අවමානයේ, අපහාසයට ඇතිවෙලා තියෙන කෝපයේ පැමිණිල්ල දැන් රට පුරා විභාග වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    තමන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා;

    “ඊයේ එනම් නොවැම්බර් නම වෙනිදා පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යම්කිසි ප් රශ්නයකට පිළිතුරු දෙන අතරේ මා විසින් මීට සතියකට පමණ කලින් කරන ලද යම්කිසි ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. ඒ තමයි ඉන්දියාවේ අයි එෆ් එස් නමැති ආයතනයෙන් ගෙන්වන ලද මේ නැනෝ යූරියා පිළිබඳව ඔහුගේ නම සඳහන් කරලා ඔහුට අපහාසයක් කරලා තියෙනවයි කියලා ඔහු ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවයි කියලා අතරේ තවත් ඔහුගේ සුපුරුදු වාචාල මුවින් අපහාස, උපහාස ටිකක් එහෙම කරලා ප්‍රකාශයක් කරා. මම ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. සභා ගැබේ. මං සභා ගැබට ආහම මට මේ වාර්තා වුණා. මම ඔහුගේ ප්‍රකාශය දැක්කා. ඒ අනුව මං එතුමාට ප්‍රකාශ කරා මම දවල් එක හමාරට පාර්ලිමේන්තුව නැවත ආරම්භ කළහම, මේ ගැන ප්‍රකාශයක් කරනවා කියලා. කරුණාකරලා සභා ගැබට එන්න කියලා. ඔහු මට කිව්වා, මම සභාගැබට එන්නෑ. මොකද මට දැන් රහස් පොලිසියට යන්න තියෙනවා කියලා. මම කිව්වා, බොහොම හොඳයි එහෙනම්, මම හැබැයි ප්‍රකාශය කරනවා කියලා. මම ප්‍රකාශය කළා කතාව.”

    මහින්දානන්ද ඇමැතිවරයාගේ ප්‍රධාන තර්කය වන්නේ මෙරටට ගෙනෙන ලද්දේ ISCFCO ආයතනයෙන් නැනෝ යූරියා නොව නැනෝ නයිට්‍රජන් බවත්, චම්පික රණවක විසින් රට නොමග යවා ඇති බවත් ය. එමෙන්ම ඔහු සඳහන් කරන්නේ මෙහි දූෂණයක් සිදුවූ බවටත්, එය කළේ තමන් බවටත් සිදුකළ චෝදනාවට තමන් නිවැරදිකරු බවය. ඉන් ඔහුට සිදුවූ අපහාසයට නඩු පවරන බවටත් තර්ක කරයි.

    “මේ රසායනික පොහොර මේ රටට ගෙන ඒම තහනම් කළේ මේ ආණ්ඩුව මේ අවුරුද්දේ මැයි මාසේ 06 වෙනිදා. එතකොට පළමුවෙන්ම අපි බලන්න ඕනේ මේ අයි එෆ් එම් ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙම දියරය රසායනික ද, ඒ කියන්නේ ස්වභාවිකව හදපු එකක්ද, එහෙමත් නැත්නම් මේක නිෂ්පාදනය කරපු එකක්ද? ස්වභාවික පොහොරද? කාබනික පොහොරද කියලා මනින මිනුම් දඩු කිහිපයෙන් ප්‍රධාන එකක් තමයි ස්වභාවික ද එහෙම නැත්නම් ද එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු එකක්ද? මේක පැහැදිලිවම ඉහළ ගණයේ තාක්ෂණයක් භාවිතා කරලා නිෂ්පාදනය කරපු දෙයක්. මේක පැහැදිලිවම නැනෝ ආකාරයට සකස් කරන ලද යම් කෙඳි විශේෂයක් සමග යූරියා තැවරීමෙන් ඇති කරන ලද  පොහොර දියර විශේෂයක් කියන එක පැහැදිලියි. ඒ අනුව පළවෙනිම දේ තමයි මෙය රසායනික පොහොරක්. මෙය කාබනිකයි කියලා කීම හොයා මේ රටට පොහොර මත පමණයි කෘෂිකර්මය කරන්නේ කියන එකට කරපු විශාලතම වංචාව කෘෂිකර්ම අමාත්‍යාංශය කරලා තියෙනවා”

    “කවුද මේක නැනෝ යූරියාද? නැනෝ එහෙම නැත්නම් නයිට්‍රජන් ද කියලා කිව්වේ. අපි නෙවෙයි. මේ අයි. එෆ්. එෆ්. සී. ඕ. වෙබ් අඩවියට යන ඕනෑම කෙනෙකුට ඉතාම පැහැදිලිව පේන දේ තමයි කිසිම තැනක ඒ වෙබ් අඩවිය නෑ. නැනෝ නයිට්‍රජන් කියලා දෙයක්. මං නැවතත් පෙන්නනවා. මම අදත් ගියා. මේ මොහොතෙත් යනවා. මෙන්න වෙබ් අඩවිය. මේ වෙබ් අඩවියේ කිසි තැනක, නැනෝ නයිට්‍රජන් කියලා දෙයක් නෑ. තියෙන්නේ, නැනෝ, යූරියා. කිසි තැනක නෑ, නැනෝ නයිට්‍රජන් කියලා. නැනෝ යූරියා. අද මේ වෙනකන් කෘෂිකර්ම අමාත්‍යාංශය මං මේ ප්‍රකාශය කරලා දැන් දින ගණනාවක් වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිම රසායනාගාර පරීක්ෂණයක් කරලා නෑ. මෙහි රසායනික සංයුතිය ගැන. ඒ නිසා තාමත් අපිට පිළිගන්න වෙන්නේ මේ වෙබ් අඩවියේ සඳහන් විස්තරය පමණයි. ඒ විතරක් නෙවෙයි. මේ අයිඑස්එෆ්, සී. ඕ. ආයතනය මේ සිද්ධිය ඇති වුණාට පස්සේ මාධ්‍ය නිවේදනයක් දැම්මා. ඒ මාධ්‍ය නිවේදනයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ බව. ඉතින් කවුරුත් දන්නවා, මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා නොදන්නවාට රසායන විද්‍යාව ඉගෙන ගත්ත හැමදෙනාම දන්නවා යූරියා කියන්නේ නයිට්‍රජන් සංයෝගයක්. ඒ අනුව ඒ නයිට්‍රජන් සංයෝගයේ ප්‍රමාණය ගත්තොත් ඒකේ 46% ක්ම තියෙන්නේ නයිට්‍රජන් කියලා. ඒ නිසා මේ නැනෝ යූරියා ද නැනෝ නයිට්‍රජන් ද කියන එකේදී ඇත්තටම නයිට්‍රජන් සංයෝගයක් තමයි යූරියා. රසායනික සංයුතිය මැන්නාම නයිට්‍රජන් හම්බවෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි මේ වෙන තෙක් ඒක කරලා නෑ. ඒ අනුව මේ පුවත්පත් නිවේදනයක් මාධ්‍ය නිවේදනයක් අයි එෆ් එම් වල ඒ වගේම ඔවුන්ගෙ ප්‍රසිද්ධ වෙබ් අඩවියත් කියන මේ දෙකම දක්වලා තියෙන කරුණු වලට අනුව මෙහි අඩංගු නයිට්‍රජන් ප්‍රතිශතය 4% යි. යූරියාවල 46% යි. එතකොට මේ ගැන මේ යූරියා වලින් නිර්මාණය කරපු පොහොරක්.”

    තුන්වෙනි කරුණ ලෙස හිටපු අමාත්‍යවරයා දක්වන්නේ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කිරීමය. වංචාව ඇත්තේ එතැනය.

    “මේ ගැන පාර්ලිමේන්තුවේ ඒ වගේම මං හිතනවා  මේ පිළිබඳව ආචාර්ය පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකමුත් පැමිණිලි කරලා තියෙනවා මේ ගනුදෙනුව සිදු වූ ආකාරය ගැන. මෙහි කැබිනට් පත්‍රිකාව ඔක්තෝම්බර් මාසේ දහඅට වෙනිදා මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා දාන්නේ එතකොට ම මේ කැබිනට් පත්‍රිකාවට අනුව මේ පොහොර ගෙන්වන්න නියමිත සමාගම විසින් ඒකටයි ඔහුට කැබිනට් අවසරය තියෙන්නේ. ඔය තවත් එකක් පිහිටුවාගෙන ඒ එකෙන් මිල ගණන් කැඳවනවාය කියලා තියෙනවා අයි එෆ් එම් සී ඕ ආයතනය එතකොට මිල නම් කැඳවන එක තමයි අවසානයේ ලංකාවට මේක ගෙනල්ලා තියෙන්නේ. කවදද ගෙනාවේ? දහනම වෙනිදා ගෙනාවේ. දහඅට වෙනිදා කැබිනට් පත්‍රිකාව දානවා. දහනම වෙනිදා එහි අනුමත වෙච්ච ඒ කැබිනට් තීන්දුව ලේකම්වරයාට යනවා. එතකොට ලංකාවට බඩු ඇවිල්ලාත් ඉවරයි.”

    “ඉතින් කාටත් පැහැදිලියි. ලීටර් දසලක්ෂ 2.2 ක් පැය කීපයක් ඇතුළත නිෂ්පාදනය කරන්න බෑ. පැය කීපයක් ඇතුළත ගුවන් මගින් ගේන්න බෑ. මේක කලින් ඉඳන් දාපු එකක් ඒ අනුව පී. බී. ජයසුන්දර මහත්මයාගේ පැමිණිල්ලට අනුව පැහැදිලිව කැබිනට් තීන්දුව උල්ලංඝනය කිරීම ගැන සංවිධානාත්මක වංචා ක්‍රියාවලියක මොහු ප්‍රධාන පුද්ගලයෙක් කියන එක ඉතාමත්ම පැහැදිලියි අපිට. ඊළඟ කාරණය. මිල ගණන්. මේ අයි. එෆ්. එෆ්. සී. ඕ. වෙබ් අඩවියට අනුව මේ ලීටරයක වටිනාකම ඉන්දියානු රුපියල් 480 යි. එතකොට ආසන්නයෙන් ඩොලර් 6 යි. හැබැයි ලංකාවට ගේන මේ තොගයේ වටිනාකම ගත්තහම ආසන්නයෙන් එක ලීටරයක් ඩොලර් 25 කට ආසන්න වෙනවා. ඩොලර් මිලියන 52 ක මේකෙන් ඩොලර් මිලියන 39 ක්ම සම්පූර්ණයෙන්ම වංචනිකයි කියන එක මම නැවත කියනවා. ඒක බොහොම පැහැදිලිව නැවත කියනවා. ඒ නිසා මේ වංචාවට මොවුන් වගකිව යුතුයි. මොහු ඇමැතිවරයා හැටියට, කඩිනම් කැබිනට් පත්‍රිකාවක් දාලා, ඊට පහුවෙනිදා කඩිනමින් මේක ගෙනල්ලා, සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් උල්ලංඝනය කරලා. කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය දීපු සමාගමෙන් නෙවෙයි, වෙන සමාගමකින් අරගෙන, ඒ වගේම දැන් පාර්ලිමේන්තුවේදීත් හෙළිදරව් වෙච්ච ආකාරයට, මේ ගනුදෙනුව සඳහා මහජන බැංකුවත් එක්ක කටයුතු කරපු ආකාරය, පළමු තොගය සඳහා, තව ගේන්න තියෙනවා ඉදිරියට. ඒ කාරණය, ඉතාම පැහැදිලියි. හදිසියේ කරපු බලගතු වංචාවක් බව.”

    ඊළඟ කාරණය වන්නේ මෙය කිසිම ආකාරයකට ලංකාවේ පර්‍යේෂණාගාරයක හෝ ගොවිබිමක අත්හදා බලා නොමැති වීමය. ඉන්දියාව පවා මෙය අවසාන වශයෙන් අත්හදා බලා තිබෙන්නේ මේ වසරේ මැයි මස 31 වෙනිදා ය. මෙවැනි දෙයක් මේ රටේ මහපොළොවට එකතු කිරීමට පෙර ප්‍රතිචාරය කෙසේද යන්න බැලීම සඳහා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කළ යුතුය.

    “මේක පත්‍රවලින් උකහා ගන්නා පොහොරක් කියලා හඳුන්වා දීලා තියෙනවා. එතකොට පත්‍රවලින් උකහා ගන්න කොට වල් පැළෑටි වලටත් මේක ඇතුල් වුනොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා ආදී වශයෙන් කිසිම පර්යේෂණයකින් තොරව ගෙනල්ලා තියෙන්නේ.”

    “ඊළඟට මොහු යනවා රහස් පොලිසියට. මේ මාධ්‍ය සංදර්ශනයක් මෙතන අපරාධයක් සිද්ධ වෙලා නෑ. අපරාධ සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ ගොවි ජනතාවට. මේ රටේ ගොවි ජනතාවයි මහින්දානන්දට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕන. පොහොර නැති කරලා ඒ අයගේ ජීවිත විනාශ කරලා මුළු රටම සාගින්නට ගොදුරු කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕන මේ රටේ ගොවි ජනතාව.

    එලෙසම ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව  පටහැනිව කටයුතු කිරීම පිළිබඳව රටේ ජනතාව මහින්දානන්ද ඇමැතිවරයාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යා යුතුය.

    “මම මහින්දානන්දට කියනවා මගේ ප්‍රකාශය මාධ්‍යවල වල ගියා මට අපහාසයට නඩු දාන්න කියලා. උසාවියේදී අපි හමුවෙමු ඇමතිතුමා අපි එතකොට බලාගමු. කවුද මේ වංචාව කළේ කියන එක පිළිබඳ සියලු දත්ත ලේඛන අපි ඉදිරිපත් කරනවා. මේ වන තෙක්ම මේක නැනෝ යූරියා මිසක් වෙන දෙයක් නෙවෙයි. යූරියා වල නයිට්‍රජන් තිබෙන බව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග කරපු සියලුම දෙනා දන්නවා. ඔබ නොදන්නවාට මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා මේ දස ලක්ෂ 800 ක පමණ සෑම ගොවි මහතෙකුටම රුපියල් 8000 ක් පමණ වෙන මේ මහා වංචාවට එරෙහිව මේ රටේ සියලු ජනතාව නැගී සිටිය යුතු වෙනවා. “

    චීන පොහොර නැව පිළිබඳව අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම නැවේ තිබෙනවාය කියන කොම්පෝස්ට් පොහොර කිලෝවක් රුපියල් 92 ක් වන බවය.

    “මේ රටේ විශාලතම කොම්පෝස්ට් අංගනය මගේ මහනගර අමාත්‍යාංශයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් කරගෙන ගිය කෙරවලපිටිය. ඉතාම විධිමත්ව ඒක කළා. අපි තොග මිල  තොග හැටියට රුපියල් පහත් දහයත් අතර මිලකට දුන්නා. ඒ වගේම අදාළ නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් එකතු කරලා මේකේ ගුණාත්මකභාවය ඉහළ නංවලා රුපියල් 30 බැගින් දුන්නා කිලෝව. දැන් මේ ගේන්නේ කීයද පිටරටින්? 92 යි. මේ රට තුළ හැම තැනකම බොහෝ ප්‍රාදේශීය සභාවල මේක හදනවා. කොම්පෝස්ට්. ලොකුම අංගනය කළේ අපි. එක කොම්පෝස්ට් කිලෝ එකක්වත් මේ කෘෂිකර්ම අමාත්‍යාංශය හදලා නෑ.”

    මෙහිදීද සිදු කරන්නේ වංචාවය. රටට අහිතකර පොහොරක් ගෙන එනවා වගේම ඒ අස්සේ අවම වශයෙන් එකට තුන් ගුණයක මහා වංචාවක් සිදු කරයි.

    “මේ රටේ ගොවි ජනතාව අමාරුවේ දාලා, රට සාගතයකට යොමු කරලා එතනින් නොනැවතී ඩොලර් හිඟයි කිය කිය නැවත වතාවක් මේ සීමිත ඩොලර් වලිනුත් මේ වැරදි පොහොර වර්ග ගෙනල්ලා ඒ වගේම ඒවායේ ගණන් හිලව් වලින් ඒ විදිහට ගහන එක මොන තරම් සහගහන අපරාධයක්ද?”

    මහින්දානන්ද මහත්තයා මං දැක්කා කියලා තියෙනවා ඊයෙත් ප්‍රසිද්ධියේ කිව්වා අපි ඉදිරියේ දේශපාලනයෙන් සමුගන්න යන්නේ කියලා. ඒ සමුගැනීම් වලින් හරියන්නෑ. මේවට ඔබ වගකිව යුතුයි. ඔබ විතරක් නෙමෙයි, ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයත් වගකිව යුතුයි. ජනාධිපති, අගමැති ඇතුළු ඇමති මණ්ඩලය වගකිව යුතුයි. ජනතාවගේ දුක් ගින්නේ ප බඩගින්නේ පැමිණිල්ල හා මේ පත් කරලා තියෙන අවමානයේ, අපහාසයට ඇතිවෙලා තියෙන කෝපයේ පැමිණිල්ල දැන් රට පුරා විභාග වෙනවා. ඒ නිසා එතෙන්ට යන්න කියලා කියනවා.”

    මෙවැනි දේශපාලන පැමිණිලි භාරගෙන ඒවා පසුපස හඹාගෙන යෑම මිස පාස්කු ප්‍රහාරය පිළිබඳව, මහ බැංකු වංචාව පිළිබඳව හෝ වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳව ඉදිරිපත් කොට තිබෙන අපරාධ චෝදනා හෝ නොවිසඳන තැනක් බවට අද රහස් පොලීසිය පත්ව තිබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

    “එහි නිලධාරීන් සියලු දෙනාටමත්, අපි කියනවා බොහොම පැහැදිලිව තමන්ගේ  වපසරියෙන් පිටත යම් යම් දෑ දේශපාලන උවමනාවන් වලට කරලා ඒවා මගින් නීතිය උල්ලංඝනය කරන්න උත්සාහ කරන්න එපා අර දුරකථන පණිවිඩ ගත්තා වගේ. ඒවා සම්බන්ධයෙන් අනාගතයේදී අනිවාර්යෙන්ම අධිකරණ වල වගකියන්න සිද්ධ වෙන බව ඒ ඇත්තන්ටත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා.”

  • ඉල්ලා අස්වෙන්න ගිය අලි සබ්රිට මොකද වුණේ ?

    ඉල්ලා අස්වෙන්න ගිය අලි සබ්රිට මොකද වුණේ ?

    අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලා අස්වීම ජනපතිවරයා විසින් පිළිනොගත් බව වාර්තා වේ. ඒ ජනපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවය.

    එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට  විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්  ඉල්ලා අස්වන බව  දැනුම්දෙමින්  ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) බාර දුන්නේය. මෙම ලිපි භාර දීමෙන් පසු අලි සබ්රි මහතා සහ ජනපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති අතර එහි දී අධිකරණ ඇමතිවරයා විසින් තම ඉවත් වීමට බලපෑ කරුණු ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත.

    අදාළ පත් කිරීම සම්බන්ධයෙන් තමාට පැහැදීමක් නැති බවත් නීති සකස් කිරීමට  රටේ නිශ්චිත ක්‍රමවේදයක් පවතිද්දී මෙවැනි කාර්යසාධක බලකා මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම  අනවශ්‍ය ගැටළු මතු වන්නක් බව ඔහු එහිදී ජනපතිවරයාට පෙන්වාදී ඇත. මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය තමා පත්කළේ  තමාට එම  කාරණයට අදාළව උපදෙස් ගැනීමට  විනා අන් දෙයකට  නොවන බවයි. එසේම   නීති සකස් කිරීමේ  කටයුතුවලදී  අනිවාර්යෙන්ම අධිකරණ ඇමැතිවරයාගේ  දායකත්වය ලබා ගන්නා බවද ජනපතිවරයා අධිකරණ ඇමැතිවරයාට සහතික වී ඇත.

    ඉහත  පත් කිරීම සම්බන්ධයෙන් සමහරුන් තුළ පවතින්නේ වැරදි අවබෝධයක් බවද වහාම එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවද  ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත්  පවසා ඇත.

  • ඥානසාර හිමියෝ ජනතාවගෙන් කළ කාරුණික ඉල්ලීම

    ඥානසාර හිමියෝ ජනතාවගෙන් කළ කාරුණික ඉල්ලීම

    මාස හතරකින් ප්‍රතිපල පෙන්වන තුරු විවේචන නොකර බලා සිටින්නැයි එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකයේ සභාපති , පූජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

    අතීතය අමතක කරන ලෙසත්, පරිණත වයසක සිටින තමන් තැන්පත් ගමනකට සුදානම් වන අතර, ඊට දොස් නොපවරණ ලෙසත් උන්වහන්සේ බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී පැවසූහ.

    ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතු, ’69 ලක්ෂය’, යොහානිගේ ගීතය, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය, රටේ වර්තමාන තත්ත්වය ගැන මෙම සංවාදයේදී ඥානසාර හිමියෝ අදහස් පළ කළහ.

  • ජනපති ගෝඨාභය ගැන ඩිව් ගුණසේකරගේ අලුත්ම අදහස

    ජනපති ගෝඨාභය ගැන ඩිව් ගුණසේකරගේ අලුත්ම අදහස

    “දැන්නම් මගේ නිගමනය මේ ගෝඨාභය රාජපක්ෂ නිකන් පඹයෙක් මිසක් ඔහුට බලයක් නැහැ කියලා” යැයි වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව්. ගුණසේකර මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (03) කොළඹදී පැවති සාකච්ඡා සභාවක් අමතමිණි.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ගුණසේකර මහතා‘‘නිදහසින් පස්සේ මහ ඔළමොට්ටල කැබිනට් එකක් තමයි මේකෙ තියෙන්නේ. හරක් රැලක් ඉන්නේ. සැබෑ අර්බූදය තිබෙන්නේ ආර්ථිකයේ අර්බූදය, දැන් ආණ්ඩුව දුවන්නේ මුදල් නෝට්ටු අච්චු ගහලා. බිලියන් 2000ක් විතර ගහල තියෙනවා දැන්. දැන් උපරිමයටම ඇවිල්ලා. ඩොලරුත් නැහැ. රුපියලුත් නැහැ. අපේ වාරික මුදල් අවුරුද්ධකට වරක් ගත්තු ණය ගෙවන්න ඕනා බිලියන් දෙකක්. ඒ ප්‍රමාණය තමයි සංචිතයේ තියෙන්නේ.

    බදුසමාව දීත තියෙනවා 14 වතාවක්. මේ අර්බුදය, රුපියලුත් නැහැ ඩොලරුත් නැහැ. බේ බැසිල් රාජපක්ෂ ගෙනාවා එකක් 14වෙනි බදු සමාව දුන්නා. එතකොට මිනිස්සුන්ට වුවමනාවක් නැහැ එකවුන්ට්ස් පෙන්නන්න වැඩක් නැහැ. බදු සමාවක් හම්බවෙනවනේ. බදු සමා කියන්නේ මේ ගොල්ලෝ ඔක්කොම බජට් එක හදන්න ඉස්සෙල්ලා ගිහින් හම්බවෙලා කියනවා “ඉලෙක්ෂන් ෆන්ඩ් එකට (මැතිවරණ අරමුදලට) සල්ලි දුන්නා, ඒකට තමයි ගතමනාව අපි බෙදන්නේ” මොන ආණ්ඩුව බලයට ආවත්.

    වක්‍ර බදු ඒ කියන්නේ පාරිභෝගික බද්ද 90%යි නැත්නම් 85%යි. අර අඩුවෙච්ච ඔක්කෝම අල්ලගන්නෙ දැන් පාරිභෝගිකයෝ; තමුන්නාන්සෙලා බඩු මිලදී ගැනිමේදි මාර්කට් එකෙන්.දැන්නම් මගේ නිගමනය මේ ගෝ්ඨාභය රාජපක්ෂ නිකන් පඹයෙක් මිසක් ඔහුට බලයක් නැහැ කියලා. මේ බලන්න පහුගිය දවස්වල ගත්තු මෝඩ තකතීරු තීරණ. සීනි වංචාව, වී, හාල්, පොහොර, ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නය. එක පිට එක. මම හිතන්නේ සදාචාරාත්මකද, පේන්නේ නැද්ද, තේරෙන්නේ නැද්ද, කියල මම අහන්නේ‘‘

  • මේ ආණ්ඩුව හදන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටගහන්න – විජිත හේරත්

    මේ ආණ්ඩුව හදන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටගහන්න – විජිත හේරත්

    “දැන් මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ජාතිවාදය ඉස්සරහට දාලා නැවත ගැටුමක් ඇති කරන්නයි. කතෝලික-බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා. සිරිල් ගාමිණී පියතුමාව යම් හෙයකින් අත්අඩංගුවට ගත්තොත් කතෝලික ජනතාව ඊට විරුද්ධව පාරට බහිනවා. ඒ අනුව ක්‍රමානුකූලව ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන අතර ඥානසාර හාමුදුරුවෝ කාර්යසාධක බලකායේ සභාපති හැටියට පත් කරනවා. අනාගතයේ වෙනත් ගැටුම් නිර්මාණය කරන්න ආණ්ඩුව බීජ වපුරනවා. ජන මනස අවුල් කරලා සමාජය නැවත ජාතිවාදී, ආගම්වාදී බෙදීම්වලට ලක්කරන්න උත්සාහ කරනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අවධාරණය කරයි.

    ඔහු මේ බව පැවසූවේ අද (03) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමු‍ණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස් දැක්වූ විජිත හේරත් මහතා,

    “බඩු මිල ඉහළ යාමෙන් ජනතාවට ජීවත් වෙන්න බැරිම තත්වයකට වියදම් වැඩිවෙලා, ඊට සාපේක්‍ෂව ආදායම් වැඩිවී නැහැ. ඒ වගේම ගෑස්, සිමෙන්ති, කිරිපිටි, සීනි, භූමිතෙල් හිඟයක් තිබෙනවා. මේ සියල්ලම ලබාගන්න පෝලිම්වල ඉන්න වෙලා. දැන් භූමිතෙල් පෝලිමකුත් තියෙනවා. ඒ වගේම පාලන මිල, පාලනයෙන් ගිලිහිලා. හාල්, සිමෙන්ති, සීනි, කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩවලට තිබුණු පාලන මිල අයින් කරලා. ආණ්ඩුවත් පාලනයෙන් අයින් වෙලා ඉන්නේ. මේ නිසා රටේ ජනතාව බරපතළ අර්බුද රැසක ගිළිලා.

    විශේෂයෙන් සිමෙන්ති හිඟ වීමත් එක්ක අපේ රටේ ශ්‍රම බළකායෙන් 07%-10%ත් අතර පිරිසකට රැකියා අහිමිවෙලා. මේ නිසා මේසන් බාසුන්නැහේට වගේම අත් උදව්කරුවන් ඇතුළු බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී අසරණභාවයට පත්වී තිබෙනවා. මේ නිසා ඔවුන්ට තනි තනියෙන් මහ පාරේ උද්ඝෝෂණය කරන්න සිදුවෙලා. දරු පවුල් රකින්න කිසිම මාර්ගයක් නැහැ. බොහෝ තැන්වල සිමෙන්ති කොට්ටයක් දෙන්නේ වැලි, ගඩොල් ගත්තොත් විතරයි. එහෙම තියෙද්දිත් එකක් රුපියල් 1500ත් 1600ත් අතර වෙනවා. අනිකුත් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල වේගයෙන් වැඩිවෙලා. රුපියල්. 95,000ට තිබුණු යකඩ කම්බි ටොන් එක රුපියල් 210,000 දක්වා වැඩිවෙලා. රුපියල් 02ට තිබුණු කොන්ක්‍රිට් ඇනය දැන් රුපියල් 05යි. යම්කිසි ඇස්තමේන්තුවක් කරලා ඉදිකිරීම් කර්මාන්තයේ යෙදෙන්නේ කොහොමද? ඉදිකිරීම් කරන්න බැහැ. මේ ක්‍ෂේත්‍රයේ හැම පැත්තෙන්ම මිල වැඩිවෙලා; අර්බුදයට ලක්වෙලා.

    සීනි බදු වංචාව

    ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් කුප්‍රකට ජාවාරමක් තිබෙනවා. සීනි බදු වංචාවෙන් මාස 03කදී රුපියල් කෝටි 1500ක් රජයට අහිමි වුණා. මේ තාක් සීනි ගෙන්වන්නේ ශත 25 බද්දට. මේ නිසා අද වෙනකොට රජයට වුණු පාඩුව රුපියල් කෝටි 6,000ක් විතර වෙනවා. ආණ්ඩුව පාලනයෙන් අයින් වෙලා ඉන්නේ. මේ ප්‍රශ්නවලට ජනතාව උත්තර ගන්නේ කාගෙන්ද? හැමදේම අයාලේ යන තත්වයට පත්වෙලා තියෙන්නේ. සිමෙන්ති ආනයනකරුවන්ගෙන් 10%ක කොමිස් ඉල්ලන බව කවුරුත් දන්නවා. සමහර ඇමතිවරුන් විවෘතවම ආනයනකරුවන්ට කතා කරනවා. එක පැත්තකින් ඩොලර් අර්බුදය තිබෙන අතර අනෙක් පැත්තෙන් 10%ක කොමිස් දුන්නම තවත් මිල ඉහළ යනවා. සිමෙන්ති මිල ඉහළ යාමට ආණ්ඩුව විසින් ඇතිකළ ඩොලර් අර්බුදයත් කොමිස් අය කිරීමත් හේතුවී තිබෙනවා. මේ රට මේ තත්වය තුළ ආර්ථික වශයෙන් මහා අර්බුදයකට ඇවිත් තිබෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව තිබුණු 4.8%ක උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේ 7.6% දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා තිබුණා. මේ තත්වය පාලනය කරන්න මොළ හතේ විකෘති මිනිසාට හැකිවුණේ නැහැ.

    ආණ්ඩුවේ වැරදි තීන්දු නිසා චීන ඉන්දියා පීඩනයෙන් බැට කන්නේ ලංකාවේ ගොවියෝ

    මේ අතර ගොවි ජනතාව පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නැති ප්‍රශ්නයට මුහුණදීලා. ආණ්ඩුවේ ඔළමොට්ටල තීරණ නිසා මුළු රටේම ගොවි ජනතාව මහ පාරට ඇවිත් සිටටිනවා. කෘෂි නිෂ්පාදන කඩාවැටිලා දැවැන්ත සාගතයක ලකුණු පහළ වී තිබෙනවා. ගොවි ජනතාවගේ ප්‍රශ්නයට මැදිහත් නොවුණු බව අගමැතිවරයා සංවත්සරයේදී කිවුවා. අද වුණත් ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැහැ. අර්වීනියා හා බැසිලස් කියන බැක්ටීරියා අඩංගු හානිකර කුණු කන්දක් ගේන්න ආණ්ඩුව ක්‍රියා කළ නිසා මහජන බැංකුවට විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ නැව ලංකාවේ මුහුදු සීමාවේ නැංගුරම් ලා තියෙනවා. නමුත් ඇමතිවරු කියන්නේ රේඩාර් පද්ධතියට පෙන්වන්නේ නැහැ කියලයි. අපේ රටේ ජාතික ආරක්‍ෂාව කෝ? බලහත්කාරයෙන් ඇවිත් තියෙන නැවට කිසිදු පියවරක් ගන්නේ නැහැ. ඒ වගේම මහජන බැංකුවට මේ වෙනුවෙන් ඩොලර් මිලියන 09ක් ගෙවන්න සිදුවෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 210ක්. මහජන බැංකුවේ සල්ලි මේ පොහොර ගෙනාවත් නැතත් ගෙවන්න සිදුවෙනවා. මහජන බැංකුවේ තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි. යූ.සී.ටී. 600 කියන ජාත්‍යන්තර නීතියට Uniform Custom and taxes) අනුව මේ සල්ලි ගෙවන්න බැඳිලා ඉන්නවා. මේක රාජ්‍යයන් දෙක අතර ගනුදෙනුවක් නොවන බව ජයසුන්දර මහත්තයා කියනවා. එහෙම නම් මොකටද තානාපති කාර්යාලය නිවේදන නිකුත් කරන්නේ? ඒ වගේම කෘෂිකර්ම ඇමතිවරයයි, රාජ්‍ය ඇමතිවරයයි තානාපති කාර්යාලයට ගිහින් කරුණු පැහැදිලි කරන්නේ ඇයි? ඒ වගේම මහජන බැංකුව චීන තානාපති කාර්යාලයට නිවේදනයකින් දැනුම් දෙන්නේ ඇයි?
    චීනයේ කුණු පොහොර ගෙන ඒමට අපේ නිරෝධායන ඒකකයෙන් බාධා එනකොට ආණ්ඩුව ඊළඟට ගත්ත ඔළමොට්ටල තීන්දුව ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙන්වන එකයි. පෞද්ගලික ගිණුම් මහජන බැංකුවේ විවෘත කර හදිසියේම කෝටි 29ක් දැම්මා. පහුගිය සිකුරාදා ඒ ගිණුම වහලා මහජන බැංකුවේ පොදු ගිණුමට දාලා ඒ හරහා ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන්වලට සල්ලි ගෙවනවා. කොමර්ෂල් පොහොර සමාගම එක්ක ඉන්දියාවේ සමාගම අත්සන් කරන ගිවිසුමක් අනුව මේ පොහොර ගේන බව කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තිබෙනවා. නැනෝ නයිට්‍රජන් ලීටර් ලක්‍ෂ 21ක් ඉන්දියාවෙන් ගෙන්වන්න ඩොලර් 529,125,00ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් කෝටි 1200ක් මේ වෙනුවෙන් වියදම් දරනවා. මේ සා විශාල මුදලක් අහිමි කර ගැනීමේ ගනුදෙනුව පිටුපස අයථා මූල්‍ය ගනුදෙනු සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍යතාන්ත්‍රික ගැටලුත් නිර්මාණය වෙලා තියෙනවා. චීනයත් ඉන්දියාවත් අතර බල අරගලය හමුවේ මේ රටවල් දෙකෙන් එකක් සමග කරන ආනයනයේදී චීනයේ පොහොර නැවැත්වීමෙන් චීනය රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් අපිට එල්ල කළා. තාම ඒ තර්ජනය අවසන් වුණේ නැහැ. එහෙම තියෙද්දී ඉන්දියාවෙන් පොහොර ආනයනයේදී සිදුවන බලපෑම ආණ්ඩුවට තේරෙන්න ඕනෑ. වැරදි තීන්දු නිසා ඇතිකරගන්න මේ තත්වයන් නිසා විශාල අර්බුදයකට රට මුහුණ දී තිබෙනවා. මේ වගේ තත්වයක් යටතේ අපේ රටේ ණය ගෙවීමේ හැකියාව තවත් පහත දැමීමට මූඩීස් ආයතනය ක්‍රියාකර තිබෙනවා.

    ජාතික සම්පත් විකිණීමට එරෙහි විරෝධය

    රටේ හැම තැනම බඩුමිල පිළිබඳ, වැටුප් පිළිබඳ සහ පොහොර ඇතුළු අනෙකුත් ප්‍රශ්න පිළිබඳ උද්ඝෝෂණ තිබෙනවා. ඒ වගේම ජාතික සම්පත් විකිණීමට එරෙහිව මේ රටේ වෘත්තීය සමිති විරෝධතා දියත් කර තිබෙනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න සියල්ල යට ගහන්න ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙනවා. මේ සියලු ප්‍රශ්න යට ගහන්න සුපුරුදු පරිදි කුමන්ත්‍රණකාරී දේශපාලන වුවමනාවන් ඉස්සරහට ගෙනත් තිබෙනවා. 2019 සිදුකළ කුමන්ත්‍රණකාරී දේශපාලනය නැවත වටයකින් කරළියට ගේන්න කටයුතු කර තිබෙනවා. හිටි හැටියේ එක රටක්, එක නීතියක් හදන කාර්යසාධක බළකායක් පිහිටුවන්නේ මේ නිසා. මේ පාලකයන්ගේ වැරදි ක්‍රමවේද නිසා පොඩි මිනිසාට එක නීතියකුත් බල පුළුවන්කාරයාට තව නීතියකුත් ක්‍රියාත්මක කරනවා. ජාති, ආගම්, කුල භේද අනුව තව පැත්තකින් වෙනස් විදිහට සලකනවා. නීතියේ ආධිපත්‍යය බිඳවැටෙමින් පවතිනවා. රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වගකිව යුතු ආණ්ඩුවක ප්‍රධාන කාර්යභාරයක්.

    එක රටක්-එක නීතියක්

    සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා. එක රටක්-එක නීතියක් සටන් පාඨය ඉස්සරහට ගෙනාවේ මේ අනුව. හැම දෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක කරන බව කීවා. නමුත් අද වෙනකොට දවස ගානේ නඩුවලින් කම්බා හොරුන්, මිනීමරුවන් නිදහස් වෙනවා. මොහාන් පීරිස් නීතිපතිවරයාගේ කාලයේ නඩු ඉල්ලා අස්කර ගත්තා වගේ අදත් සිදුකරවා. රජයේ නීතිඥයා විදිහට කටයුතු කරන නීතිපතිවරයා අදාළ සියලු සාක්‍ෂි ඇතුළත් ලිපිගොනු තිබියදී නඩු ඉල්ලා අස්කර ගන්වා. චෝදනා ඔප්පු කරන්න බැරුව නිදහස් වෙනවා නෙවෙයි. පිල්ලෙයාන් නිදහස් වුණෙත් එහෙම. රට තුළ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය පවත්වාගෙන යන්න නිශ්චිත විධිවිධාන තියෙනවා. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය වගේම පාර්ලිමේන්තුවත් තිබෙනවා. රටේ නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව. ඒ සම්පූර්ණ ක්‍රියාවලිය බැහැර කරලා ජනාධිපතිවරයා කාර්යසාධක බලකායක් පිහිටුවන්නේ නැවත ප්‍රශ්න ඇතිකරන්න. මේ පත්කිරීම්වලම තියෙන්නේ නීතිය හෑල්ලුවට පත්කිරීම. මේ කාර්ය සාධක බලකායෙත් සියලුම කොටස් නියෝජනය වෙන්නේ නැහැ. 52%ක් වූ කාන්තාවන් නියෝජනය කරන්නේ නැහැ. ගලගොඩඅත්තේ ඥානසාර හාමුරුවන්ට හාමුදුරුවන් වහන්සේ නමක් හැටියට අපේ ගෞරවය තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ මේ කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට උන් වහන්සේ පත්කරන ජනාධිපතිවරයාගේ. ඇත්තටම ඔහුගේ මොළය පරීක්‍ෂා කරන්න ඕනෑ. ජනාධිපතිවරයාගේ මානසිකත්වය ඒක නම් අපේ රටේ නීතියට අබ සරණයි.

    ජනාධිපතිවරයා විදිහට කල්පනා කරන්න ඕනෑ, මෙහෙම පත්කිරීම් ගැනද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ හාමුදුරුවන් වහන්සේගේ සිර දඬුවමින් මුදා හැරියා. ඒ හාමුදුරුවන් වහන්සේම නීති සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති හැටියට පත් කරනවා. මේ පත්කිරීමම බරපතළ ගැටලුවක්. මේ දවස්වල සිදුවීම් එක්ක බලනකොට පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ පිළිබඳව විවේචනය කළාම සිරිල් ගාමිණී පියතුමාව රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් කරනවා. මේ පියතුමාම අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. දැන් මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ජාතිවාදය ඉස්සරහට දාලා නැවත ගැටුමක් ඇති කරන්නයි. කතෝලික-බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා. සිරිල් ගාමිණී පියතුමාව යම් හෙයකින් අත්අඩංගුවට ගත්තොත් කතෝලික ජනතාව ඊට විරුද්ධව පාරට බහිනවා. ඒ අනුව ක්‍රමානුකූලව ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන අතර ඥානසාර හාමුදුරුවෝ කාර්යසාධක බලකායේ සභාපති හැටියට පත් කරනවා. අනාගතයේ වෙනත් ගැටුම් නිර්මාණය කරන්න ආණ්ඩුව බීජ වපුරනවා. ජන මනස අවුල් කරලා සමාජය නැවත ජාතිවාදී, ආගම්වාදී බෙදීම්වලට ලක්කරන්න උත්සාහ කරනවා.

    සංදර්ශනවලින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය යටගහන්න බැහැ

    සංවත්සර තියලා පෙන්වන සංදර්ශනවලින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය යටගහන්න බැහැ. ජනතාව මේ වනවිට පීඩා විඳින ප්‍රශ්න කිසිවකට සංදර්ශනවලින් උත්තර නැහැ. ඒ නිසා වෙනත් කුමන්ත්‍රණ ගේන්න, ජනතාව අතර ගැටුම් ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ජාතිවාදී උගුල්වල ගොදුරු බවට පත් නොවන ලෙසයි. ඔබේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහා දැනුවත්ව පෙරට එන්න. මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙන්න. මේ ආණ්ඩුවෙන් ඔබේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට එරෙහිව පෙළ ගැහෙන්න කියලා අපි සියලු ජනතාවට ආරාධනා කරනවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

    “ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව 20වැනි සංශෝධනයෙන් ලබාදී තිබෙනවා. මේ අවස්ථාව දී තිබෙන්නේ ඇමරිකන් පුරවැසියා පාර්ලිමේන්තුවට ගෙන එන්න කියලා අපි පැහැදිලිව කිවුවා. අද කතා කරන මහත්තුරුන් එදා ඇමරිකන් පුරවැසියා පාර්ලිමේන්තුවට ගේන්න උදව් දුන්නා. ඒ වගේම ඔහුට මුදල් ඇමතිකම ලබාදෙන්නත් සහයෝගය දුන්නා. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් උසාවිවල නඩු කියන පුද්ගලයෙකුට මුදල් ඇමතිකම ලබා දෙන්නත් ඔය අය සහයෝගය දුන්නා. කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට නොව ඇමරිකානු සමාගමකට දෙන බව කීවා. එහෙම කියපු මහත්තුරුන්ට ඉතිහාසයේ සරදමක් හැටියට අද ඊට මුහුණ දෙන්න සිද්ධ වී තිබෙනවා. මේ කරන්නේ තක්කඩිකමක්. ඇමරිකානු පුරවැසියා මුදල් ඇමති කරන්න සියලුම පසුබිම නිර්මාණය කරලා අද අපේ බලශක්තිය ඇමරිකාවට ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා. මෙතන තිබෙන්නේ නාට්‍යයක්.

    අපේ රටේ සම්පත් විකිණීමට එරෙහිව වරාය, ඛනිජ තෙල්, විදුලිය වෘත්තීය සමිති සන්ධානය විරෝධතා දියත් කර තිබෙනවා. ඒ සන්ධානය විවිධ දේශපාලන පක්‍ෂ එක්ක සාකච්ඡා කරමින් දැනුවත් කිරීම් කරනවා. එහි කිසිදු වැරැද්දක් අපි දකින්නේ නැහැ. වෘත්තීය සමිතිවල දැනුවත් කිරීම සහ රටේ ජනතාවගෙන් ඇතිවූ විරෝධය හමුවේ තමන්ගේ ඇමතිකමත් රැකගෙන ජනතාවගේ විරෝධය සමනයට පත් කරන්න උපක්‍රම තෝරනවා. තමන් ඉන්න නැව ගිලෙන බව තේරෙනකොට එයින් පැන ගන්න ක්‍රමයක් හොයනවා. පරණ හොරකම්වලට අදාළ නඩු, ෆයිල් තියෙනවා. ඒ නිසා පනින්නත් බැහැ. හැබැයි පනින්න වගේ පෙන්වනවා. ඇත්තටම මේක නාට්‍යයක්. අවංකව කරනවා නම් වෘත්තීය සමිතිවලින් ගිහින් දැනුවත් කරනකම් ඉන්න ඕනෑ නැහැ. කැබිනට් පත්‍රිකාව දැම්ම මුල් දවසේම විරුද්ධව නැගී සිටින්න ඕනෑ. රටේ ජනතාව දැනුවත් කරලා වෘත්තීය සමිති ඉස්සරහට යනකොට තමයි මේ අය නාට්‍යය පටන් ගත්තේ.”

  • තාප්පවල චිත්‍ර ඇන්ඳ තරුණයො අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ

    තාප්පවල චිත්‍ර ඇන්ඳ තරුණයො අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ

    • තාප්පවල චිත්‍ර ඇන්ඳ තරුණයො අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවා ද කියලා හොයලා ඒ අය ආයේ මේ රටට කැඳවාගන්න පුළුවන් දේශපාලනයක යෙදෙන්න
    • ජනතාවගෙ ප්‍රශ්නවලට ආවේගවලට මුහුණ දෙන දේශපාලනය පොදුජන පෙරමුණෙන් ඉටු කරන්න
    • එදා අපිව හිරේ විලංගුවේ දැම්මත් ජනතාව කලබල කරලා වර්ජන රැළි මෙහෙයවලා ජනතාව අඳුරේ තියන්න කටයුතු කළේ නෑ.
    • පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොවෙයි. ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්නත් ඕනෑ
    • අපි තේරුම් ගන්න ඕනෑ අපිට ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්ත්වයක.
    • බේරගත්ත රට අපි පාවා දෙන්නේ නෑ. අපි ගැන මතුවටත් ඒ විශ්වාසය තියන්න පුළුවන්
    • දෙමළ, මුස්ලිම් ජාතීන් ළං කරගන්න පුළුවන් නම් ඒක තමයි පොදුජන පෙරමුණට කරන්න පුළුවන් හොඳම කාර්යය.

    දේශපාලන පක්ෂ ලොකු කුඩා වුණත් දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් එකට එක පිලේ එක් අරමුණකට සටන් කළ අය මේ කවුරුවත් අපට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරුත් නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒනිසා එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    “අභිමානයෙන් සෞභාග්‍ය කරා”තේමාවෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද (02) දින පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    තාප්පවල චිත්‍ර ඇඳලා දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කිව්ව තරුණයන් අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවාද කියලා හොයලා බලලා,එහෙම ඉන්නව නම් ඒ අය ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විධියේ දේශපාලනයක යෙදීම පොදුජන පෙරමුණට ඇති ඓතිහාසික අනාගතවාදී කාර්යය බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි ජාතික මහා සම්මේලනය, පක්ෂයේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තියෙන් අභිෂේක ගැන්විණි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනයේ දී පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    මිත්‍රවරුනි, පොදුජන පෙරමුණේ පස්වෙනි සංවත්සරයටයි අද අපි එකතුවෙලා ඉන්නෙ. අළුත්ම පක්ෂයකට වසර පහක් තුළ ජනාධිපතිවරයෙක් බිහි කරලා තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තු බලයකුත් අරගෙන පස්වැනි සංවත්සරය සමරන්න ලැබෙයි කියලා එදා මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කළේ නෑ. නමුත් අලුත් දේශපාලන පක්ෂයකට ‍ඓතිහාසිකව කරන්න පුළුවන් මහා පෙරළිය අද අපි කරලා තියෙනවා. ඒ සඳහා හිරේ විලංගුවේ වැටෙන්න හෝ මහපාරට වැටෙන්න සුදානමින් වුනත් කැපවුණ සියලු දෙනාට මම මගේ ගෞරවය මේ මොහොතේ පිරිනමනවා.

    මිත්‍රවරුනි, පොදුජන පෙරමුණේ ගෙවුන පස් වසරක කෙටි ඉතිහාසයෙන් ලංකාවේ දේශපාලනයට ලොකු පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. ආණ්ඩු බලය අහිමි වෙලා මර්දනයට ලක් වුණාම නැගිටින්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න නම් පොදුජන පෙරමුණ ගත කරපු ගෙවුණ වසර පහ දිහා බලන්න. ඒ වාගේම විපක්ෂයේ ඉන්නකොට පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අතට අරගෙන ආණ්ඩුවක් එක්ක අරගල කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නන් පොදුජන පෙරමුණේ පක්ෂ ඉතිහාසයෙන් පුළුවන්.

    පොදුජන පෙරමුණ ගොඩ නගාගෙන යනකොට තමයි එදා දිගන ජාතිවාදී ගැටුම සිද්ධ වුණේ. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙත් අපි පොදුජන පෙරමුණ ගොඩනගමින් විපක්ෂයේ ඉන්න කොට. එබදු අවස්ථාවල ජනතාව කුමන්ත්‍රණකාරීව අවුස්සන්නේ නැතිව කෝප කරන්නේ නැතිව කටයුතු කරන්නේ කෙහොමද කියන එක තේරුම් ගන්නත් අපේ ගෙවුන ඉතිහාසයෙන් පුළුවන්. එපමණක් නොවෙයි පොදුජන පෙරමුණ මේ රටේ වාගේම විදේශවලත් බලපෑමට ලක්වුණා. මට මතකයි දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටවලා පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න කටයුතු කළ මොහොත. එදා පාර්ලිමේන්තුවට ආව විදේශ නියෝජිතයෝ අපිට එරෙහිව පාර්ලිමේන්තු ගැලරියේ ඉඳන් ජයඝෝෂා කරලා අත්පුඩි ගැහුවා. එබඳු බලවේගවලටත් මුහුණ දෙමින් තමයි  පොදුජන පෙරමුණ ගොඩනැගුවේ.

    මිත්‍රවරුනි, මොන තරම් මර්දනයට ලක් වුණත් මොන තරම් පීඩනයට ලක් වුණත් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තියලා වැඩ කළා. අපිව හිරේ විලංගුවේ දැම්මත් ජනතාව කලබල කරවලා වර්ජන රැළි මෙහෙයවලා ජනතාව අඳුරේ තියන්න කටයුතු කළේ නෑ. ඒ නිසාම තමයි වගකිවයුතු පක්ෂයක් හැටියට ජනතාව අපිව භාර ගත්තේ. ඒ වාගේම මොන බාධක කම්කටොලු ආවත් ජනතාව අත හැරලා දිව්වෙ නෑ. බය වෙලා කලබල වෙලා තීරණ ගත්තේ නෑ. ඒ නිසා තමයි මේ තරම් ඉක්මනට අපි මේ ගමන ආවේ. ඒ ඉතිහාසය මතක තියාගෙන තමයි ඉදිරියට යන්න ඕනෑ.

    මිත්‍රවරුනි, ආණ්ඩු බලය ගන්නා තුරු ඉතාම ඉවසීමෙන් කැපවීමෙන් අපි දේශපාලනය කරනවා. ආණ්ඩු බලය ගත්තාට පස්සේ අපි දේශපාලන කටයුතුවලින් ඈත් වෙනවා. හැබැයි ආණ්ඩු බලය ගත්තාට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලෙ වෙන් කරන්න පටන් අරන් තියෙනවා. අද අපිට වෙලා තියෙන්නෙ ඒකයි. පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොවෙයි.

    ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියට කරනවා වාගේම ජනතාව අතර දේශපාලනයක් කරන්නත් ඕනෑ. ආණ්ඩු බලයෙන් අමාත්‍යාංශවලින් රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලන කටයුතුවලින් ඈත් වුණ නිසා.

    අද ගොවි උද්ඝෝෂණ වුණත් මේ තරම් බරපතළ විදිහට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකළ නිසා. ඒ ජනතාවගේ හඬ අපි තේරුම් ගන්න ඕනෑ. ඒ හඬ අපට ඇහෙන්න ඕනෑ. දේශපාලනයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න අපි පරාද කරපු බලවේග පටු වාසි ගන්න  ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා පොදුජන එක්සත් පෙරමුණ මේ රටේ තහවුරු කරගන්න නම් පක්ෂයක් විදිහට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕනෑ.

    රජයේ බලධාරීන්, නිලධාරීන් පමණක් අපි වෙනුවෙන් ජනතාවට සේවය කරයි කියලා බලා ඉන්න එපා. සෞභාග්‍යයේ දැක්මේ තියෙන දේශපාලනය ක්‍රියාත්මක කරන්න වගකීම තියෙන්නේ ඔබගේ අතේ. කම්හලේ,වැඩබිමේ, ගොවිබිමේ අපේ පක්ෂයේ බලය තහවුරු කර ගන්න ඕනෑ.

    මිත්‍රවරුනි, අපි තේරුම් ගන්න ඕනෑ අපිට ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්ත්වයක. මේ වාගේ දුෂ්කර කාලවලට  මුහුණ දීලා මට නම් හොඳට පුරුදුයි. මේ වාගේ කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. ඒක තමයි සිරිත.

    ජනතාව බනින්න පුළුවන් පඹයො පුච්චන්න පුළුවන්. ඒත් අපි ජනතාව අතරට යන්න ඕනෑ. තමුන්නාන්සේලාට මතක ඇති කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පුපුරපු වෙලාවේ මම එතැනට ගියා. ජනතාව දොස් කිව්වා. ඇඬුවා. මගෙන් ඉල්ලීම් කළා. මට එදා ඔවුන් සනසන්න පුළුවන් වුණා. ඒ අය ඉදිරියේදීම මම ජාතියේ ආරක්ෂාවේ වගකීම බාර ගත්තා.

    ඒ වාගේම ඔබට මතක ඇති බේරුවල, අලුත්ගම සිද්ධිය. ඒ වෙලාවෙත් මම එතැනට ගියා. වුණ දේ දෑසින් දැක්කා.

    ආණ්ඩුවේ වාගේම විපක්ෂයේ ඉන්නකොටත් මම එහෙමයි කටයුතු කළේ. පාස්කු ප්‍රහාරය වෙලාවේ ආණ්ඩුවේ අය විනාස වුණ පල්ලියට යන්නත් කලින් මම එතැනට ගියා. ජනතාවගෙ ප්‍රශ්නවලට ආවේගවලට මුහුණ දුන්නා. එහෙම දේශපාලනයක් අද අපිට වුවමනායි. පොදුජන පෙරමුණ ඒ වගකීම යුතුකම ඉටු කරන්න ඕනෑ.

    මිත්‍රවරුනි, අපි නිතරම සමගියට අත වනන පක්ෂයක්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපට ලැබුණු උරුමයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වමේ දේශපාලන පක්ෂ එක්ක එකට හිටියා. වාද විවාද මැද වුණත් එකට වැඩ කළා.

    පොදුජන පෙරමුණත් ඒ ගැන හිතන්න ඕනෑ. සමහර පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබෙන්න පුළුවන්. පක්ෂ කුඩා වෙන්න පුළුවන්. ලොකු කුඩා නෙවෙයි දේශපාලනයේදී වැදගත් වෙන්නෙ. අරමුණයි වැදගත්. මේ හැමෝම අපිත් එක්ක එක මග යන අය. අපේ දුෂ්කර අවස්ථාවල එකට එක පිලේ සිටි අය.

    එක අරමුණකට සටන් කළ අය. මේ කවුරුත් අපිට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරු නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි.

    ඒ අයත් අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය. ඒ නිසා ඒ සියලු පක්ෂ එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීම.

    මිත්‍රවරුනි, අද තියෙන ප්‍රශ්න අපි ගෙනාපු ඒවා නොවෙයි. 2015 දී අපි බාර දීපු රට නොවෙයි 2019 අපි බාර ගත්තේ. අපි 2019 පොදුජන පෙරමුණ බලයට එනකොට ඇස් හිස් මස් ලේ පූජා කරලා රට බේර ගත්ත රණවිරුවෝ දං ගෙඩියට ගෙන යන ජාත්‍යන්තර යෝජනාවට ආණ්ඩුව එකඟ වෙලා තිබුනා.

    යහපාලන ආණ්ඩුව කාලේ මුලතිව්වල ගුරු කන්ද පංසලේ නායක හාමුදුරුවෝ අපවත් වුනහම උන් වහන්සේගේ සිරුරවත් උතුරේ තියන්න, ඒ පංසල් බිමේ ආදාහනය කරන්න ඉඩ දුන්නේ නෑ. එදා උතුරේ තිබුණ තත්වය ඒක තමයි. මුළු භික්ෂු ශාසනයටම කතා කළේ චීවරධාරීන් කියලා.

    ජාතික ආරක්ෂාව කියලා දෙයක් තිබුණෙම නෑ. ඒ විතරක් නෙමෙයි එම්.සී.සී. අත්සන් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිබුනේ. එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන එක නතර කළා වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරලා තිබුණු යෝජනාවත් අපි බලයට ඇවිත් ඉවත් කර ගත්තා. ඒත් ඒ සියල්ල අපි දැන් ආපස්සට හරවලා තියෙනවා.

    අපි ජාත්‍යන්තරය එක්ක හැප්පිලා මේවා කළේ එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙලා. මේ නොයෙක් විදිහට වෙස් වලාගෙන නොයෙක් සටන් නාමයෙන් අපේ ඉස්සරහට එන්නේ අපි ඒ කරපු දේවල්වල ප්‍රතිඵල. අපි ඒවායේ තියෙන දේශපාලනේ ජාතියට තේරුම් බේරුම් කරලා දීමේ වගකීම පක්ෂයක් හැටියට බාර ගන්න ඕනෑ.

    මිත්‍රවරුනි, අද රටේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ ගෙවුණ කාලය තුළ කළ කැපවීම ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඇයි ඒ.කතා කරන්න දෙයක් නෑ අපි එහෙමයි කියලා මේ රටේ ජනතාව දන්නවා.

    ඒ නිසා මම කියන්න ඕනේ නෝර්වේ සටන් විරාම ගිවිසුම ඉරා දාලා බේරගත්ත රට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව ප්‍රතික්ෂේප කරලා, එයින් ඉවත්වෙලා බේරගත්ත රට, එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකර ඉඳලා බේරගත්ත රට අපි පාවා දෙන්නේ නෑ. රට වෙනුවෙන් ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරපු අපි ගැන මතුවටත් ඒ විශ්වාසය තියන්න පුළුවන් බව මම කියන්න කැමැතියි.

    මිත්‍රවරුනි, පසුගිය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැමිණීම අපට විශාල ශක්තියක් වුණා. එතුමාගේ කැපවීම අවංකකම ගැන ජාතියේ විශාල විශ්වාසයක් තිබුණා. මේ පක්ෂය එතුමාට ශක්තියක් වුණා වාගේම එතුමාත් පොදුජන පෙරමුණට ආකර්ශනයක් ගෙනාවා. දේශපාලනය ඈත් කරලා සිටි විශාල තරුණ පිරිසක් එතුමා ගැන විශ්වාසය තියලා ඡන්ද පොළට ගියා.

    ඒ නිසාම පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් ගැන එතුමා විශ්වාසය තියලා තියෙනවා. ඒ නව තරුණ පිරිස ඒ විශ්වාසය ආරක්ෂා කරන්න ඕනෑ.

    මිත්‍රවරුනි, රට කරවන ප්‍රධාන දේශපාලන පක්ෂය හැටියට අපේ රටේ වර්තමාන තත්වය ගැන පැහැදිලි තක්සේරුවක් අපිට තියෙන්න ඕනේ. අපි ජනාධිපතිවරණයේදි ලබපු ජයග්‍රහණයත්, පාර්ලිමේන්තුවේ ලබපු ජයග්‍රහණයත් ඉතිහාසයේ කිසිම මැතිවරණ ජයග්‍රහණයක් සමඟ සංසන්දනය කරන්න බෑ. උතුරු නැගෙනහිර අන්තවාදී දේශපාලන පක්ෂවල සහයෝගය නැතුව ජනාධිපතිවරයෙක් බිහි කරන්න බෑ කියන විශ්වාසය හැමදාම තිබුණා. සෑම ජනාධිපතිවරණයකදීම අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙන්න සිද්ද වෙලා තිබුණා. නමුත් එබඳු ජාතිවාදී දේශපාලන පක්ෂවල බලපෑමට යටත් නොවී ජනාධිපතිවරෙක් බිහි කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ අපි දෙමළ, මුස්ලිම් ජනතාවගෙන් ඈත් වෙලා දේශපාලනය කරන්න ඕනෑ කියලා. ඒ ජාතීන් ළං කරගන්න පුළුවන් නම් ඒක තමයි පොදුජන පෙරමුණට කරන්න පුළුවන් හොඳම කාර්යය.

    ඒ වගේම අන්තවාදී දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල පදයට නටන්නේ නැතුව තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබන්න අපිට පුලුවන් උනා. වසර 70 කට වඩා ඉතිහාසයක් තියෙන ආණ්ඩු බලය තිබුණු එක්සත් ජාතික පක්ෂය එක ආසනයට බස්සන්න පොහොට්ටුවට පුලුවන් උණා.‍

    මතක තියාගන්න ඒක ඓතිහාසික ජයග්‍රහණයක් ඒ වාගේ ජයග්‍රහණයක් ලබා දීලා ජනතාව ජාතිය අපෙන් ඉල්ලපු දේ අපි තේරුම් ගන්න ඕනැ.

    මිත්‍රවරුනි, මට මතකයි අපි ජයග්‍රහණය කල මුල් දිනවල මේ රටේ තරුණයෝ මුළු රටේම තාප්පවල චිත්‍ර ඇන්දා. නන්නාදුන තරුණයෝ නම් ගම් ලියන්නේ නැතිව චිත්‍ර ඇන්දා. අතේ වියදමෙන් තීන්ත අරගෙන කාණුවල බැහැගෙන, බස් නැවතුම් පොළවල් රජයේ කාර්යාලවල තාප්ප, පාසල් තාප්ප මේ හැමතැනම මහ රෑ චිත්‍ර ඇන්දා. කාගෙවත් ඇරයුමක් තිබු‍ණේ නෑ. කාගෙවත් ඇණවුමක් තිබුණේ නෑ. ඒ අය රටට ආදරය කරන නන්නාදුනන තරුණයෝ. ඒ අය තමන්ගේ නම් වත් කොහෙවත් සටහන් කළේ නෑ.

    මිත්‍රවරුනි, අද ඒ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොහේද කියලා අපි දන්නේ නෑ. පක්ෂ දේශපාලනය පටන්ගත්ත දා ඉඳලා පෝස්ටර්වලින් තාප්ප කැත උණා. නගර අවලස්සන උනා. තරුණයෝ තාප්පවල චිත්‍ර ඇඳලා කිව්වේ, මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලයි. ඒ දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කියලයි. අපි ඒ පණිවුඩය තේරුම් ගන්න ඕනා.

    අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න. ඒක තමයි පොදුජන පෙරමුණේ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය.ඔබ සැමට සුබ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

  • එක රටක් – එක නීතියක් හදන්නේ මෙහෙමයි !  – ඥානසාර හිමියන් කළ සුපිරි කතාව

    එක රටක් – එක නීතියක් හදන්නේ මෙහෙමයි ! – ඥානසාර හිමියන් කළ සුපිරි කතාව

    “ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම” වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු කිරීමට කැපවන බව  එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

    එකී කාර්යභාරය ඉටුකිරීමේදී මූලික ප්‍රතිපත්ති රාමුවක් තුළ පිහිටා කටයුතු කරන අතර ජාතිය, ආගම, කුලය හෝ වෙනත් සාධකයක් මත කිසිදු පුරවැසියෙකු නීතියේ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

    “එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ” කාර්යභාරය පිළිබඳ ප්‍රථම මාධ්‍ය හමුව අද (01) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

    කුමන ජන කොටසකට, ආගමකට හෝ දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ සියල්ලටම උඩින්, රට අංක එකට තබා කටයුතු කළ හැකි නම්, එ වැනි රටක නීතිමය රාමුව පිළිබඳ සියලු අදහස්වලට  සවන් දීමට කාර්ය සාධක බලකාය සූදානම් බව මෙහිදී අවධාරණය කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙම ගැටලුව පිළිබඳ පුළුල් කියැවීමක් සහ ගැඹුරු අධ්‍යයනයක් ජනාධිපති කාර්ය සාධක බලකාය සතුව පවතින බව පැවසූහ.

    අපගේ වගකීම වන්නේ රටේ අනාගත පරපුර ඊළග සියවසට සහ ඉන් ඔබ්බට ගැළපෙන එක් ජාතියක් – එක් කොඩියක් යටතට එක් කළ හැකි, රටට ගැළපෙන එක් නීතියක් නිර්මාණය කිරීම බව ද උන්වහන්සේ පැවසූහ.

    අපට අවශ්‍ය පටු බෙදීම්වලින් මිදුනු ඒකීය ජාතියක් ලෙස එකිනෙකාගේ සංස්කෘතික, ආගමික උරුමයන්ට ගරු කරමින් සමගි සම්පන්නව එකට ජීවත්වන ජාතියක්. අපගේ වගකීම වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස හෝ බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ලෙස හෝ නොබෙදුනු එම සියලු ජාතීන් එකට ගොනු කරන එක නීතියක් මේ රට තුළ ගොඩනැගීමට අවශ්‍ය පරිසරය සැකසීමයි.

    ජාති, ආගම්, පළාත් අනුව බෙදීම හේතුවෙන් වැඩිම පීඩාවකට ලක් වූයේ මේ රටේ තරුණ පරපුරයි. එබැවින් මෙම ක්‍රියාවලිය තුළ තරුණ පරපුරට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව පැවසූ උන්වහන්සේ විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ විවිධ සංවිධාන නියෝජනය කරන සියලු තරුණ තරුණියන්ට සිය අදහස් සහ යෝජනා කාර්ය සාධක බලකාය වෙත  ලබාදෙන ලෙස ආරාධනා  කරන බව ද පැවසූහ.

    එමෙන්ම මේ පිළිබඳ රටේ සියලු දේශපාලන පක්ෂ, ආගමික හා සිවිල් සංවිධාන සහ කණ්ඩායම් සමග ඉදිරියේ අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ උන්වහන්සේ සැගවුණු න්‍යාය පත්‍රවලින් තොරව එන සියලුදෙනාට සාකච්ඡාව විවෘත බව  සඳහන් කළහ. මේ සියලු අදහස් විමසීමෙන් අනතුරුව කාර්ය සාධක බලාකයේ මතය සහ නිර්දේශ නියමිත කාලය තුළ ජනාධිපතිතුමා වෙත භාරදීමට අපේක්ෂා කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

    ශ්‍රී ලංකාව තුළ “එක් රටක් -එක් නීතියක්” ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කර පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්යභාරය  “එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය” වෙත පැවරී තිබෙන බව එහි සාමාජික මහාචාර්ය සුමේධ සිරිවර්ධන මහතා සඳහන් කළේය. එසේ නොමැතිව නීති සැකසීමේ බලයක් ජනාධිපති කාර්ය සාධක බලකායට නොමැති අතර එය ව්‍යවස්ථා සභාව විසින් සිදු කරනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය

  • කාබනි පොහොරවලට විරුද්ධ කවුද ? – ජනපති ගෝඨා ජාත්‍යන්තරයට කී සුපිරි කතාව

    කාබනි පොහොරවලට විරුද්ධ කවුද ? – ජනපති ගෝඨා ජාත්‍යන්තරයට කී සුපිරි කතාව

    මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව යටතේ ශ්‍රි ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    එරට වේලාවෙන් ඊයේ (31) ප.ව 5.00 ට මෙම සම්මන්ත්‍රණය පැවැත්විණ.

    සිය රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාෂයන්ගෙන් ඒ බව මනාව පිළිබිඹු වන බව  පැවසීය.

    නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකොට  කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයකි. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් වී තිබේ. රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම සන්දර්භය තුළ බව  කියා සිටියේය.

    මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා එල්ල වී තිබේ. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ ඇති අතර, ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්  බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගිතිශීලි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන්නේ, සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙස එයට මුහුණදෙන සම්පත් බාධක මාධ්‍යයේ බව පැවසූ ජනාධිපතිතුමා සංවර්ධන වැඩසටහන් සමගින් එවැනි න්‍යාය පත්‍රයක් පවත්වාගෙන යාම විශේෂයෙන් කොවිඩි වසංගතයෙන් පසුව, සංවර්ධනය වෙමින් පවතින සියලුම ජාතීන්ට අභියෝගාත්මක බව ද පෙන්වා දුන්නේය.

    සංවර්ධිත රටවල් මගින් එවැනි ජාතීන්ට සංවර්ධන ආධාර, තාක්ෂණ හුවමාරු කිරීම්, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය සහාය හරහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා මෙහිදී ව්‍යාපාර සඳහා සැලකිය යුතු කාර්යභාරයක් පවතින අතර තිරසර සංවර්ධනය සඳහා ආයෝජන කිරීමේ දී සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ද සඳහන් කළේය.

    අද ජීවත්ව සිටින අප සියලුදෙනා මේ මිහිතලයේ භාරකරුවෝ වන්නේ අනාගත පරපුර වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිතුමා හැකි අයුරින් ඊට දායක වෙමින් සෞඛ්‍ය යහපත තහවුරු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද කියා සිටියේය. සියලු දෙනා සාමුහිකත්වයෙන් සහ සයෝගයෙන් මෙය ඉටුකරන්නේ නම් ජනතාවට සහ පෘථිවියට ධනාත්මක වෙනසක් උදාකර දිය හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    හරිත කෘෂිකර්මාන්තයට 100%ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටින බව සම්මන්ත්‍රණයට පැමිණ සිටි විදේශ නියෝජිතයන් පිළිගනිමින්  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුම් සහිත හරිත – සමාජ ආර්ථිකයක් නිර්මාණය කිරීම එහි අරමුණ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

    ඉතිහාසයේ සිටි සහ වර්තමානයේ ජීවත්වන සියලු විද්‍යාඥයන් නයිට්‍රජන් සම්බන්ධව කරන ලද සොයා ගැනීම් අගය කළ අමාත්‍යවරයා නයිට්‍රජන් සොයා ගැනීමෙන් සියවස් ගණනාවකට පසු ශ්‍රී ලංකාව ද එම අභියෝගය ජය ගනිමින් සිටින බව සඳහන් කළේය.

    “දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව  COP :26 සහ ඉන් ඔබ්බට” යන මාතෘකාව ඔස්සේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා අදහස් දැක්වූ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද අදහස් දැක්වූවාය.