Category: සුපිරි Politics

  • කොළඹ වරාය නගර පනත් කෙටුම්පත: විජේදාසට ජනපති පුප්පයි – අනුර කුමාරගෙන් ප්‍රශ්නාවලියක්

    කොළඹ වරාය නගර පනත් කෙටුම්පත: විජේදාසට ජනපති පුප්පයි – අනුර කුමාරගෙන් ප්‍රශ්නාවලියක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පරුෂ වචනයෙන් ඉතාමත් පහත් ආකාරයට කෝපයෙන් වෙව්ලමින් බැනවැදුනු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අද (16) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහු එහිදී සදහන් කළේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් ඊයේ (15) නාරාහේන්පිට අභයාරාමයේදී සිදුකළ කරුණු පැහැදිලි කිරීම නිසා ජනපතිවරයා උරණ වී සිටින බවයි.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (16) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කරමින් විමසා සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තර්ජනය කරනවානම් සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව තත්වය කුමක්ද? යනුයි.

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තර්ජනය කරනවානම් සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව තත්වය කුමක්ද?

    එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසුවේය.

    “වරාය නගරය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර තිබෙන කොමිෂන් සභාව අපේ රටේ ව්‍යවස්ථාවට, අපේ රටේ ක්‍රියාත්මක නීති ගණනාවකට පටහැනිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මීට පෙරත් අප පෙන්වා දුන්නා. නගර සභා ආඥා පනත, ආයෝජන මණ්ඩල පනත, ක්‍රමෝපායික සංවර්ධන පනත ඇතුලු වැදගත් පනත් 07ක් වරාය නගර කොමිෂන් සභාවට ඇතුළත් වෙන්නේ නැහැ. ඊට අමතරව දේශීය ආදායම් බදු පනත, වැට් බදු පනත, ඇතුලු මුදල් පනත් ගණනාවක් සහ තවත් පනත් 14ක් මීට ඇතුළත් වෙන්නේ නැහැ. වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තුළ මෙම පනත් මුළුමනින්ම නිදහස් කිරීම හෝ අර්ධ නිදහසක් ලබාදීමට යෝජනා කර තිබෙනවා.

    ඒ වගේම කිසිදු නගර සභාවකට, පළාත් සභාවකට හෝ අවම වශයෙන් කොළඹ දිස්ත්‍රික්කටවත් ඇතුලත් නොවුණ ප්‍රදේශයක් බවට පත්කර තිබෙනවා. අපේ රටේ යම් ප්‍රදේශයක් පාලනය කිරීම ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන නියෝජිතයන් විසින් සිදුකරනවා. නමුත් වරාය නගරයට අයත් අක්කර 1115ක් ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන කිසිදු ආයතනයකට යටත් වෙන්නේ නැහැ. එය මුළුමනින්ම ජනාධිපතිවරයා විසින් පත්කරන 05 දෙනෙකුට නොඅඩු, 07 දෙනෙකුට නොවැඩි කණ්ඩායමකට බලය ලබාදෙනවා. ශ්‍රී ලාංකිකයෙකු මෙම ප්‍රදේශයට ඇතුල්වී යම් භාණ්ඩයක් රැගෙන ආපසු එනවා නම් වෙනත් රටක සිට තවත් රටකට භාන්ඩ ගෙනයාමේදී මෙන් බදු ගෙවීමේ නීතියක් යෝජනා කර තිබෙනවා. මෙම බල ප්‍රදේශයේ වැටුප් විදේශීය මුදල් ඒකකයකින් (බොහෝ දුරට යුවාන්වලින්) ගෙවිය යුතු බවට නිර්දේශයක් මෙම පනතට ඇතුළත් වී තිබෙනවා.

    ඒ වගේම කොමිෂන් සභාව සමග හෝ, ස්වාමියා සහ සේවකයා අතර හෝ යම් ආරවුලක් ඇති වුවහොත් එය විසඳීමට ජාත්‍යන්තර බේරුම්කරන මණ්ඩලයක් හමුවට යාමේ යෝජනාවක් තිබෙනවා. ඒ නිසා මේ කොමිෂන් සභාව අපේ භූමියට ඇතුළත් නොවන සුවිශේෂී ප්‍රදේශයක් හැටියට නිර්මාණය කෙරෙනවා. මෙහි භූමියෙන් 80%කට වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නේ චයිනා හාබර් නම් චීන සමාගමකට. මේ සමාගම පසුගිය කාලයේ විවිධ දේශපාලඥයන්ගේ ඡන්ද ව්‍යාපාරවලට සල්ලි ලබාදුන් බව ඇමරිකානු පුවත්පත්වල වාර්තා කර තිබුණා. මේ සල්ලි ලබාදුන්නේ කාටද, ලබා දුන්නේ කවදාද, ලබාදුන් චෙක් අංක ආදිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් මවිසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ආර්ථික කොමිෂන් සභාව පිහිටුවන්නේ චයිනා හාබර් සමාගමේ බල කිරීම මත. ඒ මිස ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගයට අනුරූපීව නොවේ. චීනයේ ජාත්‍යන්තර දේශපාලන ආර්ථික වුවමනාවන් සමග පෙළගැසීමක් පමණයි සිදුවෙන්නේ. චීනයේ භූ දේශපාලනික උපායමාර්ගයට අදාල ව්‍යාපෘතියකට ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව මේ හරහා පණ පොවමින් සිටිනවා.

    අද ලෝකයේ බලවතුන් අතර විවිධ දේශපාලන ගැටුම් පවතිනවා. චීනය සහ ඉන්දියාව අතර දේශපාලන ගැටුමක් පවතින බව රහසක් නොවේ. කවර හෝ රටකට වඩා ඇඟෑලුම් පෑම නිසා අනික් පාර්ශවයෙන් එල්ලවන තර්ජනය අති මහත් විශාල විය හැකියි. ජනතාවගේ ඡන්දයෙන් පත්කරගන්නා ජනාධිපතිවරයාගේ ධූර කාලය සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය අවුරුදු 05යි. ඔවුන් මේ රටේ භාරකරුවන් මිස කිසිසේත්ම අයිතිකරුවන් නොවේ. එසේ තිබියදී මෙවැනි චීන ප්‍රාන්තයක් ගොඩනැගීමට කිසිසේත්ම ජනවරමක් නැති බව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව තේරුම් ගත යුතුයි. උතුරු දකුණු භේදයකින් තොරව, සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව, දුප්පත් පොහොසත් භේදයකින් තොරව අපි සියලු දෙනාටම අයිති රටක් මේක. මේ රට සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු ගන්නවා නම් ජනතාවගෙන් අනුමැතියක් ලබාගත යුතුයි. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිහින් මේ කොමිෂන් සභා පනතට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය පමණක් නොව ජනමත විචාරණයකින් අනුමැතියක් ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

    මේසයක් මත තබා කේක් ගෙඩියක් කපනවා වගේ අපේ රටේ ඉඩම් කෑලි, කෑලිවලට වෙන්කිරීමේ කිසිදු අයිතියක් ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආණ්ඩුවට නැහැ. ආණ්ඩුව හැමවිටම බලහත්කාරය යොදමින් විවිධ වර්ගයේ වංචාවන් සිදුකරමින් ක්‍රියාත්මක වෙනවා හැර ආණ්ඩුව විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. 20වැනි සංශෝධනයට අනුව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සතියක් ඇතුළත අධිකරණය හමුවට යා යුතුයි. 20වැනි සංශෝධනයට පෙර ඒ සඳහා සති දෙකක කාලයක් තිබුණා. මේ පනත ඉදිරිපත් කළේ 08වැනි බ්‍රහස්පතින්දා. වැඩ කරන දිනයක් හැටියට ඉතිරි වුණේ 09වැනි සිකුරාදා. ව්‍යවස්ථානුකූලව නඩුවක් පැවරීම සඳහා ඉතිරිවී තිබුණේ 15වැනි බ්‍රහස්පතින්දා විතරයි. සෙනසුරාදා, ඉරිදා, සඳුදා රජයේ නිවාඩු දින. අඟහරුවාදා, බදාදා සිංහල, දෙමළ අලුත් අවුරුද්ද. රට පිළිබඳව තීරණාත්මක පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ දින 05ක දීර්ඝ නිවඩුවක් තිබෙන කාලයක. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පුරවැසියන්ට තිබෙන අවස්ථාව පවා අහුරන්න ක්‍රියා කර තිබෙනවා.

    සිංහල, දෙමළ අලුත් අවුරුද්දට ගම්වලට ගිය නීතිඥයින් පවා අවුරුදු නිවාඩුව නොතකා නැවත කොළඹට පැමිණ නඩුව ගොනුකිරීමට සිදුවුණා. ආණ්ඩුවේ පළවැනි උපක්‍රමය බවට පත්වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඉඩනොදී මෙය සම්මත කරගන්නයි. ඊළඟ උපක්‍රමය තර්ජනය සහ බිය ගැන්වීමයි. අභයාරාම පන්සලේදී ඊයේ (15) මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන්ගේ මුලසුනෙන් පැවති මාධ්‍ය හමුවේදී විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයකට ජනාධිපතිතුමාගේ උරණ වීම ගැන අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ වචනවලින්ම කිව්වොත් “ද්වේශයෙන්, වෛරයෙන්, ආවේගයෙන්, වෙව්ලමින්, පහත් වචනවලින් බැන වැදුණා.” අපිට විජේදාස රාජපක්‍ෂගේ දේශපාලනය පිළිබඳව විවේචනයක් තිබෙනවා. මේ ජනාධිපතිවරයා බලයට පත්කිරීමේදී විජේදාස රාජපක්‍ෂ මහත්මයා විශාල කාර්යභාරයක් ඉටුකළා. වර්තමාන ජනාධිපතිවරයාගේ බියවැද්දීම්, තර්ජනයන් පිළිබඳව මෙය අලුත් සාකච්ඡාවක් නොවේ. ඔහුගේ ආරක්‍ෂක ලේකම් ධුරය කාලයේ වංචා-දූෂණයන් පිළිබඳව චෝදනා එල්ල වුණා. ඒ පිළිබඳව නඩුව අධිකරණයේදී විභාගවෙමින් තිබුණා. පැහැරගෙන යෑම්, සුදුවෑන්, සහ සමහර ඝාතනයන් පිළබඳව ඔහුට චෝදනාවන් තිබෙනවවා.

    විජේදාස රාජපක්‍ෂ මහත්තයලා විශාල කැපකිරීමක් කරලා ගෙනාවේ එවැනි කළු අතීතයක් තිබෙන කෙනෙක්. විජේදාස මහත්තයා මේ වනවිටත් මහින්ද රාජපක්‍ෂ මහත්මයා නායකත්වය දරන පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු 20වැනි සංශෝධනයේදී ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ අයෙක්. ඔහු තමන්ගේ මතයක් ප්‍රකාශ කළාට පස්සේ ජනාධිපතිවරයාගේ හැසිරීම ද්වේශයෙන්, වෛරයෙන්, ආවේගයෙන් වෙව්ලමින් පහත් වචනයෙන් බැනවැදීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් තර්ජනය කිරීමේ තත්වයකට ජනාධිපතිවරයා පත්ව තිබෙනවා නම් සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව තත්වය මොකක්ද? ජනාධිපතිවරයා බලයට පත්වූ පසුව තර්ජනය එල්ල කළ පළමු පුද්ගලයා විජේදාස රාජපක්‍ෂ නොවන බව අපි දන්නවා. ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් දුරකතනයෙන් බැන වදිනවා නම් ඒ රට ගමන් කරමින් තිබෙන්නේ කවර දිශාවකටද?

    මා මේ කියන ප්‍රකාශය පිළිබඳව ඔහුට ඔහුගේ පැත්තෙන් අදහස් දැක්වීමේ අයිතිය තිබෙනවා. ජනාධිපතිවරයාගේ සතියේ මාධ්‍ය සාකච්ඡාව වන ‘ගම සමඟ’ පිළිසඳරේදී උත්තර දෙන්න තිබුණා. එහෙම නැත්නම් මහජන මුදලින් පඩි ගෙවන ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් කරුණු ඉදිරිපත් කළ හැකියි. එහෙමත් නැන්තනම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස යම් මන්ත්‍රීවරයෙක් හෝ පුරවැසියෙකු ඉදිරිපත් කරන කරුණුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා එවැනි අවස්ථා ගණනාවක් තිබෙනවා. එසේ නොකොට බිය වද්දමින් තර්ජනය කරමින් මේ යන්නේ හිට්ලර් වගේ වෙන්න කියලා අමාත්‍යවරයෙක් කළ ප්‍රකාශයෙන් උද්දාමයට පත්වෙලාද කියලා අපි දන්නේ නැහැ. මෙවැනි ගණයේ තර්ජනයෙන්, බිය වැද්දීමෙන් ගෙනයන පාලනයකට ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් දරන මෙම උත්සාහය නතර කළ යුතුයි. අප මේ මතු කරන්නේ රට පිළිබඳව ප්‍රශ්නයක්.

    මේ දේශපාලන කඳවුර දේශප්‍රේමිත්වය පිළිබඳව මහා ඝෝෂාවකින් නිර්මාණය වුණු බව ඔබට මතක ඇති. විකිණීමට එරෙහි කඳවුරක් ලෙස ඔවුන් පෙනී සිටියා. අධිරාජ්‍යවාදයට එරෙහි කඳවුරක් ලෙස පෙනී සිටියා. ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේ කඳවුරක් ලෙස පෙනී සිටියා. ඔවුන්ට ලැබුණු ජනවරම ආර්ථිකයේ ලිබරල්කරණය දෙසට යන ජනවරමක් නෙවෙයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා පිටුපස දැනුවත්ව, නොදැනුවත්ව, වැරදීමෙන් හෝ රැවටීමට ලක්වීමෙන් ලැබුණු ජනවරමක් තිබෙනවා. ඔවුන්ව බලයට පත්කළ ජනවරමටත් එකඟ නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. අපි එකඟන නොවුනත් විදේශ ආයෝජන කැඳවාගැනීම සඳහා සම්මත වූ පනත් දෙකක් තිබෙනවා. ආයෝජන මණ්ඩල පනත සහ ක්‍රමෝපායික සංවර්ධන පනත. ෂැංග්‍රිලා හෝටලය ගොඩනැගීමේදී එය ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස නම් කර සමහර බදු සහන අවුරුදු 43ක් දක්වා දී තිබෙනවා. ජේම්ස් පැකර්ගේ සූදු ව්‍යාපාරය ගේන්න උත්සාහ කළ වෙලාවේදී මෙවැනි බදු සහන දෙන්න යෝජනා කළා. රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය විකිණීමෙන් පසු ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ බදු සහන දෙන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා. අපි ඒ පනතට විරුද්ධ වුණා.

    හැබැයි ක්‍රමොපායික සංවර්ධන පනත විශාල බදු සහන ලබාදෙන්න පුළුවන් පනතක්. මෙවැනි ව්‍යාපෘති වේගවත්ව අධීක්‍ෂණය සහ මෙහෙයවීම සඳහා ආයෝජන මණ්ඩලය තිබෙනවා. පෝර්ට් සිටියට යම් ව්‍යාපෘතියක් එනවා නම් ආයෝජන මණ්ඩලය හරහා යන්න බැරි ඇයි? ඒ ව්‍යාපෘතිවලට බදු සහන දෙන්න ඕනෑ නම් ක්‍රමෝපායික සංවර්ධන පනත හරහා පොර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන දෙන්න බැරි ඇයි? එම කලාපයට පමණක් විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්නේ ඇයි? චීනයට වුවමනා වන පරිදි ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලන උපාය මාර්ගයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට අදාල පනතක් මේ ගෙන එන්නේ. ඒ නිසයි අපි නැවත නැවතත් කියන්නේ මෙය ජනමත විචාරණයකට ලක්කිරීමකින් තොරව අනුමැතිය නොදිය යුතුයි කියලා. අපේ රටේ ස්වෛරීභාවය, රටේ අනාගතය සම්බන්ධයෙන් ව්‍යවස්ථාව, මූල්‍ය පනත් අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිසි තීරණයක් ලබාදෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…

    “මෙම කලාපයේ වැටුප් ගෙවීම සඳහා විදේශීය මුදල් ඒකක පාවිච්චි කළ යුතු බව කෙටුම්පතේ සඳහන් වෙනවා. මෙම කලාපයේ විදේශ ගනුදෙනුවලදී යොදා ගන්නේ ඇමරිකන් ඩොලර්. 35වැනි වගන්තිය මම ඔබට කියවන්නම් “සේවා නියුක්තිකයාට ශ්‍රී ලංකා රුපියල් නොවන, නම් කරන ලද විදේශ මුදල්වලින් පාරිශ්‍රමික ගෙවීමට ඉඩ ලැබිය යුතුය.” මෙතන විදේශ මුදල් ඒකකය නම්කරලා නැහැ. පෝට් සිටියේ වැඩිම පංගුව හිමි චීනයට නම් මේ මුදල් ඒකකය යුවාන් වෙන්න පුළුවන්.

    යම් ආයතනයකට මුදල් වෙන්කර ගැනීමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිය යුතුයි. හැබැයි මේ කලාපයට පාර්ලිමේන්තුව අනුමැතියක් නැතිව මුදල් වෙන් කිරීම් කරගත හැකියි. ඒකාබද්ධ අරමුදලකට ගැට ගැහෙන්නේ නැහැ. ඒ වගේම විගණන බලය තියෙන්නේ විගණන දෙපාර්තමේන්තුවට. නමුත් මේ කලාපයේ ජාත්‍යන්තර විගණන සමාගමකින් විගණනය කෙරෙනවා. ඒ නිසා විගණනය කිරීමේදීත් පාර්ලිමේන්තුවට ගැට ගැහෙන්නේ නැහැ. තවත් ලෙසකින් බදු පැනවීම හෝ බදු නිදහස් කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් සිදුකළ යුතුයි කියන කොන්දේසියෙන් ගැට ගැහෙන්නෙත් නැහැ. කොමිෂන් සභාවට බදු සහන ලබාදිය හැකියි. ඕනෑම ආයතනයක් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෝ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවිය හැකියි. හැබැයි මේ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට කැඳවන්න බැහැ. හැබැයි මෙතන අපේ පාර්ලිමේන්තුවේ සම්මත කරන නීතියකට යටත් නොවන කලාපයක් නිර්මාණය වෙනවා.

    ඒ වගේම ලාංකීය දේශීය ව්‍යාපාරිකයන්ට අවස්ථා මෙම කලාපයේ අහුරා තිබෙනවා. සමාන ව්‍යාපාරයක තිබෙන තරඟකාරිත්වය අසමාන තත්වයකට පත්කරනවා. අපි නොපිළිගන්නවා වුණත් මේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික මූලධර්මයක් වී තිබෙන්නේ සම තරඟකාරිත්වය. ලිබරල් ආර්ථික ක්‍රමයේ සම තරඟකරුවන් කියන එක සැලකිය යුතු ප්‍රමාණයකින් ආරක්‍ෂා කරනවා. හැබැයි මෙතැන නිර්මාණය වෙන්නේ සම තරඟකරුවන් නෙවෙයි. රටේ එක ප්‍රදේශයක බදු සහ විවිධ වරප්‍රසාද ලැබුණු කොටසක් ඉන්න අතර තව භූමි ප්‍රදේශයක බදු සහ විවිධ වරප්‍රසාද අඩු කොටසක් ආයෝජකයන් ලෙස ඉන්නවා. අපේ රටේ ආර්ථික ප්‍රසාරණය සම්බන්ධයෙන් තියෙන අසමාන තත්වයක් මේ තුළින් තව තවත් වර්ධනය කරන කොළඹ කේන්ද්‍රීය තත්වයක් නිර්මාණය වෙනවා. මේ අනුව විශාල අසමාන තත්වයක් ආර්ථිකයේ සම තරඟකරුවන් අතර ඇති වෙනවා.”

  • හම්බන්තොට චීනට දුන් ‘එජාපයට අත්වුණ ඉරණම’ පොහොට්ටු ආණ්ඩුවටත් ? අභයාරාමයෙන් සටන ඇරඹේ !

    හම්බන්තොට චීනට දුන් ‘එජාපයට අත්වුණ ඉරණම’ පොහොට්ටු ආණ්ඩුවටත් ? අභයාරාමයෙන් සටන ඇරඹේ !

    හම්බන්තොට වරාය ගිවිසුමක් මගින් චීනයට පවරා දුන් එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වූ බවත් වත්මන් ආණ්ඩුව ඊටත් වඩා බිහිසුණු ගමනක් යමින් කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට පියවර ගනිමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (15) නාරාහෙන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

    එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් කී විජේදාස රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

    ‘ අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

    දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි ‍වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි‘

    මෙහිදී අදහස් දැක්වූ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි‍යෝ මෙසේ සදහන් කළහ.

    ‘‘ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව තම සංවිධානය ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කළා. මෙම පනත මගින් වරාය නගරය ලංකාවේ කොටසක් ලෙස බස්නාහිර පළාතේ සිතියමට ඇතුළත් වන්නේ නැහැ. ඒ වගේම දැනට රට තුළ ක්‍රියාත්මක වන පනත් අටක් වරාය නගරය තුළ ක්‍රියාත්මක වීම වැළැක්විමෙන් එය චීන කොළණියක් බවට පත්වීම නිසැකවම සිදුවෙනවා. මේ වන විට කොළඹ වරාය නගරය චීනයට පවරාදීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 14ක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව අපි ඉදිරිපත් කළ පෙත්සම 15 වැනි පෙත්සමයි‘‘

  • අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11ක් තහනම්

    අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11ක් තහනම්

    ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

    මේ අනුව එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාදි, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය මෙසේ තහනම් කිරීමට කිරීමට නියමිතයි.

  • දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා –  ඇල්ලේ ගුණවංශ හිමියෝ

    දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා – ඇල්ලේ ගුණවංශ හිමියෝ

    ”දැන් අපිට නීතිය ස්ථාපිතයි කියලා දැනෙන්නේ නෑ. අයුක්තිය අසාධාරණය නිතර පෙනෙනවා. දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා. හැම කෙනෙක් ගැනම ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ‘‘ යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ කියති. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ගුණවංශ හිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.

    ‘‘වියත් සභාවෙන් හෝ මොනම සභාවකින් පත් කළත් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාමට අපොහොසත් නම් ඊට රජය වගකිව යුතුයි. ජනතාවට කෑම ටිකක් කන්න බය නම්, වතුර ටිකක් බොන්න බය නම්, පාරක බැහැල යන්න බය නම් මේ සමාජය මොකක්ද ? රජයට යුතුකමක් තිබෙනවා නීතිය නිසි ලෙස ස්ථාපිත කරලා කටයුතු කරන්න. රජය පෙන්විය යුතුයි පත්කරපු වියතුන්, උගතුන්ගේ ක්‍රියාකලාපය මොකක්ද කියලා. මගේ පන්සල අවට තියෙන රාජ්‍ය ආයතන ඔක්කොම බංකොලොත්. වියත් සභාවෙන් හෝ මොනම සභාවකින් පත් කළත් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාමට අපොහොසත් නම් ඊට රජය වගකිව යුතුයි. අපි කෑ ගැහුවේ නෑ මෙයා පත් කරන්න. අරයා පත්කරන්න කියලා. මේ රට හදාගත යුතු නිසා අපි පැත්කට වෙලා හිටියා. දැන් අපිට නීතිය ස්ථාපිතයි කියලා දැනෙන්නේ නෑ. අයුක්තිය අසාධාරණය නිරත පෙනෙනවා. දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා. හැම කෙනෙක් ගැනම ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ

  • රන්ජන්ගේ මන්ත‍්‍රීධුරය අහෝසියි – අජිත් මාන්නප්පෙරුම එයි

    රන්ජන්ගේ මන්ත‍්‍රීධුරය අහෝසියි – අජිත් මාන්නප්පෙරුම එයි

    සමගි ජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය.

    නීති උපදෙස් ලබා ගැනීමෙන් පසු මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇති බව ද කතානායකවරයා ප‍්‍රකාශ කළේය.

    කතානායකවරයා විසින් රන්ජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රීධුරය අහෝසි කරන ලද බව ප‍්‍රකාශ කිරීම සමග පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර විපක්ෂයේ මන්ත‍්‍රීවරු සිය විරෝධය පළ කිරීමට සභා ගැබට පැමිණියහ. මේ සමග ආණ්ඩු පක්ෂයේ පිරිසක් ද සභා ගැබට පිවිසීම සමග දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. දෙපිරිසම මුහුණ ආවරණ ඉවත්කර සමාජ දුරස්ථභාවය ගැන කිසිම අවධානයක් යොමු නොකර සිටිනු මෙහිදී දැකගත හැකි විය.

    රන්ජන් රාමනායක මහතා තම මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිය ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය පෙරේදා (05) නියෝග කළේය.

    මේ අතර රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන පෙරමුණේ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

    පසුගිය 2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී අජිත් මාන්ප්පෙරුම මහතා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපෙක්ෂක ලයිස්තුවේ රන්ජන් රාමනායක මහතාට පසුව ඊළගට වැඩි මනාප සංඛ්‍යාවක් ලබගත් අතර ඔහු විසින් මනාප 47,0212ක් ලබා ගත්තේය.

  • සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න 02ක් ඇසීමට මන්ත්‍රීවරයන්ට අවස්ථාව

    සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න 02ක් ඇසීමට මන්ත්‍රීවරයන්ට අවස්ථාව

    පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් සලසා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

    ඒ අනුව සභාව කල් තබන අවස්ථාවේදී යෝජනා සඳහා වෙන්කළ දිනයන්හිදී, ඒ සඳහා වෙන්කර ඇති පැයක කාලයෙන් මිනිත්තු විස්සක (20) කාලයක් “සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න” දෙකක් ඇසීම සඳහා වෙන් කර දී ඇති බව ද කථානායකවරයා සඳහන් කලේය.

    සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන් කළ දිනයන්හිදී, පිළිවෙළින් ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය සඳහා එක් ප්‍රශ්නයක් බැගින්  ප්‍රශ්න දෙකක් (02) ක් සඳහා පමණක් ඉඩ ලබා දෙන බව ද අබේවර්ධන මහතා පැවසීය.

    අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ප්‍රශ්නය ඇසීම සඳහා මිනිත්තු පහක (05) කාලයක් ද,  අදාළ අමාත්‍යවරයාට ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම  සඳහා මිනිත්තු පහක  (05) කාලයක්ද වෙන් කරනු ඇත.

    සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න, ‘හදිසි පොදු වැදගත්කමකින්  යුතු  කාරණා’ සඳහා පමණක් සීමා වන අතර, සභාව කල් තබන අවස්ථාවේ අදාළ ප්‍රශ්න, හදිසි පොදු වැදගත්කමකින් යුතු ද යන්න කථානායකවරයා විසින් තීරණය කරනු ලබනු ඇත.

    ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නයක් පෞද්ගලිකව හෝ ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මඟින් අදාළ ප්‍රධාන සංවිධායකවරයා වෙත යොමුකරනු ලැබිය හැකි අතර අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ඊට ස්වකීය අත්සන යොදනු ලැබ තිබිය යුතුවේ.

    එවැනි ඕනෑම ප්‍රශ්නයක් අදාළ ප්‍රධාන සංවිධායකවරයා විසින් නියමිත දිනයට පෙර දින පෙරවරු  10.00 වන විට පාර්ලිමේන්තුවේ  මහ ලේකම්වරයා වෙත යවනු ලැබිය යුතු අතර, අදාළ අමාත්‍යවරයා වෙතද විධිමත් ලෙස දැනුම් දීමට හැකිවන පිණිස එකී ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ  මහලේකම්වරයා විසින් මධ්‍යහ්න 12.00 ට පෙර පාර්ලිමේන්තුවේ සභානායක ලේකම්වරයා වෙත යොමු කරනු ලැබේ.

    එවැනි ඕනෑම ප්‍රශ්නයක් සඳහා සභාගර්භයේ දී පිළිතුරු ලබා දීමට හෝ ලබා නොදීමටත්, සවිස්තරාත්මක තොරතුරු රැස්කරන ආකාරයේ දීර්ඝ පිළිතුරු අවශ්‍ය වන ප්‍රශ්නයක් නම් එය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයක් ලෙස ලැයිස්තුගත කරන ලෙස ඉල්ලා සිටීමටද අදාළ අමාත්‍යාවරයාට අයිතියක් පවතින බවද කථානායකවරයා පැවසීය.

  • පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශනයට පත් කළ ‘කැබිනට් අනු කමිටුවේ වාර්තාව’ ජනපති අතට

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශනයට පත් කළ ‘කැබිනට් අනු කමිටුවේ වාර්තාව’ ජනපති අතට

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබීය.

    කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව භාර දුන්නේය.

    2021 පෙබරවාරි මස 19 වන දින ජනාධිපතිවරයා විසින් කමිටුව පත් කරනු ලැබිණ.

    කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශණය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ. එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර ඇත.  

    නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ ජනාධිපතිවරයා විසින් මීට පෙර  නීතිපතිතුමා වෙත යොමු කරනු ලැබීය.

    කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ‘ආණ්ඩුවේ සෙප්පඩවිජ්ජාවලට – රැවටිලිවලට අපි තවත් අහුවෙන්නේ නෑ’

    ‘ආණ්ඩුවේ සෙප්පඩවිජ්ජාවලට – රැවටිලිවලට අපි තවත් අහුවෙන්නේ නෑ’

    කමිටු දමලා එකි නෙකා ආරක්ෂා කරන්න යනවනම් රටේ නීතියක් නෑ, කොමිෂන් සභාව අවුරුදු එක හමාරක් තිස්සේ සොයලා බලලා තීන්දු දුන්නා නම් ආණ්ඩුව මොකටද තව තවත් හොයන්නේ. ඔය සෙප්පඩවිජ්ජාවලට රැවටිලිවලට තවත් අහුවෙන්නේ නෑ. කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න’ යැයි කොළඹ අගරදගුරු  මැල්කම් රංජිත් කාදිනල් තුමා අවධාරණයෙන් සදහන් කළා.

    කාදිනල්තුමා මේ බව අවධාරණය කළේ අද (04) පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

    එහිදී කාදිනල්තුමා දැඩිව ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවයි.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කාදිනල්තුමා,

    ඉතාමත් ඕනෑකමින් රජයෙන් ඉල්ලා සිටිනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. අපිට ලැජ්ජත් හිතෙනවා අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලන්න යනවා කියලා කතාවක් යනවා. තමන්ගේ යුතුකම් අමතක කරලා පිටරට ගියපු ජනාධිපතිතුමා කොහොමද ඡන්දේ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. රජයෙන් එතුමා වරදකරුවෙක් කරලා තියෙනවා. එතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙනද ඒ කතාව කියන්නේ කියලා. සහරාන්ලා එක්ක එකට හිටපු අය නිදැල්ලේ ඉන්නවා. තාමත් මම යුක්තිය සාධාරණත්වය ඉල්ලා සිටිනවා. 21 වෙනිදාට කලින් මේකට ක්‍රියාත්මක වුණේ නැතිනම් අපි පාරට බහිනවා. අපි නිහඬව ඉන්නේ නෑ. ඒක රට කරවන නායකයෝ මතක තියාගන්න. කමිටු දමලා එකි නෙකා ආරක්ෂා කරන්න යනවනම් රටේ නීතියක් නෑ, කොමිෂන් සභාව අවුරුදු එක හමාරක් තිස්සේ සොයලා බලලා තීන්දු දුන්නා නම් ආණ්ඩුව මොකටද තව තවත් හොයන්නේ. ඔය සෙප්පඩවිජ්ජාවලට රැවටිලිවලට තවත් අහුවෙන්නේ නෑ. කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න.”

  • පළාත් සභා මැතිවරණය ගැන ඇමති ජී.එල් ගෙන් බරපතළ ප්‍රකාශයක්

    පළාත් සභා මැතිවරණය ගැන ඇමති ජී.එල් ගෙන් බරපතළ ප්‍රකාශයක්

    පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇතත් ඒ සදහා පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කර ගැනීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

    කෙසේ වෙතත් එලැඹෙන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටින සියළුම දේශපාලන පක්ෂ සමග පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

    සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවුරුදු නැකැත් සීට්ටුවක් නිවෙස් වලට බෙදා   දීමට කටයුතු යොදා තිබේ. එය ඊයේ (03) පෙ.ව. 7.54 යෙදුනු සුභ මොහොතින් ජනතාව අතර බෙදා හැරීම ආරම්භ කෙරිණි. මිනුවන්ගොඩ නගරයේ මෙම පත්‍රිකා බෙදා දීම සිදු කෙරුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පිරීස් මහතාගේ සහ සංචාරක ඇමති ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. පත්‍රිකා බෙදා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඇමති මහචාර්ය ජී.එල් පිරීස් මහතා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සිය පක්ෂයේ සුදානම මෙසේ හෙලි කලේය.

    “පළාත් සභා මැතිවරණය පවත්වනවා. හැබැයි ඒකට පාර්ලිමේන්තුවට ගිහින් පණතක් සම්මත කර ගත යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරල තියෙනවා. ඒ පණත නැතිව පළාත් සභා මැතිවරණය තියන්න බෑ කියලා පසුගිය රජය කලේ තනිකරම ප්‍රෝඩාවක්. තිබුණ මැතිවරණය ක්‍රමය අහෝසි කළාට අලුත් නීතියක් හැදුවේ නෑ. ලෝක ඉතිහාසයේ පලමු වතාවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කල විෂයභාර ඇමතිවරයා තමන්ගේම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා. මැතිවරණ වලට මුහුණ දීමට ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසයි. ඔවුන් එහෙම කලේ නොයෙක් උප්පරවැට්ටි භාවිතා කරලා ඔවුන් මැතිවරණ කල් දැම්මා ඒකට උදව් කලේ TNA එක හා යහපාලන ආණ්ඩුවට තුනෙන් දෙකක් තිබුනේ නෑ. ඒ තුනෙන් දෙක ලබා දුන්නේ දෙමළ ජාතික සන්ධානයයි. ඔවුන් තිදෙනා ආසන 16 ක් යහපාලන ආණ්ඩුවේ දෙමළ ජාතික සන්ධානයේ මේ ක්‍රියා පිලිවෙල නිසයි මැතිවරණය කල් ගියේ. ආණ්ඩුවට සිදුවෙලා තියෙනවා ඒ වරද හරිගස්සන්න. කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය දේශපාලන තීන්දුවක් ගත යුතුයි. කොයි ක්‍රමයටද පළාත් සභා පවත්වන්නේ කියලා ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ පණත සම්මත වුනාම රට පුරාම එකවර මැතිවරණය පවත්වන්න කටයුතු කරන්න පුලුවන්.

    13 වන සංශෝධනය යටතේ හදුන්වාදුන් පළාත් සභා ක්‍රමය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්. පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යා යුතුද? නැද්ද යන්න සලකා බැලීම සදහා විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා ජනාධිපති නිතීඥ රොමේෂ්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්. ඒ කමිටුව වාර්තාවක් රජයට ඉදිරිපත් කළාම තීරණය ගන්න පුලුවන් අනාගතයේ පළාත් සභා ක්‍රමය අවශ්‍යද නැද්ද කියන එක. දැනට පළාත් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කොටසක්. ඒ නිසා පළාත් සභා නොපවත්වා සිටින්න බෑ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. පළාත් සභා අවශ්‍ය ද නැද්ද බලතල මොනවාද යන්න පිළිබදව තීරණයක් ගත හැක්කේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වන අවස්ථාවේදීයි.

    අපි සමග සන්ධානගතව සිටින සියලුම දේශපාලන පක්ෂ සමග අපි ඉදිරියේදී පළාත් සභා සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අපි සිකුරාදා (03) සාකච්ඡාවක් ආරම්භ කළත් තීරණයකට එළඹියේ නෑ. අපේ අපේක්ෂාව හදපු සන්ධානය රැක ගැනීමයි ආණ්ඩුවක් හදන එකයි විතරක් නෙවේ. හදපු ආණ්ඩුව රැක ගන්නත් අවශ්‍යයි. සන්ධානයක් තුල ප්‍රශ්න ඇතිවීම ස්වභාවිකයි. සන්ධානයක් කියන්නේ පක්ෂ කීහිපයකින් සැදුම්ලත් සංවිධානයක්. විටින් විට මතභේද ඇතිවෙනවා. ඒවා සුහදව නිරාකරණය කර ගෙන සන්ධානයේ ශක්තිය රැක ගැනීම තමයි අපේ අභිප්‍රාය වෙලා තියෙන්නේ

  • හෙට පාර්ලිමේන්තුවේ මුළු දිනයම මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට

    හෙට පාර්ලිමේන්තුවේ මුළු දිනයම මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට

    පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු හෙට පස්වරු 4.00 දක්වා සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

    හෙට (05) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක් ඇසීමට අවස්ථාව ලබා දීමට සභානායක හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙන එනු ලැබූ යෝජනාවකට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාවය පළවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    එමෙන්ම එදිනට මැතිවරණ ක්‍රම ව්‍යුහයේ පවතින අඩුපාඩු සොයා බලා ඒවා සංශෝධනය කිරීම සඳහා  නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාවද  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව මහ ලේකම්වරයා පැවසීය.

    එමෙන්ම 2019 අප්‍රියෙල්  21 දින එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 04 වැනි දිනයටත් අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහලේකම්වරයා සඳහන් කළේය.

    මෙයට අමතරව, දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අප්‍රේල් 08 සහ 09 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

    අප්‍රේල් 06  වැනිදා ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනයට අදාළ යෝජනාව ඇතුළු කරුණු 08 විවාදයට ගනු ලබනු ඇත.

    මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ප්‍රශ්න 02ක් ඇසීම‍ සඳහා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනෙන පැයක කාල සීමාවෙන් විනාඩි 20 ක කාලයක් ලබා දීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාවය පළ වූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේය.

  • කඩොලාන නිසා දේවානි ජයතිලක ගම්පහ රාජ්‍ය ඇමතිවරු සමග යළි යුද්ධයක් අරඹයි !

    කඩොලාන නිසා දේවානි ජයතිලක ගම්පහ රාජ්‍ය ඇමතිවරු සමග යළි යුද්ධයක් අරඹයි !

    මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේශ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර  අද (30) දින පැවැති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

    මීගමුව කලපුව ධීවරයන් 6000කට පමණ සහන ලැබෙන අයුරින් සංවර්ධනය කිරීමට රජය පියවරගෙන ඇති බවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊට අවශ්‍ය නිර්දේශ නොලැබීම හේතුවෙන් රුපියල් මිලියන 600ක පමණ මුදලක් අපතේ යන බවත් එබැවින් මෙම ව්‍යාපෘතියට අවසර ලබා දෙන ලෙස සම්බන්ධීකරණ කමිටුවේදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ගම්පහ දිස්ත්‍රික් වන සංරක්ෂණ නිලධාරීනි දේවානි ජයතිලක මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

    රාජ්‍ය ඇමැති නිමල් ලන්සාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ මීගමුව කලපුවෙහි කඩොලාන පද්ධතියට දමා ඇති පස් ඉවත් කිරීමට පියවර ගන්නා තෙක් අවශ්‍ය නිර්දේශ ලබාදීමට නොහැකි බවයි. කලපු ව්‍යාපෘතිය වන අපරාධකුරවකු වී සිටින බැවින් තමන් මෙම නිර්දේශ ලබා නොදෙන බව ද ඇය කීවාය.

    මේ සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

    රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා – මීගමුව කලපුව ශුද්ධ පවිත්‍ර කර ධීවරයන්ට හා රටට අවශ්‍ය ආකාරයෙන් හදන්න ප්‍රමාද වී තිබෙන්නේ වන සංරක්‍ෂන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ප්‍රමාදවීම නිසා බව ධීවර අමාත්‍යාංශය කියනවා.

    දේවානි ජයතිලක මහත්මිය – මේ කලපු ව්‍යාපෘතිය වන අපරාධකරුවෙක්. අපට වන අපරාධකරුවෙකුට නිර්දේශ දෙන්න බැහැ.

    රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා – රොන් මඩ ඉවත් කරද්දී පසුගිය කාලයේ පොලිතීන් කිලෝ ගණන් ඉවත් කළා. දැන් ඒ ඉවත් කිරීම සම්පූර්ණයෙන් නැවතිලා. ඔබතුමිය අවසර දෙනවාද නැද්ද කියන්න. එහෙනම් ව්‍යාපෘතිය නතර කරන්න කියන්න පුළුවන්. මේ නිසා මිලියන 600ක මුදලක් භාවිතයට නොගෙන තිබෙනවා.

    දේවානි ජයතිලක මහත්මිය – කඩොලාන පද්ධතියට හානි වන සේ දමා ඇති පස් ඉවත් කළොත් මම ඒ සැණින් නිර්දේශය ලබාදෙනවා. ගැටලුව තිබෙන්නේ වන අපරාධකරුවෙකුට මට අවසර දෙන්න බැහැ.

    දේවානි ජයතිලක මහත්මිය – අපරාධකරුවෙක් ඉන්නවා නම් අපිට නිර්දේශයක් දෙන්න බැහැ.

    රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා – කඩොලාන පද්ධතියට පස් දැමීම වෙනත් කරුණක්. මීගමුව කලපුවේ පවතින අපද්‍රව්‍ය ඉවත් කොට සංවර්ධනය කිරීම තවත් සංවර්ධන කටයුත්තක්. ඒ නිසා ඔබතුමිය මෙතන වලිගෙ පාගාගෙන කතා කරන්න එපා

    දේවානි ජයතිලක මහත්මිය – කාර්යයන් පැවරී තිබෙන්නේ මට නෙවෙයි. ධීවර අමාත්‍යාංශයට හෝ ඒ අදාළ පාර්ශවයටයි. වැරැද්ද කර තිබෙන්නේ ඒ අයයි. ඒ නිසා හැමෝම මට පීඩනයක් එල්ල කිරීම වැරදියි. මෙතනදි වැරදි කළ පාර්ශවයට පීඩනය එල්ල කරන්න. ඒ අයට පස් ඉවත් කරන්න කියන්න. එයාලා අවුරුදු දෙකක් තිස්සේ පස් ඉවත් කළා නම් මේ වෙද්දිත් ව්‍යාපෘතිය කරලා. පස් ඉවත් නොකිරීම නිසා කඩොලාන පද්ධතියට වූ හානිය පූරණය කරන්නේ කවුද? එතනත් බිලියන ටි්‍රලියන නෙවෙයි ඊට වඩා හානියක් වී තිබෙනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේවායින් විශාල වශයෙන් ඔක්සිජන් ලබාදෙනවා. එතරම් විනාශයක් තිබියදී වැරදිකරුවන් නිදහස් කරමින් අපිට චෝදනා කිරීම කොච්චර වැරදිද?

    රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා – අපිටත් මේ ගැන තේරෙනවා. ඔක්සිජන් ගැන අපිත් දන්නවා. මෙහෙම යද්දී තවත් පරිසර හානි සිදුවේවි.

    රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය – කලපුව පවිත්‍ර කර දෙන ලෙස ධීවර කාර්මිකයින් කළ ඉල්ලීමක් අනුව මේ සංවර්ධනය කරන නිසා ප්‍රශ්න පටලවා ගන්න එපා.

    ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා – රජයේ ව්‍යාපෘතියක් වනඅපරාධකරුවෙක් ලෙස හඳන්වන්ගේ කොහොමද

    රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා – වනයට පරිසරයට, මමත් ආදරෙයි. එය සුරැකීමට කටයුතු කරනවා.

    ගම්පහ දිස්ත්‍රික් කමිටු සම සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා – මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කලපුව පවිත්‍ර කිරීමට සහ කඩොලාන පස් ඉවත් කිරීමට අදාළ අංශ සමඟ සකච්ඡාවක් කැඳවීමට කටයුතු කරනවා.

    තොරතුරු මූලාශ්‍රය – ලංකාදීප ඊ පුවත්පත – මෙම සිදුවීම ගැන වඩාත් පුළුල් සමාජ අවධානයක් අවශ්‍ය හෙයින් සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • පිළිකාකාරක පොල්තෙල් – විෂයභාර ඇමැති ලෙස ජනපති සිය මතය ප්‍රකාශ කළ යුතුයි – ජවිපෙ

    පිළිකාකාරක පොල්තෙල් – විෂයභාර ඇමැති ලෙස ජනපති සිය මතය ප්‍රකාශ කළ යුතුයි – ජවිපෙ

    ප්‍රමිති ආයතනය බාර ජනාධිපතිවරයා විෂ පොල්තෙල් ගැන තවම ප්‍රකාශයක් කර නැති බවත් ජනාධිපතිවරයා වහාම මෙම විෂ පොල්තෙල් ගැන රටටත් ජනතාවටක් ප්‍රකාශ කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

    ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහභාගිත්වයෙන් අද (30) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අතර සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් පල වේ.

    ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

    “ලංකාවට ගෙන්වන ලද පොල්තෙල්වල පිළිකා කාරක විෂ අඩංගු බව හෙළවී තිබෙනවා. පිළිකා කාරක රසායනික, තුන්ගුණයක් පමණ අඩංගු පොල්තෙල් ගෙනත් තිබෙන බව දැන් තහවුරුවී තිබෙනවා. රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ගුණාත්මක ආහාර ලබාදීම, රටක ආණ්ඩුවක වගකිමක්. ආහාරවල ප්‍රමිතියේ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් සාධාරණ මිලකට ලබාදීම මේ අතරින් ප්‍රමුඛ කාර්යයක්. රජයේ ආයතන තියෙන්නේ ඒ වෙනුවෙන්. ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතනය පිහිටුවා තිබෙනවා වගේම විෂයභාර ඇමතිවරුන් පත්කර තිබෙන්නේත් මේ වගකීම ඉටුකිරීමටයි.

    තමන් ලබාගන්නා භාණ්ඩයේ ප්‍රමිතිය පරීක්ෂා කර බලන්න පාරිභෝගිකයාට අවස්ථාවක් නැහැ. පාරිභෝගිකයා අදාළ තහවුරුව ලබාගන්නේ ප්‍රමිති ආයතනය හෝ අනිකුත් වගකිව යුතු ආයතනන ලබාදී තිබෙන සහතිකයෙන්. මේ වගවීම වරින්වර බරපතළ විදිහට ප්‍රශ්න කෙරෙනවා. යම් ප්‍රශ්නයක් පැනනගින මොහොතේදී ආණ්ඩුව, නිලධාරීන් මැදිහත්වී විවිධ ප්‍රකාශ කරනවා. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ගැන මාධ්‍ය සාකච්ඡාවලදී කියනවා. ඒ ක්‍රියාවලියෙන් පස්සේ ඊළඟ අවස්ථාවක් එනකම් සියල්ලම යට යනවා. කාලයක් තිස්සේ අපි අත්දකින්නේ මේ තත්වය. කිරිපිටිවල ප්‍රශ්නයක් එක වෙලාවකදී ආවා. දැන් කිරිපිටිවල විෂ කාරක තිබෙනවාද කියලා දන්නෙත් නැතිව මිනිස්සු පරිභෝජනය කරනවා. කල් ඉකුත් වූ සැමන් වෙළඳපොළට ඇවිත් ආසනික් තිබෙනවා කියලා ඊළඟට සොයා ගන්නවා. දැන් පොල්තෙල්. මිනිස්සු ලෙඩවුණාම ගන්න තියෙන බෙහෙතුත් කල් ඉකුත් වූ ඒවා බව හෙළිවී තිබෙනවා. මේවාට වගකියන්නේ කවුද? ප්‍රශ්නය තියෙන්නේ එතනයි.

    පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙන ඒමේ වගකිවයුත්තෙක් නැති තත්වයක් මතුවෙලා. මේ විදියට ගියොත් කඩවල්වල “වස විස නැති ආහාර” කියල බෝඩ් දාලා තියෙනවා වගේ හෙට අනිද්දාට “වස විස නැති පොල්තෙල්” කියලත් බෝඩ් දාන්න වෙයි. මිනිසුන්ගේ අතේ තිබෙන ගණන අනුව ගණන් වැඩි පිළිකාකාරක නැති පොල්තෙල් ගන්නවාද, මිල අඩු පිළිකාකාරක තිබෙන පොල්තෙල් ගන්නවාද කියලත් තීරණය කරන්න වෙයි. මේ නිසා ජනතාව වියට පත්වෙලා. මේ තත්වය තුළ ආණ්ඩුව හැසිරෙන්නේ දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා කියන ප්‍රතිපත්තිය අනුව. පොල්තෙල් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවුණ නිසා දැන් ඒ ගැන කතා කරනවා. හැබැයි ආණ්ඩුවේ ජාවාරම්කාර ගජමිත්‍රයෝ ටික එකතුවෙලා විස පොල්තෙල් ආනයනය කරලා නිදහසේ ජනතාවට නිකුත් කරන්න ඉඩකඩ හදල දීලා තිබෙනවා.

    පොල්තෙල්වලට රුපියල් 150/-ට තිබුණ බද්ද අවස්ථා කිහිපයකදීම අඩුකරලා මිලියන 175ක විතර බදු වංචා කරන්න එක ව්‍යාපාරිකයෙකුට ඉඩ හදාදීලා තිබුණා. පොල්තෙල් බදු වංචා කරන අතර විෂකාරක ඒවා ගෙනල්ලා ජනතාවට වස කවන තත්වයක් තියෙන්නේ. විෂකාරක පොල්තෙල් වෙළඳපොළට ඇවිල්ලා තිබෙනවාද නැද්ද කියලා පරීක්ෂණවලින් තහවුරු කරන්නත් කලින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ආණ්ඩුව වෙනුවෙන් කියන්නේ මේවා ප්‍රතිඅපනයනය කරනවා කියලා. මේ ප්‍රශ්නයට වගකියන්න ඕනෑ කවුද, වෙළඳපොලට ගිහිල්ලද, හිඩැස තිබෙන්නේ කොතැනද කියලා හොයන්න ඕනෑ. මින් ඉදිරියට මෙවැනි දෙයක් වෙන්නේ නැහැ කියලා ආණ්ඩුව ජනතාවට සහතිකයක් දෙන්න ඕනෑ. එහෙම නැතිව ප්‍රතිඅපනයනය කරනවා කියන එක උත්තරයක් නෙවෙයි.

    පොල්තෙල් ගෙන්වූ සමාගම්වල ගුදම්වලටම මෙම පොල්තෙල් නිදහස් කළේ ඇයි? පුද්ගලික සම්ගම්වල ගුදම්වලටම නිදහස් කළාට පස්සේ මොකද වෙන්නේ. ඔවුන් හොර රහසේ මේවා වෙළඳපොළට නිදහස් කරන්නේ නැද්ද? මේවා වෙළඳපොළට නොයාවි කියලා රේගු නිලධාරීන්ට සහතික වීමක් නැහැ. පෞද්ගලික ගුදම් රේගු නිලධාරීන්ගේ වගකීමක් යටතේ තියෙන ඒවා නෙවෙයි. තීරු ගාස්තු ගෙවීමෙන් පසුවයි අදාළ සමාගම්වල ගුදම්වලට මේවා නිදහස් කරන්නේ. සීනි බදු වංචාවට සම්බන්ධ නුෂාඩ් පෙරේරා සතොසෙන් අයින්කරල, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිකමට පත්කළාට පස්සේ ජාවාරම්කාර චෞර වළල්ලට වැඩි ඉඩක් ලබාදී තිබෙනවා. නුෂාඩ් පෙරේරා මේ පුටුවේ වාඩිවුණාට පස්සේ පළවෙනි අවස්ථාව හැටියට පොල්තෙල් විෂ ප්‍රශ්නය ඇවිත් තිබෙනවා. විෂ පොල්තෙල් ගැන එළියට ආවේ ප්‍රමිති ආයතනයෙන් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ ඒකකයෙන්. පෞද්ගලික ගුදම්වලින් එළියට ගිය ඒවා ගැන පරීක්ෂණ කරන්නේ දැන්. සිංහල, හින්දු අලුත් අවුරුද්ද එන කොට ජනතාව කන්නේ මොන පොල්තෙල්ද කියන ප්‍රශ්නය තිබෙනවා.

    මේ සාම්පල් පරීක්ෂාව ප්‍රමිති ආයතනයෙන් සිදුකරන්නේ මොන තත්වයන් යටතේද කියලා විශේෂයෙන් දැනගන්න ඕනෑ. සාම්පල් පරීක්ෂාවේ වාර්තා එන්න කලින් පෞද්ගලික ගුදම්වලට ගියේ කොහොමද? ආණ්ඩුව කියන විදිහට ලංකාවට ගෙන්වන අනෙකුත් ආහාර ද්‍රව්‍යවලත් මේ ප්‍රශ්නය තිබෙනවා. ජනතාව කල්පනා කරන්නේ රජයේ වගකීමක් තිබෙන ආයතනයක ප්‍රමිති සහතිකය සහිතව භාණ්ඩ ගත්තා කියලා. තමන් පරිහරණය කරන පොල්තෙල් ඇතුළු ආහාරවල තත්වය මොකක්ද කියලා ජනතාව දන්නේ නැහැ. රටේ ආණ්ඩුවක් ජනතාවට වගකියන්නේ නැතිවුණාට පස්සේ මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා. ආණ්ඩුව තමන්ගේ ගජ මිතුරු හොරු රැළ එක්ක හිටගත්තාට පස්සේ බදු සහන දෙන්නෙත් ඒ ගොල්ලන්ට. මේ නිසා සාම්ප්‍රදායික ලෙස පොල්තෙල් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ටත් බරපතළ ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ප්‍රමිති ආයතනය භාරව ඉන්න ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයා තාමත් විෂ පොල්තෙල් ගැන මොකුත්ම කීවේ නැහැ. ජනාධිපතිතුමා ෆේස්බුක්වල යන පුංචි පුංචි දේවල්වලටත් ප්‍රතිචාර දක්වන කෙනෙක්. නමුත් තාක්ෂණ අමාත්‍යාංශය හදලා ප්‍රමිති ආයතනය ඒ යටතට ගත්තාට පස්සේ වෙන වෙන ඇමතිවරු විවිධ ප්‍රකාශ කළත් ජනාධිපතිවරයා මේ දක්වා කිසිම දෙයක් කීව්වේ නැහැ.

    මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද කියලා ජනතාවට කියන්න ඕනෑ. අපි විශ්වාස කරන විදිහට ප්‍රතිඅපනයනය කරනවා කියන එක උත්තරය නොවෙයි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු අය කවුද කියලා නීත්‍යානුකූලව රට දැනගන්න ඕනෑ. පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙනඒමේ ක්‍රියාවලිය ගැන ආණ්ඩුවක් හැටියට වගකියන්නේ මොන ආකාරයටද. ඉදිරියේදී මෙවැනි තත්වයක් ඇතිවීම වළක්වන්න ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ ක්‍රියාමාර්ග කොයිතරම් දුරට ජනතාවට පිළිගන්න පුළුවන්ද කියලා තහවුරු වෙන්නේ දැන් ගන්න ක්‍රියාමාර්ග අනුවයි. ප්‍රශ්නය මෙතැනින් එහාට ගෙනියන්නේ නැතිව ප්‍රතිඅපනයනයෙන් බේරෙන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. මීට කලිනුත් පිළිකාකාරක පොල්තෙල් ගෙනල්ලා ලංකාව තුළින් ලබාගන්නා හොඳ මට්ටමේ පොල්තෙල් පිටරට යවලා තියෙනවා කියලා හෙළිවෙනවා. ලංකාවේ ජනතාවට විතරක් නෙවෙයි කිසිම රටක ජනතාවකට පරිහරණය නොකර මේවා විනාශ කළ යුතුයි. රේගුවේ වගකීමක් වෙන්නේ නීත්‍යානුකූල වෙළඳාමට පහසුකම් සලසන එක. ඒ වගේම සමාජ ආරක්ෂණය පිළිබඳව වගකීමකුත් තිබෙනවා.

    මේ නිසා අපේ රටේ දේශසීමාව ඇතුළට එන මත්ද්‍රව්‍ය, අවි ආයුධ මර්දනය ගැන විතරක් නොවෙයි ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වගකීමකුත් තිබෙනවා. ඒ වගකීම නිලධාරීන්ගේ අතේ විතරක් නෙවෙයි ආණ්ඩුවටත් තිබෙනවා. නමුත් පසුගිය ආණ්ඩු ගණනාවක්ම ආරක්ෂාව දුන්නේ ජනතාවට නෙවෙයි. තමන්ගේ ගජමිතුරන්ට, තමන් වටේ ඉන්න හොරු රැළට ආරක්ෂාව සහ පහසුකම් දීමයි. පොල්තෙල් ජාවාරමෙන් තහවුරු වෙන්නෙත් ඒක. ඒ නිසා පවතින බරපතළකම ජනතාවට තේරුම් ගන්න කියලා අපි අවධාරණය කරනවා. ළඟ එන අවුරුදු සමයේ රටේ සෑම භාණ්ඩයකම මිල වැඩිවෙලා. පසුගිය අවුරුද්දේ කොරෝනා තත්වය නිසා අවුරුදු සමරන්න බැරි වුණා. මේ අවුරුද්දේ කොරෝනා ව්‍යාසනය විතරක් නෙවෙයි, ජීවන බරත් එක්ක පොල්තෙල් ටිකත් විෂ වුණාට පස්සේ ඇතිවී තිබෙන්නේ බරපතළ තත්වයක්. ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් ඉටුකළ යුතු බරපතළ වගකීම ගැන අපි අවධාරණය කරනවා.”

    වාචාල කතාවලින් පොල්තෙල්වල විෂ මකන්න බැහැ – වෛද්‍ය නලින්ද ජයතිස්ස

    “බන්දුල ගුණවර්ධන, සරත් වීරසේකර වැනි ඇමතිවරු ලවා ආණ්ඩුව වාචාල කතා කියලා සුපුරුදු පරිදි පොල්තෙල්වල අඩංගු රසායනයේ විෂ මකන්න, ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කරන්න උත්සහයක් දරනවා. පොල් තෙල්වල අඩංගු ඇෆ්ලටොක්සීන් කියන්නේ පිළිකාකාරක විෂ රසායනයක්. එය නිපදවෙන්නේ ඇස්පර්ජිලස් ෆ්ලේවස් සහ ඇස්පර්ජිලස් පැරසිටිකස් කියන දිලීර මගින්. බී1, බී2, ජී1, ජී2 කියලා ඇෆ්ලටොක්සීන් වර්ග කීපයක් තිබෙනවා. බී1 කියන වර්ගය තමයි වඩා විෂ සහිත වන්නේ. මෙය අධික මාත්‍රාවක් ශරීරගත වුවහොත් ක්ෂණික මරණයක් පවා ඇතිවිය හැකියි. ආහාර ද්‍රව්‍ය මගින් කාලයක් තිස්සේ මෙම විෂ ශරීරගත වෙන්න පුළුවන්කම තමයි භයානක තත්වය. ඇෆ්ලටොක්සීන් කියන්නේ අක්මාවේ පිළිකා ඇතිකරන්න පුළුවන් රසායනයක්. තවත් පැත්තකින් එය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කරනවා. ඒ වගේම දරුවන්ට ශරීරගත වුවහොත් ඔවුන්ගේ වර්ධනයටත් බලපානවා.

    මෙම ඇෆ්ලටොක්සීන් පොල්තෙල්වල පමණක් නෙවෙයි තවත් ආහාර වර්ග කිහිපයක අන්තර්ගත වෙන්න පුළුවන්. රටකජු, ඉඩඉරිඟු වගේ ආහාරවලට වඩා පොල්තෙල්වල තිබෙන විට දීර්ඝකාලීනව ශරීරගතවීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම පොල්තෙල්වල මෙම විෂ තිබෙන්නේ 85%ක් ද්‍රාව්‍ය තත්වයේ. බන්දුල ගුණවර්ධන කියලා තිබුණා ජනතාව විෂ පොල්තෙල් ගැන පැමිණිලි කරලා නැහැ කියලා. වෙන්න පුළුවන්; මොකද ජනතාවට මේක පොල්තෙල්වල තිබෙන විට හඳුනාගන්න ක්‍රමයක් නැහැ. රටකජුවල අන්තර්ගත වෙනකොට ඒවායේ වර්ණය වෙනස්වීම් වෙනවා. නමුත් පොල්තෙල්වල හඳුනාගන්න බැහැ. ඒ වගේම ඇෆ්ලටොක්සීන් රත්කිරීමෙන් විනාශ වෙන්නේ නැහැ. තාපයට ප්‍රතිවිරෝධීයි.

    ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙවැනි විෂ සහිත ආහාර ආනයනය පුරුද්දක් බවට පත්වෙලා තිබෙනවා. ලෝකයේ දියුණු රටවල්, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් එකතුවෙලා අප වැනි රටවලට මෙවැනි විෂ ආහාර එවනවා. එයට හේතුව සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ නීති ලිහිල් වීමයි.

    මෙම ඇෆ්ලටොක්සීන් පිළිබඳ මුලින්ම හෙළිදරව් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ ඒකකයයි. එම ආයතනය කියන්නේ ආහාර කිලෝග්‍රෑම් එකකට ඇෆ්ලටොක්සීන් මයික්‍රෝ ග්‍රෑම් 30කට වඩා වැඩි ආහාර ද්‍රව්‍ය විෂ සහිත ආහාර ද්‍රව්‍ය බවයි. ප්‍රමිති ආයතනයේ නිර්ණායකය වන්නේ ආහාර කිලෝග්‍රෑම් එකකට ඇෆ්ලටොක්සීන් මයික්‍රෝග්‍රෑම් 10ක්. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය කියන තුරු ප්‍රමිති ආයතනයට මෙම පොල් තෙල් විෂ සහිත බව කියාගන්න බැරි වුනා. එතන ගැටලුවක් තිබෙනවා. දැන් තමයි ප්‍රමිති ආයතනය මේ ගැන පරීක්ෂණ පවත්වන්නේ. දැන් ප්‍රමිති ආයතනය රටට කියන්න ඕනෑ පසුගිය කාලයේ ආනයනය කළ පොල් තෙල්වල ප්‍රමිතිය පරීක්ෂා කළාද? ඇතැම් ආයතනවලින් ගෙන්වන ලද පොල් තෙල් පරීක්ෂා නොකරම නිදහස් කළාද? සෞඛ්‍ය අමාත්‍යංශය මේ පොල්තෙල් විෂ සහිතයි කියලා කියද්දී ප්‍රමිති ආයතනයට ඒ බව කියන්න බැරි වුනේ ඇයි? කියලා. මෙතන ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා.

    පසුගිය කාලයේ අමාත්‍යංශ ගැසට් කරනකොට ප්‍රමිති ආයතනය ජනාධිපතිවරයා විසින් පවරාගත්තා. සීනි බදු වංචාව වෙන වෙලාවෙදී සතොස ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ නුෂාඩ් පෙරේරා පසුව ප්‍රමිති ආයතනයේ සභාපති බවට පත්කළා. මුදල් අමාත්‍යංශය පවා පිළිගත් රුපියල් කෝටි 1590ක වංචාවක් සිදුවුනු සීනී බදු වංචාවේ කොටස්කාරයෙක් කියලා චෝදනා එල්ල වුණු නුෂාඩ් ජනාධිපතිවරයා විසින් ප්‍රමිති ආයතනයට පත්කළා. පොල් කෑල්ල කාපු බළලට උම්මලකඩ කෑල්ලෙන් ගැහුව්වා වගේ වැඩක් ජනාධිපති සිදුකළේ. අද විෂ පොල් තෙල් ගේන්න අනුමැතිය ලබාදෙන තත්වයක් ඇතිකරලා තිබෙනවා.

    පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් කියනවා පොල්තෙල්වල විෂ හොයාගත්තේ ආණ්ඩුව මිසක විපක්ෂය නෙවෙයි කියලා. ඒක ඇත්ත. මොකද ආහාර සම්බන්ධයෙන් ප්‍රමිතියට වගකිව යුතු ආයතන තිබෙන්නේ ආණ්ඩුව යටතේ. එතකොට ආහාර පරීක්ෂා කිරීම සිදුකළ හැක්කේ ආණ්ඩුවට මිසක විපක්ෂයට නොවේ. ඒ නිසා මෙම විෂ පොල් තෙල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රටට ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි. මොකද මීට පෙර හාල් මිල ඉහළ ගියාම, වී මිලදීම ගැන අදාල ඇමතිවරයා ප්‍රකාශ නිකුත් කරනවා. ඒ නිසා ප්‍රමිති ආයතනය භාර ජනාධිපතිවරයාට නිසා මීළඟ ගම සමඟ පිළිසඳරට පෙර මේ ගැන ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පර්යේෂණ ඒකකයක් තිබෙනවා. එහි ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා. ඇෆ්ලටොක්සීන් පිළිබඳ මීට පෙර ඔවුන් පරීක්ෂණ සිදුකරලා තිබෙනවා. ඔවුන්ගේ සහය ලබාගන්න පුළුවන්. නමුත් ආණ්ඩුව ඔවුන්ගෙන් සහය ගන්නවා අපි දැක්කේ නැහැ.

    කන බොන සියල්ලේ මිල වැඩිවෙලා කනබොන එක සීමා වෙලා තිබියදී කන්න තියෙන දේත් විෂ සහිතනම් මොකද කරන්නේ කියලා ජනතාව නැවත වරක් කල්පනා කරන්න ඕනෑ. ජනතාවට වස විසෙන් තොර ආහාර ලබාදීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. වාචාලකම්වලින් ඇෆ්ලටොක්සීන්වල විෂ මකන්න බැහැ. ඒ නිසා වෛද්‍ය විද්‍යාත්මකවත් කෘෂි විද්‍යාත්මකවයි මේ ගැන අවධානය යොමු කළ යුතුයි.

    ඇෆ්ලටොක්සීන් වැනි විෂ සහිත ආහාර විනාශ කිරීමට ලෝකය පිළිගත් ක්‍රමවේදයන් තිබෙනවා. එම විෂ පසට, ජලයට, වායුගෝලයට මිශ්‍ර නොවෙන ලෙස, ශරීරගත නොවෙන ලෙස විනාශ කරන්න ක්‍රමවේදයන් සොයගෙන තිබෙනවා. මේක ප්‍රතිඅපනයනය කිරීම උත්තරය නොවෙයි. අපි මනුෂ්‍යයෝ විදියට මේ විෂ පොල්තෙල් කොහෝ හෝ රටකට ගිහින් දාන්න කියන්න බැහැ. ඒ රටවලත් ඉන්නේ මිනිස්සු. ලෝකය තිබෙන පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරලා මේ විෂ පොල්තෙල් විනාශ කරන්න පුළුවන්.”

  • දේවානිගෙන් වෘත්තීය සමිතියක් !

    දේවානිගෙන් වෘත්තීය සමිතියක් !

    ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ මූලිකත්වයෙන් පසුගිය 27 වැනිදා වෘත්තීය සමිතියක් පිහිටුවා ඇති අතර ඊට වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව වී ඇත.

    “පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව” නමින් එම නව වෘත්තිය සමිති එකමුතුව නම් කර තිබේ.

    නව වෘත්තීය සමිතිය පිහිටුවීමට එක්වූ රාජ්‍ය සේවකයින් අවධාරණය කර ඇත්තේ මෙරට ඉඩම් සම්බන්ධයෙන් රාජ්‍ය ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කර පරිසරය සුරක්ෂිත කිරීම සඳහා සංරක්ෂණය කළ යුතු සහ සංවර්ධනය කළ හැකි ඉඩම් නිසි ලෙස හඳුනාගැනීමට ඒ අනුව කටයුතු කළ යුතු බවයි

  • ජිනීවා යෝජනාව: චන්ද්‍රප්‍රේම ප්‍රවාදය සහ වාසුදේව සූත්‍රය

    ජිනීවා යෝජනාව: චන්ද්‍රප්‍රේම ප්‍රවාදය සහ වාසුදේව සූත්‍රය

    ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ” යෝජනාව සම්මත කළාය. රාජපක්ෂ පාලනාධිකාරය පැවසුවේ එය දේශපාලනික වුවමනාකම් විසින් මෙහෙයවන ලද යෝජනාවක් බවයි.

    සම්මේලනය ඇමතූ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වූද, “කොළපාට සමාජයේ” කතෘ වූද සී.ඒ චන්ද්‍රප්‍රේම පැවසුවේ මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට කෙරෙන මැදිහත්වීමක් බවයි; එය ශ්‍රී ලංකා සමාජයේ අභ්‍යන්තර බෙදීම් තීව්‍ර වීමට හේතු විය හැකි බවයි; එසේම මෙය ගෝලීය දකුණේ රටවල අභ්‍යන්තර කාරණාවලට මැදිහත්වීම සම්බන්ධයෙන් නරක පූර්වාදර්ශයක් විය හැකි බවද ඔහු පැවසීය.

    යෝජනාවට විපක්ෂව ජන්දය දුන් චීනය, වෙනිසුවෙලාව, රුසියාව, පාකිස්තානය, බොලීවියාව, පිලිපීනය යන රටවල නියෝජිතයින්ද අඩු වැඩි වශයෙන් මීට සමාන්තර අදහස් ප්‍රකාශ කළහ.

    මානව අයිතීන් එරෙහිව ස්වාධිපත්‍ය  

    චීන මහජන සමූහාන්ඩුවේ නියෝජිතයා මෙම යෝජනාව හඳුනාගත්තේ මානව අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර යාන්ත්‍රණය දේශපාලනීකරණය කිරීමක් ලෙසයි; ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන ආකාරයෙන් මෙරට අභ්‍යන්තර කාරණාවලට මැදිහත් වීමක් ලෙසයි. එය දෙබිඩි සහ පක්ෂග්‍රාහී ප්‍රවේශයක් බවද ඔහු ප්‍රකාශ කළේය.

    මානව අයිතීන් දේශපාලන උපකරණයක් ලෙස භාවිත නොකළ යුතුය යන්න බොලීවියාවේ නියෝජිතයාගේද ප්‍රධාන අවධාරණයක් විය. පිලිපීනයේ නියෝජිතයා පැවසුවේද අදාළ යෝජනාව සමතුලිත නොවන මෙන්ම දේශපාලනිකව පක්ෂග්‍රාහීත්වයක් සහිත වූවක් බවයි. ශ්‍රී ලංකාවේ මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ වඩා නිර්මාණාත්මක සංවාදශීලී ප්‍රවේශයක් බව පැවසූ රුසියානු සහ පාකිස්තාන නියෝජිතයින් යුද්ධය නිමා වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ මානව අයිතීන් සුරැකීම සඳහා ගෙන තිබෙන අභ්‍යන්තරික ක්‍රියාමාර්ග ප්‍රශංසාවට ලක් කළහ. මේ අනුව, විශ්වීය මානව අයිතීන් පිළිබඳ පිළිගැනීම්වලට වඩා ගෝලීය දකුණේ රටවල ස්වාධිපත්‍ය ප්‍රමුඛ කොට සැලකිය යුතුය යන්න යෝජනාවට විපාක්ෂික පිරිසගේ (සී.ඒ. චන්ද්‍රප්‍රේමගේ පටන් චීන විදේශ අමාත්‍යවරයා දක්වා) අදහස විය.     

    මීට පරස්පරව, යෝජනාවට පක්ෂව අදහස් ඉදිරිපත් කළ එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රියාවේ (යුරෝපා සංගමය) නියෝජිතයින්ගේ නිරීක්ෂණය වූයේ ශ්‍රී ලංකාවේ මානව අයිතීන් පිළිබඳ තත්ත්වය පිරිහීමට ලක් වෙමින් පවතින බවයි. ස්වාධීන ආයතන දුර්වල වෙමින් පවතින අතර මානව අයිතීන් ඉල්ලා සිටින සුළුතර ජනවාර්ගික කොටස් සහ සිවිල් ක්‍රියාකාරීන් දඬුවමට ලක් කෙරෙමින් ඇති බවද ඔවුන් පැවසූහ. ඒ අතරම මානව අයිතීන් උල්ලංඝණය කිරීමේ චෝදනාවලට ලක්ව සිටින ඇතැම් පුද්ගලයින් අධිකරණයෙන් නිදහස් කොට ඔවුනට උසස් තානාන්තර පවා ලබා දී ඇති බව ඔවුන් ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාව සම්බන්ධ මෙවර යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මිෂෙල් බැෂලේ විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම් වූ සමතුලිත යෝජනාවක් බව ඔවුනගේ අදහස විය.

    චන්ද්‍රප්‍රේම ප්‍රවාදය සහ වාසුදේව සූත්‍රය    

    සී. ඒ. චන්ද්‍රප්‍රේම ප්‍රයත්න දරා ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර “පසමිතුරුතාවට” අනුව අර්ථකථනය කිරීමටය. ඔහු වත්මන් චීන පාලනය ගෝලීය දකුණ නියෝජනය කරන්නේ යැයි කල්පනා කරන බව පෙනේ. ඔහුට අනුව, 1997 සිට 2014 දක්වා G8 කණ්ඩායම නියෝජනය කළ රුසියාවද දැන් ගෝලීය දකුණට එක්ව සිටිනවා විය යුතුය! 

    ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසුව මාධ්‍ය ඇමතූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද චන්ද්‍රප්‍රේම ප්‍රවාදය පුනරුච්ජාරණය කරමින් පැවසුවේ එය “ගෝලීය දකුණ යටපත් කිරීමට වුවමනාවක් තිබෙන බටහිර බලවේගවල සහයෝගය ලබන්නා වූ රටවල් විසින් සම්මත කළ යෝජනාවක්” බවයි. 

    මෙරට තුළ අධිකාරීවාදී වූද  ජනවාර්ගික බහුතරවාදී වූද දක්ෂිණාංශික බලවේග ස්වකීය ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා බටහිර අධිරාජ්‍ය විරෝධය නමැති දෘෂ්ටිවාදය භාවිත කරමින් සිටීය යන කාරණය වාසුදේවට අදාළ වන්නේ නැත.

    මෙම ප්‍රවාදය වත්මන් ගෝඨාභය පාලනාධිකාරයේ කොටස්කරුවෙකු වන වාසුදේව නානායක්කාරගේ සුප්‍රකට සූත්‍රයක් සිහියට නංවයි. ඔහුගේ සූත්‍රය මෙසේය: අද දිනයේ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී බලවේග ප්‍රගතිශීලී චීන මහජන සමූහාන්ඩුව වැටලීමේ භූ-දේශපාලනික මෙහෙයුමක නිරත වී සිටී. එබැවින්, දැන් මෙරට අධිරාජ්‍ය විරෝධී වාමාංශික බලවේග විසින් කළ යුතුව ඇත්තේ රට තුළ චීන හිතවාදී නායකත්වයකට සහාය දැක්වීමයි! ගෝලීය දේශපාලනය පිළිබඳ වියුක්ත විග්‍රහයක් පදනම් කොටගෙන පවත්නා සංයුක්ත තත්ත්වයන් තේරුම් ගන්නා අයෙකුට වාසුදේවගේ හේතු දැක්වීම සාධාරණ යැයි සිතෙන්නට ඉඩ තිබේ. 

    නමුත්, එම තේරුම් ගැනීම තුළ නොමැති දෙය වන්නේ ගෝලීය බලවේග සහ ප්‍රවණතා දේශීය යථාර්තයන් සමග සංකීර්ණව අන්තර්-ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි. මෙරට තුළ අධිකාරීවාදී වූද  ජනවාර්ගික බහුතරවාදී වූද දක්ෂිණාංශික බලවේග ස්වකීය ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා බටහිර අධිරාජ්‍ය විරෝධය නමැති දෘෂ්ටිවාදය භාවිත කරමින් සිටීය යන කාරණය වාසුදේවට අදාළ වන්නේ නැත. රට තුළ තමන්ට යුක්තිය ඉටු නොවේ යැයි කල්පනා කරන සුළුතර ජනවාර්ගික ප්‍රජාවන් සහ විපාක්ෂික සිවිල් සමාජ කණ්ඩායම් මානව අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර යාන්ත්‍රණයන් ගැන අපේක්ෂා සහගත වන්නේය යන කාරණයද ඔහුට අදාළ වන්නේ නැත. මන්ද යත්, වඩා වැදගත් වන්නේ ගෝලීය භූ-දේශපාලනික පෙළ ගැසීම්ය. ඒ අනුව, ආක්‍රමණික බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව ගෝලීය දකුණේ රටවල් චීනය සමග සිටගත යුතුය. එබැවින්, වමේ බලවේග වත්මන් පොහොට්ටු පාලනයට සහාය දිය යුතුය. ඒ, මේ දූපත තුළ චීනය සමග තිරසරව සිට ගත හැකි ප්‍රබලම නායකත්වය (ඔහුට අනුව) එය බැවිනි. වාසුදේව සූත්‍රය එයාකාරය.   

    ජිනීවා ජවනිකාව  

    කෙසේ වුවත්, ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර සංකල්පීය බෙදීම මගින් රාමුගත කිරීමේ චන්ද්‍රප්‍රේම ප්‍රයත්නය සාර්ථක වූයේ නැත. මන්ද යත්, එකී යෝජනාවට අදාළ ජන්ද විමසීමේදී ගෝලීය දකුණේ රටවල නියෝජිතයින්ගෙන් සැලකිය යුතු පිරිසක් එක්කෝ යෝජනාවට පක්ෂව ජන්දය දීම හෝ නැතහොත් ජන්දය දීමෙන් වැළකී සිටීම නිරීක්ෂණය කළ හැකි විය. අනෙක් අතින්, මෙවර ජිනීවා සමුළුවේදී අති විශාල බහුතර ජන්දයකින් සම්මත වූ ඊශ්‍රායලය පිළිබඳ යෝජනාවට පක්ෂව ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඉතාලිය, ඩෙන්මාර්කය, ජපානය යන රටවල්ද ජන්දය දුන්හ. 

    ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේදී ජන්දය නොදුන් පිරිස ලංකාණ්ඩුවට පක්ෂපාතී වේය යන මුග්ධ තර්කය පසෙකින් තැබුවහොත්, මෙයින් වැදගත් කාරණයක් ගම්‍ය වේ. එනම්, යෝජනාවට අදාළව එක් එක් රටවල ස්ථාවරය හැඩ ගැසීමේදී ගෝලීය උතුර සහ දකුණ යන “පසමිතුරුතාවට” වඩා වෙනත් සාධක වඩා බලපෑම් සහගත වී ඇති බවයි. කවර රටක නියෝජිතයෙකු වුවත් මෙවන් අවස්ථාවලදී තම ජන්දය පිළිබඳ තීරණ ගැනීමේදී ස්වකීය භූ-දේශපාලනික වුවමනාකම් සහ අරමුණු අනුව කරන්නා වූ ගණන් බැලීම් සැලකිල්ලට ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත්, ඒ අතරම යම් යම් රටවල මානව අයිතීන් උල්ලංඝණය කිරීම් පිළිබඳව ජන්දය දෙන රටවල පාලන තන්ත්‍රවලට තිබෙන දෘෂ්ටිවාදීමය ඒත්තු ගැනීම්ද ඔවුනගේ ජන්දය කෙරෙහි කිසියම් තරමකට බලපාන බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. මානව අයිතීන් කවුන්සිලය ඉදිරියේ තම අදහස් ඉදිරිපත් කිරීමට විවිධ සිවිල් සමාජ නියෝජිතයින් උනන්දු වන්නේ එබැවිනි.

    ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් වෙනුවෙන් සටන් වැදී සිටින ජනතා ව්‍යාපාරය. ආසියාතික ලෝකයේ මේ දිනවල එවන් ජනතා ව්‍යාපාරවල නැගීමක් පවතින බව මියන්මාරයේ, තායිලන්තයේ, චීනයේ හොං කොං ප්‍රදේශයේ, ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද අපට නිරීක්ෂණය කළ හැකිය.

    භූ-දේශපාලනික ගැටුම 

    මානව අයිතීන් දේශපාලනීකරණය වීම පිළිබඳ තර්කය සම්බන්ධයෙන් කිව යුත්තේ සැබවින්ම එය කිසිසේත්ම අළුත් දෙයක් නොවන බවයි. ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කිරීමේ නාමයෙන් සෙසු රටවල් ආක්‍රමණය කිරීමේ එක්සත් ජනපද පාලකයින්ගේ ඓතිහාසික වාර්තාව ගැන නොදන්නෝ කවරහුද? මැද පෙරදිග ලෝකයේ වඩාත්ම නිර්-ප්‍රජාතන්ත්‍රික පාලන තන්ත්‍රයක් සවුදි අරාබියේ පැවතිය හැකි වූයේ එක්සත් ජනපද සහයෝගය කරණ කොට ගෙනය. බෘනායීහි සුල්තාන් පාලනයේ ස්ථාවරත්වයේ රහස ඇත්තේ 1920 දශකයේදී එරට ඛණිජ තෙල් නිෂ්පාදනය ආරම්භ වීමෙන් පසුව එක්සත් රාජධානිය අනුගමනය කළ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තීන් තුළය. 

    ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවද කිසිසේත්ම දේශපාලනයෙන් වියුක්ත කොට වටහාගත නොහැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව චීනයේ භූ-දේශපාලනික ආධිපත්‍යයේ බලපෑමට නතු වෙමින් තිබීම යන කාරණය ඉන්දියාවේත්, එක්සත් ජනපදයේත්, එක්සත් රාජධානියේත්, යුරෝපා සංගමයේත් පාලන තන්ත්‍රවල සැලකිල්ලට ලක් වෙමින් තිබෙන බව තවදුරටත් රහසක් නොවේ. (ඉහත රටවල් සහ බල-හවුල් අතර පවත්නා වෙනස් අභිලාෂයන් අප මෙහිදී අමතක නොකළ යුතු අතරම). මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දීය නියෝජිතයා ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ගැන තමන් දක්වන උනන්දුව ගැන විශේෂයෙන් සඳහන් කිරීම මේ සඳහා කදිම නිදසුනකි. 

    අනෙක් අතින්, යෝජනාවට විරුද්ධව ජන්දය දුන් රටවල පාලන තන්ත්‍ර බොහොමයක් චීනය සමග සමීප සබඳතා පවත්වන අයවළුන් බවද රහසක් නොවේ. වත්මන් චීන පාලනය මානව අයිතීන් දේශපාලනික උපකරණයක් ලෙස භාවිත කිරීම විවේචනය කරන අතර ඒ වෙනුවට ජාතික ස්වාධිපත්‍ය යන දෘෂ්ටිවාදය දේශපාලනික උපකරණයක් ලෙස භාවිත කිරීමට මැලි නොවෙයි. චීන පාලනාධිකාරය ශ්‍රී ලංකාණ්ඩුව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ එය මියන්මාරයේ මිලිටරි පාලනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රවේශයමය. එනම්, එරට ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් එල්ල වන ජාත්‍යන්තර විරෝධයේදී මිලිටරි පාලනයේ ආරක්ෂක පළිහ බවට තමාව පරිවර්තනය කර ගැනීමයි. (එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ආරක්ෂක පළිහ වන්නාක් සේමය.) එවිට එරට චීනය මත ආර්ථිකව පරායත්ත වීමට අමතරව (ජාත්‍යන්තර තලයේදී) දේශපාලනිකවද පරායත්ත වීමේ තත්ත්වයක් නිර්මාණය වේ. මියන්මාරයේ ප්‍රජා පීඩක මිලිටරි පාලනයට එරෙහිව වීදී බැස සිටින ජනතාව චීනයට අයත් සමාගම්වලට පහර දෙමින් සිටින්නේ මේ පසුබිම තුළය.

    රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රවේශය

    මේ අනුව, මානව අයිතීන් පිළිබඳ අපගේ අපේක්ෂාවන් එක් හෝ තවත් ගෝලීය බලවතෙකු මත රැඳවිය නොහැකි බව පැහැදිලිය. අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ් පෙන්වා දී ඇති පරිදි මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය යනු අතීතයේ සිදු කරන ලද විවිධ සමාජ විමුක්ති අරගලයන්හි ප්‍රතිපල වන්නේය. ඒවා මානව විමුක්ති කතිකාවන්ය.  නමුත්, ඒවායෙහි විමුක්ති ශක්‍යතා හීන වී යන ආකාරයෙන් සමාජයේ පීඩක බලවේග ඒවා ධනවාදය සමගත් අධිරාජ්‍යවාදය සමගත් සුසම්බන්ධ කොට ඇත. එබැවින්, වාමාංශිකයින් කළ යුතුව ඇත්තේ මානව අයිතීන්ගේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පවත්නා සීමිත අර්ථ විසංයෝජනය කරමින් ඒවායෙහි විමුක්ති ශක්‍යතා වර්ධනය කිරීමය; නොඑසේනම් මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමය. 

    මෙම රැඩිකල්කරණයේ ඒජන්තවරුන් වනු ඇත්තේ එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ හෝ චීනයේ පාලක බල හවුල් නොවේ. ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් වෙනුවෙන් සටන් වැදී සිටින ජනතා ව්‍යාපාරය. ආසියාතික ලෝකයේ මේ දිනවල එවන් ජනතා ව්‍යාපාරවල නැගීමක් පවතින බව මියන්මාරයේ, තායිලන්තයේ, චීනයේ හොං කොං ප්‍රදේශයේ, ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද අපට නිරීක්ෂණය කළ හැකිය. තවද, චීනයේ ෂින්ජියෑන් පෙදෙසේ උයිගර් ප්‍රජාවට එරෙහිව ක්‍රියාත්මක වන බරපතල මානව අයිතීන් උල්ලංඝණය කිරීම්වලට විරෝධය දක්වමින් පසුගියදා තුර්කියේ උද්ඝෝෂණ පැවැත්විණ. ඒ චීන විදේශ අමාත්‍යවරයායේ තුර්කි සංචාරය පසුබිම් කොටගෙනය. අද අවශ්‍යව ඇත්තේ මෙවන් ගෝලීය ප්‍රජාතාන්ත්‍රික විමුක්ති ව්‍යාපාර අතර ගොඩ නැගෙන නව-ජාත්‍යන්තරවාදයකි.                    

    සුමිත් චාමින්ද   

  • අප්‍රේල් 05 – 09 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මෙන්න !

    අප්‍රේල් 05 – 09 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මෙන්න !

    ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.

    එම තීරණයට අනුව අප්‍රේල් 05 වැනි සඳුදා විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වෙන බවත්, එදින පෙරවරු 10.00 සිට පස්වරු  4.00 දක්වා කාලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කළ බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක් විමසීමට අවස්ථාව සළසා දෙන බව සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.

    එදිනම මැතිවරණ ක්‍රමයන් සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාව ද  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව දසනායක මහතා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම 2019 අප්‍රේල්  21 එල්ල වූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 05 වැනි දිනයටත් අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහලේකම්වරයා සඳහන් කළේය.

    මීට අමතරව දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අප්‍රේල් 08 සහ 09 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමටද එම කාරක සභාව තීරණය කර තිබේ.

    අප්‍රේල් 06  වැනිදා ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනයට අදාළ යෝජනාව ඇතුළු විෂයන් 08 ක් විවාදයට ගනු ලබනු ඇත. එදින පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වෙන අතර, ඉන්පසු පස්වරු 04.30  සිට 5.30 දක්වා සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලැබේ.

    අප්‍රේල් 07 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

    අප්‍රේල් 07 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

    අප්‍රේල් 08 සහ 09 යන දිනයන්හිදී ද පාර්ලිමේන්තුව පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන බව මහලේකම්වරයා සඳහන් කළේය.

  • ජනතා ගැටළුවලට විසඳුම් දෙන අයුරු ගැන ජනපතිගේ හෙළිදරව්ව

    ජනතා ගැටළුවලට විසඳුම් දෙන අයුරු ගැන ජනපතිගේ හෙළිදරව්ව

    දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

    ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේ ද සැබෑ ජනතා ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමටයි. ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නැති පිරිසක් අද ඊට ද පහර ගසමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි.

    කුමන බාධක සහ විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොකරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා බොරු ප්‍රචාරවලින් ජනතාව මුලා කිරීමට ඉඩ දිය නොහැකි බව ද සඳහන් කරයි.

    ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ අද (24) පස්වරුවේ නුගේගොඩ වැලි පාර්ක් උද්‍යානයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමිනි. 

    වත්මන් රජය බලයට පැමිණ මාස 16ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිළි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව තමාගෙන් ඉල්ලා සිටියේ එම වෙනස බව සඳහන් කළ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සංස්කෘතිය, අපේකම, දේශීයත්වය රැක ගැනීමට මෙන්ම  රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ද රජය විශාල වැඩකොටසක් කළ බව පැවසීය.

    වත්මන් රජයට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙම යුගය තුළ ඇති වූ ගැටළුලට නොව පසුගිය ආණ්ඩු සමයේ ඇති කළ ගැටළුවලටයි.  19 වැනි සංශෝධනයෙන් සිදු වූ වැරදි ඉන් එකකි. 20 වැනි සංශෝධනය ගෙන එමින් එම වැරදි නිවැරදි කෙරිණි. ජාතික ආරක්ෂාව දුර්වලකිරීම නිසා පාස්කු ප්‍රහාරය සිදු විය. ඒ පිළිබඳ සොයා බැලීමට ඔවුන්ම පත් කළ පාස්කු කොමිෂමට පිළිතුරු බැඳීමට සිදුව ඇත්තේ ද වත්මන් රජයටයි. MCC ගිවිසුමට මෙන්ම නැගෙනහිර පර්යන්තය බදුදීමට ගිවිසුම් ගතවූයේ ද පසුගිය රජයේ සමයේය. ඒ පිළිබඳ මතු වූ අර්බුදකාරී තත්ත්වයට ද රජයට මුහුණ දීමට සිදු විය.

    ඔවුන්ම ඇතිකළ ගැටළු මතු කරමින් එදා ආණ්ඩුවේ සිටි අයම අද  රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරතවන බව පැවසූ ජනාධිපතිතුමා රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නංවන අතර ඔවුන් ඇති කළ ගැටළුවලට පිළිතුරු සෙවීමට වැඩි කාලයක් වැය කිරීමට රජයට සිදුව ඇතැයි පැවසීය.

    ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුට අවසර දී නැත. විපක්ෂය රට තුළ විශාල වන විනාශයක් සිදුවන බවට බොරු ප්‍රචාර ගෙන යමින් සිටි.  දිස්ත්‍රික් මට්ටමින්  වන විනාශයක් සිදුවනවානම් ඒ පිළිබඳ සොයා බලා කඩිනමි පියවර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට තමා අද උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා පැවසීය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, අමාත්‍යවරුන්වන ජී.එල්. පිරිස්, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, කණක හේරත්, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල, සාගර කාරියවසම්, උදයන කිරිඳිගොඩ, ජයන්ත කැටගොඩ  යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.