Category: සුපිරි Politics

  • සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගැන අගමැති දුන් නව නියෝගය

    සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගැන අගමැති දුන් නව නියෝගය

    සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු හා අපේක්ෂිත වැඩපිළිවෙල සමඟ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින උපදෙස් දුන්නේය.

    ඒ අනුව අදාළ සාකච්ඡාවල දී ඉස්මතුවන කරුණු ත්‍රෛයිමාසිකව සමාලෝචනය කරමින් සංවර්ධන කටයුතු සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් පවත්වාගෙන යන්නැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ හා විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ  රාජ්‍ය ආයතන තුනක දෙවැනි කාර්තුවේ ව්‍යාපෘති ප්‍රගතිය විමසා බැලීම අරලියගහ මන්දිරයේ දී අද පෙරවරුවේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    2021 වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රුපියල් මිලියන 55,452 ක් වෙන්ව තිබෙන බව අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

    අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ මුදල් මේ වසර අවසන්වීමට පෙර ව්‍යාපෘති සඳහා වැය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව හෙතම සඳහන් කළේය.

    මෙහි දී ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අත්‍යවශ්‍ය  බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිලධාරිහු අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.

    වැටුප් ගෙවීමට ඒ ඒ ආයතනවලට ආදායමක් ඇත්නම් ඇබෑර්තු පුරවන්න තහනම් කර නැහැ. අවශ්‍යම අය ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

    පානදුර නගරය ජලයෙන් යටවීම පාලනයට කිසියම් ව්‍යාපෘතියක් මේ දක්වා සැළසුම් කර නොමැතිවීම ගැන අග්‍රාමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

    අනාගතයේ පානදුර නගරය ජලයෙන් යට නොවන්න ව්‍යාපෘතියක් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

    වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ දැනට දිස්ත්‍රික්ක හයක වැව් 65ක් හඳුනාගනිමින් කරනු ලබන ප්‍රතිසංස්කරණ කටුයුතු පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.

    අදාළ වැව් 23ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව ඇති බව නිලධාරින් මෙහි දී පෙන්වා දුන්නේය. මෙසේ ප්‍රතිසංස්කරණය කරන වැව්වල නාමාවලියක් සහ අදාළ තෝරාගැනීම් කළ අකාරය සඳහන් වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    කාර්යය මණ්ඩල බඳවා ගැනීමේ දී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු කර ගැනීමට ද මෙහි දී යෝජනා විය.

    නෞකා මගින් සිදුවන සමුද්‍රයීය දූෂණය වැළැක්වීම සියයට 65ක් පමණ ප්‍රගතිය දක්වා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය මෙහි දී පැවසුවාය.

    එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට වූ හානිය පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

    මෙම නෞකා අනතුරෙන් වූ හානිය සම්බන්ධයෙන් අදාළ අධිචෝදනා පත්‍රය නීතිපති දෙපාර්තමේන්තුවේ සහය ඇතිව කඩිනමින් ඉදිරිපත් කරන බව ලහඳපුර මහත්මිය පැවසුවාය.

    අදාළ නෞකා අනතුරෙන් වූ පරිසර හානිය ගණනය කරමින් වන්දි ලබා ගැනීමට අනුගතවීම සඳහා ලන්ඩන් සීපාස් ආයතනයට ජල හා ප්ලාස්ටික් සාම්පල් යවා ඇති බවත් ප්‍රංශයේ සෙඩ්රි ආයතනයට ජෛව සාම්පල් යවා ඇති බවත් මෙහි දී හෙළි විය.

    මේ සම්බන්ධයෙන් මහාචාර්යවරුන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් පත්කළ 40දෙනෙකුගෙන් යුතු විද්වත් කමිටුව මූලික විද්වත් කමිටු වාර්තාව ලබන නොවැම්බර් මාස 30වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ලහඳපුර මහත්මිය හෙළි කළාය.

    මෙයට අමතරව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් දෙපාර්තමේන්තුව 2021 වසරේ ව්‍යාපෘති 40ක් හඳුනාගෙන ඉන් 14ක් නිම කර තිබේ.

    ප්‍රගති සමාලෝචනය අවසානයේ අග්‍රාමාත්‍යවරයා අතින් ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු මුල්‍ය වාර්තා ආකෘති පත්‍රය ඒ ඒ ආයතන ප්‍රධානීන්ට ලබා දුන්නේය.

  • මැතිණියගෙන් හාල් පොළු – ගෝඨාගෙන් පෝර පොළු – ඉනාමළුවේ සුමංගල හිමියෝ කළ සුපිරි දේශනාව

    මැතිණියගෙන් හාල් පොළු – ගෝඨාගෙන් පෝර පොළු – ඉනාමළුවේ සුමංගල හිමියෝ කළ සුපිරි දේශනාව

    රජය ක්‍රියාත්මක කරන කාබනික පොහොර වැඩපිළිවෙළට කන්ඩලම ජලාශයේ වම් ඉවුර ගොවි සංවිධානය සම්පූර්ණ කැමැත්ත පළ කර සිටින බවත් එහෙත් මෙම පොහොර  ක්‍රියාන්විතය මැතිණිය  විසින් රැගෙන ආ හාල් පොල්ල මෙන් ක්‍රියාත්මක කිරීමේ ගැටලුව  කඩිනමින් නිරාකරණයය විය යුතු බව  සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහානායක  ආචාර්ය ශාස්ත්‍රපති  පණ්ඩිත ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ 22 දින අවධාරණය කළහ.

    කණ්ඩලම දෙවන දෙවන පියවර ශ්‍රී  සුමංගල ගොවි සංවිධානයේ කන්න රැස්වීම එහි සභාපතීත්වය දරන ආචාර්ය ඉනාමළුවේ  ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද (22) දින දඹුල්ල උයන් වත්ත විහාරස්ථානයේ පිහිටි ශ්‍රී ආනන්ද නාහිමි  සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    එහිදී වර්තමාන පොහොර ගැටලුව පිළිබඳව රටේ ගොවි සංවිධාන මේ වනවිටත් දැඩි අරගලයක නිරත වන අවස්ථාවක තම ගොවි සංවිධානය කිසිදු ආකාරයකින් අරගලයකට නොඑන බව නාහිමියෝ අවධාරණය කළහ.

    මෙරට  ගොවියන්   සංවිධානාත්මකව මේ වනවිට අරගලයක නිරත වන බවත් තම ගොවි සංවිධානය එවැනි කිසිදු අරගලයකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කරන කාබනික පොහොර වැඩසටහන්ට පූර්ණ සහ සහයෝගය ලබා දෙන බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ මැතිනියගේ කාලයේ දේශීය  කෘෂිකර්මාන්තය  ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ වැඩසටහන්  ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු  සහගත තත්වය  නිසා එය ජනතාව ප්‍රතික්ෂේප කළ බවය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද කාබනික පොහොර ව්‍යාපෘතිය ද එවැනි තත්වයකට  නිර්මාණයය වෙමින් පවතින බව උන් උන්වහන්සේ පෙන්වා දෙමින් කියා සිටියේ තම ගොවි සංවිධානයේ මතය වන්නේ එකවරම කාබනික පොහොර භාවිතයට මහ පොළොව ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බවත් ක්‍රමයෙන්  මහපොළොව  රසායනික  තත්ත්වයෙන්  මුදවාගෙන කාබනික තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට රජය යා යුතු  බව ය. එසේ නොවන්නේ නම් වර්තමාන ජනාධිපති වරයාගේ  කාබනික පොහොර වැඩසටහන ද මැතිණියගේ හාල් පොල්ල මෙන් වර්තමාන ජනාධිපති වරයාගේ පොහොර පොල්ලක්  බවට පත්වනු ඇතැයි  නාහිමියෝ අවධාරණය කළහ.

    මෙරට බොහෝ ජනතාව විවිධ රෝග පීඩාවන් වලට පත්ව ඇත්තේ මෙම රසායනික පොහොර සහ කෘෂි ද්‍රව්‍ය නිසාවෙන් බවත් මෙරට ගොවීන් දහඩිය  මහන්සියෙන් උපයන විශාල මුදලක් පොහොර සඳහා පිටරට සමාගම්වලට ලබා දීම හා එහි ආදීනව උන්වහන්සේ ගොවීන් හමුවේ අවධාරණය කරන්නට වූහ. එම නිසා ශ්‍රී සුමංගල ගොවි සංවිධානය කිසිදු ආකාරයකින් අරගලයකට හෝ වැඩවර්ජනයකට නොගොස් ඉතා සෙමින් සූක්ෂම ලෙස කාබනික වගාවට යොමු වීම සිදු කළ යුතු යැයි උන්වහන්සේ ගොවීන්ට මෙන්ම ජනපති වරයාටද  අවවාද අනුශාසනා කරන්නට වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝො

    “අපි ගොවි සංවිධානයක් හැටියට උද්ඝෝෂණ කළේ නැහැ, පෙළපාලි කළේ නැහැ. ප්‍රශ්නයක්  ඇති වුණොත්  අපි දන්නවා ඒක විසඳාගන්නා ක්‍රමය කාලයාගේ ඇවෑමෙන්  විසඳෙන ඒවත් තියෙනවා. හැබැයි මිනිස්සු අතරේ කතාවක් තියෙනවා පොහොර ප්‍රශ්නයක් අර මැතිනියගේ කාලේ හාල් පොල්ල වගේ කියලා. දැන් මිනිස්සු  ජනාධිපතිතුමාගේ නමේ කෑල්ලත් ඉස්සරහට දාලා පොහොර පොල්ල කියලා කියනවා “

    “මෙම පොහොර සිද්ධියේදී මම කිසි විටෙක එම ප්‍රතිපත්තිය වැරදියි කියලා කියන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය හරි. එදා සිරිමාවෝ බණ්ඩාර බණ්ඩාරනායක මැතිනිය ගත් තීරණයත් හරි. එතුමිය කළේ අපේ රටේ ආහාර අපේ රටේම  නිෂ්පාදනය කරගන්න, ජනතාව එය  ප්‍රතික්ෂේප කරන්න හේතු වුණේ  ක්‍රියාත්මක කිරීමේ තිබුණු ගැටළු සහගත තත්වය නිසා.”

    “මම හිතන්නේ ජනාධිපතිතුමා මේ ගත්තු තීරණය වැරදි නැහැ. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න යාන්ත්‍රණය තමයි වැරැද්ද තියෙන්නෙ. ඒක වහා නිවැරදි විය යුතුයි. එක වැරම කාබනික පොහොර දාලා මේ මහාපොළොව වෙනස් කරන්න බැහැ. ක්‍රමක් ක්‍රමයෙන් කාලයක් යනකොට තමයි මෙය ක්‍රියාත්මක විය යුත්තේ. රසායනික පොහොර විශාල වශයෙන් අපි  මහපොලොවට දාලා පොළොව මරලා තියෙන්නේ. මිය ගියපු මේ මහ පොළොව එක වැරම කාබනික පොහොර දාලා ශාකයක මූල මණ්ඩලය හදන්න බැහැ. ඒ නිසා  ඉතා පරෙස්සමෙන් මේ මහපොළොව කාබනික පොහොර වලට හුරු කිරීම රජය සිදුකල යුතුයි. එහෙම නැති වුණොත් සිද්ධවෙන්නේ එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ හාල් පොල්ල වගේ වර්තමාන ජනාධිපතිතුමාටත් පොල්ලක් නම පට බැඳෙන එක විතරයි වෙන්නේ .”

    “අපේ රටේ  මුදල් කොපමණ ප්‍රමාණයක් විදේශ රටවලට ලබා දෙනවාද ? අපේ රටේ මිනිස්සුන්ට  හැදිලා තියෙන ලෙඩ රෝග  කොපණමද හැදිලා තියෙන්නේ වකුගඩු රෝගීන්  ප්‍රමාණයක් ඉන්නවා ද ? ඒ සඳහා කොපමණ ඖෂධ ප්‍රමාණයක් ලංකාවට ගෙන්වනවා ද  කොපමණ ප්‍රමාණ යක් හම්බ කරන ධනය  ඖෂධ සඳහා අපේ ගොවීන් වියදම් කරනවද ? මෙන්න මේවා අපේ ගොවීන් වටහා ගත් යුතුයි”

    “ඒ නිසා අපේ ගොවි සංවිධානයේ සියලු ගොවීන් ගෙන් අපි ඉල්ලා සිටිනවා කණ්ඩලම වම් ඉවුර  ගොවි සංවිධානය කිසිම ආකාරයකින් මේ පොහොර සිද්ධියට විරෝධය දාලා පෙලපාලි යන්නේ නැහැ. අපි ක්‍රමක්‍රමයෙන් කාබනික පැත්තට හැරෙමු. ඒ සඳහා ජනාධිපතිවරයා ගේ අවධානය යොමු විය යුතුයි. කඩිනමින් මේක කරන්න බැහැ. ක්‍රම ක්‍රමයෙන් මහපොළොව සුවපත් කරගෙන මේ  කාබනික පොහොර ක්‍රමය රටේ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම කාබනික පොහොර හදනවා කියලා ප්‍රමිතියෙන් තොර පොහොර නිෂ්පාදනයට ඉඩ දෙන්න එපා‘‘.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ‘CID එක මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළා‘ – හිටපු ඇමති චම්පික රණවක

    ‘CID එක මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළා‘ – හිටපු ඇමති චම්පික රණවක

    නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කොට ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (ඔක්තෝබර් 21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109:06 වගන්තිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක්  තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යාංශය තුළ සිදුවේ යැයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉන් දන්වා තිබූ බවත් රණවක මහතා මෙහිදී අනාවරණය කළේය.

    “ඒ නොතීසිය මා වෙත එව්වෙ ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මැතිතුමා. එහිදී විශාල මාධ්‍ය ප්‍රචාරයක් ආණ්ඩුවේ මාධ්‍යවලින් ප්‍රකාශ කළා. මම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ඉන්න කාලේ රුපියල් මිලියන 150 ක් අවභාවිතාවක් කළාය කියලා ප්‍රචාරක වැඩ කටයුත්තක් ගැන. නමුත් ඒ නොතීසිය තිබුණේ රුපියල් මිලියන 75 ක ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න. අපේ හිටපු අග්‍රාමාත්‍යතුමාගෙ අමාත්‍යාංශයෙන් එවපු ලිපියකට අනුකූලව අදාළ අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කරන්න කියලා ඒ ලිපියෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ ඉල්ලීම සම්බන්ධයෙන් මම අපේ ලේකම්තුමා ඇතුළු ඒ කාලේ හිටපු අපේ නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු ඒ කණ්ඩායමත් එක්ක කළමනාකරණ රැස්වීමේ මූලාසනය දරුවද කියලා ඇහුවා. මං කිව්වා ඔව් කියලා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. අපි හැමදාම කළමනාකරණ රැස්වීම් පැවැත්වූවා. ඒ අනුව ඒ පැවැත්තුවද කියලා.”

    මේ සාකච්ඡාව ඉදිරියට යද්දී 2018 සහ 2019 වර්ෂවල තම දුරකතන සංවාදයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සවන් දී ඇති බව මෙහිදී හිටපු අමාත්‍යවරයාට දැනගැනීමට ලැබී තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වෙනි වගන්තියට අනුව එවැනි විමර්ශනයක යෙදෙන පොලිස් නිලධාරීන්, දුරකථන සංවාද සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ අවසරයක් ලබා ගත යුතුය .

    “මම ඇහුවා එවැනි අවසරයක් ගත්තද මගේ දුරකථන වලට සවන් දෙන්න මහේස්ත්‍රාත්වරයාගෙන්? ඔවුන් මට ප්‍රකාශ කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ විසින් ඒවා ඔවුන්ට ලබා දීපු බව. එතකොට එවැනි මහේස්ත්‍රාත් අවසරයක් තිබුණු නැති බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මගේ ඒ ප්‍රකාශයේ ඒ බවත් මම සඳහන් කළා.”

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම පුද්ගලිකත්වයට ඇති අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන් භුක්ති විදින පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල මෙහිදී නීති විරෝධීව උල්ලංඝනය කොට තිබෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 2 වැනි වගන්තිය මගින් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද දැක්වෙන එහි 7 වැනි වගන්තිය මගින් ද මේ වරප්‍රසාදයන්ට අමතරව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සතු වරප්‍රසාද ද මීට අයත් වන බව ඔහු මෙහිදී සිහිපත් කළේය.

    “ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු ප්‍රධාන වරප්‍රසාදයක් වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එම වරප්‍රසාදය නිරුක්ති කර ගැනීමේදී මේ වන විට මේ රට තුල බලාත්මක වන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් පිළිබද සම්මුතියේ 19 වෙනි වගන්තියේ සඳහන් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දේශ සීමා හා මායිම් තුළ නොසිට හා තොරතුරු හා අදහස් සොයා යාම ලබා ගැනීම හා බෙදාහැරීමේ නිදහස තම අදහස් වාචිකව ලිඛිතව මුද්‍රිතව ඕනෑම ආකාරයකින් වෙනත් මාධ්‍යයක් තුළින් ප්‍රකාශ කළ හැකි බවයි. ඉහත කී පසුබිම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම දුරකථනය එම අදහස් ප්‍රකාශ කිරීම සඳහා අත්‍යන්තයෙන්ම උපකාරී වන මෙවලමක් ඒ තුළ මන්ත්‍රීවරයෙකුගේ පුද්ගලික නිදහසට යටත් වන තොරතුරක් වන තමන් සතු වරප්‍රසාද තොරතුරක්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ පාර්ලිමේන්තු වරප්‍රසාදය උල්ලංඝනය කරලා තියෙන බව මගේ හැඟීමයි.”

    නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන්ට අදාළ දත්ත, අදාල දුරකථන සේවා සැපයුම්කරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුදාහැරීම මගින් අදාළ සේවා සැපයුම්කරුවන් ද තම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

    “ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු වරප්‍රසාද කඩ කිරීමට අදාළ විධිවිධාන පනතේ 22 වෙනි වගන්තිය මඟින් ප්‍රතිපාදනය කරලා තියෙනවා. මා කියා සිටින්නේ ඉහත වරප්‍රසාද කඩ කිරීමේ පනතේ ආ පරිශ්ඨයේ දහවෙනි වගන්තිය යටතට ගැනෙන වරද බවයි මේ. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හා අදාළ දුරකථන සේවා සැපයුම්කරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවා මූලික පරීක්ෂණයක් සිදුකරන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම එකී මූලික පරීක්ෂණයෙන් අනතුරුව, 22:2 වගන්තියට අනුව, මෙම වරප්‍රසාද කඩකිරීම පනතේ, සඳහන් කොට ඇති වරදක් සිදුකොට ඇති බව, බැලූ බැල්මට පෙනී යන්නේ නම්, පනතේ 23 වෙනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සිදුකරන ලද විමසීමකින්, දඬුවම් කළ හැකි වරදක් බවත්, මා මේ අවස්ථාවේ ඔබතුමාට සිහිපත් කරනවා.”

    ඒ අනුව, මගේ වරප්‍රසාද උල්ලංඝනයට අදාළ පැමිණිල්ල පිළිබඳ පනතේ 25 වෙනි වගන්තිය මගින් සලසා ඇති ප්‍රතිපාදන මත කටයුතු කිරීම සඳහා ගරු කථානායකතුමා විසින් නීතිපතිවරයාගෙන් වාර්තාවක් කතානායකතුමන් වෙත කැඳවන මෙන්ද එසේ කැඳවන වාර්තාව සභාගත කරන මෙන්ද එම වාර්තාව පදනම් කරගනිමින් පාර්ලිමේන්තුව තුළ සිදුකරන යෝජනා සම්මතයක් මගින් පනතේ 23 වෙනි වගන්තිය යටතේ කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද මෙනයින් මම ඉල්ලා සිටිනවා”

    “මම අසවලාට කතා කළාය කියලා පණිවිඩයකින් හොයාගන්න මේ අපි දන්න තොරතුරු තාක්ෂණ දත්ත පද්ධතිය ඇතුළෙ නම් කරන්න බෑ. එකම ක්‍රමය පණිවිඩ වලට ඇහුම්කන් දෙන්න, ලබා දුන්නේ කවුදැයි කියන එක සම්බන්ධයෙන් වෙච්ච යම් සුවිශේෂී තාක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබුනොත් පමණයි. අපි කවුරුත් දන්නවා මේ පසුගිය කාලේ ප්‍රධාන පෙළේ  පිරිස් ප්‍රංශයේ ජනාධිපති මැකෝන් ඒ වගේම ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි. මෙවැනි අයගේ පවා පණිවිඩ වලට ඒ ඒ රජයන් වල හෝ වෙනත් විදේශ රජයන් වල ඇහුම්කන් දීලා තිබෙන බව. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා පෙගසස් නමින් ඊශ්‍රායලයේ නිර්මාණය කරන ලද ඒ තාක්ෂණ මෙවලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තියෙනවද? එසේ නැත්නම් සාමාන්‍ය දුරකථන ඇමතුමක් නොවන ඇමතුමක් පිළිබඳ තොරතුරු ඔවුන් දැනගත්තේ කෙසේද කියන එක ගැනත් පරීක්ෂණ කරන්න” යනුවෙන් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය

  • ගොවියොත් එක්ක පාරට බහින්න රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහත් සූදානම්ලු

    ගොවියොත් එක්ක පාරට බහින්න රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහත් සූදානම්ලු

    කාබනික පොහොර තීන්දුව, අතිගරු ජනාධිපතිතුමා අනාගත පරපුර හා මේ රටේ පුරවැසියාගේ ජයග්‍රහණය ගැන හිතලා ගත්ත තීන්දුවක් යැයි දිඹුලාගල  අධ්‍යාපන කාර්යාලයේ පැවති  රැස්වීමකින්  අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පැවසීය.

    මේ එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා.

    ‘පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුණ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  තියෙනවා අනිවාර්යෙන්ම කාබනික වගාවට යනවා කියලා. එතුමාලා  එතකොට පහුගිය කාලේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියලා තියෙන්නේ බොරුවක්ද කියලා දැන් අපිට හිතෙනවා .

    දැන් ගොවි ජනතාව කියනවා භාගයක් කාබනික පොහොරත් භාගයක් රසායනික පොහොරත්  දුන්නහම ඇති කියලා .

    ඒ කියන්නේ මේ රට ජාතියක් විදිහට ලැබු  ජයග්‍රහණයක්. ගොවි  ජනතාවටත් අවබෝධ වෙලා තියෙනවා රසායනික පොහොර භාවිතය සුදුසු නැහැ කියන එක.

    පහුගිය කාලේ කාබනික පොහොර හදන්න රජය මුදල් දෙනකොට ඔය පක්ෂග්‍රාහීව කටයුතු කරන කඩාකප්පල්කාරීන් ඉතා සුළු පිරිසක් කුමන්ත්‍රණකාරීව මේ ගොවි ජනතාව අවුස්සමින් කටයුතු කරා .අපි දන්නවා ඒ අයත් රජයෙන් දුන්න රුපියල් 12,000 ක මුදල අරගෙන තියෙනවා. ඒ අය ඒ මුදල් අරගෙන පොහොර හැදුවද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා.

    කාබනික පොහොර ටිකට පොස්පරස් අපේම රටේ තියෙන නිසා එකතු කරන්න පුළුවන්කම තියෙනවා .අපි දැක්කා පොටැසියම් පොහොර නැවක් ගෙන්වනු ලැබුවා. නයිට්‍රජන්  පොහොර දියරයක් විදිහට ගේනවා .

    මමත් ගොවි ජනතාව වෙනුවෙන් මහපොළොවේ  සටන් කරපු දේශපාලන නියෝජිතයෙක් විදිහට කියන්නේ අපි කන්නයක් දෙකක් කරල බලමු. කන්නයක් කරල බලමු අස්වැන්න කොහොමද කියලා. මේකේන පොටෑසියම් සහ නයිට‍්‍රජන්  දියර යොදලා.අපි දෙවැනි කන්නෙත් බලමු. යම් අසාර්ථකත්වයක් තිබුනොත් එතකොට මාත් ගොවියා එක්ක පාරට බහිනවා.

    හැබැයි මේ  ජාතිය බේරගන්න ආරක්ෂා කරගන්න වකුගඩු රෝගයෙන්, පිළිකා රෝගීයෙන්, අධි රුධිර පීඩනයෙන්, දියවැඩියාවෙන් මේ ජනතාව බේරගන්න ඕනේ මේ රසායනික පොහොර මඟින් එයට බලපෑමක් සිද්ධ වෙනවා .රසායනික පොහොර  බලපෑම අඩු කරගන්න, පොහොර වලින් මිදෙන්න පුළුවන් නම් ඒක සුවිශේෂී කාරණයක් වෙනවා.ඒ නිසාමයි අනුර කුමාර දිසානායකත් කාබනික පොහොර වගාවකට යායුතුයි කියලා කියන්න ඇත්තේ කියලා හිතනවා, බොරුවට හරි.

    අපි ඉල්ලා සිටින්නේ ගොවි ජනතාවගෙන් කන්න දෙකක් කරල ඊට පස්සේ තීන්දුවකට යමු කියලා.මේ බංකොලොත් දේශපාලන කඳවුරෙන් අපි ඉල්ලන්නේ ගොවි ජනතාව නොමඟ යවන්න එපා කියලා.

    එන් පී කේ නයිට්‍රජන් පොටෑසියම් පොස්පරස් පොහොර ගොවි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ අපි සංවිධානය කරලා හමාරයි කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා .

    අපිටත් තියෙනවා වගකීමක් අපේ ජාතිය බේරගන්න .ඒ නිසයි අපි කියන්නේ ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ගයේ ප්‍රසංසනීයයි කියලා.’

    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා,උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්,

    පොලොන්නරුව දිස්ත්‍රික් අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

  • කිසිම නීතියක් බලයේ සිටින පාලකයන්ට අදාළ නැහැ” කියල වගන්තියක් ඇතුළත් කිරීම වඩාත් හොඳයි

    කිසිම නීතියක් බලයේ සිටින පාලකයන්ට අදාළ නැහැ” කියල වගන්තියක් ඇතුළත් කිරීම වඩාත් හොඳයි

    නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් හේතු ජනතාවට පැහැදිලි කළ යුතු බවජාතික ජන බලවේගයේ නීතිඥවරුන් පෙන්වා දෙති.
    පසුගිය 17 වෙනිදා එම නීතිඥවරුන් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අවධාරණය කළ අතර එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

    “නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වුණු හැම මොහොතකම ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස ජනතාව දැනුවත් කර තිබෙනවා. මේ මොහොත වන විට නීතියේ බලයට, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන විශේෂ ක්‍රියාවලියක් සිදු කෙරෙමින් තිබෙනවා. සෑම සතියකට හෝ දෙකකට වතාවක් රාජපක්‍ෂ පවුලේ හෝ එම පවුලේ ආශිර්වාදය ලබන කිට්ටුවන්තයෙක් අධිචෝදනාවලින් නිදොස් කොට මුදා හරිනවා. නීතිපතිවරයා මේ ලෙස අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම රට හමුවේ සාකච්ඡා කරන්න ඕනෑ. බැසිල් රාජපක්‍ෂ මහත්තයාගේ නඩු, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ නඩු, කෘෂිකර්ම ඇමතිවරයාගේ නඩු ඇතුලු අධි චෝදනා පත්‍ර රාශියක් නීතිපතිවරයා ඉල්ලා අස්කර ගත්තා. මේ ක්‍රියාවලිය මොකක්ද? මෙහෙම ක්‍රියාවලියක් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාවක් තිබෙනවාද?

    නීතිඥ සුනිල් වටගල මහතා

    යම් අපරාධයක් සම්බන්ධයෙන් මහජනයාට පැමිණිලි කළ හැකි ආයතන කිහිපයක් තිබෙනවා. පොලීසියට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, සහ අල්ලස් සම්බන්ධයෙන් නම් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. මේ ස්ථානවලට කරන ලද පැමිණිලි අධිචෝදනාවකින් කෙළවර කළ යුතු  නම් ඒ ඒ ආයතනවල විමර්ශන නිලධාරීන් සාක්‍ෂි සම්පිණ්ඩන වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිළධාරියෙකු එය පරිශීලනය කර වාර්තාවක් එක්ක ඉහළ නිලධාරියෙකුට යවනවා. ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරගන්න අවශ්‍ය නම් විමර්ශන නිලධාරීන් කැඳවා අඩුපාඩු සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉහළ විමර්ශන නිලධාරියාට මේ අධි චෝදනා පත්‍රය සම්බන්ධයෙන් තව දුරටත් ඉහළ නිළධාරින් එක්ක කරුණු සාකච්ඡා කරන්න පුලුවන්. එයින් මතුවන අඩුපාඩු සම්පූර්ණ කර නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියාට ලිපි ගොණුව යවනවා. අපරාධ නඩු අංශයේ ප්‍රධානියා, ඉහළ විමර්ශන නිලධාරියා සහ නීතිපතිවරයා සම්බන්ධවී අධිචෝදනාවේ තවදුරටත් පවතින ගැටලු සාකච්ඡා කරනවා. යම් ගැටලුවක් තිබෙනවා නම් පහළ නිලධාරීන් කැඳවා නිවැරදි කර ගන්නවා.

    නීතිය ශිෂ්ඨ සම්පන්න සමාජයේ අත්තිවාරමයි

    සාක්‍ෂි සම්පිණ්ඩන වාර්තාවක් ගොනු කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරීවරයෙක් පරිශීලනය කිරීම, එම වාර්තාව අධික්‍ෂණ නිලධාරියෙකුට යොමු කිරීම සහ ඉන් පසු නීතිපතිවරයාට ලබාදීම යන ක්‍රියාවලියෙන් පසුව ඔවුන් අතර පැවැත්වෙන සාකච්ඡාවකින් අධිචෝදනා පත්‍රය මහාධිකරණයට යවනවා. මහාධිකරණයේ මුලින්ම අදාල චෝදනා කියවනවා. මහාධිකරණයට යොමුකළ අධිචෝදනා පත්‍ර පවා කියවාදීමට පෙර ගැටලු ඇත්නම් විනිසුරු යළි නීතිපති දෙපාර්තමේන්තුවට එවනවා. එවැනි අවස්ථාවකදී විමර්ශන නිලධාරීන් යළිත් අදාල නිවැරදි කිරීම් කරනවා. ඉන්පසු මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කර වරදකරුද, නිවැරදිකරුද යනුවෙන් ප්‍රශ්න කෙරෙනවා. එවැනි නඩු ගොනුවක් හිටි හැටියේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්කර ගන්නවා නම් ඊට හේතුවක් තියෙන්න ඕනෑ. මේ වෙනුවෙන් මහජන ධනය කොපමණ වැයකර තිබෙනවාද?

    මේ ආකාරයට නිර්මාණය කළ අධි චෝදනා පත්‍රය එක පෑන් පහරින් ඉල්ලා අස්කර ගන්නවා නම් එතැන ගැටලුවක් තිබෙනවා. අපි ඉතා වගකීමෙන් කියන්නේ නීතිපතිට ඕනෑ වෙලාවට අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්න බැහැ. විශේෂ හේතුවක් නැතිව ඉල්ලා අස්කර ගන්නත් බැහැ. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමේදී  සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. මේ ප්‍රකාශනයේ කියන්නේ නීතිය සමාජ සාධාරණත්වය උදෙසා කියලයි. මේ යටතේ තිබෙන්නේ “නීතිය ශිෂ්ඨ සම්පන්න සමාජයට අත්තිවාරම වන අතර රටක නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ජනතාවගේ යහපත සඳහාය. නීතියේ ආධිපත්‍යය යන සංකල්පය, මේ සංකල්පයේ අරමුණ ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනැගීම වන හෙයින් කිසිදු විටෙක ප්‍රජාතන්ත්‍රවාදී රජය නීතියේ ආධිපත්‍යයට බලපෑම් නොකළ යුතුය. එබැවින් අපගේ රජය නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීමට හැම විටම කැපවන අතර කිසිවෙකුටත් නීතියේ ආධිපත්‍යයට අභියෝග කිරීමට ඉඩ නොතැබේ.” යන ආකාරයටයි.

    ඊලඟට අස්කර ගන්නේ මල්වානේ නඩුව!

    ඒ වගේම මේ ප්‍රකාශයේ 71 වන පිටුවේ “පුරවැසියා මෙන්ම පාලකයාද නීතියේ ආධිපත්‍යයට යටත් විය යුතු අතර එය රටක ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් පමණි. නීතිය සැමට සමාන විය යුතු අතර පුරවැසියා නීතියට මිස නීතිය ක්‍රියාත්මක කරවන ආයතනවලට සහ පුද්ගලයන්ට බිය නොවන ලෙස නීතිය ක්‍රියාත්මක කරවන ආයතන සහ පුද්ගලයන්ට බිය නොවන ලෙස මහජනතාව නිර්මාණය කෙරෙයි.” කියලා දැක්වෙනවා. හරිම පැහැදිලිව ඔවුන් අපිට කියාදී තිබෙනවා. නමුත් දැන් ප්‍රතිපත්ති ප්‍රකාශය පැත්තකට දාලා වෙනත් පාරක යනවා. තමන්ගේ සුවච කීකරු ගෝලයෝ නිදහස් කරගන්න කැකිල්ලේ කොමිසමත් ගෙනාවා. මේ කොමිසන් වාර්තාවෙන් රාජපක්ෂ පවුලේ, කැබිනට් මණ්ඩලයේ අයගෙ සහ හිතවතුන්ගේ නඩු විශාල ප්‍රමාණයක් නිදහස් කර තිබෙනවා. ඒ වගේම ඊළඟට නිදහස් කරන නඩුවක් ගැන අනාවැකියක් පළ කරන්න පුළුවන්. ආන්දෝලනාත්මක මල්වානේ දේපොළ නඩුව නිදහස් කෙරෙන බවට කැකිල්ලේ කොමිසන් වාර්තාවේ නිර්දේශ කර තිබෙනවා. 1968/2020 නඩු අංකය යටතේ තිරු කුමාර් නඩේෂන් පැමිණිලිකරු ලෙස සඳහන් කළ නඩුව සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශය වැදගත්. “පැමිණිලිකරුට හා බැසිල් රාජපක්‍ෂ මහතා එරෙහිව බී8864/15 මගින් අසත්‍ය පැමිණිල්ලක් කළ උපුල් කුමාර රාමවික්‍රම යන අයට එරෙහිව නඩු පැවරීම ගුණවර්ධන සහ රණසිංහ යන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, ගම්පහ මහාධිකරණයේ නඩු අංකය වන 26/2017 නඩුව ඉල්ලා අස්කරගෙන චූදිතයන් නිදොස් කොට නිදහස් කළ යුතුය.” කියලා තියෙනවා.

    මංකොල්ලකාරයෝ ටටා කියලා උසාවියෙන් බැහැල යනවා

    නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ මේ ආකාරයට නම් සැලකිය යුතු ගැටලුවක් නිර්මාණය වෙනවා. ඉල්ලා අස්කර ගැනීම්වලට කිසිදු පදනමක් නැහැ. විශේෂම කාරණය වෙන්නේ මේ ඉල්ලා අස්කර ගන්න නඩුවල අධිචෝදනා පත්‍රවලට එවකට නීතිපතිවරයාව සිටි දැන් ඉන්න අග්‍ර විනිශ්චයකාරතුමා අත්සන් කර තිබීමයි. මෙතන ලොකු ගැටලුවක් මතුවෙනවා. මේ ඉල්ලා අස්කරගැනීම් පිටුපස පටු පෞද්ගලික දේශපාලන අභිලාෂයන් තිබෙනවා. මේ නඩු ඉල්ලා අස්කර ගත්තත් සාමාන්‍ය ජනතාවගේ නඩු ඉල්ලා අස්කරගන්නේ නැහැ. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයන්ගේ නඩු නීතිපති දෙපාර්තමේන්තුව වේගයෙන් ඉල්ලා අස්කර ගන්නවා. මේ නඩු ඉල්ලා අස්කර ගැනීමට ජනාධිපතිවරයාත් නීතිපතිවරයාත් සෘජුවම වගකිව යුතුයි. අලුත් නීතිපතිතුමා පත්වෙනකොට අපි හිතුවා නීතිය හරි විදියට ක්‍රියාත්මක කරයි කියලා. ඒත් දැන් මහදවල් අපරාධකාරයෝ, ජනතා මුදල් හොරාකාපු මංකොල්ලකාරයෝ ටටා කියලා උසාවියෙන් බැහැල යනවා. අපිට හරි කණගාටුයි නීතිපතිතුමනි.

    ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා නීතියේ බලය රකින්න ඡන්දය ගත් මහත්වරු ක්‍රියා කරමින් තිබෙන ආකාරය අපි දකිනවා. හිටි අඩියේම කාබනික පොහොර බවට පරිවර්තනය කිරීම හත්පොලේ ගාගෙන තිබෙන ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව යොදාගෙන ගෙනයන ක්‍රියාවලියක් හත්පොලේ ගාගන්න වෙනවා. වර්තමාන නීතිපතිවරයාට අපි හරි ආදරයෙන් හිටියා. නමුත් අපට දැන් හරිම කණගාටුයි. මේ තත්වයට එරෙහිව ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම සමග එකතු වෙන්න කියලා අපි රටේ ජනතාවට ආරාධනා කරනවා. නීතියේ බලය යළි තහවුරු කරන තුරු මේ සටන අපි අත හරින්නේ නැහැ. ජනතාව දැනුවත් කරමින් ඉදිරියට යනවා.

    අවුරුදු පහෙන් පහට මාරු වෙන ආණ්ඩු හොරුන්ගේ අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්නවා…

    නීතිඥ අංකලංක උක්වත්ත මහතා

    ගරු නීතිපතිතුමා වගකියන්නේ සහ වගවෙන්නේ ශ්‍රී ලංකා ජනරයට නොව පත්වෙන ආණ්ඩුවලට කියලා අපිට පෙනී යනවා. අධිචෝදනා ගොණු කරන්නේ සමාන්‍ය මහේස්ත්‍රාත් අධිකරණයකට පොලීසිය චෝදනා ගොණු කරනවා වගේ නෙවෙයි. අධිචෝදනා කිව්වම වචන අර්ථයෙන්ම බරක් දැනෙනවා. ඒ තුළ ඒ වරදේ බරපතළකමත්, ඒ දක්වා යන ක්‍රියාවලිය පිළිබඳවත් පහළ උසාවියකට චෝදනා ගොණු කිරීමට වඩා බරපතළ කරුණක් බව පැහැදිලි වෙනවා. මේ ආකාරයෙන් ගොණු කළ චෝදනා දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළත් වෙනවා. නීතිපතිතුමා විසින් ගොණු කළ චෝදනා අලුත් ආණ්ඩුවක් යටතේ නව නීතිපතිවරයෙක් පත් වුණාම දණ්ඩ නීති සංග්‍රහයේ චෝදනාවල නෛතික සිද්ධාන්ත වෙනස් වෙන්නේ නැහැ. අධිචෝදනා ගොණු කරන අවස්ථාවේ නීතිපතිතුමා සහ අදාළ නීතිඥ මඩුල්ල ක්‍රියා කර තිබෙන ආකාරය සහ විමර්ශන වැරදියිද ඔවුන් වරදක් කර තිබෙනවාද, දැන් නිදහස් වන චූදිතයන් රක්‍ෂිත බන්ධනාගාර කළ අය වීම නිසා තව දුරටත්  බරපතල තත්වයක් ඇති වෙනවා. මේ නිසා අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව කිසිම පැහැදිලි කිරීමක් නැහැ.

    නීතියේ ආධිපත්‍යය විශාල කඩාවැටීමක

    මෙයින් පෙනෙන්නේ එක් ආණ්ඩුවකින් ගොණු කරන අධිචෝදනා පත්‍ර ඊළඟ ආණ්ඩුවකින් ඉල්ලා අස්කර ගන්න බවයි. දැන් ගොණු කරන අධිචෝදනා පත්‍ර ඊළඟ ආණ්ඩුවකින් ඉල්ලා අස්කර ගන්නවාද? මේ තුළ හැඟී යන්නේ නීතියේ ආධිපත්‍යය විශාල කඩාවැටීමක තිබෙන බවයි. මිනිස්සුන්ට නීතියේ ආධිපත්‍යය කඩාවැටීම සම්බන්ධයෙන් විශ්වාසය බිඳීයාම බරපතළ ප්‍රශ්නයක් සාමාන්‍ය ජනතාවට තිබෙන අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්න පුළුවන්ද කියලා අධිකරණයෙන් විමසන තත්වයක් ආවොත් මොකද කරන්නේ? දේශපාලකයන් නොවන අයගේ අධිචෝදනා ඉල්ලා අස්කර ගත් අවස්ථා තිබෙනවාද? සමහර චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති කොමිෂන් සභාවලින් පවා විමර්ශනය කිරීමෙන් පසුවයි. ජනාධිපති කොමිෂන් සභාවකට පත් කරන්නේ අදාළ විෂයයන් සම්බන්ධයෙන් විශේෂ හැකියාවක් තිබෙන අය. ඔවුන්ගේ නිරීක්‍ෂණ අනුව නීතිපතිතුමා අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරනවා. සමහර අධිචෝදනා පත්‍ර විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් පත් කරනවා. එවැනි චෝදනා පත්‍ර පවා ඉල්ලා අස්කරගෙන තිබෙනවා. මේ අනුව බලන විට කොහේ හරි තැනක වැරදීමක් තිබෙනවා. එකක් හරියන කොට අනිවාර්යයෙන්ම අනික වරදින්නම ඕනෑ. අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් මේ වරද හොයන්න ඕනෑ නැද්ද? නීතියේ නිර්වචනය දේශපාලඥයින්ට වෙනස් වෙනවාද?

    චෝදනා ඉල්ලා අස්කර ගැනීම අතිශය වැරදියි

    කාලය නාස්ති කරලා, ධනය නාස්ති කරලා ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා මේ ආකාරයට ඉල්ලා අස්කර ගැනීමෙන් ජනතාව තුළ නීතිය කෙරෙහි තිබෙන විශ්වාසය නැතිව යනවා. ඒ තැනක තිබෙන්නේ අරාජිකත්වය. නීතිය ගැන විශ්වාසය බිඳුනු දවසට පපුවට ගහ ගන්නා නායකයෝ ආවාට ගොඩගන්න බැහැ. වගකීම් දරන නිලධාරීන්ගේ වගවීම සමාජයට තිබිය යුතුයි. නමුත් 20වැනි සංශෝධනයෙන් පස්සේ තමන්ගේ වෘත්තියේ ඊළඟ උසස්වීම ලබාගැනීමේ සුරක්‍ෂිතතාවය ගැන හිතනවා. වගවීම නැතිවෙන්නේ මෙතනදී. නීතිය එහෙමම තිබියදී මේ ආකාරයට අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්න බැහැ. සාමාන්‍ය මිනිස්සුන් කරන වැරදිවලට අමතරව වෘත්තිකයන් කළ යුතුව තිබෙන රාජකාරී නොකර හැරීමත් අතිශ්‍ය බරපතල වරදක්. අධිචෝදනාවලින් එල්ල වන චෝදනාවලට වඩා මෙම තත්වය බරපතළයි. සාක්‍ෂි නැතිව අධිචෝදනා පත්‍රයක් යම් බලකිරීමක් මත ඉදිරපත් කිරීමත් වැරදියි. සාක්‍ෂි තිබෙන එවැනි චෝදනා ඉල්ලා අස්කර ගැනීම අතිශය වැරදියි. විශේෂයෙන්ම මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට වෙනම කතිකාවක් ඇතිවී තිබෙනවා. ආණ්ඩු මාරුවන විට මේ ආකාරයට නීතිය කඩා වැටුණහොත් ඇතිවන්නේ බරපතළම තත්වයක්. එක නීතිපතිවරයෙක් අධිචෝදනා තිබෙන බව පවසා ගොණු කරන නඩුවක් තව නීතිපතිවරයෙක් යටතේ අධිචෝදනා ඉල්ලා අස්කර ගන්නවා නම් ඊට හේතුවූ කරුණු ඉදිරිපත් කරන්න ඕනෑ. බුද්ධිය යොදවලා නීතිමය රාමුව තුළ නැති දේවල් ඇති කිරීමත් ඇති දේවල් නැති කිරීමත් අතිශයින්ම බරපතලයි.

    “කිසිම නීතියක් බලයේ සිටින පාලකයන්ට අදාළ නැහැ” කියල වගන්තියක් ඇතුළත් කිරීම වඩාත් හොඳයි…

    නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා

    අද වෙනකොට ඇතිවෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය විවිධ මහාධිකරණවල විභාග වුණු යම් අධි චෝදනා නඩු සංඛ්‍යාවක් ඉල්ලා අස්කරගෙන තිබීමයි. සමහර පුද්ගලයන්ට විරුද්ධව නීතිමය දැල ක්‍රියාත්මක නොව බවට අපේ රටේ සාමාන්‍ය මතයක් තිබෙනවා. ඒවා බරපතළ අපරාධ. ඊට අදාළ විමර්ශන ගොණුවක් නැවත විමර්ශනය කරන්න ජ්‍යෙෂ්ඨ නීතිඥ මණ්ඩලයක් නීතිපතිවරයා විසින් පත්කරන අවස්ථා තිබෙනවා. අදාළ සියලු කරුණු විශ්ලේෂණය කර අඩුපාඩුවක් නොවන තත්වයට සියලු තොරතුරු උපදෙස් සහ දත්ත පෙළගස්වනවා. අධිචෝදනා පත්‍රයක් සකස් කිරීම හෝ නොකිරීම සිදුවෙන්නේ ඉන් පසුවයි. මෙවැනි විමර්ශන සිදුවෙන්නේ සාමාන්‍යයෙන් නීතිපතිවරයාගේ සෘජු අධික්‍ෂණය යටතේයි. අද අපි කතා කරන නඩු අති බහුතරයක් මෙවැනි ක්‍රියාවලියක විමර්ශනයට ලක්වුණු ඒවා. එවැනි අධිචෝදනා පත්‍රයක් ඉවත් කර ගන්නේ මොන පදනමකින්ද කියලා ජනතාව දන්නේ නැහැ. නමුත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බවට සඳහන් වී තිබෙන ආයතනයකින් මීට අදාළ පැහැදිලි කිරීමක් නොකිරීම බරපතළ තත්වයක්. ජනතාව වෙනුවෙන් වගකීම සහ වගවීම යන දෙකම ඔවුන්ට තිබෙනවා. නීතිපතිවරයා ගන්නා යම් තීරණයකදී වගකීම සහ වගවීම ජනතාවට පෙන්නේ නැත්නම් එතැන බරතපළ දෝෂයක් තිබනෙවා.

    මේ අභිමතය ක්‍රියාත්මක කරන්නේ යම් හේතුවක් නිසාද යන්න පැහැදිළි වෙන්න ඕනෑ

    ලංකාවේ අපරාධ නඩු සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාල තොරතුරු දක්වා තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයක හෝ මහාධිකරණයක මුල් අවස්ථාවේ නඩු පැවරීම සම්බන්ධයෙන් සියලු ප්‍රතිපාදන ඇතුළත් වෙන්නේ මේ සංග්‍රහය තුළ. මහාධිකරණ විනිශ්චයකාරවරයාගේ එකඟතාවය මත අධිචෝදනාපත්‍ර ඉවත් කර ගැනීමේ හැකියාව නිතිපතිවරයාට තිබෙනවා. ඒ වගේම චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමේ හැකියාවත් තිබෙනවා. නමුත් මේ අභිමතය ක්‍රියාත්මක කරන්නේ යම් හේතුවක් නිසාද යන්න පැහැදිළි වෙන්න ඕනෑ. අභිමතානුසාරී බලයක් අත්තනෝමතික ලෙස හෝ නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. රටේ පුරවැසියන්ට සිදුවුණු පීඩාවකට අදාළ පැමිණිල්ලක් දීර්ඝ ක්‍රියාවලියකින් අනතුරුව අධිචෝදනාවක් හැටියට පත්වුණු පසු අහේතුකව ඉල්ලා අස්කර ගැනීමෙන් වින්දිතයන් ඊළඟට ගතයුතු පියවර කුමක්ද? කරන්නාගොඩ නිදහස් කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ එවැනි තත්වයක්. ඔහු හිටපු නාවික හමුදාපති වෙන්න පුලුවන්. නමුත් මේ පැමිණිල්ලේ පීඩාවට පත් පාර්ශ්වයට ඒ අගතිය ගැන ඊළඟට කියන්න පුලුවන් කාටද? අධිකරණ පද්ධතිය, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන පද්ධතිය සම්බන්ධයෙන් විශ්වාසයක් රටේ ජනතාවට නැති වුණොත් සමස්ත සමාජයම විශාල බිඳවැටීමකට ලක්වෙනවා. “උසාවි ගිහින් වැඩක් නැහැ” කියලා මිනිස්සු හිතනවා.

    යම්  කිසි කාරණයක් දිහා සාධාරණව බලන පැති කිහිපයක් තියෙන්න පුළුවන්. අධිකරණයත් අයත් වෙන්නේ ඒ සාධාරණය සම්බන්ධයෙන් තීන්දු දෙන්න. නමුත් මේ පද්ධතිය ගැන මිනිස්සුන්ගේ අවිශ්වාසයක් ඇති වුණොත් ඇතිවෙන්නේ මොකක්ද? විශාල ධනයක් වැය කරමින් පවත්වාගෙන පද්ධති බිඳවැටීමෙන් කිසිදු සෙතක් වෙන්නේ නැහැ. අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් යම් වරදක් තිබෙනවා නම් ඒ වරද සිදුවූ තැන දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. සමහර නඩුවලදී සාක්‍ෂිකරුවන්ගේ මතකය දුර්වල වීමෙන් ඒ සාක්‍ෂිකරුවන් ඉවත් වුණු අවස්ථා තිබෙනවා. එවැනි දේ පිළිගන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී සාක්‍ෂිකරුවන් සංශෝධනය වීමක් වෙන්න පුළුවන්. නමුත් විමර්ශනවලදී සිදුවුණු යම් අඩුපාඩුවක් පිළිබඳව කිසිදු සඳහනක් නැතිව ආණ්ඩු දෙකක් මාරු වීමෙන් පසුව මෙවැනි දේ සිදුවීම පිළිගන්න බැහැ. ආණ්ඩු වෙනස් වූ පමණින් අධිචෝදනාවල තිබෙන විමර්ශන සටහන් වෙනත් සාක්‍ෂි වෙනස් වෙන්න බැහැ. දුරකතන අංක සහ වෙනත් දත්ත වෙනස් වෙන්න බැහැ. කොටින්ම චෝදනා පත්‍රයේ කඩදාසිවල සඳහන් කරුණු ආණ්ඩු වෙනස් වීමෙන් වෙනස් වෙන්නේ නැහැ. එහෙම නම් දේශපාලන බලය වෙනස් වන විට අපරාධය, අපරාධයක් නොවෙන්න හැකියාවක් නැහැ.

    අප පවා පුදුමයට පත්වෙනවා

    මේ සමස්තය දිහා බැලුවාම අපටත් බොහොම වගකීමකින් දෙයක් කියන්න සිදුවෙනවා. මේ රටේ ජනතාව විදිහට අපි එකතු වෙලා දණ්ඩ නීති සංග්‍රහහයට, පොදු දේපොළ පනතට හෝ වෙනත් ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් නීතියකට අලුතින් සංශෝධනයක් ගේන්න වෙනවා. “ලංකාවේ අපරාධ නීතිය හෝ වෙනත්  නීතියක් බලයේ සිටින දේශපාලකයන්ට අදාළ නැත.” කියලා යොදන්න වෙනවා. දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබුණු වගන්ති අපට පවා පුදුමයට පත්වෙනවා. ඉතාම අපුල හැඟීමක් ඇතිවෙනවා. නමුත් ඒක තමයි ඒ රටේ එදා තිබුණු නීතිය. මේ රටේ දේශපාලකයන්ට අපරාධ නීතිය අදාළ වෙන්නේ නැහැ කියලා දකුණු අප්‍රිකාවේ  නීතිය වගේ එකක් සම්මත කරගත යුතුයි. එහෙම නොකර මහජනතාවගේ මුදල් විනාශ කරමින් විදේශවලට පවා යන විමර්ශන ගමන් නවත්වා දැමිය යුතුයි. තමන්ම නඩු දාපු නිතිපති දෙපාර්තමේන්තුව ඊලඟවතාවේ කියනවා නම් අධි චෝදනා ඉල්ලා අස්කර ගන්නා බව එවැනි නඩු පවරන්න ඕනෑ නැහැ. අපේ රටේ දේශපාලකයන්ට විරුද්ධව නඩු පවරන්නේ නැහැ කියලා වගන්තියක් එනවා නම් අපටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඒ අයටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අන්න එවැනි සාකච්ඡාවකට හරි යන්න වෙනවා. එහෙම නැත්නම් ජාතික ධනය වැය කරලා නිසි ආකාරව නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. එහෙම නැත්නම් මහජන ධනය නිරර්ථක ලෙස වැය කිරීම  නැවැත්විය යුතුයි.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….

    පහුගිය කාලයේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩු තිබෙනවා. මේ දෙකෙන් අල්ලස් කොමිසමේ නඩු ඉවත්කර ගන්න හේතු වුණේ තාක්‍ෂණික ගැටළු. එම කොමිසමේ කොමසාරිස්වරුන් තුන් දෙනාගේම අත්සනින් අදාළ නඩු ගොණු කර නොතිබූ බව සඳහන් කරමින්  ඉල්ලා අස්කර ගත්තා. නමුත් ඒ නඩුත් නැවත පැවරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කර ගත් නඩුත් නැවත පැවරීමේ හැකියාව තිබෙනවා. ඉල්ලා අස්කර ගැනීම කියන කාරණය මත ඒ නඩුවල ජීවය අවසන් වෙන්නේ නැහැ. අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගත් නඩු නැවත පවරන්නේ කවදද කියලා ජනතාව බලාගෙන ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙනුත් මේ හැකියාව තිබෙනවා.

  • අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දමන අයුරු ගැන නාමල් කළ සුපිරි හෙළිදරව්ව

    අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දමන අයුරු ගැන නාමල් කළ සුපිරි හෙළිදරව්ව

    ‘මෙම ගෝලීය වසංගතය හේතුවෙන් විදේශවලින් එන භාණ්ඩවල මිල යම් විදියකට වැඩිවී තිබෙනවා. නමුත් මේ තත්ත්වය තාවකාලිකයි. භාණ්ඩවල මිල අඩුකරන්න පුළුවන් පළමු අවස්ථාවේදීම ඒවායේ මිල ගණන් අඩු කරන්න ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වෙනවා‘

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් කිහිපයක් සදහා සහභාගීවෙමින් අද (14) දින මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින්  තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    රටේ යම් භාණ්ඩ ප්‍රමාණයක මිල වැඩිවීම සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ,

    “කොවිඩ් 19 වසංගතයත් සමග ලෝකයම අර්බුදයකට වැටී තිබෙනවා. අපි දැක්කා බටහිර අධිරාජ්‍යවාදීන් ලෙස ලෝකේ පාලනය කරපු අය අද වෙද්දි ගෑස් නොමැතිව හමුදාව යොදවාගෙන ගෑස් බෙදා හැරීම සිදු කරනවා. ලෝකේ හැම රටකම මෙම අර්බුදය තිබෙනවා. අසල්වාසී රටවලත් එසේ සිදු වී තිබෙනවා. අපිටත් එහි යම්කිසි බලපෑමක් සිදු වී තිබෙනවා. අපි මෙම වසංගතයට මුහුණ දෙන්න අවශ්‍යයි.

    වංසගතය ව්‍යාප්තිය පාලනය කරමින් රට විවෘත කර රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ආ යුතුයි. අපි හැමෝම අමතක කරන කාරණය තමයි  රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වී තිබෙන බව. මේ රැකියා දරුවන්ට ලබා දෙන්න නම් මේ රට නැවත සක්‍රීය වෙන්න ඕනේ. නිෂ්පාදන ආර්ථිකයක් කරා අපි ගමන් කළ යුතුයි.

    මෙම ගෝලීය වසංගතය හේතුවෙන් විදේශවලින් එන භාණ්ඩවල මිල යම් විදියකට වැඩිවී තිබෙනවා. නමුත් මේ තත්ත්වය තාවකාලිකයි. භාණ්ඩවල මිල අඩුකරන්න පුලුවන් පළමු අවස්ථාවේදීම ඒවායේ මිල ගණන් අඩු කරන්න ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වෙනවා”

    කෘෂි කර්මාන්තය සදහා පොහොරවල හිගයක් ඇතිවී ඇති බවටත් කාබනික පොහොර යෙදීමෙන් ඇතිවෙන බලපෑම් සම්බන්ධයෙනුත් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

    “ කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විටත් අවශ්‍ය කාබනික පොහොර අදාළ ප්‍රදේශවලට යවා තිබෙනවා. මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, අනුරාධපුර, කුරුණැගල දිස්ත්‍රික්කවල මම පහුගිය දවස් දෙක ගත කලා. මේ දිස්ත්‍රික්කවලට මේ වන විට අවශ්‍ය පොහොර ප්‍රවාහනය කරමින් පවතිනවා.

    මම පැහැදිලිව කියන්න අවශ්‍යයි. ජනතාවාදී ආණ්ඩුවක් විදියට අතිගරු ජනාධිපතිතුමා දැඩි තීන්දුවක් ගත්තා. ජනතාවගේ සෞඛ්‍ය සහ අනාගත පරම්පරාව ගැන හිතලා රසායනික පොහොර වලින් ඉවත් වෙන්න. මේක අභියෝගාත්මකයි. මේක අභියෝගයක් නොවෙයි කියලා කියන්න බැහැ.

    මේ අභියෝගය අපි ජය ගන්නවා වගේම ගොවියාට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. යම් විදියකින් අස්වැන්න අඩු වුනොතින් ඒ අඩුවෙන අස්වැන්නේ ප්‍රමාණයට ගෙවීම් කරන්නත් කෘෂිකර්ම අමාත්‍යතුමාට අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

    පැහැදිලිවම අපි ආණ්ඩුවක් විදියට ගොවි ජනතාව සමග එකට ඉන්නවා. ලෝකයේ තිබෙන ඉහලම තාක්ෂණයෙන් නිෂ්පාදිත කාබනික පොහොර ලංකාවට ගෙනැවිත් දැනට පළමු අදියරේ ලබා දෙනවා. ඉන් පසු අපේ රට තුල මෙම පොහොර නිෂ්පාදනය කර රට පොහොර වලින් ස්වයංපෝෂිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.

    මේ අභියෝගාත්මක කාලයක්. අපිට වැටහෙනවා මේක අමාරුයි, බියක්, චකිතයක් තිබෙනවා. හැබැයි ඒ බිය, චකිතය අපි තුළත් තිබෙනවා. අපිත් මේ දිස්ත්‍රික්කවල ගොවි ජනතාව ආශ්‍රය කරන ගොවි පරම්පරා පවුල්වලින් ආපු අය.

    පැහැදිලිව ම කාබනික පොහොර සම්බන්ධව තිරසාර විසදුමක් අපි ලබා දෙනවා. ආණ්ඩුවක් විදියට අපි ගොවියන් ආරක්ෂා කරන්න බැදී සිටිනවා, ඒ සදහා මැදිහත් වෙනවා. “

    GSP+ වෙළද සහනය නැවත ලංකාවට ලැබෙවිද යන සැකයක් පවතින බව මාධ්‍යවේදීන් අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඒ සදහා අමාත්‍යතුමා මෙසේ පිළිතුරු ලබා දෙන ලදි.

    “ අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ වගේම ඕනෑම විදේශ රටක් සමග අපේ වෙළඳපොළ විවෘත කර ගනුදෙනු කරන්නත් අපි සූදානමින් ඉන්නවා.

    කොන්දේසි විරහිතව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න අපි ක්‍රියාත්මක වෙනවා. මම විස්වාශ කරනවා ඉදිරි කාලයේදී අතිගරු ජනාධිපතිතුමාගේ හා විදේශ අමාත්‍යාංශයේ විදේශ ප්‍රතිපත්තියත් එක්ක පැහැදිලිව යුරෝපයේ GSP+  වගේම ලෝකයේ  නව වෙළඳපොළ සමග ගනුදෙනු කරන්න හැකියාව ලැබෙයි.

    ලබන වසරේ අය වැයෙන් ගමට වෙන් වෙන ලක්ෂ 30 ත් කොට්ඨාශ මන්ත්‍රීවරයාට වෙන් වෙන ලක්ෂ 40 ත් පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන් වෙන මුදල්වලිනුත් 40% ක අවමය ලබා දෙන්නේ ව්‍යවසායකත්වය සංවර්ධනය කරන්න. එය උපරිමය 100% දක්වා ගෙන යා හැකියි.

    අපි අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ලෝක වෙළඳපොළට අවශ්‍ය නිෂ්පාදන බිහි කරන්න පටන් ගන්නවා කියන කාරණය මෙයින් පැහැදිලි වෙනවා.”

    විපක්ෂය චෝදනා කරන්නේ මෙවර අය වැයෙන් ගමට මුදල් ලබා දෙන්නේ මැතිවරණය ඉලක්කරගෙන බව මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.

    “ විපක්ෂයට ප්‍රතිපත්තියක් නැති නිසා ඒ අයට ඕනේම අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්. ඔවුන්ට දේශපාලනමය වශයෙන් ප්‍රතිපත්තියක් තිබ්බා නම් අද මේ විදියේ ඉරණමක් අත් වෙන්නේ නැහැ.

    අපි මැතිවරණ බලාගෙන ගම සංවර්ධනය කරපු අය නෙවෙයි එය අපි පැහැදිලිව වගකීමකින්  කියනවා. ඔබට මතක ඇති ඉතිහාසයේ පළමු වතාවට ග්‍රාමසේවා වසමට මුදල් වෙන් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන්. ඒ ඡන්ද බලාගෙන නෙවෙයි.

    එදා ගමේ මන්ත්‍රීවරයාට ප්‍රතිපාදන වෙන් කර ගම සංවර්ධනය කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවයි.

    දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගම සංවර්ධනය කරන්න මුදල් වෙන් කළේ එතුමාගේ ආණ්ඩුව කාලේ .

    ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවත් ඒ ප්‍රතිපත්තිවලට අනුව යමින් පැහැදිලිව ගම සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා. එය මැතිවරණ ඉලක්ක කරගෙනවත්, දේශපාලන අරමුණකින්වත් නොවෙයි.

    මෙවර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

  • ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවට අභියෝග කළ පාඨලීගේ පෙත්සම අභියාචනාධිකරණයේදී විභාගයට

    ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවට අභියෝග කළ පාඨලීගේ පෙත්සම අභියාචනාධිකරණයේදී විභාගයට

    වර්ථමාන රජය විසින් යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී. ජනාධිපති වරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරනය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවන ලදී.

    උපාලි අබේරත්න නිගමන මගින් යහපාලන ආන්ඩුව යටතේ පිහිටුවා තිබුන දුෂන විමර්ශන කොමිටුව හා එහි සාමාජිකයන්ගේ තින්දු තීරන මගින් දේශපාලන පලිගැනීම් සිදුව ඇති බව නිගමනය කොට තිබේ.

    එම කමිටුවේ සාමාජිකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රනවක, අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාශල් ෆොන්සේකා රාජිත සේනාරත්න, මංගල සමරවීර ප්‍රධාන චුදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

    විශේෂ ජනාධිපති කොමිසම මගින් යම් පුද්ගලයකු වරද කරු ලෙස නිගමනය කරයි නම් ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට බලය ලබා දී තිබේ.
    පාඨලි චම්පික රනවක මහතා උපාලි අබේරත්න කොමිසමේ නිගමන අභියාචනාධිකරනය ඉදිරියේ අභියෝග කරන ලද අතර අද (14දා) සවස 1ට අභියාචනා අධිකරනය ඉදිරියේ පෙත්සම කැඳවනු ලබයි.

    පෙත්සම් කරු වෙනුවෙන් ජේශ්ඨ නීතීඤ ක්‍රිශ්මාල් වර්ණසුරිය මහතා පෙනි සිටියි. පාඨලී චම්පික රනවක මහතා පෙත්සම් කරු ලෙස ආයාචනය කර සිටින්නේ උපාලි අබේරත්න මහතා සභාපතිත්වය දැරැ ජනාධිපති කොමිසම විසින් එලඹෙන ලද නිගමන සියල්ල සර්ශෝරාරී රිට් ආඤාවක් මගින් බලරහිත කරන ලෙසත් එකී කොමිශන් සභා නිගමන ක්‍රියාත්මක කිරීම තුලින් පෙත්සම් කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසියම් හෝ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කරනු ලබන ප්‍රොහිබිශන් ආඥාවක් නිකුත් කරන මෙන්ද ඉහත නිර්දේශ පදනම් කොට ගෙන දැනට පෙත්සම්කරුට එරෙහිව ගන්නා සියලු ක්‍රියාකාරකම් වාරනයට ලක් කරන ලෙස ඉල්ලා තිබේ.

  • ජීවන වියදම ඉහළ යාම ගැන කැබිනට් එකේ ‘බරටම කළ කතා ගැන සුපිරි හෙළිදරව්ව‘

    ජීවන වියදම ඉහළ යාම ගැන කැබිනට් එකේ ‘බරටම කළ කතා ගැන සුපිරි හෙළිදරව්ව‘

    යේ (11) රැස් වූ කැබිනට් මණ්ඩලයේ වැඩි අවධානයක් යොමු වූයේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් බව කැබිනට් අමාත්‍යවරයෙක් පැවසීය.

    අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල ඉහළ යාම නිසා රජයට පීඩනයක් දැනෙන හෙයින්, අමාත්‍යාංශ විසින් භාවිතා කරන අනවශ්‍ය වාහන ඇතුළුව සියලුම රාජ්‍ය වියදම් අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට උපදෙස් දුන් බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

    ලෝක තෙල් මිල ඉහළ යමින් තිබියදී වුවත් ඉන්ධන මිල ඉහළ දැමීමට තමා ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා උදය ගම්මන්පිල ඇමතිවරයාට අවධාරණය කළ අතර අර්බුදය ජය ගැනීම සඳහා විකල්ප මාර්ගයක් ඉල්ලා සිටියේය. ඉන්ධන මිල වැඩි කිරීමක් නොකළ යුතු බවට ඇමතිවරුන් කිහිප දෙනෙකු ද ජනාධිපතිවරයා සමඟ එකඟතාවයක සිටියහ.

    ජනතාවට හැකි ඉක්මනින් සහන සලසන සැලසීම සදහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යාම සඳහා විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේය.

    ජනපතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මුදල් ඇමතිවරයාට කියා සිටියේ ජනතාවට සහන ලබා දිය හැකි නව ක්‍රමවේදයන් සකස් කරන බවයි.

    පාර්ලිමේන්තුවේදී ජීවන වියදම ඉහළ යාම පිළිබඳ සාකච්ඡා කරන ලෙසත්, අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල වැඩි කළේ ඇයිද යන්න පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඔවුනට ලබා දෙන ලෙසත්, පසුව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

  • ‘මේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බෑ‘

    ‘මේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බෑ‘

    අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීමයි. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ කියලයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

    ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුව අමතමිණි. එහිදී වැඩිදුරයත් දැක්වූ අදහස්.

    “ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ සිට කිරිපිටි, ගෑස්, සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට මෙතෙක් ක්‍රියාත්මක වුණු මිල පාලනය ඉවත් කළා. මේ අතර ජනතාවට ඉදිරි අවුරුද්දේ බර පටවන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය කාලය පුරාම සාමාන්‍ය පාරිභෝගික ජනතාව ඉතාම පීඩාවට පත්කරමින් කිරිපිටි, ගෑස්, පෝලිම් නිර්මාණය කර තිබුණා. රාජපක්‍ෂ පාලනයේ බැරිකම මහ පාරේ පෙන්නුම් කළා. ජනතාවගේ වේදනාව මාධ්‍යවලින් අපි දැක්කා. හිඟකම නිර්මාණය කරලා ඊට උත්තර හැටියට ආණ්ඩුව තෝරන්නේ ජනතාවට බර පටවන එකයි. පවතින ආර්ථික අර්බුදය නිසා විශේෂයෙන් විදේශ විනිමය හිඟයක් පවතිනවා. මේ නිසා අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකි වුණා. ඩොලර් සංචිතය කඩා වැටෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. ජනතාවට දරාගන්න බැරි භාණ්ඩ හිඟයක් හැටියට ආවේ ආණ්ඩුවේ නොහැකියාවයි. අන්තිමට මේ පීඩනය ජනතාව පිට පටවලා ආණ්ඩුව ගැලවුණා. හිඟයේ බර ජනතාව පිට පටවන්න මිල පාලනය ඉවත්කළා. මේ නිසා ග්‍රෑම් 400 කිරි පැකට් එකක් රුපියල් 140කින් වැඩිකර තිබෙනවා. මේ ආරම්භය විතරයි. ගෑස් මිල වැඩිකරන්න ඉල්ලීම් කරමින් තිබුණා. රුපියල් 1,200කින් විතර වැඩිකරන්න ඔවුන් ඉල්ලීම් කර තිබුණා. අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීමයි. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ කියලයි.”

    ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙවෙයි

    “ආණ්ඩුවේ පාලනයත් මිල පාලනයත් ගිලිහී යාමෙන් පාරිභෝගික අධිකාරිය, පාරිභොගික ඇමතිවරයා මොකද කරන්නේ? හිඟයකින් තොරව භාණ්ඩ සපයන්න කටයුතු කරන බව ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියා තිබෙනවා. ආණ්ඩුව කරන්නේ මිල පාලනය ඉවත් කිරීමයි. මේ නිසා හිඟය හදපු අයම මිල වැඩිකරලා හිඟය අවසන් බව කියනවා. ජනතාවගේ කටින්ම කීයට හරි ගන්න බඩු දෙන්න කියලා කියයවලා ජනතාව වේදනාවට පත්කරලා. කිරිපිටි පෝලිමේ ඉන්න මිනිස්සු වැඩිමිලට හරි කමක් නැහැ භාණ්ඩ දෙන්න කියන තැනට පොළඹවා තිබෙනවා. හැම භාණ්ඩයකටම මේ වැඩේ කරනවා. ආණ්ඩුවේ පාලනය ජාවාරම්කාර වළල්ලේ කිහිප දෙනෙක් අතට අද ගිහිල්ලා තියෙනවා. සහල් මිල පාලනය ඉවත් කිරීමත් සමඟම ඩඞ්ලි මුදලාලි මිල තීරණය කළා. කිරිපිටි මිල තීරණය කරන්නේ ඒ ව්‍යාපාර කරන අයයි. සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙනුත් එහෙමයි. තත්වය මේක නම් රාජපක්‍ෂ ආණ්ඩුව මොකද කරන්නේ? වරායේ හිරවී තිබෙන භාණ්ඩ මුදාහරින්න විදේශ විනිමය සචිතයෙන් ඩොලර් මිලියන 50ක් නිදහස් කර දුන්නා. ව්‍යාපාරික ප්‍රජාවටත් සාමාන්‍ය ජනතාවටත් සාධාරණය ඉෂ්ට කිරීම ආණ්ඩුවේ වගකීමක්. සතොසෙන් ඇති තරම් භාණ්ඩ ගෙනත් දෙනවා, යට ඇඳුම් පවා ගෙනත් තියෙන බවට පම්පෝරි ගැහුවත් අද බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න ඇමතිවරුන්ට කියන්න දෙයක් නැහැ. හේතුව අද ආණ්ඩුවේ පාලනයක් නැහැ. පීඩාවට පත්වී සිටින ජනතාවට ආණ්ඩුව පහර පිට පහර දෙමින් ඉන්නවා. තමන්ගේ මිත්‍රයින්ට සැලකිලි කළාට ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙවෙයි මේක.”

    පැලැස්තර විසඳුම්වත් නැහැ…

    “ලාෆ් ගෑස් සමාගමට මහජන බැංකුවෙන් ඩොලර් මිලියන ගණන් ණය පහසුකම් ලබාදුන්නා. ඒ පහසුකමත් අරගෙන මිල වැඩි කරන්න ඉල්ලනවා. එතකොට පාරිභෝගිකයාට මොකද වෙන්නේ? මේ වන විටත් ආනයනික භාණ්ඩ ගෙන්වන්න බැරි අර්බුදයක් තිබෙනවා. මේ නිසා මිල විශාල වශයෙන් වැඩිවීී තිබෙනවා. මේ තත්වය යටතේ සාධාරණ මිලකට භාණ්ඩ සැපයීමේ වගකීම ආණ්ඩුවට තියෙනවා. ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ගයෙන් අද ඉවත් වෙමින් ඉන්නවා. හදිසි නීති දාලා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කරලා ගොඩක් උත්සාහ කරන බව පෙන්නුවා. හැබැයි අද කාටද සාධාරණය ඉෂ්ට වෙලා තියෙන්නේ? ගෑස්, කිරිපිටි, සිමෙන්ති සහල් තිරිඟු පිටි සම්බන්ධයෙන් අහිංසක ජනතාවට බර පැටවීමේ ක්‍රියාමාර්ග දිගටම ගනිමින් ඉන්නවා. කොරෝනා තත්වය නිසා රැකියා අහිමිවී ආදායම් අහිමි වී අසරණ වී සිටින ජනතාවට පහර ගහලා තියෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයෙන් ඉවත් වීමේ තීරණයෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට පැලැස්තර විසඳුම්වත් නැති බවයි. එද වේල ගෙවාගන්න කැබිනට් මණ්ඩලය රැස්වුණත් ජනතාව පීඩාවට පත්කරන ක්‍රමවේදයක් පත්කරමින් තිබෙන බව තේරුම් ගන්න ඕනෑ. ආණ්ඩුවේ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත පදනම්කරගෙන අයවැය යෝජනා ගෙන එනවා. විසර්ජන පනතේ ඉලක්කම්වලින් ජනතාවගේ ප්‍රශ්න නියෝජනය වෙන්නේ නැහැ. ජනතාව සිටින පීඩාකාරී ජීවිතය සම්බන්ධයෙන් විසඳුම් ආණ්ඩුවට නැහැ. හැමදාම විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ වියදම් අඩුවෙන් පෙන්නලා. ණය ගන්න සීමාව අඩුවෙන් පෙන්නලා. හැබැයි අයවැයෙන් ඇත්ත වියදම් පෙන්වනවා. ඊට පස්සෙත් පරිපූරක ඇස්තමේන්තු දාලා තවත් වියදම් වැඩිකර ගන්නවා.”

    මහ පොළොවේ සිද්ධ වෙන දේවලින් සාක්ෂි දරනවා…

    “මේ නිසා අයවැය පරතරය විශාල වශයෙන් වැඩිවී ජනතාව පීඩාවට පත්කරනවා. අද සිදුකරමින් තිබෙන්නෙත් ඒක. දැන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනතෙන් ආණ්ඩුවේ වියදම් බිලියන 2505ක් බව පෙන්වනවා. නමුත් 2021 වියදම්වලට ආසන්න වශයෙන් බිලියන 5,000ක් වියදම් වෙන බව පෙන්නුවා. දැන් ණය සීමාවත් බිලියන 3184ක් කියලා පෙන්වලා තියෙනවා. මේවා නිකං ඉලක්කං විතරයි. ඇත්ත උත්තර සොයන ක්‍රියාමාර්ග නෙවෙයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ඇත්ත ප්‍රශ්න නියෝජනය කරන, ඒ ප්‍රශ්නවලට උත්තර හොයන තැනක් බවට පත්වී නැහැ. දැන් මහ පොළොවේ සිද්ධ වෙන දේවලින් ඒ බව හොඳින් පෙන්නුම් කරනවා. 2021 අමාත්‍යාංශවලට වෙන්කර තිබෙන මුදල් කොරෝනා තත්වය හමුවේ ඉතිරි වෙන්න ඕනෑ. ඒ මුදල් ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න විසඳීමට යෙදවීමේ වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. සංචාරක අමාත්‍යාංශයට බිලියන 55ක් වෙන්කර තිබුණා. එයින් 84%ක් ඉතිරි වී තිබෙනවා. අධිවේගී මාර්ගවලට වෙන්කළ මුදල්වලින් 76%ක් ඉතිරි වී තිබෙනවා. මේ ඉතිරි මුදල් අත්‍යවශ්‍ය කටයුතුවලට යොදවන්න ඕනෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයට බිලියන 16ක් වෙන්කළා. නමුත් අගෝස්තු 31 වනවිට වියදම් කර තිබෙන්නේ බිලියන 05යි. පොහොර නැතිව ගොවිතැන විනාශ වුණු ජනතාවට වන්දි ගෙවන්නවත් මේ මුදල් යොදවන්නේ නැහැ. කෘෂිකර්මාන්තය කරුමයක් බවට පත්වී සිටින ගොවි ජනතාවට හුස්ම ගන්න සහනයක් දෙන්න ආණ්ඩුවට පුළුවන්. ඒ ගොල්ලෝ සාම්ප්‍රදායික ඉලක්කම්වලින් ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරමින් ඉන්නවා.”

    හමුදාවල විශේෂ දීමනාව අවුරුදු 03කින් ගෙවා නැහැ…

    “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසර්ජන පනතේ ඉලක්කම්වලින් ජනතාවගේ ඇත්ත ජීවිතය පෙන්වන්නේ නැහැ. ඇත්ත ජීවිතය තියෙන්නේ මහා පාරේ පෝලිම්වල. ආණ්ඩුවේ බැරිකම නිසා ජනතාවගේ ප්‍රශ්න කැකෑරෙන මට්ටමට ඇවිත් තිබෙනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ ගොල්ලන්ට තියෙන්නේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණා දැමීමේ ගනුදෙනු. මේ නිසා හැම පැත්තෙන්ම පීඩාවට පත්වී සිටින ගොවි ජනතාව, ධීවර ජනතාව, විශ්‍රාම වැටුප් අහිමි වුණු සහ විශ්‍රාම වැටුප් විෂමතාවයට පත්වුණු අයට විසඳුම් නැහැ. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයටත් ඉතිරි වී තිබෙන ප්‍රතිපාදනවලින් යොදවන්නේ නැහැ. සෞඛ්‍ය සේවයේ කොවිඞ් වසංගත තත්වය පවා වැඩකළ අයට දෙන්න තියෙන ප්‍රතිපාදනත් නවතා දමා තිබෙනවා. ඔවුන්ටත් අද උද්ඝෝෂණය කරන්න සිදුවී තිබෙනවා. හමුදාවල සේවය කරන අයගේ විශේෂ දීමනාව අවුරුදු 03කින් ගෙවා නැහැ. නමුත් ඒ අය කාබනික පොහොර නිෂ්පාදනයට යොදවා තිබෙනවා. මේ හැම දෙනාම භාණ්ඩ මිල වැඩිවීමෙන් පීඩා විඳිනවා. මේ ආණ්ඩු හදපු ජනතාව මේ තත්වය තේරුම් ගන්න ඕනෑ. ආණ්ඩු පත්කරලා සහනයක් බලාපොරොත්තු වුණු ජනතාවට කිසිම සහනයක් ලබා දෙන්නේ නැහැ. ආණ්ඩුවට පාලනයකුත් නැහැ, ආර්ථික සම්පත් විකුණමින් මහජනතාව පීඩාවට පත්කරනවා විතරයි. ආණ්ඩුව යන මේ ගමන නවත්වන්න මහජන බලවේග සූදානම්. ආණ්ඩුව බලයට පත්කරන්න කතිරය ගැසූ සැම ඡන්ද දායකයෙක්ගෙන්ම අපි ඉල්ලන්නේ ඇත්ත තත්වය තේරුම් ගන්නා ලෙසයි. මේ පාලනය වෙනස් කරලා මහජනතාවට වග කියන මහජන පාලනයක් නිර්මාණය කරගන්න පෙළ ගැසිය යුතුව තිබෙන බව මේ සෑම කාරණයකින්ම පැහැදිලි වී තිබෙනවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

    “මහින්ද රාජපක්‍ෂ මහත්මයා ජනාධිපතිවරණයෙන් පරාද වුණාට පස්සේ කීවේ හොරු ආරක්‍ෂා කළ නිසා පැරදුණු බවයි. හොරුන්ගේ ෆයිල් තමන් ළඟ තිබුණත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත් නිසා පැරදුණු බව කීවා. අපිට අහන්න තියෙන්නේ එක දෙයයි. එදා සිටි හොරුන්ගෙන් අද නැත්තේ කවුද කියලයි. එදාට වඩා අලුත් හොරු එකතු වී ඉන්නවා හැර අඩුවී නැහැ. රාජපක්‍ෂ පවුල ගත්තත් එහෙම තමයි. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් ලෝකයේ කොහේ හිටියත් ගේනවා කියූ අය පවුලේ කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති බව අපි දන්නවා. එදා අනුර දිසානායක සහෝදරයා හෙළිකළ තොරතුරු පිළිගන්න අකමැති වුණු අයට දැන් සියලුම දේවල් හෙළිවී තිබෙනවා. පරීක්‍ෂණවලටට විශ්‍රාමික විනිසුරුවරුන් පත්කරන බව කියනවා. ඒ ගොල්ලොම ප්‍රශ්නය දීලා ඒ ගොල්ලොම උත්තර බලාපොරොත්තු වෙනවා. මේ ජාතියේ කොමිෂන් අපි කොච්චර දැක තිබෙනවාද? එවකට සිටි ජගත් බාලපටබැඳි අල්ලස් කොමිසමේ සභාපතිවරයාට විරුද්ධව මම පුද්ගලිකව පැමිණිල්ලක් කර තිබෙනවා. අද වෙනතුරු මගෙන් විමසීමක්වත් කර නැහැ. මේවාගෙන් ඇත්ත හෙළිදරව් වෙන්නේ නැහැ. අනික් පැත්තෙන් පැන්ඩෝරා වාර්තාවෙන් නිරූපමා රාජපක්‍ෂගේ නම හෙළිවුණාට අනෙක් රාජපක්‍ෂලා ගැන හෙළිවෙන්නේ නැහැ. මේ රාජපක්‍ෂ පාලනයෙන් පැන්ඩෝරා සම්බන්ධයෙන් හොයන්න සාධාරණ පරීක්‍ෂණයක් පවත්වයි කියලා හිතනවා නම් ඒ තරම් මිත්‍යාවක් තවත් නැහැ.”

  • එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණ GL මැතිසබේදී හෙළිකරයි

    එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණ GL මැතිසබේදී හෙළිකරයි

    ලොකු කුඩා සෑම රටකටම බලපාන  වසංගත, දේශගුණ විපර්යාස, ගෝලීය ආහාර තත්වය,තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ පිරිසුදු බලශක්තියට මාරුවීමේ අවශ්‍යතාව  යනාදී කාරණා රැසක් ගැන  එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවූ බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මේ මූලික ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමඟ සංවාදයකට සහභාගි විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

    විදේශ අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී කෙරුණු සාකච්ඡා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කළ සම්පූර්ණ කතාව පහත පළ වේ.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්ෂේත්‍රය තුළ අප දරන ප්‍රයත්න පිළිබඳව මෙම සභාවට දැනුම් දීම සඳහා මම අද නැගී සිටිමි. අපි රජයක් වශයෙන් වර්තමාන වසංගතයට එරෙහිව සටන් කරමින් එහි ඉතා අයහපත් බලපෑම් හේතුවෙන් සිදුවන ආර්ථික හැකිලීමේ ප්‍රතිවිපාක සමඟ කටයුතු කරන අතර, පාලනය සහ ජාතික යහපැවැත්ම පිළිබඳ අපගේ ප්‍රවේශයේ තවත් පැතිකඩක් ඔබතුමාගේ අවසරය ඇතිව ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. ප්‍රතිපත්තිමය වශයෙන්,  අපි අනෙකුත් ජාතික රාජ්‍යයන් සමඟ පූර්ණ ලෙස, අවංකව හා විවෘතව කටයුතු කිරීම සඳහා වන අපේ අතිගරු ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අවධාරණය කළ යුතුය. අපගේ සෞභාග්‍යයේ දැක්ම, තනිවම සාක්‍ෂාත් කර ගත නොහැක. අපි සියලු දෙනාම පොදු අනාගතයක් බෙදාහදා ගන්නා අතර, මතු පරම්පරාව වෙනුවෙන් එම දීප්තිමත් අනාගතය සුරක්‍ෂිත කර ගැනීම සහ සහතික කිරීම සඳහා අපට කළ හැකි උපරිමය කිරීම අපේ යුතුකමයි.

    මේ අනුව ගරු කථානායකතුමනි, අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් සහ මිතුරන් සමඟ මෑතක දී සිදුකළ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව මම මෙම සභාවේ අවධානය යොමු කරමි. අපි ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් සහ ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද ද්විපාර්ශ්වික හවුල්කාර රටවල් සමඟ සංවාදයක් පවත්වා ගෙන යන අතර, භූගෝලීය හා අනෙකුත් සීමා මායිම් හරහා ජාත්‍යන්තර මට්ටමින් කටයුතු කිරීමට ද අපි උත්සාහ දරන්නෙමු. ගරු කථානායකතුමනි, ලැබෙන සෑම අවස්ථාවක දී ම හැකි විශාලම ප්‍රජාවක් ඇමතීමට අපි උත්සාහ දරන්නෙමු. මෙය අපට එරෙහිව එල්ලවන විවේචනාත්මක අදහස්වලට එරෙහිව කටයුතු කිරීමට හෝ ඒවා වැළැක්වීම සඳහා පමණක් නොව, ගෝලීය වේදිකාවේ දී අපේ හඬ ඇසෙන්නට සැලැස්වීම පිණිස ද වේ. අපි මෙය ද්විපාර්ශ්වික හවුල්කරුවන්, සංවිධාන හා කලාපීය කණ්ඩායම් සමඟ සහ විශේෂයෙන් බහුපාර්ශ්වික සංසදවල දී සිදුකරන්නෙමු. පුද්ගලිකව සහ සාමූහික වශයෙන් අප මුහුණ දෙන අසංඛ්‍යාත අභියෝගයන්ට මුහුණ දීමේ දී, විවෘතභාවය පිළිබඳ හැඟීමක්, අන් අයගේ සංජානනය සහ සැබෑ ජීවිතයේ අත්දැකීම් අවශෝෂණය කර ගැනීමට සහ එතුළින් ඉගෙනීමට ඇති කැමැත්තක් අප තුළ ද පවතී.

    ගරු කථානායකතුමනි, අපි සාපේක්ෂ වශයෙන් කුඩා, දූපත් රාජ්‍යයක් වෙමු. කෙසේවෙතත්, අපි අභිමානවත් ඉතිහාසයක් සහ සංකීර්ණ පසුබිමක් සහිත ජාතියක් ද වෙමු. ලෝකයෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති අතරම, ලෝකය සමඟ බෙදාහදා ගැනීමට ද බොහෝ දේ අපට ඇත. අපගේ බහුවිධ විවිධත්වය යනු සමාජ අත්හදා බැලීමක් නොව, එදිනෙදා අප ජීවත් වන දෙයකි. එය වරින් වර ආතතීන් ඇති කරන නමුත්, අපි තවමත් සහෝදරත්වය සහ හොඳ හිත පිළිබඳ හැඟීමෙන් යුක්තව දිගටම දිවි ගෙවන්නෙමු. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ මා විසින් සහභාගී වන ලද, මෑතක දී ඉතාලිය, ජිනීවා සහ නිව්යෝර්ක් හි පැවති ඉහළ පෙළේ සාකච්ඡා තුනේ දී අපි මේ බව අවධාරණය කළෙමු. මෙම සිදුවීම් මඟින්, සියලු රටවල් සඳහා පොදු වැදගත්කමක් සහිත වැදගත් ගෝලීය ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගීතාව ප්‍රකාශ කිරීම සඳහා මෙන්ම, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපගේම අදහස් ඉදිරිපත් කිරීම සඳහා ද ශ්‍රී ලංකාවට තීරණාත්මක වේදිකා සපයා ඇත. මෙම මෑත කාලීන අන්තර්ක්‍රියා හේතුවෙන්, ජාත්‍යන්තර වශයෙන් ඉහළම තලයේ සිටින නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ අන්තර් ක්‍රියා සිදුකිරීමට අපට හැකි විය.

    වසංගත තත්ත්වය හේතුවෙන් පැවති භෞතික සම්බන්ධතාවයේ දිගුකාලීන පරතරයකින් අනතුරුව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් “අපේ කාලයේ දී පැවති විශාලතම අර්බුද ප්‍රවාහය” ලෙස හැඳින්වූ විවිධ අංශයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කටයුතු මඟින් වැදගත් අවස්ථාවක් ලබා දුන්නේය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිව්යෝර්ක් හි පැවති 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී සිය ප්‍රකාශය කරමින්, වසංගතය සහ ඒ හේතුවෙන් ඇති වන ආර්ථික බිඳවැටීම් මෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් පවතින අර්බුදවලට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ පූර්ණ ලෙස සම්බන්ධ වී සිටින බව ප්‍රකාශ කළේය. අපගේ මෙම කටයුතුවල අරමුණ වන්නේ, මෙම ගෝලීය අභියෝගවල අයහපත් ප්‍රතිඵලවලින් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීමයි.

    ඒ හා සමානව ශ්‍රී ලංකාව සඳහා වැදගත් වන මෑත කාලීන දේශීය ප්‍රවණතා සහ මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධ තීරණාත්මක ජාතික ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අප මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳව ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික මට්ටමින් ජාත්‍යන්තර ප්‍රජාව ඇමතීමට සහ කිසියම් සාවද්‍ය හෝ පක්ෂග්‍රාහී හැඟීමක් නිවැරදි කිරීම සඳහා මෙම සංචාර මඟින් අපට අවස්ථාව ලබා දුන්නේය.

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා මගේ ප්‍රකාශය අවසන් කරමින්, මම මෙසේ ප්‍රකාශ කළෙමි: “අපි අපේ අභියෝග පිළිගැනීම සඳහා විවෘතව සිටින අතර, වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස, සමස්ත ගැටලු පරාසය තුළම වගවීම, සංහිඳියාව, මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් ලබා ගැනීම සඳහා අපි කැපවී සිටින්නෙමු.”

    මෙම අභියෝගයන්ට මුහුණ දීමේ අවශ්‍යතාවය අපි පිළිගන්නා බවට වන ස්ථාවරයෙහි අප පිහිටා සිටින අතර, එම ප්‍රයත්නයේ දී, හිතකර විවේචන සහ යහපත් චේතනාවකින් යුතුව ගෙනඑන ජාත්‍යන්තර යෝජනා සඳහා විවෘතව ප්‍රතිචාර දැක්විය යුතුය. එසේ පවසන අතරම ගරු කථානායකතුමනි, අපට අපගේ ස්වාධීනත්වය, ජාතික ස්වෛරීභාවය හෝ ජාතියක් වශයෙන් අපගේ ආත්ම ගෞරවය අනතුරේ හෙළීමට ද අවශ්‍ය නොවේ.

    ප්‍රධාන රටවල් ගණනාවක විදේශ ඇමතිවරුන් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කිරීමට සහ පොදුරාජ්‍ය මණ්ඩලය, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාව සහ ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය වැනි ශ්‍රී ලංකාවට ඍජුව අදාළ වන සභාවන් ඇමතීම සඳහා මට අවස්ථාව ලැබුණි. අපගේ පළපුරුද්ද, සංජානනය සහ ස්ථාවරය වාර්තාගතව තැබීම සඳහා අපගේ අඛණ්ඩ හා දැඩි උත්සාහය තුළින් විවෘතභාවය, අවංකභාවය සහ ක්‍රියා කිරීමට ඇති කැමැත්ත පිළිබඳ මෙම ප්‍රවේශය පෙන්නුම් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන ආසියාවේ පැරණිතම රටක් ලෙස, දශක නවයක් තිස්සේ අඛණ්ඩව මෙම ක්‍රමය පිළිපදින ජාතියක ස්ථාවරයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්, පරමාදර්ශයන් සහ පොදුවේ බෙදාගත් සාරධර්ම කෙරෙහි වූ අපගේ කැපවීම අපි යළි තහවුරු කළෙමු.

    ගරු කථානායකතුමනි, සැබෑ හා දැනෙන ප්‍රතිලාභ අපේ ජනතාවට ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් දරනු ලබන මෙම ප්‍රයත්න අතිශයින් වැදගත් වේ. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී ප්‍රධාන අවධානය යොමු වූයේ, ලෝකයේ ලොකු කුඩා සෑම රටකටම බලපාන වසංගතය, දේශගුණික විපර්යාස, ගෝලීය ආහාර තත්ත්වය, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ පිරිසිදු බලශක්තියට මාරුවීමේ අවශ්‍යතාවය වැනි කරුණු පිළිබඳවය. ගෝලීය ස්වභාවයේ පවතින මෙම අන්තර් සම්බන්ධිත ගැටලු සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ දෛනික ජීවිතයට බලපාන බව ඉතා පැහැදිලිය.

    මෙම මූලික ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ මෙම සංවාදයට සහභාගී විය යුතුය. තවත් පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ, අපට විද්‍යාඥයින්, ආර්ථික විද්‍යාඥයින්, පෞද්ගලික අංශය, තාක්‍ෂණයේ නායකයින්, තරුණයින් මෙන්ම ප්‍රාථමික ආහාර නිෂ්පාදකයින් වැනි දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉතා පුළුල් පරාසයක කොටස් කරුවන් වෙත ළඟා වීමට අවශ්‍ය වීමයි. මෙය විවිධ මට්ටම්වල සහ විවිධ ක්ෂේත්‍රවල දේශීය හා ගෝලීය ප්‍රජාවේ හරස්කඩක් නියෝජනය කරයි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි, “වසංගතයේ ආර්ථික බලපෑම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි දැඩි ලෙස බලපා ඇත. මෙය 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සැලකිය යුතු ලෙස අවදානමට ලක් කර තිබේ.”

    ඒ අනුව, ගරු කථානායකතුමනි, මෙය සාමූහිකව අප ඉදිරියේ පවතින විශාලතම අභියෝගයයි. ශ්‍රී ලංකාව තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයකම නායකත්වය ගෙන ඇති බවත්, පාරිසරික ක්‍රියාකාරිත්‍වය පිළිබඳ සමහර ප්‍රධාන අංශවල මූලිකත්වය ගෙන සිටින බවත් ප්‍රකාශ කිරීම හිස් හෝ නිෂ්ඵල ආත්ම වර්ණනාවක් නොවේ. ආන්තික දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් ලෙස, ඉදිරියේ දී එළඹෙන එක්සත් රාජධානියේ COP26 හි අපගේ නියැලීම මඟින් අපගේ පොදු, එකිනෙක රටවල් මත යැපෙන අනාගතය සඳහා වන අපගේ කැපවීම පිළිබඳව අවධාරණය කරනු ඇත.

    දේශගුණික විපර්යාස සම්බන්ධයෙන්, අප වෙනුවෙන් මෙන්ම, අපේ යෞවනයන් සහ අනාගත පරම්පරාව වෙනුවෙන් ද අතීතයේ අඩුපාඩු ආපසු හරවා සෞඛ්‍ය සම්පන්න ග්‍රහලොවක් අලුත්වැඩියා කොට ගොඩනැගීම සඳහා අපි බැඳී සිටිනවා. මෙම ප්‍රයත්නයේ දී, අපි සෙසු ලෝකය සමඟ සහයෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී මෙන්ම බලශක්ති පිළිබඳ ඉහළ පෙළේ සංවාදයේ දී ද අපේ මෙම ස්ථාවරය අපේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මේ හේතු නිසා මෙම වසරේ දී ජාත්‍යන්තර ප්‍රජාව සහ එක්සත් ජාතීන් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වීම කාලෝචිත හා අත්‍යවශ්‍ය වන බව එතුමා සඳහන් කළේය.

    තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්තියේ පෙරමුණගත් රට වශයෙන් අප පිළිගනු ලැබීම තුළින්, ශ්‍රී ලංකාව මෙම ගෝලීය ප්‍රයත්න සඳහා දායක වී ඇති බව එතුමා සඳහන් කළේය. 2050 වන විට කාබන් උදාසීන රටක් බවට පත් වීමේ ගෝලීය ප්‍රයත්නයට සම්බන්ධ වන බවට සහ 2030 වන විට අපේ බලශක්ති සම්පත් වලින් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම අපි ප්‍රතිඥා දී ඇත්තෙමු. තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්‍ධනය කිරීම, වනාන්තර ආවරණය වැඩි කිරීම සහ ජලය හා ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා වූ අපේ දේශීය ප්‍රයත්න, පොදුවේ පිළිගැනීමට ලක්විය.

    ඉදිරි වසර කිහිපය තුළ දී මෙම අපේක්ෂාගත ඉලක්ක වෙත ළඟාවීම සඳහා, අපට තාක්‍ෂණය, මූල්‍ය සහයෝගිතාව සහ ආධාර වෙත සැලකිය යුතු ප්‍රවේශයක් තිබිය යුතු බැවින්, ජාත්‍යන්තර වශයෙන් සහ මහා මණ්ඩලයෙහි අපගේ පෙනී සිටීම අත්‍යවශ්‍ය විය. මෙම වසර අවසානයේ දී පැවැත්වෙන COP 26 හිදී අපි මෙම පණිවිඩ නැවත අවධාරණය කරන්නෙමු.

    ගරු කථානායකතුමනි, අපට ජය ගැනීමට අවශ්‍ය අනෙක් විශාල අභියෝගය වන්නේ සමාජ සමගිය හා එකමුතුභාවයයි. අභ්‍යන්තර ආරවුල්, දොම්නස සහ හිංසනයෙන් තොර සැබවින්ම ඒකාබද්ධ ජාතියක් නොපවතින අවස්ථාවක දී, අප විසින් කළ යුතු වන්නේ පවුරු බැඳීමට වඩා පාලම් තැනීමය. අපි සමාජයේ සෑම අංශයක් කරාම ළඟා වී 2019 සහ 2020 වසරවල දී පැවති මැතිවරණවල දී රජය කෙරෙහි තැබූ විශ්වාසය නැවත ලබා දිය යුතුය. සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත කළ ප්‍රකාශයේ දී, දිග්ගැස්සුනු ගැටුමකින් පසුව අත්‍යවශ්‍ය වන සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ප්‍රයත්න පුනර්ජීවනය කිරීම සහ ප්‍රබෝධමත් කිරීම සඳහා වූ අපගේ මුලපිරීම් පිළිබඳව මම සඳහන් කළෙමි. අතිගරු ජනාධිපතිතුමා නිව්යෝර්ක්හි දී පැවසූ පරිදි: “කල් පවත්නා සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආයතන හරහා වැඩි වගවීමක්, ප්‍රතිස්ථාපන යුක්තියක් සහ අර්ථවත් සංහිඳියාවක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ.”

    අප 2009 දී අසීරුවෙන් දිනාගත් සාමය පවත්වා ගැනීම සහ ගොඩනැගීම සඳහා වූ මෙම ප්‍රයත්නයේ දී අපි සහයෝගය දක්වන ජාතික ආයතන කිහිපයක් පිළිබඳව මම සඳහන් කළෙමි. විශේෂයෙන් කථානායකතුමනි, එහි මූලික කර්තව්‍යය වශයෙන් දුක්ඛිත පවුල් ගණනාවක් සඳහා කටයුතු අවසන් කිරීමේ සහ වන්දි ලබා දීමේ අරමුණ ඇතිව, අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුව අවසන් කරමින් පවතින, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) වැදගත්කම පිළිබඳව මම අවධාරණය කළෙමි. ඒ හා සමානව, වන්දි ගෙවීමේ කාර්යාලය (OR) විසින් මේ වසරේ දී පමණක් හිමිකම් ඉල්ලීම් 3,775 ක් පිළිබඳව විභාග කොට ඇත.  ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය  (ONUR) විසින් එහි කරුණු 8 කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම නැවත ප්‍රාණවත් කිරීමේ ප්‍රයත්නයට අපි සහාය දුන්නෙමු. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්‍ධනය කිරීම සඳහා වූ වරම ක්‍රියාත්මක කිරීම සඳහා අපි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අඛණ්ඩව සහයෝගය ලබා දී ඇත්තෙමු. තිරසාර සංවර්ධන ඉලක්ක අංක 16 පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරන බව අපි පෙන්වා දුන්නෙමු. මෙම කරුණුවලට අතිරේකව, පසුගිය වසර කිහිපය තුළ සංහිඳියාව සහ වගවීම සඳහා වූ විවිධ ප්‍රයත්න පිළිබඳව සොයා බැලීමට සහ නිගමනයකට එළඹීම හා නිර්දේශ ලබා දීම සඳහා කොමිසමකට බලය පැවරීමට අතිගරු ජනාධිපතිතුමා කටයුතු කළ අතර, එමඟින් මෙම ක්‍රියාවලීන් ඉදිරියට ගෙන යාමට අපි අපේක්ෂා කරමු. අපගේ භූමියෙහි අනාගත දූ පුතුන් සඳහා දීප්තිමත්, සෞභාග්‍යමත් සහ සාමකාමී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා අවංක භාවයෙන් සහ බැරෑරුම් අරමුණින් යුතුව අපි මේ සියල්ල සිදු කරන්නෙමු.

    අපේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෑතක දී ඉතාලියේ බොලොඤ්ඤා හි දී අවසන් වූ ජී 20 අන්තර්-ආගමික සංවාදය අමතමින් සිය දේශනයේ දී, ආගම හා වෙනත් සමාජ සංස්කෘතික වෙනස්කම් මත පදනම් වූ බාධක ඉක්මවා යාමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. බොලොඤ්ඤා හි පැවති සර්ව ආගමික සංසදය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ මෙම සහභාගී වීම තුළින්, දේශීය සාමය හා සමගිය ඇති කිරීම සඳහා අධ්‍යාපනයේ සහ තරුණයින්ගේ වැදගත් කාර්යභාරය තවදුරටත් මතුකර  පෙන්වීය. මෙම අන්තර්-ආගමික සංසදය, ශ්‍රී ලංකාව උදාහරණයට ගනිමින්, අපේ කලාපයේ විවිධත්වය පිළිබිඹු කිරීම සහ මෙම විවිධත්වය ජාතියක් වශයෙන් අපගේ ශක්තියේ පදනම වන බව යළි අවධාරණය කිරීම සඳහා සුදුසු අවස්ථාවක් විය. එහි දී, “මෙම වෙනස්කම් අභිබවා යමින්, සියලු විවිධ ජාතීන් ප්‍රයෝජනයට ගනිමින්, පරිණත ජාතියක් පිළිබඳ හැඟීමක් ගොඩනැගීමේ අභියෝගය සඳහා අපි ප්‍රතිචාර දක්වා ඇත්තෙමු.” යයි එතුමා සඳහන් කළේය.

    කථානායකතුමනි, ඔබ තුමා හරහා ජාතිය සහ ලෝකය වෙත ලබා දෙන අපගේ පණිවුඩය වන්නේ, අපි ඒකීය භාවය – ලාංකික හැඟීම සහ අනන්‍යතාවය – පිළිබඳ හැඟීමක් ඇති කර ගනිමින් අපේ විවිධත්වය සැමරීම සඳහා උත්සාහ දරන අතර, අපට දේශීය හා ගෝලීය අභියෝග රැසකට මුහුණ දීම සඳහා එය දුර්වලකමකට වඩා ශක්තියේ ප්‍රභවයක් වනු ඇති බවයි.

    ගරු අග්‍රාමාත්‍යතුමා බොලොඤ්ඤා හි දී කළ දේශනයේ දී පැවසූ පරිදි:

    “සංහිඳියාව යනු අපේ කාලයේ තීරණාත්මක අවශ්‍යතාවයකි. ගැටුම් සහ උත්සන්න වන ආතතීන් අප අවට බොහෝ සෙයින් දක්නට ලැබේ. සාමය සහ ස්ථාවරත්වය පැමිණෙන්නේ අප සමඟ දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව, අපේ රටවල ජීවත් වන සියලු දෙනා සමඟ පැවැත්වෙන සෞඛ්‍ය සම්පන්න සබඳතාවලිනි. නැවතත්, අපේ ආගම අපට උගන්වන්නේ වෛරය ජය ගත හැක්කේ වෛරයෙන් නොව ප්‍රේමයෙන් පමණක් බවයි. අතීතයෙන් ලබාගත් දුක් ගැනවිලි ගැන සිතමින් සිටිනවාට වඩා, අපි වර්තමානය, අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමඟ එකඟතාවයක අවශ්‍යතාවය සහ අපි අත්‍යවශ්‍ය ලෙස පවතින සහෝදරත්වයේ හා අවබෝධයේ සබඳතා ගොඩනඟන්නේ නම් අප සියලු දෙනාට ළඟාවිය හැකි  ප්‍රබෝධජනක නව මායිම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.”

    මෙම ප්‍රයත්න තුළ සිවිල් සමාජයේ කාර්යභාරය පිළිබඳව අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. සිවිල් සමාජයේ නියෝජිතයින් යනු අපි ලබා ගැනීමට අපේක්ෂා කරන විසඳුම්වල අනිවාර්ය අංගයකි. කථානායකතුමනි, ඔවුන් ගැටලුව පිළිබඳ ප්‍රකාශනයක් නොව අපේ ගැටලු විසඳීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා රජය විසින් ගෙන ඇතැයි සැලකෙන පියවර පිළිබඳව උනන්දුවක් මතු වී තිබේ. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. අපි ප්‍රජාව සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින අතර, සංහිඳියාවට සහ තිරසාර සංවර්ධන ඉලක්ක අංක 16 හි ක්‍රියාවලීන්ට අනුකූලව ඔවුන්ගේ හැකියාවන් සහ නිසැක වශයෙන් පවතින ධාරිතාවන් උපයෝගී කර ගැනීමට උත්සාහ කරන්නෙමු. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය අමතමින් මා කළ කතාවේ දී මම මෙය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ අතර, අපේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා අප දරන ප්‍රයත්නයේ දී ඔවුන් වටිනා සහ අගය කරනු ලබන හවුල්කරුවෙකු ලෙස අපි සලකන බවට මෙම සභාවට සහතික වීමට මට අවශ්‍යය.

    කථානායකතුමනි, මෙම ඒකාබද්ධ අරමුණ සඳහා මූලික අභියෝගයක් වන්නේ අන්තවාදය සහ එයින් උපදින ත්‍රස්තවාදය යි. අපි ජනතාව නියෝජනය කරන රජයක් වශයෙන්, මානව ආරක්‍ෂාව එහි පුළුල් අර්ථයෙන් සහතික කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීප සහයෝගයෙන් යුතුව සියලු පියවර ගනිමින් සිටිමු. මෙම සන්දර්භය තුළ සාමූහික ජාතික හා ජාත්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබේ. පුද්ගල නිදහස සහ ස්වාධීනත්වය සහතික කිරීම ජාතික ආරක්‍ෂාව පිළිබඳ සංකල්පයට පටහැනි නොවේ. ඇත්තෙන්ම එය පුද්ගලික අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකි ස්ථාවර හා ආරක්‍ෂිත ජාත්‍යන්තර හා දේශීය නියෝගයකි. සම්භාව්‍ය මිත්‍යා ප්‍රබන්ධවල සහ ජනප්‍රවාදයේ එන බොහෝ හිස් ඇති හයිඩ්‍රා මෙන්, එක් රටක හෝ කලාපයක එක් ව්‍යාපාරයක් පරාජය වූ විට අන්තවාදය සහ ත්‍රස්තවාදය වෙනත් තැනක වර්ධනය වේ. අපි මෙය බොහෝ අවස්ථාවල දී දැක ඇත්තෙමු. අන්තර් සම්බන්ධිත ලෝකයක් තුළ, එවැනි ව්‍යාපාර සහ අන්තවාදී මතවාදයන් කලින් පැවති විනිවිද යා නොහැකි ජාතික සීමාවන් අර්ථ රහිත කරයි. අපේ ප්‍රතිචාරය ද කථානායකතුමනි, ඒ හා සමානව ගතික, අනුවර්තී හා ප්‍රත්‍යාස්ථ විය යුතුය. නිව්යෝර්ක් හි සහ වෙනත් මිත්‍රශීලී රටවල අමාත්‍යවරුන් සමඟ මා සිදුකළ අදහස් හුවමාරුවේ දී, මෙම සාපරාධී ජාලයන්ට අරමුදල් සැපයීම සහ තහනම් කිරීම පිළිබඳ ගැටලු විසඳීම සඳහා සමීප සහයෝගීතාව, බුද්ධි තොරතුරු එකතු කිරීම සහ බෙදා ගැනීම සහ සාමූහික ක්‍රියාමාර්ග කෙරෙහි අපි තියුණු අවධානයක් යොමු කර ඇත්තෙමු.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් අතිගරු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළ පරිදි:

    “ත්‍රස්තවාදය යනු ගෝලීය අභියෝගයක් වන අතර, එය ජය ගැනීමට නම් විශේෂයෙන් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව අවශ්‍ය වේ. පසුගිය අඩ සියවසේ දී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය පැහැර ගනු ලැබීය.

    මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වීම සඳහා මගේ රජය කැපවී සිටී.

    එම නිසා එහි පිටුපස පවතින මූලික ගැටලු විසඳීම සඳහා අපි කටයුතු කරන්නෙමු.”

    අවසාන වශයෙන් කථානායකතුමනි, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව, ක්‍රියාශීලීව සම්බන්ධ වීම තුළින් ජාතියට යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දරන ප්‍රයත්නවල දී අපි විවේක නොගන්නා බවට ශ්‍රී ලාංකික ජනතාවට සහතික වීමට මම කැමැත්තෙමි. මේ සම්බන්ධයෙන් අප දරන දැඩි ප්‍රයත්නය පිළිබඳව මෙම ගරු සභාවේ සාමාජිකයින්ට සහ ජාතියට නිතිපතා දැනුම් දීම සඳහා ඉදිරි මාසවල දී මම උත්සාහ දරමි.

  • දෙරටේ ආණ්ඩු ගන්නා තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කළ යුතුයි‘ – ජනපති

    දෙරටේ ආණ්ඩු ගන්නා තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කළ යුතුයි‘ – ජනපති

    එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1960, 70 දශකවල පැවති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව, කරුණු දීර්ඝව පැහැදිලි කරමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත්කිරීමට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය. දෙරට අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට කෙටි හා දීර්ඝකාලීනව ගත යුතු පියවර නිවැරදිව හඳුනාගත යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය.

    පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් හඳුනාගනිමින් ධීවර ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ හිමිකර දීමෙන් දීර්ඝ කාලයක සිට දෙරටේ ධීවරයන් මුහුණ පා සිටින පීඩාකාරී තත්ත්වයට විසඳුම් ලබාදිය හැකි බව  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දෙරට අතර ඇති වෙළඳ අසමතුලිතාව පිළිබඳව කරුණු පැහැදිලි කරදුන් ජනාධිපතිතුමා කඩිනමින් එයට විසඳුම් දීමේ අවශ්‍යතාව ගෙනහැර දැක්වීය.

    අතුරුදහන් වූවන්, යුද්ධය හේතුවෙන් වැන්දඹුභාවයට පත්වීම ඇතුලු යුද්ධයක අතුරු ප්‍රතිඵල පිළිබඳව මනා අවබෝධයෙන් පසුවන බව යාපනය බලකොටුව මුදා ගැනීමේ දී ලද තම අත්දැකීම් සිහිපත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.13 වන ව්‍යවස්ථාව සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපේක්ෂාව බවත් ඒ සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී තමා දෙමළ ඩයස් පෝරාවට සහ විදෙස්ගත දෙමළ ජනතාවට විවෘතව ආරාධනා කළ බව ද ජනාධිපතිතුමා ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පැවසීය.

    උතුර – නැගෙනහිර සංවර්ධනයට තම රජයන් පසුගිය කාලයේ සිට ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කළ ජනාධිපතිතුමා යුද සමයේ දී ආරක්ෂාව වෙනුවෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 90%කට අධික ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඇති බවත් පැවසීය. අතුරුදහන්වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවීම සිදු කෙරෙමින් පවතින අතර යුද සමයේ ඇති වූ අනෙකුත් ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිලි කර දෙනු ලැබීය.

    දෙරටේ භුගෝලීය පිහිටීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති හෙයින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිඳු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    චීනය සමග ඇති සබඳතාව ඉතා මැනවින් පැහැදිලි කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙස ද ඉන්දීය විදේශ ලේකම්වරයා සමග කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා පුළුල් පරිසරයක් සැකසී තිබේ. ඒ සඳහා ඉන්දීය ආයෝජකයන්ට ද විවෘතව ආරාධනා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව පවතින තත්ත්වය දෙරටටම සුබදායී ආකාරයෙන් නිරාකරණය කිරීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයාට පවරා ඇති බව ජනාධිපතිතුමා පැවසීය.

    දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.
    ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට ඉන්දියාවේ පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

    විදුලිය භාවිතයේ දී කාර්යබහුල අවස්ථාවන් හඳුනාගෙන දෙරට අතර විදුලිබල හුවමාරුව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

    කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති සාර්ථකත්වය ඇගයීමට ලක්කළ ඉන්දීය විදේශ ලේකම්වරයා කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසුමට ලක් කළේය. ජනාධිපතිතුමාගේ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ විදේශ ලේකම්වරයා දෙරට අතර ඇති අදහස් සමාන බැවින් දෙරට අතර මිතුදම ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකි බව පැවසීය.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට ආරාධනා කරන බව ද  ජනාධිපතිතුමා විදේශ ලේකම්වරයා හමුවේ දැන්වීය.

    ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ.

  • යුරෝපා සංගමයට ජනපති ගෝඨාගෙන් සුපිරි සහතිකයක්

    යුරෝපා සංගමයට ජනපති ගෝඨාගෙන් සුපිරි සහතිකයක්

    ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ අද (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමග එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයෙන් දූත කණ්ඩායම අපේක්ෂා කරයි.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබීය. සංචාරයේ දී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට ඉඩ ප්‍රස්තාව හිමිවන බව පෙන්වා දුන් දූත පිරිස ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සහාය ලබාදෙන බව සඳහන් කළහ.

    අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිතුමාටත් උපදෙස් ලබා දී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට  කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය. එලෙසම වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා විසින් සඳහන් කරනු ලැබිණ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ එමගින් රජය අපේක්ෂිත සම්පූර්ණ සැලසුම් ඉටු කර ගැනීමට එල්ල වූ බාධාවන් ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේ තිබිය දීත් දීර්ඝ කාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලු රැසකට විසඳුම් ලබාදීමටත් උතුරු – නැගෙනහිර පළාත් සංවර්ධනයට සේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා පැහැදිළි කළේය. විශේෂයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීමට පියවර ගත් බව පෙන්වා දෙනු ලැබීය.

    රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස් පෝරාවේ සිටින පිරිස  සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දී ද තමා සඳහන් කළ බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    සිවිල් සංවිධාන සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියාකරන අතර ඒවායේ සහාය රටේ සංහිඳියාවට සහ දියුණුවට ලබාගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පසුගිය දෙවසර තුළ පැවති උද්ඝෝෂණවලට කිසිඳු අවස්ථාවක බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට උපදෙස් ලබාදුන් බවත් උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන්කළ බවත් පෙන්වා දෙනු ලැබිණ.

    රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශ්ව සාවද්‍ය මතවාද ඇතිකිරීම කණගාටුදායක බව ජනාධිපතිතුමා පැවසීය.

    රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීමටත් පෞද්ගලික අංශය වැඩිදියුණු කර රටේ සංවර්ධනයට දායක කරගැනීමටත් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා දියුණු රටවල තාක්ෂණ ක්‍රමෝපායන් අනුගත කිරීමටත් පියවර ගනිමින් සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මෙරට ප්‍රධානතම ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය  වෙනුවෙන් තාක්ෂණ සහ පුහුණු සහාය ලබාගැනීමෙන් රටේ ආර්ථික දියුණුව ළඟා කරගැනීමට ඇති හැකියාව ජනාධිපතිතුමා විසින් පැහැදිළි කර දෙනු ලැබිණ.

    රට ඉදිරියට ගෙන යන රජයේ සැලැස්ම පිළිබඳ කළ දීර්ඝ පැහැදිළි කිරීම පිළිබඳව දූත පිරිස ජනාධිපතිතුමා වෙත  සිය ප්‍රසාදය සහ ස්තූතිය පළ කළහ.

  • ‘පළාත් සභා බෑ – සජිත්ට වුවමනා නම් පළාත් පාලන ඡන්දය දෙන්නම්‘

    ‘පළාත් සභා බෑ – සජිත්ට වුවමනා නම් පළාත් පාලන ඡන්දය දෙන්නම්‘

    පළාත් සභා මැති මැතිවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය නම් පළාත් පාලන මැතිවරණය පවත්වා ගන්නා ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    දඹුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් වෙළඳ සංකීර්ණය සහ බස් නැවතුම් පිවිසුම් මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට 03 දින එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    දඹුල්ල මහ නගර සභාව මගින් පෞද්ගලික ව්‍යාපාරිකයන් ගේ  සහයෝගය මත දඹුල්ල බස් නැවතුම්පොළ  ඉදිරිපිට අංග සම්පූර්ණ දෙමහල් වෙළෙඳ සංකීර්ණයක් ඉදි කොට තිබිණි. එමෙන්ම දඹුල්ල මහනගර සභාවේ  අරමුදල් වලින් සහ මධ්‍යම පළාත් සභාවේ අරමුදල්වලින් බස් නැවතුම් පොළ භූමිය කාපට් අතුරා පිරවිසුම් මාර්ග සංවර්ධනය කොට තිබිණි.

    අමාත්‍යවරයා මුලින්ම ප්‍රධාන බස් නැවතුම්පළ පිවිසුම් මාර්ගය නාමල් උයන මාවත නමින් විවෘත කොට දෙවනුව දෙමහල් වෙළඳ සංකීර්ණය විවෘත කිරීම සඳහා එක්වීය.

    පසුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් වීමසා සිසා සිටියේ  රාජ්‍ය ආයතන වල කොවිඩ් මර්ධන කටයුතු සදහා නිලධාරියෙකු පත් කරන යෝජනාව පිළිබඳවය. ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ඒ පිළිබඳව රජයේ අවධානය යොමුකරන බවත් එම යෝජනාව ඉතා හොඳ යෝජනාවක් බව ය.

    එමෙන්ම ඉදිරියේදී ඉදිරිපත් වීමට යෝජිත අයවැය පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ මෑත යුගයේ ලැබෙන ඉතා හොඳම අයවැය මෙවර ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාව බවය.

    ඉදිරිපත් කරන අය වැය ගැන රහස්  හෙළි  කිරීමට නොහැකි වුවද ජනතාව පුදුමයට පත් කරවන අය-වැයක් සැකසී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. කිරිපිටි ගෑස් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය අයවැයෙන් පසුව ඇති නොවන බව ද ඒ මහතා අවධාරණය කළේය.

    මෙරට රාජ්‍ය සේවා අමාත්‍යවරයා ලෙස රාජ්‍ය සේවය පිළිබඳව තෘප්තිමත්භාවය ඇත්දැයි යන්න මාධ්‍යවේදීන් මේ දී අමාත්‍යවරයාගෙන් විමසන ලදී ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඒ  ඉතිහාසයේ සිටම රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව කෙරේ එතරම් තෘප්තිමත් භාවයක් නොමැති බවය.

    ජනතාව තෘප්තිමත් රාජ්‍ය සේවයක් පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවකයන්ට තම පවුල් වලින් ම ජනතාව කෙරේ විශ්වාස දනවන  වැඩ කිරීමේ හැකියාව තිබිය යුතු බවද පෙන්වා දුන්නේය.

    ජනතාව සියලු දෙනා එක්තු වී මෙම රටේ සංවර්ධන පරිවර්තනයක් සිදු කළ යුතු බවත් ඒ සඳහා සිතුම් පැතුම් ආදී සියල්ල වෙනස් කොට ජනතාවාදී රටක් බිහි කිරීමේ වැඩසටහනක් රජය සැලසුම් කර තිබෙන බවද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය.

    පළාත් සභා මැතිවරණය ළඟදි පැවැත්වෙනවා ද යන්න මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමේ දී කියා සිටියේ මැතිවරණයක් ළඟදි පැවැත්වීම සඳහා වාතාවරණයක් නොමැති බවය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවශ්‍යතාවය තිබෙන බවත් එසේ අවශ්‍ය නම් ඔහුට පළාත් සභා මැතිවරණය පවත්වා ගෙන යා හැකි බවද ඒ මහතා සඳහන් කළේය

    රාජ්‍ය සේවය සදහා බදවා ගත උපාධිධාරීන් හට රැකියා ස්ථිර කිරීමද ඉදිරියේදී සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමති අතර හදිසි හමුවක්

    නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමති අතර හදිසි හමුවක්

    ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් ඊයේ (29) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවිය.

    මහාචාර්ය පීරිස් විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව සුබපැතුම් පිරිනැමූ මහ කොමසාරිස් ඇපල්ටන්, දෙරට අතර හවුල්කාරිත්වය තවත් ඉහළ තලයකට ගෙන ඒම සඳහා අනාගතයේ දී එතුමා සමඟ සමීපව කටයුතු කිරීම සඳහා කැපවන බව ප්‍රකාශ කළේය. විශේෂයෙන් කිරි නිෂ්පාදන සහ කෘෂිකාර්මික අංශ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක දී නවසීලන්තය ශ්‍රී ලංකාව සමඟ හවුල් වී ඇති බවත්, මිත්‍රත්වයේ හැඟීමෙන් යුතුව සහයෝගිතාවයේ නව අංශ හඳුනා ගැනීම සඳහා දෙරටටම දැන් කාලය එළඹ ඇති බවත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය සිහිපත් කරමින්, මහාචාර්ය පීරිස් කොළඹ නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා අතිමහත් දායකත්වයක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

    ශ්‍රී ලංකාව වැඩිහිටි සර්වජන ඡන්ද බලය භුක්ති විඳින පැරණිතම රටක් ලෙස සඳහන් කළ මහාචාර්ය පීරිස්  පාර්ලිමේන්තුවේ සහ අනෙකුත් ව්‍යවස්ථාදායක සභාවල ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය පුළුල් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාවේ දැනට සිදුකෙරෙමින් පවතින මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කළේය.

    නවසීලන්තයේ වත්මන් මැතිවරණ ක්‍රමයේ ධනාත්මක ස්වභාවය පිළිබඳව අවධාරණය කරමින්, නවසීලන්තයේ මැතිවරණ ක්‍රමය තුළින් ඉගෙන ගැනීමට සහ දේශීය ක්‍රමය සඳහා යොදා ගැනීමට හැකියාව ඇති අංග උපුටා ගැනීමට ශ්‍රී ලංකාව කැමති බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    රටේ ගොවි ජනතාව සහ පාරිභෝගිකයින් සඳහා එහි පවතින පුළුල් බලපෑම සැලකිල්ලට ගෙන, දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා රජය දැඩි උනන්දුවක් දක්වන බවත්, මේ සඳහා නවසීලන්ත පාර්ශ්වය සමඟ හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මහාචාර්ය පීරිස් වැඩිදුරටත් පැවසීය. ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීම, වෙළඳාම, ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    නේවාසික දූත මණ්ඩල පිහිටුවීම සඳහා දෙරට අතර ඇති කරගත් එකඟතාවයෙන් අනතුරුව, නවසීලන්තය ශ්‍රී ලංකාවේ සිය නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය 2021 අගෝස්තු මාසයේ දී විවෘත කළ අතර, මයිකල් ඇපල්ටන් මැතිතුමා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම නේවාසික නවසීලන්ත මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරයි.

  • 2022 අයවැය පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

    2022 අයවැය පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

    පාර්ලිමේන්තුව  ලබන සතියේ දින 05ක් රැස්වෙයි

    ලබන සදුදා සම්පූර්ණ දිනයම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කෙරේ

    2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත  ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායක අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට දැනුම්දුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මේ අතර පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 04 වැනි සඳුදා සිට 08  වන සිකුරාදා දක්වා දින 05 ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව ද මහලේකම්වරයා පැවසීය.

    මේ අනුව ඔක්තෝබර් 04 වැනි සඳුදා  සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස වෙන් කර ඇත. විවිධ හේතු මත මෙතෙක් පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකිවූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 40ක්  සදහා එදින පෙ.ව 10.00 සිට  ප.ව 4.30 දක්වා කාලය වෙන්කර ඇති බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ  මුදල් පනත යටතේ නියෝගයක් විවාද කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය.

    ඔක්තෝබර් 06 වැනි බදාදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) විවාදයට ගැනීමේන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතය.

    ඔක්තෝබර් 07 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා  ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම), සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) සහ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් ද  විවාදයට ගැනීමට නියමිතය.

    ඔක්තෝබර් 08 වැනි සිකුරාදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා 2021 වසර සදහා වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව විවාදයට ගැනේ.

    මේ අතර අගහරුවාදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

    තවද අගහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා සෑම දිනකම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ආණ්ඩු පක්ෂය ද බදාදා විපක්ෂය ද ගෙන එන යෝජනාව අනුව  සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

  • අගමැතිගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ නායකයෝ හමුවෙති

    අගමැතිගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ නායකයෝ හමුවෙති

    ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    කොවිඩ්-19 වසංගතය හමුවේ රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, 2021 අය-වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත් එලෙස ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම  පිළිබඳව මෙහි දී මූලික අවධානයට ලක් විය.

    යුගදනවි බලාගාරය ක්‍රියාත්මක වීමෙන් විදුලි පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය.

    පක්ෂ නායකයන්ගේ අදහස් හා යෝජනා සහිතව පැය දෙකකට ආසන්න කාලයක් මෙම හමුව පැවතිණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ලංකා කම්කරු පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරන්, එක්සත් මහජන පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  වීරසුමන වීරසිංහ මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ.