Category: සුපිරි Politics

  • රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක්

    රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක්

    රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය.

    අමාත්‍යාංශ සංශෝධනයත් සමග මොහාන් ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිණ.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී.  ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.

  • ගෙදර යන්න සූදානම් – දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළියක්

    ගෙදර යන්න සූදානම් – දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළියක්

    අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

    පසුගිය 6 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දයාසිරි ජයසේකර මහතා විසින් මේ ප්‍රකාශ කළ බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිටියේ.

    ‘‘ආණ්ඩුවේ අමාත්‍යධුරයක් දරමින් ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැහැ කියලා මේ රැස්වීමට සහභාගී වුණ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දයාසිරිට කිව්වා. ඒකට දයාසිරි පුරුදු විදිහටම උත්තර දුන්නා. අවශ්‍ය නම් රාජ්‍ය ඇමැතිකමින් ඉල්ලා අස්වෙලා පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කරන්න සූදානම් කියලා තමයි කිව්වේ‘

    මෙහිදී වැඩි දුරටත් කරුණු හෙළි කළ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා ‘‘ඇත්තටම ඒක බරපතළ ප්‍රකාශයක්. ඒත් බොහෝ දෙනෙක් කිව්වේ ඒවාගේ තීරණයක් ගන්න අවශ්‍ය නැහැ කියලා. කොහොම හරි මේ ගැන එදාම හවස තිබුණ දේශපාලන මණ්ඩල රැස්වීමේදීත් සාකච්ඡා වුණා. ඒකට හිටපු ජනාධිපතිතුමත් සහභාගී වුණා‘‘

  • බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    බැසිල් රෝහණ රාජපක්ෂ  මහතා 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

    කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. 

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුව නම් ගමෙහි 1951 වසරේදී උපත ලද බැසිල් රෝහණ රාජපක්ෂ මහතා මෙයට පෙර දෙවරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. 2007 සැප්තැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් වූ ඔහු ඉන්පසු ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

    අනතුරුව 2010 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරඟ වඳිමින් මනාප ජන්ද 4,25,861 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. හත්වන පාර්ලිමේන්තුවේද ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස හෙතෙම තවදුරටත් කටයුතු කළේය.

    පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර රාජපක්ෂ මහතා වසර 2005 සිට 2010 දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළේය.

    බැසිල් රාජපක්ෂ මහතා  කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ ද්විතියික අධ්‍යාපනය ලැබීය.

  • කොරෝනා පාවිච්චි කරමින් තමන්ගේ බැරිකම් වහගන්න ඉඩ දෙන්න බැහැ – ටිල්වින් සිල්වා

    කොරෝනා පාවිච්චි කරමින් තමන්ගේ බැරිකම් වහගන්න ඉඩ දෙන්න බැහැ – ටිල්වින් සිල්වා

    අපි ආණ්ඩුවට යෝජනා කරනවා නිසි වැඩපිළිවෙළක් හදලා කොරෝනා මර්දනය කරන්න ක්‍රියා කරන්න කියලා. මාස දෙක තුනක් ඇතුළත මර්දනය කිරීමේ සැලැස්මක් සකස් කරන්න කියලා. එහෙම නොකර කොරෝනා මර්දනයක් නොකර සාමාන්‍ය ජීවිතයට යන්නත් ඉඩ නොදී දෙකම තියාගෙන යන්න එපා කියලා අවධාරණය කරනවා. කොරෝනා මර්දන සැලැස්මකට අපි ඔක්කකොම එකතු වෙලා කැපකිරීම් කරලා මේක ඉවර කරමු. එහෙම නැතිව කොරෝනා පාවිච්චි කරමින් තමන්ගේ බැරිකම් වහගන්න ඉඩ දෙන්න බැහැ. මේ දේවල් කරලා සටන් නවත්වන්න බැහැ කියලා අපි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට කියනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

    ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (07) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…

    “වර්තමාන ආණ්ඩුව නිරෝධායන නීතිය කොරෝනා මර්දනය කිරීමට පාවිච්චි කරනව වෙනුවට අපේ රටේ ජනතාවගේ අරගල මර්දනය කරන්න පටන් ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථානය ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍යමය අවදානමක් තිබෙන නිසා උද්ඝෝෂණ, රැස්වීම්, තහනම් කරන බව සඳහන් කළා. හදිසියේ ඊයේ මේ වගේ මතක් වුණේ ඇයි? කොරෝනා මර්දනයට අදාල නිරෝදායන නීති ගණනාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛණ ගත්තාම කොරෝනා ආසාධිතයන් මේ ආසන්න කාලයේ ලොකු වෙනසක් සිදුවී නැහැ. එහෙනම් මේ නිවේදනයේ යටි අරමුණ සෞඛ්‍ය අවදානමක් ඇති බව කියමින් ජනතා විරෝධතා නතර කිරීම බව පැහැදිලියි. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් පොලීසිය නිකුත් කළ නිවේදනයේ තියෙන්නේ නිරෝධායන නීති කඩන අයට විරුද්ධව පොලීසිය ක්‍රියා කරනවා කියලා.

    මෙවැනි නිවේදනයක් හදිසියේ ප්‍රචාරය කරන්න ආණ්ඩුවට බලපෑ කරුණු කිහිපයක් තියෙනවා. නිදහස් අධ්‍යාපනයේ මළ ගම සනිටුහන් කරන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න සූදානම් කර තිබෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තරුණ කටයුතු හා අධ්‍යාපන ඇමතිව සිටි කාලයේ. ඊට විරුද්ධව වරින් වර ශිෂ්‍යයෝ, ගුරුවරු, දෙමාපියන් ගෙනගිය උද්ඝෝෂණ නිසා පරාජයට පත්කළා. මේ ආණ්ඩුවත් විශාල බලයක් පාවිච්චි කරලා හදිසියේ මේ පනත සම්මත කර ගන්න කටයුතු කරනවා. රටක දරුවන්ගේ අනාගතයට බලපාන පනතක් සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියන්ට දැන ගන්න අයිතියක් නැද්ද? ඒ ගැන සමාජයේ සංවාදයක් ඇතිවී නැහැ. ඒ කිසිවකට ඉඩ නොදී තක්කඩි විදිහට හදිසියේ සම්මත කරගන්න ආණ්ඩුව ලැහැස්තියි. නමුත් මීට විරුද්ධව නිදහස් අධ්‍යාපනයට ආදරය කරන අය, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ගැන හිතන අය විරෝධය පළකරන බව දන්නවා. ඒ නිසා මේ පනතට එරෙහිව එන විරෝධය මර්දනය කරන්න පොලිස් මූලස්ථානයෙන් මාධ්‍ය නිවේදන දානවා. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධ පනතක් ගැන හඬක් නගන එක අපරාධයක් වෙන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ මහත්තයලා, රාජපක්‍ෂ මහත්වරුන් වටේ ඉන්න ඉහළම පංතියේ ජාවාරම්කාර පැලැන්තියට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍ය ජනතාවගේ දරුවෝ උසස් අධ්‍යාපනය ලබන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. එය විනාශ කරන එක ලේසියෙන් නැවත හරවන්න බැහැ.

    අනෙක් පැත්තෙන් පොහොර ප්‍රශ්නය නිසා ගොවි උද්ඝෝෂණ මාලාවක් යනවා. බඩුමිල වැඩිවීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් යනවා. ඒවා කෘතිම ඒවා හරි බලෙන් කරන ඒවා හරි නෙවෙයි. ජනතාවට ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. කොරෝනා හැදිලා මැරෙනවාද, බඩගින්නේ ඉඳලා මැරෙනවාද කියලා ජනතාවට තෝරා ගන්න ප්‍රශ්නයක් තියෙනවා. පොහොර නැත්තං අස්වැන්න ලැබෙන්නේ නැහැ. අස්වැන්න නැත්නම් ආහාර ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොවීන්ට කොරෝනා නතර කරනකං බලාගෙන ඉන්න බැහැ. කොතලාවල පනතත් එහෙමයි. එය පාර්ලිමේන්තුවට ගේනවා. මේවාට විරුද්ධව හඬ නැගීමට ශුද්ධ වූ අයිතියක් ජනතාවට තියෙනවා. ඒ අයිතිය තක්කඩි විදිහට පැහැර ගන්න කොරෝනා මර්දන නීති පාවිච්චි කරනවා. කොරෝනා මර්දනය කිරීමේ අරමුණකුත් ආණ්ඩුවට නැහැ. කොරෝනා ප්‍රශ්නය පවත්වාගෙන යන්නේ හිඟන්නාගේ තුවාළය වගේ. තමන්ගේ බැරිකං ඔක්කොම වහගන්නේ කොරෝනා පෙන්නලා. ඒ තුළ ආණ්ඩුව රටට කරන්න පුළුවන් සියලුම හතුරුකං කරනවා. පෝට් සිටි පනත සම්මත කරගත්තේ කොරෝනා අස්සේ. රටකට කළ හැකි ඉතාම හානිදායක දේවල් ජනතාව ගෙවල් තුළ කොටු කරලා ආණ්ඩුව කරගෙන යනවා.

    ජනතා විමුක්ති පෙරමුණ ඉතා වගකීම් සම්පන්න දේශපාලන පක්‍ෂයක් බව ජනතාවට පැහැදිලිව කියන්න ඕනෑ. කොරෝනා මර්දනය කරන්න අපට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙමින් ඉන්නවා. ඒ අතර ආණ්ඩුව කොරෝනා නීති රකින්නෙත් නැහැ, තමන්ගේ සියලුම දුෂ්ඨ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්තුමාවත් තමන්ගේ පටු අරමුණුවලට ආණ්ඩුව පාවිච්චි කරමින් ඉන්නවා. අපි එතුමාට කියන්නේ ආණ්ඩුවේ පටු අරමුණුවලට පාවිච්චි වෙන්න එපා කියලා. පහුගිය කාලයේ ආණ්ඩුව ගත්ත විකාර තීන්දු ගොඩක් තියෙනවා. පහුගිය කාලයේ පැනවූ සංචරණ සීමා වරින් වර වෙනස් කර පුද්ගලික අංශයට වැඩ කරගෙන යන්න අවසර දුන්නා. රාජ්‍ය අංශයටත් අවසර දුන්නා. අත්‍යාවශ්‍ය සේවා කියලත් අවසර දුන්නා. සංචරණ සීමාවක් තිබුණේ නැහැ. ශවේන්ද්‍ර සිල්වා මහත්තයලා පොළවල් අරින්නත් තීන්දුවක් ගත්තා. සති පොළවල් ඇරලා සංචරණ සීමා තියන්නේ කොහොමද? මේ ක්‍රියාමාර්ගවලින් සංචරණ සීමා හාස්‍යයට ලක්කරලා තියෙන්නේ. ඒ වගේම පහුගිය දවස්වල බාර් ඇරියා. ආණ්ඩුවට බදු ආදායම් ලබාගන්න බාර් ඇරියහම සෙනග පිරෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. අනෙක් පැත්තෙන් ස්පා අරින්න අවසර දුන්නා. සම්බාහන මධ්‍යස්ථානවල මීටරය සීමාවෙන් කරන්න පුළුවන්ද? ඒ සම්බාහන වැඩේ කරන්නේ කොස්සකින්ද? සම්බාහන මධ්‍යස්ථාන විවෘත කරලා අපට කියනවා කොරෝනා නීතිය රකින්නලු. එහෙම විකාර තින්දු ගන්න ආණ්ඩුවක් මේක. මේවට සමහර නිලධාරී මහත්වරුත් දායක වෙනවා.

    කිසි සැලැස්මක් නැතිව බස්නාහරි පළාතේ එන්නත් ලබා දෙන්න හමුදා කඳවුරු කිහිපයක් යොදා ගත්තා. කිසිම සැලැස්මක් නැහැ. මේ මධ්‍යස්ථානවල සෙනග රැස් කකා හිටියේ කොහොමද කියලා සියලුම නාළිකාවල පෙන්නුවා. මීටරයේ දුර තියෙන්නේ කොහොමද? හමුදා නිලධාරීනුත් තල්ලු කරගෙන පිරිස එන්නේ. මේවා තමයි ඇත්ත පොකුරු. එහෙම කියාගෙන ගොවි උද්ඝෝෂණයකට ටික වෙලාවකට එකතු වුණාම නිරෝධායන නීති යටතේ අත්අඩංගුවට ගන්නවා. පනාගොඩ, නාරාහේන්පිට, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවලත් සෙනග රැස්කකා ඉන්නවා. සෙනග රැස්කරලා අනෙක් පැත්තෙන් ජනතාවට කියනවා, අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින්න එපා කියලා. උද්ඝෝෂණය කරන අය කොරෝනා නිරෝධායන නීතිවලට අදාළව කටයුතු කරන බව අපි දකිනවා. ආණ්ඩුවට විරුද්ධව එන උද්ඝෝෂණ මර්දනය කරන්න කොරෝනා නීති පාවිච්චි කිරීම ඉතාමත්ම පහත් අසමත් උත්සාහයක්. ආර්ථික පැත්තෙන්, දේශපාලන පැත්තෙන්, පරිපාලන පැත්තෙන් වගේම කොරෝනා මර්දනය කිරීමෙන්, අධ්‍යාපනය ලබාදීමෙන් මේ හැම දේකින්ම ආණ්ඩුව අසමත්. ඒ නිසා හැම පැත්තෙන්ම ආණ්ඩුවට විරෝධයක් තියෙනවා. ආණ්ඩුවට උත්තර නැහැ. තමන්ගේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් වගකීම් සහගතව අරගල කරන අය මර්දනය කරන්න ආණ්ඩුව දිගටම කටයුතු කරනවා.

    වැලිමඩ බොරලන්දේ ගොවි උද්ඝෝෂණයට සහභාගි වුණු ගොවි නායකයින් අත්අඩංගුවට ගත්තා. ඊට නායකත්වය දෙන්න ගිය නාමල් කරුණාරත්න සහෝදරයා, සමන්ත විද්‍යාරත්න සහෝදරයා වගේම භක්‍ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත්තා. උසාවියෙන් ඒ අයට ඇප දුන්නා. ඒ වගේම පෙරටුගාමී පක්‍ෂයේ විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගත්තා කියලා තොරතුරක් ආවා. එකිනෙකා අත්අඩංගුවට ගනිමින් බය වද්දන ක්‍රියාවලියක් ආණ්ඩුව අනුගමනය කරනවා. එක්තරා කාලයක හදිසි නීතිය පාවිච්චි කරමින් කළ කටයුතු තවත් කාලයක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පාවිච්චි කරමින්ද අද කොරෝනා නීතිය පාවිච්චි කරමින් සිදුකරමින් යනවා. ආණ්ඩුවට ඡන්දය දීපු 69 ලක්‍ෂයක් බලාපොරොත්තු වුණේ මේවා නෙවෙයි. විනයගරුක රටක් හදන්න. සාධාරණ සමාජයක් හදන්න. තමන්ගේ නිදහස් අයිතීන් ක්‍රියාත්මක කරන්න. දැන් ආණ්ඩුව ජනතාවගේ හඬ මර්දනය කිරීමට අමතරව ඔවුන්ගේ හඬ රටට අරගෙන යන මාධ්‍ය බය වද්දන්නත් කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුවට අපි කියන්නේ මේ වැඩේට ලැහැස්ති වෙන්න එපා. ඔය පාරේ ගිය කිසි කෙනෙක් ජයග්‍රහණය කර නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට වඩා 5/6ක බලයක් තිබුණු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉතිහාසයේ කුණු කූඩයට විසිවෙලා ගියා. ඒ නිසා ආණ්ඩුවට අපි අවධාරණය කරනවා මේ වැඩේ නවත්වන්න කියලා.

    ඒ අතරේ අපි ආණ්ඩුවට යෝජනා කරනවා නිසි වැඩපිළිවෙළක් හදලා කොරෝනා මර්දනය කරන්න ක්‍රියා කරන්න කියලා. මාස දෙක තුනක් ඇතුළත මර්දනය කිරීමේ සැලැස්මක් සකස් කරන්න කියලා. එහෙම නොකර කොරෝනා මර්දනයක් නොකර සාමාන්‍ය ජීවිතයට යන්නත් ඉඩ නොදී දෙකම තියාගෙන යන්න එපා කියලා අවධාරණය කරනවා. කොරෝනා මර්දන සැලැස්මකට අපි ඔක්කකොම එකතු වෙලා කැපකිරීම් කරලා මේක ඉවර කරමු. එහෙම නැතිව කොරෝනා පාවිච්චි කරමින් තමන්ගේ බැරිකම් වහගන්න ඉඩ දෙන්න බැහැ. මේ දේවල් කරලා සටන් නවත්වන්න බැහැ කියලා අපි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට කියනවා. ලංකාවෙවත් ලෝකයේ කිසිම රටකවත් මර්දනකාරි පියවරවලින් ජනතා අරගල නවත්වන්න බැහැ කියලා ඔප්පු කර තියෙනවා. මර්දනයෙන් තව තවත් ජනතාව සටන් බිම්වලට ගේනවා. අලුතින් සටන් බිම් නිර්මාණය කරනවා. ආණ්ඩුවේ මර්දනය නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ සටන් බිමක් තව පැත්තකින් නිර්මාණය කර තිබෙනවා. ආණ්ඩුව නැති සටන් බිම් නිර්මාණය කර ගැනීමක් කරන්නේ. මර්දනකාරීත්වයෙන් ප්‍රශ්න යට කරන්න බැහැ. බය වද්දන්න බැහැ. අනෙක් පැත්තෙන් අපි ආණ්ඩුවට කොහොමත් කියනවා කාව බය වැද්දුවත් ජනතා විමුක්ති පෙරමුණේ අපිව බය වද්දලා මේ ක්‍රියාමාර්ග නවත්වන්න බැහැ කියලා. අපි සාධාරණ හේතුන් මත ගන්න ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයනවා. ආණ්ඩුවට තියෙන්නේ මර්දනකාරී ක්‍රියාමාර්ග ආපසු ගන්න එක.

    අපි දැනුත් ආණ්ඩුවට අවධාරණය කරන්නේ හෙට ගේන්න යන කොතලාවල විශ්වවිද්‍යාල පනත ආපහු හරවන්න කියලා. පොහොර ඉල්ලා කෑ ගහන ජනතාවට සුදුසු පොහොර වර්ගයක් ලබා දෙන්න කියලා. තෙල් මිල වැඩිවී බඩුමිල වැඩිවීම නිසා සටන් කරන ජනතාවට සහනයක් ලබාදෙන්න. එහෙම නොකර ලැජ්ජාව නිසා සරම උස්සලා මුහුණ වසාගන්න එපා කියලා ආණ්ඩුවට කියනවා. එහෙම වුණොත් හෙළුව තමයි පේන්නේ. ආණ්ඩුව කරමින් ඉන්නේ ඒ වැඩේ. කොරෝනා නීති කඩන්න එපා කියන එකට රට එකඟ වෙලා ඉන්නේ. හැබැයි කොරෝනා නීති කඩන්නෙත් ආණ්ඩුව නම්, කොරෝනා නීති රකින්න ඉඩ නොදෙන්නේ ආණ්ඩුව නම් ජනතාවගේ හඬට ඇහුම්කන් දීම මිස ඒ හඬ යටපත් කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා අවධාරණය කරනවා. කොහොම වුණත් මේ ආණ්ඩුව කොළේ ඉරාගෙන ඉන්නේ. යන්න වෙනවා. මේ ක්‍රියාමාර්ගවලින් ඒක ඉක්මන් කර ගැනීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳනවා මිස මර්දනයට ලැහැස්ති වෙන්න එපා කියලා බරපතල ලෙස ආණ්ඩුවට අවධාරණය කරනවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

    “මේ අරගලවල අපි ඉන්නේ පිටිපස්සේ නෙවෙයි, පෙරමුණේ. අපි නායකත්වය දෙමින් යන්නේ. ඒක අපේ වගකීම. පොහොර ප්‍රශ්නයේදී ලංකාවට කෘෂිරසායන ගේන්නේ ජේ.වී.පී. එක නෙවෙයි. මේ ධනපති ආණ්ඩුවේ කොටස්කරුවෝ. තමන් ආවහම රසායනික පොහොර නොමිලේ දෙනවා කීවෙත් අපි නෙවෙයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා. අපි කියන්නේ කාබනික සහ ජෛව පොහොරවලට අපි යන්න ඕනෑ. එක විටම එයට යන්න බැහැ. ක්‍රමානුකූල සැලැස්මක් ඕනෑ. ආණ්ඩුව කරලා තියෙන්නේ කලිසම වහන්න කලින් සරම ගලවන එක. කලිසම මහන්න මැෂිමන්ට් දීලත් නැතිව සරම ගලවලා. මේක කරන්න ඕනෑ පිළිවෙළකට, සැලැස්මකට, පියවරෙන් පියවර. රසායනික පොහොර අඩු කරමින් කාබනික පොහොර වර්ධනය කරමින් ඒ අත්දැකීම් පාවිච්චි කර නැවත සමාලෝචනයක යෙදී ක්‍රියා කරන්න ඕනෑ. අවසානයේ වසර 10 හෝ 15ක කාලයකට පසුව සම්පූර්ණයෙන් නතර කරන්න පියවර ගත යුතුයි. ආණ්ඩුව දවසෙන් ඒක නතර කරලා. ඒ නවත්වන්නේ පොහොර ගේන්න ඩොලර් නැති නිසා. ඒ ඔක්කොම ඇතුළේ සහල් මෙ.ටොන් ලක්‍ෂයක් ගේන්න ආණ්ඩුව ක්‍රියා කරනවා. මේ ගේන්න යන්නේ කාබනික පොහොර දාන වගා කළ ගොයම්වල අස්වැන්නද? ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල දෙබිඩිකම තියෙන්නේ.

    අපි ඉතා පැහැදිලිව කාබනික පොහොර සහ ජෛව පොහොර වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි එය කළ යුතු වන්නේ අපේ ආහාර සුරක්‍ෂිතතාවය විනාශ කරමින් නෙවෙයි. මේ තත්වයෙන් ගියොත් අපිට තිබුණු ආහාර සුරක්‍ෂිතතාව මුළුමනින්ම නැති වෙනවා. රටකට ඒක අතිශය බරපතල තත්වයක්. ඒනිසා අපි දැනුත් ආණ්ඩුවට කියන්නේ සැලැස්මක් හදන්න කියලා. විශේෂඥ දැනුම තියෙන අය අපි ළඟත් ඉන්නවා. ඒ කවුරුත් එකතු වෙලා සැලැස්මක් ඇතිව ක්‍රියාත්මක කළ යුතුයි. මේ ගත්තු ක්‍රමය වැරදියි. ඒනිසා දැන් වගාවන්ට සුදුසු පොහොර ප්‍රමාණයක් ආණ්ඩුව ලබාදිය යුතුයි. රසායනික පොහොර දෙන්න කියලා අපි බල කරන්නේ නැහැ. අපේ එහෙම සටන් පාඨයක නැහැ. ඉතා පැහැදිලිවම තියෙන්නේ “වගාවට සුදුසු පොහොර”දෙන්න කියලා.”

  • බැසිල් මන්ත්‍රී වෙන්න කලින් ‘අමාත්‍යවරයෙක්‘ වෙයි !

    බැසිල් මන්ත්‍රී වෙන්න කලින් ‘අමාත්‍යවරයෙක්‘ වෙයි !

    හෙට (08) මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතා ඊට පෙර අමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (8) දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ නවවැනි ආසනය සූදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

    බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම්දීමට ප්‍රථම ඇමතිවරයකු වශයෙන් දිවුරුම් දෙන හෙයින් ඔහුට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 09 වැනි අසුන පනවන බවද ඔහුගේ වම් පස ඇත්තේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනය බවත් ඔහුට දකුණු පස ආසනය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වෙන් කර ඇති ආසනය බවත් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

  • නීතිය අනුව බැසිල් රාජපක්ෂට ‘පාර්ලිමේන්තු යන්න බෑ’ ලූ: බම්බුව තමයි !

    නීතිය අනුව බැසිල් රාජපක්ෂට ‘පාර්ලිමේන්තු යන්න බෑ’ ලූ: බම්බුව තමයි !

    බම්බුව තමයි!

    ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම  දුටිමි. අතීතය අමතක කිරීම තරම් ම අතීතය නොදැන සිටීම ද යහපත් නැත. එබැවින් ලියමි.  

    තමන්ගේ ජාතික ලැයිස්තුවට පිටින් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ වැදගත්ම  අවස්ථාව කළුතර රත්නසිරි වික්‍රමනායක ය. අනාගත ආයෝජනය චම්පික රණවක ය. නින්දිතම අවස්ථාව කරුණා ය.  විහිළුව සරත් ෆොන්සේකා ය. සුක්ෂම අවස්ථාව ඩලස් ය.  බැසිල් ගේ පත් කිරීම ඔය එකක් තරම් වත් ලංකා දේශපාලනයේ තවම සුවිශේෂ වන්නේ නැත!

    2004 මහා මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණ බාර දුන් නාම යෝජනා පත්‍රයක හෝ 99 ඒ වගන්තිය යටතේ බාරදුන් ජාතික ලැයිස්තුව ට හෝ රත්නසිරි වික්‍රමනායක ගේ හෝ විජේදාස රාජපක්ෂ ගේ නම තිබුණේ නැත. නමුත්, ඔවුන් දෙදෙනා පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරනු ලැබීය.  එයට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙනුවෙන් සුනන්ද දේශප්‍රිය අභියාචනාධිකරණයේ නඩුවක් දැම්මේය.  පසුව මේ නඩුව ඉල්ලා අස්කර ගත්තේය.  ජනදාස පීරිස් ඉල්ලා අස් නොවන්නට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමන්ගේ දිගු කාලීන දේශපාලන හිතවතා හා ලෙස අගමැති රත්නසිරි පත් කර ගන්නට ලැබෙන්නේ නැත. විජේදාසට ජාතික ලැයිස්තුව ලැබුණේ මේ වැඩේට අවශ්‍ය නීති තර්කය හැදූ නිසා යැයි මම සිතමි.

    2007  සැප්තෑම්බර් එජනිස පත්කල මන්ත්‍රී අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයා අභාවයට පත් වූ අතර එම පුරප්පාඩුවට පත්වුයේ බැසිල් රාජපක්ෂ ය.  කතාව හැමෝම දන්නා බැවින් විස්තර නොකරමි.  

    1999 දී පොදුජන පෙරමුණ (පුටුව) 99 ඒ වගන්ති ප්‍රකාරව මැතිවරණ කොමසාරිස්ට බාරදුන් ජාතික ලැයිස්තුව සංශෝධනය කළේය.  මුල් ලැයිස්තුවේ බැටී වීරකෝන් ගේ නම තිබූ අතර, දෙවැන්නේ බැටී ගේ නම තිබුණේ නැත.  බැටී වීරකෝන් කීර්තිමත් නීතිවේදියා නඩු දැම්මේය.  වැඩක් වුණේ නැත.

    2015 මහා මැතිවරණයට සරත් ෆොන්සේකා ‘පන්දම‘ ලකුණින් ඡන්දය ඉල්ලා පරාජයට පත් විය. 2016 දී එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මිය ගිය පසුව (එජාප තම ලැයිස්තුවේ සිටි අසාත් සාලි වෙනුවට),  වෙනත් පක්ෂයකින් තමන්ට විරුද්ධව ඡන්දය ඉල්ලු සරත් ෆොන්සේකා ගේ නම මැතිවරණ කොමිසමට යැව්වේය.  කොමිසම ඒ නම ගැසට් කර සරත් ෆොන්සේකා මන්ත්‍රී කළේය.  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එදා එජාප මහ ලේකම් කබීර් හෂීම් ට විරුද්ධව අංක 54/2016 මානව හිමිකම් නඩුව දැම්මේය. නඩුව විභාගයට නොගෙන ම විසි විය. 

    ජාතික ලැයිස්තුවේ නම නොතිබුණු ඩලස් අලහප්පෙරුම 2005 පාර්ලිමේන්තුවට ගෙන ආ හැටි දැන් කවුරුත් කථා කරන්නේ නැත.  ඇමති ලක්ෂමන් කදිරගාමර් ඝාතනයෙන් පසුව ඩලස් පාර්ලිමේන්තුවට ආ හැටි තමයි හොඳම එක! ඒක හොඳටම කළේ මහින්ද රාජපක්ෂ ය.   

    2008 වසන්ත සමරසිංහ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ විට එයට පත් වූවේ හොර පාස්පෝට් එකකින් ලන්ඩන් ගොස් ආපසු ලංකාවට පැමිණ සිටි විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) ය. කරුණා කළ ජාතික මෙහෙවර නිසාදෝ එදා ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය ගැන කවුරුවත් කථා කළේ නැත.

    හෙළ උරුමය මගින් මැතිවරණයට ඉදිරිපත් කළේ භික්ෂුන් වහන්සේලා පමණී.  2006 පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී චම්පික රණවකට පාර්ලිමේන්තුවට ඒමේ අවස්ථාව සලසා දුන්නේය. චම්පික ඒ මැතිවරණයට තරඟ කළේ හෝ ජාතික ලැයිස්තුවේ නම තිබුනේ හෝ නැත.

    මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු පත් කිරීම් හරිම අපූරුය. මාතෘකාවට කෙළින්ම සම්බන්ධ නැතත් සල්මාන්, අයි.කුද්දුස්, පුෂ්පකුමාර පමණක් නොව අසිත පෙරේරා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ හැටි විචිත්‍ර කතාය.   ලැයිස්තුව තවත් දිගය! අවශ්‍ය කෙනෙකුට සොයා ගත හැකිය.

    අගමැති රත්නසිරි, කරුණා අම්මාන්, ඩලස්, චම්පික, විජේදාස පාර්ලිමේන්තුවේ කැපි පෙනුනු චරිත ය.

    බැසිල් රාජපක්ෂගේ පත්වීම ඒ සියල්ලට වඩා අවශේෂ හෝ සුවිශේෂ වන්නේ පත්වීමේ නීත්‍යානුකූල භාවය නිසා නම් නොවේ.  විපක්ෂය එය බාර ගන්නා ආකාරය අනුවය.

    රජිත් කීර්ති තෙන්නකෝන් 

  • ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ‘ඇල්ලේ ගුණවංශ හිමියෝ‘ කළ අන්දෝලනාත්මක ප්‍රකාශය

    ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ‘ඇල්ලේ ගුණවංශ හිමියෝ‘ කළ අන්දෝලනාත්මක ප්‍රකාශය

    දේශපාලකයින්ට රට භාරදී සිදුවෙන විනාශය දැන් අවසන් කළයුතුව ඇති බවත් ආණ්ඩුව දැන් හැසිරෙන ආකාරය තමා කිසිසේත් අගය නොකරන බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

    අද (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගුණවංශ හිමියෝ වැඩි දුරටත් කියා සිටියේ දේශපාලනයෙන් සහ ජාතිවාදයෙන් තොර දෙවෙනි නිදහස් සටන ආරම්භ කිරීම සඳහා සියලු දෙනා අත්වැල් බැදගත යුතු බවයි.

    ගුණවංශ හිමියෝ මෙසේද පැවසූහ. “ජාති වශයෙන් අපි බෙදිලා ඉන්නකම් අපිට නිදහසක් නෑ. අපි බෙදිලා ඉන්න තරමට ජාත්‍යන්තර බලවේග අපේ රට ඇතුළට ඇවිල්ලා අපේ රටේ සම්පත් මංකොල්ලයක නිරත වෙනවා. බටහිර අධිරාජ්‍යවාදීන් මේ වෙනකොට අපේ රටේ ඛණිජ සම්පත් මංකොල්ලයක නිරතවෙමින් සිටිනවා. මට කනගාටු පොස්පේට් නිධිය තියාගෙන පොහොර නෑ කියලා කෑගහන එක ගැනයි. ආණ්ඩුව දැන් හැසිරෙන ආකාරය මං අගය කරන්නේ නෑ. අපි මේ රට අතට ගන්න ඕනේ දැන්. දේශපාලකයින්ට රට භාරදීලා විනාශ වුණා ඇති දැන්. ආයතන 20ක් විතර විකුණන්න යනවා. දෙමළ ජනතාවටත් මම එකතු වෙන්න කියන්නේ, කන්කසන්තුරේ ඉඩම් ටික අලෙවි කිරීම සඳහා යෝජනාවලියකට ඇතුල් කරලා තියෙනවා. දේශපාලනයෙන් සහ ජාතිවාදයෙන් තොර දෙවෙනි නිදහස් සටන ආරම්භ කිරීම සඳහා අපි අත්වැල් බැඳගත යුතු යැයි ද උන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

  • බැසිල් වෙනුවෙන් කැටගොඩ පුටුව දෙයි – දිවුරුම් දීමත් තීන්දුයි

    බැසිල් වෙනුවෙන් කැටගොඩ පුටුව දෙයි – දිවුරුම් දීමත් තීන්දුයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අද (05) මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සදහා බැසිල් රාජපක්ෂ මහතා නම්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ 8 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන බවයි.

    මේ අනුව, හෙට (07) දිනය තුළ මැතිවරණ කොමිෂන් සභාව රැස්වී බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීමට නියමිතව ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.

  • ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම් – JVP නායක අනුර දිසානායක

    ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම් – JVP නායක අනුර දිසානායක

    “ආණ්ඩුව මේ දියත් කර තිබෙන මර්දනය වහාම නතර කළ යුතුයි. දැන් මේ විරෝධතාවන්ට නායකත්වය දුන් පිරිසට කටඋත්තර ලබා දීම සඳහා 07වැනිදා උදේ 9.00ට පොලීසියට පැමිණෙන ලෙසට නියෝග ලබා දී තිබෙනවා. මේ කරන්න හදන්නේ බියවැද්දීමයි. විරෝධතාවයන් මර්දනය කිරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ විරෝධතාවයන් මර්දනය කිරීමෙන්, එයට මැදිහත් වන අය බිය ගැන්වීමෙන් මේ විරෝධයන් යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් එය අසාර්ථකම උත්සාහයක් බව අපි අවධාරණය කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දරන ප්‍රයත්නය වහා නතර කළ යුතුයි. එම ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කරනවා. එම මර්දනීය ක්‍රියාමාර්ගවලට කවුරුන් බිය වුවත් මේ ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම්.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

    ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

    “පොහොර ලබා දෙන ඉල්ලා උද්ඝෝෂණය කළ ගොවීන් ගණනාවක් මේ වන විට ආණ්ඩු විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. දැන් ඊට අමතරව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාත්න, ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහෝදරවරුන්, ගල්ඒදණ්ඩ විජිතාරාමයේ විහාරාධිපති වීරකැටියේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබෙනවා. මෙම මර්දනීය ක්‍රියාමාර්ගය පිළිබඳව සමාජයට පැහැදිලි කිරීමක් කළ යුතුයි.

    මේ වනවිට රට පුරා සියලු ජන කණ්ඩයම්වල විරෝධයක් මේ ආණ්ඩුවට එරෙහිව නැගෙමින් තිබෙනවා. ගොවි ජනතාව, ධීවර ජනතාව, විශ්වවිද්‍යාල දුවා දරුවන් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් සිටිනවා. ජීවත්වීමට නොහැකි වීම නිසා පොදු ජනතාව තමන්ගේ විරෝධය පළ කරමින් සිටිනවා. මේ උද්ඝෝෂණ පැන නගින්නේ හුදෙකලාව නෙමෙයි. ආණ්ඩුව ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වීම නිසයි. මේ වන විට මෙම උද්ඝෝෂණයන්හි මධ්‍යස්ථානයන් වී තිබෙන්නේ ගොවි ජනපදයි. පහුගිය කාලය පුරාවටම එප්පාවල, අනුරාධපුරය, වැලිමඩ, ඇඹිලිපිටිය ආදී ගොවි ජනපද ගණනාවක ආණ්ඩුවට විරෝධය එල්ල වෙමින් තිබෙනවා.

    ඔවුන්ගේ ප්‍රධානම ගැටලුව වී තිබෙන්නේ තමන්ගේ කෘෂිකර්මාන්තය කරගැනීමට අවශ්‍ය යෙදවුම් නිසි කලට ලබා දීමට ආණඩුව අසමත් වීම නිසයි. මෙය ගොවි ජනතාවගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. වැලිමඩ ප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වී තිබෙන්නේ අර්තාපල් වගාවයි. බිම් සකස් කර, බීජ අල ගෙනැවිත් තිබෙන නමුත් ඒවා සිටුවීමට අවශ්‍ය යෙදවුම් ලබා දීමට ආණ්ඩුව අසමත් වී තිබෙනවා. දඹුල්ල ප්‍රදේශයේ එළවළු ගොවීන් තමන්ගේ බටු අස්වනු විනාශ කරමින් සිටිනවා. ඒ අවශ්‍ය වන කෘමිනාශක ලබා දෙන්න ආණ්ඩුව කටයුතු නොකළ නිසයි. ගොවි ජනතාවගේ ඇස් ඉදිරිපිට ඔවුන්ගේ වගාවන් විනාශ වෙමින් යනවා. අස්වැන්න ප්‍රමාණවත් තරමින් ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. එළවළු අස්වනු පණුවන් විසින් විනාශ කරමින් තිබෙනවා. ගොවි ජනතාවගේ ජීවිතය සමග ගැටගැසුණු ප්‍රධානතම ආර්ථිකය තුළ ඔවුන් ව්‍යසනයකට මුහුණපා තිබෙනවා.

    ආණ්ඩුව රසායනික යෙදවුම් නතර කර කාබනික යෙදවුම්වලට මාරු වීමට තීරණයක් ගනු ලැබුවා. ඒ පිළිබඳව කිසිවෙකුගේ විරෝධයක් නැහැ. එසේ නම් ආණ්ඩුව කාබනික යෙදවුම් නිසි කලට නිසි ප්‍රමාණයට ලබා දිය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව එසේ කිරීමට අසමත් වුණා. ගොවීන්ට තමන්ගේ වගාවන් ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනු දකින්නට සිදුවුණා. ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය එයයි. තමන්ගේ ජීවිතයේ දහසකුත් එකක් වියදම් පියවා ගැනීම සඳහා ඔවුනට තිබෙන්නේ කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම පමණයි. කෘෂිකර්මාන්තයේ නියැලෙන සියලු දෙනා පීඩාවට ලක්ව තිබෙනවා. තමන්ගේ ජීවනෝපාය තමන්ගේ ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබියෙදී ඔවුන් කළ යුත්තේ කුමක්ද?

    ඔවුන් පාරට බැස පළ කරන්නේ ඔවුන්ගේ කැකෑරෙන වේදනාවයි. එහෙම නැතුව ගෙදර ඇඳේ වකුටු වෙලා සිදු වන විනාශය නෑසූ කන් ඇතිව සිටීමට ඔවුනට නොහැකියි. ඔවුන් ඊට සූදානම් නැහැ. ඔවුනට හඬ නැගීමට යුක්ති සහගත අයිතියක් තිබෙනවා. ඒ පීඩාවට පත්වන ජනතාවගේ දුක් ගැනවිල්ලට අප විසින් ඇහුම්කන් දිය යුතුයි. ඒවාට විසඳුම් ලබා දිය යුතුයි. අප දේශපාලනය කරන්නේ ඒ වෙනුවෙන්. එය අපේ අත්හළ නොහැකි වගකීමක්. බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ සංවිධායක සමන්ත විද්‍යාරත්න සහෝදරයා නායත්වය දුන්නේ ඒ වගකීම වෙනුවෙන්. ඔහු ඊට මැදිහත්වීම වැරදිද? ඒ වගේම ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ම පිහිටුවා තිබෙන සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයට නායකත්වය දෙන නාමල් කරුණාරත්න සහෝදරයා සිටිනවා. ඔහු එම උද්ඝෝෂණයන්ට මැදිහත්වීම වැරදි වෙන්නේ කොහොමද? පන්සලේ නායක ස්වාමීන් වහන්සේ තමන්ගේ ගමේ ජනතාවට සිදුවී තිබෙන මේ අසාධාරණය දකිනවා. උන් වහන්සේ පෙරට එන්නේ ඒ නිසයි. දැන් ආණ්ඩුව ඔවුන් අත්අඩංගුවට ගෙන මර්දනය කිරීම සඳහා උත්සාහ දරනවා. ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් අපි කියන්නේ ඔවුන් හිතනවානම් තමන්ට සුපුරුදු මර්දනීය ක්‍රියාමාර්ග මගින් ජනතාවගේ සාධාරණ විරෝධතා යටපත් කරන්න, ඒක ජනාධිපතිවරයා දකින දවල් හීනයක් විතරයි. මේ උද්ඝෝෂණ නතර කළ හැක්කේ මේ පීඩාවන්ට විසඳුම් ලබා දීමෙන් පමණයි.

    ආණ්ඩුව මේ දියත් කර තිබෙන මර්දනය වහාම නතර කළ යුතුයි. දැන් මේ විරෝධතාවන්ට නායකත්වය දුන් පිරිසට කටඋත්තර ලබා දීම සඳහා 07වැනිදා උදේ 9.00ට පොලීසියට පැමිණෙන ලෙසට නියෝග ලබා දී තිබෙනවා. මේ කරන්න හදන්නේ බියවැද්දීමයි. විරෝධතාවයන් මර්දනය කිරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ විරෝධතාවයන් මර්දනය කිරීමෙන්, එයට මැදිහත් වන අය බිය ගැන්වීමෙන් මේ විරෝධයන් යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් එය අසාර්ථකම උත්සාහයක් බව අපි අවධාරණය කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දරන ප්‍රයත්නය වහා නතර කළ යුතුයි. එම ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කරනවා. එම මර්දනීය ක්‍රියාමාර්ගවලට කවුරුන් බිය වුවත් මේ ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම්.

    මේ උද්ඝෝෂණවලට මැදිහත් වූ කිසිවෙක් තමන්ගේ පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් මැදිහත් වූවන් නෙමෙයි. ඔවුන් මැදිහත් වුණේ පොදු ජනතාවගේ සාධාරණ වුවමනාකම් දිනාගන්නයි. 2005-2015 කාලයේ විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. රතුපස්වලදී, වැලිසරදී, හලාවතදී එය අපි දැක්කා. ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියෙදී තමන්ගේ බැටෑලින් යොදවා සාමකාමී උද්ඝෝෂණකරුවන් ඝාතනය කළා. ආණ්ඩුවේ කරුණු එළිදරව් කළ මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. බෝම්බ ගැහුවා. මාධ්‍යවේදීන් පැහැරගෙන ගියා, අතපය කැඩුවා. සමහරුන් ඝාතනය කළා. එවැනි කළු ඉතිහාසයක් මේ පාලකයින්ට තිබෙනවා. මේ උත්සාහ දරමින් සිටින්නේ ඒ කළු ඉතිහාසයට පණපොවන්නනම් ගෝඨාභය ජනාධිපතිවරයාට අපි කියන්නේ ඔබ එම සූදානම වහා හකුළා ගත යුතුයි. ඒ වගේම අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව ඔබේ හඬ අවදි කරන ලෙසයි. ඊට එරෙහිව පෙරට එන ලෙසයි.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

    “මා ජනාධිපතිවරයාට කියනවා දැන් පුළුවන්නම් ඔබ ගම සමඟ පිළිසඳර කරන්න කියලා. බොරලන්දට, එප්පාවලට, ඇඹිලිපිටියට, ගොවිජනපදවලට ගිහින් ගම සමඟ පිළිසඳර කරන්න. තමන් තෝරාගන්නා ලද පිරිසක් සමඟ කරන නාඩගම වෙනුවට ඇත්ත ගොවියන් සමඟ ඒක කරන්න. එතකොට ජනාධිපතිවරයාට තේරුම් ගන්න පුළුවන්වෙවි ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියලා. ඔව් අපි පක්ෂයක් හැටියට ගොවිජනතාව පත්වී තිබෙන අසීරුතාවයන්ට එරෙහිව නැගෙන විරෝධයට නායකත්වය දෙනවා. ඒ ප්‍රශ්න විසඳීම සඳහා බලකරනවා. ඇයි ඒ? දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපිට වගකීමක් තිබෙනවා එම ජනතාවගේ පීඩාවට එරෙහිව මැදිහත් වෙන්න. ගොවිජනතාව පෝස්ටරයක් ඇඳල දෙන්න කිව්වොත් අපි ඇඳල දෙනවා. පෝස්ටර් ගහල දෙන්න කිව්වොත් ඒක කරනවා. අපි ඔවුන් සමඟ උද්ඝෝෂණ කරනවා. මොකක්ද ඒකේ තියෙන වරද? පීඩාවට ලක්වෙන ජනතාව සමඟ වැඩ කරන එක තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය. නමුත් මෙය අපේ පක්ෂයේ සාමාජිකයින් පමණක් මුහුණ දී තිබෙන පීඩාවක් පමණක් නෙවෙයි. ආණ්ඩුව මේක පක්ෂයකට ලඝු කරන්න උත්සහ කරාට මේක තමයි ඇත්ත පොදු ජනතාවගේ පීඩාව.

    ආණ්ඩුවේ තර්කයට අනුව පොහොර සමාගම්වලින් ලොකුම කප්පම අරන් තියෙන්නේ ගෝටාභය රාජපක්ෂ. මොකද ඔහු තමයි පසුගිය ජනාධිපතිවරණයේදී පොහොර නොමිලයේ දෙනවා කිව්වා. ඒ නිසා ජවිපෙ පොහොර සමාගම් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක ලාබම ප්‍රතිඋත්තර බැඳීමක්. විකාර කතාවක්. පසුගිය ජනාධිපතිවරණයේදීත් අපි කිව්වේ පොහොර සහනාධාරය වැඩි කරන්නේ නැහැ කියලා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. මේ ආණ්ඩු බීජ සම්පත විනාශ කරනකොට රසායනික යෙදවුම්වලින් අපේ පස විනාශ කරනවිට අපේ රටේ නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ගැන අදහස් ප්‍රකාශ කරපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජවිපෙ. අපි පෙනී ඉන්නේ රසායනික යෙදවුම්වල ප්‍රතිශතය අඩුකරමින් කාබනික යෙදවුම් ප්‍රතිශතය වැඩිකිරීමේ ප්‍රතිපත්තියට. හැමදාමත් කොම්පැනිකාරයින්ගේ වුවමනාවට ප්‍රතිපත්ති හැදුවේ මේ ආණ්ඩු. කොම්පැනිකාරයින්ගේ අල්ලේ නැට වුනේ ඒ දේශපාලන ව්‍යාපාර. ඒ නිසා අපිට එම චෝදනා කිරීම තරම් බංකොළොත්කමක් තව නැහැ.

    මේ ආණ්ඩුව බලයට ආවේම සිංහල බෞද්ධයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න ආණ්ඩුවක් ලෙසින්. නමුත් මෙම පාලනය දිනපතා ඔප්පු කරමින් ඉන්නවා ඔවුන් මොනතරම් වංචනික ලෙස සිංහල බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මය හොරාකෑවද කියලා. ඒ නිසා තමයි මේ ආණ්ඩුවට පංසල දෙවැනි තැනට දාලා සම්බාහන මධ්‍යස්ථානය පළමු තැනට එන්නේ. බාර් එක මුල් තැනට එන්නේ. කොවිඩ් තුන්වැනි රැල්ල ආරම්භයේ සිට මේ ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ග එක පැත්තනින් දුර්වලයි; අනෙක් පැත්තෙන් පරස්පරයි; අනෙක් පැත්තෙන් අසාර්ථකයි. ඒ වගේම ගත් තීන්දු අතහැරලා තිබෙනවා. එහි ප්‍රතිඵලය ලෙස ලෝකයේ ඕනෑම තැනක කොවිඩ් අලුත් ප්‍රභේදයක් හැදුනොත් සතියක් දෙකක් ඇතුළත එය ලංකාවෙන් හමුවෙනවා. ඒ නිසා අපිට පේන දේ තමයි ආණ්ඩුව කොවිඩ් මර්දනය අත්හැරලා වෙන වෙන දේවල් ගැන හිතමින් ඉන්න බවයි. මේ ආණ්ඩුව කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් දක්වන අවධානය අතිශය දුර්වලයි වගේම අතිශය විනාශකාරී මගකට පාර කපමින් තිබෙනවා.

    මහබැංකු බැඳුම්කර වංචාව සිදුවූ පසු ඊට එරෙහි අවි අමෝරාගත් ප්‍රධාන කණ්ඩායම වුනේ මේ ආණ්ඩුවේ කණ්ඩායමයි. ඒ අය කිව්වේ කේපී ගෙනාවා වගේ මහබැංකු හොරු කුදලගෙන එනවා කියලා. ඒ වෙලාවේ ආණ්ඩුවේ අජිත් පී පෙරේරා ඇතුළු කණ්ඩායම කෝප් වාර්තාවට ෆුට්නෝට් දමමින් අර්ජුන මහේන්ද්‍රන්ලා, අලෝසියස්ලා, රනිල් වික්‍රමසිංහලා ආරක්ෂා කරන්න කටයුතු කළා. එදා මහබැංකු හොරුන්ගේ සතුරා බවට පත්වෙලා හිටියේ රාජපක්ෂ කණ්ඩායම. මිතුරන් වුනේ රනිල් වික්‍රමසිංහලා. අද අර්ජුන මහේන්ද්‍රන්ලාගේ, ඇලෝසියස්ලාගේ මිතුරන් බවට රාජපක්ෂලා පත්වෙලා. ඒ නිසා තමයි අද ඔවුන්ගේ සීල් තබන ලද අරක්කු ව්‍යාපාරවලට බදු සහන ලබාදෙන්නේ. ඒ විතරක් නෙවෙයි කෝටි 150ක් බදු ආණ්ඩුවට අහිමි කරගෙන සීල් තබන ලද මෙන්ඩිස් සමාගමට නැවත බිස්නස් එකට අවසර දෙනවා. ඒ නිසා රාජපක්ෂලා හැමවෙලාවෙම දූෂිතයින්ගේ මිතුරෝ. දූෂිතයින්ගේ ආරක්ෂකයෝ.”

  • ඉක්මනින් රට විවෘත නොකළහොත් ‘රටට වෙන දේ ගැන‘ ජනපති කියයි

    ඉක්මනින් රට විවෘත නොකළහොත් ‘රටට වෙන දේ ගැන‘ ජනපති කියයි

    ඉක්මනින් රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එන්නත් මිලියන 9ක් මේ මාසයේ රටට ලැබෙන බවත්  මේ තත්ත්වය යටතේ සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන් විවෘත කළ හැකි බවත් ජනපතිවරයා පැවසීය.

    ලොව පුරා රටවල් 112ක සමූපකාර ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා “ජාත්‍යන්තර සමූපකාර දිනය” ලෙස නම් කර තිබේ. ඒ නිමිත්තෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “99වන ජාත්‍යන්තර සමූපකාර දින” සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන ලාභයක් ද තබාගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබාදීමට සමූපකාරයට මැදිහත් විය හැකි බවයි ජනපතිවරයා සදහන් කළේ.

    එමඟින් විවෘත ආර්ථිකය සමඟ කඩා වැටුණු සමූපකාර ව්‍යාපාරය නඟා සිටුවීමටත් ආපදා අවස්ථාවකදී විශාල සමාජයීය කාර්ය භාරයක් ඉටු කිරීමටත් හැකියාව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා ‍දුන්නේය.

    ලෝකයේ රටවල් රැසක නිෂ්පාදන බෙදාහැරීමේ ජනහිතකාමී යාන්ත්‍රණයක් ලෙස සමූපකාරය ක්‍රියාකරයි. පොදු ජන හිතකාමී ආණ්ඩුවක් පැවති සෑම අවස්ථාවකදීම මෙරට සමූපකාර ව්‍යාපාරය ද ශක්තිමත්ව පැවතිණ. ජනතා කේන්ද්‍රීය ආර්ථික දැක්ම තුළ සමූපකාරය ශක්තිමත් කිරීමට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ නව වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පැවසීය.

    රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන් සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

  • පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

    පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

    මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව ජූලි මස 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය කරන ලදී.

    මේ අනුව හෙට දිනයේ ( 06) පාර්ලිමේන්තුව පෙ.ව 10.00 රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය (සංශෝධන) පනත් කෙටුම්පත, අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයක් සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයන්ගේ මාසික වැටුප් සහ දීමනා වැඩිකිරීමට අදාළ යෝජනාවක්ද   විවාදයට ගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

    අනතුරුව ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

    ඉන්පසු දිනය වන ජූලි 07 වනදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා  අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2 ක්ද  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය. මේ අතර එදින ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

    ජූලි 08 වන දින පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත , ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත, ආගාමික හා විගාමික පනත අනුව ඉදිරිපත් කර ඇති  නියෝග විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

    මේ අතර ජූලි 09 වන සිකුරාදා දින ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා  පැවැත්වීමට මෙහිදී තීරණය විය.

    තවද පාර්ලිමේන්තුව රැස්වන දින හතරෙහිදීම  පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කොට ඇති අතර සිකුරාදා (09) හැර අන් දින තුනේදීම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා විපක්ෂයට සහ ආණ්ඩු පක්ෂයට කාලය වෙන් කර ඇත.

  • බැසිල් පාර්ලිමේන්තුවට එනවා – ප්‍රමිත බණ්ඩාරගෙන් සහතිකයක්

    බැසිල් පාර්ලිමේන්තුවට එනවා – ප්‍රමිත බණ්ඩාරගෙන් සහතිකයක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අනිද්දා(08) දිවුරුම් දීම ස්ථිර බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසූ බව වෙබ් අඩවි කිහිපයක් අද (05) වාර්තා කළා.

    බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදීම පිණිස ශ්‍රීලපොපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු සූදානමින් සිටින බව ද වාර්තා වන අතර එසේ ඉවත් වන පුද්ගලයාට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධුරය හිමිවන බවයි එකී වාර්තා සදහන් කරන්නේ.

    මීට පෙර අප ද ඇතුළු වෙබ් අඩවි සහ ජාතික මාධ්‍ය බැසිල් රාජපක්ෂ මහතා 06 වැනිදා දිවුරුම් දෙන බව ප්‍රකාශ කිරීමත් විශේෂත්වයක්.

    බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ගැන සමාජමාධ්‍ය වල දැඩි විවේචනයක් පවතින අතර මේ සම්බන්ධ පුවත් පළ වන සෑම අවස්ථාවකම එය දැඩිව විවේචනය වීම සුලභ සිද්ධියක් බවට පත්ව ඇත. සමාජමාධ්‍ය පරිශීලකයින් බහුතරයක් පවසන්නේ රාජපක්ෂ පවුලට තව දුරටත් රට දියුණු කිරීමට හැකියාවක් හෝ දැක්මක් නොමැති බවයි.

  • පොහොට්ටුවේ ස්ථාවරය කුමක් වුවත් ‘විපක්ෂයට බොරදියේ මාළු බාන්න දෙන්න බෑ‘

    පොහොට්ටුවේ ස්ථාවරය කුමක් වුවත් ‘විපක්ෂයට බොරදියේ මාළු බාන්න දෙන්න බෑ‘

    මෑතදී ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් සිදු නොවූවත් විපක්ෂයට බොරදියේ මාළු බෑමට ඉඩදිය නොහැකි බව පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

    69 ලක්ෂයක ජනතාවගේ සහය ඇතිව පිහිටුවන ලද රජය ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බව ඔහු අද (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    ඉන්ධන මිල ඉහළ නැංවීම වැළැක්වීමට කටයුතු කිරීමට විෂය අමාත්‍යවරයා අපොහොසත් වීමට එරෙහිව පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කළ කිරියාවසම් මහතා, ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස මුලින් දැරූ ස්ථාවරය දිගටම පවත්වා ගෙන යන බව පැවසීය.

    “පක්ෂයක් වශයෙන් අපට අපගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අයිතියක් තිබෙනවා. මම පක්ෂයේ ස්ථාවරය ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කළා. ඒ විපක්ෂයට අනවශ්‍ය වාසි ලබා ගැනීම සඳහා නොවෙයි. විපක්ෂය විසින් උගුලට හසු වීමට අප සූදානම් නැහැ. බොරදියේ මාළු බෑමට අපි විපක්ෂයට ඉඩ දෙන්නේ නැහැ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ රජයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බලශක්ති ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද කාරියවසම් මහතා ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

  • බුදුදහම රකිනවා කියා බලය ගත් ආණ්ඩුව හාමුදුරුවන් හිරේ දාන්න හදනවා – සමන්ත විද්‍යාරත්න

    බුදුදහම රකිනවා කියා බලය ගත් ආණ්ඩුව හාමුදුරුවන් හිරේ දාන්න හදනවා – සමන්ත විද්‍යාරත්න

    බුදුදහම රකිනවා කියා බලයට ආපු ආණ්ඩුව, ගොවි ජනතාව වෙනුවෙන් පාරට බැස්ස සංඝයාවහන්සේලා හිරේ දැමීමට සූදානම් වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කරන්නේ, ගොවිජනතා ප්‍රශ්න වෙනුවෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ තමන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ඇති සූදානම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුව හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිණි.

    “ආගම රකිනවා කිව්වා, ජාතිය රකිනවා කිව්වා, මුරදේවතාවුන් වෙච්ච මහා සංඝරත්නයට පහුගිය ආණ්ඩුව හිරිහැර කළා කිව්වා, හිරේ විලංගුවේ දැම්මා කිව්වා. ඒවා සියල්ලම අකාමකා දාලා නිවැරදි ගමණක මේ රට අරගෙන යනවා කිව්වා. අපි නන්දසේන මහත්තයාගෙන් අහන්න කැමතියි, ගොවියන්ට පොහොර ඉල්ලලා ගොවියන්ගෙන් දං වළඳන, ගොවියන්ගෙන් ගිලන්පස ටික වළඳන, ගොවිබිම්වල ඉන්න මහා සංඝරත්නය ගොවිය වෙනුවෙන් පාරට බහිනකොට අන්න වැළිමඩ බෝගහ කුඹුරේ පොලීසියේ ලියලා ගල්ඒදන්ඩේ නායක හාමුදුරුවොත් අත්අඩංගුවට ගන්න කියලා.

    බලය ගන්න ගොවියො පාවිච්චි කළා. බලය ගන්න ආගම පාවිච්චි කළා. බලය ගන්න භික්ෂූන් වහන්සේලා පාවිච්චි කළා. දැන් ඒ සියල්ල අමතක කරලා රට ඩෝසර් කරන් යන ගමනක යන්න හදනවා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්න කැමතියි මේ සටන අපි අවසන් කරන්නේ අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරල මිසක ආපස්සට අඩිය තියන්න අපිනම් සූදානම් නැහැ. හිරගෙවල් එකක දෙකක නෙවෙයි දාහක යැව්වත් මේ ගමන නවතින්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා ගොවිජනතාවට සාධාරණය ඉෂ්ඨ කරන්න. කාක පිහාටු එල්ලීම්වලින් මේ ගමන් නවත්වන්න බැහැ.” යැයිද ඔහු එහිදී සඳහන් කරයි.

    සම්පූර්ණ වීඩියෝව පහතින්

    https://www.facebook.com/574466252642666/videos/349273670044220/?so=watchlist&rv=video_home_www_playlist_video_list

  • එජාපයට පණ දෙන්න ‘රනිල්‘ යළිත් පුරුදු සෙල්ලම අරඹයි !

    එජාපයට පණ දෙන්න ‘රනිල්‘ යළිත් පුරුදු සෙල්ලම අරඹයි !

    එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමටත්, පක්ෂය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය කරුණු සොයා බලා නිර්දේශ කිරීමට එජාප පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කළ බව එජාප ජ්‍යෙෂ්ඨයෙක් පවසයි.

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ උප සභාපතිවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්වරුන් එම කමිටුවට පත්කළ බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.

    මේ අතර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ එජාප නායකයා විසින් මීට පෙර ද මෙවැනි කමිටු කිහිපයක් පත්කළ බවයි. ඒ අනුව එන්.ජී.පී. පණ්ඩිතරත්න කමිටුව, පිටිපන කමිටුව, මනෝ – මලික් කමිටුව, කරු ජයසුරිය ප්‍රමුඛ නායකත්වය මණ්ඩලය සහ රුවන් විජේවර්ධන කමිටුව යනුවෙන් කමිටු කිහිපයක් පත් කිරීමටත් මීට පෙර එජාප නායකයා පියවර ගත් බව ඔවුහු පෙන්වා දෙති.

    ‘මේ කිසිම කමිටුවක යෝජනාවක් එජාප නායකයා විසින් ක්‍රියාත්මක කළේ නැහැ. එහි ප්‍රතිඵල අපි පසුගිය මහ මැතිවරණයේදී දැක්කා. ඒ නිසා දැන් පත්කර ඇති අලුත් කමිටුවත් කිසිවක් කරයි කියලා අපට විශ්වාසයක් නෑ“ එජාප ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය.

  • නාමල් – සමන්ත අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

    නාමල් – සමන්ත අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

    කොවිඩ් මර්දන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ජවිපෙ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

    ඔහු සදහන් කළේ පසුගිය දා පොහොර ගැටලුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය සෞඛ්‍ය නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වා ඇති බවට නාමල් කරුණාරත්න මහතා සහ සමන්ත විද්‍යා රත්න ඇතුළු පස් දෙනකුට චෝදනා එල්ල කර ඇති බවයි.

    ‘‘මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයින් 5 දෙනෙකු අද (03) වැලිමඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණා. එහිදී ඔවුන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. පොලීසිය මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් උද්ඝෝෂණය සංවිධානය කිරීමට අදාළව සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත් ඊට අදාළව නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා‘‘

    මේ අතර අප වාර්තාකරු පැවසුවේ බෝගහකුඹුර පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන් බවයි.

    ‘‘අදාළ සැකකරුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියෝග කර තිබෙන බව ‘අප වාර්තාකරු පැවසුවා.

    ‘මේක පැහැදිලිවම විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමක්. ගොවීන් උද්ඝෝෂණය කළේ පැහැදිලිවම ඔවුන් මත බලහත්කාරයෙන් පටවපු ගැටලුවකට. ඔවුන්ට ඊට විසදුම් අවශ්‍යයි. මේක අද ජාතික ගැටලුවක් බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා මේ අත්අඩංගුවට ගැනීම් හරහා පොහොර හිගයට එරෙහිව රට පුරා සිදුවන ගොවි උද්ඝෝෂණ මර්දනය කිරීමේ වුවමනාව ආණ්ඩුවට පැහැදිලිව තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සංවේදී වන ලෙසයි‘ ජවිපෙ ප්‍රකාශකයෙක් අප සමග පැවසුවා.