Blog

  • ඉන්දියාවේ ඩොලර් ණයවල හිලව්වට ත්‍රිමලේ තෙල් ටැංකි දෙන්න තීන්දුයි

    ඉන්දියාවේ ඩොලර් ණයවල හිලව්වට ත්‍රිමලේ තෙල් ටැංකි දෙන්න තීන්දුයි

    ට්‍රින්කොමලී ටර්මිනල්ස්’ නමැති එම සමාගම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව පිහිටුවීමට යෝජනා වී ඇත්තේ ලංකා IOC සමාගම සමග ඒකාබද්ධව යි. එහි 49%ක කොටස්වල අයිතිය ලංකා IOC සමාගම වෙත ලබා දීමට යෝජනා වී තිබේ.

    දශක ගණනාවක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති ව්‍යාපෘතියක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ දිගුකාලීන ගිවිසුමකට මාසයක් ඇතුළත අත්සන් කරන බවට ඉන්දියාවේ හින්දු පුවත්පතට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසුබවට එම පුවත්පත වාර්තා කරයි.

    “අපි මේ ගැන මාස 16ක් තිස්සේ සාකච්ඡා කළා, දැන් අපි ඉන්දියාව සමඟ ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ කොන්දේසි අවසන් කිරීමට ඉතා ආසන්නයි. අපි මාසයක් ඇතුළත ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා,” බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉරිදා ‘ද හින්දු’ පුවත්පතට පැවසීය.

    ද හින්දු වාර්තාව සම්පූර්ණයෙන් පහත පළ වේ.

    කොළඹ සමඟ ඇති බැඳීම්වල වසරක දෘශ්‍යමාන ආතතියෙන් පසුව, නව දිල්ලියට අවසානයේ ප්‍රීති වීමට යම් හේතුවක් තිබිය හැකිය. දශක ගනනාවක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති කීර්තිමත් ව්‍යාපෘතියක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ දිගුකාලීන ගිවිසුමකට මාසයක් ඇතුළත අත්සන් කරනු ඇත.

    “අපි මේ ගැන මාස 16ක් තිස්සේ සාකච්ඡා කළා, දැන් අපි ඉන්දියාව සමඟ ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ කොන්දේසි අවසන් කිරීමට ඉතා ආසන්නයි. අපි මාසයක් ඇතුළත ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා,” බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගිය ඉරිදා (26) ‘ද හින්දු’ පුවත්පතට පැවසීය.

    ඒ සඳහා සීමාසහිත ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම පිහිටුවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා පැවසීය. මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර මෙම විශේෂ සමාගම පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අනුව මෙම පියවර ගෙන ඇත. “මේ සතියේ නිවාඩු නිසා අපිට කැබිනට් රැස්වීමක් නැහැ. ඒ තීන්දුව අපි ඊළඟ එකේදි අනුමත කරනවා.” ගම්මන්පිල මහතා පැවසීය.

    දෙවන ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යයන් විසින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ ඉදිකරනු ලැබුවේ ත්‍රිකුණාමලය වරායට යාබදව ඉන්ධන පිරවුම්හලක් ලෙස සේවය කිරීම සඳහාය. ශතවර්ෂයකට ආසන්න පැරණි තෙල් ටැංකි නැවත භාවිතයට සුදුසු ලෙස සකස් කිරීමට නම් ඩොලර් මිලියන ගණනක වියදමින් ප්‍රතිසංස්කරණය කළ යුතුය.

    ගිවිසුම අවසන් කර ලබන මාසයේ අත්සන් කළහොත්, එය පාලක රාජපක්ෂ පාලනය සමඟ ඉන්දියාවේ මාස 16ක දීර්ඝ සාකච්ඡාවේ කූටප්‍රාප්තිය සනිටුහන් කරනවා පමණක් නොව, ඉන්දු-ලංකා ගිවිසුමේ වසර 35කට පෙර අපේක්ෂා කළ යෝජනාවකට ද හැඩයක් ලබා දෙනු ඇත. ඉන්දු – ලංකා ගිවිසුම (එහි ඇමුණුමේ), “ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙස සිදු කරන බව” ප්‍රකාශ කර තිබුණද, 2003 ඉන්දියානු තෙල් සංස්ථාව විසින් ලංකාවේ ඉන්ධන බෙදා හැරීම් කටයුතුවලට ප්‍රවේශ වන තෙක් එම වගන්තිය බලාත්මක වූයේ නැත.

    LIOC විසින් දැනට ටැංකි 15ක් පවත්වාගෙන යන අතර තෙල් ටැංකි සංකීර්ණය පුරා පැතිරී ඇති කිලෝ ලීටර් 12,000 බැගින් වූ ධාරිතාවකින් යුත් ගබඩා ටැංකි 99කින් සමන්විත මෙම පහසුකම ‘චයිනා බේ’ හි පිහිටා ඇත. සාකච්ඡා කෙරෙන නව ගිවිසුම ඉතිරි ටැංකිවලට අදාළ වේ.

    ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය “මුල් නවීකරණය” මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නොවැම්බර් මස සංචාරයේදී නව දිල්ලියේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයේ සඳහන් කර ඇති අතර, එයට ලබා දී ඇති ප්‍රමුඛතාවය පෙන්නුම් කරයි. ජනාධිපති ගෝඨාභයගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන බැසිල් මහතා, වසංගතයෙන් උග්‍ර වූ ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා නව දිල්ලියෙන් පුළුල් ආර්ථික ආධාර ඉල්ලා සිටියේය.

    රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දුන්නේ, හදිසි ණය සහ මුදල් හුවමාරු ඉල්ලීම් සඳහා නවදිල්ලියේ අනුමැතිය කොළඹින් ලැබීම, ත්‍රිකුණාමල ගනුදෙනුව සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ඉදිරියට යාම මත රඳා පවතින බවයි.

    කෙසේ වෙතත් එම අදහස බැහැර කරමින් ගම්මන්පිල මහතා මෙසේ පැවසීය: “දේශපාලන විපක්ෂය ඇතුළු ඇතැමුන් යෝජනා කරන්නේ ඉන්දියාවේ ආර්ථික ආධාර ත්‍රිකුණාමල ගනුදෙනුව සමඟ ගැටගැසී ඇති බවයි. මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. “මේ දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ” යනුවෙන් අවධාරණය කරමින් අමාත්‍යවරයා පැවසුවේ ‘ආර්ථික ආධාර ලබාගැනීමට පෙර අපි මෙම ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට පටන් ගත්තෙමු‘ යනුවෙනි.

    බැසිල් රාජපක්ෂ මහතා නවදිල්ලියට ගොස් මාසයකට ආසන්න කාලයක් ගතවී ඇති අතර, ශ්‍රී ලංකාවට එහි වත්මන් ආර්ථික අර්බුදය අවම කර ගැනීමට උපකාර වන “සිවු වැදෑරුම් ප්‍රවේශයකට” ඉන්දියාව එකඟ විය. ආධාර පිළිබඳ නිල ප්‍රකාශයක් ඉන්දියාව විසින් මෙතෙක් ශ්‍රී ලංකාවට දැනුම් දී නොමැත.

    (ද හින්දු)

  • පී.බී යයි – ගාමිණි සෙනරත් එයි ?

    පී.බී යයි – ගාමිණි සෙනරත් එයි ?

    ජනාධිපති  ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇති බව වාර්තාවේ.

    ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන තනතුර සදහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීමෙන්  පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

    පරිපාලන සේවය කීර්තිමත් නිලධාරියකු වන අනුර දිසානායක  මහතා මහවැලි, වාරිමාර්ග, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර හොබවා ඇත.ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යකු වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.

  • කාති උසාවිය අහෝසි කරන්න – එක රටක් එක නීතියක් බලකායෙන් ඉල්ලයි

    කාති උසාවිය අහෝසි කරන්න – එක රටක් එක නීතියක් බලකායෙන් ඉල්ලයි

    කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.   

    මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඩ් සුබයිර් මහතා පැවසීය.

    එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ සුබයිර් මහතා මෙම ඉල්ලීම කළේ ය.

    තමා ස්වෙච්ඡාවෙන්  අදහස්  ලබාදීම සඳහා පැමිණි බව පැවසූ සුබයිර් මහතා අධිකරණ ක්ෂේත්‍රයේ  වසර 40ක තම සේවා කාලය තුළ ලද කණගාටුදායක අත්දැකීම් සිහිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කරන බව වැඩිදුරටත් පැවසීය. විවිධ ස්වෙච්ඡා  සංවිධාන, විවිධ ජන කොටස්, වෘත්තිකයන්ගේ සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් පැමිණි පිරිස්  කමිටුව හමුවේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ කළහ.

    මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සහ බහු විවාහ මෙන්ම  ආගම කොටස්වලට බෙදාගෙන සංවිධාන පිහිටුවීම තහනම්  කළ යුතු බවද මොහොමඩ් සුබයිර් මහතා  කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කළේය. බොහෝ අවස්ථාවල කාති උසාවිවල නඩු ඇසීම සිදු කරනු ලබන්නේ නීතිඥවරයෙකු නොවන කාති වරයෙකි. නීතියට අදාළ වන ලිය කියවිලි හා එසේ නොවන ලේඛන  නිවැරදිව හඳුනාගැනීමට කාති වරයෙකුට නොහැකි වන අවස්ථා ඇත. එසේ හෙයින් නිසි අවබෝධයකින් හා අපක්ෂපාතීව නිවැරැදි තීන්දුව ලබා දිය නොහැකි අවස්ථා  මෙන්ම එම උසාවිය මගින් ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොවන අවස්ථාද බහුලව වාර්තා වී ඇත. මෙම උසාවි ක්‍රමය අහෝසි කිරීම මගින් නඩත්තු නඩු වලදී අදාළ  ගැහැනු දරුවාට  මෙන්ම, දෙමාපියන්ටද සාධාරණයක් ලබා  ගැනීමට හැකියාව ඇති බව මොහොමඩ් මහතා සඳහන් කළේය.

    මුස්ලිම් විවාහ හා දික්කසාද නිතිය මගින් බලවත් සමාජ හා නීතිමය  අසාධාරණකම් සිදු වන බව  බව පැවසූ  මොහොමඩ්  සුබයිර් මහතා, දැනට කාති ක්‍රමය  යටතේ ගැනෙන නඩත්තු නඩු මහෙස්ත්‍රාත් උසාවිය මගින් ද, දික්කසාද නඩු දිස්ත්‍රික් උසාවිය මගින් ද සාධාරණ හා අපක්ෂපාතී ලෙස   විසඳාගත  හැකි බව පවසුවේය.  බහු විවාහය  සඳහා ඇති අයිතිය ද  අහෝසි කළ යුතු බව පවසන සුබයිර් මහතා, ඒ  සඳහා වන කරුණු කුරාණයේ ඇති වගන්ති ඉදිරිපත් කරමින්  පැහැදිලි කළේය.  ආගම කොටස් වලට බෙදා  නොගන්නා ලෙස  කුරාණයේ සඳහන් කර ඇති බව පවසන සුබයිර් මහතා එවැනි අවස්ථාවලට ඉඩ ලබාදීම මගින් විවිධ අන්තවාදී සංවිධාන  බිහිවීමට ඉඩ ඇති බවද අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාද අධ්‍යනය කිරිමෙන් පසු ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමින් වහන්සේගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති  වගකීමයි.

    මීට පෙර උතුරු හා නැගෙනහිර පළාත්වල සංචාරය කොට එම පළාත්වල ජීවත් වන ජනතාවගේ හා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ පිහිටා ඇති කාර්යාලයේ දී දිවයින ම නියෝජනය වන අයුරින් පැමිණි සංවිධාන හා පුද්ගලයින් ගේ අදහස් ලබා ගත්තේය.

    මධ්‍යම පළාත් පළාතේ ජනතාවගේ අදහස් ලබා ගැනීම අද (27)  දින නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ සිදුවේ. කමිටුව හමුවේ අදහස් පළ කිරීමට කැමති අයෙකුට පහත් අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැක. පහත ලිපිනයට තැපැල් හා විද්‍යුත් පණිවිඩ මගින් ද අදහස් පළ කිරීමේ හැකියාව ඇති බව කමිටුවේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති  සේනානායක මෙනවිය පවසයි.

    කමිටුවේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ  ඤාණසාර ස්වාමින් වහන්සේ, කමිටුවේ සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, පානි වෑවල,එරන්ද නවරත්න  සහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ අනු කමිටුවේ සභාපති වෛද්‍ය ජීවක බණ්ඩාර යන මහත්වරුන් එම අවස්ථාවට සහභාගි වූහ.

  • රටට ඩොලර් ගෙනා වෑවලවැල පලතුරු ගම්මානයේ අවනඩුව

    රටට ඩොලර් ගෙනා වෑවලවැල පලතුරු ගම්මානයේ අවනඩුව

    දඹුල්ල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් වෑවලවැව පලතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් විනාශ වී යන තත්ත්වයට පත්ව ඇතැයි  ගොවීහු පවසති.

    විදේශ වෙළෙඳපොළ සඳහා ඉලක්ක කරගෙන  කාලයක් තිස්සේ වෑවල වැව ප්‍රදේශයේ ගොවීහු පේර, අඹ, කටු අනෝදා, ගස්ලබු , දෙළුම් ආදී පලතුරු වගාවන් ආරම්භ කොට තිබිණි.

    වසරක  පමණ කාලයක සිට පවතින කෘමිනාශක, දියර පොහොර සහ පලතුරු ගස් වලට අවැසි පොහොර වර්ග නොමැතිවීම හේතුවෙන් තම වගාවන්හි නිෂ්පාදන විවිධ කෘමීන්ගෙන් සහ පිටි මකුණන්ගෙන්  විනාශ  වෙමින් පවතින බවත් වසර ගණනාවක් සිට මෙරටට ඩොලර් උපයා දුන් සියලු පලතුරු අස්වැන්න ගස් යට විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

    පිටි මකුණු රෝගයට හසුව ඇති පේර ගෙඩි

    රටේ ඩොලර් හිඟයක් පවතින අවස්ථාවක ඩොලර් රටට ගෙනදුන්  පලතුරු මෙසේ ගස් යට විනාශ වීම නිසා දඹුල්ල්ල වෑවල වැව ප්‍රදේශයේ ඩොලර් ගස් යට වැටී ඇති බව පෙන්වා දෙමින් එම ඩොලර් අහුලාගෙන යන්නැයි ගොවීහු මුදල් අමාත්‍යවරයාට, පාරිභෝගික අමාත්‍යවරයාට මෙන්ම කෘෂිකර්ම  අමාත්‍යවරයාට ද පවසති.

    දඹුඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ පේර ගොවීන් තම වගාවන් වල අස්වැන්න නෙළන සමය මේ වන විට උදාවී තිබේ. ඔවුන් සඳහන් කර සිටින්නේ පෙරදා ඉතා අලංකාර පෙනුමැති කිලෝ පේර විදේශ රටවලට පැටවීම සඳහා සූදානම් කළ ද මේ වන විට ඒවා දේශීය වෙළඳපොළට ඉතා අඩු මුදලකට මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයින් පැමිණෙන බවය. කෙසේ වෙතත් මීට පෙර එක මුරයකට නෙළාගත් කිලෝ 4000ක පමණ අස්වැන්න මෙවර කිලෝ 800ක් දක්වා අඩුවී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

    මේ ආකාරයෙන් අස්වැන්න නෙළා ගැනීමට නොහැකි වී ඇත්තේ පොහොර සහ කෘමිනාශක දියර පොහොර හිඟය නිසා බව ද ඔවුහු පෙන්වා දෙති.

    විනාශ වෙමින් පවතින පේර වගාවක්

    විදේශීය රටවල් රැසක ඉහළ ඉල්ලුමක් ඇති ටෝම්ජේසි  අඹ වර්ගය මෙම ප්‍රදේශයේ බහුලව වගා කොට තිබේ. කුඩා අවධියේ සිට දැඩි පරිස්සමෙන්  නිෂ්පාදනය කරන මෙම  අඹ ගස්වල විනාශ වී ගස් යට වැටී තිබෙන අයුරු ගොවීහු පෙන්වති. එමෙන්ම කවර වලින් ගෙඩියෙන් ගෙඩිය ආවරණය කොට නිෂ්පාදනය කරන විදේශ විනිමය ගෙනදෙන මෙම අඹ පිටිමකුණා විසින් විනාශ කොට ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

    වෑවල වැව ප්‍රදේශයේ විදේශ වෙළ ඳපොළ ඉලක්ක කරගෙන විශාල වශයෙන් කටු අනෝදා වගාව සාර්ථකව සිදු කරමින් සිටි බවත් මේ වන විට එම කටු අනෝදා අස්වැන්න රුපියල් 25කට හෝ අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

    කටු අනෝදා ද අලෙවි කිරීමට නොහැකි වී ඇත්තේ එම අස්වැන්න ද පිටිමකුණාගේ සහ කුහුඹුවන්ගේ ප්‍රහාර එල්ල වී ගෙඩි ඉතාමත් අසම්පූර්ණ වීම නිසාවෙන් බව පෙන්වා දෙති.

    වෑවල වැව ප්‍රදේශයේ කටු අනෝදා වගා කරන ගොවීන් ද කියා සිටියේ රටේ ඩොලර් හිඟයද විසඳුම දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ පවතින බවය. මුදල් අමාත්‍ය අමාත්‍යවරයාට වෑවල වැවට පැමිණ තම වගාවන් වල වැටී ඇති ඩොලර් කොළ අහුලාගෙන යන්නැයි කටු අනෝදා ගොවීන් ද පැවසූහ.

    දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන වෑවලවැව ප්‍රදේශයේ බහුලව ගස්ලබු වගාව ද සිදු කරති. මේ වන විට පවතින පොහොර සහ දියර පොහොර වර්ග නොමැතිවීම නිසා ගස් ලබු ඵලදාව ඉතාමත් හීනවෙමින් ගෙඩි කුඩා වී අලෙවි කර ගැනීමට  නොහැකි තත්ත්වයේ පසුවන බව ගස්ලබූ ගොවීන් පෙන්වා දෙති. ඔවුන් ද කියා සිටියේ විදේශ වෙළෙඳපොළ තියා දේශීය වෙළෙඳපොළ හෝ ගස්ලබු වලට  නොමැති නිසා තම අස්වැන්න වගා  බිම තුළම විනාශ කර දැමීමට සිදුව ඇති බව ය.

    විදේශ රටවල අවශ්‍යතාවය ඉලක්කගත කරගෙන පසුගිය කාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද  දායකත්වය ඇතිව වෑවෑවල වැව පළතුරු ගම්මානයක් බවට පත් කරමින් විවිධ පලතුරු වගාවට ගොවීන් හුරු කරමින් විශාල වශයෙන් විදේශ විනිමය එම ප්‍රදේශ වලට ලැබී තිබිණි. මෙම ක්‍රියාවලිය නිසා සිදුව ඇත්තේ පලතුරු ගොවීන්ට දැඩි ආර්ථික පීඩනයක් බව ඔවුහු පවසති.

    ජේ. එම්. දසනායක ගොවි මහතා

    පේර වගා කරන ගොවියෙකු වූ  ජේ. එම්. දසනායක මහතා. ” අපි වසර ගණනාවක් ඉදලා පේර වගා කරලා තියෙනවාවා, මම අක්කර හතරකට වැඩිය වගා කරලා  තියෙන්නෙ. ඒ දවස් වල එක  මුරයකට කිලෝ හාර දහසකට වැඩිය ප්‍රමාණයක් අස්වනු ගත්තා. දැන් අපි ලබාගන්නේ කිලෝ හය හත්සීයක්. ඒකත් බොහොම අමාරුවෙන්. ඒවත් විශාල වශයෙන් විනාශ වෙනවා. මේවා ඇපල් වගේ හරිම ලස්සනයි. හැබැයි දැන් වකුටු ගැහිලා. මිනිස්සු සල්ලි දීල මේ පේර අරගන්නෙ නෑ. ඒ වගේම තමයි පේර පිටරට ගෙනියන්න තමයි අපෙන් ගත්තේ. අවසාන්යේදී දැන් රට යවන්න තියා ලංකාවේවත් මිනිස්සු ගන්නෙ නෑ. පහුගිය දවස් වල පෙර වලට හොඳ ඉල්ලුමක් වගේම මිලක් තිබ්බා. දැන් මිල අඩුවෙලා ඉල්ලුමත් අඩුවෙලා.”

    “මේක කියන්න කෙනෙක් නෑ. අපි වගාවට  හුරු වුණේ රසායනික පොහොර දියර පොහොර සහ පලතුරු වලට වෙනම පෝර දාලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි අපිව මේවට හුරු කළේ. දැන් කාබනික පොහොර සහ අනෙකුත් දේවල් යොදන්න කිව්වට අපට මොනවද යොදන්නේ කියලා තාම කිසිම කෙනෙක් ඇවිල්ලා කියලා දීලා නෑ. ඒ නිසා අපි කියන්නේ  රසායනික පොහොර නැත්නම් පිටි මකුණු මේ කුහුබුවන් මර්ධනය කරලා ගෙඩිය ලස්සන වෙන්න මොනවද කරන්න ඕන කියලා කියලා දෙන්න. එහෙම නැතුව අපිට වෙන කරන්න දෙයක් නෑ. සිද්ධ වෙන්නේ පේර ගස් ටික ඔක්කොම කපලා දාලා වෙන මොනව හරි වගා කරන්න.”

    සුනිල් කුලරත්න පළතුරු ගොවි මහතා

    ටොම්ජේසි, අඹ සහ පේර වගා කොට ඇති ගොවියෙකු වූ සුනිල් කුලරත්න මහතා –  “වෑවලවැව කියන්නේ එළවළු වගේම පලතුරු වගාකරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වලා දීලා තියෙන කෘෂි ගම්මානයක්. අපේ බොහෝ දෙනෙක් ටොම්ජේසි අඹ වගා කළා. ඒ වගේම පේර, කටු අනෝදා, ගස්ලබු, දෙළුම් ආදී ගොඩක් වගා කරලා තියෙනවා. මගේ අක්කර 10ක් විතර තියෙනවා පලතුරු. අවසානයේදී මේ දවස් වල සිද්ධ වෙලා තියෙන්නේ ඩොලර් ගෙනාපු වගාව සියල්ල වගා බිමේ ම විනාශ වෙනවා දකින්න “

    “අපි රජයෙන් රස්සා ඉල්ල ගෙන ගියේ නෑ.  වෙනත් වරප්‍රසාද ඉල්ලුවෙත් නෑ. රටට අවශ්‍ය ඩොලර් ගෙනාවා ගමේ ඉඳ.ලා දැන් මේ ඩොලර් කොළ ඔක්කොම ගස් යට විනාශ වෙනවා‍. බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට, කෘෂි කෘෂිකර්ම ඇමතිතුමාට වගේම මුදල් ඇමතිතුමාටත්, රජයටත් අපි කියනවා වෑවල වැව පලතුරු ගම්මානයේ  ඕනෑ තරම් ඩොලර් වැටිලා තියෙනවා ඒවා අහුලගෙන යන්න කියලා. වෙන කියන්න දෙයක් නෑ. අපිට පොහොර  හදාගන්න විදිහක් නෑ. පොහොර සල්ලි වලට ගන්නවත් නෑ. ඇතැම් තැන්වල පොහොර මිටියක් රුපියල් පහළොස් දහසකටත් වැඩිය ගාණකට විකුනන්නේ. ඒ වගේම කෘමිනාශක ෙහොර රහසේ ගෙනල්ලා විකුනනවා. ඒවා හොයල බලන්නෙ නෑ. මිල අහන්නවත් බෑ. ඒ තරම් මිලයි. මුහුදෙන් පිටරටවල් වලින්  ගෙනල්ලා වැඩි මුදලට විකුණනවා. අද අපේ පළාත් හොර පොහොර කෘමිනාශක ගේන ජාවාරම්කරුවන්ට තෝතැන්නක් වෙලා. අපිට තේරෙන්නෑ රජයට මේවා තේරෙන් නැද්ද කියලා. ඕනෑ තරම් රටේ ආරක්ෂක අංශ ඉන්නවා, බුද්ධි අංශ ඉන්නවා හොයලා බලන්න කොහොමද මේවා එන්නේ කියලා. එහෙම නම් ඒ එන ඒවා වත් අඩුම තරමේ මේ ගොවීන්ට දෙන්න කියන්න.”

    ඊ. ඒ. ගුණවර්ධන ගොවි මහතා  – “ගොවීන් කම්මැලියෝ නෙවෙයි. වැඩ කරලා මේ රටට ඩොලර් ගෙන එන පලතුරු ගම්මානෙට මේ වගේ කරන්න එපා. මොකද අපි ලංකාවේ වෙළෙඳපොළ බලාගෙන පලතුරු වගා කරපු මිනිස්සු නෙවෙයි. විදේශ රටවල්වල අවශ්‍යතාවයට ඉතා අලංකාරව, ගුණාත්මකව තමයි අපි වගා කරන්නේ. මොකද ජේසි අඹ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. පිටිමකුණු ඇවිල්ලා, කුහුඹුවෝ  ඇවිල්ලා ගස් යටම විනාශ වෙනවා. විශාල මුදලක් වියදම් වෙනවා මේවා ගෙඩියෙන් ගෙඩිය රකින්න. ඒ නිසා රජයේ වගකීමක් තමයි ඩොලර් නැති වෙලාවක මේ පලතුරු පිටරට යවලා ඩොලර් ගෙන්න  ගන්න එක. ඒත් ඉතිං කාටද කියන්නේ කියලා ප්‍රශ්නයක් තියෙන්නේ. කිසිම බලධාරියෙක් ඇවිල්ලා හොයලා බලලා හෝ දේශීය නිෂ්පාදන කරන පොහොර දියර පොහොර කෘමි මර්දන කරන්නේ  කොහොමද කියලා අපට කියලා දීලා නැහැ. ඒ නිසා අපි මේවා දන්නේ නෑ.”

    පලතුරු වගා ගොවියෙකු වූ උපුල් කුමාර මහතා. ” අපි තරුණ ගොවියෝ හරිම සතුටෙන් තමයි වගාවට බැස්සේ. අපි වෙන රස්සාවක් සොයාගෙන  පිටරටවල්වල යන්නේ නෑ. රටේ  තරුණයෝ  රට යන්න පොරකන වෙලාවක අපේ ගම්වල තරුණයෝ ඉගෙන ගෙන රස්සා  හොයා ගෙන ගියේ නෑ. ගමේ ඉඳලා රටට ඩොලර් ගෙනාවා. අද සිද්ධ වෙලා තියෙන්නේ අපපේ ඩොලර් ගස් යට කුණුවෙලා වෙලා විනාශ වෙනවා. හැබැයි රජයට මේවා පේන්නේ නෑ. සමහර විට ඕනෑ තරම් කෘෂි නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ගම්වල ඉන්නවා. ඒ අයවත් ඔය ඇමතිවරුන්ට කියලා දෙන්න ඕන මේ වගේ විශාල මහා පරිමාණයේ වගාවන් වල අස්වැන්න රට යවලා ඩොලර් ගේනවා කියලා.”

    උපුල් කුමාර තරුණ ගොවි මහතා

    “අද කටු අනෝදා කිලෝවක් රුපියල් 25කට වත් විකුණන්න බෑ. සම්පූර්ණයෙන්ම විනාශ වෙලා පිටිමකුණා ගහලා. කටු අනෝදා වලට පුදුමාකාර ඉල්ලුම්ක් තිබුණේ පිටරටවල් වල. දැන් ලංකාවෙවත් විකුණන්නත් බෑ. ඒ වගේම තමයි ගස්ලබුවලට පිටරටවල්වල ඉල්ලුම තිබුණා. දැන් ඒවා ගස්ලබු නෙවෙයි පුවක් ගෙඩි වගේ ගස් යටම කුණුවෙලා විනාශ වෙනවා. මේවා දකිනකොට ඇත්තටම තරුණයන් හැටියටයට හරිම දුක්ක් වේදනාවක් දැනෙන්නේ. මේ විනාස වෙන්නෙ අපේ රටේ සල්ලි. විදේශ රටවල් වලින් එන සල්ලි. හැබැයි ඩොලර් නෑ කියලා අඬ අඬ ඉන්නේ. මේ වෙලාවේ අඩුම තරමේ අපනයනය කරන පලතුරු වගාවන්වලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා රසායනික පොහොර වර්ග, කෘමිනාශක වර්ග ලබා දෙන්න බැරි නම් අඩුම තරමේ දේශීයව මේ තත්ත්වය ගොඩනඟා ගන්න උදව් කරන්න කියලයි ඉල්ලන්නේ.”

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

  • ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාව සඳහා ‘එන්නත් මාත්‍රා දෙකක්‘ ප්‍රමාණවත් ද ?

    ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාව සඳහා ‘එන්නත් මාත්‍රා දෙකක්‘ ප්‍රමාණවත් ද ?

    ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් එන්නතක මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත් නොවන බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

    බ්‍රිතාන්‍යයේ ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වැළඳුණු රෝගීන් සම්බන්ධ මුල් විශ්ලේෂණයන්ගෙන් පෙන්නුම්කර තිබුණේ, නව ප්‍රභේදය වැළැක්වීමට එන්නත් එතරම් ඵලදායී වී නැති බව යි.

    නමුත්, බූස්ටර් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන්ගෙන් 75%කට පමණ කොවිඩ් රෝග ලක්ෂණ ඇතිවී නැත.

    මේ අතර, පසුගිය දා සංවර්ධිත රටවල ප්‍රධාන අමාත්‍යවරුන් එක්ව පැවති රැස්වීම මුලසුන දැරූ එක්සත් රාජධානියේ නිවාස සහ ප්‍රජා අමාත්‍ය මයිකල් ගෝව්, එක්සත් රාජධානිය “දැඩි ලෙස සැලකිලිමත් විය යුතු තත්ත්වයකට” මුහුණ දෙමින් සිටින බවට අනතුරු ඇඟවූයේ ය.

    එක්සත් රාජධානි රජයේ හදිසි තත්ත්ව පිළිබඳ කමිටුවේ රැස්වීමකින් පසුව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සියල්ල “සමානුපාතික” නමුත් අමාත්‍යවරුන් සියලුම දේ “සම්පූර්ණයෙන්ම” සමාලෝචනයට ලක් කරමින් සිටින බව යි.

    “ක්‍රියාත්මක වීම අතිශයින්ම අත්‍යවශ්‍ය යි. නව දත්ත ලැබෙනකොට, ඒ දත්තවලට අනුව අප ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැ යි අපි සලකා බලනවා,” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

    එක්සත් රාජධානියෙන් තහවුරු වූ තවත් ඔමික්‍රෝන් රෝගීන් 448ක් හමුවී ඇති අතර, ඒ සමග මේ වන විට වාර්තා වී ඇති සම්පූර්ණ ඔමික්‍රෝන් සිදුවීම් සංඛ්‍යාව 1265 දක්වා ඉහළ ගොස් තිබේ. සිකුරාදා වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 58 194ක් වන අතර, එය ජනවාරි 9න් පසු වාර්තා වූ ඉහළම සංඛ්‍යාව යි.

    එංගලන්තයේ රැකවරණ නිවාස සඳහා වන මාර්ගෝපදේශ යාවත්කාලීන කරන බව ද එරට රජය පවසා තිබේ. එක් නිවැසියෙකු හමුවීමට අවසර ඇති අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීම සහ “වර්තමානයේ ඇති වී ඇති කොවිඩ්-19 අවදානම සමතුලිත කිරීම සඳහා” වැඩි වශයෙන් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම ද මෙයට අයත් වේ.

    දැඩි ලෙස විකෘති වූ ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රථමයෙන් හමුවූ දා සිට ඇති ප්‍රධාන ගැටලුවක් වූයේ එය එන්නත්වල ඵලදායී බව අඩුකරනු ඇති යන්න යි.

    බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සි වාර්තාව මඟින්, නව ප්‍රභේදයට එරෙහිව එන්නත් කෙතරම් ඵලදායී ද යන්න ගණනය කිරීම සඳහා ඔමික්‍රෝන් රෝගීන් 581කගේ සහ ඩෙල්ටා රෝගීන් දහස් ගණනකගේ දත්ත විශ්ලේෂණය කර තිබේ.

    විශ්ලේෂණය පදනම් වී ඇත්තේ සීමිත දත්ත මත වුවත්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායීතාවයේ විශාල පහත වැටීමක් සහ ෆයිසර් මාත්‍රා දෙකක් සඳහා සැලකිය යුතු මට්ටමේ ඵලදායීතාව පහත වැටීමක් ඉන් පෙන්නුම්කර ඇත.

    බූස්ටර් මාත්‍රාවකින් පසුව කොවිඩ් රෝග ලක්ෂණවලට එරෙහිව පෙන්වූ 75%ක් වූ ආරක්ෂාව, පෙර ප්‍රභේදවලට එරෙහිව පෙන්වූ ආරක්ෂාව තරම් ඉහළ මට්ටමක පැවතියේ ද නැත.

    මොඩර්නා හෝ ජැන්සන් එන්නත්වල ඵලදායීතාව විශ්ලේෂණය කිරීමට ප්‍රමාණවත් දත්ත නොතිබුණ ද, ඒවායේ ප්‍රතිඵල ද මෙයට වඩා වෙනස් වෙතැ යි අනුමාන කිරීමට හේතුවක් නොමැත.

    කෙසේ වෙතත් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසන්නේ, රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වන අන්දමේ දරුණු කොවිඩ් තත්ත්වවලට එරෙහිව එන්නත් තවමත් හොඳ ආරක්ෂාවක් ලබා දීමට ඉඩ ඇති බව යි.

    මේ වන විට මිලියන 22ක පමණ ජනතාවකට බූස්ටර මාත්‍රාව ලැබී ඇති නමුත්, සෑම කෙනෙකුම බූස්ටර මාත්‍රාව ලබා ගත්ත ද එන්නත් ඵලදායීතාව අඩුවීම නිසා තවත් මිලියන ගණනක් රෝගයට ගොදුරුවීමට ඉඩ තිබේ.

    එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගෙන් ලබාගත් ප්‍රතිදේහවල වෛරසයට එරෙහිවීමේ හැකියාව 40 ගුණයකින් අඩුවීමක් පෙන්නුම් කළ අතර, රසායනාගාර අධ්‍යයනයන්ගෙන් සැබෑ ලෝකයේ දත්ත සනාථ වී ඇත.

    එනමුත්, කොවිඩ් වැළඳුන ද එන්නත් මඟින් බොහෝදෙනා රෝහල්ගත කිරීමට තරම් අසාධ්‍ය තත්ත්වයකට පත්වීමෙන් වළකනු ඇති බවට තව දුරටත් ශුභවාදී අදහස් පළ වී තිබේ. තත්ත්වයේ බරපතලකම පිළිබඳ දත්ත ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

    ඔමික්‍රෝන් රැල්ල එතරම් බරපතල නොවූවත්, එය ගැටලුකාරී විය හැකි ය. විශාල සහ හදිසි රැල්ලක දී, දැනටමත් අවදානමට ලක්ව සිටින සෑම කෙනෙකුටම එකවර රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වීමේ ඉඩකඩක් තිබේ.

    BBC Graph

    ඔමික්‍රෝන් රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීම, එන්නත් මඟින් ලබා දී ඇති ආරක්ෂාව මෙම ප්‍රභේදයට එරෙහිව ප්‍රමාණවත් නොවන බව දැනටමත් ඉඟිකර තිබේ.

    සෑම දින දෙකතුනකටම වරක් ඔමික්‍රෝන් රෝගීන් සංඛ්‍යාව දෙගුණ වන බව ද මේ වන විට ගණන් බලා ඇත.

    එ.රා. සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය ඇස්තමේන්තුගත කරන්නේ දෙසැම්බර් මැද වන විට එරට සියලුම රෝගීන්ගෙන් අඩකට වඩා ඔමික්‍රෝන් ආසාදිතයින් වනු ඇති අතර, ප්‍රභේදයේ පැතිරීම අඛණ්ඩව පැවතුණහොත් මාසය අවසන් වන විට දිනකට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවනු ඇති බව යි.සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සියේ ප්‍රතිශක්තිකරණට පිළිබඳ ප්‍රධානී වෛද්‍ය මේරි රැම්සේ පවසන්නේ, “මේ මුල් ඇස්තමේන්තුව ඉතා සැලකිල්ලෙන් විමසා බැලිය යුතු යි. එයින් පෙන්නුම් කරන්නේ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් මාස කිහිපයකට පසුවත්, ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඕමික්‍රෝන් ප්‍රභේදය වැළඳීමේ වැඩි අවදානමක් තිබෙන බව යි.”

    “කොවිඩ්-19හි දරුණු සංකූලතාවලට එරෙහිව එන්නත් මඟින් ඉහළ ආරක්ෂාවක් පෙන්වනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙනවා. ඔබ තවමත් ඔබේ පළමු මාත්‍රා දෙක ලබාගෙන නැති නම් කරුණාකර වහාම ඒවා ලබාගන්න.”

    මෙම පර්යේෂණය සිදුකෙරෙන්නේ එක්සත් රාජධානිය සිය ඔමික්‍රෝන් රෝගීන්ගේ වැඩිවීම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන මොහොතක ය. “කොවිඩ් සුනාමියක්” පිළිබඳව අනතුරු අඟවන ස්කොට්ලන්තයේ ප්‍රධාන අමාත්‍ය නිකොලා ස්ටර්ජන්, හුදකලා නීති දැඩිකරමින් නත්තල් සාද සැලසුම් අවලංගු කරන ලෙස ජනතාව දිරිමත්කර තිබේ.

    bbc sandesaya

  • පිරිමින්ගේ සරුභාවයට කොවිඩ්වලින් බලපෑමක් – පර්යේෂණයකින් හෙළිවෙයි

    පිරිමින්ගේ සරුභාවයට කොවිඩ්වලින් බලපෑමක් – පර්යේෂණයකින් හෙළිවෙයි

    කොවිඩ් වසංගත තත්ත්වය ඇරඹී වසර දෙකකුත් සම්පූර්ණ වන විට, කොවිඩ් රෝගයෙන් පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑමක් අනාවරණය වී තිබේ.

    කොවිඩ්-19ට එරෙහි එන්නත මඟින් සරුභාවය අඩුවනු ඇතැ යි හෝ නැතිව යනු ඇතැ යි බියෙන් එන්නත ලබා නොගත් පිරිසක් ද සිටියත්, මෑතක දී ප්‍රකාශයට පත්කෙරුණු නවතම අධ්‍යයනයකින් පෙනී යන්නේ කොවිඩ් රෝගය වැළඳුණු පුරුෂයින්ගේ සරුභාවය විශාල වශයෙන් අඩුවනබව යි.

    කොවිඩ් ආසාදනය වී සුවවූ බෙල්ජියම් ජාතික පුරුෂයින් 120 දෙනෙකු සහභාගීකර ගෙන සිදුකළ පර්යේෂණයෙන් පෙනීගොස් ඇත්තේ, කොවිඩ් ආසාදනයෙන් මසකට අඩු කාලයකින් පරීක්‍ෂා කළ විට පර්යේෂණයට සහභාගී වූවන්ගෙන් 60%කගේ ශුක්‍රාණුවල මධ්‍යන්‍ය චාලක හැකියාව අඩු වී තිබූබව යි.

    කොවිඩ් ආසාදනය වීමෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට ශුක්‍රාණුවල චාලක හැකියාව අඩු පිරිමින්ගේ ප්‍රතිශතය 37%ක් වූ අතර, මාස දෙකකට පමණ පසු මෙම අගය 28%ක් විය.

    මෙම අධ්‍යයනය මඟින් අනාවරණයකර ගත් තවත් කරුණක් නම් කොවිඩ් ආසාදනයෙන් පසු පුරුෂයින්ගේ ශුක්‍ර තරලයේ අඩංගු ශුක්‍රාණු ගණත්වය ද පහළ බසින වග යි.

    Male birth control pills

    කොවිඩ් ආසාදනය වී මසක් තුළ පරීක්‍ෂා කළ විට, පර්‍යේෂණයට සහභාගී වූ පිරිමින්ගෙන් 37%කගේ මධ්‍ය ශුක්‍රාණු ප්‍රමාණය ද පහළ බැස ඇතිබව නිරීක්ෂණය කෙරිණි.

    රෝගය ආසාදනයෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට පිරිමින්ගෙන් 29%ක් දෙනාගේ ශුක්‍රාණු ගණත්වය අඩුවී තිබූබව ද, මාස දෙකකට පසුව ද පිරිමින්ගෙන් 6%කගේ ශුක්‍රාණු ගණත්වය අඩුවූබව ද පර්යේෂකයින් විසින් අනාවරණය කෙරිණි.

    මෙය ‘ෆර්ටිලිටි ඇන්ඩ් ස්ටේරිලිටි’ නම් සඟරාවේ පළවූ අධ්‍යයනයකි.

    උණ රෝගයන් හේතුවෙන් ශරීරයේ ඇතිවන උෂ්ණත්ව වෙනස්වීම් නිසා ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් ආසාදන තත්ත්වයන්ගෙන් පසුව ද මෙසේ ශුක්‍රාණුවල ගුණාත්මකභාවයේ අඩුවීම් නිරීක්ෂණය කළ හැකිවුවත්, කොවිඩ් ආසාදනය සම්බන්ධයෙන් ගත්කල උණ හේතුවෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ යාමට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් නිසා මෙසේ සිදුවනු විය හැකිබවට පර්යේෂකයින් මත පළකරයි.

    පර්යේෂකයින් ඇස්තමේන්තුගත කරන්නේ මෙම ගැටලුව මාස තුනක් වැනි කාලයක් තුළ සාමාන්‍ය අතට හැරෙනු ඇතිබව යි.

    කෙසේ නමුත්, මෙය තහවුරුකර ගැනීමටත්, පිරිමින්ගෙන් සුළුතරයකට හෝ ස්ථිර හානියක් සිදුව ඇත්ද යන්න නිශ්චය කිරීමටත් වැඩිදුර අධ්‍යයනයන් සිදුවෙමින් පවතියි.

    පසුගිය මැයි මාසයේ ද කොවිඩ් සහ පුරුෂයින්ගේ සරුභාවය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් ‘ඒෂියන් ජර්නල් ඔෆ් ඇන්ඩ්‍රොලොජි’ සඟරාවේ පළවිය.

    ඩිම්බ කෝෂ තැන්පත් කිරීම

    කොවිඩ් වැළඳී සුවවූ පුරුෂයින් 41 දෙනෙකු යොදාගෙන සිදුකළ එම පරීක්ෂණයෙන් ද හෙළිවූයේ, කොවිඩ්-19 වැළඳී නැති පාලක කණ්ඩායම සමග සසඳන විට කොවිඩ් වැළඳී ඇති පුද්ගලයින්ගේ මුළු ශුක්‍රාණු සංඛ්‍යාව, ශුක්‍රාණු සාන්ද්‍රණය, සහ ක්‍රමානුකූලව චලනය වන ශුක්‍රාණුවල ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩුව තිබූබව යි.

    මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ කොවිඩ් සුවවී රෝහලෙන් පිටවීමෙන් දින 56ක පමණ කාලයකින් පසු ය.

    ඉන් දින 29කට පසු දෙවන වර පරීක්ෂා කළ විට මෙම අගයන් සාපේක්ෂ වශයෙන් ඉහළගොස් තිබූබව ද පර්යේෂකයින් සඳහන් කරයි.

    පිරිමින්ගේ සරුභාවය

    ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට පුරුෂයින්ගේ නිසරුභාවයට බහුලවම බලපානා හේතූන් වන්නේ ශුක්‍රාණු පිටකිරීමේ ගැටලු, ශුක්‍ර තරලයේ ශුක්‍රාණු අඩංගු නොවීම හෝ ඉතා අඩු ප්‍රමාණයකින් අඩංගු වීම, සහ ශුක්‍රාණුවේ අසාමාන්‍ය හැඩය හෝ චලිතය යි.

    ජනවාරියේ දී ලැන්සට් වෛද්‍ය සඟරාවේ පළවූ ලිපියකට අනුව, ලොව පුරා නිසරුභාවයෙන් පීඩා විඳින යුවල සංඛ්‍යාවෙන් 50%කම පාහේ නිසරුභාවයට පුරුෂයාගේ නිසරුබව හේතු වී හෝ දායක වී ඇත.

    bbc sandesaya

  • යුරියා නැතිව තෘණබිම් විනාශයි

    යුරියා නැතිව තෘණබිම් විනාශයි

    යූරියා නොමැතිකම නිසා ජාතික පශු සම්පත් මණ්ඩලයේ තෘණ භූමි විනාශවීමේ බරපතළ අවදානමක් මතුවී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා කියයි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිලි කරමින් මාගමගේ මහතා පැවසුවේ යූරියා නොමැතිකම නිසා ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් තෘණබිම් හෙක්ටයාර් 4000ක් පමණ අර්බුදයකට ලක්ව ඇති බවයි.

    ‘තෘණ සහ සෝගම් අස්වැන්න මෙලෙස අඩුවීම නිසා කිරි එළදෙනුන්ට සහ ගවයන්ට ප්‍රමාණවත් පරිදි ආහාර සැපයීමද බරපතළ ප්‍රශ්නයක්ව තිබෙනවා. සෝගම් අස්වැන්න දින 70 කින් කැපීමෙන් පසු නැවත දළු ලෑම සඳහා ඊට යූරියා ඉසිය යුතුයි. යූරියා වෙනුවට කාබනික පොහොර ඉසීමෙන් අපේක්ෂිත අස්වැන්න ලබා ගත නොහැකියි. ඒ වගේම පශු සම්පත් මණ්ඩලය සතු නුවරඑළිය සීතාඑළිය ප්‍රදේශයේ බීජ අර්තාපල් නිෂ්පාදනය කිරීමේ කටයුතු ද දිලීරනාශක හිඟය නිසා බෙහෙවින් අඩාලවී තිබෙනවා‘ යැයි ද සභාපතිවරයා පැවසුවේය.

    මේ අතර පුද්ගලික තණබිම් පවත්වා ගෙන යන කිරිගව හිමියන් ද අප හා පැවසුවේ මේ වන විට තමන් සතු තෘණ බිම් විශාල ප්‍රමාණයක් අතහැර දැමීමට සිදුව ඇති බවයි.

    ‘මේක බරපතළ තත්ත්වයක්. කිරි ගවයන්ට නිසි පෝෂණයක් ලබාදිය යුතුයි. ඒත් තෘණබිම් නැතිව ඒක කරන්න බැහැ. මෙහෙම ගියොත් දේශීය කිරි සැපයුමත් දැඩි ලෙස සීමා වී මේ කර්මාන්තයත් විනාශ විය හැකියි. පුදුමය කියන්නේ මේ ගැන කිසිවෙක් අවධානය යොමු නොකිරීමයි‘

  • ඉන්දියාව හයවන විශාලතම ලෝක ආර්ථිකය බවට පත්වෙයි

    ඉන්දියාව හයවන විශාලතම ලෝක ආර්ථිකය බවට පත්වෙයි

    බ්‍රිතාන්‍ය උපදේශන සයිබර් වාර්තාවට අනුව 2023 වන විට ඉන්දියාව ලොව 6 වැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇත.

    “ඉන්දියානු ආර්ථිකය 2023 දී බ්‍රිතාන්‍ය ආර්ථිකය අභිබවා ගොස් ලොව හයවන විශාලතම ආර්ථිකය ලෙස එහි ස්ථානය නැවත ලබා ගනී” යනුවෙන් සයිබර් වාර්තාව පවසයි.

    එම වාර්තාව පසුගිය ඉරිදා ප්‍රසිද්ධියට පත් වූ අතර, ඉන්දීය ආර්ථිකය ලබන වසරේ ප්‍රංශය අභිබවා යාමට නියමිත බව ද සඳහන් කර ඇත.

    මෙමගින් ඉන්දීය ආර්ථිකය ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ආර්ථිකය පසුපස හඹා යාමට සූදානම් බව වාර්තාව පෙන්වා දෙයි.

    එසේ වුවද, ඩොලර් අනුව චීනය ලෝකයේ ඉහළම ආර්ථිකය බවට පත්වීමට කාලයක් ගතවනු ඇති බවට වාර්තාව ද යෝජනා කරයි.

    “ලෝකයේ ආර්ථික නිමැවුම 2022 දී ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 100 ඉක්මවනු ඇත. කෙසේ වෙතත්, චීනයට එක්සත් ජනපදය පසුකර අංක 1 ආර්ථිකය ලබා ගැනීමට කලින් සිතුවාට වඩා ටිකක් වැඩි කාලයක් ගතවනු ඇත,”යනුවෙන් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

    සයිබර් වාර්තාව පුරෝකථනය කළේ 2030 දී චීනය ඩොලර් අනුව ලෝකයේ ඉහළම ආර්ථිකය බවට පත්වනු ඇති අතර එය පසුගිය වසරේ ලෝක ආර්ථික ලීග වගුවේ පුරෝකථනයට වඩා වසර දෙකකට පසුවය.

    “2020 දශකය භ්‍රමණය වනු ඇත්තේ එක්සත් ජනපදයේ සියයට 6.8 දක්වා ඉහළ ගොස් ඇති උද්ධමනය සමඟ ලෝක ආර්ථිකයන් මුහුණ දෙන්නේ කෙසේද යන්නයි,” සයිබර් නියෝජ්‍ය සභාපති ඩග්ලස් මැක්විලියම්ස් පැවසීය.

    “ටිලර් සඳහා සාපේක්ෂ වශයෙන් නිහතමානී ගැලපීමක් මගින් සංක්‍රාන්ති නොවන මූලද්‍රව්‍ය පාලනයට ගෙන එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එසේ නොවුවහොත්, ලෝකය 2023 හෝ 2024 දී අවපාතයකට මුහුණ දීමට අවශ්‍ය වනු ඇත,” ඔහු පැවසීය.

    2033 දී ආර්ථික නිමැවුම අතින් ජර්මනිය ජපානය අභිබවා යාමට නියමිත බව ද වාර්තාව පෙන්වා දෙයි. රුසියාව 2036 වන විට ඉහළම ආර්ථිකය 10 බවට පත් විය හැකි අතර ඉන්දුනීසියාව 2034 දී 9 වැනි ස්ථානයට පත්වේ.

    indianewsnetwork

  • කුකුළු මස් සහ බිත්තර හිගයක් ගැන ප්‍රබල අනතුරු ඇගයීමක්

    කුකුළු මස් සහ බිත්තර හිගයක් ගැන ප්‍රබල අනතුරු ඇගයීමක්

    රජය මැදිහත් වී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ආරක්ෂා නොකළහොත් ඉදිරියේදී රට තුළ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය (AIEPA) පවසයි.

    AIEPA භාණ්ඩාගාරික විජය අල්විස් පවසන්නේ ඉදිරි අලුත් අවුරුදු සමයේදී බිත්තරයක මිල රුපියල් 35 දක්වා ඉහළ යා හැකි බවයි.

    අමුද්‍රව්‍යවල මිල වැඩි වීමත් සමඟ සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 23ක් වන අතර රතු බිත්තරයක් රුපියල් 24ක් දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බව ද ඔහු පැවසුවේය.

    ‘රජය බඩඉරිඟු ආනයන වියදම අඩු කරලා පොඩි සහනයක් දීලා තියෙනවා. කෙසේ වෙතත්, විදේශ විනිමය හිඟය සහ ආනයන පාලනයන් නිසා කුකුළු ආහාරවල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. එසේම ගෝලීය සහ දේශීය වෙළඳපළ තත්ත්වයන් මෙන්ම අපේ රටේ විදේශ විනිමය අර්බුදය සහ සැපයුම් දාම ගැටළු හේතුවෙන් ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු හිඟයක් පවතිනවා” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

    බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් තම ගොවිබිම් වසා දමමින් සිටින අතර නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ වෙළෙඳපොළේ පවතින අවදානම් හේතුවෙන් ඔවුන් ආයෝජනය කිරීමට අකමැත්තක් දක්වන බව ද අල්විස් මහතා වැඩි දුරටත් සදහන් කළේය.

  • ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැමිණිලි කරනවා – චීන සමාගම තර්ජනය කරයි

    ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැමිණිලි කරනවා – චීන සමාගම තර්ජනය කරයි

    තම සමාගම විසින් නැව්ගත කළ කාබනික පොහොරවල හානිකර බැක්ටීරියා ඇති බවට ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් අදාළ මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය බැංකුවලට එරෙහිව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැමිණිලි කරන බව සීවින් බයෝටෙක් සමාගමේ ප්‍රකාශිකාව පැවසුවාය.

    තම සමාගම විසින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000 තුළ අහිතකර බැක්ටීරියා නොමැති බව සිංගප්පූරුවේ නවතම පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු වූ බව ද ඇය පැවසුවාය.

    ‘‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවලට එරෙහිව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන වන ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර්ස්, මූඩීස් සහ ෆිච් ශ්‍රේණිගත කිරීම වෙත පැමිණිලි කිරීමට අප සමාගය සූදානම් වෙිමින් සිටිනවා. අදාළ අවදානම් පිළිබඳව අනෙකුත් ජාත්‍යන්තර ආයෝජකයින්ට මතක් කිරීම සඳහා අපි මෙම ආයතන තුන සමඟ නඩුවේ අදාළ සාක්ෂි බෙදා ගන්නවා,” ඇය වැඩි දුරටත් පැවසුවාය

  • GMOA වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    GMOA වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    ඉදිරි සතියේ එළඹෙන ආගමික උත්සව සමයේ ජනතාවට වන අපහසුතාවයත් සැලකිල්ලට ගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අද දින ප.ව 4.00 සිට අත්හිටුවන බව එම සංගමය විසින් අද (25) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණයට අනුව වෛද්‍ය පත්වීම් වලට සිදු කරන දේශපාලන මැදිහත්වීම් වලට විරෝධය පාමින් පසුගිය දෙසැම්බර් 21 වැනිදා ආරම්භ කල දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය (4 වන දිනයටත්) අද දක්වා ක්‍රියාත්මක විය.

    සෞඛ්‍ය අමාත්‍යතුමන් සමඟ දෙසැම්බර් 22 වැනිදා පැවති සාකච්ඡාවෙන් පසු ඊයේ දිනයේදි, සෞඛ්‍ය අමාත්‍යංශයේ විසඳුම් දැක්වෙන ලිපියක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් අප වෙත ලැබීමට සලස්වා ඇත. අද දින රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබාදුන් විසඳුම් සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කරන ලදී.

    1.      සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ මැදිහත්වීමෙන් විශේෂඥ වෛද්‍ය මාරු මණ්ඩල වල තීරණයට පටහැනිව සැකසු විශේෂඥ පත්වීම් ලැයිස්තුව නැවතත් සියළු පාර්ශවකරුවන්ගේ එකඟතාවයෙන් පුළුල් සාකච්ඡාවකින් අනතුරුව නිවැරදි කිරීමට තීරණය කර ඇත.

    2.      පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සම්බන්ධව මාරු මණ්ඩල හා දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ගත යුතු තීරණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික දැනුම නොමැති බැවින් ඒ පිළිබඳ උපදෙස් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් විමසා සිටීමට සිදු වන බව දන්වා ඇත.

    3.      විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩල පිළිබඳ ගැටළුවේදි ගත් ස්ථාවරයට වඩා පටහැනි ස්ථාවරයක් ශ්‍රේණි වෛද්‍ය  නිලධාරීන්ගේ මාරු මණ්ඩල වලදී සෞඛ්‍ය අමාත්‍යංශය දරණ බව නිරීක්ෂණය වේ.

    4.      වෛද්‍ය ස්ථානමාරු සම්බන්ධ චක්‍රලේඛණයේ හා ගැසට් පත්‍රයේ නිර්වචනය කර ඇති “බලාත්මක දිනය” යන යෙදුම වෛද්‍ය පරිපාලකයින්ට වටහා ගත නොහැකි බැවින් මෙතෙක් කල් ක්‍රියාත්මක කළ “බලාත්මක දිනය” ගැන නැවතත් තේරුම් කර දෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව පෙන්වා දී ඇත.

    5.      කැබිනට් මණ්ඩලය විසින් මින් මාස 6 කට පෙර වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ ගැටළු විසදීම සඳහා පත් කිරීමට තීරණය කළ ස්වාධීන කමිටුව සඳහා සභාපතිවරයෙක් ඔවුනට මෙතෙක් සොයාගැනිමට නොහැකි වූ බව පෙන්වා දී ඇත.

    6.      පසුගිය අගොස්තු මාසයේ සති දෙකකින් ගැසට් කරන බවට පොරොන්දු වු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණ රෙගුලාසි ගැසට් කිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බව ඔවුන් පිලිගෙන ඇත.

    7.      සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලනයේ දුර්වලතා නිසා විසඳිමට නොහැකි වු අපගේ ඉල්ලීම් විසඳිම සඳහා නිශ්චිත කාලවකවානුවක් පෙන්වා දීමට තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වී ඇත. ඒ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ එම විසඳුම් ක්‍රියාත්මක කරවන දිනයක් සඳහන් නොවීම තුලින් පැහැදිලි වේ.

    සෞඛ්‍ය අමාත්‍යංශය ඉහත පරිදි පිළිගෙන ඇති වෛද්‍ය පරිපාලකයන්ගේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරදි නිවැරදි කර ගැනීම සඳහාත්, මේ පිළිබදව දේශපාලන නායකයින්, ආගමික් නායකයින් හා මහජනතාව දැනුවත් කිරීම සඳහාත්, ඉදිරි සතියේ එළඹෙන ආගමික උත්සව සමයේ ජනතාවට වන අපහසුතාවයත් සැලකිල්ලට ගෙන අප වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අද දින ප.ව 4.00 සිට අත්හිටුවන නමුත්, යම් හෙයකින් එම වැරදි නිවැරදි කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වුවහොත් 2022 ජනවාරි මස 3 වැනි දින රැස්වන මධ්‍යම කාරක සභාව විසින් වඩාත් තීව්‍ර ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමු වීමේ තීන්දු තීරණ ගැනීමට, අද දින රැස් වූ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදි තීරණය විය.

  • ‘තෙල් සඳහා තේ’ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

    ‘තෙල් සඳහා තේ’ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

    ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක පසුගිය  21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලද බව විදේශ අමාත්‍යාංශය විසින් අද (25) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

    ශ්‍රී ලංකාවේ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අලිරේසා පේමන්පැක් තම රාජ්‍යයන් නියෝජනය කරමින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ආර්ථික සබඳතා සම්බන්ධයෙන් පවත්නා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කරමින් මෙම ගිවිසුමට අත්සත් තබන ලදි. ශ්‍රී ලංකා රජය සිදු කළ තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් වන හිඟ මුදල් ගෙවීම තුළින් ඉස්ලාමීය ඉරාන ජනරජය වෙත සිදු කෙරෙන ලංකා තේ අලෙවිය වැඩි කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වේ.

    ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අලිරේසා පේමන්පැක් කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියසහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා හමුවූ අතර එහිදී දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අන්‍යෝන්‍ය අවශ්‍යතා සහ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

  • ඉන්දියාව ප්‍රාලේ මිසයිල සාර්ථකව අත්හදා බලයි

    ඉන්දියාව ප්‍රාලේ මිසයිල සාර්ථකව අත්හදා බලයි

    • පළමු වතාවට බැලස්ටික් මිසයිලයේ පියාසර පරීක්ෂණ අඛණ්ඩව දින දෙකක් සාර්ථකව සිදු කරන ලදී

    ඉන්දීය ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් දේශීයව නිපදවන ලද ‘ප්‍රාලේ’ මිසයිලයේ දෙවන පියාසැරි පරීක්ෂණය බ්‍රහස්පතින්දා සාර්ථකව සිදු කරන ලදී.

    “පියාසර පරීක්ෂණය සියලු මෙහෙයුම් අරමුණු සපුරා ඇත. මෙම දියත් කිරීම මිසයිලයේ වින්‍යාස දෙකෙහිම පද්ධතිය සනාථ කරයි, යැයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

    බැලස්ටික් මිසයිලයක් දින දෙකක් සාර්ථකව පියාසර කිරීමේ අත්හදා බැලීම් දෙකක් සිදු කළ පළමු අවස්ථාව මෙයයි.

    නව පරම්පරාවේ මිසයිලයේ පළමු සාර්ථක අත්හදා බැලීම බදාදා සිදු කරන ලදී.

    බ්‍රහස්පතින්දා දියත් කිරීමේ දී, ‘ප්‍රේලේ’ මිසයිලය අවියේ නිරවද්‍යතාවය සහ මාරාන්තික බව සනාථ කිරීම සඳහා බර පැටවීම සහ විවිධ පරාසයන් සඳහා අත්හදා බැලූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    මෙම දියත් කිරීම නැගෙනහිර වෙරළ තීරය හරහා යොදවා ඇති ටෙලිමෙට්‍රි, රේඩාර් සහ විද්‍යුත් ඔප්ටික් ට්‍රැකින් පද්ධතිය සහ බලපෑම් ලක්ෂ්‍යය ආසන්නයේ ස්ථානගත කර ඇති පහල පරාසයේ නැව් ඇතුළු සියලුම පරාසයක සංවේදක සහ උපකරණ මගින් නිරීක්ෂණය කරන ලදී.

    මෙම මිසයිලයට කිලෝමීටර් 150-500 අතර පරාසයක් ඇති අතර එය ජංගම දියත් කිරීමේ යන්ත්‍රයකින් දියත් කළ හැකිය. මිසයිල මාර්ගෝපදේශ පද්ධතියට අති නවීන නාවික පද්ධතිය සහ ඒකාබද්ධ ගුවන් යානා ඇතුළත් වේ.

    මිසයිලය ඝන ප්‍රචාලක රොකට් මෝටරයකින් සහ නව තාක්‍ෂණ රැසකින් බල ගැන්වේ.

    මෙම අඛණ්ඩ සාර්ථක සංවර්ධන පියාසැරි අත්හදා බැලීම සඳහා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉන්දීය ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ආශ්‍රිත කණ්ඩායම් වෙත සුබපැතුම් පිරිනමා ඇත.

    ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් පර්යේෂණ හා සංවර්ධන සහ සභාපති ඉන්දීය ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය ජී සතිෂ් රෙඩ්ඩි මහතා සම්බන්ධිත කණ්ඩායම අගය කළේය. මෙම සාර්ථක ගුවන් ගමන් පරීක්ෂණය සමඟින්, ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ ශක්තිමත් සැලසුම් සහ සංවර්ධන හැකියාවන් ඉන්දියාව ඔප්පු කර ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

    indianewsnetwork

  • අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

    අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

    අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    අභියාචනාධිකරණ විනිසුරු, දේවිකා අබේරත්න මහත්මිය විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ.

    කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විකුම් අතුල කළුආරච්චි මහතා කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිඥ වෘත්තියට පිවිසියේය.

    විකුම් අතුල කළුආරච්චි මහතාගේ වසර  33ක සේවා කාලයෙන් වසර 27ක් මහේස්ත්‍රාත්වරයෙකු, දිසා විනිසුරුවරයෙකු, අපරාධ මහාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඒ මහතා මහාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරාය ද වේ.

  • ඇෆ්ගනිස්ථානය සඳහා මානුෂීය ආධාර ලබාදීම කඩිනම් හා ඍජු විය යුතු බව ඉන්දියාව කියයි

    ඇෆ්ගනිස්ථානය සඳහා මානුෂීය ආධාර ලබාදීම කඩිනම් හා ඍජු විය යුතු බව ඉන්දියාව කියයි

    ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර සඳහා සම්බාධකවලින් නිදහස් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට ඉන්දියාව බදාදා සහාය දුන්නේය. ඉන්දියාව පැවසුවේ ඇෆ්ගනිස්ථානය සඳහා මානුෂීය ආධාර සඳහා ප්‍රවේශය සෘජු හා බාධාවකින් තොරව විය යුතු බවයි.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට ඉන්දියාවේ ඡන්දය පැහැදිලි කරමින්, එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත TS තිරුමූර්ති පැවසුවේ, ඇෆ්ගනිස්ථානයේ විශාලතම කලාපීය සංවර්ධන හවුල්කරු ලෙස, ඉන්දියාවට අවශ්‍ය බොහෝ ආධාර කඩිනම් සැපයීම සඳහා කටයුතු කිරීම සඳහා අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණය කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බවයි.

    “ඇෆ්ගනිස්ථානයේ මානුෂීය තත්ත්වය දරුණුයි. ජනගහනයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් අර්බුදයකට හෝ හදිසි අවස්ථා මට්ටම්වලට මුහුණ දී සිටින බවටත්, ජනතාවගේ මූලික ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා හදිසි මානුෂීය ආධාර අවශ්‍ය බවත්, රටේ වැඩි ප්‍රමාණයක් දරිද්‍රතා සීමාවෙන් පහළට යන බවටත් අඟවන වාර්තා අපි දැක ඇත්තෙමු. තිරුමූර්ති නිරීක්ෂණය කළේය.

    “ශීත කාලය දැනටමත් අප වෙත පැමිණ ඇත. ආධාර කඩිනමින් පුළුල් කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ අනෙකුත් නියෝජිතායතනවලට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම වැදගත්” යැයි ඔහු පැවසීය.

    “මෙම සන්දර්භය තුළ, ඇෆ්ගනිස්ථානය සඳහා මානුෂීය ආධාර සඳහා ප්‍රවේශය සෘජු හා කිසිදු බාධාවකින් තොරව විය යුතු බවට ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීමට ඉන්දියාව සහාය දී ඇත,” ඉන්දීය නිත්‍ය නියෝජිතයා ප්‍රකාශ කළේය.

    “මානුෂීය ආධාර මධ්‍යස්ථභාවය, අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය යන මූලධර්ම මත පදනම් විය යුතු අතර ආධාර බෙදා හැරීම වෙනස් කොට සැලකීමකින් තොරව සහ වාර්ගික, ආගම් හෝ දේශපාලන විශ්වාසයන් නොසලකා සැමට ප්‍රවේශ විය යුතු” බව ඔහු පෙන්වා දුන්නේය.

    “විශේෂයෙන්ම, ආධාර මුලින්ම ළඟා විය යුත්තේ කාන්තාවන්, ළමුන් සහ සුළු ජාතීන් ඇතුළුව වඩාත් අවදානමට ලක්විය හැකි අය වෙත ය,” තිරුමූර්ති තවදුරටත් පැවසීය.

    පසුගිය දශක දෙක තුළ ඉන්දියාව ඇෆ්ගනිස්ථානයේ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව සිහිපත් කළ ඔහු, ඉන්දියාව එන්නත් මාත්‍රා මිලියන භාගයක් සහ ජීවිතාරක්ෂක ඖෂධ මෙට්‍රික් ටොන් 1.6 ක් ගුවන් මගින් ගෙන ගොස් තිබේ.

    “අපි තවත් ඖෂධ සහ ආහාර ධාන්‍ය යවන්නත් කටයුතු කරගෙන යනවා. ඇෆ්ගනිස්ථානයේ ජනතාවට ආහාර ධාන්‍ය සහ ඖෂධවලින් සමන්විත හදිසි මානුෂීය ආධාර ලබාදීමට ඉන්දියාව සූදානම්,” තිරුමූර්ති දන්වා සිටියේය.

    ඇෆ්ගනිස්ථානයේ ජනතාවට මානුෂීය ආධාර සඳහා අපගේ කැපවීමෙහි ඉන්දියාව ස්ථිරව සිටින බව ඔහු පැවසීය.

    “පක්ෂග්‍රාහී අවශ්‍යතාවලින් ඔබ්බට නැඟී එක්වන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ කලාපයේ රටවල්වලින් ඉල්ලා සිටිමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉන්දීය නියෝජිතයා පැවසීය.

    “ඇෆ්ගනිස්ථානයේ විශාලතම ප්‍රාදේශීය සංවර්ධන හවුල්කරුවා ලෙස, ඇෆ්ගනිස්ථානයේ ජනතාවට අවශ්‍ය බොහෝ ආධාර කඩිනම් සැපයීම සඳහා කටයුතු කිරීම සඳහා අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධීකරණය කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටී,” ඔහු ප්‍රකාශ කළේය.

    ඇෆ්ගනිස්ථානයේ තත්වය ප්‍රවාහයක පවතින බව සඳහන් කරමින් තිරුමූර්ති පැවසුවේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන් ආරක්ෂක මණ්ඩලයේ 2593 යෝජනාවේ පැහැදිලිව දක්වා ඇති බවයි.

    “1267 යෝජනාව යටතේ නම් කර ඇති ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදී කණ්ඩායම් ඇතුළුව ඇෆ්ගනිස්ථාන භූමිය ත්‍රස්තවාදය සඳහා භාවිතා කිරීමට ඉඩ නොදීමට තලේබාන්වරුන්ගේ කැපවීම මෙම යෝජනාව මගින් ත්‍රස්තවාදයට එරෙහි සටන සම්බන්ධයෙන් අවශ්‍යතා ඉදිරිපත් කරයි,” ඔහු පැවසීය. .

    “රටේ විවිධ දේශපාලන-වාර්ගික කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සහ කාන්තාවන්, ළමුන් සහ සුළු ජාතීන් ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම ඇතුළත් අන්තර්ගත සහ නියෝජිත දේශපාලන සැකැස්මක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන් ද එය ඉදිරිපත් කළේය.” එක්සත් ජාතීන්ගේ ඉන්දීය තානාපතිවරයා මෙසේ පැවසීය.

    අපි ඇෆ්ගනිස්ථානයේ ජනතාවගේ ක්ෂණික මානුෂීය අවශ්‍යතා සපුරාලමින් ඉදිරියට යන විටත්, ඇෆ්ගනිස්ථානය වෙත අපගේ ප්‍රවේශය 2593 යෝජනාවෙන් බලාපොරොත්තු වන කැපවීම් සහ ඇෆ්ගනිස්ථානයේ ජනතාව සමඟ අපගේ දිගුකාලීන මිත්‍රත්වය මගින් මෙහෙයවනු ඇතැයි ඔහු යෝජනා කළේය.

    indianewsnetwork

  • දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළට

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළට

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 24 දින එළවළු මිල වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වා දෙති

    ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා  23  දින  රැගෙන යාමත්,  අස්වනු නෙළීම නොකර සිටී ගොවින් සිය අස්වැන්න වැඩි වශයෙන් වෙළදපළට ගෙන ඒමත් මිල අඩු වීමට හේතුව වී ඇති බවය.

    එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන්ගේද  අඩුවක් ද අද (24)  දින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති.

    වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීමට තවත්  හේතුවවී ඇත්තේ  ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිවීම විය හැකි යැයි වෙළෙන්දෝ  අනුමාන කරති.

    නිෂ්පාදන අලවියට ගෙනවිත් සිටි ගොවින් කියා සිටියේ පොහොර කෘමිනාශක, වල්නාශක ආදී දේ තහනම් කොට විදේශීය බිජ ගොවියාට ලබාදීම නිසා අර්බුදයක් නිර්මාණය වී ඇති බවය. දේශීය බිජ ලබාදී කාබනික වගාවට යන්නේනම් මේ හානිය අවම වන බව ගොවීහු පෙන්වා දෙති.

    එළවළු නොලැබීම් නිසා ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කළ කලබලයකින් තොරව  ක්‍රියාත්මක වන අතර වෙළද සංගම් නියෝජිතයන් කියා සිටියේ ගොවින් යම් සතුටුදායක තත්ත්වයකට වගා කොට තිබෙන බවය. ඇතැම් නිලධාරින් පවසන පරිදි රට තුළ සාගින්නක් ඇති නොවන බව ඔවුන් පෙන්වා දුන්නේය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  පසුගිය 22 දින උදේ  සහ 24 දින එළවළු  කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.

    වර්ගය                    22 දින පවතී මිල         අද පවතී මිල

    • ගෝවා                    280 -300                            120-140
    • බෝංචි                    250- 280                             190-250
    • ලීක්ස්                     200-250                              190 -210
    • කැරට්                     370 -380                             250-300
    • තක්කාලි                 260-280                              200 -220
    • රාබු                        70 -100                                50-60
    • නෝකෝල්            150-160                             130-140
    • කැකිරි                    85  -100                              90-100
    • පිපිඤ්ඤා                85 -90                                 60-70
    • වැලිමඩ අර්තාපල්    180- 190                          140-150
    • අර්තාපල් (ආනයනික)       180 – 185                145-160
    • වැටකොළු  180-200                150 -170
    • කරවිල   230-230                         160-200
    • වට්ටක්කා  40-60                           60-65
    • වම්බටු  260 -270                      160-200
    • එළබටු  280 -300                     250-270
    • දඹල  190-200                             150-170
    • මෑකරල්  180 -200                   150 -190
    • මාළු මිරිස්   550-.600                  400-600
    • අමුමිරිස්  670 -700                     450 -550
    • ලොකු ලූනු (විදේශීය) 190 -200       230.-250
    • ලොකු ළූණු  දේශීය 200- 270    250-280
    • බතල     100- 110                     85 -90

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල