Category: සුපිරි Politics

  • ත්‍රස්තයින්ගේ සිරදඬුවම් ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්

    ත්‍රස්තයින්ගේ සිරදඬුවම් ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්

    1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුවජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.

    හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්ව‍යෙන් යුත්  මෙම උපදේශක මණ්ඩලයේ  සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කර සිටිති.

    ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විදින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම මෙම මණ්ඩලයෙන් අපේක්ෂා කෙරේ.

    දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත් කර නොතිබීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටින පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාවක් නොතිබිණ. මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බව හරිගුප්ත රෝහනධීර මහතා පවසයි.

  • රට ලොක්ඩුවන් කිරීම: ජනපති ජාතිය අමතා කළ කතාවේදී ජනතාවට අනතුරු අගවයි

    රට ලොක්ඩුවන් කිරීම: ජනපති ජාතිය අමතා කළ කතාවේදී ජනතාවට අනතුරු අගවයි

    • වසංගතය පාලනයට එකම විසඳුම එන්නත්කරණයයි
    • රට අරාජික තත්ත්වයට පත් කරන්න එපා
    • රට ඉදිරියට ගෙන යෑමට එකමුතුව වැඩ කරමු
    • වර්ජන – උද්ඝෝෂණ කර රට අරාජික කරන්න එපා
    • ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    දීර්ඝ කාලයක් රට වසා තැබීමට ඉදිරියේදී සිදු වුවහොත් සියලු දෙනාම වඩාත් කැප කිරීම් කරන්නට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත ජනතාවගෙන් ඊයේ (20) රාත්‍රියේ ඉල්ලීමක් කළේය.

    ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ මේ තීරණාත්මක මොහොතේ රටේ බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන, සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන යෑමට සියලු දෙනාම, කණ්ඩායමක් ලෙස එකමුතුව වැඩ කළ යුතු බවයි.

    කොරෝනා වසංගතය මැඬ පැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, වෛද්‍ය විශේෂඥවරුන් වැඩි දෙනාගේත් සහ ලෝක සම්මත ක්‍රමවේදය අනුවත් පිළිගත් මතයයි. කොවිඩ් වසංගතය පවතින මේ අවස්ථාව වැඩවර්ජන හා උද්ඝෝෂණ සඳහා සුදුසු නොවේ. එම නිසා මේ අවස්ථාවේදී රට අරාජික තත්ත්වයට පත් කරන්න සූදානම් වෙන්න එපා යැයිද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    මේ වනවිට වයස අවුරුදු 30න් ඉහළ 98%ක පමණ පිරිසකට පළමු එන්නත දී තිබේ. 43%ක පමණ පිරිසකට දෙවැනි එන්නතත් දී ඇත. අගෝස්තු 31 දා වනවිට 81% කට වැඩි පිරිසකට දෙවැනි එන්නත් මාත්‍රාව දීමට හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

    සැප්තැම්බර් මස 10 වන විට 100% කට මේ අනුව දෙවැනි එන්නත දීමට හැකියාව ලැබේ. ඒ තත්ත්වයත් සමඟ රෝගීන්ගේ සංඛ්‍යාවත්, මිය යන සංඛ්‍යාවත් අඩු වනු ඇති බවට ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ කරුණ දෙස එක් කෝණයකින් පමණක් බැලුවත් විදෙස් ණය ගෙවීම, වැටුප් ගෙවීම, සහනාධාර දීම ආදි කටයුතු අතපසු නොකර අඛණ්ඩව පවත්වා ගෙන යෑමට රටේ ඇති කුඩා ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුවක් ලෙස අපට සිදු වන බවත් කීවේය.

    රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.

    කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත්,  වෛද්‍ය විශේෂඥවරුන් වැඩිදෙනාගේත් සහ ලෝක සම්මත ක්‍රමවේදය අනුවත්  පිළිගත් මතයයි.

    ලංකාවට එන්නත් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ මම විශේෂ උනන්දුවක් ගත්තේ ඒ නිසයි. චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකව කතා කළා. තවත් රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකවම ලිපි යැවුවා. අපේ විදේශ අමාත්‍යාංශය හරහාත් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හරහාත් එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමඟ සාකච්ඡා කළා. අපේ නිලධාරීන් එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සමඟ සම්බන්ධීකරණය කළා.

    මේ සියලු‍ උත්සාහයන් දැරුවේ අපේ රටේ සියලුම ජනතාව එන්නත්කරණය කිරීමට මට අවශ්‍ය වූ නිසයි. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සෑම මසකම අපට අවශ්‍ය එන්නත් විශාල ප්‍රමාණයෙන් රටට ලැබෙමින් පවතිනවා. අපිට මුලින්ම ලැබුණේ ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඇස්ට්‍රා සෙනිකා එන්නතයි.

    ඉන් පසු අපට චීනයේ නිෂ්පාදනය කළ සිනොෆාම් එන්නත ලබාගැනීමට හැකි වුවත් එම එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබා දීම ප්‍රමාද වූ නිසා ජනතාවට එන්නත ලබා දීම මසකින් පමණ ප්‍රමාද වුණා. කෙසේ වෙතත් මේ වසරේ මැයි මාසේ 8 වෙනිදා සිට සිනොෆාම් එන්නත අඛණ්ඩව ලබා දීම සිදු කළා. මීට අමතරව අපට ඇමරිකාවෙන් ෆයිසර් සහ මොඩර්නා එන්නතත්, ජපානයෙන් ඇස්ට්‍රා සෙනිකා එන්නතත්, රුසියාවෙන් ස්පුට්නික් එන්නතත් ලැබී තිබෙන නිසා ලෝකයේ එන්නත් ලබා දෙන රටවල් අතර ඉහළම තැනක අප සිටිනවා. පසුගිය 19 වන දා වනවිට අප එන්නත් එක් කෝටි විසි ලක්‍ෂ දහනව දහස් එකසිය අනූ තුනක් (12,019,193) පළමු එන්නත ලෙස ලබා දී තිබෙනවා.

    දෙවන එන්නත ලෙස පනස් එක් ලක්‍ෂ විසි හතර දහස් එකසිය අසූ පහක් (5,124,185) ලබා දී තිබෙනවා. ඊට අමතරව දෙවන එන්නත ලෙස ලබා දීම සඳහා තවත් එන්නත් මාත්‍රා මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. එන්නත් මාත්‍රා තවත් මිලියන 3 ක් මේ මස අගදී ලැබෙනවා. මේ වනවිට වයස 30 න් ඉහළ 98% පමණ පිරිසකට එන්නත ලබා දී තිබෙන අතර 43% පමණ පිරිසකට දෙවන එන්නත දී තිබෙනවා. අගෝස්තු 31 වන විට 81% කට වැඩි පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමට හැකියාව තිබෙනවා. සැප්තැම්බර් මස 10ය වන විට 100% කට දෙවන එන්නත දෙන්න පුළුවන්. ඒ තත්ත්වයත් සමඟ රෝගීන්ගේ සංඛ්‍යාවත් මියයන සංඛ්‍යාවත් අඩු වනවා ඇති.

    අපි සියලු‍ම ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට, වරාය වැනි අත්‍යාවශ්‍ය සේවා, ආරක්ෂක සේවා, කර්මාන්තශාලා සේවකයන්ට ප්‍රමුඛත්වය දී එන්නත්කරණය කළා. වයස 60 ට වැඩි පිරිසට ද ප්‍රමුඛත්වය දී එන්නත ලබා දෙන්නට හැකි වුණා. මීට අමතරව වයස 30 ට අඩු, මිලියනයකට වැඩි කර්මාන්ත ශාලා සේවකයන්ටත් එන්නත ලබා දුන්නා.

    මුළු රටේම පළාත් අතර සංචරණ සීමා දැමීම, ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීම, ඇඳිරි නීතිය දැමීම, රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවකයන් පමණක් වැඩට කැඳවීම, මංගල උත්සව ආදී කටයුතු නතර කිරීම, සමහර වෙළඳ ව්‍යාපාර වසා දැමීම, පළාත් අතර ගමනාගමනය නතර කිරීම, ආගමික ස්ථානවලට ජනතාව රැස්වීම නතර කිරීම, වැනි පාලන ක්‍රම මේ වන විටත් අපි අනුගමනය කරනවා.

    කොවිඩ් 19 පළමු රැල්ලේ දී අප ගත් ක්‍රියා මාර්ග නිසා සාර්ථකව එයට මුහුණ දීමට හැකි වුණා. එවැනි දැඩි තීරණ ඒ අවස්ථාවේ ගැනීමට සිදු වූයේ එවකට වෙනත් විකල්පයක් නොතිබූ නිසයි.

    එක දිගටම මාස කිහිපයක් රට පූර්ණ වශයෙන් වසා දමන්නට ද සිදු වුණා. ඒ සියල්ල තුළින් පළමු රැල්ල ජය ගැනීමට අපට හැකි වුණා. අපි විටින් විට රට වසා දමන්නට ක්‍රියා කළත් එම තීන්දුවේ අතුරු ප්‍රතිඵලත් අපි තේරුම් ගත යුතුයි. රට වසාදැමීම නිසා කොරෝනා පළමු රැල්ල කාලය, නිදහසින් පසු මෙරට අඩුම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ කාලයක්.

    විශේෂයෙන්ම ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් ගෙන ආ ඇඟලු‍ම් කර්මාන්තයට මින් විශාල පාඩුවක් සිදු වුණා. ඔවුන්ගේ ඇණවුම් නවතා දමනු ලැබුවා. බොහෝ දෙනෙකුට රැකියා නැති වුණා. අපනයන ආදායම කඩා වැටුණා.  ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වුනු, මිලියන 3 කට වැඩි පිරිසක් ජීවිකාව කළ අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. රැකියා ලක්ෂ ගණනාවක් නැති වුණා.

    විටින් විට කරන රට වසා දැමීම නිසා ඉදිකිරීම් කර්මාන්තයට විශාල පහරක් වැදුණා. ඔවුන්ට අවශ්‍ය ආකාරයට සේවකයන් ගෙන්වා ගන්න හැකියාවක් නෑ. අවශ්‍ය වෙලාවට අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න හැකියාවක් නෑ. පසුගිය වසර එක හමාර තුළ මේ ක්ෂේත්‍රයට අපි බලාපොරොත්තු වුණු දේශීය හා විදේශීය ආයෝජන බොහොමයක් අපට අහිමි වුණා.

    අපේ දේශීය ආර්ථිකයේ තවත් වැදගත් අංශයක් වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයි. සමස්ත දල ජාතික නිෂ්පාදිතයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය දක්වන මෙම ව්‍යාපාරවලටත් කොරෝනා වසංගතය විශාල ගැටලු‍වක් වුණා. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට දිගින් දිගට බාධා සිදු වීම නිසා ඒ සමාගම්වලට ආදායම් අහිමි වී තමන්ගේ ණය ගෙවා ගන්නට හෝ වැටුප් ගෙවා ගන්න බැරුව බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වුණා. වාහන ලීස් කළ අයට ලීස් එක ගෙවා ගන්නට බැරි වුණා. නිවාස ණය ගත් අයට ඒ ණය ගෙවා ගන්නට බැරි වුණා. ඊට අමතරව මිලියන 4.5 කට ආසන්න ස්වයං රැකියා සහ දෛනික ආදායම් ලැබූවන්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම බිඳවැටුණ නිසා ඔවුන්ගේ ජීවිත අසරණ වුණා.

    මේ සියලු‍ බාධක මැද්දේ අපට ජනතාව ජීවත් කරවීමේ වගකීමත් තිබුණා. අපි ඒ වගකීම පැහැර හැරියේ නැහැ. කොරෝනාවලට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් 5000  දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රුපියල් බිලියන 30ක් පමණ වැය කරනවා. මේ වනවිට අවස්ථා ගණනාවක දී රජය මෙම වියදම දරා තිබෙනවා.

    රජය මගින් නඩත්තු කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල වියදමට අමතරව තමන්ගේම නිවෙස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති දෙකක් සඳහා රුපියල් 10,000 ක සහන මල්ලක් ලබා දෙනවා.  මේ අසීරු තත්ත්වය යටතේ රජය කිසිම විටක මිලියන 1.4 කට වැඩි රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන්නට හෝ දීමනා කපන්නට කටයුතු කළේ නැහැ.

    අපේ විදේශ විනිමය ආදායම් අඩු වුණාට අපි රජයේ ණය වාරික පැහැර හැරියේ නැහැ. පසු ගිය කාලයේ විවිධ රජයන් විසින් ගෙන තිබුණ ණය නිසා  අපට  වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ විශාල ණය වාරිකයක් ගෙවන්නට තිබුණා. ඒ සියලු‍ ණය මුදල් නියමිත දිනට ගෙවුවා.

    රට නැවත වරක් සම්පූර්ණයෙන් වසා දැමීමෙන් රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක් වෙනවා. එය මේ රටට දරාගත හැකි තත්ත්වයක් නොවෙයි. විශේෂයෙන්ම අපනයන කේෂ්ත්‍රයේ ඇඟලු‍ම් කර්මාන්ත සඳහා ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මේ ඇණවුම් අපට කලටවේලාවට ලබා දෙන්නට අපහසු වුණොත් විශාල විදේශ විනිමයක් අපට අහිමි වන්නට ඉඩ තිබෙනවා.

    ඒ වගේම කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගොඩ ගැනීමට අප විශාල උත්සාහයක් දරමින් සිටිනවා. දැනට 200 කට ආසන්න වූ සංචාරකයන් පිරිසක් දිනකට රට තුළට ඇතුළු වෙමින් සිටිනවා. රට වසා දැමුවහොත් සංචාරකයන් ගෙන්වා ගැනීම මුල සිට ආරම්භ කරන්න සිදු වෙනවා.

    ඒ වගේම දෛනික ආදායම් ලබන්නන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්, සමාගම් ආදියට රට වසා දැමීම නිසා නැවත සහන ලබා දීම සිදුවීමෙන් අද රටේ තිබෙන ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙනවා. සම්පූර්ණයෙන් රට වසා දැමීම තුළින් වන බලපෑම ජනතාව තේරුම්ගත යුතුයි.  අද ලෝකයේ රටවල් කීපයක් හැරෙන්නට ආර්ථික බලවතුන් පවා රටවල් සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා.
    ලෝකයේ සංචාරක ක්ෂේත්‍රය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත් වෙමින් පවතිනවා. අද එලෙස විවෘත කර ඇති රටවල් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටිනවා. කුඩා ආර්ථිකයක් ඇති අපේ රට ද මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. එසේ නොකර රටේ ආර්ථිකය නැවතත් සම්පූර්ණයෙන් කඩා වැටෙන්නට ඉඩ දෙන්නට අපට හැකියාවක් නැහැ.

    එසේ වූවත් කොවිඩ් රෝගීන්ගේ පැතිරීම පාලනය කර ගැනීම සඳහා අද රාත්‍රී 10 සිට මේ මස 30වන සඳුදා උදෑසන 4දක්වා රට වසා තැබීමට මා තීරණය කළා.

    මේ තත්ත්වය‍ විවිධ මතධාරීන්, වෘත්තිය සමිති, වෛද්‍යවරුන්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් සහ රජය අතර ඇති එකිනෙකා පරයා යන තරගයක් හෝ ඝට්ටනයක් නොවෙයි. අපි යථාර්ථය තේරුම්ගත යුතුයි. මෙය මුළු ලෝකයම මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයක්. අද සෑම රටක්ම නව සමාන්‍යකරණය ක්‍රමවේදයට හැඩගැහෙමින් සිටිනවා. රජයක් හැටියට ගතයුතු සෑම පියවරක්ම නිසි ලෙස අපි අරගෙන තිබෙනවා.

    ඔක්සිජන් සැපයීම, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කිරීම සහ එන්නත ලබා දීම වැනි රජයෙන් කළ හැකි සියලු‍ දේ කරතත්, රෝගීන් මනා ලෙස කළමනාකරණය කිරීම වෛද්‍යවරුන්ගේ කාර්යභාරයක්. ඒ වගේම මෙතෙක් කල් තම ජීවිත අවදානම ද නොතකා වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු අනෙකුත් සියලු‍ම සෞඛ්‍ය අංශ නිලධාරීන් කරන ලද සේවය මා ඉතාමත්ම අගයකොට සලකනවා. එමෙන්ම තම ජීවිතය පවා පූජා කළ සෞඛ්‍ය අංශවල සියලු‍ම තරාතිරම්වල නිලධාරීන්ට මාගේ නොමඳ ගෞරවය පුද කරනවා.
    මෙය වැඩ වර්ජන, උද්ඝෝෂණ සඳහා සුදුසු අවස්ථාවක් නොවන බව පැහැදිලි කරුණක්. රට අරාජික තත්ත්වයට පත් කරන්න සූදානම් වෙන්න එපා.

    සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම කරුණ දෙස එක් කෝණයකින් පමණක් බැලු‍වත් රජයක් ලෙස අප විදෙස් ණය ගෙවීම, වැටුප් ගෙවීම, සහනාධාර ලබා දීම ආදී කටයුතු අතපසු නොකර අඛණ්ඩව පවත්වා ගෙන යෑමට නම්  අප රටේ ඇති කුඩා ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට අපට සිදු වෙනවා.

    කොවිඩ් රෝගයෙන් මිය ගිය අයගෙන් බොහෝ දෙනා අවුරුදු 60 ට වැඩි අයයි. ඒ අයගෙනුත් වැඩි අය නිධන්ගත රෝග වලින් බොහෝ කල් පීඩා විඳි අයයි. ඒ වගේම එන්නත ලබා නොගත් අයයි. එම නිධන්ගත රෝග තිබුණු අය කොවිඩ් රෝග ලක්‍ෂණ ඇති වූ වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මේ නිසා නිධන්ගත රෝග තිබෙන අවුරුදු 60 ට වැඩි අය ඉලක්ක කරගෙන සතියකට වරක්වත් ඇන්ටිජන් පරීක්‍ෂාවක් කරන ලෙස මම සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

    ඉදිරියේදී රට දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු‍ දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්නැයි මා ඉල්ලා සිටිනවා.
    මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු‍ දෙනාම, බැරෑරුම් තත්ත්වය තේරුම් අරගෙන සැලසුම්සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි.
    එම නිසා කණ්ඩායමක් ලෙස එකමුතුව කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස  සියලු‍ දෙනාගෙන්ම මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා

  • පෙම්වතා ඝාතනය කර රුසියානු පෙම්වතිය දූෂණය කළ තංගල්ලේ හිටපු ප්‍රා.සභාපතිගේ අභියාචනය ඉවතට

    පෙම්වතා ඝාතනය කර රුසියානු පෙම්වතිය දූෂණය කළ තංගල්ලේ හිටපු ප්‍රා.සභාපතිගේ අභියාචනය ඉවතට

    2011 වසරේ දෙසැම්බර් මස 25 තංගල්ල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුළදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දුෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පනවා ඇති දඬුවම් 2014 වසරේ ජූලි 18 වන දා සිට ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

    Tangalle Rape Victim Has Spoken For The First Time - Colombo Telegraph

    තමන්ව එම දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (19) එම නියෝගය නිකුත් කළේය.

    2011 වසරේ දෙසැම්බර් මස 25 තංගල්ල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුළදී කුරාම් ෂයික් නමැති 32 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරු කළ කොළඹ මහාධිකරණය 2014 වසරේදී ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කර තිබුණේය.

  • කැබිනට් කුට්ටම යළි අනා නාමල්ගේ ගොඩ වැඩිකරයි

    කැබිනට් කුට්ටම යළි අනා නාමල්ගේ ගොඩ වැඩිකරයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ.

    1. ජී.එල්. පීරිස් මහතා                              –           විදේශ අමාත්‍ය
    2. දිනේෂ් ගුණවර්ධන මහතා                    –           අධ්‍යාපන අමාත්‍ය
    3. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය              –           ප්‍රවාහන අමාත්‍ය
    4. කෙහෙළිය රඹුක්වැල්ල මහතා –           සෞඛ්‍ය අමාත්‍ය
    5. ගාමිණි ලොකුගේ මහතා                      –           විදුලිබල අමාත්‍ය
    6. ඩලස් අලහප්පෙරුම මහතා                  –           ජනමාධ්‍ය අමාත්‍ය
    7. නාමල් රාජපක්ෂ මහතා                       –           තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව

    සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය

  • කිසිදු පුරවැසියෙක් ජනාධිපතිගේ තකතීරු තීරණ නිසා මිය යා යුතු නැහැ

    කිසිදු පුරවැසියෙක් ජනාධිපතිගේ තකතීරු තීරණ නිසා මිය යා යුතු නැහැ

    කොවිඩ් වසංගතය පාලනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල දැඩි ලෙස විවේචනය කළ ජනතා විමුක්ති පෙරමුණ “කිසිදු පුරවැසියෙක් ජනාධිපතිගේ තකතීරු තීරණ නිසා මිය යා යුතු නැහැ” යනුවෙන් අවධාරණය කළේය.

    අද අන්තර්ජාලයේ සජීවී විකාශයක් ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ නායක අනුර දිසානායක මේ බව අවධාරණය කර තිබිණි. එහිදී ඔහු දැක්වූ අදහස් පහත පළ වේ.

    “කොවිඞ් වසංගතය ඇතිවූ පසුව එහි දරුණුතම ව්‍යසන අවදියට අපේ රට මුහුණ දී තිබෙනවා. මේ තත්වය පිළිබඳව පාලකයන් විසින් නිසි තක්සේරුවකින් යුතුව තීන්දු-තීරණ සහ ක්‍රියාමාර්ග නොගන්නා බව තහවුරු වී තිබෙනවා. මේ නිසා පවතින තත්වය සමාජයට හෙළිදරව් කරමින් ජනතාව මේ හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්දීමට මෙම මාධ්‍ය හමුව පවත්වනවා.

    මේ ව්‍යසනය දරුණු වී තිබෙන තරම සිකුරාදා (13) දිනයේ දත්තවලට අනුව සෑම මිනිත්තු 09කටම වරක් අපේ ආදරණීයයන් මියයමින් තිබෙනවා. දෛනික මරණ සංඛ්‍යාව 150 ඉක්මවමින් වාර්තා වෙනවා. මෙය දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගෙන් 05% ඉක්මවන තත්වයක්. භයානක ලෙස මෙම වෛසරය පැතිරුණු රටවල් හා සංසන්දනය කරන විට ඉතාමත්ම භයානක තත්වයක්. ආසාදිතයින් දෛනිකව 3,000 ඉක්මවූ ප්‍රමාණක් වාර්තා වෙනවා. අපේ රෝහල් පද්ධතියෙන් හරි අඩක් කොවිඞ් මර්දනය සඳහා යොදා ගන්න කියලා ආණ්ඩුව උපදෙස් දී තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තත් රෝගීන්ට ප්‍රමාණවත් නොවන රෝහල් පද්ධතියක් තියෙන්නේ. 50%ක් කොවිඞ් සඳහා පමණක්ම යෙදවීමෙන් නොනැවතී මුළු රෝහල් පද්ධතියම කොවිඞ් සඳහා යොදා ගැනීමට සිදුවීමේ අනතුරක් තියෙනවා. විශේෂයෙන්ම නිව්මෝනියා තත්වයේදී පාවිච්චි කරන ‘ටොෆිලිසුමැබ්’ කියන ඖෂධය කොළඹ ජාතික රෝහල තුළ හිඟ වී තිබෙනවා. සමස්තයක් හැටියට ඖෂධ හිඟයක් පවතිනවා.

    ඊට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල ප්‍රමාණයක් ආසාදනයට ගොදුරු වී තිබෙනවා. එක පැත්තකින් රෝහල් ධාරිතාව 50%ක් කොවිඞ්වලට වෙන් කිරීම, ඖෂධ හිඟය සහ කාර්ය මණ්ඩල ආසාදනය වීමෙන් මුළු සෞඛ්‍ය පද්ධතියම කඩා වැටීමේ අනතුරකට අපේ රට මුහුණ දී තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, විශාල ප්‍රමාණයක් රෝගයට ගොදුරු වී තිබෙනවා. මේ නිසා සෑම පැත්තකින්ම වාර්තා වී තිබෙන්නේ අපේ රටේ ජනතාව අනතුරට පත්වී තිබෙන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරි පුරෝකථන අනුව සැප්තැම්බර් මාසයේ සිට දෛනික මරණ සංඛ්‍යාව 220 ඉක්මවන බවත් දෙසැම්බර් මස අවසන් වන විට අවම වශයෙන් 15,000 සිට උපරිම වශයෙන් 30,000 දක්වා මරණ සිදුවිය හැකි බව වාර්තා කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම පුරෝකථනයන් සකස් කළේ අපේ රටේ පබා පලිහවඩන ඇතුළු ජ්‍යෙෂ්ඨතම වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම් එකතුවකින්. මෙයින් පෙන්වන දිශාවන් වඩාත් බිහිසුණු බවට අනතුරු අඟවා තිබෙනවා. වගකීම් දරන සියලු ආයතන ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුවට දැනුම් දී තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ පද්මා ගුණරත්න මැතිතුමිය මෙහි තිබෙන මාරාන්තික ස්වභාවය අනුව අවම වශයෙන් ඇඳිරි නීති ක්‍රියාමාර්ගයකට යා යුතු බව දැක්වූවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලකරුවන් ප්‍රනාන්දු රට වැසිය යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන් ලබාදුන් යෝජනා ක්‍රියාත්මක කළා නම් විශාල මරණ සංඛ්‍යාවක් වළක්වා ගත හැකිව තිබූ බව ප්‍රකාශ කළා. 

    මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහත්මයා ප්‍රකාශ කර තිබුණේ දැන් රට වැහුවත් තව දින 10-12ක් යන තෙක් මේ සිදුවන මරණ වළක්වා ගත නොහැකි බවයි. නමුත් ඊට පසුව සිදුවන මරණ වළක්වා ගැනීම සඳහා රට වැසීමට සූදානම් නැත්නම් සති දෙකකට ආහාර සූදානම් කරගෙන තමන් විසින්ම නිරෝධායනයට ලක්වන ලෙස ඔහු ඉල්ලා සිටියා. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් මහත්මයා ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව රජය දැනුවත් කර ඇති බව සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දී ඇති බව ප්‍රකාශ කර තිබුණා. කොවිඞ් මර්දන රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මාධ්‍යයට හෙළි කළේ රජය අදාළ තීන්දු-තීරණ ගත යුතු බවයි. වෙනත් අය තීන්දු ගන්නා බැවින් ජනතාවගේ ආරක්‍ෂාවට වගකියන්න කිසිවෙක් නැති බව ඇය ඇඟවීම් කර තිබෙනවා. පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන්න සූදානම් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා එය වැළැක්වූ බව සඳහන් වෙනවා. අවශ්‍ය නම් වෛද්‍යවරුන්ට ජනාධිපතිවරයාව මුණ ගැසෙන ලෙසටත් දන්වා තිබෙනවා.

    අග්‍රාමාත්‍යවරයා හාමුදුරුවන් වහන්සේ නමක් හමුවූ අවස්ථාවේ සංචරණ සීමාවලින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය වී තිබෙන බව ප්‍රකාශ කර තිබුණා. කොවිඞ් මර්දනය පිළිබඳ අමාත්‍යතුමිය, සෞඛ්‍ය අමාත්‍යතුමිය, වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ සියලු සංවිධාන, ලෝක සෞඛ්‍ය සංවිධානය යන සියලු දෙනා අනතුරුදායක තත්වයේ බරපතළකම දක්වමින් රට වසා දැමිය යුතු බවට ප්‍රකාශ කර තිබුණා. මේ ක්‍ෂේත්‍රය පිළිබඳ අවබෝධය තිබෙන අයගේ මතය වෙනුවට ජනාධිපතිවරයා විශ්වාසය තබන්නේ රාජ්‍ය බුද්ධි සේවාව ලබාදෙන තොරතුරු මත පමණයි. පසුගියදා කොවිඞ් මර්දන කාර්යසාධක බලකාය රැස්වුණු අවස්ථාවේ දැඩි සංචරණ සීමා පනවන්න තීරණ ගනියි කියලා මාධ්‍ය ඇතුළු සියලු දෙනා බලාපොරොත්තු වුණා. නමුත් ඔහු ගත්තේ පවතින තත්වය මර්දනය කිරීමට කිසි සේත් ප්‍රමාණවත් තීරණ නෙවෙයි. ජනාධිපතිවරයාගේ කාර්යසාධක බලකාය එක් අවස්ථාවක මංගල උත්සව සඳහා 150ක උපරිම සීමාවක් පනවනවා. ඊළඟ තීරණයක් බවට 50 දක්වා අඩු කරනවා. අනෙක් පැත්තෙන් පළාත් අතර සීමා පනවනවා. රට පුරා ව්‍යාප්ත වෙමින් තියෙන වසංගතයට පළාත් අතර සංචරණ සීමා පනවනවා. ඊළඟට එන්නත්කරණය නොකරන අය සැප්තැම්බර් 15න් පසුව ප්‍රසිද්ධ ස්ථානවලට නොයා යුතු බවට සීමා පනවනවා.

    ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතුයි. ජනතාව එන්නත්කරණය ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ආණ්ඩු විසින් නිර්දේශ කරන ඖෂධ පොරකමින් ලබාගන්න සූදනාමින් සිටිනවා. දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි ධම්මික පැණිය හඳුන්වා දෙන විට ජනතාව රැස් කකා ඒ පසුපස ගියා. රාජ්‍ය අනුග්‍රහය සහිතව ප්‍රචාරය කළ නිසා ජනතාව මෙලෙස හැසිරුණා. අයි.ටී.එන් නාලිකාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් රාවණා පැණිය හඳුන්වා දුන් විට ඒ පිටුපස ගියා. චන්න ජයසුමන ඇමතිවරයා සුදර්ශන පැණිය නිර්දේශ කළාම ජනතාව ඒ පිටුපස ගියා. ඉතාමත්ම ප්‍රමාද වෙලා එන්නත් ගෙනාවාම ජනතාව ඒ පිටුපස රැස්කමින් ගියා. හැබැයි ආණ්ඩුව නිසි වේලාවට එන්නත් ලබාදුන්නේ නැහැ. මේ වනවිට එන්නත් ලබාදෙන තැන්වල ජනතාව පැය 6-7 පෝලිමේ ඉන්නවා. ඒ නිසා ජනතාව එන්නත් ලබාගැනීම ප්‍රතික්‍ෂේප නොකරන බව ජනාධිපතිවරයාත් හමුදාපතිවරයාත් දැනගත යුතුයි. මේ වනවිට ලැබෙන වාර්තා අනුව මියයන 75%කට වඩා වයස අවුරුදු 60කට වැඩි අය. මේ තත්වය සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානය එක් එක් රටවල එන්නත්කරණ ජාතික වැඩපිළිවෙළක් සකස් කර ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙයට මාර්ගෝපදේශනයන් ලබාදුන්නා. ඒ අනුව අපේ රටේ විශේෂඥවරුන් එකතුවී අපේ රටේ ජාතික වැඩපිළිවෙළ සකස් කර ලෝක සෞඛ්‍ය සංවිධානයට බාරදුන්නා.

    ඒ අනුව සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රමුඛ කරගත යුතුයි. ඊළඟට විවිධ සංකූලතාවලින් පෙළෙන අය සහ අවුරුදු 60ට වැඩි පුරවැසියන්. නමුත් මේ වැඩපිළිවෙළ සහ විශේෂඥයන්ගේ නිර්දේශ ප්‍රතික්‍ෂේප කර ආණ්ඩුව අවුරුදු 30-60 අතර අයට මුලින් එන්නත් ලබාදෙන්න ක්‍රියා කළා. මේ සඳහා නිර්දේශ ලබාදුන්නේ කවුද කියලා අපි දැනගන්න කැමතියි. මේ වෙනස් කිරීම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරියවත් දැනගෙන හිටියේ නැහැ. අද එන්නත්කරණයේ පවා විකෘතිභාවයන් ඇතිකරන ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අතර ජනාධිපතිවරයා තමන්ගේ ලේකම් කාර්යාලයේ සේවකයන් කැඳවීම සීමා කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් විශේෂඥයන්ගේ නිර්දේශ පැත්තකට දමා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉතාමත්ම මාරාන්තික ක්‍රීඩාවක යෙදී සිටිනවා. අනාගතය පුරෝකථනය කළ හැකි නිවැරදි දත්ත සහ තොරතුරු විකෘති කරමින් සිටිනවා. මරණ පිළිබඳව, ආසාදිතයන් පිළිබඳව ඉදිරිපත් කරන දත්ත මේ රටේ කිසිදු පුරවැසියෙක් විශ්වාස කරන්නේ නැහැ. බරපතළම දේ මේ දත්ත මත ඉදිරිපත් කරන පුරෝකථන වැරදි වීමයි. අද දිනකට 150කට වැඩිය මියයන්නේ මේ නිසයි.

    කොවිඞ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයෙක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා දෛනික මරණ සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවට වාර්තා කොට තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඉතාමත් භයානක තොරතුරක් හෙළිවුණා. අගෝසතු 01 සිට 09වැනිදා දක්වා ආසාධිතයන් 12,555 වාර්තා වූ බව සෞඛ්‍ය අංශ දන්වා තිබුණා. නමුත් රජයේ නිල ලේඛනවල හෙළිකර තිබෙන්නේ ආසාධිතයින් 3529ක් පමණයි. රෝගීන් 8,326ක් අවසන් වාර්තාවලට අරගෙන නැහැ. මෙය නිල වාර්තාව මෙන් තුන් ගුණයක පිරිසක්. මේ තත්වය බදුල්ල දිස්ත්‍රික්කයෙන් සහ නැගෙනහිර ප්‍රදේශවලින්ද වාර්තා වුණා. දත්ත තොරතුරු සඟවලා ව්‍යසනයෙන් ගැලවෙන්න ජනාධිතිවරයා හිතනවාද කියලා අපි දැනගන්න කැමතියි. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්ම ප්‍රකාශ කර තිබුණා, මාරාන්තික දත්ත විකෘති කිරීමක් තිබෙන බව. මේ නිසා අවදානම පිළිබඳව ජනතාවගේ අවධානය ගිලිහෙනවා. මේ රටේ පුරවැසියන්, සෞඛ්‍ය සංවිධාන, විශේෂඥ සංවිධාන යන කිසිවෙක් ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගවලට එකඟ නොවන බව පැහැදිලියි. සමහර විට අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පවා එකඟ නොවන බව පැහැදිලියි. හමුදාපතිවරයා සමඟ තනි පුද්ගලයෙක් අපේ රටේ මුළු පුරවැසියන්ගේ ජීවිත අවදානමකට හෙළමින් මාරාන්තික ක්‍රීඩාවක යෙදී සිටිනවා. මේ රටේ පුරවැසියන් ඡන්දය දී පාලකයා බවට ජනාධිපතිවරයා පත්කගෙන තිබෙනවා. ඒකෙන් ජනතාවගේ ජීවිතය කඩදාසියක අත්සන් කොට තමන්ට ලබාදී ඇති බවක් ජනාධිපතිවරයා නොසිතිය යුතුයි.

    වසංගතයෙන් එක මරණයක් හෝ සිදුවීමෙන් ඔවුන්ගේ පවුල්වලට, ඥාතීන්ට, සමීපතමයන්ට කෙතරම් බලපෑමක් ඇති කරනවාද? සාමාන්‍ය මරණයකදී පවා දැඩි කම්පාවකට පත්වෙනවා. එයින් මිදීම සඳහා ක්‍රමානුකූලව ආගමික වතාවත් ඇතුළු ක්‍රියාමාර්ගවලින් ආධාරයක් ලබාගන්නවා. නමුත් අවුරුදු 30-40ක් තමන්ව බලාගත් මව මිය ගියත් ආදාහනය කළ තැනවත් දකින්න ලැබෙන්නේ නැහැ. තමන්ගේ දරුවන්, බිරිඳ ඇතුළු අනෙක් පිරිස ගැනත් ඒ ආකාරයෙන්මයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කළා නම් මේ අයගෙන් 80%ක් බේරා ගත හැකිව තිබූ බව ඔවුන් කියනවා. එහෙම නම් මේ 80%ක් මරණ සිදුවන්නේ ඝාතනවලින්. ඒ ඝාතනවලට ජනාධිපතිවරයා වගකිව යුතුයි. මේ ව්‍යසනය හමුවේ ජනාධිපතිවරයා ක්‍රියාකළ ආකාර කිහිපයක් තිබෙනවා. නිවැරදි තීන්දුව නිසි වෙලාවේදී ගත්තේ නැහැ. 20වැනි සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් රට විවෘතව තැබීම, පෝට් සිටි පනත සම්මත කර ගැනීම දක්වා රට විවෘතව තැබීම, මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය අප්‍රේල් මාසය වනවිට රටට ඇතුළත් වීමේ අනතුර පෙන්වා දී තිබියෙදී නිසි තීන්දු නොගැනීම වගේ ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා. මේ නිශ්චිත මොහොතේ විශේෂඥ කණ්ඩායම් ලබාදෙන නිර්දේශ අනුව ක්‍රියාමාර්ග අද ගත්තත් එයින් ප්‍රතිඵල ලැබෙන්නේ තව දින 10කට පමණ පසුව මරණ අඩුවීමෙනුයි. මෙතෙක් නිසි තීන්දු ගැනීම අත්හැරීමෙන් සිය ගණනක් මිය යමින් තිබෙනවා. මෙම මරණ ඝාතනයන් නොවන්නේද? ඒ පිළිබඳ වගකීම ජනාධිපතිවරයාට නොපැවරෙන්නේද? මේ සමූහ මිනිස් ඝාතනයන් පිළිබඳ වගකීම ජනාධිපතිවරයාට මිදෙන්න බැහැ.

    මෙය ආණ්ඩුවේ සාමූහික තීන්දු ගැනීමක් නෙවෙයි. ජනාධිපතිවරයාගේ උද්දච්ච තීන්දුවල ප්‍රතිඵලයක්. ඔබ නිහතමානී නැහැ. අනෙකාට ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ. හිට්ලර්ගේ අවසාන පරාජයේදී සේනාංක භාරව සිටි නිලධාරීන් සේනාංක බිඳ වැටෙන බව වාර්තා කරනකොට ඒ කිසිවකට ඇහුම්කන් දෙන්න හිට්ලර්ගේ මනස සූදානම් වුණේ නැහැ. හිට්ලර් කැමති වුණේ ඔහුට කැමති ප්‍රකාශවලට සවන් දෙන්න විතරයි. අකමැති ප්‍රකාශ කරන අය එළවා දමනවා. කැබිනට් මණ්ඩලයේදී පවිත්‍රාව නිහඬ කළෙත් ඒ විදිහට. අද ජනාධිපතිවරයා ඉදිරියේ කිසිම නිලධාරියෙක් තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ තමයි නොදන්නා බවේ නොදන්නාකම. ජනාධිපතිවරයාට මේ ව්‍යසනයේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. මේ නිශ්චිත මොහොතේ රටේ පාලකයා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා. 20වැනි සංශෝධනය සම්මත කරගැනීම මගින් ඒකාධිකාරී බල ව්‍යුහයක් අත්පත් කරගත්තා. අද ඒවා උපයෝගී කරගෙන තිබෙන්නේ ජනතාව මරණයෙන් බේරා ගන්න නෙවෙයි. ජනතාව මරණයේ දිශාවට තල්ලු කිරීමට ඒ බලතල සියල්ල උපයෝගී කරගෙන තිබෙනවා. මේ රටේ පුරවැසින්ගේ ජීවිත පිළිබඳව ජනාධිපතිවරයා තවදුරටත් වගකීමක් දරන කෙනෙක් නෙවෙයි. ඔහු ඔහුටම ආවේණික කෙනෙක් වී සිහින ලෝකයක ජීවත් වෙනවා. රටේ සිදුවන මහා ව්‍යසනය ඔහුට ඇහෙන්නේ නැහැ.

    මේ නිසා එහි ප්‍රතිවිපාක මේ රටේ පුරවැසියන් අත්විඳිමින් තිබෙනවා. මේ රටේ පුරවැසියන්ගෙන් අප පක්‍ෂයක් විදිහට ඉල්ලන්නේ, ඔබගේ ආරක්‍ෂාව මේ පාලකයාගෙන් හෝ මේ පාලනයෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා. දෛනිකව සිය ගණනක් මිය යමින් තිබියදී පාලකයෙකුට මේ ලෙස ඉන්න පුළුවන් නම් ඔහු කොතරම් මුග්ධ, තෙතමනයක් නැති පාලකයෙක්ද? දැන් පුරවැසියන් තමන්ගේ ආරක්‍ෂාව පිළිබඳව ගත යුතු සියලු ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පසුගිය දවස්වල අම්බලන්තොට ඇතුළු නගර ගණනාවක් ස්වේච්ඡාවෙන් වසා දැමුවා. මහජන සෞඛ්‍යවරුන්ගේ සංගමය මේ ලෙසම ජනතාවගේ ආරක්‍ෂාව ඔවුන්ම සලසා ගන්නා ලෙස ඉල්ලා සිටියා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමියත් මේ ඉල්ලීම කළා. තමන් වෙනුවෙන්, තමන්ගේ පවුලේ සාමාජිකයන්, අසල්වැසියන්, ඥාතීන් සහ රටේ පුරවැසියන් වෙනුවෙන් ආරක්‍ෂා වීම සඳහා ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙස ඉල්ලා සිටිනවා. රජයේ සේවකයන් සේවයට කැඳවූවත් නොයන ලෙස ඉල්ලා සිටිනවා. ඔබේ ජීවිකාවට රස්සාව කළ යුතු බව ඇත්ත. නමුත් ඔබේ ජීවිතය කියන්නෙ රස්සාව නෙවෙයි. සෑම පුරවැසියෙක්ම ස්වේච්චාවෙන් අගුළු දමා ගැනීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ ව්‍යසනයේ ගොදුරු බවට කිසිවෙකුත් පත් වෙන්න ඉඩ දෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා. සුනාමි ව්‍යසනයේදී 45,000ක් පමණ අහිමි වුණු ජාතියක් අපි. මේ රටේ පාලකයාගේ අමනෝඥ ක්‍රියාමාර්ග නිසා පුරවැසියන් මිය යා යුතුද කියන ප්‍රශ්නය අහනවා.

    We further emphasize that you work for your own safety. You put your safety first. If there is any inconvenience, we as a political party are ready to contribute to any relief. People in this country have shed enough tears. The earth is soaked with blood. The people of our generation should not fall prey to the foolish decisions of this President. So follow the maximum measures you can take for your safety. Tell this message to others. As a people, let us make a collective decision to overcome this catastrophe. Let’s make the most of the individual protection provisions.

  • වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම කොවිඩ් මරණ ඉහළ යාමට බලපෑවා – සුනිල් හඳුන්නෙත්ති

    වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම කොවිඩ් මරණ ඉහළ යාමට බලපෑවා – සුනිල් හඳුන්නෙත්ති

    කොවිඩ් එන්නත් ලබාදීමේදී වැඩිහටියන්ට ප්‍රමුඛතාවය ලබානොදීම කොවිඩ් මරණ ඉහළයාමට බලපා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

    ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හිදී අද (12) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු වැඩිදුරටත් දැක්අවූ දහස්…

    “අද වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග ආණ්ඩුව දක්වන ප්‍රතිචාරවල පරස්පතරතා නිසා රටේ ඇති වී තිබෙන අවිනිශ්චිතභාවය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය රටට හෙළි කළ යුතුව තිබෙනවා. ඊයේ(11) වනවිට වැඩිම මරණ සංඛ්‍යාව වූ 124ක් මියගොස් ඇති අතර මේ වනවිට 5,424ක් වසංගතයෙන් මියගොස් තිබෙනවා. තුන් ලක්‍ෂ ගණනක් ආසාදිතයන් වී සිටිනවා. සමාජයක් හැටියට, රටක් හැටියට අතිශය වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දෙන්න වී තිබෙනවා. අද වනවිට ආසාදනය වී නැත්තේ කාටද කියලා අහන්න සිදුවෙන මට්ටමකට වසංගතය පැතිරිලා. මෙවැනි මොහොතක රටේ ජනතාව ඇත්ත දත්ත දැනගැනීම ඉතාම වැදගත්. අවදානම සම්බන්ධයෙන් වගේම තීන්දු-තීරණ ගැනීමේදී මේ සත්‍ය තොරතුරු ලබාගැනීම අතිශය වැදගත්.

    නමුත් ඊයේ වනවිට මේ ඉදිරිපත් කරන දත්තවල බරපතළ පරස්පරතාවයන් තිබෙන බව තහවුරු වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ වසංගත රෝග විද්‍යා අංශයත් දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවුණු කරුණුත් බරපතළ පරස්පරයි. අගෝස්තු මාසයේ මුල් දින 08ක ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 12,555ක් බව දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණ කමිටුවෙන් හෙළි වෙනවා. ඒ දින 08 සම්බන්ධයෙන් කොවිඩ් මර්දන බලකායෙන් වාර්තා කර තිබෙන්නේ 3,729ක්. මේ අනුව 8,826කගේ දත්තවලට සිදුවූ දෙයක් නැහැ. මේ නිසාම ඊයේ දිනයේ මගහැරුණු සංඛ්‍යා හැටියට 3,223ක් එකතු කර තිබෙනවා. නැගෙනහිර පළාතේ මඩකලපුවේ 45ක් සිටින බව කොවිඩ් මර්දන බලකායෙන් කියනකොට දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය 342ක් බව කියනවා. ත්‍රිකුණාමලයේ 71ක් බව බලකායෙන් කියනකොට සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා 163ක් ඉන්න බව කියා තිබෙනවා. අම්පාරෙත් තත්වය මේ වගෙයි. ඇත්ත කියන්නේ කවුද කියන්නේ කියන ගැටලුව තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මේ තොරතුරු ලබාගන්නවා. එක්කො සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. එහෙම නැත්නම් හමුදාපතිවරයා ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියා වශයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.

    නිවැරදි තොරතුරු ඉදිරිපත් කළේ නැත්නම් ජනතාවට බරපතළ සැකයක් ඇති වෙනවා. මේ තත්වය දිගටම තිබුණා.

    වසංගත රෝග මර්දන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්තයා ඒ තනතුරෙන් ඉවත් කළේ තොරතුරු සම්බන්ධ ප්‍රශ්නයකට. ඊයේ මාධ්‍ය වාර්තා කළ කරුණු අනුව තොරතුරු ලොකු කරන්නේ හෝ පුංචි කරන්නේ කවුද කියලා හෙළි කළ යුතුයි. මෙය බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුවක් මේ සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජීවිතත් සමගයි. මේ වසංගතයේ ගොදුරු බවට පත් කළේ වරදක් කළ අය නෙවෙයි. ආණ්ඩුවේ අමනෝඥ තක්කඩි තීන්දුවල ප්‍රතිඵලයක් හැටියට වසංගතයේ ගොදුරු බවට ජනතාව පත්කරනවා. මිය යන අය සම්බන්ධයෙන් තත්වයත් මේකද කියන සැකය බරපතළ ලෙස ඇතිවී තිබෙනවා. රෝහල්වල වාර්තා අනුව සමාජයේ හැම කෙනෙකුටම දරාගන්න බැරි ඛේදනීය තත්වයක් ඇතිවී තිබෙනවා. ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීන්දු ගැනීමේදී සහ තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඇත්ත දැන ගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා. ආණ්ඩුව මේ තොරතුරු විකෘති කිරීම ගැන වගකීමෙන් ප්‍රකාශ කරන්න කියලා අපි බල කරනවා.

    ආසන්න දින 3ක් ඇතුළත මිය ගිය 354න් වැඩි ප්‍රමාණයක් මිය ගියේ වයස අවුරුදු 60ට වැඩි අය. ඔවුන් නිසි පරිදි එන්නත් ලබා නොගත් නිසා මියගිය බව ආණ්ඩුව කියනවා. අපි ආණ්ඩුවෙන් අහන්නේ 60ය වැඩි එන්නත් ප්‍රතික්‍ෂේප කළ අය ඉන්නවාද කියලා. එන්නත් පටන් ගන්නත් කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ඉදිරිපත් කළා. 2020 නොවැම්බර් 13වැනිදා ඉදිරිපත් කළ වාර්තාව අනුව ප්‍රමුඛතාවය සෞඛ්‍ය කාර්යාංශවලට දෙන්න ඕනෑ බව කීවා. ජනගහනයෙන් 10%කට එන්නත් ලැබෙන පළමු අදියරේදී සෞඛ්‍ය කාර්යාංශවලට මූලිකත්වය දීමෙන් පසු ඊළඟට වයස අවුරුදු 60ට වඩා වැඩි අයට ප්‍රමුඛත්වය දීම ඔවුන්ගේ නිර්දේශයයි. සෞඛ්‍ය අංශ ආරක්‍ෂා කිරීම මුලින්ම සිදුකර ඊළගට වැඩිහිටියන් ආරක්‍ෂා කිරීමයි. දෙවැනි අදියරේදී ජනගහනයෙන් 20%කට ලැබෙන එන්නත්වලින් ප්‍රමුඛම තැන වැඩිහිටියන්ට දිය යුතු බව නිර්දේශ කළා. හැබැයි අපේ රටේ ඇස්ට්‍රසෙනිකා පළවැනි තොගය ලැබුණු වෙලාවේ ආණ්ඩුව දේශපාලනඥයින්ට, ඔවුන්ගේ පවුල්වල අයට, වගේම ශ්‍රම බලකායට ලබාදෙන්න කටයුතු කළා. ආණ්ඩුවේ ඇතැම් අය එන්නත් මංකොල්ලයක් පටන් ගත්තා. අනෙක් පැත්තෙන් තක්කඩි තීන්දුවක් අරගෙන අවුරුදු 30-60 අතර ශ්‍රම බලකායට එන්නත් ලබාදී මුදල් ඉපයීම පැත්තෙන් විතරක් බැලුවා. අද ප්‍රචාරය කරන්නේ අවුරුදු 60ට වැඩි අය එන්නත් ලබානොගෙන සියදිවි නසා ගත්තා වගේ කතාවක්. ඒක ඇත්ත නෙවෙයි. කිසි කෙනෙක් එන්නත් ප්‍රතික්‍ෂේප කළේ නැහැ. මේ නිසා අවුරුදු 60ට වඩා වැඩි අය 95%ක් පමණ මියයාමේ තත්වයක් තිබෙනවා. අපි විශ්වාස කරන්නේ මේවා කොරෝනාවලින් මිය යාමට වඩා ඝාතනය කිරීම් ලෙසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ප්‍රතික්‍ෂේප කිරීමේ අවසන් වන්දිය ගෙවන්න සිදුවී තිබෙන්නේ අපේ රටේ අහිංසක ජනතාවටයි. මෙතරම් ව්‍යසනකාරී තත්වයකට රට පත්ව තිබියදීත් වසංගත රෝග විශේෂඥයින්ගේ අදහස් ආණ්ඩුව පැත්තකට දාලා. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සහ විශේෂඥයින් අනතුරු  අඟවන්නේ ඉදිරි දින 20 ඇතුළත 1200ක පමණ පිරිසක් මිය යා හැකි බවට. සුරේෂ් අංගම්පොඩි රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා මේ වගේ ප්‍රක්‍ෂේපණයක් ඉදිරිපත් කර තිබෙනවා. දින 05ක් ප්‍රමාද නොවී සංචරණ සීමා දැඩි කිරීම හෝ ඊට වඩා වැඩි තීරණ ගත යුතු බව විශේෂඥයන් ප්‍රකාශ කරන අතර සමහර ඇමතිවරුන් ජනතාව දෙවියන්ට භාර දෙන්න හදනවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය ප්‍රකාශ කර තියෙන්නේ තීන්දු-තීරණ ගන්න අය තමන්ගේ මතය ප්‍රයෝජන නොගන්නා බවයි. රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන හමුවට සෞඛ්‍ය ඇමතිවරිය කැඳවන්නේ නැහැ. විශේෂඥයින්ගේ මතය කුණු කූඩයට දාලා. ආණ්ඩුවේ බොහෝ දෙනා තීරණ ගනිමින් ඉන්නේ මොළේ උඩ වාඩි වෙලා. විශේෂයෙන් ජනාධිපතිවරයා තීරණ ගන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුවද නැත්නම් හමුදාපතිවරයා හෝ බුද්ධි අංශවල තොරතුරු අනුවද කියලා ගැටලුවක් තිබෙනවා. ආණ්ඩුවේ උද්දච්ඡ හිතුවක්කාර තීන්දු-තීරණ විසින් වසංගතයේ බරපතළකම බිහිසුණු වී තිබෙනවා. රටේ ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව අපි හිතනවා. ආණ්ඩුව සොයමින් ඉන්නේ වසංගතයට මුහුණ දීම ගැන නෙවෙයි, මිය යන අයට ආදාහනය කිරීම ගැනයි. ඒ නිසා ජනතාව මේ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුයි. ඊට අමතරව අද බඩු මිල වැඩිවන විට ආදායම වැඩි නොවන මිනිස්සුන්ට ජීවත් වීම සඳහා පාරට බහින්න සිදුවෙලා තිබෙනවා. පොලිම්වල ලගින්න සිදුවී තිබෙනවා. ආණ්ඩුව මිනිස් ජීවිත ගැන වගකීමක් නොකියන නිසා ජනතාවට වගකීම ගන්න සිද්ධවෙලා තියෙනවා. ජනතාව හැටියට ජීවත් වෙන්න අරගල කරන අතරෙම මේ රෝගයෙන් ගැලවීමේ ක්‍රමෝපායන් අනුව කටයුතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා. දරුවන්ගේ ජීවිතත් බේරා ගැනීමේ වගකීම අපිම දරාගත යුතු වෙනවා. මියයන ජීවිතවල වගකීම ඒ මිනිස්සු පිටම පටවන තත්වයක් ආණ්ඩුවේ තියෙන්නේ. ආණ්ඩුව කැබිනට් මණ්ඩලය රැස් කරන්නේ ජනතාව වෙනුවෙන් තීන්දු-තීරණ ගන්න නෙවෙයි. ඒ වගේම රටේ ජනතාව ගෑස් පෝලිම්වල යවා දැන් වෙළඳ මාෆියාවට කප්පම් දී උත්තර හොයා තිබෙනවා. ලාෆ් ගෑස් ආයතනය තමන්ගේ පාඩුව ආණ්ඩුවට බාරගන්න කොන්දේසි ඉදිරිපත් කර ඔවුන්ගේ හම්බන්තොට ගෑස් ටර්මිනල් එක ලිට්‍රෝ සමාගමට පවරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. පෞද්ගලික සමාගමේ පාඩුව ආණ්ඩුව බාර ගන්නවා නම් රු. 1493 මිලට දිගටම ගෑස් ලබාදෙන්න සූදානම් බව කියා තිබුණා. නමුත් අද වෙනකොට රු. 363කින් ගෑස් මිල වැඩිකර තිබෙනවා. මීට ඉස්සර කිව්වේ ද්‍රවශීලතා ප්‍රශ්න තියෙන බවයි. නමුත් ගෑස් මිල වැඩිකිරීමෙන් කප්පම් දුන්නාට පස්සේ වෙන කිසිම ප්‍රශ්නයක් ගැන කියන්නේ නැහැ. පෞද්ගලික සමාගමේ පාඩු රජය බාර ගත්තත් ඒක ආපහු පටවන්නේ ජනතාව මතට. එහෙම නොකර මිල වැඩි කිරීමෙනුත් සෘජුවම පටවන්නේ ජනතාව මතට. දැන් මේ වනවිට රජයේ ලිට්‍රෝ ගෑස් කම්පැනියත් පාරිභෝගික අධිකාරියෙන් මිල වැඩි කරන්න අවසර ඉල්ලා තිබෙනවා. ආණ්ඩුව කියන්නේ රජයේ සමාගමට මිල වැඩි කරන්න නොදෙන බවයි. ආණ්ඩුව කියන්නේ අවසානයේ දී කණගාටුවෙන් වුණත් ලිට්‍රො සමාගමෙන් මිල වැඩිකරන්න සිදුවන බවයි. එහෙම නැත්නම් ලිට්‍රො සමාගමත් එකතු කරලා අලුත් සමාගමක් පිහිටුවන්න යාමයි. මෙතන තියෙන්නේ ස්වභාවිකව ගෑස් හිඟවීමක් නෙවෙයි. කප්පම් ගනිමින් ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළක්. මේ වසංගත තත්වයේදී, බඩුමිල වැඩිවීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවී තිබියදී ආණ්ඩුව කිසිම ප්‍රශ්නයකට උත්තර හොයන්නේ නැහැ. හැම පැත්තෙන්ම ජනතාව පීඩාවට පත්කරමින් ඉන්නේ. මේ තත්වයෙන් අපේ රටත් ජනතාවත් මුදවා ගැනීමේ වගකීම බාර ගැනීමට අපි සූදානම් ඒ වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරමු. එහි පළවැනි පියවර හැටියට අපි ආණ්ඩුවට බල කරමින් කියන්නේ වහාම සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතයට ඇහුම්කන් දී කටයුතු කරන්න කියලා. ඒ වගේම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව වගකීම අත්හරින නිසා ජනතාව හැටියට ඒකරාශී වී අපේ දරු පරම්පරාවේ ආරක්‍ෂාව වෙනුවෙන් එකට එකතු වී කටයුතු කරමු කියලා. අපි ආරක්‍ෂා වෙමු. ආරක්‍ෂා වී කටයුතු කරමු. ඒ සඳහා පෙරට එන්න කියලා අපි ආරාධනා කරනවා.”

  • අය-වැය 2022 සඳහා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීම අගමැතිගේ ප්‍රධානත්වයෙන්

    අය-වැය 2022 සඳහා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීම අගමැතිගේ ප්‍රධානත්වයෙන්

    අය-වැය 2022 සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ මෙම හමුවේ දී ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටුකළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමුකළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන අංශ සඳහා පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබා ගැනීම සිදුවිය.

    දේශීය කාබනික කෘෂිකර්මාන්තය නගා සිටුවීම, අපනයන නිෂ්පාදනය ඉහළ දැමීම, කර්මාන්ත සහ සේවා අංශය වෙත ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම සහ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගාසිටුවීම, සංචාරක ක්ෂේත්‍රය නගාසීටුවීම, ධීවර ක්ෂේත්‍රය පුළුල් සංවර්ධනයකට ලක් කිරීම, මල් සහ විසිතුරු පත්‍ර වගාකරුවන් නගාසිටුවීම,  සත්ත්ව නිෂ්පාදන අංශය වර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි පසුපෙළ මන්ත්‍රීවරු මෙහි දී යෝජනා ඉදිරිපත් කළහ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස එවකට රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ඊට අදාළ පිරිස් වෙතින් අය-වැය යෝජනා සකස් කිරීමේ දී අදහස් ලබා ගැනීමට කටයුතු කළ බවත් එය ඉතා සාර්ථක ප්‍රගතියක් පෙන් වූ බැවින් මෙවර අයවැය සම්පාදනයේදීත් හැකි උපරිමයෙන් විවිධ අංශ නියෝජනය වන පරිදි යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී අවධාරණය කළේය.

  • සුදර්ශනී ජේ.ආර් පාරේ යයි – ‘ තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න‘

    සුදර්ශනී ජේ.ආර් පාරේ යයි – ‘ තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න‘

    රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න

    හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ කුප්‍රකට කියමනක් යළි සිහි ගන්වමින් මේ ප්‍රකාශය කළේ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි.

    අද (10) පැවැතිගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ඒ බව කීවාය.

    මේ වනවිට මෙරට රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

    ‘‘මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී. නමුත් අවදානමක ඉන්නේ. රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න. කිව්ව විදියට සෞඛ්‍ය උපදෙස් ටික පිළිපඳින්න. අනවශ්‍ය ගමන් සියල්ල නවත්වන්න. අනවශ්‍ය සාද ටික නවත්වන්න. අනවශ්‍ය විදියට නෑදෑයෝ බලන්න යන එක නවත්වන්න. මේ කියන්නේ තමා ආරක්ෂා වෙන්න. මේක තමන්ගේ ජීවිතයත් එකක් තියෙන ප්‍රශ්නයක්. කොවිඩ් මර්දනය සඳහා ඇති එකම ප්‍රතිකර්මය රෝගය වැලඳී ම වළක්වා ගැනීම. මේ මාසය හරි අවදානම්. ගෙදරට ම වෙලා ඉන්න‘‘

  • ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන්ට ඕනෑ –  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

    ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන්ට ඕනෑ – පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

    ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනාවක්

    ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඊයේ(04) යෝජනා කළේය.

    ඒ සංසදය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් දැක්වූ එහි සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 30 දක්වා වර්ධනය කළ යුතු බවයි.

    රාජ්‍ය මණ්ඩල සහ කොමිෂන් සභාවල කාන්තා නියෝජනය සියයට 33 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද ඇය කාරක සභාවේදී යෝජනා කළාය.

    සියලු මැතිවරණ සඳහා එකම නීතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය මෙහිදී පෙන්වා දුන්නේය. වර්තමානයේදී කාන්තාවන්ට අපේක්ෂකත්වය ලබා ගැනීමද ගැටලුවකි. කාන්තාවන් පිළිබඳව සමාජයේ ආකල්ප වෙනසක්ද ඇතිවිය යුතුය. දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය කාන්තාවන්ට එතරම් හිතකර නොවන බවද ඇය සඳහන් කළාය. රට තුළ දේශපාලන ප්‍රචන්ඩත්වය ඇතිවීම ද දේශපාලනයේ කාන්තා නියෝජනය අවම වීමට හේතුවී තිබෙන බව ඇය අවධාරණය කළාය.

    දේශපාලන පක්ෂ තුල කාන්තාවන්ට ඉහළ මට්ටමේ නිලතල නොලැබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා විය.

    පළාත් පාලන ක්‍රමයේදී මෙන්ම, මීට පෙර යෝජිත පළාත් සභා ජන්ද ක්‍රමය තුළ කාන්තා නීයෝජනයට ඉහළ ඉඩක් වෙන්ව තිබූ බව  කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

    රටතුල දැනට පවතින මනාප ක්‍රමය අහෝසි නොකර කාන්තාවන්ට දේශපාලනයේ වැඩි අවස්ථාවක් ලබා දිය නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී කීවේය. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවද අමාත්‍යවරයා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    වර්තමාන මැතිවරණ ක්‍රමය කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් ගැලපිය නොහැකි බව අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා කීවේය.

    මැතිවරණවලට ඉදිරිපත් කරන අපේක්ෂිකාවන්ගේ සංඛ්‍යාව  නිශ්චිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කාරක සභාවේදී සඳහන් කළේය.

    කාන්තාවන්ට විශාල සංවිධාන ශක්තියක් ග්‍රාමිය මට්ටමේ සිට පවතින බවත්,කාන්තාවන් දේශපාලනීකරණය නොවීම සංස්කෘතික ප්‍රශ්නයක් බවත් කාරක සභාවේදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

    දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය  දැනුවත් කිරීම් සිදු කිරීම සඳහා සිවිල් සංවිධානවලට විශාල කාර්‍යභාරයක් ඉටුකළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර මහතා කාරක සභාවේදී කීවේය.

    පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ දැනට පවතින සියයට 25 ක් කෝටාව ස්ථාවරව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බව කාරක සභාවේදී අදහස් දැක් වූ කාන්තා දේශපාලන පීඨයේ ප්‍රධානී නීතිඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

    කාන්තාවන්ට නායකත්ව පුහුණුව ලබා දීම වෙනුවෙන් දේශපාලන පක්ෂ කටයුතු කළ යුතු බවත්, පාර්ලිමේන්තුව සහ පළාත් සභා තුළ කාන්තා නියෝජනය සියයට 30 දක්වා ඉහළ නැංවිය යුතු බවත් ඇය මෙහිදී යෝජනා කළාය. ජාතික ලැයිස්තුවෙන් සියයට 30ක් කාන්තාවන්ට ලැබෙන පරිදි නව ක්‍රමවේදයක් සැකසිය යුතු බවද නිමල්කා ප්‍රනාන්දු මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

    පෞද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන්ට ද තැපැල් ජන්දය භාවිත කළ හැකි වන පරිදි නව ක්‍රමවේදයක් සැකසිය යුතු බව කාරක සභාව හමුවේ අදහස් දැක් වූ වීල් සමාජය පැවසීය.

    මැතිවරණ වියදම අවම කිරීම කෙරෙහි නව ප්‍රතිසංස්කරණ වලදී විශේෂ අවධානයක් යොමු විය යුතු බවත්, මැතිවරණ වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍ය වෙනුවෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසිය යුතු බවත් කාරක සභාව හමුවේ අදහස් දැක් වූ යෙහෙළිය පදනම සඳහන් කළේය.

    මැතිවරණ වලට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම අත්‍යාවශ්‍ය බව ගංගොඩවිල එක්සත් සමාජ සේවා කාන්තා සමාජය කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් අවධාරණය කළේය.

    මෙම කාරක සභා රැස්වීමේදී කාන්තා සංවිධාන 05 ක් සිය යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

    එමෙන්ම මීළඟ කාරක සභා රැස්වීම අගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය පැවසුවාය.

    මෙම කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්‍ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, කබීර් හෂීම්,  රංජිත් මද්දුම බණ්ඩාර, එම්.ඒ.සුමන්තිරන්, මනෝ ගනේෂන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම්, යන මහත්වරුද සහභාගි වූහ.

    මේ අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද සභභාගී වූහ.

  • ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

    ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේය.

    අද ‍පෙරවරු 11.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපසදී පිළිගෙන සභා ගර්භය වෙත කැඳවාගෙන එන ලද්දේ ගරු සභානායක සහ විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ  ඉන්දික අනුරුද්ද යන මහත්වරුන් විසිනි.

    අනතුරුව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකොටගෙන ජනාධිපතිවරයා සභා ගර්භය වෙත පිවිසියේය.

    සභා ගර්භය තුළදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයන් විසින් අසන ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ලබාදෙන අවස්ථාවට සහභාගීවූ ජනාධිපතිවරයා මධ්‍යහ්න 12.00 පමණ වන තෙක් සභා ගර්භය තුළ රැඳී සිටියේය.

  • පොහොට්ටුවේ අනාගතය ගැන විදුරගෙන් සුපිරි අනාවැකියක්

    පොහොට්ටුවේ අනාගතය ගැන විදුරගෙන් සුපිරි අනාවැකියක්

    ආණ්ඩුව මේ යන ගමන මේ ආකාරයට දිගටම ගියහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ පොහොට්ටු පක්ෂයටත් සිදුවන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක සඳහන් කරයි.

    වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේ පසුගිය 31 වනදා බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

    “ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට අති මහත් බහුතරයක් ජනතාව විසින් ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගනු ලැබුයේ එක රටක් එක නීතියක් වෙනුවෙනුයි. නමුත් අපිට සැකයක් මදිපුංචිකමක් මේ වනවිට දැනෙමින් පවතිනවා. බැඳුම්කර හොරු ටික ඇල්ලුවද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය තවමත් නිදැල්ලේ. මෙහි ප්‍රධාන චූදිතයෝ තාම නිදැල්ලේ. සමහර අය පාර්ලිමේන්තුවෙත් සිටිනවා. මේ ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා.

    කාබනික පොහොර සංකල්පය බොහෝම හොඳ සංකල්පයක්. නමුත් අවාසනාවකට මෙය එකසැරේ කරන්න බැහැ. ඊට යම් කාලසීමාවක් අවශ්‍යයි. පස හා පැළෑටි කියන්නේ පණ තියෙන දේවල්. ඒ නිසා ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුයි. මෙරට පස හා පැළෑටි වසර හතළිහකට ආසන්න කාලයක් රසායනික පොහොරවලට හුරු වෙලයි තිබෙන්නේ. පසට හා පැලෑටිවලට අවශ්‍ය දේ අපි දිය යුතුයි. එම නිසා ඒ ගැන සිතා කටයුතු කළ යුතුයි. එය එක රැයකින් කළ හැකි දෙයක් නොවෙයි. එහෙම කරන්න ක්‍රමයක් තිබෙනවා.

  • රිෂාඩ් බදූර්දීන් සහ පොලිටිකල් හබ්

    රිෂාඩ් බදූර්දීන් සහ පොලිටිකල් හබ්

    මේ දිනවල කතා බහට ලක්වන ළමා අපචාර සිද්ධියට  රිෂාඩ් බදූර්දීන් පවුලම කොටු කර හමාරය. එහෙත් පරීක්‍ෂණ අවසන්ව නැත. 2001 වසරේ මන්නාරම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්ව ආ රිෂාඩ් බදුර්දීන් මේ ගෙවන්නේ සිය  දේශපාලන ජීවිතයේ 20 වෙනි වසරය. එයින් වැඩි කාලයක් ඔහු පයිරුපාසනය කර ඇත්තේ මැදමුලන රාජපක්‍ෂලා ය.

    1972 නොවැම්බර් මස 27 වෙනි දින උපන් රිෂාඩ් බදූර්දීන් වෘත්තියෙන්  ඉංජිනේරු වරයෙකි. දේශපාලනයට නොපැමිණියද, රිෂාඩ් බදූර්දීන් ධන කුවේරයෙකු වීමේ වාසනාව උපතින් රැගෙන පැමිණියෙකි. හේතුව මුසල්මානුවෝ ජන්මයෙන්ම ව්‍යාපාරික ඤාණය රැගෙන එතී යන විශ්වාසයයි.  රටක පුරවැසියෙක් ධනවතෙකු වීම ඔහු උපන් රටට ශක්තියකි. ඒ හරහා රටට ලැබෙන ප්‍රතිලාභ බොහෝය. නව ව්‍යාපාරික අවස්ථා උදාවේ. තව තවත්  රැකියා අවස්ථා උත්පාදනය වේ. නව කල්පනා නිර්මානාත්මක සේවා මෙන්ම, නව නිෂ්පාදන අවස්ථා …., ආදි ලෙස බොහෝ ධනාත්මක අපේක්‍ෂාවන් ව්‍යාපාරිකයන් ගෙන් අපේක්‍ෂා කළ හැකිය. හීන දැකීමේ අවසරය කිසිවෙකුට වැළැක්විය නොහැකිය.  එහෙත් රිෂාඩ් බදූර්දීන් සිවිල් ඉංජිනේරු වෘත්තිකයෙකු නොවී දේශපාලනයට පැමිණීම තුළ සිදුවී ඇත්තේ කුමක්ද? මේ ප්‍රශ්නය   පු`ථල් සංවාදයකට උචිත හෙයින්  විවෘත තබනු  කැමැත්තෙමි.  

    පාර්ලිමේන්තු යාමට සුදුසුකම් නියම කළ යුතු යයි සමහරු සිතති. ඒ අර්ථයෙන් රිෂාඩ් නූගතෙකු නොවේ. බුද්ධිමතෙක්ද? උත්තරය සෙවීමේදී සඳහා රාජපක්‍ෂලාගේ දෙපා ලෙවකන ජී.එල්.පීරිස්ලා, චන්න ජයසුමනලා, සමීකරණය යොදා  ගත යුතුවේ.  රිෂාඩ් උගතෙකි. වෘත්තිකයෙකි. ඔහු පාර්ලිමේන්තුවට මුල් වරට තේරෙන විට, 29 නව හැවිරිදිව සිටියේය. ගාමිණි දිසානායක වයස 28දීද,  නිකවැරටියේ මුදියන්සේ තෙන්නකෝන් 22 දෙ හැවිරිදිව සිටියදීද, පාර්ලිමේන්තුවට පිවිසියහ. ඩී.එස්.සේනානායක 40 හැවිරිදි වැඩිහිටියෙකි. මහින්ද රාජපක්‍ෂ 22කි.  ගාමිණි අධිනීතිඥයෙකි. මු.තෙන්නකෝන් නීති ශිෂ්‍යයෙකි. ඩි.එස්.සේනානායක……? මහින්ද…….?

    දේශපාලනය යනු සුවිශේෂී ආචාර ධර්ම වලින් ප්‍රභාවිත කැප කිරීමකි. ප්‍රවේශය නිදහස්ය. සැමට විවෘතය. ජනතාවට තමන් කැමති මිනිසා තෝරා ගැනීමට,  අධ්‍යාපන සහතික හෝ හැඩ වැඩ බාධා විය යුතු නැත. අවංකභාවය සහ ඍජුගතිය දේශපාලනඥයෙකුගේ යහපත් සෞඛ්‍ය සටහන් වේ. විධිමත් ලෙස ආදායම් බදු නොගෙවූ බවට සැලවූ වහාම අගමැති ඩඩ්ලි සේනානායක, නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩොනල්ඩ් රණවිර ගෙන්වා තරවට්ටු කළේත් නැවත එජාපයෙන් නාම යෝජනා අපේක්‍ෂා නොකරන ලෙස දන්වා සිටියේ ඇයි? එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන සෞඛ්‍ය ආරක්‍ෂා කරගත යුතු නිසාය. එජාපය නියෝජනය කළ දේශපාලනඥයෙකු වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වෘත්තියෙන් නීතිඥයෙකි. සිය ජීවිතයේ අවසන් කාලයේ දේශපාලන විශ්‍රාම ගත් නිදහස් අධ්‍යාපනයේ පියා යැපුණේ රජයේ පින් පඩියකිනි.  දේශපාලනය එවැනි කැප කිරීමකි. විශිෂ්ට අභ්‍යාසයකි.   ලී ක්වාන් යූ, වංචා දූෂණ චෝදනා ලද, තම කැබිනට් සගයෙකු කැඳවා,   හිරේ යාම හෝ සිය දිවි නසා ගැනීම තෝරා ගන්නැයි නියම කළේය. ඔහු දෙවන මනාපය තෝරාගත් බව අසා ඇත්තෙමි.  පවිත්‍ර දේශපාලනය යනු එවැනි බලපු`ථවන්කාරකමකි. තරුණ රිෂාඩ්ට නායකත්වය දුන් රාජපක්‍ෂ බලයට ආවේ ප්‍රභාකරන්ගේ තුවක්කු බටයෙනි. කපුකම කළේ ප්‍රීඩම් හබ් පටන් ගත් කේමාගේ කොල්ලා හෙවත් මංගල සමරවීර විසිනි. ප්‍රභාකරන් ලවා උතුරේ ජනතාව බිය ගන්වා රට ඇල්ලූ  මහින්ද රාජපක්‍ෂ ප්‍රභාකරන් විනාශ කළ  බව සැබෑය. ඒ මහින්ද රාජපක්‍ෂම රිෂාඩ්ට කැබිනට් මණ්ඩලයට කැඳවා තවත් ජන වාර්ගික කැළඹීම පිළිබඳ ඊළඟ පරිච්චේදය ආරම්භ නොකෙළෙහිද?  දොස්තර ෂාපි සහ අතුරලියේ රතන එකට වලිගා ගැට ගැසූ යනු ඡන්ද ගුණ්ඩුවකි. පාස්කු ප්‍රහාරය කුමක්ද? ඒ ගැන කාදිනල් මැල්කම් රන්ජිත්ගෙන් අසා දැනගත යුතුවේ.  

    ලෝක බැංකුවේ සමු`ථ සැසියක මුලසුන හෙබවීම වෙනුවෙන් මුදල් අමාත්‍ය යූ.බී. වන්නිනායක (1965-1970)ට වටිනා මෝටර් රියක් පරිත්‍යාග කෙරිණ. ත්‍යාගය ගැන දැනගත්  වන්නිනායක, ත්‍යාගයේ වටිනාකම මුදල් කොට ලංකාවේ රාජ්‍ය භාණ්ඩාගාරයට යැවීමට උපදෙස් දුන්නේය. එය ඇසූ ආයතන ප්‍රධානින් පවසා ඇත්තේ ත්‍යාගය වන්නිනාකයට මිස ලංකා ආණ්ඩුවට නොවන බවය. වන්නිනායක දුන් පිළිතුර ඔබ දන්නෙහිද? සමු`ථව නියෝජනය කරන්නේ ලංකාවේ මුදල් ඇමති මිස යාපහුවේ වන්නිනායක නොවන බවය. මේ නිදර්ශන දෙක අනුව, දේශපාලනයට පැමිණීමට අවශ්‍ය වෘත්තීය  සහතික නොවේ. අවංකභාවය සහ ඍජුගතිය සෞඛ්‍ය සම්පන්න දේශපාලනයක අනන්‍යතාවවේ.

    මහින්ද රාජපක්‍ෂගේ කැබිනට් අමාත්‍ය රිෂාඩ්, වාර්තා කළ මුල්ම සිද්ධිය සියයක පමණ පිරිසක් සමග 2012 ජූලි 17 වෙනිදා  මන්නාරම් අධිකරණ භූමිය වටලා අධිකරණ ගොඩනැගිලි  ගිනි තබන බවට මහේස්ත්‍රාත්වරයාට තර්ජනය  කිරීමය. රිෂාඩ් මන්නාරම් මහේස්ත්‍රාත් පිල්ලේ ජුදේසන්ට දුර කතනයෙන් අමතා, නීති විරෝධී සිද්ධියකට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට කළ අධිකරණ නියෝගය අවලංගු කරන ලෙස බල කළේය. කලබලයට පත් මහේස්ත්‍රාත් වරයා යුද හමුදා ආරක්‍ෂාව ඉල්ලා සිටි අතර, රිෂාඩ්ට එරෙහිව, අධිකරණ සේවා කොමිෂන් සභාවටද පැමිණිලි කළේය. එක් අවුරුදු අට මාසයක, දීර්ඝ විදේශ සංචාරයකින් පසුව දිවයිනට පැමිණි කැබිනට් අමාත්‍ය රිෂාඩ්,  2014 මාර්තු 14 වෙනි දින නිතිඥයන් පිරිසක් මාර්ගයෙන් මන්නාරම් අධිකරණයට භාර විය. එහිදී ඔහුට තම දුර කථනය අධිකරණයට භාර දීමට සිදුවිය.

    අධිකරණයට අපහාස කිරීමේ වරදට එස්.බී.දිසානායක (2006)සහ රන්ජන් රාමනායක(2021) යන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට දඬුවම් දුන් ශ්‍රී ලංකාවේ අධිකරණය, රිෂාඩ්ගේ  සමාව ඉල්ලීමෙන් සෑහීමට පත්ව, 2014දී සිද්ධිය අවසන් කළේය. අධිකරණයකට ගල් ගසා ගිනි තබන බවට තර්ජනය කොට, මහේස්ත්‍රාත්ට බලපෑම් කළ රිෂාඩ් 2015-2019 කාලයේ යහපාලන රජයේත් බලවතෙකු  විය. ඒ මන්ත්‍රීන් කිහිප දෙනෙකුගේ ශක්තිය වෙනුවෙනි. ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගය තුනෙන් දෙකකින් පරාද කොට වර්ණවත් කිරීමට රාජපක්‍ෂලා ණයට ගත්තේ රිෂාඩ්ගේ ශක්තියෙනි.  අදටත් රිෂාඩ් අධිකරණයට ගල් ගැසූ මිනිසාමය. දැරිය පිළිබඳ විමර්ශණයට අදාල සීසීටිවි කැමරා රැසක දර්ශණ මකා ඇති බව වාර්තාවේ. රිෂාඩ්ගේ පවුලෙන් අඩක් රක්‍ෂිත බන්ධනාගාරයේය. කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතටත් තුනෙන් දෙක ලැබීමෙන් අනතුරුව සියල්ල අවසන්ව රිෂාඩ් පාර්ලිමේන්තු පැමිණෙනු ඇත. පාස්කු කොමිෂමේත් සිය`ථ වාර්තා නිකුත් කර නැත.  මහින්ද රනිල් මංගල ත්‍රිකෝණය තුළ තවදුරටත් රටේ දේශපාලනය දෝලනය වීමට ඉඩ දිය යුතු නැත.  

    රිෂාඩ්ගේ දෙවන වික්‍රමය,  විල්පත්තු අභය භූමියෙන් අක්කර 2388ක්  නීති විරෝධි ලෙස  එළි පෙහෙළි කොට කපා ජනපද පිහිටුවීමය. මෙය රජයේ නිලධාරින් සහ දේශපාලනඥයන් අතර අරගලයක් බවට පත්විය. එහිදී රාජපක්‍ෂ ආණ්ඩුවේ සහායෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට වන සංරක්‍ෂණ දෙපාර්තාමේන්තුවට අයත්  ඉඩම් රිෂාඩ්ට අත්පත් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති තීරණය, සංරක්ෂණ ජනරාල් කේ.ජි.ආරියදාසගේ අංක ෑඵෘඛරැ04රැ02රැ08රැ1රැ2012 සහ 2013.02.14. වෙනි දින දරන ලිපියෙන් මන්නාරම් දිස්ත්‍රික් ලේකම්ට දැන්වීය. රිෂාඩ් මුලින් අධිකරණය බිය ගැන්වීය. දෙවනුව, අභය භූමියක ඉඩම් කොල්ල කෑවේය.  

    තෙවනුවද නැවත රටේ නීතියට අත පෙවීය. ඒ කෙසේද යත්….?

    2019දී පාස්කු ප්‍රහාරය සමග යහ පාලන කැබිනට් අමාත්‍ය රිෂාඩ්ගේ ප්‍රාතිහාර්ය නැවත වාර්තා වේ.  රිෂාඩ්ට එරෙහිව එස්.බී.දිසානායක අතුරලියේ රතන ඇතු`ථ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 63 දෙනෙකුගේ අත්සන් සහිත විශ්වාස භංග යොජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එකී විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පෙරමුණට සිදුවේ. රිෂාඩ්ට එරෙහි චෝදනා විමසීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවට සහභාගි වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැළකී සිටිමට සමත් විය. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු  වැළකෑ පබිලා සහ පුහුල් හොරා දෙදෙනාම එක් තැනක ස්ථාගනව සිටින බව රටම දනිති. හිටපු සහ සිටිනා සේනලා දෙන්නාම සිටින්නේ මෙනවාදෝ කෑවා  වාගේය. කාදිනල් දිගට හරහට නෙලති. බෞද්ධ භික්‍ෂුහූ බවුන් වඩති. ශ්‍රීලනිල සභාපති සහ හිටපු සේන පිළිබඳ බරපතල නිර්දේශයක් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් ව ඇති බව වාර්තා විය.

    පාස්කු ප්‍රාහරයට අදාළව ලැබුණ තොරතුරු අනුව, අත් අඩංගුවට ගත් සමහර සැක කරුවන් මුදා හරින ලෙස රිෂාඩ්  යුද හමුදාපතිට ඍජු බලපෑම් කළ බව තහවුරු විය. 1971 කැරැල්ල අතර. රවි ජයවර්ධන අත්අඩංගුවට පත් විය. තම එකම දරුවා පිළිබඳ  ඒ පුවත ඇසූ විපක්‍ෂ නායක ජේ.ආර්.ජයවර්ධන මහත් සේ කලබල විය. ජේ.ආර්. තාත්තා ඒ නිමේෂයෙහිම අගමැතිවරියට  කියා සිටියේ තම පුතා පිළිබඳ විමර්ශණ කඩිනමින් අවසන් කර ඔහුගේ සම්බන්ධතාවක් නැත් නම් මුදා හරින ලෙස පමණකි. ජේ.ආර්.ජයවර්ධනගේ හැසිරීම් කිසි විටෙක රිෂාඩ්ගෙන් තබා මහින්ද රාජපක්‍ෂගෙන්වත් අපේක්‍ෂා කළ නොහැකිය. එහෙත් මෙවැනි ජාතික ආපදාපන්න අවස්ථාවක එවැනි  නිර්ලජ්ජී බලපෑමක් කිරීමට වෘත්තියෙන් ඉංජිනේරු උපාධිධාරියෙකුවූ රිෂාඩ්ට හයියක් ලැබුණේ ඔහු පෙළඹුණේ කෙසේද? රටට වැදගත් වන්නේ රිෂාඩ් නොවේ. ඒ දේශපාලන පැවැත්ම පමණකි.

    සිවිල් ඉංජිනේරුවරයෙකුවූ රිෂාඩ් කිසි විටෙක මෝඩයෙක් විය නොහැකිය. ඔහ නීතිය නොදන්නවාද නොවේ. ඔහු ඒ තත්වය පත් කළේ ඔහුට නායකත්වය දුන් රාජපක්‍ෂලාය. අදටත් රාජපක්‍ෂලා ඒ විනාසය සිදු කරමින් සිටියි. චොකා මල්ලී මරණ දඬුවමට නියම වූණේ මනුෂ්‍ය ඝාතන වරදකටය. ඒ මනුෂ්‍ය ඝාතනය මංකොල්ලයකට ගෙට පැන්න හොරෙකු ඝාතනය කිරීමක්ද? නැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සොයා ගොස් මග රැක සිට කළ වෙඩි තැබීමකි. සිරිසේන වෙනුවෙන් ජනාධිපති මැතිවරණය සඳහා ඉදි කළ  වේදිකාවත් සරසමින් සිටි පුරවැසියෙකුට වෙඩි තැබීමකි. ඒ වෙඩිල්ල ප්‍රජාතන්ත්‍රවාදය එල්ල කර තැබූ වෙඩිල්ලකි. මිනී මරුවෙකු  බවට තීන්දු කර, මරණ දඬුවමට නියම කළ පුද්ගලයෙකු වෙනුවෙන් මැතිවරණ සටහනක් මෙහෙයවීමට ඒ පුද්ගලයාගේ යොවුන් දියණිය යොදා ගන්නා තරමට රාජපක්‍ෂලා දේශපාලනිකව ම්ලේච්ඡ වූහ. මහින්ද රාජපක්‍ෂට ගැහැනු දරුවන් නො සිටීම වෙනම කතාවකි. චොකා මල්ලිගෙන් මැරුම් කෑ මිනිසාටත් දියණියක සිටියා නම්….? ඇය වෛර කරන්නේ තම පියාගේ මිනි මරුවාට නොවේ. මිනි මරුවාගේ දියණියටය. නැතිනම් රටේ පවත්නා දේශපාලනයටය. එය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ පවුලක පරම්පරාවක හැදිච්චකම පිළිබඳ ප්‍රශ්නයකි.

    මන්නාරම් අධිකරණයට ගල් ගැසුවේත්, මහේස්ත්‍රත් බිය වැද්දුවේත් විල්පත්තු කැලේ කැපුවේත්, ම්ලේච්ඡ පාස්කු ප්‍රහාර පරීක්‍ෂණවලට අත තැබීමට කල්පනා කළේත්  රිෂාඩ් නම් ඉංජිනේරුවා නොවේ. රාජපක්‍ෂලා විසින් වැර ගන්වන ලද එනම් දේශපාලනඥයාය.  වර්තමානයේ ජූඩ් කුමාර් ඉෂාලිනී ගේ මරණය රිෂාඩ්ට පමණක් නොව, රිෂාඩ්ගේ පවුලේ උදවියට පවා පාරා වලල්ලක් වී ඇත. බොහෝ විට, මේ කලබැගෑනිය විමර්ශන දොස්තර ෂාපි එරෙහි කලබැගෑනිය මෙන් යටපත් වනු ඇත.  මේවා දේශපාලනඉ  හේතු මත ඉස්මතු කෙරෙන ගුණ්ඩු වෙති. හෙවත් ඉෂාලිනී දිවි නසා ගත් බවට අධිකරණයට වාර්තා කිරීමෙන් විමර්ශන අවසන් විය හැකිය. ඉෂාලිනි ඛේදවාචකය මත ඇදී යන මේ සමාජ වෛරය,  රිෂාඩ් නම් දේශපාලනඥයාට එරෙහිවය.  එහිදී ඔහුව හුදෙකලා නොකොට, රිෂාඩ් නිර්මානය කළ දේශපාලනය අප තේරුම් ගැනීම වැදගත්වේ.

    2015දීත් රාජපක්‍ෂලාට එරෙහිව නැගුණේ මෙවැනි සමාජ වෛරයකි. ඩේසි ආච්චිගේ ගේ දොරකඩ මැණික් මලු දමා යන පිස්සන් ගැන කියන තරමට, රාජපක්‍ෂලා අවුලෙන් පසුවිය. හේතුව හොරකමට වංචාවට වෙනත් නිර්වචන නැති බැවිනි. වෛද්‍ය ආනන්ද සමරසේකර නම් වෛද්‍ය වෘත්තිකයා පාපන්දු ක්‍රීඩක තාජුදීන්ගේ සිරුරේ කොටස් සඟවා කාගේදෝ අපරාධයක් සඟවූ බවට අපවාද ලැබුවේ ඔහුගේ වෘත්තීය නිපුනතාව නිසා නොවේ. රාජපක්‍ෂලා විශ්වාස කළ නිසා සහ රාජපක්‍ෂලාගේ නායකත්වයට පැවති තක්සේරුව  නිසාය. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අදටත් පිස්සෙකු සේ  හැසිරෙන්නේ වෛද්‍ය වෘත්තියේ වරදක් නිසා නොවේ.  රාජපක්‍ෂලා විශ්වාස කළ නිසා සහ රාජපක්‍ෂලාගේ නායකත්වයට පැවති තක්සේරුව  නිසාය. විධායක ජනාධිපති තනතුර නිසා රට හඳුණා ගත් ආර්යාවන් ගණනාවකි. එලීනා  ජයවර්ධන ආර්යාව, ඩී.බී,විජේතුංග ආර්යාව හා මෛත්‍රිපාල සිරිසේන ආර්යාව ලාංකේය කාන්තා පරපුරම ආඩම්බරයෙන් සිහි කරනු නිසැකය. ශිරන්ති රාජපක්‍ෂ ආර්යාවගේ සිරිලිය ගිනුමේ පරීක්‍ෂණ, රනිල්ගේ පිහිටෙන් ගොඩ ගිය බව සැබෑය. එහෙත් ගිණුමේ ප්‍රකාශිත පුද්ගල හැඳුනුම් පත් අංකයම  වලංගු නඩු තීන්දුවකි.

    මැදමුලන රාජපක්‍ෂ පවුලේ  සොහොන,  කෞතුකාගාරයක් කිරීමට ආණ්ඩුවේ මුදල් වැය කළ බව හෙළිවූ සැනින් ඒ මුදල් ආපසු පියවීය. ඒ නිසාම ඒ නඩුවේ සියලු විත්තිකරුවන් නිදහස් කිරීමට නීතිපති එකඟ විය. එහෙත් වැය කළ මුදල් ආපසු  ආණ්ඩුවට ගෙවා ලබා ලත් ලදුපතම  නඩු තීන්දුවකි. මේවා අගමුල ගලපන්නේ වෘත්තිකයෙකුවූ රිෂාඩ් විනාශයට යොමු කළ දේශපාලනය තේරුම් ගැනීමටය. රිෂාඩ් මේ විඳවන්නේ ඔහු උගත් ඉංජිනේරු පාඨ මාලාව  නිසා නොව,  රාජපක්‍ෂලාගේ  දේශපාලන ආභාෂය නිසා ය.  විජේදාස රාජපක්‍ෂ වෘත්තියෙන් නීතිඥයෙකි. ඔහු කෝප් සභාපති ලෙස අවංක වීම නිසා පාරට විසි වී යහ පාලනයට මාරු විය. විජේදාස අධිකරණ ඇමති වී රාජපක්‍ෂලා පමණක් නොව, ඇවන්ගාඩ්, සුහද ගම්ලත් වැනි රාජපක්‍ෂලාගේ බ්‍රෝකර්ලා රැක්කේද, රාජපක්‍ෂලා දුන් දඬුවම නිසාය. නැවත මැදමුලන අගුවට වනු ගා රාජපක්‍ෂලාට එකතු වුණාට, විජේදාසට කිසිවක් නොලැබිණ. පෝර්ට් සිටි පනත් කෙටුම්පතේදී ඒ වාඩුව අල්ලන අතර.   ගෝඨාගේ පුතා රටින් ඩොලර් පැන්නීම යටපත් කළේ රනිල් බව කීය. සමහර විට විජේදාස, නැවත අලුත්වී ඊළඟ රාජපක්‍ෂ විරෝධි සටනේ රනිල්ට දකුණු පසින් සිට ගැනීමටද බැරි නැත. රාජපක්‍ෂලා බෝ කළ ලජ්ජා නැතිකමට හොඳම නිදර්ශනය විජේදාසය.  රිෂාඩ් මෙන්ම, විිජේදාසත්  කෑවේ බිව්වේ බේරුවල බොක්ක වැනි පී.බී.ජයසුන්දර, ලලිත් විරතුංග, අනුෂ පැල්පිට, ගාමිණි සෙනරත්, චොකා මල්ලි, දුමින්ද සිල්වා වැනි එක දිගට උසාවි වාර්තා තැබූ කුණු කන්දල් රැඳුණ රාජපක්‍ෂ හබ් එකෙන් ය.  

    රටට අවශ්‍ය විකල්පයක් මිස ආදේශකයක් නොවේ යයි සොයා ගත් මංගල සමරවීරත් රාජපක්‍ෂ හබ් එකෙන් බුරුල් වී ගැලවුණ පොට තැ`ථණ  ඉස්කුරුප්පුවකි. මංගල  ආදේශකයක් නොවන විකල්පයක් ගැන කතා කරයි.  මංගල යනු රටේ ප්‍රජාතන්ත්‍රවාදය 2005දී ප්‍රභාකරන්ට වික්ක, සිය පැවැත්මට ඕනෑම හූනියමක් ගෙනැවත් අතාරින ජාතියේ මාතර යකැදුරෙකි. මංගලගේ අ`ථත්ම සෙල්ලමේ නමත් හබ් එකකි. ඔහුගේ මුල්ම විකල්පය චන්ද්‍රිකාය. ඊළඟට මහින්දය. ඊළඟට රනිල්ය. 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී සිරිසේනය. 2019දී සජිත්ය. අ`ථත්ම එක  විමුක්ති කුමාරතුංගය. පුද්ගලයෙකු නොව ප්‍රතිපත්තියක් ගැන කතා කරන මේ නිමේෂයේ විමුක්ති කුමාරතුංග……? සජිත් මෙන්, නාමල් මෙන්, නවීන් මෙන්, තවත් කුමාරයෙක් පමණකි. රටපුරාම එක එක හබ්වල බොහෝ කුමාරවරුය. මොකෙක් හෝ ඇට්ටිම්බෙක් පස්සෙන් යන තරම් ලංකාවේ අප චින්තනයෙන් බංකොලොත්ද?

    ලංකවේ කවුරුත් කුමර කුමරියන්ගේ ඒජන්තවරුන් ගෙන් ප්‍රවේශම් විය යුතුවේ. විශේෂයෙන් එජාපය  තමන්ගේම  ජනාධිපති කෙනෙකු පිළිබඳ යළි සිහිනයක් දකිමින්  සිටිති.  එජාපයේ  සිහින කුමාරයා රනිල් වික්‍රමසිංහය. ඒ නිසාම දැන් රනිල්ට නින්ද යන්නේ නැත. රෑට රෑට ඇවිදිති. මහින්ද සමග රෑ කෑමකට ගොස් ජංජාලයක් කර ගත් රනිල් ළඟදී පෝට්සිටි මුදලාලි සමග කෑමකට සෙට් විය. ඒවා ගණන්ගත යුතු  ලොකු සිද්ධි නම් නොවේ.  එහෙත් දේසේ හැටියට හැසිරෙන්නේ නැති මේ හනුමන්තාට තවත් පරම්පරාවක සිහිනවලට ගිනි තැබීමට එජාපය ඉඩ දෙනවාද? එජාපයට ඇති අලුත්ම ප්‍රශ්නය එයයි. එජාපයට පිරිමහින බොහෝ දෙනා රනිල් නිසා එක්කෝ එජාපය හැර ගියහ. නැතහොත් මිනිසුන්ට එපා විය. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන බොහෝ දෙනෙකුගේ අනාගත අපේක්‍ෂාව වෙමින් සිටියි. පෝට්සිටි මුදලාලිගේ කෑම මේසේ රුවන්ට සමාන  හැඩරුවක් දුටු බොහෝ යුඇන්පී කාරයන් රනිල්ගේ ලෙලි අරිනු ඇසිණ.  එස්මන්ඩ් වික්‍රමසිංහ, ඩී.ආර්. විජයවර්ධන ජාතියට දායාද කළ ලේක් හවුස් නම් මහා සම්පතට වින කැටීය. රනිල් වික්‍රමසිංහ, විජයවර්ධනලාට මේ අදින්න හදන්නේ ඒ ජාතියේම අංචියක්ද? මේ සූදානම, රුවන් විනාස කර, විමුක්ති ගෙන ඒමේ සැලැස්මක්ද කියා සමහරු සැක කරති.  මම නොවේ නම් යුඇන්පියේ වෙන කාටවත් නෝ චාන්ස් යන්න රනිල්ගේ තියරිය යි. එජාපයේ විසි නව අවුරුදු මල් සමය නිම නොවන හැඩකි.

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

  • ‘සාකච්ඡා අසාර්ථකයි  ගුරු – විදුහල්පති සටන දිගටම‘ – ලංකා ගුරු සංගමය

    ‘සාකච්ඡා අසාර්ථකයි ගුරු – විදුහල්පති සටන දිගටම‘ – ලංකා ගුරු සංගමය

    ගුරු – විදුහල්පති ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සමග අද (27) පැවති සාකච්ඡාවද අවසන් වූයේ විසඳුමකින් තොරව බැවින් මේ වනවිට ආරම්භ කර ඇති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරනවා.

    අද පැවැති සාකච්ඡාව පැය 2කට ආසන්න කාලයක් පැවති බව පවසන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරන්නේ එහිදී මෙම ගැටළු විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හෝ තමන් වෙත ලබා දීමට ඔවුන් මැලි වූ බවයි.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් කල් මරණ ආණ්ඩුවට මෙම ගැටළු විසඳා දරුවන්ගේ අධ්‍යාපනය කඩිනම් කරගැනීම සඳහා ආණ්ඩුවට බල කරන්නැයි ඔහු දෙමවිපියන්ගෙන් සහ ශිෂ්‍යන්ගෙන්ද ඉල්ලා සිටියා.

    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹා ඇත්තේ කොතලාවල විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීම, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වසර 24ක් නොවිසඳුනු වැටුප් විෂමතාවන් ඉවත් කිරීම, ඔන්ලයින් සදහා සියලු දරුවන්ට පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනුයි.

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති අවුල ගැන ‘පොහොට්ටු මහ ලේකම්‘ කළ සුපිරි හෙළිදරව්ව

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති අවුල ගැන ‘පොහොට්ටු මහ ලේකම්‘ කළ සුපිරි හෙළිදරව්ව

    මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන්ට අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, සාගර කාරියවසම් මහතා පවසනවා.

    සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (26) ජනපතිවරයා හමුවූයේ ආණ්ඩුව තුළ අර්බුදයක් නිසාදැයි මාධ්‍යවේදියා මෙහිදී ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවා.

    ‘‘මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ට අමතක වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන් තවමත් ඉන්නේ ප්‍රධාන පක්‍ෂය තමන් බවට වන අතීත මානසිකත්වයේ බවයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රජය තුළ යම් යම් ගැටලු මතුව ඇත්තේ ඔවුන් ප්‍රධාන පක්‍ෂයක් වටා සන්ධානගත වූ පක්‍ෂයක් බව අමතක කිරීම නිසා මිස වෙනත් කරුණක් නිසා නොවෙයි.

    අතීත සන්ධාන තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබූ බලය වැඩි නමුත් වර්තමානයේ තත්වය වෙනස් නිසා තනතුරු ලැබීමේදී හා විවිධ කරුණුවලදී පොදුජන පෙරමුණේ අදහස්වලට අනුකූලතාවක් දැක්වීමට ඔවුන්ට සිදු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් නොව විපක්‍ෂයේ පක්‍ෂවලටත් ජනාධිපතිවරයා හමුවීමට අයිතිය තිබෙනවා. ශ්‍රී.ල.නි.පයේ බහුතරයක් නැතත් සුළුතරයක් රජය කෙනෙහිලිකම් කරන බවට මතයක ඉන්නවා. එක ඇමතිවරයෙක් ඔහුට විහිළු ඇමතිකමක් ලැබුණු බව කීවා. මෙවැනි කීප දෙනෙක් ඒ පක්‍ෂයේ ඉන්නවා. ඒත් බහුතරය් ඒ මතයේ නොවීම ගැන සතුටු වෙනවා. මේ සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ඔවුන් නොවන බව ඒ අයට අමතක වෙලා. දේශපාලන පරිණතභාවයක් ඇති නායකයන් එය තේරුම් ගත්තත් තේරුම් නොගත් අය විවිධ කතා කියනවා. මේ තත්වය විසඳාගෙන සුබවාදී ලෙස ඉදිරියට යන්න හැකිවේ යැයි අපි විශ්වාස කරනවා. ඔවුන්ට මත දැරීමේ හැකියාව තිබෙනවා. සියලු පක්‍ෂ තම මතය පවසද්දී අපිත් අපේ මතය ප්‍රකාශ කරනවා.” යැයි ද සාගර කාරියවසම් මහතා පැවසුවේය.

    මේ අතර ශ්‍රීලනිපය ජ්‍යෙෂ්ඨයෙකු අප සමග පැවසුවේ ජනපතිවරයා සමග අද (26) පැවැති සාකච්ඡාව අපේක්ෂා කළ ආකාරයට සාර්ථක ප්‍රතිඵල ලබා ගත් බවයි.

  • සියලු බලවේග KDU පනතට එරෙහිව ‘කොන්දේසි විරහිතව’ එක්විය යුතුයි – චම්පික රණවක

    සියලු බලවේග KDU පනතට එරෙහිව ‘කොන්දේසි විරහිතව’ එක්විය යුතුයි – චම්පික රණවක

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා සිදුවන්නේ රටේ අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ඇතිකරගෙන යමින් පවතින ආකාරයටම, මිලිටරීකරණය අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටද පැතිරීම බවත් එනිසා, නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකර්ණයට එරෙහි සෑම බලවේගයක්ම මේ මොහොතේ එකට එක්ව ඊට විරුද්ධව නැගී සිටිය යුතු බවත්‘ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු නියෝජිත පිරිසක් සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත්, 43 සේනාංකයේ නියෝජිතයින් කීපදෙනෙකුත් යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව අද (23) දින පැවති සාකච්ඡාවකදී චම්පික රණවක මහතා මේ බව පැවසුවේය.

    මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු පැවසූයේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමත්, මුදලට අධ්‍යාපනය විකුණන වැඩපිළිවෙලක් දියත් කිරීම හරහා, විශ්වවිද්‍යාල ප්‍රථිපාදන කොමිශන් සභාවත් 1978  විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන පනතත් අභිබවායන මිලිටරි අධ්‍යාපන පද්ධතියක් ඇති කිරීමටත් ඔවුන් විරුද්ධ වන බවය.

    මෙහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ 1988 දී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් එවකට පැවති ජේ .ආර්  ජයවර්ධන ආණ්ඩුව සමග සාකච්ඡා කළ නියෝජිතයකු වශයෙන්, විශේෂිත විශ්වවිද්‍යාලයක් වශයෙන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ඉහළට නංවා, ආරක්ෂක අංශවලට බැඳුණු කැඩෙට් නිලධාරීන් රජයේ විශ්ව විද්‍යාලවලට අන්තර්ග්‍රහනය කිරීම වෙනුවට ඔවුන්ට විශේෂිත විශ්ව විද්‍යාලයක් නිර්මාණය කිරීමට එකඟ වූ බවයි. නමුත්, යෝජිත පණත හරහා, ආරක්ෂක අංශ වල අයවලුන්ට අමතරව සිවිල් පුද්ගලයින්හට මුදලට අධ්‍යාපනය ලබා දීම සඳහා අවස්ථාව ඇති කර තිබීම හරහා තවදුරටත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විශේෂිත විශ්ව විද්‍යාලයක් නොවනු ඇති බව රණවක මහතා පැවසීය.

    ‘‘මේ හරහා සිදුවන්නේ රටේ අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ඇතිකරගෙන යමින් පවතින ආකාරයටම, මිලිටරීකරණය අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටද පැතිරවීමයි. එනිසා, නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකර්ණයට එරෙහි සෑම බලවේගයක්ම මේ මොහොතේ එකට එක්ව ඊට විරුද්ධව නැගී සිටිය යුතු බව‘‘ ද චම්පික රණවක මහතා පැවසීය.

  • කාලකන්නි ගුරුවරුන්ද ? දේශපාලනඥයින් ද ? – චම්පික ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

    කාලකන්නි ගුරුවරුන්ද ? දේශපාලනඥයින් ද ? – චම්පික ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

    වාර්තා වෙලා තියෙන අන්දමට ඉතාමත් අඩුවෙන් තමයි ගුරුවරු මේ එන්නත් කරණයට යටත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයට ප්‍රතිපත්තියක් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක්

    මේ වනවිට දැඩි ගැටලුකාරී ප්‍රශ්නයක් වී ඇති ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයට නිසි විසදුමක් ලබානොදී ආණ්ඩුව තම කටකාර අනුවණ දේශපාලඥයන් ලවා දෙවිවරුන් වැනි ගුරුවරුන්ට “කාලකන්නි” යනුවෙන් හැදින්වීමට තරම් පහත් තැනට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

    ආණ්ඩුව “තමන් වසංගතය ජය ගත්තා. දැන් වසංගතය ජය ගත්තා කිය කිය” තම දේශපාලන ගෝල බාලයන් ලවා බොරු කියමින් සිටින බවත් එන්නත් කරණයේදී ගුරුවරුන්ට ප්‍රමුඛතාවක් නොදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අගෝස්තු මාසයේ පාසල් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද චම්පික රණවක හිටපු අමාත්‍යවරයා පවසයි.

    මෙම මාධ්‍ය හමුවේදී චම්පික රණවක මහතා පළ කළ සම්පූර්ණ අදහස් පහත පළ වේ.

    වර්තමාන ආණ්ඩුවේ නිසි ආර්ථික ප්‍රතිඵත්තියක් නොමැතිවීම නිසාවෙන් රටේ අධ්‍යාපනයට, සිසු දරුවන්, ගුරුභවතුන්ට හා  උසස් අධ්‍යාපනයට සිදුව ඇති ඛේදවාචකය පිළිබඳව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ සාකච්ජාවක් සිදුකරනු ලැබිණි.

    එහිදී 1943 සිට ලාංකිකයන් වශයෙන් අප සියලු දෙන භුක්ති විඳි නිදහස් අධ්‍යාපනය පසුගිය අවුරුදු එකහමාරක පමණ කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මේ අනුහසින් සම්පූර්ණයෙන්ම වැනසි ගොස් ඇති බව කණගාටුවෙන් උවද ප්‍රකාශ කිරීමට සිදුව ඇති බව ඒ මහතා පවසයි.

    කොවිඩ් වසංගතය සමඟ දරුවන්ට හා ගුරුවරුන්ට එක විටම හිස මතට කඩා වැටුණු ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ආණ්ඩුව මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයද කිසිදු සුදානමක් නොතිබූ බව මේ වනවිටත් ඔප්පු වී ඇති බව චම්පික රණවක මහතා පවසයි.

    ඒ නමුදු 2010 සිට ලොව පුරා ප්‍රවණතාවයක් සේ නැගී ආ මෙම මාර්ගගත අධ්‍යාපනය ක්‍රමයට යහපාලන රජය පය තබමින් සුහුරු පන්ති කාමර සංකල්පය ඒ සඳහා අවශ්‍ය උපකරණ, නොමිලේ ලබාදෙන ටැබ් පරිගණක පන්ති කාමරයට අවශ්‍ය අධිවේගී අන්තර්ජාල පහසුකම් යනාදිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කලද නව රජය පත් වීමත් සමඟ ඒ සියලු ක්‍රියාමාර්ගයන් අවලංගු කරනු ලැබූ බව ඒ මහතා පවසා සිටියේය.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා අවදාරණය කර සිටියේ ” අධ්‍යාපන අමත්යන්ශයෙන්ම ප්‍රකාශ වුණා නාගරික ප්‍රදේශ වල මේ අන්තර්ජාල අධ්‍යාපනය ලබන්නේ 60% ක් පමණ. ග්‍රාමීය ප්‍රදේශ වල 40% ක් පමණ කියලා.

    මේකේ තේරුම තමයි මේ වනවිට නාගරික ප්‍රදේශවල ඉතිරි දරුවෝ 40%ත් අද ඔන්ලයින් අධ්‍යාපනයට හැරිලා ඉවරයි. ග්‍රාමීය ප්‍රදේශ වල ඉතිරි 60%ත් ඔන්ලයින් අධ්‍යාපනයට හැරිලා ඉවරයි.මේ නිසා ගුරුවරු තමන්ගේ ස්වෙච්ඡාවෙන් මේ කටයුත්තට බැස්සා.

    මේ රටේ පාසල් යන වයස ඇති නමුත් පාසල් යන්නේ නැති සාමාන්‍ය පෙළ ළමුන්ගේ ප්‍රතිශතය තිබුනේ 40%යි. නමුත් දැන් අධ්‍යාපන අමාත්‍යංශය එම ප්‍රමාණය හරි අඩකටත් වඩා සිටින සේ ළමුන් පාසල් අධ්‍යාපනයෙන් එලියට ඇද දමා අවසන්.

    සම්පත් තිබෙන පාසල් වල දෙමව්පියෝ, ගුරුවරු ආදි ශිෂ්‍ය සංගම් යම් යම් වැඩ පිළිවෙලවල් දියත් කළා මිසක් අධ්‍යාපන අමාත්‍යංශය මේ සම්පත් ලබාදීම ගැන හෝ ඒ වගේම මේ අධ්‍යාපනය නියාමනය කිරීම ගැන හෝ කිසිදු ප්‍රතිඵත්තියක් ඉදිරිපත් කලේ නෑ.

    එම නිසා ගුරුවරු තම තමන්ගේ ස්වේච්ඡාවෙන් ඔන්ලයින් අධ්‍යාපනය සිදුකරගෙන යනවිට රජය විසින් ගුරුවරුන්ගෙන් ප්‍රගති වාර්තා ලබා ගත්තා.රජය කිවේ කුමක්ද? “අපි ඔබට පඩි වැටුප් ගෙවනවා. ඔබ මේක කළ යුතුයි කියලා.” යනුවෙන් ඒ මහතා පවසා සිටියේය.”

    එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයට සහයට ලබාගත හැකි අමාත්‍යංශ හතරක් පැවතියද ඩිජිටල් අමාත්‍යංශය තරුණ තරුණ කටයුතු අමාත්‍යංශයට පැවරීම තුලින් එම සහයද විනාශ කල බවත් අධ්‍යාපන ක්‍රමයට සම්පත් ලබා නොදීම හා නියාමනය නොකිරීම නිසා අද ඒ අන්තර්ජාල පහසුකම් මත නිදහස් අධ්‍යාපනය වනසන ඇති හැකි අයට පමණක් සීමා වූ දරුවන් පාසලෙන් පන්නා දමන අධ්‍යාපන ක්‍රමයක් බවට පත්ව ඇති බව චම්පික රණවක මහතා පවසයි.

    තවද ආණ්ඩුව “තමන් වසංගතය ජය ගත්තා. දැන් වසංගතය ජය ගත්තා කිය කිය” තම දේශපාලන ගෝල බාලයන් ලවා බොරු කියමින් සිටින බවත් එන්නත් කරණයේදී ගුරුවරුන්ට ප්‍රමුඛ තාවයක්වත් නොදී අධ්‍යාපන අමත්‍යවරයා විසින් අගෝස්තු මාසයේ පාසල් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පවසයි.

    නමුදු ආණ්ඩුවට එන්නත්කරණයේදී කිසිදු ප්‍රතිඵත්තියක් නොතිබුණු බවත් ආණ්ඩුවට අවශ්‍යව තිබුනේ සිදුවන මරණ සංඛ්‍යාත්මකව අඩුකොට පෙන්වීම පමණක් බවත් ඒ මහතා වධාරණය කරයි.

    ආණ්ඩුව මිනිස් ජිවිත බිල්ලට දෙමින් ධම්මික පැණියා පස්සේ ගිය බවත් කළගෙඩි සෙල්ලම් සිදුකළ බවත් අවසානයේ එන්නත් කරණයට පැමිණෙන විට හාරදහසකට ආසන්න පිරිසක් කොරෝනා බිලිගෙන අවසන් බවත් මේ සියලු මරණයන් ආණ්ඩුව සිදුකල ඝාතන බවත් ඒවාට ඔවුන් වගකිවයුතු බවත් චම්පික රණවක මහතා අවධාරණය කරයි.

    “මේක සාහසික අපරාධයක්. ජාතික අපරාධයක්. ඊළඟට අද මේ එන්නත පිළිබඳවත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ එන්නත ලබා ගත්ත රටවල් විශේෂයෙන්ම තායිලන්තය ඉන්දුනීසියාව රටවල පිරිස් මිය යමින් ඉන්නවා. නිසා මේ එන්නතේ සාර්ථකභාවය පිළිබඳ බරපතළ ගැටලු පැන නැගිලා තියෙනවා. මේ එන්නත අනුමත කිරීම රට පිළිගත්ත විද්‍යාඥයෝ, වෛද්‍ය විශේෂඥයෝ ප්‍රතිෂේප කළහම, ඒගොල්ලෝ මේ වෛද්‍ය නියාමන මණ්ඩලයෙන්, එහෙම නැත්නම් NMR එකෙන් ඉවත් වෙලා යනවා. හැබැයි ව්‍යාපාරික අරමුණු මුල් කරගත්ත ඇමතිවරු, ඒ වගේම නිලධාරීන්, අද මේ එන්නත ඉදිරියට ගෙන යන්න උත්සාහ කරමින් ඉන්න බව කණගාටුවෙන් කියන්න ඕන.

    ඒ නිසා එන්නත් ලබා දීමේ ප්‍රතිපත්තියක් තිබුනේ නෑ ආණ්ඩුවට. රටේ ජනතාවගේ ජීවිත ගලවා ගන්නවද? එහෙම නැත්නම් ආර්ථිකය ගලෝගන්නවද? කියන කාරණා ගැන රජයට ප්‍රතිපත්තියක් තිබුනේ නෑ. රජය මුලින්ම කළ යුතුව තිබුණේ පාසල් දරුවන්ට එන්නත ලබා දීම. එතෙන්දිත් වැඩිහිටි ගුරුවරුන්ට මුලින් එන්නත ලබා දීලා, ඊළඟට තරුණ ගුරුවරුන්ට එන්නත ලබා දීමට කටයුතු කිරීම. ඒ නිසා ඔය දැන් විවෘත කරලා තියෙන මධ්‍යස්ථාන වල දින කිහිපයක් ඇතුළත මේ එන්නත ගුරුවරුන්ට ලබාදීමේ ප්‍රතිපත්තියක් ඇති කිරීමයි කළ යුතුව තිබුණේ.

    වාර්තා වෙලා තියෙන අන්දමට ඉතාමත් අඩුවෙන් තමයි ගුරුවරු මේ එන්නත් කරණයට යටත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයට ප්‍රතිපත්තියක් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක්. වැදගත්ම දේ එන්නතට මේ සීග්‍රයෙන් පැතිරීගෙන යන ප්‍රභේදය ඔරොත්තු දෙන්නෑ කියන එක දැන් ලෝකය පුරාම වැඩි වැඩියෙන් ඔප්පු වෙමින් තියෙනවා.

    එම එන්නත මෙහෙ ගෙනත් ප්‍රචලිත කිරීමට දරන උත්සාහයම ඇත්ත වශයෙන්ම ඉතාමත්ම භයානක ප්‍රතිඵල දෙන එකක් බව    වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි. එමනිසා එම එන්නතට අවසර දීම හා විශේෂඥයන් ඉවත් වීම ගැන රජය වහාම ජනතාවට කරුණු පැවසිය යුතු බව ඒ මහතා පවසා සිටියේය.”

    එහිදී අගෝස්තු මාසය වනවිට පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවානම්  ලක්ෂ දෙකහමාරක ගුරුභවතුන් සහ විශ්වවිද්‍යාල ගුරුවරු එන්නත් කර අවසන් කලයුතු බවත් එය ධම්මික පැණිය සේ හුරතල් කල නොහැකි කාරණයක් බව චම්පික රණවක මහතා පවසන ලදී.

    එමෙන්ම මේ වනවිට දැඩි ගැටලුකාරී ප්‍රශ්නයක් වී ඇති ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයට නිසි විසදුමක් ලබානොදී ආණ්ඩුව තම කටකාර අනුවණ දේශපාලඥයන් ලවා දෙවිවරුන් වැනි ගුරුවරුන්ට “කාලකන්නි” යනුවෙන් හැදින්වීමට තරම් පහත් තැනට පත්ව ඇති බව ඒ මහතා පවසයි.

    1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපදේශිකාවක් ලෙස කටයුතු කල තාරා දි මෙල් මහත්මිය හා විදුහල්පතිවරයෙක් වූ රිචඩ් පතිරණ මැතිතුමා විසින් හඳුන්වා දුන් ගුරුවරුන්ගේ සුවිශේෂී වැටුප් තලය ඉන් පසුව කිසිදු රජයකින් ක්‍රියාත්මක නොකිරීම මේ ගැටලු වලට හේතුවක් වූ බවත් එම වැටුප් තලයට අනෙක් රාජ්‍ය සේවකයන් අකමැති වීම හේතු කොටගෙන “බී. සී. පෙරේරා නැමති වාර්තාවක්” නිකුත් වීමත් සමග අද වනතෙක් එනම් දශක දෙකක් ගෙවී ගියත් තවමත් ගුරුවරුන්ට වැටුප් විෂමතාවයක් පැමිණ නොමැති බව චම්පික රණවක මහතා අවදාරණය කරයි.

    “ඒ වගේම අපේ යහපාලන රජය මේ පිළිබඳව වැටුප් වැඩි කිරීමක් කළා රජය සේවකයින්ට. රුපියල් දහදාහක. ඊළඟට වසර හතරක් ඇතුළත ඒක මූලික වැටුපට ඇතුලත් කරලා තිබුණේ. ඒ වගේම රනුක්ගේ කොමිසම දාලා මේ ගුරුවරු සහ අනෙකුත් වෘත්තීය මට්ටමේ පිරිස් වලට ඇතිවෙලා තියෙන වැටුප් විෂමතාවය මුල් කරගෙන ඒ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ සියල්ලම 2020 ජනවාරි මාසේ ඉඳන් ක්‍රියාත්මක කරන්න තිබුණේ. හැබැයි 2020 ජනවාරි මාසේ ඉඳන් අවසාන වැටුප් වර්ධකය රාජ්‍ය සේවයේ දාහතර ලක්ෂයකට අහිමි කළා ගුරුවරුන්ද ඇතුළුව. ඊළඟට රනුක්ගේ කොමිසමේ වාර්තාවේ ඒ ලබාදීපු සියලුම නිර්දේශ ඉවත දැම්මා.ඒ විදිහට අද ගුරුවරුන්ට සටන් මගට පිවිසෙන්න වාතාවරණය හදලා දුන්නා. මේ ගැන කොමිටි වාර්තා ගණනාවක් දීලා තියෙනවා.

    ඊයේ සහ පෙරේදා ගුරු වෘත්තීය සමිතිත් එක්ක අධ්‍යාපන ඇමතිතුමා සාකච්ඡා කළා. එතුමා ඒ තමන්ගේ වැටුප් විෂමතාවය තුරන් කරන ඒ සුත්‍රය ගුරුවරුන්ට ඉදිරිපත් කළේ නෑ. ඒ කැබිනට් මණ්ඩලයට දානවා කිව්වා. ඇත්ත වශයෙන්ම කළ යුතුව තිබුණේ කුමක්ද? එතුමා කළ යුතුව තිබුණේ ගුරුවරු එක්ක සාකච්ඡා කරලා, ගුරුවරු එකඟතාවයක් ඇතිකරගන්න, දෙපිරිස එකඟතාවයක් ඇතිකරගන්නා දෙයක් මුදල් අමාත්‍යංශයත් එක්ක කතා කරලා කැබිනට් එකට යන එක. දැන් කැබිනට් එකට ගියා කියලා වැඩක් වෙන්නේ නෑ.

    2020 ජනවාරි මාසේ ඉඳන් අහිමි කළ වැටුප් වර්ධක, ගුරුවරුන්ටත්, රාජ්‍ය සේවයටත් ලබා දෙන්න කියන එක අපි අවධාරණය කරනවා. මේ ගැන ඔවුන් ජාතියෙන් සමාව ගන්නැතුව මේ ආණ්ඩුවට ඉදිරි ගමනක් නෑ.

    ඒ විතරක් නෙවෙයි, අපි අමතක කරන්න හොඳ නෑ. අපේ රුපියල අද බාල්දු කරලා තියෙනවා. බිලියන දාහක් අච්චු ගහලා ලෝක වාර්තාවක් තියලා, සිම්බාබ්වේ මගට යාම නිසා, බඩු මිල සීග්‍රයෙන් ඉහළ යාම නිසා, ඇත්තටම වැටුපේ වටිනාකම මේ වෙනකොට සියයට පනහකින් පමණ අවප්‍රමාණය වෙලා තියෙනවා. ගුරුවරු, රාජ්‍ය සේවකයෝ ඇතුළු සියලුම සමාජ පිරිස් වලට මේක අද තදින් බලපාලා තියෙනවා.

    යහපාලන ආණ්ඩුව විසින් ඇති කරපු වැටුප් වර්ධක, ගුරුවරු ඇතුළු සියලුම අයට 2020 ජනවාරි මාසේ ඉඳන් ලබා දිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අවදාරණය කර සිටියේය.