Category: සුපිරි Politics

  • ජිනීවා යෝජනාවට ‘ඡන්දය නොදි සිටීමට’ ඉන්දියාව දැමූ කොන්දේසිය මෙන්න

    ජිනීවා යෝජනාවට ‘ඡන්දය නොදි සිටීමට’ ඉන්දියාව දැමූ කොන්දේසිය මෙන්න

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නියෝජිතයා අද (23) එම ප්‍රකාශය කළේය.

    එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (23) පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව 24/11ක් ලෙස බහුතර ඡන්දයෙන් සම්මත වූ අතර ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් 11ක් ඡන්ද දීමෙන් වැළකී සිටියේය.

    එහිදි අදහස් දැක්වූ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා ඉන්දීය රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

    “ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු බව ඉන්දීය රජයේ ස්ථාවරයයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ ඇතුළත් මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය, ඵලදායී ජාත්‍යන්තර සංවාද සහ සහයෝගීතාව පවත්වා ගැනීම සෑම රාජ්‍යයකම මූලික වගකීම යැයි ඉන්දියාව විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ ආසන්නතම අසල්වාසියෙක්. ඉන්දියාව 2009 වසරේ සිට ශ්‍රී ලංකාවට සහන ලබා දී තිබෙනවා. එමෙන්ම පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ කටයුතුවලට ද ඉන්දීය, ශ්‍රී ලංකාවට සහාය ලබා දී තිබෙනවා. අපි ශ්‍රී ලංකාවට සංවර්ධන සහාය ලබාදීමේ දී විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය සහ ආර්ථිකය පුනර්ජීවනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා‘

    මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීමේදී ඉන්දියාවේ සහාය ලංකාවට හිමිවන බවට ආණ්ඩුව විශ්වාස පළ කළත් බහුතරයකගේ අදහස වූයේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ආසන්න තත්ත්වයක් තුළ එය සිදු නොවනු ඇති බවයි.

  • මානව හිමිකම් කවුන්සිලය ගැන ‘ශ්‍රී ලංකාවේ ඇති’ සුලභ මිත්‍යාවන් 08ක්

    මානව හිමිකම් කවුන්සිලය ගැන ‘ශ්‍රී ලංකාවේ ඇති’ සුලභ මිත්‍යාවන් 08ක්

    2021 පෙබරවාරි මාසයෙන් පටන් ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරය ආරම්භයේ සිට මෙන්ම ඊට පෙරාතුව ද, එම සැසිවාරයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව කෙරෙහි කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව මහජනයා අතර විශාල බියක් හා වැරදි අවබෝධයක් පැවතුණි.

    මෙය, අන්තර්ජාතික පරීක්‍ෂණ හා යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීමෙහි ප්‍රතිවිපාක පිළිබඳව රාජ්‍ය පාක්‍ෂික ක්‍රියාකාරීන් විසින් හිතාමතාම වසර ගණනක් මුළුල්ලේ ව්‍යාප්ත කරන ලද වැරදි තොරතුරුවල ප්‍රතිඵලයක් බවට සැකයක් නැත. ඔවුන් විසින් මෙම ක්‍රියාවලීන් සදාකාලික බිල්ලන් බවට පත්කරන ලදි. 2009 දී යුද්ධයේ අවසානය අධීක්‍ෂණය කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ තමා යුද අපරාධ අධිකරණයකට ගෙන ගොස් විදුලි පුටුවක් මත මරා දැමීම සිදු කළ හැකි බවයි.

    2021 දී පවා මෙවැනි වැරදි තොරතුරු දිගින් දිගටම ව්‍යාප්ත කිරීමට හැකිවීම, එවන් තොරතුරු ව්‍යාපාරවල සහ කූටෝපායන්වල විස්මයජනක හැකියාව සහ සාර්ථකත්වය මනාව පිළිබිඹු කරයි. රට තුළ සැලකිය යුතු තාක්‍ෂණික දියුණුවක්, අන්තර්ජාල භාවිතය පිළිබඳ වැඩි දැනුම් ව්‍යාප්තියක් සහ තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය මූලික ඩිජිටල් දැනුමින් සන්නද්ධ නව පරම්පරාවක් සිටිද්දීත් මෙවැනි දේ සිදු වීම කනගාටුවට කරුණකි.

    පසුගිය සති කිහිපය තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය පිළිබඳව ඉතා නිර්මාණාත්මක සටහන් බොහොමයක් මා දැක ඇත. මින් බහුතරයක් ඉතා නොමඟ යවනසුලු අතර අනෙක්වා බොහෝ විට පැහැදිලි මිථ්‍යාවන් වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වටා ඇති සමහර පොදු මිථ්‍යාවන් බිඳ දැමීමෙන් ඒ පිළිබඳව ඇති බිය දුරු කිරීමට මට ඉඩ දෙන්න.

    1 වන මිථ්‍යාව: බටහිර රටවල් පමණක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරයි – සාවද්‍යයි: 

    වසර තුනක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තෝරා පත්කරගත් සාමාජික රටවල් 47කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමන්විත වන අතර, අඛණ්ඩව දෙවරක් කවුන්සිලයේ සිටීමෙන් පසු ඒත් සමඟම නැවත තේරී පත්වීමට එම රටවලට නොහැකිය. කවුන්සිලයේ සාමාජිකත්වය සම භූගෝලීය ව්‍යාප්තියක් මත පදනම් වේ. ඒ අනුව, අප්‍රිකානු රාජ්‍යයන්ට ආසන 13ක්, ආසියා-පැසිෆික් රාජ්‍යයන්ට ආසන 13ක්, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවලට ආසන 8ක්, බටහිර යුරෝපයට සහ අනෙකුත් රාජ්‍යයන්ට ආසන 7ක් සහ නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන්ට ආසන 6ක් එහිදී හිමිව ඇත. එපමණක් නොව, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට නායකත්වය දෙන රාජ්‍යයන්, අප්‍රිකාව (මලාවි), බටහිර සහ නැගෙනහිර යුරෝපය (ජර්මනිය, එක්සත් රාජධානිය, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව) සහ උතුරු ඇමරිකාව (කැනඩාව) යන කණ්ඩායම්වලින් සමන්විත වේ.

    2 වන මිථ්‍යාව: ශ්‍රී ලංකාවට එරෙහිව වෙළඳ සම්බාධක පැනවෙනු ඇත. සාවද්‍යයි: 

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව සාමාජික රටවලට නිර්දේශ කර ඇත්තේ “බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් විශ්වාසදායක ලෙස චෝදනා ලැබූ අපරාධකරුවන්ට එරෙහිව වත්කම් ඇවිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක” කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. මෙම නිර්දේශය වෙළඳ සම්බාධකවලට බොහෝ දුරස්ථ වන අතර, එවැනි වෙළඳ සම්බාධක සාමාන්‍යයෙන් පිළිගනු ලබන්නේ ජාතික ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපාන, සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ ජීවනෝපායන්ට අසමාන ප්‍රතිවිපාක එල්ල කරන ක්‍රියාවලීන් ලෙසයි.

    3 වන මිථ්‍යාව: එල්ටීටීඊය විසින් සිදුකරන ලද ක්‍රෑරකම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මග හැරී ඇත. සාවද්‍යයි: 

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විමර්ශන මත පදනම් වූ සෑම එක්සත් ජාතීන්ගේ වාර්තාවක්ම, ගැටුමට සම්බන්ධ සියලු‍ පාර්ශ්වයන් ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කර ඇති බවට චෝදනා ඉදිරිපත් කර තිබේ. දේශීයව දරුස්මාන් වාර්තාව ලෙස හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාවෙන් (2011) යුද්ධයේ අවසාන අදියරේදී එල්ටීටීඊය විසින් සිදු කර ඇතැයි කිව හැකි බරපතළ උල්ලංඝනයන් කාණ්ඩ හයක් සොයා ගන්නා ලදි. ඒවා නම්;

    1. සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස භාවිත කිරීම;
    2. එල්ටීටීඊ පාලනයෙන් පලා යාමට උත්සාහ කරන සිවිල් වැසියන් ඝාතනය කිරීම;
    3. සිවිල් වැසියන් ආසන්නයේ යුද උපකරණ භාවිත කිරීම;
    4. ළමයින් බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම; 5. බලහත්කාරයෙන් ශ්‍රමය භාවිත කිරීම සහ
    5. මරාගෙන මැරෙන ප්‍රහාරවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම වේ.

    එමෙන්ම, ශ්‍රී ලංකා රජයේ හමුදා සිදු කර ඇතැයි කිව හැකි බරපතළ උල්ලංඝනයන් කාණ්ඩ පහක් කමිටුව විසින් සොයා ගන්නා ලදි. එනම්;

    1. පුළුල් ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම;
    2. රෝහල් සහ මානුෂීය වස්තූන් වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම;
    3. මානුෂීය ආධාර ප්‍රතික්‍ෂේප කිරීම;
    4. අභ්‍යන්තරව අවතැන්වූවන් සහ එල්ටීටීඊ සාමාජිකයන් යැයි සැක කෙරෙන අයවලුන් ඇතුළුව ගැටුම්වලින් විපතට පත්වූවන් සහ දිවි ගලවා ගත් අය මුහුණ දුන් මානව හිමිකම් උල්ලංඝනයන් සහ

    ජනමාධ්‍ය සහ රජයේ අනෙකුත් විවේචකයන්ට එරෙහිව ගැටුම් කලාපයෙන් පිටත සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ 2015 විමර්ශනය මගින්, විමර්ශනය කරන ලද කාල පරිච්ඡේදය තුළ ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් විසින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම, ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර අපරාධ සිදු කිරීම වී ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බව සොයා ගන්නා ලදි. මෙම චෝදනා සියල්ලම කඩිනමින්, තරයේ හා ස්වාධීනව විමර්ශනය කළ යුතු බවත්, සෘජුව, අණ දෙන නිලධාරීන් ලෙස හෝ ඉහළ නිලධාරීන් ලෙස ඊට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් එමගින් ඉල්ලා සිටින ලදි. එබැවින්, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ සෑම යෝජනාවක් හරහාම ගැටුමේ දෙපාර්ශ්වයේම වැරදිකරුවන්ගේ වගවීම ඉල්ලා සිටින ලදි.

    4 වන මිථ්‍යාව: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී වගවීම ඉල්ලා සිටින්නේ දෙමළ ඩයස්පෝරාව පමණි. සාවද්‍යයි: 

    ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූ සිංහල, මුස්ලිම් සහ දෙමළ යන සියලු ප්‍රජාවන්ට අයත් ජනතාව තමන් අත්විඳ ඇති දේ සඳහා දේශීය යාන්ත්‍රණයන් විසින් සත්‍යය, යුක්තිය සහ වන්දි ලබා දීමට අඛණ්ඩව අපොහොසත් වීම හේතුවෙන් වගවීම ඉල්ලා සිටින අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලියට සහාය පළ කර තිබේ. රටේ සියලු ප්‍රජාවන් සහ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන අතුරුදහන්වූවන්ගේ පවුල්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු වී ඇත්තේ සත්‍යය සොයා ගැනීමටත්, ඔවුන්ගේ ආදරණීයයන් වෙනුවෙන් යුක්තිය ළඟා කර ගැනීමත් සඳහාය.

    5 වන මිථ්‍යාව: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට එරෙහිව පවතින්නකි. සාවද්‍යයි:

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි. යුද්ධය හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනවලින් බැට කෑ සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලු ප්‍රජාවන්ට අයත් ජනතාවට මෙම ක්‍රියාවලියෙන් ප්‍රතිලාභ ලැබෙනු ඇත. මෙම ක්‍රියාවලිය මනුෂ්‍යවාදී වනවාක් මෙන්ම මානව හිමිකම්වලට ගැති වන අතර එබැවින් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී වේ. සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සමව ප්‍රවර්ධනය කිරීමට හා ආරක්‍ෂා කිරීමට අඛණ්ඩව පත්වූ ශ්‍රී ලංකා රජයන් අපොහොසත් වීමත්, ඒ හේතුව නිසාම සමාජයේ සමහර කොටස්වලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඔවුන්ගේ ගැටලු මතු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති වීමත් සැබවින්ම ලැජ්ජාවට කරුණකි.

    6 වන මිථ්‍යාව: ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව කටකතා හා විවෘත මූලාශ්‍ර පරීක්‍ෂණ මත පදනම් වී ඇත. සාවද්‍යයි: 

    මෙම වාර්තාව, පොදුවේ ලබා ගත හැකි තොරතුරු සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් රජයේ නියෝජිතයන් ද ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ පවත්වන ලද පර්යේෂණ සහ උපදේශන මත පදනම්ව සකසා ඇත. එම වාර්තාවෙහි එහි ක්‍රමවේදය දක්වා ඇති අතර, එය සකස් කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය විසින් 2020 නොවැම්බර් 23 වන දින ශ්‍රී ලංකා රජයට සවිස්තරාත්මක ප්‍රශ්න ලැයිස්තුවක් යවා ඇති බවත්, 2020 දෙසැම්බර් 28 වන දින ඊට ලිඛිත පිළිතුරු ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් බවත් පැහැදිලිව සටහන් කර ඇත.

    2021 ජනවාරි 7 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමඟ අන්තර්ජාලය ඔස්සේ ඵලදායී මෙන්ම ඉතා වැදගත් රැස්වීමක් ද පවත්වන ලදි. රජය විසින් මෙම වාර්තාව පිළිබඳව සිය අදහස් දක්වන ලද අතර ඉන් සමහරක් අවසාන වාර්තාවෙහි පිළිබිඹුව ඇති බව ද සඳහන් වී ඇත. ජාතික මානව හිමිකම් ආයතනය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ද ඇතැම් මානව හිමිකම් ගැටලු‍ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අවධානය යොමු කර ඇති අතර ඒවා ද මෙම වාර්තාවෙන් පිළිබිඹු වේ.

    මීට අමතරව වින්දිතයන්ගෙන් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත සෘජු සන්නිවේදනයන් ලැබී තිබේ. නිදසුනක් ලෙස, 2020 දෙසැම්බර් වන විට සිවිල් සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් තමන් මුහුණ දුන් හිරිහැර කිරීම් හා සුපරීක්‍ෂණයන් පිළිබඳව මෙන්ම, එම සංවිධානවල පරිපාලන තොරතුරු, ක්‍රියාකාරකම්, කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පුද්ගලික සම්බන්ධතා තොරතුරු, පරිත්‍යාගශීලීන් සහ අරමුදල් ප්‍රභවයන් පිළිබඳව නැවත නැවත සෝදිසි කිරීම් සිදු කළ ආරක්‍ෂක සේවාවන් රාශියක් පිළිබඳව තොරතුරු වාර්තාවන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත ලබා දී ඇත.

    එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි නිලධාරීන්ගේ සොයාගැනීම් සහ නිර්දේශයන් මත පදනම්වද මෙම වාර්තාව ගොඩනංවා ඇත. එම බලධාරීන් විසින් තමන්ට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සන්නිවේදනයන් යවා ඇතත්, රජය විසින් පසුගිය වසරේ දී ප්‍රතිචාර දක්වා ඇත්තේ එහි අටෙන් දෙකකට පමණි. එම පැමිණිලිවලට හෝ වාර්තාවේ ඉදිරිපත් කර ඇති ප්‍රකාශයන්ට සැලකිය යුතු ප්‍රතිචාරයක් දැක්වීමටත්, පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට සහ/හෝ විකල්ප දෘෂ්ටිකෝණයක් සැපයීමටත් රජයට ඕනෑ තරම් කාලය තිබුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කිරීමට පෙර රජයට යවා තිබේ.

    7 වන මිථ්‍යාව: ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව චීනය විසින් නිෂේධ කරනු ඇත. සාවද්‍යයි: 

    චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ සාමාජිකයෙකු වන නමුදු එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ මෙන් නිෂේධ බලයක් මෙහිදී ඔවුන් සතුව නැත. එමෙන්ම ආරක්‍ෂක කවුන්සිලයේ මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ස්ථිර සාමාජිකයෝ නොමැත. එබැවින්, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවකට ඡන්ද විමසීමක් කැඳවීම හෝ එවැනි යෝජනාවකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදු කළ හැකි වුවද, වෙනත් සාමාජික රටක් විසින් සභාවට ගෙන එන කිසිදු යෝජනාවක් නිෂේධ කිරීමට චීනයට නොහැකි වනු ඇත. මෙම කවුන්සිලයේ යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා එහි සාමාජික රටවලින් සරල බහුතරයකගේ සහාය පමණක් සෑහේ.

    8 වන මිථ්‍යාව: ඉදිරියේදී සිදුවීමට නියමිත මානව හිමිකම් ව්‍යසන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් නැත. සාවද්‍යයි: 

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2007දී 60/251 දරන යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිර්මාණය කරන ලද අතර එහි බලතල සියල්ලක්ම එම යෝජනාවෙහි පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට “බරපතළ හා ක්‍රමානුකූල උල්ලංඝනයන් ඇතුළුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ තත්වයන් ආමන්ත්‍රණය කිරීමට සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට” බලය ඇති අතර, “මානව හිමිකම් උල්ලංඝනයන් වැළැක්වීමට මෙන්ම හදිසි මානව හිමිකම් ව්‍යසන අවස්ථාවන්ට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීමට” ප්‍රතිපාදන ඉන් සලසා ඇත. ■

    ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනයේ ශ්‍රී ලංකාව සම්බන්ධ පර්යේෂිකා –  ත්‍යාගි රුවන්පතිරණ


    (මෙම ලිපිය 2021 මාර්තු 9 වන දින ‘ඩේලි එෆ්ටී’ පුවත්පතේ ඉංග්‍රීසි බසින් පළවූ අතර මෙම උපුටා ගැනීම අනිද්දා ඊ පුවත්පතිනි
  • නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද ?

    නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද ?

    නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද? පුද්ගලයන් තිදෙනෙකුට මම එකම ගැටලුව ඉදිරිපත් කළෙමි.

    “චෝදනාවලින් නිදහස් කරනවා වගේ දෙයක් නේද? නිතර නිව්ස්වලින් ඇහෙනවා. නමුත් හරියට මොකක් ද වෙන්නේ, නීතිමය තත්ත්වය මට පැහැදිලි නැහැ,” ලිපිකාරිනියක ලෙස සේවයේ නිරත උදයංගී පෙරේරා පැවසීය.

    සුළු ව්‍යාපාරයක නිරත පද්මා බණ්ඩාර පැවසුවේ, “නිව්ස්වල ඇහෙනවා, ඊට පස්සේ අපරාධකාරයෝ එළියට එනවා තමයි දකින්නේ. අපරාධ කරන අයට බේරෙන්න තියෙන දෙයක් කියලා තමයි මගේ පෞද්ගලික හැගීම,” යනුවෙනි.

    “නීතිය දන්නේ නැහැ. නමුත් අර්ථය වැටහෙනවා. ඒ වගේම මෑතක දී මේ තරම් හෑල්ලුවට ලක්වෙච්ච් වචන දෙකක් තවත් නැතුව ඇති. වචන දෙක නිව්ස්වල දකිද්දිත් පුදුම කලකිරීමක් ඇති වෙන්නේ රට සහ නීතිය ගැන,” පෞද්ගලික ආයතනයක සේවයේ නිරත අංජන පැවසුවේය.

    ‘නිදොස් කොට නිදහස් කිරීම’ යන්නේ සාමාන්‍යය අදහස විත්තිකරුගේ හෝ විත්තිකරුවන්ගේ නිර්දෝෂීභාවය අධිකරණය පිළිගැනීමය.

    ජූරි සභාවක් හෝ විනිශ්චයකාරවරයකුට විත්තිකරුවෙකු නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුවක් ලබා දිය හැකිය.

    යම් පුද්ගලයෙකු වරදකරු කිරීම සඳහා හෝ නඩුවේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මෙම තීන්දුව ගැනීමට හේතු වේ.

    විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමෙන් ඔහුට එරෙහිව නීතිය ඉදිරියේ ඇති සියලු වරද ඉවත් කරනු ලබයි.

    ජූරි සභාවකින් යම් විත්තිකරුවෙකු නිදොස් කිරීමක් සිදුවන්නේ එම සභාව අදාළ පුද්ගලයා වැරදිකරු නොවන බව සොයා ගත් විටය. නීතියෙන් නිදොස් කිරීමක් සිදුවන්නේ හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමෙනි. උදාහරණයක් ලෙස නඩුවේ මූලය නිදොස් වූ විට එයට හවුල්කාර පාර්ශවය ද නිදොස් වේ.

    පසුගිය දිනවල නිදොස් කොට නිදහස් කිරීම් සම්බන්ධ පුවත් නිතර ඇසෙන්නට විය. මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම දේශපාලන වේදිකාවල ද විවිධ මත ඇසෙන්නට විය.

    මෑතක දී නිදොස් කොට නිදහස් වූවෝ

    රෝහිත අබේගුණවර්ධන

    Rohitha Abeygunawardena released from bribery case

    2014 සිට 2016 කාල සීමාව තුළ අමාත්‍ය ධුරය දැරූ සමයේ දී අයථා ලෙස රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනා මත අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණ.

    මෙම නඩුව පැවැරීමේ දී සිදුව ඇති තාක්ෂණික දෝෂයක් නිසා එය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ අද (මාර්තු 19) නියෝග කළේ ය.

    සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්

    Acquitted and released

    දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු පස් දෙනෙකුට නඩු පවරා තිබිණි.

    මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ බී 1357/05 දරණ බී වාර්තාවේ සියලු චෝදනාවලින් සහ මඩකලපුව මහාධිකරණයේ එච්.සී.ඩී./3057/17 දරන අධි චෝදනාපත්‍ර ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු ඩී එස් සූසෙයිදාසන් ක්‍රියා කළේය.

    ජෝසෆ් පරරාජසිංගම් 2005 වසරේ දෙසැම්බර් මස 25 වෙනිදා වෙඩි තබා ඝාතනය කෙරිණි.

    වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා

    හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කළේය.

    මහරගම ප්‍රදේශයේ පිහිටි ඉඩම් අක්කර එක හමාරක් කූඨ ලේඛන සකස් කර අත්පත් කර ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට නඩු පවරා තිබිණ.

    ගනුදෙනුව සිදුව ඇත්තේ 1996 වසරේදී වන අතර, නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ නඩු පැවරිය හැකි කාලාවරෝදය ඉක්මවා යාමෙන් අනතුරුව බව පෙන්වා දුන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය.

    ඒ අනුව, නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගත් අතර, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ බිරිඳ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා 2021 මාර්තු 15 වෙනිදා නියෝග කළේය.

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    Acquitted and released

    ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    වසර 04 කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ තීරණය කළේ, විත්තිකරු වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය.

    ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා 2021 පෙබරවාරි 25 වෙනි දින නියෝග කළේය.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්දානන්ද අලුත්ගමගේය.

    එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා යහපාලන රජය සමයේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණි.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

    Acquitted and released

    සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග ක‍ළේය.

    එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර ය.

    නඩුව ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රමාණවත් නඩුකරයක් හා සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම හේතුවෙන් විත්තිකරුවන් මුදා හරින බව විනිසුරුවරිය නියෝගය නිකුත් කරමින් පැවසීය.

    පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබූණි.

    ඔහුට එරෙහිව චෝදනා ගොනු වූයේ ලක් සතොස ආයතනයෙන් රුපියල් මිලියන 5 කට අධික භාණ්ඩ මුදල් නොගෙවා ලබා ගැනීම සම්බන්ධයෙනි.

    සජින් වාස්

    Acquitted and released

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට එරෙහිව ගොනුකර තිබුණු නඩුවේ තාක්ෂණික දෝෂ හේතුවෙන් එය ඉල්ලා අස් කරගැනීමට පැමිණිලිකාර අල්ලස් කොමිසම ක්‍රියා කළේය.

    මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ක්‍රියා කළ අවධියේ එම සමාගමට භාණ්ඩ මිල දී ගැනීමේ දී රජයට රුපියල් මිලියන 883ක අලාභයක් සිදු කර, අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි අල්ලස් කොමිසම සජින් වාස්ට එරෙහිව නඩු පවරා තිබිණි.

    කෙසේනමුත්, මෙම නඩුව ගොනු කිරීමේ දී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා අත්සන් කර නොමැති හෙයින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ තාක්ෂණික දෝෂයක් මතුව තිබිණි. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 189 වගන්තියට අනුව, අදාළ නඩුව ඉල්ලා අස් කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.

    ඒ අනුව සැකකරු සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල 2021 මාර්තු 16 වෙනිදා නියෝග කළේය.

    බැසිල් රාජපක්‍ෂ

    දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර සහනාධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීමේ දී රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට නඩු පවරා තිබිණි.

    නමුත්, 2020 වසරේ දී බැසිල් රාජපක්‍ෂ ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    දේශපාලනයට හා පරිපාලනයට සම්බන්ධ තවත් බොහෝ දෙනෙකු පසුගිය වසර දෙක ඇතුළත නිදොස් කොට නිදහස් කෙරිණි.

    දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිසම

    මේ අතර, 2015 ජනවාරි 8 වන දා සිට 2019 නොවැම්බර් 16 වෙනි දින කාලය ඇතුළත සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළේය.

    2020 ජනවාරි 9 වෙනිදා විශේෂ ගැසට් නිවේදනයකින් මෙම කොමිසම පත්කළේය.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ සෙසු සමාජිකයින් වේ.

    මෙම ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිලි බාර ගැනීම 2020 පෙබරවාරි 20 දින අවසන් වූ අතර, පැමිණිලි 305ක් ලැබී තිබෙන බව කොමිසමේ ප්‍රකාශකයෙකු මාධ්‍යට කියා සිටියේය.

    දේශපාලන පළිගැනීම්වලට අදාළ කොමිෂන් සභාවේ නිර්දේශ අතර මේ වන විටත් අධිකරණයේ පවතින නඩු හතළිස් ගණනක් ඉල්ලා අස්කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන් බොහෝ දෙනෙක් මෙම නිර්දේශ විවේචනය කර තිබිණි.

    නීතිය කුමක් ද?

    “හරයාත්මක හා කාර්යපටිපාටික නීතිය මගින් අපරාධ නඩුවක චෝදනා ඔප්පු කරන්න මාර්ගෝපදේශ සපයා තියෙනවා. ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ අපරාධ නඩුවක් විභාගයට ගැනීමේදී අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාවලිය සඳහන් කර තිබෙනවා,” නීතීඥ සන්ධ්‍යා පෙරේරා පැවසීය.

    “සාක්ෂි ආඥාපනතේ තුන්වෙනි වගන්තියේ ‘ඔප්පු කිරීම’ යටතේ ‘සාධාරණ විචක්ෂණ මිනිසාගේ උපමානය’ අනුව යමින් නඩුවට අදාළ සාක්ෂි නැත්නම් අනුකූල කරුණක් ඔප්පු වී ඇත්ද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම ඇත්තේ විනිසුරුවෙකුට.”

    “අපරාධ නඩුවක ආවේශ්‍ය කරගත යුතු සාක්ෂි තෝරා බේරා ගැනීම සම්බන්ධව නීති සාක්ෂි ආඥාපනතේ සඳහන් වෙනවා. සාක්ෂිවල සත්‍ය අසත්‍යතාවන් පිළිබඳව තෝරා බේරා ගැනීම සම්බන්ධයෙන් විනිසුරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා.

    “සාක්ෂි නොමැති වීම, සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකි වීම හෝ විවිධ තාක්ෂණික ගැටලු මත නඩු ඉදිරියට ගෙන යන්න බැරි වෙනවා. මේ වගේ අවස්ථාවල විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමක් සිදු කරන්න පුළුවන්,” නීතීඥවරිය පැවසුවාය.

    අපරාධ නඩුවක විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ පැමිණිලි පාර්ශවය වෙතය.

    Acquitted and released

    අපරාධ නඩුවක විත්තිකරුට එරෙහිව නඩු විභාගය ඇරඹෙන්නේ අහිංසකභාවයේ පූර්ව නිගමනයට (Presumption of innocence) අනුවය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම අයිතිය සහතික කර තිබේ. යම් පුද්ගලයෙකු නොකළ වරදකට දඬුවම් විඳීම වැළක්වීම මෙහි අරමුණ වී තිබේ.

    විත්තිකරුගේ වරදකාරීත්වය පිළිබඳව කිසිදු සාධාරණ සැකයක්, සාධාරණ මිනිසෙකුගේ මනසේ ඇති විය නොහැකි තරම් දුරට සාක්ෂි මගින් අදාළ චෝදනාව සනාථ විය යුතුය.

    “නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් දේශපාලනිකව සිදුවන දේ ගැන හුඟක් අයට සෑහෙන විවේචන තියෙනවා. නමුත් නීතිමය ක්‍රියාදාමය සිදුවන්නේ සාක්ෂි, අණ පනත්වලට අනුව. රටේ සාමාන්‍ය දේශපාලනික ක්‍රියාකලාපය ගැන අපි හැමෝටම මතයක් තිබෙනවා, ඉතින් ඒ අනුව මේ සිද්ධීන් ගැන තේරුම් ගැනීම තම තමන්ගේ බුද්ධියට බාරයි,” දිගින් දිගටම සිදුවන නිදොස් කොට නිදහස් කිරීම් ගැන සිය මතය ඉදිරිපත් කළ නීතීඥ සන්ධ්‍යා පෙරේරා පැවසීය.

    ජනතාව දැනුවත් කළ යුතු කාලීන ලිපියක් බැවින් බී.බී.සී සන්දේශය වෙතින් සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි. ශීර්ෂ පාඨය වෙනස්කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • පරිසර ප්‍රේමීන්ට ජනපතිගෙන් විවෘත අභියෝගයක්

    පරිසර ප්‍රේමීන්ට ජනපතිගෙන් විවෘත අභියෝගයක්

    මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

    “සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. එම මුදල ප්‍රමාණවත් නොවන්නේනම් වසර අවසන්වීමට පෙර ව්‍යාපෘතිය නිම කරනු වස් අතිරේක මුදල් සම්පාදනය කරන බව ජනාධිපතිවරයා පැවසීය.

    විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී  නොසිට හැම කෙනෙක්ම තම වගකීම ඉටුකිරීමට එක්වන්නැයි ජනාධිපතිවරයා සමාජ මාධ්‍යවල පරිසරය ගැන කතා කරන සියලුදෙනාගෙන් ද ඉල්ලා සිටී.

    පරිසර විනාශයක් පිළිබඳ නිර්මාණය කොළඹ සිට කෙරෙන සැලසුම්සහගත වැඩසටහනකි. දශකයකට පමණ පෙර කොළඹ සහ තදාසන්න නගර පැවති ආකාරය බොහෝ දෙනෙකුට අද අමතකය. කොළඹ කුණු කඳු ඉවත් කර, ගොඩකර තිබූ පහත් බිම් සේම තෙත් බිම් යළි සංවර්ධනය කර කොළඹ හරිත නගරයක් කළ බව ජනාධිපතිතුමා සිහිපත් කරයි. මේ ප්‍රගතිය  සිංගප්පූරුව ඇතුළු ලොව රටවල් රැසක අවධානයට යොමු වු බව රාජපක්ෂ මහතා පවසයි.

    මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීමේ  “සුරකිමු ගංගා” ජාතික වැඩසටහන ලෝක ජල දිනයට සමගාමීව අද (22) පෙරවරුවේ ඓතිහාසික කතරගම පූජා භූමියේ මැණික් ගඟ අසබඩදී ආරම්භ කරමින්  ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

    ජනාධිපතිවරයා සමරු ඵලකය නිරාවරණය කරමින්  “සුරකිමු ගංගා” ව්‍යාපෘතියේ නිල ආරම්භය සනිටුහන් කළේය.

    මැණික් ගඟේ පොලිතීන් සහ ප්ලාස්ටික් රඳවන ස්ථාපනය, කතරගම පූජා භූමියේ පොලිතීන් මල්මාලා වෙනුවට ස්වභාවික මල්මාලා භාවිතය  ප්‍රචලිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත මල්මාලා හඳුන්වාදීම ද  වැඩසටහනේ සමාරම්භයට සමගාමීව සිදු කෙරිණ.

    බහුකාර්ය කැබලි කරන යන්ත්‍රය මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයාට ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් බාර දෙනු ලැබීය.

    පරිසර අමාත්‍යාංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා “සොබාකෙත” සඟරාව සහ “මිහිමඩල” පුවත්පත ජනාධිපතිවරයාට පිළිගැන්වීය.

    “සුරකිමු ගංගා වැඩසටහන භූගෝලීය තොරතුරු තාක්ෂණික මාර්ගගත පරිගණක යෙදවුම ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

     “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත්  දස වැදෑරුම් සංකල්පයෙහි අන්තර්ගත තිරසර පරිසර කළමනාකරණය සඳහා සැලසුම් කළ  වැඩසටහන් අතුරින් ප්‍රධාන වැඩසටහනක් ලෙස “සුරකිමු ගංගා” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පරිසර සංරක්ෂණයේ ප්‍රධාන අංගයක් වන ජලයේ ගුණාත්මකභාවය සහතික කිරීමෙන් ජලසම්පත සුරැකීම අපේක්ෂාවයි. ගංගා සංරක්ෂණය මගින් ජනතාවට පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීම, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරීම හා සංචාරක ප්‍රවර්ධනය වැඩසටහනේ සෙසු අරමුණු අතර වෙයි.

    ශ්‍රී ලංකාවේ ගංගා 103ක් ආවරණය වන පරිදි “සුරකිමු ගංගා” වැඩසටහන සැලසුම් කර ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල මගින් සති දෙකක කාලයක් තුළ පරිගණක යෙදවුමක් භාවිතයෙන් කරන ලද මුලික සමික්ෂණයේ දී මේ ගංගා 103 ආශ්‍රීත ගැටලු සහිත ස්ථාන 10,410ක් පරික්ෂාවට ලක්කර තිබේ. ගං ඉවුරු ඛාදනය, අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම සහ අනවසර ඉදිකිරීම්, වැලි ගොඩ දැමීම, ගෘහස්ථ අප ජලය, මළ අපද්‍රව්‍ය  සහ කර්මාන්ත අප ජලය ගංගා වෙත  මුදා හැරීම සහ අපජල මඩිති මුදා හැරීම ඉන් ප්‍රධාන වේ.

    පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව “සුරකිමු ගංගා” වැඩසටහන ක්‍රියාවට නංවයි.  

    අද උත්සවයට සමගාමීව සෙසු පළාත් අටේ ද “සුරකිමු ගංගා” වැඩසටහන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

     “පරම්පරාවෙන් පරම්පරාවට අප සමාජය පෝෂණය වූ ශ්‍රී ලංකාවේ ගංගාවන් 103 කින් සමන්විත ගංගා ද්‍රෝණි පද්ධතිය අප ලද වටිනාම දායාදයක්.  මධ්‍යම කඳුකරයත්, ඒ ආශ්‍රිත වනගහණයත් සහිතව ජල පෝෂක ප්‍රදේශ අපේ මේ ලස්සන දිවයින මුළුමනින්ම පාහේ ආවරණය කරනවා”  ඒ නිසා බොහෝ රටවල් සමග සැසඳීමේදී අප පාරිසරික මෙන්ම භූ විද්‍යාත්මක වශයෙනුත් ඉතා සුවිශේෂී රටක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    අපගේ වායුගෝලය දූෂණය  වන්නේ සංවර්ධිත රටවල ක්‍රියාකාරකම් නිසා වුවත්, අවාසනාවකට එහි අහිතකර බලපෑම්වලට වැඩියෙන්ම ගොදුරු වන්නේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි ඝර්ම කලාපීය රටවල් ” බවද ජනාධිපතිවරයා පැවසීය.

    “අද විශාල වන විනාශයන් සිදු වන බව අපගේ විරුද්ධවාදීන් ලෝකයටම ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. “ගම සමග පිළිසඳර” වැනි ග්‍රාමීය මට්ටමේ වැඩසටහන්වලට නිරතුරුවම යන මට, අහිංසක ගොවි ජනතාව අත්විඳින කම්කටොළු බොහෝ පැහැදිලිව දක්නට ලැබෙනවා.  ඔවුන් ජීවත්වීම සඳහා කරන්නේ ලොකු සටනක්.  එවැනි පුද්ගලයන්ට වගා කිරීමට ඉඩමක්  දීම විකෘති කර, වන විනාශයට තුඩු දෙන අයුරින් අප ක්‍රියාකරනවා යයි කීම විරුද්ධවාදීන් ගෙන යන අසත්‍ය, අමානුෂික ප්‍රචාරයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා  අවුරුදු ගණනකට පෙර කපා හෙලන ලද රූස්ස ගස්වල කඳන් පෙන්වමින්, ඒවා සමාජ ජාලා තුලින් ප්‍රචාරය කරමින් අපේ මේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති නිසා වන විනාශයක් සිදු වන බව හුවා දැක්වීම සැබෑ තත්ත්වය විකෘති කරීමකැයි  කියා සිටියේය.

    අද ඇරඹුනු “සුරකිමු ගංගා” ජාතික පාරිසරික වැඩසටහන අනාගත පරපුර වෙත අප සියලු දෙනා විසින් දෙනු ලබන මහඟු දායාදයක් බව පැවසූ ජනාධිපතිවරයා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් මෙම කාර්යය සම්බන්ධීකරණය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තමා බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

     ( ඡායාරූප : ජිවන්  චන්දිමාල්, ශාමික වක්වැල්ල, උපුල් නිලංග – ජනාධිපති මාධ්ය අංශය )

  • යුද සමයේ රටට එරෙහි වූ මාධ්‍ය කණ්ඩායමක් නැවත නැගිටලා –  ‘ගම සමඟ පිළිසඳරේ’ දී ජනපති කියයි

    යුද සමයේ රටට එරෙහි වූ මාධ්‍ය කණ්ඩායමක් නැවත නැගිටලා – ‘ගම සමඟ පිළිසඳරේ’ දී ජනපති කියයි

    • මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ  නිදහස නොවෙයි .
    • මාස 60ක ධූර කාලයේ වගකීම් නොපිරිහෙළා ඉටු කරනවා …
    • ඊළග ජනාධිපතිවරයා ගැන කිසිවෙකු කලබල විය යුතු නැහැ ….
    • නීති පනවා ඇත්තේ ජනතා යහපතට ….
    • දිළිඳුතම ජනයාට තවත් රැකියා ලක්ෂයක් ….
    • ජනතා ඉල්ලීම අනුව වලපනේ හා පූඩලුඔය පූර්ණ සංවර්ධනයට ..

    මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හිමියනට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කළ නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

    තමා ජනාධිපතිවරයා ලෙස ජනමාධ්‍යයට කිසිදු බලපෑමක් කර නැති බව සඳහන් කරන ජනාධිපතිවරයා  විවිධ කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත වැරදි මාධ්‍ය භාවිතයක නිරත වෙමින් රටත්, ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන්නේ නැති බව ද පවසයි.

    යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශියත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    අද (20) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, යෝඹුවැල්තැන්න ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

    මේ රටේ බහුතර ජනතාව එක්ව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ රට ගොඩනැගීමටයි. මාස 60ක් වූ ධූර කාලයෙන් ගතව ඇත්තේ මාස 16ක් පමණි. තව සැලකිය යුතු කාලයක් ඉදිරියට තිබේ. ඊළග ජනාධිපතිවරයා පිළිබඳ ඇතැම්හු කලබල වී සිටිති. කිසිවෙකු ඒ ගැන කලබල නොවිය යුතු අතර එය තීරණය කරන්නේ ජනතාවයි. ඉදිරි ධූර කාලය ජාතික ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ජනතාව නගාසිටුවීමට සුවිශාල වැඩකොටසක් ඉටු කරමින් ජනතා අපේක්ෂා මල්ඵල ගන්වන බව ජනාධිපතිවරයා පැවසීය.

    නිලධාරීන්ගේ වගකීම ජනතාව ජීවත්කරවීමයි. කිසිවිටෙක ඔවුන්ට කරදර නොකළ යුතුයි. ජන ජීවිතය අඩාල කෙරෙන කිසිදු අකටයුත්තක් තමා රාජ්‍ය නිලධාරීන්ගේ අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    “මා කිසිවිටෙකත් පරිසරය විනාශ කර නැහැ. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටින අවදියේ පටන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙනගියේ කිසිවෙකු නොකළ වැඩකොටසක්. නිදහස් චතුරශ්‍රයේ පවා එදා කුණු ගොඩවල් පිරී තිබුණා. ඒ තත්ත්වය නැති කොට කොළඹ නගරය හරිත උයනක් බවට පත් කලා. පරිසරය වෙනුවෙන් කිසිවක් නොකළ අය මට ඇගිල්ල දිගු කිරීම කණගාටුවට කරුණක්” ජනාධිපතිවරයා කීය.

    පසුගිය රජයේ සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක්  හන්තානේ අක්කර 30ක ඉඩමක් තම දියණියට තෑගි දී ඇත. පරිසරය ආරක්ෂා කළානම් අද ඔවුන්ට මාධ්‍ය ඉදිරියට පැමිණ හඩා වැටීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා කීය.

    2015-2019 කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැලෑ අක්කර 77, පුත්තලම අක්කර  258, මොණරාගල අක්කර 100ක්, අනුරාධපුරයේ අක්කර 224ක් ඇතුළුව මයිලෑව, මාතලේ, ලග්ගල, රිදීගම, වැලිකන්න ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක වන විනාශය සිදු කර තිබේ. එවැනි පිරිස් අද රජයට ඇගිල්ල දිගු කිරීම හාස්‍යයට කරුණක් යයි ද ජනාධිපතිවරයා පැවසීය.

    දිළිදුකම තුරන් කර ග්‍රාමීය ජනතාව ආර්ථික වශයෙන් නගා සිටූවීම රජයේ  ප්‍රමුඛ ප්‍රතිපත්තියකි. 75%ක් වන ග්‍රාමීය ජනතාවගෙන් 35% සෘජුවම කෘෂිකර්මාන්තයේ නියැලෙති. කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය සියලු වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් ග්‍රාමීය ජනතාව දිළිදුබවින් මුදා ගැනීමේ වගකීම ඉටුකරන බවද ජනපතිවරයා පැවසීය.

    සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරාගත් ලක්ෂයකට රැකියා දීමේ වැඩසටහන ආරම්භ කෙරිණ. ඉන් රුකියා 35,000ක් දී දැනටමත් ප්‍රදානය කර තිබේ. රැකියා ලක්ෂයේ ප්‍රථම වැඩසටහන අවසන් වූ පසු තවත් ලක්ෂයකට රැකියා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ දී නිවැරැදීම පුද්ගලයන් හඳුනා ගැනීම ග්‍රාමීය රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා පැවසීය. පුහුණු ශ්‍රමිකයන් නැතිවීම රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදයට ඉවහල් වී තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රීකුණාමලය, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිවරයාගේ අරමුණයි.

    විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

    යොඹුවැල්තැන්න ග්‍රාම නිලධාරී වසම වලපනේ නගරයේ සිට කි.මි 13ක් දුරින් පිහිටා තිබේ. එය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් අතරින් වඩාත්ම දුෂ්කර ගම්මානය වේ. ඌව වෙල්ලස්ස සටනට දායකත්වය දුන් ජනතාවක් ජීවත් වූ පෞරාණික ප්‍රදේශයක් වන යොඹුවැල්තැන්න කැප්පෙටිපොළ නිළමේතුමා යළි සිංහල හමුදාව සමග එක්වූ ප්‍රදේශය බව ජනප්‍රවාදයේ සඳහන් ය. ඖෂධීය ශාඛයක් වන යෝඹුවැල් බහුල නිසා ගමෙහි නම නිර්මාණය වූ බව කියවේ. පවුල් 139ක් වෙසෙන යෝඹුවැල්තැන්න ග්‍රාමයේ දැන් ජනගහණය 397කි. වී සහ එළවළු වගාව ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

    “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවීමට නිල්දණ්ඩාහින්න මහජන ක්‍රීඩාංගණයේ සිට යෝඹුවැල්තැන්නට යන මග දෙපස රැස්ව සිටී ජනයා විසින් ජනාධිපතිවරයා මහත් හරසින් පිළිගනු ලැබීය.

    ජනතාවගේ ගැටළු පිළිබඳව එහිදී ජනාධිපතිවරයා කරුණු විමසූ අතර කලගන්වත්ත නවෝද්‍යා පාසලේ දරුවන් සමග ඡායාරූපයකට ද පෙනී සිටියේය.

    දේශීයව සොසේජස් නිෂ්පාදනය කිරීමක් ජනාධිපතිතුමාට හදුන්වා දුන් ප්‍රදේශවාසියෙකු තමා එම අදහස ලබාගත්තේ වියත්මග සමුළුවකදී බව පවසමින් එහිදී ගත් ඡායාරූපයක්  ජනාධිපතිතුමාට පෙන්වීය. 

    දීර්ඝ කාලයක් තිස්සේ වන සතුන්ගෙන් තම බෝගවලට සිදුවන හානියට පිළියමක්  දෙන ලෙස ද මග දෙපස රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    SLT මොබිටෙල් ආයතනය විද්‍යාපදීප ද්විතීයික පාසලට හා සිදුහත් මහා විද්‍යාලයට පරිත්‍යාග කළ අන්තර්ජාල සබඳතා සහිත ලැප්ටොප් පරිගණක හා ඩයලොග් ආයතනය තැන්නබෝධි ප්‍රාථමික විද්‍යාලයට පිරිනැමූ රූපවාහිනි යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

     “ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින්  ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

    හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටී පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. අද ජනාධිපතිතුමා වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 05ක් වෙත සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.

    ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ප්‍රධානම ගැටළුව මාර්ග, අතුරුමාර්ගවල ඇති දුෂ්කරතාවයි. ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ගල්වත්ත – යොඹුවැල්තැන්න මාර්ගය, තේරිපැහැ – මොලන්දෑව, ගලහ – දෙල්තොට සිට රිකිල්ලගස්කඩ මාර්ගය, යටිවැල්ල – මතුරට මාර්ගය, තෙරිපැහැ, නිල්දණ්ඩාහින්න ප්‍රධාන සහ අතුරු මාර්ග රැසක සංවර්ධන වැඩ කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ප්‍රදේශයේ ප්‍රධාන හා අතුරු මාර්ගවල පාලම් 15ක් ඉදිකිරීමට ද තීරණය විය. යෝඹුවැල්තැන්න, ලවැල්ලගොල්ල, මකුණගහපිටිය, හපුගහපිටිය, කලගන්වත්ත ඇතුළු ප්‍රදේශයේ සියලුම ප්‍රජා ජල ව්‍යාපෘති ජනතා අවශ්‍යතාවය අනුව සම්පූර්ණ කීරිමට ද තීරණය විය.

    වලපනේ ජල පිරිපහදුව වැඩිදියුණු කිරීමට තීරණය කෙරිණ. දඩකැලේ, වැලිතුඩුව, පරගහලන්ද, කිරිවඩුන්න, මූකලන්, උඩකන්ද, ඇතුළු ප්‍රදේශයේ තවත් වැව් රැසක ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්නැයිද දැනුම් දුන්නේය.

    ප්‍රදේශයේ විදුහල්වල ගුරු හිඟය සම්පූර්ණ කළයුතුය. කලගන්වත්ත නවෝද්‍යා ද්විතියක පාසල, අරුණෝදය හින්දු විදුහල, රන්කෙළඹූව මහා විදුහල, උඩමාදුර ශ්‍රී විද්‍යා ප්‍රදීප ද්විතික විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ පාසල් රැසක යටිතල පහසුකම් සංවර්ධනයට ද තීරණය කෙරිණ.

    මඩුල්ල ද්විතික පාසල ජාතික පාසලක් බවට උසස් කිරීමට තීරණය විය.

    ග්‍රාමීය ක්‍රීඩාපිටි සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එකක් බැගින් ක්‍රී පිටි සංවර්ධනයට ද උපදෙස් දෙනු ලැබිණ.

    විහාරස්ථානවල පවත්වාගෙන යන  දහම්පාසල් 12ක යටිතල පහසුකම් සංවර්ධනයට ද මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරිණ. මධ්‍යම පළාතේ පිරිවෙන්වල භෞතික අවශ්‍යතා සම්පූර්ණ කර දෙන ලෙස භික්ෂූන් වහන්සේ කළ ඉල්ලීමට ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.

    ග්‍රාම නිලධාරී වසම් 13ක පවතින ඉඩම් ගැටළු “ගම සමග පිළිසඳර” වැඩසටනේදී හඳුනා ගැනිණ. එම සියලු ගැටළු නිරාකරණය කොට ඔප්පු ප්‍රදානයට වහාම පියවර ගන්නයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    වන අලි ගැටළුට විසඳුම් ලෙස ප්‍රදේශයේ ඉදිකර ඇති සියලු අලි වැට ප්‍රතිසංස්කරණ කිරීමට ද තීරණය කෙරිණ.

    දිස්ත්‍රිකික්යේ ඇති ෆයිනස්, ටර්පන්ටයින් පරිසරයට හානියක් බව ජනතාව පෙන්වා දෙනු ලැබිණ. එම වගා ඉවත් කොට දේශීය වන වගා ප්‍රචලිත කරන ලෙස ජනාධිපතිතුමා පරිසර බලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ( ඡායාරූප : ජිවන්  චන්දිමාල්, ශාමික වක්වැල්ල, උපුල් නිලංග – ජනාධිපති මාධ්ය අංශය )

  • ‘ජිනීවා මානව හිමිකම් සමුළුවට’ ඉදිරිපත් කර ඇති චෝදනා දේශපාලනිකයි

    ‘ජිනීවා මානව හිමිකම් සමුළුවට’ ඉදිරිපත් කර ඇති චෝදනා දේශපාලනිකයි

    එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී 2021 මාර්තු 22 වැනි දින ඡන්ද විමසීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අද විදේශ අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අපේ රටේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ ඒ කරුණු සඳහා ඡන්ද විමසීම ජාත්‍යන්තරය පිළිගත් මානව හිමිකම් කවුන්සිලයක වගකීම නොවන බවයි.

    පසුගිය කාලය පුරාවට අප රටට මානව හිමිකම් චෝදනා යැයි කියමින් නොයෙක් චෝදනා ඉදිරිපත් කළා. මේ පිළිබඳව අප අවධානයෙන් යුතුව කටයුතු කර තිබෙනවා. අපේ ආණ්ඩුව පත් වූ පසු මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා.

    අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු කාර්යාංශය ක්‍රියාත්මක කරන්න අය-වැයෙන් මුදල් වෙන් කර දී තිබෙනවා. එවැනි සාධනීය පියවර රැසක් අනුගමනය කරමින් වත්මන් රජය කටයුතු කරද්දී ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ඒ ගැන නොසළකා හැර නැවත නැවත අපට විවිධකාරයෙන් චෝදනා කිරීම සාධාරණ නොවන බව ද අමාත්‍යවරයා පවසා සිටියේය.

    “අපිට විරුද්ධව ඉදිරිපත් කරන අසත්‍ය චෝදනා පරාජය කරන්න අපි උත්සහා ගන්නවා. ඒ සඳහා අපට මිත්‍ර රටවල් රැසක් අප සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. මෙවර ඉන්දියාවත් අපේ සහයට ඉදිරිපත් වෙයි කියලා අපි විශ්වාස කරනවා”යැයි ද ගුණවර්ධන මහතා සඳහන් කළේ ය

  • ජන අරගල දේශපාලනයේ නව ආකාර

    ජන අරගල දේශපාලනයේ නව ආකාර

    ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් කොළඹ නෙලුම් පොකුණ රඟහල ඉදිරිපිට නිර්මාණය කළ දැවැත්ත සිතුවමක් අද (මාර්තු 19) දෙවරක් ඉවත් කර තිබිණි. එම සිතුවම රැකගැනීමට එය උඩ වාඩිවී සිටින කලාකාරියන් දෙදෙනෙක් ඉහළ ඡායාරූපයේ දැක්වේ.

    අප භාග්‍යා අබේරත්න නමැති තරුණියක් ගැන මෙතෙක් කලක් දැන සිටියේ නැත. වත්මන් මොහොතේ අපගේ සමාජ විඥානය කෙරෙහි ඉතාම බරපතල බලපෑමක් කිරීමට ඇයට හැකි වනු ඇතැයි ඇය පවා දැන නොසිටින්නට ඇත. ඇය කළේ බැලූ බැල්මට කාටත් තේරෙන සරල ක්‍රියාවකි. එනම්, මෙතෙක් කලක් බොහෝ දෙනෙකු නිහඬතාව තුළ ගිල්වා තිබූ කිසියම් සමාජ ගැටළුවක් විවෘතව ප්‍රකාශයට පත් කිරීමය. භාග්‍යා පැවසුවේ ඇය අවංකව විශ්වාස කළ දෙයයි. ඇයගේ පණිවිඩය මක්සිම් ගෝර්කිගේ වචනයෙන් කිව හොත්, සත්‍යය තරම් සරලය; හිරු එළිය සේ පැහැදිලිය. කාටත් ඒත්තු යන සුළුය.

    වත්මන් පාලන තන්ත්‍රය ඇය ඉදිරියේ බියට පත් වීම පුදුමයට කාරණයක් නොවේ. ඔවුන් සැබවින්ම ඇයගේ පෙනී සිටීමට පවා බිය විය යුතුය. මන්ද යත්, ඇය තම ක්‍රියාව මගින් සංස්ථාපිත සමාජ තහංචි බිඳ හෙළුවාය; නැතහොත් ඒවා බිඳ දැමිය හැකි බව ඔප්පු කර පෙන්වන්නට සමත් වූවාය. සංවර්ධනයේ නාමයෙන් සිදු කෙරෙන මහා පරිසර විනාශය ප්‍රශ්න කරන්නට තමන් වැන්නියකට හැකිය යන්න ඇය තම ක්‍රියාව මගින්ම සනාථ කළාය; තමන්ටමත් එය සනාථ කර ගත්තාය. ආර්ථිකමය සහ දේශපාලනමය ලෙස අව-වරප්‍රසාදලාභී තරුණ ප්‍රජාව විසින් ප්‍රාග්ධනය සහ රාජ්‍යය අභියෝගයට ලක් වීම වියහැකියාවක් බව පෙන්වා දුන්නාය. 

    භාග්‍යාගේ ක්‍රියාව සොෆොක්ලීස්ගේ ඇන්ටිගනී චරිතය සිහියට නංවයි. ඇන්ටිගනී කළේ සරල දෙයකි. එනම්, මිය ගිය තම සහෝදරයා වූ පොලීනීසස්ව මිහිදන් කිරීමේ චාරිත්‍රය ක්‍රියාවට නැගීමයි. නමුත්, පොලීනීසස් රාජ්‍යයට ද්‍රෝහී වූවෙකු ලෙසින් ක්‍රියොන් රජු විසින් නම් කරන ලද බැවින් ඔහුගේ සිරුර මිහිදන් කිරීම හෝ ඔහු වෙනුවෙන් වැළපීම රාජ්‍යයේ අධිකාරයට එරෙහි වීමක් සේ සැලකිණ. ඇන්ටිගනී රාජ්‍යයේ අධිකාරයට එරෙහි ක්‍රියාවක රහසින් නිරත වූවා පමණක් නොවේ. ඊටත් වඩා රාජ්‍යය බිය පත් කළ කාරණය වූයේ ඇය තමා එවැන්නක් කළ බව ප්‍රසිද්ධියේ පිළි ගැනීමය. ඇයගේ එම ප්‍රකාශය මගින් සිදු වූයේ රාජ්‍යයේ අධිකාරත්වය ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තිබූ සංකේතීය තහංචිය බිඳ වැටීමයි. බොහෝ විට අප මෙතෙක් නොදැන සිටි නව දේශපාලන කතෘකයෙකු නොහොත් ඒජන්සියක් (agency) නිර්මාණය වන්නේ මෙවන් ක්‍රියාවන්හි ප්‍රතිපලයක් ලෙසිනි. 

    සිංහරාජ වන විනාශය ජනමාධ්‍ය ඔස්සේ රටට කීමේ වරදට රාජ්‍ය උදහසට ලක්ව සිටින භාග්‍යා අබේරත්න තව තවත් දිරිමත් කිරීම සඳහා ආශිර්වාද කිරීමට හා මව්බිමේ අනාගතය වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත්වීම පිළිබඳව මහා සංඝරත්නයේ ප්‍රශංසාත්මක අගයකිරීම පිළිගන්වනු පිණිස ජාතික භික්‍ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා ඊයේ (18) ඇයගේ නිවසට වැඩමකිරීම කළහ.
    ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධන ලේකම් වකමුල්ලේ උදිත හිමි, පරගොඩ රාජමහා විහාරාධිපති දේවාලේ හිඳ අජිත හිමි ඇතුළු භික්ෂූන්වහන්සේලා විශාල පිරිසක් භාග්‍යා අබේරත්න ගේ නිවසට ගොස් ඇයව දිරිමත් කර ආශිර්වාද කළහ. Picture by lankatruth.com

    තරුණ දේශපාලනය පිළිබඳ දුර්මත 

    පැරණි දේශපාලන ආකෘතීන් සහ ක්‍රමවේද අහෝසි වී යමින් පවතින තත්ත්වයන් තුළ බොහෝ විට අනපේක්ෂිත ලෙස නව දේශපාලන කතෘකයින් මතුව ඒ. විශේෂයෙන්ම අපගේ වත්මන් යුගය ඒ සඳහා බොහෝ සාක්ෂි සපයයි. මියන්මාරයේ මිලිටරි පාලන තන්ත්‍රයට එරෙහිව මතුව ආ සටන්කාමී තරුණ ප්‍රජාව ආසන්නතම නිදසුන්වලින් එකකි. මේ වනවිට ප්‍රජාතාන්ත්‍රික අරගලයේ නිරත මියන්මාර ජනයා එරට පිහිටුවා තිබෙන චීන සමාගම් තම ඉලක්කයක් ලෙස තෝරාගෙන තිබේ. එයට එක් හේතුවක් වන්නේ ජන පීඩක මිලිටරි පාලනයට චීනයේ සහයෝගය ලැබේය යන විශ්වාසයයි.

    චීනය වහාම මිලිටරි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ තම සමාගම්වලට පහර දුන් උද්ඝෝෂකයින්ට උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි. මිලිටරිය එම ඉල්ලීම ඉටු කළේ පසුගිය ඉරිදා උද්ඝෝෂකයින් 38 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙනි. ලේ වැකි එවන් තවත් ඉරු දිනයන් මියන්මාරයට උදා වීමට ඉඩ තිබේ. නමුත්, මිලිටරිය අපේක්ෂා නොකළ තරමින් ප්‍රබලව නැගෙන ජනතා විරෝධය සහ විශේෂයෙන්ම තරුණ නැගිටීම තවමත් මර්දනය කරන්නට හැකි වී නොමැත. “උඹලා මෙවර හැප්පෙන්නේ වැරදි පරම්පරාවක් සමගයි” යන සටන් පාඨය මියන්මාරයේ සැබෑවක් බවට පරිවර්තනය වෙමින් තිබේ. 

    තරුණ තරුණියන් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් නැගී සිටීමේ සමකාලීන නිදසුන් තවත් තිබේ. හින්දූත්වවාදයේ අධිකාරීත්වයට එරෙහි ඉන්දීය සිසු-ජන (සහ ගොවිජන) අරගලය, ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ එක්සත් ජනපදයේ වර්ගවාදයට එරෙහි දීර්ඝකාලීන විරෝධතාව, චීන ආණ්ඩුවේ අධිකාරීවාදී පාලනයට එරෙහි හොං කොං විරෝධතාව, ලොව පුරා මිලියන ගණනින් යොවුන් පාසැල් සිසු සිසුවියන් සහභාගී වූ දේශගුණික විපර්යාසයට සහ පාරිසරික විනාශයට එරෙහි ව්‍යාපාරය, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය යනාදිය ඒ අතුරින් කැපී පෙනුණු නිදසුන් කිහිපයකි. 

    මේ කිසිදු අරගලයක් හුදෙක් තරුණ තරුණියන්ට පමණක් සුවිශේෂී වූ ගැටළු මුල් කොටගත් ඒවා නොවේ. එබැවින්, ඒවා තරුණ ව්‍යාපාර ලෙසින් නම් කිරීම එතරම් සාධාරණ වන්නේ නැත. නමුත්, එම අරගලයන්හි තරුණ සහභාගීත්වය අප විශේෂයෙන් අගය කළ යුතුව තිබෙන්නේ වත්මන් තාරුණ්‍යයේ දේශපාලන සවිඥානකත්වය නැතහොත් දේශපාලන සාක්ෂරතාව පිළිබඳව අප රටේ ප්‍රචලිතව පවතින ගතානුගතික ආකල්ප එමගින් ප්‍රශ්න කෙරෙන නිසාය.

    ලාංකීය සමකාලීන තරුණ ප්‍රජාවේ දේශපාලන සවිඥානකත්වය සම්බන්ධයෙන් මීට සති කිහිපයකට ඉහතදී දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) නමැති ආයතනය මගින් මාර්ගගත සම්මන්ත්‍රණයක් පවා පවත්වන ලදී. එහිදී සාකච්ජාවට ලක් වූ තේමාවන් මගින් පැහැදිලි වන්නේ මෙරට තරුණ ප්‍රජාවේ දේශපාලන සවිඥානකත්වය පිළිබඳව CEPA වැනි ආයතනවලට ඇත්තේ නිශේධනීය ආකල්පයක් බවය. ඊට වෙනස්ව, මගේ අදහස වන්නේ මෙරට වත්මන් තරුණ ප්‍රජාව දේශපාලනිකව තියුණු සවිඥානකත්වයකින් යුක්ත බවත් ගැටළුව ඇත්තේ ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි නොදන්නා බුද්ධිමය ශ්‍රේණීන් තුළ බවත්ය.                                    

     තරුණ ප්‍රජාව දේශපාලන ක්ෂේත්‍රයට කඩා වැදීම

    ග්‍රාම්ස්චි පෙන්වා දුන් පරිදි දේශපාලන අර්බුදයක් නිර්මාණය වන්නේ පවත්නා දේශපාලන පක්ෂවල නායකත්වය සාම්ප්‍රදායිකව පිළිගත් සමාජ කණ්ඩායම් තවදුරටත් එසේ නොකරන තත්ත්වයක් තුළය. නමුත්, ඔහු එයට තවත් කාරණයක් එක් කළේය. එනම්, එතෙක් දේශපාලනීකරණය වී නොසිටි සමාජ කණ්ඩායම් දේශපාලන ක්ෂේත්‍රයට කඩා වැදීම මගින්ද අර්බුදයක් නිර්මාණය විය හැකි බවය. ග්‍රාම්ස්චි විශේෂයෙන්ම කතා කළේ ගොවි ජනයා දේශපාලනීකරණය වීම සම්බන්ධයෙනි. (ඒ අරුතින් වත්මන් ඉන්දියාවේ සිදුවෙමින් පවතින්නේ සම්භාව්‍ය ග්‍රාම්ස්චියානු සංසිද්ධියකි.) 

    මෑතකාලීනව ලොව පුරා අන්ත-දක්ෂිණාංශික ජාතික-ජනතාවාදී ව්‍යාපාර පැන නැගුණේ විශේෂයෙන්ම නව-ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මගින් වඩ වඩාත් ආන්තිකකරණයට ලක් වූ සමාජ කොටස් දේශපාලනික ක්ෂේත්‍රයට කඩා වැදීමේ මාදිලියක් ලෙසය. එක්සත් ජනපදයේ ට්‍රම්ප් ප්‍රපංචය ඒ සඳහා කදිම නිදසුනකි. ශ්‍රී ලංකාවේ එතෙක් දේශපාලන ක්ෂේත්‍රයෙන් දුරස්ව සිටි බුද්ධිමය සහ කලාත්මක සමාජයේ යම් යම් කොටස් දේශපාලනීකරණය වීමක් අපට 2015 ජනවාරි ආණ්ඩු පෙරළිය තුළ නිරීක්ෂණය කළ හැකි විය.

    නමුත්, එම බුද්ධිමය සහ කලාත්මක කණ්ඩායම් නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය සමග අනන්‍ය වීම හේතුවෙන් ඔවුනගේ සුජාතභාවය බරපතල ලෙස අහෝසි වී ගියේය. ඔවුනට තවදුරටත් මහජන මතයට එතරම් බලපෑමක් කළ නොහැකි බව පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී මනාව සනාථ විය. ගෝඨාභය ව්‍යාපෘතිය තුළ නව බුද්ධිමය සහ සදාචාරමය නායකත්වයක් ලෙස මතු වූ තාක්ෂණ-කළමනාකරණ පන්ති ස්ථරයද දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවේශ වූයේ මෑතකදීය. නමුත්, ඉහත ලාංකීය නිදසුන් දෙකම පුළුල් බහුජන ශ්‍රේණීන් දේශපාලනීකරණය වීමේ අවස්ථාවන් ලෙස සැලකිය නොහැකිය. ඊට වෙනස්ව, මේ දිනවල ඉන්දියාවේ සහ මියන්මාරයේ සිදුවෙමින් තිබෙන්නේ බහුජන මට්ටමේ පුළුල් දේශපාලනීකරණයකි.

    නමුත්, ශ්‍රී ලංකාවේද පුළුල් බහුජන දේශපාලනීකරණයක් සිදු විය නොහැකිද? විශේෂයෙන්ම අව-වරප්‍රසාදලාභී තරුණ ප්‍රජාවන් කෙරෙන් නව දේශපාලන පැන නැගීමක් අපේක්ෂා කළ නොහැකිද? මගේ අදහස නම් එවැන්නක් වීමට හොඳටම ඉඩ තිබෙන බවයි. වසංගතය මගින් පවත්නා ක්‍රමයෙහි දෘෂ්ටිවාදී ආවරණ වේගයෙන් සිඳ බිඳ දමමින් තිබෙන වාතාවරණයක් තුළ තරුණ ප්‍රජාව අතර පැතිර යමින් තිබෙන අපේක්ෂා භංගත්වය කොතරම් විය හැකිද? දැන් මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන, උසස් පෙළ විභාගය ලියන, විශ්ව විද්‍යාලවල පළමු වසරට ඇතුළු වන, වෙනත් උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුල් වන හෝ එවන් අවස්ථාවන් නොලද තරුණ තරුණියන්ගේ මානසිකත්වය ගැන මදක් සිතන්න.

    ඉදිරියේ එන ආර්ථික බංකොලොත්භාවය ඉදිරියේ ඔවුනට තම අනාගත අපේක්ෂාවන් ගැන තැබිය හැකි විශ්වාසය කුමක්ද? අර්බුදය හුදෙක් දේශීය වූවක් නොව ගෝලීය එකක්ද වූ විට? ඒ අතර පැරිස් සම්මුතියේ අපේක්ෂාවන් කරාවත් ළඟා විය නොහැකි තරමට ගෝලීය පාරිසරික විනාශය උත්සන්න වෙමින් පවතින බවද ඔවුන් දනී; සරලව, ධන බලය සහ දේශපාලන බලය හිමි වැඩිහිටියන් තමන්ට අයිති ලෝකය තම දෑස් ඉදිරිපිටම විනාශ කරමින් සිටින ආකාරය දකින තරුණ ප්‍රජාවක් එයට ප්‍රතිචාර නොදක්වා සිටිනු ඇත්ද?  මගේ හැඟීම නම් අපට මතුපිටින් නොපෙනෙන ගැඹුරු දිය රළක් වත්මන් දේශපාලන සාගර පත්ලෙහි කැළඹෙමින් තිබිය හැකි බවයි.                        

    ජන අරගල දේශපාලනයේ නව ආකාර

    නමුත්, තරුණ ප්‍රජාවේ දේශපාලනික ක්‍රියාකාරීත්වය කිසිසේත් තනිව සිදු විය හැක්කක් නොවේ. ඒ වෙනුවට අපට සිතිය හැක්කේ ඓන්ද්‍රීය මහජන අරගල රැල්ලක් සමග සමාන්තරව පැන නගින නව තරුණ ක්‍රියාකාරීත්වයකි. සැබවින්ම, දැන් එවන් අරගලවල සමාරම්භක මතු වීම් කිහිපයක්ම අපට නිරීක්ෂණය කළ හැකිය. වල්සපුගල ගොවි උද්ඝෝෂණය, හිඟුරක්ගොඩ ක්‍ෂුද්‍ර මූල්‍ය සූරාකෑමට එරෙහි සත්‍යග්‍රහය, මානව අයිතීන් අහිමි කිරීම්වලට එරෙහිව උතුරේ වැඩෙන විරෝධතා රැල්ල, විශ්ව විද්‍යාල නැවත විවෘත කරන ලෙස ඉල්ලා කෙරෙන ශිෂ්‍ය විරෝධතා සහ රටේ නොයෙක් පෙදෙස්වලින් මතු වෙමින් තිබෙන පරිසර විනාශයට එරෙහි උද්ඝෝෂණ ඒ සඳහා නිදසුන් කිහිපයකි. 

    මෙම ව්‍යාපාර මගින් නිර්මාණය කෙරෙන අනාගත දේශපාලන අවකාශය තම ග්‍රහණයට ගැනීමට විවිධ ජනවාර්ගික-ජාතිකවාදී නායකත්වයන්ද තරඟ වැදී සිටින බව සැබෑය. ඉදිරි දේශපාලනයේදී තරුණ ප්‍රජාවේ වැදගත්කම ගැන කිසියම් අවබෝධයක් චම්පික රණවක වැනි දක්ෂිණාංශික ජනතාවාදීන් හට තිබෙන බව ඔවුනගේ කතා ශ්‍රවණය කරන විට වටහාගත හැකිය. නමුත්, වාම නායකත්වයන්ද අරගලයේ ඉදිරියෙන් සිටී. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ අතුරින් කැපී පෙනේ.

    නමුත්, ජාතිකවාදීන් හා සැසඳූ කල වමට ඇති එක් අවාසියක් නම් ජනතා ව්‍යාපාර විප්ලවවාදී පක්ෂයක නායකත්වය යටතට ගත යුතුය යන පැරණි ප්‍රවාදය තවමත් වමේ නායකත්වයන් විශ්වාස කිරීමයි. වත්මන් යුගයේ මතු වන බහු-විධ සමාජ ව්‍යාපාරවල ස්වරූපය අනුව ගත් කල මේ ප්‍රවේශය දැන් එතරම් වලංගු වන්නේ නැත. අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ් යෝජනා කරන්නේ මේ විවිධාකාර සමාජ ව්‍යාපාර එකිනෙක යා කිරීමේ “සාම්‍යතා දාමයක්” (chain of equivalence) ගොඩ නැගීමේ උපායමාර්ගයකි. 

    කෙසේ වුවද, එවන් සාම්‍යතා දාම ගොඩ නැගීමට ප්‍රයත්න දරන තවත් නායකත්වයන් සිටී. නිදසුනක් ලෙස, දැන් විමල් වීරවංශ බටහිර අධිරාජ්‍ය විරෝධයේ සටන් පාඨ සහිතව ජාතිකවාදයේ ධජය යටතේ අරගලකාරී සමාජ පැන නැගීම් සංවිධානය කර ගන්නට ප්‍රයත්න දරමින් සිටී. ඔහු ගොඩ නගන්නට ප්‍රයත්න දරන සාම්‍යතා දාමය තුළ සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ විරෝධතා නියෝජනය වන්නේ නැත.

    අනෙක් අතින්, මෙරට සුළුතර දේශපාලන නායකත්වයන් තවදුරටත් රට අභ්‍යන්තරයේ තමන්ට පිළිසරණක් ඇතැයි විශ්වාස නොකරන බැවින් අඩු තරමින් ඉන්දීය-එක්සත් ජනපද-යුරෝපා අක්ෂය තමන්ට මිත්‍රශීලී යැයි කල්පනා කරති; එබැවින් ඔව්හු ප්‍රසිද්ධියේම ජිනීවා දෙසට හැරෙති. වීරවංශ පෙරමුණ බටහිර අධිරාජ්‍යවාදයට පහර ගසමින් චීනය දෙසට හැරේ; තවදුරටත්, මානව අයිතීන් පිළිබඳ බටහිර කතිකාව විවේචනය කරමින් ලී කුවාන් යූ සහ මහතීර් මොහමඩ් වැන්නන් කතා කළ ආකාරයේ “ආසියාතික වටිනාකම්” ඉහළට ඔසවයි. අප රටේ සමකාලීන දේශපාලන පෙළ ගැසීම් මහා බලවතුන්ගේ භූ-දේශපාලනික උපායමාර්ග සමග සංකලනය වෙමින් පවතින්නේ එසේය.    

    මේ තතු යටතේ වාමාංශික නායකත්වයන් හමුවේ තිබෙන විශාලම අනතුරක් වන්නේ චීනය දෙසට හැරීමේ වීරවංශ උගුළට හසු වීමේ අවදානමයි. ජවිපෙ ඇතැම් නායකයින් දැනටමත් චීන ධනවාදය වඩා ප්‍රගතිශීලී යැයි කල්පනා කරන බව ඔවුන්ගේ ඇතැම් ප්‍රකාශවලින් පෙනේ. නමුත්, වම චීනය දෙසට හැරීමේ වීරවංශවාදී මග තෝරා ගන්නේ නම් ඉදිරියේදී ඔවුනට තම ජනතාවාදී සාම්‍යතා දාමය ගොඩ නගන්නට සිදු වනු ඇත්තේ මෙරට සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් එයින් බැහැර කරලමිනි. එවිට ජවිපෙද සිටිනු ඇත්තේ වීරවංශ-හෙජමොනියක් තුළය. ඊට වෙනස්ව, උතුරේ සහ සෙසු පෙදෙස්වල ප්‍රජාතාන්ත්‍රික බහුජන පැන නැගීම්ද සුසම්බන්ධ කර ගත් වාම ජනතාවාදී සාම්‍යතා දාමයක් ගොඩ නැගීම මේ මොහොතේ ලාංකීය දක්ෂිණාංශික හෙජමොනිය අභියෝගයට ලක් කිරීම සඳහා ඉතාම අවශ්‍ය වේ. (ග්‍රාම්ස්චි ඉතාලියේ දකුණේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රවේශය ලංකාවේ උතුරේ ප්‍රශ්නය සමග ගැලපූ කල්හි). 

    “ශ්‍රී ලංකාව ගෝලීය බලවතුන්ගේ සංග්‍රාම භූමියක් බවට පරිවර්තනය වීමට ඉඩ නොදෙමු” යන දේශප්‍රේමී සටන් පාඨයද සහිත පුළුල් වාම ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාරයක් අද අවශ්‍ය වී තිබේ. එවැන්නක් සාර්ථක වනු ඇත්තේ දකුණේ සේම උතුරේද තරුණ ප්‍රජාව ආකර්ෂණය කර ගන්නට එය සමත් වන තාක් දුරටය. නැතහොත්, දේශප්‍රේමයේ නාමයෙන් ජනවාර්ගික ප්‍රජාවන් පසමිතුරු කඳවුරුවලට බෙදී ගිය අසූව දශකයේ උගුළෙහි ලාංකීය වම නැවත සිර විය හැකිය. මෙරට තරුණ දේශපාලනයේ තවත් රැල්ලකට පෙර වමේ නායකත්වයන් මේ උභතෝකෝටිකය ගැන බරපතලව කල්පනා කළ යුතුව තිබේ. මන්ද යත්, අප කුමක් කීවද, අනාගත ලෝකය නිර්මාණය කෙරෙනු ඇත්තේ තරුණ ප්‍රජාව විසිනි. 

    පාසැල් වියේදී මගේ සටහන් පොතක එක්තරා සෝවියට් කතුවරයෙකුගේ (ඩොස්ටොයෙව්ස්කි විය යුතුය) ප්‍රකාශයක් මා ලියා තිබූ බව මට මතකය.                              

     “තරුණයිනි, ලෝකය ඔබේත් මගේත්ය; එහෙත්, අවසාන අරුතින් ගත් කල එය ඔබේය”    

    සුමිත් චාමින්ද 

  • නියාමනය පමණක් මදි පරිසරයත් සංවර්ධනය කළයුතුයි – ජනපති

    නියාමනය පමණක් මදි පරිසරයත් සංවර්ධනය කළයුතුයි – ජනපති

    ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම. ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව. ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙන්. රට තුළ වගා කළහැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළා. දැන් මේ භෝග රට තුළ වගා කිරීම පටන් අරන්. ඉන් ලැබෙන ආදායම යන්නේ අපේ ගොවීනට : අපේ ගමට” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

    කලින් රුපියල් 32ක් වූ  වී කිලෝවකට ගෙවන මිල රුපියල් 50ට වැඩි කිරීමෙන් පසු නිෂ්පාදනය සේම ගොවීන්ගේ ආදායම ද ඉහළ ගිය බව ද ජනපතිවරයා සඳහන් කරයි. වී මිල වැඩි කිරීමේ වාසිය එක් ප්‍රදේශයකට නොව මුලතිව්, කිලිනොච්චි, යාපනය දිස්ත්‍රික්කවල ජනතාවට ද හිමි වී ඇති බවත් මානව හිමිකම් ගැන කථා කරන පිරිස් මේ නිසා ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ ගැන කිසිවක් නොකියන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    ජනාධිපති රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ අද (18) සවස ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව අමතමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සෑම දිස්ත්‍රික්කයකින්ම කාන්තා ක්‍රියාකාරිණිහූ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනීහූ හමුවට එක්ව සිටියහ.

    තමාගෙත්, තම රජයේත් ජයග්‍රහණය උදෙසා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයෙන් ලැබුණු දායකත්වය අගයමින් අදහස් දැක්වීම ආරම්භ කළ ජනාධිපතිවරයා රජයේ ප්‍රගතිය මැන බැලීමේදී, රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රතිලාභ සලකා බලන්නැයි ඉල්ලීමක් කළේය.

    “කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු ජනතාව අතර බෙදී යනවා. එමගින් නිෂ්පාදකයාට සේම පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුකරන්න පිළිවන්. අපි බලයට පැමිණීමෙන් පසු විශාල වැඩකොටසක් කළා. උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කිරීමෙන් රජයේ සේවකයන්ගේ ආදායම ඉහළ ගියා. මේ ප්‍රගතිය නොදකින පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරමින් සිටිනවා” ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගත්විට රජයට නිහඬව සිටීමට නොහැකිය. දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ගවයනට ආහාර පිණිස තෘණ බිම් ඇතිකළ යුතුය. පාරම්පරික ඉඩම් ගොවීනට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවේ. රජය කිසිවිටෙකත් වනාන්තර කපා දමන්නට අනුබල දී නැත. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය මූලාශ්‍ර මගින් සපුරා ගැනීමට සැලසුම් කර තිබේ. පරිසර සංරක්ෂණයට එය විශාල පිටිවහලක් වනු නිසැකය. කටු පොල් වගාව නතර කිරීමෙන් දිස්ත්‍රික්ක ගණනාවක සිදු වෙමින් තිබූ පරිසර හානියට තිත තැබිණි. පරිසරය නියාමනය කරනවා සේම සංවර්ධනය කිරීම ද අවශ්‍ය බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    රජය බලයට පැමිණීමෙන් පසු ජනතාවගේ යහපත පිණිස විශාල කාර්යභාරයක් ඉටුකර ඇති බව පෙන්වා දුන් ජනපතිවරයා රටට සතුරු බලවේග මේ සත්‍යය යටපත් කිරීමට බොරු ගොතා ප්‍රචාරය කරන බව කීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තිස් අවුරුදු යුද්ධය අවසන් කොට පෙර නොවූ විරු ආර්ථික සංවර්ධනයක් ඇති කළේය. එහෙත් විරුද්ධවාදීන් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයෙන් මුලා වූ ජනයා 2015 දී එතුමා පරාජය කළහ. ඉන්පසු සිදුවූයේ දැවැන්ත විනාශයකි. ජාතික ආරක්ෂාව බිඳ වැටිණ. ආර්ථිකය ද කඩා වැටිණ. රටේ ස්වාධීනත්වය පාවා දෙනු ලැබීය. දැන් නැවත වරක් අපි රට එදා තිබුණු තත්ත්වයට පත් කිරීමට වැඩකරමින් සිටින්නෙමු යයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

    තමාගේ අවංක උත්සාහය රට ගොඩනැගීමෙන් ජනතාවට සමෘද්ධිය අත්කරදීම බව කී ජනාධිපති රාජපක්ෂ මහතා ඒ අරමුණ දිනාගැනීම සඳහා එක්ව වැඩකරමුයයි පොදුජන පෙරමුණු කාන්තා නියෝජිතවරියනට පැවසීය.

    අද හමුවට සහභාගී වූ කාන්තා නියෝජිතවරියෝ පොදුවේ සමාජයටත්, තමන් අයත් දිස්ත්‍රික්කවලටත් අදාළ ප්‍රශ්න ගණනාවක් ජනාධිපතිතුමා හමුවේ විස්තර කළහ. ස්වයං රැකියා මාර්ග උදා කිරීම, බැංකු ණය ලබා ගැනීමේ අපහසුව, ක්ෂුද්‍ර ණය ගැටළුව, ගම්බද නිවාස ප්‍රශ්නය, ජීවන වියදම, මත්ද්‍රව්‍ය උවදුර, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න ඒ අතර විය. මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් උවදුර මුලිමනින් තුරන් කිරීමට යම් කලක් ගතවනු ඇති බවත් ජනාධිපතිවරයා කීය.

    මේ වසර තුළ ස්ත්‍රීන් උදෙසා ස්වයං රැකියා දෙලක්ෂයක් උත්පාදනය කිරීමට නිශ්චිත පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. “රජය කරවල සහ උම්බලකඩ ආනයනය සීමා කළා. කාන්තාවනට රැකියාවක් ලෙස දැන් මේ ද්‍රව්‍ය  සැකසීමේ නිරතවන්න පිළිවන්. කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ස්වයං රැකියා උත්පාදනයට පුළුල් ඉඩකඩක් තිබෙනවා” බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ නායිකා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ගීතා කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මංජුලා දිසානායක, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ප්‍රශාන්ති, ඩයනා ගමගේ යන මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ලබන සතියේ පාර්ලිමේන්තුව දින 4ක් රැස්වේ

    ලබන සතියේ පාර්ලිමේන්තුව දින 4ක් රැස්වේ

    ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17 ) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

    පසුගිය මාර්තු 10 වැනිදා ආරම්භ කළ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සඳහා මාර්තු 25 සහ මාර්තු 26 යන දෙදින වෙන්කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මාර්තු 23 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ වීමේන් පසු පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා වෙන්කරනු ඇත. එදින මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න 10ක් සඳහා මෙලෙස කාලය වෙන්වෙනු ඇත.

    ඉන්පසු පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා රේගු ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ ආනයන තීරුබදු සම්බන්ධව වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසි 2ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද විවාදයට ගැනීමට නියමිතය.

    එදින පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව ධම්මික දසනායක මහතා පැවසීය.

    ඉන් පසු දිනය වන මාර්තු 24 වෙනිදා පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන්කෙරේ. එදින පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි 2ක් විවාදයට ගනු ලබන බව මහලේකම්වරයා පැවසීය. ඉන් අනතුරුව පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

    මාර්තු 25 සහ 26 යන දෙදින වෙන්වනුයේ 2019 අප්‍රෙල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය නැවත පැවැත්වීම සඳහාය.

    මාර්තු 25 වැනිදා පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන්කරෙන නමුත් මාර්තු 26 වෙනිදා වාචික ප්‍රශ්න හෝ ස්ථාවර නියෝග 27 (2) යටතේ ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න නොවිමසා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා මුළු කාලය තුළදීම සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව දසනායක මහතා සඳහන් කළේය.

    මේ අතර එදිනට කල්තැබෙන වාචික ප්‍රශ්න සහ අනෙකුත් වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන්කිරීම පිිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා විමසූ අවස්ථාවේදී පිළිතුරු දුන් ගරු සභානායක සහ විදේශකටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මන්තීවරුන්ගේ වාචික ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම සඳහා ඉදිරියේදී දිනයක් හෝ දින 02ක් වෙන්කිරීමට පියවර ගැනීම සඳහා අවධානය යොමුකරන බව පැවසීය.

    එමෙන්ම දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ 2015 ජනවාරි 15 වැනිදා සිට 2019 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතන වල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී විවාදයට ගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අවධානයට ලක් විය.

    මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, එම්. ඒ්. සුමන්තිරන් යන මහත්වරුන්ද කාරක සභා සාමාජිකයෙක් නොවන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ‌‌‌‌ෆොන්සේකා මහතාද එක්ව සිටියහ.

  • රවී කරුණානායක රිමාන්ඩ්

    රවී කරුණානායක රිමාන්ඩ්

    ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) නියම කළේය.

    පොදු දේපළ පනත ඇප පනතට අදාළ වීම සහ නොවීම සම්බන්ධයෙන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දෙකට එක වශයෙන් බෙදුණු තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළත් බෙදුණු තීන්දු දෙකෙන්ම විත්තිකරුවන් රිමාන්ඞ් බාරයට පත් කිරීමට නියම කර තිබිණි.

    හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අමතරව මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එම සමාගමේ සේවකයින් වන, චිත‍්‍රා රංජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර නමැත්තන්ය.

    මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් අධිකරණය ඉදිරිපත් වුයේ නැති අතර ඔවුන් විදේශගතව සැඟවී සිටින බව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.

    මෙම නඩුව ලබන 23 වැනිදා යළි කැවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කෙරිණි.

    දමිත් තොටවත්ත (සභාපති) මංජුල තිලකරත්න සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග විය.

  • ‘අසාද් සාලි’ අත්අඩංගුවට ගනී

    ‘අසාද් සාලි’ අත්අඩංගුවට ගනී

    පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා.

    1978 ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප‍්‍රකාරව අසාද් සාලි මහතා වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් ප‍්‍රකාරව අත්අඩංගුවට ගැනීම සිදු වූ බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අසාද් සලි මහතා රටේ නීතිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිදු කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් සිදු කරන බව ද පැවසුවා.

  • එදත්, අදත් ජාතික ආරක්ෂාවට මුල් තැන – ජනපති ‘ගම සමග පිළිසඳරේදී’ කියයි

    එදත්, අදත් ජාතික ආරක්ෂාවට මුල් තැන – ජනපති ‘ගම සමග පිළිසඳරේදී’ කියයි

    විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

    “විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පසුගියදා කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එය ජාතික ආරක්ෂාවට ඝෘජුව බලපාන ප්‍රකාශයක්. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශනය කළා. ප්‍රකාශය කළ මන්ත්‍රීවරයා මට අමතකවුණා, සිහිනැතිවුණා, දන්නේ නෑ  යනුවෙන් විවිධ උත්තර දුන්නා.  මෙවැනි පදනම් විරහිත චෝදනා නගමින් කිසිවිටෙකත් ජනතාව මුලා නොකළ යුතුයි” ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    මානව හිමිකම් කවුන්සිලය අපට විරුද්ධව ගෙනා යෝජනාවට පසුගිය රජය සම අනුග්‍රහය දැක්වීය. එකී ස්ථාවරය ප්‍රතික්ෂේප කළ වත්මන් රජය සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් විය. MCC ගිවිසුම ඇතුළු රටට අහිතකර ගිවිසුම් වලින් ක්‍රමානුකූලව ඉවත්ව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු ලැබීය. උද්ඝෝෂකයන්ට බැටන් පහර සහ කදුළු ගෑස් වෙනුවට විරෝධය පළ කිරිමට වෙනම ස්ථානයක් පවා වෙන් කෙරිණ. ජාතිකත්වයට, දේශීයත්වයට ප්‍රමුඛතාව දෙමින් කෘෂි ආර්ථිකයක් ගොඩනගමින් අපේ ගොවියා රැක ගැනීමට පියවර ගන්නා ලදී.

    මෙතෙක් කල් පිට රට ගොවීන් පොහොසත් කළ ආර්ථික පිළිවෙත වෙනස් කොට රට තුළ වගා කළ හැකි දේ වගා කරමින් අපේ ගොවියා පොහොසත් කිරීමට පරිසරය නිර්මාණය කෙරිණ. මෙවැනි පසුබිමක මානව හිමිකම් කවුන්සිලය ප්‍රථම වතාවට රජයට එරෙහිව වැඩිම චෝදනා ගණනක් සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අයුරු තමා දැකගත්තේ මෙවර බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

    අද (13) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, ගලගොඩ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසමේ ජනපද කනිටු විදුහල් භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 14 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

    2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රීකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිවරයාගේ අරමුණයි.

    විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

    අම්බලන්ගොඩ නගරයේ සිට කි.මි 7ක දුරින් දකුණෙන් සහ නැගෙනහිරින් මාදම්පාවිල අභය භූමියටත්, බටහිරින් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලීගොඩ ග්‍රාමයටත් මායිම්ව ගලගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. ගලගොඩවත්ත සුනාමි ගම්මානය, ගලගොඩ ජනපදය සහ ගලගොඩ නව ජනපදය ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 1072කින් සමන්විත ගලගොඩ නැගෙනහිර ග්‍රාමයේ ජනගහණය 3711කි. ධීවර කර්මාන්තය, වී වගාව, කුරුඳු සහ කොහු කර්මාන්තය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

    “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවීමට ගලගොඩ මගනැගුම පිටියට පැමිණි ජනාධිපතිවරයා එතැන් සිට ජනපද කණිටු විදුහල දක්වා මාර්ගය දෙපස රැස්ව සිටී ජනතාව සමග කථා බහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය.

    SLT මොබිටෙල් ආයතනය ජනපද කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කළ අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, කුලීගොඩ සුමන විද්‍යාලයට හා කුමාර කාශ්‍යප විද්‍යාලයට අන්තර්ජාල සබඳතා සහිත ලැප්ටොප් පරිගණක හා ඩයලොග් ආයතනය පිරිනැමූ රූපවාහිනි යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

    “ගම සමග පිළිසඳර” ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රදේශයේ විහාරස්ථානවල පවතින අඩුපාඩු පිළිබඳව මහා සංඝරත්නයෙන් විමසීය.

    මාදම්පාගම මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමට, අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලය, පැරෑලිය ශ්‍රී ජිනරතන විද්‍යාලය, ජනපද කණිෂ්ඨ විද්‍යාලය, වේරගොඩ විජයබා ද්විතියික පාසල, අකුරල කණිෂ්ඨ විද්‍යාලය, කුලීගොඩ සුමන විද්‍යාලය, කහව රතනසාර විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ පාසල් රැසක ක්‍රීඩා පිටි සහ යටිතල පහසුකම් සංවර්ධනයට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

    ගලබොඩ සහ අවට ගම්මානවල ජනයාගේ ප්‍රධාන ජීවනෝපායක් වන ධීවර කර්මාන්තයට බලපාන ගැටළු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව ගැමියන් සහ නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

    පැරෑලිය, දොඩන්දූව, අම්බලන්ගොඩ, හික්කඩුව හා බලපිටිය ධීවර වරාය සංවර්ධනය කඩිනම් කරන්නැයි එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මාදැල් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයන්ගේ ගැටළුවලට විසඳුම් දීමට විශේෂ අවධානය යොමු කෙරිණ.

    සුනාමි ධීවර නිවාස ප්‍රතිසංස්කරණයට සහ ඉඩම් හිමිකම් පිළිබඳව දීර්ඝ කාලයක සිට පැවති ගැටළු කඩිනම් නිරාකරණයට  රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

    ප්‍රදේශයට ආවේණික කොහු ලනු, පැදුරු, කොහු සහ ඉදල් කර්මාන්තය ඇතුළු වෙනත් හස්ත කර්මාන්තකරුවන් මුහුණ පා සිටින ගැටළු විශේෂයෙන් විමර්ශනය කළ ජනාධිපතිතුමා ඔවුනට අවශ්‍ය පහසුකම් සහ වෙළෙඳපොළ සපයා දෙන ලෙස නිලධාරීන්ට දැන්වීය.

     බලපිටිය, මාදුව පාලම, රත්තගම දේවිතිගොඩ පාලම ඉදිකිරීම ඇතුළු ප්‍රදේශයේ මාර්ග 21ක් සහ කෙටිදුර මාර්ග 49ක් කාපට් අතුරා සංවර්ධනයට තීරණය කෙරිණ.

    බූස්ස, පිටිවැල්ල, කදුරූපේ ප්‍රදේශවල පුරන්ව ඇති කුඹුරු ජලාශ බවට පත්කර මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සවංර්ධනයට අනුමැතිය හිමි විය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ හඳුනාගෙන ඇති පුරන් කුඹුරු අක්කර 700ක පොල් වගා කිරීමට, අක්කරය බැගින් තරුණයන් 700ක් අතර බෙදා දෙන ලෙස  ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    සංචාරක, සෞඛ්‍ය, පානීය ජල, විදුලිය, කිරිගව පාලනය ඇතුළු ක්ෂේත්‍ර රැසක පවතින ගැටළු කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.

    හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටී පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. අද ජනාධිපතිතුමා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 05ක් වෙත සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.

    “ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින්  ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

    අමාත්‍ය රමේෂ් පතිරණ, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, චන්දිම වීරක්කොඩි, ඉසුරු දොඩංගොඩ, ශාන් විජයලාල්ද සිල්වා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් ගලගොඩ නැගෙනහිර ජනපද කනිටු විදුහලේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

    (  ඡායාරූප : උපුල් නිලංග, ඩී. සමරකෝන්, ශාමික වක්වැල්ල – ජනාධිපති මාධ්‍ය අංශය)

  • ජිනීවා මානව හිමිකම් කොමිෂමට ‘ශ්‍රී ලංකාවට’ ආර්ථික සම්බාධක පැනවිය හැකිද?

    ජිනීවා මානව හිමිකම් කොමිෂමට ‘ශ්‍රී ලංකාවට’ ආර්ථික සම්බාධක පැනවිය හැකිද?

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙන අතර නැවතත් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව වාර්තාවක් එහි සාකච්ඡාවීමත් එක්සත් රාජධානිය ඇතුළු රටවල් සමූහයක් තවත් යෝජනාවක් සම්මත කිරීමට සැලසුම් කිරීමත් හේතුවෙනි.

    කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ හා මලාවි යන රටවල් ද අදාළ සමූහයට අයත් වේ.

    එම රටවල් සමුහය, ශ්‍රී ලංකාව පිළිබඳ කෙටුම්පත් කෙරුණු යෝජනාවක් මාර්තු 16 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත.

    ‘ද අයිලන්ඩ්’ පුවත් පත පසුගිය දා වාර්තා කර තිබුණේ “ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහයෝගය ලබා ගැනීමට, එහි සම අනුග්‍රහකත්වය දරන සාමාජිකයින් වන කැනඩාව සහ එක්සත් රාජධානිය දැඩි ලෙස ප්‍රවර්ධනයක යෙදෙමින් සිටිති.” යනුවෙනි.

    එහි වැඩිදුරටත් දැක්වුණේ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්, බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් කොළඹ 07 හි කැනඩා මන්දිරයේදී (කැනඩා මහ කොමසාරිස් නිල නිවස) හමුවූ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් එච්.සී. සාරා හල්ටන් දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් ද මෑතකදී හමුවූ බවය. බංග්ලාදේශය මෙන්ම දකුණු කොරියාව ද සාමාජික රටවල් 47ක ගෙන් සමන්විත මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල් ය. සාමාන්‍යයෙන් මෙම රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර රැස්වීම් ඉතා දුර්ලභ බව ‘ද අයිලන්ඩ්’ පුවත්පත වැඩිදුරටත් පවසා තිබිණි.

    එහෙත් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ”තමාව ආවේක්ෂණය කරන්නේද යන්නයි.

    එහෙත් සම අනුග්‍රාහක රටවල් සමූහය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට වඩා බෙහෙවින් වෙනස් නිර්දේශයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ඉරිදිපත් කරන ලද වාර්තාවේ සඳහන් වන අතර එමගින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ හිංසනයේ යෙදුනු පුද්ගලයන් ට එරෙහිව ඉලක්කගත සම්බාධක, ඔවුන්ගේ වත්කම් අහුරාලීම සහ සංචාරක තහනම් කිරීම් සලකා බලන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලින් ඇය ඉල්ලා සිටියාය.

    මිෂෙල් බැෂලේ ගේ වාර්තාව පසුගිය දා අන්තර්ක්‍රියාකාරී සංවාදයට ගැනුණු අතර නිකරගුවා, එරිත්‍රියා සහ උතුරු කොරියා ඇතුළු රටවල් 21 ක් ශ්‍රී ලංකාවට සහය පළ කරමින් කතා කළහ. නිකරගුවා, එරිත්‍රියා සහ උතුරු කොරියාව ද මානව හිමිකම් කවුන්සිලය තුළ ඔවුන් පාදක කරගත් යෝජනාවලට මුහුණ දී සිටිති.

    කියුබාව, වෙනිසුවෙලා, ඉන්දුනීසියාව, පාකිස්ථානය මෙවර මෙන් අතීතයේ දී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලට එරෙහිව පැහැදිලි ස්ථාවරයක් ගත් රවල් අතර සිටිති. එහෙත් අතීතයේදී ඔවුනට එම යෝජනා පරාජය කිරීමේ හැකියාව නොලැබිණි.

    “රටවල් 21 ක සහයෝගය, මුහුණ දීමට ඇති ප්‍රශ්ණයට ප්‍රසන්න යථාර්ථයක් නොවේ, අසර්බයිජානය කවුන්සිලයේ හෝ වෙනත් ඕනෑම තැනක ශ්‍රී ලංකාව වෙනුවෙන් කථා කිරීම ඇත්ත වශයෙන්ම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහයෝගයෙන් කථා කිරීම අතර විශාල වෙනසක් පෙන්නුම් කරනවා. එසේ නොදැකීම ප්‍රශ්නයේ නියම ස්වභාවය ගණනය කිරීමට අපොහොසත් වීමක්,”යනුවෙන් මාධ්‍යවේදී දරිෂා බැස්ටියන් පැවසුවාය.

    රට තුළ මේ වන විට විවිධ මත පැතිරෙන අතර ඇතැම් පුද්ගලයන් පවසන්නේ මානව හිමිකම් කවුසිලයේ යෝජනාව හරහා රටට ආර්ථික සම්බාධක පැනවීම වැනි අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවය. එහෙත්, සැබෑවටම මානව හිමිකම් කවුන්සිලයට එසේ කළ හැකිද?

    මානව හිමිකම් කවුන්සිලයේ සංයුතිය

    කවුන්සිලය සාමාජික රටවල් 47 කින් සමන්විත වන අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකයින්ගේ සෘජු හා රහසිගත ඡන්ද විමසීමකින් එම සාමාජික රටවල් තෝරා ගනු ලැබේ. මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා එම අපේක්ෂක රාජ්‍යයන්ගේ දායකත්වය මෙන්ම ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ කැපවීම් සහ ස්වේච්ඡාවෙන් ක්‍රියාකිරීම මහ මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලබයි.කවුන්සිලයේ සාමාජිකත්වය පදනම් වන්නේ සමාන භූගෝලීය ව්‍යාප්තිය මත ය. ඒ අනුව අප්‍රිකානු රටවලට ආසන 13 ක්, ආසියා – පැසිෆික් රටවලට ආසන 13 ක්, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවලට ආසන 8 ක්, බටහිර යුරෝපීය සහ අනෙකුත් රාජ්‍යයන්ට ආසන 7 ක්, නැගෙනහිර යුරෝපීය රටවලට ආසන 6 ක් මානව හිමිකම් කවුන්සිලයේ ආසන වෙන්වී ඇත.

    වසර තුනක සාමාජික කාලයක් අදාළ රටවලට හිමිවන අතර අඛණ්ඩව වාර දෙකක් සාමාජිකත්වය දැරීමෙන් පසු වහාම නැවත තේරී පත්වීමට සුදුසුකම් නොලබයි.මානව හිමිකම් කවුන්සිලය නිර්මාණය කිරීම සඳහා 2006 මාර්තු මාසයේදී 60/251 යෝජනාව සම්මත කරන විට රාජ්‍යයන් විසින්ම අවධාරණය කරන ලද නිර්ණායකයට අනුව කවුන්සිලයේ සාමාජිකත්වය ලැබීමත් සමඟ ඉහළ මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කිරීමේ වගකීම එම සාමාජික රටවලට පැවරේ.

    සභාපතිවරයෙක් සහ උප සභාපතිවරු හතර දෙනෙක් ඇතුළත් වන කවුන්සිලයේ මාධ්‍යම කාර්යාංශය සමන්විත වනුයේ, කලාපීය කණ්ඩායම් පහ නියෝජනය කරන පුද්ගලයින් පස් දෙනෙකුගෙනි. ඔවුන් වසරක කාලයක් සේවය කරනුයේ කවුන්සිලයේ වාර්ෂික චක්‍රයට අනුකූලව ය.

    සාමාජික රටවල්

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ගණන 47 කි. 2020 ජනවාරි 1 වෙනිදා වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193න් 117 ක් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් ලෙස සේවය කර ඇත.

    පහත සාමාජික ලැයිස්තුවෙන් 2006 සිට 2020 දක්වා සමාජිකත්වය දැරූ රටවල් පෙන්නුම් කෙරේ.

    ඇෆ්ගනිස්ථානය, ඇල්බේනියාව, ඇල්ජීරියාව, ඇන්ගෝලාව, ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, බහමාස්, බහරේනය, බංග්ලාදේශය, බෙල්ජියම, බෙනින්, බොලිවියාව (බහුත්ව රාජ්‍ය), බොස්නියාව සහ හර්සගොවිනා, බොට්ස්වානා, බ්‍රසීලය, බල්ගේරියාව, බුර්කිනා ෆාසෝ කැමරූන්, කැනඩාව, චිලී, චීනය, කොංගෝ, කොස්ටාරිකා, කෝට් ඩි අයිවෝර් (අයිවරි කෝස්ට්), ක්‍රොඒෂියාව, කියුබාව, චෙකියා (චෙක් ජනරජය), කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඩෙන්මාර්කය, ජිබුටි, ඉක්වදෝරය, ඊජිප්තුව, එල් සැල්වදෝරය, එරිත්‍රියාව, එස්තෝනියාව, ඉතියෝපියාව, ෆීජි, ෆින්ලන්තය, ප්‍රංශය, ගැබොන්, ජෝර්ජියාව, ජර්මනිය, ඝානා, ග්වාතමාලා, හංගේරියාව, අයිස්ලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, අයර්ලන්තය, ඉතාලිය, ජපානය, ජෝර්දානය, කසක්ස්තානය, කෙන්යාව, කුවේට්, කිර්ගිස්තානය, ලැට්වියාව, ලිබියාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මාලි, මාෂල් දූපත්, මොරිටේනියාව, මුරුසිය, මෙක්සිකෝව, මොන්ගෝලියාව, මොන්ටිනිග්‍රෝ, මොරොක්කෝව, නැමීබියාව, නේපාලය, නෙදර්ලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, පාකිස්ථානය, පැනමාව, පැරගුවේ, පේරු, පිලිපීනය, පෝලන්තය, පෘතුගාලය, කටාර්, කොරියානු ජනරජය, මෝල්ඩෝවා ජනරජය, උතුරු මැසිඩෝනියා ජනරජය, රුමේනියාව, රුසියානු සමූහාණ්ඩුව, රුවන්ඩාව, සවුදි අරාබිය, සෙනෙගල්, සියරා ලියොන්, ස්ලොවැකියාව, ස්ලොවේනියාව, දකුණු අප්‍රිකාව, සෝමාලියාව, ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, සුඩානය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, ටෝගෝ, ටියුනීසියාව, උගන්ඩාව යුක්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, උරුගුවේ, වෙනිසුවෙලා (බොලිවේරියානු ජනරජය), වියට්නාමය, සැම්බියාව.

    කවුන්සිලයේ බලතල

    මානව හිමිකම් කවුන්සිලයේදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ මෙන් කිසිදු රාජ්‍යයකට නිෂේධ බලය හිමිවී නොමැත. යෝජනා සම්මත වන්නේ සම්මුතියෙන් හෝ බහුතර ඡන්දයෙනි. එමනිසා චීනය සහ රුසියාව වැනි රටවලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ “නිෂේධ බලය” ඇති බවට පැවසීම නිවැරදි නොවේ.

    ආර්ථික හෝ වෙනත් ආකාරයකින් සම්බාධක පැනවීමේ හැකියාවක් මානව හිමිකම් කවුන්සිලයට නොමැත.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කිරීමට හෝ නොකිරීමට අදාළ රාජ්‍යයන් බැඳී නොමැත. එහි අර්ථය වනුයේ එයට අනුගත වීම සඳහා රජයකට “බල කිරීමක්” සිදු වන නමුත් සෘජු ප්‍රතිවිපාක, සම්බාධක හෝ දඩුවම් ලබාදීමට කවුන්සිලයට හැකියාවක් නොමැත. එහෙත් කවුන්සිලයේ යෝජනාවලින් හෙළිකරන මානව හිමිකම් කඩවීම ඉස්මතු කිරීම තුළින් ඒවා පදනම් කර තනි තනි රවවල් ද්විපාර්ශ්වික සම්බාධක පැනවීම වැනි ප්‍රතිවිපාක ඇතිවිය හැකිය.

    බැෂලේ ගේ වාර්තාවේ “ඉලක්කගත සම්බාධක” සඳහා කැඳවීමක් යෝජනා කිරීම තුළින් අදහස් කෙරෙන්නේ සමස්ත රටට නොව, එම වාර්තාවේ හදුන්වා දී ඇති පුද්ගලයන්ට එරෙහි සම්බාධක පැනවීම සඳහා තනිවම තීරණය කිරීමේ හැකියාව රජයන්ට ඇති බවය. යුද වකවානුවේ අපයෝජනයන්ට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර සංචරණය හෝ වෙළෙඳ ගනුදෙනුවල යෙදීම වළක්වා ඇත.

    මෙය දැනටමත් ඇතැම් රටවල් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයකි. උදාහරණයක් ලෙස දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය විසින් හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සංචාරක තහනමක් පනවනු ලැබ ඇත.පෙර වසරවල මෙන් නොව, දැනට මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වී සිටින එක්සත් ජනපදය නැවත මානව හිමිකම් කවුන්සිලයට එක්වීමේ වෑයමක නියැලෙයි. ඔවුනට තවමත් ඡන්ද අයිතිය ලබා දී නොමැත.

    එමනිසා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ සම අනුග්‍රාහකයන්ට තවමත් සිය යෝජනාවට බහුතර කැමැත්ත ලබාගැනීමට හැකිවේදැයි සැක සහිත වන්නේ චීනය, රුසියාව සහ පාකිස්තානය යන සියල්ලන්ටම කවුන්සිලයේ ඡන්ද අයිතිය ඇති අතර එය සැලකිය යුතු ඡන්ද බලයක් වන බැවිනි.

    නමුත් මෙම යෝජනාව කවුන්සිලයේ පරාජයට පත්වුවද, එම රටවලට තනි තනිව තීරණ ගැනීමේ හැකියාව තිබේ.

    Text by bbc

  • ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර වාර්තාවේ අඩංගු සියල්ල අනාවරණය කළා

    ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර වාර්තාවේ අඩංගු සියල්ල අනාවරණය කළා

    පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.

    කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කරන ලදී. මහජන නියෝජිතයන් නැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වේ. මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා  මේ බව පැවසීය .

    රටේ ජාතිකත්වයට, දේශීයත්වයට හා ආරක්ෂාවට මුල් තැන දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ ජනතාවට වූ පොරොන්දු ඉටු කරමින් ගත වූ මාස 15ක කාලය තුළ තීරණ ගත් බව රාජපක්ෂ මහතා කීය.

    ජාතිකවාදී රජයක් බලයට පැමිණි සෑම අවස්ථාවකදීම දේශීය මෙන්ම විදේශීය බලවේග එය බිඳ දැමීමට ක්‍රියා කළේය.  මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයෙන් ඉවත් කිරීමට ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයට හසු වීමෙන්, පසුගිය වසර 05 තුළ රට කොතරම් පසුපසට ගමන් කළේද යන්න වටහා ගත යුතුය. ඒ නිසා සමස්ත රට මෙන්ම භික්ෂුන් වහන්සේ, රණවිරුවන් පත්වූ අපහසුතාව ජනතාව අවබෝධ කරගෙන සිටිති.

    රජය වර්තමානයේ ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට එකී බලවේග නැවත උත්සාහ දරමින් සිටී. ඊට හසු වුවහොත් අත්විඳීමට සිදු වන ප්‍රතිඵල ගැන ජනතාව දැනුවත් කිරිමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ජාතික ආරක්ෂාව තහවුරු කරමින් පාතාලය සහ මත්ද්‍රව්‍ය නැති කිරීමට විශාල වැඩකොටසක් කර තිබේ. රැකියා උත්පාදනය කෙරෙන සහ කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකයකට ශක්තිමත් අඩිතාලමක් යොදා ඇත.

    පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිෂමේ වාර්තාව සම්බන්ධයෙන්  විපක්ෂය විවිධ මත ඉදිරිපත් කරයි. කාදිනල්තුමාගේ එකඟතාව සහ විශ්වාසය මත කොමිෂමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට පියවර ගැනිණ.

    පෙබරවාරි 01 දා භාරදුන් වාර්තාව දින 28ක් තුළ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් කොමිෂන් සභා වාර්තාව සැඟවීමට උත්සාහ කරන බවට විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙන යයි. ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර සෙසු සියල්ල ජනතාව හමුවේ තබා ඇත.

    විශාල ආන්දෝලනයක් ඇති කළ MCC ගිවිසුම ඉවත් කරගෙන තිබේ. රණවිරුවන්ට හා රටේ ස්වෛරීත්වයට දැවැන්ත පහරක් එල්ල කළ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී  ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ යෝජනාවට දුන් සම  අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනිණ. කෙටි කාලයක් තුළ රට වෙනුවෙන් ගෙන ඇති මේ ක්‍රියාමාර්ග ගැන කිසිවෙක් කතා නොකරති. එසේ වුවද ජනතාව ඉදිරියේ තැබූ  පොරොන්දු හා ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් රටේ උන්නතිය උදෙසා කැප වන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

    ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවම් සහ ජයන්ත කැටගොඩ හා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරුනගේ සංගමයේ සභාපති කාංචන ජයරත්න යන මහත්වරු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : සුමින්ද කීර්ති – ජනාධිපති මාධ්‍ය අංශය )

  • ‘ජාතික ඇඳුමෙන් සැරසී සිටි’ තරුණ ව්‍යවසායකයින් පිරිසකට අගමැති කී කතාව

    ‘ජාතික ඇඳුමෙන් සැරසී සිටි’ තරුණ ව්‍යවසායකයින් පිරිසකට අගමැති කී කතාව

    රට ජාතිය ගැන හැඟීම තිබෙන තරුණ ව්‍යවසායකයින් පිරිසක් ජාතික ඇඳුමෙන් සැරසී සිටිනු දැකීම විශාල ආඩම්බරයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) දින පස්වරුවේ පැවසීය.

    කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ 22 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    හිටපු සභාපති චමත් කෝට්ටගේ මහතා එම තනතුරේ කාලය අවසන් කිරීමත් ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සාරංග ගුණවර්ධන මහතා පත්වීමත් මෙහිදී සිදුවිය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය.

    ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයට දැන් වසර 22 ක් සම්පූර්ණ වෙනවා.

    මට මතකයි මේ ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය ආරම්භ කරපු කාලය. 1999 දී මම මේ සංගමය ආරම්යට සම්බන්ධ වුණා.

    මම ඒ කාලයේ ධීවර ඇමතිවරයා. 17 දෙනෙකුගෙන් තමයි එදා මේ සංවිධානය ආරම්භ කළේ.

    එදා ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයට සම්බන්ධ වුණ අයට රටේ ඉන්න අනෙකුත් ව්‍යාපාරිකයින් එකට එකතු කරගෙන සංසදයක් හැටියට ඉදිරියට යන්න  ලොකු වුවමනාවක් තිබුණා. ඒ 17 දෙනා ඉතාමත් ධෛර්යවන්තව, අරමුණක් ඇතිව වැඩ කරන පිරිසක් වීම නිසා තමයි අවුරු 22 තුළ මෙච්චර දුර ගමනක් එන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.

    එදා සම්බන්ධ වුණ අයගෙන් ජගත් සුමතිපාල වගේ අය තවමත් මේ සංවිධානයේ ඉන්නවා දකින්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

    මේ වෙනකොට මේ සංවිධානයේ විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාර වල යෙදෙන 120 දෙනෙකු සාමාජිකත්වය දරන බව මට දැනගන්න ලැබුණා. ඒ වගේම  මේ රටේ දළ දේශිය නිෂ්පාදනයට බිලියන 600ක පමණ දායකත්වයකුත් ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි, ලක්ෂ 4කටත් වඩා වැඩි පිරිසකට රැකියා සපයනවා.

    මිත්‍රවරුනි,

    මම දේශපාලනය ආවේ 70 දශකයේ. 1970 දී දේශපාලනයට ආපු මට ඒ කාලයේ රටේ අගනගරය වන කොළඹ හිටපු අපේ ලාංකික ව්‍යාපාරිකයෝ මුණ ගැහිලා තිබෙනවා. ඒ අයගේ ආකල්ප, හැසිරීම් මම දැකලා තියෙනවා.

    ඒ අයට රට ගැන හැඟීමක් තිබුණා. ඒ අය රටේ දේශිය නිෂ්පාදනය ගොඩගැනීම ගැන හිතපු අය. බොහෝ දෙනෙක් පිට පළාත්වලින් කොළඹ ඇවිල්ලා ව්‍යාපාරිකව හැදුණු වැඩුණු අය. ඒ නිසාම ඒ අය අතරේ ලොකු සම්බන්ධයක් තිබුණා.

    මිත්‍රවරුනි,

    1977 දී විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දුන්නා. විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දීමත් එක්කම එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට විශාල වශයෙන් බලපෑම් ඇතිවුණා.

    ඒ අයට වෙනස් වෙන්න සිද්ධ වුණා. විවෘත ආර්ථිකය යටතේ ප්‍රධාන කාරණයක් තමයි තරගය. තරගකාරීව ව්‍යාපාරයේ යෙදෙන තැනැත්තා ජයග්‍රහණය කිරීම තමයි විවෘත ආර්ථිකයේ ක්‍රමය. තරගය මත තමයි සේරම තීරණය වුණේ.

    විවෘත ආර්ථිකය පැමිණීමත් එක්කම ශක්තිවන්තයා ඉතුරු වෙලා දුර්වල තැනැත්තා හැලිලා ගියා. ඒ විතරක්ද? මේ තරගය නිසා අපිට විශාල දේවල් ප්‍රමාණයක් අහිමි වුණා.

    මේ තත්ත්වය යටතේ තමයි අපේ සාරධර්ම තියෙන ව්‍යාපාරික එකමුතුවක් ඕන කියලා මීට අවුරුදු 22කට කලින් කොළඹ හිටපු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ පිරිස කල්පනා කරන්න ගත්තේ. ඒ අරමුණින් තමයි ඔබ සියලුදෙනා එදා ඒකරාශි වුණේ.

    දැන් තරගය වෙනුවට සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ගොඩනැගෙන්න  පුළුවන්  කියන හැඟිම ,දැක්ම අපේ ව්‍යාපාරික සමාජයට ඇවිල්ලා තියෙනවා. ඒක ඇති කරන්න මූලික වුණ ලාංකේය තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය (COYLE-කොයිල්) ගැන අපේ ගෞරවයක් තියෙනවා.

    මිත්‍රවරුනි,

    එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට රට ගැන ලොකු හැඟීමක් තිබුණා. බොහෝ ව්‍යාපාරිකයින් තමන් උපයපු බොහෝ දේවල් රජයට හා සමාජයට දුන්නා. එහෙම නැත්නම් සමාජ සේවා කටයුතු වලට දායක වුණා.

    අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ රටේ රෝහල්, පාසල් පරිත්‍යාග කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නොවෙයි. අපේ ව්‍යාපාරිකයින්ගේ දේපළ තමයි සොයිසා වටරවුමේ තියෙන්නේ.

    කොළඹ මහ රෝහල, විශාඛා විද්‍යාලයේ ඉඳන් බොහෝ දේවල් මේ රටේ ව්‍යාපාරිකයින් පරිත්‍යාග කළ දේවල්.

    එදා ඒ ව්‍යාපාරිකයින් ඒවා පරිත්‍යාග කළේ ව්‍යාපාරික අරමුණින් නොවෙයි. රට ගැන තිබුණ කරුණාවෙන්. අපේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕනෑ කියන හැඟීමෙන්. වර්තමාන ව්‍යාපාරවල මහජන සුභසාධන වැඩ තියෙනවා. ඒවා කරන්නේ එදා ව්‍යාපාරිකයින් කරපු ආකාරයට පුණ්‍ය චේතනාවෙන්ම නෙවෙයි.

    ඒවා කරන්නේ ව්‍යාපාරයේ කීර්තිනාමය ඉහළට ඔසවලා තමන්ගේ භාණ්ඩ හා සේවා විකුණගන්න. නමුත් එදා අපේ ව්‍යාපාරිකයන් තුළ තිබුණු පුණ්‍යවන්ත අදහසින් යමක් දීම දැන් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ව්‍යවසායකයන්ගේ සංගමය ඒකට විසඳුමක් දීලා තියෙනවා.

    ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයට අනුබද්ධව  කාන්තා සංසදයක් ගොඩනගලා වසර 12ක පමණ කාලයක් තිස්සේ කටයුතු කරගෙන යන බව මම දන්නවා. ඒ අය එකතු වෙලා අතීතයේ ව්‍යාපාරිකයින් තුළ තිබුණු පුණ්‍ය චේතනාව ක්‍රියාවට නංවන්න වැඩකටයුතු කරන බව මට දැනගන්නට ලැබෙනවා.

    ඈත ගම්මානවලට ගෙවල් හදාදීමේ ඉඳන්, ශාසනයට උදව් කිරීමේ ඉඳන් බොහෝ දේවල් ප්‍රචාරය කරන්නේ නැතුව කරගෙන යන බව මට දැනගන්න ලැබිලා තියෙනවා. අතීත ව්‍යාපාරික සමාජයේ තිබුණ සාරධර්මත් අරගෙන ව්‍යාපාරික සංසදය ගොඩනැගීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා.

    මිත්‍රවරුනි,

    තරුණ ව්‍යවසායකයින් පළමු වතාවට තමයි ටයි-කෝට් නැතුව ජාතික ඇඳුමින් සැරසිලා එදා ඒකරාශී වුණේ. මට මතකයි ජීවිතේ පළවෙනි වතාවට ජාතික ඇඳුමින් සැරසුණු අය මීට වසර 22කට කලින් එකතුවෙලා හිටපු හැටි.

    අදත් ඒ ජාතික ඇඳුම ඇඳගෙන මෙතැනට ඇවිත් ඉන්න බව දකිනකොට වසර 22කට කලින් තිබුණු සුහඳ හැඟීම, ජාතිය පිළිබඳ හැඟිම, රට පිළිබඳ හැඟීම ඇති පිරිසක් දැන් එකතු වෙලා ඉන්නවයි කියන එක ගැන මට විශාල ආඩම්බරයක් දැනෙනවා.

    ඔබගේ කටයුතු දිනෙන් දින දියුණුවට පත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට සුභ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, දයාසිරි ජයසේකර,  ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සභාපති දිමුත් චන්දන සිල්වා, උප සභාපති රසිත් වික්‍රමසිංහ මහත්වරු ඇතුලු ව්‍යවසායකයින්ගේ සංගමයේ සමාජිකයින් රැසක් සහභාගී වූහ.

  • වත්මන් ආණ්ඩුව ගැන මුරුත්තෙට්ටුවේ හිමියෝ කළ සුපිරි හෙළිදරව්ව !

    වත්මන් ආණ්ඩුව ගැන මුරුත්තෙට්ටුවේ හිමියෝ කළ සුපිරි හෙළිදරව්ව !

    ‘හොදයි දියණිය ! මම දරුවාට ප්‍රාණය ලබා දෙන්නම්. ඔබ ගිහින් කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්න‘ මේ කතාව කිව්වේ බුදු රජාණන් වහන්සේ කිසා ගෝතමියට.

    එදා සිට අතිෂය දුර්ලභ, නැති නම් සොයා ගත නොහැකි දෙයක් ගැන කතා කරන විට අපි බොහෝ විට ‘නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම‘ කතාව කියනවා.

    පසුගිය දා මෙරට ප්‍රමුඛ භික්ෂුවක් වන, වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට දැවැන්ත වැඩ කොටසක් කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ යළි මේ අබ කතාව පුනරුච්චාරණය කළා. ඒ උන්වහන්සේගේ මූලස්ථානය වන නාරාහේන්පිට අභයාරාමයේදී.

    “තව ටික දවසකින් බත් මුලක් අරගෙන පාරේ බැහැලා යන්න බැරි තැනකට මේ රට ඇද වැටෙනවා. දැනුත් මාලයක් දාගෙන පාර ගියොත් ඒක කඩා ගන්නවා. ආර්ථිකයේ බින්දුවටම වැටිලා. ආර්ථිකය හදන්න දන්න අය පැත්තකට කරලා තියෙන්නේ. වැඩ පුළුවන් අයගෙන් වැඩ ගන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙ හිටපු එක විශේෂඥ වෛද්‍යවරයෙක් තණකොළ කපන්න දැම්මා. අනෙක් විශේෂඥ වෛද්‍යවරයා පුන්නක්කු හදන්න දැම්මා. ඉතින් කොහොමද රටක් කරන්නේ?

    මිනිස්සු අපට සමාජ මාධ්‍යවල බනිනවා. හාමුදුරුවනේ දැන් සැපද? දැන් රට ධාර්මික ද? කියලා අපෙන් අහනවා. අපිට මේවට උත්තර නැහැ. අපි මේ ආණ්ඩුව ගෙනාවේ මේවා අහන්න නොවෙයි. මේ ආණ්ඩුව මේ තරම් වේගයෙන් ජනතාව පිළිකුල් කරාවි කියලා අපි හිතුවේ නැහැ. බුදු හාමුදුරුවන්ගේ කාලෙ කිසාගෝතමියට කිව්වේ නොමල ගෙයකින් අබ ගේන්න කියලා. දැන් අපිට කියන්න වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුවට බනින්නේ නැති ගෙයකින් අබ මිටක් ගේන්න කියලා”