අද දින (24) අවසාන වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 102 දෙදෙනකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවා. ඒ අනුව අද දින වාර්තා වූ නව ආසාදිතයින් ගණන 05ක් වන අතර 229 දෙනකු කොරෝනා බවට සැකපිට රෝහල්වල ප‍්‍රතිකාර ලබනවා. ඒ සමග චීන ජාතික කාන්තාව සහ කොරෝනා වෛරසය ආසාදිත මුල්ම ශ‍්‍රී ලාංකිකයා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
Blog
-

සහනයක් දිය හැකි රැඳවියන් ගැන සොයා බැලීමට ජනපති පත් කළ කමිටුව වැඩ අරඹයි
සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.
සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට ජනාධිපති විසින් පත් කළ විශේෂ කමිටුව අද (24) ජනාධිපති කාර්යාලයේ දී ජනපතිවරයා හමු වූ අවස්ථාවේ දී මේ උපදෙස් දෙනු ලැබීය.
ජනාධිපති රාජපක්ෂ මහතා මීට පෙර බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණ කළ අවස්ථාවේ රැඳවියන් ජනපතිගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට පියවර ගැනිණ.
දැනට දඩ මුදල් ගෙවීමට හෝ ඇප මුදල් හෝ පුද්ගල ඇප ලබාදීමට අපොහොසත් රැඳවියන්ට නෛතික ප්‍රතිපාදන සැලසීමට නිර්දේශ ඉදිරිපත් කරණු පිණිස කමිටුව මාර්තු 26 වනදා ජනාධිපති යළි හමුවීමට නියමිතය.
නීතිඥ කමිටුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විතය.
බන්ධනාගාර කොමසාරිස් ජයසිරි තෙන්නකෝන්, නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් වෙනුර ගුණවර්ධන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ලේකම් කෞෂල්‍ය නවරත්න, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර සිල්වා, නීතිඥ සුසර දිනාල් යන මහත්වරු ඇතුළු නීතිඥ පිරිසක් හමුවට එක්ව සිටියහ.
-

ඇදිරි නීතිය පවතින කාලය තුල ෆාමසි විවෘත කර තැබීමට පියවර ගැනේ
රට තුල කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත.
මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත.
ඒ අනුව සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය හා ඖෂධ වට්ටොරුව ඇදිරිනීති අවසර පතක් ලෙස සළකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දන්වා ඇත.
එමෙන්ම ඖෂධ සැල්වල සේවය කරන සේවකයින්ට සහ ඖෂධ ප්‍රවාහනය කරන වාහන සදහා අවසරය ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
-

කොරෝනා නිසා ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල් යයි
ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ විසින් අද (24) දින ඔලිම්පික් උළෙල සඳහා වසරකින් කල් දැමීම පිළිබදව ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් Thomas Bach වෙත යෝජනා කිරීමට සූදානම් බව ජපාන NHK ගුවන් විදුලිය සදහන් කළා.
ජූලි 24 සිට අගෝස්තු 9 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල ප්‍රමාද කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පිකි කමිටුව වෙත කැනඩාව, ඔස්ට්‍රේලියාව ආදි රටවලින් දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
ඔලිම්පික් වාර්තා අනුව පළමු වැනි (1916) හා දෙවැනි ලෝක යුද්ධ (1940-44) අතර තුර කාලය තුළ හැර පසුගිය සියවසකට අධික කාලය තුළ ඔලිම්පික් උළෙල පැවැත්වීම කල් දමා නොමැත.
පසුගිය මාර්තු 17 වන දින ජපානයේ ඔලිම්පික් අමාත්‍යවරිය සයිකෝ හෂිමොටෝ Japan’s Olympic minister Seiko Hashimoto කියා සිටියේ ඔලිම්පික් උළෙල සදහා “සම්පූර්ණ” සත්කාරකත්වය සැලසීමට ජපානය සැලසුම් කරමින් සිටින බවයි.

ඔලිම්පික් ගිනි සිළුව ජපානයට ලගා වූ අතර ඒ සමග ඔලිම්පික් උළෙල කල්දැමිය යුතු යැයි ප්‍රබල හඩක් මතුවිය. පසුගිය සතියේ අගභාගයේදී, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කියා සිටියේ උළෙල කල් දැමීම හෝ ක්‍රීඩා වෙනස් කිරීම ඇතුළු විවිධ විකල්ප ගණනාවක් ගැන සලකා බලමින් සිටින බවත් ඒ අනුව ජූලි මාසයේදී නියමිත පරිදි උළෙල පැවැත් විය බවත්ය.
ගෝලීය වශයෙන් 381,000 කට අධික පිරිසකට ආසාදනය වී ඇති කොරොන වයිරසයේ ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටවල් උත්සාහ කරන බැවින් සැලසුම් කර ඇති පරිදි ක්‍රීඩා උළෙල පැවැත්වීමට විරෝධය වැඩි වෙමින් තිබේ
ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල් මේ වසරේදී ටෝකියෝවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොයවන බව ප්‍රකාශ කළ අතර, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය සහ පෝලන්තය වැනි රටවල් එක්ව 2021 දක්වා ක්‍රීඩා කල්දමන ලෙස ඉල්ලා සිටියේය
.ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් සහ ඇමරිකා එක්සත් ජනපද පිහිනුම් ඇතුළු ක්‍රීඩා ආයතනද කල් දැමීමට ඉල්ලා සිටියේය. මේ අතර, සංවෘත පහසුකම් සහ පුහුණුකරුවන්ට සහ පුහුණු හවුල්කරුවන්ට ප්‍රවේශ වීම සීමා කිරීම හේතුවෙන් පුහුණුවීමට නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සැලසුම් කළ පරිදි ක්‍රීඩා උළෙලට විරෝධය පළ කර තිබේ.
වෛරසය මධ්‍යයේ ලොව පුරා ක්‍රීඩා ඉසව් අත්හිටුවා ඇති අතර යුරෝ තරගාවලිය 2020 ලබන වසර දක්වා කල්දමා තිබේ.
ඔලිම්පික් කල්දැමීමේ මූල්‍යමය හානිය විශාල විය හැකිය. සත්කාරක වියදම දෙසැම්බරයේදී යෙන් ට්‍රිලියන 1.35 ක් (ඩොලර් බිලියන 12.35 ක්) වූ නමුත් රොයිටර් පුවත් සේවයට අනුව ටෝකියෝ සිට සප්පෝරෝ දක්වා මැරතන් හා ඇවිදීමේ ඉසව් සඳහා යන වියදම එම සංඛ්‍යාවට ඇතුළත් නොවීය.
අනුග්‍රාහකයින්, රක්ෂණකරුවන් සහ විකාශකයින් ද ක්‍රීඩා උළෙල සඳහා බිලියන ගණනක් කැප කර ඇත. සමහර ප්‍රවීණයන් විශ්වාස කරන්නේ සත්‍ය මුදල ඩොලර් බිලියන 25 ක් විය හැකි අතර එයින් වැඩි ප්‍රමාණයක් දැනටමත් ප්‍රවාහන ජාල, හෝටල් සහ නව ස්ථාන වැනි මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා වියදම් කර ඇති බවයි.
Text By cnn.com
-

මහීපාල හේරත් මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයට
උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබේ. ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මහීපාල හේරත් මහතා මීට පෙර සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේය.
-

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
-

නිරෝධායන වූ පළමු කණ්ඩායම සිය නිවෙස් බලා පිටත් වේ
පූනානි (203) සහ කන්දකාඩු (108) ප්‍රදේශයන්හී පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියන්ට භාජනය වී සිටි 311 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (24) දින උදෑසන වෛද්‍ය ක්‍රමවේදයන් සහ නිරෝධායන ක්‍රියාවලී සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නික්ම යනු ලැබුවේ එම මධ්‍යස්ථාන වෙතින් ඔවුන් වෙත නිකුත් කරනු ලැබූ නිරෝධායන සහතිකපත් ද සමඟිනි.

ගාල්ල, කොළඹ, මහනුවර සහ මාතර යන ප්‍රදේශයන්වල වෙසෙන මෙම නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ පිරිස වෙත අදාළ ප්‍රදේශ වෙත යාමට ප්‍රවාහන පහසුකම්ද සපයනු ලැබීය. මීට අමතරව, එම කණ්ඩායමේ සිටි ළදරුවන් සහ ළමුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් ඔවුන් යන ගමන් වාරය අතරතුර අවශ්‍ය වන කෙටි ආහාර, ජලය සහ දිවා ආහාර පාර්සල් ද, ළදරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සකසන ලද ආහාර ද ලබාදෙන ලදී.

එම කණ්ඩායම නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කරමින් නික්මයෑමේ මෙම අවස්ථාවට නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, 23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසු නිලයින් ද සහභාගී වූහ.

-

කොරෝනා වෛරස අවධානම හමුවේ ඉන්දියාවේ මිත්‍යා ඖෂධ ජාවාරමක්
කොරෝනා වෛරසය ආසාදනය වීම අතින් ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන සාපේක්‍ෂ වශයෙන් ඉහළ සංඛ්‍යාවක් නොවේ. එහෙත් වෛරසය පරාජය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉන්දියාව පුරා මහජනයා නොමඟ යවන සුළු අදහස් ප්‍රචාරය කෙරෙමින් පවතී.
පතුරුවා හරිනු ලැබෙමින් පවතින එවැනි ප්‍රමුඛ මිත්‍යා මත සම්බන්ධයෙන් බීබීසිය කරුණු විභාගයක් සිදු කරනු ලැබ ඇත.
ගවමුත්‍ර පානය සහ ගොම
වෛරස් ආසාදනය වීම මගින් ඇතිවෙන ආබාධ සඳහා සාම්ප්‍රධායික ප්‍රතිකාරයක් වශයෙන් ගවමුත්‍ර පානය සහ ගොම පාවිච්චිකරනු ලැබීම ජනප්‍රිය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට දීර්ඝ ඉතිහාසයක් ඇත.
දැනට පැතිරයමින් පවතින කොරෝනා (Covid -19) වෛරසය මැඩලීම සඳහාත් ගවමුත්‍ර සහ ගොම පාවිච්චි කළ හැකි යයි පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP )මන්ත්‍රීවරයකු වන සුමන් හරිප්‍රිය (Suman Haripriya) යෝජනා කරයි.
ගවමුත්‍රවල බැක්ටීරියා නාශක පිළිබඳව මීට පෙරත් හැදෑරීම් සිදු කරනු ලැබ ඇත.
කොරෝනා වෛරසය මැඩලීම සඳහා ගවමුත්‍ර පානයට ජනතාව ආකර්ෂණය කර ගැනීමේ අදහසින් හින්දු ජාතිකවාදී කණ්ඩායමක් දිල්ලි අගනුවර ගවමුත්‍රපානෝත්සවයක් සංවිධානය කර තිබුණි.
එහෙත් ”ගවමුත්‍රවල වෛරස් නාශක ශක්තියක් සහිත පදාර්ථ අඩංගු නොවන” බව ඉන්දියාවේ වෛරස් පිළිබඳ අධ්‍යයන සංගමයේ වෛද්‍ය ශෛලේන්ද්‍ර සක්ෂේනා (Dr Shailendra Saxena) පෙන්වා දෙයි.
“එපමනක් නොව, ගවයන්ගේ ගොම පාවිච්චිය ප්‍රතිවිරුද්ධ විපාක ඇති කරන්න ඉඩකඩ තියෙනවා. ගවයන්ගේ අශූචිවල අන්තර්ගත කොරෝනා වෛරස් මිනිසුන්ට බලපාන්න පුළුවන්,” වෛද්‍යවරයා බීබීසියට වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
මධ්‍යසාර තොර අත් පවිත්‍ර දියර

ගවයන්ගේ ගොම යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද සබන් සහ ඉන්දියානු ගවයන්ගෙන් ලබාගත් මුත්‍රා පෙරමින් සකස් කරන ලද ”කව්පති” මධ්‍යසාර විරහිත අත් පවිත්‍ර දියරය පිළිබඳව 2018 වසරේ පටන් අන්තර්ජාලයේ දැක්වෙයි.
“දැනට තොග අවසන්ව ඇති බව පවසමින් එකී නිෂ්පාදනයට අදාළ ප්‍රචාරක පිටුවේ මෙසේ දක්වා ඇත.
“පවතින අධි ඉල්ලුම හේතුවෙන් අපගේ බොහෝ පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසීම සඳහා එක පාරිභෝගිකයකු විසින් මිලදී ගත හැකි ප්‍රමාණය දැනට සීමා කරනු ලැබ ඇත.”
මේ අතර රාම්දේව් (Ramdev) නම් යෝග ආචාර්යවරයෙක් ජනප්‍රිය හින්දු මාධ්‍ය ජාලයකට අදහස් දක්වමින්, බෙහෙත් පැලැටි යොදාගනිමින් සදා ගතහැකි අත් පවිත්‍කිරීමේ ර දියරයක් නිපදවා ගැනීමට යෝජනා කළේය .
කහ සහ සුවඳ සහිත බැසිල් කොළ ආදිය යොදා ගනිමින් සාදාගත් ආයුර්වේද රසායනයක් පරිභෝජනය කිරීම මගින් කොරෝනා වෛරසය වලක්වා ගැනීමට හැකි බව රාම්දේව් යෝගාචාර්යවරයා පවසා ඇත.
එහෙත් ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO ) සහ ව්‍යාධීන් වැළක්වීමේ සහ පිටුදැකීමේ ඇමෙරිකානු මධ්‍යස්ථානය (CDC) කියා සිටින්නේ මධ්‍යසාර මිශ්‍ර අත් පවිත්‍ර කාරක දියර පාවිච්චි කරන ලෙසය.
”වොඩ්කාවලත් ඇතුලත් වන්නේ 40%ක මධ්‍යසාර ප්‍රමාණයක් වන අතර ගෙදොරදොරේ සාදාගන්නා අත් පවිත්‍ර දියර වලින් සාර්ථක ප්‍රතිපලයක් නැතැයි” සනීපාරක්ෂාව සහ ඝර්ම කලාපීය වෛද්‍යවිද්‍යාව පිලිබඳ ලන්ඩන් විද්‍යාතනයේ මහාචාර්ය සැලී බ්ලූම්ෆීල්ඩ් (Prof Sally Bloomfield )පවසයි.
ශාක භක්‍ෂණවාදය
පසුගිය සතියේ ප්‍රකාශයක් කළ ‘හර්යානා’ ප්‍රාන්තයේ සෞඛ්‍යය ඇමති අනිල් විජ් මාංශ භාක්ෂනයෙන් වළකින ලෙස ඉල්ලීමක් කළේය.
“ශාක භක්ෂිකයකු වන්න!” ට්විටර් පණිවුඩයක් මගින් ඇමතිවරයා එම ඉල්ලීම කර තිබුණි.
“විවිධ සත්ව මාංශ භක්ෂණය කරමින් මානව වර්ගයාට කොරෝනා වෛරසය වැනි වෛරස් නිර්මාණය කිරීමෙන් වළකින්න,” එහි සඳහන් විය.
මේ අතරවාරයේ ප්‍රකාශයක් කළ හින්දු ජාතිකවාදී කණ්ඩායමක් කොරෝනා වෛරසය විග්‍රහ කරන ලද්දේ ”මාංශ භාක්ෂිකයන්ට එල්ල කරන ලද දඬුවමක්” හැටියටය.
ඉන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ ඉන්දියාවේ සත්ව නිෂ්පාදන අධීක්ෂණය කරන අමාත්‍යාංශය, ඉහත කී ප්‍රකාශන කුකුල්මස් සහ බිත්තර අලෙවිය පහත වැටීමට හේතු වූ බව කියා සිටියේය. එහෙත් ඉන්දීය ආණ්ඩුවේ තත්ත්ව පරීක්ෂණ සේවාව විසින් එම ප්‍රකාශනය නිෂ්ප්‍රභ කරනු ලැබීය.

”එවැනි ප්‍රවණතාවක් සම්බන්ධයෙන් සාක්ෂි නැතැයි ආණ්ඩුවේ ඇමතිවරයකු වන ගිරිරාජ් සිං (Giriraj Singh) ප්‍රකාශ කළේය.
වෛරස් නාශක ඇඳ මෙට්ට (ගුදිරි)
කොරෝනා වෛරස් වසංගතය ඇතැම් ව්‍යාපාරිකයන්ට ‘ඔවුන්ගේ නිෂ්පාදන එම වෛරසයට ඔරොත්තු දෙන බව පවසමින්’ මුදල් උපයා ගැනීමේ ජාවාරමකට මග පාදා ඇත.
උදාහරණයක් වශයෙන් වෛරසයට ඔරොත්තු දෙන ඇඳ මෙට්ට (ගුදිරි) විශේෂයක් පිළිබඳව වෙළෙඳ දැන්වීම් පළ කරනු ලැබ ඇත.
එම ගුදිරි ජාවාරමේ නිරත ‘අරිහන්ට් ගුදිරි (Arihant Mattresses) නිෂ්පාදන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ අමර් පරෙක් බීබීසියට ප්‍රකාශයක් කරමින්, සිය ගුදිරි පුස් නොබඳින එසේම දූවිලි සහ ජලයට ඔරොත්තු දෙන අතරම එමගින් කිසිදු ආසාදනයක් නොවන බව කියා සිටියේය. එබැවින් කිසිවකට එම ගුදිරි තුළට ඇතුල්විය නොහැකි බවත් ඔහු පවසයි.
එහෙත් ඔහු එම ගුදිරි සම්බන්ධයෙන් පළ කරන ලද වෙළෙඳ දැන්වීම දැන් ඉවත්කර ගෙන ඇත.
“කිසිවකුට හානියක් කරන්න මට අවශ්‍ය නැහැ,” අධ්‍යක්ෂ අමර් පරෙක් (Amar Parekh) පවසයි.
“නරක ප්‍රතිචාරයක් තියෙනවානම් අපට් ඒවා විකුණන්න අවශ්‍ය නැහැ.”
කොරෝනා වසංගතය හා සම්බන්ධ මිත්‍යා විශ්වාස මගින් සිදුවන හානිය ගැන ශ්‍රී ලාංකිකයින් දැනුවත් කළ යුතු නිසා බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ අද (24) දින පළ වූ මෙම ලිපිය සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි – සංස්කාරක
-

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පහත සඳහන් කරුණු මහජනයාගේ දැන ගැනීම සඳහා නිකුත් කරනු ලැබේ – නීල් බණ්ඩාර හපුහින්න – ලේකම්
- දිවයිනේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල අත්‍යාවශ්‍ය කෘෂිකර්ම හා සත්ව පාලන වැඩ සටහන් අඩපන නොවී පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු වේ.
- ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන කාලවලදී ගොවි සංවිධාන විසින් තම නිෂ්පාදන ගොවිජන සේවා මධ්‍යස්ථාන 562 , ලක් සතොස වෙළඳ සැල් හා මහවැලි කාර්යාල වලට සහ කොට්ඨාශ කාර්යාල වලට අදාළ වෙළඳ සැල් වෙත ගෙනැවිත් පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට පහසුකම් සලසා ඇත.
- ඇඳිරි නීතිය නොමැති අවස්ථාවලදී, වෙළඳුන්ට තම නිෂ්පාදන අලෙවි කිරීමට ස්ථාන පහසුකම් ලබා දීම සඳහා ගන්නොරුව කෘෂිකර්ම පරිශ්‍රය සුදානම් කර ඇති අතර ඒ සඳහා අධ්‍යක්ෂ, (ජාතික කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානය) එස්. පෙරියසාමි මහතා (දු.ක. 071 415 75 85) සම්බන්ධ කරගනිමින් අවශ්‍ය කටයුතු කර ගත යුතු වේ. පාරිභෝගිකයන්ට එම ස්ථානයට පැමිණ අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගත හැකිවේ.
- එසේම ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික හා කාබනික පොහොර වර්ග, බීජ වර්ග සහ කෘෂි රසායනික ද්‍රව්‍ය බාධාවකින් තොරව ප්‍රවාහනය කිරීමට හා ගබඩා කිරීමට පහසුකම් සලසා ඇති අතර ඇඳිරි නීතිය බල නොපවත්වන අවස්ථා වල තම ප්‍රදේශයේ ගොවි සංවිධාන හා අලෙවිසැල් මගින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.
- සියලු වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇඳිරි නීතිය බලපවත්වන කාලය තුල විවෘත කිරීමට උපදෙස් දී ඇති බැවින් තම නිෂ්පාදන එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලෙවි කර ගත හැකිය .
- සියලුම සත්ව නිෂ්පාදන (කිරි, බිත්තර, හා මස් ) සහ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල ප්‍රවාහනය කිරීමට, ගබඩා කිරීමට හා බෙදා හැරීමට අවසර ලබා දෙනු ලැබේ.
- යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය ලබා ගැනිමේදි විධිමත් කන්න රැස්වීම් පවත්වන තෙක් ගොවි සංවිධාන කාරක සභාව මගින් ජලය බෙදා හැරිම සඳහා අවශ්‍ය තීරණ ගෙන වගා කටයුතු කල හැකිවේ.
- එමෙන්ම ප්‍රධාන ජල පාලන කමිටු රැස්විම් පවත්වන තෙක් මහවැලි කොට්ඨාශ සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල තීරණ අනුව යල කන්නය වගා කටයුතු කිරීමටද කටයුතු කරන්න
-

ගුවන් හමුදාව අද රෑට අහසින් කිසිවක් ඉසින්නේ නෑ – ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක
“ගුවන් හමුදාව කොරෝනා මැඩලීමට අද රාත්‍රි 11.30 ට යම් ද්‍රවණයක් ඉහල අහසේ සිට මුදා හරින බවට” වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා වේගයෙන් පැතිරී යන පුවත අසත්‍යක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාෂකවරයා දැනුම්දී ඇත.
COVID-19 වයිරසය සම්බන්ධයෙන් හා වර්තමාන රටෙහි පවතින තත්වය සම්බන්ධයෙන් විශාල වශයෙන් අසත්‍ය තොරතරු සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා හුවමාරු වීමේ ප්‍රවනතාවයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවී තිබේ. විශේෂයෙන්ම වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා වැඩි වශයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වීමක් දක්නට ලැබේ. මුලාශ්‍ර නොමැති පුවත් හා තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සියලුම ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටිමු. සෑම විටම තහවරු කරගත් තොරතරු පමණක් හුවමාරු කරගැනීමට කටයුතු කරන ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් අප වැඩිදුරටත් ඉල්ලා සිටිමු.
-

කොරෝනා පාලනයට බස්නාහිර මහජන හැසිරීම් දැඩි බාධාවක් වෙලා
කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.
එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත. සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගැනේ.
අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත. අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීහූ බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.
මින් ඉදිරියට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම හෙට (25) සිට ක්‍රියාත්මක වෙයි. ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇත.
-

ඉතාලියේ ආසාදිතයන්ට උවටැන් කරන හෙද නිලධාරියෙකු කැමරාවෙන් කියන කතාව
‘කාටත් අපි වීරයන් වෙලා. ඒත් මම වීරයෙක් කියල මට දැනෙන්නේ නැහැ.”
පාඔලෝ මිරැන්ඩා කොරෝනාවෛරසයෙන් බැට කන ඉතාලියේ ක්‍රිමොනා නගරයේ ඇති එක ම රෝහලේ දැඩි සත්කාර ඒකකයක නිරත හෙද නිලධාරියෙකි.
ක්‍රිමොනා, මේ වන විට කොරෝනාවෛරස උපද්‍රවයේ ස්ථානයක් වන ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ පිහිටි කුඩා නගරයකි. එම නගරයේ පමණක් දහස් ගණනක් ජනතාව වෛරසයට ගොදුරු වූ අතර දැනට වාර්තා වූ මරණ සංඛ්‍යාව සිය ගණනකි.
සිය සෙසු සගයන් මෙන් ම පාඔලෝ ද පසුගිය මාසයක කාලය පුරා නිමක් නොමැති පැය දොළහක සේවා මුරයක නිරත වෙමින් සිටී.
”අපි වෘත්තීය හෙද නිලධාරීන්. නමුත් අපට වෙහෙසයි. දැන් මේ මොහොත වෙනකොට අපි අසීරු තැනකට ඇවිත් වගේ දැනෙනවා. අපි ඔක්කොම ඉන්නේ බියෙන්.”

පවුලෝ කැමරා ලෝලියෙකි. ඡායාරූප ගැනීමෙන් ඔහු ආස්වාදයක් ලබයි. තමා සේවය කරන දැඩි සත්කාර ඒකකය අභ්‍යන්තරයේ අද පවතින නීරස වාතාවරණය සිය කැමරාවේ සටහන් කිරීමට පාඔලෝ තීරණය කළේය.
”මෙතැන සිදු වෙමින් පවතින දේවල් මට කිසිදාක අමතක කරන්න බැහැ. මේක ඉතිහාසයට එක්වේවි. මට මේ පින්තූර වචනවලට වැඩිය ප්‍රබලයි.”
සිය පින්තූර මගින් තම කාර්යමණ්ඩල සගයන්ගේ ශක්තිය පෙන්නුම් කිරීම පාඔලෝ ගේ අභිලාෂය විය. එපමණක් නොව, ඔවුන් පසුවන අනතුරුදායක තත්ත්වයද ඊට ඇතුළත් වේ.
”එක දවසක් අපිත් එක්ක වැඩ කරන හෙදියක් රෝහල් කොරිඩෝරයේ පුදුම සහගත උද්වේගයකින් උඩ පනිමින් කෑ ගසන්නට පටන් ගත්තා.”

එම හෙදිය කොරෝනා ආසාදන පරීක්ෂණයකට යොමුව සිටි අතර, ඇයට වෛරසය ආසාදනය වී නොමැත යන්න සායන පරීක්ෂණ ප්‍රතිඵලය විය.
”එම හෙදිය සාමාන්‍යයෙන් ශාන්ත තැනැත්තියක්. එහෙත් බියපත්ව සිටි හෙදිය තමාට වෛරසය ආසාදනය වී නැති බව දැ න ගැනීමෙන් ලැබූ සහනය ප්‍රදර්ශනය කළේ ඒ ආකාරයෙන්. ඇයත් මනුෂ්‍යයෙක්.”
මෙය පාඔලෝ ඇතුළු ඔහුගේ කණ්ඩායමට දරාගැනීම දුෂ්කර අසීරු කාල පරිච්ඡේදයකි. එහෙත් ඔවුහු සිය සේවය සඳහා බැඳී සිටිති. එකිනෙකාට පිහිට වෙති.
”සමහර වෙලාවට අපෙන් ඇතැමෙක් දුර්වල වෙනවා. බලාපොරොත්තු සුන් වූ හැඟීමක් අපට දැනෙනවා මොකද?අපි බලාගන්න රෝගීන් සුව අතට හැරෙන්නේ නැතිකොට අපි අසරණයි කියල හිතෙනවා.”

එවැනි තත්ත්වයක් උද්ගතවූ අවස්ථාවන්හි පාඔලෝ ගේ හෙද කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් කරන්නේ වහාම ඉදිරිපත්වීමය. බලාපොරොත්තු බිඳ වැටුණු තැනැත්තා හෝ තැනැත්තිය අස්වසාලීමට ඔවුහු යත්න දරති.
”එවැනි අවස්ථාවල අපි විහිළුවක් කරනවා. ඔවුන් හිනා ගස්සනවා. එහෙම නොකළොත් චිත්ත අධිෂ්ඨානය නැතිවෙනවා.”
කොරෝනාවෛරසය කඩා වැදුණු පළමු සති හතර ඇතුළත පමණක් ඉතාලියේ තුන්දහසකට ආසන්න මරණ වාර්තා විය.
තහවුරු කරන ලද රෝගීන්ගේ සංඛ්‍යාව 35,000 ඉක්මවා යද්දී, විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ වැඩිවශයෙන් බලපෑමට ලක්වූ නගර ඇතුළු ඉතාලිය පුරා වෛද්‍යවරු හා හෙද නිලධාරීහු තත්ත්වය පාලනය කරගැනීමට අරගලයක නිරතව සිටිති.
හෙද නිලධාරියෙකු ලෙස ගතකළ සිය වසර නවයක කාලය තුළදී මිනිසුන් බොහෝ දෙනෙක් මිය යනු පාඔලෝ දිටීය. එය ඔහුට සාමාන්‍ය දෙයකි.
එහෙත්, මෙම ගෝලීය වසංගතය හමුවේ ඔහුගේ සිත වඩා සසල කළේ බොහෝ දෙනා හුදෙකලාව මියෙනු දැකීමය.

“දැඩි සත්කාර ඒකකවල මිනිසුන් මරණය වැළඳ ගන්නා අවස්ථාවල සාමාන්‍යයෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඔවුන් ළඟ ඉන්නවා. මරණයට පත්වෙන කෙනාට එයින් ගෞරවයක් ලැබෙනවා. ඔවුන්ගේ උදව්වට අපිත් ඉන්නවා. ඒක අපේ කාර්යභාරයේ කොටසක්.”
රෝහල්වල සාමාන්‍ය සම්ප්‍රදාය වෙන්නේ මරණාසන්න රෝගීන්ගේ පවුලේ සාමාජිකයින්ට හා සමීප මිත්‍රයන්ට ඇඳ වටේ රැස්වීමට අවසර දීම ය.
එහෙත් වෛරසය බෝවීම වැලක්වීම සඳහා පසුගිය මාසය තුළදී ඒ තත්ත්වය තහනම් කළේය. අඩුතරමින් රෝගියාගේ පවුලේ සාමාජිකයින්ට හෝ රෝහලට ඒමට නොහැකි විය.
“අපි ප්‍රතිකාර කරන්නේ වෛරසය ආසාදනය වෙලා සහමුලින්ම වෙන් කරල ඉන්න රෝගීන්ට.”
”මිනිසෙකු අසරණව හුදෙකලාව මියයාම අප්‍රසන්න දෙයක් – එවැන්නක් කිසිවෙකුට සිදු වෙන්න එපා.”

කොරෝනා රෝගීන්ගෙන් පිරුණ රෝහලක්
ක්‍රිමොනා නගරයේ රෝහල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කරන ආයතනයක් බවට පරිවර්තනය කරනු ලැබ ඇත. සියලු ශල්‍යකර්ම ඇතුළු සෙසු සායනික කටයුතු අත්හිටුවා ඇති අතර, දැන් එහි ප්‍රතිකාර ලබන්නේ කොරෝනා වෛරසය ආසාදිතයන් පමණි.
ආසාදිතයන් රෝහලට ගෙනෙමින් ඇති නමුත් දැඩි සත්කාර ඒකකයේ ඇඳන් පිරී ගොස් ඇත.
“අපි අපට හැකි හැම ඉඩකඩකම ඇඳන් පිළියෙළ කරනවා. රෝහලේ ඉඩ කඩ තියෙන හැම තැනකම. දැන් රෝහල රෝගීන්ගෙන් පිරිලා.”
ඔවුහු රෝහලේ ප්‍රධාන පිවිසුමෙන් පිටත තාවකාලික ක්‍ෂේත්‍ර රෝහලක් ඉදි කිරීමට පියවර ගත්හ. එහි ඉලක්කය වූයේ දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා අලුතින් ඇඳන් හැටක් තැබීමය. ඒත් එය ද ප්‍රමාණවත් වී නැත.

අපේක්ෂාවක ආලෝකයක්
පවතින දුෂ්කර පරිසරය ජය ගැනීමට පාඔලෝ ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?
හෙද – හෙදියන් වෙනුවෙන් ඉතාලිය පුරා ප්‍රදර්ශනය කෙරුණු ආදරය ඔවුන්ගේ කාර්යභාරය ඉහළ මට්ටමින් පවත්වා ගෙන යාමට ශක්තිය සපයන බව පාඔලෝ පවසයි.
බොහෝ දෙනා හෙද හෙදියන් උත්කර්ෂයට නංවන ලද්දේ විරුවන් ලෙසිනි.
ක්‍රිමොනා රෝහලේ කාර්ය මණ්ඩලය වෙත තෑගිබෝග ගලා එන්නට විය.

”අපි වැඩට එන හැම දවසකම අපට යම්කිසි අලුත් දෙයක් ලැබුණා”
”පිසා,රසකැවිලි, කේක්, බීමවර්ග….. තවත් දවසක ‘espresso’ කෝපි පැකට් දහස් ගණනක්… ඒවගේම,සුභ පැතුම් පත් එවමින් අපේ චිත්ත ධෛර්යය ශක්තිමත් කළා.”
එම ත්‍යාග පාඔලෝට එක්තරා සහනයක් විය. එහෙත් ඔහුට කිසිවිටක රෝහල අත්හැර දැමීමට නොහැකි විය.

“මගේ සේවා මුරය අවසන් කරලා ගෙදර ආවාම මම කම්පාවට පත්වුණා. මම රාත්‍රී නින්දට වැටුනාම කීපවතාවක් ඇහැ ඇරුනා. මගේ වෘත්තීය සගයන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය ඒකයි.”
මෙහි වැදගත්ම කාරණය පාඔලෝ ඔහුගේ කාර්යභාරය පෙරට ගෙන යාමට අවශ්‍ය ශක්තිය පවත්වා ගැනීමය.
එහෙත් මෙය පවතින දුෂ්කර තත්ත්වයේ ආරම්භය පමණි. පවුලෝට ගතවෙන හැම දිනම වෙහෙසකාරීය.
”මට උමඟ කෙලවර තවමත් ආලෝකයක් දකින්න නැහැ. මට කියන්න බැහැ- මොනවා වේවිද කියල. මේක ඉවරයක් වෙන්න කියල පතන්න විතරයි මට පුළුවන්.”

මෙම සම්පූර්ණ ලිපිය සහ ඡායාරූප බී.බී.සී සන්දේශය සිංහල වෙබ්අඩවියෙන් (2020 මාර්තු 24) උපුටා ගන්නා ලදි. කාලීන හා ජාතික අවශ්‍යතාව සලකා පළ කරන ලද විශේෂ ලිපියකි – ප්‍රධාන සංස්කාරක
-

ඔලිම්පික් උළෙල කල් දැමීම ගැන මතභේද
2020 ඔලිම්පික් උළෙල අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව බ්‍රිතාන්‍ය කියයි

2020 ඔලිම්පික් උළෙලේ සංවිධායකයින් එය “අවලංගු කිරීම පිළිබඳව සොයා බැලිය යුතුය” යනුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා සඳුදා පැවසීය.
“ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊට සම්බන්ධ සියලු දෙනාටම පැහැදිලි බවක් ලබා දීම සඳහා නිශ්චිත තීරණයක් ගැනීමට අපට අවශ්‍යයි,” එම ප්‍රකාශකයා දේශපාලන වාර්තාකරුවන්ට පැවසීය.
ඔලිම්පික් උළෙලේ අපේක්ෂකයින් දැන් මුහුණ දී සිටින “සැලකිය යුතු අවිනිශ්චිතතාව” පිළිබඳව ප්‍රකාශකයා කනස්සල්ල පළ කළ අතර, “ඔවුන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව, ක්‍රීඩා ලෝලීන්ගේ සහ නිලධාරීන්ගේ ක්‍රීඩා උළෙලවල්වල වැඩ කිරීම හේතුවෙන් අතිශයින්ම වැදගත් විය යුතුය.”යැයි පැවසීය.
ඔලිම්පික් කල් දැමීම සලකා බැලිය යුතු බව ජපානයේ ඔලිම්පික් ප්‍රධානියා පවසයි
ජපාන ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා කියා සිටියේ කොරෝන වෛරස් වසංගතය අඛණ්ඩව පවතින බැවින් තම රටේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල කල් දැමීම වෙනත් විකල්ප අතර සලකා බැලිය යුතු බවයි.
සඳුදා මාධ්‍යවේදීන් අමතමින් යසුහිරෝ යමෂිටා මෙසේ පැවසීය: “ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බලන කල, අපට උදව් කිරීමට නොහැකි නමුත් කල් දැමීම ඇතුළු කරුණු සලකා බැලීමට නොහැකි වේදිකාවකට අප පැමිණිය යුතුය […] මම නැවත වරක් කියන්න කැමතියි ජූලි මාසයේ ඔලිම්පික් නොපැවැත්වීමට තීරණය කර නැත. ”
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊයේ නිවේදනය කළේ ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සති හතරක කාල සීමාවක් ලබා දී ඇති බවයි.
කෙසේවෙතත්, වැඩි කාලයක් ප්‍රමාද වීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බරක් වනු ඇති බවට යමෂිතා අනතුරු ඇඟවූයේ නැවත ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට ඇති හැකියාව නිසාය.
“මම හිතන්නේ අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔලිම්පික් ගම්මානය ගැන සිතන විට කල් දැමීමේ කාලය වැඩි නොවිය යුතුයි‘
ඔහුගේ අදහස් දැක්වීම සිදුවන්නේ කැනඩාව සහ ඔස්ට්‍රේලියාවේ ජාතික ඔලිම්පික් කමිටු කොරෝනා වෛරස අවදානම නිසා මේ වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ටෝකියෝවට නොයවන බව පැවසීමෙන් පසුවය. ඔලිම්පික් උළෙලේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපාන ඔලිම්පික් කමිටුව ලබන සිකුරාදා ටෝකියෝ නුවර මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
-

මුඛ ආවරණ පැළදීමේ ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්
කොරෝනා වෛරයෙන් ආරක්ෂා වීම පිණිස මුඛ ආවරණ පැළදීම පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (23) ‘කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේදී විශේෂ ප‍්‍රකාශයක් කළා. එහිදී අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ තවමත් කොවිඩ් 19 රෝගය සමාජීය වශයෙන් පැතිරීමක් නොමැති බවත් ඒ අනුව මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
එහිදී ජාසිංහ මහතා මෙසේද ප‍්‍රකාශ කළා ‘මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ. තවමත් ලංකාවේ සමාජීය වශයෙන් පැතිරීමක් නෑ. නමුත් එය පැළදීමේ අවශ්‍ය අවස්ථාවක් තිබෙනවා නම් අපි ප්‍රකාශ කරනවා. මුඛ පළදනා භාවිතය වැඩිවීම තුළ කළ යුතු අවශ්‍ය දේ අමතක කරනවා. අවශ්‍ය විට මුඛ පළදනා නැති වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී මුඛ පළදනා අවශ්‍ය නෑ. නමුත් අපිට යම් කිසි පුද්ගලයෙක් මුඛ පළදනවානම් එසේ නොකළ යුතුයි කියලා අපි කියන්නේ නෑ. අපි ඒක රෙකමදාරු කරන්නේ නෑ’
මේ සම්බන්ධයෙන් අනිල් ජාසිංහ මහතාගේ සම්පූර්ණ ප‍්‍රකාශය ඇතුළත්ව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

-

Covid 19 – මරණ 16,505ක් සහ රෝගීන් 378,601ක්: වැඩිම මරණ ඉතාලියෙන්
ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් පවත්වාගෙන යන අතර ඒ සදහා ලෝකයේ සියලුම මාධ්‍යයන් මෙම දත්ත පදනම් කර ගනිමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරයි.
එම වාර්තාවට අනුව ඊයේ (23* දිනය අවසන් වන විට ගෝලීය වශයෙන් කොවිඩ් 19 අසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 378, 601 ක් වූ අතර තව දුරටත් එහි ඉහළම ස්ථානය චීනය වේ. ඒ නව කොරෝනා ආසාදිතයින් 81,498ක් වාර්තා කරමිනි. දෙවැනි ස්ථානයේ පසුවන ඉතාලියේ 63,927ක්, ඇමෙරිකාව 43901ක්, ස්පාඤ්ඤය 35136ක්, ජර්මනිය 29056ක්, ඉරානය 23049ක්, ප්‍රංශය 20123ක්, දකුණු කොරියාව 8961ක්, ස්විට්සර්ලන්තය 8795ක්, එංගලන්තය 6726ක් වාර්තා කර ඇත.
කොරෝනා වෛරස ආසාදනයෙන් ගෝලීය වශයෙන් (23දා අවසන් වන විට* සමස්ත මරණ 16,505ක් වාර්තා වී ඇති අතර එහි ඉහළින්ම සිිටින්නේ ඉතාලියයි. එහි සමස්ත මරණ සංඛ්‍යාව 6077ක් වන අතර චීනය 3153ක්, ස්පාඤ්ඤය 2311ක්, ඉරානය 1812ක්, ප්‍රංශය 860ක්, එංගලන්තය 335ක්, නෙදර්ලන්තය 213ක්, ජර්මනිය 123ක් සහ ස්විට්සර්ලන්තය 111ක් වශයෙන් ගෝලීය වශයෙන් ඉදිරියෙන්ම සිටිනවා.
ජොන්ස් හෝප්කින්ස් වාර්තාවන අනුව කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් 100,982ක් ගෝලීය වශයෙන් වාර්තා වන අතර චීනය හුබෙයි 59882ක් ඉරානය 8376ක්, ඉතාලිය 7432ක්, ස්පාඤ්ඤය 3355ක්, දකුණු කොරියාව 3166ක් සහ ප්‍රංශය 2200ක් වශයෙන් සුවය ලබා තිබෙනවා.
වුහාන් නගරයෙන් දින හයකට පසුව කොවිඩ් 19 ආසාදිතයෙක්
නව කොරෝන වසංගතයේ ආරම්භක ස්ථානය වන වුහාන් නගරයෙන් දින හයකට පසුව කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවූ බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිෂම උපුටා දක්වමින් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.
හුබෙයි පළාතෙන් වාර්තා වූ එකම කොවිඩ් ආසාදිතයා මොහු බවත් හුබෙයි පළාතෙන් නව මරණ හතක් වාර්තා වූ අතර ඒ සියල්ලම වුහාන් නුවරින් වාර්තා වූ බව චීන මාධ්‍ය වාර්තාවල සදහන්.
සඳුදා දිනයේදී සුවය ලැබීමෙන් පසු රෝගීන් 444 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 4200 දෙනාගෙන් 1203 දෙනෙකු තවමත් බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා කියන්නේ.
හුබෙයි පළාතෙන් කොරෝනා 19 තහවුරු වූ රෝගින් සංඛ්‍යාව 67,801 ක් වන අතර එයින් 50,006 ක්ම වූහාන් නුවරින් වාර්තා වුණා.
මියන්මාරයෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වෙයි
අග්නිදිග ආසියානු රාජ්‍යයක් වන මියන්මරයෙන් පළමු වරට නව කොරෝන වෛරස් රොගීන් දෙදෙනකු වාර්තා වී තිබෙන අතර ඔවුන් දෙදෙනාම මෑතකදී එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට සංචාරය කළ මියන්මාර ජාතිකයන් දෙදෙනෙක් බවයි මියන්මාර මාධ්‍ය වාර්තා කියන්නේ.
මිලියන 50 ජනගහණයක් සහිත මියන්මාරය පසුගිය සතියේ තම දේශ සීමා වසා දැමූ අතර එළඹෙන බෞද්ධ අලුත් අවුරුද්ද ඇතුළු මහජන රැස්වීම් තහනම් කිරීමට පියවර ගත්තා.
කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් සිටියදී මේ මස මුලදී විශේෂ ප‍්‍රකාශයක් කළ මියන්මාර රජයේ ප්‍රකාශක සැව් හ්ටේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ‘මියන්මාර පුරවැසියන්ගේ ජීවන රටාව සහ ආහාර රටාව’ වෛරසයෙන් රට ආරක්ෂා කර ඇති බවයි.


