Category: සුපිරි Politics

  • රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දෙයි

    රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දෙයි

    ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දුන්නේය.

    කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.  

    1977 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ වික්‍රමසිංහ මහතා 08 වන පාර්ලිමේන්තුව දක්වා අඛණ්ඩව අවුරුදු 42ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් වැඩිම වාර ගණනක් ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ වාර්තාවට හිමිකම් කියන අතර, කැබිනට් අමාත්‍ය තනතුරු, සභානායක සහ විපක්ෂ නායක ඇතුළු තනතුරු ගණනාවක් හෙබවීය.

    73 හැවිරිදි රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 09 වන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.  

    1949 මාර්තු 24දා උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා පසුගිය යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.

    1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ එතුමා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි. 1977 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූ අතර එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි. අවුරුදු 28 දී විදේශ කරයුතු නියෝජිත ඇමතිවරයා වූ හෙතෙම, පසුව තරුණ කටයුතු, අධ්‍යාපන සහ කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ ලෙස කැබිනට් අමාත්‍යධුර හෙබවීය.

    1989 මාර්තු 06 – 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ කටයුතු කළේය.

    එතුමා ප්‍රථම වතාවට 1993 මැයි 7 වැනිදා ශ්‍රී ලංකාවේ අග්‍රමාතයවරයා ලෙස තේරි පත්වූ අතර 1994 අගෝස්තු 19 දක්වා එම තනතුර හෙබවීය. හෙතෙම ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් (පස් වතාවක්) අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ දේශපාලනඥයා ලෙස වාර්තා ගත වේ.

    වික්‍රමසිංහ මහතා, දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්, තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, සිව්වන වරට 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත්, පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

    කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් අතර ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද වේ.

    ඔහු 1980 සිට 88 දක්වා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් දුරස්ථ ඉංග්‍රිසි ගුරු පුහුණුව හෙවත් ඩෙලික් ගුරු පුහුණුව, පුර්ණ සේවා දුරස්ථ සේවා ගුරු පුහුණුව, පාසල් දිවා ආහාරය, මීපේ සෞන්දර්ය ආයතනය ඇරඹීම, නොවිදිමත් අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම, ගුරු හිගයට පිළියමක් වශයෙන් දිස්ත්‍රික් ගුරු සේවය ඇරඹීම, ගුරු සේවය වයස 60 තෙක් දීර්ඝ කිරීම, භික්ෂු ගුරු පුහුණුව, පාසල් සංවර්ධන සමිති ඇරඹීම, පාසල් සුපරීක්ෂණ ඒකක පිහිටුවීම, පාසැල් සැලසුම් ඒකක, නොමිලයේ පෙළ පොත් ලබාදීම, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල පිහිටුවීම, ජාතික තරුණ සේවා සභාව හා ශිෂ්‍ය උපදේශන සේවාවක් ඇරඹීම වැනි කටයුතු එතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස දැක්විය හැකිය. ඊට අමතරව ගුරුවරුන් පුහුණු කිරීම සදහා අධ්‍යාපන විද්‍යා පීඨ ක්‍රමය ද නිර්මාණය කළ වික්‍රමසිංහ මහතා 1988 දී ජාතික විද්‍යා පීඨ 09ක් අරඹමින් සහ අධ්‍යපන පර්යේෂණය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම  රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අධ්‍යාපනයේ නව පුනරුදය ශක්තිමත් කිරීමට දායක විය.

    ඉතා ගැඹුරු සාහිත්‍ය පරිශීලකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසය, පුරාවිද්‍යාව, නීතිය, ආර්ථික විද්‍යාව, බෞද්ධ දර්ශනය හා සාහිත්‍යය, විශ්ව සාහිත්‍ය හා චරිතාපදාන ද ආදිය පිළිබඳ මනා දැනුම් ඇත්තෙකි. විවිධ ආගම් හා දර්ශනයන් අධ්‍යයනය කිරීමට වැඩි කැමැත්තක් දක්වන ඒ මහතා ත්‍රීපිටකය, ධම්මපදය, බෞද්ධ සාහිත්‍ය හා දේශපාලන න්‍යාය ධර්ම ඇසුරෙන් ‘දේශපාලනය සහ ධර්මය’ නම් කෘතිය රචනා කොට තිබේ.

    එතුමාගේ බිරිඳ වන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියයි.

  • රනිල් වික්‍රමසිංහට විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක්

    රනිල් වික්‍රමසිංහට විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පැත්තේ 13 වන ඉදිරිපස අසුන ලබා දී ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) උදෑසන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය

  • මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

    මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

    මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලට  යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය  ජුලි  මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඒ පිළිබඳ පත් කර ඇති  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (21) තීරණය කළේය.

    ඒ අනුව අදාළ යෝජනා එදිනට පෙර ලිඛිතව දන්වා එවන ලෙස එහි සභාපති  සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලියාපදිංචි දේශපාලන පක්ෂවලින්  ඉල්ලා සිටී.

    එකී යෝජනා sec.pscelectionreforms2021@parliament.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ  ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකිය.

    මේ වන විට මැතිවරණ හා ජන්ද විමසීම්  නීති ප්‍රතිසංස්කරණට අදාළව  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ලැබි ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 94 ක් බව එම කාරක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අද පැවැති කාරක සභාවේ රැස්වීමේදී සඳහන් කළාය.

    මෙම කාරක සභා රැස්වීමට කැබිනට් අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා,  මහාචාර්ය ජී. එල්. පීරිස්, පවිත්‍රාදේවි වන්නිආරච්චි, එම්. යූ. එම්. අලි සබ්රි, යන මහත්ම මහත්මීන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන අනුර දිසානායක,කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ද සහභාගි වූහ.

    සිදු කෙරෙන මැතිවරණ හා ඡන්ද විමසීම් ප්‍රතිසංස්කරණ මිශ්‍ර ජන්ද ක්‍රමයට අනුව සිදුකිරීමට කාරක සභාව එකඟ විය. එම මූලධර්මය පදනම් කරගනිමින් පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීම සඳහා ඉදිරි සාකච්ජා පැවැත්වීමටද එහිදී එකඟතාව පළවිය.

    කාරක සභාව හමුවේ සාක්ෂි සහ අදහස් ලබාදීමට ඉදිරි දිනකදී මැතිවරණ කොමිෂන් සභාව සහ පැෆරල් සංවිධානය කැඳවීමට කටයුතු කරන බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    යෝජනා ලබා දෙන අයගෙන් වාචික සාක්ෂි ලබා ගැනීමට කාරක සභාව අදහස් කරන්නේ නම් අදාළ පාර්ශවයන් ඒ සඳහා යථා කාලයේදී කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට කැඳවන බව ද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී කීවේය.

    මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්යභාරය වේ.

  • පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වේ

    පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වේ

    පාර්ලිමේන්තු රැස්වීම් හෙට (22) සහ අනිද්දා (23) යන දිනවලදී පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

    ඒ අනුව හෙට (22) දිනයේදී ශ්‍රී ලංකාවේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගෙන පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    එදින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වෙන් කර ඇති අතර, ඉන්පසු පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

    ඉන්පසු දිනය වන ජූනි 23 වැනිදා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යොජනාවක්ද, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි 02ක් ද රජයේ අත්‍යවශ්‍ය වියදම් දැරීමට සහ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ඉදිරිපත් කර ඇති පරිපූරක ඇස්තමේන්තුවද විවාදයට ගැනීමට නියමිත බව ධම්මික දසනායක මහතා පැවසීය.

    එදින පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කෙරෙන අතර, පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබන බව මහ ලේකම්වරයා සඳහන් කළේය.

  • Covid-19 වසංගතය සහ ‘මරණ දේශපාලනය‘

    Covid-19 වසංගතය සහ ‘මරණ දේශපාලනය‘

    ජීවත් විය යුත්තේ කව්රුන්ද? මිය යා යුත්තේ කව්රුන්ද? මෙය තීරණය කළ හැකි පිරිසක් මේ මිහි මත සිටී. එසේ කිරීමට බලය පමණක් නොව අයිතියක් පවා තිබෙන පිරිසක් සිටී. (අයිතිය යනු අවසානයේදී දැනුම-බලය මගින් නිශ්චය කෙරෙන්නකි). නමුත්, ඔවුන් සෑම විටම එම බලය සහ අයිතිය ක්‍රියාවට නගන්නේ නැත. ඇතැම් විට, අප තවමත් ජීවතුන් අතර සිටින්නේ අපට තවමත් ඔහේ ජීවත් වීමට ඉඩ දී තිබෙන නිසා විය හැකිය. 

    අන් අයගේ ජීවිතය සහ මරණය තීරණය කිරීමට බලය ඇත්තන් හට එම බලය ක්‍රියාවට නැගිය හැක්කේ කවර වාතාවරණයක් තුළද? බොහෝ විට ඒ සඳහා විශේෂ වාතාවරණයක් අවශ්‍ය වේ. ත්‍රස්ත-විරෝධී යුද්ධය, අපරාධ මැඩලීම සහ ප්‍රචණ්ඩ විරෝධතා වැනි දේ මගින් බොහෝ විට එවන් වාතාවරණයන් සැකසේ. එවිට සාමාන්‍ය නීතිය අත්හිටවන ලද කලාප පවා නිර්මාණය කරන්නට හැකි වේ. නීතිය අත්හිටවන ලද විට පවතින්නේ ව්‍යතිරේඛීය තත්ත්වයකි. හරියට නට්සි ජර්මනියේ ගෑස් කාමරවලට යවන තෙක් යුදෙව්වන් රඳවා සිටි කඳවුරු සේය. ඒ කඳවුරු තුළ ගාල් කොට තිබුණේ හුදෙක් ජීවිතය සහ මරණය අතර පවත්නා ශරීර පමණක් බවට පත් කරන ලද මිනිසුන්ය. ජියෝජි අගම්බෙන් ඔවුන්ව හැඳින්වූයේ නග්න ජීවිත ලෙසයි.    

    අගම්බෙන් පෙන්වා දෙන පරිදි, වත්මනෙහි ව්‍යතිරේඛීය තත්ත්වය නොහොත් නීතිය අත් හිටුවන ලද තත්ත්වය සාමාන්‍ය තත්ත්වය බවට පරිවර්තනය වී තිබේ. ඇතැම් විට, දීර්ඝ කාලීන කොරෝනා වසංගතය හමුවේ අගම්බෙන් පැවසූ නීතියෙන් පිටස්තර කලාපය වෙතට අප වේගයෙන් ඇතුල් වෙමින් සිටිනවා විය හැකිය. දැන් ජීවත් විය යුත්තේ කව්රුන්ද, මියෙන්නට හැරිය යුත්තේ කව්රුන්ද යන්න ඉහළ සිට තීරණය කළ හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා නොවේද?           

    ජීව-බලය  

    මෙවන් තත්ත්වයක් නිර්මාණය විය හැකි වූයේ කෙසේද? එය හෙණයක් සේ අහසින් පාත් වූ තත්ත්වයක්ද? නැත. එය නූතන සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ මුල් බැසගෙන තිබෙන තත්ත්වයකි. මේ කාරණය මදක් පැහැදිලි කරන්නට මට ඉඩ දෙන්න.

    යම් යම් මිනිසුන් තව දුරටත් ජීවත් විය යුතුද නැතිනම් මියෙන්නට හැරිය යුතුද යන්න නූතන ලෝකය තුළ තීරණය කෙරෙන්නේ කිසියම් තර්කණයකට අනුවය. මේ සඳහා ඕනෑ තරම් නිදසුන් ඉදිරිපත් කළ හැකිය. ස්ලේවෝයී ශිෂෙක්ගේ “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේ සඳහන් වන එක් නිදසුනක් මෙසේය;

    ‘‘රුමේනියාවේ චව්චෙස්කුගේ පාලන සමයේදී විශ්‍රාමික පුද්ගලයින් කුමන සෞඛ්‍ය තත්ත්වයක සිටියද ඔවුන්ව රෝහල්වලට ඇතුළත් කර නොගන්නා ලදී. මන්ද යත්, ඔවුන් තව දුරටත් කිසි ලෙසකින්වත් සමාජයට ප්‍රයෝජනවත් අයවළුන් ලෙස නොසලකන ලද බැවිනි. ඒ අනුව, මහළු මිනිසුන්ව මියෙන්නට හරින ලද්දේ කිසියම් සබුද්ධික හේතු දැක්වීමකට අනුවය. ප්‍රයෝජනවත් භාවය පිළිබඳ නිර්ණායකය එහිදී තීරණාත්මක විය. ඔවුනගේ ජීවිතවල ඉරණම තීන්දු වූයේ පාලකයින් ප්‍රයෝජනවත් භාවය යන්නෙන් අදහස් කරන ලද්දේ කුමක්ද යන කාරණය මතය. 

    තවත් එවන් නිදසුනක් නම් පසුගිය වසරේදී එක්සත් රාජධානිය තුළ ජීවිතාරක්ෂක සෞඛ්‍ය පහසුකම් යමෙකුට ලබා දිය යුතුද නැද්ද යන්න තීරණය කිරීමේ බලය වෛද්‍ය විශේෂඥයින් තිදෙනෙකුට පැවරීමය. ශිෂෙක් පෙන්වා දෙන්නේ මෙම ප්‍රඥාවන්තයින් තිදෙනාගේ විසඳුම පුද්ගලයින්ගේ ප්‍රයෝජනවත් භාවය පිළිබඳ තර්කණයට අනුව තීරණය විය හැකි බවයි. ධනවාදය තුළ ප්‍රයෝජනවත් භාවය තීරණය වන්නේ ආර්ථික නිර්ණායකවලට අනුව බව අමුතුවෙන් කිව යුතු නැත.                     

    මෙයින් පෙනී යන්නේ මිනිස් ජීවිතවලට ආර්ථික වටිනාකම් ලබා දීම ඉහත කී අධිපති තර්කණයේ මූලික ලක්ෂණයක් වන බවයි. එහිදී සිදු වන්නේ මිනිසුන්ව හුදෙක් දේවල් බවට පරිවර්තනය කිරීමයි. අජීවී දේවල් කළමනාකරණය කරන ආකාරයෙන්ම මිනිසුන්වද කළමනාකරණය කළ හැකිය යන්න එහි අදහසයි. අජීවී දේවල් මෙන් මිනිසුන්ව වර්ගීකරණය කිරීම, ගණනය කිරීම, හැසිරවීම යනාදී භාවිතයන් දැන් කලක පටන්ම ක්‍රියාවට නැගෙමින් පවතී. 

    මිචෙල් ෆූකෝ මේ ක්‍රියාවලිය තේරුම් කළේ ජීව-බලය (bio-power) නම් සංකල්පය ඇසුරිනි. ඔහු එයින් අදහස් කළේ මිනිස් ශරීර සහ ජනගහණය කළමණාකරණය කිරීම ඉලක්ක කොට ගත් බල තාක්ෂණයන්ය. එහිදී මිනිසුන්ව දකිනු ලබන්නේ ශරීර ලෙසය. ජනතාව දකිනු ලබන්නේ ජනගහණය ලෙසිනි. මෙය ධනවාදය සමග කෙලින්ම සම්බන්ධය. ඒ, ෆූකෝ කතා කරන ජීව-දේශපාලනය මගින් මිනිස් ශරීර මනා පාලනයක් යටතේ ධනවාදී ආර්ථික යාන්ත්‍රණය තුළට ඇතුළත් කෙරෙන බැවිනි.

    ෆූකෝට අනුව නූතනයේ අධිකරණය, සිර ගෙවල් යනාදිය පමණක් නොව මානසික රෝහල්, වෛද්‍ය විද්‍යා ආයතන යනාදිය පවා ක්‍රියාත්මක වන්නේ මිනිස් ශරීර මතට බලය යෙදවීමේ මාධ්‍යයන් ලෙසයි. එබැවින්, දැන් බලය ගලා එන්නේ පැරණි රාජාණ්ඩු යුගයේ මෙන් එක් කේන්ද්‍රයකින් නොවේ. බලය සෑම තැනකම පවතී. නොයෙක් තැන්වලින් බලය ගලා ඒ. එම බලයේ කාර්යය වන්නේ ශරීර විනයගත කිරීමයි. මෙකල පාලනයේ ප්‍රධාන ආකාරය වන්නේ එසේ විනයගත ශරීර නිර්මාණය කිරීමයි. 

    නීතියේ පරිබාහිරත්වය සහ මරණයේ බලය

    කෙසේ වුවත්, ෆූකෝගේ වැඩි අවධානයක් යොමු වූයේ නූතන සමාජවල නීතිය සහ ආයතන මගින් මිනිස් ශරීර පාලනයට ලක් කෙරෙන්නේ කෙසේද යන ප්‍රශ්නය ගැනය. නමුත්, එම ප්‍රශ්නය සමග පොරබදිමින් සිටින විට ඔහුට මග හැරුණු වැදගත් ක්ෂේත්‍රයක් තිබෙන බව පසුකාලීන චින්තකයින් පෙන්වා දුන්හ. එනම්, නීතියෙන් පරිබාහිර කලාපයයි. නොඑසේනම්, යම් යම් සුවිශේෂී තත්ත්වයන් තුළ නීතිය අත්හිටුවනු ලබන කලාපයයි. ‘‘අගම්බෙන් ව්‍යතිරේඛීය තත්ත්වය‘‘ යනුවෙන් හැඳින්වූයේ එයයි.

    ව්‍යතිරේඛීය තත්ත්වය තුළ නීතිය මගින් කෙරෙන පාලනය එතරම් අදාළ වන්නේ නැත. ඒ වෙනුවට නීතියක් නැතිකමම නීතිය බවට පත්  වේ. එහිදී මිනිස් ශරීර විනයගත කිරීමෙන් ඔබ්බට ගොස් අත්තනෝමතික ලෙස ශරීර විනාශ කිරීම සඳහාද බලය ක්‍රියාත්මක කරන්නන් හට සුජාතභාවයක් ලැබේ.          

    ඇචීල් ම්බෙම්බේ සාමාන්‍ය නීතිය අත්හිටුවනු ලබන කලාපයක් පිළිබඳ අගම්බෙන්ගේ තර්කය තවත් ඉදිරියට රැගෙන යයි. ඔහු තර්ක කරන්නේ නූතන යුගයේදී මිනිස් ජීවිත මරණයේ බලයට යටත් කරනු ලැබ ඇති බවයි. එසේම, එම තත්ත්වය තේරුම් කිරීම සඳහා ෆූකෝගේ ජීව-බලය පිළිබඳ සංකල්පය ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දේ. ඒ වෙනුවට ම්බෙම්බේ හඳුන්වා දෙන නව සංකල්පය වන්නේ මරණ-දේශපාලනයයි (necro-politics; ‘necro’ යන ග්‍රීක වචනයේ තේරුම මරණයයි). 

    මිනිස් ජීවිත මරණයේ බලයට යටත් කිරීමේ දේශපාලනය අලුත් දෙයක් නොවේ. කව්රුත් පාහේ කතා කරන නට්සි ජර්මනියේ යුදෙව් සංහාරය ඒ සඳහා ප්‍රමුඛ නිදසුනකි. හැනා අරෙන්ඩ් පෙන්වා දෙන පරිදි නට්සිවාදය වනාහී නූතන බටහිර ශිෂ්ටාචාරය තුළින්ම ප්‍රභවය ලැබූවකි. මන්ද යත්, ශිෂ්ටාචාරයේ නාමයෙන් කරන මිනිස් සංහාරයන් යුරෝපීය යටත් විජිතවාදයේ ප්‍රධාන ගති ලක්ෂණයක් වූ බැවිනි. නට්සිවාදය විසින් භාවිත කෙරුණු සංහාරක තාක්ෂණයන් වනාහී යටත් විජිත තුළ කාලාන්තරයක් තිස්සේ අත් හදා බැලීමට ලක්ව තිබූ දේය.

    අරෙන්ඩ්ව උපුටා දක්වමින් ම්බෙම්බේ තර්ක කරන්නේ යුරෝපීය යටත් විජිතවාදියා හට යටත් විජිතය යනු නීතියෙන් පරිබාහිර කලාපයක් වූ බවයි. එක් අතකින් යටත් විජිතවාදියා ඔහුගේ මව් රට තුළදී නූතන නීතියට යටත්ය. එම නීතිය පදනම්ව ඇත්තේ සමාජ සම්මුතිය පිළිබඳ ප්‍රබන්ධය මතය. එම නීතිය මූර්තිමත් කෙරෙන්නේ නූතන ආයතන මගිනි. ඒවායෙහි ක්‍රියාකාරීත්වයට යටත් විජිතවාදියා යටත්ය.

    ෆූකෝ අවධානය යොමු කළේ එකී නූතන ආයතනවල ක්‍රියාකාරීත්වය කෙරෙහිය. එම ආයතන ඔස්සේ මිනිස් ශරීර මත ජීව-බලය යෙදවීම ගැන ඔහු කතා කළේය. එමගින් ශරීර විනයගත කෙරෙන ආකාරය ඔහු පෙන්වා දුන්නේය. නමුත්, විජිතවාදියාගේ මව් රට තුළදී එසේ නූතන නීතිය සහ ආයතන සකස් වීමට සමාන්තරව යටත් විජිතය තුළ සිදු වූයේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව එකී මව් රටේ නීතිය බල පවත්වන්නේ නැති කලාපයක් නිර්මාණය වීමයි. නීතිය අත්හිටුවනු ලැබූ කලාපයක් නිර්මාණය වීමයි. ම්බෙම්බේට අනුව, එම කලාපය තුළ ක්‍රියාත්මක වන්නේ මරණ-දේශපාලනයයි. ඒ තුළ ඕනෑම දෙයක් සිදු විය හැකිය.                        

    ධනවාදය තුළ ඉවතලන ජීවිත

    එපමණක් නොව, විජිතවාදියාගේ මව් රට තුළ පවා එවන් ව්‍යතිරේඛීය තත්ත්වයන් නිර්මාණය කෙරෙන බව අප මෙහිදී අමතක නොකළ යුතුය. එය මනාව වටහාගත හැක්කේ ම්බෙම්බේගේ මරණ-දේශපාලනය ධනවාදය සමග දක්වන සම්බන්ධය  විග්‍රහ කර ගැනීමෙනි. ඊව් ඩේරියන්-ස්මිත් වත්මන් කොරෝනා වයිරස් වසංගතය පසුබිම් කොටගෙන එය කදිමට පහදයි.

    ඇය වසංගතය තුළ මරණ-දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය ගැන නිදසුන් කිහිපයක් ගෙන හැර දක්වයි. ඇයට අනුව, එක්සත් ජනපදයේ වසංගතය පැතිර යන විට ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඩෑන් පැට්‍රික් විවෘතවම ප්‍රකාශ කොට ඇත්තේ ආර්ථිකය බිඳ වැටීම වැලැක්වීම සඳහා මහල්ලන් මිය යාමට සූදානම් විය යුතු බවයි. ට්‍රම්ප් පරිපාලනය ආර්ථිකයේ පැවැත්ම මිනිස් ජීවිතවල ආරක්ෂාවට වඩා වැදගත් කොට සැලකීමට කිසිසේත්ම පැකිලුණේ නැත. ශිෂෙක් උපුටා දක්වන වසංගතය සමයේ ට්‍රම්ප්ගේ කුප්‍රකට ප්‍රකාශයක් මෙසේය; 
    “මගේ පණිවිඩය මෙයයි. අපි නැවත වැඩට යමු; අපි නැවත ජීවිතය පටන් ගමු. අපි ඒ ගැන බුද්ධිමත්ව වැඩ කරමු. අප අතර සිටින වයස 70 ට වැඩි පුද්ගලයන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගනිමු.” 

    ට්‍රම්ප්ගේ ප්‍රකාශය 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන කළ ප්‍රකාශයක් සමග මුළුමනින්ම සමානය. “තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න.” මෙහි අදහස අන් කිසිවක් නොව රාජ්‍යය තව දුරටත් පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම භාර ගන්නේ නැති බවයි. (ආරක්ෂාව යන්නට ආර්ථිකමය ආරක්ෂාවද ඇතුළත් වන බව සිහි තබා ගන්න). මෙය නව-ලිබරල්වාදී ලෝක දැක්ම සමග සපුරාම අනුගත වන ස්ථාවරයකි.    

    කෙසේ වුවත්, මිනිස් ජීවිතවලට වඩා ආර්ථික ක්‍රියාකාරීත්වයේ පැවැත්ම වැදගත් කොට සැලකීමේදී ට්‍රම්ප් තනි වූයේ නැත. ඔහුගෙන් පසුව බලයට පත් ජෝ බයිඩන්ද ඔහුට වඩා මෘදු වදනින් පවසමින් සිටින්නේ එයමය. “බයිඩන් යනු මානුෂික මුහුණුවරක් සහිත ට්‍රම්ප්ය” යන ප්‍රකාශය වෙනස් කරමින් ශිෂෙක් පවසන්නේ “සැබවින්ම ට්‍රම්ප් යනු මානුෂික මුහුණක් සහිත බයිඩන්” යැයි කීම වඩා උචිත බවයි! එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන්, බ්‍රසීලයේ ජයීර් බොල්සනාරෝ, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි, රුසියාවේ ව්ලැඩිමීර් පුටින්, බෙලාරූස්හි ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඇතුළු දක්ෂිණාංශික ජාතිකවාදී නායකයින් පෙළක්ම අනුගමනය කළේ ඇතැම් ජන කොටස් ආර්ථිකයේ පැවැත්ම වෙනුවෙන් මිය යාමට සූදානම් විය යුතුය යන නව-ලිබරල් ප්‍රවේශයම මිස අන් කිසිවක් නොවේ. 

    ඒ සෑම තැනකම පාහේ වසංගතය පාලනයෙන් ගිලිහී ගොස් අති විශාල පිරිසක් මරණයට ගොදුරු විය. දැන් බ්‍රසීලයේ සිට ඉන්දියාව දක්වා “පුංචි ට්‍රම්ප්ලාගේ” පාලනය අභියෝගයට ලක්ව තිබෙන්නේ වසංගතයෙන්, සාගින්නෙන් සහ දුර්භික්ෂයෙන් බැට කෑ ලක්ෂ ගණන් ජනයා පාරට බැසීමට ඉදිරිපත් වීම නිසාය. ඇතැම් විට ඔවුන් අපට සංඥා කරන්නේ අපගේ රටේ නුදුරු අනාගතය විය නොහැකිද?                                                
    වසංගත ධනවාදය සහ පන්ති දේශපාලනය

    ඊව් ඩේරියන්-ස්මිත් නිවැරදිව පවසන පරිදි දැන් වසංගතය පසුබිම් කොටගෙන ලොව පුරා මරණ-දේශපාලනය වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ විධායකයේ තීන්දු තීරණ මගින් ඇතැම් ජන කොටස් මරණයට අභිමුඛ කරනු ලැබීම මගින්ය. එසේ මරණයට අභිමුඛ කරනු ලබන්නේ කව්රුන්ද? තව දුරටත් ආර්ථිකමය ලෙස ප්‍රයෝජනවත් යැයි සැලකිය නොහැකි අයවළුන්ය. එනම්, ධනවාදයේ දැක්මට අනුව “අතිරික්ත ජනගහණය” යැයි සලකනු ලැබෙන අයවළුන්ය. තව දුරටත් සූරා කෑමට තරම් දෙයක් නොමැති වූත්, රාජ්‍යයේ සුභසාධන පහසුකම් මත පමණක් රැඳී සිටින්නා වූත් අයවළුන්ය. 

    මගේ අදහස නම් මේ කාරණයේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය තරමක් වෙනස් බවයි. එනම්, “අතිරික්ත ජනගහණයේ” එක් කොටසකගේ තව දුරටත් ශ්‍රමය සූරා කෑමට නොහැකි වුවත් ඔවුනගේ ජන්දය මිළදී ගත හැකි හැකි වීමයි. මාක්ස්ගේ නිර්වචනය අනුව නිර්ධනයා සතුව ඇති එකම දෙය වන්නේ අළෙවි කිරීමට ඇති ඔහුගේ/ඇයගේ ශ්‍රම ශක්තියයි. ශ්‍රී ලංකාවේ අළෙවි කිරීමට තරම් ශ්‍රම ශක්තියක් නොමැති ඇතැම් “නිර්ධනීන්” හට අළෙවි කිරීමට ජන්දයක් තිබේ! එවන් “නිර්ධනීන්” හට වැක්සීනය ගැස්සවීම සඳහා ඔවුනගේ දේශපාලන අනුග්‍රාහකයින් මෙතරම් පොරයක යෙදී සිටින්නේ එබැවිනි!!
    අවසන් වශයෙන් ආර්ථිකයේ පැවැත්ම වෙනුවෙන් දිවි පරදුවට තබන්නට බල කෙරී ඇත්තේ සමාජයේ වඩාත්ම අව-වරප්‍රසාදිත පන්තීන්වලට බව තව දුරටත් රහසක් නොවේ. රටම වසා දමා තිබියදී පවා ඇඟලුම් කම්හල් විවෘතව තැබීම මගින් සංකේතවත් වන්නේ එයයි. හෙදියන්ට සහ සෙසු සෞඛ්‍ය සේවකයින්ට බෙදනු ලබන්නේ වෛද්‍යවරුන්ට බෙදන හැන්දෙන් නොවේය යන විවේචනය ඇසෙන්නට පටන්ගෙන තිබේ. දැන් සංචරණය සඳහා වුවත් පන්තිමය තත්ත්වය අදාළ වේ. වඩාත්ම සංචරණය සීමා වී ඇත්තේ පොදු ප්‍රවාහණය මගින් පමණක් ගමනාගමනයේ යෙදෙන ජනයාගේය. 

    දැනටමත් කුසගින්නේ පෙළෙන ජනයාගේ ස්වයං-සිද්ධ විරෝධතා තැනින් තැන ඇරඹී තිබේ. ජීවනෝපාය අහිමි වූ ධීවරයින්ගේ උද්ඝෝෂණ ඇරඹෙමින් තිබේ. හදිසියේ රසායනික පොහොර තහනම් කිරීම හමුවේ කබලෙන් ලිපට වැටුණු ගොවි ජනයාගේ දුක් ගැනවිලි තවදුරටත් සැඟවිය නොහැකිය.

    මේ සියල්ල සමාජ-ආර්ථික සාධක මුල් කොටගත් විරෝධතාය. වසංගතය හමුවේ සාමාන්‍යකරණයට ලක්ව ඇති ව්‍යතිරේඛීය තත්ත්වය තුළ වඩාත්ම පීඩනයට ලක් වූවන්ගේ විරෝධතාය. ම්බෙම්බේගේ වචනයෙන් කිව හොත් මරණ-දේශපාලනයේ ගොදුරු බවට පත් වූවන්ගේ විරෝධතාය. එම විරෝධතා කතිකාමය ලෙස පන්ති දේශපාලනයක් ලෙස සුසම්බන්ධ කිරීමේ හැකියාව තවමත් විවෘතව පවතී.                                               

    සුමිත් චාමින්ද 

  • පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් හෙට රැස්වේ

    පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් හෙට රැස්වේ

    ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබ තීරණය කිරීම සහා පාර්ලිමේන්තු කටයුතු පිළිබ කාරක සභාව හෙට (21) පෙරවරු 9.30 ට එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

    මේ අතර ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් ලබන 22 වැනිදා පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ.  

    එයට අමතරව රජයේ මුදල් කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 11.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

     එමෙන්ම මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට පස්වරු 2.30 ට එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත බව ද දසනායක මහතා පැවසීය.

    මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අදාළව මහජන යෝජනා ලබා ගැනීම සදහා පසුගිය ජුනි මස 19 වැනිදා දක්වා කාලය ලබාදී තිබුණි.

  • ‘රනිල් – සජිත් ගැටුම‘ මෙතැනින් කොතැනටද ?

    ‘රනිල් – සජිත් ගැටුම‘ මෙතැනින් කොතැනටද ?

    මන්ත්‍රී ධූරය අහිමි කර ගන්නේ නම්, එහි වරද ඔබගේම ය. මන්ත්‍රීවරුනි, අතහරින්න එපා. නිවැරදි මාවතේ උත්සහ කර බලන්න! සටන් කරන මිනිසුන්ට දිනන්නට පුළුවන් ය.

    රජිත කීර්ති තෙන්නකෝන්

    මනාප ක්‍රමය තුල ලැයිස්තුවේ ඊලඟට සිටින්නා සෑම විටම තමන්ගේ අවස්ථාව එනතුරු බලා සිටීම අලුත් දෙයක් නොවේ. අලියා, පොහොට්ටුව, ද්‍රවිඩ – මුස්ලිම් පක්ෂ, ලොකු – කුඩා ඕනෑම පක්ෂයක මහජන නියෝජිතයින්ට ඕනෑම මොහොතක විනය චෝදනා එල්ල වී තනතුරු අහිමි කළ හැකිය.

    අද එජාපට මන්ත්‍රීවරුන් 2300 ක් ඇත. එයින් 750 කට වැඩි පිරිසක් මන්ත්‍රී ධූර රැකගැනීමටත්, තවත් පිරිසක් ඒ මන්ත්‍රීධූර ලබා ගැනීමටත් බලා සිටින්නේය. බැසිල් – විමල් ගැටුම එවැනිම තත්වයක් පොහොට්ටුවට ඇති කළ හැකිය.

    තනතුරින් ඉවත් කිරීම මන්ත්‍රීවරුන්ටත් ඔවුන්ට ඡන්දය දුන් අයටත් එක සේ වැදගත්ය. පුංචි අත් වැරද්දක්, නොතකා හැරීමක්, විසංවාදයක්, කේලමක් තනතුරක් අහිමි කරන යුගයක, එය රැක ගැනීමේ ක්‍රමය දේශපාලනය කරන සැමට පාඩම කි.

    තංගල්ල, නාවලපිටිය, වැලිගම ඇතුළු පළාත් ආයතන කිහිපයක සභාපතිවරු ඉවත් කර ඇත. එජාපය (සජබ) ට බලය හිමිව තිබූ පළාත් පාලන ආයතන රැසක නව බල පොරයක් නිර්මාණය වී ඇත. සමගි ජන බලවේගයට සහාය දැක්වූ පිරිසක් (නාමිකව හෝ) නැවත එජාපයට යනු ඇත. මන්ත්‍රී ධූර අහිමි වන පිරිසගෙන් කොටසක් එජාපය තම පරම සතුරා බවට පත් කර ගනු ඇත.

    රනිල් – සජිත් බල අරගලය තම තනතුර, දේශපාලන ජීවිතය අවසන් කළ බව සිතන තවත් විශාලම පිරිසක් ලැයිස්තුවට එක් වනු ඇත. ඉතිහාසය පුරාම කැරළිකරුවන්, ඉඟුරු කල්ලි, දෝෂාභියෝග, නායකත්ව සටන්, පුද්ගලික ඉදිරිවාදිකම් මහජන නියෝජිතයින්ට තනතුරු අහිමි කර ඇත. අද සිදුවෙමින් ඇත්තේ ටිකක් වෙනස් ක්‍රියාවකි.

    රනිල් – සජිත් බල අරගලය තම තනතුර, දේශපාලන ජීවිතය අවසන් කළ බව සිතන තවත් විශාලම පිරිසක් ලැයිස්තුවට එක් වනු ඇත. ඉතිහාසය පුරාම කැරළිකරුවන්, ඉඟුරු කල්ලි, දෝෂාභියෝග, නායකත්ව සටන්, පුද්ගලික ඉදිරිවාදිකම් මහජන නියෝජිතයින්ට තනතුරු අහිමි කර ඇත. අද සිදුවෙමින් ඇත්තේ ටිකක් වෙනස් ක්‍රියාවකි.

    ප්‍රශ්නය හා අතීත කතාව

    එජාපයෙන් තේරී පත් පලාත් පාලන නියෝජිතයින් බහුතරය පසුගිය මහා මැතිවරණයේ දී සජබ ට සහාය දුන් නිසා එජාපය 3% ක වැටුණේය. ඔවුන් අතරින් 10 කට ආසන්න පිරිසකට විනය පරීක්ෂණ පවත්වා තනතුරු අහිමි කර ඇත. 69 ක් සාමුහික අධිකරණ ක්‍රියාමාර්ගයකින් පරාජය වී ඉවත් කිරීමේ නිවේදනයට එජාපය මහ ලේකම් අත්සන් තබා ඇත.

    ගම්පොල නඟර සභාවේ සභාපති සමන්ත අතුළු පිරිසක් නැවත එජාපයට එක් වි තම තනතුර රැකගෙන ඇත. එම අවස්ථාව අතහැර දැමූ තංගල්ල සභාපතිවරයාට සියල්ල අහිමි වී ඇත. කලක් රනිල් විරෝධී සටනේ පෙරගමන්කරුවෙකු වූ, ‘රනිල් එපා‘ යැයි නිසාම පක්ෂ තහනමට ලක් වූ පාලිත රංග බණ්ඩාර මහ ලේකම්වරයාගේ පරණ කතා සජබ සමාජ මාධ්‍ය කණ්ඩායම නැවත පළ කරමින් සිටී.

    නාටක රැසකි. නඩු ගිය එජාපයෙන් මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී ආසන රැක ගැනීමට අවස්ථාවක් තිබුණේ ද? ඉතිරි පිරිසට තනතුරු අහිමිවිවේ ද? මේ ලිපිය ඉතිහාසයේ තවත් දුර්වලම විපක්ෂයක් බිහි කළ එජාප – සජබ ගැටුම ගැන නොවේ. හෙට (පෙහොට්ටුව ද ඇතුළු) ඕනෑම මහජන නියෝජිතයෙකුට අදාල විය හැකි ‘ඉවත් කිරීමේ ව්‍යවහාරය ගැන ය.

    පාර්ලිමේන්තු, පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීම/ඉවත් කිරීම/තනතුර අහිමි කිරීම පිළිබඳ ඇත්තේ එකම නීතිය කි. ව්‍යවහාරයකි. එසේ නම්, (පක්ෂ මාරු කරන) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තනතුර රැකෙන්නටත්, පොඩ්ඩන්ට මන්ත්‍රී ධූරය අහිමිවන්නටත් හේතුවක් නැත. තනතුර අහිමි වන්නේ විනය පරීක්ෂණ, අධිකරණ ක්‍රියාදාමයේ දී සිදුවන ‘කරුණු ඉදිරිපත් කිරීමේ හා අවස්ථාවට මුහුණදීමේ‘ වැරදි නිසාම ය.

    හේතුවක් ඇතිව හෝ නැතිව (විනය පරීක්ෂණයකින් වරදකරු වී හෝ නොවී) පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම/තහනම් කිරීම, පක්ෂයෙන් ඉවත් කිරීම හෝ වෙනත් කරුණු මත පක්ෂ ලේකම්වරයෙකු නිකුත් කරනු ලබන ලිපියක් ලැබුණු විට අදාළ මන්ත්‍රීවරයා එයට එරෙහිව (දිසා) අධිකරණයේ පිහිට පැතිය හැකිය.

    ලේකම්වරයා ගේ ලිපියෙන් දින 21 යාමට පෙර තහනම් නියෝගයක් ලබා සිය පුටුවට වෙනත් අයෙකු පත් කිරීම වලක්වා ගත හැකිය. එසේ රැකගත්, රැකගෙන සිටින මන්ත්‍රීවරු රැසකි. තහනම් නියෝගයක් ලබා ගත නොහැකි නම්, මහ ලේකම් ගේ ලිපියට අනුව, දින 21 කට පසුව මැතිවරණ කොමිසම අනිවාර්යයෙන්ම අලුත් මන්ත්‍රීවරයා ගැසට් කළ යුතුමය. (එසේ නොවූ අවස්ථාවක මැතිවරණ කාර්යාලයට එරෙහිව එක් මහ ලේකම්වරයෙක් නඩුවක් පවා කෙටුම්පත් කළේය. එය දැනගත් විගසම නව මන්ත්‍රීවරයා ගැසට් කිරීමෙන් අර්බුදය නිමා විය)

    1995 කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූරය හේතුවෙන් මතු වූ ‘සිරිවර්ධන එදිරිව ෆාරුක්‘ ශ්‍රේෂ්ඨාධිකරණයේ 826/94 නඩු තීන්දුව දින 21 නීතිය පැහැදිලි කරයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී ෆාරුක් ට තනතුර අහිමි වූ අතර, දින 21 ක් තුල තහනම් නියෝගයක් ලබා ගැනීමට ෆාරුක්ට නොහැකි විය. (තහනම් නියෝගය ලැබුණේ 22 වන දිනයේ දී ය.) එවිට මැතිවරණ දෙපාර්තමේන්තුවේ එදා සිටි සිරිවර්ධන මහතා පුරප්පාඩුවට වෙතන් මන්ත්‍රීවරයෙකු ගැසට් කළේය.

    දින 21 කට පෙර තහනම් නියෝගයක් ගැනීම ‘අමාත්‍යමය තීරණයක්‘ බැවින් එය සිදු නොවන තැන තමන්ට නව සභිකයා පත් නොකර සිටීමට බලයක් නොමැති බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියූ අතර, මන්ත්‍රී ෆාරුක් නඩුවෙන් පැරදුණේය.

    නීතිය අතිශයින්ම පැහැදිලි හා නිරවුල් ය. මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීම වැලැක්වීමට නම් දින 21 ක් තුල අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය ය. නමුත්, යම් පලාත් පාලන මන්ත්‍රීවරයෙකු ගේ ධුරය අහිමි කරනු ලැබු විට එයට විරුද්ධව පලාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට (උදා- ප්‍රධාන අමාත්‍යවරයාට) නැතිනම් අද තත්වය අනුව ආණ්ඩුකාරවරයාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එවිට සිදුවන්නේ කුමක්දැයි අවශ්‍ය නම් කෙනෙකුට අවශ්‍ය නම් තනතුර අහිමි කරන මන්ත්‍රීවරයෙකුට දැන් පරීක්ෂා කර බැලිය හැකිය.

    ඉතා මෑතක දී මනෝ ගනේෂන් ගේ පක්ෂයේ (ඉනිමග) උඩපලාත ප්‍රා.සභාවේ මන්ත්‍රී කනගරත්නම් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කළේය. කනගරත්නම් නඩුවක් පැවරීය. එක දවසකින් හෝ දෙකකින් ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් විය. කනගරත්නම් අදටත් උඩපලාත සභාවේ මන්ත්‍රීවරයෙකි. මනෝ ගේ පක්ෂයේම මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රී විග්නේෂ්වරන් සිය ගේ තනතුර රැකගන්න අභියාචනාධිකරණයට ගියේය. දැන් ඔහුගේ තනතුරට මහයියාවේ විමලචන්ද්‍රන් පත්ව ඇත. අභියාචනාධිකරණ නඩුව තවම විභාගයට ගෙන හෝ නැත.

    මනෝ ගේ පක්ෂයේ ම පන්විල ප්‍රා.සභාවේ විජේන්ද්‍රන් කිසිදු අධිකරණයට ගියේ නැතිවම තනතුර අහිමි කර ගත්තේය. අනෙක් මෑතම උදාහරණය මඩකලපුවෙනි. ප්ලොට් සංවිධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ (ගෙය) සන්ධානගත පක්ෂයකි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එම පක්ෂයේ මඩකලපුව මන්ත්‍රී විලේන්ද්‍රන් මහතා ආණ්ඩුව සමඟ ඡන්දය දුන් අතර ඔහුගේ සමීපතම ආධාරකරුවන් වූ පලාත් පාලන නියෝජිතයින් සිව් දෙනෙකු විනය පරීක්ෂණයක් හෝ තියන්නේ නැතිව නෙරපා හරින්නට ද්‍රවිඩ සන්ධානය කටයුතු කළේය. එයට යාපනය මහාධිකරණයේ නඩුවක් පැවරුණි. ලිඛිත විරෝධතාවයෙන් පසුව ද්‍රවිඩ සන්ධානය අවම වශයෙන් අධිකරණයට නීතිඥයෙකු හෝ යොමුු කළේ නැත. එම මන්ත්‍රීවරුන් සිව් දෙනාගෙන් තිදෙනෙකුගේ මන්ත්‍රී ධූර දැන් රැකී ඇත. අනෙක් මන්ත්‍රීවරයාගේ තීන්දුව ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    සමගි ජනබලවේගයට සහාය දුන් එජාප මන්ත්‍රීවරුන් ගේ තනතුරු අහිමි වූ නමුත් එකම ආකාරයේ, එකම සිද්ධිවලට ඉනිමග, ගෙය ලකුණින් තරඟ කළ අය ගේ තනතුරු රැකී ඇත! විනය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් තාර්කික ප්‍ර වේශයක් ගත් සියළු දෙනාගේ මන්ත්‍රී ධූර රැකී ඇත!

    ‘‘අපේ මන්ත්‍රී ධූර රැකගත හැකිද?‘‘

    පිළිතුර ‘ඔව්‘ යන්නය. දැන් නඩුවෙන් පැරදී ඇති 72 ත් විනය පරීක්ෂණයෙන් වරදකරු වී නියමිත කාලය තුල අධිකරණයට නොගිය පිරිසත් හැර අන් සියල්ලගේම මන්ත්‍රී ධූර රැක ගත හැකිය. සූරියවැව මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ සිද්ධියේ දී ඔහුගේ තනතුර රැකුණේ නීතිඥ ගුණරත්න වන්නිනායක, අනුරුද්ධ ලියනගේ, කොල්ලුරේ ඇතුළු පිරිස නිසාය.

    හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න කෙහෙල්ඇවරිය පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක ගේ තනතුරු අහිමි කළේය. එයට පෙර උසාවියට ගොස් එජාප මන්ත්‍රීවරුන්ගේ තනතුරු රැක දුන්නේ ය. දේශපාලන පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ තනතුර රැකගන්නට මම පාර කියා දුන්නෙමි. මේ ගැන විශේඥතාව සහිත පරිපාලන සේවයේ නිලධාරීන් රැසකි.

    2015 බල පෙරළියට පාර කැපූ 2012 ඔක්තෝබර් 18 හයිඩ් පාර්ක් රැළිය නිසා පක්ෂ තහනමට ලක් වූ අශෝක් අබේසිංහ, පාලිත රංගේබණ්ඩාර හා පාලිත තෙවරප්පෙරුම ගේ මන්ත්‍රී රැකුනේය. අද ඒ පාලිත රංගේ බණ්ඩාර මහ ලේකම්වරයා වී එජාප මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට අත්සන යොදන්නේය.

    2015 බල පෙරළියට පාර කැපූ 2012 ඔක්තෝබර් 18 හයිඩ් පාර්ක් රැළිය නිසා පක්ෂ තහනමට ලක් වූ අශෝක් අබේසිංහ, පාලිත රංගේබණ්ඩාර හා පාලිත තෙවරප්පෙරුම ගේ මන්ත්‍රී රැකුනේය. අද ඒ පාලිත රංගේ බණ්ඩාර මහ ලේකම්වරයා වී එජාප මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට අත්සන යොදන්නේය. සිරිකොත තාප්ප පෙරලූ, කුරුලු පොළු සටන් කළ, කෘත්‍යධිකාරි මණ්ඩලය තියන්නට පාරට තාර දැමූ දිනයේ කරු – සජිත් වෙනුවෙන් සටන් කළ කිසිදු මන්ත්‍රීවරු ද තනතුරු රැක ගත්තේය.

    නීතිඥ ජගත් ලියනාරච්චි ගේ ශාස්ත්‍රීය පරිචය, ශිරාල් ලක්තිලක ගේ සටන් අත නොහැරීමේ ගුණය නිසාය.2020 මහා මැතිවරණ සමයේ එජාපය හා සජබ අතර මන්ත්‍රීවරු රැක ගැනීමට තිබුණේ දැවැන්ත සටනකි.

    එජාපය තෝරාගත් පිරිසකට විනය පරීක්ෂණ ලිපි යැවීය. පක්ෂයෙන් ඉවත් කිරීමේ ලිපි ද යැවීය. සජබ මේ මන්ත්‍රීවරුන්ගේ මොරාල් නංවන්නට එම ලිපි මත පදනම්ව නඩු පැවරීය. විනය පරීක්ෂණයකට ලිපියක් ලැබුණු පමණින් තහනම් නියෝගයක් ඉල්ලීම ‘දේශපාලනිකව තාර්කික වූ නමුත්‘ මගේ අදහසට අනුව නම් ‘ජම්ප් ද ගන්‘ පන්නයේ (අනුවණ) ක්‍රියාවකි. වැරදි දේශපාලන තීරණයකි. නීතිය වගේම දේශපාලන සාධක ද එහි දී සැලකිය යුතුව තිබුණි. කිසිදු මන්ත්‍රීවරයෙකු එජාපයෙන් නෙරපා හැර නව මන්ත්‍රීවරුන් පත් කර නොතිබූ නිසා සජබ නීතිඥයින් ඉල්ලා සිටි ‘තහනම් නියෝගය‘ ලැබුණේ නැත. සැබවින්ම, එවැනි තහනම් නියෝගයක් ලබාදීමේ පදනමක් ද නොතිබූ අතර, ඉතිහාසයේ කිසිම දවසකට විනය පරීක්ෂණ ලිපියකට දිසා අධිකරණයක් තහනම් නියෝග ලබාදී ද නැත. මහා මැතිවරණය අවසන් විය. සජබ ට සහාය දුන් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර රැක ගැනී කොළඹ පලාත් අභියාචන මහාධිකරණය ද, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩු පැවරුණි. දැන් එම නඩු දෙකම පරාජයට පත්ව ඇත.

    දිසා අධිකරණයේ තහනම් නියෝග ලබා ගැනීම නීතිඥයින් සතු කටයුත්තකි. නමුත්, එය දේශපාලන තීරණයක් වූ වේ නඩුවේ ප්‍රමුඛ නීතිඥයින් දිසා අධිකරණවලට යාමට දැක්වූ නොකැමැත්ත නිසා ය. (සිය රියදුරා වෙනුවෙන් නීතිඥ කබාය දමාගත් ලලිත් – ගාමිණි යුවල මට සිහි වේ) ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ තාක්ෂණික දෝෂ තිබූ බව කියවේ. නඩුවේ ලේඛනගත නීතිඥයා ම දිවුරුම් ප්‍රකාශ අත්සන් කිරීම වැනි මුලික ව්‍යාකාරණයන් වැරදීම පුදුම සහගත ය. මේ නඩු කටයුත්ත පිළිබඳ සැබෑ උනන්දුවක්, වෘත්තීය භාවයක් තිබුනාදැයි මට සැකය.

    ප්‍රකට සරත් අමුණුගම නඩු තීන්දුව (SC SPL.(E) NO. 4/99) මගින් මන්ත්‍රී ධූරය රැක ගැනීමේ ක්‍රමය පැහැදිලිව කියා ඇත. සමහර මන්ත්‍රී ධූර රැකුණු අන්දම ම විහිළු සහගත ය. මාතලේ මන්ත්‍රී ඇලික් අළුවිහාරේ මිය යන විට එජාප ලැයිස්තුවේ ඊලඟට සිටි නන්දිමිත්‍ර ඒකනායක යි. නන්දිමිත්‍ර ඒ වන විට එජාපයෙන් ඉවත්ව, පුටුව ලකුණෙන් මධ්‍යම පළාත් සභාවට පත්වූ මන්ත්‍රීවරයෙකි. ඇලික් මිය ගිය පසුව, 2009 ජූනි 9 දින නන්දිමිත්‍ර නම් ශ්‍රීලනිප පලාත් සභා මන්ත්‍රීවරයා එජාප මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ගියේය. නන්දිමිත්‍ර ට මන්ත්‍රීකම ලැබීම වලක්වන්නට එජාපයට හැකිවූවේ නැත.

    මම මේ කථාවෙන් කියන්නේ, තේරී පත්වන මන්ත්‍රීවරයෙකු ගේ තනතුර අහිමි කිරීම කොතරම් දුෂ්කර කාර්යයක් ද යන්න ය. නමුත් ජූනි 18 (අද) කෑගල්ල නගර සභාවේ ලක්ෂමන් දිසානායක ගේ නඩුව ද කොළඹ දිසා අධිකරණය එජාපයට ගාස්තු ගෙවීමට යටත්ව නිෂ්ප්‍රභ කරන ලදී.

    එජාපය මන්ත්‍රීවරුන් එකිනෙකා නිශ්චිතව ඉවත් කරන විට, සජබ ට ඩයනා ගමගේ ඉවත් කරගන්න නොහැකිවීම තේරුම් ගත යුත්තේ කෙසේ ද? 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් ඩයනා ගමගේ පක්ෂයෙන් ඉවත් කළ හැකි බව කියමින් මම 2020 නොවැ. 01 දීර්ඝ ශ්‍රාස්තීය ලිපියක් පළ කළෙමි. එහි අවසන් වැකිය මෙසේය. ‘‘පක්ෂ තීන්දුවලට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් ඉවත් කළ නොහැකි ය යන්න මිත්‍යාවකි. නමුත්, එය සිදු කිරීමට නම්, මා පෙර කී ලෙසම ‘‘විශේෂඥතාව සොයා ගත යුතු අතර, වෘත්තීය භාවය ස්ථාපනය කර ගත යුතු‘‘ ව ඇත.

    එක රොත්තට මන්ත්‍රීවරු 72 ක්, සමහරවිට 750 ක් ඉවත් කිරීමට එජාපයට හැකිවන්නේ ‘විශේෂඥතාව හා වෘත්තීය භාවය‘ එජාපයට ඇති නිසා ද? වැරදි උපක්‍රමය ඕනෑම පක්ෂ තීන්දුවලට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් ඉවත් කළ නොහැකි ය යන්න මිත්‍යාවකි. නමුත්, එය සිදු කිරීමට නම්, මා පෙර කී ලෙසම ‘‘විශේෂඥතාව සොයා ගත යුතු අතර, වෘත්තීය භාවය ස්ථාපනය කර ගත යුතු‘‘ ව ඇත.

    ඕනෑම විනය පරීක්ෂණයක දී කාලය අමිල සාධකයයි. කල් ගැනීමත්, උපක්‍රමශීලිව මුහුණදීමත් කාල තරණයේ මාවතයි. විනය ක්‍රියාමාර්ග අවසානයේ පක්ෂයෙන් නෙරපීම සිදු කරන්නේ නම්, එයට තනි තනිව දිසා අධිකරණයේ නඩු පවරා තහනම් නියෝගයක් ගැනීමට සජබ ආධාරකරුවන් වූ එජාප මන්ත්‍රීවරුන්ට ඇත.

    අද පවත්නා කොරෝනා තත්වය අනුවත්, නඩු දින ලබාදීමේ රටාවත් අනුව පලාත් පාලන ආයතනයේ කාලය ලබන වසරේ අවසන් වන තුරු පහසුවෙන්ම නඩුව ඇදගෙන යා හැකිය. අනාගතයේ දවසක සාගර කාරියවසම් මහ ලේකම්වරයාගේ ලිපියක් ලැබෙන්නේ නම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ද, එය එලෙසම අදාළ වනු ඇත්තේය. නමුත්, දැන් ප්‍රශ්නගත මන්ත්‍රීවරුන් 69 හෝ 72 හි ඉරණම ලියැවී අවසන් ය. ඔවුන්ගෙන් අති බහුතරය මා දන්නා හදුණන රනිල් වික්‍රමසිංහ නායකත්වයට එරෙහිව වසර 10 කට වැඩි කලක් සජිත් ප්‍රේමදාස – කරු ජයසූරිය කඳවුරේ සිටි අයයි. සිරිකොත තාප්ප ගැලවූ, පිටකෝට්ටේ පාරට තාර දාන්නට, 2012 සජිත් ගේ මැයි දින පෙළපාලියට පැමිණි අය යි. දිස්ත්‍රික්කයේ සජබ මතය මෙහෙයවන්නන් ය.

    විසඳුම කුමක් ද?

    එජාප – සජබ ප්‍රතිපත්ති වෙනසක් නැත. ඇත්තේ කල්ලි ගැටුමකි. සජබ හා එජාප නායකයින්, තමන් වෙනුවෙන් කොට ඇද්ද මන්ත්‍රීවරු පිළිබඳ සැබෑ කැක්කුමක් ඇති නම් ඔවුන්ගේ මන්ත්‍රි ධූර රැක දීම සඳහා නායකත්ව මට්ටමේ සාකච්ඡාවකින් ප්‍රශ්නය විසඳාගත යුතුව ඇත. ඔය කොයි කණ්ඩායමටත් ඊලඟ ජනාධිපතිවරණයක දී හෝ පාර්ලිමේන්තු මැතිවරණයක දී බලය ලබා ගැනීමට අවශ්‍ය බල ඇණිය දැන් මේ ගැටුමට මැදිවී සිටින 750 කට ආසන්න පිරිස ය. එකම පක්ෂයක් වෙනුවෙන්, එකම පාට තොප්පි දමාගෙන, එක කෑම පැකට් එක බෙදාගෙන කෑ පිරිසකගේ මන්ත්‍රී ධූර අහිමි කිරීම/අහිමිවන තැනට කටයුතු යෙදීම කිසි ලෙසකින් හෝ යුක්ති යුක්ත වන්නේ නැත. අවම වශයෙන් මේ පක්ෂ දෙක මේ මන්ත්‍රී ධූර අවුල ලිහාගන්නට හෝ සාකච්ඡා මේසයකට පැමිණිය යුතුව ඇත.

    රටකට විපක්ෂය නැතිවීමේ ඛෙදවාචකය 1977 සිට 1992 දක්වා අප තේරුම් ගත යුත්තේ ය. උතුර ගින්න ඇවිලීයන්නට අමිර්තලිංගම් ලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම හේතු විය. 2010 – 2014 රටේ විපක්ෂය වූයේ එජාපය නොව සිවිල් සංවිධාන යි. විපක්ෂය දුර්වලවීම එජාප – සජබ ගැටුමේ අවසන් ප්‍රතිඑලයි. එයින් කිසිවෙකුට සිදුවන වාසියක් නම් නැත.

    එජාපය ඉවත් කරන්නට යන මන්ත්‍රීවරුන් 750 හා සජබ මන්ත්‍රීනි ඩයනා ගමගේ ට ඇත්තේ එකම චෝදනාව කි. ඒ පක්ෂයේ විනය කඩ කිරීම ය. නමුත්, ඩයනා ගමගේ ඉවත් කිරීම තබා, එහි මුලික අදියරට හෝ තවමත් සජබ පැමිණ නැත

    සජබ ට ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළ නොහැකි වූයේ ඇයි ?

    එජාපය ඉවත් කරන්නට යන මන්ත්‍රීවරුන් 750 හා සජබ මන්ත්‍රීනි ඩයනා ගමගේ ට ඇත්තේ එකම චෝදනාව කි. ඒ පක්ෂයේ විනය කඩ කිරීම ය. නමුත්, ඩයනා ගමගේ ඉවත් කිරීම තබා, එහි මුලික අදියරට හෝ තවමත් සජබ පැමිණ නැත. (පුරවැසි භාවය පිළිබඳ නඩුවකින් ඇය ඉවත් කරන්නේ නම් එය වෙනම කාරණයකි)

    මෙය අහම්බයක් ද? කිසි ලෙසකින් හෝ එය අහම්බයක් නොවේ. දේශපාලන පක්ෂයක් අවිධිමත් ආකාරයෙන් මහජන නියෝජිතයෙකු නෙරපා හරින්නේද? මන්ත්‍රී ධූරය රැක ගැනීමට ඕනෑ තරම් මාවත් තිබේ. විනය චෝදනා එල්ල වූ මහනුවර සරත් අමුණුගම, කෙහෙළිය, බදුල්ලේ ලක්ෂමන් සෙනෙවිරත්න, පොළොන්නරුව අර්ල් ගුණසකර, ගාල්ල මනූෂ නානායක්කාර, ගම්පහ උපේක්ෂා ස්වර්ණමාලී, කුරුණෑගල නිමල් විජේසිංහ, මහනුවර අබ්දුල් කාදර්, හම්බන්තොට නිහාල් ගලප්පත්ති, නියතපාල, ප්‍රදීප් හපන්ගම, තිලක් කරුණාරත්න, හේමකුමාර, අනුර බන්ඩාරනායක මේ කිසිවෙකුට මන්ත්‍රී ධූර අහිමි වූවේ නැත.

    මන්ත්‍රී ධූරය අහිමි කර ගන්නේ නම්, එහි වරද ඔබගේම ය. මන්ත්‍රීවරුනි, අතහරින්න එපා. නිවැරදි මාවතේ උත්සහ කර බලන්න! සටන් කරන මිනිසුන්ට දිනන්නට පුළුවන් ය.

    රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

  • ඇමරිකන් පුරවැසියෙක් වන ‘බැසිල් රාජපක්ෂ’ මේ රටේ තෙල් මිල අඩු කරන්නේ කොහොමද ?

    ඇමරිකන් පුරවැසියෙක් වන ‘බැසිල් රාජපක්ෂ’ මේ රටේ තෙල් මිල අඩු කරන්නේ කොහොමද ?

    ”ලන්සයි ජගත් පුෂ්පකුමාරයි කියනවා බැසිල් හිටියනම් වැඩි වෙන්නේ නැහැ කියලා. අඩුම ගානේ මන්ත්‍රීවරයෙක් ලෙස පත්වෙන්න බැසිල් මේ රටේ පුරවැසියෙක්වත් නෙවෙයි. ඇමරිකන් පුරවැසියෙක් මේ රටේ තෙල් මිල අඩු කරන්නේ කොහොමද? ඒ කියන්නේ රටේ ජනාධිපතිගෙන් වැඩක් නැහැ. ගම්මන්පිලට එරෙහිව ලිපි නිකුත් කිරීම පිටිපස්සේ ඉන්නේ බැසිල්. බැසිල් තමන්ගේ ඉත්තෝ පාවිච්චි කරලා එක එක ජවනිකා පෙන්නලා ඇත්ත ප්‍රශ්නය යටගහන්න හදනවා” යැයි ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

    ආණ්ඩුව තෙල් මිල වැඩි කරමින් ජනතාව මතට දැවැන්ත පීඩනයක් එල්ල කර තිබීම පිළිබඳව අද (17) දින පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූවේ තෙල් මිල වැඩිකිරීම පිළිබඳව ඇමතිවරුන් කයිවාරු ගැසීම නවතා තෙල් මත පනවා ඇති බදු අඩු කර ජනතාව මේ විපතින් මුදා ගන්නා ලෙසයි.

    එම මාධ්‍ය හමුවේදී ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා පළකල සම්පූර්ණ අදහස් මෙසේය…

    “ආණ්ඩුවේ තෙල් නාටකය සමග ජනතාව පත්වී තිබෙන පීඩාකාරී තත්වය පැහැදිලි කිරීමට බලපොරොත්තු වෙනවා. දැනට අවුරුදු එකහමාරක පමණ කාලය සිට කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ජනතාව මහත් ව්‍යසනයකට පත්ව සිටිනවා. කොවිඩ් තත්වය හේතුවෙන් ආර්ථික සහ සමාජීය වශයෙන් ජනතාව පීඩාවට පත් වෙමින් සිටිනවා. එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවට මුල සිටම නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. අදටත් නිසි ක්‍රමවේදයක් නැහැ. අපි දන්නවා ඇස්ට්‍රාසෙනිකා එන්තට අදාළව මාත්‍රා දෙකක් ලබා දිය යුතුයි. නමුත් ආණ්ඩුව තමන්ගේ හිතවතුන්ට දේශපාලකයින්ට ඉවක් බවක් නැතිව එන්නත් ලබා දීමට යාම නිසා විශාල පිරිසකට අදටත් එහි දෙවැනි මාත්‍රාව නොලැබී තිබෙනවා. ආණ්ඩුව විවිධ රටවලින් එම එන්නත් ලැබෙන බව කියමින් සිටියත් දෙවැනි එන්නත නොලැබීම නිසා අද ඔවුන් විශාල බියකින් සිටිනවා.

    ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අසාර්ථක වී තිබෙනවා. එමගින් පාසල් යන දරුවන් සහිත විශාල දෙමව්පියන් පිරිසක් අපහසුතාවයට ලක්ව තිබෙනවා. දෙමව්පියන්ගේ දුරකථනයට ඩේටා දමාගෙන දරුවන් අධ්‍යාපනය ලැබීමට උත්සාහ කළත් බොහෝ තැන්වලට ප්‍රමාණවත් සිග්නල් ලැබෙන්නේ නැහැ. දරුවන්ට කඳු මුදුන්වලට, ගස්වලට නැගීමට සිදුව තිබෙනවා. දුරකථන අබලන් වීම නිසාත් දරුවන් කිහිපදෙනෙක් සිටින තැන්වල එකම දුරකථනය බෙදා ගැනීමට සිදුවීම නිසාත් නිවෙස්වල ගැටුම් ඇතිවෙමින් තිබෙනවා. මේ තත්වය තුළ දරුවන් හා දෙමව්පියන් විශාල පීඩාවකට ලක්ව සිටිනවා. අපි උදේ වරුවේ රූපවාහිනී නාලිකා අධ්‍යාපනය සඳහා යොදාගන්නා ලෙස යෝජනා කර තිබුණේ මේ නිසා තමයි. අවුරුදු එකහමාරක් ගත වුණත් ආණ්ඩුව එවැනි තීරණයක් ගැනීමට අසමත් වී තිබෙනවා.

    කොරෝනා වසංගතය මැද වේගයෙන් බඩු මිල ඉහළ යමින් තිබෙනවා. රුපියල් 98-100ට දෙන බව කියූ සහල්, ගැසට් ගසා මිල පාලනය කළ බව කියූ සහල් වෙළඳපොළේ සොයා ගැනීමට නැහැ. පාරිභෝගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල් දිසානායක මහතා අද වන විට සොයාගැනීමටවත් නැහැ. වෙළෙන්දන් අල්ලා මට්ටු කරන බවට පුරසාරම් කී කිසිවෙක් අද දකින්න නැහැ. නාඩු කිලෝ එක රු. 125-130යි, රතු කැකුළු සුදු කැකුළු 120-130යි, සම්බා 160-175යි. මිනිස්සුන්ට හාල් මිලදී ගැනීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙනවා. පොල්තෙල් බෝතලයක් රු.800-900යි. මාළු මිරිස් කිලෝ එක රු. 400යි, බෝංචි කිලෝ එක රු. 240යි. එළවළු මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ආණ්ඩුව මිල අයාලේ යාමට ඉඩහැර තිබෙනවා. ජනතාව මහත්සේ බැටකෑමට ලක්වී සිටිනවා.

    හෙට අනිද්දාට ගෑස් මිලත් වැඩි කරන්න හදනවා. සමාගම් ඉල්ලන නිසා මිල වැඩි කරන්න සිදු වන බව ආණ්ඩුව කියමින් සිටිනවා. ලිට්‍රො ගෑස් සමාගම කියන්නේ රජය සතු සමාගමක්. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මුදල් ඇමතිවරයා සමග ඒකබද්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණා. ලිට්‍රො ගෑස් සමාගම ගෑස් මෙ.ටො. 01ක් මිලදී ගෙන්නේ ඩො. 137ට නමුත් පෞද්ගලික ලාෆ් සමාගම එම ප්‍රමාණය වෙළඳපොළන් ගන්නේ ඩො. 83ට බව එහි කියා තිබුණා. රජයේ ගෑස් සමාගම වෙළඳපොළන් වැඩි මිලට ගෑස් ගැනීමේ ප්‍රශ්නය විසඳා ගන්නේ නැතිව එය ජනතාව මත පැටවීම වැරදියි. දැන් ගෑස් මිල රු. 700-800කින් වැඩි කරන්න හදනවා.

    තෙල් මිල වැඩකිරීමටත් සමග සියලුම භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළ යනවා. දැනටමත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි වී තිබෙනවා. ප්ලෙන්ටිය, බත් පැකට් එකේ සිට මිල ඉහළ යනවා. සමස්ත නිෂ්පාදන පිරිවැය වැඩිවීමත් එක්ක ඒවායේ මිල ඉහළ යනවා. තෙල් මිල වැඩි කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ එයයි. දැනටමත් ධීවර ජනතාව මහත් ව්‍යසනයකට මුහුණ දී සිටිනවා. නැව විනාශ වීම නිසා රැකියාව කර ගැනීමට නොහැකිව ඔවුන් පීඩාවට පත්ව සිටියා. ඒ වගේම දැන් ඩීසල් මිල ඉහළයාම නිසා වැඩිම පීඩාවට ලක්ව සිටින්නේ ඔවුනුයි. ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යන බහුදින යාත්‍රා අවම වශයෙන් වරකට ලීටර් 2500ක් පමණ තෙල් ලබා ගන්නවා. රු. 7කින් ඩීසල් මිල ඉහළ ගිය විට ඔවුන්ට රු. 17,500ක වැඩි වීමක් සිදුවනවා. දවසක ගමනකට සාමාන්‍ය බෝට්ටුවකට ඉන්ධන වියදම රු.600-700ක් වැඩි වී තිබෙනවා. මාළු මිලට මේ වියදම එකතු වෙනවා. අල්ල ගන්න මාළු අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටිනවා.

    ආණ්ඩුව ගත් පොහොර ආනයන තහනම පිළිබඳ තීන්දුව සමග ගොවීන් කබලෙන් ලිපට වැටී තිබෙනවා. තමන් වියදම් කර හෝ අස්වැන්න ලබා ගැනීමට ඔවුනට නොහැකි වෙලා. ඔවුන්ට ගොවිතැන එපා වන තත්වයට වැටී තිබෙනවා. පහුගිය දිනවල ඇතිවූ ගංවතුර තත්වය මෙම තත්වය දෙගුණ තෙගුණ කරවා තිබෙනවා. රටම කොරෝනා බිය පමණක් නොව බඩු මිල, අධ්‍යාපන ප්‍රහ්නය, ගංවතුර ගැටලු, පොහොර ගැටලු, පරිසර දූෂණය වැනි තත්වයන් සමග තුන් බියක් නොව අට අනූවක් දෝෂවලට මුහුණ දීමට ජනතාවට සිදුව තිබෙනවා. මෙවැනි මොහොතක ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමීමට පියවර ගත්තා. දැන් ඔවුන් ගිනිකෙළි සංදර්ශන පෙන්වමින් සිටිනවා. 2020 වසරේදී ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා අඩු වුණා. එය ඍණ අගයක් සටහන් කළා. 2020 මහ බැංකු වාර්තාවේ 80 වැනි පිටුවේ 2020 අප්‍රේල් මාසයේ එක්සත් ජනපද තෙල් වෙළඳපොළේ එය ඍණ 37.63ක අගයක් සටහන් කළ බව සඳහන් වනවා. ඒ අඩුවීමේ ලාභය ආණ්ඩුව ජනතාවට ලබා දුන්නේ නැහැ. ඒ අඩුවීමේ වාසිය එකතු කර අරමුදලක් හදා ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වූ අවස්ථාවක තෙල් මිල ස්ථායීව පවත්වා ගන්නා බව ආණ්ඩුව කිවුවා. මේ අරමුදලට කෝටි 20,000ක් එන බව ඔවුන් කිවුවා. ඒ නිසා කවදාවත් මිල වැඩි කිරීමට සිදු නොවන බවට සපථ කර කිවුවා.

    වෙළඳපොළේ පහළ ගොස් ඇති මිල ගණන්වල ප්‍රතිලාභ ලබමින් කෝටි 20,000ක අරමුදල් පිහිටවනු ලැබූ බව මහ බැංකු වාර්තාවේ 25වැනි පිටුවේ පැහැදිලිව සඳහන් කරනවා. නමුත් ගම්මන්පිල ඛනිජ තෙල් ඇමතිවරයා එවැනි ස්ථායීකරණ අරමුදලක් පිහිට වූයේ නැතැයි කියනවා. එය ජනතාව රැවටීම සඳහා කියන ලද සම්‍යප්‍රලාපයක් බව කියනවා. එවැනි අරමුදලක් පිහිට වූ බව සත්‍යයක්. මහ බැංකු වාර්තාවේ 83වැනි පිටුවේ ඛනිජ තෙල් සංස්ථාව රු. කෝටි 3300ක මෙහෙයුම් ලාභයක් ලැබූ බව කියනවා. එසේම මිල ස්ථායීකරණ අරමුදලේ රු. කෝටි 6920ක මුදලක් එකතු වූ බවත් එයින් කෝටි 480ක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට තිබූ ණය පියවූ බවත් තවත් කෝටි 2100ක් මහ බැංකුවේ බැඳුම්කර ණය පියවීමට යොදා ගත් බවත් 82වැනි පිටුවේ සඳහන් කරනවා. නමුත් ඇමතිවරයා එවැනි අරමුදලක් නැති බව කියනවා. මේ අරමුදල හැදුවේ විදුලි බල මණ්ඩලයෙන් ලැබිය යුතු ණය පියවන්න නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් ගෙවන්නත් නෙමෙයි. ලෝක වෙළපොළේ තෙල් මිල ඉහළ ගියාම ඊට අනුව මිල වැඩි නොකර මිල ස්ථාවරව පවත්වා ගන්නයි. දැන් කර තිබෙන්නේ මේ රටේ ජනතාව අමු අමුවේ රැවටීමට ලක්කිරීමයි. ආණ්ඩුව ජනතාවට කියා ඇත්තේ අතේ පත්තු වෙන බොරුවක්. ජනතාව රවටා අඩු වූ තෙල් මිලේ වාසියත් අරගෙන වැඩි වූ විට එයත් ජනතාව කරපිට දමා තිබෙනවා.

    අවශ්‍ය නම් ආණ්ඩුවට තෙල් මිල අඩු කළ හැකියි. ඛනිජ තෙල් සංස්ථාව සකස් කළ මිල වාර්තාව අනුව පෙට්‍රල් 92 ගොඩබාන මිල රු. 92.70යි. ඒ මත ආණ්ඩුව රු. 39.33ක බද්දක් ගහනවා. පෙට්‍රල් 95 ලීටරයක් ගොඩබාන මිල 99.79යි. ආණ්ඩුව ඒ මත රු. 60.48ක ඍජු බද්දක් ගහනවා. ලංකා ඔටෝ ඩීසල් මත රුපියල් 7ක බද්දක් ගහනවා. සුපර් ඩීසල්වලට රු. 35.20ක බද්දක් ගහනවා. තෙල් මිල අඩු කළ නොහැකි බවට ආණ්ඩුව කියන කථාව පිළිගත නොහැකියි. 2020 වසරේ මිල අඩුවීම නිසා ලබා ගත් ලාභයක් තිබෙනවා, තෙල් සංස්ථාව ලාභ ලබා තිබෙනවා. ස්ථායීකරණ අරමුදලට කෝටි 6000 ගණනක් එකතු වී තිබෙනවා. එසේනම් කළ යුතුව තිබෙන්නේ බද්ද අඩු කිරීමයි. කොරෝනා වසංගතය මධ්‍යයේ දහසකුත් එකක් ප්‍රශ්නවලට මුහුණ දී සිටින ජනතාවට සහනයක් වීම සඳහා ආණ්ඩුවට තමන් අයකරන බදු මුදල් අඩු කළ හැකියි. එසේ කළේනම් පෙට්‍රල් ඩීසල් මිල වැඩි කිරීමට අවශය වන්නේ නැහැ.

    ඒ නිසා බොරු සෙල්ලම් දාන්නේ නැතිව, ජනතාව තවත් රැවටීමට ලක් නොකර තෙල් මිල තිබූ තත්වයට අඩු කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. තෙල් මිල අඩු කර ජනතාව මේ විපතින් මුදා ගැනීමට කටයුතු කරන්න. ආණ්ඩුවේම ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් කොරෝනා තත්වය මැද තෙල් මිල වැඩි කිරීම අසාධාරණ යැයි තැන්තැන්වල විවිධ ප්‍රකාශ නිකුත් කරනවා නම් ආණ්ඩුවට සරල තීන්දුවකින් මෙය විසඳිය හැකියි. ආණ්ඩුවට බදු අඩු කර මිල පහළ දැමිය හැකියි. ස්ථායීකරණ අරමුදලට මොකද වුණේ කියලා මේ රටේ ජනතාව දැනගන්න කැමතියි. ඒ අනුව දැන් ජනතාවට තෙල් මිල අඩු කර පෙන්වන්න. ජනතාව නාඩගම්වලට රැවටෙන්න සූදානම් නැහැ. ඒ මුල් අවස්ථාවේ කියන ලද බොරු දැන් ආණ්ඩුව ඇතුලෙන්ම එළියට පැමිණ තිබෙනවා.

    ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයෙක්, ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙක් වෙන ගම්මන්පිල ඇමතිවරයා කියනවා තෙල් ගෙන්වන්න විදියක් නැහැ ඩොලර් හිගයක් කියලා. නමුත් ජනාධිපතිවරයා නිවේදනයක් දාලා කියනවා තෙල් මිල වැඩි කළේ දේශීය ආර්ථිකය නඟාසිටුවන්න කියලා. අපි ජනාධිපතිවරයාට කියනවා ඔබ දන්න ආර්ථික විද්‍යාව අනුව තෙල් මිල වැඩි කළාම දේශීය ආර්ථිකය නගින්නේ කොහොමද කියලා අපිට කියල දෙන්න. රටේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා ඉස්කොලේ යන ළමයි ජනාධිපතිගෙ සූත්‍රය ගැන දැනගන්න ආසයි. ජනතාව මේක පැහැදිලි කරගන්න කැමතියි. රටේ ඕනෑම පොඩි ළමයෙක් පවා දන්නවා තෙල් මිල වැඩි කළාම සියලුම බඩුවල මිල වැඩිවෙනවා කියලා. ආර්ථිකය වැටෙනවා කියලා. ඒක තේරෙන්නේ නැති නායකයෙක් තමයි රට පාලනය කරන්නේ.

    තවත් සමහරු කියනවා බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නේ නැහැ කියලා. කවුද මේ බැසිල්. එයා ජනාධිපතිට අගමැතිට ඉහළින් ඉන්න කෙනෙක්ද? ජනාධිපති අගමැති සහ තවත් කැබිනට් ඇමතිවරු ඉන්න කමිටුවෙන් තමයි වැඩි කරන්න තීරණය ගත්තේ. ලන්සයි ජගත් පුෂ්පකුමාරයි කියනවා බැසිල් හිටියනම් වැඩි වෙන්නේ නැහැ කියලා. අඩුම ගානේ මන්ත්‍රීවරයෙක් ලෙස පත්වෙන්න බැසිල් මේ රටේ පුරවැසියෙක්වත් නෙවෙයි. ඇමරිකන් පුරවැසියෙක් මේ රටේ තෙල් මිල අඩු කරන්නේ කොහොමද? ඒ කියන්නේ රටේ ජනාධිපතිගෙන් වැඩක් නැහැ. ගම්මන්පිලට එරෙහිව ලිපි නිකුත් කිරීම පිටිපස්සේ ඉන්නේ බැසිල්. බැසිල් තමන්ගේ ඉත්තෝ පාවිච්චි කරලා එක එක ජවනිකා පෙන්නලා ඇත්ත ප්‍රශ්නය යටගහන්න හදනවා. බැසිල් දන්නේ නැතුව සාගර කාරියවසම් ලිපි නිකුත් කරයිද? ප්‍රශ්නය වෙන පැත්තකට තල්ලු කරන්න තමයි මේ නාඩගම් පෙන්වන්නේ. මෙතන තීන්දුව ගත්තේ ජනාධිපති අගමැති ඇතුළු ජීවන වියදම් කමිටුව. ඉල්ලා අස්විය යුත්තේ කවුද කියලා පැහැදිලියි. ගම්මන්පිල එක්කෙනෙක් විතරයි. ආණ්ඩුව තමයි තීරණය ගත්තේ. මේ අයට ජනතාව රවට්ටන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජනතාව අවදිවෙලා ඉන්නේ.

    සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙනල්ලා උදය ගම්මන්පිලට එරෙහිව. බැසිල්ගෙ උගුලේ හිරවෙලා. බැසිල්ට ඕන වෙලා තිබුණේ උදයගම්මන්පිලගේ පිටින් මේක යවන්න. සාගර කාරියවසම් දාලා ලියුමක් දැම්මා. දැන් සමගි ජනබලවේගය ලව්වා විශ්වාශභංගයක් දාලා ප්‍රශ්නය එතනට ලඝු කරනවා. අහක ඉන්න පෙත්තප්පු කෙනෙක්ට එරෙහිව විශ්වාශභංගයක් ගෙනල්ලා ආණ්ඩුවට එරෙහි විරෝධය යටගහන්න දෙන්න පුලුවන්ද? දැන් ආණ්ඩුවේම විශ්වාසය භංගවෙලා තියෙන්නේ. ජනතාවගේ අටඅනූවක් දෝෂ භංග කරගැනීමේ අභියෝගයට මුහුණ දීලා ඉන්නේ. ගිනිකෙළි සංදර්ශනවලින් මේවා යටපත් කරන්න දෙන්න බැහැ. ඇත්ත විරෝධය බැසිල්ගෙ උගුලේ අහුවෙන් දෙන්න බැහැ. උදය ගම්මන්පිලට තවත් චෝදනා එල්ල කරනවා ආණ්ඩු පාර්ශ්වයෙන්. ඒ තියෙන්නේ කොමිස් පිළිබඳ ප්‍රශ්නයක්. ආණ්ඩුවේම අය කොමිස් බෙදාගන්න චෝදනා එල්ල කර ගන්න එක ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය හෝ විරෝධය නෙවෙයි. ජනතා විරෝධය තියෙන්නේ මුළු ආණ්ඩුවටමයි.

    ඒ නිසා ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය වහාම හකුළාගන්න ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. ගොවි ජනතාව ධීවර ජනතාව මේ ලක්වෙලා ඉන්න පීඩනයෙන් මුදව ගන්න වහාම තෙල් මිල අඩු කළ යුතුයි. බොරු නාඩගම් පෙන්වන්නේ නැතුව ගිනිකෙළි සංදර්ශන පෙන්වන්න හදන්න එපා. ඇත්ත ජනතා ප්‍රශ්නයට උත්තර දෙන්න. ඒ වගේම කෝටි 20,000 තෙල් මිල ස්ථායිකරණ අරමුදලට වෙච්ච දේ ජනතාවට පැහැදිලි කළ යුතුයි. තෙල්වලට ගහලා තියෙන අසාධාරණ බද්ධ අඩු කරලා ජනතාවට සහන මිලට තෙල් ටික දෙන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා.

    මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

    ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කිව්වා ආණ්ඩුවට ඕන තරම් සල්ලි තියෙනවා කියලා. නාමල් රාජපක්ෂත් කිව්වා ආණ්ඩුවට සල්ලි නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ සල්ලි එලියට දාන්න. අනෙක් පැත්තෙන් කියනවා ආණ්ඩුවේ ආදායම බදුවලින් හොයන්න වෙලා කියලා. ගම්මන්පිල කියනවා ඩොලර් නැහැ තෙල් ගෙන්වන්න කියලා. මේ කතා පරස්පරයි. මහ බැංකු වාර්තාවේ තියෙනවා ඛනිජ තෙල් සංස්ථාව මෙහෙයුම් ලාබයක් ඉපයුවා කියලා. තෙල්වලට ගහපු අධිභාරය නිසා ආණ්ඩුව ලාභ ලැබුවා. ඒ ලාභයෙන් තමයි තෙල් මිල ස්ථායිකරණ අරමුදල හැදුවේ. ඒ මුදල්වලින් විදුලි බල මණ්ඩලයේ ණය ගෙවලා හරියන්නේ නැහැ. මොකද අපේ රටේ ජනතාව විදුලි බිල් ගෙවන්නේ නැතුව ඉන්නේ නැහැ. ණයට විදුලි පාවිච්චි කරලා නැහැ. තෙල් මිල වැඩි කරලා සල්ලි හොයලා විදුලි බල මණ්ඩලයේ ණය ගෙවලා හරියන්නේ නැහැ. විදුලි බල මණ්ඩලය හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු වෙන්න බැහැ. 1980 දශකයේ තෙල් සංස්ථාවට නැව් තුනක් තිබුණා. පොහොර නිෂ්පාදනය කළා. පොලිතින්, තාර, ඉටි පන්දම් ඇතුළු අතුරු නිෂ්පාදනය කළා. තෙල් ආනයන වියදමෙන් 45%ක් අතුරු නිෂ්පාදනවලින් හෙව්වා. ඒ විදියට මේ ආයතනය මෙහෙයවන්න. විදුලි බල මණ්ඩලයත් පාඩු ලබන්නේ ඩීල් නිසා. වැඩි මිලට විදුලිය මිලට ගන්නවා. ඒවා නිවැරදි කරන්න. නිවැරදි වැඩපිළිවෙලක් නැහැ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල සෘණ වුනා. ඒ වෙලාවේ තෙල් ගේන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. දුරදක්නා විදියට පාලනය කරල නැහැ. ලාභ ලබපු තෙල් සංස්ථාව පාඩු කළේ කවුද. තෙල් විකුණන අයිඕසී සමාගම ලාභ ලබනවා. දූෂණ නාස්තිය අවධිමත් පාලනය තමයි පාඩු ලබන්න හේතුව. ඒවට උත්තර දුන්නොත් මේ ආයතන ලාබ ලබන්න පුළුවන්.

    පිරිපහදු කරන ලද තෙල් වලට ගහන බද්ධ අඩු කළොත් තෙල් ලාබෙට දෙන්න පුළුවන්. බොරතෙල් ගෙනත් අපි පිරිපහදු කළොත් මීට වඩා ලාභදායක ලෙස තෙල් දෙන්න පුළුවන්. පිරිපහදුව ශක්තිමත් කළොත් අතුරු නිෂ්පාදන කරලා ආදායම ගන්න පුළුවන්. තෙල් සංස්ථාව ලාබ ලැබුනේ ආනයනය, ගබඩාකිරීම, පිරිපහදුව සහ බෙදාහැරීම කියන යාන්ත්‍රණය තෙල් සංස්ථාව විසින් මෙහෙයවලා.

    දීර්ඝකාලීන වැඩපිළිවෙලවල් කරන්න වෙනවා කියමින් හැමදාම කරන්න ඕන දේ මඟහැරියා. හැම ආණ්ඩුවක්ම කළේ එකම දේ. අපිට තියෙන සම්පත් ටික විකුණලා දැම්මා. ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩියි කියනවා. ඩොලර් එක ඉහළ ගියා කියනවා. එහෙම කියන්න ආණ්ඩුවක් ඕන නෑ කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. දැන් මේ ආණ්ඩුවත් ඒ ටිකම කියනවා. කරල පෙන්වනවා කියලා තමයි බලයට ආවේ. දැන් කරල පෙන්වන්න. විෂයභාර ඇමති තමන්ගෙ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්න ඕනෑ. ජනාධිපති කිව්වා ඇමතිවරුන් නිරීක්ෂණය කරනවා කියලා. හරියට වැඩ කරන්නේ නැත්නම් ඇමතිකමෙන් ඉවත් කරනවා කිව්වා. දැන් වෙන්නේ තියෙන එකත් විකුණන් පනත් වෙනස් කරන එක.

  • ඇමති ගම්මන්පිලගෙන් යළිත් ‘සාගර කාරියවසම්ට‘ ප්‍රති ප්‍රහාරයක්

    ඇමති ගම්මන්පිලගෙන් යළිත් ‘සාගර කාරියවසම්ට‘ ප්‍රති ප්‍රහාරයක්

    ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නිකුත් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කටයුතු නොකරන්නේ නම් පාළු ගෙයි වළං බිඳීම නවතා තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සාගර කාරියවසම් මහතාට අභියෝග කරයි.

    ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ගම්මන්පිල මහතා, ‘‘මම සාගර කාරියවසම් මන්ත්‍රීතුමාට විකල්ප තුනක් ලබා දුන්නා. එක ඔහු තමා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම, දෙක ඒ සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කිරීම. තුන, ඒ දෙකම නොකරන්නේ නම් කළ චෝදනා ඔප්පු කිරීම සඳහා ප්‍රසිද්ධ විවාදයකට පැමිණීම. තව දුරටත් සාගර කාරියවසම් මහතා තමන්ගේ මුල් ස්ථාවරයේම සිටිනවා නම්, බලශක්ති අර්බුදයට වගකිවයුත්තේ විෂයභාර ඇමැතිවරයා බව සිතනවා නම් කළ යුත්තේ තැන තැන කටමැත දොඩ වන්නේ ද නැතිව මහත්වරුන් දෙදෙනෙක් වාගේ ප්‍රසිද්ධ විවාදයක් කර රටේ ජනතාවට සත්‍ය තේරුම් ගැනීමට අවස්ථාව ලබාදීමයි. එහෙම කළොත් බලශක්ති අර්බුදය ඇතිවූයේ කෙසේද ? එයට ගම්මන්පිලගේ දායකත්වය කුමක්ද යන්න එහිදී ජනතාවට වටහා ගත හැකි වේවි‘ යැයි ද ගම්මන්පිල මහතා කීවේය.

  • ‘ගුරු අභිමානී ජාතික උත්සවයේදී’ අගමැති කළ සංවේදී ඉල්ලීම

    ‘ගුරු අභිමානී ජාතික උත්සවයේදී’ අගමැති කළ සංවේදී ඉල්ලීම

    පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දී ඉල්ලා සිටියේය.

    පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ “ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරු මෙහි දී මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වූහ.

    “ගුරු අභිමානී” ජාතික වැඩසටහන සංකේතවත් කරමින් පෙර පාසල් ගුරුවරියන්ට අග්‍රාමාත්‍යවරයාගේ සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සුරතින් මෙහි දී අදාළ දීමනා ප්‍රදානය කෙරිණි.

    සෞභාග්‍යයේ දැක්ම අනුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම ස්ථාපිත කරන සෞභාග්‍යයේ පෙර පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදල් ප්‍රදානය කිරීම සහ පෙර පාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 6ක ප්‍රදානය ලබා දීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව ආරම්භ විය.

    කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට උර දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද මෙම ජාතික උත්සවයට වැඩම කළ වදාළහ.

    “ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මූලික අඩිතාලම දමන පෙර පාසල් ගුරුවරු ඇගයීමට ලක්වන මෙවන් අවස්ථාවට එක්වන්නේ ඉතාම සතුටින්.

    අපි දන්නවා දරුවෙක් මෙලොව එළිය දුටුවායින් පස්සේ දෙමාපියන් හැරුණුකොට ඒ දරුවාගේ ජීවිතයට පළමු අඩිතාලම දැමෙන්නෙ පෙර පාසලින්.

    මේ පෙර පාසල් අධ්‍යාපනය අපේ රටට ගෙන ආවේ වෛද්‍ය මාරියා මොන්ටිසෝරි මැතිනිය.

    දෙමාපියො දන්නවා, තවමත් පෙර පාසලට දරුවෙක් යවන්නෙ මොන්ටිසෝරි යවනවා කියලයි. එදා මේ පිළිබඳව තිබුණු අවධානය අඩු වුණත් දශක පහක වගේ කාලයක් තුළ ඒ ගැන අවධානය වැඩිවෙලා තිබෙනවා.

    පෙර පාසලට අද පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානය කියලත්  කියනවා. එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි මව්තුරුලේ හිටපු දරුවා විධිමත් පාසල් අධ්‍යාපනයක් වෙත යොමු කිරීමට හැඩගස්වන්නේ පෙර පාසල තුළයි. ඒ නිසා දරුවෙක් මෙලොව එළිය දුටුවම ඒ දරුවට ලෝකය දකින්න මුල්ම අඩිතාලම දැමෙන්නෙ පෙර පාසලින් බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නැහැ.

    පෙර පාසල් වේවා, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වේවා,  මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වේවා,  මේ නම් වලින් කියැවෙන ආයතන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා වැදගත් කලාපයන් ලෙස අපි හඳුනාගත්තා.

    ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පෙර පාසල් පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණය රට හදන සෞභාග්‍යයේ දැක්මට අපි ඇතුළත් කළා.

    අපි බලයට පැමිණි විගස පෙර පාසල් සඳහා රාජ්‍ය අමාත්‍ය ධූරයක් පවා ඇති කළෙත් ඒ වෙනුවෙන්. පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා, ඒ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කරනවා කියල අපි දන්නවා.

    මුල් ළමාවිය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් පවා මේ වන විට කෙටුම්පත් කරලා අවසන් කියලා පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා මා සමඟ කිව්වා. දේශපාලනයට එන්න ඉස්සරවෙලා එතුමාත් ජනප්‍රිය ගුරුවරයෙක්. ඒ නිසා මේ ගැන හොඳ වැටහීමකුත් එතුමට තියෙනවා.

    ඒ වගේම පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් ගුරු පුහුණුවක් ලබාදීම ඉතා වැදගත්. ඔවුන්ට විශ්ව විද්‍යාල මට්ටමෙන් උපාධිය දක්වා සිය දැනුම වර්ධනය කරගැනීමේ අවස්ථාවක් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්  මැතිතුමාගේ මග පෙන්වීමෙන් ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

    දරුවොත් සමග හිනාවෙලා , සිංදු කියල සතුටින් ඉන්නවා වගේ දැක්කට පෙර පාසල්වල ගුරුවරුන්ගේ ජීවිතය දිහා බැලුවම ඒ අය ගතකරන්නේ ඉතා කටුක  දුක්ඛිත ජීවිතයක්.  ඒ අයගෙන් බොහෝ දෙනෙක් ආර්ථික අතින් පොහොසත් අය නෙ‍මෙයි. එහෙම වෙලත් කිසිදු දීමනාවක් නොමැතිව ස්ච්ඡාවෙන් සේවය කරන පිරිසකුත් ඒ අතර ඉන්නවා. අතලොස්සක් හැරුණම පෙර පාසල් ගුරුවරුන්ට ස්ථිර වැටුපක් ලැබෙන්නේ නැහැ කියලත් අපි දන්නවා.

    මුළු රටම කොරෝනා වසංගතයට මුහුණ දීලා තියෙන මේ අවස්ථාවේ පෙර පාසල් වසා දමා තිබෙනවා. බොහෝ පෙර පාසල් ගුරුවරුන් නඩත්තු වෙන්නෙ දරුවන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන සුළු මුදලකින්. මේ කාලේ ඒ මුදල ලැබෙන්නෙත් නැහැ. මේ හැමදේම ගැන බලලා තමයි අපි මේ පෙර පාසල් ගුරුවරයාව ස්ථීර වැටුපක් ලැබෙන වෘත්තීය මට්ටමකට ගෙන එන්න උත්සාහ කරන්නෙ.

    පෙර පාසල් ගුරුවරයා කියන්නේ මේසයකට පුටුවකට සීමා වෙච්ච අයෙක් නෙමෙයි. දරුවන් සමග දුවන්න පනින්න ඕනේ. සෙල්ලම් කරන්න ඕනේ. අද ඒ මේ වගේ හිටියට යම් දවසක ඒ අයටත් දුවන්න පනින්න බැරිවෙන අවස්ථාවක් එනවා. එතකොට තමයි ඔවුන් සැබෑ ලෙසම අසරණ වෙන්නේ. ඒ අයට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. වෙනත් දීමනාත් නැහැ.

    එදා 2014 අය වැය ගෙන එන වෙලාවේ මුදල් ඇමතිවරයා වගේම, ජනාධිපතිවරයා විධියට පෙර පාසල්  ගුරුවරුන්ට මාසිකව රුපියල් 2500 ක දීමනාවක් ලබා දෙන්න මම යෝජනා කළා. එදා අපි බලාපොරොත්තු උනේ ඒ මුදල ක්‍රමයෙන් වැඩිකරලා පෙර පාසල් ගුරුවරුන්ට පිළිගැනීමක් ඇතිකරලා, ඔවුන්ව සමාජයේ හොඳ තැනකට ගෙන එන්න.

    අපි ඡන්දෙන් පැරදුණාම ඒ දේවල්වලට මොකද වුණේ කියලා, මටත් වඩා හොඳට ඔබ දන්නවා. අපි හිතුවා 2015 බලයට පත්වෙච්ච යහපාලන ආණ්ඩුව පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් අපි තැබූ ඒ ආරම්භය ඉදිරියට ගෙනයාවි කියල. ඒත් ඒ අය පෙර පාසල් ගුරුවරයා කොතරම් අවතක්සේරු කළාද  කියනව නම් අපි යෝජනා කළ මාසික රුපියල් 2500 දීමනාව රුපියල් 250ට බැස්සුවා. ඒ අපිත් එක්ක තරහටද දන්නේ නැහැ.

    රුපියල් 250 න් මොනවද කරන්න පුළුවන්. ඒක හරියට විහිළුවක්. ඒ මුදල ගන්න ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න එන්නම ඊට වැඩිය මුදලක් වැය වෙනවා.  අද අපි පෙර පාසල් ගුරුවරුන්ට  දෙන්නේ ඒ ගාන  10 ගුණයකින් වැඩි කරලා.

    අපි මේ දෙන්නේ වැටුපක් නෙමෙයි. දීමනාවක්.  ජීවත් වෙන්න මේ මුදල  ප්‍රමාණවත් නැහැ කියල අපි දන්නවා. මේක විධිමත් පුහුණුවකින් පස්සේ පෙර පාසල්  ගුරුවරයා  ස්ථිර  මාසික වැටුපක පිහිටුවීම සදහා ගත්ත  ආරම්භයක් පමණක් බව ඔබ මතක තබා ගන්න.

    පෙර පාසල් ගුරුවරුන් 25000 කට වැඩි පිරිසක් මෙම දීමනාව ලබා ගැනීමට මේ වන විටත් සුදුසුකම් ලබා සිටින බව පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා සඳහන් කළා. හැබැයි මේ දීමනාව ලබන්න තවත් පෙර පාසල් ගුරුවරු ඉන්නවලු . සුදුසුකම් බලල ඒ අයටත් මේ දීමනාව ලබාදෙන්න අවශ්‍ය පියවර ගනීවි කියල මම විශ්වාස කරනවා.

    අපේ ඉලක්කය රුපියල්  ලක්ෂ 25 ක් වටින ආදර්ශමත් ප්‍රමිතිගත පෙර පාසලක් රටේ සෑම ග්‍රාමසේවා කොට්ඨාශයට ලබාදීම. ඒ විතරක් නෙමෙයි,   පෙර පාසල්  ගැන අපි වෙනමම සොයා බලනවා. අවම පහසුකම් සහිත පෙර  පාසල් හඳුනා ගෙන ඒවා සංවර්ධනය කරන්න පියවර ගන්නවා.

    කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන රූපවාහිනිය මඟින් ඒ දරුවන්ට වැඩසටහන් ප්‍රචාරය කිරීමේ වැඩපිළිවෙලක් දැනට සකස් කර තිබෙනවා. අපට අවශ්‍ය මෙම වසංගත තත්ත්වය පාලනය වූ වහාම නැවත දරුවන්ව මේ ගුරුවරුන් ගාවට යොමු කිරීම.

    පසුගියදා අපි අධ්‍යාපන ඇමතිතුමා, ලේකම්තුමා සමඟ යළි පාසල් විවෘත කිරීමේ  හැකියාව පිළිබඳව සොයා බැලුවා. සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සම්බන්ධ නිර්දේශයන් ලබා දුන් වහාම පියවරෙන් පියවර පාසල් විවෘත කිරීමට රජය අවධානය යොමු කරලා තියෙනවා. 

    නැවත පෙර පාසල් පටන්ගත්තම ඔබ ගාවට ඒ මල් වගේ දරුවන් ආයෙත් පැමිණෙනවා. දරුවන් වෙනුවෙන් වෙහෙසෙන ඔබෙන් මම පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. 

    පෙර පාසල කියන්නේ  තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත්කරන්න එපා. දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න. එයාලගෙ ලෝකේ ජීවත්වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට ඇහුම්කම් දෙන්න. ඇතැම්විට මේ දරුවන් අතරෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉන්න පුළුවන්. ඔවුන්වත් රැක බලා ගන්න. ඒ දරුවන්ට ගුණ යහපත්කම දයාව කරුණාව ගැන කියලා දෙන තෝතැනන්නක් බවට පෙර පාසල පත්කරගන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා.

    ඔබ සැමට තෙරුවන්සරණයි! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

  • කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් 22 දා

    කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් 22 දා

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) විශේෂ රැස්වීමක් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තීරණය කොට තිබේ.

    කමිටු සාමාජිකයන් සඳහා පැවැත්වෙන මෙම රැස්වීමේදී කෝප් කමිටුව විසින් 09 වන පාර්ලිමේන්තුව වෙත මෙතෙක් ඉදිරිපත් කොට ඇති වාර්තා 02 මගින් දක්වා ඇති ආයතන සහ එම ආයතන සඳහා දෙන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිතව තිබේ.

    එමෙන්ම ඉදිරියේදී කෝප් කමිටුවට කැඳවීමට නියමිත ආයතන මොනවාද යන්න තීරණය කිරිමටද මෙහිදී බලාපොරොත්තු වන බව කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

    කොවිඩ් 19 අභියෝගය හමුවේ කෝප් කමිටු රැස්වීම් මාර්ග ගත (On Line) ක්‍රමයට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. ඒ් අනුව අදාල රාජ්‍ය ආයතන වල සභාපතිවරයා සහ ගණකාධිකාරීවරයා මෙන්ම එම රාජ්‍ය ආයතනය අදාල අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණක් කාරක සභාව වෙත කැඳවා අනෙකුත් නිලධාරීන් මාර්ග ගත (On Line) ක්‍රමයට සම්බන්ධ කර ගැනීමට මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.

  • සාගර Vs ගම්මන්පිල: ආණ්ඩුවේ පක්ෂ 08ක් ‘ගම්මන්පිල වෙනුවෙන්’ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි

    සාගර Vs ගම්මන්පිල: ආණ්ඩුවේ පක්ෂ 08ක් ‘ගම්මන්පිල වෙනුවෙන්’ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි

    පසුගිය 11 වැනිදා ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ කර මත පැටවීමේ වෑයම හෙළාදකින බවට සඳහන් කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 8ක නියෝජිතයින් විසින් අද (14) දින ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    මෙම නිවේදනය මගින් පක්ෂ නායකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි කට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමට හේතු වන බවයි.

    මෙම නිවේදනයට,

    1. අතුරලියේ රතන හිමි – අපේ ජනබල පක්ෂය
    2. විමල් වීරවංශ – ජාතික නිදහස් පෙරමුණ
    3. වාසුදේව නානායක්කාර – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
    4. තිස්ස විතාරණ – ලංකා සමසමාජ පක්ෂය
    5. ඒ.එල්.එම් ආතාවුල්ලා -ජාතික කොන්ග්‍රසය
    6. ජී. වීරසිංහ – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
    7. ටිරාන් අලස් – එක්සත් මහජන පක්ෂය
    8. අසංක නවරත්න – ශ්‍රී ලංකා මහජන පක්ෂය

    යන පක්ෂවල නායකයින් අත්සන් ලබා තිබෙනවා.

    එම නිවේදනය පහත දැක්වෙනවා,

  • පොහොට්ටුවේ මහ ලේකම්ට බැටේ දෙන්න ‘පොහොට්ටුවේ සුළු පක්ෂ‘ අවි මුවහත් කරයි

    පොහොට්ටුවේ මහ ලේකම්ට බැටේ දෙන්න ‘පොහොට්ටුවේ සුළු පක්ෂ‘ අවි මුවහත් කරයි

    ඉන්ධන මිල ඉහළ දැමීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වගකීමභාර ගෙන විෂයභාර ඇමැති උදය ගම්මන්පිල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, ප.ම සාගර කාරියවසම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ පොහොට්ටුව තුළ සිටින සුළු පක්ෂවලට එල්ල වී ඇති අභියෝග ගැන සාකච්ඡා කිරීමට අද (13 පෙරවරුවේදී) පොහොට්ටුවට සහාය දෙන සුළුපක්ෂ නායකයින් ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසේදී රැස් වුණා.

    ආණ්ඩුවට සහාය දෙන සුළු පක්ෂ නායකයින් වන අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර ,විමල් වීරවංශ , උදය ගම්මන්පිල , ටිරාන් අලස් , විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන් ඇතුළු සුළු පක්ෂ නායකයින් පිරිසක් සහ ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව නියෝජනය කරන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

    මේ රැස්වීම සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සුළු පක්ෂ නායකයෙක් එහිදී සාකච්ඡා වූ කරුණු ගැන මෙසේ පැහැදිලි කළා.

    ‘‘ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණය ගම්මන්පිල මහතාගේ තනි තීරණයක් නොවෙයි. ඒක ජනපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිසක් විසින් ජීවන වියදම් කමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ගත් තීරණයක් නිසා අපි අඛණ්ඩව ගම්මන්පිල ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළා.

    ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමටද අපි තීරණය කළා. ඒ ගැන අපි කැබිනට් මණ්ඩලයේදී ද ප්‍රශ්න කිරීමට තීරණය කළා. මොකද ඉන්ධන මිල වැඩි කිරීමේ තීන්දුව ජීවන වියදම් කමිටුව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ගත් තීන්දුවක් බව සාගර කාරියවසම් මහතා නොදැන සිටීමට කිසිදු හේතුවක් නැහැ‘‘

    ‘‘ඒ වගේම තමයි සාගර කාරියවසම් මහතා ආණ්ඩුවට සහාය දෙන, පොහොට්ටුවේ සුළු පක්ෂවලට කෙනෙහිළිකම් කළ පළමු අවස්ථාව මෙය නොවෙයි. ඔහු මීට පෙර ඇමැති විමල් වීරවංශ මහතාට ද චෝදනා කළා. මේ ගැන වාසුදේව නානායක්කාර මහතා යළිත් සිහිපත් කළා. අපි කියන්නේ මේ අවලාද මෙතැනින් අවසන් විය යුතුයි. ආණ්ඩුව බලයට පත්වෙලා තාම ඉතාම කෙටි කාලයයි ගත වුණේ. ආණ්ඩුවේ පක්ෂ අතර අර්බුද ඇති වුණාම ඒකේ වාසිය යන්නේ විපක්ෂයටයි. අපි අපිට ඡන්දය දුන්න ජනතාවට වගකියන්න ඕනෑ‘

    සුළුජන පක්ෂ නායකයින් මෙවැනි කතා ප්‍රකාශ කළ ද අද සුළු පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මාධ්‍ය මගින් ප්‍රචාරය වීම සමග සමාජමාධ්‍යවල ජනතාව ඒ සම්බන්ධයෙන් හාස්‍ය මුසු ප්‍රතිචාර දක්වා තිබුණි. ඔවුන් පවසා සිටියේ මෙවැනි නාඩගම් වහාම නතර කළ යුතු බවයි.

  • ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ආණ්ඩුව අවුල් වෙයි – ගම්මන්පිලගෙන් මල්ටි බැරල් ප්‍රහාරයක්

    පසුගිය 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් බවත් තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගත් තීන්දුවකට අභියෝග කරමින් නිවේදනයක් පළ කිරීමට තරම් සාගර කාරියවසම් මහතාට ශක්තියක් ආවේ කෙලෙසදැයි සොයා බැලීමට ‘ජනාධිපති කොමිසමක්’ පත් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමට ක්‍රියාකළ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා අදාළ වගකීමභාර දෙන වහාම ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඊයේ (12) නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ඇමැතිවරයාගේ ප්‍රතිචාර දැක්වීම සදහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණේය.

    මෙහිදී ඉන්ධන මිල ඉහළ දැමීම හා සිදුවීම් පෙළ පැහැදිලි කළ ඇමැතිවරයා ‘‘ මිල වැඩිකිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුලසුන ගත් ජීවන වියදම් කමිටුවයි. එයට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එකඟතාව ලැබී තිබුණා. මෙම මිල ඉහළ දැමීම ගැන මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද සහභාගී වුණා. ඉතිහාසය පුරා තෙල් මිල වැඩි කළේ මුදල් අමාත්‍යාංශයයි. විෂයභාර ඇමැතිවරයා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පමණයි. නමුත් මෙවර එම තීන්දුවට ප්‍රකාශයට පත්කිරීමේ අවදානම් කාර්යය මම ස්වේච්ඡාවෙන් භාරගත්තේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා ආරක්‍ෂා කරගැනීමට අවශ්‍ය නිසයි‘‘

    මෙහිදී ඊයේ සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය ගැන ද කරුණු දැක්වූ අමාත්‍යවරයා, ‘‘සාගර කාරියවසම් මහතා ඊයේ නිකුත් කළ නිවේදනයෙන් පහර දී ඇත්තේ මට නොවෙයි. එතුමාගේ පක්‍ෂයෙන් බිහි කළ එකම ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා එහි සදාදරණීය නායක මහින්ද රාජපක්‍ෂ මහතාටයි. බලශක්ති අර්බුදයට වගකිව යුත්තේ විෂයභාර ඇමැතිවරයා වන මා බව ඔප්පු කළ හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි තමා සාගර කාරියවසම් මහතාට ආරාධනා කරනවා. ඒ වගේම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පහර ගැසීමට තරම් බලයක් ඔහුට දුන්නේ කවුරුන්ද යන්න සොයාබැලීමට ජනාධිපති කොමිෂමක් පත් කළ යුතු‘‘ යැයි ද ඇමති ගම්මන්පිල මහතා සඳහන් කළේය.

    මේ අතර අප සමග අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයෙක් සදහන් කළේ ඉන්ධන මිල ඉහළ දැමීමට අදාළ තීන්දුව ගත් ජීවන වියදම් කමිටු රැස්වීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විදුලිබල අමාත්‍ය ඩලස් අලහපෙරුම, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්ආර් ආටිගල සහභාගී වූ බවයි. මෙම තීන්දුව කිසිසේත් විෂයභාර ඇමැතිවරයාගේ වුවමනාවට ගත් තීන්දුවක් නොවන බවත් ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂ සමග පොහොට්ටු ප්‍රධානීන්ට ඇති ගැටලු වෙනත් ආකාරයකින් විසදාගත යුතු බවත් ඔවුහු සදහන් කළේය.

  • තෙල් මිල වැඩිකිරීමේ වගකීම භාර ගෙන ඉල්ලා අස්වනු: ‘පොහොට්ටුව’ තෙල් ඇමැති ගම්මන්පිලට කියයි

    තෙල් මිල වැඩිකිරීමේ වගකීම භාර ගෙන ඉල්ලා අස්වනු: ‘පොහොට්ටුව’ තෙල් ඇමැති ගම්මන්පිලට කියයි

    තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් අද (12) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

  • කාබනික ගොවිතැන ගැන පොරොන්දුව පමණක් නොව ‘69 ලක්ෂයට දුන් සෙසු පොරොන්දුත්‘ වහාම ඉටු කරන්න – සිංහල රාවය

    කාබනික ගොවිතැන ගැන පොරොන්දුව පමණක් නොව ‘69 ලක්ෂයට දුන් සෙසු පොරොන්දුත්‘ වහාම ඉටු කරන්න – සිංහල රාවය

    ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ පොරොන්දුවක් දෙක්ක පමණක් ඉටු කිරීමෙන් 69 ලක්ෂයක ජනතාව සතුටු කළ නොහැකි බවත්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් එහි තිබෙන අති සංවේදී සහ වැදගත් ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරිමට රජයට තවමත් කාලය සහ හැකියාව ඇති බවත් සිංහල රාවය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති

    මෙහිදී උන් වහන්සේ සදහන් කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී දේශපලනයෙන් අතුගා දැමූ ජාති ද්‍රෝහී, සිංහල බෞද්ධ විරෝධී බලවේග වල කසකරුවන් යළිත් දේශපාලන අඩව්වකට සූදානම් වීම කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බවයි.

    උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (11) සිංහල රාවය පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. මේ මාධ්‍ය හමුව සදහා සිංහල රාවය පක්ෂයේ මහා ලේකම් ශාලික පෙරේරා ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනකු සහභාගී වූහ.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අසරණව සිටින ජනතාවට සහනයක් දීමට රජය අපොහොසත් වීම සහ රාජ්‍ය සම්පත් විකුණා දැමීම ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අක්මීමණ දයාරතන හිමියෝ මෙසේද සදහන් කළහ,

    ‘‘මීට අවුරුද්දකට දෙකකට පමණ පෙර අපි මෙවැනි මාධ්‍ය සාකච්ඡා පවත්වද්දී කතා කළ කාරණාවලට හාත්පසින්ම වෙනසක් කාරණා දැන් අපිට කතා කිරීමට සිදුවෙලා තිබෙනවා. එදා අපි රනිල් – මෛත්‍රී – මංගල හවුල රටට කරමින් සිටි විනාශය ගැන ජනතාව දැනුවත් කළා. ඔවුන්ව අවධි කළ. රාජ්‍ය බලයට, මර්දනයට අභියෝග කරමින් අපි, සිංහල ජාතික ව්‍යාපාරය ලෙස අපේ අභීත භික්ෂූන් වහන්සේලා, තරුණ පිරිස සිංහල බෞද්ධයින් දැනුවත් කළා. අවධි කළා.

    එහිදී අපි පටු පුද්ගලික ලාභ බලාපොරොත්තු වුණේ නැහැ. තනතුරු – වරදාන බලාපොරොත්තු වුණේ නැහැ. ගජමිතුරන් පිනවන්න කොන්ත්‍රාත් බලාපොරොත්තු වුණේ නැහැ. අපේ එකම අපේක්ෂාව, අරමුණ වුණේ යහපාලන ආණ්ඩුව සහ ඒකට ආවඩන සුළුජන පක්ෂ රටට, සිංහල බෞද්ධයින්ට, සිංහල බෞද්ධ උරුමයට කරමින් තිබූ විනාශයට එරෙහිව ජනතාව අවධි කරවීම, ඔවුන්ව සංවිධානය කරවීම. අවසානයේ රටට, ජනතාවට, එහි සම්පත්වලට ආදරය කරන, ඒවා රැකගත හැකි නායකත්වයක් බලයට ගෙන ඒම.

    මේ ව්‍යායාමය පාවඩ මතින් ගිය ගමන් වුණේ නැහැ. මර්දනය, පොලිස් කූඩුව, නිමක් නැති අවලාද හා අපවාද මතයි අපේ භික්ෂූන් වහන්සේලා, ගිහි ක්‍රියාකාරීන් ඒ ගමන ගියේ. එහි ප්‍රතිඵල තමයි අවසානයේ ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී නෙළා ගත්තේ. ඒ සතුටට තමයි එදා අපේ තරුණයෝ රටේ තාප්ප පුරා චිත්‍ර ඇන්දේ. රට පුරා පැළ හිටෙව්වේ.

    ඒත් කනගාටුවට වඩා වේදනාවට, පශ්චාත්තාපයට කරුණ වන්නේ අපිට ඒ සතුටට බුක්ති විදින්න ලැබුණේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු කාලයක්. පරණ දේශපාලන ක්‍රමය යළිත් පණ ගහලා ආවා. කුමන්ත්‍රණකරුවෝ, අවස්ථාවාදියෝ, ජාති ආගම් භ්‍රෂ්ඨයෝ මුල්පුටු අල්ල ගත්තා. අවසානයේ දී සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් දෙවපු කිරි කළයට මේ කොල්ලකාර කල්ලිය ගොම තලියක් ම දැම්මා. දැන් අපි දැක්ක සිහින, අපේ තරුණයෝ දැක්ක සිහින විනාශ වෙලා ඉවරයි. ඒවාට ආයේත් පණ දෙන එක පහසු නැහැ.

    අපි තාමත් කියන්නේ ජනාධිපතිවරයාට, අගමැතිවරයා සහ මේ රටට – ජාතියට ආදරය කරන දේශපාලනඥයින්ට, නිලධාරීන්ට අවස්ථාව තිබෙනවා නිවැරදි වෙන්න. තමන්ට වැරදුණ තැන විමසා බලන්න. අපි බෞද්ධයෝ විදිහට දන්නවා වැපුරුව දේම තමයි කපා ගන්න වෙන්න. හේතුව තමයි ඵලයට මූලික වෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමනි, අගමැති තුමනි, වැරදුණේ කොතැනද ? කොහොමද කියලා යහපත් සිහියෙන් විමසා බලන්න. අපිට තේරෙනවා මේ ආණ්ඩුවට වැරදුණේ කොහොමද ? කොතැනද ? කියලා. ඒ නිසාම තමයි අපි මේ තාමත් කෑ ගහන්නේ. වද විදින්නේ. මොකද ළමයත් එක්ක කොරහේ වතුර විසි කරන්න අපිට වුවමනාවක් නැහැ. අපි එහෙම කළොත් මොකද වෙන්නේ කියලා අපි හොදාකාරවම දන්නවා.

    දේශපාලන අවස්ථාවාදීන්, ජාති භ්‍රෂ්ඨයෝ, දේශද්‍රෝහීන්, නරි ආයොත් බැල්ලම හෙළනවා. ඒ කල්ලියේ නායකයා, කසකරුවා දැන් පාර්ලිමේන්තුවට එන්න ඇගිලි ගණනිවා. අපිට පේනවා අලුත් රෙදි ඇදගෙන, කසකාරයෝ, ගිනි බෝලකාරයෝ සූදානම් කරගෙන ඇතැමුන් ආයෙත් අඩව්වක් අල්ලන්න කල්යල් බලනවා. මේක කිසිසේත්ම යහපත් දෙයක් හෝ රටට, ආගමට වැඩදායි දෙයක් නෙමෙයි. එදා ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී අතුගාලා දැම්ම පක්ෂ, නායකයින් ආයෙත් දේශපාලන කරළියට, දියවන්නාවට ඒම කිසිසෙත් යහපත් තත්ත්වයක් නොවෙයි. මැරණ බලවේග වලට පණ දෙන්න බැරි වුණත් මේ ආගමන හරහා භූතයින්, කුම්භාණ්ඩයින් සතුටු වෙන්න පුළුවන්. උන් යළිත් හොල්මන් කරන්න පුළුවන්.

    ඒ නිසයි අපි කියන්නේ කොවිඩ් බොරදියේ මාළු බාන්න මේ අවස්ථාවාදීන්ට, දේශ ද්‍රෝහීන්ඨ. බෞද්ධ විරෝධීන්ට අබමල් රේණුවකවත් අවස්ථාවක් දෙන්න එපා. ඒ නිසා ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී සිංහල බෞද්ධ ජනතාවට දුන්න ඒ පොරොන්දු ඉටු කරන්න. ඔවුන් හමුවේ තැබූ න්‍යාය පත්‍රය පෙරට ගන්න. වසවිස නැති ගොවිතැන විතරක් නෙමෙයි තවත් ආකර්ෂණීය, ජාතික වශයෙන් අති සංවේදී පොරොන්දු ක්‍රියාත්මක කරන්න.

    මහ බැංකු හොරුන්ට වගේම පාක්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. සිය ගණනක් ඝාතනය කළ, මුළු රටක් විනාශ කළ අපරාධකාරයෝ තාමත් යහතින් ජීවත් වෙනවා. රාජ්‍ය සම්පත් විනාශ කළ ද්‍රෝහීන් තාමත් යහතින් ඉන්නවා. වසවිස නැති ගොවිතැන කොන්දේසි විරහිතව ඉදිරියට ගෙනාවා වාගේ ඒ පොරොන්දුත් කොන්දේසි විරහිතව ඉටු කරන්න. එහෙම වුණොත් විතරයි අපිට ජාතික ව්‍යාපාරය විදිහට සතුටු වෙන්න පුළුවන්.එදා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ 69 ලක්ෂයට, මහ මැතිවරණයේදී 3/2ක් දුන්න ජනතාවට සතුටු වෙන්න පුළුවන්.

    ඒ නිසා අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට කියන්නේ 69 ලක්ෂය තෘප්තිමත් කරන්න, ඔවුන් තුළ බලාපොරොත්තු දල්වන්න මහ ලොකු දෙයක් කළ යුතු නැහැ. අවශ්‍ය වන්නේ දේශපාලන අවංකම සහ ධෛර්යය පමණයි.

    සතොසෙන් රටටම කන්න දෙන්න පුළුවන් යැයි කියන වෙළෙද ඇමතිවරයෙක් සිටීම ජනතාවගේ අවාසනාවක් – ශාලික පෙරේරා, මහ ලේකම් සිංහල රාවය.

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සිංහල රාවය පක්ෂයේ මහ ලේකම්, ශාලික පෙරේරා මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය නම් ගහෙන් වැටී කොන්ද කඩාගෙන සිටින ජනතාවට ව්‍යාපාරික මාෆියාව නම් ගොනාගෙන් ද ඇනුම් කෑමට සිදුවීම කනගාටුවට කරුණක් බවයි.

    කොවිඩ් වසංගතය හමුවේ අකර්මන්‍යව පවතින පාසල් අධ්‍යාපනය රැක ගැනීමට ආණ්ඩුවට කිසිම විධිමත් සැලසුමක් ඇති බවක් නොපෙනෙන බව කී ශාලික පෙරේරා මහතා සතොස මගින් රටකට කන්න දිය හැකි යැයි සිතන වෙළෙද ඇමැතිවරයෙක් සිටීම ජාතියේම අවාසනාවක් යැයි ද කීවේය.

    අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල අහස උසට යද්දී ගෑස් සමාගම් විසින් සිදුකරන සූරාකෑම නවතා දමනු වෙනුවට මහදැන මුත්තාගේ පන්නයේ ගැසට් ගැසීම විකාරයකට වඩා වේදනාවට කරුණක් බව ද ඔහු කීවේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ශාලික පෙරේරා මහතා, ‘මේ වෙන කොට මේ රටේ සමස්ත ජනතාව ගැටළු ගණනාවකින් පීඩා විදිනවා. එකක් කුස්සියේ ගින්න. ලිපේ ගින්දර නිවා ගන්නේ නැතිව මොනවා හරි උයා පිහාගෙන කන්නේ කොහොමද කියලා තමයි අද මේ රටේ බහුතරයක් ජනතාව හිතන්නේ.

    අනික තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන දෙමාපියන්ගේ හිතේ අවිලෙන ගින්න. පහුගිය අවුරුද්දේ මාර්තු මාසෙන් පස්සේ මේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ඇනහිටලා තිබෙනවා. මුළු අධ්‍යාපනයේම බර ටියුෂන් ගුරුවරුන්ට භාර දීලා අධ්‍යාපන අමාත්‍යාංශය අත පිසදාගෙන තිබෙනවා. අපි උපකාරක පන්ති ගුරුවරුන්ට කිසිසේත් චෝදනා කරන්නේ නැහැ. ඔවුන්ගේ සේවය සහ කැපවීම අපි කිසිසේත් අවතක්සේරු කරන්නේ නැහැ.

    අපි චෝදනා කරන්නේ උපකාරක පන්ති වගේම, සූම් තාක්ෂණය වැනි අන්තර්ජාල පහසුකම් පදනම් කරගත් ක්‍රම ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාමට අසීමිත කැප කිරීමක් කරන ගුරුවරුන් සූරාකන අන්තර්ජාල, නැති නම් ඩේටා මාෆියාව ගැනයි.

    අපි හොදාකාරවම දන්නවා එදා වේල කන්න කුලියක් කරන පුද්ගලයාගේ දරුවාගේ සිට ඉහළම ධනපතියා දක්වා මේ ඩේටා මිලදී ගන්නේ පසුගිය කාලේ තිබුණ මිලටමයි. ඒ කියන්නේ ඔවුන් මේ ඩේටා මිලදී ගන්නේ කිසිසේත් සැබෑ මිලකට නොවෙයි. අදාළ සමාගම් විසින් දැවැන්ත ලාභයක් මත විකුණන ඩේටා තමයි මේ මිලදී ගන්නේ. ඔවුන් මේ ඩේටාවලින් අති දැවැන්ත ආදායමක්, ලාභයක් උපනවා. ඇතැම් ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් 100%ක්ම විජාතික ඒවා. ඔවුන් මේ ලාභය තමන්ගේ රටට ගෙන යනවා.

    පොල් ගෙඩිය කඩදන දුප්පතාගේ සිට රාජ්‍ය සේවකයා, සුළු නිෂ්පාදකයා දක්වා ලක්ෂ 45ක දරුවෝ, රාජ්‍ය ගුරුවරු හා ටියුෂන් ගුරුවරු දස දහස් ගණනක් මේ අන්තර්ජාල ඩේටා මාෆියාවේ පහසු ගොදුරු බවට පත්වෙලා ඉන්නවා.

    අපි රජයට අවධාරණය කරන්නේ දැන් මාස 15ක් තිස්සේ මේ ඩේටා මාෆියාව ජයටම ක්‍රියාත්මක වෙනවා. අද සෑම පවුලකම වාගේ සහල් ගන්න වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් මේ ඩේටාවලට වැය කරනවා. මේක සැබවින්ම සුරාකෑමක්. මේ සූරාකෑමට ආණ්ඩුව වහාම වැට බැදිය යුතුයි. අපි සහන දෙන්න කියලා කියන්නේ නැහැ. අපි පැහැදිලිවම කියන්නේ කොමිෂමක් මගින් බැරි නම් විශේෂඥ මණ්ඩලයක් මගින් හෝ සොයා බලා මේ ඩේටා මාෆියාවට තිත තියලා මේ අසීමිත සූරාකෑම නතර කරන්න. අපේ ජාතික ධනය ට්‍රිලියන ගණනින් විදේශ සමාගම්වලට පුදකරන මේ මාෆියාවට තිත තියන්න.

    අනෙක් කාරණය ලිපේ ගින්දර ගැනයි. කල දුටු කල වළ ඉහගන්න ව්‍යාපාරික මාෆියාවක් මේ මොහොත් ජනතාවගේ සමස්ත ආදායමම සූරා ගෙන කනවා. ජංගම වෙළෙදුන් මේ අවස්ථාවේ සේවයක් ලබා දෙන බව ඇත්ත. එහෙත් ඔවුන් අසීමිත සූරාකෑමට නිරත වෙනවා. ඔවුන් විකුණන ගස්ලබු කිලෝවක් රුපියල් 100යි ! එළවළු මිල 300%කින් වැඩියි. මේක පැහැදිලිවම සූරාකෑමක්.

    අපි රජයෙන් ඉල්ලා සිටිනවා, ඒ වගේම මේ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ වගේම විපතට පත්ව සිටින ජනතාවක් මේ ආකාරයෙන් සූරාගෙන කන්න එපා කියලා. මොකද අපි හැමෝම මේ අසීරු කාලේ ජීවත් වෙන්නේ හරිම අසීරුවෙන්. රාජ්‍ය සේවකයාගේ පවා අතිකාල දීමනා අහිමි වෙලා. ඔවුන් ගන්න පුළුවන් සියලුම ණය අරගෙන තියෙන්නේ. ඔවුන් බහුතරයක් ජීවත් වුණේ අතිකාල වලින්. නැතිනම් වෙනත් ස්වයං රැකියා ආදියෙන්. ඒ නිසා අපි හැමෝම අද ජාතියක් ලෙස, රටක් ලෙස අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා මේ අසීරු අවස්ථාවේ තව කෙනෙකු සූරාගෙන කෑම කිසිසේත් යහපත් දෙයක්, බෞද්ධයින් ලෙස ආගමානුකූල දෙයක් නොවෙයි.

    ඒ වගේම අපි රජයට යමක් මතක් කළ යුතුයි. ඒ තමයි ජනතාවගේ ජීවන වියදම අද අහස උසට නැගලා. වගාකරුන්ට එළවළු විකුණ ගන්න බැරිව ලතවෙන කොට පාරිභෝගිකයා ඒකට අහස උසට මිලක් ගෙවනවා. මොන තරම් පම්පෝරි ගැහුවත් සහල් මිල අඩු වෙලා නැහැ. පොල් මිල එලොව පොල් පේනවා. පසුගිය සුනාමි පළමු රැල්ලේදී ජනාධිපතිවරයා පරිස්සු ගැන බොහොම දුක් වුණ. දැන් පරිප්පු කිලෝවක් රුපියල් 250යි, සීනි කිලෝවක් 117ක්යි. අල කිලෝවක් රුපියල් 250යි ! හැම භාණ්ඩයකම මිල 35%කින් පමණ ඉහළ ගිහින් තියෙනවා. ඊට සාපේක්ෂව ජනතාවගේ ආදායම විශාල වශයෙන් පහළ ගිහින් තිබෙනවා. ඇතැමුන්ට කිසිම ආදායමක් නැහැ.

    මේ තත්ත්වයට ආණ්ඩුව කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතුයි. රුපියල් 5000ක් බෙදාදීම මේකට පිළියමක් නෙමෙයි. ඒක හරියට අතීසාරයට අමුඩ ගහනවා වාගේ වැඩක්. මේ 5000 කඩේට අරන් ගියම හකුරු වාගේ දියවෙනවා.

    මේ අවස්ථාවේ වෙළෙද ඇමතිවරයා ගැනත් යමක් කිව යුතුයි. ඔහු ගැන දවසක් කිව්වත්, පොතක් ලිව්වත් පාඩුවක් නැහැ. ඒ තරම් නල්ලමලේ වෙළෙද ඇමැතිවරයෙක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ලිදේ ඉන්න මැඩියාගේ ලොකේ ලිද වාගේ වෙළෙද ඇමැතිවරයාගේ ලෝකේ, කොකටත් තෛලය බවට සතොස පත්වෙලා තිබෙනවා. මේ හාස්‍යජනක තත්ත්වයක් වුණත් ඇස් රතුවෙන විහිළුවක්. ඇමැතිවරයාගේ හැම බඩුවක්ම අඩුවට තියෙන්නේ සතොසේ ! ඒත් සතොසට රටකට කන්න බොන්න දෙන්න පුළුවන්ද ? බැහැ. අඩුගානේ සතොසට ගමකට කන්න දෙන්න බැහැ. ඇත්ත ඒකයි. ලංකාවේ සිල්ලර වෙළෙදාමෙන් 01%ක් වත් සතොස හරහා සිදුවෙන්නේ නැහැ. ඒ නිසා බඩුමිල අහස උසට නැගීමට සතොස කිසිසේත්ම විකල්පයක් හෝ උත්තරයක් නොවෙයි. ඒක බන්දුල ගුණවර්ධන මහත්තයාගේ සහ එහි සේවකයින්ගේ රස්සාව පමණයි.

    ඒ නිසා අපි වෙළෙද ඇමැතිවරයාට කියනවා කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයට මහදැන මුත්තාගේ පන්නයේ ගැසට් ගැහුවා වාගේ වැඩ දැන්වත් නතර කරන්න. ඔබ නිසා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිදු වුණ හානිය ගැන අපට අමතක නැහැ. ඔබ ආණ්ඩු අපකීර්තියට, ජනතාවගේ පිළිකුළට පත් කිරීමට උපන් හපන් සුදුසුකමක් ඇති ඇමැතිවරයෙක්.

    69 ලක්ෂයක් සිංහල බෞද්ධ ජනතාව මහත් විස්වාසයෙන් බිහිකළ ආණ්ඩුවක් ජනතාව අතර අපකීර්තියට පත්කරන වැඩ නොකරන්න කියලා අපි බන්දුල ගුණවර්ධන මහත්තයාට කියනවා. මොකද මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ජාතික ව්‍යාපාරය සුවිශාල වැඩ කොටසක් කළා. කිසිම වරදානයක්, වරප්‍රසාදයක් නැතිව අති විශාල පිරිසක් දැවැන්ත කැප කිරීමක් කළා. හිරේ විලංගුවේ වැටුණා. රස්සා – ආදායම් මාර්ග නැති කර ගත්තා. ඒ නිසා ලබාගත් ජයග්‍රහණය රැක ගැනීම, ඒක වැරදි පාරේ යන කොට නිසිමගට ගැනීමේ වගකීමක් වගේම වගවීමකුත් ජාතික ව්‍යාපාරය ලෙස අපට තිබෙනවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව පිස්සු නටන සියලුම දේශපාලනඥයින්ට කියනවා රනිල් – මංගල හවුලට ලැබුණ උරුමය ගැන යළි යළි සිහිපත් කරන්න කියලා‘