Category: සුපිරි Politics

  • චක්‍රෙල්ඛ නිකුත්කළ නමුත්, බැංකු ජනතාවට තවමත් ඒ සහන ලබාදී නැහැ –  රවි කරුණානායක

    චක්‍රෙල්ඛ නිකුත්කළ නමුත්, බැංකු ජනතාවට තවමත් ඒ සහන ලබාදී නැහැ – රවි කරුණානායක

    හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අද (27) කොවිඩ්-19 වසංගතය සහ දේශපාලන හා ආර්ථික කරුණු පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කරමින් මාධ්‍ය හමුවක් පැවැත් වූවා. එහිදී රවි කරුණානායක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළ වෙනවා.

    “රටේ නොයෙක් චක්‍රෙල්ඛ නිකුත් කර ඇති නමුත්, තවමත් බැංකු ක්ෂේත්‍රය තුළින් ජනතාවට ඒ සහන ලබාදී නැහැ. මේ වකවානුවේදී ජනතාවගේ අඩුපාඩුවක් නිසා නොවෙයි, මූල්‍යමය දුෂ්කරතා ඇතිවී තිබෙන්නේ. ඒ නිසා අහිංසක ජනතාවට බැංකු පද්ධතිය මෙන්ම ලීසිං සමාගම් වැනි ආයතන  තුළින් එල්ලවන පීඩාවන්ගෙන් ඔවුන් මුදා ගැනීමයි රජයක් වශයෙන් කළ යුත්තේ. 

    කොරෝනා යුද්ධයෙන් දිනලා, ආර්ථික යුද්ධයෙන් පරාජය වුණොත් අපට මොකද වෙන්නේ. ඒකත් හරියට කොරෝනා හැදුනා වාගෙ වෙනවා නේද. අන්න ඒ නිසා, මොන යුද්ධය දිණූවත්, ආර්ථික යුද්ධය දිනන්නත් අපි  කටයුතු කළ යුතුමයි.

    වෛරසය නැති කරන ගමන්ම අපි අපේ රටේ ආර්ථිකය ජය ගතයුතුයි. මේ වනවිට වැටී තිබෙන මේ රටේ ආර්ථිකය, නැවතත් රටක් වශයෙන් ‍නගා සිටුවීමට අපි සියලු දෙනාම එකාමෙන් එක් වියයුතුයි. මේ වනවිට යම් පිරිස් වලට රු. 5000ක දීමනාවක් ලැබිලා තිබෙනවා.  ඒ ආකාරයේ ජනතාවට සුබසාධනය සැලසිය යුතුයි. නමුත් ඒ රු. 5000 ක දීමනාව ලබාදීමෙන්ම පමණක් සියල්ල  අවසන් කළයුතු නැහැ.

    තවත් කළයුතු වැඩපිළිවෙල රාශියක් තිබෙනවා. ආර්ථිකය ජයගත හැකි වැඩපිළිවෙලක් ඇතිකළ යුතුමයි. රටක් වශයෙන් අපට නැතිවූ සල්ලි නැවතත් ආර්ථිකයට ගෙන ආ හැක්කේ කොහෙමද, දෛනික ජන ජීවිතයට මුදල් සොයාගත හැක්කේ කෙසේද යන්න අපි විමසා බැලිය යුතුයි.”  යැයි හිටපු මුදල් අමාත්‍ය,එක්සත් ජාතික පක්ෂ උප නායක  රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (26) දා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කළ රවී කරුණානායක මහතා….

    “දැන් එළඹිලා තියෙන්නේ කතා කරන අවස්ථාවක් නොවෙයි, මේ බයංකාර තත්ත්වයෙන් ගොඩ ඒම සදහා සැවොම එකාමෙන් එක්වී වැඩකළ යුතු අවස්ථාවක්. පසුගිය සමයේ  ආරක්ෂාවෙලා තිබුණ කොළඹ වැනි ප්‍රදේශ වලත් මේ වනවිට මේ වෛරසය ව්‍යාප්ත වෙලා තිබෙනවා. ජනතාවගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් තමයි මේ ආකාරයට මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ.

    අද අපිට සටන් කරන්න වෙලා තිබෙන්නේ, පෙනෙන සතුරෙක් සමග නොවෙයි. නොපෙනෙන සතුරෙක් සමගයි. ඒක වඩාත් භයානකයි. වයසක්, පාටක් නොමැතිව මේ සතුරා සටන් වදින නිසා අපි වඩාත් කලපනාකාරීව කටයුතු කළ යුතුයි. කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමට ජංගම ස්ථාන ඇති කළ යුතුයි. ඒආකාරයෙන් මෙම වෛරසය මැඩපැවැත්වීඹට කටයුතු කළ යුතුයි.  ප්‍රථමයෙන්ම අපේ සෞඛ්‍ය සේවය, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි. ඉන් අනතුරුව සියලු ජනතාව ආර්කෂා කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ මේ වෛරසය අඩු කිරීම නොවෙයි, නැති කිරීමයි.

    පාර්ලිමේන්තුව කැදවීම හෝ ඡන්ද තැබීම නොවෙයි මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ. රට වෙනුවෙන් සාර්ථක ක්‍රියාමාර්ග ගැනීමයි අත්‍යාවශ්‍ය වෙන්නේ. පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ කියන්නේ බාරකාර ආණ්ඩුවකුත් අවශ්‍ය නැහැ කියන එකයි. පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නැතිනම්, බාරකාර ආණ්ඩුවත් නෛතික භාවයෙන් තොරයි කියන නීතිමය තත්ත්වයක් නේද උදා වෙන්නේ.

    දුරකතන සේවා ආයතන වලට අපි ස්තූතිවන්ත වෙනවා සම්බන්ධතා විසන්ධි නොකර තිබිම සම්බන්ධව. ජනතාවට මේඅවස්ථාවේ බිල්පත් ගෙවීමේ දුෂ්කරතා තිබෙනවා මේ පවතින වාතාවරණය හමුවේ. ඒ  නිසා අහිංසක ජනතාවට මෙම පීඩාකාරී කාලසීම තුළ දුරකතන සබදතා විසන්ධි නොකරන ලෙස අපි කළඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ජනතාව ආරක්ෂා කිරීම තමයි අපේ පරම යුතුකම . ඒ තුළින් අපි රට ආරක්ෂා කළ යුතුයි.

    කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කොටලු. ඒ වගේම මේ අවස්ථාවේ අපට පැහැදිළිව දැකගත හැකියි නියම එක්සත් ජාතික පාක්ෂිකයින් කවුද , ඩීල්කාරින් කවුද කියන එක. එදා අපේ නායකයින් විසින් ඉතාමත් අසිරුවෙන් ගොඩනගාගෙන මෙතෙක් කලක් රැකගෙන ආව එක්සත් ජාතික පක්ෂය, ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම අපේ යුතුකමයි” යැයි පැවසීය.

  • Political Hot Plate: බැසිල් ප්‍රසන්නට ඔපරේෂන් එකක් භාර දෙයි

    Political Hot Plate: බැසිල් ප්‍රසන්නට ඔපරේෂන් එකක් භාර දෙයි

    සටහන – ගජබා නාගහවත්ත

    ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද රජපක්ෂ මහතා පසුගිය සතියේ කොරෝනා වසංගත පාලනය කිරීම සදහා පත් කල  ජනාධිපති කාර්යය සාධක බලකායට විශේෂ වගකීමක් පැවරුවේය. ඒ විදේශ රටවල සිරවී සිටන ශ්‍රී ලාංකියන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමය. ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානි බැසිල් මේ වගකීම පැවරුවේ තවත් විශේෂ දෙදෙනෙකුටය. ඒ දිනේෂ් හා ප්‍රසන්න රණතුංග ඇමතිවරුන්ටය.

    “ විදේශ කටයුතු අමාත්‍යංශ කට්ටියව සම්බන්ධිකරණය කරලා දෙයි. හෙල්ත් එකයි , ආමි එකයි එක්ක එකතුවෙලා මේ එන අයව නිරෝධායනයට යවනකම් ඔපරේෂන් එක ප්‍රසන්න බලන්න ” බැසිල් ප්‍රසන්නට කිවේය.

    ඒ අනුව ප්‍රසන්න දිනේෂ් සමග එක්ව විදේශයන්හි සිට මෙරට  පැමිණෙන පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙළක් සැකසුවේය. හිතන තරම් වැඩේ පහසු නැති බව දැනේනේ විදේශයන්හි සිටින විශාල පිරිසක් සිය මව් රටට පැමණීමට ඉල්ලීම් කරන නිසාය. මේ ගැන ප්‍රසන්න, ජනාධිපති ගෝඨාභය හා අගමැති මහින්ද දැනුවත් කලේය. ඔහු දෙදෙනාම කීවේ එකම කථාවකි.

    “ ප්‍රසන්න මේ පිටරටවල ඉන්නේ අපේම මිනිස්සු. ආණ්ඩුවක් විදියට මේ රටේ ඉන්න අය වගේම පිටරටවල ඉන්න අපේ රටේ අය ගැනත් අපිට වගකීමක් තියෙනවා. මේ වෙලාවේ මේ අය ගෙන්නන එක ගැන සමහරු විවිධ කථා කියයි. ඒත් අපි අපේ වැඩේ කරමු.” ඔවුන් කීවේ එලෙසය.

    ඒ අනුව දිනේෂ් රට වල සිටින සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඔවුන් හරහා ඒ ඒ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද තොරතුරු රැස් කළේය. ප්‍රසන්න ගුවන්තොටුපොල හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ සමග එක්ව මෙහෙයුම දියත් කලේය.

    සදුදා උදෑසනම ප්‍රසන්න ගුවන්තොටුපොලට ගියේ පසු දින පාකිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයක් පිරිසක් දිවයිනට පැමිණීමේ ක්‍රියාවලිය සංවිධානය වන ආකාරය නීරික්ෂනය කරන්නටය. හමුදාවේ හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයද එහි සිටියහ. ප්‍රසන්න මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේ හැකි ඉක්මනින් මේ පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කල යුතු බවයි.

    ප්‍රසන්න කටුනායක ගුවන් තොටුපොලේ සිටියදී ජනාධිපති ගෝඨාභය ප්‍රසන්නට දුරකථන ඇමතුමක් දුන්නේය.

    “ ප්‍රසන්න මොකද තත්ත්වය? ” ජනපති ඇසුවේය.

    “ වැඩ ටිකනම් හොදට කෙරෙනවා සර්. අපි ඔක්කොම වැඩ ටික ලෑස්ති කරලයි තියෙන්නේ.” ප්‍රසන්න කීවේය.

    ගෝඨාභය දුරකථනය විසන්ධි වන විටම ප්‍රසන්නට තවත් දුරකථන ඇමතුමක් ආවේය. එහා කෙළවරේ සිටියේ අගමැති මහින්ද . ඔහු ඇසුවේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන ඒමේ වැඩ පිළවෙලේ ප්‍රගතිය ගැනය. අගමැතිවරයාට උත්තර දුන් ප්‍රසන්න දුරකථනය විසන්ධි කර ලග සිටි සිය හිතවෙතකුට කීවේ “මෙහෙම රටේ දේවල් ගැන හොයල බලන නායකයෙක් අපිට ලැබුනේ රටේ වාසනාවට ” කියාය.

    අගහරුවාදා සවස පාකිස්ථානයේ සිරවී සිටි 113 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් යානයකින් දිවයිනට පැමිණියහ. ඉන් පසුව පසුගිය සතිය පුරාම ඒ අනුව විදේශගතව සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 400කට අධික පිරිසක් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගැනිනි. ඉදිරි සතිය තුල විදේශ ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙල පුලුල් ලෙස ක්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය හා ගුවන් සේවා අමාත්‍යශංය කටයුතු යොදා තිබේ.

    කැබිනට් මණ්ඩල පසුගිය බදාදා (22) රැස්වුනේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. රජයේ කාර්යාල සදහා බදවා ගත් උපාධිධාරීන්ට පසුගිය මස රුපියල් 20000ක දීමනාව ගෙවා නොමැති බව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කලේ ඇමති ප්‍රසන්න රණතුංගය.

    “ අපි බදවා ගත්ත උපාධිධාරීන්ගේ පත්වීම් මැතිවරණ කොමසාරිස් අත්හිටෙව්වා. නමුත් අපි කව්වා ඔවුන්ගේ රුපියල් 20000 දීමනාව ගෙවනවා කියලා. තවමත් ඒ දීමනාව ලබා දීලා නෑ ” ප්‍රසන්න කීවේය.

    “ අපි ඒක ගෙවන්න කව්වනේ. ” ජනාධිපති ගෝඨාභය කීවේය.

    “ ඔව් සර් අපි කිව්වාට ඒක වෙලා නෑ. ”  ප්‍රසන්න නැවත කීවේය.

    ජනාධිපතිවරයා රාජ්‍ය පරිපාලන ඇමති ජනකට උපදෙස් දුන්නේ වහාම ඒ ගැන කටයුතු කරන ලෙසය.

    මේ අතර පසුගිය සදුදා මැතිවරණ කොමසාරිස්වරයා  මැතිවරණයට දින නියම කලේය. එහෙත් විපක්ෂය කියන්නේ මැතිවරණ කොමසාරිස්වරයා නියම කර ඇති දිනය ව්‍යවස්ථා විරෝධී බවය. ඒ නිසා පැරණි පාර්ලිමේන්තුව රැස් කල යුතු යැයි ඔව්හු කියා සිටිති. මේ ගැන කථා බහක් පසුගිය බදාදා පොහොට්ටුවේ සභාපති මාහාචාර්යය ජී.එල් පීරිස්ගේ නිවසේදී ඇතිවිය. ජී.එල් මෙහිදී කිවේ විපක්ෂයේ ඉල්ලීම පදනම් රහිත බවය.

    “ විපක්ෂය ඔය කියන විදියට පරණ පාර්ලිමේන්තුව නැවත කැදවන්න කිසිම අත්‍යවශ්‍යතාවයක් නෑ. ” ජී.එල් කීවේය.

    “ විපක්ෂය ඔය මැතිවරණය කල් දාලා පාර්ලිමේන්තුව කැදවන්න කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. නැතිවුන වරප්‍රසාද ටික ගන්න. ” ප්‍රසන්න කීවේය.

    “ ඒක ඇත්ත. මේ හාදයන්ට ආයේ මෙලෝ සම්මජ්ජාතියෙන් පාර්ලිමේන්තු එන්න හම්බෙන්නේ නෑ කියලා මේ ගොල්ල දන්නවා. ඒකයි ඔය විශ්‍රාම වැටුපයි, දීමනා ටිකයි, නිල නිවාසයයි ගන්න තමයි ඔය හදන්නේ.” රෝහිත කීවේය.

    “ කැදවන්නම වටින පාර්ලිමේන්තුව. පාස්කු ප්‍රහාරයට, මහ බැංකු මංකොල්ලයට මොකුත් කරන්න බැරි උනා. ඒගොල්ලෝ අයේ රැස්වෙලා කොරෝනා පාලනය කරන්න මොනවා කරන්නද? ඔය හදන්නේ පරණ පාර්ලිමේන්තුව රැස් කරලා ජනාධිපතිතුමා කරන වැඩ ටික නවත්ත ගන්න. ” ප්‍රසන්න කීවේය.

  • සජිත් කල්ලියේ අන්තිම තුරුම්පුවත් ඉවරයි – පාර්ලිමේන්තුව කැදවන්න කරු කැමති නෑ

    සජිත් කල්ලියේ අන්තිම තුරුම්පුවත් ඉවරයි – පාර්ලිමේන්තුව කැදවන්න කරු කැමති නෑ

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) පෙරවරුවේ එහි සභාපති හා හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් මහතා, මහින්ද සමරසිංහ මහතා, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද ඊට සහභාගී වූහ.

    ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාද ඊට එක්ව සිටියහ.

    සාකච්චාව ආරම්භයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෝ සියළුම ස්වාධීන කොමිෂන් සභා වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කළහ. ස්වාධීන කොමිෂන් සභා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එවා තිබූ කාර්ය සාධන වාර්තා මෙහිදී අවධානයට ලක් විය.

    ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත එවා තිබූ ලිපි 02ක් ද මෙහිදී අවධානයට ලක් විය.

     මැතිවරණ කාලසීමාවේදී පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුකරන පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදිම් පොලිස් කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමිසමේ එකඟත්වය ඇතිව සිදුකළ යුතු බව එක් ලිපියක සඳහන් විය.

    මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක් මේ වන විට සිදු කර ඇති පොලිස් ස්ථාන මාරුකිරීම් පිළිබඳව කරුණු මතු කළහ.ඒ අනුව මේ පිළිබඳ පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු කරවීමට මෙහිදී තීරණය කරන ලදී.

    එමෙන්ම හානිපූර්ණය සම්බන්ධව වන කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට හැකි වන ලෙස එම පුරප්පාඩු මීළඟ රැස්වීමේදී සම්පූර්ණ කිරීමටද මෙහිදී තීරණය විය.

    ඉන්පසුව කෝවිඩ් 19 වසංගතය මෙරට පවතින තත්ත්වය හා එය වැලැක්වීමට රජය ගෙන ඇති පියවර මෙන්ම ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අනුගමනය කරමින් තිබෙන පියවර ද ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් දීර්ඝව පැහැදිලි කරන ලදී.

    කෝවිඩ් 19 වසංගතය හමුවේ මැදපෙරදිග රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටළු සොයාබලා එම ගැටළු නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය. එමෙන්ම විදේශ රටවල අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට ගනු ලබන පියවර ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    මේ අතර කෝවිඩ් 19 වසංගතය සමඟ රට තුළ ඇති වී තිබෙන ජාතික ව්‍යසනය විසඳීමට පටු දේශපාලන වාසි නොතකා සියළු දේශපාලන පක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී කරු ජයසූරිය මහතා අවධාරණය කළේය.

    එමෙන්ම මෙම ව්‍යසනයට මුහුණ දීමේදී විධායකය පසුගිය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේද අදහස් ලබා ගනිමින් කටයුතු කිරීම සුදුසු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක්ම අදහස් දක්වමින් කියා සිටිය හ.

    පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුළ පවතින කතාබහ පිළිබඳව අදහස් දැක්වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුව තමන් විසින් කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් නොමැති බව සඳහන් කළේය.

    මෙවැනි ව්‍යවස්ථාමය ගැටළුවකදී අර්ථ නිරූපණයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුවකදී ඒ අනුව කටයුතු කිරීමට තමන් බැඳී සිටින බවත් ජයසූරිය මහතා පැවසුවේය.

  • අලි කොටි නරි හවුල ඡන්දේ එපා කියන්නේ ජනමතයට බය නිසා – ඇමැති ප්‍රසන්න

    අලි කොටි නරි හවුල ඡන්දේ එපා කියන්නේ ජනමතයට බය නිසා – ඇමැති ප්‍රසන්න

    කොක්කෙන් හෝ කෙක්කෙන් මහ මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව රැස්කර ගැනීමට අලි, කොටි, නරි හවුල මේ කුමණ්ත්‍රණය කරන්නේ ජනාධිපතිවරයා ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමට යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ හොර පාරෙන් බලය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ බවයි.

    මෙලෙස මැතිවරණ මග හරින්නේ ජනතාවට මුහුණ දීය නොහැකි අය බවත් එවැනි අයට හිමිවන්නේ දේශපාලන කුණු බක්කිය මිස අන් කිසිවක් නොවන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හා රාජ්‍ය නොවන සංවිධාන කීපයක් මහ මැතිවරණය කල් දමන ලෙසටත් පැරණි පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙසටත් කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

    “ අද එජාපය, ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය කොක්කෙන් හෝ කෙක්කෙන් මහ මැතිවරණය කල් දමාගෙන පැරණි පාර්ලිමේන්තුව කැදවාගෙන නැවත බලය ලබා ගැනීමේ කූට කුමන්ත්‍රණයක නිරතව සිටිනවා. වසංගතය පැතිර යාම වැලක්වීම සදහා කැදවා ඇති මහ මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව කැදවා ගත යුතු බවයි ඔවුන් කියන්නේ. මේ කොරෝනා පාලනය කිරීමට තීන්දු තීරණ ගැනීමට අද පරණ පාර්ලිමේන්තුවක් කැදවිය යුතු නෑ.

    මේ  වන විට ලෝකයේ ප්‍රබල රටවල් වලට වඩා ලංකාවේ හොදින් මේ කොරෝනා වසංගතය පාලනය කරන්න අපිට හැකියාව  ලැබී තිබෙනවා. පැරණි පාර්ලිමේන්තුව රැස්වුනා කියලා මෙහි වෙනසක් වෙන්නේ නෑ. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. පසුගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරපු දියාරූ පිළිවෙල අපිට අමතක නෑ.

    එදා බුද්ධි අංශ සියලුම තොරතුරු දීලා තියෙද්දී ඒ ගැන නොසලකා හැරලා ජනතාව මරා දමන්න උඩගෙඩි දුන්නු අය අද කොරෝනා  පිට දාලා මැතිවරණය කල් දාලා අර රටට කිසිම පලක් නැති වුන පැරණි පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න හදනවා. සුමන්දිරම් වගේ අය තමයි මෙහි පෙරමුණේ ඉන්නේ.

    මේ රටේ ජනතාව එදා තිබුන ඒ පාදඩ යහපාලන ආණ්ඩුව ප්‍රතික්ෂේප කලා අවස්ථා දෙකකදී. එකක් පාලාත් පාලන මැතිවරණය. අනික ජනාධිපතිවරණය. රටේ ජනතාව ඉල්ලුවේ අලුත් පාර්ලිමේන්තුවක්. අලුත් ආණ්ඩුවක් මේ රට අරාජිත කරපු මේ රට විනාශ කරපු ආණ්ඩුවක සාමාජිකයන් නැවත පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා  මේ කෑමොර දෙන්නේ ඇයි. මොනවද මේ අය කරන්න හදන්නේ. මේ අය වැඩ කරන්නේ පිටරට පදයට. ඒ අයට ඕන කරන විදියට රට රූකඩ රාජ්‍යයක් බවට පත් කරන්න අවශ්‍ය නීති රීති  ගේන්න මේ අය හැදුවා. JVP එක රාජපක්ෂලාට බනින එක හැර මොනවද කලේ. මේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ UNP එකට. ඒ අයට පුළුවන් පාර්ලිමේන්තුවේ යෝජනා ගෙනල්ලා සම්මත කරලා ගෝඨාභය ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලට බාධා කරන්න.

    අනෙක් කරුණ තමයි මේ පසුගිය පාර්ලිමේන්තුවේ එජාපයේ හුගක් අලුත් මන්ත්‍රීරුන් හිටියා. ඒ අයට හිමි විශ්‍රාම වැටුප් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් එක්ක අහෝසි උනා. දැන් නැවත ඒක ගන්නෙඑකත් මේ කුමන්ත්‍රණයේ යටි අරමුණක්. මොකද මේ අය හුගකට අයේ පාර්ලිමේන්තුවේ පස් පාගන්න ලැබෙන්නේ නෑ කියලා මේ අය දන්නවා. මේ මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස, දීමනා ටික ගන්නයි මේ එජාපය, ජවිපේ හා ටීන්ඒ හවුල උත්සහා කරන්නේ.

    මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතුමා බලයට පත් වෙලා මාස 04 ගත වෙලා. එතුමාගේ රට ගොඩනගන වැඩ පිළිවෙල නිවැරදිව ක්‍රියාත්මක කරන්න එවකට පැවති ආණ්ඩුව ඉඩ නොදුන් නිසයි ජනතාවට අලුත් ආණුඩුවක් පිහිටුවා ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් කැදවූයේ. අනපේක්ෂිත වසංගතය හමුවේ මේ දේශද්‍රෝහි තුන් හවුල් නඩය හදන්නේ බොරදියේ මාලු බාලා සිය අරමුණ ඉටු කරගන්නයි.

    ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න බැරි කරලා ඔහු බිත්තියට හේත්තු කරන්නයි විපක්ෂය උත්සාහ කරන්නේ. අපි මැතිවරණයකට යනවනම් යන්නේ රටේ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලයි. දකුණු කොරියාවේ කොරෝනා වසංගතය දරුණු තත්ත්වයක තිබුණා. නමුත් මැතිවරණය තිබ්බා. අපටත් ඒ විදියට මැතිවරණය තියන්න පුළුවන්. ජනතාවට එපා වුණ දේශද්‍රෝහින් පලවා හැරලා ජනතාවට අවශ්‍ය අය පත් කරන්න ජනතාවට ඉඩ ලබා දීය යුතුයි. ඊට එරෙහි වෙන්නේ, මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව කැදවා ගන්නට උත්සහා කරන්නේ ජනතාව ඉදිරියට යා නොහැකි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන අමනයින්. මේ අයට හිමිවන්නේ දේශපාලන කුණු බක්කි මිස අන් කිසිවක් නොවේ. ”

  • ‘ග්‍රාම සභා’ හරහා ගම ශක්තිමත් කර ඒකාබද්ධ කරන්නේ මෙහෙමයි

    ‘ග්‍රාම සභා’ හරහා ගම ශක්තිමත් කර ඒකාබද්ධ කරන්නේ මෙහෙමයි

    ධම්ම දිසානායක

    ගම ඒකාබද්ධ ලෙස සංවිධානය කිරීමේ අවශ්‍යතාව කොවිඩ් 19 විසින් යළිත් අවධාරණය කල කරුණකි. මා ‘යළිත්’ යැයි සඳහන් කළේ ගම සංවිධානය කිරීමේ කටයුත්ත පිළිබඳව සමකාලීන නිරීක්ෂණ සහ, මැදිහත්වීම් පිළිබඳව අත්දැකීම් අප රට සතුවත් අප සතුවත් පවතින හෙයිනි.

    පශ්චාත් කොවිඩ්19 හෝ පශ්චාද් කොරෝනා ලංකාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය යන්න මගේ තද බල හැගීමක් ය, යෝජනාවක් ය. මේ කොරෝනා සමයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, භාණ්ඩ හා සේවා බෙදාහැරීම වගේම සැලසිය යුතුම අයට සුබසාධනය සැපයීම සහ දීමනා ලබාදීමේ දී මුහුණ දෙමින් සිටින අර්බුදය වනාහි ගමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ව්‍යුහයක් නැතිකමේ  ප්‍රති විපාක ය.

    ගම නිසි ලෙස සංවිධානය නොකර අර්බුදවලට ආපදාවලට වසංගතවලට මුහුණ දිය නො හැකිය, රට ගොඩ නැගිය නො හැකි ම ය. හැත්තෑ වේ සමගි පෙරමුණු ආණ්ඩුවත් දෙදහස් දහයේ මෙ පිළිබඳව ගත් උත්සාහය එහි දී ඉතා වැදගත් ය. හැත්තෑ වේ අප කුඩා වුන් ය. නමුත් දෙදහස් දහයේ මේ ලියුම්කරු, එකී ගම සංවිධානය කිරීමේ කටයුත්තේ වගකීම් සහගත නිලධාරියෙකි.

    දෙදහස් පහේ ‘මහින්ද චින්තනය’ තුලත් දෙදහස් දහයේ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ තුළත් ගම සංවිධානය කිරීම පිළිබඳව ඉදිරිපත් වූ සංකල්පය සවිස්තරාත්මක ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් බවට පත් කිරීමේ නිල වගකීම පැවරුණේ මා ඇතුළු කණ්ඩායමකට ය. ඒ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ජනසභා අධ්‍යක්‍ෂ ජනරාල් නිලය මා භාරගත්තේ ආභරණයක් ලෙස නොව ඒ තුලින් සමාජ-ජාතික වගකීමක් ඉටු කිරීමේ හැකියාව තිබේ ය යන හැගීමෙනි. ඒ සඳහා ඉඩකඩ සැලසූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට මා අදත් ස්තුතිවන්ත වෙමි.

    ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකකම සංකල්පීයව සඳහන් වී තිබු ‘ජනසභා’ අදහස ප්‍රයෝගික වැඩපිළිවෙලක් සහ ක්‍රියාකාරකමක් බවට පත් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවිණි. විවිධ සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නිලධාරීන් මේ කටයුත්තේ දී දැක් වූ සහය අති විශාලය.

    හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දොළහේ ම එකකින් ග්‍රාම වසම් පහ බැගින් නිලධාරීන් සහ නියෝජිතයින් විසින් තෝරා දුන් පසු අපේ වැඩ සටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළෙමු. ඒ අනුව වසම් හැටක ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණි. ක්‍රියාත්මක කරන අතරතුර ලැබූ අත්දැකීම් සහ ජනයාගේ සිතුම් පැතුම් තේරුම් ගත් අපි ‘ජන සභා’ යන නම වෙනුවට ග්‍රාම වසමේ සභාව ‘ග්‍රාම සභාව’ ලෙස නම් කළෙමු. පසු කලෙක කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයේ තිබෙන සියලුම වසම්වල මෙම නියමු ‘ග්‍රාම සභා’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළෙමු.

    මෙවර ලිපිය තුළ ඒ ග්‍රාම සභා පිළිබඳව විධිමත් පැහැදිලි කිරීමක් සිදු කරන්නේ පශ්චාද් කොරෝනා ලංකාව ශක්තිමත්, විධිමත්, ජන කේන්ද්‍රීය සහ සොබාදම් කේන්ද්‍රීය ස්වදේශික රාජ්‍යයක් බවට පත් කිරීමට අවශ්‍ය නම් ගම විධිමත් ව සංවිධානය කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වන නිසාය. එසේම ඒ කටයුත්තේ දී මෙ සැලසුම කෙරෙහි දේශපාලන, පරිපාලන සහ සමාජ අවධානය යොමු කිරීම අත් උදව්වක් වන නිසාය. මෙතැන් සිට අප අත්දුටු ග්‍රාම සභා ක්‍රමයේ ස්වරුපය ආකෘතිය සහ අන්තර්ගතය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.

    ග්‍රාම සභාවක් යනු ග්‍රාම (නිලධාරී ) වසම තුළ සිටින ආගමික නායකයින්, වසම භාර රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ජනතා නියෝජිතයින්, පුරවැසියන්, වසමේ ක්‍රියාත්මක සිවිල් සමාජ සංවිධාන සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය සහ සංවර්ධනය උදෙසා වූ ඒකාබද්ධ ග්‍රාම ආණ්ඩුකරණයේ සම්බන්ධීකරණ ව්‍යුහය ය.    

    එහි අරමුණු කීපයකි. එනම් අරමුණු පහළොවකි.

    1.ජාතික සංවර්ධනයේ පදනම් ඒකකය ලෙස ගම සංවිධානය කිරීම, 2.ග්‍රාමීය සංවර්ධනය සහ ආණ්ඩුකරණය සමස්ථවාදී සහ ඒකාබද්ධවාදී ප්‍රවේශයක් මත සිදුකිරීම, 3. ජාතික පිරිවැය අඩුකිරීම සඳහා ගමේ කාර්යයන් ප්‍රතිව්‍යුහගත කිරීම, 4. ජාතික නිෂ්පාදනය සහ ජාතික ආදායම ප්‍රසාරණය සඳහා ගම යොදා ගැනීම, 5. ගමට අදාළ පරිපාලන, දේශපාලන, සිවිල් සමාජ, ප්‍රජා මුලික, ආයතන හා සංස්කෘතික සංවිධාන සමඟ එකාබද්ධව සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධන සහ ආණ්ඩුකරන සැලසුම් සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම, 6. ග්‍රාමීය ජනයා බලගැන්වීම, 7. නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිකරණයට අදාළව ‘ජන ව්‍යවසායකත්වයක්’ හඳුන්වා දී ස්ථාපිත කොට පහසුකම් සලසා එය දිරි ගැන්වීම, 8.ගමේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා මත ම යටිතළ පහසුකම් සැලසීම සහ ඒවා ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම, 9. ස්වයං-පැවැත්මක් සහිත සම්මුතිකාමී ග්‍රාමීය ප්‍රජාවක් බිහි කිරීම, 10. අන්තර් ප්‍රජා-සමාජ සමඟිය ගොඩනැගීම, 11. ජාතික ඒකාබද්ධතාවේ මුල් ඒකකය ලෙස ගම ගොඩනැගීම, 12. ගැටුම් අවම කරමින් ජනසම්මුතිවාදී භාවිත සහ පුරුදු ගම තුල ගොඩනැගීම, 13. ගම තුළ දේශපාලන සංහිදියාවකට පසුබිම සැලසීම, ඒ සියල්ලට අදාළ වන 14. ගමේ අදායම් සහ මානවීය දිළිඳුකම පිටු දැකීම, සහ 15. ඒ සියල්ල සඳහා වසමේ සියලු නිලධාරීන්, සංවිධාන සහ ජනයා ඒකාබද්ධ කරගෙන වසමේ මානව-භෞතික දත්ත බැංකුවක් සැකසීම යනු ඒ ග්‍රාම සභා අරමුණු ය.

    ග්‍රාම සභාවේ කාර්යභාරය පස් වැදෑරුම් ය.

    එනම් සංවර්ධන, සංවිධාන සහ ආණ්ඩුකරණ කටයුතු සඳහා 1. සැලසුම්කරණය, 2. සම්බන්ධීකරණය, 3. අධීක්ෂණය, 4. විමර්ශනය, සහ 5. විගණනය යනුවෙන් ඒ කාර්යභාරය පස් වැදෑරුම් ය. එසේම ග්‍රාම සභාවේ කාර්යභාරය ඉටු කිරීමේ මුලෝපා නව වැදෑරුම් ය. එනම් 1.මුණගැසීම, 2.සාකච්ඡා කිරීම, 3.එකඟතා ගොඩනැගීම, 4.සැලසුම්කරණය, 5.තීන්දු තීරණ ගැනීම, 6.සම්බන්ධීකරණය, 7.විමර්ශනය, 8.අගයනය, සහ 9.විගණනය යනු ඒ මූලෝපායන් ය.

    ග්‍රාම සභා පද්ධතිය ප්‍රජා, වසම්, සහ ප්‍රාදේශීය යනුවෙන් මට්ටම් තුනකි. එනම් ප්‍රජා මට්ටමේ දී ප්‍රජා සංවිධාන යනාදී ප්‍රජා සභා ද, වසම් මට්ටමේ දී ග්‍රාම සභාව ද ප්‍රාදේශීය මට්ටමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ආණ්ඩුව (පළාත් පාලන ආයතනය) සමඟ වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව යනුවෙනි.

     ග්‍රාම සභාවේ සංයුතිය කෙරෙහි මී ලඟට අපගේ අවධානය යොමු කරමු. පුරවැසියන්, ප්‍රජා සභා නියෝජිතයින්, ආගමික නායකයින්, පහසුකාරකයින් ( වසමට ඍජුවම අදාළ නිලධාරීන්), වසමට අදාළ ක්ෂේත්‍ර නිලධාරීන්, දේශපාලන නියෝජිතයින් යන අයගෙන් ග්‍රාම සභාව සමන්විත වේ. මෙහි වැදගත්ම කරුණ වන්නේ වසමේ ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරිනිය, කෘෂිකර්ම  පර්ය්ෂණ නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී සහ ප්‍රජා පොලිස් නිලධාරී යන වසමට ඍජුවම සම්බන්ධ නිලධාරීන් හය දෙනෙකු ග්‍රාම සභාව තුල වසමට අදාළව ඒකාබද්ධව සහ සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රියාත්මක වීමය. එසේම පනහකට ආසන්න ක්ෂේත්‍ර නිලධාරීන් ග්‍රාම සභාව සමඟ එකාබද්ධව කටයුතු කිරීමය. හිතන්න, වසමකට ඍජුව සහ වක්‍රව අදාළ නිලධාරීන් ගණන පනහකට වැඩිය.

    ග්‍රාම සභාව විධායක සභාවකින් සහ උපදේශක සභාවකින් යුක්තය.

    එසේම ග්‍රාම සභාවේ කමිටු පහක් වේ. 1.පරිපාලන සහ සහජීවන කමිටුව, 2.ජීවනෝපාය සහ යටිතළ පහසුකම් සංවර්ධන කමිටුව, 3. පරිසර, සෞඛ්‍ය සහ සනීපාරක්ෂක කමිටුව, 4. පර්යේෂණ, ග්‍රාමීය තොරතුරු සහ සම්බන්ධීකරණ කමිටුව සහ 5. විගණන කමිටුව යනු ඒ කමිටු පහ ය. නමුත් ගමේ ජනයාගේ අවශ්‍යතා සහ කැමැත්ත අනුව මෙ කමිටු ගණන සහ ඒවායේ අන්තර්ගතය වෙනස් කරගැනීමට පුළුවන.

    ග්‍රාම සභාව තුල ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිතයාගේ කාර්යභාරය ගැන ඉතා කෙටියෙන් අවධානය යොමු කරමු. ප්‍රාදේශීය ආණ්ඩුව (පළාත් පාලන ආයතනය) සහ ග්‍රාම සභාව අතර සම්බන්ධීකරණය, අදාළ ප්‍රාදේශීය ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ග්‍රාම සභාවට වගවීම, ග්‍රාම සභා කටයුතු පිලිබඳ උපදේශනය සහ ඉහල දේශපාලන අධිකාරියට ග්‍රාම සභාවේ ඉල්ලීම් යොමු කිරීම යනු ග්‍රාම සභාවේ ප්‍රාදේශීය ආණ්ඩු නියෝජිතයාගේ කාර්යභාරය යි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය වන්නේ ග්‍රාම සභා පවත්වාගෙන යාමේ කටයුත්තට අදාළ සම්බන්ධීකරණය සහ නිලධාරීන් යොමු කිරීමය. එසේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකත්වය එක් ග්‍රාම සභාවකින් එක් අයෙකුට ලබා දිය යුතුය. එහිදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව යනු ග්‍රාම සභාවලට අදාළ ප්‍රාදේශීය වගවීම් කමිටුව ද වේ. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ රැස්වීම්වල න්‍යාය පත්‍රයේ එක් අයිතමයක් විය යුත්තේ ග්‍රාම සභා කටයුතු යන්නය.

    මේ ඉහතින් සඳහන් කළේ ලංකාවේ වසම් හැත්තෑ හතරක 2012-2015 අතර කාලයේ නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථක අත්දැකීම් ලැබූ ග්‍රාම සභා ක්‍රමය පිළිබඳව ඉතාම කෙටි සාරාංශයකි.  නැවතුන තැනින් පටන් ගමු කියා විසුක දස්සන පෙන්නන අය හිතිය යුත්තේ සමහර නැවතුන තැන් නැවත පටන් ගත යුතු නැති බවය. එහෙත් සමහර නවත්තපු තැන් කෙරෙහි නැවත අවධානය යොමු කළ යුතුමය. ග්‍රාම සභා එවැන්නකි. එය ස්වදේශික පෝෂිත රාජ්‍යයක් ගොඩ නැගීමේ අත්තිවාරමය. පටන්ගත යුත්තේ එතනින් ය. පශ්චාද් කොරෝනා ලංකාව වනාහි පූර්ව කොරෝනා ලංකාවෙන් ජයගත නොහැකි රටක් බව කවුරුත් තේරුම් ගත යුතුය යන්න මේ කිවි දා මගේ දැක්මය.

    ධම්ම දිසානායක

  • පාර්ලිමේන්තුවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

    පාර්ලිමේන්තුවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (අප්‍රේල් 23) දින කථානායක නිළ නිවසේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් අද (22) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් මෙම රැස්වීමට  සහභාගී වීම  නියමිත බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

  • ඡන්ද කල්දැමීම ලංකාවට ‘අලුත් දෙයක්’ නොවේ

    ඡන්ද කල්දැමීම ලංකාවට ‘අලුත් දෙයක්’ නොවේ

    පාර්ලිමේන්තු මැතිවරණය ගැන පැවැත්විය නොහැකි නිසා විස්සෝපයට පත් වි සිටින පිරිසකි.  ඔවුන් බහුතරයක් දේශපාලනඥයින් හා ඔවුන්ගේ හිතවතුන් ය.  අපේ රටේ මැතිවරණ වර්ග හතරක් කල් දමා හෝ අතහැර දමා ඇත.

    අධිකරණය ද, ඡන්ද ගැසට් බල රහිත කොට ඇත.  විසිරුවා හැරපු පාර්ලිමේන්තුව නැවතත් රැස්වී, ඡන්ද ගැන කථා කර ඇත. බහුතරයක් අවස්ථාවල දී, පාර්ලිමේන්තුව ද ඡන්ද ගැසට් අවලංගු කර ඇත.  ජනාධිපතිනි කුමාරතුංග මහත්මිය ජනමත විචාරණ ගැසට් පත්‍රය ඉවත් කර ගත්තේය.   

    අද පවත්නා කෙරෝනා අර්බුදයක කුමක් වුවත්, ඊයේ ගැසට් නිවේදනයත් සමග රටේ ව්‍යවස්ථා අර්බුදයක් උද්ගතව ඇත.  ලබන අප්‍රේල් 30 දින සිට රටේ මුල්‍ය පාලනය පිළිබද අර්බුදය ආරම්භ වන්නේය.  

    ජූනි 2 දින සිට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීමේ අර්බුදයක් මතු වන්නේය.  ප්‍රශ්නය ඇත්තේ, මේ ගැටළුව විසදන්නට ශ්‍රේෂ්ඨාධිකරණය වසා දමා ඇත. නීතිපති දෙපාර්තමේන්තුව ද වසා දමා ය.   එලදායී සංවාදයක් සදහා අතීතය දැන ගැනීම වැදගත්ය.

    විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය විසින් විසින් කාලයෙන් කාලයට විසදා ඇති ලංකාවේ ඡන්ද අවලංගු කිරීමේ  කෙටි ඉතිහාසය මෙසේය.

    1.       1987 කැදවූ පළාත් පාලන ඡන්දය, එවකට පැවති භීෂණය නිසා පැවැත්වීමට නොහැකි විය.  1991 දී නැවත ඡන්දය පවත්වන්නට අවශ්‍ය වූ විට අලුතෙන් නාම යෝජනා කැදවීම සදහා 1990 අංක 24 දරණ පනත ගෙන ඒමට සිදු විය.  2011 වෙරළබඩපත්තු හා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ඡන්දය තිබුණේ නැත.  2018 අලුත් පළාත් පාලන ඡන්දය පවත්වන තුරුවත් එහි ඡන්දය තියා ගත නොහැකි විය.  2017 අංක 16 පළාත් පාලන සංශෝධන පනතින් නාම යෝජනා ඉවත් කර එම ඡන්දය අහෝසි කරනු ලැබීය.

    2.      2000 දී ආණ්ඩුබලය ලබාගත් චන්ද්‍රිකා කුමාරතුංග රජය පැකේජය නමින් ප්‍රකට දේශපාලන බලය බෙදීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.  එය පාර්ලිමේන්තුවේ පරාජය වලක්වා ගැනීමට 2001 අගොස්තු 21 (2001.07.10 දිනැති අංක 1192/16 දරන ගැසට් පත්‍රය) මගින් ජනමත විචාරයණයක් කැදවූයේ ‘‘ජාතික වැදගත්කමක් හා අවශ්‍යතාවයක් ඇති කරුණක් වශ‌‌යෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යවේද?” යන ප්‍රශ්නයට ය.  ආණ්ඩුවට ඉදිරිපත් වූ විශ්වාස භංගය නිසා 2001 ඔක්තෝබර් 18 වන දිනට ඡන්දය පවත්වන දිනය  (2001.08.07 දිනැති අංක 1196/18 දරන ගැසට් පත්‍රය)
     කල් තබන ලදි.  එම ගැසට් පත්‍රය 2001.09.02 දිනැති අංක 1199/30 දරන ගැසට් පත්‍රයෙන් අවලංගු කරන ලදින් චන්ද්‍රිකා ජනාධිතිතුමිය කැදවූ ජනමත විචාරණය අහෝසි වූවේය.

    3.      ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 නොවැම්බර් 09 දින අංක 2096/70 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් නොවැම්බර් 19 සිට 26 දක්වා නාම යෝජනා බාර ගැනීමටත්  2019 ජනවාරි 9 දින පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමත් නිවේදනය කළේය.  අධිකරණ ක්‍රියාවලියකින් පසුව පාර්ලිමේන්තු විසිරුවා හැරීම නිත්‍යානුකූල නොවන බව තීරණය වූ බැවින් ඡන්දය අහෝසි විය.  පසුගිය දා  ගෝඨාභය රාජපක්ෂ මහතා වසර 4  ½ ක් පිරුණු පසුව විසිරුවා හරිනු ලැබූවේ එම පාර්ලිමේන්තුවයි.

    4.      පළාත් සභා ඡන්දය අවලංගු කර නොව තියෙන දවසක් හිතාගන්නට හෝ නොහැකිවන ලෙස ‘අතුරුදහන් කොට ඇත.  සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත නොවීම, ඡන්දය තියන්නට සියලුම දේශපාලන පක්ෂවලට තිබූ අකමැත්ත නිසා පළාත් සභා ඡන්දය ‘අතුරුදන් කළේ‘  යහපාලන පාර්ලිමේන්තුවය.   

    5.      ලංකාවේ කල් දමාන්නට හෝ අවලංගු කරන්නට බැරි වූ එකම ඡන්දය  ජනාධිපතිවරණය යි.  එයට ද, 1989 දී උත්සාහයක් නොතිබුණා නොවේ.

    ඡන්දය අවලංගු වුණා හෝ කල් ගියා හෝ ගැසට් අවලංගු කලා හෝ ලෝකය නැවතුනේ නැත.   මම පුද්ගලිකව පලාත් පාලන, පළාත් සභා ඡන්ද පැවැත්වීම සදහා තනිව සටන් කළ අවස්ථා නැතිවා නොවේ.  

    දැන්, කාලය අවසන්විමට මාස 6 තිබිය දී විසිරුවා හරිනු ලැබූ පාර්ලිමේන්තු රටේ ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කර ඇත්තේ කොරෝනා වෛරය නිසාය.  රජයට, මැතිවරණ කොමිසමට, විපක්ෂයට  විකල්ප නැද්ද? යන ප්‍රශ්නය වෙනම කථා කළ යුත්තකි.  හැබෑ උවමනාවක් ඇති නම් ජූනි 2 ට පෙර ප්‍රශ්නය විසදා ගත හැකි මාර්ග ගණනාවකි.

    රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර

  • අපේ ආණ්ඩුව මැතිවරණවලට බය ආණ්ඩුවක් නෙමේ – ඇමති ප්‍රසන්න

    අපේ ආණ්ඩුව මැතිවරණවලට බය ආණ්ඩුවක් නෙමේ – ඇමති ප්‍රසන්න

    කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ යහපාලන රජය පැවතියේනම් කොරෝනා වසංගතය නිසා දරුණුතම ඛේදවාචකයට මුහුණ දෙන රට ශ්‍රී ලංකාව විය හැකිව තිබූ බවයි.

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා රෝගීන් හදුනාගැනීමේ මධස්ථානයක් බවට පත් කර ඇති මිනුවන්ගොඩ රෝහල නවීකරණ කටයුතු පරීක්ෂා කිරීම සදහා ඊයේ (20) එම රෝහල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ඇමතිවරයා මේ බව සදහන් කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

    “ අද මේ  රජය මේ රෝගය පැතිර යාම වැලක්වීම සදහා කටයුතු කරන්නේ විශේෂඥ මතය අනුවයි. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් පිළිපදිමින් රෝග ව්‍යාප්තිය වැලැක්වීමට අප සෑම පියවරක්ම ගන්නවා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. බැරිවෙලාවත් මේ වසංගතවය ලංකාවට එනකොට රනිල් – මෛත්‍රී ජෝඩුව බලයේ හිටියානම් අපේ රටට දෙවියන්ගේ පිහිට තමයි. එහෙම උනානම් රට විශාලා මහනුවර බවට පත් වෙනවා. එහෙනම් මේ වසංගතයෙන් අද ඇමරිකාවට අත්වෙලා තියෙන ඉරණම අත්වෙන්නේ අපිට .

    දැන් සමහරු ආණුඩුවට චෝදනා කරනවා ඇදිරි නීතිය ලිහිල් කිරීම ගැන. ආණ්ඩුව ඇදිරි නීතිය ක්‍රමක් ක්‍රමයෙන් ලිහිල් කරන්න ගත්තේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මතය විමසීමෙන් පසුවයි. මොකද අපිට හැමදාම රට වහලා තියන්න බෑ. මාසයකට ආසන්න කාලයක් අප රට තුල ඇදිරි නීතිය පනවලා රෝග වසංගතය පාලනය කලා.

    දැන් අපිට රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හෝ රජය විසින් වසා දමා ඇති ප්‍රදේශ වලින් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ වන විට කොරෝනා හදුනා ගැනීම සදහා පරීක්ෂණ ප්‍රමාණය වැඩි කර තිබෙනවා. ඇදිරි නීතිය නොමැති ප්‍රදේශ වල රාජ්‍ය හා පෞද්ගලික අංශ කටයුතු කල යුතු ආකාරය රජය දක්වලා තියෙනවා. රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අප ක්‍රමානූකූලව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

    අපේ ආණ්ඩුව මැතිවරණ වලට බය ආණ්ඩුවක් නෙමේ. මැතිවරණ වලට බය අය තමයි අද ඔය විවිධ හේතු දක්වමින් මැතිවරණ කල් දාන්න නාහෙන් අඩන්නේ. 88-89 භීෂණය කාලේ මළ මීනි මතින් බලයට ආවේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා. 88-89 මළ මිනී  දේශපාලනය කළේ ජනතා විමුක්ති පෙරමුණ. මැතිවරණය කියන්නේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතියක්. අපි හැමවිටම ඒ අයිතිය ජනතාවට ලබා දෙන්න සූදානම්.   ”

  • මහ මැතිවරණය ජූනි 20 වැනි සෙනසුරාදා – මැතිවරණ කොමිෂම

    මහ මැතිවරණය ජූනි 20 වැනි සෙනසුරාදා – මැතිවරණ කොමිෂම

    ජුනි මස 20 වැනි සෙනසුරාදා දින මහ මැතිවරණය පැවැත්වීමට අද (20) දින රැස් වූ මැතිවරණ කොමිෂම තීරණය කර තිබෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවයි මැතිවරණ කොමිෂම පවසන්නේ.

  • මැතිවරණ කොමිෂම සහ පක්ෂ ලේකම්වරු අතර විශේෂ හමුවක්

    මැතිවරණ කොමිෂම සහ පක්ෂ ලේකම්වරු අතර විශේෂ හමුවක්

    එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිසම හෙට (21) දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවීමට නියමිතය. 

    කොමිෂන් සභාව සිය තීරණය දැනුම් දීම සඳහා පෙරවරු 10.00 සහ 11.00 ට පක්ෂ ලේකම්වරුන් හමුවීමට නියමිත බව මැතිවරණ කොමිෂමේ ප්‍රකාශකයෙක් පැවසීය. ‍ෙ

  • පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනි දා

    පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනි දා

    රටේ වර්තමාන කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් කල් දැමූ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව ‘සන්ඩේ ටයිමිස්‘ වෙබ් අඩවිය අද (20) සවස වාර්තා කළා. කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාගේ සහභාගීත්වයෙන් අද (20) පැවති විශේෂ රැස්වීමකදී මැතිවරණය කල් දැමීමට තීරණය වූ බවය සන්ඩේ ටයිමිස් වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ.

  • උපසම්පදාව පවා කල් දැමුවානම් මහ මැතිවරණය බැරි ඇයි ? – සාධාරණ සමාජයෙන් මැකොට ප්‍රශ්නයක්

    උපසම්පදාව පවා කල් දැමුවානම් මහ මැතිවරණය බැරි ඇයි ? – සාධාරණ සමාජයෙන් මැකොට ප්‍රශ්නයක්

    සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 18 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත විශේෂ ලිපියක් යොමු කළා. භික්ෂූන් වහන්සේලා 25 නමකගේ අත්සනින් යුතු එම ලිපිය මගින් අවධාරණය කරන්නේ කොරෝනා ගෝලීය  වසංගත තත්ත්වය හමුවේ ලංකාවේ මහා මැතිවරණ පැවැත්වීම කිසිසේත් ම සුදුසු නොවන බව මහා සංඝරත්නයේ අදහස බවයි.

    උන් වහන්සේලා සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කරන්නේ කොරෝන වසංගත තත්ත්වය හමුවේ අස්ගිරි මල්වතු විහාර පාර්ශවවල  උපසම්පදා  පුණ්‍ය කර්ම පවා කල් තබා ඇති බවයි. එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

  • ඇඳිරි නීතිය ඉවත් කිරීම ‘දෙවන කොරෝනා රැල්ලක්’ නොවන්නට

    ඇඳිරි නීතිය ඉවත් කිරීම ‘දෙවන කොරෝනා රැල්ලක්’ නොවන්නට

    කුසල් පෙරේරා 

    මහ මැතිවරණය ආණ්ඩුවේ නායකත්වය විසින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලබන මස අග වන විට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දැඩි තීන්දුවක ඇති බව, රට පුරා ඇඳිරි නීති ලිහිල් කිරීමෙන් කදිමට පෙන්වන්නකි.

    චීනයේ වූහාන් නගරය මාස 02 ට වැඩි කාලයක් පූර්ණ ලෙස වසා තැබුවාක් මෙන් මේ රට වසා තැබීමට මේ ආණ්ඩුවේ ප්‍රබලයින් එකඟ නොවූයේම ඔවුන්ට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හදිස්සියක් තිබුණු හෙයිනි. එබැවින් දිස්ත්‍රික් මට්ටමින් ඇඳිරි නීතිය පනවා සමාජ ආර්ථික ජීවිතය සීමා කෙරුනු පාලනයක් පවත්වා ගැනීමට පමණක් ආණ්ඩුව පියවර ගත්තේය.

    දැන් ක්‍රියාත්මක යැයි නිවේදනය කෙරෙන්නේ කෝවිඞ්-19 වසංගත පාලනයෙන් “ඉවත්වීමේ මූලෝපායක්” නොවේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ආණ්ඩුවේ “ඉවත්වීමේ මූලෝපායක්” ගැන කතා කළද, එවැනි යෙදුම් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කෙරුණු නිවේදන සතුව නැත. නිවේදනය කරනු ලැබූයේ ඇඳිරි නීතිය කලමනාකරණය කිරීමේ පිළිවෙතකි.    

    ඕනෑම සමාජයක ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ අණපනත් වලංගු වන්නේ ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටින තාක් කල් පමණි. ජනතාව අනුමත කරන්නේත් පෙනී සිටින්නේත්, අවනත වන්නේත් කවර නියෝග හා විධානයන්ටද, එය හැර වෙනත් නීතියක් රටක වලංගු වන්නේ නැත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන ආරක්ෂක පනත ආදිය උපුටා දක්වමින් ඇඳිරි නීතියෙහි නිත්‍යානුකූල හා වලංගු බව ගැන තර්ක කළද, සමස්ථ සමාජය ඇඳිරි නීතියට අනුගතවන හෙයින් තර්ක කරනවුන්ට පවා ඇඳිරි නීතියට අවනත වන්නට සිදුව ඇත. එවිට එහි නිත්‍යානුකූල බව හා වලංගු බව ඔවුන් විසින්ම සකසා හමාර කරනු ලැබේ. අද ඇඳිරි නීතිය පැනවීම හා ඉවත් කිරීම පිළිබඳව විශේෂ ගැසට් නිවේදන ගැන විමසීමකින් තොරව ජනතාව විසින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදන මගින් කෙරෙන නියෝග හා විධාන පිළිපදිනු ලබන්නේ ඒ අනුවය.  

    පාර්ලිමේන්තුවක් නැතිව, හදිසි නීති නැතිව, හමුදාව පාරට ගෙනැවිත් ඇඳිරි නීති ජනාධිපති මාධ්‍ය ඒකකය ඔස්සේ ක්‍රියාත්මක කළ වැඩ බලන තාවකාලික ආණ්ඩුවේ මැදිහත්වීම් සමාජය හමුවේ සුජාත මැදිහත්වීම්ය. එබැවින් ඇමති නියෝගය මත ආඥා පනත් සංශෝධනය කර, මෘත ශරීර ආදාහනය කිරීමට බලය අතට ගත් ආණ්ඩුවකට අභියෝග කරන්නට තරම් මේ සමාජයේ විපක්ෂයක් නොසිටි බව අමතක නොකළ යුත්තකි. මැතිවරණය පැවැත්වෙන්නේද නැද්ද යන්න තීන්දු වනු ඇත්තේද එළෙසින්ම යැයි මම විශ්වාස කරමි. අවසන් වශයෙන් මැතිවරණය තීන්දු වනු ඇත්තේ කොරෝනා වයිරසයේ පැතිරීම අනුව හා ඒ මත ආණ්ඩුවේ දේශපාලන නායකයින් කරන මැන බැලීම් අනුවය. 

    එහෙත් ඒවාට එකඟවන නොවන හැමට ඉතිරිවන ප්‍රශ්නය වනුයේ බලයක් සහිත සුපරීක්ෂණ හා නියාමන යාන්ත්‍රණයක් ප්‍රාදේශීය මට්ටම දක්වා ස්ථාපිත නොවුනු පසුබිමක මෙලෙසින් සමාජ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සමාජ අවකාශයන් ලබාදීමෙන් දෙවන කොරෝනා රැල්ලකට පාර කැපීමේ බරපතල අවදානමය. එය වඩාත් භයානක විය හැක්කේ මැතිවරණ කටයුතුද ඊට එකතු වුවහොතින්ය. 

    වයිරසයකොරෝනා වයිරසය තුරන් කළ හැක්කේ ඊට එරෙහි එන්නතක් මගින් පමණක් යැයි දැන් වෛද්‍ය හා විද්‍යා ලෝකයේ ඇති පිළිගැනුම ය. ලොව සියල්ලන්ට ලබා ගත හැකි ලෙස එවැනි සක්‍රීය එන්නතක් වාණිජමය මට්ටමින් නිෂ්පාදනය කරන්නට තව සැළකිය යුතු කාලයක් ගතවන බවද ඔවුන්ගේ නිගමනය වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ එතෙක් ප්‍රජා ව්‍යාප්තියකින් තොර, අවම මට්ටමකින් කොරෝනාව පාලනය කර ගැනීමේ පිළිවෙත් අනුගමනය කිරීම ය.   එබැවින් දැන් කතා කළ යුත්තේ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සමග ඇතිවිය හැකි තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්නය.

    කොරෝනා වයිරසය පැතිරීම පුද්ගල මට්ටමින් නතරකර තබා ගන්නේ කෙසේදැයි කතා කිරීමය. ඇත්තම කතාව නම්, ඇඳිරි නීතිය යටතේ මෙන් නොව, ඇඳිරි නීතිය ඉවත් කළ පසු සැළකිය යුතු සමාජ හා ආර්ථික ක්‍රියාකාරිත්වයක් තුල කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම ඉතාම අසීරු කරුණකි. ඒ සඳහා ඉල්ලා සිටින සමාජ සංයමයක් අපට නැත.   

    ඉවත්වීම ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම ගැන පැහැදිලි නිශ්චිත සැළසුමක් ආණ්ඩුවද ඉදිරිපත්කර නැත. නිවේදනයට අනුව ඇඳිරි නීතිය අප්‍රේල් 22 වන දින වනවිට සියලු දිස්ත්‍රික්කවල ලිහිල් කරනු ලැබේ. එහෙත් කොරෝනාව පැතිර ඇති රටාව අනුව ඇතැම් දිස්ත්‍රික්කයන්හි පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

    ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයට අනුව, දිස්ත්‍රික්ක 25 න් 18 ක මුළු දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන්නේය. අනෙක් දිස්ත්‍රික්ක 07 න් 03 ක එක් පොලිස් බල ප්‍රදේශය බැගින් ඇඳිරි නීතියට යටත්කර ඇත. ඉතිරි දිස්ත්‍රික්ක 04 හි පොලිස් බල ප්‍රදේශ 21 ක ඇඳිරි නීතිය පැවැත්වෙන්නේය. ඉන් පොලිස් බල ප්‍රදේශ 11 ක් කොළඹ දිස්ත්‍රික්කයේ ය. කෙටියෙන් කිවහොත් රට පුරා පොලිස් බල ප්‍රදේශ 432 කින් 24 ක නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය අඛණ්ඩව පැවැත්වෙනු ඇත.  

    මෙය කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමේදී තරමක බරපතල තත්ත්වයකි. මෙතැනින් එහාට බොහෝ දේ සිදුවනු ඇත්තේ සමාජයේ පුද්ගල වගකීම් හා හැසිරීම් අනුවය. එතෙක් පවත්වා ගත් දැඩි පාලනයෙන් ඉවත්වීමේ මූලෝපායන් සමග සාමාන්‍ය තත්ත්වයට යළි පිවිසීමේ පියවර ගත් රටවල පවා දෙවන රැල්ලක් මතුව ඇත. සිංගප්පූරුව, තායිවානය, හොංකොං ඉතා මැනවින් කොරෝනා වයිරසයේ පැතිරීම පාලනය කරගත් රටවල් ලෙස සඳහන් වුනි.

    චීනය, දකුණු කොරියාව සහ ජපානය පළමු රැල්ලෙන් පසු සාර්ථකව කොරෝනා වයිරසය පාලනය කර ගත්තේ යැයි වාර්තා විය. ඒ හැම රටක්ම දැන් දෙවන රැල්ලකට හසුව ඇත. නැවත නිරෝධායන පිළිවෙත් හා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ දැඩි පියවර ගැනීමට ඔවුහු තීන්දු කරති. 

    එබැවින් අපද ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ මේ තීන්දුව සමග මැතිවරණ ක්‍රියාකාරිත්වයක්ද අමුණා ගතහොත් දෙවන කොරෝනා රැල්ලකට ගොදුරු විය හැක. එසේ නොවනු ඇතැයි කිසිවකුට සහතික දිය හැක්කේද නොවේ. එබැවින් අනෙක් රටවල අත් දැකීම් සමග ඇඳිරි නීතිය සමග පනවා ඇති ඉතාම සීමිත පාලනය වඩා විධිමත්, කාර්යක්ෂම සහ තියුණු ක්‍රියාකාරිත්වයක් සහිත සුපරීක්ෂණ හා නියාමන ප්‍රාදේශීය පාලනයකට මාරුකර ගැනීමේ අත්‍යාවශ්‍ය ඉල්ලුමක් ඇත.   

    ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංවිධානය විසින් පසුගිය සතියේ “කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමෙන් ඉවත්වීමේ මූලෝපාය” ලෙස ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක් ජනාධිපතිට හා සෙසු ප්‍රධානීන්ට ලබා දී තිබුණි. ඒ යෝජනාවල වැදගත් අදහස් අඩංගුව තිබිණ. වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කෙරුණු යෝජනා මාලාව එතරම්ම ප්‍රයෝජනයක් නොවනවාට අමතරව, ඔවුන්ගේ සුපුරුදු මුස්ලිම් විරෝධයත් ඊට මුහුකර තිබීමෙන් එය ඉවත දැමිය යුතුව ඇත.
    වගකීම ජනාධිපති සහ ආණ්ඩුව විසින් මේ යෝජනා දෙකම ඉවත දැමූ බවක් දැකිය හැකිය.

    එහෙත් ඒවා යෝජනා කෙරුණු පසුබිම සමග ආණ්ඩු පාලනයට හා සමාජයට පැවරෙන ප්‍රධානම හා ඉවත දැමිය නොහැකි වගකීම වනුයේ කොරෝනා දෙවන රැල්ලකට ඉඩ නොලැබෙන ලෙස කටයුතු කිරීමේ වගකීමය. ඒ සඳහාවන මූලික පියවර ගණනාවක් මෙසේ මෙහි සඳහන් කරමි. ඒවා මා දිගින් දිගටම යෝජනා කළ සහ පසුගිය මාර්තු 28 වන දින “ඬේලි මිර” පුවත් පතට ලියූ යෝජනා යළි අලුත් කර මෙහි සටහන් කිරීමකි. 

    සුපරීක්ෂණ හා නියාමන පියවර රටපුරා ක්‍රියාත්මක කිරීමේදී, 

    1. ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන පොලිස් බල ප්‍රදේශ 24 අදාල දිස්ත්‍රික්කයන්හි සමාජ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්කර වසා තැබීම එළෙසින්ම පවත්වා ගැනීම

    2. දිස්ත්‍රික් අතර ගමනා ගමනය අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අවම මට්ටමින් පවත්වා ගැනීම

    3. සියලු පාසල් හා විශ්ව විද්‍යාල මැයි මස අවසානය දක්වා විවෘත නොකිරීම සහ නැවත විවෘත කිරීම මැයි මස දෙවන සතියෙන් පසු සළකා බැලීම 

    4. සිනමා ශාලා, මහජන පුස්තකාල. නෘත්‍යාගාර හා සම්මන්ත්‍රණ ශාලා මැයි අවසානය තෙක් වසා තැබීම

    5. ආගමික කටයුතු පෞද්ගලික වතාවන් ලෙස පමණක් තබා ගැනීම

    6. සියලු උත්සව සහ රැස්වීම්. මංගල සහ අවමංගල්‍ය කටයුතුද ඇතුලුව උපරිම 10 කුට සීමා කිරීම

    7. ප්‍රසිද්ධ දේශපාලන රැස්වීම් තහනම් කිරීම 

    8. රාජ්‍ය හා පෞද්ගලික මගී ප්‍රවාහන සේවා දිස්ත්‍රික්ක වලට සීමා කෙරුණු සේවා ලෙස පමණක් පවත්වා ගැනීම 

    9. රජයේ හා පෞද්ගලික සේවා ආයතන පවත්වා ගැනීම. ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ අංක 62 දරණ 2020 අප්‍රේල් 18 වන දින ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයට අනුව පවත්වා ගැනීම 

    10. පෞද්ගලික අංශයේ නිෂ්පාදන කම්හල් යළි ආරම්භ කිරීම. වෘත්තීය සමිති. හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශය අතර සාකච්ඡාකර එළැඹෙන එකඟතා මත පමණක් ආරම්භ කිරීම  

    ඉහත පියවර කොරෝනාව පැතිරීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිත්වය සීමා කර ගැනීමේ හා පාලනය කර ගැනීමේ පියවර වන අතර. කොරෝනාව පැතිරීම ප්‍රාදේශීය මට්ටමින් නියාමනය කිරීම හා ජනතාව නිරන්තරව දැනුවත් කිරීමේ කාර්යන් සඳහා ජාතික මට්ටමින් ජාලගත කෙරෙන යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේය.

    එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවිය යුතු යැයි මම කලෙක සිට අවධාරණය කෙරුවකි. එවැනි කාර්යාල රට පුරා 350 ට වැඩිය ඇත. ඒවායේ සේව කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2.700 ක් පමණද. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 4.300 ක් පමණද ඇත. ඔවුන් සැවොම ප්‍රජා සෞඛ්‍ය සේවා පිළිබඳව පුහුණුවක් ලැබූ නිලධාරීන්ය.   

    ඒ අනුව

    .01. කොරෝනා වයිරසය පාලනය කිරීමේ හා නියාමනය කිරීමේ ප්‍රධාන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල යැයි නිල වශයෙන් නම් කළ යුතුය. ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට විශේෂ අංකයක් සහිත දුරකතන පහසුකමක් වහා ලබාදිය යුතු අතර ඒ වෙනුවෙන් විශේෂ තොරතුරු නිලධාරියකු හෝ නිලධාරිනියක යෙදවිය යුතුය. 

    02. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුලු ඒවායේ සේවය කරන සියලු දෙනට කොරෝනා වයිරසය සම්බන්ධවත් එය පාලනය කර ගැනීම සම්බන්ධවත් විධිමත් හා කඩිනම් දින 02 ක දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත් විය යුතුය. ඒ සඳහා විවෘත නොකර ඇති වෛද්‍ය පීඨ ඇදුරන් යොදා ගත හැකිය.

    03. ග්‍රාම සේවා නිලධාරීන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොරෝනා සම්බන්ධ කාර්යන්ට නිල වශයෙන් අන්‍යුක්ත කළ යුතු අතර, ඔවුන්ද ඉහත පුහුණු වැඩ සටහනට ඇතුලු කළ යුතුය.

    04. සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කොරෝනා වයිරස තොරතුරු හා දත්ත ඒකකයක් පිහිටුවිය යුතුය.

    05. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රධානීන් සියලු දෙන වෛද්‍යවරුන් වන හෙයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බල ප්‍රදේශයේ ආසාදනයවීම් පරීක්ෂා කිරීමේ වගකීම ඔවුන්ට පැවරිය යුතු අතර, සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහා අවශ්‍ය පහසුකම් නොඅඩුව, නොපමාව ලබාදිය යුතුය. 

    06. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආසාදිතයින් ස්වයං නිරෝධායනට යටත් කිරීමෙන් පසු ඔවුන්ව හා ඔවුන්ගේ නිවසේ සෙසු සාමාජිකයින් දෛනිකව නිරීක්ෂණය කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකට හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට පැවරෙන වගකීමක් වන්නේය. ඒ පිළිබඳ දෛනික කෙටි වාර්තාවක් ඔවුන් තොරතුරු හා දත්ත ඒකකයට ලබා දිය යුතුය. 

    07. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තොරතුරු හා දත්ත ඒකක සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු හා දත්ත ඒකකය හා ජාලගත කළ යුතුය. ඒ අනුව ඔවුන් දෛනිකව ජාතික මට්ටමින් තත්ත්ව වාර්තාවක් නිකුත් කළ යුතුය

    08. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රදේශයෙන් බැහැර කටයුත්තක් සඳහා යාමට කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය විටෙක, ඒ සඳහා එම දිස්ත්‍රික්කයට සීමා කෙරුණු සහ අවශ්‍ය කාරණාවට අදාලව එක් දිනකට වලංගු විශේෂ අවසර පතක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නිවසේ එක් අයෙකුට පමණක් ලබා දිය යුතුය.    

    09. දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ද, දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරිවරයාද, රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි සහ පොලිස් අධිකාරිවරයා, සෑම සතියකම නිශ්චිත එක් දිනක් දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කොරෝනා වයිරස නියාමන කමිටුව ලෙස රැස්විය යුතුය.

    ඔවුන්ගේ වගකීම වනුයේ, 

    අ.  දිස්ත්‍රික්කයේ පොදු සේවා සහ පහසුකම් පවත්වා ගැනීම සහ ඒවායේ සෞඛ්‍ය ප්‍රමිතීන් රැක ගැනීම

    ආ. ආර්ථික ක්‍රියාවලියෙහි තත්ත්වය මැන බැලීම හා වර්ධනය සඳහා ගත යුතු පියවර තීන්දු කිරීම

    ඇ. දිස්ත්‍රික්කයේ පූර්ණ ලෙස ආවරණය කෙරුණු පොලිස් බල ප්‍රදේශ ඇතොත් ඒවායේ සති පතා තත්ත්ව වාර්තාවක් ලබා ගැනීම හා එම බල ප්‍රදේශ සම්බන්ධයෙන් ගත යුතු ඊළග පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කිරීම

    ඇ. දිස්ත්‍රික් මායිම් නිසියාකාරව පාලනය කිරීම  10. මැතිවරණය පැවැත්වීමට අවශ්‍යම නම්, ආසන්න දින දෙකක් නියම කර ග්‍රාම සේවා නිලධාරි මගින් තැපැල් ඡන්ද පැවැත්විය හැකිය.

    ග්‍රා.සේ.නි කාර්යාලයට ඇතුළු වන්නට පෙර අවශ්‍ය සමාජ දුරස්ථභාවය රකිමින් ඡන්ද නියාමනය සඳහා පක්ෂ මැතිවරණ නියෝජිතයින්ට ඉඩ දිය හැකිය.   

    මෙය තව වර්ධනය කළ හැකි යැයි සිතමි. ඒ වෙනුවෙන් මෙය සමාජ මාධ්‍ය ජාලියන්හි පළ කිරීමට අදහස් කරනු ලැබූයේ මේ විරාමය ඉතා ප්‍රවේසමෙන් හා ඉවසීමෙන් කලමනාකරණය කර නොගතහොත් අප දෙවැනි රැල්ලකට ගොදුරු විය හැකි හෙයින් සහ එවැන්නක් පළමු ව්‍යාප්තියට වඩා බරපතල් විය හැකි හෙයිනි.

    කුසල් පෙරේරා     

  • කොරෝනා නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රවීගෙන් යෝජනා 10ක්

    කොරෝනා නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රවීගෙන් යෝජනා 10ක්

    හිටපු මුදල් හා විදුලිබල, බලශක්ති අමාත්‍ය රවි කරුණානායක  අද දින  පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් කොවිඩ් 19 වසංගතය හමුවේ රටේ දුක් විදින ජනතාව වෙනුවෙන් වැදගත් යෝජනා 10 ක් ඉදිරිපත් කළ අතර එහිදී කොවිඩ් 19 වෛරසය මර්දනය සදහා ඇප කැප වී සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත පළමු ප්‍රණාමය පුද කිරීමට අමතක නොකළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා රටේ පීඩාවට පත් ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් පහත කරුණු ඉටු කරදෙන මෙන් රජයෙන් ඉල්ලා සිටියේය.

    01. රජය ලබා දෙන රු 5000ට අදාල කොන්දේසි  ප්‍රසිද්ධ කිරීම

    02. රු 5000 ලබා දිම නිර්දේශපාලනය කිරීම

    03. රු 5000 ලබා දීමේ වැඩපිළිවෙල  ග්‍රාම නිළධාරීන් හරහා ක්‍රියාත්මක කිරීම, රු 5000 ලබා දීමේ යාන්ත්‍රණය රාජ්‍ය නිළධාරීන්ගෙන් වියුක්ත නොකල යුතු බව අවධාරණය කළේය

    04. යාන්ත්‍රණයේ විනිවිධභාවය සහතික කිරීමට රු 5000 ලබා දුන් පුද්ගලයන්ගේ විස්තර වෙබ් අඩවියක් හෝ මුද්‍රිත ප්‍රකාශනයක් ලෙස ප්‍රසිද්ධ කිරීම

    05. රක්ෂණය ඇතුළු මූලික කටයුතු සදහා ශ්‍රමිකයෙකු විදේශ ගත වන විට  රජය රු 25000 ක පමන මුදලක් අය කරයි,  දෙවසරකට වරක් රු 3200 බැගින් අය කරයි . මෙම දුෂ්කර අවස්ථාවේදී විදේශ ශ්‍රමිකයන්ගේ රක්ෂණය භාවිතා කොට දීමනාවක් ගෙවීමට රවි යෝජනා කළේය

    06. ගොවියන් ඇතුළු නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදනය අලෙවි කර ගැනීමටත්, පාරිබෝගිකයන්ට අවැසි දේ මිලදී ගැනීමට ගැකි පසුබිමක්  වහා නිර්මානය කළ යුතු බව අවධාරණය කළේය

    07. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ වලට අනුකූලව  ”ලොක් ඩවුන් ” නීති රීති කලින් කලට ප්‍රදේශයෙන් ප්‍රදේශයට  සමාලෝචනය කිරීම

    08. මහරගම පමුණුව ප්‍රදේශයේ ඇගළුම් ක්ෂේත්‍රයෙන් යැපෙන ජනතාවට ස්වශක්තියෙන් නැගී සිටීමට අත දීම

    09 ජාතියක් ලෙස කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් කිරීමේ සටනට අවැසි සහයෝගය ලබා දීම අත්හල නොහැකි වගකීමක් බව

    10. චිරාත් කාලයක සිට සිංහළ දෙමළ මුස්ලිම් සියළු දෙනාට එක හඬින් තමන්ගේ පක්ෂය යයි කිව හැකි වූයේ එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් පසුගිය කාළයේදී එජාපය අන්තවාදී පිරිසකගේ ග්‍රහණයට නතු විය. නමුත් දැන් එම අන්තවාදීන් එජාපයෙන් ඉවත්ව  ඇති නිසා යලි සියළු ජාතීන්ට අභිමානයෙන් යුතුව එජාපය සෙවනේ ඒකරාශී විය හැකි බවද සිහිපත් කළේය.

  • කොරෝනා – මහ මැතිවරණය සහ යහපාලන ඩීල් ගැන මහින්දගෙන් මාධ්‍ය නිවේදනයක්

    කොරෝනා – මහ මැතිවරණය සහ යහපාලන ඩීල් ගැන මහින්දගෙන් මාධ්‍ය නිවේදනයක්

    කොරෝනා වසංගතය සහ කල්දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අද (18) අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කළා.

    1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටීන බවයි අගමැතිවරයා තම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

    සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා සිය මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කරනවා.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙනවා.

    ” කොරෝනා වෛරස් වසංගතය ඇමරිකාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට බලපෑවේ එම රටවල් කාලයක් මුළුල්ලේ වේගවත් ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කරගෙන, ශක්තිමත්ව සිටි අවස්ථාවකය.  නමුත් ලංකාවට මේ උවදුරට මුහුණ දීමට සිදුවූයේ දරුණු ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේය.

    2015 සිට 2019 දක්වා සිදු වූ අවපාලනය නිසා අපේ ණය බර 71% කින් වැඩි විය.   රුපියලේ අගය 30% කින් කඩා වැටුණි.  ආර්ථික වර්ධන වේගය  2.7% ක් දක්වා අඩුවිය. 2019 නොවැම්බරයේදී අපි ජනාධිපතිවරණය දිනා අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වද, අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති වීම හේතුවෙන් පහුගිය ආණ්ඩුවේ බෙහෙත් හා පොහොර සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවීම සඳහාවත් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට නොහැකි විය. 

    මේ අවස්ථාවේදී අස්වැසිල්ලට ඇත්තේ ව්‍යවස්තාවේ 150 (3)  වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමිවෙන මුදල් බලතල පිළිබඳ විධිවිධාන පමණි.  අපිට කොරෝනා වෛරස් වසංගතයට මුහුණ දීමට සිද්ධ වූයේ මේ සියලුම අවාසිදායක තත්ත්වයන් මධ්‍යයේය.  

    පසුගිය මාර්තු 11  වැනිදා පළමු කොරෝනා රෝගියා  හමුවීමත් සමගම,  අපි රෝගය කල්තියා හඳුනා ගැනීම, රෝගීන් වෙන්කර ප්‍රතිකාර කිරීම, අවදානමට ලක්වූ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීම,  රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීම සහ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම වැනි පාලන ක්‍රමවේදයන් හඳුන්වා දුන්නෙමු.   මේ ආකාරයේ මෙහෙයුමක් අපගේ ජීවිත කාල තුළ කිසිදාක අපි අත්දැක නැත. 

    රෝගය පැතිරීම වැළැක්වීමට සති ගණන් එක දිගට ඇඳිරිනීතිය පැනවීමටත් අපට සිදුවිය.  රට පුරාම තම නිවෙස්වලින් පිටවීමට නොහැකි ජනතාවට ආහාර,  බෙහෙත් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට ක්‍රමවේදයක් සැලසිය යුතු විය.  අඩු ආදායම්ලාභී පවුල්වලට ආධාර සැපයිය යුතු විය.   රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යෑම සඳහා වී ගොවීන්,  එළවළු ගොවීන්,  හා ධීවරයන්ගේ නිෂ්පාදන මිලදී ගත යුතු විය. 

    මේ සියලුම දේවල් එක විට ඉතා කෙටි කාලයක් තුළ සංවිධානය කර ගැනීමට හැකිවීම සැබැවින්ම කලමනාකරණයේ ප්‍රාතිහාර්යයකි.  කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමේදී ලංකාව ලබාගෙන ඇති සාර්ථකත්වය අද මුළු ලෝකයම පිළිගනී. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අද්විතීය නායකත්වයක් සපයා ඇත.  අපේ රජයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුලු ලෝකයේම අවධානය දිනාගෙන ඇත. 

    රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයාගැනීමේදී අපේ බුද්ධි අංශ පෙන්වා ඇති දක්ෂකම හා කැපවීම නිසාත්,  නිරෝධායනය ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී  ත්‍රිවිධ හමුදාව පෙන්වා ඇති කාර්යක්ෂමතාවය නිසාත් රෝගය පැතිරීම පාලනය වී ඇත.   පොලීසිය ඇතුළු සෑම තරාතිරමකම රජයේ සේවකයන් කොරෝනා මර්ධන ව්‍යාපාරයේ සාර්ථකත්වයට දායක වී ඇත.  අද කොරෝනා වෛරසය නිසා අනාරක්ෂිත වී ඇති ලෝකය තුළ අපේ රට වඩාත්ම සුරක්ෂිත ස්ථානයකි. 

    අපිට මේ තත්ත්වයට ඒමට පුළුවන් වූයේ විනාශ කරන ලද ආර්ථිකයකුත්,  පුළුවන් හැම අවස්ථාවකදීම ආණ්ඩුවේ කකුලෙන් අදින,  රටට ආදරයක් නැති අවස්ථාවාදී විපක්ෂයකුත් මේ රටේ තිබියදීය.     නිරෝධායනයට යෑම ප්‍රතික්ෂේප කළ අය දිරි ගැන්වීම තුළින් විපක්ෂනායකවරයා මුල් අවස්ථාවේ සිටම කොරෝනා වෛරස් මර්ධන ව්‍යාපෘතිය  කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීය.

    ඉන්පසු, පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ මුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට බලය නැතැයි කියමින් ඔවුන් සෞඛ්‍ය සේවය ඇතුළු සියලු රජයේ  සේවාවන් කඩාකප්පල් කිරීමට උත්සාහ දැරුවේය.  නව පාර්ලිමේන්තුව ජූනි දෙවැනිදාට කලින් හමුවිය යුතු බවත්, පාර්ලිමේන්තු මැතිවරණය ඊට කලින්  පැවැත්වීමට නොහැකි බවත්, එම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කළ යුතු බව අද ඔවුන් පවසා සිටී.  

    යහපාලන ආණ්ඩුව අවුරුදු තුනකින් පළාත් පාලන ඡන්දය කල් දැමූ ආකාරය අපට මතකය. ඒ ඡන්දය උසාවියට ගොස් දින නියමයක් නැතිව කල් දමා ගැනීමට ඔවුන් ගත් උත්සාහය  ව්‍යාර්ථ වූයේ නඩු නැති පළාත් පාලන ආයතන වලට හෝ ඡන්දය පවත්වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ නිසා පමණි.  

    2017 දී පළාත් සභා විසුරුවා හැරීමට දින කිහිපයක් තිබියදී,  පළාත් සභා ඡන්දය පැවැත්වීම  වැළැක්වීමට යහපාලන ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කළේය.  ඒ සංශෝධන පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය බව නීතිපතිවරයා ප්‍රකාශ කළ විට ඔවුන් පාර්ලිමේන්තුවේ කොරිඩෝවේ දැමූ ඩීල් තුළින් ඡන්ද වෙනුවෙන් ප්‍රතිපත්තිය පාවා දී අවශ්‍ය බහුතරය ලබාගත්තේය.

    ඒ අපකීර්තිමත් ගනුදෙනුවේ ප්‍රතිඵලයක් හැටියට 2017 අගෝස්තු 25 වැනිදා  සම්මත කළ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතේ සමානුපාතික නියෝජිත  ප්‍රතිශතය 40% ක්  වන අතර,  ඊට මාසයකට පසු සම්මත කරනු ලැබූ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතේ සමානුපාතික නියෝජිත ප්‍රතිශතය 50% ක් වේ.  

    ශ්‍රේෂ්ඨාධිකරණයට  පෙත්සමක් ඉදිරිපත් කොට ප්‍රකාශයට පත් කර තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයක් අවලංගු කර ගත් දේශපාලන පක්ෂ සිටින ලෝකේ එකම ප්‍රජාතන්ත්‍රවාදී රට වෙන්නෙත් ශ්‍රී ලංකාවය.  වත්මන් පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා ගැනීමට මේ ගෙනියන උත්සාහය ඒ අපකීර්තිමත්  යටගියාවේම දිගුවකි.  කුමන අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජනජීවිතය මෙය රටේ නැවත ආරම්භ විය යුතුය. 

    අපේ පරිපාලන දිස්ත්‍රික්ක 25න්, එකොළහක එකම කෙරෝනා වෛරස් ආසාදිතයෙක් වත් නැත.  තවත්  දිස්ත්‍රික්ක හතක ආසාදිතයන්  හමුවී ඇත්තේ එක්කෙනෙකු හෝ දෙදෙනෙකි.  තවත් දිස්ත්‍රික්ක  දෙකක රෝගීන් පස් දෙනෙකුත් හත් දෙනෙකුත් අතර ගණනක් සොයාගෙන ඇත.  රෝගීන් සැළකිය යුතු ගණනක් සොයා ගෙන ඇත්තේ  දිස්ත්‍රික්ක පහක පමණි.   

    පසුගිය මාර්තු දෙවැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 හැටියටත්,  අලුත් පාර්ලිමේන්තුව මුල් වරට හමු වෙන දිනය මැයි 14 වැනිදා හැටියටත් නියම කළේය.  ඊට දින දහයකට පසු පළමු කොරෝනා රෝගියා සොයා ගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නොතිබුණි.  

    1981 අංක 1 දරණ  පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3)  වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්,  ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටී. දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ  කොමිසමට  බලයක් නැත.  

    සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැක. 

    මැතිවරණ කොමිසම මුලින්ම 24(3) වගන්තිය යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාර්‍යභාර්ය නීතියට අනුකූළව ඉටුකර, ඉන් පසුව සාකඡ්චා කළ යුතු කාරණයක් ඇත්නම් ඒ වෙත යොමු විය යුතුය.  “

  • ව්‍යවස්ථා අර්බුදයක් ගැන හිටපු කතානායක කරුගෙන් අනතුරු ඇගයීමක්

    ව්‍යවස්ථා අර්බුදයක් ගැන හිටපු කතානායක කරුගෙන් අනතුරු ඇගයීමක්

    ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද (17) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

    පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ තත්ත්වය

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සමබනන්ධයෙන් මේ වන විට රටේ විධායකය සහ මැතිවරණ කොමිසම අතර පැන නැගී ඇති ගැටලූකාරී තත්ත්වය පිළිබඳව බොහෝ ආගමික සහ දේශපාලන නායකයන්, ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන්, සහ පුරවැසියන් විසින් විටින් විට මා අමතා, පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයා වශයෙන්, මාගෙන් විවිධ පැහැදිළි කිරීම් ඉල්ලා සිටිනු ලැබේ.

    ශ‍්‍රී ලංකාව ද ඇතුලූව සමස්ත ලෝකයම මහත් වූ සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටින තත්ත්වයක් තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීටම ඇති ඉඩ කඩ අප රට කෙරෙහි ඉතා අනර්ථකාරී අන්දමින් බල පෑ හැකි බව ජාතික වශයෙන් සැලකිල්ලට ලක් විය යුතු බව අවධාරණය කරමින්, උක්ත විමසීම් සියල්ලට පෞද්ගලිකව පිළිතුරු ලබා දීමේ අපහසුතාව සලකා, ඒ පිළිබඳ මාගේ ස්ථාවරය මෙහි පහත නිවේදනය කිරීමට අදහස් කරමි.

    1. වර්ෂ 2020 මාර්තු මස 02 වැනි දින, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 2020 අපේ‍්‍රල් මස 25 දින සහ, නව පාර්ලිමේන්තුව රැුස් වීම සඳහා 2020 මැයි මස 14 ලෙස දින නියම කෙරිණි.
    2. වර්ෂ 2020 මාර්තු 21 දින, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3* වගන්තියේ ප‍්‍රකාරව මැතිවරණ කොමිසම වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව, එකී පාර්ලිමේන්තු මැතිවරණය රට තුළ උද්ගතව ඇති කෝවිඞ්-19 රෝග තත්ත්වය හේතුවෙන්, නියම කරන ලද පරිදි 2020 අපේ‍්‍රල් මස 25 දින නොපැත්විය හැකි බව ප‍්‍රකාශ කළේය.
    3. ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවේ 70 (5* (අ* වගන්තිය අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව, එසේ විසුරුවා හැරීමේ ප‍්‍රකාශය සිදු කළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැුස් විය යුතු වන අතර, එකී දිනය යෙදෙන්නේ 2020 ජූනි 02 වැනිදාටයි.
    4. 4.2020 මාර්තු 31, අපේ‍්‍රල් 1 සහ 6 න දිනයන්හි දී, මැතිවරණ කොමිසම සහ ජනාධිපති ලේකම්වරයා අතර ලිපි හුවමාරු වූ අතර, ඒවා මගින් ප‍්‍රකාශ වූයේ:
      අ. මැතිවරණ කොමසමෙහි ස්ථාවරය වන්නේ, දැනට රට තුළ පවත්නා තත්ත්වය සහ සංවිධාන කටයුතු සඳහා වන බාධක සැලකූ විට, නව පාර්ලිමේන්තුව එළඹෙන ජූනි 02 දින රැුස් වනු හැකි වන පරිදි කල්තියා මැතිවරණය පැවැත්වීමට නොපැවැත්විය හැකි වනු ඇති බවයි.
      ආ. ආණ්ඩුවේ මතය වී ඇත්තේ, වර්ෂ 2020 මැයි 28 දින හෝ ඊට පෙර දිනක මැතිවරණය පැවැත්වීම අවශ්‍යයෙන්ම නොහැකි වන අන්දමේ දුෂ්කරතාවක් නොපවතින බවයි.

    එළඹ ඇති සෞඛ්‍ය අර්බුදයට මුහුණ දීමේදී, ලොව සෑම රටක්ම සිය දේශපාලන වෙනස්කම් ඉවත දමා එකමුතු වෙමින් සිටී. එළඹ ඇති මහා-වසංගත තත්ත්වයට සහ එමගින් ඇති කෙරෙන අනර්ථකාරී ආර්ථික බලපෑම්වලට මුහුණ දීමට අවශ්‍ය නීති සම්පාදනය සහ මුල්‍ය ප‍්‍රතිපාදන අනුමත කර දීම පිණිස පාර්ලිමේන්තුවක් නැතිව කෝවිඞ්-19 අර්බුදයට මුහුණ දෙන එකම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ශ‍්‍රී ලංකාවයි.

    මාගේ ස්ථාවරය නම්, ආණ්ඩුව සහ විපක්ෂය කඩිනමින් සහ යහපත් චේතනාවෙන් යුතුව මැතිවරණ කොමිසම මෙන්ම එකිනෙකා සමඟ සාකච්ඡුා කිරීම අත්‍යවශ්‍ය වන බවයි. මැතිවරණය ආරක්ෂා සහිතව සහ නිසි කාලයට පැවැත්වීම පිණිස යම් පූර්වාරක්ෂණ ක‍්‍රමවේද හෝ නව නීති අවශ්‍ය වේ යැයි කොමිසම විසින් තීරණය කරන්නේ නම්, ඒවා පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුුතු වේ.

    යම් හෙයකින් නියමිත ව්‍යවස්ථානුකූල කාල සීමාව තුළ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත්, ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවන් අර්බුදයක් ඇති වීමෙන්, අපේ රටේ පාලන ක‍්‍රමය පිළිබඳව පවත්නා සුජාතභාවය පලූදු වීමේ මෙන්ම ස්ථාවරභාවය බිඳ වැටීමේ අවදානමක් පවතින අතර ජාත්‍යන්තර ආර්ථික සහන ලබා ගැනීමේදී එය විශාල ලෙස බාධාකාරී වීමට ද ඉඩ තිබේ.

    මේ අභියෝගාත්මක අවස්ථාවේදී, අනවශ්‍ය තුන්වැනි අර්බුදයක් ඇතිවීම මගහැරීම පිණිස, තම තමන්ගේ දේශපාලන වෙනස්කම් දුරැුද ලා කඩිනම් සහ අර්ථවත් පියවර ගන්නා ලෙස, ජාතියේ උන්නතිය පිළිබඳ හැඟීම පෙරදැරිව මම, ආණ්ඩුවෙන්, විපක්ෂයෙන් සහ වෙනත් පාර්ෂවකරුවන්ගෙන් ඉල්ලා සිටිමි.

    කරු ජයසූරිය – 2020- අපේ‍්‍රල-17