Category: සුපිරි Politics
-

මහරගමට බයිසිකලයෙන් ආ අයට එරෙහි පෙත්සම අකුලා ගනී…
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මෝටර් සයිකලය ලකුණින් තරග කර මහරගම නගර සභාව සඳහා තේරීපත් වූ නාගරික මන්ත්‍රීවරුන් 23 දෙනාගේ ධුර අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු රීට් පෙත්සම ඉවත් කර ගෙන ඇත.මහරගම ප්‍රදේශයේ ඡන්ද දායකයෙකු වන චන්ද්‍රසේන පෙරේරා විසින් අදාළ පෙත්සම ගොනු කර තිබූ අතර මෙම පෙත්සමේ සඳහන් ඇතැම් වගඋත්තරකරුවන් මේ වනවිට ඉල්ලා අස්වී ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යාමේ දී ගැටළු මතුවන බැවින් එය ඉල්ලා අස්කර ගන්නා බව ඔහු විසින් අධිකරණයට දන්වා ඇත. -

රටපුරා වෛද්‍ය සායන 12,000ක්
වත්මන් රජයට වසර තුනක් සම්පූර්ණ වන අගෝස්තු 15දා සිට වසරක කාලයක් තුළ රටපුරා සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි වෛද්‍ය සායන 12,000ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි මසකට වෛද්‍ය සායන 1000ක් බැගින් වසරකට වෛද්‍ය සායන 12,000ක් රටපුරා පැවැත්වීමට නියමිතය. මෙම වැඩපිළිවෙළ දයාවේ මෙහෙවර නමින් නම් කොට ඇත.මෙම වෛද්‍ය සායනවලදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා බටහිර වෛද්‍ය ක්‍රමයට සියලු ම රෝග පරීක්ෂාව, අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදීම, ඇස් පරික්ෂාව, ඇස් කණ්නාඩි ලබාදීම සහ අක්ෂි කාච ලබාදීම ආදී වැඩසටහන් ගණනාවක් ම ඇතුළත් වේ.මෙම ජංගම වෛද්‍ය සායන ක්‍රියාත්මක වීම හරහා දිස්ත්‍රික් රෝහල්වලට දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය බොහෝ ලෙස අඩුකරගැනීම ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ තවත් එක් පරමාර්ථයකි.පසුගිය දා සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැසක්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ. -

ජීඑල් ගෙන් මැතිවරණ කොමිසමට නඩු
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබියදී එය මගහරින මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කඩිනමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (30) පැවැසීය.
ශේ්‍රෂ්ඨාධිකරණයේ සැසිය මේ සතියේ අවසන් වනබවත් එහි අලුත් සැසිය අගෝස්තු මාසයේ ආරම්භ වීමත් සමග නඩු පැවරීමට සිදුකරන බවත් ඊයේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පීරිස් මහතා කියා සිටියේය.
හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කීය.
මේ වන විට සබරගමුව, උතුරුමැද, නැගෙනහිර පළාත් සභාවල කාලය ඉකුත්වී මාස 9 ක් ගතවී තිබෙනවා. ලබන ඔක්තෝබර් මාසයේ මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභාවල කාලය අවසන් වෙනවා. එහෙම වුණොත් පළාත් සභා නවයෙන් පළාත් සභා 6 ක කාලය අවසන්වීම නිසා මන්ත්‍රීවරුන් නැතිව ජනතා ප්‍රශ්න ගොඩගැහෙනවා.
රජය කොහොමත් මැතිවරණ පවත්වන්න බයයි. ඒත් පාර්ලිමේන්තුවෙන් කියනකම් මැතිවරණය තියන්න මැතිවරණ කොමිසමට බැහැ කියලා මැතිවරණ කොමසාරිස්වරයා කළ ප්‍රකාශයට අපිට එකඟ වන්න බැහැ. ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදියි.
1988 වසරේ ඇති කළ පළාත් සභා පනත 2017 නව පනතකින් අහෝසි කළා. නමුත් අලුත් පනත නිසියාකාරව කළේ නැහැ. එය අතරමැදදි කඩාකප්පල් කළා. ඒ නිසා තාමත් පැරැණි ක්‍රමය වලංගුයි. අලුත් ක්‍රමයක් නීත්‍යනුකූලව සිදුවී නැත්නම් එතන හිඩැසක් තියෙනවා. ඒ හිඩැස නිසා ජනතාවට තිබෙන ඡන්ද බලය නැති කරන්න කාටවත් බැහැ. ඒ නිසා පැරණි ක්‍රමයට (මනාප) ඡන්දය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කිරීමටයි ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන්නේ.
සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ජනාධිපතිවරයා වෙත මාසයක් ඇතුළත ඉදිරිපත් කළ යුතුව තිබුණා. එය අදවන තුරු ඉටුකර නැහැ. අලුත් නීතිය සම්මත වීමට නම් සිදුකළ යුතු පියවර හයක් සම්මත විය යුතුයි. මේ වන තෙක් සීමා නීර්ණ වාර්තාව ඇමැතිවරයාට ලබාදීම සහ ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කාරණා දෙක පමණයි ඉටුකර තිබෙන්නේ.
-

හිටපු ඇමැතිගේ ගෙදර හොර අරක්කු තැබෑරුමක්
හිටපු ඇමැතිවරයකුට අයත් කොළඹ 7 ප්‍රදේශයේ සුවිසල් නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කැරොකේ සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට සුදානම් කර තිබූ බියර් කෑන් 121 කොළඹ නගරය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) සොයාගන්නා ලදී. කොළඹ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් ආසන්නයේ පවත්වාගෙන යන මෙම කැරොකේ සමාජ ශාලාවේ සේවකයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදැයි කොළඹ නගරයේ සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක චානක නානායක්කාර මහතා පැවැසීය.
මෙම සමාජ ශාලාවට ගිය වසරේදී මත්පැන් බලපත්‍රයක් නිකුත් කර තිබුණත් මහජන විරෝධයක් නිසා මේ වසරේ මත්පැන් බලපත්‍රයක් නිකුත් කර නොතිබූ බව සුරාබදු නිලධාරීහු කියති.
මේ සමාජ ශාලාවේ හිමිකරු චීන ජාතිකයකු බව කියන සුරාබදු අංශ මේ වසරේ මත්පැන් බලපත්‍රයක් නොමැති නිසා බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසැල් වලින් මිලදී ගෙන ඒවා මෙහි රහසිගතව සඟවා ගෙන අලෙවි කර තිබූ බවට තොරතුරු හෙළිකර ගෙන ඇත.
මෙම සමාජ ශාලාව චීන ජාතිකයන්ට පමණක් විවෘත කෙරුණු එකක් බවත් ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් මෙහි නිතර පැමිණෙන බවත් කියති.
අත්අඩංගුවට ගනු ලැබූ සේවකයා සුරාබදු ඇප මත දැනට මුදා හැර ඇත.සැකකරු සහ බියර් තොගය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-

ජනපති මෛත්‍රී මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා (29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය.
මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩු සහ පරිපාලක පියතුමා වන එමිලියානුන්පිල්ලෙයි පියතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගත් අතර, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්රමුඛ පියතුමන්ලා ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා අතින් ද සමරු තිළිණ පිළිගැන්විණි.
ආගමික වතාවත්වලින් අනතුරුව දේවස්ථානය අවට නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ ජනාධිපතිතුමා එහි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීය.
සිංහල, දෙමළ, මුස්ලිම් විශාල ජනතාවක් අද දින දේවස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
-

රවීගේ ඉවසීම හා තිස්සගේ වැටපැනීම හමුවේ එජාපයේ හෙට
දකුණු ආසියාවේ දේශපාලනය අන් රටවල දේශපාලනයට වඩා බෙහෙවින් වෙනස් ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය ඒ සියල්ලටමත් වඩා වෙනස් ය. මේ වෙනස ශ්‍රි ලංකාවේ සමාජ ව්‍යුහය ම උඩු-යටිකුරු කරන්නේ එක් දේශපාලන ව්‍යාපාරයක සමාරම්භයේ සිට ය. රාජවංශික ධූරාවලියක රාජ්‍ය පාලනයෙන් පුරවැසියන් පාලනය කළ සිරිලක පාලන ව්‍යුහයට කනකොක් සුද පෙනෙන්නට ගන්නේ, කිතු වසින් 1505 න් පසුව සිට ය. එතැන් පටන් ලොව ප්‍රබල අධිරාජ්‍යවාදී රාජ්‍ය තන්ත්රයන් තුනකට යටත්ව සිටිය ද, එක හෙළා කනපිට හරවන්නට අසමත් වූ හෙළ ජන සංස්කෘතිය අසම්මතව වෙනස් කරන්නේ, ඒ අධිරාජ්‍යයන්ගේ දඬු අඬුවෙන් ගිලිහුණු පසු වීම ද විශේෂිත ය.
අධිරාජ්‍යවාදීන්ගේ තෝන් ලණුව බුරුල්වෙත් ම, කෙවිට අතට ගන්නේ කලු සුද්දන් වීම තේරුම් ගත්තේ, එදා විසූවන්ගෙන් අතළොස්සකි. ඒ කලුසුදු පරම්පරාව ව්‍යසනයක් වන බව ග්‍රහණය කර නොගත් සමාජය ඊට ම නොදෙවෙනි සුදු වේට්ටි හා සුදු සාටක හැව දවටාගත් තවත් පරපුරකට තම උරුමය බන්දේසියක තබා පරිත්‍යාග කරන්නේ ය. බෙලහීන ගැන්වූ වාමවාදී කණ්ඩායමක ශේෂයන් සමඟ අතවැල් බැඳගත් තවත් රදළ නායකයින් පිරිසක් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ආටෝපයෙන් එදා සමාජය නිර්වින්දනය කරන්නට සමත් වී ය.
ලේ නොසොල්වා ලබාගත් නිදහස යැයි මොරදුන් විගඩම් බල පැවැරුමෙන් අනතුරුව, සිරිලක දේශපාලනය, නිරන්තරව ගිනි පුපුරු අළු යට සැඟ වූ දඩ බිමක් බවට පරිවර්තනය වී ය. රාජ නීතිය-රාජ අණ යටතේ, තිරස්චීනව දඬුවම් දුන් ක්‍රමය වෙනුවට, ජන සම්මතවාදයට යටත්තොට විනිවිද භාවයක් පෙන්වා මිනී මරණ අල්තාරයක හා පුදසුනක සිරිලක දේශපාලනය සතපවන්නට ඔවුන් සමත් වී ය. ඊට සාවධානිතව අනුගත වූ පිරිසක් සිරිලක ගම්බිම්වල ද විසූ බවට මෑතක් වනතුරු ම සාක්ෂි තිබුණි. මේ ඇතැමුන් කොතෙක් දුරට ඔවුනට යටහත් පහත්ව සිටියේ ද යත්, මහ රැජිනගේ පින්තූරයක් රාමු කොට ඉතා ගෞරවයෙන් නිවසේ ඉහළින් ම එල්ලා ගන්නට තරම් ඔවුන් නිහතමානී වී සිටියේ ය.
කෙසේ වෙතත්, 70 දශකය ආරම්භ වෙත්ම, වාම නැඹුරුවකින් යුතු පක්ෂ කිහිපයක් සමඟ දක්ෂිණාංශික, එහෙත් සෙප්පඩවිජ්ජා සහිත පංචශික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගාගත් සමඟි පෙරමුණු රජය සාධනීය පියවර කිහිපයක් තබන්නට සමත් වී ය. රැජිනගේ ආණ්ඩුවට යටත්ව තව දුරටත් සිටීමට වූ නෛතික භාවය අවලංගු කර, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීම වැදගත් සේ සැලකිය හැකි පියවරකි. ඒ සමඟ ම පෑදි දිය බොර කරන්නට මාන බලමින් සිටි යැංකි ගැති එක්සත් ජාතික පක්ෂයේ එදා නායකත්වයට බල දේශපාලනයේ පිම්මක් පනින්නට උර දෙන දෙවසරක් ද නිර්මාණය කර දෙන්නට සමඟි පෙරමුණු රජය සමත්ව සිටියේ ය. සැබැවින් ම, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ආශීර්වාදයක් වූ, සත් වසක සාපයක් ලෙස අරුත් ගැන් වූ පස් වසකට එක් වූ වසර දෙක අදටත් විවාදපන්න ය.
පස්වසකට බලයට පැමිණ, ජනරජයේ සිට ගණන් බලා හෝ අරුත් ගන්වා හෝ සත්වසක් දක්වා ගෙවූ සමඟි පෙරමුණු රජයේ සමඟිය ඊට පෙර ම දෙදරා ගොස් තිබුණි. එක්සත් ජාතික පක්ෂය පරදා, 1970දී බලයට එන්නට ගොඩනගාගත් හා සාධනීය පියවර රැසක් රටට දැයට උරුම කර දුන්, වාමාංශික නැඹුරුවට හා සහයෝගීතාවට ඒ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පයින් ගසා තිබුණි. මේ සියල්ලේ වාසිය, කෛරාටික දේශපාලන නායකයෙක් වූ, ජූනියස් රිචඩ් ජයවර්ධන විසින් මනාව කළමනාකරණය කරගෙන තිබුණි. 21 වන සියවසේ 2018 වසරේ අප මේ ගෙවන කාල පරාසයේ, අහන්නට දකින්නට ලැබෙන දේශපාලන පළිගැනීම් හා මඩ ප්‍රචාරයන් ද මීට සමානව ම සිදු වී ය.
මෙසේ වර්ධිත දේශපාලන මතය ඔස්සේ, ජේ. ආර්. ජයවර්ධන බලය ලබාගත් ආකාරය ඉතා සරලව මීට පෙර ලිපියකින් (කොලපාට සමාජයේ ගිය නුවණ ඇතුන් ලවා ඇද්දවිය හැකි නම්…) අපි සාකච්ඡා කළෙමු. එතරම් සටකපට වූ එක්සත් ජාතික පක්ෂය පසු කලෙක, තමන් විසින් ම කිරි පොවා ඇති දැඩි කළවුන්ගෙන් ම පරිභව හා දඬුවම් ලබමින් පරාජයන් රැසකට උරුම හරුමකම් කීවේ ය. අදටත් එහි වෙනසක් නැත. අවසානයේ අද වන විට ආනයනික පොදු අපේක්ෂක පිරුවටයෙන් ඔතා මිස, තමන්ට අගමැති හෝ ඇමති ධුරයක් ලබාගන්නට නොහැකි තැනකට ඇද වැටී තිබේ.
එක්සත් ජාතික පක්ෂයට කරුමය මෙසේ පලදෙද්දී, පක්ෂය අභ්‍යන්තරයෙන් ම යළිත් කුණාටු කිහිපයකට මුහුණ දෙන්නට වන තත්ත්වයක් ද නිර්මාණය වෙමින් පවතී. අසීරු හා දුෂ්ට ප්රතිවිපාකයන්ට මුහුණ දෙන අවස්ථාවක දී එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යම ශක්තිය දුන් ප්‍රබලයින් ඉවත්ව යෑමේ හා ඉවත්වන තැනට වැඩ සැලසීමේ අසම්මත ක්‍රමවේදයකින් ද එක්සත් ජාතික පක්ෂය මේ වන විට පීඩා විඳිමින් සිටී. පොදු අපේක්ෂක භූමිකාව දෙවන වර රඟදැක්වීමත් සමඟ ම, පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක පක්ෂය හැර යන තැනට වැඩ සිදු වී ය. කෙසේ හෝ බලය ඩැහැගැනීමෙන් අනතුරුව, දෙවසරක් එළැඹෙත් ම, ප්‍රබල ම අමාත්‍ය ධුරය වන මුදල් ඇමති ලෙස කටයුතු කළ රවී කරුණානායක නිහඬ කොට තැබීමට සිදු වී ය.
තිස්ස අත්තනායක ඉවත්ව යෑමෙන් ඇති වූ හිඩැස පුරවා ගැනීමට තවමත් එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබේ. ඒ බව මේ ගෙවුණු වසර තුන තුල පක්ෂය අභ්‍යන්තරයේ වූ වෙනස්කම් සාධනීය නොවූ බව ප්‍රකට වීමෙන් ම පෙනී යයි.
රවී කරුණානායක යනු එක්සත් ජාතික පක්ෂයට තවමත් ඉතිරිව ඇති හොඳම අනාගත ආයෝජනයයි. ලිබරල් මතධාරීන්ට තෝතැන්නක් වන එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂයක් සංවර්ධනයට, ඊට ම සරිලන වෝහාරික සුදුසුකම් සපුරාලිය හැකි පුද්ගලයා වූ යේ ද රවී කරුණානායක ය. විශේෂයෙන් අග නගරය කේන්ද්‍ර කරගත්, ඉහල හා මධ්‍යම පාන්තික නියෝජනය ශක්තිමත් කළ හැකි යාන්ත්‍රණයක් සැකසීමේ හැකියාව පවතින පුද්ගලයා වූයේ ද රවී කරුණානායක ය.
එක්සත් ජාතික පක්ෂය වැනි යාන්ත්‍රණයක් ශක්තිමත් කිරීමට සැපිරිය යුතු සියලු සුදුසුකම් රවී කරුණානායක සතු ය. එමෙන් ම ඔහු පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී ද, අද දක්වා ද ඒ සියල්ල ජයගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. එහෙත්, පක්ෂ අභ්‍යන්තරයේ ම වන බල අරගලය හමුවේ, කුමන්ත්රණකාරී වාතාවරණය සමහන් කරගැනීමට රවී කරුණානායක අසමත්වීම ඔහුගේ සතුරන්ට ජයක් අත්කර දී ඇත. එක්සත් ජාතික පක්ෂය පැත්තේ සිට බලන විට කනගාටුවට කරුණ නම්, දෙවැනි පෙළ නායකත්වයක් ද ප්‍රකට නොකරන ආස්ථානයක දී, දුෂ්කර අවස්ථාවක බර කරට ගත හැකි රවී වැන්නෙක් නිර්වින්දනය කොට තිබීම පක්ෂයට අභාග්‍යයක් බව ය.
රවී කරුණානායක සහ තිස්ස අත්තනායක යන දෙදෙනාගේ ම වත්මන් භූමිකා දිනෙන් දින අලුත් වෙමින් තිබේ. දේශපාලනයේ ඇතුලාන්තය ට එබිකම් කරන්නන්ට මේ දෙදෙනා ගන්නට සූදානම් වන පියවර රහසක් නොවේ. එහෙත් දෙදෙනා ම ප්‍රකට කරන එක් ගුණයක් තිබේ. එනම් ඉවසීමයි. රවී ගේ ඉවසීම ඕනෑවටත් වඩා ය. තිස්සගේ රතු කට්ට පැන ගොස් පියවරක් ගෙන ඊළග පියවරට සූදානම් වෙමින් සිටී. මේ දෙදෙනාට ම පොදු තවත් ප්‍රබල සාධකයක් ද තිබේ. එනම් මේ දෙදෙනා ම වත්මන් එක්සත් ජාතික පක්ෂයේ ගජ මිතුරු කල්ලියේ සතුරන් වීම ඒ මහා පොදු සාධකයයි.
වෙනස්වන ශ්‍රී ලාංකේය වත්මන් දේශපාලනයේ රවීගේ සුදුසුකම, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ළං විය හැකි වීම ය. තිස්සගේ සුදුසුකම එක්සත් ජාතික පක්ෂයට රිදෙන්න යමක් කළ හැකි වීම ය. මේ දෙදෙනාගේ ම මේ අංශයේ පොදු සුදුසුකම ඉවසීම ඉක්මවා ගිය තැනක දී එක්සත් ජාතික පක්ෂයේ පළුවක් ගලවා දැමිය හැකි වීම ය.
පවතින තත්ත්වය තුල මේ දෙදෙනා ම වැදගත් භූමිකාවකට හිමිකම් කීමට ඇති ඉඩ ප්රස්ථා බහුල ය. අපගේ ආරංචි මාර්ග වලට අනුව, තිස්ස අත්තනායක ඊ ලග පියවර තැබීමට සූදානම් ය. රවී කරුණානායක තවමත් “ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය” යන්න විශ්වාස කරමින් සිටින බවක් හැඟේ. එහෙත් මේ තත්ත්වයනට මුහුණ දීමේ අභියෝගය නිතැතින් ම ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය තුල ය. වත්මන් නායකත්වය තුල ය.
සිවු වතාවක් අධිකරණය මගහැර සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තිස්සට සාධාරණයක් ඉටු කරනවා ද, සහ චෝදනාවක් එල්ල වූ පමණින් ඇමතිධුරයෙන් ඉවත්වන තැනට වැඩ සැලසූ රවී කරුණානායක යළි ඇමති ධුරයක පිහිටවනවා ද යන පැන ද්විත්වයට ම පිළිතුරු ඇත්තේ රනිල් වික්‍රමසිංහ අත ය. මේ අනුව, මේ දෙදෙනාගේ ම අනාගත ක්‍රියා මාර්ග වලින් එක්සත් ජාතික පක්ෂයට වන හානිය වලක්වා ගැනීමේ හැකියාව පවතින්නේ ද රනිල් වික්‍රමසිංහ අත ය. තව ද, යුක්තිගරුකව කළගුණ දත්තාගේ ප්රතිරුව ප්‍රකට කිරීමේ වගකීම ඇත්තේ ද රනිල් අත ය. ඒ අනුව, තීරණාත්මක පැයේ දී යළිත් වරක් එක්සත් ජාතික පක්ෂයට අගාධය හිමිවීම වලක්වාලීමේ තීරකයා වන්නේ රනිල් ය.
මේ අනුව, අතීතයේ ජේ. ආර්. මාමාගෙන් ලද පාඩම් උකසට ගෙනවත් කටයුතු කරනු ඇතිය යන විශ්වාසය සාම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයා පෙළන කාරණා අතර ඉහළින් ම තැබෙන්නේ, පෙර අප සඳහන් කළ දේශපාලන ඉතිහාසයේ සරදම් ද යළි ගලපා ගැනීමෙන් අනතුරුව ය. සාම්ප්‍රදායික යූඇන්පීකාරයා යනු එවැන්නෙකි. ඔහුට අවැසි පක්ෂ මිස වෙනකක් නොවේ ය.
# සටහන : ජනිත් විපුලගුණ
-

පළාත් සභා 7ක ඡන්දය ජනවාරියේ තියන්න පුළුවන්… අලුත් විදිහටද පරණ විදිහටද තීරණය ලබන බදදා
මධ්‍යම සහ ඌව හැර සෙසු පළාත් සභා හතේ මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට හැකියාව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී පවසා ඇත.
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවාද නැත්නම් නව ක්‍රමයට පවත්වනවාද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා ලබන බදාදා (01) යළි පක්ෂ නායකයන් රැස්විය යුතු බවද අගමැතිවරයා මෙහිදී පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ඉදිරි ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කුමන ක්‍රමයක් යටතේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවද අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය මේ වන විට අවසන්ව ඇති අතර මධ්‍යම, වයඹ, උතුරු පළාත් සභාවන්හි නිල කාලය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය. දකුණු පළාත් සභාවේ නිල කාලයද ලබන වසර මුල අවසන්වේ.
එබැවින් එම පළාත් සභා හතෙහිම මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතී.
මධ්‍යම සහ ඌව පළාත් සභා දෙක හැර අනෙක් පළාත් සභාවල ඡන්දය ලබන ජනවාරියේ පැවැත්වීමට හැකි බවද අගමැතිවරයා මෙහිදී පක්ෂ නායකයන්ට දන්වා ඇත.
එම නිසා මේ සම්බන්ධව පක්ෂ නායකයන් තීරණයක් ගත යුතු බවත් ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සහ පවත්වන කාලය සම්බන්ධව තීරණය කිරීමට ලබන බදාදා නැවත රැස්විය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
මෙම පක්ෂ නායක හමුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගි වී ඇති අතර, අනුර කුමාර දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, ෆයිසර් මුස්තාපා, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, ඩග්ලස් දේවානන්ද, රවුෆ් හකීම් යන මැති ඇමැතිවරුන්ද සහභාගි වී තිබේ.
-

2017 සා/පෙ විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන්ව ජනපති අගයයි
2017 අ.පො.ස (සා/පෙළ) විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සම්මාන පිරිනැමීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ සිදු කෙරිණි.
ස්වකීය අධ්‍යයන හා වෘත්තීය අවශ්‍ය සපුරා ගැනීමට අවශ්‍ය ප්‍රමිති ළගා කර ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන රජයේ නිලධාරින් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් සිංහල හා දෙමළ ජනතාව වෙත තම සහෝදර භාෂා ප්රවිණතාව ලබාදීමෙන් සන්නිවේදන පරතරය අවම කරගැනීමත්, අන්‍යොන්‍ය විශ්වාසය හා අවබෝධය තහවුරු කරනු පිණිස “දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න” ගුවන් විදුලි වැඩසටහන ජනාධිපතිතුමා, ජනාධිපති පදවියට පත්ව වසර දෙකක් සම්පූර්ණවීමට සමගාමීව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් 2017 ජනවාරි පළමුවැනිදා සිට ශ්‍රී ලාංකික ගුවන් විදුලි සේවා 09 ක් ඔස්සේ ප්‍රචාරය කිරීම අරඹන ලදී.
“දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න” ගුවන් විදුලි වැඩසටහන, විශේෂයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන බස විෂය (සිංහල/දෙමළ) හදාරන සිසුන් ඉලක්ක කොට ගෙන අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට යෝජිත වැඩසටනකි.
ඉහත වැඩසටහන ප්‍රචාරය කිරීම ආරම්භ කිරීමෙන් පසුව අමාත්‍යාංශය මගින් සියලූම පාසල්වල විදුහල්පතිවරුන් හරහා කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් එම වැඩසටහන ශ්‍රවණය කරන පාසල් 400ක් හදුනා ගැනීම සිදු කරන ලද අතර, එම පාසල් සිසු දරුවන් සඳහා අ.පො.ස (සා.පෙ) විභාගයේ දෙවන බස (සිංහල/දෙමළ) විෂය ඉලක්ක කොට ගෙන සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීම සිදු කරන ලදී.
“දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න” ගුවන්විදුලි වැඩසටහන හා ඊට සමගාමීව පැවැත්වූ සම්මන්ත්රණ මාලාව ප්‍රයෝජනයට ගනිමින් 2017 වර්ෂයේ දෙසැම්බර් මස පැවති අ.පො.ස (සා.පෙ) විභාගයේ දෙවන බස විෂය සඳහා පෙනි සිට ඒ හා බී සමාර්ථ ලබා ගත් සිසුන් සහ අදාළ විෂය ඉගැන්වූ ගුරුවරුන් පිළිබඳ දත්ත එක් රැුස් කිරීමක් සිදුකරන ලද අතර එහිදී අ.පො.ස (සා.පෙ) විභාගයේ දෙවන බස විෂය සඳහා පෙනී සිට ඒ හා බී සමාර්ථ ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් පාසල් 256 ක් හඳුනා ගන්නා ලදී.
එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අදාළ විෂය ඉගැන්වූ ගුරුවරුන් ඇගයීම මෙහිදී සිදු කෙරිණි.
සිසුන් 4000 කට සම්මාන පිරිනැමීම සංකේතවත් කරමින් දිවයිනම ආවරණය වන පරිදි සිසුන් දහ දෙනෙකු වෙත සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.
විදුහල්පතිවරුන්, ගුරවරුන් සහ ,දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න, ගුවන්විදුලි වැඩසටහන නිර්මාණය කළ පිරිස් ද ජනාධිපතිතුමා අතින් ඇගයීමට ලක් කෙරිණි.
අමාත්‍ය මනෝ ගනේෂන්, අර්ජුණ රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය සෙයිද් අලි සාහිර් මවුලානා, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඊ. සර්වනභවන්, මූඛර්ජ් රහුමාන්, වේලූකුමාර් යන මහත්වරුන් සහ ජාතික ඒකබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ලේකම් එම්.වයි.එස්. දේශපි‍්‍රය මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
-

ඩුබායි හා හොංකොන් බැංකු ගිණුම් වල රාජපක්ෂලාගේ ඩොලර් මිලියන 3000 කට වැඩි මුදලක් තියෙනවා…
රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ හිතවතුන්ගේ නම්වලින් ඩුබායි හා හොංකොං බැංකුවල ඇති ගිණුම් වාර්තා පිළිබඳ සියලු තොරතුරු ලැබී ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙම ගිණුම්වල ඇති මුදල් ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක දැන් රජය නිරත වී සිටින බවද ඊයේ (25) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා සඳහන් කළේය.
රාජපක්ෂ පවුලේ අයගේ නම්වලින් ඩුබායි බැංකු ගිණුම් තුනක ඩොලර් මිලියන 1086 ක් හා තවත් ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් ඇති බවද ඔවුන්ට හිතවත් හිටපු ලේකම්වරයකුගේ හා සභාපතිවරයකුගේ හවුල් ගිණුමක ඩොලර් මිලියන 1800 ක් ඇති බවට සියලු තොරතුරු ලැබී ඇතැයිද සේනාරත්න මහතා කීය.
එමෙන්ම ඔවුන්ගේ හොංකොං හා සිංගප්පූරු බැංකු ගිණුම්වල තොරතුරු ද ලබාගෙන ඇති බව ඇමැතිවරයා පැවසීය.
එම මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීම ඉතා අසීරු කටයුත්තක් වන නමුත් එම මෙහෙයුම දැනට ක්‍රියාත්මක කර ඇති බවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසීය. -

ජනපති මැදිහත් වේ.. අධ්‍යාපනයේ වැඩ වර්ජනය නවතයි…
දේශපාලන පළිගැනීම්වලට ලක් වූවා යෑයි කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නුසුදුස්සන්ට ලබාදීමට සැලසුම් කරන ලද උසස්වීම් 1014 ම වහාම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළේය.
මෙම තීරණයත් සමඟම අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සංගම් දොළහක් ඒකාබද්ධව අද පැවැත්වීමට සැලසුම් කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අත්හිටුවීමට එම වෘත්තීය සමිති නායකයෝ තීරණය කළහ. -

අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම විශාල ප්‍රශ්නයක්
අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපහසුව පවතින්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ බරපතල දුෂණ කළ අපරාධකරුවන් ලෝකයේ වෙනත් රටවල සැඟවී සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ශ්‍රී ලංකාව ප්‍රශ්නවලට මුහුණ පා ඇති බවත් ඒ ඒ රටවල ආගමන නීති මෙන්ම වීසා නීති හා නේවාසික නීති ද මෙහි දී විශේෂයෙන් බලපාන බවත් මෙකී දූෂිතයින් සොයා ගැනීමටත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමටත් නොහැකිවීම නිසා රටේ උගත් බුද්ධිමත් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න බැරිවී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ජාතික වශයෙන් අල්ලසට දූෂණයට එරෙහි නීතිරීති ශක්තිමත් කරන අතරම අන්තර් ජාතික නීතිරීති ද ශක්තිමත් කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කී අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ අද (25) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ආරම්භ වූ ජකර්තා මුලධර්ම පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
සහයෝගය නොලැබීම නිසා අපිට අපේ රටේ දුෂණයට විරුද්ධව ගෙන යන සටනේ දී අපි සැමවිටම ජාතික වශයෙන් ඒ කටයුතු ශක්තිමත් කරවනවා වගේම අන්තර් ජාතික වශයෙන් මේ සටනට එකතු වී සිටින රටවල් සමඟ එකට බැදී කටයුතු කිරීමේ අවශ්‍යතාව අපි දකිනවා.
දූෂණ විරෝධී සටනේ දී අන්තර් ජාතික නීතිරීතිවල අඩුපාඩු රාශියක් අපි දකිනවා. බරපතල දුෂිතයින්, අපරාධකරුවන් සොයා ගැනීමේ දී ඒවා බලපා තිබෙනවා. අපේ රටෙන් උදාහරණ ගත්තොත් බරපතල දුෂණ කළ අපරාධකරුවන් ලෝකයේ වෙනත් රටවල සැඟවී සිටිනවා. අපේ අපරාධ පරික්ෂණ අංශ මේ අය අත්අඩංගුවට ගැනීමේ දී අපි බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ ඒ රටවල්වල සහය නොලැබීම නිසා මේ රටවල්වල සහයෝගය නොලැබීමේ දී ආගමන නීති වීසා නීති නේවාසික පුරවැසියන් ගැන නීති අපට බොහෝ අභියෝග වී තිබෙනවා.
-

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන පොළොන්නරුවේ සංවර්ධන කටයුතු රැසක් ජනාධිපතිගේ නිරික්ෂණයට
පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන පොළොන්නරුවේ සංවර්ධන කටයුතු රැසක් ඊයේ (22) ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.ඒ අතරතුර පොළොන්නරුව, ලක්ෂඋයන ගම්මානයේ ගිනිපෙට්ටි පාලමට නුදුරින් ඇති සපත්තු පාලම ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වූ අතර එහිදී ජනාධිපතිතුමා වාරිමාර්ග නිලධාරින්ට උපදෙස් දුන්නේ එම සපත්තු පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමට කඩිනමින් සැලසුම් සකස් කරන ලෙසය.එම ස්ථානයට පැමිණ සිටි තම ප්‍රදේශවාසී ජනතාවගේ සුවදුක් විමසමින් ඔවුන් සමග සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය. -

කෘෂිකාර්මික කටයුතු සඳහා ග්‍රාමිය ජනතාව ලබාගත් ණය අහෝසි කරනවා
කෘෂිකාර්මික කටයුතු සඳහා ග්‍රාමිය ජනතාව ලබාගත් ණය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් පවසයි.මුදල් අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් වැඩි දුරටක් සඳහන් කල අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ග්‍රාමිය ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉදිරියේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. -

පොහොට්ටුවේ ප්‍රශ්න ගොඩයි… ඒකාබද්ධය ලොකු පසුබෑමක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසු පසුබැස ඇති බව ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදි අමතමින් පවසයි.
සභාපතිලා උප සභාපතිලා පත් කරද්දීත්, ලයිස්තුවෙන් මන්ත්‍රී දුර නම් කරද්දීත් ප්‍රශ්න ඇති වූ බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.
-

එක්සත් ජනතා නිදහස් සංධාන මහලේකම් ධූරය එස්බී ට ලැබෙන ලකුණු
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාට ලැබෙනු ඇති බවට වාර්තා වෙයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පසු මේ ගැන අවසන් තීන්දුව ගනු ඇතැයිද පැවසෙන අතර ඕනෑම අවස්ථාවක ඕනෑම තනතුරක් අතහරින්නට සූදානම් බව වත්මන් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසා ඇත.
-

රාජපක්ෂල විතරද ජනාධිපති වෙන්න ඕන… ඇයි අපි කළුද ?
මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග කරන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත දුන්නොත් තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ඕනෑම අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන්නට තමන් සූදානම් බවත් මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී අදහස් පල කලේය.
ජනාධිපති විය යුත්තේ රාජපක්ෂලා පමණක් නොවන බවට මීට පෙර වෙල්ගම මහතා ප්‍රකාශයක්ද කර තිබිනි.