Category: සුපිරි Politics

  • මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී කළ සුපිරි හෙළිදරව්ව !

    මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී කළ සුපිරි හෙළිදරව්ව !

    මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අද (10) දින පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය

    මහජන ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් පාස්කු ප්‍රහාරයට ලක්ව මිය ගිය අපේ අහිංසක සහෝදර ජනතාව වෙනුවෙන් එම සාහසිකයන්ට සහ එය සැලසුම්  කළ අපරාධකරුවන්ට නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අප විසින් ගන්නා ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය වගේම අපේ ජනාවගේ ඉදිරි ආරක්ෂාව සඳහා වර්තමාන රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීම මගේ යුතුකමක් සේ සළකනවා.

    පාස්කු ප්‍රහාරයට අදාලව මේ දක්වා මෙරටදී පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 202ක් බන්ධනාගාරගත කර 66 දෙනෙකු රඳවා තබා ගෙන විමර්ශණ කටයුතු කෙරෙනවා. මොවුන්ගෙන් 408ක් මෙරට නීතිය යටතේ ඇපපිට නිදහස්ව සිටියද ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව විමර්ශණ සිදු කෙරෙනවා.

    ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිතුමා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන 03ක් තහනම් කිරීමට කටයුතු කර තිබුණා. නැෂනල් තව්හීඩ් ජමාද්, ජමාකේ මිල්ලාතේ ඉබ්‍රාහීම්, විල්ලයාත් අස් සේලානි.

    පසුගිය රජය 2019 මැයි 22 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. ඉන් පසු ජාතික ආරක්ෂාව සම්බන්ධ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව පිහිටෙව්වා. ඊට පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කර වාර්තා කිරීමට 2019 සැප්තැම්බර් 21 වන දින ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටවනු ලැබුවා.

    නමුත් අවාසනාවන්ත ලෙස මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉතා පහසුවෙන් හැකියාව තිබුනත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොතිබූ බව සිදු කරගෙන යන විමර්ෂණවලින් පැහැදිලි වෙනවා.

    පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් ගණනාවක් සිදු වුණා. ඒවා නිසි පරිදි විශ්ලේෂණය කළා නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙම ප්‍රහාරය වළකාලීමට බොහෝ ඉඩ තිබුණා. නමුත් බුද්ධි අංශ සම්පූර්ණයෙන් අකර්මණය කර හමුදාවේ චිත්ත ධෛර්‍ය බින්දුවට පාත දාලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීය කරමින් ජාතික ආරක්ෂාව බින්දුවටම දමා තිබූ නිසා ඉතා පහසුවෙන් ඝාතකයින්ට මෙම ප්‍රහාරය දියත් කිරීමට හැකි වුණා.

    පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ විශේෂ සිදුවීම් මෙන්න…

    1. 2018 පෙබරවාරි 6 වන දින යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ සාමාජික අබ්දුල් ෆර්වාඩ්න් නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා
    2. ඊට දින 6 ට පසු කාත්තන්කුඩු යහපාලනය සඳහා වන ජාතික පෙරමුණු කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා.
    3. ඊට මාස 6ට පසු මඩකලපුව පාලමුණේදී සිදු කළ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකදී සහරාන්ගේ සොයුරු ඉල්වාන් බරපතල තුවාල ලැබුවා. මාස 2 ½ පසු නුවරඑළියේ පුහුණු කඳවුර නිරීක්ෂණය කිරීමට ගොස් නිසි විමර්ෂණයක් නොකිරීම.
    4. ඊට සති 2 ට පසු වව්නතිවු පොලිස් නිලධාරීන් දෙ‍දෙනෙක් ඝාතනය කළා.
    5. ඊට මාසයකට පසු මාවනැල්ල බුදු පිළිමවලට හානි කළා.
    6. ඊටත් සුමාන 03කට පසු වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය විශාල ‍තොගයක් සොයා ගත්තා.
    7. ඊට මාස 2 ට පසු 2019 මාර්තු 08 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුකරුවෙකු වූ තස්ලිම්ට වෙඩි තිබ්බා.
    8. ඊට සති 05කට පසුව එනම් 2019 අප්‍රේල් 16 වන දින තාලංකුඩාහිදී යතුරුපැදි පුපුරවා අත්හදා බැලුවා.

    පාස්කු ප්‍රහාරය වුණේ ඊට හිරියට දින 05කට පසුවයි. එසේ නම් එවකට පැවති රජයේ ජාතික ආරක්ෂාව පිළීබඳව තිබූ මන්දගාමී ආකල්පය, එම කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තමර්ධන හා විමර්ශන කොට්ඨාෂ බුද්ධි තොරතුරු සම්බන්ධ නිසි විමර්ශන සිදු නොකිරීම සහ ඒවා අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීම නිසා මෙම ප්‍රහාරය වළක්වා ගන්න තිබූ අවස්ථා 08ක් අහිමි වී තිබෙන බව පැහැදිලියි.

    වර්ත‍මාන රජය බලයට පත්වූ පසු නැවතත් බුද්ධි අංශ ශක්තිමත් කොට ජාතික ආරක්ෂාව මුල්තැන දුන්නා. බුද්ධි අංශ හා වමර්ශන අංශ කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව ශක්තිමත් කිරීමට පියවර ගත්තා.

    මේ රජය බලයට ආ පසුව පාස්කු ප්‍රහාරයවට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් 99 දෙනෙකු ශ්‍රී ලංකාව තුළදී ද, විදේශයන්හි රැදී සිටි මෙරට පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කළා.

    විදේශ බුද්ධි අංශ සමඟ සම්බන්ධීකරණය වෙමින් රාජ්‍ය බුද්ධි සේවාව මගින් විදේශ රටවල් 05න් ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 54න් 50ක් මේ වන විට ලංකාවට ගෙන්වා තිබෙනවා. ඉතිරි 04 දෙනා එරට නඩු කටයුතු අවසන් වූ වහාම ගෙන්වනවා.මෙම පුද්ගලයින් එම රටවල අන්තවාදය පෝෂණය කරමින් අන්තවාදී ප්‍රචාරණ රැස්වීම් සඳහා මෙරටට මුදල් එවා තිබෙනවා.

    මෙරට තොරතුරු සහ විමර්ශනය අනුව ඔවු‍න්ගේ ප්‍රහාරයට ඇති සම්බන්ධතාවය අනුව වර්ගීකරණය කර නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී මෙවැනි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා රාජ්‍ය බුද්ධි සේවාව අදාල විදේශීය බුද්ධි සේවා සමග සම්බන්ධ වීමට නිශ්චිත ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.

    සහරාන් නැමති ස්වයං ඝාතකයා යටතේ පුහුණු වී ඇති කාන්තා අංශයක් සම්බන්ධයෙන් 2020 මුල්භාගයේදී මෙරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගත්තා. එසේ පුහුණු වූ කාන්තාවන් 17ක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා (බයියක්) ලබා දී තිබෙනවා. එයින් දැනට 05 දෙනෙක් මිය ගොස් ඇති අතර, 03 දෙනෙක්ට චෝදනා ගොනු කොට බන්ධනාගාරගතර කර තිබෙන අතර, 7 දෙනෙකු අත්අඩංගුවේ තබා විමර්ශන කටයුතු කෙරෙනවා. ඉතිරි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා.

    2015 වර්ෂයේදී ලාංකික සමාගමක් විසින් චීනයෙන් කඩු 1440ක් මෙරටට ආනයනය කරලා තියෙනවා. 2018 වර්ෂයේදී දෙමටගොඩ ඊබ්‍රාහීම් සහෝදරයන්ගේ මෙහෙයවීම මත ඉහත සමාගමෙන් විවිධ කඩවලට විකුණා ඉතිරි වූ කඩු 300ක් මිලදී ගෙන තිබෙනවා. එම කඩු කොම්පඥ්ඥවීදිය, කාත්තන්කුඩි සහ බේරුවල පුද්ගලයින්ට ලබා දී තිබෙනවා.

    එසේම මීගමුව, කුරුණෑගල ප්‍රදේශවල කම්හල්වලින් කඩු 27ක් සකස් කරගෙන තිබෙනවා. මේ පිළිබඳව කළ දීර්ඝ විමර්ෂණයකින් පසු එයට සමබන්ධ මෙරට පුද්ගලයින් 35ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දැනට 07කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. එසේම කඩු මෙරටට ආනයනය කළ ආයතනය විසින් 2015 සිට කඩු මිලදී ගත් පුද්ගලයින් පිළිබඳව අනාවරණය කිරීමට පරීක්ෂණ සිදු කරනවා.

    එසේම සහරාන්ගේ ජාලයට අමතරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන වෙනත් අන්තවාදී සංවිධාන හඳුනා ගෙන එහි ප්‍රධාන සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්ධන සහ බුද්ධි අංශ කටයුතු කර තිබෙනවා. එම සංවිධාන නම් වන්උම්මා, හිස්බුත් තාහීර්, මුජිර් හිදීන් අල්ලාහ් සහ සුපර් මුස්ලිම් යනාදියයි.

    එසේම අපට සහරාන් ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් මෙරට තරුණයන් ඒකරාශී කිරීම සඳහා මැදවච්චිය, මල්වාන, ලේවැල්ල, හම්බන්තොට, නුවරඑළිය, හිඟුල ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරු 08ක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත්තා. එම පුහුණු කඳවුරුවලට සම්බන්ධ වූ පුද්ගයන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

    2018 සිට සහරාන්ගේ සියලු කටයුතු සඳහා අවශ්‍ය මුදල්, වාහන පහසුකම් සියල්ල දී ඇත්තේ දෙමටගොඩ ඊබ්‍රාහීම් සහෝදරයන් වන ඉන්චාෆ් සහ ඉල්හාම්ය. ඔවුන් 2018 සිට පාස්කු ප්‍රහාරය දක්වා ලක්ෂ 500කට ආසන්න මුදලක් සිය ව්‍යාපාරවලින් ලබා දී තිබෙනවා.

    ඊට අමතරව මොවුන් දෙදෙනා ISIS සංවිධානය සමඟ සම්බන්ධ වී සිරියාවේ පුහුණුවන ලාංකික ත්‍රස්තයන්ට යැවීම සඳහා 2018 නොවැම්බර් රු. ලක්ෂ 45 ක් සිරියාවේ ත්‍රස්තවාදීයෙකු ලෙස මියගිය නිලාම් නැමැත්තාගේ පියාට ලබා දී තිබෙනවා. ඒ මුදල් ත්‍රස්තමර්ධන විර්ශණ කොට්ඨාෂය විසින් සොයාගෙන තිබෙනවා.

    ශ්‍රැන්ගිල්ලා හෝටලයේදී මරාගෙන මැරුණු ඊබ්‍රාහීම් ඉල්හාම් සිය ව්‍යාපාරයෙන් රුත ලක්ෂ 370ක් ලබා ගෙන ඉන් කොටසක් ප්‍රහාරය සැලසුම් කිරීමට සහ වෙනත් පහසුකම් ලබා ගැනීමට සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන්ට ලබා දී තිබෙනවා. එයින් ලක්ෂ 50ක් ප්‍රහාරයකට දින 05ට පසු සායින්දමරුදු නිවසේදී සොයා ගත්තා.

    “සේව් ද පර්ල්” රාජ්‍ය නොවන සංවිධානය මෙරට ආරම්භ වී ඇත්තේ 2015 වසරේදී. මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ වූ ඊබ්‍රාහීම් සහ සහෝදරයින්, ජමීල් සහ දැනට අත්අඩංගුවේ සිටින ජමීල්ගේ සහෝදරයා මේ සංවිධානය සමඟ සක්‍රීයව සම්බන්ධ වෙලා තිබෙනවා.

    “සේව් ද පර්ල්” සංවිධානය විසින් දියත් කර ඇති අරාබි පාසැල් වල කුඩා දරුවන්ව අන්තවාදී මතවාදයට නැඹුරු කිරීමට උගන්වා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් ඇතුළු පුද්ගලයින් මෙම විදුහලේ සිසුන්ට දේශණ පවත්වා තිබෙනවා. විදුහලේ සිසුන් එය සනාථ කරනවා. ඉල්හාම් ඊබ්‍රාහීම්ගේ මූල්‍ය දායකත්වයෙන් තවත් අරාබි විද්‍යාලයක් ගොඩ නැගීමට මදුරන්කුළිය ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන තිබෙනවා. ඊට අමතරව 2018 මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම පිළිබඳව අත්අඩංගුවට ගත් අයට සහරාන් හරහා නීතිමය සහාය දීමටද මෙම සංවිධානය මූලික වෙලා තිබෙනවා.

    එසේම පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හා එහි මූලික පසුබිම සැකසුනු ආකාරය පිළිබඳව සොයා බැලීමේදී මෙම ප්‍රහාරය මෙහෙය වූ අය, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසූ අය, ප්‍රහාරය දියත් කරන්න ISIS මතවාදය ඔස්සේ ප්‍රහාරකයින් අභිප්‍රේරණය වීම සහ මෙයට සෘජුව වක්‍රව සම්බන්ධ අය සහ එම භාහිර සම්බන්ධතා පිළිබඳ පුළල් විමර්ශනයක් ඉතාම වැදගත් වෙනවා. එමගින් අදාල අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමට හා ඉදිරියේදී මෙවැනි ප්‍රහාර වැළැක්වීමට ද හැකි වෙනවා.

    ඒ සඳහා මම පහත කරුණු මෙම ගරු සභාවට දැනගැනීම සඳහා ඉදිරිපත් කරනවා. ඉරාකයේ සිටි අබුබක්කර් අල් බැග්ඩෑඩි විසින් 2014.06.29 දින සිරියාව-ඉරාකය කේන්ද්‍ර කරන්ගෙන ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරමින් සිරියාවට හෝ ඉරාකයට පැමිණෙන  ලෙසට සහ ඉස්ලාම් රාජ්‍යය වෙනුවෙන් සටන් කරන ලෙසට මුලින් ප්‍රකාශ කර තිබෙනවා.  

    ISIS නායක බැඩූඩිගේ මෙම ප්‍රකාශයෙන් පසු 2015 ජනවාරී මාසයේ කණ්ඩායම් ලෙස මෙරට පුද්ගලයින් 37 ක් පමණ සිරියාවට ගොස් IS සංවිධානය සමඟ එක්ව කටයුතු

    කර තිබෙනවා.  මීට අමතරව ඉස්ලාම් රාජ්‍යය හෙවත් IS වෙත කැමැත්ත දක්වන මෙරට පුද්ගලයින් ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහීම් හෙවත් JMI නමින් සංවිධානය වන බව මූලිකව යුධ හමුදා බුද්ධි අංශය  හා රාජ්‍ය බුද්ධි සේවාව එම වකවානුවේ හඳුනාගෙන තිබුණා. 

    ඒ අනුව, බුද්ධි සේවා මගින් තොරතුරුකරුවන් යොදවා තොරතුරු රැස්කර සිරියාවට ගිය කණ්ඩායම, ඔවුන් එරටට ගිය ආකාරය, ඒ සඳහා ඔවුන් හට මුදල් ලැබුණ මාර්ගය හා ඉන්පසු මෙරට JMH සංවිධානය පිළිබඳවත් 2015 සිට වාචිකව හා ලිඛිතව ආරක්‍ෂක මණ්ඩලය හා අනෙකුත් වගකිවයුතු නිලධාරීන් දැනුවත් කිරිමට කටයුතු කර තිබුණා. එහිදී ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි තර්ජන හා ඒවා වැළැක්වීමට රජය හා රජයේ අදාළ ආයතන / අමාත්‍යාංශ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් වාර්තා කර තිබුණා. මේ පිළිබඳව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිවම සඳහන් වෙනවා. 

    ඒ අනුව, යම් පුද්ගලයෙකු ආගම පදනම් කරගත් මතවාදයක් ඔස්සේ ත්‍රස්තවාදියෙකු බවට පරිවර්තනය වීමේදී පළමුව මුලධර්මවාදයට හා ආගමික අන්තවාදයටද, දෙවනුව ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයටද ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවා. 

    පාස්කු ප්‍රහාරකයින් ඉස්ලාම් රාජ්‍ය සංකල්පය පෙරදැරි කරගෙන ත්‍රස්තවාදය දක්වා  ගමන්කළ අතරම සමහර පුද්ගලයින් මෙහි විවිධ අවධිවල පසුවන බවට විමර්ශනවලදී හදුනාගෙන තිබෙනවා.  IS නායක අබුබක්කර් අල් බැග්ඩෑඩි විසින් 2014 ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීමත් සමහ ඉස්ලාම් රාජ්‍ය මතවාදයේ පිහිටා කටයුතු කළ සහරාන්. 

    2015 වසරේදී ඉස්ලාම් රාජ්‍යය මතවාදය සමගම දැඩි මූලධර්මවාදීව සිට ආගමික අන්තවාදියෙක් බවට පරිවර්තනය වුනා.  2017 වසරේ මුල්කාලයේ පටන් ඔහු ආගමික අන්තවාදයේ සිට ප්‍රචණ්ඩත්වය කරා  ගමන්කර තිබෙනවා. මොහුගේ මුල්ම ප්‍රචණ්ඩකාරී සිදුවීම ලෙස 2017.03.10 දින කාත්තන්කුඩි අලියාර් හන්දියේ වෙනත් මතවාදී පිරිසකට පහරදීම වාර්තාවී තිබෙනවා.  මේ සමඟ සහරාන් චරිතය කරලියට පැමිණෙනවා. 

    මෙලෙස යම් පුද්ගලයෙකු මූලධර්මවාදීයෙකු, ආගමික අන්තවාදියෙක් ලෙස හා ප්‍රචණ්ඩත්වය දක්වා පරිවර්තනය වීමේදී ඔහු එම කාලය තුළ ඇසුරු කරන්නන් සහ සංවිධාන ක්‍රියාකරන ආකාරය විශ්ලේෂණය කිරීම ඉතා වැදගත් වෙනවා. 

     මෙහිදී වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි මොහොමඩ් ඊබ්‍රාහීම් මොහොමඩ් නවුෆර් නමැති දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයා 2016 සිට සහරාන් සමඟ සමීපව කටයුතු කිරීම සම්බන්ධව විමර්ශනය කර තිබෙනවා. ඒ අනුව අබුබක්කර් අල් බැග්ඩෑඩිගේ මතවාදයට සහරාන් සම්බන්ධ කිරීමට නවුෆර් සැලකිය යුතු කාර්යය භාර්යයක් සිදුකර ඇති බවට විමර්ශන වලදී හඳුනාගෙන තිබෙනවා. 

    එමෙන්ම මෙම නවුෆර් නමැත්තා සහරාන් සමග සම්බන්ධ වෙමින් ප්‍රහාරය දක්වා ඔහුව මතවාදීව මෙහෙයවා ඇති බවට දැනට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයෙන් සිදුකරන ලද විමර්ශන වලදී තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. 

    එහෙයින් මෙම ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධානතම මූලධර්මවාදියා මෙන්ම සහරාත්ව මෙම ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කළ ප්‍රධානතම පුද්ගලයෙකු ලෙස නවුෆර් හදුනාගෙන තිබෙනවා. 

    ප්‍රහාරයට ප්‍රථම සහරාන් ඇතුළු ව්‍යඝාතකයින් තමන්ගේ නායකයා අබුබක්කර් අල් බැග්ඩෑඩි බවට ප්‍රතිඥාවක් දී මෙම ප්‍රහාරය සිදුකරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් බවට සපතකර තිබෙනවා. 

     ඒ අනුව අන්තවාදී මතවාදයන් සමඟ පෝෂණයවූ එම ප්‍රහාරකයින් ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන් මෙම ප්‍රහාරය IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් සිදුකරන බවත් තම ජීවිතය Caliphate වෙනුවෙන් කැපකරන බවටත් සඳහන් කරමින් කොළඹදී වීඩියෝ පටයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

    එමෙන්ම 2019.04.26 දින සයින්දමරුදු හිදී ආරක්‍ෂක අංශ විසින් ඔවුන් සිටි ස්ථානය වටලා තිබියදී පවා ඔවුන් පිළිගන්නා ලද මතවාදය වෙනුවෙන් සහ IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් තම ජීවිතය පුදකරන බවට විඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. 

    මෙම කරුණු අනුව පෙනීයන්නේ ISIS මතවාදය ඔන්සේ සහරාව ප්‍රචණ්ඩත්වය දක්වා පෝෂණය කිරීමත් සහරාන්ගේ අනුගාමිකයින්ද ආගමික ප්‍රචණ්ඩත්වයට පත්වීම දක්වා පෝෂණය කිරීමටත් නවුෆර් සිදුකර ඇති කාර්යභාරය අතිමහත් බවය. 

    මීට අමතරව ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාම් සංවිධානයේ හිටපු ප්‍රධානියා වන හජ්ජල් අක්බද ඉස්ලාම් රාජ්‍ය මතවාදයක සිට කටයුතු කර ඇති බවත් ඔහු ඒ ඔස්සේ පුද්ගලයන් අභිප්‍රේරණය කිරීමේ කටයුතු වල නිරතව සිට ඇති බවත් ඔහු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවටත් අනාවරණය වී තිබෙනවා. ඇති ප්‍ර. – 

    මෙලෙස සහරාම් මතවාදීව නවුෆර් යටතේ පෝෂණය වීමේදී, මාලදිවයින් ජාතික ආගමික 

    ත්‍රස්තවාදීන් 04 දෙනෙකු සහරාන් වෙත සම්බන්ධ කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ටේ‍්‍රලියානු පුරවැසියන් දෙදෙනෙකු වන ලුක්මන් තාලිබ් හා ඔහුගේ පුත් දුක්මන් තාලිබ් අහමඩ් කටයුතු කර ඇති බවටද සොයාගෙන තිබෙනවා. 

    තවද, පාස්කු ප්‍රහාරකයින් සහ මාලදිවයින් ත්‍රස්ත සාමාජිකයින් 4 දෙනා 2016 සිට ප්‍රහාරය දක්වා අවස්ථා ගණනාවකදී මෙරටට පැමිණ මරණයට පත්ව ඇති හා මේවනවිට අත්අඩංගුවේ පසුවන අන්තවාදීන් හමුවී ඇති බවද එම සම්බන්ධීකරණ කටයුතු ලුක්මන් තාලිබ් අහමඩ් මෙරටට පැමිණ සිදුකර ඇති බවටද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය සහ රාජ්‍ය බුද්ධි සේවාව හඳුනාගෙන තිබෙනවා. මෙම ඕස්ටේ‍්‍රලියානු පුරවැසි පියා වන ලුක්මන් තාලිබ් කටාර් රාජ්‍යයයේදී අත්අඩංගුවට ගෙන ඇති බවටද එරට බුද්ධි අංශ වාර්තා  කර තිබෙනවා. 

    එසේ නම් පාස්කු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සැකසී ඇත්තේ මෙසේය.

    අයි.එස්. හා එහි නායක බැග්ඩෑඩ්ගේ අන්තවාදී මතවාදය නවුසර් ඇතුලු මවුලවි ඇතුලු කිහිප දෙනෙක් පෝෂණය කිරීම. එම මූල ධර්ම මතවාදයන් ඉදිරියට ගෙන යාම, තරුණ කොටස් නැඹුරු කිරීම සහ අන්තවාදී ක්‍රියාකාරකම් වලදී මතුවිය හැකි නෛතික ගැටළු විසදීමට නෛතික පසුබිමක් ඇති පිරිසක් ඇති කිරීම මේ සඳහා Save the Pearl වැන් සංවිධාන උපකාරී වී තිබෙනවා.

    ප්‍රහාරයට අවශ්‍ය සියලුම මුදල්, භෞතික සම්පත් දුල්හාම් ඉන්ෂාෆ් සහෝදරයින් තම  ව්‍යාපාර වලින් ද විදෙස් රටවල අන්තවාදී සංවිධාන හා මැද පෙරදිග අයි.එස්. ලැදි කණ්ඩායම් හරහා දීම.

    සහරාන්ගේ නායකත්වය යටතේ රිල්වාන් හස්තුන් මිල්හාන් හා සාදික් විසින් ප්‍රහාර සැලසුම් කිරීම පුහුණු කිරීම් සහ ප්‍රහාර දියත් කිරීම.

    ෆයිරූස් හා ෆස්රූල් විසින් අයි.එස්. මත්වාදය ප්‍රචාරන කටයුතු වීඩියෝ සැකසීම හා උඩු ගත කිරීම වශයෙනි.

    දැනට අත්අඩංගුවේ සිටින විවිධ තරාතිරමේ ප්‍රද්ගලයින් හා ස්වයං ඝාතකයින් අතර දුරකතන සම්බන්ධතා හදුනාගෙන තිබෙන අතර ඔවුන් වයිබර් වට්සෆ් වැනි මෘදුකාංග හරහා සබඳතා පවත්වා තිබෙනවා. මේ සඳහා විදේශීය බුද්ධි අංශ සමඟ සම්බන්ධීකරණය වෙනවා. එසේම 2019 මැයි මාසයේ පිහිටුවන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය හරහා සිදු කරනා. එම වාර්තාවේ සමස්ත ලංකා භූමිය තුල උපමා සභාව ප්‍රමුථ Community Association of Professional නැමැත් සංවිධානයක් සිදු කර ඇති විමර්ශනයකදී බොහෝ මද්‍රසා පාසල් වල නිසි ක්‍රමවේදයක් නොමැති බව සඳහන් වෙනවා.

    එසේම ලංකාවේ උපදින සියලු දරුවන්ට අවුරුදු 05 සිට 16 දක්වා රජයේ අධ්‍යපාන ප්‍රතිපත්යට අනුව අධ්‍යාපනය ලබා දිය යුතු බව අප අවධාරනය කරනා. ඒ අනුව කටයුතු නොකරන සියලුම පාසල් තහනම් කිරීමට අප කටයුතු කරනා. අනෙකුත් මද්‍රසා පාසල් නියාමනය කිරීමට කටයුතු කරනා. එසේම වසර ගණනාවක් තිස්සේ ඉතා සාමකාමීව නියමිත ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වන මද්‍රසා පාසල්ද තිබෙනවා.

    වර්තමාන රජය බලයට පත්වූ පසු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සෘජව වක්‍රව නිර්මාණය කළ මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11 ක් හඳුනා ගනිමින් එම සංවිධාන නුදුරේදීම තහනම් කිරීමට කටයුතු කරනවා.

    පාසැල් ගරු අත්පොත්වල ඇතුලත්ව ඇති ඉස්ලාම් මූලධර්මවාදය සම්බන්ධ ඉගැන්වීම් ඇතුළත් පොළපොත් නිවැරදි කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. මෙහිදී 1 වසර සිට 13 වසර දක්වා ගුරු සහ පෙළ පොත්වල අන්‍යාගම්වලට එරෙහිව නැගී සිටීම සඳහන්වන අතර, ආගමික සහජීවනයට හානිවන ආකාරයෙන් වහාබ් සහ සලබ් මූලධර්මවාදී ප්‍රතිපත්ති සූක්ෂම ලෙස ඇතුළත්ව තිබෙනවා. ඒවා විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට දැනටමත් කටයුතු කෙරෙමින් සිටිනවා.

    ජාතික ආරක්ෂාවට වර්තමානයේදී සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් මේ රජය ගෙන ඇති අතර, එක් පියවරක් ලෙස බුර්කාව පැළදීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා.

    ඒ වගේම ළමා හා කාන්තාවන් වෙනුවෙන් අඩුවයස් විවාහ සහ දික්කසාද පිළිබඳව නීති සමස්ථ ජනතාවටම බලපාන පොදු නීතියක් යටතට ගැනීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරනවා.

    පාස්කු වැනි ප්‍රහාරවලට යොමු වීමට පෙර පුද්ගලයින් මූලධර්මවාදී අවධියට යොමුවන බවට බුද්ධි අංශ මගින් හඳුනාගත් වහාම අන්තවාදී ප්‍රචන්ඩත්වයට යොමු වීමට පෙර ඔවුන්ව අනිවාර්යය පුනුරුත්තාපන ක්‍රියාවලියට යොමු කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මෙම ප්‍රහාරයට සෘජුව/ වක්‍රව සම්බන්ධ සියලුම පිරිස්වලට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරනවා.

    අවසාන වශයෙන් මේ වන විට පාස්කු ප්‍රහාරන් සඳහා නැඹුරු වූ ආකාරය, ප්‍රහාර සිදු කිරීමේ අරමුණ, ප්‍රහාරය මෙහෙයවූයේ කවුද?, එයට මුදල් ලැබුනේ කාගෙන්ද?, එයට අදාල දේශීය විදේශීය සම්බන්ධතා යන ප්‍රශ්ණවලට පැහැදිලිව පිළිතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නුදුරු දිනයේ ගන්නවා. කොවිඩ් වසංගතය හමුවේ වුවද ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, යුද්ධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, යුද්ධ හමුදා බුද්ධි අංශ ඇතුලු අනෙක් බුද්ධි අංශ මෙම ප්‍රහාරයට සම්බන්ධ දේශිය, විදේශිය පුද්ගලයින් සංවිධාන හඳුනා ගනිමින් ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට දැඩි වෙහෙස මහන්සියෙන් කටයුතු කරන බැව් මා මේ ‍වේලාවේ සිහිපත් කරනවා.

    මේ සම්බන්ධව ඇතුම් දේශපාලන පසුබිම් ඇති පිරිස් සමාජය නොමග යවමින් ජනතාව මුලා කිරීමට වෑයම් කරනවා. එසේ විමර්ශනයන් තුලින් සත්‍ය අනාවරනය කිරීමට යුක්තිය ඉටු කිරීමට බාධාවන අයුරින් ක්‍රියාත්මක වන අය සම්බන්ධයෙන් අපි නීති අනුකූලව කටයුතු කරනවා.

    අප හෙලා දැකිය යුත්තේ යම් කිසි ආගමක් නොව ආගමික අන්තවාදයයි. මෙම ප්‍රහාරය පොලබවා ඇත්තේ වහබ්වාදය මත ගොඩනැගුණු අන්තවාදයයි. අල්වලාවල්බරා න්‍යාය හෙවත් මුස්ලිම් වරුන්ට පක්ෂපාතී වීම සහ මුස්ලිම් නොවන අයට දේශ කිරීමට පොළබවන වහාබ් ආයතන අපි තහනම් කරනවා.

    සාමකාමී රටට ආදරය කරන මුස්ලිම් ජනතාව මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලදී අපට සහය වනවා. එය මා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. යුධ හමුදාවේ විශේෂ බලකායේ විශිෂ්ඨ සේවයක් කල ෂස්ලි ලෆීල් වගේම බුද්ධි බලකායේ අති විශිෂ්ඨ සේවයක් කල කර්නල් මුතාලිෆ්, කර්නල් මීඩීන් යන මුස්ලිම් ජාතික නිලධාරීන්  අදටත් අප ගෞරවයෙන් සිහිපත් කරනවා.

    අවසාන වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසන් සභාව ඉදිරිපත් කල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරන බව ප්‍රකාශ කරමි. එසේම මෙම සභාවේ අවධානයට ලක් නොවූ නමුත් විමර්ශන වාර්තා වලින් හෙලි වූ කරුණු අනුව මෙම ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ද සියලු පුද්ගලයින්ට අයාතන වලට විරුද්ධව නීති ප්‍රකාරව අපි කටයුතු කරනවා.

    මේ සම්බන්ධයෙන් මීට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒවා ගරු කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ජාතික ආරක්ෂාවට බාධා නොවන අයුරින් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට මා බලාපොරොත්තු වෙනවා.

  • බඩු මිල ගැන ප්‍රශ්න කළ විට ‘බන්දුල’ මාධ්‍යවේදියෙකුට පෙනේ පුප්පයි

    බඩු මිල ගැන ප්‍රශ්න කළ විට ‘බන්දුල’ මාධ්‍යවේදියෙකුට පෙනේ පුප්පයි

    2005-2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ද ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් දරමින් සිටියදී ‘රුපියල් 2500කින් පස් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට පුළුවන්‘ යැයි ද ඊට පසුව ‘බඩු මිල අඩු කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බෑ‘ යැයි කී වත්මන් වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන අද (9) ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය වේදියෙකුට නින්දා කරමින් බැණ වැදුණා.

    කහ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයාගෙන් අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදියෙකු ඉහළ යන බඩුමිල ගැන ප්‍රශ්න කළා.

    මාධ්‍යවේදියා එහිදී විමසා සිටියේ මාස 6ක් 7ක් තිස්සේ ජනතාව බඩු මිල වැඩි වීම දරාගෙන සිටින බවත් වෙළඳපොලේ කහ හිඟයක් පවතින බවත් සතොස වැනි ආයතන තුළ එවැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පහසු මිලට නොමැති බවයි.

    එම මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා දැඩි ආවේගාත්මක සහ සුපුරුදු නින්දාසහගත ස්වරයෙන් “උඹට දරාගෙන ඉන්න බැරි වුණාට, ජාවාරම්කාරයින්ට දරාගෙන ඉන්න බැරි වුණාට මිනිස්සුන්ට දරාගෙන ඉන්න පුළුවන්. කොන්ත්‍රාත් කරන්න එපා සහෝදරයා. ඉස්සෙල්ලා ඇත්ත දේ කරන්න. කොන්ත්‍රාත් කරන්න ඔන නම් වෙන කාත් එක්ක හරි කරන්න.” යනුවෙනි.

  • පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව හංගන්න අවශ්‍යතාවක් නෑ – ජනපති

    පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව හංගන්න අවශ්‍යතාවක් නෑ – ජනපති

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සැඟවීමේ කිසිදු අවශ්‍යතාවක් තම රජයට නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණයෙන් කියා සිටී. ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් හෝ සමග ඩීල් දාන්නේ නැති බවත්, කිසිවෙකු සන්තෝෂ කිරීමට වුවමනාවක් නැති බවත් ජනාධිපතිවරයා පවසයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ප්‍රශ්නයකි. එය දේශපාලන තේමාවක් කර නොගත යුතුය. මේ විපත සම්බන්ධයෙන් නිවැරදිව ක්‍රියාකිරීම ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමකි. ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන්ට ඇති වේදනාව සාධාරණය. උන්වහන්සේ ඒ ගැන කථා කිරීම නිවැරදිය. ප්‍රහාරය සිදුවූ වේලාවේ නිහඬව සිටි එදා ආණ්ඩුවේ දේශපාලනඥයන් දැන් කළු කොඩි දැමීම කණගාටුවට හා හාස්‍යයට කරුණක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    පාස්කු ප්‍රහාරය පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2019 වසරේ සිදු වූවකි. එදා පැවති රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා කළකිරී සිටි ජනතාව සමුපකාර සමිති ඡන්දයේදී මෙන්ම 2018 පෙබරවාරි මස පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ද ආණ්ඩුව කෙරෙහි දැඩි විරෝධය ප්‍රදර්ශනය කළහ. තමා පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා බලයට පැමිණියේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. 

    2015 ට පෙර පැවති රජය ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වය දී තිබිණ. 2015 දී බලයට පැමිණි පිරිස ජාතික ආරක්ෂාව අමතක කළහ. කුමන මානව හිමිකම් චෝදනා නගනු ලැබූවද 2015ට පෙර පැවති ආරක්ෂක ප්‍රතිපත්තිය යළි සක්‍රීය කර තිබේ.

    රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ රජයට බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. දෙමළ බෙදුම්වදී ත්‍රස්තවාදයට හෝ ඉස්ලාම් අන්තවාදයට හෝ හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවත්, පදනම් විරහිත සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කියා සිටී.

    අද (06) පෙරවරුවේ කුරුණෑගල දිස්‍ත්‍රික්කයේ, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, වේරගල ග්‍රාම නිලධාරී වසමේ මාඳුරාගම ක්‍රීඩාපිටියේ පැවති “ගම සමග පිළිසඳර” 13 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

  • ‘මම 2025 ජනපතිවරණය එන්නෑ’ – ගෝඨා යළි යළිත් සහතික වෙයි

    ‘මම 2025 ජනපතිවරණය එන්නෑ’ – ගෝඨා යළි යළිත් සහතික වෙයි

    තමන් 2025 ජනාධිපතිවරණය යළි ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි යළිත් අවධාරණය කර තිබෙනවා.

    පසුගියදා මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් හා දුරකතන සංවාදයක් පවත්වා ඇති ජනාධිපතිවරයා උන්වහන්සේට පවසා ඇත්තේද තමන් නැවත ජනාධිපතිවරණයකට තරඟ නොකරන බවයි.

    මේ අතර පසුගිය දා ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂ 10ක් සමඟ පැවැති සාකච්ඡාවේදි ද ජනාධිපතිවරයා තම තීරණය යළි අවධාරණය කර තිබෙනවා.

    මෙහිදී ආණ්ඩුව වේගයෙන් ජනතා අප්‍රසාදයට ලක්වන බවත් ඊට බලපා ඇති හේතුත් සුළු පක්ෂ විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී තම යෝජනා ද ඉදිරිපත් කර තිබෙනවා.

    එහිදි ඔවුන් යෝජනා කර ඇත්තේ ආණ්ඩුවේ පක්ෂ සන්ධානයේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ විසින් බාරගත යුතු බවත් නිරන්තරයෙන් සුළු පක්ෂ නියෝජිතයන් සමඟ සම්බන්ධ වෙමින් සාකච්ඡා පවත්වමින් 2025 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රචාරක යාන්ත්‍රණයකට දැන් සිටම එළඹිය යුතු බවත්ය.

    ‘ ඔබතුමා ඔසවා තැබීමේ වගකීම අපට කළ හැකියි‘ මෙහිදී ඔවුන් අවධාරණය කර තිබෙනවා.

    එහෙත් ජනාධිපතිවරයා ඔවුන්ගේ උපාය මාර්ගික සැලසුම ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී දැඩිව අවධාරණය කර ඇත්තේ තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

    ‘ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ සුළුජාතික ඡන්ද ලබාගත හැකි අපේක්ෂකයෙක්. ඒ අපේක්ෂකයාට අවශ්‍ය සිංහල ඡන්ද ටික මට එකතු කර දිය හැකියි‘ ජනපතිවරයා පවසා තිබෙනවා.

    මේ වන විට ජනාධිපතිවරයා සියලුම අංශ වලින් අසමත් වී ඇති බවට පොදු මතයක් සමාජය තුළ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. බඩුමිල ඉහළ යාම, කොවිඩ් පාලනයෙන් ගිලිහීම මෙන්ම ජනපතිවරයා විසින් මහත් විශ්වාසයෙන් පත් කළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් ‘අසමත්වීම‘ මේ අතර කැපී පෙනවා.

    විශේෂයෙන් ජනපතිවරයා සිදුකරන ‘ගම සමග පිළිසදර‘ මේ වන විට ජනතාව අතර හාස්‍යයට ලක්ව තිබෙනවා.

  • පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ සභා වාර්තාව ලබන 10 වැනිදා විවාදයට

    පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ සභා වාර්තාව ලබන 10 වැනිදා විවාදයට

    පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය  පිළිබඳ සොයා බැලූ  ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින බදාදා ආරම්භ කිරීමට  ගරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

    ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    මාර්තු 9 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ කරන අතර පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.

    ඉන්පසුව පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි පිළිබඳ විවාදය, විදේශ විනිමය පනත යටතේ වන රෙගුලාසියක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2ක් පිළිබඳ විවාදය ද පෙ.ව 11.00 සිට ප.ව 03.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයන් තීරණය කළ බව ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    මෙරට කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉදිරිපත්කර ඇති යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙදින සිදුවන බව මහලේකම්වරයා පැවැසුවේය.

    පාර්ලිමේන්තුව මාර්තු 09 වැනි දින ප.ව 3.30ට කල් තැබීමෙන් පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය විසින් ඉදිරිපත් කරනු ලබන කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම පිළිබඳව ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගනු ඇත. එම විවාදය පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

    මාර්තු 10 වැනි බදාදා අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න මෙවර ක්‍රියාත්මක නොවුවද පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.

    ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගනු ලබන බව ධම්මික දසනායක මහතා පැවසුවේය.

    මාර්තු 12 වැනි සිකුරාදා දින පාර්ලිමේන්තුව රැස් නොවේ

  • පරිසරයට ආදරය කරපු කොල්ලන්ට කෙල්ලන්ට සර් බූට් එක තිබ්බා !

    පරිසරයට ආදරය කරපු කොල්ලන්ට කෙල්ලන්ට සර් බූට් එක තිබ්බා !

    ”පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා‘‘ යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කරයි.

    ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    මෙහිදී වත්මන් පරිසර විනාශය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ එරංග ගුණසේකර මහතා,

    “පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා. ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා මේ වෙනකොට. මිනිසුන්ගේ වන සතුන්ගේ ජීවිත අහිමි කරන තැනට පත්වෙලා. අනාගතයේදී අපිට ඔක්ෂිජන් පැකට් එක කඩෙන් ගන්න තැනට පත්කරන්නද හදන්නේ. මේ ජනාධිපතිවරයා පරිසරයට ආදරෙත් නැහැ. ඔහුට පරිසරය රකින්නත් බැහැ. සර්ලාගේ සිස්ටම් එකට පරිසරය රකින්නත් බැරි බව අපි පැහැදිලිව කියනවා. ගහක කොලක වටිනාකම් නොදන්න පුද්ගලයින්ට, සිස්ටම් එකකට මේ දේවල් කියලා වැඩකුත් නැහැ. නමුත් අපේ හුස්ම පොද වෙනුවෙන් අරගල කරන්න අපි සූදානම්. සර්ගේ ඩෝසරයට එරෙහිව පේෂ් ටු පේෂ් සටනකට අපි සූදානම්. අපි මේ රටේ සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා මේ සටනත් එක්ක එකතු වෙන්න කියලා.”

    “මේ වනවිට ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳර කියලා ගම්පුරා යන්න පටන් අරගෙන තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ ඩෝසරයත් රට වටා යන්න පටන් අරගෙන; රට පුරා පරිසර පද්ධති විනාශ කරන්න පටන් අරගෙන.

    ජනවාරි 30වෙනිදා තණමල්විල කුකුල්කටුව ගම්මානයේ කරපු පිළිසඳරත් එක්කම රටේ සංවාදයක් ආවා දහයියාගල අභයභූමිය විනාශ කරන්න පටන් අරගෙන කියලා. සමාජවාදී තරුණ සංගමය විදියට අපි ඒ පිළිබඳ සොයා බලන්න පෙබ. 20 සහ 21 දෙදින දහයියාගලට ගියා. ජනවාරි 30 සිට මාර්තු 01 දක්වා මාසයක් ඇතුළත දැවැන්ත විනාශයකට දහයියාගල රක්ෂිතය පත්වෙලා. දහයියාගල අභයභූමිය අක්කර 6635ක භූමියක් තිබෙනවා. 2002 ජූලි මාසයේ 07 වෙනිදා තමයි මෙය අභ්‍යභූමියක් ලෙස නම් කරලා තිබෙන්නේ. දහයියාගල අලිමංකඩ හරහා දිනකට වන අලියන් 30ක් පමණ එහා මෙහා ගමන් කරන බව පරිසරවේදීන් කියනවා. අභයභූමිය පිටතින් ගම්මාන 30ක් පමණ තිබෙනවා. සමනළ වැවේ සිට කුමන ජාතික වනෝද්‍යානය දක්වා අලි ගමන් කරන බිම්තීරුවේ තමයි දහයියාගල අභයභූමිය මුණ ගැසෙන්නේ.

    දහයියාගල අභයභූමිය විශාල විනාශයකට ලක්වෙලා තියෙන බව අපි ඇස් දෙකෙන් දුටුවා. ඡායාරූප විඩියෝ අප සතුව තිබෙනවා. අක්කර ගණනාවක් ජනාධිපතිගේ ඩෝසරයට යටකරගෙන ගිහින් තිබෙනවා. අවුරුදු 75ක් 100ක් පැරණි ගස් කපා දමා තිබෙනවා. ජනාධිපතිවරයා කිව්වේ පාරම්පරික ඉඩම් ගොවියන්ට වගා කරන්න ඉඩ දෙන්න කියලා. නමුත් අක්කර සිය දහස් ප්‍රමාණයක් අලුතින් විනාශ කරලා වගාබිම් බවට පත්කරලා තිබෙනවා. නමුත් ගමේ මිනිස්සු නෙවෙයි මේ ඉඩම් හෙළිපෙහෙළි කරන්නේ. ගමේ මිනිස්සුන්ට ඩෝසර් දාලා කැලෑ කපන්න වත්කමක් නැහැ. ඩෝසරයකට දවසක කුලිය ලක්ෂ තුන හතර වෙනවා. පිටින් පැමිණි කූඨ ව්‍යාපාරිකයින් පිරිසක් තමයි මේ දහයියාගල වන විනාශය කරන්නේ.

    ඒ වගේම අපි දැක්කා අඩි විස්ස තිහ උස යකඩ වැටවලින් අලිවැටවල් නිර්මාණය කරලා තිබෙනවා. යෝධ අලි වැටවල් තමයි මේ ව්‍යාපාරිකයින් විසින් හදල තිබෙන්නේ. නමුත් ගමට අලි එනවට ගහන අලිවැට ලාඩප්පා කෝටුවලින් ගහපු මැස්සක් වගේ. අලින් ඉන්න භූමිය අත්පත් කරගෙන දැවැන්ත අලිවැටවල් නිර්මාණය කර තිබෙනවා. ව්‍යාපාරිකයෝ ලක්ෂ තිහ, හතලිහ, පනහ විදයම් කරනවා අලිවැටවල් ගහන්න. මෙවැනි අලිවැටවල් ගහන්නේ ගමේ මිනිස්සු නෙවෙයි කියලා පැහැදිලියි. ගමේ මිනිස්සුන්ගේ ජීවිත ගමේ මිනිස්සුන්ගේ වගා ආරක්ෂා කරන්න මෙවැනි අලිවැටවල් නිර්මාණය නොවෙන බවත් ඉතාම පැහැදිලියි.

    තේක්ක සහ බුරුත ගස් කපා දමා විශාල දිග වැටවල් නිර්මාණය කරලා තිබෙනවා. එක ව්‍යාපාරිකයෙක් හෝටලයක් ගොඩනගන්න ආරම්භ කර තිබෙන බව ගමේ වැසියන් කියනවා. කැලේ ඇතුලට යන්න අක්කරය දෙක හෙළිකරලා තිබෙනවා. ඇතැම් ස්ථාන අක්කර සීය දෙසීය හෙළිකරලා තිබෙනවා. අපි පසුගිය පෙබරවාරි 20 සහ 21 දහයියාගලට යනකොට ඒ දින දෙකෙත් කැලෑ කපපු ස්ථාන දැක්කා. මේ වනවිට රාත්‍රී කාලයේ අලි වෙඩි දමා අලි එළවා දමමින් කැලෑ සුද්ද කරන්න පටන් අරගෙන තිබෙනවා.

    ජනාධිපතිවරයා විසින් කරන අමනෝඥ වැඩ නිසා කැලෑවල ඉන්න ඉන්න අලි කැලෑවලින් ගම්වදින්න පටන් අරගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ ජීවිත, වගා, ගෙවල් දොරවල් විනාශ වෙන අලිමිනිස් ගැටුමක් නිර්මාණය වෙමින් තිබෙනවා. මීට පෙර 2008 වර්ෂයේදීත් දහයියාගල අභයභූමිය විනාශ කරන්න සූදානම් වුනා. මේ වනවිටත් එම විනාශය යළි ආරම්භ වෙලා. ගමේ වැසියන් බයෙන් ඉන්නවා. මේ වනවිනාශයට එරෙහිව ගම්වාසීන්ට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවෙලා තිබෙනවා. අපි සමාජවාදී තරුණ සංගමය ලෙස කියනවා මේ පරිසර විනාශයට එරෙහි වීම තනි පුද්ගල ක්‍රියාවක් නෙවෙයි කියලා. සර්ගේ ඩෝසරයට එරෙහිව අපි පෙරමුණ ගත යුතුයි.

    මේ වනවිට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට ඉඩමක් වෙන් කරන්න කියලා හම්බන්තොට, වල්සපුගල ගොවියෝ උද්ඝෝෂණයක් කරනවා. මේ ප්‍රශ්නය ආවේ 2011දී. එදා හිටපු රාජපක්ෂ ආණ්ඩුව අක්කර 25000කට වැඩි ප්‍රමාණයක් එළිපෙහෙලි කළා වරාය ගුවන්තොටුපල, සම්මන්ත්‍රණ ශාලා හදන්න කියලා. අලි ඉන්න කැලෑ තමයි ඒ විදියට විනාශ කළේ. ඊටපසුව අලි රක්ෂිතයට කියලා දැවැන්ත භූමියක් වෙන් කළා. නමුත් තවමත් ගැසට් කරලා නැහැ. ඒ භූමියත් තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයින්ට වෙන් කරලා දෙන්න පටන් අරගෙන. අද ගොවියන්ට මාරාන්තික උපවාස කරන්න වෙලා අලියන්ට ඉඩමක් දීපල්ලා කියලා. මේ පාලකයින්ට ඒ ප්‍රශ්න විසඳන්න වුවමනාවක් නැහැ. දැන් දහයියාගල ජනතාවටත් තියෙන්නේ එවැනි බියක්. ජනාධිපතිගේ මෝඩ තීරණ නිසා කැලෑ කපපුවාම අලි ගම්වදියි කියලා දහයියාගල මිනිස්සු බයෙන් ඉන්නේ. අලි දන්නේ නැහැ ජනාධිපති කැලෑ කපන්න අවසර දුන්නා කියලා.

    මේ වනවිට ලෝකයේ අලිමිනිස් ගැටුම් පවතින රටවල් අතර ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන බව වාර්තා වෙනවා. අපි අවධාරණය කරනවා මේක ජනාධිපතිවරයා නොදැන කරන ක්‍රියාවක් නෙවෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වෙන්න කලින් පරිසරය ගැන විශාල පුරාජේරු කිව්වා. නමුත් බලයට පැමිණ ඉතාම සුළු කාලයකින් පස්, වැලි කපන්න තිබුණ බලපත්‍ර අහෝසි කරලා දැම්මා. හිතේ හැටියට පස් වැලි කපන්න, ප්‍රවාහනය කරන්න අවසර දුන්නා. චක්‍රලේඛ අහෝසි කරලා දැම්මා. ගම සමඟ පිළිසඳර කියලා ගමට ගිහින් කිව්වා ‘මගේ වචනය තමයි ගැසට් එක, මම කියන දේ ක්‍රියාත්මක කරන්න’ කියලා. නිලධාරීන්ට බලපෑම් කලා නඩු ඉවත් කරගන්න කියලා. දැන් රට පුරා පරිසරය විනාශ කිරීමේ රැල්ලක් පටන් අරගෙන තිබෙනවා. ලංකාවේ ඉන්න කූඨ ව්‍යාපාරිකයින් තමන්ගේ කළු සල්ලි වියදම් කරමින් ජනාධිපතිගේ අනුදැනුම ඇතිව කෑලෑ කපමින් ඉඩම් අල්ල ගන්න පටන් අරගෙන තිබෙනවා.

    පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා. ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා මේ වෙනකොට. මිනිසුන්ගේ වන සතුන්ගේ ජීවිත අහිමි කරන තැනට පත්වෙලා. අනාගතයේදී අපිට ඔක්ෂිජන් පැකට් එක කඩෙන් ගන්න තැනට පත්කරන්නද හදන්නේ. මේ ජනාධිපතිවරයා පරිසරයට ආදරෙත් නැහැ. ඔහුට පරිසරය රකින්නත් බැහැ. සර්ලාගේ සිස්ටම් එකට පරිසරය රකින්නත් බැරි බව අපි පැහැදිලිව කියනවා. ගහක කොලක වටිනාකම් නොදන්න පුද්ගලයින්ට, සිස්ටම් එකකට මේ දේවල් කියලා වැඩකුත් නැහැ. නමුත් අපේ හුස්ම පොද වෙනුවෙන් අරගල කරන්න අපි සූදානම්. සර්ගේ ඩෝසරයට එරෙහිව පේෂ් ටු පේෂ් සටනකට අපි සූදානම්. අපි මේ රටේ සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා මේ සටනත් එක්ක එකතු වෙන්න කියලා.

  • අසූව දශකයේ උගුල, ජිනීවා සහ වම

    අසූව දශකයේ උගුල, ජිනීවා සහ වම

    තමන් ජාතිකමය සංධර්භයක් තුළ දේවල් තේරුම් ගන්නා ආකාරය ජාත්‍යන්තර ප්‍රජාව විසින්ද ඒ ආකාරයෙන්ම ඒත්තු ගනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේදී කෙසේවත් අපේක්ෂා කළ හැක්කක් නොවේ. නිදහසින් පසු මෙරට බලයට පත් බොහෝ නායකයින් අඩු තරමින් විදේශ සබඳතා හැසිරවීම සඳහා පුද්ගලයින් තෝරා ගත්තේ මේ කාරණය ගැන කිසියම් අවබෝධයක් සහිතවය.

    “රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතැයි” ජනප්‍රිය සිංහල කියමනක් තිබේ. නමුත්, අපගේ නිදහසින් පසු දේශපාලන ඉතිහාසය පුරාම අප නොයෙක් වර එකම වලේ කිහිපවරක්ම ඇද වැටී නොමැතිද? යමෙකු අතීතයේ හසු වූ උගුලක් වෙත උඩඟු ලෙස යළිත් පිය මැන යාමේ දර්ශනයක් මදක් සිහියට නගන්න.

    දැන් ලාංකීය ජාතික තලයේ දේශපාලනයේ නව හැඩ ගැසීම් වටහා ගැනීමට වඩා උචිත වන්නේ එවන් අසාර දර්ශනයක් බව මගේ අදහසයි. අප මෙවර වැටෙන්නට යන උගුල වනාහී අසූව දශකයේදී මහා සමාජ ව්‍යසනයකට හේතු වූ දේශපාලන උගුලටද වඩා අතිශයින් භයානක සහ තීව්‍ර වූවකි. ඒ උගුලට මෙරට ප්‍රධාන ධාරාවේ සිංහල දේශපාලන සමාජය දැන් ගමන් කරමින් සිටින්නේ ඇදහිය නොහැකි තරමේ ආත්ම විශ්වාසයකින්ද යුක්තවය. පසුගිය සති කිහිපයේ සිදු වූ වැදගත් සංසිද්ධීන් කිහිපයක්ම මේ සඳහා සාක්ෂි සපයයි.

    අසූව දශකයේ උගුල, ජිනීවා සහ වම 

    පැහැදිලිවම වඩා ආසන්න සිද්ධිය වන්නේ මෙරට විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලය ඉදිරියේ පවත්වන ලද දේශනයයි. සිය වැදගත්ම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාන්විතය ඉටු කිරීමට පිටත්ව යාමට පෙර සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප්‍රමුඛ පෙළේ දෘෂ්ටිවාදී නියමුවන් කිහිප දෙනෙකුගේ ආශීර්වාදය ලබා ගත් විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන් ඉදිරියේ පෙනී සිටියේ දකුණු ලංකාවේ ජන්දදායකයින් ආමන්ත්‍රණය කිරීමට උචිත ආකාරයේ පණිවිඩයක් අතැතිවය. ඒ කොතෙක්ද යත්, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කළ හමුදාව හැඳින්වීමේදී “වීරෝධාර” යන විශේෂණය එක් කිරීමට ඔහු අමතක නොකළේය. 

    නමුත්, තමන් ජාතිකමය සංධර්භයක් තුළ දේවල් තේරුම් ගන්නා ආකාරය ජාත්‍යන්තර ප්‍රජාව විසින්ද ඒ ආකාරයෙන්ම ඒත්තු ගනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේදී කෙසේවත් අපේක්ෂා කළ හැක්කක් නොවේ. නිදහසින් පසු මෙරට බලයට පත් බොහෝ නායකයින් අඩු තරමින් විදේශ සබඳතා හැසිරවීම සඳහා පුද්ගලයින් තෝරා ගත්තේ මේ කාරණය ගැන කිසියම් අවබෝධයක් සහිතවය.

    සිංහල ජාතිකවාදියෙකු වූ ජේ.ආර් ජයවර්ධන පවා විදේශ අමාත්‍ය ධූරය සඳහා තෝරා ගත්තේ සුළුතර ජන වර්ගයක් නියෝජනය කළ ඒ.සී.එස් හමීඩ්වය. ජේ.ආර් කලාපීය සබඳතා (විශේෂයෙන්ම ඉන්දියාව සමග) කළමනාකරණය කිරීමේදී අසමත්භාවයක් ප්‍රකට කළ බැව් සැබෑය. නමුත්, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයක් ගොඩ නැගීමට පවා උත්සාහ කළ ඔහුට අඩු තරමින් මැද පෙරදිග රටවල් සමග යහපත් ආර්ථික සබඳතා පවත්වා ගැනීමට ඔහුගේ මුස්ලිම් ජාතික විදේශ ඇමතිවරයාගේ දායකත්වය ප්‍රයෝජනවත් විය.

    මහින්ද රාජපක්ෂගේ පාලනයේ පළමු දෙවසර තුළ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ බටහිර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමේ භාෂාව දැන සිටි මංගල සමරවීරය. නමුත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට මුහුණ දීමට සිදු වී තිබෙන අසීරුතම රාජ්‍ය තාන්ත්‍රික අභියෝගය ජය ගැනීම සඳහා සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප්‍රමුඛ නියෝජිතයෙකු තෝරා ගැනීමෙන් කිසියම් වැදගත් දේශපාලන සංඥාවක් ලබා දී තිබේ. එම සංඥාව ඔහුගේ සිංහල ජන්දදායකයින් තේරුම් ගන්නා ආකාරයත් බාහිර ලෝකය තේරුම් ගන්නා ආකාරයත් කොතරම් එකිනෙකට පරස්පරදැයි ඉදිරියේදී වඩාත් හොඳින් පැහැදිලි වනු ඇත. 

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ජිනීවා ප්‍රයානය පිළිබඳව ඉදිරිපත් වන බෙදුණු-ප්‍රතිචාරවල ස්වරූපයෙන්ම පෙනී යන්නේ ගැටුම්කාරී බලවේග රාජ්‍ය තාන්ත්‍රිකව කළමනාකරණය කිරීමෙහිලා වත්මන් ආණ්ඩුව දක්වා ඇති අසමත්භාවයයි. (මෙය අපට සිහි ගන්වන්නේ 1955 දී පැවති ප්‍රාග්-නොබැඳි සම්මේලනය නොහොත් සුප්‍රසිද්ධ බැන්ඩුන් සම්මේලනයේදී සෝවියට් දේශය විවේචනය කරමින් කතා කළ ජෝන් කොතලාවල මහතා “බැන්ඩුන් වීරයා” ලෙස ආණ්ඩු-හිතවාදී පුවත්පත්වලින් ප්‍රශංසා ලබන විට “බැන්ඩුන් බූරුවා” ලෙස වාමාංශයේ “ඇත්ත” පුවත්පතින් ගැරහුම් ලැබීමේ සිද්ධියයි.)                       

    ඉන්දීය සාධකය

    ජිනීවා මානව අයිතීන් සැසිය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවල නව හැඩ ගැසීම් සම්බන්ධයෙන් මතභේදාත්මක වූ පරිසරයක් තුළය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ සිද්ධිදාමය ඉන්දීය රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ බුද්ධි මණ්ඩලයන් විසින් තේරුම් ගනු ලබන්නේ රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාව වඩ වඩාත් චීනය වෙත හැරීමේ ප්‍රවණතාවට සමාන්තරව ගනිමින්ය.

    ඉන්දීය, එක්සත් ජනපද සහ යුරෝපීය බලවතුන් සම්බන්ධයෙන් දෘඪ විරෝධයක් දක්වන සිංහල-බෞද්ධ ජාතිකවාදීන් චීනය මත ආර්ථිකව පරායත්ත වීම කෙරෙහි දක්වන්නා වූ මෘදු ප්‍රතිචාරය තවදුරටත් රහසක් නොවේ.

    ගෝලීය දේශපාලනයේ විශාල චිත්‍රය තුළ චීනය සහ එක්සත් ජනපදය අතර පවත්නා පරස්පර අභිලාෂයන් අතර ගැටුම දැන් කේන්ද්‍රයට පැමිණ අවසන්ය. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දැන් බරක් ඔබාමාගේ “ආසියාව වෙත හැරීමේ” විදේශ ප්‍රතිපත්ති රාමුව යළි ක්‍රියාවට නැගීමට උත්සුක වෙමින් සිටී.

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හිතවාදී සහයෝගීතා හවුලක් ගොඩ නැගීමට අසමත් විණැයි බයිඩන්ගේ උපදේශකයෝ චෝදනා කරති. නිසැකවම දැන් ඔවුන් ප්‍රයත්න දරන්නේ එම අරමුණ සඵල කර ගැනීම පිණිසය. “නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක්” පිළිබඳ එක්සත් ජනපද සටන් පාඨය ඔවුනගේ භූ-දේශපාලනික අභිලාෂයන් සමග බැඳී ඇති බව නොරහසකි. මේ නව පෙළ ගැසීම් ශ්‍රී ලංකාව කෙරෙහි වඩා බරපතලව බලපානු ඇති බව වටහා ගැනීමට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පෘථුල දැනුමක් අවශ්‍ය වන්නේ නැත. 

    මීට අදාළ ප්‍රධාන සාධක දෙකක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට මම කැමැත්තෙමි.

    පළමුව, අප රට පිහිටා තිබෙන්නේ ගෝලීය හෙජමොනික අරගලයේ නව සංග්‍රාම භූමිය බවට පත්ව තිබෙන ඉන්දු-පැසිෆික් කලාපයේ මධ්‍යයෙහිම ය. අප දැන් සිටින්නේ එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර 1991 දක්වා පැවති ශීත යුද්ධයේදී මෙන් “ෂේප් එකේ සිටිය හැකි” ස්ථානයක නොවේ; එකල හංගේරියාව, පෝලන්තය, රුමේනියාව, කොරියාව වැනි රටවල් ස්ථානගතව තිබූ ආකාරයේ ස්ථානයකය. (මෙහි අදහස කිසිසේත්ම පළමු ශීත යුද්ධය සමයේ වූ සිදුවීම් පුනරාවර්තනය වීමට නියමිතය යන්න නොවේ. අප සිටින්නේ නව ඓතිහාසික තත්ත්වයක් තුළය).

    දෙවන සාධකය වන්නේ නියතවම ඉන්දියාවය. තමන්ට ආසන්නයේ සිටින දූපත් රාජ්‍යය තම භූ-දේශපාලනික වුවමනාකම්වලට තර්ජනයක් වන ආකාරයෙන් හැසිරෙන්නේදැයි සොයා බැලීම දකුණු ආසියාතික කලාපීය බලවතාට කිසිදාක මග හැරී ගොස් නොමැත. හම්බන්තොට වරාය (පාකිස්තානයේ ග්වදාර් වරාය මෙන්ම) චීනයේ තීරු සහ මාර්ග ව්‍යාපෘතියේ වැදගත් තොටුපලක් බව ඔවුන්ට කෙසේවත් නොතකා සිටිය නොහැකිය. උතුරේ දූපත් තුනක බල ශක්ති ගවේෂණ කටයුතු චීන සමාගම්වලට පැවරීමක් ගැන දැන් ඉන්දීය මාධ්‍ය කතා කරන්නට පටන්ගෙන තිබේ. ඒ මදිවාට ජිනීවා ජරමරය අස්සේම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. මේ සියල්ල එක්ව ගත් කල වත්මන් පාලනය යටතේ ක්‍රමයෙන් මෝරමින් තිබෙන ඉන්දු-ශ්‍රී ලංකා විරසකභාවය පිළිබඳ කාරණය වටහා ගැනීම කිසිසේත් අසීරු වන්නේ නැත.         

    අසූවේ උගුල 

    ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග විරසකභාවයක් ඇති වන ඕනෑම විටෙකදී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වීමට ඉඩ සලසන අභ්‍යන්තර සාධකයක් මේ දිවයින තුළ පවතී. ඒ තමන් දැනටමත් යුදමය ලෙස විසඳා ඇතැයි මෙරට වත්මන් පාලකයින් කල්පනා කරන ජනවාර්ගික ගැටුමයි. මෙරට දේශපාලනිකව සංවිධානය වූ සිංහල ප්‍රජාවේ බහුතරයක් ඉන්දීය මැදිහත්වීම් ගැනත් එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලයේ යෝජනා ගැනත් දක්වන්නේ පසමිතුරු නැතහොත් විවේචනාත්මක ස්ථාවරයකි.

    නමුත්, දේශපාලනිකව සංවිධානය වූ දෙමළ (සහ වත්මනෙහි කිසියම් දුරකට මුස්ලිම්) ප්‍රජාවන් ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මිත්‍රශීලී ස්ථාවරයකි. පැහැදිලි පසමිතුරුතා අක්ෂයක් මේ ප්‍රතිචාර දෙක අතර ඇඳේ. අඩු තරමින් අසූව දශකයේ සිට අපට නිරීක්ෂණය කළ හැකි තත්ත්වය එයයි.

    අසූව දශකයේදී, විශේෂයෙන්ම 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, ලාංකීය ප්‍රධාන ධාරාවේ දේශපාලන පසමිතුරුතා අක්ෂය නිමැවුණේ ඉන්දීය විරෝධී ඊනියා දේශප්‍රේමී කඳවුරත් ජනවාර්ගික ගැටුමට බලය බෙදීමේ දේශපාලන විසඳුමකට පක්ෂ කඳවුරත් අතරය.

    සිංහල සමාජය තුළ දෘෂ්ටිවාදී ආධිපත්‍ය තහවුරු කර ගත් පළමු කඳවුර විසින් දෙවන කඳවුරේ අයවලුන්ව නම් කරන ලද්දේ දේශද්‍රෝහීන් ලෙසයි. ජවිපෙ ඇතුළු සිංහල වාමාංශයේ බලගතු කොටසක් දේශප්‍රේමී සටන් පාඨ අතැතිව සිංහල ජාතිකවාදීන් සමග සන්ධානගත වූහ. ඔවුන් තම අරගලය දෘෂ්ටිවාදීව හුවා දැක්වීමට ප්‍රිය කළේ අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්ති අරගලයක් ලෙසයි.

    “ජාතික විමුක්ති අරගලය තුළින් සමාජවාදයට” යන විජේවීරගේ සූත්‍රය සමග එය කදිමට ගැලපුණු බැව් පෙනී ගියේය. වියට් කොං ගරිල්ලන්ගේ ජනප්‍රිය සටන් පාඨ තාප්ප මත සිංහලෙන් ලියවිණ. නමුත්, ඒ සමගම දෙමළ ජාතිකවාදී ව්‍යාපාරය අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණයක් බවද බලය බෙදීමේ විසඳුමක් යනු රට බෙදීමක් බවද කියා පෑ සිංහල වාමාංශය සිංහල-බෞද්ධ ජාතිකවාදයේ කතිකාමය සැකැස්ම තුළ තමාව ස්ථානගත කර ගත්තේය. 

    අනෙක් අතින්, බලය බෙදීමේ දේශපාලන විසඳුමක් සමග ප්‍රතිපත්තිමය ලෙස එකඟ වූ වාමාංශික කණ්ඩායම්වලට නියමින් හෝ අනියමින් ජේ.ආර්ගේ පාලනාධිකාරය සමග එක්ව ගමන් කරන්නට සිදු විය. ජවිපෙ දේශප්‍රේමී අරගලයේ පරාජයෙන් පසුවද සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සිංහල ජාතිකවාදීන් විසින් හඳුනාගනු ලබන්නේ බටහිර හිතවාදීන් ලෙසයි. 

    දැන් අප හමුවේ ඇති උභතෝකෝටිකය වන්නේ ඉහත කී තෝරා ගැනීම් දෙකට වෙනස් මාවතක් නිර්මාණය කර ගැනීමට වත්මන් ලාංකීය වාමාංශයේ කවර හෝ ධාරාවක් සමත් වනු ඇත්ද යන්නයි. නොඑසේනම්, අපට නියමින් හෝ අනියමින් තෝරා ගන්නට සිදු වන්නේ විමල් වීරවංශගේ මග හෝ මංගල සමරවීරගේ මග යන දෙකින් එකක් පමණක්ද? සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ දේශපාලන අභිලාෂයන්ද ඇතුළත් කරගන්නා අතර ශ්‍රී ලංකාව ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ සංග්‍රාම භූමියක් වීමටද එරෙහි වන වාම ජනතාවාදී දේශපාලනයක් ගැන අපට කිසියම් අපේක්ෂාවක් රඳවාගත නොහැකිද?                                 

    සුමිත් චාමින්ද

  • පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් ගත යුතු දෙයක් නෑ – විජිත හේරත්

    පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් ගත යුතු දෙයක් නෑ – විජිත හේරත්

    2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළ කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පැවති හමුවකදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා,

    “2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළා. කොමිසමට පැමිණිකරුවන් සාක්ෂිකරුවන් කැදවලා පරීක්ෂණ සිදුකළා. කොමිසම විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන්නා. එය පෙබරවාරි 23දා එනම් දින 23කට පමණ පසුව තමයි කථානායකට බාරදී තිබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තවම එය ලබාදීලා නැහැ. පාර්ලිරම්න්තු පුස්තකාලයේ එහි පිටපතක් තිබෙනවා.

    මෙම වාර්තාව මගින් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන්, විවිධ අතපසුවීම්, නොසැලකිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු පොලිස්පතිවරයා, බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු කණ්ඩායමට චෝදනා ඉදිරිපත්වී තිබෙනවා. ප්‍රහාරය ඇතිවීමට හේතු, මෙවැනි ප්‍රහාරයක් මඟහරවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග, ප්‍රහාරයට අන්තවාදී සංවිධානවල බලපෑම ගැන සඳහන් වෙලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය ඇතිවීමට බලපෑ සමාජීය කාරණා පිළිබඳ විග්‍රහයක් තිබෙනවා. නමුත් මේ ප්‍රහාරයේ සැබෑ මෙහෙයුම්කරුවා කවුද, එය සිදුකළේ කාගේ වුවමනාවටද, එහි පිටිපස්සේ තිබුණ හස්තය කාගෙද, විදේශීය බලපෑමක් තිබුණද, දේශීය සංවිධානයක බලපෑමක් තිබුනද කියන ප්‍රශ්නයට උත්තර නැහැ. අන්තවාදයේ කූඨ ප්‍රාප්තියක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය ඇතිවූ බවට වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

    පැවති දේශපාලන තත්වයන් මත අන්තවාදී ක්‍රියා ඇති වූ බවද එහි සඳහන් වෙනවා. නමුත් රටම බලා සිටියේ මෙම ප්‍රහාරය කාගේ උවමනාවකට සිදුවූවක්ද කියා දැනගැනීමටයි. සැබෑ වගඋත්තරකරුවා හෙළි වීනැති නිසා එම පුද්ගලයා තවමත් නිදැල්ලේ. ජනාධිපති කොමිසමේ ප්‍රධාන වගකීම ඇත්ත වගඋත්තරකරුවා හෙළිදරව් කිරීමයි.

    මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධව අදාළ බලධාරීන්ට විරුද්ධව ගත යුතු පියවර ගැන නම් එහි සඳහන් වෙනවා. මෙවැනි කොමිෂන් වාර්තාවක් අංග සම්පූර්ණ එකක් විය යුතුයි. මේ වාර්තාවේ අලුත් දෙයක් නැහැ. මෛත්‍රී රනිල් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුයි කියලා ජනතාව දැනගෙන හිටියා. වවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ කරුණු පදනම්කරගෙන සැබෑ කුමන්ත්‍රණකරුවා හෙළිකිරීම තමයි වැදගත්. ජනතාව ඒ දේ බලාපොරොත්තු වුණා. නමුත් එය සිදුවී නැහැ. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තාට දඩුවම් කිරීමක් මේ වාර්තාවෙන් සිදුවෙලා නැහැ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම කොමිසම පත්කිරීමේදී ගැසට් එකේ විශේෂයෙන් සඳහන් කර තිබුණේ මේ කුමන්ත්‍රණයේ සැබෑ වගඋත්තරකරුවා හෙළිදරව් කරගැනීම ප්‍රමුඛ කාර්යයක් කියලා. එවැන්නක් සිදුවෙලා නැහැ. එනිසා මෙම කොමිසම් වාර්තාවත් තවත් එක් වාර්තාවක් පමණක් බවයි අපිට වැටහෙන්නේ.

    මෙවැනි ප්‍රහාරයක් මෙහෙය වන අන්තවාදී සංවිධානයක නායකයා සියදිවි නසාගත් බව කීමත්ම ප්‍රහේලිකාවක්. වාර්තාවේම සඳහන් වෙනවා එසේ නොවූ බව. සහරාන් කියන්නේ නායකයා නොවේ නම් එහි නායකයා, ප්‍රහාරය මෙහෙය වූ පුද්ගලයා තවමත් සිටිනවා. එම සංවිධානය තවමත් තිබෙනවා. මූලයන් පිළිබද නිස්චිත තොරතුරක් නැහැ. අවුරුද්දයි මාස 05ක් පමණ කොමිසම ක්‍රියාත්මක වුණා. ජනතාව බලාපොරොත්තු වෙනවා සැබෑ මෙහෙයුම්කරුවා කවුද කියලා හෙළි වෙයි කියලා. මෙය කළේ දේශපාලන වුවමනාවකටද? ආගමික වුවමනාවකටද යන්න පැහැදිලි නැහැ. මෙම වාර්තාවේ ජනතාව දැනටමත් දන්නා කරුණු මිසක් විශේෂ යමක් සඳහන්ව නෑ. සත්‍ය දැනගැනීම ජනතාවට තිබෙන අයිතියක්. වාර්තාව ජනාධිපතිවරයාට දුන් දිනම එය මන්ත්‍රීවරුන්ට සහ ජනතාවටත් ලබාදිය යුතුව තිබුණා. එසේ නොකිරීමත් සැකසංකා උපදවන්නක්. අවුරුදු 1 1/2ක් පමණ කොමිසම කල්මරලත් ලබාදී තිබෙන්නේ අසම්පූර්ණ සහ සැක සහිත වාර්තාවක්.

    තවත් කාරණයක් තමයි, මෙහි රනිල්ට නඩු දාන්න කියල නැහැ. ඔහුට තිබෙන්නෙ නොසැලකිල්ල කියන චෝදනාව. ඔහු පසුගිය ආණ්ඩුවේ දෙවෙනි බලධරයා. ඔහු බබෙක් නොවෙයි. මෙතනත් සැඟවූ යමක් තිබෙනවා. මෛත්‍රීට සහ රනිල්ට දෙවිධියකට සැලකීම තුළ වාර්තාවේ සමබරතාවය ගැනත් ප්‍රශ්නයක් පැන නගිනවා. කෙසේ වෙතත් මෙම වාර්තාවත් සත්‍ය යටපත් කළ හුදු වාර්තාවක්ම පමණයි.

    ඒ වගේම මෙම වාර්තාවේ නිර්දේශ අනුව වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් වෙනවා. රිෂාඩ් බදුයුදීන් සම්බන්ධයෙන් තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනාවක්. නමුත් පහුගිය දවස්වල ඔහුට එරෙහිව විශාල චෝදනා ප්‍රමාණයක් තිබෙන බවට අදහස් සමාජගත වෙලා තිබුණා. අනෙක් මුස්ලිම් නායකයන්ට එරෙහිවත් තත්වය ඊට සමානයි. කොමිසමේ වාර්තාව මත පදනම් වෙලා සැබෑ වගඋත්තරකරුවා හෙළිවෙලා නැහැ. කෙසේ වෙතත් මෙම වාර්තාව සම්පූර්ණයෙන් අසාර්ථක එකක් කියලා අපි කියන්නේ නැහැ. ජනතා මුදල් වියදම් වුවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කළ යුතුව තිබුණා. නමුත් වාර්තාව අංග සම්පූර්ණ වාර්තාවක් කියලා පිළිගන්න බැහැ. මේ වාර්තාව මන්ත්‍රීවරන්ට මෙන්ම ජනතාවටත් අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලබාදිය යුතුයි.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

    “කොමිසමට දඩුවම් කිරීමේ බලයක් නැහැ. කොමිසම කරන්නේ වගකිව යුත්තන් පිළිබඳ නිර්දේශ නිකුත් කිරීම පමණයි.

    ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම පාලනය කරන ඕනෑම ආණ්ඩුවක වගකීමක්. යුද්ධය පැවැති සමය පිළිබඳ කරුණු තිබෙනවා. අනෙක් කරුණු යුද්ධය පැවැති සමයේ සිදුවූ දේවල් නොවේ. මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීම ගැන තිබෙනවා. ලෝකයේ එකම රට තමයි ලංකාව, කොවිඩ් වැළඳුණු බන්ධනාගාර රැදයවින්ට වෙඩි තැබීමේ සිදුවීමක් වර්තා වෙන. ඒවා යුද්ධයට අදාල දේවල් නෙවෙයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අපේ රටට චෝදනා කරන්න පාර කැපිලා තිබෙන්නේ රට ඇතුලේ මානව හිමිකම් කඩ වෙන නිසා. ජිනීවා පරද්දන්න නම් ආණ්ඩුව කළ යුත්තේ රටතුළ මානවහිමිකම් ආරක්ෂා කරන එකයි.”

  • පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුවට

    පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුවට

    පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

    මෙම ප්‍රහාර වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් එතෙක් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම යැයිද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් කර තිබේ.

    මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක ඇමැතිධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම සහ ප්‍රහාරය පිළිබඳව දැනුවත් භාවයක් සහිතවම එය සිදු කිරීමෙන් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මගපෑදු බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පැහැදිලි වන්නේ යැයි කොමිසම සඳහන් කර ඇත.

    එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

    හිටපු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් ප්‍රවේශය එවකට රජය ක්‍රියාශීලි පියවර ගැනීමට අපොහොසත්වීමට ප්‍රධාන හේතුවක් බවද කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

    ඉස්ලාම් අන්තවාදය පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට එය පහසුකම් සපයන්නක් බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ.

    මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිවද දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

    ලංකාදීප ඊ පුවත්පත ඇසුරිණි

  • පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකට

    පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකට

    පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්, ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (23) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී.

    අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස් වූ අවස්ථාවේදී එම වාර්තාව ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එතුමා විසින් උපදෙස් ලබා දෙන ලදී.

    ඒ අනුව එම වාර්තාව නිල වශයෙන් කථානායකවරයාට භාරදීම අද පෙරවරුවේ කථානායක නිල කාමරයේදී සිදුවිය. එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගි විය.

  • චමල්ගේ ගොඩ තවත් වැඩිවෙයි

    චමල්ගේ ගොඩ තවත් වැඩිවෙයි

    රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත් කිරීමත් සමග නව දිවුරුම් දීම සිදු කෙරිණ.

  • ‘විසිවසක වීරවංශය’ දේශපාලන නාටකයක් ද? බල පොරයක සමාරම්භය ද?

    ‘විසිවසක වීරවංශය’ දේශපාලන නාටකයක් ද? බල පොරයක සමාරම්භය ද?

    දේශපාලන ගිනිකඳු පුපුරායාම ගිනිකන්දක් පුපුරායාම වැනි හදිසි හෝ අහඹු සිද්ධියක් ලෙස සමාජයට පෙනීගියත් ඒවාත් ස්වාභාවික ගිනිකඳු මෙන් ”දේශපාලන පොළෝ කුහරය” තුළ කලක් කැකෑරෙමින් තිබූ මතගැටුම් සමාජය මතුපිට අනාවරණය වීමක් විය හැකිය.

    විශේෂයෙන්ම, හවුල් ආණ්ඩුවල නියෝජනය වන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර ගිනිකඳු මෙන් පැසවමින් තිබූ පෞද්ගලික සහ දේශපාලන මතවාද හදිසියේ සමාජය අබියස පුපුරායමින් ප්‍රධාන මාධ්‍ය සිරස්තල බවට පත්වන්නේ එක දේශපාලන ප්‍රකාශයක් මගින් විය හැකිය.

    අතීත දේශපාලන අත්දැකීමක් සිහියට නැගුවොත්, 1970 දී බලයට පත් ”සමගි පෙරමුණ” යනුවෙන් හඳුන්වන ලද හවුල් ආණ්ඩුව බිඳ දැමීමට ආසන්නතම හේතුව ලෙස ඉදිරිපත් කරන ලද්දේ එම දේශපාලන සභාගයේ හවුල්කරුවකු වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක, මුදල් ඇමති ආචාර්ය එන්.එම්.පෙරේරා විසින් කරන ලද ප්‍රකාශයකි.

    ආචාර්ය පෙරේරාගේ ප්‍රකාශයක් මගින් එම දේශපාලන සභාගයේ බලවත් දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු අගමැති එස්.ඩබ්ලිව්,ආර්.ඩී. බණ්ඩාරනායකගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් වීය යන්න එවක අගමැති සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චෝදනාව විය.

    ගැටුම කෙළවර වූයේ බලයේ සිටි දේශපාලන සභාගය බිඳී ගොස් ඊළඟ මහ මැතිවරණයේ දී එම දේශපාලන පක්ෂ දෙකම අන්ත පරාජයකට පත්වීමෙනි.

    අප යළි වර්තමානයට පැමිණියොත්,අද පාලක සභාගයේ ප්‍රමුඛ දේශපාලන හස්තය වන පොදු ජන පෙරමුණ සහ එහි පාර්ශ්වකරුවකු වන ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමති විමල් වීරවංශ අතර පවතින දේශපාලන ගැටුමත් පෙර සඳහන් කරන ලද 1970 සභාගය තුළ 1975 දී පුපුරාගිය ගැටුම සමඟ කරුණු දෙකක් හේතුවෙන් සමාන ස්වරූපයක් ගනී.

    ඉන් පළමුවැන්න, ගැටුම ආරම්භ වෙන්නේ දේශපාලන නායකයන් දෙදෙනකු සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශන මුල්කර ගෙනය. ආචාර්ය එන්.එම්.පෙරේරාගේ මතභේදාත්මක ප්‍රකාශයට මාතෘකාව සපයන ලද්දේ හිටපු අගමැති බණ්ඩාරනායක සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශයකි. මෙවර, විමල් වීරවංශ ඇමතිවරයා අභියෝගයකට මුහුණ දී සිටින්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි.

    දෙවැන්න,ඉහත සඳහන් කරන ලද දේශපාලන ගැටුම් දෙකටම පොදු වෙනත් කරුණක් ද පවතී. එනම් ඕනෑම දේශපාලන සභාගයකට පොදු තත්ත්වයක් වන ප්‍රතිපත්තිමය ගැටුමයි. 1970 සභාගය තුළ වූ ආචාර්ය එන්.එම්. පෙරේරා ප්‍රමුඛ ඊනියා ”වමට නැඹුරු” දේශපාලන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දක්ෂිණාංශය නියෝජනය කරන ලද අගමැතිවරිය, අමාත්‍ය ෆීලික්ස් ආර්.ඩී.බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායක ප්‍රමුඛ ”සාතන් කල්ලිය” අතර බරපතල දේශපාලන ගැටුමක් වූ බව පසුව එම දෙපාර්ශ්වය විසින් කරන ලද ප්‍රකාශ මගින් තහවුරු විය.

    පැවතුනු තත්ත්වය සහතිකව හෙළිදරව් වූයේ , තමා ”සෑම කැබිනට් රැස්වීමකටම සහභාගී වුනේ ඉල්ලා අස්වීමේ ලිපියත් සාක්කුවේ දමාගෙන” යයි පදවියෙන් පහකරනු ලැබීමෙන් අනතුරුව මුදල් ඇමති ආචාර්ය එන්. එම්.පෙරේරා මහජන රැස්වීම් ඉදිරියේ කියාසිටීමත් සමඟය.

    විමල් වීරවංශ, බැසිල්

    විමල්ගේ පළමු ප්‍රකාශය

    ජාතික පුවත්පතක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ ඇමති විමල් වීරවංශ මෙසේ සඳහන් කර තිබුණි.

    මාධ්‍යවේදියා විමල් වීරවංශ ඇමතිවරයාට මෙවැනි ප්‍රශ්නයක් යොමු කරයි.

    ”ඇත්තටම රටේ ප්‍රශ්නයක් තියෙනවා. රට කරවන්නේ කවුද කියලා. ජනාධිපති ගෝඨාභයද? අගමැති මහින්ද ද? වෙනත් කෙනෙක්ද?

    ඇමතිවරයා; ”ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් හැටියට ඉතා විශිෂ්ට සේවයක් මේ රටට ඉටුකරපු කෙනෙක්. රාජ්‍ය නායකයා කියන භූමිකාව එතුමා බාර ගත්තාට පස්සේ දේශපාලන ක්ෂේත්‍රයේදී එතුමා ඉන්නේ එක්තරා ආකාරයකට අත්දැකීම් බහුල චරිතයක් හැටියට නෙවෙයි. ඒ වගේම එතුමට විය යුතුව තිබුණ දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබා දීමයි. එතුමාව එහෙම ගෙන්වන්නේ නැතිව එතුමාව ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවෙයි. ඒකෙන් වෙන්නේ මන්ත්‍රීවරු සහ එතුමා අතර තිබෙන සබැඳියාව දුබල වීම. දේශපාලන තන්ත්‍රය සමග එතුමා අතර තිබෙන සබැඳියාව දුර්වල වීම. ඒක ආණ්ඩුවේ සහ රටේ නිරෝගි පැවැත්මට හිතකර දෙයක් නොවෙයි. ඉතින් මට තේරෙන්නේ නෑ ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ, කුමන අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා ද කියලා”

    ඇමතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බව දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කණ්ඩායම්වල විශ්වාසය බවට පත්වුණේ එම සාකච්ඡාව සිදුකරන ලද මාධ්‍යවේදියා කලකට පෙර එම පුවත්පතටම විමල් වීරවංශ ඇමතිවරයාගේ දේශපාලන ආගමනය විස්තර කරමින් දීර්ඝ ලිපි පෙළක් පළකරන ලද තැනැත්තාම වීමත් හේතුවෙනි.

    අනිත් අතින් ඇමතිවරයා විසින් සිය ප්‍රකාශය මෙතෙක් ප්‍රතික්‍ෂේප කරනු ලැබ නැති අතරම එම ප්‍රකාශය මගින් කුපිත වූ, පොදු ජන පෙරමුණේ අගමැතිවරයා හැරුනවිට එහි ඉහළ ස්ථරය විසින් යෝජනා කරන ලද පරිදි ”සමාවක් ඉල්ලා සිටීමට”ද ඔහු පියවර ගෙන නැත.

    ඉහත සඳහන් කරන ලද පුවත්පත් සාකච්ඡාවේ දී මාධ්‍යවේදියා මතුකරන ප්‍රශ්නයේ අවසානය දෙස බලන්න.”රට කරවන්නේ කවුරුන් විසින්ද? යන්න සම්බන්ධයෙන් ”ඇත්තටම රටේ ප්‍රශ්නයක් ඇතැයි” සිය සොයාගැනීමක් මට්ටමින් කියාසිටින මාධ්‍යවේදියා එම ”සැබෑ පාලකයා” ජනාධිපතිවරයාද? අගමැතිවරයා ද? එසේ නොවන්නේනම්.වෙනත් තැනැත්තෙක්දැයි ආදී වශයෙන් ඇමතිවරයාට ඔහුට අවශ්‍යකර තිබුණ ප්‍රශ්නය ඔහුට ”ප්‍රදානය” කරයි.

    ඒක වචනාර්ථයක් හඟවන එම ”වෙනත් තැනැත්තා’‘ කවුද?

    එමගින් අදහස් කරන ලද තැනැත්තා, වත්මන් ආණ්ඩුවේ සියලු කාර්යභාරයන් පිටුපස සිටින තීරණාත්මක චරිතය වන බැසිල් රාජපක්ෂ යයි ඔහුගේ ආධාරකරුවන් විසින් පිළිගනු ලැබ ඇති බව ඔහු නිර්මාණය කළ දේශපාලන පක්ෂය වන පොදු ජන පෙරමුණු කේඩරය විසින් මෙතෙක් දක්වා දෙන ලද ප්‍රතිචාර මගින් පැහැදිළි වෙයි.

    දේශපාලන නාටකයක් ද?

    විමල් වීරවංශ ඇමතිවරයා අතගසා ඇති පොදු ජන පෙරමුණේ නායකත්වය වෙනස් කිරීමේ සටන රටේ දැවෙන ප්‍රශ්න ඉදිරියේ ඒවා වෙනත් දිශාවකට හරවමින් ආණ්ඩුව බේරාගැනීමේ ”දේශපාලන නාඩගමක්” හැටියට ඉදිරිපත් කෙරෙන විග්‍රහයන් ද ඇත.

    ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ එවැනි ප්‍රවණතා ඇති බව සැක කිරීම සඳහා දෙපාලනඥයන් විසින් ම අවශ්‍ය උදාහරණ ප්‍රමාණයටත් වඩා සපයා ඇති නමුත් අපවිසින් සාකඡාවට ගනු ලබන වත්මන් හැසිරීම කලක් නිදන්ගතව පැවති බල අරගලයක් හදිසියේ ම පෙරට පැනීමක් ලෙස ගැනීමේ බැරිකමක් ද නැත.

    2020 පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණය නිමවුණේම ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන විමල් වීරවංශ ඇමතිවරයා සහ පොදුජන පෙරමුණේ නායකත්වය අතර විරසකභාවයක් ඇති කෙරෙන පරිදි සිය බලාපොරොත්තු සුන්කරමින් ඔහු එතෙක් කොළඹ දිස්ත්‍රික්කයේ දිනා සිටි මනාප වාර්තාව බිඳ වැටීමත් සමඟය.

    එතෙක් අම්පාරේ දේශපාලනය කළ සරත් වීරසේකර කොළඹ දිස්ත්‍රික්කයට පොදු ජන පෙරමුණ විසින් කැඳවා ගනු ලැබූ අතර ඔහු දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා බවට ද පත්විය. තම කොළඹ දිස්ත්‍රික් ආගමනය පොදු ජන පෙරමුණේ ඉල්ලීම අනුව සිදුවීමක් බව සරත් වීරසේකර ඇමතිවරයා කීපවරක් ම සඳහන් කර ඇත.

    ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙලට විමල් බාධාවක්ද?

    වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ පාලන සමය ආරම්භ වන 2005 වසරේ පටන් 2015 දක්වා සහ 2019 නොවැම්බරයේ ආරම්භ වූ වත්මන් ගෝඨාභය-මහින්ද දෙසොහොයුරු පාලනය තුළත් දේශපාලනයට අතිරේකව ප්‍රධාන වශයෙන් රටේ ආර්ථිකයට අදාළ සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ බැසිල් රාජපක්ෂ විසින්ය යන්න තවදුරටත් රහසක් නොවේ. ඊළඟට සිටින තීරණාත්මක චරිතය ජනාධිපති ලේකම් අචාර්ය පී.බී.ජයසුන්දරයි.(ඔහුට එරෙහිව අධිකරණ තීන්දුවක් තිබිය දී පවා රාජපක්ෂ පාලනය විසින් ඔහු අත්හැර දමනු නොලැබුණි.) 2010 මහින්ද රාජපක්ෂ පාලනය සමයේත් ඇමති පදවියක් දැරූ විමල් වීරවංශ එම රජයේ ඉහළ පදවියක් දැරූ ආචාර්ය පී. බී.ජයසුන්දර ප්‍රසිද්ධියේ හඳුන්වා දෙන ලද්දේ ”ආර්ථික ඝාතකයකු” ලෙසය.

    වත්මන් පොදු ජන පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීම සඳහා ගෙනයමින් සිටි සටනේ දී පෙර බලයේ පැවති යහපාලන රජයට එරෙහිව රටපුරා මහජන මතය අවුළුවාලීම සඳහා පාවිච්චියට ගත් ප්‍රධාන මාතෘකාවක් වූයේ ‘සහශ්‍ර අභියෝගතා ගිවිසුම’ හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC)යි. සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) ඇමෙරිකාවට රට පාවාදීමක් ලෙස විග්‍රහ කරන ලද නමුත් බලයට පැමිණි පසු නව ආණ්ඩුවේ ස්වරයෙහි වෙනසක් වූ අතර නව රජයේ ඇමතිවරුන් කීපදෙනෙක් ම කියාසිටියේ එම ව්‍යාපෘතියේ අහිතකර අංග ඉවත්කරමින් 70%ක් තරම් වූ යහපත් අංග පමණක් තෝරාගනිමින් ඊට එකඟවෙන බවකි.

    එම්සීසී

    ‘මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC” මගින් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 470 ක් තරම් වූ මුදල අහිමිව ගියේ ඊට එරෙහිව ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින ජාතිකවාදී කණ්ඩායම් හේතුවෙනි.දේශපාලන සභාගය තුළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇමතිවරයා එම ”ජාතිකවාදී” බලවේගයේ ප්‍රමුඛයකු ලෙස පෙනී සිටියි.

    විසිවෙනි සංශෝධනය

    වසර දෙකක් තරම් කෙටි කාලසීමාවක් ගතවෙද්දී ආණ්ඩුවේ ජාතිකවාදී ඇතැම් සංවිධාන සහ පොදු ජන පෙරමුණ අතර මතු වූ මතභේද පෙරට පැමිණි තවත් අවස්ථාවක් වුණේ,මතභේදාත්මක විසිවෙනි සංශෝධනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් වෙනත් මත දැරූ විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් පසුව කියාසිටියේ,ද්විත්ව පුරවසිභාවයට අදාළ සිය ඉල්ලීම් පසුව ඉටුකරන බවට ප්‍රතිඥාවක් දෙමින් ජනාධිපතිවරයා විසින් කරන ලද ”අතිශයින් සංවේදී” ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් තමන් එම සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බවය.

    තම ඇමෙරිකානු පුරවැසිභාවය කිසිසේත්ම ඉවත්කර නොගන්නා බව බැසිල් රාජපක්ෂ බීබීසි සමඟ සාකච්ඡාවක දී දැඩිව කියාසිටි අතර ඔහුගේ එම ස්ථාවරය ආණ්ඩුවේ ජාතිකවාදී සංවිධානවල මතයට පටහැනි වූවකි.

    විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් තමා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන සැලකිල්ලට ගෙන නැතැයි පවසමින් විමල් වීරවංශ ඇමතිවරයා අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් ද යවා තිබුණි. එමගින් ඔහු පෙන්වා දී තිබුණේ ”එම විරෝධය නොසළකා කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බවයි.”

    විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ඉල්ලාසිටින පරිදි යම්හෙයකින් ආණ්ඩුව පුරවැසි නීතියේ වෙනසක් සිදුකළහොත් එය බලපාන ප්‍රධාන දේශපාලන චරිතය වන්නේ ”සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර නොගන්නා” බව සෘජුව සඳහන්කර ඇති බැසිල් රාජපක්ෂයි. ආණ්ඩුව විසිවෙනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ටත් පාර්ලිමේන්තුවට පිවිසීමට පමණක් නොව ජනාධිපති පදවිය සඳහා තරඟ කිරීමටත් දොරටු විවෘත කර ඇති හෙයින් ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පිවිස ඉහළම තනතුරක් දැරීම අතින් වුවද බැසිල් රාජපක්ෂට කිසිදු නෛතික බාධාවක් දැන් නොමැත.

    පොදු ජන පෙරමුණ සහ රාජපක්ෂවරුන් විමල් වීරවංශ ඇතුළු ජාතිකවාදී කණ්ඩායම් සමඟ විසිවෙනි සංශෝධනයේ දී ”සංවේදී” අතරමැදි සාමයක් ඇතිකරගන්නා ලද නමුත් ප්‍රශ්නය ආරම්භවීමේ මූලබීජ තැන්පත්වීම ආරම්භ වන්නේ එම අවස්ථාවේ පටන්ය.

    නගෙනහිර ජැටිය
    නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියානු ආයෝජන කැඳවීමට එරෙහි විරෝධතා ව්‍යාපාරයක්

    නැගෙනහිර ජැටිය- ආයෝජන ව්‍යාපෘතිය

    වත්මන් ආණ්ඩුවට හකුලා ගැනීමට සිදු වූ තවත් ආර්ථික ව්‍යාපෘතියක් වුණේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමක මූල්‍ය ආයෝජනයෙන් සංවර්ධනය කොට පවත්වා ගැනීමයි.එම ව්‍යාපෘතියේ 49%ක් හිමිවෙන ඉන්දියානු පාර්ශ්වය ආයෝජනය කිරීමට අපේක්ෂා කළ මූල්‍ය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ඩොලර් මිලියන 500 ත් 700 ත් අතර වූ අතර, ආණ්ඩුව නියෝජනය කරනු ලබන විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු දේශපාලන කණ්ඩායම් කීපයක සහ මෙම ආණ්ඩුව බලයට ගෙනඒමට දායක වූ භික්ෂූන් සහ වෙනත් ජාතිකවාදී සංවිධානවල දැඩි බලපෑම හමුවේ පියවරක් පසුපසට ගැනීමට ආණ්ඩුවට සිදුවිය. එම විරෝධයේ දී ආණ්ඩුව තුළ නියෝජනය වෙන කණ්ඩායම් මෙහෙයවන ලද්දේ විමල් වීරවංශ ඇමතිවරයා බව ඔහු සිය නිල නිවසට එකී කණ්ඩායම් කැඳවමින් කළ ප්‍රකාශන සමඟ ප්‍රදර්ශනය විය.

    කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව ඩොලර් මිලියන 500 ත් 700 ත් අතර මුදලක් ආයෝජනය කරනු ලැබීමට නියමිතව තිබූ නමුත් දේශීය විරෝධතා මැද ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් ගිවිසුම හකුලා ගැනීමත් සමඟ ආණ්ඩුවට එම මුදල් සම්භාරයත් අහිමි විය.

    විමල් වීරවංශ ඇමතිවරයා ආණ්ඩුව තුළ සිටින අතරවාරයේ කැබිනට් මණ්ඩලයෙන් පිටත සාකච්ඡා කැඳවමින් වෙනත් මත ප්‍රකාශයට පත්කරනු ලැබීම පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පාර්ශ්වයේ දෝෂ දර්ශනයට ලක්විය.

    ”මගේ පෞද්ගලික විශ්වාසය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතු බවයි.ජාතිය ගැන දේශීයත්වය ගැන බොරුවට කතා කර රටක් දියුණුකරන්න බැහැ’‘ රාජ්‍ය ඇමති නිමල් ලංසා ප්‍රකාශ කළේය.

    රාජ්‍ය ඇමති නිමල් ලංසා එම ප්‍රකාශය කරන ලද්දේ කෙළින්ම විමල් වීරවංශ – උදය ගම්මන්පිල කණ්ඩායම ඉලක්ක කරගෙන බව මැනවින් පැහැදිළිවන්නේ ඔහු විසින් භාවිත කරනු ලැබ ඇති වචන වලිනි.

    කාටුනය
    ජාතිකවාදී බලවේගයන්හි විරෝධය හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු කළ ආකාරය නිරූපණය කෙරුණ කාටූනයක්

    අගමැති මහින්ද හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන් දැඩි ජාතිකවාදී සටන්පාඨ දේශපාලනය තුළ වර නොනගන බැසිල් රාජපක්ෂගේ (ඔහුගේ ආර්ථික ක්‍රියාමාර්ගවලට අවශ්‍ය පරිපාලන නායකත්වය සපයනු ලබන ආචාර්ය පී.බී.ජයසුන්දරගේ අරමුණ චීන සම්ප්‍රදායේ ස්ථාවර දේශපාලන නායකත්වයක් යටතේ ලිබරල් ආර්ථික සැලැස්මක් ක්‍රියාවට නැංවීම බව බැසිල් රාජපක්ෂට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

    ”විසිවසක වීරවංශය”

    විමල් වීරවංශ ඇමතිවරයා පොදු ජන පෙරමුණේ නායකත්ව වෙනසක් ගැන අදහස් පළකරනු ලැබීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ කඳවුරෙන් එල්ලවෙමින් පවතින විරෝධය හමුවේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ කීපයක නායකයන් සහභාගීකර ගනිමින් ඔහුගේ නිල නිවසෙහි සාකච්ඡා කරනු ලැබීම ඔහුගේ බල පරාක්‍රමය අනියමින් ප්‍රදර්ශනය කිරීමක් වූ අතර ආණ්ඩුවට හිතවත් ප්‍රධාන පෙළේ භික්ෂූන් පිරිසක් ද එක්වීමත් සමඟ එය පොදු ජන පෙරමුණට එල්ල කරන ලද අභියෝගයක ස්වරූපයක් ගත්තේය.

    පැරණි වාමාංශික දේශපාලන පක්ෂ දෙක වන ලංකා සම සමාජ පක්ෂයේ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නායක වාසුදේව නානායක්කාර වැනි වමේ නායකයන් පවා ”ජාතිකවාදී” විමල් වීරවංශ ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටිති.

    එම වාමාංශික දේශපාලන පක්ෂවලට විමල් වීරවංශ ඇමතිවරයාගේ ”ජාතිකවාදී” ස්ථාවරයන් සමඟ ඇති නොඑකඟතාවන්ට වැඩි ගැටුමක් බැසිල් රාපක්ෂ සමඟ පවතී.පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්ප්‍රදායක් වශයෙන් වෙන්කෙරෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය 2020 පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව නොලැබුණ අතර, මහාචාර්ය තිස්ස විතාරණ මන්ත්‍රී පදවියකට පමණක් සීමාකරනු ලැබුණි. මේ සියල්ල තීන්දු කෙරෙන්නේ බැසිල් රාජපක්ෂගේ මනාපය පරිදිය යන්න එම පක්ෂවල විශ්වාසය වී ඇත.

    මේ අතර එක්තරා මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට යන බවට දූෂමාණ ආරංචි පැතිරගිය අතර, එහි ඊළඟ දිගුව වුණේ අගමැති මහින්ද රාජපක්ෂ හදිසියේ පදවියෙන් ඉවත්වුනොත් එම පුරප්පාඩුවට ඔහු අනුප්‍රාප්තවීමේ ඉඩකඩක් පවතින බවය.

    විමල් වීරවංශ
    උපවාසයක නිරතවෙමින් සිටි විමල් වීරවංශ ඇමතිවරයා කිරි වීදුරුවක් පානය කරමින් එම උපවාසය අත්හැර දමන ලද අවස්ථාවක්

    දේශපාලනය බලය ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි. බලය සොයායාම දේශපාලනඥයන්ගේ පළමු සැලැස්මයි.විමල් වීරවංශ ඇමතිවරයාට දැන් ඔහුට සහයෝගය නොදක්වන කණ්ඩායම්වල දෝශාරෝපනය වන්නේ ඔහු ආණ්ඩුව තුළ සිටිමින් බල ව්‍යාප්ති ව්‍යාපෘතියක සිටින බවටය.

    ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් 2020 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ උත්සවයක් පැවැත්වුණු අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති ය මහින්ද රාජපක්ෂයි.

    “විසි වසක වීරවංශය” යන තේමාව යටතේ සංවිධාන කර තිබුණ එම උත්සවයේ එක අංගයක් වූයේ වීරවංශ ඇමතිවරයා ගේ දේශපාලන දිවිය විශ්ලේෂණය කෙරන කෘතියක් ද ප්‍රකාශයට පත්කිරීමයි.

    එම කෘතිය නම්කරනු ලැබ තිබුණේ “විමල් -යුගකාරකත්වයේ භූමිකාව” යනුවෙනි. එමගින් උත්කර්ෂවත් කරනු ලැබ තිබෙන්නේ දේශපාලන බලය තීන්දු කිරීමෙහිලා ඔහු තීරණාත්මක බලයක් වන බවය.

    එය එසේනම්, විමල් වීරවංශ ඇමතිවරයා අද සිදුකරමින් සිටින්නේ බැසිල් රාජපක්ෂගේ බල ආගමනයට දොරවැසීමේ ”යුග කර්තව්‍යයද”?

    පොදු ජන පෙරමුණේ නායකත්වය ඉලක්ක කරගත් දේශපාලන ගැටුම ජනතාව නොමඟ යැවීමේ හුදු දේශපාලන ප්‍රහසනයක් පමණක් ද ? ඉන් එහා ගිය දේශපාලන බල අරගලයක්ද? යන්න තීන්දු කිරීමේ දී මතු සඳහන් කරන ලද කරුණු කීපයත් සැලකිල්ලට ගත හැකිය.

    Text by – bbc sandesaya

  • ‘මන්ත්‍රීවරුන් තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදා ගන්නවා’

    ‘මන්ත්‍රීවරුන් තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදා ගන්නවා’

    මන්ත්‍රීවරුන් සදහා එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක්‍‍ බවත් දේශපාලඥයන් සඳහා ප්‍රමුඛතාවය දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා අනුපිළිවෙළටද පටහැනි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද (16) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

    එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ රවී කුමුදේශ් මහතා,

    මාත්‍රා ඉතිරිය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීම ඉතා හොද දෙයක්. වැඩිපුර මාත්‍රාවක් ගැනීම සදහා එන්නත් සමාගමේ අවසර ගැනීමට යෝජනා කරන අය තැරව්කරුවන් විය හැකියි.

    කොවිෂීල්ඩ් කෝකටත් තෛලය ලෙස භාවිතා කිරීමට ගොස් රට විශාල අපහසුතාවයකට ලක් විය හැකියි.  ️මේවන විටත් ආනයනය කර ඇත්තේ එන්නත් ලක්ෂ පහක් පමණයි. එයින් 190,000 පමණ ප්‍රමාණයක් ලබා දී අවසන්. එක් පුද්ගලයෙකු සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබාදිය යුතු බැවින්, ඉතිරිව ඇති ඉන්නත් මාත්‍රා ප්‍රමාණය හැට දහසකට අඩුයි.  ️

    මන්ත්‍රීවරුන් සදහා එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක්‍‍. ජනතාව සමඟ අනිවාර්ය සේවය සිදුකල යුතු ජනමාධ්‍යවේදීන්, ගුරුවරුන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පැවතියදී, දේශපාලඥයන් සඳහා ප්‍රමුඛතාවය දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා අනුපිළිවෙලටද පටහැනියි.

    වෛද්‍ය පර්යේෂණ ආයතනය ජාතික රසායනාගාරයක කාර්‍ය මගහැරලා. වෛද්‍ය පරීක්ෂණ සදහා නිසි නායකත්වයක් ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයට ජාතික වශයෙන් පර්යේෂණ කිරීමේ වුවමනාවක් නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පමණක් තනිවම ජාතික තලයේ පර්යේෂණ කරගන්න හැකියාවක් නෑ. වෛද්‍ය පර්යේෂණ ආයතනයට බැරිනම් ඒකට “පර්යේෂණ ආයතනය” කියන එක නවත්වන්න.  ️ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එක්ව හෝ ජාතියට අවශ්‍ය පර්යේෂණ කිරීමේ සහයෝගයට දිවයින පුරා විසිරී ඇති රසායනාගාර වලට අවස්ථාව සලසන්න.

    ️ප්‍රභේද හඳුනා ගැනීමේ ජාතික වැඩ පිළිවෙලක් නැති වීම වසංගතයේ නරකම නරකම දිශාවකට ගෙනයනවා. එංගලන්ත ප්‍රභේදය දිස්ත්‍රික් හතරක පමණක් තිබෙන බව පැවසීම වැරදියි. එංගලන්ත ප්‍රභේධයට අමතර ඒවා ගැන තවම අපි කිසිදු පර්‍යේෂණයක් කරලා නැහැ.

    පරීක්ෂණ ප්‍රමාදය ගැන රසායනාගාර වලට දොස් කීම රසායනාගාර පිට පැටවීම වැරදියි රසායනාගාර තුළ 24 කට වඩා පරීක්ෂණයක් රසායනාගාරය තුළ තබා ගන්නේ නැහැ වාර්තා නිකුත් කිරීමේ දී මහජනතාවට ලබා දීමේදී අනවශ්‍ය අතරමැදියන් ප්‍රමාණයක් වාර්තාවන් පිළුණු කරනවා. පූර්ව සහ පශ්චාත් රසායනාගාර අවධිය තුළ වාර්තා ප්‍රමාදයට සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර කළමනාකරණය බලෙන් අත්පත් කරගෙන සිටින කණ්ඩායමත් වගකිව යුතුයි

  • ආණ්ඩුව කුරුවල් නොකර ඉවත් වන ලෙස ‘නිමල් ලන්සා’ විමල් වීරවංශට කියයි

    ආණ්ඩුව කුරුවල් නොකර ඉවත් වන ලෙස ‘නිමල් ලන්සා’ විමල් වීරවංශට කියයි

    විමල් වීරවංශ ඇමතිවරයා තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් කුරුවල් නොකර ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.

    රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) මීගමුවේ පැවති රැස්වීමකදීය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති නිමල් ලන්සා “ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පොදුජන පෙරමුණේ තනතුරක් ඕනෙ නම් ඒක සහෝදරවරුන් දෙන්නා බලාගනී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදද්දී ඔය ඉන්න පක්ෂ නායකයො අපේ පක්ෂය හදන්න විරුද්ධ වුණා. ඒ හින්දා ඒගොල්ලන්ට කිසිම අයිතියක් නෑ අපේ පක්ෂය ගැන කතා කරන්න. මිනිස්සු ඉන්නවා නම්, මිනිස්සු තමන් කියන දේ අහයි කියලා හිතනවා නම් යන්න පුළුවන් අපේ පක්ෂයෙන් අයින් වෙලා. මෙතන ඉඳගෙන කුරුවල් කරන්නෙ නැතුව. පවුලක් වුණත් නෝනයි මහත්තයායි හැමදාම ප්‍රශ්න කතා කරකර විසඳගන්න බැරි නම් ගහගෙන ගහගෙන ඉන්නවද ? නෑ, ඩිවෝස් වෙලා යනවා.”.

  • හිටපු කතානායක විජමු සමුගනී

    හිටපු කතානායක විජමු සමුගනී

    හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද (14) රාත්‍රියේදී ආභවප්‍රාප්ත විය. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ ලොකුබණ්ඩාර මහතා කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්‍යායතයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

    කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්‍යායතයට ඇතුළත් කරන ලද ඒ මහතා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

  • අභියාචනාධිකරණය ‘රන්ජන්’ ගැන පාර්ලිමේන්තු මහ ලේකම්ට කළ නියෝගය

    අභියාචනාධිකරණය ‘රන්ජන්’ ගැන පාර්ලිමේන්තු මහ ලේකම්ට කළ නියෝගය

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ලබන 12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය අද (05) පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කළේය.
     

    රංජන් රාමනායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද (05) දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.
     

    රන්ජන් රාමනායක මහතා විසින් විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කරනු ලැබූ මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තේය.
     
    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.