Category: සුපිරි Politics

  • Hot Plate: පන්දාහේ දීමනාවට කටුව ගැහුවේ කවුද ? ප්‍රසන්න හෙළි කරයි

    Hot Plate: පන්දාහේ දීමනාවට කටුව ගැහුවේ කවුද ? ප්‍රසන්න හෙළි කරයි

    සටහන – ගජබා නාගහවත්ත

    ගෙවි ගිය සතිය පුරාම ආණ්ඩු පාර්ශවය වැඩි අවධානය යොමු  කෙරුනේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබදවය. ජනාධිපති ගෝඨාභයත් අගමැති මහින්දත් ජනාධිපති කොමිසමේ සභාපති බැසිලුත් පසුගිය සතිය පුරා විවිධ පාක්ෂිකයන්, සංවිධාන, ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අදාල තීන්දු තීරණ ගත්හ.

    අගමැති මහින්ද මංගල උත්සව ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන් මුණ ගැහුනේ ඒ අනුවය. ඒ පසුගිය අගහරුවාදාය. රූපලාවන්‍ය, කොණ්ඩා සැකසුම්, ඡායාරූප ශිල්පීන්, විඩියෝ කැමරාකරණ ශිල්පීන්, උත්සව ශාලා හිමියන්, අහාර සපයන්නන් ඇතුළු  ලක්ෂ 04කට ආසන්න පිරිසක් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමිව පීඩාවට පත්ව ඇතැයි ඔවුහු ඇමතිවරයාට පෙන්වා දුන්හ.

    අපි හැම දෙයක්ම කරන්නේ ජනතාව වෙනුවෙන්

    “ඔයාලා විතරක් නෙමෙයි. හුග දෙනෙක් මේ කොරෝනා වසංගතය නිසා අමාරුවෙ වැටිලා ඉන්නේ. අපි මේ හැමදෙයක්ම කරන්නේ ඔයාලා හැමෝම හැම ක්ෂේත්‍රයකට අය පත්වෙලා ඉන්න තත්තවයෙන් ගොඩගන්න තමයි“. මහින්ද කීවේය.

    “ රට මේ වෙලාවේ ක්‍රමානුකුලව විවෘත කරමින් ඉන්නේ. හැබැයි අපි මේ හැමදෙයක්ම කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව. ඒ නිසා මම මේ ගැන සෞඛ්‍ය අංශ වල අවධානය යොමු කරලා ගයිඩ් ලයින් එකක් ගන්නම්“  අගමැති මහින්ද කීවේය.

    වසර 30ක් රට පීඩාවට පත් කල කොටි ත්‍රස්තවාදය රටින් තුරන් කර මේ වන විට වසර 11ක් ගතව තිබේ. පසුගිය යහපාලන කාලය තුළදී මෙම යුද ජයග්‍රහණය සැමරීම අත්හිටුවා තිබූ අතර එය දැඩි ලෙස විවේඡනයට ලක් විය. නමුත් වත්මන් ආණ්ඩුව මේ යුධ ජයග්‍රහණය පුරුදු පරිදි සැමරීමට කටයුතු කලද කොරෝනා වසංගතය තත්ත්වයට ඊට හරස් විය. එහෙත් ජනාධිපති ගෝඨාභයත් අගමැති මහින්දත් කීවේ රණවිරුවන් සිහිපත් කිරීම මොනතරම් හේතුවක් නිසා හෝ අවලංගු කිරීමට නොහැකි බවය. ඒ අනුව පසුගිය අගහරුවාදා සවස බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී රණවිරු උපහාර උත්සවය පැවැත්වුණි.

    ගෝඨා ජනතාවගේ විශ්වාසය තහවුරු කළ හැටි

    මෙම රණවිරු සමරුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීවුනේ මුහුණ ආවරණයක් නොමැතිව වීම විශේෂත්වයකි. කොරෝනා වසංගතය පාලනය කර ඇති  බවට ජනතාව තුළ විශ්වාසය තහවුරු කිරීමට එය හේතුවී තිබුණි.

    රණවිරු සැමරුමේ උත්සවය අමතමින් ජනාධිපිති ගෝඨාභය කළ කථාවද මෙහිදී සියලු දෙනාගේ ඇගයීමට ලක් වුණි. ඔහු කීවේ රටට පැරණි ජගත් සංවිධාන වලින් ඉවත් වීමට පසුබට නොවන බවයි.

    මෙම සැමරුමට යුධ සමයේ ආරක්ෂක අංශවල සිටි සියළුම ආරක්ෂක අංශ ප්‍රධානීන් සහභාගී වූවද හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පමණක් සහභාගී වී සිටියේ නැත. මේ පිළිබදව හමුදාපති ගවේන්ද්‍ර සිල්වා මහතාගෙන් මාධ්‍යවේදීන් හමුව කළ විමසුමකදී ඔහු කීවේ සරත් ෆොන්සේකා මහතාට ආරාධාන කළද ඔහුට කලින් යොදාගත් වැඩක් තිබූ නිසා ඊට සහභාගී නොවූ බවය.

    ප්‍රසන්නට කෝටියක් වැඩ

    මේ අතර ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය අගහරුවාදා සංචාරක ක්ෂේත්‍රයට පහසුකම් සපයන්නන් මුණ ගැසුනේ රට නැවත යථා තත්ත්වයට පත් කිරමේ වැඩපිළවෙල යටතේය. සංචාරක ව්‍යාපාරය යලි නංවාලීම සදහා අවශ්‍ය පියවර ගැනීමට ප්‍රසන්නට අවශ්‍යව තිබිණි.

    “ අපි දැන් යන එන මක් නැතිවයි ඉන්නේ. රෙස්ටුරන්ට් වහලා දාලා නිසා ඒවාගේ සේවය කරන අයට පඩිවත් ගෙවා ගන්න බැරි තත්ත්වයට අපව පත්වෙලා. අපි කියන්නේ ඉක්මනින් මේ රෙස්ටුරන්ට් විවෘත කරන්න කියලා“ කොළඹ හෝටල් හා ආපනශාලා හිමියන් ප්‍රසන්නට දුක කීහ.

    ඇමති ප්‍රසන්න ඒ මොහොතේම වසංගත රෝග විද්‍යා අංශයේ පබා පලිහවඩනට දුරකථන ඇමතුමක් ගත්තේය.

    “ඩෝක්ටර් කමිටුවේ අනුමැතිය අරන් අපිට ඉක්මනින් රෙස්ටුරන්ට් ටික විවෘත කරන්න ගයිඩ් ලයින්ස් ටිකක් දෙන්න. ගයිඩ් ලයින්ස් දුන්නොත් අපිට ලබන සතිය වන විට රෙස්ටුරන්ට් අරඹන්න පුළුවන්.“ ප්‍රසන්න පබාට කීවේය.

    “අපි රෙස්ටුරන්ට් ටික අරින්න සෞඛ්‍ය එකෙන් ගයිඩ් ලියින් අරන් දෙන්නම්. හැබැයි මතක තියාගන්න එක රෙස්ටුරන්ට් එකක් හරි හෙලත් ගයිඩ් ලයින්ස් කඩ කලොත් ඒක හැමෝටම බලපානවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.“ ප්‍රසන්න හෝටල් හිමිහියන්ට හා ආපනශාලාවන්ට කීවේය.

    ප්‍රසන්නට සම්බන්ධීකරණ වැඩක් පවරයි

    පසුගිය බදාදා ජනපති ගෝඨාභයගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේදී ද මේ ගැන සාකච්ඡා විය. කැබිනට් මණ්ඩලයේ වැඩි අවධානයක් යොමු කෙරුනේද රට විවෘත කිරීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනය.

    “ සර්. හෝටල් හිමිහියන් වගේම ආපනශාලා හිමියෝත් කියවන්නේ මේ හෝටල් ආපනශාලා ඉක්මනින් විවෘත කරලා දෙන්න කියලයි.“ ප්‍රසන්න කීවේය.

    “ ඔව්, ඒකනම් ඇත්ත තමයි. හැබැයි ඉතිං සෞඛ්‍ය අංශ කියන දෙයක් තමයි කරන්න වෙන්නේ.“ ජනපති ගෝඨාභය කීවේය.

    “ ඔව් සර් මම ඒ ගැන ඒ අයත් එක්ක කථා කලා. කමිටුවේ අවධානය යොමු කරන්නම් කිව්වා.“ ප්‍රසන්න කීවේය.

    “එහෙනම් හෙල්ත් එකත් එක්ක ඔයා ඒක සම්බන්ධීකරණය කරන්න“ ගෝඨා ප්‍රසන්නට උපදෙස් දුන්නේය.

    මේක ෂුවර් එකටම  ගේම් එකක්

    එදින කැබිනට් මණ්ඩලයට, රජය රුපියල් 5000 දීමනාවක් ජූනි මාසයේදී ලබා නොදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වයා ජනාධිපති ලේකම්වරයාට දන්වා තිබූ ලිපියක්ද ඉදිරිපත් කෙරුණි.

    “ අපි මේ රුපියල් 5000 දීමනවා දෙන්න කටයුතු කලේ ජනතාවට සහනයක් විදියට. කෝවිඩ්  පාලනය කලත් රට තාමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වෙලා නෑ. එහෙම තත්ත්වයක් යටතේ ජනතාවට මේ දීමනාව හරි ලොකු දෙයක්.“ අගමැති මහින්ද කීවේය.

    “ ඔව් මේ වෙලාවේ ජනතාව බලාගන්න එක අපේ වගකීම.“ ජනපති ගෝඨාභය කීවේය.

    “ ඕක ෂුවර් එකටම JVP, UNP උවමනාව. මොකද මේ අයට ලොකු වුවමනාවක් තිබුනා අපි මේ රුපියල් 5000 දෙන එක නවත්තන්න“ ඇමති ප්‍රසන්න කීවේය.

    “ UNP එකයි JVP එකයි කියන්නෙ නම් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කියලා. සමහර මන්ත්‍රීවරු කිව්වා රු 5000 මදි රුපියල් 15000ක් දෙන්න කියලා. එහෙම කියන ගමන් මේ අය ජනතාවට දෙන රු 5000 තවත්තන්න යටින් වැඩ කරනවා.“ ඇමති බන්දුල කීවේය.

    “ UNP එකයි JVP එකයි හැමදාම කලේ ජනතාවට අංචි අදින එක තමයි.“ ඇමති ප්‍රසන්න කීවේය.

    මේ පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජූනි මාසය සදහා රුපියල් 5000 දීමනාව ලබා නොදීමට  කැබිනට් මණ්ඩල තීරණය කලේය.

    දැනුවත් කරමු – අපි යලිත් නැගිටුමු

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කීරම සදහා ආණ්ඩුවගත් ක්‍රියාමාර්ග පිළිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට එම පෙරමුණ තීරණය කර තිබේ. වැඩ සටහන නම් කර ඇත්තේ ගම “දැනුවත් කරමු – අපි යලිත් නැගිටුමු“ ලෙසය. සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශ අනුව මෙම රැස්වීම් මාලාව සංවිධානය කිරීමටද නියමිතය.

    රැස්වීම් මාලාව පිළිබදව දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයන් දැනුවත් කීරීමේ රැස්වීම් මාලාවක් ද පැවැත්වීමට පක්ෂය කටයුතු යොදා තිබේ. එම රැස්වීම් මාලාවේ පළමු වන්න පසුගිය බදාදා පැවැත්වූයේ ගම්පහ උඩුගම්පොල පිහිටි ප්‍රසන්නගේ කාර්යාලයේය. එම රැස්වීමට පැමිණි සියලු දෙනාම රැස්වීම් ශාලාවට ඇතුලත් කෙරුනේ විෂබීජානුහරණය කිරීමෙන් පසුවය. අසුන් පනවා තිබුනේද මීටරයක දුර ආරක්ෂා වන විදියටය. පැමිණ සිටි පිරිසට ප්‍රසන්න කීවේ කොරෝනා පාලනය කලද කොරෝනා සමග ජීවත් වීමට දැන් ලෝකයටම සිදුව ඇති බවයි.

    සටහන – ගජබා නාගහවත්ත

  • කොටි ත්‍රස්තවාදය කිරි පොවා යළි පෝෂණය කළේ යහපාලන ආණ්ඩුවයි – ඇමති ප්‍රසන්න

    කොටි ත්‍රස්තවාදය කිරි පොවා යළි පෝෂණය කළේ යහපාලන ආණ්ඩුවයි – ඇමති ප්‍රසන්න

    පරාජය ක‍ල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝ‍ෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්‍ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අව‍ධාරණය කලේ 2009 දි රණවිරුවන් දිවි පුදා රටට ලබා දුන් යුධ ජයග්‍රහණය රනිල් මෛත්‍රි යහ පාලන ආණ්ඩුව විසින් ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බවයි.

    දිවයින පුරා සෑම මැතිවරණ බල ප්‍රදේශයකම පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ‘‘‍‍‍‍ගම දැනුවත් කරමු – යලිත් අපි නැගිටිමු” වැඩසටහන් මාලාව පිලිබද ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයින් දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමකදි ඇමතිවරයා මේ බව සදහන් කලේය. රැස්වීම මිනුවන්ගොඩ උඩුගම්පල ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේදි ඊයේ (20) ඒ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු සහ පලාත් පාලන ප්‍රධානිහු සහභාගී වුහ. රැස්වීමට පැමිණි සියළු නියෝජිතයින් විෂභීජානු හරණ කුටියක් හරහා රැස්වීම් ශාලාවට ඇතුලත්කර ගැනීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. මුහුණු ආවරණ පැලද සිටිම අනිවාර්ය වූ අතර මීටරය දුර ආරක්ෂා වන පරිදි රැස්වීමට ආසන පනවා තිබුණි.

    ගම දැනවත් කරමු – යලිත් අපි නැගිටිමු රැස්වීම් මාලාව හරහා දිවයිනේ සියළුම පලාත් පාලන මන්ත්‍රීවරු කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජය ගත් ක්‍රියාමාර්ග හා ජනතාවට සහන සැලසීමට ගත් පියවර සම්බන්‍ධයෙන් දැනුවත් කිරීමට නියමිතයි. විශේෂ දේශකයින්ගේ සහභාගීත්වයෙන් ලබන සතිඅන්තයේ එම රැස්වීම් මාලාව පැවැත්වෙන අතර එම රැස්වීම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීම අනිවාර්ය කර තිබේ. උඩුගම්පලදි ඊයේ (20) පැවැත්වුනේ එම රැස්වීම් මාලාව පිලිබද දිස්ත්‍රික් නියෝජිතයින් දැනුවත් කිරීමේ පලමු වැඩසටහනයි.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.

    ‘‘එදා වසර 30 පැවති යුද්ධය අවසන් කිරීමට රාජපක්ෂ සොහොයුරන් සමත් වුනා වගේම අද අපේ රටට බලපෑ කොරෝනා ව්‍යාප්තිය නතර කිරීමටත් මහින්ද  ගෝඨාභය සුසංයෝගයට හැකියාව ලැබී තිබෙනවා. ම්ලේච්ඡ කොටි ත්‍රස්ථවාදය පරාජය කරලා ඉතිහාස ගත වුනා වගේම ඔවුන් කොරෝනා වසංගතය පරාජය කරලා ඉතිහාස ගත වෙනවා. සෞඛ්‍ය අංශ කියන්නේ මේ වෙනකොට රටේ ජනතාව අතර කොරෝනා වසංගතය පැතිරීම පාලන කර තිබෙන බවයි. සෞඛ්‍ය අංශ වගේම ආරක්ෂක අංශ කැපවීම මෙහිදි ඉතා ප්‍රශංසනීයයි. කොරෝනා පාලන කරන අතරතුර සාමාන්‍ය ජනතාව බලාගත්ත මේ වගේ ආණ්ඩුවක් ලෝකේ වෙන කොහෙවත් නැහැ.

    ඇදිරිනීතිය පනවලා කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන අතරතුර ජනතාවට අවශ්‍ය ආහාර පාන ගෙවල් ලගටම යවන්න අපි කටයුතු කළා ඒ වගේම ආර්ථික පිඩාවට පත්වෙච්ඡ  ජනතාවට රුපියල් 5000 ක දිමනාවක් ලබා දීමට කටයුතු කලා. පහුගිය මාසයේ අපි මේ 5000 දිමනාව අපි පවුල් ලක්ෂ 74 කට ගෙව්වා. මේ වාසෙත් අපි ඒක ගෙවනවා. ලබන මාසෙත් අපි ඒක ගෙවන්න කටයුතු කරමිනුයි හිටියේ. නමුත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් කිඹුල් කදුලු හෙලන විපක්ෂය ඒ ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඔවුන් කියලා තියෙන්නේ මේ රුපියල් 5000 හේ දීමනාව දෙන එක නවත්තන්න කියලයි. ජනතාවට සහන සලසනකොට ඒකට විරුද්ධ වන ලෝකේ එකම විපක්ෂයේ ඉන්නේ අපේ රටේ. මේ අය කියන්නේ නම් ජනතාවට පණ වුනත් දෙන්න ලැස්තියි කියලයි. හැබැයි. 5000 දෙන්න එපා කියලා මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරනාවා. විපක්ෂය සිදු කරන්නේ දවල් මිගෙල් රෑ දැනියෙල් ප්‍රතිපත්තියයි.

    මහ මැතිවරණය කියන්නේ රටේ ප්‍රජාත්‍රන්තවාදි අයිතියක් හැබැයි එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් මහ මැතිවරණය කියන්නේ නයාට අදුකොල වගේ ඔවුන් හදන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහා මැතිවරණය කල් දාලා පරණ පාර්ලිමේන්තුව නැවත රැස්කර ගන්නයි. ඒකට තමයි.  ඔය උසාවි බඩගැවේ. ජනතාව ජිවත් විමේ අයිතිය වගේම ජනතාවගේ ජන්ද අයිතියත් උදුරාගන්නැයි විපක්ෂය මේ කටයුතු කරන්නේ.

    රනිල් මෛත්‍රි යහ පාලන ආණ්ඩුව කාලේ අපේ රටේ ජාතික ආරක්ෂාව තුට්ටුවට දැම්මා. උතුරු නැගෙනහිර කොටි පිල්ලි ශක්තිමත් කළා. ඒවට විරුද්ධ වුන අයව හිරේ දැම්මා. අවුරුදු 30 ක් පැවති මේලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න තමන්ගේ ඇස් ඉස් මස් ලේ පරිත්‍යාග කරපු රණවිරුවන් හිරේ දැම්මා. ලංකාවේ විතරක් නෙවෙයි. ජාත්‍යන්තරයෙත් කොටි ත්‍රස්තවාදය යලිත් හිස ඔසවන්න පටන් ගත්තේ මේ යහ පාලන ආණ්ඩුව කාලේ. යහ පාලන ආණ්ඩුවට ඹ්නැ වුනේ කොටි අවශ්‍යතාව මතින් හරි නැවත බලයේ ඉන්නයි. 2015 දි බොරු කියලා ගත්ත බලය රැකගන්නයි. මේ රටේ අනාගත දරු පරපුරේ වාසනාවට තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වුනේ මහින්ද රාජපක්ෂ මහතා නැවත මේ රටේ අගමැති වුනේ පරණ සෙල්ලං දාන්න කොටි ඩයස් පෝරාවට අපේ ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ. එවගේම ජනාධිපති තුමා පැහැදිලිව කිව්වා රණවිරුවන් දං ගේඩියට දක්කන්න හදන ජාත්‍යන්තර N.G.O නඩවලටත් ඕනැ හැටියට ඉඩ නොදෙන බව. ඒ නිසා අද රටේ ජාතික ආරක්ෂාව නැවත සුරක්ෂිත වී තිබෙනවා. රණවිරුවන් දිවි පුදා ලබා දුන් විජයග්‍රහාණයට අද නිසි වටිනාකම ලැබිලා. දේශිය හා ජාත්‍යන්තර වශයෙන් මේ රට ඉහලට ඔසවා තබන්න වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. රටට ආදරය කරන සියළු දෙනාගේම වගකීම වන්නේ ඒ සදහා සහය පල කිරීමයි.     

  • මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම් – රවී කරුණානායක

    මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම් – රවී කරුණානායක

    මේ වනවිට රටේ බොහෝමයක් සත්‍ය විකෘති කරලා තමයි වැඩකටයුතු සිදුකරන්නේ. මේ වනවිට ජනතාවට පොහොර ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අපි 2015 බලයට පත්වූ අප ඒ වස්ථාවේ ජනතාවට හොහොර සහන ලබා දුන්නා. අද වනවිට මේ ආණ්ඩුව තුළින් ජනතාවට මුදල් වියදම් කරලාවත් පොහොර ලබාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ජනතාවට ලබා දෙන්න තිබුණ පොහොර කෝ කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි.

    ඒ වගේම ගෑස් මිල. 2015 දී අපි ගෑස් මිල අඩු කලා. අද වෙනවිට ගෑස් මිල විශාල වශයෙන් අඩු කරන්න පුලුවන්. ඇයි එය  නොකරන්නේ. මිල අඩු වෙනවා කියන්නේ රජයේ ආදයම වැඩි වෙනවා කියන එකද. ඒ වගෙම තමයි තෙල් මිල.  ලෝක තෙල් මිල අඩුවෙද්දි අපේ රටේ මිල වැඩි කරනවා.

    අඩු ගානේ මේ වැඩිවන මිලේ ආදායම රජයට ලැබෙනවානම් කමක්නැහැ. නමුත් අයිඕසී එක මගින් වැඩි කරන තෙල් මිලේ වාසිය යන්නේ කොහෙටද.කොරෝනා තුළ හැම දේම යටපත් කරන්න හදන්නෙපා යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා රජයට අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (20) රාජගිරියේ දී මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණානායක මහතා,

    අපි වවමු රට නගමු කියලා කිව්වට වැඩක් නැහැ. ගොවීන්ගේ ඵලදාව මිලදී ගෙන, ඔවුන්ට සහන සලසන්න ක්‍රියාකළ යුතුයි. අද වෙනවිට ගොවීන් විශාල ලෙස අසරණ වෙලා සිටිනවා.

    අද ඔවුන්ගේ ඵලදාව කුණුකොල්ලයට ගිහින්. මිලක් නියම කරගන්න නොහැකිව ඔවුන් හඩා වැටෙනවා. මෙහෙම තත්ත්වයක් යටතේ අපි වවමු රට නගමු කියලා තේරුමක් නැහැ.

    කොරෝනාව පරාජය කිරීම අත්‍යාවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් සෞඛය අංශ වලට, පොලීසියට, ත්‍රිවිධ හමුදාවට මෙන්ම විශේෂයේන ජනතාවට හිස නමා ආචාර කළ යුතුයි, දින 62 ක් ඉතාමත් අපහසුවෙන් ඇදිරි නීතිය තුළින් ගම්න කරලා මේ තත්ත්වය පරාජය කිරීමට සහයෝගය ලබාදීම පිළිබදව.ඒ එක්කම මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ, ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම් කියන එක අමතක කරන්නෙපා.  ඒ නිසා ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. නැතිනම් අපේ රටට නැගිටින්න බැරි තත්ත්වයක් උදාවේවි.

    රටේ මෙවැනි අර්බුධකාරි තත්ත්වයක් පවතින අවස්ථාවක, ඒ වෙනුවෙන්  රෝහල් ඉදිකරන්න හැකියාව තියෙද්දි, කෝටි ගණනක් වියම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න හදන එක නිවැරදි ක්‍රියාවක්ද. බන්ධුල ගුණවර්ධන මහතා නිරන්රයෙන්ම රටේ ආන්දෝලාත්මක ප්‍රකාශ කරන කෙනෙක්. එතුමා තමයි මෙම ක්‍රීඩාංගනය පිළිබදවත් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මනා දැනුමක් ඇති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරනවා, ලංකාව තුල ක්‍රිකට්ක්‍රීඩාව වෙනුවෙන් දැනට අවශ්‍ය ප්‍රමණයටත් වඩා පහසුකම් තිබෙන බව. එහෙමනම් මේ වගේඅර්බුධකාරී වාතාවරණයක් රටේ පවතින අවස්ථාවක, රෝහල් 35 ක් වැනි ප්‍රමාණයක් ඉදිකරන්න හැකියාව ඇති මුදල් ප්‍රමාණයක් යොදවලා, ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකරන එක විහිළුවක් නෙමෙයිද. අඩුගානේ පෙරපාසල් ඉදිකළා නම් හොද නැද්ද. මේක ප්‍රාග්ධන වියදමක්. ඒක ජනතාවට දෙන්න කියලා අපි කියන්නේ නැහැ. මේ අවස්ථාවේ වඩාත්ම උපයෝගීතාවක් සහිත දෙයකට නේද මේක වියදම් කරන්න ඕන.

    පැවැත්විමට නියමිත මැතිවරණය සම්බන්ධයෙන් කරුණු දැක්වූ රවී කරුණානායක මහතා,

    ඡන්ද කොමසාරිස් සහ ඡන්ද කොමිසම අද වෙනවිට අපි කියූ දෙය පිළිගෙන තිබීම සම්බනධයෙන් මම ඉතාමත් සතුටට පත් වෙනවා. අපි බොරුවට නිශ්ප්‍රභා කරන්න අවශ්‍ය වුනේ නහැ. රටේ පවතින තත්ත්වය හමුවේ රටට අවශ්‍ය වුනේ ඡන්දයක් නොවෙයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ නිර්දේශ කිරීමෙන් පසුව ජනතාව සාමාන්‍ය ජන ජීවිතයකට පත්වීමෙන් අනතුරුව ඡන්දයක් තියන එක සුදුසුයි කියලයි අපි කිව්වේ. ඒ තතත්ත්වය තමයි ප්‍රායෝගික වන්නේ යැයි පැවසීය.

    එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දුන් කරුණානායක මහතා,

    එක්සත් ජාතික පක්ෂය තුලින් යම්යම් හේතුන් මත පක්ෂයෙන් එළියට ගිහින්, පක්ෂය කඩාවට්ටන්න දගලන පිරිස් වැඩකරන්නේ ළදරු පාසැල්වත් නොගිය ආකාරයට. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණය තමයි නිවැරදි තීරණය. ඒ තීරණ විකෘති කරලා, වැරදි අවබෝධයක් ඇති කරලා ඇතැම් පිරිස් ජනතාව නොමග අරින්න උත්සහ කරනවා. ආගමක් වගේ පක්ෂය අදහස, සුරකින ආදරය කරන ජනතාවට මේ පක්ෂය ආරක්ෂා කරදීමට අපි බැදී සිටිනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජනතාව තුළින් ගමන් කරන පක්ෂයක්. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කොටයි.

    අන්නඒ වගේ අද වනවිට ජනතාව අපේ ප්කෂයේ ක්‍රියාකලාපය දැකලා, පක්ෂය වටා එක්රැස් වෙමින් සිටිනවා. මේකයි සැබෑ තත්ත්වය. ජනතාවට ඔබින පරිදි හැඩගැහිලා, විශාල ජනතා මනාපයක් ලබාගන්නා පක්ෂයක් බවට අපි එක්සත් ජාතික පක්ෂය පත් කරනවා. පක්ෂයේ මහ ගෙදරින් පිටමං වෙලා සිහින දකින අයට වඩා යමක් අපට පක්ෂය වෙනුවෙන් කරන්න හැකිවෙලා තිබෙනවා. අපි කවදාවත් ත්‍රිවිධ හමුදවට පොලීසියට අකටයුත්තක් කරලා නැහැ . අන්න  ඒ නිසා තමයි අපි පළමුව ත්‍රවිධ හමුදාවට 35% ක වැටුප් වර්ධනයක් ඇති කළේ. ඒ වගේම පොලීසියට වසර ගනනාවක් නොලැබුණ වැටුප් සහ විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු කළේ. මම පක්ෂයේ නායකතුමා, පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩාකරන කෙනෙක්. එහෙම නැතිව බෝල යවන්නා, පන්දුවට පහර දෙන්නා, කඩුලු රකින්නා කියන හැම අවස්ථාවකම ක්‍රීඩා කරන්නෙක් නෙමෙයි. කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩා කරලා ජයග්‍රහණය ගැන එක තමයි අපේ තිබෙන සුවිශේෂීභාවය. අපට ශෝට් කට් නැහැ. බෞද්ධාගමට විරුද්ධ ප්‍රකාශ කරන අය, අන්තවාදි ආගම් පිලිබද කතා කරන අය, පාස්තු බෝම්බ ගැන මත පලකරන අය, සිරිකොතට  ගල් ගැහුව අය අද අපි ලග නැහැ. ඒ අය අද වනවිට ඒ අයට අදාල ස්ථාන වල සිටින්නේ. ඒ ආකාරයේ අද පක්ෂය තුල නොමැති පිරිස් පිළිබදව එක්සත් ජාතික පක්ෂයට අදාළ කරලා පලක් නැහැ යැයි පැවසීය.

  • මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටටත්

    මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටටත්

    මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය.

    ඒ එම පෙත්සම් සලකා බැලීම අද (20) තෙවැනි දිනයටත් සලකා බැලීම අවසන් කරමිනි.

    මෙම පෙත්සම් හි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වල දීර්ඝ කරුණු දැක්වීම් සඳහා තවදුරටත් අවස්ථාව ලබා දීම සඳහා මෙම පෙත්සම් හෙට දක්වා කල් තැබීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

    ලබන ජුනි මස 20 වනදා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැනුම් දුන් අවස්ථාවේ නැගී සිටි පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මැතිවරණ කොමිසමේ එම දැනුම් දීමට අනුව දැනටමත් හිමිවී තිබෙන බැවින් ඔහු සිය පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව දන්වා සිටියේය. 

    එම කරුණ පිළිගත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්හ.

    මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 17 ,18 සහ 19 යන දින වල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීති විරෝධී බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව නාම යෝජනා පත්‍ර භාර ගත හැක්කේ සාමාන්‍ය රාජකාරි කාර්යාල වේලාවන් වල පමණක් බව පෙන්වා දුන් නීතිඥ දේවේන්ද්‍ර මහතා රජයේ නිවාඩු වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ මාර්තු මස 17 ,18 සහ 19 යන දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි සඳහන් කර සිටීයේය.

    මෙම අවස්ථාවේ දී නීතිඥ හස්ථික දේවේන්ද්‍ර ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණ කොමිසමේ මතය ද? එසේත් නැතිනම් ඔබගේ සේවාදායකයාගේ මතය ද? යන්න විමසා සිටියේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණයට දන්වා සිටියේ තමන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ තම සේවාදායකයාගේ මතය බවයි.

    එම ප්‍රකාශයට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් එම කොමිසමේ සාමාජිකයෙකු විසින් මෙයාකාරයෙන් විවේචනය කරමින් කරුණු දැක්වීම අනුමත කළ නොහැකි බව සඳහන් කළාය.

    ඊට පිළිතුරු දෙමින් නීතිඥ හස්ථික දේවේන්ද්‍ර මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් බල වගඋත්තරකරුවකු ලෙස තම සේවාදායකයා නම්කර තිබෙන බවත් එබැවින් ඔහුගේ මතය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබිය යුතු බවය.

    වත්මන් කොරෝනා වසංගත අවදානම් තත්ත්වය මත අධිකරණ පුවත් වාර්තා කිරීමට අප මාධ්‍යවේදීන්ට ඇති දුෂ්කරතාව හේතුවෙන් අප පාඨකයින්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් මෙම සම්පූර්ණ පුවතම අද (20) දින ලංකාදීප වෙබ් අඩවියෙන් ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) උපුටා ගෙන කිසිදු සංශෝධනයකින් තොරව පළ කළ බව සලකන්න – ප්‍රධාන සංස්කාරක

  • ඉරිදා මව්බිම ‘කරු ගැන හිතාමාතාම සාවද්‍ය පුවතක් නිර්මාණය කළ බව’ ජා.පො.කො. තහවුරු කරයි

    ඉරිදා මව්බිම ‘කරු ගැන හිතාමාතාම සාවද්‍ය පුවතක් නිර්මාණය කළ බව’ ජා.පො.කො. තහවුරු කරයි

    මාධ්‍ය නිවේදනය.

    2020.05.17 දින ඉරිදා මව්බිම සහ සීලෝන් ටුඩේ යන පුවත්පත්වල “පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි” හා “ NPC exposes Karu”  යන ප්‍රධාන  සිරස්තල යටතේ පල වු  ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය හිතාමතා නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු කරමින් ජාතික පොලිස් කොමිසම් සභාව විසින් නිල වශයෙන් නිකුත් කරන ලද ලිපියෙහි පිටපතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිතුමන් වෙතද යොමු කරනු ලැබ ඇත.

    මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත් විසින් පල කරන ලද එම සාවද්‍ය පුවත අනෙකුත් විද්‍යුත් හා සමාජ මාධ්‍යන්හි අවධානයටද යොමුව ඇති බැවින් එම පුවත සාවද්‍ය බව සනාථ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වෙත ජාතික පොලිස් කොමිසම් සභාවෙන් යොමු කරන ලද ලිපිද, මේ සමඟ මාධ්‍ය වෙත නිකුත් කරමු.

    කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය 

  • බුද්ධ ශාසනයේ ආරම්භයේ සිටම දේවත්ත කල්ලිය හිටියා – මංගල

    බුද්ධ ශාසනයේ ආරම්භයේ සිටම දේවත්ත කල්ලිය හිටියා – මංගල

    බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර  ප්‍රකාශ කර සිටියි. හිටපු මුදල් අමාත්‍යවරයා සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශ කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

    පසුගිය දා සීඅයිඩී (CID) පරීක්ෂණයෙන් පසුව මම මාධ්‍යයට කරපු ප්‍රකාශය “සංඝ කල්ලිය” කියන වචනය අද යම් යම් මාධ්‍යවල විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම වරින්වර බෞද්ධ දර්ශනයට අභියෝග කරන සංඝ කල්ලි බුදුරජානන් වහන්සේගේ කාලයේ ඉඳලාම තිබුණා. අපේ බුදුහාමුදුරුවන්ගේ කාලයේ දේවදත්ත එවකට හිටපු භික්ෂුන් වහන්සේලා එක්දාස් දෙසිය පණහෙන් හත්සිය පණහක්ම මේ කල්ලියට එකතුකරගෙන එවකට හිටිය අජාසත්තගේ න්‍යායපත්‍රයට අනුව බුදුහාමුදුරුවන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරා.

    ඒ වගේම අපි අහල තියෙනවා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලයෙත් වෙමැනි සංඝ කල්ලි ඇති වෙලා බෞද්ධ දර්ශනයට විශාල අභියෝගයක් ඇති වුණ නිසා භික්ෂුන් වහන්සේලා හැටදාහකට වඩා ප්‍රමාණයක් හනගහලා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ සසුනෙන් නෙරපුවා. ඒ තුළින් යළි වතාවක් බෞද්ධ දර්ශනය බුද්ධාගම බේරගන්නට හැකියාවක් ලැබුණා. මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට පොළොන්නරුවේ ගල්පොතේහි සඳහන්වෙන පොළොන්නරු කථිකාවෙන් මෙහි සත්‍ය අසත්‍ය සොයාගන්නට පුළුවන්. ඒ වගේම අදත් නූතන අජාසත්තලාගේ උවමනාව වෙනුවෙන්, නූතන කුඩු මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් , නූතන ගංජා මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් තවත් සංඝ කල්ලියක් මේ රට තුළ ඇතිවෙලා වොයිස් කට් එකටත් මුදල් ලබාගන්න, ප්‍රෙස් කොන්ෆරන්ස් එකකටත් මුදල් ලබාගන්න.

    ඒ වගේම සුඛෝපභෝගී වාහන ලබාගන්න මේ සංඝ කල්ලිය යළිවතාවක් අපගේ ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ධර්මයට මහා අභියෝගයක් වෙලා තියෙනවා. බෞද්ධ දර්ශනය 21 වෙනි සියවසට ගැළපෙන එකම දර්ශනය හැටියටයි මම දකින්නේ. අවාසනාවකට අද වෙනකොට එය මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා තියෙනවා. එය ජනතාව රවට්ටන්නට දේශපාලන වශයෙන් නොමග යවන්නට පවා ආයුධයක් බවට පත්කරගෙන තියෙන මොහොතක මේ සංඝ කල්ලිය පරාජය කිරීම සඳහා මේ රටේ සිටින බහුතරයක් වූ බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි.

    ඇත්ත වශයෙන්ම බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින සැබෑ ස්වාමීන් වහන්සේලාගෙත් වගකීමක්. මමත් පරම්පරාගත බෞද්ධයෙක් ඒ නිසාම බෞද්ධාගම ගැන හැඟීමක් කැක්කුමක් මට තියෙනවා. ඒ නිසා තමයි බෞද්ධාගම ගැන බෞද්ධ දර්ශනය ගැන යම් යම් චීවරධාරී ගැන මා කරන විවේචන පවා සැබෑ බෞද්ධයෙකුගේ විලාපයක් හැටියටයි මම දකින්නේ. අන්න ඒ නිසා අපි සියලු දෙනා එක්ව මේ වෙලාවේ මේ තියෙන භයානක අභියෝගයෙන් බුදුදහම බේරගන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා.”

  • රාජ්‍ය ආයතන දේශපාලනය නොකළ යුතුයි – ජනපති

    රාජ්‍ය ආයතන දේශපාලනය නොකළ යුතුයි – ජනපති

    “රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළයුත්තේ ආයතන දියුණු කිරීම; ඒ සඳහා ආදායම් ජනනය කළ යුතුයි; කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළයුතුයි; වියදම් සහ නාස්තිය පාලනය කළයුතුයි. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහදිය හෙළමින් වෙහෙසී වැඩ කරන ජනතාව උපයන ආදායමින්;  එබැවින් ආයතන ජනතාවට බරක් නොවිය යුතුයි.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමග අද (18) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී පැවසීය.

    ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් ක්‍රියාකාරිත්වය සමාලෝචනය කරනු පිණිස සාකච්ඡාව කැඳවා තිබිණ. සිය ශ්‍රාවක ප්‍රජාව කවුරුන්දැයි නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ රුචිකත්වයට ගැලපෙන අයුරින් ජනප්‍රිය වැඩසටහන් සම්පාදනය කරන ලෙසත්, නිසි සැලැස්මක් ඇතිව ආදායම් උපයා ගැනීමට කැපවීමෙන් ක්‍රියාකරන ලෙසත් ජනාධිපතිවරයා සංස්ථා ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

    “ආයතනය පත්ව ඇති තත්ත්වය ගැන සේවකයන් නිරතුරුව දැනුවත් කරන්න. තමන් ගැනම නොසිතා ආයතනයේ දියුණුව සඳහා වෙහෙසී වැඩ කිරීමට ඔවුන් පොළඹවන්න” ජනාධිපති රාජපක්ෂ මහතා පැවසීය.

    සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර මහජන සුබසාධන සේවා බැවින් ආදායම් උත්පාදනයක් ඒවායින් අපේක්ෂා නොකරන බව කී ජනාධිපතිවරයා සෙසු ආයතන තමන්ගේ නඩත්තුව සහ සේවක අභිවෘද්ධිය සඳහා අවශ්‍ය ආදායම් තමන්ම උත්පාදනය කළයුතු බව පෙන්වා දුන්නේය.

    කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා ලෝකයේ සෙසු රටවල සේම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයෙහි බලවත් පරිහානියක් ඇතිව තිබේ. ලක්ෂ සංඛ්‍යාත රැකියා අහිමි වී ඇත. ආයතන ප්‍රධානීන් රට ගැන සිතා වැඩ කළයුතුයි. එසේ නොකළහොත් ආයතන කඩාවැටීමට පවා පිළිවන. මේ අර්බුදය ජය ගැනීමට පමණක් නොව අනාගත ආර්ථික සංවර්ධනය සඳහා ද රාජ්‍ය ආයතන සැලසුම්සහගතව ශක්තිමත් කළයුතුයැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    සංස්ථා සේවකයන්ගේ උපරිම කාර්යක්ෂමතාව සහතික කරන අතර විධිමත් සැලැස්මක් යටතේ ආදායම් වර්ධනයට ගතයුතු පියවර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පැහැදිළි කළේය.

    ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ජවිපෙට පහර දෙන සියලු දෙනා දේශපාලන හීනමානයෙන් දැවෙනවා – බිමල් රත්නායක

    ජවිපෙට පහර දෙන සියලු දෙනා දේශපාලන හීනමානයෙන් දැවෙනවා – බිමල් රත්නායක

    ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවක් අද (17) පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජනතා විමුකති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සහභාගී වුණා.

    පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් නිර්මාණය වී ඇති අර්බුදය සහ එයට ජවිපෙ විසින් ඉදිරිපත් කරන යෝජනා මෙන්ම වත්මන් දේශපාලන ප්‍රවණතා ද මෙහිදී බිමල් රත්නායක මහතාගේ විශ්ලේෂණයට ලක් වුණා. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සිදුවන ‘මඩ ප්‍රහාර‘ ගැන ද බිමල් රත්නායක සවිස්තරව කරුණු පැහැදිලි කළා.

    මෙම දීර්ඝ මාධ්‍ය හමුවේදී බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ සියලු අදහස් කිසිදු සංස්කරණයකින් තොරව අපි අපේ පාඨකයින් වෙත ඉදිරිපත් කරනවා.

    අපේ විශ්වාසය වන්නේ නිවැරදි + සමබර + නිරවුල් = විශ්වාසනීය තොරතුරු මේ මොහොතේ ඔබට අත්‍යවශ්‍යව පවතින බවයි.

    පාසැල් සහ විශ්වවිද්‍යාල වසා දමා අද (17) වනවිට දින 68ක් ගතවී තිබෙනවා. පාසැල් පටන් ගැනීමේ හැකියාව තවමත් නැති බව අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මාස දෙකහමාරකට අධික කාලයක් පාසැල් වසාදැමීම නිසා උසස් පෙළ විභාගයට සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන්ට බලපෑම ඉතාම වැඩියි. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයට පවා මේ බලපෑම ඇතිවෙමින් තිබෙනවා.

    මේ ප්‍රශ්නය පිළිබඳ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා අග්‍රාමාත්‍යතුමාට ලිඛිතව දැනුම් දුන්නා. දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් තුළ සැලකිය යුතු සංකීර්ණභාවයක්, අවිනිශ්චිතභාවයක් උසස් පෙළ සහ ශිෂ්‍යත්වය විභාගය පිළිබඳව ඇතිවී තිබෙනවා.

    මේ නිසා අධ්‍යාපනඥයන්, ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වගේම දෙමාපියන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර සමාන අත්දැකීම් ඇති රටවල් අනුගමනය කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවත් අධ්‍යයනය කරලා මැයි මාසයේ මුලදී දරුවන්ට විසඳුම් දෙන ලෙස ඉල්ලීමක් කළා. නමුත් මේ වනතෙක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවිනිශ්චිත කරුණු දැක්වීම් හැරුණාම නිශ්චිත කිසිම අදහසක් ඉදිරිපත් කර නැහැ.

    මේ අවිනිශ්චිතභාවය දරුවන් කෙරෙහි විශාල පිීඩනයක් ඇතිකර තිබෙනවා. උසස් පෙළ විෂයමාලා ආවරණය නොවීම බරපතල ප්‍රශ්නයක්. අපි එකඟ වුණත් නොවුණත් උසස් පෙළ විෂය මාලාව ආවරණය කරගන්න ප්‍රධානම මාර්ගයක් හැටියට පෞද්ගලික උපකාරක පංති  පත්ව තිබුණා. සැලකිය යුතු සිසුන් පිරිසක් විෂයන් වෙනස් කර උසස් පෙළට පෙනී සිටීමට ඉන්නවා.

    හදිසියේ පාසැල් වසාදැමීම නිසා නේවාසික තැන්වල ඉඳලා අධ්‍යාපනය ලබපු දරුවන්ගේ පොත්පත් පවා ලබාගැනීමට නොහැකිවී තිබෙනවා. උතුරු නැගෙනහිර මේ ප්‍රශ්නය ඉතා බරපතළයි. මේ සියලුම කරුණු සලකා බලා පාසැල් විවෘත කිරීමෙන් පසුව ඔවුන්ට අහිමිවූ කාලය අධ්‍යාපන කටයුතුවලට එකතු කරලා විභාග පවත්වන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. 

    අධ්‍යාපන ඇමතිවරයාම මෑතකදී කියා තිබුණා, පාසල් 532කට වතුර, පාසැල් 800කට පමණ වැසිලිකිළි නැහැ කියලා. සමස්ත පාසැල්වලින් 8%කට පමණ වතුර නැති වීම රටේ භෞතික සම්පත්වල පරතරය කියාපාන මනා නිදර්ශනයක්. මේ තත්වය තුළ අන්තර්ජාල අධ්‍යාපනය ලබාදීම කොරතරම් ඵලදායකයිද කියන දේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්ගෙන් පෞද්ගලිකව මම විමසා බැලුවා.

    කොළඹ කලාපයේ පවා දරුවන්ගෙන් අන්තර්ජාල අධ්‍යාපනයට අදාල උපකරණ තිබෙන්නේ 60%කට ආසන්න ප්‍රමාණයක්. උපකරණ තිබුණත් නිවසේ ඊට අවශ්‍ය පහසුකම් නැහැ; අන්තර්ජාල පහසුකම් ලබාගන්න විශාල මුදලක් වැයවීම, දුරකතනය දෙස බලා ඉගෙන ගැනීමේ බාධක වගේ කරුණු ගණනාවක් අහිතකර ආකාරයෙන් බලපා තිබෙනවා. අනුරාධපුරය දිස්ත්‍රික්කයක වැනි ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් ඉතාමත් අඩුයි. උතුරු පළාතේ යාපනය නගරය තුළ පවා අන්තර්ජාල පහසුකම් ඉතාම සීමා සහිතයි. කිලිනොච්චිය වගේ ප්‍රදේශයක තත්වය ඉතාම බරපතලයි. 

    මාස කිහිපයකට පසු දරුවන් පාසලට පැමිණි පසු විෂය නිර්දේශ සම්පූර්ණ කිරීම පිළිබඳ බරපතළ පීඩනයක් ගුරුවරුන්ට තිබෙනවා. අන්තර්ජාල ඉගැන්වීම් සරල දෙයක් නෙවෙයි. අපි මේ කරුණු ඉදිරිපත් කරන්නේ අන්තර්ජාල අධ්‍යාපනය ප්‍රතික්‍ෂේප කරන්න නෙවෙයි. විෂය මාලා ආවරණය කිරීමේ මූලික ඉලක්කයට අන්තර්ජාල අධ්‍යාපනය ගෙනියන්න එපා කියලයි අපි කියන්නේ.

    වෛද්‍ය පීඨ ඇතුළු විශ්වවිද්‍යාලවල පවා ශිෂ්‍යයන්ගෙන් 60%කට පමණයි අන්තර්ජාල පහසුකම් තිබෙන්නේ කියලා ආචාර්යවරු සමීක්‍ෂණ මගින් තහවුරු කරගෙන තිබුණා. එයිනුත් 30%කට පමණක් ඒ වෙනුවෙන් මුදල් වැය කිරීමේ හැකියාව තිබෙන්නේ.

    මයික්‍රොසොෆ්ට් ආයතනයේ සමාරම්භකයා වන බිල් ගේට්ස් මෑතකදී ප්‍රකාශ කර තිබුණේ දැනටත් ලෝකයේ තිබෙන අධ්‍යාපන පරතරය අන්තර් ජාල අධ්‍යාපනය නිසා දෙගුණ තෙගුණ වන බවයි. ඔහු මේ බව කියන්නේ ලංකාවේ හෝ ඉන්දියාවේ තත්වය ගැන බලා නෙවෙයි, එක්සත් ජනපදය වගේ රටවල්වල තත්වය බලලයි. එම ප්‍රකාශයේ බරපතලකම පැහැදිලියි.

    තරඟකාරී ලෙස අන්තර් ජාලය මගින් අධ්‍යාපනය ලබාදී විෂය නිර්දේශ ආවරණය කළ බවට අධ්‍යාපන බලධාරීන් කිසියම් වීරත්වයක් ආරෝපණය කර නොගත යුතු බවයි අපි කියන්නේ. සමහර ගුරුවරු වගේම සමහර දෙමාපියන් පවා මේ බරපතල අසමානතාවය නිර්මාණය වීම ගැන කල්පනා කර නැති බව අපිට පේනවා. 

    අපේ රටේ 98%ක් පමණ පාසල් අධ්‍යාපනය ලබන්නේ නිදහස් අධ්‍යාපනය, නැත්නම් රාජ්‍ය අධ්‍යාපනයෙන්. ඉතිරි අය ජාත්‍යන්තර පාසල්වලින් අධ්‍යාපනය ලබනවා. පෞද්ගලික අංශයේ ප්‍රධානම ජාත්‍යන්තර පාසල්වල පවා ගුරුවරුන්ගේ වැටුප් අප්‍රේල් මාසයේ සිට කපලා. සමහර පෞද්ගලික පාසැල්වල දරුවන්ගේ දෙමාපියන් මාසික වාරික නොගෙවීම නිසා දරුවන් අන්තර් ජාල පාඩම්වලට එකතු කර නොගන්නා දරුණු ඛේදවාචකයක් තිබෙනවා.

    නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ, එයට මුදල් වෙන්කිරීමේ, එය දිවි හිමියෙන් ආරක්‍ෂා කර ගැනීමේ ප්‍රතිලාභය කොයිතරම්ද කියලා මේ වගේ අවස්ථාවල පැහැදිළි වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය බාර ආණ්ඩු අධ්‍යාපන පනත උල්ලංඝණය කරලා අධ්‍යාපන කඩවලට ඉඩදී තිබුණට දරුවන්ට ඉගැන්වීමේ වගකීම තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. වාරික නොගෙවීම නිසා අධ්‍යාපනය අහිමිකර තිබෙන ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්න කියලා අධ්‍යාපන ඇමතිවරයාට අපි කියනවා. 

    පවතින සමස්ත අධ්‍යාපන ගැටලු විසඳීම සම්බන්ධයෙන් අපිට යෝජනා මාලාවක් තිබෙනවා.

    ■ අන්තර්ජාල අධ්‍යාපනය අතිරේක ක්‍රමයක් හැටියට පමණක් පවත්වාගෙන යාම
    ■ දරුවන්ට අසීමිත ලෙස බර පටවන ආකාරයට අන්තර්ජාල අධ්‍යාපනය පවත්වාගෙන නොයෑම.
    ■ අන්තර්ජාල සේවාවන් සඳහා අය කරන ගාස්තු අඩු කිරීම, දිවා රාත්‍රී ගාස්තු විෂමතාවය අනුව රාත්‍රී කාලයේ ඉතිරි වන ඬේටා ප්‍රමාණය දිවා කාලයේ අධ්‍යාපන කටයුතුවලට ලබාදීම.
    ■ නිශ්චිතවම පාසල් විවෘත කිරීම ගැන තීරණයක් නොමැති තත්වයක් යටතේ සාමාන්‍ය පෙළට පහළ දරු දැරියන්ට ලබාදිය යුතු අධ්‍යාපනය කුමණ ආකරයෙන්ද යන්න විධිමත් සාකච්ඡාවක් කිරීම.
    ■ අන්තර් ජාලය සහ රූපවාහිනිය පාවිච්චි කර විෂය නිර්දේශයෙන් භාහිර විකල්ප අධ්‍යාපන වැඩසටහන් ප්‍රචලිත කිරීම.
    ■ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් මහපොළ සහ ශිෂ්‍යාධාර ලබාදී අන්තර්ජාල අධ්‍යාපනයට අදාල පහසුකම් ලබාදීමට කටයුතු කිරීම යන මූලික යෝජනා අපි ඉදිරිපත් කරනවා. 

    ජනාධිපතිවරයා මෑතකදී විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් කැඳවා අධ්‍යාපනය සම්බන්ධව කර තිබූ කරුණු සම්බන්ධයෙන් අදහසක් කියන්න අවශ්‍යයි. කොරෝනා වසංගතය යටතේදී තාවකාලික පියවරයන් ලෙස අනුගමනය කරන සහ අපි තාවකාලිකව පිළිගන්නා කරුණු පොදු සාමාන්‍යකරණය කිරීමට ඉඩදිය යුතු නැහැ. සෞඛ්‍ය සම්බන්ධයෙනුත් ඒ වගේමයි. කොරෝනා තත්වය යටතේ ගන්නා ක්‍රියාමාර්ග ඊට පසු අනිවාර්ය තත්වයකට පත්වීමට ඉඩදිය යුතු නැහැ.

    ජනාධිපතිතුමා ඒ සාකච්ඡාවේදී කියල තිබුණ රැකියා වෙළඳපොළට ගැලපෙන ලෙස අපේ උපාධි පාඨමාලා සකස් කළ යුතු බව. මේ අදහස පරණ එකක්. ලංකාවේ රැකියා වෙළඳපොළ කියන්නේ ආර්ථිකයේ ප්‍රකාශනයක්. අපේ ආර්ථිකය දියුණු එකක් නෙවෙයි. ලංකාවේ ආර්ථිකයට ගැලපෙන ලෙස උපාධි පාඨමාලා සකස් කළොත් මේ පාඨමාලා වැඩි ප්‍රමාණයක් ඩිප්ලෝමා පාඨමාලා බවට පත් කරන්න වෙනවා.

    උදාහරණයක් හැටියට ඉංජිනේරු පාඨමාලා අවශ්‍ය වන්නේ විශාල වශයෙන් විවිධ කාර්මික නිෂ්පාදනයන් කරන රටකට. ජානාධිපතිවරයා කියන විදියට ඉංජිනේරු පාඨමාලා වැඩි ප්‍රමාණයක් ඩිප්ලෝම පාඨමාලා බවට පත් කරන්න වෙනවා. ලංකාවේ රැකියා වෙළඳපොළ ඉංජිනේරු උපාධි ඉල්ලන්නේ ඉතාමත්ම අඩුවෙන්. ලංකාවේ නිෂ්පාදනය අඩු නිසා, වෙළඳපොළ දුර්වල නිසා, ඉහළ මට්ටමේ රැකියාවලට තිබෙන ඉඩකඩ අඩු නිසා අපේ අධ්‍යාපනය කප්පාදු කරන්නයි මේ යෝජනා කරන්නේ. 

    ලෝක බැංකුවෙන් මූල්‍ය අරමුදලෙන් ලබාදුන් ආර්ථික උගුලකට හසුවී අපේ නිෂ්පාදන ක්‍ෂේත්‍ර වැහිලා තියෙන්නේ. නමුත් අපේ උසස් අධ්‍යාපනයේ ප්‍රමිතියේ යම් ප්‍රමාණයකට ආරක්‍ෂාවී තිබීමත් මේ යෝජනා අනුව කප්පාදු වෙනවා. රටේ නායකයන්ගේ චින්තනයට අනුව අධ්‍යාපනය කප්පාදු කරන්න එපා කියලා අධ්‍යාපනඥයන්ට අපි කියන්න කැමතියි. ඒ වගේම හැම රැකියාවකටම වෙළඳපොළ ඉල්ලුමක් නැති බවත් කියන්න ඕනෑ.

    අපේ රටේ තිබෙන අතිවිශාල පුරාවස්තු ප්‍රමාණය සංරක්‍ෂණය කරන්න පුරා විද්‍යාඥයන් අතිශය වැදගත්. නමුත් වෙළඳපොළ ඉල්ලුමක් නැහැ. අපේ රටේ අතිවිශාල මානසික රෝගීන් පිරිසක් ඉන්නවා. මොන සමාගමද මනෝ විද්‍යාඥයින්ගේ සේවය ලබා ගන්නේ. රටේ පරිසරය අති විශාල වශයෙන් විනාශ වෙනවා. වෙළඳපොළ විසින් පරිසර විද්‍යාඥයින් ඉල්ලන්නේ නැහැ. හැබැයි සමාජයක් පවත්වාගෙන යන්න රාජ්‍යයක් පවත්වාගෙන යන්න මෙවැනි රැකියා විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. මේ තත්වය තේරෙන්නේ නැති එක ගැන අතිශය කණගාටු වෙනවා. 

    මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව දුෂ්ට අවලාද දැවැන්ත ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් ඉන්නවා. එය ආණ්ඩුව පාර්ශ්වය සංවිධානාත්මකව කරන දෙයක්. ජනතා විමුක්ති පෙරමුණේ ලිපි ශීර්ෂ යොදාගෙන ව්‍යාජ ප්‍රවෘත්ති පළ කරනවා. පක්‍ෂ නායකයින්ගේ ඡායාරූප යොදාගෙන ඔවුන් නොකියූ කරුණු නිර්මාණය කොට විශාල වශයෙන් අන්තර්ජාලයට මුදාහරිනවා. අනුර දිසානායක සහෝදරයා, නලින්ද ජයතිස්ස සහෝදරයා වගේම මමත් මේ සම්බන්ධයෙන් සී.අයි.ඩී.යට පැමිණිලි කළා. ව්‍යාජ ෆේස්බුක් වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් සියලු තොරතුරු සමඟ අප්‍රේල් දෙවැනිදා පැමිණිළි කර තිබෙනවා. මාස එක හමාරකට පසුවත් තවමත් කිසිදු පරීක්‍ෂණයක් නැහැ. මේ මඩ ප්‍රහාරයේ ඉන්න අති බහුතරයක් සාමාන්‍ය පුද්ගලයෝ නොවෙයි. 

    ජනතා විමුක්ති පෙරමුණේ අපිට ඕනෑ තරම් විවේචන බාරගැනීමට සහ විවේචනවලට මුහුණදීමට හැකියාව තිබෙනවා. අනෙක් ඕනෑම පක්‍ෂයකට වඩා අභියෝගයන්ට පීඩාවන්ට කරදරවලට අපි මුහුණදී තිබෙනවා. ඕනෑම තත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තුදීමේ හැකියාව අපිට තිබෙනවා. පොදුජන පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්‍ෂයේ සාධාරණ සාමාන්‍ය සාමාජිකයන්ට වඩා තමන්ගේ වෘත්තීය වශයෙන් තමන්ගේ ආත්මයම කෙළෙසා ගනිමින් කටයුතු කරන පිරිසක් ඉන්නවා. ජාතිවාදය ප්‍රකාශ කරන, බොරු ගොතන, තමන්ගේ පෞරුෂය බිඳගත්ත කුලී ලියන්නන් ආණ්ඩුවේ රාජකාරි කරන අතර මේ කටයුතු කරන බව පැහැදිළියි. 

    පසුගිය සති තුනේදී සතියකට එක ගානේ මගේ ඡායාරූපය යොදාගෙන ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කර තිබුණා. පසුගිය දින තුනේදී ව්‍යාජ ප්‍රවෘත්ති 3ක් නිර්මාණය කර බෙදාහැර තිබුණා. මේ මාධ්‍ය සාකච්ඡාවේදී වුණත් ඔබ දකින්න ඇති මම කරුණු ඉදිරිපත් කරන්න කලින් කුණුහරුප කියන, පිරිසක් ඔබ මේ මොහොතෙත් දකිමින් සිටිනවා ඇති.

    සාමාන්‍ය මිනිස්සු නම් තමන් අකමැති දේ අහන්නේ නැහැ. ඒක එක ගුණයක්. එහෙම නැත්නම් කැමති වුණත් අකැමැති වුණත් අහලා පස්සේ විවේචනය කරනවා. නමුත් මාධ්‍ය සාකච්ඡාවලදී සුභ උදෑසනක් කියන්නත් කලින් කුණුහරුප 500ක් විතර කමෙන්ට් පුද්ගලයන් කවුද? මේ රාජපක්‍ෂ පවුලේ පුත්තු නෙවෙයි. ඔවුන්ට බැල මෙහෙවරකම් කරන, වහල්භාවයට පත්වූ සාමාන්‍ය පවුල්වල අය. තමන්ගේ ආත්මය නැති කරගෙන අතින් සල්ලි වියදම් කරගෙන මෙහෙම කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ලැහැස්තියි.

    මේ කොරෝනා තත්වය හමුවේ රාජ්‍ය යාන්ත්‍රණය හැරුණාම වැඩිම වැඩ කොටස කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව අපි ඉතාම නිහතමානීව කියන්න කැමතියි. නගර විෂබීජහරණය කළාම එක් අයෙකුට හෝ වෛරසය බෝවීම අඩු වෙනවා මිස වැඩි වෙන්නේ නැහැ. සෞඛ්‍ය අංශවලට, ආරක්‍ෂක අංශවලට, ලක්‍ෂ ගණන් මුහුණ ආවරණ දුන්නාම වෛරසයෙන් ආරක්‍ෂා වෙනවා මිස ගොදුරු වෙන්නේ නැහැ.

    ජවිපෙ මන්ත්‍රී වැටුප් අරමුදලෙන් ජනතාවට යම් ප්‍රමාණයක හරි ආහාර ද්‍රව්‍ය බෙදුවාම ජනතාවට සහනයක් ලැබෙනවා. රෝහල්වල ලේ හිඟ වුණාම රතු තරුවෙන් ගිහිල්ලා ලේ පරිත්‍යාග කරනවා. වසංගතය ඇතුළේ ජවිපෙ කරපු වැඩවලින් කුමන හෝ දෙයක් වසංගතය වැඩිවෙන්න බලපෑවේ නැහැ. ස්වභාවික ආපදා, කොවිඞ් වසගංතය වගේ අවස්ථාවලදී විතරක් නෙවෙයි අපේ මුළු දේශපාලනයම ස්වේච්ඡාවෙන් කරන එකක්. 

    වමේ දේශපාලනය ස්වේච්ඡා දේශපාලනයක්. වෛරසය මැඩලන්න විෂබීජ නාශක ඉසින සහෝදරවරුන්ගේ ඉඳලා සියලුම දෙනා ඊට දායකත්වය ලබාදෙනවා. ජවිපෙ කුහක යැයි අවලාද කියන පොදුජන පෙරමුණේ නායකත්වයෙන් අහන්න කැමතයි, ඔබ ජවිපෙට මඩ ගහන එක හැරෙන්න අපි කරන වැඩ ගැන ඇගයීමක් කර තිබෙනවද? 

    ඔවුන් සහ අපි අතර වෙනස්කම් ගණනාවක් තිබෙනවා. 

    ■ ඔවුන් කොරෝනා අස්සේ ඡන්ද රැස්වීම් පවත්වනවා. අපි සුභසාදන වැඩ කරනවා.
    ■ ඔවුන් කසිප්පු පෙරනවා, අපි නගර විෂබීජහරණය කරනවා.
    ■ ඔවුන් කුඩු ගේනවා, අපි ලේ පරිත්‍යාග කරනවා
    ■ ඔවුන් ළමා අපචාර කරනවා, අපි දරුවන්ට උගන්වනවා
    ■ ඔවුන් හොරකම් කරනවා, අපි හොරකම් අල්ලනවා.
    ■ ඔවුන් වංචා කරනවා, අපි කෝප් කමිටුවට ගිහිල්ලා දෙගොල්ලන්ගේම වංචා, හොරකම් අල්ලනවා.
    ■ ඔවුන් සහනාධාර විකුණනවා, අපි සහනාධාර බෙදනවා.
    ■ ඔවුන් සුනාමි ආධාර, ජනතා මුදල් හොරකම් කරනවා, අපි මන්ත්‍රී වැටුපත් පරිත්‍යාග කරනවා.
    ■ ඔවුන් රාජ්‍ය සංස්ථා දේපොළ විකුණනවා, අපි රාජ්‍ය සංස්ථා ලාභ කරලා තිබෙනවා
    ■ ජනාධිපතිවරයා මාස 3ක වැටුප දෙනවා, ඒක හොඳයි, අපි අවුරුදු 20ක් තිස්සේ වැටුප් පරිත්‍යාග කරනවා. නිහාල් ගලප්පත්ති සහෝදරයා වසර 26ක් තිස්සේ වැටුප් පරිත්‍යාග කරනවා, මා මගේ වැටුපේ චෙක්පත තාම දැකලා නැහැ. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දක්වා මේ ආදර්ශය ක්‍රියාත්මක වෙනවා.
    ■ ඔවුන් පිටරට ඥාතීන් ගෙන්වා ගන්න ගුවන්යානා යවනවා. අපි රටට සල්ලි ගේන විදේශගත දුක් විඳින මිනිස්සු වෙනුවෙන් කතා කරනවා.
    ■ ඔවුන් රාජ්‍ය සේවකයන්ගේ පඩි කපනවා. අපි ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගනවා.
    ■ ඔවුන් හමුදා සොල්දාදුවන්ට නිරපරාදේ තැන් තැන්වල රඳවා තබනවා, අපි හමුදා සොල්දාදුවන්ට මුව ආවරණ, සෞඛ්‍යාරක්‍ෂක ඇඳුම් ලබාදෙනවා.
    ■ ඔවුන් රටේ සල්ලිවලින් මාලිගා හදනවා, අපි මන්ත්‍රී වැටුප් අරමුදලෙන් රෝහල්වල ගොඩනැගිලි හදනවා.
    ■ ඔවුන් හම්බන්තොට වරාය, ගෝල්ෆේස් ඉඩම් විකුණනවා. අපි ජාතික සම්පත් ආරක්‍ෂා කරනවා.
    ■ ඔවුන් ජාතිවාදය ආගම්වාදය වැඩි කරනවා. අපි ජාතික සමගිය වෙනුවෙන් වැඩ කරනවා.
    ■ ඔවුන් මඩ ගහනවා, කුණුහරුප කියනවා, අපි තර්ක කරනවා, දත්ත, කරුණු ඉදිරිපත් කරනවා
    ■ ඔවුන්ගේ නායකයා ජාතිය ඇමතුවාම රටේම හුලං බහිනවා, අපේ නායකයා කතා කළාම ජනතාව ඒ ගැන හිතනවා.
    ■ ඔවුන් විපක්‍ෂයේ ඉන්න කොට පාර්ලිමේන්තුවේ අන්තිමයන්ට වැටෙනවා, අපේ මන්ත්‍රීවරු ඔක්කොම පාර්ලිමේන්තුවේ මුල් පෙළට අවුරුදු 5ක් තිසේසේ පත්වෙනවා.
    ■ ඔවුන් අධාර්මිකව ජීවත් වෙනවා. අපි ධාර්මිකව ජීවත් වෙනවා.■ ඔවුන් පන්සිල් පද පහම කඩනවා, අපි පන්සිල් රකිනවා

    අපිට පහර දෙන්න හේතුව මොකක්ද?

    ඔවුන් තුළ තිබෙන බරපතල භින්න පෞරුෂය, හීනමානය. පොදුජන පෙරමුණේ නායකයන්ට තිබෙන්නේ හීනමානය පිළිබඳ ප්‍රශ්නයක්. අපට වඩා ඔවුන්ට තනතුරු තිබෙනවා. නමුත් ඔවුන් තනතුරු, තාන්නමාන්න ලබාගන්න ආකාරයෙන් නම් ජනතා විමුක්ති පෙරමුණේ අපිට විකිණිලා ඕනෑම දූෂිතයෙක් පක්‍ෂයට අරගෙන ඕනෑම බොරුවක් කියලා ඡන්ද දිනන්න පුලුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපිට තනතුරු තාන්නමාන්න නැහැ කියලා කිසිම හීනමානයක් නැහැ.

    අප උත්සාහ කරන්නේ හරි ප්‍රතිපත්තිවලින් ජයග්‍රහණය කරලා රට පාලනය බාරගන්න මිසක් රට වළපල්ලට ඇරලා තනතුරු ලබාගෙන වැජඹෙන්න නෙවෙයි. කොවිඞ් වසංගතයට එරෙහිව නිස්සරණාධ්‍යාශයෙන් කටයතු කරන ජවිපෙට ජවිපෙ සාමාජිකයන්ට දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරද්දී මාස දෙක හමාරක් නිහඬව හිඳ අපි වැඩ කළා. අපේ හිතවතුන් අපහසුතාවයට පත් නොවෙන ලෙස උත්තර දිය යුතු නිසයි මේ කරුණු ටික කිව්වේ.

    මේ මඩ ගැසීම අවසන් වෙන්න ක්‍රම දෙකක් තියෙනවා, එක්කෝ පොදුජන පෙරමුනේ නායකයන් හීන මානය නැතිකර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි තුළ තිබෙන හොඳ ගුණාංග ඔවුන් අත්පත් කරගන්න ඕනෑ. ඔවුන්ට ඒවා අත්පත් කරගන්න බැහැ. එසේ නැත්නම් ජවිපෙ ප්‍රතිපත්ති අතහැරලා ඔවුන් වගේ ජරාජීර්ණ කූණුවලට වැටෙන්න වෙනවා. ඒක වෙන්නෙත් නැහැ. ඒ නිසා බොරු කියලා බලය ගත්ත මේ හීනමාන කණ්ඩායම මේ රටට බරපතල අනතුරක් ඇතිකරමින් ඉන්නවා. ජනතාව වෙනස් නොවන තාක් ඔවුන් වෙනස් වෙන්නේ නැහැ.

    ජනතා විමුක්ති පෙරමුනේ අපිට ඕනෑ තරම් සාධාරණ විවේචන ඉදිරිපත් කරන්න. මඩ, කුණුහරුප, අවලාද නිර්මාණය කිරීමෙන් රටට හෝ ජනතාවට කිසිදු වැඩක් නැති බව කියන්න ඕනෑ. අපි තර්කයෙන් පමණක් නෙවෙයි අපි ක්‍රියාකාරිත්වයෙනුත් පොදුජන පෙරමුණේ දේශාපනය පරාජය කර තිබෙන බව ජනතාවට කියන්න ඕනෑ. 

  • කරුගේ රෙදි ගළවන්න ගිය ඉරිදා මව්බිම – Ceylon Today ‘එළිපිට රෙදි ගළවා ගනී’

    කරුගේ රෙදි ගළවන්න ගිය ඉරිදා මව්බිම – Ceylon Today ‘එළිපිට රෙදි ගළවා ගනී’

    2020.05.17 වන ඉරුදින මව්බිම පුවත්පතේ “පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි.” යන ප්‍රධාන සිරස්තලය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසුරිය මහතා ජාතික පොලිස් කොමිසම් සභාවට බලපෑම් කරන ලද බවට පළකර ඇති ප්‍රවෘත්තිය මව්බිම පුවත්පතටම ආවේණික සාවද්‍ය හා ද්වේශ සහගත පුවත් පළ කීරිමේ කුප්‍රකට මාධ්‍ය භාවිතාව අනුවම පළ කරන ලද අසත්‍ය පුවතක් බව අවධාරණය කරන බව කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීරණ අංශය ප්‍රවෘත්ති නිවේදනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    අද (16) දින නිකුත් කරන ලද එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය ඔබගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් අප සම්පූර්ණයෙන්ම පළ කරමු.

    2020.05.17 වන ඉරුදින මව්බිම පුවත්පතේ “පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි.” යන ප්‍රධාන සිරස්තලය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසුරිය මහතා ජාතික පොලිස් කොමිසම් සභාවට බලපෑම් කරන ලද බවට පළකර ඇති ප්‍රවෘත්තිය මව්බිම පුවත්පතටම ආවේණික සාවද්‍ය හා ද්වේශ සහගත පුවත් පළ කීරිමේ කුප්‍රකට මාධ්‍ය භාවිතාව අනුවම පළ කරන ලද අසත්‍ය පුවතක් බව අවධාරණය කරමු. (එම අසත්‍ය පුවත මව්බිම පුවත්පතෙහි ඉංග්‍රීසි පරිවර්තනය ලෙස පළවන 2020.05.17 දින සිලෝන් ටුඩේ පුවත්පතෙහිද “ NPC exposes Karu” යනුවෙන් පළකර ඇත.)

    එමෙන්ම පොලිස්කොමිසම් සභාවේ සභාපතිවරයා සහ  සාමාජිකයන් අතර ඇති වු සාකච්ඡාවක් වෙනත් කිසිදු මුලාශ්‍රකින් තහවුරු නොකොට ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබුණු බව දක්වමින් ප්‍රධාන පුවත ලෙස ගැනීම ම අතිශයින්  පහත් හා හාස්‍යජනක වාර්තාකරණයක් බව සදහන් කළ යුතුය.

    කෙසේවෙතත් මව්බිම පුවත්පත අල්පමාත්‍ර වශයෙන් හෝ වගකිව යුතු මාධ්‍ය භාවිතාවක නිරත වන්නේ නම් උක්ත පුවතෙහි අන්තර්ගත කිසියම් හෝ කරුණක් පොලිස් කොමිසම් සභාවේ සභාපතිවරයා මඟින් නිල වශයෙන් තහවුරු කිරිමට කටයුතු කරන ලෙස අප අභියෝග කරන්නෙමු.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ සමස්ත කොමිසන් සභාවන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳව වැරදි මතයක් සමාජ ගතකොට කිසියම් ප්‍රජාතන්ත්‍ර වීරෝධි දේශපාලන ක්‍රියාදාමයක් සඳහා පසුබිම සකස් කිරිම මෙවැනි පුවත් පළ කිරිමේ අරමුණ බව පැහැදිලිය.

    1999 අපකීර්තිමත් වයඹ මැතිවරණයෙන් පසුව දිගින් දිගටම ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන අධිකරණයක්, ස්වාධීන රාජ්‍ය සේවයක් හා ස්වාධීන පොලිස් කොමසමක් වෙනුවෙන් පෙනී සිටි කරු ජයසුරිය මැතිතුමා එම ප්‍රතිසංස්කරණ උදෙසා ගෙන එනු ලැබු 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රරෝගාමියෙකු වෙයි.

    එබැවින් කරු ජයසුරිය මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධූරය දරණ අවසන් මොහොත දක්වාම ස්වාධීන කොමිසම් සභා මඟින් ශ්‍රී ලාංකීය ජන සමාජය හිමි කරගත් ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම්  කිලිටි කිරිමට කිසිදු බලවේගයකට ඉඩ නොතබනු ඇත.

    මෙවන් පුවතක් පළ කිරිමේදී “ තතු දත් ආරංචි මාර්ගවලින් පවසයි.” වැනි දියාරු වචන යොදාගන්නා මව්බිම පුවත්පතේ බලධාරීන්ට එම පුවත වාර්තා කරන මාධ්‍යවේදීයාගේ නම සඳහන් කිරිමට තරම්වත් කශේරුකාවක් නොමැති වීම පිළිබඳව අප කණගාටු වෙමු. කිසියම් මාධ්‍යවේදීයෙකුගේ නමින් මෙම සාවද්‍ය පුවත පළ කිරිමට කතෘ මණ්ඩලය තුළින් හෝ මාණ්ඩලික වාර්තාකරුවන් අතරින් මාධ්‍යවේදීයෙකු සොයා ගැනීමට පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව දක්වා දරණ ලද උත්සාහය ව්‍යර්ථ වී ඇත්තේ කිසිවෙකු මෙම ව්‍යාජ පුවතට පීතෘත්වය දීමට ඉදිරිපත් නොවු නිසා බව අප වෙත තොරතුරු ලැබී ඇත.

    විශේෂයෙන්ම ශ්‍රී ලංකා කතෘ සංසදයේ ලේකම් ධුරය දරණ සිසිර පරණතන්ත්‍රී මහතා කතෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන පුවත්පතක් විසින් කතෘ සංසදය විසින් උසස් කොට සලකන සියළු ආචාර ධර්ම ඉතාමත් නින්දිත ආකාරයෙන් උල්ලංඝනය කිරිමද විමතියට කරුණකි.

     කෙසේ වෙතත් මෙවන් අසත්‍ය ප්‍රධාන සිරස්තලවලින් මුල් පිටුව සැරසීම මඟින් මව්බිම පුවත්පතට හිමි අතලොස්සක් පාඨකයින් රැකගැනීමට එම පුවත්පත දරණ නිර්ලජ්ජිත උත්සාහය පිළිබඳවද අප අතිශයින් කණගාටු වෙමු. මෙම පුවත මඟින් සිදුකර ඇති ද්වේශ සහගත අපහාසයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කරු ජයසුරිය මැතිතුමා නිසැකවම කටයුතු කරනු ඇත.

    කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීරණ අංශය

  • Hot Plate: පන්දාහේ දීමනාව ගෙවන එක ගැන බැසිල්ට අවුලක් !

    Hot Plate: පන්දාහේ දීමනාව ගෙවන එක ගැන බැසිල්ට අවුලක් !

    අත්‍යවශ්‍ය සේවා සැපයීම පිළිබද ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිවයිනේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කොළඹට කැදවා තිබිණි. ඒ කෝවිඩ් 19 තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව ගෙන ඇති වැඩ පිළිවෙල ගැන ඔවුන් දැනුවත් කිරීම සදහා.

    මේ හමුවට ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන ජයරත්න ඇතුළු මැති ඇමතිවරු කීප දෙනෙකුම එක්ව සිටියේ බැසිල්ගේ දැනුම් දීම අනුවය.

    කොරෝනා වසංගතය පැතිරයාම පාලනය කරන්න ඇදිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමි වූ පවුල් වලට ලබා දෙන රුපියල් 5000 දීමනාව ජූනි මාසයේදීත් ලබා දෙන බව බැසිල් මෙහිදී කීවේය.

    “මේ දීමනාව ලැබිය යුතු හැමෝටම වගේ ලැබිලා තියෙනවා. සමහර තැන්වල පොඩි පොඩි ප්‍රශ්ණ ටිකකුත් තිබුණා. අපි ඒවත් විසදුවා” බැසිල් කීවේය.

    ” මේක ඉතාම හොද වැඩ පිළිවෙලක් සර්. මුලින් මුලින් ප්‍රශ්ණ තිබුණත් ආණ්ඩුව විටින් විට චක්‍ර ලේඛ නිකුත් කර කර ඒ ගැටළු විසදන්න කටයුතු කරපු නිසා වැඩේ හොදට කෙරුණා.” ඇමති ප්‍රසන්න කීවේය.

    ” වැඩේනම් හොදට කෙරුනා. මම ඒත් කල්පනා කර කර ඉන්නේ කලින් රුපියල් 2500 දීලා මම තවම උසාවි යනවා. මේ  5000 දීලා මොනවා වෙයිද දන්නේ නෑ ” බැසිල් කීවේ රැස්ව සිටි සියලු දෙනා සිනා ගස්වමින්ය.

    කෝවිඩ් 19 වසංගතය පැතිර යාම පාලනය කීරිම සදහා ආණ්ඩුව ඇදිරි නීතිය පැණවීමත් සමග ජනතාවට සහන සැලසීම සදහා පළාත් පාලන ආයතන වල මැදිහත් වීම පිළිබදව බැසිල් සියළු දෙනාට ස්තූතිය පුද කිරීමටද අමතක කලේ නැත. පැමිණ සිටි ඇතැමුන් කිව්වේ පළාත් පාලන ආයතනවල ට මෙවැනි අවස්ථාවකදී මීට වඩා මැදිහත් විය හැකි වුවද රජයේ ඇතැම් නීති රීති නිසා එය සීමා වී ඇති බවය.

    ” මේ වෙලාවේ මහජන නියෝජිතයන් ලෙස සක්‍රියව ඉන්නේ ජනාධිපතිතුමයි, පළාත් පාලන ආයතනයයි විතරයි. ඒ කොහොමත් ආණුඩුව පලාත් පාලන ආයතන තවත් ශක්තිමත් කරන්න ඉදිරියේදී කටයුතු කරනවා ” බැසිල් කීවේය.

    රැස්වීමට පැමිණ සිටි ඇතැම් පළාත් පාලන ප්‍රධානීන් බැසිල්ගෙන් ඇහුවේ මහ මැතිවරණය ගැනය.

    ” මම ඔයගොල්ලන්ව කැදෙව්වේ ජනාධිපති කාර්යය සාධන බලකායේ සභාපති විදියට. ඒ නිසා මැතිවරණය ගැන කථා කරන්නේ නෑ. ඒක මැතිවරණ කොමිසම තීරණය කරයි.” බැසිල් කීවේය.

    මම හිතන්නේ ඡන්ද කල් දාන්න හේතු හොයන ලෝකේ තියෙන එකම මැතිවරණ කොමිසම මේ තමයි. ” ප්‍රසන්න

    රැස්වීමේදී මැතිවරනය ගැන කථා නොකලද රැස්වීම අවසන් වීමෙන් පසුව පැමිණ සිටි මැති ඇමති වරුන්ගේ ප්‍රධාන මාතෘකාව වූයේ මැතිවරණය. ඊට මුල පිරුවේ ඇමති ප්‍රසන්නය.

    ” අපිට තියෙන්නේ මරු මැතිවරණ කොමිසමක් ” ප්‍රසන්න කීවේය.

    ” ඒ මොකද? ” ඇහුවේ රෝහිතය.

    ” නැ ඉතින්… මැතිවරණ කොමිසම පිහිටෙව්වේ මොකටද ? ” ප්‍රසන්න අසුවේය.

    ” මැතිවරණ තියන්නනේ. ” කංචන කීවේය.

    ” ඒකනේ.. මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ තියන්න. මොන ස්වාභාවික විපතත් ආවත්, මොන ආපදාවක් වුනත් මැතිවරණ තියන්න විකල්ප ක්‍රමවේද හදලා ජනතාවගේ සර්ව ජන අයිතිය ආරක්ෂා කිරීම තමයි මැතිවරණ කොමිසමේ වගකීම. හැබැයි මේ කොමිසම කරන්නේ ඡන්දේ කල් තියන්න හේතු හොයන එක..  මම හිතන්නේ ඡන්ද කල් දාන්න හේතු හොයන ලෝකේ තියෙන එකම මැතිවරණ කොමිසම මේ තමයි. ” ප්‍රසන්න කීවේය.

    ” සර්, පාර්ලිමේන්තුව කැදවන්න කියලා විපක්ෂය දගලන්නෙනම් හොදකට නෙමෙයි.” පැමිණ සිටි සභාපති වරයෙකු කීවේය.

    ” අපොයි ඔව්. මෙයාලට ඕන මේ යන වැඩ පිලිවෙල නතර කරන්න. මොකද ආණ්ඩුව කොරෝනා පාලනය කලා. ජනතාවට සහන දෙනවා. මෙහෙම ගියොත් ඡන්දෙදි විපක්ෂයට යන්න වෙන්නේ හොම්බෙන්. ඒකයි මේ දගලන්නේ.” රෝහිත කීවේය.

    ” ඒක ඇත්ත. දැන් unp එක කැඩිලා සීසිකඩ ගිහිල්ලනේ තියෙන්නේ. පරණ පාර්ලිමේන්තුව රැස් වෙලාවත් දෙගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්ද කියලයි ඔය ට්‍රයි එක දෙන්නේ. ” ප්‍රසන්න කීවේය.

    බැහැයි කියලා දෙයක් නෑ. මේක හොද ටර්නින් පොයින්ට් එකක්

    කෝවිඩ් 49 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ලොකයේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ සංචාරක ව්‍යාපාරටය. ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මේ නිසා සිදුව ඇත්තේ බරපතල හානියකි. කොරෝනා නිසා බිද වැටුනු සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය අගහරුවාදා (12) කොළඹදී පැවැත්වූයේ විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි. ඒ සදහා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු විවිධ වෘත්තිකයන් කැදවා තිබිණි. ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වූයේ තවත් වසරක්වත් යන තුරු සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කර ගත නොහැකි වනු ඇති බවය.

    ” බැහැයි කියලා දෙයක් නෑ. මේක හොද ටර්නින් පොයින්ට් එකක්. ගෝඨාභය මහත්තයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා සංචාරක ව්‍යාපාරය ගොඩගන්න සැලසුම්. අපි ඒවා ක්‍රියාත්මක කරමු.” ප්‍රසන්න කීවේය.

    කටුනායක ගුවන්තොටුපලේ නව මගී පර්යන්තය සහ නව ප්‍ර වේශ මාර්ගය විවෘත කිරීමට ගුවන්තොටුපල බලධාරීන්ට අවශ්‍ය වීය. විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අදහස වුයේ ඒ සදහා ජනාධිපති වරයා හා අගමැතිවරයා සහභාගී විය යුතු බවයි. ඒ අනුව පසුගිය බදාදා (13) කැබිනට් මණ්ඩලය අවසන් වූ වහාම ඇමති ප්‍රසන්න ජනාධිපති වරයා හා අගමැතිවරයා හමුවී මේ ආරාධනා කලේය.

    “මේ වෙලාවේ ඕවාට ලොකු උත්සව කරන්න ඕනෑ නැහැ. ප්‍රසන්න ඔන්න ඔහේ ඔයා ගිහිල්ලා විවෘත කරන්න. “ ගොඨාභයත් මහින්දත් දෙදෙනාම කිවේය. 

    ඒ අනුව පසුදින විවෘත කිරීමේ කටයුතු සැලසුම් කෙරිණි.  බ්‍රහස්පතින්දා උදෑසන ප්‍රසන්න ගුවන්තොටුපල සභාපතිවරයාට කථා කලේය.  

    “සභාපතිතුමා මම ඕකට එන එක හරි නෑ. මේ මැතිවරණ තියෙන වෙලාවේ. ඒ හින්දා ඔයගෝලලෝ ඕක විවෘත කරන්න.  මම පුළුවන් වුනොත් ඇවිල්ලා යන්න ඒනනම්.“ ප්‍රසන්න කිවේය. 

    ඒ අනුව ගුවන්තොටුපොල සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය එක්ව නව මගී ප්‍රවේශ මාරගය සහ මගී පර්යන්තය විවෘත කළහ. ඒ අතරතුර කාටත් නොදන්වා ප්‍රසන්න ගුවන්තොටුපොලට ආවේය. ගුවන්තොටුපොල නව මගී ප්‍රවේශ මාර්ගය නිරීක්ෂණය කළ ඔහු එතන තිබුනු බස් රථයකට නැග්ගේය. නිළධාරීන් කිහිප දෙනෙකුද ගොඩකර ගත්තේය. ප්‍රවේශ මාර්ගය හරහා  කටුනායක ගුවන්තොටුපොලට වාහන ඇතුලත් කළ යුතු ආකාරය පිළිබද උපදෙස් දෙමින් ගුවන්තොටුපොලට ගියේය. ප්‍රසන්න කෙතරම් හොදින් මේ වැඩ පිළිවෙල පිළිබද නිළධාරීන්ට උපදෙස් දුන්නේද කියතොත් ඔහුගේ උපදෙස් අවසන් වන විට ප්‍රවේශ මාර්ගය හා ගුවන්තොටුපොල අතර ඇමති වරයා රැගත් බස්රථය වට පහක් ගමන් කර තිබුණි.   

    ලියන්නේ – ගජබා නාගහවත්ත

  • ආණ්ඩුවේ ජනතාවට වසංකරන ‘ආර්ථිකයේ ඇත්ත කතාව’ විජිත හේරත් හෙළි කරයි

    ආණ්ඩුවේ ජනතාවට වසංකරන ‘ආර්ථිකයේ ඇත්ත කතාව’ විජිත හේරත් හෙළි කරයි

    ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අද (15) දින බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහභාගී වුණා. එම මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා විසින් දැක්වූ සියලුම අදහස් පාඨක ඔබට නිවැරදි – සමබර – නිරවුල් – විශ්වාසනීය පුවත් දැන ගැනීම සදහා සංස්කරණයකින් තොරව මෙහි පළ වෙනවා.

    මාර්තු මාසයේ 02වැනිදා විසුරුවා හැරි පාර්ලිමේන්තුව මාස 3ක් ඇතුළත නැවත කැඳවිය යුතුයි. අභිනව පාර්ලිමේන්තුව මැයි 14වැනිදා කැඳවිය යුතු බවට ජනාධිපතිවරයා ගැසට් කළා. නමුත් ඊයේ (14) පාර්ලිමේන්තුව කැඳවූයේ නැහැ. ගැසට් නිවේදනය අවලංගු කරලත් නැහැ. නැවත කැඳවන දිනය සඳහන් කර අලූත් ගැසට් නිවේදනයක් නිකුත් කළෙත් නැහැ. සැලැස්මක් නැති ආණ්ඩුවක්.

    කොරෝනා වසංගතයට කලින් ඉඳලාම ආර්ථිකයේ බරපතල ගැටලූ මතුවෙමින් තිබුණා. ලෝක වෙළඳපොළේ තෙල් මිල සීග‍්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව කවුරුත් දන්නවා. ලෝක වෙළඳපොළේ තෙල් බැරල් එකක් ඩොලර් 133 සිට සීග‍්‍රයෙන් පහත බැහැලා. වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඇතුලූ ප‍්‍රබල අමාත්‍යවරු එදා පාපැදියෙන් පාර්ලිමේන්තුවට ඇවිත් තෙල් මිල අඩු කරන්න පැවැති ආණ්ඩුවට බලකළා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විපක්‍ෂයේ සිටියදී රු. කෝටි 30,000ක අමතර ලාබයක් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය තුළින් ගන්න පුළුවන් කිව්වා. එම මුදල් විවිධ ආර්ථික කි‍්‍රයාකාරකම්වලට වෙන්කළ හැකි බව පෙන්වා දුන්නා. නමුත් වත්මන් ආණ්ඩුව ලෝක වෙළඳපොළේ කොතරම් තෙල්මිල අඩු වුණත් අවුරුද්දක් යන තුරු මිල අඩු නොකරන බවට ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා.

    රටේ ජනාධිපතිවරයා කොරෝනා වසංගත තත්වය පිළිබඳව ජාතිය අමතලා කිව්ව එකම දේ සැමන් ටින් එක රු. 100ටත් පරිප්පු කිලෝ එක රු. 65ටත් දෙනවා කියලා. තෙල් මිලේ වාසිය සැමන්, පරිප්පුවලින් දෙන බව කිව්වා. සාමාන්‍ය වෙළඳපොළේ ඒ මිලට සැමන්, පරිප්පු තිබුණේ නැහැ. සතොස තිබුණු ටිකත් ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරුන් ඇතුළු දේශපාලනඥයන් තොග පිටින් අරගෙන යටිමඩි ගහපු හැටි හෙළිවුනා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සැමන් ටින් එක ආපහු රු. 230ටත් පරිප්පු කිලෝවක් රු. 170ටත් වැඩිකර තිබෙනවා. සැමන්, පරිප්පු දේශපාලනයට තෙල් මිල යට කළා මිස ඇත්ත ආර්ථික වාසියක් ජනතාවට අත්වුණේ නැහැ. ලෝක වෙළඳපොළේ තෙල් මිල පහුගිය දවස්වල සෘණ අගයන්ට වැටුණා. නමුත් අපේ රටේ තවමත් මිල අඩුකළේ නැහැ. අද විවෘත වෙළඳපොළේ තෙල් මිල 2019 ජනවාරි සිට 2020 ජනවාරි වනවිට සීග‍්‍රයෙන් පහත වැටුණා. අද බොරතෙල් බැරල් එකක් ලෝක වෙළඳපොළේ ඩොලර් 28ක් පමණ වෙනවා. විවෘත වෙළඳපොළේ ඩොලර් 28ක් වුණාට රාජ්‍යයන් අතර විවිධ ගිවිසුම් මගින් ගන්නකොට ඩොලර් 10ට ගන්න පුළුවන්.

    ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසය වෙනකොට විවෘත වෙළඳපොළේ බොරතෙල් බැරල් එකක් 60%කින් මිල අඩුවෙලා. ජනතාවට මේ සහනය වහාම ලබාදිය යුතුයි. අද රු.104 තිබෙන ඞීසල් ලීටරය රු. 42ට දෙන්න පුළුවන්. රු.137ට තියෙන පෙට‍්‍රල් ලීටරයක් රු.55ට දෙන්න පුළුවන්. භූමිතෙල් ලීටරයක් රු.70 ඉඳලා රු.28ට අඩු කරන්න පුළුවන්. මිල සහනය නොදීම නිසා ඉන්දීය අයි. ඕ.සී. සමාගම විශාල ලාභයක් උපයමින් තිබුණා. අපි ඊට විරුද්ධව දැඩිලෙස විවේචනය කිරීමේ ප‍්‍රතිඵලයක් හැටියට බද්දක් අය කරන්න පටන් ගත්තා. ඒ නිසා ආණ්ඩුවට සල්ලි නැහැ කියන්න කිසිම අයිතියක් නැහැ. රු.5,000 දීමනාව ජනතාවට දෙන්න රු. කෝටි 2572ක් වැයකළ බව ආණ්ඩුව කියනවා. ඉන්ධන මිල අඩුවීම නිසා අතිරේකව කොපමණ මුදලක් උපයාගෙන තියෙනවාද කියලා ආණ්ඩුව කියන්නේ නැහැ. මේ වාසියේ තරම රටේ ජනතාවට කියන්න කියලා අපි බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට අභියෝග කරනවා. ඉන්ධන මත බදු හෝ වෙනත් ගාස්තු කිසිවක් අඩු කරලා නැහැ. එදා රු. කෝටි 30,000ක අමතර ආදායමක් උපයන බව කිවු බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ තොරතුරු ජනතාවට හෙළිකළ යුතුයි.

    පී.බී. ජයසුන්දර මහතා රජයේ සේවකයන්ගේ පඩි කපාගන්න ලියුම් ගහනවා. ඒ අතරේ අගමැතවරයාගේ ආර්ථික උපදේශක කබ‍්‍රාල් මහත්තයා අර්ථසාධක අරමුදලෙන් 20%ක් මුදා හරින්න යෝජනා කරනවා. සල්ලි නැහැ කියන ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ගයට රු. කෝටි 3100ක් වෙන් කරන්න ණය ගන්නවා. මේ කොන්ත‍්‍රාත් ලබාදෙන සමාගම් නියෝජනය කරන රටවල්වලින්ම 6%ට 7%ට වූ ඉහළ පොලියකට මේ ණය ගන්නේ. ඒක ආර්ථිකයේ ප‍්‍රමුඛතාවය නෙවෙයි. කොරෝනා වසංගතය නිසා විශාල පිරිසකට රැුකියාව අහිමිවීමේ අවධානමක් තියෙනවා. ස්වයං රැුකියාවල ඉඳලා මහා පරිමාණ ව්‍යපාර ආයතන පවා වැටිලා ඉන්නේ. සේවකයන් 50%කින් කප්පාදු කරන්න හදන්නේ. මධ්‍යම අධිවේගී මාර්ගයට රු. කෝටි 3100ක් වෙන් කරන ආණ්ඩුව රු.5,000 දෙන්න වෙන්කරලා තියෙන්නේ රු. කෝටි 2572යි.

    පහුගිය සියලූ ආණ්ඩු ගත්ත ණය නිසා අද ජනතාව රු. 650,000ක ඒක පුද්ගල ණය බරකින් පෙළෙනවා. 2019 මහබැංකු වාර්තාවෙන් තව දුරටත් හෙළි වෙන්නේ රු. 80,000ක බදු බරක් සෑම පුරවැසියෙක් මතම පැටවෙලා තිබෙන බවයි. මේ වගේ ආර්ථික බරකින් ජනතාව මිරිකී ඉන්න වෙලාවක ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙන්න කියලා අපි බල කරනවා. නිෂ්පාදකයන්ට ඔවුන්ගේ කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාර නැවත යථා තත්වයට ගන්න නම් ඔවුන්ටත් තෙල් මිල සහනය ලබාදෙන්න ඕනෑ. අපේ රටේ විදුලිය නිෂ්පාදනය සැලකිය යුතු ප‍්‍රමාණයක් ඉන්ධන මත යැපෙන්නේ. කැළණිතිස්ස බලාගාරය වගේම පෞද්ගලික බලාගාරත් ඉන්ධන මත යැපෙන්නේ. ඒ නිසා ඉහළ විදුලි බිලක් නියම වෙලා තියෙනවා. ආර්ථිකය යථා තත්වයට ගන්න නම් නිෂ්පාදනවල පිරිවැය අඩු කරගන්න ඉන්ධන මිල සහයන තුලින් විදුලි බිල අඩු කරන්න ඕනෑ. මේ පහසුකම් සැලසුවොත් අපේ රටේ වැටිච්ච ආර්ථිකය වේගයෙන් ගොඩ ගන්න හැකියාව ලැබෙනවා. ආණ්ඩුව කළ යුත්තේ ඒකයි. ජනතාව තුළ මුදල් සංසරණය වෙන්න, නිෂ්පාදන වැඩි කරන්න දායක වෙන්න තෙල් මිල සහනය ලබාදිය යුතුව තිබෙනවා.

    ඉන්ධන මිල සහනය යට ගහන්න මාතෘකා ගෙනෙමින් තිබෙනවා. ටොම් ඇන්ඞ් ජෙරී රඟපෑම් ඉස්සරහට ගෙනත් තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ අත්අඩංගුවට ගැනීම් ජවනිකා වගේම මේ ආණ්ඩුවත් ඒ ජවනිකා පටන් අරන් තියෙනවා. ගහෙන් වැටුණු මිනිහට ගොණා ඇන්නා වගේ කි‍්‍රයාමාර්ග ගන්නවා වෙනුවට ජනතාවගේ එදිනෙදා ප‍්‍රවාහන වියදම් ඇතුලූ වියදම් අඩු කිරීමට පියවර ගන්නා ලෙස අපි බල කරනවා. භූමිතෙල් සහනය හරහා ධීවරයන්ට විශාල ශක්තියක් දෙන්න පුලූවන්. ඒ තුළින් මීට වඩා ලාභයකට පාරිභෝගිකයාට මාළු මිලදී ගන්න පුළුවන්. ආර්ථිකය තුළ ජනතාවට සහන දීලා, නිෂ්පාදකයන්ට සහන දීලා ඒ හරහා ආර්ථිකය ප‍්‍රසාරණය කරලා ආර්ථිකය යථා තත්වයට පත් කරන්න රජයක් විසින් ගත යුතු ¥රදර්ශී කි‍්‍රයාමාර්ග මේවා. අපේ රටේ වැටිච්ච ආර්ථිකය නැවත ගොඩ ගන්න නිෂ්පාදකයන්ටත් ජනතාවටත් සහනාධාර දෙන්න අවශ්‍ය මැදිහත්වීම් කරන්න කියලා, ඒ වෙනුවෙන් වහාම තීන්දු, තීරණ ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

    මාධ්‍යවේදීන් එවා තිබූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්
    විදේශගත ශිෂ්‍යයන් ඇතුලූ ශී‍්‍ර ලාංකිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ ගැටලූ සම්බන්ධයෙන්

    ලංකාවට නැවත ගෙන්වා ගැනීමේදී ප‍්‍රමුඛතාවය දිය යුතුව තිබෙන්නේ ශිෂ්‍යයන්, දුෂ්කරතාවයට පත්වී සිටින ගැබිනි මව්වරුන් සහ සෞඛ්‍යමය කරුණු මත ප‍්‍රතිකාර ගැනීමට ගිය අයට. තානාපති කාර්යාල නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ලැයිස්තු සකස්කර තිබුණා. සමහර රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක් වගේම දේශපාලඥයින් මැදිහත් වී තමන්ගේ දරුවන්ව, ඥාතීන්, හිතවතුන්ගේ දරුවන්ව ගෙන්වා ගන්න බලපෑමක් කර තිබුණා. ඒ නිසා තානාපති කාර්යාල නිලධාරීන් දැඩි අසීරුතාවයකට පත්වෙලා. මේ අනවශ්‍ය මැදිහත්වීම් නතර කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ප‍්‍රමුඛතාවය අනුව ලැයිස්තුගත කරලා ලංකාවට ගෙන්වා ගන්න තානාපති කාර්යාලවලට ඉඩ දෙන්න කියලා අපි අවධාරණය කරනවා.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධ ගැටලූව

    පාර්ලිමේන්තුව සතු මූල්‍යමය බලය මුදල් ලේකම්වරයා පාවිච්චි කරනවා කියන විශාල ආන්දෝලයක් ඇතිවී තිබුණා. ඒ සම්බන්ධයෙන් නිශ්චිත කරුණු හෙළිවී තිබෙනවා. අපේ රටේ ණය ගැනීමේ සීමාව සම්මත කරන්නේ පාර්ලිමේන්තුව. හැබැයි මධ්‍යම අධිවේගී මාර්ගයට අලූතින් ණය ගන්නකොට ඒ සීමාව ඉක්මවා යනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැහැ. මුදල් ලේකම්වරයා මෙවැනි තීන්දුවක් සම්බන්ධයෙන් සෘජුවම වගකීමට ලක් වෙනවා. ඒ වගේම මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කළ තත්වයක් තුළ මුදල් ලේකම්වරයා මාර්තු 06වැනිදා අතුරු සම්මත ගිණුමක් සම්මත වුණා සේ සලකා චක‍්‍රලේඛයක් නිකුත්කර තිබුණා. මේ චක‍්‍රලේඛණය මුළුමනින්ම වැරදියි. මුදල් ලේකම්වරයා සෘජුව වගකිව යුතුයි කියන චෝදනාවක් එල්ල වුණා. මේ නිසා ඔහු හදිසියේ රෝහල්ගත වෙන්න පෙළඹුනාද කියන ප‍්‍රශ්නාර්ථය තිබෙනවා.

    ජාතික රූපවාහිනිය මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාගේ මුණුබුරා සම්බන්ධයෙන් ප‍්‍රචාර කළ වාර්තා වැඩසටහන ගැන

    රජයේ මාධ්‍ය නාලිකා පවුලේ නාලිකා කරගෙන මේ වගේ වාර්තා වැඩටසටහන් ප‍්‍රචාරය කරන තැනට රජයේ මාධ්‍ය වට්ටවා තිබීම ගැන කණගාටුයි. මේවා වෙනස් කළ යුතු දේවල් බව අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඒ වගේම ඡුන්දයකදී මේ වැනි වැඩසටහන්වලින් සිදු කරන බලපෑම් පිළිබඳව අපි අධ්‍යයනයක ඉන්නවා.

    මොණරාගල දිස්ති‍්‍රක්කයේ පිටි බෙදාහැරීම සම්බන්ධව

    කොරෝනා වසංගතයක් එක්ක ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් විශාල පිටි තොගයක් චමල් රාජපක්‍ෂ ඇමතිවරයා යටතේ තිබුණු කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබුණා. එතුමාගේ පුතා ශෂේන්ද්‍ර රාජපක්‍ෂ ඡුන්දය ඉල්ලන මොණරාගල දිස්ති‍්‍රක්කය තුළ ප‍්‍රාදේශීය දේශපාලඥයන් මැදිහත් කර ගනිමින් ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙළක් පටන් ගෙන තිබෙනවා. ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහත්තයා තමන්ගේ වියදමෙන් බෙදා දෙන පිටි හැටියට කරගෙන යන මේ කි‍්‍රයාවලිය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.

    එම්.සී.සී. ගිවිසුම ගැන

    බලයට එන්න කලින් මේ ගිවිසුම රටට හතුරු නිසා මුළුමනින්ම කුණු බක්කියට දාන බව කිව්වා. නමුත් බලයට පත්වුණාට පස්සේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින්ම මේ ගැන සොයා බැලීම සඳහා වෙනම කමිටුවක් පත්කළා. ඒ කමිටුවෙන් වාර්තාවක් බාර දී තිබෙනවා. විවිධ ඇමතිවරුන්, විවිධ දේවල් තැන් තැන් වලදී කීවා මිස මේ ගිවිසුමට අදාල ක‍්‍රියාවලිය තවම නතර කර නැහැ. ඇමරිකාවත් එක්ක අත්සන් කරන්න ලැහැස්ති වුණු මේ ගිමිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ වත්මන් ස්ථාවරය ජනතාවට හෙලිකළ යුතුයි. ඇමරිකන් තානාපතිවරයා එක්ක සිදුකළ සාකච්ඡුාවලදී මේ ගිවිසුම සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ රටේ ජනතාවට හෙළිදරව් කළ යුතුයි.

  • ආණ්ඩුව ජල බිල්පත්, විදුලි බිල්පත් දෙගුණ කරලා ජනතාව මත බර පටවලා –  මනුෂ

    ආණ්ඩුව ජල බිල්පත්, විදුලි බිල්පත් දෙගුණ කරලා ජනතාව මත බර පටවලා – මනුෂ

    ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩුවම් කරන බවත්, රාජපක්ෂ කදවුරේ අයෙක්ට ඇප ලැබුණ විට එක් ආකාරයකටත්, විපක්ෂයේ අයෙක්ට ඇප ලැබුණ විට තවත් ආකාරයකටත් කටයුතු කරන බවත්  ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ අපේක්ෂක මනුෂ නානායක්කාර පැවුසවේය.

    සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේදී පැවති අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.

    රාජිත‌ සේනාරත්නට ලබාදී තිබූ ඇප අවලංගු කිරීම සදහා ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් ඔහු නැවත වරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඇප ලබාදුන් විට, ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාලව ඇප ලබාදුන් විට නීතිපති දෙපාර්තමේන්තුව ඒ සදහා ප්‍රතිශෝධන අයදුම්පත් ඉදිරිපත් කළාද? උදයංග වීරතුංග මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබාගත් විට විමර්ශණ අවසන් නොමැති බව කියමින් ඔහුගේ ඇප ලබාදීමට විරුද්ධව ප්‍රතිශේධන අයදුම්පත් ඉදිරිපත් නොකළේ ඇයි? මේ සියල්ලම සිදුවන්නේ දේශපාලන අවශ්‍යතාවය මත, කොරෝනා අතරේ දේශපාලන දඩයමක් සිදුකරනවා.

    මේ වන විට මංගල සමරවීර හිටපු ඇමැතිවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා කැදවා තිබෙනවා. කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන මැතිවරණයක් කරන්න ආණ්ඩුව උත්සාහ ගත්තා. කොරෝනා වසංගතය, වසංගතයක් කරගැනීමට ජනතාව ආණ්ඩුවට ඉඩ ලබා නොදෙන විට, ආණ්ඩුව අසාර්ථක වන විට විපක්ෂය මර්දනය කරමින් බලය ලබාගැනීමේ නින්දිත වැඩපිළිවෙක් තමයි ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ.  ඇප ලැබුණේ රාජපක්ෂ කදවුරේ සිටින අයෙක්ට නම් නීතිය එක ආකාරයටත්, විරුද්ධ පාර්ශවයේ අයෙක් නම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙනස් විදියකටයි.

    රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයාට විරුද්ධව කළුතර දිස්ත්‍රික්කයේ ඇමැතිවරයෙක් මාධ්‍යයට ඇවිත් කතා කරනවා. රාජිත සේනාරත්න රෝහල් ගත වේවි කියලා ඔහු කියලා තිබුණා. ඒත් රාජිත සේනාරත්න අධිකරණයට ගොස් භාර වුනා. අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට එන්න කියලා කිව්වම නයා කෑවා කියලා රෝහල් ගත වුන අය තමයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. මෑත කාලයේදී නඩු එනවිට ලෙඩ වෙනවා, බෙහෙත් ගන්න සිංගප්පූරු යනවා, රෝහල් ගත වෙනවා. මිග් ගනුදෙනුව, සොහොන් හදපු නඩුව එන විට තමන් වැරදි යැයි දැනගෙන නඩු කල් දමාගත්තා. ඒ සදහා පසුගිය රජයෙනුත් යම් යම් සහායන් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. නඩුවලින් වැරදිකාරයින් විය යුතු අය, සිර ගෙවල්වල සිටිය යුතු අය ජනාධිපති පුටුවට එන්න පුලුවන් වුනේ මේ නිසා තමයි.

    මැතිවරණයට ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක අමාත්‍යාංශ හතකට ලේකම්වරු පත් කර තිබෙනවා. ඒක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්.  පසුගියදා පත් කළ අමාත්‍යාංශ ලේකම්වරු හත් දෙනාගෙන් දෙදෙනෙක්ම හමුදා සාමාජිකයින්. සක්‍රීය හමුදා සේවයේ සිටින අයෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයට පත් කර  තිබෙන්නේ ඇයි? මැතිවරණය පැවැත්වීමට හැකිද, නැද්ද යන්න තීරණය කිරීමට සෞඛ්‍ය අංශයේ නිර්දේශය අවශයයි. තමන්ට අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට තමයි සක්‍රීය හමුදා සේවයේ සිටින අයෙක් මේ තනතුරට පත් කර තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පත් කරන්න තිබුණානේ. ඔහු වැනි දක්ෂ නිලධාරීන් පත් නොකර අමාත්‍යාංශ මිලටරීකරණය කරන්නේ ඇයි කියලා අපි ප්‍රශ්ණ කරනවා.

    කොරෝනා වසංගතය එක්ක ආණ්ඩුව ගමේ දේශපාලඥයින්ට අවශ්‍ය ආකාරයට රුපියල් පන්දාහක දීමනාවක් ලබාදුන්නා. දෙවැනි වටයේ ලබාදීමටත් දැන් සූදානමින් ඉන්නේ. මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඉතිරි රුපියල් පන්දාහ ලබාදීමට කටයුතු කිරීමට තමයි සූදානමින් සිටින්නේ. මැතිවරණ කොමිසම තවත් මාසයකින් විතර මැතිවරණය කල් දැම්මොත් ජනතාවට තවත් රුපියල් පන්දහසක් ලබාගැනීමට හැකියි. ආණ්ඩුව මේ රුපියල් පන්දහස ලබාදෙන්නේ දේශපාලන අල්ලසක් විදියටයි. දේශපාලන අල්ලසක් ලෙස නොව ජනතාවගේ අවශ්‍යතාවය අනුව මාසයකට පවුලකට රුපියල් විසිදහක මුදලක් ලබාදෙන්න කියලා බල කරනවා.

    මේ වසංගත තත්වය නිසා පීඩාවට පත්වූ ජනතාවට සහනයක් ලෙස ජල බිල්පත් හා විදුලි බිල්පත් ආණ්ඩුව විසින් දරාගන්න කියලා සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළා. මේ ඉල්ලීම කරන විට ජනතාවට ජල බිල්පතයි, විදුලි බිල්පතයි දෙගුණ කරලා තමයි දැන් ලැබී තිබෙන්නේ. මේකට විරෝධයක් ආවාම වැරදිලා විදුලි බිල්පත දෙගුණ වෙලා ඇවිත් කියලා ඇමැතිවරයා කියලා තිබුණි. මේවා හරියට දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා වගේ දෙයක්.

    රැකියා අහිමිවූවන්ට සහන ලබාදෙන්න කියලා අපි ඉල්ලීම් කළා. මේ ඉල්ලීම කරන විට කැබිනට් ප්‍රකාශකයා කියන්නේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුපෙන් භාගයක් ගෙවීමට අවසර ලබාදුන් බවයි. මේක සමාගම්වලට කිසිදු සොයා බැලීමකින් තොරව තමන්ගේ සේවකයින්ගේ වැටුප අඩ වැටුපක් බවට පත් කිරීමට තමයි අවසර ලබාදී තිබෙන්නේ. එක පැත්තකින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප දෙන්න කියලා ජනාධිපති ලේකම්වරයා ඉල්ලීම් කරන විට පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුපෙන් අඩක් කපා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

    රාජ්‍ය  සේවකයින්ගේ වැටුප පරිත්‍යාග කරන්න කියලා ඉල්ලුවේ ඉල්ලීමක් විදියට කියලා කිව්වට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක චක්‍රලේඛයක් ඉදිරිපත් කරමින් වැටුප් කපා හැරීමට ඉල්ලීම් කර තිබෙනවා. රාජ්‍ය ආයතන ගණනාවක වැටුප් කප්පාදු කිරීම් සිදුවෙනාව. මේ වන විට ඌව පළාතේ සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කපා හැරලා තිබෙනවා. සේවකයින්ගේ කැමැත්තකින් තොරව මේ වැටුප් කපාහැරීමට විරෝධය එල්ලවී තිබෙනවා.

    මේ වන විටත් සංචාරක ක්ෂේත්‍රයේ කඩා වැටීමට නිසි විසදුමක් ලබාදී නෑ. ඒ වගේම ව්‍යාපාරිකයින්ට තමන්ගේ ව්‍යාපාර නගාසිටුවාගැනීම සදහා ආණ්ඩුවෙන් කිසිම සහනයක් ලබාදී නැහැ. මුලින්ම ආණ්ඩුව පුරාජේරුවකට පුද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට මාස හයක ණය විරාමයක්, සියයට හතරක ණය මුදලක් ලබාදෙනවා කියලා කිව්වා. මොන ආයතනයද, මොන බැංකුවද මේ සියයට හතරේ ණය ලබාදී තිබෙන්නේ කියලා අපි ප්‍රශ්ණ කරනවා. මේ ණය ලබාගැනීම සදහා වත්කම් ඉදිරිපත් කිරීමට සිදුව තිබෙනවා. මේ නිසා ව්‍යාපාරිකයින්ට සහන ලබාදීමේ වැඩපිළිවෙත් අසාර්ථක වෙලා තිබෙනවා.

    පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් භාගයක් කපන ආණ්ඩුව, රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉල්ලන ආණ්ඩුව කිසිදු හිරිකිතයකින් තොරව කොමිස් ලබාගැනීමට අධිවේගී මාර්ග ඉදිරිකීමට බිලියන තිස් දෙකක මුදලක් ණය ලබාගැනීමට සූදානම් වෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ණය සීමාව ඉක්මවා මුදල් ලබාගැනීමට උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමට නොහැකි අවස්ථාවක ව්‍යවස්ථා විරෝධි ආකාරයට මුදල් වියදම් කිරීමට කටයුතු කරන නිසා තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම ගැන කතා කරන්නේ. මේ විදියට මුදල් වියදම් කළොත් දේශපාලඥයින් තමන්ගේ පුරවැසිභාවය තිබෙන වෙන රටවල්වලට යාවි. ඒවට අමාත්‍යාංශ ලේකම්වරුන්ට තමයි වගකීමට සිදුවන්නේ. මේ නිසා තමයි රැජ්‍ය නිලධාරීන් බිය වී තිබෙන්නේ.

    කොරෝනා වංසගතය නැවත වරක් හිස එසවිමට පුලුවන් මේ නිසා ඉක්මනින් ඡන්දය පැවැත්විය යුතු යැයි කියනවා. ඡන්ද පත්‍රිකා තැටියක දාලා රත් කරලා ඡන්දය තියන්න පුලුවන් කියලා විමල් වීරවංශ අමැතිවරයා කියාල තිබෙනවා. ජනතාවට මොනවා වුනත් කමක් නෑ, කොහොම හරි ඡන්දය තියන්න ඔ්න කියලා හිතන ඇමැතිවරු තමයි මේ ඉන්නේ. මේ වෙලාවේ ජනතාව, ජනතා විරෝධී ආණ්ඩුව ගැන තීරණයක් ගැනීමට බලාගෙන ඉන්නේ

    මේ වෙලාවේ ගමේ ගොවියා කබලෙන් ලිපට වැටිලා. ගොවියාගේ නිශ්පාදන අලෙවි කරගැනීමට නොහැකිවී තිබෙනා පමණක් නොවෙයි, වී ගොවියාට බරපතල පොහොර හිගයකට මුහුණදීමට සිදුව තිබෙනවා. මේවාට විසදුම් ලබාදීමට ආණ්ඩුව කිසිම පියවරක් ගෙන නෑ.

    රට විවෘත කළාට ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නෑ. ආණ්ඩුවත් එක්ක වියතුන් ඉන්නවා කිව්වානේ. මේ වියතුන් එකතු කරගෙන ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන්, රටේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සදහා අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කර සිටිනවා. 

  • සුදුවෑන් නඩුව: රජිත යළි කොටු කිරීමේ සූදානමක්

    සුදුවෑන් නඩුව: රජිත යළි කොටු කිරීමේ සූදානමක්

    පසුගිය ජනාධිපතිවරණ සමයේ කුප්‍රකට ‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහෛ්ස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) නියෝග කළාය.

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න  මෙනෙවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළ අතර ඊට පසුවයි මෙසේ රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වුණේ. 

    මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ මහාධිකරණයේ තීන්දුව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

    කොළඹ මහාධිකරණය මගින් අද (13) පෙරවරුවේ ලබාදුන් ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍ර නියෝගයකට අනුව පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේ සුදුවෑන් රියදුරන් සම්බන්ධ  මාධ්‍ය හමුවට  අදාළ සිදුවීමේ තෙවන  සැකකාර වන හිටපු අමාත්‍ය  රාජිත සේනාරත්නගේ ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

  • හැමදාම රට වහගෙන ඉන්න කියලා අපි කියන්නේ නෑ – මනුෂ නානායක්කාර

    හැමදාම රට වහගෙන ඉන්න කියලා අපි කියන්නේ නෑ – මනුෂ නානායක්කාර

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාව වන විට ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිවී තිබුනේදැයි ප්‍රශ්ණ කරන බවත්, ද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසිවූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාල නොවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

    ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම සම්බන්ධයෙන් වන සටහන 2019 වසරේ අවසන් කාර්තුවේදී නිකුත් වූ නිවේදනයට ඇතුළත් නොවූයේ ඇයිදැයි ප්‍රශ්ණ කරන බවද ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීවේය.

    මැතිවරණයකට ඔ්නැම මොහොතක අපි සූදානම්. ඒත් රට තවම මැතිවරණයකට සූදානම් නෑ. සදුදා දිනයේදී රට විවෘත කරලා, ආණ්ඩුව හරියට නාසය වසාගෙන හුස්මගන්න කියනවා වගේ  වැඩක් කරලා තියෙනවා. රටත් විවෘත කරනවා. ඒත් ඇදිරිනීතියත් ක්‍රියාත්මක වෙනවා. ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙන විට රට විවෘත කරන්නේ කොහොමද? රටේ සාමාන්‍ය ආකාරයට ගමනාගමන පහසුකම් නොමැති නම් දෛනික ජීවිතය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දෛනික ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කළ හැකි සැලසුම් සකස් කර රට විවෘත කළ යුතුයි. ප්‍රශ්ණ ගොඩක් ඇතිවුනත් රට විවෘත කළේ මැතිවරණයට ආණ්ඩුවට තිබෙන හදිසිය නිසයි.

    හැමදාම රට වහගෙන ඉන්න කියලා අපි කියන්නේ නෑ. රටේ ආර්ථිකය යථා තත්වයට පත් කරගත යුතුයි. අපේ රටේ සියලුම ජනතාව සුවපත් වුනාට පස්සේ මැතිවරණ පැවැත්වීමට හැකියි. ‌සෞඛ්‍ය අංශවල කැපවීම නිසා කොරෝනා තත්වය පාලනය කිරීමට හැකියාව ලැබුණා. නැතිනම් ආණ්ඩුව සියලුම තීන්දු තීරණ ගත්තේ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන්. ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙනුත් බලලා තීන්දු තීරණ ගත්තා නම් මේ තත්වය තවත් හොදට පාලනය කරගැනීමට තිබුණා.

    මැතිවරණවලට බයේ මැතිවරණ කල් දාගන්න හදනවා කියලා සමහරුන්ට හිතෙන්න පූලුවන්. අපි මැතිවරණවලට මුහුණදීමට බය නෑ. ඔ්නෑම අවස්ථාවකදී මැතිවරණවලට මුහුණදීමට අපි සූදානම්. ඒත් ජනතාවගේ මිනී මතින් ගොස්, මරණ මතින් ගොස් මැතිවරණවලට මුහුණදීමට අපි සූදානම් නෑ. ජනතාවගේ සෞඛ්‍ය, ජනතාවගේ සනීපාරක්ෂාව, ආරක්ෂාව අංක එක සේ සලකා කටයුතු කළ යුතුයි. එය තහවුරු වූ විට තමයි මැතිවරණ පැවැත්විය යුතු වන්නේ.

    මැතිවරණ පැවැත්වීමේ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමට බව සමහරු කියනවා. මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සදහන් දින වකවානු ඇතුලේදීයි. ඒ දින වකවානුවලින් එලියට ගිහින් මැතිවරණයට දින නියම කිරීමට නොහැකියි. එසේ ජනාධිපතිවරයා විසින් නම් කර ඇති මාර්තු දෙවැනිදාත්, ජුනි දෙවැනිදාත් අතර දිනයක් මැතිවරණ දිනය ලෙස නම් කළ හැකියි. එතැනින් එහාට දින නියම කිරීමට මැතිවරණ කොමිසමට බෑ. ඒ ආකාරයට එතැනින් එහාට ගිහින් දින නියම කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නෑ. රටේ තියෙන තත්වය අනුව හා ආණ්ඩුවෙන් එල්ලවන බලපෑම මත තමයි මේ ආකාරයට ජුනි 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් වන්නේ. මේ ආකාරයට මැතිවරණයට දින නියම කිරීම නීත්‍යානුකූල නෑ. නීත්‍යානුකූල නොවන මැතිවරණ දිනයක්. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව ජුනි 2 වැනිදා පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. ඒ පිළිබද මතය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා.

    මේ වන විට ආණ්ඩුව ව්‍යවස්ථා අර්බුදයක හිරවී සිටිනවා. ඒ පාර්ලිමේන්තුව විසුරවාහැරි දිනයේ සිට මාස තුනක් ඇතුළත මැතිවරණයක් නොපවත්වා මැතිවරණය කල් යැවීමට ආණ්ඩුව ඉඩ හැරියා. පාර්ලිමේන්තුව විසුරවාහැරීමේ ගැසට් නිවේදනය අහෝසි කිරීමට හෝ නැවත පාර්ලිමේන්තුව කැදවීමට ආණ්ඩුව කටයුතු නොකළ නිසා ව්‍යවස්ථා අර්බුදයක් පැන නැගී තිබෙනවා. මේ ක්‍රියාවලිය ඇතුලේ ජනාධිපතිවරයා හිතා මතා ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා

    ඒ වගේම ජනාධිපතිවරයාට මුදල් පාලනය කිරීමට හැකි වන්නේ විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එහෙත් විසර්ජන පනත් කෙටුම්පත සම්මත නොවී තිබියදී පාර්ලිමේන්තුව විසුරවාහැරියොත් විතරයි. ඒත් දැන් පාර්ලිමේන්තුවට විසර්ජන නත් කෙටුම්පතක් ඉදිරිපත්වී නැහැ. ඒ නිසා ජනාධිපතිවරයාට මූල්‍ය පාලනය කිරීමේ හැකියාවක් නෑ. ඒ වගේම ජනාධිපතිවරයා තමන්ගේ අභිමතය පරිදි ණය සීමාවත් ඉහළ දමාගෙන තිබෙනවා. මේකත් හිතා මතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්

    ජනාධිපතිවරයාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා. මැයි මාසයෙන් පස්සේ තමයි ලංකාවට ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙක් හිමිවුනේ. එතෙක් කල් සිටියේ ඇමරිකානු පුරවැසිභාවයක් සහිත ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරණය අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඔප්පු කරන්න කියලා නඩුවක් ගොනු කළා. මේ වෙලාවේදී ස්වදේශකටයුතු අමාත්‍යාංශයේ ලේඛන අස්ථානගතවී ඇති නිසා නඩුව පැත්තකට විසි කළා. අධිකරණය මුලාවේ දාලා, රටේ ජනතාව මුලා කරලා, මැතිවරණයකට ඉදිරිපත්වීම සදහා නාම යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය යන කොන්දේසිය කඩ කර ඇති බව දැන් පැහැදිලියි.

    ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිවීමේ නිවේදනය නිකුත් වුනේ 2020 පළමු කාර්තුවේදීයි. 2019 වසරේ අවසන් කාර්තුවේදී වත් ඔහුගේ නම ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වුනේ නැද්ද කියන ප්‍රශ්ණය අපි යොමු කරනවා. එහෙමනම් මෙතැන ප්‍රශ්ණයක් තිබෙනවා. මෙතැනදි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවාද කියන ප්‍රශ්ණය අපිට අහන්න වෙනවා. පුරවැසිභාවය සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහට අදාල වූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාල වෙන්නේ නැද්ද කියන ප්‍රශ්ණය අපිට අහන්න වෙනවා. ගීතා කුමාරසිංහත් පුරවැසිභාවය ඉවත් කරන ලෙස ඉල්ලා තිබුණා. නමුත් නාම යෝජනා භාරදෙන අවස්ථාව වන විටත් ඇයගේ ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය ඉවත් කර තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය කෝවෝ වොරොන්ටෝ ආඥාවක් මගින් අහෝසි කරනු ලැබුවේ. මේ ආකාරයට බලන විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාව වන විට ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය නිසි ලෙස සම්පූර්ණ කර තිබුණේ නෑ. එදා ගීතා කුමාරසිංහට අදාල වූ නීතිය අද ගෝඨාභය රාජපක්ෂට අදාල නොවන්නේ ඇයි?

  • ජනපති ලේකම් පී.බී. ජයසුන්දර වැටුප් තුනක් ගන්නවා – චම්පික රණවක

    ජනපති ලේකම් පී.බී. ජයසුන්දර වැටුප් තුනක් ගන්නවා – චම්පික රණවක

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට තමාට හිමි වැටුප් තුනෙන් එකක් රට වෙනුවෙන් පරිත්‍යාග කර ආදර්ශයක් ලබාදී ඇති නමුත් ඔහුට මෙන් වැටුප් තුනක් ලබා ගැනීමට මෙරට රාජ්‍ය සේවකයින්ට වාසනාවක් නැතැයි හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

    වත්මන් ආර්ථික අර්බුදය හා එයට පී.බී. ජයසුන්දර මහතා ලබා දුන් දායකත්වය ඇතුළු වත්මන් දේශපාලන හා ආර්ථික ප්‍රවණතා ගැන මෙහිදී හිටපු අමාත්‍යවරයා ගැඹුරින් අදහස් දැක්වූවේය.

    එහිදී වැඩි දුරටත් අදහස් පළකළ චම්පික රණවක හිටපු අමාත්‍යවරයා,

    මැයි මස රාජ්‍ය සේවක වැටුපෙන් අඩක් ආණ්ඩුවට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා යෝජනා කර ඇත. දැනටමත් ස්වයං රැකියාලාභීන් බහුතරයකට කිසිදු ආදායමක් නැති අතර පුද්ගලික අංශයේ සේවකයින් බහුතරයක් ගෙදර යැවීම හා ඉතුරුව සිටින සේවකයින්ගේ වැටුප් 40%-60% ප්‍රමාණයකින් කප්පාදුවක් සිදුකර ඇත. එයට රාජපක්ෂ ආණ්ඩුවේ අනුමැතිය ද ලැබී ඇත. යහපාලන ආණ්ඩුව රජයේ සේවකයින්ට හා විශ්‍රාමිකයන්ට ලබාදුන් 2020 වැටුප් වර්ධකය හා කළමනාකරන ශ්‍රේණිවලට ලබාදුන් රු. 15,000 ඇතුළු දීමනා සියල්ල ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කප්පාදු කර ඇත.

    වැඩකරන විරුවා නොකඩවා රට ගොඩනගනවා නම් ජනතාව පාරට වැටෙන්නේ ඇයි ?

     වැඩකරන ජනයා පාරට වැටෙමින් තිබුණ ද සෞභාග්‍යයේ මාවත ඔස්සේ වැඩකරන විරුවා නොකඩවා රට ගොඩනගන බව මාධ්‍යවලින් ප්‍රචාරය වේ. එකී කූඨ මාධ්‍ය ජවනිකා වලින් නොමග ගොස් නැත්තේ කොවිඩ් 19 වෛරසය පමණක් බව සිතෙන තරමට රැවටිල්ල සිදුකෙරේ.

    ජයසුන්දර මහතා මේ ඉල්ලීම සති කිහිපයකට පෙර සිදුකළ විට ඔහු යටතේ සේවය කළ ඉහළ ගනයේ රාජ්‍ය නිලධාරියෙකු මා හට කීවේ පළමු ආදර්ශය ලෙස ආචාර්ය ජයසුන්දර සිය වැටුප පරිත්‍යාග කර ඇති බව ය. ඔහු තවදුරටත් කීවේ ආචාර්ය ජයසුන්දරට මහ බැංකුවේ විධායක නිලධාරියෙකු ලෙස ලැබෙන විශ්‍රාම වැටුප, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ලැබෙන විශ්‍රාම වැටුප හා ජනාධිපති ලේකම් ලෙස ලැබෙන වැටුප ලෙස වැටුප් තුනක් තිබුණු බව ය. එයින් එකක් රට වෙනුවෙන් පරිත්‍යාග කර එතුමා රටට උතුම් ආදර්ශයක් ලබා දී ඇති සේය. නමුත් වැටුප් තුනක් ලැබීමට සෑම රාජ්‍ය සේවකයෙක්ම ආචාර්ය ජයසුන්දර මෙන් වාසනාවන්ත නැති බව එතුමන්ට අමතක වී ඇත.

    අද රටේ ආර්ථික අර්බුදයක් හා රාජ්‍ය මූල්‍ය අර්බුදයක් පවත්නා බව සත්‍යයකි. ආණ්ඩුව රජයේ සේවකයින්ගේ පඩිනඩි ගෙවා ගැනීමට නොහැකි බංකොලොත් තත්වයක් ඇතිවී ඇති බව පැහැදිලිය. ලැබී ඇති තොරතුරු අනුව, 2020 පළමු කාර්තුවේදී ආණ්ඩුවට ලැබී ඇති ආදායම මෙන් තුන් ගුණයක පමණ වියදමක් දැරීමට භාණ්ඩාගාරයට සිදුව ඇත. (මෙහි ඇත්ත නැත්ත ප්‍රකාශ කිරීම භාණ්ඩාගාර ලේකම්වරයාගේ වගකීම වේ. කෙසේ වෙතත් වැඩකරන විරුවාගේ රටේ දැන් වැඩ කරන්නේ බියගම ඇති සල්ලි අච්චු ගසන මැෂිම පමණකි.)

    දශකයකට අධික කාලයක් සිදුවී ඇති මහබැංකු වංචාව, මිග් ගනුදෙනුව, ඇවන්ට් ගාඩ් ගනුදෙනුව, පුත්තලම බලාගාරය, හම්බන්තොට හා කොළඹ වරාය ඉදිකිරීම්, කොළඹ වටිනා ඉඩම් විකිණීම ආදී ක්ෂේත්‍ර හා මහාමාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීමේදී සිදුවූ දැනට විමර්ෂණය කර ඇති වංචාවලට සම්බන්ධ ධනය රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ ගජමිතුරු ධනපතීන් රටට පූජා කරන්නේ නම් ජයසුන්දරගේ පඩි භාගේ ඉල්ලීම ගැන වැඩකරන ජනයා සලකා බලනු ඇත. එසේ නොමැතිව ධනපතීන්ට බදු සහන දෙමින්, සහගහන තෙල් බදුවලින් සිය ආණ්ඩු පක්ෂ කණ්ඩායම නඩත්තු කරන ආණ්ඩුවකට වැඩකරන ජනයාට අත තැබීමට ඉඩදිය නොහැකිය.

    කෙසේ වෙතත් පවතින රාජ්‍ය මූල්‍ය අර්බුදයට හා ආර්ථික අර්බුදයට හේතු කවරේදැයි විමසිය යුතු වේ.

    01.  රාජ්‍ය ණය බර, විශේෂයෙන් විදේශීය ණය බර වසර 2007 – 2014 කාලයේදී උත්සන්න වීම. මෙය ණය ආපසු ගෙවීමේ අර්බුදයක් ඇති කළේය. 2015-2019 වර්ෂ වල ණය ගැනීම් වලින් 70%ක් පමණ වැය වූයේ 2007-2014 වර්ෂ වල ගත් ණය වාරික සහ පොළී ආපසු ගෙවීමට බව අමතක කල යුතු නැත. 2015-2019 කාලසීමාවේදී ආර්ථික වර්ධනය සීමා වීමටද මෙම ණය බර හේතු වූ බව කිව යුතුමය.

     02.  නව ජනාධිපතිවරයා තේරී පත්වූ වහාම සදාචාර නොවන ක්‍රම මගින් ධනය උපයන ව්‍යාපාරිකයන්ද ඇතුළුව ඇති හැකි අයට 2019 දෙසැම්බරයේ සිට දුන් බදු සහන නිසා රාජ්‍ය ආදායම 30% කින් අඩුවිය. කොරෝනාවට පෙර ඉදිරිපත් කළ එම සහන පැකේජය නිසා පළමු වරට ශ්‍රී ලංකා රජයට රටේ ණය පොළිය සහ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදා විය.

    03.  කොවිඩ්-19 ගෝලීය අධි වසංගතය නිසා ලෝකය පුරා ඇතිවී ඇති ආර්ථික අවපාතය හා එයින් ලංකාවේ ආර්ථිකයට එල්ල වී ඇති නරක බලපෑම, විශේෂයෙන් අන්තර්ජාතික වෙළඳාම හරහා ලැබෙන බදු ආදායම් රජයට අහිමි වෙමින් පවතියි.

    04.  ආර්ථික අවපාතයකදී හැසිරිය යුතු මූල්‍ය විනය හා ආදර්ශය ලබා නොදී රාජපක්ෂ පවුල තවදුරටත් සිය 2006 – 2014 ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථික මංකොල්ලය ඉදිරියට ගෙනයෑමට උත්සාහ කිරීම. පඩි ගෙවීමට මුදල් නැති නමුත් කඩිමුඩියේ මාර්ග තැනීම සඳහා චීනයෙන් සහ වාණිජ බැංකු වලින් ණය ගැනීමට ජනපති ඇතුළු කැබිනට්ටුව කටයුතු කරමින් ඇත.

    05.  ආර්ථික ඝාතකයින් හා සුදු කරපටි අපරාධකරුවන් විසින් 2006 – 2014 වකවානුවේ සිදුකළ විනාශය නොතකා එකී පුද්ගලයින්ටම ආර්ථික පාලනය මුළුමනින් බාරදී දේශප්‍රේමී ආර්ථික විශේෂඥයින් කොන් කිරීම.

    වසර 2006 – 2014 කාලයේ රාජපක්ෂ – ජයසුන්දර ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකයට හා රාජ්‍ය මූල්‍යයට සිදුවූ විනාශය සරලව මෙසේ ගත හැකිය.

    01.  සහනදායී ණය වෙනුවට වාණිජ ණයත්, සහනදායී ද්වී – බහු පාර්ශ්වීය විදේශ ණය වෙනුවට විදේශ වාණිජ වෙළඳපොලෙන් ණය ගැනීමත්, ඒවා ආදායම් නූපදවන ආර්ථික ක්‍රියා සඳහා යෙදවීමත් නිසා ඇතිවී ඇති විදේශීය/දේශීය ණය ආපසු ගෙවීමේ අර්බුදය.

    02.  ඇති හැකි අයටම බදු සහන දෙමින් රාජ්‍ය ආදායම, ද.ජා.නි. සාපේක්ෂව 10% කට අඩු මට්ටමකට ගෙනඒම. මෙය නිදහසෙන් පසු  ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති අවම අගය වන අතර රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්වය බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් විය. තවද මෙය ලොවේ කිසිදු නව ලිබරල් රටක් හෝ නොකළ, නව ලිබරල් ආර්ථික ක්‍රියාදාමයකි

    03.  විවෘත ආර්ථිකයක තිබිය යුතු විදේශ වෙළඳාම (ආනයන අපනයන) ද.ජා.නි. සාපේක්ෂව ඉතා අවම මට්ටමකට (වසර 2000 දී 89% සිට 2014 දී 38%) ගෙනඒම මගින් 1970 තිබූ සංවෘත ආර්ථික තත්වයට රට ආපසු ගෙනයෑම.

    04.  ජාතික භෞතික සැලසුමකට අනුකූල නොවූ, නිවැරදි ශක්‍යතා අධ්‍යයන නැති, නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි නැති, ආර්ථික අතින් ප්‍රතිඵලදායක නොවන වරාය, ගුවන්තොට, ක්‍රීඩාපිටි, සම්මන්ත්‍රණශාලා, අධිවේගී මාර්ග ආදිය හරහා දැවැන්ත ධන මංකොල්ලයක් සිදු කිරීමට රාජපක්ෂ පවුලට හා ඔවුන් වටා සිටින ගජ මිතුරු ව්‍යාපාරික පන්තියකට ඉඩ සැලසීම. (2006 – 2014 යුගයේ රජයේ ප්‍රාග්ධන වියදම රු. බිලියන 3,142 ක් විය. එයින් රු. බිලියන 1,259 ක් (39%) මහාමාර්ග සඳහා යෙදවිනි. මේවායින් ආසන්නයෙන් 15% ක් දූෂණය මගින් ලබාගත්තේ නම් රටට අහිමි වූ ධනය රු. බිලියන 479 කි. එය ජයසුන්දර මහතාට මාස 6 ක් රජයේ වැටුප් ගෙවීමට ප්‍රමාණවත් වේ.) එමෙන්ම, රාජපක්ෂ පවුලේ ධනය සැඟවීම සඳහා නිර්මාණය කළ ගජමිතුරු ධනපතියන් හැරුණු විට ප්‍රාදේශීයවද, ජාතිකවද ශ්‍රී ලාංකික ව්‍යවසායදායකයා විනාශ කරලීම.

    05.  2010 – 2014 කාලයේ ලබාගන්නා ලද දැවැන්ත වාණිජ ණය මගින් ඇතිකරන ලද ණය බුබුලෙන්ද (Credit Bubble) එයට සමාන්තරව ඇතිකළ ඉදිකිරීම් බුබුලද (Construction Bubble) නිසා ඇතිවූ විකෘති ආර්ථික වර්ධනය රට තුළ අනවශ්‍ය ඉල්ලුමක් ඇතිකිරීම. (2010 – 2014 ණයවර බුබුල ඉවත්කළ විට ආර්ථික වර්ධනය 2% කට ආසන්න වේ.) මේ වර්ධනය ලබාගත්තා යැයි කියන 7% වර්ධනය සමකළ හැක්කේ තහනම් උත්තේජක වලින් ඔලිම්පික් පදක්කම් ලබාගත් බෙන් ජොන්සන් හා මේරියන් ජෝන්ස්ගේ ජයග්‍රහණවලට පමණි. ඉදිකිරීම් බුබුල හරහා රට තුළ පරිසරය වනසන කළුගල්, වැලි, පස් ප්‍රාදේශීය ව්‍යාපාරික මාෆියාවක් ඇතිකර ඔවුන් ආණ්ඩුවේ දේශපාලන නායකයින් කරවීම (අද පොහොට්ටුවේ ප්‍රාදේශීය පදනම ඔවුන්ය)

    06.  රාජ්‍ය ණය විවිධ රාජ්‍ය ආයතන වල සැඟවීමෙන් හා උපායමාර්ගික රාජ්‍ය ආයතන අධික ලෙස පාඩු ලැබීමට සැලැස්වීමෙන් සමස්ථ බැංකු පද්ධතිය, ලංවිම, තෙල් සංස්ථාව වැනි ආයතන රටට බරක් වන තත්වයට පත්කිරීම.

    07.  භාණ්ඩාගාර බැඳුම්කර වංචාව ආරම්භ කිරීම (2008) හා කෘත්‍රිම ලෙස පොලී අනුපාත පවත්වා ගැනීම සඳහා රාජ්‍ය සංචිත භාවිත කිරීම ආදිය විසින් ලබාදුන් විෂම ආදර්ශය නිසා ණය ගැනීමද මහා වංචාවක් වීම. (මේ පිළිබඳව වැඩිදුර සංඛ්‍යා දත්ත මවිසින් ලියන ලද “ආලාපාළු ආර්ථිකය” – 2014, “මූල්‍ය අගාධයක් ඉදිරියෙන්” – 2016 සහ “ඉන්න හිතෙන රටකට” – 2019 ලබාදී ඇත.)

    මේ නිසා ඇතිවී තිබෙන ආර්ථික හා රාජ්‍ය මූල්‍ය අර්බුදයට සහමුලින් වගකිව යුත්තෙකු ලෙස රාජපක්ෂ පවුලට හෝ ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට අයිතියක් මෙන්ම සදාචාරයක්ද නැත. මේ අතර රාජපක්ෂලා ගෙවතු වගා සංදර්ශන පවත්වමින් දේශීය ආර්ථිකයක් පිළිබඳ තවත් කූඨ මාධ්‍ය සංදර්ශනයක්ද පවත්වා ගනිමින් සිටිති.

    රාජපක්ෂලා වෙනුවෙන් ජයසුන්දරලා තැනූ ආර්ථික ටයිටැනික් නැව, මූල්‍ය අර්බුදය නම් පවුරේ වැදී ගිලෙමින් තිබෙනා විට රාජපක්ෂ පවුල ලොස් ඇන්ජලීස් බලා යන ප්‍රිජට් (Frigate) යුද නැවකට ගොඩවී, වැඩකරන ජනයාට හම්බන් ඔරුවලට නගින්නැයි කීම දත්කූරු කැවෙන විහිළුවක් බව ද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


  • මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය මැයි 18-19 දිනවල

    මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය මැයි 18-19 දිනවල

    පාර්ලිමේන්තු මහ මැතිවරණය  ජූනි මස 20 වැනිදා  පැවැත්වීමට එරෙහිව පාර්ශ්ව 7ක් විසින් ගොනු  කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් ලබන 18 සහ 19 දෙදින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජයන්ත  ජයසූරිය, එස්. තුරෙයිරාජා මහතා  සහ මුර්දු ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීන් ගෙන් යුතු  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ  මෙම මූලික අයතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදුවිය.

    අද දින පැවැති මූලික අයතිවාසිකම් පෙත්සම් විභාගයෛ්දී නීතිපතිවරයා වෙනු⁣වෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

    මෙහිදී පෙත්කම්කරුවෙකු වන නීතීඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු පෙත්සම් බැවින් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිය යුතු බවයි. සෙසු පෙත්සම්කාර නීතීඥවරුන් එම කරුණු දැක්වීම අනුමත කළේය.

    එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ ඒ පිළිබද අගවිනිසුරුතුමන් විසින් තීරණය කළ යුත්තක් බවත් මහ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අද දින මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි.

    එම කරුණු දැක්වීම් වලින් අනතුරුව විවෘත අධිකරණය හමුවේ අදහස් දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ රටේ දැනට පවතින වාතාවරණය අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බවත්, මේ පෙත්සම් සම්බන්ධයෙන් කල්⁣වේලා ගත කරමින් මේ මොහොත තුළ අධිකරණ ශාලාව තුළ විභාග නොකළ යුත්තක් බවත්එ බැවින් ලබන 18 සහ 19 දෙදින මෙම සියලු පෙත්සම් සලකා බැලීමට තීන්දු කරන බවත්එ හිදී සියලු පාර්ශවයන් වෙත ඇහුම්කන් දීම කළ යුතු බවයි.